Thursday, August 27, 2015

සත්තු වත්ත ළඟදී අල්ලපු හාවා...







ඔන්න මගේ ලොකු අම්මගේ මද්දුම පුතණ්ඩියට  හෙවත් අපේ සුදු අයියාට  පොඩි එවුන්ට සත්තු වත්ත පෙන්නන්න යන්න ඕන උනා එක්තරා සති අන්තෙක.. බැහැ කියන්නත් බැරි නිසා... ඩීසල් ටික ඇරෙන්න රියදුරාගේ පඩියවත් ලැබෙන්නේ නැති නිසාත් මගේ අතිජාත වැනට් එකෙන්ම මමම මේ ගමන යන්න ඉදිරිපත් උනා..



ඔන්න ඉතින් ගාලු පුරවරයේ ඉඳන් සූටි එවුන් සහ මහා එවුන් පුරෝගෙන වනට් රාජයා කොළොඹ බලා පිටත් උනා.. කෙලින්ම ගියේ කැළණි රජ මහා විහාරයට.. දෙයියනේ කියල කැළණි වෙහෙර වැඳගෙන , බෙල්ලන්විල රජ මහා විහාරයට.. ඔන්න එතනත් වැඳගෙන ආව කියමුකෝ සත්තු වත්තට...වාහනයක් නවත්තන්න තියා බයිසිකල් කටුවක් නවත්තන්නවත් ඉඩක් නැහැ.. කට්ටිය බස්සලා  ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි වාහනේ සත්තු වත්තේ තාප්පේ ගාවින් ගාල් කරලා මමත් සතෙක් වගේ බලන් ඉන්නවා මුන් දැන් එයි දැන් එයි කියල.. ම්හ් එන පාටක් නැහැ.. ඔන්න ඒ වෙලාවේ තමයි මට මුත්තරා බරක් දනීගෙන එන්න ගත්තේ.. වාහනෙත් ලොක් කරලා දාල දැන් මමත් ඇවිදිනවා සත්තු වත්ත පාරේ එහා කොනට සහ මෙහා කොනට.. බර හෑල්ලු කරගන්න කඩ පිලක්, අහු මුල්ලක්, තාප්ප කෑල්ලක්, ලයිට් කණුවක්, පඳුරක්, සහ එකී මෙකී හාවෝ අල්ලන කිසිම මුලාශ්‍රයක් පෙන තෙක් මානෙක නැහැ... දැන් මම සත්තු වත්තේ ගේට්ටුව පහු කරන් වයිපරේ දැම්ම වගේ එහා කොනටත්, මෙහා කොනටත් ඇවිදිනවා, ම්හ්.. සත්තු වත්ත ඇතුලට යන්නත් බැහැ එතනත් සීයක් දෙසීයක් විතර පෝලිම ටිකට් ගන්න.. 





ඔහොම පිස්සෙක් වගේ බර හෑල්ලු කරන මුලාශ්‍රයක් හොයාගෙන එහාටත් මෙහාටත් ඇවිදින මට මසුරන් අදහසක් පහල උනා.. මසුරන් කිව්වේ ඒ වෙලාවේ හැටියට බර කලිසමේ හෑල්ලු වෙන්න කලින් මට තිබ්බේ එකම එක වන් ඇන්ඩ් ඔන්ලි ඔප්ෂන් එක එපමණයි... ඔන්න මම ගිහින් නැග්ග වැනට් රාජයාගේ පසුපස ආසනයට.. නැගල වැහුව දොර.. දැන් ඇතුල පෙන්නේ නැහැ කාටවත්..මොකද වැනට් එක ෆුල් ටින්ටට් චොකලට් හයර් එකට හොඳට AC ඕන නිසා. සැලසුම තමයි ප්ලාස්ටික් බෝතලයක් හෝ එවන් කාණුවට විසි කළහැකි භාජනයක් සොයාගෙන බර එම භාජනයට හෑල්ලු කරලා අසල තියෙන කාණුවට විසික්කා කොරල මුකුත් උනේ නැති ගානට සුදු අයියා ඇතුළු නඩය වාහනයට වාර්තා කරන වෙලාවට බබා වගේ සිටීම .. කොහමද ටිකිරි මොලේ...


වාහනය සිසාරා ස්කෑන් යන්ත්‍රය ක්‍රියාත්මක කරත් මට එවන් විසික්කා කොරන්නට හැකි භාජනයක් සොයාගැනීමට නොහැකි වීම කොයි තරම් අසාධාරණද දෙයියනේ.. දැන් තියෙන්නේ විකල්ප අංක දෙක.. මට කවදත් එදත් අදත් plan A සහ plan B කියල දෙකක් තිබ්බ. 
දැන් මම හොයන්නේ ඉටි කවරක් හෝ සිලි සිලි බෑගයක් .. යුරේකා ... සොයන්නාට සම්භවේ කිව්වලු.. ඔන්න මම දැන් ලැහැස්ති වෙන්නේ ඒ අසික්කිත වැඩේ කොරන්නයි.. බඩු භාණ්ඩ සියල්ලම නූලට ලැහැස්ති නිසා ඔන්න මම දැන් හොඳ ළමය වගේ වාහනෙන් බැහැල නිකම් ටයර් වල හුලන් බලන ගානට වාහනේ වටේ ඇවිදල හොර ඇහෙන් බලනවා සුදු අයියා ප්‍රමුක නඩය ඈතින් එනවද කියල.. මොකද මේ අසික්කිත වැඩේ කොරද්දී අතටම මාට්ටු උනොත් පොඩි උන්  බාප්පිව ගම රට පුරා සුප්‍රසිද්ද කරලා තමයි වැඩේ නවත්තන්නේ.. සුදු අයිය සහ නඩය පේනතෙක් මානයේ නැති නිසා හනික වාහනේට පැනගත් මම ඔන්න ඒ අසික්කිත වැඩේ කොරා සිලි සිලි බෑගයට .. හිතහල්ලකෝ දැනෙන සනීපෙ...මේක කියවන අයත් ඉතින් නොකීවට නොලීවට  මේ වගේ ලිඳට වැටෙන්න ගිහින්  බේරිලා ආපු අවස්ථා හෙම ඇතිනේ ඕන තරම්.. ඔන්න ඔහොමයි මගේ ටිකිරි මොලේ පාවිච්චි කරලා ඒ බරෙන් නිදහන් උනේ... දැන් හිතනවද ප්‍රශ්නෙ එතනින් ඉවරයි කියල... අනේ ඉවරයි කියාලා හිතුවට ඉවර නෑ ... තව තියනවා..

ඔන්න මම දැන් ලැහැස්ති වෙන්නේ කප්පරක් දුක් විඳලා කන්දක් විලි රුදා විඳලා උපන් පලය කාණුවට විසික්කා කොරන්නයි.. අහෝ දෙවියනේ ඇයි මට එදා එහෙම කලේ... වාහනේ දොර ඇරලා ඒ වටිනා කියන සිලි සිලි මල්ල කාණුවට විසික්ක කොරන්න උස්සද්දී තමයි ඒ සුන්දර දර්ශනය දැක්කේ මිත්‍රවරුනි..




ජාමේ බේරගන්න පිහිට උණු සිලි සිලි මල්ල ෂවර් එකක් වගේ හිල් 750 ක් විතර තිබිච්චි එකක් වග ඒ සුන්දර දර්ශනය දුටු මම තේරුම් ගන්නා විට අස්සයා පැනගිහින් ඉවරයි මිත්‍ර වරුනි.. හනි හනික සිලි සිලි මල්ලේ ඉතිරි වූ මුත්තරා සුට්ට එක්ක සිලි සිලි මලු ෂවර් එක කාණුවට විසික්ක කොරපු මම කල්පනා කරේ සිලි සිලි මල්ල නැතුව මේක කොරානම් එක තැනකට කොරන්න තිබ්බ උනාට දැන් ඉතින් හැම තැනම නේද කියලයි.. 



දැන් ඔලුව පිස්සු වගේ.. සුද්දා ප්‍රමුක පොඩි එවුන් ආවොත් පටි රෝල් වීම අනිවාර්ය බැවින් හනික ඩ්‍රයිවින් සීට් එකට පැනගත් මම වාහනය හරවාගෙන පාමංකඩ පැත්තට ඉගිල්ලුනේ සර්විස් එකක් හොයාගෙන.. ඔන්න පිළියන්දල පාරට දාල වැඩි දුරක් යන්න කලින් සර්විස් එකක් හමු උනා.. එත් දවස සති අන්තය නිසා උන් පට්ට බිසී කිව්වලු.. ගරාජ් වලට , බාස්ලාට, අමතර කොටස් විකුණන කඩ වලට කන් කෙඳිරි ගාන එක සතියකට දවසක් කැඩෙන වැනට්ටුව විසින්ම පුරුදු පුහුණු කරලා තිබ්බ නිසා සර්විස් එකේ ගෝලයෙකුට සන්තෝසමක් දෙන්නම් කියල පොරොන්දු වෙලා වැඳලා වගේ වාහනේ ෆලෝ බෝර්ඩ් එක සෝදාගන්න යන්තම් සන්තම් එකඟ කර ගත්තා .


වාහනේ සෝදන ගමන් ගෝලය අහපි 
මහත්තය පොඩි දරුවෙක් නේද මුත්‍රා කොරා කිව්වේ නේද කියල... 
මම ඉතින් හ්ම් කිව්වා.. 
ඌ හිතන්න ඇති ඉතින් මුනම් යක්ස පොඩි එකෙක් කියල..මේ තරම් මුත්‍රා කරන පොඩි දරුවෙක් ගැන ඇහුවමයි කියලත් හිතන්න ඇති මයේ හිතේ ..
සර්විස් එකටයි ගෝලයටයි 400ක් පුදල මම අයෙත් සත්තු වත්ත ගාවට එනකනුත් අරුන් නෙවෙයි සත්තු බලල එලියට ආවෙ .. උන් සත්තු බැලුවද සත්තු උන් බැලුවද කියල මම දන්නේ නැහැ.. එත් සත්තු වත්ත ඇතුලට වඩා බලන්න වටිනා දේවල් තිබ්බේ ඉතින් වැනට් එක අතුලනේ... සනීපෙට ගෙදර ඉඳල රියදුරා යව්වනම් තව වියදම් වෙන්නේ මට රුපියල් සීයයි... මේකෙන් හැමදෙනාම  ඉගෙනගන්න ඕන ගමනක් යනකොට හිස් මෙගා බෝතලයක් රැගෙන යායුතුයි කියල හදිසි අවශ්‍යතාවයකට ඕන උනොත් .. ඒ නැතත් හිල් නැති සිලි සිලි බෑග් එකක්වත් අඩුම තරමේ... ඒ විදිහ අසික්කිත වැඩක් කොරනවානම් කොරන්න කලින් හොඳට බලපල්ලා හිල් තියෙනවද කියල.. නැත්තම් දන්නවනේ .. 

