Tuesday, October 13, 2020

ඇඩොල්ෆ් ජානකී හිට්ලර්..





ගොඩයා කුඩා එකා සංදියේ ජීවිතය ගතවූයේ පුංචි අම්මාගේ දැඩි අධීක්ෂණය යටතේය. පුංචි අම්මා යනු ගොඩයාගේ අම්මාගේ අක්කා වුවත්, ලොකු අයියලා, පොඩි අයියලා ඇයව හැඳින්වුවේ පුංචි අම්මා යන ආමන්ත්‍රණයෙන් බැවින් ගොඩයාද ඇයව හැඳින්වූයේ පුංචී යන ආමන්ත්‍රණයෙන්මය. පුංචීටද එක දියණියක් සහ ස්වාමිපුරුෂයෙක්, පවුලක් තිබුනාවූ බැවින් දිවා කාලයේ නිවෙස් දෙකක රාජකාරි ඉටුකිරීම සහ ගොඩයා වැනි විස බෝලයක් බලාකියා ගැනීම වනාහි මදක් අසීරු කටයුත්තක් වුවත් ඇය කිසිදා ඒ ගැන පැමිණිලි කරලා නැත.  පුංචීගේ දියණිය ගොඩයාට වඩා වසර පහක් වැඩිමහලු වීම එතැනදි ගොඩයාලාට වාසි සහගත ලෙස බලපෑවා වන්නට ඇත. ගොඩයාගේ මව පියා රැකියාව අවසන්වී නිවසට එනතුරු ගොඩයා සහ කුඩා සහෝදරියන් දෙදෙනා බලාකියාගැනීම පුංචී අකුරටම සහ ලෙසටම ඉටුකලාය. වෙනත් විදිහකින් කියනවා, අම්මාට කලින් පුංචීට කිරි එරුනාවූ නෑකමක් වූ පුංචීගේ නෑකම අදටත් ගොඩයාට අසම සමය. ගොඩයාට අසමසමව සෙනෙහස දැක්වූවාවූ කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු පුංචී වග මෙහිලා ලියන්නට ගොඩයා ලෝභ වන්නෙ නැත. පුන්චීගේ අභාවය අදටත් ගොඩයාට අම්මා නැතිවුනාක් හා සමානව දැනෙන්නේ පුංචී, ගොඩයා සහ ගොඩයාගේ සහෝදරියන් වෙත දැක්වූවාවූ බැඳීම අසමසම මහා සෙනෙහෙ කන්දක් වන නිසාය. 

ගොඩයා කුඩා එකා සංදියේ සෑම වරදකටම දෙවතාවක් කෝටු පාර කනවාය. ඒ  දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ වශයෙන්ය.. ගොඩයා විසින් දිවා කාලයේදී කරනු ලබන වැරදි සඳහා රියල් ටයිම් පුංචීගෙන් දඬුවම හිමිවෙනා අතර, සවසට පියානෝ ගෙදර පැමිණි පසුවද පුංචී විසින් දෙනු ලබන දවසේ පුවත් වාර්ථාව අනුව ගොඩයාට ඒ ඒ අදාල අසනීප සඳහා වේවැල් හෝ පේර කෝටු කසාය මාත්‍රාවක් ලැබෙනවාය. පුංචී නිවෙස් දෙකක රාජකාරී සතු කාන්තාවක් වශයෙන් ගොඩයා පසු පස ගම පුරා එලවා යාමට සැමවිටම නොහැකි නිසා ගොඩයාගේ යම් යම් අලුගුත්තේරු වැඩ ගෙදරට රිපෝර්ට් නොවීම මද වශයෙන් ගොඩයාට වාසියට හිටිනවාය. එහෙත් පුංචීද ගේම අතාරින්නේ නැතිවම හැකි සෑම අවස්ථාවකම ගොඩයා දිහාවට ඇයගේ තෙවැනි ඇස යොමු කරගෙනම සිටිනවාය. මෙසේ කාලයක් ගතවෙද්දී ගොඩයාව ආම්බාන් කිරීම පුංචීට මදක් අසීරු වග වටහාගත් ගොඩයාගේ ඩඩා පුංචීගේ සහයට තවත් පවුලේ සාමාජිකාවක් සේවයට කැඳවනවාය...

ගොඩයාලාගේ ගෙදර ඩේ කෙයාර් සෙන්ටර් එකට අලුතින් එක්වූ සාමාජිකාව වූයේ ජානකී අක්කාය. ජානකී අක්කා යනු ගොඩයාගේ මාමාගේ වැඩිමහලු දුවය. මොරටුවේ පදිංචි සහ එවකට උසස්පෙල අවසන්ව ප්‍රථිපල එනතුරු නිවසේ සිටි ජානකී අක්කා බොහෝ කැමැත්තෙන් ගොඩයලාගේ ගෙදර ඩේ කෙයාර් එක බලාකියාගන්නට එන්නේ නෑකමට විනා පඩියට නොවේය. ජානකී අක්කාට සහෝදරියන් දෙදෙනෙකු වනවාය. ඔවුනට සිටිනා එකම මලයා වනාහි සුරතල් ගොඩයා වූ බැවින් ජානකී අක්කා ඇතුලු අක්කලා තුන්දෙනාම ගොඩයාට පට්ට ලවුය. ජානකී අක්කා සහ ගොඩයා අතර වයස් පරතරය අවුරුදු දහයකට වැඩි මිස අඩු නැතිය. එහෙත් ජානකී අක්කා උපන්නේ කුමන අවුරුද්දේද යන්න ගොඩයාට දැන් මතකයේ නැත. ජානකි අක්කාට අනුව ගොඩයා යනු හුරතලයට ඇති කරනාවූ බලු කුක්කෙකු වැනි වූ බැවින් ජානකි අක්කාගේ ආගමනය ගොඩයාට පට්ට ආතල්ය. මන්දයත් ජානකී අක්කා ඩේකෙයාර් එක භාරගැනීමෙන් අනතුරුව පුංචීගේ දැඩි අධීක්ෂණයෙන් ගොඩයා මදක් ලිහිල්වන වග ගොඩයාගේ අක්මාවට වැටහෙන  නිසාය. ජානකී අක්කා සහ පුංචී අතර පවතින පරම්පරාවක වෙනස ඇතුලේ ජානකි අක්කාගෙන් ගොඩයාට හිමිවීමට නියමිත නිදහස සහ පුංචීගෙන් හිමිවන නිදහස අතර සුවිශේෂී වෙනසක් ගොඩයා බලාපොරොත්තු වෙනවාය.

ඕං ඒ අකාරයෙන් ජානකී අක්කා ගොඩයලාගේ ගෙදර ස්ථීර සාමාජික නාමලේඛනයට ඇතුල් වෙනවාය. අධීක්ශක තනතුරද,  පුංචීගේ සහයක තනතුරද, වෙන්ඩ ඩේ කෙයාර් CEO තනතුරද ඉක්මනින් හදාරන ජානකී අක්කා තම තනතුරේ වැඩ භාරගන්නේ දින කිහිපයක් විවේක ගැනීමෙන් අනතුරුවය. ජානකී අක්කා සිය තනතුරෙහි විශේශ ප්‍රාගුන්‍යය ලබන්නට වැඩි දවසක් ගතකරන්නේ නැත. දින කිහිපයක් ගතවෙද්දී, ගොඩයාගේ සියලු ටැක්ටික්ස්, ජිමික්ස්, මැජික්ස්, හිටි තැනින් අන්ත්‍රස්දානවීම්, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා ගේම්ස්, රුපියල දෙක මිසින් ගේම්ස්, ඉතුරු සල්ලි අස්ථානගතවීම් ගේම්ස්, බයිසිකලය මග කැඩෙන ගේම්ස්, ටියුශන් පංති තිබෙනා දවසට බඩ රිදිල්ල ඔලුව කැක්කුම හැදෙන ගේම්ස්, ඇතුලු මෙකී නොකී සිලූම ගේම්ස් ගැන ජානකි අක්කා විශේශ ප්‍රාගුණ්‍යය ලබලාය. පුංචීගේ ඇස වසා අම්මාගේ තාත්තාගේ කනෙන් රිංගා ගැසූ ගේම්ස් එකක්වත් ජානකී අක්කා සමග සුම්මාය. ජානකී අක්කා වැඩේ ලෙසටම කරගෙන ගියද පුංචීද දවසට කිහිප විටක් ගොඩයාගේ නිවස විසිට් කරනා නිසා ගොඩයා හිතා සිටියාට වඩා තත්වය අතිශයින්ම අයහපත් වග කියන්නට ඕනෑ නැතිය. හිට්ලර්ගේ දෝනියැන්දා ගෙදර ගෙනාවාක් වන්, තත්ත්වය අතිශයින්ම දරුනුය. ගොඩයාට තියා මැස්සෙකුටවත් ජානකී අක්කාගේ ඇස වසා ඉගිලෙනු සුම්මාය. ගොඩයාගේ ඩඩා මල පැන්න සෑම අවස්ථාවකම ගොඩයාට කියන්නේ උඹව මං මඩමකට ගිහින් දානවා කියලාය.. දැන් වැඩේ වැඩි වෙනසක් නැතිය.. හිට්ලර්ගේ දෝනියැන්දා CEO තතුරට පත්කරනලද මඩමක් ගෙදරට ගෙනාවා හා සමානය.

එතැන් පටන් ගොඩයාගේ ජීවිත කතාව තිබ්බාට වඩා සෑහෙන්න දුක්ඛිතය.  පාසල් ගියායින් පසුව ගොඩයාව පාසැලෙන් ගන්නේ අම්මාය. අම්මාගේ ඔෆිසියේ හිටං යමක් කොටාබානා ගොඩයා අම්මා විසින් හවස ඉංග්‍රීසි ටියුශන් පංතියකට ඇරලවනවාය. වෙනදාට ටියුශන් අහවර වී නිදහසේ ගහක ගෙඩියක් කාගෙන කොල්ලෙක් කුරුට්ටෙක් සමග කයියක් දමාගෙන ගෙදර ආ වසන්ත සමය ජානකී අක්කාගේ ආගමනයෙන් අවසන්ය. ජානකී අක්කාද හවසට ඉංග්‍රීසි සහ ටයිපින් ශෝර්ට් හෑන්ඩ් පංති යනවාය. ඒ ඥානා මිස්ගේ පංතියටය. ගොඩයා ටියුශන් යන්නේ එතැනට අඩි කිහිපයක් එපිටින් තිබාවූ අම්මාගේ කාර්‍යාල මිතුරියකගේ නිවසේ පැවති ඉංග්‍රීසි පංතියකටය. ජානකී අක්කාගේ ස්ථාවර නියෝග අනුව පංති අහවර වී ගොඩයා පැමිණිය යුත්තේ ඥානා මිස්ගේ නිවසටය.  ඉන් අනතුරුව ජානකී අක්කාගේ පංතිය අහවර වනතුරු ඒ අසල ලොවි බංකුවේ ලගා ගහනා ගොඩයා ගෙදර එන්නට පිටත් වන්නේ ජානකී අක්කාගේ පංතියද අවසන්වූ පසුවය. ගෙදර එන ගමනද පිලිවෙලකට ආ යුතුය. ගොඩයාගේ පාසල් බෑගය ජානකී අක්කා කරේ දමාගන්නේ ඇයගේ CR පොත් කිහිපයද එම බෑගයටම ඔබලාය. ඉන් අනතුරුව ජානකී අක්කා පෙන්වන පාරේ විනයානුකූලව ගොඩයා ගෙදර ආයුතුය. ජානකී අක්කාගේ හුස්ම වැටෙන දුරින් එහා මෙහා යන්නට ගොඩයාට අවසර නැතිය. පාර දෙපස ගස්වල පේර ජම්බු ඉදිලා ගොඩයා හා හිනාවෙනවාය, යාලු මිත්‍රයෝද අනන්ත පාරේ හමුවෙනවාය. එව්වා දිහා බලන්නට, එව්වා සමග කාලය ගතකරන්නට ගොඩයා වැඩි කැමැත්තක් නැතිය.. මන්ද යත්, එව්වා සමග රස්තියාදු ගසන්නට ගියහොත් ගොඩයාට ජානකි අක්කාගෙන් කනේ පාර හෝ කෝටු පාර හිමිවෙනා වග ගොඩයා ඉන්තේරුවෙන්ම දන්නා නිසාය.

පංති නැති දවස්වල ගොඩයා උන්නේ ගම පුරාය. ඒ ජානකී අක්කා එන්නට කලින්ය. ජානකී අක්කාගේ ආගමනයෙන් පසුව එව්වා සුම්මාය. සෙල්ලම් කරන්නට සතියට නියමිත දින කිහිපයක් ඇයගෙන් හිමිවෙනවාය. ඒ සවස තුනේ සිට පහ දක්වා පමණය. ඒත් ගෙදරින් පිට නොවේය. ඕනෑම කොල්ලෙක් කුරුට්ටෙක් කුරුට්ටියක් ගෙදරට ගෙන්නාගෙන සෙල්ලම් කිරිල්ලට ජානකි අක්කාගෙන් අවසර ඇත්තේය. එහෙත් තුනේ හිටං පහ දක්වා පමණය. ඔරලෝසුවේ සවස පහ වදිද්දී මිදුලේ දුව පැන නටනා කොල්ලන් කුරුට්ටන් කුරුට්ටියන් හැම එකාම ක්ශණයෙන් දූරිභූත වෙනවාය. ඒ මන්ද යත්, පහ පසුවී විනාඩි එක වෙද්දී ජානකී අක්කා විසින්  ඔවුන්ව බල්ලන් බලලුන් සේ එලවා දමනාවග ඔවුන්ද සහසුද්දෙන්ම දන්නා නිසාය.  එතැනින් පසු ජානකී අක්කා එයාගෙ වැඩක් බලාගෙන ගොඩයාට උගේ  වැඩක් කරගෙන පාඩුවේ ටීවී බලන්න දුන්නා කියලා දැන් මේ කියවන උදවියට හිතෙනවාය. නෑ හත් ඉලව්වෙ නෑ.. පහ වෙද්දී ඇඟපත සෝදාගෙන පිරිසිදු වියයුතුය. ඉන් අනතුරුව පැයක් ටීවී බලන්නට අවසර ඇත.. එතනින් පස්සෙ ගොඩයා ෆ්‍රී... නෑ යකඩෝ නෑ.

ඉන් අනතුරුව එලැඹෙන්නේ ඉස්කෝලේ වැඩකරන කාලයය. ඉස්කෝලෙන් ගෙදර වැඩ දීලා නැතිනම් ගොඩයා පාඩුවේ ඇති තරම් ටීවී බලනවාය? නෑ හත් ඉලව්වෙ නෑ... ජානකී අක්කා ගෙදර වැඩ මවලා දෙනවාය.. ගණන් හදන්නට, රචනා ලියන්නට , ගාථා පාඩම් කරන්නට දෙනවාය.. අමාරුම එක ඩික්ටේශන්ය.  ටාසන් බලන්නට, නයිට් රයිඩර් බලන්නට වාගේ හතයි තිහේ කෑලි වලට මද අවසරයක් හිමිවෙනවාය.. ඒත් ගොඩයාට ඇති ආදරයකට නොවේය.. එව්වා නොබලා පහුවදාට ඉස්කෝලෙ ගියාම ගොඩයා සමාජයෙන් කොන්වෙනා නිසාය.

ජානකි අක්කා සතුව සුවිශේශී හැකියාවන් රාශියක් තිබෙනවාය. එයින් එකක්නම් යකාටවත් භය නැතිකමය. ගොඩයා එහෙන් මෙහෙන් ලපටි වලි පටලාගන ගෙදර මාරු අවස්ථා නැත්තේම නොවේය. එවන් ලපටි වලි හිටි ගමන් ගොඩයාගේ ගෙදර ගේට්ටුව ළඟටම ගොඩයා සොයා පැමිණෙනවාය. ආන් එවන් අවස්ථා වලදී එව්වාට ෆේස් කරන්නේ ජානකී අක්කාය. හතරදික්භාගයේම කොල්ලන් කුරුට්ටන් ජානකී අක්කාට භය නිසා පන තිබෙනා එකෙකුවත් ගොඩයාට නෙලන්නට වත්තට ඇතුළු වන්නේ නැතිය. ඒ වාගේ වෙලාවටනම් ගොඩයාට ජානකී අක්කා දෙයියෙක්ය. රෝමන් කාරයින්ට ජිම් පප්පා නෙලනවාක් මෙන් ජානකී අක්කා ලපටි කොල්ලන්ට අතින් පයින් නෙලන්නට යන්නේ නැත. එහෙත් කලිසමේ මුත්‍රා පහවන්නටම කටින් ගසා කොල්ලන් කුරුට්ටන් එලවා දමනවාය. ජානකී අක්කාගේ එම විරෝධාර ගුණය අවාසියට හිටිනා අවස්ථාද තිබෙනවාය. ඒ කෙසේද යත්, ගොඩයා පොතක පතක වැඩක් කරනා අල්ලපනල්ලේ කොල්ලන් කුරුට්ටන් ගොඩයා සොයා පැමිණියහොත් ගොඩයා උන්ට  පෙනී පෙනී එලිපහලියේ උන්නද එයා ගෙදර නෑ කියනවාය. ඒ වේලාවට කොල්ලන් කුරුට්ටන්ද ඇයි අර ඉන්නේ කියා හරස් ප්‍රශ්න අහන්නේ නැතිය. මන්දයත් ජානකී අක්කාගෙන් එවන් හරස් ප්‍රශ්න ඇසීම බලවත්සේ අනතුරුදායකය.  

ජානකී අක්කාගේ ආගමනයෙන් අනතුරුව ගොඩයාගේ තාත්තාට වේවැල හෝ පේර කෝටුව අතට ගන්නට වූයේ බෝහොම කලාතුරකින්ය. එහෙම කීවාම මේය කියවනා උදවියට හිතෙන්නේ ජානකී අක්කාගේ ආගමනයෙන් අනතුරුව ගොඩයා හොඳ ලමයෙක් වෙලා කියලාය.. ඒත් ඇත්තම හේතුව එය නොවේය.. ගොඩයා විසින් දවල් දවසේ කරනා අලුගුත්තේරුකම් සියල්ලටම ජානකී අක්කා විසින් එවෙලේම බෙහෙත් ඖෂධ ලබා දෙන නිසාය. ජානකී අක්කාගේ ආගමනයෙන් පසුව ගොඩයාට එක හොඳක් උනා කියන්නට ගොඩයා කුහක වන්නේ නැතිය. ඒනම්, එකම වරදට පුංචීගෙන් එක් වරක් බැගින් සහ තාත්තාගෙන් එක් වරක් බැගින් එකම වරදට දවසට දෙවරක් ගුටිකන එක එකෙන්ම නැවතුන එකය. එයට හේතු දෙකක් තිබෙනවාය. පලවෙනි හේතුව නම් ජානකී අක්කා විසින් ගොඩයාගේ වැරදි ෆයිල් එක තාත්තාට දමන්නට තරම් දුර යන්නට නොතියා එවෙලේම ප්‍රශ්ණය විසඳනා නිසාය. දෙවැනි හේතුවනම්, වෙනදාට දෙපාරකට ලැබෙනා කෝටු පාරවල් දෙවර්ගයම ජානකී අක්කා විසින් එක පාරටම දමා අරින නිසාය. අදටත් ගොඩයා දෙන්නෙකුගේ එරවිල්ලට භයය. එක්කෙනෙක් ගොඩයාගේ ඩඩාය.. අනිකා ඇඩොල්ෆ් ජානක හිට්ලර්ය. 


