Saturday, August 22, 2026
ධම්මෙ මාමගෙ කඩේ දොර ලෑල්ල අස්සෙන් මට හමුවූ නන්දා මාලිනිය..
Thursday, August 20, 2026
වීරවරියකගේ නික්මයෑම
මේ ලෝකෙට උපදින වීරයෝ බහුතරයකට, සුදුසුම වෙලාවට, එහෙමත් නැතිනම් හරීම වෙලාවට නික්ම යන්න වාසනාව ලැබෙන්නෙ නෑ.. බහුතරයක් තන්හාව නිසා යම් යම් දේවල එල්ලිලා ඉන්න අතරේ බහුතරයෙන් තවත් සමහරක්, නික්ම යායුතු වග දැනුනත් සඟවාගත් අවශ්‍යතා හෝ තුන්වන පාර්ශවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් යම් යම් තැන්වල එල්ලිලා ඉන්නව.. ඒ නිසාම බුහුතර වීරයන්‍ට ගෞරවාන්විත නිකමයාමක් සටහන් කරලා ජීවිතයෙන් හෝ තනතුරු තානාන්තර වලින් නික්ම යන්න බැරි වෙනව..
ලෝකෙ ගත්තත්, ලංකාව ගත්තත් බහුතර වීරයෝ අන්තිමේ නික්ම යන්නෙ බලු වෙලා.. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි හරිම වෙලාවට නික්මීම සටහන් කරන එක උවමනාවෙන්ම මගහැරපු නිසා.. එහෙම නාමිකව සටහන් කරන්න පුලුවන් අපේ යුගයේ පලවෙනි වීරයා මගේ කියැවීම හැටියට අර්ජුන රණතුංග.. දෙවැනියා මහින්ද රාජපක්ශ, තුන්වැනියා සරත් ෆොන්සේකා.. ඊට අමතරව, වීරාත්මක අවසානයක් සාක්ශාත් කරලාත්, ඒ දිනුම් කණුව පහුකරගෙන ඇවිත් ලැබූ ජය සන්තෝසයෙ විඳගෙන, නික්ම යාම උවමනාවෙන්ම මැගහැර බලුවුන වීරයෝ ලංකාවෙ ඉතිහාසයේ ඕනෑතරම්..
නන්දා මාලිනිය සංගීතයට කරපු මෙහෙවර ගැන ලොරි ටෝක් ලියන්න මට සංගීතය පැත්තෙන් සුදුසුකමක් නෑ කියල මම විශ්වාස කරනව.. ඒත් නන්දා මාලිනියගේ නිර්මාණ අපේ හදවත ඇතුලේ ටච් කරපු තැන නැවත ටච් කරන්න අපේ ජීව්ත කාලය ඇතුලත වෙන කිසිදු නිර්මාණ කරුවෙකුට පුලුවන් වෙන එකක් නෑ කියලයි මගේ විශ්වාසය.. ඒ තරමට ඇයගේ නිර්මාණකරණය අසම සමයි.. ඒ වගේම ඇයගේ අධ්‍යාත්මීය මැදිහත්වීම ලාංකීය සමාජ ක්‍රමය ඇතුලේ අසාධාරණයට ලක්වෙන මිනිස්සුන්ට හරිම හර්දයාංගමයි.. ලඟයි..
මගේ කියැවීම හැටියට නන්දා මාලිනිය හරිම වෙලාවෙ තමුන්ගේ නික්ම යාම සටහන් කරන්න වාසනාවන්ත වුනා කිව්වොත් කවුරු මං එක්ක එකඟ වේවිද නොවේවිද කියලා මම දන්නෙ නෑ.. මම මේ කියන්න හදන්නෙ ඇය මේ පසුකරමින් ඉන්න මොහොතේ මියගිය එක හොඳයි කියලා වගේ එකක් නෙවෙයි, සංගීතයේදීත්, ජීවිතයේදීත් වගේම ඇය මරණයේදීත් අතිශය වාසනාවන්තයි කියල..
නන්දා මාලිනී සහ වර්ථමාන රජය අතර සෘජු සම්භධයක් නැතත්, අනුර කුමාරලාට අද ඉන්න තැනට එන්න තරම් හයිය මිනිස්සු වෙන්න පෝශණය සැපයූ මාධ්‍ය අතරේ නන්දා මාලිනියගේ සංගීතමය මැදිහත්වීම සෑහෙන්න ලොකු තැනක තියනවා කියලා මම විශ්වාස කරනව.. එකදහස් නවසිය හැත්තෑ එක සිට ගත්තත් දශක පහකට ආසන්න කාලයක් නන්දා මාලිනියගේ හැඟීම් ලංකා පොලොවට සාධාරණ සමාජයක් උදා කරන්න ලොකු බරක් උහුලන්න ඇති කියලාත් මම විශ්වාස කරනව.. පාලකයෝ මරන්න එලවද්දි රටින් පැනල ගිහින් හැංගිලා ඉන්නවුන අති භයානක සහ දුශකර කාලෙකත් ඇය ඇයගේ සංගීතමය වගකීම ලංකා මහපොලොවේ වපුරන්න වෙහෙසක් ගත්තු වගට සංගීතමය සාක්ශි ඉතිසාහය විසින් සටහන් කරලා තියෙනව.. ධර්මතාවය නිසාද, ජීව්ත කැප කිරීම් වෙනුවෙන් උන්ටත් සාධාරණයක් වියයුතු නිසාදෝ මන්දා අවසානයේ නන්දා මාලිනිය පැතූ පාලනය උදා වෙනවා ඇහින් දැකගන්න ඇය වාසනාවන්ත වීම ගැන දැනෙන්නෙ අප්‍රමාණ සන්තෝසයක්.. ( ඒක ඇහින් දකින්න ගුණදාස කපුගේත් ජීවත් වුනානම් 🥲 )
හැත්තෑ එකේ ඉඳන් ඉල්ලපු සාධාරණ සමාජය උදා කරන්න රට බාරගතපු කන්ඩායම අවුරුදු දෙකකුත් අවසාන වෙද්දි ගමන් කරමින් ඉන්න දිශානතිය, භාවිතා කරන මෙවලම් සහ ක්‍රමවේද, ( Materials and methods ) දිහා සූක්ශමව බැලුවාම අනුර කුමාර ප්‍රමුඛ ආන්ඩුව වසර පහ අවසානයේ කෙලවර වෙන්නෙ නන්දා මාලිණියලා කපුගේලා වෙහෙසවුන සහ අරමුණු කරපු තැන නෙවෙයි කියලයි මගේ අනුමානය.. ඒ නිසා තමයි මම කියන්නෙ අවුරුදු පනහක් තිස්සේ ජීවිත කැපකරගෙන දුවපු රේස් එක දිනනවා විතරක් දැකලා ඒ සන්තෝසය විඳගෙන ජීවිතේ අවසන් කරන්න ලැබුන නන්දා මාලිනියගේ මරණය වාසනාවන්ත එකක් කියල.. අනුර කුමාරගෙ ආන්ඩුව වසර පහ අවසන් කරන තැන දැකලා නන්දා මාලිනියට මියන්න වෙනවට වඩා Finally We did it .. මනසින්, ඒ සතුටෙන්, ඒ සොම්නසින් , ඒ වීරත්වය විඳගෙන නිකම යන්නට ලැබීම නන්දා මාලිනියගේ වාසනාව කියලයි මගේ කියැවීම..
