Saturday, July 22, 2017

අපේ ගුරුවරු 1 - ත්‍රිපෝෂ , හයිබ්‍රිඩ් ටොකු සහ කොස් ගහේ මෙව්ව එක




අම්බලන්ගොඩයට ගුරුවරු ගැන පෝස්ටුවක් ලියන්න කාලෙක හිටං ඕනෑකම තිබුනත් ඒ ඕනෑකම දවසින්දවස මගෑරුනා කියමුකෝ. ඒ හින්ද ගොඩයා මේ ලකලැහැස්ති වෙන්නේ ගුරුවරු කීපදෙනෙක් ගැන මතකය අවධි කරන්න. ගොඩයා හිච්චි එකා සංදියේ හිටං උගන්නපු ගුරුවරුන් ඔක්කමලා ගැන විඩින් විඩේ ලියන්න ඕනෑ කියන හිතිවිල්ල ඔලුවේ තිබුනත් බ්ලොග් ලියවිල්ල එහෙම සැලසුම් කරගෙන කෙරෙන වැඩක් නෙවෙයි නිසා එවෙලෙට හිතට එන දේ ගැන ලියවෙනවා මිසක්ක සැලසුම් කරන එව්වා ලියවෙනවා බොහෝම අඩුයි කියමුකෝ. ඒ හින්ද ගොඩයා තීරණය කළා වෙලාව ලැබෙන විදිහට ගුරුවරුන් ගැන පොස්ටුවක් ලියන්න. 

ඉස්සෙල්ලම ගුරුවරුන් ගැන ලියන්න  පටා...........න් ගනිද්දී පෙර පාසැල් ගුරුවරිය ගැන යමක් සඳහන් නොකර සිටීම එතුමියට කරනා අසාධාරණයක්.  අයන්න ආයන්න ඩබල් රූල් පොතේ රූල් අතරේ ලියන්න පුරුදු කරපු මණුසීලි ටීචර් ගොඩයට මුණගැහෙන්නේ කලුවඩුමුල්ල ශ්‍රී විජයාරාමයේ තිබ්බ පෙරපාසලේදී. ඒ කිව්වේ එක්දහස් නවසිය අසූ දෙක වසරේ වෙන්න ඕන. ඒ කාලේ අද කාලේ වගේ හංදියක් හංදියක් ගානේ පෙරපාසල් තිබ්බ කාලයක් නෙවෙයි. ඒ වගේම ගොඩයාගේ නිවසට ආසන්නම පෙරපාසල වුනේ කලුවඩුමුල්ල පංසලේ පෙරපාසල තමා ඉතින්. ඔය පෙරපාසලේ ගුරුවරුන් දෙන්නෙක් හිටියා කියල මතකයේ තිබුනත් අනෙක් ගුරුවරිය කව්ද ඇයගේ නම මොකක්ද කියන එක ගැන ගොඩයාගේ මතකය හරීම දුර්වලයි. 

ඔය කියන ගුරුවරියන්ට ගොඩයා සම්භන්ධ පළමු අභියෝගය වුනේ අකුරු ලියවීම නෙවෙයි. අකුරු ලියන්න හත් ඉලව්වේ අම්බලන්ගොඩයාව පෙර පාසලේ ඉන්දගන්න එපැයි ඉතින්. කොහේ ඉන්දගැනිල්ලක්ද මයේ අම්මා ගොඩයා පන්සලේ ධර්මශාලාව ඇතුලට අතුල්කරපු ගමන්ම ගුරු දෙපොල යමපල්ලෝ දෙන්නෙක් වගේ දෙපැත්තෙන් ඉඳන් ධර්මශාලාවේ දොර වහනවා කියහන්කෝ. ඊට පස්සේ ගොඩයාගේ භාරකාරයා වෙච්චි පුංචි අම්ම එළියේ.. ගොඩයා ඇතුලේ.. ඉතින් කොහොමද මයේ අම්මා ඉවසාන ඉන්නේ.. ඉතින් ගොඩයා අඬනවා ධර්මශාලාවේ බිත්ති හතර දෙදරන්න. දැන් ඉතින් මේක කියවන උදවිය හිතයි ගොඩයා හෙන සාටර් පොරක් කියල. ගොඩයා විතරක් නෙවෙයි ආයුබෝවන්ඩ, එතන නිකම් මලගෙදරක් වගේ ළමයි භාගෙට භාගයක් ධර්මශාලාවේ දොර දෙපලු කරන්න හදනවා අම්මා ඉල්ලලා. එහෙම බැලුවාම ඒ සද්දෙට කලුවඩුමුල්ල ග්‍රාමය පෘථිවි ගෝලය උඩින් ගැලවිලා විසික් නොවුනා ඇති. මොන්ටිසොරියම එක සීරුවට අඬන්න තියාගත්තාම කව්ද යකඩෝ ළමයි තිහක් හතළිහක් නලවන්නේ. ඒකට මල පනින ටීචර්ලා දෙන්නා අම්මලාගෙන් වැඳ නොවැඳ ඉල්ලා හිටිනවා කියන තැනකට වඳින්නම් හත් ඉලව්වේ මේ ළමයින්ගේ පේන මානෙන් එහාට පලයව් කියල. අම්මලාත් ටීචර්ලාගේ අණ ඇහුනා නෑහුනා ගානට ඒ අස්සෙම ගැවසෙනවා තමුන්ගේ දරු පැටියව දාල යන්න තියන දුකටදෝ කොහේ. 

මුළු මොන්ටිසොරියම මල ගෙදරක් වගේ ධර්මශාලාවේ උළු හෙලවෙන්න අඬදදී ගොඩයා පරාද වෙයිද උන්ට. එහෙම වෙලා බෑනේ හිටං.. ඉතිං උන්ට සහයෝගයක් වශයෙන් ගොඩයත් උන්ට වඩා හයියෙන් අඩනවා පුංචි අම්මව ඉල්ලලා. අම්මලා එළියේ හිටං ළමයි අඬන දිහා බලාන හිනාවෙවී ඉන්න එක ඊටත් එහා ළමයින්ට කේන්තියි. ඇයි යකෝ එහෙම හොටු පෙරාගෙන අඬද්දී එහෙම සමච්චලේට හිනාවෙන එක සාධාරණ නැහැනේ. ගෙවල්වලින් එද්දී කොන්ඩ ලස්සනට පීරලා මුනේ පියරු දාල නළලේ පොට්ටුවක් හෙම තියල අරන් එන මල් වගේ දරු පැටවූ අපේ අප්පෝ ධර්මශාලාවේ දොරෙන් අතුල්කරපු ගමන් ඔක්කෝම මේකප් ආගිය අතක නැතිවෙනවා කියමුකෝ. එහෙම කල්පනා කරාම ශ්‍රී විජයාරාමේ ධර්මශාලාවේ දොරවල්වල කඳුළු තවරපු ළමයි කීයක්නම් ඔය අවට ඇතිද. ඔන්න ඔය අඬන සෙල්ලම ඉවර වෙන්න මාසයක් විතර ගියා කට්ටියටම. ටිකෙන් ටික මොන්ටිසෝරියේ ළමා කැල එකිනෙකාට හුරුවුනාම ගොඩයාත් ටිකෙන් ටික සාමාන්‍ය අතට හැරුනා ඉතිං. 

