කාලෙක ඉඳන් ලියන්න හිතාගෙන හිටපු කතාවක් ලියා පලකරන්න හොඳම සහ සුදුසුම දවස අද කියලා හිතුන නිසා සියලූම වැඩ කටයුතු පැත්තක දාල මේක ලියන්න පටන් ගත්තෙ..
චන්දරේ බාප්ප මට ඥාති වෙන්නෙ සෑහෙන්න දුරින්.. ඒක ලියන්න ගියොත් A4 පිටු දෙකක් විතර ලියන්න වෙනව ඒ නෑකම පහදන්න.. නෑකම ගැන කෙටියෙන් කියනවනම් චන්දරේ බප්පා කියන්නෙ මගේ තාත්තගෙ, නැසීගිය ලොකු අයියගෙ, වයිෆ්ගෙ, අම්මගෙ, සහෝදරියකගෙ, පුතෙක් කියලා තමයි මගේ වැටහීම.. සමහර විට ඔය මම ලියපු නෑකමේ අන්තිම පුරුක් දෙක පොඩ්ඩක් එහේ මෙහේ වෙන්න පුලුවනි මට ඒ ගැන ලොකු අවභෝධයක් නැති නිසා.. මගේ තාත්තගෙ අයියගෙ පුතාලට චන්දරේ බාප්පා මගේ වැටහීමේ හැටියටනම් විය යුත්තේ මාමා කියන නෑකම උනාට අපේ ලොකු තාත්තගෙ දරුවො උන්ගෙ චන්දරේ මාමාව චන්දරේ බාප්පා කියලා හැඳින්වූයේ ඇයි කියලා මම අදටත් නොදන්න දෙයක්.. අපේ ලොකු තාත්තගෙ දරුවන්ගේ ආමන්ත්‍රනයෙන්ම අපිටත් ඉතිං චන්දරේ බාප්ප හරිම ලඟ ආදරණීය චරිතයක්..
අපි පුංචි කාලෙ අපේ බාප්පලා අපිව සති අන්තයට මුහුදෙ නාන්න එක්කන් යද්දි චන්දරේ බාප්පත් අපි එක්ක මුහුදෙ නාන්න යන්න සෙට් උනා.. මම මේ කියන කාලය් 1985 සහ 1990 අතර කාලය කියලයි මට ලාවට මතක.. චන්දරේ බාප්පා හයේ හතරෙ උස මහත උත්තුංග දේහදාරී මනුස්සයා.. මූන පුරා රැවුලක් වවාගෙන කොයිවෙලාවෙත් හිනාවෙලා හිටපු මනුස්සයෙක් විදිහට චන්දරේ බාප්පා බොහොම ආදරණීය මනුස්සයෙක්.. පෙනුමෙන් බොහොම සැර පරුශ තද පෙනුමක් තිබුනට කතා බහේදි කිසීම සැරපරුශ ගතියක් නැති සුන්දර මනුස්සයෙක්.. චන්දරේ බාප්පා පාසල් ගුරුවරයෙක්.. මට පලමු වරට චන්දරේ බාප්පා මගේ ඇස්මානයට එන කාලය වෙද්දි චන්දරේ බාප්පා පාවිච්චි කරේ Honda DB 250 N වර්ගයේ තඩි මෝටර් සයිකලයක්.. මමත් හීං එකා සංදියේ හිටංම රථගාය තිබ්බ එකා නිසා චන්දරේ බාප්පගෙ CB 250 එකේ සද්දෙ මට ඈත හිටංම අඳුරගන්න පුලුවන් සද්දයක් ඒ කාලෙ.. අපේ ගමේ තිබුන ඒ ජාතියේ මෝටර් බයිසිකල් දෙකෙන් එකක් තමයි චන්දරේ බාප්පගෙ මෝටර් බයිසිකලේ.. 88/89 කාලෙ කලබල වලින් පස්සෙ චන්දරේ බාප්පා අපේ දර්ශනපථයෙන් නොපෙනී ගිහිං මට ආයෙම චන්දරේ බාප්පා සම්මුඛ වෙන්නෙ 2001-2005 කාලෙ මරදානෙ ඉඳන් මාතර යන රුහුණු කුමාරී දුම්රියේදි..
