Sunday, December 31, 2017

අවසන් මහා සටන සහ ප්‍රින්සිපල් සර් 01





පහුගිය දවසක පාසලේ සිදුවෙච්ච බැක්ටු ස්කූල් කටයුත්තේ පිංතූර බලද්දී අපේ හිටපු විදුහල්පතිතුමාගේ පින්තුරයක් දැකල ගොඩයාගේ මතකය ආයෙත් ඉස්කෝලේ දිහාවට ගෑටුවා කියමුකෝ. අපේ තඩියා දැන් අවුරුදු ගානක හිටං නාහෙන් අඬන පෝස්ටුව ලියන්න ඕනෙයි කියල ඇත්තටම හිතුනේ අපේ හිටපු විදිහල්පති ගරු ගොඩ්වින් ද සිල්වා සර්ගේ පින්තුරේ දැක්කමයි. අම්බලන්ගොඩයා පොස්ට් එකක් ලියන්න ගියාම හිතට එන දේ ඔහේ ලියාගෙන යනවා උනත් මේ පොස්ට් එක ලියද්දි අපේ තඩියා සජීවීව අම්බලන්ගොඩයාට සහයෝගය දෙනවා බුකිය හරහා. පොස්ට් ලියන්නයි ෆොටෝ හොයන්නයි දෙකක් බැරි නිසා අපේ තඩියා මේ වෙලාවේ කුවේට් වල ඉඳගෙන මේ පොස්ට් එකට දාන පිංතූර හොයනවා දඩිබිඩියේ. 

ගොඩ්වින් සර් තමයි අපි දන්නා කාලේ ඉඳන්ම අපිට හිටපු විදිහල්පති තුමා. බොහොම  උගත් බුද්ධිමත් නිවුණු මනුස්සයෙක් වෙච්ච ගොඩ්වින් සර් නිතරම වේවැලක් අරං ඉස්කෝලේ වටේ කැරකෙන ජාතියේ ප්‍රින්සිපල් කෙනෙක් නෙවෙයි. වැඩිය සැරපරුෂ නොවුනට ගොඩ්වින් සර් දැක්කම පොඩ්ඩක් කකුල් දෙක මඩලින් ගහන ගතියක් තිබ්බේ නැත්තේම නෑ. සුදු කලිසමට සුදු කමීසය ඇඳලා ටයි පටියෙන් සැරසිලා ඉන්න ඒ පෞරුෂත්වය දැක්කාම ගෑල්ලමයි කෙසේ වෙතත් පිරිමි ළමයි කාට කාටත් කකුල් දෙක පොඩ්ඩක් විතර මැඩලින් ගහන තත්වයක් තියෙන්න ඇති කියල අම්බලන්ගොඩයා අදටත් විශ්වාස කරනවා. ඒත් කවදාවත් ගොඩ්වින් සර් කාට හෝ ළමයෙකුට පස්ස පැත්ත පැලෙන්න වේවැලෙන් තැලුවා කියලානම් එදා මෙදා තුර කව්රුවත් අහලා දැකලා නැතුව ඇති. ගොඩ්වින් සර් පාසල ඇතුලේ කොයිතරම් සාර්ථකව බලය බෙදා හැරලා තිබ්බද කියනවනම් ඔය කියන වේවැල් පාරවල් දෙන ගුරුවරු ඒ ඒ වසරවල් වලට වෙන වෙනම නිල මට්ටමෙන් අනුයුක්ත කරලා තිබ්බ. ඒ නිසා අංශභාර ගුරුවරුන්ගෙන් ඉහල පරිපාලනය වෙත හෙවත් නියෝජ්‍ය විදිහල්පති , විදුහල්පති දක්වා පැමිණිල්ලක් ගියේ බොහොමත්ම කලාතුරකින්. මොකද කියනවනම් අංශභාර ගුරුවරුන් තමුන්ගේ රාජකාරිය අකුරටම ඉෂ්ඨ සිද්ද කරපු අකුරට වැඩ වර්ගයේ ගුරුභවතුන් කොට්ඨාශයක් නිසා. ඔය කියන හේතු නිසා විදුහල්පති තුමා හෙවත් ගොඩ්වින් සර් ලඟට පැමිණිල්ලක් ගියානම් ගියේ ඒ බොහොම කලාතුරකින්. එහෙම ගිය පැමිණිල්ලක් ගැන තමයි "ටෙම්පරි පියානෝ " පෝස්ටුවේ අගේට ලියවිලා තියෙන්නේ. 

ගොඩ්වින් සර් අම්බලන්ගොඩයාට මුලින්ම සමීප දර්ශනයට දකින්න ලැබෙන්නේ සොබාදහම් සිසු හවුලෙන් සිංහරාජ වනාන්තරේ බලන්න ගිය අධ්‍යාපන චාරිකාවේදී. මතකය හරිනම් 1993 වගේ කාලේ වෙන්න ඕන මේ චාරිකාව ගියේ. ඒ චාරිකාවට සහභාගිවුණු තවත් ගුරුවරයෙක් වෙච්ච ඩොමේන්ගු සර් අද වෙද්දී ජීවතුන් අතර නෑ ගොඩයාගේ දැනීමේ හැටියට. 

ඔය සිංහරාජ චාරිකාව ගිය කට්ටිය ආයෙත් ගමරට බලා පැමිනෙනේ පහුවදා. ඒ කියන්නේ පලවෙනි දවසේ නයිට් පාර්ක් දෙනියායේ සිංහරාජ පිවිසීමේ දොරටුවේ තියන කෑම්ප් එකේ. ඔය කෑම්ප් එකේ ඒ කාලේ තිබ්බේ කාමර කිහිපයක පහසුකම් සහ විශාල හෝල් එකක පහසුකම විතරයි. කිහිප දෙනෙකුගේ කණ්ඩායමකට නම් කාමර වල රාත්‍රිය ගතකරගන්න පුළුවන් උනාට විශාල පිරිසක් සහභාගී වෙන ගමනක් නම් වැඩි පිරිසකට රාත්‍රිය ගතකරන්න වෙන්නේ ඔය කියන හෝල් එකේ බූරු ඇඳන් වල. රාත්‍රී ආහාරයෙන් අනතුරුව නින්දට යද්දී ඩොමේන්ගු සර් ඇතුළු ගුරු පිරිසක් කාමර වල රාත්‍රිය ගත කරන්න තීරණය කළා කියමුකෝ. ඒත් අපේ විදුහල්පතිතුමා කොහෙත්ම කැමතිවුනේ නෑ ළමයින් පමණක් එළියේ වහලය පමණක් ආවරණයට තියෙන හෝල් එකේ   බූරු ඇඳන් වල නිදාගනිද්දි කාමරේට වෙලා සැපෙන් නිදාගන්න. දෙනියාය රාත්‍රියට සීතල ස්භාවයක් ඉසිලුවත් ගොඩ්වින් සර්ගේ අවසන් ඒකමතික තීරණය වුනේ ළමයි එක්ක හෝල් එකේ නිදාගන්න. ළමයිනුත් උපරිම උත්සහ කරත් ගොඩ්වින් සර්ව කාමරේකට තල්ලු කරලා එළිවෙනකල් විනෝද වෙන්න ගොඩ්වින් සර්ගේ අවසන් තීරණය නිසා රෑ දහය වෙද්දී කාටත් බොහොම කීකරුව බූරු ඇඳට ගාල් වෙන්න සිද්දවුනා කියමුකෝ. ඉන් අනතුරුව හැමෝම නිදි. පරිසරය බොහොම නිසලයි ඒ වගේම සීතලයි.


උදේ පාන්දර තුනට විතර තමා ඊළඟ සිද්දිය සිද්දවුනේ. වතුර වැක්කෙරෙන සද්දෙකින් ගොඩයා ඇහැරුනේ නුපුරුදු ස්ථානවල ගොඩයාට වැඩිය තදින් නින්ද යන්නේ නැති නිසා. පොඩිත්තක් ඇන්ටනාව වටේට දාල බැලින්නම් කව්දෝ ගෝනි බිල්ලෝ සෙට් එකක් උදේ තුනට නැගිටලා ඔලුවේ හිටං පොරෝවාගෙන සිලි සිලි බෑග් වලින් එක එකාට වතුර ගහනව. එලි පහලියේ එළියකට තියෙන්නේ හඳ මාමිගේ ටෝච් එක විතරක් නිසා කැත වැඩේ කරන්නේ කව්ද කියන එක පැහැදිලි නෑ. වතුර ගහන එවුනුත් නින්දෙන්ම සීතල වතුර නාන එවුනුත්  ස්පීකර් ඕෆ් මෝඩ් එකේ ලාභ පාඩු වින්දගන්නවා ප්‍රින්සිපල් සර් ශාලාවේ කොනේම බූරු ඇඳේ දොයි නිසා. කොයික කොහොම වෙතත් උදේ පාන්දර තුනට අයිස් මිදෙන සීතල වතුර නෑම ශරීරයට අහිතකර වෙන්න පුළුවන් නිසා ගොඩයා ආරක්ෂක පියවරක් අනුගමනය කරමින් බූරු ඇඳ යටට ගිහින් ස්ථානගත වෙනවා හොඳට පොරොවාගෙන. අහස කඩන් වැටුනත් මලා වගේ නින්ද යන එවුන් එකා එකා පිලිවෙලින් වතුර නානවා ඊළඟට තෙමිච්ච පොරොවනයයි තෙමිච්ච බූරු ඇඳදිහා බලාගෙන වටේ පිටේ බලනවා කව්ද යකෝ ඒ බලු වැඩේ කරේ කියල හොයාගන්න ඒත් වතුර ගහපු එකෙක් නෑ. 

වැඩේ එන්න එන්නම දරුණු වෙනවා වගේම ගොඩයාගේ ලඟින් අල්ලපු බූරු ඇඳේ එකත් ජයග්‍රාහී ලෙස සීතල වතුර මල්ලක් නාගන්න වාසනාවන්ත වෙනවා වැඩේ පටන් අරං පැය භාගයක් යද්දී. ඔන්න ඒ එක්කම තමා ගොඩ්වින් සර් අසූ හාරදාහට මල පැනලා අවදි වෙන්නේ  .. 

කව්ද යකුනේ මේ කාලකන්නි වැඩ කරන්නේ මහ රෑ..

බැලින්නම් කව්දෝ අසමජ්ජාතියෙක් උගේ ලඟට වැටිච්ච වතුර මල්ලක් වීසි කරලා ගොඩ්වින් සර් දිහාවට. වෙලාවට වතුර මල්ල ප්‍රින්සිපල් සර්ට වැදිලා නෑ. ඒත් වැදිච්ච වතුර පින්නටයි සද්දෙටයි තමා අපේ විදුහල්පති තුමා අවේලාවේ අවදිවෙන්නේ.

එදා උදෑසන හතර වෙද්දී හෝල් එකේ නිදාගත්තු හැමෝටම හමුදා පුහුණුවේදී වගේ පෝලිමට ඉඳගෙන ගොඩ්වින් සර්ගෙන් පැයක විතර දේශනයක් අහගන්න ලැබුනා හොඳ ලුණු ඇඹුල් ඇතුව. වතුර ගහපු එකෙක් හොයාගන්න බැරිවුණ නිසා කාටවත් දඬුවම් හිමිවුණේ නෑ. ඒත් රෑ යසට නිදාගත්තු එවුන්ගෙන් භාගයක් හිටියේ සීතලේ ගැහෙමින් තෙමිච්ච පොරොවනය ඔලුවේ ඔතාගෙන වතුර ගහපු එකාගේ මවු ගුණ ගයමින්. හැබැයි වතුර ගහපු එවුන් අහුවුනානම් අනිවා උන්ව එදා උදේ බ්‍රෙක්ෆස්ට් එකට ගන්න තරම් කේන්තියක් නාපු එවුන්ට තිබ්බ වගේම ගොඩයා ඇතුළු නාපු නැති එවුන්ට නම් තිබ්බේ හීනි ආතල් එකක්. ඒත් ඉතින් ඕක එලියට පෙන්නලා ඉල්ලගෙන කන්න බැරි නිසා වතුර නාපු නැති එවුනුත් හිටියේ හෙන කේන්තියෙන් ඉන්නවා වගේ මුණ හදාගෙන. 

පහුවදා සිංහරාජයේ ඇවිදින්න ගිහින් ගොඩ්වින් සර්ට පින්සිද්ද වෙන්න ගොඩයා ඇතුළු තව තුන්දෙනෙකුට නැවුම්ම නැවුම් කිතුල් රා සුට්ටක් එහෙමත් තොලගාන්න වාසනාවක් ලැබුන. ඒක උනේ බොහොම අහම්බයක් විදිහට.

සිංහරාජේ ඇවිදින්න යද්දී කඳු හෙල් පල්ලම් තරණය කරන්න තියෙන අවස්තාව වැඩි නිසා අතරමගදී ගොඩ්වින් සර්ට තවදුරටත් ගමන යාගන්න බැරි තත්වයක් උදාවුනා කියමුකෝ. එකම විකල්පය වුනේ ගොඩ්වින් සර්ව නැවත කෑම්ප් එක වෙත ඇරලවීම පමණයි. ඉතින් ගොඩයා ඇතුළු තවත් තුන්දෙනෙක් ස්වේච්චාවෙන් ඉදිරිපත්  වෙනවා  ප්‍රින්සිපල් සර්ව උස්සගෙන ගිහින් කෑම්ප් එකට ඇරලලා එන්න. ඒ ඇවිත් ප්‍රින්සිපල් සර්ව පරෙස්සමට කෑම්ප් එකෙන් තියලා ආපහු එන  ගමනේදී අතරමග හමුවෙන රා මදින්නන්ගෙන් ඇතිවෙන්න රා බොන්න හතරදෙනාටම අවස්ථාව ලැබෙනවා ප්‍රින්සිපල් සර්ගේ කකුල් අමාරුවට පින්සිද්ද වෙන්න. ගුරුවරයෙක් වැඩිහිටියෙක් අහලක පහලක නැති එකේ ඇති වෙන්න රා බීපු එවුන් ආයෙත් සිංහරාජ තරණය කරන සිසුන්ට එකතුවුනත් වැඩිය  ආසන්නයට නොයා ඉන්න පරෙස්සම් වෙනවා රා සුවඳ සර් කෙනෙකුට දැනුනොත් ඇප නැතිවෙන නිසා. ඊට කලින් නඩයම එකට යද්දී රා කරුවන් හමුවුනත් ඔවුන් දිහා බලා පමණක් සෑහෙන්න හැමටම සිද්දවුනේ සියල්ලන්ම ප්‍රින්සිපල් සර් ඇතුළු තවත් ගුරුවරුන් කිහිපපොලක්ම  අහල පහල රේඩාර් පද්ධතිය සක්‍රීය කරගෙන ඉන්න නිසා. අන්න එහෙමයි ප්‍රින්සිපල් සර්ගේ කකුල් අමාරුවේ අනුග්‍රහයෙන් අපිට නැවුම් මේ දැන් ගහෙන් බාපු කිතුල් සා ටිකක් කටේ ගාගන්න ලැබුනේ. 

