Saturday, July 9, 2016

ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..4









ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..1
http://ambalangodakatha.blogspot.com/2016/06/blog-post_14.html

ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..3
http://ambalangodakatha.blogspot.com/2016/07/3.html


ඩක ඩකස්....ඩක ඩකස්....ඩක ඩකස්....ඩක ඩකස්....ඩක ඩකස්....ඩක ඩකස්....

ඇසෙනා වූ දුම්රියේ ශබ්දය ඔලුවේ එහාටත් මෙහාටත් දඟලන්නා වූ සිතුවිලි සමුදා විසින්  නිර්මාණය කරනා වූ විසඳන්නට අසීරු සමීකරණය ටිකක් හෝ විසඳන්නට භාධා කරනවාය. දුම්රියේ වේගයටත් වඩා දෙතුන් ගුණයක් වේගයෙන් ඉගිල යන ප්‍රශ්නාර්ථ සහිත සිතුවිලි වීසි කරන ලද බූමරංගයක් මෙන් ප්‍රශ්නාර්ථය සහිතවම මා දෙපාමුලටම විත් නවතිනවාය. පැයකටත් මදක් කලින් ත්‍රිවෙන්ද්‍රම් සෙන්ට්‍රල් දුම්රියපොලෙන් පිටත්වූ ගන්දිදම් එක්ස්ප්‍රස් එන්ජිම පෙට්ටි පනහක් පමණ එල්ලාගෙන විදුලි වේගයෙන් උතුරු ඉන්දියාව බලා ඉගිල්ලෙනවාය. ලංකාවේ පරිසරයට බොහෝ සෙයින් හුරුවූ පොල් ගස් සහිත වටපිටාවේ මට නරඹන්නට අමුතු දෙයක් නැතත් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය කට්ටල එහාටත් මෙහාටත් වේගයෙන් ධාවනය වීම සහ එක ලඟින් පිහිටි රේල් පාරවල් දහයක් පහළොවක් පමණ තැන් දුටුවන මතක් වෙන්නේ මේ තරම් දුම්රිය සංඛයාවක් කොහොම පාලනය කරනවාදෝ යන්නය. ගුවන් යානයෙන් ලැබුණු පාතරාසයට අමතරව කිසිවකුත් නොවැටුණු කුස දැන් දැන් බඩගිනි වග ටිකෙන් ටික මොලයට දන්වනවාය.

නැවතුම් විස්සක් තිහක් නොනවත්වා යන දුම්රිය ඉඳ හිටෙක මදක් ජනාකීර්ණ නැවතුමක නවතිනවාය. මා දිහා නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටිනා මගීන් එකෙක් දෙන්නෙක් දුම්රියෙන් බැසයනවාට අමතරව අලුතෙන් මගියෙක් දෙන්නෙක් දුම්රිය මැදිරියට ගොඩවෙනවාය. ඔවුන්ද පෙරසේමය. දුම්රිය මැදිරියේ මගීන්ගේ සාමාන්‍ය අගය දුම්රියපොලෙන් දුම්රියපොළට නියතයක් වශයෙන් පවත්වාගෙන යනු ලබන අතර වෙනස්වන මුහුණු අතරේ මට දැනෙන්නාවූ හැඟීම නම් ප්‍රදර්ශනයකට තැබූ මගී මොඩලයක් යන හැගීමයි. ටිකෙන් ටික මද්‍යාහන කාලය පසුව යන්නටත් ආසන්න බැවින් අහස පොලොව ගැටලන්නට ඔලුව පුපුරන්නට පැය ගණනාවක් පුරා දැමු කල්පනා සාගරය අනාථ සාගරයක් වෙද්දී  "ඔහොම බකන් නිලන් ඉඳල හරියනවද යකෝ " කියනා සිතුවිල්ල මොලය විසින් හදවතට දැනුම් දෙනවාය.  වැඩි සෙනග තදබදයක් නොමැති දුම්රිය මැදිරියේ ආසන ගන්නට වාගේ මගීන් සිටියත් මාගේ ගමන් පහසුව පිනිසදෝ එකුදු මගියෙකුදු මාගේ ගමන් සගයා හෙවත් ඇඳුම් බෑගය දම්වැලෙන් බැඳ දමා තිබෙනා මා සිටිනා ආසනය වෙත අවුත් වාඩිවන්නේද නැත. වෙනත් ආකාරයකින් කියනවානම් මා වාඩිවී සිටිනා ලී පටි වලින් සෑදු මුහුණට මුහුණ බලා වාඩිවිය හැකි ආසන යුගලය තනිකරම මාගේය. සින්නකරේටම අයිතිවූ ආසන පේලි දෙකෙන් උපරිම ප්‍රයෝජනය ලබාගනිමින් මාද සපත්තු දෙකෙන් නිදහස් පාද යුගලය ඉදිරි අසුනේ ජයටම තබාගෙන කල්පනා ලොව මල් වනේය. 

ඉන්දියන් කෝච්චි වල ජනේල හරහට ඇති යකඩ පටි හේතුවෙන් ජනේලයෙන් එලියට ඔලුව දැමීමට නොහැකියාව බලවත් අඩුපාඩුවක් වන්නේ එංජින් රාජයා මාව කොහේ ඇදගෙන යනවාදෝ යන්න ඔලුව දමා බලන්නට නොහැකි නිසාය. ඉඳ හිටෙක වංගුවක් ගන්නා ගන්දිදම් එක්ස්ප්‍රස් ඇඳි නොමැති පාලම උඩින්ද තඩි වංගු වලින්ද තම ගමන ජයටම කරගෙන ගියේ කිසිම ආකාරයකින් වේගය අඩුකරන්නේ නොමැතිවමය. රුහුණු කුමාරිය, සමුද්‍රදේවිය ගල්කිස්ස හෝටලය ළඟ වංගුවේ වාගේම කොල්ලුපිටිය වංගුවේදීත් වේගය අඩු කළා හොඳහැටි මතකයේ තිබුනත් ගන්දිදම් එක්ස්ප්‍රස් එකට එහෙම රීතියක් හෝ නීතියක් නොමැතිය. ඇඟට දැනෙනා ආකාරයට පැයට කිලෝමීටර සීයට වඩා වේගයකින් ධාවනය වන දුම්රිය වේගය අඩු කලානම් කලේ දුම්රියපොලක නැවත්වීම සඳහාය.. එහෙමත් නැතිනම් මාර්ග සඥ්ඥා රතු එලිය දක්වන වේලාවේදීය. හය වසරේ සිට දහතුන වසර දක්වාම, මාගේ අතිජාත මිත්‍ර උද්ධික  සමග බයිසිකල් ගමනාගමනයේ යෙදී ඇති හෙයින් වංගු වලදී වේගය අඩු කිරීම පිලිබඳ වැඩි සැකයක් බියක් හිතට දැනෙන්නේ නැත. ඒ වසර ගණනාවක් පුරා එවන් අවදානම්, සංයමයෙන් දරාගෙන ඇස් දෙක පියාගෙන හැඩලය අල්ලාගෙන සිටීමට උද්ධිකයා මාව හොඳහැටි පුරුදු පුහුණු කර ඇති නිසාය. 

දවසක් හවසක පාපන්දු පුහුණුවීම් සඳහා යන්නට උද්ධික හා මම පිටත්වුන අවස්ථාවේ උද්ධිකගේ බයිසිකලයේ හුලන් මදි ගතියක් දැනෙන බව හේ කීවේය. එකම විකල්පය වුයේ හන්දියේ ලාල් අයියාගේ සිල්ලර කඩය ඉදිරිපිට තබා ඇති හුලන් පොම්පයෙන් අඩු හුලන් පුරවාගෙන නගරසභා පිට්ටනිය වෙත පැදයාමය. මා පැදයන්නේ මාගේ සයිකලය වූ අතර උද්ධික පැදයන්නේ ඔහුගේ සයිකලයයි. ඕන් ලාල් අයියාට රුපියලක් පුදදී අඩු හුලන් පුරවාගත් අපි දැන් සයිකලය පැදගෙන යනවාය. පොල්වත්ත පිට්ටනිය පුහුකරගෙන යනවාත් එක්කම උද්ධිකගේ බයිසිකලයේ පසුපස රෝදය පොළොවට ලම්භකව කෙලින් වී ඉදිරිපසට කරණමක් ගසා උද්ධිකයා යට කරගෙන මහපාර මැද්දේ හතර ගාතේ කියහල්ලකෝ. තත්පරයක කාලයකින් සිදුවූ කරනම් ගැසීම කොයිතරම් වේගවත්ද කියනවානම් කෙලින් පැදගෙන ගිය බයිසිකලය, සුටුස් ගා උද්ධිකයා සමගම කරනම ගසා ගිනි මද්දහනේ රත්වූ තාර පාර සිපගෙන ඉන්නා උද්ධිකගේ ඇඟ උඩට පතබෑවිලාත් අහවරය. මාගේ අතිජාත මිත්‍රයාට සිදුවූ අලකලංචිය සජීවීව දුටු එකම සාක්ෂිකරු මා බැවින් හනික මාගේ බයිසිකලය පිට්ටනියේ යකඩ වැටට හේත්තු කොට උද්ධිකගේ ඇඟ උඩ හරහට තිබු බයිසිකලය  හැකි ඉක්මනින් ඉවත්කර මිත්‍රයා ගලවාගැනීම මාගේ යුතුකම බැවින් මා එසේ කිරීමට දෙවරක් හිතුවේ නැත. එවන් කරණමක් ගැසීමට එක්කෝ රෝදය හරහට යමක් සිරවිය යුතුය. නැතිනම් ඉදිරිපස පෝක් එක කැඩී යා යුතුය. උද්ධිකයා තම ශරීරයේ ලාභ අලාභ ගණනය කරන අතරතුරේ මා සයිකලය පරීක්ෂා කරන්නට අමතක කරේද නොමැත. එහෙත් මා බලාපොරොත්තුව සිටි කිසි දෙයක් සයිකලයට වී නොමැත. ඉදිරි රෝදයේ ඉස්පෝක් සියල්ල යහතින්ය.. පෝක් අතද කැඩී නොමැත.. ගිනි මද්දහනේ අමනුස්ස දොසයක්වත්දෝ යන්න ක්ෂණිකවම මාගේ හිතට ඇතිවූ සිතුවිල්ලයි..

