Thursday, November 27, 2014

හෙළුවෙන් යෑම



          රවියාගේ පැරිෂුට්  පිම්මට (රවීගේ පැරිෂුට් පිම්ම )  පාදක වූ විනෝද චාරිකාව පිලිබඳ වූ කතා වස්තුව මෙතෙක් කාලයක් නොලියා සිටීමට පමාවීමට එකම හා අවසන් හේතුව බඩ තඩි එකාගෙන් අහිංසක මා හට එල්ලවූ මරණීය තර්ජන වීය. ඒ හෙයින් කුමන ආකාරයකින් හෝ මේ සුපිරි සුන්දර අත්දැකීම නොලියා තැබුවහොත් වන්නේ අපරාදයක්මය. මෙවන් අත්දැකීමක් එකවර සාමුහිකව ලැබීමටනම් සංසාරයේ පින් කර තිබිය යුතුමය. ඒ හෙයින් මේ සුපිරි අත්දැකීම බතලයා උක්තකොට ලිවීමට මාගේ අදහසය. හේතුවනම් මෙය ලියු සැනින් බතලයාගෙන් මා හට මරණ තර්ජන එල්ල වෙතත් බතලයා හා මා එක වර ලංකාවේදී හමුවීම කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලන තරම් වූ දුර්ලභ සිදුවීමක් වන බැවින් මා හට ලංකාවේදී නින්ජා ප්‍රහාර එළවීමට ඇති අවදානම ඉතාමත් අඩු අගයක් ගැනීමයි.. බඩ තඩි එකා උක්ත කොට මෙය ලියුවහොත් ලංකාවට ගිය දවසක මට වැලිගම යන්නට සිදුවෙනවා ඒකාන්තය, එහෙමත් නැතිනම් බුදු සුවර්ය .


ප්‍රභාකරන් උන්නැහේ කොලොන්නාවේ තෙල් ටැංකි ටික ගිනි තැබුවෙන් ඩීසල් පෙට්රෝල් වලට ඇති ඉල්ලුම රත්තරන් වලටත් වඩා ඉහල ගිය සතියක අපි ලීටර් පනහේ බැරලයක් බස් රථයේ ඇතුලේ දමාගෙන එයට ඩීසල් පුරවාගෙන අපගේ ගමන යන්නට පිටත් වීමු. රටේ තත්වය කොයිතරම් අවදානම්කාරී උවත් , ගමන කොයිතරම් අවිනිශ්චිත උවත්  ධම්සෝවේ 1996 වසරේ 13 G හි එවුන්ට රටේ අවදානම්කාරී ස්භාවය නොදනුනාද නැතිනම් එවන් ස්භාවයක් තේරුම් ගැනීමට තරම් මෙලෝ කල්ලිතාවයකින් නොසිටියාද කියා සිතා ආපසු හැරී බැලියයුතු ප්‍රශ්නයක්ය. ගමනේ අවශ්‍යතාවය එකිනෙකාට විවිධාකාර බැවින් එකිනෙකාගේ කෝණ වලින් බැලුකල අං නැති උනත් ගොන් වයසට ඕනෑම අවදානමක් සිම්පල්ය.. ඒ අවදානමට ලැබෙන ප්‍රතිලාභය කැපිටල් බැවින්ය..

