Wednesday, August 28, 2019

මුබාරක්




මුබාරක් අම්බලන්ගොඩයාට හමුවෙන්නේ දෙදහස් එකොළහ අවුරුද්දේ අගභාගයේ  එක්තරා දවසක. ගොඩයා ඉන්නේ ජීවත් වෙන්නේ පිටරටක නිසා කොතනදී උනත් ලංකාවේ කෙනෙක් මුණගැහුනාම කතාබහ කරන එක ගොඩයාගේ සාමාන්‍ය සිරිතක්.  දෙදහස් එකොලහ අවුරුද්දේ නත්තල් සාදයකදී තමයි මුබාරක් ගොඩයාට  පළමු වතාවට හමුවෙන්නේ. ගොඩයාට වඩා අවුරුදු විස්සකින් පමණ වැඩිමහලු උනත් මුබාරක් ගොඩයාව ඇමතුවේ "මල්ලී "යන ආමන්ත්‍රණයෙන්. දකින හමුවෙන හැම කෙනෙකුටම "මල්ලි කොහොමද" කියලා ආමන්ත්‍රණය කරන්න මුබාරක් එතැන් පටන් කතාව දිගටම අරන් ගියේ කාලයක් තිස්සේ දන්නා අඳුනන කෙනෙක් හමුවුන ලීලාවෙන්,

මුබාරක් රැකියාව විදිහට කලේ ටැක්සියක් පදවපු එක. වෘත්තීය ටැක්සි රියදුරෙක් විදිහට ටැක්සි කොම්පැනියක් එක්ක අවුරුදු තිහක් විතර රැකියාව කරපු මුබාරක් වයසට යාමත් එක්කම පුද්ගලික ටැක්සි රියදුරෙක් විදිහට තමුන්ගේම රථයෙන් රැකියාව කරගෙන ගියා. ගොඩයා ඉන්න නගරයේ ලංකාවේ කෙනෙකුට ටැක්සියක් උවමනා උනොත් කෙලින්ම ඇමතුවේ මුබාරක්ට. මුබාරක් ළඟ කවදාවත් නෑ  බෑ කියන  වචන දෙක තිබ්බේ නෑ. කොයි මොහොතක කතා කරත් අරි මල්ලි මං වෙලාවට එතන ඇති කිව්වනම් මුබාරක් අනිවාර්යේන්ම කිව්ව වෙලාවට විනාඩි පහළොවකට කලින් අනිවාර්යෙන්ම අදාළ තැන ටැක්සියෙන් ප්‍රාදූර්භූත උනා කිව්වොත් තමයි හරි. 

කනබොන තැනක කොතන සෙට් උනත් මුබාරක් එතැන මගහැරලා ගිය මනුස්සයෙක් නෙවෙයි. මුබාරක් උපන්තේකට රහමෙර, දුම්වැටි කටක තියලා නැති මනුස්සයෙක් උනත්, කාටවත් ඒ ගැන අපහසුවක් නොදැනෙන විදිහට කට්ටිය එක්ක සෙට්වෙන කලාව මුබාරක් හොඳින් ප්‍රගුණ කරලා තිබුනා. ඒ වගේම කනබොන තැනකට මුබාරක් කවදාවත් හිස් අතින් ආව මනුස්සයෙකුත් නෙවෙයි. මලාට රහමෙර කටේ නොතිබ්බත් මුබාරක් ඒ වගේ තැනකට ආවේ මොනම හරි රසම රස කෑම ජාතියක් හෝ වටිනා කියන වර්ගයේ මත්පැන් බෝතලයක් අරගෙනම තමා. 