මොකෝ බන් උනේ..

ඉස්සරහ හුලං බහිනවද බැලුව බන්..

හුටා..

උද්ධිකයා ඉදිරියට යන බයිසිකලයේ ඉස්සරහා රෝදය මිරිකා හුලන් බලලාය.. දත් ටික නොකැඩී එයින් ගියා ඇතිය.. එදාද අනතුරට පත්වූයේ දිග බයිසිකල් සවාරිය පොස්ට් එකේ අප සියල්ලන්ටම සමසේ පරිප්පුව බෙදා දුන් ඒ මිත්‍රයාමය. 

නිදහස් සිතුවිලි බ්ලොගයේ රවියාගෙන් පුරුදු වී දෝ පොස්ටුව පඳුරු ටිකක් තලාගෙන එන්නට ගියද එවන් වීර වික්‍රම මා වෙත පුරුදු පුහුණු කල මාගේ අතිජාත මිත්‍ර උද්ධිකව පොස්ටුව මැදට නිරායාසයෙන්ම කඩා පැන්නාවූ අවස්ථාවේ ඔහුව අමතක කොට දැක්කා නොදැක්කා සේ කෝච්චියේ කතාව ලියාගෙන යාම නොහොඹිනාය.

ගන්දිදම් එක්ස්ප්‍රස් ඇඳි නැති පාලම් උඩින් විදිනා විදිල්ලට මට නිරායාසයෙන්ම මතකයට එන්නේ අතිජාත මිත්‍ර උද්ධිකවය. භය කියනා දේ ඇඟේ සෛල වලින් සදාකාලිකවම අකාමකා දමන්නට එක පංතියේ අකුරුකළ අප සියල්ලටම උද්ධික විසින් ලබාදුන් දායකත්වය අප්‍රමාණය.

දුම්රිය යන වේගයට වඩා වේගයෙන් දවස රාත්‍රිය කරා ලං වෙනවාය. ඇඳුම් බෑගය යකඩ දම්වැලෙන් බැඳ දමා ඉදිරිපස අසුනේ කකුල් දෙක ෂපාන් එකට තබාගෙන ගමන් පහසුව සලසා ගත්තත් ඔලුව ඇතුලේ එහාටත් මෙහාටත් ගමන් කරනා සිතුවිල්ලනම් මේ ලී පටි ආසනය උඩ රාත්‍රී තුනක් ගතකරන්නේ කෙසේදෝ යන්නය. නිකම් ඔහේ බලා සිටලා වැඩක් නැත. දැන් ක්‍රියාත්මක වීමට කාලය පැමිණ ඇත්තේය යන්න මොලය විසින් සාවදානව දන්වා සිටිනවාය. එයට ප්‍රතිචාර වශයෙන් හැල්මේ වංගුවක් ගන්නා කෝච්චියේ පෙට්ටි ගණන් කර නිදන මැදිරි තිබෙන්නේ කොතනදැයි මා පරික්ෂා කරන්නට පටාන් ගන්නවාය.

පරීක්ෂණයට අනුව එක වංගුවකදී ගණන් කිරීමත් ඊළඟ වංගුවේදී ගණන තහවුරු කිරීමත් අනුව මා සිටිනා පෙට්ටියට පෙට්ටි දහයකට ඉදිරියෙන් තිබෙන්නේ නිදන මැදිරි යයි පොඩි අදහසක් ලැබෙන්නේ මා ගමන් ගන්න මැදිරි වල ගසා ඇති අංක දෙක තුන වෙනුවට එම මැදිරි වල ගසා තිබෙන්නේ අංක දෙක නිසාය. මාගේ සාගත මල්ලට දමා ඇති යකඩ දම්වැල ගලවා එය මල්ල ඇතුලටම දමා ගන්නේ ඔලුව ඇතුලේ නිෂ්පාදනය වූ සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහාය.

කෝච්චිය නවත්වන්නට යන ඊළඟ දුම්රියපොලෙන් මැදිරියෙන් බසින්නට  මා ගත් තීරණය හරි ආකාරව ක්‍රියාත්මක කරන්නට නම් අනෙකුත් මගීන්ට කලින් දුම්රිය නැවැත්වූ වහා මැදිරියෙන් බැසගත යුතුය. සැලසුම සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් මාගේ බෑගය උස්සාගෙන මැරතන් ධාවනයේ යෙදුනාවූ වීරප්පන්ට මෙන් හයිය හත්තිය තිබිය යුතුමය. එයාර් ලංකාවෙන් වැළඳු පාතරාසයට හෙවත්, කාර්බෝර්ඩ් පෙට්ටියේ දමා දුන් බත් ජුන්ඩට අමතරව බඩේ කිසිවක් නැත්තේය. ලෝයරයාද ගෙදරට ආ එකාට ඉලපත ගත්තා මිස තේ කෝප්පයකින්වත් සංග්‍රහ කලේද නැත. පිටරටක සිට ආ එකෙකු නිසා වත් මා වෙත තේ කෝප්පයක්වත් බොන්නට දීමට ලෝයරයාට යුතුකමක් තිබුනේය, ඒත් නාකි ලොසින්ජරයාට යුතුකම් වගකීම් කියාදෙන්නට ගියානම් කෝච්චිය අල්ලාගන්නට වෙන්නේ නැත. ඊටත් අමතරව ලෝයර් ඉලංගෝට යුතුකම් වගකීම් කියාදෙන්නට ගියානම් තේ කෝප්පයට කලින් ඉලපත් පාර පතබෑවෙනවාය.

ක්‍රියාවේ යොදවන්නට නියමිත සැලසුම හරි ආකාරයෙන් ක්‍රියාත්මක කරවීමට නම් මාගේ බෑගය උස්සගෙන මැරතන් දිවූ ටැක්සි රියදුරාට වඩා දෙතුන් ගුණයක හයියක් මා හට තිබිය යුතුය. එවන් යෝද හයියක් මාගේ ඇටකටු කූඩුව ඇතුලේ නොමැති වග දන්නවා වුනත් ලී පටි ගැසූ ආසනය සහ විදුලි එළියක් නොමැති දුම්රිය මැදිරියේ ගතකෙරෙන රාත්‍රිය ගැන සිහියට එන විට ගතේ නොමැති හයිය හිතට තිබෙනවා වාගේ දැනෙනවාය. 

දැන් මා සිටින්නේ දුම්රියේ දොර අසලය. එයද තනිවම නොවේය. කිලෝ විස්සකටත් පොඩ්ඩක් බර තිබෙනා මාගේ සාගත මල්ලද ඉස්සර කරගෙනය. දුම්රියද හෙමින් හෙමින් වේගය අඩු කරන්නේ ඉදිරියේ තිබෙනා දුම්රියපොළේ නවත්වන්නටය. කිලෝ විස්සක් බර සාගත මල්ලත්, පිටේ එල්ලාගෙන ඉන්නා මල්ලත් සමගින් දුම්රිය නවත්වන්නට මත්තෙන් දුම්රියෙන් බැසගැනීමට නොහැකිය. එවන් වීර වික්‍රමාන්විත වැඩ කරන්නට ගිහින් නන්නාදුනනා රටකදී දත් සැට් එක කඩාගැනීමට නොහැකි නිසා දුම්රිය නැවැත්වූ වහා මා හොඳ ළමයකු සේ දුම්රියෙන් බසිනවාය.

