Saturday, October 22, 2016

පොල්ලේ වැනුම..




මාතෘකාව දුටු පමණින්ම වැරදි තීරණ වලට එළඹීම තම තමුන්ගේ සිත් සතන් වල තිබෙනා දෘෂ්ටියේ පරිමාව අනුව සිදුවන වග තරයේ හිතට ගන්නට ඕනෑය. මාතෘකාව දුටු පමණින් අහල පහල උන් පොඩි උන් ටික එලවා දැමූ වැඩිහිටියන් වෙතොත් එම එලවා දැමු දරුවන් නැවතත් පොස්ටුව කියවීමට ලංකාරගත්තාට වරදක් නැති බව සහතිකකොටම ප්‍රකාශ කරනවාය.

"පොල්ලේ වැනුම" නමින් මේ ලියවෙනා පෝස්ටුවට  උක්ත වන්නේ අම්බලංගොඩයාගේ එකතරා මිත්‍රයෙකු වන අතර එම මිත්‍රයා හැඳින්වීමට සුරතලයට භාවිතාකල නම වන්නේ "පොල්ලේ" කියාය. පොල්ලේගේ උප්පැන්නයේ තිබෙනා අනබිබවනීය නමට ඉදිරියෙන් නම්බු නාමයක් වශයෙන් පොල්ලේ කියා ලියාපදිංචි වන්නේ පොල්ලේ වයස පහළොව දාසය ගැටයා සංදියේදීය. පොල්ලේගේ වාසගමත්, නමත්, පෙළපත් නාමයත් ඇතුළුව ගණනය කළහොත් වචන හයක අලංකාරවත් නමක් පොල්ලේගේ උප්පැන්නයේ සඳහන්වී ඇත්තේය. එහෙත් දන්නා සංදියේ පටන් පොල්ලේව හඳුන්වන්නට පාසල් මිතුරන් හා ගමේ කොල්ලන් කුරුට්ටන්ද භාවිතා කලේ පොල්ලේගේ වාසගමේ කොටසක්ය. එහෙත් කුමක්දෝ අවාසනාවකට එම වාසගම් නාමය ඉදිරියෙන් පොල්ලේ කියා ලියාපදිංචි වූ පස්සෙන් පහු වාසගම් කොටස නිරායාසයෙන්ම නමෙන් ඉවත්වූ අතර "පොල්ලේ" කෑල්ල පමණක් ඉතුරු වීය. 

පොල්ලේ සහ අම්බලන්ගොඩයාගේ මිතුදම එක්දහස් නවසිය අසූ තුන වකවානුවේ පටන් පැවත එන්නාවූ ඉතා පැරණි යහළුකමක්ය. එය වෙනත් ආකාරයකින් කියනවානම් පොල්ලේ සහ අම්බලන්ගොඩයා හෝඩිය පන්තියේ පටන් පහ  වසර දක්වා ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ එකම පංතියේ අකුරු කල කොලුවන් දෙදෙනෙකුය. අම්බලන්ගොඩයා පහ වසරෙන් අනතුරුව ධර්මාශෝක විද්‍යාලයට සංක්‍රමණය වුවත් පොල්ලේ ඇතුළු දේවානන්ද විද්‍යාලයේ මිතුරන් සමග එදා වාගේම හිතවත්කම් මිත්‍රකම් තිබෙනවාය. මීට කලකට ඉහතදී ලියා පලකරන ලද සකලේගේ කතා පුවතට පාදකවූ සකලේද අම්බලන්ගොඩයා සහ පොල්ලේ අකුරු කල පන්තියේම සාමාජිකයෙක්ය. 

හෝඩියේ පන්තියේ පටන්ම පොල්ලේ යනු කිසිදු  දිනෙක අටලෝ දහමේ සැලුනාවූ පුද්ගලයකු නොවේය. දුකේදීද සැපේදීද , ලාභයෙදීද අලාභයෙදීද, නින්දා ප්‍රශංසා සහ යස අයස දෙකෙහිදීද පොල්ලේ සිටියේ එකම හිනාවක් මුහුණේ තබාගෙනය. සාමාන්‍ය පුද්ගලයකුට  වඩා මදක් විශාල ඇස් දෙකකට හිමිකම් කියනා පොල්ලේගේ මුහුණෙන් එම අලංකාර හිනාව මැකී ගියානම් ඒ පන්තියේ උගන්වනා ගුරුතුමා හෝ ගුරුතුමිය පොල්ලේ වාඩිවී සිටිනා පුටුව පසුපසින් ප්‍රාදුර්භූත වූ අවස්තාවක පමණක්මය. ගුරුතුමාගෙන් හෝ ගුරුතුමියගෙන් පිට මැදට වදිනා මෙගා ප්‍රමාණයේ ගුටි දෙක තුනකින් අනතුරුව පොල්ලේගේ විශාල ඇස් දෙක බිත්ති ඔරලෝසු දෙකක් තරමට විශාල වෙනවා පමණක් වන අතර කටින් මීක් සද්දයක් පිටකරන්නේ පොල්ලේ නොවේය. ඉඳ හිටෙක ප්‍රාථමික විදුහල්පති තැන්පත් නැසීගිය සිරිසේන මහතාගේ අතෙහි රැඳෙනා මේන් වයරය පස්චාත් භාගය සිපගත්තද පොල්ලේගේ ඇස් දෙක බිත්ති ඔරලෝසු දෙකක් මෙන් ලොකුවී තත්පර කිහිපයකින් නැවතත් සුපුරුදු සිනාවෙන් මුව සරසා ගන්නවාය. එම යක්ස මේන් වයරයේ පහස ලැබූවන් හොටු පෙරාගෙන දවස පුරා හඩද්දී පොල්ලේ විසුළු හිනාවෙන් නැවතත් දවසට මුහුණ දෙනවාය. 


