Sunday, July 28, 2019

කලුවරේ කතා..





කලුවරේ වෙච්ච සිද්දි කීපයක් මතක් වෙච්චි වෙලාවෙ ලියලා දාන්න කියලා හිතුනා කියමුකෝ. වැඩේ කියන්නෙ ලියලා ඉවර වෙන්න කලියෙන් ලිවිල්ල එපා උනොත් පබ්ලිශ් වෙන්නෙ නෑ කියලා දන්නවා උනත් ඔන්න ඔහේ ලියන්න ගත්තා. ඒ වගේ ලියන්න ගතපු පෝස්ට් බර තොගයක් දැන් මේකෙ භාග භාග තියෙනවා උනාට එව්වා සම්පූර්ණ කරන්න මල කම්මැලියි.


ගොඩයාගේ ජීවිතේ ඒ ලෙවල් කරපු කාලය වැඩි හරියක්ම ගතවුනේ කලුවරේ කිව්වොත් තමා නිවැරදි. ඒ මොකද කියනවනම් ගමයා නොහොත් කැප්ටන් පයිලට්ට පින් සිද්ද වෙන්න.  අපේ ගමයා උපන්දා හිටන්ම චායාරූප කලාවට උපන් හපනෙක් නිසා චායාරූප සම්භන්ද ඕනෑම අවශ්‍යතාවක් තියෙනවනම් ගමයා ඇමතීම සාපෙල කාලයටත් කලින් හිටන්ම පුරුදු වෙච්චි දෙයක් . ගමයා සහ ගොඩයා යනු කොයිතරම් සමීප පොරවල් දෙකක්ද කියනවනම් උසස්පෙල කරපු කාලයෙන් වැඩි දවසක් ගොඩයා උදේට දැකලා තියෙන්නෙ ගමයාගෙ මුස්පේන්තු මූනත්තහඩුව කිව්වොත් තමා හරි. ගමයා ගැන වැඩි යමක් මෙහිලා ලියැවෙන්නෙ නැත්තේ ගමයා ගැන වෙනම පෝස්ට් එකක් ලියැවෙන්නට නියමිත නිසා. ගමයා කියලා හුරතලේට කිව්වෙ ගමයාගෙ නමේ අගට තිබ්බේ ගමගේ කෑල්ලක් නිසා මිසක් ඔලොක්කුවට නෙවෙ ඕන්.

ඕන් ගමයා ගොඩයාට දවසක් යෝජනාවක් දානවා චායාරූප මුද්‍රණය කරන සීන් කෝන් එකක් හදමුද කියලා. මේ කියන කාලය නවසිය අනූ හතර වගේ කාලය නිසා ඒ කාලෙ දැන් වගේ ඩිජිටල් ප්‍රින්ටින් කියල දෙයක් තිබ්බෙ නෑ. ගමයා විසින් කරපු යෝජනාවට ගොඩයාත් මනාප නිසා ගොඩයා එකග වෙනවා ගොඩයාගෙ නිදියහන් ගබඩාව චායාරූප මුද්‍රණය කරන ඩාර්ක් රූම් එකක් බවට පත් කරන්න. දැන් මේ ලොරි ටෝක් දුන්නට ගොඩයාත් ඒ කාලේ  නැව් පිටින් ලනු ගිලපු එකෙක් ආයුබෝවන්ඩ. ඔන්න ඉතින් පලමු පියවර වශයෙන් ගමයා විසින් කොහෙන්දෝ හොයාගෙන එන තිත්ත කලු කඩදාසි වගයක් ගොඩයාගෙ කාමරේ ජනේල හතරෙම වීදුරු වැහෙන්න ඇලෙව්වා කියහන්කො. ඊලඟට ගොඩයාගේ කාමරේ දොරේ තිබ්බ මල් වීදුරුවත් අර කියපු තිත්ත කලු කඩාදාසි වලින් වැසී ගියා. ජනේල හතර වහලා කාමරේ දොර වැහුවාම ආයෙ ඉතින් මාස පෝය දවස වගේ කාමරේ ඇතුල තිත්ත කලුවරයි. 

ඊලඟට තිබ්බෙ චායාරූප මුද්‍රණය කරන්න අවශ්‍ය බඩුමුට්ටු ටික ගන්න වැඩේ නිසා ඒ සියල්ල ගමයා භාරගත්තා කියමුකෝ. ගොඩයාගේ ගෙදර ගෘහමූලික තැන කාමරේ ජනේල ටිකේ ඇතුලෙන් පාප්ප උලලා කලු කොල අලවපු එකට වැඩි මනාපයක් නැති උනත් ගෙදර ඉදන් කරන වැඩකට නිසා වැඩි ඔබ්ජෙක්ශන් එකක් නෑ. ගෙදරින් එලියට ගිහින් පෙරලාගෙන එන බාල්දි එක්ක බැලුවාම ජනෙල් හතර මොනාද කියලා ඩඩාට හිතෙන්න ඇති.   නිදියහන් ගබඩාවේ අපූරුවට තියෙන බිත්ති හතරෙයි සිවිලිමෙයිත් කලු සායම් උලන්න ගමයා ලක ලැහැස්ති උනත් ගොඩයා එකෙන්ම වැඩේට ඔබ්ජෙක්ශන් එක දැම්මා ඉස්සෙල්ල ගේනවා කියපු ප්‍රින්ටින් බඩු ටික ගෙනෙන් රජෝ කියලා.  ගොඩයාගේ කාමරේ ගල්ගුහාවක් ගානට පත්කරලා ගමයා මාරු උනොත් ඉතින් ගොඩයාගේ පුරවැසි භාවය අහිමිවෙන්න ඉඩකඩ තියෙන නිසා ගමයා ගැන ගොඩයා සියයට සියයක් විශ්වාසය තිබ්බෙ නෑ... ගොඩයාට හිතුන යමක් කවදාවත් වැරදිලා නැති නිසා ඒකත් එහෙමම උනා කියමුකෝ. ගමයාගෙ චායාරූප බඩු ටිකට බාලගිරි දෝසය හැදුනා ආයෙ සුව නොවෙන්නම. කරපු ගොන්කමට එන්න සෙය්යදූ කියලා ගොඩයා කලුවරේ ජේවිතේට පුරුදු උනා. ආයෙ ඉතින් රැයක් දවාලක් නෑ ආයුබෝවන්ඩ ගොඩයා කලුවරේ. පාප්ප ගාලා අලවපු කොල ගලවන්න විදිහකුත් නෑ ගමයාගෙ චායාරූප සුද්ද කරන බඩු ටික හෙට ගේන නිසා. ඒ හෙට ඉතින් ආවෙම නෑ අද වෙනකනුත්.