ලහි ලහියේ දුම්රියෙන් බැසගත් කාත් කව්රුත් නැති අසරණ මාගේ ඉලක්කය නම් වීරප්ප්පන් දිවූ වේගයටත් වඩා වැඩි වේගයකින් දුවගොස් නිදන මැදිරි සහිත දෙවැනි පන්තියේ මැදිරියකට ගොඩවීමය. එහෙත් සිතා සිටි වීර වික්‍රමය කරන්නට තරම් මාගේ පරාන කුඩුවේ ශක්තිය නොමැති වග කියා පාමින්, මා සාගත මල්ලත් ඇදගෙන මීටර සියය ධාවන තරඟයට සහභාගී වන අල්ලපනල්ලේ දුම්රිය රියදුරා නලාව පිම්බේය. මීටර සියය කෙසේ වෙතත් මට දුවගන්නට පුළුවන් වූයේ මැදිරි තුනක් පසුකරමින් පමණක්ය. වන්නට යන්නාවූ අලකලංචිය සිදුවුවහොත් එලොවටත් නැති මෙලොවටත් නැති ස්ථානයක පිහිටි පාලු දුම්රිය ස්ථානයක මා සරණාගත තත්වයට ඇදවැටෙන නිසා ලඟම ඇති දුම්රිය මැදිරියේ දොර තුලින් මාගේ සාගත මල්ල ඇතුලට තල්ලු කර යන්තම් පා පුවරුවේ එල්ලීමට මා හට හැකිවෙනවාය.

ඉහින් කනින් දාඩිය බේරෙනවා නොවේ විදිනවාය. දිව ගිලෙන්නට ඔන්න මෙන්න තිබුනද බොන්නට වතුර ජුන්ඩක් ඉල්ලාගන්නට කෙනෙකුද නොමැතිය. නැවතත් ගන්දිදම් එක්ස්ප්‍රස් උතුරු ඉන්දියාව බලා ඉගිලෙනවාය. රේල් පීලි ජොයින්ට් එකක් පසු කරන මැදිරියේ රෝද වලින් නිකුත්වන්නා වූ "ඩක ඩකස් " ශබ්දයේ රිද්මයට පරයා සික්ස් එයිට් බීට් එකට ඔන්න මෙන්න රිද්මයකින් හදවත ගැහෙනවාය. මාගේ සාගත මල්ල කරේ තබාගෙන උසේන් බෝල්ටත් වඩා වේගයෙන් දුවගියා වූ ටැක්සි රියදුරාට දියයුතු සම්මානය මොකක් නමුත් එය නොබෙල් සම්මානයටත් වඩා ලොකු එකක් කියා මට හිතෙන්නේ, සාගත මල්ල රෝද දෙකෙන් බිම ඇදගෙන මැදිරි තුනක් දිවූ පසු මේ තරම් අමාරුනම් මෙම කිලෝ විස්ස කරේ තබාගෙන සුසන්තිකා ඔලිම්පික් දිවුවාටත් වඩා වේගයෙන් දිවීම කොයිතරං අමාරු වෙන්නට ඇතිද යන්න ගණන් හදා බැලීමට සමීකරණ අනවශ්‍ය නිසාය.

ඊළඟ උත්සාහය දරා තවත් මැදිරි තුනක් දිවයාමට තරම් හයියක් කුසගින්නේ දැවෙන මාගේ පරාන කුඩුවට නොමැති වග අකමැත්තෙන් වුවත් මට පිළිගන්නට සිදුවෙනවාය. ඊළඟ දුම්රියපොලේදී මැදිරි තුනක් දුවගොස් ඊටත් පසු දුම්රියපොලේදී තවත් මැදිරි තුනක් දුවගතහොත් මෙයින් අනතුරුව නවත්වනා දෙවැනි දුම්රියපොලේදී දෙවැනි පන්තියට ගොඩවීමට මට හැකියාව ලැබෙනවා ඇත. එහෙත් යන්තම් කෙස් ගහක් එහේ මෙහේ වුවහොත් දෙවැනි පන්තිය තියා දැන් ඉන්න තුන්වෙනි පන්තියත් ඇඩ්‍රස් නැති වෙන්නම අහිමි වෙනවාය. එහෙම වුනොත් වෙන්නේ හොරාට තැඹිලි වල්ලක් විකුනාගන්නට ගිය පන්සලේ පොඩි හාමුදුරුවන්ට වූ දෙයමය.  පන්සලේ පොඩි හාමුදුරු නමක් මීට අවුරුදු තිහකට පමණ ඉහතදී කල හපන්කමක් මට මතක් වූ නිසා එම සීන් කොන් එක පසුව ලියනවාය.

වැඩි තන්හාව දුකට හේතුවන බවත් බඩ පනුවන් බොක්සින් ගහන බඩගින්නත් නිසා මාගේ අවසාන තීරණය නම් ඉතුරු දුම්රිය මැදිරි හත ඉදිරියට ගමන් කරන්නට දුම්රිය ස්ථාන හතක් භාවිතා කරන්නටය. කාත් කව්රුවත් නැති රටක එවන් ආරක්ෂක පියවරක් අනුගමනය කිරීම නුවනට හුරු බැවින් සවස හතර පමණ වන කාල සීමාවේදී දෙවැනි පන්තියට ගොඩවීමට අහිංසක අසරණ මා හට යාන්තම් සන්තම් හැකිවෙනවාය.

දෙවැනි පන්තිය කලින් හිටි තුන්වැනි පන්තිය වාගේ නොවේය. නිල් පාට ආසන වලින් සමන්විත දෙවැනි පන්තිය මට පෙනෙන්නේ දිවය ලෝකයක් වාගේය. සමහරුන් ආසනයේ හොඳට වැතිරී නිදි සුව විඳිනවාය. සමහරුන් පරිසරයේ සිරි නරබනවාය. ටික වේලාවක් වට පිට බලා පරිසරය ගැන යම් අවබෝධයක් ලබාගත් අසරණ මා අහිංසක ලීලාවෙන් ලගම තිබෙනා හිස් ආසනයේ අසුන්ගත වන්නේ සාගත මල්ල ආසනය යටට තල්ලුකර වැඩි ආරක්ෂාව උදෙසා දම්වැලද දිගේලි කර අවසනය. කලින් හිටි අපායට වඩා මේ තිබෙනා සැප පහසුව දිව්‍යලෝකේ ගියා වාගේය. තුන්වෙනි පන්තියේදී වාගේ හැම එකාම මූ මොකාද බොලේ කියා විශ්මයාර්ථ බැල්ම දමන්නේ නැත. දැන් තිබෙන්නේ වෙන දෙයක් වෙන තුරු පාඩුවේ ගමන් පහසුව සලසා ගන්නටය. එහෙමත් නැත්තම් මුකුත් නොදන්නා තොත්ත බබා ගානට ඔහේ වැඩිවී ඉන්නටය.

ටිකට් ප්ලීස්..

හුටා..

සුදු ඇඳුමකින් සැරසී කළු කෝට් බෑයක් පොරවාගත් බුවෙක් මාගෙන් ටිකට්ටුව ඉල්ලා හිටිනවාය. අතේ තඩි පොතක්ය. හරියටම කියනවානම් නම ලකුණු කරන්නට ඇවිල්ලා වාගේය. ප්‍රවේශමෙන් පන්දුවට පහර දී විකට්ටුව බේරා නොගතහොත් යන කෝච්චියෙන් පහලට තල්ලුකර දමන්නට හෝ ඊළඟ නැවතුමෙන් පොලිස් ස්ථානය වෙත සයිට් විසිට් එකක් යන්නට සිදුවන්නට තිබෙනා ඉඩකඩ බොහෝය.

වට්.. 

ලෙට් මී සී යුවර්ර්ර් ටිකට් මිස්ටර්ර්ර්..

ඔහ්.. වේට්..

මමත් දැන් හෙන පොරක් වාගේ බෑගය අවුස්සමින් ටිකට් එක හොයනවාය.. ටිකට්ටුව තිබෙනා තැන නම්  ඇස් පියාගෙන වුවත් ගැනීමට හැකියාව තිබෙනා ඉදිරිපස පොකට්ටුවේය. ඒත් ටිකට්ටුව හොයන්නේ බෑගය ඇතුලේය..ඒ හොයන ගමන් කල්පනා කරන්නේ මූට මේ ටිකට් එක පෙන්වනවාද නැද්ද කියනා එකය. විනාඩියක පමණ බොරු සෙවිල්ලකින් අනතුරුව  මා ටික්කාට ටිකට්ටුව දෙන්නේ ටිකට් නැතුව ගමන් කිරීම වලංගු නොවන ටිකට්ටුවක් සමග ගමන් කිරීමට වඩා වැඩි දඬුවමක් ලැබෙන්නාවූ වරදක් බව මාගේ කුඩා මොලයට වැටහෙනා නිසාය..

හියර්.

ඔකේ.. ලේට් මී ෆයින්ඩ් යුවර් සීට්..

දැට්ස් ඔකේ.. දිස් ඉස් මයි සීට්..

නෝ මිස්ටර්ර්ර්ර් .. දිස් ඉස් නොට් යුවර්ර්ර්ර් සීට්.. යූ ඩෝන්ට් හැව් අ සීට් ඉන් දිස් ට්‍රේන්..

