Saturday, August 22, 2026

ධම්මෙ මාමගෙ කඩේ දොර ලෑල්ල අස්සෙන් මට හමුවූ නන්දා මාලිනිය..


මේ කියන කාලෙ වර්ශ 2000 සහ 2005 අතර කාලය.. එවකට මම වැඩ කොලඹ.. ගෙදරින් එලවන නිසාම රස්සාවට යන කාලයක්.. ඒ ගිහිල්ලත් වැඩ කරන තැන මහ එකාගෙ ගොං මෝල් නීති රීති වලට යටත් වෙලා ඉන්න ඕන නිසාමත්, වීදුරු කාමරයක් ඇතුලට වෙලා මේසෙකට රොබ්බාගෙන පැය අටක් ඉන්න වෙන නිසාමත් මම ඒ රස්සාව කරේ සෑහෙන අමාරුවෙන්.. 

මට රාජකාරියට වාර්ථා කරන්න නියම වෙන්නෙ උදෑසන හතයි හතලිස් පහට.. බම්බලපිටියෙ බැහැලා 155 හෝ 154 නැගලා ඔෆිස් එකට හරි වෙලාවට යන්නනම් අම්බලන්ගොඩින් සෙට් වෙන එකම ට්‍රේන් එක නයිට් මේල් එක.. ඒක ඉතිං අම්බලන්ගොඩින් පිටත් වෙන්නෙ යක්කු ගස්වලින් බහින කලාව වෙච්චි එලිවෙන ජාමෙ උදෑසන හතරයි හතලිහට..  ඔය කරුමෙ කරන්න බැරි නිසාම මම ටික දවසකින් සමුද්‍රදේවියේ යන්න පුරුදු වුනා.. 

එතන හිටපු ලොක්කා ඉතිං අම්මේ මුත්තේ කිව්වත් උදේ හතයි හතලිස් හය වෙද්දි පොතේ ඉර ගහනව.. ලොක්කා නැතිනම් එවකට සුප්‍රා ටෙක්නිකල් ඔෆිසර් වෙච්චි කුරේ කාරයා අනිවාර්‍යෙන්ම හතයි හතලිස් හයට ඉර ගහනවාමයි.. මම ආසම උන් දෙන්නා රතු පෑනෙන් ඉර ගහලා අත්සන් කරලා ආපහු ඔෆිස් එකට යන සන්තෝස ලීලාව බලන්න.. එලිවෙන්න පාන්දර ඉඳන් බස් කෝච්චිවල එල්ලිලා රස්සාවට එන මිනිස්සුන්ගෙ ශෝර්ට් ලීව් එකට හරි නිවාඩු භාගෙකට හරි කෙලවලා උන් දෙන්නා සන්තෝස වෙච්චි විදිය දැක්කාම මම ඒ කාලෙ කල්පනා කරේ මුන් දෙන්නට අපායෙ එකම කාමරය ලැබේවිද එහෙම නැත්තං වෙන වෙනම කාමර දෙකක් ලැබේවිද කියල.. කුරෙයා නම් මේ වෙද්දි දිවංගත වෙලා කාලයක්.. මහ එකා තාම විශ්‍රාම සුවය විඳිනවාලු.. කුරෙයා කලින් ගිය නිසා ලොක්කට සීට් එකක් අල්ලගෙන ඇති බොහෝදුරට..

රාජකාරියට අනුව මට සමුද්‍රදේවියේ යන්න බෑ.. මොකද සමුද්‍රදේවිය එවකට බම්බලපිටියට යද්දිම අටයි විස්සවත් වෙනව.. හැබැයි ඉතිං සමුද්‍රදේවිය කවදාවත් බම්බලපිටියට නියමිත වෙලාවට යන්නෙ නැති නිසා මම ඒ හිලෙන් රිංගන්න පොඩි ක්‍රමයක් හොයා ගත්ත.. ඒ ඉතිං ට්‍රේන් ලේට් එකක් දාලා සමුද්‍රදේවී කාර්‍යාල දුම්රිය ප්‍රමාදය හේතුවෙන් මාගේ ප්‍රමාදය නොසලා හරින මෙන් ඉල්ලා සිටීම.. කොහේදෝ තිබ්බ වාසනාවකට " කාර්‍යාල දුම්රිය" කියන කෑල්ල නිසා ඔය ජිමික් එක ටික කාලයක් වැඩ කරා කියහංකෝ.. ලොක්කා මලාට මුහුදුබඩ දුම්රියක නැගලා නෑ.. ඒ නිසා මෑන්ස් ඔව්වයෙ වෙලාව කලාව දන්නෙ නෑ.. ඒත් ඉතිං
උදව් අරන් ලඟම ඉන්න එකාම පස්සෙන් ඉඳන් පිහියෙන් අනිනවා කියලා කියන්නෙ නිකම් නෙවෙයි කියන්නැහේ, ලඟම හිටපු එකෙක් මගේ සමුද්‍රදේවී ගමනට තිත තිබ්බ..

