Saturday, October 28, 2023

ඩඩාගෙ සර්ජරිය සහ නැන්දාගේ රෙස්ටුරන්ට් එක..

 අපිල පස්ට බිසී වෙලා පහුගිය කාලෙ බ්ලොග් පෝස්ටෙකක්වත් ලියාගන්න බැරි තැනට වැටුන. අපේ ඩ්‍රැකියා මොකක්දෝ සෙනසුරාදා රෑ දහයක් ගැන කියොව කියවා බුකියේ පෝස්ට් දානවා දැක්කා උනාට සෙනසුරාදා රෑ දහය කියන්නෙ සිහියෙන් ඉන්න වෙලාවක් නෙවෙයි නෙව. ඉතිං සතිය පුරා පොරොන්දු උනත් සෙනසුරාදා රෑ දහය වෙද්දි ඒ පොරොන්දු සියල්ලම එතෙක් මෙතෙක් දුන්නො බොරු පොරොන්දු ගොඩට එකතු වෙන එක වලක්වන්න බෑ..


මං තුමා හදිසියේ පොඩි නිවාඩුවකට ලංකාවට මංගැච්චුව නිසා බුකියෙවත් පෝස්ටෙකක් දාගන්න බැරි තැනට කරුණු කාරනා යෙදුන. ලංකාවට ගියාම පාවිච්චි කරන මොයන්න බියන්නයි ටෙල් බිබික්කමට පින්සිද්ද වෙන්න බුකියෙ පෝස්ට් දෙක තුනකට වැඩිය ලෝර්ඩ් උනේම නෑ කොයිතරං ට්‍රයි කරත්.. ලෝර්ඩ් වෙන්න දාලා ආයෙම පැයකින් හමාරකින් බැලුවත් ඒක කැරකි කැරකී තියෙනවා ඇරුනාම මෙලෝ බිබික්කමක් බලාගන්න බෑ.. දවස් දෙක තුනකින් බැලුවත් බුකියෙ පෝස්ට් බැලිලි බොරු.. ඉතිං බ්ලොග් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. ගූගලයගෙන් ඇඩ්‍රස් එකක් හෙව්වත් අහලින් පහලින් අහගෙන ඒ තැනට යනකලුත් ගූගලයා කැරකෙනවා විතරයි.. මොයන්නයි බියන්නයි තියන බිබික්කමේ මහ එවුන්ගෙ මාතෲ තුමියන්ටනම් අම්බානෙකට හෙම්බිරිස්සාව හැදෙන්න ඇති මං තුමා ලංකාවෙන් එනකල්..

ඉතිං කියාංකො මං ලංකාවට හදිසියේ ආවෙ ඇයි කියලා.. අපේ ඩඩා කාලෙක හිටං පුංචි පහේ අසනීපෙකින් පෙලුනා කියමුකෝ.. ඒ අසනීපෙට එකම සහ අවසන් විසඳුම උනේ පොඩි පහේ ශල්‍යකර්මයක් උනාට ඩඩාව ඒකට තල්ලු කරගන්න ලංකාවෙ හිටපු එකෙකුටවත් බැරිවුනා.. බැරිවුනාම කියලා කිව්වට එකෙකුටවත් සහ  ඩඩාටත් ඒ කිව්ව ශල්‍යකර්මය කරගන්න උවමනාවක් තිබ්බෙ නෑ... අවසානයේ ඩඩා අමාරුවෙන් විඳවනවා කියලා දන්න නිසාම මංතුමා අවුරුද්ද මැද්දෙ නිවාඩුවක් අනුමත කරගෙන ලංකාවට ආව... දවස් දෙක තුනක් ඉස්පිරිතාලවලම කරක් ගහලා අන්තිමේ ඩඩාගෙ ශල්‍යකර්මය කරගන්න අපිලට දිනයක් ලැබුන... ඒ පහුගිය සතියෙ දවසක.. 

