Wednesday, September 18, 2019

වඳුරු කතා..





වඳුරා කිව්වාම ඉතින් වඳුරු කුලයට අයිති සත්තු බොහොමයක් ඉන්නවා උනත් වඳුරාට වඩා වඳුරු වැඩ කරන්න වඳුරාගේ  ලොකු අයියා වෙච්චි මිනිසා කියලයි ගොඩයාගෙ මතය. ඩාවින්ගෙ පරිනාම වාදයේ කියන විදිහට වඳුරාගෙන් මිනිසා පැවත එනවා කිව්වට ගොඩයා නම් ඔය කියන පරිනාම වාදය විශ්වාස කරන්නෙ නැහැ. ඩාවින්ගේ පරිනාම වාදය විශ්වාස නොකලත්, මිනිහා කියන සතා වඳුරා කියන සතාගෙ නෑයෙක් කියන්න නම් කරුනු කාරනා බොහොමයි රට තොට දිහා ටිකක් හොදින් විපරම් කරලා බැලුවාම. මොකද කියනවනම් කලිසම් සූට් ඇදලා ගජරාමෙට සැරසිලා ඒසී වාහන වලින් ගමන් ගිහින් මන්දිර වල වාසය කරාට බහුතරයක් මිනිස්සු හැසිරෙන්නෙ වඳුරන්ටත් අන්ත තාලෙට. ඔන්න ඔය ආකාරයෙන් බ්‍රන්ත ලොරි ටෝක්ස් එක්ක පෝස්ට් එක දිගටම ලියාගෙන ගියොත් ගොඩයා  දාර්ශනික ටෝක්ස් දීලා පොර වෙන්න හදනවා කියලා පාථකයන් හිතන්න බැරි නෑ . ඒ  පරිනාම වාදය ගැන, මිනිස්සු ගැන ලොරි ටෝක්ස් එතැනින් ඉවරයි. ඕන් එතැන් පටන් ලියැවෙන්නෙ ලියන්න ආපු වඳුරු කතා ටික.

ගොඩයාගෙ ලංකාවෙ ගෙදරින් දැන් කාලෙක හිටං පැමිනිලි ඉවරයක් නෑ වඳුරු කරදරයක් සම්භන්ධව. පැමිනිල්ල ගැන කෙටියෙන් කියනවනම් විස්සක තිහක විතර වඳුරු රැලක් ගම් වැදිලා කාලයක හිටන් එකම නාට්ටියක්ලු. ගහක කොලක ගෙඩියක්, මලක්, දල්ලක් එන්න දෙන්නෙ නෑලු මෑන්ස්ලා දිනකට දෙකකට වතාවක් විසිට් කරලා පලදාව නෙලනවාලු. වහලවල්, ටීවී ඇන්ටෙනා, ලයිට් වයර්, ටැලිෆෝන් වයර් ඇතුලු මෙකී නොකී එලියෙ තියෙන සෑම දේවල්ම වදුරන්ගේ දේපල බවට පත්වෙලාලු . ඕන් ඉතින් ගොඩයාටත් මේ පැමිනිල්ල අහගෙන ඉදලා බැරිම තැන ගොඩයා ලොක්කා වගේ කිව්ව අවුරුද්දට ලංකාවට ආවාම ප්‍රශ්නෙ ඉවරයක් කරලා දෙන්නම් කියලා. මොකද කියනවනම් ගොඩයා ලංකාවෙ රැකියාව කරද්දි ඔය වඳුරා කියන සතා එක්ක රාජකාරී වශයෙන්ම සම්භන්ධ වෙලා ඉදලා තියෙන නිසා ගොඩයාට පොඩි විස්වාසයක් තිබ්බ ටික දවසකට හරි වඳුරු රැල එලෝලා දෙන්න පුලුවන් වෙයි කියලා.

ඕන් ගොඩයා ලංකාවට ගියා කියමුකෝ.. අප්පට සිරි.. කිව්වට වඩා වැඩේ දරුනුයි.. කොටින්ම කියනවානම් වදුරන්ගෙ ඉඩම්වල අපි ගෙවල් හදපු ගානයි. වෙනත් විදිහකට කියනවනම්, උන්ගෙ ගේක අපි කුලියට ඉන්නවා වගේ කියහන්කෝ.. යකඩෝ සීට් වහල උඩ මුන් ටික දුවන්නෙ පනින්නෙ ගාලු පාරෙ බස් ලොරි යන ගානට. මුලු පලාතෙම තියෙන ගස්වල දලු, මල්, කොල, ගෙඩි කාලා අහවර වෙලා මෑන්ස්ලා ටික ගොඩයාගෙ තාප්පෙ උඩින් වාඩිවෙලා ඉන්නේ පොඩි බ්‍රේක් එකක් ගත්තා මචං කියන ගානට. ගහක ගෙඩියක් සතෙක් කඩන් කෑවට මක් වෙනවද ආයුබෝවන්ඩ ..  එක ගෙඩියක් කඩාගෙන කාලා මදි පාඩුවට බඩගින්නෙ වැඩි කමට තව ගෙඩියක් කඩන් කෑවත් මක් වෙනවද.. මොකෝ ඉතින් උන් උයා පිහාගෙන කන්න කියලද. ඒත් ඉතින් යකඩෝ එක ගෙඩියක් කඩලා එක කෑලක් කාලා ඒක බිමට දාලා තව ගෙඩියක් කඩාගෙන ඒකෙනුත් පොඩි කෑල්ලක් කාලා ඒකත් බිමට විසික්කා කරලා තවත් ගෙඩියක් කඩාගෙන ඒකෙනුත් පොඩි දත් පාරක් ගහලා විසික් කරලා ආයෙත් ගෙඩියක් කඩාගෙන කෑල්ලක් කාලා බිමට විසික් කරලා බිම ඉන්න අපි දිහාට විරිත්තනකොට ගොඩයාට හිතෙන්න දේ සිංහලෙන්ම මෙතන ලියන්න බෑ. ගහට නගලා වදුරු රැල පස්සෙ එලවන්න බැරි නිසා ගොඩයා වදුරු රැලේ මෑනියන්ලාටත්, මෑනියන්ලාගෙ මෑනියන්ලාටත් හිතෙන් සෙත් පතනවා වෙන කරන්න දෙයක් නැති නිසා. 

ඕන් ගොඩයා බහිනවා වදුරන් එලවීමේ මහා සංග්‍රාමයට. පවුලේ උදවියද අහල පහල උදවියද වටවෙලා කියහන්කෝ. කස්ටිය බලාන ඉන්නවා ගොඩයා වදුරන්ට බැස්ටිය දීලා වදුරු රැල බුදාම්මෝ කියාගෙන පැත්තෙවත් නොඉඳ පණ කඩාගෙන පැනලා දුවනකල්. වදුරු රැල ගොඩයාගෙ ගෙදරට අල්ලපු වත්තෙ මායිමේ තියෙන කොස් ගහක පොඩි ගෙට්ටුගෙදර් එකක් කියමුකෝ. වැඩි කලබලයක් නෑ කස්ටිය තැන තැන වාඩිවෙලා ඔලු බලනවා, පිට කහනවා, වලිග වලින් ඇදගන්නවා  එක විකාරයයි. ඕන් ගොඩයත් කලින්ම සූදානම් කරගෙන හිටපු රතිඤ්ඤා පෙට්ටිය එහෙම එලියට අරගෙන ඉටි පන්දමකුත් පත්තු කරගෙන වදුරන් එලවන්නයි සූදානම. වදුරු රැල කිසිම හාවක් හූවක් වැඩි කලබලයක් නෑ කොස් ගහට වෙලා පාඩුවේ එයාලගෙ වැඩ. ඕන් ගොඩයා පලවෙනි රතිඤ්ඤා කරල පත්තු කරලා කොස් ගහ දිහාට විසික් කරනවා.. වදුරු රැල බුදාම්මෝ කියාගෙන පන එපා කියාගෙන දුවන්න ගත්තද පිංවතුනි... නෑ හත් ඉලව්වෙ නෑ.. උන්ට මෙලෝ ගානක් නෑ. ඕන්  ගොඩයාට මල පයිනව.. ඇයි යකෝ ගෙදර අයිතිකාර මහත්තයා රට ඉදන් ඇවිල්ලා අහල පහල මිනිස්සුත් වට කරගෙන හෙන ලොක්ක වගේ රතිඤ්ඤා කරලක් පත්තු කරලා ඇඟට විසික් කරාම උන්ට වටිනවා නේද අඩුම තරමේ එහා ගහටවත් පයින්න. මොන.. උන්ට මෙලෝ ගානක් නෑ. ඔන්න ගොඩයා ගන්නව රතිඤ්ඤා කරල් පහක් විතර අතට. කොස් ගහට මෝටාර් ගහන්නැහේ රතිඤ්ඤා කරල් පහම රූන් රූන් ගාලා කොස් ගහ දිහාවට විසික් වෙනවා.. ඩෝං ඩෝං ගාගෙන වදුරන්ගෙ කන ගාව එව්ව පුපුරන්වා.. මෙන්න බොලේ වදුරු රැල පන එපා කියාගෙන දුවන්න පටන් ගති?   පී....ස්සුද් ආයුබෝවන්ඩ .. උන්ට මෙලෝ ගානක් නෑ.. උන් සැට් එක ගොඩයා දිහා බලාන ඉන්නවා කව්ද බන් මේ පිස්සු බුවා කියන  ගානට.. ඉතිං හත් ඉලව්වෙ ගොඩයා කියලා මැරෙන්නද.. රතිඤ්ඤා පෙට්ටියෙන් භාගයක් පත්තු කරලා උන් දිහාර විසික් කරලත් උන් උන්ගෙ වැඩ.. ගොඩයාට හති රතිඤ්ඤා උඩ විසික් කොරල.. අවසානයේ ගොඩයා ස්ව කැමැත්තෙන් පරාජය භාරගෙන වැඩේ අල්ලලා දානවා වදුරු රැලයි ගෙදර උදවියයි, අහලපහල උදවියයි ඉසරහා පිස්සෙක් ගානට වැටෙන්න බැරි නිසා. වදුරන් එලවීමේ ප්‍රොජෙක්ට් එක එතැනින් ඉවරයි. ඩාවින් කිව්වට මිනිසා පැවත එන්නේ වඳුරාගෙන් කියලා ගොඩයාගේ වඳුරන් එලවීමේ මෙහෙයුමෙන්ම කියන්න බැරිද ඒක එහෙම නෑ කියල. ඇයි හත් ඉලව්වේ ඔය සා රතිඥ්ඥා ගොඩක් පත්තු කරලා මනුස්සයෙකුගේ ඇඟට විසික් කරානම් මේ වෙද්දී ගොඩයාගේ තුන් මාසේ දානෙත් දීලා අනිවා. ඒත් වඳුරු රැල රතිඥ්ඥා ගැන දක්වපු ප්‍රතිචාරය අනුවම ඔප්පු වෙන්නේ නැද්ද වඳුරා සහ මිනිසා කියන්නේ එක පවුලේ එවුන් වෙන්න බෑ කියල.  

වඳුරන් එලවීමේ මෙහෙයුමත් අසාර්ථක වෙච්චි එකේ වන්ජීවී එකේ වැඩ කරන පරන මිත්‍රයෙක් අමතලා විකල්පයක් අහන්නත් ගොඩයා අමතක කරන්නෙ නෑ. ගොඩයාගේ බලවත් ඉල්ලීම පිට තඩියා වනජීවී මිත්‍රයා අමතලා පිහිටක් පැතුවත් එයත් නිශ්පල වෙනවා ප්‍රතිඵලයක් නැතුවම. වන්ජීවී මිත්‍රයාගෙ පිලිතුර උනේ ඕනෙනම් අලි වෙඩි දෙකක් ගෙනත් දෙන්නම් රජෝ දාලා බලහන් කියන එක. ගොඩයා ඒ වෙද්දී ලංකවෙන් පිටවෙලා නිසාත්, අලි වෙඩි සමග තඩියා එහි යවා වදුරු රැලට , ගෙදර උදවියට, අහල පහල අයට තඩියාටවත් නෝන්ඩි කරන්න බැරි නිසා ගොඩයා ඒ ඔප්ශන් එක පාවිච්චි කරන්න ගියේ නෑ.. මේ වෙද්දීත් වදුරු රැල දෙයියන්ගේ පිහිටෙන් කිසිම දුකක් කරදරයක් නැතුව සුවසේ වාසය කරනා අතර ඊයේ වෙද්දි තත්වය කියනවානම් වහලේ තැන් දෙකකින් දිය ඇල්ලක් වගේ ගේ ඇතුලට වතුර වැටෙනවාලු වහින වෙලාවට. ඒ කියන්නෙ වත්තේ පිටියේ පලදාව පරිභෝජනය කරන්න දුන්නට අමතරව ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු දෙකක සහ වඩු බාස් කෙනෙකුට සහ ගෝලයෙකුට දවසක පඩිය ඇතුලු බිලක් ගොඩයාට හෙටානිද්දා වෙද්දි ලැබීමට නියමිතයි.. ඊයෙ පෙරේදාවක ගොඩයා CCTV හරහා ගේදොර දිහාවට දිවැස් හෙලන අල්ලපනල්ලෙ මෙන්න බොලේ වඳුරු අප්පුහාමිලා  හත් අට දෙනෙක් ගොඩයාගෙ කාර් කටුව උඩ වාඩි වෙලා සැපේ ඉන්නවා කියහකෝ. ඒ වෙලාවෙනම් ගොඩයාට  වඳුරු රැලේ මෑණි වරුත්, ඩාවින්ගේ මෑණියනුත් මතක් උනා. ඇයි යකඩෝ වදුරු රැලක් නිසා මේ සා දුක් උහුලන්න පුලුවනිද මිනිස්සුන්ට.. එහෙව් කාපාලුවන්ගෙන් මිනිසා පැවත එනවා කිව්වම මල පනින්නේ නැද්ද හා..

ගොඩයා රාජකාරී වශයෙන්ම වදුරන් එක්ක සම්භන්ද වෙලා හිටපු කතාවත් ලියපු නිසා වදුරු කතා තව ටිකක් දුරට ලියලම පෝස්ට් එක ඉවරයක් කරනව. වඳුරු පවුලටම සම්භන්ධ නිසා වඳුරා කියලා කිව්වට ඔය කියන රාජකාරියට අනුයුක්ත උනේ රිලව් බිස්නස් එකක්. මතක් වෙච්චි වෙලාවෙ එව්ව ලියලා තැබීම ඇගට ගුනදායකයි ගොඩයාගේ අප්සැට් මෙමරියේ බැටරිය අවුල් නිසා.

අවුරුදු දෙකකට විතර වතාවක් ගොඩයාට සැට්වෙන අමතර රාජකාරියක් විදිහට තමා ඔයා කියන රිලව් බිස්නස් එක සැට් වෙන්නෙ. ඔය කියන ප්‍රොජෙක්ට් එක සැට් වෙන කාලෙට ගොඩයාගෙ කාර්‍යාලයේ ලියාපදිංචි වෙලා ඉන්න රිලව්  අල්ලන්ට ගොඩයා දැනුම් දෙනවා රිලවුන්  මෙන්න මේ ප්‍රමානයක් අවශ්‍යයි කියලා. එහෙම කිව්වාම කොන්ත්‍රාත් ක්‍රමයට රිලව්  අල්ලන්නන් වැඩේ පටාන් ගන්නවා පහුවදාම. ගොඩයාට තියෙන්නෙ ගෝල තැන ලව්වා රිලා කූඩු ටික පිලිවෙලක් කරලා තැබීම පමනයි. ඒ අතරේ වනජීවී කාර්‍යාලයෙන් ගොඩයා වෙත නිකුත් කෙරෙන බලපත්‍රය  සහ වදුරන් සිහි නැති කිරීමේ ඖශධ ලැහැස්ති පිට තබාගැනීම ගොඩයා සතු වගකීමක්.  දවල් දවසේ අල්ලන රිලවුන් හවස් වෙද්දි ලෑන්ඩ් මාස්ටර්යක හෝ කාර්‍යාල ලොරියක පටවලා කාර්‍යාලයට ආපු ගමන් කෑලි ගානට කෑශ් එවෙලේම ගෙවනවා ආයෙ ගොඩයා ලෝස් නෑ.  

රිලව් අල්ලන කොන්ත්‍රාත් කරුවන් රිලව් ඇල්ලිල්ල කරන්නේ තමුන්ගේ ගමේ රටේ නොවෙන මලාට ගමේ එවුන්ට ආරංචි නොවෙන කැලෑබද ප්‍රදේශයකට ගිහින්. ජීවත් වෙන ගමේ කොයිතරම් රිලව් හිටියත් ඔය කියන උදවිය ගමේ රිලව් අල්ලන්නේ නෑ. ඒකට හේතුව නිකමට හරි ගමේ එකෙක් දැක්කොත් මෑන්ස්ගේ පරම්පරාවම සුං නිසා. ඔය කියන කාරනාව තවදුරටත් පැහැදිලි කරනවානම් සීන් කෝන් එක මෙන්න මෙහෙමයි. උදාහරණයක් විදිහට කියමුකෝ රිලව් අල්ලන්නේ සුනිල් කියලා.. ඕන් සුනිල්ගේ ගමේ අහල පහල කෙනෙක් සුනිල් රිලව් අල්ලනවා කියල දැක්කොත් හෝ දැනගත්තොත් එදා හිටං සුනිල් සුං. ඒ කිව්වට වැඩි වෙනසක් නෑ.. උපන්දා හිටං නිකම්ම නිකං සුනිල් වෙච්චි සුනිල් එදා හිටං ගමේ එවුන්ට රිලා සුනිල් . එච්චරයි.. හැබැයි ඒ විතරක් නෙවෙයි.. සුනිල්ගේ අඹු දරුවන්ටත් ඒ ආනිසංසෙම තමයි. එදා හිටං "රිලා" + සුනිල්ගේ පුතා, "රිලා" + සුනිල්ගේ දුව, "රිලා" + සුනිල්ගේ ගෑනි, "රිලා" + සුනිල්ගේ අම්මා, "රිලා" + සුනිල්ගේ තාත්තා වගේ සුනිල්ගේ පරම්පරාවටම රිලා විශේශනේ එකතු කරන්න ගන්කාරයන් දෙපාරක් හිතන්නේ නෑ.   ඒ නිසා ඔය කියන රිලව් අල්ලන උදවිය වැඩේ කරන්නේ හෙවනල්ලටවත් නොදැනෙන්න තමා. ගොඩයලාත් රිලව් අල්ලන කස්ටියට වැඩිය ප්‍රෙෂර් එකක් දෙන්නේ නෑ මෑන්ස්ලා කොන්ත්‍රාත්තුව කරන්න බෑ කිව්වොත් වැඩේ කරගන්න මිනිස්සු හොයන්න සෑහෙන අමාරු නිසා.

ඕන් ඒ වගේ රිලව් අල්ලන කාලෙක මහ දවාලේ ගොඩයාගෙ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබෙනවා..

මහත්තයා මං..... අහවලා...

ආ ඔව් කියන්න..

මහත්තයා සතෙකුට තුවාල උනා.. ගන්න බෑ සතා සල් අඩේ අතුලේ ලේ ගලනව..  

මොකද උනේ..

සල් අඩේ යටින් මේ යකා රිංගන්න ගිහින් තුවාල කරගත්තා මහත්තයා..

දැන් මොකද කරන්න ඕන..

බේත් ටිකක් විදලා තමයි ගන්න වෙන්නේ මහත්තයා..

හරි.. එහෙනං අපි එන්නං.. එතකම් සතාට යන්න දෙන්න එපා..

තුවාල වෙච්චි සතෙක් ගොඩයාලාගේ ප්‍රොජෙක්ට් එකට වැඩක් නෑ. ඒත් තුවාල වෙච්ච සතෙක් තුවාල පිටින් කැලේට අතාරින එකත් සදාචාරාත්මක නෑ. ප්‍රතිකර්මයක් කරලා තුවාල හොඳ කරලා එපැයි ඉතින් සතා අතාරින්න. 

