Thursday, December 31, 2015

ගැලරියේ 31st Night



මේ ලියන්න යෙදෙන සිදුවීම ලියන්න හොඳම දවස අද හෙවත් දෙසැම්බර් තිස් එක වෙනිදා කියල හිතුන නිසා තමයි තකහනියෙම මේ සිදුවීම ලියන්න හදන්නේ ඔන්. දැන් ඉතින් කියන්න එපා මූ බීලද කොහේ කෙහෙල්මල් තිස් එකක් ගැන කියන්වනවා ජනවාරි පළවෙනිදා වෙලා තියෙද්දිත් කියල. සිරිලංකා මාතාවට මේ වෙනකොට ජනවාරි පළවෙනිදා අලුයම උනාට මම ඉන්න රටට තවම දෙසැම්බර් තිස් එක්වෙනිද හවස ඕන්. 

ඉස්කෝලෙන් අයින් වෙලා රැකියාවල් කරන්න පටන්ගත්තයින් පස්සේ විදේශගතවෙනකම්ම උදාවුණු හැම දෙසැම්බර් තිස් එක්වෙනිදාවක්ම ජනවාරියට එලිවුනේ  මද සිහියෙන්. දෙසැම්බර් තිස් එක්වෙනිද රෑ කියන්නේ කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් මද්‍යසාර ටිකක් වැඩිපුර ශරීරගතවෙන රාත්‍රියක්. 

අපේ එවුන් ඒ රාත්‍රියට ලකලැහැස්ති වෙන්නෙ සති දෙකතුනක විතර ඉඳගෙන. තමුන්ගේ නිවෙස්වල එහෙම කනබොන සාදයක් පවත්වන්නට කොන්ද පන තිබුන එවුන් දෙසැම්බරයේ මුල ඉඳන්ම දන්නා කියන හිතවතුන්ට ඒ ගැන කලින්ම මතක් කරන එක තමයි වඩාත්ම වැදගත් රාජකාරිය වුනේ. ලස්සනට සින්දු කියන්න පුළුවන් එවුන්ට, ඩොල්කි ගහන්න පුළුවන් එවුන්ට, ගිටාර් ගහන්න පුළුවන් එවුන්ට මාසේ මුලදීම ආරාධනා පත්‍ර ලබාදීම සිදුකරන්නේ ඒ හැකියාවල් තියන උදවියට දෙසැම්බර් තිස් එක රැය කියන්නේ අධික ඉල්ලුමක් තිබ්බ රාත්‍රියක් නිසා. 

ඊට අමතරව සාමාන්‍ය ආරාධිත පුද්ගලයින් ලැබෙන පළමු ආරාධනයට පොරොන්දු පත්‍ර අත්සන් කිරීමද තිස් එක්වෙනිදා පාර්ටියේ විශේෂත්වයක්. දෙසැම්බර් තිස් එක පාර්ටියේ තියන අව පක්ෂයේ ලක්ෂණ තමයි බීල කුදාර් වෙලා වලි  දාගෙන ඔලු පලාගෙන වාතෙ වෙන එවුන් කොතරම් යාලුවා උනත් මොනම ක්‍රමයකින් හරි පාර්ටියෙන් හලා දැමීමට උත්සහ දැරීම. එත් එහෙම හැලෙන වාත වෙන උදවිය වෙන පාර්ටියකින් නාහේ ගාවට බීල තමුන්ව නොසලකාහැරි මිතුරන් පිරිස සිටින පාර්ටියට ඇවිත් ගෝරියක් ඇදගැනීම  සමහරක් තැන්වල වෙන සාමාන්‍ය දෙයක්. 

එවන් ප්‍රියසම්භාශනයක් මාගේ නිවසේ සංවිධානය කිරීමට මට කොන්ද පන තිබුනේ නැත්තේ එවන් සාදයක් පැවැත්වීම තුලින් එතෙක් ආරක්ෂාකරගෙන ආපු මාගේ උපගෘහමුලිකකම එක රැයින්ම අවලන්ගුවෙන නිසා. ඊට අමතරව එවන් සාදයක් නිවසේ පැවැත්වීමට උත්සහ නොකලානම් එහෙම නොකළේ එහෙම සාදයක් පැවැත්වුවහොත් එතෙක් ආරක්ෂාකරගෙන තිබුන මාගේ අමද්‍යප වෙස්මුහුණ ගැලවෙන නිසාත් එම වෙස්මුහුණ ගැලවීමත් සමගම තුන් වේලටම නොමිලයේ ලැබෙන ආහාරපාන සලාකය සහ සනීපෙට සිනිඳුවට නිදාගන්න ලැබිල තියන ආදරණීය යහන් ගබඩාව අහිමිවීමේ අවදානමද වුනා. 

බෑන්ඩ් පිස්සුව හැදිලා බෑන්ඩ් ගහපු කාලෙනම් දෙසැම්බර් තිස් එක්වෙනිදා රාත්‍රිය කියන්නේ බෑන්ඩ් එකට පාර්ටියක් වරදින්නේ නැති රැයක්. බෑන්ඩ් ගහද්දි නම් දෙසැම්බර් තිස් එක කියන්නේ සනීපෙට සිනිඳුවට බියර් ටිකක් බීල බැදපු කුකුලෙක් දෙන්නෙක් බඩට දාගන්න බැරි දවසක් වෙන්නේ එහෙම කාපු බීපු එවුන් වෙරි හිඳෙනකල්ම නටවන්න වෙන්නේ සංගීතය සපයන අපිට වෙන නිසා. 

වෙන දවස්වලට වගේ සංගීතය කලින් නවත්වන්න බැරි වෙන එකම දවස දෙසැම්බර් තිස් එක්වෙනිදා උනාට එහෙම නැති දවසකත් අපේ සංගීත කණ්ඩායමට එහෙම අකරතැබ්බයක් උනා. අමුගොඩ පැත්තේ වෙඩිමකට සංගීතය සපයන්න ගිය අපිට උදෑසන හය විතර වෙනකම් මුළු ගමටම සංගීත ප්‍රසංගයක් කරන්න සිද්ද උනේ අපි රෑ දොළහට විතර සංගීතය නවත්වන්න උත්සහ කරපු වෙලාවේ ගමේ හිටපු චන්ඩි බන්ඩි කුරුඳු කැති, මන්නා පිහි, කඩු එහෙම අරගෙන ඇවිත් මැරුම්නොකා ආයේ පටන් ගනිල්ලා කියල බොහොම ආදරෙන් අපෙන් ඉල්ලා සිටිය නිසා.

පසුකාලීනව සංගීත  කණ්ඩායමෙන් ඉවත්වීමත් එක්කම දෙසැම්බර් තිස් එක කියන්නේ මට කිසිම කලබලයක් නැතුව හිතේ සන්තෝසෙන් කන්න බොන්න පුළුවන් වුන දවසක්. අපේ තඩියාලා, රවියලා, බතලයලා සෙට් වෙන පාර්ටියක උනත් තිස් එක්වෙනිදා කියන්නේ මට ටිකක් වැඩිපුර බයිට් සලාකයක් ලැබෙන දවසක්.

සමහරක් දෙසැම්බර් තිස් එක්වෙනිදා දවස් වලට තුඩුවමුල්ල තඩියා ප්‍රමුක බෝඩිමේ සෙට් එක පාර්ටිය සෙට් කරේ අඟුල කුලියට අරගෙන ගිහින් කොහේ හරි නිස්කලංක තැනක. එව්වට ඉතින් මුලිකව කටයුතු කරේ අපේ තඩියා නොහොත් පහල කමෙන්ට් කරන චමිලයා. අඟුලේ පාර්ටියට සහභාගී වෙන්නේ සීමිත පිරිසක් වෙන්නේ අඟුලේ ගමන් කරන්න පුළුවන් බොහොම සීමිත සංක්‍යාවක්  විතරක් නිසා. 

අඟුල පැදගෙන ගඟ දිගේ යන සෙට් එක ගඟ අයිනේ හම්බවෙන හොඳ තැනක් බලල අඟුල පාර්ක් කරලා වටපිටේ පන්දම් පත්තු කරල එහෙම සුද්දබුද්ද කරලා ලස්සන පරිසරයක් ගොඩනගන්න හරිම දක්ෂයි. එහෙම පටන්ගැනෙන සාදය අලංකාර වෙන්නේ ලස්සනට ගැයෙන ගීත සමූහයක් එක්ක.  අඟුලේ පාර්ටියේ තියන වාසියනම් වලි දාගෙන ඔලුපලාගන්න උදවියට ළඟාවෙන්න බැරි තැනක මෙම සාදය පැවැත්වීමයි. භූමියේ ඉන්න මත්පැන් ලෝලීන් රිසිසේ මත් වතුර බොමින් බයිට් කමින් විනෝදවෙන අතරතුරේ උඩුගුවනේ සැරිසරන්න කැමති උදවිය වෙනදාට වඩා ලොකු ප්‍රමාන වලින් රොකට් සාදාගෙන ගුවන්ගතවීම සාමාන්‍ය දෙයක්. 

අඟුලේ පාර්ටියේ තියන අවාසි සහගත කොටසනම් නොබී සිටීම නොහොත් මත් නොවී ඉන්න එකයි. අවාසනාවට ඇත්ත කතාවක් කියන එක සැබෑ වෙන්නේ අඟුල ආපහු ගමට පැදගෙන එන්න හබල් ගාන්න වෙන්නේ නොබී හිටපු එවුන්ට වෙන නිසා. කන පැලෙන්න බීපු එවුන් අඟුලේ හරහට දපා නිදාගැනීම සාමාන්‍ය දෙයක් වගේම ත්‍රයිලෝක සුවයේ ආධාරයෙන් ගුවන්ගතවුණු උදවිය හබලත් එක්ක තනියම හිනාවෙමින් ඉන්න අතරතුරේ සිහි කල්පනාවෙන් ඉන්න එවුන්ට  අනික් උන්ගේ මවුගුණ ගයමින් හබල් ගාගෙන ගමට එනකොට ජනවාරි පලවෙනිදටත් එලිය වැටිල ඕo. 

ඒ කොයියම් තරම් මද්‍යසාර සරීරගත වෙලා තිබුනත්, වෙන කාගෙහරි රොකට් එකක එල්ලිලා ගිහින් හඳට කිට්ටු කරලා හිටියත්  අපේ තඩියට අඟුලේ කැප්ටන්කම කරන්නම සිද්දවෙන්නේ ඉස්සරහ හබල් ගාන එවුන් මොනතරම් වීරියෙන් හබල් ගෑවත් අඟුලේ ධාවනයවන දිශාව තීරණය කරන්න පුළුවන් පසුපසින් හබල් ගාන කැප්ටන් උන්නැහේට නොහොත් පල්ල අල්ලන පුද්ගලයාට නිසා . ඒ  වැඩේ හැමෝටම කරන්න පුළුවන් රාජකාරියක් නොවෙන නිසා ඔලුව සාක්කුවේ දාගෙන හරි අපේ තඩියා අඟුලේ පල්ල අල්ලන වැඩේ නොකරන්න අඟුලේ ගිහින් පාර්ටි දාපු එවුන්ට ගඟ මැද රවුං ගහනවා ඇරෙන්න ජනවාරි මුල් සතිය ඉවරවෙන්න කලින්වත් ගමේ එනවනම් බොරු පුතේ.  

