Wednesday, April 8, 2026

පිචැර් වංශය..

 මට අම්ම අප්පච්චිගෙ පවුල් දෙකේ අයියල අක්කලා අටෝරාසියක්.. එයින් වැඩිමනක් එවුන් මම හිතන්නෙ අපේ අම්ම අප්පචිට වඩා බාල ඇත්තෙ අවුරුදු දහයක් පහලොවක් වගේ වෙන්න ඕන.. අම්මගෙ ලොකුම අක්කගෙ පුතාට මේ වෙද්දි මම හිතන්නෙ හැත්තෑව කිට්ටු කරල.. අම්මටත් මේ වෙද්දි අසූ එකක්.. ලොකු අම්මට ඊටත් වැඩිමල් පුතෙක් ඉඳලා තියෙනව.. එයා පුංචි කාලෙම ඩිප්තීරියාව කියන ලෙඩේ හැදීලා නැතිවෙලා.. එයා හිටියනම් මේ වෙද්දි එයාටත් හැත්තෑ පහකට කිට්ටු වෙන්න ඇති.. එයාටත් වැඩිමල් අයිය කෙනෙක් අපේ අම්මගෙ පවුලෙ හිටිය.. එයා සුසිල්.. එයා අපේ පුංචි මාමගෙ පුතා.. එයා හදිසි අනතුරකින් නැතිවුනේ අනූව දශකයේ මුල් කාලෙ කියලයි මට ලාවට මතක.. අම්මගෙ පැත්තෙ නෑයො ගත්තාම ඒ පවුලෙ බාලම කොලුව මම.. මට වඩා බාල මල්ලි කෙනෙක් අපේ හිච්චි මාමට ඉඳල තියෙනව.. එයත් පුංචිකාලෙම නැතිවෙලා.. මට එයාව ලාවටවත් මතකයක් නෑ.. මට මතක එයාගෙ සොහොන විතරයි. එයාව වලදාපු තැන සොහොනක් බැඳලා වතුර පුරවලා ඒකෙ නිල්මානෙල් හිටවලා තිබ්බ වගේ තමයි මතක.. පුංචි කාලෙ ලොකු අම්මලහ යද්දි අපි ගියේ කනත්ත උඩින්..   ලොකු අම්මලාගෙ ගෙදරට තිබ්බ නීත්‍යනුකූල පාරෙ ගියොත් සෑහෙන ලොකු දුරක් නිසා ස්ටේශන් එකෙන් බැහැල කනත්ත උඩින් පැනලා අඩි පාරෙන් යන එක කිලෝමීටර් එකක දෙකක විතර අඩුවක්..  ඕං ඔය කනත්ත උඩින් එහා මෙහා ගිය නිසා තමයි හිච්චි මාමගෙ බාල පුතාගෙ සොහොන මට මතක.. අනූ එකේ අවුරුද්දෙ හිච්චි මාමා නැතිවුනාමත් එයාගෙ සොහොනත් බැඳුනෙ ඒ මල්ලිගෙ සොහොනෙම අයිනට වෙන්න.. ලොකු අම්මා අම්මගෙ උපන් ගමේ පදිංචිව හිටපු නිසාත් මගේ ඉස්කෝල නිවාඩු බොහොමයක් ගතවුනේ එහේ නිසාත්,  ඒ ගමේ මම නොදන්න ශෝර්ට් කට් එකක්, පාරක්, අඩි පාරක්, කනත්තක් නෑ.. ඒ රස්තියාදුව අදත් මට පට්ට වටින මතකයන් කෝටියක්..


හිච්චි මාමගෙ බාල පුතා අඩු වයසින් නැතිවුන නිසා අම්මගෙ පවුලෙ  බාලම කොල්ලා මම.. බාලම එකා උනාම ඒ වෙද්දිත් පුත්තලං බූරුවෝ දෙන්නෙකුගෙ වයස වෙන අයියලා අක්කලා අටෝරාසියක් ඉන්නවා කියන්නෙ ඉතිං මට ෆුල් සැප.. නිවාඩු කාලෙට ලොකු අම්මලහ ගියහම ෆුල් බෝර්ඩ් පැකේජ් එකක් අරං ඩිස්නිලෑන්ඩ් ගියා හා සමානයි.. ලොකු අයියා, සුදු අයියා සහ පොඩි අයියා තුන් කට්ටුව වෙන වෙනම දෙන ආතල් කෝටියයි..  

අම්මගෙ පවුලෙ බාලම කොල්ලා විදිහට අම්මගෙ සහෝදර සහෝදරියන් හැමෝගෙම දරුවන්ගෙ අපමණ ආදරයක් වින්ද ජීවියෙක් මම.. හතලිස් අටක් වෙන්න ලං උනත් අදත් ඒ අක්කලාගෙ අයියලාගෙ මට තිබ්බ ආදරේ එලෙසමයි.. එහෙම හිතද්දි මට මේක ලියද්දිත් හිතෙන්නෙ මම හරි වාසනාවන්තයි කියලමයි.. අදත් උන් එකෙක්වත් මාව හතලිස් අටේ එකෙක් විදිහට දකින්නෙ නැද්ද කියලත් මට ඉතිම් හිතෙන තැං එමටයි..

