Wednesday, August 23, 2017

සුදු හංසියේ මිහිරාවියේ...








මේ ලියන්න යන සිද්දියට පාදක වෙච්චි කාල වකවානුවේ අම්බලංගොඩයා රාජකාරි කරේ කතරගම පුරවරයේ. ගොඩයා සඳුදා අලුයම දෙකට අම්බලන්ගොඩ පහුකරන් යන සීටීබී බසයෙන් කතරගම බලා පිටත් වෙලා නැවත ගමරට බලා පැමිණෙන්නේ සිකුරාදා රාත්‍රියේ තමයි. ඔය කියන බස් ගමනාගමනය ගැන කලින් ලියපු බස් කතාබස් පෝස්ටුවේ වැඩිමනක් ලියවුනාට බස් ගමනාගමනය ගැන ගොඩයාගේ මතකයේ තියන කතන්දර බොහොමයි. කතරගම කොළඹ බස් සේවාවේ පුද්ගලික බස් වල මගීන්ට දෙන සැප වැඩි නිසා ගොඩයා රාත්‍රී ගමනට සීටීබී බසයම තෝරාගන්නේ සීටීබී බසයේ සැප පුද්ගලික බසයට වඩා දිව්‍යලෝක සැප ගෙනදෙන්නක් නිසා. දැන් කතරගම කොළඹ බස් ගමනාගමනය ගැන නොදන්නා උදවිය හිතන්න පුළුවනි ඒසී බස් එකක යන්නේ නැතුව සීටීබී බස් එකක යන්න මූ හෙන කුණු ලෝභ පොරක් කියල. ඒත් ඒක එහෙම නොවෙන්නේ කතරගම කොළඹ ඒසී බස් දුවන්නේ නැති නිසා. මීට අවුරුදු දොළහකට දහතුනකට කලින් නම් ඒසී බස් දිව්වා උනාට දෙදහස් පහ වෙද්දීත් කතරගම කොළඹ ඒසී බස් කරුමාන්තය අර්ධ සුඛෝපභෝගී බවට පරිවර්තනය වෙලා ඉවරයි. ඒකට එක හේතුවක් වුනේ කතරගම කොළඹ ඒසී බස් ගාස්තුව සාපේක්ෂව ඉහල අගයක් ගැනීම නිසා මගීන් ඒසී බස් භාවිතය අවම කිරීම නිසා ඒසී බස් වලට ආදායම පහල යාම. දෙවැනි හෙතුවවුනේ ලංකාවේ තියන ඒසී බස් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේටත් කලින් නිෂ්පාදනය කරපු පරණම පරණ හුඹස් නිසා කොළඹ සිට කතරගම දක්වා දුරක් ඒසී දාගෙන යන්න තරම් ඒ බස්වල සෞක්‍ය තත්වය යහපත් නොවීම. ඒ හේතු දෙකටම පින්සිද්දවෙන්න දෙදහස් පහ වෙද්දීත් කතරගම කොළඹ ඒසී බස් කරුමාන්තයට කණකොකා හඬලා හමාරයි. ඒ කියන්නේ ගොඩයා කතරගමට ස්ථානමාරුවීම අරන් යද්දී ගොඩයාට තිබ්බ විකල්පය වුනේ කොළඹින් එක සාමාන්‍ය බසයක ගමන් පහසුව සලසාගැනීම පමණයි.

ටික දවසක් මාතරට ඒසී බස් රථයක ගිහින් මාතරින් කතරගම බසයකට ගොඩවීම අත්හදා බැලුවත් මහා රෑ දෙකට තුනට මාතර ටෙලිකොම් ගේට්ටුව ගාවට වෙලා කොළඹින් කතරගම එකක් එනකම් මදුරුවෝ තලන එක තේරුමක් නැහැ කියන එක ගොඩයා තේරුම් ගත්ත. කොළඹින් එන පුද්ගලික බස් රථයක එල්ලෙනවාට වඩා සීටීබී එක එනකම් සිටීමේ වාසි කිහිපයක් ගොඩයාට තිබ්බ කියමුකෝ. පුද්ගලික බස් රථයක වාඩිවෙලා කතරගම යනවා කියන්නේ අම්බලන්ගොඩ ඉඳන් කතරගමට යනකල් අකමැත්තෙන් වුනත් රියදුරා විසින් ක්‍රියාත්මක කරන කැසට් යන්ත්‍රයේ කන් දෙක විදගෙන යන තරමේ  සිලි සිලි නාදය පැය හතරක් හෝ පහකට ආසන්න කාලයක් පුරා විඳගන්න ඕන. පුද්ගලික බසයේ තියෙන්නේ තුනේ දෙකේ ආසන නිසා අම්බලන්ගොඩින් ලැබෙන ආසනය බොහෝදුරට තුනේ ආසනයේ එළියේ කෙලවර. ඒ ආසනයේ පැය හතරක් වාඩිවී සිටීම යනු ආසනයේ එල්ලී ඉන්නවා වගේ වැඩක්. මොකද කියනවානම් බස් රථය දකුණට වංගුවක් ගන්නා සෑම අවස්ථාවකම ගොඩයා ඇතුළු තුනේ ආසනයේ කෙලවරේ ඉන්නා පිංවතුන් වම් කකුලෙන් හොඳ ගැම්මක් අරගෙන ආසනයෙන් බිමට පතබෑවීම වලක්වාගතයුතුයි. එසේ නොකළහොත් අනිවා පස්චාත් භාගය බිම ඇනෙනවා අනෙනවාමයි. ආන්න ඒ බස් රථය දකුණට වංගුවක් ගන්නා සෑම සියලු අවස්ථා වලදීම ගොඩයාට සිහිවෙනවා ලේලන්ඩ් බස් එකේ තුනේ දෙකේ ආසන හදපු එකාගේ සහ එව්වා ලංකාවේ පාරවල් වල දුවන්න දීපු එවුන්ගේ මවුවරුන්ව. සාමාන්‍ය ගාස්තුව වගේ දෙගුණයක් ගෙවලා සාමාන්‍ය ගාස්තුවට දුවන බස් රථයකම යනවාට වඩා දාහක් අලකලංචි ඔය කියන බස්වල තියෙනවා කිව්වොත් තමයි හරි. කොන්දාස්තර ළමයාට විසිතිස් වාරයක් කියලත් කැසට් රේඩියෝවේ සද්දේ අඩු නොකරපු වතාවක දෙකක කොන්දොස්තරයා එහා මෙහා වෙනකම් ඉඳලා පිටිපස්සේ බෆල් පෙට්ටියට ශබ්දය ගෙනියන වයර් දෙකෙන් එකක් හීන්සීරුවට කඩා දැමීම වගේ හීන් නූල් අලුගුත්තේරු වැඩත් ගොඩයා නොකරේම නැහැ. එව්වා ඉතින් හොඳින් වටපිට බලලා අහවර වෙලා හැමදෙනාම සුවසේ නිදිසුව වඳිනවාය යන්න තහවුරු කරගෙන  සිංදුවක් ඉවර වෙලා අනික් සින්දුව පටන්ගන්න නිහඬ තත්පර කීපයේදී සීරුවට, ක්ෂණිකව, සැක නොසිතෙන ආකාරයෙන් කරන්න ඕන වැඩ ආයුබෝවන්ඩ. 


එහෙම විකල්පයක පිහිට පතන්න අවස්තාවක් උදා උනොත් එහෙම මේක තමා ගුරුමුෂ්ටි රහිත ක්‍රියා පිළිවෙල. පළමුව තමුන් වාඩිවී සිටිනා ආසනයට ඉහලින් තිබෙනා ගමන්මලු රඳවනයේ ඇලුමිනියම් බට අතරින් දිවයන බෆල් වයරය හඳුනාගත යුතුයි. සිංදුවක් වාදනය වෙන අතරේ පරණ සීටීබී බසයක සීනුව හඬවන ආකාරයෙන් බෆල් වයරය ඇද දැම්මොත් ඊට සමාන්තරව ශබ්දයේ අඩුවීම පැහැදිලිවම දැනෙනා නිසා ඔය ශබ්දයත් එක්කම කන් සුසර කරගෙන නින්දට ගිය එවුන් කලබල වෙලා ඇහැරෙනවා සංගීත නාදය එකවරම අඩු වෙන නිසා. ඒ එක්කම ඒ බව රියදුරාට සහ කොන්දොස්තර තැනටත් ඇලර්ට් වෙන්න තියෙන ඉඩ බොහෝම වැඩි අගයක්. ඒ කියන්නේ ගුටි කෑමේ සම්භාවිතාවය ඉතාමත් ඉහල අගයක්. ඒ සියල්ලටම විකල්පමය සහ ආරක්ෂාකාරීමය විසඳුමක් වශයෙන් තමා අජිත් මුතුකුමාරණගේ හෝ බස්වල වාදනය වෙන ගීතයක් අහවර වෙලා ඊළඟ ගීතය පටන් ගන්න යෙදෙන නිහඬ සුභ මොහොතින් බෆල් වයරය සියලු වෙර යොදා පහලට ඇද දැමීම කලයුත්තේ.  පරණ සීටීබී බස් වල බෙල් ගහල පුරුදු උදවියට ඔව්ව සුළු දේවල්. වයරය ඇද දැමු වහා කිසිවක් නොවුනා හා නොදන්නා ආකාරයෙන්  මම බබා මචංලා මම හෙන  තද නින්දේ ඉන්නේ ආකාරයෙන් පසුවීමට, රඟපෑමේ කුසලතාවයකින්ද යුක්තවිය යුතුයි. හදිසියෙවත් ඇස් හැර බලන්නේ නම් මේ දැන් ඇහැරුනේ දැන් කොහෙද අප්පා යන ආකාරයෙන් අහල පහල ඉන්න එවුන්ට දැනෙනා පරිදි ජනේලයෙන් එල් පහලිය බැලීමට හැකියාවකින් යුක්තවිය යුතුයි. සියල්ල සාමාකමී අයුරින් විසඳි ඇති වග තහවුරු කරගැනීමෙන් අනතුරුව වයරය කැඩී තිබෙනේ කොතනින්දෝ කියාද හොර බැල්මකින් තහවුරු කරගෙන ඉන්පසු සුවසේ නින්දට යායුතුයි. ඔන්න මෙතන මේක කියවලා  ගිහිං බෆල් වයර් කඩලා කොන්දොස්තරගෙන් ඉල්ලන් කාල මෙතන නාහෙන් අඬන්න තියාගන්නවා එහෙම නෙවෙයි. 

