Wednesday, October 1, 2025

ගිගිරි නගින බෙලුකටු

 😠


මේක අසූව දශකයේ මැදභාගයේ කතාවක්..

        එවකට මම දේවානන්ද විද්යාලයේ එක වසරේ හෝ දෙක වසරේ කියලයි මතක.. එකේ දෙකේ ඇච්චො බැච්චො උනාම ඉතිං ඒ ඉස්කෝලෙම අයියලා අක්කලා ඉන්නවනම් එයාලගෙන් සූටි පහේ ආරක්ශාවක් රැකවරණයක් ලැබෙන එක ස්භාවිකයි නෙව.. මටනම් ඉතිං ඒ ඉස්කෝලෙ අයියලා අක්කලා ඉල්ලෙ.. මොකෙක්වත් නැති නිසා ඉතිං බල්ලො පූසොත් ටොකු ඇනලා යන ලෙවල් එකෙන් මම අඥාතයි කුජීතයි.. එහෙම උනා කියලා අනාතම කියලමත් නෑ ඉතිං.. කාගෙන්වත් ගුටි නොකා ඉන්න ඕන නිසා අපේ සීය පොලිසියේ කියලා හරි ශේප් කාර්ඩ් එක ගහගන්නව.. සීයලා දෙන්නම මට වයස අවුරුද්දක් වෙද්දිම මියපරලොව ගිහිපු නිසා ඒ දෙන්නා සුදුද කලුද කියලත් මම දන්නෙ ෆොටෝ කෑල්ලකින් විතරක් වෙච්චි.. ඒත් ඉතිං එව්ව ඉස්කෝලෙ කොල්ලො දන්නෙ නෑ.. තාත්ත පොලිසියේ කියන්න බෑ තාත්ත හැමදාම උදේට වැඩට යන ගමන් මාව ඉස්කෝලෙ ලඟට ඇරලවන නිසා..

        ඕං ඔය විදිහේ වාතාවරණයක් යටතේ අමාරුම කාරයන් හතලිහක් හතලිස් පහක් ඉන්න පංතියක ඉන්ටවල් එක කියන්නෙම පංතියේ ඉන්න එවුන්ගෙ අයියලා අක්කලා තමුන්ගෙ මල්ලිලා බලන්න එන වෙලාව.. එවකට මම හිටපු එෆ් පංතියේ හිටියෙ කොල්ලොම විතරයි.. අපරාදෙ කියන්න බෑ හෝඩියේ ඉඳන් පහ වසරට ගිය දේවානන්දෙ යාලුවොත් අද වෙද්දි රට හැමතැනමත් ලෝකෙ හැමතැනමත් ඉන්නව අඩු නැතුව..
        
        මෑන්ස්ගෙ නම හසන්ත.. හසන්ත කිව්වට හසන්තමත් නෙවෙයි.. ඊට ආසන්න නමක්.. ඇත්ත නම ලියන එක හරි නැති නිසා එව්ව මෙහිලා ලියලා බෑ.. හසන්තගෙ අක්කත් ඒ ඉස්කෝලෙමයි.. මතකෙ හැටියට අපිට වඩා අවුරුදු හතක් අටක්වත් වැඩිමල් ඇති.. ඒ අක්කා මල්ලිට කොච්වර ආදරේද කියනවනම් ඉන්ටවල් එකට පංතියට ඇවිත් මල්ලිට කවලා පොවලා නාවලා කොන්ඩා පීරලා පවුඩර් දලා සූ දාන්නත් එක්කං ගිහිං තමයි ආයෙ එයාගෙ පංතියට යන්නෙ.. අපිව බලන්නනම් ඉතිං එන්න බල්ලෙක් පූසෙක්වත් නැති නිසා අපි ඉතිම් ඒ ලොකු එවුන්ගෙ ලොකු සීන් බලාගෙන පාඩුවේ ඉන්නව.. ඉන්නවා කිව්වට ඉන්න වෙනව..

        ඕං දවසක් සුපුරුදු විදිහට ඉන්ටවල් එක උදාවුනා.. ඒක මහා භයානක දවසක්.. සිද්දිය අද මතක් වෙද්දිත් කකුල් දෙක හිරි වැටීලා ගිහිං මහා භයානක හැඟීමක් ඔලුවට එනව.. හසන්තගෙ අක්කයි යාලුවෝ දෙන්නෙකුයි ඇවිත් ඕං හසන්තයාට කවනවා පොවනවා අතගානවා කොන්ඩෙ පීරනවා එක හුරතලයයි.. අක්ක අපිට වඩා හතකින් අටකින් වැඩිමහල් නිසාද වෙන්න ඇති ඉතිං හුරතලේ.. ඕං ඉතිං කවලා පොවලා නාවලා පුයර දාලා කොන්ඩෙ පීරලා අක්කලා සැට් එක හසන්තයාව සූ දන්නත් එක්කම් ගියා කියමුකෝ.. ඉන්ටවල් එක ඉතිං ලොකු වෙලාවක් නැති නිසා අපිට ඉතිං හසන්තයා ගැනත් ලොකුවට නිනව්වක් නෑ.. හැමදාම සිද්දවෙන බේබි සිටිං නිසා අක්කලා ඇවිත් හසන්තයාට කවන පොවන එක අපිට ලොකු මැජිකුත් නෙවෙයි.. ඕං එක පාරටම ඉන්ටවල් ඉවරවෙන බෙල් එක වදිනව.. ඒ එක්කම ඇච්චි බැච්චො යන ටොයිලට් එක පැත්තෙන් ඉස්කෝලෙම උලු බිමට වැටෙන සද්දෙට පොඩි එකෙක් කෑ ගහනව.. ස්ටාෆ් රූම් එකේ හිටපු ගුරුවරුයි ලොකු අයියලා වගේකුයි ඒ සද්දෙට ඒ පැත්තට දුහනව.. අපිට ඉතිං දුවන්න කියලා අතක් නෑ.. බිල්ලෙක් ඇවිත් ඉස්කෝලෙ ලමයි අල්ලන් යන්න හදනවාවත්ද කියලා හිතුනට ඉතිං බිල්ලෙකුට උනත් ගෝනියක ඉස්කෝලෙකම ඉන්න ලමයි දාගෙන යන්න බැරි නිසා කුතුහලය ඇරුනාම මටත් ඉතිං ලොකුවට භයක් දැනුනෙ නෑ.. කරෝල වාඩියක වැඩට උනත් අරං යන්නෙ අත පය හතර ටිකක් ලොකුවට මහතට තියෙන එවුන් නිසා මං වගේ කෙංචි නාට්ටෙකුට බිල්ලෙකුගෙන් උනත් ලොකුවට අවධානමක් නෑ..

        ඕං ටික වෙලාවකින් ගූරුවර ගුරුවරියන් ගොඩාක් වටවෙලා හිටපු ටොයිලට් එක ඇතුලෙන් හසන්තයාව උස්සන් එන්නෙ පිරිමි ගුරුවරයෙක්.. හසන්තයාගෙ අක්කත් යාලුවො ටිකත් අඬ අඬා ඒ පස්සෙන් දුහනව.. අපේ පංතියේ හිටපු, කට ඇරියොත් බොරු කියන සකලසිරී කියන්නෙ හසන්තයට ටොයිලට් එක ඇතුලෙ ඉඳලා නයෙක් ගහලා කියල.. හද හදා හොල්මන් කතා කියන ප්‍රසන්නයා කියන්නෙ දවල් බැදුම් කාලා ටොයිලට් ගිහිං එකේ හිටපු යකා හසන්තයට ගහල කියලා.. තව එකෙක් කිව්වෙ ටොයිලට් එකට උඩින් තියන දෙල් ගහේ ගෙඩියක් හසන්තයාගෙ ඔලුවට වැටීලා කියල.. තව එකෙක් කීවෙ හසන්තයාට පපුවෙ හිලක් නිසා ඒකට අමාරු වෙලා කියල.. ඔය වගේ දාහක් විය හැකි දෑ ඇහෙන් දැක්කා වගේ කියන විස්සක් තිහක් කොල්ලො විවිධාකාර මත පල කරද්දි අපේ පංතිභාර ටීචර් ඇවිත් වෙලා තියෙන දේ අපිට නොකියාම හසන්තයාගෙ පොත් බෑග් එක අරගෙන යනව.. ඕං එතැන් පටං අර කලින් කයි කතන්දර කීව එවුන්ගෙන්ම එකෙක් කියනවා හසන්තයා ඉස්පිරිතාලෙ ගෙනියද්දි මැරිලලු.. ඉස්කෝලෙන් ගෙනියද්දිත් මැරීලා කියලත් තව එකෙක් කියනව.. ඒ අස්සෙ අද ඉස්කෝලෙ ඇවිත් තියෙන්නෙ ඊයෙ මැරිච්ව හසන්තයාගෙ හොල්මන කියලත් ප්‍රසන්නයා කියනව.. උගේ මාස ගනන් කියලත් ඉවර නොවෙන හොල්මන් කතා වටවෙලා අහන් ඉන්න අපිට ඉතිං ඒකත් ඇත්තවත්ද කියලත් හිතෙනව..

        හසන්තයාගෙ ඇත්ත නම මේකෙ කොමෙන්ට්වල ලියලා මාව උසාවිනම් යවන්න එපා යාලුලා ඕං.. කරගන්න පුලුවන්කම තියාගෙන තමුන්ගෙ වැඩේ අනුන් ලව්වා කරගන්න ගියාම ඉතිම් හසන්තයාට වෙච්චි දේ වෙන්න තියන සම්භාවිතාවය වැඩියි.. ආදරේ වැඩිකමට දරුවන්ගෙ සහෝදරයන්ගෙ යාලුවන්ගෙ සරීරකෘත්යයත් කරවලා දෙන්න ගියාම එව්වගෙ භයානක ප්‍රථිපලවලට මූන දෙන්න සිද්ද වෙනව ඉතිම් අකමැත්තෙන් උනත්..

    එදාම ඉතිං විස්තරේ හොයාගන්න බැරිවුනාට ඉතිම් පහුවදා ඉස්කෝලෙ යද්දි සිද්දිය ගැන රොයිටර් වාර්ථා පංතිය පුරාම.. වෙච්ච සිද්දිය රඟපාලා පෙන්නපු එවුනුත් හිටියා ඉතිං.. වෙලා තිබ්බෙ ඇඟ හිරිවැටෙන සීන් එකක්.. හසන්තයා මාසෙකින් විතර ඉස්කෝලෙ ආවා ඉතිම් මුකුත් නොවුන ගානට.. වෙලා තිබ්බ සීන් කෝන් එක මේන් මේකයි..

        ඉන්ටවල් ඉවරයි කියලා බෙල් එක ගහපු ගමන් හසන්තයාගෙ අක්කන්ඩි පංතියට යන්න තියන හදිසියට හසන්තයාගෙ කලිසමේ සිප් එක උඩට ඇදලා.. ඒත් ඉතිං සසර කරපු කරුමෙකට හසන්තයා ඒ වෙලාවෙ ඉඳලා තියෙන්නෙ සූ දාන ගමන්.. ගිගිරි නගින බෙලුකටු නේද පිංවත.. ඒ කෑල්ල ලියද්දිත් මේ දැනුත් මගේ කකුල් හිරි වැටෙනව.

Monday, September 15, 2025

සමුගන්න අවසන් සිනහවෙන් . .

         



                ඒ නමය් දහය වසර වගේ කාලෙ මගෙ හිතේ.. ඉස්කෝලෙ ඇරුනයින් පස්සෙ ටියුශන් නැති දවස්වලට හවස් වරුවෙම කරේ මහේශ්ලාගෙ මිදුලෙ ක්රිකට් ගහපු එක.. හවස දෙකහමාරට විතර පටන් ගැනෙන ක්රිකට් ගැහිල්ල, එක්කො ගෙවල් වලින් ඇවිත් එකෙක්ව කනෙන් ඇදගෙන යනකල් හරි එක්කො අඳුර වැටීලා මහේශ්ලාගෙ අම්ම චාලට් ඇන්ටි දැං ඕක නවත්තපල්ලා කියලා මහේශ්ට සද්දෙ දානකල් හරි ඇදීලා යනව.. කොහොම උනත් හවස හයහමාර වෙනකනුත් බොහෝ දවස්වලට අපි ක්රිකට් ගහනව.. මට ඔය ක්රිකට් ගැහිල්ල ඒ තරමට අල්ලලා යන්නෙ නැති නිසා ඉතිං මමත් බෝල එකකට දෙකකට බැට් එක වනලා හැමදාම අවුට් වෙනව.. වැඩිහරියක්ම ඉතිං වෙන්නෙ අනුන් ගහන බෝල අහුලන්න මම මහේශ්ලාගෙ වත්තෙ කැලෑ පීරගෙන දුහපු එක විතරයි.. පොල් ගස් අටෝරාසියක් එක්ක තවත් පලතුරු ගස් බොහෝමයක් තිබ්බ මහේශ්ලාගෙ වත්තෙ මිදුල සමතලා මිදුලක් නිසාම එතන ක්රිකට් ගැහුවා මිසක් ගස් ගල් බේරලා හතරක් හයක් ගහනවා කියන්නෙම ඉතිං සෑහෙන ගේමක්.. මට ඉතිං හතරෙ එව්වා හයේ එව්වා හීන වෙච්චි බැට් එකේ වදින එකම බෝලෙත් කාගෙහරි අතට කැච් කියහංකෝ...

