Thursday, December 8, 2016

වාදී ස්වර සංද්වනි 5







පාසලේදි මා දිහා 
නෙත් කොනින් බලා
ඒ කියූ රහස් කතා 
නෑ සැබෑ වුනේ

ගී පොතේහි මා ලියූ 
සෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින් 
හෙලූ බැලුම් ප්‍රියේ

සුළගේ පාවී 
ඈ වෙත යාවී 
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා

මා පැතූ පැතුම්

පලවෙනි කොටස 

හතරවෙනි කොටස 


වේදිකාව ඉදිරියේ අසුන්ගෙන සිටි සියල්ලෝම වසඟයට ගනිමින් විසල් විසින් ගායනා කල ගීතය අනන්‍යා රසවින්දේ ඉතාමත් උද්යෝගයෙන්. මීට පෙර  සියදහස් වාරයක් අසා ඇතිමුත් විසල්ගේ කන්කළු හඬ එම ගීතයන් වෙත ලබාදෙන ආනන්දනීය ස්භාවය අනන්‍යා රසවින්දේ මුළු හදවතින්ම. මින් පෙර කිසිදු දිනෙක නොවිඳි අපූර්වත්වයක් අනන්‍යා විසින් වින්දනය කලත් එය වචනයට පෙරලා එය මේ ආකාර ස්භාවයක් යන්නට අරුත් දැක්වීමට  තරම් වැටහීමක් අනන්‍යා වෙත තිබුනේ නැහැ. එහෙත් උපන්දා පටන් එතෙක් මෙතෙක් වින්දාවූ ආන්දජනක හැගීම් අතර මෙය ඉහලම  ස්ථානයක තිබෙනා වග පමණක් අනන්‍යා දැන සිටියා. අහඹුවක් ලෙස සිදුවූ විසල්ගේ හමුවීමත්  ඊට සමගාමීව අනන්‍යාගේ හිත විසල් වෙතම ඇදීයාමට පැහැදිලිවූ හේතුවක් සොයන්නට අනන්‍යා තම හිත වෙහෙසවුයේ ද නැහැ. වෙහෙසවා සිතා ලිහාගන්නට තරම් සංකීර්ණ වූ ස්භාවයක් නොමැති වුවත් විසල් වෙතම ඇදී යන තම චිත්ත සන්තානය කුමන අරමුණක් කරා ඇදී  යන්නේද යන්න ගැන වැටහීමක්ද අනන්‍යා වෙත තිබුනේද නැහැ. 

ඒයි ....මේ .... උඹ ආවෙ  මා එක්ක....

ඉතින්...

ඉතින්  කියන්නෙ උඹට දැන් මාවත් අමතක ගානයිනේ බං ...

වදනොදී හිටපං මාධවී...

අප්පදබොල... මේකි ගිය උඩ .... යකෝ මමයි බොරු කප්පරක් කියල උඹව මෙතනට අරං ආවේ... දැන් උඹ මට කියනව වද නොදී හිටපං කියල... අනේ දෙයියනේ ඇයි මටම මෙහෙම වෙන්නේ..

සොරි සොරි ඩාර්ලින්.... උඹ මගේ හොඳම හොඳ යාළුවා නං මට මේ සිංදු ටික පාඩුවේ අහගන්න දෙන්න ඕන..

ඒකත් එහෙමද.. හා හා එහෙනං සිංදු අහගෙන හිටහන්කෝ... උඹේ මේ වැඩ නිසා අදත් අර අහිංසකය ඇන්තනිගෙන් කන්නයි සෙට් වෙන්නේ...මට ඒ ගැනනම් දුකයි...

ඒ මොකෝ මාධවී....

මොඩියේ ... මේක ඩිනර් ඩාන්ස් පාර්ටි එකක්... අරූ උඹ නිසා බූට් සිංදු කියල දැන් ඇන්තනිගේ මල අසූ හාරදාහට පැනල ඇත්තේ...

ඇත්තටම විසල්ට ලෙඩක් වැටෙයිද මාධවී...

හ්ම්  ..හ්ම්.... බොහෝදුරට...

එහෙනම් අපි විසල්ට කියමු සිංදු  කියන්න එපා කියල...

අනේ මටනම් බෑ සුදෝ... උඹ පුලුවන්නම් කියපන්...

අපි චිට් එකක් යවමු...