අපේ බාල නැන්ද කිව්වාම එයා තමයි තාත්තගෙ පවුලෙ බඩ පිස්සි.. දැං එයයිටත් වයස අවුරුදු වලින්ම හැට ගානක්. එයැයිගෙ විශේශත්වය තමයි එයයිගෙ ගෙදර තිබ්බ රෙස්ටුරන්ට් එක.. රෙස්ටුරන්ට් එකක් කිව්වට ඒක සල්ලි අයකරන රෙස්ටුරන්ට් එකක්ම නෙවෙයි.. ඒක දැන්සැලක් කිව්වොත් තමයි නිවැරදි.. කොයිවෙලේ බැලුවත් නැන්දගෙ ගෙදරින් ඕනෑම කෙනෙකුට කෑමට ‍යමක් ලැබෙනවාමයි.. මං තුමා උනත් ලංකාවට ගියාම හැමදාම එන කෝල්වලින් අනිවාර්යයෙන්ම එන එක තමා නැන්දාගෙ කෝල් එක.. කන්න එන්න , කන්න එන්න කියලා වද දෙනවා ඉවරයක් නෑ කියහංකො.. කොස් දෙල් වගේම නොයේක් ගමේ කෑම තමා නැන්දගෙ කුස්සියේ නිතරම ඉදුනෙ... කැකුලු හාලෙ බතට ගමේ කෑම තුන හතරක් සහ මාලු ව්‍යාංජනයක් නැන්දගෙ ගෙදර නිරන්තරයෙන්ම කෑමට රෙඩි. 

නැන්දගෙ ෆේවරිට් අනිවාර්‍යම එක තමා පොල් කේක්.. නැන්දට කවුරු හරි පොල් කේක් ගෙනැත් දෙනවද එහෙමත් නැත්තං නැන්දා හැමදාම පොල් කේක් හදනවද කියලා මමනම් දන්නෙ නෑ... බත් කන්න බෑ කීවාම පොල් කේක් කෑල්ලක් හරි නැන්දලාගෙ ගෙදරින් කන්න වෙනවාමයි... නැන්දගෙ පොල් කේක් දැක්කාම මටනම් මතක් වෙන්නෙම ත්‍රීවීල් මල්ලිලාගෙ සිග්නල් ලයිට් එක... කවදා දාපු එකක්ද කියලා දන්නෙ නැති උනාට ත්‍රීවීල් මල්ලිලාගෙ සිග්නල් ලයිටුත් හැමදාම නිවි නිවී පත්තු වෙනවා වගේම නැන්දගෙ ගෙදරත් පොල් කේක් හැමදාමත් තිබ්බ... කවදා හදපුවද කියලා අපි දන්නෙ නෑ.. අපි පොල් කේක් හදනවා දැකලත් නෑ... අහල පහල කඩවල පොල් කේක් විකුනන්නෙත් නෑ.... අපේ නංගිගෙ පොඩිම එකාගෙ වයස අවුරුදු පහයි... නැන්දගෙ පොල් කේක් කොයිතරම් ජනප්‍රියද කියනවනම් අවුරුදු පහේ එකාටත් දැං පොල් කේක් පේන්න බෑ... චූටි ආච්චිලහ යන්න කතා කරාම උගේ මූන හපුටු වෙනවා පොල් කේක් කන්න වෙනවා රජෝ කියලා මතක් වෙලා... 

