Tuesday, March 27, 2018

වවන්නෝ දිනන්නෝ 3




වවන්නෝ දිනන්නෝ 1 
http://ambalangodakatha.blogspot.com/2018/03/1.html

අලුතෙන් වත්තේ පදිංචියට ආපු ගෝල තැනට වගාවට සාත්තුකරන පිළිවෙල එහෙමත් උපදෙස් දීල එදා පටන් ගොඩයා ඔන්න ආයෙත් රස්සාවට යනවා. රස්සාවට ගිහිල්ලත් ඉතින් ගොඩයාට කල්පනා වෙන්නෙම වගාවේ ව්‍යාපාර කටයුතු. වෙනදට අම්බලන්ගොඩ ස්ටේෂන් එකෙන් උදේ හතරයි හතලිහට නයිට් මේල් එකේ නැගලා  කොළඹ කොටුවටම කන පැලෙන්න දොයිය බබෙක් වෙන ගොඩයා නිදි වගේ ඉඳගෙන ඇස් පියාගෙන කල්පනා කරන්නෙත් ව්‍යාපාර කටයුතු ගැන.  හැන්දෑවට ගෙදර එන්න කෝච්චියේ නැගලත් අම්බලන්ගොඩ ස්ටේෂන් එකේ කෝච්චිය නවත්තනකල්ම කන පැලෙන්න දොයියන ගොඩයා හවසටත් නින්දක් නැතුව කල්පනා කරන්නේ ව්‍යාපාර කටයුතු ගැන. ඊළඟට හවස ගෙදර ආපු ගමන්ම ගෙට ගොඩ වෙන්නෙම නැතුව ගොඩයා කෙලින්ම ගොඩවෙන්නේ වාහනේට. එතන හිටං කෙලින්ම ඉගිලෙන්නේ වගාව බලන්න කියහන්කෝ. එතැන් පටන් ඉතින් වැඩේ සෑහෙන්න සෝචනීයයි. කළුවර වැටිච්චි වෙලාවට පාත්ති දිහාවට යන එක ලේසි පාසු කටයුත්තක් නෙවෙයි. ගෝල තැනගේ උදව්වෙන් කලුවරේම නියර දිගේ පාත්ති දිහාවට යන ගොඩයා හිටවපු මුගුනුවැන්න දඬු දිහා ටෝච් එළියෙන් ආදරණීයව ටික වෙලාවක් බලාන ඉඳලා ආපහු ගෙදර එනකොට ඉතින් මඩ කරියෙක් ගානට මඩ නාලා . ඔය කියන මඩ නාන ගමන යන්න ගොඩයා විශේෂයෙන්ම පිටකොටු ගිහින් බිත්ති ඔරලෝසු මූණක් විතර මුණක් තියන දඩාර සයිස් ටෝච් එකකුත් ගෙනාවා කියමුකෝ. මඩ සොදාගත්කල ගොවියා රජකමටත් සුදුසුයි කියලා කව්දෝ කිව්වට ගොඩයාගේ ගෙදර උදවිය කවදාවත් ගොඩයට රජකම තියා යුවරජකමවත් දුන්නේ නෑ හිටං.

මුගුනුවැන්න අස්වැන්න කොළඹ පටවන්න ක්‍රම සහ විධි ගැනත් ඒ වෙද්දී ගොඩයා කතාබහ කරලා අවසානයි . ගෙදරක පිලිකන්නක මුගුණුවැන්න දණ්ඩක් බිම ඇන්නාම සති දෙක තුනකින් වේලක් කන්න පලා මිටක් නෙලාගන්න පුළුවන්ය කියන තියරියේ හැටියට ඒ තරම් පෝර පස් තියන, හොඳින් දිය සීරාව තියන මඩ ඉඩමක මුගුණුවැන්න පැලවීම  සාමාන්‍ය ඉඩමක වැවෙන වේගය වැඩිකිරීම දෙකවත් වෙන්න ඕන නමුත් වැඩේ ටිකක් අවුල් කියහන්කෝ. ගොඩයා වැඩට ගිහින් එනවා.. නියර දිගේ මඩ නාගෙන කළුවරේ බඩගානවා... මඩ නාගෙන ගෙදර එනවා... පැල හිටවලා දවස් පහක් හයක් ගියා මුගුනුවැන්න දැල්ලක් නෑ කියහකෝ ආසාවට බලන්න. 

ඊළඟ සතියත් ගතවුනා කියමුකෝ.. සති හතරෙන් මුගුණුවැන්න කොළඹ යවන්නත් ඕන නමුත් හිටවපු මුගුණුවැන්න දඬු ටික රතු වෙනවා මිසක් දළුලන පාටක් නෑ. ගෝල තැන උදේටත් හවසටත් ගඟ හිදෙනකම් පාත්ති  වතුරෙන් නෑව්වත් මුගුණුවැන්න පැලවෙන පාටක් නෑ දෙයියෝ..කොහොමින් කොහොම හරි පලවෙනි මුගුණුවැන්න ඕඩර් එක දෙන්න හිතාන හිටපු දවස වෙද්දී මුගුණුවැන්න දල්ලක්වත් තියා හිටවපු දණ්ඩක්වත් හොයාගන්න බැරිවෙන්න මුගුණුවැන්න ගෝනි තුනේම මුගුණුවැන්න දඬු සියල්ලම හිටවපු තැනක්වත් හොයාගන්න බැරිවෙන්න මැරිලා ගියා. ඕනෑම නිසරු පොළොවක දළු දාල හැදෙන මුගුණුවැන්න දඬු මේ සා මුදල් කන්දරාවක් වියදම් කරලා හදපු කළු පාට පෝර පස් තියෙන පොළොවේ පැල නොවී මැරිලා ගියා කිව්වාම කව්ද යකඩෝ විස්වාසෙට ගන්නේ. ඒත් ඇත්තම සත්ත කතාව ඒක තමා. ඉතින් කියහන්කෝ කොහොමද කලින් ගොවි රජා වගේ ගෙදර හිටපු ගොඩයා රෙද්දක් ඇඳගෙන ගෙදර යන්නේ. ගෙදර ඉන්න පණ තියන මිනිස්සු, බල්ලො පූසෝ විතරක් නෙවෙයි පුටු මෙසත් ගොඩයා දිහාවට කැත හිනාව දාන සීන් කොන් එකක් නෙවෙයිද හා. මෙච්චර දවසක් මිලියන් ගණන් වලින් දීපු මිලියන්ස් ටෝක් වල හැටියට ව්‍යාපාරය ලත් තැනම ලොප් වෙච්ච සීන් කෝන් එක කොහොම කටක් ඇරලා කියන්නද. හා ගෙදර ඒ වගේද කියමුකෝ.. කෘෂිකර්මේ නිලධාරී වරුන්ට දීපු පඬි ටෝක් වල හැටියට රෙද්දක් ඇඳන් පාරේ බහින්න විදිහකුත් තියෙන්න විදිහක් නෑනේ. ඒ විතරක් නම් මදැයි.. මුගුනුවන්න කොළඹ පටවන්න ලොරියක් ගන්න කියලා හිටන් බැංකුවේ මැනේජර් එක්කත් කතා බහ කරලා තිබ්බ නිසා බැංකුව පැත්ත පළාතේ යන්නත් බෑ මැනේජර් ලොක්කා වගාවේ ප්‍රෝග්‍රෙස් එක අහනවා දෙන්න උත්තර නෑ. මොකද කියනවනම් බැංකු මැනේජර් තුමාත් මේ වගේ කොමර්ශලි කරන වගාවක් ගැන දැනකියාගන්න මාර උනන්දුයි. ඉතිං කියහන්කෝ රෙදි ඇඳගෙන පාරේ බහින්න පුලුවනිද හැබෑටම. 

වත්තේ පදිංචි ගෝල තැන සහ උන්දෑගේ නෑ සනුහරේ කියන්නේ මේක දේව කෝපයක් හෝ ඇස්වහ කටවහ දෝසයක් කියලා උනාට ගොඩයා ඊළඟට තීරණය කරනවා වෙනත් දෙයක්. ඒ තමා හිටවන්න මුගුණුවැන්න දීපු කොටුවේ එවුන් ඒ දඬු පැළනොවෙන්න මොකක් හරි ජිල්මාර්ට් එකක් කලාදෝ කියන කාරනාව දිහාට තමා ගොඩයාගේ හිත යොමුවෙන්නෙම. ආසන්නයෙන්ම තවත් පලා අක්කරයක් දළු දැමීම එයාලාගේ ව්‍යාපාරයට අභියෝගයක් වේදෝ කියලා හිතිලා මොකක් නමුත් ව්‍යාපාරික දහන්ගැටයක් ගැසුවා වත්දෝ කියන සැකය නිසා ගොඩයා තීරණය කරනවා නැවත වෙනත් තැනකින් මුගුණුවැන්න ලබාගෙන හිටවන්න. ඒ වෙද්දී ගොඩයා හද්ද හිඟන්නා කියහන්කෝ. ඒ වෙද්දී ගොඩයා රස්සාවක් කරන්න අරං අවුරුදු තුනක් හතරක් නිසා ගොඩයා ළඟ මිල මුදල් මහා ගොඩක් තිබ්බෙත් නෑ. ආයෙත් පැල හිටවන්න කුලී, අමුද්‍රව්‍ය , ඇඹුල ( ඇඹුල බන් ඇඹුල... ඒ කිව්වේ ටිකිරි මැණිකේ නියර දිගේ ගොවියන්ට ඇවිත් කන්න ගේන ඇඹුල ) කියන දේවල් වෙනුවෙන් වියදම් කරන්න මොනර කොළ ගොඩයාගාව නෑ. ගිය වාරෙට වඩා අමුද්‍රව්‍ය මිල මේ වතාවේ වැඩි වෙනවා මුගුණුවැන්න මිලදීගන්න අදහස් කරන්නේ කඩයක් කඩයක් ගානේ ගිහින් නිසා. ඔන්න ඒ වගේ හතේ හත වැදිලා නන්නන් වෙලා ඉද්දි තමා ගොඩයාගේ ඩඩාගේ බාල නංගි හෙවත් පොඩි නැන්දා රුපියල් පනස්දාහක් ගෙනල්ල ගොඩයාගේ අතේ ගුලිකරන්නේ .අන්න ලබනවානම් නැන්දලා.. මට මේක ආයේ ඕන නෑ පුතේ කියලාම තමයි පොඩි නැන්දා දාහේ කොළ මිටිය ගොඩයාගේ සාක්කුවේ ඔබන්නේ. එතෙක් දවස් නයා මැරිච්ච අහිකුන්ථකයා වගේ වත්තෙ කොනේ තියන ගල උඩට වෙලා නියපොතු කකා හිටපු ගොඩයා ඔන්න නැවතත් අළු ගසාදාල වැඩේට බහිනවා. හරියට අල්ලපු ඔට්ටු ඔක්කොම පරාද වෙලා හටගෙ හත වැදිලා හිටපු බූරු කාරයෙකුට කුට්ටම අතට ආව වගේ. 

ඔන්න ගොඩයා ඊළඟට එන පුර දවසක් බලලා ආයෙත් නැකතක් එහෙමත් සුද්ද කරගෙන පැල හිටවන්නයි දැන් සූදානම. ඒ දවසට කලින් දා ගොඩයා සහ කොන්ඩයා කඩවල්, පොළවල්, මාර්කට් ගානේ ගිහින් එක තැනින් මිටි දහය පහළොව වගේ සැක නොහිතෙන ආකාරයෙන් මුගුනුවැන්න මිලදී ගන්නවා. අම්බලන්ගොඩ, වතුගෙදර, බටපොල, අලුත්වල, මීටියාගොඩ, හික්කඩුව වගේ තැන් වලින් ඔය කිව්වා ආකාරයෙන් මුගුනුවැන්න එකතු කරගෙන එව්වා හිටවන ප්‍රමාණයේ කෑලි වලට කපලා සකස් කරගන්න ගොඩයා, කොන්ඩයා, ගෝලයා තුන් කට්ටුවට දවසක්ම ගතවෙච්චි. 

ඔන්න පහුවදා නැවතත් වප් මගුල් උත්සවේ වගේ වැඩේ ජයටම පටා....න් ගන්නවා වටෙපිටේ අත්තමට වැඩ කරන කාන්තා පාර්ශවයේ සේවයද නැවතත් ලබාගනිමින්. මුගුනුවන්න දණ්ඩ මඩේ අනින එක විතරක් උනාට ඕක හෙන කොඳු ඇඹරෙන  රස්සාවක්. පැයක් හමාරක් එක දිගට බිමට නැමිලා ඉඳලා කෙලින් වෙද්දී තමයි තේරෙන්නේ කොන්ද හොඳට ඉදිලා බිමට නැමිලා බර වෙලා අතු .... කියල. කොහොමින් කොහොම හරි දෙවැනි වප් මගුල් උත්සවේ ඉවර වෙද්දී ගොඩයාට නැන්දා විසින් දීපු පනස් දාහෙනුත් හතළිහක් විතර සාක්කුවෙන් අතුරුදහන්. පැල හිටවන්න යන වියදම වගේ වියදමක් යනවා හවසට අපේ කට්ටියට රහමෙර සාත්තුවට. කුලියට වැඩ කරපු අයට කුලී බේරලා ගෙදර යැව්වට යාලු මිත්‍රකමට වැඩට එන එවුන් එහෙම ගෙවල්වල යවන්න විදියක් නෑ. වැඩ ඉවර උනාම උන් අහන්නේ එක දෙයයි. ඒ තමයි අපි දැන් නාකියාගෙන කොයි රෙස්ටුරන්ට් එකටද එන්න ඕන මචං කියන ප්‍රශ්නය. ඉතින් දීහන්කෝ එව්වට උත්තර.

