Monday, March 28, 2016

බස් මුදලෑලි




අප්පේ අද මොකෝ  මේ මගුල් ගෙදර වගේ කෑම ජාති ගොඩාක් හදල..

මගේ මහත්තයට හොඳට කන්න දෙන්න ඕන හින්දනේ අනේ..

මොකක්.. වෙනද නැති සැලකිල්ලක්  අද මොකෝ මේ විශේෂයෙන්..

මගේ මහත්තය අද ඉඳන් ලොකු වාහනේක  අයිතිකාරයෙක්නේ.. දැන් වෙනද වගේ සලකල  බැහැනේ..

ඇයි ඉතින් මට වෙනදත් වාහන තිබ්බනේ..

ඔන්න ඔන්න ඉතින් මගේ යකා අවුස්සන්න හදනවා.. මතක් කරන්න එපා ඒ කාර් මගුල .. ඒකත් වාහනයක්ද ඔයි.. බැලුවොත් කැඩිලා.. ගමනක් යන්න බයයි ගෙදර එනකම් සුවර් නෑ.. වහිනකොට ඇතුලෙත් කුඩේ ඉහලගෙන යන්න ඕන..රෑට ලයිට් පත්තු වෙන්නේ නැහැ කොයි වේලේ ලයිට් කණුවක අනෙයිද කියල බයයි.. හැමතැනම දිරල පිටගැස්ම හැදෙයි කියල බයයි..  ඒකත් වාහනයක්ද හැබෑටම.. ඒක හොඳයි මාළු බෝවෙන්න කළපුවක බස්සන්න.. තව කියන්න ඕනෙද ඔහේගේ මහා ලොකු වාහනේ ගැන ..

න්..න්..නෑ නෑ  ඕන්නෑ ....

එහෙනම් යනවා ගිහින් වොෂ් එකක් දාගෙන එනවා කෑම කන්න..

හා එහෙනං...

හෝව් හෝව්.. කොහෙද ඔය යන්නේ..

මම මේ වැලේ තියන මගේ තුවා කබල අරන් එන්න යන්නේ..

නෑ නෑ  ඕන නෑ.. අද ඉඳන් මගේ තුවායෙන්ම පිහදානව..

ඒකත් එහෙමද.. හාමිනේගේ කැමැත්තක්..

මේ ඒක නෙවෙයි.. මම ඔයාට කියන්නමයි හිටියේ..

මොකක්ද..

අද ඔයත් එන්න මගේ ඇඳේ නිදාගන්න.. අද ඉඳන් බිම නිදාගන්න ඕන නැහැ..

හෑ...ඔය ඇත්තමද..

මොකද අනේ ටොකු ඇනගන්නේ..

මේක හීනයක්ද හැබෑවක්ද කියල තෝරාගන්න හාමිනේ..

හීනෙන් නෙවෙයි අනේ.. මේ හැබැහින්..

ඒක තමයි මමත් මේ බැලුවේ.. හීනෙන් නම් දැන් ඇහැරෙන්න වෙලා ටොකු පාරට..

මේ එක නෙවෙයි..

මොකක්ද..

මම ඔයාට දෙයක් කියන්න කියල හිටියේ..

මොකක්ද..

දැන් ඉතින් බස්සෙකත් අපේ එකේ අපිට ඕන ගමනක් බිමනක් යන්න පුලුවනිනේ නේද .. 

නැතුව නැතුව ...

මම අපේ අම්මට කෝල් කරලා කිව්වා සිංහල අවුරුද්දට කලින් සතියක විතර වන්දනාවක යන්න ලෑස්තිවෙන්න කියල..වැඩිය කව්රුත් නැහැ .. ලොකු අප්පච්චිලාගේ ගෙදර අට දෙනයි, බාප්පලාගේ ගෙදර එකොලොස්දෙනයි , මදු පුන්චි අම්මලාගේ ගෙදර දාහතර දෙනයි , අපේ නංගියි , මල්ලියි , මින්නේරියේ බාප්පලාගේ ගෙදර හය දෙනයි , අම්මයි , තාත්තයි, මමයි විතරයි ඔන්න යන්නේ..

මලා .. දැන් ඉතින් ඔතනම හතලිස් දෙකක් වෙද්දී මට වාඩිවෙලා යන්න සීට් එකක් නැති වෙනවනේ හාමිනේ..

ඔයා ඉතින් මුදලාලිනේ..ජැන්ඩියට ඇඳගෙන අපේ නෑයෝ හැමෝටම පේන තැනකින් ඔයා හිටගෙන යන්න ඕන..කාටවත් රුපියලක්වත් වියදම් කරන්න නොදී ඔයා දාහේ කොළ පන්දාහේ කොළ ලෝස් නැතුව වියදම් කරන්න ඕන .. එතකොට තමයි මට ආඩම්බර..

කාපන්කෝ ඉතින්..ඒකත් එහෙමද.. හා හා එහෙනම්.. එහෙමවත් කරමුකෝ..

එහෙම නොකර බැහැනේ අනේ.. අපි බඳින්න කලින් ඔයාලට බස් තියෙනව කියල අපි ගම පුරා පුරාජේරු ගැහුවට පස්සෙන් පහු අපේ නෑයෝ හිතුවේ ඔයාලට බස් තියෙනව කිව්වේ බොරු කියල.. එකාතකින් ඉතින් උන් එහෙම හිතපු එකේ වරදකුත් නැහැ.. ඔයාගේ කාර් කටුව දැක්කාම මිනිස්සු කීයටවත් හිතන්නේ නැහැ ඔයාලෑ ගෙදර බස් තියෙනව කියල.. දැන් මම පෙන්නනම්කො උන්දලාට බස්.. හුහ්..

හ්ම්...

කෝ කොහෙද ඉතින් ඔය යන්නේ..

ව..වතුර ටිකක් බොන්න  කියල යන්න හැදුවේ.. පොඩි කලන්තයක් වගේ දැනුන ඒකයි..

මොන කලන්තද අනේ.. සන්තෝසෙට වෙන්න ඇති.. 

මම හේනං වොෂ් එකක් දාගෙන එන්නම්කෝ..

කෝ ඉන්නකෝ පොඩ්ඩක් මගේ සුදු බස් මුදලාලිට උම්මා එකක් දෙන්න.. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම..... අයි ලව් යූ ඩාර්ලින්.. ඔයා ඉක්මනට වොෂ් දාගෙන එන්නකෝ.. අද ඔයා අතින් කන්න ඕන නැහැ.. මම අනල කවන්නම් හොඳේ..

බස්සෙක රූට් එකේ දුවන්න වෙන්නේ නැති හැඩයි.. අපේ අම්ම මට ඕක හින්ද වෙන්න ඕන කියන්න ඇත්තේ බස්සෙක මහගෙදරම තියෙන්න ඇරපන් කියල... කෝ කොහෙද ඇහුවයැ.. 

මොකක්ද අනේ කිව්වේ..

න්..නෑ... මම මේ කිව්වේ දවස් හතක් මදි උනොත් අපි තව දවසක් දෙකක් තුනක් වැඩි කරමු කියල..

ඔයානම් මාව සප්‍රයිස් කරනවා අනේ.. මම අම්මට මේ දැන්ම කෝල් එකක් දීල කියන්නම් කෝකටත් සති දෙකකට විතර ඇඳුම් ලැස්ති කරගන්න හැමෝටම කියන්න කියල.. 

හුටා....

Wednesday, March 16, 2016

චේතිය පරපුරේ අපේ එකෙක්





සකලේ මාගේ මිතුරෙකු වන්නේ මා හෝඩියේ පංතියේ අකුරු කල සංදියේ සිට බැවින් ඔහු ගැන පොස්ටුවක් නොලියා කර ඇරීම ඒම මිතුරුකමට කරනා වූ අකටයුත්තක් වන්නේය. සකලේ හැඳින්වීමට සියල්ලන්ම දන්නා ඔහුගේ උප්පැන්නයේ තිබෙන්නාවූ නම භාවිතා කිරීම ද එම මිතුරුකමට කරනා වූ නිග්‍රහයක් බැවින් අනවර්ථ නාමයක් වශයෙන් මාගේ මිත්‍රයා සකලේ යනුවෙන් හඳුන්වන්නට යෙදෙනවාය. 

සකල සිරින් පිරි සිරි ලංකාවේ
ඥානවන්ත  නගරයක් ඇතේ ..
ඒ නගරයෙ ඉර නැගෙනා පැත්තේ
රඹ අගට ඇති  ගමක් වෙතේ ..

චේතිය රජ පරපුර බොරුවෙන් 
පරදා මුල් තැන අරගත්තේ 
සකලේ  ඒ රඹ පුරවැසි වන්නේ
ලොකු පොඩි සැම කව්රුත් දන්නේ..

මෙතනින් ඇරඹෙන කතාව අපගේ
මිතුරෙකු ගැනමයි පැවසෙන්නේ..
සකලේ යනුවෙන් හඳුනාගන්නේ
මෙය  බොරු නමකුයි දැනගන්නේ..


සකලේ පුද්ගලයකු වශයෙන් ගත්කල දුකේදීත් සැපේදීත් එකසේ පිහිටට එන්නාවූ වර්ගයේ මිතුරෙකු වශයෙන් හඳුන්වන්නට පුළුවන්ය. ඒ වාගේම ඕනෑම බෙල්ල ගහලා යන වැඩකට වුවද දෙපාරක් නොසිතාම ඉදිරියට ගොස් අභියෝග භාරගැනීමට තරම් එඩිතර පපුවක් හිමි එල කොල්ලෙක්ය. බෙල්ල නැතත් කඳ ෆයිට් වර්ගයේ පුද්ගලයකු වුවද ගහමරාගැනීම් , කැරලි කෝලහාල, වැනි දෑ සඳහා සකලේ කවදාවත් උනන්දුවක් දැක්වුයේ නැත. ඔලුව පැලෙන්නට පොල්ලකින් ගැසුවද කේන්ති නොයන වර්ගයේ උතුම් මිනිසෙකු වන සකලේට කිසිම තැනක සතුරන් සිටියේද නැත. එක කනකට ගැසුවහොත් අනික් කනටත් ගහපන් මචන් කියනා වර්ගයේ සුපිරි ඉවසීමක් සහිත මනුස්සයෙකු වන සකලේ පාසල් කාලය ඇතුලත දී සහ පාසල් හරයාමෙන් පසුවද කවුරුන් හෝ සමග ගහමරා ගත්තා කියා අප මෙතුවක් කාලයකට අසාද නොමැත. නාහෙට නාහන අපගේ සගයන් එහෙන් මෙහෙන් පටලාගෙන එන රණ්ඩු සරුවල් වලට සකලේ එදත් අදත් මැදිහත් වූවානම් ඒ සාම සාකච්චා නියෝජිතයකු වශයෙන් පමණය.

එවන් උදාර ගති ඇත්තාවූ සකලේගේ තිබු එකම සහ අවසන් නුහුගුණය නම් අතේ පැලවෙන බොරු කීමය. එක කපුටෙකු මැරී සිටිනු දකින සකලේ ගමේ හෝ හමුවෙන මිතුරෙකු සමග ඒ ගැන පැවසුවානම් පැවසුවේ කපුටන් දාහක් දෙදාහක් මැරී සිටිනු ඇහින් දැක්කා යනුවෙන්ය. සකලේගේ එම ගුණය දන්නා හැමදෙනා සකලේ විසින් කියන ලද ආරංචියක් තවෙකෙකුට පවසුවානම් පැවසුවේ උදෘත පාඨ සහිතවය. ඒ නම් ආරංචිය අවසානයේ කියවෙන්නා වූ "සකලේ කිව්වේ ඒ හින්ද සුවර් නැහැ " යන උදෘත පාඨයයි.

අප උසස්පෙළ කරන සංදියේ සවස් කාලයේ කෙරෙන ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගන්නේ ඉර එලිය මදක් අවරට හැරුනාවූ පසුව බැවින් එතෙක් සිරාගේ ගෙදරට වී ආගිය තොරතුරු කතා කරමින් සිටීම අපගේ සිරිතය. සකලේ සහ මම ක්‍රිකට් ක්‍රීඩාවට උපන් හපන් දක්ෂකම් දැක්වුයේ නැති වුවද කණ්ඩායමේ උන්නතිය වෙනුවෙන් සකලේ සහ මම විසින් කරන්නාවූ තරඟ විනිසුරු සේවය නිසා ක්‍රිකට් කණ්ඩායමට සකලේ සහ මම යන දෙදෙනාම ඇතුවත් බැරි නැතුවත් බැරි ක්‍රීඩකයන් වුයේ අහම්බෙන්මය. සකලේ අම්පයර් ඉන්නා අවස්තාවේදී ප්‍රතිවාදී පිලේ පන්දු යවන්නන් පන්දු ඕවරයක් අහවර කිරීමට පන්දු දහයක් පමණ යවන්නේ සකලේ පන්දු තුන හතරක් සඳහා නෝ බෝල් සඥ්ඥාව ලබාදෙන බැවින්ය. පන්දු යවන්නා සකලේගේ මවු දෙමාපියන් ප්‍රමුක හත්මුතු පරම්පරාවම මතක් කරමින් බැනවැදුනද එව්වයින් සැලුනේ සකලේ නොවේය.  

එදාද ක්‍රිකට් ගැසීම සඳහා ගිනි කාෂ්ඨක අවුව මදක් තුනීවනතුරු අප සැම සිරාගේ ගෙදර රැඳී සිටි හවස් යාමයකි. කවුදෝ බඩජහරියකු වැල වරකා කතාවක් ඇදලා ගත්තේ හැමදෙනාගේම වරකා කෑමේ ආශාව ඉහමුදුනේ මෝදු කරමින්ය.