ඕන් ගොඩයා සහ ගෝල තැන රාජකාරී යතුරු පැදියේ නැගලා ඉගිලෙනවා අරුන්දෑලා රිලව් අල්ලන ඉසව්ව හොයාගෙන. ඒ යන්නේ හිස් අතින් නෙවෙයි. රිලා නයිදෙට සිහි නැති කරන්ට ඕනෑ කරන ඖෂදෙත් අරගෙන. ඕන් මේ පෝස්ටුව කියෝලා සත්තුන්ට සිහි නැති කරන ඖෂධ වර්ග ගැන ගොඩයාගෙන් අහන්න තියාගන්න බෑ. මොකද කියනවනම් ඔව්වයේ නම් ගම් මාත්‍රා මේකේ ලියලා කව්රුහරි අසමජ්ජතියෙක් ඔව්වා පාවිච්චි කරලා හිරේ විලංගුවේ වැටුනොත් ගොඩයාට ඔව්වට වග කියන්න බෑ.

ගොඩයාගේ රාජකාරි යතුරුපැදිය වෙච්චි යමහා RX 100 යන්තරේ පොලොව ඉරාගෙන යන්න දක්ෂයා නිසා පැය භාගෙන් ගොඩයා සහ ගෝල තැන රිලා කැචින් ලොකේෂන් එකේ. ඕන් ලං වෙලා බැලින්නම් තරුණ රිලා  නාම්බෙක් ලේ පෙරාගෙන සල් අඩේ ඇතුලේ ඉඳන් එලියට පැනගන්න ගේම ඉල්ලනවා. කොහොමින් කොහොම හරි රිලා හාමු සල් අඩේ අයිනට අරගෙන සිහිය නැති කරන බෙහෙත් ටික එන්නත් කරන්න ලැස්ති උනා කියමුකෝ. වැඩේ කියන්නේ හදිසියෙන් ආපු නිසා සිහි නැතිකරන ඖෂදේ ගෙනල්ල තියෙන්නේ තුන්කාලකට වඩා ඉවර වෙච්චි බෝතලයක් කියහන්කෝ..  ඔය කියන තද පාට කුප්පිය හොඳින් බැලුවේ නැති වුනොත් ඇතුල පේන්නේ නෑ. හදිසියට ෆ්‍රිජ් එකෙන් අරං බෙහෙත් පෙට්ටියට දාගෙන තියෙන්නේ යාන්තමට අඩිය විතරක් තියෙන බෝතලයක්. තුවාල වෙච්ච සතා තුවාල පිටින් කැලේට අතාරින්නත් බෑ. සිහි නැතිකරන ඖෂදේ ගේන්න ආපහු කාර්යාලයට යන්න පුළුවනි ඒත් රිලා නයිදේ දඟලන දඟලිල්ලට බේත් අරං ආපහු එනකං පණ පිටින් ඉඳියිද කියලත් සුවර් නෑ. ඒ අතරේ බෙහෙත විදලා සතා එලියට ගත්තට කාර්යාලයට සතාව අරං යන්න රාජකාරි වාහනෙත් නෑ. ඉතින් කියහන්කෝ දැන් මොකෑ කරන්නේ කියලා.. විකල්පයක් නැති තැනම ගොඩයා සහ ගෝල තැන තීරණය කරනවා ඖෂදේ අන්තිම බිංදුවටම විදලා සතා එලියට අරගෙන මොටෝවේ මැදින් තියාගෙන කාර්යාලයට අරගෙන යන්න..

ඕන් ගොඩයා ඖෂදේ රිලා මොටාට විදලා විනාඩි දෙක තුනක් යද්දී රිලා මල්ලි සැපට දොයි..  ගෝල් තැන කොහෙන්දෝ හොයාගෙන ආපු ගෝනි මල්ලක පරෙස්සමට රිලා මල්ලිව තියලා ගෝනියේ කට ලණුවකින් ගැට ගැහුවාම රිලා මොටා ට්‍රාන්සර් එකට රෙඩි.. හැබැයි ගොඩයාටයි ගෝල තැනටයි වැඩේ ෂුවර් නෑ. රිලා මල්ලිට මගදී සිහිය එන්නත් පුළුවනි ඔෆිසියට යනකල් සැපේ නිදියන්නත් පුළුවනි. වැඩිය කාලය නාස්ති කරන්න බැරි නිසා රිලා ගෝනිය ගොඩයාට සහ ගෝල තැනට මැදින් තියාගෙන ගොඩයාගේ රාජකාරි යතුරු පැදිය කාර්යාලය බලා ගුවන්ගත වෙනව..

ටික දුරක් ඔහොම ගියා කියමුකෝ.. මෙන්න බොලේ රිලා ගෝනිය ටිකෙන් ටික හෙලවෙනවා ගොඩයාගේ පිටට දැනෙනවා. ගොඩයා තමා මොටෝව පදින්නේ.. ගෝල තැනගේ උකුලේ තමා රිලා ගෝනිය සැපේ ඉන්නේ.. වැඩේ එන්න එන්නම හරි නෑ.. ගෝනිය දැන් ටිකෙන් ටික හොඳටෝම නොටෝරියස් කියහන්කෝ..ගොඩයාටත් පන  බයයි මේ යෝදයා මරු විකාරෙන් ගොඩයාගේ පිට හපයිද කියලා. ගෝල තැනත් පට්ට ගේමක් දෙනවා රිලා ගෝනිය බයිසිමොටෝවෙන් බිමට පතබෑ  නොවී තියාගන්න. මොන.. ගෝනිය දෙවනත් වෙන්න රිලා මල්ලි ඇතුලේ ඉඳන් එස්කේප් ප්ලෑන් එක එක්සිකියුට් කරනව. පවනට බඳු වේගයෙන් ගුවන්ගතවෙන මොටෝව මුගේ දැඟලිල්ලට කොයි ගිහින් නතර වෙයිද කියලා අන්ශුවර් වෙච්චි  ගොඩයා මොටෝව නවත්තනවා තුන්දෙනාගෙම ජීවිත බේරාගන්න ඕන නිසා. ඒ අස්සෙ ගොඩයා කල්පනාවක් නැතුව මොටෝව නවත්තලා තියෙන්නේ වන්දනා නඩයක් විවේක ගන්න නවත්තපු තැනක කියහන්කෝ. බයිසිමොටෝව නවත්තපු ගමන් ගෝල තැන විසින් බිම තියපු රිලා ගෝනිය මෙන්න යකෝ ඔබ මොබ පනිනවා.. 

අම්මේ... මාමල දෙන්නෙක් ගෝනියක් නටවන්න ගෙනල්ලෝ.. කීයක් හරි අරං එන්නෝ...

වන්දනා නඩේ හිටපු ඇච්චෙක් කෑ ගහපු කෑ ගැහිල්ලට වන්දනා නඩේම ඊළඟට රිලා ගෝනිය වටේ වටවීමට නියමිත නිසා ඔන්න ගෝල තැන නැවත රිලා ගෝනිය උස්සලා ගන්නවා ආයෙත් බයිසි මොටෝවට. ඇයි හත් ඉලව්වේ පුජා නගරවල ඔය සම්පලේ එක එකාකාර සෙල්ලම් පෙන්නලා මිනිස්සුන්ගේ අතේ තියෙන කීය හරි හුරගන්න ඒජන්තලා බහුල නිසා පැන පැන යන ගෝනියක් වටේ වන්දනාවේ ආපු මිනිස්සු වටවෙන එක අරුමයක් නෙවෙයිනේ. ඒ වගේද මිනිස්සු ඉස්සරහා හදිසියෙවත් ලේ පෙරාගෙන ඉන්න රිලා මොටා ගෝනියෙන් එලියට පැන්නොත් ගොඩයා සහ ගෝල තැනට මිනිස්සු මොනා නොකර ඉඳියිද.. ඒ කාලේ ස්මාර්ට් ෆෝන් නොතිබුන නිසා මිසක්, ස්මාර්ට් ෆෝන් තිබුනානම් ගොඩයා, ගෝලයා සහ උඩ පනින රිලා ගෝනිය ෆේස්බුකියේ පසිද්ධ වෙන්න යන්නේ විනාඩි දහයයි. එහෙම උනානං ඉතින් ගොඩයා පාරේ බැහැලා හමාරයි. ඇයි යකෝ ජැන්ඩියට ඇඳගෙන රස්සාවට යනවා කියලා ගිහින් මේ යකා කතරගම ගෝනි නටවනවා කියලා ගමේ එවුං නොකිය ඉඳියිද..

එතැන් පටන් නැවතත් කාර්යාලයට ගුවන්ගතවිමක් තමා. හැබැයි කලින්ට වඩා වෙනස්. ගොඩයා මොටෝව පදින්නේ හිටගෙන. ගෝල තැන රිලා ගෝනිය තදින් අල්ලාගෙන ඉන්නවා මොටෝවෙන් බිමට පනින්න බැරිවෙන්න. පාරේ තොටේ බලං ඉන්න එවුං හිතන්නේ කාල තෙල වැඩි වෙච්ච එවුන් දෙන්නෙක්  මොටෝ බයිසිකලයකින් වැලිගම යන්න හදනවා කියලා. එහෙව් අසීරු ගමනකින් අනතුරුව රිලා ගෝනිය සමග ගොඩයා, ගෝලයා, රිලා මොටා ඔෆිසියේ. එයින් පස්සේ ඉතින් රිලා මොටා කුඩුවේ.. විනාඩි කීපයකට  පස්සේ රිලා මොටා තද දම් පාටයි.. ඒ ගෝල තැන විසින් රිලා මොටාට නොමිලේ දෙන ජෙන්සන් වයලට් සත්කාරය නිසා..

ඔන්න ඔය ආකාරයෙන් සතියක් දෙකක් ගතවෙද්දී ගොඩයාලාගේ ඔෆිසියේ තියෙන රිලා කූඩු ටිකේ රිලා මොටව් විස්සක් තිහක් ඔන් බෝර්ඩ්. එතැන් පටන් රිලා මල්ලිලාට නංගිලාට කෑම ආයතනයේ වියදමෙන්. ආයේ ඉතින් මාස හයකට අවුරුද්දකට රිලා මල්ලිලාට හේන් වලට පැනලා  මෑ කරල්. වම්බටු, වට්ටක්කා, පැණි කොමඩු හොරෙන් කන්න ඕන නෑ.. ඒ වගේම ගෙවල්වල කුස්සි වලට හොරෙන් පැනලා බත් මුට්ටි, පොල් බෑ උස්සගෙන ගස් දිගේ දුහන්න ඕනත් නෑ.. තුන් වේලම ෆ්‍රෙෂ් කෑම නොමිලේ උදෑසන ෆ්‍රෙෂ් වෝටර් බාත් එකක්ද සමගින්..

ඔය කියන රිලා කූඩු තියෙන්නේ පේලි දෙකකට කියමුකෝ. එව්වා සිංගල් ඉන්න හදපුවා නිසා එක කූඩුවට එක්කෙනයි. කූඩු පේලි දෙක මැද්දෙන් අඩි තුනක විතර ඉඩක්. ඒ ඉඩ මැදින් තමයි ගෝල තැන ගිහින් රිලා සැට් එකට කෑම දෙන්නේ, නාවන්නේ, කවන්නේ, පොවන්නේ.. ඒ අතරේ හැමදාම උදේට රිලා සැට් එක නාවලා කුඩු යට රිලා මල සුද්ද කරලා ක්ලීන් එකට තියාගන්නෙත් ඔය මැදින් තියන අඩි තුන හතර මැදින් ගිහිල්ලා කියමුකෝ. 

රිලව් ඉන්න කාලෙට ගෝල තැනගේ උදෑසන පළමු රාජකාරිය රිලා කුඩු ටික ක්ලීන් කරලා , රිලා සැට් එක නාවලා කෑම දීම තමා. ගෝල තැන ඔය වැඩේට යන්නේ උදේ ඇහැරුණු ගමන්ම. ඒ කියන්නේ ජස්ට් සරම පිටිං.  සරම දෙකට නවාගන්න ගෝල තැන පළමුවෙන්ම කරන්නේ වතුර බටේ අරගෙන හොඳවයින් වතුර පාරක් අල්ලලා රිලා සැට් එක නාවන එක. නෑ බෑ කියන්න බෑ හැමදෙනාටම උදෑසන ස්නානය අනිවාර්යයි. ඊළඟට තමා කූඩු යට තියෙන අපද්‍රව්‍ය, කාලා ඉතුරු කරපු කෑම වගේ දේවල් ඉදලකින් එලියට තල්ලු කරන්නේ. ඒ අපද්‍රව්‍ය ටික සිමෙන්ති පොළවෙන් එලියට තල්ලු කරලා දාලා ආයෙත් වතුර පාරක් ඇල්ලුවාම කස්ටිය අලුත් දවසකට රෙඩි. ඊට පස්සේ තමා කෑම.. ආයේ ඉතින් දවසට තුන් හතර වතාවක් ෆ්‍රෙෂ් වෙජිටබල්ස් ඇන්ඩ් ෆ්‍රෙෂ් ෆෘට්ස් ඇති තරම්.. ආයේ එක එකාගේ හේන් වලට පැනලා දෙවැනි සිල් පදෙත් කඩාගෙන නෝන්ඩි වෙන්න දෙයක් නෑ..

ඕන් එක දවසක කූඩු ක්ලීන් කරන්න ගිය ගෝල තැන උදේ පාන්දරම ගිනි විසික් වෙන්න මල පැනලා රිලා සංහතියටම සිංහලෙන් අමතනවා ඇහිලා ගොඩයා හනික ඇඳෙන් පැනලා දුවනවා රිලා කූඩු දිහාවට. රාජකාරිය පටන් ගන්නේ උදෑසන අටට නිසා ගොඩයා ඔය කියන ක්ලීනින් සෙෂන් එක වෙද්දී ඉන්නේ තද නින්දේ. රාජකාරිය පටන් ගන්නේ උදේ අටට නිසාත්, ඉන්නේ නිල නිවාසයේ නිසාත් උදේ හයට අවදි වීමේ අවශ්‍යතාවයක් ගොඩයාට නෑ. ඒත් ඉතින් ගෝල තැන නම් උදේ හත වෙද්දී කූඩු ටික ක්ලීන් කරලා, රිලා සැට් එකට කෑමත් දීල ගොඩයාට කන්න බ්‍රෙක්ෆස්ට් එකත් හදලා අහවරයි. රිලා සැට් එක කොළඹ යවනකල් සති කිහිපයක් ගෝල තැනගේ දින චරියාව පටන් ගන්නේ ඕන් ඔහොම තමා..

ඔන්න ගොඩයා නිදි පැදුරෙන් ඇඳෙන් පැනලා දුවනවා රිලා කූඩු දිහාවට. බැලින්නම් වැඩි අවුලක් නෑ. රිලා සැට් එකම උවදුරක් නැතුව කූඩු ඇතුලේ සැපේ ඉන්නවා. ගෝල තැන දෙකට නැමීලා අමාරුවෙන් ඉන්නා අතරේ රිලා සැට් එක එක්ක ගේම.. බැලින්නම් සිද්දිය ඉතාමත් සෝචනීයයි.. අහසෙ තරු නාහෙ ගාව කැරකෙන තාලෙට වේදනාකාරීයි.. කන් දෙකෙන් දුම් දමන සුලුයි....

කූඩු පේලි මැදින් ගිහින් කූඩු සුද්ද කරනකොට යට ක්ලීන් කරන්න පහත් වෙනවනේ. අන්න ඒ වෙලාවට සුද්ද කරන කෙනාගෙ පස්ස පැත්ත අනික් කූඩු පේලියේ ගෑවෙන්න නොගෑවෙන්න තරම් ලං වෙන එක වලක්වන්න බෑ. අපේ ගෝල තැන එහෙම පහත් වෙලා කූඩු යට සුද්ද කරන අල්ලපනල්ලේ සරම දෙකට නවාගෙනනේ ඉන්නේ. පහත් වෙලා කූඩු යට ක්ලීන් කරන ගෝල තැනගේ දෙකට නමපු සරම ඇතුලෙන් අමුතු තාලේ ගෙඩියක් එල්ලෙනව දැකපු පිටිපස්සෙ පේලියේ හිටපු රිලා පැන්චි කුඩුවේ දැලෙන් අත එලියට දාලා අර කිව්ව ගෙඩියෙන් ඇදලා කියහන්කෝ.. කඩාගෙන කන්නම  අදින ඇදිල්ලක් නිසා ආයෙ දෙකක් නෑ අපේ ගෝල තැනට අම්මා, මුත්තා, කිරිකිත්තා, නත්තා, පනත්තා හිටං මතක් වෙලා.. 

වඳුරාගේ සිරිත දුටු දේ අතගෑමයි කියන්නේ නිකමට නෙවෙයිනේ ආයුබෝවන්ඩ.. කාලෙකින් ගෙඩියක් කඩන් කන්නත් චෑන්ස් එක ලැබුනේ නැති එකේ, රිලවිට ක්ෂණිකව හිතෙන්න ඇති අප්පට සිරි අමුතු ජාතියේ ගෙඩියක් යකෝ කියල.. 

-----------------------------------------------------

සල් අඩේ කියන රිලව් අල්ලන ගැජට් එක කොමෙන්ට් එකකින් ලියන්නම් ඒ ගැන දැනගන්නම ඕන කට්ටිය ඉන්නවනම්.. ආරංචියේ හැටියට රිලවි කඩාගන්න උත්සහ කරපු ගෙඩිය මදක් තුවාලයි.. ජැන්සන් වයලට් තියෙනකල් ඉතින් කොයි තුවාලෙටත් අපේ ගෝලයා යූස් කරන්නේ ජැන්සන් වයලට් පමණයි..  කැමති තාලේ දම් පාට ගෙඩියක් හිතෙන් මවාගත්තට ගොඩයාගේ අවුලක් නෑ..

Tuesday, September 3, 2019

නංකී ....... මං ඔයාට ආදරෙයි....




කාලෙකින් බෝඩිමේ විස්තරයක් ලියන්න බැරි වෙච්ච එක හිතට හරි නෑ වගේ. ඒ  නිසා මේ ගොඩයා උත්සහ කරන්නෙ බොඩිමේ වෙච්චි රසවත් සිදුවීමක් ඉතිහාසයට එකතු කරන්න. 

බොඩිම ගැන මූලික හැදින්වීම මෙතැනින් කියවන්න පුලුවනි ..

https://ambalangodakatha.blogspot.com/2015/11/blog-post.html

ඉතින් ඕං බොඩිම කිව්වාම සැප සාගරයක් වගේම බෝඩිමේ නිදහස 1948 ලැබිච්ව නිදහස වගේ ලක්ස ගුනයක්. බෝඩිමේ  කාලය මරපු කාලයේ ගොඩයා ඇතුලු සබ්බ සකල සනුහරේම උසස්පෙල කරන ලාචොරොස් ගැටව්. ඔය උසස්පෙල කරන කාලෙ හිතාන හිටියට අපි හෙන සද්දන්ත පොරවල් කියලා දැන් එව්වා ගැන පසු විපරමක යෙදෙනකොට තමා තේරෙන්නෙ මුන් මහා ලොකු පොරවල් නෙවෙයි හෙන් ලා චොරොස් ගැටව් කියලා. ඒ උනාට ඉතින් ඒ කාලේ කටේ සවුදම නං එහා චක්‍රාවාටයටත් ගේම ඉල්ලන තරං. එව්වා ඉතිං උපෙක්ශාවෙන් බලාගෙන තුන්වේල කන්න දීලා ඇදුම් පැලදුනුත් දීලා අතටත් කීයක් හරි දීපු දෙමාපියන් කොයිනම් ඉවසිල්ලක් ඉවසන්න ඇතිද කියලා ගොඩයාට හිතාගන්න බෑ. මොකද කියනවානම් දැන් පාරේ තොටේ දකින ඒ වයසේ කොලු ගැටව් කරන දේවල් , කියවන පණ්ඩිත කතා ඇහෙද්දි ගොඩයාට කල්පනා වෙන්නෙම මීට අවුරුදු විසි තුන හතරකට කලින් මේ වගේම පණ්ඩිත කතා, ගොන් මරි වීරකම් ඉවසාගෙන දෙමාපිය සනුහරේ කොහොම පාරමිතාවක් පුරන්න ඇතිද කියලාමයි.

