Sunday, February 27, 2022

එයාට වයස විසි දෙකයි.. මට වයස හතලිස් තුනයි..






මට දැන් වයස හතලිස් තුනක්.. ලංකාවේ ඉපදුන, ලංකාවේ ජිවත්වෙන මනුස්සයෙක් විදිහට මම දැන් පහුකරමින් ඉන්නේ මැදි වයස. මිනිස්සු මැදි වයසේ මනුස්සයෙක් කියලා කියන්නේ මගේ වයසේ මනුස්සයන්ට කියල මතක් වෙද්දී ඉබේම පහලට සුසුමක් වැටෙන්නේ ඇයි කියලා කියන්න මම ඇත්තටම දන්නේ නෑ.. ලෝකේ දියුණුයයි සම්මත රටක ඉපදුනානම්, මම ඉන්නේ තරුණ වයසෙ . ඒත් ලංකාවේ එහෙම නෑ. ඉපදුන, ජීවත්වෙන රටට සාපේක්ෂව, මම දැන් දරුවෝ දෙතුන්දෙනෙක් ඉන්න තාත්ත කෙනක් වෙන්න ඕන.. ඒත් වයස හතලිස් තුනක් වෙද්දීත් මං එහෙම නෑ. ..
මට බිරිඳක් නෑ. ඒත් ඒ කියලා මම සිංගල් නෙවෙයි. මම ඩිවෝර්ස් වෙච්ච මනුස්සයෙක්. මම වයිෆ්ගෙන් වෙන් වෙලා දැන් ටික කාලයක් . රට්ටු කියන විදිහට මම දැන් දික්කසාද වෙච්ච මනුස්සයෙක්. දික්කසාද වෙච්ච මිනිස්සුන්ට ලංකාවේ සාමාන්ය සමාජයෙන් ලොකු පිළිගැනීමක් නෑ. ඒත් මම ජිවත්වෙන පරිසරය ඇතුලේ ඩිවෝර්ස් වෙනවා කියන්නේ මහ ලොකු කජ්ජක් නෙවෙයි. මම වයිෆ්ග්න් වෙන්වෙන්න තීරණය කරේ අපි දෙන්නට අපි දෙන්නාව නොගැලපුන නිසා.. එයාටනම් ඕනවුනේ ලෝකෙට පේන්න බැඳගත්තු බෙරේ ගහන්න. ඒත් නොගැලපීම් එක්ක, ආරවුල් එක්ක, අඬදබර එක්ක, පවුල් ජිවිතයක් ඉස්සරහට අරගන ගිහිං අපි දෙන්නගේම ජිවිත නාස්ති කරන්න මට ඕනවුනේ නෑ. මට එයා බලාපොරොත්තුවුන හස්බන්ඩ් වෙන්න බැරිවුණා. කසාද බඳිද්දී ලොකුවට හිතුවෙ නැතිවුනාට , මම බලාපොරොත්තුවෙන වයිෆුත් එයා නෙවෙයි කියන එක මට තේරෙද්දී මං පරක්කු වැඩියි. කසාද බැඳපු දවසේ ඉඳන් අපි දෙන්නට අපි දෙන්නව ගැලපුනේ නෑ. අපි ගලපාගෙන ජිවත්වන්න උත්සහා කළා. අපි කිව්වට එයා නෙවෙයි මම. ඒත් ඒක සාර්තක වුනේ නෑ. කසාදයක් වෙනුවන් මට මම නොවී ජිවත්වෙන්න බෑ. දවසක් දෙකක් සතියක් හමාරක් වගේ නෙවෙයි. ජීවිත කාලයක් එහෙම ඉන්න අමාරුයි. එහෙම උනාම වන්නේ මිනිස්සු ජිවත්වෙන මළමිනී වෙන එක. මට ජිවත්වන මළමිනියක් වෙන්න ඕනවුනේ නෑ. දරුවෙක් හිටියනම් මට දරුවා වෙනුවෙන් එහෙම ඉන්න තිබුන. දරුවෙකුගේ අනාගතය වෙනුවෙන් තාත්තා කෙනෙකුට ජීවිත කාලයක් උනත් තමුන්ගේ හැඟීම් දැනීම් අමතක කරලා ජිවත් වෙන්න පුළුවනි. ඒත් අපිට දරුවෝ හිටියේ නෑ. ඒ නිසා ඩිවොර්ස් වෙන්න බැරි තරම් භන්දනයක් අපි අතරේ තිබුනේ නෑ.
ඒක යෝජනාවක් විදිහට කෙරුණ විවාහයක්. අම්මලා හොයලා දුන්නු නිසාත්, බඳින්න කලින් ඇසුරු කරපු පොඩි කාලය ඇතුලත කියන්න තරම් වරදක් දැනුනේ නැති නිසාත්, කසාද බඳිනවා කියන එක ගැන මම බැරෑරුම්ව හිතුවේ නෑ. එයාලත්, අපි වගේම යමක්කමක් තිබ්බ මිනිස්සු. සමාජ සම්මතයට අනුවත්, අපි අතරේ දශමෙකවත් නොගැලපීමක් තිබුනේ නෑ. දෙපාර්ශවයේම දෙමාපියන්ගේ, නෑයන්ගේ, මිතුරන්ගේ , ආශීර්වාදයෙන් අපි විවාහවුනා. වෙඩින් එක දවසේ හැමෝම කීවෙ අපුරුවට කැපෙන කපල් එක කියල. වෙඩින් එක දවසෙ එයා හිටියේ හුඟාක් සන්තෝසෙන්. මමත් හිටියේ සන්තෝසෙන්. ඒත් මොකක්දෝ අඩුවක් හිතට දැනුනා උනත් ඒ මොකක්ද කියලා තෝරා බේරාගන්න මට දැනීමක් තිබුනේ නෑ. ඒකෙන් මම කියන්න උත්සහ කරන්න නෑ මම රැවටුනා කියලා. මම හිතන්නේ මම මාව කියෙව්වේ නෑ කියලයි . කසාද බඳින්න කලින් මම මාව කියෙව්වනම්, මට ඕන මොනවගේ වයිෆ් කෙනෙක්ද කියලා මම මගෙන් ඇහුවානම්, මම බොහෝදුරට එයාව කසාද නොබඳින්න ඉඩ තිබුනා කිව්වොත් තමයි හරි..දැන් ඉතින් ඒ ගැන හිතලා වැඩක් නෑ. සියල්ල සිදුවී හමාරයි. එයා මට වෛර කරනවා කියලා මම දන්නව. ඒත් ඒ ගැන මම ලොකුවට හිතන්නේ නෑ. කසාදයක් කියන්නේ එකිනෙකා ගලපාගෙන එකට ජීවත්වීමක් කියනදේට වඩා ගැඹුරු දෙයක්.. එකෙක් අනෙකාගේ රූකඩයක් වීම කසාදයක් වෙන්නේ නෑ.. කසාදයක් ඇතුලේ කැපකිරීම් තියෙන්න බෑ. එකෙක් අනෙකා වෙනුවන් තමුන්ගේ කැමැත්ත යටපත් කරගෙන ජිවත් වෙනවානම් , එතැන තියෙන්නේ කසාදයක් නෙවෙයි කරුමයක්. ආදරය, සෙනෙහස, රැකවරණය, ලැබෙන්න ඕන සැමියාගෙන් බිරිඳට පමණක් කියලා හිතුවොත් ඒක වැරදියි . ලංකාවේ මිනිස්සු එතැනදී හරිම ගෝත්රිකයි. ආදරය විඳින්න තියෙන ආසාවට වයස් භේදයක් නෑ. ඒත් ලංකාවේ සංස්කෘතියට අනුව, ආදරය , සෙනෙහස, රැකවරණය කියන කොන්සෙප්ට් එක වන්වේ පාරක යන වාහනයක් වගේ. සැමියාගෙන් බිරිද දිහාවට මිසක් බිරිඳගෙන් පෙරලා ආදරය, සෙනෙහස , රැකවරණය සැමියා