Tuesday, September 1, 2020

බලු කතා 1





බලු කතා කිව්වාම ටිකාක් විතර අප්සැට් මාතෘකාවක් උනාට මේක ඒ වගේ බලු කතාවක් නෙවෙයි..  දැං ඉතිං මේක කියවන සමහරක් උන්දෑලා බය වෙයි මූ මේ හදන්නේ මොකක් හරි අලුගුත්තේරු කතාවක් ලියලා අපේ සායම අරින්නවත්දෝ කියලා. නෑ නෑ බය වෙන්න කාරි නෑ මේ ලියැවෙන්නේ කකුල් හතරේ බල්ලො ගැන මිසක් කකුල් දෙකේ මහප්‍රාණ භල්ලෝ ගැන නෙවෙයි.. ගොඩයාට බලු වැඩ කරපු එවුන් ගැන ලිව්වොත් ඉතින් ඒකට වෙනම බ්ලොග් එකක් හදන්න වෙන නිසා ඒ කතා මේ බ්ලොග් කොටේ ලියවෙන්නේ නෑ.. බල්ලෝ කිව්වාම ගොඩයාගෙ ලැයිෆ් එකට බොහොම සමීපව බල්ලන් හතරදෙනෙක්  සම්භන්ධයි.. ඒ බල්ලන් හතර දෙන සිහිකරනුවස්, මේ ලියැවෙන්නේ ගොඩයාගේ මතකයට බොහොම සමීප ඒ බල්ලන් කතාන්දරේ මිසක් ගොඩයාට දහසක් බලුවැඩ කරපු එවුන්ගේ කතාන්දරේ නෙවෙයි. ඒ කෙසේ වෙතත් මේක  බල්ලන් ගැන ලියැවෙන බ්ලොග් පෝස්ට් එකක් නිසා ඒකට සාධාරණයක් වෙන්න නම් බලු කතා කියලා නම දාන්නම වෙනව..

කව්දෝ අසමජ්ජාති එකෙක් ගොඩයලාගෙ ගෙවල් ඉස්සරහ අතෑරලා දාලා ගියපු අලුත උපන් බලු පැංචෙක් තමයි ගොඩයාගෙ ආදරය දිනාගත් පලවෙනිම බලු සුරතලා.. ඒ වෙද්දි ගොඩයාට උපරිම වයස අවුරුදු හත අටක් ඇති. පාර පුරා වැටි වැටී බඩගින්නේ ඇවිදින මේ අසරණයා දැක්ක වෙලේ හිටං ගොඩයාට අනුකම්පාවේ බෑ.. උපන් හැටියේ සතෙක් එහෙව් ආකාරයෙන් පාරෙ අතෑරලා දාල යන්න මොන තරම්නම් කුරිරු හිතක් මනුස්සයෙකුට තියෙන්න ඕනේද හැබෑට.. මේ සතා පාරෙ ඇතෑරලා ගොඩයාට ගෙදර ගිහිං නිදාගන්න බෑ බෑ වගේ නිසා ඕං ගොඩයා මේ බලු සුරතලා ගෙදර උස්සන් එනව.. ගෙදරින් ටිකක් විතර ඔබ්ජෙක්ශන් උනාට ගොඩයා සතාව ඇහැක් වගේ බලා ගන්නවා කියන පොරොන්දුව පිට බලු සුරතලාට පුරවැසිභාවය ඕකේ කියමුකෝ..

අලුත උපන් සතා නිසා ගොඩයා බලු සුරතලාව ඇඳෙන් බස්සන්නෙ නෑ.. කිරි පොවනවා.. උනු වතුර පොවනවා.. දාහක් සත්කාර ඉවරයක් නෑ... සතියක් දෙකක් විතර කාර්ඩ් බෝර්ඩ් පෙට්ටියක දාලා ඇඳ උඩ තියාන හිටපු බලු සුරතලා කාර්බෝර්ඩ් පෙට්ටියෙන් එලියට පනින්න තියාගත්තාම තමයි ගොඩයාට තේරෙන්නේ අහක යන ඔලුවෙ කැක්කුමක් ගෙදර ගෙනැල්ලා දාගත්තා නේදෝ යකඩෝ කියලා.. ගොඩයා ඒ වගේ අහක යන ලෙඩ ගෙදර ගෙනැත් දාගැනීමේ කලාවේ පිකාසෝ නිසා ගෙදර මහතැන් දන්නවා ඔය බලු සුරතලේ වැඩි දවසක් යන්න කලියෙන් අහවර වෙන වග.. දෙන දෙයක් කාලා වෙනදෙයක් බලාගෙන පෙට්ටියට වෙලා හිටපු බලු නයිදේ මෙන්න බොලේ පෙට්ටියෙන් එලියට පැනලා ඇඳ පුරා ඇවිදිනව.. ඒ විතරක්නම් මැදෑ... මේ යොදයා ඇදේ චූත් දානවා කියහංකෝ.. ආතල් පහට සුපිරි ක්ලීන් එකට තියාගෙන ඉන්න ඇඳෙ බලු නාම්බෙක් චූ දැම්මා කියන්නෙ ආයෙ මූව තියලා වැඩක්ද ආයුබෝවන්ඩ..  ඇඳයි, ගෙදරට දාන සෙරෙප්පු දෙකයි, තුවායයි, සරමයි, දත් බුරුසුවයි රේසරෙයි කියන්නේ ගොඩයාගේ පණ හා සමානව ආරක්ශා කරන දේවල් වෙච්චි, එයිනුත් වටිනාම දේ උන ගොඩයාගෙ ඇදේ මේ යකා චූ දැම්මාම කොහොමද යකඩෝ ගොඩයා ආතෙල් පහට දොයියන්නෙ කියහංකෝ.. 
සරම නම් ගොඩයාගේ ජීවිතෙන් ගිහින් දැන් අවුරුදු දහයක්. ලංකාවෙන් එලියට ආපු දවසේ හිටං මේ වෙනකම් ගොඩයා සරමක් ඇඳලා නෑ අවුරුදු දහයකින්. රැවුල කපන රේසරේ ඒ කාලේ පන වගේ රකින එක අදත් කරා උනාට ගොඩයා මොකක් හරි අජීවී වස්තුවකට පැලෙන්න වයිර කරනවානම් ඒ වයිරයට භාජනය වෙන අජීවී වස්තුව වෙන්නේ රැවුල කපන රේසරේම තමයි. විස්සේ විසිපහේ හද්දා තරුණයා කාලේ රැවුල කියන්නේ ආභරණයක් වගේ උනාට වයස හතලිස් පහ ලං වෙද්දී රැවුල කියන්නේ හද්දා මල වදයක්. උදේට වැඩට යන්න නැගිට්ටාම රැවුල කපන්න ඕන නේදෝ කියලා මතක් වෙද්දී ගොඩයාට ආයෙම අනික් පැත්ත හැරිලා නිදාගන්න හිතෙන වාර අනන්තයි අප්‍රමානයි. අර කලින් කිව්ව විස්සේ විසිපහේ කාලේ රැවුල පොඩ්ඩක් වැවෙන්න අරියට දැන් එව්වා බෑ මොකද කියනවානම් රැවුල ඔක්කොම සුදුයි දැන් වෙද්දී... දවසක් රැවුල නොකපුවොත් පට්ට හිඟන පාටයි මූණ. දවස් දෙකක් රැවුල නොකපා හිටියොත් පිටකොටුවේ ස්ටේෂන් එකේ පත්තරයක් එලාගෙන හිඟාකන්න උනත් එකෙන්ම සුදුසුයි. ඉස්සර තලේ තියන රේසර් එකෙන් කැපුවා උනාට දැන් රැවුල කපන්නේ ඉලෙක්ට්‍රික් රේසරෙන්. ඉලෙක්ට්‍රික් උනත් තලේ තියෙන රේසරේ උනත් ගොඩයාට ඔය මල මසිත්තුව පේන්න බෑ. මුනෙ රැවුල් ගස් දෙක තුනක් තියෙන ගොඩයාගේ යාලු මිත්‍රයන් අදත් ශේවින් ක්‍රීම් ගාගෙන උජාරුවෙන් පැය ගානක් රැවුල බානවා උනාට ගොඩයාටනම් රැවුල කියන්නේ පට්ට මල වදයක්. 

රේසරේ ගැනයි සරම ගැනයි ලියන්න ගිහින් බලු කතාව කැලේ පැන්න කියහන්කෝ.. ඕන් බලු නයිදේ චූ දැමිල්ල ඇඳේ විතරක් නෙවෙයි කාමරෙත් අහුමුලු සේරෝගෙම චූ ප්ලස් කක්කිත් දාන තැනට ඇඩ්වාන්ස් උනායින්  පස්සෙ ගොඩයා තීරණය කරනවා මේ බලු සුරතලේට හීන්සීරුවේ  බූට් එක තියන්න.. එව්ව කැත වැඩ තමා.. ඒත් ඉතිං එහෙමයි කියලා ක්ලීන් එකට තියෙන සිරියහන් ගබඩාව අපිරිසිදු කරගන්න ගොඩයාට බෑ නෙව.. බලු සුරතලාගෙයි ගොඩයාගෙයි ලව් එක ටිකෙන් ටික දුරස් උනායින් පස්සෙ බලු සුරතලාත් තේරුම් ගන්නවා ගොඩයා වගේ චපල පෙම්වතෙක් එක්ක එක කාමරේ ඉන්න එක තේරුමක් නෑ කියන එක.. එයින් පස්සෙ බියුටිගේ ලැයිෆ් එක එයා එයාගෙ පාඩුවේ ගොඩයා ගොඩයාගෙ පාඩුවේ තමා.. කියන්න අමතක උනානේ.. ගොඩයා බලු සුරතලාට දාපු නම තමා බියුට්... බියුටි එයාගෙ ආයුශ ඉවර වෙලා මැරිලා යනකල්ම ගොඩයලාගෙ ගෙදර ජීවත් උනා.. හැබැයි බියුටිට ගොඩයාගෙ කාමරය තහනම් කලාපයක්..

ඊලංගට ගොඩයලාගෙ ගෙදරට එන්නෙ මිකී.. මිකී තනිකරම වෙරි වෙලා ඉන්න බල්ලෙක්..  මිකීගෙ අම්මා ස්ථිරවම පදිංචිවෙලා හිටියේ ගොඩයලාගෙ ලොකු අප්පච්චිගෙ ගෙදර නිසා තමයි මිකී ගොඩයලාට ලැබෙන්නෙ. මිකී ගොඩයලාට ලැබෙද්දි මිකීට වයස මාස කීපයක් ඇති.  මිකී කලින් හිටපු බියුටිට වඩා වංශවත් පවුලකින් පැවත එන මොකක්දෝ විශේශ වර්ගයක බල්ලෙක්. ඕන් දැන් මිකීගෙ ජාතකේ අහලා ගොඩයාට කොමෙන්ට් දානවා එහෙම නෙවෙයි.. ගොඩයා ෆස්ට් බලු ලව් එකෙන්ම බල්ලන්ට ලව් කිරීම නවත්තපු නිසා ඔව්වයේ ජාතක ගැන සුවිශේෂී දැනුමක් ගොඩයාට නෑ.. බල්ලො කිව්වාම ගොඩයාට අඳුරන්න පුලුවන් ඇල්සේශන් සහ පොමනේරියන් එවුන් විතරයි. අනික් උන් ගැන මෙලෝ මලදානයක් ගොඩයා දන්නේ නෑ .. මිකීගේ හැඩහුරුකම ගැන කියනවානම් මිකී බඩවැල වගේ දිගයි.. ඒ වගේම උසයි.. වලිගය දෙපසට අම්බානෙකට වැනෙන සුලුයි.  වලිගට කොයිතරම් වැනෙනසුලුයිද කියනවානම්, මිකියා වලිගය නටවනවාද වලිගය මිකියාව නටවනවාද කියලා වෙන් කරලා අඳුරගන්න බෑ.. මිකී වෙරි වෙලා ඉන්න බල්ලෙක් කියලා ගොඩයා මුලින්ම කිව්වේ මක්නිසාද යත්, මිකියාගේ කන් දෙක කොයි වෙලාවෙත් තිබුනේ කඩාගෙන වැටිලා.. ජාතකේ ගැන ඇහුවානම් ලොකු අප්පච්චියි ගොඩයාගේ බාප්පොච්චියි කියන්නේ මිකියා විරල වර්ගයකට අයත් සහ  පොලිස් බල්ලන්ටත් වඩා ඉන්ටැලිජන්ට් මොලයක් තියෙන  බලු නාම්බෙක් කියලා උනත් ගොඩයාට නම් ඔව්වයේ වැඩිමනක් ගතයුත්තක් නෑ.. ගොඩයාගේ ලොකු අපච්චියි බාප්පොච්චියි ලොකුවට කියැව්වේ මහා අනර්ඝ වස්තුවක් ගොඩයලාගේ ගෙදරට දුන්නා වගේ කතාවක් උනාට ගොඩයාට නම් තවත් බල්ලෙක් කියන්නේ තවත් ඔලුවේ කැක්කුමක් විතරයි. ලොකු අප්පච්චි බල්ලන් විකුණන බිස්නස් එක කරපු මනුස්සයෙක් නොවෙන නිසා මිකියා විකුණුවේ නැති උනාට ලේසියෙන්ම රත්තරන් පවුම් දෙකකට වඩා වැඩි මිලකට  විකුනන්න පුළුවන් බලු නාම්බෙක්ය කිව්වාම, ගෙදර ගොඩයාට තිබ්බ ප්ලේස් එකත් මේ බලු වහන්ගතේ නිසා අවතක්සේරු උනාදෝ කියලා ගොඩයාට නිකමට වගේ හිතුනා..  ගෙදර තිබ්බ වටිනා බඩු භාණ්ඩ එක්ක බැලුවාම මිකියා රත්තරන් පවුම් දෙකක් වගේ වටිනා නිසා හරියට බැලුවොත් මිකියා ඉන්න ඕන එළියේ කුඩුවේ නෙවෙයි යකෝ ගෙදර අල්මාරියේ හෝ බැංකුවේ සේප්පුවේ කියලා ගොඩයාට නොහිතුනා නෙවෙයි.

