Saturday, June 17, 2023

මට පේන හීන එළිවෙන හැටි

         


               පහුගිය සතිය පටන් ගැනුනේ හීනෙකින්... හීන කියන්නේ මට නින්දට වැටුන වෙලාවේ හිටන් ටීවී එක දැම්මා වගේ පේන එව්වා නිසා ලොකුවට හිතන්නෙ නෑ හීන ගැන... ඒ පේන හීන ගැන හිතලා ජීවිතේ ගත කරන්න ගියොත් වෙන වැඩක් කරගන්න වෙන්නේ නෑ... පේන හීන ගානටයි බිත්තිවල එල්ලිලා ඉන්න හූනන් චික් චික් ගාන එව්වටයි ජීවිතේ ඇජස් කරන්න ගියොත් රස්සාවක් කරගෙන ජීවත් වෙන්න වෙන්නේ නෑ... 


මේ කියන හීනේ මට පේන්නේ පහුගිය සඳුදට එළිවෙන්න... පවුලේ කෙනෙක් මැරිලා ඉන්නවා හීනෙන් දැක්කට මමනම් ඔව්වා වැඩිපුර ගානකට ගන්නේ නෑ... ඒත් මම අහලා තියෙනවා පවුලේ කෙනෙක් මැරිලා ඉන්නවා හීනෙන් දැක්කොත් තමුන්ට හොඳ නෑ කියල... හීනෙකට ජීවිත වෙනස් කරන්න පුළුවන් කියලා මම ඉතින් විශ්වාසෙට ගන්නෙම නෑ ඔය කවුරු කිව්වත්... හීනේ දැක්කේ සඳුදා එළිවෙන්න උනාට සඳුදා දවස කිසිම අවුලක් නැතුව ගෙවුනා වෙනදා වගේම... උපන්දා හිටන්ම වෙන අනිවාර්ය දේ මොක කරත් කෙළවෙන එකම නිසා හීනයක් දැක්කා කියලා අමුතුවෙන් භය වෙන්න දේකුත් නෑනේ ඉතින්....


අඟහරුවාදා දවසට එළිවෙන දවසේ දැකපු හීන ලිස්ට් එකේ මැරෙන හීන තිබ්බේ නෑ... රැයක් එළිවෙද්දී හීන කීපයක් පේන නිසා ඔව්වා ඉතින් මතකයේ තියාගෙන ඉන්නෙත් නෑ... සමහර හීන ඉතින් හද්දා කුජීත එව්වා.. සමහර එව්වා ඉතින් සුපිරි ආතල් එව්වා... කුජීත එව්වා පේන වෙලාවටනම් මගදී ඇහැරෙන්නේ නැතිවුනාට ආතල් හීනනම් ඉතින් ඉවරයක් වෙන්න බලාගන්න ලැබෙන්නේම නැතිම තරම්... අඩුම තරමේ මුත්‍රා බරක් හරි ඇවිල්ලා නින්දෙන් ඇහැරිලා හීනෙට කෙළවෙන එක තමයි හැමදාම වෙන සීන් කෝන් එක... සැබෑ ජීවිතේදී විතරක් නෙවෙයි හීනෙනුත් හොඳ දෙයක් වෙද්දී ඒ හොඳ දේ අවසානය දකින්න කලින් කෙළවෙන එක සසර කරපු කරුමයක් වෙන්ටෑ කියලයි ඉතීම් මගේ වටහාගැනීම...


අඟහරුවාදාට එලිවුනා කියමුකෝ... ෆෝන් එකේ එලාර්ම් එක වැදුනාම හීන ටීවී එක ඕෆ් කරලා දාලා රස්සාවට යන්න ලෑස්ති වෙන්න ඕනනේ.. ඊට කලින් ෆෝන් එක අරගෙන ඩේටා ඕන් කරලා බලනවා ලංකාවෙන් ආපු මැසේජ් මොනාද කියල.. වැදගත් කියලා එව්වා තියෙනවනම් ඒ වෙලාවේම කෙටියෙන් පිළිතුරු දීලා ඊලඟට කරන්නේ බාත්රූම් එකට යන එක... රෑට ඩේටා ඕෆ් කරන්නේ පෙරේතකමට නෙවෙයි... මම නිදාගන්න වෙලාවට ලංකාවෙන්  එන වට්සැප් කෝල්, මැසෙන්ජර් කෝල්, නින්දට භාදාවක් නිසා... ෆුට් සයිකලේ චේන් එක පැන්නත් මට කෝල් කරන යාලු මිත්‍ර, ඥාති පිරිසක් එක්ක මට රැයක් නිදාගන්න එක ටිකක් විතර අමාරුයි... ඒ වගේම රෑට ෆෝන් එක වයිබ්රේට් උනාම  අනෙක් කාමරවල ඉන්න උදවියට විතරක් නෙවෙයි බිත්තියෙන් වෙන්වෙලා තියන අල්ලපු ගෙදර උදවියටත් ඇහැරෙනවා ... ලී වලින් හදන ගෙවල් එහෙම තමයි... ෆෝන් එකේ වයිබ්‍රේෂන් එකට ඩ්‍රයි වෝල් වයිබ්රේට් වෙනවා බෙඩ් සයිඩ් කබඩ් එක වයිබ්රේට් වෙද්දී..