තණකොළ මිටියයි එළුවයි කොටියයි  එගොඩවෙච්චි කතාවේ වගේ, එක දවසක් මාදු ගඟ මැදදී අකරතැබ්බයක් වෙච්චි අපිට අන්තිමේ ගොඩ එන්න වුනේ එක ඔරුවක් පස්සෙන් පස්සට පැදගෙන. යන්තම් සන්තම් එදා එකෙක් දෙන්නෙක් කිඹුලා කන්න හරි ගිලිලා මැරෙන්න හරි තිබ්බ චෑන්ස් එක ගිලිහුනේ අපේ පාස්පෝර්ට් කතාවේ බතලයා ස්ව කැමැත්තෙන්ම ඔරුවෙන් වතුරට පැනල ජුලියන් බෝලින්ටත් වඩා වේගයෙන් ගොඩ පීනපු  නිසා. ඒ කතාව වෙනමම ලියන්න ඕන ත්‍රාසජනක සිද්දියක්. 

ලියන්න ආපු කතාව  ගිහින්  අන්තිමට නතරවුණේ මාදු ගඟේ නිසා දැන්වත්  පොස්ට් එකට උක්ත වෙච්ච දෙසැම්බර් තිස් එක සිද්දිය ලියන්නයි දැන් මේ හදන්නේ. ඔන්න මේ සිද්දිය උනේ දෙදහස් තුන අවුරුද්දේ කියලයි අක්මාව කියන්නේ. මද්‍යසාර සම්භන්ධ කතා වැඩිහරියක් මතක තියෙන්නේ මොලේට නෙවෙයි අක්මාවට කියලයි මම හිතන්නේ. ඔන්න දෙසැම්බර් දෙවැනි සතිය අවසන් වෙද්දී පාර්ටි දාන උදවියගෙන් ආරාධනා ලැබෙන්න පටන්ගන්න නිසා අපේ බඩ තඩියා නොහොත් සුනාමි කතාවේ මගේ මිත්‍රයාගෙන් දුරකථන ඇමතුමක්..

මචන් මොකද හදිසියේ ..

පොඩි වැඩකට කථා කරේ..

කියහන්කෝ බලන්න වැඩේ මොකක්ද කියල 

මචන් තිස් එක රෑ උඹල කොහේ හරි පාර්ටියක්ද 

නැහැ බන් තාම මුකුත් කතාවක් දැම්මේ නැහැ ඒ ගැන 

අපි කට්ටිය අපේ ගෙදර සෙට් වෙන්න කියල හැදුවේ.. උඹත් එහෙනම් වරෙන් හරිද..

හරි මචං බලමු එහෙනම්..

මොනවා බලන්නද බන් .. අනිවාර්යෙන් උඹ එන්න ඕන..

ඕක ගෙදර නැතුව වෙන කොහෙවත් තිබ්බනම් ඉතින් අනිවාර්යෙන් එනවා බන්.. එත් බොලෑ ගෙදර කිව්වාම ටිකක් අවුලනේ බන්..

යකෝ.. දැන් මේකේ මට ඉහලින් කුරුල්ලෙක්වත් ඉගිල්ලෙන්නේ නැහැ.. ඔක්කොම මම බලාගන්නම් උඹ වරෙන්කො..

තව කව්ද එන්නේ කියහන්..

උඹයි, අපේ සනායි , අපේ මස්සිනයි , මමයි , තව අපේ වයිෆ්ගේ නැන්දගේ පුතයි... එච්චරයි බන්..

හරි මචන් මම එන්නම් අනිවාර්යෙන්..

උඹ සනාට කිව්වද කිව්වද..

නෑ මම උඹටයි ඉස්සෙල්ලම කෝල් කරේ.. දැන් සනාට කෝල් එකක් අරන් කියන්නම්..


දැන් දැන් සුවර් නැති උනත් ඒ වෙද්දීනම් එතුමාගේ ගෙදර ගෘහමුලික පොස්ට් එක තරු පටි සියල්ලම සමග තිබ්බේ එතුමා ගාව නිසා උනත් මම දැනුවත්ව උගේ සුනාමි අහුවෙච්චි ගෙදර දාපු පලවෙනි බොන පාර්ටිය තමයි දෙසැම්බර් තිස් එක පාර්ටිය.

වෙන තැනක සෙට් උනානම් මදි පාඩුවට කුමන හෝ වර්ගයක මත්පැන් බෝතලයක්, සිගරැට් පැකට්ටුවක් වගේ දෙයක් අරගෙන යාම සිරිතක් උනත් අපේ මිත්‍රයාගේ පාර්ටි වලට යද්දී අපිට අරන් යන්න වෙන්නේ සිගරැට් විතරමයි . බයිට් කෑමට සහ කෑමට මටත් එහා  කප් ගහපු එකෙක් වෙච්චි මගේ අතිජාත මිත්‍රයා පාර්ටියක් සංවිධානය කරනවානම් එතන මොනවා නැතත් බඩපුරා කන්න මාළු ජාති දෙක තුනක්, ඉස්සො දැල්ලෝ වගේම කුකුළු මස් බයිට් අනිවාර්යෙන්ම තියෙනවාමයි. 

එවකට මගේ මිත්‍රයා සතුව බහුදින යාත්‍රාවකුත් තිබුන නිසා මාළුවලින් හිඟ පාඩුවක් කොහෙත්ම තිබුනේ නැහැ. මුළු පාර්ටියටම අවශ්‍යවෙන සිගරැට් සපයන්න අපේ අනුග්‍රාහක භාවතාට වත්කමක් තිබුනත් උපන්තේකට දුම්වැටියක් කටේ නොතියපු එකෙක් වෙච්චි මගේ මිත්‍රයාට හැමදාම සිගරැට් අමතකවීම සාමාන්‍ය දෙයක්. ඒ ඌ සිගරැට් නොබොන නිසා මිසක් ඌ සිගරැට් බොන එකෙක් උනානම් පාර්ටියට සිගරට් කාර්ටුන් දෙක තුනක් ගේනවා සහසුද්දයි.

ඔන්න කොහොමින් කොහොමින් හරි තිස් එක්වෙනිදත් උදාවුනා කියමුකෝ. මමත් රැකියාවට ගිහින් ඇවිත් නාකියාගෙන ලැහැස්ති වෙලා ගත්ත අපේ සනාට කෝල් එකක්..

බීප්.. බීප්..........බීප් ..බීප්...........බීප් 

උඹ ලෑස්ති ද ..

විනාඩි පහෙන් ලෑස්තියි..

හරි එහෙනම් මම එනව ... මම තිබ්බ ..

අම්මේ මම යනවා ..

රෑ නොවී එන්න යන තැනකින්..

අද දෙසැම්බර් තිස් එකනේ අම්මේ.. ඒ හින්ද එන වෙලාව ෂුවර් නැහැ..


මාස දෙකක් විතර නිවාඩු නැතුව එක දිගටම අද්දනේ අම්මා.. ඒ හින්ද හෙට නිවාඩුවක් දානවා..

අවුරුද්දේ මුල නිවාඩු දානවද ළමයෝ..

කවද දැම්මත් තියෙන්නේ නිවාඩු හතලිස් පහයිනෙ අම්මේ.. ඔන්න ඔහේ මොනා වෙනවද නිවාඩුවක් දැම්මට..

අනේ මන්ද ..තාත්ත එක්ක බේරගන්න වෙයි ..

ඇයි තාත්තද මට නිවාඩු අනුමත කරන්නේ ...ඒක හෙටනෙ අම්මේ.. මම යනෝ..

ඔන්න මමත් සනා විසින්ම ජැක් ගහල විනාස කරපු මගේ මෝටර් රථයෙන් පිටත්වුනා බඩ තඩියා නොහොත් මගේ හිතාදර මිත්‍රයාගේ ගෙදර පාර්ටියට යන්න. යනගමන් සනාව ගෙදරින් අරගෙන යන්නයි හිතාගෙන ගියේ. සනාගේ ගෙදර ගාවට ගිහින් හොර්න් එක ගැහුවාම මෙන්න මු තාම ටවල් එක පිටින්.

එන්නේ නැද්ද බන්..

විනාඩියෙන් එනවා..

විනාඩියෙන් කිව්වට විනාඩි පහොලොවක් විතර මාව රස්තියාදු කරපු සනා ඇවිත් කාර් එකට නගිනකොට සනාගේ මවුතුමියත් එළයට බැහැපි. සනාගේ මවුතුමියගේ ඇස්දෙකට වැලිගහල මාරුවෙනවා කියන්නේ හීනයක්.

දැන් කොහෙද යාළුවො දෙන්න එක්ක යන්නේ..

යාලුවෙකුගේ ගෙදර පාර්ටියක් ඇන්ටි .. ඉතින් පොඩ්ඩක් ඔලුව දාල එන්න කියල..

රෑට එනවද උදේද එන්නේ.. උඹල එනවා කියල කියන වෙලාවට වඩා පැය හත අටක් පරක්කු වෙලානේ කොහොමත් එන්නේ ..

අම්මේ මම මුන්ගේ ගෙදර ඉඳල උදේම එන්නම්.. නැත්තම් අම්ම දොර අරින්න ඇහැරෙන්න එපයි..

අප්පේ උඹේ ආදරේ.. 

(ඇන්ටි එහෙම කිව්වට සනාගේ මුළු ලෝකෙම උගේ අම්ම කියල දන්නා ඌට ඉන්න එකම යාළුවා මම විතරයි..එහෙම බය නැතුව මේකේ ලියන්න පුළුවන් සනාගේ වයිපරේ මේක කියවන්නේ නැති විත්තිය ඉන්තේරුවෙන්ම දන්නා නිසාත් සනා කියන්නේ අනවර්ථ නාමයක් නිසාත් හින්දයි. සනාගේ වික්‍රමය පොස්ට් එක ලිව්ව දවසේ ඉඳන් සනා මා එක්ක කතා කරන්නෙම නැත. දන්නා කියන සන්නිවේදන මාද්‍ය සියල්ලෙන්ම අමතල අසාර්ථක වෙච්චි නිසා  මම මේ කල්පනා කර කර ඉන්නේ කෙල්ලෙක් ලියන විදිහට සනාට පෙම් හසුනක්වත් ලියල යවන්නයි. එහෙම යවන පෙම් හසුන සනාගේ වයිපරේට මාට්ටු උන ගමන් සනා හැරෙන තැපෑලෙන් මාව අමතන එක අනිවාර්යයි.)

ඔන්න සනාත් ඇඳපැළඳගෙන ඇවිත් කාර් එකේ ගොඩවුනා. 

මොනාද ගෙනියන්නේ..

දුමක් අරගෙන යමන්.. අනික්වා ඔක්කොම ඇති බන්..

කෝකටත් කෝල් එකක් ගහල බලහන්..

හිටහන් බලන්න..

බීප්..බීප්..........බීප්..බීප්.........බීප්..

අඩෝ මොනාද ගෙන්න ඕන...

හෙලෝ...පොඩ්ඩක් ඉන්න... මෙයා ෆෝන් එක කාමරේ දාල ගිහින්.. (හුටා... බඩා මහත්තයාගේ වයිපරේ ෆෝන් එක අරන් තියෙන්නේ )

ඒයි මෙන්න කෝල් එකක්..

ඔයා කතාකරලා බලන්නකෝ කව්ද කියල ඒයි ..මම පොඩි වැඩක්..

මට බෑ අනේ.. ඔයාම කතාකරලා බලන්නකෝ... 

අපේ එකාගේ අතට ෆෝන් එක දෙනකම් මම උන්නේ දියෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ ගැහි ගැහී.. මොකද කියනවනම් අපේ මුළු මිත්‍ර සමාගමම යකෙකුටවත් බයනැති උනාට අපේ බඩ තඩියගේ වයිපරේට ෆේස් කරන්නනම් ටිකක් නෙවෙයි සෑහෙන්න බයයි. 