ඔයි කාලේ ලයිට් කැපිල්ලකුත් තිබ්බ නිසා රෑට ලයිට් කැපුවාම හද එලියවත් ගොඩයාගෙ පිහිටට නෑ. කාමරේට කලුවරේ මනුස්ස පරානයක් ආවොත් කට ඇරලා දත් ටික පෙන්නනකල් මනුස්සයා ඉන්න තැන හොයාගන්න මලාට බෑ. ස්කුබීයි ශැගියි කලුවර කාමරේක හිරවුනාම ඇස් දෙක විතරක් පේන සීන් එක වගේ. දවල්ටත් ගල් ගුහාව වගේ වෙච්චි එකේ ලයිට් කපපු වෙලාවට ආයෙ ඉතින් විශ්වයේ ඉර එලිය නොවැටෙන කලු කුහරයක අතරමන් උනා හා සමානයි. ගමයා අද වෙනකනුත් අර කිව්ව බඩු ටික අරන් ආවෙ නෑ කියමුකෝ.

ඕන් ඔය වගේ ලයිට් කපන කාලයක තමා කලුවරේ තව කතාවක් දිග හැරෙන්නෙ. ඔය කියන දවසේ ගොඩයාගෙ ලොකු නංගි අසනීප වෙලා.. නංගි කාරයට හොදටෝම උනලු ඉතින්. ගොඩයාගේ මමී ඩඩාට කියනවා දුරකතනයෙන්, ගෙදර එනකොට සමහන් පැකට්ටුවක් අරගෙන එන්න කියලා. ගෙදර එකෙක් මලා කිව්වත් ගොඩයාගෙ ඩඩා එහෙම කලබල වෙන ජාතියේ ඩඩෙක් නෙවෙයි. ඩඩාට ගෙදරට ගේන්න කියන දේවල් ඩඩා ගේන්නේ වෙලදසැල ක්ලෝස් කරලා එනකොටම තමා. මොකද කියනවනම් ගෙදරින් ගේන්න කියන එකම බඩුවක්වත් ගොඩයාගෙ ඩඩාගෙ වෙලද ආයතනයේ නෑ. එව්ව ගන්න වෙනත් කඩයකට ගොඩවෙන්න ඕන නිසා ගොඩයාගෙ ඩඩා සියල්ලම ගන්නෙ ෆූඩ් සිටියෙ බොර්ඩ් එකේ ගහලා තියෙන ක්‍රමෙට. ඒ කිව්වෙ "ගෙදර යනගමන්". ඊට අමතරම ගොඩයාගෙ ඩඩාට ගෙදර අවශ්‍යතාවයන් වෙනුවෙන් එන දුරකතන ඇමතුම් ප්‍රමානයට ගෙදර එන්නයි කඩේ යනයි උනොත් අඩුම තරමේ සිය වතාවක්වත් දෙපැත්තට යන්න එන්න වෙන එක ශුවර්. මොකද කියනවනම් කඩේ යැවීම කලාවක්නම් ගොඩයාගේ බාල නංගි කාරයා ඒකෙ පිකාසෝ ලෙවල් එකත් පහුකරපු ඩයල් එකක් නිසා. ඒ වගේම දුරකතනය හරහා ඩඩාට ලැබෙන බඩු ඕඩර්වල නැති උනානම් නැති උනේ අහසේ තරුයි මුහුදේ මඩයි වගේ එව්වා විතරයි.

ඕන් ඩඩාට කිව්ව ආකාරයෙන් සමහන් පැකට්ටුවත් අරන් ඩඩා ගෙදර එනවා කියමුකෝ.. ඒ වෙලාවෙ ලයිට් නෑ. ගොඩයාගේ මෑනියන් සමහන් පැකට්ටුව ඩඩාගෙ උර මල්ලෙන් අරන් සමහන් හදලත් දීල ගොඩයාගෙ ලොකු නංගි කාරයත් අවුලක් නැතුව දොයි. පහුවදා උදෑසන තමයි මෙන්න මේ සංවාදය සිද්ද වෙන්නෙ.. මොකද කියනවනම් ගොඩයාගෙ ඩඩා වෙලද ආයතනය විවෘත කරන්න යන්න ගෙදරින් පිටත් වෙන්නෙ උදෑසන හතයි තිහට විතර. ඩඩා විශ්‍රාමික පුද්ගලයෙක් විදිහට ඔය කියන වෙලද ආයතනය පවත්වාගෙන යන්නේ කලයා මරාගැනීමේ අරමුනෙන් උනත් ඩඩා උදේ අරින වෙලාවයි රෑ වහන වෙලාවයි ආයේ දෙකක් නෑ අකුරට. එව්වා එහෙම් උනාට දවල් දවසේ ඩඩාගේ කඩේ වැඩි හරියක් වහලා කිව්වොත් තමා හරි.. උදේට කන්න කියලා ගෙදර ආවාම පැයක් හමාරක් පත්තර බලලා ආයෙම කඩේට ගිහින් පැයක් හමාරක් ඇරගෙන ඉදියි. ඊට පහු ආයෙම දවල්ට කන්න ගෙදර.. ඊට පහු එකට විතර ආයෙම ගිහින් හවස තුනට විතර ගෙදර අවිදින් නින්දක් හෙම දාලා ආයෙම යන්නේ පහට විතර කියහන්කො. එහෙව් බිස්නස් කිරිල්ලක් ගොඩයා උපන්තේකට දැකලා නැති උනාට ගොඩයාගේ මෑනියන් නම් කියන්නෙම ගෙදරින් මාරුවෙලා නිදහසේ පත්තරයක් බලලා බුලත්විටක් හපලා ඉන්න කරන උප්පරවැට්ටියක් කියලාමයි. මයි කාර් මයි පෙට්‍රෝල් වර්ගයේ , සිංහ ලග්නයේ පුද්ගලයා නිසා තුට්ටුවකටවත් වෙනත් අයට ඇහුම්කන්දීමක් නෑ. ගොඩයලා වගේ අනුන්ගේ කරදර මැද්දට බල්ටි ගහලා පනින පුරුද්දක් නෑ වගේම තමුන්ගේ හිතේ තියෙන්නේ දුකක්ද සතුටක්ද කියලවත් අනුන්ට දැනෙන්න අරින්නෙත් නෑ. ඕන් කතාව වටේ ගියා.. ඔන්න පහුවදා උදේ දෙබස මෙහෙමයි..