එවන් වූ නොසැලෙන ගති තිබුනාවූ පොල්ලේ අපගේ මිත්‍ර සමාගමට බෙහෙවින් තව තවත් ලං වන්නේ උසස්පෙළ කාලයේ බෝඩිමේ මිතුරු හවුලට නොමිලේ ප්‍රවාහන පහසුකම් සලසමින්ය. කාර්මික ක්‍ෂේත්‍රයට උපන් හපන් දස්කම් ඇති පොල්ලේ ත්‍රිරෝද රථ අලුත්වැඩියාව පිලිබඳ හසල දැනුමක් ඇති දක්ෂයකු බව මෙහිදී සඳහන් නොකළහොත් එය පොල්ලේගේ චරිත ස්භාවයට කරනා වූ බලවත් අසාධාරණයක් වන්නේය. පොල්ලේගේ ත්‍රිරෝද රථ පිලිබඳ විශේසඥ දැනුමක් ඇත්තෙකු නිසා කාගෙන් හෝ ත්‍රිරෝද රථයක් කුලියට ගැනීම පොල්ලේට කජු කනවා වාගේ සිම්පල් වැඩක්ය.  ඒ වාගේම අතේ යහමින් මුදල් ගැවසෙන්නේ නොමැති වෙලාවක වුවද පොල්ලේ මිත්‍රයින්ට ගමන් පහසුව සැලසීම සඳහා කුමක් හෝ උප්පරවැට්ටියක් යොදනවාමය. අත්‍යවශ්‍ය ගමනක් වෙනුවෙන් ගරාජයට අලුත්වැඩියාව වෙනුවෙන් පැමිණි රථයක් ට්‍රයල් යන මුවාවෙන් හෝ ගරාජයෙන් පන්නාගෙන පොල්ලේ එනවා කී තැනට වෙලාවට එනවාමය. 

එවන් එක්තරා දවසක රවියාගේ මුත්තාගේ තුන්මාසයේ දානයට සහභාගී වී නාසය ගාවටම වළඳා නැවතත් අම්බලන්ගොඩ බලා ගමන් ගන්නා අල්ලපනල්ලේ බටපොල නගර මධ්‍යයේදී පොලිසියෙන් නවත්වන්නට යෙදුනේ පොල්ලේ විසින් පැදවූ ත්‍රිරෝද රථයය. පොල්ලේ හැරුණකොට මගීන් සියල්ලෝම පාසල් නිල ඇඳුමින් සැරසුණු උදවිය වූ අතර රථය නවත්වන්නට හේතුව වුයේ නියමිත ප්‍රමාණයට වඩා මගීන් පටවාගෙන ධාවනය කිරීමය. බටපොල හන්දියේදී රථය නැවැත්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා විශ්මය පිරි දෑසින් රථය වෙත ලංවුයේය ..

මහත්තුරු කොහෙද මේ යන්නේ..

අපි මේ දානේ ගෙදරක ගිහින් එන ගමන් සර්..

කෝ මේකේ ඩ්‍රයිවර්..

මේ ඉන්නවා සර්..

ආ උඹ ඉන්නවද.. හිටහන්කෝ මුන් ටික බස්සනකම්...හා එහෙනම් බහිමු බලන්න එකා එකා...පීසී ගණන් කරනවා බලන්න .

එකයි.. දෙකායි ..තුනායි ..හතරායි ... පහායි ..හයායි ...හතායි ..අටායි..නවයායි .. දහයායි ...

හරි සර්.. ඩ්‍රයිවර් එක්ක එකොළහයි..

බලනවා බලනවා ඇතුලේ තව ඉන්නවද කියල..

ආ.. මේ ඉන්නව සර්.. තව දෙන්නෙක් ඉන්නවා..

ඒ කොටා සහ අම්බලන්ගොඩයාය .. අපි දෙන්නා ස්ථානගතවී ගමන් පහසුකම් සලසා ගත්තේ ත්‍රිරෝද රථයේ පසුපස ආසනයට පසුපසින් තිබෙනා කොටසේය.. ශරීරයෙන් කුඩා කොටාටත් අම්බලන්ගොඩයාටත් කකුල් දෙක නවාගත් පසු එම ස්ථානයේ ෂපාන් එකට ගමන් පහසුව සලසා ගැනීම සිම්පල් වැඩක්ය..

හා.. තොපි දෙන්නත් බැහැපන් දැන් ගුටි නොකා..

පීසී.. ඔක්කොම කීයද..

මුන් දෙන්නත් එක්ක දහතුනයි සර්..

දැන් මේ මහත්තරුන්ට ඩ්‍රයිවර් එක්ක තව තුන්දෙනෙක් ඉතුරු කරලා ඊළඟ බස් එකේ නැගල යන්න පුළුවනි..

සර් මොකද මුට කරන්නේ..

කිසිදා අටලෝ දහමේ නොසැලුණු පොල්ලේ විසුළු සිනාවක් මුහුණේ රඳවාගෙන කිසිදු ගානකට නැතුව ඔහේ ඉන්නවාය...

මම මේ කල්පනා කරේ මුට දඩේකුත් දීල උසාවි දාන්න.

සර්.. දෙන දඩ කොලයක් දීල අපිව එහෙනම් යවන්න.. ඉක්මනට ටවුන් එකට ගිහින් හයර් කෑල්ලක් දුවාගන්න ඕනනේ..

ඒ පොල්ලේය.. මහරජාටවත් බය නැති පොල්ලේ පොලිස් නිලධාරීන්ටද එම රීතියමය. කවදත් කටට බ්‍රේක් නැති පොල්ලේ මහරජාට උනත් කියන්න තියන දේ මූණටම කියනවාමය. එදා පොල්ලේට උසාවි දිනයක් සමගින් තාවකාලික රියදුරු බලපත්‍රයක හිමිවූ අතර පසුව එය දඩ කොලයක් බවට පරිවර්තනය කරගැනීමට පොල්ලේ දක්ෂයෙක් වුයේය. පොලිස් නිලධාරීන් දෙදෙනා ලඟින් නියමිත මගී ප්‍රමාණයෙන් පිටව ගිය පොල්ලේ අනෙකුත් මගීන් එනතුරු මග රැක බලන් සිටිනවා වග සක් සුදක් සේ දන්නා අනෙකුත් මගී පිරිවර පොලිස් නිලධාරීන් දෙදෙනා ලඟින් මාරුවී ගොස් නැවතත් පොල්ලේගේ ත්‍රිරෝද රථයේම ගමන් පහසුව සලසා ගන්නවාය.

පොල්ලේගේ මවු දෙමාපියන් ප්‍රමුඛ සියල්ලෝම පොල්ලේගේ කටට බෙහෙවින් භය පක්ෂපාතීකමක් දක්වන්නේ පොල්ලේගේ කටට බ්‍රේක් නැති නිසාය. පොල්ලේ කරන්නේ පොල්ලේට උවමනා දේ පමණය. පොල්ලේට මට්ටු කරන්නට බැරිවුනාවූ ප්‍රාණියෙකු පොල්ලේගේ නිවසේ සිටියානම් ඒ පොල්ලේගේ මිත්තනිය පමණය. ඒ සඳහා පමණක් පොල්ලේ බෝඩිමේ මිත්‍ර සමාගමෙන් සහය පතන්නට දෙවරක් හිතන්නේ නැතිය. එම දිනය උදාවන්නේ මසකට වරක් වන අතර එදිනට බෝඩිමේ මිතුරු පිරිස සැදී පැහැදී සිටින්නේ පොල්ලේට අවශ්‍ය උදව්ව කිරීම අප කාගේත් යුතුකමක් නිසාය.

