Friday, December 19, 2014

මහා සංගීත රාත්‍රිය




                     දැනටත් මාහට ඉඳහිට වැළදෙන සංගීත අසනීපය දැනට අවුරුදු 15 කට පමණ පෙර  ඉතාමත් උත්සන්නව පවතී නිසාවෙන් මාද තේකොල පෙට්ටි ඩ්‍රම් සෙට් , අල්ල උඩ තබාගෙන වාදනය කල හැකි ඔර්ගනයකින් හා අබලන් බොක්ස් ගිටාරයකින් සමන්විත සංගීත  කණ්ඩායම් කිහිපයකම සාමාජිකත්වය දරා  පුරුදු පුහුණු වී අවසානයේ ප්‍රදේශයේ පිළිගත් සංගීත කණ්ඩායම් කිහිපයෙන් එකක විදුලි ඔර්ගන් වාදන ශිල්පියා වශයෙන් සම්භන්ධ වුයේ කණ්ඩායම් සංගීත කලාවේ දිගු ගමනක් යන්නට හිතේ ධාරණය කරගෙනනම් නොවේය. ඒ කාලයේ තදින්ම වැළඳුන සංගීත පිස්සුව කොතරම්ද කියතොත් සාමාන්‍යපෙළ ඉහලින් සමත් උවහොත් මෝටර් සයිකලයක් අරන්දෙනවා කියා මා හට පොරොන්දුවී සිටි පියාණන්ගෙන් ලැබෙන්නාවූ මෝටර් සයිකලය වෙනුවට ඔර්ගනයක් අරන්දෙන්න කියා ඉල්ලුවේ මෝටර් සයිකලයට වඩා දස දහස් ගුණයක ආසාවක්  ඒ මොහොතේ විදුලි ඔර්ගනයට මා වෙතින් තිබු බැවින්ය . කබල රත්වූ මොහොතේ රොටිය පුච්චගන්නා න්‍යායෙන් මගේ ආදරණීය පියාණන් වහන්සේද  සැනෙකින්  රුපියල්  3500 කට අල්ල උඩ තබාගෙන බස්රථවල සින්දු කියනා උදවිය භාවිතා කරනා කැසියෝ C 35 වර්ගයේ ඔර්ගනයක්  රැගෙන දුන්නේ ඔරිජිනල් මෝටර්සයිකල් පොරොන්දුව ඉටුකිරීමට  විසිපන්දහසකින්වත් බැරි නිසා වන්නට ඇත. 

         එම විදුලි ඔර්ගනයෙන් සප්තප්ස්වර  අකුරු කල මා පසු කලෙක එය ගිටාරයකට හුවමාරු කරගත්තේ ගිටාරයක් වාදනය කිරීමට ඇති බලවත් ආසවෙන්ය. පසුකාලීනව ගිටාරයද  විකුණා දැම්මද එම මුදලින්  කුමක් කරාද යන්න ගැන  මේ වනවිට පැහැදිලි මතකයක් නැත්තේය. මේ සියලුම දේ අතරතුර සංගීතය පාසැලෙන් අකුරු නොකලද ඕනෑම ගීතයක් එක්වරක් අසා ඊට අසාධාරණයක් නොවන අකාරයෙන් වාදනය කිරීමේ ඥානය ලැබීමට මා වාසනාවන්ත වූ නිසාවෙන් මේ කියනා වූ ප්‍රදේශයේ කීර්තියක් ඉසිලු සංගීත කණ්ඩායමකින් මා වෙත ආරාධනා ලැබුනේ ඔවුන් හා එකතුවන ලෙසය. තේ පෙට්ටි වලට තලා සංගීත පුහුණුවීම් කරනා ඕනෑම එකෙකු බලා සිටින්නේ, රුහුණු කුමාරිය යාර්ඩ් එකෙන් එලියට ඇදෙන තුරු  මරදාන ඉස්ටේසමේ පස්වන වේදිකාවේ ඉන්නා මගීන්  බෙල්ල දික් කරමින් දෙමටගොඩ පැත්ත බලනා සේ  පිළිගත් සංගීත කණ්ඩායමකින් තමුන් වෙත ආරාධනයක් ලැබෙන තුරුය. එම න්‍යායෙන්ම මා ද ආරාධනාව පැමිණි විගස පැදුරටත් නොකියා අලුත් කණ්ඩායම හා සම්භන්ධ වුයේ එවන් අවස්තාවක් ලැබෙන්නේ කලාතුරකින් පමණක් බව අවධාරණයෙන් දන්නා නිසාවෙන්ය. 