ජානකී අක්කාගේ ආගමනයෙන් මාස හයක් ගතවෙද්දී ගොඩයාගේ ගමේ සම වයස් ගෑනු, පිරිමි, මල්, පලතුරු කොල්ලන් කුරුට්ටන් කිරිට්ටියන් සියල්ලන්ගේම පොදු සතුරා ජානකී අක්කාය. ජානකී අක්කාට අනුව ඒ සියල්ලොම ගොඩයාව නොමගට යවන්නට මාරයා විසින් එවනු ලැබූ මාර දූතයන්ය. ජානකී අක්කාට උන් සියල්ලන්ම  දෑහැට පෙනෙන්නට බැරි අතර උන්ටද ජානකී අක්කා නයාට අදුකොල මෙන්‍ වෙනවාය. පුංචී සහ ජානකී අක්කාගේ සුසංයෝගය කොයිතරම් අපූරුව ගැලපුනිද යත්, හිට්ලර් සහ මුසෝලිනී දෙදෙනාම එකට තැබුවා වැනිය. කනෙන් රිංගන්නට යාම ඉතාමත් භයානකය. කැප්ටන් හැඩොක් කියන්නැහේ ගිගිරි නගින බෙලිකටුය.

88/89 භීශණ සමය ඇරඹීමත් සමගම ගොඩයාගේ දෙමාපියන් විසින් ජානකී අක්කාව නැවත සිය නිවසට ඇරලවන්නේ එවකට දකුණු පලාතේ පැවති වාතාවරණය ජානකී අක්කාගේ වයසේ තරුණ උදවියට කිසිසේත්ම යහපත් නොවූ නිසාය. එතැනින් පටන් , ගොඩයාගේ නිවසේ පැවති හිට්ලර් පාලන සමය අවසන් වන අතර නැවතත් ගොඩයාට මල් සමය උදාවනවාය. ඊට පස්සෙ ජානකී අක්කා අම්බලන්ගොඩ ආවෙ නෑ...?

ආවා යකඩෝ ආවා ...

ඊට වසර ගනනාවකින් අනතුරුව ජානකී අක්කාට පුංචී විසින් ගෙන ආවාවූ විවාහ යෝජනාවක් අනුව ජානකී අක්කා විවාහ වන්නේ අම්බලන්ගොඩින්ය. එම ආරංචිය ඇසූ සැනින් ගොඩයාට පට්ට හැපීය. මන්ද යත් ගොඩයා කුඩා එකා සංදියේ ගොඩයාට දැමූ හිට්ලර් පාර්ට් සියල්ල අම්බලන්ගොඩ මනමාලයා ඉදිරියේ දියාරූවී සුනුවිසුනුවී යාමට නියමිත නිසාය. අම්බලන්ගොඩ එවුන් එක්ක ඔය කියනා හිට්ලර් පාර්ට් හරියන්නේ නැතිය.. ගොඩයා වැනි ලාචෝරෝස් ගැටවුන්ට දැමු හිට්ලර් පාර්ට් අම්බලන්ගොඩ අයියලාට දැමුවහොත් බත් කන්නට වෙන්නේ දත් නැතුවය. ඒ යෙදුනාවූ විවාහ යෝජනාවට අනුව ජානකී අක්කාගේ විවාහ මංගල උත්සවය පවත්වන්නේද ගොඩයාගේ නිවසේය. එතන් පටං පටන්ගන්නා ජානකී අක්කාගේ විවාහ ජීවිතය අනුව ජානකී අක්කාට මේ වෙද්දී අවුරුදු විසි පහක පමණ පුතෙක්ද, කැම්පස් යන දුවෙක්ද සිටිනවාය. කාලයක් අම්බලන්ගොඩ පදිංචිව සිටි ජානකී අක්කා සහ සිය පවුල දැන් වෙද්දී පදිංචිය  ජානකී අක්කාගේ උපන් ගම වූ පානදුරය .

දැන් එතකොට ජානකී අක්කා අම්බලන්ගොඩින් බැන්ද නිසා හිට්ලර් පාර්ට් අවසන් වෙන්න ඇති ? .....  කියලා ගොඩයා හිතුවාට එහෙම උනේ නැතිය.. කසාද බැන්දාවූ ඒ අසරණ අයියාටද සිදුවූයේ ගොඩයාට සිදුවූ අලකලංචියමය.. ඉඳහියෙක අඩියක් ගසාගෙන සිටියාවූ ඒ ආතල් නිදහස් සොමි ජීවිතයට සදහටම ආයුබෝවන් කී අයියා මස්සිනාද මේ වෙද්දී දැහැමෙන් සෙමෙන් ජානකී අක්කා සමග කිරියි පැණියි හා සමානව ජීවත් වෙනවාය. එතකොට දුවයි පුතයි...?  ඔව් ඔව් ඒ දෙන්නටත් ගොඩයාට වෙච්ච සන්තෑසියම තමා යකඩෝ.. ජානකී අක්කාගෙ කනෙන් රිංගිලි අනියමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියාවක් පමණය.. කෙසේ හෝ රිංගලා අසුවීම අතිමහත් භයානකය.. ගිගිරි නගිනා බෙලි කටුය..

(ජානකී අක්කාගෙ හෙල්ප් එකට කියලා ගොඩයාගෙ ගෙදරට වැඩට කොලුවෙක් ගෙනාපු කතාව මේකෙ ලිව්වොත් මේක මාගලක් වගේ දික්වෙන්ව. ඌත් ජානකී අක්කාට ගේම ඉල්ලන්න ගිහින් ජානකී අක්කාගේ විධායක බලතල පාවිච්චි කරලා ගෙදර ඇරලුනා.. උගේ නම ලලිත්.. ගොඩයට වඩා අවුරුද්දක් වාඩිමල්.. ගෙදර වැඩට ගෙනාවා උනාට ඌව අන්තිමේ ඉස්කෝලෙත් දාලා ගෙදර සාමාජිකයෙක් ගානට සම අයිතීන් හිමිවෙලයි වැඩේ අහවර උනේ.. ලලියයි ගොඩයි දවසෙම කැලේ පනින්නයි ක්‍රිකට් ගහන්නයි ගිහින් ලලියාට අමතක උනා ජානකී අක්කා යනු ගෙදර විධායක බලතල සහිත එක්සකටිව් කෙනෙක් කියන වග. මුලදී මුලදී ලලියට ජානකී අක්කගේ අනුකම්පාව හිමිවුන නිසා ලලියා ජානකී අක්කාව කියෙව්වේ වැරදියට.  අවසානයේ ඌ ජානකී අක්කාටත්  ඕඩර්ස් දෙන්න ගිහින් ගොඩයගෙ තාත්ත ගොඩයාටත් අම්බානෙකට නෙලලා  ඌවත් ගෙදර ඇරලුව.. එව්වා මහ දිග කතා... ලිව්වොත් මාසයක් ලියන්න වෙන එව්වා... 

ගොඩයා අවුරුදු පහකින් හයකින් ජානකී අක්කාව බලන්න ගිහින් නෑ.. කීප වතාවක් ලංකාවට ගිහිල්ලත් ගොඩයට බැරිවුනා ජානකී අක්කව බලන්න යන්න. ලංකාවට ගිහිල්ලත් ජානකී අක්කව බලන්න යන්න බැරිවුනා නේදෝ කියලා දැනෙද්දි ගොඩයාට දැනෙන්නෙ පට්ට ගිල්ටි ෆීලින් එකක්. ඊලඟ වතාවෙ ලංකාවට ගියාම ජානකී අක්කා බලන්න යන්න ඕන කියලා හිතේ තියෙනවා උනාට ඒක තීරණය කරන්නෙ කෝවිඩ් 19 නිසා එව්ව ගැන වැඩි බලාපොරොත්තු තියාගන්න බෑ.. කෝවිඩ් ඉවර වෙද්දි ජීවිතේ ඉතුරු උනොත් ඊලඟ වතාවෙ ලංකාවට ගියාම අනිවා ජානකී අක්කා බලන්න යන්න ඕන. කුඩා එකා කාලෙ ජානකී අක්කා කියන්නේ තවත් එක් "දැඩි දඬුවමක්" වගේ හිතුනාට  ඇටිකිරිත්තන් ගොඩයාව පාරෙ අයිනෙන් අයිනට කරගෙන දුවිල්ලක්වත් නොවැදෙන්න  පංති අරං ගිය හැටි, ටොකු ඇන ඇන ඉස්කෝලේ වැඩ උගන්නපු හැටි මතක් වෙද්දි ගොඩයාට ජානකී අක්ක ගැන පට්ට ආදරයක් දැනෙනව. හරියට පුංචි ගැන දැනෙනවා වගේම එකක්.. ඒක ලියන්න කියන්න වචන නෑ.)


Sunday, October 4, 2020

බීර බෝතල හතරයි සමායි ගොඩයයි..

 



මේ ලියන්න යන කාලය අයිති වෙන්නේ එක්දහස් නවසිය අනූ අට අවුරුද්දේ මැද භාගයට වෙන්න ඕන ගොඩයාගේ මතකයේ හැටියට. ඒ කාලේ ගොඩයි සමයි දෙන්නම රස්සාව කලේ එකම ආයතනයේ. ගොඩයා ඕල් අයිලඩ් ටෙක්, සමා සේල්ස් එක්සකටිව් කිව්වොත් තමයි හරි. සමා වගේම ගොඩයා කලෙත් ලංකාව වටේ ඇවිදින රස්සාවක්. ඒත් වැඩේ සිද්දවුනේ එකට නෙවෙයි. ගොඩයා මාසෙන් එක සතියත් කොලබ ඉඳන් වවුනියාව දක්වා උතුරු පලාතටත්, එක සතියක් කන්ද උඩරට සහ නැගෙනහිර පැත්තටත්, තව සතියක් දකුණු පලාතටත්, ඉතිරි සතිය කොළඹ අවටත් තමා රැකියාව කලේ. සමාත් එහෙමම තමා.. සතිය ගානේ ලංකාවේ හතර පැත්තට සේල්ස්. දෙන්නා  යැවෙන්නේ බොහෝ වෙලාවට දෙපැත්තට උනත් කලාතුරකින් එකම පළාතේ රැකියාව කරපු වෙලාවලුත් නැත්තේම නෑ. 


ගොඩයාගේ රැකියාවේ ස්භාවය අනුව අලුතෙන් හයිවෙන යන්ත්‍ර සුත්‍ර වෙනුවෙන් ගෝල තැනක් කොම්පැනියෙන් හිමිවුණා. කොම්පැනි පොරක් නැති උනත් ගෝලයාට ගෙවන මුදල ගොඩයා වෙත සැපයෙන නිසා ගොඩයාගේ යාලු මිත්‍රයෙක් හෝ දන්නා කියන කෙනෙක් ඇදගෙන ගිහින් ඒ උන්නැහේට ඒ මුදල ලබාදීම තමා ගොඩයා කලේ. ආන් ඒ වගේ සති වලදී සමාගේ සේල්ස් ජොබ් එකට  මන්දගාමී කාලයක් ලබලානම් ගොඩයාගේ ප්‍රමුඛතාවය හිමිවෙන්නේ සමාට. මොකද කියනවනම්, ඔය කියන කොම්පැනිවල පඩිය ලොකු උනාට ඒ පඩියෙන් බේසික් එක කියලා ගෙවන්නේ බොහොම සුළු මුදලයි. අනික් සියල්ලම වැටුපට එල්ලා දැමු දීමනා කිව්වොත් තමා නිවැරදි . සමා කලේ සේල්ස් නිසා ශිප්මන්ට් ක්ලියර් වෙන්න පරක්කු වෙන  කාලවලදී සමාට හතේ හත... ඒ කියන්නේ සමාට කොමිෂන්, බටා, නයිට් අවුට්, ජිල්මාර්ට්  මුකුත්ම නෑ. ගොඩයාගේ වැටුපත් ඒ වගේම තමා.. මාසය අවසානයේ ලොකු මුදලක් අතට ආවාට වැඩිපුර, ඒ කිව්වේ සියයට හැත්තෑ පහක්ම වැටුපට එල්ලා දැමු දීමනාම තමා.. කොම්පැනි කාරයෝ මූලික වැටුප පොඩි එකක් කරලා දීමනා එල්ලන්නේ මූලික වැටුපට සාපේක්ෂව  ETF, EPF ගෙවන්න වෙන නිසා වග ලංකාවාසීන්ට අමුතුවෙන් කියලා දෙන්න ඕනෑ වෙන එකක් නෑ.  ඒ කාලේ මූලික වැටුපට අමතරව ගොඩයාට ගෙව්වේ යන්ත්‍ර සුත්‍ර අලුතෙන් හයිවෙන කෑලි ගානට සහ අලුත්වැඩියාවන් කෙරෙන ගානට. අලුතෙන් හයිවෙන යන්ත්‍රයකට රුපියල් දහසක මුදලකුත්, අලුත්වැඩියාවකට රුපියල් පන්සීයකුත් වැටුපට අමතරව ගොඩයාට වැටුපට එකතුවුනා. ඊට අමතරව ආහාරපාන, නවාතැන් සඳහා දිනකට රුපියල් හත්සිය පනහක මුදලකුත් වැටුපට එකතුවුනා. ගෝල තැනක් අවශ්‍ය වැඩ වලදී ගෝල තැනට ගෙවනා දිනක වැටුප රුපියල් පන්සියකුත් වැටුපට එකතුවුනා. සමාටත්, සමා සේල්ස් යන රථයේ රියදුරාටත් අහාරපාන සහ නවාතැන් වියදම් ගෙවුනේ දිනකට රුපියල් හත්සිය පනහ බැගින් කියන එක පමණක් ගොඩයාට මතක තියෙනවා උනත් සමාට කොමිෂන් ප්‍රතිශතය කීයක් ගෙව්වද කියලා ගොඩයාට දැන් මතක නෑ. රස්සාව අතරේ ගොඩයාට ප්‍රයිවෙට් රෙපෙයාර් සෙට් වෙනවා වාගෙම සමාටත් එහෙන් මෙහෙන් අමතර ආදායම් ලැබුනා කියන එක නම් ගොඩයාට මතකයි..:) එව්වා ගැන මෙහිලා ලිව්වොත් සමා ගොඩයාව කයි..


ඕන් ඔය වගේ වාතාවරණයක් යටතේ සමාගේ රස්සාව මන්දාගාමි කාලයක ගොඩයාට ගෝලයා අවශ්‍ය සතියක් උදාවුණා. වැඩ වැටිලා තිබ්බේ සෙවනගල, ඔක්කම්පිටිය, මොනරාගල, දඹගල්ල කියන රෝහල්වල . මතක විදිහට දඹගල්ල තියෙන්නේ මොනරාගල සහ සියබලාණ්ඩුව අතර වෙන්න ඕන. ඒ කාලේ GPS නෑ.. පාරක් අයිනේ ඉන්න මාමා කෙනෙකුගෙන් හරි නැන්දා කෙනෙකුගෙන් හරි  අහලා තමා පාර හොයාගන්නේ.  දඹගල්ලට ගියේ මහා වනාන්තරයක් මැදින් කියලා ගොඩයාට අද වගේ මතක, ඒ කැලේ මැද්දේ තිබ්බ යුද හමුදා මුරපොළවල් කීපයකින් ගොඩයාගේ ලයිට්ඒස් රථය පරික්ෂා කල නිසා.. යකඩ ගොඩවල් පටවලා තියෙන වාහන චෙක් කරන්න ගියාම හමුදා නිලධාරින් අකුරටම කරන නිසා ඒ තැන්වල ගතවෙන කාලය වැඩියි. සියඹලාන්ඩුවේ චෙක් පොයින්ට් එක පහුකරන් එද්දී පරික්ෂා නොවී මැස්සෙකුටවත් ඉගිලෙන්න බෑ. සියලුම බඩු ලොරි බිමටම අන්ලොර්ඩ් කරලා පරික්ෂා කිරීම අනිවාර්යයි. ගොඩයාගේ මතකයේ හැටියට දඹගල්ල යන පාර වැටෙන්නේ ඔය කියන සියඹලාණ්ඩුව චෙක් පොයින්ට් එක බයිපාස් කරගෙන යන කැලේ පාරකින්. ඒ නිසා කැලේ මැද්දේ තිබ්බ හමුදා මුරපොළවල් වලින් සියඹලාණ්ඩුව බයිපාස් කරගෙන යන සියලුම වාහන දශමෙටම පරික්ෂා කෙරුනා. රජයෙන් නිකුත් කෙරුන  බලපත්‍ර සියල්ල තිබුනත් ගොඩයලාගේ වාහනේට බලපත්‍ර පෙන්වා ගැලවීයෑමට අවසර හිමිවුණේ නෑ..


සමා ඩවුන්සවුත් වැඩ කරන සතිය රාත්‍රී නවාතැන් ගන්නේ වැඩිහරියක් සමාගේ ගෙදර.  කොම්පැනි වාහනේට තෙල් ගහන්නේ කොම්පැනියෙන් නිසා සමා සහ රියදුරා මලාට ලැගුම්හල්වල නවතින්නේ නෑ. ආයේ දෙකක් නෑ හවස් වෙද්දී ඉරාගෙන අම්බලන්ගොඩ පැත්තට තමා රථය විදින්නේ. මොකෝ ඩීසල් ගහන්නේ උන් නෙවෙයිනේ. ගොඩයාට එහෙම බෑ. ගොඩයාට වැඩ වැටෙන්නේ පැයෙන් දෙකෙන් අම්බලන්ගොඩ එන්න පුළුවන් දුරවල්වල නෙවෙයි. ඩිසල් කොම්පැනියෙන් උනාට පැය තුන හතරක් ආපස්සට ඇවිදින් ආයෙම උදේ පාන්ද හිටං ඇහැරගෙන ඒ දුරම නැවත රිය පදවන්න ගොඩයා වැඩි කැමැත්තක් නෑ..  ඒ නිසා ගොඩයා වැඩිහරියක් රාත්‍රී ගතකලේ කොහේ හෝ ලැගුම්හලක. සමාට ලැගුම්හල්වල නවතින්න වැඩිය ඕනෑකමක් නැතිවුනේ ලංකාවේ සෑම ප්‍රධාන නගරයකම සමාගේ නෑයෙක් හෝ රියදුරාගේ නෑයෙක් හිටපු නිසා කිව්වොත් තමයි හරි. ඒ නෑකම් වැඩිහරියක්  නයිට් අවුට් එක සාක්කුවේ දාගැනීමේ පරමාර්ථයෙන් පවත්වාගෙන ගිය එව්වා මිස ලඟපාත ලේ නෑකම් නෙවෙයි නිසා ඒ නෑකම් නෑකමට වඩා ඕනෑකම් කිව්වොත් තමා වඩා සාධාරණ. ඔය කියන නෑකම්  හගිස්සන්න යාම, අක්මාව උළුක්කු වෙලා, උණ්ඩුකපුච්චය පුපුරලා, පුරස්ථි ග්‍රන්ථිය මහා අන්තරය දිගේ පස්සා දොරෙන් එලියට  විසික්වෙන වගේ වේදනාකාරී වැඩක් නිසා ගොඩයා ඔව්වයේ දිග පළල හොයන්න ගියේ නෑ.... නිකමට කිව්වෙත් , මදුපුංචිඅම්මගේ බාප්පාගේ පුතාගේ, ගෑනිගේ  මහප්පාගේ, මාමන්ඩිගෙ සහෝදරයාගේ පුතාගේ, මස්සිනාගේ පුතාගේ දුව බැඳලා ඉන්න  ගෙදර වගේ ඔලුව පැටලෙන නෑකම් එව්වා . ඒත් ඉතින් දවසට රුපියල් හත්සිය පනහක් ඉතුරු කරගන්න එච්චර දුර නෑකම් පෑස්සුවට මක් වෙනවද කියලයි සමානම් ඒ කාලේ කිව්වේ. රෑට වැටිලා නිදාගන්න එකට  සහ වේලක් දෙකක් කන එකට සමාලත් ඔය කියන නෑයන්ට පාඩුවක් අලාභයක් වෙන්න තිබ්බේ නෑ. සමාලත් හවස් අතේ ඔය කියන නෑයන්ගේ ගෙවල් වලට ගොඩවුනේ එළවලු ටිකක් , හාල් සිල්ලර ටිකක් සමග අනිවාර්යෙන්ම සීල් බෝතලේකුත් අරගෙනමයි. ඔය කියන නෑ ගෙවල්වල ඉන්න ගෘහ මූලික පුරුසෝත්තමලාත් සමාල එනකං උළුවස්ස උඩට වෙලා බලාන ඉන්නේ සීල් බෝතලේට තියෙන නෑකමට මිසක්ක සමාලාට තියෙන ඥාති කමට නම්  නෙවෙයි. ඔය ගෙනියන සීල් බෝතලෙනුත් වැඩිහරියක් ගිල දාන්නේ සමා සහ රියදුරු චන්නයා හෝ අතුලයා හෝ ලාල් උනාට ගෙදර නෑ උත්තමයාටත් ෂොට් එකක් දෙකක් මද  පමණට දමාගන්න බෝතෙලේ යාන්තම් ප්‍රමාණවත්. චන්න, අතුල, ලාල් කියන්නේ සමා එක්ක වැඩ කරපු රියදුරාලා තුන්දෙනා උනාට ලාල් එතනින් ටිකක් වෙනස්. හේතුව කිව්වොත් ලාල් බොන්න ලොකුවට එලවන පුද්ගලයක් නොවෙන නිසා. අතුල හෝ චන්න සහ සමා සහ නෑහිතවතා එක බෝතලේකට සෙට් උනා කියන්නේ එතැන තියෙන්නේ සීතල යුද්දයක්. අනෙකාට පෙර බෝතලයෙන් වැඩි ප්‍රමාණයක් ගිල දැමීමේ යුද්දය කොයිතරම් දරුණුද කියනවානම්, රාත්‍රී නවාතැන් සපයන ස්පොන්සර් නෑයාට ෂොට් දෙකයි වට දෙකයි බෝතලේ ඩන් .. ඔය කියන නෑ ගෙවල්වලින් ගොඩයා නවාතැන්ගෙන තියෙන්නේ සමාගේ එකම එක නෑ ගෙදරක හෙවත් ආරි අයියාගේ ගෙදර පමණක් නිසා ගොඩයා ඔය අත්දැකීම අහලා මිසක් විඳලා නෑ..   මොකද කියනවනම් රහමෙර සබ්ජෙක්ට් එකේදී ගොඩයාට කෑ එක්කවත් රේස් එකක් නෑ..  අනෙකා වැඩිපුර බිමට තනනවානම්  ගොඩයාගේ සිරිත පසු පාදයේ ක්‍රීඩාකොට තරඟය අවසන්වනතුරු විකට්ටුවේ රැඳී සිටීම පමණයි.