එම වාසනාවන්ත දිනය නම් පොල්ලේගේ මිත්තනිය විශ්‍රාම වැටුප් ගන්නා දිනයට පසුවදා දිනයය. එදාට මහරජතුමාගේ වැඩක් තිබුනද පොල්ලේ ගෙදරින් එලියට බහින්නේ නැතිය. ආතම්මා සිය විශ්‍රාම වැටුප තම පුතා හෙවත් පොල්ලේගේ මාමාට පුද දීමට යන්නට සැරසෙන්නේ විශ්‍රාම වැටුප් දිනයට පසුවදා දිනයේදීය. එදිනට උදෑසන අවදිවන බෝඩිමේ සෙට් එකට දවසම කාර්යබහුල දිනයක් වන්නේ උදෑසන සිට ඇඳිරි වැටෙනතුරු පොල්ලේ විසින් පවරනා රාජකාරියට සැදී පැහැදී සිටිය යුතු නිසාය. එදාට බෝඩිමේ අහුමුලු වල තිබෙනා පොරෝ කෑලි , උදලු, අලවංගු , කැති , මන්නා පිහි සියල්ල බෝඩිමේ පසුපස ගේට්ටුව ලඟට ගොඩ ගැසෙන්නේ අදාළ රාජකාරියට ප්‍රයෝජනයට ගනු පිණිසය.. 

ආතම්මා කදිම සාරියකින් සැරසී මුහුණේ පියරුලා කොණ්ඩය තාලයට පීරා ගමනට ලෑස්තිවන අල්ලපනල්ලේ විනාඩියකට ගෙදරින් පැනගන්නා පොල්ලේ බෝඩිම ඉදිරියෙන් බයිසිකලය පැදගෙන යන්නේ බෝඩිමට පණිවිඩය දීම පිණිසය. කිසිදු හේතුවක් නිසාවත් බෝඩිමේ ගේට්ටුව ළඟ බයිසිකලය නොනවත්වනා පොල්ලේ ඇසෙන නෑසෙන හඬින් සහ ව්‍යංගයෙන් බෝඩිමට පණිවිඩය දෙනවාය..

ලැස්ති වෙලා හිටපල්ලා... ආච්චි ලෑස්තියි...

එම පණිවිඩයෙන් කර්තව්‍ය සඳහා බෝඩිමෙන් අනුයුක්තවන පළමු තරඟකරු තමුන් කැමති මෙවලමක් අතෙහි සුරක්ෂිත කරගන්නේ සියල්ල අකුරට කලයුතු නිසාය..

පොල්ලේගේ මිත්තනියගේ නිවසේ ඉදිරිපස බිත්තියේ  තිබෙනා සිමෙන්ති ග්‍රිල් එකෙන් පෙරමග බලා  වංගුවෙන් මතුවෙනා  සුභ කටයුතු අයකු පෙරමග සලකුණ වශයෙන් තබාගෙන නිවසින් පිටත් වෙනවාය. බෝඩිම තිබෙන්නේ වංගුවත් පොල්ලේගේ මිත්තනියගේ නිවසත් අතර වන අතර බෝඩිමේ තරඟකරු තාප්පය අසල ඇන තබාගෙන සැඟවී සිටින්නේ බෝඩිමේ වතුර ටැංකියේ කණුවට මුවාවී පෙරමග බලමින් සිටිනා බෝඩිමේ සාමාජිකයාගෙන් පිටත්වීමේ සඥාව ලැබෙන තුරුය. මේ සියල්ල අකුරට සැලසුම් වී තිබෙනා වගක් නොදන්නා පොලේගේ මිත්තනිය නිවසින් පිටත් වෙනවාය. මිත්තනිය පාරට අවතීරණය වීමත් සමගම වතුර ටැංකිය අසල සැඟවී සිටිනා සාමාජික තැන ගේට්ටුව අසල සිටිනා තරඟකරු වෙත කොළ කොඩිය වනනවාය.  එයින් සක්‍රීය වන පළමු තරඟකරු තමුන් කැමතිම උදැල්ල හෝ කැත්ත අලවංගුව කර තබාගෙන පාරට අවතීරණය වන්නේ පොල්ලේගේ මිත්තනියගේ පෙරමග සලකුණ බෝඩිමේ ගේට්ටුව පසුකරන්නට කලින්ය. 

හා ප්‍රේමාච්චී ... බෑරක් වගේ...

ඔව් පුතේ මම මේ අපේ පුතාලහ ගිහින් එන්න කියල..

හා එහෙමද.. හොඳයි හොඳයි එහෙනම් සුභ ගමන් ආච්චි..

ම්ම්ම්ම්ම්ම්ම්.....

මොකෝ ආච්චි ආපහු හැරුනේ..

නෑ පුතේ මට දොර වැහුවද කියල හරියට මතක නෑ ....

එසේ කියමින් පොල්ලේගේ මිත්තනිය නැවත හැරී නිවසට යන්නේ පෙරමග සලකුණ උදැල්ලක් කර තබාගත් බෝඩිමේ සාමාජිකයා වූ නිසාය.. එහෙත් පැය භාගයකින් අනතුරුව  ප්‍රේමා ආච්චී නවත්ත තම දෙවන උත්සාහය ලබාගන්නා බව පොල්ලේ ඇතුළු බෝඩිමේ සැම හොඳින්ම දන්නවාය. එහෙත් පොල්ලේගේ මිත්තනියගේ දෙවන උත්සාහයද පෙර පරිදිම අල කර දමන්නට බෝඩිමේ පිරිස සහ පොල්ලේ සැදී පැහැදී ඉන්නවාය. පොල්ලේගේ මිත්තනිය දවස පුරාම උත්සහ දරා දවස දෙක තුන පමණ වන විට ගමන අත්හැර දමන්නේ සිය ඇඳුම් ආයිත්තම් උනා තබමින්ය. එයින් අනතුරුව පොල්ලේ සහ බෝඩිමේ සාමාජිකයින් අත්‍යවශ්‍ය සේවාවෙන් නිදහස් වෙනවාය. එහෙත් ඉර මුදුන් වන්නට වන්නට ප්‍රේමා ආච්චීගේ වාග් විලාශය ටිකෙන් ටික දරුණු වන අතර බෝඩිමේ අවසන් තරගකරු හා කෙරෙනා දෙබස් නම් මෙසේය..

