Sunday, October 4, 2020

බීර බෝතල හතරයි සමායි ගොඩයයි..

 


මේ ලියන්න යන කාලය අයිති වෙන්නේ එක්දහස් නවසිය අනූ අට අවුරුද්දේ මැද භාගයට වෙන්න ඕන ගොඩයාගේ මතකයේ හැටියට. ඒ කාලේ ගොඩයි සමයි දෙන්නම රස්සාව කලේ එකම ආයතනයේ. ගොඩයා ඕල් අයිලඩ් ටෙක්, සමා සේල්ස් එක්සකටිව් කිව්වොත් තමයි හරි. සමා වගේම ගොඩයා කලෙත් ලංකාව වටේ ඇවිදින රස්සාවක්. ඒත් වැඩේ සිද්දවුනේ එකට නෙවෙයි. ගොඩයා මාසෙන් එක සතියත් කොලබ ඉඳන් වවුනියාව දක්වා උතුරු පලාතටත්, එක සතියක් කන්ද උඩරට සහ නැගෙනහිර පැත්තටත්, තව සතියක් දකුණු පලාතටත්, ඉතිරි සතිය කොළඹ අවටත් තමා රැකියාව කලේ. සමාත් එහෙමම තමා.. සතිය ගානේ ලංකාවේ හතර පැත්තට සේල්ස්. දෙන්නා  යැවෙන්නේ බොහෝ වෙලාවට දෙපැත්තට උනත් කලාතුරකින් එකම පළාතේ රැකියාව කරපු වෙලාවලුත් නැත්තේම නෑ. 


ගොඩයාගේ රැකියාවේ ස්භාවය අනුව අලුතෙන් හයිවෙන යන්ත්‍ර සුත්‍ර වෙනුවෙන් ගෝල තැනක් කොම්පැනියෙන් හිමිවුණා. කොම්පැනි පොරක් නැති උනත් ගෝලයාට ගෙවන මුදල ගොඩයා වෙත සැපයෙන නිසා ගොඩයාගේ යාලු මිත්‍රයෙක් හෝ දන්නා කියන කෙනෙක් ඇදගෙන ගිහින් ඒ උන්නැහේට ඒ මුදල ලබාදීම තමා ගොඩයා කලේ. ආන් ඒ වගේ සති වලදී සමාගේ සේල්ස් ජොබ් එකට  මන්දගාමී කාලයක් ලබලානම් ගොඩයාගේ ප්‍රමුඛතාවය හිමිවෙන්නේ සමාට. මොකද කියනවනම්, ඔය කියන කොම්පැනිවල පඩිය ලොකු උනාට ඒ පඩියෙන් බේසික් එක කියලා ගෙවන්නේ බොහොම සුළු මුදලයි. අනික් සියල්ලම වැටුපට එල්ලා දැමු දීමනා කිව්වොත් තමා නිවැරදි . සමා කලේ සේල්ස් නිසා ශිප්මන්ට් ක්ලියර් වෙන්න පරක්කු වෙන  කාලවලදී සමාට හතේ හත... ඒ කියන්නේ සමාට කොමිෂන්, බටා, නයිට් අවුට්, ජිල්මාර්ට්  මුකුත්ම නෑ. ගොඩයාගේ වැටුපත් ඒ වගේම තමා.. මාසය අවසානයේ ලොකු මුදලක් අතට ආවාට වැඩිපුර, ඒ කිව්වේ සියයට හැත්තෑ පහක්ම වැටුපට එල්ලා දැමු දීමනාම තමා.. කොම්පැනි කාරයෝ මූලික වැටුප පොඩි එකක් කරලා දීමනා එල්ලන්නේ මූලික වැටුපට සාපේක්ෂව  ETF, EPF ගෙවන්න වෙන නිසා වග ලංකාවාසීන්ට අමුතුවෙන් කියලා දෙන්න ඕනෑ වෙන එකක් නෑ.  ඒ කාලේ මූලික වැටුපට අමතරව ගොඩයාට ගෙව්වේ යන්ත්‍ර සුත්‍ර අලුතෙන් හයිවෙන කෑලි ගානට සහ අලුත්වැඩියාවන් කෙරෙන ගානට. අලුතෙන් හයිවෙන යන්ත්‍රයකට රුපියල් දහසක මුදලකුත්, අලුත්වැඩියාවකට රුපියල් පන්සීයකුත් වැටුපට අමතරව ගොඩයාට වැටුපට එකතුවුනා. ඊට අමතරව ආහාරපාන, නවාතැන් සඳහා දිනකට රුපියල් හත්සිය පනහක මුදලකුත් වැටුපට එකතුවුනා. ගෝල තැනක් අවශ්‍ය වැඩ වලදී ගෝල තැනට ගෙවනා දිනක වැටුප රුපියල් පන්සියකුත් වැටුපට එකතුවුනා. සමාටත්, සමා සේල්ස් යන රථයේ රියදුරාටත් අහාරපාන සහ නවාතැන් වියදම් ගෙවුනේ දිනකට රුපියල් හත්සිය පනහ බැගින් කියන එක පමණක් ගොඩයාට මතක තියෙනවා උනත් සමාට කොමිෂන් ප්‍රතිශතය කීයක් ගෙව්වද කියලා ගොඩයාට දැන් මතක නෑ. රස්සාව අතරේ ගොඩයාට ප්‍රයිවෙට් රෙපෙයාර් සෙට් වෙනවා වාගෙම සමාටත් එහෙන් මෙහෙන් අමතර ආදායම් ලැබුනා කියන එක නම් ගොඩයාට මතකයි..:) එව්වා ගැන මෙහිලා ලිව්වොත් සමා ගොඩයාව කයි..