එවකට වැටුපෙන් අමාරුවෙන් ජීවිතේ ගැටගහගත්තු පහල ශ්‍රේණියක තනතුරක් දරපු යාලුවෙකුට මම මෝටර් සයිකල් අමතර කොටස් විකුනන ව්‍යාපාරයක් හදාගන්න උදව් කරා.. මෑන්ගෙ ගෙදර තිබ්බ කඩ කාමරේ දෙකට බෙදලා එකට පාර්ට්ස් දාපන්, අනික කාටහරි මෝටර් සයිකල් හදන්න නිකම් දියං කියලා අයිඩියා එක දුන්නෙ මම.. ඌව මාලිගාවත්තටයි පංචිකාවත්තටයි එක්කගෙන ගිහිං අමතර කොටස් තොග මිලට ගන්න කඩ ටික කතා කරලා දුන්නෙත් මම.. නමගිය සන්නාම ටිකෙන් තොග මිලට බඩු ටික ගන්න කොම්පැණි ටික කතා කරලා දුන්නෙත් මම, ෆ්‍රොෆිට් මාජින් තියන විදිහ, ව්‍යාපාරය පවත්වාගෙන යන විදිහ, කොටින්ම කියනවානම්, අද වෙද්දි ලොකු ව්‍යාපාරිකයෙක් වෙලා ඉන්න ඒ මිත්‍රයාගේ ව්‍යාපාරයේ සියලූම සංකල්ප මගේ.. තල්ලුව මගේ.. ඒ සේරෝම එහෙම උනාට, මගේ රාජකාරියට නියමිත වෙලාවට වාර්තා කරන්නනම් ඒකට සමුද්‍රදේවිය හරි දුම්රිය නෙවෙයි කියලා ලොක්කට ගිහිං කිව්වෙත් ඌ.. ඕං ඉතිං මිනිස්සුන්ගෙ හැටි..

කොහොමෙන් කොහොමහරි මට සමුද්‍රදේවියට වැට කඩොලු බැඳුනාම මට තිබ්බ එකම විකල්පය නයිට් මේල් එක.. ආන්ඩුවෙන් අඩු මිලට සෙකන්ඩ් ක්ලාස් සීසන් එකක් දුන්නත් උදේ හතරට නැගිටලා රස්සාවට යන කරුමේ කරන්න බැරි නිසාම මම උදේ කෝච්චිය අතෑරලා ඒසී බස් එකට මාරු වෙනව.. 

උදේ පහයි විස්ස අම්බලන්ගොඩින් අදින බස් එකේ නැග්ගම හතයි කාල වෙද්දි බම්බලපිටියෙ.. පහයි විස්ස මිස්වෙලා පහයි හතලිහේ යන්න වෙන දවසට ආයෙම ඉතිං පරක්කුයි.. ඔය පහයි  හතලිහේ බස් එක ගැන මම බ්ලොග් පෝස්ට් එකකුත් ලියලා ඇති " අරා පැස්බරා සහ අනිල් අයියා" කියල..

පහයි විස්ස බස් එක අල්ලන්න මම උදේ පහට එන්න ඕන පොල්වත්ත හන්දියට..  කලින්දා හවස සාගරිකාවෙ ගෙදර ඇවිල්ලා, රෑ දහයාමාර වෙනකල් කඩේ ඇරන් ඉඳලා, ගෙදර ගිහිං නිදාගන්නකොටම අනිවාර්‍යෙන්ම රෑ දොලහට ආසන්නයි.. ආයෙම උදේ හතරහමාරට ඇහැරිලා වැඩට යනවා කියන්නෙ ඉතිං මේ මොන කරුම සංසාරයක්දැයි කියලා හිතෙන, එපාවෙන සීන් එකක්.. ගෙදර ඉඳලා ඩඩාගෙන් දවසෙම බැනුම් අහනවට වඩා ඉතිං රස්සාවට යන එක එක අතකින් සැපක්..  උදේ පහට පොල්වත්ත හන්දියට ආවට ඩිපෝවෙන් ස්ටෑන්ඩ් එකට යන බස් එකක් එනකල් ඉතිං එතන විනාඩි පහක් දහයක් ඉන්න වෙන එක සාමාන්‍යයි.. 

ධම්මෙ මාම කරේ කෙසෙල් විකුනන කඩයක්.. කෙසෙල්, බුලත් පුවක්, වෙනත් ගමේ පලතුරු ජාති ටිකක් එහෙම විකුනගෙන ධම්මෙ මාමයි සීතා නැන්දයි කූල් එකේ ජීවත්වුනේ ඔය කඩේ පිටුපස්සෙම තිබ්බ එයාලගෙ ගෙදර.. මම උදේ පහට හන්දියට එනකොට අනිවාර්‍යෙන්ම ධම්මෙ මාමගෙ කඩේ එක කඩ  ලෑල්ලක් භාගෙට ඇරිල තියෙන්නෙ.. ඒ වෙද්දි ධම්මෙ මාම ඇහැරිලා කියලයි ඒකෙන් කියන්නෙ.. ඒ එක්කම කඩේ ඇතුලෙන් ඇහෙන රේඩියෝව තමයි ඊලඟ සලකුණ.. මට නන්දා මාලිනිය අමතක නොවෙන්නම හමුවෙන්නෙ ආං ඒ හිමිදිරි පාන්දර ධම්මෙ මාමගෙ කඩේ දොර ලෑල්ල අස්සෙන්.. 

