Sunday, November 27, 2016

වාදී ස්වර සංද්වනි 4

පලවෙනි කොටස 

තුන්වෙනි කොටස 

කුළුඳුලේ මෝදුවූ ආගන්තුකාකාර සිතුවිල්ලකින් ඔද්දල්වූ හිත විසල් වෙත දැඩි බලපෑමක් එල්ලකරමින් සිටියා. එහෙත් එය පිටස්තර ලෝකයට නොපෙන්වා සිටින්නට විසල් ගත්  උත්සාහය අතිමහත්. සෙවනැල්ල සේ සිටිනා ගජයා වෙත එය සම්පූර්ණයෙන් සඟවා තැබීමට විසල් විසින් දරනා උත්සාහය එක දිගටම අසාර්ථක වන වග විසල් නොදැන උන්නා නොවේ. දෘෂ්ඨි ප්‍රයෝගයක් සේ එක්වරම දෙනෙත ඉදිරියේ ප්‍රාදුර්භූත වූ මායාවක්වන් සුරංගනාවියක් විසල්ගේ චිත්ත සන්තානය තනි අයිතියට සින්නක්කරවම අයිතිකරගෙන සිටිනා වග විසල්ට සක්සුදක් සේ පැහැදිලි වුවත්, එම සිතුවිල්ල ඔස්සේ පා තැබීම මිරිඟුවක් පසුපස හඹා යාමක් වග විසල්ගේ බුද්ධියට මනාසේ වැටහුනා. එහෙත් බුද්ධියේ බැමි වලින් තදකර බැඳ දමා තිබෙනා අකීකරු හිත බුද්ධියේ බැමි බිඳ දමමින් අනන්‍යා පසුපසම පිය නගන්නට දරනා උත්සාහය විසල් වෙත ගෙන ආවේ සොඳුරු ආශ්වාදයක්. සිතුවිලි කොතරම් සොඳුරු වුවත්  එම ආශ්වාදය දෝතින් ගෙන විඳින්නට විසල්ට කිසිදු පූර්ව සුදුසුකමක් නොමතිවග විසල් ඉතා හොඳින් දැන උන්නා. බුද්ධියත්, ඊට සමගාමී හැඟීම් සමුදායත් විසල්ගේ හිත ඇතුලේ කරනා වූ ද්වන්ද සටනෙන් ලබනා ජය බුද්ධියට ලබාදීමට විසල්ගේ උඩු සිත කැමති වුවත් තමුන්ගේ යටි සිත හැඟීම් ජයග්‍රහණය කරවීමෙහි ලා මහත් වෙහෙසක් දරනා වග විසල්ට නොදැනුනා නොවේ.

ප්‍රාණ හා සමාන මිතුරාගේ ක්‍ෂණික  වෙනස්වීමට එකම සහ අවසන් හේතුව අනන්‍යා බව තමුන් වෙත සැඟවීමට විසල් සුවිශාල උත්සාහයක් දරනා වග දැනුනත් ඒ ඔස්සේ හඹා ගොස් තම මිතුරාව අපහසුතාවයට පත් කිරීමට සහන්  උත්සහ කලේ නැහැ. වසර ගණනාවක් එකම බත් පත බෙදාගෙන අනුභව කරනා මිතුරා මොනයම් හෝ හේතුවක් මත තම හිත සැඟවීමට උත්සහ දරනා වග පමණක් සහන්ට දැනුනා. වැඩුණු පුද්ගලයින් වශයෙන් අනෙකාගේ සිතුවිලි වලට ඇඟිලි ගැසීමේ සීමාව හොඳින් හඳුනන්නෙකු වූ සහන් එක්තරා සීමාවකින් ඔබ්බට පය නොතබන්නට සහන් උත්සහ කලේ, එය සදාචාරාත්මක නොවනා කටයුත්තක් වනවාටත් වඩා තම මිත්‍රයාට සිතුවිලි සටන ජය ගැනීම තනිවමම කරගෙන යාමට ඉඩ ලබාදියයුතු නිසා. අනෙකාගේ පුද්ගලිකත්වයට ඇඟිලි ගැසීමේ සීමාවෙන් ඔබ්බට ගියා වූ වර්ගයේ මිතුරන් දෙදෙනෙකු වශයෙන් සහන්ට සෘජුවම විසල්ව  ප්‍රශ්න කරන්නට හැකියාව තිබුනත් සහන්  එසේ නොකළේ වසර ගණනාවක මිත්‍රත්වය ඇතුලත විසල් මෙවන් අවස්ථාවකට මුහුණ දෙන පළමු අවස්තාව මෙය වන නිසා. 

දැන් ඇති විසල් මස්සිනා මනෝ ගැහුව .. ලැස්ති වෙයන් යන්න..

මොන මනෝද බන්..මම මේ කල්පනා කරේ.....

හා කියපන් බලන්න කල්පනා කරේ මොනා ගැනද කියල..

න් ..න් ..නෑ මේ... මේ....

ඔය ඉතින්.. මොකෝ උඹ ගොත ගහන්නේ.. 

න් ..නෑ  නෑ  බන්...

හරි හරි ඉතින් මට උත්තර දෙන්න උඹ බැඳිල නැහැනේ විසලෝ... ගිහින් ලැස්ති වෙයන් ..

කොහේ යන්නද බන්..උඹ මේ කොහේ යන්නද ගජරාමෙට ඇඳගෙන ...

අනේද කියන්නේ.. ඒ කියනේ බොට දැන් උන්හිටිතැන්  අමතක වෙලා එහෙනං ..

කියහන්කෝ... කොහේ යන්නද බං ...

එතකොට උඹ දන්නේ නෑ  අද යන්න තියෙන්නේ කොහෙද කියල..

ම් ............................නෑ .....................

ඒ කියන්නේ ලෙඩේ උත්සන්නයි...

අනේ මේ පිස්සු කරන්නෙ නැතුව කියහන් කොහෙද යන්න තියෙන්නේ කියල..

එතකොට සුදෝ බොට මතකද උඹයි මමයි ඇන්තනි ඇන්ඩ් ද ක්ලැන් කියල බෑන්ඩ් එකක ප්ලේ කරන බව..

මාව වටේ යවන්නේ නැතුව කියහන්කෝ මචං .. කොහේ යන්නද උඹ මේ ලෑස්ති වෙන්න කියන්නෙ..

ගොනෝ.. අද අපි නයිට් ක්ලබ් එකේ ඩිනර් ඩාන්ස් එක ප්ලේ කරනව ගිහින් ලෑස්ති වෙයන්.. 

අප්පට සිරි... මචන් සහනෝ මට ඒ ගැන පොඩ්ඩක්වත් මතකෙට ආවේ නැහැනේ..

ඔව් ඔව් මට තේරෙනවා.. දැන් මේ සියලු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ උඹට ලෙඩේ උත්සන්න වේගෙන එනවා කියන එකයි.. කෝකටත් බෙහෙත් ටිකක අරන් දෙන්න වෙයි වගේ..

අනේ පල යන්න.. හිටහන් මම විනාඩියෙන් ලෑස්ති වෙලා එන්නන්...

ඉක්මට වරෙන්.. දැන් අරුගෙ වාහනේ ළඟ ලඟම එනවා ඇති බෝවයි මාවයි විකුනන්න අරන් යන්න..

හිටහන් විනාඩියෙන් මම රෙඩි ..

ඔය උඩ ඇඳුම් වලට යටින් අඳින එව්ව ඇන්දද කියල හරියටම බලහන්.. මේ දවස්වල උඹට තියෙන ලෙඩෙත් එක්ක එව්වා අමතක වෙන්න තියන සම්භාවිතාවය වැඩියි මස්සිනා..

අනේ පල යන්න..

අන්න උඹේ ෆෝන් එක රින්ග් වෙනවා බලහං .. ඇන්තනිය නම් ඌට කියහන් ඌට පරක්කුනම් අපිව දාල යන්න කියල.. අපි ට්‍රයිෂෝ එකක යමු බන්.. 

හරි උඹ ගිහින් ලෑස්ති  වෙලා වරෙන්කො... මම ඒක  බලාගන්නම්...

නොනවත්වා නාද වන්නාවූ ජංගම දුරකථනය අතට ගත් සහන් එහි තිරයේ දිස්වෙන අංකය දිහා විස්මයෙන් බැලුවේ එය ඇන්තනිගෙන් ලැබෙන්නාවූ දුරකථන ඇමතුමක් නොවෙන නිසා..

හෙලෝ...

හෙලෝ මේ ඇන්තනි ඇන්ඩ් ද ක්ලෑන් බෑන්ඩ් එකේ ගිටාරිස්ට් සහන්ද .. 

දුරකතනයේ එහා කෙළවරෙන් ඇසෙන්නාවූ මදක් අසා පුරුදු ගැහැණු කටහඬ සහන් වෙත ගෙන ආවේ විශ්මයක්..

ඔව්......කව්ද මේ...

අඳුනන්න බැරිද....

ම් ............................ ම්හ් ... අමාරුයිනේ...

සොරි අනේ.. මට අමතක උනා.. ෆේමස් මියුෂිශියන් කෙනෙක් විදිහට ඔයාලට කෙල්ලන්ගෙන් එන කෝල් ප්‍රමාණයේ හැටියට කොහොම මතක තියාගෙන ඉන්නද නේද..

හෙහ්... ඔයා කව්රු උනත් ඔයාල එහෙම හිතාගෙන ඉන්න එකත් නරකම නැහැ... ඇත්ත ඒක නෙවෙයි උනත් අපි එච්චර පොරවල් කියල හිතන එකම මදැයි..

ඒකත්  එහෙමද..

ඔව් ඒක එහෙම තමයි.. මාව වටේ යවන්නේ නැතුව දැන් කියනවද ඔයා කව්ද ඇයි කතා කරේ කියල..

අප්පේ මෙයාලගේ තියන ගණන්.. හරි.. කෙලින්ම කාරණාවට බහිමු.. සහන් මම මාධවී...

මාධවී කිව්වේ........

ඒ කියන්නේ ඔයා දන්නා මාධවීල ගොඩක් ඉන්නවද...

ම් ............ නැහැ... මම දන්නා මාධවීල එක්කෙනයි ඉන්නේ වැරදිලා හරි මගේ ෆෝන් එකට කතා කරන්න... ඒත්  එයා මගේ ෆෝන් නම්බර් එක දන්නේ නැහැ... දැනගන්න විදිහකුත් නැහැ... ඒත් මේ කතා කරන්නේ ඒ මම හිතන මාධවී නම් මටත් ඒ මාධවීට කතා කරන්න ඕනෑම වෙලා තිබුන වෙලාවක ආපු කෝල් එකක් මේක..

කියමු බලන්න කව්ද ඒ මාධවී කියල..

ඒ මාධවී තමා අනන්‍යා කියන මැඩම්ගේ යාලුවා මාධවී ...

ඒ කියන්නේ සහනෝ උඹට මට කතා කරන්න ඕනෑකම තිබ්බ..

අපොයි ඔව්.. ටිකක් නෙවෙයි ගොඩක්.. ඒත්  ඉතින් ඔබතුමිය එක්ක කතා කරන්න තියන ආසාවකට නෙවෙයි ඔන්න..

