Thursday, November 9, 2023

ප්‍රියන්ත ප්‍රසාද් කතා වස්තුව ..

            


               ප්‍රියන්ත ප්‍රසාද් මට පලමු සහ අවසන් වතාවට හමුවෙන්නෙ 2002 අවුරුද්දෙ වගේ කියලයි මගේ මතකය.. මම මෙතැනදි ප්‍රියන්ත ප්‍රසාද්ගෙ වාසගම ඕනෑකමින්ම නොලියා ඉන්නව.. එහෙම ලියන එක එයාගේ සහ පවුලේ අනන්‍යතාවයට හරි නෑ.. එයා ඒ පලාතේ ප්‍රසිද්ධ මනුස්සයෙක්..


                 ප්‍රියන්ත ප්‍රසාද් මට හඳුන්වලා දෙන්නෙ මගේ එවකට කාර්‍යාල මිත්‍රයෙක්.. උක්ත පුද්ගලයා කරලියට එන්නෙ අපි කට්ටිය හවසට තේ බොන්න සෙට්වෙන ටී ක්ලබ් එකේදි.. ඒකට හේතුව වෙන්නෙ ප්‍රියන්ත ප්‍රසාද් සහ ඔහු සම්භන්ධ විවාහ යෝජනාවක්.. වෙනත් විදිහකට කියනවනම් ඒ වෙද්දි ප්‍රියන්ත ප්‍රසාද්ගෙ බිරිඳ මියගිහින්.. උක්ත වෙච්ච විවාහ යෝජනාව කෙරීලා තිබුනෙ අනුරාධපුර පැත්තෙන්.. මගේ කාර්‍යාල මිත්‍රයා කියපු විදිහට ඒ විවාහ යෝජනාව තනිකරම ප්‍රියන්ත ප්‍රසාද්ගෙ දේපල ටික අයිතිකරගන්න ගෙනාපු විවාහ යෝජනාවක්.. ඒක එහෙම වෙන්න පුලුවන් කියලා අපිටත් සැක හිතෙන්න බොහෝමයක් කරුණු කාරනා යෙදීලා තිබුනා ඒ විවාහ යෝජනාව සම්භන්ධයෙන්.. ප්‍රියන්ත ප්‍රසාද් ඉඩම් හිමියෙක් වීමත්, බිරිඳ මියගිය නිසාවෙන් තනිව ජීවත්වෙන්නෙකු වීමත්, එවකටත් ප්‍රියන්ත ප්‍රසාද්ට සැලකියයුතු ආදායමක් හිමි වෘත්තීයක නියැලීමත්, එවන් විවාහ යෝජනාවක් ලැබීමට ලොකු හේතුවක්.. යෝජිත තරුණිය වයස තිහ සීමාවේ තරුණියක් වීම ලොකු හේතුවක් වෙන්න ඇති ප්‍රියන්ත ප්‍රසාද්ගෙ හිත තදින් මේ කියන විවාහ යෝජනාව පස්සෙන් බැඳෙන්න.. අපේ මිත්‍රයා කියපු විදිහට විවාහය කෙරෙන්න ඔන්න මෙන්න තිබීමත්, ඒත් ප්‍රියන්ත ප්‍රසාද්ගේ යෝජිත වෙන්ඩ බිරිඳ හෝ ඤාතියෙක්, දෙමාපියෙක් එතෙක් ඇහැට නොදැකීමත් ප්‍රියන්ත ප්‍රසාද්ගෙ එකම ඤාතියා වෙච්ච මගේ මිත්‍රයාට සාධාරණ සැකයක් ගෙන එන්නක් වුනා.. හේතුව බොහොම සාධාරණ නිසා ටී ක්ලබ් එකේ හැමෝම කේස් එකට සෑහෙන උනන්දුවෙන් මැදිහත්වුනා...


