Sunday, September 25, 2016

පරීක්ෂණ .. නිරීක්ෂණ..නිගමන..



දින විසි පහක නිහඬතාවයකින් අනතුරුව මේ ලියන්නට තනන්නේ සෑහෙන්න අනතුරු සහිත පොස්ටුවක් නිසාවෙන් කියවනා පාඨකයින් මේ කියවන අල්ලපනල්ලේ අනතුරු හෙම කරගත්තොතින් ඕන් මම නම් එව්වාට වගකියන්නේ නැතිය. මේ පෝස්ටුව පුරා ලියවෙන්නේ අම්බලන්ගොඩයාට සිදුවූ අලකලංචි අටෝරාසියක විස්තරය.

අම්බලන්ගොඩ හාදයා තම ප්‍රථම මංගල අඩව්ව අල්ලන්නේ පාසලේ එක දෙක වසරේ බව යාන්තමට මතක ඇතත් ඒ පිළිබඳව ටක්කෙටම කිව නොහැක්කේ අම්බලන්ගොඩයාගේ රැම් එක හෙවත් මතකය භාගයට පිච්චුනු ස්භාවයේ එකක් නිසාය. එම අරුම පුදුම මතක කොටස අවශ්‍යම දෑ අමතක කරන්නටත් අනවශ්‍ය කුණු ගොඩවල් අකුරට මතක තබාගන්නටත් සෑහෙන දක්ෂකමක් දක්වනවාය. 

අම්බලංගොඩකතා කියවනා වූ පාඨක මිතුරන් මීට කලිනුත් කියවා ඇති ආකාරයට අම්බලංගොඩගේ පියාණන් තරමක් නීති රීති තද පුද්ගලයකු වශයෙන් දන්නවා ඇතැයි සිතනවාය. එය එසේ බැවින් අම්බලංගොඩයා කුඩා කාලයේ පියාගෙන් විනෝදාත්මක යමක් හෝ සෙල්ලම් බඩුවක් ලැබුනානම් ඒ බොහොමත්ම කලාතුරකින්ය. ඒ අම්බලංගොඩගේ පියාණන්ගේ ලෝභකම නිසා නොවේය. එනම් අම්බලංගොඩයා උපන්දා සිටම ලැබෙනා සියලුම සෙල්ලං බඩු ගෙනා ආකාරයෙන්ම තිබෙන්නේ අම්බලංගොඩයා අතට ඉස්කුරුප්පු නියනක්, පිහි තුඩක් වැනි මල් ඉස්කුරුප්පු ඇන ගලවියහැකි ආයුදයක් හසුවනතුරු පමණක් නිසාය. උදාහරණයක් ලෙස ගතහොත් අම්බලන්ගොඩයාට සෙල්ලම් කාර් එකක් ලැබුනහොත් අම්බලංගොඩයා උත්සහ කරන්නේ වටේට ලස්සනට තිබෙනා කාර් බඳ ගලවා ඇතුලත වැඩ කරනා ආකාරය නරඹා විනෝද වන්නටය. එසේත් නැතිනම්  සෙල්ලම් බඩුවේ මදය ගලවා බලන්නටය. ගොඩයා අතට පත්වූ සෙල්ලම් බඩුවක් වී නම් එය ගලවා ඇතුලත නරම්බනතුරු ඉස්පාසුවෙන් නින්දක් නිදාගන්නේ ගොඩයා නොවේය. කව්රුත් කී පමණින් කිසිවක් පිලි නොගන්නා ගොඩයා පරීක්ෂණයක් සිදුකර නීරීක්ෂණ අනුසාරයෙන් නිගමනයට එළඹීම කුඩාකල පටන්ම සිරිතය. 

අම්බලංගොඩයා සිදුකල පලමුම අනතුරුදායක පරීක්ෂණ වලින් කිහිපයක් ලියා තබනවානම් පළමුවැන්න බයිසිකල් පරීක්ෂණයක්ය. එකට ගොඩයාට පාසලේ එක වසරේ වූ අතර පියාණන්ගේ පුටාර් බයිසිකලයේ පොල්ල අස්සෙන් කකුල දාගෙන වත්ත වටේ පැදි අවදියය. නොවඳිනා වැඳුම් වැන්දාද ආසාවට පාරේ රවුමක් යාමට පියාගෙන් ගොඩයා වෙත අවසර ලැබෙන්නේම නැතිය. ලොකු බයිසිකලයක පොල්ල උඩින් කකුල දමා පැදීමට තරම් උසක් නොවූ ගොඩයා පුංචිම පුංචි කෙනචි හාදයෙක් වූ අතර පොල්ල අස්සෙන් කකුල දමා පැටල භාගය පාගා වත්ත වටේ එහාට මෙහාට ගියේද පියාගේ බලවත් විරෝදය මතය. ඒත් වැඩිමනක්ම පියාණන් එලි පෙහෙලියේ නොපෙනෙනා අල්ලපනල්ලේය. වත්ත වටේ පුංචි රවුම් යන ගොඩයා රවුම ටිකෙන් ටික ලොකු කරමින් ලොකු රවුම් යන්නේ ගේට්ටුව ආසන්නයෙන් වන අතර භාග පැටල ගසනා ශබ්දයට  පියාණන් එලි පෙහෙලියට එන සෙයියාවක් නොමැති නම් හෙමින් හීරුවට ගේට්ටුවෙන් එලියට බයිසිකලයේ හොස්ස පොවනවාත් සමගන හැමදාමත් පියාණන්ගේ අතටම මාට්ටු වෙනවාය. කොයිතරම් ඉව ඇල්ලුවත් බයිසිකලය රැගෙන පාරට සැපත් වන්නටනම් කොහෙත්ම චෑන්ස් එකක් නැත්තේමය.

පෙර කල කුසල කර්මයක් පැළදීමෙන් ගොඩයාගේ පුංචි අම්මා ගොඩයාට අලුත්ම අලුත් කිරි කිරි රතුපාට චොපර් එකක් අරන් දෙන්නේ ඔය අල්ලපනල්ලේ වන අතර ගොඩයාගේ පියානම් එම තෑග්ග තම පුත්‍රයාට දෙනවාට කිසිසේත්ම යහපත් ප්‍රතිචාරයක් දැක්වුයේ නැතිය. එහෙත් පුංචි අම්මා අරන් දුන් චොපරය වත්තේ පමණක් පදින පොරොන්දුව පිට ඔන්න ගොඩයා දැන් චොපර් බයිසිකලයක හිමිකාරයෙක්ය. චොපර් බයිසිකලය අලුත්ම අලුත් එකක් වුවාට ගමේ කොල්ලන් කුරුට්ටන්ට පෙනෙන්නට එය පදින්නට කරේමයක් ගොඩයාට හිමි නොවන්නේ පියාණන් රැකියාවට යන කාල වෙලාවේදී චොපර් බයිසිකලයේ ඉදිරිපස රෝදයේ ස්පෝක් මැදින් තඩිම තඩි ඉබි ගොයියෙක් වැටෙනා නිසාය. මේ කියනා වසර එක්දහස් නවසිය අසූ හතර හෝ අසූ පහ වසර වගට යාන්තමට මතකයේ ඇතත් හරි හැටියට ටක්කෙටම කිව නොහැක්කේ මතක චිපය හරි හැටි වැඩ නොකරනා නිසාය.