ඕං ඩඩාගෙ සර්ජරියට යන ජනතාව තුන්දෙනයි... මං තුමයි, පේශන්ට් අපේ
ඩඩායි, සාත්තුවට අපේ පොඩි නැන්දයි.. පොඩි බාප්පා හවස් අතේ අස්පිරිතාලෙට ඒමට නියැමිතයි... ඉස්පිරිතාලෙන් කියපු විදිහට අපි හවස දෙක වෙද්දි ඇඩ්මිට් උනා කියමුකෝ.. ඕං අපිට කාමරයකුත් ලැබුන... අපේ නැන්දාගෙ ගෙදරට අල්ලපු ගෙදර මල්ලිත් ඒ ඉස්පිරිතාලෙ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කියමුකෝ.. ඒ
මල්ලිත් ඉතිං කාමරේට ඇවිත් අපේ ඩඩාගෙ රිපෝස්ට් එහෙමත් බලලා අපි එක්කම චැටක් දාගෙන ඉද්දි තමා මට මීටර් වෙන්නෙ නැන්දා රෙදි දාන කබඩ් එකට ඔලුව ඔබාගෙන මොකක්දෝ ව්‍යාපාරයක් කියලා... මං තුමා හෙමීට ඔලුව දාලා බැලින්නම් නැන්දා ඉස්පිරිතාලෙටත් රෙස්ටුරන්ට් එක ගෙනැල්ලා කොයහංකෝ.. ඩඩා ඇඩ්මිට් කරලා රූම් එකට එද්දි නැන්ද ගෙනාපු බඩු මලු හතාටක් මාත් කර තිගාගෙන කාමරේට ගෙනාවා උනාට ඒ
සා ලොකු කෑම සාගරයක් ගෙදරින් ගෙනෙයි කියලා මංනං හීනෙකින්වත් හිතුවෙ නෑ... මේ බැලින්නම් නැන්දා ඇන්දුම් කබඩ් එකේ ලාච්චුවේ ලෑල්ල උඩ තියාගෙන මෙඩිකල් ස්ටුඩන්ට් මල්ලිට බත් එකක් බඳිනව කියහංකෝ... ඒ මල්ලිත් ඉතිං ටික වෙලාවක් සතුටු සාමිචියේ යෙදීලා ඉඳලා නැන්ද දීපු කෑම එකත් අරගෙන එයාගෙ බෝඩිමට ගියා... ඕං එයින් පස්සෙ මංතුමාට නැන්දගෙන් සුපුරුදු කරදරේ... බත් කන්න... බත් කන්න.. බත් කන්න... මාත් ඉතිං ඉස්පිරිතාලෙයි කියලා දෙපාරක් හිතුවෙ නෑ ඩඩාගෙ සර්ජරිය අමතක කරලා දාලා හෙන බත් කොතක් වලඳලා දැම්ම... මං කකා ඉන්නකොටම තමා පලවෙනි දොස්තර තැන කාමරේට එන්නෙ... කාමරේ ඉතිං ඉස්පිරිතාල කාමරයක් සුවඳ නෑ... ඒක රෙස්ටුරන්ට් සුවඳයි... ඩඩාටත් එදා රෑට ඩිනර් එක හොස්පිටල් එකෙන් දෙන නිසා හොස්පිටල් කිචන් එකෙනුත් ඉඳිආප්ප ට්‍රේ එකක් ගෙනාවා කියහංකෝ ව්‍යාංජන කීපයක් එක්ක.. මංනං ඒ පැත්තවත් බැලුවෙ නෑ...

ඕං අපේ බාප්පත් හොස්පිට්ල් දිහාවට එනවා කියන ආරංචියට මංතුමා වාහනේ අරං එලියට ගියා.. බාප්ප දැං වයස නිසා ඩ්‍රයිව් කරන්නෙ නෑ... බාප්ප කියන්නෙ කන්නාඩි තුන දිහා තුන්පාරක් බලලා එලෙව්වත් වාහනේ හතරමුල්ල බේරගන්න අමාරු නිසා එයැයි ඩ්‍රයිව් කරන්නෙ නෑ කියල.. ඒකනම් ටිකක් දුරට ඇත්ත ඉතිං... මං තුමා හොස්පිටල් එකට හැරෙන හංදියේ කලුවරේ වාහනේ නවත්තගෙන මනෝ පාරක් දාගෙන ඉද්දි මේං යකෝ බාප්පා පයින් විදිනවා විදිල්ලක් හොස්පිටල් එක දෙබෑකරගෙන ගිහිං නවතින ගානට... ඒක දැකලා මට මතක්වුනේ එයැයි තරුණ කාලෙ සමුද්‍රදේවියෙන් බැහැලා පයින් ගෙදර අරින ඇරිල්ල.. වයස හැත්තෑව ප්ලස් උනත් ගමනේ ඇරිල්ලනම් අයර්ටන් සෙන්න කැලේ... මං හනික වාහනේ ස්ටාර්ට් කරගෙන හෝර්න් එක ගහලා නවත්තනොගන්න මං ගියර් එක දාන්නත් කලින් බාප්ප තාත්තගෙ රූම් එකේ...

බාප්පා කාමරේට ආපු ගමන් ඕං නැන්දා පටං ගන්නව..

පුංචි අයියෙ... බත් ටිකක් කමු...

පිස්සු දැං කන්න බෑ.. මං කාල ආවෙ.. අනික
මේ ඉස්පිරිතාලෙ ... පිස්සු නැතුව හිටහං...

එහෙම කිව්වට නැන්ද සැලෙයිද... ඒකෙ ප්‍රතිපලයක් විදිහට ඕං ටිකකින් බැලින්නම් අයියයි නංගියි දෙන්නම රවුම් මේසෙට වාඩිවෙලා ගජරාමෙට කනවා කියහංකෝ... ඕං එතකොටත් ආයෙම දොස්තර එනව... වෙනසක් නෑ... ලෙඩා ඇඳේ... ලෙඩාට සාත්තුවට ඉන්න එවුන් වටවෙලා කනව... දොස්තර කල්පනා කරන්න ඇති මං ඉන්නෙ ඉස්පිරිතාලෙද එහෙමත් නැත්තං දන්සැලකද කියල... 