            අපිට පැවරුන රාජකාරියවුනේ ප්‍රියන්ත ප්‍රසාද්ට දුරකථනයෙන් අමතලා අනුරාධපුර අලුත් ඤාතීන් වේශයෙන් පෙනී හිටලා තොරණේ විස්තරය සහසුද්දෙන් දැනගැනීම.. අපේ මිත්‍රයාටත් ඕනවුනේ තමුන්ගේ ඤාතියා වෙච්ච ප්‍රියන්ත ප්‍රසාද් කාගේ හෝ උගුලකට හසුවෙන එකෙන් වලක්වා ගැනීමේ සුපිරිසිදු අවංක චේතනාවම විතරයි.. එවකට හවසට ටී ක්ලබ් එකට සෙට් වෙන කාර්‍යාල සගයන්ගෙන් ජංගම දුරකථනයක් තිබ්බෙ මට විතරක් නිසා අනුරාධපුර කෝල් එක ගැනුනෙම මගේ ෆෝන් එකෙන්.. දවසක් දෙකක් ප්‍රියන්ත ප්‍රසාද්ට දුරකථනයෙන් අමතද්දි මටම තේරුනා ගොයියාව කවුරු හරි අන්දමින් ඉන්නවා කියන කාරණය.. හැමදාම හවස තුන වෙද්දි මම හෝ අපේ තවත් තෝරාගත්තු එකෙක් ප්‍රියන්ත ප්‍රසාද් එක්ක වෙඩිමේ සංවිධාන කටයුතු ගැන කතා කරා.. කාලයක් යද්දි අපේ කට්ටියටත් ප්‍රියන්ත ප්‍රසාද් ටී ක්ලබ් එකේ සාමාජිකයෙක් ගානටම සෙට් වුනා.. හැබැයි කතා කරන්න නෙවෙයි.. වෙඩිම සිද්දවෙන ආකාරය ගැන වෙන කතාව අහගෙන ඉන්න.. ඒක වෙනම රස සාගරයක්.. ඇන්දීමේ කලාව වෘත්තියක් විදිහට නොකරාට අන්දලා ආතල් එකක් ගන්න එක කලාවක්නම් මටත් ඒකෙ මාස්ටර්ට්ස් ඩිග්‍රි එක කිට්ටුවටම යන්න පුලුවන් තත්ත්වයේ හැකියාවක් ඒ කාලෙ තිබ්බ.. ඒ කාලෙ තිබ්බා කියලා කියන්නෙ දැන් නෑ කියන එක නෙවෙයි.. දැං ඒ වගේ මජර වැඩ කරන්නෙ නෑ ප්‍රතිපත්තියක් විදිහට..😜


            ප්‍රියන්ත ප්‍රසාද්ට නැවත් විවාහ වෙන්න කොයිතරම් උවමනාවක් තිබුනද කියනවනම් අපි දවසගානෙ හවසට කෝල් එක ගන්නකම් ප්‍රියන්ත ප්‍රසාද් බලාගෙනම හිටිය.. ඒ කාලෙ incoming call එකකටත් රුපියල් හයක් කැපෙන කාලෙ.. Out going රුපියල් දොලහයි විනාඩියට.. මට අතින් කාර්ඩ් දාලා හැමදාම ප්‍රියන්ත ප්‍රසාද් සහ ඕඩියන්ස් එක චූන් කරන්න බැරි නිසා ටී ක්ලබ් එකේ කට්ටික කලෙක්ශන් එකක් දාලා ෆෝන් කාර්ඩ් දාලත් වැඩේ ඇදගෙන ගියා.. ප්‍රියන්ත ප්‍රසාද්ගෙන් අපි කොච්චර ආතල් එකක් ගත්තද කියනවනම් ඒක රස සාගරයක්.. කාර්‍යාලයේම ගෑනු චරිතයක් දාලා ප්‍රියන්ත ප්‍රසාද්ව next level එකට අන්දන්න අපි උත්සහ කරත් අපේ ඔෆිස් එකේ හිටපු නෑම්බියෝ එකෙක්වත් වැඩේට කැමති කරගන්න අපිට බැරිවුනා... හවස තුනට සෙට් වෙන ටී ක්ලබ් එක විසිරුනේ අඩුම තරමේ පැය භාගයක්වත් ප්‍රියන්ත ප්‍රසාද්ගෙන් ආතල් එකක් අරගෙන... 


            මගේ මිත්‍රයාගෙ ගෙදරට අහම්බෙන් ගොඩවෙච්ච අවස්ථාවක මට හැබැහින්ම ප්‍රියන්ත ප්‍රසාද්ව දැකගන්නත් ලැබිලා කතාබහ කරන්නත් ලැබීලා තියෙනව.. ටෙලිෆෝන් එකෙන් කතාකරන වෙන්ඩ මනමාලිගෙ මාමා මූ කියලා කටහඬෙන්වත් අඳුරගන්න ප්‍රියන්ත ප්‍රසාද්ට බැරිවුනා කියහංකෝ.. පසු කාලීනව ප්‍රියන්ත ප්‍රසාද් අන්දන වැඩේ නැවතුනේ කොහොමද කියලා මගේ අප්සැට් මෙමරියේ සටහන් වෙලා නැති නිසා අවසානයේ මොකදවුනේ කියලා කියන්න මට මතක නෑ.. ඒත් අපේ කෝල් නිසා ප්‍රියන්ත ප්‍රසාද්ව කසාදයකින් අන්දන්න උත්සහ කරපු සෙට් එක මිසින්වුනා කියලයි මගේ මිත්‍රයා කීවෙ..


