Sunday, November 1, 2015

බෝඩිමේ විත්ති සහ ත්‍රිබල් ගේම්




මේ ලියන්නට යෙදෙන සිද්දි මාලාව සිදුවූයේද අනූ හය වසරේ අගෝස්තු උසස්පෙළ විභාගයට ඉතා ආසන්න කාලයක බව ස්ථිරකොට ලිවිය හැක්කේ හේතු සාදක කිහිපයක් මතය. ඉන් පළමුවැන්න නම් අපගේ පාසල් මිතුරෙකු වන හික්කඩුවේ ඥානාට පාඩම් කටයුතු පහසුවනු පිණිස කාලයක් වසා දමා තිබු ඉස්කෝලේ ආච්චිගේ අම්බලන්ගොඩ තුඩුවමුල්ලේ පිහිටි නිවස ඉස්කෝලේ ආච්චි විසින් ඥානාට භාර දුන්නේ උසස්පෙළ විභාගය ආසන්නයේ වන නිසාය. (ඉතාමත් අලංකාර නමක් සහ වංශවත් පෙළපත් නාමයක් මා මිතුරාට තිබුනත් හය වසරේ පටන් මා මිතුරා ඥානා ලෙස හැඳින්වුයේ ඇයිදැයි මා අද වනතුරුත් දන්නේ නැත.) දෙවැන්න නම් සාපෙළ හොඳින් සමත් වුවහොත් මාගේ පියාණන් විසින් මා හට තෑගි වශයෙන් අරන් දීමට පොරොන්දු වූ මෝටර් සයිකල් පොරොන්දුව කිසිදා ඉටු නොවෙන්නා වූ දේශපාලන පොරොන්දුවක්ම වූ නිසා තෑගී පොරොන්දු වෙනුවෙන් මා දිගින් දිගටම  සටන් කිරීමත් , සටන දිනෙන් දින උග්‍ර අතට හැරෙනු දුටු මාගේ නැසීගිය ආදරණීය පුංචී විසින් මා හට මෝටර් සයිකලයක් මිලදීගෙන දීමත් මෙම වකවානුවේම සිද්ද වූ සමගාමී සිද්දියක් වීම නිසාය. එතෙක් පියාණන් සතු මෝටර්  සයිකලය පට්ට ගසමින් සිටි මට මගේම කියා හොන්ඩා එම් . බී . ෆයිව් වර්ගයේ මෝටර් සයිකලයක් ලැබීම නිවසේ එකම විනාඩියක්වත් රැඳී නොසිටීමට මසුරන් හේතුවක් වූ බවනම් සත්‍යයකි. 

උසස්පෙළ ශිෂ්‍යයෙකු වූ මා හට අධික පෙට්‍රෝල් තිබහකින් පෙලුනාවූ මගේ මෝටර් සයිකලයට ඉන්දන සපයාගැනීමට මාගේ ආදරණීය මවුතුමිය, පියාණන්ට හොර රහසේ මා වෙත සැපයු අනුග්‍රහය මෙහිදී අගය කල යුතුමය. මාගේ සියලුම අවර ගනයේ තක්කඩි වැඩ සඳහා පියාණන්ට හොරෙන් සාදර  සමාදර අනුග්‍රහය දැක්වූ මාගේ මෑණියන් නොවන්නට මම වනාහි , මෝටර් සයිකලයක් පැද යන්නට නොදන්නා, වාහනයක් පදවන්නට නොදන්නා, රියදුරු බලපත්‍රයක් නොමැති , පිහිනන්නට නොදන්නා , සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට නොදන්නා , කිසිදා ගැහැණු ළමයෙකුට ආදරය කර නොමැති , යහළුවෙකු කියා එකෙක් නොමැති, ඕනෑම ලොක්කෙකුට යේස් සර් කියනා , දෙන දෙයක් කා වෙන දෙයක් බලා ඉන්නා, රජයේ ආයතනයක ලියන රස්සාවක් කරනා හෙනම හෙන ගොබ්බයකු වීමට බොහෝ දුරට ඉඩ තිබුනේය. 

වැඩිහිටියෙකුගේ අධීක්ෂණයක්  නොමැති අපේම කියා බෝඩිමක් ඥානාට ලැබීම අපි කාටත් වෙස්වලාගත් ආශිර්වාදයක් වුයේ හවස් වරුවේ ටැග් ගැසීමට අපට විශේෂිත වූ ස්ථානයක අවශ්‍යතාවය කාලයක සිටම දැනෙමින් තිබු  බැවින්ය. ඊටත් අමතරව විශේෂිත වරප්‍රසාදයක් වින්දාවූ එකෙක් සිටියානම් ඒ අපගේ තඩියාය. තඩියා සහ බඩ තඩියා යනු එකෙක් නොව දෙදෙනෙකු බව මෙහිදී පාඨක සැම  සිහිතබාගත මනාය. තඩියා නම් දැනට කුවේටයේ සේවය කරනා තඩියාගේ නුවර එලිය සංචාරය සඳහා පාදක වූ අපගේ හිතාදර මිත්‍ර  තුඩුවමුල්ලේ තඩියා වන්නේය. එකල තඩියා විසින් ප්‍රේමයෙන් වෙලී සිටි පෙම්වතිය තඩියාගේ පවුලේ උදවියට නයාට අදුකොල මෙන් වූ නිසා තඩියා පෙම්වතියට පෙම් හසුන් ලිව්වේද , පෙම්වතිය විසින් එවනා පෙම් හසුන් කියෙව්වේද හොර රහසේය. ඥානාට ගෘහමූලික පදවිය සමගම ලැබුණු බෝඩිම තඩියාගේ ප්‍රේම වෘතාන්තය පාඩුවේ කරගෙන යාමට කදිම තෝතැන්නක් මෙන්ම බංකරයක් තරම් කදිමට ආරක්ෂාකාව තහවුරු වූ වටපිටාවක්ද වුයේ නිරායාසයෙන්මය. කොතරම් ආරක්‍ෂිත වටපිටාවක වුවද තඩියාගේ මෑණියන් වහන්සේත් , නැසීගිය පියානනුත් අපගේ සෙවනැල්ල පවා දැඩි අදීක්ෂණයට ලක් කලේ තුඩුවමුල්ලේ සියලුම ජංගම රහස් ඔත්තු සේවාවල, රොයිටර් සේවා  සහ ෂර්ලොක් හොම්ස්ලාගේ  පිහිට නොමිලේම ඔවුනට ලැබුණු බැවින්ය. රහස් ඔත්තු සේවාවන් සහ ෂර්ලොක් හොම්ස්ලා කොතරම් විශ්වාසදායි වුවත් වැරදි බුද්ධි තොරතුරු වලින් මුලාවේ වැටෙන තඩියාගේ මෑණියන් දවසකට වතාවක් දෙවතාවක් හදිසි වැටලීම් සඳහා ඥානාගේ බෝඩිමට කඩා පනින්නේ පොලිසියෙන් කසිප්පු පොළකට පනිනවාටත් වඩා කාර්යක්ෂමතාවයක් විද්‍යාමාන කරමිනි. එය එසේ බැවින් පාසල් වේලාවෙන් පසුව ඥානාගේ බෝඩිමේ රැඳෙනා අපද නිරන්තරයෙන්ම කල්ගත කලේ මී කන් මෝඩ් එක ඕන් කරගෙනමය. හදිසි වැටලීම් සඳහා කඩාපනිනා වූ අයවලුන් අතර තඩියාගේ  නැසීගිය පියානන්ද වූ අතර නිවසේ නීතිමය අයිතිකරු වූ ඉස්කෝලේ ආච්චීද  හදිසි වැටලීම් සඳහා සහභාගී වූ අවස්ථා නැත්තේම නොවේය . 

ඥානාගේම ලඟම ඥාතියෙකු වූ සම්පතයාද එම බෝඩිමේම  සාමාජිකයකු වූ  අපගේ කැලෑසියේම සගයකු අතර  සම්පතයා උප ගෘහමූලික තනතුර හෙබවූයේ ඥානා නොමැති වෙලාවට පමණි. ඉස්කෝලේ ආච්චී විසින් බෝඩිමේ පුරවැසිභාවය ප්‍රධානය කොට තිබුනේ ඥානාට  සහ සම්පතයාට පමණක් බැවින් ඉස්කෝලේ ආච්චී හදිසි වැටලීම් සඳහා කඩන් පහත්වෙන අවස්තා වලදී නීත්‍යනුකූල නොවෙන සංක්‍රමණිකයින් ලඟම තිබෙන කව්ලුවකින් එලියට පැන පණ එපා කියා දුවගොස් සැඟවෙන්නේ විශ්‍රාමික ගුරුවරියක් වන ඉස්කෝලේ ආච්චීට හසුවීම ක්‍රිමිනල් කේස් එකක් වන බැවින්ය. අනවසර සංක්‍රමණිකයින් සඳහා රැකවරණය සැපයීමේ වරදට ඥානා වරදකරු වුවහොත් අපගේ අගනා වාසස්ථානය අපටද ඥානාටද අහිමිවන බැවින් ඉස්කෝලේ ආච්චී හදිසි  වැටලීම් සඳහා සහභාගී වන අවස්තාවන්හීදී  දුවන්නට අතක් නොමැතිනම් ඇඳක් යටට හෝ රිංගා ඉස්කෝලේ අච්චීගේ පරීක්ෂණ කටයුතු නිමවෙන තෙක් මලා මෙන් නිහඬව සිටීම අපේ එවුන්ගේ පුරුද්දය. එවන් එක් අවස්ථාවක අත පය හතර දිග එවුන් බෝඩිමෙන් පැනගත්තත් මා හට දිවීමට අතක් නොවුයෙන් වාඩිවී සිටි ඇඳ මතම මලා මෙන් ඇලවී සිටීමට මට සිදුවුයේය . ඇඳ යටට රිංගීමට උත්සහ කර ඇඳ යට පෝලිමට එක්කාසු කර තිබෙන්නා වූ  හිස් බෝතල් ශබ්දයෙන් පෙරලා දමා බඩුත් සමගම හොරුන් මාට්ටු වීමට තිබු අවස්ථාව එයින් ගිලිහුනත් ඉස්කෝලේ ආච්චි මා මලාක් මෙන් නිදා සිටිනා ඇඳ අසලට විත් ඥානාගෙන් ඇසුවේ මෙස්යි..

