Sunday, January 29, 2017

ඔන්ලි ඉන් ඉන්ඩියා 3




ඔන්ලි ඉන් ඉන්ඩියා 2

http://ambalangodakatha.blogspot.com/2017/01/2_22.html

කලූල් වෙත ධාවනය වන මහේන්ද්‍රාවක එල්ලී ගොඩයා කලූල් වෙත වාර්තා කරද්දී බෑගයක් එල්ලාගත් හර්දික් බස්නැවතුමේ ගොඩයා එනතුරු බලා සිටිනවාය. හර්දික්ට අමතරව අහමදාබාද් වෙත ධාවනය වන බස් නැවතුමේ පනහක පමණ සෙනගක් රැස්කමින් සිටින්නේ අහමදාබාද් වෙත යන ඊළඟ බස්රථය එහි ළඟාවනතුරුය. ඊට අමතරව හරකුන්, එළුවන්, ඔටුවන්ද බස් නැවතුමේ ඕනෑතරම් ඉන්නවාය. බස් නැවතුමේ සිටිනා මගීන් පොදි ගැසී සිටින්නේ පෝලිමක සිට බසයට නැගීමේ පුරුද්ද සිරි ලංකාවට පමණක් පොදු නොවූවක් නොවන වග  අම්බලන්ගොඩයාට පෙන්වන්නට වාගේය.

දුහුවිලි වලාවක් නංවමින් බස් නැවතුම දිහාවට පැමිණෙනා ටොයෝටා ඩයිනා ක්ලිපර් වර්ගයේ බස්රථයක් ඉදිරියට දුවන්නට තියාගන්නා සෙනග ගොඩ මැද්දේ හර්දිකයාද ඉන්නා වග අම්බලන්ගොඩයාගේ කුඩා මොලයට වැටහෙනා විට බස් නැවතුමේ ඉන්නේ ගොඩයා සහ ගෑනු සමුහය විතරක්ය. බස් නැවතුම වෙත ඇදී එන්නාවූ  ඩයිනා රථය පසුපස එලවන්නට උත්සහ දරනා  ජනකාය පරදවමින් බස් නැවතුම වටා වට කිහිපයක් රථය කරකවනා රියදුරා අවසානයේ රථය ගෙනැවිත් අහමදාබාද් නැවතුමෙහි නවත්වනවාය. ඊට සාපේක්ෂව මරදාන ඉස්ටේශමේ දුම්රියට ගොඩවන්නට පොරබදනා මගීන් පරදවමින් බසය පසුපස හඹා යන්නාවූ ජනතාව එක පොකුරට බසයේ පසුපස යකඩ ඉනිමගේ එල්ලී වරකට එකා  බැගින් බසයේ වහලයට ගොඩවන්නේ වහලය උඩ අමුර්තය බඳුනක් තිබෙනා හා සමානවය. තව නොබෝ වෙලාවකින් බඩට දාගන්නට ලැබෙනා මසක් මාළුවක් සිහි කරමින් සන්තෝසයෙන් පසුවනා අම්බලන්ගොඩයාට බසයේ ආසනයක් හිමිවුනද නැතිද යන්න වැදගත් නැත්තේ කොතන හෝ එල්ලී මෝති මහල් හෝටලය වෙත සැපත්වීම පමණක් වැදගත් වන බැවින්ය.


බස් නැවතුමේ සිටියා වූ  සෙනග කන්දරාවේ හැටියට ගොඩයාට ආසනයක් හිමිවීම සිහිනයක් පමණකුදු යයි සිතුනද රථය නැවතුමේ නැවැත්වූකල දොර හරහට පොරකන්නට මගීන් නොමැති වීම අරුමයක්ය.  රථය බස් නැවතුමට ඇතුල්කල සැනින් මගීන් ගාල කඩාගත් හරක් රංචුවක් සේ රථය දිහාවට දුවන්නට තියාගත්තද රථ නවත්වන ස්ථානයේ නැවත්වුකල  රථයට නගින්නට සිටින්නේ ගැහැණු උදවිය පමණය. එහි අරුමය කුමක්දැයි සිත සිතා සිටියහොත් ලැබෙන්නට  යන ආසනයද නොලැබී යන නිසා අම්බලන්ගොඩයාද දනිපනිගා බසයට නැග අසුනක් අරා විරාජමාන වෙනවාය. එහෙත්  පුරස්නය නම්  අංශක තුන්සිය හැටටම ඔලුව කරකවා බැලුවද හර්දිකයා පෙනෙනතෙක් මානයක නොමැති  වීමය.

ඩයිනාව  ඇතුලත තිබෙනා ආසන තිහටම දෘෂ්ටි කාචය සුසර කල බැලුවද හර්දිකයා සොයනු උගහටය. බෙල්ල ගියත් පසුපසට නොයන ජාතියේ එකෙකු වන හර්දිකයා ලෙහෙසියට තම මිතුරාව තනිකරදමා මාරුවී යන  පුද්ගලයකුද නොවේය. එහෙයින් රථය පිටත්වීමට ප්‍රථම මිත්‍රයා සොයාගැනීම ගොඩයාගේ වගකීමක් වන්නේ හර්දිකයා නොමැතිව මස් මාළු කෑමේ ආශාව සැබෑවක් කරනු සුම්මා නිසාය. ඔලුව මන්ද මෝල් වෙන්නට  ඔන්න මෙන්න තිබෙද්දී අම්බලන්ගොඩගේ නම ආමන්ත්‍රණය කරමින් හර්දිකයා කෑගසනු ඇසුනද හර්දිකයා ඉන්නේ රථයෙන් එළියේ වග ගොඩයාට වැටහෙන්නේ  ශබ්දය පැමිණෙන්නේ රථයෙන් එලිය දිහාවෙන් වන නිසාය. ගොඩයාගේ  ඔලුව බස් රථයේ ජනේලයෙන් එලියට දමා බෙල්ලේ පොට යන්නටම වටේටම කරකවා බැලුවද හර්දිකයා සිටිනා ඉසව්වක් පෙනෙන්නට නොමැතිය.

මම මෙහේ ...

හර්දිකයාගේ කටහඬ එන්නේ උඩ  දිශාවෙන් වන බැවින් ගොඩයා බෙල්ල අංශක අනූවක් උඩට හරවා උඩ බලන්නේ  රථය  පිටත්වන්නට ප්‍රථම හර්දිකයා සොයාගන්නට තිබෙනා උවමනාව නිසාය..

හුටාය ... මෙන්න බොලේ හර්දිකයා බස්රථයේ වහලය උඩ හිටං පහලට බෙල්ල දමාගෙන ඉන්නවාය..

පිස්සු හැදිලද බන්.. මෙන්න මෙහෙ ඇතුලට වරෙන්...

පීස්සුද මගේ මිත්‍රයා... ඇතුලට වඩා මෙතන සැපයි..

හරි දැන් මට කියපන් කොහෙටද ටිකට් ගන්න ඕන..

ටිකට් ගනින් උඹට විතරක් අහමදාබාද් වලට..

දැන් ඊයේ කිව්වා නේද උඹ ගාව සතයක්වත් නැහැ කියල.. මේ යන්නේ මගේ උවමනාවට නිසා මම ටිකට් ගන්නම්..

සල්ලි නෑ තමා බං.. වහල උඩ යද්දි ටිකට් ගන්නෙ නෑ..

ඒ කිව්වේ..

කොන්දොස්තර වහලට නැගල ටිකට් කඩන්නේ නැහැ මිත්‍රයා.. ඒ හින්ද උඹ ටිකට්  එකක් විතරක් ගනින් අහමදාබාද් වලට..

එතකොට ටිකට් චෙක් කරන අය ආවොත්..

ටිකට් චෙක් කරන්න????? හැක්.. මිත්‍රයා මේ කොලොම්බු නෙවෙයි.. බය නැතුව හිටපං..

හරි.. දැන් කොහෙටද ටිකට් ගන්නේ..

අහමදාබාද් වලට..

එතකොට කොහෙන්ද මම බහින්න ඕන..

බස් එක අහමදාබාද් ස්ටෑන්ඩ් එකට ගියාම බැහැපන්.. ඒක තමා අවසාන නැවතුම..

එහෙමද..

එසේ අවසන්වන උඩ යට සංවාදය අවසාන වනවිට අම්බලන්ගොඩගේ බෙල්ලේ පොට ගිහිල්ලාය.. ඒ මන්ද යත් ජනේලයෙන් ඔලුව එලියට දමාගෙන උඩ බලාගෙන යාලු මිත්‍රකම් පැවැත්වීම බෙල්ලේ පොට යන කර්තව්‍යක් හින්දාය. මද වෙලාවකින් අහමදාබාද් වෙත පිටත්වන ටොයෝටා ඩයිනා ක්ලිපරය මහේන්ද්‍රා ප්‍රවාහනයට වඩා යම්තාක් විනයක් පවත්වාගෙන අහමදාබාද් වෙත ධාවනය වෙනවාය. වහලය උඩ සිටිනා විස්සක තිහක සෙනගක් ගැන මෙලෝ කල්ලිතාවයක් නැතුවා සේ අදිවේගී කොටසට අවතීරණයවන රියදුරා හැටට හැටේ රථය පදවනවාය. ඩයිනා ක්ලිපරයේ වේගය එක්තරා සීමාවක් ඉක්මයන සඳ මුළුමහත් බස් රථයම උණ විකාරයෙන් ගැහෙනා ලෙඩෙකු ගානට වෙව්ලන්නට ගන්නවාය. එම වේග සීමාවේදී අම්බලන්ගොඩයාට දැනෙන්නේ සහ ඇසෙන්නේ බස් රථයේ දෙදරීමේ ශබ්දය හෙවත් දර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් ශබ්දය පමණක්ය. ඉදිරිපස ආසනයේ අලුමීනියම් පොල්ල තදින් අල්ලාගෙන දත්මිටි කාගෙන දෙදරීම ඉවසා දරාගෙන හිඳීම මිස වෙනත් විකල්පයක් නොමැතිය. ගොඩයාට තිබෙනාවූ ප්‍රශ්න තුනෙන් පළමුවැන්න නම් දෙදරීමට සාපේක්ෂව වහලය උඩ සිටිනා හර්දිකයා වහලයෙන් රූටා බිමට පතබෑවේද යන කාරනාවය. දෙවන ප්‍රශ්නය නම් මේ ගමන් කරනා ටොයෝටා බස් රථයේ එන්ජිම වෙනුවට පාර තලන වයිබ්‍රේටර් යන්ත්‍රයක් සවිකරලාදෝ යන ප්‍රශ්නයය. තුන්වෙනි ප්‍රශ්නය නම් දර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් හඬින් දෙදරමින් අධිවේගී මාර්ගයේ වේගයෙන් ධාවනය වන කෑලි හැලෙන ඩයිනාව කොයි වේලේ පාරෙන් ඉවතට පැන වලකජ්ජගසාවිදෝ යන හැඟීම අනෙකුත් මගීන්ට දැනෙන්නේ නැතිදෝ යන්නය. ඒ කිසිවක් නිනව්වක් නැති ජටාවකින් සැරසුණු රිය ඇදුරා රථය පදවන්නේ බෝතල් පත්තර කාරයකු බස් රථය යකඩ වලට කිරන්නට පස්සෙන් එලවාගෙන එනවා වාගේය. ඩයිනාව චැසිය බොඩිය වෙන් නොවී අහමදාබාද් වලට ලඟා වුවහොත් බඩ පුරා කන්නට ලැබෙන කුකුළු මස් ව්‍යංජනය ගැන සිහි කරමින් අම්බලන්ගොඩයා අලුමීනියම් පොල්ලේ එල්ලී ඉන්නවාය. ඒ අතරේ කල්පනා කරන්නේ බස් රථය දෙදරන දෙදරිල්ලට ආසනය උඩ වාඩිවී ඉන්නේද ඉදිරිපස ආසනයේ ඇලුමීනියම් පොල්ලේ පිහිටෙන් බැවින් එවන් පොලු කිසිවක් නොමැති වහලය උඩ හර්දිකයා ඇතුළු අනෙකුත් මගීන් කොහේ එල්ලී ඉන්නවා ඇතිදෝ කියාය. 



(ඩයිනා ක්ලිපර් කියන්නේ මොන වගේ බස් එකක්ද කියල අහපු රසිකයෙකුගේ කුතුහලයට පිලියමක් වශයෙන් ඉන්දියාවේ ධාවනය වන ඩයිනා ක්ලිපර් එකක පින්තූරයක් දැම්ම ඔන්න. මගෙන් අහන්න එපා මොනාද මේ ඉස්සරහ තියන රවුල් ගස් වගේ එව්වා කියල.. හොඳට බැලුවොත් පෙනෙයි වහලය උඩ ඉන්නවා දෙතුන්දෙනෙක්..මෙව්වා ඉතින් ඔන්ලි ඉන් ඉන්ඩියාම තමා..)


එවන් ආකාර වූ ත්‍රාසය භීතිය කුතුහලය පිරි බස් ගමනකින් අනතුරුව අහමදාබාද් වෙත සැපත්වන  අම්බලන්ගොඩයා ඊළඟට සොයන්නේ සංචාරක චෙක්පත් මාරුකර ගැනීමටහැකි බැංකුවක් තිබෙනා ඉසව්වක් ගැනය. අහමදාබාද් පිටකොටුවෙන් වෙනස්වන කරුණු අතරින් පළමුවැන්න නම් බැලූ බැලූ අතේ ධාවන වනා කහ සහ කළු මිශ්‍ර වර්ණයෙන් වර්ණ ගැන්වූ ඔටෝ රික්ෂෝ නොහොත් ත්‍රීරෝධ රථ සමුහයය. කාකි වර්ණ කමීසයකින් සැරසුණු ත්‍රිරෝධ රථ කරුවන් නිරන්තරයෙන් ඔබාගෙන සිටිනාවූ නලාව හඬවන බොත්තමට පින්සිදුවන්නට එය එකම කාලගෝට්ටියක්ය. ඊටත් අමතරව ත්‍රිරෝධ රථවල ද්වි පහර එන්ජිමෙන් නිකුත්වන ලිහිසිතෙල් දැවෙනා දුමාරයෙන් නගරය පිරී ඉතිරිලාය. වම්පස කන්නාඩිය අකුලාගෙන ධාවනය කරනා මරුටි රථද ත්‍රිරෝධ රථ කරුවන් හා තරඟයට මෙන් හසුවන සෑම අස්සකින් මුල්ලකින්ම රිංගන්නට දතකනවාය. මරුටි රථ හා ත්‍රිරෝධ රථ අතට හසුවන සෑම සිදුරකින්ම රිංගන්නට වෙර දරන අතරේ බජාජ් ස්කූටර් කරුවන්ද  ත්‍රිරෝද රථ වලින් නැගෙනා ශබ්දය පරයන්නට රී.......................න්..කට්..කට්..කට්..කට්..කට්..නාදය නිකුත් කරමින් ලොකු අයියලාට රිංගන්නට බැරි අමාරු අහුමුලු වලින් රිංගා දිරියට ඇදෙනවාය. ඒ සියල්ලටම ඉහලින් සිටිමින් සියල්ල දකිමින් බැරල් බාගයක් උඩ හිටගෙන වාහන හසුරුවනා රථ වාහන පොලිස් නිලධාරීතුමා බැරලය උඩ හිටං තම ජීවිතය බේරාගන්නට සෑහෙන්න ගේමක් දෙනවාය. 

එවන් දර්ශන නරඹමින් සෙනග අතරින් ඉදිරියට ඇදෙනා අම්බලන්ගොඩයා සහ මිතුරැ හර්දිකයා ඉන්දියාවේ සුප්‍රසිද්ධ වාණිජ බැංකුවකට සැපත් වන්නේ සංචාරක චෙක්පත් මුදල් වලට හුවමාරුකරගනීම උදෙසාය. 

සංචාරක චෙක්පත් වලින් කොටසක් මාරුකර ඉන්දියන් රුපියල් දාහක් ලබාගන්නා අම්බලන්ගොඩයා අතට තඩි තඹ ස්ටෙප්ලර් කටුවක් ගැසූ මුදල් මිටියක් ලබාදෙන බැංකු නිලධාරියා හර්දිකයා දිහා කේශාන්තයේ සිට පාදාන්තය දක්වා දරුණු ස්කෑන් පාරක් දමා අම්බලන්ගොඩයා අමතනවාය..

ඔබ මේ හාදයාව පුද්ගලිකව දන්නා කියන කෙනෙක්ද..

ඔව් ඇයි ඔබ  අසන්නේ..

මොහු මගපෙන්වන්නෙක් නම් මේ මුදල් ඔබ සමග රැගෙන යාම ඉතා අනතුරුදායකයි..

නෑ ඔහු මා සමග එකට වැඩ කරනා කෙනෙක්..

හා එහෙමනම් මුදල් ටික ප්‍රවේසම් කරගන්නකෝ ..


හොඳයි මහත්මයා..

එයින් අනතුරව හර්දිකයා අම්බලන්ගොඩයාව සෙනග අතරින් කැන්දාගෙන යම්මේ මෝති මහල් හෝටලය වෙතය.  සති කිහිපයකට පසු නොබෝ වෙලාවකින් උදාවන මහා ආහාර බුදීමේ සංග්‍රාමය ගැන සිතනවා  විනා අම්බලන්ගොඩයාට වටපිට සිරි නරඹන්නටද කල්පනාවක් නොමැතිය. දෙවැනි වතාවට පය තබන ලද අහමදාබාද් නගරයේ විවිද වූ ගොඩනැගිලි පෙන්වා හර්දිකයා යම් යම් විස්තර කිරීම්  ගියද ඒ එකක්වත් අම්බලන්ගොඩයාගෙ කනට වැටුනේ නැත්තේ දින ගණනාවක් හරි හමන් ආහාරයක් නොලද කුසගින්න ආහාරයක් ඉල්ලා උද්ගෝෂණ කරනා තත්වයේ සිටියාවූ බැවින්ය.    මද දුරක් පයින් පැමිණි අම්බලන්ගොඩයා හර්දිකයා අමතා කියන්නේ ආහාර නොලද ශරීරය තවදුරටත් ගමනේ නොදෙන්නට තීරණය කල පණිවිඩයය.

තව කොයිතරම් දුරද හර්දික්..

කිලෝමීටරයක් විතර වගේ..

ඇයි බන් දැන් කිලෝමීටරයක් විතර පයින් ආවනේ..

හරි ඉතින් සල්ලි මාරු කරන්න යන්න ඕන කිව්වේ උඹනේ..

මටනම් තවත් පයින් යන්න බෑ ... නවත්තපන් ත්‍රී වීල් එකක්..

මොකක්..

ඔටෝ රික්ෂෝ එකක්බන්... 

ඔහ් ... අපරාදේ බන් රුපියල් පහක් විතර දෙන්න වෙනවා..

මිත්‍රයා... නවත්තපන් ඔටෝ එකක්.. පහට දහයක් දෙන්නම්.. මට තවත් පයින් යන්නනම් බෑ ..

කමක් නැද්ද..

කිව්වම අහල ඕකක් නවත්තපන් ..