වරකා මදුලක්  කාපු කාලයක් මතක නැහැ බන්..

කොහේ තියන වරකද බන්.. ඔව්ව මතක් කරලා අපේ කට පිස්සු වට්ටන්නේ නැතුව හිටින්..

දැන් බොලාට වරකා කන්නද ඕන.. එහෙම ඇසුවේ අපගේ හිතාදරැති මිතුරා සකලේ විසිනි 

ඇයි උඹ වරකා මවන්නද..

ඇයි දැන් බොල කියන්නේ මට බොලාට වරකා කවන්න බැහැ කියලද..

අනේ බන් සකලේ.. අපිව අන්දන්නෙ නැතුව හිටහන්.. අපි දන්නවනේ බෝලාගේ ගෙදර කොස්  ගස්  නැහැ කියල..

බොලාට කුලරත්නේ ඉස්කෝලේ ගාවට යන්න එන්න පුලුවනිනම් මම බොලාට දෙන්නම් වරකා නාන්න..

ගල් පැලෙන බොරු කියන්න එපා යකෝ..

ඕකනේ ඉතින් කියන්නේ බොලාට.. විස්වාස නැත්තම් නිකා හිටහන්..

බහුතරයක් දෙනා සකලේගේ වරකා කතාව විශ්වාස කරන්නේ නැත. ඒ සකලේ යනු අතේ පැලවෙන ගල් පැලෙන බොරු කියන්නට උපන් හපන් එකෙකු බැවින්ය.. 

හරි.. දැන් අපි එතනට ගියා කියමුකෝ.. වරකා නැති උනොත්..

වරකා නැති උනොත් බොලා සේරෝම මට අල්ලගෙන ගහපන්..

බොට හොඳටෝම ෂුවර්ද.. අනිවාර්යෙන් ගහන ඒකත් ගහනවා පුතේ..

හරි බන් හරි...යමන්කෝ.. හැබැයි බොලා ගහේ නැගල කඩාගන්න ඕන හරිද..

යකෝ  වරකා තියෙනවනම් ගහට නැගල කඩන එක මහා දෙයක් නෙවෙයි සකලේ.. එසේ ස්වේච්චාවෙන් ගස් යාමට ඉදිරිපත් වන්නේ අපගේ හිතාදර පයිලට් ගොයියාය..

හරි එහෙනම් යමල්ල..

ක්‍රිකට් කණ්ඩායම සකලේවත් බයිසිකලයක ඉඳුවාගෙන සකලේ විසින් කලින් සඳහන් කරන්නට යෙදුනාවූ ඉසව්ව කරා බයිසිකල් පැදගෙන යන්නේ වරකා කෑමේ ආශාව මුදුන්පත් කරගැනීම සඳහාය. විනාඩි දහයක පමණ බයිසිකල් ගමනකින් පසුව සකලේ කියූ ඉසව්වට සැපත්වෙන අප සැම අමතා සකලේ විසින් ස්ථාවර නියෝග ලබා දෙන්නේ වරකා කෑමේ මහා සංග්‍රාමය ආරම්භ කිරීම සඳහාය..

මේක තමයි පොට් එක.. මේකේ තියනවා වරකා, වැල, කුරුම්බා, වෙරළු, වගේ හුග ජාතියක් හරිද.. මේ අපේ ආච්චිලාගේ වත්ත.. දැන් බොලාට තියෙන්නේ කැමති ගහකින් කැමති ජාතියක් කඩාගෙන කන්නයි.. අපේ ආච්චි අනම් මනම් කිව්වට බොලා ගනන්ගන්න එපා හරිද.. උඹල එව්වට උත්තර දෙන්නේ නැතුව උඹලගේ වැඩේ කරගෙන පලයල්ලා.. මම ආච්චි ගැන බලාගන්නම්..

උඹ කියනවනම් එච්චරයි මචං.. මේ අක්කර දෙකක විතර මුළු ඉඩමම බොලාගේද බන්..

ඔව් යකෝ ඔව්.. කැමති ගහකින් කැමති ගෙඩියක් කඩාගනින්.. වෙල අයිනට වෙන්න කිරල ගසුත් ඇති.. ඕනෙනම් කිරලත් කඩාගනින්. හැබැයි පුතෝ නයි පොළොංගු කෑවොත් මම නෑ.

එසේ සියලු අනපනත් සම්මත කරගැනීමෙන් අනතුරුව වත්ත පුරා ඇවිදින්නට පටාන් ගන්නා අපේ එවුන් කැමති කැමති ගස් වලින් ගෙඩි කඩන්නට පටාන් ගන්නවාය. වතු පාලු කරන්නට අපේ එවුන්ට අමුතුවෙන් ඉගැන්වීමට වුමනාවක් නොමැති අතර උපතින් ගෙනා සහජ දක්ෂකමක් වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යාමට තරම් විශේෂ ප්‍රාගුන්‍යයක් අපේ එවුන්ට තිබෙනවාය. 

හපොයි තොපි මගේ වත්ත පාලු කරන්න ආවද කාලකන්නි හැත්ත.. පලයල්ලා මගේ ගස් වල ගෙඩි ටික තියෙන්න ඇරලා.

අනේ ආච්චියෙ  ගෙට වෙලා ඉන්නකෝ.. මම තාත්තට කියල  අවේ.. අපේ ගහක ගෙඩියක් අපි කඩා ගත්තාම ආච්චීට මොකෝ.. මරුනාම අරං යන්නද මේවා..

තොපිට හෙන ගහනවා යකෝ.. තොපේ හත්මුතු පරම්පරාවටම හෙන ගහනවා මේ කරන අපරාදෙට.. මගේ පෝල් ගස් ටිකේ ගෙඩියක් පැහෙන්න දෙන්නේ නැහැ තොපි.. 

හෙන ඉල්ලන්න එපා ආච්චියේ.. හතර පෝයට සිල්ගන්නවා නේද..

තොපිව ජාතක කරපු එවුන්ටත් හෙන ගහනවා යකෝ.. තොපි ගස්වලින් වැටිල මැරිය..

ආච්චි අම්මා වත්ත පුරා ඇවිදිමින් අපගේ හත්මුතු පරම්පරාවටම හෙන ඉල්ලා දෙස් දෙවොල් තබද්දී අපගේ වතුපාලු සෙට් එක නොනවත්වා ආච්චිගේ වත්ත පාලු කිරීමේ කර්තව්‍ය අඛණ්ඩව කරගෙන යනවාය. 

මොකෝ බන් සකලේ බොලාගේ ආච්චි අච්චර දෙස් දෙවොල් තියන්නේ..

ආච්චි හරි කුම්මැහි ගෑනි බන්. මේ ඉඩකඩම් බෙදල දෙන්නේ නැතුව පෙරේතකමට තියන් ඉන්නේ.. මරුනාම අරන් යන්නද බැන්ද බන්..

ඉතින් බොලාගේ තාත්තල මුකුත් කියන්නේ නැද්ද බන්..

නෑ බන්.. ආච්චි ඉඩම් බෙදන්නේ නැති නිසා තාත්තලා ඉල්ලන්නේ නෑ බන්.. 

ඒ මොකෝ බන්..

බොලා දැන් ආවේ වරකා කන්නද ඉඩමේ හතරමායිම් බලන්නද ..නිකම් හම්බුනු අස්සයාගේ දත් ගණන් කරන්නේ නැතුව කන දෙයක් කාල යමන් යන්න ..

සකලේගේ මිත්තනිය අපගේ හත්මුතු පරම්පරාව අමතා ගුණ ගායනා කරද්දී වත්ත පුරා තිබෙනා වූ සියලුම පැල ගස්වල තිබු කුරුම්බාත් කොස් ගස්වල තිබු වැල වරකාත් සියල්ලම බිමදමා හැකි උපරිමයෙන් බඩ පුරවා ගැනීමේ සීග්‍ර ව්‍යායාමයක අපේ උන් නිරත වෙනවාය. ඒ කාලයේ දුරකථන සේවාවන් සහ පොලිස් හදිසි ඇමතුම් සේවාවන් තිබුනානම් සකලේගේ මිත්තනිය අපව එලවා දමන්නට පොලිසිය කැඳවීමට දෙවරක් හිතන්නේ නැතිවන්නට බොහෝ දුරට ඉඩ තිබුනේය.

වරකා වලට වඩා වැල වලට රුචිකත්වයක් දක්වන මා සහ රසංගයා කිසිදු අමාරුවකින් තොරවම අපේ එවුන් කඩා දමනා වැල ගෙඩි විනාඩියෙන් දෙකෙන් වාෂ්ප කරලා දමනවාය. බිම දමා විවුර්ත කරනා ලද වැල ගෙඩියේ දෙකොනින් ඇන තියාගන්නා රසන්ගයාත් මමත් එහි වාඩිවී විනාඩි කිහිපයක් අවසානයේ එතැන ඉතුරු වන්නේ වැල ගෙඩියේ සුන්බුන් ටික සහ කොස් ඇට ටික පමණය. හොඳින් ඉදුණු වැල ගෙඩියක මදුළු සියල්ල විනාඩියක් දෙකක් ඇතුලත  සුරුස් බුරුස් ගා උදරය වෙත ධාවනය කරවීම මටත් රසන්ගයාටත් සිම්පල් වැඩක්ය. නිවිහැනහිල්ලේ වැල ගෙඩි කිහිපයකට තරඟයක් නොමැතිවම වගකියන්නට මටත් රසන්ගයාටත් පුළුවන් වන්නේ බහුතරයක් එවූන් වරකා ගෙඩි සඳහා පොරකන නිසාය. ගහට නැගපු එකා බිමට බසින්නට ප්‍රථමව කැඩූ ගෙඩි සියල්ල කා බී ඉවරයක් කරන්නට අපේ උන් අති දක්ෂ බැවින් තමුන්ට කන්නට හෝ බොන්නට ගෙඩියක් කඩා ගැනීමට අපගේ පයිලට් තුමා නැවතත් ගහකට නගින්නේ ආච්චීට වඩා උස් හඬින් අපේ එවුන්ගේම මවුගුණ ගායනා කරමින්ය. 

එදින එසේ අවසන්වූ වරකා කෑමේ මහා සංග්‍රාමය ඉන් අනතුරුවද බොහෝ කාලයක් කරගෙන යාමට අපේ එව්වෝ වගබලා ගත්තෝය. සකලේ ක්‍රිකට් සෙල්ලම් කිරීමට එන්නාවූ සෑම දිනකම වාගේ ආච්චිගේ වත්ත පාලු කිරීමට යාම අපේ එව්වෝ පුරුද්දක් කරගත්තෝය. එවන් සෑම දිනෙකම ආච්චි පරල වෙමින් හත්මුතු පරම්පරාවේම මවු ගුණ ගායනා කරමින් අපේ එව්වෝ පසුපස වත්ත පුරා එලෙව්ව්ද මුණුපුරා අපගේ සෙට් එකේ සගයකු වූ නිසා අපේ එකෙකුවත් ආච්චීව සතපහකට මායිම් කලේද නැත. ආච්චීද අප එහි ගිය සෑම දිනෙකම ගේම අතෑරියේ නොමැති අතර අපේ එවුන්ද එහි ගිය අභිමතාර්ථය සාක්ෂාත් කරගෙන විනා හිස් බඩ වත්තෙන් එලියට ආවේද නැතිය. වසර කිහිපයකින් අනතුරුව  ආච්චිගේ වත්තට සුභ කාලයක් උදා වුයේ අපගේ හල්වතුර ක්‍රීඩාංගනය ගෙවල් සෑදීම සඳහා කට්ටි කර බෙදා දීමෙන් අපගේ ක්‍රිකට් ක්‍රීඩාවට කණකොකා හැඬු නිසාය. 

කට ඇරියොත් ගල් පැලෙන බොරු අතාරින සකලේ ඉඳහිට හෝ  ඇත්තද කියනවා යන්නට ක්‍රියාවෙන් ඔප්පු කලේ මිත්තනියගේ ඉඩම රිසිසේ පාලු කිරීමට අපහට අවස්තාව සලසමින්ය.

ඉනුත් වසර හතකින් අටකින්  අනතුරුව එක්තරා සැන්දෑවක මා වෙත ලැබුනාවූ දුරකථන ඇමතුමක සඳහන් වුයේ සකලේගේ මිත්තනිය අවසන් ගමන් ගියා වූ දුක්බර පුවතයි.

සකලෙගේ ආච්චි මැරිලා.. රෑට මළගෙදර යන්න ඕන.. උඹ එනවා නේද..

අනිවාර්යෙන්  එනවා.. කීයට විතරද යන්නේ..

අටට නමේට යමු..

හරි මම අට වෙද්දී ඒ පැත්තට එන්නං..

