Tuesday, June 14, 2016

ප්ලේන්ස්, ට්‍රේන්ස් ඇන්ඩ් ඔටෝමොබයිල්ස්..





ලියන්නට යෙදෙන්නේ මේ ලියන මා හට සිදුවූ අලකලංචි අටෝරාසියක පළමුවැන්න වන අතර එය මාගේ ජීවන ගමන යම් දිශාවකට වෙනස් කරන්නට සමත්වූ මාගේ දෙවන රැකියාවේ ආරම්භ සිදුවූ අවදියයි. එය එක්දහස් නවසිය අනූව දශකයේ අග භාගය වූ අතර මා එවකට සේවය කල සමාජ සේවා සංවිධානයෙන් මාවෙත ලැබුණු වැටුප සොච්චමක් පමණක් වීය. ලැබෙන්නාවූ වැටුප මහමගටම වියදම්වන අතින් කා බී හරක් බැලීම වන්නාවූ රැකියාවක යෙදීම කිසිදු පලක් ප්‍රයෝජනයක් නොමැති නිසා මා එම රැකියාව වෙත යොමුකරන ලද මාගේ ඥාති නැන්දනිය වෙත මාගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් නොකර සිටීමට මා ගත් උත්සාහය ව්‍යර්තම වීය. එහි අවසන් ප්‍රතිපලය වූයේ එදත් අදත් ශ්‍රී ලංකා දීපය පුරා ප්‍රසිද්ද නමක් ඇති පුද්ගලයකුට අයත් කොම්පැනියක් වෙත මා කැඳවාගෙන යාමට නැන්දා තීරණය කිරීමයි. වැඩිහිටි පාර්ශවයන් විසින් තීරණය කරනු ලදුව මාවෙත දැනුම්දුන් දිනයේදී නැන්දනියගේ කාර්යාලයට යාමට පිටකොටුවෙන් බොරැල්ල බසයක නැග කොන්දොස්තර වරයාට රුපියල් දෙකක් දුන්නේ ඔන්න ඔහේ ඕනෑ දෙයක් වුනාවේ කියා හිතාගෙනමය.

ආනන්ද විද්‍යාලය අසලින් බසයෙන් බැසගත් මා නැන්දනියගේ කාර්යාලයටද එතනින් නැන්දනියගේ හිතවතාගේ කොම්පනියටද පියවර මනින්නේ මේකත් කලින් එක වගේම මරගාතයක් වේවිදෝ  යන සිතුවිල්ලෙනි. එහෙත් මාගේ සිතෙහි පැවතුන විකාර ස්භාවය නැන්දාට කියා පෑවොත් ඔලුවට ටොක්කක් ඇන මරදානේ ඉස්ටේෂමෙන් ගාලුකුමාරියේ නග්ගනවා බව දන්නා නිසා සත්ගුණවත් අවන්කයකු මෙන් සහ රැකියාවක් කිරීමට ඇති අවංක උනන්දුව ඇත්තෙකු මෙන් සුපිරි රංගනයක නියැලෙමින් කොම්පැනිය  වෙත යනවාය.

ආ  ඔයාල  ආවද.. මෙයාද කිව්ව කෙනා.. වාඩි වෙමුකෝ වාඩි වෙමුකෝ..

ඔව්.. මෙයා තමයි මිනිහ... 

ඉස්සෙල්ලම කියමුකෝ බලන්න ඩ්‍රයිවින් ලයිසන් තියනවද..

පාසල් සහතික, වුර්තීය සහතික තබා අයදුම්පත්‍රයවත් නොබැලු ලොක්කා මාගෙන් ඇසූ පළවෙනිම ප්‍රශ්නයෙන්ම අන්දමන්ද භාවයට පත්වන්නේ මේ වෙන්නට යන්නේ කුමක්දැයි නොවැටහෙන නිසාය. නැන්දා මා කැඳවාගෙන ආවේ රියදුරු රැකියාවක් ලබාදීමට නොවන බව මා සක්සුදක් සේ දන්නවාය. රියදුරු රැකියාවක් කිරීමට වඩා යමක් කිරීමට මා වෙත අධ්‍යාපන සුදුසුකම් තිබෙන බව මාගේ කුඩා මොලයට යාන්තමට වැටහෙනවාය. ඒත් ලොක්කා විමසන්නේ තාත්තාට හොරෙන් ලබාගත් රියදුරු බලපත්‍රය ගැනය. තාත්තා විසින් පනවා තිබු තහංචි තනහම් සියල්ල නොසලකමින් අම්මා විසින් දුන් මුදලින් මා රියදුරු බලපත්‍රය ලබා ගත්තේ උසස්පෙළ පන්තියේ අවසන් අවදියේ බැවින් සම්මුඛ පරීක්ෂණයේ පළමුවන ප්‍රශ්නයෙන් මා ගොඩය. ඒත් අක්මාවට දැනෙන දැනීම ටිකක් විතර අවුල්ය.

ඔව් සර්..

හොඳට ඩ්‍රයිව් කරන්න පුලුවනිද..

අපෝ මෙයා එලවයි ලෝකෙ එහා කොනට උනත්.. ඒ උත්තරය නැන්දාගෙන්ය.. එය අසත්‍යක් නොවේය.. පවුලේ ගමන් බිමන් වලදී තාත්තාගේ බලවත් විරෝධය මත වුවත් බාප්පා මා වෙත වාහනය පදවන්නට  දී ෂපාන් එකේ ඉදිරිපස අසුන අරා විරාජමාන වන්නේ ඔහුටද එවන් අවස්තාවක් ලැබෙන්නේ මා වාහනයේ සිටිනවානම් පමණක් බැවින්ය. එකල මහත් ආශ්වාදයක් වූ රිය පැදවීම දැන් වෙද්දී මහා ගෝත කරුමයක් බවට පත්වී ඇති බව වෙන කතාවක් උනත් රැකියාව ලබාගැනීමට එය එක සුදුසුකමක් වීම හිතට සහනයක්ය. එයද අම්මාට පින්සිදුවන්නටය. තාත්තාට හොරෙන් ලයිසම ගන්නට සල්ලි නොදුන්නානම් එදා මට රියදුරු බලපත්‍රයක් නැතිය.