බලවත් පෙරැත්තයෙන් අනතුරුව හර්දිකයා විසින් නවත්වාගන්නා ත්‍රිරෝද රථයේ නැග දෙමිතුරෝ ඉගිල යන්නේ මෝති මහල් හෝටලය බලාය . කුරු කුරු නාදය නංවනා නලාව හඬවමින් ඔටෝ රියදුරාද හසුවන සෑම අස්සකින් මුල්ලකින් රින්ගමින්ද, වරෙක මුඩුක්කු මැදින්ද  වරෙක අහස වැසෙන්නටම රෙදි වලින්  ආවරණ කරන ලද පටු වෙළඳ වීදි දිගේද, වරෙක පේමන්ට් උඩින්ද යමින් අයකරනා මුදලට උපරීම සාධාරණයක් ඉෂ්ට සිද්ද කරන්නට වෙර දරනවාය. ගොඩයා ඉස්පාසුවෙන් බලා සිටින්නේ ඔටෝව මොත් මහල් හෝටලය ඉදිරියේ නවත්වනතුරුය. විනාඩි දහයක පමණ ත්‍රාසජනක ගමනකින් අනතුරුව අත පය හතර යහතින් බේරාගෙන අම්බලන්ගොඩයා සහ හර්දික් රැගත් ඔටෝ රික්ශෝව මෝති මහල් හෝටලය ඉදිරිපිටය. 

ඔන්න මිත්‍රයා අපි ආවා..

ඉතින් යමු ඇතුලට..

පොඩ්ඩක් ඉන්න මම පොඩ්ඩක් වටපිට බලනකම්..

මොකක්..

ඔව් එකපාරටම හෝටලේ අතුලට යන්න බෑ ..

 ඇයි මේක හොරාට කරන යන නොන් වේජ් හෝටලයක්ද.. වෙන්න බෑ .. මේක මේ හෙන ලොකුවට බෝර්ඩ් එහෙම ගහල තියෙන්නේ...

නෑ නෑ මිත්‍රයා... මේක එහෙම හොරාට කරන එකක් නෙවෙයි.

එහෙනං ..

මිත්‍රයා... අපි සම්පූර්ණ ශාඛ ආහාර විතරක්  ආහාරයට ගන්න හින්දු මිනිස්සු.. මම මෝති මහල් හෝටලේට රිංගනවා ගමේ එකෙක් දැක්කොත් මගේ මවු දෙමවුපියෝ ගමේ ඉඳල හමාරයි..

ඒකත් එහෙමද.. දැන් එතකොට මේකෙන් කන්නේ නැද්ද..

කනවා කනවා බන්.. යමු ඇතුලට..

හර්දිකයා අම්බලන්ගොඩයා ඇදගෙන මොතිමහල් හෝටලයට රිංගන්නේ කසිප්පු පොට් එකකට රිංගනවා වාගේය. මෝති මහල් හෝටලය කොටස් දෙකකින් සමන්විත හෝටලයක් වන අතර පහල මාලය සාමාන්‍ය හෝටලය සිරි උසුලනවාය. එහෙත් ඉහල මාලය සුව පහසු අවන්හලක සිරි උසුලනවාය. එහෙත් ප්‍රශ්නයනම් ගොඩයාට සහ හර්දිකයාට ඉඳගන්නට ආසනයක් ඉහල මාලයේ නොමැතිකමය. මද වෙලාවක් රැඳී සිටීමේ පෝලිමේ සිටිනා අම්බලන්ගොඩයාට සහ හර්දිකයාට මේසයක් අනුයුක්ත කෙරෙන්නේ සත්කාරයට වේටර් වරයකුද සමගය..මෙනු පතේ තිබෙනා අහාරපාන සියල්ලම ආහාරයට ගැනීමට තරම් කුසගින්නක් ගොඩයා වෙත තිබුනත් පළමුව ඇනවුම් කෙරෙන්නේ චිකන් මසාලා සමග බත් හා චපාති රොටි කිහිපයක්ය. බත් අම්බලන්ගොඩයාට වන අතර චපාති හර්දික්ගේ කුසගින්න නිවීම සඳහාය.

කෑම හොඳද..

එසේ අසන්නේ කුකුල් පළුවකට වග කියනා හර්දිකයාය.

හ්ම්.. සති ගානකින් බන් බඩට හරියට කන්නේ.. 

එහෙනම් ඇතිවෙන්න කන්නකෝ.. තව මොනවද උඹට මගෙන් කෙරෙන්න ඕන..

වෙන මුකුත් ඕන නෑ.. මේ ඇති..

උඹට බොන්න එහෙම ඕනෙද..

ගුජරාට්වල ලිකර් තහනම් නේද.. 

තහනම් උනාට ගන්න තැන තියෙනවා..

ඉතින් එහෙමනම් අරන් යමු මගේ කාමරේට..

හ්ම්.. කාල යමුකෝ..

උඹ දන්නවද ගන්න තැනක්..

තැනක් නම් හරියටම දන්නේ නෑ .. ඒත් පහල වීදියෙන් හොයාගන්න බැරිවෙන්නේ නැහැ..

හරි.. එහෙනම් රෝස්  කරපු කුකුලෙක් ඕඩර් කරපන් බයිට් එකට..

ම්හ්.. ඒක හරියන්නේ නෑ .. ඕව බස් එකේ ගෙනියන්න බෑ .. ගෑනුන්ට සුවඳ ආවොත් උන් උඹට යුද්දේ ප්‍රකාශ කරාවි..

ඇයි එතකොට උඹ..

මම යන්නේ වහලෙ නිසා උඹට ඒ ප්‍රශ්නේ තනියම විසඳගන්න සිද්ද වෙනවා මිත්‍රයා.. අනික උඹ රෝස් කුකුලෙක් එක්ක බස් එකේ ලෙඩක් දාගත්තොත් මට උඹ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න බෑ .. ගමේ වසල හමාරයි එහෙම උනොත්.

එසේ අවසන් වූ සංවාදයෙන් පැමිණි සම්මුතියෙන් අනතුරුව බඩපුරා සප්පායම් වූ අම්බලන්ගොඩයා සහ හර්දික් මිත්‍රයා ඊළඟට යන්නේ මත්පැන් බෝතලයක් මිලදී ගැනීමට හොර ඒජන්ත කෙනෙකු සොයමින්ය. ගුජරාටයේ මත්පැන් තහනම් ද්‍රව්‍යයක් වූ නිසා මත්පැන් සෙවීමත් කම්බි කූරු ගනින්නට ලබන්නාවූ උත්තේජනයක් නිසාවෙන් හර්දික් මිත්‍රයා මත්පැන් විමසන්නේ පාරේ ඉන්නා නාටාමි වරුන්ගෙන් සහ ජංගම තේ වෙළෙන්දන්ගෙන් පමණිය. අම්බලන්ගොඩයාත් එළුවාගේ බිජ්ජ වැටෙනාතුරු පස්සෙන් ගිය බල්ලා සේ හර්දිකයා පස්සේ ඇවිද යනවාය. ඉස්මුරුත්තාවට වැළඳු කුකුළු මසාලාවට පින්සිදුවන්නට සති දෙකක් පුරා පැවතුනු කුසගින්න කොහේ ගියාදෝ සොයාගන්නට නැතිය. නාසය ලඟට වළඳා ඇති නිසාවෙන් පයින් ඇවිදීම යනු මරන්නට ගෙනයන හරක් නාම්බකු සේ වුවත් මත්පැන් ජුන්ඩක් උගුරෙන් පහලට යැවීමට අධිකවූ ආසාවක් නැතත් හර්දිකයා ඒ පිළිබඳව දක්වන උනන්දුව අලකරදමන්නට මිත්‍රයකු වශයෙන් අම්බලන්ගොඩයා අකමැතිය. ඒ නිසාවෙන් හිතේ හැටියට බඩ පිරවූ පිනට ප්‍රති උපකාරයක් වශයෙන් මත්පැන් ජුන්ඩකින් හර්දිකයාට සංග්‍රහ කිරීම අම්බලන්ගොඩගේ යුතුකමක්ය. උදව්වක් කල මිතුරෙකුට  ඔහු කැමති කෑමකින් බීමකින් හෝ සංග්‍රහ කිරීම යුතුකමක් වශයෙන් ගත්කලද මහත්මා ගතියක්ය. ඒ හෙයින් හර්දිකයා මත්පැන් බෝතලයක් සොයාගන්නා තුරු ගුජරාටයේ සිට පන්ජාබය දක්වා පයින් යාමට වුවද අම්බල්ලන්ගොඩයා දෙපාරක් හිතන්නේ නැතිය. එහෙත් ප්‍රශ්නය නම් නාසය ලඟට වළඳා අහවර වූ සැනින්ම අවු කාෂ්ටකයේ නගර මද්‍යයේ කරක් ගසන්නට සිදුවීමය. හර්දිකයා නාඩිය අල්ලා සිවිල් පොලිස් නිලධාරියකු නොවන වගට තහවුරු කරගන්නා සෑම එකෙකුගෙන්ම ගුජරාට් භාෂාවෙන් මත්පැන් විමසනවාය. ඔවුන්ද හර්දිකයාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා විමසා බලා මත්පැන් යන වචනයවත් ඔවුන් නොදන්නා වගට පොළොවේ අත ගසා දිවුරනවාය. 

අහමදාබාද් වීදි පුරා මත්පැන් විමසමින් ඇවිදිනා ගොඩයා සහ මිතරු හර්දිකයා පසුපසින් කාන්තාවක් ටිකදුරක් තිස්සේ ෆලෝ පාරක් දමනා වග අම්බලන්ගොඩගේ අක්මාවට වැටහෙන්නේ නිකමට වාගේය. ගොඩයාගේ ඔලුව දෙපැත්තේ සයිඩ් කන්නාඩි දෙකක් නැතත් වීදි දිගේ පසුවන කඩවල තිබෙනා ඉදිරිපස වීදුරු වලින් පරාවර්තනය වී පැමිණෙනා දර්ශන වලට අනුව මේ කියනා කාන්තාව සෑහෙන දුරක් තිස්සේ දෙමිතුරන් පසුපසින් පැමිණෙනා වග ටක්කෙටම සුවර් වුවත් මේ එන්නේ රහස් පරීක්ෂක වරියක්ද නැද්ද යන්න අම්බලන්ගොඩයාට සැක සහිතය. හර්දිකයා එලෝ මෙලෝ නොමැතිව නාටාමිලාගෙන් මත්පැන් විමසමින් වීදි පුරා සැරිසරනවා විනා පසුපසින් පැමිණෙනා මෝහිනී ගැන මෙලෝ වගක් නැත්තේය. එසේ සෑහෙන වෙලාවක් පසුපසින් පැමිණි කාන්තාව ටිකෙන් ටික ගොඩයාට ඉස්සරවී ගොස් හර්දිකයා සමග දොඩමලු වන්නේ කුමන මාතෘකාවක් අරභයාද යන්න අම්බලන්ගොඩයාට මෙලෝ මලදානයක් නොතේරෙන්නේ ඔවුන් කතා කරන්නේ උවුන්ගේ භාෂාවෙන් වන බැවින්ය. එහෙත් අම්බලන්ගොඩයාගේ එන්ජිම සාමාන්‍ය වේගයට වඩා මදක් වේගයෙන් ගැහෙන්නේ මේ ඇදෙනා වූ ස්විපය කුමනාකාර එකක් වන්නේද යන්න නොදන්නා නිසාය. හර්දිකයාට පොලිස් කූඩුවේ කූරු ගනින්නට ස්විපය දුනහොත් අම්බලන්ගොඩයාටද බෝනස් ත්‍යාගයක් ඇදෙනු අනිවාය. නීතියෙන් තහනම් ද්‍රව්‍යයක් මිලදී ගන්නට හන්දියක් හන්දියක් ගානේ අණබෙර ගසනවා වැනිවූ හර්දිකයා මත්පැන් විමසමින් පැමිණි දුරට සමානුපාතිකව තර්කානුකූලව සිතා බැලුවහොත් එම ආරංචිය ඒ වනවිට ඉන්දියානු පොලිසියේ පොලිස්පති තුමාගේ කනට යන්නටද හොඳටෝම කාල වෙලා ඇතිය. ඒ අනුව බැලුවහොත් හර්දිකයා සමග දොඩමලු වී සිටිනා කාන්තාව හොරා පොලිස් කාන්තාවක්නම් එතුමිය මේ තනිවම ආ ගමනක් වන්නට නොහැකිය. එවන් ආකාරයේ වැටලීම් තනිව නොකරනවා වුවත් හර්දිකයා දමා දුවන්නට අම්බලන්ගොඩගේ තුන්හිතකවත් අදහසක් නොමැති නිසා අම්බලන්ගොඩයා ගොනා සේ ඔහේ ඉන්නවාය..

මිත්‍රයා.. බියර් තියනවා කියල කියනවා.. හාර්ඩ් ලිකර් ගන්න ටිකක් අමාරුලු මේ දවස්වල..

කව්ද කියන්නේ..

මේ මෙයා කියන්නේ..

මෙයා කිව්වේ මේ ගැහැණු කෙනාද..

ඔව්.. මෙයා හුඟ වෙලාවක් අපේ පස්සෙන් ඇවිත් තියනවා අපි රහස් පොලිසියෙන් නෙවෙයිද කියල තහවුරු කරගන්න..

ඉතින්..

උඹ කැමතිද බියර් වලට..

මට ඔය කොයිකත් එකයි බන්..

ගැන තමා වැඩි..

කීයක් කියනවද..

එකක් රුපියල් පහළොවක් වෙනවලු..

ඉතින් දෙකක් අරන් යමු.. මම සල්ලි දෙන්නම් ..

හරි එහෙනම් යමු..

අම්බලන්ගොඩයා සාක්කුවෙන් ඇද දුන් ඉන්දියානු රුපියල් තිහ හර්දිකයා සාක්කුවේ රුවාගත්තේ ඇසක් වසා ඉඟි මරමින්ය. එහි තේරුම ගොඩයා නොදත්තත් මොකක්හෝ නොදන්නා යමක් සිදුවනා වග තේරුම් ගන්නට එම සංඥාව හොඳටෝම ප්‍රමාණවත්ය. එතෙක් වෙලා හර්දිකයා පසුපසින් ගෑටුවා වූ අම්බලන්ගොඩයා දැන් පියමනින්නේද හර්දිකයා පසුපසින් වුවත් වෙනසකට තිබෙන්නේ එතෙක් කල් පසුපසින් පැමිණි කාන්තාව හර්දිකයාටද ඉදිරියෙන් ගමන් ගැනීමය. කාස්ටක අවුවේ තවත් කිලෝමීටරයක් වැනි දුරක් පියමන්නාවූ තුන්දෙනා කල්ලිය එක්තරා ආපන ශාලාවක් ඉදිරියේ නතර වෙනවාය.

ආපන ශාලාව පිටකොටුවේ තිබෙනා සයිවර් කඩයක් වාගේය. ආපන ශාලාවට ඇතුල්වෙන තැන හිටන්ම මේස දමා මිනිසුන්ට කන්නදෙන වර්ගයේ සාමාන්‍ය ඒකකය. වෙනසකට තිබෙන්නේ ආපන ශාලාව එක් බිත්ති කොනකින් වෙන් වෙනා කොරිඩෝවකින් ඈතට දිවෙනා අඩි තුනක පමණ පළල වූ කොරිඩෝවය. දේවාලයට තිර රෙදි මතකයට නගමින් කොරිඩෝවේ සමාන දුරින් තිර දමලා තිබෙනා නිසා කොරිඩෝවේ කෙලවර ගොඩයාට පෙනෙන්නේ නැතිය. ආපන ශාලාව සෑහෙන දිග එකක් වූ නිසා කොරිඩෝවද හැතැක්මක් පමණ දුරට තිබෙනවාය. කොරිඩෝව දිගට දමා තිබෙනා තිර සංක්‍යාවද ගණන් කරනු සුම්මා වන්නේ තැනින් තැන වහලයේ තබා ඇති වීදුරු කැබලි වලින් වැටෙනා එලිය කොරිඩෝව සම්පූර්ණයෙන් එලිය කරන්නේ නැති නිසාය.

මිත්‍රයා උඹ මෙතන හිටපන්.. මම මෙයා එක්ක ගිහින් බියර්  බෝතල දෙක අරන් එන්නම්.. මේ හෝටලේ පිටිපස්සෙලු බිස්නස් එක කරන්නේ..

මාත් එන්නද..

නෑ  ඕන නෑ .. උඹ මෙතන හිටපන්..කොහෙවත් යන්න එපා ..

හරි එහෙනම්.. ගිහින් ඉක්මනට වරෙන්..

කොහෙවත් නොගිහින් හිටපන් යයි තදින් අවවාද කළා වූ හර්දිකයා කොරිඩෝවේ තිර රෙදි වලින් නොපෙනී ගිය නිසා අම්බලන්ගොඩයා නගරයේ සිරි නරඹන්නට එය වෙලාව කරගන්නවාය.

එසේ වෙන්වී ගිය හර්දිකයා ගැන විනාඩි දෙක තුනක් යනතුරු ආරංචියක් නැතිවූ නිසා අම්බලන්ගොඩයා සැරින් සැරේ කොරිඩෝව දෙසට ඔලුව දමා විපරන් කර බලනවාය. එහෙත් තිර රෙදි සුළඟට වැනෙනවා විනා හර්දිකයා ආපිට එන ලකුණකුදු නොමැතිය..

රා...............................න්.... රා.................................න්.... රා.............................න්..

අම්මට හුඩුය.. හර්දිකයා තිර රෙදි දෙබෑ කරමින් දුවගෙන එන්නේ රුහුණු කුමාරිය මාතර යනවාටත් වඩා වේගයෙන්ය.. සෑහෙන්න දිග කොරිඩෝවක් නිසා වහලයේ වීදුරු වලින් එලිය වැටෙනා තැන පසුකරනා විට හර්දිකයාගේ කෙටි දුර දිවීම පැහැදිලිව දර්ශනය පෙනෙනවාය.. එතනින් එහාට තිබෙනා ගැටලුව නම් රුහුණු කුමාරිය නලාව හඬවනා තාලයටම රා.................................න් යන්නෙන් අම්බලන්ගොඩයා වෙත එවනා පණිවිඩයය. ඊටත් එහාට සිද්දිය ගැන විශ්ලේෂණය කරනවානම් ඇඟේ රෝම කෙලින් වෙනා කාරනාව නම් හර්දිකයා පසුපසින් එලවාගෙන එන්නාවූ පුද්ගලයින් කව්දෝ කියා නොදන්නාකමය.. ඒ කෙසේ වෙතත් හර්දිකයාගේ විධානයට අනුව දුවන්නට සූදානම් වියයුතු වුවත් කොයි අතට දුවන්නද කියා අම්බලන්ගොඩ එකාට අදහසක් නොමැතිය.. හර්දිකයා හැරෙන පැත්ත බලා ඌ පසුපසින් හඹා යාම හරි ආකාර දිවීම වුවත් හර්දිකයා පසුපසින් එලවාගෙන එන්නා වූ පුද්ගලයින් දෙදෙනාගෙන් එකෙකු ගනුදෙනුව කතාකල කාන්තාව බව යාන්තමට පෙනෙනා නිසා හර්දිකයා කොරිඩෝවෙන් එලියට පනිනා තුරු සිටීම සෑහෙන්න සෞක්‍යයට අනතරු දායකය. ඒ හෙයින් රිලේ තරඟයේ පොල්ල අතට ලැබෙන තුරු සිටිනා දෙවැනි ධාවකයා සේ ලක ලැහැස්ති වී සිටිනා අම්බලන්ගොඩයාද දැන් දුවන්නට රෙඩීය. එහෙත් ප්‍රශ්නයකට තිබෙන්නේ රිලේ පොල්ල හෙවත් හර්දිකයා ඒ වනවිටත් තිර රෙදි දෙබෑකරනා තරංග ඉසව්ව නිමකර කොරිඩෝවෙන් එලියට අවතීරණ නොවීමය.