අපේ කට්ටියට මලගෙදරක් කීවොත් මගුල් ගෙදරක් කීවාට වඩා සන්තෝසය. ඊට හේතුවනම් අපගේ ගම් පලාත්වල මලගෙදරත් මගුල් ගෙදරත් වෙනස වන්නේ ඉතාමත් සුළු කරුණු කාරනා කිහිපයකින් පමණක් වන නිසාය. මළගෙදර මගුල් ගෙදරින් වෙනස් වන්නේ මනාල යුවල නැතිකම සහ නැටුම් ගැයුම් අඩුව පමණක්ය. මගුල් ගෙවල්වල මගුල් මේසය ඇරෙන්නේ නියමිත වෙලාවක් සඳහා පමණක් වුවත් ව්‍යංජන හතාටකින් යුත් සුපිරි කෑම මේසයක් මල ගෙවල්වල පැය විසි හතර පුරාම බඩගිනි හමුදාවට සේවය සැපයීමට ලෙසටම සුදානම්ය. මගුල් ගෙවල්වල යාමට ඇඳුම් පැළදුම් නිසි ලෙස අවශ්‍ය වුවත් මළගෙදරක යාමට ඕනෑම ඇඳුමක් ඉහටත් උඩින්ය. මගුල් ගෙදර ගොස් කාබී නටා ඒමට නම් මොනර කොළ දෙකතුනක් බහාලූ ලියුම් කවරයක් අවම වශයෙන් අවශ්‍ය වුවත් මළගෙදරක යාමට එව්වා අවශ්‍ය වන්නේද නැත. මගුල් ගෙදර රහමෙර පානය එළිපිට වුවද මළගෙවල්වලද අප්‍රසිද්දියේ අහුමුලුවල බෝතල් ඕනෑතරම් කැඩෙනවා වාගේම සිගරට් වැනි අනුපාන ඕනෑතරම් සුලභය. මගුල් ගෙවල්වල තහනම් මත් ද්‍රව්‍ය භාවිතයක් නොමැති වුවද රෑ බෝවනවිට මළගෙදර අවටින් තණමල්විල පැත්තෙන් හමනා සුවඳ වර්ග බොහෝය. ඉහත කරුණු කාරනා සලකා බැලුකල මගුල් ගෙදරක යනවාට වඩා මළගෙදරක යාම සෑම අතින්ම වාසි සහගතය. එබැවින් අපේ උන්දලා මලගෙදරක් කීවොත් කීයටවත් කර අරින්නේද නැත. 

මියයන්නට යෙදුනාවූ සත්ගුණවත් සකලේගේ මිත්තනියගේ ගෙදර තිබුනේ අපගේ ගං තුලානේ නොවන බැවින් ප්‍රසන්නයාගේ කැරවන් රථයෙන් විනාඩි තිහක වැනි ගමන් කාලයකින් අනතුරුව අපි සියලුදෙනා මළගෙදරට සැපත් උනෝය. එයින් මා වටහා ගත්තේ ඊට වසර හත අටකට ඉහතදී අප විසින් පාලු කරන්නට යෙදුනාවූ ඉඩමේ පදිංචි මිත්තනිය මැය නොවන බවයි. 

සකලේද මළගෙදරට එන්නාවූ අමුත්තන් වෙනුවෙන් හරි හරියට මහන්සි වෙනවාය. කිසිදු අඩුවක් පාඩුවක් නොමැතිව සංවිධානය වී තිබු කටයුතු නිසා එකක් නිවෙන්නට එකක් දුම් වර්ගද, වෑන් රථයේ විවුර්තව තිබු වීදුරු බෝතල්ද අපේ එවුන්ගේ සුභ සිද්දිය වෙනුවෙන් ලෙසටම සේවයේ යෙදෙනවාය. අවශ්‍ය කරන බයිට් වර්ගද දුම් වර්ගද සකලේ විසින් අඩු නොමැතිව සැපයෙනවාය. වීදුරු බෝතල් සෙල්ලම අහවර වූ සැනින් ඊළඟ ආරාධනාව රාත්‍රී කෑම මේසය සඳහාය.

කෑම ගැන අපේ එවුන්ට විශේෂයෙන් කිවයුතු නැතිය.. " කෑ " යන්න කී පමණින් " ම ටිකක් කාල ඉමු " කියන්නට මත්තෙන් අපේ එවුන් කෑම මේසය වටේ වටවී හමාරය. එයින් පෙරමුණ ගන්නේ කෑමට කවදත් පස්සට නොයන ගනයේ එකෙකු වනා අපේ සිරාය. ලැජ්ජාව බෙදන තැනකවත් ඉඳලා නැති සිරා කෑම මේසයකට වාඩිවූ සැනින් සිරා සමග ආගිය එවුන්ගේ පටි රෝල් වෙන්නටම සිරා කන එක ලෙසටම කනවාය. සිරා කෑම මේසයකට වාඩි වුනොත් මේසයේ ඉතුරු වන්නේ හිස් පිඟන් කෝප්ප පමණය. එව්වාද සිරා පිඟන් කෝප්ප නොකන නිසාය. දන්නා කියන ස්වාමීන්වහන්සේ නමකගේ ගම වන ලග්ගල වෙත අපව රැගෙන ගිය අවස්ථාවේ එම ස්වාමින්වහන්සේගේ ඥාති වරිගයාට මාස තුන හතරකට කන්නට තිබෙනා සියලුම දෑ රැයෙන් දෙකෙන් කා දමන්නට අපේ සිරා සමත්වුනේ කිසිදු පැකිලීමක් නැතිවමය. 

හත් අටදෙනෙකුට කන්නට තිබෙනා බත් බේසමක් එක රාත්‍රී වේලක් වෙනුවෙන් කා දැමු සිරා කියන්නේ ඒ ගමේ උදවිය හරිම ආගන්තුක සත්කාර දන්නා උදවිය කියාය. සිරාගේ දැකීම එසේ වුවද ගමනට සහභාගී වූ මට සහ රන්ජියාට නම් සිරා කෑම මේසය අකුලලා යන්නටම කා දැමු පසු එම නිවැසියන්ගේ මුහුණ බැලීමටද ලැජ්ජය. " ඔහොම කන්න එපා යකෝ ගෙදර මිනිස්සුන්ටත් කන්න ටිකක් ඉතුරු කරපන් " කියා අප කරනා වූ ඉල්ලීමට සිරාගේ පිළිතුර වන්නේ " බොල වගේ නෙවෙයි යකෝ.. මේ මිනිස්සු ආගන්තුක සත්කාර දන්න මිනිස්සු.. මේ ඔක්කොම බෙදල තියෙන්නේ අපිට කන්න තමයි..බොරු නැතුව කාපන් " කියාය. 

එවන් සූර වීර සිරා ප්‍රමුක නඩය කෑම කා අවසන්වී මද විවේක සුවයෙන් පසුවෙනා අවස්තාවක විවේකයක් ලැබූ සකලේද අප ආසන්නයෙන් වාඩි ගන්නේ අපගේ පැමිණීමට ස්තුති කිරීමක් වශයෙන්ය.

හෙටද බන් මළගෙදර අවසාන කටයුතු..

ඔව් මචන්.. හෙට.. මේ ගමේ කනත්තේ තමයි කරන්නේ..

ඔයින් මෙයින් අල්ලාප සල්ලාපයේ යෙදුනු සකලේ වෙත මාගෙන් වැදගත්ම ප්‍රශ්නයාක් යොමු වන්නේ අනතුරුවයි..

මේ බොලාගේ අම්මගේ අම්මාද බන්..

නැහැ බන්.. තාත්තගේ අම්ම..

ඈ........ එතකොට අර එහේ ඉන්නේ අම්මගේ අම්මාද බන්.. වෙන්න බෑ උඹ කිව්වේ තාත්තගේ අම්ම කියලනේ බන්..

පිස්සුද යකෝ.. අම්මගේ අම්ම නැතිවෙලා තියෙන්නේ අපි ඉපදෙන්නත් කලින්..

එතකොට අර පනියනේ ඉන්නේ බොගේ කොයි ආච්චිද..

කොහෙද බන් මට පනියනේ ආච්චි කෙනෙක්..

ඈ බොල ඌරෝ.. තොට මතක නැද්ද අපි උඹලගේ ආච්චිගේ වත්ත පාලු කරා අවුරුදු ගානක් තිස්සේ.. අර බන් අපේ අම්මලාට බැන බැන පස්සෙන් එන්නේ..ඇයි බන් අර උඹ කිව්වේ උඹේ තාත්තගේ අම්ම කියල..

මොන බන්.. මට මතක නැහැනේ.. උඹ මේ වෙන මොකක් හරි ගැන කියවන්නේ..

ඇයි යකෝ අර අපි ගිහින් වැල වරකා කාපු ඉඩමේ ආච්චි..

ආ ................... ඒ අපේ නෑයෙක් නෙවෙයි බන්.. ඒ කාත් කව්රුවත් නැති මනුස්සයෙක් බන්..


සකලේ විසින් අපව සම්මාදම් කරවා තිබු පාප කර්මය කොතරම් තඩි එකක්දැයි එලිවුයේ එලෙසය. සකලේ විසින් කියූ එකම එක ඇත්තද අවුරුදු හත අටකට පසුව තඩි මුසාවක් බවට පත්වුවත් ඒ වනවිට එම අහිංසක මැහැල්ලගේ ඉඩමේ පලදාව වසර කිහිපයක් තිස්සේ අප විසින් බලහත්කාරයෙන් බුක්තිවිඳ අවසන්ය. ඉඩමේ එකුදු පොල් ගසකවත් ගෙඩියක් පැහෙන්නට ඉඩනොදුන් අප සැමට ඒම අසරණ මැහැල්ල විසින් තැබූ දෙස් දෙවොල් නොවදින්නට විදිහක් නොමැත. උඩ සිටිනා දෙවියන් අප කල පාප කර්මය සාධාරණව සලකා බලා අපව නොමග යවා  එවන් පාප කර්මයක් කිරීමට අපව පෙලඹවූ සකලේගේ පවු එකවුන්ට් එකට සියලු පාපකර්ම බැරකරන සේක්වා.


සකලේගේ නිවස යටින් තිබෙනා, කොළඹ සිට ගාල්ල දක්වා අලියා බීම පොම්ප කරනා බීම නලයක්  හිල් කරවා ටැප් එකක් සවිකර හිතු හිතු වෙලාවට සකලේගේ පවුලේ සැම නෙක්ටෝ බොනවා යනුවෙන් සකලේ විසින් හෝඩියේ පන්තියේදී කියූ ටොම් පචයක් කට ඇරන් අසා සිටි මීමන් රෑනෙන් එකෙකු මා  වීම කනගාටුවට කරුනක්ය. හෝඩියේ පන්තියේදී කට ඇරගෙන ඇසූ ටොම් පච කියූ එකා කියනා බොරු පතන් උසස්පෙළ කරනා කාලයේදීද දෙවරක් නොහිතා විශ්වාස කල අපගේ බුද්ධිය සකලේගේ බුද්ධිය තරම් මෝරලා නැති වගට අවසානයේ මා එළඹී නිගමනයයි. 

සකලේ විසින් සමාජගත කරන්නට යෙදුනාවූ අතේ පැලවෙන බොරු මෙහි ලියන්නට ගියහොත් එව්වා පොස්ට් දෙතුන්දාහක් ඉක්මවා යන්නා වූ බැවින් ඉතුරු එව්වා බ්ලොගයේ ලිවීමට අදහස් කරන්නේ නැත.

මෙම පොස්ටුව කියවනා ගමේ මිතුරන් සකලේගේ උප්පැන්නයේ නම ගම මෙහි කමෙන්ට් මගින් පලනොකර සිටින්නේනම් මැනවි. එසේ පලකරන කමෙන්ට් මා විසින් දුටු විගස මකා දමන්නට තීරණය කර සිටිනා  බැවින් එවන් දෑ වෙනුවෙන් මා සමග අමනාප වන්නට එපාය.  

Thursday, March 10, 2016

අද්බූත සිදුවීම් දෙකක් සහ පොරොන්දුව නිසා අමාරුවේ වැටීම..




වර්ෂ දෙදහසක් වූ ඔක්තෝම්බර් මාසයේ එක්තරා දවසක මාගේ මිත්‍රයින් කිහිපදෙනෙකු උණවටුනේ නාන්නට යන්නට මා වෙත යෝජනා කලේ සෙනසුරාදාවක උදය වරුවේය. එවකට මා සතු වූ වෑන් රථය ගාල්ල අවට ව්‍යාපාර කටයුතු කරන්නාවූ කොම්පැනියකට කුලියට දී තිබු බැවින් උණවටුනේ යන්නට වෑන් රථයක් ඉල්ලාගැනීමට පහසුම මග වුයේ රුහුණු කුමාරියේ මිතුරෙක් වූ දයාරත්න අයියාගේ ටවුන් ඒසය ඉල්ලාගනීමයි. සෙනසුරාදා ඉරිදා මාගේ වාහනය ගෙන්වාගැනීමට හැකියාව තිබුනද ඒ වෙනුවෙන් රියදුරා සොයා වාහනය අම්බලන්ගොඩ ගෙන්වීම පැය දෙක තුනක් ගතවන්නාවූ කාර්යයකි. ඉහත කී දයාරත්න අයියාගේ වාහනයෙන් උණවටුනේ යාම අවසාන තීරණය බැවින් එසැනින් දයාරත්න අයියාට දුරකථන ඇමතුමක් ගැනීමට මට සිදුවීය..
හලෝ... දයාරත්න අයිය ඉන්නවද..

පොඩ්ඩක් ඉන්න.. ( ඒ දයාරත්න අයියාගේ ප්‍රිය බිරින්දෑය )

හෙලෝ...

දයාරත්නයියේ... වෑන් එක ටිකක් ගන්න පුලුවනිද..

ඇයි  කොහේ යන්නද..

අපි කට්ටිය උණවටුනේ යන්න කියල.. මගේ වාහනේ ගාල්ලේ.. ගෙන්නගන්න ගියොත් පරක්කු වෙනවා..

වාහනේනම් දෙන්න පුළුවනි.. ඒත් හවස අලුත්ගමට යන්න තියෙනව ඇලෝ වීල් හතරක් දාන්න.. එනගමන් එහෙමම අලුත්ගම ගිහින් වීල් හතර මාරුකරන් එන්න පුලුවනිද..

