Tuesday, November 24, 2015

සමාගේ වික්‍රම





සිදුවීම් කිහිපයක් අලලා ලියන්නට යන මෙම පොස්ටුවේ ප්‍රධාන නළුවා වන්නේ මාගේ අඹ වර්ගයට අයත් මිත්‍රයකු වන සමායි . සමා  යනු වසර ගණනාවක් පුරාම  මාගේ දකුණු අත මෙන් සිටිනා මිත්‍රයකු වන අතර සමාගේ සම්පූර්ණ නම මෙහි නොලියා සිටීමට හේතුව වන්නේ සමා මා සමග උදහස් වෙනු ඇතැයි මට දැනෙන අනියත බියයි. 

මා යනු මාගේ සියලු ඥාති හිතමිත්‍රාදීන්ගේ ජනාදරයට පත් ප්‍රසිද්ද පුද්ගලයකු වන අතර වර්තමානය වනවිට අම්බලන්ගොඩ ප්‍රදේශයේ කිසිදු කෙනෙකු  නොකරන සුවිශේෂී වූ සේවාවක් සිය ව්‍යාපාරය කරගෙන සිටිනා වන් ඇන්ඩ් ඔන්ලි පුද්ගලයෙකි. සමාගේ ව්‍යාපාරය වන්නේ කඩේ යාමයි. නොමිලේ කඩේ යන ජනතාවක් වෙසෙන දිවයිනක මුදලට කඩේ යන සිටිනා එකම එක ජීවියා මාගේ හිතමිත්‍ර සමා පමණය. සමාගේ ව්‍යාපාර ස්භාවය නම් ඕනෑම නගර වැසියෙකුට අවශ්‍ය කරන ඕනෑම භාණ්ඩයක් නිවසටම ගෙනවිත් දීමයි. නිවසට අවශ්‍ය කරන ගෑස් සිලින්ඩරයද, ග්‍රොසරි බඩු භාණ්ඩද, උත්සව අවස්ථා වලදී මදි පාඩුවන ද්‍රව්‍යද ඇතුළු ඕනෑම දෙයක් පාරිභෝගිකයාට අවශ්‍ය කරන වෙළඳසලෙන් ක්ෂණිකවම මිලදීගෙන නිවසට ගෙනවිත් දීම සමාගේ ව්‍යාපාරයයි. නීතියෙන් තහනම් බඩු භාණ්ඩයක් නොවනතාක් මිනී පෙට්ටියක් වුවද නිවසට ගෙනවිත් දීමට සමාගේ ව්‍යාපාරය උදෑසන සිට රාත්‍රී අට පමණ වනතුරු එකලෙස සැදී පැහැදී සිටියි. තමුන් කරන්නාවූ රැකියාවට හෝ ව්‍යාපාරයට අවශ්‍ය විශේෂ ප්‍රාගුන්‍ය නමැති අංගය ඉතාම කෙටි කාලෙකින් ප්‍රගුණ කරනා වූ සමා ඕනෑම රාජකාරියක් නිර්භයව භාරදිය හැකි ඔන්ටයිම් වර්ගයේ මිත්‍රයෙක් වන්නේය.

කොතරම් සුවිශේෂී පුද්ගලයෙකු වුවද ගුරුන්ටත් අකුරු වරදින ධර්මතාවයෙන් සමාටත් ඉඳහිට අකුරු වැරදුන අවස්ථා බොහොමයකි. එහෙත් කොයියම් අවස්ථාවක වුවද මුදලට කෙරෙනාවූ ක්‍රීඩාවක් වෙත්ද එම අවස්තාවෙදීනම් සමාට අකුරුනම් වැරදුනේ නැති. මිතුරන් එකතුවී යන්නා වූ විනෝද ගමනක් වෙත්නම් සමාගේ බෑගයේ කාර්ඩ් කුට්ටම නම් වැරදුනේ නැති. රාත්‍රී නවාතැන් පොලේදී සියල්ලන්ම කාර්ඩ් ක්‍රීඩාවට පොළොඹවා ගන්නා සමා සිය ස්වයං රැකියාව ආරම්භ කරන අතර අවසානයේ සියල්ලන්ගේම විනෝද මුදල් නතරවන අවසන් නවාතැන්පොළ වන්නේ සමාගේ සාක්කුවයි.

තමා සිටිනා වටපිටාව සහ කරනා කටයුත්ත ගැන මනා අවබෝධයක් ඇති සමා ඉඳහිට අමාරුවේ වැටුණු අවස්ථාද බොහෝ වන අතර සමා නිසා මා අමාරුවේ වැටුණු අවස්ථාද අවස්ථාද එකසේම වෙයි. දිනක් මාගේ නිවසේ පැවති ඥාතියෙකුගේ මංගල උත්සවයක් අවස්ථාවේ සමා ඉතාමත් කුජීත ලෙස මා අමාරුවේ දැම්මා මෙන්ම  කම්මුල පුරවා කම්මුල් පාරක් ද ඉලා දුන්නේය. එදින සිද්දිය මෙසේයි..

මාගේ නැන්දනියගේ පුත්‍රයාගේ මංගලෝත්සවය සිදුවන්නට නියමිත දිනයේ නැන්දනියගේ නිවසට යාබද නිවසේ ඥාතියෙකුගේ අවමංගල කටයුත්තක් යෙදීම නිමිත්තෙන් මාගේ ඥාතියාගේ මංගලෝත්සවය මාගේ නිවසේ පැවැත්වීමට කටයුතු සම්පාදනය වුයේ මංගලෝත්සවය අවලංගු කරන්නට අතක් නොමැති නිසාවෙනි. බොහෝ සේ අප්‍රසිද්දියේ පැවති මංගල කටයුත්ත වෙනුවෙන් මාගේ ඥාති සහෝදරයාගේ මිත්‍රයින්ටද උදව්වක් පදව්වක් කරන්නට පැමිණෙන්නට අවස්තාවක් නැති අන්දමින් කටයුතු යෙදී තිබු නිසා දුකටත් සැපටත් සිටින්නාවූ මාගේ හිත මිත්‍ර සනා සහ ප්‍රසන්නයා උදව්වට කැඳවුයේ මා විසිනි. මා නැතත් මාගේ නිවසේ සහ ඥාති පිරිසට සමා සහ ප්‍රසන්නයා පවුලේ එවුන් සේම වූ බැවින් මංගල කටයුතු දින සියලු වැඩ සඳහා ප්‍රසන්නයා සහ සනා විසින් විශාල දායකත්වයක් සපයන ලදී. 

සියල්ල අකුරට සුදානම් කර තිබු අවස්ථාවේ මනාල යුවල රැගෙන ඒමට යාමට මා සූදානම් වීමි..

මා.. මම යනවා එහෙනම් කපල් එක අරන් එන්න.. බොල මෙතන වැඩ ටික බලාගනින් එහෙමනම්..

හරි මචන්.. ගිහින් වරෙන්..

ඉඳා .. මේ සල්ලි වලින් රතිඥ්ඥා පැකට් එකක් ගෙනත් පත්තු කරහන් අපි එද්දී.. ගොඩක් ඕන නැහැ හරිද.. රතිඥ්ඥා දහයක් තිබාම හොඳටෝම ඇති.. මේක බොහොම අප්‍රසිද්දියේ ගන්න මගුලක්නේ බන්.. මම ටවුන් එක හරියෙන් කෝල් එකක් දෙන්නම්.. 

හරි .. උඹ පලයන් එහෙමනම්.. වැඩේ තියෙන්නේ රෑ නිසා අහස ගුන්ඩු ටිකක් එහෙම තිබ්බනම් මරු ..

මොන අහස්ගුන්ඩුද බන්.. රතිඥ්ඥ ටික පත්තුකරන්නෙත් නොකර බැරි නිසා.. මරණයක් වෙලා තියෙද්දී එහෙම හරි නැහැනේ බන්..රතිඥඥා පත්තු කරනවටවත් බාප්පල කැමති නැහැ ..මගේ කටේ බලේට තමයි රතිඥ්ඥ ටිකත් පත්තු කරන්නේ බන්... 

හරි උඹ පලයන්කෝ..අපි වැඩේ කරන්නම් තිතට..

මනාල යුවල රැගෙන ඒමට පිටත්වූ මා ඔවුන්ද රැගෙන නිවසට ආසන්නයට පැමිණෙන විට සැලසුම් කල පරිදි රතිඥ්ඥා පත්තු වීමට පටන් ගත්තේ මංගල උත්සවයක සුපුරුදු උත්සව ශ්‍රීය ගමටම කියාපාමිනි. මනාල යුවල නිවසේ බස්සවා රථය ගාල්කළ මා නිවසට දුව ආවේ වැල නොකැඩී පත්තුවෙන රතිඥ්ඥා ශබ්දයට අමතරව අහස්කුස සිසාරා අහස්ගුන්ඩුද පුපුරන්නට පටන්ගත් විමතියෙනි.

නවතපන් යකෝ ඕක.. තොපි මාව කන්නද හදන්නේ..

කටවහන් හිටු.. අපේ වැඩේ අපි කරන්නම්..

මම තොපිට කිව්වනේ අහස්ගුන්ඩු ගේන්න එපා කියල..

යකෝ මගුලක් කරනකොට ඒක ලස්සනට කරන්න ඕන..

මාගේ වැඳවැටීම නොලසකා හැරි සමා සහ ප්‍රසන්නයා  එක දිගට අහස සිසාරා අහස්ගුන්ඩු පත්තු කරමින් විනෝද වුයේ කලකට පසු නොමිලේ ගිනිකෙළි සමග විනෝදවීමට ලැබුණු අවස්ථාවෙන් උපරීම ප්‍රයෝජන ගනිමිනි. සමාගේ අතේ අහස්ගුන්ඩු මිටියක් වූ අතර ප්‍රසන්නයා අතේ රතිඥ්ඥා පනහක පෙට්ටියක් වීය. මාගේ නිවසට හිමි භූමි භාගයේ කොනක වූ උස් ස්ථානයක සිට අහස්ගුන්ඩු යවමින් සිටි සමා සිහිනයෙන් වත් නොසිතු ලෙසින් අත වැරදී අහස්ගුන්ඩුවක් මංගල පිරිස දෙබෑ කරමින් නිවස තුලට ගොස් පුපුරා ගියේ ඉතාමත් අනපේක්ෂිත ලෙසයි. මංගල පිරිසද නොසන්සුන් ආකාරයෙන් හිස් ලූ..ලූ.. අත දුවන්නට වූ අතර රතිඥ්ඥා ද වැලට පත්තු වෙමින් තිබුණි.

මොකද්ද යකෝ කරේ.. 

හරි බන් හිතල කරේ නැහැනේ.. මේක පොඩ්ඩක් අල්ලගනින්.. 

මාද ගොන් වස්සකු සේ සමා අත  තිබු අහස්ගුන්ඩු මිටිය සුරතට ගත්තේ අහස්ගුන්ඩු යැවීම නවත්වන අභිලාෂයෙනි..

කව්ද බූරුවෝ ගේ ඇතුලට අහස්ගුන්ඩු එව්වේ.. තොට මම කිව්වනේ ඕවා ගේන්න එපා කියල..

මාගේ බාප්පා යක්සාරූඩයෙන් නිවස තුලින් මතු වූයේ එසේ මා අමතමිනි.. අඩියට දෙකට මා අසලට පැමිණි මාගේ ආදරණීය බාප්පා මා අසලට ලංවුයේම අහසේ පායා තිබුණු තරු පොකුරු පිටින් ඔලුව වටේ කරකැවෙන ප්‍රමාණයේ කන පුරවා පාරක් මාගේ වම් කනට ප්‍රධානය කරමිනි..

චටාස්..

මම කිව්වා නේද බොට රතිඥ්ඥ ගෙන්න එපා කියල.. තෝ රතිඥ්ඥ මදිවට අහස්ගුන්ඩුත් ගෙනාවද බූරුවෝ..

මම නෙවෙයි බාප්පේ.. මෙන්න මුන්  .. මම මගින් මගට එපා කිව්වා.. 

කව්ද දැන් උඹ කියන්නේ මුන් කියල..

කණ පුරවා වැදුණු කනේ පාරෙන් අන්දමන්ද වී සිටි මා සිහි එලවා ගත්තේ තත්පර කිහිපයකට පසුවයි..

උඹ එපා කිව්වා වැඩේ කරා මදිවට දැන් බොරුත් කියන්න එනවා මෙතන.. උඹේ අතේ අහස්ගුන්ඩු මිටිය තියාගෙන උඹ දැන් කියන්නේ උඹ නෙවෙයි අහස්ගුන්ඩුව ගේ ඇතුලට එව්වේ..

මම එකපාරක් කිව්වනේ බාප්පේ.. මම නෙවෙයි.. මෙන්න මුන් දෙන්න..

මුං .. මොක්කුද බොල මුං කියන්නේ..

නොකළ වරදකට තවදුරටත් චෝදනා විඳීම නොහොඹිනා බැවින් සමා සහ ප්‍රසන්නයා  අමු අමුවේ පාවාදීමට පිටුපස බැලූ මා හට වැටහීගියේ මා හැරුණකොට මා අවට කිසිවෙකුත් නොමැති බවයි. මා අසල වූ ගල් පොත්ත උඩ රතිඥ්ඥා පෙට්ටියද වූ අතර ගලෙහි හිටවන ලද පත්තුවෙන ඉටිපන්දම පමණක් මාගේ තනිකමට වීය.. ඒ මදිවාට අහස්ගුන්ඩු මිටියක්ද මා අතය.. 