දිහාවට ගැලීම් හරිම අල්පයි. කසාද බැන්ද දවසේ ඉඳන් ස්වාමිපුරුෂයා කියන ප්රොමෝෂන් එක ලැබුනට බහුතරයකට වෙන්නේ සර්විස් ප්රොවයිඩර් කෙනෙක් විදිහට ජීවිත කාලයම ගත කරන්න. ආදරය ලබන්න, සෙනෙහස විඳින්න අකමැති සත්වයන් මේ විශ්වයේ කොතනකවත් නැතුව ඇති. මමත් මේ විශ්වයේ ජිවත්වෙන තවත් එක සත්වයෙක් විතරයි. ඒ නිසා මමත් කැමතියි ආදරය විඳින්න. ස්වීට් කපල් එකක් විදිහට ලෝකයා දැක්කට ඇතුලෙන් ගිනිගන්න අපේ විවාහ ජිවිතය තවත් දුර පැදන් යන්න මට ඕනවුනේ නෑ. එහෙම පැදන් ගිහින් මාව මං ඇතුලේම ඝාතනය කරලා දාන්න මට ඕනවුනේ නෑ. මම මම නොවී ජීවත්වීම ඇතුල් මම එයාටත් කරන්නේ බොරුවක්. එයාගේ පැත්තෙන් බැලුවාම ඒක එයාටත් කරන අසාධාරණයක්.
ඊළඟට මම මේ කියන්න යන අමුත්තිය මට හමුවෙන්නේ ඩිවෝර්ස් එකෙන් අවුරුද්දක් විතර ගියායින් පස්සෙ . එයා වයස විසි දෙකක , දැක්කම ආදරේ හිතෙන, හරිම කියුට් පුංචි ලස්සන අහිංසක කෙල්ලක්. ලස්සන සාපේක්ෂයි. කාට සාපේක්ෂව තේරුවත් , එයා තමා මගේ ඇහැට ෆස්ට්. එයාගෙයි මගෙයි හමුවීම ඔෆීෂියල් එකක්. ඒ ඔෆීෂියල් හමුවීම ඇතුලේ එයා දැකපු පලවෙනි දවසෙම මට මහා අමුත්තක් දැනුනා කිවොත් තමයි හරි. ඒත් මම ඒක ගැන ලොකුවට හිතුව් නෑ. අවුරුදු හතලිස් තුනක් වෙන ඩිවෝර්ස් වෙච්ච මිනිහෙකුට අවුරුදු විසි දෙකක පුංචි කෙල්ලෙක් ගැන හිතන්න තියෙන අයිතිය මොකක්ද ? දියුණු රටක උනානම් හිතන්න තිබුනා. ඒත් ලංකාව ඇතුලෙ එහෙම දේවල් සදාචාරාත්මක නෑ. මම වැඩිහිටියෙක්. එයා ඊයේ පෙරේදා ඉස්කෝලෙන් අවුට් වෙච්ච පුංචි කෙල්ලෙක්. එයා මේ ලෝකෙට උපදිනකොටත් මට වයස විසි එකක් . ඉතිං එයා ගැන වැරදි ඇහැකින් බලන්න මංම මට අවසර දුන්නේ නෑ. වැරදි ඇහැකින් කීවට වරදවා හිතන්න එපා.
මම කලිනුත් ලීවා. ආදරේ හිතෙන්න වයස් භේදයක් නෑ. මිට කලින් ජිවිතේ කවදාවත් නොදැනුන සංවේදනාවක් එයා මං ළඟ ඉද්දි මට දැනුනා කිව්වොත් තමයි හරි. මං අවුරුදු දෙකක් වයිෆ් කෙනෙක් එක්ක එක ඇඳක නිදාගත්තු මිනිහෙක්. ඒත් මම කවදාවත් ඒ පුංචි රුවැත්තිය දිහා වැරදි ඇහැකින් බැලුවේ නෑ. ඊට එහා ගිය මොකක්දෝ හැඟීමක්, ලෝභකමක් , කැක්කුමක්, මගේ හිතේ එයා වෙනුවෙන් තිබුනා උනාට ඒ මොකක්ද කියලා විශ්ලේෂණය කරන්න මට ඕනවුනේ නෑ. මට හතලිස් තුනක්. එයාට විසි දෙකක්. හිත අතරමන්වෙන හැම වෙලාවේම මම මට කිවේ එහෙම.
අපේ සම්භන්ධය ඔෆීෂියල් එකක් උනාට එයාටත් මගේ ඇසුර ආනන්දනීය එකක්දෝ කියලා මට හිතෙන හැම වාරයකම මම හිතුවේ මට හතලිස් තුනක්. එයාට විසි දෙකක්. එහෙම වෙන්න බෑ කියලයි.. ඒත් සමහර වෙලාවට එයා මට සැලකුවේ හස්බන්ඩ්ට සලකනවා වගේ. මගේ හිත දවසින් දවස එයා ලඟම අතරමං වෙද්දී මමත් ඒ අතරමංවීමට ආස කරා. ඔෆීෂියල් සම්භන්ධය ඇතුලේ උනත් , එයා සමහර වෙලාවට මට සැලකුවේ තමුන්ගේම ලඟම කෙනෙකුට කෙනෙකුට සලකනවා වගේ. මං මේක ඔෆීෂියල් සම්භන්ධයක් විතරයි කියලා එයාට හඟවන හැම වෙලාවේම එයාගේ ලොකු ඇස් හීනියට තෙත්වෙන හැටි මම බලාන හිටිය. ඒත් මට එතැනින් එහාට ගිහිං එයාට ලං වෙන්න බෑ.. මට එයාව ලඟට අරං අහන්න බෑ ඔයාට මාව දැනෙන්නේ මොන වගේද කියල. මම ඩිවෝර්ස් වෙච්ච වයස හතලිස් තුනක මනුස්සයෙක්.. එයා වයස විසි දෙකක පුංචි කෙල්ලෙක්. . අපි දෙන්නා එකට ඉන්න හැම වෙලාවේම අපි හිටියෙ හරිම සතුටෙන්. පුංචි පුංචි දේවල් වලට එයා මා එක්ක තරහවුන වෙලාවලුත් තිබුනා තමයි. ඒත් ඒ හැම තැනම මම දැක්කේ වයස විසි දෙකක පුංචි කෙල්ලෙකුගේ ඇතුලේ තිබ්බ පුංචි පුංචි හිතුවක්කාරකම් විතරයි. එයා තරහෙන් පුපුරන හැම වෙලාවේම මට දැනුනේ හුදෙක් පුංචි පහේ ආඩම්බරකාර වින්දනයක් විතරයි.. එයා මා එක්ක තරහ උනාම බලන්න ඕන මුනේ ලස්සන. මුණ රතු වෙන්නේ ජම්බු ගෙඩිය වගේ .. මූණ රතු කරගෙන ඇස්ගෙඩි දෙකේ කඳුළු පුරෝගෙන ඉන්නකොට නාහේ මිරිකලා තුරුළු කරගන්න හිතුනට, එයාට විසි දෙකයි.. මට හතලිස් තුනයි... ඔෆීෂියල් සම්භන්ධයක් ඇතුලේ අසංස්කෘතික වෙන්න මට බෑ. මම වැඩිහිටියෙක්. කසාද බැඳලා ඩිවොර්ස් වෙච්ච මනුස්සයෙක්. මම කොහොමද වයස විසි දෙකක පුංචි කෙල්ලෙක් ගැන හැඟිම්බර වෙන්නේ.