බොඩිම ඉතින් ඉස්කෝලෙ ආච්චිගේ උනාට, ඥානා ඒකෙ භාරකාරයා උනාට බෝඩිම රාජ්‍ය පාලනයක් තිබුනේම නැති තරම්. නීතිය වල් වැදිච්ව ආයතනක් වෙච්චි බෝඩිම, නිහාල් නෙල්සන්ගේ ගුනේ අයියාගෙ බජව් දාන කාමරෙන් වෙනස් උනේ මස්කට් පැනි බූන්දි තිබ්බෙ නැති ටිකෙන් විතරයි. මොකද කියනවානම් මස්කට් පැනි බූන්දි ගේන්න අපේ එවුන්ට සල්ලි තිබ්බෙ නෑ. සල්ලි තිබ්බත් මස්කට් පැනි බූන්දි ගේන්න යන එකා අනිවා ඔව්ව ටික මගදි කාලා හිස් අතින් බෝඩිමට එන වග ටක්කෙටම දන්න නිසා කවුරුවත් පැණි බූන්දි ගේන්න මුදල් ආයෝජනය කලේ නෑ.

ගෘහ මූලික ඥානාට සහ උප ගෘහමූලික සම්පත්ට ටැන්සි නැන්දලාගේ ගෙදරින් තුන් වේලට බත් පත ලැබුන නිසා උන්ට කෑම ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. ගොඩයාට ඇතුලු අනෙකුත් බෝඩිමේ සාමාජිකයන්ට තම තමුන්ගේ ගෙවල්වල කෑම පහසුකම් ඇති පදමට තිබුනත් ඩිනර් එකට ගෙදර ගිහින් කාලා නැවත බෝඩිමට එන රිස්ක් එක කවුරුවත් ගත්තේ නෑ.  ඒකට හේතුව තමයි රෑ වෙලා ගෙදර ගිහින් ආයෙමත් බොඩිමට එන්න ගෙදරින් පනිද්දි නැවතත් අලුතෙන් ගෙවල්වලින් ගේට් පාස් ගන්න ඕන නිසා. එව්වා ඉතින් ලැබෙන්නත් පුලුවන් නොලැබෙන්නත් පුලුවන් වර්ගයේ එව්වා නිසා බොඩිමේ ඩිනර් එක වෙනුවෙන් ආදේශ උනේ කාගේ හෝ වත්තකට හොරෙන් පැනලා බා ගන්නා කොස් ගෙඩියක්, දෙල් ගෙඩියක් හෝ කාගේ හරි පිලිකන්නකින් හොරෙන් උදුරගන්නා මයියොක්කා අලයක් වගේ දෙයක් තමයි. කොස් දෙල් මුට්ටියක දාලා තැම්බුවාට නිකම්ම කන්න බෑ නෙව. පොල් ටිකක් ලූනු ගෙඩියක් වගේ දෙයක් ඉතිං අවශ්‍යම වෙනවනේ. ඒකට විකල්පය උනේ බොඩිමට අල්ලපු වැටේ තිබ්බ, අපේ බතලයාගෙ මවුතුමිය හෙවත් කාගෙත් අම්මා වෙච්චි අපේ ආදරණීය සුජාතා ඇන්ටිගේ කුස්සිය තමා ඉතින්.  සුජාතා ඇන්ටි එක්ක ශේප් එකේ කයියක් දාගෙන ඉන්න අතරේ එකෙක් එතැනින් මිසින් වෙලා ඇන්ටිගෙ පොල් බෑය ඇස්කොට් ගැසීම අපේ එවුන්ට සිම්පල්. ඉතිං කියහන්කෝ පහුවදා උදේ හතරට විතර උයන්න අවදිවෙන සුජාතා ඇන්ටිට ෆ්‍රිජ් එකේ සනීපෙට තිබ්බ පොල් බෑය අස්ථානගත වීම මාට්ටු උනාම වෙන දේ.. බතලයා ඉතින්  නිදි පැදුරෙන් සුනේ සුං.. ඇයි හත් ඉලව්වෙ ඒ මනුස්සයා බතලයාටයි උගේ ඇටිකිරිත්තන් මල්ලිටයි උයලා පිහලා තියලා රස්සාවටත් යන්න එපැයි. ඉතින් කියහංකෝ උදේට උයන්න සැට් කොරලා තියන පොල් බෑය අස්ථානගත උනාම මේ ආලපාලුවෝ දෙන්නට දවල්ට කන්න උයන්නේ කොහොමද. උදේ හතරට පහට තනි ඇහෙන් එලෝලුවක් මාලුවක් රත් කරලා අන්තිම තත්පරේ කොච්චියට නගින සුජාතා ඇන්ටිට කොහොම මලක් පනිනවා ඇතිද.. මොකෝ ඇන්ටි සහසුද්දෙන්ම දන්නවා පොල් බෑය ඉස්සුවේ පිටසක්වල ජීවීන් නෙවෙයි කියන එක.  ඉතින් එකෙන්ම චූදිතයා වෙන්නෙ බතලයා. උගේ ඇරිකිරිත්තන් මලයාටත් තමුන්ගේ අයියා වෙච්චි බතලයාට සහ මිත්‍ර සනුහරේට පෝර දාන්න චාන්ස් එකක් අහු උනාම ඌට වැඩක් නෑ වෙලාව උදේ තුනද හතරද කියන එක. මොකද කියනවනම් බතලයාගේ මලයා වෙච්චි ඇටිකිරිත්තන් ලසන්තයා බොරදියේ මාළු බාන්න සෑහෙන්න දක්ස සුපිරි ඩයල් එකක්. 

හැබයි ඉතින් සුජාතා ඇන්ටි කේන්ති ගිය වෙලාවට කන්වල ඇඟිලි ගහගන්න බැන වැදුනට කවදාවත් හිතේ කහටක් නැති මනුස්සයා. ගොඩයා, තඩියා, රවියා ගිහින් සාලෙ තියෙන සැටියෙන් වාඩි වෙනවා කියමුකො.. ඊලගට කතා කරන්නෙ රවියා හෝ තඩියා.. ගොඩයාට එහෙම කතා කරන්න දිව නැමෙන්නෙම නෑ.. ඒ නිසා ගොඩයා කවදාවත් සුජාතා ඇන්ටිට හෙවත් බතලයාගෙ මවු තුමියට නමින් අමතලා නෑ..

 සුජාතා ප්ලේන්ටි තුනයි...

මං ඉන්නේ උඹලාට ප්ලේන්ටි හදන නෙවෙයි බොලව්.. මගේ යකා අවුස්සන්නෙ නැතුව ආපු අතක් බලාගෙන යනවලා..

එකක් වැඩි සීනි දෙකක් සාමාන්‍ය ගානට.. 

සුජාතා ඇන්ටි හැමදාමත් හොස්ස ලගින් මැස්සා ගිය ගමන් කොල්ලන්ට දෝස්මුරේ දැම්මට හිතේ කහටක් නැති මනුස්සයා නිසා අපේ එවුන් සුජාතා ඇන්ටිට බය නෑ. හැබැයි ඉතිංකේන්ති ගියාම අතට අහුවෙන දුරක හිටියොත් අනිවා ගුටියක් දෙකක් සුවර්ම තමා.  ප්ලේන්ටි ඔඩර් එකට මල පැනලා කුස්සිය දිහාවට යන සුජාතා ඇන්ටි ආයේ සාලෙට එන්නෙ ඉල්ලපු තේ කෝප්ප තුනත් ට්‍රේ එකක තියාගෙනම තමා. තේ කෝප්ප තුන විතරක්මත් නෙවෙයි ඉතිං.. ඒ එක්ක කේක් කෑල්ලක්, රසකැවිල්ලක් අනිවා එනවා බැන බැන උනත්.  හැබයි ඉතින් අපේ ගොන් බතලයා තඩි පහේ අලුගුත්තේරු වැඩක් කරලා මාට්ටු කියලා ආරංචි උනොත් තඩියා සහ රවියා ඇරෙන්න අනික් එවුන් සුජාතා ඇන්ටිට මූනට මුලිච්ව් වෙන්න යන්නෙ නෑ. තඩියාටයි රවියාටයි ඉතින් කොස්සෙන් තඩි බෑවත් උන් දෙන්නා සුජාතා ඇන්ටිගේ කේන්ති ගනන් ගන්නෙ නෑ. මොකද හැමෝටම අම්මා කෙනෙක් වගේ කන්න බොන්න දීලා සලකන සුජාතා ඇන්ටි කොච්චර බැන්නත් එකෙක්වත් එව්වා වැඩිය සීරියස් ගනන් ගන්නෙ නෑ. බතලයා බේරාගැනීම වෙනුවෙන් ගල් පැලෙන බේගල් ඇදබාන්න බැරි නිසා තත්වය ක්ලියර් වෙනකල් ගොඩයා කිසීම හේතුවකට ඒ පැත්තෙ යන්නෙ නෑ. මොකද කියනවානම් තඩියාටත් රවියාටත් වඩා සුජාතා ඇන්ටි ගොඩයාගේ වචන විශ්වාස කරන නිසා. අපේ බතලයා කරන අලුගුත්තේරු ක්‍රිමිනල් වැඩ ක්ලියර් කරන්න අර සා අම්මා කෙනෙක් වගේ සලකන මනුස්සයෙක්ව බේගල් වලින් රවටන්න ගොඩයාට හිතෙන්නෙම නෑ. අනික් පැත්තෙන් ගත්තාම සුජාතා ඇන්ටිගේ තියෙන ගුණ සහ කොලිටීස් වලින් ලක්සෙන් පන්ගුවක්වත් අපේ බතලයාට පිහිටලා නෑ. ඉතින් එහෙව් මජර බතලයා බේරන්න සුජාත ඇන්ටිට බේගල් ඇදබාන එක පවු නැද්ද හා..


ලියන්න ගිය බෝඩිමේ සීන් කෝන් එක ලියන්නේ නැතුව  සුජාතා ඇන්ටි ගැන වැඩි යමක් ලියවීම ගොඩයා වටේ යාමක් විදිහට දකින්නෙ නෑ. මොකද කියනවානම් සරීර හොරා වෙච්ච අපේ හිතාදර මිත්‍ර බතලයාට වඩා ලොකු අනුග්‍රහයක් සුජාතා ඇන්ටි බෝඩිමට සැපයුවා දැන හෝ නොදැන..  බෝඩිමේ කුස්සියේ අල බතල තැම්බෙන්නෙ පාන් කන්න පොල් සම්බෝලයක් හැදෙන්නෙ සුජාතා ඇන්ටිගෙ සාදර සමාදර අනුග්‍රහයෙන් කියලා සුජාතා ඇන්ටි දැනගෙන හිටියෙම නෑ බොහෝ වෙලාවට. එකෙක් ගිහින් සුජාතා ඇන්ටිගෙන් අමු මිරිස් කරලක් , මිරිස් කුඩු ටිකක් එහෙම ඔෆිශියලි ඉල්ලගෙන එන අතරේ තව එකෙක් ගිහින් පොල් බෑයයි, ලූනු ගෙඩි දෙක තුනකුයි, දෙහි පලුවකුයි සුජාතා ඇන්ටිගේ ෆ්‍රිජ් එකෙන් හොරෙන් උස්සන් ආවාම මුලු පොල් සම්බෝලෙටම සාදර අනුග්‍රහය සුජාතා ඇන්ටිගෙන් නෙවෙයිද හා..  පාන් නම් ඉතින් ටිඩියාගෙ කඩෙන් ඉස්සිල්ල බොරු.. එව්වා ඉතින් සල්ලි වලට තමා.. ටිඩියාගෙ කඩෙන් පාන් ගෙඩියක් දෙකක් උස්සන්න පුලුවන් තත්වෙක තිබ්බනම් ඉතිං අපේ එවුන් පානුත් ආයෙ සල්ලි වලට කෑමක් සිද්ද වෙන්නෙ නෑ මලාට. 

  මොනම විදිහකටවත් ඩිනර් වේල සරි කරගන්න බැරි තත්වයකට ආර්තිකය සෝදා පාලු වෙලානම්, එහෙමත් නැතිනම්  හාල් පොල් කොස් දෙල් මයියොක්කා ඇස්කොට් ගහන ටීම් එක මාන්සිකව වැටිලා නම් එදාට වීරයා වෙන්නේ අපේ තඩියා තමා. එවන් රාත්‍රීන් වලදි අපේ තඩියා උගේ අම්මාගේ කුස්සියේ හට්ටි මුට්ටි පෙරලලා හරි, එහෙමත් නැත්තං ගම පුරා හිගමනේ ගිහිල්ලා හරි, බෝඩිමේ කොල්ලන්ට කන්න යමක් හොයාගෙන ආපු අවස්ථා එමටයි. එහෙම බැලුවාම බතලයා තඩියාගේ අහලකින් තියන්න බෑ. බෝඩිමේ එවුන් හාමතේ කියලා දැනගත්තු ගමන් බතලයා ඉස්සෙල්ලම කරන්නේ ගෙදර මාරු වෙලා හනි හනිකට උගේ බත් පංගුව කොටාබාන එක තමා. ඌ එහෙම කරන්නේ ඌ දන්නවා හාමත්වෙලා ඉන්න බෝඩිමේ එවුන් ඊළගට ඉව අල්ලන්නේ බෝඩිමේ තාප්පෙන් බතලයාගේ වත්තට පැනලා ගෙට රිංගලා බතලයාගේ බත්පතට විදින්න කියන එක.  ගොඩයා ඉතින් කොස් දෙල් අල බතල ඇස්කොට් ගැහිලට ඒ තරම් දක්ශ නැති නිසා කුස්සි පාර්ටියේ අල බතලයක් තම්බන්න වගේ වැඩකට ඇරුනාම අමුද්‍රව්‍ය සපයා ගැනීමේ කර්තව්‍යය වෙනුවෙන් සහභාගී කරගන්නේම නැති තරං.  කට්ටිය එහෙම නොකළේ මොකද කියනවානම්, ගොඩයා වගේ නුපුහුනු හෙන භය හොරෙක් හොරකමේ යැවීම බොඩිමේ රෙපියුටේශන් එක අවදානමේ දැමීමක් නිසා. හැබයි මයියොක්කා පදුරකට, කොස් ගෙඩියකට දෙල් ගෙඩියකට ගේම දෙද්දි ගේම් ප්ලෑන් එක ගොඩක් වෙලාවට ඇඳුනේ ගොඩයාගෙ ඔලුවෙන්ම තමා. තඩියා ප්ලෑනක් අදලා මහ රෑක කපපු උක් ගස් පදුරක අයිතිකාර අක්කා ඕං ගොඩයාගේ ඉස්සරහම තඩියාගෙන් අහපි..

මල්ලි උක් ගස් රහද? 

මොන උක්ගස්ද අක්කේ? 

උක් ගස් උක් ගස්.. ඊයේ රෑ දෙකට විතර අපේ ලිද ගාව ඉදන් බෝඩිම දිහාවට ඇවිදන් ගිය උක් ගස් පඳුර රහද?

පිස්සුද අක්කේ.. මොන උක්ගස් ගැනද මේ කියවන්නේ..

එහෙම කියාගෙන තඩියා මොටෝව ස්ටාර්ට් කරගෙන එතැනින් මාරු උනා. ගොඩයා හිටියේ ඒ මොටෝවේ පස්සෙ සීට් එකේ. ඒ නිස්කාරනේ ඉල්ලන් කෑවෙ පාරෙ යන එන ගමන් ඒ අක්කා දරුවා වඩාගෙන ගේට්ටුව ලග ඉන්නවා දැකලා යන ගමන නවත්තලා කතා කරපු නිසා. අපි හෙන හොදයි අපි රෑට හොරකමේ යන්නේ නෑ කියලා අඟවන්න අපේ තඩියා ඒ කාලේ එහෙව් ගොන්කම් කළා. රෑට ගහේ තියෙන කොස් ගෙඩියයි දෙල් ගෙඩියයි හොරෙන් බාලා, එහෙමත් නැත්තම් පිළිකන්නේ හිටෝලා තියෙන මයියොක්කා පඳුරක්  හොරෙන් ගලෝලා පහුවදාට ඒ ගෙදරටම ගොඩවෙලා මාමේ නැන්දේ කියල ඔලුව අතගාලා කතාබහ කරලා ඒ ගෙදරින්ම තේ කෝප්පයක් බීලා එන්න අපේ තඩියා හෙන දක්ෂයා. හැබැයි ඉතින් ඒ රිකවරි ප්ලෑන් හැමතිස්සෙම වැඩ කරන්නේ නෑ. රෙපියුටෙෂන් එකක් තියාගෙන, වැදගත් රස්සාවල් කරගෙන ජීවත් වෙච්ච පවුලක වැඩිමහල් පිරිමි දරුවා නිසා ගමේ මිනිස්සු තඩියාට සැලකුවෙත් උගේ දෙමාපියන්ට තියෙන ගෞරවේ මුල් කරගෙන. එහෙම නොවුනානං බෝඩිමේ එවුන් පාලු කරපු වතු වල අයිති කාරයෝ තඩියාට ගහන්නේ ගස් බැඳලා.. වැදගත් පවුලක වැඩිමහල් පිරිමි දරුවා වෙච්චි බතලයාටත් ඒ අනිසන්සේම තමයි පවුල් පරිසරයේ ආරක්ෂාව නොතිබුනානම්. ඇයි හත් ඉලව්වේ දහයක විස්සක විතර සැට් එකක් පාලු ගෙදරක දාගෙන ගමේ ගස් ගෙඩි ටික පාලු කරන එක කොයි සා අපරාදයක්ද..

ගස් ගෙඩියක් හොරෙන් කඩාගෙන කන අතරේ රෑට රෑට පාඩම් කිරිල්ලත් හෙමිහිට ඇදිලා ගියා. පාඩම් කිරිල්ල පට්ට බෝරින් වෙච්ච ඉඳහිටෙක දවසක බෝඩින් කාරයෝ හීනියට දෙකක් අනුමත වෙන්නත් අමතක කලේ නෑ. ඒ වගේ වෙලාවට ඉතින් විස්කිද, බ්‍රැන්ඩිද, අරක්කුද, කසිප්පුද කියන එක දාල නෑ. උගුරෙන් පහලට යන දෙයක්නම් ඕනෑ මරාලයක් නෝ ප්‍රොබ්ලම්. කයියට කිව්වට ඉතින් විස්කි බ්‍රැන්ඩි නම් ඔය හිඟන බෝඩිමේ සවුදිය පිරුවේ නෑ. රුපියල දෙක එකතු කරලා එකතු කරලා ටවුමේ බාර් එකේ තියෙන මිලෙන් අඩුම අඩු රහමෙර වර්ගය තමා ඉතින් පිහිටට එන්නේ . තව තව විකල්ප පානයන් තිබුනත් එව්වා මෙහිලා ලියලා බෝඩිමේ සැට් එකේ සායම අරින්න ගොඩයා සුදානම් නෑ. 

ඔය කියන වකවානුව වෙද්දී අපේ රවියත්, ඥානත් අවුරුදු අටක ඒක පාර්ශවික ප්‍රේමයන්ගෙන් පරාජය වෙලා, විරහ වේදනාවෙන් ඔද්දල් වෙලා, තටු කඩාගෙන, මල් වගේ හිත් කුඩේ කුඩු කරගෙන හිටපු කාලයක් කියමුකෝ. එව්වා ඉතින් මෙහිලා වැඩිපුර ලියලා ගොඩයාට ඉල්ලගෙන කන්න බැරි නිසා වැඩි විස්තර මෙහිලා ලියවෙන්නේ නෑ. මොකද කියනවනම් එව්වා මෙහිලා වැඩිපුර ලිව්වොත් ගොඩයාට අම්බලන්ගොඩ කතා බ්ලොග් කොටයත් උස්සගෙන උසාවි නගින්න වෙනවා මුන්ගේ ඩිවෝස් නඩු වලට සාක්කි දෙන්න. ඇයි හත් ඉලව්වේ ඒ කාලේ මුන් ලව් කරපු ලව් කිරිලි මේකේ ලිව්වොත් මුන්ගේ දැන් ගෑනු මුන්ට ඩිවෝස් නඩු දානවා අනිවා. 

