Monday, January 31, 2022

අපේ පුස්තකාලය.. අපේ කිව්වට අපේම නෙවෙයි ;)

 



ඒ ෆේස්බුක් පෝස්ට් එක අහම්බෙන් හමුවෙලා තිබුනෙ අපේ හිතාදර මිත්‍ර රවීට එයයිගේ කැම්පස් group එකේ තිබිලා. එයයි තමයි පෝස්ට් එක කපලා අරගෙන ධම්සෝ 96 බැච් group එකට දාලා අදාල කාරනාව අපේ කට්ටියගෙ ඇහැ ගැටෙන්නට සැලැස්සුවේ. කාල වකවානුව කීවොත් 2021  පෙබරවාරි මාසෙ මුල. වැඩේ තමා අම්පාර අභයපුර විද්‍යාලයට අලුත් පුස්තකාලයක් සාදාදීම. ෆේස්බුක් පෝස්ට් එකට අනුව අභයපුර විද්‍යාලයේ දරුවන් පුස්තකාලයක් විදිහට පාවිච්චි කරලා තිබුනේ මැටියෙන් හදාගනිපු පොඩි කාමර කෑල්ලක්.


මේක තමා ඒ  පොස්ට් එක 





මේ තමා පුස්තකාලය විදිහට පාවිච්චි කරපු ගොඩනැගිල්ල..


 අම්බලන්ගොඩ ධර්මාශෝක විඳ්‍යාලයේ 96 AL සැට් එක වැඩේට බැස්සෙ කොහොමහරි මේක අවසන් කරන බලාපොරොත්තුවෙන් . ඒත් ඉතිං වැඩේට දාහක් භාදක  නොතිබුනා නොවෙයි. පලවෙනි සාකච්ඡා වටයේදීම මතු වෙච්ච දැවෙනම ප්‍රශ්ණය උනේ අපි අපේ ඉස්කෝලෙට යමක් නොකර පිට ඉස්කෝලවලට ආධාර උපකාර කරන්නෙ ඇයි කියලයි.  ඒක එයාලගේ පැත්තෙන් සාධාරණ ප්‍රශ්ණයක් උනාට අපේ ජිම්බාගෙ භාශාවෙන් ඕකට උත්තරේ උනේ බත් තියන තැනටම කොසුත් දෙන එකෙන් මුකුත්ම නැති තැනට කොසුත් නැතිවෙනවා කියන එකයි. ඒ නිසා ජිම්බා කෙලින්ම කියා හිටියේ බත් තියන තැනට කොස් නොදී කොස්, බත් ඇටයක්වත් නැති තැනකට දීපියව් කියලයි. ගොඩයාගෙ අදහස උනෙත් පහසුකම් අඩු ඉස්කෝලෙට ප්‍රමුඛත්වය දියයුතුයි කියන එකයි.

  මේ යෝජනා වෙච්චි ප්‍රොජෙක්ට් එකටත් අකමැති අයවලුන් හිටියත් ඒ අකමැති අයවලුන් ඊලඟ ප්‍රොජෙක්ට් එකට දායක වෙච්චාවේ කියලා තඩියා, රවී සහ ණුවන් ඇතුළු සංවිධායක මන්ඩලය වැඩේට බහින්න තීරණය කිරීම ගොඩයාටනම් පට්ට හැපී... ගොඩයා ඉන්නෙ ලංකාවෙ නෙවේ නිසා ඉතිං කිසිවක් බලකරලා කියා හිටින්න බෑ. කරන දෙයක් මුදලින්ම විතරයි. මුදල් තිබ්බ පලියට මේ වගේ වැඩ සාර්ථක කරගන්න බෑ. ඒකට භූමියේ බැහැලා වැඩ කරන කන්ඩායමේ දායකත්වය තමා පලවෙනිම සාධකය ඒ වගේ වැඩක් සාර්ථක කරගන්න. ඕං ඒ කී ආකාරයෙන් අපේ සැට් එකේ, ලංකාවෙ ඉන්න සැට් එකේ , වැඩකරන ජනතාව වැඩේට බැස්සෙ වැඩේට හොඳ  සැලැස්මක් අතේ තියාගෙන. 


වැඩේ ගැන Sokians 96 බැච් එකට දාපු පලවෙනි බුකි පෝස්ට් එකටම සම්පත් දායකයින් බොහෝමයක් එකතුපහදු උනායින් පස්සෙ වැඩේට මුල්ගල එහෙම තියලා ගොඩනැගිල්ල හදන්න පටන්ගති. පාසලක ගොඩනැගිල්ලක් හදනවා කියන එක නිකං ආවාට ගියාට කරන්න බැරි වැඩක්. ඒ වෙනුවෙන් රජයෙන් අවසර ගැනීමේ කටයුතු ටික විදුහල්පතිතුමා විසින් එතුමාගේ මහන්සියෙන් සම්පුර්ණ කරගත්ත නිසා අපිට ඒ වෙනුවෙන් මහන්සි වෙන්න දෙයක් ඉතුරු උනේ නෑ. 

