Sunday, May 21, 2017

රහසිගත බුදුරැස්



වෙසක් පෝයත් එක්ක අම්බලන්ගොඩයා කුඩා එකා සංදියේ වෙසක් සැමරූ හැටි ගැන පොස්ට් එකක් ලියන්න හිතුන නිසා වෙසක් තොරණේ විස්තරය පහත ලියවෙන පෝස්ටුවේ කෑල්ලෙන් කෑල්ල ලියවෙනවා කියමුකෝ. කෑල්ලෙන් කෑල්ල කියන්නේ දවසින් දවස ටිකෙන් ටික.

දවසේ වැඩ රාජකාරි කරන අතරේ බ්ලොග් ලියන්න ඕන නිසාම පාවිච්චි කරන ටැබ්ලට් කටුව බ්ලොග් ලියන්න හිතුන වෙලාවට ඔන් කරගැනීම පළමු අභියෝගය වෙන්නේ ඒ ටැබ්ලට් කටුව චාර්ජ් කරන්න මතක් වෙන්නේ මහ මග රස්තියාදු වෙන වෙලාවට බ්ලොග් ලියන්න මතක් වුනාමම නිසා. ඒ වෙලාවට ඉතින් ටැබ් රාජයා කාරුණිකව කියා හිටින්නේ ඔන් කරන්න තරම් විදුලියක් බැටරියේ ගබඩාවී නැත මෝඩ මූසලයෝ බොට මේක මහ මගදී ඔන් කරන්න ඕනෙනම් ගෙදරදී චාර්ජ් කරන්න තිබුනා නේද බූරුවෝ කියලයි. ඒත් ඉතින් බ්ලොග් ලියන්න හිතුනාම ලියන්නම ලියන්නම ලියන්නම ඕන නිසා ටැබ් රාජයා විනාඩියක් දෙකක් වාහනේ චාර්ජරේට අමුනලා ටැබා පනගන්න ගන්නවා  කියමුකෝ. ඒත් ඉතින් චජරේ කේබලේ අමුනලා තියනකම් විතරයි. අපිට ඉතින් ලංකාවේ වගේ උඩ යවපු වයිෆයි බැලුන් නැති නිසා සෙල් ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් ටිකක් ටැබා බබාට ඉල්ලාගැනීම ඊළඟට කල යුතුයි. ඒ වෙලාවට ෆෝන් එකත් ඉස්සරින්ද රෑ චාර්ජ් කරලා නැත්තම් ඉතින් ඊළඟට විසඳන්න වෙන්නේ උගතෝකෝටිකයේ මහ එක. කිකිලිද බිත්තරේද ඉස්සෙල්ල ආවේ කියන ප්‍රශ්නේ වගේම වාහනේ සිගරට් ලැයිටරේට අමුනලා තියන චාජර් එකෙන් ටැබ් එක චාර්ජ් කරනවාද එහෙමත් නැතිනම් ෆෝන් එක චාර්ජ් කරනවද කියන එක තෝරා ගැනීම උගතෝකෝටිකයට වඩා එහා ගිය ප්‍රශ්නයක් වෙන්නේ ජංගම දුරකතනයෙන් සපයන අන්තර් ජාල පහසුකම නැතුව ටැබාගෙන් සිංහල ලියන්න බැරිවීමත්, චාජරේට අමුනලා තියන වයර් කොටේ ගලෝල ජංගම මෙව්වා එකට අමුනපු ගමන් අමාරුවෙන් පනගත්තු ටැබා බබා හුචස් ගාල මැරිලා යන නිසාත්. ෆෝන් එකේ වයිෆයි හොට් ස්පොට් සක්‍රීය කරපු ගමන් ජංගම දුරකථන කොටේ බැටරිය බහින්න ගන්නේ හෝල් සෙල් කියමුකෝ. ඒ නිසා ටැබාගෙන් බ්ලොග් ලියද්දි ෆෝන් කටුව චාර්ජර් එකට ඇමිණිලා තිබීම අත්‍යවශ්‍ය අංගයක් වෙන්නේ ටැබාට වයිෆයි පොම්ප කරන ෆෝන් කටුව සජීවීව වාහනේ බැටරියෙන් බලය නොගත්තොත් වැඩි වෙලාවක් යන්න කලින් ෆෝන් මල්ලිත් ගොඩයාට මැද ඇඟිල්ල පෙන්නලා ටටා බායි කියන නිසා. එහෙම බැලුවාම බ්ලොග් ලිවිල්ලත් සෑහෙන්න සෑහෙන්න දුකක් විඳගෙන කරන රාජකාරියක්. මොකද කියනවනම් සෙල් ෆෝන් මල්ලි ටැබා බබාට ලෝභ නැතුව වයිෆයි දෙන්නේ නැති උනාමත් ගූගල් ආදාන මෙවලම් අවලමේ යන්න ගන්න නිසා. ඒ වෙලාවට ගූගලා ටයිප් කරන්නේ අම්බලන්ගොඩයට ටයිප් කරන්න ඕන වචනෙට වඩා හාත්පසින්ම වෙනස් වචන. එහෙම වෙලාවට දහ දොළොස් වතාවක් අවශ්‍ය වචනය ටයිප් කරන්න දඟලන ගොඩයා අන්තිමේ බැරි තැන වාක්‍ය වෙනස් කරගෙන ඒ ගිරිදුර්ග තරණය කරගන්නවා කියමුකෝ.


දැන් අම්බලංගොඩකතා කියවන පාඨක පිරිස අහන්න පුළුවනි ඇයි හත් ඉලව්වේ ඔච්චර දුක් විඳගෙන බ්ලොග් ලියන්න දඟලන්නේ ගෙදර ගිහින් නිස්කාන්සුවේ ලියන්න පුලුවනිනේ ගොයියෝ කියල. ඒක ටෙක්නිකලි තර්කානුකුල කතාවක් උනාට ගෙදර ගිහින් නිස්කාංසුවේ ඉන්න වෙලාවට ගොඩයා යනු හද්දා කම්මැලි සතා කියමුකෝ. බාලගිරි දෝසය කියන්නේ සෙල්ලම් දෝසයක් නෙවෙයි කියල අම්බලංගොඩයට හිතෙන්නේ බ්ලොග් ලිවිල්ලට හැමදාම බාලගිරි දෝසෙ ලබනා නිසා.  සෙල් ෆෝන් ටැබ් සහයෝගීතා ගිවිසුමට අනුකූලව දවල් කාලයේ බ්ලොග් ලිවිල්ලට කොහොමින් කොහොමින් හරි වචනෙන් වචනේ එකතුවෙලා පොස්ට් එක සම්පූර්ණ වෙන්න දවස් කීපයක් වගේම සති කීපයක් යන වෙලාවලුත් නැත්තේම නැහැ.


මෙතක් වෙලා පඳුරු තැලුවා වූ අම්බලංගොඩයා මේ සැරසෙන්නේ ගොඩයා හිච්චි එකා සංදියේ වෙසක් සැමරූ ආකාරය ගැන පෝස්ටුව ලියන්නටය. සිංහල අවුරුද්ද ගෙවී යනවාත් එක්කම උදා වන්නාවූ වෙසක් මංගල්‍යය ගොඩයා කුඩා එකා සංදියේ ජැන්ඩි පහට සමරූ උත්සවයක් වෙනවාය. ඒ මන්ද යත් සිංහල අවුරුද්දට වඩා වෙසක් උත්සවය කාලයට එලිපහලියේ සිදුවෙනා උත්සව කටයුතු  බහුල නිසාය. ගොඩයා කුඩා එකා සංදියේ හිටන්ම ඉන්ඩෝ ඇක්ටිවිටීස් වලට වඩා වැඩි උනන්දුවක් දැක්වුයේ අවුට්ඩෝ ඇක්ටිවිටීස් වලට නිසා වෙසක් උත්සවය යනු ගොඩයාට  සිතුසේ සමරන්නට ලැබෙනා සංස්කෘතික සහ ආගමික අංගයක් වෙනවාය. 

රූප පෙට්ටියේ සහ ගුවන් විදුලියේ  මාර්තු මාසයේ මුල හිටන්ම ගිරිය කඩාගෙන කෑ ගැසූ කොහා මාස එකොළහකට නිවාඩු යවා බෙග් මාස්ටර්ගේ ගීත ප්‍රචාරය වන්නට පටන් ගත් පමණින් ගොඩයාටද වෙසක් ඌශ්නය නාසයට දැනෙන්නට පටාන් ගන්නවාය. ඉන් ප්‍රමෝදයට පත්වන ගොඩයා පළමුව කරන්නේ ඉරටු කෑලි ටිකක් සහ වෙසක් කොලයක් ගෙන සරුන්ගෝල සාදන්නට පටාන් ගැනීමය. 

පළමුව නිවස ඉදිරිපිට පාරේ සරුන්ගෝලය ගුවන්ගත කරන්නට වෙර දරනා අම්බලන්ගොඩයා එම ව්‍යායාමය ව්‍යර්ථ වූ තැන නිවසේ බලධාරීන්ට නොදන්වාම සරුන්ගෝලය කරපින්නාගෙන කලුවඩුමුල්ල පිට්ටනියට සේන්දු වෙනවාය. කලුවඩුමුල්ල පිට්ටනිය මදක් උස් ස්ථානයක පිහිටන නිසා සරුන්ගෝලයක් ගුවන්ගත කිරීමට වැඩි අපහසුවක් නොමැති ස්ථානයක් බැවින් සරුන්ගෝල යවන්නන් සියල්ලෝම හවස් වෙද්දී පිට්ටනියට සේන්දු වීම සාමාන්‍ය දර්ශනයක්ය. ගොඩයාගේ සරුන්ගෝල සෑදීමේ හැකියාව ලොවටම පෙන්වීමට ලැබෙනා අවස්තාවක් බැවින් ගොඩයාද කොල්ලෙක් කුරුට්ටෙක් ලව්වා සරුන්ගෝල රාජයා පිට්ටනියේ ඉහත්තාවට යවා සුළඟක් හැමනතුරු ඈත ගස්මුදුන් දිහාවට ඇස් මානාගෙන සිටිනවාය.

පිට්ටනිය ආසන්නයේම තිබෙනා ශ්‍රී විජයාරාමයේ බෝධියේ බෝපත්  සිලි සිලි හඬින් සෙලවෙන්නට ගන්නා අල්ලපනලේ ඒ නාදයෙන් උද්දාමයට පත්වෙනා ගොඩයා සරුන්ගොලය ඇදගෙන දෙපයේ උපරිම වාරුවෙන් පිට්ටනිය හරහා විජයාරාමය දිහාවට දුවන්නට පටාන් ගන්නවාය. එතැනින් එහා ලෝකයාට ප්‍රදර්ශනය වන්නේ ගොඩයාගේ සරුන්ගෝල සෑදීමේ හැකියාවේ දිග පළල වන අතර පිට්ටනියේ සරුන්ගෝල යවනා කොල්ලන් කුරුට්ටන් හුරේ දාන්නට පටාන් ගන්නවාය. ඒ මන්ද යත් ගොඩයාගේ සරුන්ගෝලය කුරියා ගැසීමේ තරඟයකට සහභාගී වූවාක් මෙන් හිටු කියා කූරියා ගසන්නට පටන් ගන්නා නිසාය. සාමාන්‍ය සරුන්ගෝල සුළගත් සමග අහස දෙසට ගමන් කලද අම්බලංගොඩයගේ සරුන්ගෝලය නිරන්තරයෙන්ම ගමන් කරන්නේ  අර්ධ කවාකාරව පොලොව දෙසට පමණය. ගොඩයා එයින් පසුභට නොවන්නේ ගොඩයාට එය  බොහෝම හුරු පුරුදු සිද්දියක් වන නිසාය. ඒ ඇයිද යයි පැහැදිලි කරනවානම් ගොඩයා විසින් සෑදු සරුන්ගෝලයක් එතෙක් මෙතෙක් ඉතිහාසයට උඩ  ගිහිල්ලානම් නොමැති නිසාය. ගොඩයා ඩවුන් ටු එර්ත් වර්ගයේ පොරක් නිසා ගොඩයාගේ සරුන්ගෝලද හැමදාමත් ඩවුන් ටු එර්ත් විත් හොටය බිම ඇනී කුජීත වනවාය. සමහරක් සරුන්ගෝල උඩ යවන්නට සුලන් රැල්ලත් සමගම පන එපා කියා පිට්ටනියේ කෙලවර කරා දුවනා ගොඩයා කොල්ලන්ගේ කෑ ගැසිල්ලට පසුපස හැරී බලනාකල සරුන්ගෝලය බොහෝදුරක් ඇදී ඇවිත් තිබෙන්නේ බිමදිගේ මිස අහසේ නොවේය. 

එයින් පසුභට නොවෙනා ගොඩයා පිට්ටනියේ සිටිනා කොල්ලන් කුරුට්ටන්ගේ උපදෙස් අනුව සරුන්ගෝලය විව්ධාකාර වෙනස් කිරීම් වලට භාජනය කරමින් සරුන්ගෝලය උඩ යැවීමට දවස පුරාම උත්සහා කරනවාය. කෑමක් බීමක් ගෙදර යාමක් ගැන කිසිදු ගනිච්චියක් නොමැතිව කෙරෙනා සරුන්ගෝල යැවීම බොහෝ දුරට අවසන්වන්නේ ගොඩයා සොයා වැඩිහිටියෙක් පිට්ටනිය වෙත වාර්තා කිරීමෙන් අනතුරුව වෙනවාය. ගොඩයා සොයා පිට්ටනිය වෙත වාර්තා කරනා මවු දෙමවුපියන් කිසිදා හිස් අතින් ආ වගක් ගොඩයාට මතක නොමැතිය. ඒ මන්ද යත් පිට්ටනියට එන පාරේ දෙපස පඳුරුවල ගොඩයාට දුම් යන්නට තලන්නට හැකි කෙලින් කෝටු වර්ග ඕනෑතරම් තිබුනාවූ නිසාය. 

පාසල ඇරුන වේලාවේ පටන් ඇඳිරි වැටෙනා තුරුම සරුන්ගෝලය උඩ යවන්නට පිට්ටනියේ වේලෙන ගොඩයාට බහුතරයක් දින වලදී නිවසට ගිය වහා දිනාගත් බෝනස් ලකුණු ප්‍රමාණයට කෝටුපාරවල් හිමිවෙනවා අනිවාර්යය. ගොඩයාට අත්වන ඉරණම සරුන්ගෝල රාජයාටද අත්වන අතර එයද දෙකට තුනට කැඩී කුණුගොඩකට විසික් වෙනවාය. ඉර බසිනාතුරු සරුන්ගෝල යැවීමේ ආනිසංස දන්නා අම්බලන්ගොඩයා නිවසට ගොඩවන්නේ නූල් පන්දුව කොහේ හෝ ඇස නොගැටෙන මානයක හැන්ගීමෙන් අනතුරුව වන්නේ නූල් පන්දුව රාජසන්තකවීම යනු නැවත සරුන්ගෝල යැවීමට තිබෙනා අවස්තාවට සෑහෙන කාලයකට නැවතීමේ තිත තැබීමට සිදුවන සංතෑසියක්  නිසාය. පිට්ටනියට යන පාරේ පඳුරුවල කෝටුපාරට වඩා ගෙදර මිදුලේ පේර ගසෙන් කඩාගත් කෝටුපාරේ රස වැඩි වැඩි යයි අම්බලන්ගොඩයා හිතන්නේ තමුන්ගේ වත්තේ පිටියේ හැදුනාවූ ගහක කොලක කොළ අතු ඉති ගෙඩිවල රස ගුණ අනෙක් ඒවාට වඩා වැඩි වියයුතු යයි සිතෙනා නිසාය.

සරුන්ගෝල යැවීමෙන් සෑහීමකට පත් නොවෙනා ගොඩය ඊළඟට සැලසුම් සකස් කරන්නේ  වෙසක් දින කිහිපයේ ප්‍රදර්ශනය කිරීම  උදෙසා අලංකාර වෙසක් තොරණක් ඉදිකිරීම සඳහාය. සම වයසේ  මිතුරන් හා තරඟයට සිදුවන තොරන් ගැසිල්ලේ නිල නොවෙනා ජයග්‍රහණය හිමිවන්නේ ලොකුම තොරණ ඉදිකළ සාමාජිකයාට බැවින් සැම සියලුදෙනාම උත්සහ කරන්නේ තමුන් විසින් සාදනා වෙසක් තොරණ ලොකුම එක කරන්නටය. ගොඩයාද තමන් සතු ලයිට් වැල්, වයර් කැබලි, පරණ ලයිට් හෝල්ඩර්, ඇතුළු මෙකී නොකී සියලුම දෑ ගබඩා කර තිබෙනා පෙට්ටි වලින් එලියට ඇද ගජරාමෙට තොරණ ගසන්නට පටන් ගන්නවාය.

එකල ගමේ මිතුරුකැල විටෙක විරසක වීමද වෙටෙක අඹ යාළුවන් වීම්ද නිතර සිදුකලාවූ කටයුත්තක් නිසා තොරන් ගැසීමේ කටයුතු වැනි දෑ සඳහා සාමූහිකව සහභාගිවීම්ද තනි තනිව වැඩේ ගොඩදාගැනීම්ද වසරින් වසර වෙනස් ආකාරයක් ගන්නවාය. වෙසක් කාලය ලංවෙනා අල්ලපනල්ලේ ගමේ මිතුරුකැල බහුතරයක් වේලාවන්හීදී සාමූහික තෝරන් ගැසීම වෙනුවට සිදුකලේ තනි තනිව තෝරන් ගැසීමේ කටයුතු වූයේ එකිනෙකාගේ තොරන් ගැසීමේ පරිමාව සහ අපේක්ෂාව වෙනස් ආකාර ගත් ඒවා වීමය. එක් අයෙකුට තමන්ගේ උසට තොරණක් ඉදිකොට ඉටිපන්දම් කීපයක් දල්වා තොරණ එලිය කිරීමට උවමනා වනවිට ගොඩයාට උවමනා වන්නේ තොටළඟ තොරණ තරම් හෙන සයිස් තෝරන් රාජයෙක් ඉදිකිරීමටය. එම නිසා තොරණ ගැසීම සම්භන්ධව සිදුවන පළමුපෙළ සාකච්චා වට සියල්ලම එකඟතාවයක් නොමැතිව අසාර්ථකව අවසන් වෙනවාය. ඒ මන්ද යත් අම්බලංගොඩයා හිච්චි තොරන් ගැසීමේ සියලු සැලසුම් වලට එකෙන්ම උදැල්ල දමනා නිසාය. තොරන් වලට අමතරව හොල්මං ගුහා වැනි ගොන් වෙසක් වැඩසටහන් සඳහාද යෝජනා ඉදිරිපත් වන අතර එව්වා පළමු සාකච්චා වට වලින්ම ඉලියට විසික් වෙනවාය.