මිකියා ගෙදර හෙඩ් ඕෆ් ද සිකියුරිටි වෙන්න වැඩිය කාලයක් ගියේ නෑ. මාස කීපයක් ලොකු අප්පච්චිගේ ගෙදර ඉඳලා ආපු නිසා මිකියා වැඩිපුර කොන්ට්‍රෝල් ලොකු අප්පච්චිට කිව්වොත් තමයි හරි. මිකියාගේ පෙළපතේ හැටියටම උන්නැහේලා කීකරු වෙන්නේ කන්න දෙන ස්වාමියාට පමණක්ලු කියන කතාවත් ගොඩයාගේ නම් ඇඟ කිලිපොලා යන ආරංචියක් උනාට ගොඩයා බල්ලන් එක්ක තියෙන ඇයි හොඳයිය සීමා සහිත නිසා ගොඩයාට වැඩිය එව්වයේ ගානක් තිබ්බේ නෑ.. මිකියාට එළියේ ස්ථීර වාසස්ථානයක් විදිහට දැල් කුඩුවක් හැදුනා නිසා මිකියා දවස් දවසේ වැඩි වෙලාවක් ගතකරේ කූඩුවේ.. රෑ නවයට විතර නිදහස් කෙරෙන මිකියා නැවත උදේ හය වගේ වෙද්දී  කුඩුවට ගාල් කෙරුණා. හුඟක් දවස්වලට මිකියා කුඩුවට දාන වැඩේට ලොකු අප්පච්චිව විශේෂයෙන් කෝල් කරලාම ගෙන්නගන්න උනේ මිකියා සුවර් නැති ජොකියා නිසා. තුන්වේල කන්න දෙන ගුණයට මිකියා ගොඩයාගේ මෑණියන්ට මදක් කීකරු උනත් සමහරක් දවස්වල උදෑසන වෙද්දී මිකියා ෆුල් හින්දුස්ථාන්. ඒ කිව්වේ බෙල්ලට දම්වැල දාගන් උත්සහා කරනවා කියන එක මද කිපිච්ච අලියෙකුට උක්ගස් කවන්න යනවා වගේ සෑහෙන්න ඩේන්ජර් වැඩක් .. මිකියා හෙඩ් ඕෆ් ද සිකියුරිටි වැඩේ කොයිතරම් ලෙසටම කරාද කියනවානම්, මිකියාගේ සිකුරිටියෙන් පොඩ්ඩක් හරි බෙරුනානම් බේරුනේ ගොඩයාගේ මෑණියන් විතරයි.  මිකියා ලිහලා ඉන්න වෙලාවට ගොඩයාගේ  මෑණියන් අරුනකොට ගෙදර ඉතුරු සාමාජිකයන් හතරදනා කියන්නේ ධාවන ශූරී සුසන්තිකාලාට වඩා දිවිලි කාරයෝ කිව්වොත් තමයි හරි.. ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට මිකියා හදිසියෙවත් ලිහලා හිටියෝත් කරන්න ඉතුරුවුණේ විකල්ප දෙකයි. එකක් ආපු අතක් බලාගෙන පණ එපා කියලා ගේට්ටුවෙන් එලිය දිහාවට දුවලා ගේට්ටුව එළියෙන් වහගන්න එක. දෙවැනි එක, කෙලින්ම ගේ ඇතුලට දුවලා ගේ ඇතුලෙන් දොර වහගන්න එක. ඒ අතරමැද කොතනකදී හරි මිකියාට අහුවුනොත් ආයේ දෙකක් නෑ... ගෙදර සාමාජිකත්වය උස් මිටි භේදයක් නැතුවම වැලේ වැල්.. 

මිකියා දවල් දවසේ කූඩුවේ උන්නට හිටපු ගමන් කූඩුවේ දොර පන්නගෙන ගෙට එන වෙලාවලුත් නැත්තේම නෑ. එහෙව් වෙලාවට ගෙදර ඉන්න සාමාජිකත්වය ඉහල පහල භේදයක් නොමැතිවම හිටි තැන්වලම ගල් ගැසීම තමයි  සාමාන්‍ය ස්භාවය . මිකියා බඩවැල වගේ දිග සහ උස මහත සත්වයා නිසා ඌ එක්ක ගේ ඇතුලේ රේස් දිවිලි දවල් හීන විතරයි. ගොඩයාගේ මෑණියන් ඉන්න තැනකින් දිරියෙන් ඉදිරියට ඇවිල්ලා මිකියාව බෙල්ලේ පටියෙන් අල්ලාගෙන කුඩුවට ගෙනිහින් දානකල් ගොඩයලා ඉතින් ගල් කණු සේ නොසැලී සිටිත් කිව්වලු. මිකියා ගේ ඇතුලේ අයිති කාරයා වගේ ඇවිදින අල්ලපනල්ලේ ගොඩයාගේ මෑණියන් මුළුතැන්ගෙය දිහාවෙන් මතුවෙන දර්ශනය මිකියාට සෑහෙන්න ප්‍රීති දායක දර්ශනයක්. ආන් ඒ වෙලාවට මිකියාගේ පශ්චාත් භාගය සහ වලිග රාජයා දෙපසට වන්න ගන්නේ වඩිග පටුන නටන්න ගත්තා වගේ කියහන්කෝ. එහෙව් වෙලාවට ඔය සාලේ ටීපෝව උඩ තේ බීපු කෝප්ප විදුරු වගේ කඩෙන බිඳෙන දේවල් තොබ්බොත් එව්වා සුනේ සුං. මිකියාගේ වඩිග පටුන නටන වලිගයේ වැදෙන සියලූම කැඩෙන බිඳෙන දෑ බිම වැටිලා කුඩු පට්ටං උනත් අහල පහල වාඩි වෙලා ඉන්න ගල් පිළිම වලට පණ එන්නේ නෑ.. වීදුරු කෝප්ප වලට වඩා තම තමුන්ගේ පණ බේරාගැනීම කොයිතරං වැදගත්දෝ කියන එක ලයිව් බලාගන්න නොමිලයේ ලැබෙන අවස්තාවක් තමා ඒක. මෑණියන් ලඟට ආවාම මිකියා කෙලින්ම පස්සා කකුල් දෙකෙන් හිටගෙන මෑණියන්ගේ උරහිසට ඉදිරි කකුල් දෙක තියලා හිටගන්න වෙලාවලුත් බොහොමයි. මිකියා සෑහෙන්න දිග සත්වයා නිසා හරියට කකුල් දෙකෙන් හිටගත්තොත් හොම්බ ලඟට උස අඩි පහකටත් වඩා වැඩි මිසක් අඩු නෑ. ඒ වගේ වෙලාවට මෑණියන් කරන්නේ ඉස්සරහ කකුල් දෙකෙන් අල්ලාගෙන ඇවිද්දවාගෙන ගිහින්ම කූඩුවට දාල දොර වහන එක.

මිකියාගේ ආගමනයෙන් පසුව ගොඩයාගේ ගෙදර ගෘහ මූලිකයා විදිහට නොනිල තත්වයක් දැරුවේ මිකියා . ගෙදරට එන ඕනෑම අමුත්තෙක්, නෑයෙක්, යාලුවෙක් වත්තට ආවේ මිකියාගෙන් අවසර අරගෙන කිව්වොත් තමයි හරි. ගෙදරට එන ඕනෑම අමුත්තෙක් ගේට්ටුව ලඟට ඇවිත් ඉස්සෙල්ලම අහන්නේ බල්ලා ලිහලාදෝ කියලයි. බල්ලා බැඳලානම් වත්ත ඇතුලට ආව මිසක් බල්ලා කුඩුවේ පේන්න නැතිනම් පණට ආදරේ කිසීම සත්වයෙක් වත්තට ආවේ නෑ කියමුකෝ. හිටිගමන් එන සමහරක් අමුත්තන් බල්ලා බැඳලාද කියලා අහන අවස්ථාත් නැත්තේම නෑ.. ඒ වගේ වෙලාවට ගොඩයා එලි පහලියේ හිටියොත් නම් ගොඩයා කියන්නේ තාම ඌ  බැඳලා නෑ ඒත් බඳින්න හොයනවා , මං බඳිනකල් ඌට බඳින්න බෑ මට වඩා ඌ බාලයි කියලයි. 

ලොකු අප්පච්චිටත් සතියකට වතාවක්වත් මිකියාව බලන්නේ නැතුව ඉන්න බෑ. ඒ නිසා ලොකු අප්පච්චිත් සතියකට වතාවක් විතර ගොඩයලාගේ ගෙවල් පැත්තේ විසිට් එක දානවා. ආන් ඒ වෙලාවට මිකියා කුඩුවේ හිටියොත් කුඩුව  දෙවනත් වෙන්න වලිගෙ වන්න ගන්නවා කියහන්කෝ. ඒ ලොකු අප්පච්චි දකින්න තියා ලොකු අප්පච්චිගේ යමහා මේට් එකේ සද්දේ ගොඩයලාට ඇහෙන්නත් කලින්. බල්ලන්ගේ ඇසීමේ පරාසය මනුස්සයාට වඩා ගොඩක් වැඩි නිසා ලොකු අප්පච්චි හැතැක්ම කාලක් විතර දුර එද්දී මිකියා දන්නවා ලොකු අප්පච්චි එන වග. මිකියාගේ නයි වලිගෙ කූඩුවේ දැල් ටිකට වැරෙන් පහරදෙන්න ගත්තාම ගොඩයලාගේ ගෙදර උදවිය දන්නවා විනාඩි පහක් වගේ යද්දී ලොකු අප්පච්චිගේ යමහා මේට් එක ගේට්ටුව ඉස්සරහා ප්‍රාදුර්භුත වීමට නියමිතයි කියලා. 

බල්ලො දෙන්නෙක් ගැන ලිව්වම වැඩේ සෑහෙන්න දිගයි... ඊළඟ බල්ලො දෙන්නා ගැන ඊළඟ කොටසින් ලියන්නං. 




Sunday, May 17, 2020

පුස්ථකාලය සහ ඈපා..





Covid 19 එක්ක ලෝකෙම නන්නපෝල් වෙලා ඉන්න වෙලාවක බ්ලොග් පෝස්ට් ලියන එක හරිද වැරදිද කියන එක ගොඩයා දන්නෙ නෑ. ලංකාවට වැටිච්ව ඇඳිරිනීතිය දැනට මාසෙකට වැඩියි කියලයි ගොඩයාගේ අප්සැට් මෙමරිය කියන්නෙ. ඒ ගැන හිතනකොටනම් ගොඩයාට අපේ මිනිස්සු ගැන හරිම හිතට දුකයි. රජයේ රස්සා කරන හෝ වේවා වෙනයම් ආකාරයකින් හෝ වේවා මාසික ආදායමක් ලබන උදවියට ඇදිරි නීතිය ලොකුවට ප්‍රශ්නයක් නොවුනත් එදා වේල උපයගෙන බඩට යමක් කන බොන මිනිස්සු අනාතයි කියලාමයි ගොඩයාට හිතෙන්නෙ. ඒ කෙසේ වෙතත් ලෝකෙටම ගෙදරට වෙලා ඉන්න ලැබෙන අවස්ථාවක් නිසා මිනිස්සුන්ට තම තමුන්ගේ පවුලේ උදවිය එක්ක කාලයක් ගතකරන්න ලැබිච්ව් එකත් නරකම නෑ. ඒත් ඊට එහායින් තියෙන Covid 19 අනතුරනම් එසේ මෙසේ එකෙක් කියලා ගොඩයා හිතන්නෙ නෑ. ගොඩයා ඉන්න රටෙත් අද වෙද්දි ලක්ස ගානක් ආසාදිතයි.  මරණ ප්‍රමාණය ඉලක්කම් හතර ඉක්මවලා මේ වෙද්දි.  මිලියන ගණනකට රැකියා අහිමිවී අවසන්. වාසනාවකටදෝ අවාසනාවකටදෝ ගොඩයා තාම රැකියාවත් එක්ක වැඩ. ඒක වාසනාවද අවාසනාවද කියන එක තීරණය කරන්න වෙන්නෙ මේ ව්‍යසනය අවසාන උන දවසක ගොඩයා වන් පීස් ජීවතුන් අතර හිටියොත් තමයි..

ඒ විස්තරේ පැත්තකින් තියලා ඕන් ලියන්න ආපු කතාන්දරේ මෙන්න මෙහෙමයි..

කියවීම කිව්වාම ගොඩයාට පුංචි සන්දියේ හිටංම තිබ්බ ආසාවක් කිව්වොත් තමයි නිවැරදි. පොතක් අහුවුනාම ඒක එක දිගටම කියවාගෙන ගිහිං ඉවර කරන එක තමයි ගොඩයාගෙ පුරුද්ද. අද ටිකයි හෙට ටිකයි අනිද්දා ටිකයි කියවන පුරුද්දක් ගොඩයාට නෑ. පොතක් අහුවුනානම් කෑවා බීවා නෑ නිදි මරාගෙන එලි රෑ වෙනකල් කියවන එක තමයි වැඩේ. ඒ කාලෙ පොතක් පතක් හොයාගන්න එකත් පහසු නෑ. පුස්ථකාල පහසුකම් අවමයි. ගොඩයා මේ කියන්නෙ වයස නවය දහය සන්දියේ වාතාවරණය. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගෙ මඩොල්දූව පොත ගොඩයාට කියවන්න ලැබුනේ ඕන්න ඔය වයෙසෙදි වගේ. පොත ලැබුනේ ගිහාන් රාජපක්ශ කියන මිත්‍රයාගෙන්. ගිහාන් ගොඩයාට වඩා වසරක් වැඩිමහල්. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ 1995 වර්ශයේ උසස්පෙල කරපු ගිහාන් රාජපක්ෂ දැන් ජීවත් වෙන්නෙ ඔස්ට්‍රේලියාවේ කියලා ගොඩයා දන්නවා උනාට එතැනින් එහා විස්තරයක් ගොඩයා දන්නෙ නෑ. ගිහාන්ගෙන් ගොඩයාට පොත ලැබෙන්නෙ නයිට් රයිඩර් බලන්න සැට් වෙච්ච වෙලාවක. ඒ කියන්නෙ රෑ හතට අටට විතර. කොන්දේසිය තමයි පහුවදා ඉස්කෝලෙ යන වෙලාවට පොත නැවත ලැබෙන්නට සැලැස්විය යුතුයි. ඉතිං කියහක්කෝ කොහොමද පොත කියවන්නෙ. ඩඩාගෙ නීතියට අනුව රෑ නවය වෙද්දි ඇඳට යන්නත් ඕන. ලැයිට් නිවන්නත් ඕන. ඒත් ඉතිං ගොඩයා සැලෙයිද එව්වට. ඇඳේ හිටං ටෝච් එලියෙන් ඩඩාට ඩිස්ටර්බ් වෙන්නෙ නැතිවෙන්න පොත කියවද්දි ලැබෙන අවසාන නියෝගයට අනුව රෑ දොලහ විතර වෙද්දි ගොඩයාට සිද්ද වෙනවා නින්දට යන්න. නැත්තම් ටෝච් එකෙන්ම ඔලුවට අනිනවා කියන භයානක ස්ටේට්මන්ට් එක අනුව ගොඩයා මඩොල්දූව කොට්ටෙ යට තියාගෙන දොයි. ඒත් නැවතත් පහුවදා උදේ හතරේ හිටං නැවතත් මඩිල්දූව ටෝච් එලියෙන් කියවා අවසාන කරනවා ගිහාන් ඉස්කෝලෙ යන්න පාරට එන්න කලින්. ගොඩයා ඒ කාලෙ ඉස්කෝලෙ ගියේ හවස් වරුවෙ නිසා මිසක් උදේ ඉස්කෝලෙ ගියානම් මඩොල්දූව තාවකාලිකව පසුවට කල්දාන්න සිද්දවෙනවා අනිවා..