              අපි වාගේ එවුන්ට මෙරියන්ස්ලා , සන්ෆ්ලවර්සා වැනි සුප්‍රසිද්ධ එව්වා සමග හීනෙන්වත් සම්භන්ධවීමට නොහැකි බව  සහසුද්දෙන්ම දන්නවාය. එහෙත් මා අවසාන වතාවට වසර කිහිපයක් සම්භන්ධවී සිටි සංගීත කණ්ඩායමේ මට කලින් විදුලි ඔර්ගන ශිල්පියා ලෙස  කටයුතු කර තුබුණේ මේරියන්ස් සංගීත කණ්ඩායමේ හිටපු විදුලි ඔර්ගන වාදන ශිල්පියෙකු වන රටේ අංක එකේ අති දක්ෂ කළා කරුවෙක් බව  ආඩම්බරයෙන් ලියන්නේ මා ද ඔහු වාදනය කල සංගීත භාණ්ඩය වසර දෙකක් පුරා වාදනය කිරීමට වාසනාවන්තයෙක් වූ නිසාය. කුමක් හෝ නරක ග්‍රහචාරයක් ගෙවා දැමීමට දෝ එම සංගීත කණ්ඩායම හා සම්භාන්ද වී තිබු එම සුප්‍රසිද්ධ කළා කරුවා එම නරක ග්‍රහචාරය ගෙවා දමා එයින් ඉවත් වූ පසු මා වෙත එම චාටර් ග්‍රහයා බැල්ම දැමු බැවින් මාද එම සංගීත කණ්ඩායමට සම්භන්ධ වුවද මීට වසරකට පළමුව ග්‍රහයා වෙන එකෙකු වෙත බලම හෙලු බැවින් යන්තම් එම කණ්ඩායමෙන්  ඉවත්වීමට මා හට වාසනාව උදාවීය.  මෙතෙක් වෙලා පුරාජේරු කියමින් වටේ ගියා බැවින්  සිට කතාවට උක්ත වූ මහා සංගීත රාත්‍රියට අදාළ කතා පුවත මෙතැන් සිට මෙසේය..

                         මසකට උත්සව එකකින් දෙකකින් ආරාධනා ලැබෙන අපේ සංගීත කණ්ඩායම ඉඳහිට මසකට ප්‍රසංග  තුනක් හතරක් පැවැත්වූ අවස්ථාද  නැති උනාම නොවේය.  සතියකට දින දෙකක් පුහුණුවීම් කටයුතු වෙනුවෙන් සහභාගී වෙමින් ඉදිරියට ඇදුනාවූ සංගීත කටයුතු වලට අමතරව මා රැකියාවේද යෙදී සිටියද සංගීත ප්‍රසංග වලින් ලැබෙන්නාවූ සුළු මුදල් ප්‍රමාණය රැකියාවෙන් ලැබෙන්නාවූ වැටුපට වඩා මා හට ආශ්වාදයක් වුයේය. මෙසේ කාලය ගතවෙද්දී දිනක් සම්පතයා නම් අසහාය මිත්‍රයා අප වෙත රැගෙන ආවේ ඇඹිලිපිටිය ආසන්නයේ අතිවිශාල ජනතාවක් සහභාගී වන සංගීත ප්‍රසංගයක් සඳහා සංගීතය සැපයීමට හැකිද යන්න පැනයයි . එවන් අවස්තාවක් ලැබෙන්නේ බොහොමත්ම කලාතුරකින් බැවින්  දෙවරක් නොසිතා කිසිදු  විස්තරයක් නොඅසා ප්‍රසංගයට අත්තිකාරම් මුදල් ලබාගත් අපේ කණ්ඩායම් ලොක්කා සතියේ දින හතේම රැට පුහුණුවීම් අනිවාර්ය කලේ ප්‍රසංගය ඉතාමත් ඉහලින් හා ගුණාත්මකව පවත්වීමී උතුම් පරමාර්ථයෙන්මය . එකල  ප්‍රසංගයට පොරොන්දු වූ මුදල රුපියල් තිස් පන්දහසක් වූ අතර සංවිදායක මඩුල්ල අත්තිකාරම් ලබා දුන්නේ  පැකිලීමකින් තොරවය . සියලු කටයුතු සීරුවෙන් නොපමාව සිදුවූ  බැවින් දැන් අපිට ඇත්තේ පුහුනුවීම් නිසි ආකාරයට සිදු කොට ප්‍රසංගය  ඉතා ඉහලින් පැවැත්වීමටය. සතියේ දින හතේම රාත්‍රී කාලයේ පුහුණුවීම් කරනා අතර දවල් කාලයේ රැකියා ඇති එවුන් රැකියා වල නිරත වන්නේය. අපේ ලොක්කාට එහෙම රැකියා ප්‍රශ්නයක් නැති නිසා දවල් දවසේ ව්‍යාපාර කටයුතු වල නියලී  රාත්‍රී පුහුණුවීම් සඳහා අපි එනතුරු අලුත් සින්දු කිහිපකුත් ලැස්ති කරගෙන බලා ඉන්නවාය. ලොක්කාට අලුත් සින්දු සෙවීමට එතරම් මහන්සියක් වන්නට උවමනා නැති උනත් එව්වා වාදනය කරන්නට ගිය කල රත්වෙන්නේ වාදකයන්ගේ උණ්ඩුකපුච්චය බව ලොක්කා දන්නේ නැතිය. වැඩේ තිතටම කරන්නට ඔනෑ නිසාවෙන් අපි හැමද එකා මෙන් පුහුණුවීම් කරනවාය. 