ඔන්න ඔය විදිහට දෙවැනි වප්මගුල් උත්සවයෙන් පහුවදා හිටන් ආයෙත් ගොඩයා රස්සාවට ගිහින් එනවා, ගොවිපොළට යනවා.. කළුවරේ මඩ නාගෙන යනවා. ටෝච් එළියෙන් වගාව බලනවා ආයෙත් මඩ නාගෙන එනවා. ඒ වෙද්දී ගොඩයාට   ගෙදර නාන කාමරේ නාන්න තිබ්බ අයිතියත් ටිකෙන් ටික අහිමි වෙලා. ඇයි හත් ඉලව්වේ එහෙම මඩ කරියෙක් ගෙදරකට ගනියිද හැබෑටම. ගොඩයා ඉතින් ඒ වෙද්දී පර්මනටලීම ගෙදර ඉස්සරහ තියෙන ගාර්ඩන් ටැප් එකෙන් නාන තැනට වැටිලා අහවරයි. අනික ඉතින් ගොවියෝ කවද්ද නාන කාමරවල නෑවේ. කුඹුකේ ලිඳෙන් නාගෙන එද්දී ඇඹුල හදලා තියන්න කව්රුත් නැති උනාට වාහනේ හෝදන හෝර්ස් බටෙන් නාගෙන ගොඩයා ගෙට එන්නේ ඒ සැම්පලේටම හෙන ගැම්මෙන් තමා.

ඔය ආකාරයෙන් දවස් ගතවුනා. සුපුරුදු විදිහට ගොඩයා දවස ඉවරකරේ ගෙදර ගාර්ඩන් ටැප් එකෙන් නාලා ඩඩාගෙන් පොඩි එරවුමක් එහෙමත් බලලා තමා. එහෙම ඩඩා පොඩ්ඩක් එරෙව්වේ නැත්තම් ඒ වෙද්දී ගොඩයාට නිකම් කෑවේ නෑ ගානට ඇවිත්. ඒ සියලුම දේවල් සුපුරුදු රූටින් එකටම කෙරීගෙන යද්දී තව එක දේකුත් සුපුරුදු රූටින් එකේම යනවා කියහන්කෝ. ඒ තමයි දෙවැනි වප් මගුල් උත්සවයෙන් හිටවන ලද මුගුනුවන්න දඬු ටික. ඒ වෙද්දී ගොඩයා කෘෂිකර්ම නිලධාරීන් කිහිප දෙනෙකුට තවුසන්ස් ටෝක් දීල ලොකුකම පෙන්වලා තිබ්බ නිසා මුගුණුවැන්න දඬු ආයෙත් අවසන් ගමන් යාම ගැන සහය පතන්න ඉතිරිවෙලා හිටියේ පශුවෛද්‍යතුමා විතරයි. වැවිල්ල ගැන කෙල පැමිණි, ක්ලාස් මේට් සහ බැච් මේට්  වතු සුපිරින්ටෙන්ඩන් දේපොලක් ගොඩයා දන්නවා උනාට එයාල ඉතින් වවනේ තේ රබර් නිසා ගොඩයා උපදෙස් පතන්න ගියෙත් නෑ. උපදෙස් පැතුවා කියලා වැඩක් වෙන ආකාරයකුත් මුගුණුවැන්න දඬු විසින් පෙන්නුම් කලේත් නෑ. ආයෙත් සති දෙකක් වගේ ගොඩයා මඩ නාගෙන ටෝච් එළියෙන් බලා ඉද්දිම ඒ මුගුණුවැන්න දඬු ලෝර්ඩ් එකක් කොළ පාටින් රතු පාටට හැරිලා රතු පාටින් කළු පාටට හැරිලා අවසන් ගමන් ගියා දුකේ බෑ. ඒ කියන්නේ ආයෙත් ගොඩයාගේ රෙදි නෑ.

වත්තේ පදිංචි ගෝලයා අනුමාන කරන ආකාරයෙන් ඉඩමට කව්දෝ හූනියමක් කරලාලු. ඒ නිසාලු මෙහෙම පැල මැරෙන්නේ. හූනියම කපන්න සුපර් වැඩකාරයෙක් ඉන්නවා ඕනෙනම් කොන්සල්ට් කරලා දෙන්නම්ලු. ඒ වෙද්දී  කුජීත + හිඟන්නා + සාටර් ජීවියෙක් වෙලා ඉන්න ගොඩයා වත්තේ හූනියම් කපන්න තියාගත්තොත් තවත් සමාජයෙන් කොන්වීම සහ උසුළු විසුළු වලට ලක්වීම බොහොම ස්භාවික තත්වයක්. ඒ වගේම බෙර ගහගෙන, දුම්මල පුච්චගෙන, කවි කියාගෙන වත්තෙ තොවිල් නටන්න තියාගත්තොත් එක ගොඩයාගේ ඩඩාට ආරංචි වෙන්න ගතවෙන්නේ විනාඩි කිහිපයයි නිසා එදා හිටන් ගොඩයාට, එතෙක් කල් ෂපාන් එකේ නිදාගත්තු කාමරය සහ තුන් වේලට නොමිලේ සැපයුණු කෑම පිඟානත් අහිමි වෙනවා කියන එක බුදු ෂුවර්.ඒ නිසාම ගොඩයා හූනියම් කැපිල්ල අවසාන ඔප්ෂන් එක විදිහට පැත්තකින් තියලා ආයෙත් ගෙදර වත්තේ තියන ගල උඩින් වාඩි වෙලා අහස පොලොව ගැටලන්න කල්පනා කරන අතරේ ඇඟිලි දහයේම නියපොතු ටිකට වැඩේ දෙනව. බලි තොවිල් හූනියම් ගැන ගොඩයා වැඩි විශ්වාසයක් නැතත් වැටිච්ච වලෙන් ගොඩ එන්න සහ ලැජ්ජාවෙන් ගැලවෙන්න කව්රුන් හෝ දෙන ඕනෑම විසඳුමක් එක්වරම බැහැර නොකරන හිඟන තැනට ගොඩයා  වැටිලා අහවරයි. 


ඒ වෙද්දී මුගුණුවැන්න විකුනලා ඉන්ටර්නැෂනල් තත්වයේ  ව්‍යාපාරිකයෙක් වෙන්න මවපු හීන ටික දවසකට පැත්තකින් තියලා ගොඩයා කල්පනා කරන්නේ මුගුණුවන්න පැලකරගන්න ක්‍රමයක්. ඇයි යකඩෝ මේක ජ්‍යාත්‍යන්තර තත්වෙට ගෙනියන්න නම් ඉස්සෙල්ල මේ බඩකඩිත්තුව පැල කරගන්න එපැයි හත්ඉලව්වේ. මේ තරම් සුවිශාල අභියෝගයකට මුහුනදීගන ඉන්න ගොඩයා ඒ වෙද්දී පාරේ තොටේ දන්නා අඳුනන  මනුස්සයෙක් දැක්කත් අහක බලාගෙන යන තැනට පත්වෙලා ඉවරයි. මොකද කියනවනම් ගොඩයා හෙන සයිස් වගාවකට අතගහලා කියන එක ඒ වෙද්දී ඇමෙරිකාවේ වයිට් හවුස් එකටත් ආරංචි වෙන තත්වයේ වාණිජ මෙහෙයුමක් නිසා ගමේ ගොඩේ කොල්ලයි බල්ලයි සේරෝම ගොඩයා දැක්ක ගමන් අහන්නේ වගාවේ සැප දුක තමා. ඉතින් කියහන්කෝ කොහොමද පාරෙ බහින්නේ කියල. 

කට්ටියක් හූනියම් කපන්න යෝජනා කරන අතරේ තවත් කට්ටියක් ආයෙත් පැල හිටවන්න යෝජනා කරනව. ඒ දෙකටම නැතුව හූමිටි තියන එවුන් සෙට් එක හූනියම් කපන්න හරි පැල හිටවන්න හරි කියන දෙකෙන් ඕනෑම එකකට එකෙන්ම ලෑස්තියි. ඒත් වෙච්ච අබග්ගයේ හැටියට ගොඩයාගේ අක්මාව කියන්නෙම ඔය දෙකම කරලා මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නෑ නෑ නෑ කියලමයි. ඒ නිසාම ගොඩයා අතේ ඇඟිලි දහයේම නියපොතු ටිකට වැඩේ දෙන ගමන් පැය විසි හතරේම කල්පනා කරන්නේ ඉහත විසඳුම් දෙකෙන්ම එහාට ගිය විකල්ප විසඳුමක් ගැන. ඔන්න ඔය විදිහට කල්පනා ලොව මල්වනේ සිහින රජදහනේ කියාගෙන ඉන්න අතරතුරේ එක්තරා ඉරිදා උදෑසනක ගොඩයා ඉන්නවා ගෙදර සාලේ පුටුවක් උඩ වාඩියක් දාගෙන ටීවී එක දිහා ඇහැ දාගෙන. ඔන්න ටී වී එකේ යනවා වගා කරන්න ඕන පිළිවෙල , වගාවට තෝරාගන්න භෝග වර්ග , පස හඳුනාගන්නේ කොහොමද වගේ වැදගත් දේවල් ගොඩාක් කියල දෙන කෘෂිකාර්මික වැඩසටහනක්. ගොඩයාට ඔතනින් වැඩියෙන්ම මීටර් වෙන්නේ පස ගැන කියවෙන දේවල් ටික තමා. 

වගාව දෙවතාවක්ම උපන් තැනම ෆේල් වෙච්චි ඊළඟට කරන දේ තීරණය කරගන්න බැරුව නියපොතු කන ගොඩයාට එනවා මසුරන් අදහසක්. ඔන්න ගොඩයා හීන්සීරුවේ සාලෙන් නිදියහන් ගබඩාවට විතැන් වෙන්නේ හෙන ප්ලෑන් එකක් ඔලුවේ ඇඳගෙන. අන්න ඒ කිව්ව සැලසුමට අනුව තමා ගොඩයා ඒ වැඩසටහන ගිය ටීවී චැනල් එකට කෝල් එකක් ගන්නේ ටලිෆෝන් එකට ලේන්සුවක් හෙම තියාගෙන. මොකද ඒ වැඩසටහනට සජීවී දුරකතනයෙන් සම්භන්ධ වෙන්න පුළුවන් එකක් වීම වාසියට හිටියේ ගොඩයාට උනාට සාලේ ගමටම ඇහෙන්න දාලා තියෙන ටීවී එකට ගොඩයා දුරකතනයෙන් කතා කරනවා ගෙදර එකෙකුට ඇහුනොත් ඉතිරිවෙලා තියෙන රෙදි ටිකත් ගැලවෙන සීන් කෝන් එකක් නෙව.  දෙතුන්සිය වතාවක් ඩයල් කරලා කරලා කරලා ගොඩයා යාන්තමට  සමත් වෙන්ව ටීවී එකේ ඉන්න කෘෂි විසේසඥ්ඥ මහතාට තමුන්ගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කරන්න. ටෙලිෆෝන් එකට ලේන්සු දෙක තුනක් තියලා නිසා සාලේ ඉඳන් ටීවී බලන උදවියට අඳුරගන්න බෑ මේ කතා කරන්නේ ඉස්සරහ කාමරේ දොර වහගෙන ඉන්න වසරේ ගොවි රජා කියන එක. කාමරේ දොර තදින් වහලා නිසා කාමරේ ඇතුලෙන් යන සංවාදය එලියට ඇහෙන්ත් නෑ. ඔන්න ඒ මහත්මයාට පින්සිද්දවෙන්න තමයි පහුවදා උදේ එලියවටෙන්න කලින් ආයෙත් මඩ නාගෙන පාත්තියට යන ගොඩයා පාත්තියෙන් පස් සාමලයක් අරගෙන කොල්මබ බලා පිටත් වෙන්නේ. 

පස් සාම්පලේ පරීක්ශාකරගත්තා කියමුකෝ.. රිසාල්ට් එක දුකේ බෑ. පැලයක් පැළවෙන්න පසේ තියෙන්න ඕන අවම  පී එච් අගය පහයි දශම පහක් වගේ නම් ගොඩයාගේ පාත්තියේ පී එච් අගය එකයි දශම පහක්. ඒ කියන්නේ අර එක්ස්කැවේටර් එක ගෙනල්ල ලක්ස ගානක් වියදම් කරපු මලපෙපෙරේතකමට පින්සිද්දවෙන්න යමලෝකෙටම  කුඹුර හාරලා ගොඩ දාගෙන තියෙන්නේ අවුරුදු ගානක් පොලොවට යටවෙලා තිබිච්ච ආම්ලික පසක්ලු. ඒ පසේ මෙලෝ මලදානයක් වවන්න බැරිලු. වවන්න නම් ඩොලමයිට් ගහලා පසේ ආම්ලිකතාවය අඩුකරගන්න ඕනෙලු. ඉතින් කියහන්කෝ මේ දුක් ගැනවිල්ල කියන්නේ කාටද කියල. 

ඊළඟට ඉතින් මහා ඩොලමයිට් සංග්‍රාමය කිව්වොත් නිවැරදියි. අතට හම්බෙන හැම සතේම ටවුමේ පෝර කඩේ මුදලාලිට දෙනවා.. කාර් එකට ඩොලමයිට් පටවනවා... ගොවිපොළේ ගෙනුහුන් බානවා.. වත්තේ ගෝලයා ඒ ඩොලමයිට් පාත්ති වලට ඉහිනවා.. එක තොවිලයයි.. මාස තුනක් විතර තිස්සෙ ඩොලමයිට් ලොරියක් විතර ගහලත් ආයේ පස් සාම්පල් එකක් චෙක් කරාම කියහන්කෝ පී එච් අගය වෙනස් වෙලා තියෙන්නේ දශම බිංදුවයි එකකින් කියල. ඒ ගහපු ඩොලමයිට් කන්දරාවයි කාලයයි එක්ක ගණනය කරලා බැලුවාම මුගුණුවැන්න පැළවෙන්න ඩොලමයිට් නැව් දෙක තුනක් අවුරුදු පහක් විතර ගහන්න වෙන දුක්ඛිත කතාවක්. ඒ දුක් සහිත කතාව සැබෑ කරන්න බැරි නිසාම ගොඩයා මුගුණුවැන්න වැවීම හිතෙන අයින් කරලා දාලා එහෙම දෙයක් උනේ නෑ ගානට ජීවිතේ ඉස්සරහට අරං යනවා. 

