Tuesday, December 29, 2015

නමක් නැති කතාවක් 8






අම්මේහ් .. 

අම්මේහ්... මගේ ඔලුව...

ඩොක්ටර්... ඩොක්ටර්... පහේ ඇඳේ  ලෙඩාට  සිහිය ඇවිත්...

අම්මේහ් ................. අම්මේහ් .. 

ඔයාට මාව ඇහෙනවද..

අම්මේහ් ... මම මේ කොහෙද ඉන්නෙ ..

ඔයා ඉන්නේ ඉස්පිරිතාලෙ .. ඔයාට මාව ඇහෙනවද..

හ්ම්....

ඔයාගේ නම මොකක්ද..

මගේ නම..... මගේ නම.............සු..සුභාෂ්..

හරි.. සුභාෂ් ඇස් ඇරලා බලන්න මාව පේනවද කියල..

අමාරුවෙන් දෙනෙත විවුර්ත කල සුභාෂ්ට දකින්න ලැබුනෙ හැල්මේ කැරකෙන විදුලි පංකාවක් සහ තමුන් වටේ වටවෙලා ඉන්න හෙදි පිරිසක් .. 

වහා නැගීසිටින්නට උත්සහ කල සුභාෂ් වාරු නැති ශරීරය ඇඳටම තබා තදකරමින් කරුණාවන්ත පිරිමි හඬක් සුභාෂ් වෙත අවවාදාත්මක විදානයක් නිකුත් කෙරුනා 

පුතා මම ඔයාගේ ඩොක්ටර්..නැගිටින්න උත්සහ කරන්න එපා .. ඔලුව හොලවන්න එපා ඔයාට රිදෙයි.. ඔයාගේ නළල තුවාල වෙලා තියෙන්නේ..

අමාරුවෙන් ඇස් ඇර වටපිට බැලු සුභාෂ් අනුමාන කළා හෙදියන්ට අමතව සිටිනා පිරිමි පුද්ගලයා වෛද්‍යවරයා වියයුතුයි යනවග. අපැහැදිලි දර්ශනයන් සමගින් දර්ශන තලය මදින් මද පැහැදිලි වෙද්දී නළල දෙසින් නැගෙන්නාවූ දරාගත නොහැකි වේදනාව නැවතත් දැනෙන්නට වූ නිසාවෙන් සුභාෂ් අතින් තම නළල අතගාන්නට දැරූ උත්සාහය ව්‍යර්ථ කරමින් වෛද්‍යවරයා නැවතත් හඬ අවධි කළා ..

සුභාෂ් ඔයාට සේලයින් එකක් දෙනවා අපි.. ඒ හින්ද අත හොලවන්න එපා පුතා..

මේ කොහේ ඉස්පිරිතාලෙද ඩොක්ටර් ..

මේ බලපිටිය ඉස්පිරිතාලේ පුතා.. ඔයාට මතකද ඔයාට මොකද උනේ කියල..

මට වතුර ටිකක් දෙනවද බොන්න..

නර්ස්.. පේෂන්ට්ට වතුර ටිකක් දෙන්න..

බෝතල් මූඩියක් වැනි යමකින් සුභාෂ්ගේ මුවට සැපයුණු වතුර ඇබිත්ත අධික පිපාසයක් දැනෙමින් තිබු සුභාෂ්ට යන්තමින් වත් සෑහුණේ නැහැ..

තව ටිකක්..

පුතා ඔයාගෙන් හුඟක් ලේ ගිහින් තියෙන්නේ.. අපි තව ටිකකින් තව වතුර ටිකක් බොමු.. ඔයාගේ එක්ස්රේ ඒක ආවයින් පස්සේ ඒක බලල වතුර බොමු..

මට... මට මොකද උනේ..

හරි දැන් මතක් කරන්න වෙහෙසෙන්න එපා සුභාෂ් ..... අපි පස්සේ කතාකරමු පුතා...

මගේ ඔලුවට මොකක්ද ඩොක්ට වෙලා තියෙන්නේ..

ඔයාගේ නළල ටිකක් පැලිලා තියෙන්නේ පුතා.. ලොකු තුවාලයක් නෙවෙයි.. අපි එක්ස්රේ රිපෝර්ට් එක ආවාම බලමුකෝ මොකද වෙලා තියෙන්නේ කියල ..

ඔයාට මොනවද දැනෙන අමාරු පුතා ..

මගේ...මගේ ඔලුව පුපුරන්න වගේ රිදෙනවා..