ඔව් සර්..

හ්ම්..

එහෙනම් බලමුකෝ මොනවද මෙයා ඉගෙනගෙන තියෙන්නේ කියල..

නැන්දා ලොක්කා සමග මා තනිකර දමා ලොක්කාගේ බිරින්දෑ සමග බර සාකච්චාවක්ය. ලොක්කාද, ලොක්කාගේ බිරින්දෑද මාගේ ඥාති නැන්දනියද එක පෙලේ වෛද්‍ය සිසුන් බැවින් කතා කිරීමට ඕපාදූප බොහෝය. ලොක්කා මාගේ සහතික පිටපත් එකින් එක පෙරලමින් ඉන්නා අතරේ මමද බූරුවෙකු සේ ලොක්කාගේ මූණ දිහා බලන් ඉන්නවාය.

මම හිතන් හිටියේ මෙයාට සේල්ස් ජොබ් එකක් දෙන්න.. ඒත් මෙයාගේ දක්ෂකම තියෙන්නේ ටිකක් ටෙක්නිකල් පැත්තට නේද..

ලොක්කා ඒ අමතන්නේ නැන්දාටය..

අනේ මම ඕව දන්නේ නැහැ.. එයාගෙන් අහල එයාට හරියන එකක් දෙන්න..

ලොක්කාගේ කට දිහා බූරුවෙකු සේ බලා සිටිනා මාගේ පපුව දැන් ටිකෙන් ටික වැඩි වැඩියෙන් ගැහෙනවාය. ඒ අන් කිසිවක් නිසා නොවේය. සේල්ස් ජොබ් එකක් යනු මාගේ කැමැත්තෙ අන්තිමටම ඇති රැකියාව නිසාය. ඕනෑම ගොම්බෙට්ටක් විකුණන්නට මනා හැකියාවක් ඇතත් රැකියාවක් විදිහට අලවි අංශයේ රැකියාවක් කිරීමට මම කිසිසේත්ම කැමති නැතිය..

ඔයාට ටෙක්නිකල් වැඩ ඕනම දෙයක් පුලුවනිද..

ලොක්කා ඇහුවේ මහ ගොන් බූරු ප්‍රශ්නයක්ය.. කාර්මික ක්ෂේස්ත්‍රය හැදෑරු පමණින් මම විශ්වකර්මයා නොවේය. ඒත් ඕනෑම යන්ත්‍රයක් ටික වෙලාවක් අතපතගා දෝෂය සොයාගැනීමට පුළුවන් මට්ටමේ දැනුමක් තිබෙනවා උනත් එය එකපාරට කියන්නට ටිකක් බයය. හේතුව නම් ලොක්කා වෛද්‍ය වරයකු බැවින් දෙන්නට යන්නේ මිනී කපන ටෙක්නිකල් රස්සාවක්දෝ යන්න හිතට බයය..

පුළුවන් සර්.. ඔටෝ මොබයිල් පැත්ත තමයි කරලා තියෙන්නේ..

කොච්චර දුරට පුලුවන්ද..

එන්ජිමක් ගලවල හයිකරන්න පුළුවන් සර්..

ඉතින් මනුස්සයෝ උසස්පෙළ කරලා ඔටෝ මොබයිල් කරලා මොකද එන් ජී ඕ එකක රස්සාවකට ගියේ..

ඒ ප්‍රශ්නයට උත්තර දෙන්නට බැරිය.. නැන්දා විසින් සද්භාවයෙන් ගිහින් ඇරලු රැකියාව හෑල්ලු කර කතා කරොත් නන්දා ඒ වෙලාවේම මා එතනින් එලවා දමනු ඇතිය. මාගේ කිසිම කැමැත්තක් නැතුව අපේ තාත්තයි බාප්පයි නැන්දයි එකතුවෙලා මාව ඒ රස්සාවට බලෙන් යැව්වා සර් කියා කියන්නට කට ඇරෙන්නේ නැතිය.. ඒ නිසා එම ප්‍රශ්නයට මම නැවතත් බූරුවෙකු වාගේ ලොක්කාට විරිත්තනවාය.

හරි දැන් එතනින් අයින් උනේ මොකෝ..

කස්ටම් ඉන්ස්පෙක්ටර් එග්සෑම් එකයි එම් එල් ටී එග්සෑම් එකයි දෙකම ලියල ඔය ඉන්නේ.. දෙකේම ලකුණු තියනව සිලෙක්ට් වෙන තරමට.. ඒත් මේ නිකම් රස්තියාදු ගහන නිසානේ ජොබ් එකකට තල්ලු කරන්න කියල අපි හිතුවේ.. එතන පඩියක් හරියට ගෙවන්නේ නැහැනේ..

ඒ උත්තරය නැන්දාගෙනි.. 

ඉංග්‍රීසි කතාකරන්න පුලුවනිද...

පුළුවන් සර්..

එහෙමද.. අපි එහෙනම් මෙහෙම කරමු..මට ටෙක්නිශියන් කෙනෙක් ඕනවෙලා තියනව. කැමතිද ලබන සතියේ ඉන්දියාවට යන්න මාස හයක ට්‍රේනිං එකකට..

