Sunday, June 19, 2016

ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..2





ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස් 1
http://ambalangodakatha.blogspot.com/2016/06/blog-post_14.html


තත්වය ඉතාමත් භයන්කාරය.. එක් පැත්තකින් සෝචනීයය.. තව පැත්තකින් බලාපොරොත්තු සහගත බවක් නොමැතිය.. පැයකට හමාරකට උඩදී ඉපදුනු රටේ මවු දෙමවුපියන් සමග සන්තෝසයෙන් උන් මා පැය එකහමාරක් දෙකක් අවෑමෙන් නන්නාදුනනා රටක නොදන්නා භාෂාවක් කතාකරනා ජනතාවක් අතරේ යන එන මං නොමැතිව අනාථ වෙලාය. ලොක්කාට පින් සිදුවන්නට රිටන් ටිකට්ටුවක් ද අතේ නොමැති බැවින් ආපසු ගම රට බලා යන්නටද කරේමයක් නොමැතිය. ගොඩ යාමටනම් එගොඩ පීනනවා විනා මෙගොඩ පිහිනිල්ලක් නොමැතිය. පළමු වතාවට උපන් රටෙන් පිටතට තනියම යන්නාවූ අයෙක් වෙත්නම් දැනෙන්නාවූ හැගීම් දැනීම් මේ ආකාරයෙන් වෙන්නට ඇතැයි දැයි කියා සිතා කිරා මැනීමට වෙලාවක් කාලයක් නොවේය. 

අහමදාබාද් දක්වා දින තුනක දුම්රිය ගමනක් යාමට තිබෙනා බැවින් ගුවන්තොටුපොළේ කිරා මනිමින් සිටින්නට කාලයක්ද නොවේය. හැකි ආකාරයකින් ඉලංගෝ කාරයා සොයාගෙන ගොස් දුම්රිය ප්‍රවේශ පත්‍රය එකලස්කොටගෙන දුම්රිය ස්ථානයටද යා යුතුය. ඒ සියල්ලටම කලින් කුලී රථයක් සොයාගත යුතුය. පෙනෙනෙ මානයක කුලී රථ නොමැති බැවින් කුලී රථ කැඳවන කව්ලුවක් සොයා යාමට නැකත පැමිණ ඇති අක්මාව මොලය වෙත දැනුම්දෙන්නාවූ බැවින් ගමන් මල්ලද රැගෙන නැවතත් ගුවන් තොටුපොල ඇතුලට යාමට හැරුනේ වෙනයම් විකල්පයක් නොමැති බැවින්ය.

එක්ස්කියුස් මී සර්ර්ර්...

යෙස්... 

යූ ආර්ර්ර්ර් නොට් අලව්ඩ් ටු ගෝ ඉන්සයිඩ් ෆ්‍රොම් දිස් ඩෝර්ර්ර්..

අයි ඩෝන්ට් වෝන්ට් ටු  ගෝ ඉන්සයිඩ්.. අයි ජස්ට් වෝන්ට් ගේට් අ ටැක්සි..

අරෙ වට් නොන්සන්ස් මිස්ටර්ර්ර්... දෙයාර්ර්ර්ර් ආර්ර්ර් තවුසන්ස් ටැක්සි අවුට්සයිඩ්... ගෝ අවුට් ඇන්ඩ් ගෙට් අ ටැක්සි සර්ර්ර්

නෝ අයි ඩෝන්ට් වෝන්ට් ටු කැච් අ ටැක්සි ෆ්‍රොම් අවුට් සයිඩ්.. අයි වෝන්ට් ටු කෝල් අ ටැක්සි ෆ්‍රොම් ද එයාපෝර්ට්..

සර්ර්ර් ප්ලීස් ලිස්න් ටු මී... වී ආර්ර්ර් නොට් කෝලින් ටැක්සි ෆ්‍රොම් හියර්ර්ර්... ගෝ අවුට් ඇන්ඩ් ගෙට් අ ටැක්සි..

අයි ඩෝන්ට් සී එනි ටැක්සි දෙයා ඔෆිසර්.. 

අරෙ අරෙ වට්ස් ව්රෝන්ග් විත් යූ සර්ර්ර්.. ඩෝන්ට් යූ සී හන්ඩ්‍රඩ්ස් ඔෆ් ටැක්සි ඩ්‍රයිවර්ස් අරවුන්ඩ් දෙයාර්ර්ර්..

වෙයා..

ලුක් සර්ර්ර්... ද පීපල් වෙයාරින් කාකී යුනිෆෝර්ම්... දේ ඕල් ආර්ර්ර් ටැක්සි ඩ්‍රයිවර්ස්... ගෝ ඇන්ඩ් ගෙට් අ ටැක්සි..

ඉස් ඉට් සේෆ්..

යස් සර්ර්ර්ර්.. ඕල් ආර්ර්ර් රෙජිස්ටර්ඩ් ඩ්‍රයිවර්ස්..

ඔකේ දෙන්.. තෑන්ක් යූ..

අරෙ අරෙ... අයි ඩෝන්ට් නීඩ් යුවර්ර්ර්ර් තෑන්ක් යූ සර්ර්ර්... ඉෆ් යූ  වෝන්ට් අයි විල් ඇක්සෙප්ට් ටූ රුපීස් ඈස් යුවර්ර්ර්ර් තෑන්ක්ස් ...

ටැක්සියක් සොයා ගැනීමට ගුවන් තොටුපොල පර්යන්තය දිහාවට ආපසු හැරුණ අසරණ මාගේ ඉන්දියානු රුපියල් දෙකකට පිටතට පැමිණීමේ දොරටුවේ සිටි නිලධාරියා විද්දේ ඒ ලෙසය. නිල ඇඳුමක් ඇඳන් සිටිනා නිලධාරියෙකුට එළිපිට පගාව දීමට ඇතිවූ මැලිකම නිසාවෙන් ඉන්දියානු රුපියල් දෙක අතට ගෙන මහා සොරකමක් කරන්නට සැරසෙන්නාවූ සොරදෙටුවෙකු මෙන් අහල පහල බැලුයේ අප දෙදෙනා දිහා කව්රුන් හෝ බලන් සිටිනවාදෝ යන්න සැක හැර දැනගැනීම පිණිසය..

අරෙ අරෙ ඩෝන්ට් බී ෂයි සර්ර්ර්ර්...

මා රුපියල් දෙක ඔහුගේ අතට වැඩම්මවීමට පළමුව අතෙහි තිබු රුපියල් දෙකේ නෝට්ටුව බලෙන් උදුරාගෙන සාක්කුවෙහි රුවාගත් නිලදරුවා ගුවන් තොටුපොලෙන් පිටත සිටිනා කාකි යුනිෆෝර්ම් කාරයින්ට දමිල භාෂාවෙන් මොකක්දෝ කීවේය.. ඒ ය ඇසුණු ඇසිල්ලේ කාකි යුනිෆෝම් කරුවන් තිහක් හතළිහක් මා සිටි දිහාවට දිව එන්නට පටන් ගත්තේ උසේන් බෝල්ට් මීටර් සීය දුවන්නට පටාන ගන්නවාටත් වඩා වෙගයෙන්ය.

කෝකටත් කියාලා මුන් ටික දුවගෙන එන වේගය වැඩි බැවින්දෝ වැඩි පරෙස්සමට පිට වීමේ දොරෙන් මදක් ඈතට වුයේ දිවගෙන එන පිරිසට පහසුවෙන් ගුවන් තොටුපොල ඇතුලට දිවයාම පහසු කරවීමේ අරමුනෙන්ය..

ඒත් වැඩේ පුදුම තරම් අන්ජබජල්ය.. දිව ආවාවූ කාකි කෝට් කරුවන් එක සීරුවට මාගේ කිලෝ විස්සේ ගමන් මල්ලට පොරකන්නට පටාන් ගත්තේ මා නොසිතු විරූ ආකාරයෙනි.. දෙමල භාෂාවෙන් කෑකෝ ගසමින් මා අසල කෙලින් හිටවා තිබෙන ගමන් බෑගය අයිති කරගැනීමට කාකි කොට කරුවන් එක සීරුවට පොරකනවාය..මා වටා සිදුවන අලකලංචිය කුමක්දැයි සිහි එලවාගන්නට තත්පර විස්සක් තිහක් ගතවූ අතර කාකි පොරයෙන් වදෙන් පොරෙන් එලියට පැනගන්නට මා සමත් වන්නේ ඉතා අසීරු උත්සාහයකින් අනතුරුවය.. ඒත් ඒ වෙද්දීද මාගේ කොණ්ඩය අවුල් වෙලාය.. කමිසය කලිසමෙන් එලියට ඇදිලාය.. වෙනත් විදිහකින් කියනවානම් බණ්ඩාරනායක ගුවන් තොටෙන් නළුවෙකු වාගේ පිටත්වූ මා ඒ වෙද්දී පොලිසියෙන් ගහලා වාගේය.

විනාඩියක දෙකක පොර කෑමකින් අනතුරුව වීරප්පන්ගේ පෙනුම ඇති කාකි කෝට් කාරයෙකු මාගේ ගමන් මල්ල කරතබාගෙන දුවන්නට තියාගත්තේ ඇමෙරිකන් ෆුට්බෝල් තරඟයකදී පොරකා පන්දුව රැගෙන දුවනා ක්‍රීඩකයකු සිහිපත් කරමිනි. හනික සිහි එලවාගත් අසරණ මා ද වීරප්පන් පසුපස එලවා දුවන්නට තියාගත්තේ මූ කරතබාගෙන දුවන්නේ මා ලංකාවෙන් ගෙන ආ සබ්බ සකලමනාවම තිබෙනා කොළඹින් රුපියල් එක්දහස් පන්සියයකට මිලදී ගත් අලුත්ම අලුත් ගමන් බෑගය නිසාය ... 

මාස කිහිපයක් අඳින්නට තිබෙනා සියලුම ඇඳුම්ද අම්මා විසින් සාදා දුන් බිලින් අච්චාරු බෝතලයද, පුංචී විසින් සාදා දුන් මාළු ඇඹුල්තියල් බෝතලයද, නැන්දා විසින් සාදා දුන් උම්බලකඩ සම්බෝලයද එම බෑගයේය. යන්නේ අහමදාබාද් වලට බැවින් එම කෑම වර්ග තුනම රන් හා සමානය. මුළු මහත් අහමදාබාද් ප්රාන්තයම වෙජිටේරියන් ප්‍රාන්තයක් බැවින් මාළු බෝතලය සහ උම්බලකඩ සම්බෝලය යනු රන් වලටත් වඩා වටිනා ආහාර වර්ගයන්ය. ඇඳුමක් නම් කාගෙන් හෝ ඉලාගෙන අඳින්නට පුලුවනිය.. නැතිනම් කඩයකින් මිලට ගන්නට පුලුවනිය.. ඒත් හුරු පුරුදු කෑම වර්ග එසේ නොවේය..

වීරප්පන් පෙනුමැති කාකි කෝට් කාරයා මාගේ කිලෝ විස්සකුත් තවත් ටිකක් බර තිබෙනා බෑගය කර තබාගෙන දුවනවා නොවේ විදිනවාය.. ඊට අනුරූපීව අනෙකුත් කාකි කෝට් කාරයින්ද වීරප්පන් පසුපසින් හැල්මේ එලවනවාය.. අන්ත අසරණ මා මාගේ පිටේ එල්ලාගෙන යන ගමන් මල්ලද දමාගෙන කාකි කොට කරුවන් පසුපසින් එලෝගෙන යනවාය..

