Sunday, July 6, 2025

රහමෙරාලංකාරය

 




රහමෙර බොන්න ගියාම මම කොයි වගේ මනුස්සයෙක්ද කිව්වොත් මම බ්රෑන්ඩ් එකක් නැති මනුස්සයෙක්.. ස්පෙශලිටි එකක් විදිහට ගත්තොත් ඒක මම හිතන්නෙ මට සුවිශේශී එකක් කියල.. කොයි බ්රෑන්ඩ් එකක්ම කන්නෙ බොන්නෙ නැති උනාට මට එවෙලෙට ලස්සනට පේන එක තමයි එවෙලේ ආසම බ්රෑන්ඩ් එක..

රහමෙර සබ්ජෙක්ට් එක ගත්තාම එව්ව කන බොන මිනිස්සුන්ට ආසම බ්රෑන්ඩ් එකක් දෙකක් තියෙනව.. මොන හේතුවකටද මන්දා මට එහෙම එකක් නෑ.. බොන්න හිතුනාම ගෙනැල්ලා බොන එක උනත් අද එක ජාතියක් බිව්වොත් ආයෙ බොද්දි බොන්න හිතෙන්නෙ වෙන ජාතියක්.. ලංකාවෙ බොහොමයක් ආසාකරන ජොනී වෝකර් රහට මම ඒ තරම් මනාපයක් නෑ.. වෙනස් විදිහකට කියනවනම් බර්බන් පැත්තට ලොකු කැමැත්තක් නෑ.. අපේ යාලු මිත්රයෝ බහුතරයක් ස්ප්රයිට් කොකාකෝලා දාලා බොන නිසා එයාලට එව්වයෙ නියම රහ කවදාවත් දැනෙන්නෙ නෑ.. බොන්නම අකමැති දේකට ඇරුනාම මම ඔය පැණිබීම කලවම් කරලා බොන්න කැමැත්තක් නෑ.. තියෙනවනම් අයිස් කැටයක් එහෙම නැත්තම් නීට් හෙවත් අමුවෙන් තමයි බොන්න කැමැත්ත..

එකාකාර රස වර්ග එක්ක එකතු කරලා හැදෙන කොක්ටේල් කියන්නෙ වෙනම එකක්.. මොහීතෝ, මාගරීටා, මාර්ටිනී, වගේ කොක්ටේල් ඇරුනාම මාව අමන්දානන්දයට පත්කරපු කොක්ටේල් එක තමයි මිචෙලාඩා කියන කොක්ටේල් එක.. මිචෙලාඩා බොනවනම් ඒක හදන බාර් එකකටම ගිහිං බොන්න ඕන.. අනික් කොක්ටේල් බොහෝමයක් බෝතල් විදිහට් ගන්න බාර් එකේ තිබ්බට මිචෙලාඩා මම ඉන්න පළාතේ බාර්වල විකුනන්නෙ නෑ.. මැංගො චෙලාඩා කියන බියර්වලින් හදන කොක්ටේල් එකත් ඉතිං වරදක්මත් නෑ.. හදන්නෙ බියර්වලින් නිසා එක දිගට
බොන්න බෑ.. බියර් කියන්නෙ ලෙඩ ලෝකයක්..

ලංකාවට සතියකට ගිහිල්ලත් ලංකාවෙ බැහැපු ගමන්ම කොහේදෝ යන උනක් හෙම්බිරිස්සවක් හැදුන නිසා යාලුවෙක් එක්කවත් අඩියක් ගහන්න සෙට්වෙන්න බැරි වෙච්චි.. ඒත් ඉතිං අපේ බූලයි, කොටයි, ගමයයි මාව බලෙන්ම වාහනේක දාගෙන හික්කඩු අරං ගිහිං සූටියට පාර්ටියක් දැම්ම.. උන විකාරෙං හිටපු නිසා මට කන්න බොන්න සිහියක් පතක් තිබ්බෙ නෑ.. එහෙව් අසනීපකාරයා ලව්වා ඒ අවලං යාලුවෝ ටික සිංදුත් හතාටක් කියෙව්වා කියලා හීනෙං වගේ මතකයි.. කෑවෙ මොනවද කියලවත් මතකයක් නෑ.. බීවෙනම් නෑ අසනීප තත්ව නිසා.