ඒත් ඒ සියල්ල එහෙම වුනත්, දවසින් දවස අපි ලංවුණා. දුරින් ඉන්න වෙලාවට කෝල් කරලා එයාගේ සැප දුක හොයලා බලන්න මට ඕනවුනා. එයා පරෙස්සමෙන්ද ඉන්නේ කියලා බලන්න මට ඕනවුනා. එයත් හැම වෙලාවේම මා ගැන හොයලා බැලුවා. උදේට දවල්ට රෑට මම කෑවාද බීවද කියලා හොයලා බලන්නත් එයා කවදාවත් අමතක කලේ නෑ. කෑවද බීවද කියලා අහන්න තරම් මම පුංචි බබෙක් නෙවෙයි උනාට, මං කෑවද බීවද කියලා එයා අහනකොට මට දැනෙන දේ ලියන්න, අමුණන්න ඕන කුමනාකාර වචනද කියලා මට තේරෙන්නේ නෑ. ඒ වගේ හැඟීම් දැනීම් කවදාවත් මම විඳලා නෑ. කාර්යබහුල රැකියාව ඇතුලේ හිතට වෙහෙස දැනෙන හැම වෙලාවේම මගේ ජංගම දුරකථනයෙ ඩයල්වුනේ එයාගේ නොම්බරේ. එයා එක්ක කතා කරන විනාඩියත් මට දැනුනේ හිත ඇතුලට සුමුදුවට ගලන ඖෂධයක් වගේ. එයාට මාව දැනෙන විදිහ කොහොමද කියලා මම එයාගෙන් කවදාවත් අහලා නැතිවුනාට, මගේ හිත ඇතුලේ එයා ඔෆීෂියල් සම්භන්ධය කියන සීමාව පහු කරගෙන හුඟක් දුර ගිහින් කියලමයි මට දැනුනෙ.
එයාගේ ආගමනයත් එක්ක, ධන ධාන්ය වලින් ආඩ්ය වෙච්ච මගේ භෞතිකය ඇතුලේ අධ්යාත්මය මෙච්චර කාලයක් තිබිලා තියෙන්නේ අරමුණක් නැතුවදෝ කියලා මට දැනෙන්න අරගෙන. නීතියෙන් කොලේක අත්සන් කරලා අයිතිය තහවුරුව තියෙද්දිත්, එක්ස් වයිෆ් ළඟ නවතින්න අකමැතිව නිදහස හෙව්ව මගේ හිත, වයස විසි දෙකක දඟකාර කෙලි පැටියෙක් ළඟ කැමැත්තෙන්ම නැංගුරම් දාගෙන. ඒත් මට හතලිස් තුනක්.. එයාට විසි දෙකක්.. මුලින් මුලින් ඒක ප්රත්යක්ෂව හිතේ තිබ්බට, දැන් දැන් එයා ගැන හිතද්දී පපුව පැලෙන්න වගේ.. මට හතලිස් තුනක්... එයාට විසි දෙකක්.. එයා මා ළඟ හැසිරෙන්නේ ඔෆීෂියල් සම්භන්ධයකට වඩා එහා ගිය කෙනෙක් ලඟ හැසිරෙන විදිහට කියන එක තේරුම්ගන්න තරමට මම බුද්ධිය මුහුකුර ගිය මනුස්සයෙක් . ඒත් හතලිස් තුනක හිතක් ඇතුලේ දඟ කරන විසි දෙකක පුංචි කෙල්ලකට දෙන්න නමක් මම දන්නේ නෑ. ඒ නම මොකක් උනත් ඒ හැඟීම හරිම හැඟීම්බරයි.. ආදරණීයයි.. පපුවට බර වැඩියි..
මට කවදාවත් ප්රේමයක් තිබිලා නෑ. ඇකඩමික් ගෝල් ඇතුලේ ප්රේමයට ඉඩක් වෙලාවක් තිබ්බෙම නෑ . ප්රේමය කියන්නේ කුමනාකාර හැඟීමක්ද කියලා මම දන්නේ නෑ. මට එහෙම හැඟීමක් කවදාවත් දැනීලත් නෑ. ප්රේමයට වයස් භේදයක් නෑ කියලා මම අහලා තියෙනවා උනාට මම කවදාවත් ඒ ගැන ලොකුවට විශ්ලේෂණය කරන්න ගිහින් නෑ. කසාදයක් කියන්නේ ප්රේමයක්ම නොවෙන්න පුළුවන් කියන එක මම ෆස්ට් හෑන්ඩ් එක්ස්පිරියන්ස් එකක් විදිහට විඳවා අවසන්. කවුරුහරි යෝජනා කරනවානම් කසාදය කියන්නේ ප්රේමයම තමා කියලා, මම යෝජනා කරනවා ප්රේමය කියන්නේ මට ලැබුන කසාදය වගේ එකක් වෙන්න බෑ කියල. විවාහ රෙජිස්ටාර් කෙනෙක් ඉදිරියේ කොලේක අත්සන් කරලා අත්අඩංගුවට පත්වීම ප්රේමයක් කියලා පිළිගන්න මම සුදානම් නෑ . අහලා තියෙන විදිහට, කියවලා තියෙන විදිහට ප්රේමය කියන්නේ විඳීමක් මිසක් විඳවීමක් නෙවෙයි කියලයි මගේ වැටහීම. ඒත් ඒ සියල්ලටම උඩින් , වයස විසි දෙකක ආදරණීය පුංචි කෙල්ලෙක් ගැන, වයස විසි දෙකක ප්රේමයක් ගැන හිතන්න, හතලිස් තුනක්වෙන මගේ හිත ඇතුලේ මට අවසර නෑ.
මම ප්රේමණීය මනුස්සයෙක්ද කියලා මම දන්නෙ නෑ. ඒත් ප්රේමයක්දෝ කියලා අනුමාන කරන්න පුළුවන් හැඟීමක් එක්ක මං අතරමං වෙලා.. ඉහල විධායක ශ්රේණියේ රැකියාවක් එක්ක ලෝකයක් තරම් ලොකු ස්ට්රෙස් එකක් හැන්ඩ්ල් කරන එක මට මහා කජ්ජක් නොවුනට, මේ හැඟීම මගේ පපුවට බර වැඩියි. වයස හතලිස් තුනක් වෙද්දී හැඟීම් වලට වහල් වෙන්නත් මට බෑ. ඒත් මේ හැඟීම අමතක කරලා දාන්න මගේ හිත මට ඉඩ දන්නෙත් නෑ .. මේ හැඟීම මම මිට කලින් කවදාවත් විඳලාත් නෑ . එයා ගැන හිතද්දී මගේ පපුවේ යමක් හිරවෙනව වගේ මට දැනෙනව.. ඒ වින්දනාත්මක රිදවීමට මම ඇබ්බැහි වෙලාදෝ කියලත් මට හිතෙනව.. එයා ළඟ ඉද්දි, ටෙලිෆෝන් එකේ කතා කරද්දී , එයාව මට දැනෙන්නෙ මගේම කෙනක් වගේ. ලඟම ලඟ කෙනෙක් වගේ.. යාලුවෙකුට වඩා ළඟ කෙනෙක් වගේ .. නෑ කෙනෙකුට වඩා ළඟ කෙනෙක් වගේ .. අම්මටත්, නංගිටත් වඩා ළඟ කෙනෙක් වගේ. ඒත් ඒ සම්භන්ධයට දෙන්න නමක් ගමක් මං දන්නේ නෑ.. ..මට තේරෙන්නේ නෑ... මට එයා ගැන මහා රෝමාන්තික හැඟීමක් දැනෙන්න පටන් අරගෙන... මට එයා ගැන මහා ආත්මාර්ථකාමී ලෝභකමක් දැනෙන්න පටන් අරගෙන.. මට මේ දැනෙන්නේ ප්රේමයමද ? ජිවිතේ පලවෙනි වතාවට මම ප්රේම කරන්න පටන් අරගෙනද ?... අනේ මන්ද.... එයා වයස විසි දෙකක පුංචි කෙල්ලෙක්.... මම, ඩිවෝර්ස් වෙච්ච, වයස හතලිස් තුනක, මැදි වයසෙ මනුස්සයෙක්....
සොරි ... මට මුලින්ම නම කියන්න අමතකවුණා...මම ... "රෙහාන් අලුවිහාරේ"