එකල අම්බලංගොඩගේ පියා නව නිවසක් සෑදීමට ආරම්භ කර තිබු කාලය වීය. දිනය සති අන්තයේ දිනයක් වුවත් පියාණන් නිවසේ නොමැති නිසා චොපර්  බයිසිකලයේ ඉබ්බා ඉදිරිපස රෝදයේ ස්පෝක් අතර සුරැකිව ගජරාමෙට වැජබෙමින් සිටි අතර දවසකට වතාවක් දුහුවිලි පිස දැමෙන චොපරයේ පිරිසිදු කිරීමේ කරයුතු නිසි ආකාරයෙන් සිදුවූ දිනයක් වන්නේය. පදින්නට වාසනාව නැතත් පිසදා අතගා තබාගන්නට ලැබීමද  ගොඩයාට හෙන ආශ්වාදජනකය. ඉදිරිපස රෝදය පිසදමනා අල්ලපනල්ලේ ගොඩයාගේ කාර්මික ඥානයට වැටහෙන්නේ ඉබි රාජයා ස්පෝක් දෙකක් අල්ලා දමා තිබුනද ඉබි වහන්සේ ස්පෝක් අතර සුරක්ෂිත කළහොත් චොපරය පැදීමට කිසිදු භාදාවක් නැති බවටය. සියලු නිරීක්ෂණ වලින් නිගමනයට පැමිණි අම්බලංගොඩයා ඊළඟට සැරසෙන්නේ රෙදි පටියකින් ඉබි ගොයියා ස්පෝක් අතරටම තබා වෙලා පත්තුවක් බැඳ  රිසිසේ චොපරය පදින්නටය. පරක්ෂණ , නිරීක්ෂණ අනුව පැමිණි නිගමනයෙන් ක්‍රියාත්මක වූ ගොඩයාගේ මල් මසුරන් අදහසට අනුව ඉබි නයිදේ ස්පෝක් වලටම තබා රෙදි පටියෙන් වෙලා දැමු පසු චොපරය ෂපාන් එකට පදින්නට පුළුවන්ය. ඒ අනුව අම්බලංගොඩ හාදයා ඊළඟට සැරසෙන්නේ තම මංගල වීදි සංචාරය සඳහා චොපරය ධාවනයේ යෙදවීමටය.

නැකත හොඳයි කීය පියා 
මව ඉන් ඉදිරියට ගියා 
මග හැම වස් දොස් හැරියා 
එක පැටියෙක් හැබී පියා 

කුමාරතුංග මුණිදාසයන් එසේ කීවද චෝපරයේ මංගල වීදි සංචාරයට ආවඩන්නට තබා  නරඹන්නටද නිවසේ කිසිවෙකුත් පෙනෙන්නට නොමැතිය. පියාණන්ගේ නිත්‍ය මාද්‍ය ලේකම් තැන වන ගොඩයාගේ නැගනියද නිවසේ නොමැතිය. කාලගුණ තත්වය  ඉතාමත් යහපත් නිසාවෙන් අම්බලංගොඩයා තම මංගල චොපර් සංචාරය සිදුකරන්නට යෙදෙන්නේ තම නිවසට ඉහලින් කන්ද උඩ තිබෙනා පුංචි අම්මාගේ නිවස බලාය.

ස්පෝක් අතර හොඳහැටි තද කර වෙලා තිබෙනා ඉබි නයිදේගෙන් ගොඩයාට කිසිදු කරදයක් නොමැති අතර චොපරය කන්ද උඩට ධාවනය වන්නේ කිසිදු ඇහිල්ලක් බැලිල්ලක් නොමැතිවය. එහෙත් ගොඩයාගේ අවාසනාවට තමුන්ගේ වීරක්‍රියාව පෙන්වන්නට පුන්චම්මලාගේ නිවසේද කිසිවෙකුත් නොමැතිය. ඊළඟට තිබෙන්නේ ආ පාරේම කන්ද බැහැගෙන නිවසට සැපත් වන්නටය.  අද වෙද්දී කාර් බාර් ධාවනය වුනත් එදා වෙද්දී එව්වට මහා මාර්ග කියනවාට වඩා ගැලපෙන්නේ වාරිමාර්ග කියනා වචනයය. වැහි දිනවලදී කන්ද මුදුනේ හිටං පහලට ගලාගෙන එන්නාවූ මහා ජල කඳ මහාමාර්ගය වාරිමාර්ගයක් කර දමනා නිසා එම මාර්ගයේ වාහන ගමන් කලේම නැතිය. පුන්චම්මාගේ නිවසින් ගෙදර එන්නට පිටත්වූ අම්බලංගොඩයාට ඒ අල්ලපනල්ලේ සුළු පරීක්ෂණයක් කර නිරීක්ෂණ ආකාරයෙන් නිගමනයකට එළඹෙන්නට හිත පහල වන්නේ පෙර කල අකුසල කර්මයකට වන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවාය. එය එසේ කියා ලියන්නේ මොලේ කලඳක් තිබෙනා එකෙකු එවන් ආකාරයේ කුජීත වැඩ නොකරනා නිසාය. ගොඩගේ ඔලුවේ පහලවූ විකාර රූපී සිතුවිල්ල නම් වාරිමාර්ගයක් වැනි දරුණු ආනතියක් තිබෙනා පාරේ පහලට ධානය වන චොපරයේ තිරිංග හෙවත් බ්රේක් නොඅල්ලා කන්ද බැසීමටය.

