Saturday, February 27, 2016

නමක් නැති කතාවක්..10






කාලය හෙමි හෙමිහිට ගලාගෙන ගියා.  ඖෂදී සුභාෂ් ඉස්සරහට හමුවෙන හැම වෙලාවකම අහම්බෙන් වගේ එකිනෙක හමුවෙන  ඇස්  එකිනෙක පැටලෙන්න කලින් සුභාෂ් නොදැක්ක වගේ සුභාශ්ව පහුකරගෙන යන්න හැම වෙලාවේම උත්සහ කරා. ඒ ඇස්දෙක ඇතුලේ කලින් දැකපු දොඩමලුබව ඒ වෙද්දී තියනවද නැද්ද කියල හොයන්න සුභාෂ් හිත ඇතුලෙන් හුඟාක් තර්ක විතර්ක කළා උනාට ඒ ප්‍රශ්නයට උත්තර සුභාෂ්ට ලැබුනේ නැහැ . කොයිතරම් උත්සහ කලත් ඖෂදී ගැන ඇතිවෙච්ච කුළුඳුල් ආදරය අමතක කරලා ඒ සොඳුරු සිතුවිල්ල හිත ඇතුලෙම මරල දාන්න සුභාෂ්ට පුළුවන් උනේ නැහැ.

ඉන්ද්‍රජිත් විසින් කරන ලද රැවටීමෙන් පස්සේ සුභාෂ් ආයෙත් පාපන්දු පුහුණුවීම් වලට සහභාගී නොවුනා වගේම පාඩම්  වැඩ වලට තිබුන උනන්දුවත් දවසින් දවසම අඩුවුනා. හිත ඇතුලෙන් අමතක කරලා දාන්න උත්සහ කරන්න කරන්නම ඖෂදීගේ ඇස්දෙක සුභාෂ්ගේ හිත ඇතුලේ දවසින් දවසම තව තවත් ස්තිරෙටම තන්පත්වෙන බව සුභාෂ්ට දැනුනේ නැහැ. ඖෂදී යන එන පාරක නොයන්නත් ඖෂදීගේ පන්තිය පැත්තේ නොයන්නත් සුභාෂ් කොයිතරම් උත්සහ කලත් සුභාෂ්ට නොදැනුවත්වම සුභාෂ් නිතර ආවේ ගියේ ඒ අවටින්මයි. ඉඳහිටක වයලීනය තුරුළු කරගෙන පාරෙ හමුවෙන ඖෂදී ඈත ඉඳන් සුභාෂ් දිහා බලන් ආවත් සුභාෂ් ලංවෙද්දි බිම බලාගෙන යන්න වගබලාගත්තා. ඖෂදී එක්ක කතා කරන්න කොයිතරම් උවමනාවක් තිබුනත් ඖෂදී සුභාෂ්ට අකමැතියි කියන සිතුවිල්ල සුභාශ්ව නිතරම පසුපසට අදින්නක් වුනා. දවසින් දවසම සුභාෂ් උත්සහ කළා ඖෂදීට කරදරයක් නොවෙන විදිහට හිත රවට්ටගෙන ජීවත් වෙන්න. 

***********************************************

හිතපු තරම් ප්‍රතිපල නැතිවුනත් සාමාන්‍යපෙළ විභාගයෙන් උසස්පෙළ කරන්න පුළුවන් ප්‍රතිපලයක් සුභාෂ්ට ලැබුනේ කිසිම ආයාසයකින් නොවෙන වග සුභාෂ් දැනගෙන හිටියා. උසස්පෙළ කරන්න පාසල් ගියත් සුභාෂ් ඒ වෙද්දී දවස ගතකරගන්න කුමන හෝ දෙයක නිරතවෙන පුද්ගලයෙක් වෙලා හමාරයි. ඉගැන්නුවේ මොනවද උගන්වන්නේ මොනවද කියන මතකයක් සුභාෂ් වෙත තිබුනේ නැහැ. කොයිතරම් උත්සහ කරත් අමතක කරන්න බැරි ඖෂදීගේ ඇස්දෙක ඇතුලේ ආත්මය හිරකාරයෙක් වෙලා වග විතරක් සුභාෂ් දැනගෙන උන්නා. ඒත් ඖෂදී බලන්න දකින්න සුභාෂ් උත්සහ කරේ නැත්තෙ පාප මිත්‍රයින් තව තවත් ඖෂදී අපහසුතාවයට පත්කිරීම වලක්වන්න. එත් වසර ගණනාවක පුරුද්දට වගේම සුභාෂ්ගේ මිතුරැ කැල ඖෂදී දුටුතැන සුභාෂ්ගේ නම කියමින් ඖධදීට ඔච්චම් කරන්න අමතක කලේ නැහැ. සුභාෂ් එහෙම වෙලාවලදී කරේ ඔහේ උදාසීනව ඒ දිහා බලන් ඉන්න එක විතරමයි. දවස් ඔහේ ගෙවීගෙන යද්දී දවසක විවේක කාලයේදී චමිල සුභාශ්ව හොයාගේ දුවගෙන ආවේ බොහොම කලබලෙන්..

කොහෙද යකෝ යන්නේ.. මම මේ උඹව හොයනවා හැම තැනම ..

ඇයි මොකෝ හදිසිය.. මම ගෙදර පනින්න කියල බන් හිතුවේ 

උඹට  සුභ ආරංචියක්..

හහ්..හහ් ..හා... මට සුභ ආරංචියක්.. පේනතෙක් මානෙක සුභ ආරංචියක් නැති මට මොකක් උනත් මොකෝ බන්.. කියහන් බලන්න මොකක්ද කියල.. 

උඹ හිතන්නේ මොකක් වගේ එකක් කියලද..

මේ දවස්වල ග්‍රහ චක්කරේ හැටියට කැරකෙන්න තියෙන්නේ බාල්දියක් තමයි..

අන්න උඹට ඖෂදී හම්බෙන්න එන්න කියල..

මචන්.. උඹල අවුරුදු දෙකක් ඕක අල්ලාගෙන ඖෂදීට මේ ඉස්කෝලේ ඇතුලේ පාඩුවේ ඉන්න දුන්නේ නැහැ.. දැන් ආයෙත් උඹල නටන්නද හදන්නේ..

නැහැ යකෝ නැහැ.. උඹට මාව විශ්වාස නැත්තම් ගිහින් අහපන් ඖෂදීගෙන්..

ඖෂදී සම්භන්ධව මම කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ බන් .. තරහ වෙන්න එපා.. 

ඒ කියනේ දැන් උඹට මේ පණිවිඩේ වැදගත් එකක් නෙවෙයිද..

ඇත්තම කියනවනම් ඖෂදීගෙන් පණිවිඩයක් එනවා කියන්නේ මට මුළු ලෝකෙටත් වඩා වැදගත් තමයි බන්.. එත් උඹල මේ හදන්නේ ආයෙත් මාව අන්දන්න කියන එක දන්නා නිසා මට ඔය පණිවිඩේ වැදගත් නැහැ..