ඕන් ඔය වගේ වාතාවරණයක් යටතේ සමාගේ රස්සාව මන්දාගාමි කාලයක ගොඩයාට ගෝලයා අවශ්‍ය සතියක් උදාවුණා. වැඩ වැටිලා තිබ්බේ සෙවනගල, ඔක්කම්පිටිය, මොනරාගල, දඹගල්ල කියන රෝහල්වල . මතක විදිහට දඹගල්ල තියෙන්නේ මොනරාගල සහ සියබලාණ්ඩුව අතර වෙන්න ඕන. ඒ කාලේ GPS නෑ.. පාරක් අයිනේ ඉන්න මාමා කෙනෙකුගෙන් හරි නැන්දා කෙනෙකුගෙන් හරි  අහලා තමා පාර හොයාගන්නේ.  දඹගල්ලට ගියේ මහා වනාන්තරයක් මැදින් කියලා ගොඩයාට අද වගේ මතක, ඒ කැලේ මැද්දේ තිබ්බ යුද හමුදා මුරපොළවල් කීපයකින් ගොඩයාගේ ලයිට්ඒස් රථය පරික්ෂා කල නිසා.. යකඩ ගොඩවල් පටවලා තියෙන වාහන චෙක් කරන්න ගියාම හමුදා නිලධාරින් අකුරටම කරන නිසා ඒ තැන්වල ගතවෙන කාලය වැඩියි. සියඹලාන්ඩුවේ චෙක් පොයින්ට් එක පහුකරන් එද්දී පරික්ෂා නොවී මැස්සෙකුටවත් ඉගිලෙන්න බෑ. සියලුම බඩු ලොරි බිමටම අන්ලොර්ඩ් කරලා පරික්ෂා කිරීම අනිවාර්යයි. ගොඩයාගේ මතකයේ හැටියට දඹගල්ල යන පාර වැටෙන්නේ ඔය කියන සියඹලාණ්ඩුව චෙක් පොයින්ට් එක බයිපාස් කරගෙන යන කැලේ පාරකින්. ඒ නිසා කැලේ මැද්දේ තිබ්බ හමුදා මුරපොළවල් වලින් සියඹලාණ්ඩුව බයිපාස් කරගෙන යන සියලුම වාහන දශමෙටම පරික්ෂා කෙරුනා. රජයෙන් නිකුත් කෙරුන  බලපත්‍ර සියල්ල තිබුනත් ගොඩයලාගේ වාහනේට බලපත්‍ර පෙන්වා ගැලවීයෑමට අවසර හිමිවුණේ නෑ..