අපොයි ඔව්.. ඒක මම දන්නවා බන්... මෙහෙ ලෙඩේ උත්සන්නයි.. එකයි මම මේ ඇන්තනියට පොඩි බෝලයක් දාල උඹේ නොම්බරේ ඉල්ලගත්තේ..මට දැනෙනවා මුන් දෙන්නම මුන් දෙන්නට ලව් කියල සහන් 

ඒකත් එහෙමද... ඇත්තම කියනවනම් මෙහෙත් ලෙඩේ උත්සන්නයි මාධවී මැඩම් ...හැබැයි ලෙඩා බෙහෙත් බොන්න අකමැතියි වගේ...

මැඩම්  කෑල්ල කපල කතා කරපන් සහන් .. මට මුන් දෙන්නව මීට් කරන්න ඕන.. ඒත්  වැඩි කාලයක් ගන්න බැහැ ... මේකි මට ඉන්න දෙන්නේ නෑ ...

අපි අද ක්ලබ් එකේ ඩිනර් ඩාන්ස් එකක් ප්ලේ කරනවා මාධවී.. එහෙට එන්න පුලුවනිනම්..

එන්නනම් පුළුවන බං .. ඒත්  රජීව්කාරය ලංකාවේ ඉන්න නිසා අනන්‍යා එතනට අරන් එන එක ඒ තරම් නුවනට හුරු නෑ බං ...

කව්ද මාධවී මැඩම් රජීව් කිව්වේ...

එව්වා පස්සේ කියන්නම් බං ... මුන් දෙන්නව මීට් කරන්න විදිහක් කල්පනා කරපන්..

විසල් අරෙහෙ ලෑස්තිවෙනව පාර්ටි එකට යන්න.. අපි තව විනාඩි දහයකින් පහළොවකින් බෝඩිමෙන් පිටත් වෙනවා මැඩම් .. පොඩි වෙලාවකට කොහෙට හරි එන්න පුළුවන් වෙයි... 

හරි එහෙනම් විලාසිතා ඩ්‍රෙස් පොයින්ට් එකට විසල්ව අරන් එන්න පුලුවනිද...

ඔකේ මඩම්... මම මූව අතපය හතර බැඳලා හරි අරන් එනවා එනවාමයි... 

ප්‍රොමිස්?????

තවුසන්ස් ප්‍රොමිස්... අපිට ඉතින් මැඩම්ලාට වගේ ඉගිල්ලෙන්න පුළුවන් සීතල වාහන නෑ  හොඳේ... ට්‍රයිෂෝ එකක එල්ලිලා හැකි ඉක්මනින් එන්නං ..

හරි සහන් .. එහෙනම් මං අනන්‍යවත් අරගෙන ඩ්‍රෙස් පොයින්ට් එකේ ෆස්ට් ෆ්ලෝර් එකේ ඉන්නවා... 

ඕකේ මැඩම් ... හැබැයි මම මේක ප්ලෑන් කරා කියල විසල්ට කියන්න එපා... ඌ සැහෙන්න ගේමක් දෙනවා හිත රවට්ටගන්න මේ දවස්වල...

හරි සහන් ...අපි එහෙදි හම්බෙමු...

ඕකේ ... බායි...

දුරකථනය විසංදිකල සහන් සැනසුම් සුසුමක් හෙලා තම ලයේ දින කිහිපයක් තිස්සේ තිබු විශාල බරක් නිදහස් කර දැම්මේ දින ගණනාවක් පුරා පැවති ප්‍රශ්නයකට යම් හෝ විසඳුමක් ලැබෙන්නට යන්නාවූ නිසාවෙන්. සිදුවූ දුරකථන සංවාදය ගැන කිසිවක් නොදත් විසල් ඇඳුම් ආයිත්තම් වලින් සැරසී තම ගිටාරය කරේ දමාගත්තේ විගසින් ගොස් ඇන්තනිගේ වාහනයේ ගොඩවන අභිමතාර්ථයෙන්..

මොකෝ උඹට දැන්ද හදිසිය..

මට ඇති හදිසියක් නෑ බං ...අරූගෙන් කුණු කතා අහන්න වෙනවනේ ඉතින් පරක්කු උනාම.. යමං ...

කොහේ යන්නද බන්.. උන් තාම ආවේ නෑ ... මට මේස්  කුට්ටමක් ගන්න ඕන අපි ට්‍රයිෂෝ එකක නැගල ගිහිං  මේස් කුට්ටමක් අරගෙන එතනින් නගිමු..

මොකක්.. මේස් .... මේස් කිව්වේ මේ කකුලේ දාන මේස් ...

ඇයි  උඹ දැකල තියෙනවද සංගීත කාරයෝ අත් මේස් දාගෙන ප්ලේ කරනවා..

සංගීත කාරයින්ට අත් මේස් දාන්නේ මරුනාම බං....ඈ බං සහනෝ... උඹේ ඔය කරෝල ගඳ මේස කුට්ටම ඉස්පිරිතාලෙකින් වත් උස්සලද උඹ මේ තකහනියේ ඇන්තනිගෙන් බැනුම් අහගෙන මේස් හොයන්න දුවන්නේ..

ඉස්පිරිතාලෙකින් ????? ඒ මොන කුනුහබ්බයක්ද බං ...

නෑ  ඉතින් මහ ඉස්පිරිතාලේ ලෙඩ්ඩු සිහිනැතිකරන්න බේත් විදින්න ඕන නෑ  බොගේ මේස් කුට්ටම ටිකක් ලෙඩාගේ නාහෙට අල්ලුවනම්... හැබැයි ඉතින් ප්‍රශ්නෙකට තියෙන්නේ බොගේ මේස් කුට්ටම ඔපරේෂන් තියටර් එක ඇතුලට ගෙනකොටම ඒකෙ ඉන්න දොස්තරලා නර්ස්ල ඔක්කොම සිහි නැතුව වැටෙන එක..

අනේ පල යන්න.. ඔන්න ඔය ට්‍රයිෂෝ එක නවත්තහන් කැත කතා නොකිය...

සහන් සහ විසල් රැගත් ත්‍රීරෝද රථය විලාසිතා ඩ්‍රෙස් පොයින්ට් වෙත ලඟා වෙන්නට ප්‍රථම අනන්‍යා රැගත් මාධවීගේ රථය එහි ළඟාවී තිබුණා. මාධවී සහ සහන් විසින් සංවිධානාත්මකව ක්‍රියාත්මක කරවන්නා වූ හමුවීමේ කටයුත්ත ගැන කිසිත් නොදන්නා අනන්‍යා සහ විසල් විලාසිත ඩ්‍රෙස් පොයින්ට් වෙත පැමිණෙන්නේ තම තමුන් දකින්නට පෙරුම්පුරනා වැදගත්ම පුදගලයින් හමුවීමට වග ඔවුන් දෙදෙනාම දැන උන්නේ නැහැ. අනන්‍යා එය කලින් දැන  උන්නානම් මහත් උද්දාමයට පත්වන වග මාධවී දැන උන්නත් විසල් මෙම හමුවීම ගැන දැනගත්තානම් කුමනාකාරයේ ක්‍රියාමාර්ගයක් ගනීදැයි සහන්ට අනුමාන කළහැකි වුයේ නැහැ. ඒ මන්ද යත් විසල් තම හැඟීම් සහ බුද්ධිය සමග කරනා ද්වන්ද යුද්දය ප්‍රායෝගිකව දකිනා එකම පුද්ගලයා තමුන් පමණක්ම වන නිසා. ත්‍රිරෝද රථයේ ගමනට ගතවූ කාලයට අනුරූපව මාධවීට සහ අනන්‍යාට එහි ළඟාවීමට ඇති තරම් කාලය ප්‍රමාණවත් වග සහන් අනුමාන කල නිසා ඔවුන් කිසිදු පැකිලීමක් නොමැතිවම නිමි ඇඳුම් වෙළඳසල වෙත පිවිසුනා..

මචං විසල් උඹ දන්නවද මේකේ මේස් තියෙන්නේ කොහෙද කියල..

ම් .............නෑ ...

හරි එහෙනං  මම පහලට ගිහින් බලන්නං  උඹ උඩට ගිහින් බලනවද මචං ...

හ්ම්...

වෙළඳ ස්ථානයේ පිවිසුමත් සමගම තිබෙනා පඩි පේලිය දිගේ විසල් ඉහලට නගින්නට පටන් ගත්තේ තම ප්‍රාණ සමාන මිත්‍රයා වෙත මේස් කුට්ටමක් සොයාදෙන අවංක චේතනාවෙන්.. පළමු මහල වෙත දිවෙනා පඩි පේලිය දිගේ ඉහලට නගිනා විසල් දකිනා දර්ශනයෙන් පාශානභූත වන්නේ එය කිසිසේත්ම තමුන් බලාපොරොත්තු නොවූ අනපේක්ෂිත දර්ශනයක් නිසා.. පළමු මහල පිවිසුමේ ජංගම දුරකථනය ඔබමින් යමක නිරතවන ඒ සොඳුරු රුවැත්තිය අනන්‍යා හඳුනාගන්නට විසල් වෙත ගතවෙන්නාවූ කාලය ඇසුරු සැනක් පමණයි.  

සුදු නංගි ...

විසල්...එහෙනං අපි ආයේ හම්බුනා...

අනන්‍යාගේ දර්ශනයෙන් විශ්මයට පත් දෑසත්, වේගයෙන් ගැහෙනා හදවතත් විසල්ව නොසන්සුන් කරමින් තිබුනත් හැකි උපරිම වීරියෙන් තම නොසන්සුන් සිතුවිලි සමුදාය හසුරුවාගන්නට විසල් දැරූ උත්සාහය අතිමහත්.... අනන්‍යාගේ විශාල දෑස දිහා කෙලින්ම බලන්නට නොහැකියාවක් තමුන් තුල පවතිනා වග විසල් වෙත දැනෙමින් තිබුනා වුවත් එය අනන්‍යාට නොදැනෙන්නට පාලනය කරගන්නට විසල් උත්සහ කරමින් උන්නා..පාලනය කරගත නොහැකි තරමට කලබල පත් සිතුවිලි සමුදාය අතරේ අනන්‍යාගේ විසල් දෑස ළඟ නවතින්නට වෙර දරනා තම දෙනෙත් වෙනත් අරමුණක් දිහාවට යොමු කරන්නට විසල් විසින් දරනා ආයාසය අනන්‍යාට දනුනාද නොදනුනාද යන්න විසල්ට පැහැදිලි නැතත් විසල් උත්සහ කලේ අනන්‍යා සමග දොඩමලුවන්නට වචන කිහිපයක් සොයා ගන්නට. දහස් සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ ගායනයෙන් වින්දනය සපයනා තමුන් සුරංගනාවියක් ඉදිරියේ මෙවන් ආකාරයෙන් අසරණ භාවයට පත්වේයැයි විසල් කෙදිනකවත් බලාපොරොත්තු වූ සිදුවීමක් නොවේ.

ඉතින් විසල් අයියේ.. කොහොමද..

හොඳින් ඉන්නවා සුදු නංගි .. ඔයා කොහොමද ඉතින්..

හොඳින් ඉන්නවා අයියේ..

අපි හමුවුනා එහෙනං ...

හීනයක් වගේ සුදු නංගි ...

ඉතින් කොහෙද මේ හදිසියේ...

අද බුකින් එකක් සුදු නංගි .. අපේ සහන්ට මේස් දෙකක් ගන්න කියල ආව යන ගමන්..

ඉතින් සුදු නංගි  කොහෙද මෙහේ ...