මේ මොකාද බොල මේ..

මේ ආච්චියෙ සම්පත්නේ..

ඇස් පෙනුම මදක් දුර්වල වූ ඉස්කෝලේ ආච්චි මාගේ මුහුණට අඟල් හයක් තරම් කිට්ටුවට මුහුණ ලංකර විනාඩියක් පමණ මාගේ මුහුණ නරඹනු යාන්තමට ඇස් ඇරන් සිටි මට චායාවක් සේ පෙනුනත් මලාක් මෙන් නොසිටියොත් ඥානාත් සුං මාත් සුං බව සහසුද්දෙන්ම දන්නා නිසා හදවත දෙමෝලෙන් පිටි කොටද්දීත් මලාක් මෙන්ම සිටීමට මට සිදුවුයේය.. 

මේ දරුවා හරියට වෙනස් වෙලානේ.. මොකෝ මේ මහා දවල් නිදි..

ඊයේ රෑ එළිවෙනකල් පාඩම් කරලා ආච්චියේ ..

හ්ම්.. ඉස්කෝලේ ආච්චී පරීක්ෂණය අවසන් කරේ නැවතත් වරක් කේශාන්තයේ සිට පාදාන්තය දක්වා මා පරික්ෂා කිරීමෙන් අනතුරුවලු..

මට වඩා අඩියකට වඩා උසින් වැඩි සම්පතයා ඒ වෙලාවේ බෝඩිමේ නොසිටීමත්, ඥාතියා වුවත්  ඉස්කෝලේ ආච්චීට සම්පතයා ඒ තරම් මතකයේ නොමැති  චරිතයක් වීමත් අපගේ වාසියට සිටි අතර එය එසේ නොවුවානම් ඥානා කොට්ටා පදුරුත් සමගම බෝඩිමෙන් එලියට විසික් වන්නේ එදාය.

මෙම පෝස්ටුව ලිවීමට උක්තය වන මා මිත්‍රයා හඳුවාදීමට මුලදී අතපසුවීම මාගේ වරදක් බැවින් පාඨකයෝ ඒ ගැන මා වෙත සමාව භාජනය කරත්වා.. සිද්දියට උක්ත  මාගේ මිත්‍රයා මාගේ උසස්පෙළ පන්තියේම එකට ඉගෙනගත් ප්‍රාණ සමාන මිත්‍රයකු වුවත් මා මිත්‍රයා මේ වනවිට කෝටිපති ව්‍යාපාරිකයකු බැවින් මෙහි නම සඳහන් කිරීම නොවටින්නේයැයි මට හැඟේ .එකල  ඕනෑම අවදානම් කාරියකට එක පයින් රෙඩී  ගනයේ සගයකු වන මා මිත්‍රයා මෝටර් සයිකල් පිස්සෙකු බව කිවයුතුමය. මාසෙන් දෙකෙන් මෝටර් සයිකල් මාරුකරනා පිස්සුවකින් පෙලුනාවූ මා මිතුරු තැන එවකට භාවිතා කරමින් උන්නේ RZ 125 වර්ගයේ මෝටර් සයිකලයකි. පාසල අවසන් වූ වහා නිවසට විත් දිවා ආහාරය ගත්තායින් නොගත්තායින්  මමද මාගේ මෝටර් සයිකලය ගෙන තුඩුවමුල්ලේ ඥානාගේ බෝඩිමට වාර්ථා කරන අතර මා මිත්‍ර නම සඳහන් කිරීමට නොහැකි සගයාද ඒ ලෙසින්ම ඔහුගේ යමහා RZ 125 සයිකලයෙන් ඥානාගේ බෝඩිමට වාර්ථා කිරීම සාමාන්‍ය සිද්දියකි. එතැන් පටන් ඇරඹෙන රස්තියාදුව අවසන් වන්නේ ටියුෂන් කුමාරියන් නිවෙස් වලට එන්නාවූ සැන්දෑ යාමයේ  ඥානාගේ බෝඩිමේ තාප්පය උඩින් පෝලිමට වාඩිවී  පාරේ යන ටියුෂන් කුමාරියන් ගණන් කිරීමෙන් පසුවයි. තුඩුවමුල්ලේ තරුණ දූ වරුන් සිටිනා මවුවරුන් ඥානාගේ බෝඩිමට එරෙහිව පෙත්සම් ගැසුවේ නැත්තේ තඩියා , බතලයා  සහ තුඩුවමුල්ල වාසී දේවානන්ද විද්‍යාලයේ ක්ලාස්මේට් පිරිසද ඥානාගේ බෝඩිමේ නිත්‍ය සාමාජිකයින් වූ බැවින්ය. සිද්දියට උක්ත මා මිත්‍රයා හිටි හැටියේ ඔහුගේ මෝටර් සයිකලය පනගන්වාගෙන ඉගිලෙන්නේ සිත් ගත් ටියුෂන් කුමාරියන් දැක බලාගැනීමට බව සියල්ලෝම දනිතත් ඒ කව්රුන් උදෙසාද යන්න අප කව්රුත් දැන සිටියේ නැත. මාද හිටි හැටියේ මාගේ මෝටර් සයිකලය පනගන්වාගෙන ඉගිලෙන්නේ මාගේද එවන් අපේක්ෂාවක් එවකට තිබූ බැවින් වුවත් ඥානාගේ බෝඩිම අවට නොහොත් , තඩියාගේ ගමේ  නොහොත් , තුඩුවමුල්ලේ මාගේ සිත්ගත් දැරිවියක් නොසිටිය බව මෙහිදී අවදාරණයෙන් කිවයුතුමය. සිද්දියට උක්ත මා මිත්‍ර සගයා මාගේ මැන්ගෝ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වුවත් කිසිදු දිනෙක අහවල් කෙල්ල යාලු කරගන්න උදව් කරපන් කියා මාගෙන් තබා කාගෙන්වත් උදව් ඉල්ලා නැත. උදව් ඉල්ලුවානම් ඕනෑම එකෙක් උදව්වක් කරන්නට දෙවරක් සිතන්නේද නැත. 

සිද්දියේ කථා නායකයා වන මා මිතුරු තැන ඔහුගේ  තිබු මෝටර් සයිකල් උන්මාදය සංසිඳුවා ගැනීමට නිතර ඇසුරු කලේ මෝටර් සයිකල් පිස්සන් සමගමය. කොතරම් මෝටර් සයිකල් පැද්දත් මා හට මෝටර් සයිකල් පිස්සුවක් නොමැති වූ බැවින් එම සංගමයට මා ඇතුලත්කර ගැනීමට මා මිතුරා කිසිදු අවස්තාවක උත්සහ දරා නොමැත. එදත් අදත් මෝටර් සයිකල් ධාවනයේ අම්බලන්ගොඩ කීර්තියක් ඉසිලු ඉන්දික සමග නිතර ගමන් බිමන් යාමට පුරුදු වී සිටි මා මිතුරා ගැහැණු ළමයකු පසුපසින් යන්නේනම් ඒ ගමනට සහභාගී කරගත්තේද  ඉන්දිකයාවම  පමණි. ඉන්දිකයා මෝටර් සයිකල් ධාවනයේ සුපිරි වැඩකාරයකු මෙන්ම එවකට පළාතේ නමක් ඉසිලු මෝටර් සයිකල් අලුත්වැඩියා කරන්නෙකි  . ලොකු ලොකු බයිසිකල් වලින් පවන බඳු වේගයෙන් ඉගිලුනා වූ ඉන්දිකයා ස්කූටියක් පැදන් යන අවස්තාවකදී ලොරියක ගැටීම නිසා දින කිහිපයක් සිහි නොලබාම සිට එලොව ගිහින් මෙලොව පැමිණියේ දරුවන්ගේ වාසනාවටම වන්නට ඇත. ඉන්දිකයාව හඳුන්වා දීමට ලොවටම එකයි වර්ගයේ ලෝ සුපතල සුරතල් නාමයක් තිබුනත් එම නම මෙහි ලියා තබා වසරකට වරක් යෙදෙන මාගේ ලංකා ගමනය අනතුරුදායක ගමනක් බවට පත්කරගැනීමේ උවමනාවක් මා වෙත නැති හෙයින් එම නම මෙහි සඳහන් කරන්නේ නැත. 

පාසල් අරුනාවූ වෙලාවේ මාගේ අනෙක් මෝටර් සයිකල් මිත්‍රයා ඉන්දිකයාවද පසුපස ඉඳුවාගෙන කව්රුන් හෝ ගැහැණු දරුවකුගේ ආරක්ෂාවට පසුගමන් යන වගක් මාගේ කෘතහස්ත ඥානයට වැටහී තිබු නමුත් මාගේ මිත්‍රයා එවන් දෑ කල පළමු අවස්ථාව එය නොවන බැවින් මාද ඒ තරම් ඒ ගැන තැකීමක් කලේ නැත. පාසල් ඇරී , ටියුෂන්  ඇරී නිවසට යන ඇහැට කනට පෙනෙනා වූ  ගැහැණු දරුවන් පසුපස කොල්ලන් ඇදෙන ස්භාවය අද මෙන්ම එදාත් එසේමය, සීනි බෝතලයට කුහුඹින් ඇදෙන්නේ කෙසේද එයත් එසේමය.