තත්පර කිහිපයක අවෑමෙන් දේවාල තිර තරඟ ඉසව්ව හෙවත් භාධක දිවීම සාර්ථකව නිමකරනා හර්දිකයා කොරිඩෝවෙන් එලියට මතුවෙනා අල්ලපනල්ලේ අම්බලන්ගොඩයාද පන එපා කියා කෙටිදුර ධාවන තරඟ ඉසව්වට අවතීර්ණ වනවාය. දැන් තරගය තිබෙන්නේ ඉතාමත් තීව්ර අවස්ථාවකය. හර්දිකයා ගොඩයාගේ ළඟ ලඟම ධාවනය වන හඬ ගොඩයා තව තවත් උද්යෝගයට පත්කරනවාය. අම්බලන්ගොඩයා දිවීමට කිසිසේත්ම දක්ෂ ක්‍රීඩකයකු නොවුනත් එම ඉසව්ව පරාජය වීම සිරි ලංකාවේ කීර්තියට මහත් කැළලක් එක්කරනාවූ කාරණයක් වශයෙන් දකිනා නිසා එතෙක් වෙලාවක් පිටේ එල්ලී තිබුනා වූ  සාගත මල්ලද කරට ගෙන අම්මමෝ නැතිවෙන්නම සෙනග දෙබෑ කරගෙන පන එපා කියා දුවනවාය. අහමදාබාද් වීදි පුරා එක්රැස් ජනතාව තරඟයට සහයෝගයක් වශයෙන් පදික වේදිකාවේ දෙපසටවී ලෙසටම ධාවකයිනට තම රාජකාරිය කරගෙන යන්නට අවස්තාව ලබා දෙනවාය. එහෙත් කෙලින් වීදියේ හැකි තරම් දුරක් කරගෙන ගියා වූ තරග ඉසව්ව මදක් වෙනත් අතකට හැරෙන්නේ අම්බලන්ගොඩයාට මූත්‍රා බර වන්නටමය. ඒ මන්ද යත්, සියල්ල දකිමින් සියල්ලටම ඉහලින් බැරලය උඩ  හිටං වාහන මෙහෙයවන පොලිස් නිලධාරීතුමාගේ විසිල් හඬ නොතකා හතරමන් හන්දියෙන් අම්බලන්ගොඩයා කෙලින් දිව යාමත් හර්දිකයා පොලිස් අණට කීකරු වී අංශක අනූවට කනේ වැලි ගෑවෙන්නට වමට වංගුවක් ගැනීමත් නිසාය. නොසිතූ  ආකාරයෙන් වෙනස්ම අතකට හැරුනා වූ ධාවන තරගය තවත් කිලෝ මීටර භාගයක් පමණ දුරකට තම වේගය පවත්වාගනිමින් දිවගියා වූ අම්බලන්ගොඩයා මද විරාමයක් සඳහා නතරවන්නේ තවදුරටත් තමාට අභියෝගයක් වන්නට පසුපසින් එලවන තරඟකරුවෙකු නොමැති වගට තහවුරු කරගත්තයින් අනතුරුවය. 

ඉන් මත්තට අම්බලන්ගොඩයා අනාත සාගරේ කුනාටු මාරුතේ හා සමානය. මං මුලාවී පාර අසාගෙන හසරක් අසමින් යනගමනේ... මංමුලාවූ සමනලියකගෙනි හර්දිකයා පාර අසා තිබුනේ...කියා අඬ අඬා කියන්නට තරම් පිචර් එක දුකේ බෑය. ඒ මොකද කියනවානම් භාෂාවක්, පාරක් තොටක් නොදන්නා රී..............................න්  කට් ....කට් ....කට් .... විමානයක අම්බලන්ගොඩයා අතරමන් වෙලාය. ඉහින් කනින් දාඩිය වැගිරෙන්නේ රටේ කීර්තිය උදෙසා වෙහෙසවූ නිසාය. දිව දත් වලින් හපාගෙන නොහිටින්නට ගිලෙනවා අම්මපල්ලය. පැය  භාගයකට මදකට එපිටින් කා දැමු චිකන් මසාලාව ආගිය අතක් නැතුවා වාගේය. වැඩිය එලිපහලියේ ගැවසීමද අනතුරුදායක වන්නේ හර්දිකයා කුමනාකාරයේ අමනකමක් සිදුකර පැනදිවුවාද කියා හරිහැටි නොදන්නා නිසාය. ඊටත් අමතරව හර්දිකයා පසුපසින් එලවා පැමිණි එවුනට හසුවුවාද කියා දන්නේද නැතිය. එහෙත් හර්දිකයා හසුවුවාද නැතිද කියා හරිහැටි නොදන්නා නිසා දුව ආ මග ආපසු යෑමද මෝඩ සහගත ක්‍රියාවක් වගට අක්මාව කියනවාය. මගතොට රැඳීම  ඉතාම අනතුරුදායක වන්නේ පාර කියූ සමනලිය කොහෙන් මතුවේදෝ යන සිතුවිල්ල කකුල් දෙක හිරිවට්ටන ගනයේ එකක් වන නිසාය. ඊටත් අමතරව හර්දිකයා පසුපසින් එලවා ආ ගොරිල්ලෙකු වන් තඩි හාදයාට හසුවුවහොත් ඇට මුං ඇට වන්නට මහා වෙලාවක් නොයනු අනිවාය. ඉවසීම කොතෙක් හොඳ ක්‍රියාවක් වුවත් ඉවසීමද විටෙක සැනසීම ගෙනෙනා ක්‍රියාවක් නොවන්නේ මෙවන් අවස්ථාවල ඉවසා වැදෑරීම ගොන්කමක් වන නිසාය. ඉක්මනින්  මද විරාමය අවසන් කල අම්බලන්ගොඩයා ඔටෝ රික්ශෝවක එල්ලෙන්නේ කලූල් වෙත ධාවනය බස් ධාවනය වන බස්පොළට ඇරලවන ආයාචනය සමගින්ය. ඒ මන්ද යත් හර්දිකයා ඇට  මුං ඇට වන්නටම ගුටි කා හෝ, පොලිස් කුඩුවේ ලැග හෝ අද හෝ හෙට හෝ අනිද්දා හෝ ගෙදර යන්නට කලුල් යන බස්රථයට ගොඩවිය යුතු නිසාය..


ඔටෝරික්ෂෝ කරුට රුපියල් පහක් පුදදී කලූල් බස් නවත්වනා පෝලිම තිබෙනා ඉසව්වේ බැම්මක් උඩට බරදෙන  අම්බලන්ගොඩයා ඈත ක්‍ෂිතිජය දිහා බලා සිටින්නේ ෂර්ලි වෛජයන්ත කියනා වර්ගයේ හැඩට රුවින් දිලෙන තරුව සොයන්නට නොවේය. එනම් හර්දිකයා කොහෙන් හෝ මතුවේ යන බලාපොරෝත්තුවෙන්ය.

 එහෙත් හර්දිකයා පෙනෙන තෙක් මානයක නැත්තේය. ගොඩයා පැටලී සිටින්නේ පඹ ගාලක වන් අවුලක නිසා කොනක් පටක් සොයනු සුම්මාය. එහෙත් එකට පැමිණි හර්දිකයා උන්නාද මලාද කියා බලන්නේ නොමැතිව හෝටලයට සැපත්වීම දකුණේ කොලුවෙකුට ගැලපෙන එඩිතර ක්‍රියාවක් නොවේය. ඒ හෙයින් හර්දිකයා මාස හයකින් හෝ පැමිණෙනතුරු කලූල් බස් නැවතුමේ ජීවත්වන්නට අම්බලන්ගොඩයා ඉටා ගන්නවාය. සාගත මල්ලේ තිබෙනා ස්ටෙප්ලර් ගැසූ මුදල් මිටිය අහවරවනතුරු තුන් වේල මොනවා හෝ බඩට දමාගෙන සිටීම මහා කජ්ජක් නොවේය. එවන් සිතුවිලි සමුදායක් විසින් කචල් කරනා ලද සිතුවිලි අම්බලන්ගොඩගේ මොලේ පිස්සු වට්ටන්නට ඔන්න මෙන්න තිබියදී මෙන්න බොලේ හර්දිකයා උගේ සාගත මල්ලද තුරුළු කරගෙන කලූල් නැවතුම දිහාවට මන්ගච්චනවාය..

හුරේ... වී... වොන්....

හර්දිකයාට නොතේරුණත් සිංහලෙන් කුණුහරුප කියා අමතන්නට සිත දෙන්නේ අන්න ඒ වාගේ වෙලාවටය.

දැන් මොකක්ද අපි දිනුවේ.. රේස් දුවලද..

හෙහ්.. උන් හිතන් ඇති අපි රුපියල් තිහක් දීල උන්ගෙන් බියර් ගනියි කියල..

මට වටේ යන්නේ නැතුව වෙච්චි දේ කියපන් හර්දික්.. උන් ඇයි උඹේ පස්සෙන් පැන්නුවේ..

හෙහ්..පස්සෙන් පැන්නුවේද... පස්සෙන් පැන්නුවේ මිත්‍රයා මම උන්ගේ බියර් බෝතල් දෙක මගේ බෑග් එකේ දාගෙන පැනල දුවපු නිසා.. මෙන්න උඹේ රුපියල් තිහ..

ඒ කියන්නේ උඹ උන්ට සල්ලි දුන්නේ නැද්ද..

පීස්සුද බං.. 

උඹනම් පුදුම මිනිහෙක් බං.. උඹ මට කියල ගියානම් මම ඔය පැත්තකවත් නෑවිත් ඉන්නවනේ..

සොරි මිත්‍රයා.. මට දුවගෙන එනකොට තමයි මතක්වුනේ උඹ මේකේ පාරක් තොටක් නොදන්නා බව.. ඒත් ඒ වෙද්දී අපි රේස් එක පටන් අරන් ඉවරයි සහෝදරයා..

දැන් කෝ උන්...

මම දන්නේ කොහොමද මිත්‍රයා.. උන් අල්ලයි මගේ වලිගෙ.. 

ඒ උනාට මාව අහුවුනානම්..

හරි ඉතින් අහුවුනේ නැහැනේ.. දැන් යමන් අපි ඊළඟ බස් එකේ කලූල්..

ඉන් අනතුරුව බස් නවතුවමට ලගා වූ බස් රථයේ පෙර පරිදිම ඉනිමගේ තරඟයෙන් ජය ලද හර්දිකයා වහලයට ගොඩ වෙද්දී අම්බලන්ගොඩයා ඇතුලේ අසුන්ගත වනවාය. පෙර පරිදිම අට අනූවක් රෝගද නව අනූවක් ව්යාධිද තිබුනා වූ මලකඩ හැලෙනා රථයක හර්දිකයා සහ අම්බලන්ගොඩයා කලූල් වෙත සැපත්වී මහේන්ද්‍රාවක එල්ලේ හෝටලයට ලඟාවනවිට ඉර හැරිලාත් ටික වෙලාවක් ගිහිල්ලාය. ඉන් අතරුව ආරම්භ වූ මෙලෝ රහක් නැති බීර සාදයේ සාදර සමාදර අනුග්‍රාහකයා වූ හර්දික් මිත්‍රයා මදක් බමන මතින් වචන පටලද්දී අම්බලන්ගොඩයා බීර බෝතලය එක හුස්මට බී අහවර කලද මෙලෝ කික් එකක් නැතුවා නිසා කෝකටත් කියා බීර බෝතලය පරීක්ෂා කර බලනවාය.

ඈ බන් හර්දික්.. උඹ මේ බියර් බෝතල් දෙක ගෙනාවේ හොඳට බලල නේද..

ඒ මොකෝ..

මේකේ ලේබල් එක වැරදිලා ගහලද මන්ද...

ඒ කිව්වේ..

මේකේ තියෙන්නේ ඇල්කොහොල් ප්‍රමාණය 0% කියලනේ..

හෑ... වෙන්න බෑ...

වෙන්න බැරි මොකෝ.. මේ බලපන්...

කෝ දෙන්න බලන්න..


අපරාදේ අපි දිව්වේ මිත්‍රයා.. මේ බෝතලේ කලූල්  ස්ටෑන්ඩ් එක ගාව කඩේ රුපියල් දෙකයි.. හර්දිකයා එසේ කීවද ඇල්කොහොල් 0% තිබෙනා බීර බෝතල ගුජරාටයේ තහනම්හ නොමැති නිසාය. එහෙත් ඇල්කොහොල් නොමැති බීර බී වචන පටලා ඩෝප් සීන් ඇක්ට් කරන්නේ කෙසේද කියා අම්බලන්ගොඩයා අදටද දන්නේ නැතිය. ඉන් අනතුරුව අම්බලන්ගොඩයා මෝති මහල් හෝටලය වෙත සෑම බදාදාවකම යහපත් වුවද ඒ වෙනුවෙන් හර්දිකයා සහභාගී කරගත්තේ නැත්තේ හර්දිකයා ඊළඟට කොයි ආකාරයේ පරිප්පු නැවක් බාන්නට බාරදෙවිදෝ යන්න සැක සහිත නිසාය. අම්බලන්ගොඩයාට අදටත් නොවිසදුනා වූ ප්‍රශ්නය නම් ගුජරාටයේ ඇල්කොහොල් නොමැති බියර් විකුනන්නේ කාට පොවන්නටදෝ කියාය.




හර්දික්  වමේ.. අම්බලන්ගොඩයා මැද.. පසුපසින් වැඩ ඉන්නේ අපේ ස්ටාෆ් බස් රාජයා. ඒකත් ලංකාවේ බෝතල් පත්තර කාරයෙක් දැක්කොත් ප්ලාස්ටික් බේසමක් ෂුවර්.. ඔය තියන බස් රාජයා අම්බලන්ගොඩයා සමග ගුවන්ගත වෙච්චි කතා පසුවට.. 





Sunday, January 22, 2017

ඔන්ලි ඉන් ඉන්ඩියා 2






ප්ලේන්ස් ට්‍රේන්ස් ඔටෝමොබයිල්ස් පෝස්ටුවෙන් හා ඔන්ලි ඉන් ඉන්ඩියා පෝස්ටුවෙන් අනතුරුව ඉන්දියා ගමන ගැන යමක් ලියන්නට අවස්තාවක් නොලැබුණු නිසාවෙන් මෙම පොස්ටුව ලියවෙන්නේ ඉන්දියා ගමනේ තවත් රසබර විස්තර ටිකක්ය. ලංකාවෙන් පිටත්වී ප්‍රෙස්ටීජ් හෝටලයට සැපත්වන තුරු තොරණේ විස්තරය ඉහත පොස්ටුව කියවූ පාඨක සැම දන්නා නිසා එම විස්තරය මෙහි ලියා තැබීම අනවශ්‍යය. ප්ලේන්ස් ට්‍රේන්ස් ඔටෝමොබයිල්ස් ගැන ලියවුනාවූ කොටස් පහකින් සමන්විත පෝස්ටුව නොකියවූ කෙනෙකු ඇත්නම් එය කියවා අනතුරුව ඔන්ලි ඉන් ඉන්ඩියා 1 පෝස්ටුවද කියවා මෙය කියවනුමනාය. 

ප්‍රෙස්ටීජ් හෝටලය කියූ පමණින් පාඨක පෝතකයින් කොළඹ හිල්ටන් හෝටලය තරම් හෝටලයක් හිතේ මවාගෙන මෙය කියවාගෙන යන්නේනම් එය මෙය ලියනා මාගේ වරදක් නොවේය. ඒ මන්දයත් ප්‍රෙස්ටීජ් හෝටලය හිල්ටන් හෝටලයෙන් අරික්කාලෙන් අරික්කාලක්වත් ලොකු එකක් නොවෙනා නිසාය. අම්බලන්ගොඩයා පුහුණුවට යැවෙන්නේ මවු කොම්පැනියේ කර්මාන්තශාලාව වෙත බැවින් ඒ ආසන්නයේ තිබෙනා සුපිරිම හෝටලය ප්‍රෙස්ටීජ් හෝටලය වන්නේය. ඉන්දියාවේ කර්මාන්ත ශාලා පිහිටුවීම සිරි ලංකාවේ තරම් ලේසි පහසු කටයුත්තක් නොවන්නේ මුදල් තිබු පමණින් හිතුනු තැනකින් ඉඩන් කෑල්ලක් මිලයට ගෙන කරුමාන්තශාලා දමන්නට ඉන්දියානු රජය අවසර නොදෙනා නිසාය. ඒ නිසාවෙන් ඕනෑම කෙනෙකුට  කරුමාන්ත ශාලාවක් පටන්ගන්නවානම් ඒවාට අදාලව වෙන්කර තිබෙනා කලාපයක එය ආරම්භකළ යුතුය.  එම නීතියට හිසනමා ආරම්භකර තිබෙනා අම්බලන්ගොඩයා පුහුණුවට යැවෙන කරුමාන්ත ශාලාව පිහිටා තිබෙන්නේ එවන් මුකලානක් මැද්දේය. 

