බිලිං අච්චාරු කියන්නෙ අම්බලන්ංගොඩ අපිට කෑමක් නෙවෙයි ආගමක්.. සිංහල අවුරුදු කාලෙට අමතරව අම්බලන්ගොඩ ගෙවල්වල කොහේහරි අස්සක මුල්ලක හෝ ෆ්රිජ් එකක බිලිං අච්චාරු බෝතලයක් වරදින්නෙ නෑ.. බිලිං කියන්නෙ පලතුරක්ද එලවලුවක්ද කියලා මම දන්නෙ නෑ.. බිලිං ගහේ උපත කොහේද ? කොයි රටකින් ලංකාවට ආවද? එහෙමත් නැත්තං බිලිං ගස ලංකාවට ආවේනික ශාකයක්ද ? ලංකාවට ආවේනිකනම් ඒක අම්බලන්ගොඩට ආවේනික ශාකයක්වත්ද කියලා කියන්න මම ඕකෙ උපත විපත දන්නෙ නෑ... අච්චාරු හැදිල්ල ඇරුනාම බිලිං වලින් හදන්න පුලුවන් වෙනත් කෑමක් ගැන මම උපන්තේකට අහලාත් නෑ.. එහෙම තිබ්බනම් බිලිං අච්චාරුවලට ඔයතරම් ඒකාධිකාරයක් ගොඩනැගෙන්න විදිහක් නෑ.. එක අතකට කල්පනා කරලා බැලුවාම බිලිං තරම් ඒකධිකාරයක් ගොඩනගාගත්තු ශාඛයක් මේ තුන්ලෝකෙම නැතුව ඇති.. ඇයි යකෝ ඒකෙ හැදෙන ගෙඩි වලින් හදන්න පුලුවන් එකම එක කෑමක් විතරනේ.. ඒ කෑමටත් ආදේශක නෑ.. පාරිභෝගික සේවා අධිකාරිය එහෙම දැනගත්ටතොත් බිලිං ගස අනිවා උසාවි..
Sunday, August 3, 2025
බිලිංලංකාරය
රට ඉන්න අපිට ලංකාවෙන් පිටත්වෙන දවස් ලං වෙද්දි ගෙනියන්න ලැබෙන කෑම අතරේ බිලිං අච්චාරු විශේශයි.. අනික් පලාත්වල අයට මම දන්නෙ නෑ අම්බලන්ගොඩ අපිටනම් රට යන ළැගේජ් එකේ බිලිං අච්චාරු බෝතලයක් වරදින්නෙ නෑ.. මට බිලිං අච්චාරුවලට කොයි තරං ලැබිල්ලක් තියෙනවද කියනවනම් බිලිං බෝතල් කීපයක්ම ලැබෙනවා ලංකාවෙන් එන්න පිටත් වෙන දවස ලං වෙද්දි.. තුන්වේලටම බිලිං අච්චාරු වලඳලා ගිනියම පිටකරගන්න ගඟේ පනින්න වෙන නිසා මමත් ඉතිං රස වැඩිම බිලිං බෝතලේ විතරක් බෑග් එකේ දාගෙන ඉතුරුවා ශේප් එකේ ගෙදර තියලා එනව.. ඔය හැටි බිලිං අච්චාරු ඉතිං කොහේට කන්න කියලද.. හැමෝටම කටපුරා ස්තූතියි කියලා භාරගත්තට ඒක රට ගෙනාවෙ නෑ කියලා කියන්නෙ නෑ ඉතිං හිත් රිදෙන නිසා.. ඔය බිලිං බෝතල් තරඟයෙන් රට යන්න වීසා ලැබෙන්නෙ කොයි බෝතලේටද කියලා තීරණය වෙන්නෙ ඒ වෙලාවට තියන රස අනුව නිසා මේ පෝස්ට් එකෙන් ජයග්රාහකයින් හෙලි කරන්නෙ නෑ.. ඒ අනාගතයේ බිලිං අච්චාරු බෝතල් බොලැබී යාමේ අවධානම ගන්න බැරි නිසා..
රට එවුන් බොහොමයක් කන්න උයන්නෙ සතියට ඇති වෙන්න. දවසගානෙ කුස්සිවල රිංගගෙන උයන එක කාලය නාස්තියක්.. උයලා අහවරවෙද්දි සීතල වෙන නිසා කවදා ඉව්වත් කන්න වෙන්නෙ මයික්රෝවේව් පිහිටෙන්.. ඒ නිසා දවස ගානෙ උයන එක තේරුමක් නෑ.. ෆ්රිජ් එකේ තිබ්බ සියලූම ඉතුරු මිතුරු කාලා ඉවර නිසා ගිය ඉරිදා මම උයන්න තීරණය කරා.. කැරට්, බෝංචි තෙලට.. හතු කිරට, පරිප්පු තෙම්පරාදු, ප්රෝටීන් ටිකකුත් ඕන නිසා මේ සතියෙ සතියටම ඇතිවෙන්න ඉස්සො ටිකක් ඉව්වා.. ඕං ඕක තමයි මේ සතියෙම මෙනූ එක.. ගිය සතියෙ උයපු මිරිස් මාලු හොද්දකුත් ෆ්රිජ් එකේ තිබ්බට මිරිස් මාලු කියන්නෙ මට දවසකට දෙකකට වඩා එක දිගට කන්න බැරි කෑමක්.. මෙනූ එක ලිව්වාම උඹලා හිතන්න එපා යකෝ මූ කන්නම ඉපදිච්ව එකෙක් කියලා.. ඔය මෙනූ එකෙන් කැවෙන්නෙ දවසට එක වේලයි.. උදේට කන දෙයක් බොහෝදුරට එලියෙන්.. ඊලඟ වේල හවස පහට පහමාරට.. ඒ තමයි ඩිනර් එක.. උදේ කෑවම ලන්ච් එකක අවශ්යතාවයක් දැනෙන්නෙ නෑ.. වේල් දෙකක් කාලත් කිලෝ පහලොවක් ඕවර් වේට් වෙච්චි තුනක් කෑවොත් කොහොම හිටීද.. දවසට ජොබ් සයිට් තුනක් හතරක් විසිට් කරන නිසා බඩ පැලෙන්න කාලා ඩ්රයිව් කරන්නත් බෑ.. එහෙම උනොත් වෙන්නෙ ගහක් යට පාර්ක් කරලා ඇලර්ට් එකක් දාන්න..