සමා ඩවුන්සවුත් වැඩ කරන සතිය රාත්‍රී නවාතැන් ගන්නේ වැඩිහරියක් සමාගේ ගෙදර.  කොම්පැනි වාහනේට තෙල් ගහන්නේ කොම්පැනියෙන් නිසා සමා සහ රියදුරා මලාට ලැගුම්හල්වල නවතින්නේ නෑ. ආයේ දෙකක් නෑ හවස් වෙද්දී ඉරාගෙන අම්බලන්ගොඩ පැත්තට තමා රථය විදින්නේ. මොකෝ ඩීසල් ගහන්නේ උන් නෙවෙයිනේ. ගොඩයාට එහෙම බෑ. ගොඩයාට වැඩ වැටෙන්නේ පැයෙන් දෙකෙන් අම්බලන්ගොඩ එන්න පුළුවන් දුරවල්වල නෙවෙයි. ඩිසල් කොම්පැනියෙන් උනාට පැය තුන හතරක් ආපස්සට ඇවිදින් ආයෙම උදේ පාන්ද හිටං ඇහැරගෙන ඒ දුරම නැවත රිය පදවන්න ගොඩයා වැඩි කැමැත්තක් නෑ..  ඒ නිසා ගොඩයා වැඩිහරියක් රාත්‍රී ගතකලේ කොහේ හෝ ලැගුම්හලක. සමාට ලැගුම්හල්වල නවතින්න වැඩිය ඕනෑකමක් නැතිවුනේ ලංකාවේ සෑම ප්‍රධාන නගරයකම සමාගේ නෑයෙක් හෝ රියදුරාගේ නෑයෙක් හිටපු නිසා කිව්වොත් තමයි හරි. ඒ නෑකම් වැඩිහරියක්  නයිට් අවුට් එක සාක්කුවේ දාගැනීමේ පරමාර්ථයෙන් පවත්වාගෙන ගිය එව්වා මිස ලඟපාත ලේ නෑකම් නෙවෙයි නිසා ඒ නෑකම් නෑකමට වඩා ඕනෑකම් කිව්වොත් තමා වඩා සාධාරණ. ඔය කියන නෑකම්  හගිස්සන්න යාම, අක්මාව උළුක්කු වෙලා, උණ්ඩුකපුච්චය පුපුරලා, පුරස්ථි ග්‍රන්ථිය මහා අන්තරය දිගේ පස්සා දොරෙන් එලියට  විසික්වෙන වගේ වේදනාකාරී වැඩක් නිසා ගොඩයා ඔව්වයේ දිග පළල හොයන්න ගියේ නෑ.... නිකමට කිව්වෙත් , මදුපුංචිඅම්මගේ බාප්පාගේ පුතාගේ, ගෑනිගේ  මහප්පාගේ, මාමන්ඩිගෙ සහෝදරයාගේ පුතාගේ, මස්සිනාගේ පුතාගේ දුව බැඳලා ඉන්න  ගෙදර වගේ ඔලුව පැටලෙන නෑකම් එව්වා . ඒත් ඉතින් දවසට රුපියල් හත්සිය පනහක් ඉතුරු කරගන්න එච්චර දුර නෑකම් පෑස්සුවට මක් වෙනවද කියලයි සමානම් ඒ කාලේ කිව්වේ. රෑට වැටිලා නිදාගන්න එකට  සහ වේලක් දෙකක් කන එකට සමාලත් ඔය කියන නෑයන්ට පාඩුවක් අලාභයක් වෙන්න තිබ්බේ නෑ. සමාලත් හවස් අතේ ඔය කියන නෑයන්ගේ ගෙවල් වලට ගොඩවුනේ එළවලු ටිකක් , හාල් සිල්ලර ටිකක් සමග අනිවාර්යෙන්ම සීල් බෝතලේකුත් අරගෙනමයි. ඔය කියන නෑ ගෙවල්වල ඉන්න ගෘහ මූලික පුරුසෝත්තමලාත් සමාල එනකං උළුවස්ස උඩට වෙලා බලාන ඉන්නේ සීල් බෝතලේට තියෙන නෑකමට මිසක්ක සමාලාට තියෙන ඥාති කමට නම්  නෙවෙයි. ඔය ගෙනියන සීල් බෝතලෙනුත් වැඩිහරියක් ගිල දාන්නේ සමා සහ රියදුරු චන්නයා හෝ අතුලයා හෝ ලාල් උනාට ගෙදර නෑ උත්තමයාටත් ෂොට් එකක් දෙකක් මද  පමණට දමාගන්න බෝතෙලේ යාන්තම් ප්‍රමාණවත්. චන්න, අතුල, ලාල් කියන්නේ සමා එක්ක වැඩ කරපු රියදුරාලා තුන්දෙනා උනාට ලාල් එතනින් ටිකක් වෙනස්. හේතුව කිව්වොත් ලාල් බොන්න ලොකුවට එලවන පුද්ගලයක් නොවෙන නිසා. අතුල හෝ චන්න සහ සමා සහ නෑහිතවතා එක බෝතලේකට සෙට් උනා කියන්නේ එතැන තියෙන්නේ සීතල යුද්දයක්. අනෙකාට පෙර බෝතලයෙන් වැඩි ප්‍රමාණයක් ගිල දැමීමේ යුද්දය කොයිතරම් දරුණුද කියනවානම්, රාත්‍රී නවාතැන් සපයන ස්පොන්සර් නෑයාට ෂොට් දෙකයි වට දෙකයි බෝතලේ ඩන් .. ඔය කියන නෑ ගෙවල්වලින් ගොඩයා නවාතැන්ගෙන තියෙන්නේ සමාගේ එකම එක නෑ ගෙදරක හෙවත් ආරි අයියාගේ ගෙදර පමණක් නිසා ගොඩයා ඔය අත්දැකීම අහලා මිසක් විඳලා නෑ..   මොකද කියනවනම් රහමෙර සබ්ජෙක්ට් එකේදී ගොඩයාට කෑ එක්කවත් රේස් එකක් නෑ..  අනෙකා වැඩිපුර බිමට තනනවානම්  ගොඩයාගේ සිරිත පසු පාදයේ ක්‍රීඩාකොට තරඟය අවසන්වනතුරු විකට්ටුවේ රැඳී සිටීම පමණයි.


