Tuesday, February 19, 2019

ආදරණීය ඇසංකොටේ





ඇසංකොටේ ගැන බ්ලොග් පොස්ට් එකෙක් ලියන්න කාලෙක හිටං ඕනෑකමක් තිබ්බට ඒක කෙරුනේ නැහැ දවසින් දවස කල් ගියා කියමුකෝ. බ්ලොග් පොස්ට් එකේ මාර්තෘකාව දැක්ක ගමන් අන්දමන්ද වෙන බ්ලොග් පාඨකයින්ට ඇසංකොටේ කියන්නේ කව්ද කියල හරියටම දැනගන්න වෙන්නේ බ්ලොග් පෝස්ටුව පහලට කියවාගෙන ගියායින් පස්සේ තමයි. මොකද ඒක මුලින්ම ලියලා බ්ලොග් පාඨකයින්ගේ කුතුහලය කියන මෙව්වා එක කඩලා දාන්න ගොඩයා උත්සහා කරන්නේ නැහැ. 

ඇසංකොටේ ගොඩයට හමුවෙන්නේ දෙදහස් දොළහ අවුරුද්දේ. එදා හිටං අද වෙනකල්ම ඇසංකොටේට තියන ආදරේ අංශු මාත්‍රයක් අඩුවෙලා නැහැ කියමුකෝ. ආදරේ කියන්නේ පුදුමාකාර හැඟීමක් උනත් ඒ ආදරේ කාලාන්තරයක් තිස්සේ එක හා සමානව අඩුත් නැතිව වැඩිත් නැතුව පවත්වාගෙන යන්න හැම ප්‍රේමවන්තයාටම බැරි කාරණයක්. ඒත් ගොඩයා ඇසංකොටේට තියන ආදරේනම් දෙදහස් දොළහ අවුරුද්දේ අප්‍රියෙල් දහතුන් වෙනිදා ඉඳන් අද වෙනකල්ම එකහා සමානවම එහෙමමයි.  ඇසංකොටේ හමුවෙන්න කලින් ආදරවන්තියෝ සෑහෙන ප්‍රමාණයක් හිටියට ඇසංකොටේ තරම් ගොඩයාව බලාකියාගත්තු සහ ගොඩයාගෙන් අඩම්තේට්ටම් විදපු ආදර වන්තියෙක් මේ මිහිපිට නැති තරම්. ඒ හින්දම තමයි ඇසංකොටේ ගැන තනිකර බ්ලොග් පොස්ට් එකක්ම ලියන්න ඕන කියලා ගොඩයා තීරණය කරන්නේ. 

ගොඩයා ඉන්නේ ලංකාවේ නෙවෙයි කියල බ්ලොග් පාඨකයින් දන්නවනේ. ඉතින් ඕන ගොඩයා මේ රට ඇවිත් රස්සාවක් කරන්න ගත්ත කියමුකෝ. ඒ රස්සාවේ ගොඩයාට ලැබෙන්නේ සුදුසුකමට සරිලන වැටුපක් නෙවෙයි. ඉතින් ගොඩයා හොයලා බලනවා ගොඩයාට තියෙන සුදුසුකම් වලට සරිලන රැකියාවක්. ඔහොම රැකියාවක් සොයමින් ඉන්න අල්ලපනල්ලේ ගොඩයා අර්ධකාලීන රැකියාවක් විදිහට අවන්හලක සේවය කරනවා සුදුසුකමට සරිලන රැකියාවක් ලැබෙනතුරු. ලෝකේ දියුණුයි කියන රටවලට එන අපේ ලංකාවේ අයියලා මල්ලිලා තම තමුන්ගේ යාලු හිතමිත්‍රාදීන් එක්ක පසුකාලීනව කියන්නේ රටට පය ගහපු ගමන් තරු පහේ රස්සාවක් සෙට් වෙලා කිසිම අඩුවක් පාඩුවක් නැතුව සියල්ලම දහමෙන් සෙමෙන් විසඳුනා කියලා උනාට ඔය කියන අයියලාගේ මල්ලිලාගේ බහුතරයකගේ පටන්ගැනීම බොහොම සෝචනීයයි. ඒත් සමහරක් මිනිස්සු තමුන් සුදුසුකමට සරිලන්නේ නැති රැකියාවක නිරතවුනා කියල කියන්න අකමැතියි ස්ටේටස් කුඩුවෙන නිසා. හැබැයි ගොඩයා එහෙම නෑ.. ගොඩයා ලංකාව් ඉද්දි මල් හතට තරු පහේ ජීවිතයක් ගත කරත් රට ඇවිත් ජීවිතේ මහපොළොවේ තියාගත්තේ බින්දුවෙන්. රැකියාවක් නොකර සුදුසුකමට රැකියාවක් ලැබෙනකල් පිටකොටුවේ ස්ටේෂන් එක ගාව පිකට් කරන අය්යලා අක්කලා නංගිලා මල්ලිලා වගේ ගොඩයා කාලය කා දමන්න කැමති උනේ නැහැ. ඒ නිසා අහුවෙන ජොබ් එකේ එල්ලිලා දවසේ වියදම ශේප් කරගන්න ගමන් ගොඩයා උපරිම ට්‍රයි එක සුදුසුකමට ජොබක් සොයාගන්න. ඔන්න ඔය අතරේ තමා ගොඩයාට දෙවැනි රැකියාව සැට් වෙන්නේ. 

රැකියාව සුදුසුකම් වලට හරි වගේම වැටුපත් හොඳයි කියමුකෝ. ඒත් පොඩි පරහකට තිබ්බ කාරණය නම් ගොඩයාට ලැබෙන්නේ නයිට් ශිෆ්ට් එකක්. ලැබිච්ච අවස්ථාව අතාරිනත් බැරි නිසා ගොඩයා ජොබ් ඔෆර් එක ගන්නවා. ඒත් ප්‍රශනය නම් රෑ දෙකට ඕෆ් වෙලා ගෙදර එන්න විදිහක් නැතිකම. මොකද කියනවනම් ඔය කියන රැකියාව කරපු ප්‍රදේශයේ ඉඳන් ගොඩයා ඉන්න පලාතට එන අන්තිම බස් රථය එහෙන් පිටත් වෙන්නේ රෑ දහයට. එතනින් එහා පාරවල් ෆුල් හින්දුස්තාන්.. ආයේ වාහනයක් තියා  මිනිස් පුළුටක් නෑ රෑ දෙක වෙද්දී. ජොබ් එක අතාරින්නම බැරි නිසා ගොඩයා දැන් දහ අතේ කල්පනාව විකල්පයක් ගැන. ගොඩයා ඊට කලින් හිටපු පළාතේ නම් ෆුටාර් එකකින් ගමන් පහසුව සලසාගත්තත් අලුත් පළාතේ රෑ දෙකට ෆුටාර් එකෙන්  දිල්තෝ පාගල් හේ කරගෙන ගෙදර එන එක ටිකක් නෙවෙයි සෑහෙන්න අවදානම්. දන්න දන්නා එකාගේ අවවාදය නම් බුදු මල්ලියේ රෑ දෙකට නෙවෙයි රෑ දහයෙන් පස්සේ ඔය පාරවල්වල ෆුටාර් එකකින් යන එක බෙල්ල අතේ අරං පෙට්ටියක දිගෑදිලා ලංකාවට යන්න වෙන වැඩක් කියලයි. ගොඩයා ඔය කියන තරම් ඔව්වට භයක් නැතිවුනත් නොදන්නා රටක අවදානමක් අරං ජීවිතේ එක්ක සෙල්ලම් කරන්න බැරි නිසා ෆුටාර් විකල්පය හිතෙන අතෑරලා දාන්න ගොඩයාට සිද්ද වෙනවා. ඊළඟට තියන විකල්පය නම් කාර් කටුවක් ගන්න එක උනාට ඒකට හරහට හිටපු එකම කාරනාව නම් ගොඩයාට ඒ රටේ රියදුරු බලපත්‍රය නොමැතිකම. ඒක එහෙම වෙන්න හේතුව නම් රියදුරු බලපත්‍රය ගැනීමට ගොඩයාට අවශ්‍යතාවයක් එතෙක් ඇතිවී නොමැති වීම. ඊට ප්‍රධානම හේතුව නම් ගොඩයා ඊට කලින් හිටපු පළාතේ පැය විසි හතරේම බස් කොච්චි ධාවනය වීමත් මෝටර් රථයක් පුද්ගලික පාවිච්චියට තබාගෙන ඒ වෙනුවෙන් රක්ෂණ මුදල්, නඩත්තු, නැවතුම් ගාස්තු ගෙවීම අනවශ්‍ය කාරණයක් නිසාත් තමා. 

