Wednesday, March 16, 2016

චේතිය පරපුරේ අපේ එකෙක්






සකලේ මාගේ මිතුරෙකු වන්නේ මා හෝඩියේ පංතියේ අකුරු කල සංදියේ සිට බැවින් ඔහු ගැන පොස්ටුවක් නොලියා කර ඇරීම ඒම මිතුරුකමට කරනා වූ අකටයුත්තක් වන්නේය. සකලේ හැඳින්වීමට සියල්ලන්ම දන්නා ඔහුගේ උප්පැන්නයේ තිබෙන්නාවූ නම භාවිතා කිරීම ද එම මිතුරුකමට කරනා වූ නිග්‍රහයක් බැවින් අනවර්ථ නාමයක් වශයෙන් මාගේ මිත්‍රයා සකලේ යනුවෙන් හඳුන්වන්නට යෙදෙනවාය. 

සකල සිරින් පිරි සිරි ලංකාවේ
ඥානවන්ත  නගරයක් ඇතේ ..
ඒ නගරයෙ ඉර නැගෙනා පැත්තේ
රඹ අගට ඇති  ගමක් වෙතේ ..

චේතිය රජ පරපුර බොරුවෙන් 
පරදා මුල් තැන අරගත්තේ 
සකලේ  ඒ රඹ පුරවැසි වන්නේ
ලොකු පොඩි සැම කව්රුත් දන්නේ..

මෙතනින් ඇරඹෙන කතාව අපගේ
මිතුරෙකු ගැනමයි පැවසෙන්නේ..
සකලේ යනුවෙන් හඳුනාගන්නේ
මෙය  බොරු නමකුයි දැනගන්නේ..


සකලේ පුද්ගලයකු වශයෙන් ගත්කල දුකේදීත් සැපේදීත් එකසේ පිහිටට එන්නාවූ වර්ගයේ මිතුරෙකු වශයෙන් හඳුන්වන්නට පුළුවන්ය. ඒ වාගේම ඕනෑම බෙල්ල ගහලා යන වැඩකට වුවද දෙපාරක් නොසිතාම ඉදිරියට ගොස් අභියෝග භාරගැනීමට තරම් එඩිතර පපුවක් හිමි එල කොල්ලෙක්ය. බෙල්ල නැතත් කඳ ෆයිට් වර්ගයේ පුද්ගලයකු වුවද ගහමරාගැනීම් , කැරලි කෝලහාල, වැනි දෑ සඳහා සකලේ කවදාවත් උනන්දුවක් දැක්වුයේ නැත. ඔලුව පැලෙන්නට පොල්ලකින් ගැසුවද කේන්ති නොයන වර්ගයේ උතුම් මිනිසෙකු වන සකලේට කිසිම තැනක සතුරන් සිටියේද නැත. එක කනකට ගැසුවහොත් අනික් කනටත් ගහපන් මචන් කියනා වර්ගයේ සුපිරි ඉවසීමක් සහිත මනුස්සයෙකු වන සකලේ පාසල් කාලය ඇතුලත දී සහ පාසල් හරයාමෙන් පසුවද කවුරුන් හෝ සමග ගහමරා ගත්තා කියා අප මෙතුවක් කාලයකට අසාද නොමැත. නාහෙට නාහන අපගේ සගයන් එහෙන් මෙහෙන් පටලාගෙන එන රණ්ඩු සරුවල් වලට සකලේ එදත් අදත් මැදිහත් වූවානම් ඒ සාම සාකච්චා නියෝජිතයකු වශයෙන් පමණය.

එවන් උදාර ගති ඇත්තාවූ සකලේගේ තිබු එකම සහ අවසන් නුහුගුණය නම් අතේ පැලවෙන බොරු කීමය. එක කපුටෙකු මැරී සිටිනු දකින සකලේ ගමේ හෝ හමුවෙන මිතුරෙකු සමග ඒ ගැන පැවසුවානම් පැවසුවේ කපුටන් දාහක් දෙදාහක් මැරී සිටිනු ඇහින් දැක්කා යනුවෙන්ය. සකලේගේ එම ගුණය දන්නා හැමදෙනා සකලේ විසින් කියන ලද ආරංචියක් තවෙකෙකුට පවසුවානම් පැවසුවේ උදෘත පාඨ සහිතවය. ඒ නම් ආරංචිය අවසානයේ කියවෙන්නා වූ "සකලේ කිව්වේ ඒ හින්ද සුවර් නැහැ " යන උදෘත පාඨයයි.

අප උසස්පෙළ කරන සංදියේ සවස් කාලයේ කෙරෙන ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගන්නේ ඉර එලිය මදක් අවරට හැරුනාවූ පසුව බැවින් එතෙක් සිරාගේ ගෙදරට වී ආගිය තොරතුරු කතා කරමින් සිටීම අපගේ සිරිතය. සකලේ සහ මම ක්‍රිකට් ක්‍රීඩාවට උපන් හපන් දක්ෂකම් දැක්වුයේ නැති වුවද කණ්ඩායමේ උන්නතිය වෙනුවෙන් සකලේ සහ මම විසින් කරන්නාවූ තරඟ විනිසුරු සේවය නිසා ක්‍රිකට් කණ්ඩායමට සකලේ සහ මම යන දෙදෙනාම ඇතුවත් බැරි නැතුවත් බැරි ක්‍රීඩකයන් වුයේ අහම්බෙන්මය. සකලේ අම්පයර් ඉන්නා අවස්තාවේදී ප්‍රතිවාදී පිලේ පන්දු යවන්නන් පන්දු ඕවරයක් අහවර කිරීමට පන්දු දහයක් පමණ යවන්නේ සකලේ පන්දු තුන හතරක් සඳහා නෝ බෝල් සඥ්ඥාව ලබාදෙන බැවින්ය. පන්දු යවන්නා සකලේගේ මවු දෙමාපියන් ප්‍රමුක හත්මුතු පරම්පරාවම මතක් කරමින් බැනවැදුනද එව්වයින් සැලුනේ සකලේ නොවේය.  

එදාද ක්‍රිකට් ගැසීම සඳහා ගිනි කාෂ්ඨක අවුව මදක් තුනීවනතුරු අප සැම සිරාගේ ගෙදර රැඳී සිටි හවස් යාමයකි. කවුදෝ බඩජහරියකු වැල වරකා කතාවක් ඇදලා ගත්තේ හැමදෙනාගේම වරකා කෑමේ ආශාව ඉහමුදුනේ මෝදු කරමින්ය.

වරකා මදුලක්  කාපු කාලයක් මතක නැහැ බන්..

කොහේ තියන වරකද බන්.. ඔව්ව මතක් කරලා අපේ කට පිස්සු වට්ටන්නේ නැතුව හිටින්..