නියම වීරයෝ තමුන්ගේ පැවරුන රාජකාරිය අවසන් කරලා හරි වෙලාවෙදි නික්ම යනව.. වෙනත් අරමුණු වෙනුවෙන් වීරත්වය ආරෝපණය කරගත්තු මිනිස්සු දිනුම් කනුව පහු කරලත් සඟවාගත් මුඛ්‍ය පරමාර්ථ වෙනුවෙන් වීරත්වය බල්ලට වැටෙනකල් රේස් එක දුවනව.. ඇස් ඉස්සරහ තියන උදාහරණ දිහා බැලුවාම නන්දා මාලිනිය ජයග්‍රහණය විඳගෙන සතුටින් නික්ම ගිහින්... ඒ තමයි නියම වීරයින්ගේ ක්‍රමය..
ඉදින් මැතිණියනි, ඔබගේ හඬ සහ සංගීත මුසු ඔබගේ අධ්‍යාත්මයට සවන්දීමට ලැබිම අප ලැබූ මහා භාග්‍යක්කොට සලකන්නෙමු.. එම අවස්ථාව අපහට ලබාදීමට ඔබතුමිය විඳි අප්‍රමාණවූ දුක් ගැහැට සහ ඔබතුමියට ජීවිතයේ අහිමිවූ දෑ ගැන ජන සමාජයක් වශයෙන් අපගේ සාතිශය සංවේගය ප්‍රකාශ කරන්නෙමු.. ඔබ පැතූ ලෝකය කෙදිනකහෝ උදාවනතුරු අපද ඇසිපිය නොහෙලා බලා සිටින්නෙමු.. මෙවන් අසාධාරණ සමාජයක කෲරත්වය නැවත නැවතත් විඳින්නට අවස්ථාවක් නොලැබ ඔබට මතු ආත්මභවයේම නිර්වාණය සාක්ශාත් කරගන්නට වාසනාව ශක්තිය දහිර්‍ය ලැබේවායයි හර්දයාංගමව පතන්නෙමු.. මැතිනියනි, ඔබට ඒ අමා මහා නිර්වාණ සුවයම අත්වේවා...🙏🙏🙏
සිනා කෙලිලොල් තෙපුල් රහසේ
දෙඩූ තැන් අද ගොලුවෙලා
සොඳුරු පාසැල් පියස
කඳුලින් බොඳවෙලා
කැදැල්ලෙන් ඔබ වෙන්වෙලා
නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්
සෙවන දුන් ගහකොල පුරා
බිමට බරවුනු කැකුළු
අතු ඉති මැලැවිලා
දුකින් හදවත ගොලු වෙලා
දෙනෝ දාහක් නුවන් අතරේ
කවුරුදෝ මා..
තනි කලේ..
තනි කලේ..
පාසැල් බිමේ...
( ඒ තමයි මම ආසම එක 😭😭😭)
Friday, June 19, 2026
ගිහිරි නගින බෙලිකටු
ඒක නොඑනවානම් හොඳයි කියලා හිතපු බදාදාවක්.. දවසින් දවස ඒ බදාදා ලං වෙද්දි වෙන්න යන දේ මතක් වෙලා කකුල් දෙක හිරිවැටෙන එක වැඩිවුනා.. ජීවිතේ සමහර අකමැති දේවල් තියෙනවා මගෑරලා යන්නම බැරි..
ඕං ඉතිං ඒ කියපු බදාදාව ආව.. මං ඉතිං උදේම වැඩට ගිහිං කලින් ඕෆ් වෙලා ඇවිල්ලා ඒ ගමන යන්න ලෑස්තිවුනා.. ඉස්සෙල්ලම නාකියාගෙන පිරිසිදු වුනා.. ඊට පස්සෙ යට ඉඳන් උඩටම අලුත් ඇඳුමක් (අලුත් කිව්වට අලුත් නෙවෙයි.. හෝදලා මැදලා ගත්තු එකක්) ඇඳලා යන්න පිටත්වුනා..
මට එන්න කියලා තිබ්බෙ හවස තුනට.. මං එතනට යද්දි හවස දෙකහමාරයි.. යන තැනකට වෙලාවට කලින් යන එක මගේ පුරුද්ද ලංකාවෙදි රස්සාවට හැරුනාම.. මම ඉතිං එතන පුරවන්න ඕන පෝරම සේරෝම පුරවලා මගේ වාරය එනකල් වඩිවෙලා හිටිය.. බොරු කියන්නෙ මක්කටෙයි මට ඉතිං පුටුව උඩ සැප නින්දකුත් ගියා..
ඕං ඉතිං කව්දෝ ගෑනු කටහඬක් මගේ වාසගම අමාරුවෙන් කොයෝනවා ඇහිලා මට උඩ ගිහිං ඇහැරුනා.. බැලින්නම් ඒ හොයන්නෙ මාව.. මං ඉතිං හනික නැගිටලා ඕ ඕ ඒ මම මේ එනවෝ කියලා ඒ කටහඬ ඇහුන පැත්තට යද්දි තමයි දැක්කෙ ඉටිකිරිස් වගේ සුදු නර්ස් නංකි කෙනෙක් ෆයිල් එකක් අතේ තියාගෙන මං එනතුරු බලාන ඉන්නව.. මම බලාපොරොත්තු වුනේ පිරිමි නර්ස් කෙනෙක් වුනාට දීල තියෙන්නෙ ගෑනු එක්කෙනෙක්.. ආයෙ ඉතිං බෑ කියලා හැරිලා යන්නත් බැරි නිසා මමත් පුලුහං තරං පුරුස දහිරිය අරං දොරෙන් ඇතුලට යනව..