සීටීබී බස් එකේ ගමන ඒ එක කරදරයක්වත් නැතුව සාමාන්‍ය ගාස්තුවට කෙරෙන්නක් නිසා ගොඩයා අවසානයේ සීටීබී එකේ නිත්‍ය සාමාජිකයෙක් වුනා. ඒත් ඒ යද්දී විතරයි. සිකුරාදාට එද්දී ඉතින් ලේලන්ඩ් දසවදේ වින්දින්නම ඕන. ගොඩයා විකල්ප හොයන්න දක්ෂයා නිසා ගොඩයා ඒකටත් හොයාගත්ත විකල්පයක්. ඒ තමා සිකුරාදා රාත්‍රියට කතරගමින් කොළඹ බලා එන සීගිරි එක්ස්ප්‍රස් ටාටා බස්රථය. ටාටා බස් රථය ලේලන්ඩ් බස් රථයට වඩා සෑහෙන සැප පහසුයි කිව්වොත් තමයි හරි. ඒකට ප්‍රධානම හේතු දෙක වෙන්නේ ලේලන්ඩ් බස්රථයේ සයිලන්සරයෙන් නැගෙනා අලි පිඹිනා ගොශාව ටාටාවේ නොමැති වීමත් ටාටාවේ ආසනය ලේලන්ඩ් බසයේ ආසනයට වඩා සැප පහසු වීමත්. රියදුරන්ගේ කොන්දොස්තර වරුන්ගේ හිටන්ම ටාටාවේ ගමනාගමනය ලේලන්ඩ් බසයට වඩා විනයගරුක භාවයක් තිබුනා කියලයි අමබලන්ගොඩයාගේ අදහස. 

කතරගම කොළඹ දුවපු ලේලන්ඩ් බස් අටෝරාසියකින් ටාටා බස් තිබ්බේ බොහොම කීපයයි. එයින් එකක් තමා සීගිරි මුදලාලිගේ සීගිරි එක්ස්ප්‍රස්. ඒ කාලේ මතක විදිහට සීගිරි මුදලාලිගේ ඔය කියන ටාටා බස් එක කතරගමින් පිටත්වුනේ රාතී දහයට හෝ එකොළහට වගේ තමා මතක. ඕන් දවසක්දා සිකුරාදාවක රාත්‍රියේ ගොඩයා ගමරට බලා යන්ට හිතාගෙන සීගිරි එක්ස්ප්‍රස් පිටත් වෙන වෙලාව අල්ලලා ගෝල තැන ලව්වා කතරගම බස් නැවතුමට මොටෝවෙන් ගෙනැත් බස්සගත්තා කියමුකෝ. ඔය කියන මොටෝව තමා මනින්නා පෝස්ටුවේ අවසන් ගමන් ගිය මොටෝව. මෙන්න යකඩෝ  කොළඹ බෝර්ඩ් එක දාල අජිත් මුතුකුමාරණගේ සින්දුවක් එහෙමත් සද්දෙට සිලි සිලියට වාදනය වෙන ලේලන්ඩ් රාජයෙක් කොළඹ යන්ට ලක ලැහැස්තිය. ඒ කියන්නේ සීගිරි එක්ස්ප්‍රස් කොළඹ යන වෙලාවට එදා කොළඹ යන්නේ වෙන බස් එකක්. ඒක දැකපු ගොඩයාගේ ඔලුව ටිකාක් විතර අවුල්වුනා. වෙනදට යන සීගිරි ටාටාව නැති නිසාත් වෙන කරන්නම දෙයක් නැති නිසාත් ගොඩයා ලේලන්ඩ් බසයට ගොඩවෙලා ගෝල තැනට සමු දෙනවා නැවත සඳුදාට හමුවෙන බලාපොරොත්තුවෙන්. 

ලේලන්ඩ් එක ඇතුලේ  හඳුන්කූරු කීයක්නම් පත්තු කරලාද කියනවානම් හඳුකුරු දුමට එහා සීට් එකේ ඉන්න එකාගේ මූන පෙන්නේ නැති තරමයි. කෙටියෙන් කියනවනම් නුවර එලිය පැත්තේ මී දුම බාලා හා සමානයි. වයිවාරන  පාට වලින් පත්තු වෙන විදුලි බුබුළු වලින් මවන ආලෝකයත් හඳුන්කුරු සුවඳත් ඒකාබද්ධ වෙලා මවන වටපිටාව එක්ක මගීන්ට දැනෙන්නෙම බස් රථයක් ඇතුලේ ඉන්නවට වඩා කතරගම දේවාලේ ඇතුලේ ඉන්නවා හා සමාන හැඟීමක්. ඔන්න බස් රාජයා කොළඹ යන්න පිටත් වෙන්න සුදානම කියමුකෝ. රියදුරු දෑතට දෙවි රැකවරණයි කියලා හිතාගෙනාදෝ රියදුරු තැන සුක්කානම වට කීපයක් අතගාලා උම්ම එකක් එහෙමත් දීල ඕන් ලේලන්ඩ් රාජයා පනගන්වුවා. ඊළඟට ඉතින්  ජර බරාන්.. ජර බරාන් .. සද්දෙට විනාඩි කිහිපයක් මහා සද්දෙන් රේස් කරගෙන සිටීම තමා සාමාන්‍ය ස්භාවය. බස්වල තියෙන බ්‍රේක් පද්ධතිය හරිහැටි ක්‍රියාත්මක වෙන්න ඔය කියන රේස් කිරිල්ල අනිවාර්යෙන් කරන්නම ඕන වුනත් සද්දේ තමා අවුල. ඔය කියන සද්දෙට කතරගම අවට වැඩ වාසය කරනා දෙවි දේවතාවරුන්ගේ නින්ද පැයකට වතාවක් කැඩෙන නිසා දවල් දවසේ නිදිමතේ දෙවි දේවතාවරු   බැතිමතුන්ගේ කන්නලවු වලට කොහොම ඇහුම්කන් දෙන්නද කියන එක ගොඩයාට හෙන ප්‍රශ්නයක්. ඕන් රියදුරු තැන ඇන්ජිම එහෙමත් ටිකක් රේස් කොරලා අකමැත්තෙන් ක්ලච් එක පාගලා දැම්ම කියමුකෝ පලවෙනි ගියර් එකට. ඔය ලේලන්ඩ් යන්තරේ රියදුරාලා ක්ලච් එක පාගලා දමන එකම සහ අවසන් ගියරය පලවෙනි ගියරය පමණක් නිසා ඒ පලවෙනි ගියරයටත් ඔය උන්දෑලා ක්ලච් එක පාන්නේ භාගෙට. ආන් එතකොට තමා ගියර් පොල්ල   බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්දක්හ් සද්දෙකුත් දාගෙන පලවෙනි ගියර් එකට වැටෙන්නේ. ආන් එතකොට ලේලන්ඩ් රාජයා මදක් ඉදිරියට තල්ලු වී නවතිනවා රියදුරු තැන විසින් ක්ලච් රාජයා මුදාහරිනකල් ඉදිරියට  යාමේ සුදානම සහිතව. එතනින් එහා ඉතින් ක්ලච් එක යනු ගියර් මාරු කිරීමේදී යුතුකමට වගේ කකුල තියන භාණ්ඩයක් මිස අත්‍යවශ්‍ය උපාංගයක් නොවෙයි ඔය උන්දැලාට. පරණ සීටීබී ඩයිබර්ලා නම් ඔය කියන ක්ලච් එක පාන්නේ කාලට හෝ කාල් භාගෙට. එව්වයේ ඩයිබර්ලාට තියෙන පලවෙනි ප්‍රශ්නය තමා ක්ලච් එක පාගන්න කලින් ගියර් පොල්ල සොයා ගැනීම. මොකද එව්වයේ ගියර් පොල්ල තියෙන්නේ රියදුරු ආසනයට පස්සෙන් උඩට ඇවිත් ඉස්සරහට නැවීලා නිසා ඒ ගියර් පොල්ල කොයි වෙලාවෙත් ඉන්නේ දෙපැත්තට ඔලුව වන වනා බෑ බෑ කියනා ආකාරයෙන්. එව්වා පලවෙනි ගියරයට වැටෙද්දී ගියර් පෙට්ටියෙන් ඇහෙන්නේ යකඩ පෙරලෙන සල බලං සද්දයක්. හරියට අලවංගු දෙකක්  තුනක් එකට ගහනවා වගේ සද්දයක්. දැන් ඉතින් අලවංගු කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති උදවිය මූන බෙරිකරගන්න ඕන නෑ ... සිංහල ශබ්ද කෝෂ හොයන්න ඕන නෑ .. අලවංගුව කියන්නේ ඒ ඒ පලාත්වල "යකඩ ඉන්න " , " ගල් ඉන්න " කියල හඳුන්වන මෙවුව එකට තමා.. 