                   සියල්ල ඉතා හොඳින් සිදුවූ කාලගුණ තත්ත්වයක් සහිතව  සංගීත කණ්ඩායම ඉතාමත් සාර්ථක ලෙස ප්‍රසංගය පැවැත්වීමට තිර අදිටනින් යුතුව පුහුණුවීම් කරගෙන යන අතර තුරේ ප්‍රසංගය පැවැත්වෙන දිනය නොදැනීම ලන්වුයේය. කණ්ඩායමේ මුල් කාලයේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා වශයෙන් කටයුතු කල අපේ කණ්ඩායම් නායකයා මේ ප්‍රසංගය සඳහාම අපගේම මිතුරෙකු ඩ්‍රම්ස් වාදනය සඳහා කැඳවුයේ ලොක්කාට වෙන්නට යන්නාවූ සංහදිය කලින් දනුනාද කියා වෙනම විමසිය යුතු කරුනක්ය. දෙවියන් උනත් අපිට කලින් ලොක්කන්ට පිහිටවන බව මා දැනගත්තේ මේ ප්‍රසංගයෙන් පසුවය.

            ප්‍රසංගය පැවැත්වෙන දිනයේ උදෑසනින් සංගීත භාණ්ඩ හා සවුන්ඩ් සපයන මෙවලම් සියල්ල ලොක්කාගේ ලොරි රථයේ පටවාගත් අපේ හඬ පාලක ඇතුළු සවුන්ඩ් කණ්ඩායම ඇඹිලිපිටිය බලා පිටත්ව ගියේ ප්‍රසංගයට අවශ්‍ය සියලු යටිතල පහසුකම් වෙලාවටත් කලින්  සකසා සංගීත භාණ්ඩ සුසරකොට තැබීම උදෙසාය. සංගීත කණ්ඩායම එම ස්ථාන වලට යන්නේ සංගීත ප්‍රසංගය පටන් ගන්නට පැය කිහිපයකට කලින්ය. ඒ එව්වා කෙරෙන හැටිය. රාත්‍රී කාලයේ පැවැත්වෙන ප්‍රසංගය වෙනුවෙන් දහවල් කාලයේ එම පලාතට සැපත් වුවද කොහේ හෝ සැට් වී ලොක්කාගෙන් වැඩි ගානක් හා අපෙන් සුළු සුළු ගණන් සින්ඩිකේට් කොට මධුවිතකින් සප්පායම් වී කාලය කා දමා රාතී අට පමණ වනවිට එම ස්ථානයට සැපත්වීම සංගීත කණ්ඩායම්වල සිරිතය. 

                 කණ්ඩායමේ භාණ්ඩ වාදනය කරන එවුන් සවුන්ඩ් අදින්නේ නැතිය. එහෙම සවුන්ඩ් අදින සමහර එවුන් රෑට වේදිකාවට නගින්නේ මේ අර දවල් ලොරියෙන් සවුන්ඩ් බාපු එකා නේද කියා මිනිසුන්ට අඳුනන්නට බැරි වන විදිහට වෙස් මාරු කරගෙනය. එත් කොයිතරම් වෙස් මාරු කරත් ප්‍රසංගය අහවර වී නැවත සවුන්ඩ් ලොරියට පටවන්නේ වේදිකාවේ උන් වෙස් පිටින්මය.වේදිකාවේ ඇඳන් ඉන්නා වෙස් මාරු ඇඳුම සවුන් පෙට්ටියකම ඔබා එව්වා නැවත එලියට ගන්නේ නැවතත් ප්‍රසංගයක් තිබෙනා වෙලාවටය. සමහරක් වෙලාවට කකුල් දෙකේ තිබෙන සපත්තු දෙකත් එක ජාතියේ එව්වා නොවෙන වෙලාවල් බොහෝය.   එහෙම උදවියත් එක්කෙනෙක් දෙන්නෙක් අපේ කණ්ඩායමේ හිටියා උනත් වැඩේ අවසානයේ මුදල් ලැබෙද්දී අපිට ලැබෙන්නේ එක පඩියක්  උනත් උන්ට පඩි දෙකක් ලැබෙනවාය. සවුන්ඩ් අදින හින්දා උන්නැහේලාට පඩි දෙකක් ලැබුනත් සවුන්ඩ්  අදින රස්සාවේ දුක දන්නේ සවුන්ඩ් ඇද්ද එකෙකු මිස  වේදිකාවේ සංගීත භාණ්ඩ වාදනය කල  එවුන් නොවේය . සිරිබර සිරිලංකාවේ එළිමහන් වේදිකාවේ  සවුන්ඩ්  පරිපාලනය කරන  පටවන බාන උදවිය ගෙවන ජීවිතය හා ඔවුන් නිහඬවම සපයන සේවාව ගැන එතෙක් මෙතෙක් කිසිම දවසක ලොකු යයි කියනා කිසිදු කළා කරුවකුගේ හෝ ආයතනයක අගය කිරීමකට  ලක් නොවීම ගැන වෙනම විමසිය යුතු කාරනාවක් වන්නේය. එව්වා මෙතනට අදාළ නැතත් ඔවුන් ගෙවන දුක්කිත ජීවිත ගැන ලංකාවේ මුල්ම වරට යමක් ලීවානම් ඒ ලීවේ  අම්බලන්ගොඩ කතා ලියන මම ලෙසින් ඉතිහාසගත වෙනවාය.සංගීත කණ්ඩායම ප්‍රසංගය පැවැත්වෙන පිට්ටනියට රාත්‍රී අටට පමණ වන්නට ඔන්න ඉතින් දෙයියනේ කියාගෙන සැපත් වන්නේ වැඩේ තිතට දීමේ අරමුනෙන්ය. 