ඕන නෑ ඕන නෑ  දැන් මෙයාල නවත්තයි ඩිනර් එකට.. එතකොට කියපන්...

මොකක්ද...

උඹටනම් ඔලුව හොඳ නෑ අනන්‍යා... කෙලින්ම ගිහිං කියපන් අයි ලව් යූ කියල...

උම්බටනම් පිස්සු මාධවී... මෙතන එහෙම එකක් නෑ 

ඔව් ඔව් මට පිස්සු... එතකොට පිස්සුවෙන් වගේ මේ අහිංසකය පස්සේ වැටීගෙන නහින්නේ අරං හදාගන්න වෙන්නැති නේ...

පුලුවනිනම් අරං හදාගන්නවා තමා ඉතින්...

ඇත්තම කියන්නම් අනන්‍යා... අර රජීව් කාරයා එක්ක ගිහින් කාලකන්නි වෙන්නේ නැතුව ටිකක් හිතල බලහන් ...

බලන්න දෙයක් නෑ මාධවී... හිතිලයි තියෙන්නේ...

අප්පට සිරි... සෙල්ලං නෑ ගිහින් තියන දුර...

ඒක නෙවී බං ... උඹට බැරිද......මේ.... මේ......

අපෝ අපෝ මේ මටනං බෑ ලැජ්ජ නැති වැඩ කරන්න... මම මෙච්චර මහන්සි වෙලා මීට් කරල දුන්න... ඉතුරු ටික උඹේ  අතේ...


***********************


ආ විසල් මස්සිනා.... අද මයික් එක  දෙන්නෙම නෑ  වගේ....

න් .....නෑ ....බං  ඉවෝන් එහෙම එකක් නෑ ....

අඩෝ මේ... උඹ අපිට සුදු ළූණු පොඩි කරන්න එපා මචන්... අර තුන්වෙනි ටේබල් එකේ දිලිසි දිලිසි වාඩි වෙලා උඹ දිහා කන්න වගේ බලන් ඉන්නෙ අපි සති කීපයකට කලින් ගහපු බර්ත්ඩේ පාර්ටියේ බර්ත්ඩේ ගර්ල් නේද...

මොන...

ඔන්න ඔන්න විසල් පුතා අපිව කඩේ යවන්න හදනවා... 

අනේ මේ විකාර නැතුව වරෙන් කන්න... ඇන්තනිය දකින්න කලින් කන දෙයක් බඩට දාගනින්.... නැත්තං ඉතින් අන්තිමේ  කන්න වෙන්නේ දත්මිටි තමා...

 හරි හරි මල්ලි.... හැංගි හැංගි වෙස් බැන්දට නටන්නේ එලියෙනේ මචෝ..... ඔහොම යං ඔහොම යං ...

මචං  ඉවෝන්.. අපි උඹල වගේ හැංගිලා වෙස් බඳින එවුන් නෙවෙයි බන්. උඹ තමා ඇන්තනිය එක්ක හැංගිලා වෙස් බඳින්නේ... 

ඔන්න ඔන්න ඉතින් උඹ රෝං යනවනේ විසල්... 

හරි හරි දැන් උඹල දෙන්නගෙම කතා ඇති... දෙන්නම කනවනම් කාපල්ලා ඇන්තනිය ටේබල් එකෙන් නැගිටින්න කලිං 
...

කොහේද බන් සහන් උඹ අතුරුදහන් උනේ....

මගේ යාළුවො දෙන්නෙක් ඇවිත් ඉන්නවා බන්.. ටිකක් උන් එක්ක කතා කරා... ආන් උඹව සොයනවා....

කව්ද....

මම කිව්වේ... මම කිව්වේ.... 

මේ ඉවෝන්... අනුන්ගේ සීනි කිරන්නේ නැතුව වැඩක් බලාගනිං බං ... 

හරි හරි... ඔන්න මම ගියා... උඹලට මාවනේ දැන් ඇනේ ...

කව්ද බන් සහන් හොයනව කිව්වේ...

වෙන් කව්රුවත් නෙවෙයි ඌරො .... අන්න උඹේ සුදු නංගි උඹව හොයනව ...

බොරු...

මේ විසලෝ...මාව චීන කරන්නෙ නැතුව මගෙන් කුණුහරුප නොහා පලයන් ලොබි එකට...

මේ දැන්...

නැතුව ඉතින්.. 

උඹත් වරෙන්කො....

