Sunday, December 6, 2015

සුනාමියට එහා ගිය බඩගින්න.



දෙදාස් හතර අවුරුද්දේ දෙසැම්බර් විසිහය දවසට ඉර උදාවුනේ වෙනද වගේමයි. උදේ පාන්දර වෙද්දී පායපු නැවුම් ඉර එලිය එක්ක ක්‍රියාකාරී වෙන මනුෂ්‍ය ජීවිතත්, සතුන් සිව්පාවුන්ගේ ජීවිතත් සුපුරුදු විදිහටම තම තමුන්ගේ දවසේ රාජකාරි ආරම්භ කරේ වෙනදා වගේමයි. 

ඒත් සඳුදා දවස හෙට වෙන නිසා මට හැම ඉරිදාවකම ඉර පෑයුවේ මහම මහා මුස්පේන්තු විදිහටමයි.  කාර්යාලවල, කෝච්චිවල, ඉස්කෝලේ, සිත්ගත් ගෑල්ලමයි ඉන්න උදවියටනම් සඳුදා කියන්නේ නවුම්ම නැවුම් ආරම්භයක් සහ උදාවෙනකම් ඉවසිල්ලක් නැති දවසක් උනාට සඳුදා කියන්නේ මටනම් මෙලෝ රහක් නැති දවසක්. 

සඳුදා පාන්දර කුකුළා අතේ අරන් රස්සාවට යන එක පාපකරුමයක් වෙන්නේ සිකුරාදාට ගෙවල් වල එන සියලූම වැඩකරන ජනතාව සඳුදා උදේ පාන්දරින් රැකී රක්ෂා වලට යන නිසා. ඒ හින්ද සඳුදා උදේට බස් එකක කෝච්චියට සැපට වාඩි වෙලා නින්දක් දාන එක හීනයක්. වෙලාවට වැඩට යන්න ඕනෙනම් කිසිම කතාවක් නැතුව කොළඹට වෙනකම්ම හිටගෙන යන්න වෙන දවසක් සහ දවස් දෙකක් ඔලුවෙන් අකල මකල දාපු ලොක්කගේ මෙලෝ රහක් නැති මූණත්තහඩුව ආයේ බලන්න වෙන  හින්දම සඳුදා දවස කියන්නේ මහම මහා මුස්පේන්තු දවසක් විදිහට තමයි මට දැනෙන්නෙම. 

ඒත් දෙදහස් හතරේ දෙසැම්බර් විසිහය ඉරිදාව මටත් මාරකයක් පනින ඉරිදාවක් වේවි කියල මම හීනෙන්වත් හිතුවේ නැහැ. මගේ ලොකු අම්මගේ පුතාගේ නෑනා නොහොත්  මගේ පොඩි අයියා විවාහ වෙලා ඉන්න අක්කගේ සහෝදරියගේ වෙඩිම සැලසුම් වෙලා තිබ්බේ දෙසැම්බර් විසි අට දවසට.   මගුල් ගෙදර වැඩ ටික කරගන්න මගේ කාර් එක පොඩි අයිය මගෙන් ඉල්ලලා තිබ්බේ මාසෙකට විතර කලින්. දෙසැම්බර් විසිහය උදේ කාර් එක ගින්තොටට ගෙනිහින් දෙන්න මම පොරොන්දු වුනේ පොඩි අයිය කාර් එක ඉල්ලපු දවසේමයි. 

දෙසැම්බර් මාසේ වෙනකොට මට සඳුදා දවස් වැඩිපුර මුස්පේන්තු වෙන්නේ නිවාඩු හතලිස් පහෙන් දෙසැම්බර් වෙනකොට හතලිස් හතරාමාරක්ම හෝ හතලිස්  පහම  අරන් ඉවරවෙන නිසා. ඒ කියන්නේ අවුරුද්දේ මුල් අවදියේ බහුතරයක් සඳුදාවල් වලට සහ වහින දවස්වලට මට තදින් බොරුවට අසනීප වෙන නිසාත් දෙසැම්බර් වෙනකොට  වසූරිය හැදුනත් වැඩට යන තත්වෙට පත්වෙන්නේ වැඩට නොගියොත් නෝ පේ (NO PAY ) හෙවත්  වැටුප් රහිත නිවාඩු ගන්න සිදුවෙන නිසා. 

ඒ වෙද්දීත් මගේම ව්‍යාපාරයක් පටන් අරන් තිබ්බ නිසාත් වැටුප තියා රස්සාවවත් ඕනෑකමක් නැති මට අකමැත්තෙන් උනත් නිවාඩු හතලිස් පහෙන් සෑහීමකට පත්වෙන්න සිද්දවෙන්නේ රජයේ සේවක දෙමාපිය දෙපොලකගේ දරුවෙක් වෙන මට වැටුප් රහිත නිවාඩු යාම හෙවත් නෝ පේ යාම ගෙදර කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැති ක්‍රිමිනල් කේස් එකක් වෙන නිසා. ඊටත් අමතරව ඒ වෙද්දී විශ්‍රාම සුවයෙන් හිටපු මගේ පියාණන් වහන්සේ දවස තිස්සේම නිවාඩු ගැනීමේ ආදීනව කියවන්න ගන්න නිසාත් ඒ ආනිසංස දේශනය අහන ඉන්නවට වඩා, කුහක කමින් පිරිච්ච ලේ කඳුලක් නැති මලාට හිනාවක් නැති ලොක්කගේ මල ගෙදර වගේ මුස්පේන්තු මුණ බලන් ඉන්න එක සැප නිසා. 

 රජයේ සේවයේ වැටුප් රහිත නිවාඩු ගැනීම යනු ඊළඟ වසරේ ලැබීමට තිබෙන්නා වූ වැටුප් වර්ධකය හා ලැබීමට තිබෙන උසස්වීම් නොලැබී යන මරාලයක් නිසා කොයි ජගතා උනත් තනි ඇඟිල්ලෙන් හරි රස්සාවට යන්න උපරිම උත්සහයක් ගන්න කාලයක් තමයි දෙසැම්බර් මාසය. මට කලින් මගේ ස්ථානයේ රාජකාරි කල නිලධාරියා ගෙදර යවන්නම ගුලිය අඹරපු ලොක්කා මටත් ඒ ගුලියම අඹරන්න ලැස්ති වෙන බව මට ඉවෙන් වගේ වැටහුන නිසා කඩුල්ල  බේරාගෙන ප්‍රවේශමෙන් පන්දුවට වැරෙන් පහරදෙන ක්‍රීඩකයෙක් වෙන්න මට සිද්දවුනා. 

ලොක්කාට සෙල්ලමට ආම්බාන් කරන්නට බැරි සහ උගුලේ හසුකරන්නට බැරි වර්ගයේ එකෙක්වුන මම දෙදහස් එක වසරේ අයදුම් කරපු "ගාල්ල" ස්ථාන මාරුව මට පරිප්පුව දීම පිණිස ලොක්කා විසින් "අනුප්‍රාප්තිකයෙකු නොමැතිව නිදහස් කල නොහැක " යන උදාන වාක්‍යය යටතේ අත්සන් කරේ මට උපරිම පරිප්පුවක් දීමේ අරමුණෙන්ම තමයි.

ලොක්කාට මමත් මට ලොක්කාත් එකට එක අනුපාත ක්‍රමයට පරිප්පු බෙදීම දෙදහස් හතර වසර දක්වාම සහයෝගයෙන් කරගෙන ආවත් තවදුරටත් සාධාරණ න්‍යායෙන් ස්ථාන මාරුව ගන්න බැරි බව අවසානයේ මට තේරුම් ගිය හේතුවෙන් දෙදහස් පහ වසරේ ජයග්‍රාහී ලෙස නිවාඩු අනූ එකක් ලබාගත් නිසා ලැබීමට නියමිත දෙවන ශ්‍රේණිය ද සමගම අනුප්‍රාප්තිකයෙකු ද නොමැතිවම මා නිදහස් කොට, ඒ ලොක්කාගෙන් පසුව ලොක්කා වූ ලොක්කා  පරාජය භාරගත්තේ තවදුරටත් මාව ආයතනයේ තියාගනීමෙන් පරිප්පුව කන්නේ ලොක්කාම බව වැටහුණු නිසා සහ මම වගේ ඔලුවේ කැක්කුමක් ආයතනයේ තවදුරටත් තියාගැනීම අනෙකුත් සේවකයින්ද වැඩවසම් න්‍යායෙන් පයට පාගාගනීමට භාදාවක් බව තේරුම් ගන්න ලාවට හරි මොලයක් තිබ්බ නිසා වෙන්න ඇති. මාගේ අවසාන උත්සාහය වශයෙන් "අසනීපයි.. නිවාඩු ඉල්ලමි " විදුලි පණිවිඩ සෙල්ලම සුපිරියටම සාර්ථක වුයේ ඒ ආකාරයෙන් .