පින්තූර ගත්තේ මෙතනින්
http://www.cliparthut.com/

Tuesday, August 25, 2015

බූලාගේ වික්‍රමය






1991 අවුරුද්දේ මැද හරියේ මම 9 වසරේ ඉද්දි සිද්ද උන රසවත් සිදුවීමක්



ටිකක් උන වගේ හින්ද අද ඉස්කෝලේ එදා ගියේ නැහැ. මොකක්දෝ මගේ වාසනාවකට උදේ නැගිටිනකොට ඇඟ පොඩ්ඩක් රත්වෙලා තිබුන හින්ද අම්ම ඉස්කෝලේ නොගිහින් ඉන්න අවසර දුන්නත් තාත්තනම් ඉතින් මගේ ලෙඩ ඒ තරම් විස්වාස කරන්නෙම නැතිබව මම දැනන් උන්න. විශේෂයෙන් සමහර සතියේ දවස්වල උදේට හැදෙන ලෙඩ අසනීප  තාත්තා හිතුවෙම හොර ලෙඩ කියල. එත් දෙයියනේ සමහර වෙලාවට ඇත්තටම ලෙඩ නොහැදුනාම නෙවෙයි. එදත් ඒ වගේ ඇත්ත ලෙඩක්.


ඉස්කෝලේ ඇරෙන්නේ 1.30 ට හින්ද මම 1.20 වගේ වෙද්දී තාත්තගේ මොටෝසයිකලේ මගේ හොර ක්‍රමේකින් පනගන්වගෙන ඉස්කෝලේ ලඟට ආව නංගිලා දෙන්න එක්කයන්න. ඇත්තටම හිත ඇතුලේ තිබුනේ සහෝදර ප්‍රේමයට වඩා ඉස්කෝලේ ඇරෙන වෙලාවට ලොක්ක වගේ මොටෝසයිකලේ පැදගෙන යාමේ ආසාව. තාත්ත ප්‍රසිද්දියේම මොටෝබයිසිකලේ යතුර වැඩට යනකොට අරන් යන්නේ මම ලයිසන් නැතුව මේක දවල් තිස්සේ ගම වටේ පදින හින්දමයි. එත් මොටෝසයිකලේ යතුරට එන වයර් ටික යටින් අත දාල එලියට ඇදල අරන්  හානස් එක වහල එන කවරේ පලුදු කරලා කනෙක්ට් කරන්න ඕන වයර් 4 අල්පෙනෙති දෙකක් ගහල අමුනගෙන බයිසිකලේ ස්ටාර්ට් කරගන්න එක සාමාන්‍යපෙළ පන්තියට එන්න බොහොම කලින් ඉඳන් මගේ ටිකිරි මොලේ දැනගෙන හිටිය.


1.30 වෙද්දී ඉස්කෝලේ බෙල් එක වැදිලා ළමයි එන්න ඔන්න මෙන්න කියල තියෙද්දී මෙන්න බොලේ "බූල " පහත් උනා මම ඉන්න තැනට. උගේ නම බුද්දික උනාට මුළු පන්තියම ඌට කිව්වේ බූල කියල. බූල එවකට මගේ අතිජාතම මිත්‍රය උනා . ඌ ගෙනාපු ආරංචිය මරණයක් ගැන උනත් මුළු පන්තියටම මසුරන් ආරංචියක් (පන්තියේ උන්නු වට්ටි අම්මලාට ඇරෙන්න හොඳේ ).


පන්තිභාර මිස්ගේ  මාමණ්ඩි මැරිලා බන්.. මරණෙ තියෙන්නේ දික්වැල්ලේ. හෙට උදේ මාතර කෝච්චියේ යන්න උදේට ස්ටේෂන් එකට එන්න කිව්වා යන්න කැමති හැමෝටම.

අයෙ ඉතින් බුලට ඕනෑකමක් තිබුනේ නැහැ උඹ එනවද යන්න කියල මගෙන් අහන්න. මොකද ඌ දැනගෙන හිටිය එකෙන්ම මම එනවා කියල. පන්තිභාර මිස් හින්ද ඉතින් මළගෙදර යන්න ගෙවල්වලින් අවසර ගැනීම ගැන ඒ තරම් ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියල අපි හැමෝම දැනගෙන උන්න.

දෙයියනේ කියල ඉතින් ඔන්න මළගෙදර යන දවස උදා වෙලා. නිතර දිග කලිසමක් ඇඳගෙන ගමනක් යන්න වෙන්නෙත් නැති හින්ද මම දිග කලිසමක් එහෙම ඇඳල ලස්සන සුදට හුරු අත් දිග කමිසයක් ඇඳලා කිට මරාගෙන ගමනට ඕන කරන මුදල් ප්‍රතිපාදන අම්මගෙන් ඉල්ලගෙන මගේ ෆුට් බයිසිකලෙන් ඉස්ටේසමට එන්න පිටත් උනා. බයිසිකලෙත් ඉස්කෝලේ ආපු දවසට දාන තැනම දාල රේල්පාර දිගේ දුම්රිය ස්ථානයට  එනකොට මෙන්නේ අපේ කට්ටියම සෙට් වෙලා ඉන්නවා මළගෙදර යන්න. එත් දෙයියනේ උන් ඉස්කෝලේ ඇඳුම පිටින්. මම විතරක් කිට මරාගෙන. මොනවා කරන්නද වාසනාවට මට උන හැදිලා ඊයේ ඉස්කෝලේ ගියේ නැහැනේ. ඉතින් මම දන්නවායැ මුන් යන්නේ ඉස්කෝලේ ඇඳුම පිටින් කියල. අපේ පන්තියේ කෙල්ලෝ ටික මට නිකන් නෝන්ඩියට වගේ හිනාත් වෙනවා. උන් ඉතින් හැමදාම කරේ අපිට විරුද්දව කේලම් කියපු එක විතරනේ.

අපිව විනයානුකුලව ගමනක් එක්ක යන එක ටිකක් අමාරු කර්තව්‍යක් බව දන්නා හින්දද කොහෙද ප්‍රින්සිපල් හරිම නපුරු අංශභාර ටිච්ර්වත් තව ටීචර් කෙනෙකුත් එවල තිබුන ඉස්කෝලේ වෙනුවෙන් ගමනට සහභාගී වෙන්න. 


මොකද ඒ වෙද්දී අපේ ග්‍රේඩ් එකෙ හොඳම පන්තිය විදිහට සියලුම සම්මාන සහතික දිනාගෙන ඉස්කෝලේ පුරා වසවර්ති වැඩ වලට අපේ පන්තිය ඉදිරියෙන්ම .


ඔන්න ඉතින් බොහොම ශෝකාකුලව ලොකු මල් වඩමකුත් අරන් අපි කෝච්චියේ ගමන ආරම්භ කරා. ගැහැණු පිරිමි දෙගොල්ලොම දැඩි අදීක්ෂණය යටතේ එකම පෙට්ටියක වාඩිකරගෙන විනයානුකුලව ගමන යන්න තමයි ටීචර්ලා දෙන්නගෙම අවවාදය. ඉතින් බොහොම අමාරුවෙන් මේ නීති රෙගුලාසි වලට එකඟ වෙන්න අපේ උන්ට සිද්ද උනා. ඔක්කොම ගැහැණු පිරිමි 40 ක් ආසන්නයි නඩේ. ඔන්න අපි දැන් මළගෙදර යනවා.


බොහොම සාමෙන් මාතරින් බැහැල බස් එකේ දික්වැල්ලට ඇවිත් බොහොම හොඳ ළමයි වගේ මළගෙදරට වාර්තා කරා. දෙය්යනේ කියල මළගෙදරින් දවල්ට කාල බඩ පැලෙන්න (මළගෙදර මගුල් ගෙදරක් කරගෙන කෑම මේසෙයි කෑම බෙදපු භාජන ටිකයි විතරක් ඉතුරුවෙන්න කෑව කිව්වොත් තමයි නිවැරදි ) ඔන්න අපේ කට්ටිය ටිකක් එලි පෙහෙලියේ ඇවිදලා ගමේ සිරිය නරඹල මුහුද අයිනට අවා කියමුකෝ. මළගෙදර තිබුනේ මුහුද අයිනක. ගෙදරට මුහුද පේනවත් එක්ක. බොහොම අමාරුවෙන් මෙච්චර වෙලා විනීතව හිටපු බූල විනීත කමේ සීමාව පැන්නේ, අවුරුද්ද මුළුල්ලේම අපි ගැන කේලම් කියල, අපිට ගුටි ඉල්ලලා දෙන, වැරදිලා පිරිමියෙක් වෙලා ඉපදුන, අපේ පන්ති නායක තුමාව සපත්තු දෙක පිටින්ම උස්සගෙන ගිහින් මුහුද මැද්දෙන් තියල.

මළගෙදර නවතින්න කාගෙවත් අදහසක් තිබුනේ නැති හින්ද කීකරු ළමයි අපි ගෙදර එන්න පිටත් උනේ දවල් 1.15 ට වගේ වෙන්න ඕන. දික්වැල්ලෙන් මාතරට එන්න ඕන හින්ද පාරට ආවට ඇවිත් තිබුනේ මසුරන් වෙලාවට. ඉස්කෝල ඇරිලා පාරේ බස්වල කෙල්ලෝ පුරෝලා. මරේ මරු. කියල වැඩක් නැහැ.


දෙයියනේ කියල බස්වල අදික පාසල් තදබදය නිසා එක්කෙනෙක් හැමෝටම ටිකට් ගන්න කියල යෝජනාවක් සම්මත වෙච්චි. ඔක්කොම කට්ටිය 42 ක්. අපි 40 යි, ටීචර්ලා දෙන්නයි. මම ගන්නම් කියල ඉල්ලුවේ නැති උනත් සල්ලි ටික ඔක්කොම එකතුවෙලා අන්තිමට ආවේ මගේ අතට. බොහොම අමාරුවෙන් කට්ටියම බස් එකකට නැගල මාතරට එන්න පිටත් උනා. නිතර බස්වල යන අපේ කොල්ලෝ ටික තම තමුන්ගේ පුද්ගලික ව්‍යාපාර වල නිරතවෙන අතරේ


ජයම්පත්, බුලා ඇතුළු නිතර බස්වල නොයන කීකරු සෙට් එක පා පුවරුව ස්ථිර වාසස්ථානය කරගත්ත. මම ඉතින් හොඳ කොල්ලනේ. හැමෝටම ටිකට් ගන්නත් ඕන , මම ඔන්න ඔහේ කොන්ද ඉන්න ආසන්නයේ ගමන් පහසුව සලසගත්ත. අනික් එවුන්ට වඩා මම උසින් මහතින් අඩු හින්ද මට ඔය පා පුවරුවල සෙල්ලම් දාන එච්චර බැහැ.

