Wednesday, November 11, 2015

පිටසක්වල ජුන්ඩා



අපගේ උසස්පෙළ කාලයට හෙවත් එක්දහස් නවසිය අනූ හය කාලයට අදාළ වූ ඥානාගේ බෝඩිමේ සිද්දීන් සියල්ල ලිවීමට තවත් පෝස්ට් කිහිපයක් ලිවියයුතු වුවත් එක දිගටම බෝඩිමේ සිද්දීන් පමණක් ලිවීමෙන්  බ්ලොග් වාසී ජනතාවගේ උදහසට මා පාත්‍රවිය හැකිය. ඒ හෙයින් මෙම පෝස්ටුව අපගේ සාමාන්‍යපෙළ කාලය හෙවත් එක්දහස් නවසිය අනූ තුන වසරේ සිදුවූ සිදුවීම් කිහිපයක් අලලා ලිවීමට අදහස් කලෙමි. ලිවීමට අදහස් කරන සිද්දීන් කිහිපයට උක්ත පිරිසගේ නම් හැකි පමණින් වසංකොට ලිවියයුත්තේ මෙම බ්ලොග් ලිවිල්ල හේතුවෙන් කොයි වෙලාවේ හෝ නොමිලයේ ලැබිය හැකි සම්භාහන ප්‍රතිකාරයෙන් වැලකීම උදෙසායි.. 

පළමුවෙන්ම හඳුන්වා දිය යුත්තේ සාපෙළ පන්තියේ සිටි චන්ඩියා වූ පීටරයාවයි. පීටරයාට අලංකාර නමක් දෙමාපියන් විසින් උප්පැන්නයේ ලියන ලදුව ඇතත් මාගේ මිත්‍රයාට පීටර් යන නාමය පටබැන්දේ රත්නපුරේ තුසිතයායි. ඊට හේතු පාදක වුයේ පීටරයා විසින් කියනා වූ අදහාගත නොහැකි ගනයේ කයිවාරු කතන්දරයි. එකලද වෑන් රථය පදවාගෙන තනිවම පාසලට පැමිණෙන ආර්ථික වටපිටාවක ජීවත්වූ පීටරයා කියන්නාවූ කතන්දර සත්‍යම ඒවා විය හැකි වුවද අපේ එවුන් එව්වා පිළිගන්නා ස්භාවයක සිටියේ නැත.

උඹල දන්නවද අපේ ඇලහැර ආච්චිගේ මැණික් ඉඩම් ටික නිකම් කැලෑවට වැදිලා බන්. ආච්චි නිතරම කියනවා ඇවිත් බලාගන්න කියල .. කොහෙද ගෙදරින් යන්න දෙන්නේ නැහැනේ බන්..

නෑ .. ඉතින් අපරාදෙනේ බන්. ගියානම් මරුනේ.

ගෙදරින් කැමති නැහැ බන්. මම ගිහින් ලයිසන් නැතුව ආච්චිගේ පෙජෙරෝ එක එලවල  ලෙඩ දාගනියි කියලා..

පීටරයා මිතුරන් වටකොටගෙන කියනා වූ කතන්දර වලට සමගාමීව තුසිතයා ඈත තිබෙන්නාවූ පොල්ගසක් දෙස බලා ශබ්දයෙන් අමතයි..

ඒයි පීටර් ඔය ඇති බන්.. අපරාදේ යකෝ කලටි කඩන්නේ..

ඔය ඔය ඉතින් කිව්වට අහන්නේ නෑනේ උඹ.. දැන් ගහෙන් බැහැපන් යකෝ.. වේලිච්ච පොල් නැහැ බූරුවෝ ...

එවිට ඈපාද, හික්කඩුවේ මිත්‍රයාද  තුසිතයාට එකතුවෙනු ලබයි..

පීටර් මම බොට කිව්වනේ.. දැන් බැහැපන්.. 

උඹේ &&^%$^&***&^%#$@%%$%% පීටර් බැහැපන් යකෝ..

මේ සියල්ල ඇසෙන නෑසෙන ගන්නට කතාව කරගෙන යන්නාවූ පීටරයා අවසානයේ බැරිම තැන කකුලේ තිබෙන සපත්තුව ගලවා හික්කඩුවේ මිත්‍රයාට දමා ගසයි. 

මොකද යකෝ..

තෝ මගෙන් මැරුම් නොකා හිටහන්..

මම බොට මොකක් කරාටද යකෝ.. 

බොගේ  %$#%@^#%#&#%#^#%@$##^%@$@$@#!&#^*&%

මේ සියල්ල සිදුවන්නේ ගුරුවරයකු නොමැති කාලච්චේදයක වුවත් අවසානයේ සිද්දිය අවසන් වන්නේ අපගේ හිතාදර මිත්‍ර හික්කඩුවේ එකා පීටරයාගෙන් අම්මමෝ නැතිවෙන්නට ගුටි කෑවයින් පසුවය. අපගේ හිතාදර හික්කඩුවේ මිත්‍රයාද කොයිතරම් ගුටි කෑවද රිදෙන්නේ නැති පිඹුරු හමක් ඇති එකකු  බැවින් පසුවදාද පෙරදා සේම පීටරයාගෙන් ගුටියක් දෙකක් කනවාමය. තුසිතයා පීටරයාටත් වඩා උසින් මහතින් තඩි එකෙකු වූ නිසා පීටරයා කවදාවත් තුසිතයාට එරෙහිව අවි ගත්තේ නැත. 

සාපෙළ ලං වීමත් සමගම පාඩම් කිරීමට සියලු දෙනා එක එකාගේ ගෙවල් වලට එකතුවීම දෙමාපිය අනුග්‍රහයෙන්ම සිදුවූ අතර පාඩමට වඩා සිදුවුයේ කාගේ හෝ ගසක ගෙඩියක් හොරෙන් කඩාගෙන කෑම, නිදාගන්නා එකෙකු පාටකිරීම, තරහ කාරයකුගේ නිවසකට ප්‍රහාරයක් එල්ලකිරීම වැනි කුපාඩි ගනයේ ක්‍රියාවලි සමුදායකි. 

කාගේ නිවසට එකතුවී පාඩම් කලද නිවැසියන් නින්දට යනතුරු මීයන්සේ කාමරය වී සිටිනා හොඳ ළමුන් රාත්‍රී දොළහ පමණ පසුවන විට ජනේලයකින් එලියට පැන වීදි සංචාරය කරන්නේ කාට හෝ අයහපතක් කිරීමේ පරමාර්ථයෙන්ම පමණකි. දෙමාපියන් සිතා සිටින්නේ දරුවන් කාමරයේ පාඩම් කරනවා කියා වුවත් අළුයම එක, දෙක වනවිට හොඳ ළමුන් සියල්ලෝම සිටින්නේ කාගේ හෝ වත්තක කුරුම්බා බාමින් වැනි අලුගුත්තේරු වැඩක් කරමිනි. 