හරි  මම එහෙම කරගන්නම්..

හරි එහෙනම් ඇවිල්ල අරන් යන්නකෝ.. උනවටුනෙන් එද්දී මට කෝල් එකක් දෙන්න මම වීල් හතර දාන වැඩේ ඇරේන්ජ් කරන්නම්..

හරේ.. මම එන්නං..

සියල්ල්ල එසේ සිදුවූ බැවින් එසැනින් ගොස් එම වෑන් රථය ගෙන උණවටුනේ නෑමට යාමට අපි සැම උත්සුක වූයෙමු..  දවසම විනෝදයෙන් උණවටුන වෙරල තීරයේ ගතකල අප සැම උනවටුනෙන් ගෙදර එන්නට පිටත්වෙන විට සවස තුනහමාර පමණ වන්නට ඇත. රෝද හතර මාරු කරන පොරොන්දුව පිට රථය ඉල්ලාගත් බැවින් අලුත්ගම යාමට උවමනා වුවත් ඒ වෙනුවෙන් රථයේ ඉතිරිවූයේ ප්‍රසන්නයාත්, කොන්ඩයාත් මමත් පමණි..

සවස පහ පමණ වනවිට අලුගමට පැමිණි අපි තිදෙනා රථයේ අයිතිකරුගෙන් රැදී සිටින්නට උපදෙස් ලැබුණු ස්ථානයේ රථය නවත්වාගෙන ඉන්නා අවස්ථාවේ මාගේ ජංගම දුරකථනය නාද වන්නට පටන් ගත්තේය.. 

හලෝ...

පුතා  ඔයා කොහෙද ඉන්නේ..

මම ඉන්නේ අලුත්ගම අම්මේ..

ගෙදර එන්න කොච්චර වෙලා යනවද..

දයාරත්නයියගේ  වෑන් එකේ රෝද හතර මාරුකරගන්න ආවේ.. මේක කරගත්තු ගමන්  එනවා අම්මේ..

ඉක්මනට ගෙදර එන්න.. 

ඇයි මොකද ප්‍රශ්නේ..

ලොකු තාත්තට පපුවේ අමාරුවක් හැදිලා ඉස්පිරිතාලේ අරන් ගිහින්.. ටිකක් අමාරුයි කියනව.. ඉක්මනට ගෙදර එන්න..

හරි අම්මේ.. මම ඉක්මනට එන්නම්..

ඒ සමගින්ම අප බලාපොරොත්තුවෙන් සිටි අනෙක් වෑන් රථය එතනට පැමිණි අතර අප වෙත පැවරී තිබුණු රාජකාරිය නම් එම වෑන් රථයේ රෝද හතර අපගේ වාහනයටත් අපගේ රෝද හතර එම වාහනයටත් සවි කිරීමයි.. සැනෙකින් ක්‍රියාත්මක වූ මමත් ප්‍රසන්නත් කොන්ඩයාත් අවම කාලයක් ඇතුලත අපගේ ටවුන් ඒසයේ රෝද හතර අනෙක් ටවුන් ඒසය වෙත මාරු කර ඔවුන්ව පිටටත් කර හැර අපගේ අවසන් රෝදය අපගේ ටවුන් ඒසය වෙත සවි කළෙමු. වාහන දෙකේ ජැක් දෙක පාවිච්චි කරමින් පාරක් අයිනේ සිට කළාවූ මේ කාර්‍යය ඉතාමත් වෙහෙසකර කාර්යක් වුවත් ඇතිවී තිබෙන්නාවූ හදිසි තත්වය අනුව හැකි ඉක්මනින් රෝහල වෙත වාර්තා කිරීම මාගේ යුතුකමක් සහ වගකීමක් වීය.

අපගේ රෝද හතර සවි කල වහා රථයට නැගුනු මා රථය පැදවීමට උත්සහ කලත් පළමු ගියරයෙවත් රථය ඉදිරියට ගැනීමට නොහැකිවීම අපව පුදුමයට පත්කළ අතර කිහිප විටක්ම රථය ඉදිරියට ධාවනය කිරීමට ගත උත්සාහය ව්‍යර්ථ කරමින් වෑන් රථය ගල් ගැසුණු ස්භාවයෙන් පසුවූයේ අප සැම අන්ත අසරණ භාවයට පත්කරමිනි. කිසිදු අපහසුවකින් තොරව පණගැන්වෙන රථය කිසිදු අයුරකින් අඟලකුදු ඉදිරියට ධාවනය කල නොහැකිය. කලයුතු වෙනත් යමක් නොමැති බැවින් නැවතත් දයාරත්න අයියා වෙත දුරකථන ඇමතුමක් දීමට අපහට සිදුවීය..

හෙලෝ.. 

දයාරත්නයියේ.. වාහනේ රෝද මාරු කරා.. ඊට පස්සේ වාහනේ හොලවන්න බැහැ..

ඒ මොකෝ..

මම හිතෙන්නෙ එකම ජාතියේ වාහන දෙකක් උනත් මොකක් හරි අවුලක් තියෙනව.. රෝද කැරකෙන්නේ නැහැ.. කළුවර වෙලා නිසා මේ වෙලාවේ මුකුත් පේන්නෙත් නැහැ .. අනික් වාහනේට කෝල් එකක් දීල කියන්න ආපහු අපි ඉන්න තැනට එන්න කියල.. 

හරි එහෙනම් මම කියන්නම්.. දැන් එතකොට මොකද කරන්න හදන්නේ..

මේකෙ තිබ්බ වීල් හතර මේකට දාල බලන්න වෙනවා..

හා එහෙනම් එහෙම කරන්නකෝ..

දැන් අපගේ උත්සාහය නැවතත් අපගේ රෝද හතර අපගේ වාහනයට දමාගෙන ගෙදර යාම උවත් එම වාහනය නැවතත් අලුත්ගමට එනතුරු අප ඉවසිල්ලෙ රැදී සිටිය යුතුය.. ඒ අතර නැවතත් මාගේ දුරකථනය නාද වන්නට වීය..

හලෝ..

පුතා.. ඔයා කොහෙද ඉන්නේ..

මම තාම අලුත්ගම අම්මේ..

මොකද ළමයෝ කරන්නේ.. ලොකු තාත්තව කරාපිටි යවන්න හදන්නේ.. ඉස්පිරිතාලේ ඇම්බියුලන්ස් එක නැහැ කියල තාත්ත ඔයාට ඉක්මනට එන්න කියනව..

මම එන්න තව ටිකක් වෙලා යනවා අම්මේ.. වාහනයක් හයර් එකට අරන් යන්න කියන්න.. මේ වාහනේ ප්‍රශ්නයක් වෙලා ඒක හදාගෙන තමයි එන්න වෙන්නේ..

අනේ මන්ද ළමයෝ.. ලොකු තාත්තා ඔයාවම අහනවලු.. පුළුවන් ඉක්මනට එන්න බලන්න..

හා අම්මේ..

අපගේ රෝද හතර සහිත වෑන් රථය ඒම ස්ථානයට සැපත්වූ බැවි යුහුසුළු වූ අපි හැකි උපරීම වේගයෙන් නැවතත් රෝද ගැලවීමේ සංග්‍රාමය පටන් ගතිමු.. කොන්ඩයාගේත් , ප්‍රසන්නගේත් නොමසුරු සහයිගයෙන් රෝද අටම නැවත හුවමාරු කරගත් අපි වාහනය පනගන්වා ධාවනය කරන්නට උත්සහ කරන ලදුව අපගේ වාහනය කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ඉදිරියට ධානාවය වන බව තහවුරු වීය.

හැකි උපරීම වේගයෙන් අලුත්ගම සිට ගෙදරට පැමිණි මා මිදුලේ වාහනය නවත්වනවාත් සමගම ගෙදර දුරකථනය නාද වනවා ඇසුනි.. වාහනයෙන් බසිනවාත් සමගම ගෙදර දුරකතනයේ රිසීවරය බිම අතහැරෙනවාද ඇසුණු අතර අම්මාගේ හැඬුම් ස්වරය මා වෙත ඇහෙන්නට වීය..

ඇයි අම්මේ..

ලොකු තාත්ත නැති වෙලාලු..

අයියෝ..

මාගේ ප්‍රාණ සමාන මිත්‍ර කොන්ඩයාද මා සමග රැදී සිටි අතර මාගේ නිවසේ සියලු සාමාජිකයින් වෑන් රථයට දමාගත් මම තාත්තාගේ මහ ගෙදර වෙත ඉගිලෙන්නට වුයෙමි. ලොකු තාත්තා මියගිය පුවත ඉතාමත් සංවේගකර පුවතක් වුවද ඉතිරි වැඩකටයුතු සඳහා හැකි ඉක්මනින් සහයෝගය දීම මාගේ වගකීමක් සහ යුතුකමක් වීය. 

විනාඩි පහකින් දහයකින් තාත්තාගේ මහගෙදර වෙත ලඟා වූ මම වාහනයෙන් බැස මහගෙදර දෙසට දිවයන්නට වීමි. මහ ගෙදර ඉදිරිපස ඇති පෝටිපොවේ අයිනේ සිමෙන්ති පඩිය උඩ වාඩිවීගත් මාගේ මිත්තනිය හඬා වැටෙමින් සිටිනා ආකාරය මා දුටිමි. වෙලාව රාත්‍රී අට පමණ වී ඇති නිසා එවකට වයස අනූවක පමණ වූ ඉතාමත් යහපත් ශරීර සුවතාවයකින් සිටි මාගේ මිත්තනිය මා දුටු  වහා නැගිට ඉදිරියට එන්නට විය..

අනේ පුතේ  ලොකු තාත්තා.....

ආච්චීට කියන්නට හැකි වුයේ එපමණකි.. මා ඉදිරියේ ක්ලාන්ත වී වැටෙන්නට ගිය ආච්චි බිම වැටෙන්නට නොදී මාගේ පපුවට වාරු කරගැනීමට මම සමත් වීමි. සියල්ලෝම විසින් වත්තම් කරගත් ආච්චී මහ ගෙදර ඉදිරිපස කාමරයේ ඇඳ උඩින් දිගා කරවා පවන් සැළුවද ආච්චීට සිහිය එන වගක් නොවීය. එවකට පොල්වත්ත රෝහලේ සේවය කල හෙදියක් වූ අප ඥාති සහෝදරියක් විසින් මා එලියට කැඳවන්නේ ඉන් අනතුරුවයි..

මල්ලි.. ආච්චිගේ පල්ස් අහුවෙන්නේ නැහැ.. ඉක්මනට ඉස්පිරිතාලෙට අරන් යමු..

හරි අක්කේ..

ඇයගේ විධානයෙන් පොල්වත්ත රෝහල වෙත ඉගිලුන මා ආච්චීව රෝහල්ගත කලෙමි.. වෛද්‍යවරයා විසින් කල ප්‍රතිකර්ම කිහිපයකින් අනතුරුව ආච්චීට සිහිය ලැබුණු අතර ඉන් පෙර සිදුවූ කිසිවක් හරි හැටි මතකයේ නොමැත වග අපහට වැටහෙන්නට වීය. ලොකු තාත්තා මියගිය බවද ඒ වනවිට ඇයගේ මතකයේ නොවීය.. පැය එකහමාරක පමණ කාලයක් රෝගියා පරීක්ෂාකළ වෛද්‍යවරයා වෛද්‍ය කාමරය වෙත මා කැඳවුයේ ඉන් අනතුරුවයි..

මේ ඔයාගේ කව්ද..

මගේ ආච්චි ඩොක්ටර්..

ඔයාල ගාව වාහනයක් තියෙනවද..

තියෙනව ඩොක්ටර්..

එතකොට  හවස මෙහෙන් කරාපිටි යැව්වේ මේ ආච්චිගේ කව්ද..

ඒ මේ ආච්චිගේ ලොකු පුතා ඩොක්ටර්.. ඒ මගේ ලොකු තාත්තා..

එයා නැතිවුනාලු නේද..

ඔව් ඩොක්ටර්..

මේකයි පුතා ප්‍රශ්නේ..ඔයාගේ ආච්චි දැන් කතාබහ කරාට එයාගේ හර්දය වස්තුව වැඩකරන සද්දෙවත්, එළියෙන් අල්ලලා බැලුවට අහුවෙන පල්ස් එකක්වත් මට දැනෙන්නෙ නැහැ. මගේ රාජකාරි කාලෙටම මම මෙහෙම දෙයක් දැකල නැහැ.. මගේ පරීක්ෂණ අනුව මේ ලෙඩාගේ හර්දය වස්තුව වැඩකරන්නේ නැහැ.. ඔයාට කැමතිනම් ලෙඩාව කරාපිටි අරන් යන්න..

ඒ කියන්නේ ඩොක්ටර් ආච්චි නැතිවෙනවා  කියන එකද..

ලෙඩා තාම කතාකරන නිසා මට එහෙම කියන්න බැහැ.. ඔයාල කැමතිනම් කරාපිටි අරන් යන්න..

අපි කෝකටත් අරං යන්නම් ඩොක්ටර්..

හොඳයි.. මම එහෙමනම් ටිකට් එක ලියල දෙන්නම්..

තෑන්ක්ස් ඩොක්ටර්..

ඒ වනවිට මාගේ මිත්‍ර කොන්ඩයා විසින් සියලුම මිතුරන් දැනුවත් කර තිබු නිසා මාගේ සියලුවම් මිතුරන් පොල්වත්ත රෝහල වෙත ඒකරාශී වී සිටියේය. 