ඕන් ඔය වගේ වාතාවරණයක් යටතේ තමයි සෙවනගල සිට  දඹගල්ල  දක්වා වැඩ ටිකක් වැටෙන සතිය ගොඩයාට සැට් වෙන්නේ. ගෝල තැන තමා සමා. කරුමෙක මහත කියන්නේ සමාගේ ලඟම නෑ කෙනෙක් වෙච්චි ආරි අයියා පදින්චි සෙවනගල කියහන්කෝ. ඒක අර කලින් කිව්ව වගේ ඔලුව පැටලෙන දුර නෑකමක් නෙවෙයි. සෙවනගල සීනි කම්හලේ සේවය කරපු  ආරි අයියා සමාගේ ළඟ ඥාති. ආයේ දෙකක් නෑ දවස් කීපයක් සෙවනගල නවතින්න සමා නාහෙන් අඬනවා කියලා දන්නවා උනත් ගොඩයාට සමාව දාලා වෙන ගෝලයෙක් අරගෙන යන්න බෑ සමාට බිස්නස් නැති කාලයක් නිසා. ගොඩයාත් අරි අයියලාගේ ගෙදර නවතින්න හිත හදාගෙන ඕන් පිටත් වෙනවා ඩවුන් සවුත් සතියට. රාජකාරිය සාමාන්‍යයි, රාත්‍රී නවාතැන් ආරි මහතාගේ නිල නිවාසයේ. සෙවනගල සිට තණමල්විලට යන පාර ඒ කාලේ කොයිතරම් හොඳද කියනවානම්, අඟලෙන් අඟල බිම් බෝම්බ පුලුරලා තරං වලවල්. තාර දාපු පාරක් උනාට පාර  එකම මඩ ගොහුරක් කිව්වොත් තමයි නිවැරදි. සමහර වලවල්වල ලයිට් ඒස් එක නොපෙනී යන තරම්. ඩන්ඩුම හන්දියේ හිටං තණමල්විලට යද්දී වාහනේ කෙසේ වෙතත් වම් කකුලේ දණහිසේ බෝල් ජොයින්ට් එක යන තරමට ක්ලච් එක පාගනවා අතාරිනවා ආයේ පාගනවා අතාරිනවා ආයෙම පාගනවා අතාරිනවා ඉවරයක් නෑ.. වෙනස් විදිහකට කියනවනම්, වලක් ලං වෙද්දී බ්‍රේක් පාගලා වලට දානවා, වලෙන් ගොඩ ගන්න ෆස්ට් එකට දානවා, ෆස්ට් එකෙන් සෙකන්ඩ් එකට දානවා අඩි දහයක් විස්සක් යද්දී ආයෙම දාර වලක්  සෙට් වෙනවා  ෆස්ට් එකට දානවා ආයෙම සෙකන්ඩ් එකට දානවා ආයෙම වලේ දාලා ෆස්ට් එකට දානවා වලෙන් ගොඩ එද්දී සෙකන්ඩ් එකට දානව ආයෙම වලක් සෙට් වෙනවා ආයෙම ෆස්ට් එකට දානවා ආයෙම සෙකන්ඩ් එකට දානවා බ්ලා බ්ලා බ්ලා... ලියද්දිත් පිස්සු වගේ කියවද්දී කොහොම වෙයිද මන්ද... පාර කොයිතරම් හොඳද කියනවනම්, ෆස්ට් එකයි, සෙකන්ඩ් එකයි, ක්ලච් එකයි ගියර් ලීවර් එකයි වම් කකුලයි කියන්නේ වෙනම පවුලක් වගේ.. එක වලක් බේරන්න වෙට්ටුවක් දැම්මොත් තව වලවල් හත අටක වැටෙන තරම් වැඩේ අවුල් නිසා ඩන්ඩුම හිටං තණමල්විලට යනකල් ඔය තොවිලේම තමයි. ඔය කියන කාලේ සමාට ඩ්‍රයිවින් පුරුදු කරන කාලේ. සමාට  ඉස් ඉස්සෙල්ලම වාහනේ ඩ්‍රයිව් කරන්න දුන්නේ කුරුනෑගල පාරේ. මතක විදිහට පොතුහැර ඉඳන් පොල්ගහවෙලට සමා වම් අයිනෙන් ලයිට් ඒස් එක එළවන් ආවා ගොඩයා කියපු පිළිවෙලට බොහොම කීකරුව . ඒ කාලේ චෙක් පොයින්ට් හැමතැනම නිසා පොල්ගහවෙල චෙක් පොයින්ට් එකට මෙහායින් ගොඩයා වාහනේ ගත්තා. අනවශ්‍ය රිසක් එකක් අරං චෙක් පොයින්ට් එක හරහා යන්න ගිහින් රියදුරු බලපත්‍රයක් නැති සමා පොලිසිය දැක්ක ගමන් වෙවුලන්න අරං චෙක් පොයින්ට් එක ඉස්සරහා වෑන් කොටේ හිට්ටගත්තොත් සමත් සුං ගොඩයාත්  සුං.. 

සමාට අරි අයියලාගේ ගෙදර නවාතැන් ගන්නට ඕනෑකමත් , ඩන්ඩුම  සිට තණමල්විලට  තියෙන පාර වාරි මාර්ගයක් වීමත් සමාට ඩ්‍රයිවින් පුරුදු වෙන්නට තිබ්බ අවශ්‍යතාවයත් අපුරුවට ගැලපුනා කිව්වොත් තමයි හරි. ඩන්ඩුම හන්දියේ සිට තණමල්විල දක්වාත්, තණමල්විල සිට  ආරි අයියාගේ ගෙදර දක්වාත් සමා රියදුරු පුහුවට යෙදවීමෙන් ගොඩයාගේ වම් කකුල බේරාගේන පාඩුවේ පැසෙන්ජර් සීට් එකේ ගමන් පහසුව සැලසුණා. 


රෑ නවාතැනේ කතාව මදක් වෙනස්. ආරී අයියාගේ බිරින්දෑගේ අවසරය පිට පුංචි පහේ බෝතල් කොටයක් හෙමිහිට අනුමත වන අතර සමා යනු කිසිදා අරක්කු සුට්ටක් කට නොතැබූ පට්ට කොල්ලෙක් ගානට පෙනී සිටිනා අතර ගොඩයා යනු පට්ට බේබද්දෙක්, ආරි අයියලාගේ ගෙදරට. ඒ කියන්නේ සමා බිව්වොත් ආරි අයියා හැරෙන තැපෑලෙන් පහුවදාට සමාගේ  මවු තුමියට පණිවුඩය ලබාදීම අනිවාර්ය නිසා බෝතලය කැඩුනේ ගොඩයාගේ නමින්. ඉතින් කියහන්කෝ බොන්න ලොකුවට කැමැත්තක් නැති ගොඩයා එහෙම අවභාවිතා වීම සාධාරණද කියලා. ඒත් ඉහිටං ගොඩයා කියලා මක් කරන්නද.. ගොඩයාට තියෙන්නේ බෝතලේ උප්පැන්නෙට නම දීම පමණක් නිසා ගොඩයාට ඔව්වයේ වැඩි ගානක් නෑ.. බෝතලේ කරටියෙන් පහලට බහිද්දී ආරි අයියා කැසට් එක දැම්මා වගේ කියහන්කෝ.. සමායි ආරි අයියයි පවුලේ විස්තර කතා කරද්දී ගොඩයා කරන්නේ මනෝ පාරක් ගහගෙන වැඩේ දිහා බලාගෙන ඉන්න එක තමා. ඉඳ හිටෙක කට ගැස්මක් ගේන්න ආරි අයියා කුස්සියට යන අල්ලපනල්ලේ සමා ළඟ නවලා අසෝක විදුරු භාගෙක විතර ෂොට් එකක් උගුරෙන් පහලට දිවංගත කරනවා. දෙක වැදිලා මැද සුලන්ගේ පාවෙන ආරි අයියාට බෝතලේ පහලට අදෙනවද විදිනවද කියලා හොයාගන්න බෑ.. වැඩිහරියක් ආරි අයියට වෙරි.. අනෙක් කාරණය ස්ථානය කරුවල නිසා බෝතලේ තියෙන ප්‍රමාණය කොයිතරම්ද කියන එක  ආරි අයියට පෙන්නේ නෑ..  පලවෙනි රාතියෙන් පහුවදාම ගොඩයා වැඩේට උදැල්ල දාන්නේ අනුන්ගේ බෝතලේකට උප්පැන්නේ දීලා අරි අයියගේ හාමිනේට සහ දරුවන්ට පට්ට බේබද්දෙක් විදිහට පෙනිහිටින්න බැරි නිසා..