පාසල් වෙලාවේදී ළමුන්ට දැඩි දඬුවම් දෙන්නාවූ ගුරුවරුන්ගේ නිවෙස් වල ප්‍රධාන දොර ඉදිරිපිට මල්වඩම් තැබීම වැනි කාලකන්නි ගනයේ ක්‍රියාකාරකම්ද නොකෙරුනා නොවේ. පීටරයාගේ නිවසට අල්ලපු වැටේ තිබෙන්නාවූ කනත්තෙන් මල්වඩමක් දෙකක් සොයාගැනීම කජු කනවාටත් වඩා පහසු ගනයේ ක්‍රියාවක්  වූ බැවින් අපේ එවුන්ට මල්වඩම් වලින් නම් අඩුවක් පාඩුවක් තිබුනේම  නැත. 

එවන් එක්  දිනෙක එක්තරා ගුරුවරයෙකුගේ වත්තට පැන මල් පැල වලට වතුර දමනා හෝර්ස් බටය සාලයේ ජනේලයේ උඩ කව්ලුවෙන් ගේ ඇතුලට දමා වතුර ටැප් එක හෙමිහිට විවුර්තකොට මාරුවීම වැනි සුපිරි ගනයේ කුපාඩි වැඩද නොකලා නොවේ. කනත්තේ සොහොන් වල ගසා තිබෙන තෝරන් පිටින් ගලවාගෙන ගොස් තරහ පාර්ශව වල ගේට්ටු කණු වලට තබා බැඳ සම්පූර්ණ තොරනම ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට ඉදිකිරීමට තරම් අපේ එවුන් සහජ දක්ෂතාවයන් වලින් හෙබි එවුන්ය. 

කුරුම්බා බෑමට වෙනම පයිලට්ලා කොටසක් සිටි අතර කිසිම ශබ්දයක් නොඇසෙන සේ ගසට නැග කුරුම්බා එකින් එක කඩා පහල සිටින එකාගේ අතට අත්හැරීම පයිලට්ලාට සිම්පල් ගනයේ වැඩකි. පාඩම් සෙට් එකේ එවන් පයිලට්ලා කිහිපදෙනෙක් සිටි අතර වැඩිම ගුවන් පැය ගණනක් සහ වැඩිම අත්දැකීම් තිබෙන්නාවූ එකා සීනියර් පිළිවෙලට හොරකමට අනුයුක්ත කිරීම අපගේ පිළිවෙලයි. 

පුහුණුවන පයිලට් කෙනෙකු යවා ගෙදර අයිතිකාරයාට අසුවීමට තරම් අප මෝඩයින් නොවුන අතර සෑම විටෙකම සීනියර් පයිලට් කිසිදු බලකිරීමක් නොමැතිවම ගසට නැගීම සිදු කෙරෙයි. හොර කුරුම්බා ආචාරධර්ම වලට අනුව පයිලට් ගසෙන් බැස එන තුරු එකුදු කුරුම්බා ගෙඩියක්වත් බොන්නට සහචරයින් පෙළඹෙන්නේද නැත. එම ආචාර ධර්ම වලට අනුකුලවම පලවෙනි කුරුම්බාව පිළිගන්වන්නේ කැප්ටන් පයිලට් තුමාටයි. 

කුරුම්බා ගසේ අයිතිකරුවන් දේවාල ගානේ ගොස් පොල් ගසනා වර්ගයේ අයවලුන් නම් එක් කුරුම්බාවක වතුර අයිතිකරුගේ ලිඳට හැලීමද සිදුකරන්නේ ලිඳේ වතුර සමග ඔවුන්ද හොර කුරුම්බා බීමට සම්මාදම් කරගැනීමටයි. එවිට දෙස් දෙවොල් තැබීමක්, පොල් ගැසීමක්, මිරිස් ඇඹරීමක් වැනි අවර ගනයේ ක්‍රියාවක් සිදුකරතත් වදින්නේ ගෙදර එකාටත් සම සමව යන විශ්වාසයක්ද එවකට පැවතියාහුය . 

මෙහිදී අපගේ වැඩියෙන්ම අත්දැකීම් ඇති පයිලට් හඳුන්වාදීම යෙහෙකි.. නම ගම සඳහන් කිරීමට නොහැකි අපගේ පයිලට් ගොයියා ඕනෑම ගසකින් ගෙඩියක් හොරකම් කිරීමට සමත් ගනයේ එකෙකි. ඕනෑම අවදානම් රාජකාරියක් භාරගැනීමටත්, ඕනෑම ගසක දල්ලටම බඩගෑමටත් අති දක්ෂයෙක් වූ මා මිත්‍රයාගේ ඇස් පෙනීම වඩා තීව්ර වුයේ රාත්‍රී කාලයේදීයි. 

ඕනෑම දක්ෂ පුද්ගලයකු වටා දුර්වලකම් තිබියහැකි බැවින් මාගේ මිත්‍ර සීනියර් පයිලට් ගොයියාටද පොදු වූ දුර්වලකමක් වුයේ වතුරට ඇති බලවත් අකමැත්තයි. වෙනයම් ආකාරයකින් කියනවානම් අපේ එකා මලාට නාන්නේ නැති ගනයේ එකෙකි. එසේම ඇඟ සේදීම, මුහුණ සේදීම වැනි කර්තව්‍යන්ද අපගේ කැප්ටන් පයිලට් තුමාට ගැරඬියාට භූමිතෙල් වැනිය. කුමන වෙලාවක වුවද පයිලට් ගොයියා රැගෙන ඒමට නිවසට ගියද පයිලට් ගොයියාගේ අක්කණ්ඩිය අපට හැමදාමත් කියන්නේ එකම කතාන්දරයකි..

අනේ මල්ලි.. මූව මුහුදේ දාල හරි නාවලා  එක්කන් එන්න පිං සිද්ද වෙයි..

එවන් ආකාරයේ ගෘහස්ත මට්ටමේ ඉල්ලීම් අප වෙත පැවතියත් පයිලට් ගොයියා නෑවීම ජලභීතිකාව තිබෙනා බල්ලකු නාවනවාටත් වඩා අමාරු වූ කර්තව්‍යක් වුයේය.