ක්ෂණිකව හිතේ පහලවූ සිතුවිල්ල අකුරටම ක්‍රියාත්මක කරනා ගොඩයා රැගත් චොපර් බයිසිකලය අධික බෑවුමක් සහිත (වාරි)මාර්ගයේ උඩ විසික් වෙමින් අධික වේගයෙන් කන්ද පහලය ධානය වෙනවාය. අම්බලංගොඩයා අබ ඇටයක් තරම් උස් මහත් නොමැති බැවින් චොපර් බයිසිකලයේ ආසනයේ වාඩිවී ඉන්නට හෙන ට්‍රයි එකක් දෙනවාය. ඒ නිකම් නොවේය.. දත් මිටිකාගෙන හැඩලය තදින් අල්ලාගෙනය. අඩියක දෙකක ජඹුර කානුවක පතුලේ නොපෙනී යන අම්බලංගොඩයා රැගත් චොපරය නැවතත් කානු ගැට්ටෙන් උඩට මතුවන්නේ අහල පහල නිවෙස් වල මිදුල්වල සිටිනා බාල තරුණ මහලු සැමදෙනා වෙතම නොමිලේ වලේ නැතත්බ ඇලේ බයිසිකල් සංදර්ශනයක් බලාගන්නට අපූරු අවස්තාවක් සලසා දෙමින්ය. මිදුල්වල රෙදි වනමින් සිටිනා කාන්තා පාර්ශවය කම්මුලේ අත් දෙකම තබාගෙන බෙරිහන් දෙනවාය. අම්බලංගොඩයාගේ දන්නා කියනා මිත්‍රයින් හුරේ දමන්නේ ඊළඟට වන්නට යන්නාවූ විලබෑසිය උන් නොදන්නා නිසාය. නිවෙස්වල ආලින්දවල පත්තර බලමින් සිටිනා වැඩිහිටි පිරිමි උදවිය ඉහලට ගත් හුස්ම ජුන්ඩ පහලට දාන්නට අමතක වූ ගානය. 

ඇල ගෝල ගංගා යාවි බලා.. දිය රැලි නංවා මුහුද සොයා.. රන්වන් සමනලු යයි පියඹාලා අත්තටු සලලා මල් සොයලා.. ලා ලා ලා ලා...ලා... ලාල ලල්ලා ලාලා..ලාල ලල්ලා ලාලා..ලාල ලල්ලා ලා.... 

ඉහත කී ගීතයෙක් කියවෙන්නා වාගේ අම්බලංගොඩයා රැගත් චොපරය විදුලි වේගයෙන් (වාරි)මාර්ගය  දිගේ වල ගොඩැලි තරණය කරමින් මඩ කාගෙන කන්ද පහලට ඉගිලෙන අල්ලපනල්ලේ ගොඩයා විසින් ස්පෝක් අතරට තබා පත්තු බඳින ලද ඉබි නයිදේගේ පත්තුව බැඳී රෙදි පටිය ලිහිල් වන්නේ අම්බලංගොඩගේ මංගල වීදි සංචාරයේ අවසානය සනිටුහන් කරමින්ය. ඉදිරිපස රෝදය කැරකෙනා වේගයෙන්ම පෝක් අතේ දෙපසට වදින්නට ගත් ඉබි උන්දෑ එක්වරම පෝක් අත හරහා සිරවී නවතින්නේ අම්බලංගොඩගේ චොපර් ගමනාගමනය වසර කිහිපයකට අත් හිටවූ බයිසිකල් තහනමක් බවට පත්කරමින්ය. හුචාස් ගාමින් නැවතුනා වූ ඉරිදිපස රෝදය නිසා චොපරයෙන් ඉහලට ගුවන්ගතවන අම්බලංගොඩයා ගුවන් කරනම් කිහිපයක් ගසමින් නරබන්නන් අමන්දානන්දයට පත් කරවමින් තම වීර ක්‍රියාවේ අවසානය සනිටුහන් කරන්නේ පියාණන් විසින් ඉදිකරගෙන යනු ලබන නව නිවසේ වැට මායිමේ තිබු කටු කම්බි වටේ හැමිනිලාය. ගොඩයා කටු කම්බි වැටේ හැමිනුනු ඇසිල්ලේ චොපර් රාජයාද  ඉබි නයිදේ සමගම කරනම් ගසමින් පැමිණ අම්බලංගොඩගේ දෙපා මුල වැද හොත්තේ මලත් තම ස්වාමියා දමා නොයනා ගතිය යකඩ ගොඩක් වූවද තමුන්ට තිබෙනා වග ඔප්පු කර පෙන්වීමට වාගේය.


නොමිලේ ඇලේ බයිසිකල් නැරඹු හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස ඊළඟට පෙන්වන්නේ ගහෙන් වැටුන එකාට ගොනා අනිනා ජවනිකාවය. එනම් අම්බලංගොඩයාගේ පියාණන් නිවසින් අතුරුදහන්ව සිට ඇත්තේ අලුතෙන් ඉදිකරනා නිවස වයරින් කරනා බාසුන්නහේගේ වැඩ බලමින්ය. අම්බලංගොඩයා ගුවන්ගතවූ ශබ්දයට එලියට පැන්නාවූ වයරින් බාස්ද ගෝලයාද අතරින් ස්වේච්චාවෙන් ඉදිරියට ආ අම්බලංගොඩයාගේ පියාණන් අම්බලංගොඩයා වෙත ප්‍රථමාධාර දෙන්නේ මෙසේය..

දඩාo.....දඩාo..... චටාස්... පටාස්.. ඩාo... ඩාo.... දුවපිය ගෙදර..

ඔලුව කසමින් ගෙදර දුවගියා වූ අම්බලංගොඩයාගේ චෝපරය රෝද වල හුලන් ඇර දමා තඩි දම්වැලකින් දිගේලි වන්නේ එම වීරක්‍රියාවට කෘතගුණ දැක්වීමක් වශයෙන්ය. 

අම්බලංගොඩයාගේ දෙවැනි අපූරු පරීක්ෂණය ක්‍රියාත්මක වන්නේ ලොකු අම්මගේ නිවසට ගියාවූ නිවාඩු කාලයකය. සිංහල අවුරුදු  නිවාඩුවට ගාල්ල ආසන්නයේ පිහිටි ලොකු අම්මගේ නිවසේ සතියක් දෙකක් ගතකිරීමට ලැබීම අම්බලංගොඩයා වෙත ඇති මහත් ආශ්වාදජනක කටයුත්තක් වෙනවාය. එනම් ගොඩයාගේ ලොකු අම්මගේ පුත්තු ගොඩයාට වඩා වසර දහයකට විස්සකටත් වඩා වැඩිමහලු අයියලා වීමය. ලොකු අයියා අම්බලංගොඩයාට වඩා වසර විසි ගානකට වැඩිමහල්ය. මද්දුමයා හෙවත් සුදු අයියා පහළොවකට පමණ වැඩිමහල්ය. බඩපිස්සා හෙවත් පොඩි අයියා වසර දොළහකට දහතුනකට වඩා වැඩිමහල්ය.  උන්දලාටද සිටිනා එකම මලයා වන අම්බලංගොඩයාට ලොකු අම්මගේ නිවසට ගියදා පටන් සුර සැපය. ඉල්ලන ඉල්ලනා දෑ ලැබෙනවාය. හවසට මුහුදු වෙරට එක්ක යනවාය. ඇති තරම් බයිසිකල් පදින්නට ලැබෙනවාය. කැලේ කොලේ ඇති තරම් නටන්නට දුවන්නට පනින්නට ලැබෙනවාය. පංච දාන්නට ලැබෙනවාය. කැට ගසන්නට ලැබෙනවාය. ගස් උඩ නගින්නට ගල් උඩ නගින්නට ලැබෙනවාය. කජු පුහුලන් කන්නට ලැබෙනවාය. වැල වරකා කන්නට ලැබෙනවාය. උසම උස ගහක බැඳී ඔන්චිල්ලා පදින්නට ලැබෙනවාය. කොටින්ම කියනවානම් අම්මාගේ ගමේ ඇති තරම් ඇවිදින්නට ලැබෙනවාය. එහෙත් අම්බලංගොඩයා එම ගමනට ඇති එකම සහ අවසන් අකමැති කොටහ වන්නේ ලොකු අම්මාගේ නිවසට එකල විදුලි බලය නොමැති වීමය. ලොකු අම්මාගේ නිවස පිහිටියේ ගාලු පාරෙන් මදක් ඇතුලට වන්නට පිහිටි කඳු සහිත විශාල ඉඩමක වූ අතර රාත්‍රී කාලයේ ඔවුනට ආලෝකය සැපයුවේ පැට්‍රොල් මැක්ස් ලාම්පුවක්ය. 