ඕං ඔය වගේ අහේනි තත්වයක් යටතේ ලංකාවෙ සතියක් ඉඳලා ඇවිත් මෙහෙත් සතියක් වැඩ කරලා ඕං ගිය සති අන්තෙ අඩියක් ගහන්න ඕන කියලා හිතිච්චි.. තිබ්බ කොට එකක් දිහාවත් නොබලා සිකුරාදා හවස රස්සාවෙන් ඕෆ් වෙලා කෙලිංම ගියේ බාර් එකට.. බ්රෑන්ඩ් එකකුත් නැති එකේ කොක්ටේල් එකක් ගෙනිහිං බොනවා කියලා හිතාගෙන කොක්ටේල් අයිල් එකේ එහා මෙහා ඇවිදලා හිත නැවතුන බෝතලේ තමා ඔය උඩ පිංතූරෙ තියෙන්නෙ..

ලංකාවෙ කඩේට ගිහිං ඉඳිආප්ප ටිකකුත් අරගෙන ඇවිත් අඩුපාඩුවට චිකන් කරියකුයි අල හොද්දකුයිත් රහට හදාගෙන ඕං සෙට්වුනේ සිකුරාදා රෑ සමරන්න.. ප්ලෑන් එක වුනේ හීනියට එකක් දාන ගමන් ෆිල්ම් එකක් බලලා රෑට ඉඳිආප්පත් කාලා ආයෙම නිදිමත ඕවර්ඩෝස් ගානට එනකල් ටීවී එක ඉස්සරහ ඉඳලා රෑ තුනට හතරට නිදාගන්න.. බයිට් එකක් එහෙමත් පොඩ්ඩක් සෙට් කරගෙන ඔය පේන බෝතලේ ඕං ඔය අඩුවෙලා තියන කරටියේ ටික උස වීදුරුවකට දාගෙන ඒකට අයිස් කැට ටිකක් එහෙමත් දාගෙන ටීවී එක ඉස්සරහින් දිගෑදුනෙ පස්ට සිකුරාදා හැන්දෑවක් ගතකරන්න..
පුරුද්දට දවසගානේ බිව්වෙ නැතත් ඉතිං ඇල්කොහොල් 35% ක් කියන්නෙ නීට් බොන මට ලොකු ගානක් නෙවෙයි. ජැක් ඩැනියෙල් ලීටරේ බෝතලේ තනියම බීලා නොබීපු ගානට ඉන්න පුලුහන්කමක් තියෙනවා බෑන්ඩ් එකේ කට්ටිය එක්ක බොන්න සෙට්වුනාම. කිව්වට විස්සාස කරන්න මිත්රවරුනි ඔය පින්තූරෙ තියන බෝතලේ කරටියේ අඩුවෙලා තියන සුට්ට විතරයි බීවෙ.. උනේ මොකක්ද.. මා ඉන්නෙ කොයි ග්‍රහලෝකෙකද කියලාවත් නිනව්වක් නැතිවෙන තැනට මංතුමා කුඩේ කුඩු.. බිත්ති දිගේ ඇවිල්ලා ඇඳට වාරුවුනේ පට්ට ගේමක් දීල.... ගේ ඇතුලෙ පොලොවෙ පස් නැති නිසා මිසක් එලියක වුනානම් එන්න වෙන්නෙ පොලොවෙ පස් කාගෙන.. ඉරිදා හවස් වෙද්දි තමයි යාන්තමට ඔලුව කෙලින් කරගෙන දෛනික වැඩකටයුතු කරගන්න තැනට පෘතුවියට ලෑන්ඩ් කරගත්තෙ.

අද ආයෙම සිකුරාදා වෙච්චි රෑට කන්න මොනවහරි හොයන්න ෆ්රිජ් එක අවුස්සද්දි මේං මේ බෝතලේ ඉන්නව දිලිසි දිලිසී යට තට්ටුවේ ඉස්සරහින්ම.. ආයෙ මාස හයකට ඇල්කොහොල් ඕන නෑ.. මේක දැක්කත් මට ආයෙම අනිද්දා වෙනකල් වෙරි.. 😢😢😢

Tuesday, July 1, 2025

ගිටාර් වංශය . .

 




ඊයෙ පෙරේදාවක අලුත් අවුරුද්දට ඟාති ගෙදරකට ගොඩවුන වෙලාවක ඇඳක් යට තිබ්බ ගිටාර් එකක් දැකලා පරන හිත රිදිච්ච නොස්ටැල්ජික් මෙමරියක් ඔලුවට ඩවුන්ලෝර්ඩ් වුනා කියහංකෝ.. ලියලා තියනවද නැද්ද කියලා කීප වාරයක් හිතලා ඔන්න ඔහේ ලියල දාන්න හිතුව..