අහමදාබාද් නගරයේ සිට කිලෝමීටර පනහක් පමණ ඈතින් ම්හෙස්නා නම් නගරය වෙත දිවෙනා ප්‍රධාන මාර්ගයක් අසබඩ පිහිටි කර්මාන්තශාලාව ලංකාවේදී පින්තූර වලින් දුටු තරම් සුන්දර තැනක් නොවන්නේ එය පිහිටා තිබෙන්නේ නගරයෙන් කිලෝමීටර පනහක් පමණ ඈතින් වන නිසාය. කර්මාන්ත ශාලාව අවට බැලූ බැලූ  අත ඇසෙන්නේ  යකඩ තලනා ශබ්දය පමණක්ය. ඊට අමතරව යමක් අසේනම් ඒ ලොරි තඩි වලින් සහ බස් තඩි වලින් නැගෙනා අලි එලවන නලා හඬය.  බඩට යමක් දාගන්නට අහලක පහලක තිබෙනා එකම හෝටලය ප්‍රෙස්ටීජ් හෝටලය පමණය. එතැනින් එහා බඩට කන්නට බනිසක් හෝ සොයාගනුමටද කිලෝමීටර පහක් හයක් ඈතින් තිබෙනා කලූල් ග්‍රාමය දක්වා ගාටන්නට වෙනවාය. එසේත් නොමැතිනම් ඒ හා සමාන දුරක් තිබෙනා නන්දාසන් දක්වා ගාටන්නට  වෙනවාය 

ඔන්න යනවනම් ප්‍රෙස්ටීජ් හෝටලේ තියන ඉසව්ව 

https://www.google.com/maps/place/Hotel+Prestige/@23.3059805,72.4336338,17z/data=!4m5!3m4!1s0x0:0x746e8ba341f4162!8m2!3d23.3060889!4d72.4357903


ප්‍රෙස්ටීජ් හෝටලයේ  අද පෙනුම 



අද වෙද්දී ගූගල් දේවතාවා ලෝකයේ බොහොමයක් ප්‍රදේශ ගූගල් මැප් ඔස්සේ දැක බලාගන්නට සලස්වා ඇති නිසා ප්‍රේස්ටීජ් හෝටලයේ අද පෙනුම දැකගන්නට පුළුවන් වීම මහත් භාග්‍යක් වෙනවාය. අද මෙවන් ආකාරයෙන් තිබුනාට මීට වසර දහ  නවයකට කලියෙන්  එහි පෙනුම මීට වඩා බොහෝ සෙයින් වෙනස්ය. අද වෙද්දී  මිදුලේ සිමෙන්ති ගල් අල්ලා පිළිවෙලකට තිබෙනා හෝටල් මිදුල එදානම් තනි දුහුවිලි ගොඩක් පමණක්ය. එකල හෝටලය වෙත ලොරි රථයක් පැමිනුනහොත් හෝටලය හොයාගන්නට ලොරිය නවත්වා විනාඩියක් දෙකක් ඉන්නට සිදුවන්නේ දුහුවිලි වලාවන්ගෙන් හෝටලය නොපෙනී යන නිසාය. එකල ප්‍රේස්ටීජ් හෝටලයත් මාතර බස් නවත්වනා රන්දොඹ හෝටලයත් අතර වෙනසක් තිබුනානම් ඒ ප්‍රේස්ටීජ් හෝටලයේ  උඩ  තට්ටුවේ  තිබෙනා කාමර කිහිපය පමණය. එහෙත් අද වෙද්දී ප්‍රේස්ටීජ් හෝටලය සැලකියයුතු තරමේ දියුණුවක් ලබා ඇති අතර රන්දොඹ හෝටලය අදත් එදා වාගේම එදා තිබුනාවූ ගොඩනැගිල්ලේම මගීන්ට කළුකඩ මිලට මෙලෝ රහක් ගුණක් නොමැති ආහාර කැවීම සිරිලංකාව එතෙක් මෙතෙක් කරවූ මී නාම්බන්ගේ දක්ෂකම වශයෙන් ගොඩයා හිතනවාය. දිනෙන් දින දියුණුවන ලෝකයට  සාපේක්ෂව රටක සංස්කෘතිය මදකුදු වෙනස්වන්නට නොදී පවත්වාගෙන යාම එසේ මෙසේ දේශපාලුවන්ට කරන්නට පුළුවන් දෙයක් නොවන බව අම්බලන්ගොඩයා හිතනවාය. එවන් ආකාරයෙන් කල්පනා කරගෙන යන සඳ සිරි ලංකාව කරවූ දේසපාලන උත්තමයලාට මල් තබා වැන්දත් මදි යයි කියා ගොඩයාට හිතෙනවාය. ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ දියුණුව ගැන ලියන්නට ගියහොත්  බ්ලොග් පිටු දහස් ගණනින් ලිවීමට තරම් සංවර්ධන කටයුතු  තිබෙනා නිසා එය මදකට කල් තබා නැවතත් උක්ත පෝස්ටුව වෙතම අවතීරණ වෙනවාය.


ප්‍රේස්ටීජ් හෝටලය යනු එම අධිවේගී මාර්ගයට තිබෙනා රසවත්ම ආහාර තිබෙනා හෝටලය වග අම්බලන්ගොඩයා දැනගන්නේ ඊට බොහෝ කාලයකට පසුව වුවත් ගොඩයා එහි පය තැබූ මුල් අවධියේ ඉන්දියානු ආහාර අගුරෙන් පහලට ගියේ හාමතේ මැරෙන්නටම යන අවස්ථාවල පමණය. දිවා රාත්‍රී දෙකෙහිම නොහොත් පැය විසිහතර පුරාම විවුර්තව පවතිනා ප්‍රේස්ටීජ් හෝටලය කොයි වේලාවේ බැලුවද සෙනග ගැවසෙනා ස්ථානයක්ය . එහි පැමිණි දෙවැනි දිනයේ උදෑසන කොට කලිසමකින් සැරසී උදෑසන ආහාරය ගැනීමට අවන්හල වෙත පැමිණෙන අම්බලන්ගොඩයා දුටු කළමනාකාර රෝශාන්ත් වහා පඩිපෙළ අසලට දුව ඇවිදින් පැවසුවේ ගැහැණු උදවිය නිරන්තරයෙන් අවන්හලේ ගැවසෙනා බැවින් කොට කලිසම පිටිං පහලට නොඑනා ලෙසය. කොට කලිසම යනු දණහිස ගාවටම දිග මෙව්වා එකක් වුනත් ගුජරාටයේ කොට කලිසම යනු ගෑල්ලමයින්ගේ හිරිඔතප් බිඳින්නට සමත් මෙව්වා එකක් වග ගොඩයා දැනගන්නේ එදාය. එදා හිටන් අම්බලන්ගොඩයාට බඩගින්නක් ඇතිවුයේනම් ඊට අවශ්‍ය ආහාර සියල්ලම වේටර්වරයකු අත කාමරයටම ගෙනවිත් දෙන්නට රෝශාන්ත් පොරොන්දු වන්නේ ගොඩයා නිකමට හෝ කොට කලිසමකින් සැරසී පහලට ඒදෝ  යන භයටම වෙන්නට ඕනෑය. 

හෝටලය අසල මාර්ගය අධිවේගී මාර්ගයක් වශයෙන් නම්කර තිබෙනා නිසා එහි ගමන් කරනා බස්රථ හංදියක් හංදියක් ගානේ නවත්වන්නේ නැතිය. අධිවේගී කියා නමට කියුවද එය දෙපස වැට ගසා වෙනම වෙන්කර නොමැති මාර්ගයක් වන අතර ත්‍රිරෝද රථයේ සිට ෆුට් බයිසිකලය දක්වා කුඩා වාහනද එහි ගමන් කරනවාය. එහෙත් ප්‍රාන්ත ආණ්ඩුවට අයත් තඩි ලේලන්ඩ් බස්රථ ධාවනය වනා අවස්ථා වලදී කුඩා වාහන පාරෙන් ඉවතට ගෙන ඔවුනට ඉඩ හසර සලසා දෙන්නේ එම ලේලන්ඩ් බස්රථ පදවනා අයවලුන් මලාට අනෙකුත් වාහන තුට්ටුවකටවත් මායින් කරන්නේ  නැති හින්දාය . එම අධිවේගී මාර්ගයේ සිල්ලර ගමන් අවශ්‍යතා වෙනුවෙන් තිබෙන්නේ රුපියලක් අයකර ගමන් පහසුව සලසනා මහේන්ද්‍රා ජීප් රථය. නිරන්තරයෙන් මගීන් පටවාගෙන කලූල් සිට ම්හෙස්නා හෝ නන්දාසන් දක්වා ධාවනය වන මහේන්ද්‍රා ජීප් රථ, ඉන්දියානු රුපියලක් අත තිබෙනා ඕනෑම සත්වයෙකුට ඕනෑම තැනක නවත්වනවාය. ඉන්පසු තිබෙන්නේ ජීප් රථයේ ඉඩ තිබේනම් වාඩිවීද එසේත් නොමැතිනම් පසුපස බෆරය උඩට ගොඩවීද එසේත් නැතිනම්  වහලයේ එල්ලීද එසේත් නැතිනම් වහලය උඩද  ගමන් පහසුව සලසාගනීමය. ඊටත් අමතරව ඉඩ තිබේනම් රියදුරුගේ පා පුවරුවේද හිටගෙන වහලයේ එල්ලී ගමන් පහසුව සලසා ගන්නට පුලුවනිය. කොතැනක ගමන් කලද ගාස්තුව එකමය.  ඊට අමතරව එල්ලී යාමට හැකි ඕනෑම පොල්ලක, කොක්කක , පයිප්පයක, ලෑල්ලක, ලනුවක, සාරි පොටක, එල්ලී ගියාට රියදුරාගෙන් කිසිදු තහනමක් නැත්තේය. එන්ජිමේ බර නිසා ඉදිරිපස රෝද දෙක මාර්ගයේ ධාවනය වනවා විනා උදෑසනට සහ සවස් ජාමයට මහේන්ද්‍රාව පශ්චාත් භාගය ම ඇනෙන්නටම මගීන්න එල්ලාගෙන එනවාය. එවන් අවස්තාවන්හීදී ආරක්ෂාව පරෙස්සම වැනි වැඩකට නැති දෑ කිසිදු තැකීමකට ලක්නොවෙනා අතර ඉන්දියානුවන් අතට හසුවන ඕනෑම පොල්ලක එල්ලී බොහොම සන්තෝසයෙන් ගමන් පහසුව සලසා ගන්නවාය. අදිවේගී මාර්ගයේ ධාවනය වන ලේලන්ඩ් බස්රථ එන වේගයට සාපේක්ෂව මහේනද්‍රාව තාර පාරෙන් ඉවතට ගන්නා රියදුරා දූවිලි වලාවක් නංවමින් තාර පාරෙන් ඉවත කොටසේද එම වේගයෙන්ම මහේන්ද්‍රාව  ධාවනය කරනවාය. එයින් නැගෙනා දුහුවිල්ල නිසා මද වෙලාවක් හුස්ම නොගෙන සිටිනා ගොඩයා අවසානයේ දුහුවිලි මිශ්‍ර වාතය ආශ්වාසය කරන්නට පටන් ගන්නේ ඉන්දියාවේ දුහුවිලි මිශ්‍ර නොවුනා වූ හුස්ම පොදක් සොයාගැනීම කළුනික සොයනවාටත් වඩා අපහසු කර්තව්‍යක් නිසාය.


කොන්දොස්තර රහිත ප්‍රවාහන සේවාවක් වන මහේන්ද්‍රා සේවාවේ මුදල් අය කෙරෙන්නේ රියදුරා ආසනයෙන් බැස අවිත්ය.  සමහරක් නැවතුම් වල රථයෙන් බසිනා මගීන් ප්‍රමාණය වැඩි නිසාවෙන් රියදුරා මහේන්ද්‍රාව නවතින්නත් කලියෙන් රියදුරු ආසනයෙන් බිමට පැන පසුපසට දුවන්නේ පොල්ලේ එල්ලී ඉන්නා එවුන් රථය නැවැත්වූ වහා මුදල් නොදී දිරාමාරුවන නිසාය. රියදුරු ආසනය අසල තිබෙනා අනෙක් ආසනයේ මගීන් හත අටක් පටවන්නට විශේෂ ප්‍රාගුන්‍ය ලබා තිබෙනා මහේන්ද්‍රා රියදුරන්ගෙන් අපගේ ප්‍රයිවට් බස් කොන්දොස්තර උදවියට ඉගෙනගැනීමට තිබෙනා පාඩම් බොහෝය. 

උදෑසන අට පමණ වනවිට කර්මාන්ත ශාලවේ රියදුරා වන චෝඩාජි විසින් සේවකයින් රැගෙන එන අයිචර් බස් රථයට ගොඩවෙනා අම්බලන්ගොඩ හාදයා නැවත හෝටලයට පැමිණෙන්නේ දිවා ආහාරය වෙනුවෙන්ය. ෂින් බුජියා පැකට්ටුවක් වළඳන අල්ලපනල්ලේ කුඩා ප්‍රමාණයේ ඇලර්ට් එකක් දමනා අම්බලන්ගොඩයා නැවත කර්මාන්ත ශාලාව වෙත යැවෙන්නේ පාද යාත්‍රාවෙන්ය. ඉන් අනතුරුව සේවයේ යෙදෙනා අම්බලංගොඩයා නැවත හෝටලයට සැපත් වන්නේ රාත්‍රී එකොළහට කර්මාන්ත ශාලාව වැසුවායින් අනතරුවය. ඒ අතරවාරයේ කර්මාන්ත ශාලාවේ විවිධ දෙපාර්තමේන්තු වල සේවය කිරීමට අම්බලන්ගොඩයාට ඉහලින් නියෝග ලැබෙනවාය. කිසිදු පැකිලීමක් නොමැතිවම අම්බලන්ගොඩයා කර්මාන්තශාලාවෙහි තිබෙනා සියලුම දෙපාර්තමේන්තු වල කෙරෙනා සියලූම වැඩ රාජකාරි හෙවත් නිෂ්පාදන කාර්යභාරය වෙනුවෙන් වෙහෙසී දෑතේ හුරුව ලබාගන්නවාය. 

කර්මාන්ත ශාලාවේ සේවය කරනා සියලූම සේවකයින් අම්බලන්ගොඩයා තම දෙපාර්තමේන්තුවේ පුහුණුවට පැමිණෙනවාට එකෙන්ම කැමති වන්නේ ඔවුනට එයින් ලැබෙනා විශාල ලාභ ප්‍රයෝජනයක් නිසාය. එනම් කරුමාන්ත ශාලාවේ අයිතිකරු හෙවත් පටෙල් මහතා අම්බලන්ගොඩයා ඉන්නා පැත්ත පලාතක පස්පාගන්නේ නැති නිසාය. එයට හේතුව එතුමා ඉංග්‍රීසි භාෂාව යාන්තමටවත් හසුරුවාගන්නට මෙලෝ හසරක් නොදන්නා නිසාය. තමුන් උපන් දේශයේ භාෂාව හැරුණකොට වෙනත් භාෂාවක් හරි හැටි භාවිතයට නොහැකිවීම ලැජ්ජාවට කාරනාවක් ලෙස අම්බලන්ගොඩයා කල්පනා කරන්නේ නොමැතිය. භාෂාව යනු අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යක් පමණක් මිස තත්වය තරාතිරම පෙන්වීමට ආභරණයක් නොවනා නමුත් පටෙල් මහතා තම සේවකයින් ඉදිරියේ අපහුතාවයට පත්වේදෝ යන සිතුවිල්ල නිසා අම්බලන්ගොඩයා සේවය කරනා දෙපාර්තමේන්තුවට මලාට ගොඩවන්නේ නැතිය. එම දුර්වලතාවය වාසියක් ලෙස භාවිතා කළාවූ සේවකයින් පටෙල් මහතාගේ අධීක්ෂණයෙන් මිදීම සඳහා භාවිතා කළා වූ නවතම මෙවලම වන්නේ අම්බලන්ගොඩයාය. එහෙත් පටෙල් මහතාගේ පුතණ්ඩියා ඉංග්‍රීසි භාෂාවෙන් අද්‍යාපනය හදාරන ලද එකකු වූ නිසා අම්බලන්ගොඩගේ වැඩ අධීක්ෂණය කලේ පොඩි පටෙල් මහතාය.

සියල්ල එසේ සිදුවන අතරේ අම්බලන්ගොඩයා වැඩිමනක් සේවය කරන්නේ ඉලෙක්ට්‍රොනික දෙපාර්තුමේන්තුවේ වූ හේතුව වන්නේ එහි බහුතරයක් සේවක පිරිස සම වයස්වල එවුන් වීමය. එයින් මුලික තැන ගන්නා හර්දික් අම්බලන්ගොඩගේ ගජයා වන්නේ ආයාසයකින් නොවන අතර එයට සුවිශේෂී හේතුවක් වූයේ හර්දික් එතෙක් ලංකාවේ සිදුවූ අලවි කටයුතු වෙනුවෙන් කාර්මික සහය දැක්වූ කාර්මිකයා වූ නිසාය. කිහිප වතාවක් ලංකාවට පැමිණ තිබෙනා හර්දික් ඕනෑම මරාටි වැඩකට එකෙන්ම කැමති ගනයේ එකෙකු වන අතර "නැත " යන වචනය ශබ්දකෝෂයේ භාවිතාකල අයකු නොවේය. 

ලංකාවේදී තුන් වේලට මස් මාළු බිත්තර ඇතිවෙන්නටම වලඳා පුරුදු අම්බලන්ගොඩයා අහමදාබාද් වෙත සැපත් වී සති දෙක යද්දී හේ බාන්නට වුයේ  මසක් මාළුවක් බිත්තරයක් නොමැති හඳුන්කූරු රස කෑම උගුරෙන් පහලට යැවීම ඉතා අසීරු වූ නිසාය. රටකජු පිටි ආවරණයක දවටා තෙලේ බැද සාදා ඇති  ෂින් බුජියා පැකට්ටුවකින් ජීවිතය ගැටගසාගන්නා අම්බලන්ගොඩයා හෝටලයේ කෑම කෑවානම් ඒ බොහොමත්ම කලාතුරකින්ය. මුල් කාලයේදී එය එසේ වුවත් පසුකාලීනව ගොඩයා එම ආහාර බඩ පුරා කා දැමුවද මුල් සති කිහිපය වැඩි කාලයක් ගතවුයේ බඩගින්නේමය.

එවන් එක අඟහරුවාදා දවසක හර්දික් යස යෝජනාවක් ගෙන එන්නේ ගොඩයා හාමතේ බව දන්නා නිසාය.. සිංහල භාෂාවට පරිවර්තනය කරනාලද එම සංවාදය මෙසේය..

උඹට මේ කෑම කන්න අමාරුයි නේද..

ඔව් බං හර්දික්.. මසක් මාළුවක් නැතුව මේව කන්න බැහැ බං..උඹ දන්නවනේ ලංකාවේ අපි තුන් වේලටම මසක් මාළුවක් කන විත්තිය..

ඔව් ඔව් මම දන්නව.. උඹට ඕනෙනම් මම උඹව නොන් වේජ් හෝටලේකට එක්කයන්නම්..

හෑ.. උඹ මට විහිළු කරනවා නේද.. අහමදාබාද්වල කොහෙද බන් නොන් වේජ් හෝටල්..

ඇයි බං මෝතිමාල් හෝටලේ තියෙන්නේ.. ඒක තමා මේ පළාතටම තියෙන ලොකුම නොන්වේජ් හොටෙල් එක..

ඔය ඇත්තමද 

බොරුනම් මේ ඉන්න ඕන කෙනෙකුගෙන් අහල බලපන්..

උඹ මේ කියන්නේ ඇත්තම නේද..

ඔව් බන් ඔව්.. උඹට ඕනෙනම් එක්කයන්නම්..

හරි දැන් කොහෙද ඕක තියෙන්නේ..

අහමදාබාද්වල..

ඉතින් හෙට යමු..

හෙට..

ඔව්..

බෑ.. මාසේ අන්තිමට යමු.. මට පඩි ලැබෙන්නේ තිස් වෙනිදා..

කව්ද දැන් උඹෙන් සල්ලි ඉල්ලුවේ.. හෙට යමු.. මාගාව සල්ලි තියෙනවා.. මට දැන් බඩගින්නේ ඉඳල ඇති වෙලා තියෙන්නේ.. හෙට යමු.. හෙට නිවාඩු දවසනේ..

හරි එහෙනං.. උඹ ජීප් එකක එල්ලිලා කලූල් වලට වරෙන් උදේ අට වෙද්දී.. අපේ එහෙං බස් එකේ නැගල යමු අහමදාබාද්.. හැබැයි මා අතේ රුපියලක්වත් නෑ හරිද..

හරි හරි බන්.. උඹේ සෑම වියදමක්ම මගේ ගානේ..