හෙලෝ.... මම බන්.. මොනාද ගේන්න ඕන...

මුකුත් ඕන නෑ ...කට්ටිය ඇවිත් ඉන්නේ.. උඹල දෙන්න විතරයි අඩු...

හරි මචන්.. අපි එනගමන්.. බායි...

මිත්‍රයගෙ ගෙදර කාමරේක සංවිධානය වෙලා තිබ්බ පාර්ටිය අපි යද්දී ජයටම පටන් අරගෙන. දැන් දැන් ලොකු ලොකු සැර රටබීම ජාති බොන්න පුරුදු උනාට මගේ තඩි මිත්‍රයා ඒ කාලේ සුපිරි බියර් ලෝලියෙක්. ඒ හින්ද කාමරේ මුල්ලක සහ ශීතකරණයේ අසුරලා තිබ්බ බියර් බෝතල ප්‍රමාණය විස්සකට වැඩියි. පාර්ටියේ පිරිස පස්දෙනයි.

ගැලරි බෝතල් හතරකුත් (ගැලරි යනු මත්පැන් වර්ගයක් බව ගැලරි ගැන නොදන්නා බවලත් උදවිය වටහාගනු මනාය. එක බෝතලයක ලීටරයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අඩංගු වේ) අනුපාන වශයෙන් කොකාකෝලා, සෝඩා ඇති තරම්ද , අයිස් කැටද, මාළු ජාති කිහිපයකින් සෑදුන බයිට් ඇති තරම්ද, ඩෙවිල් ක්‍රමයට සෑදු කුකුළු මස් ද නාන්න තරමට සාදා තිබු සාදයේ ගැලරි බීම සඳහා මා මිත්‍රයාගේ මස්සිනාත්, සනාත් එකෙන්ම ඉදිරිපත් වුයේ ඔවුන් දෙදෙනාම බියර් බීමට වැඩි කැමැත්තක් නැති පුද්ගලයින් වන නිසා. 

සාදයේ අනුග්‍රාහක තැන්පත් මා මිත්‍ර තඩියා (බඩ) ඔහුගේ විසල් උදර කුහරය පිරවීමට එකෙන්ම තෝරා තිබුනේ බියර් විතරයි. මා මිත්‍රයාගේ බිරින්දෑගේ ඥාති පුත්‍රයකු වන අයියාද යන්තමින් බියර් මදක් තොලගානා පුද්ගලයෙක් නිසා ඔහුගේ බීමට ඇති දායකත්වය මෙහිදී නොසලකා හරිය මනාය. 

මම තැන්පත් බීමට වඩා ෆෝකස් කරන්නේ බයිට් කෑමට නිසා බීරද ගැලරිද කියා විශේෂයක් නැති. එදත් අදත් මට තියන එකම ප්‍රශ්නය නම් බීර වලට එහා සැර බීමක් බොනවානම් ලොව තිබෙන මිල අධිකම වටිනාම බීමක් උනත් මට දැනෙන විශේෂත්වයක් නැතිකමයි. ලංකාවේ ජාතික බ්‍රෑන්ඩ් එකවෙච්චි ගල් අරක්කු විතරක් මට සුවඳින් අඳුරගන්න පුළුවන් එකම වන් ඇන්ඩ් ඔන්ලි බ්‍රෑන්ඩ් එකයි. නොබීවොත් මැරෙනවා කීවත් ගල්නම් කට හරියේ තියන්නට අකමැති උනත් අවස්ථාවේ සහ අවශ්‍යතාවයේ  හැටියට වෙනත් ඕනෑම මධ්‍යසාරයක් උගුරෙන් පහලට යන ඕනෑම අවස්තාවක මට දැනෙන්නේ මෙලෝ රහකට නැති ජරාව මොකට බොනවද කියන සිතුවිල්ල විතරයි. සාදයක් හෝ හමුවීමක් ඉදිරියට ගෙනයාමට යමක් කටේ හලා ගැනීමේදී ගල් නැත්තම් ඔනෑ දෙයක් මට එකයි. ඒ මට එව්වයේ රහක් ගුණක් දැනෙන්නේ නැති හින්දයි.  

රාත්‍රී හතයි තිහට වගේ පටන් ගැනුන සාදය වර්ණවත් කිරීමට ගීත ගායනය වගේ අංගත් විටින් විට කෙරුණත් සාදයේ අවසන් අරමුණ උනේ ගෙනාපු බෝතල් සියල්ලම බී අවසන් කිරීම. වැඩේ එන්න එන්නම දරුණු අතට හැරෙන නිසා මගේ මිත්‍රයාගේ වයිපරේගේ ඥාතිය කලින්ම ගෙදර මාරුවුණේ ජනවාරි පළවෙනිදා වැඩට යන්න තියනවා කියල කියාගෙන. මමත් සනාත් ජනවාරි පළවෙනිදා රැකියාවට නොයන තීරණයේ හිටපු නිසා අපිට ගෙදර ඒමට හදිසියක් තිබ්බේ නැති තරම්. 

එතන හිටපු අනෙක් පුද්ගලයා හෙවත් සාදය සංවිධායකගේ මස්සිනා වෙච්චි අයිය ඒ වෙද්දීත් සුප්‍රසිද්ද ගාර්මන්ට් එකක ලොක්කෙක්. හයේ හතරේ ශරීර කුඩුවක් දරාගෙන ඉන්න පුද්ගලයෙක් විදිහට ගැලරි බෝතල් හතරක් උනත් බඩේ පුරවන්න පුළුවන් පොරක්. බොහොම වැදගත් විදිහට රස්සාව කරගෙන වැදගත් විදිහට ජීවත්වෙන පුද්ගලයෙක් වෙච්චි මේ අයිය එහෙම තැන තැන බොන ජාතියේ පුද්ගලයෙක් නෙවෙයි. කෑවනම් බීවනම් ඒ බොහොම තෝරාගත්තු පිරිසක් සමග පමණයි. බෝතල් දහයක් බීවත් මනා සිහි කල්පනාවෙන් ඉන්න පුද්ගලයෙක් වෙච්චි මේ සහෝදරයා එක්ක බොන්න වාඩි උනා කියන්නේ නැගිටිනවා බොරු. 

මචං ... ප්..ප්..පාන්ඩර දෙකයි බං වෙලාව්...අප් ..අප්පි දැන්     න් ...න් ..නවත්තමු..

පිශ්ශුද බාන් ... අද් .....අද්ද ත්...තර්ටි ෆස්ට් නයිට් බන්..

ද්...ද....දැන් ඇති බාන්....

අරි..මල්ලිලා.....ම් ...ම් ...මාල්ලිලා ... තව එක්ක ෂ් ........ෂොට් එක්කාක් දාමු....

ස් ...සනා....ම් ...මොකද ..ක් ...ක්.කියනේ..

න් ....නෝ  ප්....ප්‍රොබ්ලම් ..අයියෙ ...අයි...අයිය ක්..කියනවනම් ...ග් ...ගාමු...

අ..අන්න ක්..කොල්ලො ...ම් ...ම්මෙන්න සූපර් කොල්ලො .

අරි..ම් ...මමත්..තව් එක බියර් එක්කාක්.... බොනව්...

මේ...මේ...උඹ මේ කතාවෙන්..අව් ...අවුට් ..උම්බ මග්ගේ මස්...මසිනා උනත්...උම්බ බිව්...බිව්වේ බී...බී...බියර් න් ..න් ..නිසා.. උම්බට මේකට ක්..කට ද් ...දාන්න බෑ ..

ඔන්න ඔය වගේ සංවාද වලින් අවසන් වෙච්චි සාදය ඇත්තටම අවසන් උනේ අර තිබ්බ ගැලරි බෝතල් හතරම මමත්, සනාත්, මස්සිනා අයියත් බීල අහවර උනායින් පස්සෙයි. කොහොමින් කොහොම හරි බඩ තඩියා බියර් බෝතල ටිකයි බයිට් කන්දයි ඉවර කරන අතරතුරේ තඩියාගේ මස්සිනාත් , මමත්, සනාත් ගැලරි බෝතල් හතරම  බීල අහවර කරලා කියල සහසුද්දෙන් දැනගන්නකොට ජනවාරි පළවෙනිදා අලුයම තුනයි.

ඊළඟට තිබ්බේ හැමදෙනාටම සුභ නව වසරක් කියල විසි තිස් වතාවක් ප්‍රාර්ථනා කරලා ගෙදර එන්න පිටත් වෙන්න. ලෝකෙම තියන අරක්කු එකතුකරලා පෙව්වත් මම වාහනේ කොහෙවත් හප්පගන්නේ නැතුව ගෙදර යන එක කවදත් හොඳටම විශ්වාස නිසා සනාත් මමත් ඔන්න දෙයියනේ කියල එන්න පිටත් උනා. ගැලරි බිව්වේ අපි තුන්දෙනා විතරක් නිසා කිසිම ගැටළුවක් නැතුව එකාගේ බඩේ බෝතලයකට වැඩි ප්‍රමානයක් තියෙන නිසාත් මම ගැලරි වලට අමතරව මගේ හිතමිතුරු බඩ තඩියා විසින් දීපු ෆ්‍රෙන්ඩ්ෂිප් බියර් ටිකකුත් බීපු නිසාත් කන්දක් විතර මාළු සහ මස් කාපු නිසාත් ජනවාරි පළවෙනිදා උදෑසන මොනවිදිහ තත්වයක් උදාවෙයිද කියන එක ගැන මට තිබ්බේ අවිනිශ්චිත තත්වයක්. උපන්දා හිටන් මේ වෙනකම් බීල ගෙදරට මාට්ටු වෙලා නැති නිසා මිත්‍රයාගේ ගෙදරින් පිටත්වෙලා ගෙදරට වාහනේ පදවාගෙන එන අතරේ මම කල්පනා කරේ ගෙදර යනවද නොයා ඉන්නවද කියන එක. එත් මිත්‍රයාගේ ගෙදරින් පිටත්වෙලා වාහනේ ගියර් දෙකක් මාරු කරද්දී සනා ඉස්සරහ සීට් එකේ දොයි කියහන්කෝ.

වෙනදට කට්ටිය සෙට්උණු දවස්වලට ටිකක් තොලේ කටේ ගාගෙන ගියත් තාත්ත නිදාගන්න කලින් කීයටවත් ගෙදර යන්නේ නැති තරම්. මම කීයට හරි ගෙදර එනකම් සාලේ පුටුවක් උඩ අඩ නින්දේ ඉන්න අම්ම වාහනේ වත්තට දාන සද්දෙට දොර ඇරියාම අම්ම ගෙට යනකම් මිදුලේ තියන  ටැප් එකෙන් කකුල් දෙක හෝද හෝද කාලය ගත කරන්නේ අම්ම අසලින් යනකොට අම්මට ගඳ සුවඳ දැනේවි කියන භයට. එත් මම රෑ දොළහට එකට ගෙදර එන දවස්වලට තාත්ත   කාමරේ ඉඳන් අම්මට දෙන විධානය නම් ... 

අරින්න එපා දොර ඕකට... මල රෑ වෙනකම් රස්තියාදු ගහල ආවනම් එළියේ නිදාගන්න කියන්න.. 

ඒ වගේ රැයක්  උදාවුනා කියන්නේ ඊට පස්සේ උදාවෙන දවස් කීපයක් යනකම් තාත්ත මගේ මුනවත් නොබලන තැනට වැටීමක් වගේම මම ගෙදර බල්ලටත් වඩා පහලට වැටෙන තත්වයක් සහ අහගෙන ඉන්න බැරි තරම් කුණු කතා දාහක් අහන ඉන්න වෙන දඬුවමක්. එහෙව් දවස් වලට තාත්ත පටන් ගන්නේ උපන්දා හිටන් මම කරපු වැරදි එකින් එක මතක් කරගෙනයි. 

