Tuesday, November 24, 2015

සනාගේ වික්‍රම




සිදුවීම් කිහිපයක් අලලා ලියන්නට යන මෙම පොස්ටුවේ ප්‍රධාන නළුවා වන්නේ මාගේ අඹ වර්ගයට අයත් මිත්‍රයකු වන සනායි. සනා යනු වසර ගණනාවක් පුරාම  මාගේ දකුණු අත මෙන් සිටිනා මිත්‍රයකු වන අතර සනාගේ සම්පූර්ණ නම මෙහි නොලියා සිටීමට හේතුව වන්නේ සනා මා සමග උදහස් වෙනු ඇතැයි මට දැනෙන අනියත බියයි. 

සනා යනු මාගේ සියලු ඥාති හිතමිත්‍රාදීන්ගේ ජනාදරයට පත් ප්‍රසිද්ද පුද්ගලයකු වන අතර වර්තමානය වනවිට අම්බලන්ගොඩ ප්‍රදේශයේ කිසිදු කෙනෙකු  නොකරන සුවිශේෂී වූ සේවාවක් සිය ව්‍යාපාරය කරගෙන සිටිනා වන් ඇන්ඩ් ඔන්ලි පුද්ගලයෙකි. සනාගේ ව්‍යාපාරය වන්නේ කඩේ යාමයි. නොමිලේ කඩේ යන ජනතාවක් වෙසෙන දිවයිනක මුදලට කඩේ යන සිටිනා එකම එක ජීවියා මාගේ හිතමිත්‍ර සනා පමණය. සනාගේ ව්‍යාපාර ස්භාවය නම් ඕනෑම නගර වැසියෙකුට අවශ්‍ය කරන ඕනෑම භාණ්ඩයක් නිවසටම ගෙනවිත් දීමයි. නිවසට අවශ්‍ය කරන ගෑස් සිලින්ඩරයද, ග්‍රොසරි බඩු භාණ්ඩද, උත්සව අවස්ථා වලදී මදි පාඩුවන ද්‍රව්‍යද ඇතුළු ඕනෑම දෙයක් පාරිභෝගිකයාට අවශ්‍ය කරන වෙළඳසලෙන් ක්ෂණිකවම මිලදීගෙන නිවසට ගෙනවිත් දීම සනාගේ ව්‍යාපාරයයි. නීතියෙන් තහනම් බඩු භාණ්ඩයක් නොවනතාක් මිනී පෙට්ටියක් වුවද නිවසට ගෙනවිත් දීමට සනාගේ ව්‍යාපාරය උදෑසන සිට රාත්‍රී අට පමණ වනතුරු එකලෙස සැදී පැහැදී සිටියි. තමුන් කරන්නාවූ රැකියාවට හෝ ව්‍යාපාරයට අවශ්‍ය විශේෂ ප්‍රාගුන්‍ය නමැති අංගය ඉතාම කෙටි කාලෙකින් ප්‍රගුණ කරනා වූ සනා ඕනෑම රාජකාරියක් නිර්භයව භාරදිය හැකි ඔන්ටයිම් වර්ගයේ මිත්‍රයෙක් වන්නේය.

කොතරම් සුවිශේෂී පුද්ගලයෙකු වුවද ගුරුන්ටත් අකුරු වරදින ධර්මතාවයෙන් සනාටත් ඉඳහිට අකුරු වැරදුන අවස්ථා බොහොමයකි. එහෙත් කොයියම් අවස්ථාවක වුවද මුදලට කෙරෙනාවූ ක්‍රීඩාවක් වෙත්ද එම අවස්තාවෙදීනම් සනාට අකුරුනම් වැරදුනේ නැති. මිතුරන් එකතුවී යන්නා වූ විනෝද ගමනක් වෙත්නම් සනාගේ බෑගයේ කාර්ඩ් කුට්ටම නම් වැරදුනේ නැති. රාත්‍රී නවාතැන් පොලේදී සියල්ලන්ම කාර්ඩ් ක්‍රීඩාවට පොළොඹවා ගන්නා සනා සිය ස්වයං රැකියාව ආරම්භ කරන අතර අවසානයේ සියල්ලන්ගේම විනෝද මුදල් නතරවන අවසන් නවාතැන්පොළ වන්නේ සනාගේ සාක්කුවයි.

තමා සිටිනා වටපිටාව සහ කරනා කටයුත්ත ගැන මනා අවබෝධයක් ඇති සනා ඉඳහිට අමාරුවේ වැටුණු අවස්ථාද බොහෝ වන අතර සනා නිසා මා අමාරුවේ වැටුණු අවස්ථාද අවස්ථාද එකසේම වෙයි. දිනක් මාගේ නිවසේ පැවති ඥාතියෙකුගේ මංගල උත්සවයක් අවස්ථාවේ සනා ඉතාමත් කුජීත ලෙස මා අමාරුවේ දැම්මා මෙන්ම  කම්මුල පුරවා කම්මුල් පාරක් ද ඉලා දුන්නේය. එදින සිද්දිය මෙසේයි..

මාගේ නැන්දනියගේ පුත්‍රයාගේ මංගලෝත්සවය සිදුවන්නට නියමිත දිනයේ නැන්දනියගේ නිවසට යාබද නිවසේ ඥාතියෙකුගේ අවමංගල කටයුත්තක් යෙදීම නිමිත්තෙන් මාගේ ඥාතියාගේ මංගලෝත්සවය මාගේ නිවසේ පැවැත්වීමට කටයුතු සම්පාදනය වුයේ මංගලෝත්සවය අවලංගු කරන්නට අතක් නොමැති නිසාවෙනි. බොහෝ සේ අප්‍රසිද්දියේ පැවති මංගල කටයුත්ත වෙනුවෙන් මාගේ ඥාති සහෝදරයාගේ මිත්‍රයින්ටද උදව්වක් පදව්වක් කරන්නට පැමිණෙන්නට අවස්තාවක් නැති අන්දමින් කටයුතු යෙදී තිබු නිසා දුකටත් සැපටත් සිටින්නාවූ මාගේ හිත මිත්‍ර සනා සහ ප්‍රසන්නයා උදව්වට කැඳවුයේ මා විසිනි. මා නැතත් මාගේ නිවසේ සහ ඥාති පිරිසට සනා සහ ප්‍රසන්නයා පවුලේ එවුන් සේම වූ බැවින් මංගල කටයුතු දින සියලු වැඩ සඳහා ප්‍රසන්නයා සහ සනා විසින් විශාල දායකත්වයක් සපයන ලදී. 

සියල්ල අකුරට සුදානම් කර තිබු අවස්ථාවේ මනාල යුවල රැගෙන ඒමට යාමට මා සූදානම් වීමි..

සනා.. මම යනවා එහෙනම් කපල් එක අරන් එන්න.. බොල මෙතන වැඩ ටික බලාගනින් එහෙමනම්..

හරි මචන්.. ගිහින් වරෙන්..