යමක් ආයෝජනය කරාම එම ආයෝජනයේ ප්‍රතිපල පසුකාලීනව හෝ ලැබෙනවා කියන කාරනාව සත්‍යයක් කරමින් ඔන්න එක්තරා දවසක ගොඩයාට දුරකථන ඇමතුමක් එනව. ඒ වෙද්දී ගොඩයා ලංකාවේ නෑ. ඒ කියන්නේ මුගුණුවැන්න හිටවන්න ට්‍රයි කරලා අවුරුදු දොළහකට විතර පස්සේ.  මේ කතා කරන්නේ ගොඩයාගේ ඩඩා..

දුරකථන ඇමතුමේ හැටියට ඩඩා කියන්නේ කුරුඳු ඉඩම විකුනන්න යන කතාවක්. කුරුඳු ඉඩම සහ ගොඩයාගේ මුගුණුවැන්න ප්‍රොජෙක්ට් එකේ පාත්ති තියන ඉඩම තියෙන්නේ එක ඔප්පුවට නිසා ගොඩයා දන්නවා කුරුඳු ඉඩම සමගම මුගුණුවැන්න ඉඩමත් ආයේ නොඑන්නම යනවා කියන කාරනාව. ඒත් ඉතින් ගොඩයා බලාපොරොත්තු දල්වගන්නවා නැවතත් ඉඩම සංවර්ධනය කරපු නිසාවත් ඩඩා ගොඩයාගේ පාඩුව පියවාවී නේදෝ කියන කාරනාව. ඇයි යකඩෝ නිකම්ම නිකං ඉඩමක් ගෙවල් හදලා, ලින් කපලා, වැසිකිලි හදලා කොයි සා සංවර්ධනයක් කරා කියලද. 

ඔන්න ගොඩයා ආයෙත් බලාපොරොත්තු දල්වාගෙන ඉන්න අල්ලපනල්ලේ පහුවදා ආයෙත් ඩඩාගෙන් ඇමතුමක්.

හෙලෝ පුතාද..

ඔව් තාත්තේ..

අර ඉඩම විකුණන වැඩේ හරි ප්‍රශ්නයක්නේ වෙලා තියෙන්නේ..

මොකක්ද..

අර මිනිස්සු ගෙයින් යන්න බෑ කියනවනේ..

මොන මිනිස්සුද..

මොන මිනිස්සුද කියන්නේ අර ඔයා ගෙනත් පදිංචි කරපු එවුන්..

නෑ..

නෑ නෙවෙයි ඔව් මනුස්සයෝ.. එයාලට ගෙයින් යන්න නම් ලක්ස පහක් ඉල්ලනවා..

මොකක්.. ලක්ස පහක්..

ඔව් ලක්ස පහක් තමා...

ඔන්න ඔහොමයි ගොඩයාට ආයෙත් කරපු ආයෝජනය පල දුන්නේ. ගහෙන් වැටුන එකාට ගොනා අනිනවා කියලා කිව්වට ගොඩයා ඔව්ව විශ්වාස කරේ නෑ. ඒ උනාට එව්වා ඇත්තටම සිද්දවෙනවා කියල ගොඩයා දැනගත්තේ ඔන්න ඔය කෝල් එකෙන් පස්සේ තමයි. අපේ ඩඩා ඉතින් ගොඩයාගේ ගුණ වර්ණනා ඉවරයක් නෑ. ගොඩයා ලංකාවේ නැති නිසා ඩඩා පොලිසියේ පැමිණිල්ලක් හෙම දාල වැඩේ ඔෆීෂියල් විදිහට විසඳාගත්ත. පොලිසියෙන් මැදිහත් වෙලා  යාන්තම් සන්තං ලක්සෙකට ඩීල් එක ගහල දුන්න. අන්න ඒ ලක්සෙ දුන්නාම තමයි ගොවි රජාගේ ගොවිපොළ බලාකියාගන්න ආපු ගෝල තැන වත්තෙන් පිටමන් වුනේ. ඩඩා ඇතුළු පවුලේ සැම ඉතින් ගොඩයාට කටපුරා ස්තුති කරන්න අමතක කරේ නෑ හොඳේ. එව්වා ඉතින් ප්‍රසිද්දියේ ලියලා රෙදි ගලෝගන්න බෑ.


අන්තිමේ ගොඩයාට ගහපු පදේකුත් නෑ බෙරේ පලු දෙකමත් නෑ. මිනිස්සු ගොන්කම් ඕන තරම් කරලා ඇති, ඒත් ඉතින් අහසේ තියන චන්ද්‍රිකා වලින් බලලා හිත සුවපත් කරගන්න පුළුවන් මරි මෝඩ වැඩ ලෝකේ මහ ගොඩක් තියෙන්න විදිහක් නෑ. ඒ ටිකෙනුත් එකක් මගේ කියල දැනෙද්දී දැනෙන ආඩම්බරේ ලියන්න වචන නෑ ආයුබෝවන්ඩ. සම්පූර්ණ පාඩුව අන්තිම රුපියලටම ගණන් හැදුවොත් ගොඩයාට අද රෑ නින්ද යන්නේ නැති නිසා වවන්නෝ දිනපු හැටි මෙතනින් අවසන්. 


Monday, March 19, 2018

වවන්නෝ දිනන්නෝ 2






වවන්නෝ දිනන්නෝ පලවෙනි කොටස 
http://ambalangodakatha.blogspot.com/2018/03/1.html


දහසක් කරදර බාදක මැද්දෙන් පාත්ති දැමිල්ල ඉවරවුනා කියමුකෝ. ඊළඟට ගොඩයා කල්පනා කරන්නේ දැන් ගොඩයා රස්සාව කරන අල්ලපනල්ලේ කව්ද යකඩෝ මේ සා වගාවකට සාත්තු කරන්නේ සහ කව්ද යකඩෝ එව්වයේ අස්වනු නෙලන්නේ කියන එක. අපේ කොන්ඩයා ඉතිං කොයි අසනීපෙකටත් වෙදකම් කරන්න දක්ෂයා නිසා ගොඩයා අවශ්‍යතාවය කොන්ඩයාට ඉදිරිපත් කාරයින් පස්සේ කොන්ඩයා විසින් ඔන්න එවනවා වයස පනහක් විතර වයස ගිය ගොවිතැනට දක්ෂ මනුස්සයෙක්. ඔය කියන මනුස්සයා වැඩේට දක්ෂ උනාට වත්තේ වැඩ කරන්නේ එක දවසයිලු. වැඩේ ටිකක් බරසාර වැඩි නිසාද කොහේ හවස පඩි ඉල්ලගෙන හෙට එන්නම් කියලා ගෙදර ගිය මනුස්සයා ආයේ රස්සාවට එන්නේ නෑ. නැවතත් ප්‍රශ්නයක් කියහන්කෝ..


දැන් මේ උද්ගතවෙලා තියන බැරෑරුම් ප්‍රශ්නයට උත්තර විදිහට තමයි ඔය කුඹුරු ඉඩමට එහායින් තිබ්බ ඩඩාගේ කුරුඳු ඉඩමේ පොඩි ඉඩක ගේ කෑල්ලක් අටවන්න ගොඩයා කල්පනා කරන්නේ. වැඩකරන්න එන මනුස්සයෙකුට බස් රථයකින් ඇවිත් බැහැලා හැතැක්ම දෙකක් විතර පයින් එන දුරක ඉඩම පිහිටීමත්, අවට ගෙයක් දොරක් තබා මිනිස් පුළුටක්වත් නොමැති වීමත් සේවකයකු සොයාගැනීමෙහි ලා පවතින විශාලම ගැටලුව බවට තේරුම්ගන්නට ගොඩයාට වැඩි අමාරුවක් වෙන්නේ නෑ. කොන්ඩයා කොණ්ඩය කෙලින් කරගෙන ගොඩයාට සේවකයින් හෙව්වත් ඉඩම පිහිටා තිබෙන ඉසව්ව මුකලානක් වීම සහ ප්‍රවාහන පහසුව අවම වීම වැඩේට සෑහෙන්න අවාසියි.


 ඒ වෙද්දී පාත්ති දමිල්ලටයි අනෙකුත් වියදම් වලටයි ගොඩයාගේ ලක්ස දෙකකට පොඩ්ඩක් වැඩි ගානක් වියදම්. වැඩක් කරද්දී ඒක හරියටම කරන්න ඕන නිසා ඔන්න ඊළඟට ගොඩයා පටා...න් ගන්නවා සේවක නිවාසයක්  හදන්න. මොකද ගොඩයගේ ඊළඟ ප්ලෑන් එක නොමිලයේ ඉඳුම් හිටුම් ලබාදීලා පහසුකම් ටිකක් වැඩි කරලා එහෙම සේවකයෙක් හොයාගන්න. පැල හිටවන්න කලියෙන් සේවකයකු සොයාගැනීම වෙනුවෙන් කෙරෙන කටයුත්තක් නිසා ගෙවල් හැදිල්ල සෑහෙන්න හදිසියි. වැඩේ කොච්චර හදිසියිද කියනවනම් ඔය ගේ පොඩ්ඩ හදන්න ගෙපැල කැපිල්ල, වැසිකිලි වල හැරීම, ලිඳක් කැපීම වගේ සියල්ලම කෙරෙන්නේ එක්ස්කැවේටර් වලින්. වැඩේ ඉටිකිරිස් වගේ කෙරීගෙන ගියාට මොනර කොලත් ඒ හා සමානවම වියදම්. වැඩේ කියන්නේ මේ සා විසාල ව්‍යාපෘතියකට තමුන්ගේ එකම පුත්‍රයා අතගහල තියෙද්දී දෙමාපියන් නිකමට ඇවිත් බලන්න වටිනවා නේද මූ ඉඩමේ අඩුම තරමේ කසිප්පු පෙරනවාවත්දෝ  කියල... මොන.. එයයිලාට ඉඩමක් තිබ්බේ නෑ වගේ.. දිගටම බ්‍රහ්මදණ්ඩනය පමණයි.. ගොඩයා උදේ පාන්දරින් අවදිවෙලා ගෙදර තියෙන  කැති, උදලු, පොරෝ, මන්න පිහි, තාච්චි, වීල් බැරෝ ඔක්කොම කාර් කටුවට පටෝගෙන ඉඩමට ආවට ගෙදරින් මෙලෝ ස්පොන්සර්ෂිප් එකක් නෑ කියහන්කෝ. ඒ හා සමානවම ගොඩයාගේ නිවාඩුත් එක සීරුවට ඉවර වෙනවා දිගටම ප්‍රොජෙක්ට් එකට ඉන්වෝල් වෙන නිසා.

නිවාඩු ඉවරවෙනවට සාපේක්ෂව තව දෙජාතියක් ඉවර වෙනවා කියමුකෝ. එක තමයි පොල්වත්ත හංදියේ තැපැල් කන්තෝරුවේ ටෙලිග්‍රෑම් ෆෝම් ටික. ඒ ගැන වැඩි දුර යමක් කියනවනම් ඔය නිවාඩු ගැනිල්ල හරි ආකාරව සිද්දවෙන්න නම් අංශ ප්‍රධානීන්ට දැනුම් දෙන්න වෙනවනේ අද දින නිවාඩු අවශ්‍යයි රාජකාරියට පැමිණෙන්නේ නැත කියන කාරනාව. කොයි රජයේ ආයතනයටම පොදු නීති පද්ධතියට අනුව නිවාඩුවක් ගන්න නම් වැඩ බලන නිලධාරියෙක් නිවාඩු අයදුම් පත්‍රයේ අත්සන් කරන්න ඕන. ඊට පස්සේ ඔය නිවාඩු අයදුම්පත ආයතන ප්‍රාධානියා ලව්වා අනුමත කරවාගන්නත් ඕන. . ඔය නිවාඩු කොලේ අනුමත කරවගන්න ගියාම ලොක්කා නිකම් හරියට මූණ දිහා බලන්නේ උන්දෑ කසාද බඳිද්දී මාමණ්ඩිගෙන් ලබන දෑවැද්දෙන් කොටහක් අපි ඉල්ලන ගානට. ඒ වගේම නිවාඩු ඉල්ලීමට හේතුව විදුහට "පුද්ගලික අවශ්‍යතාවක්" කියලා දැම්මාම ඒ අවශ්‍යතාවය මොකක්ද කියලත්   උන්දැට දැනගන්න ඕන. ඉතින් යකඩෝ නිවාඩුවක් ගන්න ඔය සා වදයක් විඳින්න ඕනෙද මං අහන්නේ. ගොඩයා ඔය වද තිස් දෙකෙන් බේරෙන්න හොයාගත්තු හොඳම විකල්පය තමයි ටෙලිග්‍රෑම්  සෙල්ලම. ඔය සෙල්ලම කොයිතරං නැගල ගියාද කියනවනම් තැපැල් කන්තෝරුවට ගොඩනගිනකොටම ටෙලිග්‍රෑම් ෆෝම් එකක් අතට දෙන්න තරම් තැපැල් කන්තෝරුවේ රාජකාරි කරන මහත්මියටත් වැඩේ පුරුද්දකට ගියා.