නිවස තුල පුපුරා ගිය අහසගුන්ඩුවට පින්සිදුවන්නට මුළු මගුල් ගෙදරම ජනතාව නිවසින් එලියට පැන බලා සිටින්නේ  මට ශුද්ද සිංහලෙන් දෙහි කපන බාප්පා සහ සත්ගුණවත් අසරණ මා දෙසය. ප්‍රදර්ශනාගාරයක ප්‍රදර්ශනයට තබා ඇති අගනා වස්තුවක් ආකාරයේ අවදානයක් මා වෙත යොමුවී තිබු අතර ප්‍රදර්ශනය නරඹන ජනතාව අතර සිට කාටත් නොපෙනෙන අයුරින් මා වෙත ටටා පාරක් දැමු සනාත්, ප්‍රසන්නයාත් හඳුනාගන්නට මට වැඩි අපහසුවක් වුයේ නැති. මා අත  තිබු අහස්ගුන්ඩු මිටියම පත්තු කර සමා සිටිනා දිහාවට යැවීමට සිතුනද ඊට කලියෙන් මා අත තිබු අහස්ගුන්ඩු මිටිය මගෙන් උදුරා දෙකට තුනට කඩා දැමු බාප්පා අසල තිබු රතිඥ්ඥා පෙට්ටියද පොළොවේ ගසා එතනින් නික්මයන විට එතෙක් කල් මා විසින් විචිත්‍ර ලෙස අමාරුවෙන් පින්තාරු කරගෙන තිබු මාගේ සායම සියල්ල සේදී ගොස් අවසානය.

මගුල් ගෙදර උත්සවය අවසන් වනතෙක්ම කුස්සිය පැත්තේ රාජකාරී වල පමණක් මා යෙදී සිටියේ ඉදිරිපස කොටසේ සිටිනා වූ උදවියගේ මුහුණ බැලීමට තරම් ගැම්මක්, දෙනෝදාහක් ඉදිරියේ කනේ පාරක් කෑ මා වෙත නොවූ බැවිනි. එහෙත් ලූලා නැති වලට කනයා පණ්ඩිතයා න්‍යායෙන් සමා සහ ප්‍රසන්නයා පෙරමුණේ රාලලා වුයේ මාගේ මුදලින්ම අහස්ගුන්ඩු යවා විනෝද වීමෙන් අනතුරුවය.

ඉන් දින කිහිපයකට පසු සමා විසින් මාව නැවතත් අමාරුවේ දැමුයේ ඉතාමත් කුජීත ලෙසය.. 

එදින සිකුරාදාවක් වූ අතර රැකියාවට ගොස් පැමිණි මා මාගේ වෙළඳ ස්ථානයේ රැඳී සිටියේ කඩය වැසූ වහා කොල්ලන් සමග සෙට් වීමට කලින්ම සැලසුම් කරතිබූ බැවිනි. සමාද රැකියාව අවසන් වී මාගේ වෙළඳ ස්ථානයට පැමිණියේ මා සමගම සෙට් වීමේ කටයුත්තට යාමටයි.

මා.. මම කඩේ වහනකම් උඹ ගෙදරට ගිහින් කාර් එක අරන් වරෙන්..

ඉතින් කඩේ වහලම යමන් බන්..

යකෝ.. කඩේ වහල මෙහෙම්මම යන්න පුළුවනි.. ගෙදර ගියොත් දාහක් ප්‍රශ්න වලට උත්තර දෙන්නත් වෙනවනේ.. උඹ ගිහින් කාර් එක අරන් වරෙන්..

හරි.. මම ගිහින් එන්නම් එහෙමනම්..

මා මාගේ මොටෝවෙන් මාගේ නිවස බලා ඉගිලුනේ මෝටර් රථය රැගෙන එමටයි.. එහෙත් සනාගේ පැමිණීමට පෙර සනාගේ ජන්ගමයෙන් මාගේ ජන්ගමයට ඇමතුමක් ලැබෙන්නේ මේ අතර වාරයේදීයි..

මොකෝ බන්..

ඉස්සරහ රෝදේ හුලන් නෑ යකෝ..

ඉස්සරහ මොන රෝදේද..

ඩ්‍රයිවර් පැත්තේ රෝදෙ බන්..

හරි බන්.. ඕක ඉතින් මහ දෙයක්ද.. ඩිකිය ඇරලා ස්පෙයාර් වීල් එක අරන් ජැක් එකත් අරන් රෝදෙ මාරු කරන්  වරෙන්..

මට තේරෙන්නේ නැහැ රෝද මාරු කරන්න..

ඕක මහා දෙයක්ද බන්.. ඩිකිය ඇරපන්.. ගනින් ජැක් එකයි, වීල් බ්‍රෂ් එකයි, ස්පෙයාර් වීල් එකයි.. ඉස්සෙල්ලම රෝදෙ නට් හතර වට භාගයක් බුරුල් කරපන්. ඊට පස්සේ ජැක් එක කාර් එක යටින් තියල කරකවපන්.. රෝදෙ ඉස්සුනාම නට් හතර ගලවල රෝදෙ අයින් කරලා අලුත් රෝදෙ දාල තදකරල ජැක් එක බාපන්..

අපරාදේ බන්..

මොකක්ද දැන් රෝදෙ මාරු කරන එකේ තියන අපරාදේ ..

නැහැ බන්.. මට එහෙම්ම ගියානම් උඹේ රෝද මාරු කරන්න වෙන්නේ නැහැනේ..

හරි.. දැන් තෝ ගියේ නැහැනේ.. දැන් ඕක මාරුකරගෙන වරෙන්.. බොලාට කාර් එලවන්න පුළුවනි රෝද මාරු කරන්න තමයි බැරි.

මා දුරකථනය විසන්දිකොට නිහඬ වූ නිසා මා නැවතත් කඩය වසන කටයුත්තේ නියලුනෙමි. කඩය අතුගා, මුදල් ගනුදෙනු පිළිවෙලට සකසා, දුම් අල්ලා, දවසේ සියලු වෙළඳ කටයුතු අවසන් කිරීම දිනපතාම සිදුවන බැවින් සුපුරුදු පරිදි සියල්ලම එකින් එක කරමින් සිටි මා හට නැවතත් සනාගෙන් දුරකථන ඇමතුමක් ලැබෙන්නට විය.

මොකෝ බන්..

මේ ජැක් එක ඉස්සෙන්න මොන පැත්තටද කරකවන්න ඕන..

දකුණු පැත්තට බූරුවෝ..

මම කරකැව්වා ..ජැක් එක වදින්නේ නැහැ..

අනේ පල යන්න.. ඔය ජැක් එකට හෙන ගහලද බන්.. ඕකෙ කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ..

බොරුනම් ඇවිත් බලහන්..මේ ගහනව ගහනවා වාහනේ ඉස්සෙන්නේ නැහැ යකෝ..

වෙන්න බෑ .. හොඳට බලහන් ජැක් එක කැරකෙනවද කියල..

ඔව් බන් ඔව්.. මේ යස අගේට කැරකෙන්නේ.. මුල් ටිකේ ටිකක් ඉස්සුනා.. ඊට පස්සේ ඉස්සෙන්නෙම නැහැ..

හිටහන් මම කඩේ වහල එනකම් එහෙනම්..

ලහි ලහියේ කඩය වැසූ මා නිවසට යද්දී සනා මාගේ රථය අසල ඇන තියාගෙන රෝදය දිහා අනිමිස ලෝචනයේ යෙදී සිටි අතර ගමනේ තිබෙන්නා වූ හදිසිය නිසාවෙන් ක්ෂණිකව රෝදය මාරුකිරීමට මා රථය වෙත ලංවුයෙමි ..

අහෝ දුකකි.. ඉරකි.. තිතකි..

සනා නැවතත් මාව කුජීත ලෙස අමාරුවේ දමා ඇත... එනම් සනා ජැක් එක තබා ඇත්තේ මෝටර් රථයේ ෆලෝ බෝර්ඩ් එකට නොහොත් යට තහඩුවටය.. මදක් දිරුම් සහිතව තිබී ඇති තහඩුව දෙබෑ කරමින් මෝටර් රථය ඇතුලෙන් මතුවී ඇති ජැක් එක රථයේ අක්ස්ලේටරයද දෙකට නවමින් උඩට විත් විරාජමාන වී තිබෙනු මා දුටුවේ රථයේ රියදුරු දොර විවුර්ථ කර බැලීමෙන් අනතුරුවයි. 

තෝ කොහෙටද බූරුවෝ ජැක් එක තිබ්බේ..

උඹ කිව්වේ කාර් එක යටින් ජැක් එක තියල කරකවපන් කියලනේ.. ඉතින් මම උඹ කිව්ව විදිහටම කරා..

වරද මාගේ බැවින් එතනින් එහා නඩු අසා පලක් නැති නියාවෙන් මෝටර් බයිසිකලයෙන්ම සෙට් වීමේ කර්තව්‍ය සඳහා පිටත්ව ගියද මෝටර් රථය යථා තත්වයට පත්කර ගැනීමට මොණරු කිහිපයක් වියදම් කිරීමට මා හට සිදුවීය..

එක්දහස් නවසිය අනූ නවය ආසන්න කාලයක සමා මා අමාරුවේ දැමූ  තවත් එක අවස්ථාවක්  වීය. එකල සමා සහ මා යන දෙදෙනාම රැකියාව කලේ එකම ආයතනයේ බැවින් කලාතුරකින් එකට රාජකාරියේ යෙදීමට අවස්තාව ලැබෙනුයේය. සමා මා රැකියාව කල ආයතනයේ අලවි අංශයේ රැකියාව කල අතර මා රැකියාව කලේ කාර්මික අංශයේයි. දිනක් විශේෂිත වූ රාජකාරියකට සමා අනුරාධපුර පැමිණ සිටි අතර මාද අනුරාධපුරයේ රාජකාරි කරන සතියක් විය. දෙදෙනාම රාජකාරී රථ නොමැති සතියක් වූ බැවින් දෙදෙනාගේම ගමන් සගයා වුයේ බස් රථයයි. එදින සමා සහ මම නැවතී සිටියේ අනුරාධපුරයේ නව නගරයේ ලැගුම් හලක වන අතර හවස් අතේ කරන්නට යමක් නොමැතිව දෙදෙනාම අන්දමන්ද වී සිටි දිනයක් වුයේය.

මොකද බන් කරන්නේ..

මොනා කරන්නද බන්.. ටවුම පැත්තේ ගිහින් මොනාහරි ගෙනල්ල බීල මොනාහරි කාල නිදාගමු බන්..

කිසි ගතියක් නැහැනේ බන්..

මොන ගතියක්ද යකෝ.. බීව.. කෑවා.. නිදාගත්තා.. වෙන මොනවා කරන්නද ඉතින්..

එහෙම නෙවෙයි.. අපි බොන දෙයක් අරගෙන යමු පීරලාගේ ගෙදර..

පීරා යනු අපගේ නිල වාහනයේ රියදුරාගේ ඥාති පුද්ගලයෙක් වන අතර එම නිවස පිහිටියේ අනුරාධපුර සිට සැතපුම් අටක් පමණ කැලෑබද ප්‍රදේශයකයි.  සමා සහ රියදුරා අනුරාධපුර රාජකාරි කරනා සතියේ රාත්‍රී ලැගුම් ගන්නේ එම නිවසේ වන අතර එමගින් ඔවුනට ආයතනයෙන් සැපයෙන රාත්‍රී නැවතුම් දීමනාව ඉතිරි කරගැනීම සමාගේ සහ රියදුරාගේ මුක්‍ය පරමාර්ථයයි. මාද රියදුරා සමග අනුරාධපුර පැමිණි දිනෙක එම නිවසට පය ගසා ඇති අතර එම නිවසේ රාත්‍රී නැවතීමට මාහට කැමැත්තක් තිබුනේ නැත. රට පුරා ඥාතීන් සිටින සමාටත් අපගේ රියදුරාටත් රාත්‍රී නැවතීමට ලැබෙන දීමනාව දෝත බදා සාක්කුවේ දමාගැනීමට අවස්ථාව ලැබුනත් මා ඒ තරම් වාසනාවන්තයෙකු නොවුයේ මා හට රටපුරා ඥාතීන් නොමැති වූ බැවිනි.

අපි දැන් පීරලාගේ ගෙදර යන්නේ කොහොමද යකෝ.. ගියත් යන්න වෙන්නේ බස් එකේ..අනික උගේ ඥාතියත් නැහැ.. අනික මොන මගුලටද බන් එහෙ යන්නේ.. දැන් මෙතනින් කාල නිදාගන්න එකේ..

අනේ යමන් බන්.. අපි බස් එකේ යමු.. අතුල අපිව බස්සල වෙන ගමනක් ගියා කියමු.. අපිව එක්කන් එන්න එනවා කියමු..

දැන් එතකොට එන්නේ..

අන්තිම බස් එක රෑ අටට එහෙන් එන්නේ.. ඒකෙ  එමු..

ඉතින් දැන් අතුලයා එක්කන් එන්න එනවා කියල තියෙද්දී  කොහොමද බං ගේ ඉස්සරහින් බස් එකේ නගින්නේ..

හරි බන්.. ඒ එනකොටනෙ..

දැන් තෝ මොකද මේ තරම් පීරා බලන්න යන්න සෙනෙහස කියපන්..

විශේෂයක් නැහැ බන්.. නිකම් යමන්..මේකෙ ඉන්න කම්මැලියි 

නිකම්... උඹ සල්ලි වියදම් කරන්  උන්නැහේට බොන්න අරන් යන්නේ ඊට වඩා ලොකු ලාභයක් බොට තියන නිසයි..උඹ මේ යන්නේ අංකල් බලන්න නෙවෙයි අන්කල්ගේ දුව බලන්න..තෝ මට සුදුලූනු පොඩිකරන්න එන්න එපා පුතෝ..