තව මොනවද සුභාෂ්ට දැනෙන අමාරු..

වෙන මොකුත් අමාරුවක් දන්නේ නැහැ ..

සුභාෂ්ට වමනෙට එනවා වගේද..

කරකැවිල්ල වගේ දැනෙනව .. වමනෙ එන්නේ නැහැ..

සුභාෂ්ට පුලුවනිද මා එක්ක තව ටිකක් කථා කරන්න.. අමාරුනම් අපි පස්සේ කතාකරමු...

පුළුවන් ඩොක්ට.. මම ඇස් පියාගෙන කතාකරන්නද ඩොක්ට..

කමක් නැහැ පුතා ..

මට ගෙදර යන්න ඕන ඩොක්ට...

ඔයාට දැන් ගෙදර යන්න බැහැ පුතා... ඔයාගේ ගෙදර ටෙලිෆෝන් නොම්බරේ මතකද ඔයාට...

ගෙදර නොම්බරේ... ඔව් ඩොක්ට... න් ...නෑ ..නෑ  ඩොක්ට.. ග් ..ගෙදර ටෙලිෆෝන් නෑ ...

හොඳයි එහෙමනම් සුභාෂ් දන්නවද ඥාතියෙකුගේ හරි අහල පහල ගෙදරක හරි ටෙලිෆෝන් නොම්බරයක්..

න් ...නෑ  ඩොක්ට... අහල පහල ටෙලිෆෝන් නැහැ කාටවත්..

සුභාෂ් කොහෙද පදිංචිය ..

අම්බලන්ගොඩ ඩොක්ට..

හොඳයි.. අම්බලන්ගොඩ කොහෙද...

ම් ..............................................

හොඳයි සුභාෂ් ඔලුව වෙහෙසන්න එපා.. අපි පසුව ලිපිනය ලියාගමුකෝ...

සුභාෂ්ට මතකද නළල තුවාල උනේ කොහොමද කියල...

ම් ................................................

ඔයාට කව්රුහරි ගැහුවද පුතා... බය වෙන්න එපා.. ඔයා දැන් ඉන්නේ ආරක්ෂාකාරී තැනක.. ඔයාට කව්රුහරි ගැහුවනම් මට පුළුවනි රෝහල් පොලිසියට කියල එයාලව අත්අඩංගුවට ගන්න..

ර් ......රෝහල් පොලිසිය.... න් .....නෑ  ඩොක්ට ම් ...මට ක්....කව්රුත් ගැහුවේ නැහැ...

එහෙනම් කොහොමද සුභාෂ්ගේ නළල තුවාල උනේ..

ම් ...........................මම  ක්...කකුල පැටලිලා වැටුනා ඩොක්ට...

කොහෙදිද...

කොහෙදිද.......න් ....නගරසභාවේ පිට්ටනියේ පඩිපෙළේ  ඩොක්ට...

එතකොට කොහොමද සුභාෂ්ගේ කමීසේ ඉරුනේ..

කමීසේ...ද් .. දන්නේ නැහැ ඩොක්ට... මට වතුර ටිකක් දෙනවද ...

මම හිතන්නේ සුභාෂ් මට මොනවහරි හංගනවා කියලයි...අපි තව ටිකක් පස්සේ වතුර බෝමුකෝ.. 

දැන් වෙලාව කීයද ඩොක්ට..

දැන් රෑ හතහමාරයි පුතා..

හ් ..හතාමාරයි....මට ගෙදර යන්න ඕන ඩොක්ට..

අද ඔයාට ගෙදර යන්න බැහැ පුතා.. අපි හෙට උදේ බලමු ආ ...

එහෙමනම් මට තව ටිකකින් මතක් කරල ගෙදර ලිපිනය දෙන්නකෝ... මම රෝහල් පොලිසියට කියල ගෙදරට පණිවිඩයක් යවන්නම්.. දැන් ටිකක් විවේක ගන්නකො..

ර්ර්ර් ...රෝහල් පොලිසිය....හ ..හා ඩොක්ට...මම මතක් කරල කියන්නම්..

සර්  සේලයින් එක ඉවරයි.. තව එකක් දෙනවද ..

ඕන නැහැ .. දැන් ඕක ගලවන්න.. කන්‍යුල එක තියන්න රෑට එකක් දෙන්න ඕන උනොත්..

හා සර්..

මේට්‍රන්ට කියන්න මම ක්වාටස් එකට ටිකක් යනව හදිසියක් උනොත් කෝල් කරන්න කියල..