දැන් බොලාට වරකා කන්නද ඕන.. එහෙම ඇසුවේ අපගේ හිතාදරැති මිතුරා සකලේ විසිනි 

ඇයි උඹ වරකා මවන්නද..

ඇයි දැන් බොල කියන්නේ මට බොලාට වරකා කවන්න බැහැ කියලද..

අනේ බන් සකලේ.. අපිව අන්දන්නෙ නැතුව හිටහන්.. අපි දන්නවනේ බෝලාගේ ගෙදර කොස්  ගස්  නැහැ කියල..

බොලාට කුලරත්නේ ඉස්කෝලේ ගාවට යන්න එන්න පුලුවනිනම් මම බොලාට දෙන්නම් වරකා නාන්න..

ගල් පැලෙන බොරු කියන්න එපා යකෝ..

ඕකනේ ඉතින් කියන්නේ බොලාට.. විස්වාස නැත්තම් නිකා හිටහන්..

බහුතරයක් දෙනා සකලේගේ වරකා කතාව විශ්වාස කරන්නේ නැත. ඒ සකලේ යනු අතේ පැලවෙන ගල් පැලෙන බොරු කියන්නට උපන් හපන් එකෙකු බැවින්ය.. 

හරි.. දැන් අපි එතනට ගියා කියමුකෝ.. වරකා නැති උනොත්..

වරකා නැති උනොත් බොලා සේරෝම මට අල්ලගෙන ගහපන්..

බොට හොඳටෝම ෂුවර්ද.. අනිවාර්යෙන් ගහන ඒකත් ගහනවා පුතේ..

හරි බන් හරි...යමන්කෝ.. හැබැයි බොලා ගහේ නැගල කඩාගන්න ඕන හරිද..

යකෝ  වරකා තියෙනවනම් ගහට නැගල කඩන එක මහා දෙයක් නෙවෙයි සකලේ.. එසේ ස්වේච්චාවෙන් ගස් යාමට ඉදිරිපත් වන්නේ අපගේ හිතාදර පයිලට් ගොයියාය..

හරි එහෙනම් යමල්ල..

ක්‍රිකට් කණ්ඩායම සකලේවත් බයිසිකලයක ඉඳුවාගෙන සකලේ විසින් කලින් සඳහන් කරන්නට යෙදුනාවූ ඉසව්ව කරා බයිසිකල් පැදගෙන යන්නේ වරකා කෑමේ ආශාව මුදුන්පත් කරගැනීම සඳහාය. විනාඩි දහයක පමණ බයිසිකල් ගමනකින් පසුව සකලේ කියූ ඉසව්වට සැපත්වෙන අප සැම අමතා සකලේ විසින් ස්ථාවර නියෝග ලබා දෙන්නේ වරකා කෑමේ මහා සංග්‍රාමය ආරම්භ කිරීම සඳහාය..

මේක තමයි පොට් එක.. මේකේ තියනවා වරකා, වැල, කුරුම්බා, වෙරළු, වගේ හුග ජාතියක් හරිද.. මේ අපේ ආච්චිලාගේ වත්ත.. දැන් බොලාට තියෙන්නේ කැමති ගහකින් කැමති ජාතියක් කඩාගෙන කන්නයි.. අපේ ආච්චි අනම් මනම් කිව්වට බොලා ගනන්ගන්න එපා හරිද.. උඹල එව්වට උත්තර දෙන්නේ නැතුව උඹලගේ වැඩේ කරගෙන පලයල්ලා.. මම ආච්චි ගැන බලාගන්නම්..

උඹ කියනවනම් එච්චරයි මචං.. මේ අක්කර දෙකක විතර මුළු ඉඩමම බොලාගේද බන්..

ඔව් යකෝ ඔව්.. කැමති ගහකින් කැමති ගෙඩියක් කඩාගනින්.. වෙල අයිනට වෙන්න කිරල ගසුත් ඇති.. ඕනෙනම් කිරලත් කඩාගනින්. හැබැයි පුතෝ නයි පොළොංගු කෑවොත් මම නෑ.

එසේ සියලු අනපනත් සම්මත කරගැනීමෙන් අනතුරුව වත්ත පුරා ඇවිදින්නට පටාන් ගන්නා අපේ එවුන් කැමති කැමති ගස් වලින් ගෙඩි කඩන්නට පටාන් ගන්නවාය. වතු පාලු කරන්නට අපේ එවුන්ට අමුතුවෙන් ඉගැන්වීමට වුමනාවක් නොමැති අතර උපතින් ගෙනා සහජ දක්ෂකමක් වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යාමට තරම් විශේෂ ප්‍රාගුන්‍යයක් අපේ එවුන්ට තිබෙනවාය. 

හපොයි තොපි මගේ වත්ත පාලු කරන්න ආවද කාලකන්නි හැත්ත.. පලයල්ලා මගේ ගස් වල ගෙඩි ටික තියෙන්න ඇරලා.

අනේ ආච්චියෙ  ගෙට වෙලා ඉන්නකෝ.. මම තාත්තට කියල  අවේ.. අපේ ගහක ගෙඩියක් අපි කඩා ගත්තාම ආච්චීට මොකෝ.. මරුනාම අරං යන්නද මේවා..

තොපිට හෙන ගහනවා යකෝ.. තොපේ හත්මුතු පරම්පරාවටම හෙන ගහනවා මේ කරන අපරාදෙට.. මගේ පෝල් ගස් ටිකේ ගෙඩියක් පැහෙන්න දෙන්නේ නැහැ තොපි.. 

හෙන ඉල්ලන්න එපා ආච්චියේ.. හතර පෝයට සිල්ගන්නවා නේද..

තොපිව ජාතක කරපු එවුන්ටත් හෙන ගහනවා යකෝ.. තොපි ගස්වලින් වැටිල මැරිය..

ආච්චි අම්මා වත්ත පුරා ඇවිදිමින් අපගේ හත්මුතු පරම්පරාවටම හෙන ඉල්ලා දෙස් දෙවොල් තබද්දී අපගේ වතුපාලු සෙට් එක නොනවත්වා ආච්චිගේ වත්ත පාලු කිරීමේ කර්තව්‍ය අඛණ්ඩව කරගෙන යනවාය. 

මොකෝ බන් සකලේ බොලාගේ ආච්චි අච්චර දෙස් දෙවොල් තියන්නේ..

ආච්චි හරි කුම්මැහි ගෑනි බන්. මේ ඉඩකඩම් බෙදල දෙන්නේ නැතුව පෙරේතකමට තියන් ඉන්නේ.. මරුනාම අරන් යන්නද බැන්ද බන්..