විවේක කාලයට ටීචර්ලා එකතුවෙලා පොල් ගාලා අනලා හදලා දෙන ත්‍රිපෝෂ ළමයින්ට අනිවාර්ය ආහාර වේලක්. තිහක් හතළිහක් විතර හිටපු ළමයි ලපටි ඔක්කොම පේලියට වාඩිකරවලා ටීචර් කෙනෙක් විසින් ත්‍රිපෝෂ ගුලි දෙක ගානේ බෙදාගෙන යනවා කියමුකෝ. ගෙදරින් ඉන්ටවල් එකට කන්න කෑම පෙට්ටියක් පුරවල මොනවහරි ලැබුනත් ඒ ත්‍රිපෝෂ ගුලි දෙක අනිවාර්යෙන්ම කෑ යුතුමයි. මොන්ටිසෝරියට සාපේක්ෂ මතකයන් තව බොහොමයක් තිබුනත් ඔය ත්‍රිපෝෂ ගුලි දෙකේ රස මතකයන් මොන්ටිසෝරියට වඩා ගොඩයාගේ මතකයේ අමරණීයයි කියලයි ගොඩයාගේ අදහස. ඒ තරම් රස ත්‍රිපෝෂ ආයේ කවදාවත් ගොඩයාට කන්න ලැබුනේ නැහැ කිව්වොත් එක ඇත්තම ඇත්ත කතාවක්. මොන්ටිසෝරි ඉවර වෙලා ගොඩයා පලවෙනි වසරට ඇතුලත් කරපු දවසෙත් ඊට දවස් කීපයක් යනකනුත් අම්බලන්ගොඩයා තාත්තගේ කලිසමේ එල්ලිලා හොටු පෙරාගෙන අඬන්න තියාගත්තේ ගොඩයා පුංචි එකා සංදියේ හිටන්ම සංස්කෘතියට, සභ්‍යත්වයට, චාරිත්‍ර වාරිත්‍ර වලට ගරු කරන නිසාමයි. ඒ ඒ චාරිත්‍ර ඒ ඒ අවස්ථා වලදී සමරන්න ඕනනේ හිටං. 

අම්බලංගොඩයා ඊළඟට ලියන්නේ ලුෂන් සර් ගැන.  ලූෂන් සර් ගොඩයලාගේ පන්තියට ගණිතය උගන්වන්න එන්නේ නවය වසරේදී. අනෙකුත් ගණිතය ගුරුවරුන් අතරින් ලූෂන් සර් වෙනස් වෙන්නේ එතුමාගේ ගණන් ඉගැන්වීමේ ක්‍රමවේදය වෙනස් නිසා. අනෙකුත් ගුරුවරුන් කළු ලෑල්ලේ ගන්න හදල ළමයින්ට උගන්වද්දී ලූෂන් සර්ගෙන් ගණන් ඉගෙනගත්තු ළමයින්ට සිද්දවුනේ ඒකෙ අනික් පැත්ත. ඒ කිව්වේ ළමයි කළු ලෑල්ලේ ගණන් හදල සර්ට ගණන් උගන්වන ක්‍රමයක් තමයි ලූෂන් සර් ඇති සාර්ථකව කරගෙන ගිය ගණන් ඉගැන්වීමේ ක්‍රමවේදය. ඒක බොහොම අසීරුයි... කටුකයි... භයානකයි... හැබැයි අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි එකෙක්වත් ගණන් ෆේල් වෙනවා බොරු... ලූෂන් සර්ගේ ක්‍රමයට ගණන් ඉගෙනගන්න එකෙකුට ඊළඟ ආත්මෙත් ගණන් අමතක වෙන්නේ නැහැ වගේම ලූෂන් සර් අමතක වෙන්නෙත් නැහැ . 

සර් පන්තිය ඇවිත් ළමයි නැගිටලා ආයුබෝවන් කියනකොට ලූෂන් සර් කළු ලෑල්ලේ ගානක් ලියල ඉවරයි ආයුබෝවන්ඩ.. ඊළඟට ළමයි හැමෝම බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නේ කාටද පළමු දිනුම් වාරය ඇදෙන්නේ කියලයි. ඕන්න ඊළඟට ලූෂන් සර් පන්තියේ ඉන්න ගැහැනු පිරිමි මල් පලතුරු ඔක්කොමලා දිහා දානව ස්කෑන් පාරක්. ඒ වෙලාවට ළමයි හතලිස් පහේම හර්දය වස්තුවට ඉලෙක්ට්‍රික් ජෙනරේටර් එකක් හයිකරොත් රටටම කරන්ට එක දෙන තරමේ විදුලියක් නිපදවාගන්න පුළුවන් වෙන තරම් හයියෙන් හැම එකාගෙම හදවත් මෝල අධික වේගයෙන් ගැහෙනවා දෙයියෝ. ලූෂන් සර් පන්තිය දිහා දාන ස්කෑන් පාර නවතින තැන එකාට පළමු දිනුම ඇදෙනවා කොයිතරම් අකමැත්තෙන් වුනත්. ඉන් අනතුරුව සිද්දවෙන්නේ ලූෂන් සර් විසින් නම්කෙරෙන වාසනාවන්තයා කළු ලෑල්ල වෙත ඇවිදගෙන යාමත් ලූෂන් සර් පන්තිය පසුපසට වී ජයමල්ල හිමි එකා හෝ එකී කළු ලෑල්ලේ ගණිත ගැටලුව විසඳන ආකාරය බලා සිටීමත්.  ගණිතය වසනා ලොතරැයිය එතනින් අවසන් නැත පින්වතුනි. ගණන් සෑදු එකා හෝ එකිය ගණන සාදා කළු ලෑල්ල අසල ප්‍රදර්ශන භාණ්ඩයක් සේ හිටගෙන ඉද්දි ඊළඟට ලූෂන් සර් පටා......න් ගන්නවා ආයෙත් සැනසිලි තෑගී දිනුම් සඳහා කුසපත් අදින්න. පළමු ජයමල්ල හිමිවීම ගණන සෑදු එකාට හෝ එකියට වුනත් සැනසිලි තෑගී ජය වාසනාව අඩුම තරමේ දහ දෙනෙකුටවත් හිමිවෙනවාමයි. ඒ දිනුම් හිමිවීම සිදුවෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. 

ලූෂන් සර් පටාන් ගන්නවා හිතෙන හිතෙන එකාගෙන් ගණන් සාදා ඇති ආකාරය සහ පිළිතුර නිවැරදිද යන ප්‍රශ්නය අහන්න. ඉන් අනතුරුව වැරදි පිළිතුරු දුන් සියලුම දෙනාටම  ලූෂන් සර්ගෙන අති අගනා හයිබ්‍රිඩ් වර්ගයේ ටොකු කිහිපයක මිහිර විඳ ගැනීමේ වාසනාව හිමිවෙනවා. මේ ටොකු වලට හයිබ්‍රිඩ් කියන වචනය විශේෂයෙන් කියන්න හේතුවුනේ මෙව්වා දවල් තරු එලොව පොල් යන පහසුකම් දෙකම එකට මුසුකිරීමෙන් සකසාගත් සුවිශේෂී දෙමුහුං ටොකු විශේෂයක් නිසා. විනාඩි හතලිහක ගණන් කාලපරිච්චේදය ඇතුලේ හතලිස් පහක් වෙච්චි ගැහැණු පිරිමි මල් පලතුරු සියල්ලන්ටම පිළිතුර වැරදීම යනු සැනසිලි තෑගී අනිවාර්යයි. ගණන සෑදු පින්වතාට හෝ පින්වතියට, තමා සෑදු ගණිත ගැටලුව වැරදිනම් සුපිරි ජයමල්ල වශයෙන් හයිබ්‍රිඩ් ටොකු තුනක මිහිර තනිව වින්දගනීමේ අවස්තාව නොමිලේම හිමිවෙනවා. ලොතරැයි ඇදිල්ල එතනින් ඉවරයි කියල හිතුවට ඉවර නැහැ පින්වතුනි.. කළු ලෑල්ලේ ගණන හදපු එකා හෝ එකිය හදපු ගණන වැරදිනම් සැනසිලි තෑගී වශයෙන් ඇසූ ප්‍රශ්නයට "ගණන වැරදියි" කියා කියූ එකෙකුට හෝ එකියකට එම ගණනම නිවැරදිව සෑදීම වාසනාව හිමි වෙනවා කියමුකෝ.. නැවතත් පෙර පරිදිම එම ගණන හරිද යන ප්‍රශ්නයට සැනසිලි තෑගී සඳහා කුසපත් ඇදීම ලූෂන් සර් විසින්ම සිදු කරනවා අයියෝ. ඉතින් ඔය අවදානම් සහගත ගණන් පීරියඩ් එක ඇතුලේ ගණන් පාඩමට අවධානය යොමු නොකර වෙනත් ලෝක වල සැරිසරනවා යනු ඔලුව උඩට වැහපන් දෙයියෝ ටොකු වැස්සක් කියලා ප්‍රාර්ථනා කරනවා සමානයි. 