ඔන්න ඔය කාලෙ තමයි පෝරඹ පුස්තකාලය විවෘත වෙන්නෙ. පුස්ථකාලාධිපති විදිහට වැඩ කරේ කමලා ආන්ටි. පුද්ගලිකව හැඳුනුම්කමක් නැති උනත් හැමෝම පුස්ථකාලාධිපති තුමියව හැඳින්වුවේ කමලා ඇන්ටි කියලයි. කමලා ආන්ටි වැඩිය සැරපරුස නැති මනුස්සයා උනාට කාර්ඩ් එකක් නැතුව පොතක් එලියට ගෙනියන්නනම් දෙන්නෙ නෑ මලාට. ඒ කාලෙ පුස්තකාල කාර්ඩ් දෙන්නෙ වයස දහ හතරට වැඩි එව්වොන්ට විතරයි කියහංකො. ඒ නීතිය දාපු එකා එහෙම නීතියක් දැම්මෙ කුමන පදනමක් යටතේද කියන එක ගොඩයාට අදත් ප්‍රශ්නයක්. ඒකත් හරියට කොලඹ තියෙන එක්තරා ඉංග්‍රීසි උගන්නන ජ්‍යාත්‍යන්තර ආයතනයක නීති වගේ. ගොඩයා දවසක් ඔය කියන ආයතනයට ඇමතුමක් ගත්තා කතාකරන ඉංග්‍රීසි ගැන පාථමාලාවක් ගැන දැනගන්න. වයස දොලහක ලමයෙකුට කතාකරන ඉන්ග්‍රීසි උගන්වන්න කලින් ව්‍යාකරන උගන්වන ඕන ඒ නිසා ව්‍යාකරණ පංතියට යන්නෙ නැතුව කතාකරන පංතියට ගන්න බෑ කියලයි ඒ ඇමතුමෙන් කියවුනේ.. ගොඩයා ඉතිං  ඇහැව්ව ඒ ඇයි කියලා. ඒ ගෑනු මනුස්සයා කියාපි ව්‍යාකරණ දන්නෙ නැතුව කොහොමද කතා කරන්නෙ කියලා.. ආං එතකොට ගොඩයාට ඔලුවට ආවා අහන්න ඇයි හත් ඉලව්වෙ ඔබතුමිය වයස තුන හතරෙදි සිංහල කතා කරන්න ඉගෙනගන්න කලිං ගෙදරිං ව්‍යාකරණ ඉගැන්නුවාද කියලා.. වැඩකට නැති දේවල් අහලා ඒ ගෑනු මනුස්සයාගෙ මල පන්නන්න ඕන නැති නිසා ගොඩයා ඩෙන්කිව් කියලා ෆෝන් එක තිබ්බ. ඒ වගේම තමයි පුස්තකලෙ නීතියත්. කාර්ඩ් එකක් ගන්න නම් වයස දහ හතර සම්පූර්ණ කල යුතුයිලු. ඒ කියන්නෙ වයස දහ හතරට කලින් අපි පොතක් ගෙදර ගෙනිහින් කියවන්න සුදුසු තත්වෙක නෑ කියන එක වෙන්ටෑ.. ඔව්වයින් ගොඩයා සැලෙයිද.. නෑනේ..

ඕන් ගොඩය හොයාගන්නවා වයස දහ හතරට වැඩි අයදුම් කරුවෙක්. ඒ තමා ගොඩයාගෙ මිත්‍රයෙකුගේ අක්කන්ඩි වෙච්චි මල්කාන්ති අක්කා. දෙයියෝ බලලා වගේ මල්කාන්ති අක්කා ඒ වෙද්දි වයස පහලොවක් විතර ඇති . නෑ බෑ නෑ කිව්ව ගමන් ෆෝර්ම් එක පුරවලා ඉස්කෝලෙ විදුහල්පතිගෙන් අත්සන අරගෙන ඔක්කොම කරලා දෙන්න මල්කාන්ති අක්කා එකෙන්ම කැමති උනත් මල්කාන්ති අක්කාගේ මවු තුමිය නම් පොඩ්ඩක් විතර උදැල්ල දැම්මා කියහන්කෝ. ඒ ඇයිද කියනවානම්, ගොඩයාට ලයිබ්රි කාර්ඩ් පතක් සාදාගන්නට ඉඩ පහසුකම් සාදා දී ගොඩයාගේ මවු දෙපවුපියන්ගෙන් දෝෂාරෝපණයක් එයිදෝ කියන භයට. ඕන් ඒ පුරස්නෙත් සමතයකට පත්වන්න දවස් කීපයක් ගිහින් අවසානයේ මල්කාන්ති අක්කා ගොඩයාට ලයිබ්රි කාර්ඩ් එක හදලා දෙනවා එයයිගේ නමට. ආන් එහෙමයි කියවීමට උදව් කරන්න මල්කාන්ති අක්කා ගොඩයාට දායකත්වය දැක්වුවේ. මල්කාන්ති අක්කා මේ වෙද්දි කරාපිටිය රෝහලේ දොස්තරවරියක්. 

 එදා හිටං ගොඩයා රජා වගේ පුස්තකාලෙන් පොත් ගේනවා කියවනවා ගේනවා කියවනවා.. ඕං ඔය විදිහට කාලයක් ගිහින් ගොඩයාට වයස දහ හතරත් උනාම ගොඩයාට ලයිබ්‍රි කාර්ඩ් හතරයි. ඒ කිව්වේ ගොඩයා තමුන්ගේ නමට හදාගත්තු කාර්ඩ් දෙකයි මල්කාන්ති අක්කා ගොඩයාට අනුකම්පාව පිණිස සාදා දුන්නු ලයිබ්රි කාර්ඩ් දෙකයි, එකතුව හතරයි. ඒ කියන්නේ ගොඩයා එක පාරට පොත් හතරක් ගෙදර ගේනවා වැඩ්ඩා වගේ. 

 දැං තමා ගොඩයාගෙ පාසල් මිත්‍රයා ඈපා කරලියට එන්නෙ. ඈපයි ගොඩයයි පහ වසරේ හිටං එකොලහ වසරට එක පංතියේ. පොත් කියවන එක ඈපටත් ටිකක් පිස්සුවක් වගේ තිබුනා කිව්වොත් තමයි හරි. ඒ පිස්සුවට අමතරව අන්තර්ජාතික සඟරා එකතු කරන්න, ලෝක ප්‍රසිද්ද පොරවල්ලාගේ පින්තූර එකතු කරන්න වගේ ලාමක ආසාවලුත් ඈපාට තිබ්බා කියමුකෝ. ඒ අසාවේ ප්‍රතිඵලයක අතුරුඵලයක් විදිහට ඈපාට අම්බලන්ගොඩ ප්‍රධාන පුස්තකාලයේ පැත්ත පලාතක ගොඩ වැදෙන්නත් බැරි තැනට කරුණු කාරනා යෙදී තිබුනා කියලා ලියන්න පුළුවන් උනත් ඒ ගැන වැඩි විස්තර මෙහිලා ලියලා ආපාගේ උදහසට ලක්වෙන්න ගොඩයාට බෑ. 

 කොහොමෙන් කොහොමෙන් හරි හිත මිත්‍ර ඈපටත් ඕනවුනා පෝරඹ පුස්ථකාලෙන් කාර්ඩ් එකක් ගන්න. ඈපා කොයිතරං ගොඩයාට කරදරයක් උනාද කියනවනම් කාර්ඩ් එක අරං දෙනකල්ම ඈපාගෙන් ගොඩයාට කනක් ඇහෙන්න නෑ. ඈපා පදිංචි පනියන්දූව ග්‍රාමයේ නිසා ඈපාට කාර්ඩ් එකක් පොරඹ පුස්ථකාලයෙන් ගන්න බෑ. හේතුව ඈපලාගෙ ගෙවල් පැත්තෙත් ඒ සැයිස්ම පුස්ථකාල පොඩ්ඩක් තියෙන නිසා. ඈපාත් ගොඩයාත් සැලසුම් සහගත සහ අලුගුත්තේරු ක්‍රියාන්විතයන්හී කෙල පැමිණ සිටියවුන් නිසා ඕන්  ගොඩයා සහ ඈපා ප්ලෑනක් ගහනවා පුස්ථකාල කාර්ඩ් එක ගන්න. සැලසුමට අනුව ගොඩයා යනවා පුස්ථකාලාධිපති හමුවෙන්න..

කමලා ආන්ටි පොඩ්ඩක් කතා කරන්න පුලුවනිද?

හ්ම්.. මොකක්ද ඔය ලමයට වෙන්න ඕන..

ආ..ආ..ආන්ටි.. අපේ ගෙදර අයිය කෙනෙක් බෝර්ඩ් වෙලා ඉන්නව.. එයාට කාර්ඩ් එකක් ගන්න පුලුවනිද?

වයස හරිනම්, ග්‍රාමසේවක අත්සන් කරනවනම්, විදුහල්පති අත්සන් කරනවනම් කාර්ඩ් එක ගන්න පුලුවන්..

හා ආන්ටි. . මට එහෙනම් ෆෝර්ම් එකක් දෙනවද..

හ්ම්..ඉන්නකො එහෙමනම්..

ඕන් පලවෙනි වැඩේ හරි.. ඊලඟට ග්‍රාමසේවක .. ඊලඟට විදුහල්පති.. අමාරුම වැඩේ ග්‍රාමසේවක .. හැබැයි ඒ වෙද්දි ඒකට ගොඩයාට විකල්පයක් තිබ්බ.. ඒ තමයි ඒ වෙද්දි ගොඩයලාගෙ ගෙදර නැවතිලා ඉස්කෝලෙ ගිය ඩඩාගෙ මිත්‍රයකුගේ පුතන්ඩියා.. ඒ වෙද්දි මෑන්ස් එකොලහ වසරෙ වගේ.. හැබයි.මෑන්ස් එකෙන්ම වැඩේට අකමැතියි. හේතුව මෑන්ස් භයයි අපේ ඩඩාගෙ රූල්ස් වලට පිටින් ප්ලේ කරන්න. ගොඩයා ඉතිං හැමදාමත් ප්ලේ කරේ ඩඩාගෙ රූල්ස් වලට උඩින් නිසා ගොඩයාට ඔව්වයෙ වැඩි ගානක් නෑ. ඩඩා කෝට්ට අතට ගත්තාම ගොඩයාට සූ යන සයිස් උනාට ගොඩයා ප්ලේයින් අබව් ද රූල්ස්, මෝස්ට් ඔෆ් ද ටයිම්ස්.. මාසෙකට සැරයක් වගේ ඩඩාගෙන් කෝටු පාරක් නොකෑවොත් ගොඩයාට නිකං කෑවෙ නෑ නෑ වගේ හිතට හරි නෑ..

ඩඩාගෙ යාලුවාගෙ පුත්‍රයා හෙවත් චමිල කාරයාට නොවඳිනා වැඳුම් වැන්ඳත් ඌ නෙවෙයි ගිරාමසේවක ලඟට යන්න කැමතිවුනේ. එවකට රටේ තිබ්බ භීශණ තත්වය මදක් යහපත් වෙලා තිබ්බත් ගෙදරක පිට කෙනෙක් නවාතැන ගෙන සිටිනවානම් ග්‍රාමසේවක මහතාට දන්වන එක පුරුද්දකට වගේ කෙරුනා. ඒ කියන්නෙ  ගොඩයාගෙ ගෙදර පිටස්තර කෙනෙක් නවාතැන්ගෙන සිටිනවා කියන එක ඔෆිශියලි ග්‍රාමසේවක දන්නවා. හැබැයි ගෙදර ඉන්න මෑන්ස්ගෙ ෆොටෝ එක ග්‍රාමෑන්ස් දන්නෙ නෑ. ඕන් ගොඩයා ඒකෙ වාසිය අරගෙන ඈපා එක්කගෙන යනවා ග්‍රාමෑන්ස් හමුවෙන්න. ගම රට ඇහුවොත් මෙන්න මෙහෙම කියපන් කියලා ඈපාවත් සුදානම් කරගෙන ග්‍රාමසේවක මහත්තයාගෙ ගෙදරට ගිහින් ෆෝර්ම් එක දුන්න ගමන් ග්‍රාමසේවක මහත්තයාත් අත්සන ගහලා වැඩේ ගොඩ දාලා දුන්නා කියහංකෝ.. අද කාලේ කෙරෙන වංචා දූශන වලට අනුව ඔව්ව ඉතිං මහ ලොකු දේවල් නෙවෙයිනේ ආයුබෝවන්. මොකෝ ලෝකෙ පෙරලන්න යනවා නෙවෙයිනේ.. අහිංසක විදිහට පුස්ථකාල කාර්ඩ් එකක් හදාගන්න දෙන පුංචි පහේ ගේම්ස් එකක් . අපරාදෙ කියන්න බෑ ඈපත් ගොනා සේ ලෙසටම රඟැපෑවා ගොඩයාගෙ ගෙදර නැවතිලා ඉන්න චමිලයා ගානටම. ඈපා ඒ වෙද්දිත් ටිකක් උස මහත වීමත් ගොඩයා අඟල් දෙක තුනකට වඩා උසට නොසිටීමත් නිසා වැඩේ ගොඩ කිසීම සැකයක් නැතුව.

ඕං ඊලඟට විදුහල්පති තුමාගෙ අත්සන. ඒකනම් ඈපා ගේමක් නැතුව කරගෙන ආවා කියමුකෝ. දැං වැඩේ සියල්ල අවසානයි. ඊලඟට තියෙන්නෙ පුස්ථකාලයට ගිහින් ෆෝර්ම් එක ඉදිරිපත් කරලා කාර්ඩ් දෙක අරගෙන එන්නයි. ඈපත් ගොඩයාත් ඉන්නෙ වැඩේ කෙරුන ගානට.  අමාරුම තැන පැනගත්තු නිසා ඉතිරිය කජු කනවා වගේ සිම්පල් වැඩක්. හවස් අතේ පුස්ථකාලයට ගිහිං කාර්ඩ් දෙක හදාගන්න යන අරමුනෙන් ගොඩයයි ඈපයි සතුටින් විසිර යනව. කතාකරගත්තු විදිහටම ඈපා හවස තුන වෙද්දි ගොඩයාගෙ ගෙදර.

ඕන් ගොඩයයි ඈපයි දෙන්න එක්ක යනවා කියමුකෝ පුස්ථකාලෙට. ඊලඟට තියෙන්නෙ අදාල පෝරමය භාර දීලා කාර්ඩ් පත ලබගැනීම පමණයි.. ඕං කමලා ආන්ටි සීට් එකේ.. ගොඩයා ඈපාව තල්ලු කරනව ඉදිරියට..

මේක දීලා කාර්ඩ් එක හදාගනින්..

උඹ දීහංකෝ..

මං දෙන්නෙ මොකටද ගොනෝ...උඹේනෙ කාර්ඩ් එක උඹ දීපං..

මට ලැජ්ජයි බං.. උඹ දියංකෝ...උඹනේ මේ ඇන්ටිව අදුරන්නෙ..

මං දුන්නට හරියන්නෙ නෑ ඌරො.. උඹ දීපං..

අනේ අනේ එහෙම කරන්න එපා බං. උඹනේ දන්න කියන එකා..  ඕක දීලා කාර්ඩ් එකගනිංකෝ..

ගොඩයා ඉතිං ඕනෑම මරාලෙකට බෙල්ල තියන්න දෙපාරක් නොහිතන නිසා ගොඩයා යනවා ඈපාගෙ ෆෝර්ම් එක භාර දෙන්න. ඈපා කිසිවක් නොදන්නා මෝඩයා ගානට යනවා පොත් රාක්ක තියෙන පැත්තට..

කමලා ආන්ටි මේ අපේ ගෙදර ඉන්න අය්යාගේ ඇප්ලිකේෂන් එක.. අද කාර්ඩ් එක ගන්න පුළුවන් වෙයි නේද..

කෝ ඉතින් අයියා එන්න එපැයි ඒකට.. එයා එක්ක එන්නකෝ... එයා අත්සන් කරන්න ඕනනේ..

ඇවිල්ලා ඉන්නේ ඇන්ටි.. එයා පොත් තෝරනවා..

එහෙම හරි යන්නේ නෑනේ.. එයාට එන්න කියන්නකෝ..

ඕන් ගොඩයා යනවා ආපාව කැඳවීම උදෙසා..

ආන් උඹට කතා කරනවා අත්සන් කරන්න..

මං ඕන නෑනේ.. උඹ අත්සන් කරලා කාර්ඩ් දෙක ගනින්කෝ..

උඹට පිස්සුද ගොනෝ... උඹේ කාර්ඩ් එකට මං අත්සන් කරලා හරියනවද..