මුබාරක්ගේ ගෙදර බේස්මන්ට් කොටස ඕනෑම කෙනෙකුට හොඳ හුරු පුරුදු තැනක් උනේ ඒ කාමර දෙකේ හැමදාමත් කුලියට උන්නේ ලංකාවේ කව්රුහරි නිසා. බොහොමයක් ගෙවල් අයිතිකරුවන් තම කුලී වැසියනට දාන හම්පඩ නීති එකක්වත් මුබාරක් ළඟ තිබ්බේ නෑ. බොහොමයක් කාමර කුලියට දෙන එවුන්ගේ තිබ්බ බොරු ලොකුකම් මොනවත් මුබාරක් ළඟ තිබ්බෙත් නෑ. ඒ හේතුවෙන් කට්ටියට හෙමිහිට සෙට් වෙන්න මුබාරක්ගේ බෙස්මන්ට් එක රෙස්ටුරන්ට් එකකටත් වඩා නිදහස් තැනක් උනා කිව්වොත් තමයි හරි. කට්ටිය සෙට් වෙන වෙලාවට හෙමිහිට පඩිපෙළ දිගේ පහලට එන මුබාරක් කොතනින් හරි ඉඩ තියන තැනකින් වාඩි වෙලා කයියට සෙට් වෙන එක අනිවාර්ය අංගයක් උනා. ඒ වගේ වෙලාවට අනුන්ගේ ඕපා දූප කතා වෙද්දී මුබාරක් කිව්වෙම 

අනේ මල්ලි අප්පිට ඔව්ව වෙඩක් නේ... කව්රු උනත් කාටත් කරදරයක් නෙතුව ඔදින් චීවත්වෙලා ඉන්නවනම් අපි ඇමෝටම ෂතුටුයිනේ .. 

සුදා නැවතිලා හිටියේ මුබාරක්ගේ ගෙදර. එක්තරා දවසක සුදා අසනීප වෙලා ගොඩයාටත් කෝල් එකක් ආවා . ආරංචියේ හැටියට සුදාට ඇවිත් තිබ්බේ හාර්ට් ඇටෑක් එකක්. ඒ වෙද්දී සුදා ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කරලා තිබ්බ නිසා ගොඩයා ඇතුළු දුක සැපට ඉන්නා මිත්‍ර සමුහයා ඉස්පිරිතාලෙට වාර්තා කරද්දී රාත්‍රී අට විතර වෙලා. ඒ වෙද්දීත් සුදාගේ නවතින්න ගිය හදවත ශල්‍යකර්මයක් මගින් යථා තත්වයට පත්කරන්න වෛද්‍යවරු සමත්වෙලා තිබුනා. සුදා නවත්තලා හිටපු රෝහල් කාමරේට ඇතුල් වෙද්දීම ගොඩයා දැකපු පලවෙනි දර්ශනය වෙන්නේ මුබාරක්. සුදා උදේ රෝහල්ගත කරපු වෙලාවේ හිටන් ශල්‍යකර්මය කරලා අවසන් වෙලා කාමරේට ගෙනැත් දානකනුත් මුබාරක් එතන. ගෙදර කාමරේ කුලියට ඉන්න එකාගේ පස්සෙන් ඒ තරම් දුරක් ඇවිත් දවසක්ම ගතකරන්න පුළුවන් හදවතක් තියෙන මිනිස්සු ගොඩයා ඉන්න රටේ බොහොම  විරලයි. හුස්මගන්න හුලං ටික පමණක් නොමිලේ ලැබෙන රටක පිටස්තරයෙක් වෙනුවෙන් තමුන්ගේ වටිනා කාලය වැයකරන මිනිස්සු හැමතැනම නැති නිසා කටින් නොකිව්වත් මුබරක්ට හිමි ගෞරවය ගොඩයා හිතේ ඇඳගත්තා. 

සුදා සනීප වෙලා මාසයක් විතර රෙස්ට් කරලා ආයේ රැකියාවට යනකම් සුදාට පඩි නෑ. කාමර අයිතිකාරයෝන්ට එව්වා අදාළ නෑ. රැකියාව නැතිව හිටපු කාලයට සහ නැවත රැකියාවට ගිහින් වැටුපක් ලැබෙනකල් මුබාරක්  සුදාගෙන් සල්ලි ගත්තේ නෑ කියලා සුදා ගොඩයාට කියලා තියෙනවා. ඒ වගේම මොකක් හරි මුදල් අවශ්‍යතාවයකට මුබාරක් අමතපු කිසිම කෙනෙකුට මුබාරක් කවදාවත් නෑ බෑ කිව්වේ නෑ. දීපු මුදලක් නැවත ගෙනැත් දෙනකල් මුබාරක් කවදාවත් ඒ මුදල් නැවත ඉල්ලුවෙත් නෑ.