ඕං ඉතිං නර්ස් නෝනා මගේ නම ගම අහලා ඒ මමමයි කියලා වෙරිෆයි කරගෙන මාව තවත් කාමරයක් ඇතුලට එක්කගෙන ගියා.. ඒ තමයි වැඩේ කෙරෙන කාමරේ.. ආ අමතකවුනා.. ඊට කලියෙන් මගේ අතට කප් එකක් දීලා බාත්රූම් එක පෙන්නුවා මූත්‍රා සාම්පල් එකක් අරං එන්න කියල..
මෙතැනින් එහා ලියැවෙන දේ ටිකක් විතර හිරි ඔතප් බිඳෙන සුලුයි.. ඒ නිසා මේ ඉතුරු ටික කියවලා මූ වගේ ලැජ්ජා නැති එකෙක් කියලා හිතන උදවිය මෙතැනින් එහා කියෙව්වෙ නැතුවට කමක් නෑ..
ඕං ඉතිං ඒ කාමරේ සිද්දිය.. නර්ස් නංකි අද දවසේ කෙරෙන වැඩේ මට පැහැදිලි කරනව.. ඊලඟට මට උපදෙන් දෙනවා කලිසමයි යට කලිසමයි දෙකම ගලෝලා කාමරේ මැද තියන ඔපරේශන් ටේබල් එක උඩට නැගලා වැතිරෙන්න කියල...
ඔබ හීනයක් වගේ..
හාදු වැස්සක් අරං..
සිරි යහන අද්දට වී..
වැතිරෙන්නෙපා සයනේ..
දීපිකා ඕක එහෙම කිව්වට මට නර්ස් නංකි කිව්වෙ කලිසමයි යට කලිසමයි දෙකම ගලවලා වැතිරෙන්න කියලා.. පුංචි එකා සන්දියේවත් කා ඉස්සරහවත් කයිසම ගලවලා ඉන්න ලැජ්ජා මම අනේ ඉතිං නර්ස් නංකිට අවනතවුනා.. කොච්චර වුනත් ඉතිං ඒ වහපු කාමරේ ඉන්නෙ එයයි මමයි විතරයි වෙච්චි එයා කොහොම මට එහෙම ඉල්ලීමක් කරාද මන්දා..
හැබැයි ඉතිං අපරාදෙ කියන්න බෑ ලැජ්ජවට භයට හැදිච්ව දැරිවියෙක්.. මම කලිසම ගලවද්දි නර්ස් නංකි පොරොවන රෙද්දකින් භාගයක් තරම් තඩි ටිශූ එකක් දිගෑරලා අරගෙන එයාට මාව නොපෙනන විදිහට එයාගෙ මූන ආවරණය කරගත්ත.. ඒකෙන් ඉතිං මටත් පොඩි පහසුවක් ආපු නිසා මම හනික කලිසමයි අන්ඩවෙයාර් එකයි ගලවලා ඔපරේශන් ටේබල් එක උඩින් දිගාවුනා.. මාත් ඉතිං ලැජ්ජාවට භයට හැදුන එකා නිසා ඇඳන් ගිය ටී ශර්ට් එක පහලට ඇදලා ගැජමැටික් එක වගහත්‍ත.. ඒ එක්කම නර්ස් නංකි එයාව ආවරණය කරගෙන හිටපු තඩි ටිශූ එක ගෙනැල්ලා මගේ යටිකය ආවරණය කරා.. ඕං ඉතිං මට ටිකක් හිතට පහසුවක් ආව.. ඇයි හත්තිලව්වේ මේ වහපු කාමරයක් ඇතුලේ නර්ස් නංකි කෙනෙක් එක්ක කලිසම ගලවගෙන ඉන්නවා කියන්නෙ මොන තරම් නොසන්ඩාල වැඩක්ද..
ඕං ඊලඟට නර්ස් නංකිකෙ රාජකාරිය ආරම්භ වෙනව.. ඊලඟට නර්ස් නංකි ගේන්නෙ මැදින් හිලක් කපපු නිල්පාට ටිශූ එකක්.. ඕං ඒකත් එලනවා මගේ යටිකය ආවරනය කරලා තියන ටිශූ එක උඩින්.. ඊලඟට තමයි නර්ස් නංකි කියන්නෙ..
I am going to clean the area first. Then I will inject a local anesthetic to numb your penis so you do not feel pain during the procedure කියල..
මම ඉතිං යට කලිසමත් ගලවලා ශල්‍ය සයනේ වැතිරිලත් ඉවර නිසා ආයෙ ඉතිං අපෝ බෑ නංකි කියලා කියන්නයෑ.. පුරුස දහිරිය අරගෙන මාත් ඉතිං හිත හදාගත්ත..
ඊලඟට නෙවැ වැඩේ.. නර්ස් නංකි මාව වහලා තිබ්බ ටිශූ එක ඉරලා හිලක් පාදලා අර දෙවැනියට එලලා හිලක් සහිත තිබුන නිල් පාට ටිශූ එකේ හිල ඇතුලෙන් මගේ පුරුස නිමිත්ත එලියට ගත්තා කියහංකෝ.. අනේ කාලේ වනේ වාසේ මේ බූමිතෙල් කරිත්තෙ ඒක අතට අරගෙන සැවුලෝන් වගේ කහපාට දියරෙකින් තෙත මාත්තු කරලා කිඩ්නි ට්‍රේ එක උඩ තිබ්බ ඉන්ජෙක්ශන් එකක් වගේ සිරින්ජර් එකක් අරං ඒකෙ තිබ්බ ලික්විඩ් එක මූත්‍රා මාර්ගෙට දමලා ඇරියා කියහංකෝ.. දර්ශණය නරඹමින් හිටි මාව ඔපරේශන් ටේබල් එක උඩ ඉන්දවුනා කොයහකෝ.. ඒක විදලා මේං මේකි සොරි කියලත් කිව්වා..
ඕං ඊලඟට තමයි ඉන්ටට්කොම් එකෙන් අමතලා ඩොකාට පනිවිඩේ දුන්නෙ Your patient is ready for the procedure කියල..
ඕං ඉතිං ඒ එක්කම ඩොකා එනව කාමරේට.. ඩොකා ඉතිං හෙන හොඳ විනෝදජනක මනුස්සයා.. ඕං ඉතිං ආගිය තොරතුරු එහෙම අහලා ඩොකා සැරසෙන්නෙ මං ආපු වැඩේ අහවරක් කරන්න..