මට මාගේ කන් දෙක අදහාගන්නට බැරිය. මේ ඇහෙන්නේ හීනයෙන්දෝ හැබැහින්දෝ යන්න තෝරා බේරාගන්නට වෙනයම් ක්‍රමයක් නැති නිසා මම ලොක්කාටද නැන්දාටද ලොක්කාගේ බිරින්දෑටද හොරෙන් අත කොනිත්තා බැලුවේ නින්දෙන් පෙනෙන හීනයක් නම් කොනිත්තද්දී ඇහැරෙන නිසාය. කොනිත්තු කල අත රිදෙන්නට වූ නිසා මේ වෙන්නේ හීනයක් නොවන බව පැහැදිලිය. දෙන්නට උත්තරද නැත. ඇන මුරිච්චි සමග ජීවිතය ගෙවන්නට තිබෙනවානම් කස්ටම් ඔෆිසර් වෙන්නට ඕනෑද නැත.. එම් එල් ටී වෙන්නට ඕනෑද නැත..ප්‍රශ්නය නම් එය කටක් ඇර කියන්නට බැරිකමය.

ලොක්කා මගෙන් හෝ නැන්දාගෙන් උත්තරයක් ලැබෙන තුරු මාරුවෙන් මාරුවට මුහුණ බලනවාය.. මමද නැන්දාගෙන් උත්තරයක් ලැබෙනතුරු මාරුවෙන් මාරුවට නැන්දාගේත් ලොක්කාගේත් මුහුණ බලනවාය..

නැන්දා උත්තරයක් නොදී ඉන්නේ මාගේ දෙමවුපියන්ගෙන් අවසරයක් නොමැතිව එවන් දුරබැහැර ගමනක් මාව යවන්නට නොහැකියාවට වන්නට ඇත. මා උත්තර නොදී ඉන්නේ ටෙක්නිකල් ජොබ් එක කුමනාකාරයේ එකක්දැයි නොදන්නා නිසාය. දෙදෙනාගෙන්ම උත්තර නොමැති කල ලොක්කා නිහඬතාවය බින්දේය..

මෙහෙමයි.. අපි අලුත් කොම්පැනියක ඩීලර් ෂිප් එකක් ගත්ත. දැනටම යුනිට් තුන්සීයක ඔර්ඩර් එකක් අපි අරන් තියෙන්නේ. මැෂින් හයිකරන්නයි, සර්විස් කරන්නයි, රෙපෙයාර් කරන්නයි අපි මෙච්චර කල් ටෙක්නිශියන්ලා ගෙන්නගත්තේ ඉන්දියාවෙන්. දැන් මේ ඕඩර් එකත් එක්ක අපිට එහෙම මාස තුනකට හයකට සැරයක් ඉන්දියාවෙන් මිනිස්සු ගෙන්නගන්න එක හරියන්නේ නැහැ. ඒ නිසා ඉන්දියාවෙන් අපිට කියල එවල තියනවා ලංකාවෙන් කොලිෆයිඩ් ටෙක් කෙනෙක් එවන්න එයාල ට්‍රේන් කරලා දෙන්නම් කියල. ඔයාගේ කොලිෆිකේෂන් එක්ක ඔයාට මේ ජොබ් එක ඔයාට හරියටම ගැලපෙනවා. ඔයාට එහෙන් හොටෙල් රූම් එකක්, කෑම බීම, ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම ලැබෙනවා. ඔයාට තියෙන්නේ ගිහින් ට්‍රේනින් එක අරන් ඇවිත් අපිට වැඩකරන්නයි. 

තාත්තාගෙන් අහල කියන්න එහෙනම්..

නැන්දා එසේ කියන්නේ මා ඉන්දියාවේ යවා මොකක්හෝ නරක දෙයක් වුවහොත් නැන්දාට චෝදනා එල්ලවන්නට ඉඩ තිබෙන නිසා වන්නට ඇතිය..

හරි.. මම කැමතියි..

ලොක්කාගේ කට කිරිහට්ටියක් වගේය.. 

දැන් මම කවද්ද වැඩට එන්න ඕන සර්..

මෙහෙමයි.. ඔයා පාස්පෝර්ට් හදලද තියෙන්නේ..

නෑ..

ඔයා හෙටම පාස්පෝර්ට් එක ගන්න වන් ඩේ සර්විස් එකෙන්.. දවස් දෙක තුනක් ඇතිනේ ඔයාට ගමනට ලෑස්ති වෙන්න.. අද සඳුදනේ..ලබන සිකුරාදාට  එම්බසි ගිහින් සඳුදා වෙද්දී ඉන්දියා යන්න මම ඔක්කොම ලැස්ති කරන්නම්.. හෙටම පාස්පෝර්ට් එක හදාගෙන මට කොපියක් ගෙනත් දෙන්නකෝ..

මට කියන්න බැරිවුනානේ.. ඔයාට අපි ගෙවන්නේ මෙහෙමයි.. පඩියට අමතරව ඉන්ස්ටෝලේෂන් වලටයි රෙපෙයාර් වලටයි වෙනම ගෙවනවා.. කොළඹින් පිට ගියාම නයිට් අවුට් ගෙවනවා.. වාහනයක් දෙනවා.. ඩීසල් කොම්පැනිය ගානේ.. කොහොමත් මාසෙකට පනස්දාහකට වඩා පඩියක් ගන්න පුළුවන්.. හැබැයි ලංකාව වටේම ඇවිදින්න වෙයි..

හොඳයි සර්..