ඥානාගෙ බෝඩිමේ කල්ගතකරනවාට අමතරව හල්වතුරේ ක්‍රිකට් ක්‍රීඩා කටයුතුද සමගාමීව හවස් වරුවේ සෑම දිනකම සිදුවූ අතර මාගේ නව මෝටර් සයිකලය සහ ඥානාගෙ බෝඩිම  ටික කලකට මා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්කිරීමට සමත්වූ එකම ප්‍රභල සාදකය වීය. එහෙත් සතියකට වරක් දෙවරක් ක්‍රිකට් සෙල්ලම් කිරීමට මා අමතක නොකළ නොකලද එවන්  එකතරා දිනෙක හල්වතුර ක්‍රීඩාංගනය වෙත මා මිතුරාගේ RZ 125 මෝටර් සයිකලය පැමිණුනේ ඉන්දිකයාවද පසුපස ඉන්දුවාගෙනයි. මාගේ නියත ස්ථානය වන කඩුලු  රකින්නා ස්ථානයේ පන්දු රකිමින් සිටි මා ආසන්නයටම මෝටර් සයිකලය පැදගෙන ආ මා මිත්‍රයා සහ ඉන්දිකයා පැවසු දෙයින් මට මද වෙලාවකට එලෝ මෙලෝ නැති වූ බව සත්තම සත්තය.

උඹ හම්බවෙන්න තමයි මේ ආවේ..

කතාව ආරම්භ කලේ ඉන්දිකයායි..

මොකෝ බන් කේස් එක..

උඹ තුඩුවමුල්ලේ කෙල්ලෙකුට ට්‍රයි නේද..

පිස්සුද යකෝ උඹට..

මේ උඹ මට කොලේ වහන්න ලෑස්ති වෙන්න එපා.. උඹ දන්නවනේ මේ ඉන්දික කව්ද කියලා..

හරි බන් ඉන්දික මම නොකරන මගුලක් කොහොමද බන් පිළිගන්නේ..

තෝ කාටත් හොරෙන් අපේ බාපගේ දූ පස්සේ ගිහින් තියනවා යකෝ..

බොට පිස්සුද බන් ඉන්දික.. මම ගියානම් ගියා කියල කියන්න මොකටද බන් බය වෙන්නේ..

හරි එහෙනම් තෝ වසන්තගේ නංගි ශ්‍යාමලී පස්සේ ගියේ නැහැ එතකොට..

බොට පිස්සුද යකෝ..

එහෙනම් අපේ බාප්පා මට කථා කරලා කිව්වේ කලුපාට එම් . බී . ෆයිව් එකකින් කොල්ලෙක් එනවා කියල ශ්‍යාමලී පස්සේ.. පුතෝ මම මේ කියන්නේ උඹේ හොඳට.. උඹ එහෙම ගියානම් ඒක නවත්තපන්.. ඔන්න මම යාළුකමට උඹව බේරාගත්තා. ආයෙ මටනම් කියන්න එපා බොල අපේ බාප්පාගේ පුත්තු එක්ක පටලගෙන බේරල දීපන් කියල හොඳේ..

අනේ බන් ඉන්දික මම ශ්‍යාමලී පස්සේ ගියේ නැහැ බන්.. උඹේ බාප්පට කියහන් වැරදීමක් වෙන්න ඇති කියලා..

බාප්පා මට කිව්වේ බෝඩිමට එන කලුපාට එම් . බී . ෆයිව් එකේ එන එකා කියලා.. ඒ ඉතින් උඹනේ..

හරි බන් එම් . බී . ෆයිව් එක පදින්නේ මම තමා.. එත් මට පිස්සු නැහැ බන් ශ්‍යාමලී පස්සේ ගාටන්න.. 

හරි දැන් මම ඒක ශේප් කරන්නම්.. උඹ ආයේ ශ්‍යාමලී පැත්තවත් බලනවා නෙවෙයි හරිද..

හරි හරි බන්.. මම උඹට එකපාරක් කිව්වනේ . මම ශ්‍යාමලී පස්සේ ගියෙත් නැහැ යන්නෙත් නැහැ.. 

හරි එහෙනම් අපි ගියා.. නැති ලෙඩ පටලවාගෙන ඔන්න මටනම් කියන්න එපා බේරලා දියන් කියලා.. අපේ බාප්පා මහා අණක් ගුණක් නැති එකා හොඳේ..

ඉන්දිකයා සහ මාගේ මිත්‍රයා මෝටර් සයිකලය පනගන්වාගෙන නික්ම ගියායින් එම සංවාදය එතැනින් අවසන් වුවද ඔවුන්  නික්ම ගියේ  මාගේ ඔලුගෙඩියේ ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරමිනි. මොටෝව පැද ආ මාගේ අඹ යාලුවා මෙම සංවාදයේදී කිසිදු අදහසක් ඉදිරිපත්  නොකරමින් මා වෙත විරිත්තමින් සිටීම  මා වෙත ප්‍රශ්නාර්ථයක් වූ අතර මා නොදැනුවත් කමින් මේ කියනා ගැහැණු දැරිවිය යන එන පාරක දෙතුන් වරක් මා හට හමුවුනේවත්දෝ  කියා මතකය ආවර්ජනය කිරීමට උත්සහ දැරුවද එවන් මතකයක් මාගේ ඔලුගෙඩිය තුල නොවීය. ඥානාගෙ බෝඩිමේ තාප්පය උඩ සිටිනා හැන්දෑ වරුවලදී එතැනින් යන්නා වූ ඕනෑම ගැහැණු දැරිවියකට අපේ එවුන් කියනා වූ  කුප්ප කථා වලට හුරේ දැමුවද ශ්‍යාමලී වෙත විශේෂත්වයක් මා වෙත නොවූ බැවින් ඇසුවා වූ හතර බීරි කථාව අමතක කර දමා ක්‍රිකට් ක්‍රීඩාව දෙස මා ඔලුව යොමු කලේ පිතිකරුගෙන් ගිලිහී  මා වෙත ආ පන්දුවක් සුපුරුදු පරිදිම මාගෙන්ද ගිලිහුණු නිසාවෙන් මවුගුණ ගායනා කල පන්දු යවන්නාගේ හඬිනි .

උදේ වරුවට  පාසලේද , හවසට ඥානාගෙ බෝඩිමේද සුපුරුදු ලෙස කාලය ගෙවී යද්දී අපේ එවුන්  සුපුරුදු  සියලු අවරගණයේ ක්‍රියාවන් අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර බෝඩිම අවට ආරක්ෂාව සහ  පහසුකම් නොඅඩුව සැපයීමට තුඩුවමුල්ලේ රහස් පරීක්ෂණ සේවා සහ රොයිටර් සේවා දිවා රෑ නොබලා වෙහෙසිනි . බෝඩිම අවට වතු වල තිබෙනා වූ කොස්, දෙල් ,කුරුම්බා ,තැඹිලි , උක්ගස් , මයියොක්කා වැනි පහසුවෙන් ආහාරයට ගතහැකි දෑ එම ගස්වලින් අයිතිකරුවන්ට නොදන්වාම රාත්‍රී කාලයේදී අතුරුදහන් වූ අතර බෝඩිමේ තාප්පය අයිනේ තිබෙන කුණු ගොඩේ කොස් පොතු, දෙල් පොතු, මයියොක්කා පොතු වැනි අවශේෂයන් රහස් පරීක්ෂණ සේවා සහ ෂර්ලොක් හෝම්ස් සේවාවන්ගේ ඇස ගැසීමට නොදීමට අපේ එවුන් විසින් අපූරුවට වගබලා ගැනිණි. මුළු තුඩුවමුල්ලේම තිබෙනා වූ  ගස්වල ගෙඩි අතුරුදහන් වූවත් බෝඩිමේ වත්තේ එකුදු ගසක එකුදු ගෙඩියක්වත් අතුරුදහන් නොවූයේ එම ගස්වල තිබෙන්නාවූ මල්, ගැට , පැහුණ ගෙඩි, ඉදුණ ගෙඩි , කලටි, කුරුම්බා, වේලිච්ච පොල් ඇතුළු සියලූම වර්ගයේ ගෙඩි වර්ග ගැන සජීවී දත්ත වාර්ථාවක් ඉස්කෝලේ ආච්චීගේ ඔලුවේ සටහන්ව තිබු බැවින්ය. තඩියාගේ දෙමාපියන් ප්‍රමුක ඥාති පිරිවරද දිවා රෑ නොබලා තඩියාගේ පෙම් පලහිලව්ව පසුපස හඹාගිය අතර හදිසි වැටලීම්ද අඛණ්ඩව සිදුවිණි. එකල ජී. පී. එස්  තාක්ෂණයෙන් පුද්ගලයින් සිටිනා ඉසව්ව දැනගැනීමේ ක්‍රමවේදය ලොවට හඳුන්වා දුන් පුද්ගලයාට තඩියා ස්තුතිවන්ත වියයුත්තේ එම කාලයේදී එම තාක්ෂනය ලොවට හඳුන්වා නොදුන් නිසාය. තඩියාගේ කරුමයට එම තාක්ෂනය එකල භාවිතයේ තිබුනානම් තඩියාගේ දෙමාපියන් ජී. පී. එස් උපකරණයක් තඩියාට ගිල්ලවනු නොඅනුමානය. උසස්පෙළ විභාගය ඉතාම ආසන්නයේ බැවින් පාසල් යාමද අඛණ්ඩව සිදු නොවූ අතර පාඩම් කටයුතු ඉතාමත් අල්පවද , අනෙකුත් සියලු අවරගණයේ ක්‍රියාවන් උපරිමයෙන්ද සිදුකරමින් සොමිය ඒකාකාර ස්ථානයක පවත්වාගැනීමට සැවොම එකාසේ පෙළ ගැසී උන්නාහුය.