සතියකට දවසක් හෝ දෙකක් ලැබෙන බෝනස් එකක් වගේ ගණිතය ඩබල් පීරියඩ් තියෙනවා යනු ශ්‍රී එෆ් එම් එකේ රෑට යන මූසලම  මුසල අවාසනාවට ඇත්ත කතාවක් හා සමාන අවාසනාවන්තම අවාසනාවන්තම අවාසනාවන්තම සිදුවීමක්.. ගණිතය ඩබල් පීරියඩ් එක අවසන ජී පන්තියේ සියල්ලෝම ගණිතයෙන් පයිතගරස්ටත් එහා කෙල පැමිණි උදවිය වෙන්නේ ඒ පැය එකහමාර ඇතුලත එකෙක්වත් හුස්මක් ගන්නවත් තමුන්ගේ අවදානය ගණිතයෙන් එලියට ගෙනියන්නේ නැති නිසා. මොකද කියනවනම් ඒ හයිබ්‍රිඩ් ටොක්ක ඔලුව උඩට මෝටාර් වෙඩිල්ලක් පහත් වෙන තරමේ එකක් නිසා.


ඒ වගේ වාතාවරණයක් යටතේ "ලූෂන් සර් අද නිවාඩු " කියන ආරංචිය භාවනාවක් වගේ හිත නිවන ආරංචියක් ආයුබෝවන්ඩ. ඒත් ඉතින් ඒ වගේ හිත නිවන ආරංචි අහන්න අපි කරපු පිං මදිවුණා. මොකද කියනවනම් ලූෂන් සර් අවුරුද්දට දවස් දහයක්වත් නිවාඩු ගත්තේ නැහැ. ලූෂන් සර් මොකක්දෝ පුද්ගලික හේතුවකට ටික කාලයකට විදේශගත වීම හේතුවෙන් ගොඩයලාගේ පන්තියට දහය වසරේදී වෙනත් ගුරුවරයෙක් ආදේශ කෙරුණා කියමුකෝ. අවුරුද්දක් දෙකක් වගේ යද්දී ලූෂන් සර් ආයෙත් ඉස්කෝලේ ගණන් උගන්වන්න පටන් ගත්තත් ගොඩයලාට ආයෙත් හයිබ්‍රිඩ් ටොකු කන්න වාසනාව් නැතිවුණා. කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් ගණන් පීරියඩ් එකේ පිස්සු නටන්න ලූෂන් සර්ගේ ක්‍රමය ඇතුලේ එකෙකුටවත් පුංචිම පුංචි ඉඩක්වත් තිබුනේ නෑ. එහෙම කරානම් ඌ එදා ගෙදර ගියේ ටොකු කාපු ඔලුව අතේ අරගෙන. ඔය හයිබ්‍රිඩ් ටොකු වාසනාවේ ජයමල්ල හෙවත් පළමුව කළු ලෑල්ලේ ගණන සෑදීමේ භාග්‍යය වැඩිපුරම දිනාගත් සාමාජිකයින් බොහොම සුළුතරයක් අතරින් අම්බලන්ගොඩයත් එකෙක් යකඩෝ. ලූෂන් සර් පන්තියට ඇවිත් කළු ලෑල්ලේ ගාන ලියල අහක් වෙලා ගොඩයා දිහාවට ඇඟිල්ල දික් කරලා "හ්ම්" කියල කියල ඔලුවෙන් කළු ලෑල්ල දිහාව පෙන්වනකොට ගොඩයාට හිතෙන්නෙම ඇයි දෙයියෝ මම මේ තරම් වාසනාවන්ත කියන සිතුවිල්ලමයි. ගොඩයාට වගේම, හික්කඩුවේ ඉඳන් ඉස්කෝලේ ආපු දැන් සම්පත් බැංකුවේ රාජකාරි කරන අපේ මිත්‍රයෙකුටත් පීරියඩ් එකේ පළමු දිනුමේ ජයග්‍රාහකයා වෙන්න සම සම අවස්තාව ලැබුනා ගොඩයාට මතකයි. මොකද කියනවනම් ලූෂන් සර් හැමදාම පලවෙනි ගාන හදන්න අල්ලාගත්තේ එක්කෝ ඌ නැත්තම් අම්බලන්ගොඩයාව. ඒ වගේ ස්වීප් ඇදෙන්න නම් ඉතින් සංසාරේ පිං කරලා තිබිය යුතුමයි. 


ඔන්න ඔය කාලේ ගොඩයාලාගේ පන්තියට සමාජ අධ්‍යයනය ඉගැන්නුවේ හොඳම හොඳ ටීචර් කෙනෙක්. බොහොම හොඳ වගේම සැර පරුෂ නැති ගුරුතුමියක් විදිහට තමා මිස්ට තිබුන පිළිගැනීම. ගොඩයලා දහය වසරේ ඉද්දි හිටපු පන්තිය තිබ්බේ ගොඩනැගිල්ලේ උඩ තට්ටුවේ. ඒ නිසා ඉගෙනගන්න ගමන්  අවට පරිසරයේ සිරි නරඹන්න ඕනෙනම් ඉතින් ඒකට කාගෙන්වත් තහනමක් නැහැ. ඕන් දවසක් මිස් සමාජ අධ්‍යයනය උගන්නන අතරේ ඉස්කෝලේ කෙලවරේ තියන කොලේජ් ලේන් එකෙන් එහාපැත්තෙ කොස් ගහක වඳුරු රැලක් දහමෙන් සෙමෙන් කොස් ගැට ටිකට වැඩේ දෙනවා කියමුකෝ. ඒ කාලෙට සාපේක්ෂව ඔය කියන සතාට කියන නමින්ම හඳුන්වපු මිත්‍රයෙකුත් ගොඩයාගේ පන්තියේ හිටපු නිසා පාරෙන් එහා පැත්තේ ගහේ වඳුරෝ ඉන්නවා යනු පන්තියේ ඉන්න ඥාති පුත්‍රයාට කොල්ලන්ගෙ අඩම්තෙට්ටමේ ඉවරයක් නැහැ. ටීචර් උගන්නද්දී උනත් අරූගේ පුටුවට යටින් පයින් ඇනිලි වගේ දේවල් නිමක් නෑ. මිස් ඉන්නේ කොලේජ් ලේන් එකේ වඳුරෝ ඉන්න ගහට පිටුපාල නිසා වඳුරු සෙල්ලම මිස්ට පෙන්නේ නැහැ. කොල්ලෝ හැම එකාම පාඩම අහගෙන හිටියට වඳුරු නඩයට ඇහැ ගහගෙන ඉන්නේ උන්ගේ පරපුරෙන් පැවත එන ඥාති පුත්‍රයෙක් පන්තියෙත් ඉන්න නිසා. ගෑල්ලමයිත් හොරෙන් හොරෙන් වඳුරු නඩයට ඇහැ දාන්නේ වඳුරු නඩය හා සමගාමීව පන්තියේ ඉන්න කොලු නඩයත් ටිකක් විතර නොසංසුන් බව දන්නා නිසා. මිස් සමාජ අධ්‍යයනය උගන්නගෙන ගියාට අන්තිම වෙද්දී මුළු පන්තියේම වැඩි අවධානය වඳුරු රැල දිහාවට. මෙන්න බොලේ එක පාරටම එතන හිටපු එක වඳුරෙක් අත්තක් දිගේ ඇවිදගෙන ඇවිත් දීපියකෝ වැඳිරි පෝතිකාවකට උම්මා එකක්.. අප්පද බෝල එතැන හිටං වැඩේ ෆුල් ඇඩල්ස් ඔන්ලි කියහන්කෝ.. මුළු පන්තියම සිනා සාගරේ .. ඔන්න මිස්ට වැඩේ අවුල්.. ඇයි යකෝ මේ යසට පාඩම අහගෙන හිටපු මල් වගේ ළමයි හතලිස් පහක් කිසිම නිමිත්තක් නැතුව බක බක ගාල හිනාවෙන්න ගත්තාම වැඩේ අවුල් නැද්ද මං අහන්නේ.. 