ඒයි.. ඔයා ඊයෙ රෑ ලොකු දූට සමහන් දුන්නෙ නැද්ද..

මං දුන්නනේ.. ඒක බීලා තමා ලොකු දූ නිදාගත්තේ..

වෙන්න බෑ.. මේ තාම සමහන් එක බෑග් එකේනේ..

එහෙනම් දෙකක් ගේන්න ඇති...

පිස්සු.. මං එකයි ගෙනාවෙ.. 

(දෙකක් ගේන්න ඇති කියලා කිව්වට ඒක ගොඩයාගේ අක්මාවට අනුව ලොජිකල් නෑ. ඩඩා දෙකක් ගේන්න කිව්වත් එකක් ගේන ජාතියේ ඉකොනොමිකල් පුද්ගලයෙක් නිසා. මොකද කියනවනම් දෙකක් ගෙනාවත් දෙකම පාවිච්චි නොකර ඊලඟ දවසෙත් ආයෙම කඩෙන් ඒ ජාතියෙම එකක් ගේන්න කියලා කෝල් එකක් එන වග ගොඩයාගේ ඩඩා හොදාකාරවම දන්න නිසා)

පිස්සු කියනවා මන් අලුත්ම පැකට් එක කඩලානේ ලොකු දූට සමහන් හදලා දුන්නෙ. ඉන්නකෝ මං පැකට් එක පෙන්නන්න..

ඕන් මෑනියන් කුස්සිය පැත්තට ගිහින් සමහන් පැකට්ටුවේ ඉතිරි කොටහ අරන් ඇවිත් ඩඩාට පෙන්නනවා කියමුකෝ...

ඔය කඩේට දුම් අල්ලන්න ගෙනාපු දුම්කුඩු පැකට් එකනේ... 

බැලින්නම් ගොඩයාගේ මෑනියන් කලුවරේ නංගි කාරයාට පොවලා තියෙන්නෙ කඩේට දුම් අල්ලන්න ගෙනාපු දුම් කුඩු පැකට් එක.


අවුලක් නෑ.. ලොකු නංගි කාරයා තාම ජීවතුන් අතර. අදටත් ඉහෙන් බහින රෝගයන් නෑ. ගොඩයාගෙ මස්සිනා කාරයාට ගොඩයාගෙ ලොකු නංගි මැරි කරපු එකේ අමතර වාසි එහෙම නැත්තේම නෑ.   ඔනෑම රෑක ඕනෑම මූකලානක වාහනේ පැච් එකක්වත් ගියොත් හරි එන්ජින් ට්‍රබල් එකක් ආවොත් හරි, යක්ස භූත පිසාච කුම්භාණ්ඩ ඇතුලු අමනුස්ස උපද්‍රව ගැන භයක් ගන්න හේතුවක් නෑ.  සියලු දෝශ නිවාරණය කරනවයි කියලා ඉර හද පල්ලා ටීවී එකේ , රේඩියෝ එකේ දිවුරලා විකුනන දුම්කුඩු ශරීරගත කරලා පත්තියන් කරලාම තියෙන නිසා අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාදි නිවාරනයි.. ශාන්තියි... අමනුෂ්‍ය දෝශ රහිතයි.

ඒ අස්සෙ ගොඩයාගේ පොඩි මස්සිනා ලයිට් කපපු දවසක කලුවරේ අල කරියක් උයන්න ගිහින්. අල හොද්ද හදන්න කලින් වයිපරේගෙන් අවවාද අනුශාසනා ලැබුනේ ලුනු කැට නොදා ලුනු වතුර විතරක් දාන්න කියලාලු.  ප්‍රොටොකෝල් එකේ ඉන් ඇඩ්වාන්ස්ම උපදෙස් ලැබිලා තියෙන ආකාරයට මචං කාරයා ලුනු වතුර දානවා දානවා දානවා දානවා හොද්ද ලුනු රහ වෙන්නෙම නෑලු. ගොඩයාගෙ ඔය කිව්ව මස්සිනාගේ බිරින්දෑ හෙවත් ගොඩයාගෙ බාල නංගි ගුරුවරියක්. ඔව් ඔව් අර කඩේ යැවීමේ කලාවේ පිකාසෝ කිව්වේ.. ආන් එයා තමා.. ඒ උන්දෑ හිතාන ඉන්නේ ගෙදර ඉන්න සාමාජික සාමාජිකාවන් ඔක්කොම ඉස්කෝලේ ලමයි වසයෙන් නිසා ස්වාමි පුරිසෝත්තමයා ඉදල  හිටලා හොද්දක් හැදි ගාන එකත්, ඩඩා ඉන්ටෝල් නැතුවම කඩේ යන එකත් ගැන  වැඩිය මුකුත් හිතන්නෙ දෙයක් නෑ.

 අපේ තඩියා හෙවත් චමිලයාගේ බිරින්දෑත් ගුරුවරියක්.  ඊයේ පෙරෙදාවක ඕන් අපේ තඩියා හෙවත් චමිලයා උදේ පාන්දරක ගොඩයාගෙ කාර් එක ඉල්ලගෙන යාලුවෙක් එක්ක කොහෙදෝ ගියා උගේ ගෙදර අලුත්ම අලුත් ටොයෝටා විට්ස් එකක් තියෙද්දිම. ගොඩයා එකත් එකටම හිතුවා මූ අද ඉස්කෝලෙන් පැනලා වෙන්න ඇති කියලා. ඒ උනාට ගොඩයා මුකුත්  කියන්න ගියේ නෑ. 2003 ඉදන් ටීචර් කෙනෙක් එක්ක ජීවත් වෙනවා කියන්නෙ ඉතින් ඉස්කෝලෙම ජීවත් වෙනවා වගේ නිසා වෙහෙසත් ඇති නෙව. හක් හක් හා....