ගිහින් ඇන්ටිට ශේප් එකක් දාල අත්සන ගහල ඕක ගනින් බන්..

පිස්සු කියවන්න එපා බන්.. උඹ නැතුව කාර්ඩ් එක මට ගන්න බෑ.. මගේ නම ඒ මනුස්සයා දන්නවා බූරුවෝ..

යමන් යමන් එහෙනං.. උඹලත් පොඩි එවුන් වගේ බන්.. කිසි වැඩක් හරියට කරගන්න බෑ...

ඔන් ගොඩයා ඈපාව දක්කාගෙන ආයෙමත් යනවා කමලා ඇන්ටිගේ මේසය ලඟට.. ඈපා ලොකුවට කයිය ගැහුවට ගොඩයාව ඉස්සරහට තල්ලු කරලා ටිකෙන් ටික පස්ස අදිනවා කියලා ගොඩයාට නොතේරුනාත් නෙවෙයි..

ඇන්ටි මේ තමයි අපේ ගෙදර නැවතිලා ඉන්න අයියා...

කෝ බලන්න...

මේන් ඈපා කාරයා ගොඩයාට මුවාවෙලා පොඩි හැංගිමුත්තන් පාරකුත් ලාවට දානවා ඉස්සරහට ගිහින් කෝලේ අත්සන් කරන්නේ නැතුව..

මොකේ මේ හැංගිලා.. එනවා ඉසරහට .. ඇවිත් මේ ෆෝරම් එක අත්සන් කරන්නකෝ..

දැන් ඉතින් ඈපාට ගැලවීමක් නෑ.. ඉදිරියට පැමිණ පෝරමය අත්සන් කලයුතුමයි.. ඕන් ඈපා හොර සෙයියාවෙන් මුණ හංගාගෙන බොහොම ලජ්ජාවෙන් මුහුණත් තහඩුවත් බිමට නමාගෙන කමලා ඇන්ටිගේ මේසය ඉදිරියට එනවා ගොඩයා පසුකරමින්... මෑන්ස් කෙලින්ම උත්සහා කරන්නේ මුහුණ බිමට නමාගෙන කොලය අත්සන් කරන්න උනාට කමලා ඇන්ටි ඊට වඩා තීක්ෂණයි...

කෝ බලන්න කෝ බලන්න... මූන පොඩ්ඩක් පෙන්නනකෝ..

ඈපා පලවෙනි වතාවට මනමාලියෙක් බලන්න ගිහින් වගේ ගොන්ම ගොන් හිනාවකුත් දාගෙන අහක බලාගෙන මුණ පෙන්නනවා... හයියෝ හරිම විසුළු සහගතයි සීන් එක..

හත් දෙයියනේ... මේ අපේ අල්ලපු ගෙදර XXXX අක්කගේ බාල පුතා XXX නේ... මෙයා කොහොමද ඔයාලගේ ගෙදර බෝර්ඩ් වෙලා ඉන්නේ... මං අද උදෙත් දැක්කනේ මේ යෝදයා පොත් මිටියත් එල්ලගෙන ඉස්කෝලේ එනවා.. ඉන්නවකෝ මං පොලිසියට කෝල් කරන්න.. තවුසේලා දෙන්න ආව නේද පොත් හොරකම් කරන්න බොරු කාර්ඩ් හදාගෙන..

ඒ කතාව අහපු ගමන් ගොඩයාට තේරුනා ඈපාට විතරක් නෙවෙයි ගොඩයාටත් ලයිබ්‍රි කාර්ඩ් හතරම නැතිවුනා කියලා... ඒ සිතුවිල්ල ඔලුවට ඇවිත් තත්පරෙන් දාහෙන් පංගුවක් යන්නත් කලින් ඈපා ගොඩයාවත් පෙරලාගෙන පැනලා දිව්වා කියහන්කෝ.. ආයේ ඉතින් ඈපා නිසා ඉල්ලගෙන කාලා ඈපා නැතුව එතැන හිටියාම පරිප්පු නැවම ගොඩයාට බාන්න වෙන එක ගැන තර්ක විතර්ක අවශ්‍ය නෑනේ.. ඊළඟට නැකත එළැඹෙන්නේ ඈපාගේ වෙනුවෙන් කමලා අන්ටිගෙනුත් කාලා, පොලිසියෙනුත් කාලා, අතුරුපසට  ගෙදරිනුත් කන්න වෙන සීන් එකක් වගේ එකකට විත්තිය ගොඩයාගේ කුඩා මොලේට වැටහිලා අවසානයි..  ඉතින් දෙයියෝ එතැන ඉඳලා ඒ පරිප්පුව තනියම කනවාට වඩා ලේසියි නෙව ඈපාම අනුගමනය කරලා එතනින් පැන දුවන එක.. එකායි.. දෙකායි.. තුනායි... ගොඩයා ලයිබ්‍රියෙන් එළියේ නවත්තලා තියෙන ගොඩයාගේ පුටාර් එක උඩ... 

ඔහොම ඉන්නවා... කිව්වම ඔහොම නවතිනවා....

කමලා ඇන්ටි බෙරිහන් දෙනවා ගොඩයාට හීනෙන් වගේ මතකයි.. එව්වට සැලෙයිද ගොඩයා... පෙරකදොරුවෙක් අල්ලාගෙන හරි නඩුව ගොඩ දාගන්න නම්, පළමුව අත්අඩංගුවට පත්වීමෙන් වැළකිය යුතුයි නෙව... 

පුස්තකාලාධිපති පිරිමි කෙනෙක් නොවී ගැහැණු කෙනෙක් වීමේ වාසිය ගොඩයාට හිමිවුණා මිසක්, පිරිමි කෙනෙක් උනානම් ගොඩයාව එවෙලේම අලලා පොත් රාක්කෙකට තියලා ගැටගහලා පොලිසියට භාරදෙනවා කියලයි ගොඩයා එවෙලේ හිතුවේ.. ගොඩයා හැල්මේ ෆුටාර් එක පැදගෙන පොල්වත්ත පැත්තට එද්දී මෙන්න යකඩෝ ඈපා ගොයියා පිට්ටනිය ගාව අරලිය ගහකට හේත්තු වෙලා හති අරිනවා.. ඉහින් කනින් දාඩිය බේරෙන අතරේ නාස් පොල්ල මයිනහම වගේ පිඹිනවා ඉවරයක් නෑ.. ගොඩයාටත් පොඩ්ඩක් විතර හති ඒත් ඇපාට තරං නෑ..

මොකක්ද ගොනෝ ඒ කරේ... තෝ කියන්න එපැයි ඒ බොලාගේ අල්ලපු ගෙදර ගෑනු මනුස්සයා කියලා...

මං හිතුවේ අඳුරගන්න එකක් නෑ කියලා බං..

ඈ බොල ගොන් මී වස්සෝ.. උදේ හවස තෝව දකින අල්ලපු ගෙදර මනුස්සයාට තෝව අඳුරන්න බැරිවෙන්නේ කොහොමද..

හරි බන් හරි.. ලොකුවට අවුලක් නෑනේ.. දෙන්නම පැනගත්තනේ..

පැනගත්තා තමයි ගොනෝ... ඒත් මං කොහොමද ආයෙම පොත් ගන්න යන්නේ දැන්...

ඕක මහ ලොකු දෙයක්ද බන්.. ටික දවසකින් ශේප් වෙලා යාවි... ඊට පස්සේ පලයන්..

උඹ මගෙන් කිනුහරුප නාහා පල.. මං යනවා ගෙදර..

පොඩ්ඩක් වරෙන්කො ආයෙම ලයිබ්‍රිය ලඟට යන්න..

ඒ මොකටද බන්.. මට නම් බෑ පැත්ත පලාතක යන්න..

අනේ පොඩ්ඩක් වරෙන්කො යන්න..

දැන් ආයෙම එතනට ගොහිං ඉල්ලගෙන කන්නද යකෝ.. මටනම් බෑ පලාතක යන්න...

අනේ වරෙන්කො යන්න.. 

මට බෑ.. උඹ ගෙදර පලයන්.. මමත් ගෙදර යනව..

ගෙදර යන්නේ කොහොමද බං... මගේ  බ ..බ ... බ ... බයික් එක එතන..

මලා...  මටනම් බෑ.. ඕන මගුලක් කරගනිං... 

අනේ බන් එහෙම කරන්න එපා බන්.. වරෙන්කො යන්න..

ඕන් ඔය ආකාරයේ දහසක් දුක් ගැනවිලි අවසානයේ ගොඩයාට සිද්ද වෙනවා කමලා ඇන්ටි පුස්ථකාලය වහලා ගෙදර යනකල් කමලා ඇන්ටි එක්ක හැංගිමුත්තන් කරන්න.. කමලා ඇන්ටි පුස්ථකාලය වහලා ගියායින් අනතුරුව තමයි ආපාගේ ෆුටාර් කටුව එතනින් අරගෙන ඈපා ගෙදර මාරු වෙන්නේ..

ඈපා බයිසිකලේ දාල දුවපු පලවෙනි අවස්ථාව ඒක උනත් අවසාන අවස්ථාව ඒක නෙවෙයි. දෙවැනි වතාවේ ඈපා බයිසිකලේ දාලා දිව්වා දිව්වාමයි... ආයේ ඒ බයිසිකලේ ඈපාට ලැබුණ නෑ.. ඒ කතාන්දරේ මෙතන ලිව්වොත් ඈපා ගොඩයාව කයි..



Thursday, February 6, 2020

බිබික්කං සිරා..



සිරා කිව්වාම මේ බ්ලොග් කොටේ කියවන හැම හැමදෙනාටම අමුතුවෙන් අඳුන්වලා දෙන්න ඕන චරිතයක් නොවෙයිනේ. සිරා ඉතින් දන්නා කියන කාලේ හිටන්ම කරොත් කරන්නේ සිරා වැඩම තමයි. හැබැයි ඉතින් ගෙදරට සාන්ත දාන්ත තීන්ත කූඩුව උනාට එලියට බැස්සාම ඉතින් සිරා එක්ක එකට යන එවුන්ගේ පටි රෝල් කරන්න සිරා දෙපාරක් හිතන්නේ නැති තරම්.

ව්‍යාපාර වැඩ වලදී සිරා අංක එකටම දක්ෂයා වගේම කරනා කියන ඕනෑම ව්‍යාපාරයකින් ලාභයක් ලබන්න සිරා උපන් හපන් දක්ශයා. ව්‍යාපාර කෙරුවාවේදී අදාළ වෙළඳ භාණ්ඩයට ගැලපෙන ගැනුම් කරුවාගේ සාක්කුවෙන් ලාච්චුවට සල්ලි අදින්න සිරාට තියෙන්නේ බොහොම දක්ෂ ඉවක්. ඒ වගේම සිරා සීසනල් බිස්නස් වලටත් දක්ෂයා කිව්වොත් තමයි නිවැරදි. හැබැයි කොයිතරම් ව්‍යාපාරයේහි කපටි වුනත් සිරා වියදම් කරන්න ගියාම කවදාවත් කකුල පස්සට තිබ්බේ නෑ. හැබැයි ඉතින් සිරාගේ එදත් අදත් තියන එකම වරද නම් අනෙකාගේ අමාරුකම තේරුම් ගැනීමට තිබෙනා නොහැකියාවම තමා.

ආයෙත් සිරා ගැන ලියන්න ඕන කියල ගොඩයාට හිතුනේ සිරාගේ කතාන්දර ලියල නිම කරන්නට බැරි නිසාත් එව්වා නොලියා තැබීම සිරාට කරන අගෞරවයක් නිසාත්. අද උදේ ගොඩයා වැඩට යන්න ඇහැරිලා ෆෝන් එක බලද්දී මෙන්න බොලේ සිරාගෙන් මිස් කෝල් බර ගානක්. සිරා කෝල් එක ගහන්නේ මොකක් නමුත් ආතල් වැඩක් සෙට් උනාම හෝ කව්රු හරි මිත්‍රයෙක්ව ගොනාට අන්දලා ගොඩයාට බන්නලා වගේ දිය යටින් ගින්දර ගෙනියන වැඩවලට තමා බහුතරයක් වෙලාවට. සිරාගේ වෙළඳසැල කියන්නේ යාලු මිතුරු හැමෝම ටවුමට ආවොත් අනිවාර්යෙන් ගොඩ වදින තැනක්. ඒ වගේ මිත්‍රයෙක් කඩේට ආවාම සිරා කරන මජරම වැඩේ මොකක්ද කියනවනම්, පළමුව කරන්නේ කඩේට ගොඩ වෙච්ච එකා පට්ටෙට තරහ එකෙක්ව මතක් කරන එක. ඊළඟට අර අසරණයාව උගේ තරහ කාරයාට අම්මමෝ නැතුව බනින තැනට කතාව අරගෙන ගිහින් සිරා කරන්නේ එක්කෝ ෆෝන් එකේ වීඩියෝ රේකොඩින් එකක් ගන්න එක. නැත්තම් කරන්නේ අදාළ පුද්ගලයාට ලයිව් වීඩියෝ කෝල් එකක් ගන්න එක. සිරා කව්ද කියල යාලු මිත්‍ර හැමදෙනාම දන්නා නිසා කව්රුවත් කඩු පොලු අරගෙන මරාගන්න යන්නේ නැති නිසා සිරා අදත් ඒකාගේ විනෝදාංශ කටයුතු රිසිසේ කරගෙන යනවා කිව්වොත් තමයි ඇත්ත.

සිරා වෙළඳ ව්‍යාපාර වලට දක්ෂයා නිසා සිරා ගොඩයාට පෙරලපු තඩි බාල්දියක් ගැන තමයි මේ ලියන්න යන්නේ. මේ කියන කාල වකවානුව  ගොඩයාගේ මතකයේ හැටියට දෙදහ දශකය වගේ විය යුතුයි. ඒ කාලේ සිරාගේ වෙළද ව්‍යාපාරය කරගෙන යන අතරේ තව තවත් ව්‍යාපාර අවස්ථාවන් දිහාවට සිරා හොස්ස පොවනා කාලයක්. ඔය අතරේ තමයි සිරා සිංහල අවුරුද්ද කාලය අල්ලලා සීසනල් බිස්නස් එකක් පටාන් ගන්නේ. බිස්නස් එක බොහොම රසවත් බිස්නස් එකක් වගේම සිංහල අවුරුදු කාලෙට හොඳ ගානක් උපයන්න පුළුවන් කරුමාන්තයක්. වැඩිය අටුවා ටීකා නැතුව කියනවනම් සිරා සයිඩ් බිස්නස් එකක් විදිහට පටාන් අරං තියෙන්නේ කේක් කඩයක්.. කේක් කඩයක් කිව්වේ කිලෝ ගානට කේක් විකුණන කඩයක්. සිරා කොච්චර දක්ෂද කියනවනම් බස්නැවතුම්පොල ඉදිරියේ කඩ කාමරයකුත් කුලියට අරගෙන, ගෑල්ලමයි දෙන්නෙකුත් වැඩට අරගෙන හෙන සිරාවට කේක් විකුනනවා කියහල්ලකෝ.. විකුනනවා කිව්වට සිරා කේක් කඩේ පැත්ත පලාතක නෑ. 