නැන්දාට කට උත්තර නැතිය..මට ලැබුනාවූ අවස්තාව වෙනුවෙන් නැන්දාට සන්තෝසයක් ඇතත් එය දෙකට දෙවාරමේ එකක් වන්නට ඇත්තේ තාත්තාගෙන් අවසරයක් නොමැතිව එවන් ගමනක් මා යවන්නට වචනයක් දෙන්නට නොහැකි නිසා වන්නට ඇතිය.. 

ලැබෙන්නේ ටෙක්නිකල් ජෝබක්නම් අඟහරු ලෝකෙට වුවත් යන්නට මා ලැහැස්තිය. එන්.ජී.ඕ වේ කරනාවූ කම්මැලි රැකියාවට වඩා මෙය ඉස්තරම්ය.

බදාදා වෙද්දී මාගේ විදේශ ගමන් බලපත්‍රයද අවශ්‍ය සියල්ලම ලැහැස්තිය. සිකුරාදා උදෑසන ඉන්දියානු එම්බසිය වෙත ගිය මා ලොක්කාගේ දැන ඇඳුනුම්කම් මත වීසා පත ලබාගන්නේ කිසිදු අපහසුවකින් තොරවමය.

විසාපත ලබාගෙන ලොක්කගේ කාර්යාලයට කෙලින්ම මා යන්නේ කලින් ලැබුණු උපදෙස් අනුවය.

ආ  ඔයා ආවද.. විසා එක හරි නේද..

ඔව් සර්..

හරිනේ එහෙනම්.. සඳුදා උදේ හතයි කාලට ෆ්ලයිට් එක.. ඔයා ගිහින් ත්‍රිවෙන්ද්‍රම් වලින් බැහැල මෙන්න මේ එඩ්රස් එකට යන්න ටැක්සියක් අරගෙන.. එතන ඉන්නවා ඩොක්ටර් ඉලංගෝ කියල කෙනෙක්.. එයා ඔයාට අහමදාබාද් යන කෝච්චියේ ටිකට් ඔක්කොම අරගෙනයි තියෙන්නේ.. එතනින් එයාගෙන් ටිකට් එක අරගෙන ත්‍රිවෙන්ද්‍රම් වලින් කෝච්චියේ නගින්න.. දවස් තුනක් කෝච්චියේ යන්න වෙනවා ඉතින්..

හා සර්..

දවස් තුනක් කිව්වට ඒ කොච්චි වල තියෙන්නේ නිදන මදිරිනේ.. කිසිම කරදරයක් නෑ.. කෑම බීම ඔක්කොම ළඟටම ගෙනත් දෙනවා ..

හොඳයි සර්..

මෙන්න මේ ඩොලර් ටික එහෙන් එයාපෝර්ට් එකෙන්ම ඉන්දියන් සල්ලි වලට මාරු කරගන්න.. මේ ඔයාගේ වියදමට.. ඔයාට වියදමට මුකුත් යන්නේ නැහැ .. ඔක්කොම එහෙන් දෙනවා ඔයාට.. ඒත් අපිත් ඔයාට මේ ගාන ගෙවනවා අපේ කොම්පනිය ගානේ..

හොඳයි සර්..

එතකොට සර් කෝච්චියෙන් බැහැල..

ආ... බයවෙන්න එපා.. අතුල් ඔක්කොම ඇරෙන්ජ් කරලා තියෙන්නේ.. ඔයාව ගන්න ඩ්‍රයිවර් කෙනෙක් එයි අහමදාබාද් ස්ටේෂන් එකට.. මොකක්හරි ඕනෑකමක් තියනවනම් මේ නොම්බර වලට කෝල් කරන්න.. හැමතැනම ටෙලිෆෝන් බොක්ස් තියනවා.. ඒ හින්ද කිසිදේකට බයවෙන්න එපා..

හොඳයි සර්..

හා එහෙනම් ගිහින් එන්නකෝ.. එහෙ හෙඩ් ඔෆිස් එකට ගිහින් මට කෝල් එකක් දෙන්නකෝ..

හා සර්..

එහෙනම් සුභ ගමන්..

තැන්කියු සර්..

එසේ අවසන්වූ සංවාදයෙන් ලොක්කා මට සමුදුන්නේ පුහුණුවෙන් පසු හමුවන අරමුණෙ වන්නට ඇතිය. සියල්ල අකුරට සිදුවුනා වූ බැවින් දෙසැම්බර් මස විසි අට වෙනිදාවක මා ඇරලවන්නට ගෙදර සැම ගුවන්තොටුපොළට ආවේ දුකෙන්දෝ සතුටෙන්දෝ යන්න මා දන්නේ නැත.

එහෙත්, වසර විස්සක් තිස්සේ කිසිදු සංවාදයකදී ඒකමතික වන්නට බැරිවුනා වූද, වසර විස්සක් තිස්සේ අම්මා නමැති සාම දූතිකාව විසින් සමගිකොට තැබුවා වූද, මා කල ගොන් වැඩ, බූරු වැඩ, තකතීරු වැඩ අපහසුවෙන් ඉවසුවා වුද තාත්තා දමා ගුවන්තොටුපොළ පිටවීමේ පර්යන්තයෙන් නොපෙනී යද්දී හිතට දැනුනාවූ හිත අමාරුව විස්තර කරන්නට වචන නොමැතිය. ගෙදරදී ටොම් ඇන්ඩ් ජෙරී වාගේ වුවද පිය පුතු සම්භන්ධය මන ගැනීමට මටද තාත්තාටටද එවන් අවස්තාවක් ලැබුණු පලවෙනි අවස්තාව එය වන්නට ඇතිය.

එතුවක් කාලයක් සිරිබර සිරිලන්කාවෙන් පිටතට යාමට අවස්තාවක් ලැබී නොතිබූ මා රැගත් එයාර් ලංකා සමාගමට අයත් යූ එල් එකසිය හැට එක දරන ගුවන් යානය ගුවන්ගත වෙද්දී මට දැනුනු දැනීම නම් ඉතා ආනන්දජනකය..