දෙදහස් පහ අවුරුද්ද කියන්නේ මුද්දරයක් ගන්න තැපැල් කන්තෝරුවට ගියත් පොල්වත්තේ හන්දියේ තැපැල් කන්තෝරුවේ ඇන්ටි ටෙලිග්‍රෑම් ෆෝර්ම් එකක් ඉල්ලන්නේ නැතුවම කවුන්ටරේ උඩින් තියන තරමටම තැපැල් කන්තොරුවත් මමත් එකට එක හදවතින්ම බැඳිච්ච අවුරුද්දක්. ලොක්කා මට කරපු අරියාදුකම් වලට සහ ලොක්කා විසින් අවුරුදු එකහමාරක් අත්සන් කරන්නේ නැතුව මෙසේ උඩ තියාගෙන හිටපු කාර්මික නිලධාරී තුන්වෙනි ශ්‍රේණියේ සිට දෙවැනි ශ්‍රේණියට කෙරෙන උසස්වීම මා වෙත නොදීමට එරෙහිව මා වෙනුවෙන් පෙනී හිටින්න බැහැ කියල කොන්ද පණනැති වුර්තීය සමිති නිලධාරීන් එයාලගේ සැඟවී ගොට්ට ඇල්ලීමේ වුර්තීය සමිති ව්‍යාපාරයේ හෙළුවැල්ල මට පෙන්වපු නිසාත්, ලොකු ලොකු දේශපාලන සම්භන්ධකම් තිබුන මාගේ පියාණන් ප්‍රමුඛ ඥාති පිරිවරද මට ස්ථාන මාරුවීම හදාගන්න දේශපාලන තල්ලුවක් අරන්දීම තරයේ ප්‍රතික්ෂේප කල නිසාත්  අවසානයේ උසස්වීම  සමග ස්ථාන මාරුවීම ලබාගන්න මට පිහිටවුණ එකම එක පන තියෙන ජීවියා වුනේ තැපැල් කන්තෝරුවේ ඇන්ටි විතරමයි. මම මෝටර් සයිකලෙන් හරි වාහනෙන් හරි බහිනකොටම ටෙලිග්‍රෑම් ෆෝරම් එකක් කවුටරේ උඩින් තියල මට දීපු සහයෝගය මිල කරන්න බැරි තරම්. 

ලියන්න ආපු කතාව නොලිය පඳුරු තැලිල්ල නොහොත් වටේ යැවීම සම්භන්ධයෙන් පාඨක සැම මා වෙත සමාව භජනය කරත්වා..

ඔන්න ආයෙත් දෙදහස් හතරෙ දෙසැම්බර් විසි හය දවස උදේ.

මම අටහමාරට විතර ඇහැරිලා හෙමින් සැරේ ලකලැහැස්ති  උනේ මගුල් ගෙදර වැඩටික කරගන්න කාර් එක ගිහින් දීල එන්න. එත් පොඩි ප්‍රශ්නයක් තිබ්බ. ඒ නම් කාර් එකේ බැටරිය හොඳ තත්වයේ නොමැතිවීම. බැටරිය හොඳ නැති නිසා සමහරක් වෙලාවට කාර් එක ස්ටාර්ට් එකට හොර වීම නිසා අලුතෙන් බැටරියක් හයිකරලම කාර් එක ගෙනිහින් දෙන්න තමයි මගේ අදහස උනේ. 

අම්මේ මම ගිහින් එන්නම්. කාර් එකට බැට්රි එකක් දාගෙනම යනවා ගින්තොට.

ඔයා මාර්කට් එක පැත්තට යනවනම් මාළු තිබ්බොත් මාළු ටිකක් ගෙනැත් දීල යන්න පුලුවන්ද.

බලමු. අද පෝය නිසා මාළු තියේවිද දන්නේ නැහැ.

ඒක තමයි ළමයෝ මම කිව්වේ තිබුනොත් ටිකක් ගෙනත් දීල යන්න.

හා හා බලමු. බැට්රි එක දාන කඩේ ඇරලා නැති වුනොත් ගෙනත්දීල යන්නම්. ඇරල තිබ්බොත් බැට්රි එක දාගෙන මං එහෙමම යනව. පොඩි අයියලාට වැඩක් කරගන්න මේක දවල් වෙන්න කලින් ගෙනිහින් දෙන්න ඕන.

එහෙම කියාගෙන මම පිටත්වුනේ විජේසූරිය එකට ගිහින් බැටරි එකක් අලුතෙන් දාගෙන ගින්තොට යන්න. එත් මම විජේසූරිය මෝටර්ස් එක ලඟට යද්දි කඩේ ඇරලා නෑ. කඩේ අරිනකම් ඉඳල බැට්රි එක දාගෙනම යන්න හිතාගෙන පැය භාගයක් විතර කාර් එකට වෙලාම ඉන්නකොට තමයි මට අම්මට මාළු ගෙනැත් දෙන්න පොරොන්දු උනා නේද කියන එක මතක් වුනේ.

දවස ඉරිදා වීමත්, පෝය වීමත් නිසා විජේසූරිය මෝටර්ස් අරින වෙලාව විශ්වාස නැති නිසා මම කාර් එක ස්ටාර්ට් කරගෙන මාළු මාර්කට් එක පැත්තට ගෑටුවේ නිකම් ගතවෙන කාලෙ ඔන්න ඔහේ අම්මට මාළු ටිකක් ගෙනිහින් දෙන්න හිතාගෙන.

සුමනදාස හෝටලය කියන්නේ අම්බලන්ගොඩ මහා විදියේ මාළු මාර්කට්ටුව ආසන්නම හෝටලයක් සහ කුණු කෑම නැති හොඳ තත්වයේ කෑම තියන හෝටලයක්. සුමනදාස හෝටලයේ උදේ බත් එක කෑවා කියන්නේ ආයේ හවස තුන හතර වෙනකම් බඩගින්න කියන නාමයක් හොයන්න නැතිවෙන කෑමක්. කුකුළුමස් සහ ව්‍යංජන එක්ක හැදෙන සුමනදාස එකේ උදේ බත් එක කන්න හුඟක් එවුන් උදේට සුමනදාස එකට ඇදෙන එක සාමාන්‍ය දෙයක් වුනේ අම්බලන්ගොඩ උදේට කන්න තිබ්බ සුපිරිම තැන සුමනදාස හෝටලේ නිසා. 

ඒ වෙද්දී මාළු මාර්කට් හරියේ වාහන නවත්වන්න ඉඩක් තිබ්බේ නැති නිසා මමත් සුමනදාස හෝටලයත් පහුකරන් ඉස්සරහට ගිහින් ඉඩ තියෙන තැනක් බලල වාහනේ නවත්තල මාර්කට් හන්දියට පයින් ආවේ මාළු ටිකක් ගන්න අදහසින්.

දවස පෝය නිසා වෙනදට මාළු ගන්න සුපුරුදු මාළු ලෑලි වෙළඳාම් නොකරන දවසක් උන නිසා ලඟම තිබ්බ මාළු ලෑල්ල ගාවට ගිහින් මාළු කිලෝ එකක් කපන්න කිව්වේ අලුත් මාළුද කියල අහන එක පෝය දවසේ තේරුමක් නැති ප්‍රශ්නයක් නිසා. පෝය දවස ධීවරයින් මුහුදු නොයන දවසක් නිසාත් විකිනෙන මාළුවක් පෝයට විකිනුනේ ශීතකරණයේ ගබඩාවෙච්ච මාළු විතරයි.

ඒත් මට විකුනන්න කපමින් හිටපු මාළු කුරියාත් මාළු ලෑල්ලත් පෙරලගෙන මාවත් පෙරලගෙන දුවන්න ගතපු මාළු වෙළෙන්දන් මේ දුවන්නේ මොකද බොලේ කියල මුහුද දිහා බලපු මම දැකපු දෙයින් තමයි මට තරු විසික් උනේ.

මම හිටපු තැන ඉඳන් සාමාන්‍ය වෙලාවට මුහුදේ රල ගහන තැන හෙවත් මුහුදු වෙරළට මීටර් විසිපහකට වඩා වැඩියි. එත් මම දැක්කේ කළු පාට වතුර එක්ක විශාල මුහුදු රැලක් මා දිහාට මාළු ලෑලි තල්ලු කරගෙන වේගයෙන් එන හැටි. ක්ෂණිකවම ආපස්සට හැරුන මමත් මාළු වෙළෙන්දන් පස්සෙන්ම මාර්කට් හන්දිය පැත්තට ඉගිල්ලුනේ පන බේරගන්න ඕන නිසා. ලෝක ධාවන ශූරයන්ටත් වඩා වේගෙන් දුවපු මමත් මාළු මාර්කට් පාරෙන් මහා වීදියට ගොඩවුනේ මහ වීදිය තිබුනේ මාර්කට් පාරට වඩා අඩි හයක් හතක් උඩින් නිසා. පස්ස නොබලා එලෝ මෙලෝ නැතුව දුවන ජනතාව එක්ක මමත් ඉබේම හැරුනේ කාර් එක නවත්තපු දිහාවට. දුවපු දිවිල්ලට සුමනදාස හෝටලේ පහුකරන් දුවද්දී තමයි දැක්කෙ සුමනදාස හෝටලේ ගාව නවත්තල තියන මගේ මිත්‍රයෙකුගේ වෑන් එක.

