Tuesday, December 26, 2017

පශ්චාත් සුනාමි මතක..





[මේ ලියවෙන පෝස්ටුව අම්බලන්ගොඩගේ සාමාන්‍ය ස්භාවයේ පොස්ටුවක් නොවන වග පාඨක සැමට පළමුව අවධාරණය කරනවාය. ]


ලංකාවට සුනාමි ඇවිත් අදට වසර දහතුනක් කියල මතක් උනේ බුකියේ සුනාමිය ඇවිත් වසර දහතුනක් කියල පොස්ට් එකක් දැක්කයි පස්සෙ. සුනාමි දවස ජීවිතේ අමතක නොවෙන දවසක් වෙන්නේ මේ ලියන මමත් සුනාමිය ඇස්දෙකෙන් සජීවීව දැක්ක නිසා වගේම සුනාමිය එක්ක දන්නා කියන මිත්‍රයින් දෙදෙනෙකුගේ පවුලේ සාමාජිකයින් මියයාම නිසා. සුනාමියෙන් පොඩි අයිය බැඳපු අක්කගේ මෑණියනුත් මියගියා උනත් අපි කාටවත් ඒ මරණය වෙනුවෙන් සහභාගී වෙන්න ලැබුනේ නැහැ. ඒකට හේතුව යන්න එන්න ක්‍රමයක් නොමැති වීම කියලා හිත හදාගත්තට සත්‍ය වශයෙන්ම සිද්දවුනේ ගමේ මිත්‍රයින් දෙදෙනෙකුගේ පවුලේ සාමාජිකයින් මිය යාම. සුනාමි වෙනුවෙන් මියගිය අයවලුන්ගේ මළගෙවල් වලට ඥාතීන්ට සහභාගී වෙන්න ලැබුනේ නැතිවුනාට ජාතියක් ආගමක් නැතුව මිනිස්සු තම තමුන්ගේ අහල පහල උදවියගේ දුකේදී කර ඇරියේ නෑ. හැම හැමෝම තමුන්ට ආසන්නයේම පිහිටාධාර අවශ්‍ය වෙච්ච මිනිස්සුන්ට කොන්දේසි විරහිතව පිහිටවුනා.

සුනාමියට එහා ගිය බඩගින්න පෝස්ටුවේ ලියවෙච්ච විදිහට මං උන්නේ ගෙදර එන ගමන්. ඒ අපේ  බඩ තඩියාගේ ගෙදර සුන්බුන් අස්කරලා දීල උන්දැගේ බිරින්දෑගේ රත්තරන් බඩු ටිකත් සොයා දුන්නයින් පස්සෙයි. සිදුවෙච්ච ව්‍යසනයේ තරමට වාහනයකින් මහ මුහුද දිහාවට යන එක අවදානම් නිසා බඩ තඩියාගේ ගෙදර සුද්ද කරන්න මං ගියේ ෆුට් බයිසිකලේකින්. ඒ හදිසි අවස්ථාවකදී අතරමග හිර නොවී  ජීවිතේ බේරගන්න පහසු නිසා. බයිසිකලේ හෙමි හෙමීට කුලරත්න පාර දිගේ පහල බහිද්දී සිරාගේ ගේට්ටුව ගාව කොල්ලො පිරිලා ඉන්නවා දක්කම මට අමුත්තක් වගේ නොදැනුනා නෙවෙයි. ඒත් ඔය ගෙදරයි ඔය ගේටුව ලඟයි කොල්ලෙක් දෙන්නෙක් නැතිවෙන දවසක් නැති නිසා වැඩි හසිසියක් නැතුව ගිහින් බයිසිකලේ නැවැත්තුව. 

අපේ ප්‍රසන්නය ගේට්ටුව ගාව බිම වාඩිවෙලා ඔලුව බදාගෙන ඉන්නව. අනික් උනුත් ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා. දර්ශනය ප්‍රශ්නාර්ථ සහිත හින්ද මං සිරාගෙන් ඇහුව " මොකෝ බං " කියල..

ප්‍රසන්නගේ අම්ම නැතිවෙලා..

සිද්දිය වචනයෙන් විස්තර කරනවානම් මෙන්න මෙහෙමයි. ප්‍රසන්නලා කතරගම යන්න ගිහිං. උණවටුනේ මිල්ටන් හෝටලේ ගාවදි තමයි වාහන තදබදය ඇතිවෙලා තියෙන්නේ. වාහන ඉදිරියට ඇදෙන්නේ නැතුව හිර වෙද්දී හැමෝම හිතල තියෙන්නේ ඇක්සිඩන්ට් එකක් වෙන්න ඇති කියලයි. ඒ එක්කම තමා මිල්ටන් හෝටලේ දෙපැත්තෙන් වතුර එන්න පටන් අරං තියෙන්නේ. ප්‍රසන්නගේ මාමා ඉස්සරහ තිබ්බ වාහනේට හොර්න් කරාට ඒ වාහනේ රියදුරාට එතන තිබ්බ අතුරු පාරට හරවලා ගොඩබිම දිහාට යන්න නුවණක් පහල වෙලා නෑ. ඒ එක්කම ආපු ලොකු රල පාරකින් වාහනේ ළඟ තිබ්බ හිස් ඉඩමකට පාවෙලා යද්දී වාහනේ ඉඳපු හැමෝම වගේ එලියට පැනගෙන තිබ්බ. වෑන් එකේ වහල මට්ටම වඩා වතුර ආවත් ප්‍රසන්නලාගේ පවුලේ හැමෝටම වගේ පීනන්න පුළුවන් නිසා හැම හැමෝම පුළුවන් විදිහට පීනාගෙන ගිහින් අහල පහල ගස්වල එල්ලුනාලු. ඒ අතරේ රල පාහරේ වේගයට මුහුද දිහාට ඇදීගෙන යන ප්‍රසන්නගේ අක්කව දැකපු අපේ ප්‍රසන්න පීනගෙන ගිහින් අක්කව කොහොම හරි ආයෙත් පොල් ගහක එල්ලලා බලල තියෙනව කතරගම යන්න ආපු හැමදෙනාම කරදරයක් නැහැ නේද කියල. ඒ අතරේ තමයි අපේ ප්‍රසන්නට තේරිලා තියෙන්නේ අම්මයි ආච්චියි එලි පහලියේ නැහැ කියන එක. ක්ෂණිකයෙන් දිය යට කිමිදුනු ප්‍රසන්න දැකල තියෙන්නේ වෑන් එකේ පිටිපස්සේ සීට් එකේ හිරවෙලා ඉන්න අම්මයි ආච්චියි. වෘත්තියෙන් ජීවිතාරක්ෂකයෙක් වෙන ප්‍රසන්න පුළුවන් හැකි වීරිය යොදලා අම්මවයි ආච්චිවයි ගොඩට අරං එද්දී සුනාමි රළ ටිකෙන් ටික අඩුවෙලා ගිහින්. ඒත් ඒ වෙද්දීත් අම්මයි ආච්ච්යි දෙන්නම හුස්ම ගන්නේ නැහැලු.

ප්‍රසන්න දන්න කියන හැම ජීවිතාරක්ෂක උපක්‍රමයම දාල අම්මටයි ආච්චිටයි හුස්ම දුන්නාම දෙන්නටම සිහිය ඇවිත්. ඒත් ඒ අතරේ ප්‍රසන්නගේ මාමා වතුර පාරට අහුවෙලා ගහගෙන යද්දී කකුල කොහේදෝ කැපෙන මුවහත තැනක වැදිලා දණහිස ගාවින් ඇතුල පේන්නම කැපිලා ලේ වැගිරෙනවලු. සිහිය ආපු ප්‍රසන්නගේ අම්ම ඉස්සෙල්ලම දැකල තියෙන්නේ තමුන්ගේ මල්ලිගේ කැපිච්ච කකුල. ඒ 
කම්පනයටද  මන්ද ආයේ ප්‍රසන්නගේ අම්මට ආයෙත් සිහිය නැති වෙලා. තත්වය හොඳ නැති නිසා ප්‍රසන්නගේ තාත්තයි ප්‍රසන්නයි අම්මව උස්සගෙන ගාලුපාර දිගේ අම්මව ගාලු පැත්තට අරං එද්දී කොහේදෝ යන මනුස්සකමක් තිබ්බ ත්‍රිරෝද රථ රියදුරෙක් නවත්තලා ලෙඩාව ත්‍රිරෝධ රථයට දාගෙන තියනවා. ඒත් ඒකත් කරාපිටිය ඉස්පිරිතාලේ කිට්ටු වෙද්දී පෙට්‍රල් නැතුව නැවතිලා. යන එන වාහන ඔක්කොම ලෙඩ්ඩු පුරවාගෙන යාමත් , උදව්වකට පිහිටකට කව්රුවත්ම නොමැති වීමත් නිසා  මේ ත්‍රිරෝධ රථ රියදුරා අහල පහල ගෙදරක තිබ්බ මෝටර් සයිකලෙක පැට්‍රෝල් බටේ කපලා පෙට්‍රෝල් අරං දාගෙන ආයෙත් කරාපිටියට ලෙඩාව අරං ඇවිත් තියනව. ඒත් අවාසනාවට කරාපිටියට එද්දී ප්‍රසන්නගේ අම්ම නැති වෙලාලු. 