ඒ කියන්නේ දැන් ගොඩයාට ලැයිසමක් නෑ.. ලැයිසමක් ගන්න ගතවෙන කාලය බැලුවොත් අවම මාස හයකට එහා ගතවෙන කාලයක්. මාර්ග නීති සහ සඥ්ඥා සඳහා පවත්වන පරිඝනක පරීක්ෂණය සඳහා පෙනීසිටීමට ලැබෙන දිනය මාස තුනකින් එහා එකක් වීමත්, එම පරීක්ෂණය සමත්වීමෙන් පසුව මාර්ග පරීක්ෂණය සඳහා ලැබෙන දිනය මාස තුනත් හයත් අතර කාලයකින් එහා එකක් වීමත් නිසා ක්ෂණිකවම ලැයිසමක් ගැනීම හීනයක්. ඒ නිසා ගොඩයාට සිද්දවෙනවා වෙනත් විකල්පයක පිහිට පතන්න. ඔන්න ඔය අතරේ තමයි ගොඩයාට සිහිවෙන්නේ අන්තර්ජාතික රියදුරු බලපත්‍රයෙන් රථයක් පදවන්නට හැකියි කියන කතාව. ඉන් පස්සේ තමා ගොඩයා ගූගල් දෙවියන්ගෙන් අහල බලලා හොයාගන්නේ අන්තර්ජාතික රියදුරු බලපත්‍රයෙන් වසරක කාලයක් රථය පදවන්නට පුළුවන්ය කියන කාරනාව. ගොඩයා ලංකාවෙන් එද්දිත් අන්තර්ජාතික රියදුරු බලපත්‍රය රැගෙන ආවත් ඒක ඒ වෙද්දී කල් ඉකුත්වී තිබීම නිසා ගොඩයා හනික ලංකාවෙන් අන්තර්ජාතික රියදුරු බලපත්‍රය අලුත් කරලා කුරියර් එකේ ගෙන්නාගෙන ඊළඟට බහිනවා කාර් කටුවක් ගන්න වැඩේට. 

කාර් කටුවක් ගන්න වැඩේ ටිකක් විතර ඇඩ්වාන්ස් කියලා ගොඩයාට වැටහෙන්නේ කාර් ගන්න ගියාම තමා ඉතින්. අලුත්ම අලුත් බ්‍රෑන්ඩ් නිව් කාර් කටුවක් ගන්න ගොඩයා අතේ හල්ලි නෑ..

අපේ තඩියා ඒ කාලේ කොයියම් ගමනක් යන්න හැදුවත් ඩ්‍රින්ක් එකකට සෙට් වෙන්න හැදුවත් ඕක තමා උගේ කටේ තිබ්බ පලවෙනි වචන දෙක.. හල්ලි නෑ.. මොකද ඌ හම්බු කරපු සල්ලි ඔක්කොම වගේ වියදම් කරේ පෙම්බරිය හමුවෙන්න යන්න, ලියුං ලියන්න පිටු එකසිය අසූවේ පොත් ගන්න වගේ එව්වට තමා... ඔව් හත් ඉලව්වේ ඔව්... ඒ කාලේ අපේ තඩියා පෙම්බරියට යැව්වේ ලියුං නෙවෙයි ලියුං ලියපු පොත්.. ඒ එක ලියුමක් සාමාන්යෙන් පිටු එකසිය අසූවක් විතර දිගයි. තඩියාගේ එවකට පෙම්වතිය ඔය ලියුං කියවලා අපේ තඩියාටත් පිටු එකසිය අසූවක විතර ලියුං පොතක් එවනවා ඉතින්. බොලා අපේ තඩි එකාට අපහාස කරනවා නෙවෙයි ඔන්න.. ඌ ඒ කාලේ හිටං හෙන ප්‍රේමවන්තයා බොක්කෙන්ම.. තඩියා ඒ කාලේ බෝඩිමට ඇවිත් උදේට ලියුමක් ලියන්න ගත්තාම අපි රෑට කාලා නිදාගන්න යද්දිත් තඩියා ලියුම ලියල ඉවර නෑ.. ඔය ලියුං ලිවිල්ලේ තිබ්බ වාසිය නම් ගෙවල්වල වැඩිහිටියන් ලියුං හොයන්නේ අහුමුලුවල නිසා තඩියාගේ ලියුං ගෙදරට මාට්ටු උනේ නෑ කවදාවත්. මොකද කොයි වැඩිහිටියද හත් ඉලව්වේ හිතන්නේ ලියුං වෙනුවට එන්නේ පොත් කියල. ඉතින් පොතක් පෙරලලා බැලුවත් ඇතුලේ ලියුං නෑ.. ඒත් පෙරලලා බලන්නේ ලියුමම තමා කියල වැඩිහිටි පාර්ශවය දන්නේ නෑ.. කොහොමද තඩියාගේ මොලේ. ... හැක්..

තඩියා ගැන ලියන්න ගිහින් ගොඩයා කැලේ පැන්නා උනාට ගොඩයා ලංකාවේ ඉද්දි ඇතිවෙන්න වාහන පැදලා තියෙන නිසාත් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් අරගන්න ගොඩයාට ඕනකමකුත් නෑ. තුට්ටු දෙකට ගන්න ඕනෑතරම් වාහන තිබ්බත් එව්වයේ අයිති කාරයෝ ට්‍රයල් එකක් බලන්නවත් ගොඩයා අතට යතුර දෙන්නේ නෑ ගොඩයා අතේ ලැයිසමක් වෙනුවට තියෙන්නේ කාර්බෝර්ඩ් පොතක් නිසා. ඔන්න ඔය විදිහට කාර් කටුවක් ගන්න සිහිනයත් දවසින් දවස පස්සට ගියා කියමුකෝ.. ඔය අතරේ ගොඩයා අර්ධකාලීන රැකියාව කරපු අවන්හලේ එකට වැඩකරපු චන්දන ( අනවර්ථ නාමයක් ) කියන පොරගෙන් ගොඩයා විමසනවා කාර් කටුවක් ගන්න විදිහක් ගැන.

ඒ වෙද්දී ගොඩයා ලංකාවේ උදවිය යම්තාක් ප්‍රමාණයක් අඳුනාගෙන හිටියත් කාර් එකක් ගැනීම සම්භන්ධව ඇහුවාම උන්ගේ දෙන්නේ හෙන ලොරි ටෝක්. උන් කියන්නෙම ඔය ඉන්ටර්නැෂනල්  ලැයිසන්  වලින් වාහන පැදලා හිරේ විලංගුවේ වැටෙන්න එපා කියලයි. ඒ අතරේ කියන්නේ ලංකාවේ වගේ නෙවේ මෙහේ වාහන එලවන්න හෙන අමාරුයි ඔව්ව කරන්න ගිහින් අමාරුවේ වටෙන්න එපා කියන එක. ඒ කියන උදවියගේ ලංකාවේ ඉතිහාසය නිකමට වගේ ඇහුවාම උන් ලංකාවේදී රෝද හතරේ වාහනේක තියා ත්‍රීවීල් කටුවකවත්  රියදුරු ආසනේ වාඩිවෙච්ච නැති එවුන්. කොළඹ රටේ හැම අස්සක මුල්ලකයි ලංකාවේ වටෙමයි ඇතිවෙන්න වාහන එලවපු ගොඩයාට එව්වා ඇහෙද්දී නම් පස්සපැත්තෙනුත් හිනා. වාහන එළවිල්ලේ ගොඩයාට තිබ්බ ලොකුම අභියෝගය නම් රියදුරු ආසනය වම් පැත්තට මාරුවුනාම තියන වෙනස විතරමයි. ඔය ලොරි ටෝක් දෙන උදවියගෙන් බහුතරයක්ම,  මලාට දන්නා කියන පයින් යන එකෙකුට රයිඩ් එකක් ඔෆර් කරන්නේම නැති තරම්. ඔන්න ඔය වගේ වාතාවරණයක් යටතේ තමා ගොඩයා චන්දනයාගෙන් කාර් කටුවක් ගැන අහන්නේ.

චන්දන ලංකාවේ රැකියාව කරලා තියෙන්නේ සුප්‍රසිද්ධ අමාත්‍යංශයක. ඔය කියන අමාත්‍යංශයේ චන්දනයා කරපු රැකියාව ඒ තරම් ලොකු එකක් නොවුනත් වෘත්තීය සමිති ක්‍රියාකාරකම් වලදී චන්දනයා ටිකක් විතර ප්‍රසිද්ධ පොරක්. ඒ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් නිසාද කොහේ චන්දනයා දවසේ පැය විසිහතරේම ඉන්නේ මොකක්දෝ ලොකු අවිස්වාසෙකින්. කොටින්ම කියනවනම් චන්දනයා හෙවනල්ලවත් විශ්වාස කරපු එකෙක් නෙවෙයි. කොයිදේ ඇහුවත් චන්දනයා දැක්කේ ඒකෙ සෘණාත්මක පැත්ත මිසක් ධනාත්මක පැත්ත නෙවෙයි. චන්දනයා සහ ගොඩයා දෙදෙනාම රැකියාව අහවර වෙන්නේ රාත්‍රී දහයාමාරට වුනත් චන්දනයා කවදාවත් ගොඩයාව අඩුම තරමේ මගට ඇරලන්නවත් ඉදිරිපත් වුනේ නැහැ. චන්දන උන්දෑගේ ටොයෝටා කොරොල්ලාවේ නැගීලා ඉගිලෙන්නේ ගොඩයා දිහා නිකමටවත් හැරිලා බලන්නේ නැතුව. ගොඩයා රෑ දහයාමාරට ඕෆ් වෙලා රාත්‍රී එකොළහට එතනින් යන අන්තිම බසයෙන් තවත් බස් නැවතුමක් වෙත ගොහිං එතනිනුත් තවත් බස් රථයකට ගොඩ වෙලා නවාතැනට යද්දී හැමදාම රෑ දොළහමාරයි. ඒත් චන්දනයා යන පාරේ ගොඩයාව දෙවැනි බස් නැවතුමට ඇරලුවානම් ගොඩයා රාත්‍රී එකොළහයි කාල වෙද්දී ගෙදර. ඒත් චන්දනයා කවදාවත් ගොඩයාට ඒ උදව්ව කරේ නෑ. 