ඉඳා .. මේ සල්ලි වලින් රතිඥ්ඥා පැකට් එකක් ගෙනත් පත්තු කරහන් අපි එද්දී.. ගොඩක් ඕන නැහැ හරිද.. රතිඥ්ඥා දහයක් තිබාම හොඳටෝම ඇති.. මේක බොහොම අප්‍රසිද්දියේ ගන්න මගුලක්නේ බන්.. මම ටවුන් එක හරියෙන් කෝල් එකක් දෙන්නම්.. 

හරි .. උඹ පලයන් එහෙමනම්.. වැඩේ තියෙන්නේ රෑ නිසා අහස ගුන්ඩු ටිකක් එහෙම තිබ්බනම් මරු ..

මොන අහස්ගුන්ඩුද බන්.. රතිඥ්ඥ ටික පත්තුකරන්නෙත් නොකර බැරි නිසා.. මරණයක් වෙලා තියෙද්දී එහෙම හරි නැහැනේ බන්..රතිඥඥා පත්තු කරනවටවත් බාප්පල කැමති නැහැ ..මගේ කටේ බලේට තමයි රතිඥ්ඥ ටිකත් පත්තු කරන්නේ බන්... 

හරි උඹ පලයන්කෝ..අපි වැඩේ කරන්නම් තිතට..

මනාල යුවල රැගෙන ඒමට පිටත්වූ මා ඔවුන්ද රැගෙන නිවසට ආසන්නයට පැමිණෙන විට සැලසුම් කල පරිදි රතිඥ්ඥා පත්තු වීමට පටන් ගත්තේ මංගල උත්සවයක සුපුරුදු උත්සව ශ්‍රීය ගමටම කියාපාමිනි. මනාල යුවල නිවසේ බස්සවා රථය ගාල්කළ මා නිවසට දුව ආවේ වැල නොකැඩී පත්තුවෙන රතිඥ්ඥා ශබ්දයට අමතරව අහස්කුස සිසාරා අහස්ගුන්ඩුද පුපුරන්නට පටන්ගත් විමතියෙනි.

නවතපන් යකෝ ඕක.. තොපි මාව කන්නද හදන්නේ..

කටවහන් හිටු.. අපේ වැඩේ අපි කරන්නම්..

මම තොපිට කිව්වනේ අහස්ගුන්ඩු ගේන්න එපා කියල..

යකෝ මගුලක් කරනකොට ඒක ලස්සනට කරන්න ඕන..

මාගේ වැඳවැටීම නොලසකා හැරි සනා සහ ප්‍රසන්නයා  එක දිගට අහස සිසාරා අහස්ගුන්ඩු පත්තු කරමින් විනෝද වුයේ කලකට පසු නොමිලේ ගිනිකෙළි සමග විනෝදවීමට ලැබුණු අවස්ථාවෙන් උපරීම ප්‍රයෝජන ගනිමිනි. සනාගේ අතේ අහස්ගුන්ඩු මිටියක් වූ අතර ප්‍රසන්නයා අතේ රතිඥ්ඥා පනහක පෙට්ටියක් වීය. මාගේ නිවසට හිමි භූමි භාගයේ කොනක වූ උස් ස්ථානයක සිට අහස්ගුන්ඩු යවමින් සිටි සනා සිහිනයෙන් වත් නොසිතු ලෙසින් අත වැරදී අහස්ගුන්ඩුවක් මංගල පිරිස දෙබෑ කරමින් නිවස තුලට ගොස් පුපුරා ගියේ ඉතාමත් අනපේක්ෂිත ලෙසයි. මංගල පිරිසද නොසන්සුන් ආකාරයෙන් හිස් ලූ..ලූ.. අත දුවන්නට වූ අතර රතිඥ්ඥා ද වැලට පත්තු වෙමින් තිබුණි.

මොකද්ද යකෝ කරේ.. 

හරි බන් හිතල කරේ නැහැනේ.. මේක පොඩ්ඩක් අල්ලගනින්.. 

මාද ගොන් වස්සකු සේ සනා අත  තිබු අහස්ගුන්ඩු මිටිය සුරතට ගත්තේ අහස්ගුන්ඩු යැවීම නවත්වන අභිලාෂයෙනි..

කව්ද බූරුවෝ ගේ ඇතුලට අහස්ගුන්ඩු එව්වේ.. තොට මම කිව්වනේ ඕවා ගේන්න එපා කියල..

මාගේ බාප්පා යක්සාරූඩයෙන් නිවස තුලින් මතු වූයේ එසේ මා අමතමිනි.. අඩියට දෙකට මා අසලට පැමිණි මාගේ ආදරණීය බාප්පා මා අසලට ලංවුයේම අහසේ පායා තිබුණු තරු පොකුරු පිටින් ඔලුව වටේ කරකැවෙන ප්‍රමාණයේ කන පුරවා පාරක් මාගේ වම් කනට ප්‍රධානය කරමිනි..

චටාස්..

මම කිව්වා නේද බොට රතිඥ්ඥ ගෙන්න එපා කියල.. තෝ රතිඥ්ඥ මදිවට අහස්ගුන්ඩුත් ගෙනාවද බූරුවෝ..

මම නෙවෙයි බාප්පේ.. මෙන්න මුන් .. මම මගින් මගට එපා කිව්වා.. 

කව්ද දැන් උඹ කියන්නේ මුන් කියල..

කණ පුරවා වැදුණු කනේ පාරෙන් අන්දමන්ද වී සිටි මා සිහි එලවා ගත්තේ තත්පර කිහිපයකට පසුවයි..

උඹ එපා කිව්වා වැඩේ කරා මදිවට දැන් බොරුත් කියන්න එනවා මෙතන.. උඹේ අතේ අහස්ගුන්ඩු මිටිය තියාගෙන උඹ දැන් කියන්නේ උඹ නෙවෙයි අහස්ගුන්ඩුව ගේ ඇතුලට එව්වේ..

මම එකපාරක් කිව්වනේ බාප්පේ.. මම නෙවෙයි.. මෙන්න මුන් දෙන්න..

මුං .. මොක්කුද බොල මුං කියන්නේ..

නොකළ වරදකට තවදුරටත් චෝදනා විඳීම නොහොඹිනා බැවින් සනා සහ ප්‍රසන්නයා  අමු අමුවේ පාවාදීමට පිටුපස බැලූ මා හට වැටහීගියේ මා හැරුණකොට මා අවට කිසිවෙකුත් නොමැති බවයි. මා අසල වූ ගල් පොත්ත උඩ රතිඥ්ඥා පෙට්ටියද වූ අතර ගලෙහි හිටවන ලද පත්තුවෙන ඉටිපන්දම පමණක් මාගේ තනිකමට වීය.. ඒ මදිවාට අහස්ගුන්ඩු මිටියක්ද මා අතය.. 