ඕන් ඉතින් කොස් දෙල්ද, කොත්තු රොටිද, ටේස් කඩලද, හපලා ගිලින්න පුළුවන් සන්නම් මන්නම් ඔක්කොම ජාතිද, බෝඩිමේ කාමරේ බිම තියාගෙන කස්ටිය ගජරාමෙට අන්තිම සිල්පදේ කඩනවා කියමුකෝ. වැඩේ සිද්ද වෙන්නේ ඥානාගේ තදබල ඕනෑකම වෙනුවෙන්මයි. බීර බෝතල් කීපයක්ද, ප්ලාස්ටික් බෝතල්වල අසුරා එන ලාභ වර්ගයේ අරක්කු බෝතලයක්ද  හෙමි හෙමීට කරටියේ සිට අඩිය දක්වා පහලට යනවා අතින් අත යන එක අඬු කෝප්ප දෙකින්. බෝඩිමේ වීදුරු නෑ බොලව්.. කෝප්ප විදුරු කියල බෝඩිම හරියේ සන්තකටම තිබ්බේ ඥානයි සම්පතයි උදේට තේ බොන අඬු කෝප්ප දෙක විතරයි. මාලිනි බුලත් සිංහල මහත්මිය ගායනා කරන ආකාරයෙන් , ප්‍රේමයේ.. විල්තෙරේ.. යෞවනේ.. මල් වනේ... ගැට්ටෙන් බිමට වැටිලා  විරහ වේදනාවෙන් හදවත හතරට පැලිලා දෙන්නෙක් මියයමින් ඉඳිද්දී අපේ එවුන් බී මතේ කියන්නෙම විරහ ගී.. ( අහල පහලට නෑහෙන්න). ඉතින් හත් ඉලව්වේ අර සා විරහ වේදනාවක් උහුලන එවුන් දෙන්නගේ දෑස පලාගෙන කඳුලැලි එන එක අහන්නත් දෙයක්ද. ඉතින් එවුන් හිතේ අමාරුවටත් එක්ක ළඟ නවලා ෂොට් හතර පහක් ගැහුවාම ආයේ දෙකක් නෑ ඩෙඩ් බොඩිම තමා. එහෙව් ආකාරයෙන් විරහ ගී සංගීතයෙන් රස ගැන්වෙන සාදයේ බෝතල් කීපය අහවර  වෙන්වෙන ලං වෙද්දී ඥානා ස්විච් ඕෆ් කියහන්කෝ. කොයිතරං ස්විච් ඕෆ්ද කියනවනම් එම්බාම් කරන එකෙකුට පෙන්නුවොත් ඌ අනිවා මළමිනියක් කියලා හිතලා  එම්බාම් කරනවා දෙපාරක් හිතන්නේ නැතුවම. 

ඥානාත් ස්විච් ඕෆ් වෙලා තියෙද්දී තවත් ඌට කරදර කරන්න හොඳ නැති නිසා කස්ටිය බෝතල් කොටේ අරගෙන සාලෙට මන්ගච්චනවා ඥානාට සනීපෙට නිදාගන්න ඇරලා. ඒ අතින් අපේ එවුන් බීලා දෙකට කැඩිච්ච එකාට වද තිස්දෙක දෙන එවුන් නෙවෙයි පට්ට හොද එවුන්. අල්ලාප සල්ලාපයෙන් වැඩේ හෙමිහිට කෙරීගෙන යනවා කියමුකෝ. වෙලාව ඒ වෙද්දී රෑ දෙක පහු වෙලා තියෙන්න ඇති.. මෙන්න බොලේ එකපාරටම..

නංකී ......... මං ඔයාට ආදරෙයි..

හුටා කව්ද බන් ඒ...

නංකී.... මගේ පණ.... මට ඔයා නැතුව ඉන්න බෑ නංකී.... ඉහි ඉහි ඉහි.... නංකී ....... ඔයා මගේ පණ රත්තරං...

සාලේ බෝතලේ වටේ වටවෙලා හිටපු උදවිය බෝතල් පෙරලගෙන දුවන්නේ ඥානා බුදි කරවලා ආපු කාමරේට.. හුටා කියහකෝ.. ඩෙඩ් බොඩි වෙච්චි ඥානාගේ ඇස්ට්‍රල් බොඩි එක අවදි වෙලා... ඥානා උගේ ප්‍රේම වෘතාන්තය දෙනවා වහලේ උළු හැලෙන්න .. හරියට මෙගා නාට්ටියක් වගේ.. හැබැයි ඥානා සැපට බුදි.. ඇස් වහගෙන සැපට බුදියගේන ඉන්න ඥානා අවුරුදු ගානක විරහ වේදනාව වචන වලට පෙරලලා දිගහරිනවා බෝඩිමේ ඉස්සරහ පැත්තෙ තියන පොල් ගහේ ලවුඩ්ස්පීකර් එකක් බැන්දා හා සමානයි. ඉස්සෙල්ලම කට්ටියට තියෙන ප්‍රශ්නය තමයි ඥානාගේ නාට්ටිය අහල පහලට ඇහුනොත් ඥානාත් සුං, බෝඩිමත් සුං, බෝඩිමේ ඉන්න කොල්ලොත් සුං. කට්ටියම ඥාන කෝලම නරඹන අතරේ ගොඩයා හනික දුවන්නේ බෝඩිමේ ඉස්තෝප්පු කාමරේ සනීපෙට නවත්තලා තියෙන ගොඩයාගේ එම්.බී. 5 මොටෝව ස්ටාර්ට් කරන්න. මොකද කියනවනම් ඒ මොටෝවේ එන්ජින් මෝලෙ සද්දෙට ඥාන කෝලමේ සද්දෙ අහල පහලට පැහැදිලිව ඇහෙන එක අඩු වෙනවා. ඒ සද්දෙ නිසා ඥානගේ නාට්ටියේ සද්දේ ඇහුනත් මේක කටගොන්නක් බීගෙන නටන නාට්ටියක් කියලා අහල පහලට තේරුම් යන්නේ නෑ.  ඕන් ඔය විදිහට ඥානගේ ඇස්ට්‍රල් බොඩිය එක්ක පොඩි ශේප්මන්ට් එකක් ගහගෙන හෙමින් කතා කරන තැනට ඥානා පත්කරගන්න පුළුවන් වෙන්නේ පැයක විතර ට්‍රයි එකකින් අනතුරුවයි කියමුකෝ.. 

ඊළඟට ඉතින් වරමක් අරං ආරුඩ වෙච්ච සාස්තර කාරයෙක් වටේ වටවෙලා වගේ බෝඩිමේ උන්.  දේව වරමින් සාස්තර කියන ඥානා ස්වාමිගෙන් එක එකාගේ ගුණ අගුණ අහනවා ඉවරයක් නෑ... ඒ අස්සේ ඉස්කෝලේ ඉන්න ගෑනු දැරිවියෝ ගැනයි, ටීචර්ලා ගැනයි, යාලු මිත්‍රයෝ ගැනයි අටෝරාසියක් ප්‍රශ්න. ඇස් දෙක පියාගෙන පැදුරේ ඇලවෙලා ඉන්න ඥානා ඉතින් ඒ ඒ පුද්ගලයන් ගැන ඌ දරන ආකල්පය දිගහරිනවා ජාතකේත් එක්කම. ඕන් ඔය විදිහට රාත්‍රිය එලි වෙද්දී ඥානාගෙ ඇස්ට්‍රල් බෝඩියත්, බෝඩිමේ සැට් එකත් වැටිච්ච වැටිච්ච තැන්වල දොයිය බබාලා වෙනවා හෙමි හෙමිහිට. ඒ හැබැයි ඥානාගෙන් අහගන්න ඕන ප්‍රශ්න ටිකයි, මොන්ටිසෝරියේ හිටං ලවු කරපු ගෑල්ලමයින්ගේ විස්තරයි, අනෙකුත් සන්නම් මන්නම් සියල්ලමයි  සහසුද්දෙන්ම A to Z අහගත්තයින් පස්සෙ. 

නාට්ටිය එතනින් ඉවරයිද.. නෑ මිත්‍රවරුනි.. ඉවරයි කියලා හිතුවට ඉවර නෑ.. තව තියෙනව..

ඒ එලිවෙච්ච දවස එකෙක්වත් ඉස්කෝලේ පැත්ත පළාතේ ගියේ නෑ කියමුකෝ.. ගොඩයා බීමට වඩා බයිට් කෑමට එලවන හාදයා නිසා පොඩ්ඩක් කටේ තොලේ ගෑවුනාට ගොඩයාට කිසිත් අවුලක් නෑ. ගෙදර ගිහින් හවස තුන හතර වෙද්දී ගොඩයා නැවත බෝඩිමට වාර්තා කරද්දීත් බෝඩිමේ සැට් එක ඉස්තෝප්පුවේ සැට් වෙලා ඉස්සරින්දා රෑ හපන්කම් ගැන කියවන අතරේ ඥානාව ලෝභ නැතුව ලිඳේ ඔබනවා ඉවරයක් නෑ.. ඕන් එකපාරටම ඈත වංගුවෙන් කරෝලිස් වෙද මාවත දිගේ පහලට පල්ලම් බහින කාර් එකක් දැකපු ඥානගේ කන් දෙක ස්කුබිඩුගේ කන් දෙක වගේ  කෙලින් වෙනවා  කියහන්කෝ.

මොකක් හරි අවුලක්..

මොකක්ද..

අපේ කාර් එක එන්නේ...

බුදාම්මෝ.. මං මාරු... එහෙම කියාගෙන බතලයා බෝඩිමේ පිළිකන්න පැත්තෙන් දූලා ගිහින් තාප්පෙන් පැනලා නොපෙනී යනවා වගේම අත පය හතර හයිය එවන් කීප දෙනෙකුත් ඌ පස්සෙම දිරා මාරු.  ඥානාගේ බෝඩිමේ ඥානා එක්ක ඉතුරු අහිංසක අසරණ ගොඩයා සහ මලාට තාප්පෙකින් පැනගන්න බැරි සුවිසාල සරීර කුඩුවක් හිමි සත් ගුණවත් තඩියා පමණයි පින්වතුණි..  බෝඩිමේ ලිඳ තිබ්බේ ගේ පිටිපස්සේ නොවී ඉස්සරහ පැත්තේ උනානම්.... ආයේ දෙකක් නෑ තඩියයි ගොඩයයි එකට බදාගෙන ලිඳේ පනිනවා පනිනවා පනිනවාමයි. ඒ වෙන මොකවත් හිංදා නෙවෙයි, ඊළඟට වෙන්න යන්නේ කිසිසේත්ම ඇඟට සනීපයක් දැනෙන සිදුවීමක් නොවෙනා බව ඉවෙන් වගේ අක්මාවට දැනෙන නිසා.

ගේට්ටුව ගාව කාර් එක නවත්තන්න කලින් කාර් එකෙන් පැනගත්තු ඥානාගේ මවු තුමිය බෝඩිම දිහාවට දුහගෙන එන්නේ  සෙරෙප්පු දෙක අතේ අරං. 

බුදු පුතේ තෝ බිව්වා නේද බුදු පුතේ... තෝ බිව්වා නේද ඊයේ රෑ.. ඇත්ත කියහන්.. තෝ බිව්වා නේද...

තඩියටයි ගොඩයටයි තනි ඇහැට කඳුළු එන්න ඔන්න මෙන්න.. ගල් භීත කර්තාහේ...

ඥානාගේ මවු තුමිය පොළොවේ හැපෙනවා කඳුළු වක්කරගෙන.. ඥානාගේ තාත්තා කිසිම කතාවක් නෑ ටිකක් එහායින් ඉඳගෙන චුදිතයින් තුන්දෙනාව තදින් නිරීක්ෂණය කරනවා.. අපිලට ඉතින් ඇක්ටින් අමුතුවෙන් කියලා දෙන්න දෙයක් කියලද.. තඩියා, ගොඩයා, ඥානා මුහුණෙන් පෙන්වනවා පට්ට විස්මයාර්ථ පෙනුමක්.. නිකං හරියට විස්මයාර්ථ ලකුණ ගල් වඩුවෙක් ලව්වා නළල මැද කෙටුවා වගේ කියහන්කෝ.. විස්මය දනවන ලක්ෂණය ඇතිද මදිද කියලා නොදන්නා නිසා විශ්මය ලක්ෂණය  ෆයින් ටියුනින් කරගන්නදෝ ඥානා, තඩියා, ගොඩයා එකිනෙකා දිහා හොරෙනුත් බලනවා. තරඟයක් නෑ මිත්‍රවරුනි  එහෙම රඟපාන්න හොලිවුඩ් නළුවන්ටත් බෑ. ඇමෙරිකන් ගොට් ටැලන්ට් ගියත් එකෙන්ම ත්‍රිබල ෆයිනල් රවුන්ඩ්.. 

ඥානාගෙ ඩඩාගෙ උසාවියේ පළමුව සාක්ෂියට කැඳවන්නේ පළමු චුදිතයා වෙන ඥානා.. ක්ලෝස් ඩෝ ඉන්වෙස්ටිගේෂන් එකක් නිසා ඇහෙන ප්‍රශ්න මොනාද ? දෙන උත්තර මොනාද කියලා ගොඩයාට  සහ තඩියාට දැන ගන්නට ක්‍රමයක් ඇත්තේම නෑ. ඉන්වෙස්ටිගේෂන් එක ඇතුලේ යන අතරේ ගොඩයා සහ තඩියා ද්වි පාර්ශවිකව පට්ට ට්‍රයි එකක් දෙනවා ඥානාගේ මවු තුමියගේ මොලේට විසභීජය ඉන්ජෙක්ට් කරපු එකාගේ විශ්වාසනීය භාවය අමු අමුවේ දියකරලා හරින්න. ටිකාක් විතර අමාරු උනාට මහන්සියේ ප්‍රතිපලයක් නැත්තේම නෑ කියමුකෝ.. ඊළඟට සාක්ෂි විමසීම උදෙසා ඇතුලට කැඳවෙන්නේ සත්ගුණවත් තඩියා මහතා..  ඉන්වෙස්ටිගේෂන් එක පෙරසේමයි..  

ඊළඟට අහිංසක අසරණ ගොඩයා.. ඥානාගෙ පියතුමා ඔන්න ප්‍රශ්න අහන්න පටන් ගන්නවා..

ඊයේ රෑ ඔයත් මෙහේ හිටියද?

ඔව් අංකල්..

මොකද ඊයේ රෑ කරේ..

පාඩම් කරා..

කීයටද නිදාගත්තේ.. 

දෙක විතර වෙන්න ඇති..

එතකොට අනිත් කට්ටිය..

කීයට නිදාගත්තද කියලා දන්නේ නෑ අංකල්..

ඒ මොකෝ..

පෙර්දත් රෑ වෙනකල් පාඩම් කරපු නිසා නිදිමත ආව.. මං නිදාගත්තා... 

එතකොට ඊයේ රෑ මෙහේ පාර්ටියක් දැම්මේ කව්ද..

කව්රුවත් මෙහේ පාර්ටි දැම්මේ නෑ අංකල්.. 

හොඳටම විශ්වාසද ?

ඔව් අංකල්.. 

එතකොට කව්රුවත් ඊයේ රෑ මේ ගෙදර අරක්කු බිව්වේ නැද්ද ?

නෑ අංකල්..

ඔප්පු කරන්න පුලුවනිද කව්රුවත් බිව්වේ නෑ කියල.. අපිට විශ්වාසවන්ත ආරංචියක් ආව ඊයේ මෙහේ කට්ටියක් බිව්වා කියල..

මෙහෙම කරමු  අංකල්.. ඔය බිව්වා කියන කෙනාට එන්න කියන්න මෙහෙට.. ඇවිල්ල එයාට තියෙන සාක්ෂි පෙන්නන්න හෝ කියන්න කියන්න අපි ඉස්සරහ.. අපි බිව්වේ නැතුව බිව්වා කියල පිළිගන්න බැහැනේ අංකල්..

හ්ම්.. 

ඔන්න බොලේ ඒ අතරේ ඥානාගේ පියාණන් බෝඩිම පුරා ඇස් යවනවා.. අවාසනාවකට ඇත්ත කතාවක් වගේ ඉස්සරින්දා රෑ බීපු හිස් බෝතලේ මේසයක් උඩ තිබිලා අංකල්ගේ ඇහැට මාට්ටු..

මේ මොකක්ද ?

බෝතලයක්..

ඇයි මේක මෙහේ..

මෙහේ වතුර බොන්න වීදුරු කෝප්ප නෑනේ අංකල්. ඉතින් බෝතලේක පුරවල තමයි බොන්න ලේසි..

අංකල් බෝතලේ ඇරලා ඉඹලා එහෙමත් බලනවා.. හැබැයි මා පුතාලා ගොඩයා ඊට වඩා සෑහෙන්න ඇඩ්වාන්ස්.. හැමදාම උදේට බෝඩිමේ සැට් එකට තේ හදන්නේ ගොඩයා. උදේ තේ හදලා ඉතුරු වෙච්ච උණු වතුර ටික හිස් බෝතලේට දාලා දෙතුන් වතාවක් හොලවන්න ගොඩයා අමතක කරන්නේ නෑ. ඒ ගිනියම් උනුවතුරට පින් සිද්ද වෙන්න ප්ලාස්ටික් බෝතලේ අඩිය පිම්බිලා කියහන්කෝ..

මොකෝ මේ බෝතලේ හැඩේ වෙනස් වෙලා..

ලිඳේ වතුර පිරිසිදු නෑ අංකල්.. උණුවතුර තමයි බෝතලේට දාල තියාගන්නේ..

හ්ම්..

එතැනින් ඉන්වෙස්ටිගේෂන් එක අහවරයි.. සස්පෙක්ට්ලා  නිදහස්ද නැතිද කියලා තීන්දුවක් නොදුන්නට  අංකල් සහ ඇන්ටිගේ මුහුණේ පෙනුමෙන් සියයට අනුවක් විතර වැඩේ ගොඩ වගේ කියහන්කෝ. ප්‍රකාශයට පත් නොකලත්  අවසාන තීන්දු ප්‍රකාරව ඉරිසියා කාරයෙකුගේ වැඩක් පාඩම් කරන කොල්ලන්ගේ මොරාල් එක බස්සන්න.. අනේ හැබෑට මෙහෙමත් ඉරිසියාකාර මිනිස්සු නේහ් ;) ඒත් ඉතින් කියන්න දුකයි ඥානාගේ බෝඩින් ජීවිතේට නැවතීමේ තිත.. ආතල් කෝටියක් සැපයු බෝඩින් ජීවිතය  යලි යලිත් මතු උපදින ආත්මයන් වලදීත් හමුවේවා ! කියලා කියනවා ඇරෙන්න චා වෙන්න නොන්ඩි නොවී එයින් බේරුනා මදිද හා.... ඇදබාපු බේගල් කන්දරාවට නම් අනිවා සසර පුරා පවු ගෙවීම අනිවා..

අඹ යාළුවො නාට්ටියේ සුදු අප්පෝ ගමෙන් අරං යන්නහේ ඥානා සහ උගේ සබ්බසකලමනාවම පටවගත්තු අංකල්ගේ කාර් එක බෝඩිමෙන් පිටත්වෙලා යද්දී ඥානා පස්සේ වීදුරුවෙන් අහිංසක ලීලාවෙන් කොල්ලන්ට අත වනාපු හැටි මතක් වෙද්දී හයියෝ අදත් පපුව වාවන්නේ නෑ  සට සට ගාලා දෑස පලාගෙන කඳුලැලි එන්න එන්න වගේ....