ගොඩයා ඒ කියන අවන්හලේ අර්ධකාලීන රැකියාවක් කලේ ගොඩයා ඉගෙනගත් වෘත්තියකට අදාලව රැකියාව ලැබෙනතුරු නිසා චන්දනයා ඇතුළු අනික් උන් ගොඩයා අවතක්සේරුවට ගැනීම ගැන ගොඩයාට ඒ තරම් තැකීමක් තිබුනේ නෑ.  සමහර වෙලාවල් වලදී දෙතුන් දෙනෙකුගේ වැඩ ගොඩයා තනියම ඇද්දත් එව්වා ගැන වැඩි තැකීමක් නොකළේ ඒ රැකියාව ගොඩයාගේ අවසන් නවාතැන නොවෙන නිසා. අවන්හල් සහ හෝටල් කරුමාන්තය ඇතුලේ චන්දනයා සෑහෙන්න පළපුරුදු පොරක් උනත් ඒ අවන්හල ඇතුලේ චන්දනයා ගොඩයාට වඩා ජූනියර්. ඒත් චන්දනයා නිතර ඉන්නේ පරිසරය ගැන බොහොම අවිස්වාසෙන් නිසා උන්නැහේට නියමිත වැඩ ඇරුනාම අල්පෙනෙත්තක වැඩක් උන්දෑ කරේ නැතිම තරම්. ගොඩයාට වඩා සීනියර් සේවක තැන ඕඩර්ස් දීමට පමණක් උපන් හපනෙකු වීමත් අවාසියට හිටියේ ගොඩයාටම තමා. ජීවත් වීමට රැකියාව කරන  සහ රැකියාව කිරීමට ජීවත්වෙන පුද්ගලයන් දෙපිරිස අතරේ ගොඩයා වනාහි ජීවත්වීම පිණිසම පමණක් රැකියාව කරන්නෙක් නිසා ඕනෑම අදාළ හෝ අදාළ නොවෙන වැඩක් කර දමා සංතෝසෙන් ගෙදර යාම ගොඩයාට සිම්පල්. ඒ නිසා චන්දනගේ ලේබර් ලෝ සහ අනික් එකාගේ හාර්ඩ් ටයිම් ගොදයාට මෙලෝ වගක් නෑ. ඒ වගේම රැකියා ස්ථානයේ චන්දනයා ගොඩයාට වඩා ජූනියර් උනත් ඉහ නිකට පැහුණ වයසක පොරක් වෙච්ච චන්දනයාට ගොඩයා කවදාවත් හාර්ඩ් ටයිම් දෙන්න උත්සහ කරෙත් නෑ. අවන්හල වසා ගෙදර යන අවසන් සේවකයින් දෙදෙනා වශයෙන් කරන්නට සෑහෙන්න වැඩ රාජකාරී තිබුනත් චන්දනයාට බර වැඩ නොදෙන්න ගොඩයා නිරන්තරයෙන් උත්සහ කළා. ඔය වගේ වාතාවරණයක් යටතේ ගොඩයාට සමීපම ශ්‍රී ලාංකිකයා වශයෙන් කාර් කටුවක් හොයාගන්නා මාර්ගය දැනගන්න ගොඩයා චන්දනයාගෙන් උපදෙස් පතනවා අලුතෙන් යෑමට යෙදෙන රැකියාවට යන්න එන්න කාර් කටුවක් ගැනීමේ අවශ්‍යතාවය ඉතාමත්ම දැඩි එකක් නිසා. ඔන්න ඒ දෙබස මෙහෙමයි..

චන්දන අය්යෙ.. උඹ දන්න කාර් එකක් නැද්ද මට ගන්න..

කාර් ගන්න කෝ උඹට ලයිසන්..

හරි බං.. උඹට ලයිසන් වැඩක් නෑනේ.. මට දන්න කියන තැනකින් කාර් එකක් ගණන් විදිහක් සෙට් කරහන්..

ඉතින් ඔය තියෙන්නේ බං ඔනතරන්.. ඔන්ලයින් ගිහින් සර්ච් කරලා බලහන්කො..

හරි බන්.. තියෙනව තමයි.. මට තියෙන්නේ ඉන්ටර්නැෂනල් ලැයිසන් එක නිසා මිනිස්සු ට්‍රයල් එකක් යන්න වාහනේ දෙන්න බයයි බන්..

හරි.. දැන් උඹ දන්නවද ඔය ඉන්ටර්නැෂනල් එකෙන් වාහනේ එලවන්න පුළුවන් කියල..

ඔව්.. හරියටම අවුරුද්දක් පුළුවන්.. 

කාර් එකක් තියෙනව.. හැබැයි ලංකාවේ එවුන්ට විකුනන්නේ නෑ..

ඒ මොකෝ බං ඒ.. ඇයි ලංකාවේ එවුන්ගේ සල්ලි නීත්‍යානුකුල සල්ලි නෙවෙයිද..

එහෙම නෙවේ.. ලංකාවේ දන්න කියන එවුන්ට ඔව්ව වික්කාම උන් මාසෙන් දෙකෙන් ඔව්ව කඩාගෙන අපේ පස්සේ එනව.. ඒ නිසා ලංකාවේ එවුන්ට විකුනන්නේ නෑ..

හරි බං.. මම උඹෙන් කාර් එක අරං ආයේ උඹ පස්සේ එන්නේ නෑ.. මට ඔය කාර් එකේ ගාන කියහන්කෝ..

ගාන දෙදාහයි... සතයක්වත් අඩු නෑ.. ඒත් උඹට දෙන්නේ නෑ.. උඹ ඕක කැඩුනොත් උඹ මං පස්සේ එනව..

නෑ බං නෑ.. උඹ හිතුවද මම මේ ජීවිතේට ගන්න පලවෙනි වාහනේ කියල.. යකෝ මම ලංකාවේ ඇතිවෙන්න වාහන පැදලා ආපු එකෙක්.. මං ඕක ඉල්ලන්නේ යන්න එන්න විදිහක් නැති නිසා මිසක් කසාද බඳින්න නෙවෙයි බන්.. ඕක මට දියන්..

බෑ බෑ බෑ.. උඹල ඔය කිව්වට ඔව්ව කැඩුනාම අපිට මල වදේ..

පිස්සුද බං චන්දන අයියේ.. වාහනේ දියන්.. උඹලෑ ගෙදරින් අරං යදිදී කැඩුනත් මම ආයේ උඹ පස්සේ එන්නේ නැහැ බන්. අනික උඹලාට ඔව්ව හදන්න කරන්න ලොකු සල්ලි ගියාට මට ඕක ගලවලා රෙපෙයාර් එකක් කරගන්න එක සිම්පල්..

හරි බලමු.. මම අපේ වයිෆ්ගෙන් අහල බලන්නම්.. වාහනේ අපේ වයිෆ් පැදපු කාර් එක.. ඊයේ පෙරේදා පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා දැන් හදලා ගෙදර ගෙනල්ල තියෙන්නේ. වයිෆ් ලංකාවේ කෙනෙකුට විකුනන්න කැමති උනොත් උඹට මම කෝල් එකක් දෙන්නම්..

ෂුවර් නේද..

හරි ෂුවර්..

ඔන්න ඔය වගේ තමයි ඒ සන්වාදය ඉවරවුනේ. චන්දනයා කොහොමෙන් කොහොමහරි ගොඩයාට දුරකථන ඇමතුමක් දෙනවා වාහනේ දෙන්න කැමතියි කියල.  ඔන්න ගොඩයා යනවා ඊට පහුවදා උදේක වාහනේ බලන්න..