ගොඩයා සුදා හමුවෙන්න නිතර යැවෙන්නේ නැති නිසා මුබාරක් ගොඩයාට නිතර හමුවෙන්නේ නෑ. ඒක එහෙම වුනත් මුබාරක් ගොඩයාට ඉඳලා හිටලා දුරකථන ඇමතුමක් දෙන්න අමතක කරෙත් නෑ. 

ආ මල්ලි... මොකෝ අපේ පැත්තේ එනවා දැක්කේ නෑ .. ඔන්දින් ඉන්නවා නේද..

ඔව් ඔව් මුබාරක් අයියා.. හොඳින් ඉන්නවා... කනවා බොනවා වැඩ කරනවා නිදාගන්නවා..ඔච්චරයි ඉතින්..

ආ එමනම් කමෙක් නේ.. කාලෙකින් දැක්කේ නෙති නිශා ඔයාලා බැලුවා.. මං ඒත් ශුදාගෙනුත් ඇවුවා කෝ ඔයා දෙකකේ නේ කීල..

එන්න වෙලාවක් උනේ නෑ අයියේ.. 

කට්ටියනම් ඔන්න ඊයේ පෙරේදත් ෂෙට් උනා.. උයා විතර තමා අඩු.. 

ඇත්තද.. එන්නම්කෝ වෙලාවක ඇවිල්ල යන්න..

මල්ලි එන වෙලාවක අපි යමු ගමනක්..  පකිශ්තාන් කඩයක් දාල තිනවා මල්ලි කේම මරු .. උන් ඔරිජිනල් පකිෂ්තාන් කේමා තමා විකුනනවා.. මල්ලි එන්නම ඕන යන්න..

හරි අයියේ මං එන්නම්කෝ..

ඔඳයි මල්ලි.. ඒනම් තියන්නම්.. දෙවි පීටයි..

හරි මුබාරක් අයියේ.. දෙවි පිහිටයි..

ඔන්න ඔය වගේ කෝල් එකක් මාසෙකට දෙකකට වතාවක් මුබාරක්ගෙන් වරදින්නේ නෑ. පළාතේ කොතන අලුතෙන් ඉන්දියන්, පකිස්තාන්, මිඩ්ල්ඊස්ට් කඩයක් දැම්මත් මුබාරක් අනිවාර්යෙන් කඩේ කෑම රස බලන්න යනවාමයි. ඒ යන වෙලාවට මුබාරක් එක්ක යන ඕනෑම කෙනෙකුට මුබාරක් කිව්වේ එක දෙයයි..

මල්ලි.. ඕනෑම දෙයක් කන්න.. ආබැයි බිල ගෙවන්නේ මම තමා.. ඔයාල එක්ක ආවේ මමනේ මල්ලි.. ඒ නිසා බිල ගෙවන්නේ මං ඔදේ..

බහුතරයක් ලංකාවේ උදවිය වගේම ගොඩයා ලංකාවට යන හැම වතාවෙමත් ගොඩයාව ගුවන්තොටුපොළට ඇරලුවේ මුබාරක්. එන්න කියන වෙලාවට විනාඩි පහළොවක් විස්සක් කලින් ඇවිත් නිසොල්මනේ කාර් එක ඇතුලට වෙලා ඉන්න මුබාරක් ගොඩයා ලැස්තිවෙලා කෝල් එකක් දෙනකල් ගොඩයාව අමතන්නේ නෑ.

මුබාරක් අයියා.. කොහේද ඉන්නේ..

මල්ලි මම එවිත් තමා ඉන්නවා.. බේග් එක අරං එලියට එන්නකෝ.. මං ඔයාගේ ගේ ඉශ්ශරා තමා ඉන්නවා..