 ඒ දුවන අල්ලපනල්ලේද මට සිහිවන්නේ ලංකාවේ වාගේම ඉන්දියාවේද සුදුස්සාට සුදුසු තැන නොමැති බවක්ය. කිලෝ විස්සකුත් තවත් ටිකක් බර තිබෙනා මාගේ ගමන් බෑගය කර තබාගෙන වීරප්පන් විදිනා විදිල්ලට ඒකාව ධාවන තරඟ කරුවෙකු ලෙස ඔලිම්පික් යැව්වානම ඉන්දියාවට රන් පදක්කමක් ටක්කෙටම සුවර්ය. ඒ මන්ද යත්, වීරප්පන් කිලෝ විස්සක් කර තබාගෙ එහෙම දිවිල්ලක් දුවනවානම් කිලෝ විස්සක් කරේ නොමැතිව කොහොම දුවනවා ඇතිද යන්නය. වීරප්පන් ඔලිම්පික් කෙසේවෙතත් අස්ස රේස් එකකට උනත් ඔට්ටු අල්ලා දුවන්නට දැමිය හැකි සුපිරි දිවිලි කාරයෙක්ය. 

වීරප්පන් මේ දුවන්නේ මාගේ ගමන් බෑගය හොරකම් කරගෙන නොවේ යන්න මට යාන්තමට වැටහුනේ ඈතින් නවතා තිබෙන කහපාට වහලය සහිත ඉන්දියානු ඇම්බැසිඩර් රථ පෙළ දුටුවායින් පසුවය. වීරප්පන් තරඟ ඉසව්ව අවසාන කරේ ඔහුගේ ඇම්බැසිඩර් රථයේ ඩිකිය අසලින්ය. ඒත් අතට ගත්තු දේ කටට දාගන්නට වාසනාව නැතිදෝ වීරප්පන්ගේ පසුපසින් එලොගෙන ආ වෙනත් කාකි කෝට් හාදයෙක් මාගේ ගමන් බෑගය එක අතින් කරට ගෙන නැවතත් දුවන්නට තියාගත්තේ ඔහුගේ ඇම්බැසිඩර් රථය වෙතය. 

වීරප්පන් ගේම අතාරින්නට සූදානම්ද නැතිය.. ඒ ගමන වීරප්පන් අනෙක් කාකි බූටෑවා පසුපස එලෝගෙන යනවාය.. ඌද අම්ම මෝ නැතුව බෑගය කරේ තබාගෙන හිටු කියා දුවනවාය. අන්ත අසරණ මමද දැන් උන් දෙන්නා පසුපස දුවනවාය.. එක්දහස් නවසිය අනූව දශකයේ අග භාගයේ අද කාලයේ වාගේ රිමෝටයෙන් ඩිකිය අරින්නට කරේමයක් නැතිවූ වාසිය නැවතත් වීරප්පන්ටය.. දෙවැනි කාකි බූටෑවා බෑගය බිම තබා ඩිකිය අරිනා අල්ලපනල්ලේ වීරප්පන් නැවතත් මාගේ බෑගය කරට ගන්නට සමත්වන්නේ හොඳින් පුරුදු පුහුණු වූ තරඟ කරුවෙකුගේ හැකියාව විද්‍යාමාන කරමින්ය.. අන්ත අසරණ මා ආයෙත් වීරප්පන් පසුපස දුවනවාය. එම වතාවේ පෙර වතාවට වඩා සාර්ථක උත්සහයක් දරා ජය ගන්නට වීරප්පන්ට හැකියාව ලැබෙන්නේ පළමු වතාවේ ඩිකිය ඇර තබා කාකි බූටෑවා පසුපස එලොගෙන ගියා වූ බැවින්ය. මාගේ ගමන් බෑගය උගේ එකක් මෙන් ඩිකියේ දමා ලොක් කර යතුර අතට ගන්නේ තරඟයේ අවසන් ජයග්‍රහයන බින්දුවට එකක් වනසේ අනෙකුත් සියලුම කාකි කෝට් තරඟ කරුවන් පරාජයට පත්කරමිය.

ඊළඟ අවස්තාව මාගේය.. වීරප්පන් රියදුරු අසුනට පැනගන්නා අල්ලපනලේ  මාද ටින් ටින්ගේ වීර ක්‍රියා කාර්ටුනයේ ටින් ටින් සේ දන්නා ශිල්ප‍ සියල්ලම භාවිතා කරමින් ටැක්සියේ පසුපස ආසනයට ස්ථානගත වන්නේ වීරප්පන් මාගේ වටිනා ගමන් බෑගය ඩිකියේ දමාගෙන එතනින් වාෂ්ප වන්නට මත්තෙන්ය.

ලංකාවේනම් ටැක්සි කරුවන් ටැක්සිය ඉස්ටාර්ට් කරන්නට මත්තෙන් යන්නේ කොහේටදැයි අසනා පුරුද්දක් තිබෙනවාය.. ඊටත් අමතරව එම ගමන සඳහා අයකරනා මුදලද ටැක්සි කරුවන් පුරුද්දට වාගේ කියනවාය.. ඒත් එහෙ එහෙම නැති වාගේය.. මෙන්න බොලේ වීරප්පන් ටැක්සිය පදවාගෙන යනවාය.. යන්නේ කොහේටදැයි ඇසුවේද නැතිය..

 සමහරවිට ලොක්කා විසින් කියූ පරිදි සියල්ල සැලසුම් වී ඇති බැවින් මේ මාව රැගෙන යන්නට ඒවා ඇති ටැක්සිය වන්නට ඇතැයි කියා සිතුනද ලොක්කා එහෙම දෙයක් කියූ නැති බැවින් එසේ සිතන්නටද නොහැකිය. කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම වීරප්පන් දැන් කොලොමීටර භාගයක් වාගේ පරවාගෙන ගිහින්ද අවසානය.. මාද නොයෙක් විකාර හිතමින් බූරුවෙකු වාගේ පසුපස ආසනයේ වාඩිවී ඉන්නවාය.. එකාතකින් මේ යන්නේ කොහේදැයි කියා හිතන්නටද කාලයක් වෙලාවක් නොවේය.. කාකි කොට සෙට් එක එක්ක දුවපු රේස් දිවිල්ලට මෙහෙම ඉතුරු වුනා ඇතිය.. 

@%#$^$^&#&##%$^$&#&^$!@$#^$&&$)#&^

වට්..

@%#$^$^&#&##%$^$&#&^$!@$#^$&&$)#&^

ප්ලීස් ස්පීක් ඉංග්ලිෂ්.. අයි ඇම් නොට් අ ඉන්ඩියන්.. 

දෙන් වෙයාර්ර්ර්ර්..

වට්..

වට් ඉස් යුවර්ර්ර්ර්ර් ඩෙස්ටිනේෂන් සර්ර්ර්ර්..

හියර්..

ලංකාවේ හිටන්ම සාක්කුවේ දමාගෙන පැමිණි ඉලංගෝ මහතාගේ ලිපිනය සහිත කොළ කැබැල්ල වීරප්පන් අතට දුන්නේ නොදන්නා නම් ගම්  කියවන්නට ගොස් අනාගන්නවාට වඩා හැකි ආකාරයෙන් කියවාගෙන මාව පරෙස්සමට ගෙනිහින් බස්සපන් කියන්නාක් මෙන්ය..

තර්ර්ර්ටි ෆයිව් ර්ර්ර්රුපීස්...

ඔකේ.. 

මා විසින් දුවන්නට යෙදුන රේස් දිවිලේ හැටියට වීරප්පන් මාගෙන් තිස්පහක් ගන්නවා නොව මට තිස් පහක් දෙන්නට වටිනවාය. ඒත් එව්වා කතාකරන්නට තියා වීරප්පන්ගේ පෙනුමැති ටැක්සි රියදුරා දිහා කෙලින් බලන්නට බැරි තරම් භයන්කාර පෙනුමය. එවන් කෙටු දුර ධාවන තරඟයක් අවසාන මා සිටිනා තැන ගැන මා සතුටු විය යුතුය.. මන්ද යත් මාගේ ඇඳුම්ද , කෑම බීමද සහිත ඇඳුම් බෑගය සුරැකිව බහා තිබෙන ඩිකිය අයත් රථයේ පසුපස අසුනේ මා ෂපාන් එකට වාඩිවී ගමෙනේ යෙදෙමින් සිටිනා බැවින්ය.. කනගාටුවනම් යටට ඇඳ තිබෙන බැනියමට අමතරව කමීසයද පිටට ඇලෙන්නට දාඩිය දාලාය. ඉහින් කනින් දාඩිය වැගිරෙනවාය.. දැන් මා වෙතින් විද්‍යාමාන වන්නාවූ පෙනුමේ හැටියට මා දුටු පමණින්ම ඉලංගෝ මහතා සිතනවා ඇත්තේ මු එන්නට ඇත්තේ ගුවන් යානයක නොව ආදම්ගේ මාවතේ පයින් ඇවිදගෙන වෙන්න ඇති කියාය.

පැය භාගයක වැනි කාලයක අවෑමෙන් විරප්පන්ගේ රථය නැවතුනේ සාමාන්‍ය පෙනුමැති නිවසක් ඉදිරියේය. රථය නතර කල වීරප්පන් රියදුරු අසුනෙන් බැස ඩිකිය ඇර මාගේ ගමන් සගයා බිමින් තබා මා දිහාට හැරුනේ ගනුදෙනුව සාර්ථකව අහවරයක් කරන්නට හිතාගෙනය..

හන්ඩ්‍රඩ් ෆිෆ්ටි ..

වට්..

හන්ඩ්‍රඩ් ෆිෆ්ටි ..

යූ ටෝල්ඩ් මී ඉට්ස් තර්ටි ෆයිව් ..

යර්ර්ස්.. බට් නව් ඉට්ස් හන්ඩ්‍රඩ් ෆිෆ්ටි ..

නෝ ... නෝ... නෝ...

@#$&%$&%*&#&$^%&&@)*%&%& හන්ඩ්‍රඩ් ෆිෆ්ටි ...

නොතෙරෙනා දෙමලෙන් වීරප්පන් මොනාදෝ කියනවාය.. අහල පහල එවුන්ද දොර ජනෙල් වලින් එබී බලනවාය.. නොතෙරෙනා දෙමලෙන් ටක්සියේ මිලට තර්ක කරනවාට වඩා ඉල්ලන ගානක් දී කරන්නට ආ රාජකාරියට යොමුවීම වඩා වටිනවාය..

හිය ඉස් යුව මනී.. බට් ඩෝන්ට් චීට් පීපල් ලයික් දිස් මෑන්..

@#$&%^$%#^$*%&^%#^&%

මොනවාදෝ දෙමලෙන් කියවමින් ටැක්සියට ගොඩවූ වීරප්පන් මට බායි නොකියාම ඉගිලුනේ තවත් මා වැනිම ගොන් බූරුවෙකු මීමා කරගැනීමට අදහසින් විය යුතුයයි අනුමාන කිරීමට සාක්ෂි බොහෝය. ගුවන් තොටුපොල ආසන්නයේදී ඉන්දියන් රුපියල් තිස් පහක් යයි කියූ කුලී ගාස්තුව ඊට පැය භාගයකට පසු එකසිය පනහ වුයේ කුමන අනුපාතයටදැයි පයිතගරස් වලෙන් නැගිටුවා ගණන් සාදාවා විසඳා ගතයුතු ප්‍රශ්නයක්ය. ගාස්තුව සම්භන්ධ ගණිත ගැටලුව ඔලුවේ එහාටත් මෙහාටත් හොල්මන් කරද්දී මාගේ ගමන් බෑගයද ඇදගෙන ඉලන්ගෝගේ නිවාස දිහාවට මා පියවර මනින්නේ ගමනේ ඊළඟ කඩඉම වන දුම්රියේ වික්‍රමය සඳහා ටිකට් පත ලබා ගැනීම පිණිසය..