අසූව දශකය මැද භාගය වෙද්දි ලොකු අයියත් සුදු අයියත් දෙන්නම රස්සාවල් කරන කසාද බඳින වයසෙ ගජ ඉලංදාරි.. පොඩි අයියා ඒ වෙද්දි ඉස්කෝලෙ යනව කියලයි මතක.. ඒ වෙද්දි මට හතක් අටක් වගේ.. එයාලට අම්බලන්ගොඩ ඟාති හිටියෙ අපේ අම්මයි පුංචි අම්මයි විතරයි.. ඉතිං මාසෙකට සැරයක් අයියල දෙන්නම අම්බලන්ගොඩ විසිට් එකක් දාන එක සාමාන්‍ය දෙයක්.. එවකට දෙන්නම කසාද බැඳලා නොහිටපු නිසාත්, පවුල් බරක් නොතිබ්බ නිසාත් දෙන්නම හිටියෙ කුරුල්ලො දෙන්න වගේ.. දෙන්නගෙම ඉතිං විනෝදාංසෙ පිචැර් බලන එකයි කඩචෝරු කන එකයි විතරයි.. උන් දෙන්නටම බිසෝවරු දෙන්නෙකුත් ලයින් වෙලා තිබිලා තියෙනවා කියලා අපි දන්නෙ උන් දෙන්නම කසාද බැඳින්න කිට්ටු උනාම..

ලොකු අයියත් සුදු අයියත් එන්නෙ දෙපාරකට නිසා රෝසි අක්කටත් මටත් දෙපාරකට එකම චාන්ස් එක වදින එක ඉතිං මාසෙකට සැරයක් අනිවාර්‍යයි.. ඇතෙක් බරට පැණි බූන්දි, පුහුල් දෝසි ඇතුලු කඩචෝරු ගොඩාරියක් ලැබෙන එකට වඩා අපි වැඩියෙන්ම කැමති ඊලඟ එකට.. ඒ තමයි රීගල් එකේ හරි අනුර එකේ හරි පිචැර් එකක් බලන්න ලැබෙන චාන්ස් එක.. බොහෝ වෙලාවට අපි දෙන්නම එකම පිචැර් එක දෙපාර දෙපාර බැලුව.. මම දන්න තරමින් සුදු අයියත් ලොකු අයියත් ඒ පිචැර් එකම දෙපාර දෙපාර බැලුව.. ලොකු අයියා ගාල්ලෙනුත් සුදු අයියා දෙනියායෙනුත් ( සුදු අයිය වැඩ කරේ දෙනියායෙ)  තනියම බලලා පිචැර් එක ලමයින්ට හොඳනම් තමයි අපි දෙන්නව එක්ක යන්නෙ.. ඒ නිසා අපි එක්ක බලන දර්ශනය එයාලගෙත් බොහෝදුරට දෙවැනි දර්ශනය.. හැබැයි ඉතිං උන් දෙන්න ගාල්ලෙනුයි දෙනියායෙනුයි පිචැර් බැලුවෙ තනියම කියලානම් දැං වෙද්දි විශ්වාසෙට ගන්න බෑ.. අනිවා උන්ගෙ වෙන්ඩ බිසෝවරු දෙන්නත් ඔය අපි බලපු පිචැර් සියල්ලම බලල ඇති ඒ කාලෙ.. එකම පිචැර් එක උන් දෙන්නා කී වතාවක් බැලුවද කියලා දෙයියෝ තමා දන්නෙ.. ඩබල් දාලා පිචැර් බලන්න ගියාම ඉතිං පිචැර් එක සම්පූර්නෙන් බලාගන්න විසි තිස්පාරක්වත් යන්න ඕන කියලා තමා එක්ස්පර්ට්ලා කියන්නෙ.. මමනම් ඔව්ව දන්නෙ නෑ..

මමයි රෝසි අක්කයි දෙපාර බලපු පිචැර් මතක විදිහට පලවෙනි එක සසර චේතනා...  සසර චේතනා මට මතක විදිහට එක වතාවක් ඇහුවත් එක්ක.. පුංචිලාගෙ අලුත් ගෙදර හදද්දි ලොකු අයිය නිවාඩු දාගෙන ඇවිත් ගේ වැඩවලට උදව් කරා.. ඒ වැඩ අතරේ පැය භාගෙ භාගෙ කොටස් වශයෙන් සසර චේතනා කතාව ලොකු අයියා මටයි රෝසි අක්කටයි ශ්‍රව්‍ය මාධ්‍යයෙන් කියලා දුන්න.. ඒක වෙනම එක්ස්පීරියස් එකක්.. චිත්‍රපටියක් බලලා ඇවිත් ඒකෙ කතාව කියන එක අහගෙන ඉන්න එක නිකම් හරියට රේඩියෝ එකෙන් පිචර් එක ඇහුව වගේ.. ඉන් පස්සෙ තමයි ලොකු අයිය අපි දෙන්නව පිචැර් එක බලන්න එක්ක ගියේ.. ඊට පස්සෙ සුදු අයිය එක්ක ගිහිනුත් සසර චේතනා බැලුව..
 බලපු පිචැර් ඔක්කොම මේ වෙද්දි මතකේ නෑ.. සිංහ පැටව්, මමයි රජා, නොම්මර 17, කිරි මධු වැල්, අරලිය මල් තමයි මතකයේ තියන හොඳම එව්ව ටික.. ඔතනදි මමයි රෝසි අක්කයි දෙන්නම එකඟතාවයකින් තොරවම සුදු අයියටත් ලොකු අයියටත් පොඩි කපටි කමක් කරා ඒ කාලෙ.. ගෙදරින් යන්න කලින් බලන්න යන පිචැර් එක ලොකු අයිය එක්ක ගිහිං බැලුවා කියලා අපි සුදු අයියට කිව්වෙත් නෑ.. සුදු අයියා එක්ක ගෙහුං බැලුවා කියලා අපි ලොකු අයියට කිව්වෙත් නෑ.. එකම පිචැර් එක උනත් දෙපාර දෙපාර බලන්න අපි දෙන්නම එක පයින්.. ඉන්ටවල් එකට ලැබෙන කඩචෝරු ටිකයි පිචැර් එකයි දෙවැනි පාරට උනත් මිස් කරගන්න අපි කොයිවෙලේවත් කැමති උනේ නෑ.. ලොකු අයියයි සුදු අයියයි නොවෙන්න ඔය කාලෙ වානිජ ගනයේ ෆිල්ම් එකක් බලන්න ගෙදරින්නම් මලාට එක්ක් යන්නෙ නෑ ලේසි පාසුවට.. 