        කොල්ලො කුරුට්ටො දහයක් දොලහක් සෙට් වෙන ක්රිකට් ගැහිල්ලට නායකත්වය දුන්නෙ මහේශ්ලගෙ අල්ලපු ගෙදර අයිය.. ඒ අයිය අපිට වඩා අවුරුදු තුනක් හතරක් වගේ වැඩිමල් කියලයි මගේ වැටහීම.. ඔතන ක්රික්ට් ගහපු වයස් කාන්ඩ කිව්වොත් ඔක්කොම හැත්තෑව දශකයේ 74,75,76,77,78 වගේ වයස්වල උදවිය.. මම දහය වසරේ ඉද්දි ඔය කියන අයියා බොහෝදුරට උසස්පෙල.. හවස ක්රිකට් ගැහිල්ලා නැගලාම යන අල්ල පනල්ලේ මේ අයියා ඕං එක දවසක් එයැයිගෙ ගෙදර කුස්සියේ ජනේලෙන් එලියට ඇහෙන විදිහට මහ සද්දෙට කැසට් එකක් දාලා ඇවිත් ක්රිකට් ගහන්න ආවා කියහංකෝ.. අපි ක්රිකට් ගහනවා.. කැසට් එකේ එකම කැසට් එකක් දෙපැත්තට දුවනව.. එක පැත්තක් ඉවර වෙද්දි අයිය දුවලා ගිහිං කැසට් පීස් එක අනික් පැත්ත දානව.. මම අනුමාන කරන විදිහට ඒ කැසට් පීස් එකේ තිබ්බ සිංදු ටිකට සමගාමීව ඒ අයියට මල්සරා විද්දා එක්කෝ ඒ ආසන්නයේ මල්සරා විදපු විදිල්ලට ඒ අයියා කුස්සියෙන් එලියට ඇහෙන්න කැසට් එක දාල ක්රිකට් ගැහුව..
🤪    
    
     මේ කියන අයියා ඒ සිංදු ටිකට කොයිතරම් ඇබ්බැහි උනාද කියනවනම් කැසට් එක නැති දවස්වලත් ඒ සිංදු මුමුන මුමුනා තමයි මේ කියන අයියා ක්රිකට් සෙල්ලම් කරේ..
ක්රිකට් ගහන අතරේ අපිටත් ඉතිං ඔය සිංදු ටික එකින් එක කටපාඩම් උනා.. ඇයි ඉතිං මේ යෝදයා මේ සිංදු ටික අපිටත් බලෙන්ම අස්සවන නිසා..ටිකක් කන්දීලා ඇහුවාම සිංදු ටිකත් නරක නැති නිසා මමත් ඉතිං වැඳලා වැඳලා කැසට් පීස් එක ඉල්ලගෙන ගිහිං අපේ ගෙදරත් ටික දවසක් ඇහුව..
අහම්බෙන් යූ බටේ සිංදු වගයක් හොයද්දි ඕං ඒ කැසට් පීස් එකේ තිබ්බ සිංදුවක් අහුවුනා.. සමහර සිංදු අපේ අතීත මතක අවුස්සනව.. සමහර සිංදු අත්තීතයේ සමහර තැන්වල ටැග් වෙලා තියන නිසා එහෙම වෙනවා කියලයි මට හිතෙන්නෙ.. ජයන්ත දිසානායකගේ මේ සිංදුව තියන කැසට් එකේ තිබ්බ මොන සිංදුව ඇහුනත් මට මතක් වෙන්නෙ අවුරුදු තිහකට එහා මහේශ්ලගෙ මිදුලෙ ක්රිකට් ගහපු හැටි.. අද වෙද්දි චාලට් ඇන්ටි ජීවතුන් අතර නෑ.. මහේශ් ලෝකෙ කොයි කොනක ඉන්නවද කියලා දන්නෙ නෑ.. මහේශ්ගෙ අක්ක දොස්තර කෙනෙක් වෙලා ඔස්ට්රේලියාවෙ පදිංචියට ගිහිං.. එතන ක්රිකට් ගහපු හුඟ දෙනෙක් අද ගමේ පදිංචි නෑ.. එක්කෙනෙක් ජීවතුන් අතරත් නෑ.. ඒ කාලෙ වගේ එක ගමේ කොල්ලො කුරුට්ටො එක ගෙදරක මිදුලක සෙට් වෙලා අද කාලෙ ක්රිකට් ගහන්නෙත් නෑ.. එක ගමේ මිනිස්සු පාරෙ හම්බුනත් අන්ඳුරන්නෙ නැති තරමට ලෝකය වෙනස් වෙලා..

Sunday, August 31, 2025

සයිඩ් කන්නාඩියෙන් දෙවැනි ගමන

         


            ඒ මං හිතන්නෙ අපි නවය දහය වසරෙ හිටපු කාලය.. චන්දෙ දවසට අම්ම ඉලෙක්ශන් ඩියුටි යන එක හැම චන්දෙකටම පොදුවූ වැඩක්.. චන්දයක් එනවා කියන්නෙම ඉතිං අපිට ඒ කාලෙ ආතල් කෝටියක්.. ඔය චන්දෙට සමගාමීව චන්දෙ දවසෙ රෑට සහ චන්දෙ දවසට ඉස්සරින්දා අපේ ගෙදරට අමුත්තො කීප දෙනෙක් එනව.. ඒ තමයි අම්මගෙ ඔෆිස් එකේ වැඩ කරපු යාලුවො කීපදෙනෙක්.. ඒ වෙන හේතුවකට නෙවෙයි.. ඉලෙක්ශන් ඩියුටි යන දවසට උදෙන් යන්න ඕන නිසා සෙට් එකම අපේ ගෙදර ඇවිත් නවතිනවා උදේ පාන්දර ඒ ඒ ගම්පලාත්වලින් එන්න තියන ප්රවාහන අපහසුතා නිසා.. ඔය කියන දවස චන්දෙ දවසට ඉස්සරින්ද.. අම්මගෙ යාලුවො තුන් හතරදෙනෙක් හවස් වෙද්දි අපේ ගෙදර ඇවිත් බෝර්ඩ් උනා. මට වෙනම කාමරයක් තියන නිසා මට වාසස්ථාන අහිමි වෙන්නෙ නෑ.. ඒත් නංගිලා දෙන්නටනම් එදාට බොහෝදුරට සිද්ද වෙන්න ඇත්තෙ එයාලගෙ කාමරේ අම්මගෙ යාලුවන්ට දීයා අම්මලාගෙ කාමරේ නිදියන්න.. ඒක මගේ උපකල්පනයක් මිස හරියටම දන්න දෙයක් නෙවෙයි ඉතිං.. මගේ කාමරෙන් පිට ලෝකයේ අය නිදාගත්තෙ කොහේද කෑවෙ බිව්වෙ මොනවද කියලා මට අදටත් කල්පනාවෙ නෑ.. ඒ ඉතිං මමයි එයාලා හතරදෙනායි එක පවුලකට වඩා පවුල් දෙකක ස්වරූපයෙන් ඉන්න තැනට මම විලෝපිකයෙක් උන නිසා.. ගෙදර සාමාජිකත්වය මේන්ටේන් උනාට ගෙදරින් පාලනය වුනාට අදහස් ගැලපීම අතිං ඉතිං හතරට එක අනුපාතයට ලාම්පුතෙලුයි වතුරයි ගානට එදා වගේම තමා අදටත්..

        
        එදා තමයි සිරිලාංකීය ටෙලි ඉතිහාසයේ වැඩිහිටියන්ට පමණයි ලේබලයේ සිංහල පිචැර් එකක් ටීවී එකේ පෙන්නපු දවස.. බොහෝදුරට ඒ පලවෙනි වතාවට වෙන්න ඇති.. මං ඉතිං ටීවී එකේ සිංහල චිත්රපටි ෆෑන් කෙනෙක් නෙවෙයි නිසා මම ඕක ගැන දැනගෙන හිටියෙ නෑ.. ඒක මම දැනගන්නෙ මේං මෙහෙම. අම්මගෙ ඔෆිසියේ යාලුවො ටික රෑ හතේ ඉඳන් මට කියනවා පුතා අද කලින් නිදාගන්න හෙට උදෙන්ම ඇහැරෙන්න තියනවනේ කියල.. ඒත් ඉතිං මම කල්පනා කරනව මට චන්දෙ දාන්න යන්නත් නැති එකේ, මට ඉලෙක්ශන් ඩියුටි යන්නත් නැති එකේ, චන්දෙ නිසා ඉස්කෝලෙ යන්නත් නැති එකේ මොන කෙහෙල්මලකට මට කලින් නිදාගෙන උදෙන් නැගිටින්න කියනවද කියල.. විනාඩි පහලොවකට සැරයක් මට කලින් නිදාගන්න කියන එක මට මහ විසාල කරදයක් වෙච්චි නිසා මං ඉතිං පොඩ්ඩක් විපරං කරලා බැලුවා මේ මොකෑ යකෝ මේ කියල.. ඕං ඒ අල්ලපනල්ලෙ සාලෙ මැද්දෙන් එහෙ මෙහේ යන වෙලාවක තමා දකින්නෙ ඒ මහා වැඩිහිටියන්ට පමණයි පිචැර් එක ටීවී එකේ අද රෑට පෙන්නනවා කියල.. ඒ පිචැර් එකේ නම තමයි " දෙවැනි ගමන".. අපි ඉතිං පොඩිහිටියන් වෙච්චි අපිට ඔව්ව බලන්න ගෘහ පාලකතුමාගෙන් අවසර නෑ.. හැබැයි ඉතිං රීගල් එකෙයි අනුර හෝල් එකෙයි ඔය වයස් සීමාව එහේ මෙහේ උනා මම දන්න තරමින්.. ඒ ගැන දැනගත්තෙ ඊට ටික කාලෙකට පස්සෙ ඕ ලෙවල් කරපු අවුරුද්දෙ.. එව්ව ප්රසිද්දියේ ලියන්න බෑ.. වයස හතලිස් අටක් වෙන්න ලං උනාට තාමත් අවුල් ඉස්කෝලෙන් පැනලා පිචැර් බැලුවා කියලා අම්ම තාත්ත දැනගත්තොත්.. බුකිය කියන්නෙ කේලම් ගුහාවක් එහෙම බැලුවාම..

        අම්මගෙ යාලු ආන්ටිලා විසි තිස් වාරයක් කිව්ව නිසා කුතුහලය වැඩිවුන නිසාම මේ ගැන හෙව්වා මිසක් කලින් නිදාගන්න කියලා ඉල්ලීම් ආවෙ නැතිනම් ඔය පිචැර් එක යනවා ඇහුනත් මම නෙවෙයි ඔව්වට ඇහැ දාන්නෙ.. ටීවී එකේ යන හිංදි පිචැර් එකක් බලුවත් සිංහල පිචැර් එකක් කියන්නෙම නිදිමරාගෙන බලන්න තරම් උද්යෝගයක් ඇතිවෙන එකක් නෙවෙයි ඒ වෙද්දි.. සිංහල සිනමාව ඒ වෙද්දි තිබ්බෙ පණ අදිමින් කියලයි මට දැං වෙද්දි හිතෙන්නෙ.. රෑ නවය වෙද්දි අම්මගෙ යාලු ඇන්ටිපාලා ටික මාව නිදි කරවගන්න සෑහෙන්න දත කන නිසා අපේ ඩඩා මට අවසාන නියෝගය දෙනවා කාමරේට ගිහිං නිදාගන්නවා කියල.. ප්රධාන ගෘහ පාලකගෙන් නියෝගය ආවාම එතැනින් එහා ඕකට වලිය ඇදගන්න එකෙන් වෙන්නෙ පහුවදා චන්දෙ දවසෙ රෑට ගන්න තියන ආතල් ටික කුඩුවෙන එක නිසා මමත් ඇපීල් නොකරම පරාජය භාරගෙන කාමරේට වෙනව.. මම හිතන්නෙ ඒ වෙද්දිත් අපේ නංගිලා දෙන්නා අම්මලාගෙ කාමරේ දොයි..