මට මොන ලාභයක්ද බන්.. වෙනදත් යන්නේ බොන්න අරගෙනනේ.. ඉතින් හිස් අතින් යන්න බැහැ බන්..

දැන් උඹ මට කියන්නේ අර වලපයයි ගොඩ පයයි ඉන්න වයසක මනුස්සයට බොන්න දීමේ පුණ්‍යකර්මයට මටත් සහභාගී වෙන්න කියලද..

මෙතන හිටියත් නිකම්නේ බන්.. ඔන්න ඔහේ යමන්.. මා ගානේ සියලු වියදම්...

හරි යමන් එහෙමනම්.. හැබැයි පුතේ අටේ බස් එකේ එන්න ඕන හරිද..

හරි බන් හරි .. ඒකෙ නෑවිත් එන්න විදිහක් නෑනේ..

අප දෙදෙනා රැගත් බස්රථය අනුරාධපුරයෙන් පිටත්වන විට සවස පහද පසුවී තිබූ අතර අදාළ නිවසට කලින් තිබෙන බස් නැවතුමෙන් බසයෙන් බැසගත් අප දෙදෙනා පා ගමනින් එම නිවසට ලඟා වනවිට සවස හයද පසුවී තිබුණි ..

ගෙදර කව්ද..

කව්ද...

මේ අපි අපි ...

ආ මේ අයියලනේ... තාත්තේ... අර අයියල ඇවිල්ලා...

ආ එන්න එන්න පුතාල ගෙට.. අද මොකෝ මේ පයින්..

නෑ අංකල්... වාහනේ ආවේ.. අතුල ගියා වෙන ගමනක් ගිහින් එන්න කියල.. ටිකකින් ඒවි..

කෝ වාහනයක් එන සද්දයක් ඇහුනේ නැහැනේ..

වාහනේ රෙපෙයාර් කරානේ අංකල් .. දැන් සද්දේ වෙනදට වඩා හුඟක් අඩුයි..

ඒක මිසක්.. එමු එමු ගෙට..

මා තකහනියේ මේ මුකලානේ ගෑටුවේ කුමකටද යන්න පැහැදිලි වුවත් එය කතා කිරීමට සුදුසු වෙලාව එය නොවන බැවින් හොඳ ළමයකු සේ සිටීමට මම ඉටාගත්තෙමි. අප ගෙනගිය හතරැස් බෝතලයද ටීපෝවක් උඩ ස්ථානගතවූ අතර ටීපෝව වටේ පුටු තුනක වාඩිවූ අංකලයාත් , සමාත්, මමත් යාන්තමින් අනුමත වීමට පටන් ගත්තද මාගේ ඔලුගෙඩිය තුල නිරන්තරයෙන් සැරිසැරූ කාරණාව වුයේ අවසන් බස්රථයෙන් නවාතැනට සැපත්වීමයි.

හතරැස් බෝතලය ටිකෙන් ටික, මාගේ මිත්‍ර සමා සහ සනාගේ හිතවත් අංකලයාගේ උදරයේ තැන්පත් වෙද්දී ටීපෝව මත තිබුනාවූ වැව් මාළු බැදුම සීග්‍රයෙන් මාගේ උදරය වෙත ගබඩා කරවීමට මමද එකසේ දායක වූයෙමි. යහමින් බයිට් තිබෙනා තැන්වල මද්‍යසාර වලින් බඩ පුරවා ගැනීමේ අවාසිය බයිට් ලෝලී මාගේ පාඨක උදවිය හොඳින් දන්නවා යයි සිතමි. එම න්‍යායට අනුව බොනවා යයි ඇඟවීමට යන්තම් තොලගෑමක්ද ඉඳ හිට කරන මා බැදපු වැව් මාළු එකින් එක කා දමන අතරේ මුළුතැන්ගෙය දෙසින් අපවෙත විශේෂයෙන් සැකසෙන රාත්‍රී ආහාරයේ සුවඳද මා අමන්දානන්දයට පත්කරවීය. 

කෝ මේ අතුල තාම නැහැනේ..

දැන් ඒවි ආන්ටි.. යාලුවෙක් ඉන්නවා කිව්වා හම්බෙලා එන්න ගියේ..

දැන් එතකොට මේ ළමයි මෙහෙ රෑට ඉන්නවා නේද..

අනේ අද ඉන්න බෑ ඇන්ටි.. අපි අද නැවතුනේ කැකිරාවේ කාමර දෙකක් අරගෙන .. අංකල් බලල යන්න තමයි ආවේ..

සනා ඇඟට පතට නොදනී මහා පතරංග බොරු ඇදබාමින් දෙමහල්ලන් මුලාවේ දමද්දී බැදපු වැව් මාළු සියල්ලට වගකීමේ රාජකාරිය මම අකුරට ඉටුකලද වරින් වර මතකයට එන රාත්‍රී අවසන් බස් රථය ගැන මතකය මාගේ රසවින්දනයට විශාල භාදාවක් වීය..

මා අපි එහෙනම් මේක ඉවරයක් කරලා යන්න ලෑස්ති වෙමු නේද..

අයියෝ පුතාල කොහේ යන්නද මේ හදිසියේ.. අතුල එනවා කිව්වා නේද එක්ක යන්න.. 

ආ.... ඔව් ඔව් අංකල්.. අතුල දැන් ළඟ එනවා ඇති..

ආ එහෙමනම් අතුලත් ආවාම කෑම ටිකක් එහෙම කාල යන්න බැරිය..

අයියෝ අයියල අද මෙහෙ ඉන්නේ නැද්ද.. මම මේ බලන් හිටියේ උදේට අයියලාගේ වෑන් එකෙන්ම ක්ලාස් එක ගාවට බස්සගන්න..

අද අපි නැවතුනේ කැකිරාවෙනේ නංගි .. ඒ හින්ද ඉතින් යන්න ඕන..

අංකල්ගේ දෝනියැන්දෑද අප අවට ගැවසෙමින් අවශ්‍ය අඩුම කුඩුම සියල්ල ටීපෝව මතට වැඩම්මවීමට විශාල දායකත්වයක් දැක්වූයෙන් මාගේ වැව් මාළු කෑම අඛණ්ඩව කරගෙන යාමට මාහට හැකි වුවද අත් ඔරලෝසුවේ වෙලාව දුටු මා එකවරම කලබලයට පත්වීම අංකල්ට කුතුහලයක් වීය..

මොකෝ ප්...පුතා..

හොඳටම රෑ වෙලානේ අංකල් ..

ටීපෝව යටින් කකුල දමා සමාට පයින් පහරක් ගසා සමා දිහා ඔරොවා බැලුවද සමාට නවාතැනට යාම ගැන නිනව්වක් නොවීය..

ක් ...කොහේ රෑ වෙලාද ප්....පුතා.. ත් ..තාම හතාමාරයිනේ...

හතරැස් බෝතලයේ අඩකට වඩා අඩුවී තිබුණු ඒ අවස්ථාවේ මාගේ හිත මිත්‍ර සමාටද රාත්‍රී අවසන් බස්රථය ගැන මතකයක් තිබුනාද කියා සැක සහිතය..

ඔ..ඔව්.. අන්කල්.. මොන රෑ වෙලාද.. තාම මේ කළුවර වැටුන විතරයිනේ..

මම නැවතත් ටීපෝව යටින් පයින් පාරක් දමා ඇන්නද සමා කිසිදු ප්‍රතිචාරයක් නොමැත..


හතරැස් බෝතලය අහවර වන්නට කාලක් පමණ තිබියදී රාත්‍රී අටේ අවසන් බස් රථය අංකල්ගේ නිවස පසුකරමින් අනුරාධපුර දිහාවට ඉගිලිද්දී සමා උන්නේ අංකල් සමග ජයට සව්දිය පුරමිනි. ටීපෝව යටින් කකුල දමා කී වාරයක් පයින් ඇන්නාදැයි මතකයේ නැතත් සමාට නම් ගානක්වත් උනේ නැති..

පුතාල එහෙනම් කාල ඉමු නේද.. අතුල ආවාම අතුලට කන්න බැරිය ..

හ් ...හා ආන්ටි ..ක්.. කාල ඉමු එහෙමනම්..

ප් පුතාහ් ..ක්...ක්.. කමු...

හරි අංකල් කමු ...

ම් ..ම් ...මචං ..අ..අප්පි.... ක්..කමු...

මමත් මේ කල්පනා කරේ තෝව උයල කනවද..බැදල කනවද..අමුවෙන්ම කනවද කියල තමයි..

ම් ....ම් .මොකක්ද ප් ...පුතාහ් ...

නෑ අංකල් මුකුත් නෑ... මම මේ කිව්වේ අංකල්ලා හුඟක් මහන්සි වෙලා අපිට කන්න දෙන්න..

අ...ආ..අයියෝ..පුතාහ් ... ඒ ..එව්ව ..ආ ..ආගන්තුක ..ස් ..ස් ..සත්කාර නෙව..අ..අනික.. මේ..පුතාලාහ් ..ප්..පිට ..මිනිස්සුය..

මේසයට වාඩි වූ සමා සහ මම කන්නට බෙදාගත්තද කන්නට පිරියක් මා වෙත නොවුනේ බැදපු වැව් මාළුන් සෑහෙන පමණක් කෑ නිසා සහ ඊළඟට කන්නට වෙන පරිප්පු නැව ගැන නිරන්තරයෙන් සිහිවීම නිසාවෙනි..

මොකද මේ අතුල පරක්කු දන්නේ නැහැ නේද..

ද් ..දන්නේ න් ..නෑ නැන්දේ.. ව් වාහනේ ප් ..පොඩි අවුලක් ත් ..තිබ්බ.. ක්..කැඩුනාවත්ද දන්නේ නෑ ..

මීට පැයකට හමාරකට ප්‍රථමව ආන්ටි දැන්  නිකම්ම නිකම් නැන්දා වී ඇති අපුරුව කේන්තියෙන් විඳිමින් බත් කටක් දෙකක් කෑවයින් නොකෑවායින් මා අත සෝදාගෙන මේසයෙන් නැගිටවිත් එළියේ ඇති ලී බැංකුවේ වාඩිවී කල්පනා කරන්නට වුයේ සැතපුම් අටකින් එහා ඇති අනුරාධපුර නගරයට යාමට ක්‍රමයක් ගැනයි. යන්තමින් රාත්‍රී නවය පමණ වනවිට සමා කෑම අවසන්කොට මේසයෙන් නැගිටි වහා මම නිවස තුලට ගොස් මාව එලියට ඇදන් ආවෙමි..

යන්නේ නැද්ද බූරුවෝ..

හරි හරි බා.....න් ... උම්බට හදිසිනම් යමන්...

මං  තෝව කනවා අද දැනගනින්.. හිටහන්කෝ පොඩ්ඩක්..

අංකල් අතුල එන්න පරක්කු මොකද දන්නේ නැහැ.. අපි ටිකක් ඉස්සරහට පයින් යන්නම්.. මොකක් හරි කරදරයක්ද දන්නේ නැහැනේ..


ම් ...මේ...කළුවරේ... ක්..කොහොමද ප් ..පුතා යන්නේ..ඔ..ඔන්න්න ඔහෙ ත්..තව ටි..ටිකක් ඉඳල බ් ..බ් ලන්න..

ඔව් පුතා මේ දවස්වල තනියත් ටිකක් මේ පැත්තේ කරක් ගහනවා.. පයින් යන එකනම් ඒ තරම් හොඳ නැහැ..

ඔ..ඔව්.. ම..මචං ..නැන්ද කියන න් ..නිසා තව ට් ..ට් ..ටිකක් ඉම්මු...

බෑ ආන්ටි.. අතුල නාවොත් අපිට කොහොමත් යන්න වෙනවා අතුලට මොකද උනේ හොයන්න.. ඒ හින්ද අපි ටිකක් ඉස්සරහට යන්නම්.. යන එන ත්‍රී වීල් එකක් ආවොත් එකේ නැගල ටවුමට යන්න පුලුවනිනේ..

මේ වෙලාවේ මේ පැත්තට ත්‍රී වීල් එන්නේ නැහැ දරුවෝ..

කමක් නැහැ ආන්ටි.. අපි ටිකක් ඉස්සරහට යන්නම්කො..

ම් ..ම් මචං ..අහපන්කෝ නැන්ද කියන දේ.. අ..අපේ හ් ..හොඳට නේ ක් ..කියන්නේ..

අංකල් පුටුව උඩම නිදි කිරා වැටෙද්දී නිවැසියන්ගෙන් සමුගත් අප දෙදෙනා කෑලි කැපිය හැකි අන්කාරයේ තරු එළියෙන් පාර අසාගෙන අනුරාධපුර දිහාවට ගාටන්නට පටන්ගතිමු..

අ..අවුලක්..නෑනේ මචං..අ..අපි කොහොමත් ඉ..ඉන්න නෙවෙයිනේ ආවේ නේද..

තෝ මගෙන් මැරුම් නොකා එනවද නැත්තම් නැන්දලහටම ඇරලන්නද ..

අරි..අරි.. බන්.. උම් ..උඹ මගේ බොක්කනේ... ෂින්ඩුවක් කියාගෙන යමන්..