නිවස තුල පුපුරා ගිය අහසගුන්ඩුවට පින්සිදුවන්නට මුළු මගුල් ගෙදරම ජනතාව නිවසින් එලියට පැන බලා සිටින්නේ  මට ශුද්ද සිංහලෙන් දෙහි කපන බාප්පා සහ සත්ගුණවත් අසරණ මා දෙසය. ප්‍රදර්ශනාගාරයක ප්‍රදර්ශනයට තබා ඇති අගනා වස්තුවක් ආකාරයේ අවදානයක් මා වෙත යොමුවී තිබු අතර ප්‍රදර්ශනය නරඹන ජනතාව අතර සිට කාටත් නොපෙනෙන අයුරින් මා වෙත ටටා පාරක් දැමු සනාත්, ප්‍රසන්නයාත් හඳුනාගන්නට මට වැඩි අපහසුවක් වුයේ නැති. මා අත  තිබු අහස්ගුන්ඩු මිටියම පත්තු කර සනා සිටිනා දිහාවට යැවීමට සිතුනද ඊට කලියෙන් මා අත තිබු අහස්ගුන්ඩු මිටිය මගෙන් උදුරා දෙකට තුනට කඩා දැමු බාප්පා අසල තිබු රතිඥ්ඥා පෙට්ටියද පොළොවේ ගසා එතනින් නික්මයන විට එතෙක් කල් මා විසින් විචිත්‍ර ලෙස අමාරුවෙන් පින්තාරු කරගෙන තිබු මාගේ සායම සියල්ල සේදී ගොස් අවසානය.

මගුල් ගෙදර උත්සවය අවසන් වනතෙක්ම කුස්සිය පැත්තේ රාජකාරී වල පමණක් මා යෙදී සිටියේ ඉදිරිපස කොටසේ සිටිනා වූ උදවියගේ මුහුණ බැලීමට තරම් ගැම්මක්, දෙනෝදාහක් ඉදිරියේ කනේ පාරක් කෑ මා වෙත නොවූ බැවිනි. එහෙත් ලූලා නැති වලට කනයා පණ්ඩිතයා න්‍යායෙන් සනා සහ ප්‍රසන්නයා පෙරමුණේ රාලලා වුයේ මාගේ මුදලින්ම අහස්ගුන්ඩු යවා විනෝද වීමෙන් අනතුරුවය.

ඉන් දින කිහිපයකට පසු සනා විසින් මාව නැවතත් අමාරුවේ දැමුයේ ඉතාමත් කුජීත ලෙසය.. 

එදින සිකුරාදාවක් වූ අතර රැකියාවට ගොස් පැමිණි මා මාගේ වෙළඳ ස්ථානයේ රැඳී සිටියේ කඩය වැසූ වහා කොල්ලන් සමග සෙට් වීමට කලින්ම සැලසුම් කරතිබූ බැවිනි. සනාද රැකියාව අවසන් වී මාගේ වෙළඳ ස්ථානයට පැමිණියේ මා සමගම සෙට් වීමේ කටයුත්තට යාමටයි.

සනා.. මම කඩේ වහනකම් උඹ ගෙදරට ගිහින් කාර් එක අරන් වරෙන්..

ඉතින් කඩේ වහලම යමන් බන්..

යකෝ.. කඩේ වහල මෙහෙම්මම යන්න පුළුවනි.. ගෙදර ගියොත් දාහක් ප්‍රශ්න වලට උත්තර දෙන්නත් වෙනවනේ.. උඹ ගිහින් කාර් එක අරන් වරෙන්..

හරි.. මම ගිහින් එන්නම් එහෙමනම්..

සනා මාගේ මොටෝවෙන් මාගේ නිවාස බලා ඉගිලුනේ මෝටර් රථය රැගෙන එමටයි.. එහෙත් සනාගේ පැමිණීමට පෙර සනාගේ ජන්ගමයෙන් මාගේ ජන්ගමයට ඇමතුමක් ලැබෙන්නේ මේ අතර වාරයේදීයි..

මොකෝ බන්..

ඉස්සරහ රෝදේ හුලන් නෑ යකෝ..

ඉස්සරහ මොන රෝදේද..

ඩ්‍රයිවර් පැත්තේ රෝදෙ බන්..

හරි බන්.. ඕක ඉතින් මහ දෙයක්ද.. ඩිකිය ඇරලා ස්පෙයාර් වීල් එක අරන් ජැක් එකත් අරන් රෝදෙ මාරු කරන්  වරෙන්..

මට තේරෙන්නේ නැහැ රෝද මාරු කරන්න..

ඕක මහා දෙයක්ද බන්.. ඩිකිය ඇරපන්.. ගනින් ජැක් එකයි, වීල් බ්‍රෂ් එකයි, ස්පෙයාර් වීල් එකයි.. ඉස්සෙල්ලම රෝදෙ නට් හතර වට භාගයක් බුරුල් කරපන්. ඊට පස්සේ ජැක් එක කාර් එක යටින් තියල කරකවපන්.. රෝදෙ ඉස්සුනාම නට් හතර ගලවල රෝදෙ අයින් කරලා අලුත් රෝදෙ දාල තදකරල ජැක් එක බාපන්..

අපරාදේ බන්..

මොකක්ද දැන් රෝදෙ මාරු කරන එකේ තියන අපරාදේ ..

නැහැ බන්.. මට එහෙම්ම ගියානම් උඹේ රෝද මාරු කරන්න වෙන්නේ නැහැනේ..

හරි.. දැන් තෝ ගියේ නැහැනේ.. දැන් ඕක මාරුකරගෙන වරෙන්.. බොලාට කාර් එලවන්න පුළුවනි රෝද මාරු කරන්න තමයි බැරි.

සනා දුරකථනය විසන්දිකොට නිහඬ වූ නිසා මා නැවතත් කඩය වසන කටයුත්තේ නියලුනෙමි. කඩය අතුගා, මුදල් ගනුදෙනු පිළිවෙලට සකසා, දුම් අල්ලා, දවසේ සියලු වෙළඳ කටයුතු අවසන් කිරීම දිනපතාම සිදුවන බැවින් සුපුරුදු පරිදි සියල්ලම එකින් එක කරමින් සිටි මා හට නැවතත් සනාගෙන් දුරකථන ඇමතුමක් ලැබෙන්නට විය.

මොකෝ බන්..

මේ ජැක් එක ඉස්සෙන්න මොන පැත්තටද කරකවන්න ඕන..

දකුණු පැත්තට බූරුවෝ..

මම කරකැව්වා ..ජැක් එක වදින්නේ නැහැ..

අනේ පල යන්න.. ඔය ජැක් එකට හෙන ගහලද බන්.. ඕකෙ කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ..

බොරුනම් ඇවිත් බලහන්..මේ ගහනව ගහනවා වාහනේ ඉස්සෙන්නේ නැහැ යකෝ..

වෙන්න බෑ .. හොඳට බලහන් ජැක් එක කැරකෙනවද කියල..

ඔව් බන් ඔව්.. මේ යස අගේට කැරකෙන්නේ.. මුල් ටිකේ ටිකක් ඉස්සුනා.. ඊට පස්සේ ඉස්සෙන්නෙම නැහැ..

හිටහන් මම කඩේ වහල එනකම් එහෙනම්..

ලහි ලහියේ කඩය වැසූ මා නිවසට යද්දී සනා මාගේ රථය අසල ඇන තියාගෙන රෝදය දිහා අනිමිස ලෝචනයේ යෙදී සිටි අතර ගමනේ තිබෙන්නා වූ හදිසිය නිසාවෙන් ක්ෂණිකව රෝදය මාරුකිරීමට මා රථය වෙත ලංවුයෙමි ..