ඉතින් බොලාගේ තාත්තල මුකුත් කියන්නේ නැද්ද බන්..

නෑ බන්.. ආච්චි ඉඩම් බෙදන්නේ නැති නිසා තාත්තලා ඉල්ලන්නේ නෑ බන්.. 

ඒ මොකෝ බන්..

බොලා දැන් ආවේ වරකා කන්නද ඉඩමේ හතරමායිම් බලන්නද ..නිකම් හම්බුනු අස්සයාගේ දත් ගණන් කරන්නේ නැතුව කන දෙයක් කාල යමන් යන්න ..

සකලේගේ මිත්තනිය අපගේ හත්මුතු පරම්පරාව අමතා ගුණ ගායනා කරද්දී වත්ත පුරා තිබෙනා වූ සියලුම පැල ගස්වල තිබු කුරුම්බාත් කොස් ගස්වල තිබු වැල වරකාත් සියල්ලම බිමදමා හැකි උපරිමයෙන් බඩ පුරවා ගැනීමේ සීග්‍ර ව්‍යායාමයක අපේ උන් නිරත වෙනවාය. ඒ කාලයේ දුරකථන සේවාවන් සහ පොලිස් හදිසි ඇමතුම් සේවාවන් තිබුනානම් සකලේගේ මිත්තනිය අපව එලවා දමන්නට පොලිසිය කැඳවීමට දෙවරක් හිතන්නේ නැතිවන්නට බොහෝ දුරට ඉඩ තිබුනේය.

වරකා වලට වඩා වැල වලට රුචිකත්වයක් දක්වන මා සහ රසංගයා කිසිදු අමාරුවකින් තොරවම අපේ එවුන් කඩා දමනා වැල ගෙඩි විනාඩියෙන් දෙකෙන් වාෂ්ප කරලා දමනවාය. බිම දමා විවුර්ත කරනා ලද වැල ගෙඩියේ දෙකොනින් ඇන තියාගන්නා රසන්ගයාත් මමත් එහි වාඩිවී විනාඩි කිහිපයක් අවසානයේ එතැන ඉතුරු වන්නේ වැල ගෙඩියේ සුන්බුන් ටික සහ කොස් ඇට ටික පමණය. හොඳින් ඉදුණු වැල ගෙඩියක මදුළු සියල්ල විනාඩියක් දෙකක් ඇතුලත  සුරුස් බුරුස් ගා උදරය වෙත ධාවනය කරවීම මටත් රසන්ගයාටත් සිම්පල් වැඩක්ය. නිවිහැනහිල්ලේ වැල ගෙඩි කිහිපයකට තරඟයක් නොමැතිවම වගකියන්නට මටත් රසන්ගයාටත් පුළුවන් වන්නේ බහුතරයක් එවූන් වරකා ගෙඩි සඳහා පොරකන නිසාය. ගහට නැගපු එකා බිමට බසින්නට ප්‍රථමව කැඩූ ගෙඩි සියල්ල කා බී ඉවරයක් කරන්නට අපේ උන් අති දක්ෂ බැවින් තමුන්ට කන්නට හෝ බොන්නට ගෙඩියක් කඩා ගැනීමට අපගේ පයිලට් තුමා නැවතත් ගහකට නගින්නේ ආච්චීට වඩා උස් හඬින් අපේ එවුන්ගේම මවුගුණ ගායනා කරමින්ය. 

එදින එසේ අවසන්වූ වරකා කෑමේ මහා සංග්‍රාමය ඉන් අනතුරුවද බොහෝ කාලයක් කරගෙන යාමට අපේ එව්වෝ වගබලා ගත්තෝය. සකලේ ක්‍රිකට් සෙල්ලම් කිරීමට එන්නාවූ සෑම දිනකම වාගේ ආච්චිගේ වත්ත පාලු කිරීමට යාම අපේ එව්වෝ පුරුද්දක් කරගත්තෝය. එවන් සෑම දිනෙකම ආච්චි පරල වෙමින් හත්මුතු පරම්පරාවේම මවු ගුණ ගායනා කරමින් අපේ එව්වෝ පසුපස වත්ත පුරා එලෙව්ව්ද මුණුපුරා අපගේ සෙට් එකේ සගයකු වූ නිසා අපේ එකෙකුවත් ආච්චීව සතපහකට මායිම් කලේද නැත. ආච්චීද අප එහි ගිය සෑම දිනෙකම ගේම අතෑරියේ නොමැති අතර අපේ එවුන්ද එහි ගිය අභිමතාර්ථය සාක්ෂාත් කරගෙන විනා හිස් බඩ වත්තෙන් එලියට ආවේද නැතිය. වසර කිහිපයකින් අනතුරුව  ආච්චිගේ වත්තට සුභ කාලයක් උදා වුයේ අපගේ හල්වතුර ක්‍රීඩාංගනය ගෙවල් සෑදීම සඳහා කට්ටි කර බෙදා දීමෙන් අපගේ ක්‍රිකට් ක්‍රීඩාවට කණකොකා හැඬු නිසාය. 

කට ඇරියොත් ගල් පැලෙන බොරු අතාරින සකලේ ඉඳහිට හෝ  ඇත්තද කියනවා යන්නට ක්‍රියාවෙන් ඔප්පු කලේ මිත්තනියගේ ඉඩම රිසිසේ පාලු කිරීමට අපහට අවස්තාව සලසමින්ය.

ඉනුත් වසර හතකින් අටකින්  අනතුරුව එක්තරා සැන්දෑවක මා වෙත ලැබුනාවූ දුරකථන ඇමතුමක සඳහන් වුයේ සකලේගේ මිත්තනිය අවසන් ගමන් ගියා වූ දුක්බර පුවතයි.

සකලෙගේ ආච්චි මැරිලා.. රෑට මළගෙදර යන්න ඕන.. උඹ එනවා නේද..

අනිවාර්යෙන්  එනවා.. කීයට විතරද යන්නේ..

අටට නමේට යමු..

හරි මම අට වෙද්දී ඒ පැත්තට එන්නං..