එදත් වැඩේ දෙල් වෙන තත්වයේ තරම් බීපු නිසා අවසානයේ මම තීරණය කරා ගෙදර නොගිහින් වාහනේ මග දාගෙන එළිවෙනකල් ඉඳල ගෙදර යන්න. එත් මගේ බීමත් කමට සිහියට ආවේ මගේ වෙළඳ ස්ථානය ළඟ වාහනේ දාගෙන නිදියන්න. වාහෙනේ පදවාගෙන මගේ වෙළඳ ස්ථානය ලඟට ආපු මම වාහනේ එන්ජිම නවත්තල සනා ඇහැරෙව්ව.

සනා නැගිටපන්..

ම් ...

නැගිටපන් යකෝ...

ග් ..ගෙදර ආවද...

අද අපි බීල ව් වැඩියි බං .. ඒ හින්ද කාර් එක්කේ නිදියමු...

හ්ම්..ඒ කියන්නේ තෝ මාව මහ ප්..පාරේ නිදි කරවන්නේ...

න් ...නෑ මචං ... පාරේ උනාට කාර් එකෙන්...

කාර් එකේ උනාට මහ පාරෙනේ බාන් ...

ඔය විදිහට සනා නින්දට වැටුනට මට නින්දක් අහලකවත් නැති තරම්. මෝඩකමට උගුරෙන් පහලට යවපු ගැලරි ඔක්කොම ඔඩීසී , සෙකන්ඩ් ක්ලාස්, බැල්කනි සියල්ලමත් එක්ක එලියට එන්න දඟලන බව මට ටිකෙන් ටික තේරුනා. දන්නා කියන සෙල්ලම් ඔක්කොම දාල ගැලරිට එන්න එපා වස්තුවේ පාඩුවේ හිටහන් මගේ දෙයියෝ කියල කිව්වත් ගැලරි කියන දේ අහුවේම නෑ ..

දෙපා වාරු නැත ඔබ හැර යන්නට කියල මමත් කාර් එකෙන් බහින්නෙම නැතුව බොහොම අමාරුවෙන්  රියදුරු පැත්තේ වීදුරුව ඇරල ඔඩීසී , සෙකන්ඩ් ක්ලාස්, බැල්කනි, ගැලරි සියල්ලටම යන්න ඇරිය. යනවා කිව්වට එහෙමත් යාමක්. හත් අට වතාවක් විතර කබරගොයා නාහෙන් කටින් එලියට විදලා පෙරේද කාපුවත් එක්කම දාල ඉවර උනායින් පස්සේ ඔන්න යාන්තම් ඇඟට සනීපයක් දැනෙන්න ගත්ත මට. එත් නින්ද යාගෙන එනකොටම මට නිකම් කරන්ට් එකක්  වැදිලා වගේ මතක් උනේ ජනවාරි පළවෙනිදා උදේ පාන්දර අලුත් ඇඳුමක් හෙම ඇඳගෙන තාත්ත කඩේ අරින්න එනවා නේද හත් දෙයියනේ කියල. එත් කරන්න දෙයක් නැති කමට ඔන්න ඔහේ ඕන එකක් කියල නිදාගන්න හැදුවත් නින්ද යන්නේ නැහැ තාත්තව මැවිලා පේනවා. වෙන තැනක වාහනේ දාගෙන නිදාගන්න බැරි කව්රුහරි එකෙක් පොලිසියට කෝල් කරොත් ඒ පරිප්පුවත් එපා නොකිය කන්න වෙන නිසා. කරන්න කිසිත් නැති නිසා අන්තිම තුරුම්පුව ගහන්න මම සුදානම් උනා.

සනා.... නැගිටපන්..

ම් ....

සනා... නැගිටපන්කෝ ...

මොන මල වදයක්ද බන්... නිදාගන්න දියන්කෝ... උඹ ගෙදර එක්ක යනවා කියල මාව අරන් ඇවිත් මහ පාරේ බුදි කරනව මදිවට නින්දත් කඩනව බන්.. මට නිදාගන්න දියකො..

නැගිටපන්කෝ සනෝ...

මොන මල වදයක්ද බන්... ද් ..දැන් මොකටද උම්බ නැගිටින්න කියන්නේ.. මට්ට නම් බෑ තල්ලු දාන්න උඹේ කාර් එකට..

තල්ලු දාන්න නෙවෙයි බන්.. නගිටහන්කෝ..

මොකද බන්..මොකද..

මේ සීට් එකට වරෙන්කො...

නෑ මට මේ සීට් එක හොඳයි...

අනේ බන් ...මට මේක ඉඩ මදියි...උඹ කෙට්ටුයිනේ බන්.. වරෙන්කො..

මොන මල වදයක්ද බන්... වර එහෙනම්...

හෝව්...හෝව්.... උඹ බහින්න එපා..ඔහොමම මේ පැත්තට පැනහන්කෝ .. මම වටෙන් එන්නම්...

සනා ඉදිරිපස මගී අසුනෙන් පැන රියදුරු අසුනට ඒමත් මම රියදුරු අසුනෙන් බැස කබරයා නොපාගා සීරුවට වටෙන් ඇවිත් ඉදිරිපස අසුනට වැටීමත් සමගින් ප්‍රශ්නය විසඳුනා.. දෙන්නටම නින්ද ගියා...

ඩොග් ...ඩොග් ...ඩොග් ....ඩොග් .....

කන ගාවින් යන්තමින් ඇහෙන සද්දෙන් මට ඇහැරිලා කේන්තියෙන් ඔරවල බලද්දී දැක්කේ කාර් එකේ වහපු වීදුරුවෙන් තෝව උයල කනවද අමුවෙන් කනවද කියාන්නහේ රකුසු බැල්මකින් මා දිහා බලන් ඉන්න පියාණන් වහන්සේ..ඒ කියන්නේ මම ඇහෙරෙනකොට ජනවාරි පළවෙනිදා  උදෑසන අටයි. මම වෙලාව ටක්කෙටම දන්නේ තාත්ත කඩේ අරින්න එන්නේ උදේ අටට නිසා.. බොහොම අසරණ ලීලාවෙන් මම කාර් එකේ වීදුරුව පහත් කරා.

යනවා ගෙදර.....

තාත්තගේ විධාන එපමණයි. ඒ ටික කියල තාත්ත කඩේට ගියා උනාට අද රෑට මට සොහොන පත්වෙන බව තමයි ඒ හඬේ තිබුනේ..

සනා...නගිටහන්...

ඒයි යකෝ... නගිටහන්...

මොකද බාන් මේ කරදරේ.. නිදාගන්න දියන්කෝ..

නැගිටහන් බූරුවෝ.. එළිවෙලා ..නගිටහන්..

හා..... ඉතින්.. එළිවෙන එක මට නවත්තන්න පුලුවන්ද බාන්..

යකෝ..තාත්ත කඩේ අරින්න ඇවිත්.. නැගිටහන් ඉක්මනට...

හැහ් ....දැන් මොකද කරන්නේ..

ස්ටාර්ට් කරපන් ඕක ඉක්මනට...

මොකක්...

ස්ටාර්ට් කරපන් බූරුවෝ ඕක ඉක්මනට...

ඔන්න සනා මළවුන්ගෙන් නැගිට්ට වගේ අළු ගසාදාළ නැගිටලා කාර් එක ස්ටාර්ට් කරගත්ත.

කොහෙද යන්නේ අපි..

යමන් උඹව දාල එන්න..

හරි..

සනාව ගෙදරින්  බස්සල ගෙදර එන ගමන් මග නවත්තල කාර් එකේ තිබ්බ වතුර බෝතලේකින් රියදුරු දොරත් සෝදාගෙන ගෙදර ඇවිත් ආයෙත් නින්දට වැටුනේ ඔලුව කෙලින් තියාගෙන ඉන්න මොනම ක්‍රමයකට උත්සහ කලත් බැරි නිසා.. 

දවල් දවසම නිදාගත්තු මම ඇහැරෙද්දි හවස හතහමාරයි. නාගත්තොත් ඔලුවේ තියන මුස්පේන්තු ගතිය ඇරිලා යාවි කියල හිතාගෙන නාන කාමරයට වැදිලා පැයක් විතර නාපු මම නාන කාමරයෙන් එලියට එද්දී තාත්ත කඩේ වහල ඇවිත්. පැහැදිලි වැරදි සතිත ෆයිල් තුනයි. පළමු එක වැඩට නොයාම. දෙක, කබරයා දාගෙන මහපාරේ බුදියා දෙමාපියන්ගේ ගෞරවය කෙලෙසීම. තුන, දවසම ගෙදර ඉඳලත් කඩේ පැත්තටවත් නොයාම. මම එතනින් මාරුවෙන්න යනකොටම තාත්ත වෙඩි නූල පත්තු කරා.

මූ දැන් හදන්න බෑ .. රෑ තිස් පැයේ රස්තියාදුවේ යනවා මදිවට මුන් දැන් නිදාගන්නේ මහපාරේ.. රස්සාවක් හරියට කරන්නේ නැහැ.. මෙලෝ මොලේ තියන මනුස්සයෙක් කරන වැඩක්ද ජනවාරි පළවෙනිදා රස්සාවට නොයා ඉඳල නිවාඩු දානව කියන එක. 

තාත්තා මාගේ ගුණ ගයනාව ගයන්නට පටන්ගත්තාම ආයේ වෙන කෙනෙකුට කතා කරන්න දෙයක් නැති තරම්. ඒ තරම් අහගෙන ඉන්න ආස හිතෙනවා. ඒ වෙලාවට තමයි හිතෙන්නේ බඩේ ගලක් බැඳගෙන ලිඳේ පනින්න. එත් හැමදාමත් මාව බේරගන්න අම්ම මෙතැනදී මැදට පනිනවා.

මොකද ළමයෝ කඩේ ගාව වාහනේ දාගෙන නිදාගත්තේ.. මහා දුරක් නෙවෙයිනේ ගෙදරට..

එන්න තිබ්බ අම්මේ..එත් මම ගෙදර ආවේ නැත්තේ වැඩි හොඳට...

අනේ ඔයා අහන්න මුගේ බොරු බේගල්.. මුන් දැන් හදන්න බෑ ..

වෙච්ච දේ අහන්නේ නැතුව මටම බැන්නට තාත්ත සහසුද්දෙන් දැක්කනේ අරූ වමනේ දාල තිබ්බ තරම් .. ඉතින් තාත්ත කියන්නේ මට ඌ ගෙදර එක්ක ඇවිත් කාමරේ වමනෙ දම්මගන්න කියලද.. සනා ටිකක් බීල වැඩියි.. ඉතින් මට ඌව ගෙදර යවන්නත් බැහැ .. ගෙදර ගේන්නත් බැහැ .. කොයිදේටත් දුකට සැපට ඉන්න එකා මග දාළ ඇවිත් රස්සාවට යන්න කියලද තාත්ත මට කියන්නේ..

හරි කොහොමින් කොහොමින් හරි ජනවාරි පළවෙනිදා රස්සාවට ගියේ නැහැනේ. 

ඇයි නොගිය කියල උන් මාව අස්කරන්නද..

හා හා ඇති ඇති තාත්තගෙයි පුතාගෙයි  වාදෙ .. 