කරන්න කියන්න කිසිම දෙයක් නැති නිසා තාත්තව එතන ඉන්දලාප්‍රසන්න ආයෙත් උණවටුනට ගිහින් කාගේදෝ වාහනේකට ගෙදර අයත් දාගෙන අම්බලන්ගොඩ ඇවිත් තියෙනව. වෑන් එක සුනාමි අහුවුනාට වතුර පාර එද්දිම මාමා එන්ජිම නැවැත්තුවත් වතුර බැහැලා ගියායින් පස්සේ වෑන් එක ස්ටාර්ට් වෙලා නෑ. ඒ වගේම වාහනේ මුහුදු රළත් එක්කම පාවෙලා ගිහින් තාප්පෙකට හිරවුණු නිසා වාහනේ  ස්ටාර්ට් උනත් පාරට ගන්න විදිහක් තිබිල නෑ. ඒත් සුනාමි වතුර බැහැල ගිහින් පැය භාගයක් යද්දී ප්‍රසන්නගේ අම්මා ලෝකයෙන් සමු අරං ඉවරයි.

ඊළඟට මං ප්‍රසන්නගෙන් ඇහුවේ දැන් මොකද අපි කරන්නේ කියලයි. වතුරට අහුවුනත් ඒ වෙද්දී ආච්චිට වැඩි අමාරුවක් තිබ්බේ නැති නිසා ආච්චිත් ප්‍රසන්නලා එක්කම ගෙදර එක්ක ඇවිත් තිබුන. ප්‍රසන්න කිව්වේ ඥාති අයිය කෙනෙක්  එක්ක එයාගේ ලොරියෙන් කරාපිටි යන බව. යන්න එන්න වෙන වාහනයක් කාටවත් තිබ්බේ නැහැ. තිබ්බත් ඒ වෙද්දීත් ෂෙඩ්වල පෙට්‍රෝල් තිබුනේ නැහැ. මම ප්‍රසන්නට එතනම ඉන්න කියල බයිසිකලේ ගෙදර පැද්දේ කාර් එක අරං එන්න කියල හිතාගෙන. ඒ වෙද්දී සෙලියුලර් ෆෝන් වැඩ කරන එකත්  නැවතිලා තිබුනේ. 

මං ගෙදර ගිහින් කාර් එක අරං ආයෙත් සිරාගේ ගෙදරට ඉගිලුනා. ඊළඟට කරේ ප්‍රසන්නයි, හෙමිකයි, සිරාවයි, කාවින්දවයි දාගෙන ෂෙඩ් එකට ගිහිපු එක. ප්‍රසන්නගේ නැන්දගේ පුතා වැඩකරේ ෂෙඩ් එකේ. ඒ නිසා පෙට්‍රල් ටිකක් ගන්න විදිහක් තියෙනවද බලන්නයි අපි ගියේ. ඒත් ෂෙඩ් එකේ මිනිස්සු පිරීල හිටියත් පෙට්‍රෝල් ඩීසල් ඒ වෙද්දීත් ඉවර වෙලා. මං ඊළඟට කාර් එක හැරෙව්වේ ස්ටේෂන් එක එහාපැත්තෙ තියන ලාම්පුතෙල් ෂෙඩ් එකට. ෂෙඩ් එකේ මනුස්සය හිතුවේ ගැලුමකට ලාම්පුතෙල් ගන්න ඈවිත් කියල. මම කාර් එක ලාම්පුතෙල් පොම්පේ ගාවට ලං කරලා ෆුල් ටෑන්ක් ගහන්න කිව්වම ඒ මනුස්සය ඇස්දෙක නළලේ තියාගත්ත කියමුකෝ. ඒත් මගේ බලකිරීම මත ෂෙඩ් එකේ මනුස්සයාට සිද්දවුනා මගේ කාර් එකට ලාම්පුතෙල් ෆුල් ටෑන්ක් ගහන්න. ඒ අතරේ මගේ ඉල්ලේම මත ප්‍රසන්න කාර් එකේ තිබ්බ හිස් මෙගා බෝතලේකුත් අරං ෂෙඩ් එකට දිව්වා පෙට්‍රල් බෝතලයක් අරං එන්න කොහොම හරි. මොකද භූමිතෙල් ගැහුවට මම දන්නවා උදේට ස්ටාර්ට් කරන්න පෙට්‍රල් ටිකක් ඕන කරනවා කියල. තිබ්බ තත්වේ අනුව පෙට්‍රල් සතියකටවත් ඒවි කියන විශ්වාසයක් තිබ්බේ නෑ.

ඒ වෙද්දී ටිකක් රෑ වෙලා. ප්‍රසන්න ඥාතියෙක් එක්ක ලොරියකින් කරාපිටි ගියා. මිනිය ගෙන්න ලොකු පිරිසක් උවමනා නැති වීමත් පිටුපස වහලය නැති ලොරියක ඉදිරිපස ගමන් කරන්නට පුළුවන් රියදුරුට සහ අමතර දෙදෙනෙකුට පමණක් නිසාත් අපි කව්රුවත් කරාපිටි ගියේ නෑ. ඒ වෙනුවෙන් අපි හැමෝම ගෙවල් වලට වෙලා බලන් උන්නා පණිවුඩයක් ලැබෙනකම්. ඒ අතරේ තමා සිරා කාවින්ද එක්ක ෆුට් බයිසිකලයක් පැදගෙන අපේ ගෙදර ආවේ. 

ප්‍රසන්න කෝල් කරා.. ලොරියේ රෝදෙක හුලන් ගිහිල්ලලු.. පැච් දාන්න තැනක් නැති නිසා හර්ස් එකක් අරගෙන කරාපිටි එන්න කිව්වා ඉක්මනට.

ඒ පණිවිඩේ මටම කෙලින්ම එන්න හේතුව තමා එක්තරා මල්ශාලාවක් සමග මගේ පියාගේ පවුලේ තිබ්බ සම්භන්ධය. පණිවුඩේ එද්දී රෑ දහය වගේ වෙලා. මම හැකි ඉක්මනින් සිරාවයි කාවින්දවයි දාගෙන මල්ශාලාවට ගියා කියමුකෝ . ඒ යද්දී එතන සෙනග පිරීල මිනි පෙට්ටි වලට පොරේ. මම කාර් එක පැත්තකින් නවත්තල මල්ශාලාවේ අයිතිකාර තුමිය හමුවෙන්න ගියා ඇතුලට. ඒ වෙද්දීත් එතුමිය වටකරගෙන මිනිස්සු සීයක් විතර සේවාව ඉල්ලනවා. එතුමිය මාව දැක්ක ගමන් මා දිහාවට අවධානය යොමුකලා මාව පුද්ගලිකව දන්නා කෙනෙක් නිසා..


මොකෝ මල්ලි..

අක්කේ මගේ යාලුවෙකුගේ අම්මත් නැතිවුනා.. මරණේ කරාපිටියේ.. මට හර්ස් එක ඕන බෑ නොකිය..

හර්ස් දෙකම යවල තියෙන්නේ මල්ලි වැඩ වලට.. මිනිස්සු මේ මාව කන්න හදනවා හර්ස් එකයි පෙට්ටියි ඉල්ලලා..

අක්කේ මේ වැඩේ මට කෙරෙන්නම ඕන..

එහෙනම් සුද්දයියා කරන්දෙනියට ගියා මරණයක් අරං.. දැන් මග එනවා ඇති .. මගට ගිහින් අරං යන්න..