ඔන්න ලේලන්ඩ් රාජයා කතරගම බස් නැවතුමෙන් පාර දාන්න හෙමි හෙමිහිට අද්දනවා කියමුකෝ. ඔන්න ඒ අතරේ ඊළඟට කොළඹ යන බස් යන්තරේ කොළඹ යන බස් නවත්තන සියඹලා ගහ යටට සැපත් වෙනවා හෙමි හෙමිහිට. ඔය කියන බස් සියල්ලකටම පොදු කාරණය තමා රථ ගාලෙන් පිටත් වෙලා මහ පාරට දාලත් විනාඩි කීපයක් යම්දෝ නොයම්දෝ ගානට ඉස්සරහට පස්සට පද්ද පද්දා තියාගෙන සිටීම සහ ඊට සමගාමීව කොන්දොස්තර තැන විසින් " කොළඹේ..කොළඹේ..කොළඹේ..කොළඹේ..කොළඹේ.. යන්න හදන්නේ...කොළඹේ..කොළඹේ..කොළඹේ..කොළඹේ..කොළඹේ.." කියලා බෙරිහන් දීම. ඒ අස්සේ රියදුරු තැනත් අලි එලවන නලාව කීප වාරයක් ශබ්ද කරවලා බස්රථය වෙත සැමගේම අවධානය ලබාගන්නවා. ඔන්න ඔය අතරේ ගොඩයා ජනේලයෙන් අමාරුවෙන් ඔලුව දාලා බලනවා ඊළඟට කොළඹ යන්නේ කුමන බස් රථයද කියන කුතුහලය හතේ තියන නිසා. මෙන්න බොලේ සීගිරි මුදලාලිගේ සීගිරි එකස්ප්‍රස් සියඹලා ගහ යට. ඔන්න ගොඩයාට උන්හිටිතැන් අමතක වෙන වෙලාව. පැය හතරක් ලේලන්ඩ් කරච්චලේ විඳිනවට වඩා පැයක් පරක්කු වෙලා හරි කනක් ඇහිලා ගෙදර යන්න චෑන්ස් එකක් පෙනි පෙනී ඒ චෑන්ස් එක අතාරින එක මෝඩකමක් කියල සෙනිකවම ගොඩයාගේ අක්මාවට වටහෙනවා. ඔන්න ඒ ගමන ගොඩයා දනි පනි ගාගෙන ආසනයෙන් නැගිටලා ලේලන්ඩ් රාජයාගේ පස්සා දොරෙන් බිමට පැනගන්නවා බස් රථය සැර දමා ඉගිලෙන්න ඔන්න මෙන්න තියෙද්දී. බස් රථයෙන් බැසගත්තු ගොඩයා කෙලින්ම දුවන්නේ සීගිරි එක්ස්ප්‍රස් වෙත. ඔන්න ගොඩයා ජයග්‍රාහී ලෙස සීගිරි එක්ස්ප්‍රස් ටාටාවේ මැදට වෙන්න තියන වම් පැත්තේ ආසනයක හරිබරි ගැහෙනවා ලෝක මරාලෙකින් බේරුනා නේදෝ කියන ජයග්‍රාහී සිතිවිල්ලත් එක්කම. 


සීගිරි එක්ස්ප්‍රස් බොහොම විනීතයි, හැදියාවකින් යුක්තයි, කන් විදගෙන යන සයිලන්සර් ශබ්දයෙන් තොරයි, දෙකන් පූට්ටු වෙන සිලි සිලි ශබ්දය පමණක් ඇසෙන කැසට් ශබ්දයෙන් තොරයි, අලි එලවන නලාවකින් තොරයි,  ආසනය ලිස්සන සුළු නොවෙයි, නින්දට භාධා රහිතයි, හැබැයි එකම එක ප්‍රශ්නයක් සහිතයි.. ඒ ප්‍රශ්නය නම් සීගිරි එක්ස්ප්‍රස් වයසයි.. ලංකාවේ පලවෙනි වතාවට සුපර් ස්ටාර් වෙච්චි අජිත් බණ්ඩාරගේ පලවෙනි කැසට් පටය වෙච්චි සහ ඊට ඉස්සරින්දා වෙළඳපොළට නිකුත් වෙච්චි  "සුදු හංසියේ " කැසට් පටය බොහොම කන්කළු නාදයෙන් බසය පුරා සංගීතවත් වෙනවා. ගොඩයා බොහොම ආසාවෙන් අහන්න බලාන හිටපු  " සුදු හංසියේ " සිංදු ටිකත් පලවෙනි වතාවට අහගෙන ඉන්න ගමන් ගොඩයා ටාටාවේ ආසනයේ සුවය වින්දනය කරගෙන  බොහොම නිවිච්ච හිතකින්  වාඩිගෙන ඉන්නවා. ඔන්න පැයකින් ටාටාව පිටත්වුනා කියමුකෝ. කිසීම ප්‍රශ්නයක් නැහැ සියලු සැප ඒ හා සමානයි. රෑට කතරගමින් කොළඹ පිටත්වෙන බස් රථ තිස්සමහාරාමයේ රෑ කඩය ළඟ පැය භාගයක් නවත්වාගෙන ඉන්න එක සාමාන්‍ය දෙයක්. ඔන්න ඔය කියන රෑ කඩයේ තමා මනින්නා පෝස්ටුවේ උන්නු මනින්නාට කොත්තුවක් කන්න සලස්වලා ගොඩයා පැට්‍රොල් හොයන්න යන්නේ. ගොඩයා ආසනයේ ආශ්වාදය විඳගෙන අජිත් බණ්ඩාරගේ සුදු හංසියේ අහනවා සියලු වින්දනයන් අඩුත් නැතිව වැඩිත් නැතිව බසයේ ගොඩවූ වෙලාවේ හා සමානවමයි. කෙටියෙන් කියනවනම් ලේලන්ඩ් මරාලෙන් බේරිලා ටාටාවේ ගොඩ වීමට ලැබීමත් ඊට අතුරුපලයක් වශයෙන් ඊට පෙරදා වෙළඳපොළට නිකුත් වූ "සුදු හංසියේ " කැසට් පටයේ ගීත ටික විඳගන්නට ලැබීමත් සමගම ගොඩයාගේ හිතේ ඇතිවෙන ඩබල් බෝනස් සිතිවිල්ල කොයිතරම්ද කියනවානම් අම්බලන්ගොඩින් නොබැහ කොළඹ යන්නට තරම් හිතේ සන්තෘප්තිය උපරිමයි. ඒත්  ඉතින් යන්නේ අම්බලන්ගොඩට නිසාත්, අම්බලන්ගොඩ පහුකරන් කොළඹ යාම මන්දබුද්ධික වැඩක් නිසාත්, ටිකට් අරං තියෙන්නේ අම්බලන්ගොඩට නිසාත්, ගෙවල් තියෙන්නේ අම්බලන්ගොඩ නිසාත්, අම්බලන්ගොඩින් බැසගැනීම අනිවාර්ය වෙන්නේ එහෙම කොළඹ ගියොත් ආයේ අම්බලන්ගොඩට ඇරලවන්න අජිත් බණ්ඩාරවත්, සීගිරි මුදලාලිවත් ඉදිරිපත් වෙන්නේ නැති වග ගොඩයා දන්නා නිසා. 

ඔන්න සීගිරි එක්ස්ප්‍රස් තිස්සමහාරාමෙන් පිටත් වුනා කියමුකෝ. වැඩම උනොත් එතන හිටන් විනාඩි තිහක් ඉදිරියට ධාවනයවුනු සීගිරි එක්ස්ප්‍රස් මෙන්න බොලේ ඝන මුකලානක් මැද්දේ එකපාරටම ලැයිට් ගියා කියමුකෝ. දැන් කොහොමෙයි හත්තිලව්වේ ලැයිට් නැතුව මේ මහා රෑ කොළඹ යන්නේ. ඩයිබර් උන්නැහේ සහ  කොන්දොස්තර සුසංයෝගය විසින් දන්නා කියන සෙල්ලං  සියල්ලම දාලා අහවර වෙලා අනතුරුව  ඒ සුභ ආරංචිය මගීන් වෙත දැනුම් දෙනවා. ඒ ආරංචියට අනුව හදිසියේ විදුලි බලය ඇනහිටීම නිසා සීගිරි එක්ස්ප්‍රස් කොළඹ යන්නේ නැහැලු. ඒ කියන්නේ මගීන් සියල්ල අනාත සාගරේලු. ඒ කාලේ ස්මාර්ට් ෆෝන් තිබ්බේ නැති නිසා ඊළඟ බස් එක එනකල් බුකිය පැත්තේ රවුමක් ගහන්නත් විදිහකුත් නෑ. රෑට නින්ද යන්නේ නැති එකෙක් එක්ක මැසෙන්ජර් චැටක් දාන්න විදියකුත් නෑ. මුකලානක් මැද්දේ ලැයිට් කපපු සීගිරි එක්ස්ප්‍රස් පාර අයිනේ කළුවරේ අලියෙක් තිබ්බා හා සමානයි. කට්ට කළුවරේ තරු එළියෙන් යාන්තමට එකිනෙකා පෙනෙන මිනිස්සු තිහක් හතළිහක් ගොළුවන් සේ ඈත ක්ෂිතිජය දිහෑ බලාන ඉන්නවා ඊළඟට කතරගමින් කොළඹ යන අභිමානී ටුවර්ස් ක්‍ෂිතිජයෙන් මතුවෙනකල්. ඩයිබර් පාර අයිනේ ඇන තියාන මිනිස්සුන්ගෙන් කුණු කතා දාහක් අහගෙන වාඩිවෙලා ඉන්න අතරේ කොන්දොස්තර මගීන්ගෙන් කුණු කතා අටෝරාසියක් අහගෙන ටිකට් වල සල්ලි බේරනවා.  නොකියා වන් වන් සීරෝ ෆෝන් තියන උන්දැලා විඩින් විඩේ උන්ගේ ෆෝන් ටෝච් එක ගහලා අවට ආලෝකමත් කරනවා අපිට ලැයිට් තියනවා කියන්න වගේ. ඔන්න එහෙම පැයක් හමාරක් සහයෝගෙන් මදුරුවෝ තලද්දී අභිමානී ටුවර්ස් ලේලන්ඩ් යන්තරය ඇවිත් නවත්වනවා අලි එලවන නලාව හඬවාගෙනම. එතැන් පටන් ගමන බොහොම අභිමානයෙන් මොකද කියනවනම් බස් රථයේ නම " අභිමානී" නිසා. එත් කියන්න ලැජ්ජයි ගොඩයා සාගත මල්ල එල්ලගෙන ඇලුමිනියම් පොල්ලක එල්ලිලා හිටගෙන. ආන්න එව්වට තමා කියන්නේ දෙන දෙයියෝ පස්සෙන් එලෝලා ඇවිත් බඩ පුරා දෙනවා කියලා. එතැන් පටන් සියලු ලේලන්ඩ්  වද  වේදනා විඳගෙන ගොඩයා කරපු මෝඩකමේ ආනිසංස තමුන් වෙතම අනුමෝදන් කරගන්න ගමන් ලේලන්ඩ් පොල්ලේ එල්ලීගෙන හිතේ අමාරුව සමනය කරගන්න උත්සහ කරනවා. කහවේ හංදියෙන් මගියෙක් බැසීම නිමිතිකොටගෙන ගොඩයා වෙත අසුන් ගැනීමේ වාසනාව පෑදුනත් ගොඩයා එය ප්‍රතික්ෂේප කරන්නේ තව නොබෝ වෙලාවකින් හෙවත් විනාඩි දහයක් වගේ කාලයකින් අම්බලන්ගොඩ බස් නැවතුමෙන් බසයෙන් බැසගන්න පුළුවන් නිසා. ඒත් ගොඩයාගේ අවාසනාව එතනින් ඉවර නැහැ කියල ගොඩයාට දැනෙන්නේ අම්බලන්ගොඩ පෙනි පෙනී මාදම්පාගම ඉශාන් හෝටලෙන් තේ බොන්න අභිමානී රියදුරා තීරණය කරන නිසා. බසයේ ඉන්න මගීන් බොහොමයක් තේ බොන්න බැස  යන නිසා ගොඩයා හිස් වෙච්චි ආසනේක වාඩි ගන්නවා තවත් විනාඩි පහළොවක් හිටගෙන ඉඳීම තේරුමක් නැති නිසා. 