 එකට හොරකමේ ගියද, එකට පාඩම් කලද, එකට කෑවද බීවද අපේ එවුන් නිදන මොහොතෙනම් විශ්වාස කළහැකි ගනයේ එවුන් නොවුයේ සහජයෙන්මය. හැමදෙනාම නිදාගත්තේ අර්ධ වශයෙන් වුයේ, පූර්ණ වශයෙන් නින්දට වැටුනහොත් අවදි වන්නට වන්නේ නින්දට වැටුන ස්භාවයෙන් නොවන නිසාවෙනි.

සුපිරියට නින්ද ගිය  එකා හැමදාමත් උදෑසන අවදි වන විට මූනත්තහඩුව වෙස්මුහුණ වී අහවරය. 

වෙනස් ආකාරයෙන් කියනවානම් එක්කෝ මුහුණ පාට කරලාය... 

එක්කෝ පර්මනන්ට් මාර්කර් වලින් දත් කිහිපයක් කළු කරලාය..

නැතිනම් කැසට් පීස් ටේප් වලින් ඔතා මමියක් කරලාය...

නැතිනම් රාත්‍රියේ ඇඳ සිටි පිරිම ඇඳුම වෙනුවට ඇඳ සිටින්නේ ගැහැණු ඇඳුමක්ය...

එක්කෝ ඇඟිලි ටික නැමූ ආකාරයෙන්ම තිබෙන්නට සුපර්ග්ලූ දමලාය...

එක්කෝ මෙට්ටය පිටින් උස්සාගෙන ගොස් නිවසේ කුස්සිය මැද්දෙන් තබලාය...

එක්කෝ කකුල් දෙක එකතු කොට සෙලෝටේප් ඔතලාය...

මෙකී නොකී දහසක් කුපාඩි වැඩ වලින් පීඩාවට පත් පාඩම් සෙට් එක හැමවිටම නින්දට වැටුනානම් නින්දට වැටුනේ භාගයටමය...

මෙම සිදුවීමද අහල පහල වතු කිහිපයක ගස් පාලු කරන ලද සාර්ථක ගුවන් ගමන් කිහිපයකින් පසු පීටරයාගේ නිවසට සැපත්වී නිදන්නට සුදානම් වූ දිනයක සිදුවුවකි. 

පීටරයාගේ කාමරයට සැපත්වූ වහා එක එකා තැන් තැන්වල නිදන්නට සූදානම් වන අවස්ථාවේ කැප්ටන් පයිලට් තුමා නොකර සද්ද  ඇඳට වැටී ගොර අදිමින් නින්දට වැටී සිටිනු දුටු අපේ එවුන් නින්ද පැත්තක තබා ලක ලැහැස්ති වුයේ කැප්ටන් පයිලට් තුමා මේකප් කිරීමේ කාර්යභාරයටයි. පීටරයාගේ පියාණන් විදේශ රැකියාවක නියුතු පුද්ගලයෙකු වූ නිසා ඕනෑවටත් වඩා සුකුරුත්තම් බඩු භාණ්ඩ පීටරයා සතුව තිබුනේය. විවිද වර්ගයේ මාර්කර්, විවිද වර්ගයේ පැන්සල් පෑන් වැනි පාසල් උපකරණ වලට අමතරව විවිද වර්ණයේ TOA Spray කෑන් ගොඩක්ද පීටරයා සතු වුයේය.

වෙනදාට වෝටර් කලර්ස්, ටියුබ් කලර්ස්, පීටරයාගේ අක්කලා සතු තොල් ආලේපන, නිය ආලේපන වැනි දෑ පාවිච්චි කරන්නාවූ කණ්ඩායම එදින අලුත්ම වර්ගයේ අත්හදාබැලීමක් සඳහා සුදානම් වුයේ ලුමිනස් කොළ වර්ගයේ ස්ප්‍රේ කෑන් එකක් අතැතිවයි. සියලු රූපලාවන්‍ය කටයුතු භාරව කටයුතු කලේ කොටා බැවින් අපහට වුයේ සිදුවන්නාවූ කලාත්මක රාජකාරිය නිහඬව නැරඹීමයි. 

මෙම රාජකාරිය සිදුකරන අවස්ථාවේ කරනා වූ පළමු කටයුත්ත වන්නේ කාමරයේ විදුලි පහන නිවා දැමීමයි..ඉන් පසුව සිදුවන්නේ රුපලාවන්‍ය ශිල්පීයා ඇත්තටම නිදනා එකා අසලින් බොරුවට නින්දට වැටීමයි. ඉන්පසුව ක්‍රමානුකුලව සිදුවන රූපලාවන්‍ය කටයුතු කළුවරේ සිට නැරඹීම අපගේ රාජකාරියයි. හදිසියේ හෝ නිදන එකා අවදිවුවහොත් සියල්ලෝම නිදි මෙන් සිටීම ප්‍රකට මූලධර්මයයි. 

සියල්ල අකුරට සිදුවී අවසන් වී විදුලි පහන දල්වා බලනවිටත් අපගේ කැප්ටන්  පයිලට්තුමා සුව නින්දේ පසුවූ අතර පයිලට්ගේ මුහුණ, අතපය හතර කිසිදු උපද්‍රවයකින් තොරවම පෙර සේම තිබුයේය. එහෙත් හිත් පිත් නැති කොටා කැප්ටන් පයිලට්ගේ ජුන්ඩා සහ ඒ අවට අනර්ග ලෙස ලුමිනස් පාටින් ස්ප්‍රේ කර තිබුනේය. 

වෙනත් ආකාරයකින් කියනවානම් කොටා විසින් අපේ කැප්ටන්ගේ පිරිමිකම පිටසක්වල ජීවියෙකුගේ මෙන් ලුමිනස් පාට කර තිබුනේ දක්ෂ කලා හැකියාවක් පෙන්නුම් කරමිනි. සියල්ලට අනතුරුව සියල්ලෝම අඩ නින්දට වැටී උදෑසන අවදිවී නිවෙස් බලා ගියේ ලහි ලහියේ ලක ලැහැස්ති වී පාසල් පැමිනීමටයි .

කැප්ටන් පයිලට්තුමා පසුදා පාසල් පැමිණෙනවිටත් මුළු පන්තියම පයිලට් තුමාගේ විපර්යාසය පිළිබඳව දැනුවත් වී තිබුනේ ආරංචි වලට තටු තිබෙන්නා වූ බැවින්ය. එහෙත් කිසිදු වරදක් සිදුවී නැති ආකාරයෙන් කැප්ටන් පයිලට් හැසිරෙනුයේ වතුරට ඇති අකමැත්ත නිසා බව දැන උන්නේ මා ඇතුළු සමීප මිතුරන් කිහිප  දෙනෙකු පමණි. පන්තියේ කොල්ලන්ගේ උසුළු විසුළු හමුවේ කුතුහලයට පත් කැප්ටන් පයිලට්, ගුරුවරුන් මාරුවෙන කාලච්චේද දෙකක් අතරේ වැසිකිලිය බලා දුවගියේ කුතුහලය පරීක්ෂා කරනු සඳහායි.. 