හරි උඹට වැදගත්ද නැත්ද කියන එක මට වැදගත් නැහැ මචන්.. පණිවිඩේ අරන් ආපු පොඩි එකාට උඹව හොයාගන්න බැරිවුන නිසා මම පණිවිඩේ කියන්න භාරගත්තා .. ඒ හින්ද මෙන්න මේකයි පණිවිඩේ.. හෙට ඉන්ටවල් එකේදී කෙමෙස්ට්‍රි ලැබ් එක ඉස්සරහ අඹ ගහ යටට ඖෂදී උඹට එන්න කියල එයාව හම්බෙන්න. උඹ ගියොත් පණිවිඩේ ඇත්තද නැද්ද කියල බලාගන්න පුළුවන් වෙයි.. 

මං එක්ක විහිළු කරන්න එපා මචන්... ඔය විහිළුවෙන් මගේ ඇස් රතුවෙලා හුඟක් කල්..

මේක විහිළුවක් වගේ නම් මම හැමෝටම හොරෙන් උඹව හොයන ඇවිල්ල මේ පණිවිඩේ උඹට විතරක් කියන්නේ නැහැ මචන්..මම දන්නවා උඹ හිතෙන් ඖෂදීට පන ඇරගෙන ලව් කරා කියල..ඖෂදී උඹ දිහා බල බල ඉඳල උඹට පයින් ඇන්න කියලත් අපි දන්නවා බන්.. ඒ වගේම ඉද්රජිත් ඖෂදී යාලුකරලා දෙන පොරොන්දුව පිට උඹෙන් හොඳ ගානක් කෑවා කියලත් අපි දන්නවා. ඊට අමතරව ඖෂදී සම්භන්ධව කව්රුහරි සෙට් එකක් උඹට ගැහුවා කියලත් වටින් ගොඩින් ආරංචියක් තිබ්බට ඒක ඇත්තද කියල අද වෙනකම් උඹ අපිට කියල නැහැ.. උඹට එහෙම කව්රුහරි ගැහුවනම් අපි එකට රිටර්න් එකක් නොදී ඉන්නෙත් නැහැ කියල උඹ දන්නවා..

දැන් ඔව්ව කතාකරලා වැඩකට නැහැ බන් මචන්.. මගේ හිතේ අදහසක් තිබ්බ තමයි.. ඒත් මගේ වරදට ඖෂදීට දොස් කියන්න එපා මචන්.. ඖෂදී කිසිම වෙලාවක මට කියල නැහැ එයා ගැන අදහසක් තියාගන්න කියල.. ඒ නිසා  ඖෂදීට ඕන වෙලාවක අයිතිය තියෙනව එයා කැමති කෙනෙක් එක්ක යාලුවෙන්න.. හැමදේම උනේ මගේ වරදින්..

හරි  හෙට ගිහින් බලමුකෝ..

උඹ දැන් මේක වෙන කාටද කිව්වේ..

කාටවත් නැහැ.. උඹට විතරයි.. මේක බොරුවක් උනොත් පණිවිඩේ ගෙනාපු එකාගේ බෙල්ල මිරිකන්නේ උඹ නෙවෙයි මම..

මට තවත් වැටෙන්න දෙයක් නැහැ මචන්.. මම හිතන්නේ මේක කාගෙහරි ලනුවක්...

හරි මම එනවා උඹ එක්ක යන්න.. අපි ගිහින් බලමු..

අනේ මන්ද බන්.. කාලකන්නි මං එක්ක යාලුවෙන්න ඖෂදීට පිස්සු නැහැ බන්.. 

හරි දැන් උඹ හෙට කෙමෙස්ට්‍රි ලැබ් එක ඉස්සරහට යන්න එනවද නැද්ද කියපන්..

උඹ කියන හින්ද යමු..

කාලයක් වැඩ නොකරපු පපුව ආයෙත් වැඩකරන්න ගත්තාදෝ කියන අලුත් හැගීමක් සුභාෂ්ගේ හිතපුරා නොදැනුනා නෙවෙයි. කාලයක් ආයාසයෙන් යටපත් කරගෙන තිබ්බ බලාපොරොත්තුවක් ආයෙත් නව දළු දාගෙන මෝදුවෙන සන්තොසය හිතපුරා විඳගන්න දෙගිඩියාව කියන සිතුවිල්ල සුභාෂ්ට හරි ආකාරව ඉඩක් දුන්නේ නැහැ. උසස්පෙළට ආපු දවසේ ඉඳන්ම ඉස්කෝලේ පිටිපස්සේ තාප්පෙන් ඉස්කෝලේ ආ ගිය සුභාෂ් කවදාවත් නැතුව පාසල අවසාන වෙනතුරුම පන්තියේ රැදී උන්නා. හෙට දවසේ සිද්දවෙන සිදුවීම කුමන ආකාරයේ සිදුවීමක්ද කියන්නාවූ සිතුවිල්ල සුභාශ්ව මදකට සැබෑ ලෝකයෙන් එහාට අරන්ගිහින් අතරමං කරලා දාල තිබුනා..

********************

ඖෂදී සුභාෂ්ට හමුවෙන්න එන්න කියපු දවසේ විවේකය සටහන් කරන්න වූ සීනුව නාදයත් එක්කම සුභාෂ් රසායන විද්යාගාගාරය පැත්තට යන්න පිටත්වුනේ චමිලත් එක්ක.. 

දැන් උඹ ඊයේ හිටියේ මම කියන නිසා යනවා කියල නේද..

ඒ මොකෝ උඹ එහෙම ඇහුවේ..

නෑ උඹටනේ දැන් හදිසිය තියෙන්නේ..

හදිසියක් නැතුව නෙවෙයි චමිලයා.. මට මේක විස්වාසයක් නැතිකමයි තියෙන්නේ..

ගිහින් බලමුකෝ.. බොරුවක් උනොත් පණිවිඩේ ගෙනාපු එකාව ගහනවා පොළොවේ අද..

සුභාෂ් විද්‍යාගාරය ඉදිරිපිට තියන අඹ ගහට හේත්තු වෙලා ඉද්දි චමිල විද්‍යාගාරයේ ඉස්සරහ තිබ්බ ඩෙස්ක් බැංකුවක් උඩින් වාඩි වෙලා උන්නා. සුභාෂ්ගේ ඇස්දෙක ඇසිපිල්ලන් නොගහ බලන් හිට්යේ කොයි මොහොතේ හරි තමුන් වෙත එන ඖෂදීව දැකගන්න පරමාර්ථයෙන්. ගැහෙන්න පුළුවන් උපරිම වේගයෙන් සුභාෂ්ගේ හදවත ගැහෙමින් සුභාෂ් වෙත තිබුණු නොසන්සුන්තාවය ශාරීරය පුරා ගෙනගියා. කාලාන්තරයක් බලාපොරොත්තුවෙන් ඉඳපු ඒ මොහොත තව සුළු මොහොතකින් උදාවෙන සිතුවෙල්ල සුභාශ්ව හොඳටෝම නොසන්සුන් බවට පත්කරමින් තිබුනා. පැසිපන්දු පිටිය පහුකරගෙන සුභාෂ් ඉන්න පැත්තට  හැරෙන හැම ගැහැණු ළමයෙක් දිහාම සුභාෂ් විමසිල්ලෙන් බලන් හිටියේ ඖෂදී දැකගන්න ලොකු බලාපොරොත්තුවකින්. ඒත් සුභාශ්ව පහුකරන් කැන්ටිම පැත්තට පඩිපෙළ බැහැල ගිය ගැහැණු ළමයින් අතරේ ඖෂදී හිටියේ නැහැ. තත්පරයෙන් තත්පරය අලුත්වෙන බලාපොරොත්තු දල්වාගෙන බලන් ඉන්න සුභාෂ් ආයෙත් රැවටුනා කියන දුක්ඛදායක සිතුවිල්ල පමණක් හිතේ ගැඹුරුම තැනකින් සටහන් තබමින් විවේක කාලය අවසන් වෙන සීනුව නාදවුනා. සීනුව නාදවුනායින් පස්සෙත් සියලුම ළමයින් පන්තිවලට ගියායින් අනතුරුව අවට නිශ්චල ස්භාවයට පත්වෙද්දීත් සුභාෂ් ඈත බලාගෙන අඹ ගහට හේත්තු වෙලා ඔහේ බලන් හිටිය. 