එක්තරා වෙසක් දවසක අපේ තඩියා ප්‍රමුක මිතුරු කැල හොල්මන් ගුහාවක් බලන්නට ගොසින් කැත සිද්දියක් වුනා ගොඩයාට මතකය. සමවයසේ මිතුරියකගේ බාල සහෝදරයකු ප්‍රමුඛ මිතුරු කැල විසින් අලංකෘතව ඉදිකරන ලද හොල්මන් ගුහාවක් බලන්නට යන්නට තඩියා ප්‍රමුඛ තුඩුවමුල්ල තරුණ කැල පිටත්ව යන්නේ සමවයස් මිතුරියගේ උදව් උපකාර ඇතිව ටිකට් නොගෙන හොල්මන් ගුහාවට රිංගා ගැනීමේ අභිමතාර්තයෙන්ය. බලාපොරොත්තු වූ ආකාරයෙන්ම මිතුරුයගේ නොමසුරු සහයෝගයෙන් හොල්මන් ගුහාව වෙත රිංගා ගන්නා පිරිස හොල්මං එකා එකා බැගින් නරඹන අතරේ එකා පස්සේ එකා ඉදිරියට ඇදෙනවාය. හොල්මන් ගුහාව හොල්මන් වලට අමතරව කළුවර ගුහාවක්ද බැවින් වැඩිමනක් එපිට මෙපිට පෙනෙන්නේ නැතිය. සියලුම හොල්මන් නරඹා අවසානයේ පාලු හුදෙකලා ස්ථානයක මෙන්න බොලේ කුඩා දරුවෙකු වඩාගත් මෝහිනී ආතෙල් පහට උකුළු මුකුළු කරමින් ඉන්නවාය. පිරිසේ ඉදිරියෙන්ම ගමන්ගත් ඉරාන් හොල්මන් ඉවරායි කියා සිතාගෙන චන්ඩි ස්වාරූපයෙන් අවසානය කරා ලංවන අල්ලපනල්ලේ මෙන්න බොලේ මෝහිනී එකවරම ඉරාන් ඉදිරියේ ප්‍රාදුර්භූත වී අනේ මගේ ළමයා චුට්ටකට ගන්න යයි ඉල්ලා හිටිනවාය. එකවරම සිදුවූ මොහිනීගේ ආගමනයෙන් එලෝ මෙලෝ නැතිවූ ඉරානයා මොහිනීගේ බෙල්ලෙන් අල්ලාගෙන බිම පෙරලාගෙන ගුටි අනින්නට පටාන් ගන්නවාය. තඩියා ප්‍රමුඛ අතපය දිග එවුන් ඉරානයා අහකට කර මොහිනීව ගුටි ප්‍රහාරයෙන් බේරාගත්තා වුවද මෙන්න බොලේ මෝහිනී බිම පෙරලී හොටු පෙරාගෙන අඬනවාය. ටිකට් නොමැතිව හොල්මන් ගුහාව ඇතුලට යාමට  මග පෑදු මිතුරිය නොවන්නට මොහිනීගේ වැඩිහිටියන් තඩියා ප්‍රමුඛ තුඩුවමුල්ල සෙට් එක පොලීසි ගෙනියනවා අනිවාර්යය. වැඩිහිටියන් විසින් නඩුව විසඳා මොහිනීගේ හොටු කඳුළු පිසදා නැවත  දරුවා අතට දී හොල්මන් ගුහාවේ ස්ථානගත කරනාතුරු හොල්මන් ගුහාවේ අනෙකුත් හොල්මන් හට මද විවේකයක්ද ලැබෙනවාය. ගුටි පූජාව දුරදිග ගොස් වැඩේ ලෙඩේ  වූවානම් පොලිස් පොතේ පැමිණිල්ල ලියවන්නේ දරුවකු වඩාගෙන සිටි මෝහිනීට අසාධාරණ ලෙස  පහරදීම සම්භන්ධයෙන්ය. එසේ වූවානම් සිරි ලංකා ඉතිහාසයේ පළමු වතාවට මෝහිනීට පහරදීම සම්භධයෙන් ඉරාන් ඉතිහාසයට එකතු වෙනවාය. ඉරාන්ට රටක නමක් දැමීම සම්භන්ධව ගොඩයා වෙත  කුතුහලයක් ඇතත් ඒ ගැන විමසන්නට ඉරාන්ගේ දෙමාපියන් ගොඩයාට කිසිදා හමුවී නැත. 



ගොඩයා කුඩා කාලයේ තොරන් බලන්නට එක්ක යනවා යනු ගොඩයාගේ වැඩිහිටියන්ට තොරණ අසල සෑහෙන වෙලාවක් ගතකරන්නට සිදුවන මෙව්වා ඒකකය. ඒ මන්ද යත් අම්බලන්ගොඩයා තොරණ නරඹන්නේ වෙනස්ම ආකාරයකින් නිසාය. තොරණේ ප්‍රදර්ශනය කෙරෙනා ජාතක කතාව, චිත්‍ර, ලයිට් නැරඹීම යනු ගොඩයා හිච්චි එකා සංදියේ පටන් මෙලෝ  වැඩකට නැති දෙයක් ගණයට වැටෙන්නක්ය. තොරණේ ඉදිරිපස විනාඩියක්වත් නොරැඳෙන ගොඩයා කෙලීන්ම යන්නේ තොරණේ පසුපස කොටස නැරඹීම සඳහාය. ඒ මන්ද යත් තොරණේ පසුපස නැරඹීම යනු ගොඩයාට සතුට විනෝදය කුතුහලය සියල්ලම ලැබෙනා කාරනාවක් නිසාය. තොරණේ ලයිට් නිවී නිවී දිලෙනා ගැජමැටික් සියල්ලම තිබෙන්නේ තොරණේ පසුපස බැවින් එම වයර් ලෝකය දිහා විමසිල්ලෙන් බලන් ඉඳීම තොරණේ ඉදිරිපස නරම්බනවාට වඩා ඇස පිනවන කටයුත්තක්ය. එය එසේ බැවින් තොරණක විදුලි ආලෝකය රටා මවන්නේ කෙසේදෝ කියා ගොඩයා හෝඩියේ පංතියේ හිටන්ම හොඳින් දන්නවාය.


 හොල්මන් ගුහාවේ සිද්දියෙන් සහ ගොඩයාගේ තොරන් බැලිල්ලෙන් කැලේ පැන්නාවූ වෙසක් පෝස්ටුවේ තොරණේ විස්තරේ නැවත මෙසේය. තොරණ ගැසීම සම්භන්ධව එකමග යා නොහැකි මිතුරන් දෙතුන් කොටසකට විසිර යන අතර තම තමුන්ගේ මිදුල්වල තම තමුන්ගේ පරිමාවට තෝරන් ඉදිකරන්නට තීරණය කරනවාය. එය එසේ වන්නේ වැඩිහිටියන්ගේ සෘජු මැදිහත්වීම නිසා වන අතර ගොඩයාගේ වැඩිහිටියන් කෙදිනකවත් එවන් සිල්ලර වැඩකටයුතු සඳහා මැදිහත් නොවන්නේ ගොඩයාගේ අවුට්ඩෝ අක්ටිවිටීස් සඳහා මැදිහත්වීම යනු වෙනත් වැඩක් කරගැනීමට කාලයක් ඉතුරු නොවෙනා කටයුත්තක් වන නිසා සහ ගොඩයාගේ සැලසුම් රුපියලෙන් දෙකෙන් ගොඩ දමන්නට පුළුවන් වර්ගයේ එව්වා නොවෙනා නිසාය. 

ඊළඟට සිදුවන්නේ අනෙකාගේ පරයා තමුන්ගේ තොරණ ලොකුම සහ අලංකාරම තොරණ බවට පත්කිරීමේ මෙහෙයුමය. චිත්‍ර ඇඳීම සම්භන්ධයෙන් අම්බලන්ගොඩයාගේ හැකියාව බින්දුවටත් අඩු අගයක් ගන්නා නිසා  විකල්පයක් වශයෙන් වෙළඳපොලේ විකුණන්නට තිබෙනා සත් සතිය ගෙනවිත් තොරණක් ආකාරයෙන් සකස් කරන්නට ගොඩයා තීරණය කරනවාය. ගොඩයාඥාති සහෝදරයකුද එවකට ගොඩයාගේ නිවසේ නැවතී සිටි නිසා ඔහුගේ සහයද ගොඩයාට නොමසුරුව ලැබෙනවාය. 


එවන් ආකාරයෙන් සකස්වෙන තොරණේ ඊළඟ ප්‍රශ්නය නම් විදුලි ආලෝකය සැකසීමේ කටයුත්තය. තොරණ ආලෝකමත්  ප්‍රමාණවත් තරම් විදුලි බල්බ , වයර් සහ හෝල්ඩර් ගොඩයා සතුව ඇතත් බුදු පිළිමයේ ශීර්ෂය වටා විහිදෙනා බුදුරැස් මාලාව සකස් කිරීමට ගොඩයාට ප්‍රතිපාදන නොමැතිය. ඒ සඳහා අවම වශයෙන් ටෝච් බල්බ හෝ එල් ඊ ඩී දෙතුන්සියයක්වත් අවශ්‍යවන අතර එම බල්බ විවිධාකාර රටා මවනා ආකාරයෙන් දල්වන්නට තවත් බොහෝ දෑ අවශ්‍ය වනවාය.

ඒවා සඳහා ප්‍රතිපාදන ඉල්ලා උද්ගෝෂණ කිරීමෙන් තොරණ පිටින් ගොඩයාද වත්තෙන් එලියට විසික්වීමේ අවදානමක් තිබෙනා නිසා ගොඩයාගේ ටිකිරි මොලය විකල්පයක් සොයා වෙහෙසෙන්නේ තරඟයට ඉදිවන තොරන් රාජයා අඩුපාඩුවෙන් නිමකිරීම ගොඩයාගේ කීර්තිනාමය කෙලෙසාදමන්නක් වන නිසාය. එවන් වෙහසකර සිතුවිලි අරගල රාශියකින් අනතුරුව ගොඩයා එක්තරා මසුරන් අදහසක් ක්‍රියාවට නගන්නේ බුදුරැස් මාලාව ඉදිකිරීම සඳහාය. අවශ්‍ය පරිමාණයට රවුමට සකස්වූ ගනකම කාර්ඩ් බෝඩයක අදාළ රටාවට ටෝච් බල්බයක් රින්ගවන්නට තරම් හිල් විදගන්නා ගොඩයා ඊළඟට සැරසෙන්නේ බුදුරැස් මාලාව සකසා නිමකිරීමටය. බුදුරැස් මාලාවේ  හිල් ප්‍රමාණයට අනුව අවශ්‍ය ටෝච් බල්බ ප්‍රමාණය පන්සියය ඉක්මවනවාය. ඉතින් කෝ යකඩෝ ටෝච් බල්බ් පන්සීයක් ගන්න සල්ලි...


වයිවාරන තිබෙනා සෙලොෆේන් කොළ කිහිපයක ආධාරයෙන් ගොඩයා ඊළඟට සැරසෙන්නේ බුදුරැස් මාලාවේ බල්බ සවි කරන්නටය. ඉතින් කෝ යකඩෝ බල්බ්.. 



බල්බ නොමැතිව බුදුරැස් මාලාව සකස් කරන්නට අවශ්‍ය වන්නේ එක ටෝච් බල්බයක් පමණය. පාට කොලය රැස්මාලාවේ සෑම සිදුරකින්ම ටෝච් බල්බය මගින් තල්ලු කර බල්බය නැවත ඉවතට  ඇදගත් කල බල්බය නොමැති සෙලොෆේන් කොලය බල්බය තිබෙනා ආකාරයෙන්ම ඉදිරියෙන් දිස්වෙනවාය. ඉන්පසු සිදු කරන්නේ සෙලොෆේන් කොලයේ පසුපස කොටස මැලියම් ස්වල්පයක් මගින් බුදුරැස් මාලාවට අලවා දැමීමය. එවන් ආකාරයෙන් අලංකෘතව සකස්වෙන බුදුරැස් මාලාව තොරණේ බුදු පිළිමයට පසුපසින් නියමාකාරයෙන් සවිවන අතර බල්බ නොමැති බොරු බුදුරැස් මාලාව පසුපසින් නොපෙනෙන සේ මුළු තොරනම වැසෙනා පරිදි ආවරණයක්ද ඉදිවනවාය. ඊළඟට තිබෙන්නේ තොරණ ප්‍රදර්ශනය කිරීම පමණය. දැන් කොහොමද බොරු බුදුරැස් මාලාවේ ලයිට් පත්තු කරන්නේ කියනා ප්‍රශ්නය පාඨක සැමට මතුවන අතර එයට විසඳුමක් අම්බලන්ගොඩයාගේ ටිකිරි මොලය ඇතුලේ තිබෙනවාය.

ඔයින් මෙයින් වෙසක් දිනයද උදා වනවාය. තරඟකාරී වෙසක් තොරන් ඉදිකරන්නන්ගේ හෙන්චයියන් නිරන්තරයෙන් ගොඩයාගේ නිවස ඉදිරිපසින් බොරු ගමන් බිමන් යන්නේ ගොඩයා තොරණ ඉදිකර තිබෙන්නේ  කෙසේදෝ යන්න ඔත්තු බැලීම සඳහාය. අනෙකුත් තරගකාරී තොරන් හිමියන්ගේ තොරන්වල බුදුරැස් මාලාවක් නොමති අතර ගොඩයාගේ තොරණේ තිබෙනා බුදුරැස් මාලාව දිහා චරපුරුෂයන් නිරන්තරයෙන් ඉරිසියාකාර බලුම්ද හෙලනවාය. සීතල යුද්දය ඉතාමත් උච්චතම අවස්තාවක තිබෙනා බැවින් ගොඩයා දහවල් කාලයේද තොරණ පෙනෙන නොපෙනෙන දුරකින් පුටුවක් තබාගෙන තොරණ දිහා ඇසගසාගෙන සිටින්නේ චරපුරුෂ සේවා කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන්නේ කොයි මොහොතේදෝ යයි විශ්වාසයක් නොමැති නිසාය.


තොරන් ගසිල්ලේ කූටප්‍රාප්තිය් එළඹෙන්නේ අඳුර වැටුනායින් පසුව බැවින් ලොකු පොඩි තොරන් කරුවන් වෙසක් දිනය එළඹුණු  දා හිටං බලාන ඉන්නේ ඉර බසින්නේ කොයි වෙලාවේදෝ කියාය. නොඉවසිල්ලෙන් ගතවන දහවල් කාලයෙන් අනතුරුව වෙසක් තොරණේ විදුලි ආලෝකය දැල්වීමේ කටයුතු උත්සවාකාරයෙන් සිදුකරන්නේ සත්ගුණවත් අම්බලන්ගොඩයාම වන අතර ගොඩයාගේ තොරණ ඉතාමත් විචිත්‍ර ආකාරයෙන් විදුලි ආලෝකයෙන් දිදුලනවාය. 


වෙසක් බලන්නට වීදි සරන්නන් අම්බලන්ගොඩයාගේ තොරණ  ඉදිරියේ නැවතී තොරණ නරඹන අතර බුදුරැස් මාලාව අමුතුම ආකාරයෙන් රටා මවනවාය. තොරණ නරඹන්නට නවතිනා පිරිස තොරණ නරඹා අවසාන වනතුරු ගොඩයා සහ ගොඩයාගේ ඥාති සහෝදරයා තොරණ අසලින් අතුරුදහන්වන අතර තොරණ නරඹන්නට කිසිවෙකුත් නොමැතිනම් තොරණ ඉදිරියේ පෙනී හිටිනවාය. තරඟකාරී තොරන් කරුවන් බයිසිකල් කටු වලින් තොරණ ඉදිරිපසින් ඔබ මොබ ගමන් කරනා අතර ඒ යන අතරේ ගොඩයාගේ තොරන් රාජයා දිහාවට රබර් ඇහැ දානවාය. එලෙසින් ගතවන දින දෙකක් තිස්සේ තොරණ සුපුරුදු ආකාරයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා විවුර්තව පවතින අතර රාත්‍රී කාලවලදී ගොඩයා නිදාගන්නේ කාමරයේ ජනේලය විවුර්ත කරගෙනය. ඒ මන්දයත් කඩාකප්පල්කාරී සේවා කොයි වේලාවේ ගොඩයාගේ වත්තට පැන තොරන් රාජයා බිමට සමතලා කරාවිදෝ යන සැකය නිසාය.  දින දෙකක් අවසානයේ තොරණ ප්‍රදර්ශනය කරනා අවසාන දිනය වෙද්දී ගොඩයා රෑ තුනක් නිදි වරාගෙන ජනේලයෙන් තොරණ දිහා බලාන හිටලා ඇවිදින මල මිනියක් ගානය. ගොඩයා බෙල්ල ගියත් කඳ කෑල්ල ෆයිට් කරනා වර්ගයේ එකෙකු නිසා තුන්වන දිනයේද තොරණේ ප්‍රදර්ශන කටයුතු අසීරුවෙන් කරගෙන යන්නේ තරඟකාරී තොරන් සියල්ලම තුන්වන දිනයේද මහජන ප්‍රදර්ශනය සඳහා විවුර්තවන නිසාය. 


ගොඩයාට පක්ෂ බුද්ධි අංශ සේවා වාර්තා කරනා ආකාරයට අනෙකුත් තරගකාරී තොරන් හිමියන්ගේ පළමු කුතුහලය වන්නේ ගොඩයාගේ අරුම පුරුම බුදුරැස් මාලාව දැල්වෙන්නේ කෙසේදෝ යන්නලුය. තොරණේ පසුපස සම්පූර්ණයෙන් ආවරණය කර ඇති බැවින් බුදුරැස් මාලාවේ නිවැමුව සහ ක්‍රියාකාරිත්වය දැකගැනීමට නොහැකිවීම තවතවත් කුතුහලය අවුස්සන්නක් වීලුය. ගොඩයාගේ නිවස පිහිටා තිබෙන්නේ තුන්මන් හංදියක වුවත් තොරණ පිටුපසින් දර්ශනය වන පාරේ උඩහ සිට බැලුවද තොරණේ පසුපස කොටස නොපෙනීම අනෙකුත් තොරන් හිමියන් කුපිතකරවන්නක්ලුය. 


ඒ ආකාර වූ තොරන් තරඟයක අවසාන දවසේ රාත්‍රී අටට පමණ මෙන්න බොලේ අනෙක් තොරන් අයිතිකරුවන් කණ්ඩායමම ගොඩයාගේ තොරණ බලන්න අවිල්ලාය. ගොඩයා හනික ඥාති සහෝදරයා සමග තොරණ අසලින් අතරුදහන් වෙනවාය. ඒ මන්ද යත් ගොඩයා සහ ඥාති සහෝදරයා තොරණ පසුපස ආවරණය කර ඇති කොටසට නොයනතාක් කල් තොරණේ බුදුරැස් මාලාව ක්‍රියාත්මක වන්නේ නැති නිසාය.


සියලුම තොරන් හිමියන් කට අරගෙන ගොඩයාගේ බුදුරැස් මාලාව ක්‍රියාත්මක වන ආකාරය බලාන ඉන්නවාය. ඔවුනොවුන් එකිනෙකා සමග පවසනා දෑද තොරණ පිටුපස සිටිනා ගොඩයාට ඇසෙනවාය. තොරණ වටා ලනු ඇද ආරක්ෂාව තහවුරු කර තිබෙනා නිසා කිසිවෙකුටත් තොරණට ලන්වෙන්නටද නොහැකිවීම රහසිගත බුදුරැස් මාලාවේ රහස රැකගැනීමට වඩාත් උදව් වනවාය. 


අජෝව්... මෙන්න හොරේ අහුවුනා... 