 මුනට මුකුත් නොකිව්වට ඉතින් දවස් දෙක තුනක් යනකල් ඒ මුනුවලින් නින්ද කැඩුව තරහ පිටවෙනවා හීනියට... දෙතොල නොකීදේ දෙනෙතේ ලියවෙනවා කියලා ගුණදාස කපුගේ ශුරීන් කියලා තියෙන්නේ ඒ වගේ සීන් නිසා වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ ..   ඩේටා ඕෆ් කරාම එනවනම් එන්නේ ඩිරෙක්ට් නම්බර් එකට එන කෝල් විතරයි... එච්චර ගානක් වියදම් කරගෙන කෝල් එකක් ගන්නවානම් ඉතින් ඒක ඇත්තටම වැදගත්ම වැඩක් නිසා ඒ වගේ වැදගත් වැඩකට නින්ද කැඩුනට අවුලක් නෑ... ගෙදරට දීලා තියෙන ස්ටෑන්ඩින් ඕඩර්ස්වලට අනුව රෑට හදිසියකට කෝල් කරනවානම් ඩිරෙක්ට් සෙල් ෆෝන් එකට ගත්තම තමයි මාව සම්භන්ධ කරගන්න පුළුවන් වෙන්නේ... ලාබෙට ගෝවා කන්න ගිහින් වට්සැප් ගත්තොත් ඉතින් ග්‍රාහකයා ආතල් හීනයක් බලාගෙන සැපේ නිදි... 


එලාර්ම් එකට ඩොටේට ඇහැරෙනවා කිව්වට ඉතීම් හතට වදින එලාර්ම් එකට ඇඳෙන් බහින්නේ හතයි තිහ ලං වෙලා ... ඊට පස්සේ ඉතීම් මල්ටි ටාස්කින් බාත්රූම් සෙෂන් එකකින් අනතුරුව අට වෙද්දී කොල්ලා වැඩට ගිහින් ක්ලොක් ඉන් කරනවා තිතට... දෙයියෝ අත් දෙකක් දීලා තියෙන්නේ අත් දෙකෙන් එකවර වැඩ දෙකක් කරන්න... රැවුල කපන ගමන් දත් මදින්න.. දත් මදින ගමන් තවත් වෙන වැඩක් කරන්න වගේ  වැඩ වලින් කාලය කළමනාකරණය කරගත්තාම බාත්රූම් එකේ ගතකරන කාලය අවම කරගන්න පුළුවනි... ඉලෙක්ට්‍රික් රේසර් එකක් පාවිච්චි කරාම රැවුල කැපිල්ලට යන කාලයෙන් සීයට හැත්තෑ පහක් ඉතුරු කරගන්න පුළුවනි... නාන තැන එක සබන් කෑල්ලයි වොෂ් බේසින් එක ළඟ එක සබන් කෑල්ලයි තිබ්බාම එතනත් කාලය තත්පර ගානක් ඉතුරුයි... වොෂ් බේසින් එක ලඟින් ෆේස්ට ටවල්  එකකුයි නාන තැන තව ටවල් එකකුයි තිබ්බාම තවත් තත්පර ගානක් ඉතුරුයි... ඔය වගේ පොඩි පොඩි ඇජස්මන්ට්ස් වලින් කාලය මැනේජ් කරගන්න පුළුවනි හොඳට හිතුවාම... එක එක දේවල් වලින් ඉතුරු වෙන්නේ තත්පර ගණන් උනාට ඒ ඔක්කොම එකතු උනාම විනාඩි පහක් දහයක් ඉතුරු කරගන්න පුළුවනි ලේසියෙන්ම. පහුවදාට වැඩට ගෙනියන කෑම එක ඉස්සරින්දා රෑට බෙදලා කරලා ෆ්‍රිජ් එකේ දාල තිබ්බම උදේට තියෙන්නේ මයික්‍රෝවේව් එකට දාලා විනාඩි දෙකක් රත් කරන්න විතරයි.. ඔය ඔක්කොම සෙල්ලම් දාලා තමයි මම හතහමාරට ඇඳෙන් බැහැලා අට වෙද්දී වැඩට ක්ලොක් ඉන් කරන්නේ... මම වැඩ කරන්නේ ෆීල්ඩ් එකේ නිසා ඕනෑම ඔෆිස් ලොකේෂන් එකකින් මට ක්ලොක් ඉන් කරන්න පුළුවනි. ආසන්නම තැනට මට තියෙන්නේ කිලෝමීටර පහයි.. වාහනේට නැග්ගම විනාඩි දහයෙන් මම රස්සාවේ..


