Sunday, January 17, 2016

බස්සෙක් සහ වස්සෙක්..




ලියන්නට යෙදෙන සිදුවීම් සමුදාය පාදක වෙන්නේ එක්දහස් නවසිය අනූ අට කාලයට කියලයි මගේ භාගෙට පිච්චිච්ච මතක චිප් එක කියන්නේ. මේ කියන කාලේ මගේ පලවෙනි රැකියාව කරපු කාලය. මම වැඩකරපු කොම්පැනිය විසින් ආනයනනය කරන සියලු වෛද්‍ය උපකරණ රජයේ රෝහල්වල, පුද්ගලික රෝහල්වල, පුද්ගලික වෛද්‍ය සායන වල සවිකිරීම, සේවා කිරීම, අලුත්වැඩියා කිරීම කියන කටයුතු වෙනුවෙන් හිටපු විදෙස් පුහුණුව ලද චීෆ් ටෙක්නිශියන් නොහොත් ප්‍රධාන කාර්මික තැන තමයි මම.  

මේ කියන කාලය අපේ කොම්පැනියට ටිකක් විතර කාර්යබහුල කාල වකවානුවක් උනේ රජයෙන් සංවිධානය කරපු සුව උදාන වැඩසටහන වෙනුවෙන් සපයන්න භාරගතපු යන්ත්‍ර සූත්‍ර ලහි ලහියේ රට පුරා ස්ථාපිත කරන්න සියලු දෙනා සතිය පුරාම මහන්සියෙන් වැඩකරපු නිසා. මේ කියන කාලය කොයිතරම් කාර්යබහුලද කියනවනම් මට තිබ්බ වැඩ අධිකවීම නිසාවෙන් සහ හිටපු අනික් කාර්මිකයින් නිසි පුහුණුව නොලබපු උදවිය නිසාත් ඉන්දියාවෙන් පුහුණු කාර්මිකයින් දෙදෙනෙක් ගෙන්නගන්නත් අපේ කොම්පැනියට සිද්ද උනා. 

මාසයේ එක සතියක් කොළඹ කේන්ද්‍ර කරගෙන උදේ ගිහින් වැඩ කරලා හවස එන්න පුළුවන් දුර ප්‍රමාන වල තියන ජොබ්ස් කරගෙන යනවා වගේම ඊළඟ සතිය අනුරාධපුර කේන්ද්‍ර කරගෙන කරගෙන තමයි වැඩ කරන්නේ. ඉතුරු සති දෙකෙන් තවත් සතියක් බදුල්ල කේන්ද්‍ර කරගෙන රැකියාවේ නියැලෙන මම අනෙක් සතිය නැගෙනහිර පළාතේ නවතින්න පුළුවන් ගෙස්ට් හවුස් එකක් හරි දන්නා කියන වෛද්යතුමෙකුගේ නිල නිවාසයක් හරි කේන්ද්‍ර කරගෙන තමයි ඇවිදින්නෙ. මීට අමතරව ලැබෙන හදිසි ඇමතුම් වෙනුවෙන් ලංකාව පුරාම රාජකාරි සඳහා වාර්තා කෙරීම සිදුවෙන්නේ ප්‍රධාන කාර්යාලයෙන් ලැබෙන උපදෙස් අනුවයි.

අපේ කොම්පැනියට වාහන තිබ්බත් රියදුරු තනතුරු සඳහා ප්‍රතිපාදන ලැබුනේ බොහොම අඩුවෙන්. ඒ නිසා රියදුරු ඇතිව සහ නැතිව රැකියාවට වාර්තා කිරීම සිදුවුනත් රාජකාරියේ ස්භාවය අනුව බස් රථයෙන්, දුම්රියෙන්, රැකියාව සඳහා යන්න වෙන එක මට සාමාන්‍ය දෙයක්. යන ඕනෑම ක්‍රමයකට ආයතනයෙන් මට ගෙවන නිසා යන්නේ මොකේද කියන එක මට අදාළ උනේම නැහැ. මම යන රාජකාරිය තනියම කරන්න බැරි එකක්නම් රාජකාරිය වෙනුවෙන් සහයට දන්නා කියන මිත්‍රයෙක් අරගෙන යන්නත් ආයතනයෙන් ප්‍රතිපාදන සැපයුනා. එහෙම ගියපු වතාවක සිද්දියක් තමා හෙළුවෙන් දුවගොස් ආපසු ඒම  පොස්ට් එකට පාදක උනේ.

අපේ කොම්පැනිය අයිතිකාර ලොක්කා රටේ නමගිය ප්‍රසිද්ද ප්‍රභූවරයෙක් නිසා රියදුරෙක් ඕනවෙන වෙලාවට මරදාන පැත්තේ පඳුරකට පයින් ගැහුවත් රියදුරන් විස්සක් විසිපහක් හොයාගන්න එක සිම්පල් වැඩක් වෙච්චි. ඒ හින්ද මේ කියන කාලෙට සාපේක්ෂව අපේ නිල රථයේ රියදුරු හැටියට කටයුතු කරේ ලොක්කගේ පුද්ගලික හිතවතෙක් නොහොත් වේදිකා නාට්‍ය ක්ෂේස්ත්‍රයේ ටිකක් විතර ප්‍රසිද්ද කෙනෙක්. ඇඟ පුරාම මොලේ තියන වර්ගයේ එකේ වෙච්චි අපේ රියදුරා රිය පදවන ලීලාවෙන් වැඩි හරියක් කරේ අපි කරන කියනාවූ දේවල් සියල්ලම අකුරක් නෑර ලොක්කාට වාර්තා කිරීමේ රාජකාරිය තමයි. ලොක්ක කිව්වොත් එක පාරක් පිටකොටු ගිහින් වර කියල මූ දෙපාරක් පිටකොටු ගිහින් එන වර්ගයේ මොඩල් එකක් කිව්වොත් තමයි නිවැරදි. 

කයිවාරු ගහන්න උපන් හපන් එකෙක් වෙච්චි අපේ රියදුරා එතුමාගේ හැකියාවන් ගැන, දන්නා අඳුරන ලොකු ලොක්කෝ ගැන  කයිවාරු ගහන වෙලාවට උන්ද තරම් වැඩකාරයෙක් තුන් ලෝකෙම නැති තරම්. ලොක්කගේ පුද්ගලික හිතවත්තු හාවෝ කරලා වාහනේ නග්ගල එව්වනව කියල අපි දැනගෙන හිටියත් යාප්පුවෙන් වැඩේ ගැනීම අපේ මැනේජර් මහත්තයා අපිටත් කලින්ම උගන්නලා තියන නිසා වාහනේ රියදුරු අසුනට ලොක්ක නග්ගන හා පැටවුන්ට අපි පුළුවන් ඉහලම ගෞරවය දෙන්න කිසි වෙලාවක පසුභට උනේ නැත්තේ එව්වා අපේ අතින් පයින් යන එව්වා නොවෙන නිසාත් අපිත් ලොක්කගෙන්ම කබරගොයා තලගොයා කිරීමේ කලාව ඉගෙනගෙන තිබ්බ නිසාත්ම තමයි.

ඉතින් අයියෙ ඔයාට මේ තියන සුදුසුකම් වල හැටියට හොඳ ජොබ් එකක් කරගන්න තිබ්බනේ වෙන තැනක..

ජොබ් එකක් ඕනෑකමට කරන එකක් නෙවෙයි මල්ලි මේක.. මේ ලොක්කගෙ කීම අහක දාන්න බැරි නිසා උදව්වක් විදිහට මේ වාහනේ එලවනවා මිසක් මට එළියේ මැනේජර් පොස්ට් එකක් වගේ එක හොයාගන්න එක සිම්පල් මල්ලි.. 

ඒක මිසක්.. මම මේ බැලුව අයිය මේ තරම් ප්‍රසිද්ද මිනිස්සු අඳුරන කෙනෙක් වෙලත් මොකද මේ අපේ වාහනේ එලවන රස්සාව කරන්නේ කියල..

මේ දවස්වල රටේ ප්‍රශ්න එක්ක නාට්ටි එහෙමත් වැඩිය නැති නිසා මමත් ජොබ් එකක් හොයා හොයා තමයි මල්ලි ඉන්නේ..  ඒ අස්සේ තමයි ලොක්ක මේ උදව්ව ඉල්ලුවේ මගෙන්.. බෑ කියන්න බැහැනේ මල්ලි.. ලොක්ක රත්තරන් මනුස්සයනේ..

අනේ ඔව් අයියෙ.... හරි හොඳ මනුස්සයා.... 

ලොක්කා වනාහි කබරගොයාත් තලගොයා කරගෙන කන, තැටිය රත්වෙච්ච වෙලාවේ රොටි දෙතුන්සීයක් පුච්චගන්න, මැටි පූසෙක් ලව්වත් මියෝ අල්ලවන්න දක්ෂ, වඳුරන්ගෙන් බන අහල ජේතවනාරාමෙට ගල් ගහල ආපු,  බොහොම දුර දක්නා නුවන ඇති, වාසි පැත්ත කල් තියාම දක්නා නුවන ඇති, විනාඩියකට කලින් කිව්ව දෙයක් මම එහෙම කිව්වේ නැහැ කියන්න පුළුවන් දක්ෂතා ඇති, ලැජ්ජාව බෙදන තැනකවත් ඉඳලා නැති සහ මෙකී නොකී ලෝකේ තියන කට්ට කයිරාටික කම් සියල්ලම දන්නා පොරක් යකෝ උඹ ලොක්කට අහුවෙලා ගොනා සේ නොකා නොබී වාහනේ එලවන මෝඩ වස්සෙක් කියල කියන්න ඕන උනත් ලොක්ක එවන කිසිම රියදුරෙකුට අපි කව්රුවත් එහෙම කිව්වේ නැහැ. 

මේ කියන රියදුරු තැන අපිට සුවිශේෂී වෙන්නේ කන්න ගියාමයි. උදේට කන්න වාඩිවුණ ගමන් අපේ ලොක්කගේ හා පැටියා නොහොත් අපේ රියදුරාගෙන් පිටවෙන්නේ මෙන්න මේ වගේ අවවාද..

මල්ලි... අපි උදේට තමයි හොඳටම කන්න ඕන... මොකද අපි දවසම වැඩ කරන්න ඕනනේ.. හොඳට උදේට කෑවෙ නැති උනොත් වැඩකරන්න අමාරු වෙනව..

එතකොට වේටර් අහනව " මොනාද සර් ගෙන්න ඕන.."

අපිට ගේන්න ඉඳි ආප්ප, පාන්, චිකන් කරී, මිරිස් මාළු වගේ එව්වා..

හොඳයි සර්..

වෙටරයා ගෙනත් තියන සේරෝම ජාති සුනාමියට ගියා වගේ වෙන්න කාල දාන අපේ රියදුරා නිකමටවත් හිතන්නේ නැහැ දවසේ වියදමට ලැබෙන සම්පූර්ණ මුදලම උදේට කන්න විතරක් වියදම් කරලා බැහැ කියල.. ඉතින් ඌ එක්ක රස්සාවට යන අපිට සිද්ද වෙනවා ඌ කන ප්‍රමාණය අඩු කරන්නේ නැති නිසා ඊට සාපේක්ෂව උදෑසන ආහාර වේලේ පිරිවැය අවම කරන්න බනිස් ගෙඩියකින් වගේ සෑහෙන්න.

දවල්ට කන්න ගියාමත් පෙර අවවාදයම ලැබෙනවා අඩුපාඩු නැතුවම..

මල්ලි.. අපි දවල්ට තමයි හොඳටම කන්න ඕන.. මොකද අපි තව පැය ගානක් වැඩකරන්න ඕනනේ.. 

ඒ සියලු අවවාද දීල මූ දවල්ට බිරියානි එකක් කුකුල් පළුවක් එක්ක එහෙම්පිටින්ම අමාශගත කරන නිසා අපිට සිද්දවෙනවා ඌට දානෙ දීල අය වැය බැලන්ස් කරන්න පොඩි දෙකින් සෑහීමකට පත්වෙන්න.

මම මේ රියදුරා එක්ක යන දවස්වලට මේ සියල්ලටම වාඩුව ගන්න බලන් ඉන්නේ රෑට. මොකද අපි සයිවර් කඩේකින් කෑවත් හිල්ටන් එකෙන් කෑවත් කොම්පැනියෙන් අපිට ගෙවන්නේ එක සමාන දයිනික දීමනාවක් නිසා දවසේ නවාතැන් සහ ආහාර වියදම ඒ ලැබෙන මුදලට සීමා කර නොගත්තොත් අපිට වෙන්නේ අපේ අතින් ගෙවන්නයි. මුගේ බඩජාරිකම නිසා උදේටත් දවල්ටත් යහමින් යමක් කන්න විදිහක් නැතිවෙන මම නම් රෑ වෙද්දී ඉන්නේ මූව බැදලා කන්න කේන්තියෙන්. ඒ මදිවට උගේ අරක්කු කාලත් යන්නේ දවසේ වියදමට.

ඔන්න රෑට කන්න වාඩි උනාමත් පෙර අවවාදයම ලැබෙනවා. හැබැයි රෑට කන්න කලින් කන්න යන කඩේට ගොඩවෙන්න ඉස්සෙල්ල කොහෙන් හරි බාර් එකකින් කාලක් සාක්කුවේ දාගන්නත් අමතක කරන්නේ නැහැ අපේ රියදුරු තැන. 

මල්ලි .. අපි රෑට තමයි හොඳටම කන්න ඕන..

ඒ මොකෝ අයියෙ..

ඇයි මල්ලි.. දැන් බලන්න.. අපි දවසම මහන්සි වෙලා ඉන්නේ.. ඉතින් උදේට වැඩ කරන්න ශක්තිය ලැබෙන්න නම් රෑට හොඳට කන්න ඕන.. (වට පිට බලා කාල කටේ තබා ගුඩුස්..ගුඩුස්.. ශබ්දයෙන් කාලෙන් භාගයක් ආමාශගත කරයි )

සර්ලා මොනාද කන්නේ..

ඔන්න ඔර්ඩර් කරන වැඩේදී අපේ රියදුරා ඉදිරියට පැන ප්‍රහාර එල්ලකරන්නේ දෙපාරක් හිතන්නේ නැතුව..