ලිපියට උක්ත කතා නායකයාගේ සිද්දියේ කුටප්‍රාප්තිය සිදුවූයේ අප සියලුදෙනා පාසල් නොගොස්ම බෝඩිමේ රැඳුනාවූ එක්තරා දිනයකයි. දහවල් එකයි තිහ පසුවී පාසල් ළමා ළපටින් නිවෙස් කරා ඇදෙන්නා වූ වෙලාවට බෝඩිමේ ජනතාව තාප්පය උඩට වාර්ථා කිරීම සාමාන්‍ය චර්යාවයි. ආචාරධර්ම අකුරට පිළිපදිමින් සියල්ලන්ම තාප්පය අසලට වාර්ථා කෙරුණු අවස්ථාවේ මාගේ මිතුරාගේ RZ 125 මොටෝව බෝඩිම දෙසට ඇදෙන ශබ්දය ඈතින් ඇසෙන්නට වුවත් එය විශේෂිත සිද්දියක් නොවූයේ පාසල් නිමවූ වහා මා මිත්‍රයාද බෝඩිම වෙත ඇදෙනා වූ බැවිනි. එහෙත් එකවර මොටෝව නවත්වන ශබ්දය ඇසුනත් කිසිවෙකු ඒ ගැන අවදානයක් යොමු නොකළේ අප සියලුදෙනාම යම් දෙයක් මිලදී ගැනීමට නිරන්තරයෙන් ටිඩීගේ කඩයට යන එන්නාවූ අයවලුන් නිසාය. මොටෝව නවත්වන ශබ්දය අසුනේ ටිඩියාගේ වෙළඳසැල ආසන්නයේ බැවින් කිසිදු විශේෂත්වයක් අපේ එවුන්ට දැනුනේද නැත. එහෙත් හදිසියේම කරෝලිස් වේද මාවත දිගේ පහලට දිව ආවාවූ රොයිටර් සේවාවකින් අප වෙත දැනුම් දුන්නේ මා මිත්‍රයට කව්රුන් හෝ කඩුවකින් කොටන්නට යන ආකාරයේ ප්‍රවුර්තියකි. ප්‍රවුර්තියෙන් කලබලයට පත් අප සියලුදෙනා ටිඩියාගේ කඩය අසලට දුවගියේ සිදුවන්නේ කුමක්දැයි හරිහැටි වැටහීමක් නොමැති නිසාවෙනි.

වංගුවෙන් තුඩුවමුල්ල පාරට මතුවූ අපට දක්නට ලැබූයේ කඩු සටනකට ලැහැස්ති වී උන් ශ්‍යමලීගේ අයියා නොහොත් වසන්තයා කඩුවක් අත දරමින් ඉන්දිකයාට සහ මාගේ අඹ යාළුවාට කොටන්නට උත්සහ කරන භයානක දර්ශනයකි..කඩයෙන් එලියට පැන්නා වූ ටිඩියාද අවට ගම්වාසීන්ද කඩු කොටයක් අතදරා සටනට යන්නට උත්සහ කරමින් සිටිනා වසන්තයා නම්මවා ගැනීමට අසීරු උත්සාහයක යෙදී සිටි අතර වැටකින් කඩා ගත්තා වූ ඉන්නක් ඇත දරා සටනට එන්නට උත්සහ කරන්නාවූ ඉන්දිකයා නම්මවා ගැනීමට තවත් පිරිසක් උත්සහ කරමින් සිටියාහුය. මා මිතුරාගේ RZ 125 බයිසිකලයද , වසන්තයාගේ සී නයින්ටියද පාර මැද පෙරලී තිබුණි.

කපනවා යකෝ තොපි දෙන්නව.. පෙති ගහනවා මම අද තොපිව..
වසන්තයා ඉන්දිකයාව යුද්දයට කැඳවන්නේ එසේය..

කපන්න.. තෝ කොහොමද යකෝ මාව කපන්නේ.. තෝ දන්නේ නැහැ මේ ඉන්දික කව්ද කියල.. වර බලන්න කොටන්න.. 
ඉන්දිකයාද අරින්නේ නැත..

තොපි දෙන්න දැන් කාලයක් තිස්සේ මගේ නංගි පස්සේ එන්නේ.. තොපි හිතන් ඉන්නේ අපි ගොන්නු කියලද යකෝ.. අද මම තොපිව පෙති ගහනවා..
වසන්තයා කඩු කොටය ගුවනේ ලෙලදෙවයි .. එහෙත් ටිඩියා ප්‍රමුක ගම්වැසියන් වසන්තායව අතාරින්නෙ නැත..

තෝත්  චන්ඩියෙක්ද යකෝ මට.. අතක් තියපන් පුලුවනිනම් මට..
ඉන්දිකයාද අරින්නේ නැත.. එහෙත් ගම්වාසීන් ඉන්දිකයාව අතාරින්නේද නැත..

වසන්තගේ මල්ලී, තාත්තා ඇතුළු පිරිසද හදිසියේ එම ස්ථානයට කඩා පැන්න අතර ඊට සමගාමීව අපේ උන්ද වලිය මැදට කඩා පනින ලදී.. තඩියා, බතලයා, එරාජ්, වාස් ඇතුළු බෝඩිමේ තුඩුවමුල්ල නියෝජනයට පැත්තක් ගැනීමට නොහැකි රණ්ඩුවක් වීම හේතුවෙන් කරුණු විමසා බලා සාමකාමීව වලිය  සමතයකට පත්කරගැනීමට අපේ එවුන්ට හැකි වුයේ දැඩි පරිශ්‍රමයක් ඒ වෙනුවෙන් දැරීමෙන්  අනතුරුවයි. වැට ඉන්නක් උලුක් කරමින් සිටි ඉන්දිකයාවද , ටිඩියාගේ කඩය අයිනේ නියපොතු කමින්  සිටි මා මිතුරාද කැදවාගෙන අප සැම බෝඩිම වෙත පැමිණියේ කඩු කොටය අත  දැරූ වසන්තයා ඇතුළු පවුලේ පිරිස එම ස්ථානයෙන් නිවෙස් බලා විසිර ගියායින් පසුවයි..

සිද්දියෙන් අගතියට පත් ඉන්දිකයා සහ මා මිතුරා වටකොට පස්චාත් මරණ පරීක්ෂණය පවත්වන්නට අපේ එවුන් ලක ලැහැස්ති වූයේ සියල්ලෝම බෝඩිමේ තාප්පය අසලින් වාඩි වූවායින් පසුවය. සිද්දියේ අගමුල කිසිවෙකුත් නොදැන සිටියත් සිද්දියට කඩු හරඹයට මුලිකවූ ඉන්දිකයාත් , ඉන්දිකයාගේ අනුගාමිකයා වූ  මා මිතුරාත් ගැන ඊට වැඩි යමක් මා දන්නා බැවින් කිසිවක් කථා නොකර සිටීමට මා වගබලා ගත්තද මා මිතුරා නියපොතු කමින් මා දිහා හොර ඇහෙන් බලමින් ඇඹරෙමින් සිටියේ තිත්ත කසාය මුට්ටියක් බලෙන් පොවන ලද ගොළුවකු සේමය. 

බෝඩිමේ සාමාජිකයින් සියල්ලන් විසින්ම ඉන්දිකයා ඇස්වසනු ලදුව යන්තම් සන්තම් ප්‍රශ්නය සමතයකට පත්වූ පසුව ඉන්දිකයා මා මිතුරාද සමග බෝඩිමෙන් නික්ම යන්නට මොටෝ සයිකලයට ගොඩවූ මොහොතේ එතෙක් වෙලා මාගේ හදවත දවාලූ ප්‍රශනය මම ඉන්දිකයා හමුවේ තැබුවෙමි..

ඈ බන්.. දැන් උඹලෑ පවුලේ මිනිස්සු විරසක වෙලාද බන්..

ඒ කිව්වේ.. මට ටිකක් පැහැදිලි කරහන් මොකක් ගැනද උඹ මේ කියන්නේ..

මම අහන්නේ උඹයි උඹේ බාප්පාගේ පුත්තුයි විරසක වෙලාද ..

මා මිතුරාද තිත්ත කසාය බිවූ ගොළුවකු සේ මොටෝසයිකලයේ පසුපස අසුනේ වාඩිවී සිටිමින් නියපොතු කමින් මා දෙස හොරැහින් බලමින් සිටියි..

බොට පිස්සුද යකෝ.. අපේ බාප්පල අපි කිසම අවුලක් නැහැ..

එතකොට බොගේ බාප්පයි බාප්පගේ පුත්තුයි කඩුවක් අරගෙන බොට කොටන්න ආවේ පිස්සුවටද..

බොට පිස්සුද යකෝ.. මගේ බාප්පෙක් කොහෙද මට කොටන්න ආවේ..

ඒ කියන්නේ දැන් වසන්තය උඹේ බාප්පාගේ පුතා නෙවෙයි..

බොට පිස්සු හැදිලද යකෝ.. ඌ කොහොමද මගේ බාපගේ පුතා වෙන්නේ.. උගේ නම වසන්ත කියල දන්නෙත් අද බන් මම.. 

එහෙනම් උඹ දැන් මාසෙකට විතර කලින් හල්වතුරට තකහනියක් ඇවිත් මට කිව්වේ මම බොලෑ  බාප්පාගේ දූ ශ්‍යාමලී පස්සේ යනවා කියල.. මතකද උඹ කිව්වෙ  බාප්පා මහා නපුරු එකා, ශ්‍යාමලී පස්සේ යනවනම් ඒක නවත්තපන් කියල..

ඔව්.. මම කිව්වා තමයි.. ඉතින්..

එතකොට දැන් පැය භාගෙකට කලින් බොට කඩුවෙන් කොටන්න ආවේ එදා කියපු බාප්පාගේ පුතා වසන්ත තමයි බොල ..