දෙයියනේ කියල මාතරට ඇවිත් ස්ටේසමට අවාම අයෙත් ටිකට් ගන්න වැඩේ මටම භාර උනේ කලින් බස් එකෙත් ටිකට් ගත්ත පළපුරුද්ද හින්ද වෙන්න ඕන. විනයානුකූල ළමයි ටික බස් එකේ ආතල් වලින් හොඳට ෆෝම් වෙලා දැන් ඉන්නේ. දැන් ඉතින් කොච්චියේත් ඉල්ලන්නේ ඒ ෆන් එකම තමයි. මොනවා කරන්නද. මේක තමයි කොලු කාලේ. කරන හැම කොලුකමක්ම නාකි වෙලා කරන්නයැ .

මාතරින් මරදාන බලා ධාවනය වන දුම්රිය දැන් පිටත් උනා කියපල්ලකෝ. විනයානුකුල කොල්ලෝ ටික කෝච්චියේ සී සී කඩ ආතල් ගන්නවා. ෆුට් බෝඩ් එකේද ඇරෙහෙද මෙහේද මුළු කොච්චියම එකම යුද පිටියක් වගේ. වැරදිලා පිරිමි වෙලා ඉපදුන කේලම් බක්කෝ දෙතුන් දෙනෙකුයි ඉස්කෝලේ 1 වසරේ ඉඳන් 13 වසර වෙනකම්ම කොල්ලොන්ට විරුද්දව කේලම් කියන කෙලිච්චියෝ ටිකයි  ටීචර්ලා ලඟට වෙලා විනයානුකුලව  ගමන් පහසුව සලසගන්නවා. අංශභාර ටීචර් පළමු වෙඩිමුරය අපිට විරුද්ධව පත්තු කරේ කෝච්චිය මාතරින් පිටත්වෙලා විනාඩි 10 ක් යන්නත් කලින්. විධානය ටීචර්ලා හා අනික් කේලම් බක්කෝ ඉන්න පෙට්ටියට ඇවිත් වාඩිවෙන ලෙසයි. ඊට එරෙහිව පළමු වෙඩිමුරය මම ඉතින් පත්තු කරා.

අපි අවේ මිස්ල එක්ක නෙවෙයි. ඒ හින්ද අපි අපේ පාඩුවේ යන්නම් මිස්...

ඉස්කෝලෙනම් කන පැලෙන්න පාරක් කන්න ඕන කතාවක් උනාට එළියේදී කොහෙද ඒ සෙල්ලම්. අනික මේ ෆන් එකක් ගන්න තියන වෙලාවේ මොන විනයක්ද?



කිසිම පන්ති බේදයක් නැතුව කෝච්චියේ හැම පන්තියකම අපේ උන් උන්නත් කොච්චි ටිකට් එකේ තිබුනේ 3 වෙනි පන්තියට පමණයි වලංගුභාවය. බහුතරයක් ෆුට් බෝඩ් එකේ උන්නත් ඇතුලේ උන්න එවුන්ගෙත් ඇඟේ තුන්කාලක් තිබුනේ ජනේලෙන් එළියේ. බූල අතට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නද කොහෙද ශරීරයෙන් තුන්කාලක්ම ජනේලෙන් එළියේ දාගෙන උන්නේ කෝච්චියේ අයිතිකාරයා වගේ. මෙන්න බොලේ සිවිල් ඇඳුමක් ඇඳගෙන ආපු වයස 40 ක් වගේ මනුස්සයෙක් උගේ අතේ තිබුන පොල්ලකින් දුන්න බුලගේ පස්ස පැත්තට දෝත බදලා එකක්. පස්ස පැත්තට දුම් පනින්න වැදුන පාරෙන් බූල ඔලුව ජනේලෙන් ඇතුලට අරන් කව්ද යකෝ ගැහුවේ කියල බැලුවේ ගහපු එකාගේ හොම්බ තලන්න කේන්තියෙන්. අර ආපු එකා බූලගේ කනෙන් ඇදගෙන යන්න ගත්ත මෙහෙ වර යන්න කියල. දෙයියනේ කව්රුත් නැහැ ඉන්නේ මම විතරයි. මමත් ගියා උගේ පස්සෙන්. ගිහින් බුලව ගාර්ඩ් පෙට්ටියට ගෙන දොර වහගත්තම තමයි මම දැනගත්තේ වැඩේ වරදින්නයි එන්නේ මේ ඇවිත් තියෙන්නේ කෝච්චියේ ගාඩ් කියල.


දැන් ඉතින් මගේ යුතුකම හිතාදර වල සගයින්ට මේ දුක්මුසු පුවත දැනුම් දීම. නැතුව ඉතින් මම තනියම මක් කොරන්නද. හැකි වේගයෙන් දුවල ගිහින් ඉස්සෙල්ලම හමු උන රජිව , සමන් ,සුරේෂ්, ඉන්ද්‍රජිත් ඇතුළු ලංගම උන්නු හය හත්දෙනෙකුට සිද්දිය කිව්වා. මාරයා එක්ක උනත් වලියට යන්න සුදානම් අපේ වීරවරු සෙට් එක හැල්මේ ආව ගාඩ් පෙට්ටියේ දොර ලඟට. එද්දී සුරේෂ් ටිකක් වැඩේට පස්ස ගහනවා වගේ තේරුනා. මේක දැනගත්තු රජිව මල පැනල කෑගහන්න ගත්ත තොපි ඉස්කොලේදිනම් මහා ලොකු චන්ඩි වර ගිහින් ගාඩ් කාරයට දෙකක් දීල හරි බූලව අරන් එන්න කියල. මු කෑගහන්නේ ගාඩ් පෙට්ටියේ දොර ළඟ ඉඳන්. ඒ කියන්නේ කෝච්චියේ දෙවැනි පන්තියේ අන්තිම කොන. මම කියන්නේ කොහොමද දෙයියනේ රජිව්ට උඹේ පිටිපස්සේ මාරයෙක් වගේ හිටගෙන ඉන්නේ බුලව අරන් ගිය ගාඩ් මාරයා කියල. ගාඩ් මාරයාගේ අතේ හන්ගන් හිටපු පොල්ල ඉස්සුනා. ගිහින් නැවතුනේ රජිව්ගේ පස්සපැත්තේ. ගාඩ් රජිව්ගේ බෙල්ලෙන් අල්ලලා උස්සල වගේ ගාඩ් පෙට්ටියට තල්ලු කරලා දොර වහල හැරිලා බැලුවේ අනික් එවුනුත් වර කියන්න වගේ. රජිව ලඟට ඊළඟ බිල්ල මම. 

මොකද ඊගාවට උන්නේ මම. ඊයේ උන ගත්තේ වාසනාවට කියල මට තේරුනේ ඒ වෙලාවේ . මුන් ටික යන්නේ ඉස්කෝලේ නිල ඇඳුමින් කියල මම දැනගත්තේ නැත්තේ ඒ හින්ද. නැත්තම් මමත් යන්නේ ඉස්කෝලේ ඇඳුමෙන්. එහෙම ගියානම් ගාඩ් මව තනි අතින් උස්සල ගාඩ් පෙට්ටියට විසි කරන්නේ. මම උන්නේ ඉස්කෝලේ ඇඳුමෙන් නෙවෙයි හින්ද ගාඩ් මාව මුන් එක්ක ආව කියල හිතුවේ නැහැ. එත් කෝ දැන් මගේ පස්සෙන් උන්නු චන්ඩි කියල පස්ස බලද්දී තමයි ජීවිතේට අමතක නොවෙන සිදුවීමක් දැක්කේ. සමන්ට කෝච්චි ගමනේ අමාරුම රාජකාරිය උනේ කොච්චි පෙට්ටි දෙක අමුණට තියන ජොයින්ට් එකෙන් එගොඩ වීම. ඒකට ඌ සැහෙන මාරාන්තික බියක් තිබුන. කොච්චි පෙට්ටි දෙක ජොයින්ට් කරපු තැනින් මාරුවෙන්න දෙන්නේකුගෙන් සහය අරන් පන බයේ දඟලන සමන් කොච්චි පෙට්ටි දිගේ දුවනවා සුසන්තිකා මීටර් 100 දුවනවනට වඩා වේගෙන්.

බූලාත් ඇතුලේ, රජිවත් ඇතුලේ, දැන් ඉතින් මේ අවනඩුව බේරන්න පුළුවන් දෙන්නයි මේ කෝච්චියේ ඉන්නේ. ඒ අපේ සත් ගුණවත් ආචාර්යවරුන් දෙන්න. වෙන මක් කරන්නද එයාල අපිව භාරයේ ආවනම් මේවා විසඳන්නත් එපායැ .

මිස් ගාඩ් මහත්තය බුද්ධිකයි රජිවයි ගාඩ් පෙට්ටියට දාල වහගත්ත. මොකද මන්ද...
ආ ඇත්තද මම හිතන්නේ ඔය ළමයි ආවේ අපි එක්ක නෙවෙයිනේ... අපිටනම් ඉතින් කරන්න දෙයක් නැහැ...
දිට්ඨධම්ම වේදනීය කර්මය එවෙලේම පලදුන්න කියපි.

දැන් ඉතින් ඊගාවට ඉන්න මේක විසඳන්න පුළුවන් ලොකුම එකා ජයම්පත්. එකට ඌට තිබුන ලොකුම හේතුව හා හයිය උගේ මාම පොලෝසියේ HQI වීම හා ඌ සද්දන්තයෙක් වීම. උගේ ගමේ තියාගෙන ඌව හදන්න බැහැ කියල ජයම්පත්ව අපේ ඉස්කෝලෙට දාල ඒ වෙද්දී මාසයක්වත් නැතුව ඇති.

කාඩ්බෝඩ් වීරයෝ කෝච්චියෙම තැනින් තැන අතුරුදහන් වෙද්දී අන්තිමට ඉතුරු උන අපි පස්දෙනෙක් ගාඩ් පෙට්ටියේ දොර ගාවට කිට්ටු කරා. දැන් තියන ප්‍රස්නේ ගාඩ් ට කතා කරලා මේක ශේප්මන්ට් එකක් දාගෙන ගොඩින් බේරගන්න එක. මේක ඉස්කෝලෙට වාර්තා උනොත් කට්ටියටම අත්වෙන ඉරණම හැමෝම දැනගෙන උන්න. ගාඩ් පෙට්ටියේ දොරට තට්ටු කරන්නවත් එඩිතර එකෙක් උන්නේ නැහැ. මමනේ දන්නේ ඒ මාරයාගේ හැටි. වාසනාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ රාත්‍රී රාජකාරියට යන මහත්තරු දෙතුන්දෙනෙක් අපි ගැන අනුකම්පා කරලා ගාඩ් මහත්තයට කතා කරලා දොර අරවලා අපි කට්ටියත් ගාඩ්ගේ මාර භවනට ඇතුල් කරා.