මම ජීවිතේ පලවෙනි වතාවට ගිටාර් එකක් අතින් අල්ලන්නෙ එකදාස් නවසිය අනූ හතරෙ මුල් කාලෙ කියලයි මට මතක. ඒ සිසිර අයිය එක්ක හවසට බෑන්ඩ් ප්රැක්ටිස් කරද්දි. කීබෝර්ඩ් එක එක්ක ගත්තාම ගිටාර් එක සෑහෙන්න ඇඩ්වාන්ස් භාන්ඩයක් කියලා එවකටත් දැනටත් හිතේ තිබ්බ නිසා ඕක ගැන අධ්යයනයක් කරන්න මට ඕනවුනේ නෑ.. ඔය කියන බෑන්ඩ් එකේ හිටපු මගේ ඟාති සහෝදරයෙක් ඒ එක්කම ගිටාර් එකක් ගත්ත.. ඒ වුනත් මට ඕක ප්ලේ කරන්න ඉගෙනගන්න ඕනකමක් තිබ්බෙ නෑ.. මෑන්සුත් ඕක එහේ මෙහේ උස්සන් ගියා මිසක් ඕක ප්ලේ කරන්න ඉගෙනගත්තෙ නෑ..

සිසිර අයියගෙ බෑන්ඩ් එකෙන් පැත්තකට වෙලා කැසියෝ කීබෝර්ඩ් එකත් පැත්තකට දාලා තියෙද්දි තමයි පලමු වතාවට ගිටාර් එකක් අපේ ගෙදරටම එන්නෙ.. අපේ අල්ලපු ගෙදර මලයා දැනගෙන හිටියා මා ලඟ කීබෝර්ඩ් එකක් තියෙන වගත් ඒක මලාට ප්ලේ කරන්නෙ නැති වගත්.. මෑන්ස් මට ගේනවා අපූරු යෝජනාවක්.. මෑන්ස් අලුතෙන්ම ගතපු ගිටාර් එකට කීබෝර්ඩ් එක මාරු කරන්න තමයි මෑන්ස්ගෙ යෝජනාව.. එවකට ඒ ලෙවල් කර කරා හිටපු කාලෙ ඉතිම් සල්ලි කියන්නෙ වටිනා වස්තුවක් නිසා මමත් යෝජනා කරනවා ගිටාර් එක සමග රුපියල් දාහක් දුන්නොත් කීබෝර්ඩ් එක මාරුවට රෙඩී කියලා.. ඒ ඩීල් එක අනුමත වුනායින් පස්සෙ ඕං මමත් ගිටාර් එකක සාඩම්බර හිමිකාරයෙක්..

ඕං ගිටාර් එක ගත්තා කියමුකෝ.. මට ඕකෙ එක නෝට් එකක්වත් ගහන්න දන්නෙ නෑ.. කම්බි හය මොනවද කියලවත් දන්නෙ නෑ.. එවකට මම දන්න හොඳම ගිටාර් ශිල්පියා වුන පින්නදූවෙ චන්දික ලක්තිලකගෙන් කම්බි ටික අහගෙන ටියුන් පාරකුත් දාගෙන තමයි මම ගිටාර් එක හෙමීට පුරුදු වෙන්නෙ.. ඒ ගිටාර් කොටේ මම පලවෙනියටම ප්ලේ කරපු සිංදුව තමයි ටී එම් ගෙ සොවින් බර ණුවන් විදාලා ගීතය.. ඒකට ප්රධානම හේතුව තමයි එවකට මම දැනගෙන හිටියේ කෝර්ඩ් තුනක් විතරක් වීම.. A, E, D කියන කෝර්ඩ් තුනෙන් ඔය සිංදුව මම දාස් වාරයක් විතර ප්ලේ කරන්න ඇති මගෙ හිතේ..

පසුව ඉතිං අපේ රුකියගේ බෑන්ඩ් එකේ කීබෝර්ඩ් ප්ලේ කරන්න පටන්ගතපු නිසා ගිටාර් ආසාව එහෙම්මම යට යනව.. බෑන්ඩ් එකේ අවුරුදු දෙකක් වගේ ප්ලේ කරලා රස්සාවද සංගීතයද කියලා තෝරගන්න සිද්දවුන තැනදි රැකියාව තෝරගෙන මම සංගීතයට සදහටම ආයුබෝවන් කියනව.. සංගීතයට ගෙදර එකුදු සාමාජිකයෙකුගෙන්වත් සහයෝගයක් නැතිවුනා නිසා ගිටාර් එකත් යාලුවෙකුට විකුනලා දානව.. එතැනින් එහා අවුරුදු පහක් මම කිසිදු සංගීත කටයුත්තකට සහභාගී වෙලා නෑ.. කිසිදු සංගීත භාන්ඩයක් අතින් අල්ලා නෑ..