මගේ යාළුවා මාධවී එක්ක ආව අයියේ...අද කොහෙද අයියේ ෂෝ එක...

ලේක් කලබ් එකේ සුදු නංගි ..

මම එන්නද අයියගේ සිංදු  අහන්න..

ඒක සුදු නංගිට යන්න සුදුසු තැනක් නෙවෙයි සුදු නංගි ..

ඒ මොකෝ..අනේ ප්ලීස්...

එතන බීගත්තු එවුන් වැඩියි සුදු නංගි .. 

ඉතින් මොකෝ..

උං කිසි චාරයක් නෑ  සුදු නංගි ... ඒ හින්ද ඕන නෑ ...

ඉතිං  මාව ආරක්ෂා කරන්න සුදු අයියෙක් ඉන්නවනේ.. මම එනවා... එනවා... එනවාමයි...

කව්ද අප්පේ සුදු අයිය...

මේ ඉන්නේ මම ඉස්සරහ..

හා එහෙනං .. යන ගමන් පෙන්නගෙනම යමු සුදු නංගි ..

මොකක්ද අයියේ..

සුදු නංගිගේ ඇස්  දෙක...

අනේ යන්න සුදු අයියේ යන්න.. ඔයා මට සුදු නංගි  කියනවනං ඔයා ඉතින් සුදු අයිය වෙන්නෙපයි ..

ඇස් පෙනීම නම් හොඳටෝම දුර්වලයි වගේ...

අනේ පල යන්න... අද මම ආසම ආසම සින්දු ගොඩාරියක් කියන්න ඕන හොඳද...

ඔයාටනම් ඇත්තටම පිස්සු..

කමක් නෑ .. පිස්සිට අහන්න සිංදු ගොඩාක් කියනව නේද..

හ්ම්..

මට සමාවෙයන් සුදු නංගි .. මට ඔයාගේ ඇස්දෙක දිහා බලාගෙන කතා කරන්න බෑ .. එහෙම කරාම මට මගේ හිත හංගන්න බෑ සුදු නංගි ..ඒ වගේම උඹේ ඇස්දෙක දිහා බැලුවාම මට හරි දුකයි.. අනන්‍යාගෙ ඇස්දෙක දිහා බලාගෙන විසල්ට එහෙම කියන්න ඕන උනත් විසල් එහෙම කිව්වෙ නෑ ... හිතෙන් හිතුව විතරයි.


ඔබ හැර ගිය පෙම්බර හිත
තනියෙන් ඉකිබින්දා
හද මඩලේ ඔය රුව මා ගෙත්තම්  කෙරුවා
ඔබට මා පෙම් කලා රිදවලා හැර ගියා
ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා

මගේ මැයි කියු දිගු දෙනයන අද මට හිමි නැතුවා
මුලු ලොව මට ලැබුනත් මදි ඔබ නැති හන්දා
ඔබට මා පෙම් කලා රිදවලා හැර ගියා
ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා

බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං
එදා කී කතා සිත පතුලේ තියා

********

පස්වෙනි කොටස
http://ambalangodakatha.blogspot.com/2016/12/5.html

Sunday, November 13, 2016

නයිට් රයිඩර්





ගුඩ් මෝර්නින් කිට්... ගේ ඉස්සරහට කමීන්..

මයි......ගල්.....ග්ල්බ්...කී..............................න්...

කිට්.....කිව්වම අහල වරෙන් බා...න්... මට හංදියේ කඩේට ගිහිං එන්නෝන...

මයි.......ල්.....කී......................................න්......කූ.....................................න්......

කිට් උඹ කොහෙද බාන්...වරකෝ ගේ ඉස්සරහට.. බීඩි මිටියක් ගේන්න සයිමගේ පෙට්ටි කඩේට ගිහිං එන්න වරෙන්කො ගෑනි ඇහැරෙන්න කලින්..

දැන්...කී...........පාරක්....කී ...ව...ද....මයිලෝ....කී.............................න්..කූ................................න්... ඇන්ජිම ස්ටා...........ර්ට්... නෑ.... කි....යල.....

හුටා... හිටහන් බලන්න මම එන්නං...  මේ මගුලේ බැටරි බැහැල එහෙනං...මං හිතුව මූ කියනදේ කැඩී කැඩී ඇහෙනකොට..

හ්ම්... හිටින් බලන්න තල්ලුවක් දාගන්න එකෙක් අල්ලගන්න ඉන්නවද කියල.... කව්දෝ පොරක් එනවා පේනවා... මේ ලොකු උන්නැහේ... බෑරක් වගේ..

අනේ මේ මයිකලයෝ... පිස්සුනම් කෙලින්න එපා.. මටනං බෑ බෝගේ නයිට් රයිඩරේට තල්ලු දාන්න..

අනේ බුදු අංකල් එහෙම කියන්න එපා බං.. එකම එක තල්ලුවක් දාමු.. අද විතරයි..

මේ මයිකලයෝ.. මට අල්ලන්නේ නැත්තෙ බොගේ ඔය අංකල්නො කෑල්ල තමා.. බලහං උඹ හරි වයසෙන් කසාද බැන්දනම් උඹට දැන් මුනුපුරු මිනිපිරියොත් කසාද බඳින වයසේ වෙච්චි උඹ මොන එහෙකටද මට අංකල් කියන්නේ..

අනේ එහෙම නෙවෙයි ඉතින්... කට වචනෙට කියවුනා අංක...සොරි... අයියේ..

 අපේ ගෑනි මගින් මගට කිව්වා  මේ පාරෙන් යන්න එපා කියල..

ඒ මොකෝ අයියේ..

ඇයි බං මයිකලයෝ උදේට මේ ගං තුලානේ එකෙක්වත් මේ පාරෙන් රස්සාවට යන්නේ නැහැ බොගේ නයිට් රයිඩරේට තල්ලු දාන්න වෙන නිසා..

ඔය ඉඳල හිටලා ඉස්ටාර්ට් නැතිවුනත් වාහනේ පරණ වුනත් තල්ලුවක් දාල ඉස්ටාර්ට් කරගත්තම ඕන දුරක් ඕන කන්දක් නගිනවා බන් අයියේ..

අනේ මේ මං කියන්නේ නෑ බොගේ තල්ලු දාල ඉස්ටාර්ට් කරන එක..

අනේ ඉතිං තරහ ගන්න කාරී නෑ.. තල්ලු පොඩ්ඩක් දාන්න පොඩි උදව්වක් දියන් අයියෙ.. බීඩි මිටියක් ගන්න සයිමගෙ පෙට්ටි කඩේට දුවල එන්න කියල මේ.. මං අයියවත් මගින් දාගෙන යන්නං..

බුදු අම්මෝ මයිකලයෝ.. මං උඹට තල්ලු දාල දෙන්නං උඹ යන දේවාලෙක තනියෙන් පලයන්.. මටනං බෑ ඔය අටමගලෙ නැගල යන්න..

ඒ මොකෝ බං අයියේ..

බොලා තරුණ කාලේ ඔය කාර් කටුවෙන් දාපු වැඩ  කිඩ වලට ඔව්වයේ කොතන කොතන ඇණ මුරිච්චි බුරුල් වෙලා තියෙනවද දන්නෙත් නෑ.. අනික් එක උඹේ ඩ්‍රයිවින් මට ඒ තරං සුවර් නෑ බං..

පී................ස්සුද බං අයියෙ... කාර් එක තාම ඒ වගේමයි.. කිසි..................ම ලෙඩක් නෑ...

අනේ පලයන් බං මයිකලයො යන්න.. දැන් අවුරුද්දක් දෙකක් බොට මේකේ බැටරිය දාගන්න බැරිවුනා... බලහන් ටයර් හතර හතර ජාතියෙන්.. එව්වත් රීබිල්...කැන්වස් පෑදිලා... ඉතිං උඹ කියනව නයිට් රයිඩරේ තාම ඒ තත්වෙන්ම තියෙනව කියල.. ඔව්ව කියහන් කොන්ඩේ බැඳපු චීන්නුන්ට..

මේ දවස්වල ෆුල් කෝඩේ බං අයියෙ.. සතේ අතේ නෑ.. ඉස්සර නං හොරෙක් දෙන්නෙක් අල්ලලා හරි කීයක් හරි සොයාගත්තා.. දැන් ඉන්න හොරු අල්ලන්න නයිට් රයිඩරේ පන මදියි බන් අයියෙ.. කිට් කාරය මේ මගුල ඉස්ටාර්ට් කරනකොටත් හොරු උන්ගේ හයිබ්‍රිඩ් වලින් ගෙවල්වලත් ගිහිං..

ඉතිං පලයන්කෝ රස්සාවකට..

රස්සාවක් කියල ඉතින් මක් කරන්නද බං අයියෙ..ඩ්‍රයිවින් වැඩක් වත් තමා ඉතින්..මං කියල ඉතින් වෙන කරුමාන්තයක් දන්නවා කියලය..

ඇයි බං උඹ හන්දියේ හාඩ්වෙයාර් එකේ සිමෙන්ති ලොරිය එලෙව්වා නේද දවසක් දෙකක්.. ඒ රස්සාවට මොකෝ උනේ..

හපොයි අයියේ මතක් කරන්න එපා.. මමත් ඉතින් රස්සාවක් නැති කමට ගියාට ඒ ලොරි දණ්ඩ බර සාර වැඩියි බං..

ඒ කිව්වේ බං..

ඒ ලොර්යේ පවර් ඉස්ටියරින් නැහැ බං.. නයිට් රයිඩරේ වගේ නෙවෙයි බං... ගියර් පොල්ල එහෙ මෙහෙ කරන්න හච් එක දෙපාරක් පාගන්න ඕන ..

මොකක් කිව්වා..

ඔව් බං අයියෙ... මාර තදයි හච් එක... සුක්කානම කපන්න තව එකෙක් ඕන සිමෙන්ති පැටෙව්වාම...

හච් එක කිව්වේ මොකද්ද බං මයිකල්..

හච් එක බං හච් එක.. අර ගියර් දානකොට පාගන්නේ..

අනේ බොගේ මොලේ.. හච් එක නෙවෙයි ගොනෝ ක්ලච් එක..

ආන් හරි.. ඒක තමා..

ඉතිං මොකෝ උනේ රස්සාවට..

මුදලාලිය මාව අයින් කරා බං..

ඒ මොකෝ බං..

දවස් දෙකක් වැඩ කරලා ඇඟේ අමාරුවට කියල දවසක් නිවාඩු ගත්ත බං.. සිමෙන්ති බානවට වඩා අමාරුයි ඒක එලෝන එක..

ඔව් ඉතිං උඹ කියල ඒ කාලේ හිටන්ම සරීර හොරානේ.. නයිට් රයිඩරේ නැගල එහෙට මෙහෙට ගිහින් ගෑනු දැරිවියොන්ට විරිත්තුව මිසක් උඹ හරිහමන් රස්සාවක් කරා කියලය..

කව්ද බං අයියෙ හිතුවේ මෙහෙම කාලයක් එයි කියල..

ඉතිං බං ඔය කාර් කටුව විකුණලා කීයක් හරි අරගෙන බිසිනොස් එකක්වත් කොරහන්කෝ..

කොහෙද ඉතින් ඒක කරන්නත් අපේ ගෑනි කැමති නැහැනේ බං අයියේ...

ඒ මොකෝ..