මිස්ට කොයිතරම් කේන්ති ගියාද කියනවානම් එදා පන්තියේම එවුන්ට ඇමතුවා අමතිල්ලක් බඩ කට පිරෙන්න. ඒත් මිස් බනින්න බනින්න මුන් හිනාවෙනා ඉවරයක් නැහැ. මොකද කියනවනම් ගහ උඩ වඳුරු ඩබල අනග රැඟුම් ඒ වෙද්දීත් ඉවර නෑ. ගෑල්ලමයි හොරාට ඇහැ දාල දැක්කේ නෑ වගේ උන්නට හිනාව නවත්තගන්න එක සුම්ම කියමුකෝ. මිස් බනිනවා බැනිල්ලක් අසූ හාරදාහට මල පැනලා උනාට ළමා ලපටි එකෙකුටවත් මෙලෝ ගානක් නැහැ . අන්තිමේ එකෙකුගේන්වත්, එකියකගෙන්වත් හිනහවීමට නිමිත්ත අහගන්න මිස්ට බැරිවුණ තැන මිස් තීරණය කරා ළමයි හිනාවුනේ මිස්ට කියලා. ඉන් අනතුරුව,  පාසල් ජීවිතේ අවුරුදු දහතුනටම මලාට හිනා නොවුන දෙතුන් දෙනෙක් ඇරෙන්න අනික් සියල්ලන්ටම පන්තියෙන් එලියට යන්න වුනා නිමිත්තක් නොමැතිව ටීචර්ට සිනහවීමේ වරදට. සීන් කොන් එකට මිස්ට කොයිතරම් මල පැන්නද කියනවනම් කේස් එක අංශභාර උසාවිය වෙත ෆයිල් කරලා දවස් කීපයක් පන්තියට එන එකත් වර්ජනය කරා. අන්තිමේ පන්තිභාර ගුරුවරියගේ මැදිහත්වීමෙන් සමාජ අධ්‍යයනය ටීචර්ගෙන් සමාව ගැනීමෙන් අනතුරුව වැඩේ සෙන්ට්මෙන්ටල් උනා. නඩුව ඇසීමේදී ළමයි හිනාවුනේ ටීචර්ට නොවෙන වග තදින්ම කියාසිටියත් සිනහවීමට හේතුව කියන්නට එඩිතර එකෙක් පන්තියේම හිටියේ නැහැ. කියන්න පුලුවනිද හත්ඉලව්වේ ඇහින් දැකපු දේ වචන වලට පෙරලුවානම් ඉස්කෝලෙන් ගෙදර එලවනවා එවෙලේම.


ලූෂන් සර්ලා වගේ ගුරුවරු අද වෙද්දී විශ්‍රාම ගිහිං ඉන්න එක ගැන අම්බලංගොඩයා එක පැත්තකින් සන්තෝසයි, ඒ මොකද කියනවනම් අද වෙද්දී ඒ විදිය ගුරුවරුන්ගෙ දඬුවම් වලින් තමුන්ගේ ළමයින්ට අධ්‍යාපනයක්, ශික්ෂණයක් හදනවා බලන් ඉන්න තරම් අද කාලේ දෙමාපියන් ශිෂ්ඨ සම්පන්න නැති නිසා සහ ගුරුවරුන් පාසල ඇතුලෙම දනගස්වන තැනට අපේ සුන්දර රටේ පාලනය මන්දබුද්ධික තත්වයට පත්වෙච්චි නිසා.

Tuesday, July 4, 2017

මිෂන් ඔෆ් ඊටින් හොරෙන්


අම්බලන්ගොඩයා මේ ලියනා පෝස්ටුව ගොඩයාගේ පාසල් කාලය සමගාමී පොස්ටුවක් ආකාරයෙන් ලියන්නයි මේ සුදානම. ගොඩයා පාසල් ගිය කාලයට අදාලව සිදුවීම් සහ ගුරුවර ගුරුවරියන් ගැන තියන මතක ටිකක් අකුරු කරන්න අම්බලන්ගොඩයා කාලයක හිටං හිතාගෙන හිටියත් දවසින් දවස වැඩේ කල්ගියා කියමුකෝ.. ගොඩයා හෝඩියේ පන්තියේ හිටං පහ වසරට පාසල් ගියේ දේවානන්ද විද්‍යාලයට නිසා දේවානන්ද විද්‍යාලයේ ගුරුවරුන් ගැනත් මතකයේ පවතින සිදුවීම් එකක් දෙකක් ලිව්වේ නැතිවුනොත් ඒක අඩුපාඩුවක් වේවි කියලයි ගොඩයාගේ සිතුවිල්ල. 

ගොඩයා දෙවානන්දේ ඉද්දි හෝඩියේ හිටං පහ වසර වෙනකල් ඉගෙනගත්තේ F පන්තියේ කියමුකෝ.. ඒ පංතියත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගත්තොත් F ම තමා..  මේක කියවන උදවියට ඔය F අකුරට පිටිපස්සෙන් කැමති විදිහට ඉතුරු අකුරු දාගෙන තේරුම් ගත්තට ගොඩයා කිසිම අමනාපයක් නැත.. ඒ පන්තියේ කොයිතරම්ව සෞභාග්‍යමත් එකක්ද කියනවනම් ඩේස් එකකට පුටුවකට වලියක්, තුවාලයක් වෙනකං නැව් ගුටි ඇනගැනීමක් හෙවත් අභ්‍යන්තර අර්බුදයක්, එකෙක් අසනීප වී කලින් ගෙදර ඇරලීමක්, පිටස්තර පන්තියක් එක්ක කොසු ඉදල් කැඩෙනකල් ගුටි ඇනගැනිල්ලක් හෙවත් ජ්‍යාත්‍යන්තර අර්බුදයක්,  ඉන්ටවල් එකට කන්න ගෙනාපු කෑම පෙට්ටියේ කෑම අතුරුදන් වීමක්, පෑනක් පැන්සලක් මකන කෑල්ලක් අතුරුදන් වී වෙන එකෙකුගේ බෑගයේ තිබී හමුවීමක්, ටීචර්ලා නැති කාල වේලාවන්හීදී පාසල දෙවනත් වෙන්නට කෑගැහිල්ලට ප්‍රතිපලයක් විදිහට ප්‍රයිමරියේ ප්‍රින්සිබල් වෙච්චි සිරිසේන සර්ගේ වයර් වේවැල පශ්චාත් භාගය සිපගැනීමක් වගේ සුවිශේෂී සිදුවීමක් නැති දවසක් නැහැ. ඒ මුකුත්ම නැති දවසට කව්රුහරි වාසනාවන්තයෙකුට කලිසමේ වැසිකිලි යාමක් වගේ කටක් ඇරලා කියන්න බැරි වර්ගයේ සිදුවීමුත් නැත්තේම නෑ. 

ටීචර් කෙනෙක් නැති කාල වේලාවන්හිදී මල් වැනි අහිංසක කොල්ලන් හතලිස් පහක් එකතුවී ගොඩනැගිල්ලේ උළු හඳට විසික්වන්නටම නගන ඝෝශාවත් , ගුරුවරුන් ඉන්නා කාලපරිච්චේදයන්හිදී එකෙක් දෙන්නෙක් පන්තියෙන් එළියේ දන ගසාගෙන සිටීමටත් සාමාන්‍ය ස්භාවයක්. පැන්සලෙන් ඇනීම වගේ ක්‍රිමිනල් හයිකොට් වර්ගයේ එව්වත් සතියකට එකක් දෙකක් ෂුවර්. කොටින්ම කියනවනම් ඔය කියන පන්තියේ පන්ති භාර ගුරුවරු සියල්ලටම සිද්දවුනේ උගන්නනවාට වඩා කාලයක් නඩු හබ විසඳන්න තමා. ගොඩයා ඉතින් බෝ පැලේ වගේ අහිංසකයි රටක් වටියි වර්ගයේ හැන්ඩ්සම් කොල්ල නිසා ගහමරාගැනීම් වලදී ගොඩයා ඉන්නේ ජ්‍යාත්‍යන්තර රතු කුරුස කණ්ඩායම නියෝජනය කරමින්. ඒක එහෙම වෙන්නේ එෆ් පන්තියේ තිබ්බ ප්‍රථමාධාර කාර්ඩ්බෝර්ඩ් පෙට්ටියේ සියලු වැඩ කටයුතු ගොඩයා භාරයේ තිබ්බ නිසා. ඔය කියන පෙට්ටියේ ප්‍රථමාධාර ඖෂධ වගේම ප්ලාස්ටර් වගේ දේවල් ඉවරවුනේ උණු කැවුම් වගේ. ඒ මොකද කියනවනම් මල් වගේ අහිංසක එවුන් ගහමරාගන්න ගියාම අතට අහුවෙන එකෙන් දමල අනිද්දී මූට තුවාල වෙයි යකඩෝ කියල හිතන්නේ නැතිකම හින්දයි... හිටපු ගමන් ඔය කියන ප්‍රථමාධාර පෙට්ටියේ තියන ප්ලාස්ටර් කපන කතුරත් යුද අවියක් වශයෙන් අවභාවිතාවුනා ගොඩයට හොරෙන්. එකෙක් නැවකට කාලා ඇවිත් බෙහෙත් දාන්න කතුර හොයනකොට තමා ඉදිරිපෙළ සටන් කරුවන් තමුන්ගේ සාක්කුවේ ගන්ගගෙන ඉන්න කතුරු පොඩ්ඩ සාක්කුවෙන් එලියට අදින්නේ.