වෑන් රථයේ අයිතිකරුවා නොහොත් මගේ අඹ මිත්‍රයා සුමනදාස හෝටලයේ උදේ බත් ලෝලියෙකු බව උගේ ඥාති හිත මිත්‍ර සියල්ලම සහ මමත් දන්නා දෙයක්. සාගරයක් වගේ බඩක් තියෙන මිත්‍රයෙක් වෙච්චි අපේ එකාගේ බඩ පුරවන්න සුමනදාස එකේ බත් එකක් යන්තමට වගේ පුළුවන් වෙන්නේ කුකුල්ලු භාගයක් එක්ක දෙපාරක් විතර අඩු බත් බෙදාගෙන කෑවයින් පස්සෙයි. මගේ අඹ මිත්‍රයා තරම් මෙගා සයිස් බඩවල් තියන එවුන් කීප දෙනෙක් කන්න සෙට් උනොත් සුමනදාස හෝටලේට උදේ බත් බිස්නස් එකෙන් ලාභ ගන්න එක සුම්ම වෙන්නේ අපේ එකා වගේ තිස්දෙනෙක්  කෑවොත් උන් තිස්දෙනා මිනිස්සු අනූවක් කන තරම් බත් කන නිසා. මිත්‍රයාගේ කෑම ගැන ලියල ආයෙත් පොස්ට් එක කැලේ පනින්න කලින් නැවතත් සිද්දියට ආවේ නැති උනොත් මගේ පාඨකයින් මට දෙවැනි වතාවට සමාව දෙන එකක්නම් නැතිවෙයි.

මිත්‍රයාගේ වෑන් රථය පහුකරගෙන පන එපා කියල කාර් එක හොයාගෙන දුවන මගේ ඔලුවට විදුලියක් ගහන්න වගේ එක පාරට මතක් උනේ සුමනදාස හෝටලේ ඇතුලේ රෝස්  කරපු කුකුල්ලු භාගයක් එක්ක බත් කන්දක් පහත් කරන මගේ අඹ මිත්‍රයාගේ ගෙදර තියෙන්නේ මුහුද අයිනේ නේද දෙයියෝ කියල. ඒ සිතුවිල්ලත් එක්කම මරණය පිටිපස්සෙන් එළවන් ආවත් මගේ අඹ මිත්‍රයා දාල දුවන්න මට හිත හදාගන්න බැරිඋනා. ආපහු හැරුන මම කලින්ම දිව්වේ සුමනදාස හෝටලේ ඇතුලට. ඒ වෙද්දී මගේ මිත්‍ර රත්නය හිටියේ රෝස් කුකුල්ලු එක්ක තිබ්බ අපරිමිත වයිරය පිරිමහමින්.

මොකෝ බන් මේ හති දාගෙන..

මුහුද දානවා යකෝ ගෙදර දුවපන්.. වයිෆුයි දරුවයි ගෙදර නේද..

උදේ පාන්දර බොට පිස්සු හැදිලද යකෝ.. මෙන්න මෙහෙ වාඩි වෙලා මොනාහරි කාපන්..

කන්න නෙවෙයි යකෝ මුහුද දානව.. ගෙදර දුවපන් @#$%@%%#%#%#% පුතෝ..

භූත නැතුව මෙන්න මෙහෙ වාඩියන් .. මොනාද කන්නේ.. බත් කනවද ෂෝර්ට් ඊට් කනවද.. 

භූත නෙවෙයි %$$#@#$% පුතෝ.. එලියට ගිහින් බලපන් මම කියනවට..

උඹ ඇත්තමද බන් කියන්නේ..

තොට බොරු කියන්නේ මොනා ගන්නද යකෝ.. එලියට වර.. එලියට බැහැල බලපන් ..

මගේ බලවත් පෙරැත්තයට මිතුරු තැන මට දහසක් දොස් කියාගෙන අකමැත්තෙන් බත් පතට මද විවේකයක් දීල කුකුළු අන්ඩක් කටින් ලෙලි ගහමින් සුමනදාස හෝටලයෙන් එලියට ආවේ මම කියන්නේ ඇත්ත කියල සියයට එකක්වත් විශ්වාසයක් නැතුව. හෝටලයෙන් එලියට ආපු ගමන් මගේ මිත්‍රයා දැක්කේ එලෝ මෙලෝ නැතුව පන බේරාගෙන දුවන මිනිස්සු. ඒ දැකපු මගේ මිත්‍රයාගේ ක්‍රේල් ක්‍රේල් කොන්ඩෙ කෙලින් උනා කිව්වොත් තමයි හරි. 

පත සරීර කුඩුවත් උස්සගෙන මා මිත්‍රය දුවන්න ගත්තේ උගේ වෑන් එක තිබ්බ තැනට. ඒත් එක් දිසාවකට විතරක් වාහන ධාවනය කරන්න පුළුවන් මහ වීදියේ නීතියට  අනුව යාළුවගේ ගෙදර පැත්තට යන්නනම් වටෙන් ගිහින් ගාලු පාරෙන් එන්න ඕන කිලෝ මීටර් දෙකක්වත් . මිත්‍රයාගේ ගෙදරට යන්න තිබ්බ ලඟම පාර හෙවත් මීටර් දෙතුන්සීයෙන් ගෙදර යන මාළු මාර්කට් පාර ඒ වෙද්දීත් මුහුදු වතුරෙන් යටවෙලා රළ ගහමින් තිබුනෙ. 

දරුවයි වයිෆුයි ගෙදරද..

ඔව් යකෝ ඔව්..

හරි උඹ වාහනේ අරන් වටෙන් වරෙන්. මම මේ පැත්තෙන් පයින් දුවන්නම්.

හරි.

මම මහ වීදිය දිගේ ඇසිපිය ගහන වේගෙන් දිව්වේ මිත්‍රයාගේ ගෙදරට. මම ජීවිතේටම වේගෙන්ම දුවපු දවසක් තියෙනවනම් ඒ දවස තමයි දෙදාස් හතරේ දෙසැම්බර් විසි හය. මාර්කට් හන්දියේ ඉඳන් කිලෝමීටරයක් වගේ දුරින් තිබ්බ මගේ මිත්‍රයාගේ ගෙදරට මට පුළුවන් උපරිම වේගයෙන් දුවපු මම එතනට යනකොටත් මගේ මිත්‍රයගෙ ගෙදරට මුහුදු රළ අඩි දෙකක් වගේ උසකට ඇවිත්. ගොඩබිම පැත්තට දුවන නොසන්සුන් මිනිස්සු අතරේ මමත් අමාරුවෙන් මුහුදු වෙරල පැත්තට දිව්ව. එත් නිකමට වගේ පස්ස බලපු මම දැක්කේ මිනිස්සු අතරින් අමාරුවෙන් රිංගගෙන වාහනය පදවාගෙන එන මගේ මිත්‍රය.  වාහනේ දැකපු මම ආපස්සට හැරිල වාහනේ ලඟට දිව්වේ මගේ මිත්‍රයා කරන්න යන අවදානම් වැඩේ ගැන ඉවෙන් වගේ දැනුන නිසා.

ඕක නවත්තපන්..

ඇයි ..

මේ සෙනග අස්සේ උඹ ගියොත් හිරවෙනව . උඹ ඕක හරවාගෙන රිවස් එකේ වරෙන්. මම දරුවයි වයිෆුයි ගෙදර අයයි අරන් එන්නම්.

හරි.

ආයෙත් ක්ෂණිකව වෙරල පැත්තට හැරුන මම දිව්වේ මිත්‍රයාගේ ගෙදරට. ඒ වෙද්දී මගේ මිත්‍රයාගේ බිරින්දෑ දරුවත් කරපින්නාගෙන වත්තේ ඉන්නවා මම ඈත තියාම දැක්ක. ඉනි වැටේ ඉඩක් තිබ්බ තැනකින් වත්ත ඇතුලට පැනපු මම මිත්‍රයාගේ බිරින්දෑ අතේ හිටපු දරුවා අතට අරන් මගේ පස්සෙන් එන්න කියල විධානය දීල ක්ෂණිකවම අඩි දෙකක් විතර වතුර පිරිලා තිබ්බ මිත්‍රයාගේ ඉඩම සීමාවෙන් පිටවුනා. ඒ වෙද්දී මගේ මිත්‍රයා කොහේදෝ අස්සකට වාහනේ ඔබල යාන්තමින් වාහනේ ආපස්සට හරවාගෙන තිබ්බ. යාළුවගේ බිරින්දෑත් දරුවත් ගෙදර සෙසු පිරිසත් වාහනේට නග්ගල පිටත්කරලා යැව්වාම තමයි මම භාරගත් රාජකාරිය සම්පූර්ණ වුනේ. 

ඇහැට පෙනෙන මානයටම මුහුදේ වතුර හිඳිලා විනාඩි දහයක් ගියේ නෑ  ආපු දෙවැනි සුනාමි රැලෙන් මිත්‍රයාගේ නිවස වහල මට්ටමට වගේ මුහුදු රැලෙන් යටවෙනවත් එක්කම ආයෙත් පන එපා කියල දුවන ජනතාවත් එක්කම මමත් ගෙදරම දිව්වාම තමයි මට මතක් උනේ කාර් එක ටවුන් එකේ නේද කියල.

මහ විදියට සුනාමි ආවේ නැති නිසා මගේ කාර් එකට අඩුම තරමේ රළ පාරක්වත් වැදුනේ නැහැ. සුනාමි ඇවිත් ජීවිත් දහස් ගණනක් අරගෙන ගියායින් පස්සේ දවල් වෙලා ගිහින් මම කාර් එක අරන් ආව. හවස තුනට හතරට තමයි මගේ මිත්‍රයා ආයෙත් මාව හොයාගෙන ආවේ. උපන්දා ඉඳන් හදුන වැඩුන ගේ මුහුදු රළ වලින් විනාස වෙලා තියෙද්දී ජීවිත බේරුනත් මගේ මිත්‍රයා හිටියේ බොහොම දුකෙන්.

මොකද මචන් වෙන්න ඕන.

ගෙවල් ඉවරයි බන්.

බිත්ති පෙරලිලාද ..