අප්පට සිරි.. ගනුදෙනුව කතා කරාට වාහනේ ජාතියක් ජම්මයක්වත් ගොඩයා ඇහුවේ නැත්තේ ඒ වෙලාවේ ගොඩයාගේ අවශ්‍යතාවය රෝද හතරක් තියන වාහනයක් මිසක් බ්‍රෑන්ඩ් නේම් එකක් නොවෙන නිසා. ඒ නිසා ජාතිය පිටසක්වල එකක් උනත් ගොඩයා වාහනේ අනිවා ගන්නවා ගන්නවා ගන්නවාමයි. ඔන්න ගොඩයා චන්දනගේ ගෙදරට සැපත් උනා කියමුකෝ.. මෙන්න තියෙනවා නහය මුක්කන් වෙන්න හැප්පිච්ච හුන්ඩායි ඇසන්ට් කාර් එකක්. හැදුවා කිව්වට ඉස්සරහා ඇද ඇරලා නෑ. චන්දනගේ වයිපරේ කොහේ හරි ඉස්සරහින් ගිහිපු පින්වතෙකුගේ වාහනේක පස්සපැත්තෙන් ඇනපු තාලයක් තමා පෙනුමට තිබ්බේ. වාහනේ එක පැත්තක හෙඩ් ලයිට් එක අලුතෙන් දාල තියෙන විත්තිය පැහැදිලිව පේන්න තිබ්බ. හැප්පුනා උනත් පාරේ දුවන්න පුලුවනිනම් ගොඩයාට ජාතකේ අනවශ්‍ය නිසාත්, ගොඩයාගේ රියදුරු බලපත්‍රයේ ප්‍රශ්නය නිසා නොදන්නා කෙනෙක් වාහනයක් නොදෙන නිසාත් ඔය කියන කාර් කොටේ ගොඩයාට මසුරන් පහයි. ගොඩයාට ඕන කොහොම හරි සුන්දරී ගෙදර අරං යන්න. ඔන්න ගොඩයා චන්දනයාගෙන් යතුර හෙම ඉල්ලගෙන ගොඩවෙනවා රියදුරු අසුනට. ගොඩයා ජීවිතේ පලවෙනි වතාවට වම් පැත්තෙන් එළවන්නයි දැන් මේ හදන්නේ.. ඒ අතරේ චන්දනයා සුපුරුදු විදිහට ආයෙත් නාහෙන් අඬනවා.

උඹට ෂුවර් එකකට ඩ්‍රයිවින් පුළුවන් නේද..

චන්දන්යෝ.. උඹ මගෙන් කුණුහරුප නාහ නැගහන් ට්‍රයල් එකක් යන්න..

මොන ට්‍රයල්ද දෙයියෝ.. චන්දනයා ඩ්‍රයිවින් සීට් එකේ එල්ලිලා.. ඔන්න ගොඩයාට මල පැන්න..

චන්දනයෝ.. උඹ ඉස්සෙල්ලම වාහනයක් එලෙව්වේ කොයි අවුරුද්දේද..

දෙදාස්  හතරේ..

එතකොට උඹ ලයිසන් ගත්තේ කොයි අවුරුද්දේද..

දෙදාස් හතරේ තමා බන්..

ඒ කියන්නේ මේ රටට ඇවිත්..

නැතුව ඉතින්..

එහෙනං XXX උඹ දැනගනින් මං ඉස්සෙල්ලම වාහනක්  එලවද්දී තෝ වාහනේක ඩ්‍රයිවින් සීට් එකක වාඩි වෙලාවත් නෑ.. උඹ දැන් තීරණය කරහන් මම ට්‍රයල් එකක් බලන්න යනකොට උඹ එනවද නැද්ද කියන එක විතරක්.. 

ගොඩයා එහෙම කියාගෙන කාර් එක රිවස් එකට දැම්ම.. ඔන්න චන්දනයා කාර් එකේ බොනට් එක උඩින් පැනල ඇවිත් පැසෙන්ජර් සීට් එකේ වාඩිවුනා.. මොකද එහෙම නොකරොත් ඒ වෙද්දී ස්ටාර්ට් කරලා රිවස් එකට දාල තිබ්බ වාහනේ චන්දනයා එතන දාල යන විත්තිය උන්නැහේට තේරුනා.. දැන් කාර් කොටේ චන්දනගේ නෙබර්හුඩ් එකෙන් එලියට දැම්ම කියමුකෝ.. මෙන්න මූ ආයෙත් නාහෙන් අඬනව..

හරෝපන්.. දැන් ඇති.. හරෝපන් ගෙදර යන්න.. ඔය ඇති.. ට්‍රයල් බලන්න මීටර් සීයක් ගියාම ඇති..

ඒ මොකෝ බන්..

උඹේ ඔය කාර්ඩ්බෝර්ඩ් ලයිසන් එකෙන් මේක එළවලා පොලිසියට අහුවුනොත් මාත් ගස්.. උඹ මේක සල්ලි දීල අරං ගිහින් ඕන මගුලක් කරගනිං.. දැන් හරෝපත් ඔතනින් ආපහු..

ඔන්න ඔය වගේ දාහක් දුක් අදෝනා අහං ඉන්න බැරි තැනම ගොඩයා කාර් කටුව ආපහු හරෝගෙන එනවා චන්දනයාගේ ගෙදරට. ට්‍රයල් බලන්න තියා කාර් එක පාරේ හරියට යන්න පුලුවන්ද කියල හොයාගන්නවත් දුරක් චන්දනයා ගොඩයාට යන්න දුන්නේ නැහැ කියමුකෝ. ඔන්න ඊළඟ සංවාදය..

චන්දනයෝ.. උඹලා මේක හප්පුනාට හරියට හදල නැහැනේ...

පී......ස්සුද...බං.. ඔය තියෙන්නේ ෂෝක් එකට..

කෝ උඹල ලයිට් එක අලුතෙන් දාලා විතරනේ.. ඉස්සරහ ඇද ඇරලා නැහැනේ..

උඹට ඔකේ ඇද පෙනුනට මටනම් ඔකේ ඇදයක් පෙන්නේ නෑ.. ඕකනේ මම කිව්වේ ලංකාවේ එවුන්ට මේක දෙන්න බෑ කියල.. 

හරි හරි බං.. මේකේ ඉස්සරහ හදාගන්නත් ඕන නිසා කීයක් හරි අඩු කරලා ඕක දියන් මට..

මම කිව්වනේ.. සතපහක් අඩු නෑ.. ඕනෙනම් අරං පලයන්..නැත්තම් නිකා හිටහන්..

ඔන්න ඔහොම වදෙන් පොරෙන් තමා  චන්දනයාට මුදල් දීල ආදරණීය ඇසංකොටේට අයිති උප්පැන්නේ අරං ඇවිත් රක්ෂණ ආවරණයක් හදාගෙන ආණ්ඩුවේ කන්තෝරුවෙන් නොම්මර තහඩුව ගොඩයා විසින් ලබාගන්නේ. ඊට දවස් දෙකකට පස්සේ තමයි නීත්‍යානුකූලව විවාහ වෙච්චි   ආදරණීය ඇසංකොටේ  ගොඩයා එක්ක ආදරේ බෙදාගන්න හිතාගෙන හාහාපුරා කියල හනිමුන් යන්න  ගොඩයාගේ ගෙදර එන්නේ.

ගොඩයා ආදරණීය ඇසංකොටේ ස්ටාර්ට් කරගෙන චන්දනයාගේ ගෙදරින් පිටත් වෙලා හැතැක්මක් එන්න ලැබුනේ නැහැ කියහන්කෝ ඇසංකොටේ ගොඩයාට CEL කියන ලාම්පුව, ඒ කිව්වේ චෙක් එන්ජින් ලයිට් එක පත්තු කරලා පෙන්වනවා ඔහේ මාව හනිමුන් යන්න අරං ගියාට ඔහේ හිතන තරම් සුපිරිසිදු චරිතයක් මා ගාව නෑ.. හදවත ටිකක් ලෙඩ සහිතයි කියන එක. ඒ කියන්නේ චන්දනයා උපරිමේටම ගොඩයාව අන්දා ඇතිබව විතරක් ගොඩයාට සක්සුදක් දේ පැහැදිලි වෙනව. 

කාර් කොටේ කුමක් නමුත් ලෙඩක් තියෙන වග චෙක් එන්ජින් ලයිට් එකෙන් පෙන්නුම් කලත් නැවත චන්දනයා හොයාගෙන යාම තේරුමක් නැති කාර්යක් වෙන්නේ ගොඩයාට එන්ජිම ස්ටාර්ට් වෙන රෝද හතරක අවශ්‍යතාවය චන්දනයාගේ වංචාව අභිභවා යන්නක් නිසා. ඒ වගේම පාවිච්චි කරන ලද  වාගනයක්  මිලදී ගත් පසුව මතුවෙන රෝගාභාධ වෙනුවෙන් පරණ අයිතිකරුවන් සොයා යාම පටන් ගත්තොත් පරණ වාහන ගන්න එවුන්ට වෙන්නේ පරණ අයිතිකාරයාගේ ගෙදර පදිංචි වෙන්න නිසා ගොඩයා සියල්ල විඳ දරාගැනීමට බලාපොරොත්තුවෙන් ඇසං කොටේ පැදගෙන ගෙදර එනවා. 