ඔයිට සාපේක්ෂව ඉවරවෙන අනික් දේ තමා ගොඩයා අදාළ ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන් කරපු මොනර කොළ ටික. එව්වත් ඉතින් බලාන ඉද්දි ගොඩයාගේ සාක්කුවෙන් පියාඹලා යන්නේ ආයේ එන්නේ නෑ සත්තලනේ කියාගෙනමයි. ඇස්තමේන්තුගත ව්‍යාපෘතිය අතරමගදී වෙනස් කරලා යන්ත්‍ර සූත්‍ර කුලියට ගැනීම වෙනුවෙන් අමතර පිරිවැයක් දරන්න වෙච්චි නිසා එන්න එන්නම ගොඩයා හාන්චිපයිස් වෙන තත්වයක් තමා පෙන්නුම් කරේ. කොහොමහරි පලා හිටවෙනකම් වැඩේ ඇදගෙන යන්න ඕන නිසා ඊළඟට ගොඩයාට සිද්දවෙනවා අත්‍යවශ්‍ය නොවෙන වියදම් කිහිපයක් කපාහරින්න. ඒ ගැන වැඩි දුර කල්පනා කලාම පළමුවෙන්ම ලේසියෙන්ම කපාහරින්න පුළුවන් වෙන්නේ වැඩකරන සේවකයින් වෙනුවෙන් ගොඩයා විසින් සැපයෙන ආහාරවේල් දෙක. වැඩේ පටා.....න් ගනිද්දී උදෑසන නවය වගේ වෙද්දී පොල්ලේ විසින් ත්‍රීරෝධ රථයෙන් ගොවිපොළටම ගෙනල්ල දෙන උදෑසන ආහාරය කපාහරින ගොඩයා ඒ වෙනුවෙන් විකල්ප වැඩපිළිවෙලක් යොදවන්න තීරණය කරනවා. ඒ තමා ගොඩයාගේ ශ්‍රමය සහ ඩඩා මාසෙකට සැරයක් ගෙදරට ගේන කෑම බඩු උපයෝගී කරගෙන උදෑසන ආහාරවේලක් තමා විසින්ම පිළියෙළ කරනලදුව තමා විසින්ම ගොවිපොළ වෙත ප්‍රවාහනය කිරීම. අන්න ඒ කිව්ව කටයුත්ත වෙනුවෙන් උදේ පහට විතර අවදිවෙන ගොඩයා දන්නා කියන ශිල්ප ක්‍රමද, අත්දැකීම් තුලින්ලත් ඥානයද, එහෙන් මෙහෙන් බලාගෙන ඉඳලා ඉගෙනගත්තු දැනුමද උපයෝගී කරගෙන හෙන පරිප්පු හොද්දක් උයාගන්න තීරණය කරනවා.,  ගොඩයා උදේ පාන්දර කුකුලා මල්ලේ දාගෙන අවදිවෙලා කුස්සියේ වලන් පිඟන් පෙරලනකොට ගොඩයාගේ මෑණියන් කලබලෙන් කුස්සියට ඇවිල්ලා සප්‍රයිස් උනාට ඉතින් එව්වා ගොඩයාට ගානක්වත් නෑ. මට උඹලාගේ උදව් ඕන නෑ  නෑ  නෑමයි කියලා හෙන ලොකු තාලෙන් හිටියට පරිප්පු හොද්දට දාන්න ඕන මොනවද? එතකොට  හොදි බාල්දිය ගොවිපොළට ප්‍රවාහනය කිරීමට භාජනයක් හොයලා දීම වගේ පුංචි උදව් ඉතිං මමාගෙන් ඉල්ලගන්නවා උනාට එහෙම වැඩිය සෙකන්ඩ් වෙන උදව් ඉල්ලන්නේ නෑ. හෙට අනිද්දා මල්ටි මිලියනර් කෙනෙක් වෙන්න යන ගොඩයා ඔය පරිප්පුවක් පොල්සම්බෝලයක් තලාගන්න ක්‍රමවේදය ඇහැව්වට ලොකු ලොකු උදව් ඉල්ලලා පීචං වෙන්න ඕන නැහැනේ. උදේ පාන්දරම අවදිවෙලා කුස්සිය දිහාවට එන ගොඩයාගේ ඩඩා, අලුතෙන් කුස්සිය දෙපාර්තමේන්තුවට අනුයුක්තවෙලා ඉන්න එක්සෙකෙටිව් චෙෆ් දැකලා  උදෙපාන්දරම ලේ කෝප කරගෙන කුස්සියෙන් සාලේ දිහාවට ආවාට වැඩිය වේගයෙන් යන්නේ  එව්වා බලාන හිටියාම ගොඩයාගේ හොම්බට දෙකක් අනින්න හිතෙන හින්ද වෙන්න ඇති. සිටුවේෂන් එක උදේ පාන්දරම අර්බුදකාරී තත්වයක් වෙන නිසා ගොඩයා ඩඩා වාඩිවෙලා ඉන්න හාන්සි පුටුව තියෙන ඉස්තෝප්පුව හරහා නොයා කුස්සියේ දොරෙන්ම මාරුවෙලා යන්නේ ගොවිපොළට යන්න හිතාගෙන.  එහෙම කරන්නේ ඉතිං භයට නෙවෙයි ආයුබෝවන්ඩ තාත්ත කෙනෙකුට පුතෙකුගේ තියන ගෞරවෙට.  යන ගමන් හන්දියේ කඩෙන් පාන් ගෙඩි හතර පහකුත් ගන්න ගොඩයා අමතක කරන්නේ නෑ. 

ඔන්න ඔය විදිහට උදෑසන ආහාර වේල වෙනුවෙන් බජට් බ්‍රෙක්ෆස්ට් මෙනු එකක් වෙත යොමුවෙන ගොඩයා ලන්ච් මෙනු එකත් අහලපහල ගෙදරකට භාරදෙන්නේ පොල්ලේ ලන්ච් එක ගේන්නේ චයිනීස් හෝටලේකින් නිසා, එහෙම සෙන්ටිමෙන්ටල් කරලා වියදම් කපාහරියයින් පස්සේ ප්‍රොජෙක්ට් එක යාන්තමට පැල හිටවන තැනට පිළිවෙලක් වෙනවා,

ඊළඟට නැවතත් මතුවෙච්චි ගැටලුව නම් දැන් මේ සා වගාවක් බලාකියාගෙන සාත්තු කරන්නේ කව්ද යකඩෝ කියන එක. ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් නිවාඩු ගත්තට දීර්ඝකාලීනව රැකියාවට නොගිහින් ඉන්න ගොඩයාගේ අදහසක් නෑ. ගොඩයාගේ ප්ලැන් එක මාස හයක් විතර රැකියාවත් ගොවිතැනත් දෙකම කරගෙන යාමත් පලා බිස්නස් එක අන්තර්ජාතික මට්ටමට ආවාම රැකියාවෙන් ඉවත් වීමත් තමා. එතෙක් කාලයක් ඔය කියන කුරුඳු ඉඩමේ කුරුඳු වැඩ කරපු මනුස්සයාගේ වැඩිමහල් පුත්‍ර රත්නය වගාව බලාකියාගෙන ගොඩයා හදපු ගෙදර නේවාසික වෙන්න කැමති වෙන්නේ ඔන්න ඔය අතරෙයි. ඒ තනියම එහෙම නෙවෙයි. එයයි හා හාපුරා කියලා කැන්දාගෙන ආපු බිරින්දෑත් එක්ක. 

ඔන්න දැන් පැල හිටවන දවසත් ලංවුනා කියමුකෝ. ගොඩයා නැකතක් එහෙමත් සුද්දකරගෙන වැඩේට ලෑස්තිවුනා. හිටවන්න ඕන කරන මුගුනුවැන්න ගෝනි හතරක් හංදියේ එළවලු කඩේ මුදලාලිට කියලා ගෙන්නගත්තා කියමුකෝ. 2002 අවුරුද්දේ හිටවන්න ගතපු මුගුනුවන්න ගෝනි දෙකට තොග මිල රුපියල් තුන්දාහක් වගේ උනා කියල තමයි ගොඩයාට මතක.ගතපු මුගුනුවන්න ගෝනි හතර  අඟල් දෙකේ තුනේ කෑලි වලට කපන්නම ගොඩයාටයි ගෝල තැනටයි වරුවකට වඩා කාලයකුත් ගියා. ඔන්න පහුවදා ගොඩයාගේ යාලු මිත්‍ර සෙට් එකයි ගොවිපොළ අහලපහල ඉන්න අත්තමට වැඩ කරන ගෑනු උදවියයි ජයටම මුගුනුවන්න සම්පූර්ණ අක්කර භාගේ පුරාම හිටවනවා වැඩේ සාර්ථක වෙන්න කියලා හිතාගෙන. දැන් වැඩේ සම්පූර්ණයි ඊළඟට තියෙන්නේ වෙලාවට කලාවට වතුර ටිකයි පොර ටිකයි දාලා අස්වැන්න ගෙට ගන්න තමා. ගොඩයා ඒ වෙද්දී හිතන්නේ ගොවි රජෙක් ගානට කිව්වොත් තමා නිවැරදි. ගොවිපොළේ පදිංචි වෙන්න ආපු ගෝල තැනට යන්න එන්න පහසු වෙන්න තැපැල් නයින්ටියක්වත් අරන්දෙන්න ඕන කියන අදහසකුත් ගොඩයාගේ හිතේ තිබ්බ. හොඳ ව්‍යවසායකයෙක් වෙන්නනම් සේවකයින්ට හොඳට සලකන්න ඕන කියන සිතුවිල්ල ඒ කාලේ ඉඳන්ම ගොඩයා ළඟ තිබ්බ උනාට ලංකාවේ බහුතරයක් ආයතන දිහා බැලුවාම දැන්නම්  ගොඩයාට  හිතෙන්නේ සැර පරුෂ දරදඬු ගති නැති  බොස්ලා ළඟ සේවකයින් රැඳීම අඩු අගයක් කියලයි.

පැල හිටවන්න ආපු ගෑනු උදවියට පඩි එහෙමත් බේරලා හැන්දෑකොරේ පිරිමි උදවිය ඇතුළු යාලු හිතමිත්‍රාදීන්ට පොඩි පහේ සුරාමේරය සාත්තුවක් එහෙම දෙන්න ගොඩයා අමතක කරේ නෑ. 


ඔන්න මේ තමා ගොඩයාගේ මුගුණුවැන්න පාත්ති ටික වර්තමානයේ ගූගල් චන්ද්‍රිකාවෙන් පෙන්නන විදිහ. ඔන්න බලහල්ලා මනුස්සයෙක් උනාම කරා කියලා කියන්න දෙයක් කරන්න ඕන කියන්නේ ඕකට තමා. දැන් බලහල්ලකෝ හඳට ගිහින් උනත් හඳේ හාවට ආඩම්බරෙන්  පෙන්නන්න පුළුවන් 


"අන්න බලහන් හාවෝ අර පේන පාත්ති ටික තියෙනවා නේද.. ඒක කෙරෙව්වේ මේ මං උන්නැහේ තමා"


කියල ..


ඔය සුදු පාටින් කොටුකරලා තියෙන්නේ ඉඩම. රතු පාටින් වෙන් කරලා තියෙන්නේ පාත්ති ටික.  බොලා ඔව්ව බලලා ඔන්න නොදන්නා ගොවිතැන් කරන්න ගිහින් නාගෙන ගොඩයාට දොස් දෙවොල් තියන්න ඔට්ටු නෑ..







මුගුණුවැන්න අස්වැන්න නෙලපු හැටි ඊළඟ කොටසින්.. ඒකෙන් තමා වවන්නෝ දිනන්නෝ ඉවර වෙන්නේ සහ ගොඩයා වසරේ ගොවි රජා සම්මානය දිනාගත්තු හැටි කියවෙන්නේ. 





Saturday, March 10, 2018

වවන්නෝ දිනන්නෝ - 1




අම්බලංගොඩයා මේ ලියන්න තනන්නේ ගොඩයාගේ ව්‍යාපාරික දැනුම සහ පරාසය ගැන අම්බලන්ගොඩ කතා කියවන උදවියට සුළු අවබෝධයක් ලබාදෙන්න. මේ  ලියවෙන පොස්ට් එකෙන් පාඨක සැමට ඉගෙනගන්න ගොඩාරියක් දේවල් තියේවි. මොකද ගොඩයා මේ ලියන්නේ  ව්‍යාපාර කෙරුවාවේ මුල් කාලයේ උගත් පාඩම් , ඉල්ලගෙන කාපුවා, ඇදගෙන නාපුවා සේරෝගෙන්ම රන් පදක්කම දිනාගන්නට සමත්වූ ව්‍යාපාර කෙරුවාවක් ගැන. 