 සමහරුනම් කීවෙ සල්ලි නෑ බොලව් ඕපන් කරනකොට පොත් ටිකක් දෙන්නම් කියලා උනාට, කොයි එකටත් මුදල් දෙන උදවිය සියල්ලොම එකෙන්ම වැඩේට සැට්. පුස්තකාල ගොඩනැගිල්ලක් හැදුවට වැඩක් නෑනෙ ආයුබෝවන්ඩ ඒකෙ කියවන්න පොත් නැතිනම්. ඉතිං පොත් දෙන්නම් කියන උදවියගේ සහයෝගයත් වැඩේට උත්ප්‍රේරක තමා.  ඒ ආකාරයෙන් මුදල් දෙන්නම් කී අයවලුන් සියල්ලෝම පාහේ බැච් එකේ එකවුන්ට් එකට සල්ලි දාගෙන යද්දි ගොඩනැගිල්ලත් හෙමි හෙමීට උඩට ගියා. ඒ යද්දි ඉතිං වෙච්ච අලකලංචි ,  කකුලෙන් ඇදිලි, නින්ජා ගැහිලි, බාල්දි දැමිලි   නොතිබුනාමත් නෙවෙයි ආයුබෝවන්ඩ.  එව්ව ඉතිං දෙදාස් පන්සීයක හිටං පැවත එන සංස්කෘතියේ වටිනාම කෑලි නිසා එව්වා නැතුව පොදු වැඩක් කරද්දි වැඩක් කරනවා කියලා ඇඟට දැන්නෙ නෑ. භූමියේ බැහැලා වැඩ කරපු සැට් එක, අතිං පැස්ටෝල් ගහගෙන අම්පාර අම්බලන්ගොඩ ගිය එව්වා අටෝරාසියක් උනාට ඒ වියදම් එකක්වත් වැඩේට එකතුකරපු අරමුදලින් සැපයුනේ නෑ. ඒ කියන්නෙ අපේ තඩියගෙ විට්ස් එකයි රවියගෙ වෙසල් එකයි, සුමියගේ ඇක්සියෝ එකයි අම්පාරෙ ආවෙ ගියේ අතිං කාලා හරක් බලන න්‍යායෙන්ම තමා. වෙනත් විදිහකින් කියනවනම්, වැඩේ වෙනුවෙන් බැහැලා වැඩකරා කියලා වඩයක් ප්ලේන්ටියක්වත් එකතු කරපු අරමුදලින් ගැනිලි සුම්මා.. 

 කොහොමින් කොහොමහරි ගොඩනැගිල්ල හැදෙද්දි විදුහල්පතිතුමාගේ ජොබ් එකටත් කෙලවෙන තැනට කකුලෙන් ඇදපු තැනුත් නැතුවා නෙවෙයි කියලත් විදුහල්පතිතුමා විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් කරපු කතාවේදී කියවුනා.. එව්වා ඉතිං සුපිරි සිරිබර සිරිලංකාවේ පොදු වැඩ වලදී කෙරෙන සංකෘතික අංග නිසා එව්වා වැඩිය ගනන්ගතයුතු නෑ .  වැඩේ සාර්ථකව ඉදිරියට ඇදෙද්දී  මැදිං පැනලා ලොරි ටෝක්ස් දීලා සංවිධායකකම් බලෙන් අරගෙන වැඩේට අසික්කිත දේශපාලනේ ඔබ්බවලා පොරවල් වෙන්න  දඟලපු අයවලුනුත් හිටිගමං කලඑලි බැස්සෙ නැත්තෙමත් නෑ.. එව්වා අපේ සංවිධායක මංඩලය කලින්ම බලාපොරොත්තුව හිටපු දේවල් නිසා ඒ ඒ අසනීප තියන උදවියට ගහන්න ඕන වැක්සීන් වැඩේ පටන් ගනිද්දිම ලෑස්ති කරලයි තිබ්බෙ...😂

ගොඩනැගිල්ල භාගයක් හදාන එද්දී තමා සංවිධායක මන්ඩලයට තේරුනේ ඇස්තමේන්තු කරපු මුදලින් වැඩේ අහවරක් කරන්න බෑ කියලා. ඉතිං ඒ කියලා අපි මක් කරන්නද ආයුබෝවන්ඩ. දෙනවා කී අය මුදල් දීලා අහවරයි.. භාරගත්තානම් සංවිධායකවරු දැනගන්ට ඕන වැඩේ අහවර කරන්න. 😜😜😜

ඕං එතැන හිටං තමා අපේ තඩියා නොහොත් පහත කොමෙන්ට් කරන චමිල වරුසවිතානයා සහ සම සන්විධායකලා දෙන්නා දන්න දන්න එවුන්ට නාහෙන් අඬන්න පටාං ගන්නෙ. තඩියා ඇතුලු සංවිධායක මණ්ඩලය වටේටම මැසේජ් ගගහා කෝල් ගගහා සල්ලි  ඉල්ලනවා ආධාර විදිහට. සමහරු සත්භාවයෙන්ම සල්ලි දෙනවා. සමහරු මැසේජ් එක ඕපන් කරන්නෙවත් කෝල් ආන්සර් කරන්නෙවත් නෑ කියහංකෝ. ගොඩයා තඩියාට මැසේජ් ගහලා අහන්වා මොකෝ තත්ත්වේ කියලා.. තඩියා නාහෙන් අඬාගත්තු ගමන්මයි.. උගේ කටේ තිබ්බෙම හල්ලි මදියි හල්ලි මදියි යකූ කියලාමයි. ඔය කී අකාරයෙන් මුදල්  මදිකමින් කීප වතාවක්ම වැඩේ නවතින්න යනවා වගේ  උනාට සත්භාවයෙන්ම වැඩේට උදව් කරන උදවිය මාර්ගයෙන් බැච් එකේ එකවුන්ට් එකට පොඩ්ඩ පොඩ්ඩ සල්ලි වැටෙනව. සංවිධායක මන්ඩලය විකල්ප විසඳුම් හොය හොයා වට්ස්ඇප් මීටිං තියනවා ඉවරයක් නෑ. පරාල ඇණ ගහන්න ඕන තැන් ගම් ගාලා අලවන්න බැරි නිසා සමහර වැඩවලට විකල්ප විසඳුම් තිබුනේම නෑ. අභයපුර විද්‍යාලයේ  විදුහල්පතිතුමාත්, ගුරු මණ්ඩලයත් වැඩේ අන්තිම සතේට බජට් කරන්නත් අන්තිම අඩුම තැනින් අඩුමකුඩුම මිලට ගන්නත් දරපු මහන්සිය අතිවිශිෂ්ඨයි. ප්‍රතිපාදන හිඟ වෙද්දි පාසල් දරුවන්ගේ දෙමාපියන්ගේ ශ්‍රමයත් වැඩේ වෙනුවෙන් ලබලා දෙන්න විදුහල්පතිතුමා මැදිහත්ව කටයුතු කලා. අභයපුර විද්‍යාලයේ දරුවන්ගේ දෙමාපියනුත් වැඩේ වෙනුවෙන් තමුන්ට පුළුවන් උපරිම සහයෝගය දෙන්න ලෝභ උනේ නෑ.