ඕන් මස්සිනාගෙ හොදි කතාව වටේ ගියා. මස්සිනා පොඩ්ඩ හොද්දට ලුනු වතුර දානවා.. රහ බලනවා... රහ බලනවා ලුනු වතුර දානවා. හොද්දට ලුනු වැඩි වෙලා ටීචර්ගෙන් අම්බානෙකට කන්න උනොත් කියලා හද්ද කලුවරේම හැන්ද සාලෙට අරන් ගිහින් ටීචර්ටත් දෙනවලු ලුනු බලන්න. ම්හ්.. ටීචර්ගේ ලුනු ටෙස්ට් එකෙනුත් හොද්ද ෆේල්ලු. ඕන් මස්සිනා ආයෙම කලුවරේ ගිහින් ලුනු වතුර දානවලු. ආයෙම හැන්ද අරගෙන සාලෙට ඇවිත් ටීචර්ට ලුනු ටේස්ට් එක බලන්න කියනවලු.. ම්හ්.. ඒත් ෆේල්ලු.. දන්නවනේ ඉතින් ටීචර්ලා කේන්ති ගියොත්.. ඒ නිසා ඕන් ගොඩයාගෙ මස්සිනා කාරයා අවසාන වශයෙන් ලුනු බලන්න ලුනු වතුර සහිත ලුනු දාන වීදුරු බදුන ගේනවලු සාලෙට.. ඇයි යකෝ කොච්චර දැම්මත් ලුනු නැහයි කියන එකේ ලුනු වතුර එක ටීචර් ලවා පරීක්ශා කර ගැනීම නුවනට හුරු නිසා.. ආන් මොලේ තියෙන ස්වාමිපුරුෂයෝ... තව වතාවක්  හැන්ද අරන් ඇවිත් හොද්ද කටේ තියලා ලුනු පරීක්ශනය ෆේල් වීම තමුන්ගේ ශරීර සෞඛ්‍යයට අවදානම් නිසා පලමුව ලුනු භාජනයේ ලුනු සාන්ද්‍රනය පරීක්ශාකර ගැනීම උගත් බුද්ධිමත් ස්වාමිපුරුෂයකුගේ දුරදක්නා නුවන නෙවෙයිද හා... ටීචර්  ලුනු භාජනේට යාන්තම් ඇන්ගිල්ලක් දාලා දිවේ ගාලා බලනවලු ලුනු රහ.. ම්හ්.. ලුනු රහක් නෑලු.. ඕන් ඒ ගමන  ටීචර් ඇගිලි දෙකක්ම ලුනු භාජනේට යහමින් ඔබ්ලා කලතලා අරන් දිවේ ගාලා බලනවලු.. ම්හ්.. ඒ තරම් ලුනු රසක් දැනෙන්නෙම නෑලු. ඕන් ඊගාවට ටීචර්, තමුන්ගේ උකුලේ හිටපු කොලු පැටියව මෑනියන්ට දීලා, ඉටිපන්දම තියෙන තැනට යන්නෙ  යන්නේ ස්වාමි පුරිසෝත්තමයාට පින්දෙන ගමන්ලු.. ඇයි හත් ඉලව්වේ මේ යෝදයාට තමුන්ගේ උදව් නැතුව හොද්දකට ලුනු ටිකක් දාගන්න බැරි හැටි කියාගෙනලු..

(දැන් ඉතින් මේ පෝස්ට් එක කියවන උදවිය මේ පෝස්ට් එක කියවලා කන්න එහෙම හිතාන ඉන්නවනම්  මෙතැනින් එහාට  කියෙව්වෙ නැතුවට කමක් නෑ.. )

ඊගාවට ටීචර් ගින්දර විසිවෙවී කෙලින්ම කිචන් එකට ගිහින් හොද්ද සින්ක් එකට හලනවලු... ටීචර් කලුවරේම ගෙදර චන්ද හිමි නාමලේඛනයේ සියල්ලන්ගේම ගුන ගායනා කරනා අතරේ ස්වාමිපුරුසෝත්තමයාට බෝනස් ලකුනු කිහිපයක් දෙන්නත් අමතක කරන්නෙ නෑලු. ස්වාමිපුරිසෝත්තම තැන හීන් සීරුවේ එතැනින් මාරු වෙනවලු. අහල පහල ගැවසීම ඇගට ගුන නැති නිසා..

බැලින්න්ම ගොඩයාගේ බෑනනුවන් හෙවත් කඩේ යැවීමේ පිකාසෝ ටීචර් නංගිගේ ලොකු කොලුවා ආච්චිගේ දත් සැට් එක දාන වතුර භාජනේ දත් සැට් එකත් එක්කම කුස්සියේ උයන තැනින් ගෙනිහින් තියලලු.. මස්සිනා කාරයා කලුවරේ රහ බල බල ලුනු වතුරයි කියලා හොද්දට හලලා තියෙන්නෙ දත් සැට් එක දාපු භාජනේ වතුරලු.. අඹු සැමි දෙපොල විසින් මාරුවෙන් මාරුවට සමගියෙන් සාමයෙන් ඇගිලි ඔබ ඔබා රස සොයලා තියෙන්නෙ දත් සැට් එක දාලා තිබ්බ වතුර එකලු.. 

එක අතකින් ගොඩයා දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා ගොඩයාගේ නංගි කාරයා හොද්දට ලුනු වතුරම විතරක් දාන්න කියලා ස්වාමිපුරුසෝත්තමයාට අණ කරපු එක ගැන. ඒ වගේම ගොඩයා මස්සිනා කාරයාටත් ස්තූතිවන්ත වෙනවා තමුන්ගේ වයිපරේ දෙන උපදේසයක් අකුරටම පිලිපැදීම සම්භන්ධව.  ඇයි හත් ඉලව්වෙ නංගි කාරයා ලුනු කැට දාපන් කියලා මේ යෝදයා අපේ මෑනියගේ දත් සැට් එක දෙකට තුනට කඩලා හොද්දට දැම්මන්ම් එහෙම කාට කියන්නද. ඒ වගේම ලැබිච්ව උපදෙස් වලින් පිට පැනලා ඔන්න ඔහේ ලුනු කැට ටිකක්ම දානවා කියලා දත් සැට් එක කුඩු කරලා හොද්දට දැම්මනම්.. ඒ දාලා මුන් කලුවරේම ඒ හොද්දත් ගිලලා දැම්මනම් පහුදා උදේට ශර්ලොක් හෝම්ස් ගෙන්නන්න වෙනවා යකඩෝ දත් සැට් එක අතුරුදහන් වීම ගැන පරීක්ශනයක් කරන්න.  ගොඩයාගේ මෑනියන් විශ්‍රාම වැටුපක් ගන්නවා උනාට දත් සැට් එකේ අවශේෂයන් දකිනාතුරු අලුත් දත් සැට් එකක් ගන්න ඩෙන්ටල් එකට යන්න ඩඩාව කැමති කරගන්න එක සෑහෙන අමාරු කාරියක්. කැඩිච්ච දේකට අලුත් එකක් අරන් දෙන්න ඉදිරිපත් උනාට අස්ථානගත වෙච්ච දෙයක් අලුත් එකකින් රිප්ලේස් කරන්න ගොඩයාගේ ඩඩා සෑහෙන්න කාලයක් ගන්නවා පුරුද්දක් විදිහටම. දත් සැට් එකක් වගේ දෙයක් වෙන කෙනෙක් දාගෙන යන්න ඇති කියලා නිගමනයකට එන්නත් බෑ නෙව. මොකෝ හොරු ගෙනිහින් කියලා කියන්නද? බෑනේ..