අහෝ දුකකි.. ඉරකි.. තිතකි..

සනා නැවතත් මාව කුජීත ලෙස අමාරුවේ දමා ඇත... එනම් සනා ජැක් එක තබා ඇත්තේ මෝටර් රථයේ ෆලෝ බෝර්ඩ් එකට නොහොත් යට තහඩුවටය.. මදක් දිරුම් සහිතව තිබී ඇති තහඩුව දෙබෑ කරමින් මෝටර් රථය ඇතුලෙන් මතුවී ඇති ජැක් එක රථයේ අක්ස්ලේටරයද දෙකට නවමින් උඩට විත් විරාජමාන වී තිබෙනු මා දුටුවේ රථයේ රියදුරු දොර විවුර්ථ කර බැලීමෙන් අනතුරුවයි. 

තෝ කොහෙටද බූරුවෝ ජැක් එක තිබ්බේ..

උඹ කිව්වේ කාර් එක යටින් ජැක් එක තියල කරකවපන් කියලනේ.. ඉතින් මම උඹ කිව්ව විදිහටම කරා..

වරද මාගේ බැවින් එතනින් එහා නඩු අසා පලක් නැති නියාවෙන් මෝටර් බයිසිකලයෙන්ම සෙට් වීමේ කර්තව්‍ය සඳහා පිටත්ව ගියද මෝටර් රථය යථා තත්වයට පත්කර ගැනීමට මොණරු කිහිපයක් වියදම් කිරීමට මා හට සිදුවීය..

එක්දහස් නවසිය අනූ නවය ආසන්න කාලයක සනා මා අමාරුවේ දැමූ  තවත් එක අවස්ථාවක්  වීය. එකල සනා සහ මා යන දෙදෙනාම රැකියාව කලේ එකම ආයතනයේ බැවින් කලාතුරකින් එකට රාජකාරියේ යෙදීමට අවස්තාව ලැබෙනුයේය. සනා මා රැකියාව කල ආයතනයේ අලවි අංශයේ රැකියාව කල අතර මා රැකියාව කලේ කාර්මික අංශයේයි. දිනක් විශේෂිත වූ රාජකාරියකට සනා අනුරාධපුර පැමිණ සිටි අතර මාද අනුරාධපුරයේ රාජකාරි කරන සතියක් විය. දෙදෙනාම රාජකාරී රථ නොමැති සතියක් වූ බැවින් දෙදෙනාගේම ගමන් සගයා වුයේ බස් රථයයි. එදින සනා සහ මම නැවතී සිටියේ අනුරාධපුරයේ නව නගරයේ ලැගුම් හලක වන අතර හවස් අතේ කරන්නට යමක් නොමැතිව දෙදෙනාම අන්දමන්ද වී සිටි දිනයක් වුයේය.

මොකද බන් කරන්නේ..

මොනා කරන්නද බන්.. ටවුම පැත්තේ ගිහින් මොනාහරි ගෙනල්ල බීල මොනාහරි කාල නිදාගමු බන්..

කිසි ගතියක් නැහැනේ බන්..

මොන ගතියක්ද යකෝ.. බීව.. කෑවා.. නිදාගත්තා.. වෙන මොනවා කරන්නද ඉතින්..

එහෙම නෙවෙයි.. අපි බොන දෙයක් අරගෙන යමු පීරලාගේ ගෙදර..

පීරා යනු අපගේ නිල වාහනයේ රියදුරාගේ ඥාති පුද්ගලයෙක් වන අතර එම නිවාස පිහිටියේ අනුරාධපුර සිට සැතපුම් අටක් පමණ කැලෑබද ප්‍රදේශයකයි.  සනා සහ රියදුරා අනුරාධපුර රාජකාරි කරනා සතියේ රාත්‍රී ලැගුම් ගන්නේ එම නිවසේ වන අතර එමගින් ඔවුනට ආයතනයෙන් සැපයෙන රාත්‍රී නැවතුම් දීමනාව ඉතිරි කරගැනීම සනාගේ සහ රියදුරාගේ මුක්‍ය පරමාර්ථයයි. මාද රියදුරා සමග අනුරාධපුර පැමිණි දිනෙක එම නිවසට පය ගසා ඇති අතර එම නිවසේ රාත්‍රී නැවතීමට මාහට කැමැත්තක් තිබුනේ නැත. රට පුරා ඥාතීන් සිටින සනාටත් අපගේ රියදුරාටත් රාත්‍රී නැවතීමට ලැබෙන දීමනාව දෝත බදා සාක්කුවේ දමාගැනීමට අවස්ථාව ලැබුනත් මා ඒ තරම් වාසනාවන්තයෙකු නොවුයේ මා හට රටපුරා ඥාතීන් නොමැති වූ බැවිනි.

අපි දැන් පීරලාගේ ගෙදර යන්නේ කොහොමද යකෝ.. ගියත් යන්න වෙන්නේ බස් එකේ..අනික උගේ ඥාතියත් නැහැ.. අනික මොන මගුලටද බන් එහෙ යන්නේ.. දැන් මෙතනින් කාල නිදාගන්න එකේ..

අනේ යමන් බන්.. අපි බස් එකේ යමු.. අතුල අපිව බස්සල වෙන ගමනක් ගියා කියමු.. අපිව එක්කන් එන්න එනවා කියමු..

දැන් එතකොට එන්නේ..

අන්තිම බස් එක රෑ අටට එහෙන් එන්නේ.. ඒකෙ  එමු..

ඉතින් දැන් අතුලයා එක්කන් එන්න එනවා කියල තියෙද්දී  කොහොමද බං ගේ ඉස්සරහින් බස් එකේ නගින්නේ..

හරි බන්.. ඒ එනකොටනෙ..

දැන් තෝ මොකද මේ තරම් පීරා බලන්න යන්න සෙනෙහස කියපන්..

විශේෂයක් නැහැ බන්.. නිකම් යමන්..මේකෙ ඉන්න කම්මැලියි 

නිකම්... උඹ සල්ලි වියදම් කරන්  උන්නැහේට බොන්න අරන් යන්නේ ඊට වඩා ලොකු ලාභයක් බොට තියන නිසයි..උඹ මේ යන්නේ අංකල් බලන්න නෙවෙයි අන්කල්ගේ දුව බලන්න..තෝ මට සුදුලූනු පොඩිකරන්න එන්න එපා පුතෝ..

මට මොන ලාභයක්ද බන්.. වෙනදත් යන්නේ බොන්න අරගෙනනේ.. ඉතින් හිස් අතින් යන්න බැහැ බන්..

දැන් උඹ මට කියන්නේ අර වලපයයි ගොඩ පයයි ඉන්න වයසක මනුස්සයට බොන්න දීමේ පුණ්‍යකර්මයට මටත් සහභාගී වෙන්න කියලද..

මෙතන හිටියත් නිකම්නේ බන්.. ඔන්න ඔහේ යමන්.. මා ගානේ සියලු වියදම්...

හරි යමන් එහෙමනම්.. හැබැයි පුතේ අටේ බස් එකේ එන්න ඕන හරිද..

හරි බන් හරි .. ඒකෙ නෑවිත් එන්න විදිහක් නෑනේ..