යමන්..

සුභාෂ්ට චමිල දිහා බලන්න හිතේ හයියක් තිබුනේ නැහැ.. එලියට පනින්න නොදී අමාරුවෙන් නවත්තගෙන ඉන්න කඳුළු ගෙඩි දෙක එලියට පනියි කියන බයෙන් සුභාෂ්, හිස්ම හිස් සිතුවිල්ලකින් අහස දිහා බලන් උන්නා ..

අපි යමන්..

මගේ පොත් ටික ඩෙස්ක් එකේ ලාච්චුවට දාපන් චමිල .. මම මෙහෙම්මම ගෙදර යනවා..

මට තව පීරියඩ් හතරක් කල් දීපන්  මචන්..

මොකටද..

ඊයේ මේ පණිවිඩේ අරන් ආපු එකාගේ බෙල්ලෙන් අල්ලන් ඇවිත් උඹේ කකුල් දෙක ගාව පොළොවේ ගහන්න..

ඕන නැහැ බන්.. කව්රු උනත් කරපු දෙයින් සන්තෝස වෙන්න ඇතිනේ බන්.. ඒ මදැයි..

ඕනවට වඩා අවන්කයෙක් වෙන්න එපා බන්.. දැන් මෙතන ඉන්න බැහැ.. මෙතන ඉඳල මාටු උනොත් තවත් ලෙඩක්.. යමන් කැඩෙට් කාමරේ පැත්තට..

උඹ පන්තියට පලයන් බන්.. මම ගෙදර යනවා..

මට මොන පන්තියක්ද බන්.. මට අරූව අල්ලාගෙන දෙක තුනක් අනිනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ ..

දැන් ඌට ගැහුවා කියල උඹට මොනවද ලැබෙන්නේ..

මටද.. මට දැනගන්න ඕන උඹව විහිළුවකට ගත්තේ මොකාද කියල හොයාගෙන ඌට දෙකක් අනින්න..

වැඩක් නැහැ බන්.. උන්ට ගැහුවා කියල මම ආයේ රැවටුන එක රිවස් කරන්න බැහැනේ මචන්..

මේ.. උඹේ බන උඹ තියාගනින්.. මේක විසඳන්නේ මම..

උඹ ඕන දෙයක් කරහන්.. හැබැයි ඖෂදීට ප්‍රශ්න ඇතිකරන්න එපා..

උඹනම් පිස්සෙක් බන්.. උඹව මෙච්චර විහිළුවක් කරගෙන ඉද්දි  උඹ තාම ඒකිට ලව්.. උඹනම් මහා ගොන් නාම්බෙක්..

අපි දන්නේ නැහැනේ බන් මේක කරේ කව්ද කියල.. ඒ හින්ද උඹ ඖෂදීට දොස් නොකිය හිටහන්..

ඉවසන් හිටහන්.. ඉස්කෝලේ ඇරුනාම බේරාගමු..

අනේ මන්ද බන්..

හිටහන් මම උන්ගෙ පන්තිය පැත්තේ කැරකිලා එන්නම්.. උඹ මම එනකම් කොහෙවත් යන්න එපා.. මට මේක විසඳන්න දීපන් මගේ සිස්ටම් එකට..

ඖෂදීට ප්‍රශ්නයක් කරදරයක් නොවෙනතාක් උඹ මොනවා කරත් මට ප්‍රශ්නයක් නැහැ බන්.

චමිල එතනින් නික්ම ගිය ගමන් අමාරුවෙන් නවත්තගෙන උන්න කඳුළු වැල් ඔහේ සුභාෂ්ගේ කම්මුල් දිගේ පහලට රූටගෙන යද්දී සුභාෂ් හිස් බැල්මකින් අරමුණක් නැතුව ඔහේ ඈත ආකාසය දිහා බලාගෙන උන්න. ගැහැණු ළමයෙක් වෙනුවෙන් හඬාවැටෙන්න තරම් බොලඳ මනසක් නොතිබුනත් කාටවත් කියාගන්න බැරිව පපුව ඇතුලේ හිරවුණු දුකක් සුභාෂ්ගේ පපුව පුරා ඇවිලෙමින් තිබුනා. හිතේ හිරකරගෙන දුක්වෙනවා හැරුනාම ඒ වෙනුවෙන් කලයුතු කිසිත් සුභාෂ් වෙත තිබුනේ නැහැ.

විවේකයට පසුව තිබෙන කාලච්චේදය අවසාන වෙලා විනාඩි පහක් පමණ වෙද්දී චමිල නිල් කොට කලිසමකින් සැරසුණු කොලුවෙකුගේ කමීස කොලරයෙන් ඇදගෙන කැඩෙට් කාමරය පිටුපසට පැමිණුනේ හදිසියෙන්..

අනේ බුදු අයියෙ ගහන්න එපා..

හෝව් හෝව්  චමිලයා මේ පොඩි එකාට ගහන්න එපා බන්... මොකක්ද මේ වෙන්නේ..

වෙන්නේද.. වෙන්නේ මේකයි.. මූ තමා ඊයේ ඖෂදීගේ පණිවිඩේ අරන් ආපු එකා.. කියපන්.. දැන් තොට කව්ද කිව්වේ සුභාස්ට මේ ජරා වැඩේ කරන්න කියල .. 

අනේ චමිලයියේ මම බොරු නෙවෙයි කියන්නේ.. ඖෂදී තමයි කිව්වේ ගිහින් කියන්න කියල..

ඖෂදී අද ඉස්කෝලේ ඇවිත්ද ඉන්නේ..

ඔව් අයියෙ ඔව්... ඖෂදී පන්තියේ ඉන්නවා ..

ඔන්න උඹ දැන් මගෙන් කන්න හදන්නේ.. තෝව බේරගන්න මෙතන කව්රුත් නැහැ.. කියපන් කව්ද කිව්වේ..

ඔය කොල්ලව අතැරලා දාපන් චමිලයා.. උඹට පිස්සුද.. මල්ලි උඹ පලයන් පන්තියට ..

උඹ පැත්තකට වෙලා හිටපන් මගෙන් නොකා.. කියහන් තෝ කාගේ උවමනාවකටද මේ බලු වැඩේ කරේ..

අයියෙ.. මගේ අම්ම පල්ලා ඖෂදී තමයි කිව්වේ..