හා ප්‍රේමාච්චී .. ගමනක් යන්න වගේ...

ඔව් මේ බෝලාගේ මවු දෙමවුපියෝ බලල එන්න යන්න කියල..බල්ලොන්ට ජාතක වෙච්ච එවුන්..

පොල්ලේ විසින් සැලසුම් සහගතව අල කර  දමනා මිත්තනියගේ ගමන ඉන් දින කීපයක්  අනතුරුව යනවානම් යන්නේ පොල්ලේගේ ත්‍රිරෝද රථයේය. එයට ගාස්තුව වශයෙන් පොල්ලේ අත්තම්මාගෙන් පෙන්සොන් පඩියෙන් භාගයටත් වඩා අය කරනවාය.

මෙවන් දීර්ඝ ලිපියකින් විස්තරකොට ලියන්නට යෙදුනු පොල්ලේට පොල්ලේ කියනා විශේෂණය ලැබුනේ කෙසේදැයි පාඨක සැමට ප්‍රශ්නයක් මතුවනා නිසා එයද මෙහිම සටහන් කරනවාය..

පොල්ලේ කලක තම මාමාගේ නිවසේ නැවතී සිටි කාලයේ දුර ප්‍රදේශයක මලගෙදරකට සහභාගී වන්නට පොල්ලේට සිදුවී තිබුනේලුය. රාත්‍රී කාලයේ ෆුට් බයිසිකලයකින් මල ගෙදරට ගොස් මාමාගේ නිවසට ආපසු එන අල්ලපනල්ලේ පොල්ලේට එන්නට සිදුවී තිබුනේ කන්දක් සහිත පාලු ප්‍රදේශයක් හරහාලුය.  ඒ මදිවාට පාලු සොහොන් පිටියක්ද පසුකරන්නට තියෙනවාලුය. 


මාමාගේ නිවසට එන අතර වාරයේ කනත්ත පාමුලදී දැනුනාවූ චකිතයක් නිසා පොල්ලේ බයිසිකලය අම්මමෝ නැතුව පාගන්නට තියාගත්තේ හැකි ඉක්මනින් කනත්ත පසුකර යායුතු නිසාලුය. කට්ට කරුවලේ හැටේ වේගයෙන් කනත්ත පසුකරගෙන පදිනා පොල්ලේගේ බයිසිකලය පාර හරහා ලැග සිටි කට්ට කළු මී හරකෙකුගේ බඩ මැද්දෑවේ දබාස් ගාමින් හැප්පී පොල්ලේ උඩින් විසික් වන්නේ පොල්ලේගේම අවාසනාවට වඩා මී හරකාගේත් අවාසනාවට වන්නට ඇතිලුය. එයින් බයෙන් බිරාන්ත වූ පොල්ලේ කලුවරේම අතගා සොයාගත් බයිසිකලයේ නැවතත් ගොඩවී හිටු කියා පදින්නට පටාන් ගත්තේ කනත්ත ඉදිරියේ කළුවරේ සිටි මී හරකා පොල්ලේට එලොව එලවා අනින්නට ඉඩ තිබෙනවාට වඩා කනත්තට තිබෙනා භය නිසාලුය. කනත්තද, මී හරකාද , කලුවරද නිසා බයිසිකලය හිටගෙන පදින්නට පටන්ගත් පොල්ලේ පාලු මුසල ප්‍රදේශය පසුකර දැන් ඉතින් හෙමින් යනවා කියා සිතා හිටගෙන පැදීම නවත්වා ආසනයේ වාඩිවූ කල පස්සපැත්තේ ඇනිලා තිබෙන්නේ බයිසිකලයේ ආසනය සවිකර තිබෙනා පොල්ලය. ඒ කියන්නේ පොල්ලේ පැදපු පැදිල්ලට හෝ වැටුණු වැටිල්ලටද කොහේදෝ බයිසිකලයේ සීට් එක අන්තරස්දාන වෙලාලුය.. ඉතැනින් එහා පොල්ලෙට මාමාගේ ගෙදරට එන්නට සිදුවුයේ පොල්ලේ වාඩිවීලා බයිසිකලය පැදගෙනලූය. පොල්ලේ විසින්ම මිතුරන්ට කියනු ලදාවූ මේ සිද්දියෙන් අනතුරුව පොල්ලේගේ නමට ඉදිරියෙන් "පොල්ලේ" කෑල්ල අනුයුක්ත වූ අතර අද වනවිට යසට තිබු වාසගමද ලොප් වී ඉතිරිවී තිබෙන්නේ "පොල්ලේ " කෑල්ල පමණය. 

පොස්ටුව දිග වැඩි වුවද පොල්ලේගේ ගැන ලියන්නට තවත් එක සිද්දියක් තිබෙනවාය..

එදින අප කාගේත් මිතුරු බතලයාගේ අම්මාගේ මල්ලීගේ මාමණ්ඩිය මිය ගිය පුවත අප කාටත් මසුරන් ආරංචියක් වුයේ මළගෙදරක යාම යනු ඉතා විනෝදජනක කටයුත්තක් නිසාය. බතලයා අඳුනන්නේ නැති උදවිය "තනියම ගිය පාස්පෝර්ට් එක " සහ "හෙළුවෙන් යාම " පොස්ට් කියවා බතයාගේ සූර වීර වැඩ ගැන අවබෝධයක් ලබාගත මනාය.

මළගෙදර තිබෙන්නේ ගාල්ලේය. ගාල්ල යනු මහා දුර බැහැරක නොවුනත් පොල්ලේ යන්නට අදිමදි කරන්නේ ත්‍රිරෝද රථයක් කුලියට ගෙන යමු කියාය. එවන් වියදම් කිරීමට මහා ආණ්ඩුවෙන් යැපෙනා අපේ එවුන් එකෙකුවත් ළඟ මුදල් නොමැතිය. ඒ හෙයින් අකමැත්තෙන් වුවද මළගෙදර යන්නට වන්නේ බස්රථයක හෝ දුම්රියේය..

මට බෑ  බස් එකේ යන්න.. ත්‍රී වීල් එකක යමන්.. මම එකක් ඉල්ලන් එන්නම්.. තෙල් ගහල දෙසීයක් දුන්නාම ඇති..

පිස්සුද බන් පොල්ලේ.. අපි ගාව සල්ලි නෑ .. බස් එකේ යමන්..

මට බෑ ..