ඔය පරීක්ශණය කරන්න එකඟවුන දවසේ මම ඩොකාගෙන් ඕක ගැන සෑහෙන විස්තර ඇහුව.. ඩොකා අතින් පෙන්නපු තරමට ඒක හිච්චි කැමරාවක් කියලා හිතුවට ඒක හිතපු තරම් හිච්චි නෑ.. සෙන්ටිමීටර භාගෙකට වඩා සුට්ටක් අඩු කැමරාවක්.. ඩොකා ලෑස්ති වෙන්නෙ මගේ මූත්‍රා මාර්ගය හරහා කැමරාව දාලා මගේ පුරස්ථි ග්‍රන්තිය බලන්න..
අපේ ඩඩාටත් පුරස්ථි ග්‍රන්තියේ සර්ජරියක් කරනවුන නිසාත් ඔය පුරස්ථි ග්‍රන්තිය ඉදිමීම ආරෙට යන්නවා කියලා කියන නිසාත් තමා ඕක බලාගන්න මම එකඟවුනේ.. ඒත් ඉතිං හිතුවට වඩා කැමරාව විසාලයි කියහකෝ... දැං ඉතිං නර්ස් නංකි පුරුස නිමිත්තත් අතට අරං බේත්වලින් නාවලා කරලා ඉන්ජැස්සනුත් ගහලා අහවර නිසා ආයෙ ඉතිං ඉතුරු ටිකට බෑ කියන්න බෑ නෙව..
ඕං ඊලඟට ඩොකා කැමරාව එබුවා කියහංකෝ මූත්‍රා මාර්ගයෙන් ඇතුලට.. ඒ ෆීලින් එකනම් ඉතිං කියාගන්න වචන නෑ.. හැබැයි ඉතිං එහෙමයි කියන්න වේදනාවක් නෑ.. මං ඉතුවා ඉතිං ඔච්ව්ර වෙන්න ඇති හිතපු තරම් වේදනාවක් නෑනෙ කියලා... ඕං ඊලඟට ඩොකා කියනවා..
Beyond this point, you will feel little pain, hang tight it will not that long කියල... එහෙම කියලා මේං යකෝ මේ යකා එබුවා කියාංකෝ කැමරාව තවත් ඇතුලට.. ඒක ඉතිං පොඩ්ඩක් විතර දොස්තරගෙ මෑණියන්ව හික්කඩු යවන්න කියන්න හිතෙන ෆීලින් එකක්.. ඕං ඉතිං ඊට පස්සෙ එතන තිබ්බ ටීවී තිරයේ පේන දර්ශණය මගේම මූත්‍රාශය සහ පුර්ස්ථි ග්‍රන්තිය.. ඩොකා පියවරෙන් පියවර මට අදාල දේවල් ටික පැහැදිලි කරලා කැමරාව පුරස්ථි හන්දියෙන් එලියට අරගෙන ආයෙමත් ඇතුලට දාලා ආයෙමත් බලලා කැමරාව සම්පූර්ණයෙන් එලියට අරගෙන වැඩේ අහවර කරා...
වැඩේ කරන්න කලින් හෝදලා නාවලා පිරිසිදු කරලා දුන්නට වැඩේ කරලා අහවර වුනායින් පස්සෙ නර්ස් නංකි මට ටිශූ ටිකක් අතට දීලා කියනවා Clean yourself කියලා.. මට ඉතිං කේන්තිත් ගියා වැඩේ කරන්න කලින් ක්ලීන් කරානම් වැඩේ කරායින් පස්සෙත් එයාම ක්ලීන් කරන්නෙ නැත්තෙ ඇයි කියල..ඊට පස්සෙ ඉතිං මට තිබ්බෙ කලිසම ඇඳගෙන ගෙදර එන්න..
දැනට මුකුත් අවුලක් නෑ... එදා දවසේ මූත්‍රා කරද්දි ටිකක් වේදනාවක් තිබ්බ.. මම කෝකටත් කියලා ගෙදර ඇවිත් වෙනිවැල්ගැට ටිකක් තම්බලා බිව්ව.. ඕක කරන්න කලින් මට තිබ්බ භය තරම් ලොකු සීන් එකක් නෑ.. හැබැයි ඉතිං අර කැමරාව පුරස්ථි ග්‍රන්තිය ඇතුලෙන් මූත්‍රාශයට යන වෙලාව තියෙනවා නේද... ආං ඒකනම් ඉතිං ගිගිරි නගින බෙලිකටු ෆීලින් එකක්... ආං එතකොටනම් හිතෙනවා ඩොකාගෙ මෑණියන්ව හික්කඩු බස් එකේ නග්ගන්නම.. කොටින්ම කියනවනම් ඒ ෆීලින් එක විස්තර කරන්න සිංහල භාශාවෙ වචන නෑ..
ඩොකා කිව්වෙ අවුරුද්දකින් විතර ආයෙ බලමුය, අවුරුද්දට වරක් ගානේ කරන්න වෙනවාය කියලත් කිව්ව... ඒ කියන්නෙ තව අවුරුද්දකින් ආයෙම නර්ස් නංකියෙක් ඉස්සරහ මට කයිසම ගලවන්න වෙනව...
අපේ ඥාතිවෙන අක්ක කෙනෙකුගෙ කොල්ලෙක් ඉන්නව දැං ඌ හෙන ගජ ඉලන්දාරියා.. ඌ පොඩි එකා සන්දියේ නාන්න කරන්න හෙන කම්මැලිය.. ඌව නාවන්න අල්ලන්න හෙන අමාරුයි.. මෑන්ස් ඉතිං ඔය නාන සබ්ජෙක්ට් එකේදි උගේ මෑණියන්ගෙන් කොච්චර ගුටි කෑවාද කියනවනම් පස්සෙන් පහු වෙද්දි උගේ නම කියලා නාන්න යමු කියපු ගමන් ඕනෑම සභාවක් මැද්දෙ කලිසම ගලවලා අතට ගන්න තැනට මෑන්ස් සීසන් වුනා..
ඔය පරීක්ශනෙත් ඉතිං අවුරුද්දක් ගානෙ කරන්න පුරුදුවෙනකොට මගේ ලැජ්ජාව භයත් ඉබේම නැතුව ගිහිං නර්ස් නංකි දොරෙන් එලියට ඔලුව දාලා මගේ නම අඬගහනකොට වේටින් රූම් එකේ ඉඳන්ම කලිසම ගලවගෙන යන තැනට මටත් ඕක පත්තියං වෙයි කියල හිතෙනව ඉතිං..😂😂😂
Wednesday, April 8, 2026
පිචැර් වංශය..