හොඳයි සර්..

සුභාෂ්ට අමාරුවක් උනොත් මේ නර්ස්ලාට කතා කරලා කියන්න ඕන හොඳද ..

හොඳයි ඩොක්ට ..

වෛද්‍යවරයා එතනින් නික්මගියායින් ප්‍රශ්න ඇසීම එතකින් අවසන් වුනා.. සිදුවූ සියල්ල චිත්‍රපටියක් මෙන් සුභාෂ්ගේ මතකයේ යලි ආවර්ජනය වෙමින් තිබුනත් සිදුවූ සත්‍ය සිදුවීම අනාවරණය කිරීම තුලින් ඇතිවන්නාවූ ප්‍රතිපල ගැනද සුභාෂ් සිතමින් උන්නා. තමුන්ට පහරදුන් පිරිසට දඬුවමක් ලබාදීමේ අවශ්‍යතාවය තදින්ම දැනුනත් සිදුවීම පැමිණිල්ලක් ආකාරයෙන් පොලිසියට දැන්වුවහොත් එහි අතුරු ප්‍රතිපලයක් වශයෙන් ඖෂදීට යම් අපහසුතාවයක් ඇතිවේදෝ යන සැකය  සුභාෂ්ව මන්දෝත්සාහී බවට පත්කලා. 

වහලේ එල්ලෙමින් වේගයෙන් කැරකෙන විදුලි පංකාව දිහා බලාගෙන කල්පනාවේ නිග්මන්ව උන් සුභාෂ්  උගතෝකෝටිකය  විසඳිය නොහැකිව වික්ෂිප්තව බලා සිටියේ දැන් ගෙදරට කුමක් කියන්නද යන්නයි. දැවෙන ප්‍රශ්නයට උත්තරය  රෝහලින් එලියට පැන ගෙදර යාම වුවත් එවන් හිතුවක්කාර තීරණයක් ගැනීමට තරම් ගතේ වාරුවක් සුභාෂ් වෙත තිබුනේ නැහැ. 

සියල්ලටම යටින් සුභාෂ්ගේ සිතේ පවතී අනෙක් ප්‍රශ්නය නම් ඔවුන් ඖෂදී සම්භන්ධව එවන් කතාවක් කීවේ ඇයිද යන්න වුවත් කොල්ලන් තමුන් යාලුවීමට අදහස් කරන්නාවූ  ගැහැණු දැරිවිය වටා කැරකෙන අනෙකුත් පෙම් කුරුල්ලන් කුමන හෝ ආකාරයෙන් මර්දනය කිරීමට උත්සහ දැරීම එක්තරා ආකාරයක ආරක්ෂක උපක්‍රමයක් හෙයින් සවස සිදුවීම සහ තමා පහරකෑමට ලක්වීම එවන් ආකාරයේ තුන්වන පන්තියේ ආරක්ෂක උපක්‍රමයක් දෝ යන්න සුභාෂ් තම හිත සමග තර්ක කරමින් උන්නා. ඖෂදී එම පුද්ගලයා සමග පෙමින් බැඳීමට කිසිසේත්ම ඉඩක් නොමැති බවට සුභාෂ්ගේ යටිහිත අවධාරණයෙන් පවසා සිටියත් වචනයෙන් විස්තර කල නොහැකි දුකක් සුභාෂ්ගේ හිතට දැනුනේ සුභාෂ්ට සිහිය ආ මොහොතේ සිටන්.. 

කුමක් කලයුතුද යන්න පැහැදිලි අදහසක් නොමැති වුවත්  පහරදීමට මුල් වූ පුද්ගලයා සමග ඖෂදී කීයටවත් සම්භන්ධකමක් පැවැත්විය නොහැකි අනියමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියාවක් ගණයට වැටෙන්නාක් යන විශ්වාසය සුභාෂ් වෙත වුවා. අද්යාපනික, සමාජයීය තත්වයෙන් ඖෂදී හා සංසන්දනය වීමට කිසිදු සුදුසුකමක් නොතිබූ පුද්ගලයකු හා ගැටීමට සිදුවීම ගැන සුභාෂ් වෙත පැවතුනේ කලකිරීමක්. 

