Thursday, December 25, 2014

තනියම ගිය පාස්පෝර්ට් එක 2

                           



                        තනියම ගිය පාස්පෝර්ට් එක 1 නොබලපු උදවිය මෙතනින් බලන්න .එවකට මා සතුව තිබු ලෝකෙටම එකයි ගනයේ කැලිෆෝර්නියා රථය පුර්නකාලීනව භුමිතෙලෙන් ධානාවය වූ බැවින් පොලිස් කාරයෙකුට හසු නොවී ගුවන් තොටුපොල වෙත යාම දුෂ්කර කාරණයක්ය. එසේ ගොස් පොලිසියට හසුවුවහොත් රට යන එවුන් වෙනුවෙන් පරිප්පු නැව තනියම බාන්නට මට සිද්දවෙන නිසා වෙනත් රථයකින් අප මිතුරා ගුවන් තොට වෙත ඇරලීමට කව්රුත් එළඹී තීරණයයි.. එකෙකු සතු නවීන පන්නයේ රථය සුද්දන් අදින කොම්පැනියකට කුලියට දීලාය ..අනෙක් එකා සතු රථයේ කොළඹ ගියහොත් ගමට එන්නට වන්නේ රථය ෆිනෑන්ස් කොම්පැනියේ සීසර් කෙනෙකුට ස්ව කැමැත්තෙන් භාරකරලාය. අවුරුදු දහයක් ෆිනෑන්ස් නොගෙව්වත්  සීසර්ලාගේ ලොක්කෙකු වල ජුලියස් සීසර් කෙනෙකු දන්නා හඳුනන නිසා බෙන්තර ගඟෙන් එහා  සහ  නිල්වලා ගඟෙන් මෙහා සීසර්ලා එම රථය ගෙනයන්නට උත්සහ නොදැරුවත් ගඟෙන් එහාට ගියොත් ජුලියස් සීසර්ගේ ගැරන්ටිය අහෝසි වන බව ජුලියස් සීසර් කලින්ම අප මිතුරාට දන්වා තිබුනේය..එහෙයින් එයින්ද ගුවන්තොටුපොළ වෙත යන්නට නොහැක්කෙන් සුද්දන්ට රට පෙන්වන න්‍යායෙන් සුද්දන්ට සුද්දය දෙන අපේ එකෙක් කොහෙන්දෝ වෙනත් රථයක් ඉල්ලගෙන අවේ මිතුරා කුලී රියකින් රට යැවීමට ඇති නොකැමැත්ත නිසාය...

                          ඔයින් මෙයින් වාහනයේ ප්‍රශ්නයද විසඳාගත්  අපි කට්ටිය දැන් යන්නේ මිතුරා ඒරොප් ප්ලේන් එකට නැග්ගවීම සඳහාය. කිසිදු කරදරයකින් තොරව අතරමග පාර්සල් සියල්ලද එකතුකරගත් අපි වැඩි හදිසියකින් තොරව ගුවන් තොට වෙත සැපත්වන්නේ ඉතාමත් වූ ශෝකාකුල ස්භාවයෙන්ය. එකට කා බී විනෝද වූ අපේ තවත් බොක්කේ සගයෙකු අපව දමා රට යන්නට යාම කාටත් හිත රිදුම් දෙන්නාවූ කාරණයක්ය. එහෙත් වාහනයෙන් බසින්නට කලින් ගුවන් ටිකට්පත්, විදේශ ගමන් බලපත්‍රය වැනි අත්‍යවශ්‍ය දෑ නැවත වරක් පරික්ෂා කිරීමටද අප කණ්ඩායම වගබලා ගත්තේ මිතුරු තුමෝ කවදත් මිතුරු තුමෝ  හට පිහිටවන නිසාය. ගුවන් තොටෙන් ගුවන් යානයට නගිනා ආකාරය ගැන  පළපුරුදු උදවිය උපදෙස් අවවාද  අනුසාසනා අවධාරණයෙන් අසාගත් මා මිතුරා අප සියලු දෙනාට බායි කියා ගුවන් ටිකට්පත හා විදේශ ගමන් බලපත්‍රය දොරටුවේ ඉන්නා ආරක්ෂක නිලධාරියාට පෙන්වා බණ්ඩාරනායක ජ්‍යාත්‍යන්තර ගුවන්ටෝටුපොල  ඇතුලට පියවර මැන්නේ දුකෙන්ද සතුටෙන්ද යන්න අප දන්නේ නැත. එකල යුද්දය නිමාවී නොතිබූ බැවින් ගුවන් තොටුපොළේ ටිකට්  කවුන්ටරයට යන්නට මත්තෙන් තුන් පොළකදී ගුවන් ටිකට් පත හා විදේශ ගමන් බලපත්‍රය ආරක්ෂක නිලධාරීන් විසින් පරික්ෂා කරනවාය.. ඒ එකල තිබු ආරක්ෂක තත්වය හේතුකොටගෙනය...

                             
                              මිතුරා ගුවන් තොටුපොල වෙත අදාළ යානය පිටත් වන්නට පැය දෙකකට කලින් ඇතුළුවූ හෙයින් ගුවන් යානය අවලංගු නොවුවහොත් හැරුණකොට මිතුරා අදාළ රටට වෙලාවට යහපත් වන වග ඊට කලින්  රට ගොහින් තිබු මා ඇතුළු පිරිසේ කිහිප දෙනෙකුම හොඳින්ම දන්නවාය . අදාළ ගුවන් යානයේ අංකයට ඉදිරියෙන් check in කියා වැටී ඇති බැවින් ගුවන් යානයද වෙලාවට පිටත්වීමට සියල්ල සුදානම්ය..සියල්ල අකුරට සිදුවන හෙයින් අපි තවත් අනුන්ගේ සීනි කිරීමෙන් පලක් නොවන නිසා ගම්රටවල් බලා එන්නට පිටත් වන්නේ ගුවන් තොටුපොළේ රථ ගාලට රුපියල් 150ක් ගෙවන්නට තරම් පරිත්‍යාගශීලී එකෙකුවත් අප අතර නොසිටි නිසාය.. වල් පල් කතාවෙන් අපිට සීදුවට එන්නට ලැබුනේ නැත.. රට යන මා මිතුරාගෙන් දුරකථන ඇමතුමක් නාද වන්නට වුයේ සියල්ල OK කියා කියන්නට යයි සැවොම එකවර සිතුවෝය..එහෙත් එය නිවැරදි නොවේය.. අපේ එකා දැන් කියන්නේ කලිසම පිටින් උස්සා  පොළොවේ ගැසීමට තරම් කතාවක්ය...

" බලපන් මචන් මගේ පාස්පෝර්ට් එක කාර් එකේ වැටිලද කියල"

                     දැන් මු කියන්නේ අමුලික කුණුහබ්බ කතාවක්ය ... ගුවන් තොටුපොළේ ආරක්ෂක නිලධාරීන්ට පෙන්වා ඇතුලට යාමට අවසර ගත්  පාස්පෝර්ට් එක දැන් මු කාර් එකේ හොයන්නට කියනවාය. මා රථය අයින් කොට නවත්වන්නට සිතන්නටත් කලින්  මාගේ කුඩා මොලය විසින් ඉබේම රථය පාරේ අයිනකින් නැවත්වුයේය ... ඒ එවන් අනියමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියා අසන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් බැවින්ය...

                   කට්ටියම දැන් නැති බව දැන දැනම මෝටර් රථයේ සියලු අහුමුළු අතගාමින් අප මිතුරාගේ පාස්පෝර්ට් එක හොයනවාය. එහෙත් එය මෙහි නොමැති වග අපි සැවොම හොඳින්ම දන්නවාය .. එහෙත් රට යන්නට ගිය එකා දුරකතනයෙන් කියා සිටින්නෙම  කාර් එකේම  හොයපල්ලා කියලාය..අවසානයේ නැවත රථය හරවාගෙන ගුවන් තොටවෙත යන්නට අපි පිටත් වුයේ රථයේ සියලුම අහුමුළු පරික්ෂා කිරීමෙන් අනතුරුවය.. පරික්ෂා නොකලානම් ඒ රථයේ ඉන්දන ටැංකිය පමණය.. 

             හනි හනිකට ගුවන් තොට වෙත සැපත්වූ අපි රථගාලට පිදේනි ගෙවා රථය ගාල්කොට පිටවීමේ පර්යන්තයට යනවිට අපේ එකා නයා මල අහිකුන්ටකයා සේ එයාර්ලයින්  කවුන්ටරය අසල ඉන්නවාය.. පාස්පෝර්ට් එක නැති එකෙකු එයාර්පෝර්ට් එක ඇතුලට රිංගලා බව දැන් සියලුම ආරක්ෂක නිලධාරීන් දන්නවාය . අපි කට්ටිය ත්‍රස්තවාදී පෙනුම නැති අහිංසක මොඩල් එකේ එවුන් බැවින් ගුවන් යානය පිටත්වීමට ප්‍රථම පාස්පෝර්ට් එක හොයාගනිල්ලා කියා නොමිලේම ගුවන් තොටේ එයාර්ලයින් කවුන්ටරය අසලටම යාමට ආරක්ෂක නිලදරුවන් අපිට අවසර දුන්නේ මෙවන් අකරතැබ්බයක් ඔවුන් උපන්තේකට අසා නැති බැවින්ය..අපේ එකා පාස්පෝර්ට් එක කාර් එකේ හොයන්නට කීවද ගුවන් තොටේ ප්‍රධාන දොරටුවේ සිටින ආරක්ෂක නිලදරුවා කියා සිටින්නේ අපේ එකා ගියේ පාස්පෝර්ට් එක පෙන්නලා කියාය..අපේ එකාගේ ගමන්මලු  පරික්ෂා කල නිලධාරියා කියා සිටින්නේද පාස්පෝර්ට් එක ඔහුටද පෙන්නුවා කියාය. දැන් ප්‍රශ්නය නම් බෑග්  විවුර්තකොට පරීක්ෂාකරන ස්ථානයේ සිට ටිකට් කවුන්ටරය දක්වා යන අඩි කිහිපය තුල අපේ ගොන් වස්සා පාස්පෝර්ට් එක අස්ථානගත කලේ කෙසේද කියාය..ආරක්ෂක නිලධාරීන් සිය ගණනකින් සමන්විත මෙවන් වටපිටාවක් තුල අඩි දහයක් පහළොවක් ඇවිද යන නිමේෂයේ ෂර්ලොක් හෝම්ස් ගෙන්නුවත් ලොවෙත් සොයන්නට බරිවනසේ ගමන්බලපත්‍රය අස්ථානගත කල මෙවන් දක්ෂ විජ්ජා කරුවන් ගිනස් පොතට ඇතුලත් කිරීම රටේ ජනතාවගේ වගකීම වන්නේය...


             අපිද ගේම අතාරින්නෙ නැතිය... ටිකට් කවුන්ටරයෙන් කියා සිටින්නේ වලංගු ගමන් බලපත්‍රයක් නැතිව ගුවන් යානයට ඇතුල්වීමට ඉඩදිය නොහැකි බවය.. එසේ ඇතුල්  වුවත්  යන රටෙන් නැවත හරවා එවන වියදම්ද ගුවන් සමාගමට දැරීමට සිදුවන බවය... ඒ සියල එසේ උවත් වලංගු  ගමන් බලපත්‍රයක් නොමැතිව අදාළ පිටත්වීමේ ගේට්ටුව වෙත යාමට ආගමන විගමන නිලධාරීන් කොහෙත්ම ඉඩක් දෙන්නේද නැත. අපි දැන් පිස්සන් රැලක් වැනිය... ගුවන් තොටේ ඇති සියලුම කුණු කූඩ අවුස්සමින් අපේ ගොනාගේ පාස්පෝර්ට් එක හොයනවාය.. ඊට අමතරව ගුවන් යානයේ සිට  අප මිතුරාගේ නම අමතමින් Mr ............ Please board your flight කියා නිවේදනය කරනවාය... අපේ එකාගේ කොණ්ඩය කෙලින් වෙලාය..ගහෙන් වැටුන එකාට ගොනා හැමදාම අනින්නා වාගේ අපේ එකාගේ පෙම්වතියද දුරකතනයෙන් අපේ එකාට අම්ම මෝ නැතුව බනිනවාය... ගුවන්තොටේ එක යුද්දයක්ය.. ආරක්ෂක නිලදාරීන්ද අපිට හෙන සපෝර්ට් එකක් දෙනවාය. අපේ එකා තියා කිසිදු මගියෙකුට ඇතුල්වීමට ඉඩ නොදෙන තැන්වල කුණු කූඩද අපිට කියා අවුස්සවනවාය.. ඒ අතරේ Mr .................. this is  your final warning .... Please board your flight .. කියා මුළු ගුවන් තොටටම  ඇහෙන්නට එනවුන්ස් කරනවාය...අවසානයේ  final warning කිහිපයක් දුන් ගුවන් යානය අපේ එකා දමා ගුවන්ගත වුයේ අපි කාගේත් බලාපොරොත්තු සියල්ල සුනේ  සුන් වෙද්දීය... එත් ඊළඟ ගුවන් යානයේ හෝ ගමන යාමට ටිකට් පත හදාගන්නට අපේ එකාට එළුවන්ට කන්නට දීමට තරම් සල්ලි තිබෙනවාය. එත් ප්‍රශ්නයනම් විදේශ ගමන් බලපත්‍රයක් නොමැතිව රටින් පිටවීමට ක්‍රමයක් එදත් අදත් ලංකාවේ ආණ්ඩුවෙන් ජනතාවට සපයා නොමැතිකමය...

                 ගුවන් යානය පිටත්වී පැයක් ගතවෙනතුරුත් ගමන් බලපත්‍රය සෙවූ අපි ගුවන් තොටෙන් එලියට අවේ තවත් රැඳී  සිටියහොත් අපව එලවා දමන බව අනිවා නිසාය. සියලු ගුවන් සමාගම් හා ආරක්ෂක අංශ වෙත අපගේ ජංගම දුරකථන අංක ලබාදී හිස් අතින් ගමරට බලා පිටත් වෙනවිට ගුවන් යානය අපේ එකා යන්නට ගිය රටටත් කිට්ටු කරලා තිබෙන්නට ඇතිය..

                  පසුව දා තාවකාලික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම අදහසින් නැවත කොළඹ දෙසට ධාවනය කල අපි පළමුව කලේ අපේ ගොන් වස්සාගේ පෙම්වතිය ඇයගේ කාර්යාලය අසලින් රථයට දමාගැනීමයි. අනතුරුව දෙහිවල කනබොන තැනක් වෙත සැපත්වූ අපි සැර බීමකින් සප්පායම් වෙන්නට වුයේ ගුවන් තොටුපොළේ කුණු බාල්දි සියගණනක් අවුස්සා මහන්සි බැවින්ය..අපේ එකා පෙම්වතිය ඉදිරියේ බියර් උගුරක් බිව් පළමු දවස එදා වන්නට ඇතිය. අපි කට්ටියක් සමග සිටිනා හෙයින් අපේ ගොන් වස්සාව උස්සා පොළොවේ ගැසීමට උගේ පෙම්වතියට ඕනෑකම තිබුනත් නොහැකිය.. ගමේ එවුන්ට සාද පවත්වා රට ගියා වූ බැවින් ආපසු හැරී ගෙදර යනවාට වඩා බඩේ ගලක් එල්ලගෙන මුහුදේ පැනීම යහපත්ය. ඒ හෙයින් අපේ ටුවරිස් කොම්පැනියේ එකා අපේ ගොන් නාම්බාව කොළඹ ඥාති නිවසක නවත්වා ගැනීමට ඉදිරිපත් වවුයෙන් අහිංසක මට බස් රථයක නැගී ගම රට බලා ඒමට සිදුවුයේය...හැමදාමත් වාගේ හොඳ කෑල්ල උන්ටය.. නරක කෑල්ල මටය...


                 සියලු අකරතැබ්බ අවසන පසුවදා ආගමන විගමන වෙත ගිය අපේ එකා රට යන්නට ගිහින් තිබුනේ අයිඩෙන්ටිය ගෙදර තබා බැවින් අයිඩෙන්ටිය නොමැතිව තාවකාලික ගමන් බලපත්‍රයක් ලබාදීම ආගමන විගමන ප්‍රතික්ෂේප කරන ලදී කිවලු.... දැන් නැවතත්  නරක කෑල්ල මටය. අපේ ගොන් වස්සාගේ අයිඩෙන්ටිය උගේ ගෙදරින් ඉල්ලාගෙන කොළඹ යාමට සිදුවන්නේ මටය..එහෙත් දෙවියන් ඉඳහිට මාගේ මුහුණ බලනවාය... මාගේ ජංගම දුරකථනය නාද වන්නේ දෙවියන්ගේ බල්මටය....

මේ මා අමතන්නේ එයාර් ලංකා ගුවන් සමාගමෙන්ය....