ඒ ගෑනි කියන්නේ ඒ ගෑනි මාව කසාද බැන්දේ ඔය කාර් කටුව නිසාය ඒක වික්කොත් දික්කසාද වෙලා ගෙදර යනවා කියල..

ඒකත් හැබෑව.. බොගේ ඔය ටිකක් හැඩ මුනත්තහඩුවයි ඔය කාර් කටුවයි නැත්තම් බොට කියලා මොනවා තියෙනවද බං...මොකෝ උඹ හරි හමන් වුර්තියක්වත් ඉගෙනගත්තු එකෙක්ය..

අනේ දැන් ඇති බං මේ කතාව.. ඉක්මනට වරෙන් මේකට තල්ලුවක් දාගන්න.. අර යෝදි ඇහැරුනොත් කඩේට යන්න වෙන්නේ නෑ...

හා එහෙනං අල්ලහන් බලන්න...

හ්ම්... ඔන්න එහෙනං... කිට්... ඔන්න අපි තල්ලු කරනව.. ඉස්ටාර්ට් කරගනිං...

කරා.......ස්.........බරා....ස්...බ්රූම්.....බ්රූ..............................................................................................................................................ම්......... පුහ්......පොහ්..........බ්රූම්......


යාන්තං ඇති ඉස්ටාර්ට් උනා..

හා එහෙනං.. මම ගිහිං එන්නං මයිකලයෝ... හෙටත් තල්ලු කරන්න වෙයිද...

කියන්න බෑ බං අයියේ... ඒ මොකෝ එහෙම ඇහුවේ...

නෑ බන්.. අනික් පාරෙන් යන්න ඇහුවේ...

න්....නෑ ....නෑ..... හෙට ඉස්ටාර්ට්  වෙයි.... කිට් යමං ඉක්මනට අර යක්සනී ඇහැරෙන්න කලින් බීඩි මිටියක් ගේන්න ..

ඉක්මනට යන්න කිව්වට එහෙම යන්න බෑ බං මයිකල්... අරුන් ඉන්නවද දන්නේ නෑ හංදියේ...

කව්ද බං අරුන් කිව්වේ...

සීසර්ලා බන් සීසර්ලා...

ඒ මොකෝ බං...

ඔන්න ඉතින් උඹ බබා වෙන්න හදනවා මයිකල්... උඹ දැන් මේකට ෆිනෑන්ස් එකක් දාල ගෙයි කුස්සියේ වහල හදන්න කියල සල්ලි ගත්ත කෝ ගෙව්වද...

හරි බං ඉතිං කෝ ගෙවන්න සල්ලි... මාස කීපයක් ගෙවන්න බැරිවුනා තමා...

මං දන්නේ නෑ මාස කීයද්ද කියල.. ඒ උනාට නයිට් රයිඩරේ උස්සන්න ඊයේ මගේ පස්සෙන් පැන්නුව සීසර්ලා වගයක්.. අනූ නමෙන් බේරුනේ.. අන්තිමේ උඹ හදපු වහලකුත් නෑ නයිට් රයිඩරේ පොතත් ෆිනෑන්ස් එකේ..

ඒකත් එහෙමද... දැන් මොකද කරන්නේ ඉතිං.. වාරිකයක් දෙකක්වත් දාන්න අතේ සල්ලියක් නෑනේ බං... බීඩි මිටිය ගන්න රුපියල් විස්සක් ගෑනිගේ පර්ස් එකෙන් පන්න ගත්තෙ බොහොම අමාරුවෙන්...ඔන්න ඔතනින් නවත්තහන් අයින් කරලා.. මම සුටුස් ගාල බීඩි මිටියක් අරන් එන්නං... කල්පනාවෙන් හිටහන්...

ඉක්මනට වරෙන් මයිකල්... උඹේ අර යක්ස ගෑනි දැන් මාව හොයනවා ඇති...

ඒ මොකොටෝ...

ඒක උඹට වැඩක් නෑ ඉක්මනට වරෙන් බීඩි මිටිය අරගෙන ..

හ්ම්.. හිටහන්කෝ..

මයිකල් ඉක්මනට වරෙන්කො... පරක්කු වෙනවා බාන්..

හරි හරි යමං යමං... උඹත් දැන් හරි ගණන් නේද බන් කිට්...

මේ මයිකලයෝ... ඒ ගණන් වලින් වැඩක් නෑ.. උඹේ ඔය බීඩි කොටේ කාර් එක ඇතුලෙන් පත්තු කරනවා නෙවෙයි ඔන්න..

ඒක හරි මගුලක්නේ යකෝ.. මගේ කාර් එකේ මට බීඩිය පත්තු කරන්න එපා කියන්න උඹ කව්රු කියල හිතුවද කිටෝ...

අනේ මේ මයිකලයෝ... උඹ මාව කේන්ති ගස්සන්නේ නැතුව පාඩුවේ යනවද.. වැඩිය කට ගැහුවොත් මම උම්බෝව වහල ඇරලා විසික් කරලා දානවා දැනගනින්..

අප්පද බොල.. මුගේ තියන ගණන්..

මේ මයිකලයෝ උඹ දැන් අවුරුදු ගානක් තිස්සේ කරපු බම්බුවක් තියෙනවද.. මේකේ ටයර් හතර දාගන්නවත් උඹ රස්සාවක් කරාද..

ඉතින් ඒ කියල උඹට පුලුවනිද කියන්න මට බීඩිය පත්තු කරන්න එපා කියල..

මයිකලයෝ....මම උඹට නොකීව කියන්න එපා බීඩිය පත්තු කරොත් නම් මම බොගේ කොන්ද කැඩෙන්නම උඹව උඩ විසික් කරනවා කරනවා කරනවාමයි.. අපි තව විනාඩියෙන් ගේ ගාව.. ඒ නිසා ඉවසගෙන හිටහන් ඔය කැහි කූර පත්තු නොකර..

මොකෝ බන් කිටෝ බෝගේ අද ඔච්චර ගණන්.. වෙනද මම මේක ඇතුලෙ බීඩි මිටියම එකපාරට පත්තුකරන් බිව්වත් උඹ මුකුත් කිව්වේ නෑනෙ..

මට උඹ මේක ඇතුලේ බීඩි කර්මාන්තාසාලාවක් ගෙනත් බීවත් කමක් නෑ බොල මීමෝ..  ඒත් මේ දවස්වල උඹේ ගෑනි මේකෙන් පොඩි බිස්නොස් එකක් කරනව.. ඒ හින්ද උඹ මේකෙ බීඩි බොනවා එහෙම නෙවෙයි ඔන්න..

අප්පද බෝල බිස්නොස් එකක්.. ඒ මොකක්ද බන්..

ඒක අහගනින් උඹේ අඹේනිගෙන්.. මට ඕව කියල උඹේ යක්ස ගෑනිගෙන් කුණු කතා අහන්න බෑ බන්.. මම කොම්පීටරයක් උනත් උඹේ ගෑනි කියන කුණු කතා අහගෙන ඉන්නකොට හිතෙනවා මේක ගිහින් රුහුණු කුමාරිය එන වෙලාවක් බලල රේල් පාර හරහ නවත්තන්න අම්මපා.. උඹ කොහොමද බන් ඇහුනා නාහුනා ගානට ඉන්නේ හැබෑටම..

කිටෝ.. මට දැන් කම්මලේ බල්ලට වගේ ඔය ගෑනිගේ බෙලිකටු මල්ලේ සද්දේ හුරුයි බං.. කියහන්කෝ කිටෝ.. උඹ හැබෑටම කොහෙද අපේ ගෑනි එක්ක හැමදාම උදේට අන්තරස්දාන වෙන්නේ..

ඕන් ඉන්නවා ගින්දර පිටවෙවී කඩුල්ල ගාවට වෙලා.. උඹම අහගනින්කෝ.. මම නම් නෑ ඕවට..

හුහ්.. මයිකල්.......තමුසෙ කොහෙද නයිට්රයිඩරේ අරන් ගියේ උදේ පාන්දරම...

ඇයි හත් ඉලව්වේ මේක මගේ නයිට්රයිඩරේ .. තවුසෙගෙන් අහන්න ඕනෙද මට ඒක අරන් හන්දියට යන්න..

අනේ මේ මනුස්සයෝ..ඕකට පැට්‍රොල් ගහන්නේ ඔහේ නෙවෙයිනේ.. තමුසෙගෙ මේ මල මසිත්තු කාර් කටුවටයි මුනත්තහඩුවටයි රැවටිලා තමයි මම මේ අපා දුක් විඳින්නේ අද..

හරි හරි.... දැන් ඒවයින් පලක් නෑ... දැන් කොහෙද මේ උදේට උදේට කොටට ඇඳගෙන තොල් සායං ගාගෙන නයිට්රයිඩරේ අරන් අන්තරස්දාන වෙන්නේ කියල කියනව බලන්න.. කිටාගෙන ඇහුවට ඌ කටේ කෙල බිම හෙලන්නේ නෑ..

මම යන්නෙ තමුන්නැහේටයි තමුන්නැහෙගේ දරු පටවුන්ටයි බඩ කට පුරවන්න කීයක් හරි සොයන් එන්න ..

මොකක්..

ඇයි ප්‍රශ්නයක්ද.. තමුසේ හිටිය කියල මොකෝ රස්සාවක් කරල දරුවන්ට මට කන්න අඳින්න දෙනව කියලය..

දැන් ඔහේ කොටට කොටේ ඇඳගෙන තොල් සායං ගාගෙන ගිහින් කරන රස්සාව මොකක්ඩ කියනවා බලන්න..

මේක රස්සාවක් නෙවෙයි ඕයි.. පොඩි බිස්නස් එකක්..

මොකක්..

හ්ම්..

කියනවා බලන්න මොන වගේ එකක්ද කියල..

අපි ටවුමේ පාර්ක් එක ගාව පොඩි බිස්නස් එකක් කරනවා..

අපි කිව්වේ කව්ද ..

අපි කිව්වේ මමයි නයිට්රයිඩර් එකයි..

ඒ මොකක්ද බං යෝදියේ..

පාර්ක් එකට එන පොඩි එවුන්ට නයිට්රයිඩරේ රවුමක් යන්න හයර් කරනව..

අප්පටසිරි.. පට්ට බිස්නස් එකක්නේ බන්.. ඉතින් වාසි ඇති නෙහ්.. මට රුපියල් සීයක් දෙනව එහෙනං.. අද රේස් කොලේ සුපිරි අස්සයෝ ත්‍රිබලක් ඉන්නව.. අනිවා හෙට වින්..

මගෙන් මුකුත් නාහ ඉන්නව හොඳයි.. තමුන් හිතන් ඉන්නේ මේ කබල් කාර් කටුවට පොඩි එවුන් නගිනව කියලද...

පොඩි උන් වැල නොකැඩි එනවා ඇත්තෙ මගේ නයිට්රයිඩරේ රවුමක් යන්න.. මේ... මම නොකීවයි කියන්න එපා... මට දවසට පන්සීයක් ඕන කාර් එකේ කුලිය..