ගොඩයා මේ කියන කාලේ රැකියාව කරේ රජයේ සේවයේ. බොහෝ දුරට වර්ෂය කිව්වොත් දෙදහස් දෙක වෙන්න ඕන මතක විදිහට. ඔය රස්සාව කරපු අවුරුදු දොළහ ඇතුලත ගොඩයා උපරිමේටම ට්‍රයි කරේ මොනයම් දහන්ගැටයක් හරි ගහලා රජයේ සේවයෙන් එලියට පැනගෙන කනක් ඇහිලා ගෙදර වෙලා ඉන්න පුළුවන් ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ වෙද්දීත් ගොඩයා වෙළඳ ව්‍යාපාරයක් පටන්ගෙන තිබ්බත් ඒ වෙද්දී ගොඩයාගේ ඩඩා විශ්‍රාම ලබාගත් නිසා එම ව්‍යාපාරය ඩඩාට කරගන්න ඇරලා නැවතත් රජයේ සේවයෙන් එලියට පැනගනීමේ මෙහෙයුම වෙනුවෙන් දෙවැනි සැලසුමකට යාමට සිදුවුනා කියමුකෝ. රජයේ සේවය කිසිම විදිහකට අවතක්සේරු කිරීමක් නැතත් උදේ හතරේ හිටන් රාත්‍රී හතයි තිහ දක්වා ගතවෙන කාලයටත්, පැය අටක රැකියාවක් සඳහා යෑමට සහ ඒමට පැය හතයි විනාඩි පහළොවක්  කැප කිරීමට සිදුවීමත්, දිනකින්  පැය පහලොවකුත් විනාඩි තිහක් කපකිරීමෙදී ලැබෙනා වේතනය පැය අටකට වීමත් හෙන පාඩුවක් විදිහට තමා ගොඩයාගේ මොලය ගණනය කලේ. වෙනයම් විදිහකින් ඔය ගණන හදලා කියනවනම් ගොඩයා උදේ අවදි වෙන වෙලාව උදේ හතර සහ නැවත නිවසට පැමිණෙන වෙලාව හතයි කාල වෙද්දී ගතවෙලා තියන කාලය පැය පහළොවයි විනාඩි පහළොවක්. ඒ කියන්නේ සතියේ දවස් පහ බැගින් සති හතරට පැය  තුන්සිය පහක් රැකියාව වෙනුවෙන් ගොඩයා කැප කරනවා. එත් ඒ පැය තුන්සිය පහෙන් පැය එකසිය හැටකට පමණයි ගොඩයා වෙත වැටුප් ලැබුනේ. ඒ කියන්නේ මාසයකට පැය  එකසිය හතලිස් පහක් එලොවටත් මෙලොවටත් නැතුව නිස්කාරනේ නාස්ති වෙනවා කියන එකනේ. ඉතින් හත්වලාමේ එක අපරාදයක් නෙවෙයිද හා. මනුස්සයෙක් පැය අටක රැකියාවකට යෑමට සහ ඒමට තවත් එවැනිම කාලයක් ගතකිරීමට සිද්දවීම සෑහෙන අලාභයක් විදිහට තමයි ගොඩයා ගණනය කරේ. ඒ වූ ප්‍රධාන හේතුවත්, රැකියාව කරගෙන යෑම වෙනුවෙන්ම රැකියාව කරනවාට අමතරව ඉහල පුටුවල සිටිනාවූ කැකිල්ලේ පරපුරෙන් පැවත එන්නාවූ ලොකු මහත්තරුන්ගේ  (කියාගන්නා සහ සිතාගෙන සිටිනා ) ගොන් මෝල් මොට්ට මරි තීන්දු තීරණ සඳහා අකමැත්තෙන් උනත් හිසනැමීමට සිදුවන හේතුවත් සලකා බැලූ කල රැකියාවෙන් එලියට පැනගැනීමේ අවශ්‍යතාවය හිස ගිනිගත්තා හා සමානවුනා කියමුකෝ. 

ගොඩයා මේ තනන්නේම රජයේ රැකියාවට ආයුබෝවන් කියන්නට උපක්‍රමයක් සොයාගන්නටය යන සිතුවිල්ල ගොඩයාගේ දෙමාපියන් ඉතා හොඳින් දැන සිටි නිසා ගොඩයාගේ ව්‍යාපාර අදහස් කණ අහලකටවත් නොගෙන ඉන්න ගොඩයාගේ ඩඩා සහ මමා විශේෂයෙන් සැලකිලිමත්වුනා. ඒත් ඉතින්  ගොඩයා වනාහි එව්වයින් සැලෙන පුතයෙක් නොවෙන නිසා ඉව වැටෙන සෑම සියලු ව්‍යාපාර අවස්තාවක් සඳහාම හොට දමන්නට තිබෙන උත්සාහය අතෑරියේ නෑ. ඔන්න ඔය වගේ දහසක් ව්‍යාපාර අවස්ථා වලට ඉව අල්ලමින් ඉන්නා අල්ලපනල්ලේ තමයි ගොඩයාට මසුරන් වටිනා ව්‍යාපාරයක් ගැන පොඩි පහේ ඉවක් වැටෙන්නේ. ඒ තමා කෘෂිකර්මාන්තය සඳහා පොඩි පහේ ආයෝජනයක් කරන්න. වැඩේ ටිකක් බරපතල තත්වයේ එකක් උනාට ආරම්භය සාර්ථක උනොත් ගොඩයාගේ ගණන් මිනුම් වලට අනුව මාසෙකට රුපියල් පනස්දාහකට එහා ශුද්ධ ලාභයක් ලබන එක සිම්පල් වැඩක්. ආයෝජනය කලයුතු මුදල මුල් මාස කිහිපයෙන්ම ආවරණය වෙන වැඩක් වැඩේ ගොඩ ගියොත්. ඒ අකාරයෙන් ගණන් හිලවු එහෙමත් හොඳින් හදලා බලලා ප්‍රොජෙක්ට් ප්ලෑන් එකක් එහෙමත් ඔලුවේ හදාගෙන ගොඩයා අදාළ ආයෝජන සැලසුම රාත්‍රී කෑම මේසයට දානව මහ ආණ්ඩුවේ හෙවත් ඩඩාගේ අවසරය සහ ආශිර්වාදය ලබාගැනීම උදෙසා. 

ප්‍රොජෙක්ට් ප්ලෑන් එක ක්‍රියාත්මක කිරීමට මුල්‍යමය ආධාර මහ ආණ්ඩුවෙන් අනවශ්‍ය නමුත් අදාළ ව්‍යාපෘතිය කරගෙන යාමට යෝජිත ඉඩමේ අයිතිය තිබෙන්නේ මහ ආණ්ඩුවට හෙවත් ගොඩයාගේ ඩඩාට නිසා අවසර අවශ්‍ය නැතත් නිකමට හරි දැනුම්දෙන එක දරුවෝ විදිහට යුතුකමක්නේ නේහ්. එව්වට ආශිර්වාද කරන එක වැඩිහිටි පාර්ශවයේ යුතුකම සහ වගකීම උනාට ගොඩයාගේ සැලසුම රැකියාවෙන් දොට්ට පැනගැනීම බව මහ ආණ්ඩුව දන්නා නිසා ව්‍යාපෘති සැලසුම අධීක්ෂණයකින් තොරවම කෙලින්ම කුණු කූඩයට වැටෙනවා කියහන්කෝ. ගොඩයා ඉතින් හිතුනොත් දෙයක් කරනා වර්ගයේ එකා නිසා මහ ආණ්ඩුවේ අනවසරයෙන් සහ දෝෂාරෝපණ මැදින් තමුන්ගේ ව්‍යාපෘතිය කරගෙන යෑමට අත්තනෝමතික තීරණයකට එළඹෙනවා රටක චන්දබලය හිමි වැඩිහිටි පුරවැසියෙකු වශයෙන්. 

ඔය ඉතින් චන්ද බලය කියන එක අවුරුදු දහඅටෙන් හිමිවෙලා රටේ පුරවැසියෝ වශයෙන් ගණන් ගත්තට ලංකාවේ ඔය දහඅටේ විස්සේ එවුන්ට ගෙවල්වල තියන පුරවැසි අයිතිය ඉතින් කුජීතයි කියලා ශ්‍රීලාංකීය තාරුණ්‍යය දන්නවා නිසා ඒ ගැන වැඩි යමක් කියන්ට යන්නේ නෑ. මොකද චන්දයක් වෙලාවට චන්දෙ දාන්න විතරක් එලියට එන ඔය කියන පුරවැසිකම ගොඩයාටත් වයස විසි පහක් තිහක් වෙනකනුත් වත්ත හතරමායිමේදි අර්ධ පුරවැසි බවට පත්වෙලා තමා තිබ්බේ. සමහර වෙලාවල් වලට අර්ධ පුරවැසිභාවයවත් තිබ්බේ නැද්ද මන්ද. වයස හතළිහක් උනත් දැනටත් ගොඩයා ලංකාවට ගිහින් සති තුනක් හිටියොත් තුන්වෙනි සතියේ අග වගේ වෙද්දී ගොඩයාගේ ඩඩා ගොඩයාගේ පුරවැසිකම නැවතත් අර්ධ මට්ටමට ඩවුන් ග්‍රේඩ් කරනවා වගේම අමතන භාෂාව ටිකක් විතර රූඩ් කරනවා කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම. මොකද කියනවනම් ගොඩයා ගෙදරින් එලියට බහින්නේ ඉර බැසීමෙන් පසුව වීමත් නැවත ගෙදර පැමිණෙන්නේ මධ්‍යම රාත්‍රියේ ගස් නැගපු යක්කු ගස්වලින් බහින වෙලාවටත් පසුව වීමත් ඉවසා වැදෑරීමේ උපරිම කාලය සති තුනකින් වගේ අවසන්වෙන නිසා. 

දැන් ගොඩයා මේ කියන කෘෂි ව්‍යාපෘතිය කරන්න තීරණය කළා කිව්වට කෘෂි ව්‍යාපෘතිය මොකක්ද කියන එක ගැන මුකුත්ම කිව්වේ නැහැනේ. ඒ ගැන වැඩි යමක් කියනවනම් ගොඩයා මහා පරිමාණයෙන් මේ අතගහන්නට සූදානම් වෙන්නේ වාණිජ මට්ටමෙන් පලා වවන්න. ඔව් ඔව් හත් ඉලව්වේ පලා කිව්වේ පලා.. ඒ කිව්වේ මුගුනුවන්න, ගොටුකොල, වගේ කෑමට ගන්න පලා වර්ග. ගොඩයා කෙලින්ම ඉලක්ක කරන්නේ මුගුණුවැන්න වගාව වෙත නිසා ඒ වෙනුවෙන් අවශ්‍ය කරන ඉඩමත් ගොඩයාගේ ඩඩා ඊට අවුරුදු දහයකට පහළොවකට වගේ කලින් මිලදීගන තිබේ ගොඩයා අනාගතයේ පලා බිස්නස් එකෙන් කෝටිපතියෙක් වෙන විත්තිය ඉවෙන් වගේ දැනිලද කියල ඒ දවස්වල ගොඩයාට හිතුනත් එක්ක. 

ඔය කියන ඉඩම තිබ්බේ ගොඩයාගේ ඩඩාට අයිති කුරුඳු ඉඩමක් යාබදව. මේ ඉඩම ගඟට මායිම්වෙලා තිබ්බ, ඊට අවුරුදු විසි තිස් ගණනකට කලින් හොඳින් වී වගාකළ කුඹුරු ඉඩමක් උනාට දන්නා කියන කාලෙකින් ඔය කුඹුරේ වී වගාකරලා තිබ්බේ නෑ. ඒකට හේතුව ගඟ දිගේ මුහුදු ජලය ඉහලට පැමිණීමත් කරදිය මිශ්‍ර ජලයේ වී වගාකළ නොහැකි වීමත්ලු. එහෙම තමා ගොඩයා අහලා තියෙන්නේ. අවුරුදු විස්සක් තිහක් පුරන් වෙලා තියන කුඹුරේ තවදුරටත් වී වගාකරන්න බැරි නිසාත්, පලා වැවීමෙන් ඊට වඩා සුවිශාල ආදායමක් ඉපයීමට හැකිවීමත් සලකා බලා ගොඩයා කුඹුරේ පාත්ති සකස් කරන්නට ඔන්න කොන්ත්‍රාත් දුන්නා කියමුකෝ. මොන පාත්තිද හත් ඉලව්වේ ඔන්න ඒ කාලේ කොහෙන්දෝ මී උණක් තියෙන නිසා කුඹුරු වලට බහින්න එපා කියල ගමේ ගොඩේ ආරංචියක් යනවා කියහන්කෝ. ඒ වගේම අවුරුදු විස්සක් තිහක් පුරන්වෙච්චි කුඹුරේ අහස උසට මාන, ඉලුක්, පන් වර්ග වැවිලා තියෙන නිසා කොන්ත්‍රාත් ගත්තු එවුනුත් එක දවසින්ම මී උණ පිටින් දාගෙන බැක් කියාගෙන කුඹුරෙන් ගොඩ ආවා යකඩෝ. ඒ කියන්නේ මිනිස් ශ්‍රමයෙන් පාත්ති දැමීම සුම්ම. ඕන ගොඩයාගේ ඩඩාගේ ෆස්ට් කමෙන්ට් එක වෙච්චි " ඔව්ව හරියන වැඩද" කියන කමෙන්ට් එකට පොඩි ගෝ එකක් ආව. පලවෙනි උත්සාහය වතුරේ. ගමේ ගොඩේ වටේම ආරංචි කරලා බැලුවත් කුඹුරේ පාත්ති දාන්න ඉදිරිපත්වෙන මනුස්සයෙක් බේතකට හොයාගන්න බැරිවෙලා වැඩේ ලත් තැනම ලොප්. එව්වයින් සැලෙයිද ගොඩයා..