දෙවැනි දවසේ කතාව මෙහෙමයි.. සමා තණමල්විල හිටං අරි අයියලාගේ ගෙදරට යන පාරේ වලක් වලක් ගානේ ෆස්ට් එකේ සෙකන්ඩ් එකේ දාගෙන ක්ලච් බැලන්ස් කරනවා. ගොඩයා වම් පැත්තේ සීට් එකේ..


අදනම් පුතෝ මගේ නම විකුනලා බොන්න බෑ.. තෝ ඕනෙනම් අරි අයිය එක්ක බීපන් මටනම් බෑ..

මොනවහරි ටිකක් බොන්න ඕන බං  ඔන්න ඔහේ අදත් උඹේ නම විකුණමු..

පීස්සු කෙලින්නනම් එපා රජෝ.. තොපි බොන්නයි මං බේබද්දා වෙන්නයි... හුහ්.. එව්වා හඳේ...

හරි... ප්ලෑනක් තියෙනවා.. වැඩේ කරමු..

තෝ මොන ප්ලැන ගැහුවත් මටනම් ආරි අයියළහ බොන්න බෑ බෑ බෑ බෑමයි...

නෑ... අද අපි බීල යමු...

කැමැත්තක්.. බීලා ගිහින් උඹ අනිවා අද ආරි අයියට මාට්ටු .. මගේ මොකෝ උඹේනේ ඥාතියා..

අපි බියර් බොමු..

කැමැත්තක්...

පට්ට වැවක් තියෙනවා... අපි බියර් අරගෙන බන්ට් එකට ගිහින් වැවේ නාලා එහෙම බොමු..

කැමැත්තක්..

ඕන් ඒ ආකාරයෙන් සිංහයා ලකුණ බියර් බෝතල් හතරක්, අනුපාන, අඩුම කුඩුම සියල්ලම  ඩන්ඩුම හන්දියේ බාර් එකෙන්  අරගෙන සමා ආයෙම ක්ලච් බැලන්ස් කරනවා ඔය කියන වැව දිහාවට. ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඒ පාරත් අර කලින් කිව්ව පාර වගේමයි. වලවල් අටෝරාසියයි, දෙවැනි ලෝක යුද්ද කාලේ පිචර්වල පෙන්නන බිම් බෝම්බ පුපුරපු පාරවල් වලට එහා.. විනාඩි තිහක හතලිහක උඩ දමා පොලන බිම දමා පාගන කොඳු කැඩෙන වෑන්  ගමනකින් අනතුරුව කොල්ලො දෙන්න ලස්සන වැවක බන්ට් එක උඩ.. රස්සාවට යද්දී එද්දී සමා වලවල් උඩින් පරෙස්සමට ක්ලච් බැලන්ස් කරලා ගොඩයාට රිද්දන්නේ නැතුව වාහනේ එලෙව්වට බියර් බොන්න යද්දී සමා සෑහෙන හදිසියි. බො යන්න කිව්වොත් සමා එහෙම තමා.. දැන් ඉතින් මේක කියවලා ගොඩයාව කන්න පනිනවා අනිවා..


 සැලසුම බියර් දෙකක් බීලා වැවේ නාලා ඉතුරු දෙකත් බීලා වැව් සුළගේ පහස විඳගෙන ටිකක් ඉඳලා  කළුවර වැටුනයින්  පසුව, යන ගමන් මගින් කොත්තුවක් කාගෙන ආරි අයියලාගේ ගෙදරට ගොඩවීම.. ගොඩයලාට බියර් කඩන්න බොට්ල් ඔපනර් නෑ. මිහිපිට ධාවනය වන ඕනෑම ජපන් වාහනේක ජපානෙන්ම හයිකරලා එවන බියර් ඔපනර් එක තියෙන නිසා ඒ ගැන ප්‍රශ්නයක් නෑ.. කටින් කඩලා දත් කඩාගන්න ඕනත් නෑ. දැන් ඉතින් මේක කියවන උදවිය බියර් ඔපනර් එක මොකක්ද කියලා කල්පනා කරන නිසා එකත් කියමුකෝ. ඒ තමයි දොරේ ලොක් එක. දොර ලොක් වෙන්න වාහනේ බඳට හයිවෙලා තියෙන සෘජුකෝනාශ්‍ර යකඩ මුද්ද ඒ විදිහට හදලා තියෙන්නේ බියර් ඕපන් කරන්න කිව්වොත් දැන් ඉතින් කට්ටිය පුදුම වෙයි.. හක් හක් හා.... නෑ යකුනේ නෑ... ඒකෙන් බියර් කඩන්න පුළුවනි ඔපනර් එකට වඩා පහසුවෙන්. ඉතින් මොකටෙයි දත් කඩාගන්නේ නේහ්..