මට ගේන්න හොඳ චිකන් කොත්තුවයි, ලොකු කොකාකෝලා එකයි.. මේ මහත්තයටත් ඕන දේ අහල ගෙන්නකෝ..

ම්ම්ම්ම්ම්ම් ........ මම තව ටිකක් කල්පනා කරලා කියන්නම්කො... ඔය කොත්තුව දාල ගෙන්නකෝ..

හොඳයි සර් ..

වෙටරයා කෑම ගේන්න ගියාම දාහක් කයිවාරු කතා අහන ඉන්න වෙන එක සාමාන්‍ය දෙයක්.. ඔන්න වේටර් අපේ එකාගේ කොත්තුව අරන් ඇවිත් මෙසේ උඩින් තියල කොකාකෝල බෝතලෙත් තියනව..

සර්ට මොනාද ගේන්න ඕන..

ප්‍රයිඩ් රයිස් තියෙනවද...

ඔව් සර්..

එහෙනම් මට ගේන්න මික්ස් චෝප්සි රයිස් එකක්..

හරි සර්..

තුන් වෙලේම පෝෂණය අපිට ලැබෙන්න ඕන විදිහ ගැන දහසක් අවවාද අනුසාසනා දීපු අපේ රියදුරු මහත්තයාගේ මූණ කජු ලෙල්ලක් වගේ වෙන්නේ නිකම්ම.. ඉන් පස්සේ කොත්තුව කාල ඉතුරු අරක්කු ටිකත් වටපිට බලල උගුරට හලාගන්න අපේ රියදුරු තුමා නැගිටලා එලියට යන්නේ මම චයිනීස් කන එක බලාගෙන ඉන්න බරීම නිසා.. ආයේ ඉතින් කාමරේට ඇවිත් නිදාගෙන උදේට ඇහැරෙනකල්ම ඉන්නේ කතා බහ නැත. 

එත් ඉතින් ඌ ඇඳට වැටිල කළුවර බුරුත ඉරන්න ගත්තාම තමයි උගේ බෙල්ල මිරිකලා හිරේ යන්න හිතෙන්නෙ. එළිවෙනකම් ඉතින් ඌ කොට ඉරන සද්දෙට කන් දීගෙන ඉන්නවා ඇරෙන්න මටනම් ඌ එක්ක නින්දක් ඇත්තෙම නැහැ. 

ඔය සනාගේ වික්‍රම පොස්ට් එකේ ඉන්න සනාත් වැඩකරේ අපේ කොම්පැනියේම නිසා වැඩි හරියක් මේ කියන රියදුරා එක්ක ඇවිද්දේ අපේ සනා. සනා රෑට රෑට බොන්න පුරුදු වෙච්චි මුල්ම හේතුව තමයි මේ කියන රියදුරා. රෑට නිදාගන්න විදිහක්ම නැති නිසා සනාට සිද්ද උනා ඌ එක්ක නිදාගැනීමේ ක්‍රමවේදය විදිහට රියදුරා කාලක් ගහනකොට සනා භාගයක් ගහල නිදාගන්න පුරුදු වෙන්න. 

මේ කියන රියදුරාගේ කෑමේ ස්භාවය නිසා මම විසින් ඌට දාපු නම උනේ කෑමරුවා කියලයි. මුනට නොකිව්වට අන්තිමේ අපි කව්රුත් අපේ රියදුරා නැති තැන හැඳින්නුවේ කෑමරුවා කියලයි.

ඔය විදිහට රැකියාව කරගෙන යද්දී ලොකුම ලොකු හදිසි අලුත්වැඩියා කටයුත්තකට මට කෑගල්ල රෝහලට යන්න උනේ සිකුරාදාවක උදේ පාන්දර. රාජකාරියේ ස්භාවය උඩ ගෝල තැනකුත් ඕනවෙන නිසා රියදුරා වශයෙන් ඉහත අඳුන්වල දීපු කෑමරුවාවත් යාප්පු කරගෙන අපි කෑගලු ගන්න පිටත් උනා. 

කෑගල්ලේ වැඩේ ගොඩ දාල අපි කෑගල්ලෙන් පිටත් වෙද්දී දවල් එක විතර වෙලා. කලින් පැහැදිලි කරපු විදිහටම පෝෂණය ගැන සුපුරුදු පාඩම මට උදෑසන ආහාරයටත් , දිවා ආහාරයටත් දෙකටම කන් පිරෙන්න අහගෙන ඉන්නනම් උනා. 

දවස සිකුරාදා වීමත්, මාසයේ අවසන් සතියේ දවස වීමත්, වැටුප් ලබෙන දිනය වීමත් එක්ක මේ කියන දවස සුවිශේෂී දවසක් නිසා රුහුණු කුමාරියේ ගෙදර මාරුවෙන්න බලාගෙන ඔෆිස් එකට ආවාම තමයි මැනේජර් මට කිව්වේ ලොක්ක එන්න කිව්වා කියල. 

කොම්පැනියේ එකෙක්වත් හවස් අතේ ලොක්කගේ ගෙදරට නොයන්නේ හේතු දෙකක් නිසා. 
පලවෙනි එක ඒ වගේ වෙලාවල් වලදී ලොක්කා විසින් පවරන විනාඩි දහයේ පහළොවේ වැඩ ඉවර කරන්න පැය තුන හතරක් ගතවීමත් ඊට සමගාමීව ඉක්මනින් ගෙවල්වල යන්න තියන හවස කොච්චි ටික මගහැරීම. 

දෙවැනි හේතුව උනේ ඩ්‍රයිවින් පුළුවන් එකෙක් ලොක්කගේ බිරින්දෑට හසුවීම යනු, 
ඩ්‍රයිවින් සීට් එක පස්ස පැත්තට ඇලෙනකම් සහ ගස් නැගපු යක්කු ගස් වලින් බහින වෙලාව වෙනකම් ගෙවල් ගානේ වාහනේ එලවන්න වෙන නිසා. මේ හේතු දෙක නිසාම හවස් අතේ ලොක්කාගෙන් ඇමතුමක් ඔෆිස් එකට ලැබෙනවා කියන්නේ ඒ කෝල් එකට මැනේජර් උත්තර දෙනකොටම පිස්සු පූසා කාර්ටුන් එකේ සාජන් මහත්තයා දකින පූසන් සෙට් එක වගෙන් ඔෆිස් එකේ ඉන්න එවුන් ඔක්කොම හැරිච්ච හැරිච්ච අතේ මාරුවෙන්න හේතුවෙන කෝල් එකක්. මගේ ජීවිතේට හමුවෙච්චි සුපිරිම ගනයේ මැනේජර් කෙනෙක් වෙච්චි අපේ මැනේජර් මහතාත් අපිව ඒ වගේ මරාල වලින් ගලවගන්න ලොකු සේවයක් ඉෂ්ටකරපු කෙනෙක්. ඒ හින්ද දවසට කීප වතාවක්ම අපි වෙනුවෙන් හතරවෙනි සිල්පදේ කඩන්න අපේ මැනේජර් මහතාට සිද්දවුනා.

මේ කියන සතිය මම කොළඹ කේන්ද්‍ර කරගෙන රැකියාව කරන සතිය නිසාත්  හැමදාම හවසට රුහුණු කුමාරියේ ගෙදර මාරුවෙන නිසාත් කොළඹින් පිට යනකොට ගෙනියන මගේ ඇඳුම් කඩමාලු ටික පුරවපු බෑග් එක අරන් එන්නේ නැහැ. ඒ නිසා මගේ ටූල්ස් ටික තියන බීෆ් කෙස් එකත් අරගෙන මාසික වේතනය නොහොත්, බඩ ගොස්තරය නොහොත්, පඩි පැකට් එකත් අරගෙන අපේ කෑමරුවා රියදුරා එක්කම ලොක්කගේ ගෙදර බලා පිටත් උනේ එහෙම්මම වාහනෙන්ම මරදාන ස්ටේෂමට දම්මගන්න බලාපොරොත්තුවෙන්.

ආ ඔයාල ආවද.. මට මේ දැන් අමාත්‍යංශෙන් කොල්ල එකක් ආව අර ඇටම්පිටියේ යුනිට් එක මේ සතියේ හයිකරලා නැහැ කියල..

ඒකෙ ඕපනින් එකට තව සති දෙකක් තියන නිසා ඒ වැඩේ ටිකක් කල් දැම්ම බොස්.. වැඩත් ටිකක් තද වෙලා තියෙන්නේ.. ඉන්දියන් දෙන්නව දුවවලත් වැඩ ටික වෙලාවට ගොඩ දාන්න අමාරුයි..

දැන් වැඩේ කියන්නේ ඕපනින් එක සඳුදට කරන්න එයාල තීරණය කරලා.. ඒ හින්ද අපි මේක හෙට දවස ඇතුලත කරන්න ඕනෙමයි..

ඉතින් බොස් අපි මේ වැඩ ප්ලෑන් කරේ එයාල දීපු දින එක්කනේ.. දැන් එයාල වැඩේ හදිසි කරා කියල අපේ වරදක් නෙවෙයිනේ ඒක..

එහෙම කියල බෑ .. අපි මේක කොහොමහරි හෙට කරන්න ඕන.. මේක නොකෙරුනොත් අපිට හොඳ නෑ..

හරි.. එහෙනම් මම හෙට උදේම යන්නම්.. යුනිට් එක ස්ටෝර්ස් වලින් ගන්නම් උදේට..

හරි එහෙනම් එහෙම කරන්න..

ඔන්න ඔය වෙලාවේ තමයි පින්වතුනි හැම දේටම මැදට පනින කෑමරුවා නොහොත් අපේ ලොක්කගේ හා පැටියා රියදුරා ආරාධනයකින් තොරවම කතාව මැද්දට පනින්නේ..

අපි එහෙනම් සර් දැම්ම පිටත් වෙන්නද.. මම ඉතින් බස්සා වගේනේ සර්.. මට ඉතින් වාහනේ එලවනවා කියන්නේ සිම්පල් වැඩක්..

ඒ කතාව ඇහුන ගමන් මගේ කොන්ඩේ කෙලින් වෙලා කන් දෙකෙන් දුම් පිටවෙන්න ගත්තේ මට වෙන්න යන දේ දැනුන නිසා..

ශා මරුනේ.. එහෙනම් ඔයාල දැම්ම පිටත් වෙන්න.. එතකොට වැඩේ ලේසියි.. රෑ වෙද්දී ඇටම්පිටියට යන්න පුලුවනිනේ.. අනික ඔයා එලවන නිසා (මගේ නම ) ට පුලුවනිනේ යන ගමන් ටිකක් නිදාගෙන ගිහින් උදේම වැඩේ පටන් ගන්න.. එහෙනම් ස්ටෝර්ස් වහන්න කලින් ගේට් පාස් එක ලියාගෙන ගිහින් බඩු ටික දාගෙන පරෙස්සමෙන් පිටත් වෙන්නකෝ.. ඔයාල ඔෆිස් එකට යනකොට මම ගේට් පාස් එකයි ඩීසල් සල්ලියි හදල තියන්න කියල කෝල් කරලා මනේජර්ට කියන්නම්.. 

හා සර්.. මම පැය පහෙන් යන්නම් ඇටම්පිටියට .. ඔය පාරවල් මට සිම්පල්..

මේ වගේ මිනිස්සු තමයි කොම්පැනි වලට ඉන්න ඕන.. ඔයා ලොකු උදව්වක් මේ වෙලාවේ අපිට කරන්නේ..

ඕක සුළු දෙයක් සර්.. මම ඉතින් බස්සා වගේ තමයි.. සර්ට නොකරන උදව් කාට කරන්නද සර්..

නඩුත් හාන්දුරුවන්ගේ බඩුත් හාන්දුරුවන්ගේ නිසාත් සාක්කියටත් එකෙක් පැනලම දීපු නිසාත් මට කතා කරන්න දෙයක් තිබ්බේ නැහැ. එහෙමම ඇවිත් වාහනේට නැග්ගේ අපේ රියදුරාගේත් ලොක්කගේත් මවු දෙමව්පියන්ට සුගතියටම වඩින්න ලැබේවා කියල හිතල පින් දෙන ගමන්.

අවශ්‍ය දේවල් ඔක්කොම දාගෙන කොළඹින් පිටත් වෙද්දී හවස පහ පහු උනා කියමුකෝ.. සිකුරාදා හවස හයිලෙවල් පාරෙ ට්‍රැෆික් එකත් හරි චුට්ටයි නිසා අවිස්සාවේල්ලට යද්දිත් රෑ අටහමාර පහුයි. බඩු පටවපු තැනින් ගමන පිටත් උන ගමන් වාහනේ සීට් එක දිගෑරගෙන නින්දට වැටිච්ච මට ඇහැරෙද්දි අපි අවිස්සාවේල්ලෙ. නින්දෙන් ඇහැරිලත් මම කල්පනා කරේ මූව උයල කනවද බැදලා කනවද කියන එක. රත්නපුර හරියෙන් දයිනික කාලේ බෝතලෙත් සාක්කුවේ දාගෙන වාහනේ එලවන අපේ කෑමරුවා රියදුරා බලන්ගොඩ හරියේදී මහා රෑ කඩේකින් තැඹිලි ගෙඩියක් බොනකොට මට තේරුනා ඌ කරගත්තු ගොන්කම ඌ ලෙසටම විඳවන විත්තිය. එත් වාහනේ නවත්තුවාම හොරෙන් ඇහැ ඇරලා බලනවා ඇරෙන්න මම ඉන්නේ තනිකරම හොර නින්දක.

කඩින් කඩ වැටෙන වැස්සත්, මීදුමත් නිසා හපුතලේ  හරියට එද්දී සෑහෙන්න රෑ වෙලා. අයිනකින් වාහනේ නවත්තපු, මම  බස්සෙක් වගේ කියපු එකා මෙන් මගෙන් අහනවා..

මල්ලි...

(මම නිදි.  හොර නින්ද අහරවන්වා බොරු)

මල්ලි පොඩ්ඩක්  නැගිටින්නකෝ..

හ්ම්.. (එහෙම කිව්වෙත් නින්දෙන් වගේ)

මල්ලි පොඩ්ඩක් නැගිටින්නකෝ...

(ඔන්න මම නිදිමතේ වගේ ඇහැරුනා)

ඇයි.. මොකද..

පොඩ්ඩක් එලවන්න පුලුවන්ද මල්ලි.. මට මාර නිදිමතයි..