හීනේ පලදෙන්න පටන් ගන්නේ අනහරුවාදා උදේ බාත්රුම් එකේදී... බාත්රූම් එකකදී වෙන්න පුළුවන් කරදර අටෝරසියක් තියෙනවා. එයින් නරකම එව්වයින් නරකම එකක් මට වෙන්නේ ඔය කියන අඟහරුවාදා උදේ... ටයිම් මැනේජ්මන්ට් කරගන්න මල්ටිටාස්කින් කරන්න ගිහින් තමයි ඒක වෙන්නේ... කරපු වැඩ දෙක මොකක්ද කියලා හිතාගන්න එක ඉතින් කියවන ඔබලාට බාරයි... ප්‍රතිපලය තමයි මම රැවුල කපන එලෙක්ට්‍රික් රේසර් එක කොමඩ් එක ඇතුලට වැටීම....වනේ වන හතුරෙකුටවත් වෙන්න ඕනෑ නැති එව්වා ඉතින් මටම වෙනවා කියන්නේ මගේ වෙලාවේ හොඳකම තමයි... දැන් ඉතින් මගෙන් අහන්න එපා මොකද කරේ කියලා... එලෙක්ට්‍රික් රේසර් එක කොමඩ් එකේ තියෙද්දී රස්සාවට යන්න බෑ නෙව... හරි... දැන් ඉතින් ඉලෙක්ට්‍රික් රේසර් එකේ ප්‍රශ්නේ විසඳාගත්තා කියමුකෝ.. ඊළඟට තියෙන්නේ ලෑස්තිවෙලා රැකියාවට යාම... බුදුරජාණන්වහන්සේගේ පිළිම වහන්සේට වන්දනාමාන කරලා දනි පනි ගාලා එලියට පැන්නාම වර්ක් වෑන් එක එලියට ගන්න විදිහක් නෑ එතන හරහට කුරියර් ට්‍රක් එකක් නවත්තලා කියහන්කෝ... අටටම රස්සාවට ඉන්න ඕන කියලා නීතියක් නෑ... අටට ආවද කියලා හොයන්න කෙනෙකුත් නෑ... දවසේ තියෙන රෙපෙයාර් ටික කෙරිලා තියෙනවනම්, මට අයිති ලෝකෙෂන්වල  කස්ටමර් කොම්ප්ලේන් නැත්තම් ආගිය වෙලාවක් කවුරුවත්ම හොයන්නේ නෑ... මගේ රස්සාව දවසේ ඕනෑම වෙලාවක පටන් අරගෙන ඕනෑම වෙලාවක ඉවර කරන්න පුළුවන් තත්වෙ එකක් නිසාත්, එක තැනක නැති ෆීල්ඩ් ජොබ් එකක් නිසාත් යන එන වෙලාවක් ඉන්න තැනක්  ලොකු උදවිය හොයන්නෙම නෑ... හෙව්වා කියලා හොයන්නත් බෑ... කොම්පැණි වාහනවලට ඇරුනාම පුද්ගලික වාහනවලට ජී.පී.එස් හයි කරන්න කොම්පැනියට බලය නෑ.....  මගේ පුද්ගලික වාහනයක් පාවිච්චි කරලා මයිලේජ් එක වෙනම අයකරගැනීම එතැනදී මට හැම පැත්තෙන්ම වාසියි... අටට වැඩට නොගියොත් දවසම අවුල් වගේ දැනෙන එක මගේ මානසික ව්‍යාධියක්...  ඒ නිසයි අටට වැඩට යන්න මේ හැටි දැඟලිල්ල... එහෙම නැතුව අටට නාවොත් ජොබ් එකෙන් අස් කරනවා කියලා එහෙම නෙවෙයි...


කුරියර් අයියලා ලොකේෂන් එකකට ආවාම වාහනේ එක තැනක නවත්තලා ඒ ලොකේෂන් එකේ තියන පාර්සල් සියල්ලම බෙදන්න ටික වෙලාවක් යන නිසා මම කරන්නේ වෑන් එකේ යාම පැත්තකින් තියලා වෙන තැනක නවත්තල තියෙන මගේම පරණ කාර් කටුවේ නැගලා ඔෆිස් එකට යන්න පිටත්වෙන එක.. ප්ලෑන් එක තමයි උදෑසන අටට හැකි ඉක්මනින් ක්ලොක් ඉන් කරලා ආයෙම ඇවිත් කාර් එක තියලා වෑන් එක අරං වැඩට යාම... ඉන්න තැන ඉඳන් ආසන්නම ලොකේෂන් එකට කලර් ලයිට් හයයි... හතරවෙනි කලර් ලයිට් එකේ නවත්තලා අදිනකොටම ට්‍රැෆික් එක ආයෙම හිටි ගමන් නවතිනවා කියහන්කෝ ... මමත් බ්‍රේක් එක උඩ නගිනවා පන එපා කියල... කාර් කටුවෙ ඒ බී එස් ඔන් වෙලා ඉස්සරහ තිබ්බ ටෙස්ලාවට අඩියක් දෙකක් දුර තියලා නවතිනව මගේ වෙලාවේ හොඳ කමට... ඒත් ඒ වෙලාවේ හොඳකම වැඩි වෙලා තියෙන්නේ නෑ... බැලුවම  පිටිපස්සෙන් ආපු හුන්ඩායි එළන්ට්‍රා ඇන්ටිට බ්‍රේක් ගහගන්න අමතකවෙලා  ... ඇන්ටි කිව්වට මට ආසන්නම වයසේ ගෑණු මනුස්සයෙක්... මටත් දැන් හතලින් පහක් කියලා මතක් වෙන්නේ බොහොම කලාතුරකින්... මට හතලිස් පහෙන් පස්සේ වයස යන එක නැවතුනා... ආයේ ඉතින් පනස් පහ වෙනකම් මගේ වයස හතලිස් පහ තමයි... 