මට අම්ම අප්පච්චිගෙ පවුල් දෙකේ අයියල අක්කලා අටෝරාසියක්.. එයින් වැඩිමනක් එවුන් මම හිතන්නෙ අපේ අම්ම අප්පචිට වඩා බාල ඇත්තෙ අවුරුදු දහයක් පහලොවක් වගේ වෙන්න ඕන.. අම්මගෙ ලොකුම අක්කගෙ පුතාට මේ වෙද්දි මම හිතන්නෙ හැත්තෑව කිට්ටු කරල.. අම්මටත් මේ වෙද්දි අසූ එකක්.. ලොකු අම්මට ඊටත් වැඩිමල් පුතෙක් ඉඳලා තියෙනව.. එයා පුංචි කාලෙම ඩිප්තීරියාව කියන ලෙඩේ හැදීලා නැතිවෙලා.. එයා හිටියනම් මේ වෙද්දි එයාටත් හැත්තෑ පහකට කිට්ටු වෙන්න ඇති.. එයාටත් වැඩිමල් අයිය කෙනෙක් අපේ අම්මගෙ පවුලෙ හිටිය.. එයා සුසිල්.. එයා අපේ පුංචි මාමගෙ පුතා.. එයා හදිසි අනතුරකින් නැතිවුනේ අනූව දශකයේ මුල් කාලෙ කියලයි මට ලාවට මතක.. අම්මගෙ පැත්තෙ නෑයො ගත්තාම ඒ පවුලෙ බාලම කොලුව මම.. මට වඩා බාල මල්ලි කෙනෙක් අපේ හිච්චි මාමට ඉඳල තියෙනව.. එයත් පුංචිකාලෙම නැතිවෙලා.. මට එයාව ලාවටවත් මතකයක් නෑ.. මට මතක එයාගෙ සොහොන විතරයි. එයාව වලදාපු තැන සොහොනක් බැඳලා වතුර පුරවලා ඒකෙ නිල්මානෙල් හිටවලා තිබ්බ වගේ තමයි මතක.. පුංචි කාලෙ ලොකු අම්මලහ යද්දි අපි ගියේ කනත්ත උඩින්.. ලොකු අම්මලාගෙ ගෙදරට තිබ්බ නීත්‍යනුකූල පාරෙ ගියොත් සෑහෙන ලොකු දුරක් නිසා ස්ටේශන් එකෙන් බැහැල කනත්ත උඩින් පැනලා අඩි පාරෙන් යන එක කිලෝමීටර් එකක දෙකක විතර අඩුවක්.. ඕං ඔය කනත්ත උඩින් එහා මෙහා ගිය නිසා තමයි හිච්චි මාමගෙ බාල පුතාගෙ සොහොන මට මතක.. අනූ එකේ අවුරුද්දෙ හිච්චි මාමා නැතිවුනාමත් එයාගෙ සොහොනත් බැඳුනෙ ඒ මල්ලිගෙ සොහොනෙම අයිනට වෙන්න.. ලොකු අම්මා අම්මගෙ උපන් ගමේ පදිංචිව හිටපු නිසාත් මගේ ඉස්කෝල නිවාඩු බොහොමයක් ගතවුනේ එහේ නිසාත්, ඒ ගමේ මම නොදන්න ශෝර්ට් කට් එකක්, පාරක්, අඩි පාරක්, කනත්තක් නෑ.. ඒ රස්තියාදුව අදත් මට පට්ට වටින මතකයන් කෝටියක්..
Wednesday, January 14, 2026
ඈපාට ආන්ඩුවේ උපදේශක තනතුරක් ?
මේක 1995 අවුරුද්දෙ කතාවක්.. ඒ අපි උසපෙලට ගිය මුල කාලෙ.. උසස්පෙලට හෙවත් අපි 12 වසරට ගිහිං මාසයක් වගේ යද්දි පිට ඉස්කෝලවලින් උසස්පෙලට ධර්මාශෝකෙට එන ලමයි ටිකත් ඕං පංතිවලට එකතුවුනා.. ඒ අල්ලපනල්ලෙ තමයි එවකට දහ තුන වසරේ හිටපු අයියලා ( එහෙම කියමු ඉතිම් 😛)ටිකක් ඉන්ටවල් එක අල්ලලා අපේ පංතිවලට ඇවිල්ලා ඉස්කෝලෙට අලුතෙන් ආපු අයට රැග් කරන්න එන්නෙ.. අපි ඉතිං කාටවත් කරදරයක් නැතුව අයිංසකව බෝපැල වගේ ඉන්න දරුවෝ උනාට ඒ වගේ අසමජ්ජාති වැඩවලට අපේ අනුග්‍රහයක් නෑ.. ඕං ඔය රැග් කෙරුවාවට විරෝධය විදිහට තමයි අපේ පංතිය ඇතුලේදි දහතුන වසරේ අයියලා සැට් එකක් එක්ක වලියක් පැටලෙන්නෙ.. දොලහ G එකට දහතුන වසරෙන් පැනලා නෙලන්න යද්දි දොලහ ආර්ට් එකේ සැට් එකත් වලිය මැද්දට පැනලා දෙපිරිසම සම සමව ගහගෙන සම සමව ගුටිකාලා ඉන්ටවල් එක ඉවර වෙද්දි විසිර යනව.. රැග් සීන් එතනින් අහවරයි..
කතාවට උක්තව ලියන සිද්දිය් එන්නෙ අන්තිමට.. ඕං ඔය රැග් වලියට පහුවදා ඉන්ටවල් එකේ මේ ලියන මම, අපේ කොටා සහ ගයාන් පහලට යද්දි නැවතත් දහතුන වසරේ අයියලා ( එහෙම කියමු ඉතිං) ටික අපි තුන්දෙනාව ඇම්බුශ් කරනව.. සීන් එක් වෙන්නෙ උඩ තට්ටුවේ නිසා පහලට පැනලා බේරෙන්නත් බෑ.. දහයක පහලොවක විතර පිරිසකට එදිරිව අපි තුන්දෙනෙක් ඉතිං මක් කරන්නද කියලා මමනම් ඉතිං වරසැල් වෙන්න ගුටි කන්න හිත හදාගන්නව.. හැබැයි එයාලගෙ ටාර්ගට් එක වෙලා තිබ්බෙ අපේ ගයියව.. පුලුහං හැම විදිහකටම මැදට පැන්නත් උන් වටකරන් නෙලුවෙ අපේ ගයාන්ට පමණයි.. කොටාට එකක් දෙකක් වැදුනා උනාට මටනම් නියපිටින් පාරක් වැදුනෙ නෑ.. ඒකට එක හේතුව වෙන්න ඇත්තෙ එවකට ඇටිකිරිත්තෙක් විතර මට ගහන එක ගැරඬි මරලා පවු ගන්නවා කියලා උන්ට හිතෙන්න ඇති.. අනික් හේතුව අපිව ඇම්බුශ් කරපු කට්ටියගෙන් වැඩිමනක් අයියලා ( එහෙම කියමු ඉතිම්) මම පුද්ගලික්ව දන්න කියන එවුන්..