පිස්සුද බන් අයියෙ.. මට මේ උණ ගන්න වගේ.. මාව වෙව්ලනවත් එක්ක.. 

දැන් මොකද මල්ලි කරන්නේ.. මට හරිම අමාරුයිනේ..

දැන් ඔයා ලොක්කට කිව්වනේ ඔයා බස්සෙක්ද මා වවුලෙක්ද මොකෙද්ද වගේ කියල.. ඉතින් ඒ විදිහට එලෝගෙන යන්නකෝ.. මට නම් බෑ එලවන්න..

අපි කොහෙහරි රූම් එකක් අරගෙන නවතිමුද මල්ලි..

ඔයා ගෙවනවනම් නවතිමු.. මේ ජොබ් එක වන් ඩේ ජොබ් එකක්.. ඒ හින්ද නයිට් අවුට් වැටෙන්නේ නැහැ.. මීල්ස් විතරයි.. ඔයා රූම් එකකට ගෙවනවනම් කැමති ගෙස්ට් හවුස් එකකට වාහනේ අල්ලන්න.. නො ප්‍රොබ්ලම්..

ඒකත් එහෙමද.. එහෙනම් අපි හෙමින් හෙමින් යමු මල්ලි..

ඔයාගේ කැමැත්තක්.. ඇටම්පිටියට ගියාම මාව ඇහැරවනකෝ..

මම ආයෙත් දිගෑරපු සීට් එකේ වම්පත්තේ ඇලයට හැරිලා හොර නින්දට වැටුනේ තෝ ඕන මගුලක් කරගනින් කියල කටින් කියන්න බැරි හින්දමයි. තුවායක් දත් බුරුසුවක්වත් අඩුම තරමේ නැතුව මේ වගේ ගමනක් යන්න උනේ මුගේ තියන පණ්ඩිතකම නිසා. වාහනේ එලොගෙන බැරිනම් දක්කාගෙන හරි යන්න පුළුවන් විදිහකට පල කියන අදහස විතරයි මගේ හිතේ තිබ්බේ.

අපේ මා වවුලා හෙවත් බස්සා රියදුරා වතුර බොනවා, ඔලුව හෝදනවා, වාහනෙන් බැහැල සීතලේ ඇවිදිනවා, හුඟ වෙලාවකට කලින් බීල ඉවර කරපු කාලේ බෝතලේ කට උඩින් තියල හොලවනවා වගේ විකාර වැඩ කෝටියයි. අවසානයේ අපි ඇටම්පිටියට එද්දී අලුයම හතරයි තිහයි. යන්ත්‍රය හයිකරන්න තිබුනේ ඇටම්පිටිය රෝහලේ නිසා ඉස්පිරිතාල මිදුලේ වාහනේ දාගෙන ඉතුරු ටික කාලය නිදාගන්න අපිට සිද්දවුනා. ඒ සීතලේ කුමන නින්දක්ද. උදේ ගෙදරින් ඇඳන් ආපු ඇඳුම පිටින් දවස් දෙකක් ගතකරන්න වෙච්චි කේන්තියට ඌ මැරුවත් මගේ හිතට මදි. 

ඇටම්පිටියේ සුමිහිරි සීතලේ වාහනයක් ඇතුලේ ගතකරපු පැය එකහමාරකින් පස්සේ මම අපේ බකුසු රියදුරා හැරෙව්වේ මේ මගුල හැකි ඉක්මනින් හයි කරලා කොළඹ යන්න ඕන නිසා. 

මේ කියන බකුසු තුමා උදේට ලකලැහැස්තිති වෙන්න පැයක් එකහමාරක් ගතකරන සැන් පවුඩර් ලොරියක් විතර නාන මොඩල් එකක්.  

දැන් කොහෙන්ද මුණ කට සොදාගන්නේ..

අපි ටිකක් පහලට යමු මල්ලි.. පහල තියන පීල්ලකින් හොඳට ඇඟපත සෝදගත්තාම මල්ලිට ෆ්‍රෙෂ් පිට වැඩේ කරතැකි..

දැන් කෝ තුවායක්, දත් බුරුසුවක්වත් නැහැනේ..

ඒකනම් එහෙම තමයි මල්ලි.. ඔය කඩේකින් බුරුසුවක් සබන් කෑල්ලක් ගමු..

හ්ම්..

බකුසු උන්නැහේ හෙමින් සීරුවට වැලිමඩ පැත්තට ඇදුන වාහනේ නැවැත්තුවේ ලස්සනට ගලා බහින දියපාරක් අයිනේ..

මල්ලි..මට මාර කක්කුසි බරක් තියෙනව මල්ලි.. මම මෙතනින් බහින්නම්.. මල්ලි සබන් කෑල්ලකුයි දත් බුරුසු දෙකකුයි අරන් එන්න.. අදට විතරනේ මල්ලි.. තුවායක් ඕන නෑ.. අපි හොඳ සීත වතුර ටිකකින් ඇඟ හෝදගෙන කොහෙට හරි ගිහින් හොඳට කාලා වැඩේ පටන්ගමු.. ඊයේ රෑට කෑවෙත් නැහැනේ මල්ලි..

හා එහෙනම්..

බකුසු රියදුරා වාහනේ බැහැල කලිසමයි කමිසෙයි ගලවල වාහනේ ඇතුලට විසික් කරලා යට ඇඳුම පිටින් දිය පාර වැටෙන බඩවැටිය අතරින් නොපෙනී ගියේ උදෑසන අඳුරත් කපාගෙන. ඒ වෙද්දී ඇටම්පිටියට ඉර උදාවෙලා තිබ්බේ නැති උනාට ඈතින් අරුනලු නගීගන එන බව කිව්වේ එලිය වැටීගෙන එන ලස්සන ආකාසෙ.

මමත් හෙමින් සීරුවට වැලිමඩ පැත්තට එද්දී තිබ්බ පලවෙනි කඩේ වාහනේ නවත්තල ඕන කරන දේවල් ටික ගන්නයි ලැහැස්ති උනේ..

මොනාද මහත්තයෝ ඕන..

මට දෙන්න මුදලාලි දත් බුරුසු දෙකයි.. සබන් කෑල්ලයි.. දත් බෙහෙත් පොඩි ටියුබ් එකකුයි..

ආ මෙන්න මහත්තය.. මහත්තය මේ පළාතේ කෙනෙක් නෙවෙයි වගේ..

නෑ මුදලාලි.. මේ ඉස්පිරිතාලේ වැඩකට අපි කොළඹින් ආවේ.. ආ මෙන්න සල්ලි..

අනේ මහත්තයෝ .. දාහක් මාරුකරන්න නැහැනේ..

ඉතින් මුදලාලි මා ගාව වෙන සතයක්වත් මාරු නැහැනේ..

අනේ මහත්තයෝ අපි හරි අහිංසක දුප්පත් මිනිස්සු නෙව.. මේ දවස්වල නාදුනන කෙනක් ගේන රුපියල් දාහක් මාරුකරන්න බැහැ මහත්තයෝ.. හැමතැනම හොර සල්ලි ..

දැන් මොකද මුදලාලි කරන්නේ.. මාගවත් මාරු නැහැනේ..

උදේ පාන්දර බිස්නස් එක උනාට කමක් නැහැ මහත්තයෝ..බඩු ටික මම ආපහු ගන්නම්.. පහල කඩෙන් බලන්නකෝ.. 

ඔයාකාරයෙන් ඔය කතන්දරේම අහන්න උණ කඩ ප්‍රමාණය දැන් මතක නැහැ. ඒ කාලයට සාපේක්ෂව තිබ්බ හොර සල්ලි ප්‍රශ්නයක් නිසා එක කඩයකින්වත් මගෙන් රුපියල් දාහක් ගන්න එක තරයේ ප්‍රතික්ෂේප වුනා. ඒකට හේතුව උනේ මාගේ අවංකභාවය වෙනුවෙන් සිකුරාදා ලැබුන පඩි පැකට් එකේ තිබ්බ ඔක්කොම දාහේ කොළ මම මුදලාලිලාට පෙන්වීම. මගේ අවන්කභාවයට ලැබුන උත්තරය උනේ උදේ පාන්දර බිස්නස් එක මස්තබාදු කරන්නේ නැතුව පොලිසියට කෝල් කරන්නද නැත්තම් යනවද කියල තර්ජනය කරලා සමහරක් කඩ කාරයින් විසින් මාව එලවා දැමීම. 

කොහෙවත් යන හොර සල්ලි කතාවක් ඇඟේ දාගෙන පොලීසි යනවට වඩා වැලිමඩට  ගිහින් බඩු ටික ගේන එක ලේසි නිසා අන්තිමේ මට සිද්දවුනා වැලිමඩට ඇවිත් වාහනේට තෙල් ටිකක් ගහල සල්ලි මාරු කරගෙන ඕන කරන දත් බුරුසු, දත් බෙහෙත්, සබන් අරගෙන ආයෙත් ඇටම්පිටි යන්න. ඇත්තටම කියනවනම් මට අමතක උනා බකුසු රියදුරා යට ඇඳුම පිටින් නේද කියන එක. 

බකුසු රියදුරා දියපාර ලඟින් බස්සල පැය දෙකකට විතර පස්සේ තමයි අන්තිමේ මම බකුසු රියදුරා ඉන්න තැනට ආවේ කියමුකෝ. අප්පච්චියේ එතන තිබ්බ සිරියාව. මුළු ගමම එතන කියහන්කෝ. ගෑනු නානවා. පොඩි එවුන් නාවනවා. මෝටර් සයිකල් හෝදනවා. ඩෙලික වෑන් හෝදනවා, එළවලු හෝදනවා එක යුද්දයයි. ඒ කියන්නේ එතන සෑහෙන ප්‍රසිද්ද නාන තොටුපොළක්. 

මුකුත් නොදන්නා ගානට මමත් වාහනේ අයිනෙන් නවත්තල නාන තොටුපොළේ ටිකක් විපරම් කරලා බැලුව අපේ එකා උගේ අලංකෘත යට ඇඳුම සහ තඩි බඩ ගෙඩිය සහිත වාමන මොඩල් දේහය ප්‍රදර්ශනය කරමින් නානා හිටපු කාන්තා පාර්ශව අමන්දානන්දයට පත්කරගෙන දිය කෙලිනවා වත්දෝ කියල. මුණ පුරා රැවුල වවාගෙන යට ඇඳුමක් ඇඳන් කිසිම මුලාශ්‍රයක්, ඒ කිවේ ආපු වාහනයක්, ඊට උඩින් ඇඳන් හිටපු ඇඳුමක්, හැඳුනුම්පතක් නැතුවම ගමේ නාන තොටේ එහෙම එකෙක් උදේ පාන්දර හිටියාම ගමේ එවුන් ඌව ගස් බැඳලා පොඩි ෆුල් බොඩි මසාජ් එකක් එහෙමත් දීල පොලිසියට භාරදෙන්න ලොකු චෑන්ස් එකක් තියන නිසා මමත් දිය පාරට කිට්ටු කරේ ටිකක් විතර පරෙස්සමෙන්. එතන හිටපු ගෑනු මිනිස්සු තිහක් හතළිහක් අතරේ මෑන්ස් මගේ ඇහැගැටුනේ නැති නිසා දිය පාරෙ තිබ්බ ගල් ගෙඩි වලින් පැනගෙන දියපාර ඉහත්තාවට ඇදුනේ ..යට ඇඳුමක් විතරක් ඇඳන් , වඳුරෙක් වගේ මුණක් තියන තඩි බඩක් තියන කළු හාදයෙක් පොලිසියට භාර දුන්නද මාමේ...කියල කාගෙන්වත් එකපාරටම අහන්න බැරි නිසා..

නාන තොටුපොලෙන් අඩි තිහ හතළිහක් උඩට නගිද්දී ගල් දෙබෝක්කාවක් ඇතුලෙන් මෙන්න එනවා සුපුරුදු කටහඬක්..

කොයි   &%^තෙද  මල්ලි ගියේ..

කටහඬ ඇහුන දිහාවට හැරිලා බලපු මම දැක්කේ පරිනාමනය වේගෙන එන මානවයෙක් වගේ මුණ පුරා රැවුල වවිච්චි, තඩි බඩ ගෙඩියක් එක්ක ජොකා පිටින් ගල් දෙබොක්කාවක හැංගිලා ඉන්න අපේ බකුසු රියැදුරාව..



කොයිතරම් කිව්වත් දාහෙකොල කතාව බකුසු උන්නැහේ පිළිගත්තෙම නැතුවා වගේම ඇටම්පිටියේ යන්ත්‍රය හයිකරලා කොළඹ එනකනුත් අපේ කෑමරුවා මා එක්ක වචනයක්වත් කතාකරේ නැහැ. ඊට අමතරව ආපහු එන ගමන පුරාම පෝෂණ පාඩම නොකරම කන්න බොන්නත් අපේ රියදුරා වගබලාගත්ත. 

මාර්තුර්කාවට අනුව මේ කතාවේ වස්සෙකුත් ඉන්න ඕන නිසා ඔන්න වස්සා කව්ද කියල තෝරන්නයි දැන් හදන්නේ. වස්සා යනු,  බස්සාව හාවා කල ලොක්කාද, ලොක්කා ළඟ රියදුරුකම කල බස්සාද, ඒ දෙදෙනාටම මැදිවූ මමද කියල තෝරාගන්න එක කියවන ඔබලාට භාරයි. 

Wednesday, January 13, 2016

පාසල් සතිය, හාවා සහ ඉබ්බෝ


ජනවාරියේ පටාන් ගන්න පාසල් වාරය ක්‍රීඩාවට බර පාසල් වාරයක් හින්ද අපි පාසල් සතිය සහ නිවාසාන්තර ක්‍රීඩා උළෙලට කරපු හපන්කම් ලියන්න කියල හිතුවේ. දැන් කාලේ වෙද්දී කොහොමද කියල දන්නේ නැති උනාට අපි ඉස්කෝලේ ගියපු කාලේ නම් පලවෙනි පාසල් වාරය කියන්නේ ටිකක් වැඩියෙන් ඉස්කෝලේ ඇතුලේ රස්තියාදු ගහන්න ලැයිසම ලැබෙන කාලයක්. මුලින්ම පටන් ගන්න පන්ති පිරිසිදු කිරීම, පින්තාරු කිරිලි, කළු ලෑල්ල කළු කිරිලි වගේ දේවල් පාසල් සතිය පුරා ක්‍රියාත්මක වෙන නිසා පාසල් සතිය කියන්නේ දවස පුරාම ඉස්කෝලේ ඇතුලේ සහ එළියේ හිතේ හැටියට රස්තියාදු ගහන්න ලැබෙන නිදහස් කාලයක්. කෙරෙන කුමනාකාරයේ වැඩකට උනත් එළියෙන් උවමනා වෙන පින්සලක්, කොස්සක්, ඉදලක් වගේ දේවල් ගේන්න යන්න ඉදිරිපත්වෙන සත්ගුණවත් පරිත්‍යාගශීලී පින්වතුන් සවලෙන් එකතු කරන්න තරම් සුලභයි මේ කියන කාලේ.