අපේ කට්ටියට මලගෙදරක් කීවොත් මගුල් ගෙදරක් කීවාට වඩා සන්තෝසය. ඊට හේතුවනම් අපගේ ගම් පලාත්වල මලගෙදරත් මගුල් ගෙදරත් වෙනස වන්නේ ඉතාමත් සුළු කරුණු කාරනා කිහිපයකින් පමණක් වන නිසාය. මළගෙදර මගුල් ගෙදරින් වෙනස් වන්නේ මනාල යුවල නැතිකම සහ නැටුම් ගැයුම් අඩුව පමණක්ය. මගුල් ගෙවල්වල මගුල් මේසය ඇරෙන්නේ නියමිත වෙලාවක් සඳහා පමණක් වුවත් ව්‍යංජන හතාටකින් යුත් සුපිරි කෑම මේසයක් මල ගෙවල්වල පැය විසි හතර පුරාම බඩගිනි හමුදාවට සේවය සැපයීමට ලෙසටම සුදානම්ය. මගුල් ගෙවල්වල යාමට ඇඳුම් පැළදුම් නිසි ලෙස අවශ්‍ය වුවත් මළගෙදරක යාමට ඕනෑම ඇඳුමක් ඉහටත් උඩින්ය. මගුල් ගෙදර ගොස් කාබී නටා ඒමට නම් මොනර කොළ දෙකතුනක් බහාලූ ලියුම් කවරයක් අවම වශයෙන් අවශ්‍ය වුවත් මළගෙදරක යාමට එව්වා අවශ්‍ය වන්නේද නැත. මගුල් ගෙදර රහමෙර පානය එළිපිට වුවද මළගෙවල්වලද අප්‍රසිද්දියේ අහුමුලුවල බෝතල් ඕනෑතරම් කැඩෙනවා වාගේම සිගරට් වැනි අනුපාන ඕනෑතරම් සුලභය. මගුල් ගෙවල්වල තහනම් මත් ද්‍රව්‍ය භාවිතයක් නොමැති වුවද රෑ බෝවනවිට මළගෙදර අවටින් තණමල්විල පැත්තෙන් හමනා සුවඳ වර්ග බොහෝය. ඉහත කරුණු කාරනා සලකා බැලුකල මගුල් ගෙදරක යනවාට වඩා මළගෙදරක යාම සෑම අතින්ම වාසි සහගතය. එබැවින් අපේ උන්දලා මලගෙදරක් කීවොත් කීයටවත් කර අරින්නේද නැත. 

මියයන්නට යෙදුනාවූ සත්ගුණවත් සකලේගේ මිත්තනියගේ ගෙදර තිබුනේ අපගේ ගං තුලානේ නොවන බැවින් ප්‍රසන්නයාගේ කැරවන් රථයෙන් විනාඩි තිහක වැනි ගමන් කාලයකින් අනතුරුව අපි සියලුදෙනා මළගෙදරට සැපත් උනෝය. එයින් මා වටහා ගත්තේ ඊට වසර හත අටකට ඉහතදී අප විසින් පාලු කරන්නට යෙදුනාවූ ඉඩමේ පදිංචි මිත්තනිය මැය නොවන බවයි. 

සකලේද මළගෙදරට එන්නාවූ අමුත්තන් වෙනුවෙන් හරි හරියට මහන්සි වෙනවාය. කිසිදු අඩුවක් පාඩුවක් නොමැතිව සංවිධානය වී තිබු කටයුතු නිසා එකක් නිවෙන්නට එකක් දුම් වර්ගද, වෑන් රථයේ විවුර්තව තිබු වීදුරු බෝතල්ද අපේ එවුන්ගේ සුභ සිද්දිය වෙනුවෙන් ලෙසටම සේවයේ යෙදෙනවාය. අවශ්‍ය කරන බයිට් වර්ගද දුම් වර්ගද සකලේ විසින් අඩු නොමැතිව සැපයෙනවාය. වීදුරු බෝතල් සෙල්ලම අහවර වූ සැනින් ඊළඟ ආරාධනාව රාත්‍රී කෑම මේසය සඳහාය.

කෑම ගැන අපේ එවුන්ට විශේෂයෙන් කිවයුතු නැතිය.. " කෑ " යන්න කී පමණින් " ම ටිකක් කාල ඉමු " කියන්නට මත්තෙන් අපේ එවුන් කෑම මේසය වටේ වටවී හමාරය. එයින් පෙරමුණ ගන්නේ කෑමට කවදත් පස්සට නොයන ගනයේ එකෙකු වනා අපේ සිරාය. ලැජ්ජාව බෙදන තැනකවත් ඉඳලා නැති සිරා කෑම මේසයකට වාඩිවූ සැනින් සිරා සමග ආගිය එවුන්ගේ පටි රෝල් වෙන්නටම සිරා කන එක ලෙසටම කනවාය. සිරා කෑම මේසයකට වාඩි වුනොත් මේසයේ ඉතුරු වන්නේ හිස් පිඟන් කෝප්ප පමණය. එව්වාද සිරා පිඟන් කෝප්ප නොකන නිසාය. දන්නා කියන ස්වාමීන්වහන්සේ නමකගේ ගම වන ලග්ගල වෙත අපව රැගෙන ගිය අවස්ථාවේ එම ස්වාමින්වහන්සේගේ ඥාති වරිගයාට මාස තුන හතරකට කන්නට තිබෙනා සියලුම දෑ රැයෙන් දෙකෙන් කා දමන්නට අපේ සිරා සමත්වුනේ කිසිදු පැකිලීමක් නැතිවමය. 

හත් අටදෙනෙකුට කන්නට තිබෙනා බත් බේසමක් එක රාත්‍රී වේලක් වෙනුවෙන් කා දැමු සිරා කියන්නේ ඒ ගමේ උදවිය හරිම ආගන්තුක සත්කාර දන්නා උදවිය කියාය. සිරාගේ දැකීම එසේ වුවද ගමනට සහභාගී වූ මට සහ රන්ජියාට නම් සිරා කෑම මේසය අකුලලා යන්නටම කා දැමු පසු එම නිවැසියන්ගේ මුහුණ බැලීමටද ලැජ්ජය. " ඔහොම කන්න එපා යකෝ ගෙදර මිනිස්සුන්ටත් කන්න ටිකක් ඉතුරු කරපන් " කියා අප කරනා වූ ඉල්ලීමට සිරාගේ පිළිතුර වන්නේ " බොල වගේ නෙවෙයි යකෝ.. මේ මිනිස්සු ආගන්තුක සත්කාර දන්න මිනිස්සු.. මේ ඔක්කොම බෙදල තියෙන්නේ අපිට කන්න තමයි..බොරු නැතුව කාපන් " කියාය. 

එවන් සූර වීර සිරා ප්‍රමුක නඩය කෑම කා අවසන්වී මද විවේක සුවයෙන් පසුවෙනා අවස්තාවක විවේකයක් ලැබූ සකලේද අප ආසන්නයෙන් වාඩි ගන්නේ අපගේ පැමිණීමට ස්තුති කිරීමක් වශයෙන්ය.

හෙටද බන් මළගෙදර අවසාන කටයුතු..

ඔව් මචන්.. හෙට.. මේ ගමේ කනත්තේ තමයි කරන්නේ..

ඔයින් මෙයින් අල්ලාප සල්ලාපයේ යෙදුනු සකලේ වෙත මාගෙන් වැදගත්ම ප්‍රශ්නයාක් යොමු වන්නේ අනතුරුවයි..