රෑ නවයහමාර වගේ වෙද්දි ඩඩාව සර්ජරියට ගන්නව... රූම් එක තිබ්බෙ නවවෙනි තට්ටුවේ... සර්ජරිය දෙවැනි තට්ටුවේ.. අර මල්ලියි නංගියිට කට කැඩෙනකල් කිව්වත් රූම් එකට වෙලා හිටු කියලා මොන... උන් අහයි එව්ව... තමුන්ගෙ අයියව සර්ජරියට අරං යන රෝද පුටුව පස්සෙන් උන් දෙන්නත් සර්ජරියේ දොර ලඟටම ආව.. ඒ ඇවිත් ගියාද... නෑ කියහංකෝ... සර්ජරිය ඉවරවෙලා ඩඩාව සර්ජරි රූම් එකෙන් එලියට ගේනක්ල්ම උන්නැහේලා දෙන්න අර ශල්‍යාගාරය පාමුල තියෙන පුටුව උඩ නිදි වැරුව.. ඒ සහෝදරකම දකිද්දිනම් මංතුමා ටිකක් ඉමෝර්ශනල්... එහෙව් සහෝදරයෝ හැමෝටම ලැබෙන්නෙ නෑ.. ඒ අතින් අපේ ඩඩා පස්ට ලකී...

ඩඩාගෙ සර්ජරිය සක්සස් නිසා කාටවත් ලොකු පීඩනයක් තිබ්බෙ නෑ... එලිවෙන්න හතරට විතර දොස්තර මහත්තයෙක් තාත්තගෙ සුවදුක් බලන්න කාමරේට එනකොටත් අර ඉස්සෙල්ලා වගේම තත්වය වෙනසක් නෑ... උදේ හතරටත් බාප්ප බත් පිඟානක් එක්ක ආයෙම දොස්තරට මාට්ටු... වෙන මුකුත් නිසා නෙවෙයි... නැන්දගෙ කරදරේ නිසා... ඒ සා කරදර කරද්දි ඉතිං නොකා පුලුවන්ද...

පහුවදා වෙද්දි ඩඩාට බොහෝදුරට සුවයි.. ඒ වගේම නැන්දගෙ කෑම ස්ටොක් එකේ උයපු කෑම ඉවරයි.. ඒත් පොල් කේක් ස්ටොක් එකක් තිබ්බා කියලා දන්නෙ ලොකු නැන්දගෙ දුව ගෙනාපු බත් කෑවයින් පස්සෙ... අතුරුපසට නැන්දගෙන් පොල් කේක්... ලොකු නැන්දගෙ දුව සමන්තා අක්ක ඉන්නෙ කොලඹ නිසා දෙවැනි දවසෙ කෑම එයාගෙන්... එයා ගෙනාපු රෙස්ටුරන්ට් එකත් නැන්දගෙ එකට දෙවැනි නෑ.. නැන්දගෙ එක මගුල් ගෙදරක් වගේනම් සමන්තා අක්ක ගෙනාපු එක දානෙ ගෙදරක් කියලා හිතාගන්නකෝ... තාතගෙ සර්ජරිය කොයිතරම් සක්සස්ද කියනවනම් තාත්තව බලන්න ආපු අපේ ලොකු නංගි ගෙදර ගියේ දුවටයි හස්බන්ටයිත් බත් ටිකක් කවාගෙන.. අතුරුපසට පොල් කේකුත් ලැබුනා කෙල්ලට... බැරිම තැන දොස්තරලා දුරදිග කල්පනා කරලා එදාම හවස ඩඩාගෙ ටිකට් කැපුව... ඩඩාව තව දවස් දෙක තුනක් ඉස්පිරිතාලෙ තියාගත්තනම් "කාමර අංක හත " "වෝර්ඩ් නයින් රෙස්ටුරන්ට්"   කියලා වෙනස් කරන්න වෙයි කියලා භය හිතෙන්න ඇති එයාලට... එක දවසින් ටිකට් කපපු නිසා නැන්දගෙ මලු ඇතුලේ තව කෑම ජාති කීයක් තිබුනද කියලා බලාගන්න බැරිවුනා...