අවාසනාවට පයිලට් නැවත පන්තියට පැමිණෙන විට ගණිත ගුරුතුමා පැමිණියේ මේ අතර වාරයේදීයි.. ඒ සමගම, ඇස් ගෙඩි  දෙක එලියට පනින්නට ඔන්න මෙන්න තරම් විශාල කරමින් පියවි සිහියෙන් මදක් ඔබ්බෙන් සිටි කැප්ටන් පයිලට් කොස් ගෙඩියක් තරම් ලොකු වූ මුහුණෙන් පංතියට ඇතුල්වන විට කොල්ලන් සියල්ලම සිනහවෙන්නට ගත්තේ සියල්ලන්ම සිද්දිය දන්නා නිසාවෙනි..

කොහෙද ගියේ..

ට්  ට් ටො ටොයිලට් එකට ගියා සර්..

මුළු පන්තියම නොනවත්වා සිනහවීමෙන් පුදුමයට පත් ගණිතය ගුරුතුමා ඊළඟට හැරුනේ පන්තිය දෙසටයි..

මොකද ඕයි .. මොකද අද තමුසෙලට වෙලා තියෙන්නේ..

කොල්ලන් සිනහව නවත්වන්නේ නැත.. කැප්ටන් පයිලට් ද ඉන්නේ මුහුණ කොස් ගෙඩියක් තරම් ලොකු කරගෙන ඔරවාගෙනය..

මොකද ඕයි .. තමුසෙටද මුන් මේ හිනා වෙන්නේ..

කැප්ටන් පයිලට් උත්තර නැත..

කතා කරනවා.. තමුසෙට මොකද වෙලා තියෙන්නේ..

කැප්ටන් පයිලට් උත්තර නැත..

තමුසෙට අසනීපයක්ද.. කියනවා මොකද තමුසෙට වෙලා තියෙන්නේ..

කැප්ටන් පයිලට් කිසිදු පිළිතුරක් නැත..

කප්ටන් පයිලට්ගේ අද්භූත නිහඬ භාවයෙන් මවිතයට පත් ගණිතය ගුරුතුමා නැවතත් පන්තිය දෙසට හැරුණි..

තමුසෙලා කියනවා බලන්න හිනාවෙන්නේ කාටද කියල.. මේ මිනිහට මොකක් හරි ප්‍රශ්නයක්ද..

කව්රුත් උත්තර නැත... සිනහ වෙනවා පමණකි..

අනේ මන්ද තමුසෙලා අද මොනවහරි පාවිච්චි කරලවත්ද කියල.. 

තමුසෙට පන්තියේ ඉන්න පුලුවනිද , බැරිද, අසනීපයක්ද, භූත දෝෂයක්ද කියල මට කියනවා..

කැප්ටන් පයිලට් ඇස්ගෙඩි දෙක ලොකු කරන් සර් දිහා ඔහේ බලන් හිටියි.. 

"ඊයේ රෑ නිදාගනිද්දි  යස අපූරුවට සිටි මගේ ජුන්ඩා මේ දැන් බලද්දී පිටසක්වල එකක් වෙලා සර්" කියා කියන්නට බැරි නිසාවෙන් කසාය බිව් ගොළුවෙකු සේ ඇස් ගෙඩි දෙක එලියට පනින්නට තරම් විලාසයෙන් සිටිනා කැප්ටන් පයිලට් මාරුවෙන් මාරුවට පන්තිය දෙස සහ ගුරුතුමා දෙස බලන්නේ වෙලා තිබෙන්නාවූ අකරතැබ්බය ගුරුවරයකුට තියා මෙලෝ වසනා කිසිදු ප්‍රාණියෙකුට කටක් ඇර පැවසියහැක්කාවූ දෙයක් නොවන බැවින්ය. 

තමුසෙට පන්තියේ ඉන්න පුලුවනිද..

එවිට කැප්ටන් පයිලට් ඔව් යයි ඔලුවෙන් සන් කළේය..

හ්ම්.. යනවා.. ගිහින් වාඩි වෙනවා.. අනේ මන්ද මුන්ට මොනවා වෙලාද කියලා අම්මපල්ල..

කොල්ලන්ගේ විවිද ශබ්ද මද්‍යයේ කැප්ටන් පයිලට් තම පුටුවෙන් වාඩි  වුවද දවස අවසන් වනතුරු කා සමගවත් කථාවක් බහක් තිබුනේ නැත..

කාලයක් යනතුරු අපගේ හිතාදර මිත්‍ර කැප්ටන් පයිලට් මහතාට අප සැවොම නයාට අදුකොල මෙන් වූ අතර කා සමගවත් වැඩි කතාවක් බහක් තිබුනේ නැත. අපද කොයිතරම් පයිලට් මහතාව මිතුරු කරගන්නට ප්‍රයත්න දැරුවද පිටසක්වල ජීවියා යලි මනුලොවට පැමිණෙන තුරු කැප්ටන් අපගේ දෙමාපියන්ට පිං පෙත් දීම දිනපතා කරගෙන යන ලදී..

අපේ කව්රු හෝ එකෙකු ඉඳහිට පිට පන්තියක එකෙකු ලව්වා කැප්ටන් පයිලට්ගෙන් මෙසේ අස්සවනු ලබයි..

මොකක්ද බන් මේ කරදරයක් උනයි කියන්නේ...

අනේ මේ බොගෙ @#$%$#$#@&^%$##^&^%%$##^^%$## 

සංවාදය අවසන් වන්නේ ඒලෙසයි..

මලාට නාන්නේ කරන්නේ නැති අපේ පයිලට් තුමා දිනපතා නාන්නට වූ හේතුව ගෙදර එවුන්ට නොදන්වා සිටීමට අපේ පයිලට් තුමා වගබලා ගත්තද.. අපට වඩා වසරකින් බාල වූ පයිලට් තුමාගේ මලයාට, මලාට නෑවේ නැති අයියා  දිනපතා නෑමේ රහස දැනුම් දීමට අපේ එවුන් කලට වෙලාවට වගබලා ගත්තෝය. දිනපතා ස්නානය කලද පිසක්වල ජීවියා මනුලොවට පැමිණීමට මාසයක් දෙකක් ගතවීලු..

ජීවිතය පරදුවට තබා ගස් බඩගා කුරුම්බය අතට වඩම්මන පයිලට් තුමාට කළා වූ අසික්කිත ක්‍රියාවට දෙවියන් විසින් කොටාට දඬුවම ලබාදුන්නේ මෙසේයි..