නැවතත් මාගේ මිත්තනිය වෑන් රථයේ දමාගත් අපි කරාපිටිය බලා ඉගිලෙන්නට වූයෙමු.. පහුවදාට යෙදී තිබු මැතිවරණය නිසාවෙන් ගාලුපාර ඒ තරම් කාර්යබහුල නොවූ නිසා පැය භාගයකින් වැනි අවම  වේලාවකින් කරාපිටියට සැපත්වීමට අපි සමත් වූයෙමු. හේමික, ප්‍රසන්න, කොන්ඩයා මාරුවෙන් මාරුවට ආච්චිගේ සේලයින් බෝතලය ඉහලට ඔසවා අල්ලාගෙන සිටි අයුරු අද මෙන් මතකයේ රැදී ඇත.

කරාපිටිය රෝහල වෙත ඇතුලත් කල තමුන්ගේ වැඩිමහලු පුත්‍රයා මියගිය වාට්ටුවට එහා වාට්ටුවට එදිනම ඇතුළත්වීමට සිදුවීම කොයිතරම් නම් දෛවෝපගත සිදුවීමක්ද. 

කරාපිටියට ඇතුලත්කල පසුවද ආච්චී බොහොමත්ම සාමාන්‍ය අයුරින් ආගිය තොරතුරු කතාකලද සියලුම වෛද්‍යවරුන් එතුමන්ලාගේ උපරීමය ශ්‍රම දායකත්වය සැපයුවේ ඇතිවී තිබෙන්නාවූ තත්වය නිරාකරණය කරගැනීමටයි. විවිද ඖෂද වර්ගද එන්නත් කෙරුණු අතර ඒ කිසිවකිනුත් ප්‍රතිපලයක් ලෙබෙන සෙයියාවක් වෛද්‍යවරුන්ගේ මුහුණුවල සටහන්ව නොතිබුණි.

මේ සියල්ල අතර වාරයේ මාගේ පියාගේ බාලම සහෝදරයා නොහොත් ආච්චිගේ බඩ පිස්සා රෝහල වෙත පැමිණියේය. බාප්පා රෝහල වෙත පැමිණ ආච්චි සමග කතා කර මද වෙලාවකින් ආච්චි මියයමින් සිටිනා වග වටහාගත් බාප්පා රතන සූත්‍රය සජ්ඣායනා කරද්දී අපගේ ඇස් ඉදිරිපිටම ආච්චීද අපව හැරදමා දෑස පියාගත්තාය.. " දරුවෙකුගේ මරණයක් බලන්න මම ජීවත් වෙන්නේ නැහැ " කියා නිතර කිව් මාගේ මිත්තනියද තමුන්ගේ වැඩිමහලු දරුවාගේ මරණය දෑසින් නොදකින්නට තීරණය කර තිබුනේ එලෙසිනි.

ලොකු තාත්තා මියයන තුරුම මා කොහිදැයි විමසමින් සිටි වග පසුව තාත්තේගෙන් දැනගතිමි.. පොල්වත්ත රෝහලේ සිට කරාපිටිය රෝහලේ මියයන වෙලාව දක්වා මාගේ මිත්තනියගේ හදවත වැඩ නොකළ බව වෛද්‍යවරුන් පවසන නිසා මාගේ මිත්තනිය මියගියේ මාගේ පපුවට වාරු වූ අවස්තාවෙදිදෝ යයි අදද මා වෙත උත්තර නැති පැනයකි. ඒම අවස්ථාවේ සිට පැය හතරක පහක පමණ කාලයක් ආච්චී බාප්පා පැමිණෙන තුරු සාමාන්‍ය ජීවත්වන අයුරින් රැදී සිටියේ කෙසේද යන්න එහිදී සිදුවූ පළමු අද්භූත සිදුවීමයි.

දෙවන අද්භූත සිදුවීම නම් අවමංගල කටයුතු සඳහා නැකත් බැලීමට ගිය අවස්ථාවේ හෙළිවූ කරුණකි. එනම් ලොකු තාත්තාගේ මියගිය වෙලාවට අනුව හෙවත් මරණ නැකතට අනුව තවත් පවුලේ කෙනෙක් අනිවාර්යෙන් මියයාමට තිබුනා යන්නයි. වාහනයේ රෝද මාරුකළ අවස්ථාවේ වාහනය ඉදිරියට යාමට නොහැකිව ගල් වීම, එම අවදානමෙන් මා මුදවීමට සිදුවුවක්ද යන්න අදටත් මා වෙත උත්තර නැති පැනයකි. 

මාර්තෘකාවට සම්භන්ධ නොකර බැරිවූ උදව්වද කිරීමට මට සිදුවුයේ ඉහත කී අවමංගල්‍ය උත්සවය නිමාවූ දිනයේදීයි.. නිදි නොමැතිව ගතවූ වෙහෙසකර දින කිහිපයකින් අනතුරුව ආච්චීගේත් ලොකු තාත්තාගේත් අවමංගල්‍ය කටයුතු කිසිදු අඩුපාඩුවක් නොමැතිව සිදුකිරීමට අපි කටයුතු කළෙමු. සංසාරයේ පතා ආ ලෙසටදෝ දෛවෝපගත ලෙස ආච්චීත් ලොකු තාත්තාත් එකම චිතකයේ අවසන් ගමන් ගියෝය.. දුකෙහිද සැපෙහිද එකසේ උන්නාවූ මාගේ මිතුරු පිරිස දිවා රෑ නොබලා ආදාහනය දක්වාම ඔවුන්ගේ  දායකත්වය නොමසුරුව සැපයීම විශාල අස්වැසිල්ලක් වීය. පවුලේ ඥාතීන් දෙදෙනෙකු එක දින අවසන් ගමන ගිය ශෝකයත් කිසිදු අඩුපාඩුවක් නොමැතිව සියල්ල සාර්ථකව නිමාකල ප්‍රීතියත් , දින කිහිපයක් නිදි නොලබා සිටි වෙහෙසත් අතර සිටි මා සොයා දන්නා කියන පුද්ගලයකු පැමිණෙන්නේ මේ අතරය.. ඒ  වෙන කව්රුවත් නොව.. ආච්චීගේත්, ලොකු තාත්තාගේත් අවසන් කටයුතු සාර්ථකව නිම කිරීමට සහය දැක්වූ අපගේ පවුලේ හිතවතකු වන ප්‍රේමා කාස්කට් පැලස් හෙවත් ප්‍රේමා අවමංගල්‍ය ශාලාවේ අයිතිකරුවා වූ සුනිල් අයියායි..

හා සුනිල් අයියෙ එන්න වාඩි වෙන්න..

කමක් නැහැ මෙහෙම හොඳා.. පොඩි උදව්වක් ඉල්ලගන්න කියලයි ආවේ..

සුනිල් අයියා අතමිට හිඟ නැති පුද්ගලයකු වශයෙන් මේ ආවේ කීයටවත් අවමංගල්‍ය කටයුතු වල මුදල් ඉල්ලීමට නොවේය යන්න මාගේ පළමු සිතුවිල්ලයි. පරම්පරා දෙකක් පුරා ඉතිහාසයට දිවයන ඒ හිතවත්කම් උඩ අප විසින් කවදා හෝ දෙන තුරු මුදල් ඉල්ලීම සුනිල්  අයියා කීයටවත් කරන්නේ නැත. වාහන කිහිපයක අයිතිකරුවෙකු වන සුනිල් අයියාට හදිසියේ වාහනයක් ඉල්ලාගනීමේ වැනි උවමනාවක්ද පැවතිය නොහැකිය. වෙලාව රාත්‍රී දොළහ පසුවී තිබීමත් , දිනය මැතිවරණය පසුවී දිනයක් ගතවී තිබීමත් යන කරුණු දෙකට අදාලව එවන් වෙලාවක සුනිල් අයියාට අවශ්‍යව ඇත්තේ කාට හෝ දීමට අරක්කු බෝතලයක් වැනි යමක්දෝ යි මාගේ සිතුවිල්ල වීය. සුනිල් අයියා බොන කන පුද්ගලයකු නොවුනත් මිනීපෙට්ටි සාප්පුවේ ගෝලයින්ට අරක්කු ටිකක් ඕනෑ වී මා සොයා පැමිනියෙදෝ යන්න මට සිතුනේ මළගෙදරක අවසන් කටයුතු අවසානයේ මහන්සිවී වැඩකළ පිරිසට දීමට බෝතල් කිහිපයක් ගෙන්වීම අප්‍රසිද්දියේ සෑම තැනකම සිදුවන්නාවූ චාරිත්‍රයක් බැවිනි. 

මොකක්ද සුනිල් අයියෙ කියන්න.. 

හැබැයි මේ උදව්ව මට කරන්නම ඕන ..

අයියෝ සුනිල් අයියෙ ඔයාට නොකරන උදව්වක් නැහැනේ.. කියන්න ඕන දෙයක්..

හරි.. කරනවාමයි කියල පොරොන්දු වෙන්න..

ෂුවර් එකටම අනිවාර්යෙන් කරනවාමයි..

හොඳටෝම ෂුවර්ද..

අනිවාර්යෙන්.. මම වචනයක් කිව්වොත් ආයේ දෙකක් නැහැ.. මොකක්ද කියන්නකෝ..

එහෙනම් ඔන්න මේක කිව්වයින් පස්සේ බෑ කියන්න බැහැ හරිද..

පිස්සුද සුනිල් අයියෙ.. කියන්නකෝ.. මොකක්ද කෙරෙන්න ඕන..

බොඩීස් දෙකක් ගෙනියන්න තියෙනව මල්ලි.. අද කොහොම හරි එළිවෙන්න කලින් බොඩි දෙක ගෙනියන්න ඕන.. වාහන තිබ්බට අද ඩ්‍රයිවර්ලා නැහැ.. මම කාර් එකේ එකක් අරන් එන්නම්.. ඔයාට පුලුවනිද අනික් හර්ස් එකේ අනිත් බොඩිය අරන් එන්න.. වැඩි දුරක්  නැහැ.. පලවෙනි එක බලපිටියේ.. අනික් එක අහුන්ගල්ලේ.. වැඩි වෙලා යන්නේ නැහැ.. පැයක් යාවි දෙකටම..

හුටා...

දැන් කිව්වනේ ඕනෑම උදව්වක් කරනවා කියල..

එතැන් සිට සිද්දිය මාගේ සුපුරුදු භාෂා විලාශයෙන් මෙසේය..

අපගේ මළගෙදරට නිදි වැරූ මාගේ මිතුරන් ඔක්කොම ගෙවල්වල ගිහිල්ලාය.. ඊට අමතරව මළගෙදර තනි රකින එවුන්ද වාඩිවී සිටි පුටුවලටම වී  තදින් කිරනවාය.. යහමින් දෙකක් රත්වෙන්නට දාගත්තු ගමේ කිහිපදෙනෙක් හැරුනුකොට මට උදව්වක් ඉල්ලන්නට කෙනෙක් නැතිය.. සාක්කුවේ තිබෙන්නාවූ සන්තකයම දී පිටත්කර හරින්නටද වාහනයක් එහාට මෙහාට කරන්නට පුළුවන් එකෙක්ද මළගෙදර සිසාරා ස්කෑන් පාරක් දැමුවද නොමැතිය.. දුරදිග නොබලා කටට ආ පමණින් පොරොන්දු දීමේ පල විපාක මට එවෙලේම පලදී ඇත. උඩ ඉන්නා දෙවියන් හැරුනුකොට මා බේරාගැනීමට හැකි එකුදු ප්‍රාණියෙක් අපගේ මහගෙදර සීමාවේ නොමැති වග සක්සුදක් සේ පැහැදිලිය. 

යමු සුනිල් අයියෙ එහෙමනම්..

බයක් නැහැනේ ..

පිස්සුද සුනිල් අයියෙ..

කියන්නම් වාලේ බය නෑ කියා කියුවද  රෑ එකට මිනියක් අරන් යනවා කියන්නේ සෙල්ලමක්ද යකෝ කියල කියන්නට සුනිල් අයියාගේ මුහුණ බලාගෙන මට නොහැකිය ..


මෘත ශරීර දෙක වාහන දෙකට දාගත් අපි දැන් ලැහැස්ති වන්නේ මළගෙවල් වෙත යාමටය. සුනිල් අයියා තඩිම තඩි අවමංගල්‍ය රථයේ රියදුරු අසුනට ගොඩවූ කල මා දැන් බලා සිටින්නේ සුනිල් අයියාගේ ගෝල තැන මා පදවන රථයට ගොඩවෙන තුරුය.. එහෙත් අවාසනාවට ඇත්ත කතාවක් කියන්නැහේ සුනිල් අයියාගේ ගෝල තැනද සුනිල් අයියා පැදවූ රථයටම ගොඩවී දොර වසාගත්තේ මා හට කොහේදෝ නැති මූත්තරා බරක සේයාවක් දනවමින්ය..