හනිමුන් යනකොටත් එක්ක යනවනං එන්නං ...

ආස ඇති නේ... ගිහිං කාපං ... මම විනාඩියෙන් එන්නං ....


විසල් ලොබිය වෙත පියමැන්නේ  මදක් චකිතයෙන්. මින් පෙර කිසිදු දිනෙක නොවූ තරම් කලබලයක් තම සිත තුල පවතින වග තේරුම් ගන්නට විසල්ට වැඩිමනක් අපහසු වුනේ නැහැ. එහෙත් එම කලබල සහිත සිතුවිලි එහාටත් මෙහාටත් පොරබදිමින් සිදුවෙන්නට යන්නාවූ ආශ්චර්යමත් මොහොතට මුහුණ දීමට නව බලාපොරොත්තු එකලස් කරන වග විසල්ට දැනුන. අනන්‍යාගේ හමුවීමත් එම දෑස තුල තිබෙන්නාවූ හුරු පුරුදු ස්භාවයත් විසල් තුල ඇතිකළේ මින් පෙර නොවිඳි ආශ්වාදයක්. ප්‍රසංගය ආරම්භ කල මොහොතේ පටන් ගණන් කල නොහැකි වාර ගණනක් එකට හමුවූ එම දෑස තුල තිබෙන්නාවූ සංසාරගත බැඳීම  සොයන්නට විසල් ගත් වෙහෙස අප්‍රමානයි. සැබෑවටම හමුවී වචනයෙන් දෙඩූ වාර ගණන අතෙහි ඇඟිලි ප්‍රමාණයට අඩු වුවත් වසර ගණනාවක් ඈ හා ඇසුරුකළ ස්භාවයක් විසල්ගේ හිත පුරා ලැගුම්ගෙන තිබුනේ අහම්බෙන් වගේ. අනන්‍යා තමුන් වෙත  දක්වන්නාවූ කරුණාව සත්‍ය ලෙසම ආදරයක්ද එසේත් නැතිනම් අනුකම්පාවක්ද යන්න වෙන්කොට හඳුනාගන්නට කිසිදු නිර්නායකයක් විසල් වෙත තිබුනේ නැහැ. එය  කුමනාකාර හැඟීමක් වුවත් එම හැඟීම වරදවා වටහාගත නොයුතු බව පමණක් විසල් දැන උන්නා. වාදකයකු වශයෙන් ගතකරන තාරුණ්‍යයේ එතෙක් මෙතෙක් නොවිඳි තරම් වචනයෙන් විස්තර කල නොහැකි වූ මනෝරම්‍යමය ස්භාවයක් තමාගේ සිත තුල පවතින වග විසල්ට දැනුනාවූ නමුත් එම මනෝරම්‍ය ස්භාවය ආශ්වාදයක් ලෙස දෝතබදා විඳින්නට විසල් මදක් අකමැතිවුනේ අනන්‍යාට ලංවීමට තමුන්ට  කිසිදු පූර්ව සුදුසුකමක් නොමැති  වග දැන උන්නාවූ නිසා.  

ෂ් .....ෂ් .....

ඇසුනාවූ හඬින් වටපිට බලූ විසල් දැක්කෙ ලොබිය කෙලවරේ තිබෙනා මද අඳුරක් සහිත තැනක අසුන්ගෙන ඉන්නා අනන්‍යා සහ මාධවී...

ආ මේ අපේ අග්‍රගන්‍ය ගායක විසල් අයියනේ...  මොනාද දන්නෙ නෑ හෙව්වේ...

ආ මේ මාධවී මඩම්ලනේ ... මම මේ නිකමට වගේ එලියට යනගමන්... කව්දෝ ශූ...ශූ... ගාල පිඹින සද්දෙට බැලුවේ නයෙක්වත්ද කියල...

අනේ මගෙන් මුකුත් නාහ හිටපං විසල්.. හිමිජ්ජ වගේ හිටියට කට නං පොඩි නෑ ...

සොරි මාධවී මඩම්... 

හා හා මැඩම් කෑල්ල පැත්තකින් තියල මෙන්න මෙහෙන් වාඩි වෙමු එහෙනං ...මම රවුමක් කැරකිලා එනකං සුදු නංගිව බලාගනිං විසල්...

හා එහෙනං ... මාධවී මැඩම් ගිහින් එන්නකෝ...