බුද්ධානු භාවේන සිත් නෙත් පහන්වී
මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ
නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා
හෙල දෙරන ජන ජයතු ජයමංගලානී..

එලාර්ම් ඔරලෝසුව මේ ලෝකෙට හොයාගත්තු එකාගෙ මවුගුණ ගායනා කරගෙන, මානසිකව කුඩේ කුඩු වෙලා අඩ නින්දෙන් ඇහැරිලා, තනි ඇහෙන් දත් මැදලා, තනි ඇහෙන් රැවුල කපලා , තනි ඇහෙන් ඇඳගෙන, තනි ඇහැට ඇඬෙන්න ඔන්න මෙන්න තියාගෙන මම පොල්වත්ත හන්දියට එන්නෙ අදනම් බොසා තෝව බාවනවා වගේ යක්සාරූඩෙන්..  ඒත් ඉතිං ධම්මෙ මාමගෙ කඩේ ඇතුලෙ ඉඳන් මට කර්න රසායණය සපයන නන්දා මාලිනිය මාව එතැනින් බස් එකේ නග්ගන්නෙ ඇල් වතුර ගානට නිවලා.. උදේ පහට ගිනි කන්දක් ගානට ඇවිලිලා එන මාව ඇල්වතුර ගානට නිවලා බස් එකේ නග්ගන්න නන්දා මාලිනියගේ හඬට තිබ්බ හැකියාව ගැන දැං මතක් වෙද්දි මට දැන් දැනෙන්නෙ හරිම හර්දයාංගම භාවයක්.. මොකක්දෝ ලඟ දැන ඇඳුනුම්කමක්.. බුද්ධානුභාවේන ගීතය නන්දා මාලිනිය නැතුව වෙන ගායිකාවක් ගැයුවානම් ඒ මානසික සුවය මට දැනෙන එකක් නෑ කියලයි මගේ අනුමානය.. 

සමහර සිංදු, සමහර සුවඳවල්, සමහර රසවල්, අපේ මතකයේ යම් යම් තැන්වල ස්ථිරේටම රෙජිස්ටර් වෙලා තියෙනව.. අපිට ඒ සිංදුව ඇහෙද්දි, ඒ සුවඳ දැනෙද්දි, ඒ රස දැනෙද්දි, අපේ මනස ඒ සිංදුව , රසය, සුවඳ දැනුන තැනට ඉබේම යැවෙනව..  බුද්ධානුභාවේන ගීතය කොයි වෙලාවෙ කොතැන ඇහුනත් මාව ඉබේම පාවෙලා යන්නෙ උදේ පහට, පොල්වත්තෙ හන්දියට.. 

මේ වෙද්දි ධම්මෙ මාමයි, සීත නැන්දයි දෙන්නම ජීවතුන් අතර නෑ... ඊයෙ ඉඳන් නන්දා මාලිනියත් නෑ... පොල්වත්තෙ හන්දිය දැං උදේ පහට මොන වගේද කියලා මම අවුරුදු විසි එකකින් දැකලා නෑ... 

දවස දුවාගන්න මනසේ තෙල් නැති සමහර උදෑසනවල් අදටත් මට තියෙනව.. ඒ වගේ දවස්වලට මම අදටත් වාහනේට නැගපු ගමන් යූටියුබ් එකේ ප්ලේ ලිස්ට් එකක් ප්ලේ කරනව.. ඒකෙ පලවෙනි සිංදුව නන්දා මාලිනීගෙ බුද්ධානුභාවෙන සිත් නෙත් පහන්වී.. ඒ සිංදුව ඇහීගෙන යද්දි මට දවස ඇදගන්න මනසට නැවත පන එනව.. 

ඒ සින්දුව මට ඒ තරම් හර්දයාංගම නිසයි මම කිව්වෙ නන්දා මාලිනිය මට වැඩිපුරම දැනුන ධම්මෙ මාමගෙ කඩේ  භාගෙට ඇරුන දොර ලෑල්ල අස්සෙන් කියල.. ඒ විනාඩි තුනහමාර.. මගේ හිත ඇතුලෙ ඇවිලුන කේන්ති ගින්න ඇල්වතුර ගානට නිව්ව.. නන්දා මාලිනිය කියන සම්පූර්ණ චිත්‍රය දිහා බැලුවාම මට දැන් හිතෙන්නෙ ඇය නිවිය යුතු  තැන් නිවන්නටත්, ඇවිලිය යුතු තැන් අවුලන්නටත්, තම අධ්‍යාත්මයෙන්ම රටක්ම ආමන්ත්‍රණය කරපු මහා වීරවරියක් කියල.. 

දවස දුවගන්න මනසෙ තෙල් නැතිවුනාම මම අහන සිංදු ටික ඕං පහල ප්ලේ ලිස්ට් එකේ තියෙනව..



No comments:

Post a Comment