වට්........

දැන් මම බබාය.. නිකම් බබා නෙවේය.. තොත්ත බබාය..

යස්.. යුවර්ර්ර් ටිකට් ඉස් නොට් කන්ෆම්ඩ්.. 

වට් ඩස් ඉට් මීන් .. අයි පේඩ් ෆෝ දිස් ටිකට්..

ඔකේ.. වෙයාර්ර්ර් ආර්ර්ර් යූ ෆ්‍රොම්..

ඇයම් ඈන්.. ඇයම් ෆ්‍රොම් ඉන්ග්ලන්ඩ්, ඇයම් මුරූ.. ඇයම් ෆ්‍රොම් නයිජීරියා, ඇයම් ටාරෝ.. ඇයම් ෆ්‍රොම් ජැපෑන් කියා කියන්නට හිතෙන්නේ තුන හතර වසරේදී ඉංග්‍රීසි ටීචර් ඉංග්‍රීසි ඔය දෙබස ඊළඟ ආත්මයේදී වත් අමතක නොවන්නට කට පාඩම් කෙරවූ නිසාය.

ඇයම් කමින්  ෆ්‍රොම් ශ්‍රී ලංකා..

ඕකේ මිස්ටර්.. යුවර් ටිකටින් ඒජන්ට් ඩිඩ්න්ට් කන්ෆර්ම් යුවර් ට්ර්ර්රිප් .. දැට් මීන් යූ ආර්ර්ර්ර් නොට් අලවුඩ් ටු එන්ටර්ර්ර්ර් හියර්ර්ර්ර්..

ඇයම් සොරි මිස්ට.. අයි ඩෝන්ට් නෝ එනිතින් අබවුට් දැට්.. හවූ කුඩ් අයි ගෙට් අ සීට්???

කෝට් මාමි ඊළඟට සැරසෙන්නේ මා විසින් යවන ලද මද වේග පන්දුවට ඉදිරියට පැන පහරක් එල්ල කරන්නට වග මට දැනෙන්නේ කෝට් මාමාගේ මුහුණේ තිබෙනාවූ කට්ට කපටි කෛරාටික හිනාව  මාගේ ප්‍රශ්නයට පිළිතුරු සපයන නිසාය..

 හන්ඩ්‍රඩ් ෆිෆ්ටි ර්ර්ර්රුපීස්..

දැට්ස් ඔකේ.. සෝ ෂෝ මී මයි සීට්..

කෑෂ් අප් ෆ්‍රන්ට්..

කෝට් බෑයා සැරසෙන්නේ සන්තකයේ ඇති රුපියල් එකසිය හැටෙන් එකසිය පනහකට තට්ටු කරන්නටය. ලංකාවෙන් පිටත්වන්නට කලින් ඉන්දියාව ගැන විශේෂ දැනුම තිබෙනවුන් දුන් උපදේශය නම් දින තුනක් කෝච්චියේ යනවානම් අතේ මුදල් රැගෙන නොයන ලෙසටයි. අවවාද කවදත් දොහොත් මුදුනින් පිළිගන්න එකෙකු වන මම මී ගොන් වස්සකු සේ ලොක්කා දුන් ඩොලර්ද තාත්තා දුන් රුපියල්ද  සියල්ලම සෙලාන් බැංකුවෙන් සංචාරක චෙක්පත් වලට මාරුකරගත්තේ වැඩි පරෙස්සම උදෙසාය. අතේ ගෙන ආ අන්තිම ඩොලරයම ගුවන්තොටේදී ඉන්දියානු රුපියල් බවට මාරුකර ගත්තද ටැක්සි කරුවාටත්, ටැක්සියට පාර කී  ආරක්ෂකයාටත් පුදදුන් පසුව ඉතිරි වුයේ රුපියල් එකසිය හැටය. එම මුදල ගැන මා ඒ තරම් දුරට නොසිතුවේ ලොක්කා විසින් සැලසුම් කරන ලද පිළිවෙලට දුම්රියේ ටිකට්ටුවට ආහාර සියල්ලම නොමිලේ ලැබෙනවා කියා ලොක්කා මගින් මගට කී නිසාය. එහෙත් ආහාර පාන සියල්ල තමුන් විසින් වෙනම මිලදීගත යුතුය කියා සුද්දාගේ ඉංග්‍රීසියෙන්ම ටිකට්පතේ පැහැදිලිව මුද්‍රණය කර තිබෙනවාය. ඒ කියන්නේ රුපියල් එකසිය හැට යනු දිනතුනක් අවසානයේ මා ජීවත්ව ඉන්නවාද මියයනවාද කියා තීරණය කරනා ප්‍රභලම සාධකයය. සන්තකයේම තිබෙන්නා වූ රුපියල් එකසිය හැටෙන් එකසිය පනහක් මූට දුන්නොත් දවස් තුනක් ජීවත් වන්නට ඉතුරු වන්නේ රුපියල් දහයය. ගෙදරදී කනවා වාගේ ගස් ගල් පෙරලන්නට තරම් ප්‍රමාණයේ ආහාර වේල් තුනක්ම නැති උනත් ශරීර කුඩුවේ පැවැත්ම උදෙසා මද්‍යම ප්‍රතිපදාවෙන් යැපෙන්නටවත් රුපියල් දහය ප්‍රමාණවත් වන්නේ නැත. දුම්රියේ එහාටත් මෙහාටත් චායී.... චායාම්... චායි..චායි..චායි..චායාම්.. කියමින් තේ විකුණනා  එවුන්ගේ තේ එකක මිලද රුපියලය. වේලකට තේ එක බැගින් තේ නවයට රුපියල් නවයක් දුන්නොත් අහමදාබාද් වලදී කෝච්චියෙන් බැහැලා මහන්සියට තේ එකක් බොන්නට රුපියලක් ඉතුරු වෙනවාය. ඒත් ප්‍රශ්නයනම් දවස් තුනක් තේ වලින් පමණක්ම ගෙවා දමන්නට උත්සහ කිරීමෙන් අහමදාබාද් වලින් ඉතුරු තේ එක බොන්නට පණකෙන්දක් ඉතුරුවේද යන්නය.

කෝට් බෑයා බලාන ඉන්නේ මගේ අහිංසක රුපියල් එකසිය පනහට විදින්නටය. කජ්ජ  ගහේ තිබියදී පුහුලම කන්නට සමත් එවුන් සිටිනා ගමක උපන් එකෙකු ලෙසින් අතේ සන්තකටම තිබෙනා රුපියල් එකසිය පනහ මූට දීම ලජ්ජා සහගතය. 

ජස්ට් ගිව් මී මයි සීට් ෆස්ට්.. අයි කාන්ට් ගිව් යූ මනී රයිට් නව්.. බිකොස් ලොට්ස් ඔෆ් පීපල් සිටින් අරවුන්ඩ් අස් මිස්ට..

දැට්ස් ඕකේ මිස්ටර්ර්ර්ර්ර්.. ගිව් ඉට් ටු මී..

නෝ නෝ අයැම් නොට් කොම්ෆටබල් ටු ඩු ඉට් මිස්ට.. ජස්ට් ගිව් මී ද සීට්.. අයි විල් ගිව් යුවර් මනී වෙන් ඩාර්ක්..

කොර්ට් බෑයා කල්පනා කරනවාය.. ඒ හිතන්නේ මූට සීට් එක දෙම්දෝ නොදෙම්දෝ කියා වන්නට ඇත..

ඔකේ මිස්ටර්ර්ර්ර්.. අයි විල් කම් ඇට් නයිට්..

තෑන්ක් යූ.. දෙන් වෙයාර්ස් මයි සීට්..

ස්ටේ හියර්ර්ර්ර්..

ඔකේ... තෑන්ක්ස්...