මේ බොලාගේ අම්මගේ අම්මාද බන්..

නැහැ බන්.. තාත්තගේ අම්ම..

ඈ........ එතකොට අර එහේ ඉන්නේ අම්මගේ අම්මාද බන්.. වෙන්න බෑ උඹ කිව්වේ තාත්තගේ අම්ම කියලනේ බන්..

පිස්සුද යකෝ.. අම්මගේ අම්ම නැතිවෙලා තියෙන්නේ අපි ඉපදෙන්නත් කලින්..

එතකොට අර පනියනේ ඉන්නේ බොගේ කොයි ආච්චිද..

කොහෙද බන් මට පනියනේ ආච්චි කෙනෙක්..

ඈ බොල ඌරෝ.. තොට මතක නැද්ද අපි උඹලගේ ආච්චිගේ වත්ත පාලු කරා අවුරුදු ගානක් තිස්සේ.. අර බන් අපේ අම්මලාට බැන බැන පස්සෙන් එන්නේ..ඇයි බන් අර උඹ කිව්වේ උඹේ තාත්තගේ අම්ම කියල..

මොන බන්.. මට මතක නැහැනේ.. උඹ මේ වෙන මොකක් හරි ගැන කියවන්නේ..

ඇයි යකෝ අර අපි ගිහින් වැල වරකා කාපු ඉඩමේ ආච්චි..

ආ ................... ඒ අපේ නෑයෙක් නෙවෙයි බන්.. ඒ කාත් කව්රුවත් නැති මනුස්සයෙක් බන්..


සකලේ විසින් අපව සම්මාදම් කරවා තිබු පාප කර්මය කොතරම් තඩි එකක්දැයි එලිවුයේ එලෙසය. සකලේ විසින් කියූ එකම එක ඇත්තද අවුරුදු හත අටකට පසුව තඩි මුසාවක් බවට පත්වුවත් ඒ වනවිට එම අහිංසක මැහැල්ලගේ ඉඩමේ පලදාව වසර කිහිපයක් තිස්සේ අප විසින් බලහත්කාරයෙන් බුක්තිවිඳ අවසන්ය. ඉඩමේ එකුදු පොල් ගසකවත් ගෙඩියක් පැහෙන්නට ඉඩනොදුන් අප සැමට ඒම අසරණ මැහැල්ල විසින් තැබූ දෙස් දෙවොල් නොවදින්නට විදිහක් නොමැත. උඩ සිටිනා දෙවියන් අප කල පාප කර්මය සාධාරණව සලකා බලා අපව නොමග යවා  එවන් පාප කර්මයක් කිරීමට අපව පෙලඹවූ සකලේගේ පවු එකවුන්ට් එකට සියලු පාපකර්ම බැරකරන සේක්වා.


සකලේගේ නිවස යටින් තිබෙනා, කොළඹ සිට ගාල්ල දක්වා අලියා බීම පොම්ප කරනා බීම නලයක්  හිල් කරවා ටැප් එකක් සවිකර හිතු හිතු වෙලාවට සකලේගේ පවුලේ සැම නෙක්ටෝ බොනවා යනුවෙන් සකලේ විසින් හෝඩියේ පන්තියේදී කියූ ටොම් පචයක් කට ඇරන් අසා සිටි මීමන් රෑනෙන් එකෙකු මා  වීම කනගාටුවට කරුනක්ය. හෝඩියේ පන්තියේදී කට ඇරගෙන ඇසූ ටොම් පච කියූ එකා කියනා බොරු පතන් උසස්පෙළ කරනා කාලයේදීද දෙවරක් නොහිතා විශ්වාස කල අපගේ බුද්ධිය සකලේගේ බුද්ධිය තරම් මෝරලා නැති වගට අවසානයේ මා එළඹී නිගමනයයි. 

සකලේ විසින් සමාජගත කරන්නට යෙදුනාවූ අතේ පැලවෙන බොරු මෙහි ලියන්නට ගියහොත් එව්වා පොස්ට් දෙතුන්දාහක් ඉක්මවා යන්නා වූ බැවින් ඉතුරු එව්වා බ්ලොගයේ ලිවීමට අදහස් කරන්නේ නැත.

මෙම පොස්ටුව කියවනා ගමේ මිතුරන් සකලේගේ උප්පැන්නයේ නම ගම මෙහි කමෙන්ට් මගින් පලනොකර සිටින්නේනම් මැනවි. එසේ පලකරන කමෙන්ට් මා විසින් දුටු විගස මකා දමන්නට තීරණය කර සිටිනා  බැවින් එවන් දෑ වෙනුවෙන් මා සමග අමනාප වන්නට එපාය.  

63 comments:

  1. හැක්.. හැක්... බොරුගෙ පියෙක්නෙ ඌ..

    දැන් අර මනුස්සයා මැරිලා ගිහින්ද?

    ReplyDelete
    Replies
    1. බොරු පියෙක් නේන්නම්.. ඒ මනුස්සය දැන් මැරිලා ඇති හරී.. අපි කරගත්තු පව සන්සාරේම ගෙවන්න වෙනවා අනිවාර්යයි..

      Delete
  2. බොලාටත් ඉන්නෙ මරු යාලුවොනෙ.

    ReplyDelete
    Replies
    1. හැම වර්ගෙම එවුන් ඉන්නව කසුන්.. එක වර්ගයකින්වත් අඩුවක් පාඩුවක් නැහැ..

      Delete
  3. යකෝ අන්න වැඩේ ,මූ ගැන තව ටිකක් ලියහන් , පට්ට ආතල් බුවෙක්නේ

    ReplyDelete
    Replies
    1. සකලේ ගැන ලියන්න ගත්තොත් වෙන එව්වා ලියන්න වෙලාවක් නැතිවෙයි ඉවාන්. බලමු ඉදිරියට දෙක තුනක් තව ලියන්න ..

      Delete
  4. අම්මෝ මෙහෙමත් බොරු කියනවද මිනිස්සු.... හිහ්, මොනා උනත් මරු කතා ටික.

    ReplyDelete
    Replies
    1. මේක අපේ සකලේගේ පුංචිම පුංචි බොරුවක් භාග්‍යා.. ස්තුතියි මේ පැත්තේ ආවට..