දෙයියෝ  දීලා දීලා අහවර වෙලා ඒත් ඉවර නෑ තව තියෙනවා කියන කාරණය ගොඩයා ආයෙත් තේරුම් ගන්නේ ගොඩයා නින්දෙන් ඇහැරෙද්දි අභිමානී අලුත්ගමට ඔන්න මෙන්න කියල වැටහෙද්දී. ඒ කියන්නේ අභිමානී අම්බලන්ගොඩ පහු කරද්දී ගොඩයා  ඉඳලා තියෙන්නේ මර නින්දේ.. ෆේක් ඊට් ටිල් යූ මේක් ඉට් කියන සිද්ධාන්තයට හිස නමාගෙන බහින තැන මගෑරුනා උනාට ඒ වග කාටත් අඟවන්නේ නැතුව අලුත්ගමින් බහිද්දී කොන්දොස්තර අහනව " නින්ද ගියා නෙහ් මහත්තයා " කියල. කිඹුලා කනවා ඉවසන්න පුළුවන්ලු .. ඒත්  කොහිල කටු අනෙනවාලු ඉවසන්න බැරි..

ඕන්  ඊළඟට අලුත්ගම බස් නැවතුම ඉස්සරහ ගාලු පැත්තට යන බස් නවත්තන නැවතුමේ ආයෙත් ගොඩයා සාගත මල්ල එල්ලගෙන ඉන්නවා කොළඹ පැත්තෙන් බස් එකක් මතු වෙනකල්. විනාඩි විස්සක් තිහක් යද්දී එතනට එන මාතර බස් රථයේ කොන්දොස්තර ගොඩයා දිහෑ අමුතු බැල්මක් දාන්නේ වාඩි ගන්න ඕනෑතරම් ආසන තියෙද්දී මේ යෝදයා හිටගෙන යන්නේ මොකදෑ කියන ප්‍රශ්නයට උත්තර නැති නිසා. වෙච්ච සංතෑසි අටෝරාසියක් මදිවට ආයේ ආසනයක හරිබරි ගැහීම මාතර යාම දක්වා දික්වෙයිදෝ කියන භයට ගොඩයා අම්බලංගොඩ දක්වාම වීරියෙන් හිටගෙන යනවා. දෙයියනේ කියල ගොඩයා අම්බලන්ගොඩින් බහිද්දී පාන්දර හයාමාරයි. හැම සතියකම ඉරිදා රාත්‍රියටත් සිකුරාදා රාත්‍රියටත් ගොඩයාව කතරගම බස් එකට ගෙදරින් අරන් එන සහ කතරගම බස් එකෙන් බැස්සාම ගෙදර ඇරලවන ත්‍රිරෝද රථ සගයා ගැමුණු ඔරලෝසු කනුව ඉස්සරහ ත්‍රීවීල් පාර්ක්‌ එකේ බුලත් විටක් හපමින් හයර් එකක් එනකම් බලාන ඉන්නවා ඒ වෙද්දීත්. ගොඩයා හිතේ අමාරුව තදකරගෙන ගිහින් ගැමුණුගේ ත්‍රීරෝද රථයේ අසුන් ගන්නවා..

අද මොකෝ කොළඹ පැත්තෙන්... 

නෑ ගැමුණු මට ඔෆිස් එකේ වැඩකට කොළඹ යන්න උනා.. ඒ හින්ද ඇඹිලිපිටි පාරේ කොළඹ ගිහිං ගෙදර එන්න උනේ..

ඒක  මිසක්... මං ඒත් කතරගම බස් කීපයක්ම බැලුවත් එක්ක..

සියල්ල අවසානයේ,  තිස් දෙකෝටි අනූනවලක්ෂ අනූනවදහස් නවසිය අනූනවයක් දෙවි දේවතාවුන් අහක බලපු දවසක ගණ දෙවියෝ විතරක් ඉදිරිපත්වෙලා ගොඩයාව ගොඩ දැම්ම. 


සුදු හංසියේ මිහිරාවියේ..
සුදු හංසියේ මිහිරාවියේ..
මා අත දවටා.. ඔබේ බඳ වටා..
මා වෙත තව තව..ඔබ ලං කරගෙන..
නිර්මල හදවත.. මුමුණන රිද්මය..
අහන්න කීවා..

මතකද දවසක්දා..

අද සුපර් ස්ටාර්ලා එක්ක බැලුවාම පලවෙනි සුපර් ස්ටාර් වෙච්චි අජිත් බණ්ඩාරගේ සුදු හංසියේ මිහිරාවියේ ගීතය බොහොම සාර්ථක නිර්මාණයක් කියලයි අම්බලන්ගොඩගේ අදහස. පරිප්පු නැවක් බාගෙන හරි එදා ඒ ගීතය අහල ලබපු වින්දනය අදත් අම්බලන්ගොඩයාගේ හිතේ අමරණීයයි. ඇසෙන පළමු වතාවෙම මතකයේ පැලපදියම් වෙන ගීත වර්තමානයේ කළුනික තරම් විරලයි. ඒ අතින් අජිත් බණ්ඩාරගේ සුදු හංසියේ ගීතය නව පරපුරේ ගායකයකුගෙන් බිහිවෙච්ච වන් ෂොට් හිට් එකක් කියලයි ගොඩයාගේ අදහස. ඇහෙද්දී මේ අහවලාගේ හඬ කියන්න තරම් අනන්‍යතාවයක් තිබ්බ අජිත් බණ්ඩාර අද වෙද්දී නොඇසෙනා ගායකයෙක් වීම සිංහල සංගීතයේ අවාසනාව වෙන්න ඇති. සිංදුව කොයිතරං හිතේ පැලපදියම් වුනත් අදත් කලාතුරකින් හරි ඔය ගීතය ඇහෙද්දී ගොඩයාට මතකයට එන්නේ අජිත් බණ්ඩාර නෙවෙයි සීගිරි එක්ස්ප්‍රස්.. මොකද ගොඩයාගේ හිත ඇතුලේ ඔය ගීතයේ අයිතිය තියෙන්නේ සීගිරි  එක්ස්ප්‍රස් බස් රථයට මිසක් අජිත් බණ්ඩාරට නොවෙන නිසා.. 

කොමෙන්ටුවක් දාගෙන යමු..

සුදු හංසියේ මිහිරාවියේ ගීතය මෙතැනින් අහන්න 


පින්තුරය ගත්තෙ මෙතැනින් 

http://www.clipartpanda.com/categories/choke-20clipart












Saturday, August 12, 2017

අඟහරුවාදා උදෑසන සහ ලොව වටිනාම පීසාව..






භාග භාග ලියවෙච්චි පොස්ටු බර ගානක් බ්ලොග් අඩවියේ කටුසටහන් තත්වයේ තිබුනත් එව්වා සම්පූර්ණ කරන්න තියන කම්මැලිකම එසේ මෙසේ එකක් නොවෙන නිසා ගොඩයා කල්පනා කරා වෙනත් පෝස්ටුවක් ලියා පලකරන්න. ඒ මොකද කියල පැහැදිලි කරනවානම් එක් එක් පෝස්ටු ලියවෙන්නේ එක් එක් මූඩ් වල නිසා, එව්වා පස්සේ සම්පූර්ණ කරන්න ගියාම ඉතුරු ටික ලියවෙන්නේ වෙනම ආරෙකින්. එහෙම ලිව්වාම බ්ලොග් පෝස්ටුවේ පළමු භාගය එක් ආරයකිනුත් දෙවන භාගය වෙනත් ආකාරයකිනුත් ලියවිලා, බ්ලොග් පෝස්ටුව අල වෙලා තමා අහවර වෙන්නේ. ඒ වගේ කුජීත බ්ලොග් පෝස්ට් දැම්මාම පාඨක සහෘදයින් බුකියට පණිවිඩ එනවනවා මේ පාරනම් බ්ලොග් පෝස්ට් එක කුජීතයි ගොඩයෝ කියල. එහෙම උනාම ඉතින් ඒ වගේ පැමිණිලි ගොඩයා නිහතමානීව භාරගන්නවා, ඒක එහෙමයි කියල ගොඩයාත් දන්නා නිසා.