                  කුවේට් වෙත ගිය කාන්තාවක් ඇයගේ ඇඳුම් බෑගයේ තිබී හමුවූ අපේ ගොන් වස්සාගේ විදේශ  ගමන් බලපත්‍රය ගුවන් සමාගම වෙත ගෙනවිත් භාරදෙන්නට තරම් කාරුණික වෙලාය.. දුරකතනයෙන් කියනා කරුණු අනුව තව නොබෝ වෙලාවකින් එයාර් ලංකා කාර්යාලය වෙත අනන්‍යතාවය ඔප්පු කොට විදේශ ගමන් බලපත්‍රය ලබාගන්නට පුළුවන් කියනවාය... 

                  සියලු අකරතැබ්බ, අලකලංචි අවසානයේ ඊට දවසකට පසු අපේ ගොන් වස්සා නැවත අදාළ රට බලා පිටත්කර යැවීමට අපි වාසනාව ලද්දෝ වීමු.. අපේ එකා කර තිබු හපන්කම නම් බැගේජ්  පරික්ෂා කරන නිලධාරියා ගමන් බලපත්‍රය පරික්ෂාකොට නැවත දුන් පසු එය තබා ඇත්තේ අපේ ගොනාට එහායින් බැගේජ් පරීක්ෂණයට ලක්වූ කාන්තාවගේ ගමන් මල්ල ඇතුලේය.. පරීක්ෂණ අවසන්වූ කාන්තාව තම බෑගය  වසා ටිකට් කවුන්ටරය වෙත පියනැගු  අතර අපේ එකා බෑගය විවුර්තකොට පෙන්වා බෑගය වසා ටිකට් කවුන්ටරය වෙත යනවිටත් අපේ එකාගේ ගමන් බලපත්‍රය තනිවම කුවේටය බලා ගමන් ආරම්භ කරලාය ... නියමිත වේලාවෙන් දවස් දෙකක් අනතුරුව විදේශ රැකියාව වෙත වාර්තාකළ අපේ එකා එහි යන්නටත් මත්තෙන් එහි සිටින සියලු සේවකයින් අපේ එකාව දන්නවාය . ඒ උගේ නමෙන් නොවේය.. PP කියලාය.. PP කියන්නේ පාස් පොර්ට් කියන එක කොට කරලාය ..

                    ලංකාවේ ගුවන් සේවා ඉතිහාසයේ පළමු හා අවසන් වතාවට ගුවන් තොටුපොල ඇතුලෙදි ගමන් බලපත්‍රය අස්තානගතවූ පළමු අවස්තාව මෙයයි... එහෙම බැලුවාම අපේ එකා Hybrid කතාවට වාගේම මේකටත් ගිනස් ගතවෙන්නට ඕනය .. එහෙව් ගිනස් වාර්තා දෙකක් පිහිටුවන්නට දායකවූ අහිංසක මා ඇතුළු හෝඩියේ සිට 13 වසර දක්වා  එකට කාගෙන බීගෙන හිටි අපි එකෙක්වත් අදනම් අපේ එකාට මතක නැති ගානය.. එත් අපි හැම කල්‍යාන මිත්‍රයෝ බැවින්  කවදත් කරදරයකදී එකා මෙන් එදත් එකටය ...අදත් එකටය... හෙටත් එකටය...කනගාටුව නම් මේ කතාවට උක්ත මා මිතුරාට අද අපි පයට පෑගෙන දුවිලි ගානය...




තනියම ගිය පාස්පෝර්ට් එක 1




                       මේ ලියන්නට යන්නාවූ සිද්දිය සිදුවුයේ කුමන වසරේද  කියා හරිහැටි මතකයේ නැතත් 2004 සුනාමියෙන් පසු සිදුවූ සිද්දියක් බවට කිවහැක්කේ මීට උක්තවූ මාගේ අතිජාත මිත්‍රයා සුනාමිය ආ කාලයේ රැකියාව කලේ රටේ සුප්‍රසිද්ධ ජංගම දුරකථන ජාලයකට සම්භන්ධ කොම්පැනියක බව තරයේම මතකයේ තිබෙන නිසාය.මා මේ කියනාවූ මිත්‍රයාට  රැකියාවෙන් ලැබෙන්නාවූ වැටුප, කොමිස් මුදල්, ඇතුළු සියලුම ආදායම් මුලාශ්‍ර වලින් ලැබෙන මුළු ආදායම සුව පහසුවෙන් ලංකාවේ ජීවත්වීමට එකෙන්ම ප්‍රමාණවත් වුවත් මාගේ මිතුරු සගයාට එකවරම රට යාමේ උණක් වැලඳුනේ,  රැකියාව එපාවීද නැතිනම් වෙනයම් පුද්ගලික කරුණක් හේතුවෙන් ලංකාවෙන් පැනගැනීමට උවමනාවක් තිබුනාද යන්න වෙනම විමසිය යුතු කාරණයක් වන්නේය . එය  මිතුරන් අතරේ පමණයි මාතෘකාව යටතේ කන බොන තැන වලදී කතාබහට ලක්වුවද ඒවා මෙහි ලියා තැබීම මාගේ ශරීර සෞක්‍යට එතරම් සුභදායක නොවන්නේය..

                         මේ කියනාවූ කාල  වකවානුවට වසර කිහිපයකට කලින් මා මිත්‍ර තඩියා විදේශගතවී සිටි බැවින් සිද්දියට උක්ත මා මිතුරු තැනගේ  පළමු මංගල විදේශ රැකියාව තඩියා විසින් සම්පාදනය කල අතර එවකට සිද්දියට උක්ත මා මිත්‍රයාගේත් තඩියාගේත් ගමෙන් භාගයකටත් වඩා සේවය කලේ මේ කියනා වූ විදේශ රට තුලය. එහෙයින් සියලු ගමේ සගයින්ට තවත් සගයෙකුගේ ආගමනය ඉතාමත් ආශ්වාදයක් ගෙනදෙන්නක් වුයේය. සියලුදෙනාගේම සහයෝගයෙන් තඩියා මා මිත්‍රයා සඳහා නවාතැනේ සිට බත් පිඟාන දක්වා සියලු යටිතල පහසුකම් කලින්ම සුදානම් කරවුයේ මේ කියනා මිතුරු තැන හා තඩියාගේ  මිතුරුදම අඹ යාලුවා කියනා ස්ථානයටත් එහා ඇදී  ගියාවූ මිතුරුදමක් වූ නිසාය..

        
                         රැකියාවට අදාළ විසා බලපත්‍ර සඳහා තඩියා විසින් ලංකාවට එවන ලද්දාවූ ලියකියවිලි රැගෙන අදාළ රටේ එම්බසිය වෙත ගියා මා මිත්‍රයා විසා බලපත්‍රය ද කිසිදු අවහිරයකින් තොරවම ලබාගත්තේය . වීසා  ලැබුන වහා එවකට කළාවූ රැකියාවෙන් සමුගත් මා මිත්‍රයා ලහි ලහියේ තම මංගල විදේශ ගමනට සුදානම් වුයේ ජීවිතයේ අලුත් බලාපොරොත්තු කොතරම් හිතේ දරාගෙනද යන්න අපි දන්නේ නැත. එහෙත් එවන් මෙගා ප්‍රමාණයේ බලාපොරොත්තු මා මිත්‍රයා තුල නොතිබූ බවනම් මා සහසුද්දෙන්ම දන්නවාය . අපි ඉන්නා තැන කොයි වෙලෙත් මවාගත් බොරු කේන්තියකින් පසුවෙනා මා මිත්‍රයා පිට එවුන් ඉන්නා තැනදී පූස් පැටියෙකු මෙන් අහිංසකය..එහෙත් මල පැන්න  කල ඕනෑම පජාති කතාවක් මුනටම කියන ගනයේ එකෙක්ය.



තඩියා විසින් රැගෙන එන්නට යයි කියා කියන්නට යෙදුනු සියලු බඩු බාහිරාදිය එකින් එක එකතු කරගනිමින්, යන්නට යෙදෙන්නාවූ රටෙහි සේවය කරනා ගමේ එවුන්ගේ පාර්සල් එකතු කරමින් මා මිත්‍රයා දැන් ගමනට සුදානම් වෙනවාය. රට යන දිනයද ළඟ ලඟම  එනවාය. රට යන එවුන් රටින් පිටවන්නට පෙර තම හිතවතුන් හට සාදයක් පවත්වා සමුදීම පුරාණයේ සිට පැවත එන සිංහල චාරිත්‍රයක් වූ නිසාවෙන් මා මිත්‍රයාද රට ගමනට පෙරදා රාත්‍රියේ සියලුම හිතවතුන් එක තැනකට රැස්කොට සාදයක් පවත්වා පැමිණි සියලු දෙනා  කන පැලෙන්නට මදුවිතෙන් සප්පායම් කරවුයේ එම සිංහල චාරිත්‍රය අමතක කර දැමීමට නොහැකි නිසාය. ඔව්වයින් මෙව්වයින් දැන් මා මිත්‍රයා රට යන දවස උදා වුයේය...


                            සිද්දියට උක්ත මා මිතුරාට නවීන පන්නයේ ටිකක් පැරණි වෑන් රථයක් තිබුනත් එම රථයෙන් ගුවන්තොට වෙත යාමට අපි කව්රුත් අදිමදි කලේ එම රථය උන්හිටිගමන් පාර මැද අක්‍රීය තත්වයට පත්වන නිසාය. ගමෙත් ගම අවටත් එකදු බාස් කෙනෙකුටවත් එම රථයේ තිබෙන්නාවූ රෝග නිධානය සොයා ගැනීමට නොහැකිවූ නිසා අපි කව්රුත් හදිසි ගමන් සඳහා එම රථය භාවිතා කලේ නැත. එම සුවිශේෂී වූ රථය ගැන ලියාගෙන  යන විට මේ කියනා මිතුරා කල අපුරු වැඩක් මතක් උන බැවින් උක්ත කාරණයෙන් එලියට ගොස් එයද ලියා තබන්නේ මෙව්වා අමතකව යන්නට දිය නොයුතු බැවින්ය. 

                              දිනක් මා රැකියාවට ගොස් නිවසට එන විට මාගේ නිවසට කිලෝමීටර භාගයක් වැනි දුරක් තිබියදී මා දුටුවේ මා මිතුරාගේ නවීන පන්නයේ ටිකක් පැරණි වෑන් රථය මහපාර මැදට වන්නට නතරවී ඇති දර්ශනයයි. මිතුරෙක් තබා සතුරෙකුටවත් කරදරයකදී ඉවත බලා යාම මාගේ ධර්මයේ නොවූ බැවින් හනික මා පැමිණි බස් රථයෙන් බිමට පැන මිතුරාගේ රථය වෙත දිව ගියේ මා මිතුරාට පිහිටක්  වනු සඳහාය. හරියටම මහ පාර මැදට වන්නට එන්ජිම අක්‍රීය වී නැවතී තිබු රථය නැවත පනගන්වා ගැනීමට මා මිතුරා තදින් උත්සහ ගන්නා අතර පාර දෙපසම මහා තදබදයක් නිර්මාණය වී තිබුනේ අපේ   එකා වාහනය නවතින බව දැනගෙනත් පාර අයිනට කරගන්නට තරම් වත් මෙලෝ සිහියකින් ඉන්න එකෙකු නොවන නිසාය. ගලේ පැහැරූ බළල් තඩියෙකු මෙන් අපහසුතාවයෙන් පසුවෙනා මා මිත්‍රයා තම රථය පණගන්නවා ගැනීමට උත්සහ දරන  අතර මග දෙපස අවහිර වී ඇති වාහන කරුවන් මා මිත්‍රයාගේ මුතුන්මිත්තන් ශ්‍රද්ධාවෙන් සිතෙන්  අමතමින් තම වාහන අයිනට දමාගෙන හෙමින් මාරුවී යනවාය. එවකට මේ කියනාවූ නවීන පන්නයේ ටිකක් පැරණි තම මංගල රථය මිලදී ගෙන වැඩි කාලයක් නැති බැවින් මා මිත්‍රයා වාහන පදවනවා ඇරෙන්න මෙලෝ හසරක් දන්නේද නැතිය. හනික දුවගොස් වාහනයට නැගුන මා "එහාට පල " කියමින් මිතුරා  රියදුරු අසුනින් අනෙක් අසුනට තල්ලුකොට වාහනේයේ ගියරය පළමු ගියරයට දමා ක්ලචය නොපාගා ස්ටාටර් මෝටරය ක්‍රියාත්මක කර වාහනය පාර අයිනට ගාල් කලේ මාර්ග තදබදය හේතුවෙන් කාගෙන් හෝ ගුටි කන්නට ඔන්න මෙන්න යෙදෙන්නාවූ මා මිතුරා බේරාගන්න උතුම් පරමාර්තයෙන්මය.. ස්ටාටර් මොටරයෙන් වාහනය මාර්ගයෙන් ඉවතට ධාවනය කරනු දුටු මා මිතුරා එය ඉතා අවදානයෙන් බලාගෙන සිටි වගක් මා දන්නේ නැතිය. 

වැලි කෙලියේ හිටන් එකට පාසල් ගිය මිතුරා මෙවන් අවස්තාවක මහමග දමා යාමට නොහැකි නිසා 

" ඔතනම හිටපන් මම ඇදගෙන යන්න කඹයකුත් අරන් මගේ වාහනේ අරන් එන්නම්" 

                      මා නිවසට ඉගිලුනේ මිතුරාගේ වාහනය ගරාජයකට ඇදගෙන ගොස් දමන්නට උවමනා නිසාය. කිලෝමීටර භාගයක් එපිටින් මාගේ නිවස වෙත ගිය මා ලිඳේ බාල්දියෙන් කඹය ලිහාගෙන මාගේ රථය පනගන්වාගෙන රථය ගේට්ටුවෙන් එලියට ගන්නා විට මෙතෙක් වෙලා පණගන්වන්නට නොහැකි වූ මා මිත්‍රයාගේ නවීන පන්නයේ ටිකක් පැරණි රථය කන්ද පල්ලමේ හෙමිහිට මාගේ නිවාස වෙත ඇදෙනවා දුටු මට පහල වූ පළමු සිතුවිල්ල වුයේ වාහනය ස්ටාර්ට් වෙලා වෙන්න ඇති කියාය.. මාගේ රථයද නැවත රිවස්කොට නවත්වා මිතුරාගේ රථය වෙත ගිය මට මිතුරාගේ රථයේ එන්ජිමේ කිසිදු ශබ්දයක් අසුනේද නැත. 

"ස්ටාර්ට් උනාද බන්... කියා මා ඇසුවේ කිලෝමීටර භාගයක් රථය ධාවනය කරවුයේ මැජික් බලයෙන් වන්නට නොහැකි වූ බැවින්ය...

" නෑ බන් උඹ වාහනේ අයින් කරපු විදිහටම ඉතුරු ටිකත් ආව .....

                        මගේ කුඩා මොලය නිකම්ම හිරි වැටී ගියේ නිකමට වාගෙය.. මා මිතුරා කිලෝමීටර භාගයක් වූ මාගේ නිවස වෙත ඇති මුළු දුරම වාහනය ධාවනය කරවා ඇත්තේ ස්ටාටර් මෝටරයෙන්ය .. මද්‍යම ප්‍රමාණයේ කඳු ගැටයක්ද තරණය කර පැමිණිය යුතු මාගේ නිවසට පැමිණෙන පාරේ එම කඳු ගැටයද ස්ටාටර් මෝටරයෙන්ම තරණය කර ඇති  මා මිත්‍රයා නියුටල් තත්වයෙන් මා නිවාස අසලට පැමිණියෙන් මා හට එන්ජිමේ ශබ්දයක් නොඅසුනේය . අසූ හාරදාහට මල පැන්න  මා

 " එහෙනම් ස්ටාටර් මෝටරෙන්ම ගෙදර පලයන් "  කියා කියු කතාවට මා මිත්‍රයා සැපයු පිළිතුර වුයේ 

"යන්න තිබ්බ බන් එත් කොහෙද කන්ද උඩදී මෝටරෙත් වදින්නේ නැතුව ගියානේ මචන් " කියලාය..

                             එහෙම්මම වාහනය වත්තට තල්ලුකර දැම්මද නැවත පණගැන්වීමට අලුතෙන් ස්ටාටර් මෝටරයක් දැමීමට සිදුවුයේ නැවත අලුත්වැඩියා කිරීමට නොහැකි වනසේ අඟුරු වන්නටම ස්ටාටර් මෝටරය පිලිස්සී ගොස් තිබු බැවින්ය.. අතුරු කතාව  එතනින් නිම උනත් මෙය කියවන උදවියට මා මිත්‍රයාගේ ඉවසීමේ ගුණය ගැන යම් අවබෝධයක් ලබුනායයි හිතෙනවාය. එක අතකින් බැලුවාම ලංකාවේ එවුන් Hybrid ගැන අහන්නත් කලින් Hybrid තාලයට වාහනයක් පැදවූයේ මා මිත්‍රයා යයි කියා ගිනස් පොතට වුවද දමන්නට හැකිය. ගිනස් කමිටුවට සාක්ෂි සපයන්නට මමත් රථය අලුත්වැඩියා කරදුන් ගමේ ඉන්නා  ලොකුම ඔටෝ ඉලෙක්ට්‍රීශියන් අසංගත් සාක්ෂි සපයනවාය. උපන්දා සිට ස්ටාටර් මෝටර් හදන අසන්ගයාවත් එහෙම මෝටරයක් පිලිස්සී තිබෙනු උපන්තේකටවත්  දැකලා නම් තිබුනේ නැතිලු...