දවල් දවස පුරා ලොකු අම්මාගේ වත්ත පුරා ගස් ගල් පුරා දුව ඇවිදින අම්බලංගොඩයා හවස් යාමයේ අඳුර වැටෙද්දී ලොකු අම්මා අසල නිතර ගැවසෙන්නේ පොඩි අයියා වද මල් දෙකක් කන් දෙකේද තවත් දෙකක් කටින්ද ගෙන යක්ස නැටුමක් නටමින් අම්බලංගොඩයාව බයෙන් බිරාන්ත කරනා වූ නිසාය. ඒ නිසාවෙන් දවස් දවස සන්තෝසයෙන් ගතවුවාද රාත්‍රියේ පැට්‍රොල් මැක්ස් ලාම්පුව නිවා දමනා වෙලාවට අම්බලංගොඩ වීරක්‍රියා පසුදා පහන් වනතුරු කල් තැබෙන්නේ ඔලුව උඩින් කෝච්චියක් ගියද පසුදාට පහන් වනතුරු ඇස් නාරින තීරණය තදින් හිතේ ධාරණය කරගැනීමෙන් අනතුරුවය.

ගොඩයාගේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වලට ඇත පෙවීමට නොහැකි වූ යමක් ලොකු අම්මගේ නිවසේ තිබුනානම් ඒ අන් යමක් නව පැට්‍රොල් මැක්ස් ලාම්පුව පමණය. ලොකු අයියා එය දල්වන්නාවූ දවසට ගොඩයාට ඒ පැත්ත පලාතක ගැවසීම තහනම්ය. ඒ ලොකු අයියා හෙන නීති කාරයකු නිසාය. ඊටත් අමතරව ලොකු අයියා එය දල්වන්නේ හෙන ලොකු බාරදූර කාර්යක් ඉටු කරනා තරම් ගැම්මෙන්ය. හවසට ඇඟ සෝදවා පොන්ඩ්ස් පවුඩර් දමා කොණ්ඩය පැත්තට පීරා කුමාර ලීලාවෙන් සාලයේ පුටුවක වාඩිකරවා සිටිනා අම්බලංගොඩයාට ලොකු අයියා පනවා තිබෙනා සීමාවෙන් එහාට ලංවීමට තහනම්ය. ඒ නිසා එදාටද පැට්‍රොල් මැක්ස් ලාම්පුවේ වැඩ කෑල්ල අල්ලාගැනීමට අම්බලංගොඩයාට නොහැකිය.  මද්දුමයා හෙවත් සුදු අයියා පැට්‍රොල් මැක්ස් ලාම්පුව දල්වනා දිනයට සියල්ල සිදුවන්නේ කඩිමුඩියේය. එනම් සුදු අයියා නිසි රීතියට ලාම්පුව පිරිසිදු කොට එය දැල්වීමට තරම් කැප කිරීමක් නොකරන ශරීර හොරෙකු නිසාය. ඒ නිසාවෙන් සුදු අයියා ලාම්පුව ගෙන හුචස් හුචස් හුචස් ශබ්දයෙන් හුලන් ගසා විනාඩියෙන් දෙකෙන් ලාම්පුව  පත්තු කරලාද හමාරය. ඈත සිට නරඹන අම්බලංගොඩයා හට එහි නරඹන්නට දෙයක් සුදු අයියා ඉතුරු කරන්නේ නැතිය.

එහෙත් පොඩි අයියා එසේ නොවේය. ලොකු අයියා අහලක පහලක නැතිනම් ඕනෑම අවදානම් දෙයක් අම්බලංගොඩයාට කියා දෙන්නට පොඩි අයියා දෙවරක් හිතන්නේ නැතිය. එවන් දවසක පොඩි අයියා පෙට්රෝල් ලාම්පුව දල්වන්නට වූ අතර ලොකු අයියා නිවසේ නොවුයේ හැමදෙනාගේම අවාසනාවට වන්නට ඇතිය. එනම් පොඩි අයියා අම්බලංගොඩයා ලං කරගෙන සියල්ල හොඳින් නරඹන්නට අවස්තාව ලබා දීමය. 

පොඩි අයියේ මේකෙන් මොකක්ද කරන්නේ..

ඕකෙන් තමයි හුලං ගහන්නේ..

එතකොට මේකෙන්..

එකෙන් තමා හුලන් කොච්චර පිරිලද කියල පෙන්නනේ..

එතකොට මේක..

ආ එක පින් එක..

පින් එක කිව්වේ පොඩි අයියේ..

පින් එක කිව්වේ පින් එක..

එකෙන් මොකද එතකොට කෙරෙන්නේ..

එකෙන් තමයි හෙඩ් එකට යන තෙල් පාලනය කරන්නේ..

ඉතින් එතකොට මේක මොකක්ද..

හා.. හා.. අත තියන්න එපා ඕකට..එක මන්ටලේ..

මැන්ටලේ කිව්වේ පත්තු වෙන එක..

කුමාරෝ... ඔය මල්ලිව ඔතනින් අහකට කරලා කරහන් කරන දෙයක්.. අයිය දැක්කොත් විසුමක් වෙන්නෑ..

අන්න අන්න.. අහුනනේ.. දැන් යනව අමෙතනින් ටිකක් ඈතට..

හුචස්..හුචස්..හුචස්..හුචස්..හුචස්..හුචස්.. හුචස්...හුචස්...

ඒ පොඩි අයියා ටැංකියට හුලන් ගසනා සද්දයය..

ඒ පොඩි අයියේ.. ඕක ටිකක් ඇරලා පෙන්නනවකෝ ඔය ලයිට් එක ..

පිස්සු කියවන්න එපා.. යනවා අහකට මෙතනින්.. දන්නවනේ අයිය ආවොත්..