සමහරු ගමන යන්න උනන්දු වන්නේ රාත්‍රියට නවතින තැන් වලදී බුරු ගසා අනික් උන් අතේ තිබෙන සොච්චමට බඩේ පාර ගැසීමටය. .. සමහරු ගමන යන්නේ කෙල්ලන් ඉස්සරහා පොරවල් වීමටය.. සමහරු ගමන යන්නේ මීවිතෙන් සප්පායම් වී සාමුහිකව ආතල් එකක් ගැනීමටය සමහරු ගමන යන්නේ වෙන්ඩ නැන්දම්මා ඉස්සරහා සත් ගුණවත් හැදිච්ච කොල්ලෙකු වී අනාගතයට අවශ්‍ය කරන ලකුණු ටික දමාගනීමටය...සමහරුන්ගේ ඉලක්ක ප්‍රසිද්දියේ ලියන්නට විදිහක් ඇත්තෙම නැති එව්වාය .. ඒ කිව් සමහරු රාත්‍රී නවාතැන් පොලට බස් රථය ගාල් කර සැනෙකින් උන් හිටි තැනක් සොයාගන්නට නොහැකි වනසේ වාෂ්ප වෙනවාය. ඒ කාලයේ එව්වා නොතෙරුනේ ගොන්කමටද කියා අදත් සමහරක් වෙලාවට හිතෙනවා උනත් එව්වා ඉතින් ගස් යන වැඩය . සාමාන්‍ය පෙළ දක්වා සියලු දහ අට සන්නි නටා උසස්පෙළ දෙවසර කාලයේ පොළොවට නොදැනෙන්න ඇවිද්ද සත් ගුණවත් හැදිච්ච කොල්ලෙක් අපේ උසස්පෙළ පන්තියේ උන්නා වගේ මතකය . එව්වා ගැන ලියා වැලිගම යාමට මට උවමනාවක් නැත. කාගේ කාගේත් යටිහිත්වල තිබුණු සත්ගුණවත් අරමුණු ගමනේදී ඉෂ්ට සිද්ධි වූ බවනම් සහතිකය. ගමන කොයිතරම් සාර්ථක වුයේද යත් හැම රාත්‍රියකම බුරු පිටිය නවතින්නේ අපගේ ගුරු මෑණියන්වූ සීතා ටීචර් බුරු කප්පිත්තන් අමතා අනේ දරුවනේ දැන් නිදාගන්න ඔය මදැයි කියා කිහිප වාරයක් ඇමතීමෙන් අනතුරුවය. රෑ එළිවනතුරු බුරු ගැසුවද හැමදාම දිනන්නේ දෙන්නෙක් පමණක්ය. එයින් එකෙක් අද යුරෝපයේ පුරවැසියෙක්ය. අනික් එකා දකුණේ one and only business එකක් කරනවාය. අපේ ගොන් රැල දෙමාපියන්ගෙන් ඉල්ලාගෙන ආ සියලු සොච්චම අන්තිමේ නවතින්නේ අරුන් දෙන්නා අතේය .. උන් දෙන්නා කවදා ට්‍රිප් එකක් ගියත් ගෙදරින් ගෙනිච්චාට වඩා ගානක් ගෙදර ගෙනෙනවාය. රුපියල් දහයක් දී ශනිදා වාසනාවක්වත් නොගන්නා මම කවදත් සුදුවේ ජයග්‍රහණය විස්වාස කරන්නේ නැති බැවින් මා කවදාවත් බුරු ගැසුවේ නැතිය. වෙන්ඩ නැන්දම්මා අහල පහල නින්දේ නොනින්දේ ඉන්නා බැවින් තවත් එකෙක් බුරු ගැසුවේද නැතිය, එහෙත් රහසින් සුන්ගන් ලව්වා ඔට්ටු ඇල්ලුවා වාගේ මතකය. ඔට්ටුව දිනු කලට සල්ලි ටික හොරෙන් සරමේ ඔඩොක්කුවේ දමාගන්න වෙන්ඩ බෑණාගේ මුහුණ ඔට්ටුව පරාද වුවහොත් කළු වෙනවාය.. එහෙත් ඉන්නේ මමනම් බුරු ගහන්නේ නැති ගානටය. සත් ගුණවත් සුරා සුදුවෙන් තොර ටොප් කොල්ලන් එහෙම ලේසියෙන් දුවෙකුට ලැබෙන්නේ නැති බැවින් නැන්දම්මා තියා වෙන්ඩ වයිෆ් ඉස්සරහවත් වසර දෙකක් පුරා සුදු පිරුවටය දැරූ අපේ ටොප් කොල්ලා ගමන පුරාවටම කොලේ ඉරාගත්තේනම් නැත. එහෙව් තියා උසස්පෙළ අවුරුදු දෙක පුරාවටවත් කවදාවත් කොලේ ඉරාගත්තේ නැතිය. එහෙම හොරාට ඔට්ටු ඇල්ලු එකා කව්ද කියා නම් නම කියන්න බැරිය.