ඔය කියන F පන්තිය ගැන ලියද්දි අපේ බතලයා ගැන නොලිය ඉන්න එක බතලයාට කරන අසාධාරනයක්. මොකද කියනවනම් F පංතිය පුරාම තිබ්බේ බතලයාට අයිති වෙච්චි පුටු ඩෙස්ක් විතරමයි. ඒ ඇයිද කියල පැහැදිලි කරනවානම් බතලයා ඒ කාලේ ඉස්කෝලේ ආවේ බතලයාගේ අම්මගේ බාල සහෝදරයා එක්ක. අපි හැමෝම බතලයාගේ මාමිව හැඳින්නුවේ චූටි මාමා කියන ආදරණීය නාමයෙන්. ඒ බතලයාගේම ආමන්ත්‍රණය කොපි කිරීමක්. චූටි මාමා උදේට බතලයාගේ පොත් මල්ලත් කර තියාගෙන පන්තියට එනවා කියමුකෝ.. ඔන්න ඇවිත් හොයනවා බතලයාගේ ඩෙස්ක් එකයි පුටුවයි. ඒ හෙවිල්ලට සමගාමීව බතලයාගේ ඩෙස්ක් එකයි පුටුවයි කව්රුහරි එකෙක් අයිති කරගෙන වග චූටි මාමි තේරුම් ගන්නවා. ඔන්න ඊළඟට චූටි මාමි පන්තිය වටේ ගිහින් ඒ බැරිම උනොත් වෙන පන්ති වලට ගිහින් හරි අනික් ළමයින්ගේ මානව හිමිකම් උල්ලංගනය කරගෙන උස්සන් එනවා අලුත්ම අලුත් ඩෙස්ක් එකකුයි පුටුවකුයි. ඊට පස්සේ බතලයාගේ පොත් මල්ලෙන් ප්ලැටිග්නම් එකක් අරන් ඔය උස්සන් ආපු ඩෙස්ක් එකෙයි පුටුවෙයි කකුල් හතරේමයි උඩ ලෑලි වලයි ලියනවා බතලයාගේ අතිජාත නම. චූටි මාමගේ අකුරු හරිම ලස්සන රවුම් අකුරු කියමුකෝ. ඔන්න ඒ ලියල අහවර වෙද්දී මුළු පන්තියේම ඉන්න කොල්ලෝ චූටි මාමි වටේ වටවෙලා බතලයාගේ බුක්තියට සරිවෙන ඩෙස්ක් එකයි පුටුවයි දිහා පෙරේත බැල්මක් දාගෙන ඉන්නවා. ඔන්න ඊළඟට බතලයාට හිමි ස්ථානයෙන් මේ පුටුවයි ඩෙස්ක් එකයි තියල ඒ උඩින් බතලයාගේ පොත් මල්ලත් තියල බතලයාව එතනින්  මලක් වගේ පරෙස්සමට වාඩි කරලා චූටි මාම යන්න යනවා. ඒ යන්න කලින් චූටි මාමා කොල්ලන්ට පොඩි සුන්දර සත්තමකුත් දාන්න අමතක කරන්නේ නැහැ කියමුකෝ..

"ඔන්න අද ඉඳන් මේ ඩෙස්ක් එකයි පුටුවයි XXXXගේ  හොඳද.. කව්රුවත් ගන්නවා එහෙම නෙවෙයි.."

චූටි මාමි එහෙම කියල ගියාට ඔය කියන ඩෙස්ක් එකයි පුටුවයි දවසින් දෙකෙන් බ්ලේඩ් තලයකින් හීරිලා වෙන එකෙක්ගේ බුක්තියට සරිවෙන විත්තිය චුටි මාමි සහසුද්දෙන් දන්නවා. අපේ බතලයත් තමුන්ගේ ඩෙස්ක් එක හෝ පුටුව වෙන එකෙක් බලහත්කාරයෙන් අත්පත්කරගැනීම ධාරානිපාත වලියක් දක්වා දුරදිග අරන් ගියේ නැහැ කවදාවත්. ඒකට හේතුව චූටි මාමිගේ ඩෙස්ක් පුටු සේවාව බතලයාට නොමිලයේ සැපයෙන්නක් නිසා. ඔහොම කාලයක් යනකොට දේවානන්ද විද්‍යාලයේ තියෙන හොඳම පුටු සහ ඩෙස්ක් ගොඩයාගේ පන්තියට පැමිණෙනවා බතලයාගේ චූටි මාමිගේ කරෙන්. කොල්ලෝ බ්ලේඩ්තල වලින් බතලයාගේ නම සූරලා දාල ඩෙස්ක් එක පුටුව අයිතිකරගත්තට බතලයත් දන්නවා මුළු පන්තියේම තියෙන්නේ තමුන්ගේ නමට ලියවෙච්චි ඩෙස්ක් පුටු කියල. චූටි මාම හරිම අහිංසක සුන්දර මනුස්සය නිසා පුංචි එවුන් එක්ක රණ්ඩුවට යන්නේ නැතුව ඉස්කෝලේ පුරා ඇවිදලා කොහෙන් හරි අලුත් පහේ ඩෙස්ක් එකක් පුටුවක් හොයාගෙන එනවාමයි කියල බතලයා දන්නවා.



මේ සිදුවීම සිද්දවුනේ ගොඩයා පහ වසරේ ඉද්දි. ඉන්ටවල් එක ලංවෙද්දි පුංචි එවුන්ට බඩගිනි උහුලන් ඉන්නේ ඉතින් සෑහෙන්න අමාරුවෙන්. ඒ හින්ද ඉන්ටවල් එකට කන්න ගෙනියන කෑම එක ගුරුවරු උගන්නන අතරේම හොලා වගේ කෑල්ලෙන් කෑල්ල කටේ ඔබාගනීම සාමාන්‍ය සිරිතක් කියමුකෝ.. ඔන්න අම්බලන්ගොඩයා පහ වසරේදී වගේ ඉංග්‍රීසි උගන්නන්න ආව ඉංග්‍රීසි ටීචර් කෙනෙක්. බුදු අම්මෝ හොස්ස ලඟින් මැස්ස යන්න බැහැ ටීචර් කොච්චි කරලක් වගේ සැරම සැරයි. ටීචර් ඉංග්‍රීසි උගන්නන පීරියඩ් එක ආයේ පන්තියට හිට්ලර් ආව වගේ තමා. ඉංග්‍රීසි ටීචර් කොයිතරම්නම් භීෂණයක් පන්තිය පුරා පැතිරුවාද කියනවනම් ඉංග්‍රීසි ටීචර් ඉන්න වෙලාවට එෆ් පංතිය පන්සලක් වගේ නිස්කලංකයි, ළමයි මල් වගේ අහිංසකයි. කොටින්ම කියනවනම් මීක් සද්දයක් නෑ හැමෝම ඉංග්‍රීසි වලට හෙන උනන්දුයි. ඒ මොකද කියනවනම් හැම එකාම ඉන්නේ කොයි වෙලාවේ වේවැල් පාර පිට මැදට පතබෑවෙයිද කියන සිතුවිල්ලෙන්. ටීචර් පන්තියේ ඉංග්‍රීසි උගන්නන වෙලාවට ගහකින් කොළයක්වත් බිමට වැටෙන්නේ නැති තරම් අහල පහල ගස් වැලුත් ටීචර්ට බයයි.