ඉබ්බා වතුරට දානකොටත් මොකක්දෝ කිව්වලුනේ...

මාධවී  එතැනින් නික්ම ගිය වහා ඇතිවූ නිහඬතාවය බින්දේ අනන්‍යා විසින්...


සුදු අයියෙ ... අද කියපු සිංදු ටික හරී.......ම  ලස්සනයි...

අනේ යන්න යන්න.. මාව මුරුංග ඇත්තේ තියනවා නේද..

මෙන්න වැඩක්... ඇත්ත කිව්වාම හිතෙන්නේ මුරුංග ඇත්තෙ තියනවා කියල.

ඒක මගේ රස්සාවනේ සුදු නංගි ... අපි ඉතින් දුප්ප්පත් කොල්ලොනේ...

අනේ  ඉතින් ඇයි  එහෙම කියන්නේ...

ඉතිං මම බොරුවක් කිව්වේ නැහැනේ සුදු නංගි ... පිටකොටුවෙ බස් කෝච්චි වල සිංදු කියන අයයි අපියි අතර තියෙන්නේ බොහොම සුළු වෙනස්කම් සුදු නංගි ..

ඒ කිව්වෙ ..

අපි දෙගොල්ලොම කරන්නේ ජීවත් වෙන්න සින්දු කියන එකනේ.. ඉතින් වෙනසකට තියෙන්නේ තැන විතරයිනේ.. හෙහ්..

අනේ මට ඔය මහප්‍රාණ තේරෙන්නේ නෑ සුදු අයියේ.. ඉතින් වෙන මොනාහරි කියන්නකෝ..

මොනවගේ දෙයක්ද..

මොනාහරි දෙයක්.. මටත් තේරෙන ඔයාටත් තේරෙන අපි දෙන්නටම තේරෙන දෙයක්..

ම්ම්ම්ම්ම්ම්....අපි දෙන්නටම තේරෙන දෙයක්.... එකනම් සෑහෙන්න සංකීර්ණ ප්‍රශ්නයක්..

මේ සුදු අයියේ.. මම ප්‍රශ්නයක් අහන්න ඇත්තටම ඇත්තටම ඇත්ත....ටම උත්තර දෙනවද..

ඒ මොකක්ද අප්පේ..

පොඩි ප්‍රශ්නයක්.. හැබැයි බොරු උත්තරනම් දෙන්න බැහැ  ඔන්න..

හරි ඉතින්.. අහන්නකො බලන්න ප්‍රශ්නේ..

සුදු අයියේ.. ඔයාට....ඔයාට....

ඉතින් අහන්නකො.. 

එක්කෝ ඕන නෑ ..

කියන්න අනන්‍යා .. මොකක්ද කියන්නකෝ ප්‍රශ්නේ..

මං ආස නෑ සුදු අයිය මට නම කියල කතා කරනවට..

අනේ සොරි ඉතින්..මම ආයේම කතා කරනකොට සුදු නංගි  කියලම කතා කරන්නම්කො.. හරි.. දැන් අහන්නකො ප්‍රශ්නේ මොකක්ද කියලා..

හරි.. මෙන්න මේකයි ප්‍රශ්නේ... සුදු අයියට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද..

අයියෝ... ඕකද මේ තරම් අමාරුවෙන් අහපු ප්‍රශ්නේ..

හරි ඉතින් දැන් ප්‍රශ්නේ ඇහුවනේ... දැන් දෙනවා බලන්න උත්තර...

ම්ම්ම්ම්ම්ම්..... ඇත්තම කියනවනම් ඔව්...

විසල්ගේ උත්තරයෙන් අනන්‍යා මදක් කලබලවූ ස්භාවය විසල්ට දැනුනා වුනත් විසල් ඒ බවක් අනන්යාට පෙන්වුයේ නැහැ.. එතෙක් වෙලා සන්තෝසයෙන් පැවතියා වූ අනන්යාගේ සිනහ මුහුණ මදක් අඳුරු ස්භාවයට පත්වූවා වුවත් අනන්‍යා එය සඟවන්නට යම් තරමක උත්සාහයක් ගත්ත..

ඉතින් කව්ද සුදු අයියේ ඒ වාසනාවන්ති..

ම්ම්ම්ම්ම්ම්ම්... ඒක නම් කියන්න බැහැ සුදු නංගි ... මොකද මම පොරොන්දු වුනේ එක ප්‍රශ්නෙකට උත්තර දෙන්න විතරයි...