වැඩට ගත්තු ගෑල්ලමයි දෙන්නා සිරාට එහා.. කේක් එංගලන්තෙන් ආනයනය කරපු ගානට තමා උන් දෙන්නත් කස්ටමර්ස්ලාට කේක් ගැන වර්නනාව . සිරා කරන්නේ කේක් ටික සප්ලයි කරලා හවසට ගණුදෙනු බේරාගන්න එක පමණයි. ඒ ඇරුනාම සිරා තමුන්ගේ ප්‍රධාන වෙළඳ ව්‍යාපාරය එක්ක දවස පුරාම බිසී.. ඒත් ඉතින් සිරාගේ රියල් ටයිම් ඇන්ටෙනාව  කේක් කඩේ දිහාවටත් දාගෙන ඉන්න සිරා දක්ෂයි. ගොඩයා එක්ක සිරා ඒ වෙද්දී කියපු කරුණු කාරනා අනුව කේක් හදන මුදලාලි සිරාගේ කඩේටම කේක් සපයන නිසා සිරාට තියෙන්නේ විකුනලා ලාභය සාක්කුවේ ඔබාගන්න විතරයි. ඒ වෙද්දී කේක් කඩ බර ගානක් අම්බලන්ගොඩ නගරයේ තිබ්බත් සිරාගේ කේක් කඩෙත් හවස් වෙද්දී ගෑනු උදවිය පොරකනවා කේක් ගන්න. ඒ දැක්කාම ගොඩයාට හිතෙන්නෙම යකඩෝ මුන් තුන් වේලටම කන්නේ කේක්ද කියලා උනත් අපේ එකාගේ ව්‍යාපාරය නිසා ගොඩයා අමාරුවෙන් හිතට කියනවා, මිනිස්සු තුන් වේලම කේක් කන එක හොඳයි දෙයියෝ කියල.

ඔන්න සිංහල අවුරුද්දත් ලංවුනා කියමුකෝ.. හෙට සිංහල අලුත් අවුරුදු කියලා හිතුවොත් අද ඒ කියන්නෙ අප්‍රියෙල් දහ තුන දවසක උදේ පාන්දර කුකුලා මල්ලේ දාගෙන සිරා දුරකතනයෙන් අමතනවා ගොඩයාට..

හෙලෝ.. 

උඹ කොහෙද.. කතරගමද ගෙදරද...

ගෙදර... නිදාගන්න දියන්කෝ වද නොදී...

පොඩ්ඩක් වාහනේ අරං වරෙන්කො පොඩි ගමනක් ගිහින් එන්න..

මේ උදේ පාන්දර... නිදාගන්න දියන්කෝ වද නොදී..

පොඩි හදිසියක් බන්.. ඉක්මනට වරෙන්කො..

මොකද හදිසිය කියහන්  බලන්න..

ඉක්මනට වරෙන්කො.. කිය කිය ඉන්න වෙලාවක් නෑ..

එහෙම කියල සිරා දුරකතනය විසන්ධි  කරා.. කොච්චර උනත් යාලුවානේ කියලා ගොඩයත් නිදි පදුරෙන්ම ඇඳෙන් පැනලා, ඇඳන් හිටපු සරම පිටින්ම වෑන් කටුව අරං සිරාගේ ගෙදරට ඉගිල්ලුනා.. සිරා එහෙම හදිසි වැඩ වලට දුරකථන ඇමතුම් නොදෙන නිසා අනික් පැත්ත හැරිලා නිදියන්න ගොඩයාට හිත දුන්නේ නෑ කියමුකෝ.. ඔන්න ගොඩයා විදුලි වේගයෙන් ගිහින් සිරාගේ ගෙදර තාප්පේ ගාව වෑන් එක නවත්වනවා.. මෙන්න යකඩෝ අච්චර හදිසියි කිව්වා එකා අවුරුදු කුමාරයා වගේ සැරසිලා ලැසි ගමනින් ගෙයින් එලියට බැහැලා වාහනේ දිහාවට එනවා.. ඒ ඇවිත් මුකුත්ම කතා නොකර වාහනේ ඉස්සරහ සීට් එකටත් ගොඩ වෙනවාත් කියමුකෝ..

මොකෝ බන්.. මොකක්ද හදිසිය..

යමන් පොඩ්ඩක් මතුගමට ගිහින් එන්න..

මොකක්... මතුගමට... මෙහෙම.. උඹට පිස්සුද...

යමු ඉතින්...

සිරා වාහනේ ඉස්සරහ සීට් එකට නැගලා යමු කියන්නේ උගේ වාගනේ ගොඩයා ඩ්‍රයිවින් කරන ගානට.. ආන්න එතකොට තමයි ගොඩයාට හිතෙන්නේ ඉස්සරහ දොර ඇරලා, සිරාව එලියට විසික් වෙන්න පයින් අනින්න..

මං ඊයේ රෑ නිදාගත්තු සරම පිටින් බූරුවෝ... මෙහෙම මතුගම යන්න පුලුවන්ද... මොකද්ද හදිසිය..

යමන් බං ඉක්මනට .. පොඩි හදිසියක්..

ඉතින් කියහන් මොකක්ද හදිසිය..

යන ගමන් කියන්නම් යමන් ඉක්මනට..

නිදි ඇඳෙන් බිමට පැනලා දුවගෙන ආපු ගොඩයා ඔන්න රථය පදවාගෙන ඉදිරියට යනවා..

කියහන් මොකක්ද හදිසිය..

අද කේක් ගේන වෑන් එක එන්නේ නෑලු බන්.. අද හොඳටම බිස්නස් තියෙන දවස.. කඩේ අද දවල් වෙද්දී විකුනන්න කේක් නෑ..

දැන් උඹ මට මේ නිදි පැදුරෙන් හදිසියක් කියල ගෙන්නගත්තේ කේක් අදින්න යන්නද බූරුවෝ.. දැන් උඹ කියන්නේ මිනිස්සු අදින වාහනේ කේක් තැටි පටවන්න කියලද..

කේක් තැටියක් දෙකක් පැටෙව්වට මොනවා වෙනවද බං.. කේක් ගෙන්න යන්න කිව්වනම් උඹ එනවද... නෑනේ.. නෑනේ... හහ් හහ් හා...

ඔන්න සිරාගේ උත්තරේ.. ගොඩයත් ඉතින් නිදි පැදුරෙන් වාහනේ එලවාගෙන මතුගම දිහාවට ඉගිල්ලෙනව සිරාගේ කේක් මරාලෙන් ඉක්මනට බේරෙන සිතුවිල්ලෙන්.. කොහොමින් කොහොම හරි මතුගමටත් ආව කියමුකෝ... කේක් පැට්ටේරිය තියෙන්නේ මතුගම කියල කිව්වට මතුගමත් නෙවෙයිලු බොලේ.. ඊටත් එහා හද්ද මූකලානක.. ගොඩයාත් උදේ පාන්දර ජංගම දුරකථනය ආන්සර් කරපු පවට සාප කර කර දන්නා කියන කුණුහරුප සියල්ලෙන්ම සිරාට අමතගෙන වාහනේ පදවාගෙන සිරාගේ කේක් පැට්ටේරියට එනව..  

වාහනේ එනකල් සිරා හෙන සිරාවට පුරාජේරු කියපු කේක් පැට්ටේරිය ගොඩයා හිතුවේ නිදහස් වෙළඳ කලාපේ වගේ හෙන ලොකු බිල්ඩින් තියෙන ලොකු හයිෆයි පොශ්  තැනක් කියලා උනත් තැනට ආවම තමයි ගොඩයා තේරුම් යන්නෙ කේක් පැට්ටේරිය සිරා කියන තරම් එකක් නෙවෙයි ටිකක් ප්‍රමානයෙන් විශාල බේකරියක් කියල.. ඒත් ඉතින් ගොඩයාට කේක් පැට්ටේරියේ සයිස් එක අදාළ නෑ. ගොඩයාට අදාළ ගෙනියන බිබික්කමක් ඉක්මනට වාහනේට දාගෙන අම්බලන්ගොඩ යන්න. ඒත් වාහනෙන් බැහැල ගිහිපු සිරා එන පාටක් නම් පෙන්න නැති නිසා ගොඩයා යනවා වාහනෙන් බැහැලා කේක් පැට්ටේරිය ඇතුලට.

මෙන්න බොලේ සිරා කිසී.....ම හදිසියක් නැතුව බේකරියේ තියන දඬු මේසෙකට හේත්තු වෙලා හෙන කූල් කයියක්.. යන්න කිසී.....ම කලබලයක් නැති ගානයි.. ඔන්න ගොඩයාගේ ඉවසීම අහවර වෙනව..

මොකෝ බන් කරන්නේ.. කෝ කේක්.. පටවහන් ඉක්මනට..

කේ...කේ....කේ....

ගොත ගහන්නේ නැතුව කියහන්කෝ.. කෝ කේක්...

කේක් තාම හදනවා බන්.. හදල ඉවර වෙනකල් ඉන්න වෙනවා..

අනේ ඉතින් ගොඩයා කාපු ලණුවේ බරපතලකම ගැන හිතන් සාප කර කරා ගොඩයා ආයෙත් ඇවිල්ල වාහනේට නැගල කාලය මරනවා.. කොහොමින් කොහොම හරි තත්පර විනාඩි වෙලා විනාඩි පැය වෙලා දවල් දොළහ වෙද්දී සිරා ගොඩයාගෙන් නැවකට කුණුහරුප අහල අහවරයි.. උදේට දත් ටිකවත් මදින්නේ නැතුව රෑ නිදාගත්ත සරොම පිටින් ඉන්න ගොඩයාට උදේ ආහාරය විදිහට බනිසක් දෙකක් නම් සිරා ගෙනල්ල දුන්නා උනාට ඉතින් සිරා දකින දකින වාරයක් ගානේ සුද්ද සිංහලෙන් ඇමතීම නම් අඩුවක් උනේ නෑ..

දවල් දොළහමාර එක වගේ වෙද්දි වෙද්දී කේක් ටික වාහනේට පැටවුණා කියමුකෝ.. කේක් කිව්වට අන්න කේක්.. බේකරියෙන් බාපු ගමන්.. වාහනේ සීට් උඩද යටද සෑම අස්සක් මුල්ලක් නෑරම එක පිට එක කේක් තැටි කියහන්කෝ.. වාහනේ කොච්චර පැක්ද කියනවනම් හදිසියකට බ්‍රේක් පාරක් ගහන්නත් බයයි කේක් ලෝර්ඩ් එක ඉස්සරහ වීදුරුව කඩාගෙන එලියට පනින සයිස්..  මතුගම අලුත්ගම පාර ඒ කාලේ තත්වය සෑහෙන අබලන් වගේම වල ගොඩැලි අනන්තයි. ඒ හින්ද ගොඩයා වාහනේ පදවන්නේ තිහට හතලිහට..

ඉක්මනට යමන් බන්.. කඩේ කේක් ඉවරයිලු..

මගෙන් මැරුම් නොකා හිටහන්.. ලොරියක කේක් වෑන් එකක පටෝල උඹ මට දැන් කියන්නේ ඉගිල්ලෙන්න කියලද.. මේකෙ දුනු ටික කඩාගෙන බිම පහත් වෙන්න නොදී උඹේ කේක් මරාලේ කඩේට ගෙනිහින් දෙනකල් ඉවසගෙන හිටහන්..

ටිකක් හයියෙන් ගියා කියලා මක් වෙනවද බං.. ටිකක් පාගලා යමන්..

පාගනවා මං උඹේ බෙල්ල දැනගනින්... හදිසියි නං කේක් තැටි ටික කරේ තියන් දුවහං..

දැං උඹට කේක් පටෝනකං තිබ්බ හදිසිය නෑනෙ කේක් ටික පැටෙව්වහම..

යකෝ.. ලොරියක පටවන්න ඕන ලෝර්ඩ් එකක් පොඩි වෑන් එකක පටවගෙන අසූවට සීයට යන්න බෑ බූරුවෝ... දුන්නක් කඩලා ගියොත් හරි ටයර් එකක් පිපිරුවොත් හරි උඹට කේක් විකුනන්න වෙන්නෙ පාරෙ තියාගෙන තමා.. ඉවසගෙන හිටහං..

වෑන් එකේ කේක් කොච්චර පටවලාද කියනවානං, වාහනේ පිටිපස්ස කොන බිම ගෑවෙන තරම් කියහන්කො. ඒ මදිවට බේකරියෙන් බාපු ගමන් පටවපු කේක් තැටි වලින් එන රස්නෙ හරියටම කියනවනම්, ගොඩයාට දැනෙන්නෙ තඩි අවන් එකකට රෝද හතරක් හයි කරලා එලවගෙන යන ගානට..

ඒසී දාපන් මේකෙ..

දාල තමා බූරුවෝ තියෙන්නෙ..

කෝ සීතල නෑනේ.. උඹේ මේ මගුලෙ ඒසී වැඩ කරන්නෙ නෑ මං හිතන්නේ..

උඹ මගේ වාහනේ කේක් පැටෙව්ව මදිවට දැං අපහාස කරන්නත් එනවද බූරුවෝ..  බලහන් පිටිපස්ස හැරිලා උඹේ මේ බිබික්කං තැටි ලෝර්ඩ් එක ගිනිගහන රස්නෙයි බේකරියෙන් බාපු ගමන් නිසා.. 

ඉතිං කේක් තැටිවල රස්නෙයි ඒසී එකෙන් එන සීතලයි අතරේ තියෙන සම්භන්දෙ මොකක්ද බං..

නෑ ... කොහෙත්ම සම්භන්ධයක් නෑ.. වාහනේ සීතල නොවෙන හේතුව කියල දෙන්න උඹ වෙනම වෙලාවක වරෙන් මං උඹට ඔටෝ ඒසී පාඩමක් වෙබම උගන්නන්නම්.. එතකං උඹ මට කියලා කට තලාගන්නේ නැතුව පාඩුවේ පල...

ඕං සිරා ඒ ගමන ඉස්සරහ වීදුරුව ඇරගන්නව.. ඒ අතරේ සිරාට දිගට හරහට කෝල් එනවා කේක් කඩේ කෙල්ලන්ගෙන්.. ගොඩයාට ඇහෙන විදිහට අම්බලන්ගොඩ තඩි කේක් හිඟයක් ඇතිවෙලා ගානයි..

ඕන් සිරාගෙ දාහක් කුනු කතා අහගෙන ගොඩයා වෑන් කොටේ දක්කනවා අම්බලන්ගොඩ බලා.. අහින්සක ආකාරයෙන් ගෙදර නිදාගෙන හිටපු ගොඩයාව, බොරු කියලා ඇහැරගෙන ආවා උනාට දැන් සිරා කතා කරන්නෙ උගේ කේක් කඩේ කේක් අදින්න ගොඩයා බලෙන් ආපු ගානට. එව්ව ඇහෙද්දි ගොඩයාට සිරාගෙ හොම්බට අනින්න හිතුනට දැන් එව්වා කතා කරලා පලක් නැති නිසා ගොඩයා නිහඬවම ගමනාන්තයට ලඟා වෙනවා. වෙලාව හවස හතර වගේ ඇති කියමුකෝ..

ගොඩයා වැඩේ සිම්පල්ව හිතුවට වැඩේ ටිකක් සිරා කියලා ගොඩයාට වැටහෙන්නෙ සිරාගෙ කේක් මාලිගාව ලඟට කිට්ටු වෙද්දි. මෙන්න යකඩෝ ගෑනු මිනිස්සු සීයක් විතර සිරාගෙ බිබික්කං කඩේ ලඟ පෝලිමේ.. ඒක දැක්කම ගොඩයාට නං හිතුනෙම මුං සිංහල අවුරුද්දට තුන්වේලටම කන්නෙ කේක්දෝ යකෝ කියලා.. ඒත් ඉතිං පාඩුවේ නිදාගන්න බැරි මදිවට වැඩි මනුස්සකමට ෆෝන් එක ආන්සර් කරලා කාපු පරිප්පුව තව විනාඩි දහයෙන් ඉවරයි නේදෝ කියලා ගොඩයා සැනසුම් සුසුම් හෙලනවා..