 ඒ වගේද අලුත් දත් සැට් එකක් ගන්න ගිය වෙලාවට දත් දොස්තර ඇහුවොත් පරන එකට මොකද උනේ කියලා?  හතර පෝයට සිල් ගන්න කෙනෙක් විදිහට මුසාවාද ඇදා බාන්නත් බෑ නෙව. කොහොම කටක් ඇරලා කියන්නද දූයි බෑනයි කරන්ට් ගිය වෙලේ මගේ දත් සැට් එක අල හොද්දට දාගෙන කාලා ඩොක්‍ටර් කියලා..






Wednesday, July 17, 2019

මගුල් කතා 1







මගුල් කතා ගැන බ්ලොග් පොස්ටුවක් ලියන්නට ඔනෑ යයි ගොඩයාට ඊයේ පෙරේදාවක අදහසක් ආවේ මගුල් ගැන සීන් කෝන් කීපයක් මතකයට ආ නිසාය. එව්වා ලියා තැබීම එව්වාට සම්මාදම් වූ අයවලුට සාධාරණයක් ඉටුකිරිල්ලක් වශයෙන් ගොඩයා හිතනවාය. ජයටම මගුල් උත්සව සංවිධානය කර මගුල් කෑවාට එව්වා ගැන පසු විපරමක් කිරීම කිසිවෙකුත් නොකරන නිසා මතකයේ රැඳුනාවූ මගුල් උත්සව කිහිපයක් ගැන මෙසේ ලියවෙනවාය.

මගුල් කීව සැනින් ගොඩයාට පළමුව මතකයට එන්නේ එක්දහස් නවසිය අසූව වැනි ඈත මගුලක්ය. මගුල තිබුනේ රත්නපුරය දිසාවේ බැවින් ගොඩයාට එම මගුල මතකයේ තිබුණිද මගුලේ අටුවා ටීකා ටිප්පනි කිසිවක් මතකයට එන්නේ නැතිය. ඒ මන්ද යත් එම මගුල තිබු සන්දියේ ගොඩයාගේ වයස අවුරුදු තුනක පමණ වයසක් වන නිසාය රෑ දෙගොඩ හරියේ අවදිවී ජැන්ඩි පහට දිග කලිසමකින් සහ අත් දිග කමිසයකින් සැරසී රත්නපුරයේ මගුලකට ගියා පමණක් හීනයක් ආකාරයෙන් ගොඩයාට මතකයේ යාන්තමින් තිබෙනවාය. වර්තමානයේ ගොනා රෝසා නමින් හඳුන්වන මිට්සුබිෂි රෝසා වර්ගයේ බසයකින් තිහක තිස් පහක පමණ පිරිසක් මගුල් ගෙදර යන්නට පිටත් වෙනවා ගොඩයාගේ මතකයේ තැන්පත් වී තිබෙන්නේ වෙනෙකක් නිසා නොව හිච්චි එකා සන්දියේ හිටන්ම පැවතියාවූ රතගාය නිසාය. ඩඩාගේ මහ ගෙදරින් පිටත් වුනාවූ මගුල් ගමන ඉර නගින්නට කලින් පිටත් වුවත් බසයේ නැග අසුන් ගන්නට ප්‍රථමව බසය වටා රවුම් කිහිපයක් ගොඩයාව රැගෙන යන්නට ගොඩයාගේ මෑණියන්ට සිදුවුවා ගොඩයාට මතකය. ගොනා රෝසාවේ සුදු පැහැති ටියුබ් ලයිට් වලින් මලානිකව ආලෝක්මත්වූ බස්රථයේ මෑණියන්ගේ උකුලේ අසුන් ගන්නවායින් එහාට ඒ පළමු මගුල් තුලාව ගැන කිසිවකුත් ගොඩයාගේ මතකයේ නොමැතිය.

ඉන් අනතුරුව ගොඩයාට මගුලක් ගැන මතකයේ තිබෙන්නේ ලොකු අයියාගේ මගුල වන අතර ඒ වූ කලී එක්දහස් නවසිය අසූ දෙක හෝ තුන අවුරුද්ද වන්නට ඉඩ තිබෙනවාය. ලොකු අයියාගේ හෝම් කමිම ගැන මෙලෝ මලදානයක් මතකයේ නැතත් ලොකු අයියාගේ වෙඩිම ගැන යම් මතකයක් ගොඩයාට තිබෙන්නේ ලොකු අයියලා වෙඩින් ෆොටෝව ගැනීමට ගාල්ලේ වෙස්ට් එන්ඩ් ස්ටුඩියෝව වෙත යද්දී මගුල් මයිනරයේ ඉදිරිපස අසුනේ අයිනකින් ඇන තියාගන්නට ගොඩයා සමත් වන නිසාය. ඒත් රතගාය හින්දාය. සුදු අයියා සහ හිච්චි මාමාද මගුල් රථයේම ස්ටුඩියෝව වෙත ගමන් කළාවූ නිසා ගොඩයාට මයිනරයේ රවුමක් යෑමට අවස්ථාව සැලසෙනවාය. වැඩින් සැට් එක ස්ටුඩියෝව වෙත ගියාවූ පසු මයිනරයේ රියදුරා ගොඩයාවත් දමාගෙන ගාල්ලේම සුරා සැලක් වෙත රථය පැදෙව්වා ගොඩයාට මතකය. උඩු රැවුල උඩට කරකැවූ මෝස්තරයක් සහිත රියදුරා දකිද්දී ගොඩයාට සූ යන්නට තරම් භයක් දැනුනද හේ ගොඩයාව තුට්ටුවකට මායිම් කලේ නැතිය. සුරාසලෙන් ගත්තා වූ රහමෙර බෝතලයෙන් වඩියක් සප්පායම් වන්නට හෙතෙම වීදුරුවක් ගත්තේ මයිනරයේ ග්ලව් බොක්ස් එකෙන් වන අතර එය ගැනීමට ගොඩයාගේ පැත්තේ දොර අරිද්දි ගොඩයා සිතුවේම ගොඩයාව කරෝල වාඩියකට විකුණන්නට  දෙන්නටවත් හදනවදෝ කියලාය. සුරාසැල අසල සිටියාවූ උඩු රැවුල උඩට කරකැවූ තවත් කිහිපදෙනෙක් මයිනරය  අසලටවිත් රියදුරාගේ බෝතලයෙන් සප්පායම් වෙද්දී ගොඩයාගේ භය තවත් වැඩි වුවා මිස අඩු වුයේ නැතිය. 

