අද ඉරිද හවස මියුසික් ප්රැක්ටිස් දවස. බෑන්ඩ් එකේ දෙන්නෙක් ගමනක් ගිහිල්ලා එන්න පරක්කු වෙනවා කිව්ව නිසා ප්රැක්ටිස් කැන්සල්. කීබෝර්ඩ් එකත් වාහනේට දාගෙන උදේ දහයට විතර එලියට ගියේ තවත් වැඩ රාජකාරි කීපයක් කරගෙන හවසට ප්රැක්ටිසුත් ගිහිං රෑ වෙලා ගෙදර එන්න හිතාගෙන. ප්රැක්ටිස් කැන්සල් නිසා කලින්ම ගෙදර ඇවිත් වාඩි උනේ සිංදු වගේකට කෝර්ඩ්ස් දාන්න. ඕන කරන සිංදු වගයක් යූ ටියුබ් එකේ හොයගෙන මගේ වැඩේට ඔලුව දාගෙන ඉද්දි තමා youtube auto play යටතේ මේ සිංදුව play වෙන්නෙ.
ඒ වෙද්දි මං හිටියෙ තුන වසරේ හෝ හතර වසරේ කියලා තමයි මතක. ඉස්කෝලෙ ඇරෙන්නෙ දවල් දොලහයි හතලිස් පහට. ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන්නෙ ලොකු සුදූ අක්කා එක්ක. දවල් දවසේ අම්මයි තාත්තයි දෙන්නම රස්සාවට යන නිසා මං හවස් වෙනකල් ඉන්නෙ පුංචිලාගෙ ගෙදර. ඒ කාලෙ පුංචිලාට තිබ්බෙ ගම් උළු හෙවිලි කරපු වරිච්චි බිත්ති වලට සිමෙන්ති කපරාරු ගහපු ලොකු ගෙයක්. ඒ ගෙදර බිමටම සමතලා කරලා තමා බාප්පා එතන අලුතෙන් ගේ හැදුවෙ. ඉස්කොලෙ ඇරීලා එනකොට පුංචිලාගෙ ගෙවල් ලඟ වංගුවෙන් කන්ද උඩට හැරෙනකොටම ඉස්සෙල්ලම දැනෙන්නෙ පුංචි පරිප්පු උයන සුවඳ. පුංචි දවාලට උයන්න ගන්නෙ මං ඉස්කෝලෙ ඇරීලා එන වෙලාව අල්ලල. පුංචිගෙ දුව මට වඩා අවුරුදු පහක් වැඩිමල් නිසා ඒ වෙද්දි අක්කා අට වසරේ වගේ වෙන්න ඇති. එයාට ඉස්කෝලෙ ඇරෙන්නෙ එකහමාරට. එයත් ගෙදර එනකොට දෙක විතර වෙන නිසා පුංචිගෙ කෑම උයන වෙලාව අපි දෙන්නටම උණු බත් කන්න දෙන්නම සැලසුම් කරපු වෙලාවක්දෝ කියලා මේ දැං මට හිතෙනව. ලොකු නංගි ඒ වෙද්දි මොන්ටිසෝරි වයසෙ. පොඩි නංගි ඉපදිලා නෑ තියා ඉපදෙන්න හිතලාවත් නෑ ඒ කාලෙ. සමහරවිට එයා කලින් ආත්මේ හෙන නාකි උන්දෙක් වෙන්න ඇති ඒ වෙද්දි.