ඒ වෙද්දි චන්දරේ බාප්පා ඉගැන්නුවේ කොලඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ කියලයි මට මතක.. සතියට වරක් දෙවරක් මටත් රුහුනු කුමාරියේ ගෙදර යන්න චාන්ස් එක හම්බෙන වෙලාවට ඒ කෝච්චියේම දෙවැනි පංතියේ සීට් එකක චන්දරේ බාප්පත් ඉන්නව මම දකිනව.. සමහර වෙලාවට අපි දෙන්නම එක ලඟ සීට් එකේ වාඩිවෙලා එනව.. දෙන්නටම ඉතිං මරදානෙන්ම නින්ද යන නිසාත් ආයෙම ඇහැරෙන්නෙ අම්බලන්ගොඩ ලංවෙලා නිසාත් අපිට ඉතිං නෑකම පොලිශ් කරගන්න ලොකු වෙලාවක් නෑ.. ඒත් ඉතිං කතා කරන්න කියලා අපිට සුවිසේශී තොරතුරු තිබුනෙත් නෑ.. ආන්ඩුවෙන් ලැබෙන දෙවැනි පංතියේ සීසන් එකෙන් අපි දෙන්නම රුහුනු කුමාරියේ පැලෙන්න නිදා ගන්නව.. 1.30 ට ඉස්කෝලෙ ඇරිලා චන්දරේ බාප්පාට 3.50 ට මරදානෙන් රුහුනු කුමාරියේ නගින්නෙ නැතුව 2 ට කොටුවෙන් පිටත්වෙන ගාලු කුමාරියේ ගෙදර නොගියේ ඇයි කියලා මම චන්දරේ බාප්පගෙන් අහලා නෑ කවදාවත්..
චන්දරේ බාප්පා ජවිපෙන් අම්බලන්ගොඩ නගර සභාවට තරඟ කරලා නගර සභාවෙ සභිකයෙක් විදිහට තේරී පත්වුනේ කොයි අදුරුද්දෙද කියල මට හරිහැටි මතක නෑ.. රුහුනු කුමාරියේ හමුවෙනවට අමතරව මට ආයෙම චන්දරේ බාප්පව සමීපව ඇසුරු කරන්න ලැබෙන්නෙ අපේ කඩේදි..
මම කොමියුනිකේශන් එක පටන් ගන්නෙ 2001 අවුරුද්දෙ.. හවස වැඩට ගිහුං ආපු වෙලාවෙ ඉඳන් රෑ 10 වෙනකල් මම හිටියෙ කඩේ වැඩ එක්ක.. දවල් දවසේ වැඩට ඉන්න ලමයි දෙන්නට කරලා ඉවර කරගන්න බැරිවුන ටයිප් සෙටින්, ෆොටෝ කොපි, සියල්ලම අවසන් කරන්න වෙන්නෙ මට.. මැතිවරණ කාලවල චන්දරේ බාප්පලාගෙ බොහෝමයක් දේශපාලන කටයුතුවලට අදාල ෆොටෝ කොපි ගැහුවෙ අපේ කඩෙන්.. අනෙක් පක්ශ ක්‍රියාකාරීනුත් ෆොටෝකොපි ගැහුවෙ අපේ කඩෙන්.. චන්ද කාලෙට අපේ ෆොටෝකොපි බිස්නස් එක වෙනදට වඩා සරුයි.. කොපි ගහන වැඩ තියෙනකොට චන්දරේ බාප්ප කලින්ම මට කියනව පුතා අපිට කොපි ටිකක් ගහගන්න ඕන රෑ වෙලා එන්නම් කියල.. ලොකු ඕඩර් එකක් එක දිගට කොපි ගහනකොට කඩේට එන අනික් ගනුදෙනු කරුවන්ට රස්තියාදු වෙන්න වෙන නිසා මමත් කැමතිවුනේ චන්දරේ බාප්පලා කඩේ වහන්න ලංවෙලා එනවනම්..