සියල්ල අවසානයේ වැඩින් සැට් එක සමගින් ලොකු අයියාගේ අඹේනියගේ නිවසට හෙවත් වෙඩිමට මයිනරය සැපත් වෙද්දී ගොඩයාගේ පියානෝ දිව විකාගෙන ගෙයි එළිපත්තේ ඔරවාගෙන බලාසිටිනවාය. ඒ හිටිවනම වෙඩිමෙන් නොකියා අතුරුදන් වූ ගොඩයාව පිළිගැනීම උදෙසාය. ලොකු අයියා වෙඩිම පසෙකලා ගොඩයාව බේරා නොගන්නට එදා ඇප නැතිවෙන්නටම ගොඩයා අම්බානෙකට ගුටි කනවාය. ලොකු අයියා ඊයේ පෙරේදා වයස හැට සම්පුර්ණකොට විශ්‍රාම ගිය අතර දැන් වෙද්දී ලොකු අයියා මුණුපුරන් තුන් දෙනෙකුගේ සීයා කෙනෙක්ය.

ඊළඟ වෙඩිම ඒ ආසන්නයේම කාල වකවානුවේ එකක් වූ අතර ඒ සුදු අයියාගේ වෙඩිමය. කිසිදු ආරාධනයකින් තොරව  වැඩින් කාරයේ අසුන්ගන්නට උපන් හපන් ගොඩයා සුදු අයියා සහ ඇඹේනිය කැන්දාගෙන එන්නට යන ගමනේද වැඩින් කාරයේ අසුන් ගන්නවාය. වැඩින් සැට් එක පටවාගත් රියදුරා මොකක්දෝ යකඩයක් ඩිකියෙන් ගේනවිත් ඇන්ජිම ඉදිරියෙන් හිලකට ඔබා කරකවා රථය පනගන්වාගත් ආකාරය ගොඩයාට අද වාගේ මතකය. එදානම් වෙනදාට වඩා වැඩින් කාරයේ සෙනග වැඩිවූ අතර ගොඩයා ගමන් ගත්තේ මනමාල සුදු අයියාගේ උකුළේය. ගොඩයාගේ රථගායේ විශේෂත්වය වන්නේ ගොඩයාට රථයේ ගමන් කිරීමට කිසිදු ආසාවක් නොමැති වීමය. ගොඩයාට අවශ්‍ය වන්නේ රථයේ කෑලි බෑලි ටික සූම් කොට බලාගැනීමටය. ඒ අමතරව රියදුරා රථය පදවන ආකාරය සහ පණගන්වන ආකාරය නිරීක්ෂණය කිරීමද රථ ගයේ ඊළඟ අරමුණය. එවන් අරමුණක් ඉටුකර ගැනීම උදෙසා එකල චෑන්ස් එකක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්ය. 

ගොඩයාගේ වැඩින් මතකයන්හි කුටප්‍රාප්තිය සිදුවන්නේ එක්දහස් නවසිය අසූ හය වසරේ වන අතර ඒ ගොඩයාගේ බාප්පාගේ වැඩිමය. පසුකාලීනව කොරල් ගාර්ඩන් වශයෙන් හැදින්වුනා වූ හික්කඩුවේ පිහිටි හෝටලය එකල  හැඳින්වුයේ ලංකා ලැන්ඩ් යන නමින්ය. එම ලංකා ලැන්ඩ් හෝටලයේ පැවති බාප්පාගේ වෙඩිමේ ප්‍රධාන චරිතයක් හොබවන පේජ් බෝයි වශයෙන් ගොඩයාගේ නම  යෝජනා වන්නේ එකල ගොඩයා හරිම හුරුබුහුටි කොලු පොඩ්ඩා නිසාය. පේජ් බෝයි යන්නෙහි සුවිශේෂත්වය ගැන වැඩියමක් ගොඩයා නොදන්නා අතර වෙනත්ව වැඩින් වලින් එය වෙනස් වුයේ ගොඩයා වෙත රිබන් බෝ එකක් සහිත වේවැලක් හිමිවීමෙන් පමණය. වැඩින් ෆොටෝව ගන්නා අවස්තාව වනතුරා ඇඳුම් ආයිත්තම් ප්‍රවේසම් කරගන්නට ගොඩයාට උපදෙස් ලැබෙන අතර රිබන් බෝ එක සහිත වේවැල කුමක් අරභයාද යන්නට ගොඩයා වෙත අදහසක් තිබුනේම නැතිය. වැඩිමේ මංගල රථය වෙනුවෙන් පැමිණි බාප්පාගේ අලුත්ම අලුත් ලාන්සර් බොක්ස් වර්ගයේ රථයෙන් හෝටලයට පැමිණෙන බාප්පා, බාප්පාගේ දෙවැනි මනමාලයා සහ ගොඩයා හෝටලයේ අසුන්ගෙන සිටින්නේ නෑ සිඟිත්තන් හෝටලයට පැමිණෙනතුරුය. අනතුරුව ටික වෙලාවකින් ගොඩයාගේ ඩඩාගේ ගමේ හැත්ත බුරුත්ත සහ නෑ පිරිවර සියල්ලම පටවාගත් වාහන කිහිපයක් හෝටලය වෙත පැමිනේනවාය. බාප්පාගේ මනාලියගේ පාර්ශවය විසින් පිළිගන්නා නෑ සිඟිත්තන් ප්‍රමුඛ පිරිස මොකක්දෝ බුලත් හුවමාරුවක් සිදුකර එකා පස්සේ එකා හෝටලය වෙත ඇතුල් වෙනවාය. 

 කාලයේ හැටියට විරල අංගයක් වූ නාන තටාකයකින්ද සමන්විත තරු පංතියේ හෝටලයක් වූ ලංකා ලෑන්ඩ් හෝටලය එකලද පොළොවේ ටයිල් අතුරා තිබු වර්ගයේ හෝටලයක්ය. මුණ පෙනෙන්නට ඔප දමා තිබූ පොලොව ඉතාමත් ලිස්සනසුලු වන අතර ඇවිදීම ඉතාමත් ලිස්සනසුලුය.