දවල් එකොලහමාරට හෝ දොලහට වගේ නංගිව පන්සලේ මොන්ටිසෝරියෙන් අරං ඇවිල්ලා තමා පුංචි උයන්න පටන් ගන්නෙ. උයලා ඉවර වෙද්දි මං ගෙදර ඇවිත්. පුංචිගෙ පරිප්පු හොද්දේ සුවඳ මේ දැනුත් දැනෙනවා දැනෙනවා වගේ මට. හැමදාම පුංචි මට පරිප්පු වැරැද්දුවේ නෑ. ඒ මං පට්ට පරිප්පු පෙරේතයෙක් හිංදා වෙන්න ඇති. තුන් වේලටම අවුරුද්දේ දවස් තුන්සිය හැටපහේම උනත් මට පරිප්පු කන්න පුලුවනි. හෑබැයි පරිප්පු රසට උයන්න හැමෝටම බැහැ. ලේසියෙන් උයන්න පුලුවන් උනාට පරිප්පු උයන එක වෙනම කලාවක්. පරිප්පු කියන්නෙ ජීවිතේ හා සමාන නිසා මටත් රහට පරිප්පු උයන්න පුලුවනි. කිරටද, මිරිසටද, තෙම්පරාදුවටද, වතුරෙන්ද, මෙකී නොකී ඕනෑම විදිහකට මටත් රසට පරිප්පු උයන්න පුලුවනි. මම වැඩියෙන්ම ආස තෙල් දාලා වතුරෙන් විතරක් පරිප්පු උයලා කන්න. එහෙම උයද්දි පොල් කිරි දාන්නෙ නෑ. මට හිතෙනව එහෙම ඉව්වාම පුංචිගෙ රසම රස පරිප්පු හොද්ද ලඟින් යන රසක් ගන්න මට පුලුවන් කියල. හැබැයි ඒ රසට සමාන කරගන්න තාම මට බැරිවුනා. අවුරුදු එකොලහක් පරිප්පු උයලත්.
බාප්ප ඒ වෙද්දි හිටියෙ සවුදියේ. ඒ නිසා පුංචිලාගෙ ගෙදරත් තිබුනා ඉස්පීකර් දෙකේ නැශන්ල් කැසට් රේඩියෝ එකක්. ඒ රේඩියෝ එක අන්තිමේ නතර උනේ මගේ කාමරේ. ඒ පස්සෙ වතාවක බාප්පා රට ඉඳලා එද්දි ත්රී ඉන් වන් එකක් ගෙනාපු නිසා. බාප්පා ත්රී ඉන් වන් එක ගෙනෙද්දි රෙකෝර්ඩ් ප්ලේ කරන්න පූලුවන් පැතලි ත්රී ඉන් වන් එකක් අපිටත් ගෙනැල්ලා දුන්න. ඒකෙත් අඩියක් විතර උස බෆල් පෙට්ටි දෙකක් තිබුන නැශනල් එකක් උනාට සද්දෙ ඒ තරම් සුපිරි නෑ. අඩි තුනක් විතර උස බෆල් පෙට්ටි දෙකක් එක්ක බාප්ප ගෙනාපු ත්රී ඉන් වන් එක නිසා පුංචිලහ තිබ්බ නැශනල් කැසට් රේඩියෝ එක ගෙදර ඉස්සරහ කාමරේ මුල්ලකට තල්ලු කෙරුනා. ටික කාලයක් ඒක එහෙම තිබිලා කැසට් පටිය කරකවන මෝටරේ බෙල්ට් එක ලූස් වෙලා කවුරුත් පාවිච්චි නොකරන තැනට වැටුනාම මං ඕක ගෙදර ගෙනැල්ලා මගේ කාමරේ තියාගත්ත. වටේ තිබ්බ ප්ලාස්ටික් කවරය ගලවලා පැත්තකට දාලා මෝටරේට රබර් පටියක් දාලා තමා මං ඒකෙන් කැසට් පීස් ඇහුවෙ. නාමල් උඩුගමගේ සමුගන්නේ නෑ කියන කැසට් පටිය ඉස්සෙල්ලම ඇහුවෙ ඒ කැසට් රේඩියෝ එකේ තමා. ඉස්පීකර් දෙකෙන් එකක් ගලවලා වයර් එකක් අමුනලා අරං ඇලුමීනියම් කලගෙඩිය උඩින් තිබ්බාම දැං තියෙන සබ්වූෆර් කැලේ. පාරෙ වතුර ලයින් එකෙන් ගෙදරට වතුර ගත්තු නිසා ගෙදර තිබ්බ ඇලුමීනියම් කලගෙඩිය ස්තිරවම පදිංචි උනේ මගේ පොත් මේසෙ යට සබ් වූෆර් එකක් විදිහට්. ඒ කාලෙ සබ්වූෆර් කියලා එකක් ගැන කව්රුත් අහලාවත් නැතුව ඇති.