දැන් අපි ඖෂදී හම්බෙලා අහල උඹ බොරු කියනවා කියල අහු උනොත් තෝ දන්නවනේ තොට වෙන දේ..

දන්නවා අයියෙ දන්නවා.. ඔයාල ඖෂදී හබෙලා ඕනෙනම් මාව ඉස්සරහ තියල අහන්න..මේක බොරුවක් නෙවෙයි..

දැන් උඹට මේක සුභාෂ්ට කියන්න කියල කියද්දී ඖෂදී විතරද එතන හිටියේ..

නැහැ අරුනිත් හිටියා..

චමිලයා ඔය කොල්ලව අතෑරපන් බන්.. මල්ලි උඹ පලයන් දැන්.. උඹ මේ මුකුත් ඖෂදීට කියන්න එපා හරිද..

අයියා කියනවනම් මම නොකිය ඉන්නම්.. 

ඔව්.. උඹ මම කියන නිසා මේ ප්‍රශ්නේ මෙතනින් එහා අරන් යන්න එපා.. මොකද මම තමයි උඹ ඊයේ හොයාගෙන ආපු සුභාෂ්..

සුභාෂ් මූ කියන්නේ බොරු යකෝ.. මූ අපේ කාගෙන් හරි කීයක් හරි අරගෙන මේ බලුවැඩේ කරේ..මට මේක හොයාගන්න දීපන්..

චමිලයියේ.. ඔයා ඕනෙනම් මට ගහන්න.. එත් මීට වඩා ඇත්තක් මම දන්නේ නැහැ.. ඖෂදියි අරුනියි තමයි මේ කරදරේට මාව පැටලුවේ..

හරි මල්ලි උඹ පලයන්.. මීට පස්සේ උඹ ඔය වගේ ලනු කන්න එපා.. 

තෝ අද බේරුනේ සුභාෂ් නිසා කියල දැනගනින්.. ඒත් අපි මේක ඖෂදී හම්බෙලා හොයල බලල තමයි අතාරින්නෙ.. එදාට තෝ බොරුවක් කරා කියල එලිවුනොත් තෝ ඉවරයි කියල හිතාගනින්..

හරි අයියෙ හරි.. ඔයාල හොයල බලන්නකෝ..

මල්ලි උඹ පලයන්.. චමිලය ඔය කොල්ලව යවහන් දැන්..

උඹනම් මහා පුදුම මිනිහෙක් බන්.. මේක හොයාගන්න පුළුවන්කම තියෙද්දී උඹ ඌ අතැරලා දැම්මනේ..

චමිලයා.. ඌ කියන්නේ බොරුවක් නෙවෙයි බන්.. ඖෂදී ආයෙත් මට නපුරු විහිළුවක් කරා කියල අපිට පිළිගන්න වෙනවනේ බන්.. දැන් ඕක කතාකරලා පලක් නැහැ.. උඹත් දැන් පන්තියට පලයන් මචන්.. මම මෙහෙමම ගෙදර යනවා..

කොහේ යන්නද බන්.. හිටහන් ඉස්කෝලේ ඇරෙනකම් ඖෂදී හම්බෙලා අපි මී හරක් නෙවෙයි කියල උගන්නන්න..

අඩෝ පිස්සුනම් කෙලින්න එපා චමිලයා.. දැන් එක ඉවරයි..ඖෂදීට උඹ වචනයක්වත් කියනවා එහෙම නෙවෙයි..

එහෙම කොහොමද බන්..

මචන්.. මේක උනේ උඹට නෙවෙයි මට.. ඖෂදී විහිලුවට ගත්තේ උඹ නෙවෙයි මාව.. උඹ මට උදව් කරන්න ඇවිත් නැති ලෙඩ දාගන්න එපා..

ඇයි බන් ඔය තරම් පීචන් වෙන්නේ.. වරෙන් ඉස්කෝලේ ඇරුනාම ගිහින් කන පුරෝලා දෙකක් දෙන්න..

මචන්.. මම ඖෂදීට ආදරේ කරා බන්.. එහෙම මට උඹ කියන්නේ දැන් ගිහින් ඖෂදීගේ කම්මුලට ගහන්න කියලද..

මමනම් ගහනවා කන පැලෙන්න..

මට ඒක කවදාවත් කරන්න බැහැ මචන්.. අපි මේක මෙතනින් අල්ලලා දාමු.. එකපාරක් රැවටුන මට දෙවැනි පාර රැවටෙන එක මහා කජ්ජක් නෙවෙයි බං..

උඹ ඔය හදන්නේ හිත රවට්ටගන්න බං..

මේ වෙලාවේ එහෙම කරනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ බන්..

උඹට පුලුවනිද ඖෂදීව අමතක කරන්න..

ඇත්තම කියනවනම් බැරි වෙයි.. 

අනේ බයිලා නැතුව වෙන කෙල්ලෙක් හොයලා යාලුවෙයන් බන්.. 

එකෙක් නෙවෙයි බන් දාහක් එක්ක යාලු උනත් ඖෂදී ඉඳපු තැනට මගේ හිතේ වෙන කාටවත්ම එන්න බෑ මචන් .. හැමදාමත් එතන හිස්..

බයිලා නැතුව වරෙන් පන්තියට යන්න..

මට බැහැ බන්.. මම ගෙදර යනවා..මගේ පොත් ටික ලාච්චුවට දාහන්..

උඹේ කැමැත්තක් මචන්..

උඹ මට එක උදව්වක් කරහන්..

මොකක්ද..

මේ සිද්දිය කාටවත් කියන්න එපා.. මට තවත් විහිළුවක් වෙන්න බැහැ මචන්..

පිස්සුද බන්.. මම කාටවත් කියන්නේ නැහැ.. ඒත් ඖෂදීට දෙකක් කියනකම් මට නින්ද යන්නේ නැහැ බන්..

චමිලයා.. උඹ හොඳට මතක තියාගනින්.. උඹ ඖෂදීට මොනවහරි කියල මට ආරංචි උනොත් එයින් පස්සේ මම ආයේ කවදාවත් ඉස්කෝලේ එන එකක්  නැහැ..

ඔය තරම් පීචන් වෙන්න එපා යකෝ..

කෙල්ලෙකුට ආදරේ කරනවා කියන්නේ ඒ ආදරේ නොලැබුනාම ඒ කෙල්ලට අපහාස කරන එක නෙවෙයි මචන්..

එතකොට උඹ කියන්නේ මේ කරපු කැත වැඩේ හරි කියලද..

ඒක එයාගේ කැමැත්ත බන්.. විහිලුවට හරි එයා මට එන්න කිව්වනේ බන්.. නිකම් ඉන්න මට අහල ගියත් මගුල් බන්..

ඕන මගුලක් කරගනිං.. මම පොත් ටික අරන් එනකම් හිටහන්.. මටත් දැන් ඉස්කෝලෙ ඉන්න බැහැ.. මගේ ලේ කෝපවෙලා තියෙන්නේ..

ගිහින් අරන් වරෙන් එහෙමනම්..