Sunday, December 21, 2014

පහල පඩිය



කවියක් ලියන්න කලකින් බැරි උන හින්දා 
පදයක් හදන්න හිතුනා අද වැඩ නැති හින්දා 
සමන්තට උණු පොඩි කැත සිද්දියක් බන්දා 
ලියනවා කවි ටිකක් මුට මල පනීවිද මන්දා


සිද්දිය උනේ අවුරුදු විසි එකකින් එපිට 
යන්නට ගිහින් විනෝද ගමනක් එකට 
යන්නේ අපි සිරි නරඹන්න කන්ද උඩරට 
පලවෙනි නයිට් එක ඉන්නේ බදුල්ලේ රෑට


සුමගට තමයි අපි ටියුෂන් ගන්න ගියේ 
සුමගින් තමයි චාරිකාව යන්න ගියේ 
සා පෙළ ඉවර වීමයි ගමනට නිමිත්ත වුයේ 
ගුරුතුමා හින්දයි යන්නට වර හිමි වුයේ


පලවෙනි දවසේ කෙලින්ම යන්නේ බදුලු 
නවතින තැන, රෑ කෑම නුලට රෙඩි ලු 
කතරගම පහුකරන් කෙලින්ම යන්නේ නැතිලු 
කතරගමට පඬුරක් දාගෙනම උඩහට යනවාලු


අඩුම කුඩුම කෑම බීම එකතු උනා 
පැදුරු කොට්ට ඇඳුම් කැඩුම් එකතු උනා 
සන්ග්ලාස් කැප් තොප්පි එක එක එකතු උනා 
හිමිදිරි උදේ අපි ගමනට පිටත් උනා


අපි යන්නේ බදුලු යන්න හරි වේගෙන් 
සින්දු කියනවා  උන් හරි සන්තෝසෙන් 
කතරගම තමයි පලවෙනි නැවතුම ගමනෙන්
පඬුරක් දාල උඩරට බැලුමට වේගෙන්


කතරගමට අපි විගහින් ලඟා උනා 
දෙවියන් වඳින්නට කට්ටිය යන්න උනා 
මැණික් ගඟෙන් නාන්නට වෙලාව මදි උනා 
මුහුණ අත පය හෝදන් යන්නට එකඟ උනා


ඇති තරමින් උඩහට මහ වැහි වැහලා 
ගඟේ වතුර යනවා වේගෙන් දෙගොඩ තලා 
ඉවුරේ උඩ පඩිය ගාවටම වතුරින් පිරිලා 
වැස්ස නිසා ගඟ හොඳ හැටි බොරවීලා


පඩියේ ඉඳන් හැම දෙන පිරිසිදු වුවා 
දෙවියන් වඳින්නට අත් පා සේදෙව්වා 
උඩ පඩියේ සැප එකෙකුට  මදි වුවා 
පහල පඩියට බැහැල සෝදන්නද ඇහුවා


එපා කියද්දී කට කැඩෙනකම් අපේ ගුරුතුමා 
බැස්සා පහල පඩියට අපේ ගොන් බුරු සමා 
ජබෝස්  ගාල සද්දෙට ජල කඳ දෙබෑ උනා 
පහල පඩිය හොයන් සමා  වතුරේ කිමිදුනා


මැණික් ගඟේ ඉවුරේ ඇත්තේ එක පඩියයි 
ඒක දන්නේ ඒ පැත්තේ ඉන්නා උදවියයි 
සමා වතුරේ ගිලුනේ පණ්ඩිත කම හින්දමයි 
හේතුව ලද දෙයින් සතුටට පත් නොවීම තමයි


මැණික් ගඟේ බොර වතුරෙන් වැඩි කොටසක් 
අනිවා පෙවුනා සමාට නැහැ කාටත් කතා දෙකක් 
හදිසියකට කිමිදුනු විලසින් සමගින් සයිඩ් පොකට් 
ගං පතුලෙන් මතු උනා සමා පුරවන් වතුර කටක්


උඩ පඩියේ උන්න නඩයම විමසිල්ලෙන් 
බලා උන්නේ සමා උඩ එනකම් සැලකිල්ලෙන් 
අත පය හතර දිග අපේ තඩි සියලුම කොල්ලන් 
උසල ගත්ත සමාව ඩෙඩ් බොඩියක් විලසින්


හිනා වෙන්නේ කට්ටිය බඩවල් අල්ලන් 
ගහෙන් වැටුනාට ගොනා අනිනා විලසින් 
සමා ඉන්නේ මල පැනලා ලජ්ජාවෙන් 
වතුර පෙවිල  බඩ පිරිලා හරි වේගෙන්


සමා කියන්නේ දැන් අමුලික බොරුවක්ය 
චිරා ඌව ගඟට තල්ලු කරා කියලාය 
වටේ උන්නු හැම දෙන සත්‍ය දන්නවය 
ලැජ්ජාව වහගන්න ගේම චිරා ට එරෙහිවමය


කතරගමින් පිටවී බදුල්ලට යන්නට කලින් 
බෙලි මිරිකගෙන සමා චිරා දිව ඇදෙමින් 
ගහගත්තේ වෙන වරදක් මතු කරමින් 
හේතුව ඉතින් මැණික් ගඟ දන්නවා යහමින්


පහල පඩියට බැස්ස සමා වසර විස්සකට කලින් 
ගිලුනේ උගේම වරදින් අපි හැමදෙන ඉන්න තැනින් 
අදත් කියන්නේ ගඟට තල්ලු කරාම කියලා කියමින් 
තවමත් නැහැ චිරා එක්ක ඇයි හොඳයියක් යහමින්


මෙව්වා ආතල් කතා ගත්තේ අතීතයෙන් 
ලිව්වේ එදා සිද්දිය අමතක වෙන්න කලින් 
දුවන් ඇවිත් මගේ බෙල්ල මිරිකන්නට කලින් 
සමා සමාවෙයන් මම උඹේ අඹ යාළුවා ඉතින්

Friday, December 19, 2014

මහා සංගීත රාත්‍රිය




                     දැනටත් මාහට ඉඳහිට වැළදෙන සංගීත අසනීපය දැනට අවුරුදු 15 කට පමණ පෙර  ඉතාමත් උත්සන්නව පවතී නිසාවෙන් මාද තේකොල පෙට්ටි ඩ්‍රම් සෙට් , අල්ල උඩ තබාගෙන වාදනය කල හැකි ඔර්ගනයකින් හා අබලන් බොක්ස් ගිටාරයකින් සමන්විත සංගීත  කණ්ඩායම් කිහිපයකම සාමාජිකත්වය දරා  පුරුදු පුහුණු වී අවසානයේ ප්‍රදේශයේ පිළිගත් සංගීත කණ්ඩායම් කිහිපයෙන් එකක විදුලි ඔර්ගන් වාදන ශිල්පියා වශයෙන් සම්භන්ධ වුයේ කණ්ඩායම් සංගීත කලාවේ දිගු ගමනක් යන්නට හිතේ ධාරණය කරගෙනනම් නොවේය. ඒ කාලයේ තදින්ම වැළඳුන සංගීත පිස්සුව කොතරම්ද කියතොත් සාමාන්‍යපෙළ ඉහලින් සමත් උවහොත් මෝටර් සයිකලයක් අරන්දෙනවා කියා මා හට පොරොන්දුවී සිටි පියාණන්ගෙන් ලැබෙන්නාවූ මෝටර් සයිකලය වෙනුවට ඔර්ගනයක් අරන්දෙන්න කියා ඉල්ලුවේ මෝටර් සයිකලයට වඩා දස දහස් ගුණයක ආසාවක්  ඒ මොහොතේ විදුලි ඔර්ගනයට මා වෙතින් තිබු බැවින්ය . කබල රත්වූ මොහොතේ රොටිය පුච්චගන්නා න්‍යායෙන් මගේ ආදරණීය පියාණන් වහන්සේද  සැනෙකින්  රුපියල්  3500 කට අල්ල උඩ තබාගෙන බස්රථවල සින්දු කියනා උදවිය භාවිතා කරනා කැසියෝ C 35 වර්ගයේ ඔර්ගනයක්  රැගෙන දුන්නේ ඔරිජිනල් මෝටර්සයිකල් පොරොන්දුව ඉටුකිරීමට  විසිපන්දහසකින්වත් බැරි නිසා වන්නට ඇත. 

         එම විදුලි ඔර්ගනයෙන් සප්තප්ස්වර  අකුරු කල මා පසු කලෙක එය ගිටාරයකට හුවමාරු කරගත්තේ ගිටාරයක් වාදනය කිරීමට ඇති බලවත් ආසවෙන්ය. පසුකාලීනව ගිටාරයද  විකුණා දැම්මද එම මුදලින්  කුමක් කරාද යන්න ගැන  මේ වනවිට පැහැදිලි මතකයක් නැත්තේය. මේ සියලුම දේ අතරතුර සංගීතය පාසැලෙන් අකුරු නොකලද ඕනෑම ගීතයක් එක්වරක් අසා ඊට අසාධාරණයක් නොවන අකාරයෙන් වාදනය කිරීමේ ඥානය ලැබීමට මා වාසනාවන්ත වූ නිසාවෙන් මේ කියනා වූ ප්‍රදේශයේ කීර්තියක් ඉසිලු සංගීත කණ්ඩායමකින් මා වෙත ආරාධනා ලැබුනේ ඔවුන් හා එකතුවන ලෙසය. තේ පෙට්ටි වලට තලා සංගීත පුහුණුවීම් කරනා ඕනෑම එකෙකු බලා සිටින්නේ, රුහුණු කුමාරිය යාර්ඩ් එකෙන් එලියට ඇදෙන තුරු  මරදාන ඉස්ටේසමේ පස්වන වේදිකාවේ ඉන්නා මගීන්  බෙල්ල දික් කරමින් දෙමටගොඩ පැත්ත බලනා සේ  පිළිගත් සංගීත කණ්ඩායමකින් තමුන් වෙත ආරාධනයක් ලැබෙන තුරුය. එම න්‍යායෙන්ම මා ද ආරාධනාව පැමිණි විගස පැදුරටත් නොකියා අලුත් කණ්ඩායම හා සම්භන්ධ වුයේ එවන් අවස්තාවක් ලැබෙන්නේ කලාතුරකින් පමණක් බව අවධාරණයෙන් දන්නා නිසාවෙන්ය. 

              අපි වාගේ එවුන්ට මෙරියන්ස්ලා , සන්ෆ්ලවර්සා වැනි සුප්‍රසිද්ධ එව්වා සමග හීනෙන්වත් සම්භන්ධවීමට නොහැකි බව  සහසුද්දෙන්ම දන්නවාය. එහෙත් මා අවසාන වතාවට වසර කිහිපයක් සම්භන්ධවී සිටි සංගීත කණ්ඩායමේ මට කලින් විදුලි ඔර්ගන ශිල්පියා ලෙස  කටයුතු කර තුබුණේ මේරියන්ස් සංගීත කණ්ඩායමේ හිටපු විදුලි ඔර්ගන වාදන ශිල්පියෙකු වන රටේ අංක එකේ අති දක්ෂ කළා කරුවෙක් බව  ආඩම්බරයෙන් ලියන්නේ මා ද ඔහු වාදනය කල සංගීත භාණ්ඩය වසර දෙකක් පුරා වාදනය කිරීමට වාසනාවන්තයෙක් වූ නිසාය. කුමක් හෝ නරක ග්‍රහචාරයක් ගෙවා දැමීමට දෝ එම සංගීත කණ්ඩායම හා සම්භාන්ද වී තිබු එම සුප්‍රසිද්ධ කළා කරුවා එම නරක ග්‍රහචාරය ගෙවා දමා එයින් ඉවත් වූ පසු මා වෙත එම චාටර් ග්‍රහයා බැල්ම දැමු බැවින් මාද එම සංගීත කණ්ඩායමට සම්භන්ධ වුවද මීට වසරකට පළමුව ග්‍රහයා වෙන එකෙකු වෙත බලම හෙලු බැවින් යන්තම් එම කණ්ඩායමෙන්  ඉවත්වීමට මා හට වාසනාව උදාවීය.  මෙතෙක් වෙලා පුරාජේරු කියමින් වටේ ගියා බැවින්  සිට කතාවට උක්ත වූ මහා සංගීත රාත්‍රියට අදාළ කතා පුවත මෙතැන් සිට මෙසේය..

                         මසකට උත්සව එකකින් දෙකකින් ආරාධනා ලැබෙන අපේ සංගීත කණ්ඩායම ඉඳහිට මසකට ප්‍රසංග  තුනක් හතරක් පැවැත්වූ අවස්ථාද  නැති උනාම නොවේය.  සතියකට දින දෙකක් පුහුණුවීම් කටයුතු වෙනුවෙන් සහභාගී වෙමින් ඉදිරියට ඇදුනාවූ සංගීත කටයුතු වලට අමතරව මා රැකියාවේද යෙදී සිටියද සංගීත ප්‍රසංග වලින් ලැබෙන්නාවූ සුළු මුදල් ප්‍රමාණය රැකියාවෙන් ලැබෙන්නාවූ වැටුපට වඩා මා හට ආශ්වාදයක් වුයේය. මෙසේ කාලය ගතවෙද්දී දිනක් සම්පතයා නම් අසහාය මිත්‍රයා අප වෙත රැගෙන ආවේ ඇඹිලිපිටිය ආසන්නයේ අතිවිශාල ජනතාවක් සහභාගී වන සංගීත ප්‍රසංගයක් සඳහා සංගීතය සැපයීමට හැකිද යන්න පැනයයි . එවන් අවස්තාවක් ලැබෙන්නේ බොහොමත්ම කලාතුරකින් බැවින්  දෙවරක් නොසිතා කිසිදු  විස්තරයක් නොඅසා ප්‍රසංගයට අත්තිකාරම් මුදල් ලබාගත් අපේ කණ්ඩායම් ලොක්කා සතියේ දින හතේම රැට පුහුණුවීම් අනිවාර්ය කලේ ප්‍රසංගය ඉතාමත් ඉහලින් හා ගුණාත්මකව පවත්වීමී උතුම් පරමාර්ථයෙන්මය . එකල  ප්‍රසංගයට පොරොන්දු වූ මුදල රුපියල් තිස් පන්දහසක් වූ අතර සංවිදායක මඩුල්ල අත්තිකාරම් ලබා දුන්නේ  පැකිලීමකින් තොරවය . සියලු කටයුතු සීරුවෙන් නොපමාව සිදුවූ  බැවින් දැන් අපිට ඇත්තේ පුහුනුවීම් නිසි ආකාරයට සිදු කොට ප්‍රසංගය  ඉතා ඉහලින් පැවැත්වීමටය. සතියේ දින හතේම රාත්‍රී කාලයේ පුහුණුවීම් කරනා අතර දවල් කාලයේ රැකියා ඇති එවුන් රැකියා වල නිරත වන්නේය. අපේ ලොක්කාට එහෙම රැකියා ප්‍රශ්නයක් නැති නිසා දවල් දවසේ ව්‍යාපාර කටයුතු වල නියලී  රාත්‍රී පුහුණුවීම් සඳහා අපි එනතුරු අලුත් සින්දු කිහිපකුත් ලැස්ති කරගෙන බලා ඉන්නවාය. ලොක්කාට අලුත් සින්දු සෙවීමට එතරම් මහන්සියක් වන්නට උවමනා නැති උනත් එව්වා වාදනය කරන්නට ගිය කල රත්වෙන්නේ වාදකයන්ගේ උණ්ඩුකපුච්චය බව ලොක්කා දන්නේ නැතිය. වැඩේ තිතටම කරන්නට ඔනෑ නිසාවෙන් අපි හැමද එකා මෙන් පුහුණුවීම් කරනවාය. 

                   සියල්ල ඉතා හොඳින් සිදුවූ කාලගුණ තත්ත්වයක් සහිතව  සංගීත කණ්ඩායම ඉතාමත් සාර්ථක ලෙස ප්‍රසංගය පැවැත්වීමට තිර අදිටනින් යුතුව පුහුණුවීම් කරගෙන යන අතර තුරේ ප්‍රසංගය පැවැත්වෙන දිනය නොදැනීම ලන්වුයේය. කණ්ඩායමේ මුල් කාලයේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා වශයෙන් කටයුතු කල අපේ කණ්ඩායම් නායකයා මේ ප්‍රසංගය සඳහාම අපගේම මිතුරෙකු ඩ්‍රම්ස් වාදනය සඳහා කැඳවුයේ ලොක්කාට වෙන්නට යන්නාවූ සංහදිය කලින් දනුනාද කියා වෙනම විමසිය යුතු කරුනක්ය. දෙවියන් උනත් අපිට කලින් ලොක්කන්ට පිහිටවන බව මා දැනගත්තේ මේ ප්‍රසංගයෙන් පසුවය.