සතියක් වගේ කාලයක් ගතවෙද්දී ඥානා කොහොම හරි ඩෝප් සීන් ෆයිල් එක සාක්ෂි නොමැති ඉරිසියාකාරයෙකුගේ වැඩක් වගටම ඔප්පු කරලා වහලා දැමෙනවා ඉතාමත් සාර්ථක ලෙසටම... ඒ අතරේ ෂර්ලොක් හොම්ස්ලා, ජේමිස් බොන්ඩලා සේරෝම එකතු වෙලා කේලම කියපු එකා සොයාගැනීමේ මෙහෙයුම දියත් කරන්නේ බොහොම සැලසුම් සහගතව. හැබැයි මා පුතාලා කේලම කියලා තිබුනේ බෝඩිම ඇහැකටවත් දැකපු නැති පොරක්. නෑ නෑ වැඩිහිටියෙක් නෙවෙයි අවුරුදු විස්සක විතර වැරදිලා පිරිමි වෙලා උපන් චීත්ත කෑල්ලක්..

 සිද්දිය වෙච්චි දාට පහුවදා දවල් ඥානාගේ ඇස්ට්‍රල් බොඩි කතාව අතිශෝක්තියෙන් කතාවෙච්චි වෙනත් තැනක හොලා වගේ අහගෙන හිටපු මේ යෝදයා කේලම හැරෙන තැපෑලෙන් උගේ අම්මට කියලා අම්මා ලව්වා ඥානාගෙ ගෙදරට කෝල් එකකුත් දම්මලා කියහන්කෝ එවෙලේම.. එතැන් පටන් බෝඩිමේ සැට් එක රෑට මළගෙදරක එහෙම සැට් වෙච්ච හැම දවසකම ඔය කියන පොරගේ ගෙදර විසිට් කරන්න අමතක කරානම් ඉතින් ඒ බොහොම කලාතුරකින් ආයුබෝවන්ඩ.. උන්ගේ ගෙදර ඉස්සරහ පාරේ තියෙන ගල්... උන්ගේ ගෙදර වහලේ හොයලා තියෙන රට උළු.. බුදාම්මෝ..  එක්කෝ එව්වා ලියන්න ඕන නෑ.. මේ සිදුවීම මේ මතක් කලේ අවුරුදු විසි හතරක පස්සේ උනත්, මේක කියවන අපේ තඩියා ඇතුළු බෝඩිමේ සැට් එකේ සේරෝම වගේ ඉන්නේ ගමෙන් පිට නිසා අරූගේ වහලේ රට උළු ටික සේෆ්.. නැත්තම් අදත් අපේ බෝඩිමේ සැට් එකට කේලමාගෙන් රෙවේන්ජ් එක ගත්තා තාමත් හිතට මදි වගේ ..







Wednesday, August 28, 2019

මුබාරක්





මුබාරක් අම්බලන්ගොඩයාට හමුවෙන්නේ දෙදහස් එකොළහ අවුරුද්දේ අගභාගයේ  එක්තරා දවසක. ගොඩයා ඉන්නේ ජීවත් වෙන්නේ පිටරටක නිසා කොතනදී උනත් ලංකාවේ කෙනෙක් මුණගැහුනාම කතාබහ කරන එක ගොඩයාගේ සාමාන්‍ය සිරිතක්.  දෙදහස් එකොලහ අවුරුද්දේ නත්තල් සාදයකදී තමයි මුබාරක් ගොඩයාට  පළමු වතාවට හමුවෙන්නේ. ගොඩයාට වඩා අවුරුදු විස්සකින් පමණ වැඩිමහලු උනත් මුබාරක් ගොඩයාව ඇමතුවේ "මල්ලී "යන ආමන්ත්‍රණයෙන්. දකින හමුවෙන හැම කෙනෙකුටම "මල්ලි කොහොමද" කියලා ආමන්ත්‍රණය කරන්න මුබාරක් එතැන් පටන් කතාව දිගටම අරන් ගියේ කාලයක් තිස්සේ දන්නා අඳුනන කෙනෙක් හමුවුන ලීලාවෙන්,

මුබාරක් රැකියාව විදිහට කලේ ටැක්සියක් පදවපු එක. වෘත්තීය ටැක්සි රියදුරෙක් විදිහට ටැක්සි කොම්පැනියක් එක්ක අවුරුදු තිහක් විතර රැකියාව කරපු මුබාරක් වයසට යාමත් එක්කම පුද්ගලික ටැක්සි රියදුරෙක් විදිහට තමුන්ගේම රථයෙන් රැකියාව කරගෙන ගියා. ගොඩයා ඉන්න නගරයේ ලංකාවේ කෙනෙකුට ටැක්සියක් උවමනා උනොත් කෙලින්ම ඇමතුවේ මුබාරක්ට. මුබාරක් ළඟ කවදාවත් නෑ  බෑ කියන  වචන දෙක තිබ්බේ නෑ. කොයි මොහොතක කතා කරත් අරි මල්ලි මං වෙලාවට එතන ඇති කිව්වනම් මුබාරක් අනිවාර්යේන්ම කිව්ව වෙලාවට විනාඩි පහළොවකට කලින් අනිවාර්යෙන්ම අදාළ තැන ටැක්සියෙන් ප්‍රාදූර්භූත උනා කිව්වොත් තමයි හරි. 

කනබොන තැනක කොතන සෙට් උනත් මුබාරක් එතැන මගහැරලා ගිය මනුස්සයෙක් නෙවෙයි. මුබාරක් උපන්තේකට රහමෙර, දුම්වැටි කටක තියලා නැති මනුස්සයෙක් උනත්, කාටවත් ඒ ගැන අපහසුවක් නොදැනෙන විදිහට කට්ටිය එක්ක සෙට්වෙන කලාව මුබාරක් හොඳින් ප්‍රගුණ කරලා තිබුනා. ඒ වගේම කනබොන තැනකට මුබාරක් කවදාවත් හිස් අතින් ආව මනුස්සයෙකුත් නෙවෙයි. මලාට රහමෙර කටේ නොතිබ්බත් මුබාරක් ඒ වගේ තැනකට ආවේ මොනම හරි රසම රස කෑම ජාතියක් හෝ වටිනා කියන වර්ගයේ මත්පැන් බෝතලයක් අරගෙනම තමා. 

මුබාරක්ගේ ගෙදර බේස්මන්ට් කොටස ඕනෑම කෙනෙකුට හොඳ හුරු පුරුදු තැනක් උනේ ඒ කාමර දෙකේ හැමදාමත් කුලියට උන්නේ ලංකාවේ කව්රුහරි නිසා. බොහොමයක් ගෙවල් අයිතිකරුවන් තම කුලී වැසියනට දාන හම්පඩ නීති එකක්වත් මුබාරක් ළඟ තිබ්බේ නෑ. බොහොමයක් කාමර කුලියට දෙන එවුන්ගේ තිබ්බ බොරු ලොකුකම් මොනවත් මුබාරක් ළඟ තිබ්බෙත් නෑ. ඒ හේතුවෙන් කට්ටියට හෙමිහිට සෙට් වෙන්න මුබාරක්ගේ බෙස්මන්ට් එක රෙස්ටුරන්ට් එකකටත් වඩා නිදහස් තැනක් උනා කිව්වොත් තමයි හරි. කට්ටිය සෙට් වෙන වෙලාවට හෙමිහිට පඩිපෙළ දිගේ පහලට එන මුබාරක් කොතනින් හරි ඉඩ තියන තැනකින් වාඩි වෙලා කයියට සෙට් වෙන එක අනිවාර්ය අංගයක් උනා. ඒ වගේ වෙලාවට අනුන්ගේ ඕපා දූප කතා වෙද්දී මුබාරක් කිව්වෙම 

අනේ මල්ලි අප්පිට ඔව්ව වෙඩක් නේ... කව්රු උනත් කාටත් කරදරයක් නෙතුව ඔදින් චීවත්වෙලා ඉන්නවනම් අපි ඇමෝටම ෂතුටුයිනේ .. 

සුදා නැවතිලා හිටියේ මුබාරක්ගේ ගෙදර. එක්තරා දවසක සුදා අසනීප වෙලා ගොඩයාටත් කෝල් එකක් ආවා . ආරංචියේ හැටියට සුදාට ඇවිත් තිබ්බේ හාර්ට් ඇටෑක් එකක්. ඒ වෙද්දී සුදා ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කරලා තිබ්බ නිසා ගොඩයා ඇතුළු දුක සැපට ඉන්නා මිත්‍ර සමුහයා ඉස්පිරිතාලෙට වාර්තා කරද්දී රාත්‍රී අට විතර වෙලා. ඒ වෙද්දීත් සුදාගේ නවතින්න ගිය හදවත ශල්‍යකර්මයක් මගින් යථා තත්වයට පත්කරන්න වෛද්‍යවරු සමත්වෙලා තිබුනා. සුදා නවත්තලා හිටපු රෝහල් කාමරේට ඇතුල් වෙද්දීම ගොඩයා දැකපු පලවෙනි දර්ශනය වෙන්නේ මුබාරක්. සුදා උදේ රෝහල්ගත කරපු වෙලාවේ හිටන් ශල්‍යකර්මය කරලා අවසන් වෙලා කාමරේට ගෙනැත් දානකනුත් මුබාරක් එතන. ගෙදර කාමරේ කුලියට ඉන්න එකාගේ පස්සෙන් ඒ තරම් දුරක් ඇවිත් දවසක්ම ගතකරන්න පුළුවන් හදවතක් තියෙන මිනිස්සු ගොඩයා ඉන්න රටේ බොහොම  විරලයි. හුස්මගන්න හුලං ටික පමණක් නොමිලේ ලැබෙන රටක පිටස්තරයෙක් වෙනුවෙන් තමුන්ගේ වටිනා කාලය වැයකරන මිනිස්සු හැමතැනම නැති නිසා කටින් නොකිව්වත් මුබරක්ට හිමි ගෞරවය ගොඩයා හිතේ ඇඳගත්තා. 

සුදා සනීප වෙලා මාසයක් විතර රෙස්ට් කරලා ආයේ රැකියාවට යනකම් සුදාට පඩි නෑ. කාමර අයිතිකාරයෝන්ට එව්වා අදාළ නෑ. රැකියාව නැතිව හිටපු කාලයට සහ නැවත රැකියාවට ගිහින් වැටුපක් ලැබෙනකල් මුබාරක්  සුදාගෙන් සල්ලි ගත්තේ නෑ කියලා සුදා ගොඩයාට කියලා තියෙනවා. ඒ වගේම මොකක් හරි මුදල් අවශ්‍යතාවයකට මුබාරක් අමතපු කිසිම කෙනෙකුට මුබාරක් කවදාවත් නෑ බෑ කිව්වේ නෑ. දීපු මුදලක් නැවත ගෙනැත් දෙනකල් මුබාරක් කවදාවත් ඒ මුදල් නැවත ඉල්ලුවෙත් නෑ.

ගොඩයා සුදා හමුවෙන්න නිතර යැවෙන්නේ නැති නිසා මුබාරක් ගොඩයාට නිතර හමුවෙන්නේ නෑ. ඒක එහෙම වුනත් මුබාරක් ගොඩයාට ඉඳලා හිටලා දුරකථන ඇමතුමක් දෙන්න අමතක කරෙත් නෑ. 

ආ මල්ලි... මොකෝ අපේ පැත්තේ එනවා දැක්කේ නෑ .. ඔන්දින් ඉන්නවා නේද..

ඔව් ඔව් මුබාරක් අයියා.. හොඳින් ඉන්නවා... කනවා බොනවා වැඩ කරනවා නිදාගන්නවා..ඔච්චරයි ඉතින්..

ආ එමනම් කමෙක් නේ.. කාලෙකින් දැක්කේ නෙති නිශා ඔයාලා බැලුවා.. මං ඒත් ශුදාගෙනුත් ඇවුවා කෝ ඔයා දෙකකේ නේ කීල..

එන්න වෙලාවක් උනේ නෑ අයියේ.. 

කට්ටියනම් ඔන්න ඊයේ පෙරේදත් ෂෙට් උනා.. උයා විතර තමා අඩු.. 

ඇත්තද.. එන්නම්කෝ වෙලාවක ඇවිල්ල යන්න..

මල්ලි එන වෙලාවක අපි යමු ගමනක්..  පකිශ්තාන් කඩයක් දාල තිනවා මල්ලි කේම මරු .. උන් ඔරිජිනල් පකිෂ්තාන් කේමා තමා විකුනනවා.. මල්ලි එන්නම ඕන යන්න..

හරි අයියේ මං එන්නම්කෝ..

ඔඳයි මල්ලි.. ඒනම් තියන්නම්.. දෙවි පීටයි..

හරි මුබාරක් අයියේ.. දෙවි පිහිටයි..

ඔන්න ඔය වගේ කෝල් එකක් මාසෙකට දෙකකට වතාවක් මුබාරක්ගෙන් වරදින්නේ නෑ. පළාතේ කොතන අලුතෙන් ඉන්දියන්, පකිස්තාන්, මිඩ්ල්ඊස්ට් කඩයක් දැම්මත් මුබාරක් අනිවාර්යෙන් කඩේ කෑම රස බලන්න යනවාමයි. ඒ යන වෙලාවට මුබාරක් එක්ක යන ඕනෑම කෙනෙකුට මුබාරක් කිව්වේ එක දෙයයි..

මල්ලි.. ඕනෑම දෙයක් කන්න.. ආබැයි බිල ගෙවන්නේ මම තමා.. ඔයාල එක්ක ආවේ මමනේ මල්ලි.. ඒ නිසා බිල ගෙවන්නේ මං ඔදේ..

බහුතරයක් ලංකාවේ උදවිය වගේම ගොඩයා ලංකාවට යන හැම වතාවෙමත් ගොඩයාව ගුවන්තොටුපොළට ඇරලුවේ මුබාරක්. එන්න කියන වෙලාවට විනාඩි පහළොවක් විස්සක් කලින් ඇවිත් නිසොල්මනේ කාර් එක ඇතුලට වෙලා ඉන්න මුබාරක් ගොඩයා ලැස්තිවෙලා කෝල් එකක් දෙනකල් ගොඩයාව අමතන්නේ නෑ.

මුබාරක් අයියා.. කොහේද ඉන්නේ..

මල්ලි මම එවිත් තමා ඉන්නවා.. බේග් එක අරං එලියට එන්නකෝ.. මං ඔයාගේ ගේ ඉශ්ශරා තමා ඉන්නවා..

ඔන්න ඔහොමයි මුබාරක්ගේ වැඩ. කලින් ආව කියලා ගමන යන්න ඉන්න එකාට බ්‍රොදර් වෙන සිරිතක් මුබාරක් ළඟ තිබ්බේ නෑ. ඒ වගේම ගුවන්තොටුපොළ ලඟට ඇරලුවාම මුබාරක් ඊළඟට කිව්වා අනිවාර්ය වචන සෙට් එක තමයි..

මල්ලි.. ෂල්ලි ගන්න පුළුවන් මල්ලි පශ්ශේ.. ඔයා පරෙශ්ශමට ගීන් එන්නකෝ.. එහෙදි ෂල්ලි ගෝනියක් තිබ්බත් මදිනේ මල්ලි.. එන්න දවෂකට කලින් මට කෝල් කරන්නකෝ.. මම වෙලාවට එවිත් ඉන්නවා ඔයා දන්නවනේ..

ඔන්න ඔහොමයි මුබාරක්ගේ වැඩපිළිවෙල. දෙන සර්විස් එක උනත් මිල බොහොම සාධාරණයි. ඒ වගේම කවදාවත් ටැක්සියෙන් බහිද්දී සල්ලි ඉල්ලුවේ නෑ... ආයේ එනකොටත් එනකොටත් ඒ වගේම තමයි. ෆ්ලයිට් එකෙන් බැහැල සිකියුරිටි ක්ලියර් වෙලා ඇවිත් කෝල් එක දුන්න ගමන් විනාඩි පහෙන් මුබාරක් එතන.. එතැනින් ගොඩයාව කාර් එකේ දාගන්න මුබාරක්ගේ සර්විස් එක එතනින් ඉවර නෑ. ගෙදරට ගිහින් බැස්සුවහම ඉස්සෙල්ලම කියන්නේ කලින් කියපු වචන සෙට් එකම තමයි..

මල්ලි ෂල්ලි පශ්ශේ ගන්න පුළුවන් මල්ලි.. බරට වියදම් කරලානේ එන්න එත්තේ...

මුබාරක්ගේ සර්විස් එක එතනින් ඉවර නෑ..

මල්ලි කාර් එක ඉෂ්ටාට් කරලා බලන්න මල්ලි.. දැන් මාශයක් විතර නිකං තිබිල ඉෂ්ටාට් බෙටරිය බේලද දන්නේ නේ.. මං ජම්පර් වයර් එකත් අරං තමා අවා..

ගොඩයා කාර් එකෙන් බැහැල බඩු මුට්ටු ටික ගෙට ගෙනල්ලා ඔක්කොම අවසන් වෙලා ගොඩයාගේ කාර් එක ස්ටාර්ට් කරලා බලනකල් මුබාරක් එතනින් හෙල්ලෙන්නේ නෑ. මනුස්සකමට සල්ලි පස්සේ ගන්න පුළුවන් කිව්වට ගොඩයා කවදාවත් ඒ මනුස්සකම අවභාවිතා කරලා මුදල් නොදී හිටියෙත් නෑ. 

ඔය වගේ මුබාරක් ගැන ලියන්න කියන්න කතාන්දර බොහොමයි. දෙදහස් දහසය අවුරුද්දේ එක්තරා දවසක ගොඩයාට කෝල් එකක් එනවා සුදාගෙන්..

සුදත් අයියා මොකද වෙන්නේ..

පොඩි ප්‍රශ්නයක් මල්ලි..

මොකක්ද කේස් එක..

මුබාරක් අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරලා.. 

නෑ... මොකද වෙලා තියෙන්නේ..

හාර්ට් ඇටෑක් එකක් කියල තමයි කියන්නේ..

මයි ගෝර්ඩ්.. දැන් මොකද කරන්නේ..

දැනට මුබාරක් අයි සී යූ දාල තියෙන්නේ.. අපිට තියෙන්නේ ඉතින් සනීප වෙනකල් බලන් ඉන්න තමයි..

දැන් අපි මොකද කරන්න ඕන..

මුබාරක් අසනීප වෙලා තියෙන්නේ ටැක්සියේ යද්දී.. සිහිය නැතිවෙන්න කලින් කාර් එක පාර්ක් කරලා තියෙනවා.. ඔයාට පුලුවන්ද ඒක ගෙදර ගෙනත් දෙන්න..

ප්‍රශ්නයක් නෑ.. ඔයා එන්න මාව අරං යන්න..

හරි මල්ලි.. මං එන්නම් ..

ඔන්න ඔහොමයි සිද්දිය සිද්දවුනේ.. ගොඩයා සුදා එක්ක  සුදාගේ ට්‍රක් එකෙන් ගිහින් මුබාරක්ගේ ටොයෝටා කැම්රිය මුබාරක්ගේ ගෙදර මිදුලට ගෙනල්ල පාර්ක් කරා.. ඒ සිද්දියත් එක්ක ගොඩයාට තව සිද්දියක් මතක් වෙච්චි නිසා ගොඩයා උන්නේ හිතේ අවුලෙන්..

දෙදහස් හතරේ දෙසැම්බර් විසි හතර වෙනිදා (සුනාමි දවසට දවස් දෙකක් කලින් ) ගොඩයා උන්නේ ඔෆිස් එකේ. ගොඩයාගේ කාර්යාල සගයා වෙච්චි මහේෂ් ගොඩයාව ඇමතුවෙත් ඒ හා සමානම කාරණාවකට.. මහේෂ් කිව්වම ගොඩයාට සහෝදරයෙක් හා සමානයි අදත්. ඒ නිසා මහේෂ් යමක් ඉල්ලුවද ගොඩයා ලග නෑ බෑ නෑ..

මහේෂ් මොකෝ..

එරික් මාම අසනීප වෙලා හයර් එකක් ආපු ගමන් හොස්පිටල් ඇඩ්මිට් කරලා..

දැන් මොකද කරන්නේ..

එරික් මාමා අයි සී යූ එකේ.. අපිට කරන්න කියල දෙයක් නෑ .. දොස්තරලා තාම මුකුත් කියන්නේ නෑ..

මම එන්නද හොස්පිටල් එකට..