අප දෙදෙනා රැගත් බස්රථය අනුරාධපුරයෙන් පිටත්වන විට සවස පහද පසුවී තිබූ අතර අදාළ නිවසට කලින් තිබෙන බස් නැවතුමෙන් බසයෙන් බැසගත් අප දෙදෙනා පා ගමනින් එම නිවසට ලඟා වනවිට සවස හයද පසුවී තිබුණි ..

ගෙදර කව්ද..

කව්ද...

මේ අපි අපි ...

ආ මේ අයියලනේ... තාත්තේ... අර අයියල ඇවිල්ලා...

ආ එන්න එන්න පුතාල ගෙට.. අද මොකෝ මේ පයින්..

නෑ අංකල්... වාහනේ ආවේ.. අතුල ගියා වෙන ගමනක් ගිහින් එන්න කියල.. ටිකකින් ඒවි..

කෝ වාහනයක් එන සද්දයක් ඇහුනේ නැහැනේ..

වාහනේ රෙපෙයාර් කරානේ අංකල් .. දැන් සද්දේ වෙනදට වඩා හුඟක් අඩුයි..

ඒක මිසක්.. එමු එමු ගෙට..

සනා තකහනියේ මේ මුකලානේ ගෑටුවේ කුමකටද යන්න පැහැදිලි වුවත් එය කතා කිරීමට සුදුසු වෙලාව එය නොවන බැවින් හොඳ ළමයකු සේ සිටීමට මම ඉටාගත්තෙමි. අප ගෙනගිය හතරැස් බෝතලයද ටීපෝවක් උඩ ස්ථානගතවූ අතර ටීපෝව වටේ පුටු තුනක වාඩිවූ අංකලයාත් , සනාත්, මමත් යාන්තමින් අනුමත වීමට පටන් ගත්තද මාගේ ඔලුගෙඩිය තුල නිරන්තරයෙන් සැරිසැරූ කාරණාව වුයේ අවසන් බස්රථයෙන් නවාතැනට සැපත්වීමයි.

හතරැස් බෝතලය ටිකෙන් ටික, මාගේ මිත්‍ර සනා සහ සනාගේ හිතවත් අංකලයාගේ උදරයේ තැන්පත් වෙද්දී ටීපෝව මත තිබුනාවූ වැව් මාළු බැදුම සීග්‍රයෙන් මාගේ උදරය වෙත ගබඩා කරවීමට මමද එකසේ දායක වූයෙමි. යහමින් බයිට් තිබෙනා තැන්වල මද්‍යසාර වලින් බඩ පුරවා ගැනීමේ අවාසිය බයිට් ලෝලී මාගේ පාඨක උදවිය හොඳින් දන්නවා යයි සිතමි. එම න්‍යායට අනුව බොනවා යයි ඇඟවීමට යන්තම් තොලගෑමක්ද ඉඳ හිට කරන මා බැදපු වැව් මාළු එකින් එක කා දමන අතරේ මුළුතැන්ගෙය දෙසින් අපවෙත විශේෂයෙන් සැකසෙන රාත්‍රී ආහාරයේ සුවඳද මා අමන්දානන්දයට පත්කරවීය. 

කෝ මේ අතුල තාම නැහැනේ..

දැන් ඒවි ආන්ටි.. යාලුවෙක් ඉන්නවා කිව්වා හම්බෙලා එන්න ගියේ..

දැන් එතකොට මේ ළමයි මෙහෙ රෑට ඉන්නවා නේද..

අනේ අද ඉන්න බෑ ඇන්ටි.. අපි අද නැවතුනේ කැකිරාවේ කාමර දෙකක් අරගෙන .. අංකල් බලල යන්න තමයි ආවේ..

සනා ඇඟට පතට නොදනී මහා පතරංග බොරු ඇදබාමින් දෙමහල්ලන් මුලාවේ දමද්දී බැදපු වැව් මාළු සියල්ලට වගකීමේ රාජකාරිය මම අකුරට ඉටුකලද වරින් වර මතකයට එන රාත්‍රී අවසන් බස් රථය ගැන මතකය මාගේ රසවින්දනයට විශාල භාදාවක් වීය..

සනා අපි එහෙනම් මේක ඉවරයක් කරලා යන්න ලෑස්ති වෙමු නේද..

අයියෝ පුතාල කොහේ යන්නද මේ හදිසියේ.. අතුල එනවා කිව්වා නේද එක්ක යන්න.. 

ආ.... ඔව් ඔව් අංකල්.. අතුල දැන් ළඟ එනවා ඇති..

ආ එහෙමනම් අතුලත් ආවාම කෑම ටිකක් එහෙම කාල යන්න බැරිය..

අයියෝ අයියල අද මෙහෙ ඉන්නේ නැද්ද.. මම මේ බලන් හිටියේ උදේට අයියලාගේ වෑන් එකෙන්ම ක්ලාස් එක ගාවට බස්සගන්න..

අද අපි නැවතුනේ කැකිරාවෙනේ නංගි .. ඒ හින්ද ඉතින් යන්න ඕන..

අංකල්ගේ දෝනියැන්දෑද අප අවට ගැවසෙමින් අවශ්‍ය අඩුම කුඩුම සියල්ල ටීපෝව මතට වැඩම්මවීමට විශාල දායකත්වයක් දැක්වූයෙන් මාගේ වැව් මාළු කෑම අඛණ්ඩව කරගෙන යාමට මාහට හැකි වුවද අත් ඔරලෝසුවේ වෙලාව දුටු මා එකවරම කලබලයට පත්වීම අංකල්ට කුතුහලයක් වීය..

මොකෝ ප්...පුතා..

හොඳටම රෑ වෙලානේ අංකල් ..

ටීපෝව යටින් කකුල දමා සනාට පයින් පහරක් ගසා සනා දිහා ඔරොවා බැලුවද සනාට නවාතැනට යාම ගැන නිනව්වක් නොවීය..

ක් ...කොහේ රෑ වෙලාද ප්....පුතා.. ත් ..තාම හතාමාරයිනේ...

හතරැස් බෝතලයේ අඩකට වඩා අඩුවී තිබුණු ඒ අවස්ථාවේ මාගේ හිත මිත්‍ර සනාටද රාත්‍රී අවසන් බස්රථය ගැන මතකයක් තිබුනාද කියා සැක සහිතය..

ඔ..ඔව්.. අන්කල්.. මොන රෑ වෙලාද.. තාම මේ කළුවර වැටුන විතරයිනේ..

මම නැවතත් ටීපෝව යටින් පයින් පාරක් දමා ඇන්නද සනා කිසිදු ප්‍රතිචාරයක් නොමැත..


හතරැස් බෝතලය අහවර වන්නට කාලක් පමණ තිබියදී රාත්‍රී අටේ අවසන් බස් රථය අංකල්ගේ නිවස පසුකරමින් අනුරාධපුර දිහාවට ඉගිලිද්දී සනා උන්නේ අංකල් සමග ජයට සව්දිය පුරමිනි. ටීපෝව යටින් කකුල දමා කී වාරයක් පයින් ඇන්නාදැයි මතකයේ නැතත් සනාට නම් ගානක්වත් උනේ නැති..