වැඩේ ලත් තැනම ලොප් කියලා අපේ රවියට කීවාම ඔන්න රවියා දෙනවා මසුරන් අදහසක්. ඊළඟට ගොඩයා රවියා සමග යනවා ඇල්පිටියෙ විස්කම් මුදලාලි හම්බෙන්න. ඔය කියන විස්කම් මුදලාලි ගාව තිබ්බ යන්ත්‍ර සූත්‍ර අතරේ නැත්තේ හඳට යවන රොකට් එකයි මුහුද යටින් යන සබ්මැරීන් එකයි විතරයි කියලයි ගොඩයාගේ අනුමානය. අනික් ඕනෑම යන්ත්‍රයක් සූත්‍රයක් හෙව්වොත් විස්කම් මුදලාලි ගාව නෑ කියල දෙයක් තිබ්බේ නෑ. ලංකාව මැදින් හාරාගෙන ගිහින් පේරු, ඉක්වදෝර් වලට බටහිරින් දකුණු පැසිෆික් සාගරයෙන් මතුවෙන්න උනත් යන්ත්‍ර සූත්‍ර විස්කම් මුදලාලි ගාව තිබ්බ. ඒ වගේම එව්වා සෙල්ලම්බඩු වගේ හසුරුවන්න පුළුවන් වැඩකාරයොත් විස්කම් මුදලාලි ගාව හිටිය. ඔන්න ගොඩයා සහ රවියා විස්කම් මුදලාලි හම්බෙලා අවශ්‍යතාවය කියා හිටියම මුදලාලි කියපි 

ඕක සිම්පල් වැඩක්නේ ළමයි.. මම දෙන්නං මැෂින් එකකුයි කොල්ලෙකුයි.. අරං ගිහින් වැඩේ කරගන්න..

ප්‍රශ්නේ කියන්නේ මුදලාලි මේක හෙන තඩි මඩ වගුරක්.. මැෂින් එක එරෙයිද..

අයියෝ බයවෙන්න එපා.. පොල් කොට දෙකක් හොයල තියන්නකෝ... කොල්ලා වැඩේ කරයි..

ඔන්න ඔය විදිහට තමයි විස්කම් මුදලාලිගේ එක්ස්කැවේටර් එකයි "රන්සර" කියන ගෝලයයි ගොඩයාගේ ප්‍රොජෙක්ට් එකට යෝජිත කුඹුරට වඩින්නේ..

එක්ස්කැවේටර් එක ගෙනල්ල ඊට ටිකාක් විතර එහායින් තමා ලොරියෙන් බාන්නේ. ඇයිද කියනවනම් ඒ ලොරි රාජයාට කුඹුර ගාවටම යන්න පාරක් නෑ. ඊළඟ භාධකය තමා කුඹුරට මෙහායින් තියෙන ඉඩමේ අයිතිකරු.. එතුමාත් ඉතින් එක්ස්කැවේටර් එක බාපු ගමන්ම තකහනියේ ඇවිත් කියා හිටියා ඒඋන්දැගේ කුරුඳු එහෙම පොඩි උනොත් අලාභය ගෙවන්න වෙනවා කියන එක.

රන්සර සෑහෙන දක්ෂයි යන්තරේ හසුරුවන්න. ගමේ ගොඩේ ඕපා දූප චැනල්ස් ඔක්කොම වටවෙලා කුරුඳු ගස් පොඩිවෙනවා බලන් හිටියට රන්සර සමත් වෙනවා නියර දිගේ ලෑලි දෙකක් දාගෙන එක චෙන් එකක් විතරක් නියරෙන් තියාගෙන අනික් චේන් එක උස්සගෙන පොලොව හාරන අතින් වාරු අරං ගොඩයාගේ කුඹුරට එක්ස්කැවේටර් එක ලෑන්ඩ් කරගන්න. ඔන්න එතැන් පටන් වැඩේ ෆුල් මාවලස්. රන්සරයා පොල්කොට දෙක හරහට දාගෙන කුඹුරේ පාත්ති දානවා හැටට හැටේ. ගමේ ඕපාදූප චැනල්ස් එයාලගේ වගකීම අකුරට ඉෂ්ඨසිද්ධ කරන්න ඕන නිසා කෘෂි නියාමක උන්නැහේටත් පැමිණිල්ලක් යවලා කියහන්කෝ කුඹුරක් ගොඩකරනවා කියල. එතැන් සිට නැවතත් වැඩේට උදැල්ල. 

ගොඩයාට ඊළඟ ප්‍රශ්න වැල නම්, පහත් බිම් එකෙන් අවසර ගත්තද? කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අවසර ගත්තද ? පරිස්ස අධිකාරියට දැන්නුවද ? එතකොට කෘෂිකර්මෙන් උපදෙස්  අරන්ද වැඩේ කරන්නේ වගේ ප්‍රශ්න කෝටියයි. පස්සේ බැලින්නම් ඉඩම් ගොඩකිරීමේ නීතියේ  තියෙන්නේ කුඹුරට පිටින් පස් ගෙනත් දාන්න බෑ කියන කතාවක් නිසා ගොඩයා අදාළ පාර්ශවයන්ට එකෙන්ම කියලා දානව මෙතන ගොඩ කිරීමක් නෑ ලොකු උන්නැහේලා.. එහෙම දෙයක් තියෙනවනම් උසාවි යන්න එන්නම්ය කියන කාරණේ. ඔව්ව ඉතින් ඔහොම සිද්ද වෙනකොට ඔව්ව ගොඩයාගේ ගෙදරටත් ආරංචි වෙනවනේ දෙයියෝ.. ඉතින් නිවසේ පුරවැසිභාවය අහිමිවෙන්න ඔන්න මෙන්න තත්වයක් වගේම මහ ආණ්ඩුවෙන් බ්‍රහ්ම දණ්ඩනය පැනවීමත් සාමාන්‍ය දෙයක්. කිඹුලා කනවා ඉවසන්න පුළුවන් උනාට කොහිල කටු ඇනෙනවා ඉවසන්න බෑ කියන්නැහේ ඔය බ්‍රහ්ම දණ්ඩනය කෑල්ල තමා ගොඩයාට එපාම කරපු කෑල්ල. ඇයි යකෝ ගෙදර ගියාම වැඩිහිටි පාර්ශවේ දවස ගත කරන්නේ මුණු පුම්බගෙන. එහෙමයි කියල ඉතින් පටන්ගත්තු වැඩේ අහවර නොකර නතර කරන්නත් බෑනේ දෙය්යෝ.. ලක්ස ගානක් මාසෙන් දෙකෙන් හොයන්න පුළුවන් ව්‍යාපෘතියට වැඩිහිටියන් වශයෙන් ඔහොමත් අකුල් හෙලන්න හොඳද කියන ස්ථාවරයේ තමා ගොඩයා උන්නේ.

රන්සර එක්ස්කැවේටර් එක පොල්කොට දෙක උඩ තියාගෙන පස් හාරන අත කුඹුර මැදින් යම ලෝකෙටම බස්සලා ගොඩට ගන්න පස් පිළිවෙලට උඩින් ඇතිරෙනකොට ටිකෙන් ටික පාත්ති පොලොව වහගෙන අලුත් ව්‍යාපෘතිය වෙනුවෙන් නැගී හිටිනවා. ගොඩයාත් බලාපොරොත්තු දල්වාගෙන එක්ස්කැවේටර් එකේ පැත්තෙන් වාඩි වෙලා ලක්ස ගානක ඉන්කම් එකක් දාන්න බැංකුවල ඉඩ ඇතිවෙයිද කියල කල්පනා කරනවා. ඒ අතරේ දුකට සැපට දෙකටම ඉන්න ගොඩයාගේ හිතමිත්‍ර පිරිස දවසපුරා ඉඩක් ලද පමණින් ඉඩම වෙත වාර්තා කෙරෙනවා. අවශ්‍ය කරනා කෑම බීම වර්ග ඇනවුම් කල විගසින් පොල්ලේ විසින් ත්‍රිරෝධ රථයෙන් ඉඩමටම ගෙනවිත් දෙන නිසා කාලය අපතේ යාමක් නැති තරම්. හැන්දෑකොරේ ඇඟේ පතේ අමාරුවට බලන් හිටපු එවුන්ට සාත්තුවක් සප්පායමක් සැපයුනත් අර සා විසාල එක්ස්කැවේටර්  රාජයා දවසක් පුරා එහා මෙහා කරපු රන්සර සුරා පාන, දුම් පාන කිසිම දෙයක් නැතුවම තමුන්ගේ වැටුප අරගෙන පාඩුවේ ගෙදර යනවා. රෑ හත අට වෙනකම් කුඹුරේ තපින පිරිස ගෙවල්වලට යද්දී එක්ස්කැවේටර් යන්තරේ විතරක් කුඹුර මැද්දේ කට්ට කළුවරේ තනිවෙනවා.

සතියක් හමාරක් ගතවෙද්දී විස්කම් මුදලාලිගේ ගෝල තැන හෙවත් රන්සර ඉඩමෙන් භාගෙක පාත්ති දැමීම අවසන් කරා කියමුකෝ. වැඩේ පටන්ගත්තේ අක්කරේම පතති දාන බජට් එකක උනත් අතරමැදින්  එක්ස්කැවේටර් එකක් සීන් එකට එන්ටර් කරන්න වෙච්ච නිසා ගොඩයාගේ බජට් අවුල් ගියා දුකේ බෑ.. ඒ නිසා ගොඩයා තීරණය කරනවා පියවර දෙකකින් ව්‍යාපෘතිය සම්පූර්ණ කරන්න. පලවෙනි පියවර වශයෙන් අක්කර භාගෙක වැඩ සම්පූර්ණයෙන්ම නිමවී පැල සිටුවීමත් අපේක්ෂිත ආදායමෙන් ඉතිරි භාගයේ වැඩ මාස හතරකින් පසුව පටන් ගැනීමටත් අපේක්ෂාවෙන් එක්ස්කැවේටර් යන්ත්‍රය නැවත ලොරියක පටවා ආපසු යැවෙනවා නැවත කැඳවන පොරොන්දුව පිට.

සාමාන්‍ය උදැල්ලකින් පාත්ති දැමීමේදී පාත්තියක උස පොලෝ මට්ටමේ හිටං අඩි එකහමාරක් පමණ උනත් එක්ස්කැවේටර් යන්ත්‍රයක ආධාරයෙන් පාත්ති දැමීමේදී ඊට වඩා සෑහෙන්න උසකට පාත්ති දමාගන්නට ගොඩයා සමත් වෙනවා කියමුකෝ. අවුරුද්දකට සැරයක් එන ගංවතුර තත්වයටත් සාර්ථක විසඳුමක් විදිහට එක්ස්කැවේටර් යන්ත්‍රයෙන් උපරිම ගැඹුරට කාණු හාරාගෙන පාත්තිය සකස් කිරීම සිද්දවෙන නිසා පොළොවේ මට්ටමේ හිටං අඩි දහයක් පමණ උසකට පාත්ති සකස් කිරීමට විස්කම් මුදලාලිගේ ගෝල තැන හෙවත් රන්සර සමත් වෙනවා ගොඩයාගේ ඉල්ලීම පිට. ගොඩයාට කොයිතරම් වැඩේට හැපීද කියනවනම් ඇස් පියාගත්තාම පේන්නෙත් ගංවතුරෙන් යායම යටවෙලා තියෙද්දී ගොඩයාගේ මුගුණුවැන්න පාත්ති නිලට නිලේ බබලනවා. ඒ වගේම ගංවතුර කාලෙට ඔරු පාරු වලින් ඇවිත් මුගුණුවැන්න මිටි ගෝනි පිටින් කොළඹ පැටවෙන හැටිත් ගොඩයා ඇස් දෙක වහගෙන උපකල්පනය කරනවා. කොහොමද හීන මැවිල්ල.. නරක නෑ නේහ්.. ගෙදර හැමෝම බ්‍රහ්ම දණ්ඩනය පනවලා තියෙද්දී ගොඩයා රෑට ගෙදර යන්නේ හෙන ගැම්මෙන්. තව නොබෝදිනකින් පාත්ති වලට හිටවෙන මුගුණුවැන්න සති හතරෙන් කොළඹ පැටවෙන නිසා එතැන් පටන් ගොඩයාට අපේක්ෂිත ශුද්ධ ලාභය හැත්තෑ පන්දහස සහ ලක්ෂය අතර මුදලක් නිසා ගෙදර තත්වය පසුව සමනය කරගැනීම උදෙසා තාවකාලිකව නොසලකා හැරෙනවා. මොකද කියනවනම් වගාව සාර්ථක උනාම උදේ හතරට ඇහැරිලා කොළඹ අදින පාපය ගෙවා අවසන් වීමට නියමිතවීම ඔය ඔක්කොටම වඩා වැදගත් නැද්ද හා.. ඒ වගේම ඉර පෙන්නලා හඳ කියලා කිව්වොත් ඔව් සර් ඒ පූර්ණ චන්ද්‍රයා කියන්න වෙන ගොන් මෝල් මරි ඔලමොට්ටල ලොක්කන් යටතේ රැකියාව කිරීමේ පාපය ගෙවා අවසන් කෙරෙනවා.