වැඩක් කරන එවුන්ට වඩා වැඩි කොටසක් සුපර්වයිසර් වරුන් වෙද්දී පන්තිභාර ගුරුභාවතාගෙන් අධික ලකුණු ප්‍රමාණයක් රැස්කරගනීමේ උවමනාව තියන උන්දලා සහ නව වාරයේ පන්ති නායක කමට ඉව අල්ලන එවුන් දාඩිය මුගුරු දාගෙන වැඩ. සැරිසරන්න කැමති උදවිය අවශ්‍යවෙන දේවල් ගේන්න කාගේ හරි බයිසිකල් කටුවක් ඉල්ලගෙන ඉගිලෙන්නේ කළුවා මාරපන් ගියා වගේමයි කියල කියන්න වෙන්නේ, බයිසිකල් අරගෙන එලියට පැනගත්තට යන්නේ මොකටද  කියලවත් සමහරුන්ට අමතක නිසා

මේසන් හැඳි වගේ එව්වා ගෙන්න කියල ඉස්කෝලෙන් පැනපු එවුන් මේසන් හැඳි හම්බුනේ ඥේ ... කියාගෙන ආයේ ඉස්කෝලෙට එන්නේ ඉස්කෝලේ ඇරෙන වෙලාව අල්ලලයි. 

කොසු ඉදල් උදලු, තාච්චි, කැති, පිහි ගෙනාපු එවුන් ආයෙත් ගෙදර ගෙනියන්නේ ගෙදරින් ගෙනාපු කොස්ස ඉදල උදැල්ල තාච්චිය නෙවෙයි වෙන්න තියන ඉඩකඩ බොහොමයක් නිසා පාසල් සතිය අවසාන වෙද්දී දෙතුන් දෙනෙකුගේ ගෙදර කැති, පිහි, උදලු, අලවංගු, තාච්චි ආයේ නැවත ගෙදර යන්නෙම නැහැ. යනවනම් ගෙනාපු එක නෙවෙයි වෙන එකක්. කොසු ඉදල් වලටනම් ඇඩ්‍රස් නැත.

පන්තියේ උන්ගේ සල්ලි ටික එකතු කරගෙන සිමෙන්ති ටිකක්, හුණු ටිකක් වගේ අමුද්‍රව්‍ය ගෙන්න එලියට යන එවුන් වැඩිහරියක් කෙලින්ම යන්නේ මැජස්ටික් හෝටලේට වෙන්නේ එකතුකරපු සල්ලි වලින් ඉස්කෝලේ කැන්ටිමෙන්ම කන එක සදාචාර විරෝදී නිසාත් පාසල් සතිය තියා මොන සතිය උනත් අම්ම මුත්තේ කිව්වත් ඉන්ටවල් බෙල් එකට කලින් කැන්ටිමෙන් කෑම දෙන්නේ නැති නිසාත්. (කැන්ටිමේ කෑම ගැන සවිස්තරාත්මකව  ලියවුනු " සීය දෙසීය කිරීමේ කලාව " පොස්ට් එක මෙතනින් බලන්න)

දැන් අම්බලන්ගොඩ ෆූඩ්සිටිය තියන තැන කාර් පාර්ක් එක තියන තැන ඒ කාලේ තිබ්බේ මැජස්ටික් කියල සයිවර් හෝටලයක්. අඩු මුදලකින් වැඩියෙන් බඩ පුරවන්න තොසෙ වලට විශේෂ හැකියාවක් තියෙන නිසා බඩගිනි වෙන වෙලාවක ගේට්ටුවෙන් බත් පාර්සලයක් උස්සගන්න බැරි උනොත් හැම එකාගෙම අතේ තියන පිච්චිය එකතුකරලා සහයෝගෙන් ගොඩවදින්නේ ඔන්න ඕන සයිවර් කඩේට තමා. අතේ සල්ලි තියෙනවනම් ඉස්කෝලෙන් එලියට යන එන එක ගැන ඒ කාලේ ඒ තරම් ප්‍රශ්නයක් උනේ නැත්තේ අපි කව්රුත් බිත්ති දිගේ බඩගෑමේ සහ තාප්ප දිගේ බඩගෑමේ කලාව සුපිරියටම ප්‍රගුණ කරපු එවුන් වෙච්චි නිසා. (තාප්පෙන් පනිද්දී අපේ රවියට වෙච්චි ඇබැද්දිය ගැන රවීගේ පැරිෂුට් පිම්ම මෙතනින් කියවන්න) 

නිල වශයෙන් ඉස්කෝලෙන් එලියට යන්න අවසර ලැබුනත් ගේට්ටුවෙන් යන්න දහසක් පොත්පත් වල නම ගම ලියල ගුරුවරුන් කීප දෙනෙකුගෙන් අත්සන් අරගෙන ගේට්ටුවේ සිකුරිටි අංකල්ටත් පින්සෙන්ඩු වෙන්න වෙන, විශ්වවිද්‍යාලෙ යනවාටත් වඩා අමාරු රාජකාරියක් නිසා පුහුණුව සහ පළපුරුද්ද තියන උදවිය තම ගමන් පහසුව සලසගත්තේ කොලේජ් ලෙන් එකේ තාප්පෙන්ම තමයි. (ගේට්ටුවෙන් බත් පාර්සල් ගන්නා කලාව සහ සිකුරිටි අංකල් අපි වෙනුවෙන් දක්වපු සහයෝගය ගැන ලිව්ව " ටෙම්පරි පියානෝ " පොස්ට් එක මෙතනින් කියවන්න )

සෙට් එකේ ඉන්න ගණන් පුළුවන් පයිතගරස් කෙනෙක් මුල් වෙලා අතේ තියන මුදල හොඳින් විමසල කන්න පුළුවන් තොසේ ගණන ගැන ගණන් හිලව් හදාගෙන තරයේ හැමදෙනාටම අවවාද දීල කඩේට ගියාට අපේ එවුන්ට පයිතගරස් අමතක වෙන්නේ තෝසෙ ටිකයි සාම්බාරු බාල්දියයි දැක්ක ගමන්. ඊට පස්සේ අමාශයේ අඩියෙ ඉඳන් ගල නාලයේ උඩම කෙලවර තියන ස්වරාලය ලඟට වෙනකම්  තෝසෙ සහ සාම්බාරු ගිලින අපේ එවුන්ට මූත්‍රා බර වෙන්නේ වේටර් ගේන බිල දැක්කාමයි. 

මම බොට කිව්වනේ එකාට කන්න පුළුවන් තොසෙ එකයි කාලයි කියල..

ඉතින් උඹ හිතන්නේ දැන් මම මේ ඔක්කොම තොසේ කෑවා කියලද යකෝ.. එකෙක් තොප්පිය දාගනියි 

මේ මේ බොල මාව අල්ලගන්න එපා ඕකට.. මම කෑවේ තොසේ දෙකයි..

එකයි කාලක් කන්න කියල තියෙද්දිත් උඹ මොකද දෙකක් කෑවෙ කියපන්..

කන්න ගියාම ඕව ගණන් හද හද ඉන්නේ කව්ද බන්.. 

යකෝ අපි මෙච්චර කෑවේ නැහැනේ බන්..

කතාකරපන් වේටර්ට ..මේ බිල වැරදියි..

වේටර්.. අපි තොසෙ කීයක් කෑවද ..

දොළහයි ෂර් ..

හෑ ... වෙන්න බෑ ... අපි එච්චර කෑවේ නෑනෙ ..

නැත්තේ මොකද ෂර්... ඉෂ්ශේල්ලම තෝශේ අතරක් තමා තිබ්බා ෂර්ලා අතරදෙනාට .. ඒ අතරම ෂර්ල එක්ක කට්ටට කෑවා තමා.. ඊට පශ්ශේ තෝශේ පාක් තමා තිබ්බා.. ඊට පශ්ශේ ෂර්ල තව තොශේ තුනාක් තමා යිල්ලුවා..එක්කොම තෝශේ දොලායි ..ප්ලේන්ටී අතරයි..එතකොට ගාන තමා අරි ෂර්..

මම බොලාට කිව්වනේ තෝසෙ පහයි ප්ලේන්ටී හතරයි කියල.. 

මාගාව වෙන සතයක්වත් නෑ ..

මාගාවත් නෑ ..


අතේ වෙන සතයක්වත් නැහැ කියල දහ අතේ දිවුරන එවුන්  හංගලා තියන දහේ කොළ විස්සේ කොළ, මාරු කාසි ඔක්කොම එකා එකා එලියට ඇදලත් බිල ගෙවෙන තරමට සල්ලි නැතිවුන දවස් අප්‍රමානයි. මැජස්ටික් හෝටලේ කළමනාකරණය කොයිතරම් සුහදශීලීද කියනවනම් හැමදාම එන ගනුදෙනුකරුවන් වෙන පාසල් සිසුන් පසුව නය බේරන පොරොන්දුව මත අතැරලා දාන්නේ පිඟන් හොදන්නවත් අපේ එවුන් අරන් වැඩක් නැති නිසා. ඒත් කිසිම දවසක මැජස්ටික් හෝටලෙන් ණය මුදල් එකතු කිරීමක් නම් සිද්ද උනේ නැහැ. කට හේතුව වෙන්න ඇත්තේ සතියකට කිහිප වාරයක් පැමිණෙන කස්ටමර්ලා නැවත නෑවිත් අරීවිදෝ කියන සැකයත් ඉවක්බවක් නැතුව තොසේ කන කොල්ලන් කාපු තෝසෙ ගන්නට වැඩිපුරත් කිහිපයක් නිරන්තරයෙන් එකතුවෙච්ච නිසා වෙන්න ඇති. 

ඉස්කෝලෙන් පනින එවුන් අල්ලන්න තක්කඩි කොල්ලන් හොයාගෙන හදිසියෙන් වීදි සරණ විනභාර ආචාර්ය තුමන්ලා මේ කියන මැජස්ටික් හෝටලේට විසිට් කරන්න අමතක නොකරන්නේ තමුන් හොයන්නාවූ තක්කඩියන් මැජස්ටික් හෝටලයේ සිට අල්ලාගැනීමට තිබෙන සම්භාවිතාවය වැඩි අගයක් ගන්නා නිසා. තාප්ප රාජයා තරණය කරගෙන ඇවිත් තෝසෙ ගිලින එවුන් නිරන්තරයෙන් හෝටලයේ ඉදිරිපස ගැන අවදානයෙන් පසුවෙන්නේ කොයි වෙලාවේ හරි විනය භාරට හෝ අංශභාරට හසුවීමේ අවදානමෙන් මිදෙන්නයි.

අතේ සතයක්වත් නැතුව මැජස්ටික් හෝටලෙන් කාල සතයක්වත් නොදී පන එපා කියල පැනල දුවපු එවුනුත් නැත්තේම නැහැ. එහෙව් දක්සකම් කරපු එවුන්ගේ නම් ගම් ලිව්වොත් උන්ගේ ගෑනු සියදිවි නසාගන්නවා තමුන් දීග ඇවිත් ඉන්නේ මේ සා නීල කාස හොරෙක් එක්කද කියන කලකිරීම උඩ . 

තෝසෙ කාල බීල අහවර වෙද්දී ගෙනියන්න ආපු දේවල් ගන්න තියා කලිසම බේරාගන්නෙත් බොහොම අමාරුවෙන් වෙච්චි, එකතුවෙච්ච සල්ලිත් නැතුව ගෙනියන්න ආපු දේවලුත් නැතුව ඉස්කෝලෙට යන්නත් බැරිවෙච්චි තැන ඊළඟට පටන් ගන්නේ හිඟමන් අයදින්නයි. ගෙයක් හදන තැනක්, ගොඩනැගිල්ලක් හදන තැනක් වගේ බලල ඉස්කෝලේ නම ලාභෙට විකුණලා සිමෙන්ති ටිකක් හුණු ටිකක් වැලි ටිකක් හොයාගන්න එක ලොකුම අමාරු වැඩක් වෙන්නේ නැත්තේ ඉස්කෝලේ ඇඳුමෙන් ඉන්න ළමයි ටිකක් ඇවිත් සිමෙන්ති ටිකක් වැලි ටිකක් ඉල්ලුවට නොදී  ඉන්න තරම් අවට ජනතාව නරක මිනිස්සු නෙවෙන නිසා සහ ඉස්කෝලෙ කීර්තිනාමය නිසාත්.

එක්දහස් නවසිය අනූව මුල් භාගයේ අවුරුද්දක කොහොමින් කොහොමින් හරි පාසල් සතිය අවසන් වෙලා නිවාසාන්තර ක්‍රීඩා උළෙල ආව කියමුකෝ. ඔන්න කට්ටියම තමුන් නියෝජනය කරන නිවාසයේ ක්‍රීඩාවන් වෙනුවෙන් තමයි ඊළඟ ඉලක්කය. මේ කියන කාලේ අපේ පන්තියේ හිටපු ඉස්කෝලේ ජනප්‍රිය එකෙකුට දෙයියනේ කියල ඕන උනා මැරතන් එකට සහභාගී වෙන්න. නිවාසය මොකක් උනත් අපේ පන්තියේ එකා දිනවීම අපේ අරමුණ නිසා අපි එකතුවෙලා ගැහුවා ප්ලෑනක් මැරතන් එකෙන් අපේ එකාව පළවෙනිය කරන්න. අපේ එකා දුවන්න දක්ෂ උනාට ඒ සා දුරක් දුවල ජයගන්න හැකියාවක් තිබ්බ එකෙක් නොවුනත් තියන කීර්තිනාමය වෙනුවෙන් තරඟය ජයගැනීම අත්‍යාවශ්‍ය දෙයක් උනා.