පිටිපස්සෙන් ආපු ඇන්ටිට බ්‍රේක් ගහගන්න අමතකවුනා කියන්නේ ඉතින් මගේ කාර් එකේ පිටිපස්ස සුන් කියලා වෙනත් විදිහකින් කියන එක තමයි... දබාස් ගාන සද්දෙත් එක්ක මගේ කාර් එකත් ටිකක් විතර ඉස්සරහට තල්ලුවුනා... බැහැලා ගිහිං බැලුවාම පිටිපස්සේ ඇන්ටිගේ එළන්ට්‍රා එකේ  මුණ පොළොවේ ගහපු වැල ගෙඩියක් වගේ... මගේ කාර් එකේ පස්ස බිමට කඩපු  තැඹිලි වල්ල වගේ ... ඇන්ටිටත් ශරීර හානි නෑ.... මටත් නෑ... බෙල්ල හරි කොන්ද හරි අල්ලාගෙන බිම වාඩිවුනානම් සතියක් දෙකක් ඉස්පිරිතාලෙක සැප විවේකයක් ගතකරලා ලංකාවේ සල්ලි වලින් ලක්ස දහයක් පහළොවකුත් අරගෙන ගෙදර එන්න පුළුවන් උනාට එව්වා ඉතින් මහා කැත වැඩ... ඉන්සුරන්ස් එකට කෝල් කරලා ඇන්ටිත් එක්ක තොරතුරු හුවමාරු කරගෙන එතනින් මාරු වෙද්දී තවත් පැයක් විතර අල... ඉන්සුරන්ස් දෙකයි ඩයිවර්ලා දෙන්නයි එකඟතාවයකට එනවනනම්, ජීවිත හානි ශරීර හානි නැතිනම්, පොලිසි යාම අත්‍යවශ්‍ය නෑ...


කාර් එක හදන්න ගරාජ් එකකට දාන්න ඉන්ෂුරන්ස් එකෙන් බලන්න එනකල් ඉන්න වෙන නිසා ඒක ගෙනැල්ලා ගෙදර දාලා ආයෙම වර්ක් වෑන් එක අරගෙන මම වැඩට යනවා කාර් එක දිහා බලාගෙන ඉඳලා වැඩක් නැති නිසා... මට එදා පලවෙනි ජොබ් එක සෙට් වෙලා තිබ්බේ කිලෝමීටර එකසිය විස්සක විතර දුරක... ආයෙම හීනේ පලදෙන්නේ ඒ කිව්ව ජොබ් එක කරලා ආපහු එද්දි .. හයිවේ එකේ ටික දුරක් එද්දී තමයි මට දැනෙන්නෙ වෑන් එකේ  ඒසී එක නැතුව යනවා කියලා... එක්සිට් එකකින් එලියට දාල පොඩ්ඩක් එන්ජිම දිහාවට එබිලා බැලුවම ඒසී කොම්ප්රෙසර් එකේ ක්ලච් එක එන්ගේජ් වෙන්නේ නෑ... ඒසී නැතුව දවසක් දුවනවා කියන්නේ, හවසට ගෙදර ගියාම ලුණු ගම්මිරිස් ටිකක් ඉහගෙන මට මාව කන්න පුළුවන් තරමට රෝස වෙන සීන් එකක්... ඒසී එක හදන්න ක්ලච් එක දාන්න වෙනවා උනාට මට එක කරගන්න තැනක් නෑ... කොම්ප්රෙසර් එක බිමට බාලා ක්ලච් එක අලුතෙන් දාලා හයි කරන එක සිම්පල් වැඩක් උනාට මට ඒ ජොබ් එක කරගන්න තැනක් නෑ... වෙනත් විදිහකට කියනවනම්, පාරේ තියාගෙන, පාර්කින් ලොට් එකක තියාගෙන වාහන හදන්න තහනම්... එව්වට තමුන්ගේම කියලා ගෙදරක් හෝ ගරාජ් එකක් තියෙන්න ඕන... ඔෆිස් ලොකේෂන් එකක තියාගෙන බ්‍රේක් පෑඩ් මාරුකරන වගේ එව්වා මමම කරගත්තට වාහනේ ඉස්සරහ පැත්ත රෑම්ප් එකක නග්ගලා යටට ඇදිලා කරන්න ඕන වැඩ ඔෆිස් ලොකේෂන්වල තියාගෙන කරන්න බෑ... ඒ නිසා ගරාජ් එකකට දාල සල්ලි දීලා කරගන්නව ඇරෙන්න වෙන විකල්පයක් නෑ... ලෝකල් ගරාජ් විශ්වාසයට ගත නොහැකියි... එව්වයේ වැඩකරන බහුතරයක් හද්දා කපටි ... ඒ වගේම උන්නැහේලාගේ දැනුමත් ප්‍රශ්ණ සහගතයි.. එකම විකල්පය ඩීලර් ලඟට දැමීම පමණයි... 