සියල්ල අවසානයේ අප දෙදෙනාටම අපගේ නවාතැන් පොළ වෙත පයින් ඒමට සිදුවූයේ පසුපසින් පැමිණෙන සියළුම වාහන වලට අත දමමිනි. කලාතුරකින් අප පසුකර ගිය  කිසිදු වාහනයක් අප පසුකරමින් නොනවත්වා ගියා මිස අපහට අනුකම්පාවක් නම් දැක්වුයේ නැති. මුළු දුරෙන් සැතපුම් හතක් පමණ දුරක් පයින් ආවාට පසු අප ගැන අනුකම්පාකළ බස් රියදුරෙක් අපව බස් රථයට ගොඩකර ගත්තද එම ස්ථානයේ සිට අපගේ නවාතැන්පොලට සැතපුමක්වත් දුරක් තිබුනේ නැත. අවසානයේ රාත්‍රී එකොළහද පසුවී නවාතැන වෙත පැමිණෙද්දී නවාතැනේ ගේට්ටුවද වසා යතුරු දමා තිබු අතර තාප්පයෙන් පැන ඇතුළුවී සේවක කාමරයට පැය භාගයක් පමණ තඩිබා ප්‍රධාන දොර විවෘත කර ගත්තෙන් ඇඳක නිදාගැනීමේ වාසනාව පෑදුන අතර පාරේ බස් නැවතුමක නිදාගැනීමට තිබු අවස්ථාව අනූ නවයෙන් ගිලිහුණි. 

එදා බස් නැවතුමක රාත්‍රිය ගතකරන්නට සිදුවුයේ නම්, අද වනවිට සමා අවසන් ගමන් ගොස් වසර දහසයක් වන්නට තිබුණි. 

අලි ඉන්නා කැලෑවක් මැදින් කට්ට කළුවරේ සැතපුම් හතක් නොහොත් කිලෝමීටර එකොළහක් පයින් යැවීමේ කටයුත්තේ දෙවැනි කොටස ලෙස මාගේ මෝටර් සයිකලයද තල්ලු කරගෙන එවන් ආසන්න දුරක් කළුවරේ පයින් ගිය සිද්ධිය මනින්නා පෝස්ටුවේ මීට වසරක පෙර ලියා ඇත. මනින්නා පෝස්ටුව මෙතනින් බැලිය හැකි අතර එම පෝස්ටුව ලීව දින පටන් මනින්නා මා සමග වැඩි ඇයිහොඳයියක් නම් නොමැත..අදින් ලියවුනු පෝස්ටුවෙන් පසු සමාද මා සමග වැඩි ඇයිහොඳයියක් නැති වීමට ඉඩ ඇති අතර සමා අනුරාධපුරයේදී සුවිශේෂී ක්‍රමයකට දත් මැද්ද හැටි ගැන පෝස්ටුවක් ලිවීමටද හිතේ කොනක අදහසක් ඇත. 

දරුණු වන සතුන්ගෙන් , අලින්ගෙන් , තනි අලියාගෙන් ගහන කැලෑවක් මැදින් නිරුපද්‍රිතව පයින් ඒමට හැකිවූ එකම රහස, පාඨකයින්ගේ ප්‍රයෝජනය පිණිස  ලියා තැබීම මාගේ වගකීම වන්නේය. එම රහස නම්, හතරැස් බෝතලයෙන් ලැබුණු නව ජවයද සහිතව අප දෙදෙනාගේ පාද යාත්‍රාව අලංකෘත කරනු පිණිස සමා කළුවරේ සිංදු කියන්නට පටන් ගැනීමයි. එහි ප්‍රතිපලය නම් සමාගේ පට්ට අවුට් සෘතියෙන් අහලකවත් නොමැති සිංදු අසා සිටීමට නොහැකි වූ තනි අලියා ප්‍රමුඛ සියලු භයානක වන සතුන් පැත්ත පලාතකවත්  නොසිට සමාගේ සින්දු නෑසෙන දුරකට කැලේ කඩාගෙන දිවයාමයි. 

Monday, November 16, 2015

අපි කරවල කූරියන් වීමු





බඩ තඩියාත් මමත් එකම පාසලේ උගත්තද සාපෙළ හැදෑරුවේ එකම පන්තියේ නොවේය. අප දෙදෙනාගේම සංසාර කරුමයට බඩ තඩියාත් මමත් එකම පන්තියේ අකුරු කරන්නට වුයේ උසස්පෙළ කාලයේදී වන අතර බඩ තඩියාගේ ප්‍රේම පලහිලව්ව ගැන වැඩි විස්තර ටෙම්පරි පියානෝ ලිපියෙහි වඩා හොඳින් සටහන් වී ඇතැයි සිතමි. 

පාසලේදීත් පිටතදීත් එදත්, අදත් හෙටත් මා හට බඩ තඩියාගෙන් ගැලවුමක් නම් වුයේ නැති. 

මා පාසල් ක්‍රිකට් කණ්ඩායමට සම්භන්ධ වීමට සිතා ක්‍රිකට් පුහුණුවට ගිය කල බඩ තඩියාත් ක්‍රිකට් පිත්තක්ද සමගින් ක්‍රිකට් පුහුණුවට ඇවිත්ය...

එයින් ක්‍රිකට් එපාවූ මා පාසල් බාස්කට් බෝල් කණ්ඩායමට සම්භන්ධවීමට සිතා එම පුහුණුවීම් වලට ගිය කල බඩ තඩියාත් බැනියමක් ශෝර්ටක් ඇඳගෙන බාස්කට් බෝලය මෙන් බම්ප් වෙමින් එතැනය...

ඒ දෙකම එපා වී මා පාපන්දු කණ්ඩායමට සම්භන්ධ වීමට සිතා පාපන්දු පුහුණුවීම් වලට ගිය කල බඩ තඩියාත් බූට් දෙකක් දමාගෙන පුහුණුවට විත් එතැනය...

අවසානයේ යායුතු වෙනත් අතක් නොමැති තැන මමත් බඩ තඩියාත් සමකාලීන පාපන්දු ක්‍රීඩකයින් වීමු. එහෙත් වාසනාවටදෝ, අවාසනාවටදෝ බඩ තඩියාත් මාත් අතර සම්භන්ධය එතැනින් එහාටද දිවගියේය. 

උසස්පෙළින් අනතුරුව පාසැලෙන් නෙරපනු ලදුව සංගීත උණ වැළදුන හේතුවෙන් සංගීත කණ්ඩායමකට සම්භන්ධවීමට මා ගිය අවස්තාවෙදී එතැනට ගොහින් බැලූ කල බඩ තඩියාත් ගිටාරයක් එල්ලාගෙන එතැනය. 

ඉන් නොනැවතුණු බඩ තඩියා අවසානයේ ටවුම ආසන්නයේ තිබෙන්නාවූ නිවසද අත්හැර මාගේ ග්‍රාමයට පදිංචියට ආවේ ඌගේ කරුමයටද මාගේ කරුමයටද කියානම් හරිහැටි අප දෙදෙනාම දන්නේ නැත. 

බඩ තඩියා ගම් බිම් හැරදමා මාගේ ග්‍රාමයට පදිංචියට ආවේ සුනාමියෙන් පසුව බැවින් එතෙක් කලක් බඩ තඩියා ජීවත්වුයේ බඩ තඩියාගේ පියාණන් විසින් ඉදිකරනු ලදුව බඩ තඩියාට උරුමකරදුන් වෙරළාසන්න නිවෙසකයි. වත්ත මායිමේ වෙරල පිහිටියෙන් මුහුද යනු බඩ තඩියාට ගෙදර වගේ එකක්ය. උසස්පෙළට ආ පමණින් බඩ තඩියා පවුල් පන්සල් වීම හේතුවෙන් අනුග්‍රහය අහෝසි වුවද  හෝඩියේ සිට සාපෙළ දක්වාම කොල්ලන්ට ගෙවල් වලට හොරෙන්  මුහුදේ නෑමට  පූර්ණ අනුග්‍රහය දැක්වුයේ සත් ගුණවත් බඩ තඩියා විසිනි. 

පාසල් තාප්පයෙන් වාෂ්ප වන්නාවූ සිසුන් එකල අසුරුසැනින් නවතින්නේ බඩ තඩියාගේ කාමරයේය. ගුනේ අයියාගේ බජව් දාන කාමරයේ තිබු මස්කට් පැණිබූන්දි වලටත් වඩා සොමි දේවල් බඩ තඩියාගේ කාමරයේ තිබු බව මෙහිදී සඳහන් කලයුතුමය. 

මස්කට් පැණි බූන්දි වලටත් වඩා කොල්ලන්ට වටින්නා වූ  අඟල් තිස් දෙකේ රූපවාහිනියක්, වීඩියෝ ධාවන යන්ත්‍රයක්, ශීතකරණයක්, තඩි බෆල් දෙකකින් හා, කැසට් පීස් දෙකක් එකවර දැමියහැකි ත්‍රී ඉන් වන් වර්ගයේ තට්ටු කිහිපයකින් සමන්විත ස්ටීරියෝවක්, ෂපාන් එකට නිදාගතහැකි ඩබල් ඇඳක් කිව්වට ඩබල් ඇඳකටත් වඩා ලොකු ඇඳක් සහ බඩ තඩියාගේ ඇඳුම් ආයිත්තම් ගබඩා කල අල්මාරියද කාමරයේ වීය.

මෙහිදී අල්මාරිය නොසලකා  හැරිය  යුත්තේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තඩි එකෙකු වන බඩ තඩියාගේ ඇඳුම් වලින් කොල්ලන්ට ඇති වැඩක් නැති බැවිනි. හදිසියකට මුහුදේ නාන්නට බඩ තඩියාගේ කලිසමක බැස්සද තඩියා හැරුණකොට මා වැනි කෙහෙටු එව්වෝ මුහුදේ නාන්නට බැස්සේ බඩ තඩියාගේ කලිසම් වලින් සරොම් ඇඳගෙනය. ( තඩියා සහ බඩ තඩියා යනු දෙදෙනෙකු බව මෙහිදී පාඨක සැම තේරුම්ගත යුතුය) 

අතිශයින්ම  සුඛෝපබෝගී කාමරයක් වූ බඩ තඩියාගේ කාමරයේ විශේෂිතම පිහිටීම වුයේ එම කාමරය නිවසින් පිටත පිහිටි ප්‍රධාන දොරයි. අපේ එවුන්  ඥානා ගේ බෝඩිමේ ගත්තා වූ ආතල් වලට වඩා දහසක් ආතල් ගත්තා වූ කාමරයක් තිබුනානම් ඒ බඩ තඩියාගේ ඉතිහාසගත කාමරයයි. එම කාමරය ඇතුලේ පිහිටවූ ලෝක වාර්ථාද ඇති අතර එම ලෝක වාර්ථා  ඇතුල්වන්නේ ලිවිය නොහැකි කථා ගොන්නට වීම පාඨක සැමගේ අවාසනාවයි. නැවතිල්ලේ සිතා බැලූ කල ලෝක වාර්ථා  වලට අනුග්‍රහය දැක්වීම සම්භන්ධව බඩ තඩියාට අප වෙනමම ස්තුතිය පුදකළ යුතුය. මෙම පෝස්ටුව කියවා බඩ තඩියාගේ බිරින්දෑ බඩතඩියාගෙන් ලෝක වාර්ථාව ගැන විමසන්නේ මෙසේයි..

මොකක්ද අනේ ඔයාගේ කාමරේ පිහිටෙව්වා කියන ලෝක වාර්ථාව ..

මං දන්නේ කොහොමද ඒයි .. ඌ ලංකාවට ආවම අහගන්න..

උගෙන් අහන්නේ මොකටද අනේ ඔයා ඉද්දි.. කියන්නකෝ අනේ..

මම දන්නේ නැහැ අනේ.. උගේ විකාර...

මොකක් හරි අලුගුත්තේරු වැඩක් වෙන්න ඇති.. හරි ඔයා කියන්නේ නැහැනේ.. මම හොයාගන්නම්කො ඕක..

ඔයා උගේ ලනු කන්නේ නැතුව පිටි හැඳි දෙකක් දාල සීනි ටිකක් වැඩියෙන් දාල ටී එකක් හදන්න ඒයි 

මේ කියනාවූ කාලයට සාපේක්ෂව බඩ තඩියාගේ බිරින්දෑට විශ්වාසවන්තම සගයාගෙන් ලෝක වාර්ථාව ගැන විමසුවහොත් ඌද ප්‍රශ්නයට උත්තර දීමට නොහැකිව තක්කු මුක්කු වන්නේ එම ලෝක වාර්ථාවට උරුමකම් කියන්නේ විශ්වාසවන්තම සගයා වන බැවිනි..

එකතරා දිනෙක කොල්ලන් සැට් එක උදෑසනින් බඩ තඩියාගේ නිවසට එකතු වන්නේ ගෙඳවාන ගල වෙත ගොස් ආතල් එකක් ගැනීමට  කලින්ම සංවිධානය කර තිබු බැවිනි. ගෙඳවාන ගල යනු බඩ තඩියාගේ නිවස කෙලින් කිලෝමීටරයක් පමණ දුරින් මුහුද මැද්දේ  පිහිටි විශාල ගල් පර්වතයකි. අක්කරයකටත් වඩා වැඩි ප්‍රමාණයක් වූ මෙම ගල මුහුද මැද්දේ දුපතක් ලෙසද අර්ථ දැක්විය හැකි අතර බෙල්ලන් කැඩීමට යන්නන්ගේ ප්‍රකට ස්ථානයකි. 

ගෙඳවාන ගල වෙත ලඟා වීමේ ක්‍රම කිහිපයකි. පළමුවැන්න පිහිනීමයි. දෙවැන්න නම් බෝට්ටුවක් හෝ ඔරුවක්, වල්ලමක් වැනි යමක් මගින් යාත්‍රා කිරීමයි. 