ටින් ටුං....

ම්හ්.. නිවස තුලින් කිසිදු හැල හොල්මනක් නැත...

ටින් ටුං.....

නැත.. එම උත්සාහයටද ප්‍රතිචාරයක් නොමැතිය..

ටින් ටුං.. ටින් ටුං.. ටින් ටුං..

@#^$%#&**&$^##%$&%*#&##%%@%

නිවස ඇතුලතින් ඇසෙනා පිරිමි කටහඬ පවසනා දෙය දමිල භාෂාවෙන් පවසනා බැවින් එහි තේරුම මා දන්නේ නැත.. එහෙත් මා එතෙක් නොදුටු ඉලංගෝ මහතාගේ භාෂා ස්වරූපයේ නම් මාව සාදරයෙන් පිළිගන්නා හඬක් ඇසෙන්නේ නැත.. සීනුව පස් වතාවක් නාද කලද එතෙක් ඉලංගෝ මහතා ඔහුගේ මූණත්තහඩුව පෙන්වන්නට එලියට නම් පැමිණියේද නැතිය..

ටින් ටුං...ටින් ටුං...ටින් ටුං.. ටින් ටුං.. ටින් ටුං..

@#%$^&%^$%*#^$%@%#&$^$^

එවරනම් ඇසෙන්නේ කව්දෝ නමුත් මාව මරන්නට කොටන්නට එන්නාවූ ශබ්දයකි.. වීරප්පන් මාගේ කිලෝ විස්සේ බෑගය කරට ගෙන දිවූ ආකාරයෙන් ඒ හපන්කම කිරීමට මට හැකියාවක් නොමැතිය.. නිවස ඇතුලෙන් ඇසෙනා වලියට බර ස්වර පරාසය අයිතිකරු දොරෙන් එලියට පැමිණෙන තෙක් රැඳී සිටිය යුතුය.. එහෙත් සුදානම් ශරීරයෙන්ය.. ඉලංගෝ මහතා ගේ ඇතුලෙන් ඉදිරි දොර දක්වා පිය මනිනා ශබ්දය දැන් දැන් ඇසේ.. එහෙත් මුවෙන් නික්මෙනා දමිල වදන් වැල නම් මාගේ සවනට පවසන්නේ ඉලංගෝ මහතා මාව සාදරයෙන් පිළිගන්න ආරංචියකි.. සීනුව  දහ පාලොස් වතාවක් නාද කර මා වස වැරැද්දක් කරගත්තා වගේය..

ඉතුරු කෑල්ල 
http://ambalangodakatha.blogspot.com/2016/07/3.html

Tuesday, June 14, 2016

ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..






ලියන්නට යෙදෙන්නේ මේ ලියන මා හට සිදුවූ අලකලංචි අටෝරාසියක පළමුවැන්න වන අතර එය මාගේ ජීවන ගමන යම් දිශාවකට වෙනස් කරන්නට සමත්වූ මාගේ දෙවන රැකියාවේ ආරම්භ සිදුවූ අවදියයි. එය එක්දහස් නවසිය අනූව දශකයේ අග භාගය වූ අතර මා එවකට සේවය කල සමාජ සේවා සංවිධානයෙන් මාවෙත ලැබුණු වැටුප සොච්චමක් පමණක් වීය. ලැබෙන්නාවූ වැටුප මහමගටම වියදම්වන අතින් කා බී හරක් බැලීම වන්නාවූ රැකියාවක යෙදීම කිසිදු පලක් ප්‍රයෝජනයක් නොමැති නිසා මා එම රැකියාව වෙත යොමුකරන ලද මාගේ ඥාති නැන්දනිය වෙත මාගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් නොකර සිටීමට මා ගත් උත්සාහය ව්‍යර්තම වීය. එහි අවසන් ප්‍රතිපලය වූයේ එදත් අදත් ශ්‍රී ලංකා දීපය පුරා ප්‍රසිද්ද නමක් ඇති පුද්ගලයකුට අයත් කොම්පැනියක් වෙත මා කැඳවාගෙන යාමට නැන්දා තීරණය කිරීමයි. වැඩිහිටි පාර්ශවයන් විසින් තීරණය කරනු ලදුව මාවෙත දැනුම්දුන් දිනයේදී නැන්දනියගේ කාර්යාලයට යාමට පිටකොටුවෙන් බොරැල්ල බසයක නැග කොන්දොස්තර වරයාට රුපියල් දෙකක් දුන්නේ ඔන්න ඔහේ ඕනෑ දෙයක් වුනාවේ කියා හිතාගෙනමය.

ආනන්ද විද්‍යාලය අසලින් බසයෙන් බැසගත් මා නැන්දනියගේ කාර්යාලයටද එතනින් නැන්දනියගේ හිතවතාගේ කොම්පනියටද පියවර මනින්නේ මේකත් කලින් එක වගේම මරගාතයක් වේවිදෝ  යන සිතුවිල්ලෙනි. එහෙත් මාගේ සිතෙහි පැවතුන විකාර ස්භාවය නැන්දාට කියා පෑවොත් ඔලුවට ටොක්කක් ඇන මරදානේ ඉස්ටේෂමෙන් ගාලුකුමාරියේ නග්ගනවා බව දන්නා නිසා සත්ගුණවත් අවන්කයකු මෙන් සහ රැකියාවක් කිරීමට ඇති අවංක උනන්දුව ඇත්තෙකු මෙන් සුපිරි රංගනයක නියැලෙමින් කොම්පැනිය  වෙත යනවාය.

ආ  ඔයාල  ආවද.. මෙයාද කිව්ව කෙනා.. වාඩි වෙමුකෝ වාඩි වෙමුකෝ..

ඔව්.. මෙයා තමයි මිනිහ... 

ඉස්සෙල්ලම කියමුකෝ බලන්න ඩ්‍රයිවින් ලයිසන් තියනවද..

පාසල් සහතික, වුර්තීය සහතික තබා අයදුම්පත්‍රයවත් නොබැලු ලොක්කා මාගෙන් ඇසූ පළවෙනිම ප්‍රශ්නයෙන්ම අන්දමන්ද භාවයට පත්වන්නේ මේ වෙන්නට යන්නේ කුමක්දැයි නොවැටහෙන නිසාය. නැන්දා මා කැඳවාගෙන ආවේ රියදුරු රැකියාවක් ලබාදීමට නොවන බව මා සක්සුදක් සේ දන්නවාය. රියදුරු රැකියාවක් කිරීමට වඩා යමක් කිරීමට මා වෙත අධ්‍යාපන සුදුසුකම් තිබෙන බව මාගේ කුඩා මොලයට යාන්තමට වැටහෙනවාය. ඒත් ලොක්කා විමසන්නේ තාත්තාට හොරෙන් ලබාගත් රියදුරු බලපත්‍රය ගැනය. තාත්තා විසින් පනවා තිබු තහංචි තනහම් සියල්ල නොසලකමින් අම්මා විසින් දුන් මුදලින් මා රියදුරු බලපත්‍රය ලබා ගත්තේ උසස්පෙළ පන්තියේ අවසන් අවදියේ බැවින් සම්මුඛ පරීක්ෂණයේ පළමුවන ප්‍රශ්නයෙන් මා ගොඩය. ඒත් අක්මාවට දැනෙන දැනීම ටිකක් විතර අවුල්ය.

ඔව් සර්..

හොඳට ඩ්‍රයිව් කරන්න පුලුවනිද..

අපෝ මෙයා එලවයි ලෝකෙ එහා කොනට උනත්.. ඒ උත්තරය නැන්දාගෙන්ය.. එය අසත්‍යක් නොවේය.. පවුලේ ගමන් බිමන් වලදී තාත්තාගේ බලවත් විරෝධය මත වුවත් බාප්පා මා වෙත වාහනය පදවන්නට  දී ෂපාන් එකේ ඉදිරිපස අසුන අරා විරාජමාන වන්නේ ඔහුටද එවන් අවස්තාවක් ලැබෙන්නේ මා වාහනයේ සිටිනවානම් පමණක් බැවින්ය. එකල මහත් ආශ්වාදයක් වූ රිය පැදවීම දැන් වෙද්දී මහා ගෝත කරුමයක් බවට පත්වී ඇති බව වෙන කතාවක් උනත් රැකියාව ලබාගැනීමට එය එක සුදුසුකමක් වීම හිතට සහනයක්ය. එයද අම්මාට පින්සිදුවන්නටය. තාත්තාට හොරෙන් ලයිසම ගන්නට සල්ලි නොදුන්නානම් එදා මට රියදුරු බලපත්‍රයක් නැතිය.

ඔව් සර්..

හ්ම්..

එහෙනම් බලමුකෝ මොනවද මෙයා ඉගෙනගෙන තියෙන්නේ කියල..

නැන්දා ලොක්කා සමග මා තනිකර දමා ලොක්කාගේ බිරින්දෑ සමග බර සාකච්චාවක්ය. ලොක්කාද, ලොක්කාගේ බිරින්දෑද මාගේ ඥාති නැන්දනියද එක පෙලේ වෛද්‍ය සිසුන් බැවින් කතා කිරීමට ඕපාදූප බොහෝය. ලොක්කා මාගේ සහතික පිටපත් එකින් එක පෙරලමින් ඉන්නා අතරේ මමද බූරුවෙකු සේ ලොක්කාගේ මූණ දිහා බලන් ඉන්නවාය.

මම හිතන් හිටියේ මෙයාට සේල්ස් ජොබ් එකක් දෙන්න.. ඒත් මෙයාගේ දක්ෂකම තියෙන්නේ ටිකක් ටෙක්නිකල් පැත්තට නේද..

ලොක්කා ඒ අමතන්නේ නැන්දාටය..

අනේ මම ඕව දන්නේ නැහැ.. එයාගෙන් අහල එයාට හරියන එකක් දෙන්න..

ලොක්කාගේ කට දිහා බූරුවෙකු සේ බලා සිටිනා මාගේ පපුව දැන් ටිකෙන් ටික වැඩි වැඩියෙන් ගැහෙනවාය. ඒ අන් කිසිවක් නිසා නොවේය. සේල්ස් ජොබ් එකක් යනු මාගේ කැමැත්තෙ අන්තිමටම ඇති රැකියාව නිසාය. ඕනෑම ගොම්බෙට්ටක් විකුණන්නට මනා හැකියාවක් ඇතත් රැකියාවක් විදිහට අලවි අංශයේ රැකියාවක් කිරීමට මම කිසිසේත්ම කැමති නැතිය..

ඔයාට ටෙක්නිකල් වැඩ ඕනම දෙයක් පුලුවනිද..