2005 අවුරුද්දෙ කතරගමට ට්රාන්සර් වුනායින් පස්සෙ තමයි ආයෙම සංගීත පිස්සුව ඔලුවට එන්නෙ.. මහා මුකලානක රෑට නිල නිවාසයේ ගෝල තැන එක්ක තනිවුනාම සද්දෙකට ඇහුනෙ රැහැයියන්ගෙ සද්දෙ විතරයි.. ඕං එතකොට මට මතක් වෙනවා මගේ ඟාති සහෝදරයාගෙ ගිටාර් එක.. ඟාති සහෝදරයා කිව්වෙ මුලටම සිසිර අයියගෙ බෑන්ඩ් එකේ හිටපු මෑන්ස්.. ඒ වෙද්දි එයයිත් එයැයිගෙ රජයේ රැකියාවට ආයුබෝවන් කියලා පවුල් පිටින්ම යුරෝපෙ පදිංචියට ගිහිං.. හැබැයි ඉතිං ගිටාර් එක ගෙදර ඇඳක් යට තිබ්බ.. ඕක තිබ්බා කියලා කවුරුත් ගහන්නෙත් නැති නිසත්, ඌ ආයෙම ලංකාවෙ පදිංචියට එන්නෙ නැති නිසාත්, මම සති අන්තෙක ගෙදර ගිය වෙලාවෙ ඕක ඉල්ලගෙන කතරගම අරගෙන එනව.. එදා පටන් ඒ ගිටාර් එක අවුරුදු තුනක් විතර මා ලඟ තිබ්බ.. ඒකෙන් මමයි අපේ මනින්නයි (මාස කිහිපයකට පෙර මිනින්නා අපෙන් සදහටම සමුගත්තා 😢 ) රෑට රෑට බොන පාර්ටිත් දැම්ම ඇතිවෙන්න..

ඕං කාලෙකට පස්සෙ මගේ ඒ ගිටාර් එක අයිති ඥාතියා වැකේශන් එකට ලංකාවට එනව.. ඒ ඇවිත් දේවාලෙ වඳින්නද මාව බලන්නද එහෙමත් නැත්තං ඒ දෙකටම නෙවේද මන්දා බස් එකේ නැගලා තවත් ඥාති සහෝදරයෙක් එක්ක කතරගම එනව.. එදා රෑ මගේ නිල නිවාසෙ ලොකු පාර්ටියකුත් දානව.. ඟාති සහෝදරයෝ දෙන්නෙක්ම ආපු එකේ පාර්ටියක් නොදා කොහොමද ඉතිම්..

පහුවදා ඉතිම් උදේට එහෙමත් කාලා මෑන්ස්ලා යන්න ලෑස්තිවෙලා තමයි කියන්නෙ ගිටාර් එක අරං යන්න ඕන කියලා.. මගේ ඟාති සහෝදරයාට අදටත් ගිටාර් එකේ ස්වර හතවත් ගහන්න බැරිවුනත්, එයැයිගෙ ගිටාර් එක ඉල්ලුවාම මට බෑ කියන්න බැරි නිසා මම ඉතිං ගිටාර් එකත් පරෙස්සමට පැක් කරලා දීලා දෙන්නවම බයික් එකේ දාගෙන ගිහිං කතරගමින් බස් එකටත් නග්ගනව.. සති දෙකකට ලංකාවට ආපු සහෝදරයා ඌ මලාට ගහන්නෙ නැති ගිටාර් එක ආපහු ඉල්ලගෙන ගියා කියන හිතේ අමාරුවට මම එයැයිව බස් එකේ නග්ගලා ඒ මෝටර් බයිසිකලේම අම්බල්ංගොඩ එනව.. මගේ ඥාති සහෝදරයා ඒ ගිටාර් එක ආයෙම ඇඳ යටින් තියලා සතියෙන් ආයෙන යුරෝපෙ යනව. මම ඒ ගිටාර් එක ඉල්ලන්න යන්නෙ නෑ ආයෙම කවදාවත්. ඒ ගිටාර් එකේ කතාව එතැනින් නිමි..