                   සංගීත සංදර්ශනය නැරඹීමට පැමිණි පිරිසගෙන් පිට්ටනිය අතුරු සිදුරු නැතුව පිරී ඉතිරී ගිහින්ය. නෝනාගම ඇඹිලිපිටිය පාර පෙන තෙක් මානයට පාර දෙපසම තිබෙන්නේ ලෑන්ඩ් මාස්ටර්ය. පිට්ටනියට ජනකාය සැපයෙන ප්‍රධානම  ප්‍රවාහන මාද්‍යය වී ඇත්තේ ලෑන්ඩ් මාස්ටරය හෙයින් පාරේ ඉමක් කොනක් නොමැතිව නවතා තිබෙන ලෑන්ඩ් මාස්ටර ප්‍රමාණය හරි හැටි ගණන් කිරීමට පඩියට එකෙකු දමලාවත් බැරිය. ඒ පැතිවල ජනතාව වෙසක් බලන්නට, පන්සල් යන්නට, සංගීත බලන්නට යන්නේ ලෑන්ඩ් මාට්ටලේ නැගලාය . ලෑන් මාට්ටලේ කොයිතරම් සෙනග පැටෙව්වත් උත්සව කාල වලදී පොලිසියේ මහත්තරු ලෑන් මාට්ටල් දිහා වැඩිය බලන්නේ නැති නිසා කිසිදු බයක් සැකක් නොමැතිව රාත්‍රී සවාරියක් යාමට ලෑන් මාට්ටලය කදිම වාහනයක්ය. මෙවන් ජනතාවක් අපව නැරඹීමට රැගෙන  ආ ඒ ගමන් සගයා ගැන වචනයක් නොලීවොත් ලෑන් මාට්ටලේට අගෞරවයක් වෙන නිසා ලෑන් මාට්ටලේ ගැන වචන කිහිපයක් අකුරු කිරීම මාගේ යුතුකමක් වන්නේය.

                  ඔන්න දැන් පොල්තෙල් පහන් දල්වා සියලු චාරිත්‍ර ඉෂ්ට සිද්ද කර සංගීතය ජයට පටන් ගැනීමට හදනවාය. සංවිදායක මඩුල්ලට ප්‍රසංගය විශේෂ වුවාට වේදිකාවට ගොඩවූ කල ඕනෑම සංගීත කණ්ඩායමකට එය තවත් එක් ප්‍රසංගයක් පමණක්මය. එවන් ප්‍රසංග ඕනෑතරම් පවත්වා තිබුනත් මෙය අපිට ජීවිතය පවතින තුරාවට අමතක නොවන විශේෂ ප්‍රසංගයක් බවට පත්කිරීමට සංවිදායක මඩුල්ල කලින්ම ලකලැහැස්තිවී සිටි වග දැනගන්නා විට අපි හැමදෙනාම බොහෝ සේ ප්‍රමාදවුවා වැඩිය. සියලු වැඩ දමා දන්නා කියන වැඩ කෑලි සියල්ල දමා ප්‍රසංගය පටන් ගත්  අපි සුපුරුදු විලාශයෙන් ප්‍රසංගය ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන යනවාය. මෙවන් විශාල වූ ජනතාවක් ඉදිරියේ ප්‍රසංගයක් පවත්වා ඔවුන්ව අමන්දානන්දයට පත්කිරීමට කණ්ඩායමේ තත්වය ඉතා ඉහල මට්ටමකින් තිබිය යුතුය. නැතිනම් පහුවදාට ගමේ ගිහින් සෙරෙප්පු සෙල් එකක් දමන්නට තරම් සෙරෙප්පු වේදිකාව උඩ ගොඩ ගැහෙන්නේ පිට්ටනියේ තිබෙන අතට අහුවෙන විසික් කරන්නට හැකි තරම් ගල් මුල් සියල්ල අහවර වූ පසුය. 