හුටාය.. විරුද්ද පාර්ශවයේ චරපුරුෂ සේවයේ සොල්දාදුවෙක් ගොඩයාගේ තොරණේ ලනු වැටෙන් රිංගා පසුපස ආවරණය යටින්ද හොරාට රිංගා ඇතුලට ඇවිල්ලාය.. ඒ කියන්නේ ගොඩයාගේ රහසිගත බුදුරැස් මාලාවේ රහස මාධ්‍ය වෙතට නිකුත් වෙන්නට ඔන්න මෙන්නය. ගොඩයා කරමින් සිටි කර්තව්‍ය නවත්වා චරපුරුශයා වෙත පනින්නේ ගොදුරට පනිනා කොටියා වාගේය. චරපුරුශයා නැවත හැරී දුවන්නට පනින අල්ලපනල්ලේ ගොඩයාගේ ඥාති සහෝදරයා ඔහු පැමිණි මග අහුරා සිටිනවාය. ගොඩයා චරපුරුශයාගේ බෙල්ලෙන් අල්ලාගන්නට ඔන්න මෙන්න කියලා තිබියදී චරපුරුශයා තමුන් වෙත තිබෙනා එකම විකල්ප මාර්ගය භාවිතා කරමින් ශරීරයේ තිබෙනා උපරිම ශක්තියද යොදාගනිමින් සුසන්තිකා ජයසිංහටත් වඩා වේගයෙන් පැන දුවනවාය. එනම් ගොඩයාගේ තොරන් රාජයා මැදින්ය. සත් සතිය දෙබෑ කරමින් තොරණ මැදින් එලියට මතුවූ චරපුරුශයාගේ ආගමනයත් සමගම තොරණ නරඹමින් සිටි ගැටවු පිරිසද හිස් ලූ ලූ අත දුවන්නට පටාන් ගන්නවාය. තොරණ මැදින් දෙබෑවී තිබෙද්දී පසුපසින් දිවයාම අර්ථ ශූන්‍ය ක්‍රියාවක් නිසා ගොඩයාද අතේ තිබෙනා විදුලි පන්දමද රැගෙන තොරනේ ඉතිරි ටිකද දෙබෑ කරගෙන පාරට පැන චරපුරුශයා පසුපස හඹා යනවාය. එහෙත් චරපුරුශයා ගොඩයාට වඩා වේගවත්වූ නිසා ගොඩයාගේ දෑසට වැලිගසා අඳුරේ නොපෙනී යන්නට ඔහු සමත්වන අතර ගොඩයා පරාජය භාරගෙන ආපසු හැරී තොරණ ලඟට විත් බලනා කල තොරණේ තවත් පෙන්වන්නට දෙයක් ඉතුරුවී නොමැතිය. දින දෙකක් පුරා මහජන ප්‍රදර්ශනයට විවුර්ත වූ මහා තොරන් රාජයා පිටකොටුවේ බෝම්බයට හසුවුණා වාගේය. ආයේ දුකේ බෑය. තොරණ මැදින් කෙටිදුර ධාවන තරඟයක් ආරම්භ කල නිසා පැච් දමලා නැවත යතා තත්වයට පත් කලත් එය මහජන ප්‍රදර්ශනයට තැබීම ගොඩයාගේ කීර්ති නාමයට නුසුදුසුය. ඒ හෙයින් දින දෙකක් පුරා ගජරාමෙට මහජන ප්‍රදර්ශනයට විවුර්තවූ තොරන් රාජයා පැයක් හමාරක් ඇතුලත එතනින් ඉවත්වී කුණු ගොඩක ස්ථානගත වනවාය. තොරන් ගැසිල්ල එතැනින් ඉවරය. චරපුරුශයා දින කිහිපයක් ගොඩයා ඇස ගැටෙනා මානයේ ගැවසුනේ නම් නැතිය. 


පොස්ටුව කියවූ සැමගේම කුතුහලය අස්වසනු වස් රහසිගත බුදුරැස් මාලාවේ රහස නම් මේ ආකාරය. බලුප් නොමැති බුදුරැස් මාලාවේ බලුප් ආකාරයෙන් තිබෙනා සෙලෝෆෙන් කොටස් බලුප් ආකාරයෙන් දිදුලන්නේ ගොඩයා සහ ගොඩයාගේ ඥාති සහෝදරයා යන දෙදෙනා තොරණේ පසුපස හොඳින් ආවරණය කරන ලද කොටසේ පුටු දෙකක් උඩ නැගී බුදුරැස් මාලාව පිටුපසින් විදුලි පන්දම් දෙකක් රටාවට කරකවනා නිසාය. ඉදිරිපස කළුවර බැවින් බුදුරැස් මාලාවේ පසුපසින් වදිනා ටෝච් එලිය රැස් මාලාවේ හිල් අතරින් ඉදිරිපසට එන්නේ පාට පාට සෙලෝෆෙන් කොලවල පාටින් වර්ණ ගැන්වීලාය. ගොඩයා සහ ඥාති සහෝදරයා දෙදෙනාම ඉතාම සුක්ෂමව විවිධාකාර රටාවන් වලින් විදුලි පන්දම හසුරුවනා බැවින් ඉදිරිපසින් බැලුකල බුදුරැස් මාලාවේ රහස සොයාගනු සුම්මාය. චරපුරුෂ කොලුවා පසුපස ආවරණ යටින් රිංගා එනු වලක්වන්නට කිසිවෙකුත් එළියේ නොමැති වීම ගොඩයාට අවාසියට සිටි අතර එසේ නොවූවානම් රහසිගත බුදුරැස් මාලාව ගැන රහස අදවනතුරුද කව්රුවත් දන්නේ නොමැතිය.  


ඔන්න වෙසක් පෝස්ටුව පොසොන් එකට කලින් ලියල අහවර කරා.. කොමෙන්ටුවක් දානවනම් අගෙයි.. කුඩා දරුවන් කියවන බ්ලොග් අඩවියක් බැවින් කොමෙන්ටු දැමීමේදී ආචාරශීලී වෙනවනම් අගෙයි..

Sunday, May 7, 2017

කැටවල සිරා






මේ ලියවෙනා පොස්ටුව ලියවෙන්නේ මීට කලින් කිහිපවතාවක් අම්බලංගොඩයා විසින් වේදිකාවට ගොඩකලා වූ ඒ අසහාය වන් ඇන්ඩ් ඔන්ලි චරිතය වන අතිජාත මිත්‍ර සිරාව උක්තකොටගෙනම වන අතර සිරා මලාට මේවා නොකියවනා වග දන්නා නිසා සමා ගැන ලියනවාට වඩා සිරා ගැන ලිවීමේදී දැනෙනා නිදහස වැඩිය. සිරා යනු පුවත් මවනා චරිතයක් බැවින් සිරාගේ විස්තර බ්ලොග් පොස්ට් බර ගණනක් ලිවීමට තරම් එවුවා වුනත් වැඩිමනක් එව්වා ලියාපලකළකිරීම නොහොඹිනා බැවින් මේ ලියවෙනා විස්තර සිරාගේ අකලංක චරිතයට කැළලක් එකතුකරනා තොරතුරු නොවන වග ගොඩයාගේ අක්මාවට වැටහෙනවාය. 

සිරා යනු මනා ආර්ථික රාමුවක හැදී වැඩුනා වූද කිසිදා අගහිඟකමක් තිබුනාවූද පුද්ගලයකු නොවේය. ඒ හෙයින් සිරාට කිසිදා තම ජීවිතය අනාගතය වෙත පැදගෙන යාමට කිසිදු අමාරුකමක් තිබුනේද නැත. ඒ හින්දාදෝ සිරාට කෙදිනකවත් අනෙකාගේ අමාරුකමක් තේරුම් ගැනීමට ඕනෑකමක් තිබුනේද නැත. එය එසේද එසේත් නැතිනම් ඕනෑකමක් තිබුනේ නැතිද යන්න ගොඩයාට අද වෙනතුරුද තේරුම් ගැනීමට නොහැකිවූ කාරණයක්ය. කුඩා එකා සන්දියේ පටන්ම අම්බලන්ගොඩයාගේ ඉතාමත් ලඟ මිතුරෙකු වූ සිරා අද වෙද්දීද ඒ මිතුරුකම එසේම දරාගෙන සිටිනවාය. ඒ වාගේම කුඩාකල තිබු සියලූම දුර්වලකම් සිරාතුල අද වෙද්දීද තිබෙනවා වුවත් එව්වාට ඇඟිල්ලෙන් ඇන පෙන්වන්නට පුළුවන් වයසක නොවීම නිසා සිරා අද වෙද්දී යාලු මිත්‍රයින් අතරේ වෙනදාට වඩා නිදහසේ කාලය ගතකරනවා කීවොත් නිවැරදිය. 

සිරා කුඩා එකා සන්දියේ පටන් දවසේ පුවත් තම මවට පැවසීම කඩනොකල පුරුද්දක්ය. දවසේ සියලු දෑ නිමවා රූපවාහිනිය ඉදිරියේ අසුන්ගන්නා අල්ලපනල්ලේ සිරා තම මිතුරන්ගේ සියලූම අවරගණයේ මජර වැඩද, සියලූම රහස්ද, සියලූම පෙම් පුවත්ද තම මව සමග පවසා තබා මම හොඳ එකා වීම සිරා අඛණ්ඩව කරගෙන ගියාවූ කැත වැඩක්ය. සිරාගේ මවුතුමිය එදත් අදත් බොහෝම ගුණගරුක කාන්තාවක් වීම අප කාගේත් වාසියට හිටියේය. සිරාගේ මවුතුමිය වැටවල් අස්සෙන් කේලම් දොඩනා සහ දුරකතනයෙන් කේලම් දොඩනා කාන්තාවක් නොවුනා නිසා කිසිවකුගේ නෙවෙස් වලට අවරගණයේ ක්‍රියා ආරංචි නොවුනා වුවැත් සියල්ලෝගේම කිල්ලෝටවල තිබෙනා කුණුකන්දල් ගැන යාවත්කාලීන වූ දැනුමක් සිරාගේ මවුතුමිය වෙත වීය. 

තමුන්ගේ මුඛයෙන් පිටවෙනා වචන ගැන ඒ තරම් තැකීමක් නොකළ සිරා මිතුරන්ගේ රහස් තම මව සමග පවසන්නේ විනෝදාශයක් වශයෙන් වුවත් ඇයට මුහුණදීමේදී මිතුරන් විඳි අපහසුතාවය ගැන සිරා කවදාවත් තැකීමක් කලේ නොමැතිය. අද වෙද්දී සිරාගේ දවසේ පුවත් සාකච්චාවේ තම මවට අමතරව තවත් නව සාමාජිකාවක් සිරාගේ නිවසේ වාසය කරනාවූ අතර ඇය සිරාගේ බිරින්දෑය. වයස හතලිහ පසුකරනවා වුවද කුඩාකල පටන් සිරාගේ නිවසට ආගිය මිතුරන් සතියකට දෙකකට වරක් හෝ ඉසිඹුවක් ලබන වෙලාවේ සිරාගේ නිවසට ගොඩවීම අදද පුරුද්දක් වන අතර අදද සිරාගේ මවුතුමිය දකිද්දී දැනෙනා තැතිගැනීම අදත් එදා වාගෙමය. ඒ මන්ද යත් සිරා මව සමග පවසනා තොරතුරු අතර හයිලි ක්ලැසිෆයිඩ් සහ ටොප් සීක්‍රට් වර්ගීකරණයට අදාළ තොරතුරුද තිබෙනවා වග සැවොම දන්නා නිසාය. ඊටත් අමතරව සිරාගේ බිරින්දෑ තම ස්වාමියාගේ මිතුරන්ගේ පැටිකිරිය දන්නවා යන හැඟීමද සෑහෙන්න අපහසු සහගත සිතුවිල්ලක් වන්නේ සිරා තමුන් හැරුණකොට අනෙකුත් සියලූම මිතුරන් කළු චරිත බවට පරිවර්තනය කරන වග සැවොම සක්සුදක් සේ දන්නා නිසාය. සිරා මේ සියලූම දෑ මව සහ බිරින්දෑ සමග පවසන්නේ හුදෙක් විනෝදයක් ලැබීමේ අභිමතාර්ථයෙන් පමණක් වන නිසා පිසුනාවාචා වේරමණී යන සික්ෂා පදය හෙවත් කේලාම් කීමෙන් වැළකීමේ ශික්ෂා පදය කඩවන්නේ නොමැති නමුත් එයින් අපහසුතාවයට පත්වන පිරිස ගැන සිරා කවදාවත් සිරාවට සිතුවා කියා අම්බලන්ගොඩයා උපකල්පනය කරන්නේ නැත.

සිරා වෙත තිබුනාවූ තවත් එක් දුවලකමක් නම් කෑමේ බීමේදී අනෙකා ගැන වැඩිමනක් සීරියස් නොහිතනා පුරුද්දය. කුඩාකල පටන්ම සිරා යනු ධන ධ්‍යාන්‍යයෙන් කිසිදු අඩුවක් පාඩුවක් නොතිබුනාවූ පවුලක උපන් දරුවකු වුවද සිරා කන්නට ගියකළ  වටේ පිටේ සිටිනා ඥාති මිත්‍රාදීන්ගේ පටි රෝල්වෙන්නටම කන එක ලෙසටම කනවාය. ඒ සුන්දර කෑම ගැන දන්නා හිත මිතුරන් සිරා සමග කොතන ගියද සිරා කෑම මේසයට වාඩිවූ කල සිටින්නේ සිරා අප සමග ආ එකෙකු නොවෙනා ගානටය. ඒ මන්ද යත් සිරා කෑම කද්දී ගෙදර එකාටවත් මාළු කට්ටක්වත් ඉතුරු කරන්නේ නැති නිසාය.

 එක්තරා දවසක  සිරා සමග අම්බලන්ගොඩයාටත් අපගේ හිත මිත්‍ර රංජිත් හටත් ලග්ගල යාමට සිදුවන්නේ ලග්ගල ආරණ්‍ය සේනාසනයේ විදුලි ආලෝක කටයුත්තක් මුලපිරීම උදෙසාය. ගල්දූව ආරණ්‍යයේ ස්වාමින්වහන්සේලා තිදෙනෙකුද වැඩම්මවමින් යායුතුවූ ගමන පෙරලා පැමිණිය යුතු වුයේ ලග්ගල ආරණ්‍ය සේනාසනයට  ගමන් ගන්නා ගිරි ශිඛර මාර්ගයේ විදුලිම්කනු සිටුවා විදුලි ආලෝකය සැපයීමෙන් අනතුරුවය. ස්වාමින්වහසේලාට නවාතැන් ලග්ගල ආරන්‍යයෙන් සැපයුණු අතර සිරාට සහ මිතුරන් දෙදෙන සඳහා නවාතැන් අනුග්‍රහය සැපයුනේ ලග්ගල කල්‍යානවංශ ස්වාමින්වහ්සේගේ ගිහි කල නිවසේ සහ ඥාති නිවෙස් වලය. කලාතුරකින් උදාවන පින් කටයුත්තක් බැවින් සියල්ලෝද අවශ්‍ය සියලු දෑ රංජිත්ගේ වෑන් රථයේ පටවාගෙන ලග්ගල යන්නට පිටත් වනවාය. ඒ යන ගමනේ පළමු නැවතුම්පොළ ජා ඇල ප්‍රදේශයේ නිවසක් වූ අතර එය අපගේ ස්වාමින්වහසේලා තිදෙනා සඳහා හීල දානය සැපයීම් වෙනුවෙන් වූ අතර  ලග්ගල විදුලි ආලෝක කටයුතු වෙනුවෙන් බරපැන දරනා සැදැහැවත් දායක නිවෙසක්ය. 

ස්වාන්මින්වහන්සේලා තුන් නම  දානය වළඳා අවසානයේ ස්වාමින් වහන්සේලා සමග පැමිණි අබිත්තයින් තුන් දෙනාටද හීල වළඳන්නට ආරාධනා ලැබෙනවාය. පිදුරුතලාගල කන්ද ගිලින්නට තරම් බඩගින්නක් තිබුනද එය  ආයාසයෙන් සඟවාගෙන  ශිෂ්ඨ සමාජයේ පිළිගත් ආචාරධර්මවලට හිසනමා මද පමණට ආහාර ගැනීම අම්බලන්ගොඩයාගේත් රංජියාගේත් සිරිත බැවින් ජා ඇල හිතවතුන්ගේ හීල දානය මද පමණට වළඳන්නට රන්ජිත් සහ ගොඩයා සමත් වනවාය. ඒ අතර වාරයේ සිරා කෑම උගුරෙන් පහලට යවන්නේ බැමිණිතියා සාගතය හෙට දවසේ ආරම්භවන බව උදෑසන ප්‍රවුර්ති වලට කියුවා සේය. ස්වාමින් වහන්සේලාට පිළියෙළ කළාවූ දානය බැවින් ආප්ප, ඉඳි ආප්ප, බත්, පාන්, ව්‍යංජන, සහ පිට්ටු වලින් සමන්විත වූ හීල දානය ජයටම සකස්වී තිබුණු නිසා ආප්පයකින් හීල වළඳන්නට පටන්ගත් සිරා බත්, පාන්,ඉඳි ආප්ප, පිට්ටුද හැකි උපරීම පමණින් උදරගත කරන්නට කිසිසේත්ම පසුභට වුයේ නැත. ඇඹරිල්ල කොතරම් සාර්ථකද යත් නිවැසියන් විසින් පිළියෙළ කළාවූ හීල දානය ගෙදර එවුන්ටවත් කන්නට කරපිංචා නැට්ටකුදු ඉතුරු නොවන්නට සිරා වගබලාගත් අතර කාපාලුවා නිවසට රැගෙන ආවේ ස්වාමින්වහන්සේලා නොවන්නට නිවැසියන් ගිනස් කමිටුව අමතා සීරාව ගිනස්ගත කරනවා අනිවාර්යය. එක මග ආ මිත්‍රයින් දෙදෙනෙකු වශයෙන් ගොඩයාටත් රංජියාටත් සීරාව කෑම මේසයේ තනිකර දමා නැගිටයාම ආචාරධර්ම වලට පටහැනි නිසාම සිරා වලඳා අහවරවනතුරු කට ඇරන් බලන් සිටින්නට සිදුවන්නේ සසර කල කරුමයකටය.

එලෙස අවසන් වූ හීල දානයට අනතුරුව සිරා ප්‍රමුඛ පිරිස පිටත්ව යන්නේ ලග්ගල බලාය. කඩුගන්නාව ප්‍රදේශයේ දායක නිවසක දවල් දානය පිළියෙළ කෙරෙනා ආරංචිය සිරාට කනට මී පැණි දමනා තරම් ආරංචියක් වුවත් ගොඩයාට සහ රංජියා  හට එය ඇඟේ රෝම කෙලින්වෙනා වූ ආරංචියක් වන්නේ එම නිවැසියන් හට  හත් අවුරුද්දක් කනට තිබෙනා දෑ සිරා අද දින දවාලට කා දමනා වග සක්සුදක් සේ දන්නා නිසාය. දකිනා දැකුමට කෙට්ටු සරීර කූඩුවක් හිමි සිරා, දුටු පමණින් ආගන්තුක සත්කාර දක්වන්නට සිතෙනා හැන්ඩ්සම් පෙනුමක් තිබෙනා පුද්ගලයකු බැවින් සියල්ලෝම සීරාව අවතක්සේරුවට ගන්නා නමුත් කෑම කා අවසන සිරා යනු කේශාන්තයේ පටන් පාදාන්තය දක්වා බෙන්ගාල බොක්ක තරම් ආමාශයක් හිමි සුවිශේෂී පුදලයකු වග සියල්ලෝම වටහාගන්නවාය. එහෙත් එය  වැටහෙනා විට සිරා පිඟන් ,කෝප්ප , කෑම මේසය සහ පුටු හය හැරෙන්නට අනෙකුත් සියලූම කෑම  වර්ග ආමාෂගතකොට හමාරය. ඒවාද ගිලින්නට  හැකි ප්‍රමාණයේ ඒවා වූවානම් මේස පුටු පිඟන් කෝප්ප වලටද දෙයියන්ගේම පිහිටය.

කිසිදු වෙනසක් නොමැතිවම කඩුගන්නාවේ නිවසියන්ට උදව්වක් වශයෙන් කෑම මේසයේ තිබූ සියල්ලම කා දමන්නට සිරා වගබලාගන්නේ ස්වාමින් වහන්සේලා දහවල් දානය වළඳා අවසානයේය. ඇඳිරි වැටෙන්නට කලින් ලග්ගලට ලඟාවිය යුතු නිසා දහවල් දානය වළඳා වැඩි වෙලාවක්  ගතවන්නට මත්තෙන් සිර ප්‍රමුඛ පිරිස ලග්ගල බලා පිටත් වෙනවාය. ගොඩයා වර්තමානයේ වාසය කරනා රටේ සුප්‍රසිද්ධ ඉන්දියානු කෑම බුෆේ ක්‍රමයට විකිනේනා අවන්හලකට ගොඩයා සති අන්තයේ ගොඩවන සැම දිනකම ගොඩයාට සීරාව මතකයට නැගෙන්නේ  සිරා එහි නොසිටීම සම්භන්ධයෙන් හටගන්නා සතුටු සිතුවිල්ලක් සමගින්ය. සිරා වැනි එකෙකු එවන් අවන්හලක් ආසන්නයේ උන්නානම් ගොඩයාට සතියකට වරක්වත් යමක් ආහාරයට ගන්නට එම අවන්හල ඉතුරු වන්නේ නොමැතිය. ඒ මන්ද යත් සිරා වැනි එකෙකුට ෆ්ලැට් රේට් එකකට බුෆේ කන්නට දුන්නොත් අවන්හලේ අයිතිකාරයා  මාසෙන් දෙකෙන් හිඟන්නා වී අවන්හල වසාදමන නිසාය.