තරහක්, කලකිරීමක්, කේන්තියක් ඔහු වෙත පැවතියත් ඔවුන් සමග තවදුරටත් රණ්ඩුවට නොයායුතු යන ස්ථාවරය හිතේ ධාරණය කරගත් සුභාෂ් පරාජය පිළිගෙන පසුබා සිටීමට තීරණය කලේ ගහමරාගැනිල්ල අවසානයේ ලැජ්ජාවට පත්වන්නේ ඖෂදී නිසා. මෙතෙක් කල් පනමෙන් රැකගෙන ආ කුළුඳුල් ආදරය වෙනුවෙන් ලැබුනා වූ ගුටි ප්‍රහාරය අමතක කර දමා දීර්ග සුසුමකින් ලය සැහැල්ලු කරගත් සුභාෂ් ඊළඟට හිතන්නට වුයේ රෝහලින් පැන ගෙදර යන විදිහක් ගැන..

හිසේ පවතින කැක්කුම අසීරුවෙන් අමතක කර දමා හිතේ වාරුවෙන් උඩුකය කෙලින්කොට ඇඳෙහි වාඩිවූ සුභාෂ් ඊළඟට උත්සහ කලේ ඇඳෙන් බැහැල හෙදි කාමරය දිහාවට ඇවිදින්න..

ඩොක්ට කිව්වා නේද ඔයාට ඇඳෙන් බහින්න එපා කියල..

දැන් මට හොඳයි මිස්.. මට ගෙදර යන්න ඕන..

ඔය ළමයට පිස්සු හැදීගෙන එනවද.. මෙහෙට ගේනකොටත් සිහිය තිබ්බේ නැහැ.. දැන් ගෙදර යන්න අහන්නේ මැරෙන්න ඕන  වෙලාද..

මට දැන් හොඳයි මිස්.. මට ගෙදර යන්න ඕන..

ඔයාට තාම වයස දහඅටක් වත් නැහැ නේද.. වැඩිහිටියෙන් නැතුව අපිට මුකුත් කරන්න බැහැ .. අනික එහෙම හිටියත් දොස්තර මහත්තය ටිකට් කපන්නේ නැතුව අපිට අවසර නැහැ ඔයාව ගෙදර යවන්න.. ගෙදර යවන්න තියා ටිකට් එකේ නම ගමවත් තාම හරියට ලියාගන්න විස්තරයක් දෙන්න බැරිවුණ ඔයා මේ පිස්සු කියවන්න එනවා.. කරුණා කරලා ඇඳට යන්න..

හෙදියගේ විරෝදයෙන් පසුබෑ සුභාෂ් නැවත ඇඳ වෙත ඇවිද ආවේ පරාජය අකමැත්තෙන් භාරගෙන. එහෙත් කුමන ආකාරයෙන් හෝ රෑ වීමට ප්‍රථම ගෙදර යා යුතුය යන සිතුවිල්ල හිතේ දෝංකාර දෙමින් පැවතියා..

මල්ලි මොකෝ කෙස් එක..

මට දැන් සනීපයි අයියේ.. ගෙදර යන්න ඇහුවේ.. කොහෙද අර මනුස්සය බෑ කියනවනේ..

ඇයි මොකද හදිසිය.. ටිකක් සනීප වෙලාම යන්න බැරිය..

බෑ අයියේ.. යන්න ඕන..

මල්ලියා.. මම උඹේ වයස පහුකරල ඉන්නේ.. උඹ මොකක් හරි ගේමක් ඇදගෙන කාගෙන් හරි කෑව නේද..

න් ...න් ....නෑ අයියෙ ...මේ.....

මේ.. මේ.. උඹ මට සුදුලූනු පොඩි කරන්න එපා කොල්ලෝ.. උඹ දොස්තරට ගොත ගගහ බොරු කියනව මම අහගෙන හිටියේ.. කියහන් මොකද උනේ..

පොඩි වලියක් ගියා අය්යේ.. දහයක් විතර මට වටකරන් ගැහුව ..

ඇයි මොකක්ද සීන් එක මල්ලි.. 

ඉස්කෝලේ කේස් එකක් අයියේ.. 

දැන් උඹ අඳුරනවද ගහපු එවුන්..

හ්ම් ...

ඉතින් ඇයි උඹ ඩොක්ට අහපු වෙලේ බොරු කිව්වේ..

ඔව්ව පොලිසි ගානේ අරන් ගිහින් බෑ අයියේ.. මට දැන් ඕන මෙතනින් මාරු වෙලා ගෙදර යන්න.. නැත්තම් ගෙදරින් කලබල වෙලා මේක ලොකු ප්‍රශනයක් වෙනව ..