************************************

කාලය හෙමි හෙමිහිට ගෙවීල ගියා.. සුභාෂ් උන්නේ සුභාෂ් එක්කම කලකිරීමෙන්. පුද්ගලික ආයතනයක සේචිකාවක් වුන ඖෂදී ඒ වෙද්දී සුභාශ්ගේම සමාන්තර පන්තියක යාලුවෙකුගේ පෙම්වතියක් වෙලා උන්නා. හුළඟට  අහුවෙලා ගහගෙන යන බැලුම්බෝලයක් වගේ සුභාෂ්ගේ ජීවිතෙත් එකතරා ගෑනු ළමයකු ළඟ නැවතිලා තිබුනා. ඒත් ඖෂදී හිතේ ඉඳපු තැන පුරවන්න තමුන්ගේ පෙම්වතියට කොහෙත්ම බැරි විත්තිය දැන දැනත් සුභාෂ් සුභාෂ්ගේ ජීවිතේ ඔහේ අයාලේ යන්න ඉඩ හැර තිබුනා. 

ජීවිතේ ගලාගෙන යන්නේ කොතනටද කියන අදහසක් නැතුව උන්නු සුභාෂ් කසාද බඳින්න තීරණය කරේ තමුන්ගෙන්ම  පලිගන්න ඔනවුණු නිසා. එතනින් පස්සේ සුභාෂ්ගේ ජීවිතේ ඔහේ පාවෙලා ගියා. ජීවිතේ කුමන අරමුණක් කරා ගෙනියන්න ඕනද කියන අදහසක් සුභාෂ් වෙත තිබුනේ නැහැ.. මොකක්දෝ දුක්මුසු කලකිරීමක් සුභාෂ්ගේ හිත ඇතුලේ සදහටම නිදන් වෙලා තියෙනවා කියල විතරක් සුභාෂ් දැනගෙන හිටියට ඒ දුක කලකිරීම වචන වලට පෙරලන්න සුභාෂ් මොනම වෙලාවකවත් උත්සහ කරේ නැහැ.

*************************************


සුභාෂ් අවදිවුනේ  කව්දෝ දොරට තඩිබාන ශබ්දයෙන්. මේසය උඩ තිබෙන හිස් වෙච්ච විස්කි බෝතලයත් , නිදා උන් හාන්සි පුටුව අවට විසිරෙච්ච සිගරට් කොටත් පෙරදා රාත්‍රියේ දුටු සිහිනය නැවතත් සුභාෂ් වෙත ස්මරණය කරන්නක් වුනා. අමුවෙන් ගිලදැමූ මද්‍යසාර මත සම්පූර්ණයෙන් පහව ගොස් නොතිබුනත් සුභාෂ් වැනි වැනී ගොස් දොර විවුර්ත කළා..

ඔහ්.. මයි ගෝඩ්.. වට් නොන්සන්ස් ආර් යු ඩුයින් මිස්ටර් සුභාෂ්.. හව් මෙනි ටයිම්ස් අයි හැව් ටෝල්ඩ් යූ නොට් ටු ස්මෝක් ඉන් සයිඩ් ද රූම් ..

සොරි මිසිස් සමරසිංහ..

බයි ද වේ.. අන්න ඔයාගේ බොස් කෝල් කරා.. ඉම්පෝර්ටන්ට් වැඩක් තියෙනව ඒත් ඔයා තාම වැඩට ඇවිත් නැහැ කියල.. වයි ඩෝන්ට් යූ ආන්සර් යුවර් ෆෝන් පුතා..

සොරි මිසිස් සමරසිංහ .. ෆෝන් එක ඊයේ රෑ සයිලන්ට් දාපු ගමන්..

ඔයා ඩ්‍රින්ක්ස් අරන් නේද.. ඔයාගේ හෙල්ත් කන්ඩිෂන් එකේ හැටියට ඔයාගේ ඩොක්ටර් කියල තියෙනව නේද ස්මෝක් කරන්න එපා ඩ්‍රින්ක්ස් ගන්න එපා කියල.. ඇයි පුතා ජීවිතේ විනාස කරගන්න හදන්නේ.. අර දරුව වෙනුවෙන්වත් ජීවත් වෙන්න ට්‍රයි කරන්න ඕන නේද..

මිසිස් සමරසිංහ.. මම ගිහින් ඉක්මනට ලැස්ති වෙලා යන්නද.. වැදගත් වැඩක් තියෙනව අද ඔෆිස් එකේ..

ඔයා හැමදාමත් ලිස්සල යනව සුභාෂ්.. මීට පස්සේ ඔය ජරාව මේ ගෙ ඇතුලේ පාවිච්චිය තහනම් හරිද.. මේ කාමරේ මම ඔයාට දීල තියෙන්නේ සල්ලි හොයන්න නෙවෙයි කියල දන්නවනේ.. මට ඔයාගේ වැඩිහිටියන්ට, වයිෆ්ට වගකියන්න බැහැ.. ඔයා ඔය විදිහට හැසිරෙනවානම් වෙන තැනක් හොයාගන්න..මතක තියාගන්න ඔයා හාර්ට් පේෂන්ට් කෙනෙක්..

සොරි මිසිස් සමරසිංහ..

විනාඩියෙන් රැකියාවට යන්න ලැහැස්තිවුණු සුභාෂ් මෝටර් රථයේ නැගී ඉගිලුනේ හැකි ඉක්මනින් රැකියා ස්ථානයට යන අදහසින්. වේගයෙන් ධාවනය වන රථයේ රියදුරු අසුනේ උන්නත් අලුයම් කාලයේ ගිල දැමූ මධ්‍යසාර වල ග්‍රහණයෙන් සුභාෂ් සම්පූර්ණයෙන්ම මිදී සිටියේ නැහැ. සිහිනයක් නිසාවෙන් නැවතත් අලුත්වූ ඖෂදී පිලිබඳ මතකය නැවත නැවතත් සුභාෂ්ගේ චිත්ත සන්තානය පාරමින් රිදුම් දුන්නා. වේග සීමාවක් ගැන අවබෝධයක් නොමැතිව ධාවනය වූ සුභාෂ්ගේ රථය අදිවේගී මාර්ගයට අවතීරණ වනවාත් සමගම අදිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබු කන්ටේනර් ප්‍රවාහනය කරන රථය සුභාෂ් වෙත දර්ශනය කිරීමට මද්‍යසාර ඉඩක් ලබාදුන්නේ නැහැ. ක්ෂණයකින් මහා හඬක් නංවාගෙන සුභාෂ්ගේ රථයේ ගැටුණු කන්ටේනර් රථය සුභාෂ්ගේ රථය සුන්බුන් ගොඩක් බවට පත්කරමින් මද දුරක් ගොස් නතරවුනා..