සුනිල් අයියා ඉදිරියෙන් යනවාය.. වෙලාව අලුයම එක පසුවී මද වේලාවකි.. පාරේ බලු බල්ලෙකුද නැතිය.. මමද ගැල පිටුපස ඇදෙන ගොනා සේ සුනිල් අයියාගේ දඩාර හර්ස් එක පිටුපසින් ඔන්න මෙන්න දුරින් මා පදවන රථයද පදවාගෙන යනවාය.. මාගේ අඩි කිහිපයක් ඉදිරියෙන් සුනිල් අයියාගේ රථයේ ඇති මිනී පෙට්ටිය වීදුරුව අතරින් දර්ශනය වෙනවාය.. ඊට අමතරව මාගේ රියදුරු අසුන පිටුපසින් තවත් මිනී පෙට්ටියක සතපවූ මිනියක්ය..නිකම් ස්භාවිකව මියගිය මිනියක්ද නොවේය. දුම්රියට හසුවී මියගිය අයකුගේ මිනියක්ය. වාහනයේ ඉදිරිපස වීදුරුවට උඩින් මැදට වන්නට සවිකර තිබෙන්නාවූ කන්නාඩියෙන් මා පිටුපස තිබෙන්නාවූ මිනීපෙට්ටිය ඇහේ තිබ්බා සේ දර්ශනය වෙනවාය. ඇඟ ඇතුලේ තිබෙන්නාවූ හර්දය වස්තුව බිම වැටී ගැහෙන සෙයියාවෙන් එක සීරුවට ගැහෙන්නේ සීතලට වෙන්නට ඇතිය.. හිත බය වුනාට කීර්ති නාමය උදෙසා භාරගත් කාර්ය ඉටුකළ යුතුය..

විනාඩි පහළොවක විස්සක ගමනකින් අනතුරුව සුනිල් අයියා ගෙනයන මෘත ශරීරය අදාළ නිවෙස වෙත තැන්පත් කරන්නට දැන් අපි ආසන්නය. ගාලු පාරෙන් මද දුරක් ඇතුලට වන්නට තිබු ඒම නිවෙස වෙත මා රැගෙන ගිය බොඩිය ගේන්නේ නැතුව ගාලු පාරෙන් නවත්වාගෙන ඉන්න යයි කී සුනිල් අයියා සහ ගෝල තැන මා මිනියක් සමග ගාලු පාර අයිනේ පාලු තැනකින් දමා අතුරුපාරක හැරී නොපෙනී ගියේ මාගේ හදවතට තව තවත් වීරත්වය ආරෝපණය කරමින්ය.. කුම්බලා මාළු කෑවානම් දුක් විඳපන් බලලෝ කියන්නා සේ සුනිල් අයියාගෙ මිනී කාරෙක නොපෙනී ගිය වහා මා පැදවූ රථයෙන් දනිපනි ගා බිමට පනින්නේ බයට නොවේය.. වාහනයේ ඇතුලේ රස්නය නිසාය.. වාහනය සහ මිනී පෙට්ටිය කළුවරේ දමා නිකමට වාගේ ඉදිරියෙන් තිබෙන්නාවූ ලයිට් කනුව යටට මා පියවර මනින්නේද බයට නොවේය.. කළුවරේ ඉන්නවාට වඩා ලයිට් කනුව යට ඉන්නා එක හොඳයි කියා මාගේ හිතට දැනෙනා වූ නිසාය.. 

ගාලු පාරෙන් හැරී ගොස් විනාඩි හතලිස් පහකට පමණ පසු සුනිල් අයියා සහ ගෝල තැන නැවත ගාලු පාරට එනතුරු ලයිට් කනුව යටට වී මා උන්නේ අපමණ සොමියකින් බව දන්නේ මා පමණය. සුනිල් අයියාට එව්වා ගානක් නැත.. නැවතත් දනිපනි ගා රථයට නැගගත් මම සුනිල් අයියාගේ හර්ස් එක පසුපස මිනී වෑන් එක පදවාගෙන යනවාය.. සියල්ල අවසානයේ කිසිදු උපද්‍රවයකින් තොරවම අහුන්ගල්ලේ පිහිටි ඒම අවමංගල්‍ය නිවසට සැපත්වීමට මා සමත් වෙනවාය..

නැවතත් සුනිල් අයියා සහ ගෝල තැන මිනී පෙට්ටිය හරි ආකාරව තැන්පත් කරනතුරු මා හර්ස් එකෙන් බැස එලියට වී සිටිනවාය.. 

ගෙදරින් පිටත්වී පැය දෙකකට පමණ පසු අප සියලු දෙනා නැවතත් ගෙදර එන්නට පිටත් වන්නේද අප එහි ආ විලාසයෙන්මය.. ගෝලයා සුනිල් අයියා සමගය.. මා තනිවමය.. සිලින්ඩර් අටකින් සමන්විත සුනිල් අයියා පදවන  නවීන පන්නයේ අවමංගල්‍ය රථය මා මහමග තනිවම දමා ඉගිලෙන්නේ ගෙදර එන ගමනේදීය.. මා පදවන අවමංගල්‍ය රථයේ ඇක්සිලේටරය දත විකාගෙන අඩියටම පාගාගෙන සිටියද විනාඩියෙන් සුනිල් අයියාගේ රථය මට නොපෙනී ගියේය..මිනිය නැති වුනත් මා සිටින්නේ මිනී කාරෙකක් එලවාගෙන යන අතර බැවින් කලිසම තෙත් වන්නට ඔන්න මෙන්නය. එහෙත් එතෙක් කල් රැකගෙන උන් කීර්තිනාමය වෙනුවෙන් අන්තිම ලෙල්ලටම නිර්භීත භාවය ඔප්පු කරමින් කලිසමද අන්තිම දශමයෙන් බේරාගෙන මා ප්‍රේමා අවමංගල්‍ය සාප්පුව වෙත පැමිණෙනා විට සුනිල් අයියා සහ ගෝලයා මා එන තුරු පාරට වී හිනාවෙමින් බලන් සිටිනවාය.

යකෙකුටවත් මාව බයකර මරන්නට බැරි වග මා දැන් ප්‍රත්‍යක්ෂවම දන්නේ එදා රාත්‍රියේ මාගේ පන ටික නොගිය නිසාවෙන්ය.

මහනුවර මහියංගනය පාරේ හමුවූ අද්බූත කාන්තාවගේ කතාව මෙතනින්..

Tuesday, March 1, 2016

බිග් මැච් සහ දිගබයිසිකල් සවාරිය




මාර්තු මාසය පටන්ගත්තාම ඉස්කෝලේ කාලේ දැනිච්චි බිග් මැච් උණුසුම පිටරටක හිටියත් දැනෙන්නට ගන්නේ අන්තර්ජාලයෙන් ඇහැ ගැටෙනා බිග්මැච් ළඟ එනවෝ කියනා නොයෙකුත් කයි කතන්දර නිසාය. එකලද මෙකලද බිග් මැච් යනු කොල්ලන්ට සිතුසේ විනෝදවීමට ලැබෙන්නාවූ කාලයක් බව අමුතුවෙන් කියන්නට උවමනා නැතිය. බිග් මැච් නම් ඉතින් ෆන් ලෝකයක්ය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදී ශිෂ්‍ය මා , "මම දම්සෝවේ" කියා උදම් ඇනුවාට මා සහ මාගේ සම පාසල් සගයින්  බහුතරයක් හෝඩියේ සිට පහ වසරට අකුරු කලේ දේවානන්ද විද්‍යාලයේ බැවින් පහ වසරට එනතුරු බිග්මැච් වෙනුවෙන් අප ජයගෝෂා කලේ දේවානන්ද විද්‍යාල වෙනුවෙන්ය. එකල අපි කළු සහ නිල් මිශ්‍ර කොඩියෙන් සැරසී පිට්ටනිය පුරා ජයගෝෂා කලේ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව අපගේ පාසැල වන දේවානන්ද විද්‍යාලය දිනවීම සඳහාය. 

ඇඩ්මිෂන් විභාගය සමත්වී අප ධර්මාශෝකයට එන්නේ ඉන් අනතුරුවය. යකෝ මුන් ධර්මාශෝකේ  කිව්වට මුන් ධර්මාශෝකෙට ඇවිත් තියෙන්නේ හය වසරෙන් නේ කියලා දැන් මේක කියවන එවුන් මට කින්ඩිය දමන්නට ඉඩ තියන නිසා මේ ටිකත් ලියන්නට උවමනාය. එකල මොකක්දෝ අපි නොදන්නා හේතුවක් මත ධර්මාශෝකයට හෝඩිය පන්තිය සඳහා ළමුන් ඇතුලත්කර ගත්තේ නැත. පාසල තුල හෝඩියේ සිට පහ වසර දක්වා ළමුන්ට උගන්නන්නට ඕනෑතරම් ඉඩ පහසුකම් තිබුනත් එම පන්ති නොපවත්වා සිටීමට බලධාරීන් තීරණය කර තිබුනේ කුමන හේතුවක් නිසාදැයි මම දන්නේ නැත. දන්නා කෙනෙක් ඉන්නවානම් කොමෙන්ටුවක් මගින් අපව දැනුවත් කරන්නේ නම් එලය. එය එසේ බැවින් මාගේ දෙවැනි පාසල වූ ධර්මාශෝක විද්‍යාලයට හයවසරේ සිට ළමයින් සැපයුයේ අවට තිබුනාවූ පාසල් වලින්ය. ඉහත කී ආකාරයෙන් මෙය ලියන්නා වූ මමද ධර්මාශෝක විද්‍යාලයේ ශිෂ්‍යභාවය ලැබුවේ ඒ අකාරයෙන්ය.

එතෙක් කාලයක් නිල් කළු කොඩියක් මසාගෙන බිග්මැච් බලන්නට ගිය මම හය වසරේ බිග්මැච් බලන්නට නිල් සුදු කොඩියක් රැගෙන යන්නේ දේවානන්ද විද්‍යාලයට එරෙහිව ධර්මාශෝක විද්‍යාලයට චියර් කරන්නටය. 

මාගේ විනෝදාංශ කටයුතු සඳහා අවම මුදල් ප්‍රමාණයක් යෙදවීමට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ තිබූ මාගේ පියාණන් එවන් විනෝද සමයන්හිදී නීති රීති දැඩි කිරීම සාමාන්‍ය කාරනාවක්ය.  අවශ්‍ය දිනයට මාස කිහිපයකට ප්‍රථමව උද්ගෝෂණ  වැඩවර්ජන පටන් නොගතහොත් අවශ්‍ය දිනයට අවශ්‍ය දේ නොලැබී යන වග අත්දැකීමෙන් දන්නා මම ජනවාරි මස අවසන් වෙනවාත් එක්කම නිල් සුදු කොඩි යෝජනාව රාත්‍රී කෑම මේසයට දමන්නේ ඊට කලින් ගෙදර අගමැති තනතුර හෙබවූ මාගේ ආදරණීය මෑණියන්ගේ නිර්දේශයෙන් අනතුරුවයි.

එක දිගට කෙරෙන්නාවූ වැඩවර්ජන උද්ගෝෂණ වලට එරෙහිව ගොස් රාජ්‍ය පාලනය අවුල් වන නිසාවෙන් අවසානයේ මා හට මාගේ ඉල්ලීම පරිදි අඩි පහක් උස අඩි තුනක් පළල නිල් සුදු කොඩියක් මසා දීමට ප්‍රතිපාදන වෙන් වන්නේ මාර්තු මාසයේ මුල් සතියේය.

කොඩිය මසාගන්නට කොයිතරම් උනන්දුවක් ආසාවක් තිබුනාද යත් උදෑසනක මවුතුමිය රාජකාරී කරනා කාර්යාලය වෙත යන මා  මවුතුමියව රෙදි කඩයකට බලහත්කාරයෙන් ඇදගෙන ගොස් කොඩියට අවශ්‍ය කරනා වූ රෙදි තොරන්නේය. එදාම හවස අම්මාට කන් කෙඳිරිගා සියලු වැඩ  පසුවට කල් දමා සාලයේ බිම එලූ රෙදි ඕනා ප්‍රමාණයට කපන්නට උදව් කරන්නේද මාය. අම්මා කොඩිය මසා දෙනතුරු අම්මාගේ සිංගර් මැසිම ලඟින් ඉඳගෙන හරි කෙලින් කොඩිය මහන්නට උදව් කරන්නේද මාය. කොඩිය මසා සියල්ල අවසන් වූ පසු ගෘහමූලික තනතුරේ විරාජමාන තාත්තාගෙන් ලැබෙන අවවාදය නම් මෙයයි..

ආයේ ඊළඟ අවුරුද්දේ කොඩි නෑ හොඳේ.. ඔය කොඩිය තමා තව කාලයක් පාවිච්චි කරන්න ඕන.. බිග්මැච් ඉවර උනාම කොඩිය හෝදලා අරන් තියන්න දෙන්න ඕන හොඳද..

හොඳයි තාත්තේ..

බිග් මැච් දවසද උදාවන්නේ සැමටම ප්‍රීතිය ගෙනදෙමිනි. එස්ලෝන් බටයකින් කොඩියට අවශ්‍ය කරනා වූ මිට මා වෙත සාදා දෙන්නේද තාත්තාය. දැන් මම තුමාද   මටත් වඩා උස තඩි කොඩියකුත් අරගෙන බිග් මැච් බලන්නට යනවාය. කොඩියත් පුළු පුළුවන් විදිහට ආරක්ෂා කරගෙන පලවෙනි දවසේ බිග්මැච් බලා ගෙදර එන මම දෙවැනි දවසේද බිග්මැච් නරඹා දවල් ආහාරය ගැනීමට ගෙදර එන්නේ මාගේ පන්ති සගයකු වන එන් සී  නොහොත් එන්. සී  ඉන්දිකයාවත් සමගය. කනවා බොනවාට වඩා හිත තිබෙන්නේ බිග් මැච් එකට නිසාවෙන් කෑවයින් නොකෑවයින් ඉන්දිකයාත් මමත් හනි හනිකට පිට්ටනියට දුවන්නේ හරියට බිග් මැච් ගසන්නේ අපි වාගෙය. ඒ අවාසනාවන්ත කුජීත සිද්දිය වෙන්නේ ඔය යන ගමනේදීය.