ලොක්කා ඇහුවේ මහ ගොන් බූරු ප්‍රශ්නයක්ය.. කාර්මික ක්ෂේස්ත්‍රය හැදෑරු පමණින් මම විශ්වකර්මයා නොවේය. ඒත් ඕනෑම යන්ත්‍රයක් ටික වෙලාවක් අතපතගා දෝෂය සොයාගැනීමට පුළුවන් මට්ටමේ දැනුමක් තිබෙනවා උනත් එය එකපාරට කියන්නට ටිකක් බයය. හේතුව නම් ලොක්කා වෛද්‍ය වරයකු බැවින් දෙන්නට යන්නේ මිනී කපන ටෙක්නිකල් රස්සාවක්දෝ යන්න හිතට බයය..

පුළුවන් සර්.. ඔටෝ මොබයිල් පැත්ත තමයි කරලා තියෙන්නේ..

කොච්චර දුරට පුලුවන්ද..

එන්ජිමක් ගලවල හයිකරන්න පුළුවන් සර්..

ඉතින් මනුස්සයෝ උසස්පෙළ කරලා ඔටෝ මොබයිල් කරලා මොකද එන් ජී ඕ එකක රස්සාවකට ගියේ..

ඒ ප්‍රශ්නයට උත්තර දෙන්නට බැරිය.. නැන්දා විසින් සද්භාවයෙන් ගිහින් ඇරලු රැකියාව හෑල්ලු කර කතා කරොත් නන්දා ඒ වෙලාවේම මා එතනින් එලවා දමනු ඇතිය. මාගේ කිසිම කැමැත්තක් නැතුව අපේ තාත්තයි බාප්පයි නැන්දයි එකතුවෙලා මාව ඒ රස්සාවට බලෙන් යැව්වා සර් කියා කියන්නට කට ඇරෙන්නේ නැතිය.. ඒ නිසා එම ප්‍රශ්නයට මම නැවතත් බූරුවෙකු වාගේ ලොක්කාට විරිත්තනවාය.

හරි දැන් එතනින් අයින් උනේ මොකෝ..

කස්ටම් ඉන්ස්පෙක්ටර් එග්සෑම් එකයි එම් එල් ටී එග්සෑම් එකයි දෙකම ලියල ඔය ඉන්නේ.. දෙකේම ලකුණු තියනව සිලෙක්ට් වෙන තරමට.. ඒත් මේ නිකම් රස්තියාදු ගහන නිසානේ ජොබ් එකකට තල්ලු කරන්න කියල අපි හිතුවේ.. එතන පඩියක් හරියට ගෙවන්නේ නැහැනේ..

ඒ උත්තරය නැන්දාගෙනි.. 

ඉංග්‍රීසි කතාකරන්න පුලුවනිද...

පුළුවන් සර්..

එහෙමද.. අපි එහෙනම් මෙහෙම කරමු..මට ටෙක්නිශියන් කෙනෙක් ඕනවෙලා තියනව. කැමතිද ලබන සතියේ ඉන්දියාවට යන්න මාස හයක ට්‍රේනිං එකකට..

මට මාගේ කන් දෙක අදහාගන්නට බැරිය. මේ ඇහෙන්නේ හීනයෙන්දෝ හැබැහින්දෝ යන්න තෝරා බේරාගන්නට වෙනයම් ක්‍රමයක් නැති නිසා මම ලොක්කාටද නැන්දාටද ලොක්කාගේ බිරින්දෑටද හොරෙන් අත කොනිත්තා බැලුවේ නින්දෙන් පෙනෙන හීනයක් නම් කොනිත්තද්දී ඇහැරෙන නිසාය. කොනිත්තු කල අත රිදෙන්නට වූ නිසා මේ වෙන්නේ හීනයක් නොවන බව පැහැදිලිය. දෙන්නට උත්තරද නැත. ඇන මුරිච්චි සමග ජීවිතය ගෙවන්නට තිබෙනවානම් කස්ටම් ඔෆිසර් වෙන්නට ඕනෑද නැත.. එම් එල් ටී වෙන්නට ඕනෑද නැත..ප්‍රශ්නය නම් එය කටක් ඇර කියන්නට බැරිකමය.

ලොක්කා මගෙන් හෝ නැන්දාගෙන් උත්තරයක් ලැබෙන තුරු මාරුවෙන් මාරුවට මුහුණ බලනවාය.. මමද නැන්දාගෙන් උත්තරයක් ලැබෙනතුරු මාරුවෙන් මාරුවට නැන්දාගේත් ලොක්කාගේත් මුහුණ බලනවාය..

නැන්දා උත්තරයක් නොදී ඉන්නේ මාගේ දෙමවුපියන්ගෙන් අවසරයක් නොමැතිව එවන් දුරබැහැර ගමනක් මාව යවන්නට නොහැකියාවට වන්නට ඇත. මා උත්තර නොදී ඉන්නේ ටෙක්නිකල් ජොබ් එක කුමනාකාරයේ එකක්දැයි නොදන්නා නිසාය. දෙදෙනාගෙන්ම උත්තර නොමැති කල ලොක්කා නිහඬතාවය බින්දේය..

මෙහෙමයි.. අපි අලුත් කොම්පැනියක ඩීලර් ෂිප් එකක් ගත්ත. දැනටම යුනිට් තුන්සීයක ඔර්ඩර් එකක් අපි අරන් තියෙන්නේ. මැෂින් හයිකරන්නයි, සර්විස් කරන්නයි, රෙපෙයාර් කරන්නයි අපි මෙච්චර කල් ටෙක්නිශියන්ලා ගෙන්නගත්තේ ඉන්දියාවෙන්. දැන් මේ ඕඩර් එකත් එක්ක අපිට එහෙම මාස තුනකට හයකට සැරයක් ඉන්දියාවෙන් මිනිස්සු ගෙන්නගන්න එක හරියන්නේ නැහැ. ඒ නිසා ඉන්දියාවෙන් අපිට කියල එවල තියනවා ලංකාවෙන් කොලිෆයිඩ් ටෙක් කෙනෙක් එවන්න එයාල ට්‍රේන් කරලා දෙන්නම් කියල. ඔයාගේ කොලිෆිකේෂන් එක්ක ඔයාට මේ ජොබ් එක ඔයාට හරියටම ගැලපෙනවා. ඔයාට එහෙන් හොටෙල් රූම් එකක්, කෑම බීම, ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම ලැබෙනවා. ඔයාට තියෙන්නේ ගිහින් ට්‍රේනින් එක අරන් ඇවිත් අපිට වැඩකරන්නයි. 

තාත්තාගෙන් අහල කියන්න එහෙනම්..

නැන්දා එසේ කියන්නේ මා ඉන්දියාවේ යවා මොකක්හෝ නරක දෙයක් වුවහොත් නැන්දාට චෝදනා එල්ලවන්නට ඉඩ තිබෙන නිසා වන්නට ඇතිය..

හරි.. මම කැමතියි..

ලොක්කාගේ කට කිරිහට්ටියක් වගේය.. 

දැන් මම කවද්ද වැඩට එන්න ඕන සර්..

මෙහෙමයි.. ඔයා පාස්පෝර්ට් හදලද තියෙන්නේ..

නෑ..

ඔයා හෙටම පාස්පෝර්ට් එක ගන්න වන් ඩේ සර්විස් එකෙන්.. දවස් දෙක තුනක් ඇතිනේ ඔයාට ගමනට ලෑස්ති වෙන්න.. අද සඳුදනේ..ලබන සිකුරාදාට  එම්බසි ගිහින් සඳුදා වෙද්දී ඉන්දියා යන්න මම ඔක්කොම ලැස්ති කරන්නම්.. හෙටම පාස්පෝර්ට් එක හදාගෙන මට කොපියක් ගෙනත් දෙන්නකෝ..

මට කියන්න බැරිවුනානේ.. ඔයාට අපි ගෙවන්නේ මෙහෙමයි.. පඩියට අමතරව ඉන්ස්ටෝලේෂන් වලටයි රෙපෙයාර් වලටයි වෙනම ගෙවනවා.. කොළඹින් පිට ගියාම නයිට් අවුට් ගෙවනවා.. වාහනයක් දෙනවා.. ඩීසල් කොම්පැනිය ගානේ.. කොහොමත් මාසෙකට පනස්දාහකට වඩා පඩියක් ගන්න පුළුවන්.. හැබැයි ලංකාව වටේම ඇවිදින්න වෙයි..

හොඳයි සර්..

නැන්දාට කට උත්තර නැතිය..මට ලැබුනාවූ අවස්තාව වෙනුවෙන් නැන්දාට සන්තෝසයක් ඇතත් එය දෙකට දෙවාරමේ එකක් වන්නට ඇත්තේ තාත්තාගෙන් අවසරයක් නොමැතිව එවන් ගමනක් මා යවන්නට වචනයක් දෙන්නට නොහැකි නිසා වන්නට ඇතිය.. 

ලැබෙන්නේ ටෙක්නිකල් ජෝබක්නම් අඟහරු ලෝකෙට වුවත් යන්නට මා ලැහැස්තිය. එන්.ජී.ඕ වේ කරනාවූ කම්මැලි රැකියාවට වඩා මෙය ඉස්තරම්ය.

බදාදා වෙද්දී මාගේ විදේශ ගමන් බලපත්‍රයද අවශ්‍ය සියල්ලම ලැහැස්තිය. සිකුරාදා උදෑසන ඉන්දියානු එම්බසිය වෙත ගිය මා ලොක්කාගේ දැන ඇඳුනුම්කම් මත වීසා පත ලබාගන්නේ කිසිදු අපහසුවකින් තොරවමය.

විසාපත ලබාගෙන ලොක්කගේ කාර්යාලයට කෙලින්ම මා යන්නේ කලින් ලැබුණු උපදෙස් අනුවය.

ආ  ඔයා ආවද.. විසා එක හරි නේද..

ඔව් සර්..

හරිනේ එහෙනම්.. සඳුදා උදේ හතයි කාලට ෆ්ලයිට් එක.. ඔයා ගිහින් ත්‍රිවෙන්ද්‍රම් වලින් බැහැල මෙන්න මේ එඩ්රස් එකට යන්න ටැක්සියක් අරගෙන.. එතන ඉන්නවා ඩොක්ටර් ඉලංගෝ කියල කෙනෙක්.. එයා ඔයාට අහමදාබාද් යන කෝච්චියේ ටිකට් ඔක්කොම අරගෙනයි තියෙන්නේ.. එතනින් එයාගෙන් ටිකට් එක අරගෙන ත්‍රිවෙන්ද්‍රම් වලින් කෝච්චියේ නගින්න.. දවස් තුනක් කෝච්චියේ යන්න වෙනවා ඉතින්..

හා සර්..

දවස් තුනක් කිව්වට ඒ කොච්චි වල තියෙන්නේ නිදන මදිරිනේ.. කිසිම කරදරයක් නෑ.. කෑම බීම ඔක්කොම ළඟටම ගෙනත් දෙනවා ..

හොඳයි සර්..

මෙන්න මේ ඩොලර් ටික එහෙන් එයාපෝර්ට් එකෙන්ම ඉන්දියන් සල්ලි වලට මාරු කරගන්න.. මේ ඔයාගේ වියදමට.. ඔයාට වියදමට මුකුත් යන්නේ නැහැ .. ඔක්කොම එහෙන් දෙනවා ඔයාට.. ඒත් අපිත් ඔයාට මේ ගාන ගෙවනවා අපේ කොම්පනිය ගානේ..

හොඳයි සර්..

එතකොට සර් කෝච්චියෙන් බැහැල..