ගොඩයාට ඊළඟට මතක හිටින්න ප්‍රින්සිපල් සර්ව ලඟින් දකින්න ලැබුනේ දොළහ වසරේදී. ඒ 12 G පන්තියේ එවුන් ඉංග්‍රීසි ටීචර්ට හූ කිව්වා කියන නඩුවක් වෙනුවෙන් ඇසින් දුටු එකම සාක්ෂිකරු විදිහට ඉංග්‍රීසි ටීචර් ගොඩයාව නොමිනේට් කරපු නිසා. ඉතින් කියහන්කෝ මොකේද දැන්   දං වළඳන්නේ කියල. හත් ඉලව්වේ කොල්ලො හූ කිව්වේ ඉංග්‍රීසි ටීචර්ට නෙවෙයි උනාට ඉංග්‍රීසි ටීචර් කිසිදෙයක් අහන්නේ බලන්නේ අන්තුව ඒ හූව එයාගේ එකවුන්ට් එකට දාගත්ත කියහන්කෝ. ගොඩයා හූ කිව්වේ නෑ කියල ඉංග්‍රීසි ටීචර් දන්නවා උනාට හූ කියපු එවුන් කව්ද කියනේක ගොඩයා දන්නවා කියල ඉංග්‍රීසි ටීචර් කියනවා කියමුකෝ. හත්ඉලව්වේ නොකරපු වරදකට අවසානයේ කේස් එක හයි කෝට්. නියෝජ්‍ය විදුහල්පති තැන්පත් ප්‍රේමසීල සර් බොහොම කරුණාවෙන් ගොඩයාව ඇදන් යනවා ප්‍රින්සිපල් සර්ගේ කාමරේට. ඔය කියන සැලුන් දොරෙන් ඇතුලට යද්දී දැනෙන හැඟීම ගැන කියන්න ලියන්න වචන නෑ කියමුකෝ. 

ප්‍රින්සිපල් සර් අහනවා..

තමුසේ මොකද මිස්ට හූ කිව්වේ..

මං හූ කිව්වේ නෑ සර්..

ඈ.. හූ කිවේ නෑ... මෙහෙට එනවා.. මෙහෙට එනවා..

ගොඩයා ඉන්නේ ප්‍රින්සිපල් සර්ට සෑහෙන ඈතින්.. අසූ හාරදාහට මල පැනපු ගුරුවරයෙක් ලඟට ගිහිං ඉන්නවට වඩා ඈතින් ඉන්න එකේ තියන ශාරීරික සුවතාවය ඉස්කෝලේ ගිය ඕනෑම කෙනෙක් දන්නා නිසා ඒ ගැන වැඩි යමක් ලියන්න ඕන නැහැනේ. මෙතන ඉන්නේ සාමාන්‍ය ගුරුවරයෙක් නොවෙන නිසාත් මේ ඉන්නේ ප්‍රින්සිපල් සර් නිසාත් ගොඩයා ඉන්නේ සාමාන්‍ය දුරෙන් දෙගුණයක් ඩිස්ටන්ස් තියාගෙන. ගහන්න පැන්නොත් අනිවා සැලුන් දොර පෙරලගෙන ගෙදර දුවනවා දුවනවාමයි කියල හිතාගෙනයි ගොඩයා ඉන්නේ. ඇයි යකෝ නොකරපු වරදකට ගුටි කන්නේ අහවල් ඉලව්වකටද.

ඇත්ත කියනව.. හූ කිව්වේ මොකද ටීචර්ට..

මං හූ කිව්වේ නෑ සර්.. හූ කිව්ව එවුන් මං දන්නවා කියලයි මේ මාව අරං ආවේ.. හූ කියන සද්දෙකුත් ඇහුන.. ඒත් කව්ද කියල දන්නේ නෑ..

XX (ටීචර්ගේ නම ) ... ඇත්තද මේ කියන්නේ.. මේ මිනිහ කියන්නේ හූ කිව්වේ නෑ කියල...

ඔව් සර්.. මෙයා හූ කිව්වේ නෑ.. ඒත් මෙයා දැක්ක හූ කිව්වේ කව්ද කියල..

හ්ම්.. එහෙනම් කියනව හූ කිව්වේ කව්ද කියල..

ගොඩයා සද්දයක් නෑ..

කියනව මාව කේන්ති ගස්සන්නේ නැතුව..

ගොඩයා මීක් නෑ... මිදි කොහේද තිත්ත නරි කියයිද ඇත්ත කිව්වලු..

ඒ වගේ විසි තිස් වතාවක් අහලත් ගොඩයාගෙන් වචනයක් ගන්න බැරිවුණ තැන ඊළඟ චූදිතයා උනේ  පන්ති නායක  අසරණ චාමරයා. උගෙනුත් කසිම දෙයක් අහගන්න බැරිවුණ තැන ප්‍රින්සිපල් සර් නඩුව විසික් කරනවා සාක්ෂි නොදුන් වරදට ගොඩයාටත් පන්ති නායකයාටත් දඬුවමක් දෙන පොරොන්දුව මත. දඬුවමක් විදිහට ප්‍රින්සිපල් සර්ගේ කාර්යාලට ඉදිරියේ පීරියඩ් දෙකක් අවුවේ හිටගෙන ඉන්න ගොඩයාටත් පන්ති නායක චාමරයාටත් සිද්ද වෙනවා නොකරපු වරදක් වෙනුවෙන්. ඒ දඬුවම දෙන්නම එක්ක සන්තෝසෙන් විඳගන්නේ හූ කියපු එවුන් පාවලා දීලා පන්තියට ගිහින් කන්න වෙන නැව් ගුටි ඊට වඩා සෑහෙන්න බරපතල නිසා.

ඉතිරි ටික දෙවැනි කොටසින්..

Tuesday, December 26, 2017

පශ්චාත් සුනාමි මතක..





[මේ ලියවෙන පෝස්ටුව අම්බලන්ගොඩගේ සාමාන්‍ය ස්භාවයේ පොස්ටුවක් නොවන වග පාඨක සැමට පළමුව අවධාරණය කරනවාය. ]


ලංකාවට සුනාමි ඇවිත් අදට වසර දහතුනක් කියල මතක් උනේ බුකියේ සුනාමිය ඇවිත් වසර දහතුනක් කියල පොස්ට් එකක් දැක්කයි පස්සෙ. සුනාමි දවස ජීවිතේ අමතක නොවෙන දවසක් වෙන්නේ මේ ලියන මමත් සුනාමිය ඇස්දෙකෙන් සජීවීව දැක්ක නිසා වගේම සුනාමිය එක්ක දන්නා කියන මිත්‍රයින් දෙදෙනෙකුගේ පවුලේ සාමාජිකයින් මියයාම නිසා. සුනාමියෙන් පොඩි අයිය බැඳපු අක්කගේ මෑණියනුත් මියගියා උනත් අපි කාටවත් ඒ මරණය වෙනුවෙන් සහභාගී වෙන්න ලැබුනේ නැහැ. ඒකට හේතුව යන්න එන්න ක්‍රමයක් නොමැති වීම කියලා හිත හදාගත්තට සත්‍ය වශයෙන්ම සිද්දවුනේ ගමේ මිත්‍රයින් දෙදෙනෙකුගේ පවුලේ සාමාජිකයින් මිය යාම. සුනාමි වෙනුවෙන් මියගිය අයවලුන්ගේ මළගෙවල් වලට ඥාතීන්ට සහභාගී වෙන්න ලැබුනේ නැතිවුනාට ජාතියක් ආගමක් නැතුව මිනිස්සු තම තමුන්ගේ අහල පහල උදවියගේ දුකේදී කර ඇරියේ නෑ. හැම හැමෝම තමුන්ට ආසන්නයේම පිහිටාධාර අවශ්‍ය වෙච්ච මිනිස්සුන්ට කොන්දේසි විරහිතව පිහිටවුනා.

සුනාමියට එහා ගිය බඩගින්න පෝස්ටුවේ ලියවෙච්ච විදිහට මං උන්නේ ගෙදර එන ගමන්. ඒ අපේ  බඩ තඩියාගේ ගෙදර සුන්බුන් අස්කරලා දීල උන්දැගේ බිරින්දෑගේ රත්තරන් බඩු ටිකත් සොයා දුන්නයින් පස්සෙයි. සිදුවෙච්ච ව්‍යසනයේ තරමට වාහනයකින් මහ මුහුද දිහාවට යන එක අවදානම් නිසා බඩ තඩියාගේ ගෙදර සුද්ද කරන්න මං ගියේ ෆුට් බයිසිකලේකින්. ඒ හදිසි අවස්ථාවකදී අතරමග හිර නොවී  ජීවිතේ බේරගන්න පහසු නිසා. බයිසිකලේ හෙමි හෙමීට කුලරත්න පාර දිගේ පහල බහිද්දී සිරාගේ ගේට්ටුව ගාව කොල්ලො පිරිලා ඉන්නවා දක්කම මට අමුත්තක් වගේ නොදැනුනා නෙවෙයි. ඒත් ඔය ගෙදරයි ඔය ගේටුව ලඟයි කොල්ලෙක් දෙන්නෙක් නැතිවෙන දවසක් නැති නිසා වැඩි හසිසියක් නැතුව ගිහින් බයිසිකලේ නැවැත්තුව. 

අපේ ප්‍රසන්නය ගේට්ටුව ගාව බිම වාඩිවෙලා ඔලුව බදාගෙන ඉන්නව. අනික් උනුත් ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා. දර්ශනය ප්‍රශ්නාර්ථ සහිත හින්ද මං සිරාගෙන් ඇහුව " මොකෝ බං " කියල..

ප්‍රසන්නගේ අම්ම නැතිවෙලා..

සිද්දිය වචනයෙන් විස්තර කරනවානම් මෙන්න මෙහෙමයි. ප්‍රසන්නලා කතරගම යන්න ගිහිං. උණවටුනේ මිල්ටන් හෝටලේ ගාවදි තමයි වාහන තදබදය ඇතිවෙලා තියෙන්නේ. වාහන ඉදිරියට ඇදෙන්නේ නැතුව හිර වෙද්දී හැමෝම හිතල තියෙන්නේ ඇක්සිඩන්ට් එකක් වෙන්න ඇති කියලයි. ඒ එක්කම තමා මිල්ටන් හෝටලේ දෙපැත්තෙන් වතුර එන්න පටන් අරං තියෙන්නේ. ප්‍රසන්නගේ මාමා ඉස්සරහ තිබ්බ වාහනේට හොර්න් කරාට ඒ වාහනේ රියදුරාට එතන තිබ්බ අතුරු පාරට හරවලා ගොඩබිම දිහාට යන්න නුවණක් පහල වෙලා නෑ. ඒ එක්කම ආපු ලොකු රල පාරකින් වාහනේ ළඟ තිබ්බ හිස් ඉඩමකට පාවෙලා යද්දී වාහනේ ඉඳපු හැමෝම වගේ එලියට පැනගෙන තිබ්බ. වෑන් එකේ වහල මට්ටම වඩා වතුර ආවත් ප්‍රසන්නලාගේ පවුලේ හැමෝටම වගේ පීනන්න පුළුවන් නිසා හැම හැමෝම පුළුවන් විදිහට පීනාගෙන ගිහින් අහල පහල ගස්වල එල්ලුනාලු. ඒ අතරේ රල පාහරේ වේගයට මුහුද දිහාට ඇදීගෙන යන ප්‍රසන්නගේ අක්කව දැකපු අපේ ප්‍රසන්න පීනගෙන ගිහින් අක්කව කොහොම හරි ආයෙත් පොල් ගහක එල්ලලා බලල තියෙනව කතරගම යන්න ආපු හැමදෙනාම කරදරයක් නැහැ නේද කියල. ඒ අතරේ තමයි අපේ ප්‍රසන්නට තේරිලා තියෙන්නේ අම්මයි ආච්චියි එලි පහලියේ නැහැ කියන එක. ක්ෂණිකයෙන් දිය යට කිමිදුනු ප්‍රසන්න දැකල තියෙන්නේ වෑන් එකේ පිටිපස්සේ සීට් එකේ හිරවෙලා ඉන්න අම්මයි ආච්චියි. වෘත්තියෙන් ජීවිතාරක්ෂකයෙක් වෙන ප්‍රසන්න පුළුවන් හැකි වීරිය යොදලා අම්මවයි ආච්චිවයි ගොඩට අරං එද්දී සුනාමි රළ ටිකෙන් ටික අඩුවෙලා ගිහින්. ඒත් ඒ වෙද්දීත් අම්මයි ආච්ච්යි දෙන්නම හුස්ම ගන්නේ නැහැලු.

ප්‍රසන්න දන්න කියන හැම ජීවිතාරක්ෂක උපක්‍රමයම දාල අම්මටයි ආච්චිටයි හුස්ම දුන්නාම දෙන්නටම සිහිය ඇවිත්. ඒත් ඒ අතරේ ප්‍රසන්නගේ මාමා වතුර පාරට අහුවෙලා ගහගෙන යද්දී කකුල කොහේදෝ කැපෙන මුවහත තැනක වැදිලා දණහිස ගාවින් ඇතුල පේන්නම කැපිලා ලේ වැගිරෙනවලු. සිහිය ආපු ප්‍රසන්නගේ අම්ම ඉස්සෙල්ලම දැකල තියෙන්නේ තමුන්ගේ මල්ලිගේ කැපිච්ච කකුල. ඒ 
කම්පනයටද  මන්ද ආයේ ප්‍රසන්නගේ අම්මට ආයෙත් සිහිය නැති වෙලා. තත්වය හොඳ නැති නිසා ප්‍රසන්නගේ තාත්තයි ප්‍රසන්නයි අම්මව උස්සගෙන ගාලුපාර දිගේ අම්මව ගාලු පැත්තට අරං එද්දී කොහේදෝ යන මනුස්සකමක් තිබ්බ ත්‍රිරෝද රථ රියදුරෙක් නවත්තලා ලෙඩාව ත්‍රිරෝධ රථයට දාගෙන තියනවා. ඒත් ඒකත් කරාපිටිය ඉස්පිරිතාලේ කිට්ටු වෙද්දී පෙට්‍රල් නැතුව නැවතිලා. යන එන වාහන ඔක්කොම ලෙඩ්ඩු පුරවාගෙන යාමත් , උදව්වකට පිහිටකට කව්රුවත්ම නොමැති වීමත් නිසා  මේ ත්‍රිරෝධ රථ රියදුරා අහල පහල ගෙදරක තිබ්බ මෝටර් සයිකලෙක පැට්‍රෝල් බටේ කපලා පෙට්‍රෝල් අරං දාගෙන ආයෙත් කරාපිටියට ලෙඩාව අරං ඇවිත් තියනව. ඒත් අවාසනාවට කරාපිටියට එද්දී ප්‍රසන්නගේ අම්ම නැති වෙලාලු. 

කරන්න කියන්න කිසිම දෙයක් නැති නිසා තාත්තව එතන ඉන්දලාප්‍රසන්න ආයෙත් උණවටුනට ගිහින් කාගේදෝ වාහනේකට ගෙදර අයත් දාගෙන අම්බලන්ගොඩ ඇවිත් තියෙනව. වෑන් එක සුනාමි අහුවුනාට වතුර පාර එද්දිම මාමා එන්ජිම නැවැත්තුවත් වතුර බැහැලා ගියායින් පස්සේ වෑන් එක ස්ටාර්ට් වෙලා නෑ. ඒ වගේම වාහනේ මුහුදු රළත් එක්කම පාවෙලා ගිහින් තාප්පෙකට හිරවුණු නිසා වාහනේ  ස්ටාර්ට් උනත් පාරට ගන්න විදිහක් තිබිල නෑ. ඒත් සුනාමි වතුර බැහැල ගිහින් පැය භාගයක් යද්දී ප්‍රසන්නගේ අම්මා ලෝකයෙන් සමු අරං ඉවරයි.