ඊයේ පෙරේද වෙච්චි රසම රස සිද්දියක්, බ්ලොග් පෝස්ට් එකක් විදිහට ලියන්න එපා කියන තර්ජනයක්, ඊට අදාළ අනෙක් පාර්ශවයෙන් ගොඩයා වෙත එල්ලවුනත්, ඒ සිද්දිය නොලියා ඉන්නේ කොහොමද දෙයියෝ කියල ගොඩයා දහ අතේ කල්පනා කර කර උන්නා කියමුකෝ. අදාළ මිත්‍ර පාර්ශවය විසින් ගොඩයාට කෙලින්ම කියා හිටියේ මේ සිද්දිය බ්ලොග් එකට ලිව්වොත් "මම තෝව හමගහනවා" කියලයි. කොච්චර බොක්කේ යාළුකමක් උනත්, බොක්කේ යාලුවට කරදරයක් උනාම බඩ අල්ලාගෙන පැයක් හමාරක් හිනාවෙන එක අඹ යාලුවන්ගේ සිරිත නිසා මේ බ්ලොග් පෝස්ටුවට උක්ත වෙච්චි සිද්දිය හම ගහල ගහක බැන්දත් ලියන්න ඕනෙමයි කියලා ලතවෙද්දී තමයි, උක්ත සිද්දිය බ්ලොග් අඩවියේ ප්‍රසිද්ධ කරන්න අවසර ලැබෙන කුජීත සිද්දියක් ගොඩයාටත් සිද්දවුනේ. ආන්න ඒ කුජීත සිද්දිය අනන්‍යතාවය හෙලිකල නොහැකි මිතුරු පාර්ශවයට කිව්වයින් පස්සේ, ඔන්න ගොඩයා වෙත අවසර ලැබුනා ඔය උඹට වෙච්චි සිද්දිය ඉස්සෙල්ල ලියලා අහවර වෙලා මගේ සිද්දිය ලියපන් හැබැයි නම ගම දැම්මොත් ඇහේ හිටං පට්ටගහනවා කියලා. ඔන්න ඒ පොරොන්දු වෙච්චි ආකාරයට ගොඩයා ඉස්සෙල්ල ලියන්න යන්නේ ගොඩයාට වෙච්චි කුජීත සිද්දිය.


ගොඩයා රැකියාව විදිහට කරන්නේ කාර්මික ක්‍ෂේත්‍රයේ රැකියාවක්. ඒ රැකියාවේ ස්භාවය අනුව ගොඩයා මුළු දවසම ගත කරන්නේ යන්ත්‍ර සූත්තර එක්ක. ගොඩයාගේ රැකියාවේ ස්භාවය නම් අදාළ යන්ත්‍රය තිබෙන ස්ථානය වෙත ගොස් සේවාව සැපයීම. ගොඩයා රැකියා කරන ආයතනය ගෘහස්ත පරිභෝගොකයින් සඳහා සේවා සපයන්නේ නැති නිසා ගොඩයා නිරන්තරයෙන් යැවෙන්නේ වානිජ්‍ය අරමුණු වෙනුවෙන් පවත්වාගෙන යන ආයතනවලට සහ රජයේ ආයතන වලට පමණයි. ඒ කියන්නේ දවසේ පැය අටම ගොඩයා රැකියාව කරනේ එලි පහලියේ. ඒ වගේ රැකියාවක් කරපු එකෙකුට ආයෙත් බිත්ති හතරකට කොටුවෙච්චි රැකියාවක් කරන්න මලාට අමාරුයි කියමුකෝ. ඒකට පළමු සහ අවසන් හේතුව වෙන්නේ ෆීල්ඩ් ජොබ් එකක තියන ආශ්වාදය ෆුල් ඔප්ෂන් තත්වයේ එකක් නිසා. ගොඩයා රැකියාවක් විදිහට කරපු පළමු රැකියාවත් ෆීල්ඩ් ජොබ් එකක් වෙච්චි නිසා ගොඩයා, ලංකාවේ ඉද්දි කරපු රජයේ රැකියාවට හුරුවෙන්න කොයිතරම් අමාරුවුනාද කියලා දන්නේ ගොඩයා පමණයි. ෆීල්ඩ් ජොබ් එකක් කරපු එකෙක් හැමදාමත්, එළියේ රැකියාවක් කරන්නම දඟලන්නේ එලි පහලියේ විදින්නට ලැබෙන නිදහස බිත්ති හතරක් ඇතුලේ හෙවීම හීනයක් නිසා. දොළොස් අවුරුදු ග්‍රහ අපලය ගෙවී ගියායින් අනතුරුව ඔන්න දැන් ගොඩයා ආයෙත් සිහිල් සුලන් රැල්ලක පහස විඳගෙන රැකියාව ෆීල්ඩ් එකේ. සුපර්වයිසර්වරු හෙවත් ගොඩයාගේ ලොක්කන් ගොඩයා යන එනතැන්, නිල රථයේ ජී පී එස් උපාංගය මගින් සොයා බැලුවත් ඒ උන්නැහේලගෙන් ගොඩයාට කියන්න තරම් කරදරයක් නැහැ. දවසේ පැය අටක් ගොඩයාගේ දැනුම සහ ශ්‍රමය කාට හෝ සේවා ලාභියෙකුට විකිනෙනතාක් ගොඩයාට ලැබෙන නිදහස උපරිමයි. ඒ සියල්ලටම හරියන්න ගොඩයාගේ රාජකාරි පැයක්, ගොඩයා රැකියා කරන කොම්පැනිය සේවා ලාභියාට විකිනෙන්නේ ලංකාවේ රුපියල් වලින් ගත්තොත් රුපියල් දහසය දහසක් වගේ මිලකට. ඉතිං දවසේ පැය අටේ බිල්පත් සේවා ලාභීන්ට ඊමේල් කරනකොට ගොඩයාට නිකමට වගේ හිතෙනවා යකඩෝ පැය අටකට මං මුන්ට, ලංකාවේ රුපියල් වලින් එක්ලක්ෂ විසි අටදාහක් උපයලා දෙනවානේදෝ කියල.  ආන්න ඒ වගේ වෙලාවට ගොඩගේ පපුව හුචස් ගාල නවතිනවා කියහන්කෝ. ඒත් ඉතිං ඕක නැවතුනොත් ගොඩයට වැලිගම්පිටි යන්න වෙන නිසා හනික පපුවට දෙකක් ඇනලා ආයෙත් මෝල ස්ටාර්ට් කරගන්නවා.

 ඔන්න ඔයවගේ වාතාවරණයක් යටතේ ගොඩයා යනවා දවසක් කුකුලා මල්ලේ දාගෙන එක්තරා ආයතනයක යන්තරයක් අලුත්වැඩියා කරන්න. ගොඩයාගේ කොම්පැනියේ පොලිසි එකට අනුව සේවා ලාභියාට බිල් කරන පළමු පැය ස්ථාවරයි. ඒ කියන්නේ පළමු පැය ඇතුලත විනාඩි පහක අලුත්වැඩියාවක් කලත් අයකිරීම සම්පූර්ණ පැය සඳහාමයි. කොම්පැනිය එහෙම තීරණයක් අරන් පළමු පැය වෙනමම ස්ථාවර කරලා තියෙන්නේ අදාළ ස්ථානය වෙත යාමට ගතවන කාලය වෙනුවෙන් වෙනමම පැයක් සඳහා අයකරන මුදලත් එකතු කිරීමෙන්. පැයට වැඩි කාලයන් සඳහා අයකිරීම විනාඩි පහළොවෙන් පහළොව තමා. ඔන්න ඔය කියන ආයතනයේ සෙත්තපෝච්චි වෙච්චි යන්තරයේ තිබුනේ මෘදුකාංග අවුලක් කියමුකෝ. වෙනත් කාර්මික දෝෂ මොනවත් තියෙනවාද කියල පරික්ෂාකරලා අහවර වෙලා එවන් කාර්මික දෝෂ එකක්වත් නැත යන්නට තහවුරු කරගෙන අහවරවෙලා මෘදුකාංගය නැවත ස්ථාපනය කලාම මෙන්න  යන්ත්‍ර රාජයා එලටම වැඩ. ඒ කියන්නේ වැඩේ පැය භාගෙන් ගොඩ. මේ කියන යන්ත්‍ර මොඩලය වසර දෙක තුනක් ක්‍රියාවිරහිත නොකර  එකදිගට භාවිතයට ගත්තොත් එක්තරා කාලසීමාවක් අවසානයේ හිටි තැනම නවතින්නේ, මටත් විනාඩියකවත් විවේකයක් දියවූ යකුනේ කියල කටින් කියන්න බැරි නිසා. ලංකාවේ වගේ රටවල මාසෙකට දෙකකට වතාවක් විදුලිය බිඳ වැටීම් තියෙන නිසා ඒ වගේ යන්ත්‍ර වලට විවේකයක් ලැබුනත්, ගොඩයා දැන් ඉන්න රටේ විදුලිය බිඳවැටීම් කියන්නේ බොහොම විරල අවස්තාවක්. ඒ නිසා ප්‍රධාන විදුලි ධාරාවට අමුණා තිබෙන යන්ත්‍ර සූත්‍ර කව්රුන් හෝ විසින් විසන්දි නොකළහොත් අවුරුදු ගණනාවක් වුනත් එකදිගට "ඔන්" තත්වයේ තිබීම සාමාන්‍ය දෙයක්. 