      Delete
  5. ජරා වැඩක්!
    සමහර විට ඒ ආච්චීගේ එකම ආදායම් මාර්ගය වත්තේ ආදායම විය යුතුයි.
    මගේ ආච්චී ද සෑහෙන කාලයක් ජීවත් වුනේ ඒ විදියටයි.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම ජරා වැඩක් රසික.. මූ අපිට කිව්වේ ආච්චි ගාව එළුවොන්ට කන්න තරම් සල්ලි තියෙනව පෙරේතකමට ඉඩන්කඩන් බෙදල දෙන්නේ නැහැ කියලයි.. ඒ හින්දයි අපිත් දෙපාරක් හිතන්නේ නැතුව වත්ත පාලු කරේ උගේ පිය උරුමය කියල හිතාගෙන.. එත් අවුරුදු ගානකට පස්සේ තමා එලිවුනේ අපි කරලා තියෙන්නේ අන්තිම පහත කැත වැඩක් කියල.. ඒ පවු නම් අපිට සංසාරේ පුරාම ගෙවන්න වෙයි රසික.. ස්තුතියි මේ පැත්තේ ආවට..

      Delete
  6. බොරු කිවුවත් ඌ උඹලට කන්න දීල තියනව, හැබැයි අර වයසක උන්දැ ට කරපු හානිය උඹලට පටිසන් දීල තියෙන්නෙ සෙල්ලම් කරන තැන නැතිවීමෙන්. එදයින් පස්සෙ ආච්චි සැනසීමෙන් ඉන්න ඇති.
    වැල කන්ඩ විශේෂ ප්‍රාගුන්‍යක් තියෙන්ඩ ඕනෙ, නැත්නම් හිරවෙනව, දවසක් අපේ සෙට් එක වැල ගෙඩියක් කනව දැකපු සීය කෙනෙක් '' යකෝ මුන් ටොපි ඔතන මැෂින් වගේනෙ" කිවුව අත් දෙකට මදුළු අරන් ගිලින ගමන් ඇට ටික ටුක් ගාල අහකට විදින්න හොද පල පුරුද්දක් තියෙන්න ඕනෙ.
    දැනුත් ඔය යාළුව පුරුද්දට බොරු කියනවද ?

    ReplyDelete
    Replies
    1. යාළුවා දැන් ඉන්නේ විදේශගත වෙලා... අනිවාර්යෙන් එහෙත් දෙනවා ඇති ගල් පැලෙන අහස කඩන් වැටෙන එව්වයෙන්..හැක්..
      අපි ඒ වයසක උන්දැට කරපු වැඩේ අන්තිම කැත වැඩක් කම්මලේ.. දැන් ඒ ගැන හිතද්දී හිතට හරිම කනගාටුවක් ලැජ්ජාවක් දැනෙන්නෙ මටනම්.

      පළපුරුද්ද නැතුව වැල කන්න හැමෝටම බැහැ තමා.. වැල මදුල කටේ තියාගෙන රහ බල බල ටිකෙන් ටික ගිලින්න ගියොත් වැල මදුල එහාටත් නැතුව මෙහාටත් නැතුව උගුරේ අමුතුම තැනක හිරවෙනවා. අන්තිමේ වමනේ දාල තමා වැඩේ නවතින්නේ වැල හිරවුනාම.
      ඒත් පළපුරුද්ද තියන උදවියට වල ගෙඩියක් ඉවර කරන්න යන්නේ විනාඩි පහයි. මමයි රසන්ගයයි වැල කෑවෙත් ඔයාගේ සීය කිව්වා වගේ ටොපි ඔතන මැෂින් වගේ තමා..ඇටේ විද්දා ගිල්ලා.. දැන් නම් කාපු කාලයක් මතක නැහැ බන්.. මී පැණි වගේ වැල කොච්චර කෑවත් එපා වෙන්නේ නැහැ..

      Delete
  7. මන් හිතන්නෙ උබ ලියුව එකාට අපි අමතන්නෙ උගේ තාත්තගෙ නම කියල නේද?ඇයි බන් ඔය වගේම එකෙක් හිටියෙ 11A එකේ.කොහොම උනත් ඒ කාලෙ කරපු දේවල් වලට දැන් පසුතැවෙනව අම්බානෙක.ඒත් ඒ කාලේ ඕක නොතේරුන එකනෙ මචන් කරුමේ

    ReplyDelete
    Replies
    1. ඌ විතරක් නෙවෙයි බන් උන්ගෙ පරම්පරාවම හඳුන්වන්නේ වාසගමින් තමා..

      11 A එකේ හිටපු එකා සකලේට වඩා ඇඩ්වාන්ස් මචන්.. සකලේ ඩිග්රි ලෙවල් , 11 A එකේ එකා Phd ලෙවල්.. හැක්..

      Delete
  8. ඇත්ත දැනගත්තම සංතෝෂ හිතෙන්නැති නේද? කෝමද අර ආච්චම්මා තමුන්ගෙ ලමයෙක් ගෙන්නල නෙලෙව්වනං සැට්ටෙකටම

    ReplyDelete
    Replies
    1. අපේ සකලේ එහෙම නෙලන තැන්වලට අපිව අරන් යන්නේ නැහැ මචන්.. මම කතාවේම කිව්වනේ.. අපේ සකලේ ගහමරාගන්න තැන්වල ගැවසෙන්නේ නැහැ.. එහෙම කෙනෙක් හිටියත් එක පාරට කොල්ලෝ පහළොවක් විස්සක් වත්තට පන්නාම කොහේ කියල නෙලන්නද බන්..

      ඇත්ත දැනගත්තාම දැනුන කනගාටුව දැනුත් දැනෙනවා බන්.. ඒ කරේ සන්සාරෙත් ගෙවන්න බැරි පවක්..

      Delete
  9. හැක්.. හැක්.. සකලයනං මාර යකෙක් තමයි. මොනව උනත් ඌ උඹලට හොඳට කන්න අවස්ථාව සලසල දීල තියෙනවනෙ.

    හාබෑටම අර පවු එකවුන්ට් ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන්ද? :D

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් .. අපි කාලාන්තරයක් හිතේ හැටියට කුරුම්බා වරකා කෑවා.. අපි එව්වා භුක්තිවින්දේ උගේ පිය උරුමය කියල හිතාගෙනනේ බන්.. ඒ හින්ද වැඩි පව සිද්දවෙන්නේ සකලේටම තමා.. අපිට ඉතින් පවු ටිකයි.. ඒ ටිකත් සකලේගේ එකවුන්ට් එකටම ට්‍රාන්සර් කරගන්න විදිහක් තමා මේ කල්පනා කරන්නේ..

      Delete
  10. වැහි වෙලාවට එළියට බහිනව එහෙම නොවෙයි ඕන්. නෑ මං කිව්වෙ ආච්චි එළියෙ ඇති

    ReplyDelete
    Replies
    1. ඒ වගේ කාලකන්නි පවු වැඩක් කරපු අපිට නොගහන හෙන කාට ගහන්නද හංසමාලි.. සාධාරණ මනුස්සයෙක් විදිහට මට හිතෙන්නෙම ඒ කරපු කාලකන්නි වැඩේට අපිට හෙන ගහන්න ඕනෑතරම් චෑන්ස් තියනවා කියලයි..