එදා පටන් 2018 දෙසැම්බර් මාසේ වෙනකල් ඇසං කොටේ ගොඩයාට දීපු උදව් ලියන්න වචන නෑ.  ඒ අතරේ  ගොඩයාට තමුගේ ෆීල්ඩ් එකට අදාළ රැකියාව ලැබුන නිසා රැකියා කල ස්ථානයෙන් අලුත්ම අලුත් සීරෝ මයිලේජ් වෑන් රථයකුත් ලැබුනා. ඉන් අනතුරුව ගොඩයා අලුත්ම අලුත් ටෝයෝටාවක් ගත්ත හයිවේ වල දුර යන ගමන් වලට ඇසං කොටේ සැර මදි හින්ද. දෙදහස් දොළහ අවුරුද්දේ අප්‍රියෙල් දහතුන දා ඉඳන් දෙදහස් දහසය වගේ වෙනකල් ගොඩයාට අප්‍රමාන මෙහෙයක් ඉටුකරපු ඇසං කොටේ දෙදහස් දහසය අවුරුද්දේ ඉඳන් දෙදහස් දහ අට අවුරුද්දේ නොවැම්බර් මාසය වෙනකල්ම උන්නේ විවේක සුවයෙන්. ඒකට හේතුව උනේ ඒ වෙද්දී ගොඩයා සතුව වෙනත් රථ දෙකක් තිබීම. චන්දනගේ ගෙදරින් නික්මිලා හැතැක්ම භාගයක් එද්දී පත්තුවුන චෙක් එන්ජින් ලයිට් එක කිසිදාක නැවත නොපෙනී ගියේ නෑ. ගොඩයා මෝටර් රථ කාර්මික විද්‍යාව හදාරා තිබෙන නිසා ඔය කියන ලයිට් එක නිවා දමන්න ගොඩයාටත් වැඩි උවමනාවක් තිබ්බේ නෑ. වඩුවාගේ ගෙදර පුටුව නෑ  වගේම කාර්මික ක්ෂේස්ත්‍රයේ සිටිනා අයවලුන්ගේ යන්ත්‍ර සූත්‍රවල ආභාධ යන්ත්‍රය නවතිනතෙක්ම අලුත්වැඩියා නොකෙරෙන ගනයේ එව්වා නිසා ඔය කියන ලයිට් එක පත්තු උනා කියන එක ගොඩයාට වගේ වගක් තිබ්බේ නෑ. වසර දෙකක්ම භාවිතයට නොගෙන ඔහේ ගාල් කර තිබුනාවූ ඇසං කොටේ තවදුරටත් ගොඩයාට අවශ්‍ය නොවුනත් ගොඩයාගේ හිත හදාගෙන ඇසං කොටේ විකුණා දමන්න ගොඩයාට පුළුවන්කමක් තිබුනේ නෑ. ඒ නිසා ඇසං කොටේ හොඳින් බලාගන්න පුළුවන් කෙනෙකුට දීල දාන්න ගොඩයා හිතනවා. ඔන්න ඔය අතරේ තමා ගොඩයාගේ මේ රටේ මිත්‍රයෙක් බෙන්ස් රථයක් අරගෙන අමාරුවේ වැටෙන්නේ..

මොකෝ බෙන්ස් එකේ තත්වේ..

කප්පරක් වියදම් කරා මල්ලි.. ආයේ චෙක් එංජින් එක පත්තු වෙනව ..

හදන්න බැරිද..

හදල වැඩක් නෑ මල්ලි.. දැනට ලංකාවේ සල්ලි වලින් ලක්ස පහකට වඩා වියදම් කරා.. ඒත් ලෙඩ..

එහෙනං ඕක දීල දාල ඇසන්ට් එක අරන් යන්න ඇවිත්..

ඇත්තමද..

හ්ම්...

කීයද ගාන..

සල්ලි එපා.. අරන් ගිහින් ට්‍රාන්සර් කරගෙන පාවිච්චි කරන්න... හැබැයි කාටවත් විකුනන්න එපා.. 

ෂුවර් නේද..

ඔව් බන් ඔව්.. 

එහෙනම් මං බෙන්ස් එක දෙන්නද ඉල්ලන ගානකට..

ඕන එකක්.. කෝල් එකක් දීල එන්නකෝ.. මම කාර් එක ක්ලීන් කරලා තියන්නම්..

ඔන්න ඔය සංවාදයෙන් පසුව දවසක හෙවත් දෙදහස් දහ අටේ නොවැම්බර් විසි එක දා ඇසං කොටේ අලුත් අයිතිකාරයා එක්ක පිටත්ව යනවා ගොඩයාගෙන් නීත්යානුකුලවම සෙපරේට් වෙලා. අද වෙද්දී ඇසං කොටේ වසර කීපයක විවේකය නිමවලා නැවත අලුත් ස්වාමියාට සේවය සලනවා. ඒ දකිද්දී ගොඩයාට හිතට දැනෙන සතුට නිම්හිම් නෑ. 


ගොඩයා ඊයේ පෙර්දාවක සංගීත සංදර්ශනයක ප්ලේ කරා කියමුකෝ. වේදිකාවෙන් පහල දඟර නැටුම් දාන එවුන් අතරේ දැකල පුරුදු මූණක් දැකල ගොඩයා පොඩ්ඩක් ඇහැ දැම්ම. බැලුවාම ගොඩයාට ඇහැ වහල ඇසං කොටේ විකුනපු චන්දනයා මද පමණට  දෙක තුනක් දාගෙන දඟර නැටුම් දානවා සාරුක් ඛාන් පරාදයි. ගොඩයා වැඩේ අහවර වෙලා වේදිකාවෙන් බැහැල ගිහින් චන්දනට හලෝ කියන්න උත්සහ කරත් සුපුරුදු පරිදි උත්සාහය අසාර්ථක උනා. ඇසං කොටේ ගත්තු දවසේ හිටං චන්දනයා හමුවෙන හැම වතාවකම කතාකරන්න රැඳෙන්නේ තත්පර දෙකතුනයි. කාර් එක සම්භන්ධයෙන් ගොඩයා අද වෙනකල් චන්දනට වචනයක්වත් කියලා නැති උනාට චන්දනයා උන්නැහේ කරපු දේ දන්නා නිසාදෝ කොහේ අදටත් ගොඩයාට මූණ දෙන්නේ නෑ .  ලෙඩේ වහලා දුන්නා උනත් චන්දනයාට අදටත් ගොඩයා දොසක් කියන්නේ නෑ වෙලාවේ හැටියට කරේ ලොකු උදව්වක් නිසා.


යක්කු ගස්යන වෙලාවට බස් හෝල්ට් වල රස්තියාදු වෙච්ච එක්තරා කාලෙක, වාහන තියෙන එවුන් උන්ගේ වාහන වල උජාරුව පෙන්නලා ගොඩයාව මහමග දමා ගිය එක්තරා කාලෙක, හිම වැටෙන සීතලේ හැතැක්ම ගණන් පයින් කොටපු කාලෙක,  ග්‍රොසරි ගිහිං පිස්සෝ පිහාට්ටෝ වගේ අතින් කටිං බඩු  මලු උස්සං බස් දෙකතුනේ එල්ලිලා ගෙදර ආපු කාලෙක, ෆේක් යාළුකම් වලින් පරිපූර්ණ මිනිස්සු එක්ක කාත් කව්රුවත් නැති රටක තනි වෙච්ච කාලෙක ඒ යකඩ ගොඩ හිතට කොයිතරං හයියක් උනාද කියල දැනෙද්දී අදටත්  ගොඩයාගේ ඇහැට කඳුලක් උනනවා. යකඩ ගොඩක් වෙනුවෙන් එහෙම සංවේදී වෙන එක විහිළුවක්  වගේ උනත් ඒ සිදුවීම් ඒ හිත් අමාරු මතක් වෙද්දී ගොඩයාට තාමත් ඇසං කොටේ ඉඹින්න හිතෙනව. රට රටවල ගිහින් සක්සස් වෙච්ච මිනිස්සු හැමෝටම කියන්න කතාවක් තියෙනවා. ඒත් බහුතරක් මිනිස්සු කියන්නේ සැප ලයිෆ් එක ගැන මිසක් ඊට කලින් දුක් විඳපු කෑල්ල නෙවෙයි. ගොඩයාගේ රට ලයිෆ් එකේ ඇසං කොටේ කියන්නේ වසර දෙකක දුක්ඛිත කාලයක අවසානය සනිටුහන් කරපු සන්ධිස්ථානයක්. ඒ නිසා ගොඩයාගේ ජීවිතේ ඇසං කොටේ කියන්නේ අමතක කරන්න බැරි යකඩ ගොඩක්.  කොයිතරම් නවීන වාහන පැද්දත් ගොඩයා ජීවත්ව ඉන්නාතුරු ඇසං කොටේ ගොඩයාගේ ඇස් මානයෙන් එහාට යන එක්ක නෑ. අලුත් අයිතිකාරයාටත් එපා වෙච්චි දවසක ආයෙත් ඇසං කොටේ ගොඩයාලඟට එන එක අනිවාර්යයි. ලංකාවේ ඉද්දිත්, පිටරට ඉද්දිත් ගොඩයාට අයිති වෙලා තිබ්බ වාහන වලින් මුදල්මය වටිනාකම අඩුම වාහනේ ඇසං කොටේ උනාට ඉමෝෂනල් වැලිව් එකෙන් ඇසං කොටේට ගහන්න වාහනයක් ගොඩයාට තිබිලත් නෑ තියෙන්නෙත් නෑ.... යකඩගොඩක් වෙනුවෙන් සංවේදී උනා වැඩිද මන්ද...