ඕං විනාඩියක් දෙකක් වගේ කාලය ඇතුලත උන් වටකරන් අපේ ගයියට ගහනවා සහ ක්ශණිකව සෙට්වෙන 12 G කොමර්ස් පංතියේ එවුන් ටිකයි 12 ආර්ට් පංතියේ එවුන් ටිකයි එකතු වෙලා එවෙලෙ අතට අහුවුන දහතුන වසරේ එවුන්ට ඇඬෙන්න රිටර්න් එක දෙනව.. එක අයියා කෙනෙක්නම් අඬාගෙන එයාගෙ අම්ම උගන්න ඉස්කෝලෙට දුවලා අම්මවත් එක්කගෙන ආවා කියහංකෝ ඉස්කෝලෙ ඇරෙන්නත් කලින්.. ටීචර් කෙනෙක් වෙච්චි ඒ අයියගෙ අම්ම ඉස්කෝලෙට ඇවිත් ප්‍රින්සිපල් සර්ගෙ ඔෆිස් එකටත් ගිහිං ලොකු නාට්ටියකුත් පෙන්නුවා එතුමියගේ දහතුන වසරේ පුතාට දොලහ වසරෙ එවුන් වටකරන් ගහලා කියල... 🙈🙈🙈😂😂😂
එදා දවසෙන් වලිය ඉවරයි.. ඊට පස්සෙ තිබුනෙ අපේ ගයියට ගහපු එවුන් ටික එකා එකා හොයලා බීපු මවුකිරි මතක් වෙන්න රිටර්න් එක දෙන එක.. ඒ කිව්වා වගේම එකා එකාට වෙන වෙනම ඒ සබ්බුවත් දුන්නා ආයෙ වලියකට නොයන්නම.. සමහරක් අයට පාරෙදි සහ සමහරුන්ට ඉස්කෝලෙදිම.. සමහරු සර්ලා මිස්ලා ලව්ව ඇප අයදුම් කරපු නිසා එයාලා ගුටි පෝරියල් ලිස්ට් එකෙන් අතෑරිය.. ඕං ඔය සෙට් එකේ හිටපු එක්තරා ඇල්පිටියෙ හාදයෙන් සතියක් දෙකක් විතර ඉස්කෝලෙ එන එක මගෑරියා.. මොකද කියනවානම් එයා ඉස්කෝලෙ එනකල් දොලහ වසරේ මල්ලිලා ටිකක් ගේට්ටු දෙක ලඟම ඔත්තු බලමින් ඉන්න වග දැනගත්තු නිසා...
ඕං ඔය විදිහට සති දෙකකට වඩා කාලයක් ඉස්කෝලෙ එන එක මගෑරපු ඒ අයියා ( එහෙම කියමු ඉතිම්😜) ඕං අන්තිමේ ඉස්කෝලෙ ආවා කියමුකෝ.. ඉන්ටවල් එක හැමෝගෙම අවධානය ලැබෙන වෙලාවක් නිසා අපේ කට්ටිය වැඩ කරන පීරියඩ් එකක මෑන්ස්ව කැඳවනවා කැඩෙට් රූම් එක ලඟ තිබ්බ පිරිම වැසිකිය දිහාවට.. ඒ වැසිකිලියේ තිබ්බ ගන්දස්සාරෙට ගුරුවරයෙක් මලාට ඒ පැත්ත පලාතේ එන්නෙ නෑ... ඕං චූදිතයා යාලුවෙක් සමග පැමිණෙනව.. 12 ආර්ට් එකේ සෙට් එකයි 12 G හෙවත් අපේ පංතියේ සෙට් එකයි, 12 මැත්ස් එවුන් ටිකකුයි 12 බයෝ එකේ එකෙකුයි එවරෙඩී 13 වසරෙ අයියව පිලිගන්න.. මේං බොලේ අර යෝදයා එතනට ආවා විතරයි අපේ එවුන් ඔක්කොම පැනලා මේ යකාව බිම පෙරලාගෙන නෙලන්න පටන් ගත්තා කියහංකො.. රංචුවක් එකතුවෙලා එකෙක් පෙරලගෙන ගහනවා බලන් ඉන්න බැරිම තැන
මම මැදට පැනලා දැං ඇති දෙයියෝ මූට යන්න ඇරපං කිව්වා විතරයි..
පලයං Xx තො පැත්තකට කියලා අපේ ඈපා මට ගැහුවා කියාංකො රොම්බ කම්මුල් පාරක්... මං හිතන්නෙ අපිට සිංහල කරපු සුමිත්‍රා මිස් මට ගහලා තියන කම්මුල් පාරවල් සේරෝටම වඩා ඒ එක කම්මුල්පාර සැරයි..
මං ඉතිං ඈපට කිව්වා ඕකට ගහන්න එපා බං පවුනේ දැං ඇති කියලත්.. ඒ වගේම මම කිව්වා රංචුවක් එකතුවෙලා එකෙකුට ගහන එක හරි නෑ නේද කියලාත්.. ඕං එතකොට ඈපා මට ආයෙම පිට මැද්දටත් හතරක් විතර නෙලුවා කියහංකො..
තෝ දැං මූට ගහන්න එපා කියනව.. සති දෙකකට කලින් තොපි තුන්දෙනාට මුං වටකරන් ගහද්දි මුන් ලඟ ඒ මනුස්සකම තිබ්බෙ නෑනෙ.. ඒ නිසා මුන්ට ආයෙම රිටර්න් එක දෙනකොට අපිත් අපේ මනුස්සක්ම් මුන්ට පෙන්නලා වැඩක් නෑ... මුන් තිරිසන්නු.. රංචුවක් වටවෙලා තුන්දෙනෙකුට ගහද්දි මුං සාධාරණේ අසාධාරනේ ගැන හිතුවෙ නෑනෙ p කෝ..
ගැහුවනම් ගහපං ඒ විදිහටම.. නැත්තං ආයෙම චාන්ස් එකක් ආවොත් ඊලඟ පාර මුං උඹලව මරනව.. තොට මේක බලන් ඉන්න බැරිනම් තෝත් මෙතන මැරුම් නොකා පංතියට පල..