ගෙඳවාන ගල

සැතපුම් දෙක මුහුදු පිහිනුමටද සහභාගී වන පාසල් පිහිනුම් කණ්ඩායම නියෝජනය කරන තඩියා සහ යම් දුරක් පිහිනීමට හැකි බතලයා හැරුණකොට එතරම් දුරක් පිහිනීමට හැකි එවුන් අප අතර නොවීමත්, පිහිනීමට නොහැකි එවුන් සිටීමත් හේතුකොටගෙන ගෙඳවාන ගල වෙත යාමට අප තෝරාගත් ප්‍රවාහන මාද්‍යය වුයේ බඩ තඩියාගේ ඥාතියෙකු සතු මෝටර් බෝට්ටුවකි. බෝට්ටු ගෙඳවාන ගල වෙත ලංකිරීමට නොහැකි අතර අඩි විස්සක් තිහක් ඈතින් බෝට්ටුව නැවැත්වූකල මගීන් බෝට්ටුවෙන් වතුරට පැන ගෙඳවාන ගල වෙත පිහිනා යා යුත්තේ රල පහර සමග ගල වෙත ඇදෙන ෆයිබර් බෝට්ටුව ගලේ වදුනහොත් හිල්වෙන බැවින්ය. ඔරුවකින් හැරුණකොට කුමන ප්‍රවාහන මාද්‍යයකින් ගෙඳවාන ගල වෙත ගියද පිහිනා යාම අනිවාර්ය වේ.

එදිනද  දහයක් පමණ වූ නඩයේ වැඩි ප්‍රමාණයක් සිටියේ පිහිනන්නට නොහැකි එවුන් වන අතර එම කාණ්ඩය ගෙඳවාන වෙත බෝට්ටුවෙන් බස්සවා රැගෙන යාමට අප යොදාගත්තේ හුලං පිරවූ ලොරි ටියුබයකි. සියල්ල අකුරට සිදුවූ බැවින් සියලුම දෙනාට කන්නට බිත්තර පාන්, මාළු පාන් , රෝල්ස් වැනි කෑමද , බීමට ලීටර දෙකේ කොකාකෝලා බෝතල්ද රැගෙන අප සියලුදෙනා ගෙඳවාන වෙත පිටත් වුයේ බඩ  තඩියාගේ  ඥාති සහෝදරයාගේ බෝට්ටුවෙනි. 

මෙම ගමනට ඥානා ද සහභාගී වූ අතර ඔහුද පිහිනන්නට බැරි ගොඩට අයත්වූ එකෙකු වුයේය. කවදා කොතනදී ඔරුවකට, බෝට්ටුවකට, අඟුලකට, වල්ලමකට, පාරුවකට නැගගත් පොල් කටුවක්, යෝගට් කෝප්පයක් වැනි යමක් කොහෙන් හෝ කුණු ගොඩකින් අහුලාගෙන බෝට්ටුවට ගොඩවීම ඥානාගෙ සිරිතය. බෝට්ටුව හෝ ඔරුව ඇතුලට වැහි දිනවලදී එකතුවන වතුර පොල් කටුව හෝ යෝගට් කෝප්පය මගින් හිස් කිරීම ඥානාගෙ වැදගත්ම රාජකාරියයි. 

බෝට්ටු ගමන අවසන් වනතුරු කිසිදු කතාවක් බහක් නැති ඥානා නොනවත්වා නැවෙමින් දිගෑරෙමින් බෝට්ටුව හිස් කරනු ලබයි. බෝට්ටුව ගිලෙන්නට තබා ගැලුමක් දෙකක් පිරෙන්නටවත් වතුර බෝට්ටුව පතුලේ නැත්ත ඥානා පොල්කටුව ගෙවෙනතුරු කරන්නේ වතුර ඇදීමයි. පොල් කටුවක්, යෝගට් කෝප්පයක් තබා ටොනික් පියනක් වත් සොයාගන්නට බැරි වූ අවස්ථාවල ඥානා අතින් හෝ වතුර ඇදීම කරගෙන යනු ලබන්නේ සංසාර පුරුද්දකට මෙනි. 

බඩ තඩියාගේ විධානයෙන් ශ්‍රී ලංකාද්වීපය නොපෙනෙන්නම බෝට්ටුව පැදවූ බඩ තඩියාගේ ඥාතියා නඩයට සියලු වැඩ කිඩ පෙන්වා අවසානයේ ගෙඳවාන  අසලට බෝට්ටුව ගෙන ආවේ අපව ගෙඳවානේ බස්සවා හවස් අතේ අපව රැගෙන යාමට එන පොරොන්දු සහිතවයි. ඊළඟට තිබෙන්නේ ලොරි ටියුබයේ වික්‍රමය වන බැවින් ගෙඳවාන ආසන්නයේ බෝට්ටුව නතර කල වහා තඩියා ජබුක් ගාමින් වතුරට පනින්නේ ලොරි ටියුබයද අතැතිවයි..මටද, බතලයාටද , පිහිනීමට හැකි බැවින් අපි දෙදෙනා ලොරි ටියුබයේ වික්‍රමයෙන් මිදුනා වූ එවුන් වන්නෙමු. එහෙත් බතලයා ටියුබ් මගී ප්‍රවාහන කටයුත්තට සම්මාදම් නොවන්නේ ප්‍රවාහන කොමිටියේ බතලයා නොමැති බැවින්ය .

ටියුබය බෝට්ටුව අසලට තල්ලු කරන්  පිහිනා එන තඩියා විසින් විධානය දුන් වහා වරකට එකා බැගින් බෝට්ටුවේ ගැට්ටෙන් ටියුබයට පැනිය  යුතුය. බෝට්ටුවෙන් ටියුබයට පනිනා අයවලුන් චපාස්... නාදයෙන් ටියුබය උඩට පතිතවූ වහා තඩියා විසින් ටියුබය ගෙඳවාන දෙසට තල්ලු කරමින් පිහිනා යනු ලබනවාය. මාද ටියුබය පසුපස ඩොගී ස්ටයිලයෙන් පිහිනා ගෙඳවාන දෙසට පිහිනා යනවාය. 

ඩොගී ස්ටයිලයෙන් කියූ වහා පාඨක පෝතකයින් මා ගැන කැත විදිහට හිතනා නිසාවෙන් ඩොගී ස්ටයිලය යනු කවර ගනයේ පිහිනුමක්දයි විස්තර කිරීම මාගේ සරීර සෞකියට යහපත්ය. 

බල්ලකු මෙන් ඔලුව උඩ තබාගනිමින් පිහිනීම ඒ නමින් හඳුන්වනවාය. පිහිනුම් ශූරයින් පිහිනනවාක් මෙන් ඔලුව යට දමාගෙන අත යටින් හුස්ම ගනිමින් නිදහස් ආර පිහිනීමට මා හට හොඳ හැකියාවක් ඇතත් ඔලුව වතුර යටට ඔබාගත් කල උතුර දකුණ පිළිබඳව අවබෝධය නැතිවන නිසා මා එසේ පිහිනන්නේ පූල් එකක පිහිනනවානම් පමණය. 

මුහුදේදී එසේ පිහිනන්නට ගොස් සිරි ලංකාදීපය නොපෙනී යන්නටම ඇන්ටාක්ටිකාව දෙසට පිහිනේවිදෝ යන භය නිසා  මම කවදාවත් මුහුදේදී ඔලුව යට දමාගෙන පිහිනන්නට උත්සහ කරන්නේ නැත. 

බැක් ස්ට්‍රෝක් නැමති ක්‍රමයට පසුපසට පිහිනීමටද මා හට හොඳ හැකියාවක් ඇත. එහෙත් ගෙඳවාන ගල වැනි මහා තඩි ගල් පරුවතයක් මාගේ පසුපසින් තිබියදී එම ආකාරයෙන්ම පිහිනීමට මා හට භයක් දැනෙන්නේ පසුපස බැලීමට සයිඩ් කන්නාඩි දෙකක් නොමැතිව පිහිනා ඔලුව ගලේ ඇනුනහොත් මැහුම් දහයකින් විස්සකින් මෙහා බේරෙන්නට බැරි බැවින්ය. 

ලොරියක් රිවස් කරනා ආකාරයෙන් පසුපස බලන්නට ගෝලයෙක් සිටියානම් පසුපසට පිහිනීම ගැන ප්‍රශ්නයක් නොමැත්තේ හරි හරේ ..හරේ .. හරේ ... දකුණට කපල එන්න...ආ දැන් ඇති....හෝව් ..හෝව්..කියා ගෝලයා කෑ ගසා කියනා  බැවිනි  . 

මාගේ පිහිනුම් හැකියාව වර්ණනා කරන්නට ගොස් ටියුබයෙන් යන වික්‍රමාන්විත ගමන ටිකක් අතපසු වීම ගැන සමාව භාජනය කරන මෙන් පාඨක සැමගෙන් ඉල්ලා සිටිමි. දැන් එතැන් සිට....

ටියුබය ගෙඳවාන අයිනට සැපත් වූ වහා දිය රැල්ලක් විසින් උස්සා ගලේ ගැසීමට ප්‍රථම ටියුබයේ මගියා ගෙඳවාන ගලට ගොඩවිය යුතුය . තඩියා සහ මා නැවත ටියුබය ගෙන බෝට්ටුවට පිහිනනවාය. අවසාන මගියාට ප්‍රථම වනතෙක් පසු පාදයේ ක්‍රීඩා කරමින් බෝට්ටුවේ වතුර ඉහින ඥානා ණයට  ගෙනා පරාන කූඩුව සමගින් ඇස් පියාගෙන ටියුබයට පනින්නේ ඉන් අනතුරුවයි . අපගේ අවසාන මගියා වන්නේ අපගේ සාදර සමාදර අනුග්‍රාහකයා වන බඩ තඩියා මහතායි. 

ඊට ප්‍රථමව අපට තිබෙනා වූ වැදගත්ම කාර්යභාරය වන්නේ අපගේ දිවා ආහාරය සහ බීම බෝතල් , වතුර වැනි දෑ ගෙඳවානට ප්‍රවාහනය කිරීමයි. එයද සාර්ථකව අවසන් කරන අප දෙදෙනා නැවතත් ටියුබය රැගෙන බෝට්ටුව වෙතට පිහිනන්නේ අපගේ අනුග්‍රාහක මහතා ප්‍රවාහනය කිරීම සඳහායි.

අවසාන මගියා බඩ තඩියා කියූ සැනින් පාඨක සැමගේ හිත්වල ඇතිවන ප්‍රශ්නය නම් වෙරල මායිමේ ජීවත්වන බඩ තඩියා මහතාට පිහිනීමට නොහැකිද යන්නයි. පාඨක සැමගේ සැකය සාධාරණ වන අතර උපන් දා පටන් මුහුදු රළ මායිමේ හැදුනු වැඩුනා වූ බඩ තඩියා මහතාට පිහිනීමට බැරිය. 

හරි පැනපන්..

තව ටිකක් ලං කරහන් බන්..

තව කොහේ ලං කරන්නද බොල .. පැනහන් ..

ඒ තව ටිකක් ලං කරහන් බන්..

එක පාරක් කිව්වනේ යකෝ.. තව කොහාට ලං කරන්නද.. පැනහන් ..

තඩියාත් මමත් ලොරි ටියුබය බෝට්ටුවේ බඳට තබා තද කරගෙන සිටිනා අතර තුරේ බඩ තඩියා ඒ වික්‍රමාන්විත ගමනට ප්‍රථම පියවර තැබීමට බෝට්ටුවේ ගැට්ටට ගොඩවන විට බෝට්ටුවේ රියදුරා බෝට්ටුවේ අනෙක් පසට ගොස් බෝට්ටුව සමබරව තබාගැනීමට සාර්ථක නොවන උත්සාහයක නිරත වන්නේ බඩ තඩියාගේ කිලෝ දෙසීයක පමණ වන බර බෝට්ටුවේ ගැට්ට උඩට ආ කල බෝට්ටුව කණපිට ගැසීමට ඉඩ තිබෙන බැවිනි.

එය එසේ වන විට පාඨක සැමගේ හිත් වලට එන ප්‍රශ්නයක් නම් බඩ තාඩියාව පළමුව බෝට්ටුවෙන් බැස්සීමට හැකිව තිබුනා නේද යන්නයි. එය එසේ කල නොහැකිය. තණකොළ මිටිය, එළුවා, කොටියා සමග ගඟෙන් එගොඩ වන ආකාරයට මෙන් මෙම කටයුත්තද  ඉහත පිළිවෙලටම සිදුවිය යුත්තේ ටියුබයෙන් ගෙඳවානට රැගෙන යන බඩ තඩියා ගෙඳවාන ගල උඩට උස්සා ගැනීමට  හත් අටදෙනෙකුගෙන් සමන්විත පිරිසක් සිටිය යුතු බැවිනි.

බෝට්ටු රියදුරා බෝට්ටුව සමබර කිරීමට අසාර්ථක උත්සහයක නියැලෙන අල්ලපනල්ලේ බඩ තඩියා හොඳින් ටියුබයට ඉලක්කය අල්ලා බෝට්ටු ගැට්ටෙන් පැන්නේ සුවිශේෂීවූත්  ඔහුටම ආවේනික ශිල්පීය ක්‍රමයක් විද්‍යාමාන කරමිනි.

එවන් හැකියාවක් එතෙක් මෙතෙක් මා අත්දැක නොමැති අතර දක්ෂ පිහිනුම් ශූරයෙක් වන තඩියාද දැක නැති බව මම තරයේ විශ්වාස කරනවාය. ලොව දක්ෂම පැනිලි කරුවාටවත් එහෙම පැනිල්ලක් පනින්නට නම් බැරිය. 

ජබාස් ..

අම්මටහුඩු පැන්න නේද යකෝ මැදින්..