Monday, February 11, 2019

දත සුද්දා සහ වෙඩින් පාර්ටි..






බ්ලොග් ලිවිල්ල කාලෙකට අල වීමට හේතු දක්වන්න ගියොත් ඒ හේතු දැක්වීම් දිග වැඩි වෙනවා. එහෙම උනාම නිදහසට කරුණු ලියවිල්ල අවසාන වෙන්නත් කලින් බ්ලොග් ලිපිය ලියන එක කම්මැලි කමෙන් අවසාන වෙනවා. ආන් එහෙම ලියන්න කියල ගතපු බ්ලොග් පොස්ට් කීපයක්ම තියෙනවා නිදහසට කරුණු දැක්වීම අතරමග නැවතිලා. ඒ නිසා මේ වතාවේ උත්සාහය කෙලින්ම බ්ලොග් පොස්ට් එක ලියන්න පුලුවනිද බලන්න.

මේ ලියන්න යන දත සුද්දා ගොඩයාට පළමු වරට හමුවෙන්නේ ගොඩයා පහ වසරේ ඉද්දි කියලයි ගොඩයාගේ මතකය. දතසුද්දාගේ සම්පූරන් නම කිව්වොත් දත සුද්දා ලස්සන ලංකාව. නම කිව්වට නමම නොවුනට දත සුද්දගේ නමේ තේරුම ඕන් ඔය ආකාරයෙන් තමා. මේ බ්ලොග් පෝස්ටුව දත සුද්දා  කියෙව්වොත් කුමනාකාරයෙන් ප්‍රතිචාර දක්වයිද කියලා ගොඩයා නොදන්නාව උනත් දත සුද්දා එහෙම වැඩිය කේන්ති යන පුද්ගලයෙක් නොවෙනා කූල් ගනයේ පුද්ගලයෙක් නිසා වැඩිය අවුලක් වෙන එකක් නෑ කියලයි ගොඩයාගේ කල්පනාව. 

දත සුද්දා ගොඩයාට හමුවෙන්නේ අහම්බෙන් නෙවෙයි. ඒක ඇවිල්ල රාජකාරී හමුවීමක් කියලා හැඳින්වුවොත් තමා නිවැරදි. මොකද කියනවනම් දත සුද්දාගේ මෑණියන් සහ ගොඩයාගේ මෑණියන් රැකියා කලේ එකම කන්තෝරුවේ. ඒ නිසාවෙන් දත සුද්දා සහ ගොඩයාගේ සහ සම්භන්ධය ගොඩ නැගෙන්නේ ඕන් ඔයාකාරයෙන් රාජකාරී ස්භාවයෙන්. ගොඩයා වගේම දත සුද්දත් පහ වසරට වෙනකල් පාසල් ගියේ දේවානන්ද විද්‍යාලයට උනත්, එකම පාසලේ එකම කැලෑසියේ උනත්, ඔය කියන මුල් අවුරුදු පහ ඇතුලේ ගොඩයාට දත සුද්දා නම් කවදාවත් හමුවෙලා නෑ. ඒත් පාසල් අවසන් වෙලා මෑණියන්ගේ රැකියාව අවසන් වනතුරු ගොඩයා රැඳී සිටින්නේ ( අමාරුවෙන් රඳවා සිටින්නේ ) මෑණියන්ගේ කන්තෝරුවේ නිසාවෙන් දත සුද්දාටත් සතියේ බොහොමයක් දවස් වලට එම දඬුවමම ලැබී තිබුනා. ආන් එහෙම තමා දත සුද්දා සහ ගොඩයා අතර මිත්‍රකම හට ගැනුනේ.  

ගොඩයාට වඩා ලකුණු කිහිපයක් හරි ගැනීමේ උවමනාව දත සුද්දාගේ මෑණියන්ටද දත සුද්දාට වඩා ලකුණු කිහිපයක් ගැනීමේ උවමනාව ගොඩයාගේ මෑණියන්ටද හීනියට තිබුනා උනත් ගොඩයා සහ දත සුද්දා අතර එවන් තරඟයක් තිබුනේ නෑ. ලකුණු යනු ලැබෙන පමණට භාරගැනීමේ නිහතමානි ගුණය දෙමාපියන් අභිභවා තිබුනා වූ නිසා එකිනෙකා අතර තරඟ කිරීමේ උවමනාවක් ගොඩයා ටත් දත සුද්දාටත් කොහෙත්ම තිබුනේ නෑ. ඒත් තරඟයක් දෙන විදිහට රඟපාන්න සිද්දවුනා. ඒකට හේතුව උනේ දත සුද්දාටත් ගොඩයාටත් මහාපොදු සාධකය වෙච්චි ගෑනු දැරිවියෙක් ඒ  කැලෑසියේම අකුරු කිරීම වෙච්චි.

දැන් ඉතින් මේක කියවන එවුන් කයි කතාන්දර හදයි ගොඩයා සහ දත සුද්දා එකම කෑල්ලකට ලයින් දාල කියල. නැහැ බොලව් නැහැ.. ඒ කිව්වා වූ දැරිවිගේ මෑණියනුත් දත සුද්දාගේත්, ගොඩයාගේත් මෑණියන් රාජකාරි කල කන්තෝරුවේ රාජකාරි කරපු තවත් සමකාලීන රාජ්‍ය සේවිකාවක්. ඉතින් කියහන්කෝ ගැලවීමක් තියේවිද කියල. අර කිව්ව තුන්වෙනි ඇන්ටිය තනිකරම උන්නේ අජ්ජහපන ගේම අතට අරගෙන කිව්වොත් තමා නිවැරදි. කිව්වට ලජ්ජා නෑ ඒ ඇන්ටිගේ දෝනි හැම වතාවෙම ගොඩයාටත් දත සුද්දාටත් වඩා සෑහෙන ඉදිරියෙන් ලකුණු ගත්තු බ්‍රයිට් කේස් පොජ්ජක්. ඉතින් කියහල්ලකෝ කොහොමද කොම්පීට් කොරන්නේ කියල. එහෙම කියල අපි පරදියිද.. නෑනේ.. නෑනේ .. දත සුද්දා සහ ගොඩයා ලෙසටම අජ්ජහපන ගේම ඔලිම්පික් සයිස් එකෙන් කියමුකෝ. රඟපාන්න ඉතින් අපිට අමුතුවෙන් කියාදෙන්න ඕන කියලද.. දත සුද්දත් ලෙසටම රඟපානකොට ගොඩයත් ලෙසටම රඟපෑම දෙවැනි නෑ . අර කිව්වා තුවෙනි ආන්ටිය විෂයන්ෂ  අටටම ටියුෂන් හොයාගන්න තිබ්බ සහජ දක්ෂතාවය නිසාදෝ දත සුද්දාටත් ගොඩයාටත් සාපෙළ අවසන් වනතුරුම ටියුෂන් මාරයාගෙන් බේරෙන්න කරේමයක් හොයාගන්න බැරිවුනා. බ්‍රයිට් කේස් දැරිවිගේ මෑණියන් ටියුෂන් පන්තියක් හොයාගත්තාද ගොඩයා සහ දත සුද්දා මානව අයිතිවාසකම් රහිත ආකාරයෙන්ම ඒ ටියුෂන් පන්ති වලට ගාල් කෙරුනා. ගොඩයා සහ දත සුද්දා අතර කිසිදු තරඟයක් නැති වුනත් ලැබෙනා ලකුණු ප්‍රමාණයට තවත් ලකුණු විස්සක් තිහක් එකතු කර ගෙදර පොර වීමේ අභාග්‍යය අහිමිවුණේ අර කිව්ව බ්‍රයිට් කේස් දැරිවි රාජතාන්ත්‍රික මට්ටමෙන් අප ලබනා ලකුණු මාධ්‍ය වෙත නිකුත් කිරීම සිදුකල නිසා. ඒ වගේම කම්මැලි හිතුනු දවසක පන්තියක් කට් කිරීමේ වාසනාව අහිමිවුනෙත් ඔය කිව්ව දැරිවි සහ එයැයිගේ මෑණියන් නිසා. ගොඩයා සහ දත සුද්දා ක්ලාස් කට් කරන්න කතා බහක් දැම්මද එව්වා ලත් තැනම ලොප් වෙන්නේ අර කිව්ව දැරිවිගේ පියාණන්ගේ මෝටර් සයිකලේ ටියුෂන් පන්තිය ළඟ නවත්වන දුක්බර දර්ශනය දුටු සැනින්. 