සමහර දවස්වලට ඒ ෆොටෝකොපි ගැහිල්ල රෑ දොලහ පහුවෙනකලුත් ඇදෙන තරම් ලොකු වැඩ.. මමත් අපේ මුලු පවුලමත් එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ශයට යාවජීවව සහය දෙන සහ කතිරය ගහපු මිනිස්සු.. ඒක චන්දරේ බාප්පත් ඉතාමත් හොඳින්ම දැනගෙන හිටපු කාරනාවක්.. හැබැයි එහෙම කියලා අපිට චන්දෙ දෙන්න කියලා චන්දරේ බාප්පා කවදාවත් අපිට බලපෑමක් තියා ඉල්ලීමක්වත් කරලා නෑ.. ගහන්න ඕන ෆොටෝ කොපි මිටිය අරගෙන දෙතුන් දෙනෙක් එක්ක කඩේට එන චන්දරේ බාප්පා ඇතුලු කිහිපදෙනා සිගරට් එකක් තියා ප්ලේන්ටියක්වත් නොබී මම ෆොටෝකොපි ටික ගහල දෙනකම් පැය ගනන් කඩේ ඇතුලෙ හිටහෙන හිටිය.. වෙනත් දේශපාලන පක්ශවලට සම්භන්ධ උදවිය ෆොටෝ කොපි ගහල ලියපු නැති බිලක් ඉල්ලගෙන යද්දි චන්දරේ බාප්පලා කවදාවත් රුපියලක්වත් වැඩිපුර දාපු බිලක් ඉල්ලුවේ නෑ..
ඔය ෆොටෝ කොපි ගහන කාලය අතරතුරේ අපි විවිධ දේවල් කතා කරා.. හැබැයි කවදාවත් මගේ දේශපාලන මතය වෙනස් කරන්න චන්දරේ බාප්පා උත්සහ කරේ නෑ... මට තිබ්බෙ ජවිපෙ ගැන වෙනමම විවේචනයක්.. ජවිපෙ කවදාවත් බලයට එන්නෙ නෑ කියන කොන්ක්‍රීට් මතයක මම ඒ වෙද්දි හිටියෙ.
චන්දරේ බාප්පෙ.. දැං අවුරුදු ගානක් ට්‍රයි කරා තාම බලයක් ලැබුනෙ නෑනෙ ඔයාලට..
එහෙම කියලා අපි සැලෙන්නෙ නෑ පුතා.. අපි දිගටම ට්‍රයි කරනව..
ඔයාලා ඔය කියන මාක්ස්වාදී සමාජවාදී දේශපාලනය අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ චන්දරේ බාප්පෙ.. දැං ඕක ඇතෑරල ප්‍රධාන පක්ශෙකට ගිහිං රටට වැඩක් කරන්න.. අපරාදෙනේ මහන්සිය ඔයාලගෙ..
අපේ ප්‍රතිපත්ති එක්ක ප්‍රධාන පක්ශවල ප්‍රතිපත්ති එකට යන්නෙ නෑ පුතා.. ඒ නිසා අපි යන්නෙ අපේ පාරෙම තමයි..
ඉතිං බාප්පෙ මිනිස්සු ඔයාල කියන කතාව අහන්නෙ නෑනෙ.. ඔය සුලුතර චන්ද ටිකකින් ඔයාලට කවදාවත් රටේ බලයක් ලැබෙන්නෙ නෑ..
එහෙම වෙන්නෙ නෑ පුතා.. කවදාහරි මිනිස්සු අපි කියනදේ පිලිගන්නව..
මේ කපේනම් බාප්පෙ ඕක වෙන්නෙ නෑ..
ඒක වෙන්න පුලුවන් පුතා.. කාලය කොයි කාලෙද කියලා අපි දන්නෙ නෑ.. ඒත් කවදහරි අපි බලයට එනවාමයි..
ඒකනම් වෙන්නෙ නෑ බාප්පෙ.. මම ඕනෑම ඔට්ටුවක් අල්ලනව.. ජවිපෙට කවදාවත් රටේ පාලනයට එන්න වෙන්නෙ නෑ..
ඔට්ටු ඕන නෑ පුතා.. සමහරවිට අපි ජීවත්ව නැති වෙයි.. ඒත් කවදාහරි මේ රටේ මිනිස්සු අපි කියන කතාව පිලිගන්නව.. මිනිස්සු අපිට කවදාහරි ආන්ඩු බලයක් දෙනව පුතා..
මොනවද ඔට්ටු.. කවදාවත් නෑ..
ඔට්ටු ඕන නෑ පුතා.. මේ ක්‍රමය අසාධාරනයි කියලා අපි ආයෙ ආයෙම මිනිස්සුන්ට කියනව.. මිනිස්සු අපිට ඇහුමකන් දෙන දවසක් එනකම් අපි ඒක මිනිසුන්ට කියනව..