අඟහරුවාදා හවස ඩීලර් ලඟට දාන වාහනේ හදන්න අරගෙන ඩීලර්ගෙන් කෝල් එක එන්නේ බදාදා උදේ... බදාදා මම රස්සාව කරන්නේ පස්ස පැලිච්ච කාර් එකේ ... අත්‍යවශ්‍ය ටූල්ස් ටික විතරක්ම කාර් එකේ දාගෙන රස්සාව කරාට ඒක හරිම අමාරු වැඩක්... වර්ක් වෑන් එකක් කියන්නේ නිකම්ම නිකං ටූල්ස් පටවපු වෑන් එකක්ම  නෙවෙයි... ඒක ටෙක් කෙනෙකුගේ ජීවිතය හා සමාන දෙයක්... වෙනම ෆීලින් එකක්... වෙනත් විදිහකින් කියනවනම් හොඳම යාලුවෙක් වගේ...  දවසෙ පැය අටක් හෝ ඊට වැඩි කාලයක් ගතවෙන්නේ ඔය වාහනේ ඇතුලේ වෙච්චි, ඇඳට වඩා සුව පහසුවට නින්ද යන්නේ ඔය ඩ්‍රයිවින් සීට් එකේ වෙච්චි, දවසේ වෙල් දෙකක් කෑම කන්නේ ඔය ඩ්‍රයිවින් සීට් එකේ වෙච්චි, ඒක වාහනයක් නෙවෙයි තනිකරම ගෙදරක්.. ජීවිතේ ගතකරන්න සුව පහසුම ස්ථානයක්... ඉතින් එක නැතුව කොහොමද ජීවිතේ ගෙවන්නේ... ඒක නැතුව කොහොමද පහසුවෙන් රස්සාව කරන්නේ...


හෙලෝ... සුභ උදෑසනක්... මේ අහවල් ඩීලර්ෂිප් එකෙන්.... ඔයාගේ වෑන් එක සම්භන්ධව...


හරි.. කියන්න... මොකද මගේ වාහනේ තත්වේ...


සර්... ඔයාගේ වාහනේ ඒසී කොම්ප්රෙසර් එක ගිහිල්ල...


ගිහිල්ලා කිව්වේ... මොකක්ද ඔයා අදහස් කරන්නේ... 


සර් ඒක අලුතෙන් දාන්න ඕන...


මට පැහැදිලි කරන්න පුලුවනිද මොකක්ද වෙලා තියෙන්නේ කියල...


මම හිතන්නෙ නෑ සර්ට මම එක ටෙක්නිකලි පැහැදිලි කරට තේරේවි කියල... කොම්ප්රෙසර් එක අලුතෙන් දාන්න ඕන..


හරි... මම මෙහෙම අහන්නම්කො.... ඒසී  කොම්ප්රෙසර් එකේ කොටස් දෙකයි.. එකක් ක්ලච් එක... අනික ෆ්‍රීසින් ලික්විඩ් එක ප්‍රෙෂර් කරන කොටස... දැන් ඕකෙ ගිහිල්ලා තියෙන්නේ ක්ලච් එකද එහෙම නැතිනම් ප්‍රෙෂර් කරන කොටසද... 

(මම දන්නවා ගිහින් තියෙන්නේ ක්ලච් එක කියල .. ඒත් මම එක උන්නැහේට කියන්නේ නෑ.)


ක්ලච් එක සර් ගිහිල්ල තියෙන්නේ..


ඉතින් ඇයි ඔයා මගෙන් කොම්ප්‍රේසර් එක දාන්න අහන්නේ... ක්ලච් එක දාන්නකෝ  ..


(ක්ලච් එක එළියෙන් ගත්තොත්  මිල ලංකාවේ මුදලින් විසි හයදාහයි.. කොම්ප්රෙසර් එක එළියෙන් ගත්තොත් මිල ලංකාවේ මුදලින් අසූ හතරදාහයි ..)


අපි ක්ලච් එක විතරක් දාන්නේ නෑ සර්... 


හරි කීයද රෙපෙයාර් කොස්ට් එක ...


මෙහෙමයි සර්... කොම්ප්රෙසර් එක ගියාම ඊළඟට කොන්ඩේන්සර් එකත් යන්න බලනවා.. ඔය දෙකම එකට දාන්න ඕන...


හරි... කීයද දෙකටම ටෝටල් කෝස්ට් එක... 


ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ දහයයි හතලිස් හතර දාහක්...


දැන් කව්ද කියන්නේ ක්ලච් එක ගියාම කන්ඩෙන්සර් එකත් යනවා කියල...


මගේ ටෙක්නිශියන් කියනව සර් කොම්ප්රෙසර් ක්ලච් එකේ කෑලි කැඩිලා ලයින් ඇතුලට ගියාම කන්ඩෙන්සර් එක හිරවෙනව කියල..


එහෙනම් ඔයා ගිහින් ඔයාගේ ටෙක්ට කියන්න කොම්ප්රෙසර් එකේ කැඩිච්ච ක්ලච් එකයි ඇතුලේ ප්‍රෙෂර් වෙන ෆ්‍රීසින් ලික්විඩ් එකයි අතර සම්භන්ධයක් නෑ කියල... ඒ නිසා කැඩුන ක්ලච් එකේ කෑලි ලයින් ඇතුලට යන්නේ නෑ කියන්න... කොම්ප්රෙසර් එක විතරක් දාන්න කියන්න... මට කියන්න කීයද කොම්ප්රෙසර් එකට විතරක් ගාන... 


කොම්ප්රෙසර් එක දාන්නයි ෆ්‍රීසින් ලික්විඩ් එක එලියට අරගෙන ආයෙම ඇතුලට දාන්නයි ඔක්කොම ලංකාවේ මුදලින් පන් ලක්ෂ අනූ දාහයි... 

(මට කරගන්න දැනුම තිබ්බත් මම කරගත්තනම් එකට වැයවෙන්නේ ඔය කියන මිලෙන් හතරෙන් එකකටත් වඩා අඩු මුදලක් උනත්, මට ඒක කරගන්න තැනක් නෑ .. ඒ නිසා විකල්පයක් නෑ )


හරි... ඒ වැඩේ කරවන්න...


තව ප්‍රශ්ණ ටිකක් තියෙනවා සර් වාහනේ...


මොනවද... 


පිටිපස්සේ බ්‍රේක් ගෙවිලා තව ඉතුරු වෙලා තියෙන්නේ මිලිමීටර් පහයි... ටයර් ප්‍රෙෂර් සෙන්සර් එකක් ගිහිල්ල තියෙන්නේ සර්... ඒක අලුතෙන් දාන්න ඕන...


හරි... බ්‍රේක් වැඩේ අමතක කරලා දාන්නකෝ..  ටයර් ප්‍රෙෂර් සෙන්සර් එකට කීයක් යනවද..

(පිටිපස්සේ බ්‍රේක් රීප්ලේස් කරගන්න එක මට සිම්පල් වැඩක් )


ඩයග්නෝස් කරන්න ලංකාවේ මුදලින් තිස් හයදාස් දෙසිය පනහයි... සෙන්සර් එකට හතලිස් තුන්දාස් පන්සීයයි...


දැන් ඔයා කිව්වනේ සෙන්සර් එකක් ගිහිල්ල තියෙන්නේ කියල... ඉතින් ආයෙම ඩයග්නෝස් කරන්න දෙයක් නෑනේ... සෙන්සර් එක දාන්න යන ගාන විතරනේ...


නෑ සර්... ඩයග්නෝස් කරන ගාන ගෙවන්නම වෙනවා...


ඕන නෑ... එකත් අමතක කරලා දාන්නකෝ... මට ඒසී එක විතරක් හදල දෙන්න...

(ටයර් හතර ළඟදීම දාන්න වෙනවා.. ටයර් හතර දාද්දි සෙන්සරේ දානකොට ටයර් කඩෙන් ගන්න ගාන ඔය කිව්ව ගණන් දෙකෙනුත් භාගෙටත් වඩා අඩුයි )


ඔන්න ඔය විදිහට වාහනේ හදවන්න උපදෙස් දීලා මම පස්ස පැලිච්ච කාර් එකේම පහුවදාත් රස්සාව කරා..


බ්‍රහස්පතින්දා හවස ආයෙම ඩීලර්ගෙන් කෝල් එකක්...


සර්... ඒසී එකනම් හදල තියෙන්නේ... සර්ට උදව්වක් විදිහට මම ටයර් ප්‍රෙෂර් සෙන්සර් එක දාද්දි ඩයග්නෝස් කරන ගාන අඩු කරන්න තීරණය කරා... අපිට පුළුවනි එක ඩයග්නෝස් නොකර දාලා දෙන්න....


හරි... මට කියන්නකෝ සෙන්සර් එකට තව කීයක් යනවද කියල...


ඉන්න සර් මම බලලා කියන්නම්... 


හ්ම් ..


සෙන්සර් එකට ලංකාවේ මුදලින් අසුදාහක් යනවා සර්... 


සෙන්සර් එක දාන්නම එපා කියලා මම හවස ගිහින් වාහනේ අරං ආව.. ඒසී කොම්ප්‍රෙෂර් එක දැම්මට ගාස්තුව ලංකාවේ මුදලින් පන් ලක්ෂ අනූ දාහයි... ක්‍රෙඩිට් කාර්ඩ් එක බුදුන් දැක නිවන් දකින්න ඕන ඉතිං...