ඔන්න ඉහත කී ආකාරයෙන් පැය භාගෙන් වැඩේ ගොඩ නිසා ගොඩයා නැවත නිල රථයට වාර්තා කරනවා ඊළඟ කස්ටමර්ට සේවාව සැපයීමට යාමේ අරමුණෙන්. ඒත් ආයතනය විසින් පැයකට අයකරන තැනකින් පැය භාගයෙන් පිටත්වීම ගොඩයා දකින්නේ මොට්ට මෝල් වැඩක් විදිහට. මොකද කියනවානම් ගොඩයාව  පැයකට වික්කානම් එයින් ගොඩයා වෙත වැටුප ආකාරයෙන් ගෙවනා කාල ප්‍රමාණය පැයක්ම විය යුතුයිනේ හත් ඉලව්වේ. එතැනින් පැය භාගෙන් පිටත්වුනාම ගොනා වෙන්නේ තමුන්ම වග ගොඩයාගේ ටිකිරි මොලයට වැටහෙනවා. ගොඩයාගේ නිල රථය එම ගොඩනැගිල්ල පිහිටි පරිශ්‍රයෙන් පිටවුනොත් ඒ බව රථයේ ජී. පී.එස්. උපාංගය හරහා මවු ආයතනය වෙත දන්වා යැවෙන නිසා එවැනි වැටුප් සහිත  විවේකයක් ගන්නවානම් ගොඩයාගේ නිල රථයද, ආයතනය විසින් සපයා තිබෙන ජංගම දුරකථනයද  සහ ආයතනය විසින් සපයා තිබෙන ටැබ්ලට් පරිඝනකයද එම පරිශ්‍රයේම තිබිය යුතුයි. ඒ මක්නිසාදයත් මවු ආයතනය විසින් පිටත රැකියා කරන උදවියගේ ගමන් බිමන් ඔය කියන ගැජමැටික් තුනෙන්ම හොර රහසේ සොයාබලන නිසා. ඒ නිසා ඒවගේ වෙලාවලට ගොඩයා කරන්නේ රථය කොහේ හෝ ඒ අවටම නවත්වාගෙන,  ජන්ගමයෙන් බ්ලොග් අඩවියක් කියවාගන්න ඒ කාලය යොදවන එකයි. ඒ ඇරුනාම අපේ තඩියා එක්ක මැසෙන්ජර් ඕපාදූපයක් දොඩන්න වගේ දේවල් වලටත් ඒ කාලය යෙදවීම සාමාන්‍යයි. තඩියා මේ දවස්වල මොකක් නමුත් විනිවිද භාවයෙන් තොරවූ වැඩක නිරතවෙලා කියලා ගොඩයාට හිතෙන්නේ මේ දවස්වල තඩියා කෝල් එකකට අල්ලාගැනීම, බල්ලෙක් නාවන්න අල්ලගන්නවට වඩා අමාරු වැඩක් නිසා. ඒ කතාවෙන් මෙතනට වැඩක් නැති නිසා ඒ කතාව පැත්තකින් තියන්න පුළුවන් උනත් ඊයේ තඩියා හදිසියේම ගොඩයාගෙන් අහල එව්වා " උඹ දැන් බ්ලොග් පෝස්ට් කීයක් ලියලා තියනවද" කියන ප්‍රශ්නය. ඒ වෙලේ නිකමට ගොඩයාට හිතුන මූ බ්ලොග් එක කාට හරි විකුනන්නවත් හදනවදෝ කියලත්.


ඔන්න කලින් කිව්ව විදිහට ගොඩයා පැය භාගෙන් වැඩේ අහවරයි. ගොඩයා වගේ කාර්මික උදවිය තමුන්ගේ නිල රථ වැඩිමනක් වෙලාවට නවත්වන්නේ ගොඩනැගිලිවල බඩු භාණ්ඩ පටවන්නට වෙන්කර තිබෙනා කොටසට වෙන්න. ඒකට හේතු දෙකෙන් පළමු හේතුව අවශ්‍ය කරන උපකරණ සහ අමතර කොටස් ගොඩනැගිල්ල වෙත ප්‍රවාහනය කිරීම පහසුව. දෙවැනි හේතුව වෙන්නේ එවැනි ස්ථානවල වාහන නැවත්වීමෙදී මුදල් ගෙවන්නට සිදු නොවීමයි. ගොඩයා මේ කියන දවසේ වාහනය නැවැත්තුවේ ඒ වගේ තැනක වුනත් ඉතුරු පැය භාගය විවේකයෙන් ගතකිරීමට නම් රථය එම පරිශ්‍රයේම වෙනත් ස්ථානයක ගාල්කරගත යුතුයි. ඒ මොකද කියනවනම් වැඩේ අහවර වෙලත් මූ යන්නේ නැතුව මෙතන තවත් ටැග්ගැහෙන්නේ මොකද කියල අදාළ ගොඩනැගිල්ලේ පරිපාලනය ප්‍රශ්න කරන්නට ඉඩ තිබෙනා නිසා.  ඒ ප්‍රශ්නයෙනුත් මිදෙන්න කියල හිටං ගොඩයා ඔන්න රථය පදවාගෙන එනවා ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසට වෙන්න තියෙන රථගාල දිහාවට. මුළු රථගාලෙන් හරි අඩකට වඩා හිස්ව තිබුනත් ඒ හිස්ව තිබෙන ස්ථානයක රථය නවත්වාගන්න බැලින්නම් මෙන්න බොලේ ඒ ගමන තවත් ප්‍රශ්න පත්තරයක් එතන කියමුකෝ. ඒ හැම ඉඩකම පොළොවේ සුවිසාලෙට ලියල තියනවා හිටං මේන් මේ වගේ පණිවිඩයක්..

"TUESDAY MORNING PARKING ONLY"  සිංහලෙන් කියනවනම් " අඟහරුවාදා උදෑසන නැවත්වීමට පමණයි ". ඕන් බලමුකෝ මේ පින්තුරේ තියෙන්නේ ඒ කියන රථ ගාලේ පින්තුරය තමා..





ඒ ලියල තියන පණිවිඩයට අනුව එම ස්ථානයේ වාහන නවත්වන්න පුළුවන් අඟහරුවාදා උදෑසන පමණයිලු. අනේ හැබෑට මේ සා විසාල රථගාලක ඒ රථගාලෙන් තුනෙන් දෙකක්ම අඟහරුවාදා උදෑසනට පමණක් වෙන්කරලා තියෙන අරුමය මොකක්ද කියලා කල්පනා කරකර ගොඩයා රථගාල වටේම රථය වට දෙක තුනක් පදවනවා දැන් මේ කියන අඟහරු දෝසයෙන් මිදීලා අහක්වෙලා වෙනත් තැනක රථය ගාල් කරගෙන ආතල් පහට බ්ලොග් කටුවක් කියවගන්න කියල. ඒත් අවසානයේ ගොඩයා අකමැත්තෙන් වුනත් තේරුම්ගන්නවා අඟහරු දෝෂයට අහුනොවෙච්චි රථ නවත්වන ස්ථාන එකක්වත් ඉතුරුවෙලා නොමැත කියන කනගාටුදායක කාරනාව. ගොඩයාට දැන් ඉතුරුවෙලා තියෙන්නේ අඟහරුවාදා උදෑසනට පමණක් වෙන් වෙච්චි ස්ථානයක රථය ගාල් කරගෙන,  පාර්කින් ටිකට් හෙවත් දඩ ලියන නැන්දී කෙනෙක් හරි මාමි කෙනෙක් හරි එනවද කියල අංශක තුන්සිය හැටටම ඇන්ටනාව දාගෙන බලා හිටින්ට පමණයි. වෙන කරන්නටම විකල්පයක් නොමැති නිසා ගොඩයා ඔන්න ඔහේ ඔනෑ එකක් කියලා හිතාගෙන අඟහරු දෝසයට අහුවෙච්චි තැනක රථය නවත්තලා රියදුරු ආසනය ෂපාන් එකට ඇලකරගෙන බ්ලොගක් කියවන්න මුලපිරුවා කියමුකෝ. ඒත් මොන නිදහසක්ද හිතේ. වෑන් කටුව නවත්තලා තියෙන්නේ නීත්‍යානුකුල තැනක නොවෙන නිසා හිටං, බ්ලොගක පේලියක් දෙකක් කියවනවා ගොඩයා වටපිටාව නිරීක්ෂණය කරනවා. මොකද කියනවනම් ඔය කියන දඩ කොලයක් හෙවත් පාර්කින් ටිකට් එකක් ලැබීම යනු එය කෙලින්ම මවු ආයතනයට දැනගන්නට ලැබීමත්, ඒ පසුපස එන දහසක් ප්‍රශ්න වලට උත්තර බඳින්නට සිදුවීමත්, ඒ මදිවාට ලංකාවේ මුදලින් රුපියල් හයදහසක පමණවන දඩය ගොඩයාගේ පුද්ගලික මුදලින් ගෙවීමට සිදුවීමත් යන කාරනා තුන හින්දා ගොඩයාගේ ඔලුව සෑහෙන නොසන්සුන්. දඩය අතින් ගෙවන එක මහා කජ්ජක් නොවුනත් මවු ආයතනය හා ගොඩයා අතර පවතින කීර්තිනාමය පළුදුවීම ඒ වගේද දෙයියෝ කියලයි ගොඩයාගේ ඔලුවේ තියන අවුල. මොකද කියනවනම් සිරිබර සිරිංකාවේ රජයේ සේවයෙන් පුහුණුකර බලගැන්වූ ලැබූ, රැකියාව අවම මහන්සියකින් උපරීම කාර්යක්ෂමතාවයකින් කිරීමේ ජිල්මාර්ට් ගොඩයා අතිසාර්ථකව වසර බර ගණනක හිටන් කරගෙන එන්නක් නිසා. 