        ඒත් ඉතිං ඒක එහෙමයි කියලා ජාතික රූපවාහිනියෙන් රටේම දරුවන්ට ලිංගික අජ්ජහපනේ දෙන්න හදන වෙලාවෙ මට නිදාගන්න කියන එක අසාධාරණ නිසා මමත් ඕක ලේසියෙන් අතාරියිද මම අහන්නෙ.. ප්ලෑන් ඒ වැඩ නොකරාවි කියලා හිතෙන වෙලාවට ඒ වෙනුවෙන් ප්ලෑන් බී එකක් හදාගෙන තියාගන්න එක ඒ කාලෙ ඉඳන්ම පුරුද්දක් නිසා "දෙවැනි ගමන" සහ මාව කලින් නින්දට යැවීමේ කුමන්ත්රණයේ එකිනෙකට ඇති සම්භන්ධතාවය දැනගත්තු වහාම මම කරේ ප්ලෑන් බී එකට කටයුතු සම්පාදනය කරගතපු එක.. ඒකට ඉතිං අමුද්රව්ය ගොඩාක් ඕනවුනේ නෑ.. ගෙදරදීම දුරස්ථ ආකාරයෙන් ටීවී බැලීමේ උපකරණයක් හදාගන්න මට ඕනවුනේ අපේ ඩඩාගෙ සී ෆිෆ්ටිය විතරයි.. දැං මේක කියවන අය හිතයි මම තාත්තගෙ මෝටර් බයික් එකේ නැගලා වෙන කොහේහරි ගිහිං දෙවැනි ගමන බැලුවා කියල.. නෑ නෑ ඒක එහෙම නෙවෙයි..

        තාත්තගෙ මෝටර් සයිකලේ රෑට එලියෙ තියන්නෙ නෑ.. ඒක රෑට තියෙන්නෙ ගෙදර ඇතුලෙ තියන ඉස්තෝප්පුවේ.. ඔය මෝටර් සයිකලේ පිටිපස්සෙ ටේල් ලයිට් එක කෙලින් තමයි මගේ සිරියහන් ගබඩාවේ දොර තියෙන්නෙ.. මෝටර් සයිකලේ ඩබල් ස්ටෑන්ඩ් එක ගහලා හැන්ඩල් එක සම්පූර්ණෙන් දකුණට හැරෙව්වාම මගේ ඇඳේ ඉඳන් ටීවී එක බලන්න කරන්න ඕන දකුණු සයිඩ් කන්නාඩිය සූට්ටක් එහේට මෙහේට සීරුමාරු කරන එක විතරයි.. කාමරේ දොරට කර්ටන් දාලා තියන නිසා දොර භාගෙට ඇරලා තිබ්බම කර්ටන් එකෙන් අඟල් දෙකක ඉඩක් ඇති සයිඩ් කන්නාඩියෙන් ටීවී එක පේන්න.. ප්ලෑන් බී එකක් හදාගෙන ඒක බලන්න දත කෑවෙ වෙන මොකටවත් නෙවෙයි.. වැඩිහිටියන්ට පමණයි කියලා මුං මේකෙ පෙන්නන්නෙ මොන වගේ දෙයක්ද කියලා බලාගන්න.. ඒ තමයි වයස පහලොවක් වෙන කොලු ගැටවුන්ගෙ කුතුහලය..

        ඕං රෑ දහයට වගේ දෙවැනි ගමන පටන්ගත්ත.. අපේ අම්මනම් ඒ වෙද්දිත් කුස්සියේ වැඩ.. තාත්තත් මං හිතන්නෙ ඒ වෙද්දි නින්දට ගිහිං.. අපේ අම්මගෙ යාලු ඇන්ටිපාලා ටික සාලෙ ගජේට වාඩිවෙලා දෙවැනි ගමන බැලුව.. මමත් ගජේට ඇඳේ හාන්සිවෙලා දෙවැනිගමන සයිඩ් කන්නඩියෙන් බැලුව.. ඒත් ඉතිං ඒ කිව්ව විදිහට ලිංගික අජ්ජහපනේ දෙන වැඩිහිටියන්ට පමණයි වර්ගයේ මුකුත්ම දරශණ ඒ පිචැර් එකේ තිබ්බෙ නෑ.. මතක විදිහට පිචැර් එකේ භාගෙකට වඩා තිබ්බෙ මොකක්දෝ සුදු රෙද්දක පලහිලව්වක්.. මං ඒත් දවස්ගානක් කල්පනා කරා මුං වැඩිහිටියන්ට පමණයි කියන ලේබලයක් යටතේ ඒක පෙන්නුවේ සනත් ගුණතිලක වසන්තිව පෙරලගෙන කිස්කරන සූටි සීන් එක නිසාදෝ කියල.. යකෝ ඊට අවුරුදු කීපයකට කලින් ටීවී එකේ ගිය නයිට් රයිඩර් එකේ මයිකල් නයිට් කාරයත් ඊට වඩා සුද්දියන්ව කිස් කරනව රෑ හතහමාරට ප්රසිද්ධියේම.. ඒ කාලෙ ගිය රොබින්හුඩ් එකේ රොබින් කාරයත් ඊට වඩා මැරියව කිස් කරනවා රෑ හතට අටට ..


    අම්මගෙ යාලු ඇන්ටිපාලා සෙට් එකෙම ඒ වෙද්දි අවිවාහක තරුණ උදවිය.. අපේ මුලු ගෙදරම කලින් නින්දට යවලා ගේ ඇතුලෙ ඇඳිරිනීතිය දාලා "දෙවැනි ගමන" බැලුවට එයාලත් බලාපොරොත්තු වෙච්චි ලිංගික අධ්යාපණික දර්ශණ ටික ඒකෙ තිබුනෙ නැති නිසා එයාල පහුවදා හරියට චන්දෙ ටික ගනන් කරාදත් මන්දා කියලා හිතෙනව දැං වෙද්දි .. ඒ මගුල බලන්න උන්දැල ඒ හැටි මොකද දැඟලුවාද මන්ද.. යකඩෝ කබරු කනවා වගේ සනත් කාරයා වසන්තිව කිස් කරන එක වගේද අපේ රොබින් වීරයා මැරියන්ව කිස් කරනකොට තියන ශුන්ගාරය.. ඕක බලාගන්න ගෙදරකම එවුන් කලින් නින්දට යවන්න ඕනෙද මං අහන්නෙ..

Sunday, August 10, 2025

පස්සේ සාක්කුව

            හතර පහ වසරෙ ඉද්දි මට තිබ්බ ලොකුම ආසාවක් තමයි පස්සට සාක්කුවක් දාපු කලිසමක් මහගෙන ඒකෙ පර්ස් එකක් දාගෙන යන එක.. හැබැයි ප්‍රශ්නෙ තිබ්බේ කලිසමක් මහන්න ටේලර් ශොප් එකට යන්න වෙන්නෙ තාත්ත එක්ක නිසා ඔය පස්සට සාක්කුව දාන එක ටිකක් විතර හීනයක්.. කොන්ඩෙ කපන්න ගියාම බාබර්ටත්, කලිසම මහන්න ගියාම ටේලර්ටත් උගේ රස්සාව උගන්නන්න යන්න ඕන නෑ කියලා තාත්ත් තරයේ විශ්වාස කරපු නිසා මහන කලිසම මැහුනෙ ටේලර්ට ඕන විදිහට. කැපෙන කොන්ඩෙ කැපුනෙත් බාබර්ට ඕන විදිහට.. ඉතිං අලුත් කයිසමට පස්සට සාක්කුවක් දාලා මහල දියං ටේලර් මාමෙ කියල කියන්න මට ඉතිං බයයි තාත්ත ඉන්න නිසා..


            ඕං ඔය වගේ වාතාවරණයක් යටතේ එක්තරා දවසක මහ ඩබලගෙ අල්මාරිය අවුස්සන වෙලාවක මට හම්බෙනව අලු පාට කලිසම් රෙද්දක්.. ඕක අත ගගා හැම අතටම කල්පනා කරා මට මේකෙන් පස්සට සාක්කුවක් දාපු කලිසමක් මහගන්න පුලුවන් වෙයිද කියල.. ඕං දවස් ගානක් ඉල්ලීම ඉදිරිපත් කරලා අවසානයේ මට කලිසමක් මහගන්න අවසර හිමි වෙනව.. ඒ කාලෙ අපේ තාත්තලාගෙ ගමේ ටේලර් කෙනෙක් හිටියා සමන් කියල.. තාත්ත එක්ක ගියොත් යන්න වෙන්න්නෙ ස්ටේශන් එක ලඟ තාත්තගෙ ෆේවරිට් ටේලර් ලඟට නිසා මම තාත්තලාගෙ ගමේ ඉන්න සමන් අයියගෙ ටේලර් ශොප් එකට තකහනියේ යනවා කලිසම් රෙද්දත් අරගෙන.. තාත්ත නැතිව ගිහිං මැශමන්ට් දුන්නම සාක්කුව දාගන්න එක අවුලක් නෑ.. කලිසම ගේන්න යද්දි ඕක ගන්න යන්නෙ තාත්ත නිසා පස්සෙ සාක්කුව ඉතිං ආපහු මකවන්න බෑ මැහුවට පස්සෙ.. මගේ සැලසුම අති සාර්ථක වෙලා ඕං ඔහොම තමයි ඉස්ඉස්සෙල්ලම පස්සට සාක්කුවක් දාපු කලිසමක් මට අඳින්න ලැබෙන්නෙ.. ඒ තමා මගේ පල්වෙනි පස්සෙ සාක්කුව..
        
                ඕං දැං පස්සට සාක්කුවක් තියෙනව.. ඊලඟ ප්රශ්නෙ ඕකෙ දාගෙන යන්න පර්ස් එකක්.. පස්සෙ සාක්කුවත් තහනම් වෙච්චි මට පර්ස් එකක් ඉතිං හීනයක්ම උනාට ඒකටත් විකල්පයක් තිබ්බ.. ගෙදර හැම අස්ස මුල්ලම අවුස්සලා පර්ස් එකට විකල්පයක් හොයද්දි ඕං මට හම්බෙනවා අපේ අම්ම කෝච්චියේ වැඩට යන්න සීසන් එක ගතපු සීසන් ෆෝල්ඩර් එක.. සූටි කොට කලිසමේ පස්සෙ සාක්කුවට අම්මගෙ සීසන් ෆෝල්ඩර් එක දැම්මාම ඉතිං මට දැනෙන්නෙ සල්ලි මිටියක් එක්ක තඩි පර්ස් එකක් පස්සෙ සාක්කුවට දාගෙන යන ගැම්මක්.. සල්ලි ගැන අවභෝධයක් නැතත් ඉතිං පස්සෙ සාක්කුවයි පර්ස් එකයි කියන්නෙම හෙන ගැම්මක්..
            

                    ඕං එදා හවස මට හවස ටියුශන්.. හාහාපුරා කියලා ඕං මමත් ඉස්කෝලෙ ඇරිලා ඇවිත් අර අලුපාට පස්සෙ සාක්කු කලිසම ඇඳගෙන අම්මගෙ සීසන් ෆෝල්ඩර් එකත් පස්සෙ සාක්කුවේ දාගෙන ගැම්මට පංති යන්නයි සූදානම. ඒ කාලෙ දවල් දවසෙ අම්මලා ගෙදර නැති නිසා හවස් වරුවෙ ඉන්නෙ පුංචිලාගෙ ගෙදර.. ඕං ඉතිං ඉස්කෝලෙ ඇරිලා ඇවිත් පංති යන්න ලෑස්ති වෙලා ඉන්න.. ඒ දවස්වල පුංචිලාගෙ ගෙදර මොකක්දෝ අවශ්යතාවයකට ගස් වගයක් කපලා පට්ටලයක් ගහගෙන ලී ඉරනව දෙන්නෙක්. මටත් ඉතිං නිකා ඉන්න බැරිකමට පංති යන්න වෙලාව එනකල් ඔය පට්ටලේට නගිනවා ලී ඉරන දෙන්න කෑමට ගිහිං හිටපු නිසා.. පට්ටලේට කොටේ නග්ගන්න ඕකෙ තියෙනවා පැත්තකින් අංශක හතලිස් පහට වගේ ගහපු ලී කොට දෙකක්.. මටත් ඉතිං තදින්ම විසේ නිසා පට්ටලේට නැගලා අර අංශක හතලිස් පහේ කොටේ දිගේ පහලට රූටනව.. ඒක ඉතිං ටිකක් සොමි වැඩක්.. ඔහොම රූටාගෙන පහලට එද්දි තමයි එකපාරටම සරස් ගාලා සද්දයක් එක්ක කොටේ තිබ්බ ඇනේක කයිසම පැටලෙන්නෙ.. පහලට ඇවිත් අතගාලා බැලින්නම් දකුනු පැත්තෙ පස්සෙ සාක්කුවටනං මුකුත්ම අවුලක් නෑ.. ඒ කියන්නෙ දෙයියො බලලා පස්සෙ සාක්කුව බේරල.. ඒත් ඉතිං සාධාරණයි කිව්වට දෙයියෝ එච්චරම සාධාරණ නෑ.. කලිසමේ පස්ස පැත්තෙ වම් පැත්තෙ පලුවකුත් නෑ.. කොටේ දිගේ පහලට රූටගෙන එද්දි පැටලුන ඇනේ කලිසමේ පස්ස පැත්තෙ වම් පැත්තෙ කෑල්ලක් කඩලාම අරගෙන..