මෙතනට එන්න එපා.. හිල්ටන් එකේ කාර් පාර්ක් එකට එන්න.. වාහනේ එතන.. හයර් එක ආපු කට්ටිය තාම වේඩින් එකේ.. පාර්ක් එකේ හිටපු ඩ්‍රයිවර්ලා තමයි ඇඩ්මිට් කරලා තියෙන්නේ.. වාහනේ ගෙදර ගෙනිහිල්ල දාගන්නයි ඕන..

හරි මං එන්නං..

එදත් ගොඩයා ගියේ මුබාරක්ගේ වාහනේ ගෙදර ගෙනැත් දැම්මා වගේ වැඩකටම තමයි. එරික් මාමගේ ෆාර්ගෝ වෑන් එකේ හයර් එක ආපු කට්ටිය මොරටුමුල්ලට බස්සලා වෑන් එක කටුබැද්දට ගෙනැත් දාල ගොඩයා බස් එකේ නැගල ගෙදර ආව. සුනාමි දවසට ඉස්සරින්දා රෑ මහේෂ් කෝල් කරා එරික් මාමා ආයේ වෑන් එක එලවන්න ගෙදර එන්නේ නෑ කියල පණිවිඩේ දෙන්න..

ඒ වගේම මුබාරකුත් ආයේ ටැක්සිය එලවන්න ගෙදර ආවේ නෑ.. දවස් කීපයක් යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් නිසොල්මනේ රෝහල් කාමරේ හිටපු මුබාරක් වෛද්‍යවරුන්ගේ අවසන් තීරණයට අනුව යන්ත්‍ර සූත්‍ර වලින් විසන්දි කෙරුනා. ඒ කියන්නේ හැමෝටම හැකි පමණින් උදව්වක් කරපු මුබාරක්  නිල වශයෙන් අවසන් ගමන් ගියා..

මුබාරක්ගේ අවසන් කටයුතු කෙරුනේ මුස්ලිම් පල්ලියක. අවමංගල්‍ය උත්සවේට භාගෙට භාගයක් ඇවිත් හිටියේ සිංහල මිනිස්සු. මුස්ලිම් අවමංගල්‍ය උත්සවයකට සහභාගී වෙන්න දන්නේ නැතත් සිංහල මිනිස්සු මුස්ලිම් උදවිය එක්ක එකට බිම වාඩි වෙලා දේව මෙහෙයට සහභාගී උනා. රේන්ද රාලගේ බල්ලාගේ මලගෙදරට ගමම හිටියට රේන්ද රාලගේ මළගෙදරට බල්ලෙක් වත් නෑ කියන උපහැරණය මිනිස්සු කට කහනවට කිව්වේ නැහැ කියල ගොඩයට තේරුම් ගියේ මුබාරක්ගේ අවමංගල්‍ය උත්සවය වෙලාවේ. මුබාරක් එක්ක ඇසුරු කරපු උදවියගෙන් භාගයක්වත් ඒ අවමංගල්‍ය උත්සවයට සහභාගී වෙලා හිටියේ නෑ. මොකද මිනිස්සුන්ට මුබාරක් මරුනට පස්සේ මුබාරක්ගෙන් ගන්න වැඩක් නැති නිසා. 

මුස්ලිම් සුසාන භූමියක මුබාරගේ මෘත දේහය භූමදාන කරද්දී මුබාරක්ගේ ලංකාවේ ඥාතින් ස්කයිප් හරහා බලාගෙන හඬා  වැටුන හැටි මතක් වෙද්දී ගොඩයාට අදත් සෑහෙන්න දුකයි. දවස් කීපයක් ඇසුරු කරපු මුබාරක් වල දමද්දී ගොඩයාට දැනුනු හිත් අමාරුව වගේ කී ගුණයක හිත් අමාරුවක් ලංකාවේ හිටපු ඥාතීන්ට දැනෙන්න ඇතිද කියන එකට ගොඩයා ළඟ උත්තර නෑ..


------------


එක්තරා දවසක ගොඩයා යනවා මුබාරක්ගේ ගෙදර පඩිපෙළේ ස්විචයක් අලුත්වැඩියා කරලා දෙන්න.. වැඩේ අවසන් උනාම කතාව මෙන්න මෙහෙමයි..

මල්ලි මං ඔයාව එයාර්පෝර්ට් එකට එරලුවාම ෂල්ලි ගන්නවනේ..

ඔව්.. ඉතින්.. දෙන් ඔයා මගේ ගෙදර ලයිට් එක හදල තමා දුන්නා.. ඕක ඉලෙක්ට්‍රිශියන් කෙනෙක් එදුවනම් ශීයක්  දෙශීයක් තමා ගනන්වා..

ඉතින්..

මං ඔයාට පොඩි ගානක් දුන්නොත් මුකුත් ඉතාන්නේ නෑනේ..

සත පහක්වත් එපා මුබාරක් අයියා.. 

ඒම බෑ මල්ලි.. මගේ ඉතට අරි නෑ.. මේ රටේ ටයිම් කියන්නේ මනී මල්ලි.. මං ඔයාගේ ටැලන්ට් එකට ටයිම් එකට ගෙවන්න ඕනනේ..

අද නිවාඩු දවසෙනෙ මුබාරක් අයියා.. හිතවත්කමට ලයිට් එක හැදුවට මං ලයිසන් ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් නෙවෙයිනේ අයියේ.. සල්ලි ඉතින් ඕනකමක් උනොත් ඉල්ලන්නම්කො..

ඒනම් අපි යමු කොඒ අරි ඔඳට කන්න..

දැන් බෑ මුබාරක් අයියා.. මං කාලනේ ආවේ..

ඒනම් මං ඔයාට මොනාද දෙන්නේ..

මුකුත් එපා ..

පොඩ්ඩක් ඉන්නකෝ.. ඔයා බුද්ධට අඳුන්කූරු පත්තු කරනවද...

ඔව්... ඇයි...

ඉන්නකෝ මල්ලි... මං ඔඳ අඳුන්කූරු වගයක් තමා ගෙනාව.. ඉන්නකෝ ටිකක් දෙන්න..

එදා මුබාරක් ගොඩයාට හඳුන්කූරු දුන්නට ඒ දුන්නේ ටිකක් නෙවෙයි.. සිලි සිලි මල්ලක් පිරෙන්න විවිධ වර්ගයේ ඉන්දියන් හඳුන්කූරු තොගයක්. දැනට අවුරුදු තුනක් වගේ කාලයක් පත්තු කරලත් ගොඩයාට මුබාරක් දීපු හඳුන්කූරු තොගය ඉවර කරන්න බැරිවුනා. 

දෙදහස් එකොළහ අවුරුද්දේ අවසානයේ ඉඳන් මුබාරක් මියයන දවස වෙනකල් ගොඩයාට මුබාරක්ව පනස් වතාවක් හමුවෙලා නෑ කියල ගොඩයාට අනිවාර්යෙන්ම කියන්න පුළුවන්. ඔය අවුරුදු පහ ඇතුලත දහ වතාවක් ගොඩයා මුබාරක්ගේ ටැක්සියේ ගිහින් ඇති. තව දහපහළොස් වතාවක් සුදා හමුවෙන්න ගිහින් ඇති. ඒ පුංචි කාලය අතුලේ ගොඩයා තේරුම් ගත්තු එකම එක දේ තමයි මුබාරක් කියන්නේ හොඳ හදවතක් තියෙන මනුස්සයෙක් කියන කාරනාව. අනෙකාට පිහිටවීමේ මනුෂ්‍යත්වය බොහොම විරල වෙච්ච කාලයක මුබාරක් ක්‍රියාවෙන් හැමවෙලාවෙම ඔප්පු කලේ ජාතිය ආගම මොක වුනත් මනුස්සයෙකුට උදව්වක් කරන්න හෝ හිනා වෙලා කතා කරන්න උප්පැන්නයේ තියෙන කරුණු කාරනා අදාළ නොවේ කියන එක. 

මුබාරක්ව අමතක කරන්න බැරි සිංහල මිනිස්සු මුබාරක් වෙනුවෙන් හත් දවසට සාංඝික දානයක් දෙන්නත්  අමතක කරේ නෑ. දානයෙන් අනතුරුව මුබාරක් වෙනුවෙන් පංසකූලය දෙන්න සිංහල මිනිස්සු පැන් වඩද්දී ගොඩයාට හිතුනෙම මුබාරක් එයාගේ ආගමෙන් හරි සිංහල මිනිස්සු දීපු පිං වලින් හරි හොඳ තැනකට යන්න ඇති කියලා. 

----------------

මිනිස්සු රටවල්, ආගම්, ජාති මුල්කරගෙන එකිනෙකා මරාගන්නවා දකිනකොට ගොඩයාට හිතෙන්නෙම මුන්ට පිස්සු කියලමයි. තමුන්ට පුද්ගලිකව අවශ්‍ය නොවෙන, ඒත් වෙනත් තුන්වෙනි පාර්ශවයක අවශ්‍යතාවයක් වෙනුවෙන් කෘතිමව නිර්මාණය කරපු දේශපාලනික හෝ ආගමික ප්‍රශ්නවල පැටලිලා මිනිස්සු තමුන්ගේ වටිනා ජීවිත නැතිකරගන්නේ ඇයි කියන ප්‍රශ්නෙට ගොඩයා ළඟ උත්තර නෑ. ලංකාවෙත්, රටවල් කීපයකත්, විවිධ ආගම් අදහන මිනිස්සු බොහොමයක් කියවා බලා තියෙන ගොඩයා ඒ  මිනිස්සු අතරේ දැකපු එකම වෙනස නම් සමහරක් හොදයි සමහරක් නරකයි කියන එක විතරයි. එහෙම බැලුවාම මිනිස්සුන්ට  හොඳ වෙන්නත් නරක්  වෙන්නත් ජාති, ආගම්, කුල භේද නෑ .. 

Sunday, July 28, 2019

කලුවරේ කතා..





කලුවරේ වෙච්ච සිද්දි කීපයක් මතක් වෙච්චි වෙලාවෙ ලියලා දාන්න කියලා හිතුනා කියමුකෝ. වැඩේ කියන්නෙ ලියලා ඉවර වෙන්න කලියෙන් ලිවිල්ල එපා උනොත් පබ්ලිශ් වෙන්නෙ නෑ කියලා දන්නවා උනත් ඔන්න ඔහේ ලියන්න ගත්තා. ඒ වගේ ලියන්න ගතපු පෝස්ට් බර තොගයක් දැන් මේකෙ භාග භාග තියෙනවා උනාට එව්වා සම්පූර්ණ කරන්න මල කම්මැලියි.


ගොඩයාගේ ජීවිතේ ඒ ලෙවල් කරපු කාලය වැඩි හරියක්ම ගතවුනේ කලුවරේ කිව්වොත් තමා නිවැරදි. ඒ මොකද කියනවනම් ගමයා නොහොත් කැප්ටන් පයිලට්ට පින් සිද්ද වෙන්න.  අපේ ගමයා උපන්දා හිටන්ම චායාරූප කලාවට උපන් හපනෙක් නිසා චායාරූප සම්භන්ද ඕනෑම අවශ්‍යතාවක් තියෙනවනම් ගමයා ඇමතීම සාපෙල කාලයටත් කලින් හිටන්ම පුරුදු වෙච්චි දෙයක් . ගමයා සහ ගොඩයා යනු කොයිතරම් සමීප පොරවල් දෙකක්ද කියනවනම් උසස්පෙල කරපු කාලයෙන් වැඩි දවසක් ගොඩයා උදේට දැකලා තියෙන්නෙ ගමයාගෙ මුස්පේන්තු මූනත්තහඩුව කිව්වොත් තමා හරි. ගමයා ගැන වැඩි යමක් මෙහිලා ලියැවෙන්නෙ නැත්තේ ගමයා ගැන වෙනම පෝස්ට් එකක් ලියැවෙන්නට නියමිත නිසා. ගමයා කියලා හුරතලේට කිව්වෙ ගමයාගෙ නමේ අගට තිබ්බේ ගමගේ කෑල්ලක් නිසා මිසක් ඔලොක්කුවට නෙවෙ ඕන්.

ඕන් ගමයා ගොඩයාට දවසක් යෝජනාවක් දානවා චායාරූප මුද්‍රණය කරන සීන් කෝන් එකක් හදමුද කියලා. මේ කියන කාලය නවසිය අනූ හතර වගේ කාලය නිසා ඒ කාලෙ දැන් වගේ ඩිජිටල් ප්‍රින්ටින් කියල දෙයක් තිබ්බෙ නෑ. ගමයා විසින් කරපු යෝජනාවට ගොඩයාත් මනාප නිසා ගොඩයා එකග වෙනවා ගොඩයාගෙ නිදියහන් ගබඩාව චායාරූප මුද්‍රණය කරන ඩාර්ක් රූම් එකක් බවට පත් කරන්න. දැන් මේ ලොරි ටෝක් දුන්නට ගොඩයාත් ඒ කාලේ  නැව් පිටින් ලනු ගිලපු එකෙක් ආයුබෝවන්ඩ. ඔන්න ඉතින් පලමු පියවර වශයෙන් ගමයා විසින් කොහෙන්දෝ හොයාගෙන එන තිත්ත කලු කඩදාසි වගයක් ගොඩයාගෙ කාමරේ ජනේල හතරෙම වීදුරු වැහෙන්න ඇලෙව්වා කියහන්කො. ඊලඟට ගොඩයාගේ කාමරේ දොරේ තිබ්බ මල් වීදුරුවත් අර කියපු තිත්ත කලු කඩාදාසි වලින් වැසී ගියා. ජනේල හතර වහලා කාමරේ දොර වැහුවාම ආයෙ ඉතින් මාස පෝය දවස වගේ කාමරේ ඇතුල තිත්ත කලුවරයි. 

ඊලඟට තිබ්බෙ චායාරූප මුද්‍රණය කරන්න අවශ්‍ය බඩුමුට්ටු ටික ගන්න වැඩේ නිසා ඒ සියල්ල ගමයා භාරගත්තා කියමුකෝ. ගොඩයාගේ ගෙදර ගෘහමූලික තැන කාමරේ ජනේල ටිකේ ඇතුලෙන් පාප්ප උලලා කලු කොල අලවපු එකට වැඩි මනාපයක් නැති උනත් ගෙදර ඉදන් කරන වැඩකට නිසා වැඩි ඔබ්ජෙක්ශන් එකක් නෑ. ගෙදරින් එලියට ගිහින් පෙරලාගෙන එන බාල්දි එක්ක බැලුවාම ජනෙල් හතර මොනාද කියලා ඩඩාට හිතෙන්න ඇති.   නිදියහන් ගබඩාවේ අපූරුවට තියෙන බිත්ති හතරෙයි සිවිලිමෙයිත් කලු සායම් උලන්න ගමයා ලක ලැහැස්ති උනත් ගොඩයා එකෙන්ම වැඩේට ඔබ්ජෙක්ශන් එක දැම්මා ඉස්සෙල්ල ගේනවා කියපු ප්‍රින්ටින් බඩු ටික ගෙනෙන් රජෝ කියලා.  ගොඩයාගේ කාමරේ ගල්ගුහාවක් ගානට පත්කරලා ගමයා මාරු උනොත් ඉතින් ගොඩයාගේ පුරවැසි භාවය අහිමිවෙන්න ඉඩකඩ තියෙන නිසා ගමයා ගැන ගොඩයා සියයට සියයක් විශ්වාසය තිබ්බෙ නෑ... ගොඩයාට හිතුන යමක් කවදාවත් වැරදිලා නැති නිසා ඒකත් එහෙමම උනා කියමුකෝ. ගමයාගෙ චායාරූප බඩු ටිකට බාලගිරි දෝසය හැදුනා ආයෙ සුව නොවෙන්නම. කරපු ගොන්කමට එන්න සෙය්යදූ කියලා ගොඩයා කලුවරේ ජේවිතේට පුරුදු උනා. ආයෙ ඉතින් රැයක් දවාලක් නෑ ආයුබෝවන්ඩ ගොඩයා කලුවරේ. පාප්ප ගාලා අලවපු කොල ගලවන්න විදිහකුත් නෑ ගමයාගෙ චායාරූප සුද්ද කරන බඩු ටික හෙට ගේන නිසා. ඒ හෙට ඉතින් ආවෙම නෑ අද වෙනකනුත්.

ඔයි කාලේ ලයිට් කැපිල්ලකුත් තිබ්බ නිසා රෑට ලයිට් කැපුවාම හද එලියවත් ගොඩයාගෙ පිහිටට නෑ. කාමරේට කලුවරේ මනුස්ස පරානයක් ආවොත් කට ඇරලා දත් ටික පෙන්නනකල් මනුස්සයා ඉන්න තැන හොයාගන්න මලාට බෑ. ස්කුබීයි ශැගියි කලුවර කාමරේක හිරවුනාම ඇස් දෙක විතරක් පේන සීන් එක වගේ. දවල්ටත් ගල් ගුහාව වගේ වෙච්චි එකේ ලයිට් කපපු වෙලාවට ආයෙ ඉතින් විශ්වයේ ඉර එලිය නොවැටෙන කලු කුහරයක අතරමන් උනා හා සමානයි. ගමයා අද වෙනකනුත් අර කිව්ව බඩු ටික අරන් ආවෙ නෑ කියමුකෝ.

ඕන් ඔය වගේ ලයිට් කපන කාලයක තමා කලුවරේ තව කතාවක් දිග හැරෙන්නෙ. ඔය කියන දවසේ ගොඩයාගෙ ලොකු නංගි අසනීප වෙලා.. නංගි කාරයට හොදටෝම උනලු ඉතින්. ගොඩයාගේ මමී ඩඩාට කියනවා දුරකතනයෙන්, ගෙදර එනකොට සමහන් පැකට්ටුවක් අරගෙන එන්න කියලා. ගෙදර එකෙක් මලා කිව්වත් ගොඩයාගෙ ඩඩා එහෙම කලබල වෙන ජාතියේ ඩඩෙක් නෙවෙයි. ඩඩාට ගෙදරට ගේන්න කියන දේවල් ඩඩා ගේන්නේ වෙලදසැල ක්ලෝස් කරලා එනකොටම තමා. මොකද කියනවනම් ගෙදරින් ගේන්න කියන එකම බඩුවක්වත් ගොඩයාගෙ ඩඩාගෙ වෙලද ආයතනයේ නෑ. එව්ව ගන්න වෙනත් කඩයකට ගොඩවෙන්න ඕන නිසා ගොඩයාගෙ ඩඩා සියල්ලම ගන්නෙ ෆූඩ් සිටියෙ බොර්ඩ් එකේ ගහලා තියෙන ක්‍රමෙට. ඒ කිව්වෙ "ගෙදර යනගමන්". ඊට අමතරම ගොඩයාගෙ ඩඩාට ගෙදර අවශ්‍යතාවයන් වෙනුවෙන් එන දුරකතන ඇමතුම් ප්‍රමානයට ගෙදර එන්නයි කඩේ යනයි උනොත් අඩුම තරමේ සිය වතාවක්වත් දෙපැත්තට යන්න එන්න වෙන එක ශුවර්. මොකද කියනවනම් කඩේ යැවීම කලාවක්නම් ගොඩයාගේ බාල නංගි කාරයා ඒකෙ පිකාසෝ ලෙවල් එකත් පහුකරපු ඩයල් එකක් නිසා. ඒ වගේම දුරකතනය හරහා ඩඩාට ලැබෙන බඩු ඕඩර්වල නැති උනානම් නැති උනේ අහසේ තරුයි මුහුදේ මඩයි වගේ එව්වා විතරයි.