ඕන් ඔය වගේ වාතාවරණයක් යටතේ තමයි සෙවනගල සිට  දඹගල්ල  දක්වා වැඩ ටිකක් වැටෙන සතිය ගොඩයාට සැට් වෙන්නේ. ගෝල තැන තමා සමා. කරුමෙක මහත කියන්නේ සමාගේ ලඟම නෑ කෙනෙක් වෙච්චි ආරි අයියා පදින්චි සෙවනගල කියහන්කෝ. ඒක අර කලින් කිව්ව වගේ ඔලුව පැටලෙන දුර නෑකමක් නෙවෙයි. සෙවනගල සීනි කම්හලේ සේවය කරපු  ආරි අයියා සමාගේ ළඟ ඥාති. ආයේ දෙකක් නෑ දවස් කීපයක් සෙවනගල නවතින්න සමා නාහෙන් අඬනවා කියලා දන්නවා උනත් ගොඩයාට සමාව දාලා වෙන ගෝලයෙක් අරගෙන යන්න බෑ සමාට බිස්නස් නැති කාලයක් නිසා. ගොඩයාත් අරි අයියලාගේ ගෙදර නවතින්න හිත හදාගෙන ඕන් පිටත් වෙනවා ඩවුන් සවුත් සතියට. රාජකාරිය සාමාන්‍යයි, රාත්‍රී නවාතැන් ආරි මහතාගේ නිල නිවාසයේ. සෙවනගල සිට තණමල්විලට යන පාර ඒ කාලේ කොයිතරම් හොඳද කියනවානම්, අඟලෙන් අඟල බිම් බෝම්බ පුලුරලා තරං වලවල්. තාර දාපු පාරක් උනාට පාර  එකම මඩ ගොහුරක් කිව්වොත් තමයි නිවැරදි. සමහර වලවල්වල ලයිට් ඒස් එක නොපෙනී යන තරම්. ඩන්ඩුම හන්දියේ හිටං තණමල්විලට යද්දී වාහනේ කෙසේ වෙතත් වම් කකුලේ දණහිසේ බෝල් ජොයින්ට් එක යන තරමට ක්ලච් එක පාගනවා අතාරිනවා ආයේ පාගනවා අතාරිනවා ආයෙම පාගනවා අතාරිනවා ඉවරයක් නෑ.. වෙනස් විදිහකට කියනවනම්, වලක් ලං වෙද්දී බ්‍රේක් පාගලා වලට දානවා, වලෙන් ගොඩ ගන්න ෆස්ට් එකට දානවා, ෆස්ට් එකෙන් සෙකන්ඩ් එකට දානවා අඩි දහයක් විස්සක් යද්දී ආයෙම දාර වලක්  සෙට් වෙනවා  ෆස්ට් එකට දානවා ආයෙම සෙකන්ඩ් එකට දානවා ආයෙම වලේ දාලා ෆස්ට් එකට දානවා වලෙන් ගොඩ එද්දී සෙකන්ඩ් එකට දානව ආයෙම වලක් සෙට් වෙනවා ආයෙම ෆස්ට් එකට දානවා ආයෙම සෙකන්ඩ් එකට දානවා බ්ලා බ්ලා බ්ලා... ලියද්දිත් පිස්සු වගේ කියවද්දී කොහොම වෙයිද මන්ද... පාර කොයිතරම් හොඳද කියනවනම්, ෆස්ට් එකයි, සෙකන්ඩ් එකයි, ක්ලච් එකයි ගියර් ලීවර් එකයි වම් කකුලයි කියන්නේ වෙනම පවුලක් වගේ.. එක වලක් බේරන්න වෙට්ටුවක් දැම්මොත් තව වලවල් හත අටක වැටෙන තරම් වැඩේ අවුල් නිසා ඩන්ඩුම හිටං තණමල්විලට යනකල් ඔය තොවිලේම තමයි. ඔය කියන කාලේ සමාට ඩ්‍රයිවින් පුරුදු කරන කාලේ. සමාට  ඉස් ඉස්සෙල්ලම වාහනේ ඩ්‍රයිව් කරන්න දුන්නේ කුරුනෑගල පාරේ. මතක විදිහට පොතුහැර ඉඳන් පොල්ගහවෙලට සමා වම් අයිනෙන් ලයිට් ඒස් එක එළවන් ආවා ගොඩයා කියපු පිළිවෙලට බොහොම කීකරුව . ඒ කාලේ චෙක් පොයින්ට් හැමතැනම නිසා පොල්ගහවෙල චෙක් පොයින්ට් එකට මෙහායින් ගොඩයා වාහනේ ගත්තා. අනවශ්‍ය රිසක් එකක් අරං චෙක් පොයින්ට් එක හරහා යන්න ගිහින් රියදුරු බලපත්‍රයක් නැති සමා පොලිසිය දැක්ක ගමන් වෙවුලන්න අරං චෙක් පොයින්ට් එක ඉස්සරහා වෑන් කොටේ හිට්ටගත්තොත් සමත් සුං ගොඩයාත්  සුං.. 

සමාට අරි අයියලාගේ ගෙදර නවාතැන් ගන්නට ඕනෑකමත් , ඩන්ඩුම  සිට තණමල්විලට  තියෙන පාර වාරි මාර්ගයක් වීමත් සමාට ඩ්‍රයිවින් පුරුදු වෙන්නට තිබ්බ අවශ්‍යතාවයත් අපුරුවට ගැලපුනා කිව්වොත් තමයි හරි. ඩන්ඩුම හන්දියේ සිට තණමල්විල දක්වාත්, තණමල්විල සිට  ආරි අයියාගේ ගෙදර දක්වාත් සමා රියදුරු පුහුවට යෙදවීමෙන් ගොඩයාගේ වම් කකුල බේරාගේන පාඩුවේ පැසෙන්ජර් සීට් එකේ ගමන් පහසුව සැලසුණා. 


රෑ නවාතැනේ කතාව මදක් වෙනස්. ආරී අයියාගේ බිරින්දෑගේ අවසරය පිට පුංචි පහේ බෝතල් කොටයක් හෙමිහිට අනුමත වන අතර සමා යනු කිසිදා අරක්කු සුට්ටක් කට නොතැබූ පට්ට කොල්ලෙක් ගානට පෙනී සිටිනා අතර ගොඩයා යනු පට්ට බේබද්දෙක්, ආරි අයියලාගේ ගෙදරට. ඒ කියන්නේ සමා බිව්වොත් ආරි අයියා හැරෙන තැපෑලෙන් පහුවදාට සමාගේ  මවු තුමියට පණිවුඩය ලබාදීම අනිවාර්ය නිසා බෝතලය කැඩුනේ ගොඩයාගේ නමින්. ඉතින් කියහන්කෝ බොන්න ලොකුවට කැමැත්තක් නැති ගොඩයා එහෙම අවභාවිතා වීම සාධාරණද කියලා. ඒත් ඉහිටං ගොඩයා කියලා මක් කරන්නද.. ගොඩයාට තියෙන්නේ බෝතලේ උප්පැන්නෙට නම දීම පමණක් නිසා ගොඩයාට ඔව්වයේ වැඩි ගානක් නෑ.. බෝතලේ කරටියෙන් පහලට බහිද්දී ආරි අයියා කැසට් එක දැම්මා වගේ කියහන්කෝ.. සමායි ආරි අයියයි පවුලේ විස්තර කතා කරද්දී ගොඩයා කරන්නේ මනෝ පාරක් ගහගෙන වැඩේ දිහා බලාගෙන ඉන්න එක තමා. ඉඳ හිටෙක කට ගැස්මක් ගේන්න ආරි අයියා කුස්සියට යන අල්ලපනල්ලේ සමා ළඟ නවලා අසෝක විදුරු භාගෙක විතර ෂොට් එකක් උගුරෙන් පහලට දිවංගත කරනවා. දෙක වැදිලා මැද සුලන්ගේ පාවෙන ආරි අයියාට බෝතලේ පහලට අදෙනවද විදිනවද කියලා හොයාගන්න බෑ.. වැඩිහරියක් ආරි අයියට වෙරි.. අනෙක් කාරණය ස්ථානය කරුවල නිසා බෝතලේ තියෙන ප්‍රමාණය කොයිතරම්ද කියන එක  ආරි අයියට පෙන්නේ නෑ..  පලවෙනි රාතියෙන් පහුවදාම ගොඩයා වැඩේට උදැල්ල දාන්නේ අනුන්ගේ බෝතලේකට උප්පැන්නේ දීලා අරි අයියගේ හාමිනේට සහ දරුවන්ට පට්ට බේබද්දෙක් විදිහට පෙනිහිටින්න බැරි නිසා..


දෙවැනි දවසේ කතාව මෙහෙමයි.. සමා තණමල්විල හිටං අරි අයියලාගේ ගෙදරට යන පාරේ වලක් වලක් ගානේ ෆස්ට් එකේ සෙකන්ඩ් එකේ දාගෙන ක්ලච් බැලන්ස් කරනවා. ගොඩයා වම් පැත්තේ සීට් එකේ..


අදනම් පුතෝ මගේ නම විකුනලා බොන්න බෑ.. තෝ ඕනෙනම් අරි අයිය එක්ක බීපන් මටනම් බෑ..

මොනවහරි ටිකක් බොන්න ඕන බං  ඔන්න ඔහේ අදත් උඹේ නම විකුණමු..

පීස්සු කෙලින්නනම් එපා රජෝ.. තොපි බොන්නයි මං බේබද්දා වෙන්නයි... හුහ්.. එව්වා හඳේ...

හරි... ප්ලෑනක් තියෙනවා.. වැඩේ කරමු..

තෝ මොන ප්ලැන ගැහුවත් මටනම් ආරි අයියළහ බොන්න බෑ බෑ බෑ බෑමයි...

නෑ... අද අපි බීල යමු...

කැමැත්තක්.. බීලා ගිහින් උඹ අනිවා අද ආරි අයියට මාට්ටු .. මගේ මොකෝ උඹේනේ ඥාතියා..

අපි බියර් බොමු..

කැමැත්තක්...

පට්ට වැවක් තියෙනවා... අපි බියර් අරගෙන බන්ට් එකට ගිහින් වැවේ නාලා එහෙම බොමු..

කැමැත්තක්..

ඕන් ඒ ආකාරයෙන් සිංහයා ලකුණ බියර් බෝතල් හතරක්, අනුපාන, අඩුම කුඩුම සියල්ලම  ඩන්ඩුම හන්දියේ බාර් එකෙන්  අරගෙන සමා ආයෙම ක්ලච් බැලන්ස් කරනවා ඔය කියන වැව දිහාවට. ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඒ පාරත් අර කලින් කිව්ව පාර වගේමයි. වලවල් අටෝරාසියයි, දෙවැනි ලෝක යුද්ද කාලේ පිචර්වල පෙන්නන බිම් බෝම්බ පුපුරපු පාරවල් වලට එහා.. විනාඩි තිහක හතලිහක උඩ දමා පොලන බිම දමා පාගන කොඳු කැඩෙන වෑන්  ගමනකින් අනතුරුව කොල්ලො දෙන්න ලස්සන වැවක බන්ට් එක උඩ.. රස්සාවට යද්දී එද්දී සමා වලවල් උඩින් පරෙස්සමට ක්ලච් බැලන්ස් කරලා ගොඩයාට රිද්දන්නේ නැතුව වාහනේ එලෙව්වට බියර් බොන්න යද්දී සමා සෑහෙන හදිසියි. බො යන්න කිව්වොත් සමා එහෙම තමා.. දැන් ඉතින් මේක කියවලා ගොඩයාව කන්න පනිනවා අනිවා..


 සැලසුම බියර් දෙකක් බීලා වැවේ නාලා ඉතුරු දෙකත් බීලා වැව් සුළගේ පහස විඳගෙන ටිකක් ඉඳලා  කළුවර වැටුනයින්  පසුව, යන ගමන් මගින් කොත්තුවක් කාගෙන ආරි අයියලාගේ ගෙදරට ගොඩවීම.. ගොඩයලාට බියර් කඩන්න බොට්ල් ඔපනර් නෑ. මිහිපිට ධාවනය වන ඕනෑම ජපන් වාහනේක ජපානෙන්ම හයිකරලා එවන බියර් ඔපනර් එක තියෙන නිසා ඒ ගැන ප්‍රශ්නයක් නෑ.. කටින් කඩලා දත් කඩාගන්න ඕනත් නෑ. දැන් ඉතින් මේක කියවන උදවිය බියර් ඔපනර් එක මොකක්ද කියලා කල්පනා කරන නිසා එකත් කියමුකෝ. ඒ තමයි දොරේ ලොක් එක. දොර ලොක් වෙන්න වාහනේ බඳට හයිවෙලා තියෙන සෘජුකෝනාශ්‍ර යකඩ මුද්ද ඒ විදිහට හදලා තියෙන්නේ බියර් ඕපන් කරන්න කිව්වොත් දැන් ඉතින් කට්ටිය පුදුම වෙයි.. හක් හක් හා.... නෑ යකුනේ නෑ... ඒකෙන් බියර් කඩන්න පුළුවනි ඔපනර් එකට වඩා පහසුවෙන්. ඉතින් මොකටෙයි දත් කඩාගන්නේ නේහ්..


ඕන් සමා වෑන් කොටේ නවත්තලා පස්සා දොර ඇරලා බියර්  දෙකක් එලියට ගන්නවා..ඒ කාලේ දැන් වගේ එලි පහලියේ බීම තහනම් නෑ.. තහනම් උනත් ඒ වැව් බැම්ම උඩ මිනිස් පුළුටක් නෑ. ඉඳලා හිටලා යන තැපැල් නයින්ටියක් ඇරුනාම වැවු පිටිය ඉර බහිද්දී දර්ශනීයයි.. රමණීයයි , ඉතාමත් සිත්ගන්නාසුළුයි..


කඩහන්.. ඒ විධානය ගොඩයාගෙන්..

ඕන් සමා බියර් බෝතලේ ඩ්‍රයිවර්ගේ පැත්තේ දොරේ ලොක් එකට අල්ලලා කඩනවා...


හුටා..

මොකෝ... බෝතලේ කට කැඩුනද ? සමා බෝතලේ කට මාපට ඇඟිල්ලෙන් ඔබාගෙන ගොඩයා දිහාවට විරිත්තාගෙන ඉන්නවා.. කතා නෑ..

මොකෝ යකෝ..

බීලා හමාරයි..

මොකෝ වෙලා තියෙන්නේ කියහන්..

බොන්න බෑ යකෝ.. ප්‍රෙෂර් වෙලා...

මං හිතුව තෝ වලවල් වල මෝටර් ක්‍රොස් කරද්දී ඕක වෙයි කියල..

හිතුවනම් කියන්න එපැයි බූරුවෝ.. දැන් එව්වා වැඩක් නෑ.. මේක බොන්න විදිහක් කියහන්.. 

වාහනේ ඇතුලේ වීදුරු කෝප්ප භාජන මුකුත්ම නෑ මස්සිනා...විසඳුම් දෙකයි තියෙන්නේ..

මොකක්ද කියහන්..

එක.. ඔය බෝතල් කටෙන් ඇඟිල්ල අරගෙන එලියට යන තරමක් යන්න ඇරලා ඉතුරු වෙන දෙයන් බීලා සැනසෙන එක.. දෙක ඔහොමම කටට ලං කරලා කට ඇතුලට ස්ප්‍රේ කරගන්න එක...

සමා පළමුව පලවෙනි ක්‍රමය ට්‍රයි කරා කියමුකෝ... පලවෙනි බියර් බෝතලේ තනියමම කිරි උතුරවාගෙන   පෙන බුබුළු නංවලා දොරේ ගලාලා ඉවර වෙලා බැලින්නම් අක්චුවල් ලෙවල් එක බෝතලෙන් කාලක් විතර ඉතුරු වෙලා .. සභාවේ නිසා... සභාවේ කියන්නේ ගොඩයාට පණ යන්න හිනා..

දෙවැනි බෝතලේ සමා ගොඩයා කිව් දෙවැනි ක්‍රමයට ක්‍රියාත්මක කලා... 
නිරීක්ෂණය : බියර් බෝතලයෙන් භාගෙකට වඩා සමා ස්නානය කර ඇත.. සභාවේ සිනා... ඒත් සමාට සතුටුයි.. කලින් එකට වඩා ප්‍රමාණයක් අමාෂගතවිම ඇති නිසා.. 

ඊළඟට ගොඩයාගේ බෝතල් දෙක.. මුඩිය ගැලවූ විගස පේන බුබුළු නංවා වෑන් එකේ දොර දිගේ බියර් දොර ගලාය.. ඉතුරු මිතුරු බෝතලයෙන් කාලකට අඩුයි.. එක උගුරයි දෙකයි බියර් අහවරයි.. හතරවෙනි බෝතලේ ගොඩයා සමාටම දුන්නා කැමතිනම් ස්ප්‍රේ කරගේන නෑම පිණිස හෝ කැමතිනම් සවුදිය පුරා කිරි උතුරවාගැනීම පිණිස.

වැවේ නාලා හුලං වැදිලා රෑ වෙනකල් රස්තියාදු වීම තේරුමක් නෑ කියලා තීරණය කරපු සමා වෑන් එකට ගොඩවුනා අරි අයියළහ යන්න. ගොඩයත් ඔන්න ඔහේ ඕනෑ එකක් කියලා හිතාගෙන පසෙන්ජර් සීට් එකට ගොඩවුනා.. 