අපේ සැලසුම වුනේ අපේ ධාවකයා දිවිල්ල අතරමගදී බයිසිකලේක නග්ගගෙන ෂෝර්ට් කට් එකකින් ගිහිං මැරතන් එකේ මුලින් තැබීම. දැන් මේ පොස්ට් එක කියවන මැරතන් ගැන දන්නා උදවිය හිතයි ඒක කීයටවත් කරන්න බැහැ අතරමග විශේෂිතවූ චෙක් පොයින්ට්  වලින් තරඟ  කරුවන්ගේ අංක සඳහන් කරගන්න නිසා කියල. අපි ඒ ගැටලුවට යොදපු උත්තරය වුනේ වෙනත් අයෙක් ඒ අංකයම ගහගෙන අදාළ මාර්ගය දිගේ චෙක් පොයින්ට් හරහා දුවන්නයි. 

අදාළ ෂෝර්ට් කට් එක බයිසිකල් පැදගෙන වේගයෙන් යන්න බැරි තරම් දුරක් නිසා හැමදෙනාගේම යෝජනාව උනේ මගේ පියාණන්ගේ මෝටර් සයිකලයෙන් අපේ එකාව ප්‍රවාහනය කිරීමයි. ඒත් මෝටර් සයිකල් වැඩේ භාරදූර කාර්යක් වෙන්නේ මගේ පියතුමා මොනම හේතුවකටවත් මෝටර් සයිකලයේ යතුර මට හසුවන මානයේ තියන්නේ නැති වීම. ලේසියටම මගේ පියානන් කරේ උදේ වැඩට යනකොට මෝටර් සයිකලයේ යතුර කාටත් පෙන්න ඔෆිස් බෑග් එකේ දාගන්න එකයි. එතනින් එහා මෝටර් සයිකල් පැදීම කියන්නේ තාත්තට හොරෙන් මෝටර් සයිකලය පැහැරගෙන යාමක්. 

තාත්ත ගෙදර නැති වෙලාවට මෝටර් සයිකලය පදින්න අයතා ක්‍රම මම විසින් හදාගෙන තිබුනත් අම්බලන්ගොඩ පොලිසියේ ට්‍රැෆික් බ්‍රාන්ච් එකේ හිටපු,  දකුණු ලකේ අග නගරේ නමින් හඳුන්වපු නිලධාරියෙක් මට කොයිතරම් ආදරේද කියනවනම් බයිසිකලේ කොනක් දැක්කත් පස්සෙන් එලෝගෙන  ඇවිත් මට දඩ කොලේ ලියල දෙන්නේ රියදුරු බලපත්‍ර ගැන අහන්නෙම නැතුව. ඒ කාලේ රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීමට දඩය රුපියල් එකසිය පනහයි. ලංකාවේ ඉතිහාසේටම  කොතන හරි එකම පොලිස් නිලධාරියෙක් එකම පුද්ගලයෙකුට එකම දඩේ වැඩිම වාර ගණනක් ලිව්වනම් ඒ මට. මේ සාපෙළ වත් කරපු නැති එවුන්ගෙන් රියදුරු බලපත්‍ර අහන්න ඒ නිලධාරියාට පිස්සු තිබ්බේ නැහැ. එත් දවසක් දඩේ ගෙවල තාත්ත එක්ක පොලිසියට එන්න කිව්වම මටත් සිද්ද උනා ටෙම්පරි පියානෝ කෙනෙකුගේ පිහිට පතන්න. මොකද දඩේ වගේ නෙවෙයි යතා ක්‍රම වලින් මෝටර් සයිකලය පැද හසුවීමට දඬුවම තාත්තගෙන්. 

ඔන්න මැරතන් තරඟය දවසත් උදාවුනා. උදේ පාන්දරම අපේ එකාට තරඟ අංකය ලැබුන ගමන් මම ඒ අංකයත් අතේ ලියාගෙන ගෙදර ඇවිත් ඒ ප්‍රමානයේම අංකයක් ඒ පෙනුමටම ඇඳගත්ත. මේ අංකයේ පෙනුම ඒ තරම් වැදගත් නොවෙන්නේ තරඟ  කරුවන්ට වදින වතුර පාරවල් වලින් මේ අංකය තියන කොලේ මගක් හරියෙදීම පොලිසියෙන් ගැහුව වගේ වෙන නිසා. 

අපේ එකා වෙනුවට උගේ අංකය ගහගෙන නියමිත මාර්ගයේ දුවන්න අපි තෝරලා තිබ්බේ දේවානන්ද විද්‍යාලයේ අපේම වයසේ යාලුවෙක්. මේ වෙද්දී දකුණු පලාතම දන්නා සුප්‍රසිද්ද ව්‍යාපාරයක හිමිකරුවෙක් සහ හෝටලයක හිමිකරුවෙක් වෙන මේ මිත්‍රයා ඒ කාලේ ආත්මාරක්ෂක සටන් හදාරපු කෙනෙක්.  මේ කියන මිත්‍රයා පසුව වෙනත් වුර්තියක් තෝරාගත්තු නිසා අද ලොකු ව්‍යාපාරිකයෙක් උනාට සටන් කලාවෙන් ඉහලටම ගිහින් ලංකාව නියෝජනය කරන තැනට යන්න හැකියාවක් තිබ්බ කෙනෙක්. ඌත් දුවන්න කිව්වොත් දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවටම  දුවන්න තරම් හයියක් කැමැත්තක් තිබ්බ බොක්කෙම ෆිට් එකක් නිසා වැඩේට එක පයින්. අද ව්‍යාපාරිකයෙක් විදිහට බොහෝ දෙනා ඇසුරු කරන මේ කියන මිත්‍රයාගේ සටන් කලාවන් ගැන හැකියාව ගැන අද වෙද්දී කව්රුත්ම දන්නේ නැති තරම්. 

ඔන්න මමත් තාත්තගේ මෝටර් සයිකලේ යතුර යටින් එන වයර් ටික එලියට ඇදල අරගෙන වෙනද වගේම ඇල්පෙනෙති වලින් සම්භන්ධ කරල ස්ටාර්ට් කරගෙන නොම්බරය ගහල නියෝජිත ධාවනයට අන්දලා ගතපු සගයවත් වතුර බාල්දියක් එහෙම නාවල බයිසිකලේ පිටිපස්සේ වාඩි කරවාගෙන  කෙරමිනිය බෝගහ ලඟට සේන්දු උනා. මේ කියන බෝගහ හරියට මැරතන් කරුවන් එද්දී තරඟයේ මුළු දුරෙන් හතරෙන් එකකට වඩා පහුකරලා නිසා තරංග කරුවන් අතර පරතරය වැඩියි. මේ හුවමාරුව වෙන්න සුදුසුම ස්ථානය මේ කියන හරිය වෙන්නේ මේ ප්‍රදේශය වැඩිය ජනයා ගැවසෙන්නේ නැති හරියක් වෙන නිසා. 


(මේ තමයි තරඟය පැවැත්වෙන මැප් එක. නිල් පාටින් තියෙන්නේ නියමිත මාර්ගය. කොලපාට තරුව තියන තැනින් තමයි පටන් ගන්නේ. නිල්පාට ඊතලයෙන් පෙන්වන්නේ දිශාව.දුඹුරු පාට තරුව තමයි බෝගහ. රතුපාට පාර තමයි අපේ ෂෝර්ට් කට් එක. කලුපාට තරුව තමයි කැපූඇල හන්දිය)


අපි ඇස් දෙක අතේ තියාගෙන බලන් හිටියත්, වැඩේ අකුරටම සැලසුම් කරලා තිබ්බත්, අපේ එකා මේ කියන බෝගහ ගාවට දුවගෙන එද්දී උගේ දිව බිම ගෑවෙන්න තරම් වගේ. අපේ එකා බෝගහ ගාවට එද්දී උගේ ස්ථානය අපි ගණන් කරපු විදිහට හැත්තෑ තුන. අපේ එකා ඇවිත් අපොයි මට බෑ කියාගෙන මෝටර් සයිකලය ළඟ නැවතුනේ අහලපහල හිටපු කීප දෙනෙකුට සැක නොහිතෙන්න. ඒ වෙද්දීත් අපේ ආත්මාරක්ෂක සටන් කළා විශාරද මිත්‍රයා දිවිල්ල ආරම්භ කරලත් ඉවරයි. පන්ති සගයා පස්සෙන් සහයට වතුර අරගෙන ආපු අපේ අනෙකුත් සගයන් ඒ ආපු විදිහටම නියෝජිත ක්‍රීඩකයා පස්සෙන් බයිසිකල් පැදගෙන ගියේ ඌ තනියම දුවවන එක අවදානම් නිසා. චෙක් පොයින්ට් වලදී වැඩිය මූන නොපෙන්නා නොම්බරය විතරක් කියල දුවපිය කියල උපදෙස් දීල තිබ්බ උනත් චෙක් පොයිට් එකකදී මූ අපේ ඉස්කෝලේ එකෙක් නෙවෙයි කියල අඳුනගත්තොත් බයිසිකලේක නැගල මාරුවෙන්න කලින්ම උපදෙස් දීලයි තිබ්බේ.


කලින්ම සූදානම් කරගෙන අරන් ආපු බෙඩ් ශීට් එකකින් අපේ එකාව ඔතාගෙන මෝටර් සයිකලේ පිටිපස්සෙ ඉන්ඳගෙන මම ඉගිලුනේ උන රෝගියෙක් බෙහෙත් ගේන්න එක්ක යනවා වගේ. අපි යන්න තියන පාරේ පොඩි කොටසක් මැරතන් එකේ නියම පාරේම වෙන නිසා ධාවකයා කාටත් නොපෙනෙන්න ප්‍රවාහනය කිරීම මගේ වගකීම. ඒ වගේම මගේ හිත මිතුරු පොලිස් නිලධාරියාට හසු නොවෙන පාරවල් වලින් යන්නත් වගබලා ගන්න  ඕන. මෝටර් සයිකලේ සයිලන්සර් කොන දැක්කත් ඇති ඒ යෝදයා මං පස්සෙන් පන්නන්න. වැඩියෙන්ම අවදානම් වැඩේ වෙන්නේ ආයෙත් රනර්ව තරඟයට දාන්නේ පොලිසියේ වැට මායිමෙන් නිසා. 

අපේ හොර පාරත් තරඟයේ නියම පාරත් සමපාත වෙන තැන හෙවත් කැපූඇල හන්දියේ තියන චෙක් පොයින්ට් එක පනින එක තමයි ලොකුම අමාරු වැඩේ. ඉස්කෝලේ නියෝජිතයින් ඉන්න තැනක් නිසාත්, ඇල්පිටිපාර පනින්න ඕන නිසාත් වැඩේ සෑහෙන්න අවදානම්. පිටිපස්සේ වාඩි  වෙලා උන රෝගියෙක් වගේ බෙඩ් ශීට් එක ඔලුවේ හිටන් පෙරවන් ඉන්න අපේ එකාව බේරගන්න එකත් පොලිසියෙන් හිටියොත් පොලිසියෙන් බේරෙන එකත් දෙකම වාසනාව අවාසනාව අනුව විසදෙන දෙයක්. 

මැරතන් ධාවන ශූර උන රෝගියාවත් අරගෙන මම දන්නා කියන සියලුම වැඩ දාල ගාලු පාර අයිනෙ පොලිසියේ වැට මායිමට හැකි විගහින් අරං යන එක ප්‍රධාන අරමුණ උනත් දඩයක් නොකා ආපහු ගෙදර යන එකත් හෙන ගේමක්.

දන්නා කියන ෂෝර්ට් කට් වලින් දාගෙන කැපූඇල හන්දියට ආවත් එක පාරට ගොනා වගේ පාරට නොදා මෝටර් බයිසිකලේ මෙහායින් නවත්තල පයින් ගිහින් කොකම් පාන එක කෝකටත් හොඳයි කියල මට හිතුනේ වාසනාවට වෙන්න ඇති. පයින් ගිහින් ඇල්පිටි පාරට ඔලුව යන්තං දාල බලද්දී මෙන්න බොලේ ඉස්කෝලේ චෙක් පොයින්ට් එකේ සහයට පොලිස් මාමිලා දෙන්නෙකුයි ට්‍රැෆික් බයික් එකයි එතන කියහන්කෝ.

අපේ ධාවකයා මට වඩා දෙගුණයක් උස එකෙක් වීමෙන් ප්‍රයෝජනේ ගන්න මම දෙපාරක් හිතුවේ නැහැ..

පොලිසියෙන් ඉන්නවා යකෝ..

දැන් මොකද කරන්නේ ..

හොඳට පොරොවගනින් ඔලුවේ ඉඳල..

හෑ ...

උඹ වරෙන්කො.. මොනවා ඇහුවත් කෙඳිරි ගගා හිටහන්.. මුණ පෙන්නන්න එපා.. කතා කරන්න එපා..

තෝ මොකක්ද කරන්න හදන්නේ..

තෝ මගේ තාත්ත.. මම තොගේ පුතා.. යමන්..

පයින්.. ?

ඔව් යකෝ පයින් තමයි ...

මම මෝටර් සයිකලය තල්ලු කරගෙනත් මා මිත්‍ර ධාවන ශූරයා පයිනුත් ඇල්පිටි පාර පනින්නයි දැන් මේ ලෑස්තිය.. ඔලුවේ හිටන් පොරවාගත් එකෙකුත් මෝටර් සයිකලයට වත් උස නැති එකෙකුත් යන්නාවූ අපූරු ගමන ගැන පොලිසියෙන් ප්‍රශ්න නොකර ඉඳීවිද..

කොහෙද මේ පොරවගෙන යන්නේ..

තාත්තට සනීප නෑ  හොඳටෝම උන.. බලපිටියේ ඉස්පිරිතාලෙට යන්නේ..

ඉතින් මොකද මේ තල්ලු කරගෙන..

බයිසිකලේ නැවතුනා සර්.. තාත්තට තල්ලු කරන් යන්න බෑ ..

ඉතින් ඕක දාල ත්‍රීවීල් එකක යනවකෝ ..

ඕන්නෑ .. මේ ගෙවල් දෙක තුනකට එහායින් අපේ මාම ඉන්නෙ .. එහෙට ගිහින් මාමට කියල දාගන්නවා ඉස්පිරිතාලෙට..