ඉතින් ගෙදරට කියල පොලිසියේ ඇන්ට්‍රියක් දාල උඹට ගහපු එවුන්ට දීපන් පරිප්පුව.. දවස් දෙක තුනක් මෙහෙට වෙලා හිටහන්.. උඹේ ටිකට් කපනකම් උන්ට ඇප නෑ කොල්ලෝ..

අපොයි බෑ අයියේ.. ඒකනම් කීයටවත් කරන්න බෑ ..

උඹ උන්ට බයද ආයෙත් උන් උඹට ගහයි කියල..

අනේ නෑ අයියෙ .. මේක වැඩකට නැති කේස් එකක්..

අනිවාර්යෙන් මේකට කෙල්ලෙක් සම්භන්ධයි නේද.. අපි ඔය වයස පහු කරලා බන් ඉන්නේ..

න් ...නෑ .. අයියේ.. මේ..මේ........

උඹ ගොත ගහන්න ඕන නෑ බන්... කෙල්ල නිසා තමයි උඹ ගුටිකාලා ඔලු පලාගෙන මුකුත් නොකර නිකම් ඉන්නේ.. හරි.. දැන් මට කියපන් උඹට මගෙන් මොනවද කෙරෙන්න ඕන.. 

ගෙදරින් කලබල වෙලා මාව හොයන්න කලින් මට මෙතනින් එලියට පැනගන්න තමයි ඕන අයියේ..

තාම උඹේ ටිකට් එක ලියල නැහැ බන්.. මුන් දන්නේ උඹේ මුල් නම විතරනේ.. උඹට ගෙදර යන්න පණක් තියෙනවනම් කල්පනාව තියෙනවනම් හෙමින් සැරේ මාරුවෙලා පලයන් මල්ලි.. හැබැයි උඹ අහුවෙලා මාව එහෙම පාවල දෙනවා නෙවෙයි..

ඒකත් හරි තමා.. එත්..

ඇයි මොකද ඒත් කියන්නේ..

මේ ලේ ගෑවිච්ච ඉරිච්ච ෂර්ට් එක ඇඳගෙන එලියට යන්න බැහැනේ අයියේ..

උඹට ෂර්ට් එකක් ඕනෙද..

තියෙනවනම් ලොකු දෙයක් අයියේ..

ඉඳහන්  බලන්න..

සුභාෂ්ගේ ඇඳට අල්ලපු ඇඳෙහි අතක බැන්ඩේජ් සහිතව නේවාසිකව උන්  තරුණයා සුභාෂ් වෙත උදව් කිරීමට ඉදිරිපත්වීම සුභාෂ්ට මහත් අස්වැසිල්ලක් උනා. පිහිටක්, සරණක් නොමැතිව උන් සුභාෂ් නව පණක් ලද්දෙකු මෙන් බලාපොරොත්තු සහිතව බලා සිටින්නට වුනේ හිතවතා කමීසයක් ලබාදෙවිදෝ යන කුතුහලයෙන්.

ඉඳා ..මේක ඇඳන් පලයන්..

හුඟක් ස්තුතියි අයියේ..

අයිය මොකක් වෙලාද මේ නැවතිලා ඉන්නේ..

බස් කාරයෙන් ත්‍රීවිල් එකේ ඇන්න බන්.. අත ටිකක් තුවාල උනා.. හම්බුකරන් කාපු වාහනේ කුඩු..

වෙලාව තමයි අයියේ..මොනා කරන්නද.. ඉන්සුරන්ස් එකෙන් ලැබේවිද..

එහෙම තමයි මල්ලි හිතන් ඉන්නේ.. මේක හොඳ කරගෙන එපයි මොනා කරන්නත්..

හිතවතා විසින් සැපයු අත් දිග කමිසය, ඇඳ උන් ඉරීගිය ලේ සහිත කමිසය උඩින්ම ඇඳගත් සුභාෂ් ලැහැස්ති වුනේ රෝහලෙන් පැනයාමට..

එහෙනම් අයියේ මම ගිහින් එන්නද..

දැන් උඹ එන්නද යන්නේ..

මට නිකමට කියවුනා අයියේ.. අයිය කොතන ත්‍රීවිල් පාර්ක් එකේද ඉන්නේ..

ස්ටේෂන් එක ගාව පාරක් එකට ඇවිත් අහපන්කෝ අනුර කියල..

හරි අයියේ.. මම එහෙනම් හෙමින් සැරේ මාරුවෙන්නම්..

උඹට අමාරු කොහොමද දැන්..