ලග්ගලට ළඟාවූ අනතුරුව ස්වාමින්වහන්සේලාට නවාතැන් ආරන්‍යයෙන් සැපයෙනා අතර අබිත්තයින් තිදෙනා හෙවත් ගොඩයා, රංජිත් සහ සිරාට නවාතැන් සැපයෙන්නේ ලග්ගල කල්‍යානවංශ ස්වාමින්වහන්සේගේ ඥාති නිවෙසකය. එම නිවසේ නිවසින් පිටත පිහිටි කාමරයක මිතුරන් තිදෙනාට නවාතැන් සැපයෙනා අතර රාත්‍රී ආහාරයද සැපයෙන්නේ එම නිවසෙන්ය. ස්වාමින් වහන්සේලා විකාලයේ භෝජනය නොකරනා බැවින් එය අබිත්තයින් වෙනුවෙන්ම සකස්වන සුවිශේෂී ආහාර වේලක් වනවාය. ආගන්තුක සත්කාරයට බෙහෙවින් කැමති නිවැසියන් ඇබිත්තයන් තිදෙනාට රාත්‍රී ආහාරයට ආරාධනා කරන්නේ ඉන් එකෙකු කෑම කෑමේ ප්‍රවීණයකු වග දන්නේ නොමැතිවය.

රාත්‍රී ආහාරයද පෙර පරිදිම වන අතර නිවැසියන්ට හතේ හත වදින්නටම සිරා ලෙසටම කනවාය. නිවසේ ගෘහණිය සහ ගැහැණු දරුවන් කුස්සියෙන් කෑම කාමරයටත් කෑම කාමරයෙන් කුස්සියටත් කෑම අදිනවා ඉවරයක් නොවෙනා කාරණයක් වූ අතර කුස්සියෙන් පුරවාගෙන පැමිණෙන ව්‍යංජන දීසි එකක් ගෙනෙන්නට අනික අහවර කරනා සිරා අඛණ්ඩව තම බඩජහරිකම එම නිවසියන්ටද ප්‍රදර්ශනය කරනවාය. මේසය මත හැමදෙනාටම කන්නට බත් බෙදා තිබෙනා ප්ලාස්ටික් බේසම වැනි භාජනයේ තිබෙනා බත් සහ එය වටේ බෙදා තිබෙනා ව්‍යංජන මල පෙරේතයෙකුට පුදනා ලද පෙරේත තටුවේ තැබුවා වැනිව සිරා සියල්ලම එක කටට ගිල දමනවාය. ඒ අතරේ පපඩම් භාජනය හිස්වී තිබෙනා දකින සිරා පපඩම් ඉල්ලනවාය..ගෘහණිය හනික කුස්සියට දුවගොස් නැවත පපඩම් බදිනා ශබ්දය කෑම කාමරයට අසෙනවාය. ගෘහණිය පපඩම් ස්වල්පයක් බැද කෑම කාමරයට රැගෙන එනා අලපනල්ලේ සිරා තවත් බඳුන් දෙක තුනක ව්‍යංජන වාෂ්ප කරලා දමාලාය. ගොඩයාද මිත්‍ර රංජිත්ද පමණට ආහාර ගෙන අවසන්කොට  සිරා රාත්‍රී ආහාරය අවසාන කරනා තුරු බලන් සිටිනවා නමුත් සිරා කරගෙන යන කර්තව්‍ය නවතනා ලෙසක් නොමැතිය. ඉවසීම එදත් අදත් කෙටි අප මිත්‍ර රංජිත් සිරා අමතන්නේ ඉන් අනතුරුවය..

ඔය ඇති යකෝ.. මේ ගෙදර මිනිස්සුන්ටත් කන්න ඉතුරු කරලා දැන් ඕක නවත්තපන්..

අනේ මේ.. උඹල වගේ මේ මිනිස්සු ලෝභ නැහැ බොලව්.. මේ මිනිස්සු බොහොම ආගන්තුක සත්කාර වලට කැමති මිනිස්සු.. ඒ නිසා බොරු නැතුව කාපන්..

මිනිහෝ කනවා කියල ඔහොම කන්න එපා යකෝ.. මේ ගෙදර ඉන්න පොඩි දරුවෝ තාම කාල නැහැ.. අපි කෑවාම මේ මිනිස්සුත් කන්න ඕන.. ඒ නිසා ඒ මිනිස්සුන්ටත් කන්න ඉතුරු කරහන්..

අනේ මේ බොරු නැතුව කාපං බාන්.. බෝලාගේ බොරුව වැඩි.. මේ කෑම හදන්නේ අපිට කන්න තමයි.. ඒ නිසා බොරු නැතුව කාපන්.. අනික මේ ගමේ කෑම අපිට නිතරම කන්න හම්බෙන්නේ නැහැ.. ඒ නිසා කාපන්..

යකෝ.. කනවා කියල ඔහොම කන්න හොඳ නැහැ.. මේ මිනිස්සු අපිට සලකන්නේ ස්වාමින්වහන්සේට සලකන විදිහට.. සමහරවිට මේ මිනිස්සු මේ කන්න උයන්න බඩු ගේන්නේ කඩෙන් ණයට වෙන්න පුළුවනි. ඒ නිසා මේ මිනිස්සු ගැන හිතල ඕක දැන් නවත්තපන්..

මිනිහෝ.... මේ හාල් මේ මිනිස්සුන්ගේ කුඹුරේ හාල්.. මේ එළවලු මේ මිනිස්සුන්ගේ එළවලු කොරටුවේ එළවලු.. මේ ඔක්කොම මේ මිනිස්සු තමන්ගේ වත්තේ පිටියේ හදාගන්න දේවල්..

ඈ බෝල බූරුවෝ.. එතකොට උඹ කියන්නේ මේ සැමන් බැදුමේ තියන සැමන් මාළු මේ ගෙදර මනුස්සය උන්දැගේ නැවෙන් මුහුදු ගිහින් මාළු අල්ලාගෙන ටින් කරගෙන ගෙනල්ල කියලද.. එතකොට මේ පපඩම් මේ මනුස්සයාගේ පපඩම් ෆැක්ටරියේ හදන පපඩම් කියලද.. එතකොට දැන් අපි මේ ගෙදරට ආවේ කළුවර වැටුනයින් පස්සේ.. එතකොට උඹ කොයි වේලාවේද මේ මිනිස්සුන්ගේ කුඹුරු දැක්කේ.. දැන් මේ එළවලු ගෙනාපු කොරටුව උඹ දැක්කද.. ගොන් කතා නොකිය ඔය කෑම දැන් නවත්තපන්.. 

විකාර නැතුව කාපං බං..

එසේ කියමින් තම ආහාර බුදීමේ මහා සංග්‍රාමය සිරා අහවර කලේ බත් බේසම් තුනක බත් තම අමාශය වෙත ගබඩා කිරීමෙන් අනතුරුවය. එඩ්වර්ඩ් ජයකොඩි කියනා ආකාරයෙන් දීසිය පුරවා දෝසි දමාල කුමුදුමතී හිනැහේවී කියා සිතන්නටවත් සිරා ගෘහණියට අවස්තාවක් දුන්නේ නැතිය. ඉන් අනතුරුව ගෘහණිය විසින් කෑම මේසය වෙත ගෙනවිත් තැබූ කෙසෙල් අවිරියෙන්ද ගෙඩි හත අටක් අනුකම්පා විරහිතව කා දැමු සිරා මේසයෙන් නැගිට්ටේ කට පුරා නිවැසියන්ට ස්තුති කරමින්ය..

අපූරු කෑම ටික.. අපිට ඉතින් මේ වගේ ගමේ කෑම නිතර කන්න ලැබෙන්නේ නැහැනේ..

සිරාගේ කෑමේ හපන්කමට ස්තුති වන්නට එම නිවැසියන්ගේ මුහුණ බලන්නට නොහැකියාව නිසාම රංජිත් සහ අම්බලන්ගොඩයා වෑන් රථයේ රැය පහන් කරන්නට ඉටාගන්නා අතර අරුණළු වැටුන වහා නිවසියන්ටත් සහ  නිවසේ කාමරයේ සුවසේ නිදනා සිරාටත් නොකියාම ආරණ්‍යය වෙත වාර්තා කරන්නට තීරණය කරනවාය. එය එසේම සිදුවූ අතර සිරා එම නිවසින් ආරණ්‍යය වෙත පැමිණෙන්නේ එම නිවසින් පාතරාසයද වලඳා අවසන වන අතර සිරා නිවසින් පිටවූ වහා නිවැසියන් සැනසුම් සුසුම් හෙලන්නට ඇතියයි සිතන්නට කරුණු කාරනා බොහෝය.

පසුදා දිනයම ගොඩයා , රන්ජිත් සහ සිරා එහි පැමිණි විදුලි ආලෝකය සැපයීමේ කර්තව්‍ය වෙනුවෙන් යොදවෙන අතර යකඩ කණු සිටුවා පොලොව යට බට එලා ඒ තුලින් වයර් ඇද යකඩ කණු වලට සවිකරන ලද විදුලි බුබුළු ආලෝකමත් කෙරෙනාවිට රාත්‍රී අට පමණ වීලාය. එම කටයුතු සිදුකරන අතරතුර ගම් වැසියන් විසින් රැගෙන එන සංග්‍රහ කටයුතු බඩපුරා භාරගන්නට සිරා කැමැත්තෙන්ම ඉදිරිපත්වන  අතර එවන් තමුන් දන්නා කියන වැඩ කටයුත්තකට හැරුණකොට නොදන්නා වෙදකම් කරන්නට ඉදිරිපත්වීම සිරාගේ පුරුද්ද නොවේය. එම නිසා විදුලි ආලෝක කටයුතු වලදී සිරා වැඩිමනක්ම කරන්නේ ගොඩයා හෝ රංජිත් කියනා දෙයක් කියනා ආකාරයෙන් ඉටුකිරීම පමණය. 

එදින රාත්‍රිය ආරණ්‍යයේ බණ මඩුවේ ගතකරන්නට මිතුරන් තිදෙනාටම සිදුවන්නේ ගොඩයා පසුදා හීල දානය පිළියෙළ කරන්නට භාරගත් නිසාය. ලග්ගල ප්‍රදේශය මදක් සීතල ප්‍රදේශයක් බැවින් සිරා ගොඩයාට බැනවදිමින් බන මඩුවේ බංකුවක් උඩ නිදන්නට වූ අතර පසුදා හීල දානයට අවශ්‍ය කළමනා සකස් කිරීම වෙනුවෙන් ගොඩයාට මුළු රාත්‍රියෙන් වැඩි කාලයක් නොනිදා පහන් කරන්නට සිදුවෙනවාය. ගමේ සිට එද්දේ හීල දානය වෙනුවෙන් ඕනෑම උදව්වක් සැපයීමට සූදානම් යයි කටමැත දෙඩවූ නිසා අලුයම හතර වෙද්දී සීරාව අවදි කරවන්නට ගොඩයා අමතක කරන්නේ නොමැතිය.

නැගිටපන්..

කරදර නොකර හිටහන් බාන්..

සීතල වතුර බාල්දියක් නාවන්න කලින් නැගිටහන්..

හරි බාන්.. නැගිටින්නම්.. එහෙනම් තේ එකක්වත් හදපන්කෝ..මල වදේ..

තෝ හිතුවද බුරුවො බොට තේ හදන්න මම උඹේ අප්පු කියල.. මගෙන් කුණුහරුප අහන්නේ නැතුව නැගිටලා ළූණු සුද්ද කරලා පොල් ටික ගාල දීපං..

මෙතෙන්ට ගෙනත් දීපන්..

සිරෝ.. මම මීට කලින් දැකල නැහැ නිදාගන්න ගමන් පොල් ගාන්න පුළුවන් හිරමනයක් මේ ලෝකේ තියෙනවා කියල.. මම බොට හිරමෙනෙයි පොල් ගෙඩියයි ගෙනල්ල දෙන්නම්.. නිදාගෙන බැරිනම් ඔලුවෙන් හිටගෙන හරි ගාපන්.. 

උඹේ තියන වදේ බන්.. උඹේ මේ හීල දානයක් බාරගත්තේ නැත්තම් අපි යසට කොහෙන් හරි කාල සැපට ඇඳක නිදාගන්නවනේ බන්..

සිරෝ.. උඹ මේ ගමන ආවේ බඩ පුරා කාල නිදාගන්න උනාට මම මේ ගමන අවේ පන්සලේ ලයිට් වැඩේ කරලා දීල දානේ දෙන්න ඕන නිසාමයි.. ඒ නිසා මට කියල  සීත වතුර බාල්දියක් නාවගන්න කලින් නැගිටලා පොල් ටික ගාල දීපන්..

එලෙසින් සවාදය අවසාන වෙද්දී රන්ජිත්ද නින්දෙන් අවදිවී ළූණු සුද්ද කරනවාය. සිරා නිදි කිරා වැටෙමින් හිරමන කොටය උඩ පොල් ගානවාය. ඒ සියල්ල අවසානයේ ලග්ගල ආරණ්‍යය භූමියේ පළමු වතාවට දානයක් පිළියෙළ කිරීමේ පිරිස වගට ගොඩයා ප්‍රමුක පිරිස ඉතිහාසගත වන අතර හීල දානය අවසානයේ ස්වාමින්වහසේලා සහ මිතරු පිරිස ගමරට බලා පිටත් වෙනවාය. 

ඒ එන ගමනේදී මහියංගනය ප්‍රදේශයේදී ගොඩ වැදුණු නිවසක ආගන්තුක සත්කාර වෙනුවෙන් ටීපෝව මත තැබූ කෙසෙල් ඇවිරිය අනුකම්පා විරහිතව කිහිලි ගන්වාගෙන සිරා වාහනයට ගොඩවෙනවාය. රංජිත් විසින් බලවත් පෙරැත්තයෙන් කෙසෙල් ඇවිරිය නැවත ටීපෝව මතින් තැබීමට උත්සහ කලත් සිරාගේ පිළිතුර වුයේ..

මේ මිනිස්සුන්ට මේ කෙසෙල් කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි බාන්.. මේ මිනිස්සුට කෙසෙල් ඕනෑතරම් තියෙනව.. අනිත් එක මේ මිනිස්සු ආගන්තුක සත්කාර වලට බොහොම ලැදි මිනිස්සු..

එතනින් එහා සිරාට හොඳ නරක කියාදීමේ පලක් නොමැති වූ නිසා ගමට පැමිණෙන තරුම නවතින කිසිදු නිවෙසකට වාහනයෙන් බැස නොයා සිටින්නට ගොඩයාත්, රන්ජිතුත් ඉටාගන්නවාය.

සිරා විසින් කන ලද සුපිරිම කෑම ගැන නොලියා පොස්ටුව අවසන් කිරීම සිරාට කරනාවූ අගෞරවයක් නිසා පොස්ටුව දිග වැඩි වුවත් එයද මෙහිම ලියා තබනවාය..


ගොඩයාගේ අතිජාත මිත්‍රයකු වන ප්‍රසන්නයා එදත් අදත් සංගීත ප්‍රසංග නැරඹීමට අතිමහත් රුචිකත්වයක් දක්වනා එකකු නිසා අහල පහලක සංගීත ප්‍රසංගයක් තිබේනම් එහි යාමට සතියක පමණ කලින් හිටං නාහෙන් අඬනවාය. එක්තරා දිනෙක ප්‍රසන්නයා සභාගත කල යෝජනාවක් ගොඩයාගේ අනුදැනුමක් නොමැතිවම සම්මතවී දුර බැහැරක සංගීත ප්‍රසංගයක් නැරඹීමට පිරිස සූදානම් වීලාය. සංගීත ප්‍රසංග නැරඹීමට යාම ගොඩගේ පුරුද්දක් නොවුනත් සත්කාරක ප්‍රවාහන දායකත්වය දැක්වීමට සිදුවන නිසා ගොඩයාද හරකා දක්කන නියාවෙන් සංගීත පාලුවන් පිරිස ප්‍රසංගය තිබෙන තැනකට බස්සවා ප්‍රසංගය නිමවනතුරු වාහනයට වී සැපට බුදියනවාය. එදින සංගීත ප්‍රසංගය පැවතියේ කුලියාපිටියේ වූ අතර එය සුප්‍රසිද්ධ ගුවන්විදුලි ආයතනයකින් පවත්වන්නක් බැවින් ප්‍රසන්නයා එහි යන්නට අඬන්නේ මාසයක හමාරක හිටන්ය. ප්‍රසංගය පැවැත්වෙන්නේ සිකුරාදා රාත්‍රියක බැවින් ගොඩයාට නිවාඩු  ගැනීමට නොහැකියාව පවසා ගමන මගාරින්නට  උත්සහා කලද ප්‍රසන්නයා ගොඩයාගේ රථය අම්බලන්ගොඩ සිට කොළඹට පදවාගෙන එන්නට ඉදිරිපත්වූ නිසා ගොඩයාගේ වෑයම සාර්ථක නොවෙනවාය. ප්‍රසන්නයා ඒ අකාරයෙන් තම ජීවිතයේ පළමු වතාවට රථයක් පදවාගෙන කොළඹ පමණි උත්කර්ෂවත් කතාව වෙනත් පෝස්ටුවකින් වෙනමම ලිවියයුතු රසවත් කතාවක් බැවින් එම සිද්දි මාලාව වෙනත් පොස්ටුවක්න් ලියවෙනවාය.


සැලසුමට අනුව සියල්ල සිදුවූ නිසා කුලියාපිටියට සැපත්වූ පිරිස සංගීත සංදර්ශන භූමියේ මිනිස් යායක් තුලින් නොපෙනී ගිය වහා ගොඩයා වෑන් රථයට වී නින්දට වැටෙනා අතර නැවත අවදිවන්නේ එළිවෙන් යාමයේ සංගීත සංදර්ශනය අහවර වූවායින් අනතුරුවය. පිරිස නිවෙස් බලා යන්නට සූදානම් අතර සිරා වෙනදාට වඩා වෙනස් ආකාරයකින් භූත දෙඩවීම ගැන වැඩි අවදානයක් යොමු නොවුයේ ගොඩයා හැරුණකොට සම්පූර්ණ නඩයම මදක් අනුමතවී සිටි නිසාය. ඉන් අනතුරුව කුලියාපිටියේ හිටන් අම්බලන්ගොඩ දක්වා ධාවනය වන වාහනයේ සියල්ලෝම සැපසේ නිදන්නෝ වූ අතර සිරා කිසිදු නිදිමතක් නොමැතිව නොනවත්වා කියනවාය. අගක් මුලක් නොමැති ආත-භූත දෙඩවීම අනෙක් මිත්‍රයින් හට වැඩිමනක් ගණනකට නොවුයේ ඔවුන්ද අඩ නින්දේ පසුවූ පිරිස බැවින්ය. 