හරි ඉතින් එයා එනවනම් බයිසිකලේ සද්දේ ඇහෙනවනේ.. ටිකක් පෙන්නනවකෝ..

හරි  එනව එහෙනං.. 

ඔන්න දැන් පොඩි අයියා පැට්‍රොල් මැක්ස් ලාම්පුවේ හෙඩ් එක ගලවා වීදුරු ආවරණයද ගලවා අම්බලංගොඩයාට නරඹන්නට අවස්තාව දීලාය. ලොකු අයියා පැමිණෙන්නට ප්‍රථම හැකි විගසින් පැට්‍රොල් මැක්ස් ලාම්පුවේ සියලු පරීක්ෂණ නිරීක්ෂණ සිදුකල යුතුය.. ඇදහිය නොහැකි ගැජට්ටුව නම් ලාම්පු තෙල් වලින් දැල්වෙන්නාවූ ලාම්පුවේ ටියුබ් ලයිට් එළියක් විහිදීමය.. ඒ නිසාවෙන් එය ඉතා හොඳින් පරීක්ෂා කලයුතුය..

පොඩි අයියේ.. මේ මැන්ටල් ලයිට් එක ලොකු ගානක් වෙනවා ඇති නෙ..

කෑවා කෑවා කෑවා..ශික්.. අම්මේ....මල්ලි මැන්ටලේ කෑවෝ... අද අපි කරුවලේ...

හුටා බැලින්නම් පොඩි අයිය එපා කියද්දී අල්ලලා බලපු මැන්ටල් ලයිට් එක වෙනුවට අම්බලංගොඩ ගොයියාගේ අතේ ඉතුරු වෙලා තිබ්බේ අළු ගොඩ විතරය.. 

පරීක්ෂණය.. පැට්‍රොල් මැක්ස් ලාම්පුවේ මැන්ටලය කුමක්දැයි අල්ලා බලා සෙවීම..  නිරීක්ෂණය .. මැන්ටලය අල්ලා බලු වහා අළු බවට පත්වීම.. නිගමනය.. මැන්ටලය යනු ඇල්ලීමට සුදුසු දෙයක් නොවනා බව ..

ඔය වගේම පරීක්ෂණයක් කරන්න ගිය අපේ තඩියා අහිංසක අසරණ අම්බලංගොඩයාව මාසයක් ලෙඩ ඇඳේ තිබ්බේ පරීක්ෂණය ඉතාමත් අවදානම් සහගත එකක් වෙච්චි හන්දාය. 

තඩියා සහ අම්බලංගොඩයා යන්නේ  ගොඩයාගේ පියාණන්ගේ පිෂ්ටියෙන් තඩියා නිවසට ඇරලවන්නටය. පිෂ්ටිය පදින්නේ තඩියාය . පිටිපස්සේ ගොඩයාය .. යන්නේ පොල්වත්තේ ඉඳන් මහා අම්බලන්ගොඩටය .. ඒ කාලේ අද කාලේ වගේ මුහුදු වැලි හිඟ නැති නිසා කව්රුහරි එකෙක් වලා කජ්ජ ගහපු ගමන් මිනිය කනත්තට ගෙනියන්නේ පාර පුරා මුහුදු වැලි ඉහගෙනය. ඒ හින්දා එකෙක් වලකජ්ජ ගසා මිනිය කනත්තට ගෙනගොස් දින කිහිපයක් යනතුරු එම පාරේ ධාවනය වන්නාවූ මෝටර් සයිකල් සහ ෆුල් සයිකල් කරුවන්ගේවල කජ්ජ ගසනවාය.. එයද එවන් දිනයක්ය. 

වේගයෙන් පිෂ්ටිය පැදගෙන ගිය තඩියා දන බිම වැදී  කනේ වැලි ගෑවෙන්නට පෝරඹ වංගුව නවන්නට තියාගත්තේ පාරේ දමා තිබු වැලි ගැන කිසිදු තැකීමක් නොකරමින්ය..

වැලි වැලි වැලි යකෝ වැලි... ස්ලෝ කරලා ගනින්.. 

කෑ නොගහ හිටහන් බාන්..

එසේ කියා කට ගන්නට මත්තෙන් වැලි ගොඩ උඩ ලිස්සු තාත්තාගේ පිෂ්ටිය, වස්තුවක් නිරන්තරයෙන්ම සරල රේඛීය මාර්ගයක ගමන් කිරීමට උත්සහා කරනා න්‍යාය සැබෑවක් කරමින් වංගුව කෙළින් තිබු නිවසේ වැට කඩාගෙන දෙන්න එක්ක මිදුල මැද්දේ දොයියපතන් කියහන්කෝ..

පිෂ්ටියේ සිග්නල් ලයිට්, වටපිටේ තියන ප්ලාස්ටික් සියල්ල  කුඩු පට්ටම්ය.. තඩියාගේ දෙදන වැලමිට යතු ගාලා වාගේය. හෙල්මට් දෙකට පින් සිදුවන්නට වටිනා කියන ඔලු දෙක බෙරිලාය. හොඳ හැටි සෑදු කඩුල්ලක් තිබියදී වැට කඩාගෙන බිම ඉලීගන වත්තට පැමිණි ආගන්තුකයින් දෙදෙනා පිළිගැනීමට නිවැසියන් අසල් වැසියන් ප්‍රමුක පෝරඹ ජනතාව වටවෙලාය. එවන් ජතාවක් ඉදිරියේ තම පරීක්ෂණයේ ප්‍රතිපල වලින් නිගමනයට පැමිණි තඩියා නම් එයින් මතු වැලි තිබෙනා පාරක වංගු නව්වේ නැති වගට සාක්ෂි වන්නේ තඩියා තවම ජීවතු අතර සිටිනා බැවින්ය. තඩියා විසින් සිදුකල එම පරීක්ෂණයේ ප්‍රතිපල වශයෙන් දකුණු කකුලේ දණහිස පටන් වළලුකර දක්වා සයිලන්සරයට පිළිස්සුනු අම්බලංගොඩයා මාසයක් වින්ද දුක් දන්නේ අම්බලංගොඩයා පමණය. පිස්ලිස්සුම් තුවාල වලට බෙහෙත් දැමීම දවසක් හැර දවසක් සිදුවුවාය. එම තුවාලය සුව කර ගෙදර ඇරලවන අරමුණෙන් අම්බලංගොඩයා ලොකු අම්මාගේ නිවසේ නේවාසික කරගත්තේ ලොකු අයියාය. පිළිස්සුම් තුවාලයේ උඩින් දමනා නෙට් කැබැල්ල ඉවත් කරනා විට දැනෙනා සනීපය කියන්නට තඩියා ඒ අහල පහල සිටියානම් සෑහෙන්න වටිනවාය. පොඩි අයියා සහ සුදු අයියා, ලොකු අම්මා, ලොකු තාත්තා යන හතර දෙනා විසින් දිගේලි කර බෙල්ල මිරිකා අත පය බැඳ අල්ලාගන්නා  අම්බලංගොඩයාට අත පය සොලවන්නට බැරි වග ටක්කෙටම තහවුරු කරගන්නා ලොකු අයියා තුවාලයේ තිබෙනා නෙට් කොටස තුවාලයෙන් ඇද දමනා වේදනාව අදද මතක් වෙන වෙලාවට තඩියා අහල පහලක හිටියෝතින් බෙල්ල මිරිකන්නට හිතෙනවාය. වද බන්දනය එතනින් අහවර නැත්තේය.. ඉන් අනතුරුව තුවාලය පිරිසිදු කර බෙහෙත් දමන්නට කරාපිටිය රෝහලේ බෙහෙත් දමනා මහත්මයකු නිවසට පැමිනනවාය. එතුමාගේ මොටෝවේ ශබ්දය ඇසෙනා විට නැවතත් අම්බලංගොඩයාට මුත්‍රා බර වෙනවාය. නැවතත් පෙර සේමය. හතර පස්දෙනෙකු විසින් පුටුවක තබා අල්ලාගන්නා අම්බලංගොඩයා වහලයේ උළු තවුතිසාවටම විසික් වෙන්නට මර හඬ තලනා අල්ල පනල්ලේ කරාපිටියේ තුවාල බෙහෙත් කරු රිසිසේ ගොඩයාගේ දකුණු කකුලේ තුවාලය එන්ජෝයි කරනවාය. මාසයක් තිස්සේ කරනා ලද්දාවූ එවන් අසීරු ව්‍යායාමයකින් අනතුරුව පිළිස්සුම් තුවාලය සුව වුවත් අම්බලංගොඩයා එම පරීක්ෂණයෙන් ලැබූ නිගමනය නම් මෝටර් සයිකල් වල පසුපස යාම ඉතාමත් අවදානම් බවය.