අම්මා ගෙදර සාමවිනිසුරු කම දරන නිසා හැමදාමත් වගේ දෙපසට වෙන පීඩිත පන්තිය සහ පාලක පන්තිය වාදය දින කිහිපයකට කල් දැමෙන්නේ තාත්තට ආයෙත් මගේ වරදක් අහුවෙනකම් විතරයි. සනා අමු අමුවේ පාවලා දෙන්න පුලුවන් උන නිසා බොරු සාක්ෂි වලින් මගේ නඩුව නිදහස්. මේ සිද්දිය ලිව්වට පස්සේ සනා විසින් මට කනේ පාරක් ඉල්ලලා දීපු අහස්කූරු චෝදනාවෙන් එකට එක අනුපාතයෙන් මට සනාව නිදහස් කරන්න වෙනවා.

ගැලරි බෝතලේ දාල එන ඒ කොලපාට පෙට්ටිය කුණුගොඩක  තිබිල දැක්කත් ඇති මට වෙරි..
අදත් කොතනහරි පාර්ටියක ගැලරි බෝතලයක් දැක්කොත් මට ඉතින් බිව්වා වගේ තමයි.. 
ඒ සියලුම ස්තුතිය හිමිවෙන්න ඕන ඒ සාදය සංවිධානය කරල තුන්දෙනෙකුට ගැලරි බෝතල් හතරක් පොවාපු මගේ හිතාදර මිත්‍ර බඩ තඩියාට සහ අන්තිම ෂොට් එක වෙනුවෙන් තවත් බෝතලයක්ම බෙදාහදාගෙන බොන්න පෙරැත්ත කරපු බඩ තඩියාගේ මස්සිනාට. තුන්දෙනෙක් එක්ක බෝතල් හතරක් බීල එයින් ගියා මදැයි.

අම්බලන්ගොඩ කථා පාඨක සැමට සහ සියලු බ්ලොග් මිතුරන්ට ලැබුවාවූ නව වසර සුභම සුභ නව වසරක් වේවා..

Tuesday, December 29, 2015

නමක් නැති කතාවක් 8






අම්මේහ් .. 

අම්මේහ්... මගේ ඔලුව...

ඩොක්ටර්... ඩොක්ටර්... පහේ ඇඳේ  ලෙඩාට  සිහිය ඇවිත්...

අම්මේහ් ................. අම්මේහ් .. 

ඔයාට මාව ඇහෙනවද..

අම්මේහ් ... මම මේ කොහෙද ඉන්නෙ ..

ඔයා ඉන්නේ ඉස්පිරිතාලෙ .. ඔයාට මාව ඇහෙනවද..

හ්ම්....

ඔයාගේ නම මොකක්ද..

මගේ නම..... මගේ නම.............සු..සුභාෂ්..

හරි.. සුභාෂ් ඇස් ඇරලා බලන්න මාව පේනවද කියල..

අමාරුවෙන් දෙනෙත විවුර්ත කල සුභාෂ්ට දකින්න ලැබුනෙ හැල්මේ කැරකෙන විදුලි පංකාවක් සහ තමුන් වටේ වටවෙලා ඉන්න හෙදි පිරිසක් .. 

වහා නැගීසිටින්නට උත්සහ කල සුභාෂ් වාරු නැති ශරීරය ඇඳටම තබා තදකරමින් කරුණාවන්ත පිරිමි හඬක් සුභාෂ් වෙත අවවාදාත්මක විදානයක් නිකුත් කෙරුනා 

පුතා මම ඔයාගේ ඩොක්ටර්..නැගිටින්න උත්සහ කරන්න එපා .. ඔලුව හොලවන්න එපා ඔයාට රිදෙයි.. ඔයාගේ නළල තුවාල වෙලා තියෙන්නේ..

අමාරුවෙන් ඇස් ඇර වටපිට බැලු සුභාෂ් අනුමාන කළා හෙදියන්ට අමතව සිටිනා පිරිමි පුද්ගලයා වෛද්‍යවරයා වියයුතුයි යනවග. අපැහැදිලි දර්ශනයන් සමගින් දර්ශන තලය මදින් මද පැහැදිලි වෙද්දී නළල දෙසින් නැගෙන්නාවූ දරාගත නොහැකි වේදනාව නැවතත් දැනෙන්නට වූ නිසාවෙන් සුභාෂ් අතින් තම නළල අතගාන්නට දැරූ උත්සාහය ව්‍යර්ථ කරමින් වෛද්‍යවරයා නැවතත් හඬ අවධි කළා ..

සුභාෂ් ඔයාට සේලයින් එකක් දෙනවා අපි.. ඒ හින්ද අත හොලවන්න එපා පුතා..

මේ කොහේ ඉස්පිරිතාලෙද ඩොක්ටර් ..

මේ බලපිටිය ඉස්පිරිතාලේ පුතා.. ඔයාට මතකද ඔයාට මොකද උනේ කියල..

මට වතුර ටිකක් දෙනවද බොන්න..

නර්ස්.. පේෂන්ට්ට වතුර ටිකක් දෙන්න..

බෝතල් මූඩියක් වැනි යමකින් සුභාෂ්ගේ මුවට සැපයුණු වතුර ඇබිත්ත අධික පිපාසයක් දැනෙමින් තිබු සුභාෂ්ට යන්තමින් වත් සෑහුණේ නැහැ..

තව ටිකක්..

පුතා ඔයාගෙන් හුඟක් ලේ ගිහින් තියෙන්නේ.. අපි තව ටිකකින් තව වතුර ටිකක් බොමු.. ඔයාගේ එක්ස්රේ ඒක ආවයින් පස්සේ ඒක බලල වතුර බොමු..

මට... මට මොකද උනේ..

හරි දැන් මතක් කරන්න වෙහෙසෙන්න එපා සුභාෂ් ..... අපි පස්සේ කතාකරමු පුතා...

මගේ ඔලුවට මොකක්ද ඩොක්ට වෙලා තියෙන්නේ..

ඔයාගේ නළල ටිකක් පැලිලා තියෙන්නේ පුතා.. ලොකු තුවාලයක් නෙවෙයි.. අපි එක්ස්රේ රිපෝර්ට් එක ආවාම බලමුකෝ මොකද වෙලා තියෙන්නේ කියල ..

ඔයාට මොනවද දැනෙන අමාරු පුතා ..

මගේ...මගේ ඔලුව පුපුරන්න වගේ රිදෙනවා..

තව මොනවද සුභාෂ්ට දැනෙන අමාරු..

වෙන මොකුත් අමාරුවක් දන්නේ නැහැ ..

සුභාෂ්ට වමනෙට එනවා වගේද..

කරකැවිල්ල වගේ දැනෙනව .. වමනෙ එන්නේ නැහැ..

සුභාෂ්ට පුලුවනිද මා එක්ක තව ටිකක් කථා කරන්න.. අමාරුනම් අපි පස්සේ කතාකරමු...

පුළුවන් ඩොක්ට.. මම ඇස් පියාගෙන කතාකරන්නද ඩොක්ට..

කමක් නැහැ පුතා ..

මට ගෙදර යන්න ඕන ඩොක්ට...

ඔයාට දැන් ගෙදර යන්න බැහැ පුතා... ඔයාගේ ගෙදර ටෙලිෆෝන් නොම්බරේ මතකද ඔයාට...

ගෙදර නොම්බරේ... ඔව් ඩොක්ට... න් ...නෑ ..නෑ  ඩොක්ට.. ග් ..ගෙදර ටෙලිෆෝන් නෑ ...

හොඳයි එහෙමනම් සුභාෂ් දන්නවද ඥාතියෙකුගේ හරි අහල පහල ගෙදරක හරි ටෙලිෆෝන් නොම්බරයක්..

න් ...නෑ  ඩොක්ට... අහල පහල ටෙලිෆෝන් නැහැ කාටවත්..

සුභාෂ් කොහෙද පදිංචිය ..

අම්බලන්ගොඩ ඩොක්ට..

හොඳයි.. අම්බලන්ගොඩ කොහෙද...

ම් ..............................................

හොඳයි සුභාෂ් ඔලුව වෙහෙසන්න එපා.. අපි පසුව ලිපිනය ලියාගමුකෝ...

සුභාෂ්ට මතකද නළල තුවාල උනේ කොහොමද කියල...

ම් ................................................

ඔයාට කව්රුහරි ගැහුවද පුතා... බය වෙන්න එපා.. ඔයා දැන් ඉන්නේ ආරක්ෂාකාරී තැනක.. ඔයාට කව්රුහරි ගැහුවනම් මට පුළුවනි රෝහල් පොලිසියට කියල එයාලව අත්අඩංගුවට ගන්න..

ර් ......රෝහල් පොලිසිය.... න් .....නෑ  ඩොක්ට ම් ...මට ක්....කව්රුත් ගැහුවේ නැහැ...

එහෙනම් කොහොමද සුභාෂ්ගේ නළල තුවාල උනේ..

ම් ...........................මම  ක්...කකුල පැටලිලා වැටුනා ඩොක්ට...

කොහෙදිද...

කොහෙදිද.......න් ....නගරසභාවේ පිට්ටනියේ පඩිපෙළේ  ඩොක්ට...

එතකොට කොහොමද සුභාෂ්ගේ කමීසේ ඉරුනේ..

කමීසේ...ද් .. දන්නේ නැහැ ඩොක්ට... මට වතුර ටිකක් දෙනවද ...

මම හිතන්නේ සුභාෂ් මට මොනවහරි හංගනවා කියලයි...අපි තව ටිකක් පස්සේ වතුර බෝමුකෝ.. 

දැන් වෙලාව කීයද ඩොක්ට..

දැන් රෑ හතහමාරයි පුතා..

හ් ..හතාමාරයි....මට ගෙදර යන්න ඕන ඩොක්ට..

අද ඔයාට ගෙදර යන්න බැහැ පුතා.. අපි හෙට උදේ බලමු ආ ...

එහෙමනම් මට තව ටිකකින් මතක් කරල ගෙදර ලිපිනය දෙන්නකෝ... මම රෝහල් පොලිසියට කියල ගෙදරට පණිවිඩයක් යවන්නම්.. දැන් ටිකක් විවේක ගන්නකො..

ර්ර්ර් ...රෝහල් පොලිසිය....හ ..හා ඩොක්ට...මම මතක් කරල කියන්නම්..

සර්  සේලයින් එක ඉවරයි.. තව එකක් දෙනවද ..

ඕන නැහැ .. දැන් ඕක ගලවන්න.. කන්‍යුල එක තියන්න රෑට එකක් දෙන්න ඕන උනොත්..

හා සර්..

මේට්‍රන්ට කියන්න මම ක්වාටස් එකට ටිකක් යනව හදිසියක් උනොත් කෝල් කරන්න කියල..

හොඳයි සර්..

සුභාෂ්ට අමාරුවක් උනොත් මේ නර්ස්ලාට කතා කරලා කියන්න ඕන හොඳද ..

හොඳයි ඩොක්ට ..

වෛද්‍යවරයා එතනින් නික්මගියායින් ප්‍රශ්න ඇසීම එතකින් අවසන් වුනා.. සිදුවූ සියල්ල චිත්‍රපටියක් මෙන් සුභාෂ්ගේ මතකයේ යලි ආවර්ජනය වෙමින් තිබුනත් සිදුවූ සත්‍ය සිදුවීම අනාවරණය කිරීම තුලින් ඇතිවන්නාවූ ප්‍රතිපල ගැනද සුභාෂ් සිතමින් උන්නා. තමුන්ට පහරදුන් පිරිසට දඬුවමක් ලබාදීමේ අවශ්‍යතාවය තදින්ම දැනුනත් සිදුවීම පැමිණිල්ලක් ආකාරයෙන් පොලිසියට දැන්වුවහොත් එහි අතුරු ප්‍රතිපලයක් වශයෙන් ඖෂදීට යම් අපහසුතාවයක් ඇතිවේදෝ යන සැකය  සුභාෂ්ව මන්දෝත්සාහී බවට පත්කලා. 