ඕං ඊට සතියකට දෙකකට තුනකට පස්සෙ මගේ හිතාදර මිත්‍ර මහේෂ් ප්‍රියංකර කොරියාවෙ ඉඳන් මට කෝල් එකක් දෙනව සැප දුක අහන්න. මහේශ් සහ මම කලක සිටන් ලඟම මිත්‍රයන් .. රූ ඇන්ඩ් ෆ්රෙන්ඩ්ස් බෑන්ඩ් එකෙත් අපි ප්ලේ කරේ එකට.. ඔය කතාබහ අතරේ මහේශ් දැනගන්නවා මම ලඟ තිබ්බ ගිටාර් එක ඥාති සහෝදරයා ආයෙම අරගෙන ගිහිං කියලා. ඒ කතාව එතැනින් නිම වුනාට මහේශ් කොරියාවෙ ඉඳලා ලංකාවට එද්දි මට අලුත්ම බොක්ස් ගිටාර් එකක් ගෙනැල්ල දෙනව.. ඒ ගිටාර් එක තමයි අදටත් මම ලඟ තිබ්බ ගිටාර් වලින් වැඩිම ඉමෝශනල් වැලිව් එක තියන ගිටාර් එක.. දැන් වෙද්දි ගිටාර් කීපයක හිමිකාරයෙක් වුනාට එදා නැති බැරි වෙලාවෙ ගෙනැල්ල දීපු ගිටාර් එක අදටත් මට මහ මෙරක් තරම් වටින වස්තුවක්.

ගිටාර් එක මගෙන් අරගෙන ගිය හිතේ අමාරුව අදටත් හිතේ කොනක තියන නිසා ගිටාර් ගහන්න ආස කරපු මගේ මිත්රයන් දෙන්නෙකුටත් තවත් ඥාතියෙකුටත් මම පහුගිය අවුරුදු කීපය ඇතුලත ගිටාර් චැලේන්ජ් දීලා තියෙනව.. ඒක අවුරුද්දක චැලේන්ජ් එකක්.. ඒ චැලේන්ජ් එක තමයි, මම ගිටාර් එකක් අරං දෙනව.. ඒකෙන් අවුරුද්දක් ඇතුලත සිංදුවක් ප්ලේ කරලා පෙන්නන්න ඕන.. බැරිනම් මම ආපහු ගිටාර් එක ගන්නව.. ඒ පෙරේතකමට නෙවෙයි.. ඇඳන් යට , අල්මාරි උඩ, දොරමුලුවල මකුලු දැල් බඳින්න තරම් පහත් තැනකට සංගීත භාන්ඩයක් වැටිය යුතු නැති නිසා.. ඒ චැලේන්ජ් එකට දීපු ගිටාර් එක ඒ හැම අවුරුද්දෙ අවසානයේම මම ආපහු අරං ආවෙ එක්කො ඇඳක් යට තිබීලා.. එක්කො අල්මාරියක් උඩ තිබීලා.. දැං ඒ ගිටාර් චැලේන්ජ් එක ආයෙම මං ලඟ තියෙනව.. එකපාරක් චැලේන්ජ් එක ෆේල්වුන එකෙක් ආයෙම ගිටාර් එක ඉල්ලනව මේ පාරනම් ගහනවාමයි කියලා.. එව්ව ඇහෙනකොට මට ඉතිං අදෝමැයි කියලත් හිතෙනව.. ආයෙම දීලා බලන්නත් හිතෙනව..

ගිය සිංහල අවුරුද්දට ගොඩවුන වෙලාවෙ අර කතරගමින් අරගෙන ගිය ගිටාර් එක තාම ඒ ගෙදර ඇඳක් යට තියෙනවා මම දැක්ක.. ඒක මගේ නෙවෙයි නිසා මට ඉතිං අදටත් මගේ ඟාති සහෝදරයාට දොසක් කියන්න බෑ.. එයැයිගෙ අයිතියට ගරු කරලා මම ඒ හිත් අමාරුව අමාරුවෙන් අමතක කරලා දාලා ඥාතිකම දශමයක් අඩු නැතුව පවත්වාගෙන යනව..

ආයෙම ගිටාර් චැලේන්ජ් එක බාරගන්න අපේ හිතාදර තඩියා සූදානම්ලු.. එක වතාවක් දිලා මකුලු දැල් බඳින්න දාලා තිබ්බ ගිටාර් එකට ආයෙම ඒ අවමානය කරනවද නැද්ද කියලා මම ටික දවසක් කල්පනා කරලා ඔන්න ගිය සතියේ ආපහු ගිටාර් එක තඩියට දීල දැම්ම . . තඩියාගේ අවුරුද්දේ චැලේන්ජ් එක ආයෙම ඕන් වෙලා තියෙන්නේ . ඉදිරි දින තුන්සිය හැටපහ අවසානයේ තඩියා ඕකෙන් සිංදුවක් ගහලා පෙන්නුවේ නැතිවුනොත් , පලලා ලිපේ දැම්මත් මං ආයෙම ඔය ගිටාර් එක ගෙදර අරං එනවා එනවාමයි . .