අද වෙද්දි තත්වය වෙනස්.. එක පතේ කාගෙන එක බයිසිකලේ පැදගෙන හිටපු ලොකු අයියලා සුදු අයියලා පොඩි අයියලා තුන්දෙනා අද වෙද්දි එකිනෙකාට විරසකයි.. ලොකු අම්මත් ලොකු තාත්තත් නැතිවුනාට පස්සෙ අක්කරයක දෙකක ඉඩම් ටික බෙදාගන්න ගිහුං ඇතුවුන පරස්පර අදහස් ඒ සහෝදරක ඈත් කරල.. කව්ද හරි කව්ද වැරදි කියලා අපිට පැහැදිලිවම පේනවා උනාට වැඩිපුර වැරදි කෙනා තමුන් වෑරදියි කියලා පිලිගන්න තැනක නැති නිසා අපිට එතන හරි වැරැද්ද පෙන්නන්න විදිහක් නෑ.. ඒ අස්සෙ බොරදියේ මාලු බාල එවුනුත් නැත්තෙමත් නෑ.. 
එදත් අදත් හෙටත් උන් තුන්දෙනාම අපේ ආදරණීය සහෝදරයෝ කියන තැන ඉඳගෙන තුන්දෙනාටම නෑකම කියාගෙන ඉන්නවා ඇරුනකොට එකෙක් තෝරාගැනීම කොහොමවත් කරන්න බෑ.. 

මැරුන දවසක අරගෙන යන්න බැරිවුනත් දෙමාපියන්ගේ නොබෙදූ දේපල කියන්නෙම විසඝෝර සර්පයි වගේ දේවල්.. එව්ව ඉතිං දරුවන්ගෙ තන්හාවේ අඩු වැඩි මට්ටම අනුව සහෝදරකම්වල දිග පලල තීරණය කරනව.. අනික් සෙසු ඟාති වරිගයා ඒ මැද්දට හිරවෙලා ගොලු වෙනව.. තවත් සෙට් එකක් වතුර බොර වෙච්ච වෙලාවෙ මාලු ටික බාගන්න ට්‍රයි කරනව. අතීතය සහ වර්ථමානය දිහා බැලුවාම මට දැනෙන්නෙම ඇමෙරිකන් ක්‍රමය එකෙන්ම ඉදිරියෙන් කියල.. ඇමෙරිකන් දෙමාපියන් දරුවන්ට කිසිදු දේපලක් දෙන්නෙ නෑ.. දෙමාපියන් මැරුන දවසට උන් එව්ව විකුනලා දරුවො ගානට සම සමව බෙදාගන්නව.. දරුවො ටික අවසානයේ සාමෙන් සමගියෙන් ජීවත් වෙනව.. 

ලොකු අයිය, සුදු අයිය, පොඩි අයිය එක්ක අපිට ආදරණීය මතකයන් බොහොමයි.. පිචැර් බැලිල්ල එව්වයින් එකක් පමණයි.. අදත් වෙන වෙනම ගත්තාම තුන්දෙනාගෙම ආදරේ මට තාමත් වෙන වෙනම දැනෙනව.. අතීතය ගැන කල්පනා වෙද්දි හිතෙන්නෙම කාලය ඒ කාලෙ නැවතුනානම් කොයිතරම් හොඳද කියල.. එහෙනම් අපි තාමත් අයියල දෙන්නම එක්ක පිචැර් බලන්න යනව.. පොඩි අයිය ගැන වෙනමම චැප්ටර් එකක් ලියන්න ඕන නිසා ඒක වෙනම පෝස්ට් එකකට තියනව.. එයා එක්ක ගතපු ආතල් වෙනමම ෆ්‍රීක්වන්සි එකක තිබ්බ එව්ව නිසා මේ පිචැර් පෝස්ට් එක ඇතුලට එව්ව ඔබන එක පොඩි අයියට කරන අසාධාරනයක්..

අරලියමල් පිචැර් එකේ සොමී රත්නායක රෑක අනෝජා පස්සෙ එලවන් එද්දි අනෝජා ඔයට පැනලා මැරුනෙ ඇයි කියලා ඒ කාලෙ මට දෙපාරක් බලලත් තේරුම් ගන්න බැරිවුනා කියහංකෝ.. අනෝජගෙ කරේ මාලයක් තිබ්බෙත් නෑ.. අතේ බෑග් එකෙක් පර්ස් එකක් තිබ්බෙත් නෑ.. අතේ තිබ්බෙ හුලු අත්තක් විතරයි.. ඉතිං හත් ඉලව්වෙ අර යකා එක්ක මහ රෑ රේස් දුවන්නෙ නැතුව හුලු අත්ත සොමී රත්නායකට දීල අනෝජට ඔයට පනින්නෙ නැතුව කලුවරේම ගෙදර යන්න තිබ්බ නේද කියලා මම අවුරුදු ගානක් කල්පනා කරා.. ඒ අව් අස්සෙ තමුං ලව් කරපු කෙල්ල අනෝජා ඔයට පැනලා  මැරුනයින් පස්සේ ඒ ගෙදරම නංගි සබීතව කසාද බඳින්න සනත් කොහොමද හිත හදාගත්තෙ කියන එකත් එදා මට තිබ්බ ප්‍රශ්ණ පත්තරෙන් එකක් ඉතිං..  දැං හැදෙන පිචැර් එක්ක බැලුවා එව්ව ඉතිං පට්ට ස්ක්‍රිප්ට්.. ඔලුවෙ පොඩි සංස්කෘතිකමය ප්‍රශ්ණ කීපයක් ඉතුරු උනාට ආයෙ ඉතිං ප්ලොට් හෝල් හොයාගන්න නෑ මලාට.. 

 අරලියමල් ස්ටෝරි ලයින් එකයි, අපි ඒ පිචැර් එක බලපු හැටියි කියන්නෙම මට ඒක ෆිල්ම් එකකට වඩා ඉමෝශනල් මතකයක්.. ඉමෝශනල් නොවී ඉවර වෙනකල් ගායනා කරගෙන යන්න බැරි සිංදු හතරක් මට තියෙනව.. එකක් කුරුල්ලෝ නුබේ තාලෙන්.. අනෙක ඉද්ද මල් කතාවේ.. අරලිය මල් පිචැර් එකේ කුරුල්ලෝ නුබේ තාලෙන් සිංදුව ඇහෙද්දිත් ඉද්ද මල් කතාවෙ සිංදුව ඇහෙද්දිත් මට අදත් මම ටිකක් විතර ඉමෝශනල් වෙනව.. ඊට සමාන්තරව ලොකු අයියවත් සුදු අයියවත් මතක් වෙනව.. අනිවා හෙටානිද්ද වෙද්දි කෝල් දෙක තුනක් එනව ඉතුරු සිංදු දෙක මොකක්ද අහලා... දැං දීපංකෝ උත්තර..😂

Wednesday, January 14, 2026

ඈපාට ආන්ඩුවේ උපදේශක තනතුරක් ?

 මේක 1995 අවුරුද්දෙ කතාවක්.. ඒ අපි උසපෙලට ගිය මුල කාලෙ.. උසස්පෙලට හෙවත් අපි 12 වසරට ගිහිං මාසයක් වගේ යද්දි පිට ඉස්කෝලවලින් උසස්පෙලට ධර්මාශෝකෙට එන ලමයි ටිකත් ඕං පංතිවලට එකතුවුනා.. ඒ අල්ලපනල්ලෙ තමයි එවකට දහ තුන වසරේ හිටපු අයියලා ( එහෙම කියමු ඉතිම් 😛)ටිකක් ඉන්ටවල් එක අල්ලලා අපේ පංතිවලට ඇවිල්ලා ඉස්කෝලෙට අලුතෙන් ආපු අයට රැග් කරන්න එන්නෙ.. අපි ඉතිං කාටවත් කරදරයක් නැතුව අයිංසකව බෝපැල වගේ ඉන්න දරුවෝ උනාට ඒ වගේ අසමජ්ජාති වැඩවලට අපේ අනුග්‍රහයක් නෑ.. ඕං ඔය රැග් කෙරුවාවට විරෝධය විදිහට තමයි අපේ පංතිය ඇතුලේදි දහතුන වසරේ අයියලා සැට් එකක් එක්ක වලියක් පැටලෙන්නෙ.. දොලහ G එකට දහතුන වසරෙන් පැනලා නෙලන්න යද්දි දොලහ ආර්ට් එකේ සැට් එකත් වලිය මැද්දට පැනලා දෙපිරිසම සම සමව ගහගෙන සම සමව ගුටිකාලා ඉන්ටවල් එක ඉවර වෙද්දි විසිර යනව.. රැග් සීන් එතනින් අහවරයි..


කතාවට උක්තව ලියන සිද්දිය් එන්නෙ අන්තිමට.. ඕං ඔය රැග් වලියට පහුවදා ඉන්ටවල් එකේ මේ ලියන මම, අපේ කොටා සහ ගයාන් පහලට යද්දි නැවතත් දහතුන වසරේ අයියලා ( එහෙම කියමු ඉතිං) ටික අපි තුන්දෙනාව ඇම්බුශ් කරනව.. සීන් එක් වෙන්නෙ උඩ තට්ටුවේ නිසා පහලට පැනලා බේරෙන්නත් බෑ.. දහයක පහලොවක විතර පිරිසකට එදිරිව අපි තුන්දෙනෙක් ඉතිං මක් කරන්නද කියලා මමනම් ඉතිං වරසැල් වෙන්න ගුටි කන්න හිත හදාගන්නව.. හැබැයි එයාලගෙ ටාර්ගට් එක වෙලා තිබ්බෙ අපේ ගයියව.. පුලුහං හැම විදිහකටම මැදට පැන්නත් උන් වටකරන් නෙලුවෙ අපේ ගයාන්ට පමණයි.. කොටාට එකක් දෙකක් වැදුනා උනාට මටනම් නියපිටින් පාරක් වැදුනෙ නෑ.. ඒකට එක හේතුව වෙන්න ඇත්තෙ එවකට ඇටිකිරිත්තෙක් විතර මට ගහන එක ගැරඬි මරලා පවු ගන්නවා කියලා උන්ට හිතෙන්න ඇති.. අනික් හේතුව අපිව ඇම්බුශ් කරපු කට්ටියගෙන් වැඩිමනක් අයියලා ( එහෙම කියමු ඉතිම්) මම පුද්ගලික්ව දන්න කියන එවුන්..


ඕං විනාඩියක් දෙකක් වගේ කාලය ඇතුලත උන් වටකරන් අපේ ගයියට ගහනවා සහ ක්ශණිකව සෙට්වෙන 12 G කොමර්ස් පංතියේ එවුන් ටිකයි 12 ආර්ට් පංතියේ එවුන් ටිකයි එකතු වෙලා එවෙලෙ අතට අහුවුන දහතුන වසරේ එවුන්ට ඇඬෙන්න රිටර්න් එක දෙනව.. එක අයියා කෙනෙක්නම් අඬාගෙන එයාගෙ අම්ම උගන්න ඉස්කෝලෙට දුවලා අම්මවත් එක්කගෙන ආවා කියහංකෝ ඉස්කෝලෙ ඇරෙන්නත් කලින්.. ටීචර් කෙනෙක් වෙච්චි ඒ අයියගෙ අම්ම ඉස්කෝලෙට ඇවිත් ප්‍රින්සිපල් සර්ගෙ ඔෆිස් එකටත් ගිහිං ලොකු නාට්ටියකුත් පෙන්නුවා එතුමියගේ දහතුන වසරේ පුතාට දොලහ වසරෙ එවුන් වටකරන් ගහලා කියල... 🙈🙈🙈😂😂😂


එදා දවසෙන් වලිය ඉවරයි.. ඊට පස්සෙ තිබුනෙ අපේ ගයියට ගහපු එවුන් ටික එකා එකා හොයලා බීපු මවුකිරි මතක් වෙන්න රිටර්න් එක දෙන එක.. ඒ කිව්වා වගේම එකා එකාට වෙන වෙනම ඒ සබ්බුවත් දුන්නා ආයෙ වලියකට නොයන්නම.. සමහරක් අයට පාරෙදි සහ සමහරුන්ට ඉස්කෝලෙදිම.. සමහරු සර්ලා මිස්ලා ලව්ව ඇප අයදුම් කරපු නිසා එයාලා ගුටි පෝරියල් ලිස්ට් එකෙන් අතෑරිය.. ඕං ඔය සෙට් එකේ හිටපු එක්තරා ඇල්පිටියෙ හාදයෙන් සතියක් දෙකක් විතර ඉස්කෝලෙ එන එක මගෑරියා.. මොකද කියනවානම් එයා ඉස්කෝලෙ එනකල් දොලහ වසරේ මල්ලිලා ටිකක් ගේට්ටු දෙක ලඟම ඔත්තු බලමින් ඉන්න වග දැනගත්තු නිසා...


ඕං ඔය විදිහට සති දෙකකට වඩා කාලයක් ඉස්කෝලෙ එන එක මගෑරපු ඒ අයියා ( එහෙම කියමු ඉතිම්😜) ඕං අන්තිමේ ඉස්කෝලෙ ආවා කියමුකෝ.. ඉන්ටවල් එක හැමෝගෙම අවධානය ලැබෙන වෙලාවක් නිසා අපේ කට්ටිය වැඩ කරන පීරියඩ් එකක මෑන්ස්ව කැඳවනවා කැඩෙට් රූම් එක ලඟ තිබ්බ පිරිම වැසිකිය දිහාවට.. ඒ වැසිකිලියේ තිබ්බ ගන්දස්සාරෙට ගුරුවරයෙක් මලාට ඒ පැත්ත පලාතේ එන්නෙ නෑ... ඕං චූදිතයා යාලුවෙක් සමග පැමිණෙනව.. 12 ආර්ට් එකේ සෙට් එකයි 12 G හෙවත් අපේ පංතියේ සෙට් එකයි, 12 මැත්ස් එවුන් ටිකකුයි 12 බයෝ එකේ එකෙකුයි එවරෙඩී 13 වසරෙ අයියව පිලිගන්න.. මේං බොලේ අර යෝදයා එතනට ආවා විතරයි අපේ එවුන් ඔක්කොම පැනලා මේ යකාව බිම පෙරලාගෙන නෙලන්න පටන් ගත්තා කියහංකො.. රංචුවක් එකතුවෙලා එකෙක් පෙරලගෙන ගහනවා බලන් ඉන්න බැරිම තැන

මම මැදට පැනලා දැං ඇති දෙයියෝ මූට යන්න ඇරපං කිව්වා විතරයි..


පලයං Xx තො පැත්තකට කියලා අපේ ඈපා මට ගැහුවා කියාංකො රොම්බ කම්මුල් පාරක්... මං හිතන්නෙ අපිට සිංහල කරපු සුමිත්‍රා මිස් මට ගහලා තියන කම්මුල් පාරවල් සේරෝටම වඩා ඒ එක කම්මුල්පාර සැරයි..

 මං ඉතිං ඈපට කිව්වා ඕකට ගහන්න එපා බං පවුනේ දැං ඇති කියලත්.. ඒ වගේම මම කිව්වා රංචුවක් එකතුවෙලා එකෙකුට ගහන එක හරි නෑ නේද කියලාත්.. ඕං එතකොට ඈපා මට ආයෙම පිට මැද්දටත් හතරක් විතර නෙලුවා කියහංකො.. 


තෝ දැං මූට ගහන්න එපා කියනව.. සති දෙකකට කලින් තොපි තුන්දෙනාට මුං වටකරන් ගහද්දි මුන් ලඟ ඒ මනුස්සකම තිබ්බෙ නෑනෙ.. ඒ නිසා මුන්ට ආයෙම රිටර්න් එක දෙනකොට අපිත් අපේ මනුස්සක්ම් මුන්ට පෙන්නලා වැඩක් නෑ... මුන් තිරිසන්නු.. රංචුවක් වටවෙලා තුන්දෙනෙකුට ගහද්දි මුං සාධාරණේ අසාධාරනේ ගැන හිතුවෙ නෑනෙ p කෝ..

 ගැහුවනම් ගහපං ඒ විදිහටම.. නැත්තං ආයෙම චාන්ස් එකක් ආවොත් ඊලඟ පාර මුං උඹලව මරනව.. තොට  මේක බලන් ඉන්න බැරිනම් තෝත් මෙතන මැරුම් නොකා පංතියට පල.. 


උක්ත දහතුන වසරේ රැග් අයියාට ඇති වෙනකල්ම ගුටි ඇනලා එදා අපේ එවුන් ටික රැග් වලිය අවසන් කරා.. එතැනින් එහා දහතුනේ අයියලා (එහෙම කියමු ඉතිම්😋) ඒ ලෙවල් කරලා ඉස්කෝලෙන් යනකල්ම 12 වසරෙ අපි එක්ක පැටලෙන්න ආවෙ නෑ.. 

උන් කරපු වැඩේ වැරදිවුනත්, උන් අපිට වටකරන් ගහුවා වුනත්, උන්ගෙ හැම එකාටම එකා එකා තනියම අල්ලලා වටකරන් ගුටි ඇනපු එක ගැන මටනම් අදත් ආඩම්බරයක් නෑ... It is a disgusting feeling.. ඒ උනාට ඈපා මට මෙගා සයිස් කම්මුල් පාරක් ගහලා පිට මැද්දෑවටත් තුන හතරක් ඇනලා  දීපු අවවාදය සහ කියලා දීපු සර්වලෝක තියරිය ලෞකික ජීවිතය ඇතුලේ ලෝක විනාශය දක්වාම  වැලීඩ් කියලයි මට හිතෙන්නෙ..


ප්‍රහාරය අශිශ්ඨනම් ප්‍රති ප්‍රහාරයත් අශිශ්ඨයි කියලා වර්ථමාන ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න කලින් කොහේදෝ කියනවා මම අහලා තියෙනව.. හොරු අල්ලන්න ගිහිං ආන්ඩුව තැවෙන තැවිල්ල දැං අවුරුද්දක් විතර බලන් හිටියා නේදෝ කියලා හිතද්දි අපේ ඈපා මට කියලා දීපු සර්වලොක තියරිය මතක්වුනා.. 

ඈපා මේ වෙද්දි ඉන්නෙ කැලිෆෝර්නියාවෙ.. ඈපා ලංකාවේ හිටියනම් මම ඈපව යවනවා ජනාධිපතිතුමාටයි ආන්ඩුවටයි මීටින් එකක් තියලා ඒ අවවාදෙම දීලා වරෙන් කියල.. ‍රටක් කරද්දි සිද්දවෙන සමහර අසාධාරනකම් ජයගන්න ආන්ඩුවක් ඇතුලේ ඈපා වගේ එවුනුත් ඉන්න ඕන කියලයි මගේ කියැවීම..


( දැං ඉතිං මගේ බුකියෙ ඉන්න 95 AL කරපු අයියලා සැට් එක ලොකුවට රිදෝගන්නවා එහෙම නෙවෙයි ඕං.. ඔය රැග් වලිය මැද්දට පිහි කොටයක් අරගෙ පැනලා උන්දැගෙම අත කපාගත්තු අයියා කෙනෙකුත් මේකෙ ඉන්නව🤩🤩🤩.. ආදරෙයි පැලෙන්න උබලා හැමෝටම ❤️❤️❤️)

Sunday, January 4, 2026

31 රෑ නරි නාටක..

 ඒ කාලෙ මම හිතන්නෙ වර්ශ 2000 දශකයේ මුල් කාලෙ වෙන්න ඕන.. මම බෑන්ඩ් එකෙන් අයින් වෙලා පූර්ණකාලීන රජයේ සේවකයෙක් වෙලා අම්බලන්ගොඩ කොලඹ යන එන කාලෙ.. උදේට 4.40 මේල් එකේ ගිහිං හවසට සාගරිකාවෙ ගෙදර ආපු කරුමෙ ගැන මතක් වෙද්දිනම් ඉතිං දැනුත් ඇඟේ ලේ වතුර වෙන තරම්.. ඒ කාලෙ ජීවිතේ සැපක් කියලා වින්ඳනම් ඉතිං සාගරිකාවෙ සෙකන්ඩ් ක්ලාස් එකේ හවසට යන නින්ද විතරමයි.. අනික්වා ඉතිං සේරෝම දුක්.. 


ඕං ඔය කාලෙ කවුදෝ අසමත්ජාතියෙක් මගේ කරේ එල්ලපු මරාලයක් තමයි මොන්ටසෝරි කොන්සර්ට් කරුමෙ.. කීබෝර්ඩ් එක ප්ලේ කරන්න පුලුහං නිසා මොන්ටසෝරි කීපයකින් මාව හොයාගෙන එනවා අවුරුද්ද අන්තිම වෙද්දි.. අනෙ අම්මේ ඉතිං ඔය ටීචර්ලා අපේ ගෙදර ගේට්ටුව ලඟින් ත්‍රීවීල් එකකින් බහිනවා දැක්කාම ඉතිං මට මූත්‍රා යන්නෙ නැති ටික විතරයි... හරියටම කියනවනම් මාස ගානක් පොලියට පොල්ල තියපු එකෙක්ව හොයාගෙ පොලී මුදලාලි ගෙදරටම ආවා හා සමානයි.. ටීචර්ලා එන්නෙත් ඉතිං අඩුම තරමේ කේක් ගෙඩියක්වත් ඔතාගෙන නිසා නෑ බෑ කියලා එලෝගන්නත් බෑ.. ඔය කොන්සර්ට් වැඩේ අවුරුද්ද පුරාම නැති නිසා යාන්තමට කොන්සර්ට් එකක් ඉවරවුනාම ඊලඟ අවුරුද්දෙනම් පොල්ල තියනවා තියනවාමයි කියලා හිතුවට මාස කීපයක් ගතවෙද්දි ඕක මොලේට අමතක වෙනව... ආං ඒ නිසා තමයි මොන්ටසෝරි මරාල ගේට්ටුව ලඟ ත්‍රීවීල් එක නවත්තද්දි මාව අතටම මාට්ටු වෙන්නෙ.. ටීචර්ලත් ඉතිං සී අයි ඩී දාලා හොයලා මාව ගෙදර ඉන්න වෙලාවම හොයාගෙන එනවදෝ කියලත් හිතිලා තියෙනවා මං ඉතිං නිවාඩු පාඩුවේ ගෙදර් ඉන්න ඩෑල් එකක් නොවෙන නිසා...


එතැන් පටං ඉතිං හැම වීකෙන්ඩ් එකේම පොඩි උන්ට සිංදු කියන්න නටන්න ගයන්න මට කීබෝර්ඩ් එක ප්ලේ කරන්න වෙනව.. වැඩේ බාර දෙනකොට ටීචර්ලා කියන්නෙ අනේ මල්ලි ඉල්ලන ගානක් දෙන්නම් මේ වැඩේ කරලා දෙන්න කියලා වුනාට මං ඉතිං කවදාවත් එයාලගෙන් සල්ලි අරගෙන නෑ.. කොන්සර්ට් එක දවසට ඉතිං මටත් පොඩි එවුන්ගෙන් තෑග්ගක් හම්බ වෙනව.. බොහෝ වෙලාවට ඉතිං කමිසයක් කලිසමක් තමා.. පෝරිසාදයෝ විස්සක් තිහක් එක්ක ඒ විඳින දුකටනම් ඉතිං හමීඩියා එකේම තියන කලිසම් කමීස දෙන්නම් කිව්වත් මටනම් ඒ ගිග් එක ඕන නෑ.. කරුමෙට ඉතිං අද වෙනකල් සුවකරගන්න බැරි අසනීපෙ ඉතිං බෑ කියන්න දිව නැමෙන්නෙ නැතිකම..


ඊයෙ ජනවාරි පලවෙනිදා අපිට නිවාඩු.. ලංකාවෙ නැතිවුනාට ලෝකෙ රටවල් බහුතරයක ජනවාරි පලවෙනිදා කියන්නෙ හැමෝටම නිවාඩු දවසක්.. මම හිතන්නෙ ජීවත් වෙන්න රස්සාවල් කරන රටවල ජනවාරි පලවෙනිදා නිවාඩු.. රස්සාව කරන්න ජීවත්වෙන රටවල ජනවාරි පලවෙනිදා අනිවාර්‍යෙන්ම වැඩට යන්න ඕන දවසක්.. ජනවාරි පලවෙනිදා ඕං උදේ දහයට විතර ඇහැරිල කිරිබත් කෑල්ලක් (මොන කෑලිද බං.. තඩි කිරිබත් පිඟානක්.. අනාගෙන කන එකේ ආයෙ මක්කටෙයි කෑලි කපන්නෙ) එහෙම කාලා ඉස්මුරුත්තාවෙ ටීවී එක ඉස්සරහ ඇලවෙලා ඉන්න අල්ල පනල්ලෙ ඕං ඉතිං යූ බටේ එකදිගට ප්ලේ වෙනව..  මාත් ලංකාවෙ උපන් හිංහල එකෙක් කියලා යූ බටේ ඇල්ගොරිදම් එක දන්න නිසා ඌ ඉතිං මාව ඉම්ප්‍රෙස් කරන්නද මන්දා දෙසැම්ම්බර් 31 රෑ ලංකාවෙ චැනල් ටිකේ පෙන්නපු නලු නිලි හුරතල් ටික එක දිගට පෙන්නනව.. එක චැනල් එකක ගිය එක සිංදුවක්වත් මම උපන්තේකට අහලා නෑ... ඊලඟ චැනල් එකේ කොස්ටියුම් ලස්සනයි... ලයිටින් ලස්සනයි... බැග්‍රවුන්ඩ් ලස්සනයි.. හැබැයි තුනම එකට එකතුවුනාම G හැත්තෑවයි... තව චැනල් එකක් එවුන්ගෙ සමහර සිංදු හොඳයි.. සමහර එව්ව බලන් ඉද්දි සිංදු කියන එවුන්ගෙ කටවල් හෙල්ලෙන තාලෙට යන සිංදු නෙවෙයි ප්ලේ වෙන්නෙ.. මම අනුමාන කරන්නෙ යූ බටේ කොපිරයිට්ස් අල්ලන නිසා සමහර සිංදු වෙනුවට වෙනත් AI සිංදු ඔබ්බලා අපිව රවටලා.. චැනල් වලින් නිරමාණකරුවන්ට කොපිරයිට්ස් ගෙව්වෙ නැති නිසාත් නිර්මාණකරුවන් කොපිරයිට්ස් ඉල්ලලා සංගම් හදාගත්තු නිසාත් දෑං ඉතිං අන්තර්ජාලය ඇතුලේ චැනල් හරහා තවදුරත් ඔරිජිනල්ස් අහන්න වෙන්නෙ නෑ... දෙගොල්ලන්ගෙම කොපිරයිට්ස් වලිය නිසා අපිට බලන් ඉන්න නැටුම නටන සිංදුව නෙවෙයි අපිට කනට අහන්න ලබෙන්නෙ... ඒ ඔක්කොමත් හරි කියමුකෝ... ඒ වගේද  නැටුම්.. ආං ඉතිං බලනවනම් නැටුම්..


මොම්ටසෝරි කොන්සර්ට් වැඩේ ඉතිං ටිකක් අමාරු වැඩක්.. පොඩි එවුන් විස්සක් තිහක් පිලිවෙලකට සිංදුවක් කියන්න පිලිවෙලකට නර්ථනයක් කරන්න අඩුම තරමේ මාස දෙකක්වත් පුරුදු කරන්න ඕන.. කරුමෙ කියන්නෙ මාස ගානක් පුරුදු කරලත් ඉතිං බහුතරයක් පොඩි එවුන් කොන්සර්ට් එක වෙලාවට නටන්නෙ උන්ට අර මාස ගානක් පුරුදු කරපු නැටුම නෙවෙයි උන්ගෙම වෙනත් එකක්.. 

චැනල් සේරොගේම නැටුම් ටික බලන් ඉද්දි මට මතක්වුනේ මම මියුසික් කරපු මොන්ටසෝරි කොන්සර්ට් ටික.. අපරාදෙ කියන්න බෑ නලු නිලියො ටිකයි ඩාන්සර්ස්ලා ටිකයි නටනවා නැටිල්ලක් මොන්ටිසෝරි කොන්සර්ට් එකකට වඩා ලොකු වෙනසක් නෑ...  


කිරිබත් මතට ඉතිං මටත් තැනින් තැන නින්ද ගියා..  එකපාරක් ඇහැරිලා ටීවී එක දිහා බලද්දි  දැකපු දෙයක් නිසා මම ටීවී එක නිමල දැම්ම.. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි.. ඔව්වයෙ පෙන්නන ජුගුප්සාජනක දේවල් බලලා ජනවාරි පලවෙනිදා හා හා පුරා කියලා කාපු කිරිබත් පිඟානත් වමනෙ දාලා බැරි නිසා..  දැකපු දේ ඉතිං ලියලත් බෑ නොලියත් බෑ.. ලා නින්දක් ගිහිං ඇහැරිලා ටීවී එක දිහා බලද්දි මේං ජැකාගෙ ලොකු එකා හීනි ජංගි කොටයක් විතරක් ගහගෙන ගෑනු රොත්තක් වටකරගෙන මා දිහාට කකුල් දෙක පලල් කරන්  අහවල් එක පෙන්නං ඉන්නවා කියහංකො..🤭🤭🤭