වහලේ එල්ලෙමින් වේගයෙන් කැරකෙන විදුලි පංකාව දිහා බලාගෙන කල්පනාවේ නිග්මන්ව උන් සුභාෂ්  උගතෝකෝටිකය  විසඳිය නොහැකිව වික්ෂිප්තව බලා සිටියේ දැන් ගෙදරට කුමක් කියන්නද යන්නයි. දැවෙන ප්‍රශ්නයට උත්තරය  රෝහලින් එලියට පැන ගෙදර යාම වුවත් එවන් හිතුවක්කාර තීරණයක් ගැනීමට තරම් ගතේ වාරුවක් සුභාෂ් වෙත තිබුනේ නැහැ. 

සියල්ලටම යටින් සුභාෂ්ගේ සිතේ පවතී අනෙක් ප්‍රශ්නය නම් ඔවුන් ඖෂදී සම්භන්ධව එවන් කතාවක් කීවේ ඇයිද යන්න වුවත් කොල්ලන් තමුන් යාලුවීමට අදහස් කරන්නාවූ  ගැහැණු දැරිවිය වටා කැරකෙන අනෙකුත් පෙම් කුරුල්ලන් කුමන හෝ ආකාරයෙන් මර්දනය කිරීමට උත්සහ දැරීම එක්තරා ආකාරයක ආරක්ෂක උපක්‍රමයක් හෙයින් සවස සිදුවීම සහ තමා පහරකෑමට ලක්වීම එවන් ආකාරයේ තුන්වන පන්තියේ ආරක්ෂක උපක්‍රමයක් දෝ යන්න සුභාෂ් තම හිත සමග තර්ක කරමින් උන්නා. ඖෂදී එම පුද්ගලයා සමග පෙමින් බැඳීමට කිසිසේත්ම ඉඩක් නොමැති බවට සුභාෂ්ගේ යටිහිත අවධාරණයෙන් පවසා සිටියත් වචනයෙන් විස්තර කල නොහැකි දුකක් සුභාෂ්ගේ හිතට දැනුනේ සුභාෂ්ට සිහිය ආ මොහොතේ සිටන්.. 

කුමක් කලයුතුද යන්න පැහැදිලි අදහසක් නොමැති වුවත්  පහරදීමට මුල් වූ පුද්ගලයා සමග ඖෂදී කීයටවත් සම්භන්ධකමක් පැවැත්විය නොහැකි අනියමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියාවක් ගණයට වැටෙන්නාක් යන විශ්වාසය සුභාෂ් වෙත වුවා. අද්යාපනික, සමාජයීය තත්වයෙන් ඖෂදී හා සංසන්දනය වීමට කිසිදු සුදුසුකමක් නොතිබූ පුද්ගලයකු හා ගැටීමට සිදුවීම ගැන සුභාෂ් වෙත පැවතුනේ කලකිරීමක්. 

තරහක්, කලකිරීමක්, කේන්තියක් ඔහු වෙත පැවතියත් ඔවුන් සමග තවදුරටත් රණ්ඩුවට නොයායුතු යන ස්ථාවරය හිතේ ධාරණය කරගත් සුභාෂ් පරාජය පිළිගෙන පසුබා සිටීමට තීරණය කලේ ගහමරාගැනිල්ල අවසානයේ ලැජ්ජාවට පත්වන්නේ ඖෂදී නිසා. මෙතෙක් කල් පනමෙන් රැකගෙන ආ කුළුඳුල් ආදරය වෙනුවෙන් ලැබුනා වූ ගුටි ප්‍රහාරය අමතක කර දමා දීර්ග සුසුමකින් ලය සැහැල්ලු කරගත් සුභාෂ් ඊළඟට හිතන්නට වුයේ රෝහලින් පැන ගෙදර යන විදිහක් ගැන..

හිසේ පවතින කැක්කුම අසීරුවෙන් අමතක කර දමා හිතේ වාරුවෙන් උඩුකය කෙලින්කොට ඇඳෙහි වාඩිවූ සුභාෂ් ඊළඟට උත්සහ කලේ ඇඳෙන් බැහැල හෙදි කාමරය දිහාවට ඇවිදින්න..

ඩොක්ට කිව්වා නේද ඔයාට ඇඳෙන් බහින්න එපා කියල..

දැන් මට හොඳයි මිස්.. මට ගෙදර යන්න ඕන..

ඔය ළමයට පිස්සු හැදීගෙන එනවද.. මෙහෙට ගේනකොටත් සිහිය තිබ්බේ නැහැ.. දැන් ගෙදර යන්න අහන්නේ මැරෙන්න ඕන  වෙලාද..

මට දැන් හොඳයි මිස්.. මට ගෙදර යන්න ඕන..

ඔයාට තාම වයස දහඅටක් වත් නැහැ නේද.. වැඩිහිටියෙන් නැතුව අපිට මුකුත් කරන්න බැහැ .. අනික එහෙම හිටියත් දොස්තර මහත්තය ටිකට් කපන්නේ නැතුව අපිට අවසර නැහැ ඔයාව ගෙදර යවන්න.. ගෙදර යවන්න තියා ටිකට් එකේ නම ගමවත් තාම හරියට ලියාගන්න විස්තරයක් දෙන්න බැරිවුණ ඔයා මේ පිස්සු කියවන්න එනවා.. කරුණා කරලා ඇඳට යන්න..

හෙදියගේ විරෝදයෙන් පසුබෑ සුභාෂ් නැවත ඇඳ වෙත ඇවිද ආවේ පරාජය අකමැත්තෙන් භාරගෙන. එහෙත් කුමන ආකාරයෙන් හෝ රෑ වීමට ප්‍රථම ගෙදර යා යුතුය යන සිතුවිල්ල හිතේ දෝංකාර දෙමින් පැවතියා..

මල්ලි මොකෝ කෙස් එක..

මට දැන් සනීපයි අයියේ.. ගෙදර යන්න ඇහුවේ.. කොහෙද අර මනුස්සය බෑ කියනවනේ..

ඇයි මොකද හදිසිය.. ටිකක් සනීප වෙලාම යන්න බැරිය..

බෑ අයියේ.. යන්න ඕන..

මල්ලියා.. මම උඹේ වයස පහුකරල ඉන්නේ.. උඹ මොකක් හරි ගේමක් ඇදගෙන කාගෙන් හරි කෑව නේද..

න් ...න් ....නෑ අයියෙ ...මේ.....

මේ.. මේ.. උඹ මට සුදුලූනු පොඩි කරන්න එපා කොල්ලෝ.. උඹ දොස්තරට ගොත ගගහ බොරු කියනව මම අහගෙන හිටියේ.. කියහන් මොකද උනේ..

පොඩි වලියක් ගියා අය්යේ.. දහයක් විතර මට වටකරන් ගැහුව ..

ඇයි මොකක්ද සීන් එක මල්ලි.. 

ඉස්කෝලේ කේස් එකක් අයියේ.. 

දැන් උඹ අඳුරනවද ගහපු එවුන්..

හ්ම් ...

ඉතින් ඇයි උඹ ඩොක්ට අහපු වෙලේ බොරු කිව්වේ..

ඔව්ව පොලිසි ගානේ අරන් ගිහින් බෑ අයියේ.. මට දැන් ඕන මෙතනින් මාරු වෙලා ගෙදර යන්න.. නැත්තම් ගෙදරින් කලබල වෙලා මේක ලොකු ප්‍රශනයක් වෙනව ..

ඉතින් ගෙදරට කියල පොලිසියේ ඇන්ට්‍රියක් දාල උඹට ගහපු එවුන්ට දීපන් පරිප්පුව.. දවස් දෙක තුනක් මෙහෙට වෙලා හිටහන්.. උඹේ ටිකට් කපනකම් උන්ට ඇප නෑ කොල්ලෝ..

අපොයි බෑ අයියේ.. ඒකනම් කීයටවත් කරන්න බෑ ..

උඹ උන්ට බයද ආයෙත් උන් උඹට ගහයි කියල..

අනේ නෑ අයියෙ .. මේක වැඩකට නැති කේස් එකක්..

අනිවාර්යෙන් මේකට කෙල්ලෙක් සම්භන්ධයි නේද.. අපි ඔය වයස පහු කරලා බන් ඉන්නේ..

න් ...නෑ .. අයියේ.. මේ..මේ........

උඹ ගොත ගහන්න ඕන නෑ බන්... කෙල්ල නිසා තමයි උඹ ගුටිකාලා ඔලු පලාගෙන මුකුත් නොකර නිකම් ඉන්නේ.. හරි.. දැන් මට කියපන් උඹට මගෙන් මොනවද කෙරෙන්න ඕන.. 

ගෙදරින් කලබල වෙලා මාව හොයන්න කලින් මට මෙතනින් එලියට පැනගන්න තමයි ඕන අයියේ..

තාම උඹේ ටිකට් එක ලියල නැහැ බන්.. මුන් දන්නේ උඹේ මුල් නම විතරනේ.. උඹට ගෙදර යන්න පණක් තියෙනවනම් කල්පනාව තියෙනවනම් හෙමින් සැරේ මාරුවෙලා පලයන් මල්ලි.. හැබැයි උඹ අහුවෙලා මාව එහෙම පාවල දෙනවා නෙවෙයි..

ඒකත් හරි තමා.. එත්..

ඇයි මොකද ඒත් කියන්නේ..

මේ ලේ ගෑවිච්ච ඉරිච්ච ෂර්ට් එක ඇඳගෙන එලියට යන්න බැහැනේ අයියේ..

උඹට ෂර්ට් එකක් ඕනෙද..

තියෙනවනම් ලොකු දෙයක් අයියේ..

ඉඳහන්  බලන්න..

සුභාෂ්ගේ ඇඳට අල්ලපු ඇඳෙහි අතක බැන්ඩේජ් සහිතව නේවාසිකව උන්  තරුණයා සුභාෂ් වෙත උදව් කිරීමට ඉදිරිපත්වීම සුභාෂ්ට මහත් අස්වැසිල්ලක් උනා. පිහිටක්, සරණක් නොමැතිව උන් සුභාෂ් නව පණක් ලද්දෙකු මෙන් බලාපොරොත්තු සහිතව බලා සිටින්නට වුනේ හිතවතා කමීසයක් ලබාදෙවිදෝ යන කුතුහලයෙන්.

ඉඳා ..මේක ඇඳන් පලයන්..

හුඟක් ස්තුතියි අයියේ..

අයිය මොකක් වෙලාද මේ නැවතිලා ඉන්නේ..

බස් කාරයෙන් ත්‍රීවිල් එකේ ඇන්න බන්.. අත ටිකක් තුවාල උනා.. හම්බුකරන් කාපු වාහනේ කුඩු..

වෙලාව තමයි අයියේ..මොනා කරන්නද.. ඉන්සුරන්ස් එකෙන් ලැබේවිද..

එහෙම තමයි මල්ලි හිතන් ඉන්නේ.. මේක හොඳ කරගෙන එපයි මොනා කරන්නත්..

හිතවතා විසින් සැපයු අත් දිග කමිසය, ඇඳ උන් ඉරීගිය ලේ සහිත කමිසය උඩින්ම ඇඳගත් සුභාෂ් ලැහැස්ති වුනේ රෝහලෙන් පැනයාමට..

එහෙනම් අයියේ මම ගිහින් එන්නද..

දැන් උඹ එන්නද යන්නේ..

මට නිකමට කියවුනා අයියේ.. අයිය කොතන ත්‍රීවිල් පාර්ක් එකේද ඉන්නේ..