            ප්‍රසංගය පැවැත්වෙන දිනයේ උදෑසනින් සංගීත භාණ්ඩ හා සවුන්ඩ් සපයන මෙවලම් සියල්ල ලොක්කාගේ ලොරි රථයේ පටවාගත් අපේ හඬ පාලක ඇතුළු සවුන්ඩ් කණ්ඩායම ඇඹිලිපිටිය බලා පිටත්ව ගියේ ප්‍රසංගයට අවශ්‍ය සියලු යටිතල පහසුකම් වෙලාවටත් කලින්  සකසා සංගීත භාණ්ඩ සුසරකොට තැබීම උදෙසාය. සංගීත කණ්ඩායම එම ස්ථාන වලට යන්නේ සංගීත ප්‍රසංගය පටන් ගන්නට පැය කිහිපයකට කලින්ය. ඒ එව්වා කෙරෙන හැටිය. රාත්‍රී කාලයේ පැවැත්වෙන ප්‍රසංගය වෙනුවෙන් දහවල් කාලයේ එම පලාතට සැපත් වුවද කොහේ හෝ සැට් වී ලොක්කාගෙන් වැඩි ගානක් හා අපෙන් සුළු සුළු ගණන් සින්ඩිකේට් කොට මධුවිතකින් සප්පායම් වී කාලය කා දමා රාතී අට පමණ වනවිට එම ස්ථානයට සැපත්වීම සංගීත කණ්ඩායම්වල සිරිතය. 

                 කණ්ඩායමේ භාණ්ඩ වාදනය කරන එවුන් සවුන්ඩ් අදින්නේ නැතිය. එහෙම සවුන්ඩ් අදින සමහර එවුන් රෑට වේදිකාවට නගින්නේ මේ අර දවල් ලොරියෙන් සවුන්ඩ් බාපු එකා නේද කියා මිනිසුන්ට අඳුනන්නට බැරි වන විදිහට වෙස් මාරු කරගෙනය. එත් කොයිතරම් වෙස් මාරු කරත් ප්‍රසංගය අහවර වී නැවත සවුන්ඩ් ලොරියට පටවන්නේ වේදිකාවේ උන් වෙස් පිටින්මය.වේදිකාවේ ඇඳන් ඉන්නා වෙස් මාරු ඇඳුම සවුන් පෙට්ටියකම ඔබා එව්වා නැවත එලියට ගන්නේ නැවතත් ප්‍රසංගයක් තිබෙනා වෙලාවටය. සමහරක් වෙලාවට කකුල් දෙකේ තිබෙන සපත්තු දෙකත් එක ජාතියේ එව්වා නොවෙන වෙලාවල් බොහෝය.   එහෙම උදවියත් එක්කෙනෙක් දෙන්නෙක් අපේ කණ්ඩායමේ හිටියා උනත් වැඩේ අවසානයේ මුදල් ලැබෙද්දී අපිට ලැබෙන්නේ එක පඩියක්  උනත් උන්ට පඩි දෙකක් ලැබෙනවාය. සවුන්ඩ් අදින හින්දා උන්නැහේලාට පඩි දෙකක් ලැබුනත් සවුන්ඩ්  අදින රස්සාවේ දුක දන්නේ සවුන්ඩ් ඇද්ද එකෙකු මිස  වේදිකාවේ සංගීත භාණ්ඩ වාදනය කල  එවුන් නොවේය . සිරිබර සිරිලංකාවේ එළිමහන් වේදිකාවේ  සවුන්ඩ්  පරිපාලනය කරන  පටවන බාන උදවිය ගෙවන ජීවිතය හා ඔවුන් නිහඬවම සපයන සේවාව ගැන එතෙක් මෙතෙක් කිසිම දවසක ලොකු යයි කියනා කිසිදු කළා කරුවකුගේ හෝ ආයතනයක අගය කිරීමකට  ලක් නොවීම ගැන වෙනම විමසිය යුතු කාරනාවක් වන්නේය. එව්වා මෙතනට අදාළ නැතත් ඔවුන් ගෙවන දුක්කිත ජීවිත ගැන ලංකාවේ මුල්ම වරට යමක් ලීවානම් ඒ ලීවේ  අම්බලන්ගොඩ කතා ලියන මම ලෙසින් ඉතිහාසගත වෙනවාය.සංගීත කණ්ඩායම ප්‍රසංගය පැවැත්වෙන පිට්ටනියට රාත්‍රී අටට පමණ වන්නට ඔන්න ඉතින් දෙයියනේ කියාගෙන සැපත් වන්නේ වැඩේ තිතට දීමේ අරමුනෙන්ය. 

                   සංගීත සංදර්ශනය නැරඹීමට පැමිණි පිරිසගෙන් පිට්ටනිය අතුරු සිදුරු නැතුව පිරී ඉතිරී ගිහින්ය. නෝනාගම ඇඹිලිපිටිය පාර පෙන තෙක් මානයට පාර දෙපසම තිබෙන්නේ ලෑන්ඩ් මාස්ටර්ය. පිට්ටනියට ජනකාය සැපයෙන ප්‍රධානම  ප්‍රවාහන මාද්‍යය වී ඇත්තේ ලෑන්ඩ් මාස්ටරය හෙයින් පාරේ ඉමක් කොනක් නොමැතිව නවතා තිබෙන ලෑන්ඩ් මාස්ටර ප්‍රමාණය හරි හැටි ගණන් කිරීමට පඩියට එකෙකු දමලාවත් බැරිය. ඒ පැතිවල ජනතාව වෙසක් බලන්නට, පන්සල් යන්නට, සංගීත බලන්නට යන්නේ ලෑන්ඩ් මාට්ටලේ නැගලාය . ලෑන් මාට්ටලේ කොයිතරම් සෙනග පැටෙව්වත් උත්සව කාල වලදී පොලිසියේ මහත්තරු ලෑන් මාට්ටල් දිහා වැඩිය බලන්නේ නැති නිසා කිසිදු බයක් සැකක් නොමැතිව රාත්‍රී සවාරියක් යාමට ලෑන් මාට්ටලය කදිම වාහනයක්ය. මෙවන් ජනතාවක් අපව නැරඹීමට රැගෙන  ආ ඒ ගමන් සගයා ගැන වචනයක් නොලීවොත් ලෑන් මාට්ටලේට අගෞරවයක් වෙන නිසා ලෑන් මාට්ටලේ ගැන වචන කිහිපයක් අකුරු කිරීම මාගේ යුතුකමක් වන්නේය.

                  ඔන්න දැන් පොල්තෙල් පහන් දල්වා සියලු චාරිත්‍ර ඉෂ්ට සිද්ද කර සංගීතය ජයට පටන් ගැනීමට හදනවාය. සංවිදායක මඩුල්ලට ප්‍රසංගය විශේෂ වුවාට වේදිකාවට ගොඩවූ කල ඕනෑම සංගීත කණ්ඩායමකට එය තවත් එක් ප්‍රසංගයක් පමණක්මය. එවන් ප්‍රසංග ඕනෑතරම් පවත්වා තිබුනත් මෙය අපිට ජීවිතය පවතින තුරාවට අමතක නොවන විශේෂ ප්‍රසංගයක් බවට පත්කිරීමට සංවිදායක මඩුල්ල කලින්ම ලකලැහැස්තිවී සිටි වග දැනගන්නා විට අපි හැමදෙනාම බොහෝ සේ ප්‍රමාදවුවා වැඩිය. සියලු වැඩ දමා දන්නා කියන වැඩ කෑලි සියල්ල දමා ප්‍රසංගය පටන් ගත්  අපි සුපුරුදු විලාශයෙන් ප්‍රසංගය ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන යනවාය. මෙවන් විශාල වූ ජනතාවක් ඉදිරියේ ප්‍රසංගයක් පවත්වා ඔවුන්ව අමන්දානන්දයට පත්කිරීමට කණ්ඩායමේ තත්වය ඉතා ඉහල මට්ටමකින් තිබිය යුතුය. නැතිනම් පහුවදාට ගමේ ගිහින් සෙරෙප්පු සෙල් එකක් දමන්නට තරම් සෙරෙප්පු වේදිකාව උඩ ගොඩ ගැහෙන්නේ පිට්ටනියේ තිබෙන අතට අහුවෙන විසික් කරන්නට හැකි තරම් ගල් මුල් සියල්ල අහවර වූ පසුය. 

              සංගීත කණ්ඩායමෙන් ගීත දහයක් පමණ ගායනා කිරීමෙන් අනතුරුව නැවත වේදිකාවට ගොඩවූ සංවිදායක කමිටුවේ නිවේදක තුමා නැවතත් අපෙන් මයික්‍රෆෝනය උදුරාගෙන නිවේදනයක් දෙන්නට යන්නේ මෙන්න මේ වේලාවේය..

" අපි දැන් පටන් ගන්නට යන්නේ මේ ප්‍රසංගයේ අපි සංවිදානය කරපු ලස්සනම විශේෂාංගයක්.."

කණ්ඩායමේ එකා එකා හෙමින් හෙමින්  මුමුනන්නේ සමනල්ලු වගේ ලස්සනට අන්දාපු ලස්සන ගැමි දැරිවියන් පිරිසක් දැන් වේදිකාවට ගොඩවී අපේ ගීත වලට නර්තනයන් දක්වන්නට යනවා කියලාය.. අපේ සමහරුන්ගේ සන්තොසය ඉහේ මලක් පිපිලා වාගෙය...

" අපි දැන් ආරාධනා කරනවා මේ රැස්වෙලා ඉන්න අපේ රසික රසිකාවියන්ගෙන් ගීත ගයන්න කැමති ඕනෑම කෙනෙක් සංවිදායක කාර්යාලයට ගිහින් රුපියල් දෙසීයක් ගෙවල ඒ අදාළ ටිකට් පත අරගෙන වේදිකාව අසලට එන්න කියල..."

" අපේ මේ ඇති දක්ෂ සංගීත කණ්ඩායම සැදී පැහැදී ඉන්නවා අපේ ගමේ දක්ෂ ගායක ගායිකාවන්ට සංගීතය සපයන්න... ඔව් පිළිගන්න නැවතත් ලොකු අත්පොලසන් නාදයකින් ............"

                              අපි කාගේත් මුහුණු ඇලවී මැලවී ගියේ එක් ක්ෂයකින්ය..එකාට එකා මුහුණට මුහුණ බලාගන්නවා විනා කියන්න කිසිත් නැති සේයක්ය. ගමේ එවුන්ට සින්දු කියන්න අපිට බෑන්ඩ් ගහන්න බෑ කීවොත් බොහෝ දුරට ගෙදර යන්නට වෙන්නේ ආපු වාහනයේ නොවෙන්නට තිබෙන ඉඩකඩ වැඩිය. ඊට මසකට දෙකකට ප්‍රථම ඇල්පිටියට නුදුරු හොම්කමින් මගුල් ගෙදරක බෑන්ඩ් ගසන්නට ගොස් උදෑසන පහ වනතුරු ගමටම සංගීත ප්‍රසංගයක් පවත්වන්නට වූ ආකාරය කණ්ඩායමේ කා හටත් හොඳ හැටි මතකය. එදා මගුල් ගෙදර රහමෙර කටගෑ උදවිය අපේ සංගීතයට නටුවේ කඩු , කැති , පොලු වනවනාය. උන් එව්වා සාජ්ජය මැද්දට රැගෙනවිත් නටන්නට පටන් ගත්තේ අපි රාත්‍රී දොළහට පමණ සාජ්ජය නිම කරන්නට උත්සහ ගැනීමත් සමගය. වදින්නට ගිය ගුටි පෝරියල් එක යන්තම් එහා මෙහා වුයේ එළිවනතුරු සාජ්ජය පවත්වන්නට අපි අකමැත්තෙන් වුවද එකඟ වූවායින් පසුවය.  දැන් ඉතින් වවුලාගේ මගුල්ගෙදර ආවානම් එල්ලිලා හිටු න්‍යායෙන්  ප්‍රසංගය ඉදිරියට ගෙනියන්නට සිද්ද වෙනවාය.  

          නිවේදනය සිදුකොට  විනාඩි පහක් යන්නට මත්තෙන් වේදිකාවේ ඉහලම පඩියේ සිට කෙළවරක් නොපෙනෙන තරම් දුරට පෝලිම හැදිලාත් අහවරය.. වංගු  දමමින් පිට්ටනියේ කෙලවරට පෙළ ගැසී සිටි ගීත ගායනා කරන්නට ටිකට්පත් මිලදීගත් ප්‍රවීන ගායක ගායිකාවන්ගේ  පෝලිම පිට්ටනියෙන් එළියේ නෝනාගම පාරෙත් මීටර සීයක් දෙසීයක් දුරට නිර්මාණය වන්නට විනාඩි දහයක් වත් නොගියේ මුන් හැම දෙන සතියකටත් කලින් ටිකට්පත් මිලදීගෙන තිබුණු නිසාය. ගීත ගායනයට සැදී පැහැදී ඉන්නා පිරිස හැමදෙනාගේම ගායන ආශාව සන්සින්දුවන්නට උදෑසන හය වනතෙක් ප්‍රසංගය පැවැත්වුවද නොහැකි වන තරමින් මහා ජනකායක් දැන් පොලිමේය. 

දැන් ප්‍රසංගයේ සියලු නිවේදන කටයුතු කරන්නේ සංවිදායක මඩුල්ලෙන් ඒ සඳහා ගමෙන්ම සොයාගත් නිවේදක මහතෙක්ය..

ඔව් මෙන්න පිළිගන්න .. හන්දියේ කඩේ සෝමදාස  අයියා........

ජනතාව එහෙව් අත්පොලසන් නාදයක් අපේ නැසීගිය අග්‍රගන්‍ය ගායක ජෝතිපාලටවත් දීලානම් නැතිය... විසිල් ගණහ එවුන් විසිල් නවත්තන්නෙම නැතිය. . රතිඥ්ඥා පත්තු කරනවාය... අහස්ගුන්ඩු යවනවාය... 

                  සෝමදාස  අයියා වේදිකාවට ගොඩවී ගායනය කරන්නට යන ගීතය අපි කව්රුත් ලොවෙත් අහලා නැතිය .. එත්  වාදනය කල යුතුය.. කණ්ඩායමේ සමහර එවුන් මොන කෝඩ් එකේද මචන් ගනහන්නේ කියා මගෙන් අසන්නේ මා කීබෝර්ඩ් වාදන ශිල්පියා නිසාය. ලොවෙත් අහලා නැති සෝමදාස අයියා ගායනා කරන ගීතය කුමන කෝඩ් එකේ වයන්නටද කියා සෝමදාස අයියාගෙන් අහලා පලක් නැතිය .. එහෙම ඇහුවොත් සෝමදාස අයියාගේ උත්තරය වන්නේ "මක්කෙයි මල්ලියේ කෝඩ් එක කියන්නේ " කියන වැදගත් ප්‍රශ්නයක්මය. සෝමදාස අයියා ස්වර හතෙන් එකකටවත් ගන්නට බැරි කෝඩ් එකක ගීතය ගායනා කරන විට අපි පස්සෙන් වයාගෙන වයාගෙන යනවාය.. ඩ්‍රම්ස් ගහන එකා සහ පෑඩ් ගහන එකාට කෝඩ් අදාළ නැති බැවින් උන් තලාගෙන තලාගෙන යනවාය..

මෙන්න පිළිගන්න ආර ළඟ දෙකේ වත්තේ ගුනේ මාමා .....

නැවතත් ජනතාව පෙරසේමය ... අලි බෝර ගහනවාය... විසිල් ගහනවාය.. 

ගුනේ මාමා කියන්නට යන ගීතය දන්නා කියන ගීතයක් උනත් ගුනේ මාමා අපිට අතරමැද සංගීත කොටස් වාදනය කරන්නට චෑන්ස් එකක් දෙන්නේම නැතිය. ගුනේ මාමා මයික් එක ගත්තු ගමන්ම සින්දුව පටන්ගෙන අපිට වයන්නට කිසිදු ඉඩක් නොතබාම ගයුම අවසන් කරන්නේය. අපිත් අරින්නේ නැතිය ... කෙසේ හෝ ගීතය පස්සේ එලෝගෙන ගොස් පොඩි කෑල්ලක් දෙකක් මැදින් වයන්නට හදවාය. එත් අපිට නෝ චෑන්ස්ය. 

මෙන්න මී ලඟට පිළිගන්න සමීර පුංචි පුතා... අපේ වෙලේ කඩේ ආතාගේ මුණුපුරා....

ඔන්න පුංචි එකා වේදිකාවට ගොඩවෙනවාය ... කියන්නට යන ගීතය අපිටත් නොකියාම ඌ කෙලින්ම වේදිකාව ඉදිරියට ගොස් තනියමම වැඩේ පටන් ගන්නවාය... අපිත් පුළු පුළුවන් හැටියට සංගීතය සපයනවාය.. 

පොඩි එකා ගීතය ගයා අහවර වී මයික්‍රෆෝනයෙන්ම තම පියා අමතන්නේ මෙසේය...

අප්පච්චි මට තව එකක් කියන්න ඕන...