මට ඒ ආරංචිය හොඳටෝම හිත සනහන ආරංචියක්. මං හැකි ඉක්මනින් සිරාවයි කාවින්දවයි දාගෙන කරන්දෙණිය පැත්තට ඉගිල්ලුනා.. කරන්දෙණිය ලංවෙද්දි ඉස්සරහට එන හර්ස් එක විදුලි වේගෙන් අපිව පහුකරන් යනවා දැක්ක ගමන්  මමත් බ්‍රේක් එක උඩ නැගල වාහනේ නවත්තගෙන ආපහු හරවාගෙන හර්ස් එක පස්සෙන් එලවන්න පටන් ගත්ත. ටැංකියේ තියෙන්නේ භූමිතෙල් නිසා කාර් එක එහෙම පිකප් වෙන්නේ නැහැ. සාමාන්‍ය වේගයක් ගන්න නම් දෙවැනි ගියර් එකේ හතලිහ පනිනකම්වත් පාගාගෙන ඉන්න ඕන. පාරේ බල්ලෙක්වත් නැති නිසාත් හර්ස් එක එලවන සුද්දයියා පරණ බස් රියදුරෙක් නිසාත්, මල්ශාලාවේ මිනිස්සු පිරී ඉතිරෙන නිසාත් ද කොහේ හර්ස් එක පැයට කිලෝමීටර සීය ලංවෙන්න ඉගිල්ලෙනවා. මමත් හොර්න් එක ගහගෙන ඒ පස්සෙන් එලවනවා. ඒත් සුද්දයියා ඒ වෙලාවේ හර්ස් එකකට තියන ඉල්ලුම දන්නා නිසාද කොහේ දන්නා ශිල්ප ක්‍රම ඔක්කොම දාගෙන හර්ස් එක ගුවන්ගත කරනවා. කොහොමෙන් කොහොමහරි සුද්දයියා වතුගෙදර වංගුව ගන්න වේගය අඩු කරද්දී භූමිතෙල් වලින් පත්තු වෙන මගේ කාර් එකේ එන්ජිමේ වේගය අඩු කරොත් ආයේ මල්ශාල්වට යනකල්ම හර්ස් එක අල්ලගන්න වෙන්නේ නැති බව මම සක් සුදක් සේ දන්නවා. ඒ වගේම හර්ස් එක මල් ශාලාවට ගියොත් හර්ස් එක ලබාගැනීමේ අවස්ථාවත් අහිමි වෙන එක අනිවාර්යයි. ඒ නිසා වංගුවෙන් එලියට විසික් වෙන්න හරි කියල මම ලාම්පුතෙල් පවර් කාර් එක හර්ස් එකට ඉස්සර කරලා පාර හරස් කරලා නවත්තුවාම තමයි ඔන්න සුද්දයියා හර්ස් එක නවත්තන්නේ..

මොකෝ ඕයි මැරෙන්න හදනවද..

සුද්දයියේ මේ මං...

මොකෝ මේ..

මගේ යාලුවෙක්ගේ අම්මත් නැතිවුනා.. මරණේ කරාපිටියේ.. මම අක්ක එක්ක කතා කරා.. අක්ක කිව්වා මගට ගිහින් හර්ස් එක අරං කරාපිටි යන්න කියල.. ඩීසල් තියෙනවද..


ඩීසල් තියෙනව.. හරි එහෙනම් යමු..

සිරා කාවින්ද එක්ක ගිහින් හර්ස් එකේ නැග්ග.. මට ප්‍රසන්නගෙන් උපදෙස් ලැබිල තිබුනේ අත්‍යවශ්‍ය වැඩක් තිබුනොත් කරගන්න අම්බලන්ගොඩ ඉන්න කියන එක. ඒ නිසා සිරා කාවින්ද එක්ක කරාපිටි ගියා හර්ස් එකේ නැගල.. මම එහෙමම ගෙදර ආව කාර් එක අරං.

භූමිතෙල් වලින් දිවිල්ලේ සාර්ථකත්වය තියෙන්නේ එන්ජිමේ උෂ්ණත්වය ඉහල අගයක් ගන්නාතාක් පමණයි කියමුකෝ. අමතක වීමකින් හරි එංජිම නවත්වලා තියල  
එන්ජිම සීතල උනාත් වාහනේ ස්ටාර්ට් වෙන්නේ නෑ ආයේ මලාට. ඒ නිසා වාහනේ පැය දෙකතුනක් නවත්වලා තියෙනවනම් කාබියුරේටර් එකට පෙට්‍රල් ටිකක් දාල තියන එක සෑහෙන්න වැදගත්. එහෙම නොකරොත් ආයේ වාහනේ ස්ටාර්ට් කරන්න වෙන්නේ සෑහෙන්න වැඩ තොගයක් කරලයි. ඒ නිසා මම ටැංකියෙන් එන පෙට්‍රල් ලයින් එක ගලවලා කාර්බ් එකේ තියන භූමිතෙල් ඔක්කොම අයින් කරලා පෙට්‍රල් ටිකක් කාර්බ් එකට ෆීඩ් කරලා නැවත භූමිතෙල් බට එහෙමත් හයිකලා. ඊළඟට තිබ්බේ කරාපිටි ගිය අය එනකල් නා කියාගෙන නින්දක් දාන්න. මං නාගෙන කාමරේට එනකොටම පාරේ වාහනයක් නවත්තලා යන සද්දයක් ඇහිලා පොඩ්ඩක් ජනේලෙන් බැලුවාම මෙන්න මුන් ඒ ටිකට මිනිය අරගෙන ඇවිල්ලත් ඉවරයි. සුද්දයියා ප්‍රසන්නත් එක්ක එහෙමම මල්ශාලවට ගියා. සිරා කාවින්ද එක්ක අපේ ගෙදර බැස්ස. මමත් ආයෙත් කාර් එක ස්ටාර්ට් කරගෙන සිරාවයි කාවින්දවයි දාගෙන මල්ශාවට ඉගිලුනා. 

කලින් මල්ශාලාවට ඇවිත් ගියාට පිටිපස්සේ කෑල්ලට මං ගියේ නෑ. මොකද මට ඒ වෙද්දී ඕනවුනේ හර්ස් එක විතරක් නිසා. මරණේ ගෙනාපු නිසා අපි ගියා මල් ශාලාවේ පිටිපස්සට. මල්ශාලාවේ වත්ත පුරාම බිම ඉටිකොළ එලලා හැම තැනම මල මිනී. පයක් ගහන්න ඉඩක් නෑ. තරුණ , බාල , මහලු, වගේම පුංචි දරුවනුත් එක හා සමානව මියගිහින් එතන වැතිරිලා හිටිය. ඒ වගේම එකට මියැදිච්ච අම්ම කෙනෙකුයි දරු පැටියෙකුයිත් එතන උන්න. සාමාන්‍ය මරණයකදී ඥාතීන් මල්ශාලව අසල හඬමින් වැලපෙමින් උන්නත් මල් ශාලාවේ හිටපු කව්රුවත් එක කඳුලක් හෙළුවේ නෑ. තමුන්ගේ ඥාතියා අහිමි වෙච්ච දුකට එහා ගිය කම්පනයක් එතන ගිටපු හැම කෙනාගෙම මුහුණුවල සන්ටහන් වෙලා තිබුන.

එම්බාර්ම් කරන මිනිස්සු දෙන්නෙක්  මිනී එකින් එක එම්බාර්ම් කරනව. ඥාති හිතමිත්‍රාදීන් ඉඩ තියෙන තැන් වලින් හිටගෙන හෝ වාඩි වෙලා බලන් ඉන්නවා තමුන්ගේ ඥාතියාගේ වාරය පැමිනෙනකම්.  අපිත් ප්‍රසන්නයා ලඟට වෙලා ඔහේ ඉන්නව. ඒ රාත්‍රිය ඒ විදිහටම එලිවුනා. මල්ශාලාවේ සේවකයින් පුළුවන් උපරිම වේගයෙන් එයාලගේ රාජකාරිය කරගෙන යනවා. අපිත් රටට වෙච්ච ව්‍යසනය ගැන කතා කරමින් ඔහේ ඉන්නව. ඒ අතරේ කාර් එකත් පැයකට වතාවක් ස්ටාර්ට් කරලා තියනව එන්ජිම සීතල නොවෙන්න ඕන නිසා.