රෑකට හොරාට කැඩුවොත් හැරුණකොට මලාට තැඹිලි නොබොන එවුන් මුළු ගමන පුරාවටම බිව්වේ තැඹිලි ම පමණක්ය. කවදත් බෙදා හදාගෙන නොකන කවදත් තනියමම  කන්න බලනා වූ එවුන් ගමන පුරාවටම තැඹිලි නම් තනියම බිව්වෙම නැතිය. පුදුමාකාර වූ සහයෝගයකින් සහෝදරකමකින් බැඳි උන් පිටුපස අසුන් දෙකේ උන් එවුන් එකා මෙන් තැඹිලි ගෙඩියේ උගුරෙන් උගුර හැම එකා සමග බෙදා හදාගෙන බිව් ආකාරය දකින ආචාර්යවරිය ප්‍රමුක මවුවරුන් පුදුම වී පවසන්නේ හරිම එකමුතු ළමයි ටිකක් යන්නය. එත් උදෑසන කපන තැඹිලි ගෙඩිය රාත්‍රිය වන තුරුම ඉවර නොවන්නේ ගෙඩිය ඇතුලේ තැඹිලි වතුර උල්පතක් ඇති බැවින්ය. තැඹිලි ගෙඩියේ කට කහට වී කළු පාට උවත් වෙනත් තැඹිලි ගෙඩියක් කපන්නේම නැතිය . අපේ එවුන් තැඹිලි වලට මාර පෙරේතය. විශේෂයෙන් පසුපස ආසන වල එවුන්ය. තැඹිලි ගෙඩියේ උල්පතින් ඉනුවේ අරක්කු බව ගුරු දෙගුරුන් දැන සිටියානම් කට්ටියගෙම කොලේ එකවර ඉරෙනවාය . එත් ඉතින් කාගේ කොලේ ඉරුනත් වෙන්ඩ බෑණාගේ කොලේ ඉරන්නනම් කාටවත් බැරිය. ඒ ඌ මාර සත් ගුණවත් පොරක් හින්දාය . ඒ කාලයේ තැඹිලි දිහා ඇස් කොනකින්වත් නොබැලු වෙන්ඩ බෑණා පසු කාලයක තැඹිලි බාන්නට සුපිරි දක්ෂයෙක් උනත් පරෙස්සමට බාපු තැඹිලිය බොන්නට ගිය කල හැමදාමත් ඇඟ පුරා හලාගන්නවාය .. කොයිතරම් කියා දුන්නත් ඉගෙනගත්තේම නැතිය. 

මෙතෙක් වෙලා වටේ ගියාට කතාවේ මාතෘකාවට උක්ත වූ කතාව පටන් ගන්නේ දැන්ය . ඒ නම් ගමනේ අවසාන දවසේ උදෑසනින්ය . බදුල්ලේ සිරි නරඹා නුවර එළියේ සීතල විඳ අවසන් රාත්‍රිය අප ගතකලේ නුවර YMBA ට අයත් ගොඩනැගිල්ලක වන්නට ඕනෑය . වසර 18 ක් ඇවෑමෙන් උවත් සංශ්කිප්තව ගත කල ගමනේ සාරාංශය මැරෙන තුරාවට අමතක වන්නේ නැතිය. ඒ මුලින් කීවාක් මෙන් 35 කට අදික පිරිසක් සමග මෙවන් අත්දැකීමක් සාමුහිකව විඳීමට සංසාරයේ පින්කර තිබිය යුතුමය. 