ඉස්කෝලෙ ඇරිලා එද්දි ඉස්සෙල්ලම දැනෙන්නෙ පුංචිගෙ පරිප්පු හොද්දෙ සුවඳ. ඒ එක්කම ඇහෙනවා පුංචිලාගෙ ගෙදර කැසට් රේඩියෝ එකේ වෙලඳ සේවයේ දිවා දැහැන යන සද්දෙ. පුංචිලාගෙ ගෙදර කැසට් අහනවාට වඩා නිතරම ඇහුනෙ රේඩියෝ එක. ඒ පුරුද්දට නිසා වෙන්න ඇති දැනටත් මම ටීවී එකට වඩා රේඩියෝ එකට කැමති. ඒ කාලෙ රේඩියෝ එකේ ප්රවෘත්ති ගියේ දවල් දොලහයි හතලිස් පහට. ඉස්කෝලෙ එකොලහමාරට ඇරෙන කාලෙ සහ ඊට කලින් කාලෙ දිවා පුවත් මට සතියේ දවස් පහම ඇහිලා තියෙනව. දිවා දැහැනයි, දිවා ප්රවෘත්තියි, අම්බිගා ගීතයෙන් ගීතයයි, මරණ දැනිවීමුයි, චිත්රපටි දැන්වීමුයි රේඩියෝ එකේ ඇහුන හැටි අද වගේම මතකයි. රේඩියෝ එකේ ඇහීලා ඇහීලාම එක එක නගරවල තියෙන චිත්රපටි ශාලා ටික තාමත් මතකයි මතකයි වගේ.
සෙනසුරාදා ඉරිදා ඉන්නෙ ගෙදර නිසා සති අන්තයේ රේඩියෝ ඇහෙන්නෙ නෑ. ඒකට හේතුව අපේ ගෙදර රේඩියෝවෙ ලයින් අහු වෙන්නෙ නෑ. බාප්ප අපිට ගෙනැත් දීපු ත්රී ඉන් වන් එකේ ඒරියල් එකක් නෑ. ඒකට වෙනම ඇන්ටනාවක් වගේ කෑල්ලක් එනවා වයර් එකක් එක්ක. ඒක තාත්තා කවදාවත්ම හයිකරලා දුන්නෙ නෑ. රස්සාවලුයි ලමයි තුන් දෙනෙකුගේ වැඩයි එක්ක අපේ අම්මටයි තාත්තටයි සති අන්තයේ රේඩියෝ අහන්න ඉස්පසුවක් තිබ්බෙ නෑ.මං පුංචි නිසා මට රේඩියෝ එකට ඇන්ටනාවක් හයිකරගන්න දැනුමකුත් නෑ. පස්සෙ කාලෙක පුංචිලාගෙ ගෙදර තිබ්බ නැශනල් එක මගේ කාමරේට ආපු නිසා ගෙදර ත්රී ඉන් වන් එකට ඇන්ටනාව අමුනන්න ඕනකමක් උනේ නෑ. 1992-93 කාලෙ වගේ සිරස එෆ් එම් පටන් ගනිද්දි තමයි මං ඉස් ඉස්සෙල්ලම ඒකට ඇන්ටනාව අමුනලා එෆ් එම් අහන්න පටන් ගන්නෙ. එදා ඉඳන් මමයි රේඩියෝ එකයි කියන්නේ ගෙදර ඇතුලේ වෙනම පවුලක්. ඒ විස්තරේ මං වෙනමම බ්ලොග් එකේ ලියලා ඇති කාලෙකට කලිං.
ආයෙම පුංචිලාගෙ රේඩියෝ කතාව.. ඒ කාලෙ මට මතක විදිහට හොඳම සිංදු ගියේ දිවා දැහැනට වෙන්න ඕන. පුංචි බෙදන බත් පිඟානයි දිවා දැහැනයි කියන්නෙ එකම රස සාගරයක්. බත් පතේ තියෙන අනික් ව්යාංජන මොනවා උනත් පරිප්පුයි බතුයි දිවා දැහැනයි කොච්චර තදින් ගැලපුනාද කියනවනම්, අද මේ අහම්බෙන් ඇහුන සිංදුව නිසා ඒ සියල්ලම එකපාරට මතකයට ආව. අපේ පංච ඉංද්රියන්ට දැනෙන සමහර දැනීම් අපිව හිටපු ගමන් අතීතෙට අරං යනව. සමහර රසවල්, සමහර සුවඳවල් අපේ ජීවිතවල සමහර සමහර තැන්වල රෙජිස්ටර් වෙනව අපි නොදැනුවත්වම. මං සීටී ප්රනාන්ඳුගෙ සිංදු අනන්ත අහලා තියෙනව. බෑන්ඩ් එකත් එක්ක ප්ලේ කරලත් තියෙනව ඕනෑතරම්. ඒත් පුංචි කාලෙ දිවා දැහැනේ ඇහුන සද්දෙ ඇහුනාම මාව එකපාරටම අතීතෙට ගියා. පුංචි, පුංචිගෙ පරිප්පු හොද්ද, බාප්පා, මාව ඉස්කෝලෙ එක්ක ගිය ලොකු සුදූ අක්කා කියන ඔක්කොම මට එක පාරටම මතක් උනා. කෝර්ඩ් දැමිල්ල පැත්තකින් තියලා මම මේක ලියන්න පටන් ගත්ත.