ටීචර් කෙනෙක් උගන්නන වෙලාවට වතුර තිබහක් එහෙම ආවාම පොත් මල්ල ඇතුලේ තියන වතුර බෝතලෙන් වතුර උගුරක් බොන එක ළමයින්ගේ සාමාන්‍ය ස්භාවයක් කියමුකෝ. ගොඩයා එක්ක හිටියා ඒ කාලේ තරංග කියල යාලුවෙක්. ඕන් එක්තරා දවසක ඉස්සරහ පේලියේ කට්ටියට පිලිවෙලින් මෙහෙමයි.. පළවෙනියට ටීචර් ලඟම ඉන්නේ මනින්නා පොස්ටුවේ සඳහන් වෙන, වීරවිල ගුවන් හමුදා කඳවුරේ ලොකු නිලයක් හොබවපු අපේ මිත්‍රයා. ඊළඟට මේ කලින් කියපු තරංග, ඊළඟට ගොඩයා, ඊළඟට අපේ බතලයා, ඊළඟට හිටපු කෙනා මතක නැහැ කියමුකෝ. ඉංග්‍රීසි ටීචර් ඉංග්‍රීසි උගන්නන අතරේ අපේ තරංගට වතුර තිබහක් ඇවිත් වතුර බෝතලේ අරන් වතුර උගුරක් බිව්වා විතරයි ඉංග්‍රීසි ටීචර්ගේ රේඩාර් පද්ධතියට තරංගයා මාට්ටු..

උඹ හිතුවද බූරුවෝ උඹ  ට්‍රිප් එකක් යනවා කියල මම මෙතන උගන්නද්දී උඹ වතුර බොන්නේ  .. නැගිටපිය..

අපේ තරංග කරන්ට් එක වැදුන වගේ හෙල්ලිලා ගියා .. ඒ මොකද කියනවනම් ටීචර්ගේ සද්දෙට බිල්ඩිමත් හෙලවෙන එකේ තරංග හෙලවෙන එක අහන්න දෙයක්ද..

නැගිටපිය.....දාපිය වතුර බෝතලේ බෑග් එකට.. 

එකෙක් හරි මම උගන්නන අතරේ වතුර බීල එහෙම අහුවුනොත් හම ගහනව දැනගනිල්ලා.. ඒකට තමයි විවේක කාලයක් දීල තියෙන්නේ..

තරංග වතුර බෝතලේ බෑග් එකට දාගත්තාවුනාට ඉංග්‍රීසි පීරියඩ් එක ඉවර වෙනකල් හිටගෙන ඉන්න වුනා.. බෝනස් එකක් විදිහට වේවැල් පාරවල් දෙකකුත් ලැබුනා කියමුකෝ.. එදායින් පස්සේ ඉංග්‍රීසි මිස් පන්තියේ උගන්නන වෙලාවට දිව ගිලෙන්න ගියත් එකෙක්වත් කෙලවත් ගිල්ලේ නැහැ.. කොටින්ම කියනවනම් ඉංග්‍රීසි ටීචර් පන්තියේ ඉන්න වෙලාවට බිල්ඩිම උඩින් කුරුල්ලෙක්වත් ඉගිල්ලුනේ නැහැ කිව්වොත් තමයි හරි. 

ඔය කියන ඉංග්‍රීසි පීරියඩ් එක තිබ්බේ හරියටම ඉන්ටවල් එකට කලින් පීරියඩ් එකේ.. ඒ වෙලාව ගැන විශේෂයෙන් කියනවනම් බඩේ පනුවෝ එකතුවෙලා ලිෆ්ටන් වටරවුම ගාව පිකට් කරන වෙලාව. ඒ වෙලාවට බෑග් එකේ තියන කෑම පෙට්ටිය තමයි ඉංග්‍රීසි ටීචර්ගේ ඉංග්‍රීසි ඉගැනිල්ලට වඩා වැදගත්. ඉංග්‍රීසි කවදා ඉගෙනගන්න බැරිද කියල ඒ වෙලාවට කෙරෙන්නේ කෑම පෙටියේ තියන කෑම ජාතියෙන් කෑල්ලක් කටට දාගන්නේ කොහොමද දෙයියෝ කියල කල්පනා කරන එක විතරයි.

ටීචර් උගන්නන අතරේ හොරාට කෑම කෑමත් එක්තරා කලාවක්. පළමුවෙන්ම පොත් මල්ල ඇතුළට අතක් දාල කෑම පෙට්ටිය ස්තානගත්වෙලා තියන ස්ථානය ගැන නිසි අවබෝධයක් ලබාගැනීම ඉතා වැදගත්. ඉන් පසුව ටීචර්ට හොරෙන් පොත් මල්ල ඇතුලේ තියන කෑම පෙට්ටිය හරස් අතට තබාගත යුතුයි. මොකද කියනවනම් තිරස් අතට තිබෙන කෑම පෙට්ටිය පොළොවට සමාන්තරව තබාගැනීම වැදගත්. ගොඩයාට ඉන්ටවල් එකට කන්න ගෙදරින් දාලා දෙන කෑම පෙට්ටියේ තියෙන කෑම වර්ගය කුමනාකාරයක කෑමක්ද කියන එක ගොඩයා නොදන්නා නිසා බෑගයේ තිබියදී කෑම පෙට්ටිය විවෘත කිරීම බොහොම භයානක කර්තව්‍යක්. ඔය හොරෙන් කෑම කන වැඩේ පටන්ගත්තු මුල් කාලේ ඇතුලතම ගොඩයා ඉගෙනගත්තු පලවෙනි පාඩම තමා කෑම පෙට්ටිය පොළොවට සමාන්තර ස්ථානයක හොඳින් ස්තානගතකර විවෘත කිරීමෙන් වැඩි උපයෝගීතාවයක් ලබාගත හැකියි කියන කාරණය. මුල් කාලේ එහෙම නොදැන කෑම පෙට්ටිය තිරස් අතට තියාගෙන විවෘත කරපු වේලාවන් වල කඩල, කවුපි, මුන්ඇට වගේ දේවල් පොත් මල්ල පුරා සීසීකඩ ගියාම ගොඩයා දැනගන්නවා වැඩේ නාගත්ත කියල. එදාට ඉතින් ඉන්ටවල් එකට කන්න වෙන්නේ පොත් මල්ලට ඔලුව ඔබාගෙන කුකුළා වගේ අහුලාගෙන තමා. ඒ වගේ දවස් වලට පොත් පෙන්නන්න ටීචර්ලා ලඟට ගියාම ටීචර් පොත පෙරලද්දී කඩල කව්පි ඇට පොත් අස්සේ තිබිල බිමට රෝල් වෙනවා කියහන්කෝ. ඉතින් ටීචර්ලා පොත උස්සලා බිමට ගැසුවාම මේන් කඩල, කවුපි, මුන්ඇට බිම පුරා රෝල් වෙනවා. ඒ වෙලාවට ගොඩයාට සිද්දවෙනවා ටීචර්ගේ විධානයෙන් කොස්ස අරන් ඇවිත් එව්වා පිහදාල කුණු බක්කියට දාන්න. එදාට ඉතිං ගෙදර යනකම් ගොඩයා බඩගින්නේ.


 ඔය හොරාට කෑම පුරුදු උනායින් පස්සේ ටීචර් උගන්නද්දී හොඳ බබා වගේ ඉඳගෙන පොත් මල්ලට අත ඔබලා කෑම පෙට්ටිය ඇතුලේ තියෙන්නේ කුමනාකාර කෑමක්ද කියලා අවබෝධයක් ගැනීම සිම්පල් වැඩක්. ඒ වෙලාවට ගොඩයාගේ අත කෑම පෙට්ටිය සීරුවට විවෘත කරගෙන ඒක ඇතුලේ තියන කෑම ජාතියේ හැඩය, වර්ගය, සාදා තිබෙන ආකාරය වගේ සාධක සියල්ලම ස්පර්ශය මගින් නිරීක්ෂණය කරනවා. කොටින් කියනවනම් ඒ වෙලාවට ගොඩයයි ගොඩයාගේ අතයි කියන්නේ දෙන්නෙක් කිව්වොත් තමා හරි. ගොඩයා හොඳ බබා වගේ ඉංග්‍රීසි ඉගෙනගන්න අතරේ අත වෙනම මිෂන් ඔෆ් හොරෙන් කෑම සක්සස් කරගන වෙහෙසෙනවා.