            ශර්ට් එක උඩින් දාගෙන ගියාම පස්සෙ පලුවක් නෑ කියලා පේන්නෙ නෑ.. ඒ නිසා කලිසම ඇඳගෙන පංති යන එකේ ගැටලුවක් නෑ.. ඒත් ඉතිං ශර්ට් එක උඩින් දාගෙන ගියාම පස්සෙ සාක්කුවයි පර්ස් එකයි කාටවත් පේන්නෙ නෑ.. පලුවක් මිසින් පැත්ත වැහුවොත් පර්ස් එක පේන්නෙ නෑ.. පර්ස් එක පේන්න ශර්ට් එක යටකරොත් කලිසමේ පස්ස පැත්තෙ පලුවක් නෑ.. අද කාලෙනම් පස්සෙ පලුවක් නැති කලිසම් ෆැශන් එකක් කියලා ඇඳගෙන යන්න පුලුවන් උනාට ඒ කාලෙ එහෙම බෑ.. විසි තිස් වතාවක්ම පුංචිගෙ අල්මාරියේ කන්නාඩියෙන් පස්ස බලලා විකල්ප දාහක් හිතුවට රැවුලයි කැඳයි දෙකම බේරගන්න විදිහක් තිබුනෙ නෑ.. අවසානයේ පස්ස පැත්තට සාක්කුව දාපු කලිසම ගෙදර තියලා වෙන කලිසමක් ඇඳගෙන පංති යනව..

            තිඹිරිගෙයිම මියැදුන මගේ පස්සෙ සාක්කුව කාලයක් යනකල් මගේ ලඟ තියාගෙන හිටියා පලුව රිප්ලේස් කරගන්න චාන්ස් එකක් එයිද කියලා හිත හිතා.. ඒ උනාට ඒ කලිසම කවදාවත් ගොඩදාගන්න බැරිවුනා.. ඒ ජාතියෙම රෙදි කෑල්ලක් හම්බුනානම් ටේලරින් ඉගෙනගෙන හරි පලුව රිප්ලේස් කරනවා කරනවාමයි.. ඒ උනාට ඒ කලිසම අඳින්න බැරි තරමට ලොකු වෙලත් ඒ ජාතියේ රෙදි කෑල්ලක් හොයාගන්න බැරිවුනා..

Sunday, August 3, 2025

බිලිංලංකාරය

           බිලිං අච්චාරු කියන්නෙ අම්බලන්ංගොඩ අපිට කෑමක් නෙවෙයි ආගමක්.. සිංහල අවුරුදු කාලෙට අමතරව අම්බලන්ගොඩ ගෙවල්වල කොහේහරි අස්සක මුල්ලක හෝ ෆ්රිජ් එකක බිලිං අච්චාරු බෝතලයක් වරදින්නෙ නෑ.. බිලිං කියන්නෙ පලතුරක්ද එලවලුවක්ද කියලා මම දන්නෙ නෑ.. බිලිං ගහේ උපත කොහේද ? කොයි රටකින් ලංකාවට ආවද? එහෙමත් නැත්තං බිලිං ගස ලංකාවට ආවේනික ශාකයක්ද ? ලංකාවට ආවේනිකනම් ඒක අම්බලන්ගොඩට ආවේනික ශාකයක්වත්ද කියලා කියන්න මම ඕකෙ උපත විපත දන්නෙ නෑ... අච්චාරු හැදිල්ල ඇරුනාම බිලිං වලින් හදන්න පුලුවන් වෙනත් කෑමක් ගැන මම උපන්තේකට අහලාත් නෑ.. එහෙම තිබ්බනම් බිලිං අච්චාරුවලට ඔයතරම් ඒකාධිකාරයක් ගොඩනැගෙන්න විදිහක් නෑ.. එක අතකට කල්පනා කරලා බැලුවාම බිලිං තරම් ඒකධිකාරයක් ගොඩනගාගත්තු ශාඛයක් මේ තුන්ලෝකෙම නැතුව ඇති.. ඇයි යකෝ ඒකෙ හැදෙන ගෙඩි වලින් හදන්න පුලුවන් එකම එක කෑමක් විතරනේ.. ඒ කෑමටත් ආදේශක නෑ.. පාරිභෝගික සේවා අධිකාරිය එහෙම දැනගත්ටතොත් බිලිං ගස අනිවා උසාවි..


රට ඉන්න අපිට ලංකාවෙන් පිටත්වෙන දවස් ලං වෙද්දි ගෙනියන්න ලැබෙන කෑම අතරේ බිලිං අච්චාරු විශේශයි.. අනික් පලාත්වල අයට මම දන්නෙ නෑ අම්බලන්ගොඩ අපිටනම් රට යන ළැගේජ් එකේ බිලිං අච්චාරු බෝතලයක් වරදින්නෙ නෑ.. මට බිලිං අච්චාරුවලට කොයි තරං ලැබිල්ලක් තියෙනවද කියනවනම් බිලිං බෝතල් කීපයක්ම ලැබෙනවා ලංකාවෙන් එන්න පිටත් වෙන දවස ලං වෙද්දි.. තුන්වේලටම බිලිං අච්චාරු වලඳලා ගිනියම පිටකරගන්න ගඟේ පනින්න වෙන නිසා මමත් ඉතිං රස වැඩිම බිලිං බෝතලේ විතරක් බෑග් එකේ දාගෙන ඉතුරුවා ශේප් එකේ ගෙදර තියලා එනව.. ඔය හැටි බිලිං අච්චාරු ඉතිං කොහේට කන්න කියලද.. හැමෝටම කටපුරා ස්තූතියි කියලා භාරගත්තට ඒක රට ගෙනාවෙ නෑ කියලා කියන්නෙ නෑ ඉතිං හිත් රිදෙන නිසා.. ඔය බිලිං බෝතල් තරඟයෙන් රට යන්න වීසා ලැබෙන්නෙ කොයි බෝතලේටද කියලා තීරණය වෙන්නෙ ඒ වෙලාවට තියන රස අනුව නිසා මේ පෝස්ට් එකෙන් ජයග්රාහකයින් හෙලි කරන්නෙ නෑ.. ඒ අනාගතයේ බිලිං අච්චාරු බෝතල් බොලැබී යාමේ අවධානම ගන්න බැරි නිසා..

රට එවුන් බොහොමයක් කන්න උයන්නෙ සතියට ඇති වෙන්න. දවසගානෙ කුස්සිවල රිංගගෙන උයන එක කාලය නාස්තියක්.. උයලා අහවරවෙද්දි සීතල වෙන නිසා කවදා ඉව්වත් කන්න වෙන්නෙ මයික්රෝවේව් පිහිටෙන්.. ඒ නිසා දවස ගානෙ උයන එක තේරුමක් නෑ.. ෆ්රිජ් එකේ තිබ්බ සියලූම ඉතුරු මිතුරු කාලා ඉවර නිසා ගිය ඉරිදා මම උයන්න තීරණය කරා.. කැරට්, බෝංචි තෙලට.. හතු කිරට, පරිප්පු තෙම්පරාදු, ප්රෝටීන් ටිකකුත් ඕන නිසා මේ සතියෙ සතියටම ඇතිවෙන්න ඉස්සො ටිකක් ඉව්වා.. ඕං ඕක තමයි මේ සතියෙම මෙනූ එක.. ගිය සතියෙ උයපු මිරිස් මාලු හොද්දකුත් ෆ්රිජ් එකේ තිබ්බට මිරිස් මාලු කියන්නෙ මට දවසකට දෙකකට වඩා එක දිගට කන්න බැරි කෑමක්.. මෙනූ එක ලිව්වාම උඹලා හිතන්න එපා යකෝ මූ කන්නම ඉපදිච්ව එකෙක් කියලා.. ඔය මෙනූ එකෙන් කැවෙන්නෙ දවසට එක වේලයි.. උදේට කන දෙයක් බොහෝදුරට එලියෙන්.. ඊලඟ වේල හවස පහට පහමාරට.. ඒ තමයි ඩිනර් එක.. උදේ කෑවම ලන්ච් එකක අවශ්යතාවයක් දැනෙන්නෙ නෑ.. වේල් දෙකක් කාලත් කිලෝ පහලොවක් ඕවර් වේට් වෙච්චි තුනක් කෑවොත් කොහොම හිටීද.. දවසට ජොබ් සයිට් තුනක් හතරක් විසිට් කරන නිසා බඩ පැලෙන්න කාලා ඩ්රයිව් කරන්නත් බෑ.. එහෙම උනොත් වෙන්නෙ ගහක් යට පාර්ක් කරලා ඇලර්ට් එකක් දාන්න..

ඕං අද හවස ගෙදර ඇවිත් ඩිනර් මෙනූ එක කල්පනා කරද්දි කොච්වරවත් උයපුවා මැච් වෙන්නෙම නෑ.. එලියෙන් මොනාහරි ගෙනැල්ලා කන්න කියලා කල්පනා කරත් ඒත් කන්න යමක් ඔලුවට සෙට් උනේම නෑ.. ඔන්නොහේ තියන දෙයක් කනවා කියලා හිතාගෙන කැරටුයි, බොංචියි, ඉස්සොයි, හතු මාලුවෙන් සුට්ටකුයි බෙදාගෙන ටීවී එක ඉස්සරහ වාඩිවුනා.. ඒත් ඉතිං කන්න කියලා ලොකු ලල් එකක් නෑ.. බඩගිනි නිසා නොකාත් බෑ ඒත් හිත ඉල්ලන රස එතන නෑ කියලා හිතෙන නිසා කන්න පිරියකුත් තිබ්බෙ නෑ.. ඕං ඔහොම දෙකට දෙවාරමේ ඉද්දි තමයි බිලිං අච්චාරු බෝතලේ මතක්වුනේ.. හනික ෆ්රිජ් එක ඇරලා බිලිං බෝතලේ අරගෙන මයික්රෝවේව් දාලා ඒකෙන් හැඳි දෙක තුනක් දාගත්තාම ඕං මෙනූ එක සෙට්.. ඉස්සො කරියයි බිලිං අච්චාරුවයි තකට තක.. අනික් එලවලු ඉතිං පිඟානේ පාලුවට වගේ කියහංකො.. යූ බටේ දාගත්තු සිරිලංකා නාට්ටි පොජ්ජ ඉවර වෙද්දි බත් පිඟාන වාශ්පයි.. බෙදාගත්තු ප්රමාණය ඉතුරු නොකර කාපං කියලයි පුරාණේ වැඩිහිටියන් අපිට උගන්නලා තියෙන්නෙ..

රෑට කෑවෙ හවස පහමාරට විතර.. අටහමාර වගේ වෙද්දි මෙතන දාර වලියක්.. මෙතන කිව්වෙ කොතැනද දන්නවද.. මගේ බඩ ඇතුලෙ බිලිං අච්චාරුයි ඉස්සොයි පොරේට මරාගන්නව.. මම මේ නිකමට කියන්නෙ.. ඔයාලත් මේකෙන් ආදර්සෙට ගන්න.. ඉස්සොයි බිලිං අච්චාරුයි එකට කන්න එපා..
මාත් ඉතිං මේ අටහමාරෙ ඉඳං කොමඩ් එක උඩ වාඩි වෙලා බලං ඉන්නව ඉස්සෙල්ල එන්නෙ ඉස්සොද බිලිං අච්චාරුද කියලා හිතාගන්න බැරුව.. කොච්චර අමාරු උනත් ඉස්සෙල්ල බිලිං අච්චාරු එලියට එනවට මම කැමතියි. බිලිං අච්චාරුවලට තියෙන ඒකාධිකාරය සූපිං ඉස්සො කීපදෙනෙකුට පරදිනවට මම කැමති නෑ.. ඉස්සෙල්ල බිලිං අච්චාරු ආවොත් මට බිලිං අච්චාරු බෝතලේ දීපු නැන්දට උනත් කට ඇරලා කියන්න පුලුවනි නැන්දගෙ බිලිං අච්චාරු ඒ තරඟෙනුත් දිනුම් කියල..