 අම්පාරෙන් ශ්‍රම දායකත්වය අරගෙන කරද්දි වියදම වැඩි වෙන ඇස්තමේන්තු ලැබෙද්දි විකල්පය උනේ අම්බලන්ගොඩින් ශ්‍රමය සැපයීම පමණයි. ඒ වගේ අවස්ථා දෙකකදී සංවිධායක මංඩලයට සිද්දවෙනවා විකල්පය භාවිතා කරන්න. ගේදොර වැඩ අතපසු කරගෙන රැකීරක්ෂා අතපසු කරගෙන ධම්සෝ 96 සාමාජික  ගයාන්, චින්තක, සමන්ත කියන මිත්‍රයන් අම්බලන්ගොඩින්  බාස්ලා අරගෙන අම්පාරෙ ගිහින් තමා අලුත් ගොඩනැගිල්ලේ වහලය ගහන්නෙ. ඒ වගේම ජනෙල් උලුවහු වැඩේ කෙරෙන්නෙත් අම්බලන්ගොඩින් ශ්‍රමය සපයාගෙන. එව්වා ඉතිං සත්භාවයෙන්ම කෙරුනු දේවල් කීවොත් තමා හරි. වැඩ කරන්න අභයපුර ගිය උන්දැලා සෑට සෑට හීනියට රත්වෙන යමක් සප්පායං උනාද කියලා නිල වශයෙන් වාර්ථා උනේ නැති උනාට එහෙම නොවී තියෙන්න විදිහකුත් නෑ . හැබැයි ඒ වියදම් සියල්ලම තම තම නැණ පමණින් තම තමුන්ගේ සාක්කුවෙන් සැපයුනා කියලානම් ගොඩයාට හොඳටම ශුවර්. මොකද කියනවනම් බජට් එකේ එව්වට ප්‍රතිපාදන නෑ.. 

2021 පෙබරවාරි මාසෙ වැඩේ පටන් ගනිද්දී සියල්ල  අංගසම්පූර්ණ වෙන්නම හදපු බජට් එක 2021 අගභාගය වෙද්දී වැඩෙන් භාගයක් ඉවරකරගන්නත් මදි වෙන තැනට කටයුතු යෙදුනේ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල බලා ඉද්දි වැඩිවෙන්න ගතපු නිසා කියලයි ගොඩයාගෙ පුද්ගලික මතය. එව්ව ගැන ඉතිං වැඩි වැඩියෙන් පහදන්න ගියොත් මේක ආර්ථික විද්‍යා පාඩමක් , එතැනිනුත් එහාට ගියොත්  දේශපාලන විද්‍යා පාඩමක්  වෙන නිසා එව්ව ගැන වැඩිය විශ්ලේෂණය කිරීම අනවශ්‍යයි..  

අභයපුර විද්‍යාලයේ කොම්පීතර කාමරයක් තිබුනා උනාට ඒ තිබ්බ කොම්පීතර පහලොවෙන් දොලහක් එලෝ ගිහිං තිබුන නිසා අපේ සංවිධායක මන්ඩලයේ නුවන් ඒ වැඩෙත් ගොඩ දාලා දෙන්න ගනිපු උත්සාහයකුත් මල්පල ගැන්වුනා කොහොමින් කොහොමහරි. අපේ නුවන් IT පැත්තෙන් වැඩ්ඩා නිසා එව්වා ගැන අපිට ඔලුව දැමීමේ අවශ්‍යතාවයක් තිබ්බේ නෑ. පරිඝනක සඳහා අමතරකොටස් වෙනුවෙන් යන රුපියල් පනස්දාහකට වඩා වැඩිමුදල සැපයුනේ අපේ සංවිධායක තඩියා නොහොත් චමිලයාගේ බිරින්දෑගේ මිතුරියක් වෙන ස්විස්ටර්ලන්තයේ වාසය කරන නිශා. 

ඕං ඔය ආකාරයෙන් තමා පුස්තකාලය හැදීලා අහවර වෙලා විවෘත කරන තැනට කටයුතු යෙදෙන්නෙ.  පුස්තකාලය විවෘත කරන්න ඔක්කොම ලෑස්තියි කියලා තඩියා විසින් ගොඩයාට දැන්නුවට පස්සෙ ඊලඟ කාර්‍ය් උනේ පොත් දෙන්නම් කීව උදවියගෙන් පොත් ටික එකතු කරගැනීම නිසා ඕං ගොඩයා ඒකට අදාල පෝස්ට් එක දානවා බුකියෙ ගෲප් එකට. 