ඉතිරි දවස් කීපයෙන් දවස් දෙකක් නැවත ගොඩයාගේ නමට ආරි අයියලාගේ ගෙදර බෝතල් කැඩුනා සමාගෙන් කනක් ඇහිලා ඉන්න නැති නිසා.. අන්තිම දවසේ රෑ අරි අයියගේ හාමිනේ යස කතාවක් කිව්වා බීලා අහවර වෙලා කෑම මේසෙට වාඩි වෙද්දී...

බිව්ව් අපේ එක්කෙනයි මේ මල්ලියි උනාට සමන්ත මල්ලිටනේ වෙරි  වලා තියෙන්නේ... මද පවනේ ලෙලදෙන ආරි අයියාත් කන්නාඩි දෙක එහා මෙහා කරලා සමා දිහා ලාවට ස්කෑන් පාරක් දාන අල්ලපනල්ලේ සමාත් ගොත ගගහා මොනවදෝ කියව්වා වගේ ගොඩයාට ලාවට මතකයි. 

ඔය වගේම සමාගේ නෑ කෙනෙකුගේ ගෙදර ගිය තව ගමනක් පහත පොස්ට් එකෙත් ඇත..

https://ambalangodakatha.blogspot.com/2015/11/blog-post_24.html


x

Tuesday, September 1, 2020

බලු කතා 1






බලු කතා කිව්වාම ටිකාක් විතර අප්සැට් මාතෘකාවක් උනාට මේක ඒ වගේ බලු කතාවක් නෙවෙයි..  දැං ඉතිං මේක කියවන සමහරක් උන්දෑලා බය වෙයි මූ මේ හදන්නේ මොකක් හරි අලුගුත්තේරු කතාවක් ලියලා අපේ සායම අරින්නවත්දෝ කියලා. නෑ නෑ බය වෙන්න කාරි නෑ මේ ලියැවෙන්නේ කකුල් හතරේ බල්ලො ගැන මිසක් කකුල් දෙකේ මහප්‍රාණ භල්ලෝ ගැන නෙවෙයි.. ගොඩයාට බලු වැඩ කරපු එවුන් ගැන ලිව්වොත් ඉතින් ඒකට වෙනම බ්ලොග් එකක් හදන්න වෙන නිසා ඒ කතා මේ බ්ලොග් කොටේ ලියවෙන්නේ නෑ.. බල්ලෝ කිව්වාම ගොඩයාගෙ ලැයිෆ් එකට බොහොම සමීපව බල්ලන් හතරදෙනෙක්  සම්භන්ධයි.. ඒ බල්ලන් හතර දෙන සිහිකරනුවස්, මේ ලියැවෙන්නේ ගොඩයාගේ මතකයට බොහොම සමීප ඒ බල්ලන් කතාන්දරේ මිසක් ගොඩයාට දහසක් බලුවැඩ කරපු එවුන්ගේ කතාන්දරේ නෙවෙයි. ඒ කෙසේ වෙතත් මේක  බල්ලන් ගැන ලියැවෙන බ්ලොග් පෝස්ට් එකක් නිසා ඒකට සාධාරණයක් වෙන්න නම් බලු කතා කියලා නම දාන්නම වෙනව..

කව්දෝ අසමජ්ජාති එකෙක් ගොඩයලාගෙ ගෙවල් ඉස්සරහ අතෑරලා දාලා ගියපු අලුත උපන් බලු පැංචෙක් තමයි ගොඩයාගෙ ආදරය දිනාගත් පලවෙනිම බලු සුරතලා.. ඒ වෙද්දි ගොඩයාට උපරිම වයස අවුරුදු හත අටක් ඇති. පාර පුරා වැටි වැටී බඩගින්නේ ඇවිදින මේ අසරණයා දැක්ක වෙලේ හිටං ගොඩයාට අනුකම්පාවේ බෑ.. උපන් හැටියේ සතෙක් එහෙව් ආකාරයෙන් පාරෙ අතෑරලා දාල යන්න මොන තරම්නම් කුරිරු හිතක් මනුස්සයෙකුට තියෙන්න ඕනේද හැබෑට.. මේ සතා පාරෙ ඇතෑරලා ගොඩයාට ගෙදර ගිහිං නිදාගන්න බෑ බෑ වගේ නිසා ඕං ගොඩයා මේ බලු සුරතලා ගෙදර උස්සන් එනව.. ගෙදරින් ටිකක් විතර ඔබ්ජෙක්ශන් උනාට ගොඩයා සතාව ඇහැක් වගේ බලා ගන්නවා කියන පොරොන්දුව පිට බලු සුරතලාට පුරවැසිභාවය ඕකේ කියමුකෝ..

අලුත උපන් සතා නිසා ගොඩයා බලු සුරතලාව ඇඳෙන් බස්සන්නෙ නෑ.. කිරි පොවනවා.. උනු වතුර පොවනවා.. දාහක් සත්කාර ඉවරයක් නෑ... සතියක් දෙකක් විතර කාර්ඩ් බෝර්ඩ් පෙට්ටියක දාලා ඇඳ උඩ තියාන හිටපු බලු සුරතලා කාර්බෝර්ඩ් පෙට්ටියෙන් එලියට පනින්න තියාගත්තාම තමයි ගොඩයාට තේරෙන්නේ අහක යන ඔලුවෙ කැක්කුමක් ගෙදර ගෙනැල්ලා දාගත්තා නේදෝ යකඩෝ කියලා.. ගොඩයා ඒ වගේ අහක යන ලෙඩ ගෙදර ගෙනැත් දාගැනීමේ කලාවේ පිකාසෝ නිසා ගෙදර මහතැන් දන්නවා ඔය බලු සුරතලේ වැඩි දවසක් යන්න කලියෙන් අහවර වෙන වග.. දෙන දෙයක් කාලා වෙනදෙයක් බලාගෙන පෙට්ටියට වෙලා හිටපු බලු නයිදේ මෙන්න බොලේ පෙට්ටියෙන් එලියට පැනලා ඇඳ පුරා ඇවිදිනව.. ඒ විතරක්නම් මැදෑ... මේ යොදයා ඇදේ චූත් දානවා කියහංකෝ.. ආතල් පහට සුපිරි ක්ලීන් එකට තියාගෙන ඉන්න ඇඳෙ බලු නාම්බෙක් චූ දැම්මා කියන්නෙ ආයෙ මූව තියලා වැඩක්ද ආයුබෝවන්ඩ..  ඇඳයි, ගෙදරට දාන සෙරෙප්පු දෙකයි, තුවායයි, සරමයි, දත් බුරුසුවයි රේසරෙයි කියන්නේ ගොඩයාගේ පණ හා සමානව ආරක්ශා කරන දේවල් වෙච්චි, එයිනුත් වටිනාම දේ උන ගොඩයාගෙ ඇදේ මේ යකා චූ දැම්මාම කොහොමද යකඩෝ ගොඩයා ආතෙල් පහට දොයියන්නෙ කියහංකෝ.. 
සරම නම් ගොඩයාගේ ජීවිතෙන් ගිහින් දැන් අවුරුදු දහයක්. ලංකාවෙන් එලියට ආපු දවසේ හිටං මේ වෙනකම් ගොඩයා සරමක් ඇඳලා නෑ අවුරුදු දහයකින්. රැවුල කපන රේසරේ ඒ කාලේ පන වගේ රකින එක අදත් කරා උනාට ගොඩයා මොකක් හරි අජීවී වස්තුවකට පැලෙන්න වයිර කරනවානම් ඒ වයිරයට භාජනය වෙන අජීවී වස්තුව වෙන්නේ රැවුල කපන රේසරේම තමයි. විස්සේ විසිපහේ හද්දා තරුණයා කාලේ රැවුල කියන්නේ ආභරණයක් වගේ උනාට වයස හතලිස් පහ ලං වෙද්දී රැවුල කියන්නේ හද්දා මල වදයක්. උදේට වැඩට යන්න නැගිට්ටාම රැවුල කපන්න ඕන නේදෝ කියලා මතක් වෙද්දී ගොඩයාට ආයෙම අනික් පැත්ත හැරිලා නිදාගන්න හිතෙන වාර අනන්තයි අප්‍රමානයි. අර කලින් කිව්ව විස්සේ විසිපහේ කාලේ රැවුල පොඩ්ඩක් වැවෙන්න අරියට දැන් එව්වා බෑ මොකද කියනවානම් රැවුල ඔක්කොම සුදුයි දැන් වෙද්දී... දවසක් රැවුල නොකපුවොත් පට්ට හිඟන පාටයි මූණ. දවස් දෙකක් රැවුල නොකපා හිටියොත් පිටකොටුවේ ස්ටේෂන් එකේ පත්තරයක් එලාගෙන හිඟාකන්න උනත් එකෙන්ම සුදුසුයි. ඉස්සර තලේ තියන රේසර් එකෙන් කැපුවා උනාට දැන් රැවුල කපන්නේ ඉලෙක්ට්‍රික් රේසරෙන්. ඉලෙක්ට්‍රික් උනත් තලේ තියෙන රේසරේ උනත් ගොඩයාට ඔය මල මසිත්තුව පේන්න බෑ. මුනෙ රැවුල් ගස් දෙක තුනක් තියෙන ගොඩයාගේ යාලු මිත්‍රයන් අදත් ශේවින් ක්‍රීම් ගාගෙන උජාරුවෙන් පැය ගානක් රැවුල බානවා උනාට ගොඩයාටනම් රැවුල කියන්නේ පට්ට මල වදයක්. 

රේසරේ ගැනයි සරම ගැනයි ලියන්න ගිහින් බලු කතාව කැලේ පැන්න කියහන්කෝ.. ඕන් බලු නයිදේ චූ දැමිල්ල ඇඳේ විතරක් නෙවෙයි කාමරෙත් අහුමුලු සේරෝගෙම චූ ප්ලස් කක්කිත් දාන තැනට ඇඩ්වාන්ස් උනායින්  පස්සෙ ගොඩයා තීරණය කරනවා මේ බලු සුරතලේට හීන්සීරුවේ  බූට් එක තියන්න.. එව්ව කැත වැඩ තමා.. ඒත් ඉතිං එහෙමයි කියලා ක්ලීන් එකට තියෙන සිරියහන් ගබඩාව අපිරිසිදු කරගන්න ගොඩයාට බෑ නෙව.. බලු සුරතලාගෙයි ගොඩයාගෙයි ලව් එක ටිකෙන් ටික දුරස් උනායින් පස්සෙ බලු සුරතලාත් තේරුම් ගන්නවා ගොඩයා වගේ චපල පෙම්වතෙක් එක්ක එක කාමරේ ඉන්න එක තේරුමක් නෑ කියන එක.. එයින් පස්සෙ බියුටිගේ ලැයිෆ් එක එයා එයාගෙ පාඩුවේ ගොඩයා ගොඩයාගෙ පාඩුවේ තමා.. කියන්න අමතක උනානේ.. ගොඩයා බලු සුරතලාට දාපු නම තමා බියුට්... බියුටි එයාගෙ ආයුශ ඉවර වෙලා මැරිලා යනකල්ම ගොඩයලාගෙ ගෙදර ජීවත් උනා.. හැබැයි බියුටිට ගොඩයාගෙ කාමරය තහනම් කලාපයක්..

ඊලංගට ගොඩයලාගෙ ගෙදරට එන්නෙ මිකී.. මිකී තනිකරම වෙරි වෙලා ඉන්න බල්ලෙක්..  මිකීගෙ අම්මා ස්ථිරවම පදිංචිවෙලා හිටියේ ගොඩයලාගෙ ලොකු අප්පච්චිගෙ ගෙදර නිසා තමයි මිකී ගොඩයලාට ලැබෙන්නෙ. මිකී ගොඩයලාට ලැබෙද්දි මිකීට වයස මාස කීපයක් ඇති.  මිකී කලින් හිටපු බියුටිට වඩා වංශවත් පවුලකින් පැවත එන මොකක්දෝ විශේශ වර්ගයක බල්ලෙක්. ඕන් දැන් මිකීගෙ ජාතකේ අහලා ගොඩයාට කොමෙන්ට් දානවා එහෙම නෙවෙයි.. ගොඩයා ෆස්ට් බලු ලව් එකෙන්ම බල්ලන්ට ලව් කිරීම නවත්තපු නිසා ඔව්වයේ ජාතක ගැන සුවිශේෂී දැනුමක් ගොඩයාට නෑ.. බල්ලො කිව්වාම ගොඩයාට අඳුරන්න පුලුවන් ඇල්සේශන් සහ පොමනේරියන් එවුන් විතරයි. අනික් උන් ගැන මෙලෝ මලදානයක් ගොඩයා දන්නේ නෑ .. මිකීගේ හැඩහුරුකම ගැන කියනවානම් මිකී බඩවැල වගේ දිගයි.. ඒ වගේම උසයි.. වලිගය දෙපසට අම්බානෙකට වැනෙන සුලුයි.  වලිගට කොයිතරම් වැනෙනසුලුයිද කියනවානම්, මිකියා වලිගය නටවනවාද වලිගය මිකියාව නටවනවාද කියලා වෙන් කරලා අඳුරගන්න බෑ.. මිකී වෙරි වෙලා ඉන්න බල්ලෙක් කියලා ගොඩයා මුලින්ම කිව්වේ මක්නිසාද යත්, මිකියාගේ කන් දෙක කොයි වෙලාවෙත් තිබුනේ කඩාගෙන වැටිලා.. ජාතකේ ගැන ඇහුවානම් ලොකු අප්පච්චියි ගොඩයාගේ බාප්පොච්චියි කියන්නේ මිකියා විරල වර්ගයකට අයත් සහ  පොලිස් බල්ලන්ටත් වඩා ඉන්ටැලිජන්ට් මොලයක් තියෙන  බලු නාම්බෙක් කියලා උනත් ගොඩයාට නම් ඔව්වයේ වැඩිමනක් ගතයුත්තක් නෑ.. ගොඩයාගේ ලොකු අපච්චියි බාප්පොච්චියි ලොකුවට කියැව්වේ මහා අනර්ඝ වස්තුවක් ගොඩයලාගේ ගෙදරට දුන්නා වගේ කතාවක් උනාට ගොඩයාට නම් තවත් බල්ලෙක් කියන්නේ තවත් ඔලුවේ කැක්කුමක් විතරයි. ලොකු අප්පච්චි බල්ලන් විකුණන බිස්නස් එක කරපු මනුස්සයෙක් නොවෙන නිසා මිකියා විකුණුවේ නැති උනාට ලේසියෙන්ම රත්තරන් පවුම් දෙකකට වඩා වැඩි මිලකට  විකුනන්න පුළුවන් බලු නාම්බෙක්ය කිව්වාම, ගෙදර ගොඩයාට තිබ්බ ප්ලේස් එකත් මේ බලු වහන්ගතේ නිසා අවතක්සේරු උනාදෝ කියලා ගොඩයාට නිකමට වගේ හිතුනා..  ගෙදර තිබ්බ වටිනා බඩු භාණ්ඩ එක්ක බැලුවාම මිකියා රත්තරන් පවුම් දෙකක් වගේ වටිනා නිසා හරියට බැලුවොත් මිකියා ඉන්න ඕන එළියේ කුඩුවේ නෙවෙයි යකෝ ගෙදර අල්මාරියේ හෝ බැංකුවේ සේප්පුවේ කියලා ගොඩයාට නොහිතුනා නෙවෙයි.

මිකියා ගෙදර හෙඩ් ඕෆ් ද සිකියුරිටි වෙන්න වැඩිය කාලයක් ගියේ නෑ. මාස කීපයක් ලොකු අප්පච්චිගේ ගෙදර ඉඳලා ආපු නිසා මිකියා වැඩිපුර කොන්ට්‍රෝල් ලොකු අප්පච්චිට කිව්වොත් තමයි හරි. මිකියාගේ පෙළපතේ හැටියටම උන්නැහේලා කීකරු වෙන්නේ කන්න දෙන ස්වාමියාට පමණක්ලු කියන කතාවත් ගොඩයාගේ නම් ඇඟ කිලිපොලා යන ආරංචියක් උනාට ගොඩයා බල්ලන් එක්ක තියෙන ඇයි හොඳයිය සීමා සහිත නිසා ගොඩයාට වැඩිය එව්වයේ ගානක් තිබ්බේ නෑ.. මිකියාට එළියේ ස්ථීර වාසස්ථානයක් විදිහට දැල් කුඩුවක් හැදුනා නිසා මිකියා දවස් දවසේ වැඩි වෙලාවක් ගතකරේ කූඩුවේ.. රෑ නවයට විතර නිදහස් කෙරෙන මිකියා නැවත උදේ හය වගේ වෙද්දී  කුඩුවට ගාල් කෙරුණා. හුඟක් දවස්වලට මිකියා කුඩුවට දාන වැඩේට ලොකු අප්පච්චිව විශේෂයෙන් කෝල් කරලාම ගෙන්නගන්න උනේ මිකියා සුවර් නැති ජොකියා නිසා. තුන්වේල කන්න දෙන ගුණයට මිකියා ගොඩයාගේ මෑණියන්ට මදක් කීකරු උනත් සමහරක් දවස්වල උදෑසන වෙද්දී මිකියා ෆුල් හින්දුස්ථාන්. ඒ කිව්වේ බෙල්ලට දම්වැල දාගන් උත්සහා කරනවා කියන එක මද කිපිච්ච අලියෙකුට උක්ගස් කවන්න යනවා වගේ සෑහෙන්න ඩේන්ජර් වැඩක් .. මිකියා හෙඩ් ඕෆ් ද සිකියුරිටි වැඩේ කොයිතරම් ලෙසටම කරාද කියනවානම්, මිකියාගේ සිකුරිටියෙන් පොඩ්ඩක් හරි බෙරුනානම් බේරුනේ ගොඩයාගේ මෑණියන් විතරයි.  මිකියා ලිහලා ඉන්න වෙලාවට ගොඩයාගේ  මෑණියන් අරුනකොට ගෙදර ඉතුරු සාමාජිකයන් හතරදනා කියන්නේ ධාවන ශූරී සුසන්තිකාලාට වඩා දිවිලි කාරයෝ කිව්වොත් තමයි හරි.. ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට මිකියා හදිසියෙවත් ලිහලා හිටියෝත් කරන්න ඉතුරුවුණේ විකල්ප දෙකයි. එකක් ආපු අතක් බලාගෙන පණ එපා කියලා ගේට්ටුවෙන් එලිය දිහාවට දුවලා ගේට්ටුව එළියෙන් වහගන්න එක. දෙවැනි එක, කෙලින්ම ගේ ඇතුලට දුවලා ගේ ඇතුලෙන් දොර වහගන්න එක. ඒ අතරමැද කොතනකදී හරි මිකියාට අහුවුනොත් ආයේ දෙකක් නෑ... ගෙදර සාමාජිකත්වය උස් මිටි භේදයක් නැතුවම වැලේ වැල්.. 