              සංගීත කණ්ඩායමෙන් ගීත දහයක් පමණ ගායනා කිරීමෙන් අනතුරුව නැවත වේදිකාවට ගොඩවූ සංවිදායක කමිටුවේ නිවේදක තුමා නැවතත් අපෙන් මයික්‍රෆෝනය උදුරාගෙන නිවේදනයක් දෙන්නට යන්නේ මෙන්න මේ වේලාවේය..

" අපි දැන් පටන් ගන්නට යන්නේ මේ ප්‍රසංගයේ අපි සංවිදානය කරපු ලස්සනම විශේෂාංගයක්.."

කණ්ඩායමේ එකා එකා හෙමින් හෙමින්  මුමුනන්නේ සමනල්ලු වගේ ලස්සනට අන්දාපු ලස්සන ගැමි දැරිවියන් පිරිසක් දැන් වේදිකාවට ගොඩවී අපේ ගීත වලට නර්තනයන් දක්වන්නට යනවා කියලාය.. අපේ සමහරුන්ගේ සන්තොසය ඉහේ මලක් පිපිලා වාගෙය...

" අපි දැන් ආරාධනා කරනවා මේ රැස්වෙලා ඉන්න අපේ රසික රසිකාවියන්ගෙන් ගීත ගයන්න කැමති ඕනෑම කෙනෙක් සංවිදායක කාර්යාලයට ගිහින් රුපියල් දෙසීයක් ගෙවල ඒ අදාළ ටිකට් පත අරගෙන වේදිකාව අසලට එන්න කියල..."

" අපේ මේ ඇති දක්ෂ සංගීත කණ්ඩායම සැදී පැහැදී ඉන්නවා අපේ ගමේ දක්ෂ ගායක ගායිකාවන්ට සංගීතය සපයන්න... ඔව් පිළිගන්න නැවතත් ලොකු අත්පොලසන් නාදයකින් ............"

                              අපි කාගේත් මුහුණු ඇලවී මැලවී ගියේ එක් ක්ෂයකින්ය..එකාට එකා මුහුණට මුහුණ බලාගන්නවා විනා කියන්න කිසිත් නැති සේයක්ය. ගමේ එවුන්ට සින්දු කියන්න අපිට බෑන්ඩ් ගහන්න බෑ කීවොත් බොහෝ දුරට ගෙදර යන්නට වෙන්නේ ආපු වාහනයේ නොවෙන්නට තිබෙන ඉඩකඩ වැඩිය. ඊට මසකට දෙකකට ප්‍රථම ඇල්පිටියට නුදුරු හොම්කමින් මගුල් ගෙදරක බෑන්ඩ් ගසන්නට ගොස් උදෑසන පහ වනතුරු ගමටම සංගීත ප්‍රසංගයක් පවත්වන්නට වූ ආකාරය කණ්ඩායමේ කා හටත් හොඳ හැටි මතකය. එදා මගුල් ගෙදර රහමෙර කටගෑ උදවිය අපේ සංගීතයට නටුවේ කඩු , කැති , පොලු වනවනාය. උන් එව්වා සාජ්ජය මැද්දට රැගෙනවිත් නටන්නට පටන් ගත්තේ අපි රාත්‍රී දොළහට පමණ සාජ්ජය නිම කරන්නට උත්සහ ගැනීමත් සමගය. වදින්නට ගිය ගුටි පෝරියල් එක යන්තම් එහා මෙහා වුයේ එළිවනතුරු සාජ්ජය පවත්වන්නට අපි අකමැත්තෙන් වුවද එකඟ වූවායින් පසුවය.  දැන් ඉතින් වවුලාගේ මගුල්ගෙදර ආවානම් එල්ලිලා හිටු න්‍යායෙන්  ප්‍රසංගය ඉදිරියට ගෙනියන්නට සිද්ද වෙනවාය.  

          නිවේදනය සිදුකොට  විනාඩි පහක් යන්නට මත්තෙන් වේදිකාවේ ඉහලම පඩියේ සිට කෙළවරක් නොපෙනෙන තරම් දුරට පෝලිම හැදිලාත් අහවරය.. වංගු  දමමින් පිට්ටනියේ කෙලවරට පෙළ ගැසී සිටි ගීත ගායනා කරන්නට ටිකට්පත් මිලදීගත් ප්‍රවීන ගායක ගායිකාවන්ගේ  පෝලිම පිට්ටනියෙන් එළියේ නෝනාගම පාරෙත් මීටර සීයක් දෙසීයක් දුරට නිර්මාණය වන්නට විනාඩි දහයක් වත් නොගියේ මුන් හැම දෙන සතියකටත් කලින් ටිකට්පත් මිලදීගෙන තිබුණු නිසාය. ගීත ගායනයට සැදී පැහැදී ඉන්නා පිරිස හැමදෙනාගේම ගායන ආශාව සන්සින්දුවන්නට උදෑසන හය වනතෙක් ප්‍රසංගය පැවැත්වුවද නොහැකි වන තරමින් මහා ජනකායක් දැන් පොලිමේය. 