බෑ කියන්න එපා බං .. යමන්කෝ..

හරි මම එන්නං .. හැබැයි හොඳට කන්න බොන්න සිගරට් ප්ලේන්ටී ඔක්කොම ඕන...

හරි බන්.. මල ගෙදරක ඒව නැති වෙනවද..

හරි යමල්ලකෝ එහෙනං ..

ගාල්ලේ පිහිටි මළගෙදරට මිත්‍ර සමාගම සැපත් වන්නේ රාත්‍රී දහයට පමණය... වැඩි සෙනගක් නමැති වූ මලගෙදර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මල ගෙදරක සිරි උසුලනවාය..  මල ගෙදර සිටිනා උදවියද මල මිනිය හා  සමානය. කිසිම කතාවක් බහක් නොමැතිය.. ඒ මදිවාට මළගෙදර සැවොම කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්ය. බතලයාද තම සුදු මාමාගේ හිත දිනාගැනීමට හෙන සිල්වත් ආකාරයෙන් හැසිරෙනවාය. අම්බලන්ගොඩයා ඇතුළු අනෙකුත් පිරිසද සෑහෙන්න සිල්වත් මහත්මා ආකාරයෙන් හැසිරෙනවාය. එහෙත් පොල්ලේ සෑහෙන නොසන්සුන්ය..

කෝ යකෝ කන්න.. 

ෂ් .... කෑ නොගහ හිටහන් යකෝ...

අඩුම ගානේ ප්ලේන්ටියක්.. සිගරට් එකක්... යකෝ මුන්ට මළගෙවල් කරන්න උගන්නන්න වෙනවා පංතියක්  දාල.. අඩෝ බතලයා.. එන්න කියහන් උඹේ සුදු මාමට.. 

 කෑ නොගහ හිටහන්කෝ පොල්ලේ... තව ටිකකින් කන්න කතා කරාවි..

ඒයි බතලයා.. අහපන් උඹේ සුදු මාමාගෙන් අර පෙට්ටියේ දපල ඉන්නේ උගේ මාමණ්ඩිද අපේ මාමණ්ඩිද කියල..

අනේ කියන තැනකට වඳින්නම් පොල්ලේ කෑ  නොගහ හිටහන්කෝ..

දැන් බොලා මාව එක්කං  ආවේ අලි දෙන්නං කොටි දෙන්නං කියලනේ..කෝ ඉතින් දීපං ඉතිං .. මට බඩගිනියි...

එවන් ආකාරයේ විවිද වූ ඉල්ලීම් දහසක් අතරේ පොල්ලේ මළගෙදර තබාගෙන ඉන්නේ කුලප්පු වූ අලියෙකු තබාගෙන ඉන්නා හා සමානවය. ඒ අතර වාරයේ බතලයා මළගෙදර ඇතුලට විසිට් එකක් දමා ආපසු එනවාය. නැවතත් බතලයා සුදු මාමා අවටින් ගැවසෙන්නට මළගෙදර ඇතුලට යනවා එනවාය, මුහුණ බෙරි කරගෙන එනවාය. මල ගෙදර එවුන්ද ප්ලේන්ටියක් තියා ඇල්වතුර එකක්වත් දෙන කාලගුණයක් පෙනෙන්නටද නැත්තේය.

තත්පර විනාඩි වී විනාඩි පැය බවට පත්වෙද්දී මළගෙදරින් පොල්ලේගේ ඉල්ලීම් ඉටුවෙනා ආකාරයක් පෙනෙන්නටද නොමැතිය. මළගෙදර රැස්වී උන් දෙතුන් දෙනාද එකා දෙන්නා ගෙවල් වලට දිරාමාරුවෙලාය. බතලයාගේ ඥාතිත්වයට පිටුපාන්නට බැරි නිසාදෝ අම්බලන්ගොඩයා ඇතුළු පිරිසට බතලයා මළගෙදර තනිකර දමා ගමේ එන්නටද නොහැකිය. ඒ අල්ලපනල්ලේ පොල්ලේද  එන්න එන්නම නාලාගිරි ස්භාවයක් පෙන්නුම් කරනවාය. පොල්ලේගේ අස්වසන්නට අහලක පහලක කඩයක්වත් නොමැතිය. එහෙම කඩයක් අහලක පහලක තිබුනානම් සුරුට්ටු පෙට්ටියක්, සීනි බනිසයක් හෝ අරන් දී පොල්ලේ මදක් අස්වසන්නට තිබුණාය. ඒ සියලු දෑ අතරතුර පොල්ලේගේ මුරට එකෙකු දෙන්නෙකු තබා කොලු නඩයේ එකා දෙන්නා බතලයාගේ සුදු මාමාට විසිට්  එකද දමනවාය. සුදු මාමාද බතලයා ප්‍රමුක පිරිස වටකරගෙන වටේටම  ඉංග්‍රීසියෙන් කඩුව වනනවාය. සුදුමාමා කියනා දේ තේරුනාද නොතේරුනාද අපේ එවුන්ද හෙන උගත් බුද්ධිමත් ස්භාවයෙන් ඔලුව වනනවාය. බතලයාද  දන්නා සියලූම දක්ෂතා උපයෝගී කරගනිමින් ඒ බී සී ඩී අකුරු විසිහය එහාටත් මෙහාටත් ගැටගසමින් මාමාගේ කඩු පහරට පිළිතුරු කඩු පහරවල් එල්ල කරනවාය. ඉංග්‍රීසි සොයාගත් පුද්ගලයාට පිංසිදුවන්නට ඉංග්‍රීසි හෝඩියේ තිබෙන්නේ අකුරු විසි හයක් වීම බතලයාට වාසි සහගතය. අකුරු දෙතුන්සීයක හෝඩියක් වූවානම් බතලයාට අබසරණය. වෘතියෙන් වතු අධිකාරීවරයකු වන සුදු මාමාගේ සුපිරි කඩු පහරවල් වලින් බෙල්ල මුලින්ම කැපෙන්නට යන බතලයා අම්බලංගොඩ උපන් පිනෙන් යාන්තමට බෙල්ල බේරාගෙන කඩුව වනාගන්නවාය. පවුලේ ඥාතීන් දෙදෙනෙකුගේ කතාවන් වලට මැදට පනින්නට යෑම විනයානුකූල කටයුත්තක් නොවෙන බව කුඩා කාලයේ වැඩිහිටියන් උගන්වා තබෙන නිසා අපේ එවුන්ද හෙන දුක හිතෙනා ආකාරයෙන් සුදු මාමාගේ මියගිය මාමණ්ඩිය දිහා බලා සිටිනවාය. මිත්‍ර සමාගම මිනිය දිහා බලන් ඉන්නා දුක හිතෙන ස්භාවය දුටු කල එවන් දුකක් ගෙදර එවුන්ටවත් නොමතිදැයි හිතන්නට පුළුවන් තරම්ය. හැමදෙනාම දුක හිතෙනා ආකාරයෙන් මිනිය දිහා බලා සිටින්නේ වැරදිලාවත් සුදු මාමා කඩුවෙන් කෙටුවහොත් දෙන්නට උත්තර නැති වෙන නිසාය.