ටයර් සෙන්සර් එකට කිව්ව ගාන තිස් හයදාස් දෙසිය පනහයි.. ඩයග්නෝස් කරන්න කිව්ව ගාන හතලිස් තුන්දාහයි.. ඒත් මට  උදව්වක් විදිහට ඩයග්නෝස් කරන ගාන අය නොකර  සෙන්සර් එක දාන්න යන ගාන අසු දාහයි...  මේ ගාන හදපු සමීකරණය ගැන හිතුවාම මගේ  මොලේට සමනල් ගැටේ වැටෙනවා කියහන්කෝ  ..


මම වාහනේ අරගෙන ගෙදර ආපු ගමන් කරේ බාත්රූම් එකට ගිහින් කන්නාඩියෙන්  හොඳහැටි මුණ බලාගෙන  ෆ්‍රිජ් එකේ තියන රයිස් කුකර් බත් මුට්ටිය ඇරලා බලපු එක... මට ඕනවුනා එකේ තියෙන්නේ බත්මද එහෙම නැත්තම් තනකොලද කියලා බලාගන්න සහ කන්නාඩියෙන් බැලුවාම ඉන්නේ මමමද එහෙමත් නැත්තම් අන් ආපු වස්සෙක්ද කියලා බලාගන්න.... ඇයි යකෝ... උදව්වක් විදිහට ෆ්‍රී කරලා දෙනවා කියලා කෑල්ලේ ගානට අනිත් ගානත්  එකතු කරලා කියනකොට ඒ ලණු කන්න උන්ට මාව පේන්නේ හරකෙක් විදිහටද කියලා දැනගන්න ඕන නැද්ද හා..


කාර් එක බලන්න ඊයේ ඉන්සුරන්ස් එකෙන් ආව... එක හදන්න දැම්මම එකේ විස්තරෙත් මීට දෙවැනි වෙන එකක් නෑ... ඒත් එකටනම් අතින් ගෙවන්න වෙන එකක් නෑ... එළන්ට්‍රා ඇන්ටිගේ අන්සුරන්ස් එකෙන් ඔක්කොම කවර් වෙයි...


අර කොමඩ් එකට වැටුන ඉලෙක්ට්‍රික් රේසර් එක එලියට  ගත්තේ කොහොමද කියලානම් අහන්න එපා... ඒ විස්තරේ ලියන්න තියා හිතන්නවත් බැරි තරම් ජුගුප්සාජනකයි..  එහෙමයි කියලා ඒක විසික් කරේ නෑ.... ඒක අරගෙන වැඩි කාලයක් නැති නිසා එකේ පෙට්ටිය මා ළඟ තිබුන... මම ඒක ටැප් එකට අල්ලලා හෝදලා  පෙට්ටියේ දාලා තිබ්බ පරෙස්සමට  .. අරගෙන වැඩි දවසක් නැති නිසා අයෙ ඉතින් මලාට හොයන්න බෑ එක පාවිච්චි කරපු එකක් කියලා ... ඊළඟ වතාවේ ලංකාවට යද්දී අපේ චමිල වරුසවිතානට තෑග්ගක්  අරගෙන යන්නත් ඕනෑකම තියෙනවා... ඉලෙක්ට්‍රික් රේසර් එකකුත් මෑන්ස්ට හොඳට ගැලපෙනවා තෑග්ගක් විදිහට දෙන්න ...

19 comments:

  1. අවුලක් නෑ මචං කොමෝඩ් එකට වැටුන වෙලාවෙ උබේ රැවුල කපනකොට සෙට් උන විස බීජ නැතිවෙන්න ඇති.දැන් ඕක අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.😁

    ReplyDelete
    Replies
    1. එනකොට ගේන්නම් ඔයයිට එලැක්ටික් රේසර් එකක්..😋

      Delete
  2. මන්ද ඒ හින කියවලා මට පිස්සු වගේ...

    ReplyDelete
    Replies
    1. කියවලා උඹට පිස්සුනම් කරලා මට කොහොම පිස්සු වගේ වෙන්න පුලුවනිද?

      Delete
  3. නියමයි. ආයෙ ලියන එකම ලොකු දෙයක්.
    ඔය ඇක්සිඩන්ට් වල පස්සෙන් ඇන්නය, අනේ පවුනෙ කියලා අපි හිතුවට, අනික් එවුන් එහෙම හිතන්නෙ නෑ. ඒ නිසා හතර වටේටම ෆොටෝ ගහලා තියාගන්න ඕනෙ. ඩෑෂ් කැම් එකක් තියේ නං තවත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ෆෝටෝ සහ ඩෑශ් කැම් තියෙනව... ඒ නිසා වංගු ගහන්න බෑ..