හරි මම උදේ අට වෙද්දී කලූල් බස් ස්ටෑන්ඩ් එකට එන්නං..

එවන් ආකාරයෙන් අහවරවූ සංවාදය නිමාවුයේ කර්මාන්ත ශාලාවේ නිවාඩු දිනය වන බදාදා දිනයේ අහමදාබාද් යෑමට එකඟ වීමෙන් අනතරුවය. එසේ ඇතිවූ එකඟතාවය මත ගොඩයා පසුදා උදෑසනින් කුකුලාද මල්ලේ දමාගෙන පිටත්වන්නේ කටට රහට බඩට යමක් දාගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන්ය..

අහමදාබාද් ගමනේ විස්තර ඊළඟ කොටස..
http://ambalangodakatha.blogspot.com/2017/01/3.html

Saturday, January 14, 2017

අන්න ගන්නවනං කාර්..




අහම්බෙන් වගේ මුණගැහුණු බ්ලොග් අඩවියක් වෙච්ච් කාර් පිස්සුව කියෙව්වෙයින් පස්සේ  කාලයක් තිස්සේ යටපත් වෙලා තිබ්බ අම්බලන්ගොඩයගේ කාර් පිස්සුවත් නැවත උත්සන්න වෙච්ච් නිසා කාර් ගැන පෝස්ට් එකක් ලියන්න හිතුන ඔන්න.  කාර් පිස්සුව කියන්නේ හම්බුකරන තුට්ටු දෙක නැතිකාබාසිනියා කරන පිස්සුවක් නිසා කාර් පිස්සගේ බ්ලොග් එක කියවල අතේ තියන තුට්ටු දෙකට  තට්ටු කරගෙන මට එහෙම චෝදනා කරනවා නෙවෙයි ඔන්න. කොච්චර තදින් කාර් පිස්සුව තිබ්බත් අම්බලන්ගොඩයා ගත්තු ගත්තු හැම කාර් එකම වික්කේ ගත්තට වඩා වැඩියෙන් නිසා පාඩුවුනේ නැතුවට විෂය නොදැන කාර් ගන්න විකුනන්න ගිහන් අතේ තියන තුට්ටු දෙක නැතිභන්ගස්ඨාන කරගෙන නාහෙන් අඬනවා නෙවෙයි ඕන් කාර් ගැන කියවල. මේ පොස්ට් එකනම් අම්බලන්ගොඩයා කාර් නිසා කාපු පරිප්පු වලින් බොහොම අතලොස්සක් ගැන විතරයි.

අම්බලන්ගොඩය ඉස්ඉස්සෙල්ලම තමුන්ගේ කියල කාර් කටුවක් ගන්නෙ පලවෙනි රස්සාවට ගිය අලුතමයි. කාර් එකේ ජාතිය "නිසාන්" වගේම මාදිලිය "ඒඩී" කියන එකයි.  මේ කියන මාදිලිය කාර් කිව්වට මේකට නියම වචනය වෙන්නේ "වැගන්" කියන එකයි. ඒ  ඉස්සරහ පෙනුම කාර් එකක් වගේ වුනාට පිටිපස්ස ඩිකිය නැති වර්ගයේ මේව්වා එකක්. ඒ වෙනකම් කාර් ගැනිල්ලට  රිවස් ගියර් එක දාගෙන හිටපු අම්බලන්ගොඩයාගේ පීතෘ ඒ කියන කාර් එක ගේනවට කැමතිවුනේ ඒක අම්බලන්ගොඩයාගේ  හිතවත් දොස්තර මහතැන් කෙනෙක් පාවිච්චි කරපු එකක් නිසා කියමුකෝ. කොයිතරම්නම්  නාහෙට නාහන වැඩ කරත් අම්බලන්ගොඩයාම උපයපු මුදලින් වුනත් කාර් එකක් ගන්න  පිතෘ තුමාගේ කැමැත්ත ලැබෙනකල්ම අමාරුවෙන් ඉවසා වදැරීම අම්බලන්ගොඩයාගේ  තියන හැදිච්චකම නිසා කියල ටිකක් හරි ඇගයීමට ලක්වියයුතු කාරනාවක් නෙවෙයිද හා...


ඕන් කාර් එක ගෙනාව කියමුකෝ.. දොස්තර මහත්තය සුපිරියට නඩත්තු කරලා හිටං පාවිච්චි කරපු කාර් එකේ පාට දිලිසෙන ලා නිල් පාට. එකදාස් තුන්සීයේ එන්ජිම නිසා තෙල් කෙරුවාවත් හොඳයි කියමුකෝ. හැබැයි කාර් කටුව ගෙනාපු දා හිටන් අම්බලන්ගොඩයා සැහෙන්න බිසී.. රස්සාව ඉවරවෙලා රුහුනුකුමාරියෙන් බැහැල ඇවිත් හල්වතුරේ ක්‍රිකට් ගහල ගෙදර ආපු අම්බලන්ගොඩයා  කාර් එක ගෙනාපු දවසේ හිටන්ම පුක දාච්ච බල්ලා වගේ කියලයි ගොඩයාගේ පිය රජතුමාගේ  අදහස. ඒ වගේම නයිට් පාර්ක්  වෙනුවෙන් ගෙදර එන වෙලාවත් එන්න එන්නම මද්‍යම රාත්‍රිය ලංවෙන නිසා සමහරක් දවස්වලට ගොඩයා රාජ උදහසට ලක්වුණු අවස්ථා අපමණයි. මහරජතුමාගේ අණ පරිදි ප්‍රධාන දොරටුව විවරනොවෙන අවස්ථා තිබුනත් මවු බිසව මහරජතුමාට හොරෙන් පුත් කුමාරයාව ගෙට ගැනීම සාමාන්‍ය දෙයක්. ඒ වගේ දවස්වලට පියරජතුමාගේ සිරියහන් ගබඩාවෙන් ඇහෙන පුත් කුමාර වර්ණනාව අහං ඉන්නවට වඩා රුහුණු කුමාරියට බෙල්ල තියනවා සිම්පල්. ඒ වගේ දවස්වලට නාකියාගෙන පිරිසිදුවීමේ සිට බත් පිඟාන  බඩට දාගෙන නින්දට යාම දක්වා වැඩ  සියල්ල සිද්දවෙන්නෙ ලෝ වොලියුම් මෝඩ් එකේ හෙවත් අවම ශබ්දයන් යටතේ පමණයි. ඒ අතරවාරයේ මහරජතුමා ආලින්දයේ වැඩ වාසය කරනවානම් කාමරයෙන් නාන කාමරයටත් එතැනින් නැවතත් කාමරයටත් ඇවිදගෙන යාම කියන්නේ නොමැන්ස් ලෑන්ඩින් සෝන් එක හරහා ටී පනස් හයක් කරේ තියාගෙන ඇවිදිනවාට වඩා භයානක තත්වයක් වෙන්නේ කොයිවෙලාවේ බරඅවි ප්‍රහාරයක් එල්ලවේවිද කියන භය නිසා. ඒ වගේ අවස්තාවන් වලදී ආලින්දය හරහා වැඩිය ගමන් නොයන ගොඩයා වැඩිම කාර්යක්‍ෂමතාවයක් ලබනු පිණිස තුවාය පිටින් නාන කාමරයටත් එතැනින් කුස්සියටත් කුස්සියේ සිටම බත් පත වළඳා කාමරයටත් රින්ගගන්නේ වැඩිය එලිපෙහෙලියේ ගැවසීමෙන් රාජ උදහස දෙගුණ තෙගුණ වෙන්න පුළුවන් නිසා.

වාසභාවනේ තත්වය ඔයාකාර වුනාට අම්බලන්ගොඩයාගේ මිත්‍ර සමාගමේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය බවට පත්වෙන්න වෙන්න මේ කියන කාර් කටුවට මහ කාලයක් ගියේ නැහැ කියමුකෝ. මල ගෙදරක්, මගුල් ගෙදරක්, දානේ ගෙදරක්, වගේම කක්කුස්සියට යන්නත් අම්බලන්ගොඩයගේ මිත්‍ර සමාගමට ප්‍රවාහන අනුග්‍රහය සැපයුවේ ඔය කියන කාර් කටුව වෙච්චි. ඒ අතරේ රහස් පරීක්ෂක සේවාවන්ගෙන් මිදිල තම පෙම්වතිය මුනහැහෙන්න යන්න අපේ හිතමිත්‍ර තඩියා මහතාට ටික කාලයක් ලෙසටම හැකිවුණේ තඩියාගේ දෙමාපියන්ගේ රහස්පරීක්ෂක සේවාවන් ෆුට් බයිසිකල්, ත්‍රීවීල්, මෝටර් සයිකල් ගැන විතරක් ඇහැ ගහගෙන හිටපු නිසා. ඒත්  වැඩි කලක් නොගිහින්ම තඩියාගේ පියාණන් රහස් පරීක්ෂක වරුන්ගේ සිස්ටම් අප්ඩේට් කරල මේ කියන කාර් කටුවත් සිස්ටම් එකට දැම්මයින් පස්සේ ගොඩයගගේ නිසාන් ඒඩී එක වතුගෙදර හන්දියෙන් වමට හැරෙව්වා කියන්නේ තඩියාගේ ගෙදර දේශපාලනික වාතාවරණය සෑහෙන්න අර්බුදකාරී තත්වයකට ඇදදමන්නක් වෙච්චි. ඒ වගේ දේශපාලනික වාතාවරණයක් යටතේ වුනත් රෑක මළගෙදරක මගුල් ගෙදරක ගියොත් ඇත්නං අපේ තඩියා මහතාට වතුගෙදර පැත්තට යන්නම ඕනවුනේ ඔය කියන රොයිටර් සේවාවන්ගේ ගෙවල්වල උළු බිඳින්න ඕන නිසාමයි. ඒ වගේ රාත්‍රීන් වල තඩියාගේ පියාණන්ගේ මාධ්‍ය හිතවතුන්ගේ ගෙවල්වල වහලවල් වලට ගල් වැටුනේ හරියට ගාසා තීරයට රොකට් වෙඩි ගහන්නැහේ .


ඔන්න ඔයවගේ වාතාවරණයක් යටතේ සියලුම ඕනෑ එපාකම් පිරිමහපු අම්බලන්ගොඩයගේ නිසාන් ඒඩී එක විකුනන්න කටයුතු සිද්දවුණු නිසා ඉන් පස්සේ අම්බලංගොඩයට හැදුනේ වෑන් උණක්. ඒ වෑන් උණ හොඳ උනේ අට අනූවක් ලෙඩ නව අනූවක් ව්‍යාදි සියල්ලක්ම හැංගිලා තිබ්බ නිසාන් වැනට් එකක් අම්බලන්ගොඩයා විසින් ගෙදර මිදුලට ගෙනත් දාගත්තයින් පස්සෙයි කියමුකෝ. පිටින් තෙල් කෑල්ලට තිබ්බ නිසාන් වැනට් එක ගනමක් ගියොත් කැඩෙන හුචක්කුවක් වෙච්චි. නොදන්නා කෙනෙක් දැක්කොත් සුපිරි තත්වයේ තියෙන වාහනයක් කියල හිතන්න පුළුවන් මට්ටමේ පෙනුම තිබ්බට මේ කියන වැනට් එක කෙටියෙන් කියනාවම එරාෂ්ටක අපලයක් වගේ. ඔන්න ඔහොම වාතාවරණයක් තියෙද්දී තමා ගොඩයාගේ මාමගේ පුතණ්ඩියා අනුරාධපුරය දිහාවෙන් ගෑල්ලමයෙක් කසාද බඳින වෙඩිම තියෙන දවස් ලන්වුනේ. මේ මංගල්ලේ පැවැත්වෙන්නේ අනුරාධපුරයේ නිසා සනුහරේ හැත්ත බුරුත්ත සියලු දෙනාම අනුරාධපුරේ යන දවස උදාවුනා කියමුකෝ. එදා අම්බලන්ගොඩයට නිවාඩුවක් ගන්නම බැරි දවසක් නිසා ගොඩයාගේ ගෙදර සාමාජිකයින් වෑන් රථයේ පටෝගෙන කොළඹට රථය පදවාගෙන ආවේ අපි කව්රුත් දන්නා රවියා මහතා. 

ඒ වෙද්දී මේ කියන වෑන් රථයේ නිල නොවන හිමිකරු තනතුර දැරුවේ රවියා නිසාත්, එවකට රවියා අම්බලන්ගොඩගේ නිවසේ සාමාජිකත්වය දැරූ නිසාත්, ඔය කියන වෑන් රථයේ වැඩිහරියක් ගමන් ගියේ රවියා නිසාත් අනුරාධපුර මගුල්ගෙදර යන්න රවියා එකෙන්ම සුදුස්සෙක්. ඒත් වෑන් රථය ගමනක් ගිහින් ගෙදර එනකම් සුවර් තත්වයේ නැති නිසාත් රවියා මජං අතගාන්න ඒ තරම් කැමැත්තක් දැක්කුවේ නැති නිසාත් රවියා ස්ව කැමැත්තෙන්ම කිරිබත්ගොඩින් බැහැල දිරාමාරුවෙච්චි. 

ඔන්න එතැන්සිට අනුරාධපුරය දක්වා රථය ධාවනය කරන්නේ ගොඩයා. එතන තියන වැදගත්කම තමා ඉරිදිපස අසුනේ අම්බලන්ගොඩගේ පියාණන් විරාජමාන වීම. ඒ කියන්නේ බොහොම විනයගරුකව රථය පැදවිය යුතුයි. මගුල් ගෙදරට සහහාගිවෙන්න යන අනෙකුත් නෑ සනුහරේ යන වාහන එක්කම පැයට කොලොමීටර හතලිහට පනහට අනුරාධපුරේ දක්වා වේග සීමා උල්ලංගනය නොකර විනයානුකූලව රථයක් පැදවීම කොයිතරම් අමාරුද කියල දැනගත්තේ එදා තමා ඔන්න. ඔය කියන සැම්පලේට අම්බලංගොඩයා ප්‍රමුක නෑ සනුහරේ රැගත් වාහන පෝලිම අනුරාධපුරේට ලං වෙද්දී රෑ දොළහ ලඟයි කියමුකෝ. 

ඥාති පුත්‍රයා අනුරාධපුරෙන් නෑ සනුහරේට නවතින්න සූජානම් කරලා තිබ්බ හෝටලේට සැපත් පිරිස කොයිවෙලේ නිදාගත්තද කියල අම්බලංගොඩයා දන්නේ නැත්තේ පැය ගානක් හතලිහට පනහට වාහනේ එලෝලා අමාරුවට අම්බලන්ගොඩයා නාකියාගෙන නින්දට ගිය හින්දයි. ඔන්න පහුවදා උදේ තමා අම්බලන්ගොඩයගේ සුදු අයියා වේදිකාවට එන්නේ.

සුදු අයිය අම්බලන්ගොඩගේ ළඟ ඥාති පුතෙක් කියමුකෝ. වාහන කීපයක හිමිකාරයෙක් වුනාට සුදු අයියට රෝද හතරක් එහා මෙහා කරගන්න අද වෙනකල්ම බැරිවෙච්චි. මේ මොහොතේත් සුදු අයියගේ මිදුලේ උන්දෑගේම නමට ලියාපදිංචි වෙච්චි වෑන් රථයක් තිබ්බත් සුදු අයියට රියදුරු අසුන අකැප වන්නේ උන්දැ රියදුරු කරුමාන්තය හරිහැටි නොදන්නා නිසා. මෝටර් සයිකලයක්, ත්‍රිරෝද රථයක් ලෙසටම එහාමෙහා කරගන්න අපූරුවට පුළුවන් උනාට සුදු අයියට රෝද හතරේ එව්වා ම්හ්.. ඒ කියන්නේ බෑ.. බෑ කියන්නේ ක්ලච්, බ්‍රේක්, ඇක්සිලේටර් තෝරා බේරාගෙන හරි වෙලාවට පාගගැනීම  දුර්වල නිසා. 

සුදු අයිය එක පාරක් උඩ පැටල් ඩෙලික එකක් එලවන්න ගිහින් පොල්වත්තේ පිට්ටනිය කොනේ හබරල ගාලේ නොවැටී යාන්තම් බේරාගත්තේ මැද සීට් එකේ හිටපු සරත්නන්දයිය හනික පැනල ක්ලච් එක පාගගත්තු නිසා. පිට්ටනියේ කොනේ හිටං පොළොවේ පස් කාගෙන පිකප් වෙච්චි චින් චින් ඩෙලික එක හබරල ගාලේ කොනේ නැවතුනායින් පස්සෙත් ස්ටියරින් එක බදාගෙන දත්මිටිකාගෙන ඇක්සිලේටර් එක පාගාගෙන හිටපු සුදු අයියගේ කකුලෙන් ඇක්සිලේටර් එක මුදවාගන්න කීප වතාවක් පිටට තට්ටු කරන්න උනා කියමුකෝ. ඔන්න ඔහොම තමා අපේ සුදු අයියගේ ඩ්‍රයිවින් ඇබිලිටි එක. එහෙම වුනාට ඒ කිව්ව ඩෙලික එකේ අයිතිකාරයා තමා සුදු අයිය. අම්බලංගොඩය ඉස් ඉස්සෙල්ලම වාහන්යක් කියල එලෙව්වේ ඔන්න ඔය කියන ඩෙලික එක තමා. ඒ වෙද්දී ගොඩයාගේ වයස අවුරුදු දහ හතරක් වගේ. සුදූ අයියට ඔය කියන වෑන් කොටේ එහා මෙහා කරගන්න බැරි නිසා ඒ අවාසනාව වාසනාවක් විදිහට පෑදුනේ ගොඩයට. වත්ත ඇතුලෙත් සුදු අයියලාගේ ගමෙත් පොඩ්ඩ පොඩ්ඩ එහා මෙහා යන වැඩ වලට ස්වේච්චාවෙන්ම ගොඩයා ඉදිරිපත්වුනේ ඔය කියන චින් චින් ඩෙලිකාව එලවන්න තියන ආසාව නිසාමයි. මිකැනිකල් බ්රේක් පැඩල් එක දත් විකාගෙන පෑගීම සහ සිටියරින් ගියර් පොල්ලෙන් ගියර් තිබෙන තැන සොයා දැමීම වගේම අවම වට එකහමාරක් ප්ලේ එක තියන ස්ටියරින් එකෙන් වාහනේ පාරෙ ගෙනියනවා කියන එක බෙල්ල ගහල යන වැඩක්. ඒ වගේ වාහනෙකින් එලවන්න පුරුදුවෙච්චි එවුන් ඕනෑම එකෙකුට ලෝකේ තියන ඕනෑම වාහනයක් එළවීම විශේෂ ප්‍රාගුන්‍ය ලැබෙන්නේ ඒ වගේ ලදරමක් පාරේ අරන් යන්න වගේම අවශ්‍ය තැන නවත්තගන්න සෑහෙන්න ගේමක් දෙන්න ඕන නිසා. සුදු අයිය ඩ්‍රයිවින් පුරුදුවෙන්න දරපු පලවෙනි උත්සාහයේදීම වෑන් කොටේ හබරල ගාල කඩාගෙන යන්න හදපු නිසා එයින්ම සුදු අයියට ඩ්‍රයිවින් එපා වෙන්නම ඇති මයේ හිතේ.