කෝට් බෑයා මාගේ ආසනයේ අංකය පොතේ ලියාගෙන එතනින් නික්ම ගියේ කළුවර වැටුනාට පසු මාගේ රුපියල් එකසිය පනහට විදින්නට එන්නට තරයේ අවධාරණය කරගෙනය. කෝච්චියට නැගගත්තාට පසු සැලසුම් කල සැලසුම් දෙකම සාර්ථක වූ සන්තෝසය ඉහවහා ගිය නිසා ලැබුණු ආසනයේ හොඳහැටි හරිබරි ගැහී මද නින්දක් දමන්නට මා ඉටාගත්තේ ඊයේ උදේ ඇහැරුනාට පසු මෙලෝ නින්දක් නොලැබුනාවූ බැවින්ය. එහෙත් නිදිමතත් වෙහෙසත් ඔලුවේ තොන්තුවත් නිසා කොයිතරම් වෙලා නින්ද යාවිදැයි නොදන්නා නිසා රුපියල් එකසිය පනහේ පලහිලව්ව ලිහාගන්නා ක්‍රමයක් සිතා සැලසුමක් සකස්කොට නිදාගත යුතුය. මද වෙලාවක කල්පනාවකින් අනතුරුව සන්තකයේ තිබෙන මුදලින් රුපියක් තිහක් ඉතුරුව තබාගෙන අනෙකුත් සියලුම මුදල් සඟවා ගන්නට මා තීරණය කළාවූ බැවින් එහි ප්‍රතිපලයක් වශයෙන් රුපියල් එකසිය තිහක් ඇඳුම් බෑගයේ අඩියේම තැන්පත් වෙනවාය. කෝට් බෑයාට මා වංචාවක් කරන්නට සැරසෙන්නේ නැත. මුදල් දී මිලදීගත් ටිකට්ටුව කන්ෆර්ම් කිරීමට වෙනම මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අය කරන්නේ නැත. එහෙත් එය ගමන පිටත් වන්නට පැය විසි හතරකට කලින් කල යුතුය. කෝට් බෑයා මාගෙන් ගන්නට යන්නාවූ මුදල තනිකරම අල්ලස් ගණයට වැටෙන්නක්ය. ලංකාවේ නීතිගරුක පුරවැසියෙකු වශයෙන් අල්ලස් ගැනීමට අනුබල නොදිය යුතුය. තවද කජ්ජ ගහේ තිබියදී පුහුලම කන වර්ගයේ එවුන් සිටිනා නගරයක ඉපදුනාවූ එකෙකු වශයෙන් කෝට් බෑයාට එලෙසින් හසුවීමද ලජ්ජා සහගතය. බඩගින්නත් , ගමන් වෙහෙසත් අතර දෝලනය වෙමින් කල්පනා ලොව මල්වනේ සැරිසැරූ මට නින්ද කොයි වෙලේ ආවාදෝ යයි මා දන්නේ නැත.

ඒයි මිස්ටර්ර්ර්ර්ර්ර් .. වේක් අප්..

තාත්තා කවදාවත් මට මිස්ටර් කියා අමතන්නේ නැත.. පිරිමි කටහඬකින් මා මතන්නට අපේ ගෙදර සිටින්නේ තාත්තා පමණය.. පාසල් යන්නට ප්‍රමාදවී හෝ රැකියාවට යන්නට ප්‍රමාදවී අන්තිම විනාඩිය දක්වා නිදන මාගේ යහන් ගබඩාවට තාත්තා සැපත් වන්නේ අම්මාට මාව ඇහැරවගන්නට බැරිවූ අවස්තාවකදී පමණය. අවටින් ඇසෙනා ශබ්දයද මාගේ යහන් ගබඩාවේ තිබෙනා පංකාවේ හුරු පුරුදු ශබ්දයට වඩා සෑහෙන්න වෙනස්ය.. ඒ සියල්ලම නොලසකාහරිතත් තාත්තා ඉංග්‍රීසියෙන් මා අමතා මාව මේ තරම් මහත්මා ආකාරයෙන් අවදි කරවන්නේ නැත්තේ අම්මා විසින් දැරූ අසාර්ථක උත්සාහයන් කිහිපයක් දුර සිට අසා සිටිනා තාත්තා එතනට එන්නේ අසූ හාරදාහට මල පැනලා නිසාය.. තාත්තා කාමරයේ දොර අරිනා ශබ්දයටම මට ඇහැරෙන්නේ තාත්තා ඇඳ ලඟට පැමිණ කියවන්නට ගන්නා මාගේ ගුණ ගායනා අසා සිටිනවාට වඩා සැනෙකින් අවදිවීම දාහෙන් සම්පතක් නිසාය.

මේ කතා කරන්නේ තාත්තා නොවේ යන්න පළමුව ඇතිවූ සිතුවිල්ල බැවින් කෝකටත් කියා හිස ඔසවා බැලුවේ මාගේ සනීප නින්දට භාදා කරනා මූ මොකාද කියාය.. 

කළු කෝට් කාරයෙකු මා දිහා බලා සිටිනවාය.. අවට පරිසරය අඳුරුය.. ඇඳ මදක් පැද්දෙන සුළුය.. කෝච්චියක සද්දයක් අසේනවාය..

වේක් අප් මිස්ටර්ර්ර්ර්ර්.. ගිව් මී මයි මනී.. දෙන් ස්ලීප්..

ටිකෙන් ටික නාටකය මැවෙන්නේ දැන්ය.. මා මේ සිටින්නේ උතුරු ඉන්දියාව බලා ධාවනය වන දුම්රියේ බව මතකයට එන්නේ දැන්ය..

සම් බොඩි ස්ටෝල්  මයි මනී මිස්ට..

වට්..

යස්.. සම්බොඩි ස්ටෝල්  මයි මනී.. 

වට් නොන්සන් මිස්ටර්ර්ර්ර්ර් .. ගෙට් රෙඩී ටු ගෙට් ඩවුන් ඔන් නෙක්ස්ට් ස්ටොප්..

නෝ ..නෝ..

වයි නොට්..යූ ප්‍රොර්ර්ර්මිස්ඩ් මී ටු පේ හන්ඩ්‍රර්ර්ර්ඩ්  ෆිෆ්ටි..

යේස්.. අයි තෝට් අයි හැව් මනී.. දෙන් අයි රියලයිස්ඩ් සම්බොඩි ස්ටෝල්  මයි වොලට්.. දෙන් හවූ කුඩ් අයි පේ යූ ..

ගෙට් අවුට් ෆ්‍රෝර්ර්ර්ර්ම්  හියර්ර්ර්ර්ර්  ඔන් නෙක්ස්ට් ස්ටොප් .. 

යූ නෝ  අයැම් අ ෆොරිනර්.. නව් යූ ට්‍රයින්ග් ටූ ගෙට් අ රැන්ස්ම් ෆ්‍රොම් මී හා..

දිස් ඉස් නොට් අ ර්ර්ර්රැන්සම්.. යූ හැව් ටු පේ දිස් චාර්ර්ර්ර්ජ් ..

නෝ අයි ඩෝන්ට් වෝන්ට් පේ  එනි චාර්ජ්.. දිස් ඉස් අ පේඩ් ටිකට්..

දෙන් ගෙට් අවුට් ෆ්‍රොර්ර්ර්ම්  හියර්ර්ර්ර්..

ඕකේ.. අයි විල් ගෙට් ඩවුන් ඔන් නෙක්ස්ට් ස්ටොප්.. බට් අයි විල් කම්ප්ලේන් අගේන්ස්ට් යූ.. යූ ආසක්ඩ් මී ටු පේ රැන්සම්.. ඩෝන්ට් යූ රිමෙම්බර්.. අයැම් අ ෆොරිනර් මිස්ට..

ඔහ් කමෝන්... අරේ මිස්ටර්ර්ර්ර්ර්ර් ඩෝන්ට් ඩු ස්ටුපිඩ් තින්ග්ස්.. ඩු යූ හැව් එනි මනී..

කෝට් බෑයා ඒ ගමන එන්නේ ශේප් න්‍යායෙන් මාගේ දත ගලවන්නටය.. සීට් එකක් දීම සම්භන්ධයෙන් කෝට් බෑයාට කීයක් හෝ දීම මාගේ යුතුකමය..

යේස්.. අයි හැව් තර්ටි රුපීස්..

ඕකේ ගිව් මී තර්ර්ර්ර්ර්ටි ..

අයි කැන් ගිව් යූ ටෙන්.. අයි නීඩ් සම් මනී ෆෝ ෆූඩ්..

දෙන් ගිව් මී ටුවෙන්ටි..

නෝ.. අයි විල් ගිව් යූ ෆිෆ්ටීන්..

ඔකේ.. ගිව් මී ෆිෆ්ටීන් ..

අයි හෑව් ටුවෙන්ටි රූපී බිල්.. ඩු යූ හැව් ෆයිව් රුපී..

යේස්.. ගිව් මී ටුවෙන්ටි..

ඔකේ.. ගිව් මී ෆයිව් රුපී..

හියර් යුවර් ෆයිව් රුපී මිස්ටර්ර්ර්ර් ..

තැනක් යූ..

රුපියල් එකසිය පනහෙන් පටන්ගත් පාගා ගනුදෙනුව රුපියල් පහළොව දක්වා හෙවත් සියයට අනූවක ලාභයක් සමග සාර්ථකව අවසන් වෙද්දී අම්බලන්ගොඩ කතා ලියන එකා ලෝක ඉතුහාසයට එකතු වන්නේ පගාව දී ඉතුරු මුදල් ලබාගත් ලොව පළමු පුද්ගලයා බවට වාර්තාවක් තබමින් වන්නට ඇතිය.

දවස් ගානක් ලියලත් ලියාගන්න පුළුවන් වුනේ මෙච්චරයි.. ඉතුරු ටික ඉක්මනින්ම ලියනවෝ.. දැන් මේ ලියපු හරිය මදියි කියල මාව කන්න එපෝ.. 

ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..5

71 comments:

  1. Replies
    1. මාර අංකූර් වැඩක්නෙ කරල තියෙන්නෙ බලාගෙන ගියාම. ලංකාවෙ එහෙම ඔහොම හෙට්ටු කරන්න කතා කළානං අනිවාර්යෙන් ඌට කෝච්චියෙන් බැහැල පයිං තමයි යන්න වෙන්නෙ. හැක්..

      Delete
    2. ලංකාවේ පගාව දීම වෙනම කලාවක් බන්. ඉන්දියාවේ ඒ කාලේ නම් ප්‍රසිද්දියේම පගාව ගන්නවා කිසිම කැතක් නැතුව.

      Delete
    3. ඉන්දියන් පගාවයි ලංකාවේ පගාවයි දෙකක. ලංකාවේ පගාව දුන්න ගම්න වැඩේ එලටම කෙරෙනවා බොහෝවිට.ලංකාවේ ලගාව යම් තරමක්න පැවතිය යුතුයි. නැත්නම් මිනිස්සුන්ට බොහෝ විට අගතියක් වෙන්නේ. මල්හෝත්‍රාගේ ලියුම නැතිවම උඹේ වෑයම සාර්ථක වෙලා. එළ

      Delete
  2. මචෝ එකසිය පණහක් නැද්ද :D
    හෙට දෙන්නං..

    ReplyDelete
    Replies
    1. එකසිය පනහක් නෑ මචං එකසිය හතළිස් පහයි තියෙන්නෙ හිටං.

      Delete
    2. එක්කො බොට ට්‍රැවලර්ස් ඩේට් චෙක් එකක් දෙන්නං.

      Delete
    3. කීයක් හරි කමක් නෑ පහලවක්නං එපා ඕං.
      . අපි එකසිය පනහයි කියන්නෙ එකසිය පනහට :D

      Delete
    4. මට ලස්ස තුනක්දියංක

      Delete
    5. ආ බං පත්තර මල්ලි.. දැන් පත්තරයක් රුපියල් සීයක් ලං වෙන්න ගණන් තියෙද්දී බොට එකසිය පනහක් කියන්නේ පත්තර එකහමාරණේ බන්..

      Delete
    6. ප්‍රසන්නයා කියන්න වගේ ට්‍රැවලර්ස් චෙක් එකක් දෙන්නං ගිහින් මාරුකර ගනින් හොර පාස්පෝර්ට් එකක් හදාගෙන..

      Delete
    7. අටමෝ.. ජෝන්ගාව උඹ පරෙස්සමට තියපු කෝටි ගානක් තියෙනවා උගෙන් ඉල්ලගනින්..

      Delete
  3. උද්දිකයනං මාර ඩෑල් එකක් තමයි. යන බයිසිකලේ හුලං බලන්න ගිහිල්ල ඔහොම ඉතුරුඋනා මදැයි.
    අපෙත් හිටිය උද්දික කියල එකෙක් ඌ නං කරන්නෙ පාන්දරම උංගෙ නෑදෑවෙන හෝටලේකට ගිහිල්ල හොඳට ගිලින එක. අන්තිමේ ඌට පිණ්ඩපාතය කියල නමකුත් වැටුන.

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට යන බයිසිකලේ ඉස්සරහ රෝදේ නවතින්න තරම් අල්ලිල්ලක් ඇඟිලි දෙකකින් අල්ලන්න කොහොම හයියක් තියෙන්න ඕනෙද කියල කල්පනා කරලා බලහන්කො.. බොලෑ යාළුවා තාම යහතින් ඉන්නවයි..

      Delete
    2. ඔවු උෟ දැන් බස් එකක කොන්ද වැඩේ කරනව.

      Delete
  4. මූ පෙට්ටි මාරු කරන්න බිමට බැහැල නගිනකොට නගින පෙට්ටියෙ ඇතුලෙ හිටපු එකෙක් දොර වැහුවෙ නෑනෙ සෙනිකවම.

    ReplyDelete
    Replies
    1. යන්න විතරක් දවස් තුනක් යනව කියන්නෙ කෝච්චියෙ ටයර් සෙට් එක සතියක්වත් දුවන්න බැරුව ඇති …

      Delete
    2. 100 ට ගිහින් වංගුව නමන හින්ද ඩැග් දාන්නත් බෑනෙ.

      Delete
    3. වෙලාවට උඹ වගේ එකෙක් කෝච්චියේ හිටියේ නැහැ.. එහෙම එකෙක් ඉඳල දොර වැහුවනම් අනාත සාගරේ තමයි ඉතින්..

      Delete
    4. මගදී නවත්තල ටයර් මාරු කරනවා බන් අර කාර් රේස් දුවද්දී මගදී නවත්තල මාරු කරනවා වගේ.. හෙහ්..

      Delete
    5. වතාවක් අපි නුවරඑළියේ ගිහින් ආපහු එන්න ඉන්නකොට ආපු කෝච්චියේ හිටපු පෙරේත හැත්ත සෙකන්ඩ් ක්ලාස් එකේ දොරවල් වහගෙන හිටියා...
      ඇතුලේ අඩු ගානේ හිටගෙන යන්න හරි ඉඩ තිබුනා...
      දොරට තඩි බෑවට, දොර අරින්න කියල ඇරලා තිබ්බ ජනෙල් වලින් කන්නලව් කරාට එක පෙට්ටියක හිටපු එක බල්ලෙක්වත් ගණන් ගත්තේ නැහැ, වෙලාව රෑ හත අට වගේ වෙලාවක්...
      තුන්වෙනි පන්තිය ගැන හිතන්නවත් බැහැ, ඒ තරම් සෙනග...
      අන්තිමට කලේ දඩ බඩ ගාල ෂොපින් බෑග් ටිකක් හොයාගෙන මනුස්ස කම බල්ලට දාල හීතල වතුර පුරෝගෙන කෝච්චිය අදිනකල් බලාගෙන ඉඳලා සෙකන්ඩ් ක්ලාස් එකේ ඇරලා තිබ්බ ජනේල හරහා පෙට්ටි කීපයකටම පුජා කළා...
      සෙකන්ඩ් ක්ලාස් ටිකට් තිබිලත් ඊට පස්සේ පැය දෙකකකට විතර පස්සේ ආපු කෝච්චියේ ෆුට් බෝඩ් එකේ එල්ලිලයි කොළඹ ආවේ...

      Delete
  5. ela ela . oyanam yakek aiya.anith ekat ikmanatama danna.

    ReplyDelete
    Replies
    1. දාන්නම් මල්ලි ඉක්මනටම..

      Delete
  6. ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියලම කපල නේද? අන්න වැඩ.. හෙහ් හෙහ්
    ගන්දර * ස්ථානයේ වාහන බලන අංශයෙන් සුපියල් 500ක් මාරු කරලා 200ක් දීල ආව අපේ කොම්පැණියෙ ඩ්‍රයිවරයා.විලිලැජ්ජ හිතුනා අපට.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සොච්චම් වැටුපක් ගන්න අහිංසක මිනිස්සුන්ගේ රුපියල් වලින් කන කෑම දිරවනවා ඇතිද බන්.. අනේ මන්ද.. ඔය රස්සාව කරන එවුන්ගේ ජීවිතවල අවසාන කාලය බොහොම සෝචනීයයි මචන්..

      Delete
  7. බොසා ගැන කේන්‍තියක් ඇති වුනත් බොසා නැතිනම් මේ කතාව කියවන්න නොලැබෙන නිසා නොබැන ඉන්නම්.

    ReplyDelete
    Replies
    1. බොසා ගැන කේන්ති අරන් වැඩක් නැහැ රසික.. බොසා මට ඒ ජොබ් එක දීල කරපු උදව්ව ප්‍රසංසනීයයි.. පසුකාලීනව බොසා එක්ක යම් යම් මත ගැටුම් නිසා මම එතනින් අයින් වුනා ..ඒත් මම අයින් වෙන්න කලින් මම භාරගත්තු කොන්ත්‍රාත් එක ඉවරයක් කරලම තමයි අයින් උනේ.. මම දැන් ඉන්න රටේ ඒ ෆීල්ඩ් එකේ කොම්පැනියකින් ඊයේ පෙරේදත් මට ජොබ් එකක් ඔෆර් කරා. ඒක ටිකක් විතර් රෙයාර් ෆීල්ඩ් එකක් නිසා එක්ස්පීරියන්ස් තියන මිනිස්සුන්ට ඉල්ලුම වැඩියි...

      Delete
    2. කාසල් එක ඉස්සරහ දත් පුටු ගෙන්නන බිස්නස් එකක් නං තිබුන වංහුං මුදලාලිගේ කඩේ ළඟ.
      පස්සේ ඇස්රේ පවා ගෙන්නුවා මගේ හිතේ. උඹ ඇක්ස්රේ ප්‍යාර් කෙරේ ද?. මගෙත් හොඳ මිත්‍රයෙක් ඉන්නවා කැනඩාවේ, රස්සාව ඇ හුවම් කියන්නේ මම මේ ඉන්දියන් කොම්පැනියක වැඩ කරන්නේ ඇක්ස්රේ ප්‍යාර් කෙරේ කියල.