බිල්ඩිම හදන්න සල්ලි ඉල්ලපු වෙලාවෙ පොත් දෙන්නම් කීව උදවිය ගොඩාරියක් හිටපු නිසා ඔය කීව පොත් ලෝර්ඩ් එක අම්පාරෙ ගෙනියන එකටත් වාහනයක් සූදානම් කරන්න වෙයි කියලත් ගොඩයයි තඩියයි කතාවුනා.

අපි කවුරුත් දන්න සන්නස්ගල සරුත් විඩින් විඩේ යූටියුබ් එකට වීඩියෝ දාන නිසා ගොඩයත් එව්වා එකක් නෑර බලන එකෙක්. එකඟ වෙන්න පුලුවන් තැන්වල මං ඔහේ එක්ක එකඟයි කියලා කොමෙන්ට් එකක් දාන්නත් එකඟ වෙන්න බැරි කාරනා වලදී මං තවුසෙ එක්ක එකඟ නෑ කියලා කොමෙන්ට් එකක් දාන්නත් ගොඩයා දෙපාරක් හිතන්නෙ නෑ. ලංකාවෙ ඉඳන් යූටියුබ් කරන උදවියගේ වැදගත් යයි ඇහැගැටෙන චැනල් ගොඩයා සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන නිසා වැඩ කරන අල්ලපනලේ, වාහනේ ඩ්‍රයිව් කරන අල්ලපනල්ලේ ඔව්වායෙ තියෙන දේවල් කනට දාගන්න ගොඩයත් ටිකක් විතර මනාපයි. සන්නස්ගල සරුත්  කීප විඩේ වීඩියෝවල කීප දෙනෙකුට පොත් දෙන්නම් කියලා කියනවා ගොඩයාගෙ කන වැටිලා තිබුන නිසා ගොඩයාත් ටිකක් විතර කල්පනා කරනවා අඩේ සන්නස්ගල සර්ටත්  පුස්ථකාලයේ වැඩේ කීවොත් පොත් ලොරියක් විතර දරුවන්ට ලැබෙයි නේහ් කියලා. ඕං ඔය විදිහට කල්පනා කරලා ගොඩයා සන්නස්ගල සර්ගේ  බුකි පේජ් දෙකකට ප්‍රයිවට් මැසේජ් දෙකක් දානවා මේං මෙහෙම. 





පොත් ප්‍රශ්නෙත් එහෙම විසඳෙන්න නියමිත නිසා ආයෙ ඉතිං පොත් ගැන ප්‍රශ්ණයක් තියෙන්නෙ විදියක් නෑනෙ. බැච් එකේ පොත් දෙන්නම් කීව උදවියගෙන් ලැබෙන්න නියමිත පොත් ලොර්ඩ් එකයි , රට වටේටම පොත් බෙදන සන්නස්ගල සර්ගේ පොත් ලෝර්ඩ් එකයි ලැබුනොත්, අපි හදපු පුස්ථකාලයේ ඉඩ මදිවෙයිදෝ කියලත් ගොඩයා රෑ දවල් නිදි නැතුව කල්පනා කළා . තඩියා විඩින් විඩේ පොත් ප්‍රශ්ණය මතුකලත් ගොඩයානම් එසැනින් උත්තර දුන්නෙ උඹ ඒ ගැන හිතන්නවත් එපා මචෝ කියලයි. ගොඩයා තඩියාට කීවෙම පොත් හොයන්න නෙවෙයි ලැබෙන පොත් ටික අම්පාරෙ ගෙනියන්න වාහන කටුවක් හොයාගනින් කියලයි. 

කොහොමින් කොහොමහරි පුස්තකාලය විවෘත කරන දවස ලංවුණා. ගොඩයත් අහම්බන් වගේ ලංකාවට ගිය නිසා ඕපනින් එකට යන්න ගොඩයටත් අවස්තාව ලැබුනා කියමුකෝ. දිනේ යෙදීලා තිබුනේ 2021 දෙසැම්බර් 13 දවසට. කොම්පියුටර් ටික හදලා දෙන්න ඕන නිසා තඩියා සහ ණුවන් දවස් දෙකකට කලින් අම්පාර බලා පිටත් උනා. රවී ගියේ වැඩේට දවසකට කලින් උන්නැහේගේ බිරින්දෑත් එක්ක. ගොඩයයි, ජීවනයයි, මන්ජුලයයි තුන්දෙනා අම්පාර බලා පිටත්වුනේ දොළොස්වෙනිදා රෑ හතට විතර. ත්‍රාසය, භීතිය , කුතුහලය, විනෝදය සපිරි අම්පාර ගමනේ විස්තර වීඩියෝ එක්කම වෙනත් බ්ලොග් පොස්ටුවකින් ලියන්නට නියමිත නිසා ඒ විස්තර මෙහිලා ලියවෙන්නේ නෑ. 

තඩියා සහ නුවන් නැවතිලා හිටපු හෝටලේට අපි සැපත් වෙද්දී පාන්දර තුනහමාරයි. උදේ අටට අභයපුර විද්‍යාලයේ විවෘතකිරීමට සහභාගී වෙන්න නියමිත නිසා අපි කට්ටියම උදේ පාන්දර අවධි වෙලා අභයපුර යන්න පිටත්වුනා. අම්පාරෙ ඉඳන් අභයපුරටත් ගමන ටිකක් දුරයි. අපි යද්දි ඉස්කෝලෙ ගේට්ටුව ගාව තොරන් ගහලා වැඩේ ලෑස්තියි උජාරුවට. නමෝවිත්තියෙන් පාසල් ගීය ගායනා කරලා ජාතික ගීය ගායනා කරලා පාසල් ධජය ජාතික ධජය එහෙම එසවීමෙන් අනතුරුව පාසලේ ප්‍රධාන ශාලාවෙ තමා නිල වශයෙන් විවෘත කිරීමේ උත්සවය ලෑස්තිවෙලා තිබ්බෙ.