ස්ටේෂන් එක ගාව පාරක් එකට ඇවිත් අහපන්කෝ අනුර කියල..

හරි අයියේ.. මම එහෙනම් හෙමින් සැරේ මාරුවෙන්නම්..

උඹට අමාරු කොහොමද දැන්..

ඔලුව රිදෙනවා විතරයි.. වෙන අමාරුවක් නැහැ..

සල්ලි තියෙනවද උඹ ගාව..කෝ මෙහෙට වරෙන් ඔය අතේ තියන සේලයින් කටුව ගලවන්න.. ඕක පිටින් ගියොත් උඹ මාට්ටු පුතේ..


ඔව් අයියේ.. තියනව..සාක්කුවේ පසුම්බිය තිබේදැයි තහවුරු කරගත් සුභාෂ් පිළිතුරු දුන්න..

ඔතන එළියේ තියන ත්‍රීවිල් වල නගින්න එපා උඹ .. දැන් උඹ මෙතනින් මාරු වෙලා කියල මුන් දැනගත්තාම මුන් ඉස්සෙල්ලම හොයන්නේ උන්ගෙන්.. උඹ උන් එක්ක ගියොත් රෝහල් පොලිසියෙන් හෙට උදේම උඹ හොයාගෙන ගෙදරට එයි.. ඒ හින්ද බස් හෝල්ට් එකට ගිහින් පාරේ එන ත්‍රීවිල් එකක නැගල පලයන්.. 

හොඳයි අයියේ.

බුදුසරණයි.. කාටවත් ඇහැ නොගැහි මාරුවෙයන්.. ඔතන වාට්ටුවේ ටොයිලට් එක ගාවින් වමට හැරිල පලයන්.. එතනින් ගියාම නර්ස්ල හිතන්නේ ටොයිලට් යනවා කියල..

හොඳයි අයියේ.. මම එහෙනං යන්නං ..

අවේලාවේ ලෙඩෙකු බලන්නට පැමිණි පුද්ගලයකු ආකාරයෙන් රෝහලින් එලියට ඇවිද ආ සුභාගෙන් දිස්වූයේ හිඟන ස්වරූපයක්. ප්‍රමාණයෙන් විශාල වූ කමීසයත්, පාවහන් නොමැති දෙපාත් සමගින් බස් නැවතුමේ රැඳී සිටි සුභාෂ්ගේ විධානයෙන් නතරවූ ත්‍රිරෝද රථය නැවත ධාවනය වුයේ නගරසභා ගොඩනැගිල්ල වෙත. සුභාෂ් එහි යන විටදීත් ඖෂදී සහ පිරිස විසින් පවත්වන ප්‍රසංගය අවසන්වී නොමැති වුවත් හිසේ පවතී වේදනාවත්, ප්‍රමාණයෙන් විශාල කමීසයත්, පාවහන් නොමැති දෙපාත් නිසා සුභාෂ්ට ඕන වුනේ ඉක්මනින් ගෙදර ගිහින් ඇඳට වැටෙන්න. සාක්කුවේ සුරක්ෂිතව තිබු බයිසිකල් යතුර ගෙන බයිසිකලයේ ලොක් එක විවුර්ත කරගත් සුභාෂ් බයිසිකලය තල්ලු කරගෙන නිවස දිහාවට පියමනින්නට වුනේ බයිසිකලය පැද යාමට ඇඟෙහි ශක්තියක් නොමැති වූ නිසා. 

මාරුවෙන් මාරුවට සවස සිදුවීම ගැනත් ඖෂදී ගැනත් හිතමින් සුභාෂ් නිවස දෙසට ඇවිදගෙන ගියේ ඇඟේ හයියට නෙවෙයි හිතේ හයියට. එත් ඊට අමතරව ඖෂදී සම්භන්ධ සිදුවීම් දාමයක කාලාන්තරයක් තිස්සේ හිතේ හිරකරගෙන හිටි දුක්ක දෝමනස්සයන් සියල්ලම කඳුළු ධාරාවන් දෙකක් විදිහට සුභාෂ්ගේ ඇස්දෙකෙන් ඉවතට ගලායමින් තිබුන. වෙල් යායක් මැදින් වැටිච්ච පාරෙ තිබ්බ පුංචි පාලමක් අයිනේ බයිසිකලය හේත්තු කරපු සුභාෂ් ඈත වෙල්යාය දිහා බලාගෙන හිතේ දුක තුනීවෙන්න ඉකිගහල අඬන්න වුනා. අවුරුද්දක් පුරාවට ලැබිච්ච හිත්රිදවීම් සියල්ලම හිතෙන් කඳුළු බවට පත්වෙලා දෝරෙ ගලමින් තිබුන. ඉකිහසමින් හඬාවැටුන සුභාෂ් අඬනව අහන්න ඒ පාලු මුසල වෙල්යාය පුරා හිටියේ කණාමැදිරි විතරයි... 


රෑ  තාරකා මල් විමානයේ 
මා නෙත් පුරා රඟනා කලේ 
සුකුමාල මනලෝලියේ 
රිදවන්නදෝ රාත්‍රියේ 
ඔබ හිනැහෙන්නේ මගේ සිහිනයේ 

දෑතේ ඔබේ දෑතක් රැඳේ  
ආලේ හැඟුම් වේදනා ගෙනේ 
දඟකාර නෙතු මා දිහා 
නොහෙලන්න මදහාස පා 
මට ලංවී හිඳියි වේදනා

ප්‍රේමාරාධනාවේ 
කව්රුන්ද මධු සාදයේ 
පිළිගන්නේ මධු මාලියේ 
මට රිදවන්නේ මේ රාත්‍රියේ 


Sunday, December 20, 2015

නමක් නැති කතාවක් 7



පලවෙනි කොටස මෙතනින් 

හයවෙනි කොටස මෙතනින් 

සුභාෂ්....... හූ ....මෙන්න සුභාෂ්ගේ කෑල්ල යනවෝ...

සුභාෂ්... සුභාෂ්...

ඖෂදී..... සුභාෂ් ඔයාට ලව්ලු....

හා හා සුභාෂ්.... හා ...හා   සුභාෂ්.....

ඖෂදී ඔයා මගේ පන ඩාලින් ...

ඖෂදී සුභාෂ්ට ඔයාව බඳින්න ඕනෙලු.. 

අනේ මගේ ඖෂදී මං ඔයාට ආදරෙයි සුදෝ ..

විවේක කාලයේදී සුභාෂ්ගේ පන්ති සගයින් ඉන්න ආසන්නයෙන් ගිය ඖෂදීට පන්තියේ කාලකන්නි රංචුව විහිළු කරනවා සුභාෂ් බලන් හිටියේ හරිම අසරණ බැල්මකින්. පුළුවන් උපරිම වේගයෙන් මිතුරියවත් අතින් ඇදගෙන ඖෂදී එතනින් ඉවතට දිව්වත් කොල්ලන් කියපු දේවල් ඖෂදීට ඇහුන බව සුභාෂ් දැනගෙන උන්න. එත් ඒ වෙනුවෙන් කරන්න පුළුවන් කිසිම දෙයක් සුභාෂ්ට තිබුනේ නැහැ. 

අවුරුද්දකට ආසන්න කාලයක් උත්තරයක් නැතුව දවසින් දවස කල් යන ඖෂදී සම්භන්ධ ප්‍රශ්නය නිසා සුභාෂ් මානසිකව වෙහෙසට පත්වෙලා ඉන්න බව සුභාෂ්ට නොදැනුනා නෙවෙයි. ළඟ ළඟ එන සාමාන්‍ය පෙළ විභාගය මතක් වෙන වෙලාවට පොතක් පාඩම් කරන්න හිතුවත් පොත කියවීම ඇරුනාම විෂය කරුණු රැඳෙන්න තරම් ඉඩක් සුභාෂ්ගේ ඔලුව ඇතුලේ තිබුනේ නැහැ. ඖෂදී පිලිබඳ මතක ඇරුනාම ඒ වෙද්දී සුභාෂ් කිසිම දෙයක් ගැන හිතුවෙම නැති තරම්. 

මොකෝ උඹ ගල් ගැහිලා 

සුභාෂ් පියවි ලෝකෙට ආවේ තුසිත සුභාශ්ව අමතන හඬින් 

වැඩක් නෑ බන් කථා කරලා.. පුදුම කලකිරීමක් බන් මුන් ගැන තියෙන්නේ 

යකෝ.. ඕක දැන් ඇදුන  ඇති .. මුන්ටත් කෙලින්ම දෙකක් අමතල ඖෂදී හම්බෙලා ඕක විසඳගනින් 

ඉන්ද්‍රජිත් කියනවනේ හම්බෙන්න කරදර කරන්න එපා කියල.. ඖෂදීට ලෙඩක් වැටුනොත් වැඩේ කණපිට ගැහෙනව කියල 

කණපිට ගැහෙන්න හරි නොගහෙන්න හරි වැඩේ දෙකෙන් එකක් බේරගන්න කාලේ හරි මස්සිනා .. මේ යන විදිහට මේ කාලකන්නි ඒකිට උඹේ නම කියල කෑගහන්න කෑගහන්න ඕක යන්නේ කණපිට තමයි බූරුවෝ ..

ඒක තමයි බන් මමත් මේ කල්පනා කරේ මොකක් කරන්නද කියල .. මේ කාලකන්නි කිව්වට අහන එකක්යැ  බන් ..

කියන්න ඕන යමක් තේරුම්ගන්න මොලයක් තියන උන්ට බන්.. මුන්ගෙ ඔලු ඇතුලේ මොලේ නැහැ යකෝ.. ඒ හින්ද මීට වඩා වැඩි සාධාරණයක් බලන් ඉන්න එපා..

උඹ කියන්නේ දැන් මට මොකක් කරන්න කියලද ..

මට උඹට කරන්න ඕන මොකක්ද කියල කියන්න තරම් දැනීමක් නැහැ උඹේ මගුල ගැන.. ඒත් කරන දෙයක් ඉක්මනින් කරපන් කියලයි කියන්න තියෙන්නේ ..

බලමු බන් ...

විවේකය අවසන් වූ හෙයින් එම සංවාදය එතකින් නිමා වුවත් පවතිනා තත්වය නිමාකරන්නට කාලය එළඹ ඇති බව සුභාෂ්ගේ හිතටත් දැනෙමින් තිබුන. දවසින් දවස අඩපන වෙන අද්‍යාපන කටයුතුත්, මගහැරෙන අද්‍යාපන කටයුතු වෙනුවෙන් ගුරුවරුන්ගෙන් ලැබෙන දඬුවමුත්, හමුවෙන හැම වෙලාවකට ඇස්දෙක දිහා බලන් ඉන්න ඖෂදීත්, දීපු ලිපියට පිළිතුරු එනකම් ඖෂදී සමග කතා කරන්න එපා කියල තරයේ  අවවාදය දෙන ඉන්ද්‍රජිතුත් සුභාශ්ව පත්කළේ පැටලුන නූල් බෝලයක් හා සමාන තත්වයකට. පාසලේ ගතවෙන කාලය ඇතුලේ සුභාෂ් පියවි ලෝකයේ ජීවත් උනානම් ඒ විවේක කාලයේදී විතරමයි. ඒ ඖෂදී දැකගන්න , ඒ ඇස්දෙක දිහා බලන්න ලැබෙන එකම අවස්තාව විවේක කාලය පමණක් වෙන නිසා. 

කාලය කෙමෙන් කෙමෙන් ගතවීගෙන ගිහින් දින වකවානු ලං උනේ ඖෂදී සහභාගී වෙන සංගීත ප්‍රසංගය තිබෙන දවසට .