ඔලුව රිදෙනවා විතරයි.. වෙන අමාරුවක් නැහැ..

සල්ලි තියෙනවද උඹ ගාව..කෝ මෙහෙට වරෙන් ඔය අතේ තියන සේලයින් කටුව ගලවන්න.. ඕක පිටින් ගියොත් උඹ මාට්ටු පුතේ..


ඔව් අයියේ.. තියනව..සාක්කුවේ පසුම්බිය තිබේදැයි තහවුරු කරගත් සුභාෂ් පිළිතුරු දුන්න..

ඔතන එළියේ තියන ත්‍රීවිල් වල නගින්න එපා උඹ .. දැන් උඹ මෙතනින් මාරු වෙලා කියල මුන් දැනගත්තාම මුන් ඉස්සෙල්ලම හොයන්නේ උන්ගෙන්.. උඹ උන් එක්ක ගියොත් රෝහල් පොලිසියෙන් හෙට උදේම උඹ හොයාගෙන ගෙදරට එයි.. ඒ හින්ද බස් හෝල්ට් එකට ගිහින් පාරේ එන ත්‍රීවිල් එකක නැගල පලයන්.. 

හොඳයි අයියේ.

බුදුසරණයි.. කාටවත් ඇහැ නොගැහි මාරුවෙයන්.. ඔතන වාට්ටුවේ ටොයිලට් එක ගාවින් වමට හැරිල පලයන්.. එතනින් ගියාම නර්ස්ල හිතන්නේ ටොයිලට් යනවා කියල..

හොඳයි අයියේ.. මම එහෙනං යන්නං ..

අවේලාවේ ලෙඩෙකු බලන්නට පැමිණි පුද්ගලයකු ආකාරයෙන් රෝහලින් එලියට ඇවිද ආ සුභාගෙන් දිස්වූයේ හිඟන ස්වරූපයක්. ප්‍රමාණයෙන් විශාල වූ කමීසයත්, පාවහන් නොමැති දෙපාත් සමගින් බස් නැවතුමේ රැඳී සිටි සුභාෂ්ගේ විධානයෙන් නතරවූ ත්‍රිරෝද රථය නැවත ධාවනය වුයේ නගරසභා ගොඩනැගිල්ල වෙත. සුභාෂ් එහි යන විටදීත් ඖෂදී සහ පිරිස විසින් පවත්වන ප්‍රසංගය අවසන්වී නොමැති වුවත් හිසේ පවතී වේදනාවත්, ප්‍රමාණයෙන් විශාල කමීසයත්, පාවහන් නොමැති දෙපාත් නිසා සුභාෂ්ට ඕන වුනේ ඉක්මනින් ගෙදර ගිහින් ඇඳට වැටෙන්න. සාක්කුවේ සුරක්ෂිතව තිබු බයිසිකල් යතුර ගෙන බයිසිකලයේ ලොක් එක විවුර්ත කරගත් සුභාෂ් බයිසිකලය තල්ලු කරගෙන නිවස දිහාවට පියමනින්නට වුනේ බයිසිකලය පැද යාමට ඇඟෙහි ශක්තියක් නොමැති වූ නිසා. 

මාරුවෙන් මාරුවට සවස සිදුවීම ගැනත් ඖෂදී ගැනත් හිතමින් සුභාෂ් නිවස දෙසට ඇවිදගෙන ගියේ ඇඟේ හයියට නෙවෙයි හිතේ හයියට. එත් ඊට අමතරව ඖෂදී සම්භන්ධ සිදුවීම් දාමයක කාලාන්තරයක් තිස්සේ හිතේ හිරකරගෙන හිටි දුක්ක දෝමනස්සයන් සියල්ලම කඳුළු ධාරාවන් දෙකක් විදිහට සුභාෂ්ගේ ඇස්දෙකෙන් ඉවතට ගලායමින් තිබුන. වෙල් යායක් මැදින් වැටිච්ච පාරෙ තිබ්බ පුංචි පාලමක් අයිනේ බයිසිකලය හේත්තු කරපු සුභාෂ් ඈත වෙල්යාය දිහා බලාගෙන හිතේ දුක තුනීවෙන්න ඉකිගහල අඬන්න වුනා. අවුරුද්දක් පුරාවට ලැබිච්ච හිත්රිදවීම් සියල්ලම හිතෙන් කඳුළු බවට පත්වෙලා දෝරෙ ගලමින් තිබුන. ඉකිහසමින් හඬාවැටුන සුභාෂ් අඬනව අහන්න ඒ පාලු මුසල වෙල්යාය පුරා හිටියේ කණාමැදිරි විතරයි... 