ඔන්න ඔය වගේ ඉතිහාසයක් තියන අපේ සුදු අයිය නින්දෙන් ඇහැරිලා තමුන්ගේ බාල කොල්ල වඩාගෙන හෝටල් කාමරෙන් එලියට බැස්සේ අම්බලන්ගොඩයා වෑන් එකේ ඔයිල් වතුර පරීක්ෂා කරද්දී. (මේ කියන බාල කොලුවට එදා වයස අවුරුදු දෙකක් වගේ උනාට අද ඌ ආන් කසාද බඳින්නත් එකියක් සෙන්ටිමෙන්ටල් කරගෙන කියලයි ආරංචිය.) ඒ කියන්නේ අනුරාධපුරේ ගිය දවසේ නෙවෙයි පහුවදා. සුදු අයියටත් රතගාය ලෙසටම තියන නිසාත්  (එලවන්න බැරිවුනත් ) වාහනයක් දැක්කොත් ඒකෙ වගතුග නොසොයානම් ඉන්නේ නැත. සුදු අයිය ආණ්ඩුවේ රස්සාවක් කරගෙන වතුපිටි ටිකෙන් ආදායම් අරගෙන කාටවත් කරදරයක්  නැතුව ජීවත් වෙන අතරේ අඩුවට අරන් වැඩියෙන් විකුණන බිස්නස් එකත් හෙමින් සීරුවට කරගෙන ගියා. ඒ හින්ද තමා සුදු අයියගේ ගෙදර මිදුලේ කොයි වෙලෙත් වාහනයක් නැතිවුනේ නැත්තේ. ඒ වෙද්දී සුදු අයිය අම්බලන්ගොඩය ගත්තු වැනට් එක දැකපු පලවෙනි වතාව තමා එදා.

වාහනේ හොඳයි වගේ නේ..

වරදක් නෑ සුදු අයියේ.. ( එහෙම නොකිය ඉතින් මේ ලදරම යන යන තැන කැඩෙනවා කියන්නයැ)

කීයක් උනාද..

හතරකට සෙට් වුනේ..

පාඩුවක් නැහැනේ.. හතරහමාරකට දෙන්න පුළුවනි..

හ්ම්..

කෝ දෙනවා බලන්න යතුර..

ඔන්න සුදු අයිය නැගපි රියදුරු අසුනට. අම්බලන්ගොඩය මගී ආසනයට ගොඩවෙච්චි.. ඒ කියන්නේ සුදු අයියගේ කොලු පැටිය දැන් ගොඩයාගේ උකුලේ..

මේ කියන හෝටලේ තිබ්බේ බොහොම ලස්සන පරිසරයක. රෑ කාලේ ආපු නිසා පරිසරය ගැන වැඩිය හිතන්නේ බලන්නේ නැතුව අම්බලන්ගොඩය වෑන් එක නැවැත්තුවේ පොල් ගහක් මුල. මේ කියන පොල් ගහ ඇදේට හැදිච්ච පොල් ගහක්.  ඒ කියන්නේ පොල් ගහ උස ගිහින් තිබ්බේ ඇලේට.

ඔන්න සුදු අයිය වෑන් එකේ එංජිම හීට් එහෙම කරලා ස්ටාර් කරා කියමුකෝ.. වාහන ගණනාවක අයිතිය තිබ්බ නිසා ගියර් එක නියුටල් කරලා ස්ටාර්ට් කරන කලාව සුදු අයිය දන්නවා.

එංජිම හොඳයි නේද..

වරදක් නෑ.. ඩීසල් එහෙම වැඩ කරනවා හොඳට..

ඔයිල් එහෙම අඩුවෙන්නේ නැහැනේ..

නෑ.. එහෙම මුකුත් නෑ..

ඔන්න සුදු අයිය ක්ලච් එක පාගල ගියර් එක දාපි ෆස්ට් එකට.. කෝකටත් කියල කොලු පැටියත් අම්බලන්ගොඩයගේ උකුලේ නිසා ගොඩයා වාහනේ දොර වහගතපි.. මෙන්න බොලේ අපේ සුදු අයිය එංජිම පොඩ්ඩක් රේස් කරලා ක්ලච් එක බුරුල් කරපි.. ඉස්සරහ තියන ඇල පොල්ගහ දිහාවට පොඩ්ඩක් හෙලවෙච්චි වෑන් එක එක්කම කලබල වෙච්චි සුදු අයියගේ වම් කකුල ක්ලච් එකෙන් පැන්න කියහන්කෝ. ඒ එක්කම දකුණු කකුල ඇක්සිලේටර් එකට තද වෙච්චි..එතැන් සිට ඉතින් නාසා ආයතනයෙන් රොකට්ටුවක් ගුවන්ගත කරන දර්ශනය හිතේ මවාගත්තට වරදක් නැති තරම්..

පොළොවේ පස් කාගෙන කළු දුම් වලාවක් දාගෙන පොල්ගහ දිගේ ඉහල ගිය නිසාන් වැනට් එක ලෝකයේ පොල්ගස් ගිය පළමු වෑන් රථය බවට ලෝක වාර්තාවත් තියාගෙනම පොල්ගහෙන් බිමට පතබෑවුනේ මහා භයන්කාර සද්දබද්ද ගොඩාරියක් එක්ක. සුදු අයියගේ කොලුව ගොඩයාගේ උකුලෙන් උඩ විසික්වෙලා වහලේ වැදිල වෑන් ඇතුලෙම බිමට පතබෑවෙද්දී ගොඩයා ඩ්‍රයිවින් සීට් එක දිහාවට පැන්නේ සුදු අයියා මරු විකාරෙන් හඳට යන්න හදන වාහනේ නවත්තගන්න ක්‍රමයක් හොයාගන්න. පොල්ගහෙන් වැටිලා හුස්මක් ගන්නකලින් ආයෙත් පොළොවේ පස් කාගෙන කළු දුම් දාගෙන පිකප්වුන වැනට් රාජයා ගුවන්ගතවෙන්න ඉදිරියට ධාවනය වෙද්දී යන්තං සන්තං එංජිමේ ඕෆ් කරගන්න අම්බලන්ගොඩයා සමත්වෙන නිසා පොල්ගහෙන් එහාපැත්තෙ තිබ්බ අඩි අටක් විතර උස ගල් බැම්මෙන් පහලට නොපැන කන්ඩියට අඩි කීපයක් තියෙද්දී වැහෙන් නවතිනවා.

එතැන්සිට සියල්ල ඉතින් පුදුකුඩිඉරිප්පු ගිහින් කොටින්ට ලෙසටම පහරදීල ආපු එම් අයි දාහත හෙලිකොට්ටරයක් ගමේගොඩේ පිට්ටනියකට බෑවා හා සමානයි. නෑසනුහරේද, හෝටලයේ නවාතැන්ගෙන සිටි  අමුත්තන්ද, හෝටල් සේවකයින්ද, ඇතුළු එකී මෙකී කොල්ලන් කුරුට්ටන් සියල්ලද, දත් මදිමින් සිටි එවුන්ද, රැවුල බාමින් සිටි එවුන්ද, අහලපහල එවුන්ද වෑන් රථය වටා රොක්වෙන්න ගියේ තත්පර කීපයයි කියමුකෝ. සුදු අයියාට සහ ගොඩයාට හානි නැතත් උඩ ගිහිං වහලෙ වැදිලා බිමට වැටිච්චි සුදු අයියගේ කොලුවා හොටු පෙරාගෙන මරහඬ තලනව. දන්නා කියන ශිල්ප උපක්‍රම සියල්ලම දාල වෑන් රථයේ එංජිමේ බෙල්ල මිරිකන්න රියදුරු ආසනය දිහාට පැනපු අම්බලන්ගොඩගේ ඔලුව සුදු අයියගේ කකුල් දෙක අස්සෙන් පහලට ගිහින් කකුල් දෙක උඩට වෙච්චි. සුදු අයිය ලොවි ගෙඩි දෙකක් විතර ඇස් දෙක ලොකු කරගෙන ස්ටියරින් එක අල්ලාගෙන ගල්බීත වෙලා. ඒ අස්සේ සුදු අයියගේ අඹු සිගිත්ත හෙවත් අපේ නෑනන්ඩි අනුරාධපුර පුරවරයේ ඉන්න එවුන්ට ගම රට දාල දුවන්න හිතෙන සද්දෙට කෑ ගහනවා අනේ මගේ දරුවා කියාගෙන. වැඩිහිටි උදවිය කීප දෙනෙක් වටවෙලා දොර ඇරලා ගොඩයාගේ කකුල් දෙකෙන් අල්ලලා එලියට අදින්න කලින් කව්දෝ එකෙක් සුදු අයියගේ කොලුව උස්සගෙන අහකට දිව්ව. 

සිද්දවෙච්ච සංතෑසියේ හැටියට පුද්ගල හානි අවම උනත් සුදු අයියගේ කොලුවනම් වරුවක් විතර හොටු පෙරාගෙන ඉකි ගැහුවා. වැඩිහිටි පාර්ශවය සියල්ලම සුදු අයියව වටකරගෙන දෙහි ගෝනියක් විතර කැපුවා උනත් ගොඩයට අනතුරෙන් සෑහෙන හානි කියමුකෝ. ඒ මොකද කියනවනම් පොල්ගහ දිගේ ඉහල ගිහින් ලෝක වාර්ථා තියාගෙන බිමට දරිගැහුන වෑන් කටුවේ එන්ජිම එංජින් මවුන්ට් දෙකම කඩාගෙන බිමට වැටෙන්න ඔන්න මෙන්න කියහන්කෝ. ඉන් පසුව ඉතින් කුමනාකාර මගුල් ගෙවල්ද. ඒ උනාට මුකුත් නුන ගානට මගුල් ගෙදර වැඩ අහවර වෙලා ගරාජ් ගානේ රස්තියාදු වෙලා බාස්ලගේ ආඩම්බර ඇතිවෙන්න බලල ගොඩයා මජං නාගෙන තමා වෑන් කටුව හදාගෙන ගමේ එන්න පිටත් වුනේ. හැබැයි ඉතින් සත්ගුණවත් සුදු අයියා එංජින් මවුන්ට් දෙක ගන්න එකේ හිටං අනික් සියල්ලටම මොනරු වියදම් කරා. අපේ රවිය ඔන්න ඔය හේතුව නිසා තමයි අනුරාධපුර යන ගමන මගෑරියේ. මොකද ඔය කියන වෑන් කටුව රත්තරන් ටිකට තිබ්බට ගමනක් ගියොත් රත්තරං ටිකට මජං නාන වෙඩක් සෙට් කරනවාමයි. හැබැයි පස්සෙන් පහු දෙයියනේ කියල යාලු මිත්‍ර සමාගම නම් ගමනක් යන්න සෙට් උනාම ගොඩයාගේ වෑන් එකේනම් යන්න එකෙන්ම බැහැ කියන්න පුරුදු වුනා. යාන්තම් බ්‍රෝකර කෙනෙක් අල්ලලා වෑන් කටුව විකුනගත්තේ නැත්තම් අද වෙද්දී ඒක හදලම අම්බලංගොඩයා හිඟන්න වෙනවා සිකුරුයි. ඒ වෑන් එක නිසා කාපු පරිප්පු ලියන්න ගියොත් බ්ලොග් පොස්ට් සීයක් උනත් ලියන්න තරම් මසුරං කතා එමටයි.

එයින් මෙයින් අර පලවෙනි කාර් එක විකුණුවේ ඇයි කියල කතාව ලියල ඉවර කරන්න බැරිවුනානේ. 

ඔන්න දවසක් කට්ටිය මළගෙදරක යන්න සෙට් වෙලා. අපේ යාලුවෙකුගේ මල්ලි කෙනෙක් ගඟේ ගිලිලා නැතිවෙලා. ඉතින් යන්න ඕන මලගෙදරක්. ඉතින් කට්ටිය දෙයියනේ කියල ඉර බැස්සයින් පස්සේ සෙට් වෙලා ඉස්සෙල්ලම ගියේ රෙස්ට්හවුස් එකට. එතන මේසයක් වටේ වටවෙලා පැයක් දෙකක් අල කරලා අහවර වෙලා කාපු බීපුවයේ බිලත් ගෙවල ඔන්න දැන් කට්ටිය මළගෙදර  යන්න පිටත්වුනා. ඒ වෙද්දී අපේ යාළුවගේ මල්ලිගේ මිනිය නන්දන මල්ශාලාවේ එම්බාම් කරනවා කියමුකෝ. ඉතින් කට්ටියම මළගෙදර යන එක පැත්තකින් තියල මල්ශාලාවට ගිහින් මිනිය එම්බාම් කරන තැන වටවෙලා බලාගෙනත් ඉඳල ඒ වැඩෙත් අහවර වෙන්න ළඟ නිසා මළගෙදර පැත්තට යන්න පිටත්වුනා..

දුක සහ සතුට එකම තැනක හොඳටම බලාගන්න ඕනිනම් අම්බලංගොඩයා ඕනෑම කෙනෙකුට කියන්නේ බණ්ඩාරනායක ගුවන්තොටුපොළට යන්න කියලයි. පිටත්වීමේ පර්යන්තයේ ගේට්ටුව ගාව බොහොම දුක හිතෙන විදිහට වැලපෙන ගෑනු , මිනිස්සු ,දරුවන් ඕනෑතරම්. ඒ දර්ශන දැකීම සමහර වෙලාවට බොහොම දුක්ඛිතයි. බදාගෙන වැලපෙන පිටත්වීමේ පර්යන්තයට මීටර් සීයක් එහායින් බදාගෙන සන්තොසවෙන පැමිණීමේ පර්යන්තය. මේ ස්ථාන දෙක එකම භූමියක පිහිටපු දුක සහ සතුට වෙන් වෙන්ව විඳින මිනිස්සු දැකගන්න පුළුවන් ආසන්නම පිහිටීම කියලයි අම්බලංගොඩයා හිතන්නේ. ඒ සිතුවිල්ලට එහායින් දුක හා සතුට ළගම ස්ථානයක දැක්කනම් එදා ඒ මළගෙදර කියමුකෝ.

මළගෙදරට යන්න තියෙන්නේ බොහොම පටු පාරක. අඩුම තරමේ ත්‍රීවීල් කටු දෙකක්වත් මාරුවෙන්න බැරිතරම් පාර පටුයි. කට්ටිය ටිකක් අනුමත වෙලා හිටපු නිසාත් වාහනේ බැහැල තවත් බස් හෝල්ට් දෙක තුනක දුරක් ඒ පටුපාර දිගේ කළුවරේ යන්න වෙන නිසාත් අම්බලන්ගොඩයා මෝඩයා සේ හෙමි හෙමිහිට සෙනග අතරින් ඒඩී වැගන් එක මළගෙදර දිහාවට ධාවනය කරා.

බුදු මල්ලියේ... ඇයි අපි දාල ගියේ... ඇයි පුතේ අපි දාල ගියේ රත්තරනේ...

මළගෙදරක එහෙම දේවල් පොදුයි. මරණය කාටත් බොහොම වේදනා ගෙනදෙන දෙයක්. ඒ වගේම මේ නැතිවෙලා ඉන්නේ පුංචි දරුවෙක්. ඒ නිසා දෙමාපියන්ට, සහෝදරයින්ට දැනෙන වේදනාව වචනයෙන් විස්තරකරන්න බැරිතරම්. එහෙම මිනිස්සු විලාප දෙනහැටි අහගෙන ඉන්න එවුන්ටත් අඬන්න හිතුනත් ඒ විලාපයන් දැකල බඩ අල්ලාගෙන හිනාවෙන්න පුළුවන් එවුන් ඉන්නවා කිව්වාම උන් මිනිස්සුද කියල හිතන්න බැරි වුනත් උන් තමා අම්බලංගොඩගේ කාර් එක ඇතුලේ උන්නු මිතුරු පිරිස.

මළගෙදරට එන පාර දිගේ හෙමින් හෙමින් ඇදිල එන අම්බලංගොඩගේ ඒඩී වැගන් එක දිහාවට දුවගෙන ආපු මළගෙදර පිරිස කාර් එක වටේ වටවෙලා විලාප දෙන්න තියාගතපි කියමුකෝ. සීන් එක සිද්දවෙන්නේ කළුවරේ නිසා කාර් එකේ වීදුරුත් අඳුරු එව්වා නිසාත් මිනිය ගේන්නේ මේ වාගේම ඩිකිය නැති මෙව්ව එකක නිසාත් මළගෙදර උදවිය හිතුවෙම මිනිය ගෙනාව කියලයි. කාර් එකෙන් එළියේ ඉන්න එවුන් කාර් එක බදාගෙන විලාප තියද්දි අපේ එවුන් කාර් එක ඇතුලේ හිටං කාර් එක දෙවනත් කරනව. ඔන්න එදා තමා අම්බලංගොඩය දුක සතුට දෙකම ඉතාම ආසන්න තැනකදී දැක්කේ. වීදුරුවෙන් එළියේ උදවිය ගම දෙවනත් වෙන්න විලාප දෙන අතරේ ප්‍රාණ සමාන මිතුරුකැල ලෙසටම වීදුරුවෙන් ඇතුලේ හිටං අම්බලන්ගොඩයව ලිඳේ දැම්ම. කව්දෝ සිහි කල්පනාවක් තිබ්බ කෙනෙක් මේ හර්ස් එක නෙවෙයි යකුනේ කියල මළගෙදර උදවිය කාර් එකෙන් අයින් කරල ගෙදර ඇතුලට අරං ගියායින් යාන්තම් එතනින් මූණ පෙන්නන්නේ නැතුව මාරුවෙන්න පුළුවන් වුනත් එදා හිටන් අම්බලංගොඩගේ නිසාන් ඒඩී එකට  "කාර් එක" කියන නම අයින් වෙලා හර්ස් එක කියන නම ආදේශවුනා. 

එදා හිටං ඒක හර්ස් එකම වුන නිසා ඒක විකුණලා දාල තමා ඔය කලින් කිව්ව වෑන් එක ගෙනාවේ. ඊට පහු වෑන් එකත් ලෙසටම අම්බලන්ගොඩයාට වද තිස්දෙකම දෙන්නවුනනිසා එක විකුණලා ආයෙත් ගෙනාවේ අර වගේම ඩිකිය නැති වැගන් එකක් කියමුකෝ. ඔන්න ආයෙත් අපේ සනා එහෙම ගම වටේම ආයෙමත් ප්‍රචාරය ඇරියා අම්බලංගොඩයා ආයෙත් හර්ස් එකක් ගෙනල්ල කියල. ඌ එහෙම ප්‍රචාරය කරාට ඒක වැඩි හරියක් එලෙව්වේ මට වඩා ඌ. මල මිනී ඇරෙන්න මුහුදු වැලි. ගල්, යකඩ සිමෙන්ති පවා ඔය දෙවැනි කාර් එකේ ඇද්ද ඇති වෙන්න. හැබැයි ඉන් පස්සේ  හර්ස් මොඩල් කාර් එකෙන් රෑක මළගෙදරක ගියානම් ඒ ගියේ මිනිය ගෙනල්ලද කියල හරියටම තහවුරු කරගෙනම තමයි. මිනිය ගෙනැල්ල නැත්තම් අම්බලන්ගොඩයා මළගෙදරට යන්නේ කාර් එක හැතක්මක් විතර මෙහායින් නවත්තලයි. බයකට ලැජ්ජාවකට නෙවෙයි, මළගෙදර දුකෙන් ඉන්න උදවිය අපහසුතාවයට පත්කරන්න හොඳනැති හින්ද.