ඕන් ගොඩයා පරෙස්සමට වාහනේ සිරාගෙ කේක් මාලිගාව අයිනෙන් නවත්වනවා කියමුකෝ.. දැං තියෙන්නෙ වාහනේ පුරා පරෙස්සමට අසුරලා තියෙන සිරාගෙ බිබික්කං තැටි ටික වාහනේට හානියක් නොවෙන විදිහට බාගන්න දෙන්න. වෑන් එකේ පිටිපස්ස කොටසේ ආසන උඩයි, යටයි, ඩ්‍රයිවින් සීට් එක ගාවටම වහලෙ ගෑවෙන්න පුරවලා තියෙන තැටි ටික පරෙස්සමෙන් එලියට අරං නොදුන්නොත් ආයෙ දෙකක් නෑ වාහනේ සීට් ටිකයි ඇතුලෙ බොඩියයි සිරා විනාස කරලා දානවා කියලා ගොඩයා ඉන්තේරුවෙන්ම දන්නව..

බිබික්කං තැටි ටික කඩේ ඇතුලට බාවි කියලා හිතුවට සිරා ඒ තරං ගොඩයා ගැන හිතුවෙ නෑ කියහංකෝ.. සිරාට හපන් සිරාගේ කඩේ වැඩට අරං ඉන්න කෙල්ලෝ දෙන්න.. වාහනේ නැවැත්තුවා විතරයි කඩේ කෙල්ලො දෙන්න  වෑන් එකේ පිටිපස්සෙ දොරෙන්ම කස්ටමර්ස්ලාට බඩු විකුනන්න ගත්තා කියහංකෝ.. අර කිව්ව තුන් වේලටම කේක් වලින් අවුරුදු කන එවුන්ටත් ඉවසිල්ලක් නෑ කේක් ටික කඩේට බාලා පිලිවෙලකට දෙනකල්.. කේක් වලට කොයිතරම් ඉල්ලුමද කියනවනං, පැය ගානක් කට්ට වලඳලා ගෙනාපු කේක් ලෝර්ඩ් එක විනාඩි හතලිස් පහක් යද්දි වෑන් එකේ තියාගෙනම සිරාගේ කඩේ වැඩට ඉන්න යක්සනියෝ දෙන්න විකුනලා හමාරයි.. ආං වැඩට ගන්නවනං කෙල්ලො..  මලමිනියක් දුන්නත් උං දෙන්නා විනාඩියෙන් දෙකෙන් විකුනනවා අනිවා..


හහ් හහ් හා.. කොහොමද වැඩේ.. බඩු ඉවරායි.... අප්පද බොල සිරාගෙ සන්තෝසෙ කට දෙකොනින් බේරෙනව..

ඇති යාන්තං.. මං එහෙනං යන්නං සිරෝ..

කොහේ යන්නද බං... ආයෙ යමං මතුගම..

මොකක්.. බොට මෝල්ද යකෝ.. ගෙදරින් දැං කෝල් සීයක් විතර ගැහුවා නිදිපැදුරෙං කොහේ ගියාද කියලා අහලා..

අනේ බං මාව අමාරුවේ නොදා හොඳ එකා වගේ යමංකො තව ලෝර්ඩ් එකක් ගේන්න.. කෙල්ලො මිනිස්සුන්ගෙං ඇඩ්වාන්ස් අරගෙන.. හෙට උදේට තව කේක් ටිකක් දෙන්න තියෙනව..

ඉතිං වෙන වාහනයක් හයර් එකට අරං පල..

අනේ බං දැං කොහෙන්ද වාහන හොයන්නෙ.. උදේ වගේ පරක්කු වෙන්නෙ නෑ.. ගියා පටවගත්තා.... ආවා.. කේක් ටික රෙඩි වෙලා තියෙන්නෙ..

ඔව් ඔව් මං දැක්කා උදෙත් රෙඩි වෙලා තිබ්බේ... මටනං බෑ රජෝ.. වාහනෙන් බැහැපං මට යන්න.. බලහං මේ වාහනේ හැටි උඹේ බිබික්කං තැටි පටවලා..

අනේ බං යමංකෝ... ගියා පටවගත්තා.. ආව...

ගොඩයාට ඒ කාලෙ තිබ්බ පොඩි අසනීපයක්. ඒ තමා බෑ කියන්න බැරි අසනීපය.. දැං වෙද්දිනං ඒ අසනීපය සියයට පනහක් විතර සුව අතට හැරිලා.. ඒත් ඉතිං තාමත් ගොඩයා ඔය වාගේ පරිප්පු කනවා යාලුමිත්‍රයන්ගේ, ඥාතීන්ගේ හිත රිදවන්න බැරි කමට.. ඒ කාලෙ ඔය අසනීපය උත්සන්න කාලය නිසා ගොඩයා අකමැත්තෙන් සිරාට එකඟ වෙන්වා ආයෙමත් අගලවත්තෙ ගිහින් එන්න.

 ඒ වෙද්දිත් ගොඩයාට ගෙදරින් දුරකථන ඇමතුම් සීයක් දෙසීයක් ඇවිත් තිබුන නිසාත්, ගෙදර විධායක බලතල හිමි  පාලනාධිකාරිය හෙවත් ආදරණීය ඩඩා විසින් රතු නිවේදනය නිකුත් කරලා අහවර නිසාත්, තව එක ගමනක් අගලවත්තෙ ගියාට දඬුවමේ වෙනසක් නොවෙනා වග සක්සුදක් සේ පැහැදිලි නිසාත්, ඒ සියල්ලම එක්ව ගත්කල ආසනය අහිමිවීම, ඒ කිව්වේ අවුරුදු කෑම මේසයේ ආසනය අහිමි වීම පැහැදිලි සත්‍යයක් නිසාත්, ඒ වෙලාවේ ගෙදර ගියා කියලා ගොඩයාගේ පුද්ගලික ජීවිතයට වෙච්ච ඩැමේජ් එක ආපස්සට යවන්න බැරි නිසාත්, තව වතාවක් අගලවත්තේ ගියා කියලා ගොඩයාට අමුතුවෙන් නැතිවෙන්න දෙයක් නෑ..  පැරැන්නෝ කියලා තියෙනවනේ නාහෙට උඩින් වතුර අඟලක් ගියත් එකයි හැතක්මක් ගියත් එකයි කියලා. ආන් ඒ වගේ තමා.

සිරා කියන විදිහට මේ වතාවේ කලින් වතාවේ වගේ නෙවෙයි. කේක් ඔක්කොම හදල තියෙන නිසා ගියා පටවගත්තා ආවා. උපරිම ඕනෙනම් පැය දෙකහමාරේ වැඩේ. ගොඩයා කලිනුත් සිරාගේ පරිප්පු නැව බාපු නිසා මේ වතාවේ පැය දෙකහමාරට පැය පහක්ම තියලා හිත හදාගෙන පිටත් වෙනවා රෑ දහය වගේ වෙද්දී ගෙදරට රපොර්තු කරගන්න පුළුවන් වෙයි කියලා හිත හදාගෙන. ඒ වගේ සිටුවේෂන් එකක් එක්ක කලින් ගෙදර යනවට වඩා පහසුයි ඩඩා ඇඳට වැටුනට පස්සේ ගෙදර යන එක. නැත්තං හත් ඉලව්වේ කඩ කැඩිච්ච කතා දාහක් අහගෙන, උපන්දා හිටං කරපු තක්කඩි වැඩ සියල්ලම නැවතත් ස්මරණය කරවාගෙන, කෝටියක් බැනුම් අහගෙන රෑ වරුව ගතකරනාවාට වඩා සැපයි ලිඳේ පැනලා මැරෙන එක.. ඒ ඔක්කොමත් හරි අපේ ඩඩා මූණ පුළුටු කරගෙන බුම්මගෙන ඉන්නවා බලන එක ඊට වඩා සෑහෙන වේදනාකාරියි. එහෙව් වෙලාවට ඉතින් ගෙදර සැමටම ඩඩා බෙදන්නේ ගොඩයාට බෙදන හැන්දෙන්ම තමා. එහෙව් වෙලාවට ඉතින් ගොඩයාගේ සහෝදරියන්ගෙනුත් දෝස්මුරේ ගොඩයාටම තමා.

ඕන් සිරාගේ සිරා කතා දාහක් අහගෙන කේක් පැට්ටේරියට ආව කියමුකෝ.. ගොඩයා කෙලින්ම වාහනේ රිවස් කරලාම පාර්ක් කරා හනික ගම රට බලා යන්න ඕන නිසා. ඕන් සිරා බැහැලා යනවා කේක් පැට්ටේරියේ අයිකාරයා වගේ. හිතේ අමාරුවටයි, නිදි පැදුරෙන් ඇවිත් කාපු පරිප්පුව නිසාත්, දතකට මැදගන්න බැරුව තියෙන අප්පිරියාව නිසාත් ගොඩයාට  පොඩි නින්දක් යනවා රියදුරු ආසනයේම..

ගොඩයා ඇහැරෙද්දි රෑ හත විතර වෙලා කියහංකෝ.  හද්ද මුකලානක තියෙන බේකරියක අගුවක ගොඩයා තනියම කියහංකෝ.. ඒ කියන්නෙ සිරා තාම ඇවිත් නෑ.. ඕං ගොඩයාට මල පනිනවා අසූ හාරදාහටම. ගොඩයා බැහැලා යනවා සිරාව හොයාගෙන.. මෙන්න යකෝ මූ බේකරි බාස්ලා වටකරගෙන බිස්නස් කොන්ෆරන්ස් එකක්..

කෝ යකෝ කේක්..

අ.. අ.. අ... අපේ... අපේ ඕ...ඕ... ඩර් එක තමා දාන්නේ..

ඒ කියන්නෙ තාම කේක් රෙඩි නෑ..

න්..න්...නෑ බං... හෙට අවුරුද්ද නිසා පෝ ..පෝ... පොඩ්ඩක් බිසීලු..

එහෙනං උඹ එද්දි කිව්වෙ කේක් රෙඩී කියලා..

න්...න්...නෑ බං.. ඒ...ඒ.. කේක් ටික අපි එන්න කලිං වෙන ඒජන්ට් කෙනෙක් අරං ගිහිං...

ඒ කියන්නේ ආයෙත් මෙතන තපින්න වෙනවා කේක් හදන්කල්...

හරි බං.. ඔය නිදාගත්තා වගේ ආයෙ ඇලර්ට් එකක් දාපං... මං රෙඩි උනගමන් උඹට ඇහැර්වන්නං..

ගොඩයා ආයෙ උත්තර දුන්නෙ නෑ.. උදේ කාපු ලනුව කඹයක් කරගෙන ගොඩයාම නැවත වලඳලා අහවර නිසා ගොඩයා ආයෙම වාහනේට ඇවිත් කාලකන්නිකමට සම වදිනව..

ඕං ඔය විදිහට කාලය ගතවෙලා සිරාගෙ කේක් ඕඩර් එක ලැබෙද්දි වෙලාව කීයද ඇහුවොත් මේක කියවන උදවියටත් සිරාව කේක් තැටියකට දාලා අවන් එකට දාන්න හිතෙනව.. කාලකන්නිකම කොයිතරම් ගොඩයාට හරහට හිටලාද කියනවනං, සිරාගෙ කේක් ඕඩර් එකට කේක් පැටවෙද්දි වෙලාව එලිවෙන්න හතර පහුවෙලා විනාඩි තිහක් විතර.. ආයෙ ඉතිං සිරා එදා පිසක්වල කුනුහරුපත් ගොඩයාගෙන් අහගත්තා.. එව්ව ඉතිං සිරාට මෙලෝ ගානක් නෑ.. ඒ වෙද්දි ගොඩයාගෙ ගෙදරින් ගොඩයාට කෝල්  දෙන එක නවත්තලා සෑහෙන්න වෙලාවක්. ගෙදරින් කෝල් ඒම නැවතුනා කියන්නෙ එක්කො ගොඩයාගෙ නම චන්ද හිමි නාමලේඛනයෙන් ඉවත් කරලා.. නැත්තම් අතුරුදන් වීමේ ලයිස්තුවට නම ඇතුල් කරලා.. එහෙමත් නැතිනම් ගොඩයා මලා කියලා ග්‍රාමසේවක මහත්තයාට දන්වලා මරණ සහතිකේ ගෙනැල්ල.. ඉතිං කියහංකෝ සිරාගෙ බිබික්කං තැටි ටික බෙන්තර  ගඟට හලලා සිරාටත් ගඟට වැටෙන්න පයින් ගහලා ගොඩයාත් ගඟේ පැනලා මැරුනත් හිතට මදියි. එහෙම ගඟට තල්ලු කරොත් සිරා පීනන්නෙ උපරිම අඩි දහයයි පහලොවයි.. මොකද කියනවනං සිරා පිහිනීම ඉගෙනගෙන තියෙන්නෙ තැපෑලෙන්.. ටික දුරක් පීනගෙන යද්දි සිරා ටිකෙන් ටික වතුරේ නොපෙනී යනවා.. මේක ලියද්දි ගොඩයාට සිරාගෙ පීනිල්ල මතක්වෙලා තනියම හිනා..

ඕං සියල්ල අවසානයේ සිරාගෙ බිබික්කං බාලා ගොඩයා ගෙදර යද්දි සිංහල අවුරුදු දා උදේ අටයි.. ආයෙ ඉතිං දෙකක් නෑ ඒ වගේ වෙලාවට ගොඩයාව ගෙදරිං පිලිගන්නෙ තොරං ගහලා මල් මාල දාලා වෙඩි පත්තු කරලාම තමා.. සිරා නිසා ගොඩයාට සිංහල අවුරුද්ද කොයිතරං මස්තබාල්දුද කියනවනං, අවුරුදු කෑම මේසයේ ගොඩයා නිකං අස්සයා මැරිච්ච කව්බෝයි වගේ.. අවුරුදු චාරිත්තරේට ගොඩයා මේසෙට වාඩි කරගත්තා මිසක් කිසීම පිලිගැනීමක් නෑ.. හරියට අවුරුදු කෑම මේසෙන් පුටුවක් රෙන්ට් එකට ගත්තා හා සමානයි.. 