ඔන්න ඔහොමයි මුබාරක්ගේ වැඩ. කලින් ආව කියලා ගමන යන්න ඉන්න එකාට බ්‍රොදර් වෙන සිරිතක් මුබාරක් ළඟ තිබ්බේ නෑ. ඒ වගේම ගුවන්තොටුපොළ ලඟට ඇරලුවාම මුබාරක් ඊළඟට කිව්වා අනිවාර්ය වචන සෙට් එක තමයි..

මල්ලි.. ෂල්ලි ගන්න පුළුවන් මල්ලි පශ්ශේ.. ඔයා පරෙශ්ශමට ගීන් එන්නකෝ.. එහෙදි ෂල්ලි ගෝනියක් තිබ්බත් මදිනේ මල්ලි.. එන්න දවෂකට කලින් මට කෝල් කරන්නකෝ.. මම වෙලාවට එවිත් ඉන්නවා ඔයා දන්නවනේ..

ඔන්න ඔහොමයි මුබාරක්ගේ වැඩපිළිවෙල. දෙන සර්විස් එක උනත් මිල බොහොම සාධාරණයි. ඒ වගේම කවදාවත් ටැක්සියෙන් බහිද්දී සල්ලි ඉල්ලුවේ නෑ... ආයේ එනකොටත් එනකොටත් ඒ වගේම තමයි. ෆ්ලයිට් එකෙන් බැහැල සිකියුරිටි ක්ලියර් වෙලා ඇවිත් කෝල් එක දුන්න ගමන් විනාඩි පහෙන් මුබාරක් එතන.. එතැනින් ගොඩයාව කාර් එකේ දාගන්න මුබාරක්ගේ සර්විස් එක එතනින් ඉවර නෑ. ගෙදරට ගිහින් බැස්සුවහම ඉස්සෙල්ලම කියන්නේ කලින් කියපු වචන සෙට් එකම තමයි..

මල්ලි ෂල්ලි පශ්ශේ ගන්න පුළුවන් මල්ලි.. බරට වියදම් කරලානේ එන්න එත්තේ...

මුබාරක්ගේ සර්විස් එක එතනින් ඉවර නෑ..

මල්ලි කාර් එක ඉෂ්ටාට් කරලා බලන්න මල්ලි.. දැන් මාශයක් විතර නිකං තිබිල ඉෂ්ටාට් බෙටරිය බේලද දන්නේ නේ.. මං ජම්පර් වයර් එකත් අරං තමා අවා..

ගොඩයා කාර් එකෙන් බැහැල බඩු මුට්ටු ටික ගෙට ගෙනල්ලා ඔක්කොම අවසන් වෙලා ගොඩයාගේ කාර් එක ස්ටාර්ට් කරලා බලනකල් මුබාරක් එතනින් හෙල්ලෙන්නේ නෑ. මනුස්සකමට සල්ලි පස්සේ ගන්න පුළුවන් කිව්වට ගොඩයා කවදාවත් ඒ මනුස්සකම අවභාවිතා කරලා මුදල් නොදී හිටියෙත් නෑ. 

ඔය වගේ මුබාරක් ගැන ලියන්න කියන්න කතාන්දර බොහොමයි. දෙදහස් දහසය අවුරුද්දේ එක්තරා දවසක ගොඩයාට කෝල් එකක් එනවා සුදාගෙන්..

සුදත් අයියා මොකද වෙන්නේ..

පොඩි ප්‍රශ්නයක් මල්ලි..

මොකක්ද කේස් එක..

මුබාරක් අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරලා.. 

නෑ... මොකද වෙලා තියෙන්නේ..

හාර්ට් ඇටෑක් එකක් කියල තමයි කියන්නේ..

මයි ගෝර්ඩ්.. දැන් මොකද කරන්නේ..

දැනට මුබාරක් අයි සී යූ දාල තියෙන්නේ.. අපිට තියෙන්නේ ඉතින් සනීප වෙනකල් බලන් ඉන්න තමයි..

දැන් අපි මොකද කරන්න ඕන..