උක්ත දහතුන වසරේ රැග් අයියාට ඇති වෙනකල්ම ගුටි ඇනලා එදා අපේ එවුන් ටික රැග් වලිය අවසන් කරා.. එතැනින් එහා දහතුනේ අයියලා (එහෙම කියමු ඉතිම්😋) ඒ ලෙවල් කරලා ඉස්කෝලෙන් යනකල්ම 12 වසරෙ අපි එක්ක පැටලෙන්න ආවෙ නෑ..
උන් කරපු වැඩේ වැරදිවුනත්, උන් අපිට වටකරන් ගහුවා වුනත්, උන්ගෙ හැම එකාටම එකා එකා තනියම අල්ලලා වටකරන් ගුටි ඇනපු එක ගැන මටනම් අදත් ආඩම්බරයක් නෑ... It is a disgusting feeling.. ඒ උනාට ඈපා මට මෙගා සයිස් කම්මුල් පාරක් ගහලා පිට මැද්දෑවටත් තුන හතරක් ඇනලා දීපු අවවාදය සහ කියලා දීපු සර්වලෝක තියරිය ලෞකික ජීවිතය ඇතුලේ ලෝක විනාශය දක්වාම වැලීඩ් කියලයි මට හිතෙන්නෙ..
ප්‍රහාරය අශිශ්ඨනම් ප්‍රති ප්‍රහාරයත් අශිශ්ඨයි කියලා වර්ථමාන ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න කලින් කොහේදෝ කියනවා මම අහලා තියෙනව.. හොරු අල්ලන්න ගිහිං ආන්ඩුව තැවෙන තැවිල්ල දැං අවුරුද්දක් විතර බලන් හිටියා නේදෝ කියලා හිතද්දි අපේ ඈපා මට කියලා දීපු සර්වලොක තියරිය මතක්වුනා..
ඈපා මේ වෙද්දි ඉන්නෙ කැලිෆෝර්නියාවෙ.. ඈපා ලංකාවේ හිටියනම් මම ඈපව යවනවා ජනාධිපතිතුමාටයි ආන්ඩුවටයි මීටින් එකක් තියලා ඒ අවවාදෙම දීලා වරෙන් කියල.. රටක් කරද්දි සිද්දවෙන සමහර අසාධාරනකම් ජයගන්න ආන්ඩුවක් ඇතුලේ ඈපා වගේ එවුනුත් ඉන්න ඕන කියලයි මගේ කියැවීම..
( දැං ඉතිං මගේ බුකියෙ ඉන්න 95 AL කරපු අයියලා සැට් එක ලොකුවට රිදෝගන්නවා එහෙම නෙවෙයි ඕං.. ඔය රැග් වලිය මැද්දට පිහි කොටයක් අරගෙ පැනලා උන්දැගෙම අත කපාගත්තු අයියා කෙනෙකුත් මේකෙ ඉන්නව🤩🤩🤩.. ආදරෙයි පැලෙන්න උබලා හැමෝටම ❤️❤️❤️)
Sunday, January 4, 2026
31 රෑ නරි නාටක..
ඒ කාලෙ මම හිතන්නෙ වර්ශ 2000 දශකයේ මුල් කාලෙ වෙන්න ඕන.. මම බෑන්ඩ් එකෙන් අයින් වෙලා පූර්ණකාලීන රජයේ සේවකයෙක් වෙලා අම්බලන්ගොඩ කොලඹ යන එන කාලෙ.. උදේට 4.40 මේල් එකේ ගිහිං හවසට සාගරිකාවෙ ගෙදර ආපු කරුමෙ ගැන මතක් වෙද්දිනම් ඉතිං දැනුත් ඇඟේ ලේ වතුර වෙන තරම්.. ඒ කාලෙ ජීවිතේ සැපක් කියලා වින්ඳනම් ඉතිං සාගරිකාවෙ සෙකන්ඩ් ක්ලාස් එකේ හවසට යන නින්ද විතරමයි.. අනික්වා ඉතිං සේරෝම දුක්..
ඕං ඔය කාලෙ කවුදෝ අසමත්ජාතියෙක් මගේ කරේ එල්ලපු මරාලයක් තමයි මොන්ටසෝරි කොන්සර්ට් කරුමෙ.. කීබෝර්ඩ් එක ප්ලේ කරන්න පුලුහං නිසා මොන්ටසෝරි කීපයකින් මාව හොයාගෙන එනවා අවුරුද්ද අන්තිම වෙද්දි.. අනෙ අම්මේ ඉතිං ඔය ටීචර්ලා අපේ ගෙදර ගේට්ටුව ලඟින් ත්‍රීවීල් එකකින් බහිනවා දැක්කාම ඉතිං මට මූත්‍රා යන්නෙ නැති ටික විතරයි... හරියටම කියනවනම් මාස ගානක් පොලියට පොල්ල තියපු එකෙක්ව හොයාගෙ පොලී මුදලාලි ගෙදරටම ආවා හා සමානයි.. ටීචර්ලා එන්නෙත් ඉතිං අඩුම තරමේ කේක් ගෙඩියක්වත් ඔතාගෙන නිසා නෑ බෑ කියලා එලෝගන්නත් බෑ.. ඔය කොන්සර්ට් වැඩේ අවුරුද්ද පුරාම නැති නිසා යාන්තමට කොන්සර්ට් එකක් ඉවරවුනාම ඊලඟ අවුරුද්දෙනම් පොල්ල තියනවා තියනවාමයි කියලා හිතුවට මාස කීපයක් ගතවෙද්දි ඕක මොලේට අමතක වෙනව... ආං ඒ නිසා තමයි මොන්ටසෝරි මරාල ගේට්ටුව ලඟ ත්‍රීවීල් එක නවත්තද්දි මාව අතටම මාට්ටු වෙන්නෙ.. ටීචර්ලත් ඉතිං සී අයි ඩී දාලා හොයලා මාව ගෙදර ඉන්න වෙලාවම හොයාගෙන එනවදෝ කියලත් හිතිලා තියෙනවා මං ඉතිං නිවාඩු පාඩුවේ ගෙදර් ඉන්න ඩෑල් එකක් නොවෙන නිසා...