 විදුහල්පතිතුමාත්, ගුරුවරුත්, පාසලේ දරුවනුත්, සත්කාරයේ සම්පත් දායකයන්ගේ නියෝජනය විදිහට සංවිධායක රවීත් පවත්වපු කතාවෙන් අනතුරුව  නමෝවිත්තියෙන් පුස්තකාලය විවෘත උනා. පාසලේ ආචාර්‍යවරයෙක් වශයෙන් සේවය කරන ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් කිරි ඉතිරවීමෙන් අනතුරුව පුස්තකාල ගොඩනැගිල්ල නිල වශයෙන් දරුවන්ට භාරදුන්නයින් පස්සෙ දැනුන සන්තෝසෙ කියන්න ලියන්න වචන නෑ.. පුස්තකාලේ විවෘත කරන්න පීත්ත පටිය කපන්න අපි පුංචි එවුන්ටම අවස්ථාව දුන්නා. පුංචි එවුන් වෙනුවෙන් සමාජ සත්කාරයක් කරලා ඒකෙ පීත්ත පටිය අපිම කපන්න ඕන කියලා නියමයක් නෑනේ .. එහෙම කලානම් අපිත් අර කට්ටිය වගේම වෙනවනේ නේහ්...















මේං මෙහෙම තමා වැඩේ අහවර උනායින් පස්සෙ පෙනුම. ඔය උඩ තට්ටුවේ දිලිසි දිලිසී තියෙන්නේ ඇප සැට් එක එකතුවෙලා හදපු  පුස්තකාල පොඩ්ඩ තමා..





මේ තමා ඇතුලේ පෙනුම ..







දැං ඉතිං මේක කියවලා පින්තූර බලන උදවිය  අහයි මේක හිස් ගොඩනැගිල්ලක්නේ කෝ බං ගොඩයෝ පොත් කියලා..  ආං එතකොට තමා ගොඩයාට අඬන්න හිතෙන්නේ... මුලින්ම සල්ලි එකතු කරද්දි පොත් දෙන්නම් කියලා ලොරි ටෝක්ස් දීපු එකෙක්වත් පොත් දුන්නෙ නෑ කියහන්කෝ . උං එකෙක්වත් ආගිය අතක් නෑ. එතකොට සන්නස්ගල සර්ගෙන් ඉල්ලපු පොත් ලැබුනෙ නැද්ද කියලා කව්රුහරි ඇහුවොත්? ඒකටත් උත්තරේ නෑ කියලා තමා. උන්නැහේගේ බුකි පේජ්වලට දාපු මැසේජ් බැලුවෙවත් නෑ දෙයියෝ.. පුස්තකාල ප්‍රොජෙක්ට් එක පටන් ගනිද්දි හෝ අහවර කරායින් පස්සෙ හෝ මොනයම් තැනකදීවත් සන්නස්ගල සර් අපිට පොත් දෙන්නම් කියලා පොරොන්දු උනේ නැති නිසා ගොඩයාට උන්නැහේට දොස් කියන්න බෑ. බුකියට යවන මැසේජ් බලන නොබලන එක උන්නැහේලාගෙ අයිතියක් නිසා මැසේජ් බැලුවෙ නෑ කියලා දොස් කියන්නත් බෑ. දෙන්නම් කීව එවුනුත් පොත් නොදුන්න එකේ වැඩේට කොහෙන්වත් සම්භධයක් නැති සන්නස්ගල සර්ට දොස් කියන්න ගොඩයාට සාධාරණ අයිතියක් කොහෙත්ම නෑ. ඒත් ඉතිං යූටියුබ් එකේ ඉන්ටවීව් කරන උදවියට පොත් දෙන්නම් පොත් දෙන්නම් කියලා කියන නිසා ගොඩයා හිතුවා ඉල්ලපු ගමන් අඩුම තරමේ  වීල්බැරෝ එකක් තරම් සයිස් පොත් පාර්සලයක්වත් අභයපුර දරුවන්ට උන්නැහේගෙන් ලැබෙයි කියලා.. ඒත් ඉතිං ඒකත් එහෙම උනේ නෑ. 

එතකොට පුස්තකාලෙට පොත් රාක්ක කෝ ? එකටත් උත්තරේ, මුලින් හදපු බජට් එකේ පොත් රාක්කවලට ප්‍රතිපාදන තිබුනට ගොඩනැගිලි ද්‍රව්‍ය මිල අහස උසට වැඩිවීම හේතුවෙන් අපිට හදලා ඉවර කරගන්න පුලුහන් උනේ ගොඩනැගිල්ල විතරයි කියලයි.. කොරෝනා එක්ක හැම කෙනාටම තම තමුන්ගේ ආදායම් අඩු වෙද්දී, එදිනෙදා ගෙදරදොර වියදමුත් බලන් ඉද්දි අහස උසට වැඩි වෙද්දී,  මේ තරමින්වත් වැඩේ අහවරයක් කරගන්න තමුන්ගේ තුට්ටු දෙක පරිත්‍යාග කරපු Sokians 96 සාමාජික සාමාජිකාවන්ටත් වැඩේට හවුල් වෙච්ච අනෙකුත් මිතුරු මිතුරියන්ටත් ඩබල් සැලියුට් කියලා ලිව්වට පවු නෑ ...