මුබාරක් අසනීප වෙලා තියෙන්නේ ටැක්සියේ යද්දී.. සිහිය නැතිවෙන්න කලින් කාර් එක පාර්ක් කරලා තියෙනවා.. ඔයාට පුලුවන්ද ඒක ගෙදර ගෙනත් දෙන්න..

ප්‍රශ්නයක් නෑ.. ඔයා එන්න මාව අරං යන්න..

හරි මල්ලි.. මං එන්නම් ..

ඔන්න ඔහොමයි සිද්දිය සිද්දවුනේ.. ගොඩයා සුදා එක්ක  සුදාගේ ට්‍රක් එකෙන් ගිහින් මුබාරක්ගේ ටොයෝටා කැම්රිය මුබාරක්ගේ ගෙදර මිදුලට ගෙනල්ල පාර්ක් කරා.. ඒ සිද්දියත් එක්ක ගොඩයාට තව සිද්දියක් මතක් වෙච්චි නිසා ගොඩයා උන්නේ හිතේ අවුලෙන්..

දෙදහස් හතරේ දෙසැම්බර් විසි හතර වෙනිදා (සුනාමි දවසට දවස් දෙකක් කලින් ) ගොඩයා උන්නේ ඔෆිස් එකේ. ගොඩයාගේ කාර්යාල සගයා වෙච්චි මහේෂ් ගොඩයාව ඇමතුවෙත් ඒ හා සමානම කාරණාවකට.. මහේෂ් කිව්වම ගොඩයාට සහෝදරයෙක් හා සමානයි අදත්. ඒ නිසා මහේෂ් යමක් ඉල්ලුවද ගොඩයා ලග නෑ බෑ නෑ..

මහේෂ් මොකෝ..

එරික් මාම අසනීප වෙලා හයර් එකක් ආපු ගමන් හොස්පිටල් ඇඩ්මිට් කරලා..

දැන් මොකද කරන්නේ..

එරික් මාමා අයි සී යූ එකේ.. අපිට කරන්න කියල දෙයක් නෑ .. දොස්තරලා තාම මුකුත් කියන්නේ නෑ..

මම එන්නද හොස්පිටල් එකට..

මෙතනට එන්න එපා.. හිල්ටන් එකේ කාර් පාර්ක් එකට එන්න.. වාහනේ එතන.. හයර් එක ආපු කට්ටිය තාම වේඩින් එකේ.. පාර්ක් එකේ හිටපු ඩ්‍රයිවර්ලා තමයි ඇඩ්මිට් කරලා තියෙන්නේ.. වාහනේ ගෙදර ගෙනිහිල්ල දාගන්නයි ඕන..

හරි මං එන්නං..

එදත් ගොඩයා ගියේ මුබාරක්ගේ වාහනේ ගෙදර ගෙනැත් දැම්මා වගේ වැඩකටම තමයි. එරික් මාමගේ ෆාර්ගෝ වෑන් එකේ හයර් එක ආපු කට්ටිය මොරටුමුල්ලට බස්සලා වෑන් එක කටුබැද්දට ගෙනැත් දාල ගොඩයා බස් එකේ නැගල ගෙදර ආව. සුනාමි දවසට ඉස්සරින්දා රෑ මහේෂ් කෝල් කරා එරික් මාමා ආයේ වෑන් එක එලවන්න ගෙදර එන්නේ නෑ කියල පණිවිඩේ දෙන්න..

ඒ වගේම මුබාරකුත් ආයේ ටැක්සිය එලවන්න ගෙදර ආවේ නෑ.. දවස් කීපයක් යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් නිසොල්මනේ රෝහල් කාමරේ හිටපු මුබාරක් වෛද්‍යවරුන්ගේ අවසන් තීරණයට අනුව යන්ත්‍ර සූත්‍ර වලින් විසන්දි කෙරුනා. ඒ කියන්නේ හැමෝටම හැකි පමණින් උදව්වක් කරපු මුබාරක්  නිල වශයෙන් අවසන් ගමන් ගියා..