ඕන් ඩඩාට කිව්ව ආකාරයෙන් සමහන් පැකට්ටුවත් අරන් ඩඩා ගෙදර එනවා කියමුකෝ.. ඒ වෙලාවෙ ලයිට් නෑ. ගොඩයාගේ මෑනියන් සමහන් පැකට්ටුව ඩඩාගෙ උර මල්ලෙන් අරන් සමහන් හදලත් දීල ගොඩයාගෙ ලොකු නංගි කාරයත් අවුලක් නැතුව දොයි. පහුවදා උදෑසන තමයි මෙන්න මේ සංවාදය සිද්ද වෙන්නෙ.. මොකද කියනවනම් ගොඩයාගෙ ඩඩා වෙලද ආයතනය විවෘත කරන්න යන්න ගෙදරින් පිටත් වෙන්නෙ උදෑසන හතයි තිහට විතර. ඩඩා විශ්‍රාමික පුද්ගලයෙක් විදිහට ඔය කියන වෙලද ආයතනය පවත්වාගෙන යන්නේ කලයා මරාගැනීමේ අරමුනෙන් උනත් ඩඩා උදේ අරින වෙලාවයි රෑ වහන වෙලාවයි ආයේ දෙකක් නෑ අකුරට. එව්වා එහෙම් උනාට දවල් දවසේ ඩඩාගේ කඩේ වැඩි හරියක් වහලා කිව්වොත් තමා හරි.. උදේට කන්න කියලා ගෙදර ආවාම පැයක් හමාරක් පත්තර බලලා ආයෙම කඩේට ගිහින් පැයක් හමාරක් ඇරගෙන ඉදියි. ඊට පහු ආයෙම දවල්ට කන්න ගෙදර.. ඊට පහු එකට විතර ආයෙම ගිහින් හවස තුනට විතර ගෙදර අවිදින් නින්දක් හෙම දාලා ආයෙම යන්නේ පහට විතර කියහන්කො. එහෙව් බිස්නස් කිරිල්ලක් ගොඩයා උපන්තේකට දැකලා නැති උනාට ගොඩයාගේ මෑනියන් නම් කියන්නෙම ගෙදරින් මාරුවෙලා නිදහසේ පත්තරයක් බලලා බුලත්විටක් හපලා ඉන්න කරන උප්පරවැට්ටියක් කියලාමයි. මයි කාර් මයි පෙට්‍රෝල් වර්ගයේ , සිංහ ලග්නයේ පුද්ගලයා නිසා තුට්ටුවකටවත් වෙනත් අයට ඇහුම්කන්දීමක් නෑ. ගොඩයලා වගේ අනුන්ගේ කරදර මැද්දට බල්ටි ගහලා පනින පුරුද්දක් නෑ වගේම තමුන්ගේ හිතේ තියෙන්නේ දුකක්ද සතුටක්ද කියලවත් අනුන්ට දැනෙන්න අරින්නෙත් නෑ. ඕන් කතාව වටේ ගියා.. ඔන්න පහුවදා උදේ දෙබස මෙහෙමයි..

ඒයි.. ඔයා ඊයෙ රෑ ලොකු දූට සමහන් දුන්නෙ නැද්ද..

මං දුන්නනේ.. ඒක බීලා තමා ලොකු දූ නිදාගත්තේ..

වෙන්න බෑ.. මේ තාම සමහන් එක බෑග් එකේනේ..

එහෙනම් දෙකක් ගේන්න ඇති...

පිස්සු.. මං එකයි ගෙනාවෙ.. 

(දෙකක් ගේන්න ඇති කියලා කිව්වට ඒක ගොඩයාගේ අක්මාවට අනුව ලොජිකල් නෑ. ඩඩා දෙකක් ගේන්න කිව්වත් එකක් ගේන ජාතියේ ඉකොනොමිකල් පුද්ගලයෙක් නිසා. මොකද කියනවනම් දෙකක් ගෙනාවත් දෙකම පාවිච්චි නොකර ඊලඟ දවසෙත් ආයෙම කඩෙන් ඒ ජාතියෙම එකක් ගේන්න කියලා කෝල් එකක් එන වග ගොඩයාගේ ඩඩා හොදාකාරවම දන්න නිසා)

පිස්සු කියනවා මන් අලුත්ම පැකට් එක කඩලානේ ලොකු දූට සමහන් හදලා දුන්නෙ. ඉන්නකෝ මං පැකට් එක පෙන්නන්න..

ඕන් මෑනියන් කුස්සිය පැත්තට ගිහින් සමහන් පැකට්ටුවේ ඉතිරි කොටහ අරන් ඇවිත් ඩඩාට පෙන්නනවා කියමුකෝ...

ඔය කඩේට දුම් අල්ලන්න ගෙනාපු දුම්කුඩු පැකට් එකනේ... 

බැලින්නම් ගොඩයාගේ මෑනියන් කලුවරේ නංගි කාරයාට පොවලා තියෙන්නෙ කඩේට දුම් අල්ලන්න ගෙනාපු දුම් කුඩු පැකට් එක.


අවුලක් නෑ.. ලොකු නංගි කාරයා තාම ජීවතුන් අතර. අදටත් ඉහෙන් බහින රෝගයන් නෑ. ගොඩයාගෙ මස්සිනා කාරයාට ගොඩයාගෙ ලොකු නංගි මැරි කරපු එකේ අමතර වාසි එහෙම නැත්තේම නෑ.   ඔනෑම රෑක ඕනෑම මූකලානක වාහනේ පැච් එකක්වත් ගියොත් හරි එන්ජින් ට්‍රබල් එකක් ආවොත් හරි, යක්ස භූත පිසාච කුම්භාණ්ඩ ඇතුලු අමනුස්ස උපද්‍රව ගැන භයක් ගන්න හේතුවක් නෑ.  සියලු දෝශ නිවාරණය කරනවයි කියලා ඉර හද පල්ලා ටීවී එකේ , රේඩියෝ එකේ දිවුරලා විකුනන දුම්කුඩු ශරීරගත කරලා පත්තියන් කරලාම තියෙන නිසා අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාදි නිවාරනයි.. ශාන්තියි... අමනුෂ්‍ය දෝශ රහිතයි.

ඒ අස්සෙ ගොඩයාගේ පොඩි මස්සිනා ලයිට් කපපු දවසක කලුවරේ අල කරියක් උයන්න ගිහින්. අල හොද්ද හදන්න කලින් වයිපරේගෙන් අවවාද අනුශාසනා ලැබුනේ ලුනු කැට නොදා ලුනු වතුර විතරක් දාන්න කියලාලු.  ප්‍රොටොකෝල් එකේ ඉන් ඇඩ්වාන්ස්ම උපදෙස් ලැබිලා තියෙන ආකාරයට මචං කාරයා ලුනු වතුර දානවා දානවා දානවා දානවා හොද්ද ලුනු රහ වෙන්නෙම නෑලු. ගොඩයාගෙ ඔය කිව්ව මස්සිනාගේ බිරින්දෑ හෙවත් ගොඩයාගෙ බාල නංගි ගුරුවරියක්. ඔව් ඔව් අර කඩේ යැවීමේ කලාවේ පිකාසෝ කිව්වේ.. ආන් එයා තමා.. ඒ උන්දෑ හිතාන ඉන්නේ ගෙදර ඉන්න සාමාජික සාමාජිකාවන් ඔක්කොම ඉස්කෝලේ ලමයි වසයෙන් නිසා ස්වාමි පුරිසෝත්තමයා ඉදල  හිටලා හොද්දක් හැදි ගාන එකත්, ඩඩා ඉන්ටෝල් නැතුවම කඩේ යන එකත් ගැන  වැඩිය මුකුත් හිතන්නෙ දෙයක් නෑ.

 අපේ තඩියා හෙවත් චමිලයාගේ බිරින්දෑත් ගුරුවරියක්.  ඊයේ පෙරෙදාවක ඕන් අපේ තඩියා හෙවත් චමිලයා උදේ පාන්දරක ගොඩයාගෙ කාර් එක ඉල්ලගෙන යාලුවෙක් එක්ක කොහෙදෝ ගියා උගේ ගෙදර අලුත්ම අලුත් ටොයෝටා විට්ස් එකක් තියෙද්දිම. ගොඩයා එකත් එකටම හිතුවා මූ අද ඉස්කෝලෙන් පැනලා වෙන්න ඇති කියලා. ඒ උනාට ගොඩයා මුකුත්  කියන්න ගියේ නෑ. 2003 ඉදන් ටීචර් කෙනෙක් එක්ක ජීවත් වෙනවා කියන්නෙ ඉතින් ඉස්කෝලෙම ජීවත් වෙනවා වගේ නිසා වෙහෙසත් ඇති නෙව. හක් හක් හා....


ඕන් මස්සිනාගෙ හොදි කතාව වටේ ගියා. මස්සිනා පොඩ්ඩ හොද්දට ලුනු වතුර දානවා.. රහ බලනවා... රහ බලනවා ලුනු වතුර දානවා. හොද්දට ලුනු වැඩි වෙලා ටීචර්ගෙන් අම්බානෙකට කන්න උනොත් කියලා හද්ද කලුවරේම හැන්ද සාලෙට අරන් ගිහින් ටීචර්ටත් දෙනවලු ලුනු බලන්න. ම්හ්.. ටීචර්ගේ ලුනු ටෙස්ට් එකෙනුත් හොද්ද ෆේල්ලු. ඕන් මස්සිනා ආයෙම කලුවරේ ගිහින් ලුනු වතුර දානවලු. ආයෙම හැන්ද අරගෙන සාලෙට ඇවිත් ටීචර්ට ලුනු ටේස්ට් එක බලන්න කියනවලු.. ම්හ්.. ඒත් ෆේල්ලු.. දන්නවනේ ඉතින් ටීචර්ලා කේන්ති ගියොත්.. ඒ නිසා ඕන් ගොඩයාගෙ මස්සිනා කාරයා අවසාන වශයෙන් ලුනු බලන්න ලුනු වතුර සහිත ලුනු දාන වීදුරු බදුන ගේනවලු සාලෙට.. ඇයි යකෝ කොච්චර දැම්මත් ලුනු නැහයි කියන එකේ ලුනු වතුර එක ටීචර් ලවා පරීක්ශා කර ගැනීම නුවනට හුරු නිසා.. ආන් මොලේ තියෙන ස්වාමිපුරුෂයෝ... තව වතාවක්  හැන්ද අරන් ඇවිත් හොද්ද කටේ තියලා ලුනු පරීක්ශනය ෆේල් වීම තමුන්ගේ ශරීර සෞඛ්‍යයට අවදානම් නිසා පලමුව ලුනු භාජනයේ ලුනු සාන්ද්‍රනය පරීක්ශාකර ගැනීම උගත් බුද්ධිමත් ස්වාමිපුරුෂයකුගේ දුරදක්නා නුවන නෙවෙයිද හා... ටීචර්  ලුනු භාජනේට යාන්තම් ඇන්ගිල්ලක් දාලා දිවේ ගාලා බලනවලු ලුනු රහ.. ම්හ්.. ලුනු රහක් නෑලු.. ඕන් ඒ ගමන  ටීචර් ඇගිලි දෙකක්ම ලුනු භාජනේට යහමින් ඔබ්ලා කලතලා අරන් දිවේ ගාලා බලනවලු.. ම්හ්.. ඒ තරම් ලුනු රසක් දැනෙන්නෙම නෑලු. ඕන් ඊගාවට ටීචර්, තමුන්ගේ උකුලේ හිටපු කොලු පැටියව මෑනියන්ට දීලා, ඉටිපන්දම තියෙන තැනට යන්නෙ  යන්නේ ස්වාමි පුරිසෝත්තමයාට පින්දෙන ගමන්ලු.. ඇයි හත් ඉලව්වේ මේ යෝදයාට තමුන්ගේ උදව් නැතුව හොද්දකට ලුනු ටිකක් දාගන්න බැරි හැටි කියාගෙනලු..

(දැන් ඉතින් මේ පෝස්ට් එක කියවන උදවිය මේ පෝස්ට් එක කියවලා කන්න එහෙම හිතාන ඉන්නවනම්  මෙතැනින් එහාට  කියෙව්වෙ නැතුවට කමක් නෑ.. )

ඊගාවට ටීචර් ගින්දර විසිවෙවී කෙලින්ම කිචන් එකට ගිහින් හොද්ද සින්ක් එකට හලනවලු... ටීචර් කලුවරේම ගෙදර චන්ද හිමි නාමලේඛනයේ සියල්ලන්ගේම ගුන ගායනා කරනා අතරේ ස්වාමිපුරුසෝත්තමයාට බෝනස් ලකුනු කිහිපයක් දෙන්නත් අමතක කරන්නෙ නෑලු. ස්වාමිපුරිසෝත්තම තැන හීන් සීරුවේ එතැනින් මාරු වෙනවලු. අහල පහල ගැවසීම ඇගට ගුන නැති නිසා..

බැලින්න්ම ගොඩයාගේ බෑනනුවන් හෙවත් කඩේ යැවීමේ පිකාසෝ ටීචර් නංගිගේ ලොකු කොලුවා ආච්චිගේ දත් සැට් එක දාන වතුර භාජනේ දත් සැට් එකත් එක්කම කුස්සියේ උයන තැනින් ගෙනිහින් තියලලු.. මස්සිනා කාරයා කලුවරේ රහ බල බල ලුනු වතුරයි කියලා හොද්දට හලලා තියෙන්නෙ දත් සැට් එක දාපු භාජනේ වතුරලු.. අඹු සැමි දෙපොල විසින් මාරුවෙන් මාරුවට සමගියෙන් සාමයෙන් ඇගිලි ඔබ ඔබා රස සොයලා තියෙන්නෙ දත් සැට් එක දාලා තිබ්බ වතුර එකලු.. 

එක අතකින් ගොඩයා දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා ගොඩයාගේ නංගි කාරයා හොද්දට ලුනු වතුරම විතරක් දාන්න කියලා ස්වාමිපුරුසෝත්තමයාට අණ කරපු එක ගැන. ඒ වගේම ගොඩයා මස්සිනා කාරයාටත් ස්තූතිවන්ත වෙනවා තමුන්ගේ වයිපරේ දෙන උපදේසයක් අකුරටම පිලිපැදීම සම්භන්ධව.  ඇයි හත් ඉලව්වෙ නංගි කාරයා ලුනු කැට දාපන් කියලා මේ යෝදයා අපේ මෑනියගේ දත් සැට් එක දෙකට තුනට කඩලා හොද්දට දැම්මන්ම් එහෙම කාට කියන්නද. ඒ වගේම ලැබිච්ව උපදෙස් වලින් පිට පැනලා ඔන්න ඔහේ ලුනු කැට ටිකක්ම දානවා කියලා දත් සැට් එක කුඩු කරලා හොද්දට දැම්මනම්.. ඒ දාලා මුන් කලුවරේම ඒ හොද්දත් ගිලලා දැම්මනම් පහුදා උදේට ශර්ලොක් හෝම්ස් ගෙන්නන්න වෙනවා යකඩෝ දත් සැට් එක අතුරුදහන් වීම ගැන පරීක්ශනයක් කරන්න.  ගොඩයාගේ මෑනියන් විශ්‍රාම වැටුපක් ගන්නවා උනාට දත් සැට් එකේ අවශේෂයන් දකිනාතුරු අලුත් දත් සැට් එකක් ගන්න ඩෙන්ටල් එකට යන්න ඩඩාව කැමති කරගන්න එක සෑහෙන අමාරු කාරියක්. කැඩිච්ච දේකට අලුත් එකක් අරන් දෙන්න ඉදිරිපත් උනාට අස්ථානගත වෙච්ච දෙයක් අලුත් එකකින් රිප්ලේස් කරන්න ගොඩයාගේ ඩඩා සෑහෙන්න කාලයක් ගන්නවා පුරුද්දක් විදිහටම. දත් සැට් එකක් වගේ දෙයක් වෙන කෙනෙක් දාගෙන යන්න ඇති කියලා නිගමනයකට එන්නත් බෑ නෙව. මොකෝ හොරු ගෙනිහින් කියලා කියන්නද? බෑනේ..

 ඒ වගේද අලුත් දත් සැට් එකක් ගන්න ගිය වෙලාවට දත් දොස්තර ඇහුවොත් පරන එකට මොකද උනේ කියලා?  හතර පෝයට සිල් ගන්න කෙනෙක් විදිහට මුසාවාද ඇදා බාන්නත් බෑ නෙව. කොහොම කටක් ඇරලා කියන්නද දූයි බෑනයි කරන්ට් ගිය වෙලේ මගේ දත් සැට් එක අල හොද්දට දාගෙන කාලා ඩොක්‍ටර් කියලා..






Wednesday, July 17, 2019

මගුල් කතා 1







මගුල් කතා ගැන බ්ලොග් පොස්ටුවක් ලියන්නට ඔනෑ යයි ගොඩයාට ඊයේ පෙරේදාවක අදහසක් ආවේ මගුල් ගැන සීන් කෝන් කීපයක් මතකයට ආ නිසාය. එව්වා ලියා තැබීම එව්වාට සම්මාදම් වූ අයවලුට සාධාරණයක් ඉටුකිරිල්ලක් වශයෙන් ගොඩයා හිතනවාය. ජයටම මගුල් උත්සව සංවිධානය කර මගුල් කෑවාට එව්වා ගැන පසු විපරමක් කිරීම කිසිවෙකුත් නොකරන නිසා මතකයේ රැඳුනාවූ මගුල් උත්සව කිහිපයක් ගැන මෙසේ ලියවෙනවාය.

මගුල් කීව සැනින් ගොඩයාට පළමුව මතකයට එන්නේ එක්දහස් නවසිය අසූව වැනි ඈත මගුලක්ය. මගුල තිබුනේ රත්නපුරය දිසාවේ බැවින් ගොඩයාට එම මගුල මතකයේ තිබුණිද මගුලේ අටුවා ටීකා ටිප්පනි කිසිවක් මතකයට එන්නේ නැතිය. ඒ මන්ද යත් එම මගුල තිබු සන්දියේ ගොඩයාගේ වයස අවුරුදු තුනක පමණ වයසක් වන නිසාය රෑ දෙගොඩ හරියේ අවදිවී ජැන්ඩි පහට දිග කලිසමකින් සහ අත් දිග කමිසයකින් සැරසී රත්නපුරයේ මගුලකට ගියා පමණක් හීනයක් ආකාරයෙන් ගොඩයාට මතකයේ යාන්තමින් තිබෙනවාය. වර්තමානයේ ගොනා රෝසා නමින් හඳුන්වන මිට්සුබිෂි රෝසා වර්ගයේ බසයකින් තිහක තිස් පහක පමණ පිරිසක් මගුල් ගෙදර යන්නට පිටත් වෙනවා ගොඩයාගේ මතකයේ තැන්පත් වී තිබෙන්නේ වෙනෙකක් නිසා නොව හිච්චි එකා සන්දියේ හිටන්ම පැවතියාවූ රතගාය නිසාය. ඩඩාගේ මහ ගෙදරින් පිටත් වුනාවූ මගුල් ගමන ඉර නගින්නට කලින් පිටත් වුවත් බසයේ නැග අසුන් ගන්නට ප්‍රථමව බසය වටා රවුම් කිහිපයක් ගොඩයාව රැගෙන යන්නට ගොඩයාගේ මෑණියන්ට සිදුවුවා ගොඩයාට මතකය. ගොනා රෝසාවේ සුදු පැහැති ටියුබ් ලයිට් වලින් මලානිකව ආලෝක්මත්වූ බස්රථයේ මෑණියන්ගේ උකුලේ අසුන් ගන්නවායින් එහාට ඒ පළමු මගුල් තුලාව ගැන කිසිවකුත් ගොඩයාගේ මතකයේ නොමැතිය.