අනේ මේ... මගෙන් කුණුහරුප නාහ ඉන්නවා මනුස්සයෝ.. දැන් ඉන්න පොඩි එවුං මේ කසි කබල් නයිට්රයිඩර් එකක් ගැන දන්නෙවත් නෑ.. උන්ගෙ මහ එවුං මේක ගැන තියන ආසාවට පොඩි එවුන් ටික බලෙන් දාගෙන රවුමක් යනවා මිසක්.. ඊයෙත් පොඩි එකෙක් උගේ මහා එකාගෙන් ඇහුව ඊයා තාත්තේ ඇයි මේ කබල්ම කබල් කාරෙකේ රවුමක් යන්න මේ ඇන්ටිට සල්ලි දෙන්නේ කියල.. ඌ අහනවා අපේ හයිබ්‍රිඩ් එක මීට වඩා කොච්චර සැපද කියල.. මට පොලෝ පලන් යන්න හිතුන.. ඒකෙන් වැඩි වාසියක් නැති හින්ද මං වෙන බිස්නස් එකක් ගැන හිතුව..

අනේ මේ..... උන් දන්නවද මගේ නයිට්රයිඩරේ වැඩ කිඩ...

හා හා.. ඇති ඇති... මම දන්නවනේ ඔහේගෙ නයිට් රයිඩරේ වැඩ කිඩ... කොහෙද ඉතින් මමත් අහුවුනානේ ...

හා හා ඇති ඇති.. ඔය බෙලිකටු මල්ල හොලොවන්නේ නැතුව දැන් යන ගමනක් යනව...

හ්ම්.. කිටෝ.. යමු යන්න..

කිට්.. අද ඉඳන් හයර් කීයක් දිව්වද කියල මට හවසට කියන්න ඕන හරිද..

අනේ මේ මයිකල්.. උඹ එව්ව ගෑනි එක්ක බේරගනින්.. මගෙන් ඕව අහන්න එපා...

හෝව් හෝව්.. පොඩ්ඩක් හිටහන් කිට්.. මට මයිකල්ට අනික් පණිවිඩේ කියන්න මතක උනා..

මොකක්ද බං යෝදියේ.. තව ලෙඩක්ද.. මටනං බෑ අදත් රෙදි හෝදන්න.. ඔන්න මං කලින්ම කිව්ව..

රෙදි හෙදිල්ලක් නෙවෙයි මනුස්සයෝ.. අද ඉඳන් හවසට ඔහේට අලුත් වැඩක් තියනව කරන්න..

ඒ මොකද්ද බං..

මම බේකරියේ නාන එක්ක කතා කරා..

ඒ මොකක් ගැනද..

අලුත් බිස්නස් එක ගැන..

ඒ මොකද්ද බං..

නාන කිව්වා පහුවදාට සල්ලි බේරන්න  පාන් බනිස් මාළු පාන් ණයට දෙන්නං කියල..

ඒ මොකටද බං..

මොකටද ඉතින් විකුනන්න මිසක්..

ඉතිං ඕව විකුනන්න කෝ බං ගෑනියේ අපිට කඩයක්..

කඩ මොකදට මනුස්සයෝ..

මොකක්.. ඔහේට පිස්සු හැදීගෙන එනවද..

මට ඇති පිස්සුවක් නෑ මනුස්සයෝ.. අද මම දවල්ට එනකොට ලැයිස්කීපර් කට හයිකරවගෙන එන්නන් රේඩියෝ කඩේ මල්ලිට කියල.. ඔහේ ඔය රැවුල හෙම කපාගෙන ටිකක් පිළිවෙලකට ඇඳුමක් දාගෙන ඉන්නවකෝ..

ලැයිස්කීපර්කට????????ඒ කොහේ යන්නද බන් .. කොහෙහරි මගුලක්වත්ද

මගුලක යන්න නෙවෙයි මනුස්සයෝ.. මම පිළිවෙලකට පාන් බනිස් ටික අඩුක්කරලා දෙන්නම්.. ඔහේ ඔය කාර් කටුවේ වහලේ තියන කොටුවෙන් එලියට හිටගෙන අද ඉඳන් නයිට්රයිඩරේ චූන් පාන් විකුනනව..කිට් කාර් එක එළවන් යාවි..මොකෝ දන්න කාලේ ඉඳන්ම ඕක එලෙව්වේ ඌ මිසක් ඔහේ නෙවෙයිනේ ..

හුටා..

Friday, November 4, 2016

මැතිවරණ දුෂණ




මැතිවරණ දුෂණ කියා  කියූ පමණින් මේ ලියනට යෙදෙන පෝස්ටුව දේශපාලන ගණයට වැටෙන්නාවු පෝස්ටුවක් වශයෙන් සිතා පෝස්ටුව නොකියවා මගහැරීම අනුවණකමක් වන්නේ මේ ලියවන්නේ එහෙව් ආකාරයේ දේශපාලන ලියවිල්ලක් නොවෙනා නිසාය. අම්බලන්ගොඩ කතා කියවනා සමහරක් පාඨකයින්ට දේශපාලනය යන මාතෘකාව නයාට අදුකොල වාගේ බව අම්බලන්ගොඩයා දන්නවාය. එහෙත් මෙලොවට උපන් සත්වයකු වශයෙන් සෑම පුද්ගලයකු තුලම දේසපාලනයක් තිබෙන්නට ඕනෑය. ආදී කාලයේ පටන් මේ දක්වාම පෘතුවි ගෝලයේ කබොල්ල මතුපිට ජීවත්වන සෑම සියලු සත්වයකු තුලම දේශපාලනයක් තිබෙනවාය. එව්වා සවිස්තරව විචාරයට භාජනය කිරීමට ගියහොත් පාඨක බහුතරයක් අම්බලන්ගොඩයාගේ මවු දෙමවුපියන්ට පින් පෙත් දෙන්නට වන නිසා එම ලිපිය මෙහිලා ලියන්නේ නැතිය. 

පෘතුවි ගෝලයේ කබොල්ල ගැන ලියන්නට යෙදුනාවූ නිසා ඒ සම්භන්ධව භෝම පොඩි දෙයක් ලියනට ඕනෑමය. අම්බලන්ගොඩයා පුංචි එකා සන්දියේ හිතන් උන්නේ අපි ජීවත් වන්නේ පෘතුවි ගෝලයේ ඇතුලේ කියාය. පාසලේ එක වසරේ උන් කාලයේ අම්බලන්ගොඩයාගේ මෑණියන් පෘතුවි ගෝලය සහ අපි ඉන්නා තැන අම්බලන්ගොඩයාට කියාදීමත් සමගම අපි ජීවත් වන්නේ පෘතුවි ගෝලයේ කබොල්ල මත වග වටහා ගන්නවාය. එහෙත් දින කිහිපයක් යනතුරු අම්බලංගොඩයා පොළොවේ පය තබා අවිද්දේද බයෙන් බයෙන් වාගේය. ඒ මන්දයත් පෘතුවි ගෝලය වටේට කරකැවෙන අල්ලපනල්ලේ ලංකාව තිබෙනා පැත්ත පහලට කරකැවී ගියහොත් පෘතුවි ගෝලයෙන් පහලට වැටේදෝ කියා භයටය.

පෘතුවි ගෝලයේ කබොල්ල ගැන කියන්නට ගොස් පොස්ටුව කැලේ පනින්නට යන නිසා නැවතත් අදාළ පෝස්ටුව ලියාගෙන යනවාය. එහෙත් පෘතුවි ගෝලය ගැන ආතල්ම කෑල්ල තිබෙන්නේ සූර පප්පා කාර්ටුනයේය. ඒ කුමක්ද යත් සීසර්ගේ ගෝලයින් ගෝල් දේශයේ වැසියන් කිහිපදෙනෙකු අල්ලාගෙන  ඔවුන්ව ලෝකේ ගැට්ටෙන් පල්ලෙහාට තල්ලුකර දමන්නට එක්කන් යන කෑල්ලය. 

අම්බලන්ගොඩයා කුඩා සන්දියේ මැතිවරණයක් යනු ඇඟ කිලිපොලායන භයානක කාල පරිච්චේදයක්ය. මැතිවරණය දිනය ලං ලං වෙත්ම අතේමිටේ ඇති එවුන් වාගේම අතේමිටේ නැති එවුන්ද හාල් සිල්ලර ටිකක්   කුස්සියේ ගබඩා කරගන්නේ මැතිවරණය දා සවසට ක්‍රියාත්මක වන්නාවූ ඇඳිරි  නීතිය දින කීයකින් අවසන් වේදැයි කියා හරිහැටි නොදන්නා නිසාය. එහෙව් කාල වලදී ගමේ ගොඩේ සිල්ලර වෙළෙන්දන්ට රජ මගුල්ය. ඇඳිරි නීතියට කලියෙන් ඉදිරිපස  දොරෙන් කෙරෙනා වෙළඳාම ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලයේදී කෙරෙන්නේ පස්සා දොරෙන්ය. ඒ සාමාන්‍ය මිලට නොවේය. වැඩි මිලටය. වෙළඳ භාණ්ඩයේ නියමිත මිලෙන් රුපියල් කිහිපයක් වැඩිපුර අල්ලනා මුදලාලිලා ඉතුරු මුදල් දෙද්දීද තවත් රුපියල් කිහිපයකට විදින්නේ උන්දෑලාට එවන් දෑ සඳහා විශේෂ ප්‍රාගුන්‍ය තිබෙනා නිසාය. ඇඳිරි නීති වේලාවන්හීදී පාරිභෝගිකයින් ඉතුරු සල්ලි ගණන් කරන්නට රැඳෙන්නේද  නැතිය. ඇඳිරි නීතිය අතරේ ප්‍රධාන පාරවල් මගහරිමින් වැටවල් වලින් පනිමින් කඩේට පැමිණෙන එවුන්ට ඉතිරි මුදල් ගනන් කරන්නට නිනව්වක් නොමැති වග කඩ මුදලාලිලා ඉන්තේරුවෙන්ම දන්නවාය.

මැතිවරණයට කලින් මැතිවරණ උණ, සන්නිපාතය තරමටම වැළඳී තිබෙනා අයවලුන් රතිඥ්ඥා වැනි දෑ නිවෙස්වල එක්රැස් කරගන්නේ තමන්ගේ චන්දය හිමි පක්ෂයේ මැතිවරණ ප්‍රතිපල නිකුත්වෙද්දී ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම උදෙසාය. මැතිවරණ ප්‍රතිපල තමුන්ට වාසි වන ආකාරයේ එව්වානම් රතිඥ්ඥා කරල් කිහිපයක් පුපුරවා තම සතුට සැමරීම චන්ද දායකයින්ගේ සිරිතය.