කොයිතරම් එකා වගේ උන්නත් එකෙකුට කරදරයක් උනාම නෝන්ඩි කරන කොලුකම නහරයක් නහරයක් ගානේ තිබුන නිසාද කොහෙද බඩු පෙට්ටියි කෙසෙල් කැන් වගේකුයි අස්සේ දන ගහගෙන හිටපු බුලවයි රජිවවයි දැකල කට්ටියම හුරේ දාල හිනාවෙන එක නැවතුනේ ගාඩ් තොපි මොකද සද්දේ කියල අහපු නිසා.


ඔන්න දැන් ඉතින් ගාඩ් ඇහුවේ මොකද තොපි මේක ඇතුලට ආවේ කියල. කෝකටත් තයිලේ වගේ ඉන්න ලොකුම එකා තුසිත  ඉස්සරහට ගිහින් කිව්වා අපි මේ ආවේ අපේ යාළුවො දෙන්න හින්ද කියල. ඒ වෙද්දී ගාඩ් අරුන් දෙන්නව කෝටු මස් කරලා මිසක් වචනයක් අහල තිබුනේ නැහැ කොයි ඉස්කෝලේද කියලවත්.
ගාඩ්ගේ පළමු ප්‍රශ්නය තුසිත  වෙත
උඹල මොන ඉස්කෝලේද
තුසිත  දක්ෂ ලෙස ඉදිරියට පැන උත්තර දුන්න.
ගාඩ්ගේ දෙවැනි ප්‍රශ්නය
උඹලගේ ඉස්කෝලේ ප්‍රින්සිපල් කව්ද?
දෙයියෝ හරිම නරකයි කියන්නේ තුසිත  ඉස්කෝලෙට අලුතෙන් ඇවිත් මාසයක්වත් නැහැ . ඌ කොහොමද දෙයියනේ පිනාගේ නම දන්නේ. ගමයා යන්තම් තුසිතගේ කනට කරලා ගාඩ්ට නොපෙනෙන්න නම කිව්වා. කරුමෙට තුසිත  ඇහුනේ සිල්වා කෑල්ල විතරයි.
ජයම්පත් හනික ගාඩ්ට උත්තර දුන්න සිල්වා සිල්වා කියල. ඒ ගමන ගාඩ් අහපි සිල්වා තොගේ මල්ලිද කියල. ගාඩා උගේ අතේ තියන තඩි පොල්ල කරකව කරකව අපෙන් ප්‍රශ්න අහන්නේ. කොයි වෙලේ පිට මැද්දෑවට පතබෑවෙයිද කියල කිසිම විශ්වාසයක් නැහැ.
ඒ ගමන තුසිත  බේරගන්න දිරියෙන් ඉදිරිපත් උනේ ප්‍රියන්ත.
අනේ අන්කල් මෙයා ඉස්කෝලෙට ඇවිත් මාසයයි. මෙයා දන්නේ නැහැ විදුහල්පතිගේ සම්පුර්ණ නම.
විදුහල්පති කතාව ක්ෂණිකව අමතක කරපු ගාඩ් ප්‍රියන්තයට කඩාගෙන පැන්න 
මම කොහොමද යකෝ තොගේ අන්කල් උනේ.
මෙන්න ඒ ගමන ගාර්ඩ් මහත්තය ප්‍රියන්තගෙන් අහපි ගනින් තොගේ ටිකට් එක කියල.
පෙනුමෙන් මට කෝච්චියේ භාගේ ටිකට් එකෙන් යන්න පුළුවන් උනාට වයසින් තහනම්. ප්‍රියන්තටත් ඒ කොන්දෙසි එහෙමම වලංගු උනාට ප්‍රියන්තට ටිකට් ගත්තෙත් මම. හැබැයි බාගේ. දෙයියනේ කියල අපි දෙන්නගෙම ටිකට් පරික්ෂා කරපු ගාඩ් මහත්තය මා දිහාත් ඔරොල බලල ප්‍රියන්තයගෙන් ඇහුව තෝ ඉස්කෝලේ කීයේ  පන්තියේද කියල. ප්‍රියන්ත දැනගත්ත වැඩේ කෙළවෙන්න කියල එන්නේ.
ප්‍රියන්ත ස්ථානොචිත අහවල් එක පාවිච්චි කරලා ඉගෙනගන්න පන්තිය අඩුවෙන් කිව්වා කියමුකෝ. ඒ ගමනම ගාර්ඩ් අහපි තෝ ඉපදුනේ මොන අවුරුද්දේද කියල. ප්‍රියන්ත උගේ ගණිත හැකියාව උපරිමයෙන් පාවිච්චි කරලා ඒකත් භාගේ ටිකට් එකට වලංගු වෙන්න හදල කිව්වා. දැන් ආයෙත් ගාර්ඩ්ගේ වාරය.
ගාර්ඩ් තමුන්ගේ ගණිත හැකියාව මෙහෙයවල ප්‍රියන්තගෙන් අහපි 
උඹේ මහා එවුන්ට පිස්සුද යකෝ උඹව අවුරුදු 3 න් ඉස්කෝලේ දැම්මේ?
ගාර්ඩ් ප්‍රියන්තගේ කන මිරිකලා අල්ලාගෙන අපිට පෙන්නලා කියනවා 
මුව ඉස්කෝලේ දාල තියෙන්නේ අවුරුදු තුනෙන් කියල උඹල දන්නවද ? 

අපිට ඉතින් නෝන්ඩියට හිනාවෙන්න අමුතුවෙන් උගන්නන්න ඕනෙද දෙයියනේ ?


මේ වෙද්දී කෝච්චිය ගාල්ලට සෙන්දුවෙමින් තිබුන දෙයියනේ කියල. ගාල්ලේදී කෝච්චියේ එන්ජිම ගලෝල අනික් කෙලවරට අමුණන්න එපැයි කොළඹ යන්න. ඒ කර්තව්‍ය සිද්දවෙන අතරේ අපිට කරපු සියලු වැරදිවලට දඬුවම ලැබුනා.
කට්ටිය එක්කම ගිහින් කෝච්චියේ ඉන්න සියලු මගීන්ගෙන් සමාව ගනිල්ලා පෙට්ටියක් පෙට්ටියක් ගානේ ගිහින්.
ඒ ගාර්ඩ් ගේ විධානය. මගියෙක් මගියෙක් ගානේ කකුල් දෙක අල්ලලා වැඳලා මේක මෙතනින් ශේප් කරගන්න එක කොයිතරම් ලේසිද දෙයියනේ ඉස්කෝලේ සතියක් තහනම් කරගෙන වේවැල් පාරවලුත් කාල ගෙදරිනුත් ගුටි පූජාව කනවට වඩා.

දෙයියනේ කියල කට්ටියම පෙට්ටියක් පෙට්ටියක් ගානේ ගිහින් හැම පෙට්ටියකම මගීන් අමතල අපෙන් වරදක් උනා අපිට සමාවෙන්න කියල ඉල්ලුව එක පෙට්ටියක් හැර. ඒ අපේ කේලම් මලු ටිකයි ටීචර්ලා දෙන්න උන්නු පෙට්ටිය. ගාර්ඩ් ට වැඳලා වැඳලා ඒ පෙට්ටියට අමතන එක ශේප් කරගත්ත. එහෙම කරන්න හේතුව උනේ කේලම් මලු ටිකයි ටීචර්ලා දෙන්නයි හරහා මේ කැත සිද්දිය ප්‍රින්සිපල්ට ගියොත් අපි සුන් හින්ද. එහෙම අමතල ඉවරවෙලා ගාර්ඩ්ගේ විධානය පරිදි අපේ ගමනාන්තය දක්වා දෙවැනි පන්තියේ වාඩිවෙලා ගාර්ඩ් මහතාගේ අසගැසෙන මානයේ ගමන් පහසුව සලසගන්න ඊළඟ විධානය.
දෙයියෝ බුදුවෙන්න යන්තම් බේරිලා හානියක් නැතුව ගමන නිමා කරාට පහුවදා ඉස්කෝලේ යද්දී කට්ටියටම හෝ ගාල කාර්ඩ් වැදිලා තිබුන.
බූලා විසින් බූලාගේ මොලය අධිකකම නිසා දුම්රිය මාර්ගය අසල උන්නු මනුස්සයෙකුට දුම්රියේ සිට කොටුවකින් ගැසීම තමයි බූලා ගුටි කන්න ගාර්ඩ් විසින් ඉදිරිපත් කරපු හේතුව.

මගේ වාසනාවට ඉස්සරින්ද උණ නොගත්තානම් මමත් ඇඳන් යන්නේ පාසල් නිල ඇඳුම . රජිවට ගහපු පොල්ලෙන් ඊළඟට පස්ස පැත්ත  දෙපලු වෙන්න නොවැදුනේ මගේ වාසනාවට මට උණ හැදුන නිසයි.

කව්රු මොනවා කරත් කාට කාර්ඩ් වැදුනත් කව්රු ගුටි කෑවත් ප්‍රියන්තයි මමයි විතරක් දැනගෙන උන්නු එකම එක රහසක් තිබුන. ඒ තමයි දික්වැල්ලේ ඉඳන් මාතරටත් මාතර ඉඳන් අපේ ගමනාන්තයටත් ටීචර්ලා දෙන්න ඇතුළු සියලුම දෙනා ආවේ භාගේ ටිකට් වලට කියල. 

අපේ ශුද්ද ලාභය අපි දෙන්න බෙදාගත්තේ මාතර ස්ටේෂන් එකෙදිමයි.

Saturday, August 22, 2015

මහ නුවර මහියංගනය පාරේ හමුවූ හොල්මන් කාන්තාව..




(මෙය වසර තුනකට පෙර වෙනත් වෙබ් අඩවියකට ලියන ලද්දක් බැවින් එවකට පැවති  සිංහල අකුරු ටයිප් කිරීමේ දෝෂ ගැන සමාව ඉල්ලා සිටිමි... )

මේ සිද්දිය සිද්ද උනේ 1998 -99 කියන වර්ෂ දෙකෙන් එකක කියලයි මතක..මම ඒ කලේ වැඩකරේ ලංකාවට Dental / Medical machine import කරන කොම්පැනි එකක . මම තමයි කොම්පැනියේ චීෆ් ටෙක්නිශියන් . එදා දවස සිකුරාදා දවසක් මට මතක හැටියට. මම හෝමාගම අවිස්සාවේල්ලත් අතර තියෙන ග්‍රාමීය රෝහලක කැඩිච්ච මැෂිමක් අමාරුවෙන් ගොඩ දාල හවස 2 වෙද්දී ඔෆිස් එකට ආව රුහුණු කුමාරියේ ගෙදර මාරුවෙන්න . සිකුරාදා දවස හවස් වෙනකොට ගතට දැනෙන ආතල් එක ඉතින් ජොබ් කරන හැමදෙනාම දන්නවනේ. ඔන්න ඉතින් ඔෆිස් එකට ඇවිත් මැනේජර් එක්ක පොඩි ආතල් කයියක් දැම්ම සෙනසුරාදා දවස රවුමක් ගහන්න ශේප් නියායෙන් ගෙදර ඉන්න බලාගෙන. අපේ මැනේජර් පෙන්ෂන් ගියපු ඉන්ග්ලිෂ් medium ඉගෙනගත්තු සුද්දගේ ඉන්ග්ලිෂ් කතාකරන එල පොරක් . ඔන්න ඒ වෙලාවේ අපේ සේල්ස් කරන සමන්ත ආව වැඩ ඉවර කරලා රුහුණු කුමරියේම ගෙදර පනින්න. ඒ වෙද්දී සමන්ත යාළුවෙලා උන්න කෙල්ල (දැන් උගේ ආදරණීය බිරිඳ ) යන්නෙත් රුහුණු කුමරියේ නිසා ලංකාවේ කොයි කොනක සේල්ස් කරත් හයි ස්පීඩ් දඩ 100ක් කාගෙන හරි සිකුරාදා රුහුණු කුමරිය අල්ලන්න කොළඹ එනවා. අපි දෙන්න එකම ඉස්කෝලේ එකම පන්තියේ උසස්පෙළ කරේ. ඒ දවස්වල වගේම අදත් අපි මැන්ගෝ යාලුවෝ. 