ඕන් සමා වෑන් කොටේ නවත්තලා පස්සා දොර ඇරලා බියර්  දෙකක් එලියට ගන්නවා..ඒ කාලේ දැන් වගේ එලි පහලියේ බීම තහනම් නෑ.. තහනම් උනත් ඒ වැව් බැම්ම උඩ මිනිස් පුළුටක් නෑ. ඉඳලා හිටලා යන තැපැල් නයින්ටියක් ඇරුනාම වැවු පිටිය ඉර බහිද්දී දර්ශනීයයි.. රමණීයයි , ඉතාමත් සිත්ගන්නාසුළුයි..


කඩහන්.. ඒ විධානය ගොඩයාගෙන්..

ඕන් සමා බියර් බෝතලේ ඩ්‍රයිවර්ගේ පැත්තේ දොරේ ලොක් එකට අල්ලලා කඩනවා...


හුටා..

මොකෝ... බෝතලේ කට කැඩුනද ? සමා බෝතලේ කට මාපට ඇඟිල්ලෙන් ඔබාගෙන ගොඩයා දිහාවට විරිත්තාගෙන ඉන්නවා.. කතා නෑ..

මොකෝ යකෝ..

බීලා හමාරයි..

මොකෝ වෙලා තියෙන්නේ කියහන්..

බොන්න බෑ යකෝ.. ප්‍රෙෂර් වෙලා...

මං හිතුව තෝ වලවල් වල මෝටර් ක්‍රොස් කරද්දී ඕක වෙයි කියල..

හිතුවනම් කියන්න එපැයි බූරුවෝ.. දැන් එව්වා වැඩක් නෑ.. මේක බොන්න විදිහක් කියහන්.. 

වාහනේ ඇතුලේ වීදුරු කෝප්ප භාජන මුකුත්ම නෑ මස්සිනා...විසඳුම් දෙකයි තියෙන්නේ..

මොකක්ද කියහන්..

එක.. ඔය බෝතල් කටෙන් ඇඟිල්ල අරගෙන එලියට යන තරමක් යන්න ඇරලා ඉතුරු වෙන දෙයන් බීලා සැනසෙන එක.. දෙක ඔහොමම කටට ලං කරලා කට ඇතුලට ස්ප්‍රේ කරගන්න එක...

සමා පළමුව පලවෙනි ක්‍රමය ට්‍රයි කරා කියමුකෝ... පලවෙනි බියර් බෝතලේ තනියමම කිරි උතුරවාගෙන   පෙන බුබුළු නංවලා දොරේ ගලාලා ඉවර වෙලා බැලින්නම් අක්චුවල් ලෙවල් එක බෝතලෙන් කාලක් විතර ඉතුරු වෙලා .. සභාවේ නිසා... සභාවේ කියන්නේ ගොඩයාට පණ යන්න හිනා..

දෙවැනි බෝතලේ සමා ගොඩයා කිව් දෙවැනි ක්‍රමයට ක්‍රියාත්මක කලා... 
නිරීක්ෂණය : බියර් බෝතලයෙන් භාගෙකට වඩා සමා ස්නානය කර ඇත.. සභාවේ සිනා... ඒත් සමාට සතුටුයි.. කලින් එකට වඩා ප්‍රමාණයක් අමාෂගතවිම ඇති නිසා.. 

ඊළඟට ගොඩයාගේ බෝතල් දෙක.. මුඩිය ගැලවූ විගස පේන බුබුළු නංවා වෑන් එකේ දොර දිගේ බියර් දොර ගලාය.. ඉතුරු මිතුරු බෝතලයෙන් කාලකට අඩුයි.. එක උගුරයි දෙකයි බියර් අහවරයි.. හතරවෙනි බෝතලේ ගොඩයා සමාටම දුන්නා කැමතිනම් ස්ප්‍රේ කරගේන නෑම පිණිස හෝ කැමතිනම් සවුදිය පුරා කිරි උතුරවාගැනීම පිණිස.

වැවේ නාලා හුලං වැදිලා රෑ වෙනකල් රස්තියාදු වීම තේරුමක් නෑ කියලා තීරණය කරපු සමා වෑන් එකට ගොඩවුනා අරි අයියළහ යන්න. ගොඩයත් ඔන්න ඔහේ ඕනෑ එකක් කියලා හිතාගෙන පසෙන්ජර් සීට් එකට ගොඩවුනා.. 

ඉතිරි දවස් කීපයෙන් දවස් දෙකක් නැවත ගොඩයාගේ නමට ආරි අයියලාගේ ගෙදර බෝතල් කැඩුනා සමාගෙන් කනක් ඇහිලා ඉන්න නැති නිසා.. අන්තිම දවසේ රෑ අරි අයියගේ හාමිනේ යස කතාවක් කිව්වා බීලා අහවර වෙලා කෑම මේසෙට වාඩි වෙද්දී...

බිව්ව් අපේ එක්කෙනයි මේ මල්ලියි උනාට සමන්ත මල්ලිටනේ වෙරි  වලා තියෙන්නේ... මද පවනේ ලෙලදෙන ආරි අයියාත් කන්නාඩි දෙක එහා මෙහා කරලා සමා දිහා ලාවට ස්කෑන් පාරක් දාන අල්ලපනල්ලේ සමාත් ගොත ගගහා මොනවදෝ කියව්වා වගේ ගොඩයාට ලාවට මතකයි. 