නෑ බන්.. දොරවල් දෙපලු කරගෙන වතුර ගෙට ගිහින්. බඩුමුට්ටු ඔක්කොම විනාසයි..

වටින බඩු තිබ්බද බන්..

අල්මාරියේ ලක්ස දෙකක විතර රත්තරන් බඩු තිබ්බ බන් වයිෆ්ගෙ..

දැන් මොකද කරන්න ඕන..

කව්රුත් හොයාගන්න නැහැ මේ වෙලාවේ බඩු ටික හොයන්න යන්න.. ඉන්න එවුන්ට කතාකරන්නත් බෑ බන් මුහුද ගැන විශ්වාසයක් නැති නිසා.

පවුලේ කව්රුහරි එනවනම් මම එක්ක ගේ ඇතුලට යන්න මම යන්නම් ඇතුලට.

ඉතින් මම ඉන්නේ බන්.

උඹේ ඔය සරීර කූඩුව අරගෙන උඹට පුලුවන්ද බන් ඕක ඇතුලේ රිංගන්න. අනික හදිසියෙවත් මුහුද ආවොත් උඹට දුවන්නත් බෑ .

මස්සිනා නම් එන්නම් කිව්වා බන්.

හරි එහෙමනම් යමු.. හැබැයි අපි ගෙට ගිහින් රත්තරන් බඩු ටික තියෙනවද නැද්ද කියල හොයාගන්නකම් උඹ මුහුද දිහා බලන් ඉන්න ඕන. මොනම හේතුවකටවත් උඹ මුහුදෙන් ඇහැ අහකට ගන්න බෑ..

හරි එහෙනම් යමු.

මිත්‍රයාගෙ මස්සිනාත් මමත් මිත්‍රයාත් ගෙදරට යනකොට පලාතම සොහොන් පිටියක් වගේ පාලු වෙලා. සමහර ගෙවල් බිත්තිත් එක්කම කැඩිල. සමහර ගෙවල් දොර ජනෙල් දෙපලු වෙලා. වැටකඩුලු , තාප්ප, සියල්ලම තිබ්බ තැනක් හොයන්නත් නෑ . කැඩිච්ච වතුර පයිප්ප වලින් එක දිගට වතුර ඔහේ ගලාගෙන යමින් තිබ්බ. ගෑස් කුකර් එකක් ගෑස් සිලින්ඩර් එක්කම බටේ පැලිල ෂූ සද්දෙන් ගෑස් පිටවෙනව මිදුල මැද්දෙ . මගේ මිත්‍රය හිටියේ බොහොම දුකෙන්. හොඳට මුහුද පේන තැනකින් මිත්‍රයාව මුහුද පැත්තට මුහුණ දාල වාඩි කරවලා මිත්‍රයාගේ මස්සිනාත් මමත් ගේ ඇතුලට රිංගන්න උත්සහ කරේ බොහොම වැර වෑයමෙන්.

ගෙඳවාන දිහා බලන් හිටපන්... ගෙඳවාන උඩින් රැලක් ආවොත් කෑගහල කියපන්... උඹත් දුවපන්.. අපි අහුවෙච්ච තැනකින් පැනල දුවන්නම්.. අපි ගැන බලන්න එපා.. කෑගහල කිව්වොත් ඇති හරිද..

හරි මචන්..

මුහුදු වැලි වලින් අඩි එකහමාරක් විතර පිරිලා තිබ්බ මගේ මිත්‍රයාගේ නිදන කාමරේ දොරේ තිබ්බේ දොර රාමුව විතරයි. ඇතුලේ තිබ්බ බඩුමුට්ටු ඔක්කොම බ්ලෙන්ඩරයක දාල කරකවල වගේ සියල්ල සුන්බුන් බවට පත්වෙලා. අපි දෙන්න බඩු එකින් එක බොහොම පරෙස්සමට එලියට අදින්නයි උත්සහ කරේ. එත් ලොකුම ප්‍රශ්නය උනේ බිඳුණු ජනෙල්වල විදුරු කටු, කන්නාඩි මේස වල , අල්මාරියේ වීදුරු කටු හැමතැනම විසිරිලා  තිබ්බ එක. අත පය කපාගන්නේ නැතුව බඩු එලියට අදින එක ලොකු අභියෝගයක් වුනා. 

අපිට හදිසියෙන් පැනල දුවන්න පුළුවන් ඉඩත් තියාගෙන හෙමි හෙමිහිට අහුවෙන අහුවෙන සුන්බුන් එකින් එක ඉස්තෝප්පුවට වීසිකරගෙන අපි දෙන්නත් ටිකෙන් ටික කිට්ටු කරේ අල්මාරිය තියන තැනට. එත් අල්මාරිය පලු දෙකම භාගෙට ඇරිලා තියෙන වග එතනට නොයාම පෙනුනත් ඇතුලෙ තියන බඩු මොන තත්වෙන්ද තියෙන්නේ කියල අපිට පෙනුනේ නෑ. පැයක විතර බොහොම ලොකු උත්සාහයකින් පස්සේ අපි දෙන්න අල්මාරිය ගාවට ලං උනත් අල්මාරියේ දොරවල් අරින එක ලොකු අභියෝගයක් උනේ කාමරේ පිරිලා තිබ්බ මුහුදු වැලි අයින් නොකර දොරපලු එහා මෙහා කරන්න බැරි නිසා.

අල්මාරිය පාමුල තිබ්බ වැලි එහෙමෙහෙ කරලා කැඩිච්ච දොරපලු ඇරල බැලුවාම තමයි දැක්කේ ඇඳුම් කෑලි දෙකතුනක් ඇරුනාම වටිනා යමක් අල්මාරිය ඇතුලේ නැහැ කියල. ඒ වෙද්දීත් වැඩේට පැය එකහමාරකට වඩා ගතවෙලා. අපේ අරමුණ වුනේ රත්තරන් බඩු ටික හොයාගන්න එක නිසා අපි දෙන්නම මඩ සහිත මුහුදු වැලි ගොඩේ අත්දෙක දාල බොහොම පරෙස්සමට කාල් ගෑවෙ කොහෙන් හරි රත්තරන් බඩු  ටික හම්බේවිදෝ කියල සීයට දශම එකකවත් විස්වාසයක් නැතුව. 

මඩත් එක්ක වැළලිලා තියන වීදුරු කටු වලින් අත් දෙක බේරාගෙන අතට අහුවෙන අහුවෙන දේවල් මඩ ගොඩෙන් එලියට ඇදල පරික්ෂා කරලා ඉස්තෝප්පුවට දැමීම තමයි කරගෙන ගියේ. ඔන්න ඔහොම පැයක් විතර කාමරේ පුරාම මඩ කාල් ගානකොට මගේ අතට අහුවුනා පොට්ටනියක් වගේ දෙයක්. තිබ්බේ වීදුරු කටු ගොඩක් අස්සෙ නිසාත් ඇහැට නොපෙනෙන තැනක් නිසාත් අත බේරගෙන මඩ ගුලිය උඩට අරගෙන පරික්ෂා කරල බැලුවාම තමයි මම දැක්කෙ රෙද්දකින් ඔතපු රත්තරන් බඩු සියල්ලම කිසිම කරදරයක් නැතුව පොදියටම මඩ එක්ක දිලිසි දිලිසි තියන විදිහ.

ඒ වෙද්දීත් අඳුර වැටීගෙන ඇවිත් තිබ්බ නිසාත් ආපු අරමුණ හරි නිසාත් වෙන ගන්න හොයන්න දෙයක් නැති නිසාත් අපි දෙන්න පරෙස්සමට කකුල් කපාගන්නේ නැතුව එලියට ආවේ හැකි ඉක්මනින් මුහුදු මාරයාගෙන් බේරිලා පැනගන්න හිතාගෙන. එලියට ඇවිත් දැකපු දර්ශනයෙන් තමයි අපි කරපු වැඩේ භයානක කම අපිට තේරුනේ.

ගෙඳවාන දිහා බලාගෙන හිටහන් කියල මිදුල මැද්දේ වාඩි කරලා ආපු මිතුරු තැන ඒ වෙද්දී හිටියේ බිම එලාපු පෝර උරයක් උඩ වාඩි  වෙලා මුහුදට පිටුපාගෙන. හැබැයි නිකම් නෙවෙයි. බිත්තර පාන් එකක් කන ගමන්. 

පෝර උරේ උඩ එරමිණිය ගොතාගෙන මුහුදට පිටුපාල වාඩි වෙලා බඩ පුරා කොටාබාමින් ඉන්න මගේ අඹ මිත්‍රයා ඉස්සරහ පොලිතින් කවරේ තිබ්බේ තවත් බිත්තර පාන් පහක් හයක්. ඒ වෙද්දී රත්තරන් බඩු , සුනාමි කිසිදෙයක් මගේ මිත්‍රයගෙ ඔලුවේ නැති විත්තිය විතරක් මට තේරුනා. ඒ බඩ සාගරේ ගින්නට සුනාමි දහයක් ආවත් පරාදයි කියල එදා මම තේරුම් ගත්ත.

මුගේ ගෑනිගේ රත්තරන් බඩු හොයන අපේ ජීවිත අනතුරේ දාල මූ බිත්තර පාන් ගේන්නත් ගිහිල්ල නේද කියල මට පස්සේ තේරුනේ බිත්තර පාන් එතනට ඇවිදගෙන එන්න විදිහක් නැහැ නේද හත් දෙයියනේ කියල මතක් උනාම. ඔන්න ඔහොමයි මගේ අඹ මිත්‍රයාගේ බඩගින්නට එකම දවසේ සුනාමිය දෙපාරක් පරාද උනේ. 