ගුවන් යානයේ අක්කලා හිටු කියලා කලබලයෙන් මගීන්ට කන්නටත් බොන්නටත් දෙනවාය. මේ තරම් කලබලය මොකක්දැයි අසන්නටද දන්නා අඳුරන එකෙකුද නොමැති නිසා කලබලයෙන් මා ඉදිරියේ තැබූ කෑම බඳුන කලබලයෙන්ම ගිල දැමු මා දැන් බලා සිටින්නේ ඊළඟට වන්නේ කුමක්දැයි කියාය..

ගුවන් යානය ගුවන්ගතවී විනාඩි තිහක් යන්නට මත්තෙන් පයිලට් ගොයියා බෙරිහන් දෙන්නේ ආසන පටි තදකර ගනිල්ලා කියාය. අක්කලා දුන් බෙරි බත් ඇබින්ද ගිල දමන අල්ලපනල්ලේ පයිලට් ගොයියා ඉන්දියාවටම යානය ගුවන්ගත කරලා කියා මාගේ අක්මාවට යන්තම් දැනෙන්නේ පයිලට් ලොක්කා යානය පදවන්නේ ගොඩබිම කිට්ටුවෙන් නිසාය. කොළඹින් පිටත්වී විනාඩි හතළිස්පහක් යැද්දේ මෙන්න බොලේ එයාර් ලංකාව ඉන්දියාවේ බාලාත් හමාරය..

බණ්ඩාරනායක ගුවන්තොටින් සැප බසයක පැමිණ එයාර් ලංකාවේ නැගුනද ත්‍රිවෙන්ද්‍රම් ගුවන්තොටුපොළ දුටු වහා මගේ හිතේ හුලන් ටිකෙන් ටික බහින්නට ගත්තේ වෙන්නට යන දේ යාන්තමට වාගේ දැනුන නිසා වන්නට ඇත. සුපිරි වාහන දුවන කටුනායක ගුවන්තොටින් විනාඩි හතලිස් පහේ දුරින් තිබෙන ත්‍රිවෙන්ද්‍රම් ගුවන්තොටේ දුවන්නේ ට්‍රැක්ටරය..

ගුවන් සේවිකා අක්කලා විසින් අමාරුවෙන් ඇරගන්නට යෙදුනා වූ එයාර් ලංකාවේ දොරෙන් එලියට ඇවිත් පදිපෙලින් පහලට පහලින් තිබෙන්නේ අපව පිටවීමේ පර්යන්තය වෙත ගෙනියනා වූ බස් රථයයි..

හුටා.. බැලින්නම් ඒක සැහෙන්න පරණ ටාටා වර්ගයේ බසයක්ය.. ඇතුල නැචුරල් ඒසී ය..

ලංකාවේ ලේලෙන්ඩ් වල යන අපිට ටාටා හොඳයි ඔන්න ඔහේ කියා හිතාගෙන බස් රථයට ගොඩවූ මා ගුවන් තොටෙන් ඩොලර් ටිකක්ද මාරු කරගෙන එලියට පිය මනින්නේ ඩොක්ටර් ඉලංගෝගේ නිවසට යාමය අරමුණු කරගෙනය. එහෙත් ගුවන් තොටෙන් එලියට ආ මා දැන් වට පිට බලමින්ක කල්පනා කරන්නේ මා මේ ඉන්නේ කොළඹ මැනින් මාර්කට් එකේදෝ කියලාය. මට නොතේරෙන දෙමල භාෂාවෙන් කතා කරනා සුවාසුදහසක් පිරිසක් එළියේ එකම කාල ගොට්ටියක්ය. විනාඩියක් දෙකක් මට වූ අලකලංචිය ගැන කල්පනා කරමින් සිටිනවා විනා ඉලංගෝ ගැන මට හාංකවිසියක් මතකයේ නැතිය.  තවම මා ඉන්නේ ගුවන් තොටේ වැටෙන් ඇතුලේය. එළියේ ඉන්නා එකම වර්ගයේ කාකි නිල ඇඳුමක් ඇඳි දෙතුන් සීයක පිරිසක් මා දිහාවට අත වනමින් මොනාදෝ කියා කෑගසනවාය. කළු තඩි උස මහත උඩු රැවුල් කාරයින් දෙතුන් සීයක් මට අත වනමින් ඔවුන් දිහාවට කතා කරනවාය. 

කටේ කෙල හිඳිලාය.. කකුල් හිරි වැටිලාය.. බණ්ඩාරනායක ගුවන් තොටෙන් සියලු බර සැහැල්ලු කරගෙන ආවද ආයෙත් සෑහෙන්න මුත්‍රා බරක් දැනෙනවා වාගේය.. අලුත්ම අලුත් කමීසය ඇඟට ඇලෙන්නට දාඩිය දාලාය. ඉංග්‍රීසි, දෙමල තියා උපන්දා හිටං අගේට කතා කල සිංහලද අමතක ගානය..

පිටත දර්ශනය ඉතා භයන්කාර බැවින් ඊළඟ එයාර් ලංකාවේ නැග ලංකාවට යන්නට ඇතිනම් කියා හිතුනු වාර අනන්තය.. අප්‍රමාණය.. කෝකටත් කියලා සාක්කුවේ ඇති ගුවන් ටිකට්ටුව අතට අරගෙන බැලුවේ මා දමා ආපහු ලංකාවට යන එයාර් ලංකාවේම ගමේ යන්නට හිතාගෙනය...එහෙත් ලෙහෙසියට පහසුවට ගැලවී යාමට අවස්ථාවක් ලොක්කා විසින් මා වෙත ලබාදී නැත. ලොක්කා දුන් ගුවන් ටිකට්ටුවේ රිටර්න් ටිකට්ටුවක් නැතිය. තිබුනානම් ෆුට් බෝර්ඩ් එකේ හිටගෙන හෝ ආයෙත් ලංකාවට එනවා එනවා එනවාමය.