එදින අප පාඩම් කලේ මාගේ නිවසේ වන අතර සාමාජිකයින් වුයේ බුද්ධික, ප්‍රියන්ත, කොටා සහ මා පමණි. වෙනදා සේම සියලු අවර ගනයේ ක්‍රියා සිදුකොට නින්දට වැටෙන අවස්ථාවේ අවසාන වශයෙන් තවත් එකෙකු බයිටට ගැනීම පෙර සිටම පැවත එන චාරිත්‍ර ධර්මයක් වශයෙන් කරගෙන ආ බැවින් එදින අපගේ කලාත්මක කටයුත්තට පූර්ණ අනුග්‍රහය දැක්වුයේ බුද්ධිකයායි . බිම එලා තිබු මෙට්ටයේ ගොරොද්දේ අදිමින් නිදා උන් බුද්ධිකයා මේකප් කිරීමට සියල්ල සුදානම් වූ අතර මේකප් ශිල්පියා වුයේ මායි. අල්ලෙහි උලාගත් ටියුබ් කලර්ස් තල්ලියන් නිදි විලාසයෙන් බුද්ධිකයාගේ මුහුණෙහි අතුල්ලමින් සිටි මා, කාමරයට වැටෙන පාරේ ලයිට් කණුවේ ලා එළියෙන් දුටුවේ යන්තමින් නින්දෙන්ම ඇස් ඇර බලා යලි නින්දට වැටුණු බුද්ධිකයාවයි. මල මිනියක් ලෙසින් නිදා සිටි බුද්ධිකයා යාන්තමට ඇස් ඇර බැලුවේ නුහුරු නුපුරුදු යමක් තමා අවට සිදුවන්නේදෝ යන දැනීමක් දැනුන නිසාවෙන් වග මා හට වැටහීමට වැඩි වෙලාවක් ගතවුයේ නැත . දසමහා යෝදයෙකුට තරම් ශක්තියක් ඇති බුද්ධිකයාගෙන් පාරක් වැදුනහොත්  දැඩි සත්කාරයේ සතියක් දෙකක් බෝඩින් වීමට සිදුවීම අනිවාර්ය බැවින් කරගෙන ආවාවූ කළා කටයුත්ත තවදුරටත් කරගෙන යාම මාරයාට අතවැනීමක් වැනිය. නොබෝ වෙලාවකින් මා වෙත ඇදෙන්නට යන ස්වීප් ටිකට් පත වෙනත් අයෙකුට පවරා දීමට කල්පනා කල මා හෙමින් සීරුවට මෙට්ටයෙන් නැගිට ගොස්  පාට ටියුබය කොටා අත තැබුවෙමි..

උඹ ගාපන් ටිකක්..

ඇයි උඹට ගාන්න බැරි උනාද..

නෑ  නෑ මම ටිකක් ගෑවා බන්.. මට වැඩේ ඒ තරම් හුරු නෑ .. උඹ ඇඳපන් ..
හරි.. එහෙනම් සද්ද නැතුව හිටපන්කෝ..

මාත් කොටාත් කතාවුනේ ඇසෙන නෑසෙන ශබ්දයෙනි..කොටා කලුවරේම බඩගා ගොස් බුද්ධිකයා අසලින් වැතිරුණේ මෙට්ටයටත් නොදැනෙන්නට මෙනි.  මමද ඇඳෙහි ගුලිවී බලා සිටියේ ඊළඟට සිදුවෙන්නාවූ උත්කර්ෂවත් අවස්තාව නැරඹීමේ නොඉවසිල්ලෙනි..



ඇඳේ පහල කොනෙන් ඔලුව දමාගෙන කළුවරේ බුද්දිකයා දෙස බලා සිටි ප්‍රියන්තයා අසලට ඇදුනු  මාද සජීවීව  දර්ශනය නැරඹීමට උත්සුක වුයෙමි..

බලහන්කො දැන් වෙනදේ.. කනටකර ප්‍රියන්තයාට කීවෙමි 

ඇයි මොකද වෙන්නේ..

බලන් හිටහන්කෝ සද්ද නොකර..

අඳුරෙන් පිරී පැවති කාමරයේ ඊළඟට ඇසෙන්න ගත්තේ කොස් ගෙඩියකට තඩිබාන්නා වැනි ශබ්දයකි..

තඩ් ..බහ් .. ඩොහ් ..ඩොහ් ...ඩොහ්... තඩ් ..අම්මෝ..උහ් ..චටාස්..පටාස්..

අම්මේහ් ..ඒ කොටාගේ කෙඳිරිලි හඬයි..

කාමරයේ නවතා තිබු මාගේ ෆුට් බයිසිකලයද පෙරලී ගිය අතර ලී යමක් කැඩෙන ශබ්දයක්ද ඇසුනි.. සියලු ශබ්ද නිමවූ වහා මා ඇඳ අසල තිබෙන්නා වූ මේස ලාම්පුව දල්වා බලනා විට කොටා සිටියේ මාගේ පොත් මේසය යට බෙල්ල අතගාමිනි.. මාගේ පොත් මේසයේ කකුලක්ද අවසන් ගමන් ගොස් තිබු අතර බයිසිකලයේ ඉදිරිපස රෝදය මේසය යට සිටි කොටා සහ එළියේ සිටි බුද්ධිකයා අතර පරතරය අහුරා සිටියේය.. බුද්ධිකයා නිදිමරගාතේ මුහුණෙහි තිබු පාට අතුල්ලමින් කොටා දෙස නැවතත් පනින්නට බලාගෙන සිටියේ මල අසූ හාරදාහට පැනලාය .. 

ළමයෝ..මොකක්ද ඒ සද්දේ..

නෑ අම්මේ මේ බයිසිකලේ පෙරලිලා බුද්ධිකගේ කකුලේ වැදිලා..

මට මේ නිකම් ගහගන්නවා වගේ ඇහිලා ඇහැරුනේ..

නෑ නෑ අම්මේ එහෙම දෙයක් නැහැ..

අනේ මන්ද..

මා කාමරයේ දොර නෑරියායින් මවුතුමිය නික්මගිය අතර මවුතුමියගේ පැමිණීමෙන් කොටාගේ ගුටි කෑම නතරවිය. එදා කොටා විසින් ගෙවා දමනු ලැබුයේ අපගේ කැප්ටන් පයිලට් තුමාට කරන්නට යෙදුනා වූ අසික්කිත කර්මයේ පාපයයි..ඒත් මලාට නාපු නැති කැප්ටන් පයිලට්තුමාගේ ජල භීතිකාව සුව කරනු ලද්දාවූ පින කොටාට ජාති ජාතින් පලදෙනු ඇත.