*********************************

ඖෂදීගේ නිවස ඉදිරියෙන් ගමන් කළාවූ සෙනග අතරින් ඉදිරියෙන්ම උන්නෙ  සුභාෂ්.. වසර විසි පහක් පුරා ඖෂදීගේ නිවස ඉදිරියෙන් යනකොට  පුරුද්දට වගේ  ඖෂදීගේ ගේ දිහාවට බැල්මක් හෙලන සුභාෂ්ට එදා එහෙම බලන්න විදිහක් තිබුනේ නැහැ. අවුරුදු  විසි පහක් තිස්සෙම එතනින් යන එකම වතාවක්වත් ඖෂදී පේන්න ඉන්නවද කියල බලන්න සුභාෂ් අමතක කරෙත් නැහැ. අවමංගල්‍ය රථයේ මිනී පෙට්ටියක සතපවා තිබුණු ප්‍රාණය නිරුද්ද සුභාෂ්ගේ දේහය ඖෂදීගෙ ගෙදර පහුකරන් යද්දී ඖෂදී දැනගෙන හිටියේ නැහැ ගෙදර ඉස්සරහින් යන අවමංගල්‍ය පෙරහරේ අරන් යන්නේ තමුන්ට කුලුඳුලේ ආදරේ කරපු ප්‍රේමවන්තයා වන වග..ඇස් වලින් පමණක්ම කථා කරපු, කවදාවත්ම වචන වලට පෙරලන්න බැරිවුණු  ඒ ආදරේ සීතල පපුව ඇතුලෙම තියාගෙන සුභාෂ්ගෙ දේහය කිසිම කලබලයක් නැතුවම ජීවිතෙයේ අවසාන නවාතැන්පොල කරා ඇදෙමින් තිබුනා.. 



ඔය දෑස 
මතකයේ හිරකරන්
සීතලම සීතල  
කඳුලක් දරන් 
වචනයෙන් නොකීව 
ආදරෙත් අරන්
යන්නට අවසරයි රත්තරන් 
අවසන් ගමන්..


****සමාප්තයි****

34 comments:

  1. ඇත්තටම කඳුළු ආවා. ඇයි ඕෂධී එහෙම කලේ ? ඒක කලේ වෙන කවුරුවත්ද ? ඔය වයසෙදී මේ සුභාෂ් වැඩ කලෙත් ඔය විදියටමයි. ඒ නිසයි මට මේ කතාව හොඳටම වැදුණේ. බොහොම ස්තුතියි මලේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුභාෂ්.. අවසාන කොටසේ අන්තිම පරිච්චේද දෙක හැරුනාම මේ කතාව ඇතුලේ තියෙන හැම සිදුවීමම සත්‍ය සිදුවීම්.. ඖෂදී 100% ක් වැරදියි කියන්න අපිට බැහැ අපි ඖෂදීගේ පැත්තෙත් මේ සම්භන්ධව කිසිම දෙයක් දන්නේ නැති නිසා. ඒ සිදුවීම් ඒ තරම් දුරට සුභාෂ්ගේ හිතට ලොකු බලපෑමක් කරාවි කියල ඖෂදී හිතන්න නැතුව ඇති. අහම්බෙන් යොදපු සුභාෂ් කියන අනවර්ථ නාමය ඇතුලේ ඇවිද්ද පය බ්ලොග් එකේ සුභාෂ් ඇත්තටම ජීවත් වෙච්ච එක ගැන සන්තෝසයි.

      Delete
  2. ලස්සනට ඉවරකළා. කොහොමටවත් බලාපොරොත්තු උනේ නැති අවසානයක්.මොහොතකට මම ගල්ගැහුණා.අවසාන පරිච්ඡේදයේ අවමංගල්‍ය,මිනීපෙට්ටි කතා නොලියම සුභාෂ් යන හැටි කිව්වා නං තවත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපේ අයියේ.. කතාව ඇතුලේ උනත් සුභාශ්ව මරල දාද්දි ලියපු මමත් ටිකක් විතර අමාරුවෙන් තමයි ඒ ටික ලියාගත්තේ.. කවදාහරි දවසක සුහාෂ්ගේ මල මිනිය ඖෂදීගේ ගෙදර ඉස්සරහින් ගෙනියනවා කියන එක බොහෝ දුරට වෙන්න තියන දෙයක්. ඒක වෙන්නේ කවදද කියන එක විතරයි වෙනස් වෙන්නේ..

      Delete
  3. බොහොම දුක්ඛදායක අවසානයක්.
    නමුත් සුභාෂ්ට තිබුණ කලින්ම දැඩි තීරණයකට යන්න. මම හිතන්නෙ ඒකට ඕන කරන ජාතියෙ යාලුවො මිනිහට හිටියෙ නෑ කියලයි. ඇත්තම යාලුවො හිටියනං සුභාෂ්ට ඔය ඉරණම අත් නොවෙන්න තිබුණ.

    ReplyDelete
    Replies
    1. ඇයි බං එහෙම ගියානම් මෙතන ලියන්න කතාවක් තියෙනවද ? අඩු වයසින් ළමයි දෙන්නා තුන්දෙනා ඉන්න සීන් බොහොම සුලබයි. සුලබ දේවල් වලට ඉල්ලුමක් නෑ. එහෙම ලිව්වනම් කී දෙනෙක් ලියයිද "අපේ ගමෙත් ඔහොම සීන් ගොඩක් වුනා" කියලා

      Delete
    2. මම කිව්වෙ ඒක නෙමෙයි. සුභාෂ්ට තිබුණ ඔ‍ෟෂධී අමතක කරල දාන්න සදහටම. ඊ්ට පස්සෙ හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න.

      Delete
    3. ප්‍රසන්න.. සුභාෂ් එහෙම මනුස්සයෙක් නොවුන නිසා අද ඖෂදී ලස්සන පවුල් ජීවිතයක් ගතකරනවා.. සුභාෂ් එහෙම මනුස්සයෙක් උනානම් ඖෂදීගේ අනාගතේට කළු පැල්ලමක් එකතු වෙනවාමයි.. එහෙම විය යුතුද???

      Delete
    4. සුදීක කියනදේ හරි.. අඩුවයසින් කසාද බැඳලා ජීවිත අපායවල් කරගත්තු පිරිස ඕනෑතරම්.. එහෙම දේවල් ඇතුලේ ලියන්න කතා නැහැ..

      Delete
    5. ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දී සුභාෂ්ට හදන්න බැරි තරමට ලොකු වැරදීම් සමූහයක් වෙලා ඉවරයි.++++++++++++++

      Delete
  4. .ඇසට කදුලක් එන අවසානයක් මචන්.......... මිනිහට හැගීම් පස්සේ නොගිහින් පොඩි එකා ගෙන හිතන්න තිබුනා.
    මිස්ට සමරසින්හ ඉක්මන් උනා වැඩියි කියලා හිතෙනව............

    ReplyDelete
    Replies
    1. සමහර මිනිස්සු කැමතියි බන් හැගීම් එක්ක ජීවත් වෙන්න.. සුභාෂ් ඉක්මන් උනේ නැහැ.. ඒ තමයි දෛවය ..

      Delete
  5. ඕෂදී හම්බුණානං දනී...................

    ReplyDelete
    Replies
    1. ඖෂදී වැරදියි කියල සුභාෂ් හිතන්නේ නැහැ..

      Delete
  6. අපේ ඉස්කෝලේ කාලෙත් මතක් වුනා. ලස්සන සංවේදී කතාවක්

    ReplyDelete
  7. මම මෙහෙම අවසානයක් බලාපොරොත්තු වුනේ නෑ ... ඇයි බං මේ කතාව හිතට වැදුනේ... අපේ ජිවිතේ සමහර කෑලි මේකේ ඇලිලා තියෙන නිසා වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. අපි හැමෝගෙම ජීවිත වල තියෙන්නේ වැඩිහරියක්ම බලාපොරොත්තු නොවෙන අවසානයක් තමයි ශානු..