ඕං ඔය විදිහට සිංහල අලුත් අවුරුද්ද උදාවෙනවා ගොඩයාගෙ පර්සනල් ලැයිෆ් එක මස්තබාල්දු කරගෙනම. සිරාගෙ බිබික්කං කඩේට පිං සිද්ද වෙන්න, වෙනදාට අවුරුදු ලබන්න කලින් සිද්දවෙන බුලත් දීමේ චාරිකාව පැය විසි හතරක් ඩිලේ.  ඒ චෝදනා පත්‍රයෙන් නිදහස් වෙන්න ඕං ගොඩයා සිය පවුල සමගින් යනවා නෑයන්ට බුලත් දෙන්න.. ඒ කියන්නෙ සිංහල අවුරුදු දවසේ හවස.. ඩඩා ෆ්‍රන්ට් සීට් එකේ.. ගොඩයා රියදුරා.. අනික් සාමාජිකයන් පසුපස අසුන්වල.. මේන් යකඩෝ ඉන්දියන් මෝටර් සයිකල් එකක නැගගත්තු කපල් එකක් ගොඩයාගෙ වෑන් කොටේ පස්සෙන් අම්ම මෝ නැතුව එලෝගෙන එනවා කියහංකෝ.. මෑන්ස් ලයිට් ගහන්වා, හෝර්න් ගහනවා ඉවරයක් නෑ.. ගොඩයා හිතුවේම අවුරුදු ඌශ්නෙ වැඩි වෙලා කටගොන්නක් බීගත්තු එකෙක් ඇඹේනියවත් පිටිපස්සෙ දාගෙන අවසන් ගමන් යනගමන්දෝ කියලාමයි. ඕං ගොඩයා මෑන්ස්ට මෑන්ස්ගේ ගමන යන්න දෙන්න කියලා හිතාගෙන වාහනේ අයින් කරලා ඉඩ දෙනවා.. මේං යකෝ මේ යෝදයා අතින් නවත්තන කියන ගමං ගොඩයාට මොනවදෝ කියනව. වාහනේ වීදුරුව වහලා තියෙන නිසා ගොඩයාට මෑන්ස් කියන දේ පැහැදිලිව ඇහෙන්නෙ නෑ. කෝකටත් කියලා ගොඩයා වාහනේ අයිං කරලා නවත්තනවා මේ යක්කු දෙන්නා මේ සිංහල අවුරුද්ද දවසේ ගොඩයාගෙ වාහනේට අඩයටක් තිබ්බොත් කියන භයට. කරුමේ ගොඩයා පස්සෙන් එලොව එලවා පහරදෙන දවස් දෙකක් නිසා ගොඩයා සෑහෙන පරෙස්සම්. මොකද කියනවානම්, ගෙදර පුරවැසි භාවය සරනාගත තත්ත්වයටම පහත වැටී අවසන් සිරාට පිං සිද්දවෙන..

ගොඩයා වාහනේ නැවැත්වුවායින් පස්සෙ මේං අර කිව්ව මොටෝ සයිකල් කාරයත් ඉස්සර කරලා නවත්තුවා කියමුකෝ. ඕං ඊලඟට ඒ කිව්ව මොටෝ සයිකලේ පස්සෙ සීට් එකේ හිටපු ගෑනු කෙනා බයිසි මොටෝවෙන් පැනලා වාහනේ දිහාවට දුවාන එනව. කරුමේ කොයිතරං ඩබල්ද කියනවානං ඒ ගෑනු මනුස්සයා දුහාන ඇවිත් තට්ටු කරන්නෙ පැසෙන්ජර් සීට් එකේ වීදුරුවට කියහක්කෝ.. ඒ කියන්නේ ඒ සීට් එකේ ඉන්නෙ ගොඩයාගෙ ඩඩා... ගොඩයාත් බලාන ඉන්නවා මේ මොකද වෙන්න යන්නෙ නොදනී නිසා.. ඕං ගොඩයාගෙ ඩඩා වීදුරුව පහත් කරනව..

ඇයි.....? එහෙම අහන්නෙ ගොඩයාගෙ ඩඩා..

කේක් වෑන් එක හෙට එනවයි? 

මොකක්?  

කේක්.. කෙක්ක්.. හෙට එනවද ?

මොකක් ගැනද මේ අහන්නෙ.. කේක් වෑන් එක? 

ඊයෙ හවස බස්ටෑන්ඩ් එක ඉස්සරහ කේක් විකිනුවේ මේ වෑන් එකෙන් නේද...

වෙන්න බෑ.. වෙන එකක් වෙන්න ඇති.. 

අනේ එහෙනං සොරි... ඊයෙ හවස මේ වගේම වෑන් එකක් බස්ටෑන්ඩ් එක ඉස්සරහ පුංචි පොල පාරෙ කේක් විකිනුවා.. මට වැරදිලා වෙන්න ඇති...

එහෙම කියලා ඒ ගෑනු මනුස්සයා ආපහු ගිහිං මොටෝවෙ පිටිපස්සට ගොඩවුනා.. ඒ යද්දිත් ඒ මනුස්සයා ගොඩයා දිහෑ තුන් හතර ව්තාවක් හැරිලා බැලුවා කියහංකෝ.. ගොඩයාගෙ ඩඩා දිව දෙකට නමලා විකාගෙන වීදුව වහගත්තා... ඩඩා  එහෙම දිව විකාගන්නෙ මල අසූහාරදාහටම පැනලා ඉවසගන්න බැරිවුනාම..

ඉන් අනතුරුව ඩඩා ගොඩයා සහ වාහනයේ සිටි අය අමතලා පවත්වපු කතාව ඉතිං කලිසමක් ඇදන් ලියන්න බෑ.. ඒ තරම් ඒ කතාන්දර කුජීතයි, කුරිරුයි, හදවත පාරනසුලුයි..  උපන්දා හිටංම බාල්දි පෙරලාගැනීම සහ ගොඩයා කියන්නෙ ඔරුවයි හබලයි වගේ එකිනෙකාට නැතුවම බැරි දෙයක්.. ගෙදර පුරවැසිභාවය ඒ කාලේ හිටංම පුරවැසි සහ සරණාගත අතර වේගයෙන් දෝලනය වුන දෙයක් නිසා ගොඩයා ආයෙත් දවස් කීපයකින් නැවතත් හීන් සැරේ පුරවැසිභාවය ලබාගන්නවා.. ඒත් ඉතිං ඒ ගොඩයා නැවත බාල්දියක් පෙරලාගන්නාතුරු පමනයි..




Sunday, January 19, 2020

අරා, පැස්බරා සහ අනිල් අයියා..








ඕං ගොඩයා පෝස්ට් එකක් ලියන්නයි කියලා ලැහැස්ති උන හැම වතාවෙම පටන් ගැනීමේ අටුවා ටිකා ටිප්පනි ලියලා ඉවර වෙනකොටම ලියාගෙන යාමේ කම්මැලිකම හැදෙනව මේ දවස්වල. එහෙම ලියන්න පටාන් ගතපු පෝස්ට් අටෝරාසියක් බ්ලොග් කොටේ හැමතැනම උනාට ගොඩයාට එව්වා ගැන වගක්වත් නෑ. ඒ නිසා ගොඩයා ආයෙ වටේ යන්නෙ නැතුවම ලියන්න ආපු සිතුවිල්ල අකුරු කරලා දානවා එහෙනං අමුවෙංම.

ඕං අරා පැස්බරා කිව්වාම ලංකාවෙ අස්සක් මුල්ලක් නෑරම රේඩියෝ අහපු ඔනෑම කෙනෙක් දන්නවා ඇතිනේ. ඒ නිසා ගොඩයා ඒඋං දෙන්නා ගැන වැඩි යමක් කියන්න ලියන්න යන්නෙ නෑ. මොකද කියනවනං උං දෙන්නා කලින් හිටපු රේඩියෝවෙං පැනලා ගිහින් ආං දැං වෙන එෆ්.එම් එකක ගජරාමෙට වැඩ. ඒ නිසා දැන් උං දෙන්නා උං දෙන්නගෙ කලින් කසාදෙ නං ගං වෙනස් කරලා උප්පැන්නෙ තියෙන නමිං වැඩ. ඒ නිසා ආයෙම ඉතිං කියන්න දෙයක් නෑ අරවින්දයි ආශ්චර්යායි කිව්වම උදේට සියත එෆ් එම් අහන හැමෝම දන්නවා ඇති. ඕන් ඉතිං දැන් ගොඩයා ඒඋං දෙන්නයි උංගෙ එෆ්.එම් එක ගැනයි ලිව්වා කියලා ගොඩයාව සල්ලි වලට කුලියට ලියන එකෙක් ගානට දාගන්නවා  එහෙම නෙවෙයි.

රෙඩියෝව කිව්වම ගොඩයාට සෑහෙන සමීප මිත්‍රයෙකුටත් වඩා පවුලේ කෙනෙක් විදිහට තමා හඳුන්වන්න වෙන්නෙ. එහෙම කිව්වම සමහරු හිතයි ගොඩයා මොකක් හරි රේඩියෝ චැනල් එකකට කඩේ යනවාදෝ කියලත්. රේඩියෝව ගොඩයාට සමීප පවුලේ සාමාජිකයෙක් වෙන්නෙ ගොඩයාට වයස අවුරුදු පහලොවේ දහසයේ කාලෙ හිටං. වෙනම විදිහකට කිව්වොත් ඒ කාලෙ ගොඩයලාගෙ ගෙදර පවුල් දෙකක් වාසය කරා කියමුකෝ.. එකක් තමා ගොඩයාගෙ ඩඩා, මමා සහ සහෝදරියන් දෙදෙනාගෙ පවුල. අනෙක තමා ගොඩයා සහ රේඩියෝව. ගොඩයා සතියකට වරක් දෙවරක් කරනා අවර ගනයේ මොකක් හෝ අසමජ්ජාති අමන වැඩක් නිසා ඩඩාගේ උදහසට ලක්වීම අනිවාර්ය අංගයක්. ඒ නිසා ඔය රුපියල් අස්සෙ අලුක්කාල් ගහන වැඩේ ගැලපෙන්නෙ නැති නිසා බත් පිඟාන කොටාබාන්න, ටීවී බලන්න වගේ වැඩක් ඇරුනාම ගොඩයා ගොඩයාගෙ රේඩියෝ පවුල එක්ක නිදියහන් ගබඩාවේ තමා වැඩි කාලයක් ගත කලේ. ගොඩයා මුල් කාලෙ ඇහුවෙ සිටි එෆ් එම්. ඒ කාලෙ එෆ් එම් චැනල් එකකට තිබ්බෙ සිටි එෆ් එම් විතරයි කියහංකො . ඒක අල්ලගන්නෙත් රේඩියෝවෙ ඒරියල් එක ගලෝලා මුදුං වහලෙ ගහලා තමා. ඕන් අනූ ගනන්වල මුල් කාලෙ තමයි මොකක්දෝ අද්භූත රේඩියෝ චැනල් එකක් එම් එම් හරහා කරලියට එන්නෙ. ආයෙ නිවේදකයෝ නෑ උදේ හිටං රෑ වෙනකල්ම සිංදුම විතරයි ආයුබෝවන්ඩ. දවසින් දෙකෙන් රට පුරා ජනප්‍රිය වෙච්චි ඔය කියන අද්භූත රේඩියෝ චැනල් එක ටික කාලෙකින් සිරස එම් එම් කියලා නමක් එහෙම දාගෙන කරලියට එනව. ඕං ඕහොම තමා අද වෙද්දි එෆ් එම් තරංග ඔස්සෙ ගිරව් වගේ කටමැත දොඩවන රාලහාමිලාගෙ උප්පත්තිය සිද්ද වෙන්නෙ. ආන් ඒ එෆ් එම් චැනල් ආගමනයෙන් පසුව ගොඩයා ප්‍රයිමරි ෆැමිලි එක එක්ක ගතකරන කාලය තව තවත් අඩු උනා දවසින් දවස. එතැන් පටන් ගොඩයාගෙ කාමරේ රේඩියෝව නැවතුනානම් ඒ ලයිට් ගිය වෙලාවකදී පමනයි. කොටිංම කියනවානං ගොඩයා සාමාන්‍යපෙළ සමත් වීම අරහයා මවුතුමියගෙන් අරං ඉල්ලපු තෑග්ග උනෙත් රේඩියෝවක්. එතෙක් කල් එහෙං මෙහෙං වයර් ගැටගහලා අටෝගෙන හිටපු රේඩියෝව අලුත්ම අලුත් සෝනි රේඩියෝවක් බවට පත් උනා ගොඩයා සාමාන්‍යපෙල සමත්වීමත් සමගම. වෙනම බෆල් පෙට්ටි දෙකක් සමග කැසට් ධාවන යන්ත්‍රයක් එහෙමත් තිබ්බ රෙඩියෝව ගොඩයාට රටක් රාජ්ජයක් ලැබුනා වගේ. පරන රේඩියෝවෙ තිබ්බ ස්පීකර් එක ගලෝලා අරගෙන ඒක සබ් වූෆර් එකක් බවට පත්කරගන්න ගොඩයාට ගියේ විනාඩි දහයයි. එතෙක් කල් හදිසියකට වතුර එකතු කරගන්න වගේම ටැප් ලයින් එකේ වතුර නැති වෙලාවට ලිඳෙන් වතුර එකක් ගේන්න ගොඩයාගෙ මමා පාවිච්චි කරපු ඇලුමීනියම් කලගෙඩිය ගොඩයාගෙ පොත් මේසෙ යට ස්ථානගත උනා. පරණ රේඩියෝවේ ස්පීකරය කලගෙඩියේ කට උඩින් ඇතුලට හිටින්න තිබ්බාම දැං කාලෙ සබ්වූෆර් කැලේ. එතෙක් කල් සාමාන්‍ය ආකාරයෙන් ගොඩයා සහ රෙඩියෝව අතර තිබ්බ ගනුදෙනුව සංකීර්ණ සවුන්ඩ් සෙටප් එකක් උනේ අන්න එහෙම. හැබැයි ඉතිං එහෙව් ශබ්ද පහසුකම් තිබුනා කියලා ගොඩයාගෙ ප්‍රයිමරි ෆමිලි එකට කරදරයක් වෙන්න රේඩියෝව දාන සිරිතක් ගොඩයා ලඟ තිබ්බෙ නෑ. සියලුම සෙල්ලම් කාමරේ සීමාව ඇතුලට ඇහෙන ප්‍රමානයට පමනයි. ඒකට හේතු දෙකයි. පලමු හේතුව ගොඩයා කැමති නෑ ගොඩයාගෙ ආතල් නිසා වටේපිටේ ඉන්න උදවිය අපහසුතාවයට පත් වෙනවාට. දෙවැනි හේතුව තමා ඕක වැඩි සද්දෙට දාලා මධ්‍යම රජයට කරදර උනොත් රේඩියෝවයි ගොඩයාවයි දෙන්නාම ගෙදරින් එලියට විසික් වෙන නිසා.

ඔය ආකාරයෙන් රේඩියෝ ගනුදෙනුව ලියාගෙන ගියොත් ගොඩයාගේ රේඩියෝ පිස්සුවට එදා හිටං අහපු හැම චැනල් එකකම හැම නිවේදකයෙක් ගානෙම ලියන්න දේවල් බොහොමයි. ඒ නිසා ඒ සම්භන්ධ දේවල් ඔය ඇති. ගොඩයාගෙ රේඩියෝ පිස්සුව කොයිතරංද කියලා කියනවානං, අර්ධ කාලීනව රේඩියෝ නිවේදකයෙක් වෙන්න හිතාගෙන ගොඩයා රේඩියෝ චැනල් එකක ඉන්ටව් එකකටත් ගියා කිහන්කො. ඒ නං හැබයි ගොඩයාගෙ රේඩියෝ පිස්සුව ඉවෙන් වගේ වටහාගත්තු කෙනෙක් ගොඩයා වෙනුවෙන් ඇප්ලිකේශන් එකක් නිසා. නිවේදක සහ හඬ කැවීම් වලින් එකක් තෝරගන්න කිව්වාම ගොඩයා තෝරාගත්තෙ හැඬ කැවීම් පැත්ත. ඉන්ටව් එකට ඇවිත් හිටපු සීයක් විතර සෙනගින් අනූවක් විතර නිවේදක තෝරාගනිද්දි ගොඩයා ඇතුලු කීපදෙනෙක් හැඬ කැවීම් පැත්තට ගියා.. හඬත් කැව්වා.. ඒත් අද වෙනකල් ඒ හඬ පරීක්ශනයට මොකෑ උනේ කියලා ගොඩයා දන්නෙ නෑ. සමහරවිට පිටසක්වල ජීවියෙකුගේ චරිතයක් රේඩියෝ නාට්‍යවල නැති නිසා ගොඩයාව කැඳවන්නෙ නැතුව ඇති.