ආ... බයවෙන්න එපා.. අතුල් ඔක්කොම ඇරෙන්ජ් කරලා තියෙන්නේ.. ඔයාව ගන්න ඩ්‍රයිවර් කෙනෙක් එයි අහමදාබාද් ස්ටේෂන් එකට.. මොකක්හරි ඕනෑකමක් තියනවනම් මේ නොම්බර වලට කෝල් කරන්න.. හැමතැනම ටෙලිෆෝන් බොක්ස් තියනවා.. ඒ හින්ද කිසිදේකට බයවෙන්න එපා..

හොඳයි සර්..

හා එහෙනම් ගිහින් එන්නකෝ.. එහෙ හෙඩ් ඔෆිස් එකට ගිහින් මට කෝල් එකක් දෙන්නකෝ..

හා සර්..

එහෙනම් සුභ ගමන්..

තැන්කියු සර්..

එසේ අවසන්වූ සංවාදයෙන් ලොක්කා මට සමුදුන්නේ පුහුණුවෙන් පසු හමුවන අරමුණෙ වන්නට ඇතිය. සියල්ල අකුරට සිදුවුනා වූ බැවින් දෙසැම්බර් මස විසි අට වෙනිදාවක මා ඇරලවන්නට ගෙදර සැම ගුවන්තොටුපොළට ආවේ දුකෙන්දෝ සතුටෙන්දෝ යන්න මා දන්නේ නැත.

එහෙත්, වසර විස්සක් තිස්සේ කිසිදු සංවාදයකදී ඒකමතික වන්නට බැරිවුනා වූද, වසර විස්සක් තිස්සේ අම්මා නමැති සාම දූතිකාව විසින් සමගිකොට තැබුවා වූද, මා කල ගොන් වැඩ, බූරු වැඩ, තකතීරු වැඩ අපහසුවෙන් ඉවසුවා වුද තාත්තා දමා ගුවන්තොටුපොළ පිටවීමේ පර්යන්තයෙන් නොපෙනී යද්දී හිතට දැනුනාවූ හිත අමාරුව විස්තර කරන්නට වචන නොමැතිය. ගෙදරදී ටොම් ඇන්ඩ් ජෙරී වාගේ වුවද පිය පුතු සම්භන්ධය මන ගැනීමට මටද තාත්තාටටද එවන් අවස්තාවක් ලැබුණු පලවෙනි අවස්තාව එය වන්නට ඇතිය.

එතුවක් කාලයක් සිරිබර සිරිලන්කාවෙන් පිටතට යාමට අවස්තාවක් ලැබී නොතිබූ මා රැගත් එයාර් ලංකා සමාගමට අයත් යූ එල් එකසිය හැට එක දරන ගුවන් යානය ගුවන්ගත වෙද්දී මට දැනුනු දැනීම නම් ඉතා ආනන්දජනකය..

ගුවන් යානයේ අක්කලා හිටු කියලා කලබලයෙන් මගීන්ට කන්නටත් බොන්නටත් දෙනවාය. මේ තරම් කලබලය මොකක්දැයි අසන්නටද දන්නා අඳුරන එකෙකුද නොමැති නිසා කලබලයෙන් මා ඉදිරියේ තැබූ කෑම බඳුන කලබලයෙන්ම ගිල දැමු මා දැන් බලා සිටින්නේ ඊළඟට වන්නේ කුමක්දැයි කියාය..

ගුවන් යානය ගුවන්ගතවී විනාඩි තිහක් යන්නට මත්තෙන් පයිලට් ගොයියා බෙරිහන් දෙන්නේ ආසන පටි තදකර ගනිල්ලා කියාය. අක්කලා දුන් බෙරි බත් ඇබින්ද ගිල දමන අල්ලපනල්ලේ පයිලට් ගොයියා ඉන්දියාවටම යානය ගුවන්ගත කරලා කියා මාගේ අක්මාවට යන්තම් දැනෙන්නේ පයිලට් ලොක්කා යානය පදවන්නේ ගොඩබිම කිට්ටුවෙන් නිසාය. කොළඹින් පිටත්වී විනාඩි හතළිස්පහක් යැද්දේ මෙන්න බොලේ එයාර් ලංකාව ඉන්දියාවේ බාලාත් හමාරය..

බණ්ඩාරනායක ගුවන්තොටින් සැප බසයක පැමිණ එයාර් ලංකාවේ නැගුනද ත්‍රිවෙන්ද්‍රම් ගුවන්තොටුපොළ දුටු වහා මගේ හිතේ හුලන් ටිකෙන් ටික බහින්නට ගත්තේ වෙන්නට යන දේ යාන්තමට වාගේ දැනුන නිසා වන්නට ඇත. සුපිරි වාහන දුවන කටුනායක ගුවන්තොටින් විනාඩි හතලිස් පහේ දුරින් තිබෙන ත්‍රිවෙන්ද්‍රම් ගුවන්තොටේ දුවන්නේ ට්‍රැක්ටරය..

ගුවන් සේවිකා අක්කලා විසින් අමාරුවෙන් ඇරගන්නට යෙදුනා වූ එයාර් ලංකාවේ දොරෙන් එලියට ඇවිත් පදිපෙලින් පහලට පහලින් තිබෙන්නේ අපව පිටවීමේ පර්යන්තය වෙත ගෙනියනා වූ බස් රථයයි..

හුටා.. බැලින්නම් ඒක සැහෙන්න පරණ ටාටා වර්ගයේ බසයක්ය.. ඇතුල නැචුරල් ඒසී ය..

ලංකාවේ ලේලෙන්ඩ් වල යන අපිට ටාටා හොඳයි ඔන්න ඔහේ කියා හිතාගෙන බස් රථයට ගොඩවූ මා ගුවන් තොටෙන් ඩොලර් ටිකක්ද මාරු කරගෙන එලියට පිය මනින්නේ ඩොක්ටර් ඉලංගෝගේ නිවසට යාමය අරමුණු කරගෙනය. එහෙත් ගුවන් තොටෙන් එලියට ආ මා දැන් වට පිට බලමින්ක කල්පනා කරන්නේ මා මේ ඉන්නේ කොළඹ මැනින් මාර්කට් එකේදෝ කියලාය. මට නොතේරෙන දෙමල භාෂාවෙන් කතා කරනා සුවාසුදහසක් පිරිසක් එළියේ එකම කාල ගොට්ටියක්ය. විනාඩියක් දෙකක් මට වූ අලකලංචිය ගැන කල්පනා කරමින් සිටිනවා විනා ඉලංගෝ ගැන මට හාංකවිසියක් මතකයේ නැතිය.  තවම මා ඉන්නේ ගුවන් තොටේ වැටෙන් ඇතුලේය. එළියේ ඉන්නා එකම වර්ගයේ කාකි නිල ඇඳුමක් ඇඳි දෙතුන් සීයක පිරිසක් මා දිහාවට අත වනමින් මොනාදෝ කියා කෑගසනවාය. කළු තඩි උස මහත උඩු රැවුල් කාරයින් දෙතුන් සීයක් මට අත වනමින් ඔවුන් දිහාවට කතා කරනවාය. 

කටේ කෙල හිඳිලාය.. කකුල් හිරි වැටිලාය.. බණ්ඩාරනායක ගුවන් තොටෙන් සියලු බර සැහැල්ලු කරගෙන ආවද ආයෙත් සෑහෙන්න මුත්‍රා බරක් දැනෙනවා වාගේය.. අලුත්ම අලුත් කමීසය ඇඟට ඇලෙන්නට දාඩිය දාලාය. ඉංග්‍රීසි, දෙමල තියා උපන්දා හිටං අගේට කතා කල සිංහලද අමතක ගානය..

පිටත දර්ශනය ඉතා භයන්කාර බැවින් ඊළඟ එයාර් ලංකාවේ නැග ලංකාවට යන්නට ඇතිනම් කියා හිතුනු වාර අනන්තය.. අප්‍රමාණය.. කෝකටත් කියලා සාක්කුවේ ඇති ගුවන් ටිකට්ටුව අතට අරගෙන බැලුවේ මා දමා ආපහු ලංකාවට යන එයාර් ලංකාවේම ගමේ යන්නට හිතාගෙනය...එහෙත් ලෙහෙසියට පහසුවට ගැලවී යාමට අවස්ථාවක් ලොක්කා විසින් මා වෙත ලබාදී නැත. ලොක්කා දුන් ගුවන් ටිකට්ටුවේ රිටර්න් ටිකට්ටුවක් නැතිය. තිබුනානම් ෆුට් බෝර්ඩ් එකේ හිටගෙන හෝ ආයෙත් ලංකාවට එනවා එනවා එනවාමය.

ප්ලේන් කෑල්ල ඉවරයි.. ට්‍රේන් විස්තරේ ඊළඟ කොටසින් ඉක්මනින්ම ලියනවෝ..

(සුදුසුකම්,  වෘත්තීය පාඨමාලා, සම්මාන සහතික, උපාධි  දහසකින් ලබන්න බැරි තරම් වටිනා දේ ජීවිතයට ඉගෙනුමට සහ සාර්ථකත්වය කරා ගමන් කරන්නට අඩිතාලම මා වෙත දමාදුන්, අකල් මරණයකින් ජීවන ගමනේ සමුගැනීම සනිටුහන්කළ මාගේ ඥාති නැන්දනියට නිර්වාන මෝක්ෂය ලැබේවා..)

පොස්ට් එකට මාතෘකාව දාද්දි මතක් උනේ මෙන්න මේ ෆිල්ම් එක.. බලල නැති උදවිය හොයාගෙන බලන්නකෝ..

Planes, Trains and Automobiles
https://www.youtube.com/watch?v=VWGqGHMO294

දෙවැනි කොටහ 
http://ambalangodakatha.blogspot.com/2016/06/2.html

Tuesday, June 7, 2016

පැත්තෑයාගේ කරුමය..




මාතෘකාව පැත්තෑයකු උක්තකර දැම්මද ලියන්නට යන පෝස්ටුවේ තුන් කාලක්ම ලියවෙන්නේ අපගේ හිතාදර මිත්‍ර තඩියා ගැනය. තඩියා සහ පැත්තෑයා අතර තිබෙන සහ සම්භන්ධය කුමක්දැයි මෙම පොස්ටුව කියවනා මාගේ පාඨක සැමදෙනාටම පොස්ටුවේ අවසානයේ තේරුම් යනවා ඇත.

අපි සුරතලයට තඩියා කියා ඇමතුවද තඩියා හැඳින්වීමට නම්ගං බොහෝය. තඩියා බොහොම වැදගත් පවුලක වැඩිමහල් දරුවා වූ බැවින් තඩියාගෙ දෙමාපියන් තඩියාව හැඳින්වුයේ ලොකු පුතා යන ආමන්ත්‍රනයෙන්ය. තඩියාට බාල සහෝදරියක් සහ සහෝදරියක් උන්නාවූ බැවින් ඔවුන් බොහෝවිට තඩියාව ඇමතුයේ ලොකූ යන ආමන්ත්‍රනයෙනි. තඩියා පාසල් වයස පැමිණි වහා පාසල් ඇතුල් කල බැවින් පාසලට අතුල්වුදා පටන් තඩියාගේ උප්පැන්නයේ නම භාවිතයෙන් ඉවත්වූ අතර ගුරුවරුන් හැරුණකොට පාසල් මිතුරන් තඩියාව ඇමතීමට යොදාගත් ආමන්ත්‍රණය වුයේ "තඩියා" යන නාමයයි. එතෙක් අපූරුවට භාවිතයේ තිබු තඩියාගේ අලංකෘත උප්පැන්න නාමය සහ වාසගම එසේම තිබියදී පාසල් මිතුරන් අතර තඩියා, " තඩියා" ම වුයේ සරීරයේ තිබු සුවිසාල පරිමාව නිසාය. ගෙදරට එක නමක්ද පාසලට එක නමක්ද භාවිතා වූ තඩියාට ගමේ කොල්ලන් කුරුට්ටන් විසින් තබා තිබු නාමය මෙහිදී ලිවිය නොහැක්කේ එය තඩියාගේ ෆේස්බුක් මිතුරන් නොදන්නා නිසාය.