සියල්ල සාමාන්‍ය අයුරින් සිදුවෙද්දී, සුදු මාමා නොනවත්වා බතලයාට ඉංග්‍රීසි කඩුවෙන් කොටද්දී මිනිය තබා තිබෙනා මළගෙදර විසිත්ත කාමරයට අමුත්තෙකු ගොඩවන්නේ බොහොම කලබලයෙන්ය.. ඒ වෙන කව්රුත් නොවේය.. ප්ලේන්ටියක් සිගරට්ටුවක් නොමැතිව නාලාගිරි ස්භාවයෙන් පසුවෙනා පොල්ලේය... බැලින්නම් පොල්ලේ එළියේ පුටුවක් උඩ  නිදි කිරා වැටෙද්දී අපේ එවනු එකා දෙන්නා පොල්ලේ එළියේ තනිකර දමා මල ගෙදර ඇතුලේ සිද්දවෙනා කඩු  ෆයිට් එක බලන්නට අවිල්ලාය. 

අඩෝ බතලයා ඉංගිරිස් ටෝක් නේ.. එළියේ නෝ ප්ලේන්ටි සිකරට්..

සුදු මාමා ඉංග්‍රීසි කඩුව පැත්තකින් තබා කට අරගෙන පොල්ලේ දිහා බලා සිටිනවාය..සුදු මාමා බලන්නේ මූ මොකාද කියාය..

අඩෝ බොලාට විතරක් නෙවෙයි .. පොල්ලේ ටෝක් ඉංග්‍රීසි.. හිටහන්කෝ  පෙන්නන්න..

අයිම්  සමන්.. අයිම් ෆ්‍රොම් ශ්‍රී ලංකා.. අයිම් ගීතා අයිම් ෆ්‍රොම් ඉන්දියා.. අයිම් මුරූ අයිම් ෆ්‍රොම් නයිජීරියා.. අයිම් ටාරෝ අයිම් ෆ්‍රොම් ජපෑන් .... වට් ඉස් දිස් ..කැටිසන් ..පැටිසන් ... බට් යූ සී ද සී ..වටේට කෙස් මැද හිස්..හෙහ්... බොලා හිතන් ඉන්නේ පොල්ලෙට ඉංග්‍රීසි බෑ කියලනේ...

සුදු මාමා පොල්ලේ දිහාද බතලයා දිහාද අපි දිහාද මාරුවෙන් මාරුවට බලමින් මේ වෙන්නේ කුමක්දැයි කියා බලා සිටිනවාය.. 

දිස් ඉස් සුදු මාමා ෆ්‍රෙන්ඩ් සිකරට් ප්ලේන්ටි නෝ මල ගෙදරවල් නෝ කමින් පොල්ලේ.. බතලයා ටෝක් ටෝක් ප්ලේන්ටි සිකරට් ලොරි ගණන් ගිව් මල හත්තිලව්වේ නෝ ඇල්වතුර ග්ලාස් වීදුරුවක්....කැටිසන්..පැටිසන්....රොබින්සන්..විල්සන්..පැදුරුකාට් පුකෙරා..පැටිසන්ගේ සන් කැටිසන්.. පොල්ලේ ටෝක් ඉංග්‍රීසි.. කෝ දැන් ඉංගිරිස් වට්ස් ද ප්‍රොබ්ලම්..ටෝක් ටෝක් ඉංග්‍රීස්..

සුදු මාමාට අමතරව ගෙදර ඇතුලේ නිදා සිටි පුද්ගලයින්ද ඇඳන් වලින් පැනලා ඇවිත් සාලයට එබිකම් කරන්නට පටන් ගත් නිසා බතලයා ප්‍රමුක සැවොම එකවරම පොල්ලේ කරට ගෙන පාර දිගේ දුවන්නට තියාගත්තේ වෙනත් කරන්නට දෙයක් නොමැති වූ නසාවෙන්ය. මළගෙදරට නෑසේනා දුර දක්වා හතර දෙනෙකුගේ කරින් වඩම්මන පොල්ලේගේ කට මිරිකා අල්ලාගෙන ආ නිසා පොල්ලේගේ ඉංග්‍රීසි හැකියාව අහලට පහලට පෙන්වාගන්නට බරිවුනේය. ගාල්ල දුම්රිය ස්ථානයට සැපත් වී සමුද්‍රදෙවියේ නැග ගමට පැමිණෙනතුරුද පොල්ලේගේ ඉංග්‍රීසි කතාව නම් නැවතී තිබුනේ නැත. පොල්ලේ තවත් ටික වෙලාවක් සුදු මාමාට සහ බතලයාට ඉංග්‍රීසියෙන් ඇමතුවනාම් සුදුමාමාගේ මියගිය මාමණ්ඩියද පෙට්ටියෙන් නැගිට බඩ අල්ලාගෙන සිනාසෙනු නියතය.

හෙළුවෙන් යාම
http://ambalangodakatha.blogspot.com/2014/11/blog-post_27.html


තනියම ගිය පාස්පෝර්ට් එක 1
http://ambalangodakatha.blogspot.com/2014/12/1.html

චේතිය පරපුරේ අපේ එකෙක්
http://ambalangodakatha.blogspot.com/2016/03/blog-post_16.html




55 comments:

  1. Hina wela pana yanawooo......

    ReplyDelete
    Replies
    1. හෆොයි.. ඇනෝ පන ටිකනම් යවාගන්න එපෝ... අන්තිමේ අහිංසක අසරණ අම්බලංගොඩයට හිරේ විලංගුවේ වැටෙන්න වෙයි මම ලියපු පෝස්ට් එක නිසා ඇනෝ කෙනෙක් මලා කියල..

      Delete
    2. Ambalangodaya ahinsakai asaranaida..???????????????

      Delete
    3. නැතුව ඉතිං.. අපි හෙන අහිංසක කොල්ලො අප්පා.. කොල්ලො කිව්වට දැන් කොන්ඩෙත් සුදු වෙලා ඇනෝ..