මිකියා දවල් දවසේ කූඩුවේ උන්නට හිටපු ගමන් කූඩුවේ දොර පන්නගෙන ගෙට එන වෙලාවලුත් නැත්තේම නෑ. එහෙව් වෙලාවට ගෙදර ඉන්න සාමාජිකත්වය ඉහල පහල භේදයක් නොමැතිවම හිටි තැන්වලම ගල් ගැසීම තමයි  සාමාන්‍ය ස්භාවය . මිකියා බඩවැල වගේ දිග සහ උස මහත සත්වයා නිසා ඌ එක්ක ගේ ඇතුලේ රේස් දිවිලි දවල් හීන විතරයි. ගොඩයාගේ මෑණියන් ඉන්න තැනකින් දිරියෙන් ඉදිරියට ඇවිල්ලා මිකියාව බෙල්ලේ පටියෙන් අල්ලාගෙන කුඩුවට ගෙනිහින් දානකල් ගොඩයලා ඉතින් ගල් කණු සේ නොසැලී සිටිත් කිව්වලු. මිකියා ගේ ඇතුලේ අයිති කාරයා වගේ ඇවිදින අල්ලපනල්ලේ ගොඩයාගේ මෑණියන් මුළුතැන්ගෙය දිහාවෙන් මතුවෙන දර්ශනය මිකියාට සෑහෙන්න ප්‍රීති දායක දර්ශනයක්. ආන් ඒ වෙලාවට මිකියාගේ පශ්චාත් භාගය සහ වලිග රාජයා දෙපසට වන්න ගන්නේ වඩිග පටුන නටන්න ගත්තා වගේ කියහන්කෝ. එහෙව් වෙලාවට ඔය සාලේ ටීපෝව උඩ තේ බීපු කෝප්ප විදුරු වගේ කඩෙන බිඳෙන දේවල් තොබ්බොත් එව්වා සුනේ සුං. මිකියාගේ වඩිග පටුන නටන වලිගයේ වැදෙන සියලූම කැඩෙන බිඳෙන දෑ බිම වැටිලා කුඩු පට්ටං උනත් අහල පහල වාඩි වෙලා ඉන්න ගල් පිළිම වලට පණ එන්නේ නෑ.. වීදුරු කෝප්ප වලට වඩා තම තමුන්ගේ පණ බේරාගැනීම කොයිතරං වැදගත්දෝ කියන එක ලයිව් බලාගන්න නොමිලයේ ලැබෙන අවස්තාවක් තමා ඒක. මෑණියන් ලඟට ආවාම මිකියා කෙලින්ම පස්සා කකුල් දෙකෙන් හිටගෙන මෑණියන්ගේ උරහිසට ඉදිරි කකුල් දෙක තියලා හිටගන්න වෙලාවලුත් බොහොමයි. මිකියා සෑහෙන්න දිග සත්වයා නිසා හරියට කකුල් දෙකෙන් හිටගත්තොත් හොම්බ ලඟට උස අඩි පහකටත් වඩා වැඩි මිසක් අඩු නෑ. ඒ වගේ වෙලාවට මෑණියන් කරන්නේ ඉස්සරහ කකුල් දෙකෙන් අල්ලාගෙන ඇවිද්දවාගෙන ගිහින්ම කූඩුවට දාල දොර වහන එක.

මිකියාගේ ආගමනයෙන් පසුව ගොඩයාගේ ගෙදර ගෘහ මූලිකයා විදිහට නොනිල තත්වයක් දැරුවේ මිකියා . ගෙදරට එන ඕනෑම අමුත්තෙක්, නෑයෙක්, යාලුවෙක් වත්තට ආවේ මිකියාගෙන් අවසර අරගෙන කිව්වොත් තමයි හරි. ගෙදරට එන ඕනෑම අමුත්තෙක් ගේට්ටුව ලඟට ඇවිත් ඉස්සෙල්ලම අහන්නේ බල්ලා ලිහලාදෝ කියලයි. බල්ලා බැඳලානම් වත්ත ඇතුලට ආව මිසක් බල්ලා කුඩුවේ පේන්න නැතිනම් පණට ආදරේ කිසීම සත්වයෙක් වත්තට ආවේ නෑ කියමුකෝ. හිටිගමන් එන සමහරක් අමුත්තන් බල්ලා බැඳලාද කියලා අහන අවස්ථාත් නැත්තේම නෑ.. ඒ වගේ වෙලාවට ගොඩයා එලි පහලියේ හිටියොත් නම් ගොඩයා කියන්නේ තාම ඌ  බැඳලා නෑ ඒත් බඳින්න හොයනවා , මං බඳිනකල් ඌට බඳින්න බෑ මට වඩා ඌ බාලයි කියලයි. 

ලොකු අප්පච්චිටත් සතියකට වතාවක්වත් මිකියාව බලන්නේ නැතුව ඉන්න බෑ. ඒ නිසා ලොකු අප්පච්චිත් සතියකට වතාවක් විතර ගොඩයලාගේ ගෙවල් පැත්තේ විසිට් එක දානවා. ආන් ඒ වෙලාවට මිකියා කුඩුවේ හිටියොත් කුඩුව  දෙවනත් වෙන්න වලිගෙ වන්න ගන්නවා කියහන්කෝ. ඒ ලොකු අප්පච්චි දකින්න තියා ලොකු අප්පච්චිගේ යමහා මේට් එකේ සද්දේ ගොඩයලාට ඇහෙන්නත් කලින්. බල්ලන්ගේ ඇසීමේ පරාසය මනුස්සයාට වඩා ගොඩක් වැඩි නිසා ලොකු අප්පච්චි හැතැක්ම කාලක් විතර දුර එද්දී මිකියා දන්නවා ලොකු අප්පච්චි එන වග. මිකියාගේ නයි වලිගෙ කූඩුවේ දැල් ටිකට වැරෙන් පහරදෙන්න ගත්තාම ගොඩයලාගේ ගෙදර උදවිය දන්නවා විනාඩි පහක් වගේ යද්දී ලොකු අප්පච්චිගේ යමහා මේට් එක ගේට්ටුව ඉස්සරහා ප්‍රාදුර්භුත වීමට නියමිතයි කියලා. 

බල්ලො දෙන්නෙක් ගැන ලිව්වම වැඩේ සෑහෙන්න දිගයි... ඊළඟ බල්ලො දෙන්නා ගැන ඊළඟ කොටසින් ලියන්නං. 




Sunday, May 17, 2020

පුස්ථකාලය සහ ඈපා..






Covid 19 එක්ක ලෝකෙම නන්නපෝල් වෙලා ඉන්න වෙලාවක බ්ලොග් පෝස්ට් ලියන එක හරිද වැරදිද කියන එක ගොඩයා දන්නෙ නෑ. ලංකාවට වැටිච්ව ඇඳිරිනීතිය දැනට මාසෙකට වැඩියි කියලයි ගොඩයාගේ අප්සැට් මෙමරිය කියන්නෙ. ඒ ගැන හිතනකොටනම් ගොඩයාට අපේ මිනිස්සු ගැන හරිම හිතට දුකයි. රජයේ රස්සා කරන හෝ වේවා වෙනයම් ආකාරයකින් හෝ වේවා මාසික ආදායමක් ලබන උදවියට ඇදිරි නීතිය ලොකුවට ප්‍රශ්නයක් නොවුනත් එදා වේල උපයගෙන බඩට යමක් කන බොන මිනිස්සු අනාතයි කියලාමයි ගොඩයාට හිතෙන්නෙ. ඒ කෙසේ වෙතත් ලෝකෙටම ගෙදරට වෙලා ඉන්න ලැබෙන අවස්ථාවක් නිසා මිනිස්සුන්ට තම තමුන්ගේ පවුලේ උදවිය එක්ක කාලයක් ගතකරන්න ලැබිච්ව් එකත් නරකම නෑ. ඒත් ඊට එහායින් තියෙන Covid 19 අනතුරනම් එසේ මෙසේ එකෙක් කියලා ගොඩයා හිතන්නෙ නෑ. ගොඩයා ඉන්න රටෙත් අද වෙද්දි ලක්ස ගානක් ආසාදිතයි.  මරණ ප්‍රමාණය ඉලක්කම් හතර ඉක්මවලා මේ වෙද්දි.  මිලියන ගණනකට රැකියා අහිමිවී අවසන්. වාසනාවකටදෝ අවාසනාවකටදෝ ගොඩයා තාම රැකියාවත් එක්ක වැඩ. ඒක වාසනාවද අවාසනාවද කියන එක තීරණය කරන්න වෙන්නෙ මේ ව්‍යසනය අවසාන උන දවසක ගොඩයා වන් පීස් ජීවතුන් අතර හිටියොත් තමයි..

ඒ විස්තරේ පැත්තකින් තියලා ඕන් ලියන්න ආපු කතාන්දරේ මෙන්න මෙහෙමයි..

කියවීම කිව්වාම ගොඩයාට පුංචි සන්දියේ හිටංම තිබ්බ ආසාවක් කිව්වොත් තමයි නිවැරදි. පොතක් අහුවුනාම ඒක එක දිගටම කියවාගෙන ගිහිං ඉවර කරන එක තමයි ගොඩයාගෙ පුරුද්ද. අද ටිකයි හෙට ටිකයි අනිද්දා ටිකයි කියවන පුරුද්දක් ගොඩයාට නෑ. පොතක් අහුවුනානම් කෑවා බීවා නෑ නිදි මරාගෙන එලි රෑ වෙනකල් කියවන එක තමයි වැඩේ. ඒ කාලෙ පොතක් පතක් හොයාගන්න එකත් පහසු නෑ. පුස්ථකාල පහසුකම් අවමයි. ගොඩයා මේ කියන්නෙ වයස නවය දහය සන්දියේ වාතාවරණය. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගෙ මඩොල්දූව පොත ගොඩයාට කියවන්න ලැබුනේ ඕන්න ඔය වයෙසෙදි වගේ. පොත ලැබුනේ ගිහාන් රාජපක්ශ කියන මිත්‍රයාගෙන්. ගිහාන් ගොඩයාට වඩා වසරක් වැඩිමහල්. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ 1995 වර්ශයේ උසස්පෙල කරපු ගිහාන් රාජපක්ෂ දැන් ජීවත් වෙන්නෙ ඔස්ට්‍රේලියාවේ කියලා ගොඩයා දන්නවා උනාට එතැනින් එහා විස්තරයක් ගොඩයා දන්නෙ නෑ. ගිහාන්ගෙන් ගොඩයාට පොත ලැබෙන්නෙ නයිට් රයිඩර් බලන්න සැට් වෙච්ච වෙලාවක. ඒ කියන්නෙ රෑ හතට අටට විතර. කොන්දේසිය තමයි පහුවදා ඉස්කෝලෙ යන වෙලාවට පොත නැවත ලැබෙන්නට සැලැස්විය යුතුයි. ඉතිං කියහක්කෝ කොහොමද පොත කියවන්නෙ. ඩඩාගෙ නීතියට අනුව රෑ නවය වෙද්දි ඇඳට යන්නත් ඕන. ලැයිට් නිවන්නත් ඕන. ඒත් ඉතිං ගොඩයා සැලෙයිද එව්වට. ඇඳේ හිටං ටෝච් එලියෙන් ඩඩාට ඩිස්ටර්බ් වෙන්නෙ නැතිවෙන්න පොත කියවද්දි ලැබෙන අවසාන නියෝගයට අනුව රෑ දොලහ විතර වෙද්දි ගොඩයාට සිද්ද වෙනවා නින්දට යන්න. නැත්තම් ටෝච් එකෙන්ම ඔලුවට අනිනවා කියන භයානක ස්ටේට්මන්ට් එක අනුව ගොඩයා මඩොල්දූව කොට්ටෙ යට තියාගෙන දොයි. ඒත් නැවතත් පහුවදා උදේ හතරේ හිටං නැවතත් මඩිල්දූව ටෝච් එලියෙන් කියවා අවසාන කරනවා ගිහාන් ඉස්කෝලෙ යන්න පාරට එන්න කලින්. ගොඩයා ඒ කාලෙ ඉස්කෝලෙ ගියේ හවස් වරුවෙ නිසා මිසක් උදේ ඉස්කෝලෙ ගියානම් මඩොල්දූව තාවකාලිකව පසුවට කල්දාන්න සිද්දවෙනවා අනිවා..

ඔන්න ඔය කාලෙ තමයි පෝරඹ පුස්තකාලය විවෘත වෙන්නෙ. පුස්ථකාලාධිපති විදිහට වැඩ කරේ කමලා ආන්ටි. පුද්ගලිකව හැඳුනුම්කමක් නැති උනත් හැමෝම පුස්ථකාලාධිපති තුමියව හැඳින්වුවේ කමලා ඇන්ටි කියලයි. කමලා ආන්ටි වැඩිය සැරපරුස නැති මනුස්සයා උනාට කාර්ඩ් එකක් නැතුව පොතක් එලියට ගෙනියන්නනම් දෙන්නෙ නෑ මලාට. ඒ කාලෙ පුස්තකාල කාර්ඩ් දෙන්නෙ වයස දහ හතරට වැඩි එව්වොන්ට විතරයි කියහංකො. ඒ නීතිය දාපු එකා එහෙම නීතියක් දැම්මෙ කුමන පදනමක් යටතේද කියන එක ගොඩයාට අදත් ප්‍රශ්නයක්. ඒකත් හරියට කොලඹ තියෙන එක්තරා ඉංග්‍රීසි උගන්නන ජ්‍යාත්‍යන්තර ආයතනයක නීති වගේ. ගොඩයා දවසක් ඔය කියන ආයතනයට ඇමතුමක් ගත්තා කතාකරන ඉංග්‍රීසි ගැන පාථමාලාවක් ගැන දැනගන්න. වයස දොලහක ලමයෙකුට කතාකරන ඉන්ග්‍රීසි උගන්වන්න කලින් ව්‍යාකරන උගන්වන ඕන ඒ නිසා ව්‍යාකරණ පංතියට යන්නෙ නැතුව කතාකරන පංතියට ගන්න බෑ කියලයි ඒ ඇමතුමෙන් කියවුනේ.. ගොඩයා ඉතිං  ඇහැව්ව ඒ ඇයි කියලා. ඒ ගෑනු මනුස්සයා කියාපි ව්‍යාකරණ දන්නෙ නැතුව කොහොමද කතා කරන්නෙ කියලා.. ආං එතකොට ගොඩයාට ඔලුවට ආවා අහන්න ඇයි හත් ඉලව්වෙ ඔබතුමිය වයස තුන හතරෙදි සිංහල කතා කරන්න ඉගෙනගන්න කලිං ගෙදරිං ව්‍යාකරණ ඉගැන්නුවාද කියලා.. වැඩකට නැති දේවල් අහලා ඒ ගෑනු මනුස්සයාගෙ මල පන්නන්න ඕන නැති නිසා ගොඩයා ඩෙන්කිව් කියලා ෆෝන් එක තිබ්බ. ඒ වගේම තමයි පුස්තකලෙ නීතියත්. කාර්ඩ් එකක් ගන්න නම් වයස දහ හතර සම්පූර්ණ කල යුතුයිලු. ඒ කියන්නෙ වයස දහ හතරට කලින් අපි පොතක් ගෙදර ගෙනිහින් කියවන්න සුදුසු තත්වෙක නෑ කියන එක වෙන්ටෑ.. ඔව්වයින් ගොඩයා සැලෙයිද.. නෑනේ..

ඕන් ගොඩය හොයාගන්නවා වයස දහ හතරට වැඩි අයදුම් කරුවෙක්. ඒ තමා ගොඩයාගෙ මිත්‍රයෙකුගේ අක්කන්ඩි වෙච්චි මල්කාන්ති අක්කා. දෙයියෝ බලලා වගේ මල්කාන්ති අක්කා ඒ වෙද්දි වයස පහලොවක් විතර ඇති . නෑ බෑ නෑ කිව්ව ගමන් ෆෝර්ම් එක පුරවලා ඉස්කෝලෙ විදුහල්පතිගෙන් අත්සන අරගෙන ඔක්කොම කරලා දෙන්න මල්කාන්ති අක්කා එකෙන්ම කැමති උනත් මල්කාන්ති අක්කාගේ මවු තුමිය නම් පොඩ්ඩක් විතර උදැල්ල දැම්මා කියහන්කෝ. ඒ ඇයිද කියනවානම්, ගොඩයාට ලයිබ්රි කාර්ඩ් පතක් සාදාගන්නට ඉඩ පහසුකම් සාදා දී ගොඩයාගේ මවු දෙපවුපියන්ගෙන් දෝෂාරෝපණයක් එයිදෝ කියන භයට. ඕන් ඒ පුරස්නෙත් සමතයකට පත්වන්න දවස් කීපයක් ගිහින් අවසානයේ මල්කාන්ති අක්කා ගොඩයාට ලයිබ්රි කාර්ඩ් එක හදලා දෙනවා එයයිගේ නමට. ආන් එහෙමයි කියවීමට උදව් කරන්න මල්කාන්ති අක්කා ගොඩයාට දායකත්වය දැක්වුවේ. මල්කාන්ති අක්කා මේ වෙද්දි කරාපිටිය රෝහලේ දොස්තරවරියක්. 

 එදා හිටං ගොඩයා රජා වගේ පුස්තකාලෙන් පොත් ගේනවා කියවනවා ගේනවා කියවනවා.. ඕං ඔය විදිහට කාලයක් ගිහින් ගොඩයාට වයස දහ හතරත් උනාම ගොඩයාට ලයිබ්‍රි කාර්ඩ් හතරයි. ඒ කිව්වේ ගොඩයා තමුන්ගේ නමට හදාගත්තු කාර්ඩ් දෙකයි මල්කාන්ති අක්කා ගොඩයාට අනුකම්පාව පිණිස සාදා දුන්නු ලයිබ්රි කාර්ඩ් දෙකයි, එකතුව හතරයි. ඒ කියන්නේ ගොඩයා එක පාරට පොත් හතරක් ගෙදර ගේනවා වැඩ්ඩා වගේ. 

 දැං තමා ගොඩයාගෙ පාසල් මිත්‍රයා ඈපා කරලියට එන්නෙ. ඈපයි ගොඩයයි පහ වසරේ හිටං එකොලහ වසරට එක පංතියේ. පොත් කියවන එක ඈපටත් ටිකක් පිස්සුවක් වගේ තිබුනා කිව්වොත් තමයි හරි. ඒ පිස්සුවට අමතරව අන්තර්ජාතික සඟරා එකතු කරන්න, ලෝක ප්‍රසිද්ද පොරවල්ලාගේ පින්තූර එකතු කරන්න වගේ ලාමක ආසාවලුත් ඈපාට තිබ්බා කියමුකෝ. ඒ අසාවේ ප්‍රතිඵලයක අතුරුඵලයක් විදිහට ඈපාට අම්බලන්ගොඩ ප්‍රධාන පුස්තකාලයේ පැත්ත පලාතක ගොඩ වැදෙන්නත් බැරි තැනට කරුණු කාරනා යෙදී තිබුනා කියලා ලියන්න පුළුවන් උනත් ඒ ගැන වැඩි විස්තර මෙහිලා ලියලා ආපාගේ උදහසට ලක්වෙන්න ගොඩයාට බෑ. 

 කොහොමෙන් කොහොමෙන් හරි හිත මිත්‍ර ඈපටත් ඕනවුනා පෝරඹ පුස්ථකාලෙන් කාර්ඩ් එකක් ගන්න. ඈපා කොයිතරං ගොඩයාට කරදරයක් උනාද කියනවනම් කාර්ඩ් එක අරං දෙනකල්ම ඈපාගෙන් ගොඩයාට කනක් ඇහෙන්න නෑ. ඈපා පදිංචි පනියන්දූව ග්‍රාමයේ නිසා ඈපාට කාර්ඩ් එකක් පොරඹ පුස්ථකාලයෙන් ගන්න බෑ. හේතුව ඈපලාගෙ ගෙවල් පැත්තෙත් ඒ සැයිස්ම පුස්ථකාල පොඩ්ඩක් තියෙන නිසා. ඈපාත් ගොඩයාත් සැලසුම් සහගත සහ අලුගුත්තේරු ක්‍රියාන්විතයන්හී කෙල පැමිණ සිටියවුන් නිසා ඕන්  ගොඩයා සහ ඈපා ප්ලෑනක් ගහනවා පුස්ථකාල කාර්ඩ් එක ගන්න. සැලසුමට අනුව ගොඩයා යනවා පුස්ථකාලාධිපති හමුවෙන්න..

කමලා ආන්ටි පොඩ්ඩක් කතා කරන්න පුලුවනිද?

හ්ම්.. මොකක්ද ඔය ලමයට වෙන්න ඕන..

ආ..ආ..ආන්ටි.. අපේ ගෙදර අයිය කෙනෙක් බෝර්ඩ් වෙලා ඉන්නව.. එයාට කාර්ඩ් එකක් ගන්න පුලුවනිද?