හහ් ..

මා කියූ දෙයින් එලෝ මෙලෝ නැතිවූ ඉන්දිකයා විනාඩියක් පමණ මා දිහා දෑස් විදහා බලා සිටියායින්  අනතුරුව හැරුනේ පිටුපස අසුනේ වාඩිවී නියපොතු කමින් සිටි මා මිතුරා දෙසටයි..

බැහැපන් මගෙන් මැරුන් නොකා..

යමන් බන්.. මුගේ මේ විකාර අහන්නේ නැතුව අපි යමන්..

මා මිතුරා ප්‍රශ්නයෙන් පැන යාමට උත්සහ කලේ එලෙසයි..

මම දැන් තොට එකපාරක් කිව්වනේ.. බැහැපන් මගෙන් මැරුම් නොකා..

මා මිතුරාද මොටෝවෙන් බැස්සේ ඉන්දිකයා වෙත විරිත්තමින්ය..

බල්ලෝ.. තෝ දැනගනින් මීට පස්සේ කෙල්ලෙක් පස්සේ යනකොට තෝ එක්ක යන එකාටවත් කියපන්  මේ යන්නේ අහවල් කෙල්ල පස්සේ කියලා.. බලහන් දැන් මේ පීචං වෙන්නේ මමනේ තෝ නිසා.. තෝ මහා #$%#&$^#@&$%$#%%$&#%@%$ බල්ලෝ ..

මා මිතුරාට සිංහල සංස්කෘත වලින් ඇමැතූ ඉන්දිකයා මා දිහාට හැරුණි..

මේ කාලකන්නියා කඩු කොටයක් අරන් පාරට පනිනකම් මම දන්නේ නැහැ බන් මූ මොකාද කියලා.. මෙන්න මේ බල්ලාගේ කීමට තමයි එදා ඇවිත් උඹව බය කරේ.. බැලුවාම මූ ගහල තියෙන්නේ ත්‍රිබල් ගේම් එකක්.. උඹ ශ්‍යාමලී පස්සේ යාවි කියන බයට මා ලව්වා උඹව බය කරලා මටත් නොකියම මාව එක්කන් ගිහින් තියෙන්නේ ශ්‍යාමලී පස්සේ.. හපොයි මට ගහන්න ඕන බූ වල්ලකින් බන් මු වගේ එකෙක් ආස්සරේ කරනවට .. මම දන්නේ නැහැ බන් ඒ කෙල්ලගේ නම ශ්‍යාමලී කියලා.. 

සිද්දිය එලෙසින් නිමාවට පත්වුවත් මාගේ අඹ යාලුවා ශ්‍යාමලීගේ සිද්දිය ගැන අද වනතුරු කසිදු දෙයක් කතා කර නොමැත. කරන්නට යෙදුනාවූ ත්‍රිබල් ගේම් එක දුටු මට පිහිටවන්නාවූ දෙවි කෙනෙක් මා ඉදිරිපිටදීම මා මිතුරාගේ ත්‍රිබල්  ගේම් එක අනුකම්පා විරහිතව කුජීත කර දැමුයේ ඒ ආකාරයෙනි.මා මිතුරා එවන් සාර්ථක ඩබල් ගේම් කිහිපයකින් හා අසාර්ථක ත්‍රිබල්  ගේම් කිහිපයකින්  අනතුරුව එක් දරු පියෙක් වී සිටියි.. 

රහස් පරීක්ෂක සේවා, රොයිටර් සේවා හා  ෂර්ලොක් හෝම්ස් සේවා වල ඒකාබද්ධ මෙහෙයුම් සිය දහස් ගණනකින් අනතුරුව  තඩියාගේ, ත්‍රාසය, භීතිය, කුතුහලය සපිරි ප්‍රේම වුර්තාන්තයද නිමාවුයේ  තඩියාගේ දෙමාපිය ප්‍රමුක ඥාති පිරිවරට ඉනිමක ජයක් අත්කර දෙමින්ය. ප්‍රේම වුර්තාන්තයෙන් ශෝකයටපත් තඩියා තවත් ප්‍රේම වුර්තාන්තයකට ආරම්භය සනිටුහන් කලත් සුපුරුදු පරිදිම එයටද දෙමාපිය, ඥාති පිරිවර විරුද්දවූ නියායෙන් සියල්ල අත්හැර විදේශ රැකියාවක් සඳහා පිටත්ව ගියේය. එහිද ගොස් නිකම් නොසිටි තඩියා කුවේටයෙන්ද පෙම්වතියක් සොයාගත්තේ කොටන කුකුළාට කොයි කොටුවත් එකයි කියන්නාක් සේය . එදත්, අදත් , හෙටත් සත්‍ය ප්‍රේමයේ  සලකුණක් වූ තඩියාට කුවේටයේ හමුවූ පෙම්වතිය විවාහ කරගැනීමට දෙමාපිය ආශිර්වාදය හිමිවූ අතර අද වනවිට එක්දරු පියෙක් වශයෙන් සාර්ථක පවුල් ජීවිතයක් ගතකරමින් සිටියද එම පෙම්වතියද සෙන්ටිමෙන්ටල් කරදීමට අප වෙහෙසවූ ආකාරය ගැන වෙනම පොස්ට් එකකින් ලිවිය යුතුය..

උසස්පෙළ විභාගයට ඔන්න මෙන්න තිබියදී අපගේ අවරගණයේ ක්‍රියාවක් ඥානාගෙ දෙමාපියන්ට අතටම මාට්ටු කර  දීමට ඒකාබද්ධ රහස් පරීක්ෂක සේවා  සාර්ථකව සමත් වූ අතර, එම ක්‍රියාවට දඬුවමක් ලෙස, අපගේ දුක සහ  සතුටඑක ලෙසින් විඳගත්තා වූ බෝඩිම සදහටම වසා දැමීමට ඥානාට සිදුවිණි. 

ඥානාගෙ දෙමාපියන් බෝඩිමට පැමිණ කොට්ටා පැදුරු සමගින් ඥානා කුදලාගෙන මයිනරයේ පසුපස අසුනට බලහත්කාරයෙන් නංවාගෙන බෝඩිමට සමුදී  යනු දුටු මට එදා මතකයට නැගුනු දේ අදද එලෙසම මතකයේ  සටහන්වී ඇත . එනම් අඹ යාලුවෝ  ටෙලි නාට්ටියේ සුනිල් නොහොත් සුදු ආප්පෝ බලහත්කාරයෙන් කොළඹ පාසලකට ඇතුලත් කිරීමට රැගෙන යන අවස්ථාවේ මයිනරයේ පසුපස වීදුරුවෙන් නිමල් දෙස බලා සිටි ආකාරයයි..ඥානාද එලෙසම බෝඩිමේ සගයන් දෙස මයිනරයේ පසුපස වීදුරුවෙන් බලා සිටි ආකාරය ඉතාමත් දුක හිතෙනා සුළුය...


අනේ බෝඩිමේ කතා ඉවරයි කියලා හිතුවට ඉවර නෑ .. තව තියෙනවෝ ... 

"""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""

ඉතිහාසය දෙස බලා සිනාසෙන්නට උත්සහ කලද එම සිනහව පසුපසින්ම පැමිණෙන දුක්ඛදායී  සිතුවිල්ල නම් බෝඩිමේ සිද්දීන් සියල්ලටම සෘජුව සම්භන්ධ වූ ඉස්කෝලේ ආච්චීද, ඥානාගෙ පියාද, තඩියාගේ පියාද මේ වනවිට ජීවතුන් අතර නොසිටීමයි. අපව යහමග යැවීමට දිවා රෑ නොබලා වෙහෙසවූ පුද්ගලයින් වශයෙන් ඉස්කෝලේ ආච්චීටද, ඥානාගෙ පියාටද, තඩියාගේ පියාටද නිර්වාන සම්පත්තියම ලැබේවා ...

61 comments:

  1. තව ටිකක් අතපය දිග ඇරලා ලියපන්..වෙච්ච සද්දි අවස්තා වචන හිතේ හිරකරගෙන ලියන්න එපා..ගොඩක් විස්තර කරනවට වඩා එතන වෙච්ච දෙබසක් දැමමාම කතාව ලස්සනයි..
    මෙහම කිව්වට උඔ තරහා නෑනේද?

    ReplyDelete
    Replies
    1. කිසිම තරහක් නැහැ බන්. මේක දිග වැඩි උනා.. දවස් කීපයකට ලිව්ව නිසා ශයිලිය එක දිගට තියාගන්න බැරි උනා බන්. ,එක දැම්මට ලියවිල්ල ගැන මටත් ඒ තරම් හිතට හරි නැහැ..

      Delete
  2. බද පැළෙනවා හිනා වෙලා එල එල

    ReplyDelete
    Replies
    1. බොලත් ඉතින් බෝඩිමේ සාමාජික පිරිස නෙවැ ...

      Delete
  3. යකෝ මේක මාර කේස් එකක්නෙ.
    මොනව උනත් වෙනම ගෙයක් හම්බවෙච්ච හින්ද උඹල පාඩම් කිරීම කොහොම වෙතත් බෝතල් පාටිනං දාන්න ඇති.

    බොලාගෙ යාලුව අර වෙලාවෙ ඉන්දිකයගෙන් ගුටි නොකෑවෙ උගේ පූරුවෙ වාසනාවකට.

    (මේ කොමෙන්ට් වල තියෙන ෆොන්ට් එකේ ඉටැලික් අයින් කරන්න බැරිද?)

    ReplyDelete
    Replies
    1. බෝතල් පාර්ටියක් තමා අන්තිමට බෝඩිම වහල දාන්න හේතු පාදක උනේ බන්. මම ෆොන්ට් එක හදන්නම් ..