 
ආ... එකක් ලියන්න අමතක වෙනවා තා පොඩ්ඩෙන්. විවෘත කිරීමෙන් අනතුරුව අභයපුර විද්‍යාලයේ ගුරුමණ්ඩලය සහ දෙමාපියන් එකතුවෙලා තඩි තේ මේසෙකුත් ලෑස්තිකරලා තිබුනා කියහන්කෝ. එතනත් ඉතින් වැලිතලප , කැවුම් කෙසෙල් , කිරිබත්, කේක්, පෑන් කේක්, හැලප ඇතුලු අටෝරසියක් කෑම ජාති පිරිලා ඉතිරිලා. අපේ තඩියා එතැනින් සැහන ප්‍රමාණයකට වගකිවා කිසීම ලැජ්ජාවක් නැතුවම. අපිලා ඉතින් ලැජ්ජා බයට හැදිච්ච කොල්ලො නිසා ඒ තේ මේසෙටනම් වාඩිවෙන්න ගියේ නෑ. ඔය වාඩිවෙලා කොටාබාන්නේ අපේ තඩියා.. 





පුස්තකාලය හදන්න සල්ලි එකතුකරපු වෙලාවේ සල්ලි කීයක්වත් දීගන්න බැරිවුන නිසා පුස්තකාලය විවෘත කරලා භාරදුන්නයින් පස්සේ  පොත් කබඩ් එකක් වාරික වශයන් ගෙවන්න අරගෙන ඒක අභයපුර විද්‍යාලයට ඩිලිවරි කරවපු ගුරු සහෝදරියකුත් අපේ බැච් එකේ හිටියා කියලා මේකේ නොලිව්වොත් අම්බලන්ගොඩයා කුහකයා වෙනවනේ ආයුබෝවන්ඩ. අභයපුර විද්‍යාලයට පුස්තකාලය හදන්න මුදලින්, ශ්‍රමයෙන් , සිතුවිල්ලෙන් දායක වෙච්ච උදවිය එකෙක්වත් ඉහල පංතියේ ධනවතුන් නෙවෙයි. උන් බහුතරයක් සාමාන්‍ය  රස්සාවක් කරගෙන ජිවිතේ ගැටගහගන්න සාමාන්‍ය මිනිස්සු. උන් එකතු වෙලා රුපියල් එකොලොස් ලක්ෂ පනස් නවදාස් අටසිය පනහක්  (1159850.00 ) එකතු කරලා දුන්නේ පහසුකම් නොලැබෙන දරුවන්ට යමක් කිරීමේ අරමුණ හදවතට දැනුන නිසා මිසක් ඒ සල්ලිවලට කරන්න දෙයක් නැති නිසා නෙවෙයි  කියලයි ගොඩයාගේ අදහස. අම්පාරෙ අභයපුර විද්‍යාලයට පුස්තකාල ගොඩනැගිල්ල හදලා දෙන්න වෙහෙසුන හැමදෙනාටම පිං. පොත් කබඩ් එකක් පඩියෙන් මාසිකව ගෙවන්න අරගෙන ඒ දරුවන්ට යවපු අපේ ටීචර් බැචීටත් පිං කියලා තමා කියන්න තියන්නෙ.. 

අනකාගේ බැරි අමාරුකමක් පයිසෙකට ගණන් නොගෙන, ලක්සෙ රුපියලට වියදම් කරලා හෝටල්වල කාලා බීලා නටලා ගයලා පාර්ටි දාලා බුකියට පිංතුර දාන  උදවියගේ  සහ බැරි අමාරුකම් දාහක් තියෙද්දී කවදාවත් ඇහැට නොදැකපු දරුවන් පිරිසකට පුස්තකාලයක් හදන්න තමුන් මහන්සියෙන් උපයන මිල මුදල් නොමසුරුව පරිත්‍යාග කරන මිනිස්සුන්ගේ සිතුවිලිවල විෂමතාවය තියෙන්නේ කොතනද කියල විශ්ලේෂණය කරන්න ගොඩයා උත්සහ කරන්නේ නෑ.. සමාජ සත්කාරයක් කරන්න පටන් ගනිද්දි අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා පාරම්බාලා වැඩේ කෙරෙද්දි ඇඩ්‍රස් නැතුව මාරුවෙන එවුන් ගැන ලියන අකුරු පවු. යුනිකෝඩ් නොමිලේ ලැබුනත් ඒ වගේ එවුන් ගැන ලියන්න එව්වා වැය කලයුතු නෑ. අසරණ දුප්පත් දරුවෙකුට පොතක් පැන්සලක් අරං දෙන්න හෝ වෙනයම් හෝ සමාජ සත්කාරයක් කරද්දී  ඒ වෙනුවෙන් දායක වෙන්න රුපියලක් දෙන්න නොහිතුනාම  කියමුකෝ.. ඒත් ඉතින් ඒ උදවියම මාසෙකට සැරයක් දෙකක් හෝටලේක හෝ මුහුදු වෙරළක සෙට් වෙලා පාර්ටි දාල බුකියේ පින්තුරු දානවා දැක්කාම ගොඩයාට හිතට එන එව්වා මේකේ අකුරු කරලා බෑ...  මොකද කියනවනම්, මිනිස්සුන්ට අයිතිය තිබිය යුතුයි තමුන් උපයනදේ වියදම් කරන්නේ කුමක් වෙනුවන්ද , වියදම් නොකරන්නේ කුමක් වෙනුවෙන්ද, තමුන් ජීවත් වෙන්නේ කුමන ආකරයෙන්ද කියලා තීරණය කරන්න.. එව්වා විවේචනය කරන්න පිටස්තරයන්ට අයිතියක් නෑ..