ඔන්න ඉතින් අපි දෙන්නම අපේ මැනේජර් ටියුන් කරනවා සෙනසුරාදා ඔෆිස් එන්නේ නැතුව ඉන්න. මේක ඉතින් එදා විතරක් නෙවෙයි අපි හැමදාම සිකුරාදාට කරන වැඩක්. ඔන්න ඉතින් අපි කයිය ගෙන ඉන්නකොට ෆෝන් එක රින්ග් උනා . ගෙදර යන්න ඔන්න මෙන්න තියල ෆෝන් එක රින්ග් වෙනකොට ඉතින් පපුව සීතල වෙනවා ඉතින්. මොකද බොසා කෝල් කරලා හදිසි රාජකාරි පටවනවා. ඒවා ඉතින් පරිප්පු නැවු පිටින් බාන්න වෙන වැඩ . නැත්තම් වෙන්නේ බොසාගේ වයිෆ්ට driver කෙනෙක් නැති උනාම පොඩ්ඩකට මරදානට පිටකොටුවට හරි යන්න කියලා මාව එවන්න කියනවා. ඉතින් රාත්‍රී 10 / 11 වෙනකම් රියදුරු රස්සාව කරන්න වෙනවා. එත් මේ ආපු කෝල් එක අවේ නුවර මහියංගනය පාරේ 18 වංගුවට ආසන්නයේ තියෙන රෝහලකින්. එයාලගේ මැෂින් එකක් කැඩිලා දැන් දවස් ගානක්, අද ටෙක්නිශියන් එවනවා කීවට ඇයි නාවේ අද නාවොත් හෙට උදේට මිනිස්ට්‍රියට පැමිණිලි කරනවා කියල. දැන් ඉතින් කාපන්කෝ පරිප්පුව. අපේ සුදු මැනේජර් හැරුන තැපෑලෙන් බොස්ට කෝල් කරලා කිව. අනේ ඉතින් අපේ බොස් කිව මේ දැන්ම මාව යවන්න කියල. සමන්ත යවන්න කිව හෙල්ප් එකට . ඒ වෙනකොට අපේ රියදුරත් යතුරු බාරදීලා ගෙදර මාරු වෙලා . අපේ මැනේජර් එහෙට කෝල් කරලා කීවා, ටෙක්නිශියන් දැන් කොළඹින් පිටත් වෙනවා, ඔහෙට එනකොට පැය 5ක් විතර යාවි කියල.  දොස්තර කිවා, එයාගේ නිල නිවාසෙට එන්න කියන්න, එයත් එක්ක ඇවිත් මැෂින් එක හදවන්නම් කියල. දැන් ඉතින් වැඩේ සෙට්. ඔන්න ඉතින් අපි දෙන්න යන්න පිටත් උනා. 

මට තමයි වාහනේ එලවන්න උනේ ඉතින්. ඒ වෙද්දී සමන්තට එලවන්න පුළුවන් උනාට ලයිසන් තිබුනේ නෑ මට මතක විදිහට. අපි නුවරට යද්දී 6.30 වගේ වෙන්න ඇති. අපි ඉතින් නුවර ගියොත් නවතින්නේ Y .M .B ඒකෙ තමයි. මොකද ඒකෙ  තමයි කාමර ගණන් අඩුවෙන්ම ගන්න පුළුවන්. ඉතින් දැන් අපි ආපහු එනකොට රෑ 12 වගේ වෙන හින්ද අපි යනගමන්ම කාමරයක් වෙන් කරලා සල්ලි ගෙව්වා . අපිව නිතර එන හින්ද කීය උනත් අවුලක් නැ ගේට්ටුව අරිනවා අපිට. ඔන්න ඉතින් අපි 8 විතර වෙද්දී ගියා අදාල තැනට. ගිහින් දොස්තර (ලස්සන නෝනා කෙනෙක් හරිද) එක්ක ඇවිත් මැෂින් එක ගොඩ දැම්ම. සමන්තයත් ඉතින් ඕනෑම වැඩකට ලාම්පුව අල්ලන්න කියපු බඩුව. ඔන්න ඉතින් දෙය්යනේ කියල මම 10 වගේ වෙද්දී මැෂින් එක හැදුව. හදල ඉවර වෙලා එන්න ලෑස්තිවෙනකොට අර කරුණාවන්ත ලස්සන තරුණ දොස්තර නෝනා කොහෙද නවතින්නේ කියල හෙම විස්තර අහල වොෂ් එකක් දානවනම් එයාගේ නිල නිවසේ බාත්රූම් එකෙන් දාන්න කිව. අපිට ඉතින් දෙය්යෝ බැලුව වගේ අපි දෙන්නම ගොඩක් වෙහෙසෙන් හිටියේ. අපි දෙන්නම රට වටේම යන නිසා අපේ ඇඳුම් බෑග් දෙක කොයි වෙලාවෙත් අපේ වාහනේ තියෙනවා. 

ඔන්න ඉතින් අපි දෙන්නම දෙය්යනේ කියල වොෂ් එකක් දාල සරොන් දෙකටම බැහැල ආතෙල් පහට දුමකුත් දාගෙන දැන් එනවා නුවර බලා . අපි ගියේ සමන්ත සේල්ස් ගිහින් ආපු van එකේ . ඒක ටොයෝටා ලයිට් ඒස් වාහනයක්. හැමදාම සේල්ස් යන වාහනේ හින්ද මුන් කවදාවත් බඩු බාන්නේ නැ. ඉතින් දැන් අපේ ඇඳුම් බැග්, සල්ලි ඔක්කොම වාහනේ පිටිපස්සේ සීට් එක උඩ. දැන් ඉතින් අපි දෙන්න එනවා 18 වංගුව පැත්තේ ඉඳන් නුවර එන්න. මම බොහොම හෙමින් ඩ්‍රයිව් කරේ . දන්නා අය දන්නවා මේ පාර පට්ට පාලුයි . අපි දෙන්නට හොඳටෝම බඩගිනිය්. ගොඩක් රැ වෙලා හින්ද කඩවල් වහලා. ඔන්න ඉතින් හෙමින් හෙමින් එනකොට එක කඩයක් වහගෙන යනවා. අපි නවත්තල ඇහුව කන්න දෙයක් තියෙනවද කියල. මුදලාලි වයසක මනුස්සයෙක්. වඩේ වගයක්නම් තියෙනවා එත් බොන්න තේ නම් නැහැ ලිප නිවලලු. අපි ඉතින් දෙය්යෝ දුන්න වඩේ ටිකත් කන ගමන් දුමකුත් දාගෙන හෙමින් හෙමින් එනවා . කොහොමහරි දැන් වෙලාව රැ 12 පහු . තෙල්දෙණියට 10 km වගේ තියෙද්දී පට්ට පාලුයි .එක පැත්තකින් වික්ටෝරියා dam එක අනික් පැත්තෙන් පට්ට වනන්තරේ 

මේක කියවන ඔයාල විස්වාස කරයිද මන්ද මේක. දැනුත් මේක ලියන මොහොතේත් මේක මතක් වෙනකොට මට ඒ සිදුවීම මැවිලා පේනවා වගේ. එක පාරටම dam එක පැත්තෙන් පාරට ගොඩ උනා ලස්සන කෙල්ලෙක්. පාරට ආපු ගමන්ම කෙල්ල ආවා පාර මැද්දට. ඇවිත් වාහනේට අත දැම්ම. කෙල්ල දැන් හරියටම පාර මැද්දේ. ඉස්සරහට ගියොත් හැප්පෙනවා. ලස්සන කෙල්ලෙක් . ඔලුවෙන් ඇග පුරහම ලේ බේරෙනවා. මෙයා පාරට අවේ මට මීටර් 20 ක් 30 ක් ඉස්සරහින්. තත්පර කීපයයි මම වාහනේ නැවැත්තුවේ නැත්තම් කෙල්ල වදිනවා මගේ වාහනේ . මම ක්ෂණිකව නවත්තගත්තා හෙමින් අපු හින්ද. නවත්තපු ගමන් මේ කෙල්ල ආවා සමන්තගේ දොර ගාවට . ඇවිත් කීවා එයාට මස්සිනා ගැහුවා කන්දකින් පහලට තල්ලු කරා, එයාව තෙල්දෙණියේ පොලිසියට දාන්න කියලා . මම කීවා පිටිපස්සෙන් නගින්න කියලා. ඒත් ඒ එක්කම මට මතක් උනා අපේ සල්ලි ඇඳුම් සීට් එක උඩ නේද කියල. ඒ හින්ද මම කීවා නෑ ඉස්සරහින් නගින්න කියලා . මට නිකමට හිතුන අපිව සුද්ද කරන්න හදනවද දන්නේ නැ කියලා මේ වනන්තරේ මැද්දේ. සමන්ත දොර ඇරිය ගමන් කෙල්ල නැගල වාඩි උනා සමන්තගේ සීට් එකේම අයිනෙන්. 