      Delete
    4. Habatama Ambalama echchara wayasaida???

      Delete
  2. පොල්ලේ කියන්නේ මරු පොරක්නෙ බලනකොට......

    //බතලයා ටෝක් ටෝක් ප්ලේන්ටි සිකරට් ලොරි ගණන් ගිව් මල හත්තිලව්වේ නෝ ඇල්වතුර ග්ලාස් වීදුරුවක්....//

    හිනා කාලා මැරෙන ටෝකක්නෙ ඕයි ඒක....

    ReplyDelete
    Replies
    1. පොල්ලෙ කිව්ව ඉංග්‍රීසි ටික අද වගේම මතකයි.. ඒ ටික තමා ඔය එහෙම්මම ලිව්වේ..

      Delete
  3. හෙහ් හෙහ් නියමයි

    ReplyDelete
  4. ඒකනෙ කියන්නෙ බැරි මල ගෙවල් නොගෙන ඉන්න ඕන :D

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. බැරි මගුල් මොකට කරනවද නේද බන්..

      Delete
  5. හනේ අම්මෝ, ඉල ඇදෙනවෝ................!

    ReplyDelete
    Replies
    1. බාල වර්ගයේ ඉල ඔරිජිනල් ඇවිත් තියෙන්නේ මට හිතෙන්නේ.. ඒකයි ඇදෙන සුළු..හෙහ්..හෙහ්..
      ස්තුතියි ඇනෝ..

      Delete
  6. පොල්ලෙගෙ නමටම ගැලපෙනව උගේ ඉංග්‍රිස් ටෝකත්.
    මොනව උනත් උෟ අර සීට් එක නැති පොල්ලෙ වාඩි වෙලා හික පුල් කරගත්තෙ නැති එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. උගේ වැඩත් ඉතින් නම වගේම තමා බන්.. ඌ හිත හොඳ එකා..
      ඕක ඉතින් අමුතුවෙන් හිල් කරන්න ඕන නැහැනේ බං... හෙහ්..

      Delete
  7. ගූ කටර් එක කැඩිලද

    ReplyDelete
    Replies
    1. උගෙන් තමා අහන්න ඕන... ඕනෙනම් නම්බර් එක එවන්නං කෝල් එකක් දීල අහපං..හෙහ්..හෙහ්..

      Delete
  8. පොල්ලෙ වගෙ එකෙක් අපේ සෙට් එකෙත් හිටිය. උගෙ නම පාල

    ReplyDelete
    Replies
    1. උඹලත් එහෙනං සෑහෙන්න විනෝදයක් ලබන්න ඇති උගෙන් නේද..

      Delete
  9. ඔය ඉංග්‍රීසි ටික අහලවත් පේන්ටියක් තරම් දෙන්න සැට් කෙරුවෙ නැද්ද ගෙදර එවුං? හැබෑට දැං පොල්ලෙ මොකද කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. ප්ලේන්ටි බොන්න අපි ඉන්න එපැයි බං.. අපි පොල්ලේව කර තියාගෙන කන්ද උඩහට දිව්ව ඉතිං.. පොල්ලේ කාලයක් රට ගිහිනුත් හිටිය.. දැන් ඔය ඉන්නේ දෙයියනේ කියල පවුලක් පන්සලක් වෙලා..

      Delete
    2. අහන්න බැරි වුනා. දැන් උඹ පවුලක් පන්සලක් වෙලාද?

      Delete
    3. මහානාම මහත්තයා මේ ප්‍රශ්නේ ඇහුවේ මගෙන්ද සුරන්ගගෙන්ද කියන එක පැහැදිලි මදියි.. මට නම් ඉතින් වයස දැන් හතළිහකට ඔන්න මෙන්න.. එත් ඉතින් ගෙදරින් තාම හොයනවා කසාද බඳින්න කෙනෙක්.. හෙහ්.. මම හිතන්නේ සුරන්ගයට නම් ටිකිර් සඳමාලි කියල කෙනෙක් සෙට් වෙලා ඉන්නේ.. හෙට අනිද්දා කසාද බඳියි මම හිතන්නේ...

      Delete
  10. උඹ හැමෝම ගැන තියන කුප්ප කතා ලියනවා.උඹ ගැන ලියන්න උඹේ යාලුවෙක් නැතුව ගියානේ...

    ReplyDelete
    Replies
    1. අපේ කට්ටිය සෑහෙන්න ට්‍රයි කරනවා ලියන්න.. ඒත් ලියන්න එකෙක් නැතුවයි ඉන්නේ ඔය..

      Delete
  11. යකෝ අපි මේවා ඔෆිස් වලදි බලන්නේ. හිනා යන එකෙත් සීමාවක් තියෙන්න කථාව දාහන්. අහල පහල එවුන් මම දිහා කන්න වගේ බලාගෙන තනියම හිනාවෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. හෙහ්...බොලා මේවා කියවල බෝසාලගෙන් ලෙඩ වැටුනොත් මම නැහැ ඔන්න..

      Delete
  12. මටත් කියන්න තියෙන්නේ කුරහන් හේනේ මල්ලි කියපු එකමයි... ඇයි දෙයියනේ මම ඉන්නේ බොසාට මූන පේන මානේ දෙකක් නෑ අපේ බොසත් බය වෙනව මට පිස්සු කීලා කොම්පීටරේට හිනාවෙද්දි...

    අම්බලන්ගොඩ හෝඩියට ගිය කාලේ බලද්දි දැං හොද වයසක් ඇති මයෙ හිතේ....

    ReplyDelete
    Replies
    1. බොසාට තේරුම් කරල දීපන් කොම්පියුටරේ කොච්චරනම් හිනාවෙන්න දේවල් තියෙනවද කියල..
      දැන් ඉතින් හතලිහට කිට්ටුයි බං.. තාම පොඩි එකා නෙව..

      Delete
  13. එල කොල්ලෙක්නෙ

    ReplyDelete
    Replies
    1. පොල්ලෙ එල කොල්ලෙක් නේන්නම්..

      Delete
  14. මරු කතාව.. පොල්ලෙගෙ කතාව සජීවීව අහන්න ලැබුනනම් තමයි වටින්නේ:D

    ReplyDelete
    Replies
    1. පොල්ලෙ හැංගිමුත්තන් හැඟෙන විදිහ තමා ලියනවනම් නියම කතාව.. ඒත් ඒ කතා ලිව්වොත් පොල්ලෙ අම්බලන්ගොඩයගේ ඉස්මුදුන ඉහලින් පොල්ලක් වනන්න ඉඩ තියෙනවා..