එතෙක් මෙතෙක් ඉතිහාසයටම අම්බලංගොඩයා පාවිච්චි කරපු හැම වාහනයක්ම වත්තෙන් එලියට විකිනුනේ ගෙනාපු මිලට වඩා වැඩි මිලකට. දෙවැනි වැගන් එකෙන් පස්සේ වැගන් මොඩල් නම් ගෙනාවේ නැහැ මේ වෙනකං. ලංකාවෙන් පිට හිටියත් මාසෙකට සැරයක් දෙකක් ලංකාවේ වාහන මිල ගැන අවධානය යොමුකරද්දී තාමත් වැගන් වලට ඇහැ යාම වැඩියි. ඒ හැම වෙලාවකම එදා රෑ වෙච්චි කැත සිද්දිය මතකයට එන නිසා අදහස අතැරලා දානව. ඔන්න ඔය වාහන කෙරුවාව නිසා තමයි අම්බලංගොඩයා පොතින් පතින් ඉගෙනගත්තු දැනුම ප්‍රායෝගිකව ලෙසටම අත්හදා බලන්න අවස්තාව ලැබුනේ. වාහනේ නතරවුනා කිව්වම ලෝකගෝලෙ එහා පැත්තේ හිටං දුරකතනයෙන් රෝග ලක්ෂණ අහල ලෙඩේ කියන්න අම්බලංගොඩගේ දැනුම ප්‍රායෝගික කරන්න ඔය කලින් කිව්ව වෑන් කටුව දීපු අතහිත ලියන්න වචන නැති තරම්. ඒ උදව් කොයිතරම්ද කියනවන්නම් එක වතාවක් දෙහිවල සත්තුවත්ත ආසන්නයේ මහ රෑක කළුවරේ නතරවෙලා තිබ්බ ඔය කලින් කිව්ව රත්තරන් වෑන් එක හදන්න අම්බලංගොඩයා වාහනේ යටට ගිහින් දිගෑදිලා තිබුනේ තඩිම තඩි ගොම ගොඩක් උඩ. 

Sunday, January 8, 2017

තිස්තුන්දාහෙන් උඩ කතා 2




පළමු කොටස
http://ambalangodakatha.blogspot.com/2016/12/1.html


ගුවන් යානය ගුවන්ගත වීමට දැන් ඔන්න මෙන්නය. ගුවන් සේවිකා අක්කලා සෑහෙන්න කලබලයෙන් යානයේ ඔබ මොබ දුවනවාය. ගමන්මලු රඳවනයන් සියල්ල හොඳින් වැසී ඇතිදැයි බලනවාය. ආසන පටි තදකරගෙන සිටීදැයි පරීක්ෂා කොරනවාය. ඒ අල්ලපනල්ලේ අම්බලන්ගොඩයාද ආසනයේ එහා මෙහා ඇඹරෙමින් ආසන පටිය සොයාගන්නට දත කනවාය. අවාසනාවක මහත කොතරම්ද යත් ගොඩයාගේ ජනේලය අයිනේ තිබෙන්නට ඔනෑ  ආසන පටිය තිබෙනවාය. එහෙත් වේට්ටි මාමිගේ පැත්තේ ආසන පටිය තුරුදහන්ය. ඔය අතරේ ආසන පටි පරික්ෂා පැමිණෙනා ගුවන් සේවිකා අක්කාට අම්බලන්ගොඩයා මාට්ටුය. ඒ ආසන පටිය නොපැළඳ සිටීමේ වරදටය.

සර්.. කැන් යූ ප්ලීස් ෆාස්ටන් යුවර් සීට් බෙල්ට්...

අක්ක මගුලක් කියෝනවාය.. ආසන පටිය අතුරුදහන් වග අක්කා දන්නේ නැතිය..

අයි කෑන්ට් ෆයින්ඩ් වෙයාර්ස් මයි සීට් බෙල්ට්...

වට් ... ගුවන් සේවිකා අක්කා  අසන්නේ කුංකුම අංජන තැවරූ  ඇස්දෙක නළලට පනිද්දීය..

යේස්... ඉට්ස් මිසින්...

රියර්ලි...

යේස් ඔෆ් කොර්ස්...

ගුවන් සේවිකා අක්කා තම පරීක්ෂාව විදිමත් අයුරින් සිදුකරන්නට වූයෙන් අම්බලන්ගොඩයාට ආසනයෙන් නැගිට ආසන පටිය නොමැති වග පෙන්වන්නටම වුයේය. සිදුවී ඇති පටලැවිල්ල  ලෙසටම දැකගැනීමට ගුවන් සේවිකා අක්කාටද අහිංසක අසරණ අම්බලන්ගොඩ හාදයාටද හැකි වන්නේ අම්බලන්ගොඩයා ආසනයෙන්ය ඉවත්වූ අනතුරුව ආසන පටියට සිදුවී ඇති සන්තෑසිය ලෙසටම පෙනෙනා නිසාය. මාමා සියල්ල පටලවා තබා මුකුත්ම නොදන්නා  බබා වාගේ ඈත බලාගෙන ඉන්නවාය. නැන්දාද කිසිවක් නොදන්නා ගානට ඉන්නවාය. අම්බලන්ගොඩයාගේ ආසන පටි භාගය වේට්ටි මාමිගේ ජාතික බැනියම යටින් බඩ මැද්දෑවට ගමන් කරනා වග පැහැදිලව පෙනෙනවා වුනත් "මගේ ආසන පටිය දියන් මචං මාමේ " යයි කියා කියන්නට ටිකක් විතර භයය. හේතුව නම් ගොඩයා ආසනයට සැපත් වූයේ මාමිගේ වේට්ටිය ගලවාගෙන මාමාගේ සබ්බ  සකලමනාවම එලිපහලියේ ප්‍රදර්ශනයට තබලා නිසාය. ඒ හින්දා මාමා ඉන්නේ ඌරු ජුවල් පිට වග අම්බලන්ගොඩයා දන්නවාය. 

සකලසිරින්පිරි සිරිලංකාවේ සරම අඳින්නේ දෙකොන මූට්ටු කරලා වුවත් අල්ලපු රට හෙවත් ඉන්දියාවේ බහුතරයක් උදවිය  සරොම වෙනුවට පාවිච්චි කරන්නේ දෙකොන මූට්ටු නොකරනලද වේට්ටිය. එව්වාට දකුණු ඉන්දියාවේනම් කියන්නේ ලුන්ගි කියලා වුනත් වේට්ටි මාමිගේ භාෂාවෙන් කුමන අටමගලයක් කියනවාදැයි අම්බලන්ගොඩයා දන්නේ නැතිය. දිනෙන්දින දියුණුවන ලෝකයේ ටයිකෝට් වලට තිබෙනා පිළිගැනීමම සරමටද තිබෙනා වගට සිරිලංකාවේ දේශපාලන බුවාලා සාක්ෂි සහිතවම ඔප්පුකොට ඇති නිසා මාමා සැරසී ඉන්නා ඇඳුම ගැන කියනට වරදක් නැත්තේය. එහෙත් වැඩි පරෙස්සම උදෙසා මාමා සැරසී ඉන්නා වෙට්ටියේ දෙකොන නැන්දාට කියා මූට්ටු කරගත්තානම් පෙර සිදුවූ ආකාරයෙන් මාමා අපහසුතාවයට පත්වන්නේද නැත. ඒ වාගේම අම්බලන්ගොඩයා තුන් මූනින් දාඩිය දමා භයෙන් භිරාන්ත වන්නේද නැත. සිරි ලංකාවේ දෙකොන මූට්ටු නොකරන ලද වේට්ටි ආකාරයේ එව්වා  අඳින්නේ ගැහැණු උදවිය වුවත් මාමා  විසින් ප්‍රදර්ශනය කරන්නට යෙදුනා වූ උපකරණ කට්ටලයට අනුව මාමා පිරිමි පෙනුමැති ගැහැණු පරානයක් නොවෙන වග එකෙන්ම කියන්නට පුළුවන්ය. 


ගුවන් සේවිකා අක්කා ජ්‍යාත්‍යන්තර භාෂාවෙන් අමතා මාමාගෙන් ආසන පටිය ඉල්ලුවද මාමා උත්තර දෙන්නේ උන්දෑගේ භාෂාවෙන්ය. ගුවන් සේවිකා අක්කා දන්නා කියන හතර බීරි භාෂාවලින් පටි භාගය ඉල්ලා සිටියද ගොඩයාගේ ආසන පටිය නැවත භාරදෙන්නට මාමාගේ තුන් හිතකවත් අදහසක් නොමැති ගානය. අක්කා ගොඩයාගෙන්ද අසන්නේ මාමා කතා කරනා භාෂාව දන්නවාද කියලාය. ගොඩයා එකෙන්ම නැත යන්නෙන් පිළිතුරු දෙන්නේ මාමා දොඩන්නේ හින්දි හෝ ගුජරාට් නොවනා වග පැහැදිලිවම වැටහෙනා නිසාය. ගුවන් යානය ගුවන්ගත වන්නට කල් වෙලාව ටක්කෙටම හරියාගෙන එන මොහොතක මෙවන් මන්ද මෝල් චූන් එකක් සෙට් වීම කොයිතරම් භයානකද යත් ගුවන් සේවිකා අක්කාගේ කුංකුම අංජන තැවරූ පොල්බෑවන් සුදුපාට මුහුණු පොජ්ජටද හීං දාඩිය දමලාය. බඩ මැද්දෙන් නැව් ගැටයක් ගසාගෙන සිටියත් මාමි බබා ඉන්නේ ආසන පටියක් පැළඳගෙනය. නැන්දී බබී ද ආසන පටියක් පැළඳගෙනය. එහෙත් අවින්සක නිවට නියාලු සුවච කීකරු අසරණ අම්බලංගොඩ එකාට ආසන පටියක් නොමැතිව යානය ගුවන්ගත කිරීම කිසිසේත්ම සිදුකල හැකි ක්‍රියාවක් නොවන නිසා කෙසේ හෝ මාමි බබාගෙන් ආසන පටිය ඉල්ලාගත යුතුය. ගුවන් සේවිකා අක්කාගේ මට්ටමෙන් හෙවත් සමථ මණ්ඩල මට්ටමෙන් ප්‍රශ්නය විසඳීමට නොහැකි නිසා අක්කා වෙනත් ගුවන් සේවිකා අක්කා කෙනෙකු අත උදව් ඉල්ලා යානයේ ඉදිරියට පණිවිඩයක් යවන්නේ ආසන පටි පලහිලව්ව ඉහල උසාවියට දමා විසඳන්නට ඕනෑ සීන්කොන් එකක් වගට අක්කාගේ අක්මාවට වැටහෙන නිසා විය යුතුය. 

අක්කාගේ ඉලීම ගැන වහා ක්‍රියාත්මක වූ ගුවන් සේවක අය්යා කෙනෙකු යානයේ පළමු පන්තිය පැත්තේ සිට අඩියට දෙකට ඉගිලී අවුත් ආසන පටි පලහිලව්ව විසඳීමට මැදිහත්වූ නිසා එතෙක් අන්සතුවී තිබු ආසන පටි භාගය අම්බලන්ගොඩයා වෙත ලැබෙන්නේය. එය එසේ වන්නේ ගුවන් සේවක අයියා මාමාගේ බලවත් විරෝදය  මත බැනියම අස්සේ අත දමා මාමා විසින් බඩ මැද්දෙන් දමාගෙන සිටි නැව් ගැටය ලිහා එතෙක් මාමාගේ පශ්චාත් භාගයට යටවී තිබු මාමාට නීත්‍යානුකුලව හිමිවන ආසන පටිය නිසි ආකාරයෙන් පැලඳු නිසාය. ඊට අමතරව මාමි බබා විසින් නැන්දී බබීට පළඳා තිබු නැව් ගැටය සහිත ආසන පටිය ලිහා දමා නැන්දී බබීටද නිසි ලෙස ආසන පටිය පැලන්දීමට ගුවන් සේවක අක්කලාටද අයියාලටද සිදුවුනෝය. එවන් ආකාරයේ ලොල් සහගත ක්‍රියාවක් අභිමුව සිය දුක සතුට පාලනය කරගනිමින් වුර්තීය මට්ටමෙන් තම සේවය සැපයීමට ගුවන් සේවක අක්කලාට සහ අයියලාට ලෙසටම උගන්වා තිබෙනා වගනම් එකෙන්ම පැහැදිලිය. ගුවන් සේවක අක්කාලා අතරට ගුවන් සේවක අය්යා කෙනෙකුද සිටියා විනා ගුවන් සේවිකා අක්කා කෙනෙකු එවන් ආකාරයෙන් මාමි බබාගේ බඩ අස්සේ අත දැම්මානම් නැන්දී බබී ගුවන් සේවිකා අක්කාගේ පොල්බෑවන් සුදුපාට මුහුණ වෙස් මුහුණක් කරනු අනිවාය.

එසේ පටාන් ගත් මාමි බබාගේ වදදීම පැය දාහතරක් පුරා ලෙසටම විඳ දරා ගැනීමට ගොඩයාට සිදුවුයේ එතැනින් දිරාමාරුවීමට වෙන කිසිදු ස්ථානයක හිස් ආසනයක් යානයේ තිබුනේ නැති නිසාය. ගුවන් සේවිකා අක්කලා කැමැත්ත පලකරා නම් වැසිකිලියේ වාඩිවී ගමන් පහසුව සලසාගැනීම මාමිගේ අසල්වැසියා වුවාට වඩා මහත් භාග්‍යයක් වනවා සිකුරුය. ගුවන් සේවිකා අක්කලා කෑම බෙදන්නට ආ කල වේට්ටි මාමි අත මිටිකරලා අම්බලන්ගොඩයාගේ කකුලට අනිනා අනිල්ලට ගොඩයා නින්දෙන් ඇහැරෙන්නේ තවුතිසාවේ ගේට්ටුව ගාවට උඩ විසික්වීමෙන් අනතුරුවය. පළමු ආහාර වේල අම්බලන්ගොඩයා කටට දෙකට ගිල දමනු මාමි බබා බලාන සිටියා අරුනකොට උන්දෑ වෙනුවෙන් පිරිනැමූ ආහාරවේල සහ උන්දෑගේ අඹේනිය වෙත පිරිනැමූ ආහාර වේල දිහා උන්දලා ඇහැක් ඇරලා බැලුවේ නැතිය. එක්කෝ දෙන දේ කන්නට ඕනෑය. දුන් දේ කන්නට බැරිනම් කන්නට පුළුවන් දෙයක් ඉල්ලාගන්නට ඕනෑය. ඒ දෙකම බැරිනම් බොන්නට යමක් ඉල්ලාගන්නට ඕනෑය. එහෙත් කාගේදෝ අවාසනාවකට මාමි බබා සහ නැන්දී බබී කසාය පොවන ලද ගොළුවන් සේ ඔහේ බලා ඉන්නවාය. මාමි බබාගේ සහ උන්දෑගේ අඹේනියගේ ආහාර නැවතත් ගුවන් සේවිකා අක්කා විසින් එක්කසුකරගෙන යන ආකාරය ගොඩයා කනගාටුවෙන් බලාසිටින්නේ ලෝක සම්මත චාරිත්‍ර වාරිත්‍ර වලට ගරුකිරීමෙහිලාය. ලෝක සම්මත චාරිත්‍ර වාරිත්‍ර කියා දෙයක් තිබුනේ නැත්තම් ගොඩයාට තිබෙනා බඩගින්නේ පරිමාවට මාමි බබාගේ හා නැන්දී බබීගේ කෑම සලාකයට ලෙසටම වගකීම අම්බලංගොඩ කොල්ලෙකුට කජු කනවා වාගේ සිම්පල් කටයුත්තක්ය. කොයිතරම් වද දුන්නද මේ මාමා සහ මේ නැන්දා ගොඩයාගේ නැන්දා සහ මාමා වුනානම් යයි කියා හිතෙන්නේ ඒ වේලාවටය. 

ගුවන් යානය වායු රික්තක හෙවත් ටර්බියුලන්ස් තිබෙනා ප්‍රදේශයන් පසුකරනා අවස්ථාවන්හිදී තදින් සෙලවීමට ලක්වීම ස්භාවික සිද්දියක් වුවත් එවන් අවස්තාවන්හීදී මාමි බබාගේ ඇස් දෙක ටීක් බෝල දෙකක් වාගේ එලියට පනින්නට හදනවාය. උඩ යට ගැස්සෙමින් දෙකට කැඩෙන්නට තනන ගුවන් යානයේ සෙලවීම ගැන මෙලෝ කල්ලිතාවයක් නොමැතිවම අඛණ්ඩව නිදි සේ ඉන්නා ගොඩයා දිහා මාමි බබා බලන්නේ පුදුම සතෙකු දිහා බලන්නට වාගේය. යානයේ සෙලවීමෙන් නින්දට බාධා සිදුවන නිසා  යාන්තමින් ඇස් ඇර බලනා ගොඩයා නැවතත් නිදිදෙව්දුව වැළඳගන්නට උත්සහ කරන්නේ පාලනය කරන්නට නොහැකි තත්වයන් වෙනුවෙන් නිදි නැතිව වොරි වීම තේරුමක් නොමැති කටයුත්තක් නිසාය. ගුවන් යානය වට දෙතුන් සියයක් කැරකී බිමට පතබෑවුනද එතෙක් හැකි තරම් නිදා ගැනීමට උත්සහ කිරීම වැඩියෙන් ප්‍රයෝජන වන්නේ, කඩා වැටෙනා ගුවන් යානයක් ඇතුලේ හිටං භයෙන් භිරාන්තවී මර හඬ තැලුවා කියා පයිලට් උන්දෑට කඩා වැටෙනා ගුවන් යානය සාක්කුවේ දමාගන්නට නොහැකි නිසාය.