දැන් ප්‍රසංගයේ සියලු නිවේදන කටයුතු කරන්නේ සංවිදායක මඩුල්ලෙන් ඒ සඳහා ගමෙන්ම සොයාගත් නිවේදක මහතෙක්ය..

ඔව් මෙන්න පිළිගන්න .. හන්දියේ කඩේ සෝමදාස  අයියා........

ජනතාව එහෙව් අත්පොලසන් නාදයක් අපේ නැසීගිය අග්‍රගන්‍ය ගායක ජෝතිපාලටවත් දීලානම් නැතිය... විසිල් ගණහ එවුන් විසිල් නවත්තන්නෙම නැතිය. . රතිඥ්ඥා පත්තු කරනවාය... අහස්ගුන්ඩු යවනවාය... 

                  සෝමදාස  අයියා වේදිකාවට ගොඩවී ගායනය කරන්නට යන ගීතය අපි කව්රුත් ලොවෙත් අහලා නැතිය .. එත්  වාදනය කල යුතුය.. කණ්ඩායමේ සමහර එවුන් මොන කෝඩ් එකේද මචන් ගනහන්නේ කියා මගෙන් අසන්නේ මා කීබෝර්ඩ් වාදන ශිල්පියා නිසාය. ලොවෙත් අහලා නැති සෝමදාස අයියා ගායනා කරන ගීතය කුමන කෝඩ් එකේ වයන්නටද කියා සෝමදාස අයියාගෙන් අහලා පලක් නැතිය .. එහෙම ඇහුවොත් සෝමදාස අයියාගේ උත්තරය වන්නේ "මක්කෙයි මල්ලියේ කෝඩ් එක කියන්නේ " කියන වැදගත් ප්‍රශ්නයක්මය. සෝමදාස අයියා ස්වර හතෙන් එකකටවත් ගන්නට බැරි කෝඩ් එකක ගීතය ගායනා කරන විට අපි පස්සෙන් වයාගෙන වයාගෙන යනවාය.. ඩ්‍රම්ස් ගහන එකා සහ පෑඩ් ගහන එකාට කෝඩ් අදාළ නැති බැවින් උන් තලාගෙන තලාගෙන යනවාය..

මෙන්න පිළිගන්න ආර ළඟ දෙකේ වත්තේ ගුනේ මාමා .....

නැවතත් ජනතාව පෙරසේමය ... අලි බෝර ගහනවාය... විසිල් ගහනවාය.. 

ගුනේ මාමා කියන්නට යන ගීතය දන්නා කියන ගීතයක් උනත් ගුනේ මාමා අපිට අතරමැද සංගීත කොටස් වාදනය කරන්නට චෑන්ස් එකක් දෙන්නේම නැතිය. ගුනේ මාමා මයික් එක ගත්තු ගමන්ම සින්දුව පටන්ගෙන අපිට වයන්නට කිසිදු ඉඩක් නොතබාම ගයුම අවසන් කරන්නේය. අපිත් අරින්නේ නැතිය ... කෙසේ හෝ ගීතය පස්සේ එලෝගෙන ගොස් පොඩි කෑල්ලක් දෙකක් මැදින් වයන්නට හදවාය. එත් අපිට නෝ චෑන්ස්ය. 

මෙන්න මී ලඟට පිළිගන්න සමීර පුංචි පුතා... අපේ වෙලේ කඩේ ආතාගේ මුණුපුරා....

ඔන්න පුංචි එකා වේදිකාවට ගොඩවෙනවාය ... කියන්නට යන ගීතය අපිටත් නොකියාම ඌ කෙලින්ම වේදිකාව ඉදිරියට ගොස් තනියමම වැඩේ පටන් ගන්නවාය... අපිත් පුළු පුළුවන් හැටියට සංගීතය සපයනවාය.. 

පොඩි එකා ගීතය ගයා අහවර වී මයික්‍රෆෝනයෙන්ම තම පියා අමතන්නේ මෙසේය...

අප්පච්චි මට තව එකක් කියන්න ඕන...

අප්පච්චි හනික දුවගොස් කාර්යාලයට රුපියල් දෙසීයක් ගෙවනවාය. ඒ අතරේ පොඩි එකා ඊළඟ ගීතයෙනුත් භාගයක් කියා අවසන්ය... අපිත් අරින්නේ නැතිය... මෙහෙව් ආතල් එකක්  ලංකාවේ පළමු වතාවට හැබෑවටම විඳගන්නා පළමු සංගීත කණ්ඩායම අපි වන්නේය...