 ඉඩම් අක්කරයක් වගා කරලා ලැබෙන මුදල් කන්දරාවට අමතරව ලැබෙන බෝනස් වාසිත් එක්ක බැලුවාම ගෙදර වැඩිහිටි පාර්ශවය සතියක් දෙකක් බුම්මගෙන හිටියාම මොකෝ අයියෝ.. ඔය කිව්වට බුම්මගෙන ඉන්න එව්වත් ඒ වෙද්දී ගොඩයාට වැඩිය දැනෙන්නේ පෙනෙන්නේ නෑ. මොකද කියනවනම් ඒ වෙද්දී ඉඩම් අක්කර භාගෙක පාත්ති දැමිලා අහවරයි.. ඒ නිසා ගොඩයා නින්දට වැටුන වෙලේ හිටං ගොඩයා හීනෙන් දැක්කේ ගොඩයාගේ පලා අස්වැන්න ලොරිවල පැටවිලා කොළඹ යන හීන. ඒ වගේම ගොඩයාගේ ව්‍යාපෘතියේ ශ්‍රමය සැපයීම වෙනුවෙනුත් කීපදෙනෙක් අවශ්‍යවෙන නිසා කී දෙනෙකුට රැකියා ලබාදෙනවාද කියනා කාරණය ගනත ගොඩයා නිරන්තරයෙන්ම හිතමින් උන්නා. මේක කියවන බෝලාලාට මේක සෙල්ලමක් වගේ උනාට ඒ වෙද්දී ගොඩයාගේ ඔලුව නවලෝක මුදලාලිටත් වඩා ඇඩ්වාන්ස් තත්වෙක තමයි තිබ්බේ. ඒ කියන්නේ හෙන බිස්නස් මයින්ඩඩ්. කොයිවෙලෙත් ඉන්නේ බිස්නස් ගැනම හිත හිතාමයි. නින්ද යද්දිත් බිස්නස්, ඇහැරෙද්දීත් බිස්නස්, කද්දීත් බිස්නස්, බෝද්දීත් බිස්නස්, කොටින්ම කියනවනම් වැසිකිලියේ ඉන්න ගමනුත් කල්පනා කරන්නේ සේවකයෝ  කීයක් ඕන වෙයිද? පාරේ ප්‍රශ්නේ නිසා පලා ටික ගඟ දිගේ ලොකු බෝට්ටුවකින් පාලම ගාවට ගේන එල ලාභ වෙයිද? එහෙම උනොත් බෝට්ටුවක් රෙන්ට් එකට ගනන්වද සල්ලිවලටම ගන්නවද? පෝර ලොරියක් එකපාරට ගන්න එක ලාභ වෙයිද ?  වෙනම සුපර්මාර්කට් වලට පලා  දාන්න ලස්සන පොඩි වෑන් එකක් අරගෙන ඇඩ් එකක් එහෙම ලස්සනට ගහලා රටපුරා ප්‍රසිද්දියක් ලබාගන්න පුළුවන් වෙයිද? කොළඹ යවන්න පිට ලොරි වලට කුලී ගෙවනවාට වඩා ගොඩයාගේම කියලා ලොරියක් ගත්තොත් හොඳයි නේද, මේ පලා බිස්නස් එක නිසා කොටස් වෙළඳපොල උච්චාවචනය වෙයිද, අන්තර්ජාතිකව ගොඩයාගේ පලා වලට ඉනටර්නැෂනල් මාර්කට් එකක් හදාගන්නේ කොහොමද? වගේ හෙන ඇඩ්වාන්ස් දේවල්. එව්වා ඉතින් ගෙවල් වලින් දන්නවනම් බ්‍රහ්මදණ්ඩනය තාවකාලිකව අක්‍රීය කරලා අත පය හතර කඹේකින් ගැටගහල අරං ගිහින් අංගොඩ ඇඩ්මිට් කරනවා ෂුවර්.

පැල සිටුවීමේ සිට වවන්නෝ දිනපු හැටි ඊළඟ කොටසින්.. දිගටම ලිව්වොත් දිග වැඩියි නෙව.. 



Friday, March 2, 2018

වන් ඇන්ඩ් ඔන්ලි තඩියා..




මාසයක් හමාරක් ගොඩයාට බ්ලොග හතරමායිමේ පස්පාගන්න වෙලාවක් කලාවක් නැතිවුනා කියමුකෝ. සියවෙනි බ්ලොග් පෝස්ටුව ලියලා අහවර වෙලා ගොඩයා පොඩි විවේකයක් ගත්තා කියලා හිතමුකෝ දැනට. වැඩේ කියන්නේ ඉස්සර නම් බ්ලොග් පොස්ට් එකක් නොදා ඉන්නකොට වදයක් වෙන එකෙක් හිටියා නමුත් දැන් ඌ එහෙම කරදර කරන්නේ නැති නිසා ගොඩයා හොඳට අතපය දිගෑරලා බ්ලොග දිහා ඇහැක් ඇරලා බලන්නේ නැතුව සති දෙක තුනක් ඉන්න පුළුවනි. එහෙම කරදරයක් වෙන එකා වෙන මොකාවත් නෙවෙයි අපේ හිතාදර තඩියා තමා. ආයේ මලාට රට එන්නෙම නෑ  නෑ  නෑමයි කියලා දෙවැනි වතාවටත් තඩියා ලංකාවට ගිය නිසා ගොඩයාට දැන් මැසෙන්ජර් හරහා බාහිර බලපෑම් කරන්න කෙනෙක්  නෑ. තඩියා ලංකාවට ගිය එකෙන් ඔන්න ඔහොමයි ගොඩයා වාසිය නෙලාගත්තේ. 

ඒත් බලොග මාසයක් පුරා නොලිය ඉන්න හේතුව වුනේ ඔය එකවත් නෙවෙයි ගොඩයාට තුන්රතගාය වැළඳීම. ඔය කියන අසනීපෙ සන්නිපාත වෙන තත්වයටම හැදිච්ච නිසා ගොඩයාට බ්ලොග දිහෑ ඇහැක් ඇරලා බලන්න උනේ නෑ . තුන්රතගාය ගැන වැඩියමක් කියනවනම් ඔය අසනීපෙ හැදුනේ රථ තුනක් නිසා. පලවෙනි එක ගොඩයාට හදිසියේ රැකියාවේ අවශ්‍යතාවය වෙනුවෙන්  වෑන් රථයක් මිලදී ගැනීමට සිදුවීම. දෙවැනි එක අපේ තඩියාත් ලංකාවට ගොඩබැස්ස දා හිටං රතගාය තදින්ම වැළඳුන නිසා තඩියාගේ රතගාය ෆයිල් එකත් ගොඩයාගේ ගිණුමටම බැරවීම. තුන්වෙනි එක තමා ගොඩයාගේ බාල මස්සිනා පොඩ්ඩටත් හදිසියේම රතගාය වැළදීම නිසා එම රතගාය ෆයිල් එකත් ගොඩයාගේ ගිණුමටම බැරවීම. වැඩේ කෙටියෙන් කියනවනම් පහුගිය ගතවෙච්ච මාසය ගොඩයාගේ ඔලුව ඉන්ටර්නැෂනල් කාර් සේල් එකක් වගේ උනා කියමුකෝ. ගොඩයාගේ අවශ්‍යතාවයට වාහනයක් හොයනා අල්ලපනල්ලේ තඩියා මැසෙන්ජර් හරහා එවන කාර් වෑන් පරීක්ෂාවට ලක් කරලා ගුණාගුණ සහ අපල උපද්‍රව ගැන දත්ත සටහනක් සැපයීම තමා ගොඩයාට තිබ්බ වැදගත්ම රාජකාරිය. පොඩි මස්සිනාගේ රතගාය වෙනුවෙනුත් යෝජනා වෙන රථවල කේන්ද්‍ර සටහන් පරීක්ෂා කර බලා අවසන ඔය කියන රථය මිලට ගැනීමෙන් උඹට හෙට දවසේ කුමනාකාර අලකලංචි වලට මුහුණ දෙන්න වෙනවාද කියන එකත් ඔය අතරේ සිද්දවුනා. 

කොහොමින් කොහොමින් හරි මාසයක් කාර් සෙල් ගානේ බඩ ගාලා ගාලා ගාලා අවසානයේ ගොඩයාගේ අසනීපය සුවවුනේ ගිය සතියේ කියමුකෝ. අපේ තඩියානම් ඉතිං අන්තර්ජාලය පීරලා පීරලා පීරලා මාසයක් පුරා තඩියාගේ බජට් එකට හරියන කාර් වෑන් පිංතූර ගොඩයා වෙත එව්වත් එව්වයින් සියයට අනූ නවයක්ම දුටු සැනින් ගොඩයා කපා හැරියා. ඒ වගේ වෙලාවට තඩියා උන්නේ ටිකක් විතර අප්සැට් එකේ. උගේ හිත සනසන්න කියලා හිටං මලාට ආයේ විකුනන්න බැරි සහ ලංකාව හතරකොනේ තියන අමතරකොටස් කඩවලින් ඇණයක් මුරිච්චියක්වත් හොයාගන්න බැරි වාහනයක් ගනින් කියලා කොහොමද හත් ඉලව්වේ යාලුවෙකුට උපදෙස් දෙන්නේ. අපරාදේ කියන්න බෑ අපේ තඩියාගේ ඇහැ වැඩි වෙලාවකට ඇදිලා ගියේ එක්කෝ මුණ අතපය හතරේ ජාතකයක් හොයාගන්න බැරිවෙන්නම කැරොල් කරත්තයක් වගේ තොරොම්බල් එල්ලපු ඩක්කු වලට, එක්කෝ ලංකාව වටේම හෙව්වත් ඒ ජාතියේ කාර් දහයක්වත් හොයාගන්න බැරි විලෝපික දහිරවාට්ටු වලට, එක්කෝ තඩියාගේ අත්තලා මුත්තලා කිරිකිත්තලා අමාරුවෙන් හම්බුකරලා මුන්ට අයිතිකරලා දුන්නු ඉඩකඩම් ඔක්කොම විකුනලත් තෙල් ගහලා ඉවරයක් කරන්න බැරි, තෙල් බොන්නම උපන් මසිත්තුවලට. ඔය ඔක්කොම අතරේ උප්පැන්න සහතිකේ ඩුප්ලිකේට් වෙච්චි වාහනත් දෙක තුනක්ම ඇප්රුවල් එකට එව්වත් ගොඩයා අන්දන්න තඩියාට බැරිවුනා.  

ගොඩයාගේ රථගාය සුව වෙච්චි හැටි සහ නිදාන කතාව වෙනත් බ්ලොග් පොස්ට් එකකින්ම පසුවට ලියන අදහසින් ඒ විස්තර මේ පොස්ට් එකට ලියවෙන්නේ නෑ. ගොඩයාගේ රථගය සුව වෙලා දවස් දෙක තුනක් යද්දී අපේ තඩියාත් රතගාය සුව කරගත්ත කියමුකෝ. ගොඩයාට ඒ පණිවිඩේ මැසෙන්ජර් හරහා ආවේ හවස හතරහමාරට විතර. ඒ වෙද්දී ගොඩයා උන්නේ වැඩකරමින් උනාට "මේක ගත්ත" කියලා තඩියා විසින් එවන්නට යෙදුන මෝටර් රථයේ පිංතූරය දැක්කාම ගොඩයාට යාන්තම් සැනසුම් සුසුමක් හෙලුනා කියහන්කෝ. ඒත් වැඩේ කියන්නේ ඒ වෙද්දී ලංකාවේ වෙලාව එළිවෙන්න තුනයි නේද යකඩෝ කියල මතක් උනාම ගොඩයාගේ ඔලුවේ මතුවුනේ තඩි ප්‍රශ්නාර්ථයක්. මොකද කියනවනම් තඩියා පදිංචි නගරය අවට එළිවෙන්න තුනට ඇරලා තියන එකම කඩයේ කාර් විකුනන්නේ නෑ කියලා ගොඩයා සහසුද්දෙන්ම දන්නවා. ඒ වෙලාවට ගාලුපාරේ ඉන්න කැඳ විකුණන හාදයා සයිඩ් බිස්නස් එකක් විදිහට කැඳ කරත්තේ අයිනකින් කාර් දෙකතුනක් තියාගෙන විකුනනවා වෙන්නත් බෑ.. ඒ වෙලාවට ඇරලා තියන පැට්‍රොල් ෂෙඩ් එකේ කාර් විකුනනවා වෙන්නත් බෑ .. ඒ ඇරෙන්න ඔය කියන ටවුන් එකේ එළිවෙන්න තුනට ඇරලා තියෙන්නේ පොලිසිය විතරයි, උන් එළිවෙන්න තුනට තඩියාට කාර් එකක් වික්කාවත්දෝ කියලා හිතුනත් ලක්ස ගානක ගනුදෙනුවක් ඒ වගේ යක්කු ගස් යන වෙලාවක කරන්න තඩියා ඉදිරිපත්වුනා වෙන්නත් බෑ.

තඩියා ලංකාවට ගිය දා හිටං ලංකාවේ වේලාවෙන් මල රෑ දෙකට තුනට ඔන්ලයින් ඉන්නවා ගොඩයාට ඉඳහිටෙක දර්ශනය වුනත් ගොඩයා ඒ වගේ වෙලාවට තඩියාට ඇනේ වෙන්න ගියේ නෑ මොකද අවුරුදු දෙකක්දෝ කොහේ රට ඉඳලා ගිය එකානේ නිසා . මහ රෑ තුනට කාර් එකක් ගත්ත කියල කියද්දී ගොඩයාගේ ඔලුවේ මතුවුනේ ප්‍රශ්න දෙකයි. එකක් මූට කාර් පිස්සුව මොලේ උණ ගානටම වැළඳිලා හීනෙනුත් කාර් හොයනවදෝ කියන එක. දෙවැනි එක තමා අවුරුදු දෙකක් පිට රටක කම්මැලිකමේ ගුලිවෙලා ඉඳලා හොර වෙච්ච ඇඟේ පතේ බැරි අමාරුකම් යන්න කියලා හිතාගෙන ගෑනිට හොරෙන් කොටියා මාර්ක් පෙත්තක්වත් ගහලා ඔලුව පිස්සු වැටිලාවත්දෝ කියන එක. බත් කෑවත් බත් පිඟන් එකෙන් සෑහීමකට පත්නොවෙන, පාන් කෑවත් පාන් ගෙඩියකින් දෙකකින් සෑහීමකට පත් නොවෙන අපේ තඩියා අසනීපෙකට පෙත්තක් බිව්වත් එක පෙත්තකින් සෑහීමකට පත් වෙන්නේ නෑ කියන එක ගොඩයා ඇතුළු මිත්‍ර සමාගමටම රහසක් නෙවෙයි. ඔය ඉහත කිව්ව හේතු දෙකෙන් එකක්වත් නැතුව මල රෑ දෙකට තුනට කාර් එකක් ගත්තා කියල මැසේජ් එකක් එවන්න තඩියාට හේතුවක් නෑ.  ඒ නිසා ගොඩයා හනික කර කර හිටපු වැඩේ නවත්තලා හැරෙන තැපෑලෙන් තඩියාට  මැසේජ් එකක් යැව්වා මෙන්න මේ ටික අහල.