---------------------------------------

රෝමෑන්ස් ලියන්න පුළුවන් ඉන්දියාවේ ලියන්නන්ට විතරද ? රෝමෑන්ස් අධ්‍යක්ෂණය කරන්න පුළුවන් යශ් චෝප්‍රලාට විතරයිද ? කැමරාවක් ඉස්සරහ රෝමාන්තික වෙන්න පුළුවන් ශාරුක් කාන්ලාට විතරද ? ඇගයීමට ලක්වෙන්න ඕන, චිත්‍රපටයි සති අන්ත ටෙලියි විතරද? ඇගයිය යුතු චරිත මෙගා ඇතුලේ අපිට හමුවෙන්නේ නැතිද ?????

සද්ධා මංගල, සිවගුරුනාදන්, උද්ධික , කියන තුන්කට්ටුව විසින් නිර්මාණය කරපු රෙහාන් අලුවිහාරේ ඇතුලට ගිහින් රෙහාන්ව කියවන්න අම්බලන්ගොඩයාටත් ඔනෑ වුනා... යශ් චොප්රා මලාට පස්සේ ගොඩයා පලවෙනි වතාවට ආයෙමත් රියල් රෝමෑන්ස් නරඹමින් ඉන්නවා උද්ධිකගේ රංගනය ඇතුලේ... Well done guys... Keep it up...

Wednesday, February 16, 2022

නිවිතිගල ෆ්ලෑශ්

 




පහුගිය දවසක නිවිතිගල සහරා ෆ්ලෑශ් සංගීත සංදර්ශනය වෙලාවෙ සිද්දවෙච්ච අලකලංචිය ලෝකෙම දැක්ක නිසා ගොඩයා ඒ ගැන වැඩි අටුවා ටීකා ලියන්න යන්නෙ නෑ. සිද්දියට මුල්වුන හේතුව මොකක්ද කියලා හරියට නොදැන එව්වා ගැන විශ්ලේෂණය කරන්නට යාම දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්. කව්ද වැරදි කව්ද හරි කියලා කියන්න බැරිවුනාට ප්‍රචන්ඩත්වය ඉතිං කවුරු කරත් හොඳ දෙයක් නෙවෙයිනේ ආයුබෝවන්ඩ. ගහමරාගන්නෙ නැතුව ඔව්වා කතාබහ කරලා විසඳාගන්න තිබුනා කියලයි ගොඩයාගෙ පුද්ගලික මතය. ඔලුව ඇතුලේ තියෙන මොල ගෙඩිය පැත්තකින් තියලා කඩු පොලු අතට ගත්තු උදවිය ඉස්සරහ පොඩ්ඩක් නම්‍යශීලී උනාට පැත්තක් යනවා කියලයෑ.. තව පැයක් හමාරක් කොල්ලො ටිකට නටන්න සිංදු ටිකක් ගැහුවනම් ඔය වැගේ විලම්බෑසියක් නොවෙන්න ඉඩ තිබ්බ කියලමයි ගොඩයාට හිතෙන්නේ .

සිරිබර සිරිලංකාවෙ සංගීත රසිකයා ඉල්ලන රසවින්දනය විවිධාකාරයි. ඒ ඒ කෙසෙල් ගෙඩි වලට ඒ ඒ බනිස් කියනවනේ. මේ ලියන්න යන සිද්දිය සිද්දවුනේ අනූව දශකයේ අග්ගිස්සට වෙන්න. ගොඩයා ඒ කාලෙ බෑන්ඩ් එකක කීබෝර්ඩිස්ට්. එව්ව ඉතිං ආතල් එකට කරපුවා මිසක් වෘත්තීය වශයෙන් කරපුවා නෙවෙයි. පාර්ටියක වෙඩිමක අවුරුදු උත්සවේක ප්ලේ කරාම ලැබෙන මුදල ඉතිං පොඩි පොකට් මනී එකක් විතරයි. එවකට ඉතිං ගොඩයා ජොබ් එකක් කරපු නිසා බෑන්ඩ් එකෙන් ලබෙන මුදල ගැන ලොකුවට හිතුවෙම නෑ. 

වැඩේ තිබ්බෙ ඇල්පිටිය පැත්තෙ ගොඩාක් ඇතුලෙ අතුරු ග්‍රාමයක. ගමේ නම ගොඩයාට මතක තිබුනට එව්ව මෙතැන  ලියන එක හරි නෑ කියලයි ගොඩයට හිතෙන්නෙ . එදා ඒ ගෙදර හෝම්කමින් පාර්ටියක්. රෑට තමා බෑන්ඩ් එක ඉල්ලලා තිබ්බෙ. දවස සති අන්තයේ දවසක් කියලයි ගොඩයාගෙ අදහස. වැඩට ගිහිං ඇවිත් බෑන්ඩ් වැඩේට ගියා කියලා මතකයක් නෑ. සතියෙ දවසක උනානම් මේ ලියැවෙන දේවල් වලට අමතරව රස්සාවෙන් කලින් පැනලා එන දේවලුත් ලියැවෙන්න ඕනනේ. බෑන්ඩ් ප්ලේ කරනවට වඩා අමාරු ජොබ් එකෙන් කලින් මාරුවෙන එක කියලා අමුතුවෙන් ලියන්න ඕන නෑනෙ. 