ඊළඟට මං ප්‍රසන්නගෙන් ඇහුවේ දැන් මොකද අපි කරන්නේ කියලයි. වතුරට අහුවුනත් ඒ වෙද්දී ආච්චිට වැඩි අමාරුවක් තිබ්බේ නැති නිසා ආච්චිත් ප්‍රසන්නලා එක්කම ගෙදර එක්ක ඇවිත් තිබුන. ප්‍රසන්න කිව්වේ ඥාති අයිය කෙනෙක්  එක්ක එයාගේ ලොරියෙන් කරාපිටි යන බව. යන්න එන්න වෙන වාහනයක් කාටවත් තිබ්බේ නැහැ. තිබ්බත් ඒ වෙද්දීත් ෂෙඩ්වල පෙට්‍රෝල් තිබුනේ නැහැ. මම ප්‍රසන්නට එතනම ඉන්න කියල බයිසිකලේ ගෙදර පැද්දේ කාර් එක අරං එන්න කියල හිතාගෙන. ඒ වෙද්දී සෙලියුලර් ෆෝන් වැඩ කරන එකත්  නැවතිලා තිබුනේ. 

මං ගෙදර ගිහින් කාර් එක අරං ආයෙත් සිරාගේ ගෙදරට ඉගිලුනා. ඊළඟට කරේ ප්‍රසන්නයි, හෙමිකයි, සිරාවයි, කාවින්දවයි දාගෙන ෂෙඩ් එකට ගිහිපු එක. ප්‍රසන්නගේ නැන්දගේ පුතා වැඩකරේ ෂෙඩ් එකේ. ඒ නිසා පෙට්‍රල් ටිකක් ගන්න විදිහක් තියෙනවද බලන්නයි අපි ගියේ. ඒත් ෂෙඩ් එකේ මිනිස්සු පිරීල හිටියත් පෙට්‍රෝල් ඩීසල් ඒ වෙද්දීත් ඉවර වෙලා. මං ඊළඟට කාර් එක හැරෙව්වේ ස්ටේෂන් එක එහාපැත්තෙ තියන ලාම්පුතෙල් ෂෙඩ් එකට. ෂෙඩ් එකේ මනුස්සය හිතුවේ ගැලුමකට ලාම්පුතෙල් ගන්න ඈවිත් කියල. මම කාර් එක ලාම්පුතෙල් පොම්පේ ගාවට ලං කරලා ෆුල් ටෑන්ක් ගහන්න කිව්වම ඒ මනුස්සය ඇස්දෙක නළලේ තියාගත්ත කියමුකෝ. ඒත් මගේ බලකිරීම මත ෂෙඩ් එකේ මනුස්සයාට සිද්දවුනා මගේ කාර් එකට ලාම්පුතෙල් ෆුල් ටෑන්ක් ගහන්න. ඒ අතරේ මගේ ඉල්ලේම මත ප්‍රසන්න කාර් එකේ තිබ්බ හිස් මෙගා බෝතලේකුත් අරං ෂෙඩ් එකට දිව්වා පෙට්‍රල් බෝතලයක් අරං එන්න කොහොම හරි. මොකද භූමිතෙල් ගැහුවට මම දන්නවා උදේට ස්ටාර්ට් කරන්න පෙට්‍රල් ටිකක් ඕන කරනවා කියල. තිබ්බ තත්වේ අනුව පෙට්‍රල් සතියකටවත් ඒවි කියන විශ්වාසයක් තිබ්බේ නෑ.

ඒ වෙද්දී ටිකක් රෑ වෙලා. ප්‍රසන්න ඥාතියෙක් එක්ක ලොරියකින් කරාපිටි ගියා. මිනිය ගෙන්න ලොකු පිරිසක් උවමනා නැති වීමත් පිටුපස වහලය නැති ලොරියක ඉදිරිපස ගමන් කරන්නට පුළුවන් රියදුරුට සහ අමතර දෙදෙනෙකුට පමණක් නිසාත් අපි කව්රුවත් කරාපිටි ගියේ නෑ. ඒ වෙනුවෙන් අපි හැමෝම ගෙවල් වලට වෙලා බලන් උන්නා පණිවුඩයක් ලැබෙනකම්. ඒ අතරේ තමා සිරා කාවින්ද එක්ක ෆුට් බයිසිකලයක් පැදගෙන අපේ ගෙදර ආවේ. 

ප්‍රසන්න කෝල් කරා.. ලොරියේ රෝදෙක හුලන් ගිහිල්ලලු.. පැච් දාන්න තැනක් නැති නිසා හර්ස් එකක් අරගෙන කරාපිටි එන්න කිව්වා ඉක්මනට.

ඒ පණිවිඩේ මටම කෙලින්ම එන්න හේතුව තමා එක්තරා මල්ශාලාවක් සමග මගේ පියාගේ පවුලේ තිබ්බ සම්භන්ධය. පණිවුඩේ එද්දී රෑ දහය වගේ වෙලා. මම හැකි ඉක්මනින් සිරාවයි කාවින්දවයි දාගෙන මල්ශාලාවට ගියා කියමුකෝ . ඒ යද්දී එතන සෙනග පිරීල මිනි පෙට්ටි වලට පොරේ. මම කාර් එක පැත්තකින් නවත්තල මල්ශාලාවේ අයිතිකාර තුමිය හමුවෙන්න ගියා ඇතුලට. ඒ වෙද්දීත් එතුමිය වටකරගෙන මිනිස්සු සීයක් විතර සේවාව ඉල්ලනවා. එතුමිය මාව දැක්ක ගමන් මා දිහාවට අවධානය යොමුකලා මාව පුද්ගලිකව දන්නා කෙනෙක් නිසා..


මොකෝ මල්ලි..

අක්කේ මගේ යාලුවෙකුගේ අම්මත් නැතිවුනා.. මරණේ කරාපිටියේ.. මට හර්ස් එක ඕන බෑ නොකිය..

හර්ස් දෙකම යවල තියෙන්නේ මල්ලි වැඩ වලට.. මිනිස්සු මේ මාව කන්න හදනවා හර්ස් එකයි පෙට්ටියි ඉල්ලලා..

අක්කේ මේ වැඩේ මට කෙරෙන්නම ඕන..

එහෙනම් සුද්දයියා කරන්දෙනියට ගියා මරණයක් අරං.. දැන් මග එනවා ඇති .. මගට ගිහින් අරං යන්න..

මට ඒ ආරංචිය හොඳටෝම හිත සනහන ආරංචියක්. මං හැකි ඉක්මනින් සිරාවයි කාවින්දවයි දාගෙන කරන්දෙණිය පැත්තට ඉගිල්ලුනා.. කරන්දෙණිය ලංවෙද්දි ඉස්සරහට එන හර්ස් එක විදුලි වේගෙන් අපිව පහුකරන් යනවා දැක්ක ගමන්  මමත් බ්‍රේක් එක උඩ නැගල වාහනේ නවත්තගෙන ආපහු හරවාගෙන හර්ස් එක පස්සෙන් එලවන්න පටන් ගත්ත. ටැංකියේ තියෙන්නේ භූමිතෙල් නිසා කාර් එක එහෙම පිකප් වෙන්නේ නැහැ. සාමාන්‍ය වේගයක් ගන්න නම් දෙවැනි ගියර් එකේ හතලිහ පනිනකම්වත් පාගාගෙන ඉන්න ඕන. පාරේ බල්ලෙක්වත් නැති නිසාත් හර්ස් එක එලවන සුද්දයියා පරණ බස් රියදුරෙක් නිසාත්, මල්ශාලාවේ මිනිස්සු පිරී ඉතිරෙන නිසාත් ද කොහේ හර්ස් එක පැයට කිලෝමීටර සීය ලංවෙන්න ඉගිල්ලෙනවා. මමත් හොර්න් එක ගහගෙන ඒ පස්සෙන් එලවනවා. ඒත් සුද්දයියා ඒ වෙලාවේ හර්ස් එකකට තියන ඉල්ලුම දන්නා නිසාද කොහේ දන්නා ශිල්ප ක්‍රම ඔක්කොම දාගෙන හර්ස් එක ගුවන්ගත කරනවා. කොහොමෙන් කොහොමහරි සුද්දයියා වතුගෙදර වංගුව ගන්න වේගය අඩු කරද්දී භූමිතෙල් වලින් පත්තු වෙන මගේ කාර් එකේ එන්ජිමේ වේගය අඩු කරොත් ආයේ මල්ශාල්වට යනකල්ම හර්ස් එක අල්ලගන්න වෙන්නේ නැති බව මම සක් සුදක් සේ දන්නවා. ඒ වගේම හර්ස් එක මල් ශාලාවට ගියොත් හර්ස් එක ලබාගැනීමේ අවස්ථාවත් අහිමි වෙන එක අනිවාර්යයි. ඒ නිසා වංගුවෙන් එලියට විසික් වෙන්න හරි කියල මම ලාම්පුතෙල් පවර් කාර් එක හර්ස් එකට ඉස්සර කරලා පාර හරස් කරලා නවත්තුවාම තමයි ඔන්න සුද්දයියා හර්ස් එක නවත්තන්නේ..

මොකෝ ඕයි මැරෙන්න හදනවද..

සුද්දයියේ මේ මං...

මොකෝ මේ..

මගේ යාලුවෙක්ගේ අම්මත් නැතිවුනා.. මරණේ කරාපිටියේ.. මම අක්ක එක්ක කතා කරා.. අක්ක කිව්වා මගට ගිහින් හර්ස් එක අරං කරාපිටි යන්න කියල.. ඩීසල් තියෙනවද..


ඩීසල් තියෙනව.. හරි එහෙනම් යමු..

සිරා කාවින්ද එක්ක ගිහින් හර්ස් එකේ නැග්ග.. මට ප්‍රසන්නගෙන් උපදෙස් ලැබිල තිබුනේ අත්‍යවශ්‍ය වැඩක් තිබුනොත් කරගන්න අම්බලන්ගොඩ ඉන්න කියන එක. ඒ නිසා සිරා කාවින්ද එක්ක කරාපිටි ගියා හර්ස් එකේ නැගල.. මම එහෙමම ගෙදර ආව කාර් එක අරං.

භූමිතෙල් වලින් දිවිල්ලේ සාර්ථකත්වය තියෙන්නේ එන්ජිමේ උෂ්ණත්වය ඉහල අගයක් ගන්නාතාක් පමණයි කියමුකෝ. අමතක වීමකින් හරි එංජිම නවත්වලා තියල  
එන්ජිම සීතල උනාත් වාහනේ ස්ටාර්ට් වෙන්නේ නෑ ආයේ මලාට. ඒ නිසා වාහනේ පැය දෙකතුනක් නවත්වලා තියෙනවනම් කාබියුරේටර් එකට පෙට්‍රල් ටිකක් දාල තියන එක සෑහෙන්න වැදගත්. එහෙම නොකරොත් ආයේ වාහනේ ස්ටාර්ට් කරන්න වෙන්නේ සෑහෙන්න වැඩ තොගයක් කරලයි. ඒ නිසා මම ටැංකියෙන් එන පෙට්‍රල් ලයින් එක ගලවලා කාර්බ් එකේ තියන භූමිතෙල් ඔක්කොම අයින් කරලා පෙට්‍රල් ටිකක් කාර්බ් එකට ෆීඩ් කරලා නැවත භූමිතෙල් බට එහෙමත් හයිකලා. ඊළඟට තිබ්බේ කරාපිටි ගිය අය එනකල් නා කියාගෙන නින්දක් දාන්න. මං නාගෙන කාමරේට එනකොටම පාරේ වාහනයක් නවත්තලා යන සද්දයක් ඇහිලා පොඩ්ඩක් ජනේලෙන් බැලුවාම මෙන්න මුන් ඒ ටිකට මිනිය අරගෙන ඇවිල්ලත් ඉවරයි. සුද්දයියා ප්‍රසන්නත් එක්ක එහෙමම මල්ශාලවට ගියා. සිරා කාවින්ද එක්ක අපේ ගෙදර බැස්ස. මමත් ආයෙත් කාර් එක ස්ටාර්ට් කරගෙන සිරාවයි කාවින්දවයි දාගෙන මල්ශාවට ඉගිලුනා. 

කලින් මල්ශාලාවට ඇවිත් ගියාට පිටිපස්සේ කෑල්ලට මං ගියේ නෑ. මොකද මට ඒ වෙද්දී ඕනවුනේ හර්ස් එක විතරක් නිසා. මරණේ ගෙනාපු නිසා අපි ගියා මල් ශාලාවේ පිටිපස්සට. මල්ශාලාවේ වත්ත පුරාම බිම ඉටිකොළ එලලා හැම තැනම මල මිනී. පයක් ගහන්න ඉඩක් නෑ. තරුණ , බාල , මහලු, වගේම පුංචි දරුවනුත් එක හා සමානව මියගිහින් එතන වැතිරිලා හිටිය. ඒ වගේම එකට මියැදිච්ච අම්ම කෙනෙකුයි දරු පැටියෙකුයිත් එතන උන්න. සාමාන්‍ය මරණයකදී ඥාතීන් මල්ශාලව අසල හඬමින් වැලපෙමින් උන්නත් මල් ශාලාවේ හිටපු කව්රුවත් එක කඳුලක් හෙළුවේ නෑ. තමුන්ගේ ඥාතියා අහිමි වෙච්ච දුකට එහා ගිය කම්පනයක් එතන ගිටපු හැම කෙනාගෙම මුහුණුවල සන්ටහන් වෙලා තිබුන.

එම්බාර්ම් කරන මිනිස්සු දෙන්නෙක්  මිනී එකින් එක එම්බාර්ම් කරනව. ඥාති හිතමිත්‍රාදීන් ඉඩ තියෙන තැන් වලින් හිටගෙන හෝ වාඩි වෙලා බලන් ඉන්නවා තමුන්ගේ ඥාතියාගේ වාරය පැමිනෙනකම්.  අපිත් ප්‍රසන්නයා ලඟට වෙලා ඔහේ ඉන්නව. ඒ රාත්‍රිය ඒ විදිහටම එලිවුනා. මල්ශාලාවේ සේවකයින් පුළුවන් උපරිම වේගයෙන් එයාලගේ රාජකාරිය කරගෙන යනවා. අපිත් රටට වෙච්ච ව්‍යසනය ගැන කතා කරමින් ඔහේ ඉන්නව. ඒ අතරේ කාර් එකත් පැයකට වතාවක් ස්ටාර්ට් කරලා තියනව එන්ජිම සීතල නොවෙන්න ඕන නිසා.