ගොඩයා සිරාගේ ආත-භූත වලට ඔව්, නෑ, බෑ, වැනි කෙටි වචන වලින් පිළිතුරු දෙමින්ද එකඟ නොවීම බැරි තැන් වලදී හූමිටි තබමින් රථය පදවාගෙන එනවාය. සිරා සිටින්නේ ගොඩයාගේ රියදුරු අසුනට පසුපස ආසනයේ වන බැවින් ගොඩයාට සීරාව නොපෙනෙනා අතර රථයේ අවදිව සිටින්නේ ගොඩයා සහ සිරා පමණය. කොළඹ පසුකර රථය ගාලු පාරට දමද්දේ රථයේ සියල්ලෝම තදින් නින්දේ හුන් අතර සිරා නොනවත්වාම කියවීම කරගෙන යනවාය. යාන්තමට අරුනළු වැටීගෙන එන වෙලාව බැවින් ගොඩයා නිදිමත යන්නට කහට කෝප්පයක් බොන්නට කියා රථය නවත්වනවාය. නැවැත්වූ රථයේ අවදිව සිටින්නේ සිරා පමණක් බැවින් සිරාටද තේ කෝප්පයක් බොන්නට රථයෙන්  බැස එන්නට ආරාධනා කරමින් ගොඩයා රථයෙන් බැස ගියද සිරා තේ කඩය වෙත නොආ නිසා ගොඩයා නැවත රථය වෙත වාර්තා කරන්නේ සිරා නාවේ මන්ද යයි විපරම් කර බලන්නටය. හුටාය.. අනෙකුන් සැවොම සුව නින්දේ පසුවුවත් ගොඩයා රථයේ නොමැතිවත් සිරා පෙර පරිදිම තොර තෝංචියක් නොමැතිවම කියන්වනවාය. තව ටිකක් ලංවී බැලුකල සිරා කියවන්නේ තනිවම වග ගොඩයාට වැටහෙන්නට වැඩි වෙලාවක් ගතවන්නේ නොමැතිය. එයින් කලබලයට පත් ගොඩයා රථයේ නිදන සංගීත ලෝලීන් සියල්ලෝම අවදි කරවනා අතර සියල්ලෝම වටවී සිරාගේ කතාවට ඇහුම්කන් දෙනවාය. 

ඉන් අනතුරව අම්බලන්ගොඩ වෙත ධාවනය වන රථය ගිලන් රථයක ස්භාවයක් ගන්නා අතර සියල්ලෝම සිරාගේ කතාව නවත්වා සීරාව අවධි කරවන්නට උත්සහ කරනවාය. එහෙත් ඒ කිසිවක් නාවෙනා ගානට සිරා ඇස් පියාගෙන තම කතාව දිගටම කරගෙන යනවාය. එම තත්වය යටතේ සිරව නිවසට රැගෙන යාම සියල්ලන්ගේම හිස ගසා දැමෙනා වර්ගයේ සුවිසයිඩ් මිෂන් එකක් වන නිසා සිරා ප්‍රකුර්ති සිහියට පැමිණෙනා තුරු කළුතර කැලිඩෝ වෙරළේ කාලය ගත කරන්නට සැවොම එකඟ වෙනවාය. එම තීරණයට අනුව කැලිඩෝව වෙත රථය පැදවෙනවාය.

එදින සවස් භාගය වෙද්දී සිරා යම්තාක් දුරට ප්‍රකුර්ති සිහියට පැමිණෙන අතර සිදුවී ඇති සන්තෑසිය සිරාගෙන් අසාගන්නේ ඉන් අනතුරුවය..

මොකෝ බන් උඹට  උනේ..

මට...පිස්සුද බොලාට.. මට මුකුත් උනේ නැහැ..

එහෙනම් මෙච්චර වෙලා උඹ ඉවරයක් නැතුව කියෙව්වේ..

පිස්සුද බන්..

හරි.. දැන් කියහන් උඹ මොනවද අපි බීපුවට අමතරව අපිට හොරෙන් බිව්වේ..

මුකුත් බිව්වේ නැහැ බාන්..

එහෙනම් මොකෝ උඹට උනේ..

බිව්වේ නම් නෑ.. ඒත් පොඩි දෙයක් කෑවා..

මොනාද..

නම දන්නේ නැහැ බන්.. මාර්කට් එකේ එකෙක් ගෙනත් දුන්නේ සංගීත බලන ගමන් කෑවාම මාර ෆන් එකක් ගන්න පුළුවන් කියල..

කෝ දැන් උඹ කාපුවා..

මේ තියෙන්නේ..

සිරා සාක්කුවෙන් ඇද ඉටිකොළ පැකට්ටුවක් පිරිසට පෙන්වනවාය..

" කැටවල ශ්‍රීමත් මදන මොදකය"

හුටා.. 

මදන මොදක පැකට්ටුවෙන් හරි අඩකට වඩා සිරා කා දමලාය. හරියටම කියනවානම් ප්‍රමාණයෙන් විස්සක් තිබෙනා මදන මෝදක පැකට්ටුවෙන් මදන මෝදක දෙකක් ඉතුරු වන්නට අනෙකුත් මදන මෝදක දහ අටක් සිරා තනිවම ගිලලාය. එහෙත් කොහේදෝ වාසනාවකට වසර හතරකට එපිටදී කල් ඉකුත්වී තිබු මදන මෝදක පැකට්ටුවක් නිසා සිරා එතනින් බේරුනා නියා කල් ඉකුත් නොවූ මදන මෝදක පැකට්ටුවක් වූවානම් සිරා අංගොඩ රෝහලේ පර්මනන්ට් රෙසිඩන්ට් වන්නේ එදාය. 



Sunday, April 16, 2017

ලෑන උඩින් ඉගිල්ලිලා






මේ ලියවෙනා පෝස්ටුවට අදාළ කාල වකවානුව වශයෙන් සඳහන් කළහොත් එය අදාළ වන්නේ එක්දහස් නවසිය අනූ හතර මුල් අවධියට වන වග හරිහැටිව කිව හැක්කේ මේ ලියවෙනා සිද්දිය සිදුවුයේ අම්බලන්ගොඩයා සාපෙළ විභාගය අවසන් කොට දැහැමින් සෙමින් කාලය ගතකලාවූ අවධියේ නිසාය. සාපෙළ විභාගය අවසන්වීම යනු එතෙක් කල් නිවසේ මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක වූ අධීක්ෂණ කටයුතු මදකට ලිහිල් කරනා කාලවකවානුවක් වශයෙන් හදුන්වන්නට පුලුවනිය. උසස්පෙළ පටාන්ගන්නාතුරු රිසිසේ රස්තියාදුවක් ගැසීමට ලබෙනාවූ ගන්දබ්බ අවස්තාවක් වන සාපෙළ අවසාන වීම අම්බලන්ගොඩයා භාවිතයට ගන්නේ තම ඥාති හිතමිත්‍රාදීන් වෙත පවතිනා සම්භන්ධතාවයන් අලුත්කර ගැනීම උදෙසාය. සතියක් මවු පාර්ශවයේ ඥාතීන්ගේ නෑදෑකම් අලුත්කර ගැනීමෙහිලා තම කාලය මිඩංගු කරනා ගොඩයා තවත් සතියක් පිය පාර්ශවයේ නෑදෑකම් අලුත්කරගැනීම උදෙසා යොදවනවාය. ළඟකදී පැවැත්වෙන විභාගයක් වැනි අධ්‍යාපන කටයුත්තක් නොමැති නිසාවෙන් මද්‍යම රජයෙන් වැඩි බලපෑමක් නොමැති නමුත් නැදෑකම් අලුත්කරගනීම වෙනුවෙන් ගමන් බිමන් සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කර ගැනීමට ඉදිරිපත් කෙරෙනා වවුචර්පත් කිසිදු සලකා බැලිල්ලකින් තොරවම ප්‍රතික්ෂේප වනවාය. එහෙත් විකල්පයක් වශයෙන් ගත්කල මධ්‍යම රජයට හොර රහසින් අගමැති තුමිය තම වැය ශීර්ෂයෙන් මුදල් ප්‍රතිපාදන ලබාදෙන බැවින් අම්බලන්ගොඩයා තම නෑදෑකම් අලුත්කරගනීමේ ගමන්බිමන්වල යෙදීම අඛණ්ඩව කරගෙන යනවාය. 

එවන් ආකාරයෙන් කාලය ගතවෙනා අල්ලපනල්ලේ අම්බලන්ගොඩයා ගේ නැන්දනියකගේ නිවස නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩ කටයුත්තක් පටන් ගැනුනේ ගොඩයා සෑහෙන තරමකට කාර්යබහුල කරමින්ය. ගොඩයාගේ පියාගේ බාල සහෝදරිය නිසාත්, ගොඩයා සිටින්නේ සාපෙළ අවසන්කරනලදුව සංක්‍රාන්ති සමයක් ගත කරනා කාල වකවානුවක නිසාත්, නැන්දනියගේ නිවස ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩ කටයුත්තට ගොඩයා බොක්කෙන්ම සහයෝගය දෙන්නට ඉදිරිපත් වෙනවාය. එම වැඩකටයුත්තට ශ්‍රමය සැපයීමෙහිලා සඟවාගත් තුන්වන අරමුණක් නොමැති නමුත් ගෙදරදොරේ වැඩ කටයුත්තකට මලාට ඇඟ වෙහෙසවන්නේ නැති ගොඩයා වැනි සීතල හාදයකු එවන් බරසාර වැඩ කටයුත්තකට ශ්‍රමය සපයනවා යන කරුණ සෑහෙන්න තරමේ පුදුම සහගත කාරනාවක්ය. 

මෙම චේදයෙන් ලියවෙනා අම්බලන්ගොඩගේ නැන්දනියගේ වටපිටාව ගැන කරුණු හුදෙක්ම පුරාජේරුව පැවසීමේ අභිමතාර්ථයෙන් ලියනා එව්වා නොවෙනා වගට පාඨක සැම වටහාගත මනාය. ඒ මන්ද යත් ලියවෙනා පෝස්ටුවට කාබනික පොහොර සපයනා නැන්දනියගේ නිවස සහ එම වටපිටාව ගැන යමක් ලිවීම මෙහිලා වැදගත්  කාරනාවක් නිසාය. නැන්දනිය විවාහ වී සිටිනා මාමි කාරයා ඇතුළු ඔහුගේ පරපුර ඉඩම් හිමි වැවිලි කරුවන්ය. වැවිලි කරුවන් කීවාට එසේ මෙසේ වැවිලි කරුවන් නොවෙනා ඔවුන්ගේ ඉඩකඩම් වල වපසරිය අක්කර වලින් ගණනය කළහොත් සියයකට වැඩි වෙනවාය. නැන්දනියගේ නිවස පිහිටි සීමාවට මදක් ඔබ්බෙන් තිබෙනා රබර් රොටි මෙව්වා කරනා ගොඩනැගිල්ලද, කුරුදු වැඩ කරනා ගොඩනැගිල්ලද තුන්සිය හැටපස් දවසේම කාර්යබහුල සිරි ඉසිලුවෝය. නැන්දනියගේ නිවස පිහිටි වටපිටාව නිරන්තරයෙන් කුරුඳු තලනා සේවක පිරිසත්, ඊට සමගාමීව සිදුවන රබර් කැපීමේ සේවක පිරිසත් නිතර හැසිරෙන පටපිටාවත් බැවින් තුන්සිය හැටපස් දවස පුරාම සෙනග පිරී ඉතිරෙනා සිරි ඉසිලුවෝය. 

සෙනග පිරිස අතරින් සුවිශේෂී පුද්ගලයින් උන්නේ දෙදෙනෙකු පමණය. එයින් එක් අයෙකු වන්නේ සියලු වතු වැඩ පාලනය කරනා කන්කානම් තැන වන අතර අනෙකා වත්තේ සියලු වාහන එහා මෙහා ගෙනයන රියදුරාය. කන්කානියා හොස්ස ලඟින් මැස්සා යන්නට බැරි තරම් බොරු ආඩම්බරකමක් මවාගන්නා ලද වයස පනහ ඉක්මවූ පුද්ගලයකු වන අතර රබර් දුම් ගසනා මඩුවට ගිය කල රබර් රොටි වලින් කන්කානියා වෙනකොට හඳුනාගැනීමට ඉතාමත් අපහසුය. ඒ මන්ද යත් කන්කානියා අඳින්නේ පළඳින්නේ රබර් රොටි පැහැ සරොම් කමීස බැවින් හා කන්කානියාගේ ශරීරයටද දිය රෝලේ අල්ලන ලද රබර් රොටියක් වැනිවූ පැතලි කෙට්ටු එකක් වීමය. නිරන්තරයෙන් බුලත් විටෙන් සප්පායම් වී සිටින කන්කානියා වැඩ කරනා සේවකයින්ට කිසිදු බුරුලක් නොමැති පුද්ගලයකු වන බැවින් කන්කානියා එලි පෙහෙලියේ සිටිනා අල්ලපනල්ලේ සේවකයින් යමරෙට වැඩ කරනා ස්භාවයක් ඉසිලු අතර කන්කානියා එලි පෙහෙලියේ නොමැති අතරේ වැඩි හරියක් සිදුවුයේ කයිවාරු ගැසිලි පමණය. 

සිටිනා තැනදී "කංකානම් මහත්තයා" යන නමින් හැඳින්වුණු හේ නැති තැන්වලදී "කන්කානියා" "ගොට්ටා" "බැලයා" යන නම් වලින් විරුදාවලිය ලබනවාය. සේවකයින්ද ඇස්කොට් ගැසීම හෙවත් මාටියා ගැසීමේ කලාවේ අගතැන්පත් උදවිය වූ අතර කුරුඳු දර මිටියක්, රබර් රොටි කිහිපයක්, තලා හන්දි කරනලද කුරුදු කෝටු කිහිපයක් ඇසුරු සැනින් කන්කානියාගේ ඇස මානයෙන් වාෂ්ප කිරීමට අතිදක්ෂ පිකාසොලා වෙනවාය. අක්කර සියයක පමණ වපසරියක් පාලනය කිරීමටත් ආරක්ෂා කිරීමටත් සිටිනා එකම තැනැත්තා කකානම් තැන පමණක් වන නිසා උදෑසන පටන් හවස් වනතුරු කන්කානම් තැන යනු හොරෙන් කුරුඳු කපනා එවුන් ඇල්ලීමේ වැටලීම් සඳහාද, ඔට්ටපාළු ගලවන ගැහැනුන් ඇල්ලීමේ වැටලීම් සඳහාද, සබර් ගස් (රබර් ගස්) කැපීමේ දර හොරුන් ඇල්ලීමේ වැටලීම් සඳහාද අඛණ්ඩව සහභාගී වූ හෙන බිසී චරිතයක්ය. මාමිලාගේ නිවසද එෆ් බී අයි ප්‍රධාන කාර්යාලය තරම් බිසී නිවසක් වූ අතර නිතර කතාබහ වුයේ තම දේපල බලෙන් පැහැරගැනීමට මාන බලන්නාවූ හොරුන්ගේ නම් ගම් සහ ඔවුන්ගේ ක්‍රියාදාමයන් ගැන පමණය. මාමිලාගේ වත්ත පිහිටි ප්‍රදේශයේ පොලිසියේ පැමිණිලි පොත තුන්කාලක්ම පිරී තිබුනේ මාමිලා විසින් හොරුන්ට විරුද්දව කරනා ලද පැමිණිලි වූ අතර පොලිසිය යනු මාමිලා දිනෙකට වාරයක් ආගිය ඥාති නිවසක් බඳු තැනක්ය. පැමිණිලි විභාග කරන්නට බයිසිකල් කටුවකින් වත්ත වෙත ගාටනා පොලිස් රාළහාමිලා යනු සුලභ දර්ශනයක් වූ අතර මාමිලා ඒ රාලහාමිලාට කිසිදාක තේ වතුර ජුන්ඩකින් වත් සංග්‍රහ නොකරන්නට හොඳහැටි වගබලාගත් නිසා චූදිත පාර්ශවයන් කිසිදා දඬුවමකට යටත්වූ වගක් එදා මෙදා තුර අසා නොමැතිය. කන්කානියා විසින් රැගෙන එන්නාවූ හොට් නිවුස් වලට සාපේක්ෂව මාමිලා තමුන් සතු ෂොට්ගන් තුවක්කුවද රැගෙන සබර් ගස් කුරුඳු ගස් අතරින් නොපෙනී ගියද කිසිදා වෙඩි ශබ්දයක් නම් අසුනේ නැතිය. වැරදිලාවත් ඒ මලකඩ තුවක්කුවෙන් ගිනි බින්දානම් වෙඩිල්ල වදිනා එකා මැරෙන්නේ පිටගැස්ම හදිලාය.

රියදුරු පාල බොහොමත්ම තරුණ වයසේ සිටියා වූ පුද්ගලයකු වන අතර මාමිගේ වත්තේ සහ නිවසේ භාවිතා වන වාහන එහා මෙහා කිරීමට බලතල සහිතවූ එකම පුද්ගලයාය. වෑන්, කාර්, ලොරි, අත් ට්‍රැක්ටර්, මෝටර් සයිකල් වලින් සමන්විත මාමි කාරයාගේ දේපල වපසරිය ඇතුලේ තිබූ වාහන සියල්ලෙන්ම පාල නිරන්තරයෙන්ම භාවිතා කල එකම වාහනය වන්නේ අත් ට්‍රැක්ටරය හෙවත් ලෑන්ඩ් මාස්ටරය පමණය. උදෑසන සිට ඉර බසිනාතුරු පාලට සහ ලෑනට විවේකයක් ලැබුනානම් ඒ පාල දහවල් ආහාරය බුදිනා අල්ලපනල්ලේ පමණය. පාල තරුණ වයසේ උන් ජව සම්පන්න ඉලන්දාරියකු බැවින් ලෑන ආම්බාන් කිරීම පාලට කජු කනවා වාගේ වැඩක්ය. ලෑන පොල් ගසක් දිගේ ගියද එහි උපරිම ජවය භාවිතයට ගැනීම පාලගේ සිරිතක් වන අතර ලෑන ගමනක් යන්නට පිටත් වන්නේ පොළොවේ පස් කාගෙනය. කන්දේද, පල්ලමේද, වංගුවේද, තැනිතලාවේද පාල විසින් දක්කන ලද ලෑන එහි උපරිම වේගය සාක්ෂාත් කරමින් ධාවනය වූ අතර පාරේ තිබෙනා වලවල් උඩින් ලෑන වේගයෙන් යද්දී පාල උන්නේ දැනුනා නොදැනුනා ගානටය. 

එයාකාර වූ පරිසර රාමුවක් යටතේ නැන්දාගේ නිවස සෑදීමේ කටයුතු වලට අම්බලන්ගොඩයා බොක්කෙන්ම සහයෝගය දෙන අතර ගොඩයාගේ ඇස නිරන්තරයෙන් රැඳෙන්නේ ඒ අරුම පුදුම යන්තරය දිහාවටය. ඒ මන්ද යත්, එවකට ගොඩයා යනු රතගාය උපරිමයටම තිබෙනා ජීවියෙකු වීමය. රෝද හතරේ වාහනයක් පැදවීමේ කලාව දැන උන්නද ලෑන්ඩ් මාස්ටරය යන මෙවලම ක්‍රියාත්මක වන්නේ කෙසේද යන කුහුල ගොඩයාගේ ඔලුවේ නිරන්තරයෙන් රජකළ ප්‍රශ්නාර්තයක්ය. ඉඳහිටෙක රවියා විසින් රැගෙන එනා රවියාගේ බාල මාමිගේ ලෑන පදවන්නට අවස්තාවක් එතෙක් නොලැබී තිබුනේ එම ලෑන පදවන්නට ලැබෙනා සියලූම අවස්ථා වලදී අපගේම හිත මිත්‍ර නිරංජනයා රියදුරු ආසනයට පැන ලෑන දක්කන්නට ඉදිරිපත්වන නිසාය. එකල නිරංජනයා වාහනයක රියදූරු අසුනට වැඩි කල ඌව එම ආසනයෙන් බැස්සවීම කිසිසේත්ම සිදුකල නොහැකි වර්ගයේ කටයුත්තක්ය.