"උඹ නිදි විකාරෙන්ද ? මොකක්හරි බෙහෙතක් හේතක්වත් අධි මාත්‍රාවෙන් බීවද ? උඹ මේ රෑ තුනට හීනෙන් ගිහින් ඔය කාර් එක කොහෙන් හරි ඉස්සුවාවත්ද ? "

ඔන්න ඒ ගමන තඩියා හැරෙන තැපෑලෙන් උත්තර එවනවා මෙන්න මෙහෙම කියල.

" නෑ නෑ අද ඕකට ඇඩ්වාන්ස් දුන්න.. හෙට ගේනවා  "

ඒත් ඉතින් ඕක මේ මහ රෑ තුනට ඇහැරගෙන ඕක ගොඩයාට කියන්නේ උඹට නින්ද යන්නේ නැද්ද කියල අහන්න හිතුනත් ඉතින් අවුරුදු දෙකක් පිට රට ඉඳන් ගිය එකානේ කියලා ඒ ප්‍රශ්නේ අහන්නේ නැතුව ගොඩයා ගිලගත්තා. ඒත් ඉතින් කුතුහලය කියන එක හිතේ තියාගෙන ඉන්න බැරි වර්ගයේ නැකතක උපන් ගොඩයා ඔන්න ඔහේ ඕනෑ එකක් කියලා ඒ ප්‍රශ්නෙත් සිංහලෙන්ම අහලා දැම්ම.

" ඉතින් දැන් මේ රෑ තුනට ඇහැරගෙන මක් කොරනවද හත් ඉලව්වේ.. දැන් දිගටම ලංකාවේ ඉන්න කියලා නේද ආවේ.. හෙටත් කියල දවසක් තියන එකේ ආයේ රට යන්නෙත් නැති එකේ ඔහොම නිදිමරණ එකේ තේරුමක් නෑනේ මස්සිනා "

ඔන්න ඒ ගමන අපේ තඩියා සිංහලෙන් අමතලා ගොඩයාට උත්තර එවනවා.. සිංහල ටික කපා හැරලා අන්තරගතය විතරක් ලියනවනම් තඩියාගේ පිළිතුරේ සංක්ෂිප්තය මේකයි..

" නෑ නෑ බන්.. අපේ දුවගේ ඉස්කෝලෙන් අද ට්‍රිප් එකක් යනවා.. මට යන්න උනා ළමයි බලාගන්න "

අපේ තඩියාට වැඩක් බාරදුන්නොත් ඉතින් දශමෙට අකුරට කරන එකා නිසා ළමයි බැලිල්ල ගැන අමුතුවෙන් දෙන්න උපදේශයක් ගොඩයා ළඟ තිබ්බේ නෑ. ඒත් ඉතින් තඩියාට මගහැරුනොත් කියලා හිටං ගොඩයා තඩියාට වැදගත්ම කාරනාව මතක් කරලා සංවාදයට නැවතීමේ තිත තිබ්බ.

" ළමයි බැලිල්ල කෙසේ වෙතත් ටීචර්ලා ටික ඇහැක් වගේ බලාගනිං මයේ පුතේ "

තඩියත් උත්තර එව්වා හැරෙන තැපෑලෙන්ම..

" ආයෙත් අහලා.. බලාගන්නම් ලෙසටම " 

තඩියා ට්‍රිප් එක ගිහින් එනකල්ම ඔය ට්‍රිප් එකේ ගිය ටීචර්ලා , ළමයි සියල්ලෝම මැස්සෙක්වත් වහන්න නොදී බලාගන්න වග ඉතින් ගොඩයාට නම් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඇහැක් වගේ බලාගනිං බුදු මල්ලියේ කියලා අන්තප්පුරයක් බාර දුන්නත් අපේ තඩියා තමුන්ගේ සීලය බින්දගන්නේ නැතුව අන්තප්පුරේ සුපර්වයිසර් වැඩේ අකුරටම  කරනා වර්ගයේ එකෙක් වෙච්චි, තඩියාගේ දුවගේ ඉස්කෝලේ ටීචර්ලා ගතපු තීරනේනම් හරියටම හරි කිව්වොත් තමා නිවැරදි.

ලියන්න ගිය පෝස්ට් එක වෙනත් එකක් උනත් තඩියා ගැනම ලියාගෙන ලියාගෙන ආපු නිසා තඩියා ගැනම ඉතුරු ටිකත් කියලා පෝස්ටුව ලියලා අහවරයක් කරන්නයි ගොඩයා අන්තිමේ තීරණය කරේ. 

තඩියා ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම සත්‍ය ප්‍රේමය වෙනුවෙන් පණ උනත් දෙන්න සූදානම් වෙච්ච ආදරණීය චරිතයක් උනාට එහෙව් එකාටත් කැත වැඩ කරපු එවුන් ඒ කාලේ හිටියා. තඩියාට ඒ කාලේ පෙම් පලහිලව් වලට වියදම් කරන්න බරපැන ගෙදරින් සැපයුනේ නැති නිසා තඩියා ඒ වෙනුවට විකල්ප ආදායම් මාර්ග කරා යොමුවුනා දෙපාරක් හිතන්නේ නැතුව. යහමින් දේපොළ ඉඩකඩම් හිමි සමෘධිමත් පවුලක වැඩිමහලු පිරිමි දරුවා වෙච්චි අපේ තඩියා ඒ කාලේ එකක් යන්න එකක් පැටලුනේ දෙමාපියන්ගෙන් උදැල්ල වැටෙන පෙම් පලහිලව්වලමයි. ඒ නිසා තඩියා යනු ඒ කාලේ පට්ට හිඟන්නා කිව්වොත් තමා නිවැරදි. මොකද මුගේ කල්කිරියාව අවුල් නිසා ගෙදරින් රුපියල් පහක්වත් මුගේ අතට පත්වෙන්න බැරිවෙලාවත් ඉඩ තිබ්බේ නෑ. ඒකට හේතුව තමා අතට හම්බෙන හැම සත දහයම අපේ එකා වියදම් කරේ සත්‍ය ප්‍රේමය වෙනුවෙන් නිසා. රුපියලක් දෙකක් තියා ඇක්සයිස් පොතක්වත් බේරගන්න බැරි තරමටම ප්‍රේමයෙන් ඔදවැඩී හිටිය තඩියා ඒ කාලේ පෙම් හසුන් ලිව්වේ පිටු දෙකේ තුනේ එව්වා නෙවෙයි. කිව්වට විශ්වාස කරයිද මන්ද ඒ කාලේ තඩියා ලිව්වේ ලියුම් නෙවෙයි පිටු හතළිහේ, අසූවේ ඇක්සයිස් පොත් කිව්වොත් තමයි ඇත්තම සත්ත කතාව. ඉතින් කොහෙද දෙයියෝ මුගෙන් පොත්පත් පරෙස්සම් කිරිල්ලක්. 

ගෑල්ලමයගේ උපන්දිනේ එහෙම ළඟ පාත එනකොට අපේ තඩියා හිටියේ හීනෙන් භයවෙච්ච එකෙක් ගානට. මොකද කියනවනම් ගෑල්ලමයාට හිත පිරෙන්න උපන්දින තෑග්ගක් එහෙම දෙන්න තඩියා සතෙන් සතේ එකතු කලේ මාස තුන හතරක් කලින් හිටං. ඒ වගේ කාලෙට ඉඳලා හිටලා රහමෙරක් කට ගාන්න හෙම සෙට් වෙච්ච වෙලාවට සල්ලි මදි පාඩුවක් උනත් අපේ තඩියා නෙවේ මීක් කියලා කට හෙලෙව්වේ. ඒ කාලේ උගේ භාෂාවේ වැඩියම තිබ්බ වචන දෙකයි.. ඒ තමා "හල්ලි නෑ " කියන වචන දෙක.  ගෑල්ලමයට තෑග්ගක් අරං දෙන්න අපේ තඩියා නොකරානම් නොකරේ කුලියට මිනි මරණ එකයි කසිප්පු පෙරන එකයි විතරයි. ඒ ඇරුනාම අතට කීයක් හරි එන ඕනෑම කොන්ත්‍රාත් එකක් තඩියා භාරගත්ත දෙපාරක් හිතන්නේ නැතුව. එකම කොන්දේසිය වුනේ ගෙදරට ආරංචි නොවෙන කොන්දේසිය පමණයි. ඒ තරම් කැපවීමෙන් පෙම්කරපු මනුස්ස පරාන ජීවත්වුනේ මල් නවකතා පොත්වල විතරක් උනාට අපේ තඩියා එහෙව් පෙම්වතුන්ට සජීවී උදාහරණයක් කිව්වොත් තමා හරි. ඒ කාලේ හවස තුන හතර වෙද්දී තඩියා යනු අතුරුදහන් වෙන වර්ගයේ එකෙක් වගේම ඌ අතුරුදහන් උනේ කාගේ හරි බයිසිකල් කටුවක්, මොටෝ සයිකලයක් සමගින්මයි. පෙම්පලහිලව්ව බලන්න යන ගමන තඩියා ගමෙන් පිටත් වුනේ ජේම්ස් බොන්ඩ් ගේමක් ගහගෙනයි. ඒ කොහොමද කියනවනම් තඩියාගේ ෆුටාර් එක බතලයාගේ ගෙදර හෝ වෙනත් මිත්‍රයකුගේ ගෙදර ගේට්ටුව ලඟින් පරෙස්සමට පාර්ක් කරලා අවසන වෙනත් කාගේ හෝ බයිසිකල් කටුවක් කර තියාගෙන වැටවල් අස්සෙන් රිංගගෙන, තාප්ප උඩින් පැනගෙන හෙන කොම්බැට් ගේමක් දීගෙන තමයි තඩියා වෙනත් තැනකින් තාර පාරකට අවතීරණය වෙන්නේ. තඩියාගේ මවුපියන්ගෙන් පැය විසි හතරේම යැපෙන චරපුරුෂ සේවා තඩියා පසුපස සජීවීව පැමිණෙන නිසා තමා තඩියා ඔය කියන ක්‍රමවේදයට පෙම්සුව වින්දේ.


තඩියාගේ පෙම්වතියගේ උපන්දිනය, සත්‍ය ප්‍රේමයේ ඇනිවසරිය එහෙම සමරන්න අතේ සතේ නැතිවුනත් තඩියා නෙවෙයි පසුබැස්සේ. ඒ වගේ කාලෙට තඩියාගේ ගමේ ගෙවල්වල පිළිකනුවල තියෙන පරණ යකඩ ,හිස් බෝතල්, පත්තර එහෙම වැඩි අමාරුවක් නැතුව බෝතල් පත්තර කඩේට ගියේ තඩියාගේ බයිසිකලේ පොල්ල උඩ වාඩිවෙලා. ලක්ස ගණන්වලින් ආදායම් එන ඉඩකඩම් හිමි, රජයේ රැකියා හිමි ධනවත් පවුලක වැඩිමහලු දරුවා මේ සා මී ගොන් ආදරවන්තයෙක් කියල ඒ දෙමවුපියෝ දන්නවනම් මූව මඩමකට බාරදෙනවා ඒ කාලෙම.

ඔන්න ඔය වගේ අහේනි කාලෙක අමතර ආදායමක් හොයාගෙන ගෙදරට තඩි බොරු ලක්ස දෙකතුනක් කියල දවස් දෙකකට කොළඹ ගිය තඩියා ආපහු ආවේ ගමන ටිකක් අමුතු වෙලා. අමුතුයි කිව්වට වෙනදා සාමාන්‍ය මනුස්සයෙක් ඇවිදින විදිහට පයින් ඇවිදපු තඩියා කොළඹ ගිහින් ඇවිත් සතියක් දෙකක් ඇවිද්දේ කකුළුවෙක් වගේ හරහට. හේතුව ඇහුවනම් කව්දෝ අසම්ජ්ජාතියෙක් තඩියා කොළඹ හිටපු දවසක රාත්තිරියේ කැත වැඩක් කරලා කියහන්කෝ. නිදාගන්න වැටුන වෙලාවේ හිටං අහල පහල ගෙවල්වලත් උළු බිමට පහත් වෙන්න ගොරොවන තඩියාගේ සද්දේ ඉවසගෙන ඉන්න බැරුව මල පැනපු එකෙක් සුපර් ග්ලූ වගයක් හොයාගෙන කලුවරේම තඩියාගේ පස්ස පැත්තට වක්කරලා කියහන්කෝ. 

සාමාන්‍ය මනුෂ්‍ය ශරීරයේ නව දොරක් සහිතව කොළඹ ගිය තඩියා අට දොරෙන් ගමට ආවේ ඔන්න ඔහොමයි. වෙන එකෙකුට උනානම් ඔපරේෂන් එකකුත් කරලා සතියක් දෙකක් ඉස්පිරිතාලෙක ඉන්න වෙන වැඩක් උනාට තඩියා වෛද්‍ය උපදෙස් රහිතවම සුපර් ග්ලූ වලින් වැහිච්ච දොර අමාරුවෙන් ඇරගත්තා කියහන්කෝ. කොහොමද කරගත්තේ කියලා ඉතින් තඩියා පහතින් කොමෙන්ට් කරාම උගෙන්ම අහගත්තනම් තමා වටින්නේ. මොකද එව්වා ඉතින් ශිෂ්ඨ භාෂාවෙන් ලියන්න බෑ. 

ලංකාවට ගිය තඩියා මීට මාසෙකට උඩදී ආයෙත් නුවරඑලි යන්න ගිහින් පරිප්පු නැවක් ස්වේච්චාවෙන්ම ඇඟ උඩටම බාගත්තු විස්තරේ පස්සේ පොස්ට් එකකින් ලියන්නම්.