මේක කියවන පාඨකයින්ගෙන් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ සා බඩගින්නක් තියන එවුන් කවදාවත් අවදානම් රාජකාරීවලට එක්කයන්න එපා කියල. මොකද මුන් වගේ එවුන්ට බඩගිනි උනා කියන්නේ පිඹුරාට බඩගිනි උනා වගේ තමයි ආයේ තැනක් නොතැනක් නෑ ලෝක ගෝලෙ හරි ගිලිනවාමයි.

මේ පොස්ට් එක ඇතුලේ මගේ අඹ මිත්‍රයාගේ නම හෝ කිසියම් සුරතල් නාමයක්වත් සඳහන් නොකරන්න මම අදහස් කරේ දෙදාස් හතරේ දෙසැම්බර් විසි හයවෙනිදා උදේට කාපු බත් කන්දටයි කුකුල් පලුවටයි අපේ එකා සුමනදාස හෝටලේට සල්ලි ගෙව්වේ නැති බව මම ඉන්තේරුවෙන්ම දන්නා නිසා. 

ඒ සුනාමි පරද්දපු බඩගිනි කාරයා මීට කලින් පෝස්ට් කිහිපයකත් සුපර් ස්ටාර් වෙච්චි එකෙක් කියල විතරක් පොඩි ඉඟියක් දෙන්න විතරක් පුළුවනි. එවකට ව්‍යාපාරිකයෙක් වෙච්චි මගේ අඹ මිත්‍රයා දැන් රජයේ සේවකයෙක්. රැකියාව කල යුත්තේ කොහොමද කියන එක මගෙන් අකුරට ඉගෙනගත්තු මිත්‍රයාගේ ලොක්කන්ටත් මගේ ලොක්කන්ට වගේම ගලේ පහරපු බල්ලට වෙච්චි දේම වෙලා ඇති කියලනම් මට ඉර හඳ වගේම විශ්වාසයි. ගෙදරදී අඹේනිය විසින් හදල දෙන සෞක්‍යාරක්ෂිත සීනි නැති තේ , යහපත් සෞක්‍ය ජීවිතේ අංක එකට තියල මාත්‍රාවට තෙල් නොදා හදල දෙන කෑම බීම හරිම කීකරුව කන බොන මගේ අඹ මිත්‍රයාගේ වයිපරේනම් කොයි වෙලාවෙත් කියන්නේ 

මෙයාට කොච්චර තෙල්, සීනි, සුදුබත් අඩුවෙන් දීල මස් බිත්තර කන්න නොදී හිටියත් කොලස්ට්‍රෝල්, සීනි අඩුවෙන්නෙම නැහැ අනේ ....කියලයි. 

පූසා වගේ උදේට වැඩට යන මගේ අඹ මිත්‍රයා උදේ පාන්දර සුමනදාස හෝටලේට රින්ගුවාම කන්දක් විතර බත් පිඟන් දෙක තුනකටත් කුකුල් පලුවකටත්  ඇඩ්‍රස් නැතිවෙන්න සුනාමිය වදින හැටි දන්නේ යාලු මිත්‍රයෝ විතරයි. අපේ එකාට සාමාන්‍ය මිලටම කන්න දෙන එකෙන් සුමනදාස හෝටලේට ලාභයක්නම් තියනවා කියල මමනම් හිතන්නේ නැහැ. 

එත් එක්කම මේකත් කියන්න ඕනෙමයි.......අම්බලන්ගොඩ එවුන් කවදත් කෑමට කප් ගහපු එවුන්.

පසු සටහන්

මගේ කාර් එක දෙන්න ගියපු මගුල් ගෙදර හෙවත් මගේ පොඩි අයියගේ නැන්දම්මා නොහොත් මනාලිය වීමට සිටි අක්කාගේ මව සුනාමියෙන් මියගියා. තවත් බොහොම ළඟ මිත්‍රයෙකුගේ අම්මාත් නැගණියත් මියගියා. මීට කලින් පොස්ට් එකේ හෙවත් සනාගේ වික්‍රම පොස්ට් එකේ සනා එක්ක ආකාස පත්තු කරලා මට කනේ පාරක් ඉල්ලලා දීපු ප්‍රසන්නගේ අම්මා සහ ආච්චිත්  මියගියා. ඒ වගේම දන්නා  කියන තව හුඟක් දෙනෙක් මියගියා. 

මළමිනී අතරේ ගෙවිච්ච ඉතුරු දවස් කීපය ගැන වෙනම ලිපි කිහිපයක් ලිවිය යුතුයි. එදා විජේසූරිය මෝටර්ස් උදේ පාන්දර ඇරියනම් මේ පොස්ට් එක ලියන්න මම අද මෙතන නැතිවෙන්න තිබුන. බැටරිය ලැබුණානම් බැටරිය හයිකරන් ගිංතොට යනකොට සුනාමි එන වෙලාව වෙද්දී මම අනිවාර්යෙන් අකුරල හරියේ වෙන්න තිබ්බ. අදටත් මාසෙකට දෙතුන් වතාවක් සුනාමිය හීනෙන් දැකල බයවෙලා ඇහැරෙන්න තරම් සුනාමිය මගේ ඔලුව ඇතුලේ පැලපදියම් වෙලා. මාසෙට කීපවතාවක් මහ රෑ බයවෙලා ඇහැරෙන නින්ද වගේද සුනාමියෙන් මිනිස්සුන්ට නැතිවෙච්ච ජීවිත සහ දේපල. ඒ ගැන ලියන්න වචන නෑ.

වෙරළට ටිකක් දුරින් තියන මහා ගල්පරයක් වෙන ගෙඳවාන වෙරළට කලින් භාදකයක් වගේ අම්බලන්ගොඩ ආවරණය කරගෙන යෝදයෙක් වගේ නොසැලී ඉන්න නිසා සුනාමියෙන් අම්බලන්ගොඩට වෙන්න තිබ්බ හානිය අඩුවුනා කියල මට හිතෙනවා.  පලවෙනි සුනාමි රළ  ඇවිත් ගිහින් දෙවැනි රළ එන අතරතුරේ ඇහැට පෙනෙන මානය දක්වාම මුහුදේ වතුර හිඳිලා ගිය නිසා උදේ බෝට්ටු වලින් ගෙඳවානේ ගිය එවුන් ගලෙන් ගලට පැනගෙන පයින් ගොඩට දුවන් එන හැටි මම ඇස්දෙකටම දැක්ක. ඒ කාලේ කැමරා ෆෝන් තිබ්බනම් උපන්දා ඉඳන් වතුර පිරිච්ච මුහුද වතුර නැති උනාම කොහොමද කියල හැමෝටම බලාගන්න තිබ්බ.  

සුනාමියට එහා බඩගින්නක් තිබ්බත්  අපේ එකා දෙදාස් හතරේ දෙසැම්බර් විසිහය වෙනිදා සුමනදාස හෝටලේ ඉඳල වාහනේට නැග්ගේ ඉඳුල් අත පිටින්. ඒ තමයි තමුන්ගේ අඹු දරුවන්ට සහෝදරයින්ට සහ වදපු අම්මට  උගේ තිබ්බ නොකියන සෙනෙහස. ඒ ගැන ඇගයීමක් තිබිය යුතුමයි. 

සුනාමියෙන් මියගිය හැමදෙනාටම නිවන්සැප ලැබේවා කියල හැමෝම එක්ක ප්‍රාර්ථනා කරමු. අපට එයාල වෙනුවෙන් කරන්න පුළුවන් එච්චරයි..


පින්තුර ගත්තේ මෙතනින් 
http://www.gll-getalife.com/get-ripped/entry/hormones-and-weight-gain

72 comments:

  1. අමිහිරි මතකය. කවදාවත් දැකල නැති මුහුදු පතුල බලන්න ගිහින් මිනිස්සු මැරුණ නේද ?

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් කම්මලේ. අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ අනතුරෙන් ඉවතට දිවීමට නෙවෙයිනේ. ලංකාවේ මිනිස්සුන්ට පලවෙනි සුනාමි අත්දැකීම මේක වෙච්ච නිසා තමයි හුඟක් මිනිස්සු මරුනේ.

      Delete
    2. කම්මලේ වෙනස් වෙලා...................

      Delete
    3. ඒ මොකෝ බන් එහෙම කියන්නේ?

      Delete
  2. සුනාමිය එනකොට මම ට්‍රින්කෝ.. අපි බැඳලා අවුරුද්දක් උනෙත් නෑ.. වයිෆ් ගේ මුල් ගෙවල් බුස්සේ.. (වයිෆ් නම් හිටියේ අපේ බදුල්ලේ ගෙදර..) ඒ ගෙදර හිටියේ වයිෆ් ගේ අක්කලා ෆැමිලි එක.. අම්මයි තාත්තයි හිටියේ ඊට කිලෝමීටරයක් විතර රට ඇතුලට වෙන්න තියෙන දැන් මහා ගෙදර.. මගේ සුනාමි අත්දැකීම් දවසක ලියන්න හිතාගෙන ඉන්නවා.. බලමු..
    අම්බලන්ගොඩ පොල්වත්ත කියුවම වෙන සුනාමි කතාවක් මතක් උනා.. අපිත් එක්ක හිටපු දක්ෂ නිර්භීත නාවික නිලධාරියෙක්.. ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් MSK De Silva.. KDU 9 බඳවා ගැනීමේ.. ත්‍රස්තවාදී ප්‍රහාර බර ගානකට සහභාගී වෙලත් අනතුරක් නැතුව බේරුනා.. එත් සුනාමිය ආපු වෙලාවේදී KKS පියර් එකේ ඉඳලා සුනාමියට අහුවෙලා නැති උනා.. ගම අම්බලන්ගොඩ පොල්වත්ත.. අ.කා. දන්නවා/ අහල ඇති සමහර විට..