  අපේ තවත් ළඟම යාලුවෙකුගේ නංගිගේ මිනියත් මල්ශාලාවේ බිම ඉටිකොලයක් උඩ ඔහේ දාල තිබ්බ. ඒ වෙද්දී ඒ යාළුවගේ අම්ම සුනාමියෙන් අතුරුදහන් වෙලා උනාට මරණයක් ඒ වෙද්දීත් හමුවෙලා තිබ්බේ නෑ. ඒ යාළුවගේ නම මේ පෝස්ටුවේ සඳහන් කරන්න මම අවසර ගත්තේ නැති නිසා මං ඒ සිද්දිය මේකේ ලියන්නේ නැහැ. ඒත් ප්‍රසන්නලා කරාපිටි ගිහින් මම ගෙදර ආපු වෙලාවේ ඒ යාලුවත් අපේ ගෙදරට ඇවිත් ගියා. ඒ යද්දිත් මම ෆුට් සයිකලෙන් ගිහින් ඒ යාළුවව එයාලගේ නැන්දලාගේ ගෙදරට බැස්සුවේ කාර් එකෙන් ඒ පැත්තට යාම අනතුරුදායක නිසා. මොකද එයාල හිටියේ මුහුද කිට්ටුව. ඒ වගේම දෙසැම්බර් විසි හත දවසත් හවස් උනා මල මිනී අතරේම. අපිත් මල මිනී උඩින් පැන පැන ගිහින් මල්ශාලාවේ සේවකයින්ට සපෝර්ට් එක දුන්න වැඩ ඉක්මන් කරගත්තාම ප්‍රසන්නගේ අම්මගේ මරනෙත් ඉක්මනට ගෙදර ගෙනියන්න ඉක්මන් වෙන නිසා. 

ඒ අතරේ ආයෙත් ප්‍රසන්නගේ ගෙදරින් ඇමතුමක් ලැබුනා කාගේදෝ දුරකතනයකට. පණිවුඩයෙන් කියවුනේ සුනාමිය අහුවෙලත් ජීවිතේ බේරුන ප්‍රසන්නගේ ආච්චිට ටිකක් අමාරු කතාවක්. ආයෙත් අපි හැමෝම වාහනේට නැගල ප්‍රසන්නලාගේ මාමලාගේ ගෙදරට ඉගිල්ලුනා. ඒ වෙද්දී ආච්චිට ටිකක් විතර අමාරුයි. අපි ඉක්මනින් ආච්චිව කාර් එකේ දාගෙන පොල්වත්තේ ඉස්පිරිතාලෙට අරං ආව. ඒ වෙද්දී ප්‍රසන්නගේ මාමාත් කකුල කැපිච්ච නිසා නැවතිලා හිටියේ පොල්වත්තේ ඉස්පිරිතාලේ. දොස්තරවරු ප්‍රසන්නගේ ආච්චිට දෙන්න ඕන හැම ප්‍රතිකාරයම කලත් එදා රෑ වෙද්දී ප්‍රසන්නගේ ආච්චිත් අපිව දාල ගියා. අපි ආයෙත් මල්ශාලවට ගිහින් හර්ස් එක අරං ඇවිත් ආච්චිගේ මරනෙත් මල්ශාලවට අරං ගියා. එදා දවසත් රෑ උනා. විසි අටවෙනිදත් උදාවුනා. මතක විදිහට විසි අටවෙනිදා වෙද්දී තමයි ප්‍රසන්නගේ අම්මගේ මෘත ශරීරය එම්බාම් කරන්න ගත්තේ. ඒත් ඒ වෙද්දී ප්‍රසන්නගේ අම්මගේ මරණේ එම්බාම් කරන්න පුළුවන් තත්වෙක නෑ. ප්‍රසන්නගේ බලවත් ඉල්ලීම එක්ක මහේෂ් කැමරාව අරං අම්මගේ මරණේ පිංතූරයක් ගන්න හදනකොටම හේමික පැනලා ෆොටෝ ගහන එක  නැවැත්තුව. එදා හේමික මැදට පැනල මෘත ශරීරය ෆොටෝ ගහන්න නොදුන්නේ ප්‍රසන්නලාගේ හිත්වල ඇඳිචච අම්මගේ චිත්‍රය , මතකය එහෙමම තියෙන්න දෙන්න ඕන නිසා. ඒ පින්තූරේ ගත්තනම් ඒ චිත්‍ර සේරෝම වෙනස් වෙන්න තිබුන. මියගිහින් දවස් දෙකකට පස්සේ ප්‍රසන්නලාගේ අම්ම අඳුරගන්න පුළුවන් තත්වෙක හිටියේ නෑ. 

මරණ දෙකම අවසන් කටයුතු කලේ බූස්සේ අරං ගිහින් එයාලගේ පවුලේ සුසාන භූමියක. ඒ වෙද්දී 29 වෙනිදා වෙලා මට මතක විදිහට. දවස් තුනක් මළමිනී අතරේ ඉඳල දැනිච්ච සාමාන්‍ය ස්භාවය කොයිතරම්ද කියනවනම් විසි නවවෙනිදා වෙද්දී අපි හැමෝටම මල මිනියක් ගාවින් දිගාවෙලා නින්දක් දැම්මත් ඒක නිකං පවුලේ කෙනෙක් ලඟින් නිදියනවා වගේ දැනීමක්. ඒ තරම් මල මිනී සාමාන්‍ය දෙයක් වුනා අපි හැමෝටම. පුංචි කාලේ ඉඳන් එකට උන් යාළුවො හැමෝම එකා වගේ මෘත ශරීර භූමධානය කරනකල්ම ප්‍රසන්න එක්ක හිටිය. සාමාන්‍ය මළගෙදරක වගේ මාරි බිස්කට්, ප්ලේන්ටි සිගරට් තිබ්බේ නෑ. අවමංගල්‍ය උත්සවයෙන් හතරෙන් තුනකම කාලය ගතවුනේ මල් ශාලාවේ මල මිනී එක්ක. මල් ශාලාවේ අපි එක්ක එකට හිටපු මල මිනී බොහොමයක් තම තමුගේ නිවෙස් වලට ගියේ පොලිතින් උරයක සීල් වෙලා. අපිත් පුළුවන් හැම විදිහකින්ම සහයෝගය දුන්න ඔවුන්ට සාමදානයේ සැතපෙන්න අවසන් ගමන් යන්න. අඳුරගන්න බැරිවෙන්න ඉදිමිච්ච මල මිනී පොලිතින් උර වලට බස්සද්දී අපිත් එකතු වෙලා සහයෝගය දුන්නා ඔවුන්ව පොලිතින් උර වලට රින්ගවන්න. ඔවුන් වෙනුවෙන් අපිට කරන්න තිබ්බේ එච්චරයි.


ඔය සේරෝම වෙන අතරේ විසි අටවෙනිදා අපි ගියා අර කරාපිටියේ හුලන් ගිය ලොරිය ගේන්න. ඒ වෙද්දී පැච් එකක් දාන්න තැනක් තිබ්බේ නෑ. වෙන දෙයක් වෙද්දෙන් කියල හිතාගෙන බයිසිකල් පොම්පෙකුත් අරං මමයි හේමිකයි තවත් දෙන්නෙකුයි ගියේ හුලන් ගගහ හරි ලොරිය ගමට ගේන්න. ඒ ගිහින් පැයක් විතර බයිසිකල් පොම්පෙන් හුලන් ගහලා නිසාන් ඇට්ලස් ලොරි රාජයා අපි ගමට අරං ආවා කියමුකෝ. කාර් එක ලාම්පුතෙල් වලින් දුවද්දී කඳු එහෙම යන්න අමාරු නිසා අපි විසි නවවෙනිදා වෙනකම්  එහෙ මෙහේ ගියේ ඔය කියන ලොරියෙන්. අම්බලන්ගොඩ වටේ සෑහෙන්න දුවලත් එදා කරාපිටිය ඉසිපිරිතාලේ ඉස්සරහදි හුලන් බැහැල තිබ්බ ලොරියේ රෝදේ ආයේ හුලන් බැස්සේ නම් නෑ විසිනව වෙනිදා වෙද්දීත්. කරාපිටියෙන් අරං ඇවිත් දවස් දෙකක් යනකම් ලොරිය තිබ්බේ මා ගාව නිසා මම අනිවාර්යෙන්ම දන්නවා අපි කව්රුවත් රෝදෙක පැච් එකක් දැම්මේ නැහැ කියන එක. ඒත් මොකක්දෝ හේතුවකට ආයෙත් ඒ රෝදේ හුලන් බින්දුවක්වත් අඩුවුනේ නෑ. එදත් අදත්  ඔය හුලන් ගිය රෝදේ ගැන තර්කානුකුලව හිතුවාම ඇතිවෙන කලකිරීම නම් අපමණයි මිනිස්සු ගැන.