අප්පච්චි හනික දුවගොස් කාර්යාලයට රුපියල් දෙසීයක් ගෙවනවාය. ඒ අතරේ පොඩි එකා ඊළඟ ගීතයෙනුත් භාගයක් කියා අවසන්ය... අපිත් අරින්නේ නැතිය... මෙහෙව් ආතල් එකක්  ලංකාවේ පළමු වතාවට හැබෑවටම විඳගන්නා පළමු සංගීත කණ්ඩායම අපි වන්නේය...

මෙන්න පිළිගන්න ...... ගමේ පදිංචිව සිටිනා ස්ථානයේ සහ ගමේ භාවිතා කරන නමින්  ගායකයා හඳුන්වා දෙනවාය...බහ තොරණ වයසේ දරුවන්ද, පාසල් වයසේ දරුවන්ද , තරුණ එවුන්ද මහලු එවුන්ද , ගැහැණු පිරිමි බේදයකින් තොරව පෝලිමේ පිළිවෙලට වේදිකාවට ගොඩවී ගීතය ගයා නොව කියා බැස යනවාය. අපිත් හිතු හිතු මියුසික් කෑලි එහෙන් මෙහෙන් වාදනය කරනවාය. මේ අතරේ අපේ සවුන්ඩ් ලොරියේ රියදුරා ලොරිය වේදිකාවේ පිටුපසින් රිවස් කොට වේදිකාවෙන් ලොරියටම ගොඩ වීමට හැකිවනසේ ලොරිය ගාල් කොට ලොරිය ඇතුලේ මනරම් බෝතල් පාටියක් නිර්මාණය කොරලාය. 

                     දැන් සංගීතය තිබුනාටත් වඩා ආතල් පහට ජයටම යනවාය. සංගීත කණ්ඩායමේ ගිටාර් ගහන එවුන් ගිටාර් පිටින්ම ලොරිය ඇතුලේ සෙට් වෙලාය...ගායකයා වේදිකාවට ගොඩවෙනවිට කීබෝඩය අසල රැඳෙනා මමද ගායකයා ගයනාව පටන්ගත් විගස ලොරිය ඇතුලට වාර්තා කරනවාය. නැවත වේදිකාව වෙත යන්නේ ඊළඟ ගායකයා වේදිකාවට සැපත්වෙන්නාවූ වෙලාවටය..  ඩ්‍රම්ස් වාදකයාට ඩ්‍රම් සෙට් එක පිටින් ලොරිය ඇතුලට එන්නට ක්‍රමයක් එතෙක් මෙතෙක් කිසිදු ආකාරයකට සොයා නොගත් නිසාවෙන් ඩ්‍රම්ස් වාදනයනම් ප්‍රසංගය අහවර වනතුරුම නොනවත්වා කරගෙන යාමට අපේ ඩ්‍රම්ස් වාදන ශිල්පියාට සිද්ද වන්නේ පෙර සංසාරයේ කරුමයකටම වෙන්නට ඕනෑය . නිකමට හෝ ඩ්‍රම්ස් වාදනය නැවැත්වූ කල ගායකයින් ගායනය නවත්වා ඩ්‍රම්ස් වාදකයා දිහා හැරිලා බලන්නේ කන්නට වාගේය .

                   කොතරම් වේදිකාවට නැග ගීත කියා බස ගියත් පෝලිමනම් මුල් ආකාරයෙන්ම වංගු සහිතව නෝනාගම පාරෙත් සැතපුම් කිහිපයක් දිගටය.. දැන් වේදිකාවේ බොහෝ වෙලාවට වාදනය සඳහා සිටින්නේ ඩ්‍රම්ස් වාදකයා පමණක්ය.. ගායකයෝ ඩ්‍රම්ස් වාදකයා වෙත ගීතය දැනුම්දී ගයන්නට පටන්ගත් කල ඩ්‍රම්ස් වාදකයා කුමක්හෝ ගලපෙන්නාවූ තාලයක් සොයා ඔහුගේ හෝ ඇයගේ ගායනයට සර්ව සාධාරණයක් කරන්නට අතිමහත් උත්සහයක් ගන්නවාය..සංගීත කණ්ඩායම වේදිකාවේ පෙනෙන්නට නොපෙනෙන්නට ලොරියේ සැට් වී ඉන්නා අතර අසරණ ඩ්‍රාමා  ගැන දුක හිතෙනා අයෙක් ඉඳහිට බයිට් කෑල්ලක් රැගෙනගොස් ඔහුගේ කටේ ඔබනවාය. ඩ්‍රාමා ඉන්නේ අපි සමග මාරු විකලෙන් උවත් ඌ එදත් අදත් කේන්ති ගන්නා එකෙකු නොවෙනා බැවින් කිසිදු ප්‍රශ්නයක් නොමැතිව උදෑසන 5.30 වනතුරු නොනවත්වා ගායක ගායිකාවන්ට වාදනයෙන් මනා සහයෝගයක් දැක්වූයේය..උදෑසන 5,30 වනවිට ප්‍රසංගය අවසාන වුවත් ඊට බොහෝ වෙලාවකට කලින් අපේ සවුන්ඩ් සාමාජිකයන් සියලු බඩු පෙට්ටි වලට අහුරා ගම රටවල් බලා යාමට සුදානම්ව සිටියේ අවසන්වූ වහාම ඩ්‍රම් සෙට් එක අකුලා ලොරියට අහුරා ස්පීකර් ටික ලොරියට දමාගැනීමට එතරම් කාලයක් නොයන වග අත්දැකීම් දන්නා නිසාය. 

                               මෙසේ අවසන්වූ අපේ මහා සංගීත ප්‍රසංගය අවසානයේ සංවිදායක මඩුල්ල ශත පහකුදු අඩු නොකර අපගේ මුදල් සියල්ල ගෙවා ස්තුති පැසසුම් සහිතව අපිට සමුදුන්නේ නැවතත් මෙවන් සංගීත රාත්‍රියක් සංවිධානයකොට අපිටම ආරාධනා කරනවා කියා පොරොන්දු සහිතවමය. එයින් යස පාඩමක් ඉගෙනගත් අපේ සංගීත කණ්ඩායමේ ලොක්කා  ඊට පසු වැඩ භාරගත්තේ සියලු කොන්දේසි වලට සන්විදායකයින් එකඟ නම් පමණක්ය. අපේ ලොක්කා දිහා දේව බැල්ම වැටීදෝ අලුතෙන් ඩ්‍රම්ස් වාදකයෙක් කණ්ඩායමට බඳවා නොගන්නට එදා එළිවෙනතුරු ආධුනික ගී ප්‍රසංගය සඳහා ඒකපුද්ගල ඩ්‍රම්ස් වාදනය කරන්නට වන්නේ අපේ ලොක්කාටය ..එම සංගීත කණ්ඩායම හා මා සහභාගී වූ අවසන් සංගීත කටයුත්ත එය වූ බැවින් ඊට පසුත් එවන් අලකලංචි සිද්ද වුවාද කියා මා දන්නේ නැත. 

                            සිද්දියට අදාළ සංවිදායක කමිටුවේ නම් ගම් සියල්ල මතකයේ හොඳින් තිබුනත් එව්වා ලියන එක නොහොඹිනා බැවින් නොලියා ඉන්නවාය. එත් නෝනාගම පසුකරන් කතරගම යන උදවිය වෙලාවක් ඇතිනම් නොනාගමින් ඇඹිලිපිටිය පැත්තට ටික දුරක් හැරී ගොස් ලියන්ගස්තොට අමුණෙන් නා කියාගෙන ගියානම් මාර ආතල් පොට් එක කියා කියනවා නොඅනුමානය. මේ සංගීත රාත්‍රිය අපි පැවැත්වුයේ ඊට මදක් නුදුරින්ය..



Saturday, December 13, 2014

හෙළුවෙන් යෑම 2 හෙළුවෙන් දුවගොස් ආපසු ඒම





                            බතලයාගේ හෙළුවෙන් දිවීමෙන් අනතුරුව(හෙළුවෙන් යෑම 1) වසර කිහිපයකට මා දන්නා වෙනත් එකෙකු හෙළුවෙන් දිව්වේ බතලයාගේ දිවිල්ලෙන් වසර කිහිපයකට පසුවය. එකලත් මෙකලත් බොක්කේ මිතුරෙක් වන මේ සිද්දියට උක්ත පුද්ගලයාගේ නම මෙහි පල කිරීමට නොහැක්කේ වර්තමානය වනවිට ඔහු උස් මහත්වූ දුවරුන් දෙදෙනෙකුගේ සහ ඌ වාගේම හැඩහුරුකම් ඇති පුත්‍ර රත්නයකගේ පියෙක් වන නිසාය. පියවරුන්ගේ කල් කිරියාවල් දු දරුවන් දැනගතහොත් මතුවට උන්ට අවවාදයක් දෙනු සුම්මාය..

                          එවකට සිද්දියට උක්තවූ මිතුරා සහ මා එකල ප්‍රදේශයේ සුප්‍රකට සංගීත කණ්ඩායමකට සම්භන්ධවී සිටි අතර එහි නිත්‍ය ගායක තනතුර දැරූයේ මා මේ කියනා  මිතුරාය.  ගායනයට උපන් හපන් කම් ඇති මේ කියනා වූ  මිතුරු තැන  සුප්‍රදිද්ධ කළා පවුලකින් පැවත එන සුපිරි ගනයේ කලාකරුවකු වන අතර අද වනවිට සියලු කළා කටයුතු වලින් ඉවත්වී රැකියාවක් කරගෙන දැහැමෙන්  සෙමෙන් යහමින් ජීවත්වන්නේය. එකල මා සේවය කල ආයතනය පුද්ගලික ආයතනයක් වූ අතර මා එහි දැරූ  තනතුර ප්‍රධාන කාර්මික නිලධාරී  විය. එකල මා රැකියා කල ආයතනය සිදුකලේ රජයේ සෞක්‍ය (  කොයි තරම් ට්‍රයි කරත් ගූගලයා "සෞක්‍ය  " කියන වචනය හරියට ටයිප් කරලා දෙන්නේම  නැති බැවින් වැරදියට වුවද ඒ ආකාරයටම  තියෙන්න අරිනවාය) සේවාවට අයත් රාජකාරියක් වූ බැවින් මාගේ ප්‍රධාන රාජකාරිය වුයේ ලංකාව පුරා රජයේ රෝහල් වලට ගොස් අප ආයතනය විසින් ඔවුන් මිලදී ගෙන ඇති යන්ත්‍ර සුත්‍ර අලුතෙන් සවිකිරීම හා අලුත්වැඩියා කිරීමය. 

                       එව්වා පත සයිස් යන්ත්‍ර වන බැවින් අලුතෙන් සවිකිරීම් වලදී මට තනියම කරන්නට බැරිය තරම්ය . එහෙව් අවස්ථා වලදී අමතර කම්කරුවෙකුට සරිලන වැටුප , කෑම බීම, ඉඳුම් හිටුම් , ප්‍රවාහන යන සියල්ලටම සරිලන මුදලක් මා වෙත ආයතනයෙන් ගෙවනු ලබන අතර මා හට අමතර උදව්වට යමෙක් අවශ්‍යනම් කව්රු හෝ කැඳවාගෙනගොස්  ඒ වැටුප ගෙවීමට හැකි වීය. එහෙයින් අලුතෙන් යන්ත්‍ර සවිකරන අවස්ථා වලදී මිතුරෙකු ඊට කැඳවාගෙනගොස් ඔහුට ඒ වැටුප ලබාදීම මාගේ යුතුකමක් බැවින් ඊට කැමති මිතුරන් එකල මාගේ සහයට ගෝලයින් වුයේය. මේ කියනා වූ මිතුරු තැනද එවන් සහයට ගෝලයෙක් ලෙසින් කැඳවනු ලැබූ දිනයක මේ  ලියන්නට යන්නාවූ අකරතැබ්බය මෙසේය...

                එදා අපිට සවිකරන්නට තිබුනේ  අම්බලන්තොට රෝහලේ යන්ත්‍රයක් වන බැවින් උදෑසනින් ඒ සඳහා  පිටත්ව යා යුතුව තිබුනේය. අදාළ යන්ත්‍ර දින කිහිපයකට පෙර අපේ ලොක්කා විසින් නාවා කවා පොවා හොඳින් ගොනාට අන්දාගත් හිතවතෙකුගේ ලොරි රථයක පටවා අදාළ රෝහල් වලට පිටත්කර යවා තිබු අතර අලුතෙන් සවිකිරීම් සඳහා යාමට කොම්පැනියෙන් ඩීසල් ගසා රියදුරු රහිතව මා වෙත ලබාදෙන වෑන් රථය එහෙව් අවස්ථා වලදී මා වෙත  ලබා නොදුන්  මා වැඩකළ කොම්පැනියේ අයිතිකාර ලොක්කා  සත්ගුණවත් රටේ සුප්‍රසිද්ධ මනුස්සයෙක්ය. 

                       අදටත් රුපවාහිනී තිරයේ අපේ ලොක්කා අපේ රටේ දුප්පත් දුක්විඳිනා ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හලනා හැටි දුටු සැනින් මට අදෝමුකයෙනුත් හිනා යනවාය. එත් උන්ගේ සැබෑ ස්භාවය කිව්වාට රටේ මිනිස්සු තියා අපේ ගෙදර මිනිස්සුවත් විස්වාස කරන්නේ නැතිය . උන්ගේ කෙරුවාවල් ගැන එකල මා කියනා කල අපේ තාත්තා කියන්නේ උඹට කොතන රස්සාවට ගියත් ලොක්ක එක්ක විරසකයි කියලාය. ලංකාවේ බහුතරයක්  ලොක්කන් මහා පජාති එවුන් බව බහුතරයක්  කොන්ද කෙලින් ඇති පුතාලගේ තාත්තලා විස්වාස කරන්නේම නැත. ඒ ඉතින් පුතුන්ගේ කරුමයමය. ලොක්කා ගැන නුගුණ කියනු පියානෝ වහන්සේට ඇසුනහොත් මා කල පළමු රැකියාවේ පටන් ලොක්කන් සමග ඇදගන්නා ලද බාල්දි සියල්ලම යලි මතක් කරමින් දෙහි කැපුමට පටන් ගන්නේ මා අසික්කිත අසමජ්ජාති තක්කඩියෙකු ගානට දමාගෙනය. එහෙව් වෙලාවට පියාණන් වහන්සේට මෙලොව සිටිනා නරකම අසමජ්ජාතිම එකා අහිංසක සත්ගුණවත් මා වන්නේය.


             සිද්දියට අදාළ දිනයට කලින් දා අපගේ සගීත කණ්ඩායමට බලපිටිය නගරයේ වෙඩිමකින් ආරාධනා ලැබී තිබු අතර දිවා රාත්‍රී දෙකෙහිදීම සංගීත රසාස්වාදය ඔවුනට නොඅඩුවම සැපයීමට අපි හැකි තරම් උත්සහ කළෙමු. මේ වෙඩිම නැසීගිය ගායක ගුණදාස කපුගේ මහතාද සහභාගී වූ එකක් වූ අතර කන්නට කෑමද බොන්නට බීමද නොඅඩුව යහමින් තිබු එකක්මය. (වෙඩිමක් කිව්වාට මේක හෝම්කමිo  එකක් කියල හිතාගන්නව හොඳයි මේක කියවන උදවිය. නැත්තන්  පස්සේ මගෙන් අහයි ඒ බොල වෙඩිමක රෑටත් බෑන්ඩ් ගැහුවා කියන්නේ ඇත්තද කියල ) සිද්දියට උක්ත මාගේ මිත්‍ර තැන වෙරි වීමට බියර් බෝතල් භාගයක් එදත් අදත් ඉහටත් උඩින්ය. 

                   එදත් බියර් බෝතල් භාගයක් බිවු කල  හතර ගාතෙන් යන මා මිතුරා මා අවසන් වතාවට සහභාගිවූ  ඔහුගේ නිවසේ පවතී සාදයෙදීත් බියර් බෝතල් භාගයක් බී මද්‍යම  රාත්‍රී දොළහට පමණ නිවසේ නවතා තිබු ඔහුගේම රථයේ නැග හන්දියක් හන්දියක් ගානේ පදවාගෙන ගොස් කබරයා දැමුයේ සසර පුරුද්දට වාගෙය. බියර් බෝතල් බාගෙට ඉස්කාගාරේක තරම් ඩෝප් වෙන මා මිත්‍රයාට අපි බොන්න දෙන්නේ යන්තම් සන්තම් බියර් බෝතල් කාලක් වාගේ සුට්ටක්ය. 

             මේ කියනා වෙඩිමේද බොන්නට ඕනෑතරම් තිබුනද මාගේ ගායක මිතුරාට කව්රුත් බියර් බෝතල කාලකට වඩානම් බොන්නට දෙන්නේ නැතිය.  තමාගේ පදමේ තරම දන්නා මාගේ කීකරු මිතුරු ගායක  තැනද දෙන තරම විනා ඊට එහා බොන්නටද අදත් උත්සහ කරන්නේ නැතිය. එහෙත් කවදත් කුකුළු මස් කෑවාම මගේ බඩ  නරක්වෙනවා මචන් කියනා  අපගේ ගායක තැන විඩින් විඩේ කුකුළුමස් බයිට් එකට යහමින් වගකීවේ නිකම් ලැබුනට බොන්නටද ක්‍රමයක් නැති හෙයින් බඩ ගියත් කමක් නැහැ නිකම් දෙන දේ කන්න ඕන මචන් කියමින්ය. 