    ReplyDelete
    Replies
    1. එදා ට්‍රින්කො හාබර් එක තියන හරියෙ ගැඹුර කොච්චරද කියල පේන්න ඇති. ඇත්තටම හාබර් එකේ ගැඹුරුම හරිය කොච්චර විතර ඇද්ද ?

      Delete
    2. ට්‍රින්කෝ හබර එක කියන්නේ විශාල වෙනස්කම් ගොඩක් තියෙන තැනක් බන්.. කෙටියෙන් කියුවොත් ඉනර් හාබර් එක ගත්තම ඒ කියන්නේ ග්‍රේට් සෝබර් අයිලන්ඩ් එකෙන් ඇතුල් පැත්ත 30m වගේ මැක්සිමම්.. අවුටර් හාබර් ලිමිට් එක උතුරෙන් flagstaff point (කෝනේස්වරම්) සහ දකුණෙන් Foul Point (සාම්පුර් කිට්ටුව) ඔය දෙක මැද හරිය 100m වලට වැඩි තැනුත් තියෙනවා.. හරියටම කියන්නම් ආපහු chart එකක් බලලා..

      Delete
    3. පොස්ට් එක දිග වැඩි නිසා මෙන්ඩ මා එක්ක මල පැනල වගේ.. කම්මලේ කියන්න වගේ ට්‍රින්කෝ පැත්තටත් මුහුද හිදෙන්න ඇති නේද. වතුරේ පා වෙවී තිබ්බ නැව් වලට මොකද දන්නේ නැහැ උනේ. කල්‍යාණ මිත්‍ර අපිට විස්තරේ කියාවි.

      Delete
    4. කමිය මීටර් කෝද්දක් අරගෙන හාබර් එකේ ගැඹුර බලනවලු මේ දවස්වල. හැක්..

      Delete
    5. කමිය ලනුවක ගලක් ගැටගහල හාබර් එකේ බස්සල ආයේ ලනුව උඩට ඇදල මනිනවලු.

      Delete
    6. කමිය තාම මැනගෙන ආවෙ නෑනෙ...

      Delete
    7. එයි එයි ඉවසන් ඉමු..

      Delete
    8. කල්‍යාණ මිත්‍ර කියපු නාවික හමුදා නිලධාරියාගේ නම සාරානාත් නේද. මම හොඳටම දන්නා කියන අහල පහල අයිය කෙනෙක්. කුරා කුහුම්බියෙකුටවත් වරදක් කරපු නැති මනුස්සයෙක්. සිංහල අවුරුද්දට නිවාඩු ආවාම අපි එක්ක කාර්ඩ් සෙල්ලම් කරන්න එනවා හැම අවුරුද්දෙම.ගමේ හිටපු ඊට පහල නිලවල හිටපු දන්නා කියන උදවිය ලොකු සීන් දාද්දි ආරක්ෂක අංශෙ ලොකු නිලයක් දරනවද කියලවත් කාටවත්ම පෙන්නපු නැති මනුස්සයෙක්. එයාලගේ බේකරිය තමයි පොල්වත්තටත් අහල පහල ගම් කීපයකටම තිබ්බ එකම බේකරිය ඒ කාලේ.

      Delete
  3. මටත් අමතක නොවන දවසක්.

    ReplyDelete
    Replies
    1. ඒ දවස අමතක කරන්න අපි කාටවත් බැරිවේවි මැරෙනකම්ම ඉයන්..

      Delete
  4. රැපවාහිනියේන් මේ ගැන දැනගත්තට විශ්වාස කරේ නෑ..මුහුද ගොඩ ගලනවා කියලා හිතන්න පුලුවන්ද? මම හිතුවේම බොරැවක් කියලා..

    ReplyDelete
    Replies
    1. රූපවාහිනිය විශ්වාස කරාවිද බන් සුනාමිය එක්ක රේස් දුවපු , ඇහින් දැකපු මම කියන දේ අපේ ගෙදර එවුන්වත් විස්වාස නොකලකොට..

      Delete
  5. දෙසැම්බර් විසිහය උදේ රේඩියෝ එකේ මුහුද ගැන කිව්වට ඔය අඹ මිත්‍රය වගේ අපිත් ඒක බයානක තත්වයක් කියල විස්වාස කරේ නෑ. නමුත් තත්වෙ භයානක කම පේන්න ගත්තෙ ටික ටික හවස් වෙනකොට.
    ලෝකෙ පෙරලුනත් ඊට කලින් බඩ ගැන හිතන එවුවො ඉන්නවයි කියන එක මේ කතාවෙන් ඔප්පු උනා.
    දැන් කියෝනකොට හිනා ගියත් ඒ දවස්වල මුහුදුබඩ විතරක් නෙමෙයි මුලු ලංකාවෙම මිනිස්සු දුකින් ගතකරපු කාලයක්.
    ඔය ගෙඳවාන ගල වගේම, මුහුද අයිනෙ කඩොලාන වැවිල තියෙන ප්‍රදේශත් සුනාමි රළ වලින් ආරක්ෂා වෙලා තිබුණ. ඒව කපල අයින් කරන එකටනං වගකියන්න වෙන්නෙ ඒ පැතිවල ඉන්න මිනිස්සුන්ටම තමයි.

    එදා ඒ මියගිය සියලුදෙනාටම නිවැන් සැප පතනව.

    ReplyDelete
    Replies
    1. අකුරල පැත්තට අනතුර දරුණුම උනේ හිරිගල් හාරපු නිසා කියලත් කියනවා බන්. ඒත් මම හිතන්නේ නැහැ ඒ වතුර කඳ නවත්වන්න පුළුවන් කියල හිරිගල් වලට.

      Delete
    2. වතුර ආවත් ඒ වතුර පාරෙ තියෙන සැර බාලවෙනව ගාඩ් එකක් තිබ්බනං. වතුරට වැඩිය ඒ වතුර පාරෙ තිබ්බ වේගෙට තමයි ගොඩක් හානි උනේ. කෝච්චි ඇන්ජිමක් සම්පූර්ණයෙං වතුරෙන් යටඋනත් පෙරලෙන්නෙ නැති එකේ ඒක පෙරලල දැම්මෙත් වතුරෙ වේගෙට තමයි.

      Delete
    3. ඔයා කියන දේ හරි ප්‍රසා.. භාදක තිබ්බනම් ටිකක් හරි බලය අඩුවෙන්න තිබ්බ.

      Delete
  6. උඹේ යාලුවට කියපං එදා සුමනදාස එකේ බිල දැංවත් ගෙවන්න කියල.

    ReplyDelete
    Replies
    1. මේ වෙනකොට අපේ එකා හාල් ගෝනි විස්සක තිහක බත් කාල ඇති බන් සුමනදාස එකෙන් සුනාමියට පස්සෙ. බත් වගේද කුකුල්ලු...

      Delete
  7. mamatha hitye muhudu nanna gihin. wathura para adu wenakota pi awidda muhuda maddata. tika welawak yanakota teruna badu banis kiyala raa muttiyath ussagena diwwa thama

    ReplyDelete
    Replies
    1. ඇති ජීවිතේ බේරුනා.. ඒ කාලේ කැමරා ෆෝන් තිබ්බනම් වටිනාකම කියන්න බෑ බන්.

      Delete
  8. කඳු වලල්ලකින් වටවෙල ඉන්න නිසා බදුල්ලට සුනාමිය අවේ නැහැ. ආවනම් ඔයා වගේ යාළුවෙක් අපේ පවුලටත් හිටිය නම් අගෙයි. ඇඟ හී ගඩු පිපෙන විදියට ලියලා. කතාව මැවිලා පෙනෙන්න ලියලා. ජය ඔබට

    ReplyDelete
    Replies
    1. අන්න කථාව .. හන්සමාලිට විතරයි තේරුනේ මගේ යාලුකමේ පරිමාව.. එකෙක් හරි මගේ ක්‍රියාවත් අගය කරා කියල මට හිත හදාගන්න පුළුවනි දැන්. ස්තුතියි ..

      Delete
  9. සුනාමියට සුපුරුදු පරිදි මම හිට්යේ යුරෝපයේය.ලංකාවෙ හිටියත් අපේ ගෙවල් මුදට ගව් ගණනක් දුරින් තියෙන නිසා වතුර ටිකක්වත් පයේ ගෑවෙන්නේ නැති බව විශ්වාසයි. ඒත් අපේ ගමේ කොල්ලො සුනාමියෙන් මියගිය අයට පිං පිණිස 2005 වර්ෂයේ ඉඳන් ප්‍රජා ශාලාවෙ දෙන දානය දහවෙනි වතාවටත් මේ අවුරුද්දෙ පැවැත්වෙන බව දන්වා තිබුණා.

    ReplyDelete
    Replies
    1. එහෙම හරි ඒ මිනිස්සුන්ට පින් පෙත් දෙන එක ලොකු දෙයක් හැලපේ අයියේ .. දෙසැම්බර් විසි හය දවසට හාමුදුරුවෝ ගෙදරට වඩම්මලා දානයක් දෙන එක තාමත් අපේ පැතිවල ලොකු අමාරු වැඩක්. පන්සල්වල හාමුදුරුවරු කොහොම හරි උපරිම දාන ප්‍රමාණයක් බාරගන්න පුළුවන් වෙන්න දුර පන්සල් වලිනුත් ස්වාමින්වහන්සේලා වඩම්මනවා ඒ දවස්වලට .