ඔය කියන තත්වය යටතේ මොන බ්ලොග් කියවිල්ලක්ද කියමුකෝ. ගොඩයා වාහනේ ඇතුලේ හිටං ටේබල් ෆෑන්  එක දෙපැත්තට කැරකෙන්න දම්මහේ වම් පැත්ත බලනවා, දකුණ පැත්ත බලනවා ආයේ වම් පැත්ත බලනවා, ආයේ දකණු පැත්ත බලනවා ඉවරයක් නැහැ. ඔන්න ඔහොම පැය භාගය ගතවෙලා ගියා කියමුකෝ.. ඒ පැයභාගේ ඇතුලත කියවපු බ්ලොගක් නෑ. අන්තිමේ ගොඩයාගේ අදාළ රාජකාරිය එතැනින් අහවර කල වගට රාජකාරී පරිඝනකයේ සටහන් කරලා ඔන්න දෙපැත්තට වනපු බෙල්ලත් අතගගා එතනින් පිටත්වෙලා යන්න රථය පදවනවා රථගාලෙන් එලියට. මෙන්න බොලේ රථගාලේ ගේට්ටුවෙන් පිටතට එන්න ඔන්න මෙන්න තියෙද්දී ගොඩයාගේ රථයේ පැති කන්නාඩියෙන් ගොඩයාට ආයෙත් අර කෙහෙල්මල් අඟහරුවාදා උදෑසන කියන තඩි අකුරු වගයක් පේනවා. දර්පණයකින් පසුපස පෙනෙද්දී සිද්දවෙන පාර්ශවික අපවර්තනය නමැති කාරණයට අනුව අකුරු හකුරු වෙලා පෙනුනත් ගොඩයාගේ අක්මාවට වැටහෙනවා මේ පෙනෙන්නෙත් මොකක් නමුත් අඟහරුවාදා උදෑසනට අදාළ කෙහෙල්මලක් තමයි කියන කාරනාව. කුතුහලය කියන එක ගොඩයා උපන් නැකතින්ම අරං ආපු එකක් නිසා ගොඩයා නගිනවා වෑන් කටුවේ බ්‍රේක් පැඩල් එක උඩ සෙනිකවම. ඔන්න වෑන් කටුව රථගාල  මැද නතරවෙනවා හොම්බ බිම ඇනෙන ගානට බ්‍රේක් වැදීගෙන. ඒ අතරේ ගොඩයාට ඇහෙනවා වෑන් කටුව ඇතුලේ පටවලා තිබෙන ගොඩයාගේ යන්ත්‍රෝපකරණ ගලවන උපකරණ සහ අමතර කොටස් සල බාලාං ගාගෙන රථය පුරා විසික් වෙන සද්දයත්. ඒ ඔක්කොම පසුවට නැවත සකස් කරගන්න කියලා හිතාගෙන ගොඩයා බහිනවා රථයේ දොර ඇරගෙන මේ පස්සෙන් පේන අඟහරුවාදා උදෑසන කථාව මොකක්දෝ යකඩෝ කියල බලන්න තියන කුතුහලයට.

ඔන්න එහෙනං බලාගමු ගොඩයා දැකපු බෝර්ඩ් එක.. ඒක දැකපු ගමන් ගොඩයා ආයෙත් වටපිට බලලා හෙව්වේ ලිඳක් එහෙම අහලක පහලක තියෙනවද කියල. ඒත් පේනමානෙක ලිඳක් තිබ්බේ නැති නිසා මේ කුජීත සිද්දිය බ්ලොග් රසිකයින්ට කියවන්න ඉතුරුවුනා.




TUESDAY MORNING කියන්නේ හෙන තඩි විසාල කඩයක් යකඩෝ.. ගොඩයා පාර්කින් ටිකට් ලියන නැන්දීලා මාමිලා එයි කියල බයේ පන ගැහි ගැහී බලාන හිටලා තියෙන්නේ කඩේක ගනුදෙනුකාරයින්ට වෙන් කරපු රථගාලක යකඩෝ කියල දැනෙද්දී කොච්චර කුජීත හැඟීමක් දනුනාද කියනවනම් අහලක පහලක ලිඳක් තිබ්බනම් අම්මපල්ලා පනිනවා පනිනවා පනිනවාමයි.

ගොඩයා පෝස්ටුව ලියලා දින කීපයක් වුනත් මේ පින්තූර හතර මේ පෝස්ටුවට අවශ්‍යම නිසා අද නිවාඩු දවසේ තකහනියේම එතනට ගිහින් පිංතූර ටික අරගෙන ආයෙත් ලැජ්ජාව අලුත් කරගෙන ආව ඕන්..

ඔන්න ඊළඟට තමා පෝස්ටුව ලියන්න උක්තවෙච්චි පීසාවේ කතා පුවත ලියවෙන්නේ. ගොඩයාගේ හිතවතෙක් පහුගිය දොහක පිටරටක සවාරියක් ගියා කියමුකෝ රාජකාරී වැඩකටයුත්තක් සඳහා. හිතවතෙක් කිව්වට ගොඩයා මේ කියන හිතවතාව ගොඩයාගේ දෙමාපියන් තරමටම හදවතේ ඉන්න සහ ගරුකරනා චරිතයක්. ඒ නිසා මේ සිද්දිය වුනත් එහෙන් අවසර ලැබුනේ නැත්තම් කීයටවත් බ්ලොගයේ ලියවෙන්නේ තියා ගොඩයාගෙන් පිටස්තර කිසිම කෙනෙක් දැනගන්නේද නැත. 

ඔන්න දවසක්දා උදේක ගොඩයාගේ ජංගම දුරකතනයට පැමිණෙනවා මේ කියන හිතවතාගෙන් වට්ස්ඇප් ඇමතුමක්. මේ කියන වෙලාව උදේ පාන්දරක් නිසා ගොඩයා උන්නේ රැකියාවට යන්න අවදිවෙන්න කම්මැලිකමේ තනි ඇහෙන් පොරෝනය අස්සෙන් කරුමක්කාර ඔරලෝසුව දිහා බලමින්. දන්නා කියන කෙනෙකුගෙන් පැමිණෙන ඇමතුමක් ගොඩයා කවදාවත් නොසලකා හරින්නේ නැති නිසා ගොඩයා හනික ඇමතුමට උත්තර දෙන බොත්තම ඔබනවා කියමුකෝ. එතැන් පටන් සිදුවූ දෙබස මෙතැන් සිට කියවා සියලු බ්ලොග් රසිකයින් පහන්සංවේගය ඇතිකරගත්වා..

මචං උඹ බිසීද..

මේ උදේ පාන්දර මොන බිසීද බං.. කතාකරන්න පුළුවන්.. කියහන්.. මොකද හදිසියක්ද..

හදිසියක්මත් නෙවෙයි බං.. පොඩි විස්තරයක් දැනගන්න කියල..

ඉස්සෙල්ල කියහන් ටුවර් ඒක හොඳයිද.. දැන් ඔය රටේ වෙලාව කීයද..

දැන් රෑ  බං.. ටුවර් ඒක අවුලක් නෑ.. ඒත් ඉතින් මේ රටේ කෑම තමා කටේ තියන්න බැරි..

ගණන් ගන්න එපා බං.. ඔය මොනාහරි බඩට දාගෙන ජීවිතේ ගැටගහගනින්.. දවස් කීපයයිනේ..

එහෙම කියල නොකා ඉන්න බැහැනේ බං.. මුන්ගේ මල ජරාව කන්න තියා හිතන්නවත් බෑ..

හරි දැන් කියහන් මොකක්ද උඹ හදිසියේ කෝල් කරපු හේතුව කියල..

ඒකත් කෑම ප්‍රශ්නයක් තමයි බං..

ඇයි දැන් උඹට කෑමක් හදන විදිහද දැනගන්න ඕනවෙලා තියෙන්නේ..

නැහැ නැහැ බං..

එහෙනං කියහන් මොකක්ද උඹට වෙන්න ඕන..

මෙන්න මේකයි මචං ප්‍රශ්නේ.. මෙහෙ කෑම කන්නම බැරි නිසා මම ඊයේ මම ඉන්න හෝටලේ ළඟ තියන පීසා කඩේකින් පීසා එකක් ගෙන්නගත්තා..

ඉතිං පීසා ඒකත් කන්න බැරිද..

නෑ නෑ ඒක අප්සෙට් එකක් නෑ ඒක කෑවා...

එහෙනං දැන් මොන මලදානයක්ද උඹ මේ අහන්න යන්නේ මගෙන්.. ඊයේ පීසා කෑවනම් අදත් පීසා කාපං.. ඉවරනේ..

ඉතිං පීසා තමා අදත් කන්න යන්නේ.. දවල් දවසෙම වැඩ වලට හිරවෙලා ඉඳලා රෑට විතරයි කැමති කෑමක් කන්න වෙලාව හම්බෙන්නේ බං.. අපි වැඩකරන පැත්ත හෙන ග්‍රාමීය පලාතක්.. ඔක්කොම තියෙන්නේ පොඩි පෙට්ටි කඩ.. එව්වයේ තියෙන්නේ මුන්ගේ කෑමම විතරයි.. එව්වා කටේ තියන්න බෑ බං..

ඉතිං දැන් කාපං ඕක මට කියා කියා ඉන්න ඕනෙද කෝල් අරගෙන.. 

නෑ නෑ බං පොඩි අවුලක්..

පීසාත් තියෙනවනම් කන උඹට යකෙක් කන්න බඩගිනියිත්නම් දැන් මගෙන් උඹ හදන්නේ පීසා කන්න කරෝල හොද්දක් හදන විදිහ අහන්නද ???

නෑ නෑ බං.. මේකයි ප්‍රශ්නේ.. උඹ මයික්‍රෝවේව් අවන් ගැන දන්නවද...

මම මොකෝ බං මයික්‍රෝවේව් අවන් ගැන නොදන්නේ.. තුන් වේලම කෑම රත් කරන්න ඕක ඉතිං කොයිතරම්නම් උදව් වෙනවද.. දැන් පීසා එකයි මයික්‍රෝවේව් අවන් එකෙයි අතරේ තියන සහසම්භන්ධය මොකක්ද කියහන්..

මේකයි මචං ප්‍රශ්නේ.. ඊයේ ගෙනාපු ලාර්ජ් සයිස් තඩි පීසා ඒක මට ඔක්කොම කන්න බැරිවුනානේ..

ඔව් ඉතිං උඹට එච්චර තඩි පීසා එකක් කන්න සාගරයක් තරම් බඩක් තියෙන්නේපයි..

ඉතිං උඹ පනිනවනේ.. අහපන්කෝ මම කියනදේ..

හා කියහන්..

ඊයේ ගෙනාපු පීසා එකේ ඉතුරු ටික මම හොටෙල් එකේ කාමරේ තියන මිනි ෆ්‍රිජ් එකේ දාල ගියා..

ඉතිං දැන් ඒක කව්රුහරි එකෙක් කාලද.. අවුලක් නෑ .. තව එකක් ඕඩර් කරහන්.. බිල් ටික උඹලාගේ කොම්පැනියෙන් ගෙවනවානේ..