      Delete
  4. මාගේ මතකයේ හැටියට උබේ එම් බී 8 එකට පැට්ට්‍රෝල් ගැසුවේ එය ගත් මුල් අවදියේ පමනයි.මොකද ඉන්දන මිල අපිට දරාගන්නට නොහැකිවූ තැන විකල්පක් වශයෙන් ලාම්පු තෙල් ගැසුවා උඹට අමතක නැතුව අති.අප පසුකර යන සියලු වාහනවල ගිය උන් බයික් එකේ යන එකා දිහා බලා ගියේ අපි යනවිට මුලු පලාතම ලාම්පුතෙල් ගද පැතිරුන නිසා බව අපි නොදන්නව නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්.. මට තිබ්බ පෙට්‍රෝල් ටික තොපි පැදලා ඉවර කරයින් පස්සේ මට ඉතින් අන්තිමට පිහිට වුනේ බූමිතෙල් තමා..

      Delete
  5. කථාව ත්‍රාසජනක චිත්‍රපටියකටත් හොඳයි. ලොකු උත්සාහයක් අරගෙන ලියල තියෙන සුපිරි කථාවක්.

    ReplyDelete
    Replies
    1. ලොකු උත්සාහයක් නම් ගත්ත තමා බන්. එත් හරිම අමාරුවෙන් මේක මෙතනට කරකවාගත්තේ . බෝඩිම ගැන ලියන්න තියන කරුණු කාරනා බොහොමයි. තව ලිපි දෙකක්වත් ලියන්න වෙයි බෝඩිම ගැන ඉදිරියේදී..

      Delete
  6. එම් . බී . ෆයිව් ඇයි එම් බී එයිට් ඒ කාලේ අපේ හීන . ......ආර් ඉසෙඩ් නං දනපති පන්තියේ හීන

    ReplyDelete
    Replies
    1. ආර් ඉසෙඩ් පපු මගේ යාළුවා ඉතින් සඳුන් ගැටයක් මිට මොළවන් ඉපදිච්ච එකෙක් බන්.. උසස්පෙළ ඉවර වෙද්දීම වගේ මමත් එම් . බී . ෆයිව් එක විකුණලා දැම්ම බන්. දෙමාපියන්ගේ සල්ලි කන එක පවු කියල යන්තම් තේරුම් ගියා ඒ වෙද්දී..

      Delete
  7. මෝටර් සයිකලයක් පැද යන්නට නොදන්නා, වාහනයක් පදවන්නට නොදන්නා, රියදුරු බලපත්‍රයක් නොමැති , පිහිනන්නට නොදන්නා , සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට නොදන්නා , කිසිදා ගැහැණු ළමයෙකුට ආදරය කර නොමැති , යහළුවෙකු කියා එකෙක් නොමැති, ඕනෑම ලොක්කෙකුට යේස් සර් කියනා , දෙන දෙයක් කා වෙන දෙයක් බලා ඉන්නා, රජයේ ආයතනයක ලියන රස්සාවක් කරනා හෙනම හෙන ගොබ්බයකු වීමට බොහෝ දුරට ඉඩ තිබුනේය. ..................... මේ උඹට වැරදිලා..... උඹගේ තාත්ත උඹ හිතන ජාතියේ රජයේ ලියන්නෙක් වෙන්න ඇති.... දැන් තත්වය උඹ ලියන විදියට වැඩිය ගොඩක් වෙනස්.......එහෙම නැත්නම් උඹට රජයේ සේවයට එන්න බැරි වෙන්න ඇති. ඒ කුහක කමට උඹ රජයේ සේවකයෝ බාල්දු කරලා ලියන්න ඇති...... කොහොම උනත් උඹට කොතැනක හරි ලොකු හීනමානයක් හීනමානයක් තියෙනව..... මේ වගේ දේවල් ලියන්න කලින් ඒක තේරුම් ගනිං


    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන් කමෙන්ට් එකට.. මම කිසිම විදිහකින් රජයේ සේවකයින් බාල්දු කරේ නැහැ. මම අද මෙතන ඉන්නේ රජයේ සේවයේ අවුරුදු දොළහක සේවයකින් පස්සෙයි. ඒ අවුරුදු දොළහක රජයේ සේවය ඇතුලත මම දැකපු බහුතරයක් මිනිස්සු උදේට රස්සාවට ඇවිත් හවසට ගෙදර යනවා ඇරෙන්න වෙන ජීවිතයක් ඒ මිනිස්සුන්ට තිබුනේ නැහැ. අපේ රටේ බහුතරයක් රජයේ සේවකයින් ජීවත්වෙන්නේ රස්සාව කරන්න. මම එතනින් වෙනස් වුනේ මම රස්සාව කරේ ජීවත් වෙන්න නිසා. රස්සාව කරනගමන් වෙනත් ව්‍යාපාර වලට ඔලුව දාල අමතර ආදායම් හොයන්න උත්සහ කරපු නිසා තමයි රජයේ සේවකයෙක් විදිහට මගේම කියල ෆිනෑන්ස් නැති වාහනයක්, මගේම කියල ගෙයක්, මගේම කියල වෙළඳ ආයතනයක් තියාගෙන සාර්ථකව ජීවත් වෙන්න පුළුවන් උනේ. ඒ හැමදේම කරේ විදේශගත වෙන්න කලින්. ඒ තමයි මගේ අම්මා විසින් මට නිදහසේ හිතන්න දීපු එකේ ප්‍රතිපල. මගේ තාත්තත් , අම්මත් දෙන්නම රජයේ සේවකයෝ තමයි. එත් මගේ තාත්ත රාජකාරිය දේවකාරිය තරමට කරගෙන ජීවත්වෙන පුද්ගලයෙක්. එත් ලංකාව වගේ තුන්වෙනි ලෝකයේ රටක රැකියාව වෙනුවෙන් ජීවත්වෙන මිනිස්සුන්ට අන්තිමේ උරුම වෙන්නේ විශ්‍රාම පාරිතෝෂිකය විතරයි. ඒ මිනිස්සුන්ගෙන් වැඩගත්තු ආයතන හෝ ආයතන ප්‍රධානින් ඒ මිනිස්සුන්ගේ ජීවන තත්වය ගැන සලකා බැලීමක් කරන්නේ නැහැ. මම ලියපු දේකින් ඔබතුමාට හිත්රිදවීමක් උනානම් සමාවෙන්න. මට කොතැනවත් හීනමානයක් නැහැ. මගේ වයස 38 ට මගේ ජීවන තත්වය ඉතාමත් හොඳ තැනක තියෙනවා. රජයේ සේවයේ කාර්මික නිලධාරියෙක් විදිහට අවුරුදු දොළහක සේවයෙන් ගෙවල් හදලා, වාහන අරගෙන, වෙළඳ ස්ථානයකුත් මගේම කරගන්න මට පන්නරය දුන්නේ මගේ අම්මා. එහෙම නොවුනානම් මමත් දිළිඳු බවේ විෂම චක්‍රය ඇතුලේ ජීවත් වෙන්නට උත්සහ දරන්න තවත් එක රජයේ සේවකයෙක් ව්තරක් වෙන්න තිබුනා..සඳුන් ගැටයක් මිට මොලොවාගෙන උපන්නේ නැති මම වගේ එකෙක් අද යම් සාර්ථක ජීවිතයක් ගතකරනවානම් ඒ මට ලැබුණු නිදහසෙන් මම ලබාගත් පන්නරයෙන් තමයි.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔච්චර සාහසික වෙන්න එපා සහෝදරයා.. මගේ මවුතුමිය මතක් කරන්න තරම් හිත රිදවීමක් මේ ලිපියෙන් ඔයාට දැනුනානම් මට සමාවෙන්න. හීනමානය නිසා තමයි රජයේ සේවකයින් දිළිඳු බවේ විෂම චක්‍රය ඇතුලේ හිරවෙලා දුක් විඳින්නේ. මම එතනින් මිදිලා රජයේ සේවයේ ඉන්න පුළුවන් උන නිසා තමයි අද මෙතන ඉන්නේ. හීනමානය, කුහකකම, ඉරිසියාව කියන්නේ මනුස්සයෙක් පහලට ඇදල දාන දේවල් මිසක් මනුස්සයෙක් ඉහලට යවන දේවල් නෙවෙයි. එහෙම ඒවා මගේ ඇතුලේ තිබුනානම් අද මම මෙතන නැහැ. හැම රජයේ සේවකයෙක්ම රැකියාවත් එක්කම වෙනත් ආදායමක් හොයන්න උත්සහ කරන පිරිසක් උනානම් අපේ මිනිස්සුන්ගේ ජීවන මට්ටම මීට වඩා හුඟක් උසස් මට්ටමකට එන්න තිබුනා කියල මම හිතනවා.. 25 වෙනිදට පඩි අරගෙන 30 වෙනිදා වෙද්දී දාහ පන්සීය අනුන්ගෙන් ඉල්ලන මිනිස්සු ගෙවන්නේ කොයිතරම් දුක්කිත ජීවිතයක්ද. ඒ මිනිස්සු ගැන මට දන්නේ වචනයෙන් කියන්න බැරි අනුකම්පාවක්. එත් ඒ මිනිස්සුන්ට ඕනෑකමක් නැහැ වෙනත් ආදායම් මාර්ගයක් ගැන හොයන්න. අපේ රටේ රජයේ සේවකයින් බහුතරයකට පුළුවන් කමක් නැහැ තමන්ගේ දරුවන් අවුරුද්දකට වතාවක් වත් වොනොද චාරිකාවක් එක්ක යන්න. ඒ මිනිස්සු හම්බුකරන මුදලින් බිල් ටික ගෙවල කෑම බඩු ටික ගෙනත් දැම්මාම වෙනත් වියදමක් කරන්න රුපියලක්වත් ඉතුරු වෙන්නේ නැහැ. එත් ඒ මිනිස්සුන්ට ඕනෑකමක් නැහැ විකල්පයක් ගැන සොයා බලන්නවත්. මගේ සේවා කාලය ඇතුලත මා එක්ක වැඩ කරපු දෙන්නෙකුට මම ව්‍යාපාරිකයින් වෙන්න ඔලුව හදල දීල තල්ලුවක් දුන්න. අද උන් දෙන්නම රැකියාව කරන ගමන් දෙයියනේ කියල හොඳ ජීවිත ගෙවමින් ඉන්නවා. කුහකම තිබුනානම් ඒ මිනිස්සුන්ගේ දියුණුව දැකල සතුටුවෙන්න පුළුවන් වෙන්නේ නැහැ අද මට. සිස්ටම් එක ඇතුලේ හිරවෙලා දුක් විඳින මිනිස්සු ඉහලට එන්න නම් හිතන විදිහ වෙනස් කල යුතුයි. ඒ වෙනසට හීනමානය , කුහකත්වය කියන වචන දෙක ගැලපෙන්නේ නැහැ. මාගේ මෑණියන් මතක් කිරීම ගැන කනගාටුයි සහෝදරයා..