ලෑන පිළිබඳව සිහිනය හිත ඇතුලේ තුන්තිස්පැයේම රජකරද්දී  ගොඩයා මේසන් බාස්ලාට සහයෝගය දීම අඛණ්ඩව කරගෙන යනවාය. එම්.බී.බී. එස් කෙරුවාව හෙවත් "මේසන් බාස්ට බදාම සැපයීම" පාඨමාලාව නොමිලේම හැදෑරීමට ලැබෙනා අවස්තාවක් බැවින් ගොඩයා වැලි හැලීමේ හිටං මේසන් බාස්ගේ බදාම ලෑල්ල ලඟට ඇනූ බදාම ගෙනවිත් දැමීම දක්වා සියලුම කටයුතු නොපැකිලව ඉටු කරනවාය. මේ කියනා එම්.බී.බී.එස් කෙරුවාවේ ගොඩයා කොතරම් සාර්ථකද යත් මේසන් බාස්ලා තම රාජකාරිය අවසාන කරන හෝරාව වෙද්දී ගොඩයාව සමාන්‍ය ස්වරූපයෙන් දැකගන්නට නම් වතුර බාල්දි විස්සක් තිහක් නාවා පිරිසිදුකර ඉන්නට ඕනෑය. බදාම සැපයීමේ රාජකාරිය අවසන් වන හෝරාව හෙවත් සවස පහ ආසන්න වෙද්දී ගොඩයා ගෝලයා ලෙසත් ගෝලයා නිවසේ එකෙකු ලෙසත් දිස්වෙනවාය.  ඒ මන්ද යත් බාස්ලාගේ පලපුරුදු ගෝලයින් තම රාජකාරිය කිරීමේදී බදාම තම ඇඳුම්වල සහ ශරීරයේ උලාගනීම අවම වීමත් ගොඩයා එහි උපරිමය හෙවත් සිමෙන්ති කොට්ටයක දෙකක බදාම ඇඟේ හලාගැනීමත් නිසාය. ඊට තවත් එක් හේතුවක් වන්නේ බදාම සැපයීමේ සේවාවේ නිරතවන අල්ලපනල්ලේ ගොඩයාගේ විඥ්ඥානය ලෑන පසුපස හඹා යෑමත්ය. බදාම ඇනීම අතරතුර ගොඩයා රියදුරු පාල සමග  හැකි සෑම අවස්තාව්කම් කතාවට වැටෙන්නේ ලෑන පැදවීමේ අභිමතාර්තය හිතේ තබාගෙනය. බදාම ඇනීම සහ මේසන් බාස්ලාට උදව් කිරීම සම්භන්ධව නැන්දා කිසිසේත්ම අනුකූලතාවයක් නොමැති වුවත් ගොඩයා විනෝදයට කරනා දෙයක් නිසා නැන්දා කිසිවක් කියන්නේ නැතිය. එය එසේ වුවත් හවස් වනවිට බදාම නාගෙන ඉන්නා ගොඩයා දකින නැන්දාට සිතෙනවා ඇත්තේ ගහපු පදේකුත් නැත බෙරේ පලු දෙකමත් නැත වාගේ දැනීමක්ය.

නැන්දා හැරුණකොට මාමි කාරයා ඇතුළු ඔහුගේ පවුලේ උදවිය කෝටි ප්‍රකෝටි ගණන් වස්තුවකට හිමිකම් කියුවද   තම දේපොළ වස්තුව භුක්තිවිඳින්නට පිං කල උදවිය නොවනා නිසා සියලු වාහන ගරාජයේ සැප ගනිද්දී මාමිලා නිතර ගමන් බිමන් ගියේ  බස් රථයෙන් හෝ මෝටර් සයිකලයෙන් පමණය. වෑන් කාර් එම ගරාජයෙන් ඉවතට ගත්තානම් ඒ ගරාජයේ අලුත්වැඩියාවක් වැනි විශේෂිත කටයුත්තකදී පමණය. මාමිලාගේ මෝටර් සයිකලය ජලභීතිකා රෝගයෙන් පීඩා වින්දා වූ එකක් වගට නිකමට සිතෙන්නේ වැහි දින වලදී එම මෝටර් සයිකලයද  ගෙදර තබා මාමිලා වැහි  පින්නේ පයින් ගාටන නිසාය.   ඒ වැනි වාතාවරණයක් යටතේ පාල ලෑනට ඩීසල් ගැසීමට තනියම යවන්නේ උන්දැලා නොවේය. එනම් පාල ඩීසල් ගසන්නට යනෙනා සෑම අවස්ථාවකදීම මාමි කාරයාගේ මලයා මෝටාර් සයිකලයෙන් පාල පසුපස හඹා යන්නේ ඩීසල් ගසනා අල්ලපනල්ලේ පාල රුපියලක් දෙකක් මාටියා ගසාවිදෝ යන භයටය. කන්කානියා හැරුණකොට මාමිලාගේ විශ්වාසය දිනූ එකුදු සේවකයකුවත් එම වටපිටාවේ උන්නේ නොමැති නිසා මුදල් ගනුදෙනු සිදුවන අවස්තාවන්හීදී මාමිලා හෙවනල්ලවත් විශ්වාස කරන්නේ නොමැතිය. කෝටිපති මුදලාලිලා වැස්සේ පින්නේ දුහුවිල්ලේ පයින් ගැටීම මාර සරලබවක් ලෙස අර්ථදැක්විය හැකි නමුත් එය සසර පුරා රැගෙන ආ කුණු කම බව දන්නේ සමීපතමයින් පමණය. අවසානයේ සල්ලි බැංකුවේ සැප ගනිදදී මාමිලා දන්සල් ළඟ පෝලිම් වල සසර අපා දුක් විඳිනා සෝපාකලා බව ඒ ගං තුලානේ කුරා කුහුඹුවා පවා දන්නවාය.

ගොඩයාගේ නැන්දා එවන් කුම්මැහි කාන්තාවක් නොවෙනා නිසා ගොඩයාට කිසිදු අඩුපාඩුවක් සිදු නොවුවත් ලෑන යනෙනා ගමන් වලදී ගොඩයාට එහි ගොඩවී යාමට නොහැක්කේ නැන්දාගේ ස්ථාවර නියෝග පාල උල්ලංගනය නොකළ නිසාය.  එනම් නන්දා විසින් පාල වෙත, ගොඩයා වත්තෙන් එලියට රැගෙන නොයනා ලෙස තහනම් නියෝග පනවා ඇති නිසාය. නැන්දාගේ නිවසේ විසු කාලසර්ප යෝගය ලැබූ ජීවීන් සමූහයක් අතර පාල ගරු බුහුමන් දැක්වූ එකම පුද්ගලයා නැන්දා පමණක් බැවින් ගොඩයා කොතරම් ඇවිටිලිකලද පාල තමුන් වෙත පනවා ඇති ස්ථාවර නියෝග කඩකරන්නට එඩිතර වුයේද නොමැතිය. එවන් වූ නීත්මය තත්වයක් යටතේ එක්තරා සැන්දෑවක පාල සිමෙන්ති ගෙන ඒමට යැවීමට සිදුවන්නේ පසුවදා වැඩ කිරීමට සිමෙන්ති මදි පාඩුවක් තිබුනාවූ නිසාය.  

මුදල් ගනුදෙනු සිදුවන අවස්තාවන්හීදී කාලසර්පයෝගයෙන් උපන් මාමිලා එම ගනුදෙනුව සජීවීව නැරඹීමට පසුපස යාම පුරුද්දක් වුවද එදා එම ගමනට පාල හැරුණකොට යැවීමට එකම අයකුදු නොමැති වුයේ කාගේ අවාසනාවටදෝ යන්න ගොඩයා නොදනිතත් ගොඩයා එයින් වාසියක් ගැනීමට එකෙන්ම ඉදිරිපත් වනවාය. එනම් පාල සමග සිමෙන්ති සඳහා මුදල් ගෙවීමට යැවීමට කිසිදු අයෙකු නොමැති වීමත් මාමිලා පාලව විශ්වාසයට නොගැනීමත් නිසාය. නැන්දා ගොඩයාව සිමෙන්ති ගෙන ඒමට යැවීම ගැන අඩි හප්පා විරෝදය පල කරද්දී මාමී කාරයා තම විධායක බලතල භාවිතයට ගන්නා නිසා ලෑන්ඩ් මාස්ටරයෙන් සිමෙන්ති ගෙනඒමට යාමේ මංගල ගමන සඳහා ගොඩයා පාලටත් කලින් ලෑන්ඩ් මාස්ටරයේ ගොඩවී හමාරය. පාල විසින් වත්තෙන් මදක් එපිටට පදවාගෙන යනු ලබන ලෑන්ඩ් මාස්ටරය පැදවීමට ඉල්ලා ගොඩයා නාහෙන් අඬනා නිසා පාල ලෑන අයිනකට වෙන්නට නවත්වා ගොඩයාට ඩ්‍රයිවින් ලෙසන් එක කියා දීමට පටාන් ගන්නවාය..

සෑම සියලු දෙනාගේම ඉගෙනුම පිණිස ලෑන ගැන මුලික හැඳින්වීම පහත චායාරූපයේ පළකරනවාය.





පාල.. දැන් කියනව කොහොමද මේක එලවන්නේ කියල..

හරි..ඔය දකුණු අත පැත්තෙ තියන ඇඟිල්ලෙන් එහා මෙහා කරන්න පුළුවන් කෑල්ල තමා ඇක්සිලේටර් එක.. ඒක එහාට කරන්න කරන්න එන්ජිම රේස් වෙනව..

ඊළඟට මේ කකුලෙන් පාගන්න තියෙන්නේ පිටිපස්සේ බ්‍රේක් එක නේද..

හ්ම්... 

එතකොට මේකේ ඉසරහ රෝදෙට බ්‍රේක් නැද්ද..

තියෙනවා තියෙනව.. ඒකෙන් තමා මේක නවත්තන්න ලේසි.. පස්සේ බ්‍රේක් පාගල නවත්තන්න බැහැ මේක..

ඉතින් කෝ ඉස්සරහ බ්‍රේක් එකට වෙනම පැඩල් එකක් නැහැනේ හලෝ..

නෑ නෑ.. මේ තියෙන්නේ 

මේ ලීවර් එකද..

හ්ම්.. ඕක භාගෙට ඇද්දාම ක්ලච් එක.. සම්පූර්නෙන් ඇද්දාම එන්ජින් බ්‍රේක්.. ඒ කියන්නේ ඉස්සරහ රෝද දෙකට බ්‍රේක්.. 

එතකොට මේ හැන්ඩ්ල් එකේ දෙපැත්තෙ තියෙන්නේ බයිසිකල් බ්රේක් වගේ දෙකත් බ්‍රේක්ද ?

නැහැ නැහැ එව්වත් ක්ලච් ..

හෑ.. එතකොට මේකේ ක්ලච් තුනක්ද..

අනේ මන්ද.. උඩ තියන ක්ලච් එක තමයි ගියර් දානකොට.. හැන්ඩ්ල් එකේ දෙපැත්තේ තියන ක්ලච් තමයි හරවනකොට අල්ලන්නේ..

ඒ කිව්වේ..

ලෑන්ඩ්මාස්ටරේ ඉස්සරහට යනකොට හැන්ඩ්ල් එක හරවන්න නම් හරවන පැත්තේ ක්ලච් එක අල්ලන්න ඕන..

ක්ලච් එක අල්ලන්නේ නැතුව හරවන්න බැරිද..

පුළුවන්.. ඒත් අමාරුයි..

හරි දැන් එතකොට තව මොනවද දැනගන්න ඕන මේක එලවන්න..

කඳු පල්ලමේ යද්දී හරවන්න ඕනෙනම් හරවන ක්ලච් දෙක මාරු වෙනවා..

ඒ කිව්වේ..

ඒ කිව්වේ කන්ද පල්ලමේදී දකුණට හරවන්න ඕනෙනම් වම් පැත්තේ ක්ලච් එක අල්ලන්න ඕන.

ඒකත් එහෙමද ..

හරි දැන් කොහොමද මේක ඉස්සරහට ගෙනියන්න ඕන..

ඔය ක්ලච් පොල්ල ඇදල ලොක් කට්ටෙන් පන්නලා අතාරින්න..

එහෙනම් ඔන්න අතාරිනවා හරිද...

හ්ම්..

ගොඩයා විසින් බුරුල් කර අතාරින  ලද එන්ජින් බ්‍රේක් පොල්ලෙන් නිදහස් වූ ලෑන්ඩ්මාස්ටර් රාජයා ඩහ් ..ඩහ් ...ඩහ් ..ඩහ් ..ඩහ් .... ශබ්දය නවාගෙන සිමෙන්ති ගෙනෙන්නට පිටත් වෙනවාය.. ලෑන්මාට්ටලේ ශබ්දයට අමතරව පාලගෙන් කිසිදු ශබ්දයක් නොමැතිය. පාල  හිමින් සීරුවේ තමුන්ගේ පාඩුවේ බීඩියක් උරමින් ගොඩයාගේ දකුණු පසින් වාඩිවී ඉන්නා  අල්ලපනල්ලේ ගොඩයා ලෑන්මාට්ටලේ හිටු කියලා දක්කනවාය. ලෑනද මුලින් නැගූ ඩහ් ඩහ් ..ඩහ් ඩහ් ..ඩහ් ..ශබ්දය මදක් වෙනස්කොට ඩග.ඩග ..ඩග.ඩග ..ඩග.ඩග ශබ්දයක් නගමින්  වලවල් උඩින් ඉගිල්ලෙනවාය..

පාල.. මේ මගුල් මීට වඩා වේගෙන් යන්න බැරිද හලෝ..

ම්හ්.. ඔච්චර තමා...

වෙන ගියර් දැම්මොත් මීට වඩා හයියෙන්  මේක..

ම්හ්.. ඕක තමා උපරිම ගියර් එක..

ලෑන්මාට්ටලේ ඇක්සිලේටර් මෙව්වා එක  කොනටම මෙව්වා කලද ලෑන උපරිම යන්නේ පයට කිලෝමීටර විස්සක් විසිපහක් පමණ වේගයක්න්ය. කුබෝටා එන්ජිම මොර හතේ මොර දෙමින් ඉදිරිපස රෝද දෙකට උපරීම ජවයක් ලබාදෙන්නට වෙහෙසෙනවාය. ගොඩයා පාල උගැන්වූ සාස්තරයට අනුව දකුණට වංගුවක් යද්දී දකුණු පැත්තේ ක්ලචය මිරිකා වංගුව ගන්නවාය.. වමට වංගුවක් යද්දී වම් පැත්තේ ක්ලචය මිරිකා වමට වංගුව ගන්නවාය. ලෑන යන වේගය ගොඩයාට ප්‍රමාණවත් මදි බැවින් වේගය පාලනය කරන ගැජට්ටුව ගැන ගොඩයා එතරම් අවධානයක් නැත්තේය. ඔයවැනි ආකාරයේ ගමනක් යන්නාවූ ලෑන්මාට්ටලේ පාලවද ගොඩයාවද දමාගෙන උපරීම වේගයෙන් කන්දක් මුදුනට සම්ප්‍රාප්ත වෙනවාය. දැන් තිබෙන්නේ කන්ද බැසීමේ කටයුත්ත බැවින් වේගය මදක් වැඩි කිරීමට හැකිවේ යන්න ගොඩයාගේ බලාපොරොත්තුවය..

ඈ පාල.. මේක කන්ද පල්ලමේ හයියෙන් යන්න ක්‍රමයක් නැද්ද..

ම්ම්ම්ම්ම්ම්ම්ම්.. ක්‍රමයක් නම් තියෙනවා..

කියනවකො බලන්න..

ඔය ඇක්සිලේටරේ අඩු කරලා දෙපැත්තේ තියන ක්ලච් දෙකම එකපාරට අල්ලගන්න ඕන..

හරි..

හැබැයි එකපාරටම දෙකම අල්ලගන්න ඕන හරිද.. වේගය වැඩිනම් දෙකම එකපාරටම අතාරින්න ඕන.. එකක් කලින් ඇතාරියොත් මේක හැරිච්ච  අතේ යනවා හොඳේ..

හ්ම්...


පාලගෙන් ලැබුණු උපදේසය අනුව හරවන ක්ලච් දෙකම එකවර අල්ලාගැනීමෙන් අනතුරුව ලෑන්මාට්ටලේ රූං................කියාගෙන හිතන්නට බැරි වේගයෙන් කන්ද පල්ලමට යනවාය. ගොඩයා දත විකාගෙන ලෑනේ හඬලය පාරෙන් ඉවතට  පනින්නට නොදී අල්ලාගෙන සිටිනවාය. කන්ද පල්ලම අධික ආනතියක් තිබෙනා පල්ලමක් බැවින් ලෑන්මාට්ටලේද පැයට කිලෝමීටර පනහක පමණ වේගයකින් කන්ද පල්ලමට විදිනවාය. විටෙක  වල ගොඩැලි උඩින් ගුවන්ගත වන ලෑන ගුරුත්වාකර්ෂණයට පිංසිදුවන්නට නැවතත් අබලන් තාර පාර සිපගන්නවාය. ලෑන්ඩ් මාස්ටර් රාජයාගේ යකඩ බක්කියේ රෝද දෙක හෙවත් පසුපස රෝද යුගලය තාර පාරේ ධාවනය වන කාලයට වඩා වැඩි කාලයක් ධාවනය වන්නේ ගුවනේය. අනෙකුත් වාහන වල මෙන් ලෑන්මාස්ටරයේ රෝද වලට ෂොක්ඇබ්සෝබර් උපාංගය නොමැති නිසා වලවල්වල වැටී ගුවන්ගතවන අවස්තාවන්හීදී ගොඩගේ ශරීරයේ අභ්‍යන්තර අවයව එලියට පනිනතරමය. එහෙත් එවන්  දැනීමක් දැනුනා වුවත් ලෑන නිදහසේ කඳු පල්ලමට ඇදී යාමේ ක්‍රියාවලිය ඇඩ්වෙන්චරස් සහ ක්‍රියාදාම වර්ගයට අයත් චිත්‍රපටයක් නරඹනවාට වඩා ආතල් කෝටියක් සපයන කාර්යක් බැවින් සියලු අපහසුතාවයන් අමාරුවෙන් ඉවසා සිටිනවාය. 

පාලයා බීඩියක් දුම් දමමින් ආසනයේ ගරාදියේ එල්ලී සිනහ වෙමින් සිතනවා විනා කිසිවක් කියන්නේද නැත. එහෙත් අවාසනාවට ඇත්ත කතාවක් මෙන් අතුරු පාරකින් තුන්සක රියක් ප්‍රධාන පාරට අවතීර්ණය වන්නේ කිසිසේත්ම නොසිතූ නොපැතූ ආකාරයෙන් වන අතර ගොඩයා ලෑන්මාට්ටලේ පසුපස තිරිංගය වෙර යොදා පාගනවාය. එහෙත් කිසිදු බරක් නොමතිව හිස්වූ බක්කිය වලවල්  වැටෙමින් උඩ විසික් වෙනවා විනා යොදා තිබෙනා තිරිංග වලට සාපේක්ෂව ලෑනේ වේගයේ කිසිදු වෙනසක් නොමැතිය.  මරදානේ හිටං මාතර යන රුහුණු කුමාරිය තමුන් දිහාවට එන්නහේ ත්‍රිරෝධ රථ රියදුරාද අසරණ ලීලාවෙන් තමුන් දිහාවට පැමිණෙන ලෑන දිහා ඇස් ලොකු කරන්  බලා සිටිනවාය. 

ක්ලච් දෙක අතාරින්න... ක්ලච් දෙක අතාරින්න..

ඒ අතරේ වෙන්නට යන අනතුර වලක්වාගැනීමේ වෑයමක් වශයෙන් පාලයා ක්ලච් දෙක අතාරින ලෙස යටි ගිරියෙන් කෑගසනවාය. ගුරා යමක් කියද්දී එය නොකර සිටීම ගුරු ගෞරවයට හානිවීමක් බැවින් ගොඩයා කිසිවක් නොසිතා ක්ලච් දෙක අතාරිනවාය.. එතැනින් එහා සිද්දිය සෑහෙන්න දුක සිතෙනාසුලුය..

බරාස්......  බුදු අම්මෝ....

කඳු පල්ලම වෙත වේගයෙන් ධාවනය වූ මාරාන්තික ලෑන්මාට්ටලේ ක්ලච් දෙක අතහැරීමත් සමගම හිටි තැන නතරවුණේ දුවන අස්සයා හිටි හැටියේ කැරට් අලයක් දුටුවා වාගේය. වේගයට සාපේක්ෂව ඉදිරියට විසික්වූ ගොඩයා ලෑනේ හඬලයේ හරස් පොල්ලේ වැදී නැවතුනත් පාලට එවැනි භාධකයක් නොමැතිවීම අවාසිසහගත  වූයේ පාලටමය. හඬල් කොනේ පළමුව පැටලුනු පාල තම ගමනේ ඉතුරු කොටහ නිමකලේ විලි වසාගන්නා  සරොන් රාජයාද  ලෑන්මාට්ටලයේ මඩපෝරුව උඩ වනාතබා කන්ද පහලට ගුවන්ගතවීමෙන් අනතුරුවය. අන්ඩර් වෙයාරය සහ කමීසය සහිතව  උඩී.........න් ගොස් අබලන්  තාර පාරට ලෑන්ඩ්කරන ලද පාල තවත් බඩ පිනුම් කිහිපයක් ගසා තුන්සක රිය පාමුල හතරගාතෙන් වැදහොත් නිමේෂයේ ගොඩයා උන්නේ මහා දවාලේ ඔලුව වටේ පෑයුවා වූ තාරුකා ගනිමින්ය.