හොරෙන් කෑම කන එක බොහොම සූක්ෂමව කලයුතු කාරියක් නිසා පළමුව කල යුත්තේ කෑම පෙට්ටිය තිරස් අතට තබා විවෘත කරගෙන ඇතුලේ තිබෙන්නේ කුමනාකාර කෑම වර්ගයක්ද යන්න ස්පර්ශය මගින් නිරීක්ෂණය කිරීම. ඊළඟට කල යුත්තේ එක කටට ගිල දැමිය හැකි කොටසක් කෑම එකෙන් කඩා වෙන්කර ගැනීම. උදාහරණයක් විදිහට කියනවනම් කෑම පෙට්ටියේ තිබෙන්නේ පාන් වැනි ද්‍රව්‍යයක් නම් එයින් කුඩා කොටසක් කඩා වෙන්කරගැනීම. ඉන් පසුව ටීචර්ට නොදැනෙන්න පොත් මල්ලේ ඇතුලේ තියන අත අර කඩාගත්තු කෑම කොටසත් සමග එලියට ගත යුතුයි. දැන් ඊටින් හොරෙන් කෑම මිෂන් එකේ පලවෙනි කොටස සාර්ථකව අවසන් වෙලා අහවරයි. 

ඊළඟට තියෙන්නේ ඔබ්සර්වේෂන් පාර්ට් එක හෙවත් නිරීක්ෂණය කිරීමේ කොටස. මෙතැනදී නිරීක්ෂණය වෙන්නේ ටීචර්ගේ බිහේවියර් එකයි. ඒ කිව්වේ ටීචර්ගේ හැසිරීම. ටීචර්ලාගේ විෂන් රේන්ජ් එක වයිපරේ දැම්ම වගේ දෙපැත්තට විහිදෙන වර්ගයේ එව්වා වෙන්නේ ටීචර් උගන්නනකොට මුළු පන්තියේම ඉන්න ළමයින් දිහා හොඳින් නිරීක්ෂණය කරන නිසා. ඒ නිසා මේ ඔබ්සර්වේෂන් පාර්ට් එකේදී ගොඩයා විසින් නිරීක්ෂණය කරන්නේ කුමනාකාර රටාවකින් සහ කාල පරාසයකින් ගොඩයා ඉන්න දිහාවට ටීචර්ගේ රේඩාර් පද්ධතිය යොමු කරනවාද කියලයි. ගොඩයා ඉන්නේ ටීචර්ගේ දකුණු අත පැත්තේ නිසා ටීචර් උගන්වන ගමන් දකුණේ ළමයින් නිරීක්ෂණය කරලා වමේ ඉන්න ළමයින් නිරීක්ෂනය කරන කාල අන්තරය අතර තත්පරයක නිමේෂයෙන් ගොඩයාගේ අතේ තියෙන කෑම කොටස තත්පරයට හැතැක්ම දහස් ගණනක වේගයෙන් කට ඇතුලට එබෙනවා.  දැන් කෑම කෑවා දැන් වැඩේ ඉවරයි කියල කිව්වට එහෙම නෑ..

ඊළඟට තියන කාර්යය තමයි කටේ නිරුපද්‍රිතව තිබෙන කෑම කොටස රස විඳ  හොඳින් විකා උගුරෙන් පහලට තල්ලු කිරීම. ඒ කොටසත් සෑහෙන්න අවදානම් කටයුත්තක් වෙන්නේ කට හෙලවෙනවා ඉංග්‍රීසි මිස්ට මාට්ටු වීම යනු පෙරේදා කාපුවත් එක්කම එලියට දාන්න වෙන තරමට වේවැල් කසාය බොන්න නොමිලේ ලැබෙන අවස්ථාවක්. ඒ නිසා අර කලින් කරපු ඔබ්සර්වේෂන් පාර්ට් එක කරන ගමන්ම ටීචර් වම් පැත්තේ ළමයින් දිහා බලන අල්ලපනල්ලේ කොටස් වචයෙන් මතු සම්භන්ධයි ආකාරයෙන් කටේ තිබෙන කෑම ටික විකමින් රස විඳිය යුතුයි. කට ඇතුලේ ඒ සියල්ල සිද්දවෙන අතරේ හොඳ පුතා වගේ ඉංග්‍රීසි ඉගෙනගන්න ආකාරයෙන් ටීචර් දිහා බලාගෙන සිටීම ඉතා වැදගත්. ඒ රස වින්ද කෑම ටික උගුරෙන් පහලට යැවීමත් ඒ වගේම පරෙස්සමට කරන්න ඕන කාරණයක් වෙන්නේ තරංග වතුර බීපු දවසේ හිටං ඉංග්‍රීසි පීරියඩ් එකේදී ටීචර්ට පෙනෙන්න එකෙක්වත් කෙළ ජුන්ඩක්වත් උගුරෙන් පහලට නොයවන්න වග බලාගන්න හින්ද. 


ඔය වැඩේ තියන ලොකුම අවාසිය තමා ඉන්ටවල් එකේදී සප්‍රයිස් වෙන්න නොමිලේ ලැබෙන අවස්ථාව. ඒ කොහොමද කියනවනම් එතෙක් වෙලා සෑහෙන්න දුකක් විඳගෙන හොරෙන් බඩට දමාගත් ආහාරවේල නිත්‍යානුකූලවම කන්න ලැබෙන විවේකයේදී ඔය කියන කෑම පෙට්ටිය විවෘත කරලා බැලුවාම තමයි දැනගන්න ලැබෙන්නේ දන්නෙම නැතුව ඔක්කොම කාලා කියල.  හුඟක් දවස්වලට ඉන්ටවල් එක වෙද්දී ඉතුරු වෙලා තියෙන්නේ කෑම පෙට්ටියයි පියනයි විතරයි කියමුකෝ. 

ඔන්න ඔයාකාරයෙන් ඔය වැඩේ පුරුද්දක් විදිහට බහුතරයක් එවුන් කරගෙන යනවා ටීචර් කොයිතරම් සැරපරුෂ උනත්.. ටීචර් හිට්ලර් වගේ උනත් බඩපනුවන්ට හිට්ලර් කොයිතරම් සැර පරුෂද කියන එක අදාළ නෑ. හිටපු ගමන් පන්තිය ඇතුලේ එන කෑම සුවඳවල් වලට බඩගින්න උහුලගන්න බැරුව ඉන්න අනික් එවුනුත් මිෂන් ඔෆ් ඊටින් හොරෙන් වැඩේට බහින්නේ අවධානම සියතින් අරගෙනයි. ටීචරුත් හිටපුගමන් නාසයට දැනෙන කෑම සුවඳවල් වලට තමුන්ගේ  රේඩාර් සංවේදක සුසර කරලා බැලුවට කොල්ලෝ ඔක්කොම බෝ පැල වගේ බොහොම අහිංසක ලීලාවෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න වග තමුන්ගේ මුහුණු වලින් පෙන්වනවා. පංතිය දිහා බැලුවාම ඒ තරම් ඉංග්‍රීසි ඉගෙනගන්න උනන්දුව තියෙන සිසුන් එංගලන්තේත් නෑ කියල ටීචර්ට හිතෙන තරමට අපේ එවුන් අහිංසක ලීලාවෙන් ටීචර් දිහා බලාන ඉන්නවා.