 ගොඩයාට නැන්දලා තුනක් සිටිනවාය. ඒ කියූ නැන්දලාගෙන් දෙවැනි නැන්දා හෝටලය වෙත පිය නගන්නේ බුලත් හුවමාරුව අවසන් කිරීමෙන් අනතුරුවය මහත් උජාරුවෙන්ය. තමුන්ගේ මලයා මෙවන් ආකාරයේ සුපිරි හෝටලයක වැඩිම ගත්තාවූ උජාරුවද නැන්දාගේ මුහුණේ අඳි තිබුනා ගොඩයාට මතකය. උජාරුවෙන් වටපිට බලමින් හෝටලය වෙත පියනැගුවා වූ නැන්දා කොයිතරම් නම් කනකර ආයිත්තම් වලින් සැරසීලාද යත්, චායාරූපයක් ගෙන රාමුකර ගතහොත් දේව රූපයක් වසයෙන් පහන් දැල්වීමට වුවද සුදුසුය. වෙනත් ආකාරයකින් කියනවානම්, රතුම රතු දිලිසෙන සාරියකින් සැරසී කිලෝ දෙක තුනක රත්තරන් ආභරණ එල්ගෙලාගෙන සිටින නැන්දාගේ පෙනුම දේව රූපයකින් වෙනස් වන්නේ අඩි උස සපත්තු දෙකෙන් පමනය.  දේවතාවියන් අඩි උස සපත්තු දමා සිටිනු ගොඩයා කිසි දිනෙක දැක නැතිය. එවන් ආකාරයෙන් ආයිත්තම් වලින්ද  දිලිසෙන රතු සාරියකින්ද සැරසී සිටිනා නැන්දාට  හිටිවනම වන්නේ මහා අකරබ්බයක්ය. ඒ මන්ද යත් නැන්දාගේ අඩි උස සපත්තු දෙක නැන්දාටත් නොකියාම ටයිල් පොලොවේ දෙපසට ගමන් කරන්නට පටන්ගන්නා නිසාය. 

ඔපදැමූ ටයිල් පොලොව උඩ ලිස්සමින් එක්තරා ආකාරයක රංගනයක නියැලෙන නැන්දා කිසිවක් නොවුනාවූ ආකාරයෙන් වැඩේ බැලන්ස් කරගන්නට ට්‍රයි එකක් දෙනවා උනාට හයි හීල්ස් නැන්දාගේ ප්‍රයත්නය තුට්ටුවකට මායිම් නොකරනා ආකාරයෙන් හිතුන දිහාවේ යන්නට ට්‍රයි කරනවාය. නැන්දාද ගේම අතාරින්නට සුදානම් නැතිය. සිද්දිය වැඩිමනක් පිරිසකට මීටර් නොමැති අතර නැන්දා හයි හීල්ස් පරාජය කරන්නටද හයි හීල්ස් නැන්දා පරාජය කරන්නටද තදින් වලිකනවාය. විනාඩියක් හෝ ඊට ආසන්න කාලයක් බෝල්රූම් ඩාන්ස් එකක් දැමු නැන්දා පරාජය කරමින් හයිහීල්ස් අවසානයේ ජය ගන්නා අතර නැන්දාගේ දෙකකුල් දෙපසට පළල්වී රංගනය අවසන් වනවාය. ලෙඩා මලත් බඩ සුද්දයි ආකාරයෙන් ගේම අතනාරින නැන්දාද කකුල් දෙක එකක් නැගෙනහිරටද එකක් බටහිරටද අංශක හැටකට වැඩියෙන් ඇදී තියෙද්දීද බිම නොවැටී සිටින්නේ දකුණේ දිරිය ගැහැනියක වශයෙන් ලෙහෙසියෙන් පරාජයට පත්වීමට අකමැති නිසාය. 

ගැහැනියකට පිහිටට සිටින්නේ ගැහැනියක්ම යයි පැරැන්නෝ කියනවා ගොඩයා අසා තිබෙනවාය. නැන්දාට සිදුවනට යන අකරතැබ්බය වලකන්නට දිරියෙන් ඉදිරියට එන්නෙ නෑ සනුහරයේම තවත් දිරිය කාන්තාවන් කිහිපයක්ය. දෙයියෝ කොයිතරම් නෝටිදයි දැනෙන්නේ ඉන් අනතුවය. දෙකකුල් අංශක හැටකට වඩා ප්‍රතිවිරුද්ධ දිශාවට පළල්වී, ලංකා ජිම්නාස්ටික් ශූරිය වශයෙන් ඔලිම්පික් යවන්නට ඔන්න මෙන්න සිටිනා නැන්දා බේරාගන්නට සපැමිණෙන කාන්තා පාර්ශවයේ පළමු වැන්නාටද නැන්දාට අත්වූ ඉරණමම අත්වන අතර දෙදෙනාම බෙරාගනට පනිනා ඊළඟ තැනැත්තියද ඔලිම්පික් ශූරතාවයට තමුන්ටද  හිමිකම් ඇතිබව නෑ සනුහරයට පෙන්වා දෙනවාය. එතැනින් එහා කුමන කතාද යාලෝස්... කැරම් බෝර්ඩ් එකේ ඉත්තො ටිකා බ්‍රේක් කරා හා සමානයි කියහන්කො.. එක තත්පරෙන් හතරදෙනාම එක ගොඩේ සට පටාස් දොහ්.. හිච්චි එකා උනාට ඉතින් ඒ කාලෙ හිටන්ම ගොඩයාට අමාරුවෙන්වත් හිනාව නව්ත්තගන්න බෑ. 