මරණේ වැඩ කටයුතු කරලා අහවර වෙලා ඊළඟට අපි උණවටුනේ ගියේ වෑන් එක ගේන්න. වෑන් එකත් කෙලින් කරලා පාරට අරං ලොරියේ ගැටගහගෙන ගමට ඇදන් එන්නත් පැය හය හතක් ගතවුනා. ගාලුපාර ඒ වෙද්දීත් ක්ලියර් කරලා තිබ්බේ නැති නිසා එන්න උනේ කරාපිටිය පැත්තෙන් බද්දේගමට ඇවිත්. ඒ පාරවල් සෑහෙන්න පටු නිසාත්, වාහන තදබදය සහ , සුනාමි අහුවෙච්ච වාහන ඇදගෙන යන නිසාත් ගමන සිද්දවුනේ බොහොම හෙමින්.

ඔය සුනාමි අනතුර අතරේ මිනිස්සු ජාති ජන්ම, දේශපාලන භේද නැතුව හැම හැමෝටම උදව් කළා. කව්රුවත් උදව්වක් ඕන මනුස්සයෙකුට උදව් කරද්දී ජාති ජන්ම, ගම රට හෙව්වේ නෑ. ඒත් බොරදියේ මාළු බාපු එවුනුත් නොහිටියේමත් නෑ. 2004 දෙසැම්බර් විසි අට වෙනිදා කරාපිටිය රෝහල අවට ගෝල්ඩ් ලිෆ් සිගරට් විකිනුනේ එකක් රුපියල් තිහට. පැට්‍රෝල් වැඩි මිලට විකුනපු අයත් ඕනෑතරම් හිටිය ගමේ ගොඩේ.. ඒ වගේම අසරණ වෙච්ච මිනිස්සුන්ට උදව්වක් කරන්න හිතේ තෙතමනයක් නැති මිනිස්සුත් හිටිය. පොල්වත්ත පන්සලේ හිටපු සුනාමි අවතැන් වෙච්ච මිනිස්සුන්ට කෑම දෙන්න සල්ලි එකතු කරද්දී හතර පෝයට සිල්ගන්න උපාසක අම්මා  කෙනෙක් කිව්වා "ඔන්න ඔය දෙන දෙයක් ගිහිල්ල උයාගෙන කන්න කියලා දීපල්ලා" කියලත්. ඒ වගේම තමුන් එක්ක හික්කඩුවේ පොලේ යන්න ගිය තමුන්ගේම ආදරණීය බිරිඳ සුනාමි රලත් එක්ක නොපෙනී ගිහින් අතුරුදහන් වෙලා තියෙද්දිත් ග්‍රාමසේවක මහින්ද අයියා කිසිම පැකිලීමක් නැතුව තමුන්ගේ රාජකාරිය අකුරට ඉෂ්ඨ කළා. බොහොමයක් මිනිස්සු තමුන්ගෙන් වටපිටාවට වෙන්න තියන යුතුකම අකුරට ඉෂ්ඨ කළා. දේශපාලකයින්, එන් ජී ඕ කාරයින් ගම් රටවලට ඇවිත් කිඹුල් කඳුළු හෙලන්න කලින් මිනිස්සුන්ට හිටියේ තමුන්ගේ අසල්වැසියන් විතරයි. හැම හැමෝම විපතට පත් ජනතාවට පුළුවන් හැම විදිහටම උදව් උපකාර කළා. 

කාලයත් එක්ක මිනිස්සුන්ට සුනාමිය අමතක උනා. විපතට පත් ජනතාවට රජයෙන් ලැබිච්ච ගෙවල් දොරවල් විකුනලා දාල ආයෙත් තමුන්ට හුරු පුරුදු මුහුද අයිනට ගිහින්  පදිංචි උනා. සුනාමි වෙලාවේ පාට, පක්ෂ, ජාති ගැන හිතන්නේ නැතුව අසල්වැසියාට උදව් උපකාර කරපු අපේ මිනිස්සු  ඒ සියල්ල අමතක කරලා ටික දවසකින්ම ආයෙත් පාට පක්ෂ ජාතීන් වලට බෙදිලා මරාගන්නවා තමුන්ගේ පක්ෂය හෝ ජාතිය දිනවන්න. ඒවා ඇහෙනකොට දකිනකොට මට හිතෙන්නෙම මිනිස්සු බෙදෙන්නේ නැතුව ඉන්නේ කරදරයක් උනාම විතරද කියල. 

සුනාමි ඇවිත් අවුරුදු දහතුනක් වෙලත් මාසෙකට දවසක් දෙකක් මේ ලියන මං හීනෙන් සුනාමිය දැකල බයවෙලා අවදි වෙනව. සුනාමිය සජීවීව දැකපු වෙලාවේ කියන්න තරම් භයක් හිතේ ඇති නොවුනත් සුනාමිය සම්භන්ධ මතකයන් තවමත් හිතේ සටහන් වෙලා තියෙන්නේ අද ඊයෙක සිද්දවුනා හා සමානව. සුනාමිය මිනිස්සුන්ට අමතක වුනත් ඔය කියන හීනය මේ ලියන මට සුනාමිය අමතක කරන්න ඉඩ දෙන එකක් නෑ කවදාවත්ම. 

44 comments:

  1. 3:26am තවම නිදි 😴 හොදේ....නැගිටල කියවල කොමොන්ටුවක් දාන්නම්.ඉස්සෙල්ලම කොමන්ට් දාන්න ඉන්න අයට සිදෙයි ආ...🔫

    ReplyDelete
    Replies
    1. තාම නැගිට්ටේ නැතෙයි.. අපි මේ බලාන ඉන්නව උඹ නැගිටලා එනකං කොමෙන්ටෙක දාන්න...

      Delete
    2. තාම නිදි. මම හිතන්නෙ ඊළඟ සුනාමියට තමයි මූ නැගිටිනව ඇත්තෙ. හැක්..

      Delete
    3. හුටා....පොසන්නය කිව්ව වගේ කොමොන්ටුවක් දාන්න අමතක උනා කියහන්කො.අද සුනාමියක් එයිද මන්ද.සුනාමිය එනකොට මම හිටියෙ කුවේට් වල හැබැයි මේක කියවල ඒ අත්දැකීම මටත් ලැබුන.පිල් වලට බෙදිල ගහ මරාග්න්නව දැක්කාම් හිතෙනව ආයෙම සුනාමි ආවනම් හොදයි කියල.මේ මිනිස්සුන්ව බෙදිල වෙන් කරන්නෙ කාලකන්නි දේශපාලකයො මිස වෙන කවුරුත් නෙවෙයි :|

      Delete
  2. අපේ ගමේ මරණාධාර සමිතියෙන් 2005 සිට සුනාමියෙන් මියගිය අයට පිං පතා 2005 දෙසැම්බර් සිට මේ දක්වා හැම දෙසැම්බර් 26 වෙනිදාවකම දානයක් දෙනව. ඊයෙ තිබ්බ දානෙට දවසක් දෙකක් නිදිමරලා ඇවිත් නිදාගෙන ඇහැරලා තමා මේ ලියන්නෙ. අපේ ගමේ කෙනෙක්වත් දන්න අහල පහළ කෙනෙක්වත් සුනාමියට අහුවුනේ නෑ. නමුත් අපේ අය තාම මේ පිංකම කරනවා. සුනාමිය තිබුණු පළාත්වල අයටත් සුනාමියෙන් නැතිවුණු අයට පින්පතා පිංකම් කරන්න අමතක වෙච්ච මේ කාලෙ තාමත් අපේ ගමේ කරන මේ පිංකම ලොකු දෙයක් කියල හාමුදුරුවො අනුශාසනාවෙදී වදාළා.

    ReplyDelete
    Replies
    1. සුනාමි අහුවෙච්ච බහුතරයකටත් සුනාමි අමතක වෙලා තියෙද්දී හැලපෙලාගේ ගමේ මිනිස්සු ඒ කරන පින්කමෙන් කියවෙන්නේ ඒ මිනිස්සුන්ගේ සිත්සතන්වල තියෙන කරුණාව තමයි..