වයස හරිනම්, ග්‍රාමසේවක අත්සන් කරනවනම්, විදුහල්පති අත්සන් කරනවනම් කාර්ඩ් එක ගන්න පුලුවන්..

හා ආන්ටි. . මට එහෙනම් ෆෝර්ම් එකක් දෙනවද..

හ්ම්..ඉන්නකො එහෙමනම්..

ඕන් පලවෙනි වැඩේ හරි.. ඊලඟට ග්‍රාමසේවක .. ඊලඟට විදුහල්පති.. අමාරුම වැඩේ ග්‍රාමසේවක .. හැබැයි ඒ වෙද්දි ඒකට ගොඩයාට විකල්පයක් තිබ්බ.. ඒ තමයි ඒ වෙද්දි ගොඩයලාගෙ ගෙදර නැවතිලා ඉස්කෝලෙ ගිය ඩඩාගෙ මිත්‍රයකුගේ පුතන්ඩියා.. ඒ වෙද්දි මෑන්ස් එකොලහ වසරෙ වගේ.. හැබයි.මෑන්ස් එකෙන්ම වැඩේට අකමැතියි. හේතුව මෑන්ස් භයයි අපේ ඩඩාගෙ රූල්ස් වලට පිටින් ප්ලේ කරන්න. ගොඩයා ඉතිං හැමදාමත් ප්ලේ කරේ ඩඩාගෙ රූල්ස් වලට උඩින් නිසා ගොඩයාට ඔව්වයෙ වැඩි ගානක් නෑ. ඩඩා කෝට්ට අතට ගත්තාම ගොඩයාට සූ යන සයිස් උනාට ගොඩයා ප්ලේයින් අබව් ද රූල්ස්, මෝස්ට් ඔෆ් ද ටයිම්ස්.. මාසෙකට සැරයක් වගේ ඩඩාගෙන් කෝටු පාරක් නොකෑවොත් ගොඩයාට නිකං කෑවෙ නෑ නෑ වගේ හිතට හරි නෑ..

ඩඩාගෙ යාලුවාගෙ පුත්‍රයා හෙවත් චමිල කාරයාට නොවඳිනා වැඳුම් වැන්ඳත් ඌ නෙවෙයි ගිරාමසේවක ලඟට යන්න කැමතිවුනේ. එවකට රටේ තිබ්බ භීශණ තත්වය මදක් යහපත් වෙලා තිබ්බත් ගෙදරක පිට කෙනෙක් නවාතැන ගෙන සිටිනවානම් ග්‍රාමසේවක මහතාට දන්වන එක පුරුද්දකට වගේ කෙරුනා. ඒ කියන්නෙ  ගොඩයාගෙ ගෙදර පිටස්තර කෙනෙක් නවාතැන්ගෙන සිටිනවා කියන එක ඔෆිශියලි ග්‍රාමසේවක දන්නවා. හැබැයි ගෙදර ඉන්න මෑන්ස්ගෙ ෆොටෝ එක ග්‍රාමෑන්ස් දන්නෙ නෑ. ඕන් ගොඩයා ඒකෙ වාසිය අරගෙන ඈපා එක්කගෙන යනවා ග්‍රාමෑන්ස් හමුවෙන්න. ගම රට ඇහුවොත් මෙන්න මෙහෙම කියපන් කියලා ඈපාවත් සුදානම් කරගෙන ග්‍රාමසේවක මහත්තයාගෙ ගෙදරට ගිහින් ෆෝර්ම් එක දුන්න ගමන් ග්‍රාමසේවක මහත්තයාත් අත්සන ගහලා වැඩේ ගොඩ දාලා දුන්නා කියහංකෝ.. අද කාලේ කෙරෙන වංචා දූශන වලට අනුව ඔව්ව ඉතිං මහ ලොකු දේවල් නෙවෙයිනේ ආයුබෝවන්. මොකෝ ලෝකෙ පෙරලන්න යනවා නෙවෙයිනේ.. අහිංසක විදිහට පුස්ථකාල කාර්ඩ් එකක් හදාගන්න දෙන පුංචි පහේ ගේම්ස් එකක් . අපරාදෙ කියන්න බෑ ඈපත් ගොනා සේ ලෙසටම රඟැපෑවා ගොඩයාගෙ ගෙදර නැවතිලා ඉන්න චමිලයා ගානටම. ඈපා ඒ වෙද්දිත් ටිකක් උස මහත වීමත් ගොඩයා අඟල් දෙක තුනකට වඩා උසට නොසිටීමත් නිසා වැඩේ ගොඩ කිසීම සැකයක් නැතුව.

ඕං ඊලඟට විදුහල්පති තුමාගෙ අත්සන. ඒකනම් ඈපා ගේමක් නැතුව කරගෙන ආවා කියමුකෝ. දැං වැඩේ සියල්ල අවසානයි. ඊලඟට තියෙන්නෙ පුස්ථකාලයට ගිහින් ෆෝර්ම් එක ඉදිරිපත් කරලා කාර්ඩ් දෙක අරගෙන එන්නයි. ඈපත් ගොඩයාත් ඉන්නෙ වැඩේ කෙරුන ගානට.  අමාරුම තැන පැනගත්තු නිසා ඉතිරිය කජු කනවා වගේ සිම්පල් වැඩක්. හවස් අතේ පුස්ථකාලයට ගිහිං කාර්ඩ් දෙක හදාගන්න යන අරමුනෙන් ගොඩයයි ඈපයි සතුටින් විසිර යනව. කතාකරගත්තු විදිහටම ඈපා හවස තුන වෙද්දි ගොඩයාගෙ ගෙදර.

ඕන් ගොඩයයි ඈපයි දෙන්න එක්ක යනවා කියමුකෝ පුස්ථකාලෙට. ඊලඟට තියෙන්නෙ අදාල පෝරමය භාර දීලා කාර්ඩ් පත ලබගැනීම පමණයි.. ඕං කමලා ආන්ටි සීට් එකේ.. ගොඩයා ඈපාව තල්ලු කරනව ඉදිරියට..

මේක දීලා කාර්ඩ් එක හදාගනින්..

උඹ දීහංකෝ..

මං දෙන්නෙ මොකටද ගොනෝ...උඹේනෙ කාර්ඩ් එක උඹ දීපං..

මට ලැජ්ජයි බං.. උඹ දියංකෝ...උඹනේ මේ ඇන්ටිව අදුරන්නෙ..

මං දුන්නට හරියන්නෙ නෑ ඌරො.. උඹ දීපං..

අනේ අනේ එහෙම කරන්න එපා බං. උඹනේ දන්න කියන එකා..  ඕක දීලා කාර්ඩ් එකගනිංකෝ..

ගොඩයා ඉතිං ඕනෑම මරාලෙකට බෙල්ල තියන්න දෙපාරක් නොහිතන නිසා ගොඩයා යනවා ඈපාගෙ ෆෝර්ම් එක භාර දෙන්න. ඈපා කිසිවක් නොදන්නා මෝඩයා ගානට යනවා පොත් රාක්ක තියෙන පැත්තට..

කමලා ආන්ටි මේ අපේ ගෙදර ඉන්න අය්යාගේ ඇප්ලිකේෂන් එක.. අද කාර්ඩ් එක ගන්න පුළුවන් වෙයි නේද..

කෝ ඉතින් අයියා එන්න එපැයි ඒකට.. එයා එක්ක එන්නකෝ... එයා අත්සන් කරන්න ඕනනේ..

ඇවිල්ලා ඉන්නේ ඇන්ටි.. එයා පොත් තෝරනවා..

එහෙම හරි යන්නේ නෑනේ.. එයාට එන්න කියන්නකෝ..

ඕන් ගොඩයා යනවා ආපාව කැඳවීම උදෙසා..

ආන් උඹට කතා කරනවා අත්සන් කරන්න..

මං ඕන නෑනේ.. උඹ අත්සන් කරලා කාර්ඩ් දෙක ගනින්කෝ..

උඹට පිස්සුද ගොනෝ... උඹේ කාර්ඩ් එකට මං අත්සන් කරලා හරියනවද..

ගිහින් ඇන්ටිට ශේප් එකක් දාල අත්සන ගහල ඕක ගනින් බන්..

පිස්සු කියවන්න එපා බන්.. උඹ නැතුව කාර්ඩ් එක මට ගන්න බෑ.. මගේ නම ඒ මනුස්සයා දන්නවා බූරුවෝ..

යමන් යමන් එහෙනං.. උඹලත් පොඩි එවුන් වගේ බන්.. කිසි වැඩක් හරියට කරගන්න බෑ...

ඔන් ගොඩයා ඈපාව දක්කාගෙන ආයෙමත් යනවා කමලා ඇන්ටිගේ මේසය ලඟට.. ඈපා ලොකුවට කයිය ගැහුවට ගොඩයාව ඉස්සරහට තල්ලු කරලා ටිකෙන් ටික පස්ස අදිනවා කියලා ගොඩයාට නොතේරුනාත් නෙවෙයි..

ඇන්ටි මේ තමයි අපේ ගෙදර නැවතිලා ඉන්න අයියා...

කෝ බලන්න...

මේන් ඈපා කාරයා ගොඩයාට මුවාවෙලා පොඩි හැංගිමුත්තන් පාරකුත් ලාවට දානවා ඉස්සරහට ගිහින් කෝලේ අත්සන් කරන්නේ නැතුව..

මොකේ මේ හැංගිලා.. එනවා ඉසරහට .. ඇවිත් මේ ෆෝරම් එක අත්සන් කරන්නකෝ..

දැන් ඉතින් ඈපාට ගැලවීමක් නෑ.. ඉදිරියට පැමිණ පෝරමය අත්සන් කලයුතුමයි.. ඕන් ඈපා හොර සෙයියාවෙන් මුණ හංගාගෙන බොහොම ලජ්ජාවෙන් මුහුණත් තහඩුවත් බිමට නමාගෙන කමලා ඇන්ටිගේ මේසය ඉදිරියට එනවා ගොඩයා පසුකරමින්... මෑන්ස් කෙලින්ම උත්සහා කරන්නේ මුහුණ බිමට නමාගෙන කොලය අත්සන් කරන්න උනාට කමලා ඇන්ටි ඊට වඩා තීක්ෂණයි...

කෝ බලන්න කෝ බලන්න... මූන පොඩ්ඩක් පෙන්නනකෝ..

ඈපා පලවෙනි වතාවට මනමාලියෙක් බලන්න ගිහින් වගේ ගොන්ම ගොන් හිනාවකුත් දාගෙන අහක බලාගෙන මුණ පෙන්නනවා... හයියෝ හරිම විසුළු සහගතයි සීන් එක..

හත් දෙයියනේ... මේ අපේ අල්ලපු ගෙදර XXXX අක්කගේ බාල පුතා XXX නේ... මෙයා කොහොමද ඔයාලගේ ගෙදර බෝර්ඩ් වෙලා ඉන්නේ... මං අද උදෙත් දැක්කනේ මේ යෝදයා පොත් මිටියත් එල්ලගෙන ඉස්කෝලේ එනවා.. ඉන්නවකෝ මං පොලිසියට කෝල් කරන්න.. තවුසේලා දෙන්න ආව නේද පොත් හොරකම් කරන්න බොරු කාර්ඩ් හදාගෙන..

ඒ කතාව අහපු ගමන් ගොඩයාට තේරුනා ඈපාට විතරක් නෙවෙයි ගොඩයාටත් ලයිබ්‍රි කාර්ඩ් හතරම නැතිවුනා කියලා... ඒ සිතුවිල්ල ඔලුවට ඇවිත් තත්පරෙන් දාහෙන් පංගුවක් යන්නත් කලින් ඈපා ගොඩයාවත් පෙරලාගෙන පැනලා දිව්වා කියහන්කෝ.. ආයේ ඉතින් ඈපා නිසා ඉල්ලගෙන කාලා ඈපා නැතුව එතැන හිටියාම පරිප්පු නැවම ගොඩයාට බාන්න වෙන එක ගැන තර්ක විතර්ක අවශ්‍ය නෑනේ.. ඊළඟට නැකත එළැඹෙන්නේ ඈපාගේ වෙනුවෙන් කමලා අන්ටිගෙනුත් කාලා, පොලිසියෙනුත් කාලා, අතුරුපසට  ගෙදරිනුත් කන්න වෙන සීන් එකක් වගේ එකකට විත්තිය ගොඩයාගේ කුඩා මොලේට වැටහිලා අවසානයි..  ඉතින් දෙයියෝ එතැන ඉඳලා ඒ පරිප්පුව තනියම කනවාට වඩා ලේසියි නෙව ඈපාම අනුගමනය කරලා එතනින් පැන දුවන එක.. එකායි.. දෙකායි.. තුනායි... ගොඩයා ලයිබ්‍රියෙන් එළියේ නවත්තලා තියෙන ගොඩයාගේ පුටාර් එක උඩ... 

ඔහොම ඉන්නවා... කිව්වම ඔහොම නවතිනවා....

කමලා ඇන්ටි බෙරිහන් දෙනවා ගොඩයාට හීනෙන් වගේ මතකයි.. එව්වට සැලෙයිද ගොඩයා... පෙරකදොරුවෙක් අල්ලාගෙන හරි නඩුව ගොඩ දාගන්න නම්, පළමුව අත්අඩංගුවට පත්වීමෙන් වැළකිය යුතුයි නෙව... 

පුස්තකාලාධිපති පිරිමි කෙනෙක් නොවී ගැහැණු කෙනෙක් වීමේ වාසිය ගොඩයාට හිමිවුණා මිසක්, පිරිමි කෙනෙක් උනානම් ගොඩයාව එවෙලේම අලලා පොත් රාක්කෙකට තියලා ගැටගහලා පොලිසියට භාරදෙනවා කියලයි ගොඩයා එවෙලේ හිතුවේ.. ගොඩයා හැල්මේ ෆුටාර් එක පැදගෙන පොල්වත්ත පැත්තට එද්දී මෙන්න යකඩෝ ඈපා ගොයියා පිට්ටනිය ගාව අරලිය ගහකට හේත්තු වෙලා හති අරිනවා.. ඉහින් කනින් දාඩිය බේරෙන අතරේ නාස් පොල්ල මයිනහම වගේ පිඹිනවා ඉවරයක් නෑ.. ගොඩයාටත් පොඩ්ඩක් විතර හති ඒත් ඇපාට තරං නෑ..

මොකක්ද ගොනෝ ඒ කරේ... තෝ කියන්න එපැයි ඒ බොලාගේ අල්ලපු ගෙදර ගෑනු මනුස්සයා කියලා...

මං හිතුවේ අඳුරගන්න එකක් නෑ කියලා බං..

ඈ බොල ගොන් මී වස්සෝ.. උදේ හවස තෝව දකින අල්ලපු ගෙදර මනුස්සයාට තෝව අඳුරන්න බැරිවෙන්නේ කොහොමද..

හරි බන් හරි.. ලොකුවට අවුලක් නෑනේ.. දෙන්නම පැනගත්තනේ..

පැනගත්තා තමයි ගොනෝ... ඒත් මං කොහොමද ආයෙම පොත් ගන්න යන්නේ දැන්...

ඕක මහ ලොකු දෙයක්ද බන්.. ටික දවසකින් ශේප් වෙලා යාවි... ඊට පස්සේ පලයන්..

උඹ මගෙන් කිනුහරුප නාහා පල.. මං යනවා ගෙදර..

පොඩ්ඩක් වරෙන්කො ආයෙම ලයිබ්‍රිය ලඟට යන්න..

ඒ මොකටද බන්.. මට නම් බෑ පැත්ත පලාතක යන්න..

අනේ පොඩ්ඩක් වරෙන්කො යන්න..

දැන් ආයෙම එතනට ගොහිං ඉල්ලගෙන කන්නද යකෝ.. මටනම් බෑ පලාතක යන්න...

අනේ වරෙන්කො යන්න.. 

මට බෑ.. උඹ ගෙදර පලයන්.. මමත් ගෙදර යනව..

ගෙදර යන්නේ කොහොමද බං... මගේ  බ ..බ ... බ ... බයික් එක එතන..

මලා...  මටනම් බෑ.. ඕන මගුලක් කරගනිං... 

අනේ බන් එහෙම කරන්න එපා බන්.. වරෙන්කො යන්න..

ඕන් ඔය ආකාරයේ දහසක් දුක් ගැනවිලි අවසානයේ ගොඩයාට සිද්ද වෙනවා කමලා ඇන්ටි පුස්ථකාලය වහලා ගෙදර යනකල් කමලා ඇන්ටි එක්ක හැංගිමුත්තන් කරන්න.. කමලා ඇන්ටි පුස්ථකාලය වහලා ගියායින් අනතුරුව තමයි ආපාගේ ෆුටාර් කටුව එතනින් අරගෙන ඈපා ගෙදර මාරු වෙන්නේ..

ඈපා බයිසිකලේ දාල දුවපු පලවෙනි අවස්ථාව ඒක උනත් අවසාන අවස්ථාව ඒක නෙවෙයි. දෙවැනි වතාවේ ඈපා බයිසිකලේ දාලා දිව්වා දිව්වාමයි... ආයේ ඒ බයිසිකලේ ඈපාට ලැබුණ නෑ.. ඒ කතාන්දරේ මෙතන ලිව්වොත් ඈපා ගොඩයාව කයි..



Thursday, February 6, 2020

බිබික්කං සිරා..




සිරා කිව්වාම මේ බ්ලොග් කොටේ කියවන හැම හැමදෙනාටම අමුතුවෙන් අඳුන්වලා දෙන්න ඕන චරිතයක් නොවෙයිනේ. සිරා ඉතින් දන්නා කියන කාලේ හිටන්ම කරොත් කරන්නේ සිරා වැඩම තමයි. හැබැයි ඉතින් ගෙදරට සාන්ත දාන්ත තීන්ත කූඩුව උනාට එලියට බැස්සාම ඉතින් සිරා එක්ක එකට යන එවුන්ගේ පටි රෝල් කරන්න සිරා දෙපාරක් හිතන්නේ නැති තරම්.

ව්‍යාපාර වැඩ වලදී සිරා අංක එකටම දක්ෂයා වගේම කරනා කියන ඕනෑම ව්‍යාපාරයකින් ලාභයක් ලබන්න සිරා උපන් හපන් දක්ශයා. ව්‍යාපාර කෙරුවාවේදී අදාළ වෙළඳ භාණ්ඩයට ගැලපෙන ගැනුම් කරුවාගේ සාක්කුවෙන් ලාච්චුවට සල්ලි අදින්න සිරාට තියෙන්නේ බොහොම දක්ෂ ඉවක්. ඒ වගේම සිරා සීසනල් බිස්නස් වලටත් දක්ෂයා කිව්වොත් තමයි නිවැරදි. හැබැයි කොයිතරම් ව්‍යාපාරයේහි කපටි වුනත් සිරා වියදම් කරන්න ගියාම කවදාවත් කකුල පස්සට තිබ්බේ නෑ. හැබැයි ඉතින් සිරාගේ එදත් අදත් තියන එකම වරද නම් අනෙකාගේ අමාරුකම තේරුම් ගැනීමට තිබෙනා නොහැකියාවම තමා.