අවසන් දවසේ උදෑසන නුවර දළදා මාලිගාවට සැපත් වූ සියලු දෙනා දළදා වන්දනාවේ ගියත් මට දළදා වඳින්නට යන්නට හිත නොදුන්නේ මාගේ අවාසනාවට වන්නට ඇත. වසර 18 ක් කාලයක් ඇවෑමෙන් උවත් බස් රථයේ රැඳි උන්නේ රියදුරා , රිය සහයක, බතලා සහ මමය. උදරය අභ්‍යන්තරයේ ඇතිවෙන්නාවූ පෙරලියක් සමගින් සොමියෙන් පසුවූ මාගේ සියලු සොමි සිතුවිලි එකින් එක අමතකව යන්නට පටන් ගත්තේ මටත් නොදනුවත්මය. උදෑසන ආහාරය ගත්තේ නුවර ටවුමේ හොටලකින් බැවින් කුමක් හෝ ජරාවක් කැවෙන්නට ඇති බවට මාගේ නිගමනය වූ බැවින් මාගේ ආයාචනය බතලයා වෙත වැසිකිලියක් සොයා යාමටය. බතලයා එදත් අදත් එක සේ ඇවිදීමට කම්මැලියෙක් උවත් මාගේ අවංක මිත්‍රත්වයට පිටුපෑමට නොහැකි බැවින් බලවත් අකමැත්තෙන් මා සමග මහා වැසිකිලි සංග්‍රාමයට ඉදිරිපත් වුවේය. දන්නා කියන අසභ්‍ය වචන සියන්ලෙන්නම මා වෙත දමා ගසමින් බතලයා දැන් නුවර වැව රවුමේ මා සමග මගේ පසුපසින් දාහක් දේ කියමින් එන්නේය. මට එව්වා ඇසෙන්නේ නැතිය, මාගේ උදර කුහරය තුල සිදුවන්නාවූ තුන්වන ලෝක සංග්‍රාමය දැන උන්නේ මා පමණය. වැව රවුමේ ඉදිරියට හමුවන සෑම ලැගුම් හලකින්ම ,හොටලයකින්ම වැසිකිලි යාමට අවසර ඉල්ලුවත් එක සික්කෙක්වත් අපට ඇතුලට යාමට ඉඩ නොදුන්නේ උන්ගේ තිරිසන් කමටද ආයතන රෙගුලාසි වලට යටත් වීමට සිදුවූ නිසාද යන්න අපැහැදිලි උවත් ඊ ළඟ ආත්මයේනම් උන්ට යම පල්ලන් විසින් අදෝමුකය මසා බඩ යාමට බෙහෙත් දෙනු ඇතිය.

වස්තරයේ මල පහ වීමට අනූ නමයි දශම නමයේ ඉලක්කම් සීයක් තරම් අන්තිම ගැට්ටේ බැවින් මාගේ ඉලක්කය වැසිකිලියක් සොයා ගැනීම පමණක්මය. මෙතෙක් වෙලා මා හට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් මදක් දුරින් මාගේ පසුපස ආ බතලයා දැන් දැන් කිසිදු කතාවක් නොමැතිව මාගේ ලඟින්ම වාගේ ඉක්මන් ගමනින් එනවාය. මම ඇවිදින්නේ ඇවිදීමේ තරගයක් තරම් වේගයෙන් බැවින් අන්තර්ජාතික ඇවිදීමේ ශුරයා ආවත් එදානම් මාව පරාද කිරීම හීනයක් පමණක් වෙන්නට ඉඩ තිබුනේය. මහනුවර පුජනීය පුරවරයේ කිසිම සිකුරිටියෙක් අපිට වැසිකිලි පහසුකමක් සැපයීමට ඉදිරිපත් නොවීමට තරම් සත් ගුණවත් වූ බැවින් වැව රවුම දිගේ මම ඇවිද්දේ පිස්සුවෙන් වාගේය . ටිකකින් සිහි එලවා වටපිටාව නිරීක්ෂණය කල මට යම් අමුතු ස්භාවයක් දැනෙන්නට වීය.. ඒ නම් බඩ යන්නට ඔන්න මෙන්න සියලු වෙර යොදා දරාගෙන වැසිකිලියක් සොයාගෙන දුවන්නේ මා ය, එහෙත් දැන් බතලයා ඇවිදින්නේ මට ඉස්සරහින්ය... මට උසින් වැඩි බතලයා දැන් ඇවිදිනවා නෙවේය. විදිනවාය.. මමත් ඒ පස්සෙන් වසිකිලික් සොයා දුවන්නේය..