අහිංසක අසරණ අම්බලංගොඩයාට කල අපරාදය තඩියා වෙත පල දුන්නේ ඉන් වසර දහයකින් පමණ අනතුරුවය. ඒ ට්‍රිප් එකක් යන්නට ඩොලක්කියක් ගේන්නට ගිහිල්ලාය. එදා තඩියා ගිය මොටෝව පසුපස සිටියේ බතලයාය. තම ප්‍රථම ප්‍රේමයෙන් මුසපත්ව සිටි බතලයා එකට සිටියේ පියවි සිහියෙන් නොවේය. රාත්‍රී අටට පමණ ගාලු පාර හරහා මොටෝව හැරවීමට තඩියා සහය ඉල්ලුවේ බතලයාගෙන්ය..

වාහන එනවද බලහන් පිටිපස්සේ..

හ්ම්..

ඉතින්  ඉක්මනට බලල කියහන්..

දෙකක් එනෝ..

පසුපසින් පැමිණි පළමු වාහනය තඩියා පසුකරගෙන යනවාය.. දෙවැනි වාහනයද  යනවාය.. ඊළඟ වාරය  තාදියාගේ හැරවුමටය..

දඩෝන්..... 

තඩියා තවම ජීවතුන් අතරය.. වරද නම් පසුපස බැලු බතලයා ප්‍රේමයෙන් මුසපත් දෑසින් හරි හැටි වාහන ගණන් නොකිරීමය.. පසුපසින් ආ වාහන ගණන තුනක් වූ අතර තඩියා සමග මොටෝව හප්පාගෙන යකඩ පැටවූ ලොරියක් අසල තිබු තාප්පයද කඩාගෙන නිවසක් අසලට ගොස් නතර වෙනවාය.. එදාද තඩියාට වඩා හානිය අම්බලංගොඩයාටය. ඒ මන්දයත් ඒ මොටෝවද  පියාණන්ගේ පෙර කී මොටෝවම වීමය.

ගිය නොගිය ට්‍රිප් එක ................








46 comments:

  1. අපරාදේ කියන්න බෑ, ඉල ඇදෙනවා!

    ReplyDelete
  2. අපේ පාසලේ ප්‍ර‍ධාන විනය පාලක තුමා සතු උනෙත් CD 50 ක්.
    නිළමට්ටමෙන් සර්ගේ බයිසිකලේ පාසල් වෙලාවේ උස්සන්න බලය තිබ්බ කිහිපදෙනාගෙන් එකෙක් තමා මමත්.
    දෙයියනේ කියලා බයිසිකලේකින් බල්ටියක් ගැහුවේ බැංකුවේ වැඩකට යද්දී කොලොන්නාවේ පෙට්‍රෝලියම් එක ලග

    ReplyDelete
    Replies
    1. මොටෝ සයිකල් වල පසුපස යාම එදා සිට සන්සාරෙටම අත්හිටෙව්වා බන්.. යාන්තමට හරි යනවනම් තාත්ත එක්ක විතරමයි.. තාත්ත එක්ක යනකොටනම් ඉතින් ෆුට් සයිකල් කාරයොත් අපිට ඉස්සර කරලා යන නිසා පොඩ්ඩක්වත් බයක් නැහැ සුදු පූසෝ.. තඩියාට පිං සිද්දවෙන්න කිසිම විදිහකට මොටෝ සයිකල් වල පස්සේ සීට් එකේ වාඩි වෙන්නෙම නෑ.

      උසස්පෙළ කරපු කාලේ නම් එකවුන්ටන්සි කරපු සර්ගේ හීරෝ හොන්ඩ එක මාත් ඔය ඉඳල හිටලා ඉල්ලගෙන ගියා ඉතිං..

      Delete
  3. නියමයි. එක හුස්මට කියෙව්වා. ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දම්සෝ පුතා.. ඔබතුමා ඉතින් මට වඩා හොඳට දැකල ඇතිනේ පිච්චුනාම දැනෙන සනීපෙ..

      Delete
  4. හරිම සනීප ගතියක් දැනෙනවාය......

    ReplyDelete
    Replies
    1. මේ පොස්ට් එක ලිව්වේ හදිසියේ නිසා බෙහෙත් දාද්දි දැනිච්ච සනීපෙ ගැන විස්තර කරලා ලියන්න බැරිවුනා.. ඇත්තම කියනවනම් දැනුත් ඇඟ හිරිවටෙනවා ඒ දැනීම මතක් වෙද්දී..

      Delete
  5. අපේ මාමල ඉන්නෙත් මහඅම්බලන්ගොඩ, පොඩිකාලෙ එහේ ගිහිල්ල මාමගෙ කෝලම් නැටුම් වලට ගන්න කදුරුලී වලින් කපපු කඩු වලින් ගහගෙන් ඒව කැඩිල කෑව කෑමක්, මට මතක විදියට ඒත් 84-85 තමයි.