අනේ කියන්නකෝ...

ඒ කව්ද කියලනම් කියන්න විදිහක් නැහැ සුදු නංගි ... ඒත්  ඉන්න තැනනම්  කියන්නං ...

කව්ද කියල කියන්නේ නැතුව ඉන්න තැන මොකටද සුදු අයියෙ ...

දැන් කව්ද කියල කිව්වේ නැති උනොත් සුදු නංගි මා එක්ක තරහ වෙනවද...

තරහ වෙන්න අපි යාළුවෙලා හිටියේ නැහැනේ සුදු අයියේ...

අප්පේ සුදු නංගිට තරහ ගියාම ලස්සන..

සංගීත කාරයින්ට යන යන තැන කෙල්ලො කියල මට අමතකවුනානේ..

සංගීත කාරයෝ ගැන එහෙම හිතන එක වැරදියි සුදු නංගි .. ස්ටේජ් එක උඩ ඉද්දි ගෑනු ළමයි තරඟෙට ඇහැ  දැම්මට ස්ටේජ් එකෙන් බැස්සම එකෙක් බලන්නේ නැහැ අපි දිහා...හෙහ්..

අනේ යන්න යන්න බොරු නොකිය.. හරි කියන්නකෝ ඉතින් කව්ද කියල ඒ ගෑනු ළමය..

සුදු නංගි මම ඇත්තම කිව්වොත් පිළිගන්නවද..

මම කිව්වනේ.. සංගීත කාරයො සීයට සීයක් විස්වාස කරන්න බැහැ .. ඒ උනත් කියන්නකෝ.. පිළිගන්න පුලුවනිනම් පිළිගන්නම්...

ඔයා අහපු ප්‍රශ්නෙට ප්‍රායෝගිකව උත්තර දෙනවනම් මේ මිහිපිට එහෙම කෙනෙක් නෑ සුදු නංගි .. ඒත්  කෙනෙක් ඉන්නව.. එයා ඉන්නේ මගේ හිතේ..

දැන් ඉතින් එයා දන්නවද මෙයාගේ හිතේ එයා ඉන්න බව..

සමහරවිට දන්නවා ඇති.. සමහරවිට නැතුව ඇති..හෙහ්..

ඉතින් එයාට කියන්නකෝ හිතේ තියන් ඉන්නේ නැතුව..

සමහර දේවල් හිතේම තියන් ඉන්න එක හොඳයි වචනවලට පෙරලන්වට වඩා..ඒ නිසා කියනවට වඩා හිතේ තියන් ඉන්න එක හොඳයි සුදු නංගි ..

ඇයි  ඒ..

හැබෑවක් කරන්න බැරි දේවල් වචන වලට පෙරලලා නාස්ති කරලා දාන එක අපරාදයක් සුදු නංගි .. ඉතින් ඒක  ඒ නිසා හිතේම තියෙද්දෙන්..

ඇයි ඉතින් සුදු අයිය හිතන්නේ හැබෑවක් කරන්න බැහැ කියල..

සමහර හීන මේ මහපොළොව උඩ හැබෑ කරන්න බැහැ  සුදු නංගි .. ඒ හීන ඒ තියන විදිහටම ඒ තියන තැන්වලම තිබ්බම හැමදාමත් ඒ හීනේ හිතේ තියන් ඉන්න පුළුවනි සුදූ නංගි .. ඒව වචන වලට පෙරලලා අන්තිමේ ඒ හීන හැබෑ කරන්න බැහැ කියල දැනෙන දැනීමට වඩා හොඳයි හීන හීන විදිහටම තියෙන්න දෙන එක..

අනේ මන්ද..

ඔයාල වගේ සුරංගනාවියන්ට මේ මහප්‍රාණ තේරෙන්නේ නැහැ සුදු නංගි ..

ඒයි විසල්... අන්න අරූ පන දාගෙන උඹව හොයනවා ඊළඟ සෙෂන් එක පටන් ගන්න.. වරෙන් යන්න ඉක්මනට ..

මම එහෙනං ගිහින් එන්නද සුදු නංගි ..

හා සුදු අයියේ.. 

සුදු නංගිලා පාර්ටි එක ඉවර වෙනකම් ඉන්නවද..

නැහැ සුදු අයියේ.. අපි දැන් යනව..