මුබාරක්ගේ අවසන් කටයුතු කෙරුනේ මුස්ලිම් පල්ලියක. අවමංගල්‍ය උත්සවේට භාගෙට භාගයක් ඇවිත් හිටියේ සිංහල මිනිස්සු. මුස්ලිම් අවමංගල්‍ය උත්සවයකට සහභාගී වෙන්න දන්නේ නැතත් සිංහල මිනිස්සු මුස්ලිම් උදවිය එක්ක එකට බිම වාඩි වෙලා දේව මෙහෙයට සහභාගී උනා. රේන්ද රාලගේ බල්ලාගේ මලගෙදරට ගමම හිටියට රේන්ද රාලගේ මළගෙදරට බල්ලෙක් වත් නෑ කියන උපහැරණය මිනිස්සු කට කහනවට කිව්වේ නැහැ කියල ගොඩයට තේරුම් ගියේ මුබාරක්ගේ අවමංගල්‍ය උත්සවය වෙලාවේ. මුබාරක් එක්ක ඇසුරු කරපු උදවියගෙන් භාගයක්වත් ඒ අවමංගල්‍ය උත්සවයට සහභාගී වෙලා හිටියේ නෑ. මොකද මිනිස්සුන්ට මුබාරක් මරුනට පස්සේ මුබාරක්ගෙන් ගන්න වැඩක් නැති නිසා. 

මුස්ලිම් සුසාන භූමියක මුබාරගේ මෘත දේහය භූමදාන කරද්දී මුබාරක්ගේ ලංකාවේ ඥාතින් ස්කයිප් හරහා බලාගෙන හඬා  වැටුන හැටි මතක් වෙද්දී ගොඩයාට අදත් සෑහෙන්න දුකයි. දවස් කීපයක් ඇසුරු කරපු මුබාරක් වල දමද්දී ගොඩයාට දැනුනු හිත් අමාරුව වගේ කී ගුණයක හිත් අමාරුවක් ලංකාවේ හිටපු ඥාතීන්ට දැනෙන්න ඇතිද කියන එකට ගොඩයා ළඟ උත්තර නෑ..


------------


එක්තරා දවසක ගොඩයා යනවා මුබාරක්ගේ ගෙදර පඩිපෙළේ ස්විචයක් අලුත්වැඩියා කරලා දෙන්න.. වැඩේ අවසන් උනාම කතාව මෙන්න මෙහෙමයි..

මල්ලි මං ඔයාව එයාර්පෝර්ට් එකට එරලුවාම ෂල්ලි ගන්නවනේ..

ඔව්.. ඉතින්.. දෙන් ඔයා මගේ ගෙදර ලයිට් එක හදල තමා දුන්නා.. ඕක ඉලෙක්ට්‍රිශියන් කෙනෙක් එදුවනම් ශීයක්  දෙශීයක් තමා ගනන්වා..

ඉතින්..

මං ඔයාට පොඩි ගානක් දුන්නොත් මුකුත් ඉතාන්නේ නෑනේ..

සත පහක්වත් එපා මුබාරක් අයියා.. 

ඒම බෑ මල්ලි.. මගේ ඉතට අරි නෑ.. මේ රටේ ටයිම් කියන්නේ මනී මල්ලි.. මං ඔයාගේ ටැලන්ට් එකට ටයිම් එකට ගෙවන්න ඕනනේ..

අද නිවාඩු දවසෙනෙ මුබාරක් අයියා.. හිතවත්කමට ලයිට් එක හැදුවට මං ලයිසන් ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් නෙවෙයිනේ අයියේ.. සල්ලි ඉතින් ඕනකමක් උනොත් ඉල්ලන්නම්කො..

ඒනම් අපි යමු කොඒ අරි ඔඳට කන්න..

දැන් බෑ මුබාරක් අයියා.. මං කාලනේ ආවේ..

ඒනම් මං ඔයාට මොනාද දෙන්නේ..

මුකුත් එපා ..

පොඩ්ඩක් ඉන්නකෝ.. ඔයා බුද්ධට අඳුන්කූරු පත්තු කරනවද...

ඔව්... ඇයි...