පැවතුනාවූ එක්තරා අඳුරු යුගයක් අවසාන කරමින් පැවති මැතිවරණයක් වූ එක්දහස් නවසිය අනූ හතර ජනාධිපතිවරණය වෙද්දී අම්බලන්ගොඩයාට චන්ද බලය ලැබෙන්නට ඔන්න මෙන්නය. ඒ හින්දා ටිකෙන් ටික මැතිවරණ උණ ශරීගත වෙනවාය. එහෙත් සන්නිපාතය තරමටම නැතිය. ඒ වකවානුව වෙද්දී මැතිවරණය දා රාත්‍රියේ ගමෙන් පිට යන්නට අම්බලන්ගොඩයාට අවසර නැතත් ගමේ පොඩ්ඩක් රස්තියාදු ගසන්නට අවසර හිමිවෙනවාය. එවන් රාත්‍රීන්හීදී අම්බලන්ගොඩයාගේ හිතවත්ම මිත්‍රයා වන්නේ කවදත් සිනහවෙන්  ජීවිතය ගත කරනා මංගලයාය. මංගලයාගේත් අම්බලන්ගොඩයාගේත් මිතුරුදම මැතිවරණය දිනයේ රාත්‍රියේ තකට තක වෙන්නටම තහවුරු වන්නේ දෙදෙනාම නියෝජනය කරනා දේසපාලන පක්ෂය එකක් වන නිසාය. ගමේ දන්නා කියන මිතුරන් කොතරම් උන්නද රාත්‍රී වීදි සංචාරය සඳහා අම්බලන්ගොඩයා සහ මංගලයා මිතුරුකම තහවුරු කරගන්නේ මැතිවරණය දා රාත්‍රිය සුපිරි ගිනිකෙළි සංදර්ශනයක් පවත්වන්නට අවස්තාව ලැබෙනා නිසාය. ප්‍රකාශයට පත්වෙනා චන්ද ප්‍රතිපල ජයග්‍රහණය කරනා නිවසේ නිවැසියන් රතිඥ්ඥා  වලින් තම ජයග්‍රහණය ලෝකයට කියා පානා අවස්තාවේදී එම නිවස අසලම තිබෙනා ඊට විරුද්ද පක්ෂයේ නිවසේ මිදුලට රතිඥ්ඥ කරල් කිහිපයක් දල්වා වීසි කොට මංගලයා සහ අම්බලන්ගොඩයා කලුවරේම අන්තරස්දාන වෙනවාය. එයින් පසු නිවෙස් දෙකේ නිවැසියන් විසින් කරනා ගුණ ගායනා කළුවරේ ඈතට වී අසා සිටීම සෑහෙන්න විනෝදජනකය. ඕපාදූප සොයනා කේලාම් දොඩනා බවලත් උදවියගේ නිවෙස් වලට රතිඥ්ඥා ප්‍රහාරය අනිවාර්යය. ඊට අමතරව අතේ මිටේ යහමින් ගැවසේනවානම් අහස්ගුන්ඩුවක් දෙකක් නිවස ඇතුලටම ලෑන්ඩ් කරවීම ඉතාමත්ම ස්භාවිකය.

මධ්‍යම රාත්‍රිය පසුවී පැය කිහිපයක් යන තැන මන්ගෝ රතිඥ්ඥා පිපිරවීමේ කලාවේ පිකාසෝ තරමටම විශේස ප්‍රාගුන්‍ය  ලබනාවූ අතර පක්ෂ විපක්ෂ බේදයක් නොමැතිවම ගමටම සම සමව රතිඥ්ඥා ප්‍රහාරය එල්ලකිරීමට මන්ගෝ වගබලාගන්නේ අම්බලන්ගොඩයාගේ සහයෝගය නොමදව ලබමින්ය. මෙහිලා සවිස්තරව විස්තර කෙරෙන ටාසන් මාමාගේ නිවසේ බෝක්කුව ප්‍රභල ලෙස අපයෝජනයට ලක්කිරීමට මන්ගෝ වගබලාගන්නේ රාත්‍රී කාලයේදී ටාසන් මාමාගේ පෙනීම මදක් දුර්වල බැවින්ය. 

ටාසන් මාමාගේ බෝක්කුව ගැන වැඩිපුර යමක් පවසනවානම් තොරණේ විස්තරය මෙසේය..

අඩි විස්සක පමණ දිග අඩියක පමණ විශ්කම්භයක් ඇති පයිප්පයකින් තනා තිබෙන ටාසන් මාමාගේ නිවසේ පිවිසුම් බෝක්කුව යනු ගමටම සද්ද පූජාව පැවැත්වීමට ටාසන් මාමා විසින් ගමේ කොල්ලන් කුරුට්ටන්ට නොමිලේ ඉදිකරදී තිබෙනා අනර්ග වර්ගයේ මෙවලමක්ය. මේ කියනා බෝක්කුව ඇතුලට රතිඥ්ඥාවක් විසික් කිරීම යනු ටාසන් මාමාගේ නිවසේ ඇස්බැස්ටෝස් තහඩු සියල්ල තවුතිසාවේ ගේට්ටුව ගාවටම විසික් වෙන්නාවු ආතල් කෝටියක් ලැබෙන කර්තව්‍යක්ය. එම රතිඥ්ඥා කරල පුපුරාගිය වහා සරම ගන්නාගෙන එලිපහලියට බසිනා ටාසන් මාමා රතිඥ්ඥාව බෝක්කුව ඇතුලට විසික්කා කල  එකාගේ මවු දෙමවුපියන් ප්‍රමුක හත්මුතු පරම්පරාවම තවුතිසාවේ ගේට්ටුවෙනුත් එහාටම ඇරලවන තරමේ ගුණ ගයනාවක් ගමටම ඇසෙන්නට පවත්වනවාය. ගමේ කොල්ලන් කුරුට්ටන්ටද හදිසියේ රතිඥ්ඥා කරලක් ලැබුණු වහා එයින් උපරීම උපයෝගීතාවය  ලබනු පිණිස හෙමි හෙමිහිට කිට්ටුවන්නේ ටාසන් මාමිගේ බෝක්කුව ගාවටය. සිංහල අවුරුදු කාලයට නම් ටාසන් මාමා නිවසේ ඉදිරිපිට තිබෙනා පඩියෙන් බිමට  බසින්නේම නැතිය. උදැසන අවදිවූ තැන පටන් ඇඳිරි වැටෙනා තෙක් ඉදිරිපස පඩිය උඩ ඇලර්ට් එකක් දමමින් ඩේ වොච් එක දමාගෙන බෝක්කුව රකිනා ටාසන් මාමා රාත්‍රියේ නින්දට යනතුරුද නයිට් වොච් එක දමාගෙන බෝක්කුව රකිනවාය. එහෙත් රතිඥ්ඥා පිපිරවීමේ කලාවේ පිකාසෝලා දවසට රතිඥ්ඥා කරල් දහයක් පහළොවක් ටාසන් මාමිගේ බෝක්කුව ඇතුලට ස්ථානගත කරනවාමය. රජයේ  සේවයෙන් විශ්‍රාමිකව  විශ්‍රාම සුවය විඳිනා ටාසන් මාමාගේ විශ්‍රාම සුවය සිංහල අවුරුදු කාලයට දෝර ගලන්නේ නිවස ඉදිරියේ මසුරං පහට ඉදිකර තිබෙනා මේ කියනා බෝක්කුව නිසාය.  මාර්තු මාසය අග භාගයේ පටාන් ගන්නා ටාසන් මාමිගේ බෝක්කු සෙල්ලම යාන්තමට අවසන් වන්නේ පොසොන් පෝයත් ලංවූ අනතුරුවය. වෙළඳසල් වල  තිබෙනා රතිඥ්ඥා  අහවරවී සිංහල අවුරුදු සොමිය කොල්ලන් කුරුට්ටන්ට අමතක වීගෙන ගියායින් අනතුරුව ටාසන් මාමාට තම විශ්‍රාම සුවය රිසිසේ විඳින්නට ලැබුනත් මැතිවරණ සමයේදී නම් බෝක්කුව මුරකිරීමේ අත්‍යවශ්‍ය රාජකාරි සඳහා නිවසේ ඉදිරිපස පඩිය උඩට වාර්තා කරන්නටම සිද්ද වෙනවාය. ඒ, මැතිවරණ දිනය යනු නැවතත් රතිඥ්ඥා අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ගානටම ජන ජීවිතයට සම්භන්ධවන නිසාය. එක්දහස් නවසිය අනූ හතරෙන් ඇරඹි මැතිවරණ කාලයේ ටාසන් මාමාට විශ්‍රාම සුවය විඳින්නට ලැබුනානම් ඒ බොහෝමත් කලාතුරකින්ය. ඒ මන්දයත් නිතර නිතර පැවතුනු මැතිවරණ නිසා අහල පහල වෙළඳසැල් වල රතිඥ්ඥා සුලභ වීමත් රටේ වාතාවරණය යම් තරමකින් යහපත් වීම නිසා කොල්ලන් කුරුට්ටන් බයක් සැකක් නොමැතිව රෑ පානේ ගමන් බිමන් යන්නට පටාන්ගත් නිසාය.

අපි විසින් කරන්නට යෙදුනාවූ මැතිවරණ දූෂණයක් ලියන්නට ගොස් පොස්ටුව සෑහෙන්න දුරට කැලේ පැන්නා වුවද අම්බලන්ගොඩගේ අතිජාත මිත්‍රයකු වන මන්ගලයා ගැන බ්ලොගයේ සටහනක් තැබීමට ලැබීම ගැන සෑහෙන්න සන්තෝසයක් හිතට දැනෙන්නේ මංගලයා යනු කිසිදා කේන්ති නොගන්නා කුකුල් කේන්ති කාරයකු නොවෙන නිසාය. 

එවන් අතීතයක් හිමිව තිබු අම්බලන්ගොඩයා සහ මිතුරු කැල ටිකෙන් ටික ලොකු ළමයි වෙන්නේ ඔයාකාර දේසපාලන වාතාවරණයක් යටතේය. ලිපියට උක්තවූ සිද්දියට අදාළ මැතිවරණය කොයි අවුරුද්දේ කුමන මැතිවරණයද යන්න පැහැදිලි මතකයක් නැතත් අපගේ හිතාදර මිත්‍ර තඩියා කුවේටය බලා පිටත්ව ගිය අලුත තිබු මැතිවරණයක් යන්න ටක්කෙටම මතකය. ඒ අනුව ගොස් මේ ලිපිය කියවනා අපගේ හිතාදර තඩියා මේ සිද්දියට අදාළ වර්ෂය පහත කොමෙන්ටුවේ ලියනවා අනිවාය. 

තඩියා ලංකාවේ නොසිටියද තඩියා සිද්දියට උක්ත වන්නේ එක්තරා කාරණයක් නිසාය. අවුරුදු ගණනාවක් තිස්සේ එකාවන්ව සිට වෙරළු ගෙඩිය හරි අටකට බෙදාගෙන කෑ සෙට් එකේ මුල්ම පුරුකක් වූ තඩියාගේ විදේශගතවීම යාලු මිතුරු කාගේත් සිත් සතන් වලට කනගාටුවක් එක් කල කාරණයක් වෙනවාය. තඩියාගේ විදේශගතවීම උඩ පාඩු ලැබූ ජන කොටස් අතර යාලු මිත්‍රයින් ඉදිරියෙන්ම උන්නද තුඩුවමුල්ලේ ජන ජීවිතයද මදක් අඩාල වන තරමටම ප්‍රශ්නය උග්‍ර වුයේ තඩියාගේ පෙම් පලහිලව් වලට පින් සිදුවන්නට ජීවිතය ගැටගසාගත් මාද්‍ය සේවාවන්ට තම රැකියාව අහිමිවන තැනට කටයුතු යෙදීම නිසාය. තඩියාගේ විදේශගතවීමට සාපේක්ෂව තඩියාගේ මෑණියන්ගෙන් මාද්‍ය සේවාවන් වෙත ලැබුණු සියලු දහසින් බැඳී පියලි අහිමිවී ගිය අතර මාධ්‍ය සේවාවන්ද පසුවූයේ තවත් කබරගොයකු තලගොයා කරගැනීමට මාන බලමින්ය. 