      Delete
    2. රජයේ සේවය බාල්දුයි බං.

      සේවය කරන එකාත්, වැඩි වශයෙන්ම සේවය ලබාගන්න යන මිනිස්සුත් දෙගොල්ලොම කාලකණ්ණි කරනවා.

      යන එනමං නැති වෙච්ච උපාධිධාරින් මිසක් හොද ඩිග්‍රියක් තියන උන් කීයටවත් රාජ්‍යය සේවයට යන්නෙ නැනේ

      ලක්ෂ 13 සේවය කරන එකේ තියන කාර්යක්ෂමතාව කොච්චරද ?


      නිකන් ජොකියො ෆෝම් උනාට ගනන් ගන්න එපා

      Delete
    3. පෙන්නෙ නැද්ද රාජ්‍ය සේවයේ බාල්දුකම......


      පොඩ්ඩ බැරිවෙනකොට අම්ම මතක්කරන උන්නෙ ඉන්නෙ....අජුවයිනෙ... මෙහෙම උන්නෙ රාජ්‍යය සේවයෙ ඉන්නෙ...ඉතින් කොහොමත් බාල්දුයි

      Delete
    4. මොකක්ද බං මේ සින් එක..
      මේ ලිපියේ උඔ කාවවත් බාල්දු කරලා පහත් කරලා තියනවා මටනම පෙනෙන්නේ නෑ

      Delete
    5. ඇත්තටම උඹේ හිතේ බාල්දු කිරීමක් ගැන අදහසක් නෑ කියන එක මට දැනුනෙ උඹත් රාජ්‍ය නිලදාරියෙක් විදිහට වැඩ කලා කියල මම දන්න නිසා, නොදන්න කෙනෙකුට එහෙම හිතෙන්න ඒ වචන වල ඉඩක් තියනව.
      බංගරාට reply එකෙන් පැහැදිලි වෙන්න ඇති ඒකයි පස්සෙ මකල තියෙන්නෙ.

      Delete
    6. පූර්ණ අවබධතාවයකින් ගැටලුව විසඳුනා ... හැමදෙනාටම ස්තුතියි... වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යාම තමයි වෙන්න ඕන.. ලියද්දි මමත් මිට වඩා ටිකක් පාඨකයා ගැන හිතන්න ඕන කියල ඉගෙනගත්තා..

      Delete
    7. මාත් රාජ්‍ය සේවයෙ තමා. ඒ වුණාට හොඳ විදිහකට පඩිය කළමනාකරණය කරගෙන ජීවත් වෙනවා. ඕටී ආදී මොනවත් නැතුව, මං මාසෙම හොඳට කාලා බීලා, කාර් එකකුත් තියාගෙන, බයික් එකකුත් තියාගෙන, ගෙදරත් හදාගෙන සතුටින් ජීවත් වෙනවා. කිසිම අමතර ආදායම් හොර පාරවල් නැතුව...

      Delete
    8. රාජ්‍ය සේවය ගැන විස්තර ඔ්නේ නම් අපිත් ඉන්නවා....

      Delete
  9. කතාව හොදයි.සුන්දර අතීතයක මතක සටහන්.ඒත් රජයේ සේවය බාල්දු කරන්න එපා.අපි අධ්‍යාපනය ලබන්නේ තනිකරම රජයේ මුදල් වලින්.ඒකට කලගුණ සැලකීමක් විදිහට අපි රජයට සේවය කරන්න බැදිලා ඉන්නවා.මම නම් හිතෙන්නෙ රජයේ රස්සාවක් කරන එක ගෞරවයක්,එහෙම නැත්නම් අභිමානයක් කියලා.

    ReplyDelete
    Replies
    1. රජයේ සේවය බාල්දු කිරීමක් කොතැනවත් කරේ නැහැ පියුමි.. මම කිව්වේ රජයේ සේවයේ හිරවෙලා ඉන්න බහුතරයක් මිනිස්සු ගැන. දිළිඳු බවෙන් මිරිකිලා ඉන්න මිනිස්සු එතනින් එලියට එන්නනම් හිතන විදිහ වෙනස් කරන්න ඕන කියන එකයි මම කිව්වේ. වෙනස්විය යුත්තේ රැකියාව කරන්න ජීවත් වීම වෙනුවට ජීවත් වෙන්න රැකියාව කිරීමයි නෙවෙයිද.. අපේ මිනිස්සුන්ට දෙවැනි ආදායමක් තිබුනානම් මිනිස්සු මීට වඩා හොඳ ජීවන තත්වයක් ඇතුව ජීවත් වෙන්න තිබුන නේද.. මම රජයේ සේවයේ වැඩකරපු අවුරුදු දොළහ ඇතුලත සිංහ අවුරුදු කාලෙට ඒ මිනිස්සු ආර්ථික වශයෙන් කොයිතරම් දුක්කිත තැනකට පත්වෙනවද කියන එක ඇහින්ම දැක්කා. අප්‍රියෙල් දහ වෙනිදට පඩි අරගෙන ආයෙත් මැයි මාසේ 25 වෙනකම් මිනිස්සු තමුන්ගේ ජීවිතේ අමාරුවෙන් ඇදගෙන යන හැටි හරිම සෝචනීයයි. එත් ඒ මිනිස්සු කැමති නැහැ තවත් ආදායම් මාර්ගයක් ගැන හිතන්න. හැමදාමත් දිළිඳු බවේ විෂම චක්‍රය ඇතුලේ හිරවෙලා දුක් විඳිනවා. මේක මම දකින්නේ ගොබ්බ කමක් විදිහට තමයි..

      Delete
  10. තානුකූල නොවෙන සංක්‍රමණිකයින් ලඟම තිබෙන කව්ලුවකින් එලියට පැන පණ එපා කියා දුවගොස් සැඟවෙන්නේ ++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වරද පෙන්නුවට.. නිවැරදි කරා...නැවතත් ස්තුතියි මේ පැත්තේ එනවට ..

      Delete
  11. මටනම් කතාවේ අකුරු ඉටලික් කිරීම නිසා කියවද්දී වෙහෙසක් දැනුනා , මේ වගේ රත්තරං කතා ලියද්දි අකුරු ගැන හිතපන් රත්තරං

    ReplyDelete
    Replies
    1. ඔන්න හැදුවා මචන්.. දැන් හරි ඇති..

      Delete
    2. අන්න දැන් පට්ට , මේ ෆෝමැට් එකත් හොඳයි , කලර් එකත් හොඳයි, අකුරුත් හොඳයි. its cool මචං

      Delete
    3. ස්තුතියි ඉවාන්..

      Delete
  12. සුපිරියට ලියා ඇත...... ඔය වගේ ගේම් දෙන හැත්ත කොහෙත් සිටිති............ හැබැයි එහෙම එවුන්ට කෙල වෙන එක කෙලවෙනවාම ය...............

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්...අපේ බෝඩිමට නැවතීමේ තිත තියන්න පූර්ණ සහයෝගය දක්වපු පුද්ගලයාට අපි එලියට බහින හැම රාත්‍රියකම බඩ පුරා ස්තුති කරා ඉතින් මදි නොකියන්න ..

      Delete
  13. නියමයි මචන්... මම මේ සෑහෙන්න කාලෙකින් බ්ලොග් කියවන්න සෙට් උනේ.. සුපිරියටම ලියලා තියෙනවා.. පොස්ට් එක දිග උනාට අවුලක් නෑ.. කියවගෙන යන්න පුලුවන් එක දිගට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බන්ඩෝ .. මටනම් පොස්ට් එක ගැන සැහීමකට පත්වෙන්න බැහැ