      Delete
  8. ////දවස් ගානක් ලියලත් ලියාගන්න පුළුවන් වුනේ මෙච්චරයි.. ඉතුරු ටික ඉක්මනින්ම ලියනවෝ.. දැන් මේ ලියපු හරිය මදියි කියල මාව කන්න එපෝ.. /////
    ශේප් න්‍යාය....

    කෝච්චි පෙට්ටියෙන් පෙට්ටියට මාරු වෙවී ගිය වෙලාවෙනම් පවු හිතුන....
    එහෙනම් ඊලඟ කොටසත් ඉක්මනින් දාමුකෝ....
    මෙහෙම කට්ටක් නම් වනේ වන හතුරෙක්ටවත් කන්න සිද්ධ වෙන්න එපා....

    ReplyDelete
    Replies
    1. අවුරුදු විස්සේදී ඒ ලැබිච්ච අත්දැකීම තමයි ජීවිතේ ඕනෑම අභියෝගයක් තනියම භාර අරගෙන සාර්ථක කරන්න තරම් ශක්තිය සැපයුවේ නිර්මානි. ඔලුව වෙහෙසවා ප්‍රශ්න වලට සාර්ථක පිළිතුරු සෙවීම පුහුණු කරවන්න මට අවුරුදු විස්සේදී ලැබුණු හොඳ අවස්තාවක් ඒක. එදා ඉඳන් අද වෙනකම් ප්ලෑන් බී එකක් නැතුව මම වැඩක් කරන්නෙම නැහැ.

      Delete
  9. /පාගව දී ඉතුරු මුදල් ලබාගත් ලොව පළමු පුද්ගලයා/ ඒක නම් පට්ට..!

    ReplyDelete
    Replies
    1. පගාව දීමත් හෙට්ටු කරලා කරන්න පුළුවන් බන්..

      Delete
  10. ඉල ඇදුනා මචෝ - ඊළඟ කොටසත් ඉක්මනටම දාපන්.

    මගේ පළමු ඉන්දියා ගමනේත් මුම්බායි ඉඳන් බැංගලෝර් දක්වා පැය 24 කට වැඩි ගමනකට සෙට් උනා. ඒත් පළවෙනි දවසෙම. හැබැයි ටිකට් එක අරන් තිබුනේ ICCR (Indian Council for Cultural Relations) එකෙන්. ඔවුන් කන්ෆර්ම් කිරීම කර තිබු නිසාත්, එය A/C 2 Tier පන්තියේ වූ නිසාත්, අර බෑග් එක අරගෙන මැරතන් දිවීම වගේ ක්‍රීඩා නොකර බොහොම සැප පහසුවෙන් ගමන නිමා කිරීමට පුළුවන් උනා.

    ReplyDelete
    Replies
    1. ටිකට් OK නම් වෙන අවුලක් නැහැ ඔය ගමනේ.. දැන් නම් ඉස්සරට වඩා හුඟක් හොඳ ඇති.. මේ ඉතින් අවුරුදු දහ අටකට කලින් සිද්දියක්නේ.. ස්තුතියි කමෙන්ට් කරාට..

      Delete
  11. අද තමයි මුලින්ම ආවේ උබේ බ්ලොග් එකට. පට්ට රහක් තියෙන්නෙ උබේ පෝස්ට් වල. ලියහන් ලියහන්. ජය වේවා..!! 👊🏽

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ටිලාන්.. දිගටම එන්නකෝ මේ පැත්තේ..

      Delete
  12. උඹ තමයි මලේ දවසකටවත් මිනිහා. දකුණේ කොල්ලනේ. එළකිරි. ඉතරි ටිකත් ඉක්මනට දාපං.

    ReplyDelete
    Replies
    1. ඔයත් ඉතින් දකුණ පටන්ගන්න තැන පලවෙනි පුරවැසියන් කිහිපදෙනාගෙන් එක්කෙනේක්නේ...හෙහ්..

      Delete
  13. Indiayan karayoo gana nam kiyla wadak na lokka

    ReplyDelete
    Replies
    1. එදත් අදත් ඉන්දියන් එවුන් ලෝකේ කොතන ගියත් එකයි බන්..

      Delete
  14. අම්මෝ බං අම්බලන්ගොඩ උන් ගැන කියන කතා ඇත්ත කියල දැං හිතා ගත්ත හැකි

    ReplyDelete
    Replies
    1. දකුණේ අනික් උන්ට වඩා අම්බලංගොඩ එවුන් වෙනස් බන්..

      Delete
  15. මචං, කටුනායකින් බැහැපු ගමන් , එතනින්ම කෝච්චියේ නැගල අම්බලන්ගොඩ පලයං, අපේ පැත්තෙ ඉන්නෙ එදාවේල හොයං කන අහිංසකයො.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. බොලා එහෙනම් මාව එතනටම දැම්ම ඈ..

      Delete
  16. ඔය තත්වය ඉන්දියාවේ බොහෝ තැන්වල අදටත් ඔහොමම තමයි.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාව මම හ්තන්නේ නැහැ තව අවුරුදු සීයකින්වත් සමාජයීය අතින් අපේ රට අහලකටවත් ඒවි කියල විචා.. ඉන්දියාවේ අපේ රටට වඩා පන්ති පරතරය හුඟාක් වැඩියි..

      Delete
  17. මම "ලංකා නිව්ස් වෙබ් " එකේ බ්ලොග් එකක් දැකල ඔක්කොම අයගේ බ්ලොග් කියවල ඉවරවෙන්නත් එනව.අම්බලන්ගොඩයෝ උබනම් සුපිරි. ඉක්මනට ඊලග එක ලියපන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කපිල.. ඉතුරු කොටස ඉක්මනට ලියන්නම්කො.. අපේ අටමගේ සිංඩියට, මාතලන්ගේ සින්ඩියට එහෙම ගිහින් බලන්න තව හොඳ බ්ලොග් හොයාගන්න පුළුවනි ..

      Delete
  18. උඹ කලින් කිව්වනම් ඔය කෝච්චියේ හුලන් අරින්න තිබ්බා , ඉන්දියාවේ පොරවල් එක්ක බලද්දී ලංකාවේ අයියලා කොයිතරන් අහිංසකද නේ

    ReplyDelete
    Replies
    1. ඉන්දියාව තියන තත්ත්වේ එක්ක අපේ රටවල් උන්ගෙන් නය ගන්න තැනට වැටුන කියන්නේ නැවත නැවතත් සිතා බැලියයුතු තත්වයක් ඉවාන්..විවුර්ත ආර්ථිකයේ සියලුම අයහපත් ප්‍රතිපල රසකර කර බුක්තිවිඳපු එකේ ප්‍රතිපල තමයි මේ..

      Delete
  19. උඹව ට්‍රේන් එකෙන් තල්ලු කරන්න තිබ්බෙ. ඇයි යකෝ මේකෙ ඉවරයක් දකින්න කී දවසක් යයිද.. කොහොම නමුත් කතාව චුට්ටක් වත් නීරස නෑ.. ඉන්දියාවෙ එවුන්ට අපි සලකනවා මදි නේ?? නෙදකින් විතරක් පාරෙ රෙන හැත්ත..

    ReplyDelete
    Replies
    1. නෙදකින් විතරක් පාරෙ රෙන හැත්ත.. සජ්ජෝ මේකත් බලපන් https://www.youtube.com/watch?v=i3mSZyCpuJk

      Delete
    2. ඇත්ත උදාර. ඒත් මචං කොච්චර දියුණු උනත් න්‍යෂ්ඨික බලය තිබ්බත්, රොකට් සයන්ස් දියුණු උනත් ආකල්ප වලින් ඕකුන් හිඟන්නො.. රස්නේ වැඩි කාලෙට රස්නේ නිසා මිනිස්සු මැරෙනව, හීතල වැඩි කාලෙට හීතලට මැරෙනව, කන්න නැතුව මැරෙනව. ඒවට පිළියම් නෑ. හැබැයි එක අතකින් බැලුවම එහෙව් කාලකන්ණින්ට නිකං කන්න දෙන්නෙ නැතිව රට ඉදිරියට ගෙනියන එක අපි අගය කරන්න ඕන. අපේ එවුන්ට නිකං කන්න දීල තමයි අපට කෙලවිලා තියෙන්නෙ...

      Delete
    3. බොරුවෙන් ලෝකෙ ජයගන්න හදන ජාතියක් බන්.. වැඩකරන තැනකට එකෙක් රින්ගුවොත් ඔක්කොම විනාසයි..

      Delete
  20. අපරාදෙ බන්.උබට කෝච්චියේ වහල උඩ යන්න තිබුනෙ.😠

    ReplyDelete
    Replies
    1. උන් උදේට වැඩට එන්නෙත් කෝච්චියේ වහල උඩ වාඩි වෙලා බන්..