හවස පහට හයට වගේ තමයි අපි සැට් එක අපේ බෑන්ඩ් එකේ ලොක්කලාගෙ ගෙදරට සෙට් වෙන්නෙ. වැඩේ රෑට තිබ්බට දවාලියෙන් සවුන්ඩ් පිටත් කරලා යැවෙන නිසා අපි සැට් එකට තිබ්බෙ හවස් අතේ ගිහිල්ලා හීන්සීරුවේ වැඩේ ඇදගෙන යන්න. හෝම්කමින් එකක් රෑ හතහමාරට වගේ පටන් ගත්තාම පැයක් වගේ ප්ලේ කරලා බ්‍රේක් එකක් අරගෙන ආයෙම පැයේ වගේ සේශන් දෙකකින් කඩේ වහගන්න පුලුවන් සාමාන්‍ය විදිහට. අන්තිම සෙශන් එක ටිකා...ක් විතර ඇදෙන්න ඉඩ තිබුනාට ප්ලේ කරන පැය ගාන බැලුවාම උපරීම පැය හතරකුත් නැති තරම්. බෑන්ඩ් එකේ සැට් එක ලොක්කගෙ ගෙදරින් පිටත්වෙලා පාර්ටිය තියෙන ගෙදරට යද්දි හත වගේ වෙන්න ඇති. අප්පටසිරි කියන්නෙ ඒක අහල ගම් හතටම කියලා ගජරාමෙට ගන්න හෝම් කමින් පාර්ටියක්. අවුරුදු උත්සවේකට ගහන සයිස් ස්ටේජ් එකක් මිදුලේ කොනක විරාජමානයි. අපේ චන්දනයයි මහේශුයි සවුන්ඩ් ටික එහෙමත් ලෙසටම හයි කරලා තිබ්බ නිසා වැඩේ එකෙන්ම අලංකාරයි. ඒ කාලෙ සෙටින්ග් එක ඩ්‍රම් සෙට් එක වේදිකාවෙ දකුනු කොනේ.. ඊට මෙහායින් ඔක්ටොපෑඩ් ... ඊලඟට සවුන්ඩ් සෙටප් එකේ මික්සරේ.. වම් කෙලවරේ තමා කීබෝර්ඩ්.. ඩ්‍රම් සෙට් එක ඉස්සරහිං බේස් ගිටාරිස්ට්... කීබෝර්ඩ් එක කිට්ටුවෙන් ලීඩ් ගිටාරිස්ට්.. රිදම් ගිටාරිස්ට් ඉතිං පොඩ්ඩක් විතර නිසි තැන නොලැබෙන වේකන්සි එකක්දෝ කියලා කීවොත් රිදම් ගිටාරිස්ට්ලා අමනාප වෙයිද මන්දා... කොච්චර කීබෝර්ඩ් ගැහුවත් ගොඩයා ආසම ඉන්ට්‍රුමන්ට් එක තමා රිදම් ගිටාර් එක. ගොඩයට ටිකාක් විතර ගිටාර් ගහන්නත් පුළුවන් උනාට කවදාවත් බෑන්ඩ් එකක් එක්ක රිදම් ගිටාර් එකක් ප්ලේ කරන්න චාන්ස් එකක් හම්බෙලා නෑ.

ඒ කාලෙ ඔය ස්ටේජ් සෙටින්ග් එකේ ප්ලේ කරද්දි ඉලෙක්ට්‍රොනික් ඩ්‍රම් සෙට් එක ස්ථානගතවුනේ වේදිකාවෙ දකුනු කෙලවරේ... එකෝස්ටික් ඩ්‍රම් සෙට් එක තිබ්බට වැඩ වලට දැම්ම ඉල්ක්ට්‍රොනික් ඩ්‍රම් එක. ඒ කාල් ඉලෙක්ට්‍රොනික් ඩ්‍රම් සෙට් එකට ඉල්ලුම වැඩියි. එකෝස්ටික් ඩ්‍රම් එක දැම්මම සවුන්ඩ් බැලන්ස් කරගන්න ටිකක් විතර අමාරුයිත් එක්ක. ස්ටේජ් එකේ ඉද්දි ගෑල්ලමයෙක්ට එහෙම පොඩ්ඩක් හොරාට හොරාට  ඇහැ දාන්න ඩ්‍රමර්ට පොඩ්ඩක් විතර ලේසියි කොනේම ඉන්න නිසා..  දෑං වෙද්දි ඒ ෆැසිලිටීස් කපාදාල තියෙන්නෙ ඩ්‍රමර්ට... දැං ඉලෙක්ට්‍රොනික් ඩ්‍රම් සෙට් එක වෙනුවට එකෝස්ටික් ඩ්‍රම් සෙට් එක හයි වෙන්නෙ වේදිකාවෙ මැද... බේස් ගිටාරිස්ට් දකුනු කොනේ.. ඊලඟට ඔක්ටොපෑඩ්... කීබෝර්ඩිස්ට් තාමත් වම් කෙලවරේ... ඊයෙ පෙරේදාවක ෆ්ලෑශ්බෑක්ලා කීබෝර්ඩිස්ට් දකුනු කෙලවරට දාලා ඉන්නවා දැක්කා කියහංකෝ.. තැන් වෙනස් උනාම ඉතිං ටික දවසක් යනකල් ටිකක් විතර වැඩේ අඥ්ඥකොරොස්.. ෆ්ලෑශ්බෑක් කීබෝර්ඩිස්ට් අරුණ තමෙල් අවුලක් නැතුව කොම්ෆටබලි ඉන්නවා වගේ දැක්කා උනාට උන්නැහේට දැනෙන දේ ගොඩයාට දන්නේ නැති නිසා එව්ව ගැන වැඩි යමක් කියන්න දන්නෙ නෑ. පසු කාලීනව  ඩ්‍රමර් එකෝස්ටික් ඩ්‍රම් සෙට් එකක් එක්ක වේදිකාවේ මැදට ආපු එක ගොඩයාටනම් අමු වහක් උනා කියහංකෝ... දකුණු කණ ලඟ ඉඳන් ඇඟේ හයියෙන් ඩ්‍රම් සෙට් එකට තලන මෝඩයෙක් එක්ක බෑන්ඩ් ප්ලේ කරනවා කියන්නෙ, වැඩක් ප්ලේ කරලා ඉවර වෙද්දි කන් දෙක දවස් ගානක් කී......ං ගාන ගානට අගුල් වැටිලා.. එව්වා ඉතිං උන්නැහේලාට කියලා වැඩක් නෑ... ෆෝර්ටීස් සහ ටුවෙන්ටීස් එකට පෑහෙන්නෙ නෑ නෙව. ගොඩයලා එක්ක බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් ප්ලේ කරන හාදයා අර්ලි ටුවෙන්ටීස්... ගොඩයා මිඩ් ෆෝර්ටීස්... ටුවෙන්ටීස් එකා ඩ්‍රම් එක ප්ලේ කරනවා නෙවෙයි ඩ්‍රම් සෙට් එකට අලි ගහන්වා වගේ කියහංකෝ... ආං ඒ වෙලාවට තමා හිතෙන්නෙ ලංකාවෙ මේ තරම් ඩ්‍රමර්ලා ඉද්දී ඇයි දෙයියෝ ඔයා මේ යකාවම තෝරලා මේ රටට එව්වෙ කියලා... ගොඩයා දෙවැනි වතාවටත්  බෑන්ඩ් ගැහිල්ලෙන් ඉවත්වුන නිසා දැං ඒ ප්‍රශ්නෙ අහවරයි. කොන්සර්ට් එකක් ගැහැව්වොත් ඇරෙන්න දැං ආයෙම බෑන්ඩ් ප්ලේ කරන්න අදහසක් නෑ. සංගීත විසේ සහ ආසාව තිබ්බට බෑන්ඩ් එකේ හයදෙනාගෙ රසාස්වාදය එක තැනකට ගැලපෙන්නෙ නැති තැන්වල පයගසා සිටීම අසීරුයි නෙව. සල්ලි හොයන්න කරන මගුලක් නොවෙන නිසා ගොඩයාට ආතල් එකක් ලැබෙන්නෙ නැති මගුල්වලට ගිහිං ආයෙම ගොඩයා කීබෝර්ඩ් එක පිටිපස්සෙ හිටගන්නෙ නෑ... අපිට පුලුවං කියලා ලෝකෙට පේන්න බෑන්ඩ් ගහන එවුන් සහ තමුන්ටත් විඳින්න පුලුවන් දෙයක් අනුන්ටත් ලබාදෙන්න බෑන්ඩ් ගහන එවුන් කියන්නෙ දෙපිරිසක්. ගොඩයා ඉන්නෙ දෙවැනි කොටසෙ. ඔය දෙකොටසට එකට දීග කන්න අමාරුයි. ඒ නිසා ගොඩයා ආයෙම ඩිවෝර්ස් උනා බෑන්ඩ් එකන් පාර්ට් ටයිම් කොන්සර්ට් ගහන්න එන්නං කියන පොරොන්දුව පිට.