ඒ කාලයේ ඩිජිටල් කැමරා වැනි උපාංග බහුලව තිබුනා නම් පිටසක්වල ජුන්ඩා අන්තර්ජාලය පුරා සැරිසරනු අනිවාර්යය.

46 comments:

  1. නියම සිද්ධි ටික. රස වින්ඳා

    ReplyDelete
  2. පට්ට අත්දැකීම් බං... උඹ එව්ව ලියන විදිහ තවත් හොඳයි.

    අපි නං නිදාගත්ත උන්ට කරන්නෙ, අල්ලවල් දෙකේම ඔය දිය සායං හරි ටූත් පේස්ට් හරි ගුලි දෙකක් තියලා, නහයට පොල්කෙන්දක් ගහන එකයි. අරූ අඩ නින්දෙම්ම ස්වයං සේවා අංග රචනයක් කරගන්නව, මූණ පිහදාන්න ගිහිං...

    අපිත් පංසල් වත්තෙ කුරුම්බ කැඩුවා, හතර දෙනෙක් ගහට යනවා. උං එක එකා අතිං අත‍ට මාරු කර කර කුරුම්බ ගෙඩිය පහලට එවන්නෙ. සද්දෙ ඇහෙන් නැති වෙන්න. පස්සෙ දවල් වරුවෙ පන්සලට යන උංට කියනවලු වයසක නායක හාමුදුරුවො, "මේ හොර හැත්තක් හැදිලා... ගහක කුරුම්බ ගෙඩියක් හැදෙන්න දෙන් නෑ... හපෝ... හපෝ... රටකට වෙච්ච දෙයක්..."

    ReplyDelete
    Replies
    1. අපේ එවුන් නහයට පොල් කෙඳි දාල කරකෝල පාටකරවගන්න තරම් ඉවසිල්ලක් තියෙන එවුන් නෙවෙයි... නින්ද ගියොත් කනත්තේ වැලක් කපල වලලලයිද කියලත් සුවර් නැති ජෝකියෝ සෙට් එකක්.. එක වතාවක් මගේ ඔලුවේ හැලුව දොරේ ගාන්න ගෙනාපු වාර්නිෂ් බෝතලේ... භූමිතෙල් නාල තමයි යන්තම් කොන්ඩෙ බේරාගත්තේ..

      කුරුම්බ කඩිල්ලේ ඇඩ්වාන්ස් වර්ෂන් එක තමයි උසස්පෙළ කාලේ කරේ.. උසස්පෙළ කාලේ තැඹිලි වලු පිටින් බෑවේ අපේ කොටයි , කැප්ටන් පයිලටුයි., කෙසෙල් කැණක් දෙකක් නිතරම තිබ්බ හිතිච්ච වෙලාවට කන්න. කොටාගේ ආච්චි කෝටාවයි අපිවයි උඩ තට්ටුවට දාල යටින් දොරවල් ලොක් කරලා යතුරු ඉනේ ගහගෙන නිදාගන්නේ.. අපේ එවුන් ජනේලෙන් වහලට බැහැල, ඒ වහලෙන් අල්ලපු ගෙදර වහලට නැගල ඒ වහල දිගේ ගිහින් ලයිට් කණුවෙන් තමයි පාරට බහින්නේ.. ඊට පස්සේ ඉතින් ගමේම ගස් ගෙඩි විනාසයි..

      Delete
    2. උඹලනං යක්කු.

      අපේ යාළුවෙක් දවසක් මෙහෙම කතාවක් කිව්වා. පොර, උංගෙ තව යාළුවෙක් එක්ක ඉස්කෝල වත්තෙ කුරුම්බ කඩන්න ගිහිං මුරකාරයට අතටම අහුවුනාලු. පහුවදා මුරකාරය කඩමණ්ඩියෙදි කිව්වලු කතාව.

      "ඊයෙ රෑ ආවනෙ ඉස්කෝලෙ වත්තෙ කුරුම්බ කඩන්ඩ දෙන්නෙක්. මයෙ අතටම මාට්ටු..."

      "ඉතිං අල්ලල දෙන්න එපැයි ග්‍රාමසේකරට..." එකෙක් කිව්වලු.

      "කොහෙ අල්ලල දෙන්ඩද ඕයි?" මුරකාරය කිව්වලු. "හොරු දෙන්නගෙං එකෙක් ගමේ ලොකුම පොල්වත්තෙ අයිතිකාරයගෙ පුතා. (ඌ තමා අපේ යාළුවා). අනික ග්‍රාමසේකර. ඉතිං කාටද ඕයි අල්ලල දෙන්නෙ?"

      Delete
    3. මම හිතන්නේ ඩ්‍රැකී මේ ග්‍රාම සේකරකියන්නේ ග්‍රාමසේවකට වෙන්න ඕන. ඒ කියන්නේ යාළුවගේ ගමේ ග්‍රාමයත් හොර කුරුම්බා කාරයෙක්ද...ඉතින් කාටද බන් නඩු කියන්නේ..

      Delete
  3. කොහොමත් උඹ කතා කාරයානේ......... නමත් කථානේ...

    ReplyDelete
    Replies
    1. කථා කාරයොයි, කුරුටු ගාන එවුනුයි ... මාර ගැලපීමක් නේද බන්..

      Delete
  4. හම්මේ උදේ පාන්දරින් ඉල ඇදෙන්න හිනා උනා ෆයිලට් කෝ දැන්... හැක් මෙව්වා දැක්කොත් බොට නෙලයි බීපු කූරැම්බා මතක් වෙන්න....

    ReplyDelete
    Replies
    1. පයිලට් ඉන්නවා දෙයියනේ කියල දරු දෙන්නෙකුත් හදාගෙන... ලඟින් ගියොත් ඇහැක් නෑ ඕකා ඒ කාලේ...