මෙන්න පිළිගන්න ...... ගමේ පදිංචිව සිටිනා ස්ථානයේ සහ ගමේ භාවිතා කරන නමින්  ගායකයා හඳුන්වා දෙනවාය...බහ තොරණ වයසේ දරුවන්ද, පාසල් වයසේ දරුවන්ද , තරුණ එවුන්ද මහලු එවුන්ද , ගැහැණු පිරිමි බේදයකින් තොරව පෝලිමේ පිළිවෙලට වේදිකාවට ගොඩවී ගීතය ගයා නොව කියා බැස යනවාය. අපිත් හිතු හිතු මියුසික් කෑලි එහෙන් මෙහෙන් වාදනය කරනවාය. මේ අතරේ අපේ සවුන්ඩ් ලොරියේ රියදුරා ලොරිය වේදිකාවේ පිටුපසින් රිවස් කොට වේදිකාවෙන් ලොරියටම ගොඩ වීමට හැකිවනසේ ලොරිය ගාල් කොට ලොරිය ඇතුලේ මනරම් බෝතල් පාටියක් නිර්මාණය කොරලාය. 

                     දැන් සංගීතය තිබුනාටත් වඩා ආතල් පහට ජයටම යනවාය. සංගීත කණ්ඩායමේ ගිටාර් ගහන එවුන් ගිටාර් පිටින්ම ලොරිය ඇතුලේ සෙට් වෙලාය...ගායකයා වේදිකාවට ගොඩවෙනවිට කීබෝඩය අසල රැඳෙනා මමද ගායකයා ගයනාව පටන්ගත් විගස ලොරිය ඇතුලට වාර්තා කරනවාය. නැවත වේදිකාව වෙත යන්නේ ඊළඟ ගායකයා වේදිකාවට සැපත්වෙන්නාවූ වෙලාවටය..  ඩ්‍රම්ස් වාදකයාට ඩ්‍රම් සෙට් එක පිටින් ලොරිය ඇතුලට එන්නට ක්‍රමයක් එතෙක් මෙතෙක් කිසිදු ආකාරයකට සොයා නොගත් නිසාවෙන් ඩ්‍රම්ස් වාදනයනම් ප්‍රසංගය අහවර වනතුරුම නොනවත්වා කරගෙන යාමට අපේ ඩ්‍රම්ස් වාදන ශිල්පියාට සිද්ද වන්නේ පෙර සංසාරයේ කරුමයකටම වෙන්නට ඕනෑය . නිකමට හෝ ඩ්‍රම්ස් වාදනය නැවැත්වූ කල ගායකයින් ගායනය නවත්වා ඩ්‍රම්ස් වාදකයා දිහා හැරිලා බලන්නේ කන්නට වාගේය .

                   කොතරම් වේදිකාවට නැග ගීත කියා බස ගියත් පෝලිමනම් මුල් ආකාරයෙන්ම වංගු සහිතව නෝනාගම පාරෙත් සැතපුම් කිහිපයක් දිගටය.. දැන් වේදිකාවේ බොහෝ වෙලාවට වාදනය සඳහා සිටින්නේ ඩ්‍රම්ස් වාදකයා පමණක්ය.. ගායකයෝ ඩ්‍රම්ස් වාදකයා වෙත ගීතය දැනුම්දී ගයන්නට පටන්ගත් කල ඩ්‍රම්ස් වාදකයා කුමක්හෝ ගලපෙන්නාවූ තාලයක් සොයා ඔහුගේ හෝ ඇයගේ ගායනයට සර්ව සාධාරණයක් කරන්නට අතිමහත් උත්සහයක් ගන්නවාය..සංගීත කණ්ඩායම වේදිකාවේ පෙනෙන්නට නොපෙනෙන්නට ලොරියේ සැට් වී ඉන්නා අතර අසරණ ඩ්‍රාමා  ගැන දුක හිතෙනා අයෙක් ඉඳහිට බයිට් කෑල්ලක් රැගෙනගොස් ඔහුගේ කටේ ඔබනවාය. ඩ්‍රාමා ඉන්නේ අපි සමග මාරු විකලෙන් උවත් ඌ එදත් අදත් කේන්ති ගන්නා එකෙකු නොවෙනා බැවින් කිසිදු ප්‍රශ්නයක් නොමැතිව උදෑසන 5.30 වනතුරු නොනවත්වා ගායක ගායිකාවන්ට වාදනයෙන් මනා සහයෝගයක් දැක්වූයේය..උදෑසන 5,30 වනවිට ප්‍රසංගය අවසාන වුවත් ඊට බොහෝ වෙලාවකට කලින් අපේ සවුන්ඩ් සාමාජිකයන් සියලු බඩු පෙට්ටි වලට අහුරා ගම රටවල් බලා යාමට සුදානම්ව සිටියේ අවසන්වූ වහාම ඩ්‍රම් සෙට් එක අකුලා ලොරියට අහුරා ස්පීකර් ටික ලොරියට දමාගැනීමට එතරම් කාලයක් නොයන වග අත්දැකීම් දන්නා නිසාය. 