කන බොන තැනක තඩියා නොමැති වුවද තඩියාගේ පංගුව වෙන් කිරීම මිත්‍ර සමාගම විසින් කරගෙන ආවේ එවන් පෙරේත ගොටුවක් නොතබා කනබොන එක භයානක නිසාය. ඒ මන්දයත් ලංකාවේදී නිත්‍යානුකූල මධ්‍යසාර වලින් මත්වූ තඩියාට කුවේටයේ තිබෙන්නේ කසියා පමණක් නිසාය. තඩියා වෙනුවෙන් වෙන්කෙරෙනා පෙරේත පංගුවෙන් වාසි ලබනා කොටසක්ද ඒ අතර ඉන්නවාය. බීමට පෙරේත එවුනට සාදය අවසානයේ තඩියාගේ බීම පංගුව ලැබෙනවාය. බයිට් වලට පෙරේත එවුන්ට තඩියාගේ බයිට් පංගුව ලැබෙනවාය. අනෙකුත් අනුපානද එසේමය. බයිට් සලාකයෙදී තඩියා වැඩිපුර බයිට් අනුභව කරනා එකෙකු නොවෙනා නිසා අම්බලංගොඩයාට ඒ තරම් වාසියක් වෙන්නේ නැතිය. ඒ මන්ද යත් තඩියාට මධ්‍යසාර බෝතලයක් කරටියේ සිට අඩියටම පහත් කරන්නට බයිට් වෙනුවට ටිකිරි මාරි විස්කෝතුවක් හොඳටෝම ඇති නිසාය. ඒ නිසාවෙන් තඩියාගේ පෙරේත ගොටුවට බයිට් වැඩිපුර තැබෙන්නේ නැතිය. එයිනුත් පාඩුව අම්බලන්ගොඩයාටය. 

ඉහත කී වකවානුවේ  ඉදිරියෙන් එන මැතිවරණයට සියලු පක්ෂ ලහි ලහියේ ලැහැස්තිවන අල්ලපනල්ලේ අම්බලංගොඩයා ප්‍රමුඛ සැට් එකද මැතිවරණයට ලහි ලහියේ ලක ලැහැස්ති වෙනවාය. එනම් මැතිවරණය දා සුපිරි පාර්ටියක් දමන්නටය. 

අම්බලංගොඩගේ මෑණියන් මැතිවරණ රාජකාරි වෙනුවෙන් මැතිවරණ දිනයේ රාත්‍රියේ නිවසේ රැඳෙන්නේ නැතිය. එහෙත් අම්බලංගොඩගේ පියා මැතිවරණ රාජකාරි සඳහා සහභාගී නොවනා නිසා අම්බලංගොඩගේ නිවසේ සාදය පවත්වන්නට අවසර නොමැතිය. එවන් සාදයක් පැවැත්වීම නිවසේ පුරවැසිභාවය අහිමිවන්නාවූ තරමේ වරදක් නිසා එවන් චන්ඩිකමක් කරන්නට තරම් අම්බලංගොඩයා එඩිතර පපුවක් හිමි එකෙකුද නොවේය. එහෙත් සැට් එකට තිබෙනා මහඟුම අවස්තාව නම් එවන් චන්ඩිකමක් කරන්නට තරම් එඩිතර පපුවක් හිමි එකෙකු සැට් එකේ සිටීමය. ඒ වෙන කව්රුවත් නොව මින් පෙර පොස්ට් කිහිපයක ඔබ වෙත හඳුන්වා දී තිබෙනා බතලයා මහතාය. බතලයා මහතාගේ මෑණියන්ද මැතිවරණ රාජකාරි සඳහා සහභාගී වන නිසා මැතිවරණය දා රාත්‍රියේ නිවසේ රැඳෙන්නේ නැතිය.

බතලයා මහතාගේ මෑණියන් ගැන වෙනමම යමක් ලියනවානම් පුරුද්දට ඇන්ටී කියා ඇමතුවද කට ඇර අම්මා කියා ඇමතිය හැකි  මෑණියන් කෙනෙකුය. බතලයා ආගන්තුක සත්කාර කියා යමක් තිබෙනවාද කියාවත් නොදන්නා වර්ගයේ එකෙකු වුවත් බතලයාගේ මෑණියන් ආගන්තුක සත්කාරයේ කෙල පැමිණි ඇත්තියක් බව මෙහිදී සඳහන් කරන්නටම ඕනෑය. ඒ මන්ද යත් බතලයාගේ නිවසට ගොඩනගිනා ඕනෑම වෙලාවක ටී.. ප්ලේන් ටී.. වැඩි සීනි තේ.. අඩු සීනි තේ.. ගෙදර තිබෙනා පමණින් කේක්, බිස්කට්, කෙසෙල් ගෙඩි, ඊට අමතරව උදේ කෑම, දවල් කෑම, රාත්‍රී කෑම කිසිවෙකුට වරදින්නේ නැති නිසාය. නැවතිල්ලේ කල්පනා කල බැලු කල බතලයා එම මෑණියන්ගේ කුසින් වැදු වැඩිමහල් පුත්‍රයා යයි හිතනකොටද හෙන අවුල්ය. 

බතලයාගේ මෑණියන්ගේ ආගන්තුක සත්කාරයන්ට අමතරව තවත් තිබෙනා සුවිශේෂී ගුණාංගය නම් කේන්ති ගිය කල මුත්තරා බර වන්නටම අමතන ඇමතිල්ලය. එම අමතිල්ලේ ස්වරය කොයිතරම් භයානකද යත් එම ස්වරය විට්නි හුස්ටන්ගේ ඉහලම ස්වරයටත් වඩා ස්වර හතකින් අටකින් ඉහලය. ඊටත් එහා උදාහරණයකින් කියනවානම් ටින් ටින් කාර්ටුනයේ එන බියන්කා කැස්ටෆියුරිගේ ස්වරයටත් වඩා ස්වර විස්සකින් තිහකින් ඉහලය. වරදක් කර බතලයාගේ මෑණියන්ට හසුවනවාට වඩා, කොහිල වලක් දිගේ දන ගාගෙන ගොස් කටු ඉඹුලක දල්ලටම බඩගා මිනී කන කිඹුලන් ඉන්නා කිඹුල් වලකට පනිනවා සනීපය.

එවන් වාතාවරණයක් යටතේ බතලයා සාදය සංවිධානය කරන්නේ මැතිවරණ රාජකාරි පහුවදා සවස දෙක තුන වනතුරු අවසන් වන්නේ නැති වග ටක්කෙටම දන්නා නිසාය. අම්බලංගොඩයා හිච්චි එකා සංදියේ පටන් මැතිවරණ රාජකාරි සඳහා පිටත්ව යන්නා වූ මෑණියන් පහුවදා සවස දෙක තුන වනතුරු ගෙදර නොඑන වග අත්දැකීමෙන්ම දන්නා නිසා බතලයාගේ නිවසේ පැවැත්වෙන මැතිවරණ සාදය සඳහා බොක්කෙන්ම වෙහෙසී වැඩ කටයුතු කරනවාය. සැට් එකේ ඉන්නා සියලුම දෙනා ඇති හැකි අයුරින් සාදයට සහභාගී වෙනවාය. මත්වතුර වර්ගද, බයිට් වර්ගද, දුම් වර්ගද සියල්ලම අකුරට ලැහැස්ති වී තිබෙන්නේ අම්බලංගොඩගේ මෝටර් රථයේ ඩිකියේය. එවන් කාලගුණ තත්වයක් යටතේ බතලයාගේ මෑණියන් මැතිවරණ රාජකාරි සඳහා පිටත්ව යන්නේ මැතිවරණය දිනයේ මධ්‍යහන කාලය මදක් ඉකුත් වෙද්දීය. එවක් දක්වා පූස් පැටවූ වේශයෙන් සිටිනා මිතුරු සැට් එක සක්‍රීයව සියලු බඩු බාහිරාදිය නිවස තුලට වඩම්මන්නේ බතලයා මහතාගේ මෑණියන්ට ටවුමෙන් ගාල්ල බසයකට ගොඩවන්නටද  කාල වෙලාව ලබා දීමෙන් අනතුරුවය.

චන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අවසන් වීමත් සමගම රූපවාහිනිය ඉදිරියේ රොද බදිනා ජන ජීවිතයට සාපේක්ෂව බතලයා ප්‍රමුක මිතුරු සැට් එක ලෙසටම සාද තොමෝ ආරම්භ කරනවාය. එතනින් එහා මැතිවරණය දිනන්නේ කවුරුන්ද පරදින්නේ කව්රුන්ද කියා නිනව්වක් නොමැතිය. රවියා, කොටා, සනා, පොල්ලේ, යන එව්වෝද තවත් කිහිප දෙනෙකුද සිටි වග යාන්තමට මෙමරියේ තිබෙනවාය. සම්ප්‍රදායානුකුලව තඩියාගේ පෙරේත ගොටුව වෙන් කිරීමෙන් අනතුරුව සාදාතොමෝ ලෙසටම ගලාගෙන යනවාය. රට බීම බෝතලද එකක් ඉවර වෙන්නට එකක් සාදය වර්ණවත් කරමින් මේසය උඩ විරාජමාන වෙනවාය. රවියා ඉඳලා හිටලා සිංදුවක්ද කියනවාය. රවියාගේ සින්දුව අසා සිටි කල එතෙක් තිබු වෙරි මත බින්දුවටම හිඳෙනවාය. ඒවා වෙනම පොස්ටුවකින් ලියවන්නට හිතා සිටිනා නිසා රවියාගේ ගීත සමුච්චය ගැන විස්තරය පසුවට කල් තබනවාය.

සාද තොමෝ කොතරම් වර්ණවත්වීද යත් අම්බලංගොඩයාට ඇඩ්රස් නැති වෙන්නටම වැඩිය. ඒ අල්ලපනල්ලේ තඩියාගේ ප්‍රේත ගොට්ටේ තිබු අසෝක වීදුරුවක් තරම් ප්‍රමාණයක් තනි මධ්‍යසාර රවියා සහ කොටා එකතුවී අම්බලංගොඩයාට ආදරයෙන් පෙවූ බව යාන්තමට මතකය. ඉන් අනතුරුව සාදය වර්ණවත් වූ සංගීතයට අම්බලංගොඩයා නර්තනයන් ඉදිරිපත් කල බව යාන්තමට මතකය. රවියා එතනින් එහාට ගීත ගායනා නොකළ බවට සහතික කොටම කිව හැක්කේ රවියා ගීත ගැයුවානම් ආයේ මුල හිටන්ම බොන්නට වෙන හින්දාය.. නර්තනයෙන් පසු සියල්ල බ්ලෑන්ක් තත්වයේය..


******************************************

xxල ..... දොර ඇරපන්...

ඩොග්..ඩොග්..ඩොග්..ඩොග්..

xxල ..... දොර ඇරපන්... ඇරපන් කිව්වම දොර...

අම්බලංගොඩයාට ඇසෙන්නේ බතලයාගේ නම කියමින් උච්ච ස්වරයකින් අමතන ශබ්දයක්ය. අම්බලංගොඩගේ නිවසේ බතලයාගේ නමින් හඳුන්වන කෙනෙක් නොමැතිය. ඒ හින්දා මේ ඇහෙන්නේ හීනෙන් වෙන්නට ඇති  කියා සිතා  අම්බලංගොඩයා නැවතත් අනික් පැත්ත හැරී නිදනවාය..