කොන්ඩ බෝලද , වයිවාරන සාරිබාරිද, හයි හීල්ද, රත්තරං පාට එල්ලෙන චේන් සහිත පසුම්බිද, කොන්ඩා ලස්සන කරන්න ගහන කොන්ඩා කටුද හත්පොලේය.. ආයේ ඉතින් ලජ්ජාව කියලා මක් කරන්නද කියහන්කො.. ඉතින් කියහල්ලකෝ මුන් වැටුනා කියලා ඒක පිලි අරං කව්රුහරි ඇවිත් නැගිට්ටනකල් ඉන්න එපැයි හත් ඉලව්වේ. ම්හ්..උන් එහෙම නෑය... මුකුත් උනේ නැති ගානට දනිපනි ගාගෙන නැගිටින්න ගියාම වෙන දේ තේරුම් ගැන එවුන්ගේ මොළ වලට ඉස්පාසුවක් කොටින්ම නෑය . ආයෙම ඉතින් පෙර පරිදිම තමාය... ඒ කිව්වේ ඔලිම්පික් සීන් එකය... කකුල් හිතු හිතු පැතිවල යන්නේ ක්ෂණිකයෙන්ය,..සද්දේ හරියටම කරම් බෝර්ඩ් එකේ ඩිස්ක් එක හයියෙන් ගිහින් වදින ශබ්දය ආකාරයෙන්ය.. ඊට මිලි තප්පර ගානකට පස්සෙන් දොහ් ශබ්දයෙන් ඇහෙන්නේ ශරීර ස්කන්දය පොලොව සිපගන්නා ශබ්දයය. ගිලෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලෙන න්‍යාය සිහිපත් කරමින් පොලොව සිපගන්නා අයවලුන් අතට හසුවන සාරි පොටවල්වල මේස කොන්වල එල්ලෙනවාය. ඒ සා පන්චස්කන්දයන් සාරි පොටකට, මේස කොනකට නවත්වන්නට බැරි වග සාක්ශාත් කරමින් සාරිය හැද සිටින්නා සමගින් හෝ සාරි කටු ඉරාගෙන හයි හීල්ස් නැන්දලා පොලොව සිපගන්නවාය. නැතහොත් මේසයේ කොනේ එල්ලී සිටිද්දීම ටයිල් පොලොව දිගේ රූටා යනවාය.

නැන්දලාගෙ විගඩම් කෝලම් බලාගෙන සිටින්නට අපහසු වූ කව්දෝ වැඩිහිටියෙක් මැදිහත්වී ඔය සපත්තු ගලෝලා නැගිටහල්ල හත් ඉලව්වේ කී නිසා අවසානයේ බෝල්රූම් ඩාන්ස් එක අහවර වෙනවාය. ඒ වූ වැඩිහිටියාගේ ඉල්ලීම අහක දමන්නට නොහැකි නිසා සපත්තු ගලවා නැගී සිටියා විනා දකුනේ දිරිය කාන්තාවන් දත් සැට් එකම බඩට යනතුරු ගේම අතනාරින වග ගොඩයා ඉන්තේරුවෙන්ම දන්නවාය. 

කැශුවලිටීස් ඒ වෙලාවේ නොපෙන්වුවාට හතරදෙනාම සෑහෙන්න ඉන්ජර්ඩ්ය. වෛවාරන සායම් උලා හැඩ කරවාගෙන එනු ලද්දාවූ මුහුනු වෙස්මුහුනු වාගේය. සමහරුන්ගේ නලල් තලයේ දොඩම් ගෙඩි තරම් ගෙඩි ඇවිල්ලාය. මුකුත් නොවුනා ආකාරයෙන් සිනාසී සිටින්නට වෙර දැරුවට විරිත්තනවා විනා සිනාසීගන්නට ඉතාමත් අපහසු වග ඉතා හොදින් විද්‍යාමාන වනවාය. වැලමිටි, දනිස් පොල්කටු, අත් වලලුකර ආදිය කුඩේ කුඩු ආකාරයෙන් ගන්න සංසාරයක් නොමැතිවග පෙනෙනාමුත් එව්වා අවුලක් නොමැතිවග පෙන්වන්නට නැන්දලා පට්ට ගේමක් දෙනවාය.  උගත් පාඩම් වලට පින්සිදු වන්නට හෝටලය සෑහෙන්න සාමකාමී වාතාවරණයක් උසුලනවාය. ඒ මන්ද යත්, හයි හීල්ස් ලෑ උදවිය මලාට වාඩි කරවූ පුටුවේම කීකරුව වාඩිවී සිටින්නේ  පුටුවෙන් නැගිට නැවත පටි රෝල් කරගන්නට බැරි නිසාය.

  සියල්ල වසානයේ කොන්ඩා බෝල ටික මාරු හැරගන්නටද   , අස්තානගත්වූ කොණ්ඩා කටු වැනි දෑ සොයාගන්නටද විමෙන්ස් ඔන්ලි  අන්ඩර් කවර් මිෂන් එකක් සිදුකරන්නටද සිදුවෙනවාය. ගලවාගැනීමේ හමුදාවේ පෙරමුණේ රාල නැන්දාගේ දත් සැට් එක සොයාගන්නට සෑහෙන්න කට්ටක් කන්නට සිදුවූ බව අන්ඩර් කවර් මිෂන් එකට සහභාගී වූ කාන්තා පාර්ශවයන් පසු කාලීනව වාර්තා කලෝය.

 එදා නැන්දා ඔසරිය හැද නොසිටින්නට නැන්දාගේ කකුල් දෙක එකක් නැගෙනහිරටද එකක් බටහිරටද පලල් වෙන එක නවත්වන්නට සක්කරයාටවත් බැරිය. එය එසේ වූවානම් අන්ශක එකසිය අසූවටම දෙපසට විහිදුනාවූ නැන්දාගේ කකුල් දෙක නැවත එකතු කරන්නට කරාපිටි ඇඩ්මිට් කරන්නට සිදුවෙනවා සුවර්ම සුවර්ය. 

පේජ් බෝයි වේවැල ගැන නොලියා පෝස්ටුව අවසන් කිරීම අසාධාරණය.

 වැඩින් ෆොටෝව ගැනීමෙන් අනතුරුව ගොඩයා හීන් සීරුවේ රිබන් බෝ එක සහිත පේජ් බෝයි වේවැල කාටත් හොරෙන් හොටලයේ  වෙරල මායිමේ වූ වැටකෙයියා පන්දුරක් අස්සේ ඔබන්නවාය. පේජ් බෝයි කම මතක් වන්නට වේවැල ගෙදර ගෙනයන්නට යයි වැඩිහිටියන් අවවාද කලමුත් එවන් ගොන්කම් කරන්නට තරම් ගොඩයා ගොන් වස්සෙක් නොවේය. ඒ ඇයිද යයි පැහැදිලි කරනවානම්, ගොඩයා ගෙදර ගුඩ් බෝයි තනතුර නිතර  හොබවන නිසා හොද වැඩ සඳහා ඩඩාගෙන් නිර්ලෝභීව ලැබෙනා  පේර කෝටු පාර වෙනුවට පේජ් බෝයි වේවැල  නොමිලේම ආදේශ වන නිසාය.