හ්ම්.. යනවකෝ.. යනවකෝ..

මා මිත්‍ර ධාවන ශූරයා උන රෝගියාගේ රඟපෑම හරියටම කල නිසාත් මම තාත්තාට ආදරය කරන පුතාගේ චරිතය අපූරුවට කළායින් එතනින් හෙමිහිට මාරුවෙන්නට පුළුවන් උනා. පොලිස් තුමන්ලා නොපෙනෙන තැනකට ආ විගහින් ආයෙත් මොටෝවේ නැගගත් අපි දෙන්නා ගාලු පාර දිහාවට ඉගිලුනේ හැකි ඉක්මනින් තරඟයට අවතීරණ වෙන්න ඕන නිසා. අදාළ තැනට ආපු ගමන් මා මිත්‍ර මැරතන් ධාවන ශූරයා නැවතත් ධාවන තරඟයට ප්‍රවිෂ්ඨ උනේ මීටර් සීය දුවන වේගයෙන්. 

එතනින් එහා මේ පොස්ට් එක ලියල මට ඉල්ලන් කන්න බැරි වෙන්නේ අපේ එකා තරඟය අවසන් කරන්න ඔන්න මෙන්න කරට කර ගේමක් දීල පරාද වෙච්චි එකත් මේ පොස්ට් එක කියවන නිසා. හොරට දුවල පළවෙනිය වෙන්න පුළුවන් උනා කියල කව්රුහරි හිතනවනම් ඒක බොරුවක් වෙන්නේ අපේ එකා තරඟය ඉවර කරද්දී මුල් විසිපහ අතරේවත් හිටපු නැති නිසා. බෝගහ ලඟට එද්දී හැත්තෑ තුන වීමත් පොලිස් කෝලම රඟ දක්වන්නට උන නිසාත් අපිට වැඩේ හුඟක් අවාසි උනා. ඒත් ඉතින් එහෙම වංචා කරල දිනලා මොකටද කියලනම් ඒ කාලේ මොලේට වැටහුනේ නෑ. අපේ එකා ගාලු පාරෙන් මොටෝවෙන් බැහැල දුවන්න අරන් විනාඩි දහයක් යන්න කලින් අපේ නියෝජිත මිත්‍රයා පොලිසිය පහල බෑවුමෙන් උඩට මතුවුනේ රුහුණු කුමාරි මාතර යනවා වගේ වේගෙන්. ඉතුරු ටිකත් ඌම දිව්වනම් අපේ එකාටත් කලින් ප්ලේස් එකක් ඌ ගන්නවා ඉර හඳ වගේ විශ්වාසයි.

සියලුම සැලසුම්වල මහමොල කරුවා මමයි. වැඩේ අසාර්ථක උනේ මගේ සැලසුමේ වරදක් නිසා නෙවෙයි කියලයි මම හිතන්නේ. අපේ එකා මෝටර් සයිකලේට නග්ගගතපු තැනට එනකොට මුල් විසි පහ අතරේ වත් හිටියනම් අනිවා අපි එක. ඌ මුල ඉඳන්ම තරඟයක් දීල නැත්තේ භාගයක් යන්නේ මොටෝවෙන් නිසා ඉතුරු ටික ගේමක් නැතිවෙයි කියල හිතල. හාවයි ඉබ්බොයි වගේ උනාට ඉබ්බෝ දිනුම් අපි නිකම් හාවො උනා විතරයි අන්තිමේ.

දැන් ඉස්කෝලේ යන කොල්ලෝ කුරුට්ටෝ මෙව්වා කරන්න ගිහින් අහුවෙලා මාව අල්ලනවා නෙවෙයි ඕන්.. මෙව්ව සාර්ථක නෑ කියල මේකෙන් ඉගෙනගනිල්ලා.. වංචාව කවදාවත් ජයග්‍රහණය කරන්නේ නෑ නෑ නෑමයි. 





Tuesday, January 5, 2016

පින්තූරයෙන් ගොඩ යාම...



දාබරේට ඩබල් ගේම් දීපු හැටි ලියවෙච්ච පොස්ට් එක කියෙව්වයින් පස්සේ මගේ රැකියාවේ වටපිටාව සියලු දෙනාටම තේරුම්ගන්න පුළුවන් වෙන්න ඇති. දාබරේ මාව පුහුණු කරන්න කියල ඉල්ලගත්තු මාස හයෙන් පස්සේ නැවතත් දාබරේ වෙනුවෙන් සේවා දිගුවක් ලබාගන්න ලොක්කට කොහෙත්ම හැකියාවක් නැතිවුනු නිසා අකමැත්තෙන් උනත් පුංචි කාලේ ඉඳන් ඇති දැඩි කරපු දාබරේට විශ්‍රාම යන්න දෙන්න ලොක්කට සිද්ද උනා.  එතෙක් කල් ලොක්කා වෙනුවෙන් අළුගෝසු පොස්ට් එක ජයට හොබවපු දාබරේ සියලු ගුරු මුෂ්ටි තියාගෙන අළුගෝසු තනතුර කරගෙන ගිය නිසා දාබරේගෙන් පස්සේ, ආයතනය කොටවන්න  සහ රතු ඉර ගහන්න ගෝලයෙක් ආයතනය ඇතුලේ බිහිවුනේ නැහැ. 

ලොක්කගේ සැලුන් දොරෙන් දෙකට නැවිලා ගිහින් කේලම් කියන වැඩේ දයානන්ද ජයටම කරගෙන ගියත් දාබරේ කරපු පනික්කි රාජකාරිය එළිපිට කරන්න පුළුවන් ලජ්ජා නැති එකෙක් ආයතනයේ තවත් හිටියේ  නැහැ. තත්වය එහෙම වෙච්චි නිසා ලොක්කට සිද්ද උනා දයානන්ද විසින් සපයන තොරතුරු වලින් දත්ත අරගෙන ආයතනය පාලනය කරගෙන යන්න සහ උදෑසන සිද්දවෙන රතු ඉර ගැසීමේ කටයුත්ත තමුන් විසින්ම සිද්ද කරගෙන යන්න. 

දාබරේගේ අනුප්‍රාප්තිකයා වෙච්චි මම එතනට යන්න කලින් දාබරේගේ අනුප්‍රාප්තිකයා ලෙස රස්සාවට ආපු පුද්ගලයා කිසිසේත්ම ලොක්කා බලාපොරොත්තුවන විදිහේ  චරපුරුෂ රාජකාරිය කරන්නාවූ එකෙක් නොවෙච්ච නිසා එම නිලධාරියා ගෙදර යැවීමට ලොක්ක දෙපාරක් හිතල තිබුනේ නැහැ. ඒ සියලු බලු වැඩ වලින් අනතුරුව මම එම ආයතනයට යද්දිත් එම නිලධාරියා සේවයෙන් නෙරපා හැරල ඉවරයි. වෙච්චි අසාධාරණයට එම නිලධාරියා උසාවියේ නඩුවක් පවරපු නිසා   නඩුවේ චූදිතයෙක් විදිහට ලොක්කට සිද්ද උනා උසාවි කුඩුවට නගින්නත්. දෙවැනි වතාවටත් පුරප්පාඩු වෙන්න ගිය දාබරේගේ තනතුරට අනුප්‍රාප්තික වෙච්චි මමත් ලොක්ක බලාපොරොත්තු වෙන චරපුරුෂ සේවය එකහෙලාම ප්‍රතික්ෂේප කරපු නිසා ලොක්කට මාව වහකදුරු වගේ වෙන්න මහා කාලයක් ගියේ නැහැ. ඒත් කලින් එකාට කරපු බලු වැඩේ මටත් ලොක්ක කරන්න උත්සහ කරේ වෙනස්ම ආකාරයකින්. 

ලොක්ක කොයි වෙලාවෙත් උත්සහ කරේ මාව වෙනත් නිලධාරියෙක් එක්ක පටලවල මා ලව්වා විනය විරෝදී ක්‍රියාවක් කරවගන්න. ඒ අරමුණෙන් ආයතනයේ හිටපු සුහදශීලී නොවෙන පුද්ගලයින් නිතරම මා එක්ක හවුලේ රාජකාරියේ යොදවන්න ලොක්ක නිතරම උත්සහ කරේ. ලොක්ක මට වඩා අවුරුදු විස්සකින් විසි පහකින් වැඩිමල් උනත් කරිජ්ජ පින්න වදින ගමක ඉපදිච්ච නිසා ලොක්කගේ බොරු වලවල් වල වැටෙන්නේ නැතුව පරෙස්සමට වටෙන් අඩිය තියල එන්න මට අමුතුවෙන් උගනන්න ඕන උනේ නැහැ. 

මම දුරකතනයෙන් දන්වල නිවාඩු ගත්තු දවසක පහුවදා දයානන්ද මගේ කාමරයට ආපු වෙලාවක තමයි මේ කතාව ඇති උනේ.

මහත්තය ඊයේ වැඩට ආවේ නෑ නේද..

ආ ඔව් දයානන්ද.. ගෙදර පොඩි හදිසි වැඩක් යෙදුන.. ඒ හින්ද එන්න බැරි උනා..

මහත්තය ලීව් ෆෝරම් එකක් දැම්ම නේද..

ඔව් දයානන්ද.. උදේම ඉන්ජිනියර්ට දාල ඇත්තෙ ..

ඒ උනාට පොඩි ප්‍රශනයක් මහත්තය..

ඒ මොකක්ද දයානන්ද ..

මහත්තය කෝල් එකක් දීල නැහැ කියල ලොක්ක ලීව් ෆෝරම් එක ඇප්රු කරලා නැහැ..

ඇයි යෝදයෝ ඉන්ජිනියර්ගේ ලයින් එක බිසී නිසා ඒ යකාගේ ෆෝන් ලයින් එකටමනේ කෝල් එක දුන්නේ..

අනේ මන්ද මහත්තය.. ලොක්ක එක්ක හැප්පෙන්න යන්න එපා.. ඕක අතෑරලා දැම්මනම් ඉවරයි.. ටෙලිෆෝන් පොතේ ලියල නැති නිසා කෝල් එකක් දීල නැහැ කියලයි ලොක්ක කියල තියෙන්නේ..

ලොක්කට කියහන් තව දවස් දෙකක් ඉන්න කියල ආතල් එකේ..

ඒ මොකෝ මහත්තය..

ලොක්කට කියහන් මම දකුණේ එකෙක් කියල.. මේකේ ඉන්න අනික් උන්ට දෙන පරිප්පු මට දෙන්න ටිකක් අමාරුයි කියහන්කෝ..

ඕවට හැප්පෙන්න එපා මහත්තයා.. දන්නවනේ ලොක්කගේ හැටි..

මොනාද බන් හැප්පෙන්න එපා කියන්නේ.. මම ගහපු ටෙලිග්‍රෑම් එක තැපැල් අංශෙට ගිහින් ලොක්කගේ මේස උඩට එන්න දවස් දෙකක් විතර යාවි.. එතකම් මගේ ලීව් ෆෝරම් එක තියාගෙන ආතල් එකක් ගන්න කියහන්කෝ..

ආ එක මිසක්ක..ඒ කියන්නේ මහත්තයා කෝල් එකක් දුන්නේ නැද්ද..

මොකද බන් කෝල් එකක් නොදුන්නේ.. කෝල් එක ආන්සර් කරේ කකුල් හතරෙ එකෙක් නිසා තමයි ටෙලිග්‍රෑම් එකකුත් ගැහුවේ.. මේකේ ඉන්න එවුන්ට අවුරුදු ගානක් ගිහිනුත් සතා අඳුරන්න බැරි උනාට මට හොඳට සත්තු අඳුරන්න පුළුවන් බන්.. 

අනේ මහත්තය මම මේ වගක් කියපු විත්තිය කාටවත් කියන්න එපා..

අනේ නෑ දයානන්ද.. මම ඔව්ව කාට කියන්නද.. ඕනෙනම් මම කියපු ටික දයානන්ද ලොක්කට කියන්න..

අනේ මම ඕව කියන්න යනවද මහත්තය.. මහත්තය දන්නවනේ මගේ ගැන.. මම ගිහින් එන්නම් එහනම්..

ඔන්න ඔය විදිහට ලොක්ක මට ගුලිය අඹරන්න දහසක් දහන්ගැට ගහන අතරේ තමයි මේ කතාවට අනියම්ව සම්භන්ධ වෙන නකල්ස් චාරිකාව යන්න අපේ කොල්ලෝ සෙට් එක සැලසුම් අඳින්නේ. චාරිකාව සැලසුම් වෙන්නේ මාතලේ පැත්තෙන් ගිහින් ලග්ගල පැත්තෙන් නකල්ස් කඳුවැටිය තරණය කරන්න. චාරිකාව යන්න ප්‍රවාහන පහසුකම් සැපයෙන්නේ මගේ වෑන් රථයෙන් වගේම අනෙකුත් සැපයුම් අනිකුත් සාමාජිකයින්ගෙන්. අපෙත් හිටිය කොන්ඩයෙක් පොස්ට් එකේ ස්ටාර් වෙච්චි කොන්ඩයාගේ මද්දුම සහෝදරයා වෙච්චි දැනට ජපානයේ පදිංචි ලාල් තමයි ගමනේ සංවිදායක සහ මගපෙන්වන්නා තනතුර දැරුවේ. අපේ ලාල් කොයිතරම් ඇවිදින්න ආසකරන එකෙක්ද කියනවනම් ගිය අවුරුද්දේ ලංකාවට ඇවිත් ඔකඳ දේවාලයේ සිට යාල මැදින් කතරගම දේවාලය දක්වා කිලෝමීටර අනූවක් ඇඩ්වෙන්චරස් ගමනක් පයින් ගිහින් තිබ්බ. 