            " සුසුම් රස්තියාදුව" අලුතෙන් යන ටෙලියක්.. ඒකෙ ඊයෙ කොටස බලාගෙන ඉද්දි මට අපි කරපු පවුකාර වැඩේ ගැන ලොකු පසුතැවීමක් ඇතිවුනා.. මිනිස්සු තමුන්ගේ පාලුව තනිකම නැතිකරගන්න ගන්න උත්සාහයේදී වයස කියන්නෙ ඉලක්කමක් විතරයි.. වයස කීය වුනත් මිනිස්සු කැමතියි තමුන් ආදරය කරන, තමුන් හිතෙන් බැඳුන තැන්වල ගැවසෙන්න.  එහෙම තැනක් නැත්තම් මිනිස්සු කැමතිම නැවත නැවතත් බැඳීම් ඇතිකරගෙන හරි තමුන් කැමති මනුස්සයෙක් එක්ක ජීවිතේ ගතකරන්න..  ප්‍රියන්ත ප්‍රසාදුත් ඒ වගේම තමුන්ගේ පාළුව තනිකම නැති කරගන්න ගතපු උත්සාහයක් අපි ආතල් එකට ගත්තා නේද කියන පසුතැවීම සදාකල්ම මගේ හිතේ ඉතුරුයි.. අපි කෝල් දීලා ප්‍රියන්ත ප්‍රසාද්ගෙ හිතේ ගොඩගහපු බලාපොරොත්තු එක්ක ඒ මනුස්සයා කොයිතරම්නම් හීනයක් මවන්න ඇතිද.. අපේ කෝල් නැවතුනාම ප්‍රියන්ත ප්‍රසාද් අපි ආයෙම කෝල් කරනකම් කොයිතරම් කාලයක් බලන් ඉන්න ඇතිද.. ඒ ගැන හිතද්දි කරපු පාපකර්මය ගැන හිතේ ඇතිවෙන පශ්චත්තාපය සෑහෙන ලොකු එකක්... 


        කරපු වැඩේ කැතයි තමයි.. ඒත් මේ ඉතුරු චේදජ කියවද්දි මේක කියවන උදවිය මාව ඒ පාපෙන් ටිකක් විතර නිදහස් කරාවි කියලා මම හිතනව.. කරපු පව සාධාරණීකරණය කරන්න මටත් ඉතුරු මේ පහල ලියැවෙන කෑල්ල විතරයි..


                ප්‍රියන්ත ප්‍රසාද්ගෙ වයස එවකට ( 2002 අවුරුද්ද වෙද්දි ) අවුරුදු 83 ක්. දල වශයෙන් ප්‍රියන්ත ප්‍රසාද් ඉපදිලා තියෙන්නෙ 1919 වගේ වෙන්න ඕන.. කොටින්ම කියනවනම් 2002 වෙද්දී ප්‍රියන්ත ප්‍රසාද්ගේ කටේ ඉතුරුවෙලා තිබුනේ හක්කෙ දත් එකක් දෙකක් විතරයි.. වෙනත් විදිහකින් කියනවනම් ප්‍රියන්ත ප්‍රසාද් කියන්නේ හද්දා නාකියෙක්.. එතකොට කොහොමද 1919 ඉපදුන හද්දා නාකියෙකුගෙ නම ප්‍රියන්ත ප්‍රසාද් වෙන්නෙ.. ඒක වෙන්නෙ මෙහෙමයි.. ප්‍රියන්ත ප්‍රසාද්ගෙ ඤාති පුත්‍රයෙක් වෙන මගේ කාර්යාල මිත්‍රයා අහම්බෙන් දකිනවා පත්තරේ තියන නම් වෙනස් කිරීමක්.. කියවලා බැලුවාම අපේ එකාගෙ ඤාති මුත්තා උන්නැහේගෙ නම වෙනස් කරලා ප්‍රියන්ත ප්‍රසාද් + වාසගම  විදිහට.. කේස් එකේ සුලමුල හොයාගෙන යද්දි තමයි අපේ එකා හොයාගන්නෙ අනුරාධපුර කියාගන්න fake පවුලක් කෙල්ලෙක්ව පෙන්නලා මුත්තව අන්දගෙන දේපල ටිකට විදින්න හදනවා කියලා.. ආච්චිත් මැරිලා කාලයක් නිසාත් , තනියම ඉන්න නිසාත් කවූරු හරි අලුගුත්තේරු සෙට් එකකට මුත්තව ටාර්ගට් වෙලා තියෙනව.. ඒකෙ ප්‍රථිපලයක් විදිහට තමයි ඒ ප්ලෑන් එකෙ ගහපු සෙට් එකේ ඉල්ලීම පිට වයස තිහක ගෑනු ලමයෙකුට ගැලපෙන්න මුත්තා තමුන්ගෙ නම වෙනස් කරගන්නේ. අපේ මිත්‍රයා කොනෙන් කොනෙන් හාරගෙන ගිහිල්ලා අගක් මුලක් හොයාගන්න බැරි නිසා තමයි ටී ක්ලබ් එකට වැඩේ බාරදෙන්නෙ... කොහොමෙන් කොහොමහරි බොරු කසාදය බන්දන්න ආපු එවුන් ඇඩ්‍රස් නැතිවෙන්න මාරුවෙලා තිබුනා යෝජිත මනමාලියගේ තව ඤාති මාමලා සෙට් එකක් අනුරාධපුරෙන් කෝල් කරන්න පටන්ගතපු නිසා.. කෙල්ලගෙ ලොකු මාමාට හඬ කවපු මටනම් ඉතිං ප්‍රියන්ත ප්‍රසාද් මුත්තගෙන් ගතපු ආතල් එක ජීවිතේ අන්දලා ගතපු ආතල්වලින් හොඳම එක තමා... ස්කන්දය දිරනවා.. ගතපු ආතල් එක නම් ඉතිං තාමත් හිතේ කොනක බුබුලු දානව😂😂😂😂... 