      Delete
  3. අම්බලංගොඩ මහතාණෙනිඔබෙදුකබර කථාව මට හොඳට තේරෙන්නේ සුනාමියෙන් මගේ බාප්පයි එයාගේපුතා වෙච්ච අවුරුදු 14 ක මල්ලියි සදහටම අපිව දාල ගියේ සුනාමියෙන් නිසා. විචාරකතුමාට හිටිය සහෝදරයන් තුන්දෙනාගෙන් අවසානයට ඉතුරුවෙලා හිටිය එකම සහෝදරයත් මියගියේ ඒ විදියට. ඒ නිසා ඔබ කියනවා වගේ අඩන්ඩ කඳුළු හිරවුන මරණයක් තමයි ඒ. විචාරකතුමාට කවදාවත් ඒ කතාව ලියාගන්න බැරිවුණා. හිතේ දුකට. මේ රටේ මිනිසුන්ට කවදාවත් අමතක කරන්න බැරි සිදුවීමක් ඒක.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. විචාරක තුමා එයාගේ මල්ලිගේ අහිමිවීම ගැන කිහිප තැනක සඳහන් කළා මතකයි. පවුලේ කෙනෙක් අහිමි නොවී තියෙද්දිත් අපිට දැනිච්ච හිතේ අමාරුව වගේ කී ගුණයක හිතේ අමාරුවක් ඒ දේවල් වලට මුහුණ දීපු පවුල් වලට තියෙන්න ඇද්ද..

      Delete
  4. හොඳට මතක දවසක්.

    ReplyDelete
    Replies
    1. අපිට මතක උනාට සුනාමියට අහුවෙච්ච මිනිස්සුන්ටත් දැන් සුනාමිය අමතකයි ඉයන්.."ගිනි පෙනේල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයි" කියන උපහැරණය බොරු කරා සුනාමි අහුවෙච්ච මිනිස්සු.. ඔය දැන් යස අගේට මුහුද අද්දරට වෙලා ජීවත් වෙන්නේ මුකුත් නොවුන ගානට..

      Delete
  5. අවශ්‍ය මොහොතේ තමන්ට පුළුවන් හැමදේම අන් අය වෙනුවෙන් කැප කරලා වැඩ කලාට ඔබට බොහොම පින් ගොඩයෝ.

    ReplyDelete
    Replies
    1. මම විතරක් කරපු දෙයක් නෙවෙයි නුවන් ඕක.. බහුතරයක් මිනිස්සු තමුන්ට පුළුවන් උපරිමයෙන් අන් අය වෙනුවෙන් කැපවුණා..

      Delete
  6. එකනම් හිතාගන්න වත් බෑරි දෙයක්. තාම හීනයක් වගේ.ඔය කියන තෑන මම දන්නවා මොකද 26 27 දවස් දෙකේම මමත් ඔය මල් ශාලාවෙ හිටියා මගේ හිතවතුන් කීපදෙනෙකුගෙම වෑඩ වලට. කොහොම උනත් ආයෙත් මතක් කරපු එක ලොකුදෙයක්. මොකද අපේ අයට දෑන් මතකයක් නෑහෑ ඔහොම දෙයක් උනද කියලවත්

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපි දෙන්නම එදා එතන ඉන්න ඇති. මිනිස්සුන්ට දේවල් මතක තියෙන්නේ බොහොම ටික කාලයයි. ඒ අපේ මිනිස්සුන්ගේ හැටි..

      Delete
  7. බොහොම දුක්බර මතකයක්.
    ඒ අවස්ථාවෙදි ජාති ආගම් පක්ෂ බේද බලන්නැතුව මිනිස්සු විදියට හැමෝම එකමුතු වෙච්ච එක දිගටම තිබ්බනං කොච්චර හොඳයිද කියල හිතෙනව.

    ඒ වගේම ගමේ හිටපු රජයේ සේවකයො තමන්ගෙ ළඟම අයත් මියගිහින් හෝ අතුරුදන් වෙලා ඉඳිද්දි අසරන වෙච්ච අනික් මිනිස්සු වෙනුවෙන් තමංගෙ රාජකාරියට කැපවීම අගය කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු ජාති ආගම් භේද සලකන්නේ නැතුව එකිනෙකාට පිහිට වෙන්න නම් ඇඩ්රස් නැතිවෙන්නම අනාත වෙන්න ඕන ප්‍රසන්න. එහෙම නොවෙන තාක් මිනිස්සු ඉන්නේ මොකක් හරි ක්‍රමයකින් බෙදිලයි. වැට මායිම් ටික ගලෝගෙන ගිහින් ගෙවල් දොරවල් බිමට සමතලා වෙලා ඇඳි වත විතරක් ඉතුරු උනාම තමයි මිනිස්සුන්ට දැනෙන්නේ අපි හැමෝම එකම ඉන්ද්‍රියන් වලින් සමන්විත එකිනෙකාට වෙනස් නොවෙන සත්ව කොට්ටාශයක් කියන එක. ඕක ගැන යම්තාක් සාර්ථක කියවීමක් තියෙනව The East is Calling (නැගෙනහිර වෙරළෙන් ඇසෙන) කියන කතාවේ.
      https://www.youtube.com/watch?v=4g8fLUcJxfs&t=210s

      Delete
  8. මොනව කියන්න ද මන්ද අයියේ..ඔය සිද්ධිය වෙන කොට මන් සුටි කොල්ලා ගෙදර අය විස්වාස කලේම නැ මන් කිවිවම.ටික වෙලාවක් ගත වෙන කොට මුළු ගමම අපේ ගෙදර ටිවි බලන්න.අයෙමත් ⁣ඔය වගේ විපතක් අහන්න දකින්න නොලැබෙන්න කියලා තමයි ප්‍රර්තනා කරන්නේ.

    ReplyDelete
    Replies
    1. මම ඕක ඇහින් දැකලා ගෙදර ඇවිත් කිව්වාමත් ගෙදර අය පිළිගත්තේ නැහැ තරිඳු..

      Delete
  9. ඇත්ත බන්. රටක් හැටියට නැඟි ඉන්න තිබ්බ හොඳම අවස්ථාවක් අපේ රටේ කාලකණ්නි දේශපාලුවෝ සමහෙරෙක් කැවා. කාලා දැම්මා.වෙන එකක තියා මේ රටේ මුල් පුටුවට ආපු එකෙකතු මේකට ලැබුන සල්ලි ගසා කෑවැයි කියනව‍ානේ. ඒක අදටත් ප්‍රතික්ශේප කරලා නැහැනේ.
    මට මතක් උනේ ගංගනාත් දිසානායක මහත්තයා ලංකාදීපේ පැන් වළලු වලට කිව්ව කථාවක් අර 2011 විතර ජපානේට සුනාමි ඇවිත් ලොකු ගාණක් මිය ගියා. කළුතර බෝධිය ගාව බෝධි පූජාවක් තිබ්බාලු ජපානේට සෙසත්පතලා. ගංගනාත් දිසානායක මහත්තයා කියලා තිබ්බා ජපානේ නම් සැකයක් නැහැ ආයේ නැගිටිවි. නරකද අපි අපිටම බෝධි පූජාවක් තියා ගත්ත නම් අපිට සෙත් පතලා.

    ReplyDelete
    Replies
    1. ගසාකෑම කියන්නේ ඉතින් අපේ දේශපාලනයේ ලේවලට බද්ද වෙච්ච අනිවාර්ය අංගයක්නේ උදාර. 48 ඉඳන් මේ වෙනකම් බහුතරයක් කරලා තියෙන්නේ ඕක තමයි. ඒ වගේම අපේ මිනිස්සු තමුන්ගේ ඇහේ තියන පොල් පරාලේ නොදැක්කට අනුන්ගේ ඇහේ තියන පොල් කෙන්ද දකින මිනිස්සු කොට්ටාශයක්. ඔක්කොම ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ තමයි.

      Delete
  10. ape patthe ewunta nam oka pin rallak..

    ayeth enakam balagena innwa ...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. මම නොදන්නවයැ ඕකෙ තරම.

      Delete
  11. ඇඟ හිරිවැටෙන මතකයක්/ කතාවක්.. සුනාමිය එද්දී මම බැඳලා මාස කීපයයි.. වයිෆ් හිටියේ බදුල්ලේ.. මම ට්‍රින්කෝ.. වයිෆ්ගේ මහගෙවල් මුහුද අද්දරම බූස්සේ.. ඉතීම් හිතපන්කෝ.. හැමදාම හිතාගෙන ඉන්නවා මගේ සුනාමි අත්දැකීම් ලියන්න තාම බැරි උනා.

    ReplyDelete
    Replies
    1. උඹේ පොටෝ කොපියක් ගහල ඌට දියං කම්පියුටරේ. ඌ ලියයි... හැක්!

      Delete
    2. අඩේ අන්න ඒක මරු අදහස.. 😅😅😅😅

      Delete
    3. උඹ ඉතින් ඕක නොලියා නොලියා ඉන්නේ සංරක්ෂණය කරන්න වෙන්ටෑ.. කමක් නෑ.. ඊළඟ අවුරුද්දෙම දෙසැම්බර් විසි හයට ලියහන්..