    ReplyDelete
    Replies
    1. යකඩෝ උඹව කන්න එපැයි ඒ කරපු අපරාදෙට. ගැහෙ බැඳලා දිමි ගොටු දාල ගහන්න වටිනවා ඒ වැඩේට නම්..

      Delete
  6. හැක්... උඹේ පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමනනං නියමයි.

    මාත් පොඩි කාලෙ ඉස්සරහ ‍බ්‍රේක් විතරක් තිබ්බ චොපර් එකකින් සාමාන්‍ය පල්ලමක ගිහිල්ල වංගුවක බ්‍රේක් ගහල පාරෙන් අඩි දහයක් විතර පල්ලමකට විසිවෙලා නිරුපද්‍රිතව බේරිලා තියෙනව.

    ReplyDelete
    Replies
    1. මගේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන ගැන ලියන්න ගියොත් බ්ලොග් වල ඉඩ මදිවෙනවා බන්..

      Delete
  7. ඔය පැට්‍රෝල්මැක්ස් එක්ක මම කරපු එක්ස්පෙරිමන්ට් හින්ද අදටත් කිසි අවුලක් නැතුව ඕව එකක් පත්තුකරගන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. ඒකත් එක්තරා කලාවක් තමා ප්‍රසන්න..

      Delete
  8. අන්තිම සීන් එකනං හෙන බයානක එකක් තමයි. තුවාලෙට බෙහෙත් දානකොට උඹට ඇතිවෙච්ච ආතල් එක හිතාගත්තහැකි. හැක්..

    ReplyDelete
  9. අන්න කොල්ලො !
    ඒ වගේ කාලයක් ගෙවල මේව ලියන්න ඉතුරුවෙලා ඉන්නවා කියන්නෙ ඉතිං එලම තමයි :D

    ReplyDelete
    Replies
    1. පන බේරාගෙන මෙච්චර වයසක් වෙනකම් ජීවත් කරාට දෙයියන්ට පින් සිද්ද වෙන්නට ඕන ඉතිං..

      Delete
  10. හැක්. ඊයේ රෑ මේක කියවද්දී ඇතිවෙච්චි ඇඟේ පතේ රුදාවට කොමෙන්ට් එකක් දාන්නත් කලිං නින්ද ගියා කියහංකෝ.. උඹ තාමත් ජීවතුං අතර ඉන්නවට උඹලෑ තාත්තටයි නැන්දලාගේ ලොකු අයියටයි පිං දීපං.. උන් තදින් හිටියේ නැත්තං මෙලාකට බෝ පර්‍රීක්ශණ වලින්ම වාර්තාවක් තියල..

    ReplyDelete
  11. කල්‍යාණ මිත්‍ර ගේ කතාව ඇත්ත වාර්තාවක් තියන්න තිබුණා තමයි තාත්තා හිටියේ නැත්නම්...ඒ වුනත් හරිම ලස්සන අතීතයක්..ළමා වයස උපරිම නිදහසෙන් සහ සතුටින්.

    ReplyDelete
    Replies
    1. මක් කිව්වා.. උපරිම නිදහස.. හපොයි එහෙම එකක් තිබ්බේ නැහැ මට..

      Delete
  12. "වේගයෙන් පිෂ්ටිය පැදගෙන ගිය තඩියා දන බිම වැදී කනේ වැලි ගෑවෙන්නට පෝරඹ වංගුව නවන්නට තියාගත්තේ පාරේ දමා තිබු වැලි ගැන කිසිදු තැකීමක් නොකරමින්ය..

    වැලි වැලි වැලි යකෝ වැලි... ස්ලෝ කරලා ගනින්..

    කෑ නොගහ හිටහන් බාන්..."😈😈😈

    මේ කියපු කෑල්ලනම් මට අදවගේ මතකයි.මතකද වැටුනාටවඩා ඉක්මනට බයිසිකලය කෙලින් කරගෙන ආපු ඒම නතර උනේ මහ පන්සල ලග චිරන්තලාගේ ගේ ලග තියෙන පයිප්පෙ ගාව.පැදපු මට සුළු හානි පස්සෙ ගිය උබට දැඩි හානි.තාත්තගෙ පිෂ්ටිය තවම තියෙනව නේද?ඒක විකුනන්න නම් දෙන්න එපා මස්සිනේ

    ReplyDelete
    Replies
    1. හා උඹද තඩියා එතකොට. නරකද බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තොත්. මූ කියන ඒවා ෂුවර් නෑ. ඒකයි.

      Delete
    2. මම ලංකාවේ නැති අල්ලපනල්ලේ පිෂ්ටිය තාත්ත කාටද නිකම් දීල දාල බන්.. උය කතාවේ නොලියපු කෑල්ල උඹ මේ ලියල තියෙන්නේ.. මේක කියවන උදවිය විශ්වාස නොකරන නිසා මම ඒ කෑල්ල ලිව්වේ නෑ.. චිරන්තලාගේ ගෙවල් ගාව තියන ටැප් එකෙන් මගේ කකුලේ ගෑවිලා තිබ්බ මඩ හේදුවාම නේන්නම් මට එලෝ පොල් පෙනුනේ.. කකුලේ ගෑවිලා තිබ්බ මඩ කියල හිතුවට කාෂ්ටක පොළොවේ වැටිලා මඩ ගෑවෙන්න විදිහක් නැති උනත් කොහෙන් හරි මඩ ගෑවුනා වෙන්න ඇති කියල හිතාගෙනන මඩ ටික හෝදගන්නනේ අපි ටැප් එක ගාව නැවැත්තුවේ.. ටැප් එකට කකුල ඇල්ලුවාම තමා ගිනි පත්තු උනේ.. කවුරුත් විශ්වාස කරන එකක් නැහැ කියල හිතුන නිසා මම ඒ කෑල්ල ලිව්වේ නෑ.. ටැප් එකට කකුල අල්ලනකම් කුකුලේ පදාසයක් පිච්චිලා කියල මට දැනුනේ නෑ.. උඹට මතක ඇති මම හිතන්නේ..

      Delete
    3. ඔව් ඔව් ඔය ඉන්නේ තඩියා තමා..

      Delete
    4. හපොයී අපරාදෙ බන්.බැරිද ආයෙ ඒක ඉල්ලගන්න?අපේ තාත්තගෙ පිෂ්ටිය නම් තවම යහතින් තියෙනව වත්තෙ කන්කානම ගාව

      Delete
    5. දිල්රුක් මේ වෙනකන් අම්බලන්ගොඩය බොරුනම් ලියල නැහැ

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. This comment has been removed by the author.

      Delete
  13. හපොයි schadenfreude =. නියම කතාව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් අයියේ..