             සියලු සංගීත කටයුතු නිමවා මද්‍යම රාත්‍රිය පසුවී නිවෙස් වලට යාමට ඔන්න මෙන්න කියා තිබියදී මා විසින් උඹ හෙට වැඩේට මා එක්ක යන්න එනවා නේදැය මා මිතුරා පොරොන්දු කරගත්තේ මු නාවොත් පරිප්පු නැව  මට තනියම බාන්නට සිද්දවෙන බව දන්නා නිසාවෙන්ය. උදෑසන 6 ට බස් නැවතුමෙන් පිටත්වෙන්නාවූ උඩවලව බස්රථය එන වෙලාවට බස් නැවතුමට නොවරද්දා එමි යන පොරොන්දුව මත අපි නිවෙස් වලට  විසික් උන අතර මා මිතුරු තැන හදිසි අකරතැබ්බයක් නොවුනොත් අනිවා පැමිණෙන වග මම දන්නවාය . 

                    උදෑසනින් සියලු අවශ්‍ය කළමනා ද රැගෙන බස් නැවතුමට වාර්තා කල මා එහි යාමට බොහෝ වෙලාවකට කලින් මා මිතුරු තැන බස් නැවතුම වෙත වාර්තාකොට තිබුනේ ඊයේ රෑ බස් නැවතුමේ නිදි වැදුනා හා සමානවය. විනාඩි දහයෙන් විස්සෙන් නිතර අම්බලන්තොට යාමට හැකි බස් පැමිණෙන ගාලු පාර ගැන දනිතත් මා මිතුරු තැන මා වෙත යෝජනා කරන්නේ අපි කෝච්චියේ මාතරට ගිහින් එතනින් බස් එකක යමුද කියාය. මාතරට යන දුම්රියක් තිබෙන්නේ කුමන වෙලාවටද යන්න අවබෝධයක් නැතත් මෙවන් ගමන් සඳහා දුම්රියේ යාම ඉතාමත් අවදානම් වන්නේ දුම්රිය අතරමග සෙත්තපෝච්චි උවහොත් යන්ත්‍රය සවිකිරීමට අනිද්දාවත් යන්නට නොහැකිවන බව අත්දැකීමෙන් දන්නා නිසාය.  

        වදෙන් පොරෙන් බස් රථයට නග්ගවාගත් මා මිතුරා සමග මා  අම්බලන්තොට බලා පිටත් වුයේ ඉක්මනින් යන්ත්‍රය සවිකොට ගෙදර එනු සිතාගෙනය. එහෙත් රථය පිටත්වී ටික දුරක් යන තුරුද මාගේ මිතුරු තැන කෝච්චියේ ගියානම් හරි මචන් කියාම කියවනවාය. බස් රථයේ මැදට වන්නට මුහුද පැත්තේ ආසනයක හරිබරි ගැහුණු අපි දෙදෙනා ආ ගිය තොරතුරු දොඩවමින් දැන් අපගේ අරමුණ කරා ධාවනය වෙනවාය. රථය ගමන් ආරම්භ කොට විනාඩි පහළොවක් යන්නට මත්තෙන් මා මිතුරා බඩ ටිකක් රිදෙනවා වගේ මචන් කියමින් එහාටත් මෙහාටත් ඇඹරෙනු දකින  මාගේ කොණ්ඩය කෙලින් වුයේ මගදී බඩ රිදුමෙන් පටන්ගන්නා ගන්නා වූ සිද්දි බහුතරයක් අවසන් වන්නේ හත්පොලේ ගාගෙන බව අත්දැකීමෙන් දන්නා නිසාය. 

          මු ආ වෙලේ පටන් කෝච්චියක් ඉල්ලා අඬන්න පටන්ගත්තේ ඇයිද යන්න මට වැටහෙන්නේ දැන්ය . එත් දැන් අපි ඉන්නේ විදුලි වේගයෙන් උදෑසන මද අඳුර කපාගෙන උඩවලව බලා විදින ලංගම බස් රථයකය. එදා තියා තව අවුරුදු සියයකින්වත් දියුණු රටවල මෙන් ලංගම බස් වල වැසිකිලි සවිකිරීමක් වෙන්නේ නැති බැවින් මා මිතුරා වැටුන අමාරුව ගැන අදත් මා වෙත ඇත්තේ දුකක් පමණක්ය. 

            මා මිතුරු තැන සෙමෙන් මුමුනමින් මා වෙත මේ දැනුම් දෙන්නේ ඉක්මනින්ම වස්තරයේ මල පහ වීමට ආසන්න වන කතාවක්ය. එහෙත් ඊට  පිළිතුරු වශයෙන් මිතුරු තැනට උදව්වක් වීමට යමක් වේදෝයි සිතමින් මම දහ අතේ සිතමින් සිටි  අවස්තාවක මගේ අත්  ගොබය මිරිකු ජනේලය අසල වැඩිවී ඉන්නා මා මිතුරා පවසන්නේ  මොකක් හරි කරපන් මචන් කියලාය. බසයේ ආසන ප්‍රමාණයට වඩා වැඩි සෙනගක් එවෙලෙහි  නොසිටි බැවින් මා කොන්දොස්තර  තුමා වෙත ලං කරේ මා මිතුරාගේ දැවෙන ප්‍රශ්නයට විකල්පයක් වෙයි දැනගැනීමටය. 

                     මා එක්ක ආ එකාට කලිසමේ බඩ යන්න එනවා යකෝ බස් එක කොහේ හරි නවත්තාපන් කියා කියන්නට තදින්  හිතේ තිබුනත් ඊටත් වඩා සදාචාරාත්මක ආකාරයට මේ ප්‍රශ්නය විසඳාගත යුතු වෙයි. එහෙයින් බසය කොතන හෝ නවත්වාගන්නා අදහසින් කොන්දොස්තර වෙත ගිය  මාගේ මුවින් පිටවුයේ බසය තේ බොන්න නවත්වන්නේ කොතනද යන්නයි. කොන්දොස්තර  පිළිතුර වුයේ අද රියදුරු තැන වෙනදා බසය ධාවනය කරවන රියදුරු නොවන බැවින් වැලිගම අවට ඇති ස්ථානයක බසය උදෑසන ආහාරය වෙනුවෙන් නවත්වන්නට  බොහෝදුරට ඉඩ ඇති බවය. 

            වේගයෙන් ඇදෙන බස් රථය හික්කඩුවේ සිට  වැලිගමට ළඟාවීමට උපරිම වශයෙන් ගතවන්නේ විනාඩි 30ක 40 ක කාලයක් බැවින් ඔහුගේ පිළිතුරෙන්  සෑහීමට පත්වූ මම යලි ආසනය වෙත සැපත් වී මා මිතුරාගේ සිත සැනසුවේ  විනාඩි 30 ක් ඉවසපන් මේක තේ බොන්න නවත්තනවා වැලිගම කියාය. එතකම් ඕක අමතක වෙන්නත් එක්ක පාරේ පහුවෙන ලයිට්කනු ගණන් කරපන් යන්න මාගේ අවංක අවවාදය වීය. එයින් සෑහීමට පත්වූ මාගේ අතිජාත මිතුරු තැන දැන් උපන්දා සිට දකින්නට ලැබුන මහ මුහුද දිහා බලාගෙන ජීවිතේට පළමු වතාවට මුහුද දුටු එකෙකු මෙන් ගමනේ යෙදෙන්නේය . 

               ගාල්ල පසුකරමින් වේගයෙන් ඇදෙන බසයේ දැන් තරමක් සෙනග පිරී ඉතිරී තිබු අතර බසය වේගයෙන් ධාවනය වන්නේය. කිසියම් වූ කතාවක් බහක් නැතිව මුහුද පැත්ත දිහා බලාගෙන ගමන් ගන්නා මා මිතුරා හිටපු ගමන් දත්කුරු කමින් මා දිහා බලන්නේ මාව කන්න වාගේය .  වෙලාවට මාගේ ඇඟ දහදියෙන් නැහැවෙන්නේ මුට වස්තරයේ මල පහ වුවහොත් කුමක් කරන්නද යන පැනයට පිළිතුරු නැති බැවින්ය. කෙමෙන් කෙමෙන් රථය වැලිගමට ලං  වෙමින් පවතින අතරතුරේ මා මිතුරා මුහුද පැත්තේ පසුවල ලයිට් කණු , පොල් ගස්, ඔරු පාරු  කොයිතරම් ගණන් කරාද  යන්න මම දන්නේ නැත. 

               වැලිගම බස් නැවතුමෙන් තවත් මිනිසුන් රොත්තක් පටවාගන්න ලද බස් රථය නැවතත් හැල්මේ ඉගිලුනේ මා මිතුරාගේ සියලු බලාපොරොත්තු සුනුවිසුනු කරමිනි . උපන්දා සිට ඉගෙනගත් සියලු ශිල්ප උපයෝගී කරගනිමින් ආයාසයෙන් බර  දරා සිටිනා මා මිතුරු තැන දැන් මා වෙත  ඉදිරිපත් කරන්නාවූ පැනය  නම්  ..තෝ දැන්  මේක වැලිගම කන්න නවත්තනවා කියල කිව්වා නේද ?..යන්නය. මා කීවේ කොන්දොස්තර විසින් මා වෙත පැවසු දේ වන අතර මා මෙය පදවන රියදුරු  නොවේය. එත් දැන් වැරදිකරු අහිංසක මාය ..

               ඉඳහිට මාගේ අත් ගොබය තදින් මිරිකාගෙන දත්මිටිකාගෙන විනාඩියක් පමණ ආයාසයෙන් පසුවෙනා මා මිතුරා  හිටි ගමන් ආසනයෙන් නැගිට හිටගන්නවාය . හිටිගමන් අතේ ඇඟිලි පහම කටේ දමා විකාගන්නා මා මිතුරා හිටපු ගමන් කන් උගේම කන් දෙකම මිරිකාගෙන  ඉන්නවාය. මේ සියලු දර්ශන දකින මා ඉන්නේ දැන් දහදියෙන් නැහැවිලාය. ඒ මේ වෙන්න යන්නාවූ විලැම්බෑසිය සිද්ද වුවහොත් දෙදෙනාටම දෙවියන්ගේම පිහිට පමණක් බව දන්නා නිසාය. ඝනදෙවියන් නුවණ දුන්නේ මේ වෙලාවට ප්‍රයෝජනයක් ගැනීමට වන්නට ඇතිය. හෙළුවෙන් යාම 1 කථාවට පාදක වූ සිද්දියෙදී සම්පතයා විසින් නඩය වෙත කියාදුන්නාවූ කෙමක් එම මොහොතේ මා මතකයට ආවේ කෙසේදැයි යන්න දන්නේ නැතත් එය අපිට පිහිටක් උනාද නැතිද යන්න ගැන මාගේ අවබෝධයක් නැත.

            හෙළුවෙන් යාම 1 කථාවට අදාළ සිද්දීයෙදී සම්පතයා විසින් අපේ එවුන් වෙත බඩ යාමට පිලියමක් වශයෙන් ඉගැන්වූ කෙම වුයේ කිසිවක්  කතාබහ නොකොට වම අතේ වෙද ඇඟිල්ලෙහි කෙල ස්වල්පයක් තවරා බුරියෙහි තවරාගන්නා පිළිවෙතයි. මා මෙය අත්හදා බලා නොතිබුනාද වෙන්නට  යන්නාවූ සන්තැසියෙන්  අප දෙදෙනාම ගලවාගැනීමට මෙවෙලේ පිදුරු ගසක වුවද පිහිට පැතීමට මා සුදානම්ය. එහෙයින් මේ පිළිවෙත ගැන දැනුවත් කිරීමට දැනටත් ප්‍රමාද වැඩි වුවත් මිතුරාගේ කනට ලංවී කෙම ගැන දැනුවත් කිරීමට මම වගබලාගතිමි. 

            බසය දැන් මාතරට ලං වෙමින් පවතින අතර මාතර කන්න නවත්තනවා බය නැතිව අල්ලාගෙන හිටහන් කියමින් ඇස් වසමින් මිතුරාගේ ඉවසීමේ ගුණය තවදුරටත් තීව්ර කිරීමට වග බලාගැනීම කල්‍යාන මිත්‍රයෙකුගේ  වගකීම බව මම  දන්නවාය . එහෙත් ඉවසීම කොයි මොහොතේ ඇලවේලි දිගේ දෙගොඩතලා යාවිදැයි කියන බැරි  නිසා මාද පසුවන්නේ බයෙන් භිරාන්තවීලාය. එහෙත් අවසනාවක තරම කොයිතරම්ද කියනවානම් මාතරින් තවත් සෙනග කන්දක් පටවාගත් බස්රථය නැවතත් උඩවලව බලා ඉගිලෙන්නට පටන් ගත්තේ අපි දෙදෙනාගේම සියලු බලාපොරොත්තු සුන්කරමිය.

                 මාගේ හිතාදර මිතුරු අංශය දැන් බසයේ කාටත් නොපෙනෙන්නට වම්  අතේ වෙද  ඇඟිල්ලේ කෙල ගානවා  වෙනුවට වම අතටම කෙල තැම්බක්  ගසමින් කතා නොකරම බුරියේ උලා ගන්නවාය. එක විනාඩියක් ආසනයේ වාඩිවී නොසිටිනා මිතුරු අංශය හිටගන්නවා වාඩි වෙනවාට  අමතරව බසයේ ජනේලය හරහට ගසා ඇති ඇලුමිනියම් පොලු දෙක කන්න හදනවාය.ඊටත් අමතරව මා දීහා අඬන්න වාගේ බලනවාය. එහෙව් වෙලාවට මට වහ කන්න තරම් හිතෙන්නේ මිතුරු අංශයේ ඉවසීම සීමාව පැන  අපේ පටි රෝල් උනාද යන සිතුවිල්ල නිසාය.  ඉන්දියාවේ එවුන් ලේලන්ඩ් බසයේ ජනෙල හරහට පොලු ගසා එව්වා නොවන්නට එදා මා මිතුරා එක්කෝ යන බසයෙන් පැන මුහුදු වෙරල වෙත දුවගොස් බර සැහැල්ලු කරගන්නාවාය... නැතිනම් යන බසයෙන් පනින්නට ගොස්  ඔන් ද ස්පොට් වලකජ්ජ ගසනවාය. අදත් තිදරු පියෙක් වශයෙන් සාර්ථක ජීවිතයක් ගතකරනා  මා මිතුරා හරිනම් ඉන්දියාවට ණයගැති වන්නේ එම නිසාය..

               අවසානයේ රියදුරාට කුසගිනි බැවින්දෝ දික්වැල්ලේ බස් නැවතුම අසල පිහිටි හෝටලයක් යයි කියනා අපායක බසය උදෑසන ආහාරය වෙනුවෙන් නවත්වන්නට පාරෙන් අයින් කරනවාත් සමගම මා මිතුරු තැන හැඳ සිටි කලිසමේ බාගයකුත් ගලෝලා අහවරය. මේ කියනා වූ මිතුරාත් බතලයාත් සමපාත වන්නේ මෙතනදීය. කක්කුස්සිය දකින්නටත් කලින් මුන් කලිසම ගලෝගන්නේ  මුන්ට කක්කුස්සි ගඳ ඈත තියා ඉව දැනෙනවා වාගේය .. බසය නවත්වා එන්ජිම නවත්වන්නටත් කලින් කලිසමත් අතේ රැගෙන සෙනග අතරින් පෙරලාගෙන එලියට පැන්නා වූ  මා මිතුරා බස් නවත්වන කඩයේ සිටි සෙනග  දෙබෑ කරගෙන දුවන්නට වුයේ වැසිකිලිය සොයාගෙනය. 

           බතලයා කෙල්ලන් දෙබෑ කරමින් ජොකා පිටින් දිව්වාක්  මෙන් එම ආකාරයෙන්ම ජොකා පිටින් දුවගිය මා මිතුරා දුටු ගැහැණු පිරිමි තරුණ මහලු කුඩා සියලුම එවුන් ඉහලට ඇදගත් හුස්ම පහලට දැමුවේ ඊළඟ හුස්ම ගැනීමට අවශ්‍ය බව දනුනායින් පසුව වන්නට ඇත. මේ සියල්ල දකිමින්  හිතේ තිබුණු සියලු පීඩනය ඉවතලා මා දැන් ඉතින් ඒ ප්‍රශ්නෙත් අහවර නේදැයි සිතමින් කුමක් හෝ යමක් උදෑසන ආහාරය සඳහා මිලට ගැනීමට සෙනග අතරින් කැෂියර් වරුන් වෙත ලන්කරමින් උන්නේ කුමන ජරාවක් ගිල දමමිද යන්න හිතමින් වන්නට ඇතිය.