ඔය වගේම සමාගේ නෑ කෙනෙකුගේ ගෙදර ගිය තව ගමනක් පහත පොස්ට් එකෙත් ඇත..

https://ambalangodakatha.blogspot.com/2015/11/blog-post_24.html


x

28 comments:

  1. ඉවසන දනා රුපු යුද්දේට නැති කඩුව කොස් කොටන්නද ඇහුවලූ....

    ReplyDelete
    Replies
    1. ඕක අයිති රවියට.. බුද්ධිමය දේපල පනත යටතේ නඩු දානවා උඹට...

      Delete
    2. ඔව් ඔව් ඌට තමයි අයිතිය 👍

      Delete
  2. වෑන් එකේ දොර ලොක් එකෙන් බියර් මූඩිය අරින තවත් එකෙක් හම්බඋනා එහෙනං. හැක්..

    ReplyDelete
    Replies
    1. පපරෙස්සමෙන් කඩාගත්තෙ නැති උනොත් බෝතලේ කට කැඩෙන අවස්ථාත් නැත්තෙම නෑ...

      Delete
  3. අපරාදෙ ඕයි ඔය වගේ පාරක යනකොට එක්කො හෙල උනාට ප්‍රෙෂර් වෙන්නැති දෙයක් ගන්නෝන නැත්තං බියර් බෝතල් ටික ඩෑෂ්බෝඩ් එක උඩවත් තියාගෙන යන්නෝන.

    ReplyDelete
    Replies
    1. වෙන ජාති බීලා වෙරි වෙලා ආරි අයියට මාට්ටු වෙන්න බෑ.. ඩෑශ් එක උඩ තියන් යන්නත් බෑ ආරි අයියා ග්‍රාමසේවක වගේ නැති තැනක් නෑ... කූල් නැති බියර් ගන්න උනාම ඩෑශ් එකේ වින්ඩ්ස්ක්‍රීන් වෙන්ට් එකට තියලා පත්තර කොලේකින් වහලා ඒසී එක වින්ඩ්ස්ක්‍රීන් එකට දැම්මාම විනාඩි පහලොවෙන් වගේ සාමාන්‍ය කූල් එකක් ගන්න පුලුවනි..

      Delete
  4. අර ප්‍රෙෂර් වෙන වැඩේ නං අපටත් උනා, පදවියෙ ඉඳං පුල්මුඩේ ගියා අත් ටැක්ටරේක, බියර් ටිං වගයක් අරගෙන. ප්‍රෙෂර් කියන්නෙ එක ටින් එකක් පිපුරුවා.

    ReplyDelete
    Replies
    1. පුල්මුඩේ පට්ට පලාත... හවස් අතේ බීච් එකේ සැට් වෙන්න කාලෙකින් බැරිවුනා බං... මං හිතන්නෙ ජීවිතේ වසන්ත කාලය අවසානයි.. තනියම විස්කි බීම සෙට් වෙලා කයියක් ගහලා අඩියක් ගහන තරං ආතල් එකක් නෑ බං... තනියම බොන්න සිද්දවීමම අමු කාලකන්නිකමක්...

      Delete
    2. ඒ කතාව ඇත්ත. (වසන්තය අවසාන වීම ගැන ඇරුණාම.) ලොකේෂන් එක, සමපාත අදහස් ඇති මිතුරු පිරිස, ලාවට සිංදුවක් කීම... ඔන්න ඕව එකක බොන්න ඕනෙ.

      Delete
  5. මෙච්චර අකුරු ලොකු කරන්න උඹ හිතුවද අපිට හතළිස් ඇඳිරිය කියල.

    ReplyDelete
    Replies
    1. බොට නැති උනාට මට හතලිස් හතර ඇඳිරිය බං..

      Delete
  6. මටනම් මොනව තිබුනත් ලාගර් බියර් එක වගේ නැ ...

    ReplyDelete
    Replies
    1. කාලෙකට කලින් ලංකාවෙ තිබ්බා Three coins pilsner කියලා එකක්.. ඒකට ගහන්න බියර් එකක් මම රහ බලලා නෑ එතෙක් මෙතෙක්... බියර් ජාති සීයක් විතර බීලා තියෙනව... ඒත් Three coins pilsner තරම් එකක් අදටත් ලැබිලා නෑ...

      Delete
  7. බියර් බෝතලේ වැවේ ඔබලා තිබ්බා නම් පෙෂර් අඩු කරගන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. කව්දෑ බං දන්නෙ.. ආයෙ ඕන උනොත් දැං දන්න එක වැදගත්..

      Delete
  8. නෙතුවට කොරෝනා හැදිල ද බං ගොඩයෝ....😋😋😋

    ReplyDelete
    Replies
    1. දන්නෙ නෑ.. කව්ද, කොයිබ ඉන්නවද කියලා දන්නෙ නැති නිසා කොහොම හොයන්නද.. ඔයයිලා ගෑල්ලමයි ගැන නම් උනන්දුයි නේ යාලු... කමක් නෑ කමක් නෑ කාටහරි හරියනවානම් අපිල එකෙන්ම ලැයික්..

      Delete
    2. අප්ප තඩි අය්යට අපිවත් මතක් වෙනව එහෙනං ඇ..ඔය කිව්වට ගොඩයිය මාව දන්නව තඩි අයියේ..ඔයාට කිව්වෙ නැතෙයි..පව් අනේ😜😜

      Delete
    3. ඔව් ඔව් ඉතිං ගොඩයොනෙ..