ප්ලේන් කෑල්ල ඉවරයි.. ට්‍රේන් විස්තරේ ඊළඟ කොටසින් ඉක්මනින්ම ලියනවෝ..

(සුදුසුකම්,  වෘත්තීය පාඨමාලා, සම්මාන සහතික, උපාධි  දහසකින් ලබන්න බැරි තරම් වටිනා දේ ජීවිතයට ඉගෙනුමට සහ සාර්ථකත්වය කරා ගමන් කරන්නට අඩිතාලම මා වෙත දමාදුන්, අකල් මරණයකින් ජීවන ගමනේ සමුගැනීම සනිටුහන්කළ මාගේ ඥාති නැන්දනියට නිර්වාන මෝක්ෂය ලැබේවා..)

පොස්ට් එකට මාතෘකාව දාද්දි මතක් උනේ මෙන්න මේ ෆිල්ම් එක.. බලල නැති උදවිය හොයාගෙන බලන්නකෝ..

Planes, Trains and Automobiles
https://www.youtube.com/watch?v=VWGqGHMO294

දෙවැනි කොටහ 
http://ambalangodakatha.blogspot.com/2016/06/2.html

57 comments:

  1. අති භයංකර කතාවක ඉතුරු දිගහැරුම එනකල් බලාගෙන ඉන්නව.

    ReplyDelete
    Replies
    1. ඉතුරු දිගහැරුම ඇති භයන්කරයි තමයි බන්.. හිටු ලබන සතිය වෙද්දී දාන්නම්.

      Delete
  2. මට හිතා ගන්න බැරි අහමඩාබාඩ් යන්න ඇයි ත්‍රිවෙන්ද්‍රම් ගිහින් දවස් තුනක් කෝච්චියේ ගියේ කියලයි. අහමඩාබාඩ්වල එයාපෝට් එකක් තියෙනවා නේ.

    ඔයිට අවුරුදු කිහිපයකට කලින් මං අහමඩාබාඩ් ගියේ එයා ලංකා එකේ බොම්බායට ගිහින් එතැනින් ලෝකල් එයාලයින් එකකයි.

    ReplyDelete
    Replies
    1. බිස්නස් කාරයෝ වැඩ කරන්නේ වැඩිපුරම ලාභ විදිහට රසික.. එයාලට ලාබයි මාව ලඟම එයාර් පෝර්ට් එකෙන් ප්ලේන් එකෙන් බස්සල කෝච්චියේ යවන එක.. ඒ නිසා තමයි එහෙම උනේ.. මාස හයක මගේ සියලු විය හියදම් දරන එකේ අඩුම විදිහට තමයි සියල්ලම අවම පිරිවැයක් යටතේ වෙන්න ඇත්තේ.. ඒත් ඒ වගේ පරිප්පු නැවක් බාන්න ලැබුන එක ජීවිතේට පසුකාලීනව ලොකු හයියක්වුනා..

      Delete
  3. ඔය කියන ආයතනයේ ලොක්ක දත් දොස්තර කෙනෙක්ද ?
    රස්සාවට ආපු ගමන්ම සීඝ්‍රගාමී තැපෑලෙන්ම වෙන දිහාකට යැවුවම වචන වලින් කියන්න බැරි මහා පාළුවක් දැනෙනව නේද ?

    ReplyDelete
    Replies
    1. ඔය ඔය ඉතින් කම්මලේ අනවශ්‍ය ප්‍රශ්න අහන්න ඔට්ටු නෑ .. කැමති රස්සාවත් ලැබෙනවානම් පඩිත් ගෙවනවනම් කොහේ උන්නාම මොකෝ බන්.. මම කතරගම අවුරුදු පහක් හිටියේ මගේ ඕනෑකමට ට්‍රාන්සර් එක හදාගෙන ගිහිං..එක තැනක ඉන්නකොට ඒකාකාරියි බන්..

      Delete
  4. නියමයි, ඉතුරු කෑල්ලත් ඉක්මණින්ම දන්ඩෝ ...

    ReplyDelete
  5. හප්පා අර එලොව ගිහින් මෙලොවආවා වර්ගයේ කතාවක්ද

    ReplyDelete
    Replies
    1. අත පය හතර බේරාගෙන ලංකාවට ආපු එකම ඇති විචා..

      Delete
  6. නියමයි. හොඳට ලියල තියෙනව

    ReplyDelete
  7. කෝච්චි කතාවත් ඉක්මනින් දාන්නකෝ එහෙනම්... මෙකත් අපූරුයි... අර කාකිකාරයෝ කතා කළේ ඇයි කියන එක කියල ඉවර කරන්න තිබ්බේ... මං මේ කල්පනා කරන්නේ මොකද ඒ වෙලාවේ උනේ කියලා.. දැන් ඉතින් ඉදහන්කෝ ඒක බලන්න...

    ReplyDelete
    Replies
    1. ලබන සතියේ දාන්නම්කො.. එතකොට බලාගන්නකෝ..