දත සුද්දා ගැන සුවිශේෂ කරුණු කාරනා බොහොමයක් තිබුනත් බ්ලොග් ලිපිය දිග වෙන්න ඉඩ තියෙන නිසා එයින් කීපයක් මෙහිලා ලියන්නයි කල්පනාව. පළමු කාරණේ  අපේ පින්නදූවේ රවීගේ වෙඩිම. වෙඩිම කිව්වට ඇට්ටෝම්එක.. රවීගේ වෙඩිමට අපිට ආරාධනා ලැබිල තිබ්බේ රාත්‍රී සාදය සඳහා. ඕන් මේසයක් වටේ වටවෙලා එකිනෙකා ලිඳේ ඔබමින් ඉන්නා අල්ලපනල්ලේ දත සුද්ද ක්ෂණිකයෙන් නැගී හිටිනවා.

වරෙන් පොඩ්ඩක් පාරට යන්න..

ඒ ආරාධනාව ගොඩයට.. හැබැයි ස්වරූපයෙන් දත සුද්දාට මොකක් නමුත් හදිසියක්.. ඕන් ගොඩයත් දත සුද්දා සමග පාරට මන්ගච්චන්ව. මෙන්න බොලේ දත සුද්දා ගොඩයාව ඇදගෙන පාර දිගේ කන්ද පහලට දුහන්න පටාන් ගන්නවා විදුලි වේගෙන්. ගොඩයාට ඔය දිවිලි පනිලි වැඩිය බෑ. තිබ්බ තැන ඔහේ මාසයක් හමාරක් ඉන්න පුළුවන් කම තිබ්බත් දිවිලි පැනිලි කියන්නේ ගොඩයා එතරම් කැමති මෙව්වා ජාතියක් නෙවෙයි. දත සුද්ද දක්ෂ පැසිපන්දු ක්‍රීඩකයා නිසා උන්නැහේට දිවිලි සිම්පල්.. දත සුද්දාට මොකක්ම නමුත් ශාරීරික අවශ්‍යතාවයක් වෙන්ටෑ කියල හිතාගෙන ගොඩයත් දිව බිම ගෑවෙන තරම් හති දාගෙන දත සුද්දා පස්සෙන් දුවනවා. ඇයි හත් ඉලව්වේ ශාරීරික අවශ්‍යතාවයක් උනත් වෙඩිම තිබ්බ රවීලගේ ගෙදර ඒ ඒ දේවල් වලට පහසුකම් ඕනෑ පදම්. ඉතින් මක්කටෙයි මේ කළුවරේ සුසන්තිකාටත් වඩා වේගෙන් පාරදිගේ දුවන්නේ. දුවන ගමන් ගොඩයා පුළුවන් ආකාරයෙන් දත සුද්දාට කියනව ඔය ඇති හත් ඉලව්වේ ඔය පඳුරකට අල්ලහන් කියල. මොන.. ඌ අහයි එව්වා.. ඕන් කොහොම හරි රවීගේ වෙඩිමේ සද්දේ නෑහෙන දුරකටම කිව්වොත් මීටර් දෙතුන් සීයක් දුවල අහවර වෙලා ඔන්න දත සුද්දා නැවතිපි. 

දැන්වත් ඔය පඳුරකට අල්ලලා යමන් බූරුවෝ... උඹ එක්ක රේස් දුවල දිව ගිලෙන්න එනවා.. ඔච්චර දුර දුවන්න ඕනෙද ඕකට..

ශූ....ශූ....ශූ...

යකෝ ගොඩය හිතුවෙම සර්පයෙක්වත් පිඹිනවද කියල කළුවරේ.. බැලින්නම් දත සුද්දා කට හරහට ඇඟිල්ල තියල සද්ද නොකර ඉන්න කියල කියන්නේ ගොඩයට.. ගොඩයා ටිකක් භයවුනත් එක්ක.. ඇයි යකඩෝ පොඩි කාලේ ඉඳන් දන්නා එකා උනත් මේ කළුවර පාලු තැනකට ගොඩයාව අරං ඇවිත් ශූ ශූ කිව්වාම මොනාද අප්පා නොහිතෙන්නේ.. ගොඩයා කෝකටත් කියල ලෑස්තිවුනේ නම්බුව බේරාගෙන ආපහු දුවන්න.. කව්ද අප්පේ දන්නේ මූ කොහෙන් හරි නරක පුරුද්දක්වත් පුරුදු වෙලාද කියල.. බැලින්නම් එහෙම එකක් නෑ.. දත සුද්දා ෆෝන් එක කනේ තියාගෙන කෝල් එකක් ගන්න තනනවා.. 

හෙලෝ.. අනේ බබා මට කෝල් එක මිස් උනානේ.. මම බාත්රූම් එකේ හිටියේ..

@$##&*$%$%#&$%&&$%%#&*(#%%@&*#&^^# ( එහා පැත්තෙන් කතා කරන කෙනා කියන දේ ගොඩයාට ඇහුනේ නැති උනාට වනන්නේ දත සුද්දාගේ ගුණ ගායනාවක්  කියන එක ගැන සැකයක් නෑ.. මොකද එව්වා අහං ඉද්දි දත සුද්දගේ මූණ කජු ලෙල්ල වගේ )

නෑ බබා නෑ... අද බස් එක කෙටුවනේ කෙටිල්ලක්.. කොළඹ ඉඳන් අම්බලන්ගොඩටම හිටගෙන අනේ.. හරිම අමාරුයි..

#$%@^&*(*&^%$#$%^&*(*&^$$@@@#$$!@#$%^ 

නෑ බබා නෑ.. ඉතින් ඕකනේ කියන්නේ.. ඔයාට තේරෙන්නේ නෑ.. වෙනදට පැය දෙකහමාරෙන් එනවා උනාට අද පැය තුනහමාරක් ගියා.. ඒ අතරේ මගේ ෆෝන් එක ඔෆ්වෙලා දන්නෙම නෑ බැටරි බැහැල...

)(*&^%$#@!@$%^&^*^*%&^$^%#%$@#@#%^%&*)(^&^(*)^*%&$^%#%@#@%

නෑ බබා නෑ... මම ආපු ගමන් ෆෝන් එක චාර්ජ් එකට ගහල බාත්රූම් එකට ගියා.. ඔලුව පැලෙන්න වගේ කැක්කුමයි.. මෙහෙමම නිදාගන්න කියල හැදුවේ...

(*&^%$##$%^&&^%&^$%^%$@#$#@$%$&^^(*&*^&^&^%^$

ආ..... ඔයා ගෙදර ෆෝන් එකට ගත්තද... මේ එහාගෙදර මිනිහා කොස් ගහක් කපන්න ගිහින් ටෙලිෆෝන් වයර් එක්කම ගහ බිමදාලානේ... ටෙලිෆෝන් හදන්නේ හෙටලු...

#%^&*(&%$#%^&^(*&(^$^$#%$

නෑ බබා කරන්ට් ලයින් එක යන්නේ පාරේ එහා පැත්තේ නිසා වාසනාවට ලයිට් තියෙනව..

*&^%%##@#$%^&)*&(%*&^$#%$%$^&&^*%&#%$#@$%^

බෑ බබා දැන් කන්න බෑ... මගේ ඔලුව පැලෙන්න වගේ කැක්කුමයි... මම නිදාගන්නවා.. 

#$%$^%&^$%#^

ඔව් බබා.. මම පෙනඩෝල් දෙකක් බිව්වා..

$%^&*(*&&^$%$%^$^&^*&#

හා බබා එහෙනම් ගුඩ් නයිට්.. තෙරුවන් සරණයි..

$%&^%&^$%^

ඔන්න ඔහොමයි දත සුද්දගේ වෙන්ඩ වයිෆ්බබා නැළවිල්ල.. ගොඩයා දත සුද්දාගෙන් හරස් ප්‍රශ්න ඇහුවේ නැති උනාට ගොඩයා උපකල්පනය කළා දත සුද්ද වෙඩිමට එන්න කලින් ගෙදර ලෑන්ඩ් ෆෝන් එකටත් වැඩේ දීලයි ඇවිත් තියෙන්නේ කියන එක.. එහෙම නැතුව ලෑන්ඩ් ෆෝන් එක වැඩ කරනාම් දත සුද්දගේ බේගල් අතේ මාටු වීම අනිවා.

ඊළඟට තවත් කාලෙකට පසුව තිබ්බ අපේ මිත්‍ර මංජු මෙන්ඩිස්ගේ වෙඩිම.. රෑ දවල් සඳහනක් නැති උනත් වෙඩිම දත සුද්දාටත් ගොඩයාටත් දෙන්නටම ආරාධනා ලැබිල තිබ්බ.. ඊට සතියකට විතර කලින් දත සුද්දා ගොඩයා සමග එකට වෙඩිමට යෑමට ගිවිසගත්තේ පොරොන්දු සහිතවයි. කළුවරේ පාරවල් ගානේ දිවිලි මේ වතාවේ බෑ. 