                               මෙසේ අවසන්වූ අපේ මහා සංගීත ප්‍රසංගය අවසානයේ සංවිදායක මඩුල්ල ශත පහකුදු අඩු නොකර අපගේ මුදල් සියල්ල ගෙවා ස්තුති පැසසුම් සහිතව අපිට සමුදුන්නේ නැවතත් මෙවන් සංගීත රාත්‍රියක් සංවිධානයකොට අපිටම ආරාධනා කරනවා කියා පොරොන්දු සහිතවමය. එයින් යස පාඩමක් ඉගෙනගත් අපේ සංගීත කණ්ඩායමේ ලොක්කා  ඊට පසු වැඩ භාරගත්තේ සියලු කොන්දේසි වලට සන්විදායකයින් එකඟ නම් පමණක්ය. අපේ ලොක්කා දිහා දේව බැල්ම වැටීදෝ අලුතෙන් ඩ්‍රම්ස් වාදකයෙක් කණ්ඩායමට බඳවා නොගන්නට එදා එළිවෙනතුරු ආධුනික ගී ප්‍රසංගය සඳහා ඒකපුද්ගල ඩ්‍රම්ස් වාදනය කරන්නට වන්නේ අපේ ලොක්කාටය ..එම සංගීත කණ්ඩායම හා මා සහභාගී වූ අවසන් සංගීත කටයුත්ත එය වූ බැවින් ඊට පසුත් එවන් අලකලංචි සිද්ද වුවාද කියා මා දන්නේ නැත. 

                            සිද්දියට අදාළ සංවිදායක කමිටුවේ නම් ගම් සියල්ල මතකයේ හොඳින් තිබුනත් එව්වා ලියන එක නොහොඹිනා බැවින් නොලියා ඉන්නවාය. එත් නෝනාගම පසුකරන් කතරගම යන උදවිය වෙලාවක් ඇතිනම් නොනාගමින් ඇඹිලිපිටිය පැත්තට ටික දුරක් හැරී ගොස් ලියන්ගස්තොට අමුණෙන් නා කියාගෙන ගියානම් මාර ආතල් පොට් එක කියා කියනවා නොඅනුමානය. මේ සංගීත රාත්‍රිය අපි පැවැත්වුයේ ඊට මදක් නුදුරින්ය..



8 comments:

  1. ඔය කියන හරිම මටත් මතකයි............ මගෙත් යාලුවෙක් හිටියා ඔය පැත්තේ...........

    ReplyDelete
  2. පට්ට!

    අර අම්බලන්ගොඩ බුද්ධික කුකුළරත්න මන්ත්‍රියාව මතක් උනාබන්. බොලාට ස්පෙයාර් ඩ්‍රමර් කෙනෙක් උන්නෙ නැද්ද අරූට දෙකක් දාගන්න දෙන්නවත්.

    යකෝ, ලිපිය රස උනාට සිංහල අන්තිමයි, වැඩිය නොදන්න මටත් පේන අඩුපාඩු එමට. උඹ මෙහෙම සිඃඅලෙන් ලිව්ව නිසා ගානක් නෑ, එත් ඉංග්‍රීස්යෙන් ලිව්වනං කට්ටිය දෙයි අම්බානෙට.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  3. මේ ඉතින් මම ලියන පිළිවෙල තමයි .. මම මේක ව්‍යක්ත භාෂාවෙන් ලිව්වොත් මට ඕන දේ මෙතන ලියවෙන්නේ නැති වෙනවා... ඉදිරියේදී ව්‍යක්ත භාෂාවෙනුත් මොනවහරි ලියන්නම්කො.. අඩුපාඩු පෙන්නලා දුන්නට ස්තුතියි සහෝදරයා...විය යුත්තේ එයම තමයි..

    ReplyDelete
  4. මමත් පොඩි කාලේ රුපියල් 50 ගෙවල සින්දු කියන්න stage එකකට නගින්න හිටියා අවුරුදු උත්සවේක අන්තිමට තියපු show එකක.බෑන්ඩ් එක දැකල කකුල් වෙව්ලපු නිසා නැග්ගේ නැ හොඳ වෙලාවට.මොනා උනත් සංවිදායක මට ආපහු රුපියල් 50 දුන්න අනික් දවසේ හම්බ උනු වෙලාවේ

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ එහෙම එව්වා තවත් තිබිල තියෙනවා...

      Delete
  5. හැක්.. මරු වැඩේ. බොලාට තිබුණෙ ඩ්‍රමාගෙ කකුල් දෙල ළඟින් බෝතලයක් තියන්න. අඩුම ගානෙ ගායකය මාරුවෙනකොට හරි ඌට ෂොට් එකක් දාගන්න තිබුණනෙ.

    ReplyDelete
    Replies
    1. ඌ වැඩිය කන්න බොන්න එලවන එකෙක් නෙවෙයි ප්‍රසන්න.. එහෙම උනානම් ඌ ඉන්නෙත් ලොරිය ඇතුලේ තමා..හැක්

      Delete