ඉන්නකෝ මල්ලි... මං ඔඳ අඳුන්කූරු වගයක් තමා ගෙනාව.. ඉන්නකෝ ටිකක් දෙන්න..

එදා මුබාරක් ගොඩයාට හඳුන්කූරු දුන්නට ඒ දුන්නේ ටිකක් නෙවෙයි.. සිලි සිලි මල්ලක් පිරෙන්න විවිධ වර්ගයේ ඉන්දියන් හඳුන්කූරු තොගයක්. දැනට අවුරුදු තුනක් වගේ කාලයක් පත්තු කරලත් ගොඩයාට මුබාරක් දීපු හඳුන්කූරු තොගය ඉවර කරන්න බැරිවුනා. 

දෙදහස් එකොළහ අවුරුද්දේ අවසානයේ ඉඳන් මුබාරක් මියයන දවස වෙනකල් ගොඩයාට මුබාරක්ව පනස් වතාවක් හමුවෙලා නෑ කියල ගොඩයාට අනිවාර්යෙන්ම කියන්න පුළුවන්. ඔය අවුරුදු පහ ඇතුලත දහ වතාවක් ගොඩයා මුබාරක්ගේ ටැක්සියේ ගිහින් ඇති. තව දහපහළොස් වතාවක් සුදා හමුවෙන්න ගිහින් ඇති. ඒ පුංචි කාලය අතුලේ ගොඩයා තේරුම් ගත්තු එකම එක දේ තමයි මුබාරක් කියන්නේ හොඳ හදවතක් තියෙන මනුස්සයෙක් කියන කාරනාව. අනෙකාට පිහිටවීමේ මනුෂ්‍යත්වය බොහොම විරල වෙච්ච කාලයක මුබාරක් ක්‍රියාවෙන් හැමවෙලාවෙම ඔප්පු කලේ ජාතිය ආගම මොක වුනත් මනුස්සයෙකුට උදව්වක් කරන්න හෝ හිනා වෙලා කතා කරන්න උප්පැන්නයේ තියෙන කරුණු කාරනා අදාළ නොවේ කියන එක. 

මුබාරක්ව අමතක කරන්න බැරි සිංහල මිනිස්සු මුබාරක් වෙනුවෙන් හත් දවසට සාංඝික දානයක් දෙන්නත්  අමතක කරේ නෑ. දානයෙන් අනතුරුව මුබාරක් වෙනුවෙන් පංසකූලය දෙන්න සිංහල මිනිස්සු පැන් වඩද්දී ගොඩයාට හිතුනෙම මුබාරක් එයාගේ ආගමෙන් හරි සිංහල මිනිස්සු දීපු පිං වලින් හරි හොඳ තැනකට යන්න ඇති කියලා. 

----------------

මිනිස්සු රටවල්, ආගම්, ජාති මුල්කරගෙන එකිනෙකා මරාගන්නවා දකිනකොට ගොඩයාට හිතෙන්නෙම මුන්ට පිස්සු කියලමයි. තමුන්ට පුද්ගලිකව අවශ්‍ය නොවෙන, ඒත් වෙනත් තුන්වෙනි පාර්ශවයක අවශ්‍යතාවයක් වෙනුවෙන් කෘතිමව නිර්මාණය කරපු දේශපාලනික හෝ ආගමික ප්‍රශ්නවල පැටලිලා මිනිස්සු තමුන්ගේ වටිනා ජීවිත නැතිකරගන්නේ ඇයි කියන ප්‍රශ්නෙට ගොඩයා ළඟ උත්තර නෑ. ලංකාවෙත්, රටවල් කීපයකත්, විවිධ ආගම් අදහන මිනිස්සු බොහොමයක් කියවා බලා තියෙන ගොඩයා ඒ  මිනිස්සු අතරේ දැකපු එකම වෙනස නම් සමහරක් හොදයි සමහරක් නරකයි කියන එක විතරයි. එහෙම බැලුවාම මිනිස්සුන්ට  හොඳ වෙන්නත් නරක්  වෙන්නත් ජාති, ආගම්, කුල භේද නෑ ..