      Delete
  8. කතාවේ අවසානය මේ වගේ වේවි කියලා මට නිකමට හිතුනා. මමත් සුභාෂ් වගේ කෙල්ලකට කට්ට කාගෙන ලව් කරා. ඒ කෙල්ලනම් මාව රැවට්ටුවේ නෑ. කෙල්ලත් කැමති උනා. කෙල්ලගේ තාත්තායි, මාමලයි මාට ගහන්නත් ආවා. තාත්තා මහ රෑ ආවා අපේ ගෙදර මට තර්ජනය කරලා යන්න. කෙල්ලගේ අම්මා බොරු පැමිනිල් දැම්මා පොලිසියේ. මාත් සුභාෂ් වගේ කෙල්ලට තිබුන ආදරේ නිසා මේවා හැම එකක්ම ඉවසගෙන හිටියා. පස්සේ කෙල්ලගේ ගෙදරින් එක දිගට කේස් ආව නිසා ලව් එක අතරමගදි නවත්තන් උනාම එදා හිතට දැනුන වේදනාවනම් කියා ගන්න බෑ. ලව් එක නැවැතුනමත් කෙල්ලගෙන් පැත්තෙන් මට කේස් දැම්මා. දවසක් කෙල්ලගේ තාත්තා පිහියකුත් අරගෙන අපේ ගේ ඇතුලටම ආවා. මිනිහා අපේ ගෙදර ඇතුලේ ඉදිද්දිම මම දොර වහලා අතට යකඩ බාර් එකක් ගත්තා.මම එදා මිනිහට තර්ජනය කරා. ආයේ මට කේස් දැම්මොත් තොපි මරණවා කියලා මම කිව්වා. ඉන් පස්සේ ඔක්කොම කේස් ඉවරයි. හැම වෙලාවේම ඉවසලා හරියන්නෙත් නෑ බං. ඔය හැම වෙලාවේම මගේ යාලුවෝ ටිකත් දුකට සැපට හැම මගුලකටම මගේ වටේ හිටියා.

    ReplyDelete
    Replies
    1. අපිත් ඔය වගේ දේවල්වලට මූණ දුන්නා මනෝ.. මගේ හොඳම යාලුවෙක් අවුරුදු පහළොවක ගෑනු ළමයෙක් අරන් පැනල ගියා.. ඒ සම්භන්ධකම නිසා ඒ ගැහැණු ළමයාගේ තාත්ත මට මහා පාරේදී කම්මුලටත් ගහල තියෙනව. කඩු පොලු අරගෙන අපිව මරන්න එලවල තියෙනව. ඒත් අනිතීමේ අපේ එකා කෙල්ලව අරන් පැන්න. හැබැයි මම නොදැනුවත්ව තමයි වැඩේ සිද්දවුනේ. උන් පැනල යන්න ප්ලෑන් කරනවා කියල දන්නවනම් මම කීයටවත් ඒක කරන්න දෙන්නේ නැහැ. උන් පැනල ගියා කියල දැනගත්තු ගමන් පොලිසියෙන් ඉස්සෙල්ලම ඇවිත් තිබුනේ මාව හොයාගෙන. ඒත් මගේ වාසනාවට මම ඒ කාලේ බෑන්ඩ් එකක ප්ලේ කරා.. එදා අපේ බෑන්ඩ් එකට කොහෙහරි වැඩක්. මම දවසෙම එතන කියල එයාල දැනගත්තු නිසා මාව බේරුනා. ඒ උනාට උන් පැනල ගිය දවසේ ඉඳන් යාළුවො වෙච්චි අපි සෑහෙන්න පරිප්පු කෑවා. උන් පැනල යනවා කියල නොදැන යාළුකමට දීපු වෙන යාලුවෙකුගේ මෝටර් සයිකලේ මාස හයක් විතර පොලිසියේ තෙමි තෙමී තිබිල තමයි උසාවියෙන් නිදහස් කරේ.

      ඒ ගැහැණු ළමයාගේ තාත්ත මැරෙනකම් ඒ දරුවව ගෙදරට වැද්දගත්තේ නැහැ. ඒ වගේ කොන්ද කෙලින් තියන මනුස්සයෙකුගෙන් කනේ පාරක් කාපු එක ගැනත් අද දැනෙන්නෙ ආඩම්බරකමක්.. ඒ තාත්ත අකාලයේ මියගියා පිළිකාවක් හැදිලා.. දැන් සියල්ල සාමකාමී වෙලා මගේ යාළුවා ඒ තාත්ත විසින් ගොඩනගපු ව්‍යාපාරයක් කරගෙන දරු දෙන්නෙකුත් හදාගෙන ජීවත් වෙන්ව. ඒත් උගේ මාමණ්ඩි අපිව මරන්න එලවනකොට ජීවිතේ බේරගන්න වැටවල් වලින් පැන පැන දුවපු පාරවල් මැද්දෙ දෙනෝදාහක් ඉස්සරහ කනේ පාරවල් කාපු මා එක්ක දැන් මගේ යාළුවා වැඩිය කතාබහක් නැහැ.

      ඔයා කියල තියෙනව වගේ එදා අපි වැඩිහිටිකමට ගරු කරේ නැත්තම් එච්චර කරදර අපිට නොඑන්න තිබුන.

      Delete
  9. උඹ මේ ටික එකතු කරලා ගහපන් නව කතාවක් , අර දිනේෂ් කොළඹගේ ගේ සුළඟ වගේ ඇවිදින් කතාව වගේ නැගලා යනවා ෂුවර්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉවාන්.. දිනේෂ් කොළඹගේ ලියපුවා එක්ක මට හැරෙන්නවත් බැහැ බන්..
      කවදාවත් අමතක වෙන්නේ නැහැ දිනේෂ් කොළඹගේ ලියපු "සුළඟ වගේ ඇවිදින් " කතාව.. ඕනෑම පොතක් දෙපාරක් කියවන්න කැමති මම සුළඟ වගේ ඇවිදින් දෙවැනි පාර කියෙව්වේ නැහැ මේ වෙනකම්.. ඒ නිර්මාණය ඒ තමරම් සංවේදීයි..

      Delete
  10. දුක හිතෙන කතාවක්. එහම ආදරය කරන අයත් ඉන්නවද කියල හිතෙනවා වෙලාවකට. එහෙම වෙලාවට නොබැඳ ඉන්න එක තමා වඩා හොඳ.

    ReplyDelete
    Replies
    1. බැඳීම් කියන්නේ ප්‍රශ්න සහ දුක රැගෙන එන ප්‍රධානම මාද්‍ය අජිත් අය්යේ... බැඳීම් වලින් ඈත් වෙලා ඉන්න ඉන්න ජීවිතේ දුක් සංකා අඩුයි..

      Delete
  11. ගියපාර වුන පොරොන්දුව තාම ඉශ්ඨකරගන්න වුනේ නෑ.මේක කියෙවුවෙත් නෑ.මෙච්චර දිග කතාවක එක කොටසක් විතරක් කිය්වන්න හිත දෙන්නේ නෑ.හිටපියකෝ, පුලුවන් ඉක්මනට ඔක්කොම ටික කියවලා ඇවිත් උඹේ පෝස්ට් එකට වඩා දිග කමෙන්ට් එකක් දානවා.