ලාල් සෙට් එකේ ඇසුරට එකතුවීමේ ප්‍රතිපලයක් විදිහට තමයි හුඟක් කැලෑවල ඇවිදින්න , කඳු නගින්න අපේ එවුන්ට අවස්තාව සැලසුනේ. ලාල් කියන්නේ ඇමේසන් වනාන්තරේ මැදට ගිහින් දැම්මත් කොහොමහරි පාර හොයාගෙන ජීවිතේ බේරාගෙන ගමට එන්න පුළුවන් සුපිරි චරිතයක්. කොටින්ම කියනවනම් ලාල් කියන්නේ ජී පී එස් එකක් වගේ පොරක්. පාරක් තොටක් නොදැන කැලෑ වැදුන හැම අවස්ථාවකම එකෙකුටවත් අනතුරක් වෙන්නේ නැතුව, ගිය විදිහටම ආපහු එන්න බුද්ධිමය දායකත්වය සැපයුවේ ලාල්. ගොන්ගල කන්ද නගින්න ගිහින් අපේ එවුන් කැලෑව මැද්දේ අතරමං උන වෙලාවෙ ලාල් තමයි කොහොමින් කොහොමින් හරි කොල්ලෝ ටික දෙනියාය ටවුමට අරන් ආවේ. මේ කියන්න යන නකල්ස් චාරිකාවේදීත් ආතක්පාතක් නැතුව මහා රූස්ස ගන කැලෑවක් ඇතුලේ අපිව අතරමන් උන වෙලාවේ අඩි සීයකට වඩා උස තුන් හතරදෙනෙකුටවත් බදන්න බැරි රූස්ස ගහකට නැගල අවට නිරීක්ෂණය කරලා අපිව නැවත හරි පාරට අරං ආවේ ලාල්. මොකද  ඒ කාලේ සිතියමක් ඇරෙන්න ජී පී එස් තාක්ෂණ තිබෙනේ නැහැ නෙව.

ඉහත සඳහන් වෙච්ච විදිහට අපි කට්ටිය ලග්ගලට ගිහින් එදා රෑ පල්ලෙගම රණමුරේ නැවතිලා පහුවදා උදේම නකල්ස් නගින්න පිටත් උනා. මම කඳු නගින්න ඇවිදින්න ඒ තරම් දක්ෂයෙක් නොවෙන නිසා මේ වගේ චාරිකා වලදී මාව හලල යන්න අපේ සෙට් එක එක පයින් කැමති උනත් මගෙන් නොමිලේ සැපයෙන ප්‍රවාහන පහසුකම වෙනුවෙන් මාව ගමනට එකතුකරගන්නම අපේ උන්ට සිද්ද උනා. එහෙම නැතුව ලග්ගලට නිරන්තරයෙන් යන බස් කෝච්චි තිබ්බනම් ලක්ෂයක් දෙනවා කීවත් අපේ එවුන් මාව කඳු නගින්න නම් එක්ක යන්නේ නෑ  නෑ  නෑමයි. ඒ තියරියෙන් තමයි උන් ගොන්ගල නගින්න යද්දී මාව හලල ගියේ. 

එහෙම මාව හලල ගියා කියල මගෙත් අමනාපයක් නැත්තේ මම උන් එක්ක යාම උන්ට කරදරයක් වෙන බව මම දන්නා හින්දමයි. එහෙම මට අනන්‍යතාවයක් ගොඩ නැගුනේ ලෝකාන්තය බලන්න ගිහින් ලෝකාන්තයේ ඉඳන් වාහන පාර්ක් එකට උන්ගේ කරපිටින් එන විදිහට මම වැඩ සලස්සපු නිසා. එතනින් එහා ඇවිදින්න යන ගමන් වලදී මගේ නම යෝජනා වෙද්දීම කපා හරින්න සාමාජික පිරිස දෙපාරක් හිතන්නේ නැහැ.

උදේම නැගිටලා කෑම උයාගෙන බත් පාර්සල් එහෙම හදාගෙන නකල්ස් නගින්න යන්න අපි ලැහැස්ති උනා. අපේ කොන්ඩයා නිරන්තරයෙන් අවට පරිසරය ගැන අවදානයෙන් ඉන්න නිසා කොන්ඩයාගේ අවදානයට ඉස්සෙල්ලම ලක් උනේ මාව..

මොනාද උඹේ ඔය පිටේ එල්ලන් ඉන්න මල්ලෙ තියෙන්නේ කියහන්..

ඇයි මොකටද උඹ අහන්නේ..

නෑ නිකම් දැනගන්න අහන්නේ.. කියහන් බලන්න..

කලිසම් දෙකයි.. ටී ෂර්ට් දෙකයි.. අමතර මේස කුට්ටමක්.. ඊළඟට....... පොරවාගෙන නිදාගන්න එකක්....යන ගමන් සින්දු අහන්න රේඩියෝ එකක්.. මහන්සියට බොන්න බියර්  බෝතලයක්.. ඊළඟට.... වතුර ලීටරයක්.. අමතර සපත්තු දෙකක්..

හොඳ හිතින් කියන්නේ උඹේ රේඩියෝ මගුලයි, බියර් බෝතලෙයි, වතුර බෝතලෙයි, සපත්තු දෙකයි වාහනේට දාහන්..

ඒ මොකෝ..

මොකොටෝ අනවශ්‍ය බර උස්සගෙන යන්නේ..

ආයේ නොකිව්වා  කියන්න එපා මම කියපු ටික වාහනේට දාල වරෙන්.. 

උඹ නෙවෙයිනේ උස්සන් යන්නේ මමනේ උස්සන් යන්නේ .. ඒ හින්ද උඹ පැහෙන්නේ නැතුව හිටහන්..

අපිට රේඩියෝ අහන්න ඕන නෑ .. ඒ හින්ද රේඩියෝ  එපා..අපිට බියර් ඕන නෑ .. ඒ හින්ද ඒකත් එපා.. අපි ගාව ඕන තරම් වතුර තියෙනව ඒ හින්ද උඹ වතුර ගෙනියන්න ඕනෙත් නෑ .. කන්ද උඩ මාසයක් ඉන්න නෙවෙයිනේ යන්නේ.. ඒ හින්ද කකුල් දෙකේ තියන සපත්තු දෙක ඇති..අමතර එව්ව ඕන නෑ 

නෑ මට රේඩියෝ අහන්න ඕන.. එතකොට මහන්සියක් නැතුව කන්ද නගින්න පුළුවනි.. බියර් බෝතලේ ඊයේ රෑ ඉතුරුවෙච්චි ටිකක්.. එක උඹ බීවේ නැති උනාට අනික් උන් බොයි .. වතුර මට ඕන උනොත් බොන්න මම ගෙනියනවාමයි..සපත්තු දෙක ගැන උඹ ප්‍රශනයක් කරගන්න එපා ..

මොකද බන් බොල දෙන්නගේ කෑ ගැහිල්ල... ලාල් අපි දෙන්නගේ ආරවුල  මැද්දට පනින්නේ ඔය අතරේ එහෙම කියාගෙන ..

මෙන්න මූ නකල්ස් උඩ පවුලක් පන්සලක් වෙන්න යන්න තරම් බඩු පුරෝගෙන බෑග් එකේ.. එහෙම උත්තර දුන්නේ කොන්ඩයා ..

ඉතින් උඹට මොකෝ ඌට උස්සන් යන්න පුලුවන්නම් .. ලාල් කතා කරේ මගේ පැත්තට..

උඹනම් කියාවි.. අපි කූඩාරම උස්සගෙන යන්නත් ඕන.. ඒ මදිවට මූ ටොන් එකක් බඩු පුරෝගෙන යන්න පිටත් උනාට උඹ බලහන්කො හැතැක්මක් දෙකක් යද්දී මූ ඕව ඔක්කොම අපේ ඇඟේ  එල්ලනව. 

අනේ මේ උඹ නිකා හිටපන්.. යකෝ මට ඇඟේ හයිය තියනවා නකල්ස් දෙපාරක් නගින්න.. උඹ පැහෙන්නේ නැතුව හිටපන්කෝ..

ඌ කියනවනම් ඌට ඕක කර තියාගෙන නගින්න පුළුවන් කියල උඹ කටවහගෙන හිටහන්කෝ..

බොල බලන් හිටහන්කෝ වෙන්නේ මොකක්ද කියල.. කොන්ඩයා නිහඬ උනේ ලාල් මගේ පැත්තට කතා කිරීමත් ලාල් කොන්ඩයාගේ වැඩිමහලු සහෝදරයා වීමත් නිසා.. 




(නකල්ස් නගින්න යන්න ලැහැස්ති වෙච්ච අපි කට්ටිය. අපේ ගමනට උදව් කරපු ලග්ගල පල්ලෙගම රණමුරේ  ග්‍රාමසේවක මහත්තයා සහ එතුමාගේ අම්ම තමයි අපි එක්ක ඉන්නේ. ලාල් තමයි වාඩිවෙලා ඉන්නේ. කොන්ඩයා ඉන්නේ මාව කන්න තරම් කේන්තියෙන්.. වම් පැත්තේ සම්පත්, දකුණු කොනේ ජයන්ත සහ නිශාන්ත . පින්තුරේ ගන්න ඇත්තේ අපේ අනික් ගමන් සගයා වෙච්චි සුප්‍රසිද්ධ  චිත්‍ර ශිල්පී  රසංග. පින්තූරු ඉස්සුවේ ලාල්ගේ බුකියෙන් )

එත් වැස්සට කලින් වැස්ස එනවා කියල දැනෙන වැහි ලිහිනියට වගේම කොන්ඩයාගේ ඉව කවදාවත් වැරදුනේ නැත. නකල්ස් නගින්න අරන් පැයක්  යන්න කලින් ඉහින් කනින් දාඩිය මුගුරු දාගෙන ඔත්පල වෙච්චි මගේ සියලුම ආම්පන්න කරතියාගෙන යන්න උනේ අනික් උන්ට. මගේ ගමන් මල්ල ගත්තු ගමන්ම ඒකෙ තිබ්බ වතුර බෝතලෙයි බියර් බෝතලෙයි කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව කන්දකින් පහලට විසික් කරලා දාපු කොන්ඩයා මගේ පන වගේ තිබ්බ රේඩියෝ කටුව කන්දෙන් පහලට විසික් කරන්න හදද්දී ඒක බේරගන්න මට කොණ්ඩයට නොවන්දිනා වැඳුම් වඳින්න උනා..

ඔයින් මෙයින් බොහොම අමාරුවෙන් නකල්ස් නගින අතරේ අපිට හමුවෙන්නේ තනිකරම මහා රූස්ස වනාන්තරය යටින් වවිච්ච එනසාල් වගාව. බොහොම නිසල පරිසරයක් එක්ක බැලු බැලූ අතේ තියෙන්නේ රූස්ස ගස් සහ එනසාල් වගාව විතරයි. රණමුරේ  පැත්තෙන් නකල්ස් නගිද්දී හමුවෙන අංශක අනූවක තරම් ගිරි දුර්ගයක් එක දිගට නගින්න වෙනවා පැයක් විතර. වචනෙන් කියාගන්න බැරි තරම් අමාරුවකින් ඒ ගිරිදුර්ග තරණය අතර මැදදී නවත්තල මට බත් පාර්සලයක් ලියල දෙන්න අපේ එවුන්ට සිද්ද උනේ එතනින් එහාට අඟලක්වත් නගින්න මට හයියක් තිබ්බේ නැති නිසා. 

ඔහොම වනාන්තරය තරණය කරගෙන අපි සේන්දු උනේ එනසාල් වගාව මුර කරන මුරකරුවෙක් ඉන්න පැලක් ලඟට. පැල් කොටේ දොර ජනෙල් වහල තිබ්බ නිසා අපි කට්ටිය තීරණය කරා තේ ටිකක් හදාගෙන බීල ආයෙත් ගමන පටන් ගන්න. ගෙනාපු වතුර පරෙස්සම් කරගන්න ඕන නිසා අපේ නායක තුමා හෙවත් ලාල්ගේ අදහස උනේ වතුර ටිකක් අහල පහලින් සොයා ගැනීම. මාවත් කොන්ඩයාත් පැල්කොටය අසල තනි කරලා කට්ටියම වතුර හොයන්න පිටත් වෙන්නේ මේ අතරේ. ගමන් විඩාව නිවාගන්න කියල බෑග් දෙකට ඔලුව තියාගෙන පැල්කොටය ළඟ මිදුලේ දිගාවෙලා ඉන්න අපි දෙන්න දිහාවට අමුත්තෙක් කඩන් පනින්නේ මේ අතරෙයි..

තොපි දෙන්න කව්ද..

නාදුනන පුද්ගලයෙක් කානු දෙකේ තුවක්කුවක් අපි දෙන්න දිහාවට එල්ල කරගෙන ඉලක්කය අල්ලන ගමන් තමයි එහෙම ඇහුවේ..

හෑ ... අනේ බූ ...බූ ...බුදු මාමේ වෙඩි තියන්න නම් එපා.. අප් ..අප් ..අප්පි නකල් නගින්න යන කට්ටියක්..

හෙලවෙන්න එපා... අත් උස්සපල්ලා දෙන්නම..

මමත් කොණ්ඩයත් අත්දෙක ඉහලටම උස්සගත්තේ ඉස්කෝලේ හෝඩියේ පන්තියේදී ටීචර් ළමායි ...අත් ඔසවාන් කිව්වාම වගෙ..

තොපි දෙන්න නකල්ස් නගින්න යනවනම් මෙතන මොකද කරන්නේ කියපන්...

අනේ මාමේ අපේ අනික් කට්ටිය ගියා වතුර ටිකක් හොයාගෙන එන්න.. අපි මේ එයාල එනකම් ඉන්නේ..

බොරු කියන්න එපා.. තොපි දෙන්නව ගස් බැඳලා වෙඩි තියනවා දැනගනින්.. කියපන්.. තොපි ආවේ එනසාල් හොරකමේ නේද..

අනේ නෑ  බුදු මාමේ.. අපි අම්බලන්ගොඩ කට්ටියක්.. අපි මේ ඇත්තමයි කියන්නේ..

හූ..හූ.......හැක් ...හැක් ...හැක් ...

කැලේ පැත්තෙන් සමච්චල් හූවක් එක්ක අපේ එවුන් හිනාවෙන සද්දෙට තමයි මටයි කොණ්ඩයාටයි මූත්‍රා පහවෙන්න ඔන්න මෙන්න තියෙද්දී ඇඟට ලේ ටිකක් උනලා සිද්දිය එලි උනේ..  ඒ ඇවිත් තිබ්බේ පැල්කොටේ ඉන්න මුරකාරය. අපේ උන් තමයි ඒ මනුස්සයව එවල තියෙන්නේ අපි දෙන්නව භය කරන්න. ඒ මනුස්සයත් වැඩේ අකුරටම කරපු නිසා තව ජුන්ඩෙන් මටත් කොන්ඩයාටත් කලිසං මාරු කරන්න වෙනවා සහතිකයි.