රෑ  තාරකා මල් විමානයේ 
මා නෙත් පුරා රඟනා කලේ 
සුකුමාල මනලෝලියේ 
රිදවන්නදෝ රාත්‍රියේ 
ඔබ හිනැහෙන්නේ මගේ සිහිනයේ 

දෑතේ ඔබේ දෑතක් රැඳේ  
ආලේ හැඟුම් වේදනා ගෙනේ 
දඟකාර නෙතු මා දිහා 
නොහෙලන්න මදහාස පා 
මට ලංවී හිඳියි වේදනා

ප්‍රේමාරාධනාවේ 
කව්රුන්ද මධු සාදයේ 
පිළිගන්නේ මධු මාලියේ 
මට රිදවන්නේ මේ රාත්‍රියේ 


24 comments:

  1. මූ මාර පොරක් නෙ

    ReplyDelete
    Replies
    1. පොරක් තමා .. ආයේ දෙකක් නැහැ මහේෂ්..

      Delete
  2. කොල්ලෙක් වුනාම නහයෙන් අඬන්නේ නැතුව, ඔන්න ඔහොම අභියෝග වලට මූණ දෙන්න ඕනේ. ඔලුවේ පණ තියනවානම්, ඊළඟ පියවර මොකක්ද කියලා හිතලා වැඩ කරන්න ඕනේ.

    අපේ එකෙක් ඔය විදිහටම ගෑණු ළමයි ගෝරියකින් තුවාල වෙලා, ඉස්පිරිතාලේ ඉන්න ගමන් පැනලා ගිහින්, සතුරු පාර්ශ්වයේ එකෙකුගේ ඔලුව පලලා, ආපහු ඉස්පිරිතාලෙට ආව, ඉස්පිරිතාලේ කාටවත් නොදැනෙන්න. නඩුවෙන් මිනිහා නිදහස් වුණා, අරූගෙ ඔලුව පලපු වෙලාවේ, මේකා හිටියේ ඉස්පිරිතාලේ කියලා ඔප්පුකළ නිසා.

    ReplyDelete
    Replies
    1. මේ හාන්දුරුවෝ තම්‍යි වැඩේ කරන්න ඇත්තේ

      Delete
    2. අනිවාර්යෙන් විචාරක තුමා.. අපි යමක් කරනකොට ඒ කරන ක්‍රියාවෙන් ලැබෙන ප්‍රතිපල සහ අතුරු ප්‍රතිපල ගැන විමසිය යුතුමයි. එහෙම නැති නිසා තමයි මිනිස්සු විහින් අමාරුවේ වැටෙන්නේ. සමහර වෙලාවලට ගුටිකාලා කරබාගෙන ඉඳල plan B එකකට යන එක නුවනට හුරුයි අද වගේ කාලෙක.

      ඔයාගේ යාළුවා කරපු දේවල් වගේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්න මරපු කතා එමටයි විචා.. කොහෙද ඉතින් එව්වා ලිව්වොත් මගේ සමහර මිත්‍රයින්ට ගෙවල් වලින් බත් පත නැතිවෙනවා නෙව ..


      අපූරුවී කියන විදිහට ඒ යාලුවත් අපේ විචාරකමද දන්නේ නැහැ.. මොකද ඔව්ව ඉතින් ප්‍රසිද්දියේ කියන්න පුළුවන් දේවල් නෙවීනේ..

      Delete
    3. @ ඔමාගේ හීන- Apurvi

      මොකද බොල සද්දයක්වත් නැත්තේ? කෝ අර ගත්ත කැමරාව? අඩුගානේ උඹේ මූණත්තහඩුව වත් පින්තූරයක් ගහලා දාපන්කෝ පෝස්ට් එකක්.

      @ අම්බලන්ගොඩ

      හෙහ් හෙහ්, මේ වගේම නැතිවුනත් අපිත් ඉතින් ඒ කාලේ විවිධ සෙල්ලම් පෙන්නුවා. මේ කමෙන්ට් එකේ කිව්ව යාලුවා පස්සේ කාලේ රේගු නිලධාරියෙක් වෙලා ඉඳලා විශ්‍රාම ගත්තා.

      Delete
  3. චැහ්.. අරුංට ඇප නැතිවෙන්න ගේමක් දෙන්න තිබ්බ එක මූ කාලනෙ.