ලෝකයේ අංක එකේ වතුරට පැනිලි  ශූරයාටවත් එවන් ආකාරයෙන් ටියුබයක් මැදින් වතුරට පැනීමට නොහැකිය. එසේ පැන්නද ටියුබයේ කොනකවත් ගෑවෙන්නේ නැතිව හරි මැදින් වතුරට පැනීමට සුවිශේෂී හැකියාවක් තිබිය  යුතුය. එසේ බැලූ කල ලොව සිටිනා වතුරට පැනිලි ශූරයින් ඉලක්කයට වතුරට පැනීමට අපේ බඩ තඩියාගෙන් ටියුෂන් ගත යුතුය.

අනෙක් එවුන් ආකාරයෙන්ම හොඳින් ඉලක්කය බලා බෝට්ටුවෙන් ටියුබය වෙත පැන්නා වූ බඩ තඩියා ලොරි ටියුබයේ හරි මැදින් වතුරට පැන්නා වූ බැවින් මා අම්මා පෙවූ රන් කිරි සිහි වී දන්නා කියන පිහිනුම් ක්‍රම සියල්ල උපරිමයෙන් භාවිතා කරමින් ස්කුබි ඩූ හි ස්කුබියා පිහිනන ආකාරයෙන් ජුලියන් බෝලින්ටත් වඩා වේගයෙන් මහ මුහුද දෙසට පීනන්නේ පන එපා කියාය. 

මුහුදු පතුලේ සිරි නරඹා වැලි කාගෙන උඩ මතුවන බඩ තඩියා ඕනෑම පිදුරු ගසක එල්ලෙන බව අත්දැකීමෙන් මා දන්නා බැවින් එම ආසන්නයේ රැදී සිට පිදුරු ගස වන්නට මට උවමනාවක් නැත. මා වැනි බිලින්දෙකුගේ ඇඟේ බඩ තඩියා වැනි එකෙකු එල්ලුනහොත් දෙදෙනාටම එකටම වැලිගම යන්නට සිදුවන බව ඒකාන්තයෙන්ම මා දන්නවාය. ඒ එක්කම දිය කාගෙන වතුර යට කිමිදෙන තඩියා බඩ තඩියාවත් කෙස් වැටියෙන් ඇදගෙන විත් ටියුබයේ එල්ලුවේ බඩ තඩියා මුළු මුහුදේම වතුර බී දැමුවහොත් ලොව පුරා ධීවර කර්මාන්තයෙන් යපෙනා ධීවරයින්ට යන එන මං නැතිවන නිසාවෙනි.

අවසානයේ ටියුබයේ කොනක බඩ තඩියා එල්ලාගෙන මුහුදු අශ්වයකු නාවන්නට අරන් යනවාක් මෙන් තඩියා ටියුබය ඇදගෙන ගෙඳවාන ගල අසලට පිහිනු වහා ගලට ගොඩවී සිටිනා අයවලුන් මඩෙහි එරුණා වූ ඇතෙකු ගොඩට අදින්නා වූ මහා සෙනගක් මෙන් වෙර වීරිය යොදා බඩ තඩියා ගෙඳවාන ගල උඩට ඇදගන්නේ කසිදු අනුකම්පාවක් නොමැතිවමය. ඒ රළ පහරක් විසින් උස්සා ගලේ ගැසුවහොත් බඩ තඩියාට ඇඩ්රස් නැතිවන නිසාය. එයින් අවසන් වන ටියුබ් වික්‍රමය නැවතත් සිදුවන්නේ ආපසු ඒමට බෝට්ටුවට ගොඩවීමටයි .

සියල්ල කිසිවෙකුටත් හානියක් නොමැතිව සිදුවූ බැවින් සියල්ලෝම ගෙඳවාන ගල උඩ විසිර යන්නේ විවිදාකාරයේ අරමුණු වලිනි. 

කට්ටියක් බෙල්ලන් කැඩීමේ ව්‍යාපාරයේ සක්‍රීය දායකත්වය ලබන අතර තවත් පිරිසක් ගෙඳවානේ සිරි නරබනවාය. එහෙත් බඩ තඩියා කිමිදුම් ශූරතාවය දිනූ ඇඟේ තෙහෙට්ටුව නිසාවෙන් වාඩිවූ තැනම සිටින්නේ වෙනත් අරමුනක්ද සිතේ දරාගෙන බව අප දැනගන්නේ අපේ එවුන්නට බඩගිනි දැනෙන්නට ගත්තායින් පසුවයි. 

ගෙඳවාන පුරා රස්තියාදුවූ එවුන්ද , බෙල්ලන් කැඩීමට ගිය එවුන්ද ,රොකට්ටු වලින් ගුවන් ගත වූ නාසා ආයතනයට සම්භන්ධ ගගන ගාමීන්ද කන්නට යමක් සොයා බඩ තඩියා වාඩිවී සිටිනා ගල උඩට පැමිණෙන විට සියල්ල සිදුවී හමාරය. 

ඒ වනවිට බිත්තර පාන් වල බිත්තර භාග සහ  ළූණු ඇතුළු සියල්ලද, මාළු පාන් වල මාළු නැතත් මැද ඇති එළවලු කරිය තිබෙනා කොටසද, ජෑම් පාන් වල පොල්කුඩු පැණි මිශ්‍රණය තිබෙනා වූ  කොටසද, රෝල්ස් සියල්ලද බඩ තඩියා විසින් කා දමා හමාරය.. එපමණකින් අවසන් නැත.. බොන්නට ගෙනා කොකාකෝලා බෝතල්ද , වතුර  බෝතල් වලින් තුන්කාලකටත් වඩා කොටසක්ද බඩ තඩියා විසින් බී අවසන්ය. එතනින් එහා ගෙඳවානේ සංචාරයට පැමිණි අප සැමට ඉතිර වන්නේ බඩ තඩියා විසින් ඉතිරි කල පාන් වාටි ටික සමසේ බෙදාගෙන වලඳා ඉතිරි වූ වතුර සුට්ටද බෙදාහදාගෙන බී අපව රැගෙන යන්නට බෝට්ටුව හවස් අතේ ගෙඳවානට එනතුරු තැන් තැන් වලින් වාඩි වී බඩ තඩියාගේ මවු දෙමාපියන් සිහි කරමින් අව්වේ කරවීමටය. 

ටියුබයේ වික්‍රමයද පෙර පරිදිම සිදුවන අතර බඩ තඩියා බෝට්ටුවට ඇදගැනීමට සෑහෙන්න වෙහෙසක් දරන්නේ බඩගින්නේ කරවුනා වූ අපමය. එම අවස්ථාවද බොහොම සිත්ගන්නාසුළුය. වතුර වැටීමේ අසාර්ථක උත්සාහයන් කිහිපයකින් අනතුරුව තඩියාගේ සහයෝගයෙන් ටියුබය උඩ හිටගන්නා බඩ තඩියා බෝට්ටුවට දමාගැනීම අලියෙකු බෝට්ටුවට නංවා ගන්නවා හා සමානය. දෙතුන් දෙනෙකු අත් දෙකෙන්ද, තවත් එකෙකු කෙස් වැටියෙන්ද අදිමින් කරනා වූ අසීරු ක්‍රියාවලියක් අවසානයේ බඩ තඩියා තපස්... යන ශබ්දයෙන් බෝට්ටුවේ මැදට ස්ථානගත වෙනවාය. ඉන් අනතුරව ඥානා බෝට්ටුව ඉසින අතරතුරේ සියල්ලෝම ගෙඳවාන සංචාරය නිමවා වෙරළට ලගාවෙනාවය. 

කෑමද වතුරද නොමැතිව ගෙඳවානේ දවසක් පුරා වේලුනා වූ අපව කරෝල මුදලාලි කෙනෙකු දුටුවහොත් කරෝල වලට විකුණන්නට තොග මිලක් දී මිලදී ගන්නවා සුවර්ම සුවර්ය.

කරෝල ගානට වේලුනත් අපේ එවුන් සංචාරය අවසන් කරන්නේ බතලයා සහ තඩියා විසින් කඩාගන්නා ලද බෙල්ලන් සියල්ල තම්බාගෙන කෑවායින් අනතුරුවයි. එහෙත් කනගාටුවට කාරණය නම් එයින්ද වැඩි ප්‍රමාණයක් ගිල දමන්නේ සත්ගුණවත් බඩ තඩියා වීමයි. 

Wednesday, November 11, 2015

පිටසක්වල ජුන්ඩා




අපගේ උසස්පෙළ කාලයට හෙවත් එක්දහස් නවසිය අනූ හය කාලයට අදාළ වූ ඥානාගේ බෝඩිමේ සිද්දීන් සියල්ල ලිවීමට තවත් පෝස්ට් කිහිපයක් ලිවියයුතු වුවත් එක දිගටම බෝඩිමේ සිද්දීන් පමණක් ලිවීමෙන්  බ්ලොග් වාසී ජනතාවගේ උදහසට මා පාත්‍රවිය හැකිය. ඒ හෙයින් මෙම පෝස්ටුව අපගේ සාමාන්‍යපෙළ කාලය හෙවත් එක්දහස් නවසිය අනූ තුන වසරේ සිදුවූ සිදුවීම් කිහිපයක් අලලා ලිවීමට අදහස් කලෙමි. ලිවීමට අදහස් කරන සිද්දීන් කිහිපයට උක්ත පිරිසගේ නම් හැකි පමණින් වසංකොට ලිවියයුත්තේ මෙම බ්ලොග් ලිවිල්ල හේතුවෙන් කොයි වෙලාවේ හෝ නොමිලයේ ලැබිය හැකි සම්භාහන ප්‍රතිකාරයෙන් වැලකීම උදෙසායි.. 

පළමුවෙන්ම හඳුන්වා දිය යුත්තේ සාපෙළ පන්තියේ සිටි චන්ඩියා වූ පීටරයාවයි. පීටරයාට අලංකාර නමක් දෙමාපියන් විසින් උප්පැන්නයේ ලියන ලදුව ඇතත් මාගේ මිත්‍රයාට පීටර් යන නාමය පටබැන්දේ රත්නපුරේ තුසිතයායි. ඊට හේතු පාදක වුයේ පීටරයා විසින් කියනා වූ අදහාගත නොහැකි ගනයේ කයිවාරු කතන්දරයි. එකලද වෑන් රථය පදවාගෙන තනිවම පාසලට පැමිණෙන ආර්ථික වටපිටාවක ජීවත්වූ පීටරයා කියන්නාවූ කතන්දර සත්‍යම ඒවා විය හැකි වුවද අපේ එවුන් එව්වා පිළිගන්නා ස්භාවයක සිටියේ නැත.

උඹල දන්නවද අපේ ඇලහැර ආච්චිගේ මැණික් ඉඩම් ටික නිකම් කැලෑවට වැදිලා බන්. ආච්චි නිතරම කියනවා ඇවිත් බලාගන්න කියල .. කොහෙද ගෙදරින් යන්න දෙන්නේ නැහැනේ බන්..

නෑ .. ඉතින් අපරාදෙනේ බන්. ගියානම් මරුනේ.

ගෙදරින් කැමති නැහැ බන්. මම ගිහින් ලයිසන් නැතුව ආච්චිගේ පෙජෙරෝ එක එලවල  ලෙඩ දාගනියි කියලා..

පීටරයා මිතුරන් වටකොටගෙන කියනා වූ කතන්දර වලට සමගාමීව තුසිතයා ඈත තිබෙන්නාවූ පොල්ගසක් දෙස බලා ශබ්දයෙන් අමතයි..

ඒයි පීටර් ඔය ඇති බන්.. අපරාදේ යකෝ කලටි කඩන්නේ..

ඔය ඔය ඉතින් කිව්වට අහන්නේ නෑනේ උඹ.. දැන් ගහෙන් බැහැපන් යකෝ.. වේලිච්ච පොල් නැහැ බූරුවෝ ...

එවිට ඈපාද, හික්කඩුවේ මිත්‍රයාද  තුසිතයාට එකතුවෙනු ලබයි..

පීටර් මම බොට කිව්වනේ.. දැන් බැහැපන්.. 

උඹේ &&^%$^&***&^%#$@%%$%% පීටර් බැහැපන් යකෝ..

මේ සියල්ල ඇසෙන නෑසෙන ගන්නට කතාව කරගෙන යන්නාවූ පීටරයා අවසානයේ බැරිම තැන කකුලේ තිබෙන සපත්තුව ගලවා හික්කඩුවේ මිත්‍රයාට දමා ගසයි. 

මොකද යකෝ..

තෝ මගෙන් මැරුම් නොකා හිටහන්..

මම බොට මොකක් කරාටද යකෝ.. 

බොගේ  %$#%@^#%#&#%#^#%@$##^%@$@$@#!&#^*&%

මේ සියල්ල සිදුවන්නේ ගුරුවරයකු නොමැති කාලච්චේදයක වුවත් අවසානයේ සිද්දිය අවසන් වන්නේ අපගේ හිතාදර මිත්‍ර හික්කඩුවේ එකා පීටරයාගෙන් අම්මමෝ නැතිවෙන්නට ගුටි කෑවයින් පසුවය. අපගේ හිතාදර හික්කඩුවේ මිත්‍රයාද කොයිතරම් ගුටි කෑවද රිදෙන්නේ නැති පිඹුරු හමක් ඇති එකකු  බැවින් පසුවදාද පෙරදා සේම පීටරයාගෙන් ගුටියක් දෙකක් කනවාමය. තුසිතයා පීටරයාටත් වඩා උසින් මහතින් තඩි එකෙකු වූ නිසා පීටරයා කවදාවත් තුසිතයාට එරෙහිව අවි ගත්තේ නැත. 

සාපෙළ ලං වීමත් සමගම පාඩම් කිරීමට සියලු දෙනා එක එකාගේ ගෙවල් වලට එකතුවීම දෙමාපිය අනුග්‍රහයෙන්ම සිදුවූ අතර පාඩමට වඩා සිදුවුයේ කාගේ හෝ ගසක ගෙඩියක් හොරෙන් කඩාගෙන කෑම, නිදාගන්නා එකෙකු පාටකිරීම, තරහ කාරයකුගේ නිවසකට ප්‍රහාරයක් එල්ලකිරීම වැනි කුපාඩි ගනයේ ක්‍රියාවලි සමුදායකි. 