ආයෙත් සිරා ගැන ලියන්න ඕන කියල ගොඩයාට හිතුනේ සිරාගේ කතාන්දර ලියල නිම කරන්නට බැරි නිසාත් එව්වා නොලියා තැබීම සිරාට කරන අගෞරවයක් නිසාත්. අද උදේ ගොඩයා වැඩට යන්න ඇහැරිලා ෆෝන් එක බලද්දී මෙන්න බොලේ සිරාගෙන් මිස් කෝල් බර ගානක්. සිරා කෝල් එක ගහන්නේ මොකක් නමුත් ආතල් වැඩක් සෙට් උනාම හෝ කව්රු හරි මිත්‍රයෙක්ව ගොනාට අන්දලා ගොඩයාට බන්නලා වගේ දිය යටින් ගින්දර ගෙනියන වැඩවලට තමා බහුතරයක් වෙලාවට. සිරාගේ වෙළඳසැල කියන්නේ යාලු මිතුරු හැමෝම ටවුමට ආවොත් අනිවාර්යෙන් ගොඩ වදින තැනක්. ඒ වගේ මිත්‍රයෙක් කඩේට ආවාම සිරා කරන මජරම වැඩේ මොකක්ද කියනවනම්, පළමුව කරන්නේ කඩේට ගොඩ වෙච්ච එකා පට්ටෙට තරහ එකෙක්ව මතක් කරන එක. ඊළඟට අර අසරණයාව උගේ තරහ කාරයාට අම්මමෝ නැතුව බනින තැනට කතාව අරගෙන ගිහින් සිරා කරන්නේ එක්කෝ ෆෝන් එකේ වීඩියෝ රේකොඩින් එකක් ගන්න එක. නැත්තම් කරන්නේ අදාළ පුද්ගලයාට ලයිව් වීඩියෝ කෝල් එකක් ගන්න එක. සිරා කව්ද කියල යාලු මිත්‍ර හැමදෙනාම දන්නා නිසා කව්රුවත් කඩු පොලු අරගෙන මරාගන්න යන්නේ නැති නිසා සිරා අදත් ඒකාගේ විනෝදාංශ කටයුතු රිසිසේ කරගෙන යනවා කිව්වොත් තමයි ඇත්ත.

සිරා වෙළඳ ව්‍යාපාර වලට දක්ෂයා නිසා සිරා ගොඩයාට පෙරලපු තඩි බාල්දියක් ගැන තමයි මේ ලියන්න යන්නේ. මේ කියන කාල වකවානුව  ගොඩයාගේ මතකයේ හැටියට දෙදහ දශකය වගේ විය යුතුයි. ඒ කාලේ සිරාගේ වෙළද ව්‍යාපාරය කරගෙන යන අතරේ තව තවත් ව්‍යාපාර අවස්ථාවන් දිහාවට සිරා හොස්ස පොවනා කාලයක්. ඔය අතරේ තමයි සිරා සිංහල අවුරුද්ද කාලය අල්ලලා සීසනල් බිස්නස් එකක් පටාන් ගන්නේ. බිස්නස් එක බොහොම රසවත් බිස්නස් එකක් වගේම සිංහල අවුරුදු කාලෙට හොඳ ගානක් උපයන්න පුළුවන් කරුමාන්තයක්. වැඩිය අටුවා ටීකා නැතුව කියනවනම් සිරා සයිඩ් බිස්නස් එකක් විදිහට පටාන් අරං තියෙන්නේ කේක් කඩයක්.. කේක් කඩයක් කිව්වේ කිලෝ ගානට කේක් විකුණන කඩයක්. සිරා කොච්චර දක්ෂද කියනවනම් බස්නැවතුම්පොල ඉදිරියේ කඩ කාමරයකුත් කුලියට අරගෙන, ගෑල්ලමයි දෙන්නෙකුත් වැඩට අරගෙන හෙන සිරාවට කේක් විකුනනවා කියහල්ලකෝ.. විකුනනවා කිව්වට සිරා කේක් කඩේ පැත්ත පලාතක නෑ. 

වැඩට ගත්තු ගෑල්ලමයි දෙන්නා සිරාට එහා.. කේක් එංගලන්තෙන් ආනයනය කරපු ගානට තමා උන් දෙන්නත් කස්ටමර්ස්ලාට කේක් ගැන වර්නනාව . සිරා කරන්නේ කේක් ටික සප්ලයි කරලා හවසට ගණුදෙනු බේරාගන්න එක පමණයි. ඒ ඇරුනාම සිරා තමුන්ගේ ප්‍රධාන වෙළඳ ව්‍යාපාරය එක්ක දවස පුරාම බිසී.. ඒත් ඉතින් සිරාගේ රියල් ටයිම් ඇන්ටෙනාව  කේක් කඩේ දිහාවටත් දාගෙන ඉන්න සිරා දක්ෂයි. ගොඩයා එක්ක සිරා ඒ වෙද්දී කියපු කරුණු කාරනා අනුව කේක් හදන මුදලාලි සිරාගේ කඩේටම කේක් සපයන නිසා සිරාට තියෙන්නේ විකුනලා ලාභය සාක්කුවේ ඔබාගන්න විතරයි. ඒ වෙද්දී කේක් කඩ බර ගානක් අම්බලන්ගොඩ නගරයේ තිබ්බත් සිරාගේ කේක් කඩෙත් හවස් වෙද්දී ගෑනු උදවිය පොරකනවා කේක් ගන්න. ඒ දැක්කාම ගොඩයාට හිතෙන්නෙම යකඩෝ මුන් තුන් වේලටම කන්නේ කේක්ද කියලා උනත් අපේ එකාගේ ව්‍යාපාරය නිසා ගොඩයා අමාරුවෙන් හිතට කියනවා, මිනිස්සු තුන් වේලම කේක් කන එක හොඳයි දෙයියෝ කියල.

ඔන්න සිංහල අවුරුද්දත් ලංවුනා කියමුකෝ.. හෙට සිංහල අලුත් අවුරුදු කියලා හිතුවොත් අද ඒ කියන්නෙ අප්‍රියෙල් දහ තුන දවසක උදේ පාන්දර කුකුලා මල්ලේ දාගෙන සිරා දුරකතනයෙන් අමතනවා ගොඩයාට..

හෙලෝ.. 

උඹ කොහෙද.. කතරගමද ගෙදරද...

ගෙදර... නිදාගන්න දියන්කෝ වද නොදී...

පොඩ්ඩක් වාහනේ අරං වරෙන්කො පොඩි ගමනක් ගිහින් එන්න..

මේ උදේ පාන්දර... නිදාගන්න දියන්කෝ වද නොදී..

පොඩි හදිසියක් බන්.. ඉක්මනට වරෙන්කො..

මොකද හදිසිය කියහන්  බලන්න..

ඉක්මනට වරෙන්කො.. කිය කිය ඉන්න වෙලාවක් නෑ..

එහෙම කියල සිරා දුරකතනය විසන්ධි  කරා.. කොච්චර උනත් යාලුවානේ කියලා ගොඩයත් නිදි පදුරෙන්ම ඇඳෙන් පැනලා, ඇඳන් හිටපු සරම පිටින්ම වෑන් කටුව අරං සිරාගේ ගෙදරට ඉගිල්ලුනා.. සිරා එහෙම හදිසි වැඩ වලට දුරකථන ඇමතුම් නොදෙන නිසා අනික් පැත්ත හැරිලා නිදියන්න ගොඩයාට හිත දුන්නේ නෑ කියමුකෝ.. ඔන්න ගොඩයා විදුලි වේගයෙන් ගිහින් සිරාගේ ගෙදර තාප්පේ ගාව වෑන් එක නවත්වනවා.. මෙන්න යකඩෝ අච්චර හදිසියි කිව්වා එකා අවුරුදු කුමාරයා වගේ සැරසිලා ලැසි ගමනින් ගෙයින් එලියට බැහැලා වාහනේ දිහාවට එනවා.. ඒ ඇවිත් මුකුත්ම කතා නොකර වාහනේ ඉස්සරහ සීට් එකටත් ගොඩ වෙනවාත් කියමුකෝ..

මොකෝ බන්.. මොකක්ද හදිසිය..

යමන් පොඩ්ඩක් මතුගමට ගිහින් එන්න..

මොකක්... මතුගමට... මෙහෙම.. උඹට පිස්සුද...

යමු ඉතින්...

සිරා වාහනේ ඉස්සරහ සීට් එකට නැගලා යමු කියන්නේ උගේ වාගනේ ගොඩයා ඩ්‍රයිවින් කරන ගානට.. ආන්න එතකොට තමයි ගොඩයාට හිතෙන්නේ ඉස්සරහ දොර ඇරලා, සිරාව එලියට විසික් වෙන්න පයින් අනින්න..

මං ඊයේ රෑ නිදාගත්තු සරම පිටින් බූරුවෝ... මෙහෙම මතුගම යන්න පුලුවන්ද... මොකද්ද හදිසිය..

යමන් බං ඉක්මනට .. පොඩි හදිසියක්..

ඉතින් කියහන් මොකක්ද හදිසිය..

යන ගමන් කියන්නම් යමන් ඉක්මනට..

නිදි ඇඳෙන් බිමට පැනලා දුවගෙන ආපු ගොඩයා ඔන්න රථය පදවාගෙන ඉදිරියට යනවා..

කියහන් මොකක්ද හදිසිය..

අද කේක් ගේන වෑන් එක එන්නේ නෑලු බන්.. අද හොඳටම බිස්නස් තියෙන දවස.. කඩේ අද දවල් වෙද්දී විකුනන්න කේක් නෑ..

දැන් උඹ මට මේ නිදි පැදුරෙන් හදිසියක් කියල ගෙන්නගත්තේ කේක් අදින්න යන්නද බූරුවෝ.. දැන් උඹ කියන්නේ මිනිස්සු අදින වාහනේ කේක් තැටි පටවන්න කියලද..

කේක් තැටියක් දෙකක් පැටෙව්වට මොනවා වෙනවද බං.. කේක් ගෙන්න යන්න කිව්වනම් උඹ එනවද... නෑනේ.. නෑනේ... හහ් හහ් හා...

ඔන්න සිරාගේ උත්තරේ.. ගොඩයත් ඉතින් නිදි පැදුරෙන් වාහනේ එලවාගෙන මතුගම දිහාවට ඉගිල්ලෙනව සිරාගේ කේක් මරාලෙන් ඉක්මනට බේරෙන සිතුවිල්ලෙන්.. කොහොමින් කොහොම හරි මතුගමටත් ආව කියමුකෝ... කේක් පැට්ටේරිය තියෙන්නේ මතුගම කියල කිව්වට මතුගමත් නෙවෙයිලු බොලේ.. ඊටත් එහා හද්ද මූකලානක.. ගොඩයාත් උදේ පාන්දර ජංගම දුරකථනය ආන්සර් කරපු පවට සාප කර කර දන්නා කියන කුණුහරුප සියල්ලෙන්ම සිරාට අමතගෙන වාහනේ පදවාගෙන සිරාගේ කේක් පැට්ටේරියට එනව..  

වාහනේ එනකල් සිරා හෙන සිරාවට පුරාජේරු කියපු කේක් පැට්ටේරිය ගොඩයා හිතුවේ නිදහස් වෙළඳ කලාපේ වගේ හෙන ලොකු බිල්ඩින් තියෙන ලොකු හයිෆයි පොශ්  තැනක් කියලා උනත් තැනට ආවම තමයි ගොඩයා තේරුම් යන්නෙ කේක් පැට්ටේරිය සිරා කියන තරම් එකක් නෙවෙයි ටිකක් ප්‍රමානයෙන් විශාල බේකරියක් කියල.. ඒත් ඉතින් ගොඩයාට කේක් පැට්ටේරියේ සයිස් එක අදාළ නෑ. ගොඩයාට අදාළ ගෙනියන බිබික්කමක් ඉක්මනට වාහනේට දාගෙන අම්බලන්ගොඩ යන්න. ඒත් වාහනෙන් බැහැල ගිහිපු සිරා එන පාටක් නම් පෙන්න නැති නිසා ගොඩයා යනවා වාහනෙන් බැහැලා කේක් පැට්ටේරිය ඇතුලට.

මෙන්න බොලේ සිරා කිසී.....ම හදිසියක් නැතුව බේකරියේ තියන දඬු මේසෙකට හේත්තු වෙලා හෙන කූල් කයියක්.. යන්න කිසී.....ම කලබලයක් නැති ගානයි.. ඔන්න ගොඩයාගේ ඉවසීම අහවර වෙනව..

මොකෝ බන් කරන්නේ.. කෝ කේක්.. පටවහන් ඉක්මනට..

කේ...කේ....කේ....

ගොත ගහන්නේ නැතුව කියහන්කෝ.. කෝ කේක්...

කේක් තාම හදනවා බන්.. හදල ඉවර වෙනකල් ඉන්න වෙනවා..

අනේ ඉතින් ගොඩයා කාපු ලණුවේ බරපතලකම ගැන හිතන් සාප කර කරා ගොඩයා ආයෙත් ඇවිල්ල වාහනේට නැගල කාලය මරනවා.. කොහොමින් කොහොම හරි තත්පර විනාඩි වෙලා විනාඩි පැය වෙලා දවල් දොළහ වෙද්දී සිරා ගොඩයාගෙන් නැවකට කුණුහරුප අහල අහවරයි.. උදේට දත් ටිකවත් මදින්නේ නැතුව රෑ නිදාගත්ත සරොම පිටින් ඉන්න ගොඩයාට උදේ ආහාරය විදිහට බනිසක් දෙකක් නම් සිරා ගෙනල්ල දුන්නා උනාට ඉතින් සිරා දකින දකින වාරයක් ගානේ සුද්ද සිංහලෙන් ඇමතීම නම් අඩුවක් උනේ නෑ..

දවල් දොළහමාර එක වගේ වෙද්දි වෙද්දී කේක් ටික වාහනේට පැටවුණා කියමුකෝ.. කේක් කිව්වට අන්න කේක්.. බේකරියෙන් බාපු ගමන්.. වාහනේ සීට් උඩද යටද සෑම අස්සක් මුල්ලක් නෑරම එක පිට එක කේක් තැටි කියහන්කෝ.. වාහනේ කොච්චර පැක්ද කියනවනම් හදිසියකට බ්‍රේක් පාරක් ගහන්නත් බයයි කේක් ලෝර්ඩ් එක ඉස්සරහ වීදුරුව කඩාගෙන එලියට පනින සයිස්..  මතුගම අලුත්ගම පාර ඒ කාලේ තත්වය සෑහෙන අබලන් වගේම වල ගොඩැලි අනන්තයි. ඒ හින්ද ගොඩයා වාහනේ පදවන්නේ තිහට හතලිහට..

ඉක්මනට යමන් බන්.. කඩේ කේක් ඉවරයිලු..

මගෙන් මැරුම් නොකා හිටහන්.. ලොරියක කේක් වෑන් එකක පටෝල උඹ මට දැන් කියන්නේ ඉගිල්ලෙන්න කියලද.. මේකෙ දුනු ටික කඩාගෙන බිම පහත් වෙන්න නොදී උඹේ කේක් මරාලේ කඩේට ගෙනිහින් දෙනකල් ඉවසගෙන හිටහන්..

ටිකක් හයියෙන් ගියා කියලා මක් වෙනවද බං.. ටිකක් පාගලා යමන්..

පාගනවා මං උඹේ බෙල්ල දැනගනින්... හදිසියි නං කේක් තැටි ටික කරේ තියන් දුවහං..

දැං උඹට කේක් පටෝනකං තිබ්බ හදිසිය නෑනෙ කේක් ටික පැටෙව්වහම..

යකෝ.. ලොරියක පටවන්න ඕන ලෝර්ඩ් එකක් පොඩි වෑන් එකක පටවගෙන අසූවට සීයට යන්න බෑ බූරුවෝ... දුන්නක් කඩලා ගියොත් හරි ටයර් එකක් පිපිරුවොත් හරි උඹට කේක් විකුනන්න වෙන්නෙ පාරෙ තියාගෙන තමා.. ඉවසගෙන හිටහං..

වෑන් එකේ කේක් කොච්චර පටවලාද කියනවානං, වාහනේ පිටිපස්ස කොන බිම ගෑවෙන තරම් කියහන්කො. ඒ මදිවට බේකරියෙන් බාපු ගමන් පටවපු කේක් තැටි වලින් එන රස්නෙ හරියටම කියනවනම්, ගොඩයාට දැනෙන්නෙ තඩි අවන් එකකට රෝද හතරක් හයි කරලා එලවගෙන යන ගානට..

ඒසී දාපන් මේකෙ..

දාල තමා බූරුවෝ තියෙන්නෙ..

කෝ සීතල නෑනේ.. උඹේ මේ මගුලෙ ඒසී වැඩ කරන්නෙ නෑ මං හිතන්නේ..

උඹ මගේ වාහනේ කේක් පැටෙව්ව මදිවට දැං අපහාස කරන්නත් එනවද බූරුවෝ..  බලහන් පිටිපස්ස හැරිලා උඹේ මේ බිබික්කං තැටි ලෝර්ඩ් එක ගිනිගහන රස්නෙයි බේකරියෙන් බාපු ගමන් නිසා.. 

ඉතිං කේක් තැටිවල රස්නෙයි ඒසී එකෙන් එන සීතලයි අතරේ තියෙන සම්භන්දෙ මොකක්ද බං..

නෑ ... කොහෙත්ම සම්භන්ධයක් නෑ.. වාහනේ සීතල නොවෙන හේතුව කියල දෙන්න උඹ වෙනම වෙලාවක වරෙන් මං උඹට ඔටෝ ඒසී පාඩමක් වෙබම උගන්නන්නම්.. එතකං උඹ මට කියලා කට තලාගන්නේ නැතුව පාඩුවේ පල...

ඕං සිරා ඒ ගමන ඉස්සරහ වීදුරුව ඇරගන්නව.. ඒ අතරේ සිරාට දිගට හරහට කෝල් එනවා කේක් කඩේ කෙල්ලන්ගෙන්.. ගොඩයාට ඇහෙන විදිහට අම්බලන්ගොඩ තඩි කේක් හිඟයක් ඇතිවෙලා ගානයි..

ඕන් සිරාගෙ දාහක් කුනු කතා අහගෙන ගොඩයා වෑන් කොටේ දක්කනවා අම්බලන්ගොඩ බලා.. අහින්සක ආකාරයෙන් ගෙදර නිදාගෙන හිටපු ගොඩයාව, බොරු කියලා ඇහැරගෙන ආවා උනාට දැන් සිරා කතා කරන්නෙ උගේ කේක් කඩේ කේක් අදින්න ගොඩයා බලෙන් ආපු ගානට. එව්ව ඇහෙද්දි ගොඩයාට සිරාගෙ හොම්බට අනින්න හිතුනට දැන් එව්වා කතා කරලා පලක් නැති නිසා ගොඩයා නිහඬවම ගමනාන්තයට ලඟා වෙනවා. වෙලාව හවස හතර වගේ ඇති කියමුකෝ..

ගොඩයා වැඩේ සිම්පල්ව හිතුවට වැඩේ ටිකක් සිරා කියලා ගොඩයාට වැටහෙන්නෙ සිරාගෙ කේක් මාලිගාව ලඟට කිට්ටු වෙද්දි. මෙන්න යකඩෝ ගෑනු මිනිස්සු සීයක් විතර සිරාගෙ බිබික්කං කඩේ ලඟ පෝලිමේ.. ඒක දැක්කම ගොඩයාට නං හිතුනෙම මුං සිංහල අවුරුද්දට තුන්වේලටම කන්නෙ කේක්දෝ යකෝ කියලා.. ඒත් ඉතිං පාඩුවේ නිදාගන්න බැරි මදිවට වැඩි මනුස්සකමට ෆෝන් එක ආන්සර් කරලා කාපු පරිප්පුව තව විනාඩි දහයෙන් ඉවරයි නේදෝ කියලා ගොඩයා සැනසුම් සුසුම් හෙලනවා..

ඕන් ගොඩයා පරෙස්සමට වාහනේ සිරාගෙ කේක් මාලිගාව අයිනෙන් නවත්වනවා කියමුකෝ.. දැං තියෙන්නෙ වාහනේ පුරා පරෙස්සමට අසුරලා තියෙන සිරාගෙ බිබික්කං තැටි ටික වාහනේට හානියක් නොවෙන විදිහට බාගන්න දෙන්න. වෑන් එකේ පිටිපස්ස කොටසේ ආසන උඩයි, යටයි, ඩ්‍රයිවින් සීට් එක ගාවටම වහලෙ ගෑවෙන්න පුරවලා තියෙන තැටි ටික පරෙස්සමෙන් එලියට අරං නොදුන්නොත් ආයෙ දෙකක් නෑ වාහනේ සීට් ටිකයි ඇතුලෙ බොඩියයි සිරා විනාස කරලා දානවා කියලා ගොඩයා ඉන්තේරුවෙන්ම දන්නව..