ඔන්න ඉතිං උඹ මගේ යකා අවුස්සනවා.. අහං හිටහන්කෝ.. 

හා කියහන්කෝ..

මේ කාමරේ මිනි ෆ්‍රිජ් එකයි මයික්‍රෝවේව් එකයි දෙකම තියෙනවා මචං.. මම මේ බැලුවේ මයික්‍රෝවේව් එකේ දාල පීසා කෑලි දෙකක් රත්කරගන්න කියල..

ඉතිං දැන් ඕක මට කියා කියා ඉන්නේ නැතුව ඕක රත් කරන කාපං.. හැබැයි පුතා පීසා මයික්‍රෝවේව් දැම්මාම පීසා ඒක චපාති රොටියක් වගේ වෙනවා.. ඒත් අවුලක් නෑ බඩ පුරවගන්න මොනාහරි කන්න එපැයි..

හරි බං.. චපාති හරි ලැවරියා හරි කන්න මේ මයික්‍රෝවේව් මගුල වැඩ කරන්නේ නැහැනේ..

ඒ කිව්වේ..

මේක ඕන් වෙන්නේ නැහැ බං..

උඹ හරියට දොර වහල නැතුව ඇති.. 

නෑ ..නෑ.. බං.. දොර වහල තියෙන්නේ හරියටම..

ඉතිං ඕක විනාඩියක් රත්වෙන්න දාපං..

කෝ ඉතිං ඉලක්කම් ගැහුවට වැඩකරන්නේ නැහැනේ බං..

දැන් උඹ ඉලක්කම් ගහල ඕන් කරාම ඇතුලේ ලයිට් ඒක පත්තු වෙනවද..

මේකේ ඇතුල පෙන්නේ නැති වර්ගයේ එකක් බං..

බලහං ප්ලග් ඒක බිත්තියට ගහලද කියල..

ම්හ්.. ප්ලග් ඒක පේන්නේ නැහැ බං.. මේක කබර්ඩ් එකක් ඇතුලට වද්දල හයිකරලා තියෙන්නේ.. ඒත් ඉලක්කම් ඔබනකොට බීප් සද්දේ එනවා කියන්නේ කරන්ට් ඒක එනවා කියන ඒක නේද..

හ්ම්.. බොත්තම් ඔබනකොට බීප් එනවනම් කරන්ට් එකේ ප්‍රශ්නයක් වෙන්න බෑ ..

කෝකටත් පීසා කෑල්ල ඇතුලට දාලා දොර හොඳට වහලා අංක ඒක ඔබලා ස්ටාර්ට් ඔබහන් බලන්න..

මේකේ ස්ටාර්ට් බොත්තමක් නැහැ බං.. "ඕකේ" කියල එකක් තියෙන්නේ.. මේවා හෙන ගොන් රටවල් බං..

හරි එහෙනං අංක "එක"  හරි "දෙක" හරි ඔබලා "ඕකේ" ඔබහන් බලන්න.

හරි එබුවා.. ම්හ්.. ඒත් මුකුත් නැහැ බං..

එහෙනං බලහං ඕකේ තියෙනවද කියල "ඩීෆ්රොස්" හරි "කුකිං" හරි කියලා බොත්තමක්..

හිටහන් බලන්න......ම්ම්ම්ම්ම්ම්ම්....ම්හ්.. නැහැ බං...

එහෙනං නිකම්ම ඕකේ බොත්තම ඔබහන් බලන්න..

"බීප්"... ම්හ්... නැහැනේ බං...

උඹට හොඳටෝම ෂුවර්ද දොර වැහිලා කියල..

ඔව් බං ඔව් මේක වැහිලා තියෙන්නේ හොඳටෝම...

වෙන්න බෑ .. ආයේ දොර ඇරලා ටිකක් තදින් වහල බොත්තම් ඔබහන් බලන්න...

"දඩාස්"..."බීප්"..."බීප්".... ම්හ්... වැඩකරන්නේ නැහැ බං..

උඹ දන්නවද ඕක හරියටම වැඩ කරන එකක් කියල.. කෝකටත් ගිහින් හෝටලේ රිසෙප්ෂන් එකෙන් අහල වරෙන් ඔය මගුල වැඩ කරන එකක්ද කියල..

ඔව් ඔව් බං.. මේක එහෙම වැඩකරන්න බැහැ.. උන්ගෙන් මේක වැඩකරන කෝර්ඩ් එක ඉල්ලගන්නෝන මෙව්වා පාවිච්චි කරන්න.. මං ගිහින් රිසෙප්ෂන් එකෙන් කෝර්ඩ් එක ඉල්ලන් ඇවිත් තමයි මේ පීසා කෑල්ල රත්කරන්න සෙට් වුනේ..

ඈ....... මම දන්නේ නැහැ ඔය කියන මයික්‍රෝවේව් එක මොන ජාතියේ එකක්ද කියල.. ඒ හින්ද මට ඕකේ ෆොටෝ එකක් ගහල එවපන් බලන්න ඉස්සෙල්ලම..

ඔන්න ගොඩයාගේ හිතවත් මිත්‍රයා මයික්‍රෝවෙව් එකේ පිංතූරයක් එවනවා වට්ස්ඇප් හරහා.. පිංතූරය දැකපු ගමන් ඇඳේ හිටපු ගොඩයා උඩ විසික් වෙනවා අඟහරු ලෝකය ගාවටම.. ෆෝන් ඒක කොහේ විසික්වුනාද කියල නිනව්වක් නැතුව ගොඩයා ඇඳෙන් පැනල බිම වැටීගෙන කොට්ටයක් විකාගෙන හිනාවෙනවා හිනාව නවත්තගන්නම බැරි නිසා.. දුරකතනයේ ඉන්න අනෙක් පාර්ශවයට ඇහෙන්නේ නැතිවෙන්න හිනාවෙලා හිනාවෙලා හිනාවෙලා උදේ පාන්දරම නොමිලේ ලැබිච්ච ආතල් එකේ වින්දනය උපරිමේටම අරගෙන ඊළඟට  ගොඩයා හොයනවා ෆෝන් කටුව කොහේ විසික්වුනාද කියල... ඔන්න  ගොඩයා ෆෝන් කටුව හොයාගන්නවා ඇඳ අස්සෙන් ඇඳ යටට වැටිලා තිබිලා..

හෙලෝ...

මොකෝ බං එකපාරටම සද්ද නැතිවුනේ...

නෑ මේ උඹ එවපු ෆොටෝ ඒක දැකල මම පොඩ්ඩක් අප්සෙට් ගියා..

ඒ මොකෝ.. 

උඹට ඒකෙන් වැඩක් නෑ.. උඹේ ඔය පීසා කෑල්ල කීයක් විතර වටිනවද...

දන්නේ නෑ බං.. මුළු පීසා එකම ඩොලර් වලින් ගත්තොත් පහළොවක් විතරවුනා..

හරි.. දැන් එහෙනං උඹේ ඔය පීසා රත්කරන ආසාව පැත්තකින් තියල ඕකෙ සීතල අඩුවුනාම රත් නොකර කාපං..  ඒ කාලා තව ඉතුරුවුනොත් උදේට වැඩට යනකොට ඉතුරු කෑලි ටික ෆ්‍රිජ් එකේ දාන්නේ නැතුව හවසට ඇවිල්ල කන්න මයික්‍රෝවේව් එකේ දාල පලයන්.. මොකද ඕක තමයි ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන රන් හා වටිනා පලවෙනි පීසා කෑල්ල.

ඇයි මේ මොඩල් එකේ පීසා කෑල්ලක් රත් වෙන්න එච්චර වෙලා යනවද... මොකක්ද දැන් මේ ඉතුරුවෙච්චි පීසා කෑල්ලේ තියන වටිකම.. උඹට උදේ පාන්දර මොලේ පිස්සු වැටිලද..

හරි ඒ කතාව අමතක කරලා මට කියහන් උඹ රිසෙප්ෂන් එකේ එකාගෙන් ඕකේ කෝර්ඩ් ඒක ඉල්ලුවේ මොකක් කියලද..

උඹ මේ බඩගින්නේ ඉන්න මගෙන් පිස්සු ප්‍රශ්න අහන්න එපා බං.. මම කිව්ව  කාමරේ තියන මයික්‍රෝවේව් එකේ කෝර්ඩ් ඒක දෙන්න කියල.. ඉතිං ඌ කොලකෑල්ලක ලියල දුන්න..

හ්ම්..

ඔව්වයින් වැඩක් නෑ.. මට මේක වැඩකරවන හැටියක් කියහන් වල්පල් අහන්නේ නැතුව..

ඔය උඹ ඉන්න හෝටලේ අවට ෆාමසියක් එහෙම නැද්ද...

නැතිවෙන්න බැහැ බං.. අනිවාර්යෙන් තියෙන්න ඕන.. මේක මේ රටේ කැපිටල් එකනේ.. දැන් මට කියහන් මයික්‍රෝවේව් එකයි ෆාමසියෙයි තියෙන සම්භන්දෙ මොකක්ද කියල..

ඉක්මනට ෆාමසියට දුවල ගිහින් පිස්සන්ට දෙන සැරම සැර බෙහෙතින් පෙති දෙකක් ඉල්ලගෙන එකක් උඹ බීලා අර උඹට මයික්‍රෝවේව් එකේ කෝර්ඩ් ඒක දීපු රිසෙප්ෂනිස්ට්ටත් එකක් දීල ඉක්මනට බොන්න කියහන්..

මොන මගුලක්ද යකෝ මේ කියවන්නේ..

ඔව් යකෝ... මගුලක් තමා.. උදේ පාන්දර මෙච්චර ආතල් දෙන්න එපා බං... උඹ ඔය පීසා රත් කරන්න දඟලන්නේ මෙව්වා ඒක මයික්‍රෝවේව් එකක් නෙවෙයි මල හත්ඉලව්වේ..

එහෙනං...

යකෝ ඕක සේප්පුවක්...

හුටා....


කොමෙන්ටුවක් දමාගෙන යමු ඈ...