ලංකාවෙන් එලියෙ හිටියා කියලා නෑ ගොඩයාගෙ රේඩියෝ ඇහිල්ල එහෙමමයි. වැඩ කරන අතරයි, වාහනේ එලවන අතරයි ගොඩයා ලංකාවෙ රේඩියෝ අහන්න දෙපාරක් හිතන්නෙ නෑ. හැබැයි කියන්න කනගාටුයි, ලාංකීය එෆ් එම් කලාවට වයස වසර විසිපහක් වෙද්දි ඒ කලාව අන්තෙටම පිරිහිලා ඉවරයි. නිවේදකයෝ කිව්වට වැඩි හරියක් වාචාල යක්කු. ඔහේ කටට එන දේවල් කියවනවා විතරයි මෙලෝ හරයක් නෑ. උං කියන්නෙ මොනවද කියලා බොහොමයක් වෙලාවට උංවත් දන්නෙ නෑ. ඊට හපං සිංදු. හයියෝ එව්ව ඇහුවාම හයිවේ එකේ යූ ටර්න් එකක් ගහන්න හිතෙනව මේ මොන අඬෝවැඩියාවක්ද කියලා හිතෙන නිසා. ගොඩයාට වැඩි හරියක් ඔය රේඩියෝ අහන වැඩේ සෙට් වෙන්නෙ ලංකාවෙ යක්කු ගස් යන වෙලාවට. ඒත් අම්මපල්ලා වෙලාවකට ගොඩයා ඔරලෝසුව දිහා බලනවා ඇත්තටම වෙලාව වැරදිලාද කියලා හිතෙන නිසා. ඇයි හත් ඉලව්වෙ දවල් දොලහට දාන්න ඕන වේග රිද්ම මේන් මුං යක්කු ගස් යන වෙලාවටත් දානවා කියහංකො.

ඕං ගොඩයා චැනල් එකෙන් චැනල් එකට මාරු වෙලා දැන් සියත එෆ් එම් ලඟ නැවතිලා ටික කාලයක්. මොකද කියනවානං අනික් චැනල්වල වගේ මෙලෝ රහක් නැතුව හරයක් නැතුව කියවන ගිරව් ඒකෙ අඩුයි. ගීත තේරීමත් ටිකාක් විතර පරන රේඩියෝ කලාවට බරයි. ඒ නිසා ගොඩයාගෙ කනේ තියන බ්ලූටූත් කෑල්ලෙන් නිතර සියත එෆ් එම් ඇහෙනවා දවල් දවස පුරා. ඒ කියන්නෙ ලංකාවෙ රෑ හතෙන් අටෙන් පස්සෙ වගේ.

ඕං ඊලඟට අනිල් අයියා කොහොමද මේ රේඩියෝ සීන් එකට සම්භන්ධ වෙන්නෙ කියමුකෝ. අනිල් අය්යා ගොඩයාව පුද්ගලිකව දන්නෙ නෑ. ඒ කාලෙ ගොඩයා රස්සාවට ගිය එක ඒසී බස් එකක රියදුරා තමා අනිල් අයියා කියන්නෙ. ඔය කියන ඒසී බස් එක අම්බලන්ගොඩින් පිටත් වෙන්නෙ උදේ පහයි හතලිහට. බස් එකේ අයිතිකාරයාගෙ මල්ලි හෙවත් සඳුන් තමයි කොන්දොස්තර . අනිල් අයියා සුපිරි ඩ්‍රයිවර්. ආයෙ දෙකක් නෑ කිසිම අතුරු උපද්‍රවයක් නැතුව ගමනාන්තයට ගෙනියනවා ගෙනියනවාම තමයි. ටොයෝටා කෝස්ටර් එකේ ආසනයේ හරිබරි ගැහිලා වාඩි වෙලා නින්දට වටුනාම අනිල් අයියා නෙවෙයි එකෙකුගෙවත් නින්ද කැඩුවෙ. කොටින්ම කිව්වොත් අම්බලන්ගොඩින් පිටත් වෙන්නෙත් ෆ්ලයිට් එක රනවේ එකට ගන්න වගේ බොහොම පරෙස්සමෙන්. වේගය වැඩි කරන්නෙත් පරෙස්සමෙන්. බ්‍රේක් ගහන්නෙ ඊටත් වඩා සෑහෙන පරෙස්සමෙන්. හැටට අසූවට විතර යද්දි මගියෙක් පාරෙ ඉඳලා අත දැම්මොත් අනිල් අයියා කවදාවත් බස් එකේ හොම්බ බිම ඇනෙන්න බ්‍රේක් ගහන්නෙ නෑ. පස්වෙනි ගියර් එකෙන් හතරට මාරු කරලා ක්ලච් එක අතෑරලා ආයෙම හතරෙන් තුනට මාරු කරලා ක්ලච් එක අතෑලරා ආයෙම තුනෙන් දෙවැනි ගියර් එකට මාරු කරලා ක්ලච් එක අතෑරලා තමයි අනිල් අයියා බස් එක නවත්තන්න බ්‍රේක් පැඩල් එකට කකුල තියන්නෙ. ආං ඒ වෙද්දි මගියා පහුවෙලා බස් කොටේ කිලෝමීටර භාගයක් විතර ඉස්සරහට ගිහිං. ඕං එතකොට කොන්දොස්තර සඳුනා කෝස්ටරේ දොර ඇරලා මගියා දිහාවට ඔලුව දැම්මාම සඳුනාට පේන්නෙ මගියා අතපය විසික් කරලා බොඩි ලැන්වේජ් එකෙන් කියන්න උත්සහා කරන අසභ්‍ය  කතාන්දර තේරුම් ගන්න සඳුනාට වැඩි අමාරුවක් නෑ. . මොකද කියනවානම් අනිල් අයියාගෙ නැවත්වීමෙ කලාවට පිං සිද්දවෙන්න මගියා ඉන්න දුර වැඩි නිසා මගියා කියනදේ සඳුනාට ඇහෙන්නෙ නෑ. කලාතුරකින් දවසක රිවස් එකේ ටිකක් දුර ගිහින් මගියාව දාගන්නත් අනිල් අයියා නොහිතන්නෙත් නෑ. ඉතිං ආයුබෝවන්ඩ අනිල් අයියා එක්ක ගිහින් කවදා  රස්සවට  යන්න කියලද. පානදුර කලුතර දුවන සෙක්ශන් බසුත් අනිල් අයියට ඉස්සර කරනව කියහංකො සමහරක් දවසට. ඉතිං ගාල්ලෙන් මාතරිං එන ඒසී, නෝර්මල්, සෙමි ලක්සරි ගැන කුමන කතාද. උං යන්නෙ කනට ගහගෙන යන්න වගේ. අනිල් අයිය නෙවේ එව්වයින් සැලෙන්නෙ. මෑන්ස් යන්නෙ මෑන්ස්ගෙ ගමනේම තමා.  වේගය හැටක් වගේ ඇති උපරිමයෙන්ම.

ඕං වන්දනා නඩයක් අටමස්ථානෙ එක්ක යන ගානට කොලඹ යන අනිල් අයියා දෙහිවල පහු කරද්දි අනිවා හත පනිනවා දෙකක් නෑ. අන්න ඒ වෙද්දි ගොඩයා ඉන්නෙ අනිල් අයියව බාබිකිව් දාගෙන කන මූඩ් එකේ. මොකද කියනවනං ගොඩයාගෙ ලොක්කා උදේ අට වෙනකං රතු පෑන අතේ තියාගෙන බලාන ඉන්නෙ මෑන්ගෙ ආසම රාජකාරිය වෙන ඉර ගැසීමේ රාජකාරිය කරලා ඒ ලැබෙන වින්දනය පපුව පුරා විඳගන්න. ඉතිං කියහංකෝ අනිල් අයියා එක්ක ගිහින් රස්සාව කරන්න පුලුවනිද?

ඕං ඒ අතරේ තමයි අරයි පැස්බරායි ඉන්න චැනල් එකේ රේඩියෝ ශෝ එක පටන් ගන්නෙ. ඕන් නින්දෙ ඉන්න එවුනුත් නින්දෙන්න හිනාවෙන තරමට වැඩේ නැගලා යනව. අනිල් අයියත් මොරටුව පිටකොටුව සෙක්ශන් බස් එකක් පස්සෙන් හීන් සීරුවට අඩියෙන් අඩිය ඉස්සරහට යනව. ගොඩයාත් ඉතිං රේඩියෝ පිස්සා නිසා ලොක්කගෙ රතු ඉර මොහොතකට අමතක වෙන්නෙ ඕං ඔය රේඩියෝ ඩබල නිසා. ඔය ඩබල ශෝ එක කරන අස්සෙ පත්තර මල්ලිත් ඇවිත් පත්තරේ විස්තරේ කියල යනව. මුලු බස් එකම ඇස් පියාගෙන රේඩියෝව අහන් ඉන්නව. අනිල් අයියා වැඩි කලබලයක් නෑ. හීන් සීරුවට ක්ලච් එකේම ඉදිරියට ගාටනව. අවසානයේ මගීන් එක එකා බැහැලා යනව. ගොඩයාත් බම්බලපිටියෙන් බැහැගන්නව. ඕන් ඊට පස්සෙ තමා ගොඩයාට දැනෙන්නෙ අනිල් අයියා මගීන්ට රේඩියෝව අහෙන්න සලස්වලා මගීන්ගෙන් බැනුම් අහන එකෙන් බේරුනා නේදෝ කියලා. එතැන් පටන් රතු ඉරෙන් බේරෙන්න ෆුල් ට්‍රයි එකක් දුන්නත් එව්ව සුම්ම. අනිල් අය්ය එක්ක එන හැම දවසකම ගොඩයා ශෝර්ට් ලීව්.. ඒ දෙක ඉවරවුනාම හාෆ් ඩේ. අනික් ඩිපාර්ට්මන්ට්වල ලොක්කන් නං ප්‍රමාද වෙලා ආපු අයට හවසට කවර් කරන්න වගේ චාන්ස් දුන්න. ඒ වගේම අකුරට උදේ අටට ඉර ගැහුවෙත් නෑ. ඒකට මූ.. අමු තිරිසන් සතා.. මනුස්සකම ගෑවිලාවත් නෑ.. ඉතිං කියහංකෝ අනිල් අයියව බාබිකිව් දාලත් හිත් වදිනවද කියලා. වැඩිපුර ගෙවලා ඒසී එකක එන්නෙ වෙලාවට වැඩට එන්න ඕන නිසානේ යකඩෝ. අනිල් අයියට නිකමට එහෙම හිතෙන්නෙ නැත්තෙ ඇයිද කියල ගොඩයා අදටත් දන්නෙ නෑ. 

නිස්කාරනේ නිවාඩු ටික ඉවරකරගන්න බැරි නිසා ගොඩයා තව පැය භාගයක් කලින් නැගිටලා උදේ පහයි විස්සෙ ඒසී එකට සැට් වෙනව. ඒකෙනං රේඩියෝ මගඩි නෑ. වෙලාවට වැඩට ගියෑකි. ඒත් ඉතිං තව විනාඩි දහයක් පහලොවක් කලින් නැගිට්ටාම ආන්ඩුවේ සීසන් එකෙංම කෝච්චියේ යන්න පුලුවනි නිසා ගොඩයා උදෑසන තැපැල් දුම්රියම යන්න හිත හදාගන්නව. අර කිව්ව ලොකු එකා.. ඒ කිව්වෙ අපේ ලොක්කා පැය භාගයක් ඉර ගැහිල්ල පරක්කු කරානං ගොඩයාට තව පැය දෙකක් සනීපෙට නිදාගන්න තිබ්බ. ඒත් ඉතිං උන්දෑට එහෙම මනුස්සකමක් තිබ්බෙ නෑ. එහෙම උනානම් සනීපෙට සමුද්‍රදේවියේ රස්සාවට යන්ට තිබ්බ. උදේ හතරයි හතලිහට තැපෑලෙ නගිනවා කියන්නෙ අමු පාපයක් ආයුබෝවන්ඩ. සමහරක් වෙලාවට ගොඩයාට හිතෙනව මේ මොන පාපයක්ද යකෝ කියල. අන්න ඒ වෙලාවට ගොඩයාට දෙන්නෙක් මතක් වෙනව. එකෙක් ගොඩයාගෙ ලොක්ක. දෙවැනි එකා බස් එකේ අනිල් අයියා.. ලොක්කා ඉර ගැහිල්ල විනාඩි තිහක් ප්‍රමාද කරානං ගොඩයා ඒ සා දුක් විඳින්නෙ නෑ. ඒ වගේම අනිල් අයියා තව අඟල් කාලක් බස් එකේ අක්සිලේටර් එක පෑගුවානම් පැය දෙකෙන් බස් කොටේ බම්බලපිටියෙනේ..     ඒත් උං දෙන්නම ඒක කරේ නෑ. 

ගොඩයා 2005 අවුරුද්දෙ ස්ථානමාරුවීමක් අරං ඒ සාපෙන් බේරුනාට අදටත් ලොක්කා ගැන තියෙන්නෙ අපුල සහගත හැඟීමක්. රටම දන්න අරා පැස්බරා රේඩියෝ ඩබල හැමදාමත් අනිල් අයියාව බේරගත්තු නිසා අනිල් අයියා ගැන එහෙම කුජීත හැඟීමක් නෑ. හැබැයි ඔය කියන රේඩියෝ ඩබල අදටත් දන්නෙ නැතුව ඇති අනිල් අයියා මිනිස්සුන්ගෙන් ගුටි නොකා අවුරුදු ගානක් දෙවැනි ටර්න් එක දිව්වෙ රේඩියෝ ඩබලට පිං සිද්ද වෙන්න කියල. ඔය ඩබල නැත්තං, උදේ පහයි හතලිහට අම්බලන්ගොඩින් පිටත්වෙන අනිල් අයියා ආයෙම බස් එක එලවගෙන අම්බලන්ගොඩ යන්නෙ නෑ. එහෙනං උන්දෑ කෙලිංම නවතින්නෙ මහ ඉස්පිරිතාලෙ ඇක්සිඩන්ට් වෝර්ඩ් එකේ. ඇයි යකෝ රස්සාවට යන එවුන් වන්දනාවේ යන ගානට කොලඹ ගෙනාවම මිනිස්සු නොගහ ඉඳියිද.. ඔය කියන රේඩියෝ ඩබල දන්නවනං අනිල් අයියා උං දෙන්නව අවභාවිතා කරා කියලා අනිවා ඕකුන් දෙන්නා අනිල් අයියට නඩු දානව.  

අවුරුදු දහ අටකට පස්සෙ අද වෙද්දි අනිල් අයියා තාමත් බස් එලවනවද කියලා ගොඩයා දන්නෙ නෑ.. ලොක්කනං පෙන්ශන් ගිහිල්ලත් සල්ලි පෙරේතකමට ආයෙත් කොන්ත්‍රාත් ක්‍රමයට පවු දෙන්න එනවා කියලයි හිත මිත්‍රයෝ කියන්නෙ . රේඩියෝ ඩබලනං තාමත් සුපුරුදු විදිහට සතියේ දවස් පහේ උදේ හතට සියත එෆ් එම් එකේ වැඩ .
 කියන්න කනගාටුයි රේඩියෝ කලාවනං බහුතරයක්  චැනල් වල මෙලෝ සත්වයෙකුට අහං ඉන්න පුලුවන් තත්ත්වයක නෑ.