      Delete
  10. සුනාමි ඇවිත් දවස් දෙකකට පස්සේ අපි කණ්ඩායමක් ගාල්ලේ කුඩාවැල්ල පැත්තේ ආධාර බෙදන්න ගියා.අතරින් පතර ගෙවල් කිහිපයක් හැරුනම මුලු ප්‍රදේශයේම ගෙවල් බිමට සමතලා වෙලා තිබුනා.මුලු වටපිටාවම අමුසොහොනක් වගේ වෙලා තිබුනා.සමහර තැන්වල සුන්බුන් අතරේ මලමිනි ගොඩගැහිලා.මුහුද ආසන්නයේ බිමට සමතලා වෙලා තිබුනක නිවසක සුන්බුන් අතරේ තිබිලා මම ඇල්බම් එකක් ඇහිඳගත්තා.ඒකේ තිබුන පොටෝ අතරේ මාස හයක විතර පුංචි පුතෙක්ගේ පොටෝ වගයකුත් තිබුනා.මම ඒ පොටෝ එක අපිත් එක්ක හිටිය ඒ ගමේ කෙනෙකුට පෙන්නලා ඇහුවා මේ ගෙදර අය කොහේද ඉන්නේ කියලා.ඔහු දුන්න උත්තරය තමයි මේ ගෙදර කිසි කෙනෙක් ඉතිරිවුනේ නෑ කියන එක.අපි කණ්ඩායම දවස් දෙකක් විතර ඒ පැත්තේ හිටියා ආධාර බෙදමින්.ඒ දවස් දෙකට අහන්න දකින්න ලැබුන දේවල් හිත කම්පා කරවනවා.වෙලාවක ඒ ගැන මගේ බිලොග් එකෙත් ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. මගෙත් යාලුවෙකුගේ බිරිඳ සහ එකම දරුවා අතුරුදහන් උනා. අදටත් ඒ යාළුවා ඒ දුකෙන්ම තනිකඩව ජීවත් වෙන්නේ. අපේ ගමේ ග්‍රාමසේවක මහත්තයාගේ බිරිඳත් සුනාමියෙන් අතුරුදහන් උනා දෙන්න එක්ක හික්කඩුව පොලේ යන්න ගිහින්. බිරිඳ මැරුණා කියල දැන දැනත් ග්‍රාමසේවක මහත්තය තමුන්ගේ රාජකාරිය අකුරට ඉෂ්ටකරා සියලු දුක් සංකා පැත්තකින් තියල. ඒ මනුස්සය ගැන වෙනම ආර්ටිකල් එකක් ලියන්න ඕන මනෝ.

      අපේ ප්‍රසාගේ අම්මයි ආච්ච්යි නැති උනෙත් කතරගම යන්නගිහින් උනවටුනේදී. දවස් තුනකට පස්සේ අපි ගියේ ප්‍රසන්නගේ වෑන් එක ගෙන්න. ඒ වෙද්දීත් ගාල්ලෙ මිනී තිබ්බ. ඔයාල වගේ ස්වේච්චාවෙන් උදව්වට ආපු උදවියත් හමුදාවේ උදවියත් කරපු සේවය ප්‍රසංසනීයයි ඒ වෙලාවේ. මම හිතන්නේ ඒ සේවාවන් ඇගයීමකට ලක්වුණේ නැහැ. එත් ඒ සේවාවන් ඇගයීමකට ලක්විය යුතුයි කියල මම හිතනවා.

      Delete
    2. මමත් අහල තියෙන්නෙ ගොඩක් රජයේ කාර්යාලවල සේවකයින් තමංගෙ ගෙවල්වල මිනිස්සු නැතිවෙලා තියෙද්දි පවා අනිත් අයට වෙන්න ඕන සේවාව ඒ දවස්වල ඉටුකලා කියලයි. ඒ අතින් ඒ මිනිස්සුන්ට ස්තුතිවන්ත වෙන්න ඕන.

      Delete
    3. සියලුම ජනතාව පුළුවන් උපරිමයෙන් තමුන්ගේ යුතුකම කරා බන්. මගේ පොඩි අයියගේ නැන්දම්මාගේ මරනෙටවත් මට යන්න බැරි උනා. මිනි පෙට්ටි වලට මිනිස්සු ගහමරාගත්ත. පස්චාත් සුනාමි සිද්දි වෙනම පොස්ට් එකකින් ලියන්නම්කො. සමහර මිනිස්සු තමුන්ගේ තියන බලුකමත් පෙන්නගත්ත.

      Delete
  11. Replies
    1. වෙලාව නේන්නම් රූපෙ. ඒ වෙලාවේ මැරෙන්න කර්මය ලියවිලා නැත්තම් මොනවිදිහකින් හරි බේරෙනවා.

      Delete
  12. මම ඒත් බැලුව මොකද උඹ අඹයගෙ නම නොලියන්නෙ කියල.කොහොම උනත් උඹ මේ කතාව මට කියල තිබුනෙ නෑ.මේ පෝස්ටුව ලියනකන්ම ඉන්න උනා ඒ ගැන දැනගන්න.උඹට මටක අති මම නිවාඩු ඇවිත් ගිහින් සතියද කොහෙද සුනාමි එනකොට.මන් හිටියනම් කොහේ හරි මූද්ක නන්න යනව අයෙ දෙකක් නෑ.එලට ලියල තියෙනව සහෝ...මන් ඉතින් හැමදාම උඹ ගැන ආඩම්බර වෙනව.

    ReplyDelete
    Replies
    1. උඹ දන්නවනේ කියන්නේ කව්රු ගැනද කියල. උඹට මේ සිද්දිය කියන්න තරම් විශේෂයක් තිබ්බේ නෑනේ බන්. ඒ වෙලාවේ කලයුතු දේ කළා .. එච්චරයි.. අඹ යාළුවො උනත් නම් ලියන එක ටිකෙන් ටික නවත්තන්න ඕන කියල හිතුවේ සමාගේ වික්‍රමය සනාගේ වික්‍රමය කරන්න සිද්දවෙච්ච නිසා. උඹ හිටියනම් ඉතින් බොහෝදුරට උඹත් මුහුදක තමයි ඉරිදා දවසේ.

      Delete
  13. සුනාමියෙන් මට මගේ මල්ලීත් ඔහුගේ එකම පුතාත් අහිමි විය. එය දුක්බර දිග කතාවකි. ලියන්නට අකමැතිය. ඔබ වාසනාවන්තයෙකි.

    ReplyDelete
    Replies
    1. බොහොම කනගාටුයි විචාරක. සමාවෙන්න මම ලියපු දේ නිසා හිත් අමාරු අලුත් උනානම්. මට දැන් හිතෙනවා මේක ලිව්ව එක වැරදිද කියලත්.. ඔබතුමාගේ මල්ලිටත් ඒ පුත්‍රයාටත් නිර්වාන මෝක්ෂය ප්‍රාර්ථනා කරනව.

      Delete
  14. මගේ සොහොයුරා එවකට සේවය කළේ ගාලු කොටුව ඇතුලත පිහිටි රාජ්‍ය ආයතනයක. වාසනාවට ඔහු අවස්ථාවෝචිතව ගත් ක්‍රියාමාර්ගය ආරක්ෂාකාරී එකක් වූ නිසා හානියක් වුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. තනියම හිටපු නිසා ජීවිතේ බේරගන්න ලේසි වෙන්න ඇති. දරුමල්ලෝ එක්ක හිටියනම් එයාලවත් බේරගන්න ඕන නිසා අනතුරේ වැටීමේ අවදානම වැඩියි.

      Delete
  15. සුනාමියෙන් වූ හාණි (ජීවිත / දේපළ) බොහොමයි. මිනිසුන්ට යලි එවන් දුකක් නොලැබේවා

    ReplyDelete
    Replies
    1. ආයේ සුනාමි ආවොත් කලින් වතාවේ තරම් ජීවිත හානි වෙන එකක් නැහැ කලින් දන්වන නිසා. එහෙම විපත්නම් කුරා කුහුම්බියෙකුටවත් වෙන්න නම් එපා.

      Delete
  16. සුනාමි උන දවසෙ ඒ ගැන කියපු මුල්ම ප්‍රවෘත්තියෙන් කිවුවෙ ගාල්ල ප්‍රදේශයේ මුහුද ගොඩගලා පුද්ගලයන් පස් දෙනෙක් අතුරු දහන් වෙලා කියල

    ඊට පස්සෙ ප්‍රවෘත්තියෙන් කිවුවෙ මුහුද ගොඩගැලීම නිසා ගාලු පාරේ ඇතැම් ස්ථානවල රථ වාහන ධාවනයට බාධා ඇතිවෙලා කියල.

    කොච්චර සන්නිවෙදන ක්‍රම තිබුනත් එදා සිදුවීම ගැන සන්නිවේදනය වෙන්න අසාමාන්‍යය කාලයක් ගත උනා.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න හේතුව තමයි සුනාමියත් එක්කම සියලුම දුරකථන මාර්ග හවස දෙක තුන විතර වෙනකම් ඇමතුමක් ගන්න බැරි තරමටම කාර්යබහුල වීම. සන්ටෙල් විතරයි ටිකක් හරි වැඩ කරේ. අනික්වයින් කෝල් එකක් ගන්න පැයක් විතර ට්‍රයි කරන්න ඕන උනා. ඒ නිසා වෙන්න ඕන මාද්‍ය ආයතන ප්‍රමාද උනේ ප්‍රවුර්තිය එලියට දාන්න.