ඕං අද හවස ගෙදර ඇවිත් ඩිනර් මෙනූ එක කල්පනා කරද්දි කොච්වරවත් උයපුවා මැච් වෙන්නෙම නෑ.. එලියෙන් මොනාහරි ගෙනැල්ලා කන්න කියලා කල්පනා කරත් ඒත් කන්න යමක් ඔලුවට සෙට් උනේම නෑ.. ඔන්නොහේ තියන දෙයක් කනවා කියලා හිතාගෙන කැරටුයි, බොංචියි, ඉස්සොයි, හතු මාලුවෙන් සුට්ටකුයි බෙදාගෙන ටීවී එක ඉස්සරහ වාඩිවුනා.. ඒත් ඉතිං කන්න කියලා ලොකු ලල් එකක් නෑ.. බඩගිනි නිසා නොකාත් බෑ ඒත් හිත ඉල්ලන රස එතන නෑ කියලා හිතෙන නිසා කන්න පිරියකුත් තිබ්බෙ නෑ.. ඕං ඔහොම දෙකට දෙවාරමේ ඉද්දි තමයි බිලිං අච්චාරු බෝතලේ මතක්වුනේ.. හනික ෆ්රිජ් එක ඇරලා බිලිං බෝතලේ අරගෙන මයික්රෝවේව් දාලා ඒකෙන් හැඳි දෙක තුනක් දාගත්තාම ඕං මෙනූ එක සෙට්.. ඉස්සො කරියයි බිලිං අච්චාරුවයි තකට තක.. අනික් එලවලු ඉතිං පිඟානේ පාලුවට වගේ කියහංකො.. යූ බටේ දාගත්තු සිරිලංකා නාට්ටි පොජ්ජ ඉවර වෙද්දි බත් පිඟාන වාශ්පයි.. බෙදාගත්තු ප්රමාණය ඉතුරු නොකර කාපං කියලයි පුරාණේ වැඩිහිටියන් අපිට උගන්නලා තියෙන්නෙ..
රෑට කෑවෙ හවස පහමාරට විතර.. අටහමාර වගේ වෙද්දි මෙතන දාර වලියක්.. මෙතන කිව්වෙ කොතැනද දන්නවද.. මගේ බඩ ඇතුලෙ බිලිං අච්චාරුයි ඉස්සොයි පොරේට මරාගන්නව.. මම මේ නිකමට කියන්නෙ.. ඔයාලත් මේකෙන් ආදර්සෙට ගන්න.. ඉස්සොයි බිලිං අච්චාරුයි එකට කන්න එපා..
මාත් ඉතිං මේ අටහමාරෙ ඉඳං කොමඩ් එක උඩ වාඩි වෙලා බලං ඉන්නව ඉස්සෙල්ල එන්නෙ ඉස්සොද බිලිං අච්චාරුද කියලා හිතාගන්න බැරුව.. කොච්චර අමාරු උනත් ඉස්සෙල්ල බිලිං අච්චාරු එලියට එනවට මම කැමතියි. බිලිං අච්චාරුවලට තියෙන ඒකාධිකාරය සූපිං ඉස්සො කීපදෙනෙකුට පරදිනවට මම කැමති නෑ.. ඉස්සෙල්ල බිලිං අච්චාරු ආවොත් මට බිලිං අච්චාරු බෝතලේ දීපු නැන්දට උනත් කට ඇරලා කියන්න පුලුවනි නැන්දගෙ බිලිං අච්චාරු ඒ තරඟෙනුත් දිනුම් කියල..
ඉස්සොයි බිලිං අච්චාරුයි එකට කෑවම කොයිතරම් සනීපයක් දැනෙනවද කියනවනම් ජෝන් සීනයි මයික් ටයිසනුයි බඩ ඇතුලේ මරාගන්නවා ගානට අමාරුයි.. උසේන් බෝල්ට් ගානට බඩ අල්ලගෙන නේබර්හුඩ් එක වටේ දුවන්න හිතෙනවා උනාට එහෙම කරන්න බෑ අම්බලන්ගොඩ වගේ මුහුදු වෙරලක්වත් අහලපහලක නැති නිසා.
Subscribe to:
Posts (Atom)