යානයේ ආසනයක් පාසා ඩිජිටල් රූපවාහිනී තිරයක් සවිකර තිබුනද අම්බලන්ගොඩයා එව්වයේ තිබෙනා චිත්‍රපට නරඹන්නට ඒතරම් කැමැත්තක් නැත්තේ  චිත්‍රපට නැරඹීම ගෙදරදීද කළහැකි කටයුත්තක් නිසාය. අනෙක් කාරනාව නම් ගුවන් යානයේ ඝෝශාවෙන් ගැලවෙනු වස් කන් දෙකෙහි ඔබාගෙන සිටිනා ඇබ දෙක ගැලවීමට තිබෙනා කම්මැලිකමය. ගුවන් සේවිකා අක්කලා දෙන දෙයක් බඩ පුරා ගිල දමා නින්ද වෙත සැපත්වීම කොයිතරම් ආශ්වාදජනකද යත් එවන් ආකාරයෙන් පැය දහයක් දොළහක් එක දිගට නිදි සුව ලැබීමට ලැබෙන්නේ වසරකට දෙකකට වතාවක් වන නිසාය. එවන් අවස්ථාවකින් නිසි ප්‍රයෝජන නොගෙන එම පැය ප්‍රමාණයත් රූපවාහිනියක් හෝ චිත්‍රපටියක් වෙනුවෙන් කැපකිරීම මහත් අනුවණ  කමක්ය. ඒ මන්ද යත් එම පැය ප්‍රමාණය ඇතුලත දුරකථනය නාද වන්නේ නැතිය. වයිබර්, මැසෙන්ජර්, ඉමෝ, ස්කයිප් පණිවුඩ පැමිණෙන්නේද නැතිය. කෙටි පණිවුඩ පැමිණෙන්නේද නැතිය. ජනේලය අසලින් තඩි සයිලන්සර් කටවල් හයිකරගත් මන්දමෝල් බුවාලා වාහන පදවාගෙන යන්නේද නැතිය. උඩ ගෙදර එකා පහල තටුවට ඇසෙන්නට පවුල් පන්සල් නඩත්තු කරන්නේද නැතිය. නිදි සුව බිඳිනා එවන් අලකලංචි අටෝරාසියකින් මිදෙන්නට ලැබෙනා මහඟු අවස්තාවක ලෙසටම නිදාගනු විනා වෙනත් වැඩකට නැති අරමුණක් වෙනුවෙන් ඒ වටිනා කාලය යෙදවීම කුමන ආකාරයකින් බැලුවද පාඩු සහගතය. එහෙත් එවන් සුව සහිත නින්ද නැතිවෙනා එකම කාරනාව නම් ගුවන් සේවිකා අක්කලා විසින් ලබාදෙන සොච්චම් ආහාරවේල මදිකම නිසා කුසගිනි දැනී නින්දෙන් ඇහැරීමය. එවන් වේලාවන්හීදී ගුවන් සේවිකා අක්කා කෙනෙකු කැඳවීමට බොත්තම එබුවද ගුවන් සේවිකා අක්කා පැමිණෙන්නේ විනාඩි දහයක් පහළොවක් ගොඩයාව රස්තියාදු කිරීමෙන් අනතුරුවය.

අම්බලන්ගොඩයා ඉදිරිපස ඩිජිටල් තිරය ක්‍රියාත්මක කරනවානම් ඒ ගුවන් යානය තිබෙනා ඉසව්ව දැනගැනීම සඳහාම පමණය. ජනේලයෙන් එලිය බැලුවද පෙනෙන්නේ ඉමක් කොනක් නොපෙනෙනා හිස් ආකාසයම පමණක් නිසා මා දැන් සිටින්නේ කුමන ඉසව්වකද යන්න දැනගත හැක්කේ ඉදිරිපස රූපවාහිනී තිරයේ දක්වන සිතියමෙන් පමණය. ගොඩයා නින්දෙන් ඇහැරෙනා වෙලාවක් ඇතිනම් ඩිජිටල් තිරය ක්‍රියාත්ම කොට සිටිනා ඉසව්වත්, පියාසර කිරීමට තිබෙනා පැය ප්‍රමාණයත් බලාකියාගෙන නැවතත් නින්දට පිවිසෙනවාය. ඒ මන්දයත් පයිලට් උන්නැහේ මගීන් දෙතුන්සියයක් පටවාගෙන කොයි ලොව පියාසර කරනවාදැයි ගොඩයා නොදන්නා නිසාය. වසර ගණනාවක් මේ කියනා පියාසර සිතියම දිහා තනි ඇහෙන් බලා ඇති පළපුරුද්ද නිසා සැමදා යන මාර්ගය අම්බලන්ගොඩයා ටිකාක් විතර දන්නවාය. ඒ නිසා ගොඩයාට නින්ද යෑමත් අවදිවීමත් අතර කාල පරාසය ඇතුලත සමහරක් වේලාවන්හීදී ඩිජිටල් තිරය තිබෙන්නේ ගුවන් සිතියම පෙන්වමින්මය. 

එවන් ආකාරයෙන් සැප නින්දකින් අනතුරුව දැනුනාවූ කුසගින්නෙන් අවදිවුනා වූ අම්බලන්ගොඩයා එක් ඇසක් යාන්තමට විවුර්තකොට ඩිජිටල් තිරය දිහාට ඇහැ දමන්නේ කොයි ලොව සිටිනවාදැයි යාන්තමට දැනගනුවස්ය. එහෙත් කුමක්දෝ අවාසනාවකට තිරය මැද්දෙන් කළු බෝලයක් පෙනෙනවාය. නින්දත් නොනින්දත් අතර සිටිනා නිසා මේ පෙනෙන්නේ දෘෂ්ටි මායාවක්දැයි හරි හැටි තෝරාබේරා ගැනීමට අම්බලන්ගොඩයා ඇස් දෙකම හොඳහැටි විවුර්තකොට බලන්නේ ඩිජිටල් තිරයට හෙන ගහලාදැයි හරිහැටි බලාගන්නට ඕනෑ නිසාය. හුටාය.. ගොඩයාට නින්දගිය අල්ලපනල්ලේ හරකෙකු වැට පැනලාය. එනම් අල්ලපු වත්තේ වේට්ටි මාමා ගොඩයාගේ ඩිජිටල් තිරයට මුහුණ ලංකරගෙන ලෙසටම අනවසරයෙන් සිතියම් නරඹනවාය. ඒ අතරේ ගොඩයා අවදිවුන වග දත් නැන්දී බබී මාමාගේ වේට්ටි කොනෙන් ඇද මාමි බබා නැවතත් ආසනගත කරනවාය. ඒ අවසරයෙන් මාමාගේ ඩිජිටල් තිරය ක්‍රියාත්මක කොට මාමා ලෙසටම රසවිඳිමින් සිටි ගුවන් සිතියම වැඩසටහන නරඹන්නට සලස්වා මාමාගේ ඇස් වසාලන්නට ගොඩයාට හැකිවෙනවාය. ඒ පින්තකා නොවේය. මාමාට මල පැන අත මිටිකර දණහිසට අනීදැයි දැනුනාවූ භය නිසාය.

එවන් ආකාරයෙන් පැමිණි ගුවන් ගමනේ තුන්වෙනි ආහාර වේල පිරිනැමුවාවූ අවස්ථාවේ ගුවන් සේවිකා අක්කා කෙනෙකු ගොඩයාගෙන් අසන ප්‍රශ්නය නම් මාමි බබා සහ නැන්දී බබී ආහාර නොගන්නේ ඇයිද යන්නය. ගොඩයා මාමි බබා සහ නැන්දී බබී ගැන දන්නා කාලය අදාළ ගුවන් කාලය පමණය. එනම් ගුවන් සේවිකා අක්කලා මාමි බබා සහ නැන්දී බබී ගැන දන්නා කාලය පමණය. ඊට වැඩිමනක් දෙයක් ගොඩයා දන්නවානම් ඒ මාමි බබා සුපිරි ගුටි අනින්නට අති දක්ෂයකු වන බව පමණක්ය. ගුවන් යානයේ මුළු පියාසර කාලයෙන් තුනෙන් දෙකකටත් වඩා අවසන් වෙද්දී මගීනට ලබාදෙන ආහාරවේල් දෙකක් මාමි බබා සහ නැන්දී බබී විසින් ඇහැක් ඇරලා බලන්නේ නැතුවම ප්‍රතික්ෂේප කලෝය. එවන් ඉතිහාසගත වාර්තා ඇතිද ගුවන් සේවිකා අක්කලා තුන්වැනි ආහාරවේලද මාමි බබා සහ නැන්දී බබීගේ ආසන ඉදිරියෙන් ගෙනවිත් තබාලාය. කුංකුම අංජන තැවරූ පොල්බෑවන් මුහුනැති අක්කා කෙනෙකු අම්බලන්ගොඩයාගෙන් අසන්නේ මාමි බබා සහ නැන්දී බබී කන්නේ මොනවාදැයි අසනා ලෙසය. එහෙත් ගොඩයා ළඟ තිබෙනා පිළිතුර කලින් අක්කාට දුන් පිලිතුරමය. එනම් මාමි බබා සහ නැන්දී බබී දොඩනා භාෂාව නොදන්නා බව පමණක්ය. කොන්ඩයා සනා දෙදෙනා සිටියානම් මාමි බබාගෙන් පෙර ආත්මයේ විස්තරත් අසාගන්නා ක්‍රමවේදය ඔවුන් දෙදෙනා දන්නවා වග තකුමා ගල්කල සංස්ථා ගල් පෝස්ටුව කියවූ පාඨක සැම දන්නවා ඇතිය. එහෙත් අවාසනාවකට ගුවන් යානව ඇතුලත මාමි බබා සහ නැන්දී බබී අදහස් ප්‍රකාශ කරනා භාෂාව දන්නා එකුදු අයකුවත් නොමැතිය. මාමි බබා ඒ වෙද්දී ගොඩයාගේ දණහිසට  තුන් හතර වතාවක් නැව් ගුටි ඇන තිබුනද ඔවුන් දෙදෙනා කුසගින්නේ වග දැන දැනම තම ආහාරවේල බඩට දාගැනීම මානුෂික නොවන වගට දැනෙනා දැනීම ගොඩයාට සෑහෙන්න ගිල්ටි සහගතය.

මාමි බබා සහ නැන්දී බබීට ගුවන් සේවිකා අක්කලා දෙන කෑම කුමන හෝ වරදක් තිබෙනා ආහාර වර්ගයක්දැයි දැනගැනීමේ කුතුහලය නිසා අම්බලන්ගොඩයා මාමි බබාගේ සහ නැන්දී බබීගේ ආසන දෙසට ඉලක්ක කර තිබෙනා විදුලි ලාම්පුව දල්වනවාය. මෙන්න බොලේ මාමි බබා ඒ ගමන උපැස් යුවලක්ද දමාගෙන ආහාර බඳුනට ලෙසටම වග කියනවාය. නැන්දාද මාමාගේ විධානයෙන් කොනින් කොනින් ආහාරය බුදිනවාය. එතෙක් මෙතෙක් ඔවුනට ආහාර බුදීමෙහි ලා පැවත තිබෙන්නේ ආලෝකය මදිකම වග අම්බලන්ගොඩයා වටහාගන්නාවිට ගුවන් සේවිකා අක්කලා මාමි බබාගේ සහ නැන්දී බබීගේ ආහාරවේල් හතරක් කුණු බක්කියට හලා අවසානය. ගුවන් සේවිකා අක්කලා ආසනය වෙත එන්නාවූ සෑම අවස්ථාවකටම අනුලෝමවම මාමා විසින් දකුණු කලවයට අනිනා ලද නැව් ගුටි වලින් දකුණු කලවය වේදනා දුන්නද ඔවුන් එතෙක් වේලා කුසගින්නේ හිඳ තිබෙන්නේ පෙනීම මදිකමින් වග දැනෙද්දී අම්බලන්ගොඩයාට දැනෙන්නේ කනගාටුවක්ය. එහෙත් අම්බලන්ගොඩයා විසින් දල්වාදුන් විදුලි ලාම්පුවට පිංසිදුවන්නට බඩගින්න නිවාගෙන මුකුත් නොවුනා සේ සුපුරුදු අහංකාර ස්භාවයෙන් පසුවෙනා මාමි බබා සහ නැන්දී බබී දකිනා විට කනගාටුව දෙගොඩතලාගොස් හොම්බට හැටක් අනින්නට හිතෙනවාය.

කාලයාගේ අවෑමෙන් පයිලට් උන්දෑ ටිකෙන් ටික ගමනාන්තයට හොස්ස පොවන අල්ලපනල්ලේ ගුවන් සේවිකා අක්කලා යානයේ ඉන්නා මගීනට ආගමන විගමන පෝරමයක් බෙදා දෙනවාය. සුපුරුසු ලෙස ගොඩයාටද පෝරමයක් ලැබෙද්දී අල්ලපු වැටේ මාමි බබාට  සහ නැන්දී බබීටද පෝරමයක් ලැබෙනවාය. ඒ අතරේ අම්බලන්ගොඩයා ඉන්නේ බොක්ක දාලාය. ඒ මන්ද යත් මාමි බබා එතෙක් මෙතෙක් දුන් වද තිස් දෙකට අමතරව ආගමන විගමන පෝරමයද ගොඩයාගේ හිසමත කඩා වැටේදැයි තිබෙනා භය නිසාය. ඒ අල්ලපනල්ලේ මෙන්න බොලේ මාමි බබා කව්රුන් හෝ පුරවා දී තිබු පෝරමයක් සාකුවෙන් ඇද ලෙසටම කෝප්පෙ ගසනවාය. මාමි බබාගේ පෝරමය බලා ලිවීම අවසන් කරලා නැන්දී බබීගේ පෝරමයටද බලා ලිවීම කරනවාය. එය එසේ වූවායින් ගොඩයාගේ හිතේ පැවති භය ගතිය පහව යන අතර දැනෙනා වූ කේන්තිය නම් ඔය කියනා පෝරමය මාමි බබාට පුරවා දුන් එකා ගුවන් යානයක ගමන් කරද්දී තම වැඩපල කරගැනීමට මාමි බබාට උපදෙස් දී නොතිබුනේ ඇයිද යන්න ගැනය.

ගුවන් යානය ගමනාන්තය වෙත ගාල් කල පසු අම්බලන්ගොඩයා විසින් ලිහිල් කරන ලද ආසන පටියෙන් නිදහස්වූ මාමි බබා සහ නැන්දී බබී ගොඩයා දිහා සිනහවකින්වත් සංග්‍රහ නොකර අහන්කාරකමින් දිරාමරුවන්නේ ගොඩයා ඔවුන්ගෙන් ණයක් ගෙන නොදුන්නා වාගේය. අති දුෂ්කර වූ ගුවන්ගමන  නිමවා තබා ආගමන විගමන කටයුතු අවසන් කර  ගොඩයා හනි හනිකට වැසිකිලියක් සොයා දුවන්නේ වේට්ටි මාමිගේ වේට්ටියට , ආසන පටියට සහ භාෂා ප්‍රශ්නයට පිංසිදුවන්නට, පැය දාහතරක් පුරාවට ගොඩයාට වැසිකිලියක් පැත්ත පලාතක යාගන්නට නොහැකිවූ නිසාය. 

වේට්ටි මාමිගේ සහ නැන්දාගේ කතාංගය එසේ නිමාවෙද්දී වසර ගණනාවකට කලින් අඩි තිස්තුන්දාහක් උඩදී සිදුවූ අපූරු කතාබහක් මතකයට ආ නිසා එයද කෙටියෙන් මෙහිම ලියා තබනවාය.

වර්ෂය කුමන වර්ෂයක්දයි හරිහමන් මතකයක් නැතත් ගොඩයා ලංකාවට එන ආරංචියට ගොඩයාගේ කාර්යාල මිත්‍රයකු ගොඩයාට ඇමතුමක් දෙනවාය..

මචං.. උඹ ලංකාවට එනවද..

ඔව් මචෝ... ටිකට් බුක් කරලා තියෙන්න..

පොඩි උදව්වක් කරන්න පුලුවනිද මචං..

කියහන් මොකක්ද කෙරෙන්න ඕන..

උඹ දන්නවනේ අපේ අයියලාගේ ගෙදර අපේ අම්ම ඉන්නවා කියල..

අපෝ ඔව් මචෝ.. මොකෝ මම නොදන්නේ.. නිතර හම්බෙනවනෙ..

උඹ එන ගමනේ අපේ අම්මවත් එක්ක වරෙන්කො මචන්.. තනියම එවන්න බැරුව ඉන්නේ..

සිම්පල් වැඩක් බන්.. ටිකට් එක දාන්න කියහන්.. මම අයියට කෝල් කරලා ෆ්ලයිට් නම්බර් එකයි සීට් නම්බර් එකයි දෙන්නං..

ෂුවර් නේද..

හරි බන් ෂුවර්.. මම අම්මව එක්කන් එන්නං...

කටයුතු සියල්ල හරි ආකාරයෙන් සංවිධානය වුයෙන් මිත්‍රයාගේ මවු තුමිය ගොඩයා ලංකාවට යන ගුවන් යානයේම අම්බලන්ගොඩගේ ආසනයට ඉදිරියේ ආසනයේය.. එනම් ගොඩයා ඉන්නා ජනෙල් ආසනයට ඉදිරියෙන් තිබෙනා ආසනය මිත්‍රයාගේ මවුතුමියගේ ආසනයය. මිත්‍රයාගේ මවුතුමියද ගුවන් ගමන් බොහෝ ප්‍රමාණයක් ගමන්කර ඇති ඇත්තියක් නිසා වැඩිය බලන්නට හොයන්නට දෙයක් නැත්තේය. තිබෙන්නේ පළමු ගුවන් යානයෙන් දෙවන ගුවන් යානයට මාරුවීමේදී සිරිලංකාව බලා යන හරි ගුවන් යානයට ඇරලවීම පමණය. 

මේ පහලින් ලියවෙන්නේ මිත්‍රයාගේ මවු තුමිය පළමු ආහාරය වළඳා ජනෙල් ආසනය අස්සෙන් පසුපසට ඔලුව දමාගෙන ගොඩයා සමග කෙරෙනා සංවාදයය.

කෑම හොඳයි නේද පුතේ..

අවුලක් නෑ ආන්ටි.. 

වයසක අපිට ඉතින් මේ පොඩ්ඩ ඇතිවුනාට කොල්ලන්ට මේක මදියි නෙව..

මොනව කරන්නද ආන්ටි.. දෙන දේ කාල ඉන්නවා ඇරෙන්න ඉතින් ..

ඒ වගේද පුතේ.. මේ ඩ්‍රයිවර්ලා ඉතින් හරිම හොඳ මිනිස්සු..

ඒ කිව්වේ ආන්ටි..

මං කිව්වේ පුතේ මේ ප්ලේන් එක එලවන ඩ්‍රයිවර්ලා ...

ඕ.... මට තේරුනා.. ඒ මොකෝ ආන්ටි එහෙම කිව්වේ..

බලන්න පුතේ අපේ රටවල එවුන් නම් මෙහෙම කරාවිද නේද..

ඒ කිව්වේ ආන්ටි..

මේ කෙල්ලො ටික මුළු ප්ලේන් එකටම කන්න දීල ඉවර වෙනකම් ඩ්‍රයිවර් මහත්තය ප්ලේන් එක නවත්තගෙන හිටියනේ... අපේ රටවල එවුන්නම් මේක මේ ආකහේ නවත්තගෙන ඉඳියිද මිනිස්සුන්ට කන්න දෙනකං.. අන්න ඩ්‍රයිවර්ලා..

අම්බලන්ගොඩයා විසින් එබූ ගුවන් සේවිකා අක්කා කැඳවන බොත්තමට ප්‍රතික්‍රියාවක් වශයෙන් මද වෙලාවකින් ආසනය ලඟට පැමිණියේය..

යස් සර්...

කැන් අයි හැව් සම් ස්කොච් ප්ලීස්..

වන් මිනිට්..

අක්කා විසින් ගෙනවිත් දුන් රතු ලේබලය සහිත විස්කි කුප්පිය අයිස් සහිත ප්ලාස්ටික් කෝප්පයට නොදා කෙලින්ම කුප්පියෙන් කටට හලාගෙන ගොඩයා නින්දට පිවිසෙන්නේ ආන්ටි සමග වැඩි කතාබහට යාම පන යාමට ඉඩ තිබෙනා කර්තව්‍යක් නිසාය.