තඩියා ඇටෙන් පොත්තෙන් ආ දා පටන්ම සුපිරි රෝමියෝ කෙනෙකු වූ අතර  තඩියා ප්‍රේම සඹදතා ඇතිකරගත්තාවූ ගෑල්ලමයින් සියල්ලටම තඩියාගේ දෙමාපියන්ගේ සහ ඥාතීන්ගේ විරෝදය තදින්ම එල්ලවීය. එවන් ප්‍රේම වෘතාන්ත කොයිතරම් ඇසුවන් කිලිපොලා යන ඒවාද කියතොත් රහස් පරීක්ෂක වරුන් වැඩිම පිරිසකගේ අවදානයට ලක්වූ එකම ශ්‍රී ලාංකීය පෙම්වතා තඩියා වනවා ඇත. 

තඩියා කොයිතරම් සාර්ථක පෙම්වතෙක්ද කිවතොත් තඩියාගේ යහළුවන් කව්රුත් තඩියා නිවසේ නැති අල්ලපනල්ලේ තඩියාගෙ නිවස ඉදිරිපිටින්වත් ගමන් කරන්නේ නැත. දුරදිග නොබලා මග දිග නොබලා තඩියාගේ නිවස ඉදිරිපිටින් ගමන් කරනා තඩියාගෙ මිතුරන්ට පැයක් දෙකක් තම ගමන ප්‍රමාද කරවන්නට යෙදෙන්නේ තඩියාගෙ මෑණියන් ඔවුන්ව අල්ලාගෙන තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්නාවූ බැවින්ය.

ආ කාලෙකින් මේ ළමය දැක්කෙ.. 

ආ ඇ ..ඇ...ඇන්ටි  කෝ චxx ඉන්නවද .. 

අකරතැබ්බයට ලක්වෙන මිතුරු තැන එසේ අසන්නේ තඩියා නිවසේ නැතිබව දැන දැනම වුවත් පෙර සසරේ කරන ලද කුසලයකටවත් තඩියා නිවසේ සිටියහොත් තඩියාගෙ මවගේ ප්‍රශ්න විචාරාත්මක+දුක් ගැනවිලි වැඩසටහනින් ගැලවෙන්නට පුළුවන් නිසාය. ගුරුවරියක වන තඩියාගේ මෑණියන්ගෙන් ගැලවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන්නේය.

අනේ ළමයෝ රෑට ගෙට එනවා උදේ පාන්දර යනවා.. කොහේ යනවද කියල දෙයියෝ තමයි දන්නේ..

ගඟ පැත්තට යන්න ඇති ඇන්ටි..

අනේ එයා යන ගඟ.. අර උරචක්කර මාලෙ බලන්න යන්න ඇති..

ඒ කිව්වේ ඇන්ටි..

ඔය ළමයි දන්නවනේ ඉතින්.. මම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..

අනේ නෑ ඇන්ටි.. ඇයි මොකද වෙලා තියෙන්නේ..

අනේ ළමයෝ අපේ ලොකු ළමය මේ ගැලපෙන්නේ නැති ගෑණු ළමයෙක් එක්ක පැටලිලානේ..

නෑ .. වෙන්න බෑ..

ඔව් දරුවෝ ඔව්.. කොහෙත්ම අපේ පවුලට ගැලපෙන්නේ නැති නැට්ටුක්කාරියෙක්නේ..

ඇන්ටිලාට කව්රුහරි බොරුවක් කියල.. එහෙම දෙයක් අපි දන්නේ නැහැනේ..එහෙම එකක් තියනවනං අපි දන්නවනේ..

ඔය ළමයි දන්නේ නැති උනාට මේ ගමේ හැමෝම දන්නවා ළමයෝ.. අනේ පුතේ අපේ ලොකු ළමයට කියන්නකෝ ඔය සම්භන්දෙ නවත්තන්න කියල.. අපි කියන දෙයක් නම් තඹේකට අහන්නේ නැහැනේ මේ දරුවා..

හා ඇන්ටි මම කියන්නම්කො.. ඒත් මං හිතන්නේ නෑ එහෙම සම්භන්ධයක් ඇති කියල..

සමහරවිට ගෙදරට ආරංචි වෙයි කියල දැන් යාලුවන්ටත් කියන්නේ නැතුව ඇති..

එහෙම නෑ ඇන්ටි..

ඊයේ හවස එහේ හිටිය කිව්වා නේද රෑ වෙනකං.. ඊයේ රෑ ගෙට එද්දී රෑ දහයත් පහු මං හිතන්නේ.. ඇහුවාම කිව්වේ එහෙ ගියා කියල..

ආ..ඔ..ඔව්  ඇ..ඇන්ටි.. අප්...අපේ ග්..ගෙදර තමයි හිටියේ.. රෑට කාලත් තමයි ආවේ..

තඩියාගෙ නිවසේ ගේට්ටුව අසල තඩියාගේ මෑණියන්ගේ අත්අඩංගුවේ පසුවෙන අසරණයා ගැන අනුකම්පා සිතීදෝ තඩියාගේ නැසීගිය පියාණන් නිවසින් එලියට බසින්නේ සැක කරුවා නිදොස්කොට කෙසේ වෙතත් නිදහස් කර දැමීම පිණිසය..තඩියාගෙ පියාණන් පරීක්ෂණයට සහභාගී නොවන්නට මෑණියන්ගේ අත්අඩංගුවේ පසුවන මිතුරාට එතැනම අපාගත වන්නට සිදුවන්නේ ගල් පැලෙන බොරු දෙතුන්දාහක් දෙවරක් නොසිතාම කියා දැමීමට සිදුවන නිසාය.

ඔයාට පිස්සුද මුන්ගෙන් අපේ එකා ගැන ආරංචි අහන්න..

මේ ළමයි අපේ ලොකු ළමය වගේ මුරණ්ඩු ළමයි නෙවෙයි..

මුන් මේ සේරෝම දන්නවා .. මුන් තමයි ඔව්වට උදව් කරන්නේ.. ඔයාටත් පිස්සු..

අනේ අංකල් මමනං මේ කිසි දෙයක් දන්නේ නෑ..

අපෝයි ඔව්.. උඹල මල් වගේ අහිංසක එවුන්නේ.. 

මේ ළමයින්ට බනින්න එපා අනේ.. මේ ළමයි පලිද අපේ ලොකු ළමයගෙ වැරදි වලට..

ඒක තමයි මමත් කියන්නේ.. මුන් ඕව දැනගත්තත් අපිට කියන්නේ නෑ.. ඔයා මෙන්න මෙහෙ ගෙට ගිහින් වැඩක් බලාගන්නකෝ හොරාගෙ අම්මගෙන් පේන අහන්නේ නැතුව.. 

තඩියාගේ පියාණන්ට පිංසිදුවන්නට තඩියාගෙ මෑණියන්ගෙන් ගැලවෙන මිත්‍රයා මිටින් හල කුරුල්ලෙකු මෙන් පසු නොබලා එතනින් මාරුවන්නේ මතක තිබෙනා තුරාවට තඩියාගෙ නිවස ඉදිරිපිටින් කිසිදු ගමනක් නොයන්නට හොඳින් හිතේ ධාරණය කරගෙනමය.

තඩියාගෙ පෙම් පලහිලව් වලට පිං සිදුවන්නට තඩියාගෙ ගමේ උන් ෂර්ලොක් හෝම්සී ලා, ෂර්ලොක් හෝම්ස්ලා, ජේම්ස් බොන්ඩ්ලා, ජේම්ස් බොන්ඩිලා සෑහෙන්න කාර්යබහුල උදවිය වන්නේ තඩියාගෙ මෑණියන්ගේ රහස් පරීක්ෂණ කටයුතු වෙනුවෙන් වෙහෙසිය යුතු නිසාය. තඩියා ප්‍රමුඛ නඩය නිතර ගැවසෙනා ඥාණා ගේ බෝඩිම, බතලයාගේ නිවස, නාන තොටුපොල සහ හංදියේ කඩය අවට නිතර රහස් පරීක්ෂණ කටයුතු දියත්වූ අතර එම ස්ථාන කිහිපයෙන් එකක තඩියා සජීවීව දැකගන්නට සිටීම රහස් පරීක්ෂණ කටයුතු කුජීත ආකාරයෙන් අල කර දමන්නක් වෙනවාය. ෂර්ලොක් හෝම්සීලා සහ ජේම්ස් බොන්ඩිලා සජීවීවම වාර්ථාකරණය තඩියාගෙ මෑණියන් වෙත ලබාදුන් අතර එම ස්ථාන වල තඩියා පෙනෙන්නට නොසිටීම දුරස්ථ චරපුරුෂ සේවාවන් වෙත දුරකථන ඇමතුම් ගලායාමට පටන්ගැනීමක්ය. රහස් පරීක්ෂක වරුන්ට හොරෙන් තඩියා ගමෙන් එලියට අඩියක් තැබුවානම් ඒ බොහොමත්ම කලාතුරකින්ය.

තඩියා ගමෙන් අතුරුදන් වී පැය කාලක් යන්නට මත්තෙන්, වතුගෙදර හන්දිය සහ හීනටි පාර අවට ස්වෙච්ජා  චරපුර සේවාවන් සක්‍රීය වන අතර, ඔවුන්ගේ නියෝජිතයින් තඩියාගේ පෙම්වතියගේ නිවස අවට හොරගල් ඇහිලීමට පටන් ගැනීම සාමාන්‍ය රාජකාරියේ සභාවයි. තම දෙමාපියන්ගෙන් දහසින් බැඳි පියලි ලබමින් සේවාවන් සලසනා දුරස්ථ චරපුරුෂයින් වෙත තම හෘදයාංගම කෘතඥ භාවය ප්‍රකාශ කිරීමට තඩියා කිසිසේත්ම අමතක නොකළේය. තඩියා ප්‍රමුඛ මිත්‍ර සමාගමය රාත්‍රියක මළගෙදරක වැනි දෙයකට සහභාගී වූ දිනයක් ඇතිනම්, දුරස්ථ ස්වෙච්චා චරපුරුෂ සේවාවන් සපයන්නන්ගේ නිවෙස්වල වහලයේ උළු මතට ගල් වරුසා වැටීම වැළක්විය නොහැකි කටයුත්තක්ය.