මේ කියන වාහන මොඩ්ල් එකේ ඉස්සරහ තියෙන්නේ සීට් දෙක විතරයි. මැද්දේ සීට් එකක් නැහැ. කෙල්ල පෙනුමේ හැටියට අඩුම තරමේ කිලෝ 50 ක් වත් බර ඇති. සාමාන්යෙන් ඩ්‍රයිව් කරන කෙනාට තේරෙනවා පොඩි වාහනේක ඉස්සරහ සීට් එකේ දෙන්නෙක් නැග්ගම ඒ පැත්ත බර වැඩි ගතිය. ඒත් මම වාහනේ අදිනකොටම තේරුණා මොකක් නමුත් අමුත්තක්. ඒ එක්කම මට නිකම් බයක් වගේ දෙයක් දැනුන. මෙච්චර දුරක් 40 ට වගේ අපු මම ඩ්‍රයිව් කරන්න ගත්ත 100 පන්නල. විනාඩි 5 ක් වගේ එද්දී මේ කෙල්ල කීවා අයියේ මෙතන ඉඩ මදියි මම බිමින් වාඩිවෙන්නම් කියල. ඒ කෙල්ල සමන්තගේ කකුල් දෙක ගාව බිම වාඩි උනා. ටොයෝටා ලයිට් එස් එකේ ඉස්සරහ සීට් එක ගාව බිම වැඩුන මනුස්සයෙකුට වාඩිවෙලා යන්න තරම් ලෙග් ස්පේස් නැහැ. ඒත් මේ කෙල්ල මෙතන වාඩි උනා. සමන්ත එක්ක විස්තර කතා කරා එයාගේ. ඒත් ඒ කිසිම දෙයක් මගේ කනට වැටුනේ නැහැ. මොකද මම හිටියේ ගොඩක් බයවෙලා. මම මාරාන්තික වංගු සියල්ලම 120 ට විතර ආවා . තෙල්දෙණියේ පොලිසිය ලන්වෙනකොට මම කීවා අක්කේ මම ඔයාව තෙල්දෙණියේ පොලිසිය පහුකරලා බස්සන්නම් කියලා. මොකද මේ පරිප්පු නැව අපිට බාන්න උනොත් කියන බයත් මට දැනුන. හරියටම පොලිසිය ඉස්සරහින් රාළහාමි කෙනෙකුත් වාහනේට අත දැම්ම ගෙදර යන්න වෙන්න ඕන. මම එයාට නැවත්තුවෙත් නැහැ. පොලිසිය පහුකරලා මීටර් 100 ක් වගේ ගිහින් මම නැවැත්තුව. මෙයාට බහින්නනම් සමන්ත බහින්න ඕන. ඒත් සමන්ත දොර ඇරපු ගමන් කෙල්ල බැස්ස, මල්ලිලට බුදු සරණයි කියලා පාවෙලා වගේ පොලිසිය පැත්තට ගියා. මම side mirror එකෙන් බැලුව, කව්රුත් නෑ. 

මම ආයේ ගමන පටන් ගත්ත. අයෙත් 100 පැනල යනවා. සමන්තය මට අම්ම මෝ නැතුව බනිනවා කෙල්ල නැගපු වෙලාවේ හිටන් හය්යෙන් ආවා කියලා. මම එක වචනයක්වත් කතා කරේ නෑ. නුවර ලං වෙනකොට තියෙනවා ඔරලෝසු කණුවක් එක්ක junction එකක්. එක පැත්තක් නුවර. අනෙක් පැත්ත මහියංගනය. අනික් පැත්ත හඟුරන්කෙත . එතන තිබුන ඒ කලේ චෙක් පොයින්ට් එකක් අනිවාර්යෙන් නවත්තන්න ඕන. මම උන්නේ කල්පනාවෙන් නෙවෙයි. තව පොඩ්ඩෙන් එතන නවත්තන්නේ නැතුව ඇවිත් වෙඩි කනවා. කොහොම හරි YMB එකට ඇවිත් මම නොකර කතා සමන්තට වාහනේ යතුර දීල උඹ කන්න ඕනෙනම් ගිහින් කාල වරෙන් මම නිදාගන්නවා කියලා නිදාගත්තා. සමන්තත් මට අම්ම මෝ නැතුව සිංහල කියව කියව නිදාගත්තා. කිසිම කතාවක් නැතුව මට උදේ 7 වෙනකම් නින්ද ගියා. 

උදේ මට ඇහැරුනා ගමන් එහා ඇඳේ නිදාගෙන ඉන්න සමන්තට ඇන්න පයින්, සමන්ත ඇහැරවල ඇහුව ඊයේ අපි එක්ක අවේ මනුස්සයෙක්ද අමනුස්සයෙක්ද කියලා. උදේ පාන්දරම සමන්තයගේ ඇස් දෙක පැන්න එලියට . කට ඇරගෙන බලන් ඉන්නවා බයවෙලා. අපි මුණ නොහෝදම ගියා තෙල්දෙණියේ පොලිසියට. ගිහින් කිව්වා රිසව් එකේ උන්නු රාළහාමිගෙන් ඊයේ රැ මෙහෙම දෙයක් උනා මොකක්හරි පැමිණිල්ලක් දාලද කියලා. එයා පැමිණිලි පොත බලල කීවා එහෙම දෙයක් නෑ කියලා. ලේ බේරී බේරී වාහනේට නැගල බිම වැඩිවෙලා ආවට එක ලේ බිඳක්වත් වාහනේවත් සමන්තගේ ඇඳුමකවත් තිබුනේ නැ. 

 එයින් පස්සේ අපි දෙන්නම හවස 6 න් පස්සේ නුවර මහියංගන පරේනම් ගමන් කරේ නැත. එයින් පසු කවදාකවත් බිම් කරුවල වැටුනාම පාරෙ අත දැම්ම කිසිම මනුස්සයෙකුට මම වහනේනම් නවත්තන්නේ නැත. එදා බය උනා බයවිල්ල අදත් පපුවට දැනෙනවා.

පස්සේ කලෙක මට ආරංචි උනා ඒ හරියේ එහෙම දෙයක් තියෙනවා කියලා. මේක කියවන නුවර පැත්තේ ඉන්න යාලුවන්ගෙන් මම දැනගන්න කැමතියි මේ පාරේ මෙහෙම දෙයක් ආයේ ආයේ සිද්දවෙනවද කියලා.
Reply With Quote

Saturday, August 8, 2015

ක්‍රිකට් උණ සහ සුපිරි පිතිකරුවා..






ඔන්න මේ කියන කාලේ (1993-2002 අතර කාල පරාසය විය යුතුයි  ) තදින්ම අපේ කට්ටියට ක්‍රිකට් උණ වැළඳිලා තිබුන කාලයක්... 1996 ලෝක කුසලානය දිනන කාලෙත් අපේ උන්දලාට තිබ්බේ එසේ මෙසේ ක්‍රිකට් පිස්සුවක් නෙවෙයි.. ඒ කාලේ අපි මුලින්ම  ක්‍රිකට් ගහන්න යෝදාගන්ත්තේ හල්වතුර වෙල ගොඩ කරපු ස්ථානය.. ඒ කියන්නේ කුලරත්න පාරත් , ධර්මාශෝක විද්‍යාලයේ ලොකු ඉස්කෝලයත් පොඩි ඉස්කෝලයත් අතරින් කලුවඩුමුල්ල පැත්තට යන පාරත් අතර තියන හල්වතුර වෙල ගොඩකරපු ස්ථානය.. වර්තමානය වෙද්දි නවීන පන්නයේ තට්ටු නිවාස වලින් පිරිලා තියන මේ භූමිය තමයි අපේ පලවෙනි ක්‍රිකට් ක්‍රීඩාංගනය..


කොයිතරම් ක්‍රිකට් උන තියනවද කියනවනම් හවස 3-4 වෙද්දී ඔක්කොම බැට් , ස්ටම්ප්, බෝල එහෙම අරගෙන අපේ ක්‍රීඩාංගනයට වාර්තා කරනව .. රැකියා කරන උන් කෙලින්ම රැකියා කරලා ඉවර වෙලා ආවේ ක්‍රිකට් ගහන තැනට.. ටියුෂන් යන උනුත් කෙලින්ම ටියුෂන් ගිහින් ආවේ ක්‍රිකට් ගහන්න.. සමහරු ටියුෂන් ගියේ ක්‍රිකට් ගහන තැනමයි..පසුකාලීනව රුහුණු කුමාරියේ රැකියාව අවසන් වෙලා ගෙදර ආපු අපිත් කෙලින්ම ගියේ ක්‍රිකට් ගහන තැනට..සමහරු පෙම්වතිය පන්ති ඇරෙනකම් ක්‍රිකට් ගැහුවා වගේම සමහරු පෙම්වතියන් පස්සෙ පාරේ ඇවිදලා ඇවිත් ක්‍රිකට් ගහන තැනට සෙට් උනා..


දෙපිලට බෙදිල ආරම්භවෙන සීමිත ඕවර ක්‍රිකට් තරඟ කීපයකින් අනතුරුව බෝලය ඇහැට නොපෙනෙන්න තරම් අඳුර වැටුනාම තමයි මේ ක්‍රීඩාව අවසන් වෙන්නෙ ..ක්‍රීඩාවෙන් අනතුරුව සුපුරුදු විදිහට ටික්කගේ ගෙදරට සෙට් වෙන ක්‍රිකට් කප්පිත්තන් රෑ බෝවෙනතුරු දවසේ ක්‍රීඩා කරපු ආකාරය, ඕපාදූප, කතාවෙන් අනතුරුව රාත්‍රී 8-9 වෙද්දී ගෙවල් වලට විසිර යැවෙනවා ..


අපි ක්‍රිකට් ගහපු පලවෙනි ස්ථානය A  අකුරෙනුත් අපි දෙවනියට ක්‍රිකට් ගහපු සථානය B අකුරෙනුත් පෙන්නලා තියෙන්නේ.. අද ඉන්න පොඩි උන් මේක දැක්කම කියාවි මුගේ බොරු කියල.. මේ කියන ස්ථාන දෙකේ ඒ කාලේ හිස් බිමක් තිබ්බද කියලවත් ලකුණක්වත් නැතිවෙන්න ඒ ප්‍රදේශ වෙනස් වෙලා ගොඩනැගිලි හදපු නිසා...


google map
https://www.google.com/maps/@6.2391501,80.0582675,395m/data=!3m1!1e3

එදිනෙදා මේ සිද්දවෙච්චි ක්‍රිකට් ටීම් ඇතුලේ ක්‍රීඩකයින්  හඳුන්වන්න අපි යොදාගත්තු nick names මේකේ ලිව්වොත් මේ ලියන ලියුම්කරු වෙන මම නිවාඩුවට ලංකාවට ගිහින් හමාර වෙන නිසා ඒ  ඒ නම් නොලිය ඉන්න  එක මගේ ඇඟට වඩාත් සුවදායක බවයි මගේ අදහස...නම් වලින් හඳුනවනවානම් අපේ ක්‍රිකට් ක්‍රීඩකයින් ටිලාන්,සම්පත්,රංජිත් , දුමින්ද (මෙම ලිපියේ කතා නායක ) , ප්‍රසන්න,හේමික , කාවින්ද , මහේෂ් 1,මහේෂ් 2,නිමල් , ප්‍රියන්ත, දිලුක,ජීවන,චන්දිම,කුමාර,උදය,තමීර,හර්ෂ,ජනක,ජානක, ධම්මික,නිහාල් අයිය, ලලිත් අයිය, ඔෂාන් වගේ උප්පැන්නයේ තිබෙන නමින් මතක උදවියත් උප්පැන්නයේ නම නොදන්නා සුරතල් නාම වලින් හඳුන්වන තවත් බොහොමයක් දෙනාත්  දිනපතා කෙරෙන මේ ක්‍රිකට් ක්‍රීඩාවට එකතු උනා..සියලුම පිරිස 20-25 ත් අතර අගයක් ගත්තත් සහභාගිත්වය දිනෙන් දින විවිද ආකාරයෙන් වෙනස්කම් සිදු උනා..මේ ක්‍රිකට් ක්‍රීඩාව අතරේ හිත අමනාපකම්, වලි , කකුලෙන් ඇදිලි, නින්ජා ගැහිලි වගේ දේවල් නොතිබුනාම  නෙවෙයි... එහෙමත් දවසක බැට් උස්සගෙන මරාගන්න යන උන් සතියක් දෙකක් යද්දී ආයෙත් යාලු වෙලා එකම ටීම් එකේ ක්‍රිකට් ගහනව..