සන්නස්ගල සර් එක්ක කතාබහ කරන කෙනෙක් මේක කියවනවානම් උන්නැහේට කියන්න, පුළුවන්කමක් තියෙනවනම් අම්පාරෙ අභයපුර විද්‍යාලයේ දරුවන්ට කියවන්ට පොත් ටිකක් යවන්න කියලා . තා පුලුවනිනම් කියන්න දුප්පත්  දරුවකුට දෙන්න පොතක් පතක් ඉල්ලලා මැසෙජ් එකක් එව්වාම ඒක බලන්නවත් යුතුකමක් තියෙනවා නේද කියලත්. පොත් නොඉල්ලන එවුන්ට පොත් දෙන්නම් අරගෙන යන්න කියලා යූ බටේ ඇතුලෙන් ලෝකෙටම පේන්න කියා හිටිනවානම් , දුප්පත් දරුවන් පිරිසක් වෙනුවෙන් පොත් ටිකක් ඉල්ලන එක වැරද්දක් නෙවෙයි නේද කියලත් කියන්න.  පොත් ඉල්ලුවේ උන්නැහේ පොත් දෙන්නම් කියලා කියනවා දැකලා අහලා තියෙන නිසා මිසක් උන්නැහේ අපහසුතාවයට පත්කරවන අදහසින් නෙවේ කියලත් කියන්න. මේ සටහනෙන් උන්නැහේ අපහසුතාවයට පත්වුනානම් සොරි කීවා කියලත් කියන්න.

මේක කියවන උදවියත් පුළුවන්කමක් තියෙනවනම් අභයපුර විද්‍යාලයට පොතක් දෙකක් තැපැල් කරනවානම් ගොඩයාට ඉතින් කියන්න තියෙන්නේ තමුන්නාන්සේලාට  පිං කියලා තමා.. අලුත් පොත්ම වෙන්න ඕන නෑ.. කියවපු පොත් උනාට කාරී නෑ.. දරුවන්ට කියවන්න සුදුසු පොත් උනානම් ඒ ඇති. 

දුෂ්කර පළාත්වල ජීවත්වෙන බහුතරයක්  දරුවන්ට මේ නාරාවලෙන් ගොඩ එන්න තියෙන එකම සහ අවසන් මෙවලම අධ්‍යාපණය  විතරයි. රජයෙන් නොමිලයේ සැපයෙන අධ්‍යාපනයේත්  ගෙඩි ටික නගරයට ලැබෙද්දී දුෂ්කර පළාත්වල දරුවන්ට ලැබෙන්නේ ලෙලි ටික විතරයි. එහෙව් දරුවන්ට මේ නරාවලෙන් ගොඩ එන්න උදව්වක් කරන්න පුලුවනිනම් එක ලොකු පිනක්. අපි යමෙක් වෙනුවෙන් කරන දෙයක අග්‍රඵලය අපිම හෝ අපිටම සම්භන්ධ කෙනෙක් විසින් නෙලාගතයුතු නෑ. යමෙක් හිතනවානම් අපි උදව් කලයුත්තේ අපි ඉගෙනගත්තු පාසලටම පමණයි කියලා ඒක ඔවුන්ගේ අධික මමත්වය මත පදනම් වච්ච ආත්මාර්ථකාමී සිතිවිල්ලක් කියලයි ගොඩයාගේ විශ්වාසය.  යමෙකුට ඒ තරම් ආථ්මාර්ථකාමීව හිතන්න පුලුවනිනම්, තමුන්ට සම්භන්ධයක් නැති, කිසිසේත්ම නොදන්නා උදවිය  විසින් හිටවපු ගස්වැල් වලින් ලැබෙන ඔක්සිජන් ටික හුස්ම ගන්නත් ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නෑ.

මේ දරුවන්ට උදව්වක් කරන්න ඕනෙයි කියලා හිතිලා  විදුහල්පතිතුමා සම්භන්ධ කරගන්න ඕනෑකමක් උනොත් එතුමාගේ දුරකථන අංකය ලබාදෙන්න පුළුවනි. එහෙම අවශ්‍යතාවයක් තියෙනවනම් ගොඩයාගේ ඊමේල් එකට ඊමේල් පණිවුඩයක් එවන්න. ගොඩයාගේ ඊමේල් එක polwattacom@gmail.com

මේ දරුවන්ට පොත් ටිකක් යවන්න ඕන කියලා පින් සිතුවිල්ලක් පහල වෙනවනම් මෙන්න ඉස්කෝලෙ ලිපිනය.

විදුහල්පති තුමා,
අභයපුර විද්‍යාලය,
පරගහ කැලේ,
අම්පාර.


පියවරෙන් පියවර පුස්තකාලය ඉදිවෙච්ච විදිහ පහත වීඩියෝවෙන් බලන්න.





22 comments:

  1. අගේ ඇති වැඩක්.

    ඔය වැඩේ කරන්න කලින් ලොකු ටෝක්ස් දෙන උදවිය සමහරක් අන්තිමේ ලිස්සල යන එකත් ඉතිං දෙදාස් පන්සීයක හිටං පැවත එන සංස්කෘතියේ වටිනාම කෑල්ලක් තමයි කියල උඹ දැනගන්න ඕන.