      Delete
  4. හොඳට හීන පේන්නේ තදට නින්ද යන අයට කියලයි අහල තියෙන්නේ. ඒත් ඉතින් හීනෙ පෙනුන නිසා වුනාද හීනේ පෙනුනේ වෙන්න තියෙන දේටද කියන එකත් හිතා ගන්න බැහැ තමයි. මොන රටේද අප්පා ඔච්චර් ගණන් කොම්ප්රෙසර් එකයි කන්ඩෙන්සර් එකයි දාන්න . මෙහා වුනත් වැඩිම වුනොත් පවුම් 1500 යයි. කොමඩ් එකේ වැටෙන එක එච්චර් දෙයක් නෙමේ ඒ වෙලාවේ අංක දෙක නොකර හිටියනම් ඉතීම් 😀

    ReplyDelete
    Replies
    1. පවුම් එක්දාස් පන්සීයක් කියන්නෙ මම මෙහේ වියදම් කරපු ගානටත් වඩා වැඩි ගානක් අජිත් අයියෙ...

      Delete
  5. ඩීලර් කාරයෙකුට වාහනේ දාල ඔහොම බේරුනා ඇති. ඔය යන්න බෑ කියපු ක්ලච් එකේ කෑලි කන්ඩෙන්සර් එක ඇතුලට දාල පෙන්නල බොට ඒකත් හයිකරවන තැනට වැඩ කරවන්නැතුව.

    ඉතිං අර කොමඩ් එකට අහවල් එක වැටුන දවසෙ උඹ ගෙයින් එලියට බැස්සෙ පස්සපැත්ත හෝදන්නැතුව කියලනං කියන්න එපා ඉඳගෙන. හැක්..

    ReplyDelete
    Replies
    1. පස්ස පැත්ත හෝදන්නම ඕන කියලා නීතියක් නෑනෙ පෙසන්නයෝ... ලංකාවෙ වගේ මෙහේ බිඩේ ශවර් නෑ... ටිශූ තමයි තියෙන්නෙ... බිඩේ ශවර් හැම රටකටම ප්‍රායෝගික නෑ... සීතල කාලෙට එව්වයෙන් එන වතුරෙන් පස්ස හෝදුවොත් හොඳට තියෙයි... රස්නෙ කාලෙටත් එහෙමම තමා... ටිශූ ඇරෙන්න වෙන විකල්පයක් නෑ...

      Delete
  6. ඉංග්‍රීසි ෆිල්ම් එකක ඔත්තුවක් කියලයි මුලින් කියවද්දී හිතුණෙ ....

    ReplyDelete
    Replies
    1. ඒක ෆිල්ම් එකක් උනානම් මමත් සතුටෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකත් සතුටෙන්..

      Delete
  7. අම්මට සිරි, මේ ඇත්තම ගණන්ද? නැත්නම් හීනේ කොටසක්ද?
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඔය ඇත්තම ගනන් තමයි විජේභාහු...

      Delete
  8. මොකද්ද ගොඩයා ඔය රට? ලංකාව වගේමනෙ

    ReplyDelete
    Replies
    1. වාහන බිස්නස් එකේ වංචාවල් ඔක්කොම යුනිවර්සල් මට්ටමේ තියෙන්නෙ ඉයන්... ලංකාවයි මෙහෙයි කියලා වෙනසක් නෑ.. මම ජොබ් එක දන්න නිසා මේ ගනන්වලින් බේරෙන්නෙ.. නොදන්න එවුන්ට ඉතිං අබ සරණයි... මේකට ප්‍රධානම හේතුව ටෙක්නීශියන්ලාගෙ වැටුප හාෆ් සැලරි හාෆ් කොමිශන් කියන තැනට වැටීම... අමතර කොටස් දාන තරමට තමයි එයාලගෙ වැටුප ලොකු වෙන්නෙ... ලෝකෙ බොහොමයක් ටෙක් ජොබ්ස් දැන් පාට්ස් සේල්ස් කියන තැනට ඇවිල්ල තියෙන්නෙ... ඒක හරිම අවාසනාවන්ත තත්වයක්....

      Delete
  9. කොහොමෙය් ඔහේ ටක්කෙටම කිව්වෙ ක්ලච් එක කැඩිලයි කියලා?
    ගෑස් බැස්සමත් ක්ලච් එක අල්ලන්නෑ නේද?

    ReplyDelete
    Replies
    1. මම ප්‍රෙශර් චෙක් කරලා තහවුරු කරගත්තා ගෑස් තොයෙනවා කියලා... ඒ එක්කම තහවුරු කරගත්තා කොම්ප්‍රෙසර් එකට කරන්ට් එක එනවා කියල... ඔයා කියන කතාවෙ ඇත්තක් තියෙනව.. ගෑස් නැති උනාම ප්‍රෙශර් ස්විච් එකෙන් කොම්ප්‍රෙසර් එක ඕෆ් කරනව...

      Delete
  10. ආයෙ මෙරට ආවහම නුවරඑළියෙ එහෙම එනවනං, තව මොකක් හරි දැම්ම කොමඩ්‍ එකට දාල තියන්ඩ.

    ReplyDelete