      Delete
    4. නැත්තම් ඩ්‍රැකී කියන්න වගේ කොපියක් ගහල දියන්.. මම ලියන්නම් කමියාගේ සුනාමි මතක කියල..

      Delete
  12. ඒකනම් අපි කාට කාටත් ජීවිතය සහ මරණය ගැන යථාර්ථය අවබෝධ කරවපු අවස්ථාවක් මස්සිනා. ඔය වෙලාවෙ මං හිටියෙ සෙල්ලකතරගම.

    ReplyDelete
    Replies
    1. සෙල්ල කතරගම හිටපු එක හොඳට ගියා.. යාල පැත්තේ එහෙම හිටියනම් අනතුරක් වෙන්න තිබ්බ බන්. අපි එක්ක එක ආයතනයේ වැඩකරපු කෙනෙක් එයාගේ හස්බන්ඩ් එක්කම නැති උනා යාල ගිහින්. ළමයි දෙන්න පීනන්න පුළුවන් නිසා ජීවිත බේරගත්ත. තව මගේ යාලුවෙකුගේ අයිය කෙනෙකුත් යාලදී නැතිවුනා ටුවරිසම් කරපු.

      Delete
  13. හිටයේ එකට අපි සැම දෙන සතුටු වෙලා
    ආවා උදම් රැළි පිට රැළි රටම වෙලා
    දුක සංකා දෑසින් යයි කදුළු වෙලා
    උදම් රළේ රළු මතකය අවදි වෙලා


    ReplyDelete
    Replies
    1. මම ලියපු පොස්ට් එකෙන් හිත රිදුනනනම් සමාවෙන්න..

      Delete
  14. Replies
    1. සුනාමිය වෙලාවේ අනතුරට පත් මිනිසුන් වෙනුවෙන් වෙහෙසුන හැම දෙනාම වෙනුවෙන්....

      Delete
  15. මං අදුනණ ගුරුවරියකගේ දියණියක් පැලෑනියේ දුම්බ්‍රිය අනතුනරට හසු උනා... මිනියවත් හම්බුනේ නෑ... ගුරුතුමිය 2007 වෙනකල් ශොක් වෙලා වගෙයි හිටියේ...
    ඒ වගේ විපතක් ආයෙත් වෙන්න එපා...

    ReplyDelete
    Replies
    1. පැරෑලියේ දුම්රියේ ගිහින් මමත් පුද්ගලිකව දන්නා කීප දෙකෙන් නැතිවුනා. මගේ ලඟම යාලුවෙකුගේ අම්මා (අපේ බතලයාගේ මෑණියන් ) ඒ කෝච්චියේ නගින්න ගිහින් ඇවිත් කෝච්චියේ ස්ටේෂන් එකට ආවයින් පස්සේ හිස කැක්කුමක්
      ඇවිත් කෝච්චියේ නගින්නේ නැතුව ගෙදර ඇවිත් තිබ්බ.

      Delete
  16. මමත් සුනාමියට දරුණු ලෙස මුහුණ දුන්නා....හැබැයි මොන දේකට නැතත් විපතෙදි ගමේ සහ රටේ මිනිස්සුන්ගෙ තිබ්බ එකමුතුව සහ පිහිටවීම පට්ටම......අපි ඒක ඒ කාලෙ හොදින්ම අත්වින්දා.......

    ReplyDelete
    Replies
    1. ඒත් කෝ බන් දැන් ඒ එකෙමුතුව.. අපේ පැතිවලට වඩා ඔයාලාගේ පැත්තේ ඕක හොඳින් අත්විඳින්න ඇති මුස්ලිම් සිංහල දෙගොල්ලම එකට ජීවත්වෙන නිසා.

      Delete
  17. Matat a matake neti wenne kawadawath mage paantiye hitapu yaluwai eyage mulu paulamai neti une sunamiyen pyeraliye tibunu train eka peralila.passe eyage thathta belle wela dagata a dukata .sunamiyen neti unu hemotama labana athmedi hoda jeewitayak lebenna ona

    ReplyDelete
    Replies
    1. මිනිස්සු පෙර සංසාරයේ කරපු කුසල අකුසල කර්ම වලට අනුව බොහෝ දේවල් සිද්ද වෙනවා චරිත්.

      Delete
  18. මචෝ. හරියටම සුනාමියට මාස 3කට කලින් තමයි මම රට ගියේ. ඒ මගේම කැමැත්තෙන්. ඔය සුනාමියට මගේ ලංගම යාළුවන් 10ක් විතර නැති උනා. ඒකෙන් තුනක් විතර නත්තල් දවසෙ උනවටුනේ හික්කඩුවේ පාටි වලට ගිහිං ගෙදර එන්නෙ නැතුව ඒ යාලුවන්ගෙ හෝටල් කබාන වල නිදියගෙන. සුනාමි එනකොට උන් දන්නෙත් නැතුව ඇති. මම හිටියනම් මට වෙන්නෙත් ඔය ටිකම තමයි.

    සුනාමි කතා ඇහුවට මෙච්චරම සීරියස් දෙයක් ඇහුවෙ මේ උබේ පෝස්ට් එකෙන්ම විතරයි. පස්සෙ ලංකාවට ආවත් කිහිප තැනක ඇර අනිත් හැම දෙයක්ම සාමාන්‍ය වෙලා තිබ්බ නිසා හරියටම අදහසක් ගන්න බැරි උනා.

    නරුම මිනිස්සු අතරේ උබ ඔය තනියම කල මෙහෙවර බං වචනෙන් ස්තුතියි කියන්නවත් අනේ උබට ගොඩක් පින් කියන්නවත් කියන්න යන්නෙ නැහැ මම. මිනිස්සු එහෙම අතුවල නග්ගන්න මම කැමති නැහැ. ඒ වෙලේ කරන්ට පුළුවන් හොඳම දෙය උබ කරල තියෙනව. එච්චරයි. එකට මගේ ගෞරවය උබට.

    මට මතකයි ඔය සුනාමියට මගෙ තාත්තගෙ ජර්මනියෙ ඉන්න යාළුවෙක් නැවක බඩු ලංකාවට ගෙනාව. ඒ ඔක්කොම ජර්මන් මිනිස්සුන්ගෙන් ලැබුන ආදාර. ඒත් ඒ දවස්වල තිබුන ආණ්ඩුව ඒ නැව ඒ ගොල්ලන්ට ඉල්ලුවත් දුන්නෙ නැති නිසා පස්සෙ ආණ්ඩුව කලේ ඒ නැවේ කොටින්ට තුවක්කු ගෙනාව කියල ඒ අංකල් ව හිරේ දාන්න. එදායින් පස්සෙ ඒ අංකල් කවදාවත් ලංකාවට ආවෙ නැහැ.

    ඒ වගේම එංගලන්තෙ ප්‍රසිද්ද සිංහල මිනිහෙක් ඒ මනුස්සය හිටපු ප්‍රදේශයේ සුදු මිනිස්සුන්ගෙන් ආදාර එකතු කරලා තියෙනව අවතැන් උන පවුල් 15 කට ලොකු ඉඩමක් අරන් ගෙවල් හදල දෙන්න. මේ උන කරදරය දැකපු සුද්දො මේ මනුස්සයට සල්ලි දීල. මේ මනුස්සයත් ගාල්ලෙ ඉඩමක් අරන් ගෙවල් හදල නැති බැරි අයට දීල ෆොටෝ අරං සුද්දොන්ට පෙන්නල. උනුත් සන්තෝස වෙලා. පස්සෙ අවුරුද්දකින් අර අසරණයො ටික එලවල දාල දැන් ඒ ගෙවල් පහලවම කුලියට දෙන housing scheme එකක් කරල.

    මම අහල තියෙනව තවමත් මිනිස්සු ඉන්නවලු සුනාමියට අහුවෙච්ච ඒත් ගෙවල් ලැබුන නැති.

    ඒත් හැම අවුරුද්දකට සුනාමියට අදට අවුරුදු මෙච්චරයි කිය කිය සුනාමි බර්ත් ඩේ එකනං රටේ මුල් පුරවැසිය ගේ ඉඳල හැම එකාම එලටම සමරනව.

    අන්තිමටහරි මට ආයෙත් උබට කියන්න තියෙන්නෙ උබනම් පපුකනැත්තක් තියෙන නියම මනුස්සයෙක් කියල.