කලුවඩුමුල්ල පාරෙන් පිට්ටනියට යන්නට තියෙන ලඟම පාර කොලේජ් ලේන් එක  නොහොත් විද්‍යාල මාවත බැවින් ඉන්දිකයාත් මමත් පුළු පුළුවන් ඉක්මනින් පිට්ටනිය වෙත වාර්තා කරද්දී කොලේජ් ලේන් එකේදී අපේ ඉදිරියට හමුවෙන්නේ ට්‍රම්පට් පිඹිමින් බෙරගසමින් සිංදු කියාගෙන කොහේදෝ අවලම් ගමනක් යන ලොකු අයියලා සෙට් ඒකකය. තෝරු මෝරු අස්සෙ හාල් මැස්සන්ට ඉඩ නැති බැවින් ඉන්දිකයාත් මමත් පාරේ අයිනට වී ලොකු අයියලාට යන්නට ඉඩහසර සලසලා දුන්නත් කනමදයෙකුටත් වඩා පොඩ්ඩක් වැඩි වෙන්නට බී ගත්තු ලොකු අයියා කෙනෙක් එතනින් මා පසුකර යන්නේ හිස් අතින් නොවේය.. දහසක් උද්ගෝෂණ කර දිනාගත් මාගේ ආදරණීය විද්‍යාල දජයත් මාගෙන් උදුරාගෙනය. ඉන්දිකයා ඇස් දෙක එලියට පනින්නට ඔන්න මෙන්න වාගේ කට ඇරගෙන බලන් ඉන්නවාය. මමත් ඔලුව කසමින් බලන් ඉන්නවාය. නිකම් බලන් ඉන්නවට වඩා සාමකාමීව මාගේ කොඩිය නැවත ඉල්ලාගැනීමට මට ශුද්දවූ අයිතියක් ඇති නිසා මගෙන් කොඩි උදුරාගත් එකා පස්සෙන් ගොස් කොඩිය ඉල්ලාගන්නට මා තීරණය කරන්නේ වෙන කරන්නට දෙයක් නොමැති බැවින්ය.

අනේ අයියෙ මගේ කොඩිය දෙන්න අයියෙ..

කොඩිය.. කොහේ තියන කොඩියක්ද බොල..

අනේ අයියෙ ඔයාගේ අතේ තියෙන්නේ මගේ කොඩියනේ.. මට ඒක දෙන්න අයියෙ..

තෝ මගෙන් කනවද යනවද මෙතනින්..

අනේ අයියේ කොඩිය නැතුව ගෙදර යන්න බෑ අයියේ.. ඕක දෙන්නකෝ බුදු අයියෙ..

තෝ දැනගනින්  උස්සල පොළොවේ ගහන්න කලින් පල මෙතනින්..

අනේ අයියෙ..

මාගේ කොඩිය දරාගෙන සිටි එස්ලෝන් බටය කෑලි කෑලි වෙන්නට පොළොවේ ගැසූ කණමදයා ඊළඟ පහර අසරණ මට එල්ල කරන්නට ප්‍රථමයෙන් ඉන්දිකයා මාවත් ඇදගෙන පිට්ටනිය පැත්තට දුවන්නට නොවෙන්නට එදා මා ඇඩ්‍රස් නැතිවෙන්නටම කන්නට ඉඩ තිබුනා නේදැයි දැන් දැන් මට සිතේ.. ඇස් ගෙඩි දෙක දෘෂ්ටි ස්නායු සහ ඇසට ලේ ගලා එන්නාවූ නහර වලින් සරීරයට සම්භන්ධ වී නොතිබෙන්නට එදා ඉන්දිකයාගේ ඇස්ගෙඩි දෙක අහුලන් එන්නට අපිට පස්සෙන් පහු ඒ පැත්තේ ගාටන්නට වෙනවාය.

කොඩි රාජයා අහිමිවීමත් සමගම මාගේ ඔලුව පුරා සැරිසරන ප්‍රශ්නය නම් දැන් කොහොමද හත් දෙයියනේ කොඩිය නැතුව ගෙදර මන්ගච්චන්නේ කියන්නාවූ ප්‍රශ්නයයි. එදා බිග්මැච් දින්නාද , පැරදුනාද, ජය පරාජයෙන් තොරව අවසන් උනාද කියා මා දන්නේ නැත. මාගේ කොඩියට සොයමින් පිට්ටනිය පුරා කරක් ගැසූ මම බිග්මැච් අවසන් වී ගෙදර එන්නේ හිස් අතින්ය.. මාගේ කරුමයට ගේට්ටුවෙන් ඇතුල් වෙනවාත් එක්කම තාත්තා ඉස්තෝප්පුවේ ඉඳන් ඉරිදා දිවයින බලනවාය.. කන්නාඩි දෙකට උඩින් මා දිහා බැලූ තාත්තාට දින දෙකක් පුරා මා සමග යාවජීවව දුටු කොඩිය මිසින් බව තේරුම් යන්නට විනාඩියක්වත් ගියේ නැති..

කෝ කොඩිය..

යාලුවෙක් අරන් ගියා ..

යාලුවෙක් අරන් ගියා.. ඒ මොකටද..

බස් එකේ යන ගමන් වනාගෙන ගිහින් හෙට ඉස්කෝලෙට ගේන්නම් කිව්වා..

හෙට ගෙනාවම හෝදලා අරන් තියනව..

හා..

කොඩියේ කතාව එතනින් නිමා උනාට හෙට හෝදලා අරන් තියන්න කෝ යකෝ කොඩියක්.. එදා රෑ නම් නින්දක් නැති.. කොඩිය නැතිවීම සම්භන්ධයෙන් තාත්තාගෙන් බැනුමක් දෙකක් අසනවාට වඩා ලොකුම ප්‍රශ්නය නම් අහලගම් හතකවත් එකෙකුට බය නැති චන්ඩි කතා කියන්නාවූ මා වාගේ කීර්තියක් ඉසිලූ එකෙකුගේ  පශ්චාත් භාගයට පයින් ගසා බේබද්දෙක් කොඩිය උදුරා ගැනීමේ අවමානයෙන් ගැලවෙන එකය . මාසයක් උද්ගෝෂණ කරලා දිනාගත්තු අයිතිය දවස් දෙකක් ආරක්සා කරගන්න බැරිවීමේ ලැජ්ජාව එසේ මෙසේ එකක් නොවේය. කොඩිය මාගෙන් උදුරාගෙන ගිහින් කියන වග අහල පහල කොල්ලන් දැනගතහොත් ආයේ ජීවත් වෙලා පලක් නැතිය. අහල පහල එවුන් නම් කමක් නැතිය. ඥාති වරිගයා දැනගැනීම ඊටත් එහා ලැජ්ජාවක්ය.

තාත්තාගෙන් බේරෙන්නටත් අවමානයෙන් බේරෙන්නටත් වියයුතු දේ කොඩිය නැවත ස්ථාපිත කිරීම වන බැවින් ඒ සඳහා විවේක කාල දහයක් බඩගින්නේ ඉන්නට මට සිදුවන්නේ විකල්පයක් වශයෙනි. විවේකයේදී කෑමට ලැබෙන මුදල එකතු කර සහ යාන් හෑල්ලේ සුරංගයා පුංචි අම්මාගේ කඩයෙන්  සල්ලි ඇස්කොට් ගැසූ අකාරයෙන්ම අම්මා විසින් මාව කඩයට යවනා අවස්තාවන්හිදී ලබාගත් සුළු සුළු ලාභද එකතුකර අවසානයේදී හොරෙන් රෙදි කඩයකට රිංගන මා  රෙදි කැබලි දෙකක් මිලදී ගන්නේ සැලසුම් කල පරිදි අවමානයෙන් මිදීමේ ක්‍රියාන්විතය සඳහාය. එකල අප පාසල් ගියේ සවස් කාලයේ නිසාවෙන් උදය වරුවම මා ගෙදර තනියමය. අම්මගේ සිංගර් මැසිමද වැඩේට එවරෙඩී වාගේ ලෑස්තිය. දන්නා ශිල්ප සියල්ලම උපයෝගී කරගනිමින් සාර්ථකව කොඩිය මසා නිමකිරීමට මා සමත් වෙන්නේ අම්මා මැසුවාටත් වඩා අපූරුවටය. සති දෙකක් තිස්සේ දවසින්  දවස කල් ගිය යාලුවා කොඩිය ගෙනත් දෙන දිනය එළඹීමෙන් කොඩියේ සම්භන්ධ ලිපිගොනුව තාත්තා විසින් වසාදැමුනු නිසා  නිමාවට පත්වුවත් එයින් පසු කිසිම දවසක මම බිග් මැච් බලන්නට කොඩි නම් අරන් ගියේ නැත. 

කණමදයා කොඩිය මාගෙන් උදුරගන්නවා ඇසින් දුටු සාක්ෂිකරු වන එන්. සී. ඉන්දික නම් මාගේ මිත්‍රයා අද වනතුරු මේ සිද්දිය කා සමගවත් කීවේද නැත. 

පොස්ට් එක තවත් දිග වැඩි වුනත් තවත් බිග්මැච් සිද්දියක් ලියලාම දමන්න හිතුවේ  ඒක නොලියා  ඉතුරු කරගෙන අහවල් මගුලක් කරන්නද කියා හිතෙන නිසාවෙනි.

ඒ අපි දහතුන වසර කාලයේ නොහොත් 1996 වසරේ බිග් මැච් කාලයේ සිදුවූ සිද්දියකි. 

නුගේතුඩුවේ රංජිත් නොහොත් සුදුයකඩ වැඩ කරනා රංජිත් බිග් මැච් වෙනුවෙන් නිපදවූ පස්දෙනෙකුට ගමන් කරන්නට හැකි බයිසිකලය එම බිග්මැච් එකේ සුවිශේෂී ස්ථානයක් ගත් විශේෂාංගයක් උනේ කාගේවත් තල්ලුවකින් නොවේය. මාගේ අඹ යාලු බුද්ධිකයාගේ බයිසිකලයේත්, රංජිත්ගේ බයිසිකලයේත් ෆ්‍රේම් දෙක දිග අතට එකට තබා පෑස්සීමෙන් සහ තවත් යකඩ පෑස්සුම් වැඩ වලින් වැඩ දමා සෑදු බයිසිකලයේ පස්දෙනෙකුට පහසුවෙන් ගමන් කල හැකි වුනේය. රංජිත් බයිසිකලයේ සුක්කානම නොහොත් හැන්ඩ්ල් එක හැසිරවූ අතර බයිසිකලය පදින්නට පෙඩලයක් රියදුරාට තිබුනේ නැතිය. රංජිත්ගේ නිර්මාණය බිග්මැච් වෙනුවෙන්ම නිර්මාණය කෙරුණා එකක් නිසාවෙන් බයිසිකලයේ තිරිංග තද කිරීමේ පහසුකම තිබුනේ පසුපසම ආසනයේ ගමන්ගන්නා පුද්ගලයා හට පමණක්ය. එවකට අම්බලන්ගොඩ අලුත් බස්නැවතුම්පොල සදා නොතිබූ අතර මේ කියන්නාවූ දිග බයිසිකලය යූ ටර්න් එකක් ගැසීමට බස් නැවතුම්පොළ වටේ රවුමක් ගැසීමට තරම් දිගින් යුක්තය. බිග් මැච් දවස් දෙක පුරා ටවුමේ කරක් ගැසූ දිග බයිසිකලය දුටු ඕනෑම අයකු නැවතී බලන් ඉන්නේ මොකක්ද බොලේ මේ අරුම පුදුම බයිසිකලේ කියලාය. බයිසිකලයේ නිර්මාතෘ රංජියා කළු කෝට් බෑයකින් සැරසී සුක්කානම හසුරුවනවාය. මුණ පුරා දත් බෙහෙත් උලාගත් විසුළු පෙනුමක් ඇති එකෙක් පිටුප්පසම ආසනයේය. නානාප්‍රකාර වයිවාරන්න ඇඳුම් වලින් සැරසුණු තවත් තුන්දෙනෙක් මැද ආසන තුනේ වාඩිවෙලා බයිසිකලය පාගනවාය. 

දින දෙකක් පුරා ටවුම  සිසාරා වැඩ දැමු මේ අපූරු බයිසිකලයට ගොඩවීමට මට වාසනාවක් නැති වුයේ බිග්මැච් සොමිය ගැනීමට පන්ති සගයින් වෑන් රථයක් සූදානම් කරගෙන තිබුණු නිසාය. දින දෙකක් පුරාවටත් ඉරිදා සවස බිග් මැච් අවසන්වීමෙන් අනතුරුවත් ගාලු පාරේ පැයක් පමණත් ඇති වෙන්නට යකා නටන්නට ඉඩ ප්‍රස්තාව සලසා දෙන අම්බලන්ගොඩ පොලිසියේ ඉවසීම ඉරිදා සවස හය පමණ වනවිට අවසන්වෙන බැවින්, ඉන් අනතුරුව සියල්ලන්ම ගාලුපාරෙන් එලවාදමු පසු බිග්මැච් අවසන්ය. ඒත් එවකට ජනප්‍රියම පානය වූ බ්ලු ලේබල් ගඳ සරීරයෙන් පහව යනතුරු ගෙදර යනවා සුම්මාය. 