පුතාල එහෙනම් කාල ඉමු නේද.. අතුල ආවාම අතුලට කන්න බැරිය ..

හ් ...හා ආන්ටි ..ක්.. කාල ඉමු එහෙමනම්..

ප් පුතාහ් ..ක්...ක්.. කමු...

හරි අංකල් කමු ...

ම් ..ම් ...මචං ..අ..අප්පි.... ක්..කමු...

මමත් මේ කල්පනා කරේ තෝව උයල කනවද..බැදල කනවද..අමුවෙන්ම කනවද කියල තමයි..

ම් ....ම් .මොකක්ද ප් ...පුතාහ් ...

නෑ අංකල් මුකුත් නෑ... මම මේ කිව්වේ අංකල්ලා හුඟක් මහන්සි වෙලා අපිට කන්න දෙන්න..

අ...ආ..අයියෝ..පුතාහ් ... ඒ ..එව්ව ..ආ ..ආගන්තුක ..ස් ..ස් ..සත්කාර නෙව..අ..අනික.. මේ..පුතාලාහ් ..ප්..පිට ..මිනිස්සුය..

මේසයට වාඩි වූ සනා සහ මම කන්නට බෙදාගත්තද කන්නට පිරියක් මා වෙත නොවුනේ බැදපු වැව් මාළුන් සෑහෙන පමණක් කෑ නිසා සහ ඊළඟට කන්නට වෙන පරිප්පු නැව ගැන නිරන්තරයෙන් සිහිවීම නිසාවෙනි..

මොකද මේ අතුල පරක්කු දන්නේ නැහැ නේද..

ද් ..දන්නේ න් ..නෑ නැන්දේ.. ව් වාහනේ ප් ..පොඩි අවුලක් ත් ..තිබ්බ.. ක්..කැඩුනාවත්ද දන්නේ නෑ ..

මීට පැයකට හමාරකට ප්‍රථමව ආන්ටි දැන්  නිකම්ම නිකම් නැන්දා වී ඇති අපුරුව කේන්තියෙන් විඳිමින් බත් කටක් දෙකක් කෑවයින් නොකෑවායින් මා අත සෝදාගෙන මේසයෙන් නැගිටවිත් එළියේ ඇති ලී බැංකුවේ වාඩිවී කල්පනා කරන්නට වුයේ සැතපුම් අටකින් එහා ඇති අනුරාධපුර නගරයට යාමට ක්‍රමයක් ගැනයි. යන්තමින් රාත්‍රී නවය පමණ වනවිට සනා කෑම අවසන්කොට මේසයෙන් නැගිටි වහා මම නිවස තුලට ගොස් සනාව එලියට ඇදන් ආවෙමි..

යන්නේ නැද්ද බූරුවෝ..

හරි හරි බා.....න් ... උම්බට හදිසිනම් යමන්...

මං  තෝව කනවා අද දැනගනින්.. හිටහන්කෝ පොඩ්ඩක්..

අංකල් අතුල එන්න පරක්කු මොකද දන්නේ නැහැ.. අපි ටිකක් ඉස්සරහට පයින් යන්නම්.. මොකක් හරි කරදරයක්ද දන්නේ නැහැනේ..


ම් ...මේ...කළුවරේ... ක්..කොහොමද ප් ..පුතා යන්නේ..ඔ..ඔන්න්න ඔහෙ ත්..තව ටි..ටිකක් ඉඳල බ් ..බ් ලන්න..

ඔව් පුතා මේ දවස්වල තනියත් ටිකක් මේ පැත්තේ කරක් ගහනවා.. පයින් යන එකනම් ඒ තරම් හොඳ නැහැ..

ඔ..ඔව්.. ම..මචං ..නැන්ද කියන න් ..නිසා තව ට් ..ට් ..ටිකක් ඉම්මු...

බෑ ආන්ටි.. අතුල නාවොත් අපිට කොහොමත් යන්න වෙනවා අතුලට මොකද උනේ හොයන්න.. ඒ හින්ද අපි ටිකක් ඉස්සරහට යන්නම්.. යන එන ත්‍රී වීල් එකක් ආවොත් එකේ නැගල ටවුමට යන්න පුලුවනිනේ..

මේ වෙලාවේ මේ පැත්තට ත්‍රී වීල් එන්නේ නැහැ දරුවෝ..

කමක් නැහැ ආන්ටි.. අපි ටිකක් ඉස්සරහට යන්නම්කො..

ම් ..ම් මචං ..අහපන්කෝ නැන්ද කියන දේ.. අ..අපේ හ් ..හොඳට නේ ක් ..කියන්නේ..

අංකල් පුටුව උඩම නිදි කිරා වැටෙද්දී නිවැසියන්ගෙන් සමුගත් අප දෙදෙනා කෑලි කැපිය හැකි අන්කාරයේ තරු එළියෙන් පාර අසාගෙන අනුරාධපුර දිහාවට ගාටන්නට පටන්ගතිමු..

අ..අවුලක්..නෑනේ මචං..අ..අපි කොහොමත් ඉ..ඉන්න නෙවෙයිනේ ආවේ නේද..

තෝ මගෙන් මැරුම් නොකා එනවද නැත්තම් නැන්දලහටම ඇරලන්නද ..

අරි..අරි.. බන්.. උම් ..උඹ මගේ බොක්කනේ... ෂින්ඩුවක් කියාගෙන යමන්..

සියල්ල අවසානයේ අප දෙදෙනාටම අපගේ නවාතැන් පොළ වෙත පයින් ඒමට සිදුවූයේ පසුපසින් පැමිණෙන සියළුම වාහන වලට අත දමමිනි. කලාතුරකින් අප පසුකර ගිය  කිසිදු වාහනයක් අප පසුකරමින් නොනවත්වා ගියා මිස අපහට අනුකම්පාවක් නම් දැක්වුයේ නැති. මුළු දුරෙන් සැතපුම් හතක් පමණ දුරක් පයින් ආවාට පසු අප ගැන අනුකම්පාකළ බස් රියදුරෙක් අපව බස් රථයට ගොඩකර ගත්තද එම ස්ථානයේ සිට අපගේ නවාතැන්පොලට සැතපුමක්වත් දුරක් තිබුනේ නැත. අවසානයේ රාත්‍රී එකොළහද පසුවී නවාතැන වෙත පැමිණෙද්දී නවාතැනේ ගේට්ටුවද වසා යතුරු දමා තිබු අතර තාප්පයෙන් පැන ඇතුළුවී සේවක කාමරයට පැය භාගයක් පමණ තඩිබා ප්‍රධාන දොර විවෘත කර ගත්තෙන් ඇඳක නිදාගැනීමේ වාසනාව පෑදුන අතර පාරේ බස් නැවතුමක නිදාගැනීමට තිබු අවස්ථාව අනූ නවයෙන් ගිලිහුණි. 

එදා බස් නැවතුමක රාත්‍රිය ගතකරන්නට සිදුවුයේ නම්, අද වනවිට සනා අවසන් ගමන් ගොස් වසර දහසයක් වන්නට තිබුණි. 