ඒ බෑන්ඩ් අටුවාටීකා ලියන්න ගිහිං ලියන්න ආපු කතාව කැලේ පැන්නා කියහංකෝ.

 ඒ කාලෙ අපේ මහේශ් සහ චන්දන තමා සවුන්ඩ් සෙටප් එක අරං ගියේ වැඩ වලට. මහේශ් තමයි ඔක්ටොපෑඩ් වාදනය. චන්දනයා නිත්‍ය ගායක. දෙන්නම වැඩ දෙකම ලෙසටම කරනවා උනාට සවුන්ඩ් හයි කරලා වෙස් මාරුකරගන්න තැන තමා බලන් ඉන්න සුන්දර. මොකද කියනවනම් බඩලගෙම ඇඳුම් ආයිත්තම් ටික තියෙන්නෙ සවුන්ඩ් ගෙනියන ලොරියෙම තමා. ශර්ට් කලිසම්වල, සපත්තු මේස්වල මාරු ඇරගන්න ගියාම දෙන්නා ඇරගන්නවා වරුවක්. සමහර දවස්වලට මේස් ජෝඩු දෙක දෙජාතියෙන් දෙන්නගෙ කකුල් දෙකේ.. සප්ත්තු දෙකත් ඉතිං ඒ සන්තෑසියම තමා. ඉනේ බඳින බෙල්ට් දෙකක් හොයාගන්න බැරි උනාම දෙන්නා සවුන්ඩ් ලොරිය ඇතුලේ මරාගන්නවා එක බෙල්ට් එක බෙදාගන්න. හුඟක් වෙලාවට අපේ මහේශ් ඇඳුම් ටික පිලිවෙලට අරගෙන ගියාට චන්දනයා කරන්නෙම මහේශයාගෙ මේස් දෙක, බෙල්ට් එක වගේ කෑලි වලින් එකක් දෙකක් උස්සන එකම තමා. එව්වා අපිට අදාල නැති උනාට ආතල් ගැනිල්ලට ඉතිං අපිටත් තැනක් නොතැනක් නෑ නෙව. වෑන් එකෙන් බැහැපු ගමන් සවුන්ඩ් ලොරියෙ තියෙන අරුන් දෙන්නගෙ ඇඳුම් බෑග් දෙක හොයලා පොඩි මාරුවක් දාලා එකක් දෙකක් හැංගුවානම්, බෑන්ඩ් ප්ලේ කරන අතරෙත් ආතල් එකක් නොමිලේ... 

ගායකයෙක් සිංදු පහක් හයක් කියලා තිස්දාහක් හතලිස්දාහක් අරගෙන ගෙදර ගියාට ඒ සිංදු ටික රහට ගයන්න සංගීතය සපයන බෑන්ඩ් කාරයන් බහුතරයකට ලැබෙන මුදල ගායකයන්ට සාපේක්ෂව ඉතාමත් අඩු මුදලක්. ඔවුන් බහුතරයකගේ ජීවිතවල ඇතුල් පැත්ත හරිම සෝචනීයයි. සංගීත භාණ්ඩයක් ප්‍රෝ ලෙවල් එකට ප්ලේ කරන්න ඉගනගන්න වෙන්න ඕන මහන්සිය දන්නේ ඒක කරපු එවුන් විතරයි. ඒ වෙන  මහන්සියට සහ කැප කරන කාලයට ලංකාවේ ලැබෙන පිළිගැනීම සහ මිල ඉතාම මදියි. වින්දනය ඕනෑ වෙලාවට පමණක් වේදිකාවට නග්ගලා වින්දනය අරගෙන ඒ වැඩේ අහවර උනාම උන් දිහා හැරිලාවත් නොබලන මිනිස්සු ඉන්න රටක සංගීතය කියන්නේ කරන උන්ටම කරුමයක්දෝ කියලා ගොඩයාට හිතෙනවා වෙලාවකට. ගායකයෝ බුරුතු පිටින් හිටියට, එයාලාට සංගම් තිබුනාට, වේදිකාවේ එයාලගේ පිටිපස්සෙන් හිටගෙන සංගීතය සපයන කොල්ලන්ගේ ජීවිත සහ ඔවුන්ගේ යැපෙන්නන්ගේ අනාගතය ගැන ගායකයන්ගේ සංගම් මේ වෙනතුරු කිසිවක් කරලා නෑ කියලයි ගොඩයාගේ මතය. සංගීතය සපයන උදවියට ලැබෙන සැලකිල්ල එහෙමනම්, සවුන්ඩ් උස්සන එවුන් ගැන කතා කරලා පලක් තියේවිද මන්දා..  ලියාගෙන ආපු කතාව කැලේ පැන්නා ආයෙම..