ඉවරායි කියා සිතුවද ඉවර නැත. ක්‍රියාදාම චිත්‍රපටි එසේ අවසන් වන්නේ නැත. වීරයා සුළඟිල්ලේ පවර්  එකෙන් හෝ නැගී සිට තමුන්ට එරෙහි දුෂ්ඨයින් අහවර කරනවාය. හරස් යකඩ පොල්ලේ පපුව වැදුනාවූ වේගයට ඇතුලේ ගැහෙන හදවත සහ පෙනහළු කෑලි දෙක  තිබිය යුත්තේ එළියේ වුවත් ගොඩයාගේ  වාසනාවට එව්වා තිබුණු තැන්වලම තිබෙනවා බව දැනෙන්නේ එව්වා එලිපහලියේ පෙනෙන්නට නොමැති නිසාය. දත් සැට් එක කටේ තිබෙනවාද කියා පරීක්ෂා කර බලන්නට ලෑන්මාට්ටලයේ කන්නාඩියක් නොමැතිවීම අවාසිසහගතය. අතපය හතර කඳ කෑල්ලට සවිවී තිබෙනා වගත්, අභ්‍යන්තර අවයව එකක්වත් එලියට පැන නොමැති වගත් තහවුරු වුවත් දැනෙනා දැනීම නම් ජෝන් සීනාට  පුංචි විහිළුවක් කර අම්බානෙකට කෑවා වැනි දැනීමක්ය. සියලු වේදනා කැක්කුම් අතරේ මොකක්දෝ ඩොහ් ඩොහ් ශබ්දයක් අසෙනවාය. ඒ කුමක්ද යත් චිත්‍රපටියේ වීරයා වන් වුද, ක්ලචය අතාරින ලද ලෑන්ඩ්මාස්ටර් පුඟුලා තම සාමාන්‍ය වේගයෙන් කන්ද පහලට ධාවනය වන නාදයය. එහි රියදුරු ආසනයේ වේදනාභරිතව පපුව බදාගෙන කෙඳිරි ගානා හාදයා ගොඩයාය . ඒ අතරේ  ඉදිරියට ඇදෙනා ළෑනේ ඉදිරියෙන් භාදක දෙකක්ය. පළමුවැන්න නම් තත්පර කිහිපයකට කලින් බීඩියක ආශ්වාදය විඳිමින් සන්තෝෂයෙන් ප්‍රීතියෙන් උන්නද දැන් වෙද්දී අන්ඩර්වෙයාරයකින් සැරසී  මාතෘභූමිය  සිපගෙන සිටිනා පාලයාය. දෙවැන්න ඔලුව හැරුන අතේ පැනදුවන ලද රියදුරා හේතුවෙන් පාර මැද අවතැන්වූ තුන්සක රථයය. භාධක දැක නැවතීමේ ඉසව්ව සාර්ථකව අවසන් කරනලදුව ලෑන්ඩ්මාස්ටර් පුඟුලා ඊළඟට සැරසෙන්නේ භාධය මතින් ධාවනය කිරීමේ ඉසව්ව සාර්ථක ලෙස නිම කරන්නට වග ගොඩයාට දැනෙනාවිට ලෑන පාලයා යටකරගෙන ත්‍රිරෝධ රථය පෙරලාගෙන යාමට වැඩි දුරක් නොමැතිය.   පාලයා කියාදුන් ආකාරයෙන් එංජින් බ්‍රේක් පොල්ල  වෙර යොදා පස්සට පස්සට ඇද ලෑන නවත්වාගන්නට ගොඩයා සමත්වන නිසා පාලයා තවදුරටත් ජීවත්වීමේ වාසනාව උදාකරගන්නවාය.

අතපය හතරේ පැලැස්තර විස්සක්  තිහක් අලවන ලද පාලයා යාන්තමට රියදුරු අසුනේ තබාගෙන සිමෙන්ති ටිකද පටවාගෙන නැවතත් නැන්දාගේ නිවසට සැපත් වන්නට ගොඩයා සමත් වනවාය. එලියට පෙනෙන්නට තුවාල නොමැති වුනත් සරීර කූඩුව ඇතුලේ දන්නාවූ වූ වේදනා කැක්කුම් සියල්ල සමනය වන්නට සතියක් හමාරක් ගතවුබව කිව යුතුමය. ඇඟේ අමාරුවට වෙනිවැල්ගැට ටිකක් හෝ තම්බා දෙන ලෙස නැන්දාට කියන්නටද ක්‍රමයක් නැත්තේ සිදුවූ අනතුර ගැන නැන්දා දැනගැනීමෙන් පාලට ලොරියකට බැනුම් අහන්නට වන්නාවූ සිද්දියක් නිසාය. ඒ නිසාවෙන් එකිනෙකාගේ වේදනා සමසේ දරාගෙන සියල්ලම රහසක් සේ තබාගන්නට පාල සහ ගොඩයා සුසංයෝගය සමත් වන්නේ වෙන කරන්නට දෙයක් නොමැති නිසාය.

මුල් මුදල , සිමෙන්ති බිල සහ ඉතිරි මුදල් අතර තිබූ පරස්පරතාවය  මත ප්ලාස්ටර් සඳහා වියදම්වූ සුළු මුදල මාටියා ගැසීමක් වැනි වූ සිදුවීමක් නිසා එම සුළු මුදලද පාලගේ වැටුපෙන් අයකරගන්නට ගොඩයාගේ මාමිලා කටයුතු කලාය. එහෙත් පසුව අහිංසක අසරණ පාලයාට එම මුදල පියවීමට ගොඩයා හොර රහසේ කටයුතු කලාය. බොහොම දුරදිග සිතා බලා කුබෝටාවේ හැඬලය හරහට යකඩ පොල්ලක් සවිකර එවීම සම්භන්ධව ජපනාට බොක්කෙන්ම ස්තූති කරන්නට ඕනෑය. මන්ද යත් ඒ පොල්ල නොමැතිවුනානම් අම්බලන්ගොඩයාගේ වැදගත් ශරීර අවයව කිහිපයක්ම ගියර් පොල්ලේ ඇනී සුනුවිසුණුවී යනවා අනිවාර්ය නිසාය.




..අම්බලන්ගොඩ කතා කියවන සැමටමත්, කොමෙන්ට් ලියා දිරිය දෙන සැමටත්, බ්ලොත් වාසී සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..


Tuesday, April 4, 2017

ස්කූල් සර්විස්




ස්කූල් සර්විස් කීවාම හැමදෙනාගේම හිත් වලට එන්නේ ලංකාවේ සෑම නගරයකම වාගේ පාසල් දිහාවට ඇදෙනා බස් වෑන් පෝලිම වුවත් මේ ලියවෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ස්කූල් සර්විස් කෙරුව්වක් ගැන නිසා මෙය බස් වෑන් කතාවක් නොවන වග මුලටම හිතාගන්නට ඕනෑය. ගොඩයා පාසල් අද්‍යාපනයේ අවසාන අවුරුදු අට ලැබුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් වන අතර පළමු අවුරුදු පහ අධ්‍යාපනය ලැබුවේ අම්බලංගොඩ දේවානන්ද විද්‍යාලයෙන්ය. පාසල් අද්‍යාපනයේ මුල් අවුරුදු පහ දේවානන්ද විද්‍යාලයෙන් ලැබූ හේතුව නම් එකල ධර්මාශෝක විද්‍යාලයේ එක වසරේ සිට හය වසර දක්වා පන්ති නොපැවැත්වීමය. අම්බලන්ගොඩයා ධර්මාශෝක විද්‍යාලයට යම් ගෞරවයක් තිබේද ඒ හා සමානම ගෞරවයක් දේවානන්ද විද්‍යාලයටද දක්වනවාය. ඒ මන්ද යත් ගොඩයා උගෙනගත් අකුරු සාස්තරයට මුල් අඩිතාලම දැමු විද්‍යාලය දේවානන්ද විද්‍යාලය වන නිසාය.

අම්බලන්ගොඩයාගේ පාසල් යාමට අදාලව ස්කූල් සර්විස්  එකක අවශ්‍යතාවය අම්බලන්ගොඩයාගේ දෙමාපියන්ට දැනෙන්නේ දේවානන්ද විද්‍යාලයේ හිටං ගොඩයාගේ නිවසට ලගා වීමේදී ගාලු පාර නැමැති අති   භයානක මහා මාර්ගය තරණය කලයුතු නිසාය. ගොඩයා උදෑසනට පාසල් යන්නේ තම පියාණන් සමග වන අතර එය බොහෝමත්ම  විනයානුකූල පාසල් ගමනක්ය. උදෑසනට පියාණන් විසින්ම ඉස්තිරික්ක කර දෙන සුදුම සුදු කමීසය නිල්ම නිල් කලිසමට පිළිවෙලට යට කරන ලදුවද, පියාණන්ගේ පනාවෙන්ම ඉර හිටින්නට පැත්තට පීරන කොන්ඩයද, පිළිවෙලට පිටේ එල්ලන ලද පොත් බෑගයද සමගින් එක සීරුවට යෙදෙනා ගමනකින් අනතුරුව අම්බලන්ගොඩයා දේවානන්ද විද්‍යාලයට ලඟා වනවාය. පියාණන් වම් අතින් කාර්යාල බෑගයද දකුණු අතේ දබර ඇඟිල්ලේ අම්බලන්ගොඩයාද එල්ලාගෙන දේවානන්ද විද්‍යාලයට පිටත් වන්නේ උදෑසන හතටය. නිවසින් පිටත්වී දේවානන්ද විද්‍යාලයට ලඟා වනතුරුම පිය පුතු දෙපලගේ අල්ලාප සල්ලාපයක් නොවනා අතර පාසලේ ගේට්ටුව අසලදී පියාණන්ගේ හීනි පනාවෙන් ගොඩයාගේ කොණ්ඩය නැවතත් පැත්තට බෙදා පීරා පියාණන් රැකියාවට පිටත්වී යනවාය. කොණ්ඩය පැත්තට පීරූ ගොඩයා හෙන ගොන් පාට යයි ගොඩයා සිතනා නිසා පියාණන් මද දුරක් යනතුරු ඉවසා සිට කොණ්ඩය මදක් අවුල් කරගෙන පාසල ඇතුලට පියමනිනවාය.


උදෑසනට දෙනාම එකම වෙලාවට පිටත්වී යන බැවින් පාසල් සේවාවක අවශ්‍යතාවයක් උදෑසන ගමනට නොතිබුනාවූ අතර පාසල් සේවාවක අවශ්‍යතාවය දැනෙන්නේ පාසල ඇරී ගෙදර එන වේලාවටය. පාසල් ගමන සිහිවන අලපනල්ලේ අම්බලන්ගොඩයාට හිතේ දැවෙනා තවත් කාරනාවක් මතකයට එනවාය. එනම් එකල දෙමාපියන් තම දරුවන් රැගෙන ගියේ පාරේ දකුණු පැත්තේ අයිනෙන්ය. එනම් දරුවා පාර අයිනට වෙන්නටද වැඩිහිටියා පාර පැත්තට වෙන්නටද ලෙසය.  එහෙත් වර්තමානයේ දෙමාපියන් දරුවන් සමග මහමග යාමේදී දරුවා පාර පැත්තේද මව හෝ පියා අයින පැත්තේද ගමන් කරනු දකින අම්බලන්ගොඩයා සිතන්නේ දරුවාගේ ජීවිතයට වඩා මව හෝ පියාගේ ජීවිතය වටිනවා වන්නට ඇති කියාය. පාරේ දකුණු පැත්තෙන් ගමන් කරනවා කියනා සංකල්පයක් වර්තමාන දරු පරපුර තියා දෙමාපියන් බහුතරයක් දන්නවාද කියාවත් ගොඩයාට නම් සැක සහිතය.

ගොඩයාගේ  පාසල් ගමනට සමගාමීව උද්ගතවූ පාසල් සේවා ප්‍රශ්නයට පළමු විකල්පය වශයෙන් දිරියෙන් ඉදිරියට  පැමිණියේ ගොඩයාගේ මිත්තනියය. පාසල ඇරෙන වේලාවට නගර සභා පිට්ටනියට විවුර්තවන දෙවානන්දයේ පොඩි ගේට්ටුව  අසලින් ගොඩයාව පික්  කරන්නේ ආච්චි අම්මා වන බැවින් ගොඩයාට එතැන් පටන් ආච්චි අම්මාගේ නිවසට ලඟා වනතුරු මසුරන් පහට කඩචෝරු කන්නට ලැබෙනවාය. ගේට්ටුවෙන් එලියට පැමිණි වහාම ආච්චි අම්මාගෙන් සත විසිපහක් ඩැහැගන්නා අම්බලන්ගොඩයා පළමුව දිවයන්නේ අයිස් පලම් විකුණන්නා වෙත වන අතර එතැන් පටන් අයිස් පලම අහවර වනතුරු ආච්චි අම්මාගේ පසුම්බියට කිසිදු පාඩුවක්  සිදුවන්නේ නැතිය. එහෙත් අයිස් පලම අහවරවූ තැන හමුවන පළමු වෙළඳසැලෙන් තවත් කඩචෝරුවක් මිලදී ගන්නාතුරු ආච්චි අම්මාට කනක් ඇහෙන්නට ගොඩයා ඉඩක් නොදෙනා බැවින් ගොඩයා ඊළඟ කඩපිලට ගොඩවන අල්ලපනල්ලේ ආච්චි අම්මා තවත් සත විසිපහක් පනහක් ගොඩයාගේ අත තබනවාය. එය එසේ වන්නේ එසේ නොකර ගොඩයා ගෙදර ගෙනයාම පනාමුරේ ඇත්රාජා දක්කනවාටත් වඩා අමාරු කාර්යභාරයක් වන වග ආච්චි අම්මා පාසල් සේවය ආරම්භ කළාවූ මුල් දිනයේම උගත් පලමු පාඩම නිසාය. ආච්චි අම්මා කඩචෝරු කෑමට විරෝදය දැක්වුවා විනා මුදල් පිලිබඳ කිසිදු දිනෙක කිසිදු සඳහනක් නොකළ වග ගොඩයාගේ මතකයේ තදින් සටහන්ව තිබෙනා අතර ගොඩයා පාසල් සේවාව අතරතුර වලඳනා කිසිදු කඩචෝරුවක් ගැන කෙදිනකවත් ගොඩයාගේ පියාණන්ට හෙවත් තම පුත්‍රයා වෙත පැමිනිලි  කලේද නොමැතිය. එවන් ආකාරයෙන් සුඛිත මුදිත අයුරින් ගෙවුනාවූ සති කිහිපයකින් අනතුරුව ගොඩයාගේ පාසල් සේවාවට කණකොක හඬන්නේ පාසල්ගොස් මිත්තනියගේ නිවසේ හිටං සවසට පියාණන් විසින් ගෙදර කැඳවාගෙන යනතුරු ගොඩයා පියාණන්ගේ ගමේ කොල්ලන් කුරුට්ටන් සමග කැලේ පනිනා වග ගොඩයාගේ පියා සක්සුදක් සේ වටහාගත් නිසාය. මිත්තනියගේ හෝ පොඩි නැන්දාගේ අතින්  සෑදෙනා  රසවත් දහවල් ආහාරයකින් අනතුරුව අම්බලන්ගොඩයාව නැවතත් මිත්තනියට දැකගන්නට ලැබෙන්නේ  ඉර අවරට යන්නට ඔන්න මෙන්න තියලාය. නැන්දා විසින් කැලෑවල්, පිට්ටනි, ඕවිටි , බඩවැටි , සොහොන් පිටි පීරා සොයාගන්නා කොලු නඩය අතරින් ගොඩයාව මිත්තනියගේ නිවසට කැඳවාගෙන එන්නේ ළමා අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංගනය කරමින් වන අතර නැන්දාගේ අතෙහි රැඳෙනා කොටුව අලියා දක්කන හෙන්ඩුව වාගේ වුවත් ඇය කෝටු පාරක් කිසිදාක තලානම් නැතිය. අම්බලන්ගොඩයාගේ අයහපත් කල්කිරියාව නිසාවෙන් අහිමිවන පළමු පාසල් සේවාවෙන් අනතුරුව දෙවනුව ගොඩයාගේ පාසල් සේවා අධ්‍යක්ෂක තනතුර භාරවන්නේ ජයන්ති නමැති කාන්තාවකට වන අතර ගොඩයා මුල් පාසල් සේවාවෙන් ලැබූ සියලු කඩචෝරු ප්‍රිවිලේජස් එතැන් පටාන් ඉතාමත් දුක්ඛිත අයුරින් කැපී යනවාය. අයිස් පලම් මාමිගේ පෝං පෝං නලාවේ ශබ්දය නෑසෙනා ගානට ගොඩයා නගර සභා පිට්ටනිය තරණය කරගෙන, ජයන්ති ඇන්ටී කියනා අයිනෙන් පුංචි අම්මාගේ නිවසට ලඟා වනවාය. අයිස් පලම් මාමිලාද ගොඩයා එම ඉසව්ව පසුකරනා අල්ලපනල්ලේ පෝං පෝං නලාවේ බෙල්ල තදින් මිරිකන්නට තියාගන්නේ ගොඩයා ඩේලි කස්ටමර් බව දන්නා නිසාය.  ගොඩයාද පෑම් පූම් නලාව ඇසෙනා නෑසේනා ගානට එතනින් මාරුවනවාය.

වර්තමානයේ දරුවන්ට ලැබී තිබෙනා  කොටුවේ නාටාමිලා උස්සනවාටත් වඩා බරෙන් වැඩි පොත් බෑගයක් එකල දරුවන්ට නොතිබුනා වුවත් ජයන්ති ඇන්ටී ගොඩයාව දක්කනවාට අමතරව පොත් බෑගයද එල්ලාගෙන යන පහසුකම ගොඩයා වෙත නොමිලේ සපයනවාය. ජයන්ති ඇන්ටී වැඩි කතා  බහක් නොමැති බොහෝ නිහඬ චරිතයක් වන අතර ගොඩයාට ලැබෙන පළමු සහ අවසන් අවවාදය පාරේ අයිනෙන් යන්න කියනා අවවාදය  පමණය. පුංචි අම්මාගේ නිවසට යාමේදී ගොඩයාගේ නිවස පසුකර මද දුරක් යායුතු වුවත් පාසලේ සිට පුංචි අම්මාගේ නිවස වෙත ලඟා වියහැකි සියලුම විකල්ප මාර්ග ගොඩයා විසින් භාවිතයට ගන්නවාය. ජයන්ති ඇන්ටීද කිසිදු විරෝධයක් නොදක්වා ගොඩයා ගමන් කරන්නට කැමති ඕනෑම පාරකින් ගොඩයාව පාරේ අයිනෙන් දක්කාගෙන එනවාය. ඉඳහිටෙක වත්තක තිබෙනා ගඩා ගෙඩියක් කඩාගන්නට ගස් බඩගානා කොල්ලන් කුරුට්ටන් සමග ගොඩයා මද විවේකයක් සඳහා නවතිනා අල්ලපනල්ලේ ජයන්ති ඇන්ටීද කිසිදු කතාවක් බහක් නොමැතිව පොත් බෑගය පිටේ එල්ලාගෙන පාසල් සේවාව හෙවනකින් පාර්ක් කරගෙන  බලා සිටිනවාය. 