එදා තමයි මට ජීවිතේට පළමු සහ අවසන් වතාවට ගිනි අවියක් අතගාන්න අවස්තාව ලැබෙන්නේ. අපි මුරකරයාගේ පැලේ තේ වක්කරගෙන බොන වෙලාවේ අපේ කට්ටියටම මුරකාරයාගේ කානු දෙකේ තුවක්කුව ඇතිවෙන්න අතපත ගාන්න අවස්තාව ලැබුන. ඉතින් වඳුරට දැලි පිහිය ලැබුන වගේ අපි හැමෝම තුවක්කුව එක්ක එක එක විලාසිතාවට පින්තුර ටිකක් ගන්න අමතක කරේ නැහැ. 


(මාව ලොක්කාගෙන් බේරාගත්තු තුවක්කුව දරාගත් අපේ මගපෙන්වන්නා ලාල්... මේ වගේම පින්තුරයක් තමයි මමත් ගත්තේ... ඒක මේ වලාවේ මා ගාව නැහැනේ දාන්න..)

ලියාගෙන ආපු කතාවට ආපහු හැරෙන්න ඕන නිසා නකල්ස් ගමනේ ඉතුරු ටික සහ නකල්ස් ගිහින් කොන්ඩයා කට්ටියටම නුඩ්ල්ස් හදපු විදිහ ගැන වෙනම පොස්ට් එකකින් අද හෙටම ලියන්නම්කො..

ඔන්න නකල්ස් ගිහින් ඇවිත් සතියක් දෙකක් යද්දී පින්තුරු ටික  ප්‍රින්ට් කරපු ලාල් අයිතිකරුවන්ට පින්තූරු බෙදල දීපු නිසා මටත් මේ කානු දෙකේ තුවක්කුව එක්ක ගහපු ඉතිහාසගත පින්තුරේ ලැබුන. එයින් පස්සේ අපේ ලාල් අද්‍යාපනය සඳහා ජපානය බලා ගිය නිසා ඒ තමයි අපි ගිය අවසන් කඳු නැගීම. එතනින් එහා අපිව කැලෑවදින්න අරන් යන්න ගමනක් සංවිධානය කරන්න එකෙක් අපි අතරේ හිටියේ නැහැ. ගියත් ඉහතින් නකල්ස් ගමන මතක තියනකම් උන් මාව කඳු නගින්න අරන් යන එකනම් බොහොම අවිනිශ්චිතයි.


එන්න එන්නම ලොක්කාගෙන් මට ලැබෙන අඩම්තේට්ටම් වැඩි වෙන ස්භාවයක් තිබ්බ නිසාත්, උදේ තුනහමාරේ ඉඳන් රැකියාවට එන දුෂ්කර ගමනාගමනය නිසාත් මම ගාල්ලට ස්ථාන මාරුවක් ඉල්ලුවත් ලොක්ක මාව අනුප්‍රාප්තිකයෙක් නොමැතිව නිදහස් කල නොහැක යටතේ අත්අඩංගුවට ගත්ත. ලොක්කාට කොන්ද නවන්න්නේ නැති නාහෙට නාහන මට ලේසියෙන් ගැලවිලා යන්න ලොක්ක ඉඩ දුන්නේ නැත්තේ මාව කොනිත්තල රිද්දන පරමාර්ථයෙන්. 

සුහද මාරුවක් සඳහා ඕනෑතරම් ඉඩපහසුකම් තිබුනත් මම සේවය කරපු අංශයේ කීර්තිනාමය කොයිතරම්ද කියනවනම් කසිම පන ඇති ජීවියෙක් සුහද මාරුවක් වෙනුවෙන් මම සේවය කරපු තැනට එන්න කැමති උනේ නැහැ. ඒ හින්ද අකමැත්තෙන් උනත් පරිප්පුව වළඳන්න මට සිද්ද උනා. සංසාරේ කරපු මොකක්දෝ පිනකට ලොක්ක මට අටවපු හැම උගුලකම මම අහුනොවී බේරුනා. සමහර දවස්වලට ලොක්කයි මමයි ටොම් ඇන්ඩ් ජෙරී වගේ. මට ස්ථාන මාරුව නොදෙන නිසා මම කිසිම වැඩක් නොකිරීමත්, හිටපු ගමන් ආයතනයෙන් අතුරුදහන් වීමත් අරභයා ලොක්ක හදිසි වැටලීම් සඳහා මගේ රාජධානියට කඩන් පාන්නේ කසිප්පු අල්ලන්න පොලිසියෙන් පනිනවා වගේ. එත් මුහුදු වතුරෙන් මල කන්න සලස්වල තිබ්බ දොරේ සරනේරු දෙකට හොරෙන් කිසිම ප්‍රාණියෙකුට මගේ රාජධානියට ඇතුල්වෙන්න ඉඩ දුන්නේ නැති නිසා කොතන නිදාගෙන හිටියත් එන කෙනා මාව පෙනෙන තැනට එද්දී මම සීට් එකේ බරටම වැඩ. 

ලොක්ක පුරුද්දට වගේ දවසට කීප වතාවක් මොකක් හෝ බොරුවක් ගොතාගෙන මම ඉන්න පැත්තට ඒමත් , තවත් බොරු දෙක තුනක් ගොතවල දයානන්දව දවසට දෙතුන් වතාවක් මම ඉන්න පැත්තට එවන එකත් මට ඔලුවේ කැක්කුමක් වෙලා තිබ්බ කාලෙක තමයි අහම්බෙන් වගේ නකල්ස් ගිහින් ගහපු තුවක්කු පින්තුරය මගේ  ගෙදර මේස උඩ තිබිල මගේ ඇහැ ගැසෙන්නේ. යමක් දුටු පමණින් එයින් ගන්න පුළුවන් වැඩ දහයක් ඔලුවේ මැවෙන කොන්ඩයාගේම වර්ගයේ මීටරයක් හිමි එකෙක් වෙච්චි මට මේ පිංතුරය දැක්ක ගමන් ඔලුවට ආවේ මේ පින්තුරෙන් යස වැඩක් ගන්න පුළුවන් වටිනා වස්තුවක් නේද හත් දෙයියනේ කියලයි.

පහුවදා තුවක්කු පින්තුරය මා එක්ක රැකියාවට යන්න පිටත් උනේ ඒ සැලසුම සඳහායි. උදේම මගේ කාර්යාල මේසය උඩ තියන ලිපිගොනු කිහපයක් අස්සෙන් පින්තුරෙන් භාගයක් පේන්න වගේ හංගල ඉන්ටර්කොම් එකෙන් දයානන්ද ඇමතුවේ වැඩේ ක්‍රියාත්මක කරන්නයි..

ආ මහත්තය එන්න කියල කිව්වේ..

නිකම් දයානන්ද.. හරිම කම්මැලියි .. ටිකක් කයියක් දාන්න එන්න කියල කිව්වේ..

ඉතින් ඉතින් දයානන්ද.. වාඩිවෙනවකො.. 


ජීවිතේම ඕපා දූප කියන්න කැප කරපු දයානන්ද එහෙම වෙලාවට පුටුවේ හරිබරි ගැහෙන්නේ වුර්තීය මට්ටමේ වාර්තාකරණයට ලැහැස්ති වෙලාමයි ..

ඉතින් දයානන්ද.. මොනවද අලුත් විස්තර.. මොනාද ලොක්ක මා ගැන කියන්නේ..

හී ..හී... ලොක්ක මොනා කියන්නද මහත්තය.. ලොක්ක නිතරම ඉන්නේ මහත්තය එක්ක තරහෙන්.. අනේ ඔන්න මම කිව්වා කියල එහෙම කියන්න එපා ..

පීස්සුද දයානන්ද.. මම කොතන හරි දයානන්දව පාවල දීල තියනවද..

ලොක්ක හිතන් ඉන්නේ මහත්තයව ගෙදර යවන්නම වගේ..

එව්වා හඳේ බන්..

අනේ මන්ද මහත්තය.. මහත්තයලත් ඉතින් එල්ලෙන්නමනේ යන්නේ.. ටිකක් ශේප් එකේ හිටියනම් ඉවරයිනේ දාබරේ වගේ.. ශා ... ෆොටෝ එකක් නේද මහත්තය..

ආ ඔව් දයානන්ද.. ඔය ටික කලකට කලින් ගහපු එකක් අපේ වත්තෙදී ..

හෑ ... තු....තු...තුවක්කුත් ති...ති..තියනවද මහත්තයලෑ ගෙදර..

අපොයි ඔව් දයානන්ද.. ඕක තමයි අපේ ලයිසන් තුවක්කුව.. ලයිසන් නැති දෙක තුනකිත් තියෙනව ඉතින්..

ඇ ..ඇ ...ඇත්තද... මේ...මේ.. කොහෙද මහත්තය..

ඔය අපි කට්ටිය දවසක් දඩයමේ ගිහින් ගතපු එකක්නේ දයානන්ද.. යාලුවෙකුගේ කැමරාවකින් ගතපු එකක්.. ඌ ඔෆිස් එකට ආපු වෙලාවක දුන්න මට ගෙදර ගෙනියන්න අමතක උනානේ..

ම..ම.. මහත්තයල නි ..නි ..නිතරම දඩයමේ ය ..යනවද ඉතින්..

අපොයි ඔව් දයානන්ද.. ගෙදර මුව මස්.. ගෝන මස් , වල්ඌරු මස් නැති දවසක් නෑ .. එව්වා ඉතින් තහනම් දේවල් නිසා වැඩට අරන් එන බත් එකට එව්වා දාන්නේ නැහැ ..

මහත්තයල ගාව තු.. තු.. තුවක්කු තියන බව මෙහෙ කව්රුත් දන්නේ නෑ නේද..

ඔව්ව මොකටද දයානන්ද මම හැමතැනම කියන්නේ.. ඔව්ව ඉතින් පුංචි කාලේ ඉඳන් අපේ ගෙවල්වල තියන එව්වනේ.. සාක්කුවේ දාගෙන එන්න පුළුවන් එව්වත් දෙකක් තියනවා දයානන්ද..

හෑ .. ඇත් ..ත්ත්ද...

ඔව්ව තියන නිසා තමයි දයානන්ද මම මොකාටවත් බය නැත්තේ.. කාට උනත් මගේ නීතිය එකයි.. ලොක්ක උනත් මගේ ජොබ් එක නැති කරොත් වෙන්නේ මේකේ ගේට්ටුව ගාවදි බල්ලෙක් වගේ වෙඩි කන්න.. ආයේ දෙකක් නෑ දයානන්ද.. රස්සාව නැති උනා කියල මාව නැති වෙන්නේ නැහැනේ.. එදාට ලොක්කට වෙන්නේ මේක ඇතුලටම වෙලා ඉන්න තමයි..

හෑ ..... අනේ මහත්තය මාවනම් ගාවගන්න එප් ..එප්පා ඔව්වට නං ...

අනේ නෑ දයානන්ද.. මම දන්නවනේ ලොක්කට මං ගැන කොටවන්න එවුන්.. කවදාහරි ලොක්ක මගෙන් වෙඩි කනවනම් උන්ටත් ඉතින් ඒ අනිසංසේම තමයි..

හෑ ... ම...ම...මහත්තය මම ගී ගිහිං එනම් එහෙනං ...ඕන් මමනං ඔව්වට නෑ මහත්තය..

මොකෝ දයානන්ද යන්න හදිස්සි.. ඉන්නවකෝ තව ටිකක් කතා කරන්න .. 

යන්න ඕන මහත්තයා... ලොකු සර්ට ලියුම් ගෙන්න යන්න තියෙනවනේ..ගිහිං එන්නං ..

ආ දයානන්ද...තව දෙයක් කියන්න තියෙනව.. මා ගාව තුවක්කු තියනව කියල කාටවත් කියන්න ඕන නෑ හොඳේ.. මොකටද අපි ඔව්ව කාටවත් කියන්නේ.. මම මේ ටික දයානන්දට කිව්වෙත් මේ පින්තූරේ දයානන්ද දැකපු නිසා..

අපොයි නෑ මහත්තයා.. මම ඔව්ව කාටවත් කියන්නෑ ... ගිහින් එන්නම් ..

හොඳයි එහෙනම්..

කෙන්ද කන්ද කරන දයානන්ද කාටවත් නොකියන පොරොන්දුව පිට කනින් කනට කියල තිබුනේ මා ගාව තියන තුවක්කුව හැබැහින්ම ඇහින් දැකපු ගානට. 

එදා ඉඳන් ලොක්ක මම ඉන්න පැත්තට පොලිසියෙන් පනිනවා වගේ කඩන් පනින එක සහ දයානන්ද ලව්වා ඔත්තු බලන එක සිද්ද උනේ නැහැ. ලොක්ක ඉතුරු කාලය පුරාම මගෙන් පළිගත්තේ මගේ ප්‍රමෝෂන් එකයි ස්ථාන මාරුවීමයි අත්අඩංගුවට අරගෙන තියාගෙන ඉන්න එකෙන්. එදා ඉඳන් රාජකාරී අවශ්‍යතාවයකට උනත් දයානන්ද මගේ කාමරයට ආවේ බොහොම පරෙස්සමෙන්. මට සපයල තිබුන සහයකයින් දෙදෙනාව වෙනත් අංශයකට මාරු කරපු ලොක්ක, ආයතනය පුරා කළු නමක් දරාගෙන හිටපු පෙරේරාව මට අනුයුක්ත කරේ විසෙන් විස නසන පරමාර්ථයෙන් . කාලයක් පොලිසියේ සේවය කරලා කොළඹ කාපු පපුව හොඳ සුපිරි මනුස්සයෙක් වෙච්චි  පෙරේරාත් මමත් කිසිම ප්‍රශ්නයක් නැතුව ජාඩියයි  මුඩියයි වගේ අවුරුදු දෙකක් රස්සාව කරගෙන සාමෙන් සන්තෝසෙන් හිටපු එක තමයි ලොක්කව පරාද කරවන ඊළඟ කාරණය උනේ. නකල්ස් ඉතුරු කොටස සහ ලොක්කගේ තවත් කථා ඉදිරියේදී ලියන්නම්කො..