ඉස්සොයි බිලිං අච්චාරුයි එකට කෑවම කොයිතරම් සනීපයක් දැනෙනවද කියනවනම් ජෝන් සීනයි මයික් ටයිසනුයි බඩ ඇතුලේ මරාගන්නවා ගානට අමාරුයි.. උසේන් බෝල්ට් ගානට බඩ අල්ලගෙන නේබර්හුඩ් එක වටේ දුවන්න හිතෙනවා උනාට එහෙම කරන්න බෑ අම්බලන්ගොඩ වගේ මුහුදු වෙරලක්වත් අහලපහලක නැති නිසා.

Sunday, July 6, 2025

රහමෙරාලංකාරය

 




රහමෙර බොන්න ගියාම මම කොයි වගේ මනුස්සයෙක්ද කිව්වොත් මම බ්රෑන්ඩ් එකක් නැති මනුස්සයෙක්.. ස්පෙශලිටි එකක් විදිහට ගත්තොත් ඒක මම හිතන්නෙ මට සුවිශේශී එකක් කියල.. කොයි බ්රෑන්ඩ් එකක්ම කන්නෙ බොන්නෙ නැති උනාට මට එවෙලෙට ලස්සනට පේන එක තමයි එවෙලේ ආසම බ්රෑන්ඩ් එක..

රහමෙර සබ්ජෙක්ට් එක ගත්තාම එව්ව කන බොන මිනිස්සුන්ට ආසම බ්රෑන්ඩ් එකක් දෙකක් තියෙනව.. මොන හේතුවකටද මන්දා මට එහෙම එකක් නෑ.. බොන්න හිතුනාම ගෙනැල්ලා බොන එක උනත් අද එක ජාතියක් බිව්වොත් ආයෙ බොද්දි බොන්න හිතෙන්නෙ වෙන ජාතියක්.. ලංකාවෙ බොහොමයක් ආසාකරන ජොනී වෝකර් රහට මම ඒ තරම් මනාපයක් නෑ.. වෙනස් විදිහකට කියනවනම් බර්බන් පැත්තට ලොකු කැමැත්තක් නෑ.. අපේ යාලු මිත්රයෝ බහුතරයක් ස්ප්රයිට් කොකාකෝලා දාලා බොන නිසා එයාලට එව්වයෙ නියම රහ කවදාවත් දැනෙන්නෙ නෑ.. බොන්නම අකමැති දේකට ඇරුනාම මම ඔය පැණිබීම කලවම් කරලා බොන්න කැමැත්තක් නෑ.. තියෙනවනම් අයිස් කැටයක් එහෙම නැත්තම් නීට් හෙවත් අමුවෙන් තමයි බොන්න කැමැත්ත..

එකාකාර රස වර්ග එක්ක එකතු කරලා හැදෙන කොක්ටේල් කියන්නෙ වෙනම එකක්.. මොහීතෝ, මාගරීටා, මාර්ටිනී, වගේ කොක්ටේල් ඇරුනාම මාව අමන්දානන්දයට පත්කරපු කොක්ටේල් එක තමයි මිචෙලාඩා කියන කොක්ටේල් එක.. මිචෙලාඩා බොනවනම් ඒක හදන බාර් එකකටම ගිහිං බොන්න ඕන.. අනික් කොක්ටේල් බොහෝමයක් බෝතල් විදිහට් ගන්න බාර් එකේ තිබ්බට මිචෙලාඩා මම ඉන්න පළාතේ බාර්වල විකුනන්නෙ නෑ.. මැංගො චෙලාඩා කියන බියර්වලින් හදන කොක්ටේල් එකත් ඉතිං වරදක්මත් නෑ.. හදන්නෙ බියර්වලින් නිසා එක දිගට
බොන්න බෑ.. බියර් කියන්නෙ ලෙඩ ලෝකයක්..

ලංකාවට සතියකට ගිහිල්ලත් ලංකාවෙ බැහැපු ගමන්ම කොහේදෝ යන උනක් හෙම්බිරිස්සවක් හැදුන නිසා යාලුවෙක් එක්කවත් අඩියක් ගහන්න සෙට්වෙන්න බැරි වෙච්චි.. ඒත් ඉතිං අපේ බූලයි, කොටයි, ගමයයි මාව බලෙන්ම වාහනේක දාගෙන හික්කඩු අරං ගිහිං සූටියට පාර්ටියක් දැම්ම.. උන විකාරෙං හිටපු නිසා මට කන්න බොන්න සිහියක් පතක් තිබ්බෙ නෑ.. එහෙව් අසනීපකාරයා ලව්වා ඒ අවලං යාලුවෝ ටික සිංදුත් හතාටක් කියෙව්වා කියලා හීනෙං වගේ මතකයි.. කෑවෙ මොනවද කියලවත් මතකයක් නෑ.. බීවෙනම් නෑ අසනීප තත්ව නිසා.

ඕං ඔය වගේ අහේනි තත්වයක් යටතේ ලංකාවෙ සතියක් ඉඳලා ඇවිත් මෙහෙත් සතියක් වැඩ කරලා ඕං ගිය සති අන්තෙ අඩියක් ගහන්න ඕන කියලා හිතිච්චි.. තිබ්බ කොට එකක් දිහාවත් නොබලා සිකුරාදා හවස රස්සාවෙන් ඕෆ් වෙලා කෙලිංම ගියේ බාර් එකට.. බ්රෑන්ඩ් එකකුත් නැති එකේ කොක්ටේල් එකක් ගෙනිහිං බොනවා කියලා හිතාගෙන කොක්ටේල් අයිල් එකේ එහා මෙහා ඇවිදලා හිත නැවතුන බෝතලේ තමා ඔය උඩ පිංතූරෙ තියෙන්නෙ..

ලංකාවෙ කඩේට ගිහිං ඉඳිආප්ප ටිකකුත් අරගෙන ඇවිත් අඩුපාඩුවට චිකන් කරියකුයි අල හොද්දකුයිත් රහට හදාගෙන ඕං සෙට්වුනේ සිකුරාදා රෑ සමරන්න.. ප්ලෑන් එක වුනේ හීනියට එකක් දාන ගමන් ෆිල්ම් එකක් බලලා රෑට ඉඳිආප්පත් කාලා ආයෙම නිදිමත ඕවර්ඩෝස් ගානට එනකල් ටීවී එක ඉස්සරහ ඉඳලා රෑ තුනට හතරට නිදාගන්න.. බයිට් එකක් එහෙමත් පොඩ්ඩක් සෙට් කරගෙන ඔය පේන බෝතලේ ඕං ඔය අඩුවෙලා තියන කරටියේ ටික උස වීදුරුවකට දාගෙන ඒකට අයිස් කැට ටිකක් එහෙමත් දාගෙන ටීවී එක ඉස්සරහින් දිගෑදුනෙ පස්ට සිකුරාදා හැන්දෑවක් ගතකරන්න..
පුරුද්දට දවසගානේ බිව්වෙ නැතත් ඉතිං ඇල්කොහොල් 35% ක් කියන්නෙ නීට් බොන මට ලොකු ගානක් නෙවෙයි. ජැක් ඩැනියෙල් ලීටරේ බෝතලේ තනියම බීලා නොබීපු ගානට ඉන්න පුලුහන්කමක් තියෙනවා බෑන්ඩ් එකේ කට්ටිය එක්ක බොන්න සෙට්වුනාම. කිව්වට විස්සාස කරන්න මිත්රවරුනි ඔය පින්තූරෙ තියන බෝතලේ කරටියේ අඩුවෙලා තියන සුට්ට විතරයි බීවෙ.. උනේ මොකක්ද.. මා ඉන්නෙ කොයි ග්‍රහලෝකෙකද කියලාවත් නිනව්වක් නැතිවෙන තැනට මංතුමා කුඩේ කුඩු.. බිත්ති දිගේ ඇවිල්ලා ඇඳට වාරුවුනේ පට්ට ගේමක් දීල.... ගේ ඇතුලෙ පොලොවෙ පස් නැති නිසා මිසක් එලියක වුනානම් එන්න වෙන්නෙ පොලොවෙ පස් කාගෙන.. ඉරිදා හවස් වෙද්දි තමයි යාන්තමට ඔලුව කෙලින් කරගෙන දෛනික වැඩකටයුතු කරගන්න තැනට පෘතුවියට ලෑන්ඩ් කරගත්තෙ.

අද ආයෙම සිකුරාදා වෙච්චි රෑට කන්න මොනවහරි හොයන්න ෆ්රිජ් එක අවුස්සද්දි මේං මේ බෝතලේ ඉන්නව දිලිසි දිලිසී යට තට්ටුවේ ඉස්සරහින්ම.. ආයෙ මාස හයකට ඇල්කොහොල් ඕන නෑ.. මේක දැක්කත් මට ආයෙම අනිද්දා වෙනකල් වෙරි.. 😢😢😢

Tuesday, July 1, 2025

ගිටාර් වංශය . .

 




ඊයෙ පෙරේදාවක අලුත් අවුරුද්දට ඟාති ගෙදරකට ගොඩවුන වෙලාවක ඇඳක් යට තිබ්බ ගිටාර් එකක් දැකලා පරන හිත රිදිච්ච නොස්ටැල්ජික් මෙමරියක් ඔලුවට ඩවුන්ලෝර්ඩ් වුනා කියහංකෝ.. ලියලා තියනවද නැද්ද කියලා කීප වාරයක් හිතලා ඔන්න ඔහේ ලියල දාන්න හිතුව..

මම ජීවිතේ පලවෙනි වතාවට ගිටාර් එකක් අතින් අල්ලන්නෙ එකදාස් නවසිය අනූ හතරෙ මුල් කාලෙ කියලයි මට මතක. ඒ සිසිර අයිය එක්ක හවසට බෑන්ඩ් ප්රැක්ටිස් කරද්දි. කීබෝර්ඩ් එක එක්ක ගත්තාම ගිටාර් එක සෑහෙන්න ඇඩ්වාන්ස් භාන්ඩයක් කියලා එවකටත් දැනටත් හිතේ තිබ්බ නිසා ඕක ගැන අධ්යයනයක් කරන්න මට ඕනවුනේ නෑ.. ඔය කියන බෑන්ඩ් එකේ හිටපු මගේ ඟාති සහෝදරයෙක් ඒ එක්කම ගිටාර් එකක් ගත්ත.. ඒ වුනත් මට ඕක ප්ලේ කරන්න ඉගෙනගන්න ඕනකමක් තිබ්බෙ නෑ.. මෑන්සුත් ඕක එහේ මෙහේ උස්සන් ගියා මිසක් ඕක ප්ලේ කරන්න ඉගෙනගත්තෙ නෑ..

සිසිර අයියගෙ බෑන්ඩ් එකෙන් පැත්තකට වෙලා කැසියෝ කීබෝර්ඩ් එකත් පැත්තකට දාලා තියෙද්දි තමයි පලමු වතාවට ගිටාර් එකක් අපේ ගෙදරටම එන්නෙ.. අපේ අල්ලපු ගෙදර මලයා දැනගෙන හිටියා මා ලඟ කීබෝර්ඩ් එකක් තියෙන වගත් ඒක මලාට ප්ලේ කරන්නෙ නැති වගත්.. මෑන්ස් මට ගේනවා අපූරු යෝජනාවක්.. මෑන්ස් අලුතෙන්ම ගතපු ගිටාර් එකට කීබෝර්ඩ් එක මාරු කරන්න තමයි මෑන්ස්ගෙ යෝජනාව.. එවකට ඒ ලෙවල් කර කරා හිටපු කාලෙ ඉතිම් සල්ලි කියන්නෙ වටිනා වස්තුවක් නිසා මමත් යෝජනා කරනවා ගිටාර් එක සමග රුපියල් දාහක් දුන්නොත් කීබෝර්ඩ් එක මාරුවට රෙඩී කියලා.. ඒ ඩීල් එක අනුමත වුනායින් පස්සෙ ඕං මමත් ගිටාර් එකක සාඩම්බර හිමිකාරයෙක්..

ඕං ගිටාර් එක ගත්තා කියමුකෝ.. මට ඕකෙ එක නෝට් එකක්වත් ගහන්න දන්නෙ නෑ.. කම්බි හය මොනවද කියලවත් දන්නෙ නෑ.. එවකට මම දන්න හොඳම ගිටාර් ශිල්පියා වුන පින්නදූවෙ චන්දික ලක්තිලකගෙන් කම්බි ටික අහගෙන ටියුන් පාරකුත් දාගෙන තමයි මම ගිටාර් එක හෙමීට පුරුදු වෙන්නෙ.. ඒ ගිටාර් කොටේ මම පලවෙනියටම ප්ලේ කරපු සිංදුව තමයි ටී එම් ගෙ සොවින් බර ණුවන් විදාලා ගීතය.. ඒකට ප්රධානම හේතුව තමයි එවකට මම දැනගෙන හිටියේ කෝර්ඩ් තුනක් විතරක් වීම.. A, E, D කියන කෝර්ඩ් තුනෙන් ඔය සිංදුව මම දාස් වාරයක් විතර ප්ලේ කරන්න ඇති මගෙ හිතේ..