එතැන් පටං ඉතිං හැම වීකෙන්ඩ් එකේම පොඩි උන්ට සිංදු කියන්න නටන්න ගයන්න මට කීබෝර්ඩ් එක ප්ලේ කරන්න වෙනව.. වැඩේ බාර දෙනකොට ටීචර්ලා කියන්නෙ අනේ මල්ලි ඉල්ලන ගානක් දෙන්නම් මේ වැඩේ කරලා දෙන්න කියලා වුනාට මං ඉතිං කවදාවත් එයාලගෙන් සල්ලි අරගෙන නෑ.. කොන්සර්ට් එක දවසට ඉතිං මටත් පොඩි එවුන්ගෙන් තෑග්ගක් හම්බ වෙනව.. බොහෝ වෙලාවට ඉතිං කමිසයක් කලිසමක් තමා.. පෝරිසාදයෝ විස්සක් තිහක් එක්ක ඒ විඳින දුකටනම් ඉතිං හමීඩියා එකේම තියන කලිසම් කමීස දෙන්නම් කිව්වත් මටනම් ඒ ගිග් එක ඕන නෑ.. කරුමෙට ඉතිං අද වෙනකල් සුවකරගන්න බැරි අසනීපෙ ඉතිං බෑ කියන්න දිව නැමෙන්නෙ නැතිකම..
ඊයෙ ජනවාරි පලවෙනිදා අපිට නිවාඩු.. ලංකාවෙ නැතිවුනාට ලෝකෙ රටවල් බහුතරයක ජනවාරි පලවෙනිදා කියන්නෙ හැමෝටම නිවාඩු දවසක්.. මම හිතන්නෙ ජීවත් වෙන්න රස්සාවල් කරන රටවල ජනවාරි පලවෙනිදා නිවාඩු.. රස්සාව කරන්න ජීවත්වෙන රටවල ජනවාරි පලවෙනිදා අනිවාර්‍යෙන්ම වැඩට යන්න ඕන දවසක්.. ජනවාරි පලවෙනිදා ඕං උදේ දහයට විතර ඇහැරිල කිරිබත් කෑල්ලක් (මොන කෑලිද බං.. තඩි කිරිබත් පිඟානක්.. අනාගෙන කන එකේ ආයෙ මක්කටෙයි කෑලි කපන්නෙ) එහෙම කාලා ඉස්මුරුත්තාවෙ ටීවී එක ඉස්සරහ ඇලවෙලා ඉන්න අල්ල පනල්ලෙ ඕං ඉතිං යූ බටේ එකදිගට ප්ලේ වෙනව.. මාත් ලංකාවෙ උපන් හිංහල එකෙක් කියලා යූ බටේ ඇල්ගොරිදම් එක දන්න නිසා ඌ ඉතිං මාව ඉම්ප්‍රෙස් කරන්නද මන්දා දෙසැම්ම්බර් 31 රෑ ලංකාවෙ චැනල් ටිකේ පෙන්නපු නලු නිලි හුරතල් ටික එක දිගට පෙන්නනව.. එක චැනල් එකක ගිය එක සිංදුවක්වත් මම උපන්තේකට අහලා නෑ... ඊලඟ චැනල් එකේ කොස්ටියුම් ලස්සනයි... ලයිටින් ලස්සනයි... බැග්‍රවුන්ඩ් ලස්සනයි.. හැබැයි තුනම එකට එකතුවුනාම G හැත්තෑවයි... තව චැනල් එකක් එවුන්ගෙ සමහර සිංදු හොඳයි.. සමහර එව්ව බලන් ඉද්දි සිංදු කියන එවුන්ගෙ කටවල් හෙල්ලෙන තාලෙට යන සිංදු නෙවෙයි ප්ලේ වෙන්නෙ.. මම අනුමාන කරන්නෙ යූ බටේ කොපිරයිට්ස් අල්ලන නිසා සමහර සිංදු වෙනුවට වෙනත් AI සිංදු ඔබ්බලා අපිව රවටලා.. චැනල් වලින් නිරමාණකරුවන්ට කොපිරයිට්ස් ගෙව්වෙ නැති නිසාත් නිර්මාණකරුවන් කොපිරයිට්ස් ඉල්ලලා සංගම් හදාගත්තු නිසාත් දෑං ඉතිං අන්තර්ජාලය ඇතුලේ චැනල් හරහා තවදුරත් ඔරිජිනල්ස් අහන්න වෙන්නෙ නෑ... දෙගොල්ලන්ගෙම කොපිරයිට්ස් වලිය නිසා අපිට බලන් ඉන්න නැටුම නටන සිංදුව නෙවෙයි අපිට කනට අහන්න ලබෙන්නෙ... ඒ ඔක්කොමත් හරි කියමුකෝ... ඒ වගේද නැටුම්.. ආං ඉතිං බලනවනම් නැටුම්..
මොම්ටසෝරි කොන්සර්ට් වැඩේ ඉතිං ටිකක් අමාරු වැඩක්.. පොඩි එවුන් විස්සක් තිහක් පිලිවෙලකට සිංදුවක් කියන්න පිලිවෙලකට නර්ථනයක් කරන්න අඩුම තරමේ මාස දෙකක්වත් පුරුදු කරන්න ඕන.. කරුමෙ කියන්නෙ මාස ගානක් පුරුදු කරලත් ඉතිං බහුතරයක් පොඩි එවුන් කොන්සර්ට් එක වෙලාවට නටන්නෙ උන්ට අර මාස ගානක් පුරුදු කරපු නැටුම නෙවෙයි උන්ගෙම වෙනත් එකක්..
චැනල් සේරොගේම නැටුම් ටික බලන් ඉද්දි මට මතක්වුනේ මම මියුසික් කරපු මොන්ටසෝරි කොන්සර්ට් ටික.. අපරාදෙ කියන්න බෑ නලු නිලියො ටිකයි ඩාන්සර්ස්ලා ටිකයි නටනවා නැටිල්ලක් මොන්ටිසෝරි කොන්සර්ට් එකකට වඩා ලොකු වෙනසක් නෑ...
කිරිබත් මතට ඉතිං මටත් තැනින් තැන නින්ද ගියා.. එකපාරක් ඇහැරිලා ටීවී එක දිහා බලද්දි දැකපු දෙයක් නිසා මම ටීවී එක නිමල දැම්ම.. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි.. ඔව්වයෙ පෙන්නන ජුගුප්සාජනක දේවල් බලලා ජනවාරි පලවෙනිදා හා හා පුරා කියලා කාපු කිරිබත් පිඟානත් වමනෙ දාලා බැරි නිසා.. දැකපු දේ ඉතිං ලියලත් බෑ නොලියත් බෑ.. ලා නින්දක් ගිහිං ඇහැරිලා ටීවී එක දිහා බලද්දි මේං ජැකාගෙ ලොකු එකා හීනි ජංගි කොටයක් විතරක් ගහගෙන ගෑනු රොත්තක් වටකරගෙන මා දිහාට කකුල් දෙක පලල් කරන් අහවල් එක පෙන්නං ඉන්නවා කියහංකො..🤭🤭🤭