      Delete
  8. ඒ කාළේ ෆිල්ම් එකක් බැල්ය්වා වගේ... ඒවයේ ඉන්න විජේට ගාමිනිට තිස්සටත් රවීන්ද්‍රට ටෝනිට හිතන්නේ නැති ජොබ් හම්බ වෙන්නේ.. ඒ වගේම හොඳට බර තියෙන කෑල්ලකුත් සෙට් වෙනවා

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් බොලාට විහිළු.. මේක විජේට ගාමිණීට ෆිල්ම් එකේ ලැබුන වගේ එකක් තමයි බන්.. හැබැයි මේක හැබැහින් සිදුවුන සත්තම සත්ත සිදුවීමක්.. හැබැයි වැඩේ කියන්නේ බර තියන කෑල්ලක් නම් සෙට් උනේ නෑ බං මාතලන්..

      Delete
    2. ලමයි දෙන්නෙක් විතර ලැබුනම කෑල්ල නියමෙට බර වෙනව. බදිද්දි 50 kgඑක පස්සෙ 75 kgට බර තියනව.

      Delete
    3. අත්දැකීමෙන් වෙන්ට ඇති කියන්නේ..හෙහ්..

      Delete
  9. ඉක්මනින් ඉතිරි කොටසත් ලියන්න. මේක කියෙව්වාම ඉන්දියාවට යන්න සෑහෙන බය හිතෙනවානෙ.
    කාකි ඇදුම් ඇදන් ඉන්නේ ටැක්සි ඩ්‍රයිවර්ලා නේද?

    ReplyDelete
    Replies
    1. සසර දුක අවබෝධ කරගන්න බෝධිසත්වයින් වහන්සේ ඉන්දියාවේම උපදින්නේ ඇයි කියල ඒ කාලෙම තේරුම් ගත්ත භාග්‍යා.. අපේ රටේ මිනිස්සු දුප්පත් උනාට ඉන්දියාවේ මිනිස්සු තරම් දුක් විඳින්නේ නැහැ.. ඉතුරු කොටස දාන්නම්කො ලබන සතියේ..

      Delete
  10. පරංගියා කෝට්ටේ ගියා වගේනෙ ගිහිං තියෙන්නෙ.ඒත් ත්‍රිවෙන්ද්‍රම් යවන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඇති නේද.

    ReplyDelete
    Replies
    1. හේතුව තමයි අහමදාබාද් වලට යන්න තියන ලාභම ක්‍රමය ඒක නිසා හැලපේ අයියේ.. වෙන ලාභ ක්‍රමයක් තිබ්බනම් ඒ විදිහට තමයි ඔය ගමන යැවෙන්නේ..

      Delete
  11. ප්ලෙන් එකේ ගිහින් කෝච්චියේ ගිහින් යන ගමන් ටිකක් අමාරු උනත් හැබැයි සුන්දරයි. හැබැයි එක වතාවක් දෙවතාවක් වගේ තමයි. හැමදාම කරන්න උනොත් නම් ඒකත් සාමාන්‍ය දෙයක් වෙලා යනවා.

    ReplyDelete
    Replies
    1. ප්ලේන් එක වගේද බන් කෝච්චිය.. අනාත සාගරේ තමයි.. ලබන සතියේ ඉතුරු කොටහ ලියන්නං..

      Delete
  12. ඉතුරු ටික ඉතුරු ටික....

    ReplyDelete
    Replies
    1. සති අන්තයේ ලියන්නම්කො..

      Delete
  13. මේ කියන කාලේ අම්බලන්ගොඩගේ වයස කීයද ? මම එහෙම ඇහුවේ දෙමාපියන්ගෙන් තමන්ගේ රැකියාව ගැන අවසර ඉල්ලිමක් ගැන ලියවී ඇති නිසා..

    ReplyDelete
    Replies
    1. දාසයයි මාසයේ කොල්ලා. ඌයි මායි එක වයසෙම වගේ තමයි පේන්නේ.මූ අම්බලන්ගොඩම වළඳලා තිබ්බාට තාත්තාට තාම පොඩි එකානේ.
      මට දුක උඹ ගිය තැනම රුහුණේ ගිය මට බෝව මතක නැති එක. ගාමිණි, ගාම්ණිගේ වැඩ බලපු කෙනා සඳවති මෙනවිය (නියම නම දන්නවානේ)ලෝක බොරු කාර විදයාසේකර.

      Delete
    2. ඒ කාලේ විස්සක් විසි එකක් වගේ ඇති.. ලඟින් ගියොත් ඇහැක් නැති පුත්‍ර රත්නය නිසා සහ පවුලේ එකම පුතා නිසා අවදානය වැඩියි නෙව..

      Delete
    3. උදාරයෝ උඹේ පින්තුරයක් දැක්කොත් මට මතක් වෙයි උඹ කව්ද කියල .. කෝච්චියේ සෙට් එක එක්ක ගහපු පින්තුර තියෙනවනම් එවහන්කෝ මේල් එකට..
      polwattacom@gmail.com

      මේ රිප්ලයි එක ගාමිණී දැක්කොත් තෝ සුං.. ඒ වගේද සඳවතිය දැක්කොත් උඹව හඳට යවයි..