පසුව ඉතිං අපේ රුකියගේ බෑන්ඩ් එකේ කීබෝර්ඩ් ප්ලේ කරන්න පටන්ගතපු නිසා ගිටාර් ආසාව එහෙම්මම යට යනව.. බෑන්ඩ් එකේ අවුරුදු දෙකක් වගේ ප්ලේ කරලා රස්සාවද සංගීතයද කියලා තෝරගන්න සිද්දවුන තැනදි රැකියාව තෝරගෙන මම සංගීතයට සදහටම ආයුබෝවන් කියනව.. සංගීතයට ගෙදර එකුදු සාමාජිකයෙකුගෙන්වත් සහයෝගයක් නැතිවුනා නිසා ගිටාර් එකත් යාලුවෙකුට විකුනලා දානව.. එතැනින් එහා අවුරුදු පහක් මම කිසිදු සංගීත කටයුත්තකට සහභාගී වෙලා නෑ.. කිසිදු සංගීත භාන්ඩයක් අතින් අල්ලා නෑ..

2005 අවුරුද්දෙ කතරගමට ට්රාන්සර් වුනායින් පස්සෙ තමයි ආයෙම සංගීත පිස්සුව ඔලුවට එන්නෙ.. මහා මුකලානක රෑට නිල නිවාසයේ ගෝල තැන එක්ක තනිවුනාම සද්දෙකට ඇහුනෙ රැහැයියන්ගෙ සද්දෙ විතරයි.. ඕං එතකොට මට මතක් වෙනවා මගේ ඟාති සහෝදරයාගෙ ගිටාර් එක.. ඟාති සහෝදරයා කිව්වෙ මුලටම සිසිර අයියගෙ බෑන්ඩ් එකේ හිටපු මෑන්ස්.. ඒ වෙද්දි එයයිත් එයැයිගෙ රජයේ රැකියාවට ආයුබෝවන් කියලා පවුල් පිටින්ම යුරෝපෙ පදිංචියට ගිහිං.. හැබැයි ඉතිං ගිටාර් එක ගෙදර ඇඳක් යට තිබ්බ.. ඕක තිබ්බා කියලා කවුරුත් ගහන්නෙත් නැති නිසත්, ඌ ආයෙම ලංකාවෙ පදිංචියට එන්නෙ නැති නිසාත්, මම සති අන්තෙක ගෙදර ගිය වෙලාවෙ ඕක ඉල්ලගෙන කතරගම අරගෙන එනව.. එදා පටන් ඒ ගිටාර් එක අවුරුදු තුනක් විතර මා ලඟ තිබ්බ.. ඒකෙන් මමයි අපේ මනින්නයි (මාස කිහිපයකට පෙර මිනින්නා අපෙන් සදහටම සමුගත්තා 😢 ) රෑට රෑට බොන පාර්ටිත් දැම්ම ඇතිවෙන්න..

ඕං කාලෙකට පස්සෙ මගේ ඒ ගිටාර් එක අයිති ඥාතියා වැකේශන් එකට ලංකාවට එනව.. ඒ ඇවිත් දේවාලෙ වඳින්නද මාව බලන්නද එහෙමත් නැත්තං ඒ දෙකටම නෙවේද මන්දා බස් එකේ නැගලා තවත් ඥාති සහෝදරයෙක් එක්ක කතරගම එනව.. එදා රෑ මගේ නිල නිවාසෙ ලොකු පාර්ටියකුත් දානව.. ඟාති සහෝදරයෝ දෙන්නෙක්ම ආපු එකේ පාර්ටියක් නොදා කොහොමද ඉතිම්..

පහුවදා ඉතිම් උදේට එහෙමත් කාලා මෑන්ස්ලා යන්න ලෑස්තිවෙලා තමයි කියන්නෙ ගිටාර් එක අරං යන්න ඕන කියලා.. මගේ ඟාති සහෝදරයාට අදටත් ගිටාර් එකේ ස්වර හතවත් ගහන්න බැරිවුනත්, එයැයිගෙ ගිටාර් එක ඉල්ලුවාම මට බෑ කියන්න බැරි නිසා මම ඉතිං ගිටාර් එකත් පරෙස්සමට පැක් කරලා දීලා දෙන්නවම බයික් එකේ දාගෙන ගිහිං කතරගමින් බස් එකටත් නග්ගනව.. සති දෙකකට ලංකාවට ආපු සහෝදරයා ඌ මලාට ගහන්නෙ නැති ගිටාර් එක ආපහු ඉල්ලගෙන ගියා කියන හිතේ අමාරුවට මම එයැයිව බස් එකේ නග්ගලා ඒ මෝටර් බයිසිකලේම අම්බල්ංගොඩ එනව.. මගේ ඥාති සහෝදරයා ඒ ගිටාර් එක ආයෙම ඇඳ යටින් තියලා සතියෙන් ආයෙන යුරෝපෙ යනව. මම ඒ ගිටාර් එක ඉල්ලන්න යන්නෙ නෑ ආයෙම කවදාවත්. ඒ ගිටාර් එකේ කතාව එතැනින් නිමි..

ඕං ඊට සතියකට දෙකකට තුනකට පස්සෙ මගේ හිතාදර මිත්‍ර මහේෂ් ප්‍රියංකර කොරියාවෙ ඉඳන් මට කෝල් එකක් දෙනව සැප දුක අහන්න. මහේශ් සහ මම කලක සිටන් ලඟම මිත්‍රයන් .. රූ ඇන්ඩ් ෆ්රෙන්ඩ්ස් බෑන්ඩ් එකෙත් අපි ප්ලේ කරේ එකට.. ඔය කතාබහ අතරේ මහේශ් දැනගන්නවා මම ලඟ තිබ්බ ගිටාර් එක ඥාති සහෝදරයා ආයෙම අරගෙන ගිහිං කියලා. ඒ කතාව එතැනින් නිම වුනාට මහේශ් කොරියාවෙ ඉඳලා ලංකාවට එද්දි මට අලුත්ම බොක්ස් ගිටාර් එකක් ගෙනැල්ල දෙනව.. ඒ ගිටාර් එක තමයි අදටත් මම ලඟ තිබ්බ ගිටාර් වලින් වැඩිම ඉමෝශනල් වැලිව් එක තියන ගිටාර් එක.. දැන් වෙද්දි ගිටාර් කීපයක හිමිකාරයෙක් වුනාට එදා නැති බැරි වෙලාවෙ ගෙනැල්ල දීපු ගිටාර් එක අදටත් මට මහ මෙරක් තරම් වටින වස්තුවක්.

ගිටාර් එක මගෙන් අරගෙන ගිය හිතේ අමාරුව අදටත් හිතේ කොනක තියන නිසා ගිටාර් ගහන්න ආස කරපු මගේ මිත්රයන් දෙන්නෙකුටත් තවත් ඥාතියෙකුටත් මම පහුගිය අවුරුදු කීපය ඇතුලත ගිටාර් චැලේන්ජ් දීලා තියෙනව.. ඒක අවුරුද්දක චැලේන්ජ් එකක්.. ඒ චැලේන්ජ් එක තමයි, මම ගිටාර් එකක් අරං දෙනව.. ඒකෙන් අවුරුද්දක් ඇතුලත සිංදුවක් ප්ලේ කරලා පෙන්නන්න ඕන.. බැරිනම් මම ආපහු ගිටාර් එක ගන්නව.. ඒ පෙරේතකමට නෙවෙයි.. ඇඳන් යට , අල්මාරි උඩ, දොරමුලුවල මකුලු දැල් බඳින්න තරම් පහත් තැනකට සංගීත භාන්ඩයක් වැටිය යුතු නැති නිසා.. ඒ චැලේන්ජ් එකට දීපු ගිටාර් එක ඒ හැම අවුරුද්දෙ අවසානයේම මම ආපහු අරං ආවෙ එක්කො ඇඳක් යට තිබීලා.. එක්කො අල්මාරියක් උඩ තිබීලා.. දැං ඒ ගිටාර් චැලේන්ජ් එක ආයෙම මං ලඟ තියෙනව.. එකපාරක් චැලේන්ජ් එක ෆේල්වුන එකෙක් ආයෙම ගිටාර් එක ඉල්ලනව මේ පාරනම් ගහනවාමයි කියලා.. එව්ව ඇහෙනකොට මට ඉතිං අදෝමැයි කියලත් හිතෙනව.. ආයෙම දීලා බලන්නත් හිතෙනව..

ගිය සිංහල අවුරුද්දට ගොඩවුන වෙලාවෙ අර කතරගමින් අරගෙන ගිය ගිටාර් එක තාම ඒ ගෙදර ඇඳක් යට තියෙනවා මම දැක්ක.. ඒක මගේ නෙවෙයි නිසා මට ඉතිං අදටත් මගේ ඟාති සහෝදරයාට දොසක් කියන්න බෑ.. එයැයිගෙ අයිතියට ගරු කරලා මම ඒ හිත් අමාරුව අමාරුවෙන් අමතක කරලා දාලා ඥාතිකම දශමයක් අඩු නැතුව පවත්වාගෙන යනව..

ආයෙම ගිටාර් චැලේන්ජ් එක බාරගන්න අපේ හිතාදර තඩියා සූදානම්ලු.. එක වතාවක් දිලා මකුලු දැල් බඳින්න දාලා තිබ්බ ගිටාර් එකට ආයෙම ඒ අවමානය කරනවද නැද්ද කියලා මම ටික දවසක් කල්පනා කරලා ඔන්න ගිය සතියේ ආපහු ගිටාර් එක තඩියට දීල දැම්ම . . තඩියාගේ අවුරුද්දේ චැලේන්ජ් එක ආයෙම ඕන් වෙලා තියෙන්නේ . ඉදිරි දින තුන්සිය හැටපහ අවසානයේ තඩියා ඕකෙන් සිංදුවක් ගහලා පෙන්නුවේ නැතිවුනොත් , පලලා ලිපේ දැම්මත් මං ආයෙම ඔය ගිටාර් එක ගෙදර අරං එනවා එනවාමයි . .

Sunday, June 22, 2025

ලකාගෙ ලම්පූරිය ( සොඳුරිය මට නොකියාම ගියා )


       
    ලකාගෙ ලම්පූරිය බලනවාමයි කියලා තීරණය කරේ පලවෙනි ට්‍රේලර් එක දැකපු දවසෙමයි. මං ඉතිං රට සහ පිටරට යාත්‍රිකයෙක් තැනට පත්වෙලා නිසාත් කොයි රටේ හිටියත් එක තැනක ඉන්න නැති ‍රාහු අඵලයක් දරන  සත්වයෙක් නිසාත් ලම්පූරිය කොහෙන් බලන්නද කියලා අදහසක් තිබ්බෙ නෑ..  ලකාගෙ ඇඩ්වටයිසින් ටීම එකත් ඇඩ් ගගහා බුකිය කලබ කලඹා මේක නොබලා ඉන්න එපා රජෝ මේක බලන්නම ඕන එකක් කියලා කුඩා මොලේටම ඉන්ජෙක්ට් කරපු නිසා ලම්පූරිය ඔලුවෙන් අයින් වුනේම නෑ.. ඔයිට කලිනුත් එලියට ආපු ගොඩාක් පිචැර්වල ට්‍රේලර් එක දුටු ගමන් මේකනම් බලනවාමයි කියලා හිතට සිග්නල් එක දුන්නත් එව්ව ඉතිං සතියෙන් සතිය එන දේශපාලන රැලි වගේ සතියෙන් අමතකවුනාට ලකා ලම්පූරිය අමතක වෙන්න දුන්නෙම නෑ..  කොහේ කොතැන බුකිය පෙරලුවත්, යූ බටේ කාල් ගෑවත් ලකාව කොතැනහරි සෙට් වෙලා ලම්පුරිය ගැන කියෝනවා කියහංකෝ.. එව්වත් ඉතිං වාහනේ එලවන අල්ලපනල්ලේ එකින් එක කන හරහා ඔලුවට වැටුන නිසා ලම්පූරිය ගෙදර ගෙනැල්ලා හරි බලන්න ඕන කියන තැනටම ඔලුව සකස්වුනා.. ඒ අතින් ලකාගෙ මාර්කටින් ස්ට්‍රැටර්ජිය සුපිරි..