ඉතිං බාප්පෙ ඔයාලට ඕන මිනිස්සුන්ට සාධාරනයක් කරන්නනම් ඔයාලට බැරි ඇයි ප්‍රධාන පක්ශෙකට එකතුවෙලා චන්දෙ ඉල්ලල පාර්ලිමේන්තු යන්න.. ඒක ලේසියිනේ..
ඒක එහෙම වෙන්නෙ නෑ පුතා.. අපි වෙන පක්ශයක් එක්ක එකතුවෙලා යද්දි අපිට වැඩකරන්න වෙන්නෙ එයාලගෙ ඇජෙන්ඩා එකට.. එතනදි අපිට අපේ ප්‍රතිපත්ති පාවලා දෙන්න වෙනව.. අපිට එහෙම කරන්න බෑ පුතා..
මම ඕනම ඔට්ටුවක් අල්ලනව.. ඔයාලට කවදාවත් පාලන බලයක් ලැබෙන්නෙ නෑ..
ඔට්ටු ඕන නෑ පුතා.. සමහරවිට ඔයාට ඔයාගෙ ජීවිත කාලෙ ඇතුලතම ඒක දැකගන්න පුලුවන් වෙයි..
එතැනින් එහා මම ඒ සංවාදය ඉදිරියට අරන් ගියේ නෑ.. මට ඒ වෙලාවෙ චන්දරේ බාප්පගෙ ප්‍රකාශය නිකම් විහිලුවක් වගේ උනා.. මම එයාලගෙ දේශපාලනය විවේචනය කරා කියලා චන්දරේ බාප්පට කවදාවත් මං එක්ක කේන්ති ගියේ නෑ.. ෆොටෝකොපි ටික ගහලා දෙනකල් එලිවෙනකල් හරි කඩේට වෙලා හිටගෙන ඉන්නවා වතුර එකක්වත් ඉල්ලන්නෙ නෑ..
කාලය ඒ විදිහට ගෙවී ගිහින් 2009 චන්දෙ කාලෙ (මතක විදිහට) එක්තරා රාත්‍රියකදී චන්දරේ බාප්පට දේශපාලන එදිරිවාදීන් පිරිසක් විසින් මහමගදී පහර දෙනව.. ඒ වෙද්දි චන්දරේ බාප්පා අම්බන්ගොඩ නගර සභාවෙ මන්ත්‍රී කෙනෙක් කියලයි මගේ මතකය.. ඒ පහරදීමෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කෙරෙන චන්දරේ බාප්පා ඒ පහරදීම් හේතුවෙන්ම රෝහලේදී මියයනව.. හෙවනැල්ලටවත් වරදක් නොකරපු, මහ පොලොවට කවදාවත් බරක් නොවුන, කවදාවත් කාටවත් හිත රිදෙන්න වචනයක් නොකියපු ඒ අහිංසක මනුස්සයාට එහෙම අපරාදයක් කරේ කොහොමද කියලා මට අදටත් අදහාගන්න බෑ.. ඒ ගැන මතක් වෙද්දි අදත් චන්දරේ බාප්පා කියන්නෙ මට වේදනාත්මක මතකයක්..
අද අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති විදිහට දිවුරුම් දෙනව.. අනුර කුමාර ජනාධිපති කියලා කියනකොට මට ඉස්සෙල්ලම ඔලුවට එන්නෙ චන්දරේ බාප්පව. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණය දිනුම් කියලා ඇහෙනකොටම මට මේ දැං කීව්වා වගේ චන්දරේ බාප්පගෙ කටහඬ මනසට එනව..
"ඔට්ටු ඕන නෑ.. සමහරවිට අපි ජීවත්ව නැති වෙයි.. ඒත් කවදාහරි මේ රටේ මිනිස්සු අපි කියන කතාව පිලිගන්නව.. මිනිස්සු අපිට කවදාහරි ආන්ඩු බලයක් දෙනව පුතා.."
එදා ඔයා මං එක්ක ඔට්ටුව ඇල්ලුවේ නැති උනාට අද මම ඒ ඔට්ටුව පරාදයි චන්දරේ බාප්පෙ.. ඔයාට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ සම්පත්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.