එහෙනම් පරෙස්සමට ඩ්‍රයිව් කරන්නකෝ..

සුදු අයියේ..

ඇයි ..

අපි ආයේ හම්බෙන්නේ නැද්ද..

අපි ආයේ හම්බෙන්න ඕනෙද සුදු නංගි ..

අයියට හිතෙන්නේ ඔව් කියලද නෑ කියලද..

ඒයි විසල්.. වරෙන්කො.. ඇන්තනිය අරෙහෙ යකා නටනවා..

මම ගිහින් එන්නම් සුදු නංගි ..

මට ඔයා හම්බෙලා කතා කරන්න ඕන කියල මං කොහොමද සුදු නංගි කියන්නේ.. හැබෑවක් කරන්න බැරි හීන මහපොළොවට ගෙන්න බැහැ සුදු නංගි .. ඒ හීන, හීන විදිහටම තියෙනවට මම කැමතියි.. විසල් වේදිකාව දිහාවට ඇවිදගෙන යන ගමන් එහෙම හිතුව..








******

ඈත් බව දැනීලා ඔබේ හා මගේ

දුරක්‌ ආ නිසා දැන් දුකක්‌ මේ වගේ 

මහා සාගරේ සේ තිබුණත් හිතේ

කුමට හිමි වුණාදෝ අහිමි ආදරේ

*******



18 comments:

  1. අම්මපා මම ලඟ හිටියා නම් විසලගේ හොම්බට අනිනවා. දෙයියෝ ගෙට ගෙනත් දෙනකොට මේකා එපා එපා කියනවනේ. නොදකින් ගල් මූසලයා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...
      +++++++++++++++++++++++++

      Delete
    2. සමහරු දෙයියෝ දුන්නත් එපා කියනවා තමා බන්.

      Delete
    3. ස්තුතියි ලොකු පුතා

      Delete
  2. ලස්සනයි දුකයි ......

    ReplyDelete
    Replies
    1. ලස්සන දේවල් බොහෝ වෙලාවට ගේන්නේ දුකම තමා ඇනෝ ..ඒ ලස්සන දේවල් අයිතිකරගන්න ගියාම දුකෙන් දුකටම පත්වෙනවා විතරයි.. මොනවා කරන්නද.. ඒ තමා සංසාරෙ හැටි..

      Delete
  3. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් දුක්බර හිතෙට දැනෙන+ එත් ලස්සනම ලස්සන පෝස්ටුවක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හංසමාලි

      Delete
  4. අඩේ... හයවෙනි කොටසක් තියනවා නේද? දැං ඉවසං හිටපන්කො... චැහ්.. ලියපං මචෝ සෙනිකව
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනේ බන් ලබ්බෝ නාහේ ගාවට වැඩ හිරවෙලා රැයක් දවාලක් නැතුව වැඩ බන්. බ්ලොග් පොස්ට් එකක් දානවා කියල යාලුවෙකුට පොරොන්දුත් වෙලා බ්ලොග් පොස්ට් එකක් ලියන්න කියල ගජරාමෙට ලැස්ති වෙලා ටැබා ඔන් කරන්න බැලුවාම ඒකගෙ බැටරිය මැරිලා කියහන්කෝ.. දැන් දවස් දෙකක් ඒක චාර්ජරේට ගහල තියෙනවා තාම චාර්ජ් එක රඳවාගන්නේ නැහැ. මටමයි වෙන්නේ බං .

      Delete
  5. හෙහ්.. හෙහ්... නියම මෙගා ස්ක්‍රිප්ට් එකක් ලියන්න බොලාට සුදුසුකං තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් මම ලියන මෙගා නාට්ටියේ ප්‍රධාන නළුවාගේ හෙවත් කොල්ලගේ චරිතේ දෙන්නේ උඹට තමා.. ප්‍රධාන නිළිය තෝරාගෙන කියහන්කෝ බලන්න..

      Delete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. දෙන්නම උගුරට හොරා බෙහෙත් බොන්න හදනවා්‍...

    ReplyDelete
    Replies
    1. උගුරට හොරා බෙහෙත් බොන්න බෑ නේන්නම්..

      Delete
  8. අනේ අමබලන්ගොඩ පොකුරට අඩන්න හෙම ඉවර කරන්නෑ හොඳඳ....

    ReplyDelete
    Replies
    1. බලමු ඉතිං .. ස්තුතියි මිත්‍රයා

      Delete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete