Saturday, August 8, 2015

ක්‍රිකට් උණ සහ සුපිරි පිතිකරුවා..






ඔන්න මේ කියන කාලේ (1993-2002 අතර කාල පරාසය විය යුතුයි  ) තදින්ම අපේ කට්ටියට ක්‍රිකට් උණ වැළඳිලා තිබුන කාලයක්... 1996 ලෝක කුසලානය දිනන කාලෙත් අපේ උන්දලාට තිබ්බේ එසේ මෙසේ ක්‍රිකට් පිස්සුවක් නෙවෙයි.. ඒ කාලේ අපි මුලින්ම  ක්‍රිකට් ගහන්න යෝදාගන්ත්තේ හල්වතුර වෙල ගොඩ කරපු ස්ථානය.. ඒ කියන්නේ කුලරත්න පාරත් , ධර්මාශෝක විද්‍යාලයේ ලොකු ඉස්කෝලයත් පොඩි ඉස්කෝලයත් අතරින් කලුවඩුමුල්ල පැත්තට යන පාරත් අතර තියන හල්වතුර වෙල ගොඩකරපු ස්ථානය.. වර්තමානය වෙද්දි නවීන පන්නයේ තට්ටු නිවාස වලින් පිරිලා තියන මේ භූමිය තමයි අපේ පලවෙනි ක්‍රිකට් ක්‍රීඩාංගනය..


කොයිතරම් ක්‍රිකට් උන තියනවද කියනවනම් හවස 3-4 වෙද්දී ඔක්කොම බැට් , ස්ටම්ප්, බෝල එහෙම අරගෙන අපේ ක්‍රීඩාංගනයට වාර්තා කරනව .. රැකියා කරන උන් කෙලින්ම රැකියා කරලා ඉවර වෙලා ආවේ ක්‍රිකට් ගහන තැනට.. ටියුෂන් යන උනුත් කෙලින්ම ටියුෂන් ගිහින් ආවේ ක්‍රිකට් ගහන්න.. සමහරු ටියුෂන් ගියේ ක්‍රිකට් ගහන තැනමයි..පසුකාලීනව රුහුණු කුමාරියේ රැකියාව අවසන් වෙලා ගෙදර ආපු අපිත් කෙලින්ම ගියේ ක්‍රිකට් ගහන තැනට..සමහරු පෙම්වතිය පන්ති ඇරෙනකම් ක්‍රිකට් ගැහුවා වගේම සමහරු පෙම්වතියන් පස්සෙ පාරේ ඇවිදලා ඇවිත් ක්‍රිකට් ගහන තැනට සෙට් උනා..


දෙපිලට බෙදිල ආරම්භවෙන සීමිත ඕවර ක්‍රිකට් තරඟ කීපයකින් අනතුරුව බෝලය ඇහැට නොපෙනෙන්න තරම් අඳුර වැටුනාම තමයි මේ ක්‍රීඩාව අවසන් වෙන්නෙ ..ක්‍රීඩාවෙන් අනතුරුව සුපුරුදු විදිහට ටික්කගේ ගෙදරට සෙට් වෙන ක්‍රිකට් කප්පිත්තන් රෑ බෝවෙනතුරු දවසේ ක්‍රීඩා කරපු ආකාරය, ඕපාදූප, කතාවෙන් අනතුරුව රාත්‍රී 8-9 වෙද්දී ගෙවල් වලට විසිර යැවෙනවා ..


අපි ක්‍රිකට් ගහපු පලවෙනි ස්ථානය A  අකුරෙනුත් අපි දෙවනියට ක්‍රිකට් ගහපු සථානය B අකුරෙනුත් පෙන්නලා තියෙන්නේ.. අද ඉන්න පොඩි උන් මේක දැක්කම කියාවි මුගේ බොරු කියල.. මේ කියන ස්ථාන දෙකේ ඒ කාලේ හිස් බිමක් තිබ්බද කියලවත් ලකුණක්වත් නැතිවෙන්න ඒ ප්‍රදේශ වෙනස් වෙලා ගොඩනැගිලි හදපු නිසා...


google map
https://www.google.com/maps/@6.2391501,80.0582675,395m/data=!3m1!1e3

එදිනෙදා මේ සිද්දවෙච්චි ක්‍රිකට් ටීම් ඇතුලේ ක්‍රීඩකයින්  හඳුන්වන්න අපි යොදාගත්තු nick names මේකේ ලිව්වොත් මේ ලියන ලියුම්කරු වෙන මම නිවාඩුවට ලංකාවට ගිහින් හමාර වෙන නිසා ඒ  ඒ නම් නොලිය ඉන්න  එක මගේ ඇඟට වඩාත් සුවදායක බවයි මගේ අදහස...නම් වලින් හඳුනවනවානම් අපේ ක්‍රිකට් ක්‍රීඩකයින් ටිලාන්,සම්පත්,රංජිත් , දුමින්ද (මෙම ලිපියේ කතා නායක ) , ප්‍රසන්න,හේමික , කාවින්ද , මහේෂ් 1,මහේෂ් 2,නිමල් , ප්‍රියන්ත, දිලුක,ජීවන,චන්දිම,කුමාර,උදය,තමීර,හර්ෂ,ජනක,ජානක, ධම්මික,නිහාල් අයිය, ලලිත් අයිය, ඔෂාන් වගේ උප්පැන්නයේ තිබෙන නමින් මතක උදවියත් උප්පැන්නයේ නම නොදන්නා සුරතල් නාම වලින් හඳුන්වන තවත් බොහොමයක් දෙනාත්  දිනපතා කෙරෙන මේ ක්‍රිකට් ක්‍රීඩාවට එකතු උනා..සියලුම පිරිස 20-25 ත් අතර අගයක් ගත්තත් සහභාගිත්වය දිනෙන් දින විවිද ආකාරයෙන් වෙනස්කම් සිදු උනා..මේ ක්‍රිකට් ක්‍රීඩාව අතරේ හිත අමනාපකම්, වලි , කකුලෙන් ඇදිලි, නින්ජා ගැහිලි වගේ දේවල් නොතිබුනාම  නෙවෙයි... එහෙමත් දවසක බැට් උස්සගෙන මරාගන්න යන උන් සතියක් දෙකක් යද්දී ආයෙත් යාලු වෙලා එකම ටීම් එකේ ක්‍රිකට් ගහනව..

ක්‍රිකට් ටීම් එකේ මේ ලියන මට තිබ්බ ස්ථානය සුවිශේෂී ස්ථානයක් කියල කිව්වොත් නිවැරදියි... ක්‍රීඩාවට කවදත් ඒ තරම් දක්ෂ නැති දුවන්න පනින්න ටිකක් විතර කම්මැලි මට තිබ්බ හොඳම ස්ථානය තමයි විකට් කීපර් කියන සුවිශේෂී ස්ථානය...අපි ටෙස්ට් වරම් නොලබපු කණ්ඩායමක් නිසා නිරන්තරයෙන්ම සීමිත ඕවර තරඟ  තමයි පැවතුනේ.. ඒ හින්ද පිතිකරුවන් කොයිවෙලාවෙත් උත්සහ කරේ හැම පන්දුවකටම ලකුණක් ගන්න..එත් පන්දු යවන්නාගේ දක්ෂකමට බැට්ස්මන්ගෙන් මගහැරෙන පන්දුවක් විකට් කීපර් වෙච්චි මගේ අතේ නවතුනානම් ඒ බොහොම කලාතුරකින්.. ඒ හින්ද විකට් කීපර් උනාට මමත්  බොහෝදුරට කරේ මට අතැරෙන පන්දුව පස්සේ දුවපු එකම තමයි.. එත් අපේ හිටපු වේග පන්දු යවපු උන්දලාගේ පන්දුනම් මගේ කකුල් දෙක මැද්දෙන් ගිහින් නතර උනේ හතරේ සීමාවෙන් එහා.. අද වෙද්දී කව්රු මොන අසබ්ය වචනයකින් බැන්නත් ඇහුනෙ නෑ  වගේ ඉන්න මේ ක්‍රිකට් ක්‍රීඩාව මට  කොයිතරම් උදව් වෙන්න ඇතිද.. මට විකට් කීපර් විදිහට අත හැරෙන හැම පන්දුවකටම ටීම් එකේ ඉන්න අනෙකුත් සගයින් දන්නා කියන සියලුම අසභ්‍ය  වචන වලින් කිසිම අකමැත්තකින් තොරවම බඩපුරා සැලකුව කිව්වොත් තමයි හරි..කිසිම හිත අමාරුවකින් තොරවම අසභ්‍ය වචන අහගෙනම මම දිව්වේ මට මිස් වෙන පන්දුව පස්සෙ ..එත් මගෙන් මිස්වෙන පන්දු වලින් විරුද්ද කණ්ඩායමට ලැබෙන ලකුණු වලට උපරිම සාධාරණයක් කරන්න මමත් නොගත්තු උත්සාහයක් නැහැ..


පන්දු යැවීමෙන් අනතුරුව එළඹෙන පන්දුවට පහරදීමේ වාරයේදී අපේ කණ්ඩායම වෙනුවෙන් අම්පයර් වෙන්නේ ස්වේච්චාවෙන්ම සත්ගුණවත් මම.. ලෙග් අම්පයර් වෙන්නේ අපේ සම වයසේ දේවානන්ද විද්‍යාලයේ ඉගෙනගතපු දුලිප් හෙවත් හැමෝම දන්නා ඥානසිරි .. විරුද්ද කණ්ඩායම පන්දු යවන වෙලාවට මගේ ඇහැ නිතරම තිබ්බේ පන්දු යවන්නාගේ ඉදිරි පාදය දිහා.. යන්තම් ඉර ගාවින් කකුල තියල පන්දුව යවපු ගමන් "නෝ බෝල්" කියල ගිරිය යටින් කෑගහල කිව්වාම පිතිකරු ඉදිරියට ඇවිත් හයේ පහරක් , හතරේ පහරක් ගහන එක බොහෝදුරට සිද්දවෙන නිසා මගේ විකට් කීපින් කොහොමහරි අය වැය සමාන උනා.. එත් කුණුහරුප වරුසාව එතනිනුත් නවතින්නේ නැහැ.. "නෝ බෝල් " එක අල්ලපු ගමන් ඉති විරුද්ද කණ්ඩායම පටන් ගන්නවා මට එරෙහිව වාග් සංග්‍රහය.. ඒ වගේ හොර නෝ බෝල් කීපයක් අල්ලන්න මගේ ලෙග් අම්පයර් ඥානසිරි මහතාගෙන් ලැබෙන සහයෝගය මේ වෙලාවේ නොලීවොත් , හෝඩියේ පන්තියේ ඉඳන් පහ වසර දක්වා එකට මා එක්ක දේවානන්ද විද්‍යාලයේ අකුරු කරපු මිත්‍ර දුලිප්ට සාරාත් ඥානසිරි මහතාට  කරන අසාධාරණයක් වෙයි..( වෙනම ලිපියක් ඥානසිරි ගැන ලියන්න හිතාගෙන ඉන්නව   )..


පන්දුවට පහරදෙන්න ලැබෙන අවස්ථාවේදී මගෙන් කණ්ඩායමට ලොකු ලකුණු ප්‍රමාණයක් ලැබෙන්නේ නැත්තේ මට පන්දු එවන එවුන් නෝ බෝල් අල්ලන තරහටද මන්ද අනික් උන්ට වඩා වේගෙන් පන්දු එවන හින්ද වෙන්න ඇති..මම පන්දු ඕවරයක් පන්දුවට පහරදුන්නනම් ඒ බොහොම කලාතුරකින්.. හැමදාමත් බෝලෙන් දෙකෙන් එක්කෝ විකට් එක කුඩු, නැත්තම් කම්මැලිකමට ගහන පාරක් සිම්පල් කැච් එකක් විදිහට කාගෙහරි අතේ.. හැබැයි කලාතුරකින් හයක් , හතරක් නොගහුවම නෙවෙයි.. අවන්කවම කිව්වොත් ඒ හයේ හතරේ පාරවල් ගැහුවේ කොහොමද කියල අදටත් මම දන්නේ නැත්තේ එව්වා ඔක්කොම කනා ෂොට් හින්ද වෙන්න ඕන..


කාලයත් එක්ක අපි ක්‍රිකට් සෙල්ලම් කරපු ස්ථානයේ නවීන නිවාස ඉදිවෙන්න පටන්ගත්තු නිසාවෙන් අපිට සිද්ද උනා  වෙනත් විකල්ප ස්ථානයක් මේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වෙන්කරගන්න.. අපි ඒකට යොදන හොඳම ස්ථානය තමයි කුලරත්න පාර පැන්නයින් පස්සේ තියන හල්වතුර වෙල ගොඩකරපු දෙවැනි කොටස.. දැන් එම ස්ථානයේත් නිවාස හැදිලා නිසා අපි සෙල්ලම් කරපු තැන අද හොයාගන්නවත් නැති තරම්.. මේ කියන්නේ දැන් විවුර්ත විශ්වවිද්‍යාලය තිබෙන ඉඩම අවසන් වෙන මායිමේ ඉඳන් ඈතට විහිදිච්ච කොටස...


මුලින් සෙල්ලම් කරපු ස්ථානයට වඩා මේ අලුත් ස්ථානයේ අපිට භාධක අඩු උනා.. නියම ක්‍රිකට් ක්‍රීඩාංගනයක් විදිහට හතරේ සීමාව රවුමට සකස් උනා.. පිච් එකේ ඉඳන් හතරේ සීමාවට වටේටම එක හා සමාන දුරක් වෙන්න සීමාවන් සැකසුනේ ඒ ස්ථානය ඕනෑතරම් ඉඩකඩ තිබ්බ ස්ථානයක් නිසා..කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු නොවෙන කතාව වගේ අපේ එවුන්ගේ ගෝරි-බෝරි අඩුවකුත් නැතුව වගේම මට බෝල අතැරෙන එකත් අඩු නැතුවම සිද්ද උනා.. හැබැයි පෝරඹ පැත්තේ තියන ඇලෙන් එහාපත්තට හයේ පාරක් ගැහුවොත් බොලේ ගේන්න  යන්න උනේ බයිසිකලෙන්.. ඇල පළල නිසා උඩින් පනින්න බැරි හින්ද කව්රුහරි එකෙක් බයිසිකලේකින් කුලරත්න පාරට ගිහින් පාලමෙන් ඇලෙන් එගොඩ වෙලා ඇල අයිනෙන්  තියෙන පාර දිගේ බයිසිකලෙන් ඇවිත් තමයි පන්දුව සොයාගන්නේ..


මේ ලිපියේ කතා නායක වෙච්චි අපේ දුමින්ද දේවානන්ද විද්‍යාලයේ බැඩ්මින්ටන් කණ්ඩායමේ ඉතාම දක්ෂ නියෝජනයක් වගේම අපේ ක්‍රිකට් ටීම් එකෙත් දක්ෂයෙක්.. වර්තමානය වෙද්දී දුමින්ද ශ්‍රී ලංකා පොලිසියට අනුයුක්ත බැඩ්මින්ටන් කණ්ඩායමේ ප්‍රභල සාමාජිකයෙක් බවයි ආරංචිය..මම වගේ හොරට ක්‍රිකට් ගහපු කීප දෙනෙක් අතරේ බොක්කෙන්ම කණ්ඩායමට දායකත්වයක් දක්වපු උදවියගෙන් එක්කෙනෙක් උනේ දුමින්ද.. දුමින්දගේ පිත්තෙන් සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් කණ්ඩායමට එකතු උනා වගේම විකට් කීපර් විදිහට මගේ අතිනුත් හුඟක් දුමින්ද එවපු පන්දු අතැරුනේ නැත්තේ දුමින්ද මදවේග පන්දු යවන්නෙක් නිසා..


ක්‍රිකට් ටීම් එක ටිකක් තත්වෙකට එද්දී අහල පහල සංවිධානය වෙන සය සාමාජික ක්‍රිකට් තරඟ වලට වගේ සහභාගී වෙන්න අපේ කණ්ඩායමත් ටිකෙන ටික සුදුසු උනා... සය සාමාජික වගේ තරඟ වලදී  මාව විකට් කීපර් විදිහට යොදාගන්න තරම් අපේ කණ්ඩායමේ එවුන්ට මන්ද මෝල් තත්වයක් තිබ්බෙම නැති නිසා කණ්ඩායම තරඟ කරපු එකම සය සාමාජික තරඟයකටවත් මම සෙල්ලම් කරේ නැහැ..

ඔන්න දවසක් අපේ කණ්ඩායම සය සාමාජික තරගයකට යන්නයි ලැහැස්තිය.. මතක විදිහට මේ තරඟය පැවැත්වුනේ මීටියාගොඩ කිරලගහවෙල පාසල් පිට්ටනියෙ ..ඒ වෙද්දී කණ්ඩායම සුපිරිම නැති උනත් කරට කර තරඟයක් දෙන්න පුළුවන් තැනක තමයි උන්නේ..
ඔන්න තරඟය පටන් ගත්තයින් අනතුරුව අපේ එවුන් විරුද්දව වැටිච්ච හැම කණ්ඩායමක්ම පරාජය කරලා අවසන් මහා තරඟයට තේරිලා කියහල්ලකෝ... ටීම් පනහක් හැටක් සහභාගී වූ මහා පරිමානයේ තරඟාවලියක් වෙච්චි මේ ක්‍රිකට් තරඟයේදී අපේ එවුන් අවසන් මහා තරඟයට ආපු එකත් අපිට මාර සන්තෝසයක්..


හවස් වෙද්දී පිට්ටනිය වටෙත් තුන් හාරසීයක ජනතාවක් එකතු වෙලා.. අවසන් මහා තරඟය නරඹන්න ජනතාව නොඉවසිල්ලෙන්... ඔන්න අපේ එවුන් හා හා පුරා කියල ටොස් එක පරාදයි.. ඒ කියන්නේ අරුන් ඉස්සෙල්ල බැටින් .. දක්ෂ කණ්ඩායමක් වෙච්චි විරුද්දවාදීන් ඕවර පහට අපේ එවුන්ට නෙළුව නෙලිල්ලක් ඇට්ටි හැලෙන්න කියහල්ලකෝ.. ඔන්න දැන් අපේ එවුන්ගේ පන්දුවට පහදීමේ වාරය... හැම පැත්තෙන්ම අවාසිය අපිට.. අපේ විරුද්ද කණ්ඩායම ඒ ගමේ කණ්ඩායමක්.. පිට්ටනිය වටේ එකතු වෙලා ඉන්න මුළු ගමේම ගැහැණු, පිරිමි, මල්, පලතුරු ඔක්කොම හුරේ දාන්නේ උන්ගේ ගමේ කණ්ඩායමට...


ඔන්න අපේ එවුන් පන්දුවට පහර  දෙන්නයි යන්නේ...
දෙයියනේ කියල අපේ එවුන් බොහොම අඩු ලකුණු ප්‍රමාණයකට එකා පිට එකා අවුට් වෙද්දී දුමින්ද විතරක්  කඩුල්ල රැකගෙන ලකුණු ටිකක් රැස්  කරා... මුළු පිට්ටනියම ජයගෝෂාවෙන් ඉතිරිලා..
අවසන් පන්දු ඕවරය.. අන්තිම විකට්ටුව... පන්දු හයට ලකුණු 30 ක් අවශ්‍යයි දිනන්න.. දැන් මුළු ගමම දිනලා වගේ... හෝ ගාල සද්දෙ .. මොන විදිහට තර්ක කරත් අපි පරාද වෙන්න තියන ඉඩ කඩ හුඟක් වැඩියි.. ඒ කියන්නේ සුවර් එකටම අරුන් කප් එක උස්සන්න නියමිතයි..




අවසන් පන්දු ඕවරය... පලවෙනි පන්දුව.. කරුමෙට දුමින්දය ගහපු පාර වැදුනේ නැහැ කියහන්කෝ.. කීපර් ඉන්නේ මම නෙවෙයි නිසා පන්දුවත් සුරැකිව කීපර් අතේ.. ලකුණු නොමැත.. මුළු පිට්ටනියම ජය ගෝෂා.. පන්දු 5යි.. ලකුණු 30ක් අවශ්‍යයි...
ඊළඟ පන්දුව... පිට්ටනිය ටිකක් නිහඬ උනා.. සන්තෝසයේදීත් , කේන්තියේදීත්  මුණ ජම්බු ගෙඩියක් වගේ රතු වෙන අපේ සම්පත් මුළු පිට්ටනියටම ඇහෙන්න කෑගහල කිව්වා..
"දුමින්ද  හයේ ඒවා පහක් ගහපන් "
ඒක ඇහිච්ච මුළු පිට්ටනියම හු හු හු ................... කියන්න පටන් ගත්ත සම්පතයට... සම්පතයාගේ මුණ ජම්බු ගෙඩිය වගේ රතු වෙලා...
අන්තිම ඕවරය .. දෙවැනි පන්දුව... ඉතාමත් වේගවත් පන්දුවක්...ඉදිරියට පැන දුමින්ද එල්ල කරපු පහර කෙලින්ම ලකුණු හයයි...
අපිට හුරේ දාන්න කව්රුවත් නැහැ... මුළු ගමම අරුන්ට චියර් එක... අපි ටික දෙනා විතරක් ගල් ගැහිලා බලන් ඉන්නවා.
අන්තිම ඕවරය.. අවසන් කඩුල්ල..රුහුණු කුමාරියටත් වඩා දෙතුන් ගුණයක් වේගයෙන්  තුන්වෙනි පන්දුව ...ඉදිරියට පැන දුමින්ද එල්ල කරපු පහර කෙලින්ම ලකුණු හයයි...
ගමේ එවුන් ටිකක් සද්දේ අඩුයි.. එත් උපරිම චියර් එක ගමේ ටීම් එකට... පන්දු තුනයි.. ලකුණු 18ක් අවශ්‍යයි...
අන්තිම ඕවරය.. අවසන් කඩුල්ල.. හතරවෙනි පන්දුව ...ඉදිරියට පැන දුමින්ද එල්ල කරපු පහර කෙලින්ම ලකුණු හයයි...
ගමේ එවුන් සද්දේ දැන් ටිකක් අඩු උනා... අපි දුමින්දට උපරිම චියර් එක... තව පන්දු දෙකයි .. ලකුණු 12ක් අවශ්‍යයි...
පස්වෙනි පන්දුව... ඒ කාලේ ලෝකේ හිටපු  වේගවත්ම පන්දු යවන්න වුනු  ග්ලෙන් මැග්‍රාත්ටත් වඩා වේගෙන් උන්  පන්දු එවන්නේ.. මම බැට්  කරානම් විකට් කුරු තුන අල්ලන්න කීපර්ල තුන්දෙනෙක් දන්න වෙන තරම්  වේගවත් පන්දු... ඉදිරියට පැනපු දුමින්ද  එල්ල කරපු වේගවත් පහරින් කෙලින්ම ලකුණු හයයි...
ගමේ සද්දේ මීයට පිම්බ වගේ... අවසන් පන්දුව.. දිනුමට ලකුණු හයක් අවශ්‍යයි...සම්පත්ගේ මූන  රතුම රතුයි... අපි ටිකදෙනා දුමින්දට උපරිම චියර් එක..
වේගවත් පන්දුවක්... පිච් එක මැදට ඇවිදන් ආපු දුමින්ද ගහපු පාරෙන් කෙලින්ම ලකුණු හයයි.... හුරේ... තරගාවලිය අපි දිනුම්... අපි කිව්වට දුමින්ද අපිව දිනෙව්ව ...


අපි පිච් එකට දිව්වේ කෑගහගෙන... අඩි හයකටත් වඩා උස සම්පත් අපිට කලින් පිට්ටනිය මැදට දුවගෙන ගිහින් දුමින්දයව උස්සගත්ත.. හයේ ඒවා පහක් ගහපන් කීව වෙලේ සම්පතයට හූව දාපු එවුන් දිහා සම්පතය පිට්ටනිය වටේ රාක්ෂ බැල්මක් දාල දුමින්දවත් උස්සගෙන පිට්ටනියෙන් ආවෙ .. හවස් වෙද්දී අපේ කණ්ඩායමට හිමි මුදල්  ත්‍යාගයත් , කුසලානයත් අරගෙන අපි ගෙවල් බලා ආවේ සන්තෝසේ පපුවේ පුරෝගෙන..




අදත් ක්‍රිකට් මතක් වෙද්දී දුමින්ද තමයි මගේ ගමේ ක්‍රිකට් වීරයා.. අදත් මට  දුමින්ද ගැන තියන ප්‍රශ්නය නම් ඇයි  දුමින්ද ඉස්කෝලේ ක්‍රිකට් නොගහ  බැඩ්මින්ටන් සෙල්ලම් කරේ කියන එකයි..බැඩ්මින්ටන් වලින් අද ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය  කරන දුමින්ද පාසල් ක්‍රිකට් ගැහුවනම් ජාතික තලයට යන්න තිබුන කියල අදත් මම විශ්වාස කරනව.

කාලයාගේ අවෑමෙන් අපේ හල්වතුර ක්‍රීඩාංගනය නිවාස හැදිලා ජනාකීර්ණ වීමත් එක්ක අපේ  ක්‍රිකට් නිමා උනා... කට්ටිය එකා දෙන්න විසික් උනා.. විසික් වෙන්න බැරි උන එවුන් ටික්කගේ ගරාජ් එකේ කැරම් බෝර්ඩ් එකක් තියාගෙන ඒ වටේ එකතු උනා.. කැරම් බෝර්ඩ් එක යටින් වීදුරු බෝතල් ගැටෙන සද්දේ හෙමින් හෙමින් ඇහෙන්න ගත්ත..එකම දුම් වැටිය කැරම් ඩිස්ක් එකත් එක්කම සමාන්තරව බෝර්ඩ් එක වටේ අතින් අත මාරු උනා..ක්‍රිකට් ගැහිල්ල වගේම කැරම්  ගැහිල්ලත් නැගල ගියා.. හතරදෙනෙක් කැරම් ගහද්දි දහයක් විතර බලන් උන්න පරාද වෙන එවුන් නැගිට්ටුවල වාඩි වෙන්න.. හල්වතුරේ ගෙවල් හැදෙන්වත් එක්කම හල්වතුරේ ක්‍රිකට් ගහපු ටීම් දහයක් පහළොවක් හවසට යන්න එන්න තැනක් නැතුව අවතැන් වෙලා බෝතලයක් වටේ එක්තැන් උනා...අද ක්‍රිකට් කණ්ඩායමත් කැරම් කණ්ඩායමත් බහුතරයක් තාත්තල වෙලා....

හල්වතුරේ ගෙවල් හැදෙන්නේ නැතුව දිගටම ක්‍රිකට් ගැහුවනම් ඉතින් මටත් විකට් කීපර් කෙනෙක් විදිහට ලෝකේ පුරා සුප්‍රසිද්ද විකට් කීපර් කෙනෙක් වෙන්න තිබුන නේද කියලත් හිතෙනව...LOL


9 comments:

  1. නියම ලිපියක්... සුපරියි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ඇවිත් යනවට..

      Delete
  2. බෑ... බෑ... මේක කොහොමත් විස්වාස කරන්න බෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. මේ සිදුවීම 100% සත්‍යයි ප්‍රසන්න.. දුමින්ද දැන් පොලිසියේ රැකියාව කරන්නේ.. මම හිතන්නේ පොලිසියේ ක්‍රීඩා පුහුණු කරුවෙක් . හුඟ කාලෙකින් හමු උනේ නැහැ..

      Delete
  3. ඇයි පොල්වත්තෙ ග්‍රවුන්ඩ් එකට සෙට් වෙන්න බැරි උනාද?

    ReplyDelete
    Replies
    1. බැරිවුනානේ.. පොල්වත්තේ ඒ වෙද්දී හැමදාම හවසට ක්‍රිකට් ගහනවා.. එතන තව දහයකට පහළොවකට සෙට් වෙන්න බැහැනේ.. ඒ නිසා තමා හල්වතුරට සෙට් වුනේ

      Delete
  4. අඩෝ මේ කතාව නං විස්වාස කරන්නත් බැ .... මම හිතුවෙම අන්තිම බෝලෙට හරි වැඩේ කා ගනී කියලා..........පට්ටම කතවක් නේ........පස්සේ ටික නං සහතික ඇත්ත හරි හැටි පිට්ටනියක් දැන් ඉන්න ළමයින්ට නැති හින්ද උන් ගෙදෙට්ට වෙලා කොම්පුටර් GAME ගහනවයි, කිසිම තේරුමක් නැති වැඩ ............................මේකත් අනිත් ඒවා වගෙම සුපිරි කතවක්

    ReplyDelete
    Replies
    1. විශ්වාස කරන්න බැරිවුනාට මේක 100% ක් සත්‍ය කතාවක් ගෙවින්. දුමින්ද ක්‍රිකට් වලට වඩා දක්ෂ බැඩ්මින්ටන් වලට. ක්‍රිකට් මෙහෙමනම් බැඩ්මින්ටන් කොහොම වෙන්න ඇතිද කියල හිතාගන්නකෝ..

      Delete
  5. මටත් ක්‍රිකට් ගහන්න බෑ. මට ඕකෙම අනික් පැත්ත වෙලා තියෙනවා. ආයතනයේ තරඟාවලියකදි අන්තිම බෝලෙදි දිනන්න හිටපු ටීම් එක පරාජයට පත් කරන්න සමත් වුණා මම. සෑහෙන ප්‍රසිද්ධ වුණා ඒකෙන්.

    ReplyDelete