කාගේ නිවසට එකතුවී පාඩම් කලද නිවැසියන් නින්දට යනතුරු මීයන්සේ කාමරය වී සිටිනා හොඳ ළමුන් රාත්‍රී දොළහ පමණ පසුවන විට ජනේලයකින් එලියට පැන වීදි සංචාරය කරන්නේ කාට හෝ අයහපතක් කිරීමේ පරමාර්ථයෙන්ම පමණකි. දෙමාපියන් සිතා සිටින්නේ දරුවන් කාමරයේ පාඩම් කරනවා කියා වුවත් අළුයම එක, දෙක වනවිට හොඳ ළමුන් සියල්ලෝම සිටින්නේ කාගේ හෝ වත්තක කුරුම්බා බාමින් වැනි අලුගුත්තේරු වැඩක් කරමිනි. 

පාසල් වෙලාවේදී ළමුන්ට දැඩි දඬුවම් දෙන්නාවූ ගුරුවරුන්ගේ නිවෙස් වල ප්‍රධාන දොර ඉදිරිපිට මල්වඩම් තැබීම වැනි කාලකන්නි ගනයේ ක්‍රියාකාරකම්ද නොකෙරුනා නොවේ. පීටරයාගේ නිවසට අල්ලපු වැටේ තිබෙන්නාවූ කනත්තෙන් මල්වඩමක් දෙකක් සොයාගැනීම කජු කනවාටත් වඩා පහසු ගනයේ ක්‍රියාවක්  වූ බැවින් අපේ එවුන්ට මල්වඩම් වලින් නම් අඩුවක් පාඩුවක් තිබුනේම  නැත. 

එවන් එක්  දිනෙක එක්තරා ගුරුවරයෙකුගේ වත්තට පැන මල් පැල වලට වතුර දමනා හෝර්ස් බටය සාලයේ ජනේලයේ උඩ කව්ලුවෙන් ගේ ඇතුලට දමා වතුර ටැප් එක හෙමිහිට විවුර්තකොට මාරුවීම වැනි සුපිරි ගනයේ කුපාඩි වැඩද නොකලා නොවේ. කනත්තේ සොහොන් වල ගසා තිබෙන තෝරන් පිටින් ගලවාගෙන ගොස් තරහ පාර්ශව වල ගේට්ටු කණු වලට තබා බැඳ සම්පූර්ණ තොරනම ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට ඉදිකිරීමට තරම් අපේ එවුන් සහජ දක්ෂතාවයන් වලින් හෙබි එවුන්ය. 

කුරුම්බා බෑමට වෙනම පයිලට්ලා කොටසක් සිටි අතර කිසිම ශබ්දයක් නොඇසෙන සේ ගසට නැග කුරුම්බා එකින් එක කඩා පහල සිටින එකාගේ අතට අත්හැරීම පයිලට්ලාට සිම්පල් ගනයේ වැඩකි. පාඩම් සෙට් එකේ එවන් පයිලට්ලා කිහිපදෙනෙක් සිටි අතර වැඩිම ගුවන් පැය ගණනක් සහ වැඩිම අත්දැකීම් තිබෙන්නාවූ එකා සීනියර් පිළිවෙලට හොරකමට අනුයුක්ත කිරීම අපගේ පිළිවෙලයි. 

පුහුණුවන පයිලට් කෙනෙකු යවා ගෙදර අයිතිකාරයාට අසුවීමට තරම් අප මෝඩයින් නොවුන අතර සෑම විටෙකම සීනියර් පයිලට් කිසිදු බලකිරීමක් නොමැතිවම ගසට නැගීම සිදු කෙරෙයි. හොර කුරුම්බා ආචාරධර්ම වලට අනුව පයිලට් ගසෙන් බැස එන තුරු එකුදු කුරුම්බා ගෙඩියක්වත් බොන්නට සහචරයින් පෙළඹෙන්නේද නැත. එම ආචාර ධර්ම වලට අනුකුලවම පලවෙනි කුරුම්බාව පිළිගන්වන්නේ කැප්ටන් පයිලට් තුමාටයි. 

කුරුම්බා ගසේ අයිතිකරුවන් දේවාල ගානේ ගොස් පොල් ගසනා වර්ගයේ අයවලුන් නම් එක් කුරුම්බාවක වතුර අයිතිකරුගේ ලිඳට හැලීමද සිදුකරන්නේ ලිඳේ වතුර සමග ඔවුන්ද හොර කුරුම්බා බීමට සම්මාදම් කරගැනීමටයි. එවිට දෙස් දෙවොල් තැබීමක්, පොල් ගැසීමක්, මිරිස් ඇඹරීමක් වැනි අවර ගනයේ ක්‍රියාවක් සිදුකරතත් වදින්නේ ගෙදර එකාටත් සම සමව යන විශ්වාසයක්ද එවකට පැවතියාහුය . 

මෙහිදී අපගේ වැඩියෙන්ම අත්දැකීම් ඇති පයිලට් හඳුන්වාදීම යෙහෙකි.. නම ගම සඳහන් කිරීමට නොහැකි අපගේ පයිලට් ගොයියා ඕනෑම ගසකින් ගෙඩියක් හොරකම් කිරීමට සමත් ගනයේ එකෙකි. ඕනෑම අවදානම් රාජකාරියක් භාරගැනීමටත්, ඕනෑම ගසක දල්ලටම බඩගෑමටත් අති දක්ෂයෙක් වූ මා මිත්‍රයාගේ ඇස් පෙනීම වඩා තීව්ර වුයේ රාත්‍රී කාලයේදීයි. 

ඕනෑම දක්ෂ පුද්ගලයකු වටා දුර්වලකම් තිබියහැකි බැවින් මාගේ මිත්‍ර සීනියර් පයිලට් ගොයියාටද පොදු වූ දුර්වලකමක් වුයේ වතුරට ඇති බලවත් අකමැත්තයි. වෙනයම් ආකාරයකින් කියනවානම් අපේ එකා මලාට නාන්නේ නැති ගනයේ එකෙකි. එසේම ඇඟ සේදීම, මුහුණ සේදීම වැනි කර්තව්‍යන්ද අපගේ කැප්ටන් පයිලට් තුමාට ගැරඬියාට භූමිතෙල් වැනිය. කුමන වෙලාවක වුවද පයිලට් ගොයියා රැගෙන ඒමට නිවසට ගියද පයිලට් ගොයියාගේ අක්කණ්ඩිය අපට හැමදාමත් කියන්නේ එකම කතාන්දරයකි..

අනේ මල්ලි.. මූව මුහුදේ දාල හරි නාවලා  එක්කන් එන්න පිං සිද්ද වෙයි..

එවන් ආකාරයේ ගෘහස්ත මට්ටමේ ඉල්ලීම් අප වෙත පැවතියත් පයිලට් ගොයියා නෑවීම ජලභීතිකාව තිබෙනා බල්ලකු නාවනවාටත් වඩා අමාරු වූ කර්තව්‍යක් වුයේය.

 එකට හොරකමේ ගියද, එකට පාඩම් කලද, එකට කෑවද බීවද අපේ එවුන් නිදන මොහොතෙනම් විශ්වාස කළහැකි ගනයේ එවුන් නොවුයේ සහජයෙන්මය. හැමදෙනාම නිදාගත්තේ අර්ධ වශයෙන් වුයේ, පූර්ණ වශයෙන් නින්දට වැටුනහොත් අවදි වන්නට වන්නේ නින්දට වැටුන ස්භාවයෙන් නොවන නිසාවෙනි.

සුපිරියට නින්ද ගිය  එකා හැමදාමත් උදෑසන අවදි වන විට මූනත්තහඩුව වෙස්මුහුණ වී අහවරය. 

වෙනස් ආකාරයෙන් කියනවානම් එක්කෝ මුහුණ පාට කරලාය... 

එක්කෝ පර්මනන්ට් මාර්කර් වලින් දත් කිහිපයක් කළු කරලාය..

නැතිනම් කැසට් පීස් ටේප් වලින් ඔතා මමියක් කරලාය...

නැතිනම් රාත්‍රියේ ඇඳ සිටි පිරිම ඇඳුම වෙනුවට ඇඳ සිටින්නේ ගැහැණු ඇඳුමක්ය...

එක්කෝ ඇඟිලි ටික නැමූ ආකාරයෙන්ම තිබෙන්නට සුපර්ග්ලූ දමලාය...

එක්කෝ මෙට්ටය පිටින් උස්සාගෙන ගොස් නිවසේ කුස්සිය මැද්දෙන් තබලාය...

එක්කෝ කකුල් දෙක එකතු කොට සෙලෝටේප් ඔතලාය...

මෙකී නොකී දහසක් කුපාඩි වැඩ වලින් පීඩාවට පත් පාඩම් සෙට් එක හැමවිටම නින්දට වැටුනානම් නින්දට වැටුනේ භාගයටමය...

මෙම සිදුවීමද අහල පහල වතු කිහිපයක ගස් පාලු කරන ලද සාර්ථක ගුවන් ගමන් කිහිපයකින් පසු පීටරයාගේ නිවසට සැපත්වී නිදන්නට සුදානම් වූ දිනයක සිදුවුවකි. 

පීටරයාගේ කාමරයට සැපත්වූ වහා එක එකා තැන් තැන්වල නිදන්නට සූදානම් වන අවස්ථාවේ කැප්ටන් පයිලට් තුමා නොකර සද්ද  ඇඳට වැටී ගොර අදිමින් නින්දට වැටී සිටිනු දුටු අපේ එවුන් නින්ද පැත්තක තබා ලක ලැහැස්ති වුයේ කැප්ටන් පයිලට් තුමා මේකප් කිරීමේ කාර්යභාරයටයි. පීටරයාගේ පියාණන් විදේශ රැකියාවක නියුතු පුද්ගලයෙකු වූ නිසා ඕනෑවටත් වඩා සුකුරුත්තම් බඩු භාණ්ඩ පීටරයා සතුව තිබුනේය. විවිද වර්ගයේ මාර්කර්, විවිද වර්ගයේ පැන්සල් පෑන් වැනි පාසල් උපකරණ වලට අමතරව විවිද වර්ණයේ TOA Spray කෑන් ගොඩක්ද පීටරයා සතු වුයේය.

වෙනදාට වෝටර් කලර්ස්, ටියුබ් කලර්ස්, පීටරයාගේ අක්කලා සතු තොල් ආලේපන, නිය ආලේපන වැනි දෑ පාවිච්චි කරන්නාවූ කණ්ඩායම එදින අලුත්ම වර්ගයේ අත්හදාබැලීමක් සඳහා සුදානම් වුයේ ලුමිනස් කොළ වර්ගයේ ස්ප්‍රේ කෑන් එකක් අතැතිවයි. සියලු රූපලාවන්‍ය කටයුතු භාරව කටයුතු කලේ කොටා බැවින් අපහට වුයේ සිදුවන්නාවූ කලාත්මක රාජකාරිය නිහඬව නැරඹීමයි. 

මෙම රාජකාරිය සිදුකරන අවස්ථාවේ කරනා වූ පළමු කටයුත්ත වන්නේ කාමරයේ විදුලි පහන නිවා දැමීමයි..ඉන් පසුව සිදුවන්නේ රුපලාවන්‍ය ශිල්පීයා ඇත්තටම නිදනා එකා අසලින් බොරුවට නින්දට වැටීමයි. ඉන්පසුව ක්‍රමානුකුලව සිදුවන රූපලාවන්‍ය කටයුතු කළුවරේ සිට නැරඹීම අපගේ රාජකාරියයි. හදිසියේ හෝ නිදන එකා අවදිවුවහොත් සියල්ලෝම නිදි මෙන් සිටීම ප්‍රකට මූලධර්මයයි. 

සියල්ල අකුරට සිදුවී අවසන් වී විදුලි පහන දල්වා බලනවිටත් අපගේ කැප්ටන්  පයිලට්තුමා සුව නින්දේ පසුවූ අතර පයිලට්ගේ මුහුණ, අතපය හතර කිසිදු උපද්‍රවයකින් තොරවම පෙර සේම තිබුයේය. එහෙත් හිත් පිත් නැති කොටා කැප්ටන් පයිලට්ගේ ජුන්ඩා සහ ඒ අවට අනර්ග ලෙස ලුමිනස් පාටින් ස්ප්‍රේ කර තිබුනේය. 

වෙනත් ආකාරයකින් කියනවානම් කොටා විසින් අපේ කැප්ටන්ගේ පිරිමිකම පිටසක්වල ජීවියෙකුගේ මෙන් ලුමිනස් පාට කර තිබුනේ දක්ෂ කලා හැකියාවක් පෙන්නුම් කරමිනි. සියල්ලට අනතුරුව සියල්ලෝම අඩ නින්දට වැටී උදෑසන අවදිවී නිවෙස් බලා ගියේ ලහි ලහියේ ලක ලැහැස්ති වී පාසල් පැමිනීමටයි .