 ඕං ඔය කිව්ව ආකාරයෙන් හවස හතහමාර වගේ වෙද්දි වැඩේ පටාන් ගැනුනා කියමුකෝ. ලොකු අවුලක් නෑ වැඩේ හෙමීට ඇදීලා ගිහිං පලවෙනි බ්‍රේක් එකත් ගන්නව. වෙඩිමේ හෝ පාර්ටියේ උදවිය ආගන්තුක සත්කාර වලට ලැදිනම් ඉතිං බෑන්ඩ් එකටත් රහමෙර සුට්ටක් ඔෆර් කිරීම සාමාන්‍ය දෙයක්නේ.. ගොඩයා ඉතිං අමධ්‍යප නිසා ගොඩයා ඔව්වාට නෑ..(පුහ්.. එහෙම තමා ගෙදරට කියන්නෙ... හක් හක් හා)

පලවෙනි බ්‍රේක් එක ටිකක් ඇදීලා ගිහිං ඕං ආයෙම වැඩේ පටං ගන්නව. හෝම්කමිං පාර්ටියේ ඩිනර් එක ඉවරවෙලා එහෙම රෑ දහයාමාර එකොලහ වෙද්දි තමා යක්කු පිටියට බහින්නෙ. ඒ කිව්වෙ රෑ නිදිමරාගෙන පාර්ටියට වෙහෙස වෙච්ව ගෙදර එවුන් ටික දැලි කුණු පිටිං දෙකක් තුනක්  අනුමත වෙලා ඩාන්සිල් ෆ්ලෝ එකට බහින්නෙ ඒ වෙලාවට තමා. එව්වයෙ කොමිටල් දකින්න ඉතිං හැමෝටම වාසනාව නෑ. එව්ව නරඹන්න ඉතිං ස්ටේජ් එකක් උඩටම නගින්න ඕන. බෑන්ඩ් ගැහිල්ල පැත්තකින් තියලා ස්ටේජ් එකෙන් බිමට පැනලා බිම පෙරලිලා බඩ අල්ල්ගෙන හිනා වෙන්න ඕන සීන් අනන්තයි. ඕං ඔය ආකාරයෙන් තනි බ්‍රේක් එකෙන් වැඩේ දිගටම ඇදීලා සික්ස් එයිට් බීට් එකේ ටෙම්පො එකත් උඩටම ගිහිං රෑ දොලහ වගේ වෙද්දි වැඩේ අහවර කරන තැනට ඩ්‍රමර් බ්‍රේක් එක දැම්මා. ගොඩයත් ඉතිං සිරි ලංකා මාතා ගහන්න අත තිබ්බා විතරයි ඩාසින් ෆ්ලෝ එකේ සූටි කලබගෑනියක් වගේ දැක්කත් එක්ක. ගොඩයාට එව්ව අදාල නෑ නමෝ නමෝ මාතා පාර්ට් එකෙන් කොට පාරෙන් වැඩේ ඉවරයක් කරලා දැම්මා කීබෝර්ඩ් එකට සමු දීලා. සවුන්ඩ් ඇදිල්ලට ගොඩයාට අයිති නැති නිසා මික්සර් එක ඕෆ් කරාද කියලා තහවුරු කරගෙන කීබෝර්ඩ් ජැක් දෙකත් ඇදලා දැම්ම අපේ සවුන්ඩ් ඩබලට ලේසි වෙන්න...

අපි දවස් ගානක් නිදි මරාගෙන පොල් කොටන් ඇදලා ස්ටේජ් ගැහුවෙ තොපිව රෑ දොලහට ගෙදර යවන්නද X#@#%^&%$$^&**&^...

ආං එහෙමයි පිංවතුනි පලවෙනි වෙඩි මුරය පත්තු වුනේ... අපේ බෑන්ඩ් ලොක්කත් එසේ මෙසේ පොරක් නෙවෙයි කියහංකෝ.. මෑන්සුත් ගේම ඉල්ලන්නයි ලෑස්තිය... වැඩි වෙලාවක් ගියේ නෑ පිංවතුනි කුස්සිවල තිබ්බ මෝල් ගස්, ඇඳ පොලු සියල්ලම ඩාන්සිල් ෆ්ලෝ එකේ කියහංකෝ... වැඩේ තීරනාත්මකයි... ඇඳ පොලු, මෝල් ගස් වලට බයවෙනවද අම්බලංගොඩ කොල්ලො... බෑන්ඩ් එකේ සැට් එක ගේම ඉල්ලනවා තව ගහන්න බෑ කියලා.. වෙඩිමෙ සැට් එක දෙවැනි බලඇණිය බස්සනවා යුද්දෙට ඒ එක්කම... ඩාන්සින් ෆ්ලෝ එකට හෙවත් මිදුල මැද්දටද පිංවතුනි... නෑ පිංවතුනි... ස්ටේජ් එක උඩට... එතකොට ඇඳපොලු, මෝල් ගස් එක්කමද දෙවැනි බලඇණිය යුද්දෙට පැමිණියේ... නෑ පිංවතුනි... කඩු සහ මන්නා පිහි සමග... පූදුකුඩුඉරිප්පු අවසන් මහා සටන ඇරඹුනේ 2009 උනාට ඒ ගානට කෙලෝගන්නෙ කොහොමද කියලා අපි සැට් එක ඉගෙනගත්තෙ 1999 අවුරුද්දෙ. කුදාර් වෙන්න බීගතපු කකුල් දෙකේ මී වස්සෙක් කඩුවක් ගෙනැල්ලා ගොඩයා ඉස්සරහ තියෙන කීබෝර්ඩ් එක උඩිං තියලා අහනවා... තොපි සිංදු ගහනවද නැත්තං මං තොපිව පෙති ගහන්නද කියලා ආයුබෝවන්ඩ... අම්බලන්ගොඩ එවුන් බය වෙනවද ආයුබෝවන්ඩ එව්වට... කියලා ලිව්වට ගොඩයාට නම් ඒ වෙලාවෙ සූ නොගිය ටික විතරයි. යකෝ ආවෙත් කලුවර වැටුන වෙලාවක.  ලොක්කගෙ ඩොල්පින් වෑන් එකේ වීදුරුත් කලු කරලා නිසා ආවෙ කොයි පාරෙන්ද කියලාවත් ගොඩයාට නිනව්වක් නෑ. හතර ගාතෙ දාන්න ඔන්න මෙන්න වෙන්න බීලා ඉන්න එකෙකුගේ කඩුව ඉස්සරහට ගිහිල්ලා ගේම ඉල්ලන්න ගොඩයා ජෝන් සීනා නෙවෙයිනේ ආයුබෝවන්ඩ.. ඒත් ඉතිං ඌව මගහැරලා උගෙන් බේරිල පැනලා දිව්වා කියලා කොහේද කිහංකෝ දුහන්නෙ. පාරක් තොටක් නොදන්න ගමක රෑ දොලහට එකට, කට්ට කලුවරේ කොහේ කියලා දුහන්නද. ඒ දිව්වා කියලා පාර්ටියේ මරු විකලෙන් ගේම ඉල්ලන කොල්ලො පනහක් සීයක් එක්ක රේස් දුහන්න ගොඩයා උසේන් බෝල්ටුත්  නෙවෙයිනේ ආයුබෝවන්ඩ. නොදුව හිටියොත් එකෙක්ගෙන් දෙන්නෙක්ගෙන් කනේ පාරක් දෙකක් කාලා ජීවිතේ බේරගන්න පුලුවන් තත්වයක් යටතේ දිව්වොත් පනහකගෙන් විතර   නැවකට ගුටි කාලා මරුම්කන්නත් වෙනවා කියන එක ගැන තෙරුම් කරන්න රොකට් සයන්ස් ඕන නෑනෙ ෆේන්ඩ්ස්.. 