  අපේ තවත් ළඟම යාලුවෙකුගේ නංගිගේ මිනියත් මල්ශාලාවේ බිම ඉටිකොලයක් උඩ ඔහේ දාල තිබ්බ. ඒ වෙද්දී ඒ යාළුවගේ අම්ම සුනාමියෙන් අතුරුදහන් වෙලා උනාට මරණයක් ඒ වෙද්දීත් හමුවෙලා තිබ්බේ නෑ. ඒ යාළුවගේ නම මේ පෝස්ටුවේ සඳහන් කරන්න මම අවසර ගත්තේ නැති නිසා මං ඒ සිද්දිය මේකේ ලියන්නේ නැහැ. ඒත් ප්‍රසන්නලා කරාපිටි ගිහින් මම ගෙදර ආපු වෙලාවේ ඒ යාලුවත් අපේ ගෙදරට ඇවිත් ගියා. ඒ යද්දිත් මම ෆුට් සයිකලෙන් ගිහින් ඒ යාළුවව එයාලගේ නැන්දලාගේ ගෙදරට බැස්සුවේ කාර් එකෙන් ඒ පැත්තට යාම අනතුරුදායක නිසා. මොකද එයාල හිටියේ මුහුද කිට්ටුව. ඒ වගේම දෙසැම්බර් විසි හත දවසත් හවස් උනා මල මිනී අතරේම. අපිත් මල මිනී උඩින් පැන පැන ගිහින් මල්ශාලාවේ සේවකයින්ට සපෝර්ට් එක දුන්න වැඩ ඉක්මන් කරගත්තාම ප්‍රසන්නගේ අම්මගේ මරනෙත් ඉක්මනට ගෙදර ගෙනියන්න ඉක්මන් වෙන නිසා. 

ඒ අතරේ ආයෙත් ප්‍රසන්නගේ ගෙදරින් ඇමතුමක් ලැබුනා කාගේදෝ දුරකතනයකට. පණිවුඩයෙන් කියවුනේ සුනාමිය අහුවෙලත් ජීවිතේ බේරුන ප්‍රසන්නගේ ආච්චිට ටිකක් අමාරු කතාවක්. ආයෙත් අපි හැමෝම වාහනේට නැගල ප්‍රසන්නලාගේ මාමලාගේ ගෙදරට ඉගිල්ලුනා. ඒ වෙද්දී ආච්චිට ටිකක් විතර අමාරුයි. අපි ඉක්මනින් ආච්චිව කාර් එකේ දාගෙන පොල්වත්තේ ඉස්පිරිතාලෙට අරං ආව. ඒ වෙද්දී ප්‍රසන්නගේ මාමාත් කකුල කැපිච්ච නිසා නැවතිලා හිටියේ පොල්වත්තේ ඉස්පිරිතාලේ. දොස්තරවරු ප්‍රසන්නගේ ආච්චිට දෙන්න ඕන හැම ප්‍රතිකාරයම කලත් එදා රෑ වෙද්දී ප්‍රසන්නගේ ආච්චිත් අපිව දාල ගියා. අපි ආයෙත් මල්ශාලවට ගිහින් හර්ස් එක අරං ඇවිත් ආච්චිගේ මරනෙත් මල්ශාලවට අරං ගියා. එදා දවසත් රෑ උනා. විසි අටවෙනිදත් උදාවුනා. මතක විදිහට විසි අටවෙනිදා වෙද්දී තමයි ප්‍රසන්නගේ අම්මගේ මෘත ශරීරය එම්බාම් කරන්න ගත්තේ. ඒත් ඒ වෙද්දී ප්‍රසන්නගේ අම්මගේ මරණේ එම්බාම් කරන්න පුළුවන් තත්වෙක නෑ. ප්‍රසන්නගේ බලවත් ඉල්ලීම එක්ක මහේෂ් කැමරාව අරං අම්මගේ මරණේ පිංතූරයක් ගන්න හදනකොටම හේමික පැනලා ෆොටෝ ගහන එක  නැවැත්තුව. එදා හේමික මැදට පැනල මෘත ශරීරය ෆොටෝ ගහන්න නොදුන්නේ ප්‍රසන්නලාගේ හිත්වල ඇඳිචච අම්මගේ චිත්‍රය , මතකය එහෙමම තියෙන්න දෙන්න ඕන නිසා. ඒ පින්තූරේ ගත්තනම් ඒ චිත්‍ර සේරෝම වෙනස් වෙන්න තිබුන. මියගිහින් දවස් දෙකකට පස්සේ ප්‍රසන්නලාගේ අම්ම අඳුරගන්න පුළුවන් තත්වෙක හිටියේ නෑ. 

මරණ දෙකම අවසන් කටයුතු කලේ බූස්සේ අරං ගිහින් එයාලගේ පවුලේ සුසාන භූමියක. ඒ වෙද්දී 29 වෙනිදා වෙලා මට මතක විදිහට. දවස් තුනක් මළමිනී අතරේ ඉඳල දැනිච්ච සාමාන්‍ය ස්භාවය කොයිතරම්ද කියනවනම් විසි නවවෙනිදා වෙද්දී අපි හැමෝටම මල මිනියක් ගාවින් දිගාවෙලා නින්දක් දැම්මත් ඒක නිකං පවුලේ කෙනෙක් ලඟින් නිදියනවා වගේ දැනීමක්. ඒ තරම් මල මිනී සාමාන්‍ය දෙයක් වුනා අපි හැමෝටම. පුංචි කාලේ ඉඳන් එකට උන් යාළුවො හැමෝම එකා වගේ මෘත ශරීර භූමධානය කරනකල්ම ප්‍රසන්න එක්ක හිටිය. සාමාන්‍ය මළගෙදරක වගේ මාරි බිස්කට්, ප්ලේන්ටි සිගරට් තිබ්බේ නෑ. අවමංගල්‍ය උත්සවයෙන් හතරෙන් තුනකම කාලය ගතවුනේ මල් ශාලාවේ මල මිනී එක්ක. මල් ශාලාවේ අපි එක්ක එකට හිටපු මල මිනී බොහොමයක් තම තමුගේ නිවෙස් වලට ගියේ පොලිතින් උරයක සීල් වෙලා. අපිත් පුළුවන් හැම විදිහකින්ම සහයෝගය දුන්න ඔවුන්ට සාමදානයේ සැතපෙන්න අවසන් ගමන් යන්න. අඳුරගන්න බැරිවෙන්න ඉදිමිච්ච මල මිනී පොලිතින් උර වලට බස්සද්දී අපිත් එකතු වෙලා සහයෝගය දුන්නා ඔවුන්ව පොලිතින් උර වලට රින්ගවන්න. ඔවුන් වෙනුවෙන් අපිට කරන්න තිබ්බේ එච්චරයි.


ඔය සේරෝම වෙන අතරේ විසි අටවෙනිදා අපි ගියා අර කරාපිටියේ හුලන් ගිය ලොරිය ගේන්න. ඒ වෙද්දී පැච් එකක් දාන්න තැනක් තිබ්බේ නෑ. වෙන දෙයක් වෙද්දෙන් කියල හිතාගෙන බයිසිකල් පොම්පෙකුත් අරං මමයි හේමිකයි තවත් දෙන්නෙකුයි ගියේ හුලන් ගගහ හරි ලොරිය ගමට ගේන්න. ඒ ගිහින් පැයක් විතර බයිසිකල් පොම්පෙන් හුලන් ගහලා නිසාන් ඇට්ලස් ලොරි රාජයා අපි ගමට අරං ආවා කියමුකෝ. කාර් එක ලාම්පුතෙල් වලින් දුවද්දී කඳු එහෙම යන්න අමාරු නිසා අපි විසි නවවෙනිදා වෙනකම්  එහෙ මෙහේ ගියේ ඔය කියන ලොරියෙන්. අම්බලන්ගොඩ වටේ සෑහෙන්න දුවලත් එදා කරාපිටිය ඉසිපිරිතාලේ ඉස්සරහදි හුලන් බැහැල තිබ්බ ලොරියේ රෝදේ ආයේ හුලන් බැස්සේ නම් නෑ විසිනව වෙනිදා වෙද්දීත්. කරාපිටියෙන් අරං ඇවිත් දවස් දෙකක් යනකම් ලොරිය තිබ්බේ මා ගාව නිසා මම අනිවාර්යෙන්ම දන්නවා අපි කව්රුවත් රෝදෙක පැච් එකක් දැම්මේ නැහැ කියන එක. ඒත් මොකක්දෝ හේතුවකට ආයෙත් ඒ රෝදේ හුලන් බින්දුවක්වත් අඩුවුනේ නෑ. එදත් අදත්  ඔය හුලන් ගිය රෝදේ ගැන තර්කානුකුලව හිතුවාම ඇතිවෙන කලකිරීම නම් අපමණයි මිනිස්සු ගැන.

මරණේ වැඩ කටයුතු කරලා අහවර වෙලා ඊළඟට අපි උණවටුනේ ගියේ වෑන් එක ගේන්න. වෑන් එකත් කෙලින් කරලා පාරට අරං ලොරියේ ගැටගහගෙන ගමට ඇදන් එන්නත් පැය හය හතක් ගතවුනා. ගාලුපාර ඒ වෙද්දීත් ක්ලියර් කරලා තිබ්බේ නැති නිසා එන්න උනේ කරාපිටිය පැත්තෙන් බද්දේගමට ඇවිත්. ඒ පාරවල් සෑහෙන්න පටු නිසාත්, වාහන තදබදය සහ , සුනාමි අහුවෙච්ච වාහන ඇදගෙන යන නිසාත් ගමන සිද්දවුනේ බොහොම හෙමින්.

ඔය සුනාමි අනතුර අතරේ මිනිස්සු ජාති ජන්ම, දේශපාලන භේද නැතුව හැම හැමෝටම උදව් කළා. කව්රුවත් උදව්වක් ඕන මනුස්සයෙකුට උදව් කරද්දී ජාති ජන්ම, ගම රට හෙව්වේ නෑ. ඒත් බොරදියේ මාළු බාපු එවුනුත් නොහිටියේමත් නෑ. 2004 දෙසැම්බර් විසි අට වෙනිදා කරාපිටිය රෝහල අවට ගෝල්ඩ් ලිෆ් සිගරට් විකිනුනේ එකක් රුපියල් තිහට. පැට්‍රෝල් වැඩි මිලට විකුනපු අයත් ඕනෑතරම් හිටිය ගමේ ගොඩේ.. ඒ වගේම අසරණ වෙච්ච මිනිස්සුන්ට උදව්වක් කරන්න හිතේ තෙතමනයක් නැති මිනිස්සුත් හිටිය. පොල්වත්ත පන්සලේ හිටපු සුනාමි අවතැන් වෙච්ච මිනිස්සුන්ට කෑම දෙන්න සල්ලි එකතු කරද්දී හතර පෝයට සිල්ගන්න උපාසක අම්මා  කෙනෙක් කිව්වා "ඔන්න ඔය දෙන දෙයක් ගිහිල්ල උයාගෙන කන්න කියලා දීපල්ලා" කියලත්. ඒ වගේම තමුන් එක්ක හික්කඩුවේ පොලේ යන්න ගිය තමුන්ගේම ආදරණීය බිරිඳ සුනාමි රලත් එක්ක නොපෙනී ගිහින් අතුරුදහන් වෙලා තියෙද්දිත් ග්‍රාමසේවක මහින්ද අයියා කිසිම පැකිලීමක් නැතුව තමුන්ගේ රාජකාරිය අකුරට ඉෂ්ඨ කළා. බොහොමයක් මිනිස්සු තමුන්ගෙන් වටපිටාවට වෙන්න තියන යුතුකම අකුරට ඉෂ්ඨ කළා. දේශපාලකයින්, එන් ජී ඕ කාරයින් ගම් රටවලට ඇවිත් කිඹුල් කඳුළු හෙලන්න කලින් මිනිස්සුන්ට හිටියේ තමුන්ගේ අසල්වැසියන් විතරයි. හැම හැමෝම විපතට පත් ජනතාවට පුළුවන් හැම විදිහටම උදව් උපකාර කළා. 

කාලයත් එක්ක මිනිස්සුන්ට සුනාමිය අමතක උනා. විපතට පත් ජනතාවට රජයෙන් ලැබිච්ච ගෙවල් දොරවල් විකුනලා දාල ආයෙත් තමුන්ට හුරු පුරුදු මුහුද අයිනට ගිහින්  පදිංචි උනා. සුනාමි වෙලාවේ පාට, පක්ෂ, ජාති ගැන හිතන්නේ නැතුව අසල්වැසියාට උදව් උපකාර කරපු අපේ මිනිස්සු  ඒ සියල්ල අමතක කරලා ටික දවසකින්ම ආයෙත් පාට පක්ෂ ජාතීන් වලට බෙදිලා මරාගන්නවා තමුන්ගේ පක්ෂය හෝ ජාතිය දිනවන්න. ඒවා ඇහෙනකොට දකිනකොට මට හිතෙන්නෙම මිනිස්සු බෙදෙන්නේ නැතුව ඉන්නේ කරදරයක් උනාම විතරද කියල. 

සුනාමි ඇවිත් අවුරුදු දහතුනක් වෙලත් මාසෙකට දවසක් දෙකක් මේ ලියන මං හීනෙන් සුනාමිය දැකල බයවෙලා අවදි වෙනව. සුනාමිය සජීවීව දැකපු වෙලාවේ කියන්න තරම් භයක් හිතේ ඇති නොවුනත් සුනාමිය සම්භන්ධ මතකයන් තවමත් හිතේ සටහන් වෙලා තියෙන්නේ අද ඊයෙක සිද්දවුනා හා සමානව. සුනාමිය මිනිස්සුන්ට අමතක වුනත් ඔය කියන හීනය මේ ලියන මට සුනාමිය අමතක කරන්න ඉඩ දෙන එකක් නෑ කවදාවත්ම. 

Tuesday, December 12, 2017

අසාධාරණ ලංකාගමනය




ඔන්න අම්බලන්ගොඩයා කාලෙකින් ලංකාවට මන්ගච්චන්න කියල ලෑස්තිවුනා කියමුකෝ පහුගිය සැප්තැම්බරයේ අග භාගයේ. තමුන්ගේ රටින් පිට ඉන්න ඕනෑම කෙනෙක් තමුන්ගේ රටට එන්න කොයිතරම්නම් ආසයිද කියන එක පිටරට ඉන්න අයවලුන්ට නම් ආයේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේ වතාවේ අම්බලන්ගොඩයා තකහනියේ ලංකාවට දුවගෙන එන්න මුලාශ්‍ර වුනේ හදිසියේම කථින පිංකම අම්බලන්ගොඩයාගේ පවුලේ උදවියට ලැබීම නිමිතිකොටගෙන සිදුකලා වූ ඒ මහා පුණ්‍යකර්මයට සහභාගිවෙන අරමුණෙන්.  කථින පිංකමකට එහෙම සහභාගිවෙන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින් නිසා ගොඩයා එකෙන්ම ලංකාවට මන්ගච්චන්න දෙපාරක් හිතුවේ නැහැ. වෙනද ගොඩයා ලංකාවට එද්දී අතින් කටින් උස්සන් එන තෑගී බෝග නම් මේ වතාවේ ම්හ්.. වෙනදට හිතමිත්‍රාදීන්ට දෙන්න කියලා ගේන මධ්‍යසාර බෝතල් කිහිපයත් මේ වතාවේ ලිස්ට් එකෙන් කැපුනා හේතුව කියනවනම් යන්නේ උතුම් පුණ්‍ය කටයුත්තකට නිසා.. එහෙම කියන එක සාධාරණ නිදහසට කරුණක් නෙවෙයිද කියල කාට හරි තර්ක කරන්න පුළුවනි උනාට පුණ්‍ය කටයුත්තකට යන ගමනේ රහ මේර උස්සන් නොයා යුතුයි කියන තද ප්‍රතිපත්තියක අම්බලන්ගොඩයා පිහිටලා හිටියේ තනිකරම පොකැට් එකේ වාසියට. ආයි මොකටෝ බොරු බේගල් කියන්නේ ඉතින්.