      Delete
  21. ඔය කියන අවස්ථාවේ මම ඔතන හිටියනම් ඔය ටිකට් චෙක් කරන කාක්කට මගේ අතේ තියෙන 160 ට අමතරව ළඟ සීට් එකක වාඩි වෙලා ඉන්න තව කාගෙන් හරි කීයක් හරිත් ඉල්ලලා දීලා තමයි මම උගෙන් බේරෙන්නේ...
    උඹනම් සුපිරි ඩයල් එකක් බං...

    ඉන්දියන් කාරයෝ අතරේ හොඳ එවුන් ඉන්නවා, උන් ගොඩක් ගං පළාත් වලින් ආපු උන්...
    අපි එක්ක හිටියා බ්‍රාහ්මණ කුළයේ ඔපරේටර් කෙනෙක්, නම දාස්, ඌ ඇත්ත කියන විස්වාස කරන්න පුළුවන් ඩයල් එකක්...
    තව හිටියා හුසේන්මියා කියල පොරක්, එහෙ අවුරුදු 30 ක් විතර වැඩ. පරීක්ෂක කෙනෙක්, මිනිහත් අපිට ගොඩක් ලැදියි...
    විශේෂයෙන් ලංකාවෙන් ගිහින් හිටපු සෙට් එකට...
    තව හිටපු ගොඩක් උන් නරක නැහැ, අපි දෙගොල්ලොම හිටියේ පිට රටක (සෞදි) නිසාද දන්නේ නැහැ උන් අපිත් එක්ක ගොඩක් හොඳ සුහදශීලී ආකල්පයක් දැරුවා...
    සමහර විට අපි ලැබ් එකේ වැඩ කරපු සහ උන්ගේ වැඩ වල තත්ත්ව පරීක්ෂා කරපු අය නිසා වෙන්නත් ඇති, හැබැයි උන් අපි එක්ක ලැබ් එකේ හිටපු එකම එක ඉන්දියන් කාරයා එක්ක ඒ තරම් සුහද බවක් තිබුනේ නැහැ...
    සමහර විට ඌ ඔපරේටර්ලට ලොකු එක දාන්න ගියාද දන්නේ නැහැ...

    මැනේජ්මන්ට් එකේ හිටපු බහුතරය ඉන්දියන්...
    ඒ කොහොම උනත් පුරුදු අතින් බහුතරයක් අවුල්...
    සමහර විට ඒ නරක කමට ඒ ඒ අයගේ ආගමත් හේතු උනාද කියල දැන් මට හිතෙනවා...

    අපි ඉන්න කාලේ විශ්‍රාම ගිය ඩෙනිස් කියන ඉන්දියන් "මහත්තයව" මට මතක් උනා...
    ඉන්දියාවේ ගෙදර එන්නත් කියල අපිට කිව්වා...
    අවුරුදු 60 න් විතර පෙන්ෂන් ගිය ඩෙනිස් පොඩි කොල්ලෙක් වගේ ආතල් එකේ හිටපු හිත හොඳටම හොඳ මනුස්සයෙක්...
    හැමදාම උදේ ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකේ යද්දී ඩෙනිස් මටයි මගේ යාලුවටයි ටොෆි හරි වෙන මොනවා හරි කන්න දෙනවා, ලංකාවෙන් ගියපු වෙන කාටවත් එහෙම නැහැ...
    ඩෙනිස් අපි දෙන්නට ලොකු හිතවත් කමක් දැක්වුවා...
    හැම තිස්සෙම විහිළු කතා කිය කිය හයියෙන් හිනා වෙන පුංචි මනුස්සයෙක්...

    ReplyDelete
    Replies
    1. හොඳ මිනිස්සු කොහෙත් ඉන්නවා බන්. ඒත් සමහර උන් උන්ගේ එවුන්ට ඇදිල්ල වැඩියි..

      Delete
  22. උඹ නියම වැඩකාරයෙක් බං.මම එහෙම නං අතේ තියෙන සල්ලි ටික ඔක්කොම දීල උගෙන් බේරෙනවා.අවුරුදු ගානක් ඉන්දියාවේ හිටියා මට ඔහොම ගටක් තිබ්බෙ නෑ.සැරයක් මාව ටික්කො අල්ල ගත්ත උඹ දන්නවද? වෙලාවක් ඒ කතාව ලියන්න ඕනෑ.

    ReplyDelete
  23. හෙහ් හෙහ්...ඉන්දියන් කාරයො කොහෙද අපිව තම්බන්නෙ. අපිට හරි ආඩම්බරයි උඹ ගැන අයියේ... ගමේ නමයි පාසලේ නමයි රැකලා තියෙනවා ලෙසටම.ඒක නෙවෙයි ඉක්මන් කොරලා ඉතිරි ටිකත් දාපන්කො.........

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ කරපු වැඩ ලියන්න ගියොත් වෙන පොස්ට් ලියන්න වෙන්නේ නැහැ බන් හැලප අයියේ.. හැබැයි ඉන්දියන් උන්ට මාව තම්බන්න නම් බැරිවුණා කොහෙත්ම..

      Delete
  24. මචෝ. සීතා රාජපක්ෂ මිස් මම හොඳට අඳුරනවා. මම මෙහෙ එන්න කලින් දවසෙත් හම්බ වෙලා වැඳල ආවේ. මම හරිනම් හිටියෙ රේල් පාර පැනල වාරි මාර්ග එකට අල්ලපු වත්තේ. නැති උනා කියල ආරංචි උනා. පස්සෙ සුභා ට කතා කරන්ට නම්බර් එකක් නැති උනා 😩 උබේ මුලු බ්ලොග් එකම කියවල ඉවර කලේ දැන් තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කමෙන්ට් එකට. මට ඔයාගේ ඊමේල් එක එවන්න මට.. මගේ ඊමේල් එක polwattacom@gmail.com

      Delete
    2. Tikko , me subha....koheda ane inne...kochchara hewwada oya...ambalangoda katha liyana ayyage email Id ekata (polwattacom@gmail.com)oyage mail ekak ewanna..oyage no ekath ekka...eya mage phone no eka ewai oyata....

      Delete
  25. ඕකට රුපියල් දහයක් දීල ශේප් වෙන්න තිබ්බ. උන් එහෙමත් ගන්නවා. මට බස් එකෙන් බැහැල යන්න කම්මැලි කමට නේපාලෙට ඇතුල් වෙන්න කලින් ඉන්දියන් බෝඩර් ගාඩ් එකේ පාස්පෝර්ට් චෙක් කරන උන්ට දෙන්න කියල රුපියල් දහයක් දුන්න. උන් දෙන්නෙක් පහ ගානේ ඒක බෙදාගෙන.
    මම මේ කල්පනා කලේ බැහැල යන්නේ නැතිව කෝච්චියෙම ඇතුලෙන් ගිය නැත්තේ ඇයි . ඒ දොරවල් වහලද තියෙන්නේ? මම ගිය දුම්රියේ නම් මැදින් ගිය හැකි.

    ReplyDelete
    Replies
    1. ඒ කොච්චි පෙට්ටි වෙන වෙනම වෙන් කරපුව අජිත් අය්යේ.. ස්ලීපින් කම්පාර්ට්මන්ට් ඇතුලෙන් යන්න පුළුවනි.. එත් මේ පිටිපස්සෙන්ම එල්ලලා තිබ්බ තුන්වෙනි පන්තියේ පෙට්ටි ටික වඩු බාස් කෙනෙක් හදපුව වගයක්. ඇතුලෙන් සම්භන්ධ කරලා නැහැ..පස්සේ තමයි දැනගත්තේ ඉන්දියාවේ පගාව කියල රුපියල් පහක් දුන්නම ඉහටත් උඩින් කියල..

      Delete
  26. එලකිරි කතාව.අල්ලපු ඉස්කොලේ (දෙවානන්දේ ) මල්ලි කෙනෙක්. (2006 හුජ්ජ කොල්ලෙක් බටපොල )

    ReplyDelete
    Replies
    1. මම උඹට වඩා අවුරුදු දහයක් කලින් ඉපදිලා තියෙන්නේ..බටපොල මගේ ඥාති ඉන්නවා බන්..

      Delete
  27. එල කිරි. උඹ දන්නෙ නැතුව ඇති මම පලවෙනි කොටසෙ ඉඳං මේ කියවගෙන එන්නෙ.
    ඔය බයිසිකලේ යන ගමන් හුලං තියෙනවද කියලා බලලා ඇඟිලි කඩා ගත්ත එකෙක් අපෙත් හිටියා පිස්සු වසන්තයා කියලා. ඌ කරපු ඔය වගෙ වැඩ ගණනාවක් මට මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. බැලුවාම කොහෙත් පිස්සු පොරවල් ඉන්නවා නේද බං. උන් වැඩ කරද්දී අවදානම ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ.. සමහර වෙලාවට වාසනාව විසින් උන්ව සාර්ථක කරනවා.. ඒත් හුඟක් වෙලාවට අතේ පයේ තුවාල අනිවාර්යයි..

      Delete