      Delete
    2. කොහොමහරි ලියුවනම් හොඳයි නේද??

      Delete
  15. මාසෙකට පාරක් ආච්චිගෙන් ගන්න පොඩිපහේ ආතල් එක මැවිල පෙනුන බ්ං.මට ඔය සීන් එක මාට්ටු උනෙ දවසක් බතලයාගෙ ගෙදර තිබුන මන්නෙ අරගෙන එරාජයගෙ ගෙදරට යනකොට ආච්චි ගමනක් යන්න එලියට බැහැල මන් දැක්ක විතරයි කෙල පාරක් බිමට ගහල ආච්චි හැරිල ගෙට ගියා.පස්සෙයි මට වැඩේ මීටර් උනේ.එදා සිට ආච්චිට අපිට පේන්න ගමන් නම් යන්න ලැබුනෙ නෑ.අසුබයිලු බන් 😂
    මළගෙදර සීන් එකනම් ඉල ඇදෙන වැඩේ.මතකද පොල්ලෙට ගිහිපු වෙලාවෙ ඉදන් මල පැනල හිටියෙ කඩු බාසාවට.පොඩි පොඩි කෑලි දදා ඉදල සුදු මාමා කෑවද කියල ඇහුවාම තමයි පොල්ලෙට නැති ඉංගිරීසි මතක් උනේ.වට්ස්ද කැටිසන් ලැටිසන් පැටිසන් ඉන්ද මෝර්නින් ආෆ්ටනූන් කියාගෙන පටන් ගත්තෙ.අම්මෝ අදටත් හිනා යනව මතක්වෙනකොට 😂😉😄

    ReplyDelete
    Replies
    1. පොල්ලෙ මේක කියෙව්වොත් තමා මට ගමේ රටේ ඉන්න නැතිවෙන්නේ.. පොල්ලේගේ පොඩි මස්සිනා කාරයා මේක කියවපු බව බුකියේ සඳහන් වෙනෝ..ඔන්න මාව බේරගනින් පොල්ලේ මට යුද්ද ප්‍රකාශ කරොත්..

      Delete
  16. රාත්‍රී 2. 57යි. සද්ද නොකර හිනාවෙන්න බැරි තරමට හිනායනවා. කට්ටියම එකතු වෙලා පිස්සන් කොටුවට අරන් යයිද මන්දා = සුපර්බ්

    ReplyDelete
    Replies
    1. කියවපු ඔයාලට මෙහෙමනම් පොල්ලේ එක්ක හිටපු අපිට කොහොමද කියල හිතන්නකෝ.. සිනා සාගරයක් තමා ඉතින්.. අපි එහෙමත් කාලයක් ගතකරා නේද කියල මතක් වෙද්දීත් දැන් හිතට දුකයි ඉතිං..

      Delete
  17. අර අසරණ ආච්චිගෙ පෙන්ෂන් එකට කෙලින කාරනාව අමතක කලොත් පොල්ලෙ එල බුවා.

    ReplyDelete
    Replies
    1. පෙන්ෂන් එක සම්භන්ධව පොල්ලේගේ තර්කය සාධාරණයි.. තුන්වේල කන්න බොන්න දීල පරෙස්සමට රැකබලාගන්න පොල්ලේගේ ගෙදරට සතයක් වියදම් කරන්නේ නැතුව මුළු පෙන්සොන් පඩියම මාමට පූජා කරන එකට එරෙහිව තමා පොල්ලෙ කුමන්ත්‍රණ කරේ..

      Delete
  18. පොල්ලේ එළ බුවෙක්නේ, හරියට දළඹුවෙක් වගේ...
    මොකක්ද බං අර තුප්පහි මළ ගෙදර...

    ReplyDelete
    Replies
    1. ඒ මළගෙදර ගැනනම් කතා කරලා පලක් නැහැ බන්..පොල්ලෙ ඉන්න තැන සිනා සාගරයක් තමා ඉතින්.. කවදාවත් දුක් සංකා නැති මනුස්සයෙක්.. හිත අමාරුවෙන් දුකෙන් ඉන්නවා කවදාවත් දැකල නැහැ.. කොයි වෙලෙත් ඉන්නේ ෆුල් ජොලියේ තමා..

      Delete
  19. ඔය වගේ ඉංගිරිස් මළගෙදරකට ගස්ලබ්බත් ගියා.. ඒත් ගාල්ලෙම තමයි.ආසාවට මිනිස් කටහඬක් ඇහෙන්නෑ.ඉන්න අය දෙතුන්දෙනෙක් විතරක් ඉංග්‍රීසියෙන් කොඳුරනවා.හැබැයි උණුවෙන් නෙස්කැෆේ එකක් ලැබුනා.ඒක ගිලින සද්දෙත් ඇහෙනවා ඇහෙනවා වගේ.මිනිය ඇහැරෙයි කියල බයටද මන්දා... ගස්ලබ්බ එහෙම්මම පාරට බැහැල ටික දුරක් ගිහින් දුමක් දානකොට කස්ටියම පෝලිමට එනවා හිරකරගෙන හිටපු හුස්ම එහෙම පහල දදා.. හැබැයි කන්නත් සෙට් කරල දුන්නා මළගෙදරම කුස්සියේ.පුදුම පීඩනයක් තිබ්බෙ එතනින් එලියට එනකන්... අහවල් පොස් ගාල්ල.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පුදුම අපහසුතාවයකට පත්වෙලා තියෙන්නේ.. නාඳුනන මළගෙවල්වල ගියාම ඔය තත්වේ ඔහොමම තමා බන්.. අමාරුවෙන් නිහඬව ඉන්න එපැයි..

      Delete
  20. සුපිරියි......ඔෆිස් එකේදි බැලුවේ, නිදහසේ හිනා වෙන්න බැරි නිසා ගෙදර ඇවිත් ආයෙත් බැලුවා...මතක් වෙනකොටත් හිනා යනවා. මම කැමතිම ආච්චි බනින ටිකට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉනෝශා..

      Delete
  21. තව කතා ලියන්න එල කතාටික

    ReplyDelete
    Replies
    1. ස්තුතිය් තුතියා..

      Delete
  22. සුපර්ර්ර්ර්ර්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉනෝකා..

      Delete
  23. බුදු අම්මෝ ගොඩයෝ .... මෙච්චර අතල් දෙන්න එපෝ!
    අන්තිම ටික කියවද්දී හිනාව නවත්තගන්න හෙන ගේමක් දුන්න

    ReplyDelete