අවුරුදු ගණනාවක් ඔය ලංකාගමනය සිද්දවුනත් ඒ හැම ලංකාගමනයක් එක්කම විස්කි බ්‍රැන්ඩි ගොඩයා සමග ලංකාවට ගොඩ බැස්සත් ඔව්වයින් ගොඩයා කවදාවත් හොඳක් අහල නම් නෑ කියමුකෝ. හත් ඉලව්වේ කිලෝ දෙතුන්සීයක බෑග් උස්සන් යන්න ඒරොප් ප්ලේන් එක ගොඩයාගේ අප්පොච්චිගේ එකක් නෙවෙයි හින්ද ඔය ගෙනියන එකම එක බෑග් එකේ එපැයි ඔය බෝතල ටිකත් අරන් යන්න. ඉතින් ඔය කිලෝ 23 ඇතුලේ තඩි බෝතල් හතර පහක් දාගත්තාම ගොඩයාගේ රෙදි කඩමාලු ටික ගෙනියන්නේ අහවල් එකේ දාගෙනද කියන එක ගොඩයාගේ මිත්‍රයින් කවදාවත් හොයල බලන්නේ නැහැ. ඉතින් ඔය හැම ප්‍රශ්නෙකටම විසඳුමක් විදිහට ගොඩයා විසින් සොයාගන්නා ලද විකල්පය වෙන්නේ ප්ලාස්ටික් බෝතලේ එන විස්කි බෝතල් ටිකක් ගන්න එකයි. ඇයි හත් ඉලව්වේ බීල විසික් කරන බෝතලේ ප්ලාස්ටික් උනාම මොකෝ වීදුරු උනාම මොකෝ. ඔය වීදුරු බෝතල් වල බර අඩුවුනාම දෙයියනේ කියල ලීටර එකයි තුන්කාලේ විස්කි බෝතල හතරක් පහක් ශේප් එකේ ලංකාවට ගොඩයා හැමදාම අරන් ගියා මේ වතාවේ ඇරෙන්න.

ඒ අරන් ගිහිනුත් ඉතින් උන්ගේ කුණු කතා අහන එකේ සීමාවක් නෑ කියමුකෝ. ඔය ගිහිපු හැම වතාවේම ඔය බෝතලේ බොන ගමන්ම ඔය සාදයේ ඉන්න එවුන් ගොඩයාව ලිඳේ දැම්මේ ගොඩයා ලාභෙට බාල විස්කි ගේනවා කියලයි. එව්වා බාල නිසාලු ප්ලාස්ටික් බෝතලේ එන්නෙ. ඔන්න ඔහොමයි චෝදනාව. ගෙනවානම් අඩුම තරමේ ඩබල් කලුපාට ලේබලේ තියෙන බෝතල් ගෙන්න ඕනෙලු. එයාල නිතරම බොන්නේ ඔය කලුපාට ඩබල් එව්වාලු. එහෙම නැත්තම් ඊට වඩා හොඳ එව්වලු. ප්ලාස්ටික් බෝතලේ විස්කි බාල නිසා වෙරි වෙන්නේ නැහැලු. ඉතින් හත් ඉලව්වේ ගොඩයා ඔව්ව ගන්නේ දන්කොටුවෙන් නෙවෙයිනේ. ගොඩයා ඉන්න රටේ තියන අක්කරයක් විතර විසාල ලිකර් කඩවලින් තමයි ඔව්ව ගන්නේ. ඒත් ඉතින් එච්චර දුරක් උස්සන් ගිහිල්ලත් මුන්ගේ කුණු කතා වල නිමක් නැහැ කියමුකෝ. ඔය කුණු කතා වලට ගොඩයාගේ සාධාරණ තර්කය නම්, යාලුවෙකුට යමක් පිටරටකින් ගෙනත් දෙනවනම් ගෙනත් දෙන්න ඕන ඒ රටට ආවේනික දෙයක්නේ. නැද්ද හා.. ඉතින් ගොඩයා කොයි වෙලාවෙත් ඔය විස්කි තෝරද්දී බලන්නේ එව්වා ගොඩයා ඉන්න රටේ නිෂ්පාදනය කරපු අනන්‍යතාවයක් තියන එව්වද කියන එකයි. එහෙම එව්වට තමයි ගොඩයාගේ ප්‍රමුඛත්වය ලැබෙන්නේ. ඊළඟට ප්‍රමුකත්වය ලැබෙන්නේ බෝතලේ ප්ලාස්ටික්ද කියන එකයි. ඔය ප්ලාස්ටික් බෝතලේ කොයිතරම් ආරක්ෂා සහිතද කියනවනම් අහස්යාත්තරාව බිමට කඩන් වැටුනත් කවදාවත් ගමන් මල්ල ඇතුලේ බිඳෙන්නේ නැති වීමත් ඔය ප්ලාස්ටික් බෝතලේම තෝරාගන්න තවත් එක හේතුවක්.

ගොඩයා ඔය බොන ජාති බොහොමයක් ඇති පදමට බීල තියෙනවා වුනත් ඔව්වයේ රහක් ගුණක් ගැනනම් වැඩි යමක් කියන්න දන්නේ නැහැ. මොකද කොයි තරම් ඉස්තරම් බීමක් වුනත් ගොඩයාගේ උගුරෙන් පහලට යන්නේ හරීම අමාරුවෙන්. එව්වයෙ ගුණාගුණ ගොඩයා දැනගන්නවානම් දැනගන්නේ බීම අතීසාර වෙලා කබරගොයා දාන්න වුනොත් තමයි. අන්න එතකොට ඉස්සරින්ද බීපු බීමේ හොඳ නරක ගොඩයාට තේරෙනවා. ඒ නිසා කොයිම වෙලාවෙවත් ගොඩයා ලංකාවේ ගල් අරක්කු , නිල් ලේබල්, ගැලරි කියල තියෙන අසික්කිත ජාතිය කටේ තියන්නේ නැහැ. මොකද ඔය ජාති තුනේ ආදීනව ගොඩයා හොඳින් ලංකාවේදී අත්දැකලා තියෙන නිසා. ඒ ජාති තුන ඇරුනාම දහසක් විස්කි, බ්‍රැන්ඩි, ජින්,රම්, බකාඩි, වගේ හැම ජාතියේම ගුණාගුණ කියන්න ගොඩයා දන්නේ නැහැ. ගොඩයා ඉන්න රටේ බියර් ජාතිත් තියෙනව අසූ හාරදාහක් විතර. ඔය බොහොම කලාතුරකින් ඔව්ව බිව්වත් එව්වනම් ඉතින් ඇල්වතුර වගේ ගොඩයාට නම්. ඒත් මේ මෑතක ගොඩයා එක්ක වැඩකරපු හාදයෙක් කියපු ආරංචියකට අලුත් බියර් එකක් රහ බැලුවා කියමුකෝ. අප්පද බොල ඒකෙ නම "ඉගිලෙන බල්ලා " කියන එකයි. ඇල්කොහොල් ප්‍රතිශතය 11.5ක් . වැඩේනම් නරක නෑ එක බියර් එකෙන් ගොඩයා ගුඩ් නයිට්. ඒත් වැඩේ කියන්නේ බොනකොට දැනෙන රස නම් කුජීතයි. ගොඩයා ඉන්න රටේ බියර් ගන්න තියෙන්නේ හුඟක් වෙලාවට අවම වශයෙන් කේස් එකේ බෝතල් හෝ කෑන් හයක් විදිහටයි. ඉතින් එකක් ඕන වෙලා කඩේකට ගොඩ උනාම පහක් බෝනස් හම්බෙන එකත් මල වදයක්. ඒ වගේ ගෙනාපු පියාඹන බල්ලෝ සෙට් එකේ ඉතිරි කීප දෙනෙක් තාම ගොඩයාගේ ඇස් මානයේ ඉන්නවා පියාඹමුද මචං කියන්නහේ.

මධ්‍යසාර වර්ණනාව සැහෙන්න දුර ගියා වුනත් ගොඩයාට කියන්න ඕන වුනේ ලංකාවේ ඉන්න යාලු මිත්‍රයින්ට මෙහෙන් ගේන විස්කි බෝතල බාල එව්වා නෙවෙයි කියල කියන එකයි. මොකද මෙහේ දේශීය  නිෂ්පාදන එන්නේ හුඟක් වෙලාවට ප්ලාස්ට්ක් බෝතලේ තමයි. ඉතින් එව්වයේ මිල අඩු උනා කියන එක ගොඩයාගේ වරදක් නෙවෙයිනේ හත් ඉලව්වේ. ඔය ප්ලාස්ටික් බෝතලේ අවුරුදු ගානක් විවේචනය කරන ගොඩයාගේ ළඟ...ම ළඟ මිත්‍රයෙක් ඔන්න මේ ඊයේ රාත්‍රියේ ඒ උන්දෑ ඉන්න රටේ යාලු මිත්‍රයින් එක්ක සෙට් වෙලා. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ ඒ රටේ මධ්‍යසාර බීම සපුරා තහනම් රටක්. අපේ කට්ටිය ඔන්න ඊයේ ගොඩයාට පිංතූරයක් එවනවා අපි බොනවා කියල. ඔන්න ඔය පහලින් තියන පින්තූරේ තමයි එවල තිබ්බේ. 



ඔය තියෙන්නේ වොඩ්කා බෝතලයක් උනාට ඔකේ තියෙන්නේ තනිකරම දේශීය අමුද්‍රව්‍ය වලින් හදපු දේශීය මධ්‍යසාර වර්ගයක්. වැඩේ කියන්නේ එහෙට වෙලා වොඩ්කා බෝතලේ දාගෙන දේශීය තහනම් නිෂ්පාදන බොන අපේ එවුන් ලංකාවට ආවාම රටින් ගේන විස්කි බෝතලේ වටවෙලා විවේචනය කරනවා බෝතලේ ප්ලාස්ටික් නිසා. ඔන්න ඕකයි මිනිස්සුන්ගේ තත්වේ. ඇසුරුම අනුව තමයි හිතේ තියන පිළිගැනීම තීරණය වෙන්නේ. ඕක බොන ගමන් වටවෙලා ප්ලාස්ටික් බෝතලේ විවේචනය කරන එවුන් දන්නේ නෑ ගොඩයා ඔය බෝතල් ටික බෑග් එකේ දාගෙන අහස් යාත්තරාවෙන් බැහැල එද්දී ගුවන් තොටුපොළේ ගේට්ටුව ගාවදි දැනෙන හැඟීම. එව්වා ඉතින් කවදාවත් අගය කරන්නේ නෑ අපේ එවුන්. බොනකොට විවේචනය කරන්න විතරයි දන්නේ. ඕක බොනකම් මෙව්වා ප්ලාස්ටික් බෝතල්, මෙව්වා අඩු ගණන්වල බෝතල්, මෙව්වා වදින්නේ නෑ වගේ කුජීත කතා කිය කියා ගොඩයාව ලිඳේ දැම්මට ඔය බොන පාර්ටිය ඉවර වෙලා ගෙවල් වල යද්දී ඉතුරු වෙන කොට නම් එකක්වත් ආයේ මලාට ගොඩයාට ඉතුරු කරලා ගියේ නෑ ඔය අවුරුදු ගානටම. ඕන ඕකයි ඇත්ත තත්වය.

ඉතින් ගොඩයා ලංකාවට ආවා සනීපෙට. හත් ඉලව්වේ තවත් මල කරුමයක් ගොඩයා සමගම ලංකාවට ගොඩ බැහැලා කියමුකෝ. ඒ තමා අර බාල පෙට්‍රෝල් අරං ආපු තෙල් නැව. අනේ සාදු රටේ ජනතාවගේ වාහන වලට තියන ආදරේටමද මන්ද ආණ්ඩුව එක හරෝලා යැව්වා යැව්වමයි ගොඩයාගේ වැකේෂන් එක කුඩු . පැට්‍රෝල් නැතුව කොහොමද හත් ඉලව්වේ ගමනක් බිමනක් යන්නේ. ඔන්න ඉතින් ගොඩයාත් පැට්‍රෝල් පෝලිමේ. දවස් ගාන ගැන ලංකාවේ උදවියට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. 

කොහෙන් හරි එන බොරු ආරංචි වලට දුර බැහැර පැට්‍රෝල් හොයාන ගිහිල්ලම ගොඩයාගේ කාර් කටුවේ තිබ්බ පැස්ටෝල් ටික අවසන් බින්දුවටම හිඳුනා කියමුකෝ.  යාලුවෙක් හමුවෙන්න රත්නපුර යන්න තිබ්බ ගමනකුත් යාගන්නම බැරුව අලවුනා දවසින් දවස. පැට්‍රෝල් තිබ්බ නැතා ගොඩයා යනු විකල්ප ගැන නිතර හිතනා සත්වයා නිසා භූමිතෙල් ගැන යටි හිත ඉව කරමින් ඉන්නා අල්ලපනල්ලේ ඔන්න එක්තරා රාත්‍රියක ගොඩයාට කෝල් එකක් ආවා ගෝනාපීණුවල පැත්තේ ෂෙඩ් එකක පැට්‍රෝල් තියෙන ආරංචිය. රෑ දවල් මාරුවෙච්චි ගොඩයා මුළු රාත්‍රී කාලයම ඉන්නේ අවදියෙන් නිසා තිබ්බ අවසාන පැස්ටෝල් ටිකෙන් යාන්තම් සන්තං ගෝනාපීණුවලට යාගන්න ඇහැකි කියමුකෝ. ඔය කියන ෂෙඩ් එකේ පැට්‍රෝල් නැතිවුනොත් ගොඩයාට සිද්ද වෙනවා ආයේ ඊළඟ තෙල් නැව එනකල්ම ගෝනාපීණුවල මහපාරේ තපින්න. කෝකටත් පනින්න පෙර හත් අටවරක් හිතන ගොඩයා වටේ ආරංචි කරලා බැලුවාම ඔය කියන ෂෙඩ් එකේ ඥාතියෙක් තමා ගොඩයාගේ නැන්දාගේ පුතාගේ බිරින්දෑ. ඔන්න ඒ මාර්ගෙන් පැස්ටෝල් ආරංචිය තහවුරු කරගෙන ගොඩයා පිටත්වුනා පැස්ටෝල් ගහන් එන්න. ඥාතියා හරහා ෂෙඩ් එකට ඇමතුමක් එහෙමත් දීල යන ගමන නිසා ගොඩයාගේ ට්‍රයි එක ටැංකිය පිරෙන්න තෙල් ටිකක් ගහගෙන පහුවදා රත්නපුරේ යන්න. කොහොමෙන් කොහොම හරි ගොඩයා ෂෙඩ් එක ගාවට ගියා කියමුකෝ.. අප්පද බොල ලංකාවේ තියන සේරොක්කෝම පැට්‍රෝල් වාහන  එතන පෝලිමේ. 