    ReplyDelete
    Replies
    1. තිබ්බ නේන්නම්..එත් ඒ වගේද තමුන්ගෙ නොවුනත් ට්‍රයි කරන ගෑල්ලමයගේ නමට වෙන හානිය..

      Delete
  4. සුපිරියි අම්බලං............... කවිය කාගෙද?????????

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුටු ..මේ පද ටික නම් ලිව්ව කෙනා දන්නේ නැහැ .. මේක ජයන්ත දිසානායකගේ ගීතයක්.. මෙන්න ලින්ක් එක.. ගිහින් අහන්න.. මේ කථාව ලියවෙන කාලයට අනුරූපීව මට දැනුන ගීතයක් මේක..
      http://www.topsinhalamp3.com/songs/jayantha-dissanayake-mp3-songs/premaradhanawe-mp3-song.php

      Delete
  5. අම්මේ.. මේක විතරක් කියෝලා සේප් වෙන්න බැලුවේ.. ම්හූ.. දැන් ඉතින් මුල් කොටස් හතත් කියවන්න වෙනෝ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කමි..කියවල කියන්නකෝ ලියාගෙන එන විදිහ කොහොමද කියල..

      Delete
  6. හරි හරි දිගටම ලියාගෙන යමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපේ අයියේ..

      Delete
  7. අයියෝ කොටස් 8ක් ගිහින්. ඒත් අර draki වගේ කෙල්ලට ඕශදී නොඩා මට ටයිප් කරන්න බැරි නමක් දැම්මේ ඇයි .

    ReplyDelete
    Replies
    1. ඖෂදී ලියන්නේ මෙන්න මෙහෙමයි ..[aushadee ].. ඖෂදීගේ ඇත්ත නමත් මේ ලඟින්ම යන නමක් නිසා ඊටවඩා ගැලපෙන නමක් මට හොයාගන්න බැරි උනා අපූර්වී..

      Delete
    2. සමාධි, ශේෂධී, තමාධි(මේක අලුත් නමක්-ඒ නිසා වෙන්න තියෙන චාන්ස් එක අඩුයි).

      Delete
  8. එතකොට මේක ඇත්තම කතාවක්ද...
    මමත් කතාවේ මුල ඉදලා කියවගෙන එනවා තව කොටස් කිහිපයයි තියෙන්නේ කියවන්න...
    සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් මහේෂ්.. මේක මේ වෙනකම් සිද්දීන් සත්‍ය ඒවා. කතාවේ ගලායාමේ පහසුව වෙනුවෙන් යම් යම් සුළු වෙනස්කම් කරල ලියාගෙන යන්නේ. මීට කලින් කොටසටත් මේ කොටසටත් උක්ත සුභාෂ්ට පහරදීම සිද්දවෙන්නේ මේ කාලයට ටිකක් පසුව උනත් කතාව දීර්ඝ වෙන නිසා පොඩි ෂෝර්ට් කට එකකින් එතනට ගේන්න උනා.

      Delete
  9. අම්බලන්ටත්, පවුලේ සැමටත් අම්බලන්ගොඩට එන හැමටත් සියලු පැතුම් ඉටුවෙන සුබ නව වසරකට ආසිරි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න..ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුභම සුභ නව වසරක් වේවා.

      Delete
  10. ඔන්න පුතේ දැන් මම උඹට කරදර කරන්න පටන් ගන්න වෙලාව. අනේ මලේ ඉක්මනට දාපං නමවෙනි කොටස. මම මේ ඔළුව පලාගෙන, බයිසිකලෙත් තල්ලු කරන බොහොම අමාරුවෙන් ගෙට ගොඩ වුණා විතරයි.

    ReplyDelete
    Replies
    1. තව දෙයක් උඹේ මේ කථා වෙට් එක දැක්කම මට මගේ පරණ ලව් එකක් ගැන ලියන්න හිතුණා. එහෙම මම ආපහු ලිව්වොත් ඒකෙ ගෞරවය උඹට.

      Delete
    2. මම හිතනවා සුදීක මට වඩා ලස්සනට ඒක ලියාවි කියල.. අපි ඒ කාලේ කියවපු පපුවට දැනුන ආදර කතා දැන් ලියවෙන්නේ නැහැ සුදීක.. පුලුවනිනම් අපි වෙනුවෙන් ඒ කතාව ලියන්න.. නවවෙනි කොටස ඉක්මනටම ලියන්නම්කො..ස්තුතියි මාව දිරිමත් කරනවට..

      Delete