               මා මිතුරා ආවේ මා සමග නොවේ වාගේ කැෂියරයා ඉදිරියේ සෙනග පෝලිමේ ඉන්නා මට දැන් ඇසෙන්නේ මා මිතුරා මගේ නම කියමින් මර හඬ තලනා සෙයක්ය. තත්පර කීපයකට කලින් උඩුකයට අලංකාර කමීසයකිනුත් යටි කයට නිල්  පාට ජොකෙකුගෙනුත් සැරසී සෙනග දෙබෑ කරමින් දිවූ මා මිත්‍රයා කරන්නට ගිය කාර්‍යය පසෙක තබා නැවතත් හෝටලය වෙත දිව එනු දුටු මාගේ ඇඟ සීතල වන්නේ මේ වෙන්නට යන්නේ කුමක්ද කියා අදහන්නට බැරිවය. බරපතල බඩේ අජීරනයකින් කක්කුස්සිය වෙත දිව ගිය එකා නැවත ඒ සැනින්ම මා වෙත දිව එන්නේ අදාළ කාර්ය සිදුකිරීමට මාගේ පශ්චාත් භාගය ඉල්ලාගෙන යන්නට වාගේය . 

                හෝටලයේ පසුපස දොර වෙත පැමිණි මා මිතුරා මාගේ නම කියමින් කෑ ගැසුවද මම ඒ මට නොවනා ආකාරයට පෝලිමේ ඉන්නවාය. මු හෙලුවල්ලෙන් හෝටලය මැදින් දිවගිය ආකාරයට මු ආවේ මා එක්ක කියා වටේ ඉන්නා සෙනග වෙත දැනුම් දීමට මට ඕනෑකමක් නොවන්නේය. කිහිප වරක් නම කියා කෑ ගැසුවද මාගේ ප්‍රතිචාරයක් නැති තැන ආපසු වැසිකිලිය වෙත දුව යාවියයි මා සිතා සිටි මා මිතුරු තුමා , එයින් පසුභට නොවී නැවතත් ජොකා පිටින්ම හෝටලයේ කැෂියර් ආසන්නයම දුව එන්නට පටන්ගත්තේ එයින්  පසුවය.

                   මිතුරු අංශය මා ළඟටම දුව එනතුරුත් නොදැක්කා සේ සිටි මා වෙත පැමිණි මිතුරු තුමා " යකෝ සිගරට් එකක් අරන් වරෙන් ඉක්මනට කකුස්සියට " කියමින් නැවතත්  කක්කුස්සිය වෙත දුව ගියේ මුට ලැජ්ජාව බෙදන තැනකවත් ඉඳලා නැති වග හෝටලයේ සිටි සියල්ලන් වෙතම ඉස්තිරේටම සහතික කරමින්ය. ටවුමේ රෙදි සාප්පුවක ලස්සනට අන්දා ඉදිරිපස ෂෝ රූම් එකෙහි තබන ලද ඩමියක්  දිහා බලන්නාක් මෙන් මුළු හෝටලයේම සිටි ගැහැණු, පිරිමි, තරුණ. මහලු සියල්ලන්ම දැන් මා දිහා බලන්නේ අමුතු සත්වයකු දුටුවාක් වාගේය . 

මාගේ අපහසුතාවය වටහාගත් කැෂියරයා දුම් වැටි කිහිපයක් හා ගිනි පෙට්ටියක් මා වෙත  දමා ගසා මාගේ අතේ තිබු පන්සියයේ කොලය කැෂියර් කූඩුව වෙත ඇදගත්තේ සෙල්ලකතරගම මැණික් ගඟේ සිටිනා කොරලින් පාන් කැබලි වලට ගසන්නාක් මෙන්ය. ඉතුරු සල්ලිද මා වෙත වීසි කල කැෂියර් උන්දා මා පසුපසින් උන් ගනුදෙනු කරුවා ඇත තිබු මුදල් නෝට්ටුවට ගැසුවේ නැවතත් පරණ ආකාරයටම කොරලි ගසන ආකාරයටමය. ඒ උන්ගේ ගනුදෙනුවේ ස්භාවයය. බස් නවත්වන හෝටල්වල එවුන්ට මුදල් දී උන්ගේ ජරාව වැඩි මිලට මිලදී ගන්නවානම් ගනුදෙනු කරු ඇඳුම් නැතුව ආවත් උන්ට කමක් නැති වග ඉස්තිරෙටම සහතික කරමින් උන්ගේ හෝටලය නමැති අපාය  මැදින් ජොකා පිටින් දෙවරක් දිවගිය මා මිතුරාටවත් ඔහු සමග ආ මටවත් ඔවුන් කිසිවක් කීවේද නැතිය. 

                    කලිසම සහ කමීසය මනාව ඇඳ සපත්තු දමා වැදගත් එකෙකු සේ සිටිනා මටත් දැන් දැනෙන්නේ කලිසම නැතිව සිටිනා සෙයක් බැවින් දුම්වැටි දෙකක් සහ ගිනිපෙට්ටියක් කක්කුස්සියේ දොර යටින් මිතුරාට දුන් මම ද ඒ අසලින් රැඳුනේ දැන් හෝටලයේ සිටිනා මිනිසුන්ට මෙන්වන්නට තිබු මාගේ අගනා මුහුණේ මා මිතුරු සමාගම දැලි ඉලූ බැවින් වන්නට ඇත.

                  බසයේ සියලු දෙනා අසුන් ගන්වා රිය පනගන්වා විනාඩි දහයක් පමණ ගතවන තුරුත් කක්කුස්සියේම ගතකල මා මිතුරු තුමාණෝ බසය වෙත වාර්තා කරන තුරු කොන්දොස්තර තැන ශේප් කර ගැනීමට ඔහුටත් දුම්වැටි පහක් පුදදීමට මට සිදු උනාය. අවසානයේ මිතුරු සමාගම බසය වෙත වාර්තා කලද බසයේ සිටි කිසිවෙකුගේ මුහුණ කෙලින් බලන්නට නොහැකි සේයාවක් මා වෙත ඇත්තේ අපේ එකා උන් මැද්දෙන් හෙළුවෙන් දිවූ නිසාය. අකුරල සිට  දික්වැල්ලටම කාටවත් ඇලර්ට් නොවී රැගෙන ආ බඩේ අජීරණය කලිසමේ නොයවා බේරා ගැනීමට තරම් ඉවසීමක් තිබු මා මිත්‍රසමාගමට කක්කුස්සිය ඇතුලට ගොස් කලිසම ගලවාගැනීමට තරම් ඉවසිල්ලක් නැති උනේය. කිසිවක් නොවූ ආකාරයෙන් දැන් ආසනයේ සැපෙන් සුවෙන් පසුවනා මා මිතුරු තැන දැන් ඉන්නේ මුකුත්ම උනේ නැති ගානටය. එදත් අදත් ඌ  ලැජාවක්නම් නැති එකෙක්ය.

                   අවසානයේ අම්බලන්තොට රෝහල වෙත සැපත් වූ අපි දෙදෙනා අදාළ රාජකාරිය කිරීමට පටන් ගත්තද මා ශල්‍යාගාරය තුල යන්ත්‍රය සවිකරන කාලය තුල වැඩි කාලයක් මා මිතුරා ගතකලේ ශල්‍යාගාරයට යාබද වසිකිලියේය. අම්බලන්තොට රෝහලේ සිටි පැය පහක හයක කාලය තුල විසි තිස් වතාවක් වැසිකිලි ගියා වූ මා මිතුරා නැවත ගම රට බලා ඒමට බසයේ නංවා ගැනීමට කලින් සියලු වෛද්‍ය පරීක්ෂණ මා දන්නා ආකාරයෙන් පවත්වා බඩ යන්නට තරම් දෙයක් බඩේ නැති වග තහවුරු කරගෙන බසයට ගොඩ වුවද වැඩි පරෙස්සමට කියා මාතරින් බැස දුම්රියේ ගමට ඒමට මා තීරණය කලේ දෙවියන් වුවද දෙවරක් මා මිත්‍රයාගේ කලිසම බේරාගන්නේ නැති වග සහසුද්දයෙන්ම දන්නා නිසාය. 

                       සිද්දිය සිද්දවී වසර 16 ක් ගතවී ඇතත් අදටත් මා මිතුරු තැන චිකන් වළඳා බස්රථ වලින් ගමන් යන්නේ නැති වගනම් මම සහසුද්දයෙන්ම දන්නවාය .. අවුරුදු කිහිපයකට කලින් බතලයා සමග සිද්දීයෙදී  මාගේද වස්තරය  බේරාගන්නට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා පිහිට වුවද අවුරුදු තිහකට පමණ කලින් මා පාසලේ එක වසරේ අකුරු කරන සන්දියේ මෙවන්ම අවස්තාවකදී අහිංසක වස්තරය බේරාදීමට දෙවියන් ඉදිරිපත් නොවූ බව මතකයේ කොනක තිබෙන බැවින් මෙවන් අවස්ථා වලදී මිතුරන්ට වුවද සමච්චල් කිරීම  නොහොබිනාය ..පළමු වසර  කුඩා සන්දියේ උවද මාගේ ඉවසීම දෙගොඩතලා ගිය හැටි අද වාගේම මතකය.. එකම බංකුවේ  අකුරු කල ප්‍රාණ සමාන මිතුරා මාගේ නම කියා ...... ට ගූ ගිහිල්ලා කියමින් මුළු පන්තියටම හඬ තැලූ අල්ලපනල්ලේ දැන් ඉතින් කාගේ පිහිටක්දෝයි හිතමින් වටපිට බැලූ අයුරු ජීවිතයටම අමතක වන්නේනම්  නැතිය ...

Thursday, December 4, 2014

මනින්නා





                මේ ලියන්න යන සිදුවීම සිදුවුයේ කුමන වසරේ ද කියා කියන්නට මගේ මතකය නිවැරදි නැති උනත් මේ සිදුවීම සිද්ද උනේ 2005 සහ 2010 අතර කාලයේ බවනම් අකුරටම කිව හැක්කේ මා සහ සිදුවීමට උක්තවූ මනින්නා කතරගම සේවය කලේ 2005 සහ 2010 අතර බව හරියටම දන්නා නිසාය. මනින්නා කතරගම ඉඩම් මනින අතරේ කතරගම කාර්යාලයේ සේවය කරන අතරතුරම තණමල්විල ද ඉඩම් මනින අතර තණමල්විල කාර්යාලයේද රාජකාරි වල ඩබල් ඇක්ටින් කරේ කෙසේද යන්න රජයේ සේවයේ වසර 12ක් (අකුරට )නියලී සිටි මටද අදද උත්තර නැති ප්‍රශ්නයක්ය. උදේ "කතරගම ඉඩමක් මනිනවා මචන් " කියනා මනින්නා ඊට පැය භාගයකින් කියන්නේ "තණමල්විල ඉඩමක් මනිනවා මචන්" කියාය. ඊට පැයකට පසු කියන්නේ "මොනරාගල ඉන්නේ මචන්" කියාය. එව්වා ප්‍රශ්න කිරීමට අපිට අයිතියක් නැත්තේ ඩීසල් වලට ගෙවන්නේ ආණ්ඩුවෙන් වන නිසාය. අපි දෙදෙනාම අපි දෙදෙනාගේම ආයතන වල රාජකාරි හරි ආකාරව කරේ නැත යයි කාටවත් චෝදනා කරීමට නොහැක්කේ ඒ රාජකාරි කාලය තුල අපගේ පාලන අධිකාරි වලින් අපි දෙදෙනාගෙන් එක අයෙකුටවත් සේවය පැහැර හැරියා කියා කිසිදු චෝදනාවක් මේ වනතෙක් නොලද බැවින්ය. කතරගම සේවය කල කාලයේ ගතකල සුන්දර සැහැල්ලු ජීවිතය ගැන හරියටම දන්නේ මනින්නා සහ මම පමණය.

ගමේ යාළුවෙකුටත් පාසල් යාළුවෙකුටත් කතරගම අපිට සිටියේ මනින්නාට මමත් මට මනින්නාත් පමණක්ය. ඊට අමතරව කෙනෙක් සිටියානම් ඒ වීරවිල ගුවන් හමුදා කඳවුරේ ලොකු මහත්තයෙක් වන අපේ මිතුරු හිතවතාය. මනින්නා සහ මම කිහිප වතාවක් වීරවිල ගුවන් හමුදා කඳවුරට ගොස් මිතුරාගේ බිලට සප්පායම් වී ආවත් මේ වනතුරුම ගුවන් හමුදා කඳවුරේ ලොකු මහත්තයා කතරගමට ගෙන්වා එවන් සාදයක් පැවැත්වීමට අපිට බැරි වුනෝය . ඒ ගැන විවිද සැලසුම් මනින්නා විසින් මා හට ඉදිරිපත් කලද ඒවා කිසිදා සැබෑවක් කරගැනීමට නොහැකිවූ සැලසුම් වලින් එකක් පමණය. රජයෙන් ලබාදුන් මෝටර් සයිකල් දෙකෙන් අඳුරත් සමග වීරවිල ගුවන් හමුදා කඳවුරට යන අපි දෙදෙනා එතනින් පිටත් වන්නේ රාත්‍රී දොළහ ආසන්න වෙද්දීය. වීරවිල හන්දියෙන් කෙලින් පාරේ තණමල්විල යන මනින්නා නොපෙනී යනතුරු තිස්ස පැත්තට මෝටර් සයිකලය හරවන්නේ නැතිව මා මනින්නා යනාදිහා බලා සිටින්නේ එවන් දර්ශනයක් දකින්නට ලැබෙන්නේ බොහොමත්ම කලාතුරකින් බැවින්ය. ඈත ක්ෂිතජයෙන් මනින්නාගේ මෝටර් සයිකලයේ පසුපස රතු ලාම්පුව නොපෙනී යන තුරුම ඉංග්‍රීසි හෝඩියේ අවසන් අකුර ආකාරයට පාරේ එහා පැත්තටත් මෙහා පැත්තටත් අලංකාර රටාවක් මවන්නේය . මෝටර් සයිකලයේ පසුපස රතු ලාම්පුව පාරේ මවන්නේ Z ආකාරයේ අපුරු රටාවක්ය. මද්‍යසාර නොවන්නට ඒ මවෙනා වූ රටාව මවන්නට හොඳ සිහියෙන් නම් මිනින්නාට කුමන ආකාරයකින් උත්සහ කලත් නොහැකිය.

මනින්නා දවසක හැන්දෑවක මාගේ නිල නිවාසයට සැපත් වුයේ අද රෑට හොඳ ආතල් එකක් දාමු කියාගෙනය. එදා මනින්නා මාගේ නිල නිවාසයට ආවේ මනින්නාගේ නිල ජීප් රථයෙන් වන අතර රියදුරා මනින්නා මා සමග දමා පිටත්ව ගියේය. ඉඳහිට මාගේ නිල නිවාසයේ සෙට් වීම මනින්නා සහ මා පුරුද්දට කරේ නැතත් මාසයකට දෙකකට වතාවක් අනිවාර්යයෙන් එහෙම දේවල් වෙනවාය. සමහරක් දවස්වලට කතරගම සිටින ලොකු ලොකු මුදලාලිලා පිරිවරා පැමිණෙන මනින්නා සමහරක් දවස් වලට පැමිණෙන්නේ තනිවමය. කතරගම අවට කොතන සාදයකට සෙට් උනත් මනින්නා පුරුද්දට වරෙන් අහවල් තැනට කියා මට දුරකථන ඇමතුම දුන්නත් මා එවැනි අවස්ථා වලට සහභාගී නොවන්නේ තුන් වේල රසට උයා පත් පත අතට ගෙනත් දෙන දුකටත් සැපටත් එක සේ සිටිනා ගෝල තැන නිල නිවාසයේ දමා එවන් සාදවලට සහභාගී වීම නොහොබිනා නිසාය. මේ කියනා දිනයේ මනින්නා හා මා අම පානයට සෙට් වුයේ රෑ එකට දෙකට තණමල්විල යන්නට උත්සහ නොකරන බවට දස දහස් වරක් මනින්නා පොරොන්දු කරගැනීමෙන් අනතුරුවය. මීට පෙර අමනින්නා එහෙම අසික්කිත වැඩ කරලා තිබෙනවාය. හෝම් මේඩ් ප්‍රයිඩ් රයිස් , වෙජිටබල් චෝප්සි සමග වයිට් රම් බෝතලයක් දෙදනා විසින් සහයෝගයෙන් අහවර කර දැමීමට කිසිදු අමාරුවක් අපහසුවක් වූයේනම් නොමැත . එදා මාගේ දුකට සැපට ගෝලයාද ගෙදර ගිය දවසක් වූ බැවින් බෝතලය අපි දෙදෙනාගේම පමණක් වුයේය.