දත සුද්දා කිව්ව විදිහට වෙඩිමට එන සෙට් එක හැමෝම එන්නේ රාත්‍රී කාලයේලු. ගොඩයා කාටවත් දුරකථන ඇමතුම් දීලා වෙලාවල් කලාවල් විමසුවේ නැත්තේ දත සුද්දා ඔය විස්තර ගොඩයාටත් වඩා හොඳින් දන්නා නිසා. ඕන් වෙඩිම දවසේ ගොඩයා යනවා දත සුද්දාව අරං එන්න. මොකද කියනවනම් දත සුද්ද්ද කලින්ම ගොඩයා අමතා කියා හිටියා එක කාර් එකේ යමු මචං කියන එක. දත සුද්දා සමග රාත්‍රී වෙඩින් එකකට ගිහින් කලිනුත් අත්දැකීමක් තිබ්බ නිසා ගොඩයා ස්වේච්චාවෙන්ම ඉදිරිපත් උනා එහෙනම් රජෝ මගේ කාර් එකේ යමන් කියල. ඒකට එකම සහ අවසන් හේතුව උනේ වැරදිලාවත් දත සුද්දාගේ මෝටර් රථයෙන් වෙඩිමට ගිහින් හදිසියෙවත් දත සුද්දා අතුරුදහන් උනොත් ගොඩයාට සිද්දවෙන්නේ හැතැක්ම පහ හයක් පයින් කොටන්න. වෙඩිම තිබ්බ පළාතේ රෑ වෙද්දී හයරයට ත්‍රීවීල් කොටයක් හොයාගනීමත් ටිකක් විතර අපහසු පලාතක් කියමුකෝ. ඕන් ගොඩයා යනවා දත සුද්දාවත් දාගෙන වෙඩිමට. ඒත් වැඩේ කියන්නේ වෙඩිම තියෙන ගෙදර පැත්තේ කිසිම හාවක් හූවක් නෑ. දත සුද්දත් ඉතින් ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ ඇස් දෙක ලොකු කරන් ගොඩයා දිහා බලාන ඉන්නවා..ගොඩයා වෙඩිම තියෙන ගෙදර ලඟින් රථය නවත්තගෙන ගේ දිහා බලාන ඉන්නවා. සාමාන්‍ය ස්වරූපයක් ඇරෙන්න වැඩිය මුකුත් නෑ. වෙඩිමක් කිව්වට හෝම් කමින් එකක් නිසා ඉතින් එහෙව් ආකාරයෙන් තියෙන්නේ විදිහකුත් නැති නිසා ගොඩයා රථයෙන් බැහැල මදක් විපරම් කොරද්දී මේන් බොලේ මනමාල මත්තයා ඉන්නවා ගේ ඇතුලේ වාඩි වෙලා.. බැලින්නම් ඇට්ටෝම් පාටිය තිබිල තියෙන්නේ දවල්. ඕන් දත සුද්ද කිව්වා ආකාරයෙන් රෑට එනවා කිව්වා ඔක්කොම සෙට් එක දවල් ඇවිත් ඇතිවෙන්න කාල බීල විනෝද වෙලා හැන්දකොරේ ගෙවල් වලට විසික් වෙලා. ඒ උනාට අපේ හිතාදර මංජු මෙන්ඩිස් ගොඩයාටත් දත සුද්දාටත් දවල් ආපු එවුන්ට සලකපු ආකාරයෙන්ම සලකන්න අමතක කරේ නෑ. ඒ උනාට ඉතින් ගොඩයා උන්නේ අප්සැට් එකේ. මොකද කියනවනම් මංජු මෙන්ඩිස් ගොඩයලාගේ දුරින් ඥාති වෙන නිසා ඒ වැඩිහිටි පාර්ශවයන්ට පේන්න කටේ තොලේ ගාගන්න ගොඩයාට අප්සැට්. දවල් පාටියට ගියානම් ඔව්ව වැඩිය හයිලයිට් වෙලා කාටවත් පෙන්නේ නැති වෙන්න තිබ්බ. කොහෙද ඒකත් දත සුද්දා විසින් විනාස කර දැමුවා නොවැ. හැබැයි ඒ වැඩේ අහවර කරලා දත සුද්දා ගෙදරින් බස්සද්දී ගොඩයා වැඩි පරෙස්සම උදෙසා දත සුද්දගේ ගෙදර ඉස්සරහින්ම වාහනේ  නවත්තන්නේ නැතුව හරවගෙනම ඇවිත් පොඩ්ඩක් මෙහායින් බැස්සුවා. මොකද කියනවනම් දත සුද්ද ඊළඟට ගොඩයා මත පහත් කරනා බාල්දිය කුමනාකාර එකක්ද කියල ගොඩයට වැඩි ෂුවර් එකක් තිබ්බේ නෑ.

ඕන් ඕයි ආකාරයෙන් දත සුද්දාගේ වෙඩිමත් ලං උනා. හැබැයි දත සුද්දාගේ වෙඩිම දවසෙම ගොඩයාගේ එවකට බොසෙකුගේ පියාණන්ගේ අවමංගල කටයුත්තකුත්  යෙදුනා කියහන්කෝ . කාර්යාල සගයින් සියල්ලෝම සහභාගිවෙන මලගේදරක් වෙච්චි බොසාගේ පියාණන්ගේ මළගෙදර තිබ්බේ දඹුල්ලෙ. දත සුද්දාගේ වෙඩිමේත් කලින් වෙඩින් දෙකේම වගේ කුමනාකාර සප්‍රයිස් වීමකට භාජනය වෙයිදෝ කියන සැකෙත් තිබ්බ. කාර්යාලයීය සගයන් බොහොමයක් සහභාගී වන නිසා ගොඩයාට මළගෙදර මගහරින්නට ක්‍රමයක් තිබ්බෙත් නෑ. ඒ නිසා ගොඩයා අකමැත්තෙන් උනත් දත සුද්දාගේ වෙඩිම අමතක කරලා දාල දඹුල්ලේ මළගෙදර යන්න පිටත් වෙනවා. කාර්යාල කස්ටියක් මළගෙදරක යාම ඉතින් මගුල් ගෙදරක යාමෙන් වෙනස් වෙන්නේ ඇඳුම් ආයිත්තම් වල වෙනස පමණයි කියල දන්නේ එව්වට සහභාගී වෙච්ච අය පමණයි. අවසානයේ මළගෙදර ගිහින් එද්දී මැරිලා හිටියේ මොකාද කියලවත් නොදන්නා තරමට කාල බීල සින්දු කියල විනෝද වෙලා තමා අවමංගල චාරිකාව අවසන් වෙන්නේ. ඒත් හැබැයි කොයිතරම් අකමැත්තෙන්  සහභාගී උනත් ගොඩයා දත සුද්දාගේ වෙඩිමට නොගොහින් මළගෙදර ගිය එක ගැන අදටත් සන්තෝසයි. මොකද කියනවනම් දත සුද්දගේ වෙඩිමේ කාටවත් රහමෙර බොන්න දීල තිබ්බේ නෑ. ඉතින් ඔතනට ගොඩයා ගියානම් කඩෙන් ගෙනත් බීල නටපු එවුන්ගේ නම් ලිස්ට් එකට ගොඩයාගේ නමත් එකතු වෙනවා දෙකක් නෑ.  ඒ වගේද එව්වා මෑණියන් වරුන්ගේ රාජතාන්ත්‍රික සම්භන්ධයන් හරහා ගෙවල් වලට ආරංචි උනාම..

දත සුද්ද දැන් ඔසී රටේ පුර වැසියෙක්. හැබැයි මේ සක්වලේ කොහේ ජීවත් උනත් දත සුද්දා එදා වගේම අදත් මැසේජ් එකක් දාපු ගමන් කෝල් කරනවා. හැබැයි ඉතින් ඒ සමහරක් වෙලාවට දත සුද්දාට මහ දවල් උනාට ගොඩයා ඉන්න රටේ මිනිස්සු හීන බල බල නිදි. 

ඔයිට අමතරව තවත් එක අවස්ථාවක දත සුද්දා ගොඩයාව අමාරුවේ දැම්ම. ඒ තමා කෝච්චියට ගල් තියල අම්බලංගොඩ බස් ස්ටෑන්ඩ් එකට අල්ලපු ගෙදර ඉන්න කමල් සර්ගේ මෑණියන්ට මාට්ටු උණ වෙලාවේ දත සුද්දා ගොඩයා දාල පැදුරටත් නොකියා පැනල දිව්වා කියහන්කෝ. කෝච්චියට ගල් තියමු කියල යෝජනා කරලා අහවර වෙලා මාට්ටු වෙලා පිටිපස්ස බැලින්නම් එතකම් රේල් පීල්ල දිගේ ගල් තිය තියා ගොඩයා පස්සෙන් ආපු දත සුද්දා ඉර්ධි වෙලා..

ඔසී රටේ ඉන්න ගොඩයලාගේ යාලු මිත්‍රයෝනම් කියන්නේ ඒ කාලේ වෙන්ඩ වයිෆ් වෙච්ච දැන් වර්තමාන වයිපරේට දත සුද්දා පොඩ්ඩක්වත් භය නෑ කියලයි.. හැක්...