ඉන් අනතුරුව ගොඩයාට මගුලක් ගැන මතකයේ තිබෙන්නේ ලොකු අයියාගේ මගුල වන අතර ඒ වූ කලී එක්දහස් නවසිය අසූ දෙක හෝ තුන අවුරුද්ද වන්නට ඉඩ තිබෙනවාය. ලොකු අයියාගේ හෝම් කමිම ගැන මෙලෝ මලදානයක් මතකයේ නැතත් ලොකු අයියාගේ වෙඩිම ගැන යම් මතකයක් ගොඩයාට තිබෙන්නේ ලොකු අයියලා වෙඩින් ෆොටෝව ගැනීමට ගාල්ලේ වෙස්ට් එන්ඩ් ස්ටුඩියෝව වෙත යද්දී මගුල් මයිනරයේ ඉදිරිපස අසුනේ අයිනකින් ඇන තියාගන්නට ගොඩයා සමත් වන නිසාය. ඒත් රතගාය හින්දාය. සුදු අයියා සහ හිච්චි මාමාද මගුල් රථයේම ස්ටුඩියෝව වෙත ගමන් කළාවූ නිසා ගොඩයාට මයිනරයේ රවුමක් යෑමට අවස්ථාව සැලසෙනවාය. වැඩින් සැට් එක ස්ටුඩියෝව වෙත ගියාවූ පසු මයිනරයේ රියදුරා ගොඩයාවත් දමාගෙන ගාල්ලේම සුරා සැලක් වෙත රථය පැදෙව්වා ගොඩයාට මතකය. උඩු රැවුල උඩට කරකැවූ මෝස්තරයක් සහිත රියදුරා දකිද්දී ගොඩයාට සූ යන්නට තරම් භයක් දැනුනද හේ ගොඩයාව තුට්ටුවකට මායිම් කලේ නැතිය. සුරාසලෙන් ගත්තා වූ රහමෙර බෝතලයෙන් වඩියක් සප්පායම් වන්නට හෙතෙම වීදුරුවක් ගත්තේ මයිනරයේ ග්ලව් බොක්ස් එකෙන් වන අතර එය ගැනීමට ගොඩයාගේ පැත්තේ දොර අරිද්දි ගොඩයා සිතුවේම ගොඩයාව කරෝල වාඩියකට විකුණන්නට  දෙන්නටවත් හදනවදෝ කියලාය. සුරාසැල අසල සිටියාවූ උඩු රැවුල උඩට කරකැවූ තවත් කිහිපදෙනෙක් මයිනරය  අසලටවිත් රියදුරාගේ බෝතලයෙන් සප්පායම් වෙද්දී ගොඩයාගේ භය තවත් වැඩි වුවා මිස අඩු වුයේ නැතිය. 

සියල්ල අවසානයේ වැඩින් සැට් එක සමගින් ලොකු අයියාගේ අඹේනියගේ නිවසට හෙවත් වෙඩිමට මයිනරය සැපත් වෙද්දී ගොඩයාගේ පියානෝ දිව විකාගෙන ගෙයි එළිපත්තේ ඔරවාගෙන බලාසිටිනවාය. ඒ හිටිවනම වෙඩිමෙන් නොකියා අතුරුදන් වූ ගොඩයාව පිළිගැනීම උදෙසාය. ලොකු අයියා වෙඩිම පසෙකලා ගොඩයාව බේරා නොගන්නට එදා ඇප නැතිවෙන්නටම ගොඩයා අම්බානෙකට ගුටි කනවාය. ලොකු අයියා ඊයේ පෙරේදා වයස හැට සම්පුර්ණකොට විශ්‍රාම ගිය අතර දැන් වෙද්දී ලොකු අයියා මුණුපුරන් තුන් දෙනෙකුගේ සීයා කෙනෙක්ය.

ඊළඟ වෙඩිම ඒ ආසන්නයේම කාල වකවානුවේ එකක් වූ අතර ඒ සුදු අයියාගේ වෙඩිමය. කිසිදු ආරාධනයකින් තොරව  වැඩින් කාරයේ අසුන්ගන්නට උපන් හපන් ගොඩයා සුදු අයියා සහ ඇඹේනිය කැන්දාගෙන එන්නට යන ගමනේද වැඩින් කාරයේ අසුන් ගන්නවාය. වැඩින් සැට් එක පටවාගත් රියදුරා මොකක්දෝ යකඩයක් ඩිකියෙන් ගේනවිත් ඇන්ජිම ඉදිරියෙන් හිලකට ඔබා කරකවා රථය පනගන්වාගත් ආකාරය ගොඩයාට අද වාගේ මතකය. එදානම් වෙනදාට වඩා වැඩින් කාරයේ සෙනග වැඩිවූ අතර ගොඩයා ගමන් ගත්තේ මනමාල සුදු අයියාගේ උකුළේය. ගොඩයාගේ රථගායේ විශේෂත්වය වන්නේ ගොඩයාට රථයේ ගමන් කිරීමට කිසිදු ආසාවක් නොමැති වීමය. ගොඩයාට අවශ්‍ය වන්නේ රථයේ කෑලි බෑලි ටික සූම් කොට බලාගැනීමටය. ඒ අමතරව රියදුරා රථය පදවන ආකාරය සහ පණගන්වන ආකාරය නිරීක්ෂණය කිරීමද රථ ගයේ ඊළඟ අරමුණය. එවන් අරමුණක් ඉටුකර ගැනීම උදෙසා එකල චෑන්ස් එකක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්ය. 

ගොඩයාගේ වැඩින් මතකයන්හි කුටප්‍රාප්තිය සිදුවන්නේ එක්දහස් නවසිය අසූ හය වසරේ වන අතර ඒ ගොඩයාගේ බාප්පාගේ වැඩිමය. පසුකාලීනව කොරල් ගාර්ඩන් වශයෙන් හැදින්වුනා වූ හික්කඩුවේ පිහිටි හෝටලය එකල  හැඳින්වුයේ ලංකා ලැන්ඩ් යන නමින්ය. එම ලංකා ලැන්ඩ් හෝටලයේ පැවති බාප්පාගේ වෙඩිමේ ප්‍රධාන චරිතයක් හොබවන පේජ් බෝයි වශයෙන් ගොඩයාගේ නම  යෝජනා වන්නේ එකල ගොඩයා හරිම හුරුබුහුටි කොලු පොඩ්ඩා නිසාය. පේජ් බෝයි යන්නෙහි සුවිශේෂත්වය ගැන වැඩියමක් ගොඩයා නොදන්නා අතර වෙනත්ව වැඩින් වලින් එය වෙනස් වුයේ ගොඩයා වෙත රිබන් බෝ එකක් සහිත වේවැලක් හිමිවීමෙන් පමණය. වැඩින් ෆොටෝව ගන්නා අවස්තාව වනතුරා ඇඳුම් ආයිත්තම් ප්‍රවේසම් කරගන්නට ගොඩයාට උපදෙස් ලැබෙන අතර රිබන් බෝ එක සහිත වේවැල කුමක් අරභයාද යන්නට ගොඩයා වෙත අදහසක් තිබුනේම නැතිය. වැඩිමේ මංගල රථය වෙනුවෙන් පැමිණි බාප්පාගේ අලුත්ම අලුත් ලාන්සර් බොක්ස් වර්ගයේ රථයෙන් හෝටලයට පැමිණෙන බාප්පා, බාප්පාගේ දෙවැනි මනමාලයා සහ ගොඩයා හෝටලයේ අසුන්ගෙන සිටින්නේ නෑ සිඟිත්තන් හෝටලයට පැමිණෙනතුරුය. අනතුරුව ටික වෙලාවකින් ගොඩයාගේ ඩඩාගේ ගමේ හැත්ත බුරුත්ත සහ නෑ පිරිවර සියල්ලම පටවාගත් වාහන කිහිපයක් හෝටලය වෙත පැමිනේනවාය. බාප්පාගේ මනාලියගේ පාර්ශවය විසින් පිළිගන්නා නෑ සිඟිත්තන් ප්‍රමුඛ පිරිස මොකක්දෝ බුලත් හුවමාරුවක් සිදුකර එකා පස්සේ එකා හෝටලය වෙත ඇතුල් වෙනවාය. 

 කාලයේ හැටියට විරල අංගයක් වූ නාන තටාකයකින්ද සමන්විත තරු පංතියේ හෝටලයක් වූ ලංකා ලෑන්ඩ් හෝටලය එකලද පොළොවේ ටයිල් අතුරා තිබු වර්ගයේ හෝටලයක්ය. මුණ පෙනෙන්නට ඔප දමා තිබූ පොලොව ඉතාමත් ලිස්සනසුලු වන අතර ඇවිදීම ඉතාමත් ලිස්සනසුලුය.

 ගොඩයාට නැන්දලා තුනක් සිටිනවාය. ඒ කියූ නැන්දලාගෙන් දෙවැනි නැන්දා හෝටලය වෙත පිය නගන්නේ බුලත් හුවමාරුව අවසන් කිරීමෙන් අනතුරුවය මහත් උජාරුවෙන්ය. තමුන්ගේ මලයා මෙවන් ආකාරයේ සුපිරි හෝටලයක වැඩිම ගත්තාවූ උජාරුවද නැන්දාගේ මුහුණේ අඳි තිබුනා ගොඩයාට මතකය. උජාරුවෙන් වටපිට බලමින් හෝටලය වෙත පියනැගුවා වූ නැන්දා කොයිතරම් නම් කනකර ආයිත්තම් වලින් සැරසීලාද යත්, චායාරූපයක් ගෙන රාමුකර ගතහොත් දේව රූපයක් වසයෙන් පහන් දැල්වීමට වුවද සුදුසුය. වෙනත් ආකාරයකින් කියනවානම්, රතුම රතු දිලිසෙන සාරියකින් සැරසී කිලෝ දෙක තුනක රත්තරන් ආභරණ එල්ගෙලාගෙන සිටින නැන්දාගේ පෙනුම දේව රූපයකින් වෙනස් වන්නේ අඩි උස සපත්තු දෙකෙන් පමනය.  දේවතාවියන් අඩි උස සපත්තු දමා සිටිනු ගොඩයා කිසි දිනෙක දැක නැතිය. එවන් ආකාරයෙන් ආයිත්තම් වලින්ද  දිලිසෙන රතු සාරියකින්ද සැරසී සිටිනා නැන්දාට  හිටිවනම වන්නේ මහා අකරබ්බයක්ය. ඒ මන්ද යත් නැන්දාගේ අඩි උස සපත්තු දෙක නැන්දාටත් නොකියාම ටයිල් පොලොවේ දෙපසට ගමන් කරන්නට පටන්ගන්නා නිසාය. 

ඔපදැමූ ටයිල් පොලොව උඩ ලිස්සමින් එක්තරා ආකාරයක රංගනයක නියැලෙන නැන්දා කිසිවක් නොවුනාවූ ආකාරයෙන් වැඩේ බැලන්ස් කරගන්නට ට්‍රයි එකක් දෙනවා උනාට හයි හීල්ස් නැන්දාගේ ප්‍රයත්නය තුට්ටුවකට මායිම් නොකරනා ආකාරයෙන් හිතුන දිහාවේ යන්නට ට්‍රයි කරනවාය. නැන්දාද ගේම අතාරින්නට සුදානම් නැතිය. සිද්දිය වැඩිමනක් පිරිසකට මීටර් නොමැති අතර නැන්දා හයි හීල්ස් පරාජය කරන්නටද හයි හීල්ස් නැන්දා පරාජය කරන්නටද තදින් වලිකනවාය. විනාඩියක් හෝ ඊට ආසන්න කාලයක් බෝල්රූම් ඩාන්ස් එකක් දැමු නැන්දා පරාජය කරමින් හයිහීල්ස් අවසානයේ ජය ගන්නා අතර නැන්දාගේ දෙකකුල් දෙපසට පළල්වී රංගනය අවසන් වනවාය. ලෙඩා මලත් බඩ සුද්දයි ආකාරයෙන් ගේම අතනාරින නැන්දාද කකුල් දෙක එකක් නැගෙනහිරටද එකක් බටහිරටද අංශක හැටකට වැඩියෙන් ඇදී තියෙද්දීද බිම නොවැටී සිටින්නේ දකුණේ දිරිය ගැහැනියක වශයෙන් ලෙහෙසියෙන් පරාජයට පත්වීමට අකමැති නිසාය. 

ගැහැනියකට පිහිටට සිටින්නේ ගැහැනියක්ම යයි පැරැන්නෝ කියනවා ගොඩයා අසා තිබෙනවාය. නැන්දාට සිදුවනට යන අකරතැබ්බය වලකන්නට දිරියෙන් ඉදිරියට එන්නෙ නෑ සනුහරයේම තවත් දිරිය කාන්තාවන් කිහිපයක්ය. දෙයියෝ කොයිතරම් නෝටිදයි දැනෙන්නේ ඉන් අනතුවය. දෙකකුල් අංශක හැටකට වඩා ප්‍රතිවිරුද්ධ දිශාවට පළල්වී, ලංකා ජිම්නාස්ටික් ශූරිය වශයෙන් ඔලිම්පික් යවන්නට ඔන්න මෙන්න සිටිනා නැන්දා බේරාගන්නට සපැමිණෙන කාන්තා පාර්ශවයේ පළමු වැන්නාටද නැන්දාට අත්වූ ඉරණමම අත්වන අතර දෙදෙනාම බෙරාගනට පනිනා ඊළඟ තැනැත්තියද ඔලිම්පික් ශූරතාවයට තමුන්ටද  හිමිකම් ඇතිබව නෑ සනුහරයට පෙන්වා දෙනවාය. එතැනින් එහා කුමන කතාද යාලෝස්... කැරම් බෝර්ඩ් එකේ ඉත්තො ටිකා බ්‍රේක් කරා හා සමානයි කියහන්කො.. එක තත්පරෙන් හතරදෙනාම එක ගොඩේ සට පටාස් දොහ්.. හිච්චි එකා උනාට ඉතින් ඒ කාලෙ හිටන්ම ගොඩයාට අමාරුවෙන්වත් හිනාව නව්ත්තගන්න බෑ. 


කොන්ඩ බෝලද , වයිවාරන සාරිබාරිද, හයි හීල්ද, රත්තරං පාට එල්ලෙන චේන් සහිත පසුම්බිද, කොන්ඩා ලස්සන කරන්න ගහන කොන්ඩා කටුද හත්පොලේය.. ආයේ ඉතින් ලජ්ජාව කියලා මක් කරන්නද කියහන්කො.. ඉතින් කියහල්ලකෝ මුන් වැටුනා කියලා ඒක පිලි අරං කව්රුහරි ඇවිත් නැගිට්ටනකල් ඉන්න එපැයි හත් ඉලව්වේ. ම්හ්..උන් එහෙම නෑය... මුකුත් උනේ නැති ගානට දනිපනි ගාගෙන නැගිටින්න ගියාම වෙන දේ තේරුම් ගැන එවුන්ගේ මොළ වලට ඉස්පාසුවක් කොටින්ම නෑය . ආයෙම ඉතින් පෙර පරිදිම තමාය... ඒ කිව්වේ ඔලිම්පික් සීන් එකය... කකුල් හිතු හිතු පැතිවල යන්නේ ක්ෂණිකයෙන්ය,..සද්දේ හරියටම කරම් බෝර්ඩ් එකේ ඩිස්ක් එක හයියෙන් ගිහින් වදින ශබ්දය ආකාරයෙන්ය.. ඊට මිලි තප්පර ගානකට පස්සෙන් දොහ් ශබ්දයෙන් ඇහෙන්නේ ශරීර ස්කන්දය පොලොව සිපගන්නා ශබ්දයය. ගිලෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලෙන න්‍යාය සිහිපත් කරමින් පොලොව සිපගන්නා අයවලුන් අතට හසුවන සාරි පොටවල්වල මේස කොන්වල එල්ලෙනවාය. ඒ සා පන්චස්කන්දයන් සාරි පොටකට, මේස කොනකට නවත්වන්නට බැරි වග සාක්ශාත් කරමින් සාරිය හැද සිටින්නා සමගින් හෝ සාරි කටු ඉරාගෙන හයි හීල්ස් නැන්දලා පොලොව සිපගන්නවාය. නැතහොත් මේසයේ කොනේ එල්ලී සිටිද්දීම ටයිල් පොලොව දිගේ රූටා යනවාය.

නැන්දලාගෙ විගඩම් කෝලම් බලාගෙන සිටින්නට අපහසු වූ කව්දෝ වැඩිහිටියෙක් මැදිහත්වී ඔය සපත්තු ගලෝලා නැගිටහල්ල හත් ඉලව්වේ කී නිසා අවසානයේ බෝල්රූම් ඩාන්ස් එක අහවර වෙනවාය. ඒ වූ වැඩිහිටියාගේ ඉල්ලීම අහක දමන්නට නොහැකි නිසා සපත්තු ගලවා නැගී සිටියා විනා දකුනේ දිරිය කාන්තාවන් දත් සැට් එකම බඩට යනතුරු ගේම අතනාරින වග ගොඩයා ඉන්තේරුවෙන්ම දන්නවාය. 

කැශුවලිටීස් ඒ වෙලාවේ නොපෙන්වුවාට හතරදෙනාම සෑහෙන්න ඉන්ජර්ඩ්ය. වෛවාරන සායම් උලා හැඩ කරවාගෙන එනු ලද්දාවූ මුහුනු වෙස්මුහුනු වාගේය. සමහරුන්ගේ නලල් තලයේ දොඩම් ගෙඩි තරම් ගෙඩි ඇවිල්ලාය. මුකුත් නොවුනා ආකාරයෙන් සිනාසී සිටින්නට වෙර දැරුවට විරිත්තනවා විනා සිනාසීගන්නට ඉතාමත් අපහසු වග ඉතා හොදින් විද්‍යාමාන වනවාය. වැලමිටි, දනිස් පොල්කටු, අත් වලලුකර ආදිය කුඩේ කුඩු ආකාරයෙන් ගන්න සංසාරයක් නොමැතිවග පෙනෙනාමුත් එව්වා අවුලක් නොමැතිවග පෙන්වන්නට නැන්දලා පට්ට ගේමක් දෙනවාය.  උගත් පාඩම් වලට පින්සිදු වන්නට හෝටලය සෑහෙන්න සාමකාමී වාතාවරණයක් උසුලනවාය. ඒ මන්ද යත්, හයි හීල්ස් ලෑ උදවිය මලාට වාඩි කරවූ පුටුවේම කීකරුව වාඩිවී සිටින්නේ  පුටුවෙන් නැගිට නැවත පටි රෝල් කරගන්නට බැරි නිසාය.

  සියල්ල වසානයේ කොන්ඩා බෝල ටික මාරු හැරගන්නටද   , අස්තානගත්වූ කොණ්ඩා කටු වැනි දෑ සොයාගන්නටද විමෙන්ස් ඔන්ලි  අන්ඩර් කවර් මිෂන් එකක් සිදුකරන්නටද සිදුවෙනවාය. ගලවාගැනීමේ හමුදාවේ පෙරමුණේ රාල නැන්දාගේ දත් සැට් එක සොයාගන්නට සෑහෙන්න කට්ටක් කන්නට සිදුවූ බව අන්ඩර් කවර් මිෂන් එකට සහභාගී වූ කාන්තා පාර්ශවයන් පසු කාලීනව වාර්තා කලෝය.

 එදා නැන්දා ඔසරිය හැද නොසිටින්නට නැන්දාගේ කකුල් දෙක එකක් නැගෙනහිරටද එකක් බටහිරටද පලල් වෙන එක නවත්වන්නට සක්කරයාටවත් බැරිය. එය එසේ වූවානම් අන්ශක එකසිය අසූවටම දෙපසට විහිදුනාවූ නැන්දාගේ කකුල් දෙක නැවත එකතු කරන්නට කරාපිටි ඇඩ්මිට් කරන්නට සිදුවෙනවා සුවර්ම සුවර්ය. 

පේජ් බෝයි වේවැල ගැන නොලියා පෝස්ටුව අවසන් කිරීම අසාධාරණය.

 වැඩින් ෆොටෝව ගැනීමෙන් අනතුරුව ගොඩයා හීන් සීරුවේ රිබන් බෝ එක සහිත පේජ් බෝයි වේවැල කාටත් හොරෙන් හොටලයේ  වෙරල මායිමේ වූ වැටකෙයියා පන්දුරක් අස්සේ ඔබන්නවාය. පේජ් බෝයි කම මතක් වන්නට වේවැල ගෙදර ගෙනයන්නට යයි වැඩිහිටියන් අවවාද කලමුත් එවන් ගොන්කම් කරන්නට තරම් ගොඩයා ගොන් වස්සෙක් නොවේය. ඒ ඇයිද යයි පැහැදිලි කරනවානම්, ගොඩයා ගෙදර ගුඩ් බෝයි තනතුර නිතර  හොබවන නිසා හොද වැඩ සඳහා ඩඩාගෙන් නිර්ලෝභීව ලැබෙනා  පේර කෝටු පාර වෙනුවට පේජ් බෝයි වේවැල  නොමිලේම ආදේශ වන නිසාය.