      හැබැයි ඉතින් ඒ කාලේ අපි පාලුකරපු වතු සහ ගස් ගානට හෙන ගැහුවත් සෑහෙන්න හෙන ප්‍රමාණයක් වදිනවා ආච්චිගේ වත්තට අමතරව..

      Delete
  11. බොලා ආච්චිට හාල් ගරල තියෙන්නෙ...

    අනේ බං. සකලයගෙ බොරු දෙක තුනක් මට මේල් කරහංකො. මං මට වෙච්ච දෙයක් වගේ දාන්නං. ගජබින්න උල්පත හිඳීගෙන යන්නෙ මේ දවස්වල.

    ReplyDelete
    Replies
    1. ආච්චීට ගරපු හාල් අපිට ගැරෙයි බන් කවද හරිම..

      සකලේගෙ බොරු උඹට ගැලපෙන එව්වා හොයන්න අමාරුයි.. බලමු මම අපේ මිතුරු කැල එක්ක ස්කයිප් සංවාදයක් දාල උඹට ලියන්න ගැලපෙන එව්වා තියෙනවනම් ලියල එවන්නම්.. සකලේගේ බොරු මිනී මැරෙන එව්වා බන්..ඔය ආච්චිගේ වත්ත පාලු කරපු සිද්දිය බොහොම පුංචි බොරුවක් උගේ බොරු එක්ක බැලුවාම..

      Delete
    2. මම හිතුවෙම අපේ ද්රැකියා කියලා ඕකට ඇරෙන්න ඔහම බොරු කියන්න පුලුවන් කාටද

      Delete
  12. ඔහොම එවුන් කරන්නේ බොරු කියනවා නෙවෙයි.. බොරු හිටවල ඇවිද්දවනවා.. සකලේ සකලේ...

    ReplyDelete
    Replies
    1. අපේ පැතිවල කියන්නේ බොරු විදිනවා කියලයි කමී.. බොරු හිල කියලත් කියනව..

      Delete
  13. මුනම් මාර පොරක්...

    ReplyDelete
    Replies
    1. හරිම අහිංසක කොල්ලෙක් බන්.. කොල්ලෙක් කිව්වට දැන් මටත් 39 ක් වෙච්චි ඌත් මගේ වයසේම තමා..

      Delete
  14. අපුච්චේ......මේකා ඉන්න පැත්ත බලාගෙන වතුර බොන්නවත් හොඳ නෑ. සකලේ නෙවෙයි කසලේ.

    ReplyDelete
    Replies
    1. ලඟින් ගියොත් ඇහැක් නෑ කිව්වලු..

      Delete
  15. උඹලටත් තියෙන්නේ පුදුම අත්දැකීම් නේ බං...

    සකලයා අර ආච්චිට කරලා තියෙන්නේ සුළුපටු හානියක් නෙමෙයි, පව් ඒ අසරණ මනුස්සයා...

    ReplyDelete
    Replies
    1. පව් නේන්නම් බන්.. ඒ කාලකන්නි වැඩේට අපිට හෙන නොගැහුවොත් ඇති.. අපේ කොලු කාලය අත්දැකීම් සම්භාරයක් බන්.. තව ලියන්න සෑහෙන දේවල් තිබේ..

      Delete
  16. හිනාවෙලා බඩ රිදෙනව බං.උඹේ යාලුව යකෙක්නේ.ඌ කියපු කරපු දේවල් තව ටිකක් ලියන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඉදිරියට තව කීපයක් ලියන්නම්කො හැලපේ අයියෙ.. යාළුවගේ හිත රිදවීමක් වෙයි කියල හිතෙන නිසා ලියන්න කලින් ටිකක් හිතන්න වෙනවා..

      Delete
  17. සකලේ විදෙස් ගත වෙලා ලු... අම්බලන්ගොඩයත් විදෙස්ගත වෙලා ලු... නම කියන්න එපාලු.. කොමෙන්ට් මකනවාලු... හෙහ් හෙහ්
    අපේ එකෙක් උන්නා 'පචයා' කියලා.ගුරුවරුත් දන්නෙ එහෙම.ඕකා ගමේ ගිහින් එනකොට අලි බිත්තර ගේනකන් තුන වසරෙදි මුළු අවුරුද්දම බලා හිටියා කියහංකෝ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උඹ පොඩ්ඩක්වත් සැක කරන්න එපා මා ගැන.. සකලේගේ නම තියෙනව උඩ ලියපු කවි පන්තියේ.. දරුමල්ලෝ ඉන්න නිසා දැන් මේ දේවල් ප්‍රසිද්ද කරලා ලියන එක හරි නැහැ බන්. කව්රුහරි කෙනෙක් අපේ එකාගේ නම ලිව්වොත් එක උගේ පෞද්ගලිකත්වයට හොඳ නැහැ. ඒ හින්දයි නම ලියන කමෙන්ට් මකනවාමයි කියල කිව්වේ. උන් නම් නම් ගම ලියයි.. අන්තිමේ කන්න වෙන්නේ මටනේ..

      බැලුවාම උඹේ පන්තියෙත් ඉඳල තියෙනවනේ බන් සකලේ වගේම අතේ පැලවෙන බොරු කියන එකෙක්..

      Delete
  18. මං පහ වසරෙදි, මගෙ හොඳම යාළුව උනේ ඉන්දික. ඌත් ඔය ව‍ගේම තමයි. දවසක් ඌ කියනව, ඌ කැලේ ගියාලු. ඒ ගියෙ ට්‍රේල් බයික් එකකලු. මහන්සියට ගහක් යට නවත්තල, බයික් එකෙන් බැහැල, ඒකෙ බට්න් එකක් ඔබල, "ෆැන්ට ෆැන්ට" කිව්වලු. බයික් එකේ පැත්තකිං දොරක් අැරිල, ට්‍රේ එකක තියපු ෆැන්ට බෝතල් දෙකකුයි වීදුරුවකුයි ආවලු එළියට...

    ඔය සාම්පලයක් විතරයි. ලබ්බටයි අම්බලංගොඩටයි ස්තූතියි මගෙ මතක අවදි කළාට.

    ReplyDelete
    Replies
    1. බැරිද දන්නේ නැහැ නේද අපිටත් ඒ ෆැන්ට ට්‍රේල් බයිල එකක් ගන්න... හැක්.. බැලුවාම අපේ සකලේට කරට කර ගේම දෙන්න එවුන් ඉඳල තියනවනේ බොල.. මේ පොස්ට් එක අපේ සකලේ කියෙව්වොත් උගේ ෆ්රිෆොමන්ස් වැඩි කරගන්න මොනවහරි කරාවි..