      Delete
  5. පාසැල් කාලයේ වූ සිදුවීම් එකල අපට විනොදයකි.එහෙත් සමහර සිද්දීන් මතක් වන විට එය නොකර සිටියානම් හොදයයි සිතුනු වාර නම් අපමනය.මාගේ බොක්ක අම්බලන්ගොඩයාට මා දන්නා තරමට එකල කතා ලිවීමට හැකියාවක් නොතිබුනි.එහෙත් මූ ඕනම දෙයක් කරනා විෂ්මිත්යෙකි.මිතුරන් මේකට පටබැදි නාමය කියා ඉලග කථාවෙන් මාගේ පටි රෝල් කරගැනීමට ඔවමනාවක් නැති නිසා මා එය සිතේ තබා ගනිමි.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. කාගේ කාගේත් පටිකිරිවල ලියන්න පුළුවන් දේවල් වලට වඩා ලියන්න බැරි දේවල් බොහොමයිනේ බන්.. ඒ හින්ද තමා බ්ලොගේ උඩම ලියල තියෙන්නේ " කියන්නට හැකි කතා දහසක් අතරේ ලියන්නට බැරි කතා නම් කොතරම් වෙත්ද " කියල... ඔය ලියන්න බැරි කතා ලිව්වොත් තමයි අපේ බ්ලොග් රසිකයින් හිනාවෙලා මැරෙන්නේ... එත් එව්වා ලිව්වොත් මටත් නැවකට කන්න වෙනවා වගේම අපේ දරුවන්ට මේක කියවන්න දෙන්නත් බැරි වෙනවා..

      Delete
  6. පීටරයනං නයි පප්පෙක්ද කොහෙද.
    ‍බොලත් මාර වැඩනෙ කරල තියෙන්නෙ. පුදුමයි මල මිනියක් ගෙනල්ල කාගෙ හරි ගේක දොරකඩ තිබ්බෙ නැති එක.

    යකෝ අර පයිලටය ගස් බඩ ගාලත් නාන්නැතුව ඉන්නවයි කියන්නෙ පුදුම යකෙක්නෙ.

    ReplyDelete
    Replies
    1. පීටර ගොයියා ඔය ඉන්නේ ඌ වගේම කොල්ලෝ තුන්දෙනෙකුත් අපේ ඉස්කෝලෙටම දායාද කරලා... ඇත්තමයි මළමිනී පොළොවෙන් උඩ තිබ්බනම් ඒකත් අපේ එවුන්ට සිම්පල් වැඩක් බන්..

      ගස් සීයකට බඩ ගෑවත් පයිලටා නෙවෙයි නෑවේ ඕන් ... උගේ අක්ක හිටපු ගමන් වතුර බකට් එකක් තියාගෙන කුස්සියෙන් එළියේ හැංගිලා ඉඳලා ඕකව නාවනවා..

      Delete
  7. මොකක්‌ද එඑ නම අර ගූ. . . . . ද,

    ReplyDelete
  8. පුදුමයි උඹේ ජුන්ඩා බේරිච්චි එක

    ReplyDelete
    Replies
    1. රෑ කීයක්නම් නිදි මරන්න ඇතිද ඒ කාලේ... නිදාගත්තොත් උදේට නැගිටිනකොට ඔලුව කඳෙන් වෙන්වෙලා තියෙන්නත් බැරි නෑ

      Delete
  9. එල ද බ්‍රා මචං
    උඔ ලියන ඒවා අපිව අතිතයට අරගෙන යනවා..

    ReplyDelete
    Replies
    1. හැමෝටම මේ වගේ අතීතයක් තිබිල තියෙනවා බන්..ඒත් ඒ දේවල් වින්දනය කරන්න පුළුවන් මනසක් හැමෝටම නැහැ.. එල ද බ්‍රා ..

      Delete
  10. හොඳට ලියලා තියෙනවා.ඒ ලියලා තියන ශෛලිය හින්දා මහන්සි නැතිව එක හුස්මට දෙපාරක්ම කතාව කියෙව්වා...අම්මෝ ..හිනා වෙලා පණ නෑ වගේ..මේ තරම් දග කළේ නැතත් මටත් ලස්සන ඉස්කෝලේ කාලයක් තිබ්බා.ඉහත 'සදු' කියනවා වගේ මේ ලිපිය අපිව අතීතයට අරගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. අතීතයක් නැති මනුස්සයෙකුට අනාගතයක් තියෙන්න විදිහක් නැහැ අනුත්තරා... වර්තමානය ජීවත් කරන්න ඔක්සිජන් නැති උනාම අතීත ස්මරණය අපිට ඔක්සිජන් සපයනවා දවසක් හරි සංතෝසෙන් ජීවත් වෙන්න... ස්තුතියි දිරියට...

      Delete
    2. මගෙ වැඩිපුර තිබ්බ කොමෙන්ටු ටික අයින් කළාට පින් සිද්දවෙනවා අයියෙ.වැඩිය තාක්ෂණය ගැන දන්නෙ නැති නිසා සමහර විට කමෙන්ටු කිහිපයක් වදිනවා.ආයෙ මේ වගේ රසවත් කතාවක් ලියනකල් බලා ඉන්නම්.සුබපැතුම් ...!

      Delete
    3. මෙන්ඩො,
      නෑ බං අපේ සඳු කියහං...

      Delete
    4. මටනම් මේ "සදු" කියන්නේ කාටද කියල තේරෙන්නේ නැහැ.. අපිටත් පොඩ්ඩක් පැහැදිලි කරානම් ඉතින් වටිනවා කව්ද මේ සදු කියන්නේ කියල..

      අනුත්තරා ,,, කමෙන්ට් නොපෙනේන්නම මකන්න පුළුවන් බ්ලොග් එකේ අයිතිකාරයට විතරයි..

      Delete
    5. "සදු" කිව්වේ මෙන්ඩාට.එයා අර මොනවාද විකුණනවානෙ... ඒ නිසා නියම නමින් ආමන්ත්‍රණය කළේ නැහැ....හී ....

      Delete
    6. බැලුවාම මා වැනි බිලින්දා නොදන්නා දේවල් බොහොමයි...

      Delete
  11. ubanam maha *%$@#yek yako...aru nidi nathi bava danagenama kotava pavaladunna hivalek...

    ReplyDelete
  12. ඉස්කොලේ සිද්දි මතක් වෙනව බං මේවා කියවනකොට..
    අපේ උන් ඉස්කෝලේ විතරක් නෙවෙයි බං ගමේ ගැන්සියේ උන්ටත් ඔය වගේ වැඩ කරලා තියනවා..

    ReplyDelete
    Replies
    1. එදා සහ අද කියල වෙනසක් නැහැ මනෝ... අපේ එවුන් සෙට් උනාම තාමත් එදා වගේම තමයි.. මළගෙදරක රෑකට සෙට් උනොත් ඉතින් මළගෙදර මගුල් ගෙදරක් කරලා තමයි එතනින් එන්නේ..

      Delete
  13. නියමයි බං.සුපිරියටම රස වින්දා.ඉස්කෝලෙ කාලෙට පස්සෙ මටත් දැකපු ඔයවගේ කතාවක් තියෙනවා මේ කතාව නිසා ඒකත් මතක්වුනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපේ අයියේ...