      Delete
  17. හ්ම්ම්. සුනාමියෙන් අපේ පවුල් වල කාටවත් හානියක් උනේ නෑ.. අපේ බාප්පා කෙනෙක් වැඩකළ සුරාබදු නිලධාරියෙක් විදියට හම්බන්තොට ඔෆිස් එකේ.. සුනාමිය ආවට පස්සෙ බාප්පාගෙන් කිසිම් තොරතුරක් නෑ... පස්සෙ තාත්ත අපේ බාප්ප සහ තවත් යාලුවෙක් එක්ක ගියා මූව හොයන එන්න. ඒ යනකොට අතරග දැකපු දර්ශනත් එක්ක බාප්පා ජිඉවතුන් අතර කියල විශ්වාසයක් තිබිල නෑ... හම්බන්තොට ටවුමට ගියාම එතන ගන්න දෙයක් නෑලු. තාත්ත බාප්පට කිව්වලු "මේක හරියන්නේ නෑ.. උස මහත එකෙක්ගේ මිනියක් දාගෙන යමන් ගෙවල් වල මිනිස්සුන්ට මළ ගෙදර කරන්න වත්" කියල. පස්සෙ ටිකක් එහෙ මෙහෙ කැරකෙනකොට මෙන්න මේ යකා ඉන්නවලු පොලිසියත් එක්ක එකතුවෙලා මිනි එකතුකර කර. පොලිසිය සහ සුරාබදු කාර්යාලය කන්දක් උඩ තිබ්බ නිසා සුනාමියට අහු වෙලා නෑ... ඔය වගේ කතා අනන්ත අප්‍රමාන අහල තියනව. උඹට අරූට දෙන්න තිබ්බේ බිත්තර පාන් විසිවෙන්න කනට දෙකක්. මට ඔහොම උනා නං දෙනව කණ නිල් වෙන්න...

    ReplyDelete
    Replies
    1. බොලෑ බාප්පත් යක්ස පොරක් තමයි. මිනියක් අරන් ගියානම් මල යුද්දයක් තමයි වෙන්නේ.

      අපේ එකාට ගහල වැඩක් නෑ බන්.. අහල තියනවද ගොදුරු ගිලින සතාට ගහන්න එපා කියල.. ඒ වගේ තමයි උගේ බඩගින්න.

      Delete
  18. සුනාමි දවසේ පවුලේ කොල්ලෝ කට්ටියම වෑන් රථයක් කතා කරගෙන සිරීපාදේ ගිහින් ඒන ගමන් හිටියේ.... අපි මෙහෙම දෙයක් දන්නෑනේ..... කට්ටිය කෑ ගගහා සින්දු කිය කිය අාවා.... පස්සේ ටවුමකදී කට්ටියක් වෑන් ඒක නවත්තලා කිව්වා මෙහෙම සිද්ධියක් නිසා සද්ද නැතුව යන්න කියලා..... ඒ වෙලාවේ තමා මේ ගැන දැනගත්තේ......

    ReplyDelete
    Replies
    1. ඒකත් ඉතින් මැරිච්ච මිනිස්සුන්ට කරන ගෞරවයක් තමයි කුරුටු ..

      Delete
  19. මට අද හරි සතුටු දවසක්, එත් මේ කතාව කියෙව්වම අස් දෙකට පොඩි කදුලක් අවා, සුනාමි වතුරත් එක්ක තනියම දුවල පන බේරාගත් මගේ වීරයා අද අ.පො.ස ස/පෙ ලියනවා

    ReplyDelete
    Replies
    1. විභාගය හොඳින් තරනය කිරීමට හැකිවේවා කියා පතනව.

      Delete
    2. කොල්ලට හොඳින් විභාය කරගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා මචන්.

      Delete
    3. ඉස්තුති වේවා හිතවතුනි.

      Delete
  20. ඔය සුනාමිය ආ වෙලේ මං හිටියෙ අපේ මාමගෙ ගෙයි උඩතට්ටුව හදන බාස්ලට අත්වැඩ දෙමින්. අපේ මාම තමයි අපටත් කිව්වෙ ‘මුහුද ගොඩ ගලනව‘ කියල. ඒ උනාට අපිනං හිනාඋනා. මේ මොන බොරුවක්ද කියල. පසුසෙං පහු තමයි සිද්දිය දැක්කෙ. අනේ අර විදිහට බුරුතු පිටිං මැරෙන්නනං බෑ. අපේ අම්ම එදා ටීවියෙක පැත්තවත් බැලුවෙ නෑ.

    අන්තිමට කියන්න තියෙන්නෙ ආයිනං සුනාමියක් එන්න එපා. ඕන්නං අපේ ගමට ගංවතුරක්(http://yanhella.blogspot.com/2015/11/village-water.html)වරෙං.

    ReplyDelete
    Replies
    1. ඔය ආරංචිය අහපු මිනිස්සු බහුතරයක් ඕක විශ්වාස කරේ නැහැ ගාල්ලේ ළමයි ගහගෙන යන රූපරාමුව දකිනකම්.

      බොලෑ ගමේ එවුන්නම් ඉතින් ගංවතුර එනවා කිව්වොත් තොරනකුත් ගහවි පිළිගන්න.

      Delete
  21. උඹලගේ වෙලාව හොදයි බං. නැත්නම් ඉතින්.

    ReplyDelete
    Replies
    1. එදා මැරෙන්න තිබිල නෑලු..

      Delete
  22. Replies
    1. උඹත් එහෙනම් බ්ලොග් එකට ගොඩවෙලා කමෙන්ට් එකක් දැම්ම... බ්ලොග් වාසී පාඨකයින්ට උඹව හඳුන්වල දෙන්නද... එක්කෝ ඕන නෑ ... උඹේ කමෙන්ට් එක මට කෝටියක් වටිනවා බන්..

      Delete
  23. සුනාමිය ගැන මම අදටත් නොලියපු කතාවක් තියෙනවා මං දවසක ලියන්නම්... උබට මගේ උත්තමාචාරය

    ReplyDelete
    Replies
    1. දෙසැම්බර් මාසය තමයි හොඳම මාසය සුනාමි ගැන ලියන්න. පුලුවනිනම් අද හෙටම ලියන්න.

      Delete
  24. ඇක්සිඩන්ට් එකක් වෙලා තුවාල උන එකාව ඉස්පිරිතාලෙඑක්කන් ගිය අපේ එකෙක් ඉන්නවා ලෙඩා කැගගහා ඇතුලේ ඉදිද්දී බනිස් විකුණන වැන් එකකින් බනිස් ගත්ත..ගත්තා විටරක් නම් මදැයි කවදත් තනියෙන් නොකන මූ නහයෙන් කටින් ලේ දාගෙන හිටපු එකටත් දීලා කපන කියල

    ReplyDelete
    Replies
    1. බැලුවාම අපේ එකා හොඳයිනේ..

      Delete
  25. සුනාමිය එනකොට සෙල්ෆියක් ගහගන්න තිබුනා...ඒත් ඒ කාලේ දැන් වගේ ස්මාර්ට් ෆෝන් තිබුනේ නෑනේ...

    ReplyDelete
    Replies
    1. සුනාමි සෙල්ෆිය ගහන්න තිබ්බ නේන්නම්..

      Delete
  26. AMBALANGODA UNTA KANNA NAM PULUWAN THAMAI ELATAMA!APITH EHE THAMAI.

    ReplyDelete
    Replies
    1. කන්න ඉතින් අමුතුවෙ උගන්නන්න ඕන නැහැනේ බන් අපේ ගමේ එවුන්ට..

      Delete
  27. මග ඇරිච්ච පෝස්ට් එකක්...
    සුනාමිය දවසේ මම හිටියේ ගෙදර, ආරංචිය ආපු ගමන් මම කලේ හෙණ ගේමක් දීගෙන කොළඹ එන්න පිටත් වෙච්ච එක. බයික් එකේ ඇවිල්ලත් පැය ගානක් ගියා මොරටුවට එද්දී...
    ඊට පස්සේ කැම්පස් එකේ ඉඳගෙන එක එක දිහාවල් වලට ආධාර එකතු කර කර යැව්වා...
    අන්තිමට බස් එකක් අරගෙන ආධාර අරගෙන ගිහින් ආමි එකත් එක්ක හම්බන්තොට මිනිස්සුන්ට කන්න උයලා දීගෙන හිටිය, අපෙන් ගිය හැමෝටම කරන්න වැඩ නැති නිසා වැඩ හොයාගෙන ගිහින් අන්තිමට කළපුවේ මිණි ගොඩ ගන්න සෙට් උනා. වෙලාවක ඒ ගැන ලියන්න හිතාගෙන ඉන්නවා...
    ජීවිතේට අමතක නොවෙන මතකයන් ගොඩක්...

    අර යාළුවානම් මාර බුවෙක්. මඩු වලිගෙන් ගහන්න ඕනේ ඒකාට...

    ReplyDelete
  28. ෂලිනි හංසකාJuly 29, 2016 at 11:37 PM

    ඔබ නම්, ලැබෙන්නට වාසනා කල යුතු යහලුවෙක්...

    ReplyDelete