විවිධාකාරයේ විනෝදාංශ තිබූ තඩියාගෙ ප්‍රියතම විනෝදාංශය වුයේ පිහිනීමය. පාසල් පිහිනුම් කණ්ඩායමේද තඩියාගේ සාමාජිකත්වය සුවිශේෂී ස්ථානයක් ගත් අතර පාසලේ වාර්ෂික මුහුදු පිහිනුම් තරඟයේදී තඩියා තරඟ කරුවකු වුවත් තඩියාට කවදාවත් පලවෙනි, දෙවැනි, තෙවැනි ස්ථාන වලට එන්නට නොහැකි වුයේ තඩියාගෙ කම්මැලිකම නිසාය. උදෑසන හයට පිහිනුම් පුහුණුවීමට යන තඩියා මාදම්පා ගඟේ පුහුණුවීම් පවත්වනා ස්ථානයෙන් ගඟට බසිනවා වුනාට තඩියා පිහිනන්නේ සැඟවී සිටින්නට තරම් පඳුරක් ගඟ අයිනේ හමුවනතුරු පමණක්ය. එතනින් පඳුර අස්සට පැනගන්නා තඩියා නැවත පඳුර අස්සෙන් එලියට එන්නේ පිහිනුම් කරුවන් සැතපුම් දෙක පිහිනා ආපසු එනවිටය. එසේ සැඟවී සිටිනා තඩියා පුහුණුකරුට හසුවූ අවස්ථාද නැත්තේම නැතිය.

පුනුවීම් වෙනුවෙන් උදෑසනට පිහිනන්නට කම්මැලි තඩියා සවස් කාලයේ පිහිනන්නට කවදාවත් කම්මැලි වුයේ නැති. සවස හතර පසුවනවිට ගඟට බසිනා තඩියා ප්‍රමුක මිතුරු කැල තරඟයට පිහිනා යන්නේ ගඟෙන් එගොඩ තිබෙනා ඉඩම් වල ඇති ගස් ගෙඩි පලදාව නෙලීම පිණිසය. එවන් සැන්දෑවන් වලදී අපද ඒම සත්කාරයට සහභාගී වූ අවස්ථා බොහෝය.

ගඟෙහි සම්පූර්ණ පළල මීටර එකසිය පනහකට වැඩි මිස අඩු නැති අතර තඩියා ප්‍රමුක තුඩුවමුල්ල තරුණ කැලට මීටර් එකසිය පනහ පිහිනීම කජු කනවා වාගේය. තඩියා සහ බතලයා ඇතුළු කුරා කුහුම්බියෙකුටවත් වරදක් නොකරනා පිහිනුම් ශූරයින් එගොඩ පිහිනන්නට පටන්ගත් කල මමද රවියාද ඒම බාරදූර කර්තව්‍ය සඳහා එක පයින් වතුරට බසින්නාවූ බූරුවන් දෙදෙනෙකුය. මා හට ඒ තරම් දුර පිහිනීමට හැකියාවක් නැතිද අතර මැදදී මදක් නැවතී මද විරාමයකින් අනතුරුව ඉතුරු ඩිංග පිහිනා යාමට යන්තම් සන්තම් හැකියාවක් තිබෙනවාය. ඒත් රවියාට එහෙම නොවේය. රවියා ඒම වීර වික්‍රමය කරන්නේ තුන්වෙනි පාර්ශවයක පිහිටාධාර ලබමින්ය. ඒම සේවාව සැපයීමට දායක වන අපගේ සේවා දායකයා වන්නේ සත්ගුණවත් තඩියා මහතාය.

ගං ඉවුරේ තිබෙනාවූ ශාකයක් වන දින් ගසකින් පිත්තක් ගලවාගන්නා තඩියා එය රැගෙන නැවත පිහිනා එන්නේ රවියාගේ ගංගා තරණය සඳහා සහයෝගය දෙනු පිණිසය.

ඉඳා.. කකුල් දෙක අස්සෙ ගහගෙන බැලන්ස් කරගෙන පීනපන්..

ඒ  .. එකපාරට එච්චර දුරක් පීනන්න බෑ බන්.. කකුල ගහන්න පුළුවන් තැන් පෙන්නහන්..

හරි  යමං.. මම පෙන්නන්නං..

පෝල් පිත්තේ පොල්ගසට සවිවන කෙලවර වැනි හැඩයක් ඇති දින් පිත්ත වතුරේ පාවෙනා වර්ගයේ එකක් වන බැවින් එය කකුල් දෙක මැද්දෙන් තබාගෙන පොල්පිති ඔලුව වැනි කොටස බෙල්ල යටට වනසේ තබාගත් කල වතුරේ නොගිලී සිටීමට යම් ආධාරකයක් සැපයෙන්නේය. පිහිනීම ගැන මෙලෝ මල දානයක් නොදන්නා රවියා කිසිම බයක් හැකක් නොමැතිවම අත පය හතරෙන්ම දියබුං ගසමින් පිහිනන්නට පටන්ගන්නවාය..

අම්මෝ අමාරුයි.. ටිකක් නවතින්න තැනක් හොයපන්..

තඩියා පිහිනීම නවත්වා දිය යට යමින් වැලි ගොඩැලි තිබෙනා තැනක් සොයාගන්නාතුරු රවියා දියබුං ගසමින් දිය මතුපිට නොගිලී හිටින්නට දත කනවාය.

ආ.. මෙතෙන්නට වරෙන්..

සුවර් එකට කකුල ගහන්න පුළුවන් නේද..

පුළුවන් යකෝ.. පුළුවන්.. බය නැතුව වර..

ඒ වීලු නං කරන්න එපා තඩියෝ..

මෙන්න මෙහෙ වරෙන් බන්..

රවියා තඩියා සිටිනා තැනට පිහිනා යන්නේ එතැන වැලි කන්දක් තිබෙනා බවට හොඳින්ම තහවුරු කරගැනීමෙන් පසුවය. එවන් තැනක මද විරාමයක් ලබාගන්න රවියා නැවත දින් පිත්ත කකුල් දෙක අස්සේ ගසාගෙන පිහිනන්නට පටන් ගන්නේ තඩියා ඊළඟ වැලි කන්ද සොයාගත්තාට පසුවය.

එවන් ආකාරයෙන් තඩියාගේත් දින් පිත්තේත් සහයෝගයෙන් එගොඩ පීනනා රවියාට  හිටපු ගමන් අකරතැබ්බ වෙන්නේ මෙසේය .

ආ  පීනගෙන වරෙන්.. මෙතන වැලි..

සුවර්ම නේද..

ඔව් බන් ඔව්.. වරෙන් පීනගෙන..

ඔන්න රවියා  පීනන්නට පටන් ගන්නවාය. තඩියා ඉන්නා වැලි කන්ද පාමුලට යන රවියා පිහිනීම නවත්වා දින් පිත්ත අතට ගෙන කකුල් දෙක බිම ගසනවාය..

කෝ..  හු...ග්ලබ්.... ග්ලබ්...ජබුං..ග්ලබ්..ගුඩුස්..ගුඩුස්.. ග්ල්බ්..

කකුල ගහපන් යකෝ බය නැතුව..

කෝ..හු... ග්ල්බ්...ග්ල්බ්...ග්ල්බ්...වැලි...ග්ල්බ්..කන්..ගුඩුස්...ග්ල්බ්..කන්දක්..

තඩියා විසින් තමුන්ගේ වරද තේරුම් ගන්නා අවස්ථාව වනවිට රවියා ගඟෙහි වතුර භාගයකට වඩා පානයකර  අවසන්ය. මිතුරෙකුට කිසිදා කපටිකමක් නොකරනා තඩියා රවියාට කපටිකමක් කර රවියා ගිල්ලවා දමන්නට හදනවා නොවේය. එය එසේ වන්නේ රවියාට වඩා අඟල් දහයක් දොළහක් උසින් වැඩි තඩියාට කකුල් ගැසීමට හැකි වැලි කන්දේ රවියා කකුල් ගැසූ කල රවියාගේ කොට ශරීරය ගං දිය මතුපිටින් නොපෙනී යන නිසාය. ග්ලබ් ග්ලබ් ගාමින් දියබුං ගසනා රවියා යටින් කිමිදෙනා තඩියා රවියාගේ කකුල් දෙකෙන් උඩට ඔසවා සිටින අල්ලපනල්ලේ රවියා තම ජීවිතාරක්ෂක උපකරණය නොහොත් දින් පිත්ත නැවත කකුල් දෙක මැදට ස්ථානගත කරගත් වහා රවියාගේ දියබුං ගැසිල්ල මදකට නතර වෙනවාය.

එසේ දනිපනි ගාමින් තඩියාගේ  පිහිටෙන් එගොඩහ පීනන මමත් රවියාත් එගොඩට ලඟා වනවිට බතලයා ප්‍රමුක නඩය එගොඩහ තිබෙනා කුරුම්බා ගස් පාලුකරන්නට පටන්ගෙන අවසන්ය. වැඩි සද්දයක් බද්දයක් නැතිව පටන් ගැනෙනා වතු පාලු කිරීමේ තරඟ ඉසව්ව අවසාන වන්නේ ඉඩමේ අයිතිකාර මහත්තයා එතුමාගේ නිවස පිළිකන්නෙන් එලියට ආ පසුවය. ඇති තරම් කුරුම්බා කා, මෙගොඩ සිටිනා උදවියටද රැගෙන ඒමට තරම් කුරුම්බාද බාගත් පසුව ඊළඟ කර්තව්‍ය වන්නේ වත්තේ අයිතිකරු ගෙයින් එලියට බසිනා තුරු කෑකෝ ගසා වත්ත දෙවනත් කිරීමය.

එම තරඟ ඉසව්ව ආසන්න වනවිට මම සහ රවියා ගඟේ මද දුරක් පිහිනා රැඳී සිටින්නේ අයිතිකාරයා කඩු කෙටිය රැගෙන එලවාගෙන එන විට ගඟට පැන පිහිනා බේරීමට තරම් අප දෙදෙනා පිහිනුම් ශුරයින් නොවෙනා නිසාය. වතු පාලු කිරීම එසේ අවසන් වන්නේ වත්තේ අයිතිකාරයා ඔහුගේ ගෘහස්ත ආරක්ෂක මෙවලම වන කඩුවද රැගෙන ගං ඉවුරට වැඩියායිං  පසුවය. කුරුම්බා කෑ ගස තිබෙන්නේ ගං ඉවුරට ආසන්නයේම නම් ගස මුදුනේ සිටිනා තඩියා ගසෙන් බසින්නේම නැත. අයිතිකරු ගස ආසන්නයට එනතුරු කෑකෝ ගසමින් ඔහුව අමන්දානන්දයට පත් කරනා තඩියා පොල්ගසේ මුදුනේ සිට කෙලින්ම පනින්නේ වතුරටය. අලියකු වතුරට වැටෙනා වැනි " ජබාo"  ශබ්දයෙන් වතුරට පතබෑවෙනා තඩියා එම වේගයෙන්ම අඩි විස්සක් තිහක් දිය යටින් ගොස් වතුරෙන් උඩට මතුවෙනා විට වත්තේ අයිතිකාරයා කඩුව ගුවනේ ලෙළදෙවමින් තඩියා ප්‍රමුඛ මිතුරු කැලට යුද්දය ප්‍රකාශ කරනවාය. 

ආපසු එන ගමනෙද රවියාගේ පිහිනුම් ඉසව්ව ගස් මාරුවෙන ක්‍රමයට සිදුවෙනා අතර තඩියාගේ පිහිටෙන් දින් පිත්තේ උදව්වෙන් රවියා මහා පිහිනුම් ශුරයකු ලෙස නිරුපද්‍රිතව මෙගොඩට සැපත් වෙනවාය. 