අලි ඉන්නා කැලෑවක් මැදින් කට්ට කළුවරේ සැතපුම් හතක් නොහොත් කිලෝමීටර එකොළහක් පයින් යැවීමේ කටයුත්තේ දෙවැනි කොටස ලෙස මාගේ මෝටර් සයිකලයද තල්ලු කරගෙන එවන් ආසන්න දුරක් කළුවරේ පයින් ගිය සිද්ධිය මනින්නා පෝස්ටුවේ මීට වසරක පෙර ලියා ඇත. මනින්නා පෝස්ටුව මෙතනින් බැලිය හැකි අතර එම පෝස්ටුව ලීව දින පටන් මනින්නා මා සමග වැඩි ඇයිහොඳයියක් නම් නොමැත..අදින් ලියවුනු පෝස්ටුවෙන් පසු සනාද මා සමග වැඩි ඇයිහොඳයියක් නැති වීමට ඉඩ ඇති අතර සනා අනුරාධපුරයේදී සුවිශේෂී ක්‍රමයකට දත් මැද්ද හැටි ගැන පෝස්ටුවක් ලිවීමටද හිතේ කොනක අදහසක් ඇත. 

දරුණු වන සතුන්ගෙන් , අලින්ගෙන් , තනි අලියාගෙන් ගහන කැලෑවක් මැදින් නිරුපද්‍රිතව පයින් ඒමට හැකිවූ එකම රහස, පාඨකයින්ගේ ප්‍රයෝජනය පිණිස  ලියා තැබීම මාගේ වගකීම වන්නේය. එම රහස නම්, හතරැස් බෝතලයෙන් ලැබුණු නව ජවයද සහිතව අප දෙදෙනාගේ පාද යාත්‍රාව අලංකෘත කරනු පිණිස සනා කළුවරේ සිංදු කියන්නට පටන් ගැනීමයි. එහි ප්‍රතිපලය නම් සනාගේ සිංදු අසා සිටීමට නොහැකි වූ තනි අලියා ප්‍රමුඛ සියලු භයානක වන සතුන් පලාතෙවත් නොසිට  සින්දු නෑසෙන දුරකට කැලේ කඩාගෙන දිවයාමයි. 

53 comments:

  1. ජැක් ගැහිල්ලනං මරු! නොදන්න උන්ට ජැක් ගහන්න දීලා ඇක්සලේටරේ නමාගෙන බේරුණා ඇති!

    ReplyDelete
    Replies
    1. සමා කියන දේ අකුරට කරන එකෙක් බන්.. මම කිව්ව විදිහට තමයි ඉතිං ජැක් එක ගහල තියෙන්නේ. වරද මගේ..

      Delete
  2. සුපිරි කතාව. මේ වගේ යාලුවෙක් නැත්නම් වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. වැඩේ කියනේ මට මේ වගේ ගොඩක් ඉන්න එකනේ බන්..

      Delete
  3. ලස්සන කථාව.. රස වින්දා සැහෙන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කවිඳු..ඔයාගේ බ්ලොග් එක මුල ඉඳන් කියවන් එනවා ටිකෙන් ටික ..

      Delete
  4. බලාගෙන මචෝ ඔය සමා කියන එකා උබේ ගෙදරට බෝම්බයක් ඩිලිවරි කරයි.ඌ එහෙව් එකා

    ReplyDelete
    Replies
    1. මට කලින් ඌ උඹේ යාලුවනේ බන්...

      Delete
  5. බලාගෙන යනකොට ඔයවාගේ යාලුවෝ අපි හැමෝටම ඉන්නවානේ මචෝ ...

    අඹ යාළුවේ නිබද සේවනැල්ල සේ
    මගේ ලෝකයේ ඔබම මිණි පහණ වේ..
    මගේ යාළුවේ පිපුණු මල් දෙකක් වගේ...
    මිතු දම් රකිමි පරම සෙනෙහෙන් බැදී........

    ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝ ..ඇත්තටම ඌ මගේ අඹ යාලුවෙක්..

      Delete
  6. කතාව නං පට්ට දිගයි.... හැබැයි ඉතින් රස සාගරයයි... සමා සුපිරි පොරක් වගෙයි... අර ජැක් ඒක ගහපු විදිහ නම් පට්ටයි....

    ReplyDelete
    Replies
    1. මට ඉතින් කොටට ලියන්න තේරෙන්නේ නැහැ බන්... සමා කරපු සුපිරි වැඩ තව තියෙනවා.. ඉදිරියේදී ලියන්නම්කො.

      Delete
  7. මම උඹ උනානං ඕකව ආසරේ කරන එක නවත්තනව

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙම කරලා බෑ බන්... ඌ වගේ යාලුවෙක් හොයාගන්න බෑ ... දුකේදීත්,සැපේදීත් එකා මෙන් ඉන්න එවුන් බොහොම ටිකයි මචන්..

      Delete
  8. අඩෝ...
    පට්ට පට්ට...
    කතාවත් පට්ට සමාත් පට්ට...

    අර කතාව අමතක නෑ නේ???

    ReplyDelete
    Replies
    1. තැන්කු මචන්.. මොකක්ද මචන් අර කථාව කිව්වේ..

      Delete
  9. අනේ මෙහෙමත් සැට් එකක් . කාලයක් කැමා අයියා ලියාන ගියා ගමේ සෙට් එක ගැන මේක ඊට දෙවෙනි නෑ....අම්බලන්ගොඩ කතා ....

    ReplyDelete
    Replies
    1. මේ කථා ඔක්කොම ලියවිලා ඉවර වෙද්දී සැට් එකම මං එක්ක තරහ වෙලා තියේවි බන්.. හැක් .. හැක් .. මළගෙදරක එහෙම සෙට් උනොත් රෑකට ,අට ගුටිකාලා මැරෙන්න වෙනවා අනිවා..

      Delete
  10. ඌ අර කෙල්ලව ගොඩ දා ගත්තේ නැද්ද...

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ .. නෝ චෑන්ස් .. ඇප්ලිකේෂන් එක ඉන්ටව් එකට නොතේරීම රිජෙක්ට් උනා .. බැලුවාම අපිට කලින් එකෙක් ඉන්ටව් පාස් වෙලා... හැක් ...හැක් ...

      Delete
  11. //මාගේ නිවසේ සහ ඥාති පිරිසට සමා සහ ප්‍රසන්නයා පවුලේ එවුන් සේම වූ බැවින්// වෙන්න බෑනෙ. මම බොලාගෙ ගෙදර මිනිස්සු අඳුනන්නෙ නෑනෙ.

    මගුල මැද්දට අහස් කූරු යවල එතන අවමගුලක් උනේ නැති එක ලොකු දෙයක්. මේක කියෙවුවට පස්සෙ ඌ බොලාගෙ ගෙදරට මිනී පෙට්ටියක් ඩිලිවරි කරයිද දන්නෑ. :D

    ReplyDelete
    Replies
    1. මූ යවපු අහස්කූර අඹ ගහේ අත්තෙ වැදිලා වමට ෆුල් කපල ගියා කියහන්කෝ ගේ ඇතුලට... මම ලංකාවේ නැති නිසා ලංකාවට එනකම් ඉඳියි මේකෙ වාඩුව ගන්න...