ආං ඒ වගේ යුද තත්ත්වයක් ඇති වෙන්න ඔන්න මෙන්න තියෙද්දී උනත් අම්බලන්ගොඩ කොල්ලො එව්වට භය වෙයිද... කියලා ගැම්මට ලිව්වට ඔය කියන දවසේ බෑන්ඩ් එකේ සැට් එකම අවසානයේ තීරණය කරනවා නැවත සංගීතය සපයන්න.. අදත් ගොඩයාට හිටපුගමන් කල්පනා වෙනවා එදා ආයෙම මියුසික් ගහන්න බෑම කීවානම් මොකකින් මොකක් වෙන්න තිබුනද කියලා. එහෙම උනානම් බෑන්ඩ් එකේ හත්දෙනාම මූනු වෙස්මූනු වෙන්න ගුටි කනව. සවුන්ඩ් සෙටප් එක කුඩේ කුඩු වෙනව. වෑන් එකයි ලොරියයිත් කුඩු වෙනව. සිහිය කඩෙන් ගේන්න වෙන තරමට වෙරිවෙලා ඉන්න සීයක් විතර පිරිසක් එක්ක හත්දෙනෙකුට අතින් පයින් ගහගෙන දිනන්න ඒක දෙමල පිචැර් එකක් නෙවෙයිනේ ආයිබෝවන්ඩ. රැජිනි කාන්තලා කෙසේ වෙතත් ජෝන් සීනලා හත්දෙනෙක් හිටියත් එතන අනිවා තිබ්බෙ හකු පනිනකල් ගුටි කෑමක් පමණයි. හැබැයි පස්චාත් වලිය ගැන උපකල්පණය කලාම, එදා අපි සැට් එක ගුටි කෑවනම්, මගුල් ගෙදරට රිටර්න් එකත් ඉතිං හිල්ටං බුෆේ එක තරමටම ලැබෙනවා කියන එකනම් ඉතිං හෙට ඉර පායනවා කියනවා තරම්ම ස්ථීරයි. ඒ විදිහට වැඩේ ඇදුනානම්, කීදෙනෙක් රෝහල්ගතවෙයිද, කී දෙනෙක් එලොව යයිද කියලා ඇනලිසිස් එකක් කරන්න බැරිවුනාට එකෙක් දෙන්නෙක් එලොව යන්න තිබ්බ සම්භාවිතාවය ටිකාක් විතර ඉහල අගයක්. මොකද කියනවනම් අපේ ගම්පලාත්වල බොහෝමයක් වලි ඉවර වෙන්නෙ පත්තරේට විස්තරේ වැටිලාමයි කියන එක රටටම හංගන්න දෙයක් නැනේ..

අවසානයේ හෝම්කමිං උත්සවය උදෑසන පහ දක්වා පැවැත්වුනු මහා සංගීත රාත්‍රියක් බවට පත්වුනා ඉවසන දනාලාට නෙලන්න රුපු යුදයට කඩු ගෙනාපු නිසා... ලැබුනු මුදල ඉතිං හෝම්කමිං එකට පොරොන්දුවුන මුදල පමණයි.
හොම්කමින් එකකට බුක් කරාට ඕපන් ස්ටේජ් එකේ ගාන ගෙවපන් කියලා ආයෙම ගේමක් ඉල්ලන්න තිබුනා තමා.. ඒත් ඉතිං ඒ ඉල්ලුවා කියලත් ඉතිං ලැබෙන්න ඉඩ තිබ්බේ ගුටි පෝරියල් එකක් පමණයිනෙ පින්වතුනි. උදේ පහ වෙනකල් මියුසික් ගහලත් ආයේ මොකටෝ ගුටිත් කාලා ගෙදර යන්නේ නේහ්..

 වැඩේ අහවර වෙලා ගෙදර එද්දි පහුවදාට එලිවෙලා. සවුන්ඩ් පටවන එක සවුන්ඩ් ඩබලගෙ රාජකාරිය උනාට එදා බෑන්ඩ් එකම එකතුවෙලා විනාඩි දහෙන් සවුන්ඩ් ටික අකුලෝලා ලොරියට ඔබාගත්තෙ සවුන්ඩ් ඩබලව තනියම  දාලා එන්න වාතාවරණයක් එතැන තිබ්බෙ නැති නිසා. අසාධාරණය ඉදිරියේ හිස නැමීම නොකලයුත්තක්. ඒත් දීර්ඝායුශ ලබන්නනම්, පොලිසි, උසාවි, ඉස්පිරිතාල, හිරකූඩු ගානේ රස්තියාදු නොවෙන්නනම්, නාහෙ ගාවට බීගෙන අවසිහියෙන්   කඩු කිනිසි මන්නා පිහි මෝල් ගස් උස්සගෙන එන එවුන් ඉස්සරහා කුක්කො වගේ නගුට අකුලෝගෙන මාරුවිය යුතුයි. එච්වර සන්තෑසියක් වෙලත් ජීවිතේත්, සවුන්ඩ් සෙටප් එකත්, වාහන දෙකත් බේරගෙන එතැනින් පැනගෙන අඩි දහයක් එන්න කලියෙන් අපේ චන්දනයා ලොරියෙ ගියර් පොල්ල අතට ගලෝලා ගත්තා කියහංකෝ.. අන්තිමේ ඒ දහිරවාට්ටුව ගෙදර ගේන්න මජන් නාන්න උනෙත් ගොඩයාටම තමා. ඒ විස්තරේ පසුවට ලියමු... 

සංගීතය දෙවියන්ගෙන් ලැබුන දායාදයක් කිව්වට, පල්ලෙහා බීලා නටන එවුන් දිව්‍යලොකෙන් බැහැපු එවුන් සෙට් එකක් නෙවෙයි කියලා මතක තියාගෙන තමා ලංකාව් බෑන්ඩ් ගහන්න ඕන. කෙස් ගහෙන් ඉවසීම මිස් උනොත්, සවුන්ඩ් කුඩු වෙලා, ඔලු පැලිලා, දත් කැඩිලා, අත පය කැඩිලා, ෆුල් බොඩි මසාජ් එකක් ලැබිලා.. පත්තරවල, ටීවීවල, සෝෂල් මිඩියාවල නම වැටිලා තමයි ඉවෙන්ට් එක අවසාන වෙන්නේ.... ඇයි ඉස්පිරිතාල, පොලීසි, උසාවි... එව්වයේ යන්න වෙන එකත් ඉතිං දෙවියන්ටවත් වලක්වන්න බෑ...  සංගීතය දුන්නේ දෙවියෝ උනාට රසිකයෝ දුන්නේ දෙවියෝ නෙවෙයිනේ අයුබෝවන්ඩ... කොච්චර උනත් දෙවියන්ට තිබ්බා රසිකයෝ ටිකත් එහෙම්ම බස්සන්න නේහ් ...