      Delete
  9. සුරාවෙහි රසයත් ්‍
    එහි ඇති අමා ගඅණයත්
    බොන සුදනන් මිසක්
    නොබොන දුදනෝ නොදනිත්
    ( විචාරකතුමා )
    විචාරක දියණිය

    ReplyDelete
  10. 01..ඩංඩුම ඉස්පිරිතාලෙට ගිහින් බලන්න ඔිනි ගොඩයා හැදු යන්තරේ තාම තියෙනවද ? කියලා...
    02.සමාගේ නෑගේදර ⁣සෙවනගල කොහෙද ?
    03.ඒ කියන්නේ ඩංඩුමෙි බාර් ඒකේ එදාත් තිබිලා තියෙන්නේ බියර් විතරයි..අදත් එහෙමයි..
    04.අද පාරවල් වෙනුවට ඇත්තේ රනවෙි..
    05.ගොඩයා බියර් බිවිව පාර අදටත් වෙනසක් නොවි පවතිනවා වෙන්න ඔිනි..
    06.වැවි බන්ටි එක..හබරළුවද ? කිරිබිබන්ආර ද ?
    07.තාම හදලා නැත්තේ කිරිබිබන්ආර බන්ටි එක විතරයි..

    අපි ඉතින් සෙවනගල හරිය...

    ReplyDelete
    Replies
    1. 1. සෙවනගල ඉස්පිරිතාලෙ ඩෙන්ටල් එකේ යන්තර තමා හයිකරේ.. දැන් අවුරුදු විස්සකට වැඩි නිසා එව්ව මේ වෙද්දි පවතිනවා කියලා හිතන්න බෑ..

      2. සමාගෙ නෑ ගෙදර සීනි කර්මාන්තශාලාවෙ නිල නිවාසයක්.. ආරි අයියාගෙ පුතාගෙ නම අසංග වෙන්න ඕන මතක හැටියට...

      3. ඩංඩුම බාර් එකේ තාම තියෙන්නෙ බියර් විතරයි කිව්වාම හිතෙන්නෙ සෙවනගල තාම එසේමද කියලාමයි... ඔය බාර් එක ඉස්සරහා කොට්ටම්බා ගහක් තිබ්බා වාගේ මතකයි..

      4. පාරවල් රනවේ වගේ තිබ්බට ඊට සාපේක්ශව මිනිස්සුන්ගෙ ජීවන තත්වය දියුනු වෙලා නෑ කියලයි මගේ වැටහීම.. ඒව්ව ගැන හිතද්දි මට ඒ පැතිවල මිනිස්සු ගැන හරිම දුකයි බං...

      5,6,7, බියර්බිව්ව බන්ට් එක මොකක්ද කියලා මතක නෑ බං..
      පාරවල් හැදුනා කියලා වැඩක් නෑ මිනිස්සු බහුතරයකට ඒ පාරවල්වල යන්න වාහනයක් ගන්න වත්කමක් නැතුව.. පලමුව හැදෙන්න ඕන මිනිස්සුන්ගේ ආර්ථික මට්ටම මිසක් පාරවල් නෙවෙයි කියලයි මගේ අදහස.. ඒ නිසා ඔව්ව හදලා ඔව්වයිනුත් කොමිස් ගහලා මුදලාලිලා පෝසත් වෙනවා සහ ණයට දෙන චීන්නු ගොඩ යනවා විතරයි..

      තරිඳු සෙවනගල කියලා මම දැනගෙන හිටියේ නෑ... ඔය පැත්තෙ රවුමක් ගහන්න එන්න ඕන ලංකාවට ආවාම... මං ඔය පලාතට පට්ට ලැයික්... හවස ඉර බහිද්දි ඔය පලාත්වල දැනෙන නිස්කලංකභාවය අපේ පැතිවල නෑ...

      Delete




  11. සිරා කතා අයියේ..සෙවනගල අපි තාමත් උක් ගස සමග සෙල්ලමි තමයි..අපේ මිනිස්සු තාමත් එහෙමමයි...

    එහෙම එනවා නමි කියනු මැන..madusankatharindu758@gmail.com

    ReplyDelete
    Replies
    1. කෝවිඩ් 19 ඉවර වෙද්දි මං ඉතුරුවෙලා හිටියොත් ලංකාවට ආවාම එන්නම් තඩියාවත් දාගෙනම. "අපේ මිනිස්සු තාමත් එහෙමමයි" කියන කෑල්ලට හරියට දුක හිතුනා බං.. මොනවා කරන්නද බං.. ඒ මිනිස්සුම නැවත නැවතත් මේ හොර තක්කඩි ටිකටම මාරුවෙන් මාරුවට කතිරෙ ගහනවනේ බං.. අර ජනතාවට දිශාව පෙන්නන කට්ටිය කියලත් වෙනසක් නෑ.. උනුත් මාරුවෙන් මාරුවට දෙපැත්තට මුක්කුව ගහගෙන බඩවියත සරිකරගන්නව... රටකට පැන්නොත් සල්ලි හම්බුකරගෙන ඉන්න පුලුවනි ඒත් ජීවිතයක් නෑ.. ලංකාවෙ හිටියොත් ජීවත් වෙනවා කියලා දැනෙනවා ඒත් කන්නම හම්බුකරනවා ඇරෙන්න දියුනුවක් නෑ... අඬන්නද හිනාවෙන්නද මන්දා බං.. සංසාරෙන් එතෙරවෙන්න මග හොයාගන්නවා ඇරෙන්න ඔව්ව්ට විසඳුම් නෑ.. ගැලවීමට එකම මග සසරෙන් එතෙර වෙන්න වීර්‍ය කරන එක විතරයි... ජයවේවා...

      Delete