      Delete
  12. ඔවුං තමා බං සිරාම යාළුවො... අර දත් මැද්ද එකත් වෙලාවක ලිහයං...

    ReplyDelete
    Replies
    1. ඒක ලියනවා කියල ලිව්වේ සමාව බ්ලැක් මේල් කරන්න.. එක දැක්කාම සමා ටිකක් පසුබානව මේකට වාඩුව ගන්න..

      Delete
  13. අම්බලන්ගොඩ කතා ලියන ම හිතාදර මිතුර ලගදීම, ගලෙහි හිටවන ලද පත්තුවෙන ඉටිපන්දම පමණක් මාගේ තනිකමට වීය.. ............
    එල බඩ පැලෙන්න හිනා උනා,

    ReplyDelete
    Replies
    1. බොල බලන් ඉන්නේ මට ඉටිපන්දම ගහන්න එහෙනම්.... ටිකක් කල් යාවි.. හූ....

      Delete
  14. අදයි මේ පැත්තට ආවේ. ලියැවිල්ල නම් මරු. මුලක ඉඳල කතා ඔක්කොම කියවන් එන්නම්. ජය වේ !!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කු මේ පැත්තේ ආවට.. වෙලාව තියන විදිහට කියවන් එන්නකෝ..

      Delete
  15. සමාගෙන් ඔඅබට කිසිම සමාවක් නැත . ඕ යේස්

    ReplyDelete
    Replies
    1. උඹ කියන කතාව නම් ඇත්ත...සමාවක් නම් නැහැ ...

      Delete
  16. ඔය කොයි ගුන්ඩුව ඇද්දත්, කෙලවෙච්චි වෙලාවට ගොඩදාන්න ඉන්නෙත් ඕකුං විතරයි. ඔය වගේ යාලුවො මටත් ඉන්නව. කවුද අර මනින්නා? සමහර විට මං දන්නවා ඇති.

    ReplyDelete
    Replies
    1. කෙලවෙච්ච වෙලාවට නම් සමා ප්‍රමුක යාලුවන්ගෙන් ගෙන් ලැබෙන සහයෝගය නිමකළ නොහැකියි බන්.. මනින්නා දැන් වැඩකරන්නේ ඇල්පිටියේ බන්. කතරගමින් එන්න කලින් මනින්නා ඇල්පිටියට මාරුවීමක් හදාගත්ත.. උඹත් මනින එකෙක්ද නැත්තම් මනින දෙපාර්තමේන්තුවේ එකෙක්ද...

      Delete
    2. මනින දෙපාර්තමේන්තුවේ අඳින එකෙක්

      Delete
    3. බොලෑ දෙපාර්තමේන්තුවේ ඉන්න එවුන්ට නම් බොන්න තේරෙන්නේ නැති එවුන් නේද බන්... බීමෙන් බොලා දෙවැනි වෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවට විතරක් වෙන්න ඇති... මගේ යාලු මනින්නා තනමල්විලෙන් ඇල්පිටියට ගියේ 2009 වගේ මතක විදිහට. උඹ ඒ වෙද්දී බදුල්ලේ හිටියනම් උඹ ඌව දන්නවා ඇති.

      Delete
  17. සෑහෙන වෙලාවක් ගියා බොල මේක කියවන්න.උඹට ලියන්න කොහොම වෙලාවක් යන්න ඇතිද ?..
    සමා හින්දා උඹ කාලා තියන කටු.ඔය මොන කටුකන්න උනත් බලපංකෝ ඒ සිද්දි තාම මතකයේ තියෙන හැටි.

    ReplyDelete
    Replies
    1. ලියන්න දවස් දෙකක් ගියා... වැඩේ කියන්නේ ඕන කරන දේවල් මතක නැති එකයි බන්.. වල් පල් සේරෝම අකුරට මතකයි.. කාලකන්නිකම තමා ඉතින්..

      Delete
    2. එතකොට මු නිසා අනිත් උන් වැටුන අමාරුව ගෙන දන්නේ ...................

      Delete
  18. හිනා වෙලා බඩත් රිදෙනව බන් අර ජැක් එකේ සිද්දියට..............

    ReplyDelete
    Replies
    1. සමාගේ කථා ඉවර නෑ .. සුපිරි එව්වා ඉදිරියට...

      Delete
  19. නියම කතාව බං.හිනාවෙලා ඉල ඇදුනා.හැබැයි උඹ ඌට අංකල්ලගෙ ගෙදර සොමිය ගන්න නොදී ඇදගෙන ආව එක වැරදියි.

    ReplyDelete
    Replies
    1. තවත් හිටියනම් එන්න වෙන්නේ යක්කු ගස් යන වෙලාවට මහා මුකලාන මැද්දේ.. අලි ඉන්න කැලේ මැදින් ඒ ටික ඒ වෙලාවේ ආව එකට දෙවියන්ට පින් දෙන්න ඕන බන් හැලපේ අයියේ..

      Delete
  20. ..අම්මෝ සමාව අදහන්න වටිනවා බොලේ....හිනා කාලා මැරැනා ;) :D මට ඇයි දන් නෑ මේ බොගේ සුදු කොඩි ලෙලදෙනවා පේන්නේ හිකිස්

    ReplyDelete
    Replies
    1. දැම්ම සුදු කොඩි දාල බෑ ශානු.. තාම තිස් අටක් උනා විතරයි...

      Delete
  21. අඩේ.. පරක්කු වෙලා නමුත් ඇවිත් කියන්න ඕන.. සුපිරි ලියවිල්ල...

    ReplyDelete
  22. ලියන දෙයක් බලාගෙන ලියපං දැන් තමය් කතාව බැලුවේ dr රජිතාගෙන් පටන් අරන් dr riancy ගෙන් ඉවර කරලා කියන්න බැරි කතා ටික බඩ තඩියට කියල මම ෆොනේ එක ඔෆ්ෆ් කරලා දානවා

    සමා

    ReplyDelete
    Replies
    1. හරි හරි ඔන්න මම දත් මැදපු කතාව ලියන්නේ නෑ නෑ නෑමයි ... සයිඩ් පොකට් කථාවත් ලියන්නේ නෑ නෑ නෑමයි ...

      Delete
  23. ඒ උනාට උඹට සමා කියපුවා........ උගේ &(*^$^$^^##$#@#@!@#_+)(+_)$@*@#%^... කියලත් කව්වා වගේ මතකය්.

    ReplyDelete
    Replies
    1. දවල් කාලෙක රිප්ලයි එක දැම්මනම් ටිකක් විශ්වාස කරන්න තිබ්බ... රාත්‍රී 8:53 කියන්නේ බොට එක දෙක වෙලා පේන වෙලාවක්.. ඒ හින්ද විශ්වාසයට ගන්න බෑ .. සමාට කියහන් උගේ ෆෝන් එක ළමයෙකුට දෙන්න කියල..

      Delete
  24. ඔන්න ආයි මිස් නොවෙන්න වැඩේ කරගත්තා.. හෙට උදේ සිට ඇරියස් කවර කරමි. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට..

      Delete