උසස්පෙළ විභාගයද කර ළඟටම පැමිණ තිබුවත් හවසට කෙරෙන්නාවූ දිය කෙලිය නොනවත්වා සිදුකල අතර අහලපහල වතු පාලු කිරීමද නොකඩවා සිදුවීය. තඩියා විශ්වාස කටයුතු පුත්‍රයකු නොවන නිසා දෙමාපියන්ගේ විශ්වාසය තහවුරු කරනු පිණිස සියලු සොමි නිමවා නිදාගැනීමට නිවසට යාමට තඩියා අමතක නොකළේය. බෝඩිමේ කුස්සියේ තැම්බෙන කාගේ හෝ වත්තකින් හොරෙන් කඩන ලද දෙල් ගෙඩියක්, කොස් ගෙඩියක් , අල බතලයකින් තමුන්ගේ කොටහ කොටාබානා තඩියා රාත්‍රී දහය පසුවනවිට බෝඩිමේ සගයින්ට සමුදී ගෙදර මාරු වෙනවාය. බතලයාගේ නිවාස පිහිටා තිබුනේ ඥානාගෙ බෝඩිමට අල්ලපු ඉඩමේ වන බැවින් බතලයාද බෝඩිමේ කුස්සියේ ආහාර වේලටද වගකියා ගෙදර මාරුවෙනවාය.

කතාවේ මාතෘකාවට උක්ත සිද්දිය වූ දිනයේද පිටු විස්සක තිහක පෙම් හසුනක් ලියා එය ආරක්ෂාකාරීව ඥානාගෙ මෙට්ටය යටට ස්ථානගත කල තඩියා සුදු පොල් දමා තැම්බූ දෙල් පිඟානකටද වගකියා ගෙදර ගියේ සියල්ලටම සුභ රාත්‍රියක් පැතීමෙන් අනතුරුවය. බතලයාද නිවසට ගිය අතර ඉතුරු සියල්ලෝ තම තමුන්ගේ නිදන ස්ථානවලට වී නින්දට වැටුනේ උදෑසන අවදිව පාසල් යායුතු නිසාය. 


ඩොග්..ඩොග්...ඩොග්..

ක්.. කව්ද..එසේ ඇසුවේ ඥානා වන අතර රෑ එකට දෙකට බෝඩිමේ දොරට එසේ තඩි බාන්නේ කව්දැයි කියා කුතුහලයෙන් හැමදෙනාම සැනින් අවදිවීය..

මම.. බන්.. මම  ... දොර  ඇරපන්..

බතලයා ...මොකෝ බන් මේ මල රෑ නිදාගන්න දෙන්නේ නැත්තේ.. 

මොකද කියල කියන්න ඇරපන් දොර.. 

ඥානා ඇඳෙන් පැන දොර විවුර්ත කල බැවින් බතලයා හොල්මනක් දැක්කා සේ බෝඩිම ඇතුලට ප්‍රාදුර්භූත වීය..

මොකෝ බන්..

අන්න  අරූව සතෙක් කාලලු.. ඇන්ටි කෝල් කරා.. යමල්ල ඉක්මනට ..

කව්ද බන් අරූ කියන්නේ..

තඩියා බන් තඩියා..

අනේ පලයන් බන් මේ යක්කු ගස්යන වෙලාවේ බොරු නොකිය..

බොරු නෙවෙයි යකුනේ.. ඇන්ටි කෝල් කරලා මටත් ඇහැරුනේ.. යමල්ල.. වෙදගෙදර අරන් යන්න වෙයි..

අනේ ඕකගේ බොරු වෙන්නැති බන්.. ගෙයි නිදාගන්න එකා කොහොමද බන් සත්තු කන්නේ..

ඒ මගුල් මම දන්නේ නෑ බන්.. බොල එනවද යන්න කියපන්..

හරි යමන් එහෙනම්..

බෝඩිමේ දොර වසා දැමු අප සැමගෙවල් කිහිපයකින් එහා තිබු තඩියාගේ නිවසට දුවගෙන ගියේ කතාව සත්‍යයක් යන්න විශ්වාසයෙන් තොරවය.. ඒත් තඩියාගේ නිවසට ගිහින් බැලුකල වැඩේ ඇත්තය. අහල පහල සියල්ලෝම අවදි වෙලාය. තඩියා කාමරයේ සිට මොර හතේ මොර දෙනවාය.

මොකෝ ඇන්ටි වෙලා තියෙන්නේ.,

අනේ මන්ද දරුවෝ..රෑ දහයට විතර ගෙට ඇවිත් බත් කාල නිදා ගන්නවා කියල කාමරේ දොර වහගත්ත..ඊට පස්සේ මේ විනාඩි දහයකට කලින් කෑගැහිල්ලට තමයි අපිත් ඇහැරුනේ..

අනේ අම්මේ.. මට ඉන්න බැරෝ..බුදු අම්මේ .. රිදෙනවෝ...

මොකෝ බන්.. මොකෝ උනේ..

කෑවා.. මාව  කෑවා.. මාව කෑවා...

හරි බන් හරි මොකාද උඹව කෑවේ..

මට පාඩුවේ ඉන්න දීල පලයල්ලා යකුනේ මෙතනින්..

තඩියා ඇඳේ මූනින් පෙරලී මොර දෙනවාය..

ඉතින් යමන් වෙද ගෙදර..

මට බෑ.. මට බෑ..මට බෑ... මට ඉන්න දීල පලයල්ලා..

කියන දේ අහන්න ලොකු ළමයා.. අපි යමු වෙද ගෙදර..

මට බෑ... මට බෑ... මට බෑ... මට ඉන්න දීපල්ලා...

කෝ හැරියන් බලන්න උඩි අතට.. මොකාද බලන්න උඹව කෑවේ..

පලයව් යකුනේ පලයව්..මට ඉන්න දීල පලයව්..

අනේ පුතේ අපි යමු වෙද ගෙදර..

මට බෑ... මට බෑ... මට බෑ...

එතෙක් සියල්ල ඉවසා වදාරා සිටි තඩියාගේ පියාණන් සිය විධායක බලතල සියතට ගත්තේ තඩියාගේ අදෝනාව අහල පහල උදවියගේද නින්දට භාදාවක් වන නිසා වන්නට ඇත..

කොල්ලනේ.. මෙන්න මේක උස්සල ගනිල්ලා වෙද ගෙදරට අරං යන්න..

මට බෑ.. මට බෑ..

බෑ කියල බෑ තඩියෝ...අල්ලපල්ලා..

අහල පහල තඩියාගේ ඥාති පිරිසද, හිත මිතුරු පිරිසද එකතුවී තඩියා කරට ගත් බැවින් තඩියා එතෙක් එල්ලකළ වෙදගෙදර යාමට ඇති අකමැත්ත හිතලුවක් පමණක්ම වීය. නිවාස කිහිපයකින් එපිට තිබු වෙදකමට යම් ප්‍රසිද්දියක් ඉසුලු නිවසක වෙත තඩියා ඔසවාගෙන යාමට අපට විනාඩි දෙක තුනක්වත් ගතවුයේ නැත.

මොකෝ පුතේ.. කාපු සතා දැක්කද..

ඔව් නැන්දේ.. ඔව්..

පැත්තෑයා කෑවේ නැන්දේ..

ඇඟිලි ගණන් කරමින් යම් සාස්තරයක් බැලු වෙදගෙදර නැන්දා ඔලුව වනා සහතික කලේ තඩියා කා ඇත්තේ පැත්තෑයකු වන බවයි..

හා.. ඔහොම ඉමුකො..

තඩියා පිළිකන්නේ වෙදකම් කරන පුටුව උඩ කෙඳිරි ගාද්දී වෙද නැන්දා නිවස තුලට ගොස් එලියට ආවේ බුලත් කොලයක් මතුරමිනි..වෙලාව අලුයම දෙක පමණ වී තිබුනාට ගමෙන් භාගයක් පමණ දැන් වෙදගෙදරට ඇවිල්ලාය.. තඩියා නොනවත්වා මොර දෙනවාය..

විනාඩි දහයක් පමණ බුලත් කොලයට මැතිරූ වෙද නැන්දා ප්‍රතිකර්මය අවසන් කළේය..

ආ පුතේ.. මේ බුලත් කොලේ සතා කාපු තැනට තියල තද කරගන්න..

අනේ බෑ නැන්දේ.. රිදෙනවා..

හරි පුතේ.. මේක තියල විනාඩි පහ යද්දී විස බහියි.. මේක තියන්නකෝ..

විස බහියිද..

ඔව් පුතේ ඔව්..

හා එහෙනම්..

වෙද නැන්දා කී අනාවැකිය සැබෑවක් කරමින් තඩියාගේ මොර ගෑම සිහින් කෙඳිරියක් දක්වා අඩුවූ අතර වෙද ගෙදර වටවී උන් සෙනග එකා දෙන්නා සිය නිවෙස් බලා යන්නට වීය..තවත් බුලත් කොළ කිහිපයක් මතුරා තඩියා අතට දුන් වෙද නැන්දා තඩියාට ගෙදර ගොස් නිදාගන්න ලෙස දැන්වූ බැවින් පැත්තෑයා කෑ ස්ථානයේ බුලත් කොළයෙන් වසාගෙන පයින් ඇවිදගෙන ගෙදර ඒමට තඩියා දක්ෂයකු වුයේය..

මේ පෝස්ටුව කියවන සියල්ලන් දැන් කුතුහලයෙන් පසුවන්නේ පැත්තෑයා කෑවේ තඩියාගේ ශරීරයේ කුමන ස්ථානයක්ද යන්න නොදන්නා නිසාය. පැත්තෑයාගේ කරුමයට කළුවරේ ඇස් නොපෙනෙන්නට වී ඇති අතර කළුවරේ ඔන්න ඔහේ ඕනෑම තැනකට විදිනවා කියා පැත්තෑයා විෂ දලය එන්නත් කර ඇත්තේ තඩියාගේ චූ කුරුල්ලාටය..හරිහමන් විදිහට රෝග නිරීක්ෂණය කර වෙදකමක් කළහැකි ස්ථානයක් නොවුවත් තැනට සුදුසු ආකාරයේ වෙදකම් අපේ සිංහල වෙද සාස්තරයේ තිබුණු නිසා වැඩේ ගොඩ ගියා විනා ඉස්පිරිතාලෙකට උස්සාගෙන ගියානම් ප්‍රති විෂ එන්නත් කරන්න වන්නේද සතා කෑ ස්ථානයටමය. එහෙම උනානම් තඩියා සුනේ සුන්ය. 


බුලත් කොලය පැත්තෑයා කෑ තැන තබාගෙන එක අතකින් බුලත් කොලයද අනිල් අතින් සරොම අල්ලාගෙන තඩියා කළුවරේ සෙනග පිරිවරා පෙරහැරින් ගෙදර ආ හැටි පාඨක සැම තම තමුන්ගේ චිත්ත සන්තාන වල මැවෙනා චිත්ත රූප ඇසුරෙන් පැහැදිලි කර ගනිත්වා..එකල ෆෝන් කැමරා ඩිජිටල් කැමරා තිබුනානම් පහුවදා එළිවෙද්දී පැත්තෑයා සහ තඩියා පිංතූරය බුකිගත වනවා අනිවාර්යය..

ඥානාගෙ බෝඩිමේ කතා 
http://ambalangodakatha.blogspot.com/2015/11/blog-post.html