ඔන්න ගොඩයාත් ගියා පැට්‍රෝල් ගහන ටර්න් එකට. බැලුවාම රුපියල් දාහයි එක වාහනේකට ගහන්නේ. ඔන්න ගොඩයා රත්නපුරේ යන සිහිනය බොඳවුනා. ඒත් ලේසියට ගොඩයා එහෙම අතාරින පොරක් නෙවෙයිනේ. පැට්‍රෝල් ගහන කොලුවගෙන් ඇහුවාම කියපි තෙල්නම් ඕනෑතරම් තියෙනවාය ඒත් දාහකට වඩා ගහන්න බැරිය කියන කාරණේ. ගොඩයා ඔය ෂෙඩ් එකට යනවා කිව්වාම අපේ නෑනන්ඩි කිව්වා ෆුල් ටෑන්ක් ගහල දෙන්න කියන්නම් එතනට ගිහින් කෝල් එකක් දෙන්න කියලා උනාට ඒ ඉන්න සෙනග පෝලිමේ හැටියට දාහක් උපරිම ගහන පෝලිමේ ගොඩයාගේ රථයට පමණක් ෆුල් ටෑන්ක් ගැසීම යනු ගොඩයාටත් , පැට්‍රෝල් ගසන කොලුවාටත් එතනම අමා මහ නිවන් දකින්න වෙන සීන් කෝන් එකක්. ගොඩයා කොහොම හත්පොලේ ගාගන්න වැඩ කරන්නේ නැති නිසා ගොඩයා ශේප් එකේ දාහක තෙල් ගහගෙන කාර් කටුව අරං ඉගිල්ලුනා. හැබැයි ඉතින් ගෙදර නෙවෙයි හත් ඉලව්වේ හැතක්මක් විතර දිගට තියෙන පෝලිමේ කොනට. මොකෝ රෑ දවල් මාරුවෙලා ඉන්න ගොඩයා ගෙදර ගියා කියල සනීපේට නිදාගන්නවා නෙමෙයිනේ. ඔහේ ලැප්ටොප් එක දිගැරගෙන ඉස්තෝප්පුවට වෙලා ඉන්නවා විතරනේ එළිවෙන්න හතර පහ වෙනකල්. ඔන්න ඔය වෙලාවට නිකමට හරි වත්තට හොරෙක් පැන්නොත් ඌට මාතර කට්ටඩියෙක් ගෙන්නලා මහසෝන් සමයම නටවන්න වෙනවා වෙනවාමයි. මොකද නිතර දෙවේලේ ඒ ගෙදර දකින්න නැති එකෙක් කට්ට කළුවරේ ඉස්තෝප්පුවේ පුටුවකට වෙලා ලැප්ටොප් එක දිගෑරන් ඉන්නකොට ලැප්ටොප් එකෙන් එලිය වෙන්නේ ගොඩයාගේ පපුවෙන් උඩ කෑල්ලයි මුනත් තහඩුවයි විතරනේ. මල රෑ යක්කු ගස් යන වෙලාවට එහෙම දර්ශනයක් දකින හොරෙක් ආයේ දෙකක් නෑ මුත්‍රා යන්නම භය වෙනවා වෙනවාමයි.

ඔන්න ඔය කිව්ව විදිහට පෝලිමේ හතර වතාවක් මන්ගච්චලා ගොඩයා ජයග්‍රාහී ලෙසටම ෆුල් ටෑන්ක් ගහගෙන ගෙදර ආව එලි වෙන්න කිට්ටුව. ඒ උනාට හතරවෙනි වතාවෙනම් තෙල් පොම්පේ හිටිය කොලුවා ටිකක් අදිමදි කළා තෙල් ගහන්න. අන්තිම වතාවේ ඇඳුනුම්කම කීවාම කොලුවා නැවත තෙල් බටේ ටැංකියට එබුව. ඒ ඔබල ඌ අහනවා කලින් කියන්න එපැයි මහත්තයෝ කියල.. ඉතිං ගොඩයා කිව්වා මේ දෙනෝදාහක් මිනිස්සු මැද්දේ වැඩිපුර තෙල් ගහන්න ගිහින් උඹයි මායි දෙන්නම එලොව යවයි මිනිස්සු ඒ හින්ද මේ විදිහ හොඳයි බාන් කියල.

 ඒ ඇවිත් මුණ කට හෝදගෙන ගොඩයා රත්නපුර යන්න පිටත් වුනා. කෝකටත් කියලා ලීටර් විස්සේ හිස් ගැලුමක් ඩිකියේ දාගෙන ගියේ රත්නපුර ගිහිං ආයේ කොළඹට ඇවිත් ගම්පහටත් ගිහින් ආයේ අම්බලන්ගොඩ යන්න ඔය ෆුල් ටෑන්ක් එක මදි වෙන්න ඉඩ තියෙන නිසා. මෙන්න බොලේ උදේ හයට විතර ඉංගිරියේ ෂෙඩ් එකක තෙල් ගහනවා. මෙලෝ පෝලිමක් නෑ. ගොඩයා හනික යූ ටර්න් එකක් ගහගෙන ගිහින් ටැංකියේ අඩු තෙල් ටිකත් ගහගෙන තෙල් ගහන කොලුවට නොවඳිනා වැඳුම් වැඳලා ලීටර් විස්සේ ගැලුමත් ෆුල් කරගත්තාම තමයි ඔන්න හිතට සැනසීමක් දැනුනේ. 

ඔන්න රත්නපුරේ ගමන ගිහින් ආව කියමුකෝ. ඒ ඇවිත් අර කියපු ලීටර් විස්සත් අහවර වෙලා ආයේ ගොඩයා පෙට්‍රෝල් නැතුව හාමතේ. ඔන්න ආයෙත් ගොඩයාට ආරංචියක් එනවා බටපොල ෂෙඩ් එකේ ගජරාමෙට පැස්ටෝල් ගහනවා කියල. පැස්ටෝල් කිව්වමත් යකඩෙට ඇදෙන කාන්දම වගේ ගොඩයා යනවා දිලන්ත මාලගමුව රේස් පදිනවටත් වඩා වේගෙන් ඔය කීව ෂෙඩ් එක හොයාගෙන. බැලින්නම් කතාව ඇත්ත. ඒත් පෝලිම පොසොන් කාලෙට අනුරාධපුරේ දන්සැල් පෝලිමට එහා. ගොඩයත් කලබලයක් නැතුව පෝලිමේ එහා කොනට එකතු වෙලා පැයකට වඩා කාලයක් පෝලිමේ ඉඳලා ආව කියමුකෝ තෙල් පොම්පේ ගාවට. එතැන වෙනම නීතියක් බැලින්නම්. රෝද හතරට දෙදාහයි, රෝද තුනට දාහයි , රෝද දෙකට පන්සීයයිලු තෙල් දෙන්නේ. ගොඩයා ඒ ගමන හිතාගත්ත හරි ඉතින් දෙදාහ දෙපාරක් ගැහුවාම ෆුල්නේ ඉතින් කලින් අත්හදාබලපු සාර්ථක ක්‍රමවේදය අනුගමනය කරනවා කියල. මෙන්න බොලේ දෙනෝදාහක් පෝලිමේ ඉද්දි දෙනෝදාහක් බලන් ඉද්දි තෙල් ගහන කොලුවා ගොඩයාට ඉස්සරහින් තිබ්බ වාහනේට ෆුල් ටෑන්ක් ගැහුවා කියහන්කෝ. අසාධාරණේ කියන්නේ ගොඩයාට පෙන්නනම බැරි දෙයක්. ගොඩයා කාර් එකෙන් බැහැලා ෂෙඩ් එකේ තෙල් ගහන කෙනාට ඉදිරිපත් කරා  එයාට ෆුල් ගැහුවනම් මටත් ෆුල් ගහන්න ඕන කියන සාධාරණ ඉල්ලීම. 

මෙන්න බොලේ ෂෙඩ් එකේ ඉන්න වයසක කෙනෙක් කියනව ඒ අයිතිකාරයාගේ වාහනේලු.. අයිතිකාරයාට තෙල් ටිකක් ගහගන්න බැරිනම් මෙව්වා කරලා වැඩක් නැහැල්ලු.. හෙන තඩි සයිස් ටෝක්.. ඒ අස්සේ ෂෙඩ් එකේ වයසක උන්දෑ ගොඩයාට සෙලියුලර් දුරකතනයකුත් ගෙනත් දෙනවා මෙන්න අයිතිකාරයා ගොඩයාට කතා කරන්න ඕන කියනවලු.. බටපොල ජනතාව දෙතුන් සීයක් මෝටර් සයිකල් ත්‍රී වීලර් තියාගෙන පෝලිමේ හිටියට කව්රුත් මීක් නෑ කියමුකෝ. කොහොමින් කොහොම හරි ෂෙඩ් එකේ හිටපු වයසක උන්දෑ ගොඩයාට ෆුල් ටෑන්ක් ගැසීම ප්‍රතික්ෂේප කරා. ඒත් හැබැයි දෙනෝදාහක් ඉදිරියේ ගොඩයාට ඉස්සරහින් තිබ්බ වාහනේට ෆුල් ටෑන්ක් ගහල දීල ඉවර වෙලයි එහෙම කරේ. ගොඩයා දන්නවා ෂෙඩ් එකේ අයිතිකාරයා කව්ද කියන එක. ඒ ගමන ගොඩයා කියා හිටියා ඒ වාහනේ අයිතිකාරයාගේ වාහනය නොවෙන වග දන්නා විත්තිය. ඒ ගමන නාකි උන්දෑ කියනවා ඒ වාහනේ අයිතිකාරයාගේ හිතවතෙකුගේ එකක්ලුය, එහෙම බැරිනම වැඩක් නැතිලුය කියල වගේ වගක් නැති අසාධාරණ කතා දාහක්. නාකි හුටන්ගේ සද්දේ ගමටම ඇහෙන්න දාන්න ඇත්තේ ඒක ඒ උන්දැගේ ගම නිසා වෙන්ටෑ.

සති දෙකකට තුනකට ලංකාවට ගිහින් පැට්‍රෝල් ටැංකියක් නිසා කොහෙවත් යන නාකියෙක් එක්ක මරාගැනීම තේරුමක් නැති නිසාත්, ෂෙඩ් එකේ අයිතිකරු කව්ද කියන එක දන්නා නිසාත් ගොඩයා කාර් එක හරවාගෙන එනවා ආයෙත් ටික වෙලාවලින් පෝලිමේ කොනට එන්න හිතාගෙන. මෙන්න බොලේ බටපොල තියන අනික් ෂෙඩ් එකෙත් තෙල් තියෙනව හැබැයි මෙලෝ පෝලිමක් නෑ. ගොඩයා වහාම එතනින් තෙල් ඉල්ලුවාම   වාහනේට ෆුල් ටෑන්ක් එකකුයි ඩිකියේ තිබ්බ ලීටර් විස්සේ ගැලුමට සම්පූර්ණ එකකුයි තෙල් ගහල දෙන්න ඒ ෂෙඩ් එකේ සේවක මහතුන් කාරුණික වෙනවා කිසිම ආඩම්බරයක් නැතුව. ඒක ගොඩයාට විතරක් විශේෂිත එකක් නෙවෙයි. එයාල හැමෝටම ෆුල් ටෑන්ක් දුන්න ආයේ හිතේ ගින්දර නැතුව ගමන ගිහින් එන්න.

ගොඩයා ඔය කලින් ෂෙඩ් එකේ පැට්‍රෝල් සීන් කෝන් එක සියල්ලම ජංගම දුරකතනයේ වීඩියෝ කරගත්තත් ඒ සම්භන්ධයෙන් කිසිවක් කරන්න හිතාගෙන උන්නේ නැහැ. ඒත් අපේ හිතාදර මිත්‍ර රවී ඔය සීන් කෝන් එක ෂෙඩ් එකේ අයිතිකාර තුමාට කියල මගදී හමුවෙච්ච වෙලාවක එතුමා වෙච්ච සිද්දිය පිලිඹදව  එතුමාගේ බලවත් කනගාටුව ගොඩයා හමුවේ ප්‍රකාශ කරා. එතුමාගේ ආචාරශීලී භාවය ගැන වෙනම අගයන්න ඕන සේවක මහතුන්ගේ හැසිරීම ගැන පසුව හිතන්න තියල. ඒ වගේම අර ෂෙඩ් එකේ ඉන්න නාකි හුටං නිසා ඔතන කොයි වෙලේ හරි ගුටි කෙලියක් යන්න ඉඩ තියෙනව රජෝ කියල ෂෙඩ් එකේ අයිතිකරතුමාට කියන්න ඕනෑවුනත් ගොඩයා ඔන්න ඔහේ නිකම් හිටියා ඒක එතුමාගේ තේරීම නිසා. 

ඒත් ඉතින් අච්චර ප්‍රසිද්දියේ අසාධාරණේ පෙනී පෙනීත් බටපොල පැට්‍රෝල් පාරිභෝගිකයින් මීක් නොකිය හිටපු හැටියට ගොඩයාට නම් හිතෙන්නේ ඒ මිනිස්සු ඉවසීම කියන ගුණාංගය තදින් පුරුදු පුහුණු කරපු ජනතාවක්ද ? එහෙමත් නැත්තම් ඉතින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න අපේ රටේ බහුතර ජනතාව වගේම  නිවට නියාලු මිනිස් කොට්ඨාශයක්දෝ කියන කාරණය.

ඔය බාල පැට්‍රෝල් නැවට පින්සිද්ද වෙන්න ගොඩයාගේ නිවාඩුවේ වැඩ ඔක්කෝම අවුල් වුනා. ගොඩයා අවසානයේ ඊළඟ පැට්‍රෝල් නැව ආවයින් පස්සේ කතරගම දෙයිහාමුදුරුවෝ බැහැ දකින්නනම් ගිහින් ආව. ඒ ගිය වෙලාවේ එතැනත් හෙන අසාධාරණයක් සිද්දවුනා ගොඩයාට.

ඔය කතරගම කිරිවෙහෙර ගාව තියන වීදුරු වලින් වටකරපු පහන් වැටේ පහන් පත්තු කරන්න ඒක කිරිවෙහෙරෙන් සල්ලි දීල ගන්න ඕනෙලු. කතරගම අවුරුදු ගානක් රස්සාව කරපු ගොඩයා ඔය වගක් දැනගෙන හිටියේ නැහැ ඒ කාලේ නම්. ඔය පහන් වැට ඔතන ගොඩ නැගුවේ ගල්දූව ආරණ්‍ය සේනාසනයේ දායක දායිකාවන් කියලයි ගොඩයාට මතක. 

කිරි වෙහෙරට මල් පූජා කරලා පහන් පත්තු කරන්න පහලට බැහැගෙන ඇවිත් ගොඩයා යනවා ඔන්න ඔය කියන පහන් වැට තියන ඉසව්වට. ඔන්න ගොඩයා පහන් වැට ඇතුලට ගියා කියමුකෝ. ඒ පහන් වැට තියෙන්නේ සම්පූර්ණයෙන් වීදුරු වලින් වට කරලා උඩින් වහලක් එහෙමත් ගහලයි. මෙන්න යකඩෝ කව්දෝ නාකි පොරක් ගොඩයාට කියනවා අපි අද විශේෂ පහන් පූජාවක් ඒ නිසා කරුණාකරලා එලියට යන්න කියල. බැලූ බැල්මට ගොඩයා හිතුවෙම මන්ද මානසික පොරක් වෙන්ටෑ කියලයි. ඉතින් ගොඩයා තමුන් ගෙනාපු පහන් වැටියක් එහෙම පහනකට දාන්න ලැස්ති උනාම මෙන්න තව ගෑනු කෙනෙක් කියනව මේ පහන් වැට එයාල ගත්තේ කිරි වෙහෙරේ හාමුදුරුවන්ට මුදල් ගෙවලලුය, ඉතින් එකේ අයිතිය එදා දවසේ එයාලට විතරලුය, කරුණාකරලා එලියට යන්නලුය වගේ අසූ හාරදාහට මල පනින කතාන්දරයක්. ගොඩයාගේ කරුමයට ගොඩයාගේ මෑණියනුත් ඔතන ගොඩයා පස්සෙන් හිටිය. ආයෙත් වතාවක් ඔන්න ගොඩයාට අසාධාරණේට එරෙහිව මල අසූ හාරදාහටම පැන්න. ඉතින් ගොඩයා කියා හිටියා අපි පහන් පත්තු කරලා යන්නම්ය ඔබ තුමන්ලා ඒ පහන් නිවා දමා නැවත පත්තු කර ඔබලාගේ විශේෂ පහන් පූජාව කරගන්නය කියන කාරණාව. මොන.. උන් අහයි එව්වා.. උන් එන්නෙම යුද්දෙට.. ඒ මදිවට ගොඩයාගේ මෑණියන් දන්නා කියන ශිල්ප ක්‍රම සියල්ලම දාගෙන ගොඩයාගේ ඇඟේ එල්ලිලා ගොඩයාව එලියට අදිනවා අපි යමු පුතේ අපි යමු කියාගෙන. 