මේ කියනා වූ අපූරු බයිසිකලයට ගොඩවෙන්නට මට අවස්තාව ලැබෙන්නේ බිග්මැච් දවසට පසුව එන බෝනස් නිවාඩු දවස වන සඳුදා සවසය. එතෙක් දවසක් බයිසිකලයේ පයිලට් තනතුර දැරූ බයිසිකලයේ නිර්මාතෘ රංජිත් තමුන්ගේ සුදුයකඩ කර්මාන්තය සමග කාර්යබහුල වෙද්දී රංජියාට හොරෙන් බයිසිකලයේ රවුමක් යන්නට අපි පිටත් වෙන්නේ අපගේ හිතාදර මිතුරු බුද්ධිකයා රියදුරු වශයෙන් තාවකාලිකව අනුයුක්ත කරමිනි. බයිසිකලය නිර්මාණය කල පුද්ගලයා වශයෙන් රංජිත්, එහි ඇති අවදානම් සහගත තත්වය ගැන මනා අවබෝධයකින් බිග් මැච් දින දෙක පුරාම බයිසිකලය පැදවූ සාර්ථක රියදුරා වුවත් බුද්ධිකයාට එහි ඇති අවදානමක් දැනෙන්නෙ නැත.  බුද්ධික විසින් හැඩලය හසුරුවන අතර ඊට පසු ආසනයේ රන්ජියාය. මේ කියන රංජිත් සහ බයිසිකලයේ නිර්මාතෘ රංජිත් යනු දෙදෙනෙක්ය. මේ කියන්නාවූ රංජිත් නම් බෝඩිමේ විත්ති සහ ත්රිබල් ගේම් පොස්ට් එකේ RZ 125 මොටෝව පදිනා වූ මිත්‍රයායි.  ඊළඟට යටිලයාය.. ඊළඟට අජිත් පෙත්තාවඩුය, ඊළඟට මමය.. තුන්දෙනෙකුට බයිසිකලය පැදගෙන යන්නට පෙඩල් ඇති අතර ඉදිරිපස රියදුරා කරන්නේ හැඩලය හැරවීම පමණය. අවසානයේ සිටිනා මා හට පදින්නට පෙඩලයක් නොමැති අතර ඉදිරිපස එකා බ්රේක් ගහපියෝ කියා කෑ ගැසූ කල මට තිබෙන්නේ මාගේ කකුල් දෙක යටින් තිබෙන බ්රේක් පොල්ල දෑත බදා පුළුවන් වීරියෙන් උඩට ඇදීමය.

සාර්ථක ලෙස නගරයේ  අවට රවුම්  කිහිපයක් ගසා, වීදි සරණ ජනී ජනයා අමන්දානන්දයට පත්කළ අපි පොල්වත්ත පඥ්ඥාලෝක මාවත හෙවත් අපේ ගෙවල් පාරට පිවිසෙන්නේ අපගේ මිත්‍ර මංගලයාගේ ගෙවල් පැත්තේ යන්නටය. මෙම අරුම පුදුම බයිසිකලයේ වික්‍රමය දුටු සියලු දෙනා යන එන ගමන නවතා බලා සිටින්නේ දිගම දිග බයිසිකලයක නැගී මුන් පස්දෙනා මැරෙන්නට හදනවාද කියා හරියටම තහවුරු කරගන්නට වාගේය. බිග්මැච් දින දෙකේ ටවුම පැත්තේ හෝ පිට්ටනිය පැත්තේ ආ ගිය උදවියට දිග බයිසිකලය අරුමයක් නොවුනත් නිතර දකින්නට වන්නාවූ දර්ශනයක් නොවන බැවින් යන එන ගමන මදකට නතරකොට අපව නරඹනවාය. බුද්ධිකයා දෑතේ වාරුවෙන් සුක්කානම හසුරුවන අතර එංජින් අංශයේ උදවිය හෙවත් රන්ජියා, යටිලයා සහ පෙත්තා අම්මමෝ නැතුව පෙඩලය පාගනවාය. රියදුරු බුද්ධිකයා එදත් අදත් බ්රේක් හෙවත් තිරිංග සමග වැඩි ඇයි හොඳයියක් නැති නිසා මට තිබෙන්නේ පසුපසම ආසනයට වී ඔහේ බලා සිටින්නටය. බයිසිකලයේ පැවතී තවත් එක උපන් දෝෂයක් නම් තිරිංග ක්‍රියාත්මක කරන්නා වූ පසුපස ආසනයේ ඉන්නා එකාට හෙවත් මට අල්ලා ගන්නට හැඩලයක් නැති වීමය. බ්රේක් පොල්ලත් ෆ්‍රේම් එකේ යකඩ පොල්ලත් හැරුණකොට මට අල්ලාගන්නට වෙනත් කිසිම හවුහරණක් නොමැත.

පඥ්ඥාලෝක මාවතේ හෙවත් මාගේත් ගෙවල් පාරේ දෙතුන් වතාවක් එහාටත් මෙහාටත් දිග බයිසිකල් සෙල්ලම පෙන්වා මංගලයාගේ ගෙවල් පැත්තට යන්නට නැසීගිය අ.ම. කරුණාරත්න මහතාගේ  ගෙදර ඉස්සරහින් බයිසිකලය කලුවඩුමුල්ල දෙසට හරවාගත් රියදුරු බුද්ධිකයා එන්ජින් අංශයේ කම්කරුවන් සෙට් එකට ධාවනයට අණ දුන්නේ උපරිම එංජින් බලය යොදනා ලෙසටයි.

පැදපල්ලා ....

එන්ජින් අංශයේ එවුන් තුන්දෙනාට අවශ්‍ය වන්නේ ඒම විධානය පමණය. උපන්තේකට බයිසිකලය නිර්මාණය කළා වූ රංජිතයා නොපැදවූ වේගයකින් බයිසිකය දැන් කන්ද පහලට යනවා නොව විදිනවාය. මෙතෙක් තිබු සාමාන්‍ය ශබ්දය වෙනුවට ඇසෙන්නාවූ කට කට ශබ්දයක් ඇහෙන්නට වූ නිසා මම වැඩි සෞක්‍ය ආරක්ෂාව උදෙසා ෆ්‍රේම් එකේ යකඩ පොල්ල දෑත බාදා අල්ලාගත්තේ යන අපායකට අතපය හතර බේරාගෙන යා යුතු නිසාය.

රෝදේ ගියෝ.....බ්‍රේක් ගහපියෝ...................

බ්රේක් විධානය ඇසුණු වහා ක්‍රියාත්මක වූ මම බ්රේක් පොල්ල දෑත බදා හැකි වීරියෙන් ඉහලට අද්දද බයිසිකලයේ ඉස්සරහ රෝදය අපව දමා පැනලා යනු දැක්කා යන්තම් වාගේ මතකය. ගිය වේගයටම ඉස්සරහ පෝක් අත බිම ඇනුන නිසා  පසුපස ආසනයේ උන් අහිංසක මාවද අනික් උන් හතරදෙනාවද ඉහලටම ඔසවා තබමින් පාර දෙපස රැස්වී උන් සියලු දෙනාගේ ජය ගෝෂා මැද්දේ පාර මැද ලයිට් කනුව කෙලින් කරා වාගේ දිගබයිසිකලය කෙලින් වුයේ අසරණ අහිංසක අප ගැන තිබුණු කෙන්තියටම වාගේය. පළමුව බුද්ධිකයාත්, ඊළඟට යටිලයාත්, ඊළඟට රන්ජියාත් ඊළඟට පෙත්තාත් එක ගොඩේ එකා පිට එකා බයිසිකලයෙන් රූටා වැටෙද්දීත් අවසාන මොහොත දක්වාම බ්රේක් පොල්ලේ එල්ලී අහසේ උනත් බ්රේක් ගැසීමට උපරිම වීරිය යොදමින් උන් මම පෙත්තාගේ පිට මැද්දෑවට ලෑන්ඩ් වුනේ දිග බයිසිකල් ගමනේ අවසානය සනිටුහන් කරමිනි. ඊට තත්පරයකට පසු මහා බයිසිකල් රාජයා අප පස්දෙනාගේම ඇඟන් උඩට පතබෑවුනේ,  මෙච්චර වෙලාවක් මට දීපු වදේට තොපිට ඔහොම වෙලා මදියි කියන්නාක් වාගේය.



නිරීක්ෂණ..

බයිසිකලයේ ඉස්සරහ රෝදය මීටර් පනහක් විතර ඉදිරියට තනියම ගිහින් වැටක් අයිනේ පාර්ක් කරලාය.. රන්ජියා බළල් නැකතේ ඉපදිච්ච එකෙකු හේතුවෙන් කොයි විලාසයට උඩ විසික්වුනද කකුල් පහලට වැටෙනා ජාතියේ එකෙකු බැවින් එළියෙන් පේන තුවාලයක් නැත. ඇතුලෙන් තුවාල තුබුණත් රන්ජියාගේ තුවාල දවසින් දෙකෙන් හොඳ වෙනවාය.. යටිලයාගේ කෙට්ටු සරීරය බයිසිකල් ෆ්‍රේම් එකෙන් වෙන්කර හඳුනාගන්නට ගමේ එවුන්ට ටික වෙලාවක් ගතවුණු බැවින් බයිසිකල් ෆ්‍රේම් එකෙන් බේරා යටිලයා එළිය ගත වහා  උඩින් මත්තෙන් බැලූ කල තුවාල නොමැත.. සුළු සීරීම් ඇතත් එව්වා සැලකිය නොයුතු මනාය.. රන්ජියාට ටිකක් විතර අමාරු යටිලයාගේ කටු සරීරය ඇඟේ ඇනිලා වෙන්නට ඕනෑය.. කවදත් ජැන්ඩි පහට ඇඳලා කරලා නළු පෙනුමෙන් එන පෙත්තා වරසල් වී ඇත්තේ බයිසිකලයේ හැමිනෙමින් පහලට වැටුන නිසාය.. තුවාල නොමැත.. හතර දෙනෙකුගේ ඇඟ උඩට වැටුනා වූ මට දැනුනේ මෙට්ටයක් උඩට වැටුනා වූ බැවින් බයිසිකල් රාජයා පිට මැද්දෑවට සැපත්වූ අමාරුව අරුනකොට වෙනත් අමාරුවක් නැත..

රියදුරු තැන හැමවිටම වැඩි වශයෙන් අනතුරට ලක්වීමේ අවදානම සාක්ෂාත් කරමින් රියදුරාට පොලිසියෙන් ගහලා වාගේය. අනපේක්ෂිතව හතරදෙනෙකු පිට මැද්දෑවට ලෑන්ඩ් කල අමාරුවට නම් තෙල් බෙහෙත් ටිකකින් සුව කරගන්නට පුලුවනිය. කටක් ඇරලා කාටවත් කියන්නට බැරිවූ සිද්දිය  නම් අපේ රියදුරාගේ පිරිමිකම අන්දුරගන්නා ගැජට් එකට සහ ඊට අදාළ අංගෝපාංග සෙට් එක වැලේ වැල් නැතිවෙන්නම තුවාල වීමය. සතියක් දෙකක් ගොඩ වෙදකමෙන් තුවාල ටික සනීප කරගත්තු නිසා ඉසිපිරිතාලවල ඉන්න අසරණ නර්ස් නෝනලා නම් බයකරන්න උනේ නැති . අපේ රියදුරාට දැන් දරු දෙන්නෙක් ඉන්න නිසා තුවාල වෙච්චි ගැජට් සියල්ලම අවුලක් නැතුව වැඩ කරනවා කියලත් සහතික කරලම කියන්න පුළුවනි. 

දිග බයිසිකලයේ පස්චාත් මරණ පරීක්ෂණය මෙසේය.. 

නුපුහුණු ගොන් මෝල් රියදුරාගේ දක්ෂකමට වේගය සහ බර යන දෙකම සමපාත කරගනිමින් දරාගත නොහැකි වූ බයිසිකල් රාජයාගේ ඉස්සරහ පෝක් අතේ උඩ පැත්තේ යකඩ දත් දෙකම කැඩී වෙන්වී ගිය වහා ඉස්සරහ රෝදය අපව දමා පැනල ගිහින් තෙබෙන්නේය.. අපව දමා පැනල ගියා පැට්‍රෝල් ටික ටැංකියේ කියා නැසීගිය ගායක ඇන්ටන් ජෝන්ස් කියන්නට ඇත්තේ මෙවන් සිද්දියක් නිසා වන්නට අත. රෝදය ගියාට අපි උන්නේ වේගවත් ගමනක නිසා මැද රෝදයට බැලන්ස් වූ බයිසිකලයේ ඉස්සර පැත්ත බිම ඇනුන අල්ලපනල්ලේ තිරිංග නොහොත් බ්‍රේක් පහසුකම සපයා ඇති රෝදය හෙවත් අහිංසක මා වාඩිවී ඉන්නා ආසනය යට රෝදය පොළොවෙන් උඩට එසවෙන්නේ තරාදියක් වාගේය. එතනින් එහා බ්රේක් අල්ලන් උන්නාට බ්රේක් හඳේය..ඉන් තත්පර දසමයකට පසුව තාර පාරේ  ඇනී නවතින ඉස්සරහ පෝක් එක අපගේ වේගවත් ගමන ලයිට් ගියාසේ නවත්වා දමනවාය. එතනින් එහා වෙන දේ වටහාගන්නට සාමාන්‍යපෙළ විද්‍යාවේ බලය පාඩම ඉගෙනගන්නටවත් නිවුටන්ගේ නියමයන්වල චාලක ශක්තිය ගැන ඉගෙනගන්නටවත් උවමනාවක් නොමැති යයි මා සිතනවාය. 

දෙයියනේ කියලා බත් ඩිංගක් කන්නට පස්දෙනාගේම දත් සැට් එක ආරක්ෂා කර දුන්නාට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාට පින්සිද්ද වෙනවාය.