      Delete
  14. මචං උඹගේ සටහනට මම දක්වපු ප්‍රතිරචාරයට උඹේ හිත රිදුනනම් සම වෙයං. උඹ ඒ සම්බන්ධව කරපු පැහැදිලි කිරීමට මම 100% ක් එකගයි.
    මචං රජයේ සේවයෙක් ඒ තත්වයට පත්වීම ඒ පුද්ගලයාගේ වැරද්දක් නොවෙයි.... ඒක තමයි තමයි පවතින ක්‍රමය.
    ( අනිවාර්රයෙන් එය වෙනස් විය යුතුයි) අපේ රටේ රජයේ සේවකයාගේ විශ්‍රාම වැටුපට , රජයේ රැකියාවට අනවශ්‍ය පිළිගැනීමක් සහ වැදගත් කමක් ආරෝපණය වෙලා තියෙනවා...රටක සෑම සේවකයෙක්ම වැදගත් විය යුතුයි. ගරු කල යුතුයි.
    ඇත්තම කාරණය නම් අපි වැඩ කාර්යාලයේ රැදී ඉන්න පැය 8න් සපල කාර්යයක යෙදෙන්නේ පැය කීයද? රජයේ සේවයේ නීති රෙගුලාසි අනුව රැකියාවට අමතරව වෙනත් ව්‍යාපාර වල යෙදීම නීති විරෝධීයි. මේ නීති යල්පැනගිය සුද්දගේ අවශ්‍යතාවයට හදපුවා. මේ දේවල් වෙනස් විය යුතුයි. ඇත්තටම මචං මගේ සේවා කාලය අවුරුදු 19 යි. මම 2007 සිට 2013 වෙනකල් රජයේ සේවයේ වැටුප් රහිත විදේශ නිවාඩු අනුමත කරගෙන කොරියාවේ ගිහින් වැඩ කළා.
    හොදටම කට්ට කෑවා. මමත් හිතන්නේ උඹ හිතන විදියටමයි . ඒත් ඊක හරියට ලේන් පැටව බේර ගන්න ලේන් අම්ම තමුන්ගේ වලිගයෙන් මුහුද හිස් කරන්න ගන්න උත්සාහය වගේ... මම 4.00 ට වැඩ ඇරිලා රෑ 11.00 වෙනකල් වැඩ කරනවා ... සති අන්ත දෙකේම වැඩ කරනවා. සමහර සිකුරාදාට හවස 4.00 ඉදං එළිවෙන 2.00 වෙනකල් වැඩ කරනවා.මම පාර්ට් ටයිම් කරන්නේ වාහන පේන්ට් කරන එකයි කට ඇන්ඩ් පොලිෂ් කරන එකයි. කොරියාවේ ගිහින් ඉගෙන ගත්තු වැඩි..... වැඩ කරන ස්ටයිල් එකයි මගේ ඇගෙන් අයින් වෙන්න ඉඩ දෙන්නේ නෑ මම......මචං උඹ ගොබ්බය කිව්වම මට මල පැන්නේ ඒකයි බං. මම ලංකාවේ රස්සාව දාල ගොඩක් වැඩ කරලා සල්ලි හොයන්න රට යන්න පුළුවන් ....ඒත් පොඩි උන් දෙන්න දාල යන්න හිත හදා ගන්නඅමාරුයි බං.... සල්ලි වලින් මම උන් ලග නැති අඩුව පුරවන්න බෑ මචං..... මේ ජොබ් එකේ ඉදගෙනම කොහොම හරි ඔලුව උස්සනවා මචං මට එක කරන්න පුළුවන්.....

    ReplyDelete
    Replies
    1. බංගරා සහෝ අපි ඔවා අමතක කරලා දාමු..
      ඇයි බං අපි ගහගන්නෙ

      Delete
    2. බංගරා මචං උඹ එල පොරක්.උබේන් උන පුන්චි වැරැද්ද හදාගනන් තරම් උඹ නිහතමානී උනා.එහෙම උන් හරි අඩුයි සහෝදරයා.උඹ නම් එල.

      Delete
    3. උත්සාහයෙන් දියුණුවෙන තවත් එක රජයේ සේවකයෙක් අඳුනගන්න ලැබීම ගැන සන්තෝසයි... ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා. වාද නැති භේදනැති ලස්සන ලොව හෙට අපට උදාවේවා කියල හිතාගෙන ඉදිරියට යමු... මෙන්ඩා , චමිලයා,, උඹලටත් ස්තුතියි..

      Delete
    4. බංගරා ගෙ කමෙන්ට් එක දැකලා, උඩිං දාපු එකම මෙතනත් දානවා.

      මාත් රාජ්‍ය සේවයෙ තමා. ඒ වුණාට හොඳ විදිහකට පඩිය කළමනාකරණය කරගෙන ජීවත් වෙනවා. ඕටී ආදී මොනවත් නැතුව, මං මාසෙම හොඳට කාලා බීලා, කාර් එකකුත් තියාගෙන, බයික් එකකුත් තියාගෙන, ගෙදරත් හදාගෙන සතුටින් ජීවත් වෙනවා. කිසිම අමතර ආදායම් හොර පාරවල් නැතුව...

      Delete
    5. මාත් රාජ්‍ය සේවයෙ තමා. ඒ වුණාට හොඳ විදිහකට පඩිය කළමනාකරණය කරගෙන ජීවත් වෙනවා. ඕටී ආදී මොනවත් නැතුව, මං මාසෙම හොඳට කාලා බීලා, කාර් එකකුත් තියාගෙන, බයික් එකකුත් තියාගෙන, ගෙදරත් හදාගෙන (තාම හදන්න හිතනවා) සතුටින් ජීවත් වෙනවා. කිසිම අමතර ආදායම් හොර පාරවල් නැතුව...

      Delete
    6. ඩ්‍රැකී, කුරුටු, මම දන්නේ නැහැ ඔයාල දෙන්න වැඩ කරන්නේ මොන ආයතනයකද කියලා.. එත් බැංකුවක, ජලසම්පාදන, ටෙලිකොම්, විදුලි, වරාය, රේගුව වගේ තැන්වල ඇරුනාම අනෙකුත් රාජ්‍ය අංශයේ සේවකයින්ට අමතර ආදායමක් නැතුව ජීවිතේ ගොඩදාගන්න අමාරුයි. කාර්මික නිලධාරියෙක් විදිහට මට ලැබුන වැටුපෙන් ජීවිතේ සාමාන්‍ය තත්වයක් යටතේ පවත්වාගෙන යන්න අමාරුයි.. ඒ හින්ද තමයි මම වෙනත් අදායමක් ගැන හිතුවේ. ලොකුකමකට කියනවා නෙවෙයි.. මම වැඩකරපු ආයතනයේ සමහර සේවකයින්ගෙන් අදටත් මට නයට ඉල්ලගත්තු මුදල් ලැබෙන්න තියනවා. ඒත් මම කවදාවත් ඒ මිනිස්සුන්ගෙන් ඒ මුදල් ඉල්ලන්නේ නැහැ. මොකද ඒ මිනිස්සු ජීවත්වෙන අමාරුව මම ඇහින් දැකල තියන නිසා..

      Delete
  15. අපි හැමෝම මනුස්සයා‍ෙ‍ෙනෙ... මොකටද හිත් අමනාපකම්.....ලිපියක් ලිවුවා ඒකට හිනා වුණා ,කමෙන්ට් එකක් දැම්මා...ඒක එතැනින් ඉවරයි...කාගෙවත් හතුරු කමක් මෙතන නැහැනෙ නේද ..

    ReplyDelete
    Replies
    1. මොනවා බෙදාගන්න බැරුවද හතුරුකම් කරන්නේ .... හතුරුකම් කරලා අපිට මොනවද ලැබෙන්නේ??? ස්තුතියි පියුමි..

      Delete
  16. කතාව ගොඩක් රසවින්දා.ඔබේ දෙමව්පියොත් ඔබත් රාජ්‍ය සේවයේ නිරතවෙලා හිටපු නිසා ඔබට ඒ ගැන හොඳ අවබෝධයක් ඇති.ඒ උනාට එතන ලියා ඇති ඡේදය නොතිබුනා නම් මම වඩා කැමතියි.

    ReplyDelete
    Replies
    1. මීට පස්සේ ලියද්දි අගතියට පත්වෙන පාර්ශවයන් ගැන මීට වඩා හිතන්න ඕන හැලපේ අයියේ...අපි තාම පොඩියි නෙවැ .. එව්වා කියලා දෙන්න තමා ඔබතුමා වගේ සීනියර් උදවිය ඉන්නේ ඉතින්... ස්තුතියි..

      Delete
  17. බොලේ මේකේ දිග...
    මේ දිගත් මදි වෙනවා බං කතා ලියන්න ගියාම....

    ...//කොටන කුකුළාට කොයි කොටුවත් එකයි//...
    උඹ කොටු පනනිවා එහෙම නෙවෙයි ඔන්න...

    ReplyDelete
    Replies
    1. කොටස් දෙකකට කඩන්න හිතලත් ඔන්න ඔහේ එකටම ලියල දැම්ම මනෝ...දැන් හතලිහට ලගයිනෙ බන්.. කොටු පනින වයස පහු උනා....

      Delete
  18. අදයි ඉස්සෙල්ලම ආවේ. අපේ සැට් වාගෙම අපතයො තවත් ඉන්නවා කියල දැනගන්ඩ ලැබීම මහත්ම සංතොසයකි. මම දන්නා විදියට මෙතක් ජීවිතේ ගොඩදාගෙන ඇත්තේද කොලු කාලෙ අපතයන් වූ එවුන්මය. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. මේ සිදුවීම් සිද්ද වෙලා අපිටත් නොදැනීම අවුරුදු දහනමයක් ගෙවීල බන්... දැන් ඉන්න උන් නම් ඉතින් මම හිතන්නේ නැහැ මෙව්වා කරයි කියල.. වර්තමාන දරු පරපුර බහුතරයක් ආත්මාර්ථකාමී බන්. උන් ඉරිසියාවෙන් කුහකකමින් පිරිලා ඉතිරිලා ගිහින්..

      Delete
  19. හරිම මහන්සී මාර දුරක් හැති දාන් කියවන් ආවා.....පාඩුවක් නෑ...රස වින්දනය ඉහලයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ශානු මේ පැත්තේ ආවට

      Delete
  20. ලස්සන කතාව...හිනා වෙලා කදුළුත් ආවා.එක දිගට වෙහෙස නැතිව බලන්න පුළුවන්.හොඳට ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනුත්තරා...

      Delete
  21. Who write these stories ? Vishan or somebody else ?
    Champaka

    ReplyDelete
  22. බෝඩිමක් කිව්වට මේක මේ ආතල් ගන්නම දාගත්ත තිප්පලක්නෙ, ඇත්ත බෝඩිම් වල ඉන්න එවුන් කන කට්ට මතක් වෙනකොට ඇඬේනව තනි ඇහැට :(

    ReplyDelete