අවසානයේ අප දෙදෙනා අවසන් තුරුම්පුව වශයෙන් අප රාත්‍රිය ගතකල YMBA ආසන්නයටම ඇවිද ඇවිත් තිබුනා වූ බැවින් දැන් නම් වැසිකිලි පහසුකම ලැබෙන බව බුදු සුවර්ය. ඉරිදා දිනයක උදෑසන වූ බැවින් YMBA හි අමතර පන්ති ආ කෙල්ලන් දහස් ගණනින්ය.. අපිට එව්වාගෙන් වැඩක් නැතිය.. බඩ යන්නට ඔන්න මෙන්න සිටිනා අපිට මේ වෙලාවේ කෙල්ලන්ගෙන් පලක් නැතිය.  බතලයා කිසිදු ඇහිල්ලක් බැලිල්ලක් නැතිව කලිසම ගලවා ගත්තේ YMBA  හි ගේට්ටුව දුටු ගමන්මය ... මහා පාර මැද්දේ පශ්චාත් භාගය පැත්තට පටි දෙකකින් සමන්විත පටි ජොකාගෙන් (පටි ජොකා ගැන සිරා ලියපු තවත් කතාවක් )සැරසී කෙල්ලන් වෙත එන්නාවූ බතලයා දුටු පන්ති ආ කෙල්ලන් මොර හතේ මොර දෙමින් හිස් ලු ලු අත දුවන්නට පටන් ගත්තාය. අපිට එව්වයින් වැඩක් නැතිය. මට කෙසේවෙතත් බතලයාට එව්වා කොහෙත්ම වැඩක් නැති ගානය. එහෙව් නිනව්වක් තිබුනානම් බතලයා මහා පාර මැද්දේ කලිසම ගලෝගන්නේ නැතිය.

අප දෙදෙනා දිහා බල බලා 
පුංචි සේපාලිකා .. මල් ගහේ නැවතිලා ..
වන්දනාවේ ගියා සමනලුන්...