මෑණියන්ගේ බලවත් ඉල්ලීම නිසා ගොඩයා ගේම අතෑරලා පහන් වැටෙන් එලියට ආව උන්දැලා කිරිවෙහෙරේ හාමුදුරුවන්ට සල්ලි දීල ගතපු පහන් වටේ පහන් පත්තු කරගත්තාවේ කියල හිතින් හිතාගෙන. ඒත් එද්දී ගොඩයා නාකි උන්දැට කීව " මේ හලෝ අංකල් ඕක මහ ගොන් ශ්‍රද්ධාවක් මනුස්සයෝ" කියල. ඒත් උන්දැගේ කටේ සවුදමේ නම් අඩුවක් තිබ්බේ නැහැ. එතැනත් ඒ අසාධාරණේ සිද්දවුනේ ගොඩයාලාට විතරක් නෙවෙයි. ඒ වෙලාවේ ඒ පහන් වැටේ පහන් පත්තු කරන්න ගිය හැමෝටම ඒ මෝඩ පවුල ඔය විදිහටම  අවමන් කළා. ගොඩයා ලේසියෙන් අතහැරලා එන්නේ නැති පුතක් නොවෙන බව ගොඩයාගේ මෑණියන් දන්නා නිසා කිරි වෙහෙරෙන් දේවාලෙට ඇවිත් ආයේ ගෙදර එන්න පිටත් වෙනකල්ම ගොඩයාට ඇස ගැටෙනා මානයෙන් ඉවතට යන්න අවසරයක් ලැබුනේ නැහැ. මෝඩ උනත් උනුත් කරන්නේ පිංකමක් කියල හිත හදාගෙන ගොඩයා ගෙදර එන්න ආවත් ගොඩයා ඇතුලේ ඉන්න "වෝල්ටර් වයිට් "චරිතය ( වෝල්ටර් වයිට් කව්ද කියල දන්නේ නැති අය බ්‍රේකින් බෑඩ් රූපවාහිනී කතා මාලාව නරඹන්න ) ඔය මෝඩ මිනිස්සුන්ට පාඩමක් උගන්වන්න ගේමක් ප්ලෑන් කරේ පහන් වැටෙන් එලියට එද්දීමයි. 

ඔය කියන පහන් වැට තියෙන්නේ වටේම උසට වීදුරු වලින් වට කරලයි. උඩින් අමානෝ තහඩු වහලය. ඔය පහන් වැට ඇතුලට යන්න තියෙන්නේ දොරටු තුනයි හෝ දෙකයි. ඒ දෙක තුනම හොඳ යකඩ බම්බු වලින් හදපු ගේට්ටු වලින් සමන්විතයි. හාඩ්වෙයාර් එකකින් ඉබ්බෝ තුන්දෙනෙක් ගෙනල්ල ඔය ගේට්ටු තුනට එළියෙන් දාල ලොක් කරානම් දෙයියනේ කියල විශේෂ පහන් පූජාව හවස් වෙනකල්ම කරගන්න තිබ්බ එළියෙන් කව්රුහරි ඉබ්බෝ කඩල එලියට ගන්නා තුරුම. ගොඩයා ඉතින් හිතේ දඟලන ඒ අසාවට පිටුපාල ගෙදර එන්න ආව මෝඩ උනත් උනුත් කරන්නේ කුසලයක්නේ හත් ඉලව්වේ කියල හිතින් හිතාගෙන අමාරුවෙන් හිත හදාගෙන. කුසලයක් කරද්දී පුළුවන් තරම් පිරිස සහභාගී කරගෙන කිරීමෙන් ලැබෙන ආනිසංස වැඩියි කියන කාරනාව ඒ ගොන් මෝඩ මිනිස්සු නොදැන ඉන්න ඇතිද එහෙමත් නැතිනම් කිරිවෙහෙරේ හාමුදුරුවන්ට මුදල් ගෙවලා ගත්තා කියන කාරනාව ඇතුලේ තිබ්බ මෝඩ උද්දච්චකමද කියන එක දන්නේ ඉතින් උන්දැලාම තමා.

ඒ දෙකෙන් කොයික උනත් ගොඩයාගේ මෑණියන් නොහිටින්න උන්දැලාට පහන් පූජාව නම් සෑහෙන්න වෙලාවක් ඇතුලෙම ඉඳන් පාඩුවේ කරගෙන යන්න අවස්ථාව සලසලා දෙන්න තිබ්බ නේද දෙයියෝ  කියල දැනෙද්දී දැන්නම් ගොඩයාට දැනෙන්නෙම මහම මහ ලෝභ කමක්. මොකද කාලෙකින් ආතෙල් එකක් ගන්න අතටම ලැබිච්ච ෆ්‍රී  චෑන්ස් එක මගහැරුනු නිසා.

පොස්ට් එක සෑහෙන්න දිගවුනාද මන්ද. ඔන්න ඔහොමයි ගොඩයාගේ ලංකාගමනය අසාධාරණයෙන් අලවුනේ.

ගොඩයා ලංකාවේ ඉඳලා ආපහු එනකොට ගොඩයා එක්ක එකට වැඩ කරන ස්පාඥ්ඥ ජාතිකයෝ දෙන්නෙකුට හැම වතාවෙම ගේනවා ශ්‍රී ලංකා සංස්ථා ගල් අරක්කු බෝතලයක්. උන් දෙන්නනම් බෝතලේ ෂොට් දෙකට බීල කිසිම කතාවක් බහක් නැතුව තමුන්ගේ රස්සාව කරගෙන යනවා. . අර ස්පාඥ්ඥ ජාතිකයෝ දෙන්න ඔය ගල් බෝතලේ හරියට සම සමව දෙකට බෙදලා වීදුරු දෙකකට වක්කරගෙන එක හුස්මට බීල දාල වචන දෙකයි කියන්නේ.. ග්‍රාසියාස් අමීගෝ... එතනින් එහා උන් වැඩ.. කිලෝමීටර දාහතරදහස් තුන්සීයක් උස්සගෙන ගිහින් දීලත් විස්කි බීල කවදාවත් ආසාවටවත් ගොඩයාගේ යාළුවො තැන්කිව් කිව්වද??? ම්හ් .. අසාධාරණ නැද්ද හා..


Friday, December 8, 2017

සිරාගේ ගෙදර අපි සහ කැප්ටන්ගේ සිරා කෙරුම්




සිරා යනු අම්බලංගොඩ බ්ලොග් වාසී හැමදෙනාම හොඳින් දන්නා කියනා චරිතයක් නිසා සීරාව වේදිකාවට අලුතෙන් හඳුන්වා දෙන්නට අවැසි බවක් ගොඩයාට දැනෙන්නේ නැතිය. සිරා ගැන මින් පෙර කියවා නැති උදවිය  වීනම් පහත ලින්කු වෙතින් සිරාගේ කියුම් කෙරුම් කියවාගෙන ආවාට වරදක් නැතිය. 




සිරා යනු ආතල් කෝටියක් සපයනා හිතහොඳ සගයකු නිසා මෙව්වුවා ලියුවා කියා සිරා ගොඩයා හා අමනාප වන්නේ නැතිවග ගොඩයා සක්සුදක් සේ දන්නවාය. එය එසේ වුවත් ගොඩයා මේ තනන්නේ සිරා උක්තකොට ලිපියක් ලිවීමට නොව සිරාගේ නිවාස වටා ගොඩනැගුනු මිත්‍රකමේ ඉතිහාස කතාවෙන් බිඳක් ලියාතබන්නටය. ඒ මන්ද යත් සිරාගේ නිවාස යනු සිරා වටා සිටි සියලූම මිත්‍රයින්ට එදත් අදත්  නිවහනක් වූ ස්ථානයක් නිසාය. 

සිරා පාසල් ගියේ දේවානන්ද මහා විද්‍යාලයටය. ගොඩයාද හෝඩියේ පටන් පහ වසර දක්වා දේවානන්ද විද්‍යාලයේ අකුරු කලද එම වසර පහ තුල කිසිදු ආකාරයේ මිත්‍රකමක්, ඇයිහොදයියක් සිරා සමග තිබී නැත්තේය. වෙනත් ආකාරකින් කියනවානම් සිරා යනු දේවානන්ද විද්‍යාලයේදී ගොඩයාගේ ඇහැ ගැටුණු එකෙක් නොවේය. පහ වසරෙන් ධර්මාශෝක විද්‍යාලයට පැමිණෙන ගොඩයා හා සමවයස් වන මීට පෙර පිටසක්වල ජුන්ඩා පොස්ටුවෙන් හඳුන්වා දුන් කැප්ටන් පයිලට් දේවානන්ද විද්‍යාලයේ අකුරු කරද්දී ඔහුගේ ප්‍රාණ සමාන සගයා වූ සිරා ගොඩයාට මුණ ගැහෙන්නේ කැප්ටන් පයිලට් සමග තිබුනාවූ යාළුකම හරහාය. වර්තමානයේ ෆේස්බුකියා  හඳුන්වනා වචනයෙන් කියනවානම් මියුචුවල් ෆ්‍රෙන්ඩ් තත්වයේ තිබූ සිරා සහ ගොඩයාගේ මිත්‍රකම වඩා තහවුරු වන්නේ පිටුවල පිහිටි දිය ඇල්ලක් බලන්නට බයිසිකල් සවාරියක් යාමට ගොසින්ය. එතැන් පටන් සිරා සහ ගොඩයා අතර මිත්‍රකම එදා හා සමානවම අඩුත් නැතිව වැඩිත් නැතිව තිබෙනා එකක්ය. 

සිරාගේ පියාණන්ගේ අභාවයෙන් අනතුරුව ස්වකීය ස්වාමියාගේ ව්‍යාපාර සියල්ලේම බර කරට ගත්දිරිය මාතාවක් වන සිරාගේ මෑණියන් ව්‍යාපාර සමග දවස ගෙවද්දී සිරාගේ නිවස කොලු රැලට ආතල් කෝටියක්  සපයනා තෝතැන්නක් වුයේ නිතැතින්මය. සිරා වටා එකල සිටි මිතුරන් දිනකට වතාවක් කෙසේ හෝ සිරාගේ නිවසට වාර්ථා කිරීම දෛනික රාජකාරියක ස්භාවයක් ඉසිලුවේය. සවසට ක්‍රිකට් ගැසීම පටන් සිදුවන සෑම සියලු ක්‍රීඩා කටයුත්තකටම මධ්‍යස්ථානය වුයේ සිරාගේ නිවසය. අද වෙද්දී ලංකාවේ සුප්‍රසිද්ධ චායාරූප ශිල්පියෙකු වන සිරාගේ මලයාද හැකි සෑම අයුරකින්ම කොල්ලන්ගේ සුඛ විහරණය සඳහා නොඅඩුව දායකත්වය දැක්වුයේ කිසිදු අඩුපාඩුවක් නොවෙන්නටය. 

හැකි සෑම දිනකම හල්වතුරේ ක්‍රිකට් ගසන්නටත් ක්‍රිකට් ගසන්නට බැරිවන අයහපත් කාලගුණික තත්වයන් යටතේ ගෘහස්ත ක්‍රීඩාවන්හි යෙදෙන්නටත් තෝතැන්න සැපයුයේ සිරාගේ නිවසය. එවන් දින වලදී දෙපිලට බෙදී හොරා පොලිස් කිරීම වැනි ත්‍රාසජනක ක්‍රීඩා වලට සියල්ලෝම වැඩි මනාපයක් දැක්වුවෝය. ඔය කියනා හොරා පොලිස් ක්‍රීඩාවේ හොරුද පොලිස්ද කියා දෙපිලක් හිටියද හොරා පොලිසියට හසුවුවද පොලිසිය හොරාට හසු වුවද සිදුවන්නේ එකම සංතෑසියය. ඒ මන්ද යත් සිදුවන්නේ අතට හසුවන එකාට ඉල කැඩෙන්නට පහර දී ඔවුන්ගේ රාජධානිය වන කාමරයේ සිරකර ගැනීමය. එවන් අවස්තාවන්හීදී අතපය හතර බැඳ දැමීම, ඔලුවට කොට්ට උරයක් දමා පහරදීම වැනි දෑ සාමාන්‍ය සිදුවීම්ය. එවන් අවස්තාවකට මුහුණ දුන් අයෙක් වෙතොත් ඔහු නිරන්තරයෙන් උත්සහ කරන්නේ කෙසේ හෝ විරුද්ධ පාර්ශවයෙන් වාඩුව ගැනීමටය. ගොඩයා ඇහැ කණ පොට්ට වෙන ක්‍රීඩාවන්හීදී පසු පාදයේ ක්‍රීඩා කරනා නිසා එවන් ඉල කඩෙන ගුටිකෑම් වලට මැදිහත් වී නැත්තේය. එවන් කෲර වද බන්දන වලට නිරන්තරයෙන් හසුවන්නේ ඉදිරිපෙළ සටන් කරනා කැප්ටන් පයිලට්, සිරාගේ මලයා වැනි වීරෝධාර සෙබළුන්ය. සිරාගේ නිවසේ පසුපස කොටසේ වන සොල්දොර කොටස එක් කඳවුරක් වන අතර පහල කෑල්ලේ පාර්ශවයේ එකෙකු සොල්දොර උඩට කොටුවූවා යනු යලි බේරාගන්න තුරු වහලේ බාල්කයේ කෙසෙල් කැනක් එල්ලා තැබුවා සේ එල්ලා තබා  සුන්දර සුරම්‍ය ගුටි පූජාවක් නෙලනා මෙවුවා එකක්ය. කැටපෝල් කරුවක හෝ අතේ ඇඟිලි දෙකේ ගැටගැසූ රබර් පටියක ආධාරයෙන් තම ගිනි අවිය නිර්මාණය වන අතර එහි උණ්ඩ වන්නේ දෙකට නැමූ කාර්ඩ්බෝර්ඩ් කැබලිය. ඉඳහිටෙක වයර් කැබලි වැනි මෝටාර් උන්ඩත් යුද නීතිය උල්ලංගනය කරමින් භාවිතා වනවාය. 