 ඔන්න දවසක් ගොඩයා හතරවෙනි පීරියඩ් එකේ  මිෂන් ඔෆ් ඊටින් හොරෙන් වැඩේ කරන යනවා සෑහෙන්න සූක්ෂමව. ටීචර්ගේ රේඩාර් සංවේදක වම් පැත්තට හැරුන විගහින්ම ගොඩයා අතේ තිබ්බ බටර් පාන් කොටහ කටේ ඔබාගත්තා කියමුකෝ. වැඩේ සක්සස් ටීචර්ට මාට්ටු නෑ. මෙන්න බොලේ ටීචර් ගොඩයා දිහාවට හැරිලා අහපි එංගලන්තෙට ඉංග්‍රීසියෙන් කියන නම මොකක්ද ස්පෙලින්ග්ස් කොහොමද කියල.. දැන් දීපන්කො උත්තර. කටේ බේකරියක් ගානට පාන්. මග හිටියොත් තෝ නසී ගෙදර ගියත් ඒත් තෝ නසී වර්ගයේ අලන්කලන්චියක් නිසා ගොඩයා ගල් ගිල්ල වගේ ඉන්නවා. උත්තර දෙන්න ගිහින් කටේ තියන පාන් ටීචර්ට හසුවීම වේවැල් පාරවල් කීයක් කන්න වෙන වරදක්ද කියල ගොඩයාට උපකල්පනයක් නැති උනාට ඒ වගේ වරදක් කරලා හසුවීම නිල මට්ටමින් වේවැල් පාරවල් අවමය මෙච්චරයි උපරිමය මෙච්චරයි කියන රීති රාමුවකට යටත් නැහැ කියල ගොඩයා දන්නවා. ඒත් උත්තරයක් බැරිවීම වගේ වරදකට ලැබෙන්නේ උපරිම උනොත් වේවැල් පාරවල් දෙකක් හෝ තුනක්. ඒ නිසා ගොඩයා තීරණය කරනවා ගොඩයාට වැඩියෙන්ම ලාභ ලැබෙන වේවැල් පාරවල් ගණන තෝරාගන්න.

තමුසෙට ඇහුනද මම අහපු ප්‍රශ්නේ.. 

ම්හ්.. ගොඩයා සද්දයක් නෑ.. මුළු පන්තියම සිනා සාගරයක්... මොකද පන්තියේ උන් දන්නවා ගොඩයා ගල් බිල්ලා වගේ ඉන්නේ කට ඇතුලේ මොනවහරි පුරවාගෙන කියලා.

උත්තර දෙනවා.. තමුසේ පාඩම අහගෙන නෙවෙයිද හිටියේ..

ම්හ්.. ගොඩයා නෙවෙයි කට හොලවන්නේ.. ටීචර් අල්ලයි මානානේ කොක්කු කිව්වලු..

පන්තියේ ඉන්න කොල්ලෝ හතලිස් හතරම ගොඩයට හිනාවෙනවා උනාට ටීචර් උන් දිහාට දාන යක්ස බැල්මෙන් උන් ඔක්කොම මීයට පිම්බා වගේ සද්දේ වහගන්නව. උන්ට විනෝදෙ.. ටීචර් ගොඩයට රේඩාර් එක ෆෝකස් කරන අල්ලපනල්ලේ ටීචර්ගේ වම් පැත්තේ ඉන්න එවුනුත් තමුන්ට ලැබිච්ච චෑන්ස් එකෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන මිෂන් ඔෆ් ඊටින් හොරෙන් ලෙසටම කරගෙන යනවා. ඒ අස්සේ ටීචර් ඉන්න තැනින් ගොඩයා ගාවට ඇවිත් වේවැල ලෙළදෙවමින් තමා ගොඩයාව ප්‍රශ්න කරන්නේ.

අයිසේ මට තමුසෙව හුරතල් කරන්න වෙලාවක් නැහැ.. කියනව මම අහපු ප්‍රශ්නෙට උත්තරේ.. 

ඉතින් හත් ඉලව්වේ එංගලන්තෙට ඉංග්‍රීසියෙන් කියන්නේ ඉංග්ලන්ඩ් කියල ගොඩය දන්නවා. එංග්ලන්ඩ් වලට අකුරුත් ගොඩයා දන්නවා.. ඒත් කියන්නේ කොහොමෙයි කටේ තියන බටර් පාන් එක්ක. එහෙම උනොත් කියන්න වෙන්නේ එංගලන්තෙට ඉංග්‍රීසියෙන් කියන්නේ බටර් පාන් කියල තමා.

ටීචර් ගොඩයා ගාවටම ඇවිත් ගොඩයාගේ පස්ස පැත්තටත් එබීල බලනවා.. මොකද කියනවනං ඔය කතා නොකර ගල්බීත වෙන රෝග ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ කුමනාකාර අසනීපයක්ද කියලා ප්‍රාථමික ගුරුවරුන් දන්නා කියන නිසා..

ටීචර්ගේ ඉවසීම අවසන් වෙච්චි තැන එච්චර වෙලා ලෙළදෙවමින් හිටපු වේවැල් රාජයා ගොඩයාගේ පිට හරහා කිහිප වාරයක් ස්පර්ශ කරගෙනම ගොඩයා පන්තියෙන් එලියට විසික් වෙනවා. ගොඩයට වෙන්න ගිය අලකලංචියට අනුව වෙච්චි අලකලංචිය දාහෙන් සම්පතයි කියමුකෝ. වැඩේ මාට්ටු නොවී වේවැල් පාරවල් කීපයක් කාගෙන පන්තියෙන් එලියට තල්ලු කරලා දානකොටම ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ගොඩයා එතෙක් වෙලා කටේ හිරවෙලා තිබ්බ බටර් පාන් කෑල්ල ගලනාලය හරහා අමාශගත කරගන්න සමත් වෙනවා..

ඉංග්ලන්ඩ්... ඊ එන් ජී එල් ඒ එන් ඩී..

මොකක්..

ඉංග්ලන්ඩ්... ඊ එන් ජී එල් ඒ එන් ඩී..



තමුසෙලාට දෙකක් අනිනකල්ම උත්තර මතක් වෙන්නේ  නෑ.. වාඩි වෙනවා ගිහින්.. මුන්ව හදන්නනම් දෙකක් නොගහ හරියන්නෙම නෑ.

ගොඩයා ඇස් ගෙඩි දෙක ලොකු කරගෙන ටීචර් දිහා බලාන ඉන්නවා. ටීචර් හිතන්නේ පිට හරහා දීපු වේවැල් පාරවල් කීපයට ගොඩයා ඇස් දෙක ලොකු කරන් බලාන ඉන්නවා කියලා වෙන්න ඇති . ඒත් ඒ, විකන්නෙත් නැතුව ගුඩුස් ගාලා ගිලපු බටර් පාන් ගුලිය ගල නාලය ඉරාගෙන පහලට යන අමාරුව නිසා වග දන්නේ ගොඩයා පමණයි. පාන් ගුලිය ගලනාලය ඉරාගෙන පහලට යන අමාරුව වේවැල් පාරවල් දෙතුන් සීයකටත් එහා කියලයි ගොඩයාගේ අනුමානය.

තරංග ශිෂ්‍යත්වේ පාස් වෙලා කොළඹ ඉස්කෝලෙකට ගියා. අම්බලංගොඩයයි, බතලයයි, අපේ ගුවන් හමුදාවේ මිත්‍රයයි, තවත් එක මිත්‍රයෙකුයි ධර්මාශෝකයට ආවා. එදා හිටන් අද වෙනකම් තරංග ගැන කිසිම ආරංචියක් අම්බලන්ගොඩයට දැනගන්න ලැබුනේ නැහැ. 

බටර් පාන් ඉඳල හිටලා කෑම පෙට්ටියට වැටුනා උනාට ඒ කාලේ ගොඩයට ගෙදරින් වැඩිපුරම ලැබුනේ ධාන්‍ය වර්ග පමණයි. ධාන්‍ය වර්ග කොයිතරම් ලැබුනද කියනවනම් ඒ කාලේ දෙවානන්දේ කොල්ලෝ ගොඩයට කිව්වේ කවුපියා කියල. ඒ ඉතින් ගොඩයට වැඩිපුරම ගෙදරින් ලැබුනේ කවුපි හින්දත් කවුපි කියන වචනය ගොඩයාගේ නමේ කෑල්ලක් එක්ක යාන්තමට ගැලපෙන හින්දත් නිසයි. ඒ කාලේ ගොඩයා කොච්චර කවුපි කෑවද කියනවනම් අද වෙද්දීත් කවුපි කියන්නේ ගොඩයට දැක්කාම මල පනින කෑමක්. 

පින්තුරය ගත්තේ මෙතනින්
http://clipartix.com/