      Delete
  14. පට්ට......... ඒක දිගට කියවං ගියා............. හැබැයි මේ කතාවනං සිරා ඈ........... // ඒ කාලයේ ඩිජිටල් කැමරා වැනි උපාංග බහුලව තිබුනා නම් පිටසක්වල ජුන්ඩා අන්තර්ජාලය පුරා සැරිසරනු අනිවාර්යය.//

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් අවංක කොල්ලනේ.. අවංකව කියනවනම් ඒ කාලේ ඩිජිටල් කැමරා තිබ්බනම් අද වෙද්දී පාරේ යන්න වෙන්නේ වෙස් මූණක් දාගෙන තමයි ඉතින්..

      Delete
  15. කුරුම්බා බෑමට වෙනම පයිලට්ලා කොටසක් සිටි අතර කිසිම ශබ්දයක් නොඇසෙන සේ ගසට නැග කුරුම්බා එකින් එක කඩා පහල සිටින එකාගේ අතට අත්හැරීම පයිලට්ලාට සිම්පල් ගනයේ වැඩකි.


    හී...හී... මටද අත්දැකීම් ඇත. කුරුම්බා බෑම ගැන නොව එම කුරුම්බා බීය. සහොදර යාළුවන්ට පින් සිද්ද වන්ට නිවාඩු කාලයේ පාසල් ගොස් මේ අත්දැකීම විද ඇත.

    ReplyDelete
    Replies
    1. කුරුම්බා බීමේ ඇඩ්වාන්ස් වර්ෂන් එක තමා කුරුම්බා බෑම ... අපි ඒ කාලේ කුරුම්බා බාපු පැල ගස් දැන් හෙන සයිස් පොල්ගස් වෙලා බන්..

      Delete
  16. සුපිරිම සුපිරි කතා ටික.. අපෙත් පාඩම් කරන්න ගිහිං ඉස්සර ඔය වගේ අත්දැකීම් තියනවා. හනේ අම්මෙහ්.. එකදවසක් රෑ තරහකාරයෙකුගේ ගෙදර නාන ළිං පඩිය උඩදී අපි තුන් දෙනෙක් පෝලිමට ඉඳල බොග දාල ආව. ඔය ලිඳෙන් කාටවත් ඌට නාන්න දෙන්නෙ නෑ. ඒවගේම දවසක් අපිට මොකක්හරි එකකට කුණු ටෝක් එකක් දුන්න.
    මරු ලියවිලි ටික. මට මිස් නොවෙන්න රෝලෙත් එල්ලගත්තා...

    ReplyDelete
    Replies
    1. මාව එල්ලගත්තට ස්තුතියි මචන්.. බොලත් බැලුවාම අපේ එවුන්ට දෙවැනි නෑ .. දිනපතා ප්‍රහාරයට ලක්වෙන කෙනෙක් හිටිය අප්පා.. දැන් නම් මතක්වෙද්දීත් දුකයි... ඒ ගෙදර ගේට්ටුවට ඉබ්බෙක් දාන ගෙදරක්.. අපේ එවුන් තවත් ඉබ්බෙක් ගිහින් දානවා ගෙදර ඉබ්බාට අමතරව.. හිතහන්කෝ උදේට අර මිනිස්සු රස්සාවල් වලට යන්න එලියට බැස්සාම ගේට්ටුව ඇරගන්න බෑ .. අපේ එවුන්ට අපායේ වෙනම කාමර වෙන්කරලා ඇත්තේ මම හිතන්නේ ..

      Delete
  17. හැබැයි දැන් වගේ වුනානන්ම් අනිවා ජුන්ඩා FB එකේ පොරක් වෙනවා

    ReplyDelete
    Replies
    1. අනිවායෙන් ජුන්ඩා ලෝක ප්‍රසිද්ද වෙනවා එහෙමනම්..

      Delete
  18. හෙක් හෙක් සිරාගේ කාමරේට තවත් ගොයියෙක් සෙට් වෙලා, මේ වගේ කතා සෙට් එකක් අපේ සිරා අයියටත් තියෙනවා, පට්ට කතා සෙට් එක. අර උන්ගේ ජුන්ඩා ගෙවිලා තිබුනේ නැහැනේ නාද්දී අතුල්ලලම. :D, හෙක් හෙක් පට්ටම ආතල් කාලයක් ඉස්කෝලේ කාලේ, ඊට පස්සේ යුනි කාලේ.

    ReplyDelete
    Replies
    1. සුළගේ ලෙලෙනා මල්සේ දඟපා අප පාසැල් ගිය කාලයේ...... හැක් ...හැක් ... අපිව මල් වලටත් උපමා කරානේ හැබෑටම... සිරාලත් සුපිරි පාසල් කාලයක් ගෙවපු සෙට් එකක් තමයි.. අරුගේ ජුන්ඩට නම් මොනා උනාද කියල අපි නොදනී...

      Delete
  19. සුපිරි ආ...අපිනම් බීපු කුරුම්බා ටික ගේ ඉස්සරහින් තියල එන්න තරම් කාරුණිකයි ඒ මිනිස්සුන්ට වේලලා ලිපට හරි දන්න පුළුවන් නෙහ් අනික විසික් කලාම වතුර පිරිලා ඩෙංගු කාරයා අල්ලන් යන නිසා ගෙදර උන්ට කැමති දෙයක් කරගන්න ගේ ඉස්සරහින් තියල එනවා..

    අපිට රෑ ගමන් සෙට් එක නමින් බඩු මල්ලක්ද තිබුනා ගස් නගින වළල්ල පිහිය හදිස්සි ප්‍රථමාධාර (හොරෙන් රා බාන්න ගිහින් ගහෙන් වැටුනට පස්සේ තමා එක ඇතුලත් කලේ) නුල් ටිකක් (සොහොනේ තියෙන ඒවා ගෙවල් වල තැම්පත් කිරීමේ පහසුවට)ටෝකා කෑන් වැනි දෑ සෙට් වෙන ගෙදර එකා කලින් දවසේ එක අරන් යන්න ඕනි වගේම එදාට පිටේ එල්ලන් ඉන්නත් ඕනි ආන්තුක සත්කාර වශයෙන්

    ReplyDelete
  20. උඹල බැලුවාම අපිට වඩා හුඟක් සන්විධානාත්මකයි... අපිට පිහි අරන් යන්න බෑ බන්.. රෑට හිටපු ගමන් පොලිසියට මාට්ටු වෙනවා .. ඒ වෙලාවට අතේ පිහියක් තිබීම පොලිස් ජීප් එකේ ටුවර් එක නොමිලේ ලැබෙන කේස් එකක්. ඒ නිසා හිස් අතින් තමයි වීදි සංචාරය කරන්නේ..

    ReplyDelete