ක්‍රිකට් ටීම් එකේ මේ ලියන මට තිබ්බ ස්ථානය සුවිශේෂී ස්ථානයක් කියල කිව්වොත් නිවැරදියි... ක්‍රීඩාවට කවදත් ඒ තරම් දක්ෂ නැති දුවන්න පනින්න ටිකක් විතර කම්මැලි මට තිබ්බ හොඳම ස්ථානය තමයි විකට් කීපර් කියන සුවිශේෂී ස්ථානය...අපි ටෙස්ට් වරම් නොලබපු කණ්ඩායමක් නිසා නිරන්තරයෙන්ම සීමිත ඕවර තරඟ  තමයි පැවතුනේ.. ඒ හින්ද පිතිකරුවන් කොයිවෙලාවෙත් උත්සහ කරේ හැම පන්දුවකටම ලකුණක් ගන්න..එත් පන්දු යවන්නාගේ දක්ෂකමට බැට්ස්මන්ගෙන් මගහැරෙන පන්දුවක් විකට් කීපර් වෙච්චි මගේ අතේ නවතුනානම් ඒ බොහොම කලාතුරකින්.. ඒ හින්ද විකට් කීපර් උනාට මමත්  බොහෝදුරට කරේ මට අතැරෙන පන්දුව පස්සේ දුවපු එකම තමයි.. එත් අපේ හිටපු වේග පන්දු යවපු උන්දලාගේ පන්දුනම් මගේ කකුල් දෙක මැද්දෙන් ගිහින් නතර උනේ හතරේ සීමාවෙන් එහා.. අද වෙද්දී කව්රු මොන අසබ්ය වචනයකින් බැන්නත් ඇහුනෙ නෑ  වගේ ඉන්න මේ ක්‍රිකට් ක්‍රීඩාව මට  කොයිතරම් උදව් වෙන්න ඇතිද.. මට විකට් කීපර් විදිහට අත හැරෙන හැම පන්දුවකටම ටීම් එකේ ඉන්න අනෙකුත් සගයින් දන්නා කියන සියලුම අසභ්‍ය  වචන වලින් කිසිම අකමැත්තකින් තොරවම බඩපුරා සැලකුව කිව්වොත් තමයි හරි..කිසිම හිත අමාරුවකින් තොරවම අසභ්‍ය වචන අහගෙනම මම දිව්වේ මට මිස් වෙන පන්දුව පස්සෙ ..එත් මගෙන් මිස්වෙන පන්දු වලින් විරුද්ද කණ්ඩායමට ලැබෙන ලකුණු වලට උපරිම සාධාරණයක් කරන්න මමත් නොගත්තු උත්සාහයක් නැහැ..


පන්දු යැවීමෙන් අනතුරුව එළඹෙන පන්දුවට පහරදීමේ වාරයේදී අපේ කණ්ඩායම වෙනුවෙන් අම්පයර් වෙන්නේ ස්වේච්චාවෙන්ම සත්ගුණවත් මම.. ලෙග් අම්පයර් වෙන්නේ අපේ සම වයසේ දේවානන්ද විද්‍යාලයේ ඉගෙනගතපු දුලිප් හෙවත් හැමෝම දන්නා ඥානසිරි .. විරුද්ද කණ්ඩායම පන්දු යවන වෙලාවට මගේ ඇහැ නිතරම තිබ්බේ පන්දු යවන්නාගේ ඉදිරි පාදය දිහා.. යන්තම් ඉර ගාවින් කකුල තියල පන්දුව යවපු ගමන් "නෝ බෝල්" කියල ගිරිය යටින් කෑගහල කිව්වාම පිතිකරු ඉදිරියට ඇවිත් හයේ පහරක් , හතරේ පහරක් ගහන එක බොහෝදුරට සිද්දවෙන නිසා මගේ විකට් කීපින් කොහොමහරි අය වැය සමාන උනා.. එත් කුණුහරුප වරුසාව එතනිනුත් නවතින්නේ නැහැ.. "නෝ බෝල් " එක අල්ලපු ගමන් ඉති විරුද්ද කණ්ඩායම පටන් ගන්නවා මට එරෙහිව වාග් සංග්‍රහය.. ඒ වගේ හොර නෝ බෝල් කීපයක් අල්ලන්න මගේ ලෙග් අම්පයර් ඥානසිරි මහතාගෙන් ලැබෙන සහයෝගය මේ වෙලාවේ නොලීවොත් , හෝඩියේ පන්තියේ ඉඳන් පහ වසර දක්වා එකට මා එක්ක දේවානන්ද විද්‍යාලයේ අකුරු කරපු මිත්‍ර දුලිප්ට සාරාත් ඥානසිරි මහතාට  කරන අසාධාරණයක් වෙයි..( වෙනම ලිපියක් ඥානසිරි ගැන ලියන්න හිතාගෙන ඉන්නව   )..


පන්දුවට පහරදෙන්න ලැබෙන අවස්ථාවේදී මගෙන් කණ්ඩායමට ලොකු ලකුණු ප්‍රමාණයක් ලැබෙන්නේ නැත්තේ මට පන්දු එවන එවුන් නෝ බෝල් අල්ලන තරහටද මන්ද අනික් උන්ට වඩා වේගෙන් පන්දු එවන හින්ද වෙන්න ඇති..මම පන්දු ඕවරයක් පන්දුවට පහරදුන්නනම් ඒ බොහොම කලාතුරකින්.. හැමදාමත් බෝලෙන් දෙකෙන් එක්කෝ විකට් එක කුඩු, නැත්තම් කම්මැලිකමට ගහන පාරක් සිම්පල් කැච් එකක් විදිහට කාගෙහරි අතේ.. හැබැයි කලාතුරකින් හයක් , හතරක් නොගහුවම නෙවෙයි.. අවන්කවම කිව්වොත් ඒ හයේ හතරේ පාරවල් ගැහුවේ කොහොමද කියල අදටත් මම දන්නේ නැත්තේ එව්වා ඔක්කොම කනා ෂොට් හින්ද වෙන්න ඕන..


කාලයත් එක්ක අපි ක්‍රිකට් සෙල්ලම් කරපු ස්ථානයේ නවීන නිවාස ඉදිවෙන්න පටන්ගත්තු නිසාවෙන් අපිට සිද්ද උනා  වෙනත් විකල්ප ස්ථානයක් මේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වෙන්කරගන්න.. අපි ඒකට යොදන හොඳම ස්ථානය තමයි කුලරත්න පාර පැන්නයින් පස්සේ තියන හල්වතුර වෙල ගොඩකරපු දෙවැනි කොටස.. දැන් එම ස්ථානයේත් නිවාස හැදිලා නිසා අපි සෙල්ලම් කරපු තැන අද හොයාගන්නවත් නැති තරම්.. මේ කියන්නේ දැන් විවුර්ත විශ්වවිද්‍යාලය තිබෙන ඉඩම අවසන් වෙන මායිමේ ඉඳන් ඈතට විහිදිච්ච කොටස...


මුලින් සෙල්ලම් කරපු ස්ථානයට වඩා මේ අලුත් ස්ථානයේ අපිට භාධක අඩු උනා.. නියම ක්‍රිකට් ක්‍රීඩාංගනයක් විදිහට හතරේ සීමාව රවුමට සකස් උනා.. පිච් එකේ ඉඳන් හතරේ සීමාවට වටේටම එක හා සමාන දුරක් වෙන්න සීමාවන් සැකසුනේ ඒ ස්ථානය ඕනෑතරම් ඉඩකඩ තිබ්බ ස්ථානයක් නිසා..කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු නොවෙන කතාව වගේ අපේ එවුන්ගේ ගෝරි-බෝරි අඩුවකුත් නැතුව වගේම මට බෝල අතැරෙන එකත් අඩු නැතුවම සිද්ද උනා.. හැබැයි පෝරඹ පැත්තේ තියන ඇලෙන් එහාපත්තට හයේ පාරක් ගැහුවොත් බොලේ ගේන්න  යන්න උනේ බයිසිකලෙන්.. ඇල පළල නිසා උඩින් පනින්න බැරි හින්ද කව්රුහරි එකෙක් බයිසිකලේකින් කුලරත්න පාරට ගිහින් පාලමෙන් ඇලෙන් එගොඩ වෙලා ඇල අයිනෙන්  තියෙන පාර දිගේ බයිසිකලෙන් ඇවිත් තමයි පන්දුව සොයාගන්නේ..


මේ ලිපියේ කතා නායක වෙච්චි අපේ දුමින්ද දේවානන්ද විද්‍යාලයේ බැඩ්මින්ටන් කණ්ඩායමේ ඉතාම දක්ෂ නියෝජනයක් වගේම අපේ ක්‍රිකට් ටීම් එකෙත් දක්ෂයෙක්.. වර්තමානය වෙද්දී දුමින්ද ශ්‍රී ලංකා පොලිසියට අනුයුක්ත බැඩ්මින්ටන් කණ්ඩායමේ ප්‍රභල සාමාජිකයෙක් බවයි ආරංචිය..මම වගේ හොරට ක්‍රිකට් ගහපු කීප දෙනෙක් අතරේ බොක්කෙන්ම කණ්ඩායමට දායකත්වයක් දක්වපු උදවියගෙන් එක්කෙනෙක් උනේ දුමින්ද.. දුමින්දගේ පිත්තෙන් සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් කණ්ඩායමට එකතු උනා වගේම විකට් කීපර් විදිහට මගේ අතිනුත් හුඟක් දුමින්ද එවපු පන්දු අතැරුනේ නැත්තේ දුමින්ද මදවේග පන්දු යවන්නෙක් නිසා..


ක්‍රිකට් ටීම් එක ටිකක් තත්වෙකට එද්දී අහල පහල සංවිධානය වෙන සය සාමාජික ක්‍රිකට් තරඟ වලට වගේ සහභාගී වෙන්න අපේ කණ්ඩායමත් ටිකෙන ටික සුදුසු උනා... සය සාමාජික වගේ තරඟ වලදී  මාව විකට් කීපර් විදිහට යොදාගන්න තරම් අපේ කණ්ඩායමේ එවුන්ට මන්ද මෝල් තත්වයක් තිබ්බෙම නැති නිසා කණ්ඩායම තරඟ කරපු එකම සය සාමාජික තරඟයකටවත් මම සෙල්ලම් කරේ නැහැ..