ඩොග්..ඩොග්..ඩොග්..ඩොග්..
 
xxල ..... දොර ඇරපන්... ඇරපන් කිව්වම දොර... මට හංදියේ ඉඳන්ම පාර දිගටම ඉන්න මිනිස්සු කිව්වා බොලා ඊයේ රෑ මේකෙ නටපු නාඩගම්.. ඇරපන් කිව්වම දොර..

හුටාය.. අම්බලංගොඩයාට සිද්දියේ අවස්ථා සම්භන්ධය ජුන්ඩ ජුන්ඩ මතක් වෙන්නේ දැන්ය.. අම්බලංගොඩයා සනීපෙට සිනිඳුවට නිදන්නේ බතලයාගේ සයනයේය.. සාද තොමෝ කීයට අවසන් වුයේද යන්න අදහසක් නොමැතිය.. පෙරදා පැවති මැතිවරණයෙන් අනතුරුව කුමන පක්ෂය බලයට පත්වුවාද කියා නොදනිතත් බතලයාගේ මෑණියන් දොරෙන් එළියේ සිට ඉදිරිපත් කරනා කරුණු කාරනා අනුව තුඩුවමුල්ල මාධ්‍ය සේවා නැවතත් වැඩ අල්ලා ඇති වග නම් ටක්කෙටම සහතිකය.

දොර ඇරපන් කිව්වම අහලා ....xxල දොර ඇරපන්...

නිවස ඇතුලින් කිසිදු ප්‍රතිචාරයක් නොමැතිය. වෙලාව කීයද කියාවත් දන්නේද නැතිය. සාදයට කුමක්වීද කියාද දන්නේ නැතිය. අම්බලංගොඩයා දන්නා එකම එක කාරණය නම් බතලයාගේ මෑණියන් කාලි වරම අතින් ගෙන දොර ඉදිරියේ ප්‍රාදුර්භූත වී ඇති වග පමණය. පෙරදා රාත්‍රියේ සාදතොමෝ සමග විනෝද වූ එකුදු පණ තිබෙනා ජීවියෙකු නිවස ඇතුලේ ඉන්නා වගට කිසිදු සාක්ෂියක් නොමැතිය. 

පවතිනා කාලගුණ අනුව බතලයාගේ මෑණියන් දොර කඩාගෙන හෝ නිවස ඇතුලට ලෑන්ඩ් කරනා වග සක්සුදක් සේ පැහැදිලිය. තෝරාගත යුත්තේ දොර විවුර්තකොට ඇයව පිළිගන්නවාද එසේත් නැතිනම් මේ ඉන්නා විදිහටම ඇඳේ පෙරලීම ඉන්නවාද කියාය. දොර කඩාගෙන පැමිණියද ඇය එන්නේ බතලයා සොයාගෙන නිසා ඇය කෙලින්ම එන්නේද බතලයාගේ යහන් ගබඩාවටය. එහෙත් කරුමයට බතලයාගේ නීත්‍යානුකූල යහන උඩ නිදි සුව විඳින්නේ අහිංසක අසරණ අම්බලංගොඩයා වීම දෛවයේ සරදමක්ය. එඩිතර පපුවක් තිබෙනා අම්බලංගොඩ කොල්ලෙක් වශයෙන්  ස්වේච්චාවෙන් ඉදිරිපත් වී දොර විවුර්තකිරීම එසේ නොකර සිට ඉල්ලන් කනවාට වඩා යහපත් වග අම්බලංගොඩගේ අක්මාවට දැනෙනවාය.

අයියණ්ඩිය බිය නොවන්න..මැරෙනා සැටි මම පෙන්වන්නම්.. මද්ධුම බණ්ඩාර එසේ කීවාට එම නිවස ඇතුලේ එසේ කියන්නටද කෙනෙකු නොමැතිය. ඒ සියල්ලටම වඩා රෑ බීපු බීමට සරීර කූඩුව කෙලින් කරගන්නටද අමාරුය. එහෙත් ඉදිරියෙන් එන කුනාටු සහිත කාලගුණ තත්වයෙන් යම් අස්වැසිල්ලක් ලබනු නියා දොර විවුර්ත කිරීමට අම්බලංගොඩයා එඩිතරව ඇඳෙන් නැගිට යනවාය.

ආ.. උඹල නටපු නාඩගම් මට ආරංචියි..

මොන නාඩගම්ද ඇන්ටි..

බොල මෙතන බීල බීලා හෙන සාජ්ජයක් දැම්ම කියල අර මුළු ගමම කතා වෙන්නේ..

මොන බොරුද ඇන්ටි..

හිටපල්ලකො මම අගමුල සොයාගන්න ..

බතලයාගේ මෑණියන් ටිකක් ශේප්ය.. අම්බලංගොඩයා කෙලින් ඉන්නේ කාමරයේ උළුවස්සට පින් සිදුවන්නටය. කව්දෝ පින්වතෙක් පෙරදා රැයේ තිබු සාදයේ සියලූම අපද්‍රව්‍ය නූල් පොටක්වත් ඉතුරු නොවෙන්නට ලෙසටම අස්පස් කරලාය. ඒ කියන්නේ වැඩේ ශේප්ය..

කෝ xxල..

ඔය හිටිය ඇන්ටි.. කොහෙට හරි යන්න ඇති..මොකෝ ඇන්ටි අද කලින්.. වෙනදට චන්ද ගණන් කරලා ඉවර වෙන්නේ හවස් වෙලානේ..

චන්ද ගණන් කෙරුවාව උඹලාට වැඩක් නැහැනේ.. හිටපන්කෝ මම හොයාගන්න උඹල මොකද කරේ කියල ඊයේ රෑ..

එසේ කියාගෙන බතලයාගේ මෑණියන් කුස්සිය දිහාට මන්ගච්චන අල්ලපනල්ලේ අම්බලංගොඩයා තම කමීසයද දමාගෙන ලක ලැහැස්ති වෙන්නේ බෝම්බය කොතනින් හෝ පුපුරන්නට කලින් එතනින් දිරාමාරු වෙන්නටය. එහෙත් ප්‍රශ්නය නම් අම්බලංගොඩගේ එක සෙරෙප්පුවක් අස්ථානගතවීමය. බතලයාගේ ඇඳ අයිනේ එක සෙරෙප්පුවක් තිබෙනවාය. අනික මිසින්ය. ටක්කෙටම එය තිබෙන්නේ ඇඳ යට වග අම්බලංගොඩයා ඉවෙන් මෙන් දන්නවාය. තනි සෙරෙප්පුවෙන් පාරේ තොටේ යාම විහිලුවට කාරණයක් නිසා අම්බලංගොඩයා කකුලක් ඇඳ යටට දමා රවුමක් කරකවන්නේ අනෙක් සෙරෙප්පුව සොයා ගන්නට තිබෙනා උවමනාවටය.

සිලිං...බිලිං.. ඩෝන්..පටෝන්...

ඇඳ යට ලකෙට අඩුක් කර තිබුලා තිබු හිස් අරක්කු බෝතල, බියර් බෝතල,කොකා කොලා බෝතල්, වීදුරු භාජන කාමරය පුරා රෝල් වෙනවාය.. වැඩේ කුජීතය.. සියල්ලම සාදය අස්පස් කල එකාගේ වරදය.. සෙරෙප්පු දෙකක් තිබෙන්නේ එකක් දමාගෙන ගමනක් යන්නට නොවන වග දැනගත යුතුය. ඒ අල්ලපනල්ලේ බතලයාගේ මෑණියන් කුස්සියේ සිට සාලයට වඩිනා අඩි ශබ්දය ළඟ ලඟම අසෙනවාය..

දන්නා කියන මලල ක්‍රීඩා ශිල්ප ක්‍රම සියල්ලම උපරීමයෙන් භාවිතයට ගනිමින් බතලයාගේ කාමරයෙන් පැනගන්නා අම්බලංගොඩයා බතලයාගේ ගේට්ටුව අසලදී ආපසු හැරී බලනා කල දකින්නේ බතලයා මහතාගේ මෑණියන් අත්දෙක ඉනට තබාගෙන යක්ස බැල්මෙන් බතලයාගේ කාමරයේ බිම රෝල් වෙන වීදුරු බෝතල් දිහා බලා සිටිනා සුන්දර දර්ශනයයි.

ගේට්ටුවෙන් පිටත දර්ශනය ඊටත් වඩා සිත් ගන්නා සුළුය..

කොටා කමීසය අතින් ගෙන බෝඩිමේ තාප්පය දිගේ එනවාය. රවියා අල්ලපු වත්තේ වැට අස්සේ හිටං කොකම් පානවාය. පොල්ලේ බෝඩිම වත්තේ ලිං පඩිය අස්සෙන් ඔලුව පමණක් එලියට දමාගෙන බලා සිටිනවාය. සනා බට පඳුරක් අස්සේය. බතලයා බෝඩිමේ ගේට්ටු කනුව ගාවින් ඔලුව පමණක් එලියට දමා බලනවාය. පිස්සු පූසන් සෙට් එක මැද්දට සාජන් මහත්තයා කඩා පැන්නා වාගේය. අම්බලංගොඩයාගේ කකුලකද තනි සෙරෙප්පුවක්ය.

මෑණියන්ගේ හදිසි ආගමනයෙන් අමන්දානන්දයට පත්, නිවසේ උප ගෘහමුලික තැන්පත් බතලයාද අනෙකුත් හැත්ත බුරුත්තද වෙරි මතේ නිවසේ පසුපස දොරෙන් පැන දුවලා නොව විදලාය. බොරු අටෝරාසියකුත් තවත් ජුන්ඩක් කියා යාන්තමට ජාමය බේරාගත් බතලයා යාන්තමට සැනසුම් සුසුමක් හෙලුවා පමනලුය. උඩින් පැමිණි මොකක්දෝ ඩප්පියක් බතයාගේ පිට මැදට වැටුනා වූ සංඥාවෙන් බැලුකල බතලයා දුටුවේ තම මෑණියන්ගේ කොණ්ඩා කටු දමනා ඩප්පිය සිගරට් අළු ගොඩක්ද සමගින් තමා වටේ රෝල් වෙනා දර්ශනයලුය.


එසේ කුජීතවූ මැතිවරණ දුෂණ කටයුත්තෙන් අනතුරුව සති කිහිපයක් බතලයාගේ මෑණියන් මුලිච්චි නොවී සිටින්නට සැට් එකම වගබලාගත්තෝය. අඩි හත අටක් උස වූ තාප්පයෙන් පැන කඩුලු පැන දිවීමේ ශූරයා වූ රවියාද සතියක් දෙකක් කකුලකට බෙහෙත් බැන්දා වාගේ යාන්තමට මතකය. 

අඩුම අතරමේ උදෑසන දහය වනතුරුවත් ගණන් කරන්නට තරම් චන්දයක් ලබා නොදුන් චන්ද දායකයින්ට මේ කරපු පාප කර්මය මේ ආත්මයේම පල දෙනවා ඇතිය. බතලයා මහතා මෙය කියවන වග දන්නා නිසා අම්බලංගොඩයා බතලයා මහතාගෙන් පුංචිම පුංචි ප්‍රශ්නයක් අහනවාය. ඒ නම් තමුන්ගේම නිවසේ පස්සා දොරෙන් පැන දිව්වේ ඇයිද යයි කියාය.. බතලයා තරහ අවසර වී ඇනෝ කොමෙන්ට් එකක්වත් දමනවානම් හෙන සතුටුය..