    මොනව උනත් කවද හරි ලැබෙන පොත් ටික තියාගන්න ගොඩනැගිල්ලක් හරි හදල දීපු උඹල සෙට් එකට රෙස්පෙක්ට්.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් පෝස්ට් එක කියවපු බොහෝදෙනෙක් මට ඊමේල් එව්වා ඉස්කෝලෙට පොත් යවන්න. වැඩේ ඇතුලේ ඉඳලා ලිස්සලා යන එවුන් වගේම වැඩේ ගැන ආරංචි වෙලා පොත් දෙන උදවියත් ඉන්නවා කියලා දැනෙනවා ඒ ඊමේල් නිසා.

      Delete
  2. වැඩේ නම් නියමයි හරිම සන්තෝසයි.ලංකාවෙන් ඈත් වෙලා ජීවිතේ ගොඩාක් කැපකිරීම් කරලා සල්ලි හම්බ කරල ලංකාවට කරන එක හොඳයි.ඉස්කෝලේ දරුවන්ගේ දරුවන්ගෙන් දෙමව්පියන්ට කියන්න ඊළඟ පාරත් හොඳ හොරෙක්ට ඡන්දෙ දෙන්න කියලා රාජපක්ෂලා වගේ private jet ආතල් ගන්න.

    ReplyDelete
    Replies
    1. චන්දෙනම් ඊළඟ වතාවෙත් සිරි ලංකාවේ උදවිය කාට දෙයිද කියලා ෂුවර් නෑ.. දැම්ම ඉඳන් ජනාධිපති සූට් එක අඳින්න ලාස්තිවෙලා ඉන්න අය බොහොමයක් උනාට ඊළඟ වතාවෙත් පැරිෂුට් කාරයෙක් ජනාධිපති වීමේ සම්භාවිතාවය වැඩියි. පොල් ලෙල්ලක් දුන්නාම කොහු හදලා ලණු අඹරන් බුදින ජනතාවක් ඉන්න රටක ඊළඟ මැතිවරණය දිනන්නේ කව්ද කියලා අනාවැකි කියන්න බෑ... වැඩිපුරම බොරු කියන එකාට තම වැඩිපුරම දිනන්න චාන්ස් එක තියෙන්නේ.

      Delete
  3. අගේ ඇති වැඩක්..hats off to you all🙏🙏🙏

    ReplyDelete
  4. නියමායි වැඩේ .........ගොඩයෝ ............දේශ පාලු හොරුන්...ගාවාගන්නේ නැතුව වැඩේ ඉතා හොඳට කරලා .....
    සතුටුයි ..........
    පොත් ටිකත් කොහොමහරි ගමු .........කලෙක්ෂන් එකක් දාල ......
    මමත් උදවු කරන්නම් හොඳේ .........පුළුවන් හැටියට .............

    ReplyDelete
    Replies
    1. කිහිප දෙනෙක්ම පොත් යවන්න කැමති උනා. හැකියාවක් තියෙනවනම් ඉස්කෝලේ ලිපිනයට පොත් ටිකක් තැපැල් කරන්න.

      Delete
  5. Replies
    1. ස්තුතියි බස්සා..

      Delete
  6. Super 🙏🙏🙏
    තඩියෝ පොත් වලට තව collection එකක් දාමු එක් කෙනෙකුට අඩුම පොත් 5 ක් දෙන්න කියමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝ...තඩියා ඒ ගැන 96 ෆේස්බුක් එකේ පොස්ට් එකක් දාල තිබුනා.. විස්තරේ එතන තියෙනවා... හැකිනම් එකතු වෙන්න...

      Delete
  7. හ්ම්... අගේ ඇති වැඩක්

    ReplyDelete
  8. එක පුස්තකාලයක් ඇරියොත් බන්ධනාගාර දහයක් විතර වැහෙනව කියල කතාවක් අහල තියෙනව.

    උත්කෘෂ්ට වැඩක් ගොඩයා...!

    ReplyDelete
    Replies
    1. කියවීම හුඟක් ළමයින්ගෙන් ඈතට ගිහිං... විෂය ධාරාව ළමයින්ට බර වැඩියි.. සම්පත් අසමතුලිත නිසා තරඟය වැඩියි.. ඒ නිසා දරුවන්ට තියෙන පීඩනය වැඩියි.. එව්වට උත්තර හොයන්න පුළුවන් මොළ රාජ්‍ය යාන්ත්‍රණය ඇතුලේ දැනට නෑ.. ඉතින් කාටද අපි මේ නඩුව කියන්නේ.. :(

      Delete
  9. වැඩේට මහන්සි උන කෙනෙක් විදියට උබ මේ ලියපු ටික කියවනකොට දැනෙන හැගීම,සතුට කියල නිම කරන්න බැහැ.අන්තිමට අපි ඒක කරා මචං.350-400ක් ඉන්න තැනක 70 දෙනෙක්ගෙ වගේ අත හිත දීමෙන් ඕක ගොඩ දාගන්න කාපු කට්ට දන්නෙ බොහොම ටික දෙනයි.ඒ ගැන ලොයපු එකට රොම්බ තෑම්ස්.
    මේ වෙනකොට කීපදෙනෙක් ඉස්කෝලෙට කතා කරල තියෙනව වගේම එක සහෝදරයෙන් පොත් 50ක පාර්සලයක් ඉස්කෝලෙට යවලත් ඉවරයි.ඉදිරි පෝස්ට් එකකින් උබලට කියන්නම් නේද ගොඩයො 👍

    ReplyDelete