බතලයා පටි ජොකා පිටින් YMBA වෙත අතුලුවෙනවාත් සමගම කෙල්ලන් සිය ගණනකින් පිරී පැවති එම භුමිය එක් ක්ෂණයකින් හිස් භූමියක් බවට පත් වුයේ කෙල්ලන් මොර හතේ මොර දෙමින් හිස් ලු ලු අත දිවූ බැවින්ය. පටි ජොකා පිටින් වැසිකිලිය සොයා දුවනා බතලයා පසුපස දුවන මා කෙල්ලන්ට පෙනෙන්නට ඇත්තේ බතලයාව අල්ලන්නට දුවන එකෙක් වාගේ වන්නට ඇතිය.. එහි තිබු පිරිමි  වැසිකිලි දෙකට අප දෙදෙනා රිංගු වේගය පැයට සැතපුම් දහස් ගණනක් වන්නට ඇත. මදක් අප දෙදෙනාට දෙදෙනාගේම සැනසුම් සුසුමන් වල සැහැල්ලුව විඳ ගැනීමට වාසනාව නොමැති වුයේ කවුදෝ වැසිකිලි දොර කැඩීමට තරම් තඩිබෑ බැවින්ය.. ශරීරකෘත්‍යය සනීපයට අහවර කරන්නට වත් වෙලාවක් නොදුන් බැවින් ලහි ලහියේ එම කාර්‍යය අහවර කර වැසිකිලි දොර විවුර්ත කල පසු දුටු දසුන මනරම්ය. අපගේ බස් රථයේ රියදුරා සහ සහයක ප්‍රමුක අප පන්ති සගයින් බහුතරයක් පෝලිමේ වලිකිලි සංග්‍රාමයට වීරියෙන් ඉවසා වදාරමින් දරා ඉන්නවාය. එහි නියම අර්තයනම් ටීම් එකේ ඕපනින් බැට්ස්මන්ලා දෙදෙනා මමත් බතලයාත්ය. මා වදෙන් පොරෙන් බතලයා ඇදන් නොආවානම් එදා බතලයාට කලිසමේ මල පහ වන්නට ඉඩ තිබුනා වන්නට ඇත. එත් බතලයා මා හට කල උදව්ව ඊට වඩා දස දහස් ගුණයකින් බලවත්ය. බතලයා පාර මැද කලිසම අහවර නොකරන්නට කෙල්ලන් අතරින් වැදගත් හැදිච්ච ආකාරයට රිංගමින් වැසිකිලියට වෙත යන්නට පැය භාගයක්වත් ගත වෙනවා අනිවාය.. එය එසේ නොවිනිනම් අනිවා වස්තරයේ මල පහවනවාමය.. බත ඉදෙනකම් උන්නාට බත නිවෙනකම් ඉන්නට බැරි සේ .. වැසිකිලි පුරස්න වල අවශ්‍යතාවය වැසිකිලිය දුටු වහා ලක්ස කෝටි ගණනින් වැඩි වන බව ඒ වැනි පුරස්න වලට මැදිහත් වුවන් දන්නවා ඇත.

එතැන් පටන් ඇරඹි මහා වැසිකිලි සංග්‍රාමයට මද විවේකයක් ලැබුනේ වතුර පාරක් නොතිබූ තැන් වල පමණක්මය. ඇල , දොළ , ගංගා , වැහි පීලි, හෝස් බට, උන බට පීලි , එකී නොකී සියලුම ජල මුලාශ්‍රවල අපේ එවුන් මල පහ කලෝය.. මහා මල පහ සංග්‍රාමය කොතරම් සුන්දරද කියනවානම් මල පහ කිරීමට අවශ්‍යතාවය ඇති එවුන් කඳු හෙල් , පල්ලම් , බඩ වැටි, ඕවිටි සමතලා කරමින් වතුර ඇති ස්ථාන කරා දිවයන අතර උන් පසුපසින් කැමරා මානමින් සහයට දිවයන පිරිසද එක හා සමානය. බස් රථය අයින් කර නැවත්වීමට ප්‍රථමව රථයේ ජනෙල්  වලින් එලියට පනින මල පැනපු උදවිය මහා පාතාල වලින් පහලට බසින්නේ උඩට එන්නේ කෙසේදැයි දශමයකුදු නොසිතාය.. චායාරුප ශිල්පීන්ද එක හා සමානව භාදක කම්කටොලු ජයගනිමින් උන් පසුපසම දිව ගියෝ වෙති. කාන්තා පාර්ශවට භාවිතයට සුදුසු වැසිකිලියක් ඇති ස්ථානයක බස් රථය නැවතූ වහාම රථයේ ජනෙල වලින් එලියට පැනගන්නා කඩුලු පැන දුවන්නන් ඒ අවට ඇති සෑම ඕවිටක් , බඩ වැටියක්ම මිනිසෙකුට පය ගැසීමට බැරි වන තත්වයට පත් කලෝය. 