    මගේ ප්ලෑන් එක වුනේ ලම්පූරිය ලංකාවෙන් අල්ලගන්න.. ඒත් ඉතිං හත්වලාමේ ලම්පූරිය තිර ගතවෙන්න දවස් දෙකකට කලින් මට ලංකාවෙන් පිටවෙන්න කරුණු කාරනා සකස්වුනා.. ලම්පූරියට වඩා බඩගෝස්තරේ වැදගත් නිසා මාත් ඉතිං ඔන්නොහේ ලංකාවෙන් එන්න ආව.. හැබැයි ඉතිං හිතේ කොනක ප්ලෑන් එක තිබ්බ.. ලකා කොහේදෝ තැනක ඇඩ්වර්ටයිස් කරලා තිබ්බා ලංකාවට කලින් කැනඩාවෙ ලම්පූරිය පෙන්වන කතාවක්.. මේක බලන්නම ඕන එකක් කියලා මොලේ ඇඟිල්ලෙන් ඇන ඇන කියන නිසා කැනඩාවෙ ඔන්ටාරියෝවලින් ලම්පූරියේ එල්ලෙන්න තමයි මම ප්ලෑන් එක ගැහුවෙ..  ඒත් ඉතිං කරුමෙක මහත කියන්නෙ ඕක පස්සෙ එලවපු හැම වෙලාවෙම කැනඩාවෙ ශෝස් ගැන ඇඩ්වටයිසින් ටාර්ගට් කරපු ඇල්ගොරිදම් එකට මාව අහුවුනේ නෑ.. 

    ඕං එක්තරා දවසක රෑක ටොරොන්ටෝ ඉන්න බප්පගෙ පුතන්ඩියා මට මැසේජ් එකක් එවනවා අපි දෙන්න අද ලම්පූරිය බැලුවා කියල.. මම ප්ලෑන් එක ගහගෙන හිටියේ උන් දෙන්න එක්කම ගිහින් ලම්පූරි බලන්න.. මූ මාව අන්දන්න බොරු කියනවා කියලා හිතන්නත් කලින් මේං මූ මට ලම්පූරිය බලන්න ගිහින් ගහපු කපල් ෆොටෝ එකෙකුත් එව්ව කියංකො.  මට මං එක්කම අසූ හාරදාහට මල පැන්නා මට ඒක මිස්වුනේ කොහොමද කියලා .. ටොරොන්ටෝවලින් ඕක බලනවා කියලාම හිතාගෙන ඉතිං අපේ කසින් බ්‍රදර්ගෙන් ඊලඟ දර්ශන වාර ගැන හොයලා බැලුවාම ඊලඟට තිබ්බ එව්වට එක්කො යන්න විදිහක් නෑ, එක්කො ටිකට් නෑ, එක්කෝ කිලෝමීටර් හත් අටසීයක දුරක් ගිහින් පිචර් එක බලල එන්න නිවාඩුවක් ඇරෙන්ජ් කරගන්න විදිහක් නෑ . කලින් ටිකට් එකක් අරගෙන වැඩේ ඇරේන්ජ් කරගන්න තිබ්බ චාන්ස් එක මිස්වුන නිසා මම ඉතිං ඔන්නොහේ හිතේ අමාරුවෙන් ලම්පූරිය ඇතෑරල දැම්ම..

    ඕං දවසක් හවසක ආයෙම අපේ ටොරොන්ටෝ කසින් බ්‍රදර් මැසේජ් එකක් දැම්මා ඇමෙරිකාවෙ පෙන්නන්න හදන්නෙ ඕං පුලුහංනං ගිහිං බලහං කියල.. ඒත් ඉතිං ලකාගෙ ඇඩ්වර්ටයිසින් ටීම් එක කොච්චර දක්ශද කියනවනම් ඒ ඇඩ් එකත් ඌ දැකලා එවනකල් මට ඇහැ ගැටුනෙ නෑ.. ඇඩ් එක බැලින්නම් දිනයක් වෙලාවක් ටිකට් ගන්න තැනක් මෙලෝ හත්ඉලව්වක් සඳහන් නෑ.. ඇඩ්වර්ටයිසින් ගෝඩ් ෆාදර්ලා කියාගන්නා ලකාලටත් ඉතිං ෆන්ඩමෙන්ටල් අමතක වෙලා වෙන්ටෑ කියලා මාත් ඉතිං වැඩේ ඇතෑරියේ නෑ.. කැනඩාවේ දර්ශනවාරවලට තිබ්බ දුරට වඩා ඇමෙරිකාවේ දර්ශනවාරවලට තිබ්බ දුර අඩු නිසා කෝල් පනහක් හැටක් ගහලා ඕං අන්තිමේ ටිකට් තියන තැනක් හොයාගෙන ඇමෙරිකාවෙන් ලම්පූරිය බලාගන්න වාසනාව මටත් උදාවුනා..

    මෙතැන් පටන් මේ පෝස්ට් එක ලකාට.. උඹලා ලම්පූරිය බැලුවෙ නැත්තං මෙතන ඉඳන් මේක කියවන්න එපා.. කොහෙන් හරි ඒක බලලා ඇවිත් ඊට පස්සෙ මේක කියවපන්..

ඉතිං මචං ලකා.. මචං කිව්වට සමාවෙයං.. බ්ලොග් කට්ටක් ලියන මං වගේ කබ්බෙක් ඔයයි වගේ පතාක යෝදයෙකුට මචං කියන්න වටින්නෙ නෑ.. ඒත් මචං මේක මට මචං නොකියා ලියාගෙන යන්න බෑ.. ඒකයි අවුල..

ඉතිං මචං ලකා.. කිව්වට තරහ වෙන්න එපා මචං.. උඹේ ස්ක්‍රිප්ට් එක පට්ට ප්‍රාථමිකයි..  Hulu, netflix, Amazon prime, Youtube කියන හතරෙන්ම ලෝක සිනමාව සහ ටීවී සීරීස් නරඹන එකෙක් විදිහට මට උඹේ ස්ක්‍රිප්ට් එක හොඳටෝම මදියි.. මම එහෙම කියන්නෙ කූඹියෝ ලිව්වෙත් උඹම නිසාත් කූඹියෝ එකේ තිබ්බ හීට් එක මේකෙ නැති නිසාත්.. කූඹියෝ ටීවී සීරීස් එකක් සහ පැය දෙකහමාරක ෆිල්ම් එකක් සංසදනය කරන එක සාධාරණ නැති වුනාට මචං ලකා පැය දෙකේ පිචැර්වලත් බලන් ඉන්න එකාව සීට් එකේ ගල්වෙන හීට් එකක් හදන්න සමත්වුන ස්ටෝරි ටෙලර්ස්ලා අපිට ඕනෑතරම් සිනමාව ඇතුලේ හමුවෙලා තියෙනව.. උඹත් ඔය හැම ඉන්ටවීව් එකේම කියන විදිහට ලෝක සිනමාව සහ ලෝක ටෙලි තිරය ඉතා සමීපව ඇසුරු කරන මනුස්සයෙක් විදිහට ලම්පූරි ස්ක්‍රිප්ට් එක මෝඩ චූන් එකක් කියලා කිව්වොත් ලොකුවට හිත රිද්දගන්න එපා.. පට්ට කට්ටක් කාලා ටිකට් එකක් අරං පට්ට දුරක් පට්ට පැය ගානක් ඩ්‍රයිව් කරලා ෆිල්ම් එක බලපු එකෙක් විදිහට මට ඒක කියන්න ලියන්න අයිතිය තියෙනවා කියලයි මගේ වැටහීම.. ලම්පූරි ස්ක්‍රිප්ට් එක මෝඩ චූන් එකක් නොවී සිරාම වැඩක් විදිහට කරගන්න උඹට කාලය සහ මුදල් දෙකම තිබිලත් මේ ස්ක්‍රිප්ට් එක වැඩිදියුණු කරන්න උඹ හෝ උඹේ කන්ඩායම උනන්දුවක් වෙලා නෑ කියලයි මගේ අදහස.. මම හිතන්නෙ උඹලා ෆිල්ම් එකක් කරනවා සහ ඒක පට්ට ස්ක්‍රිප්ට් එකක් කියලා උඹලාම අධි තක්සේරුවකට පත්වීම නිසා ඒක එහෙම වෙන්න ඇති කියලා හිතෙනව.. 

බ්‍රේකින් බෑඩ් සීරීස් එකම හතර වතාවක් බලපු එකෙක් විදිහට, බෙටර් කෝල් සෝල් දෙපාරක් බලපු එකෙක් විදිහට, ප්‍රිස්න් බ්‍රේක් හය වතාවක් බලපු එකෙක් විදිහට, වෝකින් ඩෙඩ් තුන් වතාවක් බලපු එකෙක් විදිහට, ද ලාස්ට් ශිප් හතර වතාවක් බලපු එකෙක් විදිහට, අටෝරාසියක් ක්‍රයිම් ත්‍රිලර් හොය හොයා ඇබ්බැහිවෙලා බලපු සහ බලන එකෙක් විදිහට ලෝක සිනමාවේ හෝ ලෝක ටෙලි තිරය නරඹද්දි දැනෙන ෆියර් එක වාලම්පූරිය ඇතුලෙ නෑ බං.. වෙන විදිහකට කියනවනම්, අරුං ටික කෝටිපති මුදලාලි කෙනෙකුගේ ලම්පූරියක්  උස්සලා ඒකට සැකකරුවන් වෙලා ඉද්දි උන්ට දැනෙන්න ඕන ජීවිත භිය ඒක බලන අපිට දැනෙන්න ඕන මචං.. ඒත් ඒ ෆීලින් එක අපිට ට්‍රාන්ෆර් වෙන්න තරමට ඒක ඇතුලට හීට් එක ගේන්න උඹ අසමත්වෙලා..

ලෝක සිනමාව පැත්තක තිබ්බත් රියල් ලයිෆ් එකේ අපි ගෙදරින් රුපියල් පහක් දහයක් උස්සලා ඒක මාට්ටු වෙන්න එනකොට තියන ෆීලින් එකවත්, ප්‍රින්සිපල් ඉස්කෝලෙට තාත්ත එක්ක එන්න කිව්වාම මාලු මාර්කට් එකෙන් දවසෙ කුලියට තාත්ත කෙනෙක් ගෙන්නලා ඌව ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එක ඇතුලට දැම්මාම ඌ එලියට එනකල් අපිට දැනුන ෆීලින් එකවත් , අපේ එකෙක් කෝටිපති මුදලාලි කෙනෙකුගේ බාලවයස්කාර දුවෙක් අරං පැනලා මිසින්වුන කාලෙ අපේ සෙට් එකට පාරෙ තොටේ යද්දි දැනුන ෆීලින් එකවත් ( පාරක් අහගන්න වාහනයක් නැවැත්තුවත් චූ යන සයිස් බං) , තුවක්කුවක් තියෙන එකෙකුගේ වත්තකට රෑට පැනලා කුරුම්බයක් කඩාගෙන ඒ වත්තෙන් එලියට එනකල් අපිට දැනුන ෆීලින් එකවත් ,  කොමස් කරපු අපි මැත්ස් ක්ලාස් එකේ සිංදු කිය කියා ඉද්දි ෆිසික්ස් උගන්න ටීචර් ඇවිල්ලා ෆිසික්ස් උගන්නන්න ගත්තාම ඒ පීරියඩ් එක ඉවර වෙනකල් මැත්ස් කරන උන් ගානටම ඒ පංතියේ ඉද්දි අපිට දැනුන ෆීලින් එකවත් , එකම රුපියල් පනහා දෙකට ඉරලා කැන්ටිමේ කවුලු දෙකෙන් භාග භාග දීලා රුපියල් සීයක කෑම ගනිද්දි අපිට දැනුන ෆීලින් එකවත් ,  ලයිසන් ඉශුවරන්ස් නැති මෝටර් සයිකලේක තුන්දෙනෙක් දාගෙන යද්දි ඉස්සරහ පොලිසියෙන් ඉන්නව දැක්කාම අපිට දැනුන ෆීලින් එකවත් , යාලුවෙකුගෙ මාමගෙ වෑන් එකක් හොරෙන් අරගෙන ගිහිං පැදලා ඌ ඒකෙ පැත්තක් කුඩු වෙන්න ලොරියක හප්පගත්තාම අපිට දැනුන ෆීලින් එකවත් , රෑ දෙකට මොටර් සයිකලේ තනමල්විල ගිහිල්ලා  කතරගමට එද්දි තනමල්විලදීම පිටිපස්සෙ රෝදෙ හුලන් ගියාම මට දැනුන ෆීලින් එකවත් , හතලිස්දෙනෙක් මාතර ඉඳන් අම්බලන්ගොඩ එන්න ට්‍රේන් එකට ටිකට් ගන්න සල්ලි එකතු කරලා හැමෝටම භාගෙ ටිකට් අරගෙන ඉතුරු සල්ලි පිල්ලි ගිහිං ඉද්දි කෝච්චියට ටික්කො පැන්නාම අපිට දැනුන ෆීලින් එකවත් , එහෙම ලියනවනම් කලිසමේ මලපහවෙන සීන් කෝන් බොහෝමයක වගේ ඒ ඒ තැන්වල අපිට දැනුන ෆීලින් එක උඹේ ෆිල්ම් එක ඇතුලෙ නෑ මචං.. කූබියෝ නිර්මානකරුවන් විදිහට මම හිතන්නෙ ප්‍රේක්ශකයින් උඹෙන් ඔයිට වඩා ලොකූ යමක් බලාපොරොත්තු වුනා.. ඒ වගේම ඔයිට වඩා යමක් කරන්න හැකියාවත් උඹට තිබ්බා මචං.. ඒත් ඒක එතනට ඇවිත්  නෑ ලකා..