කැප්ටන් පයිලට්තුමා පසුදා පාසල් පැමිණෙනවිටත් මුළු පන්තියම පයිලට් තුමාගේ විපර්යාසය පිළිබඳව දැනුවත් වී තිබුනේ ආරංචි වලට තටු තිබෙන්නා වූ බැවින්ය. එහෙත් කිසිදු වරදක් සිදුවී නැති ආකාරයෙන් කැප්ටන් පයිලට් හැසිරෙනුයේ වතුරට ඇති අකමැත්ත නිසා බව දැන උන්නේ මා ඇතුළු සමීප මිතුරන් කිහිප  දෙනෙකු පමණි. පන්තියේ කොල්ලන්ගේ උසුළු විසුළු හමුවේ කුතුහලයට පත් කැප්ටන් පයිලට්, ගුරුවරුන් මාරුවෙන කාලච්චේද දෙකක් අතරේ වැසිකිලිය බලා දුවගියේ කුතුහලය පරීක්ෂා කරනු සඳහායි.. 

අවාසනාවට පයිලට් නැවත පන්තියට පැමිණෙන විට ගණිත ගුරුතුමා පැමිණියේ මේ අතර වාරයේදීයි.. ඒ සමගම, ඇස් ගෙඩි  දෙක එලියට පනින්නට ඔන්න මෙන්න තරම් විශාල කරමින් පියවි සිහියෙන් මදක් ඔබ්බෙන් සිටි කැප්ටන් පයිලට් කොස් ගෙඩියක් තරම් ලොකු වූ මුහුණෙන් පංතියට ඇතුල්වන විට කොල්ලන් සියල්ලම සිනහවෙන්නට ගත්තේ සියල්ලන්ම සිද්දිය දන්නා නිසාවෙනි..

කොහෙද ගියේ..

ට්  ට් ටො ටොයිලට් එකට ගියා සර්..

මුළු පන්තියම නොනවත්වා සිනහවීමෙන් පුදුමයට පත් ගණිතය ගුරුතුමා ඊළඟට හැරුනේ පන්තිය දෙසටයි..

මොකද ඕයි .. මොකද අද තමුසෙලට වෙලා තියෙන්නේ..

කොල්ලන් සිනහව නවත්වන්නේ නැත.. කැප්ටන් පයිලට් ද ඉන්නේ මුහුණ කොස් ගෙඩියක් තරම් ලොකු කරගෙන ඔරවාගෙනය..

මොකද ඕයි .. තමුසෙටද මුන් මේ හිනා වෙන්නේ..

කැප්ටන් පයිලට් උත්තර නැත..

කතා කරනවා.. තමුසෙට මොකද වෙලා තියෙන්නේ..

කැප්ටන් පයිලට් උත්තර නැත..

තමුසෙට අසනීපයක්ද.. කියනවා මොකද තමුසෙට වෙලා තියෙන්නේ..

කැප්ටන් පයිලට් කිසිදු පිළිතුරක් නැත..

කප්ටන් පයිලට්ගේ අද්භූත නිහඬ භාවයෙන් මවිතයට පත් ගණිතය ගුරුතුමා නැවතත් පන්තිය දෙසට හැරුණි..

තමුසෙලා කියනවා බලන්න හිනාවෙන්නේ කාටද කියල.. මේ මිනිහට මොකක් හරි ප්‍රශ්නයක්ද..

කව්රුත් උත්තර නැත... සිනහ වෙනවා පමණකි..

අනේ මන්ද තමුසෙලා අද මොනවහරි පාවිච්චි කරලවත්ද කියල.. 

තමුසෙට පන්තියේ ඉන්න පුලුවනිද , බැරිද, අසනීපයක්ද, භූත දෝෂයක්ද කියල මට කියනවා..

කැප්ටන් පයිලට් ඇස්ගෙඩි දෙක ලොකු කරන් සර් දිහා ඔහේ බලන් හිටියි.. 

"ඊයේ රෑ නිදාගනිද්දි  යස අපූරුවට සිටි මගේ ජුන්ඩා මේ දැන් බලද්දී පිටසක්වල එකක් වෙලා සර්" කියා කියන්නට බැරි නිසාවෙන් කසාය බිව් ගොළුවෙකු සේ ඇස් ගෙඩි දෙක එලියට පනින්නට තරම් විලාසයෙන් සිටිනා කැප්ටන් පයිලට් මාරුවෙන් මාරුවට පන්තිය දෙස සහ ගුරුතුමා දෙස බලන්නේ වෙලා තිබෙන්නාවූ අකරතැබ්බය ගුරුවරයකුට තියා මෙලෝ වසනා කිසිදු ප්‍රාණියෙකුට කටක් ඇර පැවසියහැක්කාවූ දෙයක් නොවන බැවින්ය. 

තමුසෙට පන්තියේ ඉන්න පුලුවනිද..

එවිට කැප්ටන් පයිලට් ඔව් යයි ඔලුවෙන් සන් කළේය..

හ්ම්.. යනවා.. ගිහින් වාඩි වෙනවා.. අනේ මන්ද මුන්ට මොනවා වෙලාද කියලා අම්මපල්ල..

කොල්ලන්ගේ විවිද ශබ්ද මද්‍යයේ කැප්ටන් පයිලට් තම පුටුවෙන් වාඩි  වුවද දවස අවසන් වනතුරු කා සමගවත් කථාවක් බහක් තිබුනේ නැත..

කාලයක් යනතුරු අපගේ හිතාදර මිත්‍ර කැප්ටන් පයිලට් මහතාට අප සැවොම නයාට අදුකොල මෙන් වූ අතර කා සමගවත් වැඩි කතාවක් බහක් තිබුනේ නැත. අපද කොයිතරම් පයිලට් මහතාව මිතුරු කරගන්නට ප්‍රයත්න දැරුවද පිටසක්වල ජීවියා යලි මනුලොවට පැමිණෙන තුරු කැප්ටන් අපගේ දෙමාපියන්ට පිං පෙත් දීම දිනපතා කරගෙන යන ලදී..

අපේ කව්රු හෝ එකෙකු ඉඳහිට පිට පන්තියක එකෙකු ලව්වා කැප්ටන් පයිලට්ගෙන් මෙසේ අස්සවනු ලබයි..

මොකක්ද බන් මේ කරදරයක් උනයි කියන්නේ...

අනේ මේ බොගෙ @#$%$#$#@&^%$##^&^%%$##^^%$## 

සංවාදය අවසන් වන්නේ ඒලෙසයි..

මලාට නාන්නේ කරන්නේ නැති අපේ පයිලට් තුමා දිනපතා නාන්නට වූ හේතුව ගෙදර එවුන්ට නොදන්වා සිටීමට අපේ පයිලට් තුමා වගබලා ගත්තද.. අපට වඩා වසරකින් බාල වූ පයිලට් තුමාගේ මලයාට, මලාට නෑවේ නැති අයියා  දිනපතා නෑමේ රහස දැනුම් දීමට අපේ එවුන් කලට වෙලාවට වගබලා ගත්තෝය. දිනපතා ස්නානය කලද පිසක්වල ජීවියා මනුලොවට පැමිණීමට මාසයක් දෙකක් ගතවීලු..

ජීවිතය පරදුවට තබා ගස් බඩගා කුරුම්බය අතට වඩම්මන පයිලට් තුමාට කළා වූ අසික්කිත ක්‍රියාවට දෙවියන් විසින් කොටාට දඬුවම ලබාදුන්නේ මෙසේයි..

එදින අප පාඩම් කලේ මාගේ නිවසේ වන අතර සාමාජිකයින් වුයේ බුද්ධික, ප්‍රියන්ත, කොටා සහ මා පමණි. වෙනදා සේම සියලු අවර ගනයේ ක්‍රියා සිදුකොට නින්දට වැටෙන අවස්ථාවේ අවසාන වශයෙන් තවත් එකෙකු බයිටට ගැනීම පෙර සිටම පැවත එන චාරිත්‍ර ධර්මයක් වශයෙන් කරගෙන ආ බැවින් එදින අපගේ කලාත්මක කටයුත්තට පූර්ණ අනුග්‍රහය දැක්වුයේ බුද්ධිකයායි . බිම එලා තිබු මෙට්ටයේ ගොරොද්දේ අදිමින් නිදා උන් බුද්ධිකයා මේකප් කිරීමට සියල්ල සුදානම් වූ අතර මේකප් ශිල්පියා වුයේ මායි. අල්ලෙහි උලාගත් ටියුබ් කලර්ස් තල්ලියන් නිදි විලාසයෙන් බුද්ධිකයාගේ මුහුණෙහි අතුල්ලමින් සිටි මා, කාමරයට වැටෙන පාරේ ලයිට් කණුවේ ලා එළියෙන් දුටුවේ යන්තමින් නින්දෙන්ම ඇස් ඇර බලා යලි නින්දට වැටුණු බුද්ධිකයාවයි. මල මිනියක් ලෙසින් නිදා සිටි බුද්ධිකයා යාන්තමට ඇස් ඇර බැලුවේ නුහුරු නුපුරුදු යමක් තමා අවට සිදුවන්නේදෝ යන දැනීමක් දැනුන නිසාවෙන් වග මා හට වැටහීමට වැඩි වෙලාවක් ගතවුයේ නැත . දසමහා යෝදයෙකුට තරම් ශක්තියක් ඇති බුද්ධිකයාගෙන් පාරක් වැදුනහොත්  දැඩි සත්කාරයේ සතියක් දෙකක් බෝඩින් වීමට සිදුවීම අනිවාර්ය බැවින් කරගෙන ආවාවූ කළා කටයුත්ත තවදුරටත් කරගෙන යාම මාරයාට අතවැනීමක් වැනිය. නොබෝ වෙලාවකින් මා වෙත ඇදෙන්නට යන ස්වීප් ටිකට් පත වෙනත් අයෙකුට පවරා දීමට කල්පනා කල මා හෙමින් සීරුවට මෙට්ටයෙන් නැගිට ගොස්  පාට ටියුබය කොටා අත තැබුවෙමි..

උඹ ගාපන් ටිකක්..

ඇයි උඹට ගාන්න බැරි උනාද..

නෑ  නෑ මම ටිකක් ගෑවා බන්.. මට වැඩේ ඒ තරම් හුරු නෑ .. උඹ ඇඳපන් ..
හරි.. එහෙනම් සද්ද නැතුව හිටපන්කෝ..

මාත් කොටාත් කතාවුනේ ඇසෙන නෑසෙන ශබ්දයෙනි..කොටා කලුවරේම බඩගා ගොස් බුද්ධිකයා අසලින් වැතිරුණේ මෙට්ටයටත් නොදැනෙන්නට මෙනි.  මමද ඇඳෙහි ගුලිවී බලා සිටියේ ඊළඟට සිදුවෙන්නාවූ උත්කර්ෂවත් අවස්තාව නැරඹීමේ නොඉවසිල්ලෙනි..



ඇඳේ පහල කොනෙන් ඔලුව දමාගෙන කළුවරේ බුද්දිකයා දෙස බලා සිටි ප්‍රියන්තයා අසලට ඇදුනු  මාද සජීවීව  දර්ශනය නැරඹීමට උත්සුක වුයෙමි..

බලහන්කො දැන් වෙනදේ.. කනටකර ප්‍රියන්තයාට කීවෙමි 

ඇයි මොකද වෙන්නේ..

බලන් හිටහන්කෝ සද්ද නොකර..

අඳුරෙන් පිරී පැවති කාමරයේ ඊළඟට ඇසෙන්න ගත්තේ කොස් ගෙඩියකට තඩිබාන්නා වැනි ශබ්දයකි..

තඩ් ..බහ් .. ඩොහ් ..ඩොහ් ...ඩොහ්... තඩ් ..අම්මෝ..උහ් ..චටාස්..පටාස්..

අම්මේහ් ..ඒ කොටාගේ කෙඳිරිලි හඬයි..

කාමරයේ නවතා තිබු මාගේ ෆුට් බයිසිකලයද පෙරලී ගිය අතර ලී යමක් කැඩෙන ශබ්දයක්ද ඇසුනි.. සියලු ශබ්ද නිමවූ වහා මා ඇඳ අසල තිබෙන්නා වූ මේස ලාම්පුව දල්වා බලනා විට කොටා සිටියේ මාගේ පොත් මේසය යට බෙල්ල අතගාමිනි.. මාගේ පොත් මේසයේ කකුලක්ද අවසන් ගමන් ගොස් තිබු අතර බයිසිකලයේ ඉදිරිපස රෝදය මේසය යට සිටි කොටා සහ එළියේ සිටි බුද්ධිකයා අතර පරතරය අහුරා සිටියේය.. බුද්ධිකයා නිදිමරගාතේ මුහුණෙහි තිබු පාට අතුල්ලමින් කොටා දෙස නැවතත් පනින්නට බලාගෙන සිටියේ මල අසූ හාරදාහට පැනලාය .. 

ළමයෝ..මොකක්ද ඒ සද්දේ..

නෑ අම්මේ මේ බයිසිකලේ පෙරලිලා බුද්ධිකගේ කකුලේ වැදිලා..

මට මේ නිකම් ගහගන්නවා වගේ ඇහිලා ඇහැරුනේ..

නෑ නෑ අම්මේ එහෙම දෙයක් නැහැ..

අනේ මන්ද..

මා කාමරයේ දොර නෑරියායින් මවුතුමිය නික්මගිය අතර මවුතුමියගේ පැමිණීමෙන් කොටාගේ ගුටි කෑම නතරවිය. එදා කොටා විසින් ගෙවා දමනු ලැබුයේ අපගේ කැප්ටන් පයිලට් තුමාට කරන්නට යෙදුනා වූ අසික්කිත කර්මයේ පාපයයි..ඒත් මලාට නාපු නැති කැප්ටන් පයිලට්තුමාගේ ජල භීතිකාව සුව කරනු ලද්දාවූ පින කොටාට ජාති ජාතින් පලදෙනු ඇත.

ඒ කාලයේ ඩිජිටල් කැමරා වැනි උපාංග බහුලව තිබුනා නම් පිටසක්වල ජුන්ඩා අන්තර්ජාලය පුරා සැරිසරනු අනිවාර්යය.