එවන් ආකාරයෙන් දෙපිලට බෙදී රබර් පටි උණ්ඩ වලින් විදගන්නා ක්‍රීඩා අවස්තාවකදී සිරාගේ මලයාගේ ඇසක් එලියට පනින්නටම උණ්ඩය විදින්නට කැප්ටන් පයිලට් සමත් වන්නේ කැප්ටන් පයිලට් යනු ප්‍රතිවාදියාට කිසිදු සමාවක් නොදෙනා ක්‍රීඩකයකු වන නිසාය. එදින නම් වෙනදා සේ නොවෙනා අතර සිරාගේ මලයා වෙත වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන්නට සිදුවෙනා අතර දින කිහිපයක් යනතුරු සිරාගේ ගෙවල් පැත්ත පළාතේ නොයා හිටින්නට සියල්ලෝම පරෙස්සම් වෙනවාය. ඒ මන්දයත් සිරාගේ මවුතුමිය බැහැදකින්නට වේදෝ යන භයටය. එහෙත් එදා මෙදා තුර එතුමිය කිසිදු දිනෙක සිරාගේ මිතුරන් වන අප කාටහෝ දොස් නැගු අවස්තාවක් ගොඩයා දැනුවත්ව සිදුවී නොමැතිය.  

තමුන්ගේ ඇසට එල්ලකර ප්‍රහාරය වෙනුවෙන් වාඩුව ගන්නට අවස්තාව ලබෙනාතුරු කල් යල් බලමින් උන් සිරාගේ මලයාට තම ස්වර්ණමය අවස්තාව උදාවන්නේ තවත් එවන් දිනෙක හොරා පොලිස් සෙල්ලම් කරද්දීය. සොල්දොර ඉහල මාලයේ ඉදිරිපෙළ සොල්දාදුවන් සීග්‍රයෙන් පසුබසිද්දී කැප්ටන් පයිලට් සොල්දොර කොටසට ඇතුළුවන පඩි පේලියේ ඉහලටම නගින්නට ඔන්න මෙන්නය. සිරාගේ මලයාද සෙල්ලමට පසුබසිනා පුතයකු නොවෙනා නිසා පහලින් එල්ලවන ප්‍රහාරය මැඩ පවත්වන්නට ක්‍රමවේදයක් සොයනා අල්ලපනල්ලේ ඔහුගේ ඇස ගැටෙන්නේ වෙසක් උත්සවය වෙනුවෙන් භාවිතා කර පසු පාවිච්චිය උදෙසා පරෙස්සමට සොල්දොර උඩ තබා තිබෙනා වෙසක් කූඩුවක්ය. ක්ෂණිකයෙන් වෙසක් කූඩුව වෙත ගිනි අවුලුවනා සිරාගේ මලයා ගිනිගන්න වෙසක් කූඩුව කැප්ටන් පයිලට්ගේ හිස මතට අතාරින්නෙ කිසිදු අනුකම්පාවක් නොමැතිවය. එතැන් පටන් හිසේ රැඳී ගිනි ගන්නා වෙසක් කූඩුව සමග ගේ පුරා දුවන්නට තියාගත් කැප්ටන් පයිලට්ව අල්ලා ගින්නෙන් බේරාගන්නා විට කැප්ටන් උන්නැහේගේ දැලි රැවුල පවා ගින්නෙන් ට්‍රිම් වෙලාය. කොණ්ඩයද තිනින් තැන පිච්චිලාය. එවන් සාහසික දෑ එම නිවසේ සිදුවුවද සිරාගේ මවුතුමිය නිවසට පැමිණෙනා කාල වෙලාව වෙද්දී සියල්ලෝම සාන්ත දාන්ත තීන්ත කූඩු බවට පත්වී හමාරය. 

කැප්ටන් පයිලට් යනු එවන් දෑ වලින් පසුබානා චරිතයක් නොවේය. බෙල්ල නැතත් කඳ ෆයිට් වර්ගයේ එකෙකු වන කැප්ටන් රණකාමීත්වය උපතින්ම ගෙන ආ පුද්ගලයෙක්ය. හේගේ රණකාමීත්වය කොතරම්ද යත් විනෝද චාරිකාවක් අතරතුර දිඹුලාගල පුදබිමේදී කොහේදෝ නොදන්නා කොලු ගැටයෙකු සමග ඇතිකරගත් ආරෝවක් යාන්තම් සන්තම් නැවකට ගුටි නොකා බේරී ආවේ වැන්දා නොවැන්දා ගානටය. තනිවම දිඹුලාගල කන්ද තරණය කරනා කොලුවකුට තම බල පරාක්‍රමය පෙන්වූ කැප්ටන් පයිලට් හේතුවෙන් ගොඩයා ඇතුළු දහ අටක්වු අම්බලංගොඩ මිතරු කැල කොයිතරම් අසරනදැයි කැප්ටන් පයිලට් තේරුම් ගත්තේ හැටක පමණ බස් නඩයක පිරිසක් විසින් වටකරගත් අවස්ථාවේදීය. ගොඩයා ඇතුළු සැමටම සහනාධාර ක්‍රමයට කන්නට ඉල්ලා දෙන්නට තැනූ කැප්ටන්ගේ උත්සාහ්යා ව්‍යර්ථ වුයේ කැප්ටන් හැරුණකොට අනෙක් අයවලුන් මුළු බස් නඩයෙන්ම සමාව ඉල්ලා පන ඩිංග බේරාගත් නිසාය. 

සිරාගේ නිවසේ ඔවන් ආකාරයෙන් හොරා පොලිස් සෙල්ලම කරගෙනා ගියා වූ දිනයෙක සෙල්ලම අවසන් වුයේ එකිනෙකා වතුර ගසාගන්නා සෙල්ලමකින් අනතුරුවය. කැප්ටන්ට  තෙමුච්ච කුකුලෙක් ගානට වතුර නාගන්නට සිදුවූ අබග්ගය කොයිතරම් අරෝවක් වුවාද කියතොත් කැප්ටන් සියලු ඇඳුම් උනා දමා සිරාගේ තුවායකින් සැරසී ෆුල් ටයිම් වතුර ගසන්නට පටන් ගන්නවාය. ඒ මන්ද යත් වතුර යනු කැප්ටන්ට ගැරඬියාට භූමිතෙල් ගානටම විෂ මුලද්‍රව්‍යයක් වන නිසාය. කැප්ටන් යනු එකල නාන්නට සෑහෙන්න අදිමදි කළාවූ එකකු බැවින් හේ නාන්නට රැගෙන යාම බල්ලකු නාවන්නට රැගෙන යනවාට වඩා අසීරුය. එය එසේ බැවින් වතුර නැවීමේන් අධික කේන්තියට පත් කැප්ටන් වටේම සිටින අයවලුන්ට වතුර ප්‍රහාර එල්ල කරන්නට පටන් ගන්නවාය. රුවන්ද මෙම සමාගමේ සාමාජිකයකු වන අතර හේ පැසිපන්දු ක්‍රීඩකයකු බැවින් කැප්ටන් වෙත දැඩි ජල ප්‍රහාරයක් එල්ල කිරීමට හේ සමත් වනවාය. කේන්තිය ඉහවහා ගිය කල ජම්බු ගෙඩියක් තරම් රතුවන කැප්ටන්ගේ මුහුණ එදා පිනිජම්බු ගෙඩියක් තරම් රතුවෙන්නටම අසූ හාරදාහට මල පැනලාය. එයට වඩා ආසන්නතම හේතුව රුවන් වෙත ජල ප්‍රහාරයක් එල්ල කරගන්නට බැරි වීමය. එවන් වාතාවරණයක් යටතේ කැප්ටන් වෙත නැවතත් ජල ප්‍රහාරයක් එල්ල කරන්නට රුවන් සමත්වන අතර කැප්ටන් එතනින් එහා තම අවසන් උණ්ඩය රුවනට එල්ල කරන්නට මාන බලනවාය. 

කැප්ටන් සිටිනේ සිරාගේ තුවාය පිටින්ය. අත රැඳෙන්නේ බේසමක් වන අතර එහි තිබෙන්නේ පිරිසිදු ජලය සමග මිශ්‍ර කරන ලද මුත්‍රාය. සියල්ලෝම ඒ ගැන දැනුවත් බැවින් එකෙකුවත් කැප්ටන් වෙත ලංවන්නේ නැතිය. කැප්ටන්ගේ මල අසූ හාරදාහටම පැන ඇති නිසා යන්තම් හෝ මොලය ක්‍රියා කරනා සියල්ලෝම සිරාගේ නිවසින් පිටතට පැමිණෙන්නේ කප්ටන්ගේ මුත්‍රා ප්‍රහාරය නිවස තුලදී කාට හෝ එල්ලවුවහොත් එයින් එහා ඇතිවන අනිටු ප්‍රතිවිපාක සැමටම ඒක සේ විඳින්නට සිදුවන නිසාය. එවකට වෙලාව සවස පහ පමණ වී තිබූ අතර කැප්ටන් තුවාය පිටින් මුත්‍රා බේසම අතැතිව හැමදෙනා පසුපසම එලවා යනවාය. එක වරම රුවන් හා ගොඩයා පසුපසින් කුලරත්න පාර දිගේ එලවාගෙන එන්නට තියාගත් කැප්ටන්ගේ මුත්‍රා ප්‍රහාරයෙන් බේරීමට ගොඩයා ගාලුපාර දිහාවට දුවනවා නොව විදිනවාය. හදිසියේම තම ගමන් මාර්ගය වෙනස් කරන්නට තීරණය කල රුවන් සිරාගේ නිවස ඉදිරිපිට තිබූ හබුරු ගාලෙන් පනින්නට ගොස් පාර අයිනේ කැප්ටන්ට හසුවන්නේ ඉතාමත් අභාග්‍ය සපන්න ලෙසය. වර්තමානය වෙද්දී එම ස්ථානයේ නවීන පන්නයේ නිවසක් ඉදිකර තිබෙනා අතර එකල එහි තිබුනේ හබුරු, කොහිල වැනි ශාඛයින්ගෙන් ගහන වතුර වලක්ය.

කොහිල වලට පනිනවද මුත්‍රා ප්‍රහාරයට ගොදුරු වනවාද යන තීරණය අභිමුව අසරණව ඉන්නා රුවන් දිහා ගොඩයා ඈතට වී බලා ඉන්නවාය. සිරාගේ නිවසේ සිටි අනෙක් අයවලුන්ද පාරට පැන රුවන් මුත්‍රා බේසම ස්නානය කරනා සුන්දර අවස්තාව නැරඹීමට සැදී පැහැදී ඉන්නවාය. කැප්ටන් රුවන් වෙත අඩියෙන් අඩිය ලං වී මූත්‍රා බේසම රුවන් වෙත දමා ගසන්නට හදනවාය. නැවත නවත්වනවාය. නැවත දමා ගසන්නට හදනවාය. පූසෙකු වෙත හසුවූ මීයෙකු වැනිවූ රුවන්ද මුත්‍රා ස්නානය සඳහා සූදානම්ව භයෙන් භිරාන්තව කොහිල වල දෙසට අඩියක් අතබාගෙන අවසන් ජවනිකාව සඳහා සූදානම් වනවාය. තම සහජ ක්‍රීඩා කුසලතාවය සහ පැසිපන්දු ක්‍රීඩකයකු සතු ක්ෂණිකව තීරණය ගෙන ක්‍රියාත්මක වීමේ කුසලතාවය අත්හදා බලන්නට තීරණයක් ගන්නා රුවන් මුත්‍රා ප්‍රහාරයෙන් බේරීමට තමුන් සතු හොඳම තීරණය ඒ අතරේ ක්ෂණිකවම ගනු ලබනවාය. 

ක්‍ෂණිකවම කැප්ටන් වෙත නමෙනා රුවන් තත්පරයෙන් දාහෙන් පන්ගුවන් වැනි කාලයක් තුලදී කැප්ටන් විසින් විලි වසාගෙන හුන් සිරාගේ තුවාය ගලවා අතට ගන්නවාය. එතනින් එහා සිද්දිය ෆුල් වැඩිහිටියන්ට පමණය. කැප්ටන් පාර මැද්දේ මුත්‍රා පිරවූ බේසමක් අතැතිව උපන් ඇඳුමේන්ය. සිරාගේ තුවාය කැප්ටන්ගේ ඉනෙන් ලිහා ගලවාගත් රුවන් උසේන් බෝල්ටත් වඩා වේගයෙන් ඔහුගේ නිවස දිහාවට ඉගිලෙනවාය. යමක් දැනීමෙදී ටියුබ් ලයිට් මොඩලයක් වන කැප්ටන් තමුන් පාර මැද්දේ නිර්වස්ත්‍රයෙන් නේදෝ යකඩෝ යන්න වටහා ගන්නේ තත්පර කිහිපයකින් අනතුරුවය. මුත්‍රා බේසම දෙකකුල් ළඟම  බිම අතහරිනා කැප්ටන් නිර්වස්ත්‍රයෙන් එවකට ධාවන ශූර කාල්ව ලුවිස්ටත් වඩා වේගයෙන් සිරාගේ නිවාස දිහාට දුවනවා නොව විදිනවාය. එවකට කුලරත්න පාරේ ගමන් ගනිමින් සිටි ටියුෂන් දැරිවියන් මොර හඬ දෙමින් හිස් ලූ ලූ  අත  දුවන්නට පටන් ගන්නේ සුසන්තිකාටත් වඩා වෙගයෙන්ය. වැඩිහිටි ගැහැණු උදවියද ක්ෂණිකවම තම දරුවන් ඉවතට හරවා ගන්නවාය. කුලරත්න පාර එවන් ආකාරයෙන් කලබැගෑනියක් බවට පත්වෙද්දී කැප්ටන් සිරාගේ වත්තට අවතීරණ වන දර්ශනය අදත් ගොඩයාගේ හිතේ ජීවමානව මැවී පෙනෙනවාය. ඒ අල්ලපනල්ලේ තවත් වතුර බාල්දියක් අතැතිව සිරාගේ වහල උඩ ස්ථානගතව සිටි කොටා තමුන් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගනිමින් නිර්වස්ත්‍රයෙන් නිවස දිහාවට දුව එන කැප්ටන් නැවතත් පිරිසිදු ජලයෙන් නහවා නිවසට පිලිගන්නවාය. එම වතුර ප්‍රහාරයෙන් අමන්දානන්දයට පත් නිර්වස්ත්‍ර කැප්ටන් සිරාගේ නිවසට අවතීරණය වන්නේ සිමෙන්ති පොළොවේ පය ලිස්සීමෙන් අනතුරුව වන අතර නිර්වස්ත්‍රයෙන්ම  සිරාගේ ආලින්දය දිගේ රූටා ගොඩ පුටු සෙටියේ හැපී නතර වනවාය.

කැප්ටන් ගොයියා මුහුණ දුන් අලකලංචි වලින් මෙහි ලියවුයේ එකක් දෙකක් පමණක් වන අතර ලියවෙන්නට ඇති දෑ බොහෝය. හොස්ස ලඟින් මැස්සා යන්නට බැරි තරම් කේන්ති කාරයකු වන කැප්ටන් ගැන ලිවීමේදී ගොඩයාගේ පරෙස්සම ගැන සිතිය යුතු නිසා ළඟ ළඟ කැප්ටන් ගැන ලියන්නට බැරිය. එවකට වර්තමානයේ ආකාරයෙන් කැමරා ෆෝන් කොල්ලන් කුරුට්ටන් අත රැඳුනා නම් කැප්ටන් රනින් හෙළුවෙන් අන්තරජාල ගතවෙනවා අනිවාර්යය. 

අද දිනට සිරාගේ උපන්දිනය යෙදී ඇති බැව් ෆේස්බුකියා පවසන නිසා අම්බලන්ගොඩ කතා හි හිට් පොරක් වන සිරාට අම්බලන්ගොඩ කතා වෙතින් සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවාය.

කොමෙන්ටුවක් දාගෙන යමු