      Delete
  14. පිෂ්ටිය කියන්නෙ මොකද්ද කියල තෝරගන්න ගිහින් ඒ හරියෙ තිබුණ ඒවට හිනාවෙන්න පස්සෙන් පහුවෙලා හිනාව නවත්ත ගන්න බැරුව ගියේ හුලංගහපු සද්දෙ ඇහිල ස්තුතියි අම්බලන් ගොඩයෝ

    ReplyDelete
    Replies
    1. පිෂ්ටිය කියන වචනයට Tm එකක් තියන එකක් කියහන්කෝ.. ඔය වචනේ first authorship එක තියන කෙනා ගැනත් පොස්ට් එකක් ලියන්නම්කො පසුවට.

      Delete
  15. හපොයි තුවාල වලට බෙහෙත් දාන එක මටත් මරනව වගේ වැඩක්... ඒ වෙලාවට එන්නෙ අයියෝ.. අම්මෝ.. මරනවෝ... මරනවෝ.. වගේ සද්ද තමයි. කරුමෙට තුවාල නැති දවසක් තිබ්බෙ කලාතුරකින්නෙ...ඊට හපං බෝගන්විලා ක‍ටු , ක‍ටු කම්බි එහෙම ඇනුනම පුච්චනකොට.. සැප කං දෙකේම හිටං..

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ බයිසිකල් පැදිල්ල කොයිතරම්ද කියනවනම් එක වතාවක් මම පාර හරහා පැනපු පූසෙක් බේරන්න ගිහින් කටු කම්බි වැටක ඇමිනුනා. ඒ ගෙදර හිටපු ආච්චි ඇවිත් තමා ඔලුව පහලට එල්ලී එල්ලී හිටපු මගේ කකුල කටු කම්බි වටෙන් ගලෝල මව දෙපයින් හිටෙව්වේ. ඒ තුවාලේ හොඳ වෙන්නත් මාසයක් විතර ගියා කකුලේ කම්බි ඇනිච්ච නිසා.. ඔය ලුණු සත්කාරය ඒ කම්බි ඇනුන වෙලේ කරා.. එලොව පොල් පේනවා තුවාලේ උඩ තියන ලුණු කැටේ පොල්තෙල් පහනෙන් පුච්චනකොට..හම්මේ.. හිතනකොටත් දැනෙන සනීපෙ..

      Delete
  16. අවුරුදු 30ක් විතර වෙනකන්, දණිස්, වැලමිටි හම ගිය හින්දා බේත් දාන අත්දැකීම තියෙනවා. තවමත් ඉඳහිට ඔය වගේ තුවාල කර ගන්නවා, සෙල්ලම් කරත්දී. පොඩිම කාලේ පාරේ කාරණං, පස්සේ ෆුට්බෝල් ගෝල් කීප් කරලා. ඉන් පස්සේ ක්‍රිකට් ගහලා. දැන් බොහොම පරිස්සමට තමයි ක්‍රීඩා කරන්නේ. අපේ අයියලා දෙන්නෙක් හිටියා ගමේම තියෙන පැට්‍රොමැක්ස් රිපෙයාර් කරන. ඒ කාලේ මාර ඩිමාන්ඩ්. මගේ අතිනුත් ඔය මැන්ටලේ කැඩුණු වාර අනන්තයි. අර යටිං පාන්කඩ තිරය පත්තු කරන්න ගිහිං, නැතිනම් හුලං ගහන්න ගිහිං.

    ReplyDelete
    Replies
    1. ඔයත් බැලුවාම ගෙදරින් එලියට ගියොත් තුවාලයක් කරගෙන එන විදිහක් තියෙන්නේ.. එයින් පස්සෙනම් මම මන්ටලේ ඇල්ලුවේ නෑ. හේ හේ..

      Delete
  17. පැට්‍රොමැක්ස් එක මාර ආතල් භාණ්ඩේ නේද මචං...
    ටිකක් ලොකු උනාම ඔය වැඩේ බාර ගත්තේ මම, ලාම්පු තෙල් ගොඩක් යන නිසා ඒක හැමදාම පත්තු කලේ නැහැ. ඉඳහිට දවසක තමයි පැට්‍රොමැක්ස් ආතල් එක ලැබෙන්නේ...
    ඊට අමතරව චිමිණි ලාම්පු සුද්ධ කරලා ලාම්පු තෙල් දාලා ඒකට ලුණු කැට ටිකකුත් දාල පත්තු කරන රාජකාරියත් මගේ...
    පුදුම ආසාවෙන් බං ඒ දවස් වල ඒවා කලේ...

    මාව 2009 දීද කොහෙද බයික් එකෙන් වැටිලා තාර පාර දිගේ ඇදිල ගිහින් කාපු කට්ට මතක් වුනා මේක කියවද්දී...
    මාස තුනකට වඩා ගියා ඒවා හොඳ වෙන්න, ඊට අමතරව අදටත් ඒ අමාරු වලින් කොටහක් තියෙනවා...
    එක දිගට වචන පහ හයක් ලිව්වත් ඇති දරුණු වේදනාවක් එනවා දකුණු අතේ මහපට ඇඟිල්ලෙන්...

    ReplyDelete
    Replies
    1. පෙට්‍රෝල්මැක්ස් එක පත්තු වෙනකොට මාස සන්තෝසයක් දන්නේන්න් නේ බං.. ඒ සන්තෝසේ බිත්තියේ තියන ස්විච් එකක් දාල ගන්නනම් බැහැ බං..

      බයික් එකේ ගිහින් තාර පාරේ අතිල්ලිලා ජීවත් වෙනවට වඩා සනීප ඇති බන් ඒ වෙලේම මැරෙන එක..

      Delete
  18. අර වංගුවේ වැටුනු විදිහටම වැටුනා දවසක් රෑ බීපුවාගෙ වෙරිමරගාතෙ දවල් බොංගො එකක් ගිහිංදෙන්න බයික් පැදලා.මොන කරණම ගැහුවත් බොංගො එක බේරගත්තා අනුන්ගෙ නිසා.එහෙම්මම ගිහින් බෙහෙත් දාගෙන විදගෙන තමයි ආයෙ සයිට් එකට ගියේ.ලොක්ක උඩ බිම බලනවා උදේ යසට හිටපු උන් හවස මමී වගේ මොකද කියලා.. හෙහ් හෙහ්
    හදිස්සියෙන් හරි ලියපන් බන්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වෙරි මරගාතේ වැටුනාම සියලු රිදුම් එන්නේ වෙරි හිඳුනයින් පස්සේ තමා ගස් ලබ්බෝ.. අත පය වගේද බන් බොන්ගෝ එක.. එක කුඩු උනානං ඉතින් අයිතිකාරයගෙන් මැරුම් කන්න වෙන්නත් තිබ්බ...මමිය වෙලන්න වගේ වෙලන්න වැටුන කියන්නේ ඉතින් සෑහෙන්න අමාරු වෙන්න ඇති නේ බන්..

      Delete