බිබික්කං තැටි ටික කඩේ ඇතුලට බාවි කියලා හිතුවට සිරා ඒ තරං ගොඩයා ගැන හිතුවෙ නෑ කියහංකෝ.. සිරාට හපන් සිරාගේ කඩේ වැඩට අරං ඉන්න කෙල්ලෝ දෙන්න.. වාහනේ නැවැත්තුවා විතරයි කඩේ කෙල්ලො දෙන්න  වෑන් එකේ පිටිපස්සෙ දොරෙන්ම කස්ටමර්ස්ලාට බඩු විකුනන්න ගත්තා කියහංකෝ.. අර කිව්ව තුන් වේලටම කේක් වලින් අවුරුදු කන එවුන්ටත් ඉවසිල්ලක් නෑ කේක් ටික කඩේට බාලා පිලිවෙලකට දෙනකල්.. කේක් වලට කොයිතරම් ඉල්ලුමද කියනවනං, පැය ගානක් කට්ට වලඳලා ගෙනාපු කේක් ලෝර්ඩ් එක විනාඩි හතලිස් පහක් යද්දි වෑන් එකේ තියාගෙනම සිරාගේ කඩේ වැඩට ඉන්න යක්සනියෝ දෙන්න විකුනලා හමාරයි.. ආං වැඩට ගන්නවනං කෙල්ලො..  මලමිනියක් දුන්නත් උං දෙන්නා විනාඩියෙන් දෙකෙන් විකුනනවා අනිවා..


හහ් හහ් හා.. කොහොමද වැඩේ.. බඩු ඉවරායි.... අප්පද බොල සිරාගෙ සන්තෝසෙ කට දෙකොනින් බේරෙනව..

ඇති යාන්තං.. මං එහෙනං යන්නං සිරෝ..

කොහේ යන්නද බං... ආයෙ යමං මතුගම..

මොකක්.. බොට මෝල්ද යකෝ.. ගෙදරින් දැං කෝල් සීයක් විතර ගැහුවා නිදිපැදුරෙං කොහේ ගියාද කියලා අහලා..

අනේ බං මාව අමාරුවේ නොදා හොඳ එකා වගේ යමංකො තව ලෝර්ඩ් එකක් ගේන්න.. කෙල්ලො මිනිස්සුන්ගෙං ඇඩ්වාන්ස් අරගෙන.. හෙට උදේට තව කේක් ටිකක් දෙන්න තියෙනව..

ඉතිං වෙන වාහනයක් හයර් එකට අරං පල..

අනේ බං දැං කොහෙන්ද වාහන හොයන්නෙ.. උදේ වගේ පරක්කු වෙන්නෙ නෑ.. ගියා පටවගත්තා.... ආවා.. කේක් ටික රෙඩි වෙලා තියෙන්නෙ..

ඔව් ඔව් මං දැක්කා උදෙත් රෙඩි වෙලා තිබ්බේ... මටනං බෑ රජෝ.. වාහනෙන් බැහැපං මට යන්න.. බලහං මේ වාහනේ හැටි උඹේ බිබික්කං තැටි පටවලා..

අනේ බං යමංකෝ... ගියා පටවගත්තා.. ආව...

ගොඩයාට ඒ කාලෙ තිබ්බ පොඩි අසනීපයක්. ඒ තමා බෑ කියන්න බැරි අසනීපය.. දැං වෙද්දිනං ඒ අසනීපය සියයට පනහක් විතර සුව අතට හැරිලා.. ඒත් ඉතිං තාමත් ගොඩයා ඔය වාගේ පරිප්පු කනවා යාලුමිත්‍රයන්ගේ, ඥාතීන්ගේ හිත රිදවන්න බැරි කමට.. ඒ කාලෙ ඔය අසනීපය උත්සන්න කාලය නිසා ගොඩයා අකමැත්තෙන් සිරාට එකඟ වෙන්වා ආයෙමත් අගලවත්තෙ ගිහින් එන්න.

 ඒ වෙද්දිත් ගොඩයාට ගෙදරින් දුරකථන ඇමතුම් සීයක් දෙසීයක් ඇවිත් තිබුන නිසාත්, ගෙදර විධායක බලතල හිමි  පාලනාධිකාරිය හෙවත් ආදරණීය ඩඩා විසින් රතු නිවේදනය නිකුත් කරලා අහවර නිසාත්, තව එක ගමනක් අගලවත්තෙ ගියාට දඬුවමේ වෙනසක් නොවෙනා වග සක්සුදක් සේ පැහැදිලි නිසාත්, ඒ සියල්ලම එක්ව ගත්කල ආසනය අහිමිවීම, ඒ කිව්වේ අවුරුදු කෑම මේසයේ ආසනය අහිමි වීම පැහැදිලි සත්‍යයක් නිසාත්, ඒ වෙලාවේ ගෙදර ගියා කියලා ගොඩයාගේ පුද්ගලික ජීවිතයට වෙච්ච ඩැමේජ් එක ආපස්සට යවන්න බැරි නිසාත්, තව වතාවක් අගලවත්තේ ගියා කියලා ගොඩයාට අමුතුවෙන් නැතිවෙන්න දෙයක් නෑ..  පැරැන්නෝ කියලා තියෙනවනේ නාහෙට උඩින් වතුර අඟලක් ගියත් එකයි හැතක්මක් ගියත් එකයි කියලා. ආන් ඒ වගේ තමා.

සිරා කියන විදිහට මේ වතාවේ කලින් වතාවේ වගේ නෙවෙයි. කේක් ඔක්කොම හදල තියෙන නිසා ගියා පටවගත්තා ආවා. උපරිම ඕනෙනම් පැය දෙකහමාරේ වැඩේ. ගොඩයා කලිනුත් සිරාගේ පරිප්පු නැව බාපු නිසා මේ වතාවේ පැය දෙකහමාරට පැය පහක්ම තියලා හිත හදාගෙන පිටත් වෙනවා රෑ දහය වගේ වෙද්දී ගෙදරට රපොර්තු කරගන්න පුළුවන් වෙයි කියලා හිත හදාගෙන. ඒ වගේ සිටුවේෂන් එකක් එක්ක කලින් ගෙදර යනවට වඩා පහසුයි ඩඩා ඇඳට වැටුනට පස්සේ ගෙදර යන එක. නැත්තං හත් ඉලව්වේ කඩ කැඩිච්ච කතා දාහක් අහගෙන, උපන්දා හිටං කරපු තක්කඩි වැඩ සියල්ලම නැවතත් ස්මරණය කරවාගෙන, කෝටියක් බැනුම් අහගෙන රෑ වරුව ගතකරනාවාට වඩා සැපයි ලිඳේ පැනලා මැරෙන එක.. ඒ ඔක්කොමත් හරි අපේ ඩඩා මූණ පුළුටු කරගෙන බුම්මගෙන ඉන්නවා බලන එක ඊට වඩා සෑහෙන වේදනාකාරියි. එහෙව් වෙලාවට ඉතින් ගෙදර සැමටම ඩඩා බෙදන්නේ ගොඩයාට බෙදන හැන්දෙන්ම තමා. එහෙව් වෙලාවට ඉතින් ගොඩයාගේ සහෝදරියන්ගෙනුත් දෝස්මුරේ ගොඩයාටම තමා.

ඕන් සිරාගේ සිරා කතා දාහක් අහගෙන කේක් පැට්ටේරියට ආව කියමුකෝ.. ගොඩයා කෙලින්ම වාහනේ රිවස් කරලාම පාර්ක් කරා හනික ගම රට බලා යන්න ඕන නිසා. ඕන් සිරා බැහැලා යනවා කේක් පැට්ටේරියේ අයිකාරයා වගේ. හිතේ අමාරුවටයි, නිදි පැදුරෙන් ඇවිත් කාපු පරිප්පුව නිසාත්, දතකට මැදගන්න බැරුව තියෙන අප්පිරියාව නිසාත් ගොඩයාට  පොඩි නින්දක් යනවා රියදුරු ආසනයේම..

ගොඩයා ඇහැරෙද්දි රෑ හත විතර වෙලා කියහංකෝ.  හද්ද මුකලානක තියෙන බේකරියක අගුවක ගොඩයා තනියම කියහංකෝ.. ඒ කියන්නෙ සිරා තාම ඇවිත් නෑ.. ඕං ගොඩයාට මල පනිනවා අසූ හාරදාහටම. ගොඩයා බැහැලා යනවා සිරාව හොයාගෙන.. මෙන්න යකෝ මූ බේකරි බාස්ලා වටකරගෙන බිස්නස් කොන්ෆරන්ස් එකක්..

කෝ යකෝ කේක්..

අ.. අ.. අ... අපේ... අපේ ඕ...ඕ... ඩර් එක තමා දාන්නේ..

ඒ කියන්නෙ තාම කේක් රෙඩි නෑ..

න්..න්...නෑ බං... හෙට අවුරුද්ද නිසා පෝ ..පෝ... පොඩ්ඩක් බිසීලු..

එහෙනං උඹ එද්දි කිව්වෙ කේක් රෙඩී කියලා..

න්...න්...නෑ බං.. ඒ...ඒ.. කේක් ටික අපි එන්න කලිං වෙන ඒජන්ට් කෙනෙක් අරං ගිහිං...

ඒ කියන්නේ ආයෙත් මෙතන තපින්න වෙනවා කේක් හදන්කල්...

හරි බං.. ඔය නිදාගත්තා වගේ ආයෙ ඇලර්ට් එකක් දාපං... මං රෙඩි උනගමන් උඹට ඇහැර්වන්නං..

ගොඩයා ආයෙ උත්තර දුන්නෙ නෑ.. උදේ කාපු ලනුව කඹයක් කරගෙන ගොඩයාම නැවත වලඳලා අහවර නිසා ගොඩයා ආයෙම වාහනේට ඇවිත් කාලකන්නිකමට සම වදිනව..

ඕං ඔය විදිහට කාලය ගතවෙලා සිරාගෙ කේක් ඕඩර් එක ලැබෙද්දි වෙලාව කීයද ඇහුවොත් මේක කියවන උදවියටත් සිරාව කේක් තැටියකට දාලා අවන් එකට දාන්න හිතෙනව.. කාලකන්නිකම කොයිතරම් ගොඩයාට හරහට හිටලාද කියනවනං, සිරාගෙ කේක් ඕඩර් එකට කේක් පැටවෙද්දි වෙලාව එලිවෙන්න හතර පහුවෙලා විනාඩි තිහක් විතර.. ආයෙ ඉතිං සිරා එදා පිසක්වල කුනුහරුපත් ගොඩයාගෙන් අහගත්තා.. එව්ව ඉතිං සිරාට මෙලෝ ගානක් නෑ.. ඒ වෙද්දි ගොඩයාගෙ ගෙදරින් ගොඩයාට කෝල්  දෙන එක නවත්තලා සෑහෙන්න වෙලාවක්. ගෙදරින් කෝල් ඒම නැවතුනා කියන්නෙ එක්කො ගොඩයාගෙ නම චන්ද හිමි නාමලේඛනයෙන් ඉවත් කරලා.. නැත්තම් අතුරුදන් වීමේ ලයිස්තුවට නම ඇතුල් කරලා.. එහෙමත් නැතිනම් ගොඩයා මලා කියලා ග්‍රාමසේවක මහත්තයාට දන්වලා මරණ සහතිකේ ගෙනැල්ල.. ඉතිං කියහංකෝ සිරාගෙ බිබික්කං තැටි ටික බෙන්තර  ගඟට හලලා සිරාටත් ගඟට වැටෙන්න පයින් ගහලා ගොඩයාත් ගඟේ පැනලා මැරුනත් හිතට මදියි. එහෙම ගඟට තල්ලු කරොත් සිරා පීනන්නෙ උපරිම අඩි දහයයි පහලොවයි.. මොකද කියනවනං සිරා පිහිනීම ඉගෙනගෙන තියෙන්නෙ තැපෑලෙන්.. ටික දුරක් පීනගෙන යද්දි සිරා ටිකෙන් ටික වතුරේ නොපෙනී යනවා.. මේක ලියද්දි ගොඩයාට සිරාගෙ පීනිල්ල මතක්වෙලා තනියම හිනා..

ඕං සියල්ල අවසානයේ සිරාගෙ බිබික්කං බාලා ගොඩයා ගෙදර යද්දි සිංහල අවුරුදු දා උදේ අටයි.. ආයෙ ඉතිං දෙකක් නෑ ඒ වගේ වෙලාවට ගොඩයාව ගෙදරිං පිලිගන්නෙ තොරං ගහලා මල් මාල දාලා වෙඩි පත්තු කරලාම තමා.. සිරා නිසා ගොඩයාට සිංහල අවුරුද්ද කොයිතරං මස්තබාල්දුද කියනවනං, අවුරුදු කෑම මේසයේ ගොඩයා නිකං අස්සයා මැරිච්ච කව්බෝයි වගේ.. අවුරුදු චාරිත්තරේට ගොඩයා මේසෙට වාඩි කරගත්තා මිසක් කිසීම පිලිගැනීමක් නෑ.. හරියට අවුරුදු කෑම මේසෙන් පුටුවක් රෙන්ට් එකට ගත්තා හා සමානයි.. 

ඕං ඔය විදිහට සිංහල අලුත් අවුරුද්ද උදාවෙනවා ගොඩයාගෙ පර්සනල් ලැයිෆ් එක මස්තබාල්දු කරගෙනම. සිරාගෙ බිබික්කං කඩේට පිං සිද්ද වෙන්න, වෙනදාට අවුරුදු ලබන්න කලින් සිද්දවෙන බුලත් දීමේ චාරිකාව පැය විසි හතරක් ඩිලේ.  ඒ චෝදනා පත්‍රයෙන් නිදහස් වෙන්න ඕං ගොඩයා සිය පවුල සමගින් යනවා නෑයන්ට බුලත් දෙන්න.. ඒ කියන්නෙ සිංහල අවුරුදු දවසේ හවස.. ඩඩා ෆ්‍රන්ට් සීට් එකේ.. ගොඩයා රියදුරා.. අනික් සාමාජිකයන් පසුපස අසුන්වල.. මේන් යකඩෝ ඉන්දියන් මෝටර් සයිකල් එකක නැගගත්තු කපල් එකක් ගොඩයාගෙ වෑන් කොටේ පස්සෙන් අම්ම මෝ නැතුව එලෝගෙන එනවා කියහංකෝ.. මෑන්ස් ලයිට් ගහන්වා, හෝර්න් ගහනවා ඉවරයක් නෑ.. ගොඩයා හිතුවේම අවුරුදු ඌශ්නෙ වැඩි වෙලා කටගොන්නක් බීගත්තු එකෙක් ඇඹේනියවත් පිටිපස්සෙ දාගෙන අවසන් ගමන් යනගමන්දෝ කියලාමයි. ඕං ගොඩයා මෑන්ස්ට මෑන්ස්ගේ ගමන යන්න දෙන්න කියලා හිතාගෙන වාහනේ අයින් කරලා ඉඩ දෙනවා.. මේං යකෝ මේ යෝදයා අතින් නවත්තන කියන ගමං ගොඩයාට මොනවදෝ කියනව. වාහනේ වීදුරුව වහලා තියෙන නිසා ගොඩයාට මෑන්ස් කියන දේ පැහැදිලිව ඇහෙන්නෙ නෑ. කෝකටත් කියලා ගොඩයා වාහනේ අයිං කරලා නවත්තනවා මේ යක්කු දෙන්නා මේ සිංහල අවුරුද්ද දවසේ ගොඩයාගෙ වාහනේට අඩයටක් තිබ්බොත් කියන භයට. කරුමේ ගොඩයා පස්සෙන් එලොව එලවා පහරදෙන දවස් දෙකක් නිසා ගොඩයා සෑහෙන පරෙස්සම්. මොකද කියනවානම්, ගෙදර පුරවැසි භාවය සරනාගත තත්ත්වයටම පහත වැටී අවසන් සිරාට පිං සිද්දවෙන..

ගොඩයා වාහනේ නැවැත්වුවායින් පස්සෙ මේං අර කිව්ව මොටෝ සයිකල් කාරයත් ඉස්සර කරලා නවත්තුවා කියමුකෝ. ඕං ඊලඟට ඒ කිව්ව මොටෝ සයිකලේ පස්සෙ සීට් එකේ හිටපු ගෑනු කෙනා බයිසි මොටෝවෙන් පැනලා වාහනේ දිහාවට දුවාන එනව. කරුමේ කොයිතරං ඩබල්ද කියනවානං ඒ ගෑනු මනුස්සයා දුහාන ඇවිත් තට්ටු කරන්නෙ පැසෙන්ජර් සීට් එකේ වීදුරුවට කියහක්කෝ.. ඒ කියන්නේ ඒ සීට් එකේ ඉන්නෙ ගොඩයාගෙ ඩඩා... ගොඩයාත් බලාන ඉන්නවා මේ මොකද වෙන්න යන්නෙ නොදනී නිසා.. ඕං ගොඩයාගෙ ඩඩා වීදුරුව පහත් කරනව..

ඇයි.....? එහෙම අහන්නෙ ගොඩයාගෙ ඩඩා..

කේක් වෑන් එක හෙට එනවයි? 

මොකක්?  

කේක්.. කෙක්ක්.. හෙට එනවද ?

මොකක් ගැනද මේ අහන්නෙ.. කේක් වෑන් එක? 

ඊයෙ හවස බස්ටෑන්ඩ් එක ඉස්සරහ කේක් විකිනුවේ මේ වෑන් එකෙන් නේද...

වෙන්න බෑ.. වෙන එකක් වෙන්න ඇති.. 

අනේ එහෙනං සොරි... ඊයෙ හවස මේ වගේම වෑන් එකක් බස්ටෑන්ඩ් එක ඉස්සරහ පුංචි පොල පාරෙ කේක් විකිනුවා.. මට වැරදිලා වෙන්න ඇති...

එහෙම කියලා ඒ ගෑනු මනුස්සයා ආපහු ගිහිං මොටෝවෙ පිටිපස්සට ගොඩවුනා.. ඒ යද්දිත් ඒ මනුස්සයා ගොඩයා දිහෑ තුන් හතර ව්තාවක් හැරිලා බැලුවා කියහංකෝ.. ගොඩයාගෙ ඩඩා දිව දෙකට නමලා විකාගෙන වීදුව වහගත්තා... ඩඩා  එහෙම දිව විකාගන්නෙ මල අසූහාරදාහටම පැනලා ඉවසගන්න බැරිවුනාම..

ඉන් අනතුරුව ඩඩා ගොඩයා සහ වාහනයේ සිටි අය අමතලා පවත්වපු කතාව ඉතිං කලිසමක් ඇදන් ලියන්න බෑ.. ඒ තරම් ඒ කතාන්දර කුජීතයි, කුරිරුයි, හදවත පාරනසුලුයි..  උපන්දා හිටංම බාල්දි පෙරලාගැනීම සහ ගොඩයා කියන්නෙ ඔරුවයි හබලයි වගේ එකිනෙකාට නැතුවම බැරි දෙයක්.. ගෙදර පුරවැසිභාවය ඒ කාලේ හිටංම පුරවැසි සහ සරණාගත අතර වේගයෙන් දෝලනය වුන දෙයක් නිසා ගොඩයා ආයෙත් දවස් කීපයකින් නැවතත් හීන් සැරේ පුරවැසිභාවය ලබාගන්නවා.. ඒත් ඉතිං ඒ ගොඩයා නැවත බාල්දියක් පෙරලාගන්නාතුරු පමනයි..