      Delete
  19. ඔය අම්බලන්ගොඩයා දාල තියෙන කථාව ඔක්කොම සම්පූර්ණ බොරුවකි

    මීට සකලේ

    ReplyDelete
    Replies
    1. සකලේගේ ඥාතියෙක්ද මන්දා ඉයනුත්.. ඔය කවි පන්තියේ පලවෙනි කවියේ පලවෙනි පද පේලි දෙකේ තියන වචන දෙකක් වාසගමට එනවනම් අනිවාර්යෙන් ඉයන් ඥාතියෙක් තමා..හැක්..

      Delete
  20. මරු බඩුවක්නේ! ඊළඟ ඡන්දෙට දාල පාර්ලිමේන්තුවට යවන්න ඕනෙ මිනිහෙක්...

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් උදය තමයි අපේ එකාට ගැලපෙනම රැකියාව යෝජනා කරේ.. නම කිව්වමත් ගමෙන් භාගෙකට වඩා දන්නා හින්ද ඉල්ලුවොත් නගරසභාවට නම් සුවර් අපේ එකා..

      Delete
  21. බොරු නෙමෙයි යකෝ.නිර්මාණශීලීත්වය.....ඔයවගේ එකෙක්ට තමයි ජනාධිපතිකම දෙන්න ඕනේ.එතකොට අපි හිතින් හරි දිවියලෝකේ මවාගන්නවනේ....

    ReplyDelete
    Replies
    1. ඇයි උඹට හිටපු එවුනුයි දැන් ඉන්න එවුනුයි මදි වෙලාද.. දේසපාලනය වගේ අතේ පලවෙන බොරු කියන ලජ්ජා නැති එවුන්ට හරියන දේවල් වලට අපේ සකලේ හරියටම ගැලපෙන පොරක් තමා..

      Delete
  22. සකලේ මරු යාළුව :) අම්බලන්ගොඩ ගේ කතා දිග උනත් කියවද්දී කම්මැලි හිතෙන්නේ නැහැ මම මේ දේ කලිනුත් කිව්වද මන්ද .. හරි සුන්දර ලමා කාලයක් තියනව වගේ :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හංසි මේ පැත්තේ ආවට..අපේ ළමා කාලය කොයිතරම් සුන්දරද කියනවනම් වහින වෙලාවට එලියට බහින්න බයයි..
      වර්තමානයේ ළමයින්ට එහෙම ළමා කාලයක් නැති එක ගැන ඇත්තටම කනගාටුයි..

      Delete
  23. යකඩෝ මෙහෙමත් මිනිස්සු. උඹටත් සෙට් වෙන්නේ උඹ වගේම එවුන් තමයි ඉතින්.

    ReplyDelete
    Replies
    1. හෑ... මම වගේ.. යකඩෝ.. මම සකලේ තරම් තඩි බොරුකාරයෙක්ද එතකොට.. ජීවත්වෙලා පලක් නෑ බන්..

      Delete
  24. හැක් තොපි වගේ උන්.....ඒත් ඒ කාලේ ගත්ත කික් අද කාලේ ළමයින්ට ගන්න බෑ බං.... අද කාලේ ළමයි ගහට නගින්නත් ඉනි මගක් ඇන්න එයි....ආච්චි පව් බං

    ReplyDelete
    Replies
    1. අද කාලේ ළමයින්ගේ ළමා කාලය ටීවී එක විසින් අත්අඩංගුවට අරන් බන්..

      ආච්චි පවු නේන්නම්..

      Delete
  25. තවමත් උබලට උව මතක තියෙන්නේ උගේ වැඩ නිසානේ ඒක අතකින් නියම පොරක්

    ReplyDelete
    Replies
    1. ඌ අමතක වෙන්නේ ඉතින් මරුනාම තමයි බන්..

      Delete
  26. අනෙ අම්මේ ඉතින් කට්ටිය බඩකට පුරා කන්න බොන්න ඇති දෙන දෙයියෝ උඩ පැන පැන දෙනව කියලා..

    ඔන්න මමත් අද ඉඳන් එක මාක් කරනව අම්බලන්ගොඩගෙ බ්ලොගේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තනුජා..

      Delete
  27. උඹේ posts ටික එක හුස්මට non-stop කියවගෙන ගියා. අපි හැමෝටම වගේ ඉඳල තියෙන්නේ එකම වගේ යාළුවොනේ බන්.
    හැමදාම posts දාන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  28. අපිටත් තිබ්බා බදු වත්තක් එහෙනං ... පාරේ යන ගස් නගින මනුස්සයෙක් සෙට් උනාම ඉතින් දෙය්යන්ගේ පිහිටයි වත්තට. දවසක් පොල් කඩන මිනිහා කඩනවා ගහ උඩ . අයිති කාරයා අවා කියනකො කරුමෙට. අපි කලා තිබ්බ කුරුම්ම්බා ටිකත් අරගෙන දිව්වා . අර මනුස්සය මාට්ටු උනා,

    ReplyDelete
    Replies
    1. යකෝ උඹලව කොටියා කන්න එපැයි අර අහිංසකයාට කරපු අපරාදෙට..

      Delete
  29. Me Comment eka Dakinna Lebei Kiyala Hithanawa..
    Mama asawen Balapu eka Blog ekai thibune A " Hisahasa" but Ada Eka Deka Una.. Thank You.. Lassanai Digatama Liyanna..

    ReplyDelete
    Replies
    1. ඇගයීමට ස්තුතියි මේනක.. ඒත් හිස් අහසේ සඳරු නිසා තමයි මටත් බ්ලොග් ලියන්න ආසාවක් ඇතිවුනේ.. ඒ නිසා හැමදාමත් # 01 හිස් අහසම තමයි.. සඳරු ඇවිල්ලා ශ්‍රීලාංකීය බ්ලොග් කලාවේ # 01 මේනක.

      Delete
  30. අය්යේ ඔයාගේ කතා නිසාම, ඔයාගේ බ්ලොග් එකේ ලින්ක් එක නං අමතක වෙන්නේ නැ, එචරකට සුපිරි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගෙවින්..

      Delete
  31. අම්බලන්ගොඩයෝ..... උබේ මේ ලියන හැකියාව මේ ලෝකෙ කිසිම කෙනෙකුගේ ලග නෑ...මේ පෝස්ට් කියවනකොට අපි ඒවයෙ ජීවත් වෙනව වගේ දැනෙනව...මට දැනුන උම්බලත් එක්ක ගස් නැගල වරක කනව වගේ බන්. පට්ට ම පට්ට

    ReplyDelete