      Delete
    4. හ්ම්....අවුරුදු 18 ක් වත් වෙනකොට තමන්ගේ ජිවිතේ ගැන පැහැදිලි පාරක් ගොඩ නොනැගෙන එක හරිම අපරාදයක් අපේ රටේ විදිහ,පාසල් අධ්‍යාපනයත් දෙමාපියන් දරුවන් හදන විදිහත් එකතුවී තරුණ පරපුරේ දැනුම , ශක්තිය අපතේ යනවා මම ගොඩක් ලිපි වලින් කියවනවා... අපිට අපේම අරමුණක් නැද්දෝ කියල මට හිතිලා තියනවා මොන තරන ඉහළට ඉගෙන ගත්තත් ජීවිතේ සැහෙන දුරකට ගෙවෙනකන්

      Delete
    5. අපේ කාලකන්නි අද්යාපන ක්‍රමේ ළමයින්ව තල්ලු කරන යන්නේ පහ වසර ශිෂත්වය ,සාපෙළ, උ පෙළ, උපාධිය කියන අරමුණු තුන දක්වා විතරයි.. එතනින් එහාට සියල්ලෝම අනාතයි. වුර්තීයමය උපාධියක් නැති දොස්තර සහ ඉංජිනේරු හැර අනෙකුත් උපාධිධාරීනුත් බහුතරයක් අනාතයි. දෙමාපියන් සහ පාසල් අද්යාපන රටාව දරුවාගේ දක්ෂකම් උරගාන්නේ නැතුව කෙහෙල්මල් විභාගයක් දිහාවට රදුවා දක්කාගෙන යාමක් විතරයි තියෙන්නේ. ඒ ක්‍රමය ඇතුලේ ළමයින්ට අනාතවීම ඇරෙන්න වෙන දෙය නැහැ. මගේ වාසනාවට ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුද්දක් දෙකක් යන්න කලින් මම දක්ෂ සහ මම ආස වුර්තිය දිහාවට ඉබේම තල්ලුවෙච්චි නිසා අද වෙද්දී මගේ වුර්තිය ඇතුලේ ලොකු සාර්ථකත්වයක් ලබන්න මට පුළුවන් වුනා..

      අපේ රටේ අධාපන ක්‍රමය ගැන ලොකුවට කතා කරන්න ඕන මාතෘකාවක්.. අපේ දරුවන්ගේ කරුමෙකට රට සහ රටේ අද්‍යාපනය මෙහෙයවන්නේ මී හරක් රංචුවක් වෙච්චි කොට ( වර්තමාන සහ අතීත ආණ්ඩු සියල්ලම ඇතුලත් ) කවදාක අපේ දරුවන්ගේ අනාගතය හරි පාරට ගනීවිද කියන එක ගැන හිතන්නවත් බෑ..

      Delete
    6. ඒක ඇත්ත. ඒ ගැන හිතන කොට හරි දුකඉ දරුවො ගැන.. වගේම දෙමාපියන් ගැනත්.. කවදා මේ චක්‍රෙන් ගැලවිල නියම ජිවිත ගත කරන්න ලැබෙයිද මන්දා ලංකවෙ බහුතරයකට... අන්තිමේ ගොඩක් දෙනෙක් ඔබ කිව්වා වගෙ වාසනව, දෛවය, කරුමයට බාර දෙනවා දැන් ලබා ඇති ජීවිතය....

      Delete
  14. නියම කතාවක් මචං. ඊළඟ කෑල්ල ඊට වඩා රසවත් වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුභාෂ්..ඊළඟ කෑල්ල තමයි පරිප්පු නැව බාන්න පටන් ගන්න කෑල්ල ..

      Delete
  15. උඹට පිස්සුද යකෝ මේ වගේ කතා කියල බය කරන්නේ. ඕව ඇහෙනකොට ප්ලේන් එකක් දිහා බලන්නත් බය හිතෙනවනෙ. කෝච්චි නම් ඕන එකක්. ඒත් ප්ලේන්?

    ReplyDelete
    Replies
    1. ප්ලේන් හොඳයි බන් කොච්චි වලට වඩා..

      Delete
  16. පට්ට, පට්ට. ෙකා්මහරි ඉතුරු ටිකත් කියෝනව...

    ReplyDelete
    Replies
    1. ලබන සතියේ දෙවැනි කොටස දානවා..

      Delete
  17. ඇදගෙන යන්න පුලුවන් සුපිරි කතාවක් උඹ පටන් අරන් තියෙනව.උඹ ලන්කවට ඇවිත් උඹට වෙච්ච අලකලන්චි රසකරකර කියනව මට හොදට මතකයි.අර බස් එක එලවන කතාව අමතක නොකර ලියහන්.මට මතකයි උඹ ඉන්දියාවෙන් මටත් මොනාදෝ ගෙනාව.කතාවෙ අන්තිම හරියට ඉන්දියන් කාරයො 3න් දෙනත් එක්ක ගිහිපු ගගේ සවාරිය ගැනත් ලියන්න අමතක කරන්න එපා.එල එල මස්සිනා...

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ලියන්න තමයි හිතන් ඉන්නේ..ඉන්දියන් යාලුවන්ගේ ගඟේ සවාරිය වෙනම පොස්ට් එකකට ලියමු..

      Delete
  18. ලොක්කා කවුද කියල හිතාගත්තහැකි

    ReplyDelete
    Replies
    1. උඹ නම් ගම් ලියල මට ගමේ රටේ යන්න බැරි කොරහන් පුලුවන්නම්..

      Delete
  19. නියම කතාව බං...:)

    ReplyDelete
  20. උඹේ ලිවිල්ල තමා ලිවිල්ල.. මල් හතයි.. ඉක්මනටම ඉතුරු ටික දාපියෝ......
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලබ්බෝ.. ඔන්න දැම්ම දෙවැනි කෑල්ල..

      Delete
  21. ඔය පරිප්පු නැව ඉක්මනට බාන්න මල්ලී නියමයි ඈ.දෙපාරක් බැලුවා ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රොෂාන් මහත්මයා..

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. දෙවෙනි කොටසින් පළවෙනි කොටස හොයාගෙන ආවේ, එකත් බලලම ලියන්නම් :)

    ReplyDelete
  24. ඔය කියන ලොක්කා කලුතර පැත්තේ හාදයෙක්ද​? එහෙමත් නැත්නම් ජාඇල පැත්තේ හාදයෙක්ද​

    ReplyDelete