    ReplyDelete
    Replies
    1. උඹේ මේ කමෙන්ට් එක කියවල මට පුදුම කලකිරීමක් ඇතිවුනා බන් අපේ පාලකයෝ ගැන. ඔකුන්ගේ මජර වැඩ හින්ද තමය අපේ රටට ගොඩයාමක් නැත්තේ. 48 නිදහස ලබපු දා ඉඳන් මේ වෙනකම් රට හදන්න ආපු හැම එකාම කරලා තියෙන්නේ උන් හැදිච්ච එක විතරයි බන්. අපේ මිනිස්සු අරුන්ට වඩා මුන් හොඳයි මුන්ට වඩා අරුන් හොඳයි ඒ දෙගොල්ලොන්ටම වඩා මුන් හොඳයි කිය කියා අවුරුදු පහෙන් පහට නැවත නැවතත් රැවටෙමින් ඉන්නව. ඒත් ඇතුලාන්තය ලිහලා බැලුවාම උන් ඔක්කොම එකයි. හැබැයි ඉතින් ටික්කො ඔව්ව ගිනි අඟුරු කනවා හා සමානයි. තදින් බුදුදහම සහ කර්මය විස්වාස කරන කෙනෙක් විදිහට මම කියන්නේ මිනිසුන්ගේ පොදු දේ වංචාවෙන් යටි මඩිගහන එවුන්ට සසරේ දුක් අපමණයි මචං. කරන කලට පවු මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ කියලා වදන් ලියවිලා තියෙන්නේ නිකං නෙවෙයි බන්.

      සුනාමිය දැකපු අපි "සු" කියනකොටත් භයයි බන්.. ඒත් සුනාමි අහුවෙච්ච හුඟක් අය බලන් ඉන්නේ ආයේ සුනාමි එනකං වාසි ගන්න. උඹ එංගලන්තෙට ගිහිපු එක ලොකු දෙයක්. එහෙම නොවුනානම් අනතුරක් වෙන්න තිබ්බ බොහෝදුරට. කමෙන්ට් එක දැකලත් රිප්ලයි එකක් දාන්න පස්සට දැම්මේ ඇතිවෙච්ච කලකිරීම නිසා. දන්නෙම නැතුව ඒක අමතක උනා බන්.

      Delete
    2. දැන් අවුරුදු ගණනාවකට කලින් මම නමේ හැටියටම පියෝ බෞද්දයෙක්. (අතේ ධර්මචක්‍රය කොටාගෙනත් ඉන්නව) ඒත් මට උදව් කරල තියෙන අම්මගේ අයිය කෙනෙක් මට ලක්ෂ 35-40 අතරෙ ගානකට සුපිරි පොල්ලක් තිබ්බෙ “පුලුවන්නම් අරගෙන පෙන්නපන්“ වගේ ටෝක් එකකුත් දීගෙන.
      අම්මත් ඔච්චර ගානක් ගෙඩිය පිටින්ම දීල තියෙන්නෙ තමන්ගෙ එකකුස උපන් සහෝදරය නිසා. ඕකටම තවත් සහෝදරයෙකුත් සම්බන්දයි. ඇත්තටම කළකිරුණ බං. උං දෙන්නමත් පොඩි පහේ ඇවුන් නෙමෙයි.
      පොල්ල තිබ්බ එකා තමයි ප්‍රන්සේ පැරිස් වල මුලින්ම සිංහල රෙස්ටුරන්ට් එක දාපු එකා. කෝටිපතියෙක්. අනිත් එකාත් ඔස්ට්‍රියා වල කෝටිපතියෙක්. ඔය ප්‍රශ්නෙ මගේ ජීවිතේ උඩුයටිකුරු කළා. කොච්චරම කලකිරුනද කියනවනම් මෙච්චර මිනිස්සුන්ට කරන, හොරකමක් කාටවත් කරදරයක් නොකර ඉන්න මටම මේ ඔක්කොම වෙන්නේ? අදහන ආගම අමු බොරුවක් කියල ආගමට තිත තිබ්බ. අම්ම තාත්ත සහෝදරිය ඇර අනිත් සම්බන්දතා ඔක්කොම නැවැත්තුව.
      තව කීයක්හරි වියදං කරල ඕකුන් දෙන්නගෙ ඔළු ගෙඩි දෙකට ටෝක් ටෝක් ගාල දෙකක් තියන්න හදනකොට අක්ක තමයි ජීවිතේ ගැන ගොඩක් දේවල් මට තේරුම් කලේ.
      මම හිතුවෙ හොරුන්ටම තමයි හරියන්නෙ කියල. අදටත් අගමක් මට නැහැ. හැබැයි කර්මය කියන දේ විතරක් විශ්වාස කරනව. සදාරනව රස්සාව කරනව. දෙමව්පියන්ට සලකනව.

      අන්තිමට උනේ සල්ලි වලට පොල්ල තිබ්බ එකා ගෙ ලොකු පුතා සියදිවි නසාගත්ත. තමන්ගෙ ලංකාවේ ප්‍රන්සේ තිබ්බ බිස්නස් විනාස උනා. දැන් පිස්සෙක් වගේ ජීවත් වෙනවලු. අනිත් ඔස්ට්‍රියා ඉන්න එකාගෙ ළමයි නන්නත්තාර වෙලා ඒ ගැන දුකෙන් ඌගේ පවුල අවුල්.

      Karma is a bitch කියන්නෙ නිකමට නෙමෙයි බං. මට ඒ සල්ලි අදටත් ලැබුණේ නැහැ. හැබැයි ඒකෙන් ඉගෙනගත්ත පාඩම නිසා අදටත් බොහොම සැලකිලිමත්.

      වැරද්දක් කලොත් තරාතිරම නොබලාම රිටන් එක ලැබෙනවම තමයි.

      Delete
  19. ගොඩයාගේ කැප කිරීම එසේ මෙසේ එකක් නොවන විත්තිය මම හොදට දන්නවා .
    සුනාමි අදුරු මතකයන් හැමදාම අපේ හිත් වල හොල්මන් කරනවා කියන එක තමයි, දුකෙන් උනත් කියන්න තියෙන්නේ නේද .

    ReplyDelete
  20. මේක ගැන ආරංචි වෙනකොට මමයි තවත් එකෙකුයි ඔෆිස් එකේ අල වෙච්ච ප්‍රොජෙක්ට් එක්ක ගොඩ දානව දවස් කිහිපයක් තිස්සෙ උදේ රෑ නොබලා නයිට් කිහිපෙකුත් එක්ක. මුලින්ම මුහුද ගොඩ ගපලු බව වාර්තා වෙලා පස්සෙ ... 10, 15 ... විදිහට වාර්තා වෙන්න පටන් ගත්ත මරණ දහස් ගණන් වෙලා ඒ ගැන වාර්තා කරන එක නැවතුනු හැටි. වගේම පවුලෙ කට්ටිය සමග ගාල්ලට ගිය බව දැනගෙන උන්නු අපේ GM ගෙන් ආරංචියක් නැති වෙලා අපි හොයපු හැටි මේ වෙනකොටත් මතකයි.

    හැබැයි සුනාමියෙන් විපතට පත් පළාත් වලට ගිහින් උදව් කරන්න බැරි වීම ගැන කණගාටු වෙනව, නමුත් එදා ඒකට මට හිතේ හයියක් තිබුණෙ නැහැ. උබල වගේ උදවිය තමයි ඒ වෙලාවේ වෙන්න ඕන දේවල් වලට කර ගැහුවෙ.

    ඒ නිසා පුළුවන් විදිහට හැකි පමණ ආධාර රැස් කරන්න උදව් කරත් කිව්වත් වගේ ඒවායින් කොපමණක් අදාළ මිනිස්සුන්ට ලැබෙන්න ඇද්ද කියල දන්නෙ දෙයියොම තමා.

    මහ ලොකු ජාතියේම ආපොච්චියි උගේ පවුලේ උදවියයි චග්ගොලයෝයි සුනාමි ආධාර හොරා කාල උගෙ කිරි පල්ල අත ගාපු අගවිනිසොරාට පින්සිද්ද වෙන්න බේරිලා ගියා, ආගම දහම ඇත්ත නම් ඕකුන් පණ පිටින් පණුවො ගහන්න ඕන. නමුත් ඒ ඔක්කොම බොරු උන් අදටත් යහතින්.

    අසරණ මිනිස්සු පව්, හැමෝම ඒ අයගේ දුක මාර්කට් කරල විකුණගෙන කෑව !!!

    ReplyDelete