අද නේද උඹලගේ ෂෝ එක මචං ..

ඔව් බන් අද හවස තියෙන්නේ..උඹ එනවනේ බලන්න.. ඖෂදී සින්දු කියනවා බලන්න උඹ නෑවිත් ඉඳියිද  නේහ් ...

අනිවාර්යෙන් එනවා මචන්.. මම ෂෝ එක පටන් ගන්න කලින් ඖෂදීට කතා කරලා විශ් කරනව අද..

අනේ මේ .. උඹ පිස්සු කෙලින්න නම් ලැස්ති වෙන්න එපා හොඳේ.. 

ඇයි උඹ එහෙම කියන්නේ..

යකෝ.. මේ කලබල වෙලාවේ උඹ ගිහින් ඒකි වටේ කැරකිලා උඹේ පන්තියේ කාලකන්නි මෙතනත් ඒකට උඹේ නම කිය කියා කෑගහන්න ගත්තොත් ඒක ඖෂදීට හොඳ නැහැ.. ඒ හින්ද ෂෝ එක බලන්න එනවනම් ඇවිත් පාඩුවේ බලපන්..

මචන් ඉන්ද්‍රජිත්.. මේ වැඩේ දවසින් දවස කල් යනවනේ බන්.. මේක දැන් දෙකෙන් එකක් වෙන්න ඕන මචන්.. මට මේක මහා මානසික වදයක් බන්..

හරි මට තව සතියක් දියන් .. සතියක් ඇතුලත මම වැඩේ බේරලා දෙන්නම්කො ..

ශුවර්මද... නැත්තම් අද මම මේක දෙකෙන් එකක් කතා කරලා බේරගන්නද ..

උඹට ඕනෙනම් එහම කරලා නාගනින්.. හැබැයි ආයෙනම් මට නාහෙන් අඬන්න එපා හොඳේ..

හරි එහෙනම් මම තව සතියක් ඉන්නම්.. 

අන්න එහෙම ඉවසන්න පුරුදු වෙයන්.. මට සලකපන් ඉතින් වැඩේ කෙරුනාම..

ඇයි දැන් උඹට සලකනවා මදිද..

හරි එව වැඩක් නෑ .. මම යනව .. හවස වරෙන් ටවුන් හෝල් එක පැත්තෙ .. උඹේ කාලකන්නි යාළුවො නම් එක්ක එන්න එපා හොඳේ..

මම උන්ට ඉන්විටේෂන් දුන්නේ නැහැනේ බන්.. ආවොත් ඉතින් මට කරන්න දෙයක් නැහැ..

හරි බලමුකෝ.. පුළුවන් තරම් උන් කට් කරලා වරෙන්..

සුභාෂ් සහ ඉන්ද්‍රජිත් අතර සංවාදය එසේ අවසන් වුයෙන් සුභාෂ් නිවාස බලා බයිසිකලය පැද ගියේ සවස තිබෙන සංගීත ප්‍රසංගය නැරඹීම සඳහා නගර ශාලාව වෙත පැමිණීමේ බලාපොරොත්තුවෙන්. වැඩියම හවස් වෙන්න කලින් ලස්සන ඇඳුමකුත් ඇඳගෙන සුභාෂ් ලෑස්ති උනේ ප්‍රසංගය බලන්න යන්න.

කොහේ යන්නද අද මේ ලස්සනට ඇඳගෙන..

අද ටවුන් හෝල් එකේ ෂෝ එකක් තියනනවා අම්මේ.. ඒක බලන්න යන්න..

දැන් මොකක්ද ඔකේ තියන විශේෂත්වය ..

එහෙම විශේෂයක් නැහැ අම්මේ.. ඉස්කෝලේ ළමයි කරන එකක්.. ඇයි අම්ම එහෙම අහන්නේ..

නෑ  මේ  විශේෂයෙන් ඇඳපැළඳගෙන යන නිසා මම හිතුවේ මොකක් හරි විශේෂයක් ඇති කියල ..

අම්මට පිස්සු..

ඔව් මට තමයි පිස්සු.. විභාගෙට තව තියෙන්නේ දවස් කීයද.. ඕවම කර කර ඉන්නකෝ..

අම්ම කියපු දේට උත්තර නොදී සුභාෂ් එලියට බැස්සේ එතනින් එහාට තර්කය දිනන්න සුභාෂ්ට බැරි බව දන්න නිසා. පන්ති සගයින් සහ දන්නා කියන මිත්‍රයන් හමුනොවෙන පාරවල් වලින් බයිසිකලය පැදගෙන සුභාෂ් නගර ශාලාව ලඟට එද්දී නගර ශාලාව සෙනග පිරිච්ච තැනක්  බවට පත්වෙලා තිබුන. සෙනග අතරින් හෙමි හෙමිහිට ඇදිල ඉදිරියට ගිය සුභාෂ් කාටවත් වැඩිපුර ඇහැ නොගටෙන්න වග බලාගෙන සංගීත ප්‍රසංගය නරඹන්න ලැස්ති උනා. ඒ එක්කම උත්සවාකාරයෙන් සංගීත ප්‍රසංගය ආරම්භ වෙනවත් එක්කම සුභාෂ්ගේ පිටට කව්දෝ තට්ටු කරනවා දැනිල සුභාෂ් පසුපස බැලුව.

ඔයාද සුභාෂ් කියන්නේ මචන්..

ඔව්.. ඇයි ..

පොඩ්ඩක් එලියට යමුද.. මගේ යාලුවෙකුට උඹ එක්ක ටිකක් කතා කරන්න ඕනෙලු..

මොකක් ගැනද..

ඔයා යමුකෝ එලියට.. ඔයාට වැදගත් පණිවිඩයක්..

සුභාෂ්ට පණිවිඩය අරන් ආපු කොල්ලත් එක්කම අමාරුවෙන් සෙනග අතරින් ඇදිල සුභාෂ් එලියට ආවේ මේ කියන්න යන්නේ කුමන ආකාරයක පණිවිඩයක්ද කියන ප්‍රශ්නාර්ථය ඔලුවේ පුරවාගෙන. සැන්දෑ කළුවරත් එක්කම අඳුරු වෙමින් පැවතුන පරිසරය වැස්සක් එන පෙරනිමිත්තක් පෙන්නුම් කරගෙන බලන් හිටිය. ප්‍රසංගය පටන්ගත් නිසාවෙන් නගර ශාලාව පිටත පැවතියේ ජන ශූන්‍ය තත්වයක්. තැන තැන නවත්වල තියන වාහනත් බයිසිකලුත් ඇරුනාම එලි පහලියේ කව්රුත්ම හිටියේ නැහැ.

කව්ද බන් මට දැන් එන්න කිව්වේ.. කෝ කව්රුත් නැහැනේ ..

හිටහන් ඩෝ  ඉවසල.. ඒයි ... මෙන්න මම මෑන්ස් අරන් ආව එලියට.. 

සුභාශ්ව නගර ශාලාවෙන් ඉවතට  කැඳවා ආ පුද්ගලයා ඈත සිටි පිරිසක් අමතමින් එසේ කියනු ඇසීමෙන් සුභාෂ්ට වැටහුනා මේ වෙන්න යන්නේ හොඳ දෙයක් නොවෙන බව.

මෙහෙට එක්ක වරෙන්..

මචන්.. අපි යමු අරුන් ඉන්න තැනට.. මගේ යාළුවා ඉන්නේ එතන.. එසේ කියමින් සුභාෂ්ගේ අතින් අල්ලාගත් නාදුනන පුද්ගලයා සුභාශ්ව රැගෙන ගියේ නගර ශාලාව ඉදිරියේ තිබෙන මහජන පුස්තකාලය ඉදිරියට.. එහි රැඳී සිටි පිරිසෙන් කිහිප දෙනෙක් පාසලේ පැසිපන්දු ක්‍රීඩකයින් බව හඳුනාගැනීමට සුභාෂ්ට ඒ තරම් අපහසුවක් වුයේ නැහැ. 

ඔයාද සුභාෂ් කියන්නේ .. පිරිස අතර සිටි කළු උස කොණ්ඩය කුරු පුද්ගලයෙක් සුභාෂ් වෙත ලං උනේ එසේ අසමින්..

ඔව්... ඇයි ..

ඔයා ඖෂදීට කරදර කරනවා කියල ආරංචි උනා.. ආයේ ඒව බෑ හරිද..

මම ඖෂදීට කරදර කරේ නැහැ කවදාවත්.. 

හරි ඒවායින් වැඩක් නෑ .. උඹ  ඖෂදී ගැන අදහසක් තියනවනම් එක මේ දැන් ඉඳන් අතෑරපන්  හරිද..

ඇයි ඔයා එහෙම කියන්නේ..

ඇයි ?  මම ඒක දැන් උඹට කියන්නම ඕනෙද..

අනිවාර්යෙන් කියන්න ඕන.. මොකද මම දන්නවා ඖෂදීට අයියල නැහැ කියල.. ඒ හින්ද ඔයා ඖෂදීගේ අයිය නෙවෙයිනේ..

මොකක්ද යකෝ තෝ කිව්වේ.. එසේ කියමින් ඔහු සුභාෂ්ගේ කමීස කොලරයෙන් අල්ලාගන්නවාත් සමගම අනෙකුත් තරුණ පිරිස සුභාෂ් වටේට වටවුනේ ක්ෂණිකයෙන්..

මොකද මචන් මූ කියන්නේ.. 

මූගේ කට ටිකක් වැඩියි වගේ .. 

බොට දැන් කිව්වනේ ඖෂදී  ගැන අදහසක් තියනවනම් අතෑරපන් කියල.. උඹට සිංහල තේරෙන්නේ නෑ වගේ නේද.. මේ තමයි ඖෂදීගේ බෝයි ෆ්‍රෙන්ඩ්.. උඹ ඕකට දඟලල වැඩක් නැති නිසයි අපි මේක උඹට  කියන්න කියල හිතුවේ.. උඹට සිංහලෙන් කියල තේරෙන්නේ නැත්තම් අපි බොට දෙමලෙන් කියල දෙන්නද..

දැන් ඖෂදී ගැන මම අදහසක් තියන් ඉන්නවනම් උඹල මට මොනවා කරන්නද..

කරන දේ හිටහන්  කරලම පෙන්නන්න පරයො .. ගහපියවූ මුට මැරෙන්නම ..

එසේ කියමින් පළමුව කතාවට පැමිණි පැසිපන්දු ක්‍රීඩකයා සුභාෂ්ගේ මුහුණට එල්ල කල පහරෙන් මුහුණ ඉවතට ගත සුභාෂ් එයින් බේරුනේ දශමයෙන්. දහයක් පමණ පිරිසක් සමග ගහගෙන දිනීමට තරම් ශක්තියක් සුභාෂ්ට නොමැති උනත් නිවටයකු සේ එතනින් පලායාමට සුභාෂ්ට උවමනා වුයේ නැහැ.

වටෙන්ම වදිනා ගුටි ප්‍රහාරයට අමතරව ලීයකින් වැනි තද දෙයකින් හිසට වැදුනා වූ තදබල පහරක් නිසා නළල අතගා බලු සුභාෂ් දැක්කේ මූන දිගේ බේරෙන රතුම රතු ලේ ගංගාවක්.. එතනින් එහා සුභාෂ්ට මතක තිබුනේ අවට පරිසරය අඳුරු වෙනවා කියල විතරයි.. 



කළුවර රෑ සඳක් වගේ
ඇවිදින් ඔබ ඉන්නවනම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නෑ ඔබ බැස යන්න


මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බමරා

නුඹ හීනෙන්වත් නොදකින කුමරා




අටවෙනි කොටස මෙතනින්