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි...ඒක ඉවරවෙලානේ....

      Delete
    2. බලමුකෝ.. කටුසු රිප්ලයි එක දානකම් මම බලාගෙන ඉන්නේ මේ..

      Delete
  12. නියමයි කියන්නේ කොහොමද දුක්බර අවසානයක් තියෙද්දී..

    ලස්සනට ලියල.

    ඉස්කෝල කාලේදී ඇතිවෙන ප්රෙමයන් නහර දිගේ ගිහිල්ලා ඇටමිදුළු වලට පවා කිඳා බහිනවා. ඒක නම් පරම සත්‍යයක්. ඒවා හොඳ කරගන්න බැරි දරුණු කැපුම් තුවාල වෙන්නත් පුළුවන්.

    මේක ගැලපෙනවද බලන්න..

    https://www.youtube.com/watch?v=kZRtnCkTLGs

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උපේක්ෂා.. සිංදුවනම් අපූරුවට ගැලපෙනවා නේන්නම්..

      Delete
  13. meka ambalangodayagema kathawa thama...suhash ambalangodaya thama..

    ReplyDelete
    Replies
    1. හැබෑට... මෙහෙම අබූත චෝදනා කරන්න වටිනවද මං අහන්නේ...

      Delete
  14. boru kiyana eka pawak putho...oya siddi wena thanwala hitapu kenek mama...

    ReplyDelete
  15. “අම්මී මොකද්ද ඒ සද්දේ කියන්නකෝ අම්මී"

    චූටි දෝනිගේ හඩ ඖෂධීගේ දැහැන බින්ඳා ...

    “ඒ අවමගුල් පෙරහැරක් නේ චූටියෝ“

    “ඒ මොකද්ද ? අනේ අපි ඒක බලන්න යමුකෝ අම්මී“

    තම දරු දෙදෙනා හා ස්වාමියා සමඟින් අගනුවර කාර්ය බහුල ජීවිතයක් ගත කරන ඖෂධී, තම උපන් ගම් ප්‍රදේශය පිහිටි දකුණු පළාතට මසකට සැරයක්වත් යන්නේ,ඇයගේ දෙමාපිය දෙපලගේ සුවදුක් බැලීම, පවුලේ එකම දියණිය වශයෙන් ඇයගෙන් විය යුතු යුතුකමක් සේ සලකාගෙනයි .. මළ බෙර හඬ කණ වැකෙනා විට ඇය සිටියේ තම දෙඇස් පියාගෙන ගීතයකට සවන් දෙමින්....

    “දෙනෝ දාහක් නුවන් අතරේ කවුරුදෝ.. මා තනි කලේ ..තනි කලේ පාසැල් බිමේ..“

    නන්දා මාලනිය ගයන මේ ගීතය මොහොතකට ඖෂධීව අතීත මතකයන් අතරට රැගෙන ගියා.......ඇය ගොඩාක්ම ආදරය කරපු රතු පාට මැයි මල් ගහ,අතීතයේ වුනු හැම සිදුවීමක්ම දන්නවා ඇති කියලයි ඖෂධී ට හිතුනේ...සුදු රැලි ගවුම....වයලීනය....

    “අහ් නංගී හිරමනය අරන් යන්නේ පොල් ගාන්නද?“

    කොල්ලන්ගේ විහිලු කතා... සැහල්ලුවෙන් ගෙවුනු අවුරුදු විසි ගනනකට එහා ගිය මතකය.... කොයිතරන් නම් සුන්දරයිද .... දකුණු ලක පිහිටි ප්‍රසිද්ධ මිශ්‍ර පාසලකයි ඖෂධී අද්ධ්යාපනය ලැබුවේ..ඇය රූප සුන්දරියක් නොවුනත් පියකරු යුවතියක් උනා..ඒ නිසාමදෝ ඇයට ප්‍රේමාරාධනා වලින් නම් අඩුවක් තිබුනේම නැහැ ..වෙලාවකට එය ඇගේ කුඩා මනසට ඔරොත්තු නොදෙන තරම්ම වුනා..එයින් සමහරූ ඇගේ සිත ගත්තද ,ගුරුවරියක් වූ ඇගේ මවට ඇති අසීමිත බිය විසින් ඇගේ සිතුවිලි දොරගුලු දමා සිර කලා ..

    “ආ....මෙන්න සුභාෂ්ගේ කෑල්ල යනවෝ.... සුභාෂ් සුභාෂ්..මේ සුභාෂ් ඔයාට ලව්ලූ..එයාට ඔයාව බදින්න ඕනලූ.....“ ඇය යන එන හැමතැනකදීම සුභාෂ්ගේ නම අමතමින් සරදම් කරන්නට ඔහුගේ යහලුවන්ටනම් අමතක උනේම නැහැ ... සුභාෂ්ම මේව කරවනවද? එහෙමත් නැත්තන් එයා මාව විහිලුවකටවත් අරගෙනද ?ඖෂඩිට එහෙමත් නොහිතුනාම නොවේ....

    සුභාෂ් !!! කවුද මේ සුභාෂ් !!! එයා කවුරු උනත්..එයාගේ ඇස් දෙක මට අද වගේ මතකයි..කිහිප දවසක්ම එයාගේ කතා කරන දෙඇස් මගේ දෑසට හමුවුනා මතකයි...හීන් සිනහවකින් මුව සරසාගෙන දෙනෙතින් විතරක් කතා කරපු සුභාෂ් දැන් කොහේ ඉන්නවා ඇත්ද...

    “අම්මී...එතකොට කාගෙද මේ මළ ගෙදර..“

    “ඉතින් අර ලියල තියෙන්නේ නම ඔය ඉස්සරහට එන බැනර් එකේ ...කියවගන්නකෝ චූටියෝ“

    “ආ....අම්මි සුභාෂ් තමා මැලිලා තියෙන්නේ“

    “සුභාෂ් අනේ එතකොට මේ ඔයාද ? ඖෂඩිගේ නෙත් ඉදිරියේ යලිත් වරක් සුභාෂ්ගේ ආදරය පිරුනු දෑස මැවී ක්ෂනිකයෙන් බොදවි ගියා....හද පතුලෙන් නැගුණූ වේදනාව ඇයටත් නොදැනීම ඉකියක් බවට පත්වුනා....

    “ඇයි අම්මී අඬන්නේ...“ චූටි දෝණිගේ හඩින් ඖෂධී නැවතත් පියවි ලෝකයට පිවිසුනා......

    “නෑ පුතේ....එයයි මමයි දැනගෙන හිටියට අපි අදුනගෙන හිටියේ නෑ ඒකයි..“ඖෂධී හිස් අහස දිහාබලල හෙමීට කිව්වා.....
    මළ හිරු බසිනා යාමයේ සුභාෂ් ගේ දේහය රැගත් අවමගුල් පෙරහැර ඖෂධීගේ නිවස පසු කරන් ඉදිරියට ඇදුනා......
    සුභාෂ් මට අදත් තේරෙන්නේ නැහැ ඇයි එදා ඔයා මා එක්ක ඇස් වලින් විතරක්ම කතා කලේ කියලා....ඖෂධී ඔහුගේ පින්තූරය දෙස බලා මිමුණුවා ....


    ReplyDelete