ඔන්න දවසක් අපේ කණ්ඩායම සය සාමාජික තරගයකට යන්නයි ලැහැස්තිය.. මතක විදිහට මේ තරඟය පැවැත්වුනේ මීටියාගොඩ කිරලගහවෙල පාසල් පිට්ටනියෙ ..ඒ වෙද්දී කණ්ඩායම සුපිරිම නැති උනත් කරට කර තරඟයක් දෙන්න පුළුවන් තැනක තමයි උන්නේ..
ඔන්න තරඟය පටන් ගත්තයින් අනතුරුව අපේ එවුන් විරුද්දව වැටිච්ච හැම කණ්ඩායමක්ම පරාජය කරලා අවසන් මහා තරඟයට තේරිලා කියහල්ලකෝ... ටීම් පනහක් හැටක් සහභාගී වූ මහා පරිමානයේ තරඟාවලියක් වෙච්චි මේ ක්‍රිකට් තරඟයේදී අපේ එවුන් අවසන් මහා තරඟයට ආපු එකත් අපිට මාර සන්තෝසයක්..


හවස් වෙද්දී පිට්ටනිය වටෙත් තුන් හාරසීයක ජනතාවක් එකතු වෙලා.. අවසන් මහා තරඟය නරඹන්න ජනතාව නොඉවසිල්ලෙන්... ඔන්න අපේ එවුන් හා හා පුරා කියල ටොස් එක පරාදයි.. ඒ කියන්නේ අරුන් ඉස්සෙල්ල බැටින් .. දක්ෂ කණ්ඩායමක් වෙච්චි විරුද්දවාදීන් ඕවර පහට අපේ එවුන්ට නෙළුව නෙලිල්ලක් ඇට්ටි හැලෙන්න කියහල්ලකෝ.. ඔන්න දැන් අපේ එවුන්ගේ පන්දුවට පහදීමේ වාරය... හැම පැත්තෙන්ම අවාසිය අපිට.. අපේ විරුද්ද කණ්ඩායම ඒ ගමේ කණ්ඩායමක්.. පිට්ටනිය වටේ එකතු වෙලා ඉන්න මුළු ගමේම ගැහැණු, පිරිමි, මල්, පලතුරු ඔක්කොම හුරේ දාන්නේ උන්ගේ ගමේ කණ්ඩායමට...


ඔන්න අපේ එවුන් පන්දුවට පහර  දෙන්නයි යන්නේ...
දෙයියනේ කියල අපේ එවුන් බොහොම අඩු ලකුණු ප්‍රමාණයකට එකා පිට එකා අවුට් වෙද්දී දුමින්ද විතරක්  කඩුල්ල රැකගෙන ලකුණු ටිකක් රැස්  කරා... මුළු පිට්ටනියම ජයගෝෂාවෙන් ඉතිරිලා..
අවසන් පන්දු ඕවරය.. අන්තිම විකට්ටුව... පන්දු හයට ලකුණු 30 ක් අවශ්‍යයි දිනන්න.. දැන් මුළු ගමම දිනලා වගේ... හෝ ගාල සද්දෙ .. මොන විදිහට තර්ක කරත් අපි පරාද වෙන්න තියන ඉඩ කඩ හුඟක් වැඩියි.. ඒ කියන්නේ සුවර් එකටම අරුන් කප් එක උස්සන්න නියමිතයි..




අවසන් පන්දු ඕවරය... පලවෙනි පන්දුව.. කරුමෙට දුමින්දය ගහපු පාර වැදුනේ නැහැ කියහන්කෝ.. කීපර් ඉන්නේ මම නෙවෙයි නිසා පන්දුවත් සුරැකිව කීපර් අතේ.. ලකුණු නොමැත.. මුළු පිට්ටනියම ජය ගෝෂා.. පන්දු 5යි.. ලකුණු 30ක් අවශ්‍යයි...
ඊළඟ පන්දුව... පිට්ටනිය ටිකක් නිහඬ උනා.. සන්තෝසයේදීත් , කේන්තියේදීත්  මුණ ජම්බු ගෙඩියක් වගේ රතු වෙන අපේ සම්පත් මුළු පිට්ටනියටම ඇහෙන්න කෑගහල කිව්වා..
"දුමින්ද  හයේ ඒවා පහක් ගහපන් "
ඒක ඇහිච්ච මුළු පිට්ටනියම හු හු හු ................... කියන්න පටන් ගත්ත සම්පතයට... සම්පතයාගේ මුණ ජම්බු ගෙඩිය වගේ රතු වෙලා...
අන්තිම ඕවරය .. දෙවැනි පන්දුව... ඉතාමත් වේගවත් පන්දුවක්...ඉදිරියට පැන දුමින්ද එල්ල කරපු පහර කෙලින්ම ලකුණු හයයි...
අපිට හුරේ දාන්න කව්රුවත් නැහැ... මුළු ගමම අරුන්ට චියර් එක... අපි ටික දෙනා විතරක් ගල් ගැහිලා බලන් ඉන්නවා.
අන්තිම ඕවරය.. අවසන් කඩුල්ල..රුහුණු කුමාරියටත් වඩා දෙතුන් ගුණයක් වේගයෙන්  තුන්වෙනි පන්දුව ...ඉදිරියට පැන දුමින්ද එල්ල කරපු පහර කෙලින්ම ලකුණු හයයි...
ගමේ එවුන් ටිකක් සද්දේ අඩුයි.. එත් උපරිම චියර් එක ගමේ ටීම් එකට... පන්දු තුනයි.. ලකුණු 18ක් අවශ්‍යයි...
අන්තිම ඕවරය.. අවසන් කඩුල්ල.. හතරවෙනි පන්දුව ...ඉදිරියට පැන දුමින්ද එල්ල කරපු පහර කෙලින්ම ලකුණු හයයි...
ගමේ එවුන් සද්දේ දැන් ටිකක් අඩු උනා... අපි දුමින්දට උපරිම චියර් එක... තව පන්දු දෙකයි .. ලකුණු 12ක් අවශ්‍යයි...
පස්වෙනි පන්දුව... ඒ කාලේ ලෝකේ හිටපු  වේගවත්ම පන්දු යවන්න වුනු  ග්ලෙන් මැග්‍රාත්ටත් වඩා වේගෙන් උන්  පන්දු එවන්නේ.. මම බැට්  කරානම් විකට් කුරු තුන අල්ලන්න කීපර්ල තුන්දෙනෙක් දන්න වෙන තරම්  වේගවත් පන්දු... ඉදිරියට පැනපු දුමින්ද  එල්ල කරපු වේගවත් පහරින් කෙලින්ම ලකුණු හයයි...
ගමේ සද්දේ මීයට පිම්බ වගේ... අවසන් පන්දුව.. දිනුමට ලකුණු හයක් අවශ්‍යයි...සම්පත්ගේ මූන  රතුම රතුයි... අපි ටිකදෙනා දුමින්දට උපරිම චියර් එක..
වේගවත් පන්දුවක්... පිච් එක මැදට ඇවිදන් ආපු දුමින්ද ගහපු පාරෙන් කෙලින්ම ලකුණු හයයි.... හුරේ... තරගාවලිය අපි දිනුම්... අපි කිව්වට දුමින්ද අපිව දිනෙව්ව ...


අපි පිච් එකට දිව්වේ කෑගහගෙන... අඩි හයකටත් වඩා උස සම්පත් අපිට කලින් පිට්ටනිය මැදට දුවගෙන ගිහින් දුමින්දයව උස්සගත්ත.. හයේ ඒවා පහක් ගහපන් කීව වෙලේ සම්පතයට හූව දාපු එවුන් දිහා සම්පතය පිට්ටනිය වටේ රාක්ෂ බැල්මක් දාල දුමින්දවත් උස්සගෙන පිට්ටනියෙන් ආවෙ .. හවස් වෙද්දී අපේ කණ්ඩායමට හිමි මුදල්  ත්‍යාගයත් , කුසලානයත් අරගෙන අපි ගෙවල් බලා ආවේ සන්තෝසේ පපුවේ පුරෝගෙන..




අදත් ක්‍රිකට් මතක් වෙද්දී දුමින්ද තමයි මගේ ගමේ ක්‍රිකට් වීරයා.. අදත් මට  දුමින්ද ගැන තියන ප්‍රශ්නය නම් ඇයි  දුමින්ද ඉස්කෝලේ ක්‍රිකට් නොගහ  බැඩ්මින්ටන් සෙල්ලම් කරේ කියන එකයි..බැඩ්මින්ටන් වලින් අද ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය  කරන දුමින්ද පාසල් ක්‍රිකට් ගැහුවනම් ජාතික තලයට යන්න තිබුන කියල අදත් මම විශ්වාස කරනව.

කාලයාගේ අවෑමෙන් අපේ හල්වතුර ක්‍රීඩාංගනය නිවාස හැදිලා ජනාකීර්ණ වීමත් එක්ක අපේ  ක්‍රිකට් නිමා උනා... කට්ටිය එකා දෙන්න විසික් උනා.. විසික් වෙන්න බැරි උන එවුන් ටික්කගේ ගරාජ් එකේ කැරම් බෝර්ඩ් එකක් තියාගෙන ඒ වටේ එකතු උනා.. කැරම් බෝර්ඩ් එක යටින් වීදුරු බෝතල් ගැටෙන සද්දේ හෙමින් හෙමින් ඇහෙන්න ගත්ත..එකම දුම් වැටිය කැරම් ඩිස්ක් එකත් එක්කම සමාන්තරව බෝර්ඩ් එක වටේ අතින් අත මාරු උනා..ක්‍රිකට් ගැහිල්ල වගේම කැරම්  ගැහිල්ලත් නැගල ගියා.. හතරදෙනෙක් කැරම් ගහද්දි දහයක් විතර බලන් උන්න පරාද වෙන එවුන් නැගිට්ටුවල වාඩි වෙන්න.. හල්වතුරේ ගෙවල් හැදෙන්වත් එක්කම හල්වතුරේ ක්‍රිකට් ගහපු ටීම් දහයක් පහළොවක් හවසට යන්න එන්න තැනක් නැතුව අවතැන් වෙලා බෝතලයක් වටේ එක්තැන් උනා...අද ක්‍රිකට් කණ්ඩායමත් කැරම් කණ්ඩායමත් බහුතරයක් තාත්තල වෙලා....

හල්වතුරේ ගෙවල් හැදෙන්නේ නැතුව දිගටම ක්‍රිකට් ගැහුවනම් ඉතින් මටත් විකට් කීපර් කෙනෙක් විදිහට ලෝකේ පුරා සුප්‍රසිද්ද විකට් කීපර් කෙනෙක් වෙන්න තිබුන නේද කියලත් හිතෙනව...LOL