රාත්‍රී දොළහ පහුවෙද්දී රම් බෝතලය අහවර කර රාත්‍රී ආහාරය වළඳා අනතුරුව මනින්නා ඉදිරිපත් කල ඉලීමකින් මාගේ කොණ්ඩය කෙලින් වුයේ මදකට කලින් උගුරෙන් පහලට ගියා වූ රම් බෝතල් බාගයේම සුන්දරත්වය විනාස කර දමමින්ය. මනින්නාට දැන් තණමල්විල යන්නට ඕන කියනවාය. ඒ මදිවට යන්නට මාගේ නිල මෝටර් සයිකලය ඉල්ලනවාය. පැය කිහිපයකට කලින් රෑට තණමල්විල යන්නට අඬන්නේ නැහැ කියා දහ අතේ පොරොන්දු වූ මනින්නාට දැන් ඒ පොරොන්දු වැඩක් නැති ගානය. කතරගම සිට තණමල්විලට මෝටර් සයිකලයෙන් යන එක ම කජ්ජක් නොවේය. රජයේ වාහන වුවත් මා භාරයේ ඇති මෝටර් සයිකලයක් උදෑසනට ගෙනවිත් බාරදෙන පොරොන්දුව පිට මනින්නාට දෙන එකත් මහා කජ්ජක් නොවේය. ප්‍රශ්නය නම් මනින්නා ඉන්නා තත්වය මත මෝටර් සයිකලයකින් රාත්‍රී එකට තණමල්විල යවන්නට නොහැකි වීමය. ඒ යන අතරමග මනින්නාට ඇහැ කන නොපෙනී ගොස් සෙත්තපෝච්චි වුවහොත් මනින්නාගේ දෙමාපියන්ට උත්තර දෙන්නට වෙන්නේ මටය. ඊට අමතරව මෝටර් සයිකලය ගැන ප්‍රධාන කාර්යාලයට ද උත්තර බඳින්නට වෙනවාය. නිල නිවාසයේ කාමරයක් සුදානම් කර මදුරු දැලද දමා මනින්නා ඇඳට දැමීමට කොතරම් උත්සහ කලද මනින්නාට තණමල්විල යන්නම ඔනෑ කියනවාය. පැය කිහිපයකට කලින් මතකයේ නොතිබූ රාජකාරි දහසක් හෙට උදේ කරන්නට තිබෙනවා කියනවාය. උදෑසන තණමල්විල කාර්යාලයේ ඉන්නම ඔනෑ කියනවාය. දැන් ඉතින් කතරගම දෙචියන්ගේ පිහිට පමණය.

මනින්නා තණමල්විලට මෝටර් සයිකලයෙන් ඇරලීමට මා තීරණය කලේ වෙන කරන්නට දෙයක් නොමතිම නිසාමය . එහෙත් ප්‍රශ්නය නම් ප්‍රමාණවත් තරම් පෙට්රෝල් මෝටර් සයිකලයේ නොමැතිකමය. රාත්‍රී දහයෙන් පසු කතරගම නගරයේ ඉන්දන පිරවුම්හල් වසන නිසා ඉන්දන අවශ්‍යතාවයකට දෙබරවැව ඉන්දන පිරවුම්හලටම යා යුතුය. මනින්නාගේ සහ මාගේ බලවත් කරුමයට දෙබරවැවට යාමට තරම් ප්‍රමානවත්වූ ඉන්දන මාගේ නිල මෝටර් සයිකලයේ නොමැත. තිබෙනා අනෙකිත් මෝටර් සයිකල් වල ටැංකි වල ඇති ඉන්දන සුළු ප්‍රමාණයක් ද මාගේ මෝටර් සයිකලයේ ටැංකියට දමාගෙන මනින්නාද පසුපසින් ඉන්දුවාගෙන දැන් ඔන්න අපි තණමල්විල බලා පිටත් උනෝය . මනින්නාට වගක්වත් නැතුව මොනවදෝ කියවමින් පසුපස ආසනයේ සිට වයිට් රම් + තණමල්විල ගමන එන්ජෝයි කරනවාය . මම මෝටර් සයිකලය පැද යන්නේ පපුවේ ගින්දරෙන්ය. උගුරෙන් පහලට ගිය වයිට් රම් වල සුදිය එලොව ගියේ මනින්නා තණමල්විල යන්නට ඕන මචන් කියූ වේලාවේය . බීලා මෝටර් සයිකල් පැද පොලෝසියට අහු උනත් මගෙත් මනිනාගේත් රාජකාරී හැඳුනුම්පත් පෙන්වා ශේප් එකක් දමා ගැනීම සිම්පල් වැඩක්ය. එත් දෙබර වැවට යන්නට කලින් දහිරවාට්ටුව මග නවතින බවනම් බුදු සුවර්ය. එහම දැන දැනම මනින්නා කියවන්නා දේ වලට අහුම්කන්දීගෙන තණමල්විල ගමන එන්ජෝයි කිරීමට මට නොහැකිය.

ඉදිරියට හමුවන හැම අංශක එකක පල්ලමකම නියුටල් ගසා උපරිම ඉන්දන කාර්යක්ෂම තාවයෙන් ධාවනයවූ මාගේ නිල මෝටර් සයිකලය රන්මිණිතැන්න පසුවනවාත් සමගම තෙල් ඉවරයි කියාගෙන නතර උනේ මාගේ පපුව බිම කඩා වැටෙද්දීය. මනින්නාට නම් වගක්වත් නැතිය. හරි මම දෙබර වැවට යන්න කලින් උඹට තෙල් ටිකක් හොයල දෙන්නම් කියා කියනවාය . දැන් ඉතින් දෙබර වැවට පයින් යන්නට වෙනවාය. ඒ මදිවට දහිරවාට්ටුවත් තල්ලු කරගෙනය. ඒ මදිවට වෙලාව මද්යම රාත්‍රී දෙක විතර වෙලාය. මනින්නාට වෙලාව ගැන අවබෝධයක් නැතිය. මනිනා දැන් ඉදිරියට හමුවෙන හැම කඩයකම දොරට තට්ටු කර පෙට්රෝල් ඉල්ලනවාය. එත් ලැබුණු පෙට්‍රෝලයක් නම් නැතිය .
අවසානයේ අපේ දෙදෙනා මෝටර් සයිකලයත් තල්ලු කරගෙන තිස්සට සැපත් උනෝය . උදාහරණයක් ලෙස කියනවානම් පැයකින් මෝටර් සයිකලයක් තල්ලු කරගෙන මිනිසෙකුට රන්මිනිතැන්නේ සිට තිස්සට ලඟාවිය හැකිනම් අපිට තිස්සට එන්නට ඒ වාගේ දෙගුණයකටත් වඩා කාලයක් ගත උනේ මනින්නා විසින් රන්මිනිතැන්නේ සිට තිස්සටම ඇති සියලුම කඩ දොරවල් වලට තට්ටු කල නිසාය. මම කොයි තරම් එපා කීවද කඩයක් දුටු ගමන් මනින්නා කඩේ කව්ද ... කඩේ කව්ද.. කියා තට්ටු කරනවාය.

තිස්ස හරහා කතරගම සිට කොළඹ යන බස් රාත්‍රියට නවත්වන තැන තිබෙන නයිට් කඩය දුටු මනින්නාට දැන් පෙට්රෝල් අමතකය. දැන් කියන්නේ කොත්තුවක් කන්නට ඕනෑ කියාය. දහිරවාට්ටුව තල්ලුකරගෙන ඇවිත් මාගේ හිසේ සිට පාදාන්තය තෙක් දහදියෙන් තෙමිලාය.මනින්නාට එව්වා වගක් නැතිය, කොත්තු ඕනෑ කියනවාය. මනින්නා කඩය ඇතුලේ වාඩි කර චිකන් කොත්තුවක් වළඳන්නට සලස්ස්වා මා එනතුරු පෙට්රෝල් හොයන්නට යන්නේ නැතුව මෙතනම හිටපන් කියා පොරොන්දු කරවාගෙන මම ත්‍රිරෝද රථයක් ගෙන දෙබර වැව බලා ගියේ පෙට්රෝල් ගෙන ඒමටය . මා පෙට්රෝල් රැගෙන එන විටත් මනින්නා කොත්තුව කා අහවර වී මොනවාදෝ මුමුනමින් ඔහේ ඉන්නවාය.

ගෙන ආ පෙට්රෝල් ටික ටැංකියට දමාගෙන නැවතත් අපි පිටත් වෙන්නේ තණමල්විල බලා යාමටය. වීරවිල ඉන්දන පිරවුම් හලෙන් ඇතිවෙන්නට ඉන්දන ද ලබාගෙන මනින්නාද පසුපස ඉඳුවාගෙන නැවතත් මාගේ නිල මෝටර් (රථය) සයිකලය තණමල්විල යනවාය. සියලු භාදක කම්කටොලු ජයගෙන අන්තිමේ මනින්නා සහ මා තණමල්විල මනින්නාගේ නිල නිවාසයට සැපත් වනවිට අලුයම 4 පමණ වීලාය. මනින්නා නිල නිවාසයෙන් බස්සවා කතරගම එන්නට හැරුණු මට එක කිලොමීට භාගයකට වඩා එන්නට නොලැබුණු බවනම් සහතිකය, මෝටර් මාගේ නිල සයිකලයේ පසුපස රෝදයේ හුලන් මට ආයුබෝවන් කියා ෂූ ෂූ ෂූ ........ ගාමින් වා තලයට මුසුවී ගියේය. මෙව්වා දෙවියන් දෙන දඬුවම්ය . පසුපස රෝදයේ හුලන් නැතිව මෝටර් සයිකලය පැද යන්නට බැරිය. එත් යන්නට සිදුවෙනවාය. තණමල්විල සහ වීරවිල අතර අලි ඉන්නා කැලෑවක් ආසන්නයේ එළිවෙන යාමයේ මෝටර් සයිකලයක් තල්ලු කරන් යාම අවදානම්ය . එත් අලුයම හතරට කොලොමීටර පනහකටත් වැඩි දුරක් දහිරවාට්ටුවක් තල්ලු කරන් ගියොත් මාගේ නම දහිරවාට්ටුවේ ලියාපදිංචි අංකය සමගම ගිනස් පොතට වැටෙනවාය. කරන්නට දෙයක් නොමැති තැන හුලන් නොමැතිවම මෝටර් සයිකලය පැද යාමට මාගේ ඒකමතික තීරණය වීය. කිලෝමීටර දහයක් විස්සක් දුරක් යනකම් ඉතාමත් අපහසුවෙන් පිටුපස රෝදය වමටත් දකුණටත් හැරෙමින් ගිය මෝටර් සයිකලය ටිකෙන් ටික පරණ පුරුදු ගමන යන්නට පටන් ගත්තේය. හුලන් ගිය මුල හරියේ පැයට කිලෝමීටර පහක් වත් වේගයෙන් හුලන් නොමැතිව ධාවනය කල නොහැකි වූ මාගේ නිල මෝටර් (රථය) සයිකලය දැන් තිහට හතලිහට වාගේ යනවාය. ඉඳහිට බොහොම කලාතුරකින් පසුපසින් පැමිණෙන ත්‍රිරෝද රථ කරුවකු මා පසු කරන්නේ අයියේ අයියේ ඔන්න පස්සේ රෝදේ හුලන් නැහැ කියමින් මාව දැනුවත් කරලාය . හුලන් නැතුව මෝටර් සයිකලය පැද යනවාට වඩා අමාරු පස්සෙන් එන එවුන් කියනා කතා අසන්නටය.

උදෑසන හය පමණ වනවිට මම මාගේ නිල නිවාසයට නිරුපද්‍රිතව පැමිණෙනවිට මෝටර් මාගේ නිල සයිකලයේ පසුපස රෝදයේ ටයටර ඉතිරිව තිබුනේ කොටස් තුනක් ආකාරයටය. රීම් එකෙන් දෙපස වූ කොටස පටි දෙකක් ආකාරයෙන් ටයරයෙන් වෙන්වී වෙනමම තිබුනේය. රීම් එකේ මැද කොටසේ ටියුබය හා ටයරය වෙනමම රීම් එකේ දාර දෙක සමගින්ම උණුවී රීම් එකටම සවි වී තිබුනේය. නව ටයර් සංකල්පය ගැන මාගේ නව සොයාගැනීම ලෝකටය ඉදිරිපත් කරන්නට නොහැකි වුයේ නිල වාහන නිල නොවන රාජකාරියකට යොදාගත් නිසාය. මෝටර් සයිකලය මාගේ පුද්ගලික එකක් උනානම් හුලන් නැතිව තණමල්විල සිට කතරගමට පැද යාමට ගිනස් පොතට ඇප්ලිකේෂන් එකක් දමනවාමය. ගිනස් වාර්තාව පිහිටවූ පසු මනින්නාගේ නමත් අයිනකින් දමන්නට කියා ගිනස් කමිටුවට කියනවාය. වසර ගානක් දුකට සැපට පිහිටවූ ඒ මාගේ නිල මෝටර් සයිකලයේ ගිය අවසන් දවස එය විය. එම මෝටර් සයිකලයේ පසුපස ආසනයේ ගිය අවසන් පුද්ගලයා අපේ මනින්නා විය. අදත් එම මෝටර් සයිකලය පසුපස රෝදයේ ටයර් පටි තුනකුත් සමග එම කාර්යාලයේම දුවිල්ලෙන් නැහැවී තිබෙනවාය.
මනින්නා පෙට්රෝල් ඉල්ලා කඩවල් වලට තට්ටු කරපු වෙලාවේ මනින්නාට ලැබුණු උත්තර මේවාය..

1.කඩේ කව්ද ... කඩේ කව්ද....
කව්ද... කඩේ වහලා....
අයියේ පෙට්රෝල් ටිකක් ගන්න පුලුවන්ද...
අපි පෙට්රෝල් විකුනන්නේ නැහැනේ...

2. කඩේ කව්ද ... කඩේ කව්ද....
කඩේ කව්රුත් නැහැ.... කඩේ ඇතුලෙන් කියනවාය ...
කඩේ කව්රුත් නැහැ කියා මනින්නා නැවතත් ඉදිරියට යනවාය..

3. කඩේ කව්ද... කඩේ කව්ද....
සිගරට් නැහැ......... හැමදාම උඹලට කියනවනේ රෑ දෙකට තුනට සිගරට් ඉල්ලගෙන එන්න එපා කියල කියා කඩේ ඇතුලෙන් කියනවාය..
නැහැ මේ අපිට පෙට්රෝල් ටිකක් ගන්න පුලුවන්ද......
දෙබරවැව ෂෙඩ් එකට යන්න..... කියා කඩෙන් කියනවාය...

4. හොඳම එක මේකය 
කඩේ කව්ද ... කඩේ කව්ද....

කව්ද???
අපිට පෙට්රෝල් ටිකක් ගන්න පුලුවන්ද...
මේක ගෙදරක්නේ... කඩයක් නෙවෙයි....
මනින්නා කඩයක් කියා තට්ටු කර තිබෙන්නේ ගෙදරකටය... එවන් අවස්ථාවේ මනින්නා ස්ථානොචිත අහවල් එක පාවිච්චි කරන්නේය..
අපිට ලාම්පු තෙල් ටිකක් ගන්න පුලුවන්ද අක්කේ... කියා මනින්නා අසනවාය...
අපිට ලයිට් තියනෝ... අපි ලාම්පු තෙල් පාවිච්චි කරන්නේ නැහැනේ... පිස්සෙක්ද කොහෙද ...

රන්මිනිතැන්නේ සිට තිස්සට එන තුරු ගෙවල් වලින් කඩවල් වලින් මනින්නාට ලැබුණු උත්තර මෙතන ලියන්නට ගියොත් මේක අද ඉවර කරන්නට බැරි වෙනවාය. එදායින් අනතුරුව මනින්නා සහ මම බීවානම් බීවේ ගමේදී පමණක්ය. කතරගමදීනම් මනින්නා අද මම හවසට උඹේ ක්වාටස් එක පැත්තේ එන්නම් කියූ සැනින් මට මුත්‍රා බර වන්නේ ඉබේටමය. අපේ ගම් පැත්තේ නම් රෑ දෙකට කඩයක දොරට තට්ටු කර පෙට්රෝල් ඉල්ලුවොත් ගෙදර සුවසේ නින්දේ පසුවෙනා අපි දෙදනාගේම අම්මලාට උඩ ගොස් නින්දෙන් ඇහැරෙන්නට තරම් කුණුහබ්බ අසන්නට වෙනවාය, නැතිනම් ඔලුව කුඩු වෙන්නට පොලු පාරක් කා හොරකමේ ආ දෙදෙනෙකු මෙන් පොලිසිත් යන්නට සිදුවෙනවාය .එත් ඒ පළාතේ මිනිස්සු ඒ තරම් නරක නැති නිසා අදත් අපි දෙන්නම නිරුපද්‍රිතව ජීවතුන් අතරය.
මේ පොස්ට් එක මනින්නාගේ බිරිඳගේ බුකියේ අලවා ඉඳහිට හීනියට ගන්නා මනින්නාට ගෙදරින් එලියට බහින්නට බැරි කරවන්නට එපාය..ජීවිතයේ වර්තමානය කාටත් කවදත් අසුන්දර වන්නට පුළුවන්ය. එත් ඒ සිදුවීම් අතීතයට ගිය කල එව්වා අතිශයින් සුන්දරය...