                  සුසුම් රස්තියාදුව ටෙලිය බැලුවොත් තේරෙයි ආතල් එකේ ජීවත්වෙන්න ඕන කියලා හිතුනාම වයස කියන්නෙ ඉලක්කමක් විතරයි... ජීවිතේ විඳින්න ඕන වෙලාවෙ වින්ඳේ නැති උනාම වයසට යද්දි ආතල් ඇරියස් වෙන්න ඉඩ තියෙනව... ඒත් ජීවිතේ විඳින්න ඕන කියලා හිතුනාම වයස කියන්නේ ඉලක්කමක් විතරයි.. ලංකාවෙ ලෝකයා, සම්මතයි කියලා හදාගත්තු සාම්ප්‍රදායික රාමුව ඇතුලේ වයසට ගිය මිනිස්සුන්ට ඉතුරු මුනුපුරන් බැලිල්ලයි පිනයි දහමයි විතරයි. ඒත් තමුන්ගේ සතුට හොයාගන්න ඕනවුනාම, උත්සාහය සහ උනන්දුව තියෙනවනම් නැවතත් කියනවා, වයස කියන්නෙ ඉලක්කමක් විතරයි..


                ප්‍රියන්ත ප්‍රසාද්නම් මියගිහිං දැං අවුරුදු පහලොවකට ආසන්න ඇති.. මරණ දැන්වීමේ ගැහුවේ උප්පැන්නෙ නමද එහෙම නැත්තං පසුව නීත්‍යානුකූලව වෙනස් කරපු ප්‍රියන්ත ප්‍රසාද් කියන නමද කියලා මම හරියටම දන්නෙ නෑ... අපි නොකඩවා කෝල් දීලා ප්‍රියන්ත ප්‍රසාද්ගෙ ආතල් එක කඩන්නෙ නැතුවම දේපල ටික බේරලා දුන්නු නිසා මට ලොකුවට පවක් සිද්දවෙන එකක් නෑ කියලා හිතෙනවා නෙවෙයි එහෙම හිතලා හිත හදාගන්නව.. වයස අසූ තුනක් වෙලත් ප්‍රියන්ත ප්‍රසාද් තමුන්ගෙ ආතල් එක ගන්න උත්සාහය ඇතෑරියේ නෑ... එහෙම බැලුවාම අදනම් මට ප්‍රියන්ත ප්‍රසාද් කියන්නෙ අවුරුදු අසූ තුනක වීරයෙක්... 


        ආණ්ඩුවේ ඔෆිස් එකක කිසිම ආතල් එකක් නැතුව උදේ අටේ හිටං හතරහමාර වෙනකල් වේලි වේලි ඉන්න සෙට් එකකට නොමිලේම ආතල් එකක් දීපු පින නිසා ප්‍රියන්ත ප්‍රසාද් අනිවාර්යයෙන්ම දිව්‍යලෝකෙක ඉපදෙන්න ඇති... නිකම්ම නෙවෙයි ඉතිං... පොර දිව්‍යාංගනාවන් පිරිවරාගෙන පට්ට ආතල් එකේ ඇති ... ඒත් ඉතින් කව්රුහරි මේ පොස්ට් එක දිව්‍ය ලෝකෙට ඊමේල් කරලා ප්‍රියන්ත ප්‍රසාද්ට පෙන්නුවොත්, ප්‍රියන්ත ප්‍රසාද් හීනෙන් ඇවිත් මට මැද ඇඟිල්ල පෙන්නනවා අනිවා...