දැං කාලෙ පරිප්පු ඒ කාලෙ පරිප්පු වගේ සුවඳ නෑ කියලත් මට හිතෙනව. අද කාලෙ පරිප්පු ඒ කාලෙ පරිප්පු වගේ රස නෑ කියලත් මට හිතෙනව. ඒ දෙකම එහෙම නොවුනත් පුංචිට තරම් රසට සුවඳට පරිප්පු උයන්න පුලුවන් කෙනෙක් අදටත් මට හමුවෙලා නෑ. අද වෙද්දි පුංචියි බාප්පයි දෙන්නම ජීවතුන් අතර් නෑ. මාව ඉස්කෝලෙ අරං ගිය ලොකු සුදු අක්කත් ජීවතුන් අතර නෑ. බාප්පා හදපු ගේ විකුනලා අක්කා වෙන තැනක ගෙයක් අරගෙන පදිංචියට ගිහිං. පවුලට සහ දරුවාට කැපකරන්න තියෙන වෙලාව තමුන්ගේ නංගිගේ දරුවන් වෙනුවෙන් උපරිමයටත් වඩා කැප කරන්න ඉදිරිපත් වෙන පුංචි වගේ උත්තම චරිත මේ සමාජයේ විරලයි. තමුන්ගෙ ගෙදර තමුන්ගෙ බිරිඳගේ නංගිගේ ලමයි තුන්දෙනෙක් දවල් දවසේ යකා නටනවා බලාගෙන බැල්මකින්වත් අකමැත්තක් නොපෙන්වපු, තමුන්ගෙ වයිෆ්ගෙ නංගිගෙ දරුවන් තුන්දෙනාට තමුන්ගේ දරුවාට තරම්ම ආදරේ සෙනෙහස දක්වන්න පුලුවන්, බාප්පා වගේ උත්තම චරිතත් අද සමාජයේ විරලයි කියලාත් මට හිතෙනව. ලංකාවෙන් පිටවෙලා අවුරුදු එකොලක් ගිහිං.. මට පුංචිගෙන් බාප්පගෙන් ඉතුරු මතකය විතරයි. ඒ මතකය මට කෝටියක් වටිනව.
---------
හයිවේ නැති කාලෙ රෑක කොලඹ ඉඳන් එද්දි බඩගින්නක් ඇවිල්ලා පානදුරේ ඉස්පිරිතාලෙ ඉස්සරහා තියෙන රෑ කඩේ කන්න නැවැත්තුව.. උනු උනු පරාටා තුනක් කෑවා පරිප්පු එක්ක. කාලා අහවර වෙලා ප්ලේන්ටියකුත් බීලා වේටර්ට කීවා බිල ගේන්න කියලා... වේටර් කෑගහලා බිල් ලියන මනුස්සයාට කිව්වා බිලට වැටෙන්න ඕන අයිටම් ටික..
පරාටා තුනයි... ප්ලේන්ටියයි... පරිප්පු දීසි හතයි.. ...
කඩේ හිටපු කීපදෙනෙක් මා දිහා බැලුවා... මයෙ මොකෝ ඉතිං.. හොරා කාලා නෙවෙයිනේ...
මේ තමා මාව අතීතයේ රවුමක් අරං ගිහිල්ලා ඉමෝශනල් කරපු ගීතය... මේ සිංදුව මම සිය වාරෙකට වඩා අහලා ඇති.. ප්ලේ කරලත් ඇති. ඒත් මේ තමා පුංචිලාගෙ ගෙදර නැශනල් රේඩියෝ එකේ දිවා දැහැනේ ඇහුන සිංදුව... ඒ සද්දය...ඒකයි මට් මේක සිංදුවක් විතරක් නොවී මතකයේ කොන්ක්රීට් වෙච් ඉමෝශනල් ෆීලින් එකක් වෙන්නෙ.
ඒ සිංදුව පහත ලින්ක් එකේ