අවසානයේ මහා බඩ යාමේ සංග්‍රාමයට අවසන් තිත තැබීමට හේතු වුයේ නුවර පළාතේ පදිංචි බර්නියාගේ වෛද්‍ය නැන්දනියකගේ අනුග්‍රහයෙන් සැමටම බඩ යාමට ප්‍රතිකාර වශයෙන් බෙහෙත් ලබා දුන් බැවින්ය. එහෙව් උපකාරයක් කල උදවියගේ නිවසට පැන නිවසේ වැසිකිලිය තිබෙන ස්ථානය සොයාගත නොහැකිව ශරීරයේ නුල් පොටකුදු නොමැතිව වැසිකිලිය සොයමින් ගේ පුරා කාමරයක් කාමරයක් ගානේ දිව ගියේ කව්දැයි කියා නම කිව්වොත් ඉතින් මට වැලිගම ටුවර් එක බුදු සුවර්.

වෙන්ඩ බෑණා, හොලා වගේ වෙන්ඩ වයිෆ්ටයි වෙන්ඩ නන්දම්මාටයි වැසිකිලි ගානේ වතුර ඇද්දා කියා පස්සේ කසු කුසු තිබු නමුත් එව්වා ඇත්තද බොරුද කියා නම් මා නම් දන්නේ නැතිය. ඊට අමතරව එදාම උදෑසන ආහාරය ගැනීමට ඩෙවොන් හෝටලය වෙත ගිය අපේ නඩයේ කට්ටියකට කාපු තැන්වලම මල පහ වන්නට ඔන්න මෙන්න කියා බේරාගෙන තිබුනේ චයිනීස් ලැන්ටර්න් හි අධිපති තුමිය කියාද කසු කුසුවක් තුබුණේ නමුත් එව්වා වැඩිය කව්රුත් දන්නේ නැතිලු. ඩෙවොන් වෙතින් උදෑසනට රුපියල් තුන්දහස් ගණනක කෑ අපේ කට්ටියක් චෛනීස් ලැන්ටර්න් අධිපතිනිය නොවන්නට අදත් ඩෙවොන් හෝටලයේ පිඟන් හෝදනවා වන්නට ඉඩ තිබෙන්නට ඇත . 

මේ සියලු දඟකාරකම්, කොලුකම් , ජඩ කම්, බලුකම්, එක සිතින් උපේක්ෂාවෙන් , මෛත්‍රියෙන්, දයාවෙන් ඉවසූ අපගේ ආදරණීය පන්ති භාර ගුරුතුමිය වූ නැසී ගිය සීතා රාජපක්ෂ ගුරු මෑණියන්ටත් අපගේ ගමනට සහභාගී වූ එතුමියගේ ස්වාමිපුරුෂයාටත් උතුම් වූ නිර්වාන සම්පත්තියම ලැබේවා..

4 comments:

  1. (බත ඉදෙනකම් උන්නාට බත නිවෙනකම් ඉන්නට බැරි සේ .. වැසිකිලි පුරස්න වල අවශ්‍යතාවය වැසිකිලිය දුටු වහා ලක්ස කෝටි ගණනින් වැඩි වන බව ඒ වැනි පුරස්න වලට මැදිහත් වුවන් දන්නවා ඇත.)
    අනිවා!!!!

    ReplyDelete
    Replies
    1. කොතැනදී හරි අකරතැබ්බයක් වෙලා වගෙයි.. ඔය ප්‍රශ්න ඉතින් ඔක්කොම මිනිස්සු වෙච්චි අපිට විතරයිනේ..

      Delete
  2. හැක්... බතලය පිටිං දාල වෙච්ච වැඩේ වහගත්ත නේද?

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ බන්.. අපි ඔක්කොටම ගියා යාමක් ආයේ පස්සපැත්ත ඉතුරුවුනා පුදුමයි..

      Delete