  ඒ වගේම Crime thriller එකක අවසානයේ තිබියයුතු  Climax එක ඒක ඇතුලෙ තිබ්බෙ නෑ මචං..  දුශ්ඨයා දිනුවත් වීරයා දිනුවත් පිචැර් එක්ක අවසානය කියන්නෙ ඒ ආනන්දය දිගේ බලන අපිට අඩුම තරමේ පැයක දෙකකවත් මානසික සොමියක් ගන්න අවස්ථාවක් ලැබිය යුතුයිනේ මචං.. ඒත් ඉතිං ඒකෙ එහෙම එකක් නෑ.... Crime thriller එකක අවසානයේ  ඔන් වෙන සොමිය දිගේ ගෙදර යන්න අවස්ථාව හිමිවියයුතු ප්‍රේක්ශකාගාරය එලියට ආවේ ඒ Climax එකෙන් නෙවෙයි කියලයි මගේ වැටහීම.. ප්‍රිමියර්වල වොයිස්කට් දීපු එවුන්ට‍යි, ඔසීවල ෆිල්ම් එක බලලා උඹෙනුයි නිශ්පාදකතුමාගෙනුයි ප්‍රශ්ණ අහපු කොල්ලො ටිකටයි  ඒ සොමිය ඔන්වුනේ කොහොමද කියන එක මට අදත් ප්‍රශ්ණයක්.. මට ඒ ඔසී ඉන්ටවීව් එක බැලුවාම ටිකක් විතර අවුලකුත් දැනුනා කියහංකෝ මගේ සොමි ලෙවල් එක අවුල් වෙලාදෝ කියලත්.. අන්තර්ජාතික නිර්මාණ ගත්තත්, ඉංදියාවෙන් බිහිවෙන නිරමාණ ගත්තත් Crime Thriller එකක් විදිහට වාලම්පූරිය තියෙන්නෙ සෑහෙන යටින් කියලයි මගේ කියැවීම.. Crime thriller එකක් ඇතුලෙ තියෙන්න ඕන හීට් එකත් ෆියර් එකත් ෆැන්ටසියත් Climax එකත් ඒක ඇතුලේ තිබුනේ ඉතා අවම මට්ටමක කියලයි මගේ කියැවීම..

ඊලඟ එක බං, ඒකට අර සීගිරි ගල ඔබ්බන්න මොකට ට්‍රයි කරාද කියලා ටික වෙලාවක් බලන් ඉද්දිම මට හිතුනෙ.. සිඩ්නියා ගමේ බයියෙක් කියන්න සීගිරි ගල සංඛේතයක් විදිහට පාවිච්චි කරා කියලා මට හිතෙනවා වුනාට සිනමාව ගැන පතාක යෝදයෝ වුන උඹලාගෙ කියැවීම ඊට වෙනස් වෙන්ටෑ.. ඒත් මචං උඹ ඒකට සීගිරිය එබ්බුවේ ඒ ගමේ බයිකම පෙන්නන්නම් ඒක සිම්බල් එකක් විදිහට අසාර්ථකයි.. වෙනත් විදිහකට කියනවනම් ඕක ලංකාවෙන් එලියට ගියාම ඒ ගල් තඩිය මොකක්ද කියලා නොදන්න එකෙක් කොහොමද ඒ සංඛේතය කියවාගන්නෙ මචං? මම කියන්නෙ උබට ඕකට ඔය ගල් ගෙඩිය නොදා වෙන විදිහකින් ඒක ප්‍රේක්ශකයාට දන්වන්න පුලුවන්කම තිබ්බා කියලයි.. ඒක ඉතිං නිර්මාණකරු විදිහට උඹේ අයිතිය නිසා ඒක ගැන ලොකුවට විවේචනය කරන්න මට අයිතියක් නෑ.. ඒත් ඕක ලංකාවෙන් එලියට ගිහිං සීගිරිය නොදන්න එවුන් ඕක බලද්දි උඹේ සංඛේතය උන්ට අහුවෙන්නෙ නෑ.. සිංහල කතා කරන ඒත් පිටරටවල ඉපදුන කොල්ලන්ට කෙල්ලන්ට එතන ගලක් තියෙනව ඒත් ඇයි ඒ ගල එතන තියෙන්නෙ කියලවත් දැනෙන්නෙ නෑ.. ඊයෙ පෙරේදාවක මිස් වර්ල්ඩ් වෙන්න ගිය කෙලි පොඩිත්ත අන්තර්ජාතික ස්ටේජ් එකක ධම්ම පදය කියද්දි ඒ ඕඩියන්ස් එකේ හිටපු එවුන්ට දැනුන අපබ්‍රංස හැඟීම තරම්වත් දෙයක් ඔය සීගිරි ගලෙන් ෆිල්ම් එක බලන උන්ට දැන්නෙ නෑ මචං.. කිව්වට ඉතිම් තරහ ගන්ට කාරි නෑ.. 

අනිත් කාරනාව බං ටිකක් බරපතල කාරනාවක් බං.. මේ ප්‍රශ්නේ උඹෙන්  සහ පොදුවේ පිචර් සහ ටෙලි හදන හැමෝගෙන්ම මම අහන ප්‍රශ්නයක්. ඇයි බං මේ හැම නාට්ටියකම හැම පිචැර් එකකම ඉන්න නලුවො ටිකම නැවත නැවතත් ගෙනැල්ල වෙනස් වෙනස් ඇඳුම් අන්දලා අපිට පෙන්නන්නෙ? උන් රඟපාන්න පට්ට දක්ශයි.. ඒත් බං අපි කොහොමද උන්ව වෙනස් විදිහට දකින්නෙ? අපි බලන බලන චැනල් එකේ එක එක නාට්ටිවල එක එක පිචැර්වල එක එක නම්වලින් උන් ටිකම ඉන්නව. ඉතිං කොහොමද බං අපි ෆිල්ම් හෝල් එක ඇතුලෙ අපේ ෆැන්ටසිය හදාගන්නෙ.. අපි කොහොමද ඉස්සරිදා බලපු හෝ සතියකට කලින් මාසෙකට කලින් බලපු පිචැර් එකේ නාට්ටියේ ඉන්න ඌව අමතක කරලා මේ ඉන්නෙ ඌ නෙවෙයි මේ ඉන්නෙ වෙන එකෙක් කියලා ෆැන්ටසිය හදාගන්නෙ? ෆිල්ම් හැදෙන්නෙ අපේ ෆැන්ටසිය පිනවන්නද එහෙමත් නැත්තම් නලුවන්ගෙ බඩගෝස්තරේ වෙනුවෙන්ද කියල හිතෙන්නෙ නැද්ද අපිට එතකොට?.. ලංකාවෙ නාට්ටියක් ගත්තත් ඉන්නෙ උන්මයි.. ෆිල්ම් එකක් ගත්තත් ඉන්නෙ උන්මයි.. රියැලිටි එකක් ගත්තත් උන්මයි.. සංගීත වැඩසටහනක් ගත්තත් උන්මයි... ඇයි බං ඒ? අපි බලන ප්‍රසිද්ධ අන්තර්ජාතික ටීවී ශෝස් ටිකක් අරං බලහංකො එකම නලුවා තව ටීවී ශෝ එකක දකින්නෙ ලැබෙන්නෙ කොයිතරම් විරලවද කියල..  ප්‍රසිද්ධ ටීවී ශෝස් ගත්තාම පලවෙනි දෙවැනි සීසන්වලින් පස්සෙ බොහෝමයක් ප්‍රසිද්ධ එව්වයෙ නිශ්පාදන කන්ඩායමේ ප්‍රධාන නලුව ඉන්නව.. ඉන් එහා හැදෙන සීසන්වල ලාභයෙන් කොටසක් ප්‍රධාන නලුවාට ගියාට උන් හැම චැනල් එකකම හැම පිචැර් එකකම පෙනී හිටින්නෙ නෑ.. ඒත් බං උඹලා එකම එලු පට්ටිය අපිට එකම ගමේ තැන තැන තියලා වෙන වෙන ඇඳුන් අන්දලා එක එක පාටින් පෙන්නනවනේ බං.. ඒකෙන් බලන එකාගෙ ෆැන්ටසිය කැඩෙනවා කියලා උඹලාට වැටහෙන්නෙ නැත්තේ ඇයි මචං.. ප්‍රසිද්ධ නැති නලු නිලියො නැතුව ෆිල්ම් එකක් නාට්ටියක් දුවන්න බෑ කියලා හිතනවනම නිකමට හිතපං මචං, උඹ ඉපදිලාද මන්දා ඒ කාලෙ.. සනත්, මාලනී, විජය, ගාමිනී, ජීවන්, සශී, සබීතා, අනෝජා, නදීකා, ගීතා, ඇතුලු මෙකී නොකී අපේ සිනමාව අරක්ගත්තු නලු නිලියන් එකෙක්වත් නැති "සිංහ පැටව්" පිචැර් එක ලංකාවෙ හෝල්වල පට්ටෙට දිව්ව මචං.. මට ඒ කාලෙ අවුරුදු දහයක්වත් නැද්ද මන්ද.. මමත් ඕක දෙපාරක් බැලුව අපේ ලොකු අම්මගෙ පුතාලා වෙච්චි අයියලා දෙන්නෙක් එක්ක ගිහිං.. ඒ දෙපාරෙම මට මතක විදිහට ශෝ එක හවුස් ෆුල්..

ඉතිං මචං.. අඩියෙන් අඩිය ලියන්න විවේචන තිබ්බත් ෆිල්ම් එක බලන්න ඉන්න එවුන්ගෙ ඕන් වෙන්න නියැමිත  සොමිය කඩන්න බැරි නිසා මේක මයික්‍රො සයිස් එකට විවේචනය කරලා බෑ.. මම බලාපොරොත්තු වුන දේ නැතත් උඹලා ලංකාවෙ සිනමා කර්මාන්තය වෙනුවෙන් යමක් කරන්න උත්සහ කරමින් ඉන්න නිසා ඒකට අකුල් හෙලලා බෑ.. පැය දෙකහමාර ඇතුලේ කතාවේ ගලාගෙන යාම කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න බෑ.. වාලම්පූරිය බලපු මාව, ඉන්ටවල් එකක් නැතුවත් පැය දෙකහමාරක ෆැන්ටසියක අතරමං කරන්න ලකා උඹ අසමත්.. ඒ උබේ නොහැකියාව කියලා මම විශ්වාස කරන්නෙ නෑ.. මම හිතන්නෙ ඒ මේක ෆිල්ම් එකක් කරන්න උඹට තිබ්බ හදිසිය වෙන්න ඇති.. හැබැයි මචං , කතාව, තේමාව, ගලාගෙන යාම, ෆැන්ටසිය පැත්තකින් තිබ්බාම උබේ අධ්‍යක්ශ්ණය පට්ට.. ඒත් මචං ඇංජිම රත්තරනින් හදලා තිබ්බත් බොඩියයි ඇතුලයි ලස්සනට සැපට නැතිනම් මිනිස්සු ඒ බස් එකට නගින්නෙ නෑ..

Climax එකක් පැහැදිලි නැති නිසා හීන හතහමාරකට වඩා ගැලපෙන ටැග් ලයින් එක තමයි මම ඔය උඩම වරහන් ඇතුලෙ ලියල තියෙන්නෙ.. මම ඉතිං මහා ලොකු සිනමා විචාරකයෙක් නෙවෙයි නිසා මෙව්ව ලොකුවට ගන්න ඕන නෑ.. මට දැනුන දේ  ලිව්වෙ.. තරහ ගන්න කාරි නෑ ඉතිං.. හදාගන්නනේ මට්ටො කියන්නෙ.. ඊලඟ එක කරන්න කලින් මීට වඩා 100X හෝම්වර්ක් කරපං.. ආදරෙයි පැලෙන්න..