වනරොදවල් වල ඉබේ වැවෙනා දං හිඹුටුද,  අනුන්ගේ වතුවල නිදහසේ හැදෙනා වෙරළු, ජම්බු, පේර  වැනි දෑද, උසම උස ගස්වල හැදෙනා කෝං, අඹ වැනි දෑද කොල්ලන් කුරුට්ටන්ගේ නිරන්තර අවදානයට යොමුවනා ලෑන්ඩ් මාර්ක් වන නිසා එවන් තැන්වල මද වෙලාවක් රැදී සිට එවන් දෑ නැරඹීම අම්බලන්ගොඩයාගේ පුරුද්දක් වනවාය. එහි ප්‍රතිපලයක් වශයෙන් ගොඩයාගේ කලිසං සාක්කුද ගඩා ගෙඩි වලිං පිරී යන්නේ කොලු නඩයට කිසිදා තනියම වළඳන පුරුද්දක් නොතිබුණු නිසාය. බහුතරයක් දින වලදී ගොඩයාව ඉස්සරකරගත් ජයන්ති ඇන්ටී පුංචි අම්මාගේ නිවසට ලඟා වෙද්දී පුංචි අම්මා පාරට වී මග බලා ඉන්නවාය. ඒ මන්දයත් බඩ ගාගෙන ආවත් විනාඩි තිහකින් එන්නට හැකි දුරක් එන්නට ගොඩයා පැයකට ආසන්න කාලයක් ගතකරනා නිසාය. එවන් දින වලදී ජයන්ති ඇන්ටී පුංචි අම්මාගේ උදහසට ලක්වනවා වුවත් ඒවාට ජයන්ති ඇන්ටී සැමදා පිළිතුරු දුන්නේ නිහඩ බවින් පමණය. ගඩා ගෙඩි වලඳා එන ගමනේ පුංචි අම්මගේ නිවසේ ගේට්ටුව ආසන්නයේ දැනෙනා පුංචි අම්මා විසින්  පිසිනා රසම රස පරිප්පු ව්‍යංජනයේ සුවඳ අදද මතකයේ නොමැකී තිබෙනා සුවඳක් බැවින් වර්තමනයේ පරිප්පු උයද්දී එවන් සුවඳක් දැනෙන්නේ නැත්තේ ඇයිද යන්න ගොඩයාගේ ඔලුවේ රජ කරනා ප්‍රශ්නයක්ය. 

මාස කිහිපයක අවෑමෙන් පාසල් සේවාවෙන් පමණක්  ජීවිකාව සරිකරගන්නට හැකි වාතාවරණයක් නොමැතිවූ නිසාදෝ ජයන්ති ඇන්ටීද පාසල් සේවාවෙන් ඉල්ලා අස්වී විදේශගතවන නිසා පුරප්පාඩු වූ තනතුරට අනුයුක්ත වන්නේ ලොකු සුදු අක්කාය. ලොකු සුදු අක්කා පාසල් සේවාව භාරගන්නේ විරැකියාවට පිලියමක් වශයෙන් නොවෙනා අතර ගොඩයාව පාසලෙන් රැගෙන ඒමට දෙමාපියන්ට ලැබෙනා තාවකාලික සේවාවක් වශයෙන්ය. ඒ මන්ද යත් ලොකු සුදු අක්කා ගොඩයාගේ පුංචි අම්මාගේ නිවස ආසන්නයේ වාසය කරනා හිතවතෙකු වන නිසාය . පාසල් සේවා දෙකක අත්දැකීම් තිබෙනා අම්බලන්ගොඩයා ඒ වෙද්දී පාසල් සේවාවක් තමුන්ගේ අභිමතය පරිදි හසුරුවාගන්නේ කෙසේද යන විෂය සම්භන්ධයෙන් විශේෂ ප්‍රාගුන්යයක් ලබා සිටියද ලොකු සුදු අක්කාගේ ආගමනය අම්බලන්ගොඩයා එතෙක් විඳි සුපිරි නිදහස සියයට සියයකින්ම අහුරා දමන්ට සමත්වනවාය. ඒ මන්ද යත් ලොකු සුදු අක්කා යනු මදක් සැර පරුෂ ඇත්තියක වන නිසාය. ගොඩයා හංදි ගානේ රස්තියාදු වීමටත් , කොල්ලන් කුරුට්ටන් ගඩා ගෙඩි කඩනා තැන්වල කට ඇරන් බලාසිටීමටත් , හිතෙනා හිතෙනා විකල්ප මාර්ග භාවිතයට ගැනීමටත්  ලොකු සුදු අක්කා විසින් පළමු පාසල් සේවා ගමන් වාරයේදීම නැවතීමේ ලකුණ තබනවාය. 

එතැන් පටන් අම්බලන්ගොඩයා යනු පාසල ඇරෙනා වෙලාවේ හිටං පුංචි අම්මගේ නිවසට සැපත් වෙනා  වේලාව දක්වා ලොකු සුදු අක්කා විසින් අත්අඩංගුවට ගන්නා ජීවියෙකු පමණය. මගදිගේ ගස් පාලු කරනා කොල්ලන් කුරුට්ටන්ගේ ආරාධනයෙන් ඒ තැන්වල මදක් විවේක ගන්නට ලොකු සුදු අක්කාගේ මුහුණ බලනා ගොඩයා දිහාව රවා බලනා ලොකු සුදු අක්කාගේ නපුරු බැල්ම දුටුකල අම්බලන්ගොඩයාට ඊළඟ ආත්මයේවත් දං , හිඹුටු, අඹ, පේර , නාරං ඔනෑ නෑ නෑ නෑමයි කියලා හිතෙනවාය. වෙනදා ජයන්ති අක්කාගේ පාසල් සේවාවේ පැමිණෙද්දී අනුගමනය කරනා විකල්ප මාර්ග දිහා බලනන්නටත් කලින්ම ලොකු සුදු අක්කා විසින් ප්‍රධාන පාරේම ගොඩයාව ගෙදර ඇදගෙන යනවාය. අම්බලන්ගොඩයා ඇඩ්වෙන්චරස් වැඩ වලට ඉතා කැමැත්තක් දක්වන ප්‍රාණියෙකු වුවත් ලොකු සුදු අක්කා  පුංචි අම්මගේ නිවසට ලඟාවියහැකි කොටම පාරෙන් ගමන් කරනවා විනා විකල්ප මාර්ග භාවිතයට කිසිදු බුරුලක් ලබා දෙන්නේ නැතිය. 

ලොකු සුදු අක්කාගේ ආගමනය අම්බලන්ගොඩයාට වාසියක් ගෙන ආවානම් ඒ එක කාරණයක් අරභයා පමණය. එනම් පාසල් චණ්ඩින්ගෙන් එල්ලවනා මැර තර්ජන හමුවේ ලොකු සුදු අක්කාගේ පාසල් සේවාව පොලිස් ආරක්ෂාව ලැබුනා හා සමාන වීමය. අපා දෙපා සිවුපා ඕනෑම චන්ඩියෙකු ලොකු සුදු අක්කා පසුකර අම්බලන්ගොඩයාට ලංවීම දවල් හීනයක්ම වුයේ ලොකු සුදු අක්කාගේ රැවුම  චන්ඩින්ට සුළුදිය පහවන තරම් භයානක එකක් වූ නිසාය. එවන් වාතාවරණයක් යටතේ සැපයුණු පාසල් සේවාවට කණකොකා හඬන්නට මහා කලක් නොගියා වූ අතර එයටද හේතුවූ පළමු සහ අවසන් හේතුව නම් ජයන්ති අක්කා මෙන්ම ලොකු සුදු අක්කාද රට කාසි සොයා විදේශගත වීමය. 

එතැන් පටන් නැවතත් ගොඩයාගේ දෙමාපියන්ට උද්ගත දැවෙන ප්‍රශ්නය නම් නැවත පාසල් සේවාවක් සොයාගන්නේ කෙසේදෝ කියාය. තාවකාලික විකල්ප ක්‍රමවේද කිහිපයකින් අනතුරුව අම්බලන්ගොඩගේ නිත්‍ය පාසල් සේවා සැපයුම්කරු තනතුර භාරගන්නේ වෙනදාට වඩා මදක් වෙනස් ආරයක් ගත් පුද්ගලයෙක්ය. එවකටත් සීනියර් සිටිසන් පදවිය දරනා වයසේ උන් නව පාසල් සේවා දායකයා අහල පහල නිවෙසක වාසය කරනා වයස හැටක් හැත්තෑවක් පමණ වන ඇසිලින් ආච්චීය. ඇය පාසල් සේවාව සපයන්නේ ඉන්ඩිවිජුවල් ආකාරයෙන් නොවේය. කණ්ඩායම් ක්‍රමයට පාසල් සේවාව සපයනා ඇසිලින් ආච්චීගේ පාසල් සේවාවේ ගමන් කල පුද්ගලයන් සියල්ලෝම අම්බලන්ගොඩයාට වඩා වසරක් වැඩිමහල් සිසුන් වූ අතර නවතම මගියා වූ අම්බලන්ගොඩයා පාසල් සේවාවෙන් ඇරලවෙන අවසන් සේවා ලාභියාය.

ඇසිලින් ආච්චී පාසල් සේවාව පවත්වන්නේ බලය බෙදාහැරීමේ ක්‍රමවේදය අනුගමනය කරමින්ය. ශ්‍රම විභජනය තුලින් ලැබෙනා විශේෂ ප්‍රාගුන්‍ය ගැන සුවිශේෂී අවධානයක් දැක්වූ ඇසිලින් ආච්චී බලය බෙදා හැරීමට කිසි විටෙකත් දෙවරක් සිතුවේ නැතිය. අවශ්‍ය වෙලාවේදී බලය ලැබිය යුත්තාට බලය පවරනා ඇසිලි ආච්චී කිසිදු අනවශ්‍ය කලබලයන් නොමැතිව පාසල් සේවාවට සමගාමීව සේවා ලාභියන්ට තම සේවාව සපයනවාය. අවම ශ්‍රම දායකත්වයක් යටතේ තම පාසල් සේවාව කරගෙන යන ඇසිලින් ආච්චී හයක් හතක් පමණ සාමාජිකයින් ප්‍රමාණයක් ගමන් ගන්නා තම පාසල් සේවාවේ දඟකාරයන් පාලනය කිරීමට අනුගමනය කල සාර්ථක ක්‍රමවේදය නම් සියලු සේවා දායකයින් පෝලිමට සිටවා කෝච්චියක් නිර්මාණය කිරීමය.  පළමුවෙන්ම පාසල් සේවාවෙන් නිවසට ඇරලවන පිළිවෙලේ හිටං දුම්රිය රියදුරු පදවිය ඇසිලින් ආච්චී විසින් එකිනෙකාට ප්‍රධානය කෙරෙනා අතර අම්බලන්ගොඩයා කිසි දිනෙක දුම්රිය රියදුරු පදවිය නොලබන්නේ ගොඩයා දුම්රියෙන් බසිනා අවසාන සාමාජිකයා වන නිසාය. දුම්රිය රියදුරු මහතුන් තම රියදුරු පදවිය එකින් එකා අතින් අතට භාර දී දුම්රියෙන් බැස යනවා වුනත් අම්බලන්ගොඩයා ස්ථිර පත්වීම ලබන්නේ ගාර්ඩ් මහත්තයා යන විරුදාවලිය ලබමින්ය. දේවානන්ද විද්‍යාලයේ සිට පිටත්වන දුම්රියේ පළමු රියදුරු තැන විසින් නලාව හඬවන අතර අම්බලන්ගොඩයා විසින් දුම්රියට පිටත්වන්නට අවසර දෙන්නේ කොළ කොඩිය වෙනුවට ගසකින් කඩාගත් කොළ අත්තක් වැනීමෙන්ය. එතැන් පටන් ඇසිලින් ආච්චිගේ පාසල් සේවා කෝච්චියේ ගාර්ඩ් මහත්තයා නිත්‍ය තනතුරක් වන අතර මගීන් එකා එකා මග දිගට රියදුරු පදවියට උසස්වීම් ලබනවාය.

ඇසිලින් ආච්චිගේ පාසල් සේවා දුම්රිය නතරකරනු ලබන දුම්රිය ස්ථාන අතර ගාලු පාර දුම්රිය ස්ථානය විශේෂ තැනක් ගන්නවාය. ඒ මන්ද යත් ඇසිලින් ආච්චී විසින් හොඳින් ගාලු පාර දෙපස බලා සිග්නල් ලබා දෙනතුරු දුම්රියට ගාලුපාර හරහා ධාවනය සපුරා තහනම් නිසාය. වැරදිලා හෝ සිග්නල් නොමැතිව ගාලු පාර හරහා ධාවනය කිරීම තම රියදුරු පට්ටම නැතිභන්ගස්ඨානවන විනය විරෝදී වරදක් වන බැවින් රියදුරු තුමා ඇසිලින් ආච්චිගෙන් සිග්නල් ලැබෙනා තුරු ඉවසිල්ලෙ බලා සිටිනවාය. ඇසිලින් ආච්චී හත් අට වාරයක් ගාලුපාර දෙපස බලා සිග්නල් ලබාදුන් පසුව පාසල් සේවා දුම්රිය ඇසිලින් ආච්චීද පෙරලාගෙන ගාලු පාර හරහා ධාවනය වනවාය. දුම්රියට සමගාමීව පළමු ගියරයේ ෆුල් පිකප් කරනා ඇසිලින් ආච්චීද ගාලුපාර හරහා දිවයන්නේ පාසල් සේවා දුම්රියේ මගීනුත් තම පන කෙන්දත් දෙකම එක සේ බේරාගතයුතු නිසාය.

එතැන් පටන් පාසල් සේවා දුම්රිය ධාවනය වන්නේ ඇසිලින් ආච්චීගේ විධානයකින් තොරව වන අතර ඇතා පසුපස එන ඇත්ගොව්වා සේ ඇසිලින් ආච්චීද තම පන් මල්ල එල්ලාගෙන පාසල් සේවා දුම්රිය පසුපසින් හෙමින් සීරුවට ගාටනවාය. ඉඳ හිටෙක ඇසිලින් ආච්චීට තේ තිබහක් දැනෙනා අවස්තාවන්හීදී පන් මල්ලේ තිබෙනා තේ වතුර ෆ්ලාස්කුවෙන් තේ උගුරක් බොනතුරු පාසල් සේවා දුම්රිය අතරමග සෙවන ඇති දුම්රිය ස්ථානයක නවතාගෙන සිටිනවාය. ඉඳහිටෙක හමුවනා ඇසිලින් ආච්චීගේ හිත මිතුරු උපාසකම්මලා සමග ආගිය තොරතුරු විමසීමක් වැනි කටයුතු වලදී පාසල් සේවා දුම්රිය ගසක් යට මද වෙලාවක් නවතා තිබෙනා අතර ඇසිලින් ආච්චී නැවත ගමනට ප්‍රවිෂ්ඨ වන අල්ලපනල්ලේ රියදුරු තැන විසින් නලාව හඬවනවාය. ඇසිලින් ආච්චී විසින් පාසල් සේවාවට අමතරව කරගෙන යන්නාවූ සීට්ටු දැමීමේ ගෘහ කර්මාන්තයට අදාළ මාසික සීට්ටු මුදල් නොදුන් සාමාජිකයින්ගේ නිවෙස් වලට හදිසියේ කඩා පැනීමේ කටයුතු වැනි දෑ සඳහාද පාසල් සේවා දුම්රිය මද වෙලාවක් නවතාගෙන සිටින්නට වන අතර ඇසිලින් ආච්චී විසින් තම ගනුදෙනුකරු හමුවී ගනුදෙනුව බේරාගන්නාතුරු පාසල් සේවා දුම්රියේ මගීන් දුම්රියෙන් බැස ළඟ පාත තිබෙනා පේර ගස් , වෙරළු ගස්, ජම්බුගස් වල පලදාවට අනවසරයෙන් වගකියනවාය.

ඇසිලින් ආච්චිගේ පාසල් සේවා දුම්රියෙන් අවසාන මගියාද බැස ගිය පසු ඉතිරිවන්නේ ගාර්ඩ් මහත්තයා නොහොත් අම්බලන්ගොඩයා පමණක් බැවින් එතනින් එහාට ඇසිලින් ආච්චී උන්දෑගේ පාඩුවේද, ගොඩයා උගේ පාඩුවේද ඉතිරි මග ගෙවා දමනවාය. අම්බලන්ගොඩයා පුංචි අම්මාගේ නිවසේ ගේට්ටුව ගාවට ඇරලවන ඇසිලින් ආච්චී තම පාසල් සේවාව අවසන් කොට ආපසු හැරෙන්නේ පහුවදා නැවත හමුවන්නට සී යූ ටුමෝරෝ කියන්නේ නැතිව වුවත් පහුවදා පාසල ඇරෙනා වෙලාවට ඇසිලින් ආච්චිගේ පාසල් සේවා දුම්රියේ ගාර්ඩ් මහත්තයා අම්බලන්ගොඩයා වග ඇසිලින් ආච්චී දන්නවාය. ඇසිලින් ආච්චීද පසුව දා පාසල් ඇරෙනා කණිසමට දෙවානන්ද විද්‍යාලයේ ගේට්ටුව ආසන්නයේ 
තම ප්‍රාණ සමාන පන් මල්ලද එල්ලාගෙන දුම්රිය මගීන් පැමිණෙනතුරු බලාසිටිනා වග අම්බලන්ගොඩයාද සක් සුදක් සේ දන්නවාය.

ඇසිලින් ආච්චීගේ පාසල් සේවා දුම්රියේ ඉදිරිපස මගීන් අම්බලන්ගොඩයාට වඩා වසරක් වැඩිමහලු උදවිය වන නිසා ඔවුන් ධර්මාශෝක විද්‍යාලයේ ඇඩ්මිෂන් ටෙස්ට් සමත්වී ඇසිලින් ආච්චිගේ පාසල් සේවා දුම්රිය හැරයන අතර තවත් වසරක් දුම්රියේ ගාර්ඩ් මහතා තනතුර හොබවන අම්බලන්ගොඩයාද ඇඩ්මිෂන් ටෙස්ට් සමත්වී ඇසිලින් ආච්චිගේ දුම්රියෙන් බැස යනවාය.

එතැන් පටන් ඇසිලින් ආච්චීගේ පාසල් සේවා දුම්රියේ කව්රුන් ගමන් කළාදැයි අම්බලන්ගොඩයාට නිනව්වක් නොමැතිය. කාලයාගේ අවෑමෙන් ඇසිලින් ආච්චීද ලෝක ධර්මතාවයට හිස නමින් ජීවිතයෙන් සමුගන්නා අතර ඇසිලින් ආච්චීගේ අවමංගල උත්සවය වෙනුවෙන් රැයක් නිදි වරන්නට ගිය එකම සේවා ලාභියා අම්බලන්ගොඩයා පමණක් වන්නට ඇතිය. ලොකු සුදු අක්කාද විදේශයකදී සිදුවූ රිය අනතුරකින් අකාලයේ ජීවිතක්ෂයට පත්වූ අතර අම්බලන්ගොඩයාට එම අවමංගල්‍ය උත්සවයට සහභාගී වන්නට සිදු නොවූයේ ගොඩයා ලංකාවෙන් එතෙර රැකියා කරනා නිසාය. 


සිරි ලංකාවේ පුවත් නරඹන අතර පෙන්වනා දියවන්නා මොන්ටිසෝරියේ කාලගෝට්ටි දකිනා අම්බලන්ගොඩයාට මතකයට එන්නේ ලොකු සුදු අක්කාය. ඒ මන්ද යත් ලොකු සුදු අක්කා දියවන්නාවේ මුල් ගුරු තනතුරට පත්කලානම් දියවන්නාව මීක් නොකියන්නට පාලනය කරනවා සිකුරුය. ඊට අමතරව ඇසිලින් ආච්චීද දියවන්නාවේ වැඩ බලන තනතුරකට පත්කලානම් බුල් කෙළිනා කපටිසූට්කරුවන් කුමන හෝ උප්පරවැට්ටියක් යොදා ඔවුනොවුන්ට උචිත රාජකාරීන් සඳහා යොදවා තමුන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ සිටිනවා අනිවාය.